Friday, September 28, 2012

137. අනේ ඔයා මට බණිනවා...පිස්සුද හලෝ?..කවුද දැං බැන්නෙ?

,.,
බැණිල්ල....බණිනව කියන එකේ නිර්වචනය මොකක්ද?....එහෙමත් නැත්නම් බණිනව කියල කියන්නෙ මොකක්ද?...දැන් සාමාන්‍යයෙන් බණිනව කියල කියන්නෙ යම් නුසුදුසු නැත්නම් වැරදි දෙයක් කලාම ඒ ගැන කියන එක නේද?...එතකොට ඒ කියන්නෙ යමක් පිලිබඳව කරුණු පැහැදිලි කරල දෙන එක...ඒකෙ වැරැද්දක් මොකවත්ම නෑනෙ...එහෙම කරන්ට හැමෝටම අයිතිය තියනව...මම අකමැති දෙයක් ඔයා කලොත් ඒ ගැන ඔයාට කියන්ට මට අයිතිය තියනව වගේම ඔයා අකමැති දෙයක් මම කලොත් ඒ ගන මට කියන්ට ඔයාටත් අයිතියක් තියනව.

එතකොට මේ කරුණු පැහැදිලි කිරීම බැණිල්ලක් බවට පත් වෙන්නෙ කොතනදිද?...නැත්නම් ඒ කොහොමද?...මේ දෙක වෙන්වන මායිම නැත්නම් සීමා ඉර කොතනද?...ඒ වගේම මෙහෙම කිව්වොත්.... ඒක බැණිල්ලක් ඒත් මෙහෙමනම් ඒක කරුණු පැහැදිලි කිරීමක් කියල නිර්වචනය වෙන්නෙ පාවිච්චි කරන වචන වලින්ද නැත්නම් ඒ වචන පාවිච්චි කරන ස්වරයෙන්ද?...නැත්නම් මේ දෙකෙන්මද?

ඔය මම බණිනව කියල නාහෙං අඬන එක අපෙ ලොක්කිගෙත් අතෑරගන්ට බැරිම පුරුද්දක්...කිසිම දෙයක් ...පැහැදිලි කිරීමක්...විග්‍රහ කිරීමක්...විශ්ලේෂණයක්...කරුණු ඉදිරිපත් කිරීමක් කොරන්ට බෑ...ඔන්න අරිනව ටැප් එක...කඳුලු කියන එව්ව අතේ අරං ඉන්නෙ....අනේ ඔන්න ඔයා මට බනිනව...ඕං ඉතිං මොකදෑ කොරන්නෙ...මම ඉතිං විදග්ද බුද්දිමය කරුනු සාරාංසකරනය පැත්තක තියල මයෙ රතු රෝස මල් ඉහිරුණු ලොකු බූල් තුවාය හොයනව...ඒ මොකටද?...මොකටවත් නෙවෙයි එයැයිගෙ කඳුලු පිහින්ට...

'' අනේ මම ඒ බැන්නද අනේ?....ඔයාට ආදරෙං කරුණු පැහැදිලි කලා නෙව..''


කඳුලු පිහින ගමං මම කියනව..


'' නෑ නෑ ඔයා මට බැන්න..''

එයා තාමත් ඉකි ගහනව...කාටද ඉතිං මේ අවනඩු කියන්නෙ හැබෑට..

'' මේ නවත්ත ගන්නවද නැද්ද ඔය චුරුචුරුව?...යකෝ මාර කෙලියක්නෙ මේක කිසි දෙයක් කියන්ට බෑ පටන් ගන්නව වැලහින්නි වගෙ... ''

( ඔන්න ඔහොම ටිකක් සද්දෙට කියවුනා නම් තමයි...ආය බොරුවක් කියන්නෙ අහවල් දේකටද?...ඒත් ඒක බැණිල්ලක්ද?...කරුනු පැහැදිලි කිරීමක් කියන වර්ගීකරනයට දාන්ට බැරිද ඒක? )

'' අනේ...ඔන්න ඒ පාර නම් හොඳටම බනිනව...''
චුරුචුරුව මහ වරුසාවක් වෙන්ටයි යන්නෙ...දැන් ඔය පාර පටන් ගත්තොත් මේක නවත්තන්න වෙන්නෙ නෑ වරුවකට...අම්මප මගෙත් නෑනෙ මේ ඉවසීම කියන එක මංචාඩි කාලක්වත්...

'' බැන්නද අනේ ඒ?.......අඬන්ට එපාය කියලනෙ කිව්වෙ...ඒ ඔයා අඬන කොට මට බලා ඉන්ට බැරි හින්දනෙ...''
'' එතකොට අර යකෝ කිව්වෙ? ''
'' අහ්...එහෙම කිව්වෙද?...ඒ ඔයා අඬනව බලා ඉන්ට බෑ මට යකෝ කියලනෙ කිව්වෙ...''
'' එතකොට වැලහින්නි කිව්වෙ?...''
'' හරි, හරි, වැලහින්නියක් වගෙ අඬනව කියල ඔය පොත්වල තියෙනවනෙ ...ඒකයි මම එහෙම කිව්වෙ...ඒක ගනන් ගන්ට එපා. ''
ඕන්න යාන්තමට එදා වැඩේ ගොඩින් ෂේප් කර ගත්තා...

මේ ආයෙම දවසක්....

ඔන්න දවසක් රෑට කන්ට ඉඳගත්ත කියමුකො..කටේ තියන්ට බෑ ලුණු...වෙලා තියෙන්නෙ මේකයි...අර යනවනෙ සුවර්නවාහිනියෙ හිටු මැදුර....මේ අම්මණ්ඩි ඕකට පන ඇරල...අර කවුද බං අර ජපං කෙල්ලෙක් වගෙ නිලියක් ඉන්නෙ..ආ...මේ බිහාරා ද කවුද?........ඉවුං පිහුං කොරන්නෙත් ඕකෙ සිහියෙං...එදා මොකද්ද ඕකෙ අනුවේදනීය සීන් එකක් ගිහින් ඒ සිහියෙං ලුණු බෝතලේම කෙලල ඇරල හොද්දට...

ඔය ටෙලි නාට්ටිය කියන අටමගල් තියනව නේද?....අම්මප මගෙ තියෙන්නෙ පුදුම තරහක්...අපි බැඳපු අලුත තමයි ගියේ අර යසෝදා හිටපු නාට්ටිය..මොකක්ද මේ?...හරි..... දූ දරුවෝ නේද?...නැත්නම් නෑදෑයෝ ද?...හරි මොකක් හරි...අර පස්සෙ සෙලින්කෝ එකෙන් ඇඩ් එකක් එහෙම ගියේ '' අහිංසා...... ඔයා'' කියල ...අන්න ඒක..

ඔය නාට්ටිය පටන් ගන්නෙ ප්‍රවෘත්ති එහෙම ඉවර වෙලා 8.40 ට විතර...මෙන්න.... මේකනෙව වැඩේ...මේ අම්මණ්ඩි මෙන්න අලුත් තුවායකුත් එහෙම අරගෙන ලෑස්තිය අටහමාර වෙනකොට. වෙන මොකටවත් නෙවෙයි..... අඬන්ට....අඬන්ට...

අටහමාරෙ ඉඳලයි පටන් ගන්නෙ ඇඬිල්ල.......අටහමාරෙ ඉඳල....අටහමාරෙ ඉඳල....

ඔය නාට්ටිය බලා ඉන්න ගමන් මෙයයිගෙ ඇඬිල්ල බලා ඉඳල එයයියෙ ලොකු අක්කගෙ දූ දවසක් මාර කතාවක් කිව්ව..

'' ඒ ගොල්ලො නම් අඬන්නෙ සල්ලි ගෙවන නිසා..ඒක බලා ඉඳල පුංචිඅම්ම නම් නොමිලෙම අඬනව ''

හෙහ්, හෙහ්, අපිට මැරෙන්ඩ හිනා...අපෙ ලොක්කිත් ඔන්න මම දැක්ක ඇස් දෙකේ කඳුලු පුරෝගෙනම.... ..ඒත් හිනා උනා...

හරි ආයෙම එමු ලුණු වැඩි වෙච්චි දවසට......

ඉතිං ඔන්න අහගනිල්ලකො වෙච්ච දේ...මුලිම්ම හොදි දීසිය පියාඹලා ගිහිල්ල වැටුන සිංක් එකට...ඊට පස්සෙ මයෙ පිඟාන එහෙම්මම වැඩම කලා මහ පොලවට..ඊට පස්සෙ ඔන්න මගෙ සුහද කරුණු ඉදිරිපත් කිරීම..

'' මල මඟුලක්නෙ මේක..... අවුරුදු දාහතක් වෙනව ...තාම බෑ හරියට හොද්දට ලුණු ටික දාගන්ට..මට නං මේ කෙරුවාව අපෝ වෙලයි තියෙන්නෙ...මේ කරුනා කරල හෙට උදේම මම ගිහිල්ල දාන්නං බස් එහෙකට ....යන්ට ගෙදර...මම කොහොම හරි පන ගැටගහ ගන්නං ''
ඕන්න අඬන්ට පටං ගත්තෙ නැතෑ ඉකි ගගහ...මොන තරම් කිව්වද බැන්නෙ නැත කියල ...කෝ ඇහුවෙම නෑ නෙව.. 


'' නෑ ඔයා මට බැන්න...ඔයා හරි නරකයි...අර හොදි දීසිය වීසි කලා සිංක් එකට ''
'' නෑනෙ ළමයා...ඒ හොද්දට ලුණු ෂුට්ටක් වැඩියි තමයි..ඒක ගානක් නෑ...අනික මම ඒ දීසිය සිංක් එකට දැම්ම විතරයි, හෝදල දාන්ට ලේසි වෙන්ට......වීසි කලේ නෑ......''
'' එතකොට පිඟාන පොලවෙ ගැහුවෙ? ''
'' ඒක මෙහෙමනෙ...මම කොහොමත් අලුත් පිඟානක් ගන්ටයි හිටියෙ...මට එකයි ඔයාට එකයි...අනික මට බලන්ට ඕන උනා මේ අලුත් ටයිල් එක ස්ක්‍රැච් පෲෆ් ද කියල...බර ගානක් ගත්තනෙ හාඩ් වෙයාර් කාරයා මේකට ස්ක්‍රැච් පෲෆ් කියල.......ඒක චෙක් කරන්ටයි මට ඕන උනේ...''

'' ආ, එතකොට හෙට උදේ බස් එකට දාන්නං කිව්වෙ මට ගෙදර යන්ට. ''

'' ඉතිං ඒක වැරැද්දක්ද?...ඔයා කාලෙකින් ගියේ නෑනෙ නේද ගෙදර...පුහුල් දෝසි පන්සීයකුත් අරගෙන අම්ම අප්පච්චි බලල එන්ට ගිහිල්ල. ''
'' ආ...එතකොට ඔයා කොහොම හරි පණ ගැටගහගන්නම්ද මොකක්ද කිව්වෙ? ''
'' ඉතිං බලන්ට එකෙං තේරෙන්නෙ ඔයාට තියන ආදරේ නෙවෙයිද?...ඔයා ගෙදර ගිහිල්ල ඉන්න දවස් දෙක තුනට මම බොහොම දුකසේ කොහොම හරි පණ ගැට ගහගන්නම් කියලනෙ ලමයො ඒ කිව්වෙ..''
ඔය මොනවා කිව්වත් පිළිගත්තෙම නෑ නෙව ...මම බැන්නයි කියලයි තාමත් කියන්නෙ...ඉතිං දැං කියාපල්ල බලන්ට උඹලගෙ තීරණය...ඒ බැණිල්ලක්ද නැද්ද?

Wednesday, September 26, 2012

105. නෝනාට පොතක්... මහත්තයාට පතොක්........

පිංතූරය මෙතැනින්

“මිසිස් රත්නායකත් යනවා කිව්වා”

“හ්ම්... ඉතිං?”


“ඉතිං කියන්නේ අනේ... ගෙදරට ම වෙලා ඉද්දි කම්මැලියි. මමත් ලිස්ට් එකක් හදා ගත්තා. 23ක් තියෙනවා. ඒ ලිස්ට් එක ගත්තා නං මට අවුරුද්දට ම ඇති”

“වට්.......... විසි තුනක්? අනේ හැබෑටම ඔයා ඕවා අරගෙන කියවනවද? පෙන්ෂන් ගත්තේ නිස්කාංසුවේ ඉන්න කියලා නේද?”

“ඉතිං අනේ නිස්කාංසුවේ කියවන්න තමයි පොත් ගන්න හදන්නේ. ඔයාට නං මොකද හැමදාම හවසට ක්ලබ් එකෙයි. ග්‍රවුන්ඩ් එකෙයි. ජොගින් පාත් එකෙයි, කොයිකේ හරි යාළුවොත් එක්ක එකතු වෙනවා. මං එහෙමද?”

“හා හා හරි හරි යමු යමු. ඔන්න කිව්වා පැය 2යි මට ඉන්න පුලුවන්. ලිස්ට් එකම ස්ටෝල් දෙක තුනකින් කවර් කරගන්න විදිහක් බලන්න”




****************************************

“ඇයි ඔය තව පොත් තියෙනවා නේද ලිස්ට් එකේ? ඒවා ගන්නකෝ මළවදේ, නැති එකම හොයන්නේ”

“ම්ම්................. ඒ වුනාට ඒක තමයිලු මේ පාර එවෝඩ් එක ගත්තේ. මිසිස් රත්නායක ගන්නම කිව්වා”


“අනේ අම්මාපල්ලා මේ ගෑණුන්ටත්. තමන් මගුල් කරනවා මදිවට අනිත් එකියන්ටත් බෝ කරනවා!!!


