Wednesday, June 22, 2011

77. අහෝ නාසා.............!!!! නුඹ අපේ ජොලිය කෑවා...........කියා හිතෙනා....... අයත් ඉඳියිද මන්දා...!!!

මේ දිනවල ලොව වටා ඉමහත් ආන්දෝලනයක් දෙන ප්‍රවෘත්තිය දැනටමත් ඔබ සැම දන්නා බව සිතමි. ලබන අවුරුද්දේ දෙසැම්බර් මාසේ 21 වෙනිදාට මෙය කියවන ඔබටත්, සියලු වැඩ පසෙක තබා මෙය ඔබ වෙනුවෙන් සකස් කරපු මටත් තව තව අයටත් වැඩේ දෙල් වෙන බව තමයි ඔය ප්‍රවෘත්තිය. ඇත්තටම දැන් දැන් සමහර අය කියන පරිද්දෙන් පිංවන්තයෝ විතරක් ඉතිරි වෙන එකේ අපි ගැන කුමන කථාද නේද? මේ ගැන අද උදෑසනම කියවන්නට ලැබුනු ලිපියක් හා ඒ හරහා එළඹෙන්නට යෙදුනු තවත් ලිපි හරහා බඩ පපුව හෝස් ගා දැවී යන අයුරේ කතන්දර තමයි කියවාගන්නට ලැබුනේ. අහෝ ඔය කියන ආකාරයට පුපුරලා ගියොත් මයේ දරුවා! මයේ මහත්තයා! අපේ අම්මලා, තාත්තලා, නංගිලා, මල්ලිලා! කියලා නොහිතුනාමත් නොවෙයි.

(හරි හරි පස්සෙන් පහු ඔයාලාවත් සිහි වුනා) ඒත් ඒ එක්කම මං කලින් ඉඳන් හිතාගෙන හිටපු තර්ක ටිකට පිං සිද්ධ වෙන්න, හෘදය ආබාධයක් හැදෙන්නේ නැතුව බේරුනු නිසා මේ ලිපිය ලියන්නට කරුණු ගලපාගන්නට හැකි වුනා.

මේ ලෝක විනාශ කතන්දරේ අහන්න ලැබුනු දවසේ ඉඳන් මට හිතුනු දේවල් තිබුනා. මගේ මහත්තයා නං කියන්නේ හෙට මැරෙනවා කියලා ටක්කෙටම දැනගත්තත් කරන්න දෙයක් නැහැ, අද ගේ හදනවා නං හදන්න ඕනේ කියලා, මොකද හෙට වෙනකම් සැනසිල්ලෙන් ජීවත් වෙන්න එපැයි. ඉතිං මේ කථා සියල්ල මැද මට මේ ලෝක විනාශ කතන්දරේ විශ්වාස කරන්න බැරි කාරණා දෙක තුනක් හිතේ තියෙනවා. මං ඒවා කරුණු වශයෙන් කියන්නම්.



1. මං දන්න, අපේ රටට සිද්ධ වෙච්චි මුල්ම ස්වාභාවික විනාශය වෙච්චි, කැළණි තිස්ස රජතුමාගේ කාලයේ මුහුද ගොඩ ගැලීමේ පටන් 2004 වසරේ සිදුවුනු සුනාමිය හා මේ පහුගිය දාක ජපානෙට සිද්ධ වෙච්චි අහස පොළොව නුහුලන විනාශේ දක්වා කිසිම විනාශයක් කලින් කිය කියා නොපැමිණීම. - අපි සුනාමි දැනගත්තේ 2004 වුනාට ලොව බොහොම රටවල් ඒ ගැන දැනන් හිටියා. විශේෂයෙන් ජපානය. ජපානේ පාරට ගියහම බස් වගේ තමයි ලු එහෙට සුනාමිත්. එහෙව් රටේ මේ ඊයේ පෙරේදා වෙච්චි සිද්ධිය දැන ගන්න ක්‍රම නොතිබුනු එක නං සැබෑම අවාසනාවක්.

2. මෙහෙම දෙයක් වෙනවා නං මේ වෙනකොට අපේ රටේ අවම වශයෙන් 225ක්වත් මනා සවි සක්තියෙන් යුතු බිං මාලිගා හැදිලා තියෙන්න ඕනේ, එහෙමත් නැත්තං ලොව පුරා සියලුම ප්‍රධාන පෙලේ ධනවතුන් හඳේ ඉඩම් ගන්න විදිහක් සොයා බලමින් ඉන්න ඕනේ. ඒ කිසි දෙයක් නැහැ. පහළම පැලැන්තියේ අපි විතරක් අපොයි ලෝකේ ඉවරයි කිය කියා විස්සෝප වුනාට, බිල් ගේට්ස්ට වගේ වගක් නැහැ, වොරන් බෆට් තවත් කොටස් මිලදී ගන්නවා, මාර්ක් සකර්බර්ග් මල්ලී ලොව විශාලම ධනවතෙක් වෙලා, විලියම් කුමාරයා හත් දා මගුලක් කෑවා........... ඒ විතරක්ද, අලි නාවන වලවල් වල බැහැගෙන අපි පාරේ යන අතරේ අපට උඩින් ගුවන් පාලම් හැදෙනවා...............

