Saturday, October 29, 2011

56. අංක 14 දරණ කුටියට සීතල සඳ එළිය ගලා එමින් තිබිණි............2




කතාවේ මුල් කොටස

" අපි හඳ පානෙ ඔරු පදිමුද?...."

" අනේ පාලිත.....මට බයයි....අනික මට හොඳට පීනන්නත් බැහැනෙ...."

ඔහුගේ සිනා හඬ විල් තෙර පැතිර ගියේ ඉවුර අසබඩ වූ කුඹුක් ගසෙහි ලැගවුන් වවුලන් කීප දෙනෙක් බියපත්ව තටු විදහා අහසට නංවමිනි.

" ළමයො...... මම පීනන්න නෙවෙයි ඔයයිට කතා කලේ....ඔරු පදින්න.....ඔරු පදින්නෙ ඔරුව ඇතුලෙ වාඩි වෙලා....."

එහෙත් ඔහු දෙස බලා සිටි සුබාගේ දෑසෙහි වූයේ බියපත් බැල්මකි.

" අනේ පාලිත මම වතුරට බයයි, අනික මගෙ කේන්දරෙත් තියනව......"

" අයියෝ....ඔයා හරිම බය ගුල්ලියක්නෙ.....මම ඉන්නවනෙ ළමයො....එන්න එන්න....." ඇගේ අත අල්ලාගත් ඔහු හිඳ සිටි අසුනින් නැඟිට, ඇගේ බියපත් දෑස දෙස බැලූයේ සිනාසෙමිනි. ඔහු පසුපස ඔරුව වෙත ගිය ඈ ඔරුවට ගොඩ වී අසුන් ගන්නා තෙක් ඔහු ඔරු කඳ නොසෙල්වෙන සේ අල්ලාගෙන සිටියේය.

විල් තෙර හාත්පස පැවතියේ දැඩි නිහඬතාවයකි. ඉවුර අසබඩ කුඹුක් ගස් අතුපතර පොරකන වවුලන්ගෙන් නැගෙන රාවයෙන් පමණක් ඉඳහිට නිශ්ශබ්දතාවය බිඳීගිය ඒ සුන්දර රාත්රියෙහි ඔහු සෙමෙන් හබල් ගාමින් ඔරුව විල මධ්යයට ගෙන ගියේය.සඳරැස් පතිත ජල මතුපිට දිලිසුනේ කිරි ඇතුරුවාක් මෙනි.නෙත් වශී කරවන සුළු සුන්දරත්වයෙන් ඔදවැඩීගිය සුබා ද ඇගේ බිය අමතකව කුඩා දැරියක මෙන් හඬ නගා සිනා සුනාය.

මද වේලාවක් විල මැද ගත කල ඔවුහු ආපසු පැමිණෙමින් සිටියහ.

එක්වරම සුබා සුරත දිගු කරමින් කෑගැසුවාය " පාලිත, අනේ අර මොනවද අර මල්? හරිම ලස්සනයි....."

'' ඒ කුමුදු මල් " සුදු රේන්ද මෙන් සඳ එළියේ දිලෙන කුමුදු මල් යාය දෙසට ඔහු ඔරුව හැරවූයේය.

" අනේ පාලිත හරිම ලස්සනයි....ඉන්න මම මලක් කඩා ගන්නම් '' ඇය කුමුදු මලක් නෙලා ගැනීමට නොඉවසිල්ලෙන් ඔරුවේ නැඟිට මල් යාය දෙසට නැඹුරු වූවාය

'' සුබා....ඉඳගන්න...ඉඳගන්න.....බැලන්ස් නෑ ළමයො.....දැන් ඔන්න.....'' පාලිතගේ කෑගැසීම එකෙනෙහිම නතර වූයේ සමබර තාවය ගිලිහී ගිය ඔරුව පෙරලී ඔවුන් දෙදෙනාම සීතල ජලයට ඇද වැටුණු හෙයිනි.

" පාලිත......'' ඇගේ ආයාචනාත්මක හඬ එක් වරක් දියයට ගොස් මතුපිට පැමිණි ඔහුට ඇසුණේ සිහිනයෙන් මෙනි.

'' සුබා.....කොහෙද ඔයා?.......'' වියරුවෙන් මෙන් පාලිත ඒ හඬ ඇසුණු දෙසට පිහිනමින් කෑගැසීය.

ඒ මේ අත පිහිනමින් කෑගසන ඔහුගේ හඬින් බියපත් වූ ඉවුරුබඩ කුඹුක් අතු පතර ලැග සිටි වවුලෝ කෑ ගසමින් පියඹා අහසට නැංගෝය.විල් ජලතලය මත වූ සඳෙහි පිළිබිඹුව සියක් කඩකට, නැවත සහස්කඩකට නැවත දස දහස් කඩකට බිඳී ගියේය.

සඳ එක් වරම කොහේදෝ සිට පාව ආ වළාවකට වැසී ගිය හෙයින් විල් තෙර එක් වරම අඳුරේ ගිලී ගියේය.

'' සුබා''.......ඝන අඳුර විනිවිදිමින් පාලිතගේ හඬ දසත පැතිර ගියේය.

සඳ වසාගත් වලාව එක් වරම දුරුව ගොස් හාත්පස ඒකාලෝක විය.ඒ සඳ එළියේ එක් වනම ඇස ගැටුණු දසුනින් පාලිත ගේ මුලු සිරුරම හිරි වැටී ගියේය. කුමුදු මල් යායෙහි මැද සුබාගේ සුරත පමණක් දියෙන් ඉහලට එසවී තිබිණි එහි අතැඟිලි වල එවිට ද සුදු කුමුදු මලක් රැඳී තිබිණි. කතාකරගත නොහැකි පමණ බියෙන් අකර්මණ්ය වී ගිය පාලිතට කල හැකි වූයේ ඒ දෙස අයාගත් දෙනෙතින් බලා සිටීම පමණකි.

කුමුදු මල රැඳි ඇගේ අත ක්රමයෙන් ජලයේ ගිලී නොපෙනී ගියේය. අවසන මොහොතක් ජල තලය මත රැඳුනු කුමුදු මල ද ජලයේ ගිලී ගිය පසු පුන් සඳ නැවත වරක් වලාවකට වැසී හාත්පස යලිදු ඝන අඳුරෙක ගිලී ගියේය.

පාලිතට පැහැදිලි ලෙස මතකයේ ඇත්තේ එපමණකි.ඉන්පසු සිදුවූ දේ පිළිබඳව ඔහුගේ මතකය ව්යාකූලය. බොඳ වූ මිහිදුම් පටලයන් තුලින් දිස්වන අපැහැදිලි රූ ලෙස...පහත්ව සුබාගේ පියැවුණු දෙනෙත සිප ගන්නා දසුනක් සහ ඇගේ දෑතෙහි කුමුදු මලක් රඳවන දසුනක් විටින් විට මතකයේ රඟමින් නැවත බොඳ වී යයි.

ඉන්පසු ඔහුගේ මතකයෙ ඇත්තේ වසර විස්සක් තම නිවහන වූ මේ කුටියට පැමිණි දා ය. එදින ද දෛවෝපගත ලෙස පුන් සඳ අහසේ දිලි රාත්රියක් වූ අතර කව්ළුව අසල සිට එදෙස බලාසිටි ඔහුගේ දැහැන බිඳී ගියේ ඇගේ සෙනෙහෙබර හඬිනි.

'' පාලිත ''

'' සුබා ඔයා.........කොහේද ළමයො...මෙච්චර දවසක් ගිහිල්ල හිටියෙ.....මම ඔයා එනකල් කොච්චර නම් බලා හිටියද? ''

'' එදා ඔයා කුමුදු මලක් ඕනය කිව්ව නේද?....මම කුමුදු මලකුත් තියාගෙන ඔයා එනකල් බලා හිටිය...ඒත් ඔයා ආවෙ නෑනෙ සුබා...'' ඔහු කියවාගෙන ගියේ කුඩා දරුවකුසේය.

කුඩා දැරියක මෙන් සිනා සුණු ඇය මෙතෙක් පසුපසට කරගෙන සිටි සුරත ඔහුට පෑවාය...එහි වූයේ පිණි බිඳු තවමත් පෙති වල රැඳි කුමුදු මලකි.

'' කොහෙන්ද...අනේ?........'' ඔහු විමසූයේ විස්මය රැඳි හඬකිනි.

'' අර අපි ඔරු පැදපු විලෙන්....මම එදා කඩා ගත්තෙ...... ඒ මල තමයි මේ....''

ඈ වෙත පිය නැඟි ඔහු මහත් සෙනෙහසින් ඈ වැළඳ ගත්තේය.

'' සුබා ඔයා හැමදාම මා ළඟ ඉන්න,..... හොඳේ? ''

'' ඒක කරන්න බෑ පාලිත....'' ඇගේ හඬෙහි වූ ශෝකය ඔහුගේ හද පාරවාලීය...'' ඒක කරන්න බෑ...පුරා හඳ පායපු දවසට විතරක් මම එන්නම් ඔයා ළඟට.....කුමුදු මලකුත් අරගෙන......''

'' එතකොට අනික් දවස් වල මම තනියමනෙ.......''

'' ඒ දවස් ගැන ඔයාට හැඟීමක් නෑ පාලිත ඒ නිසා කාලය ගෙවෙනව ඔයාට තේරෙන එකක් නෑ...''

'' කොච්චර කාලයක් මෙහෙම මම ඉන්න ඕනද සුබා......'' ඔහු ඇසුවේ ඇගේ නලලත සිප ගනිමිනි.

'' අවුරුදු විස්සක් පාලිත.......අවුරුදු විස්සක්....ඒ කාලෙ ඇතුලත හැම පුරා හඳ දවසටම මම එන්නම් ඔයාව බලන්න...''

'' මාසෙ අනික් හැම දවසෙම ඔයාගෙ හිතේ තියෙන්නෙ පුරා හඳ පායන දවස ගැන බලාපොරොත්තුව විතරයි, බලාපොරොත්තු තමයි අපිව ජීවත් කරවන්නෙ...අවුරුදු විස්සක් අපි දෙන්නට මෙහෙම ඉන්න වෙනව පාලිත...ඒක අපේ ඉරණම.''

ඒ අවුරුදු විස්සකට ඉස්සර....එදා ඉඳල හැම පුරා හඳ පායන දවසකම සුබා ආව පාලිත බලන්න.....නිකම්ම නෙවෙයි ....කුමුදු මලකුත් අතින් අරගෙන....

අදට හරියටම ඒ අවුරුදු විස්ස ගෙවිල යනව.......හදිස්සියෙම පාලිතට සිහියට ආව ඒ කතාව...

'' සුබා?..... ...... ''

සුපුරුදු පරිදි සුබා දැනගෙන හිටිය පාලිත කියන්න යන්නෙ මොකක්ද කියල....

'' ඔව්...රත්තරන්....අදට අවුරුදු විස්ස සම්පූර්ණයි....අද ඉඳල අපි දෙන්න වෙන් කරන්න කාටවත් බෑ...''

'' ඒ කිව්වෙ ඔයා මා එක්ක මෙහෙ නවතිනව? ''

'' නෑ...ඔයා එන්න මා එක්ක යන්න.....මම ඉන්න ලෝකෙට...ඒ ලෝකෙ අපි දෙන්නට සදාකාලිකවම එකටම ඉන්න පුලුවන්...ආයෙ කිසිම දාක වෙන් වෙන්නෙ නැතුව...''

'' හරි සුබා...මම ලෑස්තියි....අපි යමු......''

කුමුදු මල ද සුරතින් රැගෙන වමතින් පාලිතගේ සුරත අල්ලාගෙන ඇය කුටියේ දොරටුවෙන් නික්මුනාය.....වලාකුලක් මත පාවෙන්නාක් සේ ඈ පසුපස පාලිතද කුටියෙන් නික්ම බරාඳය ඔස්සේ පාව ගියේය.

රහස් පරීක්ෂක නව කථාවක් කියවමින් බරාඳය කෙලවර කුඩා මේසය පසුපස හිඳ සිටි රාත්රි මුරය භාර සේවකයා ඔබට මතක ඇතැයි සිතමි.

ඔහු තමා කියවමින් සිටි කතාවේ අවසානයට ළඟා වෙමින් සිටියේය.මියගිය තරුණියගේ ආත්මය මිනී මරුවා පසුපස ලුහුබඳිමින් ඔහු මරා දැමීමට අවස්ථාවක් සොයන උද්වේගකර අවස්ථාවට ඔහු ළඟාවෙමින් සිටියේය. එකවරම දැනුනු දැඩි සීතලක් සමඟ ඔහුගේ සියලු රෝම කූප ලම්බකව සිටගත් අවස්ථාවකට ඔහු පත්විය. කිසිසේත් මේ නම් හුදෙක් තමා කියවමින් සිටි කථාව පමණක්ම කරණ කොටගෙන සිදු විය හැක්කක් නොවන බව එකෙනෙහිම අවබෝධ කරගත් ඔහු සෙමින් හිස ඔසවා බැලීය.

ඔහු දුටු දසුන ජීවිත කාලයටම මතකයෙන් බැහැරව නොයන්නක් බව එකෙනෙහිම ඔහු සක්සුදක් සේ දත්තේය.

සුදු වතින් සැරසුනු රූමත් යුවතියක් ඔහු ඉදිරියට පාවී එමින් සිටියාය...එසේමය....ඈ පාවී එමින් සිටියාය....ඈ සමඟ ඇගේ අත ගෙන පැමිණියේ අංක 14 දරණ කුටියේ නේවාසිකයාය. තමා මෙහි සේවයට ඒමට ද බොහෝ කලකට පෙර සිට ඔහු අංක 14 දරණ කුටියෙහි වසන බව රාත්රි මුරය භාර සේවකයා පැහැදිලිව දැන සිටියේය.

තමාගේ සේවා මුරයේදී නේවාසිකයෙක් අනවසරයෙන් බැහැරව යාම තමන්ගේ සේවා වාර්තාවට අනර්ථයක් වනු සේම සේවය අහිමි වීමටද හේතුවක් විය හැකිබව හොඳින් දත් රාත්රි මුරය භාර සේවකයා වහා නැඟී සිටීමට තැත් කල නමුදු පුදුමයකට මෙන් කිසි ලෙසකිනුදු ඔහුට නැඟී සිටිය නොහැකි විය.

විස්මයෙන් සහ භීතියෙන් අයාගත් මුවින් සහ දෑසින් යුතුව ඔහු බලා සිටිද්දී පාලිත සහ සුබා ඔහු පසුකර ගොස් බරාඳය කෙලවර අගුළු ලා වසා තිබූ දොරටුව තුලින් පිටව අතුරුදන් විය.බරාඳය පුරා පැතිරී තිබුනු දැඩි සීතල ද ඒ සමඟ තුනී වී ගියේය.

වෙව්ලන ගතින් යුතුව තවත් ටික වේලාවක් අසුනේම රැඳී හුන් රාත්රි මුරය භාර සේවකයා අවසන අවසඟ දෙපා වලින් නැඟී සිට සෙමෙන් සෙමෙන් අංක 14 දරන කුටිය වෙත පිය මැන්නේය.

