Thursday, February 27, 2014

115. මා බාල කාලේ - බල්ලෙකු හීලෑ කල තාලේ

මගේ ආදර දුවේ.............

මාගේ දෙමව්පියන් විසින් මා බොහොම කුඩා දරුවකු ව සිටි අවධියේ දිනක් සර්කස් සංදර්ශනයක් නැරඹීම සඳහා කැඳවාගෙන යන ලදී. එය ඇත්ත වශයෙන්ම අපූර්වත ම අත්දැකීමක් විය. එහි සිටි සත්ත්ව පුහුණු කරුවන් අතුරින් සිංහයින් හීලෑ කොට පුහුණු කරන්නා මගේ සිත තදින් ඇද බැඳ ගත් තැනැත්තා විය. එයට හේතු වූයේ ඔහු ඉතාමත් අලංකාර ‍ඇඳුමින් සැරසී සිටීමත්, “සිංහ පුහුණුකරු” යන්න ඉතාමත් ගරු ගාම්භීර හැඳින්වීමක් වීමත්ය. ඇරත්, සිංහයින් හා කොටියන්, කීකරු බළල් පැංචන් බවට හීලෑ කල ඔහු, මා වැනි කුඩා දරුවකුගේ සිත් ගැනීම පුදුමයට කරුණක්ද? ඔහු සතුව කසයක් සහ පිස්තෝල දෙකක් තිබුණද ඉතාමත් කලාතුරකින් මිස ඒවා භාවිතා නොකරමින් ඔහු කරන්නට යෙදුනු ප්‍රාතිහාර්යය මා හට නම් සර්කස් සංදර්ශනයක් නොව මැජික් සංදර්ශනයක් සේ විය.

“මේ භයානක කැලෑ සත්තු හීලෑ වෙන්නේ මගේ ඇස් දෙකට!. උන් මගේ ඇස් දිහා එක එල්ලේ බලන්න බයයි” ඔහු ශබ්ද නගා පැවසීය. “මගේ ඇස් දෙක තමයි මා සතු අගනා ම ආයුධය! මිනිසකු තමන්ගේ ඇස් දෙක දිහා එක එල්ලේ බලා සිටින විට නොසැලී හිටින්න කිසිම සතෙකුට බැහැ!”

ඇත්ත වශයෙන්ම ඔහු සිංහයා දෙස නෙත් හෙලන පමාවෙන් ඒ භයානක සිංහයා, කීකරු බළල් පැටවකු සේ බංකුව මතට නැගී හිඳගන්නටත්, අනතුරුව බැරලයක් තුලින් පැනීමටත් පමණක් නොව මියගියා සේ බිම වැතිරී සිටීමටත් යොමූ වුයේ මාගේ මුව මටත් නොදැනී මදින් මද විවර කරමිනි. දෙවියනි! ඒ භයානක සිංහයා එලෙසින් හීලෑ ව, කීකරු ව හැසිරුනේ, වෙන කිසිවක් නිසා නොව මිනිසකුගේ දෙනෙත දෙස එක එල්ලේ බලා සිටීමට ඇති නොහැකියාව නිසා බව අසීරුවෙන් වුවද මා හට පිළිගන්නට සිදු විය. එවැන්නක් ගැන සිතීමත් උද්යෝගය ඇතිකරවන්නක් විය.

සංදර්ශනය එන්න එන්නම සතුට ගෙන එන්නක් බවට පත්විය. තූර්යය භාණ්ඩ වාදනය නොනවත්වා ම කෙරීගෙන ගිය අතර ප්‍රේක්ෂකයෝ සිංහයින් පුහුණුකරන්නා හට ඔල්වරසන් දෙමින් සතුට ප්‍රකාශ කලෝය. ඔහු පපුව මත සිය අත තබා සෑම දිශාවට ම නැමි නැමී ඔවුන් හට ආචාර කලේය. ඇත්ත වශයෙන්ම එවැනි සංදර්ශනයක් නරඹන්නට ලැබීම කුඩා දරුවකු වූ මා හට අගනා ත්‍යාගයක් ම වීය. සංදර්ශනය නිසාවෙන් අමන්දානන්දයට පත් ව සිටි මා එක් වනම තීරණය කලේ කවදා හෝ මා ‘සිංහ පුහුණුකරුවකු’ විය යුතු බවයි.

අනතුරුව මම පසුදින සිට ඒ සඳහා සැලසුම් සකසන්නට වීමි. ‍කවදා හෝ දිනෙක, අනභි භවනීය සිංහ පුහුණුකරුවකු වන්නට නම් කුඩා කල සිටම ටිකින් ටික පුරුදු පුහුණු විය යුතු බව මගේ පුංචි මොළයට වැටහිණ. එහෙත් පුහුණු කරන්නට තබා සිංහයකු අසලටවත් මා කෙසේ නම් ලංවන්නද? ‍අනාගතයේදී ලොව පිළිගත් සිංහ පුහුණුකරුවකු වන්නට සිටියේ වුවද, ඒ වන විට මා තවත් එක් කුඩා කොළුවකු පමණි. ඉඳින් වඩා ම සුදුසු දේ, පුහුණු වන අවධියේ ‍මුල් භාගයේදී වඩා රෞද්‍ර නොවූ සතෙකු සොයා ගෙන හීලෑ කිරීම බව මා හට අවබෝධ විය. මගේ පුංචි හිතට මේ සඳහා සුදුසු ම සතෙකු සේ හැඟුනේ බල්ලෙකි. ඒ ද අතිවිශාල එකෙකු නොවේ. ඉතාමත් කුඩා එකෙකි. ප්‍රායෝගිකව සැලකූ කල අතිවිශාල බල්ලෙකු යනු, කුඩා ප්‍රමාණයේ සිංහයෙකු සේ භයානක නොවේ යැයි කාට නම් කිව හැකිද? සිංහ පුහුණුකරු සිහිනය මුල් වරට දුටු දා පටන්, හීලෑ කිරීමට සුදුසු ප්‍රමාණයේ බල්ලෙකු ගැන නිතර විමසිලිමත් ව කාලය ගත කිරීම මාගේ පුරුද්ද විය.


කෙසේ හෝ අවසානයේ මාගේ බලාපොරොත්තුව මල්ඵල ගැන්විණ.

අපගේ පව්ලොවෝ පොසාඩ් නම් වූ කුඩා නගරයේ කුඩා උද්‍යානයක් තිබිණ. මෙකල එය විශාල ප්‍රමාණයේ උද්‍යානයක් වුවද, මා මේ කියන අවධිය වන විට තිබුනේ කුඩා උද්‍යානයකි. මගේ අම්මා එකල නිරතුරු මා එහි රැගෙන යාම පුරුද්දක් ව තිබිණ. මේ කියන දිනයේදී, මා සෙල්ලමින් කාලය ගත කරන අතර මගේ අම්මා අසල වූ බංකුව මත අසුන්ගෙන පොතක් කියවමින් සිටියාය. අම්මා අසල, ඉතාමත් ලස්සන, සුදු, කුඩා බල්ලෙකු සමඟ පැමිණ සිටි තවත් කාන්තාවක් අසුන්ගෙන සිටියාය. ඇය ද පසු වූයේ පොතක් කියවමිනි. මේ කථාවේ ප්‍රධාන චරිතයක් වන ඒ බල්ලා, ඉතා කුඩා එකෙකු වූ අතර ඌ සතුව කළුපාට, විශාල දෙනෙතක් තිබිණ. ඒ මගේ කටයුත්තට කියාපු දෙනෙතක් බව දුටු පමණින් මට සිතුනු අතර ඒවා මා හට ආයාචනා කරනා සේ මට දැනින.

“අනේ මට හීලෑ වෙන්න ඕනේ. අනේ කරුණාකරලා, පුංචි ළමයෝ, ඔයාට බැරිද මාව හීලෑ කරන්න? ඔය විදිහට මගේ ඇස් දෙක දිහා බලන්න එපා. අනේ මට කෙලින් ඉන්නත් බැහැ වගේ අයියෝ!!!!!!”

ඒ කථා කරන ඇස් මගේ කණට නොව හදවතට කථා කොට එලෙසින් ඉල්ලා සිටින්නා සේ මට දැනින.

තවත් මොනවා නම් කල්පනා කරන්නද? කුමට කාලය කා දමනවාද? ඒ මොහොතේ ම බලු පුහුණුව ආරම්භ කළ යුතු බව මගේ තීරණය විය. ඉඳින් මම බල්ලා වෙත හිමින් හිමින් ලං වීමි. අම්මා ඇගේ පොත කියවමින් සිටියාය. බල්ලාගේ හිමිකාරිය ඇගේ පොත කියවමින් සිටියාය. ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙකුවත් තමන් අසල සිදුවන දේ වැටහීමකින් තොරව තම තමන්ගේ පොත් වල ඇලී සිටි අතර මම සෙමින් සෙමින් බල්ලා වෙත ලං වෙමින් සිටියෙමි.

බල්ලාට එනපොට හොඳ නැති බව හැඟී‍ දෝ, ඌ බංකුව යටට රිංගා ගත්තේය. අනතුරුව එහි දිගාවී, ‘මේ පැංචා ගාටන්නේ මොකටද?’ යි කල්පනා කරමින් මෙන් උගේ කළුපාට විශාල දෙනෙතෙහි සැකකටයුතු බැල්මක් රඳවාගෙන මා දෙස බලා සිටින්නට විය. මම හැකි තරම් සෙමින් සෙමින් ඌ අසලට ලඟා වෙමින් සිටියෙමි.

“අපොයි මට පේන්නේ මේකාට මගේ ඇස් දෙක ගැන වගේ වගක් නැහැ වගේ. අපරාදේ මට තිබුණේ කෙලින් ම සිංහයෙකුගෙන්ම පටන් ගන්න. මට හිතෙන්නේ මේකා හීලෑ වෙන අදහස අත්හැරලා දාලා වගෙයි” මට සිතෙන්නට විය.

එදින ඉතාමත් උෂ්ණාධික දිනයක් වූයෙන්, මා සැරසී සිටියේ කොට කලිසමකින් හා සෙරෙප්පු ජෝඩුවකින් පමණි. මා වැනි කුඩා දරුවකු එලෙස සැරසී සිටීම විනය නීති කැඩීමක් කොට නුවරුන් නොසලකන්නට ඇති බව හඟිමි.

දැන් මා බල්ලාට ඉතා ආසන්නය. ඌ ගැඹුරු බැල්මෙන් මා දෙස බලා සිටියි. මා ඌ අල්ලා ගන්නට ඔන්න මෙන්න වාගේ තිබියදී, ඒ මෝඩ සතා එක්වනම ඉදිරියට පැන මගේ බුරිය සපා කෑවේය.

අහෝ! මාගේ කුඩා බුරිය....

මම මර ලතෝනි දෙන්නට වීමි.

පොත තුල ගිලී සිටි මගේ අම්මා උඩ විසි වී ගොස්, මටත් වඩා මහ හඬින් ලතෝනි දෙන්නට වූවාය.

ඇය පමණක් නොවේ, ඇය අසල ම සිටි බල්ලාගේ හිමිකාරිය ද මගේ අම්මා සමඟ හවුලේ ලතෝනි දෙන්නට වූවාය.

බල්ලා පමණක් කුමට නිහඬව සිටින්නද? ඌ ද හැකි පමණ වෙර යොදා බුරමින් සිටියේය. එකම ගාලගෝට්ටියකි.

“අනේ මෙන්න මූ මාව කෑවෝ” මම කෑ ගසන්නට වීමි.

“අනේ මෙන්න මේ ජරා බල්ලා මගේ දරුවා ව කෑවා” ඒ මගේ අම්මාගේ කෑ ගැසිල්ලය.

“මේ ළමයා මගේ බල්ලාට හිංසා කලා! නැත්තං කවදාවත් මගේ බල්ලා කාවවත් හපන්නේ නැහැ!” බල්ලාගේ හිමිකාරිය ද දෙවැනි නොවූවාය.

බල්ලා කුමක් කියා කෑ ගැසුවාද කියා සිතා ගැනීම පාඨක ඔබට භාරය.

ගත වූයේ නිමේෂයකි. වටේ පිටේ සෙනඟ මේ ගාලගෝට්ටිය අසා එතැනට රැස් වෙන්නට විය.

“අම්මෝ...... බොහොම නරක දෙයක් වෙලා තියෙන්නේ” හැමදෙන ම පවසන්නට විය.‍

මේ අතරතුරේ උද්‍යාන පාලක තැන එතැනට සැපත් වූයේය.

“ඈ පොඩි ළමයෝ, නුඹ බල්ලාට හිංසා පීඩා කලාද?” ඔහු ඇසුවේය.

“නැහැ. මම ඌ ව හීලෑ කරන්න ගියේ” මම පැවසීමි.

අපොයි දෙවියනි....... !!!!! රැස් ව සිටි හැමදෙන මහා හඬින් සිනාසෙන්නට විය.

“හ්ම්.......... ඒකත් එහෙමද? හොඳයි...... කියමු බලන්න නුඹ කොහොමද ඒ වැඩේ කරන්න ගියේ?”

“මම බල්ලාගේ ඇස් දෙක දිහා ම බලාගෙන හිමින් හිමින් ඌ ලඟට ගියා. වැඩක් වුනේ නැහැ. දැන් මං දන්නවා බල්ලෝ, සිංහයෝ වගේ නෙමෙයි, මිනිහෙක් බැලුවා කියලා ඌ ට කෙලින් හිටන් ඉන්න බැරි කමක් පහළ වෙන්නේ නැහැ” මම මා කල දේත්, එයින් ලද නිරීක්ෂණයත්, අවසන් නිගමනයත් සියල්ල ඉදිරියේ පවසමින් සිටියෙමි.

මගේ වැදගත් කථාව පසෙක තිබියදි රැස් ව සිටි මෝඩ මිනිසුන් හැම දෙන නැවතත් කොක් හඬලා සිනා සෙන්නට විය.

“දැක්කානේ......! මේ ළමයා තමයි සේරම කරලා තියෙන්නේ. කවුද මෙයාට කිව්වේ මගේ බල්ලා ව හීලෑ කරන්න කියලා....” බල්ලාගේ හිමිකාරිය ජයග්‍රාහී ලෙස තම අදහස් පළ කරන්නට වූවාය.

“දැන් මෙයාට දඩ ගහන්නයි තියෙන්නේ තමන්ගේ ළමයා හරියට බලා ගත්තේ නැති ව වටේ පිටේ මිනිස්සුන්ගේ කටයුතු වලට බාධා ඇති කලාට” ඇය තවදුරටත් මගේ අම්මා දෙසට අත දිගු කරමින් පවසන්නට වූවාය.