4. කාලෙන් කාලෙට රටේ ලෝකේ තියෙන, මේ මොහොතේ, අද දවසේ, ජීවත් වෙන්න බලපාන ප්‍රශ්න අමතක කරලා, අහෝ මෙහෙම වෙයිද? මෙහෙම වුනොත් කොහොම වෙයිද? එහෙම වුනොත් අරහෙම වෙයිද? කියලා හිත හිතා ඉන්න කාරණා අපට අදිසි ලෙස සැපයෙනවා. ඉතිං මට හිතෙන්නෙම කිසිම රටක ජනාධිපති තුමෙක් නිකමටවත් කථා නොකරන මේ මාත්තුකාවත් අපිට සකච්ඡා කර කරා ඉන්න අර විදිහට අදිසි විදිහට ලැබුනු එකක් කියලාමයි.

3. අනිත් කාරණය මේ වනතුරු අපේ රටේ කිසිම මාධ්‍යයක, ප්‍රවෘත්ති විකාශයක මේ පිළිබඳව වදනක් හෝ පැවසූ බවක් දැනගන්නට නැහැ. ඇයි ඒ? පාර අයිනේ මීයෝ රැලක්, කූඹි රැලක් පාගාගෙන ගියත් රෑ අටට කියන අය, ඇයි මේ වගේ, ලොව සත්ත්වයින්ගෙන් 1/3 හෝ 2/3 ක් විනාශ කර දමන, පිංවතුන් විතරක් ඉතිරි කරන විනාශය ගැන එක වදනක් හෝ නොදොඩන්නේ?

4. මේ කියන ආකාරයේ දෙයක් වෙනවා නම්, එය සිදුවන ආකාරය ගැන අද උදේ කියැවූ ලිපියේ ඇති පරිදි කිසිවකුට නිශ්චිතව කාරණා පවසන්නට පහසු වෙන්නේ නැහැ. ඇත්තටම මේ කියන ආකාරයට යමක් ඇවිත් පොළොවේ වැදුනොත් පොළොව ඇහිඳින්න වෙන්නේ ඇල්ෆා සෙන්චුවරි ෆොක්සිමා සෙන්චුවරි වලටත් ටිකක් එහායින්ද, නැත්තං අඟහරු ගාවින්ද කියන එක ටක්කෙටම කියන්න පුළුවන් වේවිද?

තව කාරණා විටින් විට හිතුනත් දැන් ඒවා සිහි වෙන්නෙත් නැහැ. කොහොම හරි මේ ලිපි කියැව්වට පස්සේ, දැන් කාලෙක ඉඳන් කරන්න හිටපු දෙයක් සිහි වුනා. ඒ තමයි මේ ගැන නාසා ආයතනය මොකද්ද කියන්නේ කියලා බලන්න.

ඉක්මනින් ම නාසා ආයතනයේ නිල වෙබ් අඩවිය පැත්තේ ගියේ ඒ අනුවයි.
එහි දී හමුවුනු, 2012: Beginning of the End or Why the World Won't End? නම් ලිපියේ පරිවර්තනය ඔබ වෙත ගෙන එන්නයි මේ සූදානම.


2012: අවසානයේ ආරම්භය හෝ ඇයි ලෝකාවසාන නොවන්නේ?


ඔබට මතකද Y2K භීතිකාව? මහත්ම ආන්දෝලනයක් සමග ආ එය කිසිම හා හූවක් නැතුවම මැකී ගිය අයුරු මතකද? එයට හේතු වුනේ එහි ඇති බලපෑම හොඳින් අධ්‍යයනය කර, ප්‍රමාණත්මක හා සුදුසු සැලසුම් සකස් කර කටයුතු කළ නිසා බිය වීමට කාරණයක් ශේෂ නොවීමයි. එම සිද්ධිය සේම ආන්දෝලානාත්මකව කථා බහ කෙරෙන සිද්ධියක් මේ දින වල ඇති බව අපි කවුරුත් දන්නවා. 2012 දෙසැම්බර් 21 වෙනිදා පිළිබඳව මිනිසුන් විවිධ මත පළ කරනවා. ඇත්තටම අපි දන්නා පරිද්දෙන් එදිනට ලෝක විනාශයක් සිදුවිය නොහැකියි. එය තවත් එක් සිසිර සූර්ය නිවෘත්තියක් පමණයි. winter solstice.

Y2K
සංසිද්ධියේදී සේම මෙහිදීද මෙම සිදුවීමේ විද්‍යාත්මක පාර්ශ්වය හොඳින් ම අධ්‍යයනය කරන ලදී. මෙම අධ්‍යයනයේදී තහවුරු වුයේ ‍දැනට මිනිසුන් අතර පැතිර පවතින තොරතුරු සාවද්‍ය බවයි. පහත දැක්වෙනුයේ, අප විසින් නගන ලද ප්‍රශ්න කිහිපයක් හා NASA ආයතනයේ විද්‍යාඥ වරුන් විසින් ඒ සඳහා සපයන්නට යෙදුනු පිළිතුරුයි.