“ආ මොකද්ද ඔයා කිව්වේ...........???”


“නැහැ මොකුත් නැහැ. මට දැන් එපා වෙලා මේකේ හිරවෙලා ඉඳලා. කකුල විසි පාරක් විතර පෑගුනා. ඔය පොත මං මොකක් හරි බුක් ෂොප් එකකින් ගෙනැත් දෙන්නම්. ඉක්මනට යමු යන්න.”

“එක්ස්කියුස් මී පුතා.......... සිටුවර පුවත තියෙනවද?”

“ඒක ඉවරයි මැඩම්.....”

“හා හා දැන් යන්න පෝලිමට......... ඔය මගුල මේකේ නැහැ කියලා දැන් කී දෙනෙක් කිව්වද?

“කෑ නුගහ ඉන්නකෝ අනේ.............”

“එක්ස් කියුස් මී........ ඔයා සිටුවර පුවත හොයනවා නේද........?”

“අනේ ඔව් දුව............ කෝ කොතැනද තියෙන්නේ?”

“නැහැ මේකේ තියෙනවද මං දන්නේ නැහැ. ඒත් සූරිය එකේ හරි විජේසූරිය එකේ හරි තිබුනා”

“ආ ඒක කොහිද තියෙන්නේ මේ ‘එච්’ හෝල් එකේමද?”

“නැහැ ආන්ටි ඒක තියෙන්නේ ‘බී’ හරි ‘ඒ’ හරි හෝල් දෙකින් එකක”

“ආනේ තෑන්ක්ස් ඩාලිං.............”

“මෙන්න සල්ලි. ගෙවලා එනවා.......... මං එළියෙන් ඉන්නම්............. මගුල!

**************************************
ඔයාගෙ ම නෝනාට
සිටුවර පුවත ගැන කිව්වට
තරහින් ඔරවා බැලුවට
හැදුවා දෙබස් මට ඕනෑ හැටියට

Monday, September 24, 2012

136. එක්තරා දඩයක්කාරයකුගේ කතාව...........The Saga of A Hunter.....19

.

අවසන ඔහු නොඉවසිල්ලෙන් බලා සිටි ඒ මොහොත උදාවිය. හීංඇළ ඉහත්තාවේ දඩයක්කාරයා හිඳසිටි ගල්තලාවට බොහෝ නොදුරින් වූයේ වක්කලමකි. නියඟ කාලයෙහිදී නිල්වන් දිය පිරී හිරු එලියේ දිලෙන මේ වක්කලම මෙදින දිස් වූයේ පෙනෙන තෙක් මානයේ පැතිර ගිය සුවිසල් ජලාශයක් මෙනි.

එහෙත් වක්කලමෙහිදී හීං ඇලේ ගැඹුර ක්ෂණිකව වැඩිවීම හේතු කොටගෙන වියරුව කරකැවෙන දියසුළි නංවමින් සතර දෙස විනාශ කරමින් ගලා ආ සැඩ පහර මෙහිදී නිරායාසයෙන් මඳක් තම ප්‍රචන්ඩත්වය අඩාල කර ගනියි. වක්කලම පසුවනතෙක් මෙලෙස මඳක් සෙමෙන් ගලායන බොර පැහැ ජල දහර ඉන්පසු සුපුරුදු ලෙස යලි ප්‍රචණ්ඩකාරී වෙයි.

එක් වනම ජල පහරේ කරකැවෙමින් ගසාගෙන පැමිණි සිඳී ගිය අතු ඉති සහ මුලිනිදුරුනු කඳන් අතර පා වෙමින් පැමිණ වක්කලමට ඇද වැටුනේ මිනිස් සිරුරකි. පුමිතිරි බව නිවැරැදිව තීරණය සඳහා දුර ප්‍රමාණය මෙන්ම සැඩ පහරේ ප්‍රචණ්ඩතාව සහ වේගය දැඩි බාධාවක් වුවද මේ ඊයේ රාත්‍රියේ ඔහු දුටු ස්වප්නයේ හුන් යුවතියම බවට දඩයක්කාරයා කිසිදු සැකයෙකින් තොරව එකෙණෙහිම දත්තේය.

එහෙත් කිසිදු හැල හොල්මනකින් තොරව අවම වශයෙන් අත් පා සැලීමකිනිදු තොරව පාවී එන යුවතිය සප්‍රාණික ද යන්න ඔහුට ගැටළුවකි. වහා ගල් තලාව මත නැඟී සිටි දඩයක්කාරයා ඇඟිලි දිගහැරගත් සුරත නළලෙහි තබා දෑස් ආවරණය කොට ගත්තේ පාව එන දේහයෙහි ප්‍රාණය තවමත් රැඳී ඇත්දැයි සැකහැර දැන ගැනීමට දැඩි උත්සාහයක නිරත විය.

ඒ යුවතියක බවට කිසිදු සැකයක් නැත. සිරුර පසුපසින් ඇදීඑන දිගු කෙස් කළඹ සියලු සැක දුරුකරලීය. ඒ හා සමඟම ඇස ගැටුණු දසුනෙන් දඩයක්කාරයාගේ සිතෙහි පැවති අනෙක් සැකයද දුරුව ගියේය. වක්කලමෙහිදී සැඩ පහරෙහි වේගය මඳක් අඩාල වන බව මම මීට පෙර පැවසුවා ඔබට මතක ඇති බවට මට සැකයක් නැත.මේ වේගය අඩාල වීම ඇයට නිරායාසයෙන්ම දැනුනා විය හැක නැතහොත් වෙනත් යම් හේතුවක් නිසා විය හැක, නැතහොත් හුදු අහම්බයක් නිසා විය හැක..එසේත් නොවේනම් ඇගේ ඉරණම හෝ දෛවය නිසාම විය හැක, දඩයක්කාරයා ඇසිපිය නොහෙලා ඈ දෙස බලා සිටිද්දී ඇය තම යුගත් සලා පිහිනීමට තැත් කලාය.

එහෙත් එසැනින්ම ඒ වෑයම අත්හැරදැමිමට ඇයට සිදුවූයේ වක්කලම පසුකොට නැවත අධික වේගයෙන් ගලායන සැඩපහරට ඇය යලි ඇතුලු වු හෙයිනි.දැඩි සැඩපහරට එරෙහිව පිහිනීමට තමන් නොසමත් බව උදක්ම දත් හෙයින්දෝ ඇය පිහිනීමට කල දුර්වල උත්සාහය අත හැර දමා දෙනෙත් යලි පියා ගත්තේ තම ඉරණමට ඉඩදීමට ඉටාගත් සෙයකිනි.

යළිදු මොහොතකුදු පමා නොවූ දඩයක්කාරයා වහා සැඩ පහරට පැන්නේ ඈ දෙසට පිහිනීමට පටන් ගත්තේය.

නව යොවුන් වියේ පසුවූ දඩයක්කාරයා ශක්තිමත් ආරෝහ පරිණාහ දේහයකට උරුම කම් කීවද එසේම තාරුණ්‍යයට සහජයෙන් හිමි ජවයෙන් ඔද වැඩුනේ වුවද පුරා දිනක් මුලුල්ලේ කිසිදු ආහාරයකින් තොරව නිරාහාරව පසුවූ හෙයින් මේ ඔහු දෙවරක් නොසිතාම එළඹි කාර්යය කිසිසේත් සුකර කර්තව්‍යයක් නම් නොවීය.

එසේම වර්ෂාව තුරල් කොට තිබුණද සැඩපහරෙහි ප්‍රචණ්ඩත්වයෙහි කැපීපෙනෙන අඩුවීමක් ද නොවීය. යුවතිය වෙත ලඟා වීමට පෙරම තම ශක්තිය හීනව යන්නාක් මෙන් දැනුනද දඩයක්කාරයා පසුබට නොවීය. අවසන කෙසේ හෝ ඔහු ඈ වෙත ලඟාවූ ඔහු ඇගේ කෙස් වැටියෙන් තම සුරතින් තරව ග්‍රහණය කොට ගත්තේය.

දියෙහි ගිලීයාමට ආසන්න පුද්ගලයෙකු තමා බේරාගැන්මට පැමිණෙන තැනැත්තාගේ සිරුරෙහි තමනට ස්පර්ශ වන ඕනෑම තැනක් තරව ග්‍රහණය කර ගැන්ම නිරායාසයෙන් සිදු වන්නකි. ස්වයංක්‍රීයව සිදුවන්නා වූ මෙම ක්‍රියාව බොහෝවිට දියෙහි ගිලෙන්නාගේ පමණක් නොව ඔහු / ඇය දිවි බේරාගැන්මට පැමිනෙන්නාගේද ජීවිත අනතුරේ හෙලයි.

දඩයක්කාරයා කිසි දිනෙක ජීවිතාරක්ෂක පාඨමාලාවක් හදාරා සහතික ලබා නොමැති බව ඔබට වෙසෙසින් කිවයුතු නොවන බව මම දනිමි.ප්‍රිය සහෘදය/ සහෘදිනිය...එසේම එවන් සහතික පත්‍රයක් රාමු කොට ඔහුගේ ගෙපැලෙහි පෞරාණික පෙට්ටගමට ඉහලින් එල්ලා ඇති බවක් ද මම ඔබට නොපැවසුවෙමි. එසේ හෙයින් දියෙහි ගිලෙන්නට යන තැනැත්තියක බේරා ගැන්මේ නිවැරැදි ක්‍රම වේදය ඔහු දන්නේ කෙසේදැයි ඔබට කුකුසක් හටගත්තේ නම් මේ ඊට පිළිතුරයි.

දියෙහි ගිලෙන්නෙකු බේරාගැන්මේ නිවැරදි ක්‍රමවේදය පිළිබඳ දැනුම ඔහුට සහජයෙන් ලැබුණකි. එමතුදු නොව ජීවිතයේ බොහෝ අවස්ථාවන්ට මුහුණ දියයුතු අයුරු දඩයක්කාරයා නිසර්ගයෙන්ම දැන සිටුයේ ඔහු ද බොහෝ විට විශ්මයට පත් කරවමිනි. දඩයක්කාරයා යනු සුවිශේෂී පුද්ගලයකු බව සටහන් කිරීම හැර ඊට වෙනත් තර්කානුකූල හේතු දැක්වීමක් ඔබට ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම පිළිබඳව මම ඔබෙන් සමාව අයදිමි.

දඩයක්කාරයා තම කෙස්වැටිය ග්‍රහණය කරගන්නවාත් සමඟම අඩසිහියෙන් වුවද දෙනෙත් විවර කල ඒ යුවතිය ඔහුගේ දසරුවෙහි එල්ලීමට උත්සාහ කළාය. එහෙත් ඒ වැළැක්වූ දඩයක්කාරයා කෙස් වැටියේ ග්‍රහණය ලිහිල් නොකොටම ඇයද රැගෙන ඉවුර වෙත පිහිනන්නට වූයේය.

පුරා දිනක් නිරාහාරව පසුවීමද එසේම සැඩපහර එරෙහිව පිහිනීමෙහි අසීරුවද, ඒ සැමටම වඩා යුවතියද රැගෙන පිහිනීමෙහි අතිරේක ආයාසයද තම චිත්ත ධෛර්යයෙන්ම මැඩපවත්වා ගනිමින් අවසන දඩයක්කාරයා ඉවුර වෙත ළඟාවුවද ඒ ඉතා වෙහෙසකරවය. වෙලෙවි ගමනින් දෑතින් ඔසවාගත් යුවතියද රැගෙන ගල්තලාවට ආයාසයෙන් ගොඩ නැඟුනු දඩයක්කාරයා යුවතියගේ දේහය ගල් තලාව මත සීරුවෙන් තබා ඇගේ හදවත ගැහෙන රාවය පිරික්සා බැලීය.

සුරතට ඇගේ හෘද ස්ඵන්දනය නොදැනුනු කල්හි හිස පහත්කල දඩයක්කාරයා ඇගේ උඩුකයෙහි වම් පසට සිය කණ තබා ඇගේ හද ගැස්ම පිළිබඳව යම් නිගමනයකට එළඹීමට තැත් කලේය.ඉතාම දුර්වල ඇගේ හද ගැස්ම එවිට ඔහුට ඇසුණේ ඔහු හුස්ම ඉහල පහල හෙලීම පවා මොහොතකට නතර කොට සියළු ඉන්ද්‍රියයන් ඇගේ හදවත කෙරෙහි නාභිගත කොට උදක්ම ඒ වෙනුවෙන්ම සිත යොමා හුන් බැවිනි.

තවමත් ඇගේ හද ගැහෙනා නමුදු එහි ඉතාම දුර්වල මෙන්ම අක්‍රමවත්බව අනතුරු හඟවනුයේ දැඩි අවදානමක් බැව්ද එසේම ඇගේ ජීවිතය බලවත් අනතුරකට ලක්ව ඇති බවද හොඳින් තේරුම් ගත් දඩයක්කාරයා වහා නැවී යුවතියගේ අප්‍රාණික දේහය ඔසවා ගත්තේය.