මගේ අම්මා තිගැස්සුනාය. කිසිම වදනක් නොඑන ලෙසින් ඇගේ මුව අගුළු වැටී ගියා සේ විය.

මෙහිදී, උද්‍යාන පාලක තෙමේ ඉදිරිපත් විය. “අර බලන්න අර සංඥාව........ ‘බල්ලන් උද්‍යානය තුලට ගෙන ඒම තහනම්!’ . ඒක, ‘ළමයින් උද්‍යානය තුලට ගෙන ඒම තහනම්! කියලා තිබුණා නං මේ ළමයාගේ අම්මාට දඩ නියම කරන්න මට පුළුවන්. ඒත් දැන් මට දඩ නියම කරන්න වෙලා තියෙන්නේ කාටද කියලා ඔබතුමියට වැටහෙනවා නේද? කරුණාකර දැන් මෙම උද්‍යානයෙන් පිටව යන ලෙස ඉල්ලා සිටිනවා. මේ දරුවා සෙල්ලම් කරමින් ඉන්න තැනට ඔබ හපා කන බල්ලෙකු ගෙනැවිත් තිබෙනවා. මෙහි සෙල්ලම් කරන්න පුළුවන්. ඒත් හපා කෑම් බැහැ.” ඔහු බල්ලාගේ හිමිකාරියට කරුණු පැහැදිලි කර දුන්නේය.

“කොහොම වුනත් පොඩි ළමයා...... නුඹ සෙල්ලම් කරද්දි කල්පනාවෙන් සෙල්ලම් කරන්න දැන ගන්න ඕනෑ. කාත් එක්කද සෙල්ලම් කරන්නේ කියලා කල්පනා නොකර සෙල්ලමට ගියහ ම ඔහොම දේවල් සිදු වීම සාමාන්‍යයි. බල්ලා දන්නේ නැහැනේ ඔයා මේ එන්නේ ඌව හීලෑ කරන්න කියලා. බාගවිට ඌ හිතන්න ඇති ඔයා නං එන්නේ ඌ ව හපන්න ම තමයි කියලා” ඔහු මාගේ මුහුණට එබී පවසන්නට වූ විට හොර පූසෙකු සේ බිම බලා ගෙන සිටියෙමි.

“තේරුනාද?”

“ඔව්... තේරුනා” අවසානයේ දී ඔහු කී දේ වැටහුණු බව පැවසීමි.

එයින් අනතුරුව මගේ, “සිංහ පුහුණුකරු සිහිනය” තවදුරටත් ඉතිරි නොවී, ගිය අතක් සොයා ගත නොහැකි ලෙස සැඟ වී ගියේය.

පෙර ආරක්ෂාව පිණිස මා හට ලබා දුන් එන්නත් ප්‍රමාණය අනුව, මා තෝරාගෙන තිබුණේ කිසිසේත් ම ලේසි පාසු රැකියාවක් නොවන බව ප්‍රත්‍යක්ෂයෙන්ම වටහා ගතිමි. එන්නත් ලබා ගැනීම සඳහා දොස්තර මහතා හමුවන්නට ගිය අවස්ථාවෙදී, විශාල බල්ලෙකුගේ ඇහිබැමි හැඩ කරන්නට ගොස්, එම බලු රාජයා ලවා තම කම්මුල් දෙකෙහි ම හිල් විදගෙන පැමිණි ළමයෙකු හඳුනා ගන්නට මා හට හැකි විය. ඉඳින්, බල්ලන් සමඟ කටයුතු කිරීමේ රඟ අපි දෙදෙනා සාකච්ඡා කර මැනවින් වටහා ගතිමු. ඔහුටත් මට සේම එන්නත් පෝලිමක් ලබා දීමට තරම් දොස්තර මහතා කාරුණික විය.

ඉතිං මගේ හොඳ දුවේ.......... තිරිසන් සතුන් සමඟ කටයුතු කිරීමේ ආදීන ව, නුඹේ පියා වන මම ඉහත කී සිද්ධියෙන් අනතුරුව හොඳ හැටියෙන් වටහා ගතිමි. ඇත්ත වශයෙන් ම සර්කස් කරුවන් සතුන් හීලෑ කරනුයේ ඔවුන්ගේ ඇස් දෙස බලා සිටීමෙන් ම පමණක් යන්න ගජ බින්නයක් බව පසු ‍කලෙක මා හට අවබෝධ විය.


අනුවර්තනයකි.

පෙර අනුවර්තන :

114. මගේ ලස්සන බාලේ - මට නැති වූනු බෝලේ


Tuesday, February 25, 2014

245. සඳ එළිය……..Moonlight Sonata


View-Of-Knostrop-Hall-In-Moonlight-by-Walter-Meegan

ගිරග ඇඳි සඳ එළිය විඳිනෙමි,
සිහිල දනවන නෙත්පුරා,

සුනිල දිය මත තරඟ නංවයි,
මුහුල පිණිබිඳු ගිලිහෙනා,

පැසුළුයම නිදිනොමැති සකුණකු,
නඟන ගී රාවය අසා,
මත්ව අරවින්දයක පෙතිමත,
රන්මසුන් යුග වැතිරෙනා,

තරඟ නැඟෙනා සුනිල දිය මත,
සහස් කඩකට බිඳියෙනා,
සොළොස්වක පිරි සරා සඳවත,
වළාසළුපට මුව වසා,

රත ලවන යුග මීවිතකි සිත,
එසැණ මත්වන රඟ සොබා,
අඩවන්වු මියුලැසක නෙත්සර,
විදුලිසරමෙනි ගිරිහිසා,

අපරිමිත සෙනෙහසින් පිරවුනු,
මහද නුඹ වෙත පුදමිනා,
සොඳුර නළලත සෙමෙන් සිපගමි,
සුවඳ විඳිමින් ළයපුරා,

Thursday, February 20, 2014

114. මගේ ලස්සන බාලේ - මට නැති වූනු බෝලේ


මගේ ආදර දුවේ..............

මා බොහො ම කුඩා දරුවකු ව සිටි අවධියේ අපි වාසය කලේ කුඩා නගරයක් වූ පව්ලොවෝ පොසාඩ් පෙදෙසෙහිය. එහිදී වරෙක මගේ දෙමව්පියන් විසින් මා හට ඉතාමත් අලංකාර බෝලයක් තෑගි කරන ලද අතර එහි අලංකාරය විස්තර කිරීමට තරම් මා සතු වදන් ප්‍රමාණවත් නොවූ බව කිව යුතුය. එය සුර්යයා සේ අලංකාරය. නැත. එය සුර්යයාටත් වඩා අලංකාරය. සුර්යයා මෙන් නොවේ, කෙනෙකුට එය අපහසුවකින් තොරව පියවි ඇසින් නැරඹිය හැකි අතර එය සුර්යයා මෙන් සිව් ගුණයක් අලංකාර වූ බව මට සිතිණි. එයට හේතුව එය අලංකාර වර්ණ හතරකින් සමන්විත වීමයි. සුර්යයා සතුව ඇත්තේ එකම එක වර්ණයක් පමණක් වන අතර එයටද පිළිගත හැකි නමක් නැත. එනමුදු මගේ බෝලයට.......... එහි එක් කොටසක් පෙපර්මින්ට් පෙත්තක් සේ රෝස පැහැතිය. තවත් කොටසක් චොකලට් පෙත්තක් සේ දුඹුරු පැහැතිය. තුන්වැන්න ගගන සේ නීල වර්ණ වූ අතර අනෙක් කොටස තණ බිමක් මෙන් හරිත වර්ණ විය. 




කුඩා නගරයක් වූ පව්ලොවෝ පොසාඩ් හි කිසිවකු ඉන් පෙර එවැනි අලංකාර බෝලයක් කිසි දිනෙක දැක නොතිබූ බව සහතිකය. මා පියා විසින් එය මිල දී ගෙන තිබුනේ මොස්කව් නගරයෙනි. මට හිතුණු පරිදි මොස්කව් නගරයේ පවා මෙවැනි අගනා බෝල හිඟ විය යුතුය. ඒ මන්ද යත් වැඩිහිටියෝ පවා මගේ අලංකාර වස්තුව නැරඹීමට නිතර නිතර පැමිණි නිසාය.

“අනේ...... මොන තරම් අගනා, අලංකාර බෝලයක්ද?” ඔවුන් හැමදෙන, හැමවිට මගේ බෝලය වර්ණනා කරන්නට විය.

එය සැබවින්ම ආදරණීය වස්තුවක් විය. එනිසාම මම ඒ පිළිබඳව ඉමහත් ආඩම්බරයකින් පසුවීමි. මගේ දරාගත නොහැකි ආඩම්බරය කොතරම් ද කිවහොත් මා පසුවූයේ එම බෝලය මා විසින්ම නිපදවා මා විසින්ම වර්ණ ගැන් වූ සේය. මා එය ද ගෙන සෙල්ලම් කරනු පිණිස නිවසින් පිටතට ගිය විට, සැමවිට ම හතර වටින් ම කොල්ලෝ කුරුට්ටෝ පැන ගෙන එන්නට විය.

“ශා................. මරු බෝලයක්නේ” ඔවුන් හැම දෙනෙකුගේ ම මුව රැව් පිළිරැව් දුන් වදන එය විය. “කෝ... කෝ...... මටත් ටිකක් දෙන්නකෝ සෙල්ලං කරන්න” ඉල්ලීම් නිමක් නැති විය.

නමුදු මා නොවේ කිසිවෙකුට එය ඇඟිල්ලකින් තරම්වත් ස්පර්ශ කරනට අවස්ථාව දුන්නේ. “බැහැ දෙන්නේ නැහැ. ඒක මගේ බෝලේ. මගේ විතරමයි. ලෝකේ කාටවත් නැහැ මේ වගේ ලස්සන බෝලයක්. මේක මගේ තාත්තා මට ගෙනාවේ මොස්කව් නගරයෙන්. දුවනවා අහකට. අල්ලන්න කියලා හිතන්නවත් එපා!” මම මගේ ආඩම්බරය මොනවට කියා පෑමි.

එවිට ළමයින් සියලු දෙන එකතුව මට බැන වදින්නට විය. “අපොයි ආඩම්බරකාර ලෝභයා. ලෝකේ ඉන්න ලොකුම ලෝභයා නුඹයි!”

ඔවුන් පැවසු කිසි වදනක් මගේ කණ අසලටවත් ඒමට තරම් සමත්කමක් නොදැක්වීය. මගේ අලංකාර බෝලය කිසිවකු අල්ලනවා දකින්නටවත් කැමැත්තක් නොමැති වූ අතර මට අවැසි වූයේ එය සමඟින් තනිව සෙල්ලම් කිරීමටයි. කෙසේ වුවද, තනියෙම කරන සෙල්ලමේ ඇති කම්මැලිකම අපි හැමෝම දනිමු. එයට පිළිතුරක් ලෙස, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම බෝලය කෙරෙහි ලෝභ බැඳගෙන සිටි මා කලේ එය රැගෙන ගොස් අනෙකුත් ළමයින්ගේ ඇස් ඉදිරිපිට සෙල්ලම් කිරීමයි. එයින් ඔවුන්ගේ සිත් තුල ඉරිසියාවක් ඇති කර සතුටු වීම මගේ එකල අභිප්‍රාය විය.

“ඒකා නං ලෝභ තකතීරුවෙක්. ඒකා එකක් අපේ සෙල්ලමක් නැහැ” ඔවුන් කථා වනු මට ඇසිණ.

ඉන් අනතුරුව දෙදිනක් යනතුරු මාත් සමඟ සෙල්ලම් කිරීමට කිසිම ළමයෙකු පැමිණියේ නැත. තුන්වැනි දවසේ ඔවුන්ගෙන් කෙනෙකු මා හා කථා කරන්නට විය.

“ඔයාගේ බෝලය අගනා බඩුවක් තමයි. ලස්සන පාට ඒකේ තියෙන්නේ. ඒත් ඒක කාර් එකක් යටට රෝල් වෙලා ගියොත් ඉතිං ආයේ වෙනසක් නැහැ, අනිත් බෝල වගේම තමයි. ඩොං... ගාලා පුපුරලා යනවා ෂුවර්. ඒක නිසා ඔච්චර උඩ යන්න එපා”

“යනවා මෝඩ ළමයෝ යන්න. මගේ බෝලේ කවදාවත් පුපුරන්නේ නැහැ!” මම කෑ ගසා පැවසීමි. එම බෝලය ගැන එතරම් විශ්වාසයකින් මා කථා කලේ, හරියටම මා විසින් මගේම දෑතින් එය වර්ණ ගැන් වූ සේය.

“හෙ... හෙ... මොකද නැත්තේ. කොයි බෝලෙත් එකයි. ඕකත් පුපුරණවා” ළමයින් මට නොනවත්වා විසුළු කරන්නට විය.

“නැහැ එහෙම වෙන්නේ නැහැ.” මම නැවතත් කෑ ගැසීමි.

“ආ ... එහෙමද? එහෙනං අන්න කාර් එකක් එනවා. දානවකෝ බලන්න එහෙනං ඔය මහලොකු බෝලේ ඒ කාර් එක යටට” එක් ළමයෙකු ඉදිරියට පැමිණ පැවසූවෙන් මම එදෙසට හැරුණෙමි.

දෙපාරක් සිතීමට මා හට අවැසි නොවීය. එතරම් මට බෝලය ගැන විශ්වාසයක් තිබිණ. බෝලය මා අතින් රෝල් වී කාරය යටට යැවිණ. හැම දෙනම දෙනෙත් නෙරවාගෙන, නිෂ්ශබ්දව එදෙස බලා සිටින්නට වූහ. ඉදිරි රෝද දෙක මැදින් රෝල් වී ගිය බෝලය පිටු පස රෝදයක් අසලට ලඟා විය. රථය මදක් ගැස්සී ඉදිරියට පැන ගමන් කරන්නට වූයේ හරියටම එය රෝදය උඩින් ගිය බව පෙන්වමිනි. මගේ අනගි බෝලය අනතුරු රහිතව එතැන තිබිණ!.

“ඇද්ද? ඇද්ද? ඒක පිපිරුවේ නැහැ. ඒක පිපිරුවේ නැහැ.”