ප්‍රශ්නය : 2012 වර්ෂය සැලකීමේදී, කිසියම් අසාමාන්‍ය තර්ජනයක් අප පෘථිවිය වෙත තිබේද? අන්තර්ජාලය තුලදී බොහෝ වෙබ් අඩෙවි මගින් ප්‍රකාශ කර ඇත්තේ 2012 වර්ෂයේදී ලොව විනාශය සිද්ධ වන බවයි.

පිළිතුර: 2012 වසරේදී ලොවට කිසිම විශේෂ නපුරක් සිදු වන්නේ නැහැ. අවුරුදු බිලියන 4ක් තිස්සේ අපේ පාථිවිය සාමන්‍ය පරිදි පැවතුනා. ලොව පුරා සිටින පිළිගත් විද්‍යාඥවරු සියලුම දෙනා පාහේ, 2012 වසරේදී පෘථිවියට අසාමාන්‍ය අනතුරක් නැති බව හොඳාකාරවම දන්නවා.


ප්‍රශ්නය: වසර 2012 දී ලෝක අවසානය සිදුවන බවට අනාවැකි පළවන්නට හේතු වුනේ කුමක්ද?


පිළිතුර: මෙම කථාව මූලිකවම පැන නැගුනේ සුමේරියන් වරුන් විසින් සොයා ගන්නට යෙදුනු නිබිරු - Nibiru නම් ආකාශ වස්තුව - මෙය බොහෝ දුරට ග්‍රහ ලෝකයක් ලෙස සැලකෙනවා - පෘථිවිය දෙසට ගමන් කරන බව ප්‍රකාශ වීමෙන් පසුවයි. ඇත්තටම මුලින්ම මෙම විනාශය සිදුවෙනවා යැයි පැවසුනේ 2003 මැයි මාසයේදී. නමුත් අසාමාන්‍ය, සැළකිය යුතු කිසිවක් සිදු නොවූ බැවින් එම දිනය 2012 දෙසැම්බර් මාසය දක්වා ගමන් කලා.මෙහිදී තවත් සිත් ඇද ගන්නා සුළුවන සිදුවීමක් මෙයට ම ඈඳුනේ එයින් අනතුරුවයි. එනම් පුරාණ මායා දින දර්ශනයේ එක් කාල චක්‍රයක අවසාන දිනය ‍වන 2012 දෙසැම්බර් 21 වන දින මෙම කථාවට ඈඳීමයි. කෙසේ හෝ අවසාන ප්‍රථිපලය ලෙස ලෝක විනාශය සිදුවන දිනය වශයෙන් 2012 දෙසැම්බර් මස 21 වන නම් වී තිබෙනවා.

ප්‍රශ්නය: ඇත්තටම
මායා දින දර්ශනය 2012 දෙසැම්බර් මස 21 වන දින අවසාන වේද?

පිළිතුර: ඔබේ ගෙදර කුස්සියේ එල්ලා තිබෙන දින දර්ශනය, අදාළ වර්ශයේ දෙසැම්බර් 31න් පසු තව දුරටත් තබා ගන්නේ නැහැ නේද? මායා වරුන්ගේ දින දර්ශන ක්‍රමයට අනුව, ඔවුන් භාවිතා කල කාල චක්‍රයට අනුව, 2012 දෙසැම්බර් 21 වන දිනින් පසු එම දින දර්ශනයේ කාල සීමාව අවසන්වෙනවා. ඔවුන් භාවිතා කලේ දීර්ඝ කාලීන දින දර්ශන ක්‍රමයක්. ඉතිං මෙම කියන දිනෙන් පසු, එනම් අපි නැවත ජනවාරි 01 වැනි දින සිට අළුත් දින දර්ශනයක් භාවිතා කරන්නා සේ, ඔවුන්ගේ ක්‍රමයට නව, දීර්ඝ කාලීන දින දර්ශනයක් ඇරඹෙනවා.


ප්‍රශ්නය: ග්‍රහ ලෝක එකිනෙක එකම අක්ෂයක් මත පිහිටී‍ම පෘථිවියට යම් අයහපත් බලපෑමක් ඇති කරන්නට හේතු වේද?


පිළිතුර: ඉදිරි දශක කිහිපය තුලදීවත් ග්‍රහලෝක එකිනෙක එක එල්ලේ පිහිටීමක් සිදුවන්නේ නැහැ. 2012 වර්ෂයේදී පෘථිවිය තාරකා මණ්ඩලය හරහා ගමන් කරන්නේ නැහැ. යම් හෙයකින් යම් පිහිටීමක් පෘථිවියට බලපාන්නේ නම් එය නිත්‍ය වශයෙන්ම නොසැලකිය යුතු මට්ටමේ එකක් වෙනවා. අනෙක් අතට හැම දෙසැම්බර් මාසයේදීම පෘථිවියත් සූර්යයාත් ක්ෂීර පථය නමින් හඳුන්වන, අපගේ සෞර ග්‍රහ මණ්ඩලය අයත් වූ, මන්දාකිණියේ මධ්‍යස්ථය හා ආසන්න වශයෙන් එක එල්ලේ පිහිටන අතර එය වාර්ෂිකව සිදුවන සාමාන්‍ය සිද්ධියක් පමණයි.