යුවතිය ද රැගෙන ගෙපැලට ඇතුලු වූ දඩයක්කාරයා පසුපස බිත්තිය අසල අතුරා තිබූ මුව සම මතුයෙහි ඈ සීරුවෙන් තබා නැඟී සිටියේය. මහ දඩයක්කාරයා ප්‍රගුණ කල වෙනත් නොයෙක් ශිල්ප ශාස්ත්‍ර අතර වෙද කම ද විය.එහෙයින්ම වියයුතු සේම ඔහු පැටි වියේ වූ දඩයක්කාරයාට වෙදකම ද ඉගැන්වීය. තම දැනුම පිළිබඳව දැඩි ආත්ම විශ්වාසයකින් පසුවුවද යුවතියගේ ජිවිතය රැඳී පවත්නා අසීරු තත්වය ඔහු සිතෙහි ව්‍යාකූල බවක් ඇතිකරලීය.

අනාගතයේ සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳව පූර්ව දැනුම දඩයක්කාරයාගේ සුවිශේෂී හැකියාවන් අතර වූ හෙයින් මෙවන් අවිනිශ්චිත, එමෙන්ම ව්‍යාකූල තත්වයක් ඔහු සිතෙහි හට ගැනෙනුයේ කෙසේද යන ඉතාම සාධාරණ එමෙන්ම ත.ර්කානුකූල පැණය ඔබ සිත්හි ඉපිද ඇති බැව් මම පැහැදිලිවම දන්නෙමි ප්‍රිය සොයුර, සොයුරිය...දඩයක්කාරයාගේ කතාව තවදුරටත් කීමට පලමු ඔබේ ඒ කුකුස දුරුකල යුතුයයි හඟිමි.

අනාගතය පිළිබඳව ඉතාම පැහැදිලි හෝ විස්තරාත්මක දැක්මක් ඒ සුවිශේෂී ශිල්පය මනාව ප්‍රගුණ කොට සිටි දඩයක්කාර පරපුරේ ආදිතම මුතුමිත්තන් අතර පවා නොවුණු බව පැවසීමට මට අවසර. හෙට දින, ලබන සතියේ, ලබන මාසයේ ලබන වසරේ සිදුවන්න කිසිදු සැකයකින් තොරව විස්තරාත්මකව දැන ගැන්මෙන් කිසිවකුට සිදුවන යහපතක් නොමැත. එවන් දැනුමකින් සන්නද්ධ වීමෙන් බොහෝවිට සිදුවිය හැක්කේ යහපතකට වඩා අයහපතකි.

එබැවින් කාලයේ මිහිදුම් සළුවෙන් වැසීගිය ඒ අතීතයෙහි පවා ඒ මුතුන්මිත්තන් අනාගතය පිළිබඳව දැන සිටියේ ඡායාමාත්‍ර වශයෙනි.යම් සිදුවීමක් සිදුවන්නට පෙර ඒ පිළිබඳව යම් අවබෝධයක් වූවද සිදුවීම පිළිබඳ පැහැදිලි චිත්‍රයක් හෝ නිශ්චිත කාල වකවානුවක් ඔවුහු දැන නොසිටියෝය.

අතීතයේ දඩයක්කාර පරපරපුරේ මුතුන්මිත්තන් අතර භාවිතාවූ බොහෝ ශිල්ප ක්‍රම සතතාභ්‍යාසයෙහි ( නිතොර පුරුදු පුහුණු කිරීමෙහි )නොයෙදීම හේතුකොටගෙන වර්තමානය වන විට ගිලිහීගිය බැව් මේ කථාවෙහි මීට ඉහත මවිසින් සඳහන් කරන්නට යෙදුනා ඔබගේ මතකයෙහි ඇතැයි සිතමි. එහෙයින් මහ දඩයක්කාරයාගේ යුගය වන විට අනාගතය දැක්මේ ඥාණය ඔවුන් අතර පැවතියේ ඉතාම අල්ප වශයෙනි.

යුවතියගේ ජීවිතය රැකගැන්මට හැකිවේදැයි ස්ථිරව නොදත් නමුදු පෙර දින රැයෙහි දුටු පියා සහ මව පිළිබඳ සිහිනය එක්වනම සිහියට නැඟුනු දඩයක්කාරයා උපේක්ෂා සහගත විය. ඒ සිහිනයේ අරුත යුවතිය තම ජීවිතයට දැඩි බලපෑමක් කරන්නියක බව ඔහුගේ සිතෙහි සැකයක් නොවීය. මෙලෙස නොයෙකුත් කල්පනාවෙන් බරවූ හිස මොහොතකට ඉන් මුදාගත් දඩයක්කාරයා දෙදණ නවා පහත්ව යුවතිය අසල හිඳ ගත්තේය. ඇය පූර්ණ නිරුවතින් පසුවන බව මුල්වරට ඔහුගේ සිතෙහි සනිටුහන් වූයේ මෙවිටය.

දඩයම් කල සත්වයකුගේ ගාතයක් හෝ දෙකක් රැගෙන අත්‍යාවශ්‍ය භාණ්ඩ හුවමාරුව උදෙසා නුදුරු ගම්මානයකට ගිය කීප වරකම එගම්වාසී යොවුන් දැරියන් කිහිප දෙනෙකුම ඔහු හා ඉඟිබිඟි පෑවා මෙන්ම ඒ හේතුකොටගෙන ඔහුගේ යොවුන් සිතෙහි ඉපිද උතුරාගිය නුපුරුදුවූත් එසේ වුවද ආශ්වාද ජනක වූත් හැඟුම් සමුදායකින් ඔදවැඩීගිය දඩයක්කාරයා ඒ කෙරෙහි ධනාත්මක ප්‍රතිචාර ද දැක්වූටේය.

ඉන් ඉදිරියට එවන් ක්‍රියාවලියක ඔහුගේ අත්දැකීම එක් වැසි පමාවූ වියළි සමයක සැඳෑ අඳුරින් වන පෙත වැසී යද්දී හීංඇලේ මහ නැම්ම අසල වූ සුවිසල් කුඹුක් වනස්පතිය සෙවණේ වූ කරඹ පඳුරු ගොන්නේ ගතවූ රසබර නිමේශයන් කිහිපයකට සීමා විය.

ප්‍රස්තුත දිනයෙහි ඉර හැරුනු සමයෙහි ගස් දෙබලකට වී සුව පහසු ලෙස හිඳ ගොම්මනට පෙරාතුවම එලි බැසගත් මුවන් රැලක් කෙලි දෙලෙන් පසුවන අයුරු නරඹමින් ගත කල දඩයක්කාරයා ඉර කඳු ඉහත්තාවෙහි සැඟවයන්නා හා සමඟම හීං ඇළ ඉවුර දිගේ ගෙපැල බලා පා නඟමින් සිටියේය.

මහ නැම්මේ පිහිටි සුවිසල් කුඹුක් ගස සෙවණ්ට එළඹෙන්නා හා සමඟම හේ විශ්මයෙන් ඇලලී එක් වනම හිටිපිය නතර වූයේ ඔහු ඉදිරියේ දිස්වූ දර්ශනය අදහා ගත නොහැකිවූ හෙයිනි.

බැස යන රත්වන් හිරරැස් යන්තමට පතිතව කුඹුක් සෙවනෙහි අඳුර යම් පමනකට මකාලීය.ඒ රත්වන් ආලෝකයෙන් දඩයක්කාරයා දුටුවේ ඔහු භාණ්ඩ හුවමාරුවට නිතර යනෙන ගම් නායකයාගේ තරුණ දියණිය ඔහු දෙස දිළිසෙන දෑසින් බලාසිටිනා අන්දමයි.

මතු සම්බන්ධයි........

Wednesday, September 19, 2012

135 . හදවතෙහි ඉඩහසර...නුඹ නමිනි හිතවතිය - Leaving indelible foot prints on heart


උතුරුමැද පළාතෙ නැගෙනහිර මායිමේ වසර හතක් සහ මධ්‍යම පලාතෙ උතුරු මායිමේ තව වසර අටක් අර්ධ රාජ්‍ය ආයතනයක මහා පරිමාණ ව්‍යාපෘතියක සේවය කරල මම අස්වෙලා ගෙදර ආවා. ඊළඟ අනුයාත වසර හය පෞද්ගලික අංශයේ නොයෙක් ව්‍යාපෘති බර ගණනක වැඩ කරල 2005 අවුරුද්දෙ කොළඹ මධ්‍යම පරිමාණයෙ ගොඩනැඟිලි ඉදිකිරීම් සමාගමක නුවර වැඩබිමක සේවයට බැඳුනා. අවුරුද්දකින් ඒ වැඩේ බොහොම සාර්ථකව නිමා කරල එහෙම ....දන්නවනෙ මයෙ වැඩ..අර කතාවකුත් තියෙන්නෙ...බල්ලට ඇති වැඩකුත් නෑ...හෙමින් ගමනකුත් නෑ කියල...හෙහ්, හෙහ්, අන්න ඒ වගේ...අඩේ ඒක නෙවෙයි නේද මෙතනට අදාල කතාව...මම හිතන්නෙ කච්චිය පිච්චියට ගියත් බල්ල හෙළුවෙන් කියන එක වෙන්න ඕන...ඈ..ඒකත් නෙවෙයිද?..හරි හරි ඕන කෙහෙම්මලක්.

නුවර ව්‍යාපෘතියෙන් පස්සෙ කොළඹ ප්‍රධාන කාර්යාලයෙ ඇතිවුනු පුරප්පාඩුවකට මට එන්න සිද්ද උනා. නුගේගොඩ නාවල පාරෙ පොඩි අතුරු පාරක් අයිනෙ පිහිටි දෙමහල් ගොඩනැඟිල්ලක් අපේ සේවා ස්ථානය...මෙතෙක් කාලයක් මම සේවය කරපු රාජ්‍ය ඒ වගේම පෞද්ගලික ආයතන අතර මම හරිම ආසාවෙන් වැඩ කරපු තැන තමයි එතන...ආයතන ප්‍රධානියොත් එහෙමයි සහෝදර නිලධාරීනුත් එහෙමයි....ඔක්කොමල එකම පවුලෙ සහෝදරයො අගෙ...ඒ උදාහරනය නම් අද කාලෙ හටියට එච්චර ගැලපෙන එකක් නෑ කියලයි මට හිතෙන්නෙ...මොකද අද එක පවුලෙ සහෝදරයො තරම් කවුරුවත් මරාගන්නෙ නෑ මම හිතන්නෙ......

ඉතිං ඔන්න මම ආවය කියමු ප්‍රධාන කාර්යාලයෙ වැඩට...මම මෙච්චර කාලයක් රට පුරා වැඩ කරල තිබුනට පූර්ණ කාලීනව කාර්යාලයක රාජකාරි කරන්ට සිද්ද උනේ මේ පළවෙනි අවස්ථාවට..ඔයිට කලින් මම හිටියෙ වැඩි කාලයක් ඉඳිකිරීම් ව්‍යාපෘති වැඩබිම් වල...ඒ නිසාම මේ පූර්ණ වශයෙන් කාර්යාල ජීවිතය මට අලුත්ම අත්දැකීමක් උනා...අලුතෙන් කරන්ට තිබුණු රාජකාරී ඒ හැටි අපහසුවක් නොවුනට වැඩ කෙරෙන ක්‍රියා පටිපාටිය අල්ලා ගන්ට ටිකක් මහන්සි වෙන්ට උනා.

මම කිව්වනෙ මේ සමාගමේ කාර්යාලය තට්ටු දෙකයි කියල...උඩ තට්ටුවෙයි මගෙ සේවා ස්ථානය තිබුණෙ. මුල් මාස කීපයම උදේ සීට් එකේ ඉඳගත්තම ආය දවල්ට කන්ට තමයි නැඟිට්ටෙ..ඒකරල ආයෙම වාඩි උනහම රෑ හත අට වෙනකල් එක දිගටම වැඩ..නිල වශයෙන් පහට සේවා කාලය ඉවර උනාට මම ගෙදර ගියේ සති අන්තයෙ නිසා රෑ වෙනකල් වැඩ කරන එක සාමාන්‍ය දෙයක් වෙලයි තිබුණෙ.

මේ දවස්වල අපේ හිටපු සැලසුම් ශිල්පියා සේවයෙන් ඉවත් වෙලා ගියා. ඒ වෙනුවට තව කවුරු හරි බඳවා ගන්න හොයනවයි කියල මට ඔය කණින් කොනින් ආරංචියක් ලැබුණා...කට්ටිය එකට එකතුවෙන ප්‍රධානම ස්ථානය තමයි පල්ලෙහා තට්ටුවේ කෑම කාමරය...දවල්ට කට්ටියම එකතුවෙලා බත් කාල පත්තරෙත් පොඩ්ඩක් එහෙන් මෙහෙන් බලල ආය සිගරට් එකකුත් ගහල ඔය රටේ දේශපාලන තත්වය, ක්‍රීඩා එ වගේම ඕපදූප වල් පල් එහෙම කියවමින් පැයක් විතර ගත කරන එක අපේ සිරිතක් වෙලයි තිබුනෙ...දවසේ එකතුවන ආතතිය සමනය කිරීමේ ක්‍රියාවලියක් හැටියටත් මේ හෝරාව හඳුන්වන්න පුළුවන්.

එක දවසක් මම හිතන්නෙ මම සේවයට ඇවිල්ල මාස තුනකට විතර පස්සෙ දවල්ට බත් කන්ට මම කෑම කාමරයට යනකොට ස්ටැන්ලි පත්තරේ බල බල ඉන්නව. ස්ටැන්ලි ආයතනයෙ ආරම්භයෙ ඉඳලම ඉන්න පැරණිම සේවකයෙක්. මම පුටුවක් ඇදල ඉඳගෙන මගෙ බත් එක දිග ඇර ගත්තා.