එය ගැනීමට දිවගෙන යන අතරතුරේ මම සතුටින් කෑ ගැසීමි. අහෝ! එවිට ම මහා පිපිරුම් හඬක් ඇසිණ. ඒ මගේ බෝලයේ අවසානය විය. එතැන තවදුරටත් ඉතිරිව තිබුනේ කුඩා කුඩා රබර් කැබලි විශාල ප්‍රමාණයක් පමණි. තවදුරටත් වර්ණනා කරමින් සතුටු වන්නට දෙයක් එතැන ඉතිරිව තිබුනේ නැත. මම ඉමහත් දුකින් හඬන්නට වීමි. හඬමින්ම ගෙදරට දිවගෙන ගියෙමි. ළමයින් මහා හඬින් සිනාසෙනු මට ඇසිණ.

“ඒක පිපිරුවා. ඒක පිපිරුවා. ඔන්න ලෝභයා...... නුඹට නිසි දඬුවම් ලැබුනා” ඔවුන් කෑ ගසා කියනුද මට ඇසිණ.

නිවසට ගිය මම, මාගේ අම්මා හමුවේ, පුපුරණවාද නැද්ද යන්න දැන ගැනීම පිණිස කාරයක් යටට බෝලය රෝල් කර හැර, එය අහිමි කරගත් අයුරු ඉමහත් දුකින් විස්තර කලෙමි. එපමණක් නොව, ඒ සඳහා ත්‍යාග වශයෙන් ඇයගෙන් පස්ස පැත්ත පුරවා ගුටි පූජාවක් ලදිමි. එපමණක් ද නොව, හවස් යාමයේ තාත්තා රාජකාරි නිමවා නිවසට පැමිණි පසු ඔහුගෙන්ද, එවැනි ම වූ තවත් ගුටි පූජාවක් ලදිමි.

“මම නුඹට තලන්නේ බෝලය කාර් එක යටට යැව්ව නිසා නෙමෙයි. මෝඩ තකතීරුවෙක් වගේ හැසිරිලා තිබුණු නිසායි” මා අල්ලා සොලවා දමමින් තාත්තා පැවසුවේය.

කාලයක් යනතුරු මාගේ දෙමව්පියන්ගේ මිතුරු මිතුරියන්, කෙනෙකු එවන් අගනා බෝලයක් එලෙසින් නැති කරගත්තේ කෙසේද යන්න ගැන ඉමහත් පුදුමයෙන් කථා කරන්නට වූ බව මට මතක තිබේ.

“මෝඩ ම මෝඩ ළමයෙකුට විතරයි ඒ වගේ මෝඩ ම මෝඩ වැඩක් කරන්න පුළුවන්” ඒ හැමවිට ම මාගේ දෙමව්පියන්ගේ පිළිතුර එය විය. අහෝ! මොන තරම් නම් ලජ්ජා සහගත තත්ත්වයකට මා පත් වීද?

ඒ විතරක් නම් හානියක් නොවන්නට ඉඩ තිබිණ. දුටු දුටු තැන මා හට උසුළු විසුළු කරන්නට පලාතේම ළමයින් පුල පුලා බලා සිටින්නට වීම දරාගත නොහැකි කාරණයක් විය.

“ආ කොහොමද? කෝ ඔයාගේ අර අලුත් ලස්සන බෝලේ?” ඔවුහු මා දුටු විට අසන්නට සැදී පැහැදි සිටියෝය. ලඟට ඇවිත් ඇසුවා නම් කම් නැත. දුර සිට කෑ ගසා අසන්නට විය. අහෝ! නැවතත් මොන තරම් නම් ලජ්ජා සහගත තත්ත්වයකට මා පත් වීද? වැඩිහිටියෝ, කොල්ලෝ කුරුට්ටෝ සැමදෙන මා හට සිනා සෙන්නට බලා සිටිති’යි මට සිතිණ.

නමුදු, අප නිවසට යාබද නිවැසියා කිසිදිනෙක මේ සම්බන්ධයෙන් සිනහ පහළ කලේ නැත. දිනක් ඔහු සිදු වූ සියල්ල මුල පටන් පවසන ලෙස මා හට පැවසීය. ඉතා අසරණව කල්ගත කල මා, ඒ හිතවතා හමුවේ සියල්ල පැවසීමි. ඔහු සාවධානව අසා සිටියේය. මගේ කථාව අවසානයේදී ඔහු මෙලෙස පැවසීය.

“නැහැ, ඔබ මෝඩ ළමයෙක් නොවෙයි” බෝලය පිපිරුණ දා සිට මා හට අසන්නට ලැබුණු එකම සැනසිලිදායක වදන එය විය.

“ඔබ ලෝභ ළමයෙක්. තමන්ගේ හයිකාරකම් අනුන්ට පෙන්වන්න උත්සහ කරන ළමයෙක්” ඔහු තවදුරටත් පැවසුයේ, පිබිදිගෙන ආ මසිත මුකුලිත කරමිනි.

“එය ඇත්තටම ලැජ්ජාවට කාරණයක්. කෙනෙකුට තමන්ගේම බෝලය එක්ක හරි තනියෙම සෙල්ලම් කරන්න හිතෙනවා නං, ඔහු හරිම ආත්මාර්තකාමී තැනැත්තෙක්. ඔය වැඩෙන් නුඹ සමාජයේදී තනි වෙනවා. වැඩිහිටි වෙනකොට ඔය තත්ත්වය තවත් දරුණු අතට හැරෙනවා. දැන්ම ම වෙනස් වුනේ නැත්නම් කවදා හරි ඔබට පසු තැවෙන්න වෙයි මගේ පුංචි යාළුවා!”

මම ඉමහත් ලෙස භීතියට පත් වී හඬන්නට වීමි. හැඬුම් අතරින්, ලෝභකම් නොකරන බවත්, මින්පසු කිසි දිනෙක කටමැත නොදොඩන බවටත් මම ඔහුට පොරොන්දු වීමි. එයින් නොනැවති දිගටම හඬන්නට වීමි. ඉතාමත් තදින් බෑගිරි ගසා හඬන්නට වීමි. මෙයින් මාගේ හිතවතා මා දුන් පොරොන්දුව සත්‍යය බව වටහා ගන්නට ඇත. ඔහු මා අස්වැසුවේය. ඉන් අනතුරුව, පසු දිනෙක ඔහු මට අලුත් බෝලයක් ගෙනැවිත් දුන්නේය. එය මාගේ පිපිරුණු බෝලය තරම් අලංකාර නොවුනද, අපේ ගමේ සියලුම ළමයින් එයින් සෙල්ලම් කරන්නට මා හා එක්විය. හැමදෙන එක සිතින් සතුටුව සෙල්ලම් කලෝය. කිසිවෙකු ඉන්පසු කිසිම දිනෙක මා ලෝභ තකතීරුවෙක් යැයි පැවසුවේ නැත.

ඉතිං මගේ දුවේ, ඔයාගේ තාත්තා ලෝභ වීමේ ආදිනව මැනවින් වටහා ගත්තේ එම සිද්ධිය නිසා යැයි පැවසුවොත් එය බොරුවක් නොවේමය. 



පසු වදන



මෙය රුසියානු කථාන්දර පොතක් අනුසාරයෙන් "When Daddy was a Little Boy" නමින් ඉංග්‍රීසියට පරිවර්තනය කරන්නට යෙදුනු පොතේ පළමුවන කථාව අනුසාරයෙන් මා විසින් ගොඩ නගන ලද්දකි. ඉංග්‍රීසි පොතේ “When Little daddy went to school he met a cat” වැනි ආකාරයෙන් ලියැවුනු දේ මා ගොඩ නගන ලද්දේ “මා පාසල් යද්දි මට පූසෙකු මුණ ගැසින” යනාකාරයෙනි. එය වැරැද්දක්ද, අනුවර්තනයක් යනුවෙන් මෙය හඳුන්වන්න එය බාධාවක්ද යන්න පැහැදිලි ව තාමත් දැනගත් නොහැකි විණ. පොතේ ඇති කථා තිස් ගණනින් බොහොමයක් මේ ආකාරයට මා විසින් සිංහලයට නගා තිබේ. ඉඩ ලද අවස්ථාවන් හිදී පළ කරන්නට බලාපොරොත්තු වෙමි.
 

Tuesday, February 18, 2014

244. ගුරුවරියක සමඟ මගේ ජීවිතය - 12 -දෙයියෝ සාක්කි, බතුත් කනවද?....බකමූණ අමතන්න..බකමූණ අමතන්න සහ ඩෝසරය එවීමට නොහැකිවීම පිළිබඳව කණගාටුවෙමි






විජේතුංගය කට පුරවං හිටපු බුලත් කෙල පාර ගැහුව එතනම තිබ්බ වැලි ගොඩකට.. 

" හරි මහත්තය මම දෙන්නං වැඩේ තෙල් ටිකට…"

" යකෝ වැඩේ කරන්ටත් ඉස්සර තෙල් ටිකට කෙලින්ට එපා බං ..උඹලත් මාර බඩුනෙ…දෙකයි පණහක් හොයාගන්න මයෙ මේ රස්සාවටටත් කෙලින්ට තමයි උඹ ඒ පාර හදන්නෙ මට පේන්නෙ "

මම කිව්වෙ බොහොම බැරෑරුම් විදිහට..

" හෙහ්, හෙහ්, හෙහ්, මහත්තයත් කියන කතා.." විජේතුංගය බඩ හොල්ල හොල්ල හිනා උනා.

" හරි හරි මම වැඩේ කරන්නං මහත්තය බය නැතුව ඉන්ටකො.."

ඒ එක්කම උගෙ හාමිනේ තේ එකක් ගෙනාව..

" තේ එකක්වත් බොන්ට එහෙනං මහත්තය. "

" අඩේ තේත් හැදුවද? බොහොම ස්තූතියි. " මම හිනාවෙලා තේ එක ගත්ත.

හෙහ්, හෙහ්, අඩේ තේත් හැදුවද කිව්වම ඔන්න ආතල් කතාවක් මතක් උනා..දෙයියෝ සාක්කි බතුත් කනවද?...
සමරසේන එහෙම කියල ඔලුවෙ අත ගහ ගත්ත.

වැඩේ දැන් මේ අතුරු කතා කියන්ට ගිහාම වෙන්නෙ ගුරුවරී එක්ක සීන් එක මඟ ඇරෙනව. ඒත් ඔබ තමුන්නාන්සෙල පුල පුලා බලා ඉන්නවත් එක්කනෙව " දෙයියෝ සාක්කි බතුත් කනවද? " කතාව අහන්ට. ඒ නිසා ඒක කියල ඉන්නං..ඔතන හැබැයි සීන් එක මේකයි. බත් කතාව කියන්ට ගිහිල්ල තව මොන මොන කතන්දර ඇදිල එයිද කියල උඩ ඉන්න දෙයියො තමයි දන්නෙ. හරි බලමුකො මොකද වෙන්නෙ කියල. ඔහෙ වෙන දෙයක් වෙන්නෙ නැතැයි නැද්ද?

මේ කතාව නම් මේ බොහොම මෑත යුගයෙ එකක්. ඔය විමලෙ අයියල, සුමනෙල එතනින් ගිහාම විජේතුංගල එක්ක කාලයක් ඉඳල මම එහෙං අස් උනානෙ. ඊට පස්සෙං පහු ඔය මහාමාර්ග, වාරිමාර්ග ජලවිදුලි බලාගාර මෙකී නොකී තැන් කීපයක වැඩ කරල අන්තිමට ආව ඔය කොළඹ කිට්ටුව කොම්පැණියක වැඩට. ඔය රන්දිල් මහගෙ එහෙම මුණගැහුනෙ එතනදි තමයි...හෙහ්,හෙහ්,...ඒ කාලෙ කොළඹට පුවක් ගෙනාවය කියන්නෙ පාරුවල පටවල...පාරුවේ පුවක් කියල තමයි එහෙම පුවක් ගේන එකට කිව්වය කියන්නෙ..

ඔය මම කිව්ව සමාගමේ වැඩකරපු කාලය මගෙ ජීවිතේ හොඳම කාලය කියන්න පුළුවන්. අපි ඔක්කොමල සහෝදරයො වගෙ තමයි හිටියෙ. සහෝදරයො වගෙ කිව්වට ඔය පොඩ්ඩ බැරිවෙනකොට එකා එකා මරාගන්න සහෝදරයොත් ඉන්නවනෙව. එහෙම එවුං නෙවෙයි බොහොම සුහදව, එක්කුසේ උපං බාප්පගෙ පුතාල වගෙ.

මම අර කලින් දවසක කිව්වෙ රණේ කියල. ඔන්න ඔය රණේ තමයි මේ කතාව කිව්වෙ.ඔය රණේ කියාපු කතා තව මහ ගොඩක් තියනව. හෙමිහිට කියමු. නැද්ද?

දවල් කෑම වෙලාවෙ ඉතිං ආය නෑ කතා සාගරයක්.කට්ටියම එකතුවෙලා ගෙනාපු මොන මොනව හරි බෙදාගෙන කාල දුම්වැටියකුත් පත්තු කරගෙන තව පැය බාගයක් විතර ඔය මොනව හරි කියව කියව ඉඳල තමයි කෑම මේසෙං නැඟිටින්නෙ.බොහෝ වෙලාවට අපෙ බොස්ලා හිටියොත් එයාලත් එකතුවෙනව ඔතනට. හැමදාම වගෙ රෑ හත හතාමාර වෙනකල් අපි වැඩ කරන නිසා කාලවේලාව ගැන ප්‍රශ්නයක් නෑ.හතාමාර අට වගෙ වෙනකොට දවසෙ වැඩ ඉවර කරල බොස් එක්කම අපි විත්ඩ්‍රෝ වෙනව ඒ කිට්ටුවම තිබ්බ රෙස්ටෝරන්ට් එහෙකට.ඊට පස්සෙ ආයම ඉතිං රෑ දහයට එකොලහට තමයි චමරියට යන්නෙ බුදිය ගන්ට බලාගෙන.එවන් යුගයක්ද ගෙවූයෙමි කියල හිතෙනකොටත් හිතට මහ දුකක් වගෙ හැඟීමක් ඇතිවෙනව. හරි ඒ පසුබිම් වර්ණනය දැනට ඔය ඇති හොඳටම.

හරි දැන් කතාවට ආවොත් මෙහෙමයි. ආ..ඊට කලින් ඉන්ටලාකො තව ඔය රණේගෙම අතුරු කතාවක් කියල ඉන්ට. දවසක් හවසක ඔන්න හයට වගෙ මගෙ ටෙලිෆෝන් එක වැදුන.

" රවී..වඩේ ගෙනල්ල තියෙන්නෙ...එනවද පහළට…"

" හරි බොස්….."