“මෙය ඇත්ත වශයෙන්ම අපට ඉහළින් ඇති ග්‍රහ වස්තූන්ගේ පිහිටීම සහ 2012 වසරේදී ඒවායේ ගමන් පථය පිළිබඳව ඉතාමත් සිත් ඇදගන්නා සුළු වෘත්තාන්තයක් වනවා නොඅනුමානයි. මමත් ‍හොඳ පොතක් හෝ හොඳ චිත්‍රපටයක් දකින්න කැමති කෙනෙක්. නමුත් දැන් සයිබර් අවකාශය පුරා පැතිරෙන කරුණු හා රූපවාහිනිය මගින් හා චිත්‍රපට මගින් පෙන්වන දේවල් විද්‍යාත්මක පසුබිමක් රහිත දේවල් බව කිවයුතුයි. කෙටියෙන් පවසනවා නම් , NASA ආයතනය මගින් නිකුත් කරන ලදැයි පැවසෙන සාවද්‍ය ප්‍රවෘත්තිද මේ අතර වෙනවා...” -ඩොන් යෝමන්ස්, ප්‍රධාන පර්යේෂණ විද්‍යාඥ, නාසා ආයතනය - Don Yeomans, NASA senior research scientist

ප්‍රශ්නය: යම් කිසි ග්‍රහ ලෝකයක් හෝ නිබිරු - Nibiru, ප්ලැනට් එක්ස් - Planet X හෝ ඒරීස්- Eris නමින් හඳුන්වන, ආකාශ වස්තුවක් පෘථිවිය වෙත ගමන් කිරීමෙන් මේ කියැවෙන ආකාරයේ විනාශයක් සිදුවිය හැකිද?

පිළිතුර: නිබිරු සහ අනෙකුත් කථා ගැන කියනවා නම් කීමට ඇත්තේ මේ සියල්ල අන්තර්ජාලය තුල පැතිරෙන සාවද්‍ය කථාන්දර බවයි. මෙම තොරතුරු වෙත කිසියම් හෝ විද්‍යාත්මක පදනමක් නැහැ. නිබිරු හෝ ප්ලැනට් එක්ස් යන ග්‍රහ වස්තු සැබෑ ලෙසම 2012 වර්ෂයේදී පෘථිවිය වෙත ලඟා වේ නම්, ලොව පුරා සිටින තාරකාවිද්‍යාඥයින් හට මේ පිළිබඳව පසුගිය දශකයේදී සොයා ගැනීමට හැකි වෙනවා. අනෙක් අතට මෙම අමුත්තා අප හමුවට ලබන වසරේ එනවා නම්, මේ වන විට පියෙවි ඇසට ඔහු දර්ශනය විය යුතුමයි. නිසැකවම එවැන්නක් සිදු වන්නේ නැහැ. ඒරීස් යනු සැබෑවටම පවතින ග්‍රහ වස්තුවක්. නමුත් එය අපගේ සෞර ග්‍රහ මණ්ඩලයෙන් පිටත සිටන ප්ලූටෝ වැනි ආකාශ වස්තුවක් පමණයි. අප පෘථිවිය වෙත ලඟා වීමට එයට අවම වශයෙන් මයිල බිලියන හතරක්වත් පසුකල යුතු වෙනවා.

ප්‍රශ්නය: ධ්‍රැව පිහිටීම වෙනස්වීමේ න්‍යාය (The Polar Shift Theory) යනු කුමක්ද? පෘථිවි කබොල එහි මධ්‍යය වටා අංශක 180ක් භ්‍රමණය වී යම්කිසි සිද්ධියක් සිදුවන්නේද?

පිළිතුර: පෘථිවිය ප්‍රති විරුද්ධ අතට භ්‍රමණය වනවා යනු කිසි සේත්ම සිදු විය නොහැක්කක්. මහද්වීප තැටි ඉතාමත් සුළුවශයෙන් සෙලවුනත්, (උදාහරණයක් හැටියට ඇන්ටාර්ටිකාව මීට වසර මිලියන සිය ගණනකට පෙර සමකාසන්නව පැවතුනු බව පැවසේ), එය කිසිසේත්ම ධ්‍රැව පිහිටි ස්ථාන සැනින් වෙනස් කිරීමට හේතුවන්නේ නැහැ. කොහොම වුනත් ‍පෘථිවියේ භ්‍රමණයත්, සමස්තයක් වශයෙන් ගත් කල වසර ලක්ෂ 4කට පමණ වරක් සිදුවන පෘථිවි චුම්බක බල ක්ෂේත්‍රයේ සිදුවන වෙනස් වීමත් අතර සම්බන්ධතාවක් ගොඩනගන්න උත්සහ දරණ පිරිස, මේ කාරණා සිය වෙබ් අඩෙවි වෙත මිනිසුන් ඇද ගැනීමට ඇමක් වශයෙන් යොදා ගන්න බව දිස්වන කාරණයක්. අපි හොඳින්ම දන්නා පරිදි, චුම්බක ක්ෂේත්‍රයේ සිදුවන එවන් සිදුවීමක් කිසිසේත්ම පෘථිවිය මත ජීවයට හානියක් සිදු කරන්න තරම් බලවත් නොවන බව පැවසිය යුතුයි. කෙසේ වෙතත් ඉදිරි ශතවර්ෂය තුලදී මෙවැනි සිදුවීමක් සිදුවන්නට නැහැ.