තමා වෙත වූ යතුරෙන් කුටියේ දොරටුව විවෘත කල හෙතෙම දුටු දසුනින් විස්මය පත්ව දොර උලුවස්ස තදින් ග්රහණය කොට ඊටම වාරුවිය.

අංක 14 දරණ කුටියට සීතල සඳ එළිය ගලාඑමින් තිබිණි.එහි සයනය මත පුරා වසර විස්සක් එහි විසූ නේවාසිකයා අවසන් නින්දේ සැතපෙමින් සිටියේය.

*****************************************
විල්තෙර වූ අසුනෙහි එකිනෙකාට තුරුලු වී සිටියේ තම මධු සමයෙහි අවසන් රාත්රිය ගෙවනා තරුණ යුවලකි.

පෑයූ පුරා සඳ එක වරම වලාවෙකින් වැසී ගොස් දසතම ඝන අඳුරින් වෙලී ගියේය.

වලාවෙන් මිදී සඳ යලි පෑයූ ඉක්බිති ඔවුන් දුටුවේ විල් තෙර මධ්යයෙහි පාවෙනා ඔරුවකි. එහි වූ යුවතිය නැමී ජලය මත පිපුණු කුමුදු මලක් නෙලා ගත්තීය. ඒ ඔරුව හබල් ගෑමෙහි යෙදෙන තරුණයාට පෑ ඕ තොමෝ කිකිණි පරයන හඬින් සිනාසුනාය. ඊට පිළිතුරු සිනහවක් පෑ තරුණයා සෙමෙන් සෙමෙන් කුමුදු මල් යාය අතරින් විල් තෙර කරා ඔරුව මෙහෙයවීය.

යලිත් වරක් පුන් සඳ වලාවකට මුවා වී දසතම අඳුරින් වෙලී ගියේය. යළිදු සඳ කැනින් විල්තෙර ආලෝකමත් වෙද්දී තරුණ යුවල දක්නට නොසිටියෝය.

එහෙත් මදක් එපිටින් දිය රැලි රඟන රිද්මයට උස් පහත් වෙමින් තිබුනේ කුඩා ඔරුවෙකි.හබලක් ද ඔරු කඳ තුල ඇති බව සඳ එලියෙන් පෙණුනි.

ඒ දෙස මඳ වෙලාවක් බලාසිටි ඔහු තම උරහිස මත රැඳුනු ඇගේ මුහුණට එබී "සුබා "' යැයි කොඳුලේය.

ඇය හිස කෙලින් කොට ඔහු දෙස විමසුම් දෑසින් බැලුවාය.

" අපි හඳ පානෙ ඔරු පදිමුද?...."

Friday, October 28, 2011

86. මයි එක්ස්ෆ්ලෝරේෂන්ස්: රළු නං තමයි, හැබැයි ඒ රළු නං නෙමෙයි (ඔන්න මගේ කෙටිම ලිපිය, අඩුත් නැහැ වැඩිත් නැහැ වචන 500යි)


අපි පොඩි කාලේ මොනවට හරි රණ්ඩු වුනහම අම්මා එක්කෝ තුන්දෙනාටම අල්ලාගෙන වයසේ පිළිවෙලට ඖෂධමය ආහාර ලබා දෙනවා. නැත්තං ආයේ රණ්ඩු නොවෙන්න හිතෙන්නම කාරණා කාරණා වටහලා දෙනවා. ඒත් ඉතිං ආයෙත් රණ්ඩු වෙනවා. ඒක වෙනමම කාරණයක්.

ඉතිං ඔය කාරණා කාරණා වටහා දීමේදී අම්මා ගොඩාක් වෙලාවට පාවිච්චි කරන දෙයක් තමයි සුනිල් එදිරිසිංහ මහත්මයාගේ අර 'ගෙඩියක් හරි හතකට කඩාගෙන' ගීතය.........

“උඹලාට බැහැ ඕක බෙදාගෙන කන්න.
මිනිස්සු මෙන්න මෙහෙමත් කරලා තියෙනවා” කියලා අම්මා සිංදුව විස්තර කරනවා.

හයියෝ මට එපා වෙනවා. අපිට ඇපල් ගෙඩියක්, පේර ගෙඩියක් හරි තුනකට කපා ගන්න බැරි රටේ, මේ මිනිස්සු කොහොමද වෙරළු ගෙඩිය
ක් හරි හතකට කැඩුවේ?.

අත කැපුනේ නැද්ද මන්දා.

අනිත් එක ආයේ මොනවද වෙරළු ගෙඩියක් හතකට බෙද බෙදා ඉන්නේ?, අතට අහුවෙච්චි ගමන් කටේ දාගන්නේ නැතුව.

හොඳයි වෙරළු ගෙඩිය තමයි ගෙඩිය. කන්
න තියෙන ප්‍රමාණෙට වඩා වැඩියි ඇටේ. ඒ ටිකත් කන්න පුළුවන් නං ඔය බෙදිල්ල ගැන යාන්තං හරි විශ්වාස කරන්න තිබුණා.

ඇරත් ඔය බෙදා හදාගෙන කාපු උදවිය අන්තිමට පැල ඉනි වැටත් බෙදාගන්න බැරුව ඉංග්‍රිසියෙන් ම කථා බහ එහෙම කරගෙන තියෙන්නේ
.

ඔය වගේ අනේක විධ ගැටළු මට ඇති
වුනා ඒ කාලේ. කොහොමින් කොහොම හරි අන්තිමට මගේ හද පතුලේ රැඳුනු දේ තමයි ඔය සිංදුව බොරුවක්. අතිශෝක්තියක් කියන එක. ඒක නිසා ම ඒ සිංදුව උපයෝගී කරගෙන අම්මා දෙන්න හදපු ආදර්ශය නං මගේ හි‍තේ මායිමකටවත් ආවේ නැහැ. “මොන පිස්සුද?” කියලා හිතින් හිතලා නිකං හිටියා. ඇයි ඉතිං ආයේ ඒක පහදන්න ගියා නං එහෙම පැහැදිලි කිරීම් පැත්තක තියලා අම්මාගේ ඖෂධමය ආහාරයක් ටොක්කක් වශයෙන් මගේ හිස මත පතිත වීමේ අවස්ථාවක් තිබුනා.

ඔහොම කාලයක් ගියා. ගිහින් ගිහින් අද උදේ වුනා. උයලා පිහලා, තේ හදලා, බත් බැඳලා අවසානේ නෑමේ අවස්ථාව උදා වුනා. අනේක විධ තෙල් වර්ග තියෙනවා කඩේ, හිස ගල්වන්න කියලා. ඔය මොන තෙලක් දැම්මත් හ
රියන්නේ නැහැ මට. දැම්මොත් විනාසේ. උදේට නැගිටිද්දි නහය බෙල්ල ගාව. ඒ තරමට බර වෙලා. පොත් තෙල්ම තමයි එකම තෛලය.

හැබැයි අර ඊයේ පෙරේදා හෝ ගාලා ඇඩ් ගිය, “නෙරළු තෙල්” නං දාලා බලන්න බැරි වුනා නේද කියලා ඔහොම නනා ඉන්නකොට මට මතක් වුනා. ඒත් එක්කම මට තනියෙම හිනා ගියානේ. ඒ මොකද දන්නවද? අපි හඳුනන ඇන්ටි කෙ
නෙක් කිව්වානේ නෙරළු තෙල් හදන්නේ නෙරළු ඇට හින්දලා කියලා.

අනේ කාලේ වනේ වාසේ කිව්වාලු.

පොල්තෙල් කිව්වා නං හපෝ පොල්තෙල් දාන්න පුළුවන්ද? හිස මුඩු ගඳ ගහනවා, ඔළුව දිගේ බේරෙනවා, යනාදී වශයෙන් නොයෙකුත් කථා. “නෙරළු තෙල්” කිව්වහම ශා නියම තෙලක්, කොණ්ඩෙටත් සනීපයි, මටත් සනීපයි, නැවුම් සුවඳයි. මට, ‘අනේ අම්මා පල්ලා’ කියලා අපේ ආච්චි කියන්නා වගේ ම කියැ
වුනා.

දැන් ඉතිං දන්න අය 'අපෝ අපි දන්නවා' කියලා හිතා ගනිත්වා! නොදන්නා අය ‍දැන ගනිත්වා!!

නෙරළු කියන්නේ පොල් වලට ම තමයි.

දැන් මොකද හිතෙන්නේ, මට අතැඹුලක් සේ (ඇත්තටම අතේ ඇති නෙල්ලි නෙමෙයි වෙරළු ගෙඩියක් සේ),

මෝහාන්දකාරය දුරු කරමින් සඳ පෑයූවා සේ,

'අඩේ, මේකනේ මේ මනුස්සයා පුල පුලා කියලා තියෙන්නේ' යනුවෙන් සියල්ල පැහැදිලි වුනා එක්වරම.

සුනිල් එදිරිසිංහ මහත්මයා ටක්කෙටම කියනවා ඇත්තේ,

“නෙරළු ගෙඩිය හරි හතකට කඩාගෙන,
කොටහක් නොකා දෙගුරුන්ටත් තබාගෙන,
උන් අපි එදා සත්කුළු පව් විලාසෙන,
පැලඉනි වැටට ඇයි අද ඇණ කොටාගෙන,"
කියලා ම තමයි.

වෙරළු ගෙඩිය හරි හතකට කඩන්න ගියා නං චප්ප චොරොප්පන් වෙලා කන්න දෙයක් ඉතිරි වෙන්නෙත් නැහැනේ. ඒ වගේම වෙරළු නං හරි හතකට කපාගෙන කියයිනේ. නෙරළු නිසා තමයි කඩාගෙන කියලා කියන්නේ.

තව ටිකෙක් ආකිමිඩීස්ට වෙච්චි එකේ අනිත් එක නෙමෙයි, ඒකම තමයි වෙන්නේ මටත් දැනුනු සතුටේ වැඩි කමට.

Thursday, October 27, 2011

85. ද ටොඩි ටැපර් and/vs ද මුඩ්ලියර්


මුදලිතුමෝ........

මේ මම.....
ගම රා මදින්නා.........

ඒ කාලේ
උත්තම නුඹ වහන්සේ
වඩිනා කල ගම මැද්දෙන්
කාණු පල්ලේ පා රඳවා
හිස නමමින් විගසකිනේ
ගතිමි ලේන්සුව දෑතට...........

තරහා අවසර මුදලිතුමෝ..........

එව්වෝ දනිත්ද එව්වැයේ රඟ
ඔන්න බලන්ටකෝ වුනු දේ
අපි දෙන්නා මෙහෙම මෙහෙම
මූණ බලන් ඉන්න ලෙසට
චිත්‍ර ඇඳලා එල්ලලා මුං........

මුදලිතුමෝ තරහා අවසර
උරහිසේ ම තියලා ඇඳලා
ලේන්සුවත්.....
අම්මපා මුං




අර හංකඩ සුද්ද තමයි,

බොලේ එදා ඕක ඇන්දෙ,
ඒ මදිවට කන්දෙ නුවර,
එල්ලලාලු පොරසිද්දියෙ,

ඔක්කෝටම වැඩියත් මගෙ,
මාලු නටන්නේ අම්මප,
නයි මල්ලත් කරේ දමන්,
රට පුරාම ඇවිදින අර,
අංග පුලාවකටම නැති,
නුහුගුනෙ වගෙ ඇති ගැටිස්සි,

කොල්ලන්ටයි බල්ලන්ටයි,
හතර අතේ රට්ටුන්ටයි,
හැමදාමත් බලාගන්ට,
එල්ලල උන්දැගෙ බොලොක්කෙ,
අනෙ අම්මප වෙච්චි දෙයක්,
සංසාරේ......සංසාරේ!!!


දිල්ශාරා වීරසිංහ සොයුරිය කවදාත් වගේ අගේ ඇති ලිපියක් ඊයේත් පල කරලා තිබුනා. බොහොම වටිනා පිංතූර එකතුවක් ගැන තමයි ඒ ලිපියේ කියැවෙන්නේ. මේ කොළඹ රටේ ඉන්න මට නං ඒක බලන්න යන්න වෙන්නේ නැහැ ඉතිං. හැබැයි යන්න කැමති අයට සියලුම විස්තර සංසාරේ අපි බ්ලොග් ගෙදරට ගොඩ වුනා නං ගන්න පුළුවන් වෙනවා කිසිදු අයකිරීමකින් තොරවම.

ඉතිං ඒ පිංතූරයක් දැකපු ගමන් මට හිතුනු දෙයක් තමයි පළවෙනි පද පෙලෙන් කියන්න උත්සහ කලේ. ඉතිං ඔය කවි පෙල මගේ බ්ලොග් ගෙදර නිවැසි, රවී වීරසිංහ සොයුරාට දැක් වූ විට ඔහුට සිතුනු දේ තමයි දෙවැනි කවි පෙලෙන් දැක්වෙන්නේ.

ඔන්න පළවෙනි වතාවට නිදහස් සිතුවිලි නිවැසියෝ දෙන්නා ම එකතු වෙලා ලියපු ලියැවිල්ලක් තමයි අද ඔය ඉහැත්තෑවෙන් පළ වෙලා තියෙන්නේ.

Wednesday, October 26, 2011

55. අංක 14 දරණ කුටියට සීතල සඳ එළිය ගලා එමින් තිබිණි......1


පොලවටම ඇල්ලූ ඇඳ සහ බිත්තියටම සවිකල මේසය හැරුණු විට මතක ඇති කලෙක සිට ඔහුගේ වාසස්ථානය වූ සුදු හුණු පිරියම් කල කුඩා කුටියෙහි වූයේ අවපැහැ ගැන්වුනු කමිස සහ කලිසම් කිහිපය තැන්පත් කල බිත්තියෙන්ම නිමැවූ කුඩා කබඩය පමණි.

කළු පැහැ තීන්ත ආලේප කල රෝහල්හි භාවිතා වන වර්ගයේ ඇඳෙහි විට්ටමට වාරුවී ලෑල්ලක් සේ තැලුනු කොට්ට යුගලයට හේත්තු වී ඉදිරි බිත්තියෙහි යකඩ කම්බි පාස්සා සැදුනු කොටු දැලකින් ආවරණය වූ කවුළුවෙන් ඔහු පසුබිමෙහි වූ සැඳෑ හිරුරැසින් ආලෝකමත් වූ සුදු පැහැ වළාවන් තරඟයට මෙන් පෑල දිග අහස කරා පලායනු බලා සිටියේය.

අද පුන්සඳ පායන රාත්රිය බව ඔහු කිසිදු සැකයකින් තොරව දැන සිටියේය.ඒ දිනය ස්ථිරව දැන සිටින්නේ කෙසේද යන්න පිළිබඳව ඔහුට කිසිදු අවබෝධයක් නොවූවද ඔහු එබව දැන සිටියේය. ඔහුට අවශ්ය වූයේද එපමණකි. දින විසි අටකින් මත්තෙහි එළඹෙන පසළොස්වක පොහෝදින ඔහු මෙවරද උදක්ම බලාපොරොත්තු විය. සත්ය වශයෙන්ම ඔහුගේ ජීවිතයේ එකම බලාපොරොත්තුව පොහෝදින රාත්රිය පමණි. ඔහු ජීවත් වූයේ ඒ එකම බලාපොරොත්තුවේ පිහිටෙනි.