'' ඒයි ස්ටැන්ලි..දීපං බං ඕකෙන් කෑල්ලක්...''

ස්ටැන්ලි ඩේලි නිව්ස් එකෙන් පිටු දෙකක් හෝ හතරක් මට දුන්න. බත් කන ගමන්ම මම පත්තරෙත් දිග ඇර ගත්ත...

'' බොරුනෙ තනිකර මේ පත්තර වල තියෙන්නෙ, ''

ටික වෙලාවකට පස්සෙ ස්ටැන්ලි පත්තරේ ඉතුරු කොටසත් මට දීල පුටුවෙ පස්සට දිග ඇදෙන ගමන් කිව්ව...

'' බොරු නේන්නම්...'' මම පත්තරේට ඔලුව නවාගෙනම බත් කන ගමන් කිව්ව.

'' ආ..ඒක නෙවෙයි රවී, උඹ දන්නවද අද ජයන්තගෙ රිප්ලේස්මන්ට් එකට ඉන්ටවීව් තිබ්බනෙ...''

ජයන්ත කිව්වෙ මම අර කිව්වෙ කලින් අස්වෙල යනවයි කියල ..අන්න එයා.

'' ආහ්, එහෙමද? ඉතිං?...''

මම ඇහුවෙ ඔලුව උස්සන්නෙ නැතුවම.

'' ඔව්...ගර්ල් කෙනෙක් ආව...මම හිතන්නෙ සිලෙක්ට් කරගත්ත..ලබන සුමානෙ ඉඳල වැඩට එන්ට කියයි මහිතේ...''

'' ආ, ඒක හොඳයි...''

මම පත්තරේ පිටුවක් පෙරලුවා,

'' කවුරු වගේද දන්නවද?....''

ස්ටැන්ලි හිනාවෙවී ඇහුව.

'' මං දන්නෙ කොහොමද බං?....''

බත් එකේ ලන්ච් ෂීට් එක ගුලි කරල නැඟිටින ගමන් මම කිව්ව.

'' අර ටෙලි නාට්‍ය වල නිලියක් ඉන්නව මට නම මතක නෑ අන්න ඒ වගේමයි ''

ස්ටැන්ලියට ඕන කෙල්ලෙක් ටෙලි නාට්‍ය නිළියෙක් වගේ නිසා මම ඒ කතාව වැඩි ගානකට ගත්තෙ නෑ...
එතනින් ඒ ජවනිකාව ඉවරයි.

ඊට සතියකට විතර පස්සෙ ඇය ආව සේවයට...අපේ ආයතනයෙ ප්‍රධානියා කාර්යාලයෙ අනිකුත් අයට ඇය හඳුන්වා දෙමින්යන අතර මා ලඟටත් ආව.

'' රවී මේ අපේ ජයන්ත වෙනුවට ආපු අලුත් ඩ්‍රාෆ්ට්ස්මන්. ''

රෝස හෝ වෙනත් එවන් ලා පැහැයකින් යුතු සාරියකින් සැරසී සිටි ඇය මා හා සිනාසුනා.මම ද ඇයට අතට අත දුන්නා කියල මතකයි.

එදින පටන් වසර දෙකහමාරකට ආසන්න කාලයක් ඇය හා මා එකම ආයතනයේ සේවය කලා.රාජකාරි සම්බන්ධයෙන් අප අතර එතරම් සම්බන්ධතා නොපැවතුනු අතර දිවා ආහාරය ගැනීමෙහිදී සහ ඉන් පසුව පවත්වෙන සුහද අල්ලාප සල්ලාප කාල සීමාවෙහිදී ඇය අප හා බොහෝවිට එක් වූවා. විශේෂයෙන්ම බයිසිකල් කරුවකුගෙන් මිලදීගත් නෙළුම් කොලේ එතූ බත් පැකට් එකක් හා සම්බන්ධ අපූරු සිද්ධියක් මගේ මතකයෙන් කිසිදාක මැකී යන එකක් නැහැ..මේ සටහන දිගු ලියවිල්ලක් වීම වලක්වා ගැනීමට සහ ඒ ගැන සවිස්තරව ලිවීමට හිතාගෙන ඉන්න නිසා වැඩි විස්තර මේ වෙලාවෙ ලියන්නෙ නෑ.

ඒ හැරුණු කොට ඇය බොහෝ සේ පොත් කියවන්නියක් නිසාම මෙන්ම මා ද ඒ අංශයට දඩි නැඹුරුතාවයක් දක්වන නිසාම කිහිප දිනක අප අතර ඒ හා සම්බන්ධ කතාබහක් කෙරුනා.

වසර හතරකට පෙර විදේශ රැකියාවකට මට අවස්ථාවක් ලැබුනු විට ඒ අයදුම්පත් ගමන් බලපත්‍ර පිටපත් වෘත්තීය සහතික ආදිය ස්කෑන් කොට විදේශ සමාගමට ඊ මේල් කලේද ඇයයි.තොරතුරු තාක්ෂණය පිළිබඳ මගේ දැනුම වෘත්තීමය අවශ්‍යතාවයට පමණක් සීමා වූ නිසා ඇගෙන් ඒ සඳහා ලද සහාය මම ඉතාම අගය කරනවා.කොටින්ම මට මුලින්ම ඊ මේල් ගිණුමක් පවා සාදා දුන්නේ ඇය කියල කිව්වම ආය මගේ අයි.ටී. දැනුම ගැන කියන්ට දෙයක් නෑනෙ....හෙහ්, හෙහ්,

ඇගේ විවාහ උත්සවයට සහභාගී වීමට මම ඉතා ආශාවෙන් පසුවූ නමුදු ඊට මසකට පෙර මට විදේශ ගත වීමට සිදුවුණා. ඒ දිනවල ඉඳහිට ඊ මේල් වලින් ඡායාරූප ආදිය හුවමාරු කොට ගත්තා උනත් කලක් යනකොට ඉබේම ඒ සම්බන්දතාවය නැවතිලා ගියා ඔය බහුතරයක් සම්බන්ධතාවයන්ට සිද්ද වෙන විදිහටම.

ඔහොම අවුරුද්දක් විතර ගෙවිල ගියාට පස්සෙ ඉතාම අභව්‍ය සිදුවීමකින් මට සිංහල වියුණු කියල දෙයක් තියනවයි කියල දැනගන්ට හම්බ උනා. එකින් එක වියුණු කියවාගෙන යද්දි ඇගේ වියුණුවත් කියෙව්වත් ඒ ඇයමද කියල මට පොඩි සැකයක් ඇති උනා.ඒත් දවසක් ඇගේ සහ සැමියාගේ ඡායාරූපයක් වියුණුවෙහි පලවූ නිසා මගේ සැකය දුරු උනා...එහෙම නැත්නම් සැකය ස්තිර උනා...

ඉතිං අර කියනව වගේ "' The rest is history " සෙස්ස ඉතිහාසයයි.

මම මේ කියන්නෙ කවුරු ගැනද කියල අමුතුවෙන් කියන්ට ඕන නැහැනෙ..ඒත් දන්නවද පුදුම වැඩේ කියන්නෙ අපි එක වහලක් යට වැඩ කරපු අවුරුදු දෙකහමාරක කාලයට වඩා බොහොම කිට්ටු සහ ලෙංගතු විදිහට බැඳුනෙ අන්තර් ජාලයෙන් සහ වියුණු ලෝකයෙන් සමීප වුනු මේ පසුගිය අවුරුදු දෙකහමාරෙ. ඒත් එක අතකට ඒකෙ පුදුම වෙන්න දේකුත් නෑ. එහෙම තමයි ජීවිතේ හැටි.

මිනිස්සු කවුද කියල හඳුනා ගන්න එකට අවුරුදු ගානක් වැඩ කලත් එකට කෑව බීව උනත් බැරි වෙන්න පුළුවන්..ඒත් නොසිතූ විදිහට හැතැම්ම දහස් ගානක් එහා හිටියත් කිසිදිනෙක නොසිතූ විදිහෙ හෘදයාංගම බවක් ලෙංගතු බවක් ඇති වෙන්න පුළුවන්...සංසාරික පුරුදු කියල දෙයක් මම විශ්වාස කරන දවසක මම මේකත් ඒ වර්ගීකරනයට දාන්නම්...එතෙක් මට කියන්න තියෙන්නෙ මොන හේතුවක් නිසා හරි කමක් නෑ ඒ බැඳීමට මම හරි ආසයි කියන ටික විතරයි.

අපි ජීවිතේ බොහෝ කාලයක් බඩ බැඳගෙන ආශ්‍රය කල අය අපේ හදවතේ යම්තම් වර්ග අඩියක දෙකක ප්‍රමාණයක කකුලක් තියාගෙන ඉද්දි මේ ඊයෙ පෙරේද බොහොම අහම්බෙන් අපිට කිට්ටු උනු පුද්ගලයන් කිසිම කතාවක් නැතුව හදවතේ අක්කර දෙක තුනක් අල්ලගෙන වැට කඩුලු ගහගෙන මුත්තාපල් නොයං කියල පදිංචි වෙන්නෙ කොහොමද?...මොකක්ද ඒකට හේතුව කියල ඔයාල නිකමටවත් කල්පනා කරල තියනවද?
කලිනුත් කිව්ව වගේ සංසාරය ගැන මගෙ විස්වාසයක් නැති නිසා මට නම් ඒ ප්‍රශ්නෙට දෙන්ඩ උත්තරයක් නෑ..මම ඔයාලහෙන් එහෙම ඇහුවෙ ඒ නිසයි...දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න කියලයි.



සුබ උපන් දිනයක් රන්දිල් !!!

Happy Birth day Dear Randil !!!

May the powers that be grant you,
The serenity you deserve,
The fulfilment you merit,
The happiness you covet And most of all The life you aspire for,

ප. ලි. - පසුගිය විස්තර නොදන්නා අලුතෙන්ම මේ වියුණුව කියවන සහෘදයින්ගේ දැනුම් උදෙසා....මෙහි රන්දිල් යනු මේ නිදහස් සිතුවිලි වියුණුවෙහි මාගේ හවුල් කාරියයි..නිදහස් සිතුවිලි යනු අප දෙදෙනාගේම සාමූහික ප්‍රයත්නයකි.

Tuesday, September 18, 2012

134. දඩයක්කාරයාගේ කතාව....නුහුගුණ විකල්පයක් නොහොත් Thank You Ama


අපෙ අමා නඟා මරු කමෙන්ට් එකක් දාල තිබ්බ දඩයක්කාරයගෙ කතාවට..අමා විස්තර කරපු සීන් එක මගෙ හිතේ කොච්චර දුරට වැඩකලාද කිව්වොත් ඒ ඔස්සේ මම අමාට ලියපු පිලිතුරු කමෙන්ට් එක බොහෝම දික් උනා..ඒ නිසා ඔන්න ඒක මම දානව වෙනම පෝස්ට් එකක් හැටියට..

Thanks Ama...for a really hilarious comment that made my eccentric mind go into over drive mode instantly...Thanks again...

මේ රතු පාටින් තියෙන්නෙ අමාගෙ කමෙන්ට් එක...ඊට පස්සෙ තියෙන්නෙ ඒ ඔස්සේ හිත මෙහෙයවපු මගෙ විකාර කල්පනාවල්...

/ ඔව් ඔව්..මාත් කැමති ඒ ඔප්ෂන් එකට. මොකද ඒකෙ හොඳම කෑල්ල එන්නේ පස්සේ. ඒ කිව්වේ... එම රූබර යුවතිය රැගෙන ආ පිටි උරය ගන්නා දඩයක්කාර තෙමේ, එහි ඇති පිටි වලින් ඒ සුරතල් යුවතියට රොටි, පරාටා, නාන්, කේක්, ඉස්පන්චි, ඥාන කතා, උළුඳු වඩේ, කොත්තු, ප්රෙට්zසල්ස්, පේස්ට්‍රි, පැටිස්, බේගල්ස්, බනිස් යනාදී රසමවුළු, ඔහුගේ අතින්ම පිළියෙළ කොට, ඒවා යථෝක්ත සුරතලියට සියතින්ම කැවීමයැ. /

අම්මට වූඩු...සුපටි පටි පණ්ණෝ...මුගටි ගෙට පැන්නෝ කිව්වලු කලුකොඳයාවේ නායක හාංදුරුවො...සික්..උඹේ පරිබ්‍රාජක සක්තිය තමයි ( වචනෙ හරි නෙවද?...ඉමැජිනේසං කියන තේරුමෙං දැම්මෙ ඔතනට ) අමෝ සක්තිය...එල ද බ්‍රා...නියමයි...මල් හතයි...පහන් දා හතරයි...

රොටි, පරාටා, නාන්, කේක්, ඉස්පන්චි, ඥාන කතා, උළුඳු වඩේ, කොත්තු, ප්රෙට්zසල්ස්, පේස්ට්‍රි, පැටිස්, බේගල්ස්, බනිස් රසමසවුළු වැඩේ නම් නියමයි බං හෙහ්, හෙහ්,....නැඟල යයි වැඩේ....