ඒ අපේ ලොක්ක...පල්ලෙහාට එන්ට කිව්වෙ කෑම කාමරේට...මම හද හද හිටපු ක්ලේම් එක සේව් කරල පුටුවෙන් නැඟිට්ට. පහළට යනකොට කට්ටියම වට වෙල ඉන්නව..වඩේ පිඟානක් මේසෙ උඩ. මාත් වඩයක් අරගෙනම ඉඳගත්ත පුටුවකුත් ඇදගෙනම ඇවිල්ල..අපෙ ලොක්කගෙ මුණත් එක්ක රතුවෙලා ජම්බෙ වගෙ..

" මොකෝ බොස් තදටම හෙම්බිරිස්සාව වගෙ? " ...මම ඇහුව..

" ඒකනෙ රවී බලන්නකො මාර අමාරුයි. ඔලුවත් එක්ක ඇතුලෙ හිරවෙලා වගෙ…"

" බොස් ඕකට නියම බෙහෙත මම කියන්නං...ඕල්ඩ් කාලක් ගසල අරින්ට නීට්...අද්දුටුවයි සත්තයි ප්‍රත්‍යාක්ෂයි.." ඒ මගේ විශේෂඥ උපදෙස්…

" පිස්සුද බං..උඹ ලෑස්ති බොස්ගෙ අමාරුව තව වැඩි කරන්ට..ඕල්ඩ් වලට සෙම..ඕකට බොස් හොඳම ගල්...නීට් ගහන්ට බැරිම නං සෝඩ ටිකක් දාගන්ට, හැබැයි කූල් නැතුව .." එහෙම කිව්වෙ මිගාර..පිපි මල් මතින් පියමං කලේ... ඒ මිගාර තමයි...

" නෑ බං ඕක පට ගාල හොඳවෙනව බකාඩි දෙසීයක් දාගත්තනං.." ඒ තව එකෙක්…

රණේ වචනයක්වත් නොකිය අපේ මේ අදහස් හුවමාරුවට ඇහුංකන් දීගෙන හිටිය මාරුවෙන් මාරුවට අපේ මූණු දිහා බල බල.ඒ කරල අන්තිමට කිව්ව..

" යකෝ හෙම්බිරිස්සාව කියන්නෙ අසනීපයක්. ඒකට ඔය ගලුයි, පොලුයි බකාඩියි ගහල හරියන්නෙ නෑ..මේ බොස්.... ඔය පිස්සු යක්කු කියන එව්ව කරන්ට යන්ට එපා...එක්කො අර පරණවිතාන ඩිස්පැන්සරියෙන් බෙහෙත් ටිකක් ගන්ට. නැත්තං පස් පංගුව රත්කරල බීල ඔලුවෙ ඉඳල පෙරවගෙන නිදාගන්ට. ගල් කාලයි, ඕල්ඩ් ෂොට් එකයි, බකාඩි දෙසීයයි..බම්බුව තමයි..."

තව පොඩ්ඩෙං ලොක්කට ඉස්පිරිතාලෙ යන්ට වෙන්නෙ හෙම්බිරිස්සාව වැඩිවෙලා නෙවෙයි පරිප්පු වඩේ බාගයක් උගුරෙ හිරවෙලා....

රයිට් ඒ තමයි රණේ......හරි අපි එමු එහෙනං කියන්ට ආපු කතාවට...මක්කිව්ව?.....මතකත් නෑ කිව්ව මොකක්ද කතාව කියල? අර මම විජේතුංගගෙ හාමිනේ තේක ගෙනාපුවම " හප්පච්චියේ තේත් හැදුවද? " කියල ඇහුවනෙ. මම කිව්වෙ ඒ වෙලාවෙ " හප්පච්චියේ බතුත් කනවද? " කියල කියාපු කතාවක් මට මතක් උනාය කියල. ඒ කතාවනෙ මේ කියන්ට යන්නෙ..කොහෙද ඔහෙල මේක කියන්ට දෙනවය?...මොන කතාවද ඔය කියන්නෙ? කියල එක්කෙනෙක් අහයි.......නැහ්නං ඕක කියන්නෙ නැද්ද අද? කියල තව එක්කෙනෙක් අහයි..ඉතිං කොහොමද එක හිතක් හිතාන කතාවක් උනත් කියන්නෙ. භෞමික අඛණ්ඩතාවය බිඳිල යනව සුටුස් ගාල. ආයම ඒක ඇතිකරගන්ට ලේසි නෑ දන්නවද?.... හරි එහෙනං බාදා කරන්ට ඔට්ටු නෑ ඔන්න හරිද? රයිට් එහෙනං හරි දැං කතාව...

මේ දවල් කෑම කාල ඔය සතුටු සාමීචියෙ යෙදිල ඉන්න වෙලාවක රණේ කිව්ව කතාවක්..රණේගෙ වචන වලින්ම මෙහෙමයි.

" ඒයි මේ ඉඳපල්ලකො උඹලට මරු කතාවක් කියන්ට. මේ අපේ ගෙවල් ගාව පොරක් ගැන. නම සමරසේන..රස්සාවක් නෑ හරියකට. ඔය බ්‍රෝකර් වැඩ තමයි කරන්නෙ. හැබැයි ඔය මොනව හරි කරල හවස් වෙනකොට අතට ගානක් අරගන්නව කොයි මක් කරල හරි. මිනිහගෙ හොඳම යාලුව විල්බට්. ඔන්න දවසක් විල්බට් කොස් ගහකින් වැටිල හොස්පිටල් ඇඩ්මිට් කලාය කියල ආරංචි වෙලා සමරෙ දනිපනි ගාල දිව්වලු මහ ඉස්පිරිතාලෙට. "

ඉස්පිරිතාලෙ මිදුලෙදි ඔන්න සමරෙට මුණ ගැහුන විල්බට්ගෙ වයිෆ්..මනුස්සය අඬනව මීදෙන වාගෙ..

" ඇයි ඇයි නංගි? මොකද විල්බට්ට? හුඟක් අමාරුද?...."

" අනේ ඔව් සමරෙ අයියෙ..ඔලුවට තමයි තුවාල. සිහියත් නැතුව ගෙනාවෙ ඉස්පිරිතාලෙට...ඔපරේසං එකක් කරනව ඇතුලෙ.."

" හරි නංගි ඉන්නකො ඔහොම..මම ගිහිල්ල බලන්නං.."


ඔන්න සමරෙ ඇතුලට ගියා. ඔපරේසන් තියටර් එක ඉස්සරහට වෙලා ඉඳගෙන බලා හිටිය. ඔන්න පැයකට වගෙ පස්සෙ දොර ඇරුන . විල්බට්ව එලියට ගෙනාව ට්‍රොලියක තියල. ඒ එක්කම පස්සෙං ආව දොස්තර මහත්තයත් මූණු වැස්ම ගලවමින්.

ආ..මේ අතුරු කතාව මේ රණේ කියපු එකක් නෙවෙයි. මගෙන් පොඩි ඌණ පූරණයක්..දන්නවද ඔය ඔපරේසං එකක් කරද්දි දොස්තරල මූණු වගගෙන ඉන්නෙ මොකද කියල? වෙන මොකවත් හින්ද නෙවෙයි..හදිස්සියෙංවත් ඔපරේසං එක වරදිල ලෙඩා වලකජ්ජ ගැහැව්වොත් එහෙම ලෙඩාගෙ නෑදෑ හිතවතුංට ඔපරේසං එක කලේ කවුද කියල අඳුන ගන්ට බැරිවෙන්ට

" අපි උපරිම උත්සාහයක් ගත්ත. ඒත් තුවාල බරපතලයි. මම හිතන්නෙ නෑ බේරගන්ට පුලුවන් වෙයි කියල. තමා කවුද ලෙඩාගෙ? " දොස්තර මහත්තය සමරෙගෙං එහෙම ඇහුව.

" කවුරුවත් නෙවෙයි සර්..මම මේ යාලුවෙක්…"

" ආ..එහෙමද? ඔව්ව ඉතිං ඔහොම තමයි...ජීවිතේ හැටි.."


එහෙම කියල දොස්තර මහත්තය යන්ට ගියා. දොස්තර මහත්තය යන දිහාවෙ එතනම ගල් ගැහිල බලා හිටිය සමරෙ හෙමිහිට ඉස්පිරිතාලෙන් එළියට බැස්ස.

" කොහොමද අයියෙ විල්බට්ට?..."

විල්බට්ගෙ හාමිනේ සමරෙ දැකපු ගමන් දුවගෙන ඇවිල්ල ඇහුව.

" තත්වය එච්චරම හොඳ නෑ නංගි…" සමරෙ අහක බලාගෙන කිව්ව.

" මම හිතුව අයියෙ..මොනව කරන්නද? ඒ මනුස්සය ගෙනාපු ආවිස තමයි ඔය..මට නම් තේරෙන්නෙ නෑ මොනව කරන්නද කියල…" විල්බට්ගෙ හාමිනේ එතනම බිම ඉඳගෙන අඬන්න ගත්ත.

" හරි නංගි ඉන්නකො මම අවශ්‍ය දේවල් ඔක්කොම කරන්නම්..බය වෙන්න එපා…"

විල්බට් යාලුව තමයි. ඒත් දැන් දොස්තර මහත්තය කිව්ව විදිහට මනුස්සය ඉන්නෙ මරණාසන්නව.මේ වෙලාවෙ මගෙත් අතේ සතේ නැති වෙලාව. ගෙදර උන්දැගෙ වළල්ලක් බැංකුවට තියල ඒක වෙන්දේසියෙ දානවයි කියල ලියුනුත් එවල. අඩු ගානෙ පොලියවත් ගෙවන්ට එපාය. ඕක බැංකුවට සින්න උනොත් එහෙම ගෙදර ගිහිල්ලත් හමාරයි.

සමරෙ එහෙම හිතල ගියා ඒ ලඟම තියන මිනීපෙට්ටි සාප්පුවට. මිනිහ අඳුනන තැනක් එතන.

" මුදලාලි හෙට වගෙ මම ඕඩර් එකක් අරං දෙන්නං..හරිද?..."

" හරි බං අරං වරෙංකො...මම උඹට දෙන්නං උඹේ ගාස්තුව…..ඉඳහංකො…"
මුදලාලි සමරෙට ඇඩ්වාන්ස් එහෙකුත් දුන්න.

" හරි හෙට මම වැඩේ සෙට් කරන්නං…"

ඇඩ්වාන්ස් එකෙන් ගල් බාගයක් අරගෙන ඉතුරු සල්ලි ඔක්කොම හාමිනේට දුන්න සමරෙ….

" මේ හෙට ගිහිල්ල අර වළල්ලෙ පොලියවත් ගෙවල දානව.හෙට අනිද්දට දෙය්යංගෙ පිහිටෙං බේරගන්ට බලමු. " හාමිනේගෙ මුණෙං එකයි හිනාව.

පහුවෙනිද 
සමරෙ ඇහැරෙනකොට දවල් වෙලා. ලෑස්තිවෙලා කඩිමුඩියෙ ඉස්පිරිතාලෙට දිව්වට දවල් ලෙඩ්ඩු බලන වෙලාව වෙනකල් ඇතුලට යන්ට විදිහක් නෑනෙ. මිනීපෙට්ටි සාප්පුවෙ මුදලාලි සමරෙ දැකල කතා කලා..

" මේ මොකෝ මගෙ වැඩේ? කෝ මනුස්සයො ඕඩර් එක? "

" හරි හරි බය වෙන්ට එපා මුදලාලි. දොස්තර මහත්තය කියාපු විදිහට මේ වෙනකොට වැඩේ වෙලා තියෙන්න ඕන. මම එක්ක එන්නං බය වෙන්ට එපා.."


" බය වෙන්නෙ මොකටද මම? තමුසෙට මම ඇඩ්වාන්ස් එකකුත් දීලයි තියෙන්නෙ. වැඩේ කෙරුනෙ නැත්තං පුතෝ මම නරක මිනිහයි කියන්න එහෙම එපා. "

මුදලාලි හිනාවෙලා එහෙම කිව්වට පොඩි පහේ තර්ජනයකුත් එතනෙ තිබ්බයි කියල සමරෙ දන්නව.

" හරි හරි මම වැඩේ කරන්නං ගානට.." එහෙම කියල ලෙඩ්ඩු බලන්ට යන මිනිස්සු තලේ එක්ක සමරෙත් ගියා වාට්ටුවට.

18 වාට්ටුව නේද? බලමු ගිහිල්ල. දැනටම මනුස්සය වල කජ්ජ ගහලද දන්නෙ නෑ. විල්බට්ගෙ පවුලව කොහොම හරි මුදලාලි ගාවට එක්ක යන්ට ඕන. නැත්තං විසුමක් වෙන්නෙ නෑ…..ඔහොම කල්පනා කරමින් සමරෙ වාට්ටුවට ඇතුල් උනා. මිසී කෙනෙක් ගෙන්වත් අහන්ට වෙයිද?

මිසී කෙනෙක් කොහෙද ඉන්නෙ කියල හොයමින් වාට්ටුව ඇතුලට ඇඳං හත අටක් පහුකරල ගිය 
සමරෙ එක පාරටම එහෙමම ගල් ගැහිල නතර උනා. එතනම වම් පැත්තෙ තිබ්බ ඇඳේ කොට්ට දෙකක් ඇඳ විට්ටමට හේත්තු කරල එව්වට වාරුවෙලා හිටියෙ විල්බට්. විල්බට්ගෙ ඔලුව වටේට සුදු බැන්ඩේජ් වෙලල. වං අත වැලමිටෙං පල්ලෙහා ප්ලාස්ටර් එකක් දාල. විල්බට්ගෙ පවුල එතනම ඉඳගෙන දිග ඇරගත්තු බත් පාර්සලේකිං විල්බට්ට බත් කවනව.

මේක දැක්ක විතරයි සමරෙට උන්හිටිතැන් අමතක උනා. මිනිහ ඔලුවෙ අත ගහ ගත්ත.

" දෙයියෝ සාක්කි, බතුත් කනවද? "

සමරෙ කෑගහපු පාර අහල පහල ලෙඩ්ඩු බලන්ට ඇවිල්ල හිටපු මිනිස්සු ගෑණු හත්තට දෙනෙකුත් හැරිල බැලුව.

විල්බට්ගෙ පවුල බත් එක අතේ තියාගෙනම හැරිල බැලුව.

" ඇයි අයියෙ එහෙම ඇහුවෙ? බතුත් කනවද කියල…" ඇගේ ඇස් දෙකේ තිබ්බෙ ප්‍රශ්නාර්ථයක්.

" ඇයි සමරෙ ? …" එහෙම ඇහුවෙ විල්බට්.