පුන්සඳ කෙමෙන් කෙමෙන් මුදුන් වී කුටිය සඳරැසින් නැහැවීය.පිටත කවුළුවට මඳක් ඔබ්බෙන් පිහිටි අඹ ගසෙහි පත් මඳ සුලඟේ සැලෙන සිහින් රාවය ඔහුට ඇසුනේද යන්න සැක සහිතය.සෙමෙන් ඇඳෙන් බැස කවුළුව අසලට පියනැඟූ ඔහු කොටු දැල තරව ගෙන අඹ ගසට ඔබ්බෙන් පිහිටි සේපාලිකා පඳුරෙහි පිපි තැඹිලි පැහැ නටුවෙන් යුතු සුදු පැහැ මල් සඳ එළියේ දිලෙනයුරු බලා සිටියේය. එක් වරම සීතල සුලං රැල්ලක් හා මුසුවී හමා ආ සිත් මත් කරවන සුළු මල් සුවඳ පපුව පුරා පුරවා ගත්වනම දෙනෙත තදින් පියාගත්තේය.

ඇය පැමිණෙන හෝරාව සැකයකින් තොරව දත් හෙයින් හෙතෙම සෙමෙන් නැවත මේසය මත රැඳි දර්පණ කැබැල්ලෙන් වත නරඹා මඳක් දිගට වැඩුනු තැනින් තැන සුදු පැහැ ගැන්වුණු කෙස් වැටිය අතැඟිලි වලින් පීරා සකස් කොට ගත්තේය. නැවත පොඩි වුනු කමිසයද හැකි පමන රැලි සකස් කොට මුවඟ රැඳුනු තෘප්තිමත් සිනහවකින් යුතුව සයනයෙහි කෙලවරක හිඳ ඇකය මත බැඳගත් දෑතින් යුතුව මහත් අපේක්ෂා සහගතව කල් මැරීය.

" පාලිත "

කවුළුව දෙස බලාගත්වනම දැහැන් ගත වී හුන් ඔහු ආසන්නයේම ඇසුණු ඇගේ හඬින් තිගැස්සිණි.

'' සුබා ''

අප්රමාණ සෙනෙහසින් ඇය ඇමතූ ඔහු වහා නැඟිට ඈ වෙත ගොස් ඇය වැළඳ ගත්තේය.

" කවුරුවත් දැක්කෙ නැද්ද ඔයා එනව?........."

" නෑ, මම වෙනද වගේම හොරෙන්ම ආව....එයාල කොහෙද මාව අල්ලන්නෙ? " ඇගේ දඟකාර සිනහව, ඈ රූ නෙත් ගැටුණු පළමු දින සේමය.

" ඉතිං?........... " සයනයේ හිඳගත් ඇගේ වත දෙස එබෙමින් ඔහු විමසුවේ සිනා සෙමිනි.

" ඉතිං......ඉතිං කිතුල් " ඇය පැවසුවේ හඬ නගා සිනාසෙමිනි.

" ෂ්ෂ්........." ඔහු ඇගේ දෙතොලට දබරැඟිල්ල තබමින් වසාතිබූ දොරටුව දෙසට ඉඟි කලේය.

" බයවෙන්ට එපා අනේ.....කාටවත් ඇහෙන්නෙ නෑ......." ඇය පැවසූයේ ඔහුගේ උරහිස මත හිස රඳවමිනි.

කාමර පෙළ ඉදිරියෙන් දිවෙන බරාඳය කෙළවර කුඩා මේසයේ, පොතක් කියවමින් සිටි රාත්රී මුරය භාර සේවකයා 14 වන කාමරය දෙසින් ඇසුණු සිනහ හඬින් එක්වරම හිස ඔසවා බලා, මදක් වේලා නලල ද රැලි කර ගනිමින් හොඳින් කන් දුන්නේය.

පොත කියවීම පසෙක ලා මදක් සෝදිසි කල යුතුයැයි හුනස්නෙන් නැඟීසිටීමට තැත් කල ද, විවෘත කොට තිබූ කවුළුවෙන් නෙත ගැටුණු, පායා තිබූ පුන් සඳ ඔහුගේ නලලේ රැළි පහකලේය.ගැටළුවකට පිළිතුරක් සොයාගත් කල නැඟෙන තෘප්තිමත් මද සිනහවක් මුවගට නඟා ගත් හෙතෙම, නැවත පොත දිගහැර ලේ විලක් මැද මරා දමා තිබූ තරුණියගේ මළ සිරුර පරීක්ෂා කිරීමට පිටත් වූ රහස් පරීක්ෂකයාගේ සහයට එක් විය.

මේ අතර 14 දරණ කුටිය තුලට ද සඳ එළිය ගලා එමින් පැවතිණි.සයනය මතට පතිත සඳ කැන් ඔහු ද ඇය ද නහවමින් දෝරේ ගැලීය. ඇය තවමත් ඔහුගේ උරහිසට හිස තබා දෑස් පියාගත් වනම සිටියාය. සෙමෙන් හිස පහත් කොට නැඹුරු වූ ඔහු ඇගේ පියවුණු දෑස අපමණ සෙනෙහසින් සිප ගත්තේය.

ඔහුගේ මනසෙහි එක් වරම මෙසේ ඇගේ පියවුණු දෑස සිපගත් අවස්ථා දෙකක්, ඔව්, එකම දිනයේදී සිපගත් අවස්ථා දෙකක් සැනෙකින් ඇඳී ගියේය. ඒ කොපමණ කලකට ඉහත දැයි වටහා ගැනීමට ඔහු තැත්කලේ වමතින් නලල පිරිමදිමිනි.

" අවුරුදු විස්සක්..... " ඇය සෙමින් කොඳුලාය.

තම සිතැඟි ඇය එකෙනෙහිම වටහා ගත්තේ කෙසේද යන්න විමසීමට තැතක් නොදරාම හිස වනා ඔහු එකඟ විය.

" ඔව්, අවුරුදු විස්සක් "

නිසල විල් තලය මත පුන් සඳෙහි පිළිබිඹුව පිපි කුමුදු මල් අතර දිලුනේය. වරින් වර ජලයෙන් මතුවූ මසෙකු නිසා නැඟෙන රැළි, සඳ සහස් කඩකට වෙන් කල මුත්, නැවත ඒ සඳ කැබලි නිසල විල් දිය මත එකතුවී, පෙර ලෙසම සඳ වත මැවෙන අයුරු ඇය බලා සිටියේ මෙලෙසම ඔහුගේ උරහිස හිස තබාගෙනය.

පුරා වසර දහයක් නිදැල්ලේ ගලාගිය සෙනෙහස් අන්දරයකින් පසු, පෙම් ලොව කිරුළු පලඳා හරියටම ගෙවී ගොස් තිබුනේ තෙදිනක් පමනකි. මේ ඔවුන්ගේ මධු සඳ කාලයෙහි අවසන් රාත්රියයි.

සෙමෙන් ඈ වතට පහත් වූ ඔහු ඇගේ අඩවන් දෑස සෙමෙන් සිප ගත්තේය.

මදක් එපිටින් දිය රැලි රඟන රිද්මයට උස් පහත් වෙමින් තිබුනේ කුඩා ඔරුවෙකි.හබලක් ද ඔරු කඳ තුල ඇති බව සඳ එලියෙන් පෙණුනි.

ඒ දෙස මඳ වෙලාවක් බලාසිටි ඔහු තම උරහිස මත රැඳුනු ඇගේ මුහුණට එබී "සුබා "' යැයි කොඳුලේය.

ඇය හිස කෙලින් කොට ඔහු දෙස විමසුම් දෑසින් බැලුවාය.


අවසාන කොටස.............

Monday, October 24, 2011

54. මහා පුරුෂයෙකුගේ සමුගැන්ම......................


අපේ කාලයේ ගාන්ධර්වයා වූ ඔහු......ලාංකීය සංගීත ක්ෂේත්රය නව මානයන් කරා රැගෙන ගිය අසහාය යුග පුරුෂයා වූ ඔහු........

බඹරු ඇවිත්......හැත්තෑව දශකයේ අග භාගයේ සිංහල සිනමාව මින් පෙර නොවී වීරූ පරිවර්තනයකට මඟ පෑදූ පුරෝගාමී සිනමා නිර්මාණය.....අහස් ගව්වෙන් ඇරඹි පතිරාජයන්ගේ සිනමා වන්දනාවේ කූට ප්රාප්තිය.....එහි සිත මෝහනය කරවනා, එකිනෙක පරයා නැඟෙන මුහුදේ රළ මෙන් පසුපස ලුහුබැඳ එන නාද රටාව...ඒ ඔහුගේ නිසඟ කුසලතාවයේ අග්ර ගන්ය ප්රතිඵලයයි.

උදුම්බරා........හිනැහෙනවා.........
උදුම්බරා........හිනැහෙනවා.........
ඉර අඳුරට....හැංගෙනවා,
දස දහසක් සම් මස් ඇට.....
දස දහසක් සම් මස් ඇට
සිනා කඳුලු වැහි වැහැලා....
ගිනිගෙන රත් වුනු දවසක්.....
සැනසෙන එක සැන්දෑවක....
මුහුදු කොනේ සුදු වැල්ලේ
ඉර හැංගෙන එක මොහොතක,
උදුම්බරා........හිනැහෙනවා.......

බඹරු ඇවිත්, ආපසු අනන්තයට පියඹා ගොස් අපේ ඇස් මානයෙන් සමුගත්තා පමණි. උදුම්බරාවන්ගෙන් කම්පිත හද මද ඉසුඹුවක් ගැනීමට සැරසුනා පමණි.

ඔහු නැවත අප හද වෙණ තත් කම්පනය කලේය.

ඒ සියොතුන් රැලකගේ ආගමනය ඔස්සේය. හෙමින් සැරේ පියා විදා........ ඒ සියොතුන් පැමිණියේ හංස විලම කලඹවමිනි.

හෙමින් සැරේ පියා විදා,
සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන්,
පළා ඇවිත්.....සිතුම් සියොතුන්,
සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන්,

මලක් නම් එය මලක් වුව මැන,
සිඟිති සුකොමල රුවෙන් සරසන,
විලක් නම් එය විලක් වුව මැන,
නීල ඉඳුවර දියෙන් උපදින,


ධර්මසිරි බණ්ඩාරනායක නම් තවත් එක් යුග පුරුෂයෙකුගේ සිනමා ආගමනය....හංස විලක්......

ඒ අතර ගොළු හදවතින් තුන්වන යාමයට......
අප්රකාශිත ආදරයේ ශෝකාන්තය......

**********************************************

" මේ................. " මම ඇගේ සුරත අල්ලාගෙන දෙනෙතට එබුණෙමි,

" ඇයි? "

" ඔයාට බැරිද මා එක්ක සතියකට විතර තරහ වෙන්න?......"

" මොකක්?............පිස්සුද ඔයාට.......... ඒ මොකටද? "

" නෑ...මේ ගිය සතියෙ මම ගත්ත අර කේමදාසගෙ ගොලු හදවතින් තුන්වෙනි යාමයට සී.ඩී. එක, "

" ඉතින්? "

" ඉතින් ඒක නියම විදිහට රස විඳින්ට නම් බූට් එකක් කාපු මූඩ් එහෙක ඉන්න ඕන...................."

" ඔයාට නම් පිස්සු ද කොහෙද............."

( අර්ධ සත්යයක් ඇසුරින් කල ප්රබන්ධයකි )

**************************************************

ඔපෙරාව නැතහොත් ගීත නාටකය.....කැන්ටාටාව නැතහොත් ආගමික ගීත නාටකය අපට හඳුන් වා දුන්නේ ඔහුය.

මානස විල......පිරිනිවන් මංගල්යනය......

ඔහුගේ ස්වර නද හරහා දැහැන් ගත වීම ජීවිතය විඳීමට ඇති එක් ඒකායන මාර්ගයක් බව මම තරයේ විශ්වාස කරමි.

අඩ අඳුරේ ගිලුණු සඳලු තලය......ඈත හන්තාන මතින් පායා එන පුරා සඳ.....පසුබිමින් සිහින් හඬින් නැඟ එන...... උදුම්බරා හිනැහෙනවා....... සහ......... හෙමින් සැරේ පියා විදා.................දෑස අඩවන් වන්නේ මත නිසාම නොවේ.....දෑස පියවී සවන පමණක් විශ්වයට විවෘත වූ මොහොතක්......විශ්වය හා සමඟ මගේ ආත්මය ඒක මිතික වූ මොහොතක්.....

ප්රේමසිරි කේමදාසයිනි.......ජීවිතය විඳීමට එක නොවරදින මඟක් සනිටුහන් කර දුන් ඔබට.............. මගේ හෘදයාංගම ප්රණාමය...............

කේමදාසයන් අභාවප්රාප්තවී අදට තෙවසරකි.

Tuesday, October 18, 2011

53. විශ්වය නිහඬ වූ ඉක්බිති...............2

අසුරු සැණින් මුළු මහත් විශ්වය නිහඬ විණි.......

විශ්වය නිහඬ වූ ඉක්බිති...............1

***************************

කුඩා කුටියේ අඩක් ඇරුණු කවුලුවෙන් ගලා එන සඳ එළිය පවා දනවන්නේ සීතලකි. සඳ පසුබිම් කොටගෙන ඉගිල යන වවුලන් රෑනක් ඇය දුටුවේ, අවිනිශ්චිත අනාගතයේ පෙරනිමිති කියාපානා අසුබ ලකුණු විලසිනි.

උදෑසන උද්යානයෙන් පිට වී අරමුණක් නොමැතිව ඉබාගාතේ ඇවිදිමින් පැය කිහිපයක් ගෙවා දැමූ ඇය, මධ්යාහ්නය පසුවී හෝරා දෙකකට පමණ පසු, පසුගිය වසරක පමණ ඇගේ වාසස්ථානය වු කුඩා කුටිය වෙත පැමිණියාය. අතරමඟ කීප විටක් සෝදිසි කිරීමට ලක් වූවද ඈ සතුව තිබූ අනන්ය්තා පත්ර නිවැරදි වූ හෙයින් අනර්ථයකින් තොරව නවාතැන වෙත ඒමට අපහසුවක් නොවිණි.

ඔහු හා සමඟ බෙදා ගෙන කෑ වඩේ හැරුණු විට, මෙතෙක් කිසිදු ආහාරයක් නොගත් හෙයින් දැඩිව නැග එන කුස ගින්න ඉවසිය නොහැකි වූ පසු, ඇඳෙන් නැගී සිටි ඇය, මේසය මත වූ පාන් පෙති කීපයක් බොහෝ වේලා සපමින් ගිල දමා කුස පුරා ජලය පානය කලාය.

අදින් පසු මෙහි රැඳී සිටීමේ කිසිදු අවශ්යතාවයක් නොමැති හෙයින්, හෙට උදෑසනම ආපසු යාමට සූදානම් වනු සඳහා ඇය කුඩා ගමන් මල්ලට ඇගේ ඇඳුම් කීපය අසුරා ගත්තීය.මේ ගමන අනතුරුදායක බව හොඳින් දත් නමුදු, ජීවිතය ඉදිරි කිසිදු බලාපොරොත්තුවක් නොමැති රික්තකයක් බවට පත්වී ගිය කල නැතිවීමට කිසිවක් නොමැති ඇය බිය විය යුත්තේ කුමකටද?