ප්‍රශ්නය:
උල්කාපතයක ඝට්ටනය නිසා වසර 2012 දී පෘථිවියට හානීයක් සිදු වීමට ඉඩ තිබේද?

පිළිතුර: පෘථිවිය හැම විටම උල්කාපාත හෝ ධූම කේතු හා ගැටීමේ සම්භාවිතාවක් සහිතව පවතින්නක්. ඒ අතරින් විශාල ගණයේ ඝට්ටන ඉතාමත් විරලයි. අවසාන වශයෙන් සිදුවුනු විශාල ගණයේ ඝට්ටනය සිදු වී තිබෙන්නේ මීට වසර මිලියන 65කට පමණ පෙර වන අතර එම සිදුවීමෙන් ඩයනසෝරයන් මිහිමතින් සදහටම සමු ගත්ත බව අප හැම දන්න කරුණක්. අද දින නාසා ආයතනයේ තාරකා විද්‍යඥයින් විසින් ‘අභ්‍යවකාශ ආරක්ෂණ සමීක්ෂනය’ (The Spaceguard Survey) නමින් හඳුන්වන සමීක්ෂණයක් ආරම්භ කොට තිබෙනවා. මෙයින් කෙරෙන්නේ පෘථිවිය ආසන්නයේ පවතින, පෘථිවියට තර්ජනයක් විය හැකි ආකාරයේ ආකාශ වස්තු, ඒවා පෘථිවිය කරා ලඟා වීමට බොහොම කලකට පෙර හඳුනා ගැනීමයි. දැනට සොයා ගෙන ඇති කරුණු වලට අනුව, මීට වසර මිලියන 65කට පෙර ඩයනසෝරයන් මිහිමතින් තුරන් කරන්නට යෙදුනු ප්‍රමාණයේ ආකාශ වස්තුවක්, පෘථිවිය ආසන්නයේ නොමැති බව කිව හැකියි. මෙම සියලුම සමීක්ෂන සිදු කරන ලද්දේ නාසා ආයතනයේ, නව සොයා ගැනීම් දිනපතා යාවත් කාලීන කෙරෙන NEO Program Office website, වෙබ් අඩෙවිය හා සම්බන්ධව වන අතර ඔබටම එම අඩෙවියට පිවිස, අනාවැකි මගින් කියැවෙන ආකාරයේ අනතුරක් වසර 2012 දී සිදු නොවන බව තහවුරු කෙරෙන කරුණු සොයා ගත හැකි වනු ඇත.

ප්‍රශ්නය: නාසා ආයතනයේ විද්‍යාඥයින් හට මෙම ලෝක විනාශ දිනය පිළිබඳව ඇත්තේ කවරාකාර හැඟිමක්ද?

පිළිතුර: වසර 2012 දී සිදු වේයැයි පැවසෙන මෙම විනාශය පිළිබඳව තිබෙන විද්‍යාත්මක පදනම කුමක්ද? ඒ සඳහා තිබෙන සාක්ෂිය කුමක්ද? කිසිවක් නැහැ. මෙම ලෝක විනාශය පිළිබඳව කියැවෙන ප්‍රවෘත්ති ගොඩ නැගුනේ, පොත් මතින්ද, චිත්‍රපට මගින්ද, යම්කිසි ලියැවිල්ලක් මතින්ද, අන්තර් ජාලය තුලින්ද, යන්න වැදගත් වන්නේ නැහැ. මේ සඳහා කිසිම පිළිගත හැකි විද්‍යාත්මක සාක්ෂියක් නොමැති බව නිසා මෙය හුදෙක් එක්තරා කථාන්දරයක් පමණක් වෙනවා.

ප්‍රශ්නය: විශාල ගණයේ සූර්යය කුණාටු මගින් වසර 2012 දී පෘථිවියට අනතුරක් සිදුවිය හැකිද?

පිළිතුර: සුර්යයාගේ ක්‍රියාකාරකම් යනු නිරතුරු සිදුවන දෙයක්. බොහොම විට සාමාන්‍යයෙන් වසර 11කට පමණ වරක් ඒවා සිය උච්චතම අවස්ථාවන් දක්වනවා. එම කාලයේදී සූර්යයා මත ඇතිවන ගිණි දළු නිසා චන්ද්‍රිකා පණිවුඩ හුවමාරු තාක්ෂණයට බාධා ඇති වුවත් වර්තමාන ඉංජිනේරුවරුන්ට බොහොමයක් සූර්යය ගිණි දළු වලින්, මෙම කටයුතු වලට වන හානිය වලක්වා ගැනීමට කටයුතු සකසා ගැනීමේ හැකියාව තිබෙන බව කිව යුතුයි. කොහොම වුවත් වසර 2012 දී සිදුවන විශේෂයෙන් සැළකිලිමත්විය යුතු යමක් නැහැ. මීලඟ සූර්යය ක්‍රියාකාරීත්වය උච්චතම අවස්ථාව ඇතිවන්නේ වසර 2012-2014 කාලය තුලයි. එනමුදු ඉතිහාසයේ සිදුවූ මෙවන් ආකාරයේ සංසිද්ධි වලට වඩා මෙම සිද්ධියේ විශේෂ වෙනසක් සිදුවන්නේ නැහැ.