" නෑ,නෑ, මේ ඊයෙ උඹට අච්චර අමාරුවෙලා තිබ්බ නිසා බත් කන්ට හොඳද කියලයි මට මේ කල්පනා උනේ.." සමරෙ වටපිට බලල හෙමිහිට කිව්ව.

" නෑ මචං දැං මට හොඳයි…." විල්බට් බොහොම සන්තෝසෙං කිව්ව.

දෙයියෝ සාක්කි දැං අර ගෑනිගෙං සල්ලි ගන්නෙ කොහොමද ආපහු?..... දැනටම ඔය මනුස්සය ගිහිල්ල පොලී සල්ලි බැඳලද දන්නෙත් නෑ. ….සමරෙ කට ඇතුලෙ තියාගෙන සුටු පුටු ගෑව.

රයිට් ඒක තමයි දෙයියෝ සාක්කි බතුත් කනවද? කතාව. රණේගෙ තව පිස්සු කොරවෙන කතා තියනව බරගානක්..පස්සෙ කියන්නංකො හොඳද?

හරි..ඉතිං විජේතුංගයට වැඩේ බාරදීල මම ආව ආපහු. පහුවදා උදෙම්ම ගියා විජේතුංගය හම්බ වෙන්ට.

" ඒයි…. මොකද වැඩේ? ඊයෙ ඩෝසරේ ආවද? "

" ආය මොනවද? මහත්තය දන්නවනෙ මම වැඩක් කලොත්..එච්චර පරක්කු උනේ නං නෑ..අටාමාර වෙනකොට බඩු ආව.ඒත් මහත්තය අර වෙනද එන ලදරම නෙවෙයි..මේක අලුත්ම බඩුවක්. කිරි කෑස් එකක්."

ඔය කලිං අපිට එවන්නෙ හද්ද පරණ ඩෝසර්. එව්වයෙ බ්ලේඩ් එක කොහු ලණු වලින් බැඳල තියෙන්නෙ. මළකඩ කියන්නෙ ආය ඕනම නෑ. ඔය පරණ අටමගලක් දැක්කත් ඇති ඇස් වලට පිටගැස්ම හැදිලයි නවතින්නෙ.

" හරි,හරි බං උඹ හිතුවද හෙඩ් ඔෆිස් එකට සල්ලි නෑ කියල අලුත් ඩෝසර් ගන්ට. අනික මම එක හෙලාම කිව්ව ඔය පරණ ලඩිනං එවන්ට එපාය කියල. ඒ පාර තමයි ඔය අලුත් එකක් එවල තියෙන්නෙ.."

විජේතුංගය හක හක ගාල හිනාඋනා.

" ඔව්,ඔව් මොනවට කියනවද ඒ හරිය..මම නොදන්නවය මහත්තය ගැන. "

" ඒයි යමං ඒ පැත්තෙ ගිහිල්ල එන්ට. උදෙම්ම වැඩ පටංගන්ටෙයි කියල උඹ කිව්ව නේද? "

" ඔව්, ඔව්, බයික් එකකුත් මම සෙට් කරා ඔපරේටර්ව ගිහිල්ල දාන්ට ග්‍රැවල් කනත්තට. දැන් මිනිහ වැඩ ඇති. "


විජේතුංගයි මායි බයික් එකේ ගියා ග්‍රැවල් කපන තැනට. යනකොට මෙන්න ඩෝසරේ ගිණි කසය වගෙ වැඩ. අපරාදේ කියන්ට බෑ මනුස්සය උදේම්ම වැඩ පටන්ගෙන. දැනටමත් වරුවකට වගෙ සෑහෙන්ට ග්‍රැවල් ගොඩක් කපල ගොඩ ගහල.

මාව දැක්කම ඔපරේටර් මැෂින් එක නවත්තල බැහැල ආව. කලින් මම දැකල තියන ඩයල් එකක් නම් නෙවෙයි.. අලුත් එක්කෙනෙක්. අවුරුදු දාහතකට පස්සෙ ආණ්ඩු පෙරළියක් වෙලා ඒ වෙනකොට මාස තුන හතරයි. ඒ නිසා අලුතෙන් රස්සාවල් දෙනව ඒ දවස්වල දිගට හරහට හිටු කියල. එහෙම් කෙනෙක් වෙන්නැති. වැඩේ හරියට කරනවනම් එච්චරයිනෙ.

" ආ..මොකක්ද ඔයාගෙ නම?..."

" ජයවීර …….."

" හරි. ජයවීර මොකවත් ප්‍රශ්නයක් එහෙම නෑනෙ නේද? කන්ඩ නිදාගන්ට එහෙම ලෑස්ති කරන්ට අපෙ සභාපති තුමාට මම කියල තියෙන්නෙ. "


සභාපති කිව්වෙ ගොවි සංවිධානෙ සභාපතිට. එහෙ ගොවීන් සම්බන්ධව කෙරෙන සියළුම කටයුතු කෙරුනෙ ගොවි සංධානයෙ මැදිහත්ව.

" නෑ මහත්තය එව්ව ඔක්කොම හරි.... එකම ප්‍රශ්නෙකට තියෙන්නෙ හැබැයි හවස් වෙනකොට ඩීසල් නම් ඉවර වෙයි. "

" හරි මම දැන් යනව ඔෆිස් එකට…. ඩීසල් බැරල් එකක් එවන්නංකො... එතකල් වැඩ කරගෙන යන්ට ජයවීර. ග්‍රැවල් එක තැනින්ම කපන්න එපා. වල ගැහුනම ඊට පස්සෙ වැස්සට වතුර පිරුනම මහ කරදරයි. මට්ටං කරල දාන්න පුලුවන් විදිහට හාරල ගන්ට. "

" හරි මහත්තය…."


ජයවීරට උපදෙස් දීල මම ආව ඔෆිස් එකට ඩීසල් වැඩේ එකලාසයක් කරන්න හිතාගෙන.

අපේ සෙක්ෂන් එකට ගිහිල්ල අයි.ඊ. මහත්තය හම්බ උනා..

" ආ..වීරේ..මොකෝ වැඩේ? ඩෝසරේ ආවද? ග්‍රැවල් කැපිල්ල පටන් ගත්තද? "

" ඔව්..අයි.ඊ.මහත්තය...වැඩේ යනව..මම මේ ඩීසල් බැරල් එකක් ගෙනියන්ට කියල ආවෙ. "

" හරි... එම්.ආර්. එකක් ලියාගෙන එන්ටකො. මම අත්සන් කරන්නං "


එම්.ආර්. කියන්නෙ ද්‍රව්‍ය ඉල්ලුම් පත්‍රය ,( Material Request Form ) ...මම මගෙ මේසෙ ඉඳගෙන එම්.ආර්. එක ලියන්න ගත්ත. ටිකකිං ඔන්න අපේ රේඩියෝ ඔපරේටර් දුවගෙන ආව. මොබයිල් ඒ දවස්වල තිබ්බෙ නෑ ඒ හරියට. ලෑන්ඩ් ටෙලිෆෝන් එකක් තිබ්බට අපි බොහෝ වෙලාවට හෙඩ් ඔෆිස් එකත් එක්ක ඒ වගේම අනෙකුත් ක්ෂේත්‍ර කාර්යාල එක්ක පණිවිඩ හුවමාරු කරගත්තෙ රේඩියෝ සෙට් එකන්.

රේඩියෝ සෙට් එක කිව්වම ඔන්න තව පොඩි කතාවක් මතක් උනා. මේක උනාය කියන්නෙ බකමූණ පොලීසියෙ. බකමූණ දන්නවනෙ නේද? මාතලේ දඹුල්ල අතර තියෙන නාවුල හන්දියෙන් දකුණට හැරිල ගිරිතලේ පාරෙ කිලෝ මීටර් 32 යන්න ඕන බකමූණට.

අලුතෙන් පොලීසියට බැඳිච්චි පොඩි එකෙක් ඔන්න ඩියුටි වැටිල රෑ රේඩියෝ එකේ. තව හිටපු පළපුරුදු ඔපරේටර් " මල්ලි මම සිගරට් එකක් ගහල එන්නං... බය වෙන්ට එපා. මෙතන සෙට් එකෙන් කතා කලොත් බය නැතුව ඒ කියන විදිහට උත්තර දෙන්න එච්චරයි. " එහෙම කියල මිනිහ ගියා එළියට. මෙච්චර වෙලා රේඩියෝ එකේ මොකවත් සද්දයක් නැති නිසා පොඩි එකත් " හොඳයි අයියෙ " කියල හෙඩ් ෆෝන් සෙට් එක එහෙම පැළඳගෙන පුටුවෙ ඉඳගත්ත.

මෙන්න මිනිත්තු දෙකක් ගියේ නෑ. මුගෙ කරුම වෙලාවටද කොහෙද ඔන්න මෙසේජ් එකක් එනව.." බකමූණ අමතන්න, බකමූණ අමතන්න " කියල. කොල්ලට දාඩියත් දාගෙන ආව. මොකද දැං කරන්නෙ. සීට් එකෙං ටිකක් ඉස්සිල එහෙම බැලුව හතර අත අර සිගරට් එකක් ගහන්ට ගිය මනුස්සය පේන්ටවත් ඉන්නවදැයි කියල ම්හු ඒ මනුස්සය නෑ අහල ගං හතකවත්. ඔන්න ආයම සෙට් එකෙන් එනව සද්දෙ. " බකමූණ අමතන්න...බකමූණ අමතන්න..."

ආයම සැරයක් කොල්ලා බාගෙට නැඟිටල බැලුව. මොන? අර මනුස්සයගෙ සේයාවක්වත් නෑ..මළ සේක..දැං මොකෝ කොරන්නෙ? මේකට උත්තර දෙන්නත් එපාය..ඔන්න ආයමත්.." බකමූණ අමතන්න,බකමූණ අමතන්න, " කොළුව හොඳට පුටුවෙ හරිබරි ගැහිල ඉඳගෙන මයික් එකට කට ලංකලා..ස්විච් එක ඔන් කරල මෙහෙම කිව්ව " හූම්ම්ම්ම්, ....හූම්ම්ම්ම්ම්...හූම්ම්ම්ම්ම් "

" වීරසිංහ මහත්තය ..මෙන්න හෙඩ් ඔෆිස් එකෙන් මැසේජ් එකක්.." ඒ අපේ රේඩියෝ ඔපරේටර්....

" මොකද්ද බං? "
මම මෙසේජ් එක අතට ගත්ත.

ඩෝසරය එවීමට නොහැකිවීම පිළිබඳ කණගාටු වෙමි. හෙට දිනය ඇතුලත එවීමට බලාපොරොත්තු වෙමි..

" මොකක්? ඩෝසරය එවීමට නොහැකිවීම පිළිබඳ කණගාටු වෙමි.....එතකොට අර කෝඳුරුවාවෙ ග්‍රැවල් කපන්නෙ ඩෝසරේ නෙවෙයි නං වෙන අහවල් එකද? "

ඒ වෙලාවෙ මගෙ කට ඇරිල තිබ්බ විදිහ කියල අනික් එවුං හිනා උනා මම එහෙං අස්වෙලා එනකල්ම.

Thursday, February 13, 2014

243. ගුරුවරියක සමඟ මගේ ජීවිතය - 11 - විමලෙගෙ භාර්යා තොමෝගේ මිරිස් ඇඹරිල්ල, විජේතුංග,කෝඳුරුවාව හන්දිය සහ මැෂින් යුනිට් එක.

" ලස්සනයි…………….." 

ඈ හෙමිහිට කිව්ව..මම ඇස් ඇරල ඇගෙ මූණ බලල හිනා උනා..

" ඔයාට හිතෙනවද යාලුවො එක්ක එතනට ගිහිල්ල එකතුවෙන්ට තිබ්බනම් හොඳයි කියල...." ඈ ආයෙම ඇහුව ..ඒත් හෙමිහිට..අහක බලාගෙන…

" මෙහෙමයි..ලොකුම අත්‍යාවශ්‍ය උවමනාවක් වගෙත්නම් නෑ.. "

මම දෙපැත්තට ඇදල කිව්ව ඈ දිහාවෙ කටාක්ෂ නීරීක්ෂණය කරමින්. ( කටාක්ෂ නීරීක්ෂණය = ඇස් කොණින් බැලීම )

" ඒ කියන්නෙ අනවශ්‍යත් නෑ කියන එක නේද? …"

ඈ ආයෙම ඇහුව...දෙතොලඟ යන්තමට හිනාවක් තැවරිල තිබ්බට ඇස් දෙකේ තිබ්බෙ බැරෑරුම් පෙනුමක්.

මම මොකවත්ම නොකිය හිනා උනා..බොහෝම අහිංසක අන්දමට....

අරම බොහොම සුහදව අහපු හින්ද මම හිතාගෙන හිටියෙ වැඩේ හරිය, මේ සෙනසුරදා කිසි ගින්නක් නැතුව කට්ටිය එක්කලා සතුටු සාමීචියෙ යෙදෙමින් සුට්ටං ආතල් එකක් ගන්ට ඇහැක්ය කියල. එහෙම උපකල්පනය කරල මම මූලික පියවර වශයෙන් බදාද වගෙ රෑට අර මම කිව්වෙ... බිම ඉඳගෙන කන ගමං දැම්ම පොඩි වචනයක්. ඔව්වට කියන්නෙ ප්‍රාථමික යටිතල පහසුකම් සකස් කිරීම කියල. ( Preliminary Infrastructure Facilitating )

" ෂිහ්...මේ මඟුල් රස්සාව මටනම් දැන් එපා වෙලයි තියෙන්නෙ......" කන ගමං මම ඔහෙ නිකමට වගෙ කිව්ව…

" මේ කැරට් වෑංජනේ නම් නියමයි..තව තියනව නේද? " පීඟානත් අරගෙන නැඟිටින ගමන් මම ඇහුව..

" තියනව, තියනව…. ඔන්න මම ඇතිළිය පිටින්ම ගෙනාව.. ඔතන මේසෙ උඩ ඇති."

මතකනෙ මම පහුගිය කොටසෙදි කිව්ව. අපි කෑවෙ සාලෙ ටී.වී. එක ඉස්සරහ බීම ඉඳගෙන කියල. එතනම තිබ්බ මගෙ ලියන මේසෙ උඩ පත්තරයක් එලල පිදුරු දරණු තියල ඒ උඩ තමයි වෑංජනත් එක්ක ඇතිලි තියන්නෙ අපි උයල ඉවර උනාම…

" මේ මටත් දාන්න ගෝව මැල්ලුං ටිකක්. "

ඈ බිම ඉඳගෙනම පිඟාන දික් කලා.පොල්කටු හැංදෙං එකක් මම දැම්ම ඇගේ පිඟානට ගෝව කොළ මැල්ලුම. ගෝව මැල්ලුම මම පොඩි කාලෙ ඉඳලම බොහොමත්ම කැමතියි.