හදිසියේ යමක් සිහි වූ ඇය, ඒ වනම අත් ඔරලෝසුව දෙස බලා, මේසය මත වූ කුඩා රූපවාහිනිය දෙසට අත දිගුකොට නැවත දෑස් පියාගත් වනම මොහොතක් සිටියාය.නැවත දිගු සුසුමක් හෙලා රූපවාහිනිය ක්රියාත්මක කලාය.

" අද උදෑසන නගර මධ්යයේ වූ උද්යානයේ ප්රධාන දොරටුව අසල, මරාගෙන මැරෙන කොටි ත්රස්තවාදියකුගේ ප්රහාරයට ලක්වූ ඇමතිවරයා තව දුරටත් ජාතික රෝහලේ ප්රතිකාර ලබයි.ඇමතිවරයාගේ ආරක්ෂක පොලිස් නිලධාරීන් සිව් දෙනෙකු මේ ප්ර හාරයේදී දිවි පිදූ අතර, ඒ අතර ප්රධාන ආරක්ෂක නිලධාරියා වූ සුමේධ වනිගසූරිය මහතා තම දිවි නොතකා කොටි ත්රස්තවාදියාට තමා පදවමින් සිටි මෝටර් බයිසිකලය හරස් කොට ඇති අතර, එසේ නොවුයේනම් ප්රහාරයේ හානිය මීටත් වඩා අනිවාර්යයෙන්ම ඉහල යාමට ඉඩ තිබුනු බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි."

ඒ සමඟම උදෑසන ඔහු සමඟ රුක් ගොමුව යට අසුන් ගෙන බොහෝ වේලාවක් එක එල්ලේ බලා සිටි, ප්රධාන දොරටුවේ සමීප රූපයක් තිරයේ සටහන් විය. දොරටුවේ යකඩ කම්බි නැවී ඇද වී තිබූ අතර, ඒ තුලින් සිව්මංසලෙහි එකිනෙක ගැටී නැවතී තිබූ මෝටර් බයිසිකල් කිහිපයක සහ රිය පෙලක සමීප රූප පෙලක් ඒ සමඟම දිස්වූයේ, පසුබිමින් ඇසෙන නිවේදිකාවගේ හඬ කෙමෙන් අඩාල වී යද්දීය.

ඇය ඒ දර්ශන දෙස හිස් බැල්මෙන් බලා සිටියේ කිසිදු හැඟීමක් නොමැති අයුරින් වුවද, නෙත් අගට රොක්වූ කඳුලු වැලකීමට අපොහොහොසත් වූයෙන්, අවසන සිත් සේ කඳුලු කොපුල් තල ඔස්සේ ගලා යාමට ඉඩ හැරියාය.

" ..............ත්රස්තවාදියාගේ සිරුරෙහි කොටස් කිහිපයක් පමණක් සිද්ධිය වූ ස්ථානයේ තිබී හමු වී ඇති අතර, ඔහු හඳුනා ගැනීමට කිසිදු සාක්ෂියක් ඉතිරිවී නොමැති බව විශේෂ අපරාධ විමර්ශන අංශයේ ජේෂ්ඨ නිලධාරියෙක් පැවසීය. "

ඒ සමඟම උදෑසන සිට සිතෙහි සිරකොටගෙන සිටි හැඟුම් සමුදාය වේල්ල බිඳී ගොස් දෙගොඩ තලායන ගංගාවක් මෙන් ගලා බසින්නට වූයෙන්, ඇය මුල් වරට ඉකි බිඳිමින් හඬන්නට වූවාය.

" බෝම්බ ප්රහාරයෙන් මියගිය පොලිස් නිලධාරී සුමේධ වනිගසූරිය මහතාගේ දේහය අද සවස ඔහුගේ නිවසට ගෙන යන ලදී......"

ඉන්පසු දිස්වූයේ මුද්රා තබන ලද දෙණක් සහ ඒ අසල හිඳ හිස් බැල්මෙන් හිස පහත් කොට සිටින ගැබිණි කාන්තාවකි.

කඳුළු පිසදාගත් ඇය ඇසිපිය නොහෙලා තමා වැනිම වූ ඒ ගැහැණිය දෙස බලා සිටියාය.

පසුදින ඉර උදාවී හෝරා දෙක තුනක් ගෙවීයනතෙක්ම ඇය සයනයෙහි දිගාවී සිටියේ, තීරණයකට එළඹිය නොහැකිවය.අවසන දිගු සුසුමක් හෙලමින් නැඟී සිටි ඇය ඉතිරි වී තිබූ පාන් පෙති දෙක අනුභව කොට, මේසය මත වූ ජෝගුවෙන් කුස පුරා ජලය පානය කළාය.

ඇඳුම් කිහිපය රැඳි ගමන් මල්ල අතට ගත් ඇය, ඉදිරිපස දොර වසා මඟට පිළිපන්නේ කුමක් සිදු වුවද එළඹ ගත් තීරණය අනුව කටයුතු කරන්නෙමැයි යන දැඩි අදිටනිනි.

ඇගේ හැඩරුව, කතා විලාශය සහ අත රැඳි ලිය කියවිලි අනුව කිසිදු අපහසුවකින් තොරව අවදානමක් රහිතව සැරි සැරිය හැකි බවට ඈ තුල දැඩි ආත්ම විශ්වාසයක් ගැබ්වී තිබුනු අතර, එසේ නොවුන ද කුමක් සිදුවූවද පයට පෑගෙනා දුහුවිල්ලක් පමණටවත් නොතකන මානසික තත්වයකට ඇය පත්ව සිටියාය.

***************************

ඊයේ රාත්රිය මුලුල්ලේ ඇය පසුවූයේ දෙණ අසලය.කාමරයට ගොස් මඳක් විවේක ගන්නා ලෙස මව සහ වැඩිමල් සහෝදරිය කෙතෙක් ඇවිටිලි කලද ඇය හිස වනා ඒ ප්රතික්ෂේප කලේ, හිඳ සිටි අසුනේම ඇලවී, නින්දත් නොනින්දත් අතර හෝරා කිහිපයක් ගෙවා දැමුවාය. අවසන අධික වෙහෙස කරන කොටගෙනම අලුයම් කාලයේ මඳක් දෑස් පියගත්තාය.

ඇගේ උදෑසන අහර වූයේ පාන් පෙති කිහිපයක් සහ තේ කෝප්පයකි.ඇඳෙහි නිදාසිටි දියණියගේ හිස සෙමෙන් අත ගෑ ඇය, නැවත සුපුරුදු අසුන වෙත පැමිණියාය.

උදෑසන දහය පමණ වන විට ගෙතුල කලබල ස්වභාවය මඳක් අඩුවී තිබුණු අතර, ඇය අසුනේම නින්දට පත් වන්නට ඇත. කිසියම් ශබ්දයකින් එක්වරම තිගැස්සී අවදි වුනු ඇය දුටුවේ සුමේධගේ දෙණ ඉදිරිපස බැඳගත් දෑතින් යුතුව හිස නමා පසුවන, ඇයගේම වයසේ හෝ වසර කිහිපයක් ලාබාල වියහැකි ගැබිණි කාන්තාවකි.ඇගේ උරහිසේ ගමන් මල්ලක් වූ අතර, දෙනෙත් පියාගත්වනම සිටියේ පිළිමයක් පරිද්දෙනි.

ආගන්තුක යුවතිය දෑස් හරින තෙක් බලා සිටි ඇය, සෙමින් නැඟී සිටියාය. ඒ දුටු යුවතිය වහා ඈ වෙත පැමිණියාය.

" මිසිස් වනිගසූරිය?........"

" ඔව් සුමේධ මගෙ මහත්තය......සමාවෙන්න මට ඔයාව මතකයක් නම් නෑ..."

" ඔව් ඔයා මාව දන්නෙ නෑ......මගෙ මහත්තයත් බෝම්බෙකින් මැරුණා....ඒත් මට එයාගෙ කෑලිවත් බලන්න ලැබුණෙ නෑ........."

" ඇත්තද?.....මට හරිම කණගාටුයි,ඉඳගන්න,"

යුවතිය ඇයට යාබදව අසුන් ගත්තේ, ගමන් මල්ල ඇකයේ තබා දැඩිව ග්රහණය කර ගනිමිනි.

යුවතිය සහ ඇය......ගැහැණුන් දෙදෙනෙක්...... හේතු සාධක, සාධාරණය හෝ නිරවද්යභාවය කුමක් හෝ වේවා කිසිසේත්ම තමන්ගේ වරදක් නොවූ සේම, තමන්ට පාලනය කල නොහැකි වූ ද,තමන් ද දියවැලකට හසුව විපිළිසරව ගසා යන්නා හා සමාන සිද්ධි දාමයකට පසුව, එකම ශෝචනීය ඉරණමකට මුහුණ දී සිටින ගැහැණුන් දෙදෙනෙක් ආසන්න අසුන්හි හිඳ හිස් බැල්මෙන් ඈත බලා සිටියෝය.

" මේ කරපු අපරාදෙට ඕකුන්ට හොඳක් නම් වෙන්නෙ නෑ, " ගතවූ කාලාන්තරයකින් පසු ඇය සෙමින් තොල මතුලාය.

තවත් කාලාන්තරයක් ගෙවී ගියේය.

එක්වරම සිහින් සුසුමක් හෙලූ ආගන්තුක යුවතිය හඬ අවදි කලේ, දෙණ ඉදිරිපිට දැල්වෙන පොල්තෙල් පහන් සිල දෙස බලා ගත්වනමය.

" මගෙ අප්පච්චියි, අම්මයි, මල්ලිල දෙන්නයි.....හතර දෙනාම මගෙ ඉස්සරහම වෙඩි කාල මැරුණ........"

විසි වසරකට පෙර ඒ අභාග්ය සම්පන්න වූ දිනය....ඇගේ ජීවිතය උඩු යටිකුරු කල ඒ ශාපලත් දිනය....

ඇගේ නිවස අසල සිව්මංසලෙහි පුපුරාගිය බිම් බෝම්බය......දිවිගලවාගත්තවුන් මාරාවේශව ඉවක් බවක් නොමැතිව සතර අතට එල්ල කල වෙඩි ප්රහාරය නිසා හුන් තැන් වලම ඇද වැටී මියගිය, ශබ්දය කුමක් දැයි සෝදිසි කිරීමට නිවෙස් වලින් නික්මුණු ඥාතීන් සහ හිත මිතුරන්.....ඒ අතර සිට දිවි ගලවා ගත්තේ ඇය පමණකි.....එදින මිය නොගිය අවාසනාව අද දක්වාම ඇය පසුපස ලුහුබඳින අයුරු....

" මට කණගාටුයි ".........සුමේධගේ බිරිඳ ඇගේ උරහිස මත අතක් තබා පැවසුවාය. " ත්රස්තවාදියො කියන්නෙ සත්තු වගෙ ජාතියක් "

දෑස් පියාගත් ඇය සෙමෙන් හිස වැනුවාය..." ඔව් තිරිසන්නු තමයි............මගෙ මහත්තයගෙත් පවුලෙ ඔක්කොමල නැති උනෙ බෝම්බෙකට අහුවෙල.....එයා ඉස්කෝලෙ ගිහින් හිටිය නිසා එයා විතරක් බේරුණා......."

" අපොයි නංගි මට හිතාගන්නවත් බෑ..........." මෙවර ඇය පැවසුවේ යුවතියගේ දෑතම දැඩිව අල්ල ගනිමිනි.

" ඔව් අක්කා.....ජීවිතේ බොහොමයක් දේවල් අපිට පාලනය කරන්ට බැරි දේවල්.....දියවැලකට අහුවෙලා ගහගෙන යනකොට, අපිට ගහගෙන යන දිශාවට විරුද්ධව පීනන්ට බෑ....යාන්තමට ගහගෙන යන දිශාවට ඔහෙ යන්ට ඇරල, ජීවිතේ ආරක්ෂා කර ගන්න එක විතරයි කරන්ට පුළුවෙනි.........ඒත් අන්තිමට ගහගෙන ගිහිල්ල නැවතුනු තැන ගැන කල්පනා කරල බලනකොට හිතෙනව මුලින්ම ගිලිල මැරුණ නම් මීට වඩා හොඳ නැද්ද කියල..."

එකෙනෙහි ගොඩ වැදුණු අමුත්තන් කීප දෙනෙකු හේතුකොටගෙන ඇයට හුනස්නෙන් නැඟී සිට ඉවත යාමට සිදුවිය.

***************************

මේ ශෝචනිය සිදුවීම් කිසිවක් නොසිදුවිනි නම් කොතරම් නම් අපූරුද?.....මොහොතකට තනිවූ ආගන්තුක යුවතියගේ සිතට නැඟුනි.අතීතයේ එක් නිවැරදි තීරණයකින්...එක් නිර්භීත ක්රියාමාර්ගයකින්....... එක් අවංක සුළු කැපකිරීමකින්........ කෙතරම් මහා පරිමාණ වෙනසක් වීමට අවකාශ තිබිණිද යන්න සිහිවන විට ඇගේ සිතට නැඟුනේ අපමණ ශෝකයකි.වේදනාවකි.

කියවීමෙහි දැඩි රුචියක් දැක්වූ ඔහු අහම්බෙන් පදික වේදිකාවේ පොත් වෙලෙඳෙකුගෙන් මිලදී ගත් විද්යා ප්රබන්ධයක් පිළිබඳ ඇය සමඟ මහත් අභිරුචියකින් කතා කල අන්දම ඇගේ මතකයට නැඟුනි.

අයිසැක් ඇසිමොව් ගෙ ප්රබන්ධයක් වූ එහි තේමාව වූයේ සමාන්තර ලෝක පවතීද යන්නයි.

" මේකෙ කියන විදිහට, අතීතයේ එක් සුළු සිද්ධියක් වෙනස් ආකාරයකට සිදු උනාය හිතමු. ඒ නිසා සම්පූර්ණයෙන්ම වෙනස් විදිහට පවතින ලෝකයක්..........එකක් නෙවෙයි ඇත්තටම ලෝක අනන්ත සංඛ්යාවක් තියෙන්න පුලුවන්.........ඒත් අපිට ඒ ලෝකවලට යන්ට හරි, එයාලට අපේ ලෝකෙට එන්ට හරි කොහෙත්ම බෑ...ඒක තමයි තියෙන ප්රශ්නෙ......"

" නිකම් මෙහෙම හිතමු....එදා අර බස් එකේ අපි දෙන්න හම්බ උනේ නැත්නම්...ඔයාට ඒ බස් එකට නැඟ ගන්ට බැරි උනා නම්.....එහෙම වෙච්ච සමාන්තර ලෝකයක් ඇති..ඒ ලෝකෙ අපි දෙන්න වෙන දෙන්නෙක්ව බැඳල ඉන්නත් පුළුවන්.....හෙහ්...හෙහ්......" ඔහු කීවේ ඇගේ මුහුණට එබී සිනාසෙමිනි.

" අන්න ඒ සමාන්තර ලෝකෙට යන්න පුලුවන් නම් මම කීයක් වියදම් උනත් ඒක කරනව ..ආයෙ දෙකක් නෑ......." මහත් හඬින් සිනාසෙමින් තමා පැවසූ අයුරු සිහිව නැවත ඇගේ දෑස තෙත් විය.