වැඩිදුර තොරතුරු සඳහා පහත අඩෙවි වෙත පිවිසෙන්න.


NASA Astrobiology Institute:
"Nibiru and Doomsday 2012"
Bad Astronomy: "The Planet X Saga: The Scientific Arguments in a Nutshell"
Sky and Telescope Magazine: "2012: The Great Scare"


********************************************************

ඉතිං ඔහොමයි නාසා ආයතනය කියන්නේ. මේ දේවල් ඇත්ත වෙන්නත් පුළුවන්. කාරණා වෙනස් වෙන්නත් පුළුවන්. කොහොම වුනත් වැඩේ ඔය කියන විදිහට ම වුනොත් මට බනින්න ඔයාලාවත්, ඔයාලාගෙන් බැණුම් අහන්න මං වත් ඉතිරි වෙන්නේ නැති වෙයි. හැබැයි ඔන්න වැඩේ නොවුනොත්, පහුවදාට ඉතිං මට දැනෙයි මං රජ වුනා වගේ නේද?

15 comments:

  1. මේ දේවල් වලට විද්‍යාත්මක පදනමක් නැති බව ඇත්ත. නාසා ආයතනයේ ඉන්නෙ විද්‍යාඥයෝ. එයාල හැමවිටම විද්‍යාත්මක නිරීක්ෂණ මගින් නිගමන වලට එනව. බො‍හෝ දේවල් සම්බන්ධයෙන් විද්‍යාත්මක නිරීක්ෂණයන් නිවැරැදියි.
    ඒත් මිනිසා විසින් ගොඩනගන ලද විද්‍යාත්මක පදනම් වලට එකඟ වීමට ස්වභාවධර්මය බැඳිල නැති නිසාම විද්‍යාඥයෝ කලින් කීමට අපොහොසත් වූ දේවල් පෘථිවිය මත සිදු වෙනව. ඒ වගේම තමයි 2004 දි අපේ රටේ සිදුවුණ ජීවිත සහ දේපළ හානියත්. එය කලින් මේ විදියට සිදුවෙන බවට ස්ථිරව කියන්න විද්‍යාව අපොහොසත් වුණා. විද්‍යාව තවම නොදන්න දේවල් විශ්වය තුළ වැඩියි වෙන්නත් පුඵවන්.
    2012 ලෝක විනාශය පිළිබඳ කතාව ප්‍රබන්ධයක් වෙන්නත් පුඵවන් තමයි. ඒ වගේම ඒ අනාවැකි විද්‍යාඥයන්ට තහවුරු කිරීමට නොහැකි වූ පමණින් සම්පූර්ණයෙන් බැහැර කිරීමත් කළ නොහැකියි.
    කෙසේ වෙතත් ස්වභාව ධර්මයේ විනාශය, පෘථිවියේ උෂ්ණත්වය වැඩිවීම, ඕසෝන් ස්ථරය විනාශ වීම වගේ දේවල් නිසා අපි නොසිතන ව්‍යසන ඇතිවෙන්නත් පුඵවන්.

    ඒ වගේම අර ඔයා කිව්ව වගේ රහස් ගෙවල් හදන්න දඟලන්නෙ නෑ උමතු විදියට ජීවිතය විඳින්න පුරුදු වුණ මිනිස්සු. එයාල කොහොමත් මැරෙන අය ලෙස හිතාගෙන වැඩ නොකරන බව ඉතින් පේනවනෙ. පව්කාරකම වෙන්න ඇති. අර හාමුදුරුවො කිව්ව දේ සිද්ධ වෙනවනම් රහස් ගෙවල් වල හැංගිලා බේරෙනන බැරි වෙයි. පව්කාරයෝ විනාශ කරල සමබර කරන්න ඊට වැඩි ශක්තියක් ස්වභාවය සතු විය යුතුයි.

    ReplyDelete
  2. ඔබ පවසන කථාවට සම්පූර්ණයෙන් එකඟ වෙමි මිතුර. පෙර සිදුවූ ව්‍යසන විද්‍යඥයින් තබා දැනට අනාවැකි පවසන පිරිසවත් සොයා ගත්තේ නැති බවයි මගේ මතය. ඒ දේවල් වුනාට පස්සේ මම මේ දේ කලින් ප්‍රකාශ කලා කියපු අය සිටියාට, අනතුරු සිදු වෙන්න කලින් ඒ පිළිබඳව අංශු මාත්‍රයක්වත් අපි දැනං හිටියෙ නැහැ නේද? දරුවෙක් වරදක් කලහම දඬුවම් කරන අම්මා කෙනෙක් වගේ පොළොව, ස්වභාව ධර්මය කියන තාත්තා එක්ක එකතු වෙලා අපට දඬවම් කරයි. ඒත් මං හිතන්නේ නැහැ මේ විදිහට මිනිස්සුන්ට කිය කියා ඒ දේ කරයි කියලා. මගේ අදහස බොහොම විට වැරදි වෙන්න පුළුවන්.........