" කැරට් එපාද? "

" හ්ම්ම්..හොදි ටිකකුත් එක්ක දාන්නකො එහෙනං ටිකක් විතර.."
ඈ ආයෙම පිඟාන දික්කලා.

" මේ මොකද්ද අර රස්සාව එපා වෙච්චි කතාවක් කිව්වෙ?.."

" නෑ..මේ අපේ මැෂින් යුනිට් එක ලබන සතියෙ වගෙ එනවලු ඉතිං අපෙ අයි.ඊ. ගොයිය මට කිව්ව ඒකට එස්ටිමේට් එකක් හදන්නෙයි කියල. "

අයි.ඊ. ගොයිය කිව්වෙ අපෙ වාරි ඉංජිනේරු නොහොත් මගෙ බොස් …

" ඉතිං ? මොකද්ද ප්‍රශ්නෙ? ඔයාට තේරෙන්නෙ නැද්ද එස්ටිමේට් එකක් හදන්න?..." ඈ ඇහුව.

" මොකක් කිව්ව? " මම හැරිල ඈ දිහාවෙ බැලුවම මෙන්න මුන්දැ තොල් හපාගෙන ඉන්නව අහක බලාගෙන…

" හෙහ්, හෙහ්," මට හිනාගියා.

" වැඩේ මේකනෙ. මේ දවස්වල පෑවිල්ල හින්ද වතුර ප්‍රශ්ණෙ බොහොම දරුණුයි. එව්වට ඇරුණම සතියෙ දවස් වල ඔය එස්ටිමේට් එක හදාගන්ට වෙන එකක් නෑ. ඒ නිසා....."

මම එතනින් කතාව නවත්තල බර කල්පනාවකින් යුතුව බත් අනන්ට ගත්ත.බත් අනනවය කිව්වට මම කවමදාකවත් වචනයෙ පරිසමාප්ත අර්ථයෙන් බත් අනන්නෙ නෑ. බත් ටිකක් අරගෙන තියනව. ඒ උඩට වෑංජන වලින් ටික ටික තියනව. ඒ ඔක්කොම එකට අරගෙන කටේ දාගන්නව. එච්චරයි මයෙ ඇනිල්ල.

" හ්ම්ම්ම්ම්.."…...කියල පාඩුවෙ බත් කෑව මිසක මුන්දැ වෙන මොකවත්ම කිව්වෙ නෑනෙ.

" මොකක්ද ඔය ඔයාලගෙ මැෂින් යුනිට් එක කියන්නෙ? "

කාල අහක වෙලා කුස්සියෙ සින්ක් එකේ හට්ටි මුට්ටි හෝදන අතරෙ ඈ ඇහුව.

මම කලිනුත් කිව්වෙ. අපි ඒ දවස්වල හිටපු ක්වාටර්ස් එකේ කුස්සිය බොහොම කුඩයි. අපි දෙන්නම එක පාරට ඕක ඇතුලට ගියොත් වෙන්නෙ අර හිඳිච්ච වලේ ඉස්ගෙඩි වගෙ හැප්පි හැප්පි ඉන්ට තමයි.ඔය නිතර අන්‍යෝන්‍ය හැප්පිල්ලෙං ඊගාවට වෙන්නෙ ඉවිල්ල පැත්තක දාල වෙන වෙන කර්තව්‍යයන් වලට හිත යොමුවෙන එක.අන්න ඒ නිසා ඉවුම් පිහුම් කරන්ටම ඕනනං මම දොරගාවිං එළියෙං ඉන්නව..එහෙමයි කරන්නෙ.....

ඔය අපෙ විමලෙ අයිය මතකයි නේද?..අර වාංපතුල් කතා මාලාවෙ කථා නායකය. හප්පේ වාං පතුල් ගැන අමතකම වෙලා ගියා..හරි, හරි, හැකි ඉක්මනින් ඒකත් ලියන්ට පටං ගන්නංකො...හරි විමලෙ ගැන කියාගෙන ආපු කතාව මේකයි. මේ දවසක් ඕක දෙකක් දාපු වෙලාවක මා එක්ක කියාපු කතාවක්….

" වීරෙ මලේ...මචං..අපෙ ගෙදරදි මම මෙතෙක් කාලෙකට ගලේ අඹරපු සම්බෝලයක් කාල නෑ කිව්වම උඹ විස්වාස කරනවද? "

" ඈ..ඒ මොකෝ අයියෙ ඒ? නොවැරදීම බොලාගෙ ගෙදර මිරිස් ගලක් නැතුව ඇති එහෙනං.."

" නෑ බං තියනව.."

" එතකොට?.."


" මිරිස් ගලක් තිබ්බ උනාට බාං ඒක තියෙන්නෙ බොහෝම පාත.....පොලෝ මට්ටමේ ඉඳල අඩි දෙකක් වගෙ උඩිං.."

" ඉතිං බං?..... මට තේරෙන්නෙ නෑ..මිරිස් ගල පොලව මට්ටමේ ඉඳල අඩි දෙකක් උඩිං තිබ්බයි කියල කවමදාවත් ගලේ අඹරපු සම්බෝලයක් කන්ට බැරිවෙන්නෙ කොහොමද? "

" හෙහ්, හෙහ්, "  විමලය බඩ ගෙඩිය හෙල්ලෙන්ට හිනා උනා…

" උඹටත් මල්ලි තේරෙයි බැඳපු කාලෙක, යකෝ එහෙම මිරිස් ගල පාත තිබ්බම අපෙ උන්ද නැමෙන්ට එපාය සම්බෝලෙ අඹරන්ට. නැමිල ඔන්නම් දෙතුන් පාරක් එහාට මෙහාට අඹරන්ට විතරයි ඔන්න වෙන්නෙ...හෙහ්, හෙහ්, හෙහ්, "

විමලෙ ආයෙම වහලෙ උළු ඉගිලෙන්ට හිනා උනා...

ඉතිං මම කුස්සියෙ දොරෙං මෙපිට ඉඳගෙන එයයි හෝදල දෙන හට්ටි මුට්ටි රෙදි කෑල්ලකිං තෙත මාත්තු කරල සාලෙ ලියන මේසෙ උඩ එලාපු පත්තරයක් උඩ මුනිං නැව්ව.

" ආ..මැෂින් යුනිට් එක කියන්නෙ අපෙ අර ට්‍රැක්ටර් හත අටක්, ඩෝසරයක්, ලෝඩර් එකක් එහෙම තියන යන්ත්‍රෝපකරණ ඒකකයනෙ. කාලෙන් කාලෙට අපේ එක එක කොට්ඨාශ වලට ඔය යුනිට් එක එවනව අත්‍යාවශ්‍ය වැඩ කරගන්ට. පාරවල් වලට ග්‍රෙවල් දාගන්ට. අලුතෙන් ඇලවල් කපන්ට. පාරවල්වල වලවල් පුරවල හදන්ට වගෙ එව්වට.ඒ යුනිට් එක ගෙන්නන්ට ඉස්සරවෙලා කරන්ට ඕන වැඩ ප්‍රමාණය ගණං හදල ඩීසල් කොච්චර යයිද ඩ්‍රයිවර්ල ඔපරේටර්ලට කෑම බීම නවාතැන් වියදම් කොහොම වෙයිද කියල ඇස්තමේන්තුවක් හදන්ට ඕන. මම මේ කිව්වෙ ඒක ගැන. "

මම ඒ මැෂින් යුනිට් එක එනවයි කියල කිව්වෙ බොරුවක් එහෙම නෙවෙයි.ඇත්තටම ඊලඟ සතියෙ එහෙම පාරවල් ඇලවල් හැදීමේ වැඩ සටහනක් අපි ක්‍රියාත්මක කරන්ට සැළසුම් කරල තිබ්බ. ඒ වගේම ඇස්තමේන්තු කතාවත් ඇත්ත. සම්‍යක් ප්‍රයෝගය නොහොත් White Lie එක උනේ එදිනෙදා අනෙකුත් වැඩ අතරෙ 
ඇස්තමේන්තුව කරන්න බැරිය කියල කිව්ව එක. හෙහ්, හෙහ්, ඒක ඒ හැටි දෙයක් නෙවෙයි. පැය තුන හතරකින් හදන්ට පුළුවනි. මම බැලුවෙ ඒ පිට දාල.... දන්නවනෙ...හෙහ්, හෙහ්, 

" හරි...හරි…. මට මතකයි ඔයා ඔය මැෂින් යුනිට් එක ගැන මට කියල තියනව. අර විජේතුංග මරු වැඩක් කලයි කියල ඔයා කිව්වෙ ඒත් ඔය මැෂින් යුනිට් එක ආපු වෙලාවක නේද? "

" හිහ්..හිහ්..අඩේ ඔව්නේ...මම ඔයාට ඒ විස්තරේ කිව්ව නේද?...හාපෝ මතක් කරන්ට එපා..මට මතක් වෙනකොටත් විජේතුංගය එක්ක මල පයිනව…"


මම එහෙම කිව්වට ඒ වෙනකොට මටත් හිනාව නවත්ත ගන්ට බැරුව හිටියෙ ඒ සිද්ධිය මතක් වෙලා. ඒ මම බඳින්ට ඉස්සර වෙච්චි දෙයක්. මම ඔය කියන මැෂින් යුනිට් එක ඔයිට කලින් ආපු පාරකයි ඕක උනේ. ජලපාලන කටයුතු කරන්ට අපෙ හිටිය චෙක් රෝලෙන් දාල කට්ටිය ( චෙක් රෝල කියන්නෙ අනියම් කම්කරු ලේඛනය, අනියම් = ස්ථිර නොවන ). විජේතුංග එහෙම එකෙක්.

ඔය විජේතුංගය බොහොම උනන්දුයි වැඩට. උනන්දුව වැඩි හින්දම වෙලාවකට හත් පොලේ ගාගන්නව. කුමාර ධර්මසේන දන්නව නේද? අර නාලන්දෙට සෙල්ලං කරල ලෝක ශූරතාවය දිනපු අපෙ කණ්ඩායමෙත් සාමාජිකයෙක් වෙලා ඉඳල මේ දවස්වල විනිසුරුවෙක් විදිහට කටයුතු කරන්නෙ..කුමාර ඉස්කෝලෙට ගහන දවස්වල නම උනන්දුවා. එක මොහොතක් පිට්ටනියෙ නිකං ඉන්නෙ නෑ. පිට්ටනියෙ එහා කෙලවරේ හිටියත් අඩුගානෙ ගිරිය යටිං කෑගහල අනික් එවුං උනන්දු කරවනව. ඒකයි උනන්දුවයි කියල නම වැටුනෙ. ඒ වගෙ සනත් කළුපෙරුමට කිව්වෙ සැහැල්ලුවා කියල. මිනිහ බොහොම කෙට්ටුයි. තද හුළං පාරක් ආවත් ගහගෙන යන සයිස්. මිඩ් ඕන් වල ෆීල්ඩ් කරද්දි හුළඟක් ආවොත් මිනිහ නවතින්නෙ මිඩ් විකට් දිහාවෙ.

විජේතුංගයගෙ උනන්දුව නිසාම මොනවහරි විශේෂ වැඩ රාජකාරියක් තිබ්බොත් අපි බාරදෙන්නෙම මිනිහට.

ඉතිං ඔය අපෙ මැෂින් යුනිට් එක එන්ට දවස් දෙහෙකට විතර ඉස්සරවෙලා ඩෝසරේ එවනව.පාරවල් ඇලවල් හදන්ට එහෙම ඕන පස් හෝ ග්‍රෙවල් ( ග්‍රෙවල් කියන්නෙ රතු පාට වගෙ බොරළු මිශ්‍ර පස්, පාරවල උඩ ග්‍රෙවල් දාපුවම වැහිකාලෙට මඩ වෙන්නෙ නෑ ) ගොඩක් ඩෝසරෙං කපල ගොඩ ගහල තියනව කලිම්ම. එතකොට ලෝඩර් එකයි, ට්‍රැක්ටර් හත අටයි ආපු ගමං පට පට ගාල වැඩේ කරන්ට පුලුවන්. නැත්තං වැඩේ පාඩුයි. Machine Idle වෙන එක නැත්තං නිකරුණේ කාලය ගතවෙන එක වළක්වගන්ටයි එහෙම කරන්නෙ.

ඉතිං එදාත් සුපුරුදු පරිදි දවස් දෙහෙකට කලිං ඩෝසරේ එනවය පස් කපල ගොඩ ගහන වැඩේ සංවිධානය කරන්ටෙයි කියල අපෙ බොස් මට දැනුම් දුන්න.

" මෙතන කේස් එක ඩෝසරේ එන්නෙ රෑ. තව මොකක්ද ඔය මැදිරිගිරිය දිහාවෙ වැඩක් කරනවලු. ඒක ඉවර වෙලා හවස තමයි එහෙං පිටත් වෙනවයි කියන්නෙ. කොහොමත් එනකොට පැය හතර පහක් යාවි. වීරෙ එහෙනං වැඩේ ඕගනයිස් කරන්ට හොඳද? "

ඔන්න ඔහොම කියල ලොක්ක මට වැඩේ බාර දුන්න. මට එක පාරටම මතක් උනේ විජේතුංගය. ඒ වෙලාවෙම ගියා ඕකව හොයාගෙන.

" ආ..වීරසිංහ මහත්තය මොකෝ මේ තකහණියක්? "

විජේතුංගය බඩ මැදිං සරමත් වෙලාගෙන එළියට බැස්ස. ඕක දාර කළුයි, කොටයි, මහතයි. ගෙදර ඉන්නවනං කොයිවෙලෙත් බඩ මැදිං සරම වෙලාගෙන තමයි ඉන්නෙ.

" මේ කොල්ලො පොඩි වැඩක් තියනව කරන්ට. අපේ ටැට්ටර් පාටිය එනව ලබන බෘහස්පතින්ද...ඉතිං ඊට කලිං ඩෝසරේ එවනව අද හවස. එනකොට හැබැයි දහයවත් වෙයි. උඹ කෝඳුරුවාව හන්දියට ගිහිල්ල ඉඳහං හරිද? අපි අර ගිය සුමානෙ ගිහිල්ල බැලුවෙ ග්‍රෙවල් කපන තැන…"

කෝඳුරුවාව හන්දිය ගැන තියනව අපූරු කතාවක්... ගොයං කැපෙන කාලෙට මුස්ලිම් වෙළෙන්දො එනව වී ගන්ට. එහෙම ලොරියක ආපු මුදලාලි කෙනෙක් ඔන්න පාර අයිනෙ තේ කඩයක් ලඟ ලොරිය නවත්තල බැස්සලු.