" මම හිතුවෙ මෙහෙම දෙයක්......මේ ගහ මරා ගැනිලි නැති සමාන්තර ලෝකයක් තියෙන්නත් පුලුවන් නේද?........නිවැරදි තීරණ ප්රමාද නොවී, නියම වෙලාවට ගත් නිසා, සාමය සතුට පිරුනු සමාන්තර ලොවක් කොහේ හරි ඇතිද?.....එහෙම නැති උනත් එහෙම ලෝකයක් තියෙනවය...ඒ ලෝකෙ මෙන්න මේ වගේ ඇතිය කියල හිතන එකත් හිතට සහනයක්........" ඔහු පැවසුවේ මද සිනහවක් දෙතොල නලියද්දීය.

ඔහුගේ වදන් ඔස්සේ ඇයද එදින ඒ කේතුමතියට පිවිසියාය. ඒ ශෝක ජනක වූ සිතුවිලි වැරෙන් සිතින් මකාහල ඇය වෙනත් සමාන්තර ලෝකයක් වූ කේතුමතියකට එකෙනෙහිම නිරායාසයෙන් පිවිසියාය.

" නංගි.....මේ ගොල්ල මොකෝ මේ හැටි පරක්කු?........." නෙරා ආ උදරය පිරිමදිමින් ඇය විමසුවේ ඉදිරිපස මුහුදට විවෘත වූ ආලින්දයේ අසුන් ගනිමිනි.

" බය වෙන්න එපා අක්ක.....දෙන්නත් එක්කමනෙ ගියේ...... අපෙ අප්ප එක්ක කතාවට වැටුනම ආයෙ.......කියල වැඩක් නෑ......."

" සුමේදට කොච්චර යාළුවො හිටියත් කොයි වෙලෙත් ඔයාලව තමයි මතක් කරන්නෙ.........මම දන්නෙ නෑ සංසාරගත බැඳීමක් ද කියල,"

තෘප්තිමත් සිනහවක් පෑ ඇය නැඟී සිටියේ ප්රධාන මාර්ගය දෙසින් යතුරු පැදි හඬක් සවනට වන් නිසාවෙනි.

" හප්පා මේක හොයා ගන්න කොච්චර දුර ගියාද?...."

අංගනයෙහි යතුරු පැදිය නතර කල ඔහු නිවෙසට ගොඩ වූයේ, ගොටු ගැසූ තල් කොලපුවක් ද සුරතින් රැගෙනය.

සුමේධ ඒ පසුපස පැමිණියේ පත්තර පිටුවක ඔතාගත් මඤ්ඤොක්කා අල හත අටක් දෑතින්ම ඔසවාගෙනය.

" එපාම කියද්දි ඔයාලහෙ අප්ප දුන්න.....ඉන්න මම සුද්ද කරන්නම්......" ඔහු පැවසූයේ මුළුතැන්ගෙය දෙසට යාමට පියවර ඔසවමිනි.

" ඉඳපං...මචං මාත් එනව......අද නෝනල දෙන්න විවේක ගන්න.....කුස්සිය පළාතට පැමිණීම සපුරා තහනම්........දිවා ආහාරය උයන්නෙ අපි......නැද්ද මල්ලි.... මොකෝ උඹ කියන්නෙ?........" සුමේධ පැවසුවේ ඔහුගේ උරහිස වටා අතක් දමා ගනිමිනි.

ගැහැණුන් දෙදෙන ඔවුන් දෙස මොහොතක් බලා සිට නැවත මුහුණින් මුහුණ බලා මඳ සිනහ නැඟුවෝය.

***************************

" ඔයාට බොන්න මොකවත් ගෙනෙන්නද?........." අමුත්තන් පිටත්ව ගිය ඉක්බිති ආගන්තුක යුවතිය අසලට පැමිණි ඇය විමසුවාය..

තවත් නොබෝ වේලාවක් කොහේදෝ ඈ සැරිසරන ලොව අතැර ඒමට මැළි බැවින්දෝ ඒ ඉරියව්වෙන්ම පසුවුනු ඈ සෙමින් නැඟිට සිටියාය.

" නෑ අක්කෙ...ස්තූතියි ...මම යන්නම්....."

ආගන්තුක යුවතිය හා සමඟ ඇයද දොරකඩට ලඟා වූවාය.

" සුමේධ මට කිව්ව, පුතෙක් හම්බ උනොත් එයා වගේම පොලීසියට බන්ද වන්නෙයි කියල.........මම එයාගෙ ඒ ඉල්ලීම කොහොම හරි ඉෂ්ඨ කරනව.....ඔයත් එහෙමද හිතාගෙන ඉන්නෙ? "

ආගන්තුක යුවතිය දොරකඩ එලිපත්ත මත එකෙනෙහිම නැවතුනාය.මද වේලාවක් නිහඬව මාර්ගය ඉහලින් සුලඟේ ලෙලදෙන ධවල වර්ණ ධජය දෙස බලා සිට අනතුරුව මෙසේ මිමිණුවේ කෙතරම් සෙමින් ද යතහොත් ඒ සවන්දීමට ඇයට යුවතිය වෙතට නැඹුරු වීමට සිදුවිය.

" නෑ...කවදාවත් නෑ....මම අර කලින් කිව්ව වගෙ මේ දිය සුළියෙ ගහගෙන යනවට වඩා දාහෙන් සම්පතයි අඩු ගානෙ ගිලිල මැරෙන එක......මම යන්නම් අක්කෙ,"

සෙමෙන් හිස හරවා, ඇගේ දෙනෙත් දෙස එක එල්ලේ බලා මදක් සිනාසුණු, ඒ ආගන්තුක යුවතිය මිදුලට බැස, සුදු වැලි අතුල මාවත ඔස්සේ සෙමෙන් පියවර තබමින් ඈතින් ඈතට නොපෙනී යන තෙක් උලුවස්සට වාරුවී ඇය බලා සිටියාය...............

Sunday, October 16, 2011

විශ්වය නිහඬ වූ ඉක්බිති...............1


අසුරු සැණින් මුළු මහත් විශ්වය නිහඬ විණි.......මම ලියාපු ඒ කතාවට ප්රතිචාරයක් ලියල තියනව අපේ කවිකාරි නංගි.... සිතුවිලි සිත්තමට නැගෙනා කවිපොත.......දන්නවනෙ බොහොම සංවේදී ඒ වගේම සිත් කාවදින සුලු ආරකින් ලියන දක්ෂ ලේඛිකාවක්........

මගෙ තියනවනෙ අර ලියන්ට ගියාම තිරිංග ක්රියා විරහිත වෙන අසනීපයක්...අන්න ඒක අපෙ කවිකාරිටත් තියනව මදි නොකියන්ට..... හෙහ්...හෙහ්....

මේ කතාව මෙතනින් නවත්වන එක මගෙ හිතට හරි මදි කොහෙත්ම...ඒ නිසා ඊළඟට මම කියන්නම් මෙතන ඉඳල කතාව...එතකල් කියවල බලන්නකො සිත්තමීගෙ කතාව.....

.----------------------------------------------------

සීල් තැබූ මිනී පෙට්ටිය අසළ හිඳ සිටි ඇගේ දෑසේ ගලා යාමට තවත් කඳුළු ඉතිරිව තිබුණේ නැත. රතු වී ඉදිමී තිබූ දෑසත්, දෙකොපුල් මතම වියළී ගොස් තිබූ කඳුළු ගලා ගිය සලකුණුත් ඇගේ හද තුළ තෙරපෙමින් තිබූ වේදනාව පිලිබිඹු කිරීමට සමත් නොවූ තරම්ය. හඬා වැළපෙන හදවතින් නැගී ආ ඉකියකින් විටින් විට ඇගේ දෙවුර ගැස්සුනි.

මේ නිසලව නිදා සිටින්නේ මුළු පළාතේම ආදරය ගෞරවය දිනාගත් අවංක, නිර්භීත පොලිස් නිලධාරියාය, රටේ ප්රබල ඇමති වරයෙකුගේ ප්රධාන ආරක්ෂක නිලධාරියාය, හඬා වැළැපෙන මව් පිය යුවළකගේ එකම පුතණුවන්ය, ඇගේ සදාදරණීය සැමියාය. ඇගේ කුස තුළ වැඩෙන සිඟිත්තාගේත්, උදෑසන පිටව ගිය අප්පච්චි නැවත පැමිණෙන තුරු බලා හිඳිනා අද දින සිව් වැනි වියට පා තබනා දියණියගේත් ආදරණීය පියාණන්ය. මැති ඇමතිවරුන් නිලධාරීන් කවරෙකු පැමිණියද එතෙක් නො එසවූ හිස ඈ මදකට එසවූයේ දියණිය පිළිබඳව විමසා බැලීමටය. අප්පච්චි එන තෙක් බලා සිටිනා කවුළුව අසළ වූ සිය සුපුරුදු අසුන මතම ඇය නින්දට වැටී ඇත. ඇගේ දෑතට සිරවී තිබුණේ අප්පච්චිගෙන් එදින උදෑසන ඈ ලද උපන්දින තෑග්ගයි. සිදුව ඇති කිසිවක් නොදන්නා දඟකාර සුරතලිය සිහින ලෝකයේ හිඳිමින් ඔහුගේ තුරුළේ නැළැවෙනවා විය යුතුය.

***

" අප්පච්චී....." පුංචි දියණිය නින්දෙන් පිබිදුණු විගස පියා සොයා දිව එන විට ඔහු උදෑසන ආහාරය නිම කරන්නට ආසන්නව සිටියේය.

" ආ මගෙ පැහිච්ච ආච්චි නැගිට්ටද..." යැයි අසමින් ඇයව උකුළට ගත් ඔහු තම තේ කෝප්පයෙන් උගුරක් ඇයට පොවන්නට උත්සාහ කළේය.

" ම්හු! මට එපා, " දැරිය මුහුණ ඉවතට හැරවූවාය.

" අර මොකෝ?"

" කෝ මගේ හැපි බර්ඩ්ඩේ උම්මා එක? ''

'' අද ඔයාගෙ හැපි බර්ත්ඩේ එකද? පියා විහිළුවට මෙන් ඇසුවේය. ''

මුහුණ නරක් කරගත් දැරිය පියාගේ උකුළෙන් බිමට බැස්සාය. "මං තලහයි!" ඇය සාලයේ කෙළවර කවුළුව අසළ වූ සිය කුඩා අසුන මත ගුලි වී හිඳගත්තාය. පියාගේත් දුවණියගේත් හුරතල් බලා සිනා සැලූ මව කැබිනෙට්ටුව මත වූ පාර්සලය දෙස බලා ඉඟි කළාය. ඒ පෙරදා රැයේ දියණියට හොරෙන් ඔවුන් දෙදෙනා එක්ව ඔතා සූදානම් කළ ඇගේ උපන්දින තෑග්ගයි. වරක් ඔරලෝසුව දෙස බලා එය අතට ගත් පියා මව සමග දියණිය වෙත ගියාය. "චූටි දෝණී..." දැරිය කතා නැත. පියා ඈ අසළින් දණගසා ගත්තේය. "කෝ අපේ බර්ත්ඩේ ගර්ල්?"

සිනහ නැගුණු මුහුණ උල් කරගෙන අහක බලාගත් දියණියගේ මුහුණද නළලද සිපගත් පියා එතෙක් සඟවාගෙන සිටි තෑග්ග ඈ අතට දුන්නාය. මවගෙන්ද උණුසුම් හාදු ලද පුංචි දැරිය අතේ වූ තෑග්ග දෙස උනන්දුවෙන් බැලුවාය. "ඉතිං ඕක ඇරලා බලන්න.." මවගෙන් ඇරයුම ලද විගස දියණිය යුහුසුළුව එය විවෘත කරන්නට උත්සාහ දැරුවාය. පියාගේද සහය ඇතිව විවර වූ කවරය තුලින් මතු වූ පොත අතට ගත් ඇය එහි පිටු එකින් එක පෙරළමින් සුවඳ වින්දාය.

'' ලස්සනද? ''

'' ලාස්සනායි '' ඇය පිළිතුරු දෙමින් පියාගේ බෙල්ලේ එල්ලී හාදුවක් දුන්නාය. ඈ වඩාගෙන සිටගත් පියා "කෝ අම්මට?" යැයි කියමින් මව වෙත ලං කළේය. අනතුරුව "චූටි දෝණී," යැයි නැවතත් ඇමතුවේය.

' ම්? '' ඇය පියාගේ මුහුණ බැලුවාය.

'' ඔයාට ලඟදිම තව තෑග්ගක් හම්බ වෙයි... '' පියා එසේ කීවේ මව දෙසද බලා සිනහවක් පාමිනි.

'' තව තෑග්ගක්? ''

'' ඔව්... බෝනික්කෙක්... පණ තියෙන බෝනික්කෙක්...''

'' පණ තියෙන බෝනික්කෙක්? '' ඈගේ දෑස විස්මයෙන් විසල් වූ අතර මුව සිනහවකින් පුළුල් විය.

'' ඔව්...''

" කවද්ද එයාව මට හම්බවෙන්නේ? ''

'' ම්... තව මාස... හතරකින් විතර...''

'' ඇයි එච්චර කල්? ''

'' මෙයාගෙ ප්රශ්න වලට උත්තර දීලා අද අප්පච්චිට වැඩට යන්නත් පරක්කු වෙයි.'' මව එසේ කීවද දියණියගෙන් පියාට ගැලවිල්ලක් නොමැත.

'' ඔන්න මට මල්ලි බෝනික්කෙක් තමයි ඕන හොඳද? නංගි බෝනික්කො ගොඩාරියක් මට ඉන්නවනේ... '' එබස් ඇසූ මවත් පියාත් මුහුණින් මුහුණ බලාගත්තේ සිනාසෙමිනි.

'' එන්නකෝ එයා ඔයත් එක්ක කතා කරයිද බලන්න,'' දියණිය සමග පහත් වූ පියා මවගේ කුස මතින් ඇගේ කුඩා මුහුණ තැබුවාය. මොහොතකින් ඇය හිස ගස්සා ඉවතට ගත්තේ පුදුමයෙනි. "කවුද ඒ?" මවත් පියාත් හඬනගා සිනාසුණහ.

'' ඒ තමයි ඔයාගෙ බෝනික්කා.... ඔයා එයාව හොඳට බලාගන්නවා නේද? ''

'' ඉතිං එයා මට ගහනවනේ...''

මව්පිය දෙදෙනා නැවතත් සිනාසුණි. "එහෙම තමයි, එයා මේ කාලෙදි ගහන්නෙ ආදරේට. ඔන්න මේ බලන්නකෝ එයා අප්පච්චිටත් දෙනවා හොඳ හොඳ පාරවල්..." ඔහු අතක් මවගේ කුස මතින් තබා සිනාසුණේය. අනතුරුව නැවතත් කෙළින් වී දියණිය ඇමතුවේය. "චූටි දෝණි, අප්පච්චි දැං යන්න ඕනෙනෙ පැටියෝ... මං හවසට එනකං අම්මයි ආච්චියි සීයයි එක්ක පරිස්සමෙන් ඉන්න හොඳේ දඟ නොකර..."

