Friday, June 1, 2012

123. මල් කැකුලු රැසක් මිලිනව ගියෝයා.....




ලබන සතියෙ මගෙ වාර්ෂික නිවාඩුව....


පහුගිය ඉරිද වැඩ ඇරිල ඇවිල්ල හැමතැනම ඇවිද්ද මගෙ අල්ලපු කාමරේ අතිජාත මිත්‍රය එක්ක ලංකාවට ගෙනි යන්න බඩු අරව මේව ටිකක් ගන්න. අන්තිමට ආවෙ විලාජියෝ වෙලඳ සංකීර්ණයට..දෝහා වල තියෙන ඉතාම දර්ශනීය ඒ වගේම ලෝකෙ සුප්‍රසිද්ධ වෙළඳ නාම සහිත සන්නාම භාණ්ඩ රැසක් අලෙවි වන සුප්‍රසිද්ධ මෝල් එකක්.


සන්ධ්‍යා කාලෙ ඉඳල රෑ දෙගොඩ හරිය වෙනකනුත් දෙනෝ දාහක් ලෝකෙ හැම ජාතියකටම අයත් ගැහැණු, පිරිමි කෙල්ලො කොල්ලො විලාජියෝ එකේ පොදි කන්නෙ බඩු ගන්ට විතරක්ම නෙවෙයි.ඉතාම දර්ශනීය විදිහට ඉඳිකරපු වාස්තු විද්‍යාත්මකව බැලුවත් සෞන්දර්යාත්මකව බැලුවත් අග්‍ර ගන්‍ය නිර්මාණයක් වන මේ වෙළඳ සංකීර්ණය ඇත්තටම දෝහා වැසියන්ට Recreational Point එකක්. සවස් කාලය විවේකයෙන් සහ විනෝදයෙන් ගෙවන්ට අපූරුම තැනක්.


මේ ටිකේම ඉස්පාසුවක් නැතුව වැඩ...සඳුදත් ඒ වගේම තමයි....දවල් දොළහට වගේ ඇති මයෙ හිතේ....මොබයිල් එක රිං උනා. ඒ මගෙ යාළුව..


'' රවී විලාජියෝ එකේ මාර ගින්නක්.....ඒ පළාතම වැහිල කළු දුමෙන්...''


යාළුව වැඩ කරන්නෙ විලාගියෝ එක කිට්ටුවම.අපෙ ඔෆිස් එකේ ඉඳලත් එතනට වැඩි දුරක් නෑ. විලාජියෝ එක කිට්ටුවම තියෙන 2006 ආසියානු ක්‍රීඩා උළෙලට හදාපු ඔලිම්පික් පහන අගේට පේනව මගෙ සීට් එකට. හැබැයි මම වැඩකරන්නෙ ඒ පැත්තට පිටු පාල. යාළුව එහෙම කිව්වම මම ආපහු හැරිල බැළුව ජනේලෙන්. ඇත්තම නේන්නම් ඒ පළාතම කළුම කළු දුමාරයකින් වැහිල.


මම ආරංචිය කිව්වම ඔෆිස් එකේ අනික් හැමෝම ආව ජනේලෙ ළඟට...


'' My goodness, Ravi ayiya, I went there just last week....It seems to be somewhat a major fire...''


'' No, it would be put down immediately, Its natural during the peak of the summer, don't worry, its nothing,''


අපේ Document Controller, ඉන්දියානු යුවතියට මම එහෙම උත්තර දුන්න.


ආයෙම වැඩට බැස්සට මම සැරින් සැරේ හැරිල බැලුව...ම්ම්හ්...තාමත් දුම අඩුවෙලා නැහැනෙ...තද කළු දුම් තවමත් අහසට විහිදෙනව කියන්නෙ ගින්න තාම පාලනය කරල නැහැ...


පැයකට දෙහෙකට විතර පස්සෙ තමයි මම හිතන්නෙ දුම අඩු වෙලා ගියේ...


ගින්නෙ තොරතුරු ගැන හරියටම ආරංචියක් ලැබුණෙ නෑ...වැඩ නිසා මටත් ඒක එහෙම්මම අමතක වෙලා ගියා.


දවල්ට කාල ලැබෙන පොඩි විවේකෙදි මම පත්තරයක් බල බල හිටියෙ.


'' රවි අයිය..මාර වැඩේනෙ...අපේ ෆයිනෑන්ෂල් මැනේජගෙ දුවත් ගින්නට අහුවෙලාලු. '' මා එක්ක වැඩ කරන ලාංකික සඟය දුවගෙන ඇවිත් කිව්ව...


'' නෑහ්....''


මට එක පාරට පුටුවෙන් නැඟිට්ටුන...


'' ඉතිං?......''