අම්මප මට හිතෙනව නව නැම්මක් ඇතුව කතාව මේං මෙහෙම ගොතන්ට....බලාපං කෝමද කියල....හෙහ්, හෙහ්,

ඔන්න පිටි උරේත් කර ගහගෙන අර සුකුමලී එනවනෙ ගල් තලාවට...ඇවිල්ල දඩයක්කාරයගෙ පිටි උරේට පිටි උරේ හේත්තු කරල ඒකි හේත්තුවෙනව පිටි උරේට...( දැං ඔය හේත්තු උනේ කොයි පිටි උරේටද කියල මගෙං අහන්ට ලැහැස්ති වෙනව එහෙම නෙවෙයි හොඳද?...ඔය ඔක්කොම කොටල පොවනව වගෙ අකුරක් ඉස්පිල්ලක් නෑර කියාල දුන්නම කතාවෙං ඇති වැඩක් තියේයැ...මම කතන්දර කියන්නෙ එහෙම නෙවෙයි...පා ටකයට හිතා ගන්ටත් කෑල්ලක් ඉතුරු කරනව...)

ඔන්න ඉතිං හේත්තු වෙලා හිට ඇහිපිය දෙතුං පාරක් ගහල කාරිය ඇස් යටිං බැල්මක් දානව දඩයක්කාරයට...දඩයක්කාරය දඩයක්කාරය කියල කොයි වෙලෙත් කිව්වම කිසිම ගතියක් නැතිනිසා මෙතනින් එහාට ඔන්න මම දඩයක්කාරය හඳුන්වන්නෙ දඩ් කියලයි...මතක තියාගන්ටෝන හොඳද?

අපේ දඩ්ට අනුංගෙ හිත් කියවීමේ බලයක් තියනව කියල මතකනෙ, ඉතිං දඩ් සුකූගෙ ( සුකුමලී කියන නමේ සංක්සිප්තය ) හිතට එකාත්මික වෙලා බලනව.....හප්පච්චියේ ඔය ඒ මනුස්සය ගෑණු හිතකට ඒකාත්මික උනාමයි...මහ විනාසයක්නෙව සිද්ද වෙන්නෙ හපොයි ...දඩ් ගල්තලාව මතම කලංතෙ දාල වැටෙනව දේයි ගාල...

හොඳ වෙලාවට අර සුකූ ගෙනාපු පිටි උරේ උඩට තමයි දඩයක්කාරයගෙ පිටි උරේ පතිත වෙන්නෙ..ඒ නිසා වැඩි කරදරයක් නොවී වැඩේ ගොඩිං බේරෙනව...

ඔන්න සුකූ හොඳටම බය වෙනව...එයාගෙ තද නිල්පාට සහ ලානිල් පාට මිස්ර ඇස් දෙකෙන් ලොකු කඳුළු ගුලි දෙකක් කඩා හැලෙනව...කඳුළු මේ මේ...නිකම් ලා දම් පාටින් වගෙ දිස්න ගහනව...නොඉවසිල්ලෙං ඒ කඳුලු ගුලි පිටි අල්ලෙං පිහදා ගෙන සුකූ දූවල දූවල දූවල ගිහිල්ල හීං ඇලෙං අරං එනව ලා කහ සහ තද කොල මිස්‍ර පාටකින් යුතු කැන්ද කොලේකිං හදා ගත්තු සුට්ටි ගොටුවකට නිල්වන් දිය බිඳක්...මේ වැඩේට ටිකක් වෙලා යනව...මොකද සුකූ ගෙදර ඉන්දැද්දි පොත් කියවන්ට රුසිය....විසේසයෙම්ම Ms. Amanda Floursack කියන Teenagers අතර බොහෝම සුප්‍රසිද්ධ ලේකිකාවගෙ පොත් වලට තමයි එයා වහ වැටිල හිටියෙ...දැං ඔය ගංවතුරෙ ගහගෙන ආවෙත් ඇල හරහා දාල තියන ඒ දණ්ඩක උඩුබැලි අතට දිගාවෙලා Ms. Floursack ගෙ රසබර ආදර අන්දරයක් කියෝ කියෝ ඉන්දැද්දි එක පාරටම ආපු වතුර පාරකට අහුවෙලා තමයි.

එයාගෙ පොතක තිබ්බ ඔය වගේම සීන්ස් එකක් සුකූට මතක් වෙනව..ඒකෙත් කොල්ල ඔය මොකක් හරි හින්ද කලන්තෙ දාපුවම ( අපි හිතමු කෙල්ල අපි බඳිමු අනේ කියල කිව්වම කියල ) කෙල්ල දුවල ගිහිල්ල ඒ ලඟම තියෙන කැන්ද ගහෙං තමයි කොලයක් කඩාගෙන ගොටුවක් හදාගෙන වතුර ටිකක් ඇරගෙන එන්නෙ..ඕක මතක් වෙලා සුකූ වටපිට බලනව..වටේ වෙන ගස් තිබුනට කැන්ද ගහක් නෑ...අය කොල වලින් හදාපු ගොටු ඕන නෑ..දෝතට වතුර ටිකක් අරගෙන ගිහිල්ල දඩ්ගෙ මූණට ඉහින්ට යස අගේට පුළුවන්..ඒත් සුකූ ඒ වගෙ දෙකයි පනහෙ බාල වැඩ කරන ජාතියෙ කෙල්ලක් නෙවෙයි...

ඒ නිසා කඳුළු පිරි දෑසින් යුතුව ( ඇහැ ඇතුලෙ නිසා මේ පාරනම් කඳුලුවල පාට හරියටම කියන්ට අමාරුයි..එළියට ආපු ගමම්ම කියන්නං හොඳද?...කමක් නෑනෙ ? ) එයා යනව දඩ් ගාවට..දඩ් ගාව දණ ගහල අත් දෙකින්ම දඩ්ගෙ මූණ බොහොම සුමුදුව අත ගාන ගමන් හෙමිහිට මෙහෙම කියනව

" කිසි දේකට බට වෙන්ට එපා දඩ්...මම පුළුවන් ඉක්මනට කැන්ද ගහකින් කොලයක් කඩාගෙන වතුර ටිකක් ගෙනෙන්නං...අර පොතේ තිබ්බ විදිහට එහෙමයි කෙරෙන්න ඕන...නිකම් වෙන කොලේකිං වතුර ගෙනාවොත් හරි දෝතට වතුර ගෙනාවොත් හරි ඒ ආදරේ නිර්මල නෑ...මම ඒක දන්නව හොඳාකාරවම...( මේ වෙලාවෙ සුකූගෙ කඳුලු බිංදු දෙකක් වැටෙනව දඩ්ගෙ පපුවට...එයා පිටි උරේට අත දාල ගත්තු පිටි ටිකක් ඒ කඳුලු බිඳු වැටිල හැදුනු කැලලෙ තවරනව..ඒ මොකටද කියල ඇහුව?....මොකද ළමයි මෝඩ ප්‍රස්න අහන්නෙ..එහෙම තමයි උත්කුරුස්ට අනබිබවනීය ආදරයේ මූලික අවයවය...එව්ව එහෙම්මම වෙන්ට ඕන...Heh, Do you want to know why?...because I say so, that's why..) එතකල් ඔයා කොහේවත් යන්නෙ නැතුව මෙතනම ඉන්න...හොඳේ මයෙ රත්තරං ''

ඔන්න ඔහොම කියල අර ගල්තලාව උඩ තිබ්බ පිටිඋරේ අරගෙන දඩ්ගෙ බඩ උඩිං තියනව...

ඒ මොකටද දන්නවය පිටි උරේ බඩ උඩිං තියන්නෙ? ...මම එනකල් කොහෙවත් යන්න එපා කියල කිව්වට සුකූට විස්වාස නෑ දඩ් නැඟිට කොහෙ හරි යාවිද කියල...ඒකටයි තවත් හේතුවකුත් තියනව...හයියෙං හුළඟක් හමල දඩ් ගල්තලාවෙං පහලට පෙරලිල හීං ඇලට වැටුනොත් හෙම...ඔන්න ඔය කාර්ණා දෙකම නිසයි සුකූ පිටිඋරේ දඩ්ගෙ බණ්ඩිය උඩිං තියන්නෙ...

ඉතිං කැළේ බොහොම දුරක් ඇවිදගෙන ගිහිල්ල අන්තිමට සුකූට කැන්ද ගහක් හම්බවෙනව...ඉතිං එයා තංතෝසෙ වැඩිකමට කැන්ද ගහ යට වාඩිවෙලා ඉස්සෙල්ලාම පැය බාගයක් විතර අඬනව ඊට පස්සෙ සියලු දෙවියන්ට පිං දීල වැඩි වෙලාවක් නෙවෙයි පැයක් හමාරක් විතර නිදාගන්නව කැන්ද කොල දෙකකින් මූණත් වහගෙන...ඊට පස්සෙ ඇහැරල පේම ගීතයක් කියනව වනාන්තරේ එකනින්නාද වෙන්ට...

කැන්ධා ඛොලයඨා මම ගෙන එමි ජලයා,
දඩ් මා සිහ රධුනි මම ඔභ භේරා ගනිමිනා,

ඔය ටීටර් සින්දුව කිය කිය සුකූ නටනව කැන්ද ගහ වටේ...

ඊට පස්සෙ තමයි කැන්ද ගොටුවක් හදාගෙන වතුර ටිකකුත් අරගෙන ඇවිල්ල දඩ්ගෙ මූණට ඉහින්නෙ...හැබැයි මේ අතරෙ දඩ්ගෙ තත්වය බොහොම බයානක වෙලයි තියෙන්නෙ...කලින් දඩ්ට ඇල්ලුවෙ මේ පොඩි කලන්තයක්නෙ...සුකූ කැන්ද කොල හොයන්ට ගිය අතරෙ දඩ්ට සිහිය එනව...සිහිය ආවට මොන ඩම් දැම්මත් බෑ නෙව නැගිටින්ට...නෝ හෙල්ලුම්, පොල් මැල්ලුම්...ඇයි දෙයියෝ සාක්කි පිටි මෝලි තුන හතරක් අල්ලන්ට තරම් පිටි තියෙන පිටි උරයක් බඩ උඩ තියල තියෙද්දි මොන සැක්කරයටද නැඟිටින්ඩ පුලුවන්?

පිටි උරේ පෙරලන්ට දහිරි දාන අස්සෙ දඩ් ආයෙම කලන්තෙ දානව...ඇයි අප්පා මේ බඩ උඩ පටවාපු පිටි උරේ නිසා හුස්ම ගන්න එකත් අඩාල වෙලා නෙව තියෙන්නෙ...ඔහොම දෙතුන් පාරක් වෙනව...ඔන්න අන්තිමට සුකූ ඇවිල්ල මූණට වතුර ඉහිද්දි දඩ් ඇස් අරිනව...
'' අනේ මයෙ දඩ්...ඔයා මාව දාල ගියේ නෑ...මම ඔයාව බේරාගත්තා...''

සුකූට හරිම සතුටුයි එයා දඩ් වටේ ඔහොම කිය කිය ඩාන්ස් එකක් දානව...දඩ් බොහොම අමාරුවෙන් වචනයක් දෙකක් කියාගන්ට තටමනව......සුකූ දනගහගෙන දඩ්ගෙ මූණට මූණ ලන්කරල අහගෙන ඉන්නව දඩ් මොනවද කියන්නෙ කියල...

'' තො...තො....තො...''

ඔන්න ඔච්චරයි සුකූට ඇහෙන්නෙ..එයාගෙ මුණ රතුවෙනව ලැජ්ජාවෙන්....

'' අනේ ඔයා හරි නරකයි...කියන එව්ව...මගෙ තොල් ඉඹින්ට ඔච්චරම ආසද?...මම කවදක්කවත් හිතුවෙ නෑ ඔයයි මට ඔහෑටි ආදරේය කියල ''

ඔහොම කිය කිය සුකූ තොඳොල් වෙනව...දඩ්ට මාරාවේස වෙලයි තියෙන්නෙ...තො... තො... තො කියල බැරි මරගාතෙ දඩ් කියන්ට හැදුවෙ තොල් ගැන කෙහෙල්මලක් නෙවෙයි...'' තොගෙ ******* ***** ඉස්සරවෙලා ගෑණියේ මේ මඟුල් පිටි උරේ අයින් කරපන් මයෙ බඩ උඩින් නැත්නම් තව ටිකකින් මම මැරිලා යාවි '' කියලයි...

'' ඉන්නකො එහෙනම් බඩ උඩ මේ පිටි උරෙත් තියාගෙන පුලුවන්ය ඔය වැඩේ කොරන්ට ඉන්න මම මේක අයින් කරන්නම්...''

ඔන්න සුකූ පිටි උරේ අයින් කලා ....

පපුව පිරෙන්ට ලොකු හුස්මක් එහෙම අරගෙන දඩ් නැඟිටල ඉඳගත්ත...

'' ඉතින් අනේ කෝ අර තො..තො...කිය කිය කියපු එව්ව ''

ඔන්න සුකූ ඒ පාර පිටි උරේ දැවටිල මුමුණන්ට තියාගත්ත...දඩ් ආපහු හැරිල රවල බැලුව බැලිල්ලක් සුකූ එහෙම්මම පස්සට විසි උනා..

'' මේ පිරිමි නම් මහ පුදුම ජාතියක්..දැන් ටිකකට ඉස්සරවෙලා මාව ඉඹින්ට ඕන කියල දැඟලුව අර පිටි උරෙත් බඩ උඩ තියාගෙන...දැන් ඔන්න පිටි උරේ අයින් කලාම මා දිහාවෙ යකා වගෙ රවනව...''

සුකූ ඔහොම තනියම කියව කියව හිටිය...