'' අප්පච්චි අද ඉක්කනට එනවා නේද? '' මඳක් කල්පනා කළ පියා හිස සැලුවේය. "මං කේක් කපන්නේ අප්පච්චි ආවට පස්සෙයි ඔන්න!" එයටද පියා හිස වනා එකඟ වූවේය. "මට අද මේ පොත කියලා දෙනවද?"

'' දැං ඇති පුතේ, අප්පච්චිට පරක්කු වෙනවනේ... අප්පච්චි වැඩ ඇරිලා හවසට ආවම අපි ආයෙ කතා කරමුකෝ. '' මව දියණියව ඔහුගේ දෑතින් මුදාලන්නට උත්සාහ කළාය.

'' කියලා දෙනවා නේද? '' ඔහුගේ දෑතින් බසින අතරේද ඇය ඇසුවාය.

'' ඔව් මගෙ පැටියෝ. අම්මා හදන රස..ම රස කේක් එකෙන් කෑල්ලක් හැන්දෑවට ඔයාගෙ මේ චූටි අතින් කාලා ඉවර වෙලා අප්පච්චි මේ පොත ඔයාට කියලා දෙන්නංකෝ...''

***

එවන් සොඳුරු උදෑසනකින් ඇරඹුනු දිනය මෙලෙසින් නිමා වේයැයි ඇය මොහොතකටවත් සිතුවේ නැත. සිය සැමියාගේ රැකියාව අනුව ඔහුගේ ජීවිතය දැඩි අවදානම් තත්ත්වයක තිබුණු බව දැන සිටි බැවින් ඇය සුසුමක් පාසා, සිතුවිල්ලක් පාසා නිරන්තරයෙන්ම පැතුවේ ඔහුගේ ආරක්ෂාවයි. ඒ සියල්ල අද නිශ්ඵල වී ඇත. දියණියගේ සිතේ බලාපොරොත්තු ගොන්නක් පොදි බැඳ තමාගේ හිසද සිඹ පොලිස් නිල ඇඳුමින් සැරසී උදෑසන පිටත්ව ගිය ඔහු දෙස ඈ බලා සිටියේ කෙතරම් ආඩම්බරයකින්ද... ගෞරවයකින්ද... එහෙත් ඔහු ඒ පිටව ගියේ සිය අවසන් ගමන බව සිහිනෙකිනුදු සිතන්නේ කෙලෙසද... ඒ ඔහුගේ මුහුණ දැකගන්නට ලැබුණු අවසන් මොහොත බව සිතන්නේ කෙලෙසකද... සිය දයාබර හිමියන්ගේ නිසල දේහය දැකගැනීමට පවා ඇයට වරම් නැත. තවත් එක් වරක් හෝ එම මුහුන සිපගන්නට, එම දෑතින් අල්ලාගන්නට, එම දෙපා යුග නමදින්නට ඇයට වරම් නැත. ඉකි ගසා වැළැපෙන හදවතේ වේදනාව දරාගත නොහැකිව ඈ මොහොතකට දෑස් පියාගෙන බිත්තියට හිස තබාගත්තාය.

'මෙන්න දැන් ලැබුණු විශේෂ ප්රවෘත්තියක්. අමාත්ය ..... රැගත් රථ පෙළට මරාගෙන මැරෙන බෝම්බ ප්රහාරයක්. තුවාල ලැබූ ඇමතිවරයා ඇතුළු අට දෙනෙක් රෝහල්ගත කෙරේ. ආරක්ෂක පොලිස් නිලධාරීන් තිදෙනෙක් සිද්ධිය වූ ස්ථානයේදීම මියගොස් ඇතැයි වාර්ථා වේ. වැඩි විස්තර බලාපොරොත්තු වන්න.'

තමා අතින්ම සකස් කළ දියණියගේ උපන්දින කේක් ගෙඩිය සාලයේ මේසය මතින් තැන්පත් කරන අතරේ සවණට යොමු වූ එම වදන් පෙළ ඇගේ සිරුරේ ලොමු දැහැගන්වන්නට සමත් විය. "දුවේ..." රූපවාහිනිය නරඹමින් සිටි පියාගේ හඬද සසල වී තිබුණි. එක එල්ලේම දුරකථනය වෙත ගිය ඇය සැමියාගේ දුරකථනයට ඇමතුමක් ගන්නට උත්සාහ කළාය. එය ක්රියාවිරහිත බව කියැවෙන පණිවුඩයට සවන් දෙන අතරේ ඇගේ දෑසට කඳුළු උනා එන්නට විය. දහ දොළොස් වතාවක් උත්සාහ කළද ප්රිතිචාරය එයම වූ බැවින් ඇය සැමියාගේ හොඳම මිතුරා වූ ඔහු සමගම සේවය කළ අරවින්දගේ දුරකථනය අමතන්නට උත්සාහ කළාය. එයටද ලැබුණේ පෙර ප්රතිචාරයමය. පපුව දවාගෙන එන වේදනාවත් සමග ඇය අරවින්දගේ නිවෙසට ඇමතුමක් ගත්තද අනෙක් පසින් නාද වූ දුරකථනයට කිසිවෙකුත් පිළිතුරු දුන්නේ නැත. පසුව සැමියා රාජකාරි නියමව සිටි පොලිස් ස්ථානයටද ඔහුගේ තවත් මිතුරන් කිහිප දෙනෙකුටද ඇය ඇමතුම් ලබාගත්තද ඔවුන් කිසිවෙක් නිසි තොරතුරක් නොදැන සිටි අතර යමක් දැනගත් වහාම ඇයට දන්වන බවට පොරොන්දු විය.

නැවතත් රූපවාහිනියේ සිද්ධිය පිළිබඳව වාර්තා වන බව ඇසුනෙන් ඇය එදෙසට ගියාය. 'අද දින උදෑසන 10.30 ට පමණ ..... උද්යානය අසළ ප්රධාන මාවතේදී අමාත්ය ..... රැගත් රථ පෙළට මරාගෙන මැරෙන බෝම්බ ප්රහාරයක් එල්ල වී ඇත. බරපතළ තුවාල ලැබූ ඇමතිවරයා මේ වන විට ..... රෝහලේ ප්රතිකාර ලබමින් සිටියි. ආරක්ෂක පොලිස් නිලධාරීන් තිදෙනෙක් සිද්ධිය වූ ස්ථානයේදීම මියගොස් ඇති අතර රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව තවත් අයෙකු මිය ගිය බවට වාර්ථා විය.' ඒ සමගම පෙන්වනන්ට වූ රූපරාමු දුටු සැණින් ඇය විලාප දී හඬා වැටෙන්නට වූවාය. වහා නැගිට ඇයව වාරු කරගත් පියා ඇයව අසුනක් මතින් හිඳුවා හිස අතගෑවේය. "කලබල නොවී ඉන්න දරුවෝ... අපේ පුතාට නපුරක් වෙලා නැතුව ඇති..." ඒ සමගම නිවසේ දුරකථනය නාදවන්නට විය. ඇය අසුනින් නොසෙල්වී දෑස් පියා වැඳගෙන සිය හිමියන්ගේ ගුණත් තුණුරුවන්ගේ ගුණත් මෙනෙහි කරන අතරේ පියා වෙව්ලන දෙපයින් දුරකථනය වෙත ලඟා වූවේය.

'' හෙලෝ! ''

........................

'' ඔව්, එහෙ තමයි...''

...................

'' ටීවි එකේ දැක්කා සිද්දියනං, ඒත් තවම අපේ පුතා ගැන-''

..............................

'' අනේ දෙයියනේ....''

...............................

'' මගෙ රත්තරං පුතා........... ''

එතැනින් එහාට ඇසුණු කිසිවක් ඇයට මතක නැත. මුළු ලෝකයම තමා වටා භ්රමණය වන්නට පටන්ගත් සෙයක් ඇයට දැනුණි. පතුලක් නොපෙනෙන ගැඹුරු ආගාධයකට ඇද වැටෙනා බවක් දැනුණෙන් වහා ඇගේ නෙත් විවර විය. තමා මෙතෙක් දුටු සියල්ල සිහිනයක්දැයි ඇයට මොහොතකට සිතුණි. එම බලාපොරොත්තුව විශ්වාස කිරීමට ඇයට උවමනා වුවද විවර වූ දෙනෙත් හමුවේ තිබූ සිංහ ධජයෙන් වැසුණු පෙට්ටිය දැකීමෙන් ඇගේ දෑසට නැවතත් කඳුළු උනා එන්නට විය.

'' අප්පච්චි... ඇයි පලක්කු? '' හඬ ආ දෙසට ඇය නෙත් යොමු කළාය. එතෙක් නිදා සිටි කුඩා දියණිය අවදිව පෙට්ටිය අසළින් තබා ඇති පියාගේ රුව අභියස හිටගෙන සිටියි. "හලි නලකයි, මං කිව්වනේ අද ඉක්කනට එන්න කියලා..." දියණිය දෙස බලා සිටි නෑදෑ හිතවතුන්ද කඳුළු සලන්නට විය. ඇයට සිය වේදනාව දරාගත නොහැකි විය. "දෝණී..." ඇය හැඬුම්බර හඬින් දියණිය ඇමතුවාය.

දැරිය වහා ඈ අසළට ආවාය. "අම්මා ඇයි අඬන්නේ? මේ මොකද්ද මේ මෙතන තියෙන්නේ?" ඇය පෙට්ටිය දෙසට අත යොමු කරමින් ඇසුවාය. එහෙත් මවගෙන් පිළිතුරු ලැබෙන තෙක් නොසිට නැවතත් කතා කළාය. "කෝ මගෙ කේක් එක? මේ බලන්න මෙච්චර ගොඩාරියක් ඇන්ටිලා අංකල්ලා ඇවිල්ලා ඉන්නවා මගෙ බර්ඩ්ඩෙ එකට, අප්පච්චි විතලයි තාම පලක්කු....."

දියණිය තුරුළු කරගෙන කඳුළු සලනවා විනා ඇගේ පැනයන්ට දෙන්නට පිළිතුරු මව වෙත තිබුණේ නැත. ඔවුන් වෙත ආ කුඩා දැරියගේ ලොකු අම්මා ඇගේ හිස අතගෑවාය. "අප්පච්චි ගිහිං පුතේ..." දැරිය හිස ඔසවා ඈ දෙස බැලුවාය. "කොහෙද?" අනතුරුව මව දෙස හැරුණාය. "කොහෙද අම්මා අප්පච්චි ගියේ? ඇයි මගෙ බර්ඩ්ඩේ එක දවසෙම ගියේ, මට බොලු කියලා?"

වදන් ගලපාගැනීමට පෙර මව වේගයෙන් හිස දෙපසට වැනුවේ එසේ නොවන බව දියණියට හඟවන්නටය. "අප්පච්චි කොහෙවත් ගියෙ නෑ මගෙ චූටි දෝණි... අප්පච්චි අපි ලඟම ඉන්නවා, හැමදාම..." ඉකිගැසීම පාලනය කරගැනීමට ඇය මඳක් නතර වූවාය. "දෝණිවයි, දෝණිගෙ බෝනික්කවයි, අම්මවයි, ආච්චිවයි, සියවයි දාලා අප්පච්චි කොහෙවත් යන්නෙ නෑ... මගෙ පැටියා දැං ලොකු අම්මත් එක්ක ගිහිං දොයිය ගන්නකෝ, දැං ගොඩාක් රෑ වෙලානේ... මගෙ හොඳ දෝණි වගේ යන්න, ගිහිං දොයියගන්න..." දියණියගේ හිස සිඹ ලොකු අම්මාගේ අතට බාර දුන් ඇය හදේ තෙරපෙමින් තිබූ වේදනාව පිට කිරීමට මෙන් දිගු සුසුමක් හෙලුවාය.

"මිසිස් වනිගසූරිය..." තමා අසළටම පැමිණ ඇමතූ නිලධාරියා දෙස ඇය හිස ඔසවා බැලුවාය. "අපිට ගොඩක් කණගාටුයි මේ වෙච්ච දේ ගැන... මං සබ් ඉන්ස්පෙක්ටර් අමරසේකර... සුමේධයි අරවින්දයි මිනිස්ටර්ගෙ සෙකියුරිටි එකට ජොයින් වෙන්න කළිං අපේ පොලිස් ස්ටේශන් එකේ වැඩ කළේ..."

'' මට මතකයි...'' ඇය දුර්වල කටහඬකින් පිළිතුරු දුන්නාය. "ඉඳගන්න..." ඇය අසළ වූ අසුනක් පෑවාය.

'' අද මිනිස්ටර් ඔය තරමිං හරි බේරුණේ මේ දෙන්නා නිසා. ඒත් අපරාදේ රටට වටින පොලිස් නිලධාරියො දෙන්නෙක්, හොඳ කොල්ලො දෙන්නෙක්...''

'' අරවින්දත්...? ''

'' ඔව් මිසිස් වනිගසූරිය, මං මේ එහෙටත් ගිහිං ආවේ... පව්, බැඳපු නැති නංගිලා දෙන්නෙකුත් ඉන්නවා මිනිහට...''

'' හ්ම්...''

'' අද වෙච්ච දේ ඇස් දෙකෙන්ම දැකලා තියෙනවා පාර්ක් එකේ මේන් ගේට් එකේ සෙකියුරිටි. මිනිහා ඔක්කොම විස්තරේ කිව්වා. උදේ පාර්ක් එකේ මේන් ගේට් එක පැත්තට වෙන්න ඉඳලා තියෙනවා කපල් එකක්, ඒක ඉතිං ඒ හැටි අමුතු දෙයක් නෙවෙයි, පාර්ක් එකට නිතර ඔහොම අය එනවනේ. ඒත් මිනිහට අමුත්තක් දැනිලා තියෙනවා මොකද දෙන්නා වෙන වෙනම ඇවිත් තියෙන්නේ. කෙල්ල ප්රෙග්නන්ට්. බැඳපු ජෝඩුවක්නං සාමාන්‍යයෙන් ඔහොම වෙලාවක පාර්ක් එවෙන්නෙ නෑ, අනික වෙන වෙනම එන්න ඕනෙත් නෑනේ. ඉතිං මොකක් නමුත් හොරයක් තියෙන බව දැනිච්ච නිසා මිනිහා දෙන්නා ගැන ඇහැ ගහගෙන ඉඳලා තියෙන්නේ. පැයකින් විතර කොල්ලා නැගිටලා ගේට් එක පැත්තට ඇවිත් තියෙනවා. සෙකියුරිටිටත් හිනාවක් දාගෙන ගිහිං තියෙන්නේ. මිනිස්ටර්ගෙ වාහන පේළිය ඈතින් එනවා මිනිහා දැකලා තියෙන්නෙ පස්සේ. මිනිහට මුකුත් හිතාගන්න හම්බවෙලා නෑ, අර එළියට ගියපු එකා පාරට පැනලා, ඒ එක්කම ඉස්සරහින්ම ආපු සෙකියුරිටි බයික් එක ස්පීඩ් කරලා ඇවිත් මිනිහව හප්පලා. ඒකා කොටියෙක්, සුයිසයිඩ් බොම්බර් කෙනෙක්. බයික් එකේ ඉඳලා තියෙන්නේ සුමේධයි අරවින්දයි. ඉස්සරහින් ආපු අනිත් බයික් එකේ දෙන්නත් බ්ලාස්ට් එකට අහු උනා... නිලධාරියා කතාව මදකට නවත්වා සුසුමක් හෙලුවේය. "මේ දෙන්නා ස්පීඩ් කරලා ඇවිත් කොටියව හප්පපු නිසා මිනිස්ටර්ගෙ වාහනේට ඩැමේජ් එක අඩු වුනා කියලා තමයි ගේට් එකේ සෙකියුරිටි කිව්වේ. හිත එකලාසයක් වෙච්ච ගමං මිනිහා බලලා කොටි කෙල්ල කොහෙද කියලා, අනිත් ගේට් එක පැත්තට ඇවිදගෙන යනවා දැකලා. මිනිහා එවෙලෙම නිව්ස් එක දීලා, මේ වෙද්දි කෙල්ලව අරෙස්ට් කරල ඇති මම හිතන්නෙ,"