    ReplyDelete
  3. ඔව් ඒක ඇත්ත. කළින් දැනුම් දීම් සහිත වුණොත් වැරැදිකරුවන් කොහොම හරි ගැලවෙන්න උපාය මාර්ග සොයයි. එවිට දඞුවම් කිරීම හරියාකාරව හෝ සාධාරණව කරන්න ඒ අම්මටයි තාත්තටයි බැරිවෙයි.
    කොහොම වුණත් දිනෙන් දින පිරිහීමට යන ස්වභාවධර්මයත්, මනුෂ්‍යත්වයත් දෙස බලන විට මිනිස්සුන්ගෙම යටිහිත්වල විනාශයක සෙවණැලි තැන්පත් වෙලා. ඒක නිසා අනාවැකි කියන්නන්ට මේ කාලය ඉතාම හොඳ කාලයක් වෙලා තියෙනව. අනාවැකිය වැරැදුණත් ඔවුන්ට කියන්න දෙයකුත් තියෙනව. ඊට හේතුව මිනිස්සු තුළම තැන්පත් වෙලා තියෙන විනාශයක සෙවණැලි වෙන්න පුඵවන්. අර අද අනාවැකිය කි‍යවන විට අපි සලිතවුණෙත් එනිසයි.

    ReplyDelete
  4. මැරෙණ දවසක මැරෙන්නේ නැතෑ....කවුද දන්නේ හෙට මැරෙයිද කියලා....

    ලිපියෙන් ගොඩක් දේවල් දැනගත්තා ඕන්...හැබැයි පොඩ්ඩක්වත් ගාණකට ගත්තේ නෑ ඕන්....ඇත්තම කීවා...

    අපිටනම් නැව ගිලිණත් බෑන් චූන්......

    ReplyDelete
  5. රන්දිල්,

    හොඳ ලිපියක්, ඔයාගෙ ලින්ක් ටික නම් වටිනව කියන්ට බැරි තරම්,

    2012 ලෝක විනාශය වෙනවයි කියන සංකල්පය ගැන මගේ අදහස මෙහෙමයි.

    ආතර් සී. ක්ලාක් මහත්මය මෙහෙම කියල තියනව " The Universe is not only stranger than you imagine but a whole lot stranger than you can imagine" ඒ නිසා අපිට කිසිම දෙයක් ගැන ඕනවට වඩා විශ්වාස කරන්ට බෑ කියලයි මගෙ අදහස.

    ඔය පැරණි ඊජිප්තියානු, මායා ඒ වගේම ඉන්කා ශිෂ්ඨාචාර ගැන කල්පනා කලාම ඒ ඉදිකිර්‍රිම් වලට යොදාගෙන තියන තාක්ෂණය අපිට අද මේ විද්‍යා දියුණුවත් එක්ක උනත් හිතාගන්නවත් බැරි තරමට ඉහළ මට්ටමක තියෙන්නෙ. ඉතාම දියුණු මට්ටමක තිබුනු අභ්‍යාවකාශයෙන් පැමිණි අමුත්තන් කොටසකගෙ උදව් ඔවුන්ට ලැබුණයි කියන මතය එක පාරටම අහක දාන්නත් බෑ.

    නිකමට හිතන්න අවුරුදු 100 කට ඉහත තිබුනු තත්වය. යන්තම් අවුරුදු සීයකට මේ තරම් දියුණුවක් උනා නම් අවුරුදු 500, 1000 නැත්නම් 5000 ගත් වුනු කාලෙකදි කොපමණ දියුණුවක් ඇතිවේවිද කියල හිතාගන්න වත් පුලුවන්ද? එතකොට අපිට වඩා වසර 50,000 එහෙමත් නැත්නම් 100,000 වගෙ පැරණි ජීවීන් කොටසකගෙ දැනුම ගැන හිතන්ට යන එකත් තේරුමක් නෑ.

    ඉතින් අර මායා වරුන්ට එහෙම ජීවීන් කොටසකගෙ උදව් ලැබුන නම් ඔවුන් ඔවුන්ගේ සුපිරි දැනුම අනුව පෘථිවිය 2012 වෙනකොට විනාශ වෙනවයි කියල මායාවරුන්ට දැනුම් දුන්න වෙන්න බැරිද?

    නාසා ආයතනය කියන්නෙ ඔවුන්ගෙ දැනුම මට්ටම අනුව ඔවුන්ට හැඟෙන දේ නෙව.මතකනෙ 1986 චැලෙන්ජර් සහ 2003 කොලම්බියා අභ්‍යාවකාශ යානාවල ඛේදවාචක.එහෙම තමයි ඒවයෙ හැටි. කිසිම දෙයක් ගැන 100% ස්ථිරව කියන්ට පුලුවන්කමක් කිසිම කෙනෙකුට නැහැ.

    අවසාන වශයෙන් සාරාංශය නම් 2012 ලෝක විනාශයක් වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්.කාටද හරියටම ඒ ගැන කියන්ඩ පුලුවන්? කාටවත්ම බෑ.

    අනික මම හිතන්නෙ එහෙම දෙයක් වෙනව නම් අද අපිට තියන විද්‍යා දියුණුවෙන් නම් කොහොමවත් ඒක වළක්වන්ටත් බැරිවෙයි. ඒ නිසා අපිට වලක්වන්ට බැරිදේවල් ගැන හිතන එකේ කිසිම තේරුමක් නැති නිසා ඒ ගැන නොහිතා ඔන්න ඔහෙ වෙන දෙයක් උනාවෙ කියල ඉන්න එක තමයි හොඳම දේ.