ටිකකින් හුස්ම එහෙම යතා තත්වෙට පත් උනාට පස්සෙ දඩ් ආයෙම හෙමීට සුකූගෙ හිතට රිංගුව...කලින් වෙච්ච දරුනු අත්දැකීම නිසා මේ වතාවෙ නම් බොහොම ප්‍රවේසමෙන් තමයි ඒ වැඩේ කලේ...හප්පා..කියල වැඩක් නෑ...ගෑණු හිත්වලට රිංගනවට වඩා හොඳයි...මොකක්ද?....හෙහ්, හෙහ්, ඔය ඕනෑම එකක්...රජ කාලෙ තිබ්බෙ දෙතිස් වද කියාල..ඒ වද තිස් දෙකම නෙවෙයි හැට හතරක් තියේනම් ඒ හැටහතරම එක පාරට විඳින එක සැපයි ඊට...

හරි...එව්ව පැත්තකට දාමු..ගෑණු හිත් ගැන කියන්ට පටන් ගත්තොත් අද මේ දඩ් සහ සුකූගෙ කතාව අහවරක් කරන්ට වෙන්නෙ නෑ....

සුකූගෙ හිතේ දඩ් දැක්කෙ අර කලින් කියපු පරාටා, නාන්....ඔන්න ඔව්ව මෙව්ව කන්ට තිබ්බ බලවත් ආසාවක්... දඩ්ට පව් කියල හිතුන සුකූ ගැන...

පිටිඋරෙන් පිටි ඇරගෙන එතනම ගල් තලාව පිරිසුදු කරල හදාගත්තු මට්ටම් ගල් ලෑල්ලක් වගෙ තැනක එයා මෝලිය අල්ලන්ට පටන් ගත්ත...සුකූත් ලා නිල් සහ තද නිල මිස්‍රිත පාටකින් දිලිසෙන කඳුළු එහෙම පිටි අල්ලෙන් පිහ පිහ ඇවිල්ල ( ආ, හොටු ටිකකුත් හූරල දැම්ම නම් තමයි...පාට කියන්ට ඕනද?...ආයෙ මොකටද හැම එකේම පාට කියාපු එක මේක විතරක් අතාරින්නෙ?...හරි කහ කොල පැහැයෙන් බැබලෙන හොටු ස්වල්පයක්ද සූරා ඉවත විසිකල ඇය.... ) දඩ්ට උදව් උනා...

සුකූගෙ තාත්ත නමගිය බක්කරේ කෙනෙක්...සුකූ පවුලෙ එකම දරුව නිසා ඒ සිල්පය සුකූටත් තාත්ත කියල දීලයි තිබ්බෙ...ඒ නිසා ඔය ආන්, නාන්, රොටී බොටී, පරාට බරාට කොව්වත් හදාගන්න එක ඒ හැටි අමාරු උනේ නෑ...

පිටි උරේ ඉවර වෙනකල් දඩ් මෝලිය අල්ලල ඔන්න හැදුව මහ ගොඩක් කෑම ජාති...ඒ හදාපු ජාති මහ හුඟක් සුකූ කෑව...ඔන්න අන්තිමට දඩ්ට සිහියට ආව සුකූ ඇවිල්ල එයාගෙ පිටිඋරේට හේත්තුවෙලා උකුළු මුකුළු කරපු හැටි...ඔන්න දඩ්ටත් කවදාවත් පහල නොවිච්චි හැඟුම් සමුදායක් පහල වෙන්ට පටන් ගත්ත.

දඩ් ගිහිල්ල ගල් තලාව උඩ වැතිරිල ඉන්න සුකූගෙ මූණ ආදරෙන් අතගෑව...

'' අනේ මට නම් බෑ අයියො...පරාටම කෑව විස්සක්..එතකොට නාන් දොලහයි...ගෝදම්බර අටයි...මගෙ බඩේ ගල් දැම්ම වගේ...අද නම් බෑ මයෙ දෙයියො....''

සුකූ අනික් පැත්ත හැරිල ගොරෝ ගොරෝ නිදාගත්ත...දඩ් දිග සුසුමකුත් හෙලල ඉතිරිවෙලා තිබ්බ කිඹුල් බාගෙකුත් හප හප හඳ එළිය වැටිල ඥාණ කතා දිලිසෙන දිහා බලාගෙන හිටිය.

ඊට පහුවදා උනේ ඕකෙම අනික් පැත්ත..ඒ කිව්වෙ සුකූ එදා බඩ පැලෙන කල් බූසෙ කෙටුවෙ නෑ...ගානට කෑවෙ...ඒ කරල සුකූ ගිහිල්ල දඩ් ගෙ ඇඟේ දැවටෙන්ඩ පටන් ගත්ත...

'' අද නම් බෑ බොලේ.... දවස් දෙකක් එක දිහට මෝලිය අල්ලල මගෙ අතපය වනේ දාල කෙටුව වගේ...''

දඩ් මුනින් අතට හැරුන...සුකූ උඩු බැල්ලෙන් හඳ දිහා බලාන හිටිය.

දිගටම ඔය වැඩේ ඔහොමම උනා....දෙන්නම ඒ ගැන වැඩිය කරදර උනේ නෑ..

'' ආ, ඕක කවදා බැරිද?...මොකෝ ඔව්ව කොහෙවත් යන එකක්ය...''

දෙන්නම එකිනෙකා දිහාවෙ බලල හිනා උනා..

ඔය අතරෙ තව නොහිතපු වැඩක් උනා...මේ ආරංචිය ඉස්සෙල්ල කැලේ පුරා ඊට පස්සෙ අහල ගං රටවල් පුරා පැතිරිල ගියේ හරියට බට කැලේට ගිනිගත්තැහෙ...ඉම්පස්සෙ ඔන්න වෙච්චි වැඩේ අහල ගම් වලින් විතරක් නෙවෙයි නැගෙනහිර වෙරල කිට්ටුව තිබ්බ සිදාදියෙනුත් මිනිස්සු එන්ට පටන් ගත්ත රොටී, පරාටා, නාන්, අරව මෙව්ව ඇරන් යන්ට...

වැඩේ නැඟල ගිහිල්ල ගල් තලාව හෙවණ කරපු කොහොඹ ගහේ බෝඩ් එකකුත් ගහන්ට උනා '' දඩ් ඇන්ඩ් සුකූ - ටේක් අවේ '' කියල

මෙහෙම අවුරුදු ගානක් ගත උනා...වාලිඹේ ගල මුදුනෙන් පුන්සඳවල් මම හිතන්නෙ සිය ගනනක් මතු වෙන්ට ඇති..දඩ්ට සල්ලි ගලාගෙන ආවෙ හීන් ඇලේ ඉල් වැහි කෝඩ කාලෙට බොර වතුර දෙගොඩ තලා ගලන්නැහෙ...දඩ් ගල්තලාව සහ ගෙපැල ඇතුලුවෙන්ට අක්කර පහක් ගත්ත ආණ්ඩුවෙ ඉඩම් කච්චේරියෙං එල්.ඩී ඕ. බලපත්‍ර යටතේ...ගල් තලාව මැදිවෙන්ට ගැහුව තට්ටු දෙකට ගෙයක්...

ඇත්තම කියනව නම් ඒ ඔප්පුවලට අත්සන් කලේ දඩ් නෙවෙයි...එහෙනම් දඩයක්කාරයද?...නෑ..නෑ...එයත් නෙවෙයි...එව්වට අත්සන් කලේ ඩී.එම්. වනබූටෑව මහත්මයා...දඩයක්කාර මුදියන්සේලාගේ වනබූටෑව මයා...ඒ තමයි දඩයක්කාරයගෙ අලුත් නම...

නිකිණි පුරා හඳ පායල කොහොඹ ගහේ අතු අස්සෙන් එබුන...දෙවෙනි තට්ටුවෙ සඳලු තලයටත් ඒ සඳ එලිය නිරායාසයෙන්ම ගැලුව...ඒ සඳ දිහා බලාගෙන සඳළු තලයේ කවිච්චියේ දිගාවෙලා හිටපු වනබූටෑව මහත්මය ඔලුව හරවල බැලුවෙ පිටිපස්සෙන් හමාගෙන ආපු අපූරු විලවුන් සුවඳක් නිසයි.සද්ද නොනැගෙන්ට හෙමිහිට පා ඇඟිලි මතින් පියවර තබමින් ආපු සුකුමලී වනබූටෑව නෝනා, මහත්මයගෙ ගෙල වටා අත් යවල ඔහුගේ පිටි උරයට හේත්තු උනා...අර කලින් දවසෙ වාගෙම....

සමාපතයි ( හෙහ්, හෙහ්, සමාපතයි කියල කතාවක අගට ලිව්වෙ සෑහෙන කාලෙකිං....ඒකෙත් අම්මාපල්ල තියනව අමුතු ආතල් එකක්...)

Friday, September 14, 2012

133. එක්තරා දඩයක්කාරයකුගේ කතාව...........The Saga of A Hunter.....18


ක්‍රමයෙන් යථා තත්වයට පත්වන හෘද ස්ඵන්දනයට සවන් දෙමින් ගෙපිල මත වැතිර හුන් දඩයක්කාරයා මහළු වන මෘගයාගේ පිඟුවන් දෑස් දෙස එක එල්ලේම බලාසිටියේ මෝහනයට පත්වූ අයුරු තම දෑස සෙමෙන් පියවෙනු දැනී එක්වරම හිස දෙපසට සොළවා ඉන් මිදීමට තැත් කලේය.

එහෙත් දිවියාගේ දෑසෙහි වූ ආයාචනය හමුවේ කොතෙකුත් ප්‍රතිරෝධය පෑම නිශ්ඵල වූවක් බව අවසන වටහාගත් හෙතෙම දෑස පියවෙන්නෙට හැර ඉදිරිපිට හිඳ සිටිනා සත්වයා සමඟ ඒක මිතික විය.
සත්වයාගේ සිතට පිවිස දුටු දසුනින් දඩයක්කාරයාගේ සිත සොවින් බර වූයේය.

අධික වයස්ගත වීම හේතුකොටගෙන ස්වභාවිකවම හට ගත් ශාරීරික අබල දුබලතා හේතුවෙන් සුපුරුදු ලෙස කඩිසරව දඩයමෙහි යෙදීමට මෙන්ම දිවියන්ගේ දඩයම් ක්‍රියාවලියෙහි ඉතා වැදගත් අංගයක් වූ ගොදුර වෙත නිසොල්මනේ ලඟාව එක්වරම අන්පේක්ෂිතව කඩා පැනීමේ හැකියාව ක්‍රමයෙන් තුරන් ව යාම හේතුකොට ගෙන මහල්ලා සතියකට පමණ ආසන්න කාලයක සිට පසුවන්නේ නිරාහාරවය.

කිහිප වරක්ම දඩයම නිරර්ථක වී ගොදුර නිරුපද්‍රිතව පලා යනු උක්කුටිකයෙන් හරිත වන් තණ පිටියක හිඳ අපේක්ෂා භංගත්වයට පත් දෑසින් දිවියා බලා සිටිනු දඩයක්කාරයාට මනාව දර්ශනය විය.

සාගින්නෙන් පීඩිතව ජීවිතයෙහි අවසාන අදියරට පැමිණ සිටින වෘද්ධ දිවියාගේ බැගෑපත් අභියාචනය ඉදිරියේ දඩයක්කාරයා පත් වූයේ උභතෝකෝටික ගැටළුවකටය.තම දිවි රැකගැන්මට වුව දඩයමෙහි යෙදීමට කිසිදු රුචියක් නොදැක්වූ ඔහුට තමා අභියස හිඳ සිටිනා මහළු තිරශ්චීනයා ජීවත් කරවනු සඳහා ද දඩයමෙහි යෙදීමට බල කරවනු ලැබීම ඔහුගේ සිත වික්ෂිප්ත භාවයට පත් කරළීය.

බොහෝ වේලා දෑස් පියා කල්පනා කල හෙතෙම අවසන තීරණයකට එලඹියේ දෑස් විවෘත කලේය.

'' ජීවිතේ අපිට අපි කැමති දේවල් විතරක් නෙවෙයි පුතා.....බොහෝ විට ඒ ඒ අවස්ථාව අනුව අපි අකමැති දේවලුත් කරන්න වෙනවා.ඒ ගැන කම්පා නොවී උපේක්ෂාවෙන් ඉවසන්න අපි පුරුදු වෙන්න ඕනෑ..''
පියාණන්ගේ ඒ වදන් උදෑසන ළහිරු රැස් වට මිණි මෙන් දිලිසෙන පිණිබීඳු රැඳි කොහොඹ පත් පිස හමා ආ සිහිල් සුළඟ හා සමඟ පැමිණ දඩයක්කාරයාගේ සවන් පුරවාලීය.

වයෝවෘද්ධ මෘගයාගේ බැගෑපත් අභියාචනය කොතෙකුත් ප්‍රතික්ෂේප කරනු නොහැකි වූ දඩයක්කාරයා අවසන පියාණන්ගේ වදන් ද සිහිපත් කලේ දෑස් හැර බලා දිගු සුසුමක් හෙලීය. තම ඉල්ලීම ඉටුවන බව දත් මහළු දිවියා සෙමින් නැඟී සිට වයස්ගත ව අබල දුබල වූ සන්ධි හේතුකොටගෙන මඳක් වෙළෙවි ව කඩුල්ලෙන් පැන ගෙපැල ඉදිරියෙන් දිවෙනා පෙත් මඟ පසුකොට වන බූටෑවට වැද අතුරුදන් වූයේය.