" ළමයා.මේ අර ෂන්දියට තව කොච්චර දුරද?.." කඩේ ඉස්සරහ බංකුවෙ ඉඳගෙන උන්නු තරුණයා ඔලුව උස්සල බැලුව.

" මොන හන්දියටද මුදලාලි?...මේ පාරෙ ඉස්සරහට හන්දි කීයක් තව තියනවද? "


" ෂික් ඒක මතක් නෑනෙ යප්පා..අර මොක්කුද පොඩි ෂත්තුජාතියක් ඉන්නෙ? "

" මොකක්? මොන සත්තුද මුදලාලි?.." ඔන්න කතාව ඇහිල කඩේ ඇතුලෙ හිටපු ඔක්කොම වට උනා.

" යේක මතක නෑ අප්පා.." මුදලාලි ඔලුව කැහුවා.

" ආ ෂරි..ෂරි....මතක් උනා... මතක් උනා..
යේක බල්ලගෙ පෂ්ෂ පැත්තෙ වහන පොඩි ෂතා ඉන්න ෂන්දිය තමා අප්පා.." මුදලාලි බොහොම සන්තෝසෙං කිව්වා.. 

හරි ඒ අතුරු කතාව ඉවරයි..ආයම විජේතුංග ගැන...

" හරි හරි මහත්තය විසිතුනේ ඇල එහා පැත්තෙ අර කනත්ත නේද? " 


" අන්න හරි ඩෝසර් එක එතන බාගනිං..ඔපරේටර්ට නවාතැන් දෙනවය කිව්ව ගොවි සංවිධානෙ සභාපති. ඔපරේටර් එහාට ඇරලවපං.. ඒ කරල කොල්ලො උදේම ග්‍රෙවල් කපන්ට පටං ගනිං...මම එන්නම් පුළුවන් තරම් උදෙම්ම.."

ඩෝසර් කියන එව්ව පාරවල් වල යන්නෙ නෑ. එව්වයෙ රෝද නෑනෙ. තියෙන්නෙ අර යුද්ද ටැංකිවලවගෙ යකඩ ට්‍රැක් එකක්. ඒ නිසා පාරෙ ගියොත් පාර ඉවරයි. තැනින් තැනට ඩෝසර් ගෙනියන්නෙ ඒ වෙනුවෙන් විශේෂයෙන් හදපු දිග ලොරියක් වගෙ වාහනයක පටවල.ලෝ බෙඩ් කියල තමයි 
එව්වහැඳින්වෙන්නෙ.ඩෝසර් එක අවශ්‍ය තැනට අරගෙන ගිහිල්ල ඒකෙ පිටිපස්සෙ තියන රෑම්ප් එක පාතට දාල ඩෝසර් එක බාගන්ට ඕන.ආය වෙන කොහාට හරි අරං යන්ටත් ඒ වගෙ ලෝ බෙඩ් එකක්ම එන්ටත් ඕන. 

ඩෝසර් පාරවල්වල ගෙනියන්නෙ මෙහෙම.....

" හරි මහත්තය මම දෙන්නං වැඩේ තෙල් ටිකට…" විජේතුංගය කට පුරවං හිටපු බුලත් කෙල පාර ගැහුව එතනම තිබ්බ වැලි ගොඩකට..

" යකෝ වැඩේ කරන්ටත් ඉස්සර තෙල් ටිකට කෙලින්ට එපා බං ..උඹලත් මාර බඩුනෙ…දෙකයි පණහක් හොයාගන්න මයෙ මේ රස්සාවටත් කෙලින්ට තමයි උඹ ඒ පාර හදන්නෙ මට පේන්නෙ "

මම කිව්වෙ බොහොම බැරෑරුම් විදිහට..

" හෙහ්, හෙහ්, හෙහ්, මහත්තයත් කියන කතා.." විජේතුංගය බඩ හොල්ල හොල්ල හිනා උනා.

" හරි හරි මම වැඩේ කරන්නං මහත්තය බය නැතුව ඉන්ටකො.."

ඒ එක්කම උගෙ හාමිනේ තේ එකක් ගෙනාව..

" තේ එකක්වත් බොන්ට එහෙනං මහත්තය. "

" අඩේ තේත් හැදුවද? බොහොම ස්තූතියි. " මම හිනාවෙලා තේ එක ගත්ත.

හෙහ්, හෙහ්, අඩේ තේත් හැදුවද කිව්වම ඔන්න ආතල් කතාවක් මතක් උනා..දෙයියෝ සාක්කි බතුත් කනවද?...රතනපාල එහෙම කියල ඔලුවෙ අත ගහ ගත්ත.

Tuesday, February 4, 2014

242. ගුරුවරියක සමඟ මගේ ජීවිතය - 10 - පළමුවන ලුහුට්ටා, බඩ කොරවීම බඩ යාම, රෙඩ් ලේඩි සහ මින්දද හීසර වැදී සැළෙන හද....

" අද එයා ඉස්කෝලෙ ඇරිල එහෙම්මම ගෙදර යනව. මචං හෙට සෙට් වෙමු. " දහයට කැන්ටිමේ තේ බොන්ට ගිහිල්ල වඩයක් හපන ගමන් මම සුමනෙ එක්ක කිව්ව.

හවස පහට වගෙ මම ගෙදර යනකොට මෙන්න මේ උන්දැ ගෙදර ඇවිල්ල. ගේ ඉස්සරහ ඉන්දවල තිබ්බ එක්සෝරා පැලවලට වතුර දානව.

" ඇයි අනේ ඔයා ගෙදර ගියෙ නැද්ද? " එයා දැක්ක ගමං හිටිතැනම ගල් ගැහිල මම ඇහුව.

" මට තනියම ගෙදර යන්න බෑ කියල හිතුන ඒයි. අනික ඔයත් තනියමනෙ. ඒ නිසා මම ආව. …" ඇය මා දිහා බලල හිනා උනා.

ඉතිං වෙන අහවල් දෙයක් කියල කියන්නද?

" ආ..ඒකත් හොඳයි නෙව..මමත් මේ කිව්වම මොකද හරිම පාලුවෙ හිටියෙ" එන්න එහෙම කියල එතනිනුත් ලකුණු කීපයක් දාගත්ත.

" ඔව් අනේ..මමත් යනවයි කියල උදේ හිතාගෙන හිටියට ඉස්කෝලෙ ඇරෙන්ට එද්දි බෑම කියලයි හිතුනෙ.." ඔන්න එයත් කියපි.

මාත් ඉතිං හිතාගත්ත අනේ අප්පේ මේ මනුස්ස දූ එහෙම හිතල නෙව ආපහු ඇවිල්ල තියෙන්නෙ. ආය අහවල් මදුසාද...මොකෝ ඕක බීල නැති එකක්ය.ඕනම නෑ ඔය කෙහෙල්මල ....ඔහොම හිතල මම හිත සනස ගත්ත.

රෑට ඔන්න දෙන්නත් එක්ක එකතුවෙලා ඉව්ව.ඒ දවස්වල අපිට රයිස් කුකර් එකක් තිබ්බෙ නෑ. මඟුල් ගෙදරට තෑගි හම්බවෙච්ච ඇළුමිනියම් සාස්පාං සෙට් එහෙක එක සාස්පානක තමයි බත් ඉව්වෙ. ඕකෙ වතුර ගාණට තියාගන්න එක හරිම අමාරුයි. එක්කො වැඩියි එක්කො අඩුයි. ඉතිං දෙන්නගෙන් එක්කෙනෙක් බත ගාව ඉන්න ඕන ඇහැ ගහගෙන. වතුර දාන්න හරි අඩු කරන්න හරි ඒ අවශ්‍ය කටයුතු කරන්ට.

මැද ඇඟිල්ලෙ පළවෙනි පුරුකටනෙ සාමාන්‍යයෙන් බතට වතුර තියන්නෙ. මේක එහෙම හරියන්නෙ නෑ. මහම වදයක්…

" මේක මහ කරදරයක් ඒයි…. වහාම ක්‍රියාත්මක වන පරිදි රයිස් කුකර් එකක් ගන්න ඕන. "

හීටරේ ගහල පැහෙන වතුර අඬු කෝප්ප බාගයක් බතට දාන ගමං මම කිව්ව.

" හරි, හරි ගමු ගමු....ඉන්නකො පොඩ්ඩක් ඉවසල...අපෙ ලොකු අයිය වෙඩිං එකට ප්‍රසන්ට් එකක් දුන්නෙ නෑනෙ. මගෙං ඇහුව මොනවද ඕන කියල...මම කිව්ව රයිස් කුකර් එකක් තමයි මේ වෙලාවෙ අත්‍යාවශ්‍ය කියල...බලමු ..එයා අරන් දෙයි එකක්…"

ඔය අපි ඒ දවස්වල හිටපු නිල නිවාසෙ බොහොම සුට්ටියි. කුස්සිය අපි දෙන්නට හැරෙන්ඩවත් මදි. ඒ නිසා සාලෙ තිබ්බ මගෙ ලියන මේසෙ උඩ තමයි පත්තරයක් එළල හෝදපු සාස්පාන්, හට්ටි මුට්ටි, තාච්චි බාච්චි ඔක්කොම නවන්නෙ. මොනවහරි ලියන කියන වැඩක් කරන්න ඕන උනාම සාලෙ මුල්ලක බිම පත්තරයක් එළල අර සබ්බ සකල මනාවම එතනට වඩම්මවල මේසෙ ඉඩ අරගෙන ඉන්න ඕන ඉස්සරවෙලා.

අපෙ මහගෙදර තිබ්බ 1982 මුලින්ම රූපවාහිනී පටන්ගත්තු දවස්වල ගෙනාපු සන්යෝ අඟල් 17 කළු සුදු ටෙලිවිෂන් සෙට් එකක්. ඕක මුල්ලක දාල තිබ්බෙ. VHF විතරයි වැඩ. ඒ මුල්ම කාලෙ තිබ්බෙත් එච්චර නෙව. අපෙ උන්දැගෙ පොඩි අයියගෙ යාලුවෙක්ට දීල UHF වලටත් හදාගෙන ඕක අපි අරගෙන ආව බැඳල එනකොට.

සාලෙ ලී පුටුවක් උඩ ඔය ටී.වී. එක තියල තිබ්බෙ. එතනම ඉස්සරහ බිත්තියට හේත්තුවෙලා බිම ඉඳගෙනයි ඔය මුලම කාලෙ අපි දෙන්න ටී.වී. බැලුවෙ.පොළව හොඳට අතුගාල කොට්ට දෙකක් බිත්තියට හේත්තු කරල එව්වට වාරුවෙලා කකුල් දිගඇරගත්තම ආතල් එකේ ටී.වී. බැලුවෑකි. ඒ එක්කම අල්ල උඩ තියාගෙන බත් කන්ටත් පුලුවෙනි. වැස්ස දවස්වලට බෙඩ් ෂීට් එකක් බෙල්ල ගාවට එනකල් පොරෝ ගත්තම ආය නෑ තව්තිසාව තමයි.

" මම ගෙදර ගියානං ඉතිං තනියම බත් කනවනෙ ඔයා කෑවද කියල හිත හිත...ඔන්න ඔහෙ ගෙදර යන එක පැත්තක දාල ආපහු ආපු එකට මට හරි සන්තෝසයි. "

එදා රෑත් දෙන්නත් එක්ක ඔහොම අල්ල උඩ තියාගෙන බත් කන ගමන් උන්දැ කියාපි.

මම වමතෙන් ඇගෙ උරහිස මීරිකල හිනාඋනා.

" මටත් එහෙමයි. "

ඇත්තටම ඒ වෙලාවෙ මට හිතුන කුමන මධු සාදද? ජීවිතය නම් මෙයම නොවන්නේද? ඔන්න ඔහොම....

ඔන්න ඔහොම බිම ඉඳගෙන ඉරිදා උදේක ආයුබෝවන් බලමින් ඉන්න කල්හි තමයි ඩයනා කුමාරිගෙ මරණය ගැන දැනගත්තෙ. එදා ආයුබෝවන් ප්‍රෝග්‍රම් එක කලේ පාලිත පෙරේරා....

සිංහලෙන් ක්‍රිකට් විස්තර ප්‍රචාරය හාපුරා කියල පටන් ගත්තෙ පාලිත පෙරේරා සහ ප්‍රේමසර ඈපාසිංහ...ක්‍රිකට් සම්බන්ධ ඉංග්‍රීසි වචන වලට සිංහල වචන නිර්මාණය කිරීම පටන්ගත්තෙත් පාලිතම තමයි. Turf = තණතිල්ල Night Watchman = සැඳෑ ආරක්ෂකයා වගෙ නිර්මාණාත්මක වචන බොහොමයක් මම හිතන්නෙ පාලිතගෙ. First Slip කියන පන්දු රැකීමේ ස්ථානයට පළමුවන ලුහුට්ටා කියල කිව්වෙත් හැබැයි පාලිතම තමයි..හෙහ්,හෙහ්,

ආනන්ද- නාලන්ද සුලෝහිත සංග්‍රාමයෙ විස්තර ප්‍රචාරය දෙනකොට තමයි පාලිතට උන්හිටිතැන් අමතක වෙන්නෙ. මිනිහ නාලන්ද ආදි සිසු නිසා මම හිතන්නෙ ඒ. මෙහෙම කතාවකුත් තියනව..ඇත්තම කිව්වොත් මම තෙවන පාර්ශ්වයකින් අහපු එකක්. ඒ නිසා හැබෑ බොරු ගැන නෝ ගැරන්ටි ඕ වොරන්ටි..අන්ඩස්කර්ට්? ඕකේ..දෙන් මෙහෙමයි ස්ටෝරි එක...

" කෙටි පන්දුවක්...ඔව් පාදයක් පසුපසට ගෙන වැරෙන් පහරක් එල්ල කරනවා. හරිහැටි පිත්තේ නොදැවටුනු පන්දුව එක තැනම ඉහළ යනවා..කඩුළු රකින්නා පන්දුව යටට පැමිණෙනවා..මෙන්න පන්දුව පහතට එනවා. රැක ගැනීමට ආසන්නයි..ඔව්..ඔව්..රැකගත්තාද? මුගෙ **** මේ වල් ***** කැච් එක අත ඇරිය නේද?යකෝ අතට ආපු ගෙඩිය නේද? "

කැච් එක අත ඇරියෙ නාලන්දෙ විකට් කීපර් කියල කියන්න ඕන නෑනෙ නේද? ඔය විකට් කීපර් සුනිල් ජයසිංහ කියලයි කියන්නෙ....