    -----------------------------------

    ප.ලි. මම අරන් තියෙන බෑන්ක් ලෝන් එක ගෙවන එක 2013 ජනවාරි වෙනකල් කල්දාගන්ට මම ෆුල් ට්‍රයි කලා. කොහෙද මැනේජර් බෑම කිව්වනෙ............ඔන්න බලන්නකො, ලෝක විනාශෙ උනත් කමක් නෑ උන්ට ඕනෙ සල්ලිම තමයි,මට මිනිස්සු ගැන පුදුම කළකිරීමක් ඇතිඋනෙ.....අනෙ අම්මප.

    ReplyDelete
  6. 2012 කියන්නෙ ජලයට අධිපති කළු මකරාගේ අවුරුද්ද. සුළු සුළු සිද්ධි කීපයක් ඇරෙන්න 2012 අවුරුද්ද සාමකාමීව පවත්වාගෙන යන බවට කළු මකරා මකර අධිරාජයාට පොරොන්දු වුණා.

    http://status-chanaka.blogspot.com/2011/02/blog-post.html

    =====

    ReplyDelete
  7. විද්‍යාව කියන්නේ එක තැන පල් වන දෙයක් නෙවෙයිනි.අද හරි කියන දේ හෙට වැරදි කියන්නත්
    පුළුවන්.ඒක හින්දා නාසා එක කියන දේ විශ්වාස කරන්නත් එපා.අපි බලා ගෙන ඉමු.

    ReplyDelete
  8. අවසාන වශයෙන් සිදුවුනු විශාල ගණයේ ඝට්ටනය සිදු වී තිබෙන්නේ මීට වසර මිලියන 65කට පමණ පෙර වන අතර එම සිදුවීමෙන් ඩයනසෝරයන් මිහිමතින් සදහටම සමු ගත්ත බව අප හැම දන්න කරුණක්.---

    මේ කරුණ නාසා කට්ටිය කිව්ව පට්ටපල් බොරුවක්. ඒ වගේ තව ගොඩක් දේවල් තියෙනවා මුලින් මෙහෙමයි කියලා පස්සෙ එහෙම නෙමේ කිව්ව දේවල්.

    ආතර් සී ක්ලාක්වත් වෙනත් පඬිවරුත් කියන්නෙ ඔවුන්ගේ මතය, ඔවුන් හොයාගත්තු දේවල් වල නිගමනත් එක්ක.

    http://www.budurashmiya.net/2010/05/blog-post.html

    මේ ලින්ක් එකට යන්න. ඊට කලින් පෝස්ට් ඉදිරි පෝස්ට් කියවන්න. එතන ඇති නිවැරදි උත්තරේ....

    ReplyDelete
  9. හරිම ෂෝක් ලිපියක් ඔයාගේ ලිංක් ටික නියමයි..

    ලෝක විනාසේ .ඇත්තටම ඒක වේවිද ? ඒක වෙන්න තියන දෙයක්නම් නවත්තන බැරි වේවි ඉතින් අපි මොනවා කරන්නද .බලන ඉන්නවා ඇරෙන්න .

    සහෝදරී මේ ලිපිය සුපිරි . ඔයාගේ ලිපිවලින් මම කැමතිම ලිපිය මේක..

    ReplyDelete
  10. "මා ඉගෙන ගන්නේ කිසි දින නොමියෙන මිනිසෙකු ලෙස ය.
    මා ජීවත්වන්නේත්, සේවය කරන්නේත්, හෙට මිය යන මිනිසෙකු ලෙස ය.”
    -සුමනදාස සමරසිංහ සිය දිනපොතේ දමන අවසන් සටහනයි!!

    බය වෙලා වැඩක් නෑ. යන විදියට යමු!!

    ReplyDelete
  11. රෙස්ලින් බලන්න කෑමතිනම් මෙහෙ එන්න පොස්ට් එක හොදයි http://wrestlingsl.blogspot.com

    ReplyDelete
  12. කලින් දැන ගත්තත් ලෝකෙම විනාස වෙනවා නම් මොනවා කරන්නද..
    ජිවත් වෙන ටික කාලේ පිනක් දහමක් කරගෙන කාටත් කරදරක් නොවී ජීවත් වෙන්නයි ..මගේ කල්පනාව.
    කවද හිටියත් මැරෙනවා නෙව.

    හැබැයි..මේ පෝස්ට් එකෙන් නොදන්න ගොඩක් දේවල් ඉගෙන ගත්තා.

    ReplyDelete
  13. In 2011 the situation would be more serious. Planes and ships couldn’t trust GPS units for navigation. Get ready for the Next Big solar storm...

    http://science.nasa.gov/science-news/science-at-nasa/2011/22jun_swef2011/

    ReplyDelete
  14. මේක දැන්නෙ දැක්කෙ හරියට.... ලෝක විනාසෙ ඉතිං වෙන වෙලේක වෙන්නැතෑ කියල සුපුරුදු පරිදි ඉන්නයි තියෙන්නේ... මොකද ඕක වුණේ නැත්තං පහුවදා ඉඳන් ජීවත් වෙන්න වෙන්නෙත් එ‍් විධියටමනේ... :D

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...