මම ඉතුරුටික වචන වලට පෙරලුවෙ නෑ...ඒත් ප්‍රශ්නෙ හිස් අවකාශෙ පාවෙලා ගියා..


'' නැතිවෙලයි කියල කියන්නෙ අයියෙ...''


මිනිහ ඒ ටික කිව්වෙ බොහොම හෙමීට..


මම එහෙම්මම ආපහු පුටුවෙ ඉඳ ගත්ත.


සති දෙකකට විතර කලින් තාත්ත එක්ක ඇවිල්ල ඔෆිස් එක පුරහම දුව පැන ඇවිද්ද පුංචි සුරංගනාවි,.....අවුරුදු හතක පුංචි සුරංගනාවි...උරහිසට වැටෙන රන්වන් කෙස් වැටිය හොලව හොලව එහෙ මෙහෙ දිව්ව පුංචි සුරංගනාවි, හැමෝම ළඟට ඇවිල්ල '' Hello, how are you? '' කියල කිව්ව පුංචි සුරංගනාවි...


ඇස් තෙත් වීගෙන ආව නිසාම මම දෑස් තදින් පියාගත්ත...


*******************************

ජනගහනය ඉතා සීඝ්‍රයෙන් වැඩිවෙන විදිහට අහසෙ පදිංචියට යන්න මිනිස්සු උත්සාහ කරන එක පුදුමයක් නෙවෙයි. ලෝකෙ දැනට තියන උසම ගොඩනැගිල්ල ඩුබායි නගරයේ Burj Khalifa....මීටර් 829.84 උසයි, අඩි වලින් නම් 2723.00


මිනිස්සු පොළවෙන් ඈත් වෙන්න ඈත්වෙන්න ආරක්ෂාව සමානුපාතිකව අඩුවෙනව කියලයි මට හිතෙන්නෙ.නිකමට හිතන්න අනාගතයෙ නිර්මානයවෙන මීටර් 2000 විතර උස ගොඩ නැඟිල්ලක ගින්නක් ඇති උනාය කියල...මිනිස්සු බේර ගන්න වෙන්නෙ හෙලිකොප්ටර් වලින්ම තමයි. වෙන ක්‍රමයක් නෑ.


භූමිකම්පා හැරුණුවිට මේ වගෙ යෝධ ගොඩනැඟිලිවල බලපාන අනෙක් තර්ජනය තමයි ගින්න....


Fire is an obedient servant, nevertheless a cruel master


ඔය ගොල්ලො පුදුම වෙයි ඔය යකඩ කොන්ක්‍රීට් සහ වානේ වලින් හදාපු නවීන ගොඩනැඟිලිවල කොච්චර ඉක්මනට ගින්නක් පැතිරෙන්න පුලුවන්ද කියල...ඒත් ඒක තමයි ඇත්ත...ගිණි වැලැක්වීම (Fire Prevention ) සහ ගිණි මර්දනය (Fire Suppresion) කියන්නෙ නවීන ගොඩනැඟිලි නිර්මාණ ක්‍රමවේදයෙ ඉතාම වැදගත් කොටස් දෙකක්.

Smoke detecters, Addressabla fire alarm control systems, intelligent fire detectors, Automatic water sprinklers...ඔය ගිණි ආරක්ෂණ පද්ධතියක තියෙන රටේ නැති උපාංග වලින් කීපයක්...ඒත් අන්තිමට වෙන්නෙ මහ විනාසයක්....


ඒත් කණගාටුවට කාරණේ මේ සියලු ආරක්ෂක විධිවිධාන යොදලත් අන්තිමට මිල කල නොහැකි මිනිස් ජීවිත විනාශ වෙන එකයි.


Every fail safe and efficient system ever designed by man has an inherent risk factor that cannot be eradicated ; its called human error and negligence.


මේ ගින්න ඇතිඋනේ කොහොමද කියල තාම පරීක්ෂණ පවත්වාගෙන යනව. කියන විදිහට නම් තාම හේතුවක් කවුරුවත් දන්නෙ නෑ.


ඒත් සමහරවිට එක් පුද්ගලයෙකුගෙ අත් වැරැද්දක් වෙන්න පුළුවන් මේ ඛෙදවාචකයේ මූලාරම්භය.උදාහරණයක් විදිහට Smoke detectors වල තියනව සංවේදක කියල ජාතියක් ( Sensors ) ,පොඩි Chip එකක්..... එව්ව දිනපතා පරීක්ෂා කරන්ට ඕන හරිහැටි ක්‍රියාකරනවද කියල. පහුගිය සඳුද ඒ වැඩේ සමහර විට හරියට උනේ නැතුව වෙන්න ඇති..කවුද දන්නෙ?


අන්තිමට මල් කැකුළු දහතුනක් ඇතුළු අමිල ජීවිත දහනමයක් අහිමි උන එක විතරයි උනේ.....


LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...