එදින ඒ මොහොතේ පටන් දඩයක්කාරයා සහ දිවියා අතර ඇති වුයේ අපූරු සම්බන්ධතාවයකි. දින දෙකක් හෝ තුනකට වරක් වනයට පිවිසෙන දඩයක්කාරයාට බොහෝ කොට දිවියා ඇස නොගැටේ. එහෙත් වන බූටෑව තුල ආසන්නයේම පසුවන බව දඩයක්කාරයා නිසැකවම දත්තේය. දඩයමක් කල ඉක්බිති පසුවදා අසල වූ ගම්මානයට ගොස් ඒ යම් යම් අත්‍යාවශ්‍ය භාණ්ඩ හුවමාරු කොටගෙන පැමිණීම උදෙසා මුවා හෝ ගෝනාගේ පසුගාත් කපාගන්නා දඩයක්කාරයා ඉතිරිය දිවියාගේ අහර පිණිස ඉතිරි කළේය.

වසර කිහිපයක් ඇදී ගිය මේ මිනිස් තිරිහන් සහසම්බන්ධතාවය එක් වරම ඇණ හිටියේ ඒ ආරම්භ වූවා සේම අනපේක්ෂිතවය.

එක් දිනෙක තුවක්කුව ද රැගෙන වනයට පිවිසි දඩයක්කාරයාට වයෝවෘද්ධ සහෘදයා ආසන්නයේම රැඳී සිටින බවට වූ සංඥාවන් නොලැබිණි.මින් පෙර එක් අවස්ථාවක ද මෙසේ සිදුවූ අතර එදින ද දඩයක්කරයා සුපුරුදු ලෙස මරාගත් සත්වයාගේ බහුතරය ඉතිරි කොට ආපසු පැමිණියේය. පසුදින දඩයම වෙත ගිය ඔහු දුටුවේ ඉන් අඩක් අනුභව කොට ඇති බවය. මහළු දිවියා ද ඒ අසල ගැවසෙන බව ද ඔහුට නිසැකවම හැඟිණ.

එහෙත් මෙවර එසේ නොවිණි. ඔහු ඉතිරි කල දඩයම් නිරුපද්‍රිතව තිබිණි. අවසන වනයේ වසනා නොයෙකුත් කුඩා සත්වයනට ඒ ගොදුරු වූයේය. එදිනට පසු කිසිම දිනෙක මහළු දිවියා ඔහු ඇස නොගැටුණි. යටත් පිරිසෙයින් දිවියා ජීවතුන් අතර බවට වූ සංඥාවක් හෝ දඩයක්කාරයාගේ සිතට ග්‍රහණය නොවීය. එබැවින් දඩයක්කාරයා තම වෘද්ධ සහෘදයා මියගොස් බවට නිගමනය කළේය. මහළු වයස කරණ කොටගෙන ස්වාභාවිකව හෝ තවත් සත්ව ඝාතකයෙකුගේ උගුලකට හසුව හෝ වෙඩි පහරකට ගොදුරුව දිවියා මියයන්නට ඇත.

හිතවතාගේ අතුරුදන් වීමෙන් දඩයක්කාරයා නැවත වනයේ තනිවිය.සුපුරුදු හුදකලා ජීවන රටාවට යලි පිවිසි හෙතෙම දවස් එකිනෙක ගෙවා දැමූයේ කිසිදු හැඟීමකින් තොරවය.

මෙසේ උකටලීවැ ගෙවී ගිය වසර කිහිපයකට පසු එක් දිනෙක ඔහුගේ දිවියෙහි මෙතෙක් සිදු වූ ප්‍රබලතම විපර්යාසයට තුඩු දුන් සංසිද්ධිය සිදුවූයේය.

කලට වැසි ලැබ වන සතුන් මෙන්ම වන වාසී මනුෂ්‍යයින්ද ප්‍රීතියෙන් කල් ගෙවූ යුගය ගෙවී ගොස් තිබිණි. මාස හයකට අධික කාලයක් වැසි බිඳක් හෝ නොලැබ වන තුරු ලිය පඬුවන් වැ හේබා යන කාල වකවානු මෙන්ම දිවා රෑ මුළුල්ලේ ධාරාණිපාත වැසි ඇද වැටී මුළුමහත් වනගහණයම වලළුකර පොව්වනා මට්ටමට බොර පැහැ ජලයෙන් වැසී යන කාල වකවානු ද කිසිසේත් දුලබ නොවීය.

මෙසේ හත්දා වැසි ඇදවැටෙන කල්හි නිතඹ සලා ලැසි ගමනින් ඇදෙන රූබර ලලනාවක මෙන් සොඳුරු ගමනෙක යෙදෙන හීං ඇළ ද කෝපාවිෂ්ඨ ව අවට ඇස ගැටෙනා කුදු මහත් සියල්ල විනාශ කරමින් ඉදිරියට ඇදෙන කාලි යක්ෂණියකගේ වෙස් ගන්නීය.ඉදිරුණු මහත් වෘක්ෂයෝ මෙන්ම මියගිය වන මෘගයන්ගේ සිරුරු ද දෙගොඩ තලා ගලා හැලෙන බොර පැහැ සැඩ පහරේ වරෙක ගිලෙමින් වරෙක මතුවෙමින් නැගෙනහිර මහ සයුර කරා ඇදී ගියෝය.

මේ මහ වැසි සමය දඩයක්කාරයා ගත කලේ පිළෙහි දිග ඇදී අතොරක් නොමැතිව ඇද හැලෙන වර්ෂාව දෙස නිසොල්මනේ බලා සිටිමිනි. සාගිණි ඉවසිය නොහැකි වූ කල්හි පිළෙන් නැඟී සිටින ඔහු ගෙපැලේ අහුමුළු අත පත ගා වියළි මස් තීරු කිහිපයක්වන් යමක් ගිල දමා ආපසු පිළට පැමිණ වැතිරෙන්නේය. වර්ෂාව මඳක් තුරල් වූ කල්හි හීං ඇළ අසබඩ මහ ගල තලාවට ගොඩ නැඟී එතෙකුදු කිසිදු අඩුවකින් තොරව ගලායන සැඩ පහර දෙස බලා සිටින්නේය.

මෙසේ එක් හත්දා වැස්සක් තුරල්ව ගිය පළමු දිනකය ඔහුගේ දිවිය පූර්ණ විපර්යාසයකට භාජනය කල ඒ අපූර්ව සිද්ධිය වූයේ. එදින සවස වැස්ස තුරල් කලේය. සාගිනි බුර බුරා නැඟුනු නමුදු ගෙපැලෙහි වූ අවසන් වියළි මස් තීරු කිහිපය පෙර දින ආහාරයට ගත් හෙයින් සාගිණි ඉවසීම දඩයක්කාරයාගේ ඉරණම වූයේය.

වළාකුළු පහව ගොස් කොහොඹ අතු අතරින් ගලා ආ සඳ රැසින් නැහැවෙමින් පිල මත වැතිර හුන් දඩයක්කාරයාට අධික සාගින්න නිසාම නින්දට පිවිසීමට ද හැකි වූයේ නොවේ.නින්දත් නොනින්දත් අතර සරමින් සිටි ඔහුට එක් වරම දර්ශනය වූයේ පියාණන් සහ මෑණියන්ය. ඔවුන් දෙදෙන කොහේදෝ දුර බැහැර ස්ථානයක සිට දඩයක්කාරයා දෙස එක එල්ලේ බලා සිටියෝය. එසේ ගතවුනු නිමේශයකට පසු එක් වරම ඔවුන් දෙදෙන අතුරුදන් වූවෝය.

ඉනික්බිති ඔහු ඉදිරියේ දර්ශනය වූයේ වේගයෙන් රැළි නංවමින් ගලායන සැඩ පහරකි. දඩයක්කාරයා ඒ හීං ඇළ බවට එකෙණෙහිම හඳුනා ගත්තේය. නිරත්තරයෙන් ගල් තලාව මත හිඳ හීං ඇළ දෙස බලා සිට සුපුරුදු ඔහුට ඒ දසුන හඳුනා ගැනීම කිසිසේත් අපහසු නොවීය. එහෙත් සිහිනෙන්ම ඔහු තිගැස්සුණේ ඒ සමඟම දුටු තවත් දර්ශනයක් නිසාය. සැඩ පහරේ ගසා ගෙන එමින් සිටියේ යුවතියකි. ඈ මියගොස් ද තවමත් සප්‍රාණික ද යන්න එක් වනම පැවසිය නොහැකි වුවද උඩු බැලි අතට ගඟ දියෙහි පාවෙමින් එන අතර ඇගේ දෑත් එක්වනම සලිත වනු දඩයක්කාරයා පැහැදිලිවම දුටුවේය.

ඒ හා සමඟම තිගැස්සී නින්දෙන් අවදි වූ ඔහු හිමිදිරියේ අරුණළු වැටෙන තෙක් නිදි වර්ජිතව ගත කලේ සිතෙහි හටගත් බලවත් කැළඹිල්ල හේතුකොටගෙනය.

වටින් ගොඩින් එළිය වැටෙන්නා හාම නැඟී සිටි දඩයක්කාරයා යුහුසුළුව පිය නැඟූයේ හීං ඇළ අසබඩ සුපුරුදු ගල් තලාවටය.

ඒ මත උක්කුටිකයෙන් හිඳගත් ඔහු සැඩ පහරේ උඩුගං දිශාව දෙස නෙත් යොමා කල් ගත කලේ බලවත් නොඉවසිල්ලකිනි.

මතු සම්බන්ධයි........

Monday, September 3, 2012

132. එක්තරා දඩයක්කාරයකුගේ කතාව...........The Saga of A Hunter.....17


ජීවිතයේ මුල් වසර කිහිපය දෙමව්පියන් සමඟද මවගේ අභාවයෙන් මතු පියා සමඟ ඉතිරි කාලය ද ගෙවූ දඩයක්කාරයා අවසන මෙලොව තනි විය.එහෙත් මේ වන විට විසි වයස් ගෙවී ගොස් ජීවිතයේ දැනුම් තේරුම් ඇති අවධියකට සැපත්ව හුන් හෙතෙම නොබා ජීවිතයට මුහුණ දීමට ඉටා ගත්තේය. ගෙවුණු කාල සීමාව තුල මහ දඩයක්කාරයා ඔහු සතුව තිබූ පාරම්පරික ශිල්ප ශාස්ත්‍ර සියල්ල කිසිදු අඩුවකින් තොරව දඩයක්කාරයාට ඉගැන්වූයෙන් උපේක්ෂාවෙන් ජීවිතය දෙස බැලීමට ඒ දැනුම් සම්භාරය ඔහුට මහත්සේ උපකාරී විය. සතුන් හා සිතුවිලි හුවමාරු කර ගැනීමෙහි ලා ඔහු තුල වූ නිපුණත්වය සතකුගෙන් කිසිදු අනතුරක් කිසිසේත්ම නොවන බවට සහතික කරලීය.

ඔබ මම අප කිසිවෙකු වෙනුවෙන් නොනවතිනා කාලය දඩයක්කාරයා වෙනුවෙන් ද නොනවතින බව වෙසෙසින්මැ කිවයුත්තක් නොවේමය. කාලය සුපුරුදු ලෙස පියාපත් විදහා අසුරු සැණින් ඉගිල ගියේය.වාලිඹේ ගල මත්තෙන් සුපුරුදු ලෙස මුදුන් වූ මේ කුළු දියවී ඇදහැළුණු හත් දා වරුසාවෙන් හීන් ඇල පිටාර ගලා ගොස් ඇසට අසුවන මානය බොර පැහැති ජලයෙන් පිරීගිය වස්සාන සමයන් බොහෝ සංඛ්‍යාවක් ගෙවී ගියේය.
දඩයම් කිරීම ද ඔහුට ඉතාමත් අප්‍රසන්න අත්දැකීමක් වූ නමුදු දිවිරැකගැන්මට වෙනත් කිසිදු කර්මාන්තයක් නුහුරු වූ නිසාම ඔහුට සිතෙහි බලවත් අකමැත්ත යටපත් කොට එහි ලා යෙදීමටම සිදුවිය.

හීං ඇල අබියස අහස උසට පැතිර හාත්පස වසාගත් කුඹුක් වනස්පතිය සෙවනෙහි ගිණි මද්දහනේ වුවද පැවතියේ මඳ අඳුරකි.සඳ දෑකැත්ත ඈත කඳු වලල්ලෙන් උදාවීමට පළමු දඩයක්කාරයා මේ කුඹුක පාමුළ උස්ව වැඩී ඇති මුල් අතරෙහි ඇණ තබා ගන්නේ දිවි රැකගැන්මට අවශ්‍ය නිසාම කරනවා විනා සිතෙහි කිසිම කැමැත්තකින් තොරව ඔහු කරන එකම කාර්යය කිරීමටය. නිරාහාරව සිත කය දමනය කොට දින කිහිපයක් ගත කිරීම ඔහුට කිසිසේත්ම අපහසු කාර්යයක් නොවේ.එහෙත් භාවනාවෙහි යෙදී වුවද නිරාහාරව ගත කලහැකි කාලය ඉක්මනින් ගෙවීයයි.