ඔහුගේ දිගු කතාව අසමින් වදනකින් හෝ ප්රතිචාරයක් නොදැක්වූ ඇය නිහඬවම මිනී පෙට්ටිය දෙස බලා සිටියාය. 'කොටි... මගෙ රත්තරං මනුස්සයව මරාගත්තා... මගෙ දරුවංගෙ අප්පච්චිව උදුරගත්තා... මේ කිරිකැටියව ඇහැටවත් නොදැක එයාට යන්න උනා... මං කොහොමද දෙයියනේ එයා නැතුව ජීවත් වෙන්නේ....... ඒ ගෑණිටත් බබෙක් හම්බවෙන්න නේද ඉඳලා තියෙන්නේ... කොහොමද දෙයියනේ ජීවිතයක් හැදෙන හැටි බල බල තවත් ජීවිත මේ වගේ විනාස කරන්නේ...... මේ රට වනසන්ඩ ආපු හැතිකරේ... මමත් යනවා.... ඔව්.. මමත් යනවා ඕකුංව මරාගෙන මැරෙන්න... ඇයි උන්ට විතරද පුළුවං......' හදිසියේම කුස තුළ හුන් දරුවා දඟලන්නට පටන්ගත්තෙන් ඇගේ සිතුවිලි දාමය බිඳ වැටුණි. සිය සැමියා නිදාහුන් පෙට්ටිය මතින් දමා තිබූ සිංහ ධජයේ කඩුව මිටමොළවාගත් අත වෙත ඇගේ දෑස් යොමු වී තිබුණි. කුස මතින් දෑත තබාගත් ඇය මහ හඬින් වැළපෙන්නට විය.

'' මට තේරෙනවා මිසිස් වනිගසූරිය- '' වහා එතැනට දිව ආ ඇගේ මව නිලධාරියාව පිටත් කර යවා ඇයව සනසන්නට වූවාය. මවගේ උරහිසේ හිස හොවාගෙන හෙම්බත් වන තෙක් වැළපුණු ඇය නැවතත් හිස එසවූවාය. එවර ඇගේ දෑස යොමු වූයේ කඩුවට පහළින් ඇති බෝ පත්රය වෙතයි.

***

'' සුමේධ...''

'' ම්? ''

'' මේ බෝ ගහ යට ඉන්න කොට හිතට හරි සනීපයි නේද? ''

'' ඇයි ඔයාගෙ හිත අසනීප වෙලාද තිබ්බේ? ''

'' ඔය ඉතිං... මං කිව්වේ මෙතන හරිම නිවිච්ච බවක් තියෙනවා...''

'' හ්ම්...''

මඳ නිහැඬියාවකි. "ඔයා ආස මේ සැරෙත් දුවෙක් ලැබෙනවටද, නැත්තං පුතෙකුටද?"

'' කවුරු උනත් කමක් නෑ, ඔයාගෙයි මගෙයි බබානේ...''

'' හ්ම්, ඒක ඇත්ත...''

'' හැබැයි පුතෙක් හම්බුණොත් මට එක ආසාවක් තියෙනවා..''

'' ඒ මොකද්ද? ''

'' ඒත් ඔයා කැමතිනං විතරයි...''

'' කියන්නකො ඉතිං...''

'' පුතාවත් පොලීසියට බන්දගන්න...''

'' අනේ සුමේධ...''

'' ඇයි? ''

'' ඒ රස්සාව හරි භයානකයිනේ...''

'' ඉතිං මේ මම ඉන්නේ...''

'' ඔයා ගැනත් මං හරි බයෙන් තමයි ඉන්නේ...''

'' මැරෙනවනං මැරෙන්නේ එකපාරයිනෙ ළමයෝ... ඒ ඉන්න කාලේ තමංගෙ රටට ජාතියට වැඩක් කරලා යන්න තියෙනවනං කොච්චර දෙයක්ද? ''

'' ෂ්... මැරෙන කතා කියන්න එපා... කමක් නෑ, අපිට පුතෙක් හම්බුණොත් එයත් එයාගෙ තාත්තා වගේම ලස්සන, උගත්, බුද්ධිමත්, අවංක, නිර්භීත පොලිස් ඔෆිසර් කෙනෙක් වෙයි...''

'' මදිනෙ විශේෂන පද ටික! ''

'' එතකොට අපෙ දෝණි පොඩ්ඩ? එයා කවුරු වෙනවටද ඔයා කැමති? ''

'' පුතා තාත්තා වගේ වෙනවනං දෝණි අම්මා වගේ වෙන්න එපැයි...''

***

ඇය වාරු ගෙන පුටුවෙන් නැගී සිටියාය. සෙමින් සෙමින් සැමියාගේ ඡායාරූපය අසළට ගොස් එය අතගෑවාය. 'ඔයාගෙ බලාපොරොත්තු එහෙමම ඉෂ්ට වෙයි මගෙ රත්තරං... මං පොරොන්දු වෙනවා... ඒත් මං දන්නෙ නෑ ඔයා අපේ දෝණිට අද උදේ දීලා ගිය බලාපොරොත්තු වලට මොනවා වෙයිද කියලා... සමහරවිට එයා මුළු ජීවිත කාලෙම අප්පච්චි එනකල් බලං ඉඳියි එයාගෙ කේක් එක කපන්න...'

Wednesday, October 5, 2011

52. අසුරු සැණින් මුළු මහත් විශ්වය නිහඬ විණි...........



රෑ පුරා ගුගුරමින් ඇද වැටුනු වර්ෂාව හිමිදිරියත් හා සමඟ තුරල් කල නමුදු විටින් විට සුළඟත් සමඟ මුසු වී වැගිරෙන පොද වැස්ස අවම වශයෙන් වරුවක් පමණ හෝ පැවතේයයි සාලයේ ජනේලයෙන් ඉවත බලා සිටින ඔහුට එක්වරම හැඟිණි.

මුහුණ දී සිටින තත්වයේ බැරෑරුම් ස්වභාවය අනුව වර්ෂාව වරුවක් පවතීද දවස පුරා පවතීද වැනි වෙනත් දිනයකදී කිසිසේත්ම හිතට නොගන්නා ප්රසශ්නයකට පිළිතුරක් සෙවීමට තම සිත උත්සුක වීම එක්වරම ඔහුගේ දෙතොලට සිනහවක් ගෙන ආවේය.

එහෙත් එක් අතකට එහි අරුමයක්ද නැත.ජීවිතයේ බැරෑරුම් අවස්ථාවන්ට මුහුණ දෙනවිට කොතෙකුත් ඒ ගැන මෙනෙහි කිරීමෙන් මානසික සමබරතාවය ගිලිහී යා නොදී රැක ගැනීමට මෙවන් නොවැදගත් දේ සම්බන්ධව සිතීමට පෙලඹීම නිරායාසයෙන් සිදුවන්නක් බව කොහේ හෝ කියවූ මතකයක් ඔහු සිතට නැඟිනි.

එක්වරම අත් ඔරලෝසුව දෙස බැලූ ඔහු ඉක්මන් ගමනින් නිවසේ එකම නිදන කාමරයට ඇතුලු විය. තනි ඇඳක්, කුඩා මේසයක් හැරෙන්නට එහි වූයේ මුල්ලකට හේත්තු කල අඩි තුනක් පමණ උස් තැනින් තැන රසදිය අවපැහැ ගැන්වුනු රාමුවක් රහිත කන්නාඩියක් පමණි.

කන්නාඩිය ඉදිරියේ සිටගත් කල දර්ශනය වූයේ සිරුරේ උදර ප්රදේශය වුවද, ඒ හොඳටම ප්රමාණවත් වූ බැවින්, ඒ පිළිබඳව කිසිදු තැකීමක් නොමැතිව , ප්රතිබිම්බය ප්රවේශමෙන් නරඹා අව පැහැගැන්වුනු සුදු පැහැ කමිසය හොඳින් කලිසමට යට කොට සකස් කරගත් හෙතෙම අවසන් වරට කාමරය සිසාරා බැල්මක් හෙලූයේ කිසිවක් අතපසු නොවූ බව ස්ථිර කර ගැනීමටය.

දොර අගුළු දමා යතුර ඒ අසලම වූ ජනේලයෙන් නිවස තුලට දමා පහත් වී අබලන් වූ කළු පැහැති කාන්තා කුඩයක් අතට ගත් හෙතෙම මද වැස්සේම කුඩය දිගහැර නිවෙස ඉදිරිපිටින් ප්රධාන මාර්ගය කරා දිවෙන අතුරු මාර්හයට පිළිපන්නේය.

අතුරු මාර්ගය ප්රධාන මාර්ගය හා හමුවන ස්ථානයේ පිහිටි තෝස කඩය වෙනදා මෙන්ම බොහෝ ජනාකීර්ණ ස්වභාවයක් ඉසිලීය. එදෙස නොබලා පියමං කිරීමට උත්සාහ කලද, තෝස කඩයෙන් නිකුත්ව, තෙත් බරිත උදෑසන වායු ගෝලයට එක්වන වඩේ බැදෙන සුවඳ මුලින් ඔහුහේ ගමන් වේගය බාලකොට අවසන ඔහු නතර කරවීය.අවිනිශ්චිත හැඟුම් සමුදායක ප්රථිඵලයක් ලෙස නිකුත් වූ දිගු සුසුමකට පසු ආපසු හැරී තෝස කඩයට ඇතුලු වී තම සුපුරුදු කෙළවර අසුනට බරදුන් ඔහු ඉදිරියේ තෝස දෙකක් සම්බල සහ වඩ දෙකක් කෙසෙල් කොලයක තැබූ රිදී පැහැ තැටිය වේටර් කොලුවා ගෙනවිත් තැබුවේ ඇණවුමකින් තොරවමය.

බොහෝ වේලාවක් ඒ දෙස නිසොල්මනේ බලා සිටි ඔහු කැබලි වලට කැඩූ වඩ හා මිශ්ර කරගත් සම්බල සමඟ බොහෝ කල්පනාකාරීව තෝස අනුභව කලේය.

තෝස කඩයෙන් පිටවූ ඔහුගේ කුස පිරී තුබූ අතර දකුණතෙහි කඩදාසි බෑගයක බහාලූ වඩ දෙකක් විය.

මේ වන විට වර්ෂාව නැවතී තිබුනු නමුදු, ඔහු අබලන් කුඩය තවමත් ඉහලාගෙන සිටියේ සිරුර තෙත් වේදෝ යන බියෙන් ද, නැතහොත් මුලු ලොවෙන්ම සැඟව සිටීමේ අටියෙන් ද, එසේත් නැතහොත් මේ අරමුණු දෙක නිසාම ද, යන්න දැන සිටියේ ඔහුම පමණකි.

ප්රධාන මාර්ගයෙන් හැරී සුවිසල් අතු පතර විහිදී ගිය මාර ගසින් සෙවණ ලැබූ පටු මඟකට අවතීර්ණ වූ ඔහු, පසුකර යන කිසිවකු දෙස නෙත් යොමු නොකොට බිමට හරවාගත් නෙතින් යුතුව, සමාන පරතරයෙන් යුතුව, රිද්මයකට පා තබනා සොල්දාදුවකුගේ ගමනින් පියවර තබන්නට විය. වරින් වර හමන සුළඟින් අතු පතරින් ගිලිහුනු වැහි බිඳු, පොද වැස්සක් මෙන් කුඩය මත පතිත වුවද ඒ ඔහුට ඇසුණේ ද යන්න පවා සැක සහිතය.

පටු මඟ අවසානයේ වූයේ නගර මධ්යයේ වූ උද්යානයේ පසුපස දොරටුවයි.අඩක් විවෘතව තිබූ දොරටුවෙන් උද්යානයට පිවිසි ඔහු, උද්යානය හරහා පසුපස දොරටුවේ සිට ප්රධාන දොරටුව දක්වා දිවෙන, කළුගල් ඇල්ලූ පෙත් මඟ ඔස්සේ පෙර ලෙසම සොල්දාදු පියවරින් ගමන් කල නමුදු, වේගය ක්රමයෙන් බාල වූයේ ඔහු ද නොදැනුවත්වය.

ගිනි දහවල පවා අඳුර පූර්ණව පහව නොයන, උද්යාන මධ්යයේ වූ රූස්ස තුරු වදුලට වටා ගමන් කරන පෙත් මඟ, තුරු වදුලේ එහා අන්තයේදී තරමක් පළල් වී උද්යානයේ ප්රධාන දොරටුව දක්වා දිව යයි.

තුරු වදුලෙන් නිබඳ නැඟෙන කපුටු නාදය ද වැසි බර කාළගුණය හේතුකොටගෙන ඇසුණේ ඉඳහිටය. පෙත් මඟෙහි නැම්මට ළඟාවූ ඔහු, එක්වරම නැවතී යාර පණහකට පමණ ඔබ්බේ පිහිටි, ප්රධාන දොරටුවට මුහුණ ලා, තුරු වදුල අද්දරම සවිකර තිබූ ගලින් කල ආසනය දෙස නෙත් හෙලීය. ප්රධාන දොරටුව දෙසට මුහුණ ලා හිඳ සිටින ඇයගේ ගෙල සහ හිසෙහි පසුපස කැරළි ගැසුනු කෙස් වැටිය දෙස අනිමිස ලෝචනයෙන් මොහොතක් බලා සිටි ඔහු, දීර්ඝ සුසුමක් හෙලා සෙමින් පා නඟමින් පෙත් මඟ ඔස්සේ ගොස් ,ඇය අසලම ආසනයෙහි හිඳ ගත්තේය.

හැරී ඔහු දෙස නෙත් යොමු කල ඇගේ සහ ඔහුගේ නෙත් එකිනෙක පැටළිනි.

සෙමින් සුරත දිගුකොට ඇගේ වමත අල්ලාගත් ගත් ඔහු ඒ තම උකුල මතට ගෙන පිරිමදින්නට වූයේ, ඇගේ වත වෙත යොමුවූ දෑස ඉන් මුදාගෙන උද්යානයේ ප්රධාන දොරටුව වෙත යොමු කරමිනි.

ඇයද නැවතත් දෑස එදෙසටම යොමු කලේ ඔහුගේ සුරත දැඩිව මිරිකා ගනිමිනි.

තව නොබෝ වේලාවකින් මේ ප්රධාන දොරටුවෙන් පිටවී, ඔහු ඇගෙන් සදහටම වෙන්වී යන බව ඔවුන් දෙදෙනම දැන සිටියහ.

වැහි වලාවකට මුවා වී තිබූ හිරු එක් වරම ඉන් මිදුනෙන්, කහ පැහැ මළානික ආලෝකයක් උද්යානය පුරා විහිදී ගියේය.එක් වරම ඇගේ අත අත්හල ඔහු, ආසනය මත තිබූ තෙල් පැල්ලම් ගැහුණු කඩදාසි බෑගය ඈ වෙත දිගු කළේය. විමසුම් බැල්මක් හෙලමින් ඒ සුරතට ගත් ඇය එතුලට අත යවා වඩයක් පිටතට ගෙන ඉන් කැබැල්ලක් ඔහු වෙත දිගු කලේ පපුවෙන් නැඟ ආ ඉකියක් වලක්වා ගනිමිනි.

ඔහු සෙමින් දෙපසට හිස වැනූයේ සුසුමක්ද හෙලමිනි. ඇසට නැඟි කඳුලක් පිස දැමූ ඈ, නැවතද ඔහු වෙත වඩේ කැබැල්ල දිගු කලාය. එවර ඇගේ දෑස දෙස මොහොතක් බලා සිට ඔහු ඒ අතට ගත්තේය.

" දුක් වෙන්න එපාය කියන්න මට අයිතියක් නෑ.....මම ඒක දන්නව...ඒත් අපි මුල ඉඳන්නම දැනගෙන හිටිය මේ අපෙ ඉරණම කියල...... මම ඔයාට අපේ මේ කතාව ඉවර වෙන්නෙ මේ විදිහටයි කියල අනන්ත වාරයක් කියල ඇති, "

ඔහු කතා කලේ අතෙහි තැවරුනු තෙල් කඩදාසි බෑගයෙහි පිසදමමිනි. එහෙත් ඉන් සිදුවූයේ බෑගයෙහි වූ තෙල් ඔහු අතෙහි තැවරීමයි. නොරිස්සුමින් නලල රැළි කොට අත්ල විහිදුවා ඒ දෙස මොහොතක් බලා සිටි ඔහු අත්ල එකිනෙක පිරිමදින්නට වූයේ ඈ දෙස බලා යලි මද සිනහවක් පාමිනි.

යම් අනපේක්ෂිත දෙයක් සිදු වූ කල ඔහුගේ දෑස් සිහින්වී නළල රැළි ගැසෙන අන්දම හොඳින් පුරුදු ඇයට ද නොදැනුවත්වම සිනහවක් පහල විය.

වළාකුළු එකින් එක පහව යමින් තිබූ අතර හිරු එළියද මදින් මද අඳුර දුරු කලේය.

" මම දන්නව.....මම ඒ ඔක්කොම දැන ගෙන තමයි හිටියෙ මුල ඉඳල.........ඒත් එහෙමෙයි කියල ඒ වේදනාව අඩු වෙන්නෙ නෑ......ඒ වේදනාව දරා ගන්න බෑ............ඒකෙ වෙනසක් නෑ........." ඇගේ දෑස නැවතද කඳුලින් බර වන්නට වූයෙන් ඈ දෑස තදින් පියා ගත්තාය. තදින් පියවුනු ඇසිපිය අතරින් ගිලිහුණු කඳුළු බිඳු දෙකක් කොපුල් තල දිගේ රූරා බසින්නට වූයෙන් ඈ නොඉවසිල්ලෙන් ඒ පිටි අත්ලෙන් පිස දැම්මාය.

එක්වරම තිගැස්සුණු ඈ මඳ සිනහවක් පාමින් ඔහු දෙස බලා තම නෙරා ආ උදරයට අතක් තබා ගත්තාය.

" දැනුනද ? " ඔහු ඇසුවේ පහත්වී ඇගේ අත මත තම අත තබා රහසින් කොඳුරමිනි

ඇය තවමත් සිනහ තැවරි දෙතොලින් යුතුව හිස වැනුවාය...." ඔව් දැන් දවස් තුන හතරක ඉඳල......"

නැවතත් නිහඬ තාවයේ වෙලී ගිය මිනිත්තු කිහිපයකට පසු, ඔහු වෙත ඇදී ආ ඇය උරහිසෙහි හිස හොවා ඔහුගේ දෑතම තරයේ අල්ලා ගත්තීය.අපරිමිත සෙනෙහසින් පහත්වූ ඔහු ඇගේ නළලත සෙමින් සිප ගත්තේය.

මෙතෙක් මද පමණ හෝ රැස් විහිදූ හිරු, නැවත කළු වළාවකට වැසී නොපෙනී ගියේය. එක්වරම හමා ආ සීතල සුළං රැල්ලක් ඔවුන් ගතෙහි හිරිගඩු නංවා ලීය.ඈ තවත් ඔහුට තුරුළු වූයේ නැවත කිසිදිනෙක ඔහු අත් නොහරින ලෙසකින් වුවද ඒ මොහොතකට සිතට සුව දෙන මායාවක් බව ඔවුන් දෙදෙනාම නොදැන සිටියේ නොවේ.

මහා භද්ර කල්පයක් සේ ඔවුනට දැනුනු මිනිත්තු දහයක පමණ කාලයක් මෙසේ ගෙවී ගියේය.

එක වරම ජංගම දුරකථනයක් නාද වන රාවයක් මතුවූයේ ඔහුගේ කලිසම් සාක්කුවෙනි.

ඇගේ හිස සෙමින් ඉවත් කල හෙතෙම දුරකථනය අතට ගෙන ඇමතුමට කන් දුන්නේය.

එක් වරක් පමණක් ඔහුගේ මුහුණ බැලූ ඇය, තම උකුල මත රැඳි දෑත දෙස නෙත් යොමු කර ගත්තීය.

ඇමතුමට බොහෝ කාලයක් ගත නොවිනි. මිනිත්තුවකටද වඩා අඩු කාලයකදී " හරි " පැවසූ ඔහු දුරකථනය ක්රියා විරහිත කොට සාක්කුවේ ඔබා ගත්තේය.

ඉනික්බිති අවසන් වරට ඇය වැළඳ ගත් ඔහු, ඇගේ නලලත ද, පහත්වී උදරය ද සෙමින් සිපගෙන ආසනයෙන් නැගිට, ඇගේ දිලිසෙන දෑස දෙස මොහොතක් බලා සිටියේය. පුදුමයකට මෙන් ඇගේ දෑස දීප්තිමත්ව බැබලුනේ කඳුළු වලින් නම් නොවේ.හඬන්නට තවත් කඳුළු ඉතිරිව නොමැත්තේද නැතහොත් කඳුළු හෙලීමෙහි කිසිදු අරුතක් නොමැති බව ඈ වටහා ගත්තේද යන්න හරි හැටි කිව නොහැකි නමුදු ඇගේ දෑසෙහි මේ වනවිට කඳුළු වියළී තිබිණි.

" මම ඔයාට ආදරෙයි " ඔහු ඇගේ දෑසට පැවසීය......." එදා ඔයා දැක්ක මුල් දවසෙ ඉඳල අද වෙනකල්.........මගෙ ජීවිතේ තියනකල්......." මෙහිදී ඔහුගේ හඬ මඳක් වෙව්ලා ගිය නමුදු ඔහු නැවත විගස හඬ පාලනය කොට ගත්තේය....." නෑ මම මැරුණට පස්සෙත් මම ඔයාට ආදරෙයි........"

" මමත් එහෙමයි ...." ඇයද සිහින් හඬින් පැවසූයේ ඔහුගේ දෑස් දෙස එක එල්ලේ බලා සිටිමිනි.

ඔවුන්ගේ දැහැන බිඳ දැමූයේ උද්යානය වටා දිවෙන ප්රධාන මාර්ගයේ ඈත කෙළවරින් ඇසෙන්නට වූ වාහන අනතුරු හැඟවීමේ සයිරන් නලා නාදයකිනි.

වාව්......වාව්...වාව්......වාව්...වාව්......වාව්,

වහා ඒ දෙස හැරී බැලූ ඔහු, නැවත ද ඇය දෙස මොහොතක් බලා සිට හැරී, ඇයට පිටුපා ප්රධාන දොරටුව දෙසට සෙමින් පියවර තබන්නට විය.

එක දිගටම නැගෙමින් කෙමෙන් කෙමෙන් ආසන්න වන ඒ අප්රියකර මූසල නාදය මධ්යයේ සෙමින් පියවර තබමින් ඔහු ඇගෙන් වෙන්ව යනු ඇය බලා සිටියාය.ඇසිපිය නොහෙලා බලා සිටියාය.

උද්යානයේ ප්රධාන දොරටුව අසල වූ සිව් මං සල අසලදී, සියලුම වාහන අනිවාර්යයෙන්ම වේගය අඩාල කල යුතුය. සිව් මංසලට ප්රභූ ආරක්ෂක රියපෙළ, වේගය අඩුකරගනිමින් ළඟා වෙමින් තිබිණ. ප්රධාන දොරටුවෙන් පිටවූ ඔහු පදික වේදිකාව කෙලවරට ළඟා වූයේ, හරියටම රිය පෙළ එතැනට පිවිසෙනවාත් සමඟමය.

අසුරු සැනකදී කාලය නැවතී ගියේය..........විශ්වයම එක් වරම නිහඬ විය........... ඒ දැඩි නිහඬතාවය මධ්යයේ ඔහුට ඇසුනේ ඇගේ හද ගැහෙනා හඬ පමණි. ඇයට ඇසුණේ ඔහුගේ හද ගැහෙනා හඬ පමණි.

ඇය අසුන්ගෙන සිටි ආසනයට සෙවන දුන් තුරු ගොමුවෙහි, උදෑසන සිට වර්ෂාව නිසා සැඟවී සිටි කපුටුවෝ, එකවරම හාත්පස කම්පනය වූ ශබ්දයෙන් බියපත්ව එකාවන්ව නාද කරමින් වැහිබර අහසට ඉගිලුනෝය.

දෑස් තදින් පියාගත් වනම බිම බලාසිටි ඇය, දෑස් නොහැරම සුරතෙහි දබරැඟිල්ලෙන් නලලත රැඳුනු තිලකය මකා දැමුවාය.

ඉන්පසු සෙමින් හිඳ සිටි අසුනින් නැඟිට, ප්රධාන දොරටුව අසල කෙමෙන් උත්සන්න වන ව්යාකූලතාවයට පිටුපා, අඩ හෝරාවකට පමණ පෙර ඔහු පියනැඟි පෙත්මඟ ඔස්සේ සෙමින් සෙමින් පිය මනින්නට වූවාය.

Monday, October 3, 2011

51. නිශාදිනී..............


මේක සාමාන්ය නෝමල් ප්රේම කතාවක්......ඇත්තම කිව්වොත් සාමාන්ය ජීවිතේදි සිද්ධ වෙන දේවල් ඉතින් සාමාන්යදේවල් කියල වෙනම කියන්ට ඕන නැහැනෙ......හෙහ්, හෙහ්, මේකත් එහෙම කතාවක්.....බොහොම සාමාන්ය කොල්ලෙකුට සහ කෙල්ලෙකුට සිද්ධ වෙච්ච අසාමාන්ය සිද්ධියක්......අසාමාන්ය කියල මම කියන්නෙ සාපේක්ෂව.......සමහර විට මේක තවත් කෙනෙකුට බොහොම සාමාන්ය දෙයක් වෙන්න පුලුවන්......

මේ කතාව සිද්ධ උනේ ජාතිවාදයේ ගිණි දැල් බුර බුරා නැඟෙන යුගයකදි......මෑත අතීතයෙ නම් නෙවෙයි........පාසල් සමයෙන් පසුව කාර්මික විද්යාල අධ්යාපනය ලබන කාලෙ.....එහා පංතියෙ හිටපු දමිළ යුවතියක හා මම පෙමින් බැඳුනා......දමිළ උනාට විශ්වාස කරන්න ඇය මට වඩා සුදුයි.....එයාල යාපනේ..........තාත්ත දෙමළ.....අම්ම සිංහල,

නෙතඟ බැලුම්....මඳ සිනහ.....ප්රේමයේ ප්රාථමික කාල සීමාව පසුකොට ප්රේම පුෂ්පය විකසිත වෙන්නට ඇරඹුනා පමණයි........ජාතිවාදී රකුසා මුව විවර කොට ගිනිදැල් විහිදුවන්නට පටන් ගත්ත.

ඒ කටුක යථාර්තය මට මුලින්ම පැහැදිලිවම දැනුනෙ ඇය කෙස් වැටිය හැඩ කල පිච්ච මල් එක් දිනක පැළඳ නොසිටිනු දුටු විටය.

" බෑ....අනේ....අප්ප කිව්ව පිච්ච මල් ගහගෙන පාරෙ යන්ට එපාය කියල "

ඔහොම සති දෙකක් විතර කාලයක් ගෙවිල ගියා....තත්වය එන්න එන්නම දරුණු අතට හැරුණා........අවසානයේදි කවදා හෝ එළඹේයයි මා බලාපොරොත්තු වූ ඒ දවස මා සිතුවාටත් වඩා බොහෝ විගසින් එළඹිණි.

" හෙට අපි යාපනේ යනව....ආපහු එන එකක් නෑ....." ඇගේ පියා කච්චේරියේ ඉඩම් නිලධාරියකු වූ අතර ඔහු යාපනයට කෙසේ හෝ ස්ථාන මාරුවක් ලබාගෙන ඇත.

නගර මධ්යයේ බද්ධ පර්යංකයෙන් වැඩ හිඳිනා යෝධ බුදු රුව.......ඒ ඉදිරිපිට ඇති බස් නැවතුම්පල......ඇය අවසන් වරට මගේ දෑත ගෙන සිප ගත්තීය.ඇගේ දෑසින් වැටුණු කඳුලක් මගේ පිටිඅල්ල මත වැටී බොඳවී ගියේය.මම ද ඇගේ දෑත සිප ගතිමි.

" පොයිටි වාරෙන්" ඇය බසයට ගොඩ වීමට පෙර එක වරම හැරී බලා සෙමින් පැවසුවාය.

පොයිටි වාරෙන්...ගිහින් එන්නම්.....මම තාමත් ඈ එනතෙක් බලා සිටිමි.

නෙතගින් බැලුම් මා හද මත් කලාවේ,
විගසින් ඉවත බැලුවේ මද සිනාවේ,
වරලින් පිච්ච මල් ගිලිහුනු වෙලාවේ,
පවනින් හමන එසුවඳ දැනි මනාවේ,

ගිනිදැල් පැමිණ ඇත ගේ දොර අබියසට,
හසරැල් මැකුණි පෙරදින ආ දෙතොලගට,
සිහිලැල් පවන හමනුයෙ යලි කවදාට,
කඳුලැල් උනනු දැනුනේ මගෙ නෙතුඅගට,

සෙනෙහස මියගියේ උපදින්නට පෙරම,
මඳහස නුඹේ හද පෑයූ සඳ සේම,
මියුලැස මතක පමණකි සුවඳක් සේම,
සිහිනය මියගියේ හිමිදිරියට පෙරය.

පවුරක් බැඳුනි කිසිදින හමුවිය නොහැකි,
කවරෙක් අත ද දොස මම තව නොදන්නෙමි,
සවනක් රැස් විහිදු බුදු රුව පාමුලදී,
අවසන් වරට කඳුලින් මම සමු ගතිමි,

ඉතිං?.......ඉතිං එච්චරයි.........කතාව ඉවරයි.

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...