අවසන ගෙපැල මුල්ලක හේත්තු කොට ඇති තුවක්කුව අතට ගන්නා ඔහු ඒ දෙස බලාගත්වනම මොහොතක් ගත කරනුයේ ඉන්පසු පෙට්ටගමෙහි පියන්පත හැර එතුලින් පතරොම් දෙකක් ගෙන ඉනෙහි දවටාගනියි. කාණු දෙකේ තුවක්කුවක් වුව ඔහුට දඩයමකට කිසි දිනෙක එක් පතරොමකට වඩා ඇවැසි නොවීය.ගිණි බිඳින සෑම විටම දඩයක්කාරයා දෙනෙත් තදින් පියාගනියි. එසේ වුවද දෙනෙත් විවරකොට ඇතිවාට ද වඩා තියුණුව දඩයම ඔහුගේ මනසට දිස්වේ. දඩයමට පෙර ඉලක්කය වූ සත්වයාගේ මනසට පිවිසීමට ඔහුගේ හැකියාව නිසා ඉලක්කය වැරදීමෙහි කිසිදු අවස්ථාවක් ද නැත.

තුවක්කු කඳ කෙලවර මානමෙහි තැවරූ හුණු ඇබින්ද ඔස්සේ ඉලක්කය ගෙන තම දෑස් දෙසම ඇසිපිය නොහෙලා බලා සිටිනා මුව නාම්බා හෝ ගෝනාගේ සිතට පිවිස ඒ හා සමඟම උහු සිත තම සිත හා ඒකාත්මික වන තෙක් මොහොතක් ගතකරන දඩයක්කාරයා ඉන්පසු ඉතා සෙමින් දෙනෙත් පියා ගනියි.පියාගත් දෙනෙතින් යුතුව සෙමින් කිහිපවරක් හුස්ම ඉහල පහල හෙලනා ඔහුගේ මනැසින් දඩයමට ඉලක්කවූ සත්වයාගේ රුව මිහිදුමක ගිලී අතුරුදන් වන පරිද්දෙන් මැකීයන්නට ඇරඹෙනු හා සමඟම සෙමින් දකුණතෙහි දබරැඟිල්ල කොකා මත තදවෙයි. හාත්පස දෙදරවාගෙන නැඟෙන වෙඩි හඬින් බියපත් වන්නෝ කුඹුක් පතරෙහි ලැගවුන් වවුලෝම පමනක් නොවෙති.

නිශ්ශබ්ද වූ රාත්‍රියෙහි වාළිඹේ ගලද පසුකොට ඈත නිල් ගල කඳු වලල්ලෙහි වැදී ආපසු පැමිණ දෝංකාර දෙමින් වනය සිසාරා පැතිරෙන වෙඩි හඬ මැකී යනතෙක් තමන් යෙදී සිටි කුදුමහත් කටයුතු නවතා හිස් ඔසවා විදහාගත් කන් සොලවමින් හාත්පස නිරීක්ෂණයෙහි යෙදෙනා නිශාචරයෝ නැවත තමන් යෙදී උන් කාර්යයන්හි නිරත වෙති.

වෙඩි හඬෙහි දෝංකාරය කෙමෙන් මැකී ගොස් අවට පරිසරය සුපිරුදු නිහඬතාවයට, නැත..කිසිදිනෙක වනාන්තරයක් විශේෂයෙන් රාත්‍රි සමයෙහි වනාන්තරයක් නිහඬ නොවේ.සත්‍ය වශයෙන්ම සිදුවන්නේ වනයේ කුදු මහත් ශබ්ද වලට නිතැනින්ම අප සවන් හුරුවීමෙන් ශබ්ද නෑසී යාමය. තවත් නිවැරදිව කිවහොත් සවණට ඇසුණද සිතෙහි සනිටුහන් නොවීමය.දඩයක්කාරයා ඒ පාළු නිශ්ශබ්දතාවයෙහි ගිලී තවත් බොහෝ වේලාවක් ගතකල පසුවය දෑස හරිනුයේ. ඒ ද අනිවාර්යයෙන් කල යුතු අප්‍රසන්න කාර්යයක් කිරීමට බල කෙරුනු විටකදී අප ඒ හැකි තරම් වේලාවක් කල්දමමින් පොරොත්තු වන්නා සේය.

අවසන නැඟීසිට කුඹුක් ගසෙහි දැවැන්ත කඳට තුවක්කුව හේත්තු කරන හෙතෙම සෙමින් පියමනිමින් මියගිය සත්වයා වෙතට යන්නේ, ප්‍රාණය නිරුද්ධ ඒ විසල් දෑස දෙස මොහොතක් බලා සිට ඉඟතුරෙහි රැඳි කූරපයියෙහි නිතොර රැඳි තියුණු සැතක් සේ මුවහත් පිහියෙන් සීරුවෙන් ගෙල පෙදෙසෙහි සිට සම ඉවත් කිර්‍රිම අරඹයි.

බොහෝවිට පසු ගාත් වියලි කොල කිහිපයක ඔතා රැහැනකින් ගැටගසා කුහුඹුවන්ගෙන් බේරාගැනීම උදෙසා ගෙපැලෙහි වහලයේ එල්ලා තැබීමෙන් දඩයක්කාරයා අප්‍රසන්න වූ ඒ කර්තව්‍යය නිමා කරයි.ඉතිරි මස් ස්වල්පයක් ලුණු, සහ ගෙපැලෙහි ඉතිරිවී ඇති පහේ දමා පිසගන්නා ඔහු මැටි මඩක්කුවකට දමාගත් මස් කැබලි කිහිපයක්ද ගෙන පිලෙහි හිඳගන්නේ දෙපය දිගහැර පිල්කණ්ඩියෙන් පහතට එල්ලෙන සේය. කුස ගින්න බුර බුරා නැඟෙන නිසාම විනා එසේ නැතහොත් සතකුගේ මස් අනුභවය ඔහුට කිසිසේත්ම රුචිකර නොවිණි. කිසිදු රසයක හැඟීමකින් තොරව යාන්ත්‍රිකව මඩක්කුවෙහි වූ මස් ස්වල්පය ගිල දමන ඔහු ඉන් පසු වැළමිටින් නවා ඉහළට ඔසවාගත් දෑත මත රැඳවූ හිසින් යුතුව පිළ් කණ්ඩිය මතම නින්දට වැටෙයි.

මෙලෙස දඩයක්කාරයාගෙ ජීවිතය ගලා ගියේය. ජීවිතය පිළිබඳව කිසිදු ආශාවක් නොමැති වුවද හෙතෙම කිසි විටෙක දිවි නසා ගැන්මට නොසිතුවේය. ස්වභාව ධර්මයා ද විපරීත වූ හෙයින් ඔහු පැටි වියෙහිදී කලට ලැබුණු වැස්ස නියමිත කාලය බොහෝ පසුවීත් නොවැටිණි. වියලී හේබා ගිය තුරු ගොමු අතර ඉබාගාතේ ඇවිද ගිය දඩයක්කාරයා බොහෝවිට හත් අට දිනක් ගෙපැලට නොපැමිණ වනයේ ගත කලේය.වියළි සමයෙහි දිය සොයා ඒ මේ අත පිපාසිතව සරන සතුන් වනයෙහි දිය ස්වල්පයක් රැඳි කෙම් බිම් වෙත නිරායාසයෙන් රොක් වන බැවින්, එතැන්හි ඉතා පහසු දඩයමට ලොල්වූ සත්ව ඝාතකයින් බොහෝ දුර බැහැර සිට රොඳ බැඳ පැමිණෙන්නට වූයෙන් වන පෙත සිත් සනහන නිසලතාවය බිඳ වැටී ගියේය.

දිය මංකඩ අසල දඩමැසි බැඳ ඒ මතට වී රැක සිටිනා සත්ව ඝාතකයින්හට එරෙහිව දඩයක්කාරයා ගත් එකම ක්‍රියාමාර්ගය වනාහී අඳුරු වනයේ සෙවණැලි අතර සැඟව සිට පිපාසය සංසිදුවා ගැනීමට පැමිණෙන සතුනගේ සිතට පිවිස ඉදිරියේ ඇති අනතුර පිළිබඳව ඔවුන් දැනුවත් කොට ආපසු හැරී දිවි ගලවාගෙන පළායාමට පෙළඹවීමයි. මේ උත්සාහය සෑම විටම සාර්ථක වූයේ ද නොවේ. දැඩි පිපාසය ඉවසිය නොහැකි බහුතරයක් සත්වයෝ අනතුර නොතකා දිය කඩ වෙත පැමිණියෝ සත්ව ඝාතකයන්ට ගොදුරු වූවෝය.

වනය ගුගුරවමින් මෝසම් වැසි ඇද වැටුනු ඉක්බිති ජලයේ හිඟයක් නොවූයෙන් සත්ව ඝාතකයන්ගේ උවදුර ද පහව ගියේය.

රාත්‍රියෙහි තරු පිරි අහස යට තුරු හිස් කළඹවමින් හමා එන සිහිල් සුළඟ විඳිමින් වනයේ ඇවිදයන බොහෝවිට දඩයක්කාරයාට හමුවන එක් තවත් ඔහු වන්ම හුදකලාවූවෙක් විය.හේ තෙමේ ද දඩයක්කාරයෙක්ම වුයේ ඔවුන් නිතොර පොදු දඩමං ඔස්සේ දි මුහුණට මුහුණ හමු වූවෝය. අනපේක්ෂිතව මංපෙතෙහි එක් තියුණු නැම්මකින් එක් වනම ප්‍රාදුර්භූත වූ දිවියා දුටු දඩයක්කාරයා හිටි වනම සෙල් පිලිමයක් සේ නැවතුනේය.

තුරු පියස්සෙන් පෙරී ගැලූ සඳ එළිය නිශාචර සත්වයාගේ කළු පැහැ කුඩා තිත් ඉසුණු කසාවන් සම මත අඳුරු සෙවණැලි ඇති කලේ විඩාපත් වූ සිත්තරකු දිනය අවසානයෙහිදී නොසැලකිල්ලෙන් ඵලකය මත ඇඳි පින්සල් පහරවල් කිහිපයක් සිහි ගන්වමිනි.පෙත්මඟ මධ්‍යයේ පසුගාත් නවා හිඳගත් සත්වයා තම බොර පැහැ දෑස් දල්වා දඩයක්කාරයා දෙස නොසැලී බලා සිටියේය.

දෑස් ඉවතට ගත නොහැකිව ඒ දෑස් දෙස බලාසිටි දඩයක්කාරයාගෙ සිතට එක් වරම පැන නැඟියේ යම් කුකුසකි.
මහ දඩයක්කාරයා තම පුත්‍රයාහට දඩයම් කිරීමෙහිලා මුල් වරට පුහුණුවක් ලබාදුන් අවස්ථාව ඔබට මතක ඇතැයි මම සිතමි.හීං ඇලේ වක්කලම අබියස රූස්ස කෝං ගහ පාමුල දී එදා ඔහුට හමුවූ දිවියා ....මේ සඳ එළියෙන් නැහැවුනු රාත්‍රියෙහි උක්කුටිකයෙන් හිඳ නොසැලෙන දෑසින් තමා දෙස බලා සිටිනුයේ ඒ සත්වයාමද?
දෑස් පියා දිවියාගේ සිත තුලට පිවිසි ඔහු කිසිදු පැහැදිලි තොරතුරක් දැන ගැන්මට හෝ ස්ථිර අදහසක් ලබාගැන්මට උපකාරී වන සිතුවමක් මවා ගැන්මට අපොහොසත් විය. දිවියාගෙ සිත තුල වූයේ සඳ පහන් නොවුනු අඳුරු රැයක මලානික තරු එලියෙන් වරින් වර දක්නට ලැබෙන ඒ හා සමඟම අතුරුදන් වන අඳුරු සෙවණැලි රැසක් මෙන් වූ එකිනෙකට අසම්බන්ධිත සිතුවිලි සමූහයකි.

ඉතාම වයස්ගත වීම නිසාම මෘගයාගේ සිතෙහි හටගන්නා සිතුවිලි එකිනෙකට අසම්බන්ධ වූවා සේම කිසිදු නිශ්චිත අරමුණක් හා සබැඳුනෝ ද නොවූහ.

එකිනෙකා දෙස බොහෝ වේලාවක් බලා සිටි වයෝ වෘද්ධ මෘගයා සහ තරුණ මිනිසාගෙන් පළමුව විඩාපත් වූයේ මෘගයා විය හැක. එසේත් නැතහොත් මෙසේ එකිනෙකාගේ දෑස් දෙස කොතෙකුත් බලා සිටීමෙන් කවර ප්‍රයෝජනයක්දැයි ඔහුට සිතුනා ද විය හැක. ඒ කෙසේ හෝ වේවා එකවරම දෑස් ඉවතට ගත් දිවියා වන බූටැඇව තුලට වැද අසුරු සැණින් අතුරුදන් විය.

ඒ අහඹු හමුවීමෙන් පසු බොහෝ කාලයක් ගෙවී යන්නට වූයේ නැත. එක් දිනෙක පිල් කණ්ඩිය මත නිදාහුන් දඩයක්කාරයා අළුයම එක් වරම අවදි වූයේ නිද්‍රාපිත සිතෙහි හටගත් යම් කැළඹිලි ස්වභාවක් හේතුවෙනි. දෑස් විවර කල වහාම නෙත ගැටුණු දසුනින් ත්‍රස්ත වී ගිය ඔහු එක්වරම කෙලින් වී පිල් කණ්ඩියට පිට දී හිඳ ගත්තේය. කළු කපා අඳුර දුරු කර ගලා එන උදෑසන ළහිරු එලියේ නැහැවෙමින් අත පොව්වන පමණ මානයේ උක්කුටිකයෙන් හිඳ ඔහු දෙස දෑස් නොපියා බලා සිටියේ මහළු දිවියාය.




මතු සම්බන්ධයි........
( ඡායාරූප Google Images වෙතිනි )

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...