පහුවදා සෙනසුරාද උදේ මම ඔන්න ගියා සතික රැස්වීමට ( Weekly meeting = සිංහලෙන් සතික රැස්වීම ) වීක්ලි කිව්වම ඔන්න තව පොඩි කතාවක් මතක් උනා...

1. First 5 years - Tri weekly
2. 5 - 10 years - Try weekly
3. After 10 years - Try weakly.

You know about what this is all about…don't you?...දන්නවනෙ මේ මොනව ගැනද කියන්නෙ කියල? හරි හැමෝම දන්න
ව ..අවුලක් නෑ…

රැස්වීම අහවර වෙලා පුරුදු පරිදි කට්ටිය ඔන්න ලෑස්තිවෙනව සුපුරුදු වැඩේට..

" වීරෙ යමං.."

සුමනෙ කළු පාට බෑග් එක අතට ගත්ත. දිනපතා ඔය මාතලේ දිහා එහෙම ඉඳල වැඩට එන උදවිය ගෙනාවෙ අර රජයේ සේවකයින්ට දෙන ඩී.අයි. කළුපාට ලෙදර් බෑග් එකක්. අර නම ලිපිනය එහෙම ලියල දාන්ඩ පොඩි ප්ලාස්ටික් කෑල්ලකින් වහපු හතරැස් කොටුවක් වගෙ කවුළුවක් එහෙම තියෙන්නෙ. ඕකට පොදුවෙ අපි කිව්වෙ හචා මල්ල කියල..ඇයිද නම් නොදනිමි.

" බෑ බං…උඹල පලයල්ල…"

මගෙ මූණ අඬන්ඩ ඔන්න මෙන්න වගෙ..

" ඇයි බං ?...නංගි ගෙදර යනවයි කිව්ව නේද?...."

" එහෙම තමයි කිව්වෙ..ඒත් ඊයෙ හවස ආයම ගෙදර ආවනෙ…"


මම හෙමිහිට කිව්වෙ සුමනෙට විතරක් ඇහෙන්ට...ඕකා මගෙ ඔය පේම සම්බන්දෙ පටන් ගත්තුදවසෙ ඉඳල අලගිය වැලගිය මුලගිය ඔක්කොම දන්නව.කොටිම්ම කසාදෙ රෙජිස්ටර් කලෙත් සුමනෙයි මායි එයාලයි ගෙදර සුමනෙගෙ බයික් එකේ ගිහිල්ල. සාක්කියට අත්සන් කලෙත් සුමනෙ....

" මොකද බං? උඹල දෙන්න එන්නෙ නැද්ද? "

මොනවද කිය කිය හිනාවෙමින් ඉස්සරහින් ගිය එකෙක් නැවතිල ආපහු හැරිල ඇහුව..

" හරි මචං..ඒකෙ අවුලක් නෑ..අපි යන්නං එහෙනං..සඳුද හම්බවෙමු. "

සුමනෙ එහෙම කියල හිනාඋනා..අපෙ ඔෆිස් එකෙන් එළියට බැහැල යාර පණහක් හැටක් ගියහම තැපැල් කන්තෝරුව. එතනින් පාර දෙකට බෙදෙනව. ටවුන් එකට යනවනම් දකුණු පැත්තට. වම් පැත්තට කන්ද උඩට යන පාර අපෙ ක්වාටර්ස් වලට. කට්ටියම මෙන්න හැරිච්චි වම් පැත්තට. මේ මොකෝ හැබෑටම?

" ඒයි..මොකෝ බං අද නැද්ද ආතල් එක?.."

" මොකෝ නැතුව? තියනව තියනව..සමරෙගෙ ෆැමිලි එක ඇවිල්ල මේ දවස්වල...."


සමරෙ කිව්වෙ අර අපි ශනිදා සාදය පවත්තන නිල නිවාසෙ අයිති කාරය.

" ඒ නිසා අද මචං අපි වැඩේ කරන්ට යන්නෙ විජේගෙ කාමරේ.."

විජේ ඇවිල්ල අපෙ ගබඩා බාරකරු..ස්ටෝ කීපර්...ආන්න නියම චරිතයක්. ඔය මම කියාපු යාලුවො ඔක්කොම එක එක අන්දමේ අමුතු චරිත තමයි. ඒත් විජේ ඇවිල්ල One of A Kind..Heh, Heh...

ඒ ළඟක් වෙනකල් විජේත් කෑම්ප් එකේම පදිංචි වෙලා හිටියෙ සුතනඹුවන් එක්ක. සුතනඹුවන් කිව්වම දන්නවනෙ නේද?...බිරිඳ සහ දරුමල්ලන්...විජේගෙ බාර්යා තොමෝත් අපෙ කාර්යාලයෙම තමයි රාජකාරි කලේ. දුව ලොකු වෙනකොට විජේගෙ වයිෆ් ෆුල් ට්‍රයි එකක් දාල ඔන්න කෙල්ලව දාගත්ත නුවර සුප්‍රසිද්ධ බාලිකා විද්‍යාලයකට. ඒ අම්මණ්ඩිත් ඒකෙ ආදි ශිෂ්‍යාවක්..ඒ කරල නුවර කිට්ටුව තියෙන අපෙ ඔෆිස් එහෙකට මාරුවක් හදාගෙන දරුවත් එක්ක ඒ යෝදි ගියා.

විජේ ඊට පස්සෙ අපෙ තිබ්බ තනිකඩ නිවාසෙ කාමරේක පදිංචියට ආව.ඌත් අබියාචනා එලෝ කෝටියට දැම්මට ට්‍රාන්සර් වැඩේ හරිගියේ නෑ.ඉතිං මක්කොරන්නෙයි? ඌ මෙහෙ, දරු මල්ලො එහෙ. එහෙම තමයි එව්වයෙ හැටි..ආ..විජේගෙ දූ ගැන මරු කතාවක් තියනව..ඉන්නකො එහෙනං ඒකත් කියලම ඉන්නං...

දුවව නුවර ඉස්කෝලෙට දාගත්තෙ තුනේ පංතියටද කොහෙද...කෙල්ල හෙණ කටකාර බඩුව....ඔන්න බොහොම අමාරුවෙං වදෙං පොරෙං ඒ ඉස්කෝලෙට දාල මාසයක් වගෙ යනකොට පොඩි එකීගෙ බර්ත් ඩේ එක ආපි. විජේත් මාරුවක් ගන්ට බලාපොරොත්තුව හිටපු නිසා ඒ වෙනකොටත් ක්වාටර්ස් එක බාර දීල තිබ්බෙ නෑ. ඒ පාර ඔන්න විජේයි වයිෆුයි උපන්දිනේට උත්සවයක් සංවිධානය කලා අපෙ ස්ටාෆ් එකේ හිතවත්ම විස්සක් තිහකට වගෙ ආරාධනා කරල.

ඔන්න ඉතිං අපි හැමෝම ගියා කියමුකො තෑගි බෝගත් අරගෙන...කේක් එක කපල හැපි බර්ත් ඩේ ටූ යූ!!! එහෙම ගිරිය යටිං කිව්වත් කියමුකො. තදනන්තරව අපි පුරුස පක්සය ඔන්න සාලෙම පැත්තක හීන්වට කර්මාන්තයක් පටන් ගත්ත පොඩි ස්ටූල් එකක් එහෙම මැදි කරගෙන. කාන්තා පක්සය පුටුවල දිගාවෙලා ඕප දූප කියව කියව උන්න. ඔය අස්සෙ ඔන්න පොඩි එකී ඒ කිව්වෙ බර්ත්ඩේ ගර්ල් ගැනත් කොහොමින් කොහොමින් හරි කතාව ඇදිල ආව.

" ඉතිං අනේ කොහොමද අළුත් ඉස්කෝලෙ? දුව හොඳට ඉගෙන ගන්නවද? "

එහෙම ඇහුවෙ අපෙ වැටුප් ලිපිකාරිනිය...ජයන්ති.

" ඔව්..අනේ...ප්‍රශ්නයක් නෑ..දන්නවනෙ මෙයාගෙ හැටි...ගිහිල්ල දවස් දෙකක් යන්ට ඉස්සරවෙලා පංතියෙ ඔක්කොම එක්ක යාලු උනා…"

වජිරා..ඒ කිව්වෙ විජේගෙ වයිෆ් සාඩම්බර හිනාවකින් මුව සරසාගෙන අනික් පොඩි එවුං එක්ක එහෙ මෙහෙ දුවන පොඩි එකී දිහා බලල කිව්ව.

" මට මතකයි දුවට ෂෝක් එකට සිංදු කවි එහෙම කියන්ට පුළුවන් නේද මෙහෙ ඉස්කෝලෙට යද්දි? "

" අනේ ඔව්..එහෙත් එහෙම තමයි..ටීචර් මා එක්ක කිව්ව ගායන හැකියාව හොඳටම තියනවයි කියල..මේ දෝණි එන්නකො..මේ අන්කල්ලටයි ආන්ටිලටයි ඇහෙන්න කියන්නකො බලන්න ඔයා ඉස්කෝලෙදි ඉගෙන ගත්තු පොයම් එකක් හරි සෝංග් එකක් හරි…"


කෙල්ලත් ආය ලැජ්ජ බය එහෙම නෑ පොඩ්ඩක්වත්. කියන පරක්කුවෙං ආව සබාව මැදට. ඇවිල්ල සීරුවෙන් හිටගත්ත.

" හැබැයි අම්මි සිංහල එකක් හොඳද? "

" හා, ඒකට කමක් නෑ..මොකක්ද ඔය කියන්න යන්නෙ? අර මල් පිපෙයි, සුළං හමයි..ඒකද? "

" නෑ නෑ..මේක මේ ඊයෙ මම ඉගෙන ගත්තෙ..මගෙ යාලුවෙක් කියල දුන්නෙ.."

" හා කමක් නෑ කියන්නකො බලන්න.."

වජිරා සෙනෙහෙබර සාඩම්බර දාරක ප්‍රේමය උතුරායන මඳ සිනහවකින් යුතුව අවසර දුන්න. අපිත් ඔක්කොම වීදුරු කාරිය කනප්පුව උඩ තියල ඒ පැත්තට පුටු හරව ගත්ත. ඉස්ත්‍රී පක්සයත් කතා බහ නවත්තල පොඩි එකීට අවධානය යොමු කලා.

කෙල්ලත් ඔන්න සබාව මැද්දෑවට ඇවිල්ල සීරුවෙන් ඉඳල පටන් ගනිපි සිංදුව…

බඩ කොරවීම බඩයාම දෝ පාචනේ…
බුරු බුරු ගාල ගියෙ මාගෙ මල් ජංගියේ....
අපි කිසිදාක පෙති බිව්වෙ නෑ යාළුවේ....
බඩ රිදවන්නෙපා ආයෙ පණු හාමිනේ.....
බඩ කොරවීම.....


" තිසුරීඊඊඊඊඊඊ !!!!!!!...."

වජිරා කෑගගගෙන නැඟිට්ට පාරට ඉඳගෙන හිටපු පුටුව පෙරළුනෙ නැත්තෙ අනූනමයයි තුංකාලයි නූල් තුනෙං..

පොඩි එකී එහෙම්මම ගල් ගැහිල බලා හිටිය අම්ම දිහා යකෙක් දැකල වගෙ. ඒ නිහඬතාවය එක මොහොතයි පැවතුනෙ..අපි ඔක්කොම එක සැරේ හිනාවෙන්ට ගත්ත ඊළඟ මොහොතෙ...

ඔය ඇවිල්ල ඒ දවස්වල ඉතාම ජනප්‍රිය වෙච්චි නාමල් උඩුගමගෙ සිංදුවක්...මතකද ඒ සිංදුව?...නාමල්ගෙ බිරිඳ තමයි රුවන්ති මංගලා..මේ ඊයෙ පෙරේයිද චන්දෙ ඉල්ලන්ට ට්‍රයි කලේ...අන්න එයා..

ඉතිං ඒ සෙනසුරාද අපේ එවුං සාදය පැවැත්තුවෙ ඔය විජේගෙ කාමරේ..කරුමෙ කියන්නෙ විජේ නැවතිල හිටපු තනිකඩ නිවාසෙ තිබ්බෙ අපෙ ක්වාටර්ස් එකට පිටිපස්සෙ. කෙලින්ම අපෙ කුස්සිය ගාවින් මිදුලට බැහැල එතනම තිබ්බ පැපොල් ගහ ගාවට ගියානං කෙලිම්ම පේන්නෙ විජේගෙ කාමරේ ජනේලෙ... අත දික්කලා වගෙ. ඔය පැපොල් ගහත් විශේෂ වර්ගයක්. ඒ දවස්වල අපෙ ආයතනයෙන් පිටරටින් ගෙනල්ල මට මතක විදිහට මැලේසියාවෙන්ද කොහෙද...ඇට බෙදල දුන්න ගොවියො අතර..නම ඇවිල්ල රෙඩ් ලේඩි.... 

ඔය තමයි රෙඩ් ලේඩි....

එදා අපි දෙන්න දවල්ට කාල ගෙයි දොරකඩ තිබ්බ මිල්ල ගහ යට පුටු දෙකකුත් තියල ඉඳගෙන විවේක සුවයෙන් උන්න. ඔන්න පල්ලෙහා තනිකඩ නිවාසෙ පැත්තෙං එන්ට ගත්ත ගීත නාදය…

පිපී පිපී රේණු නටන වනේ මලක හැප්පිලා
වරෙං වරෙං හුළං පොදක් අපේ ඇඟෙත් ගෑවිලා....


මම පුටුවෙ දිගාවෙලා ඇස්පියාගෙන බාපතට දකුණතේ ඇඟිලි වලින් තට්ටු කරමින් තාලය ඇල්ලුවා…

" කවුද ඒ?? සුමනෙ අයියගෙ කටහඬ නේද? "

අපෙ උන්දැ කියවමින් හිටපු පත්තරේ උකුල උඩ තියල මගෙං ඇහුව..

" හ්ම්ම්ම්.ඒ වගෙ තමයි.."

මම වැඩි උනන්දුවක් නොගෙන වගෙ කිව්ව…

දෙන දෙවියෝ ගෙට ගෙනැවිත් දෙනවා..
අපටත් දවසක හඳ පායනවා…
එදා අපිත් මල්පැණියෙන් නානවා…


" හ්ම්ම්ම්..මල් පැණියෙන් නානව වගෙ තමයි මටත් පේන්නෙ..අද මොකද සුමනෙ අයිය ගෙදර යන්ට කල්පනාවක් නැතුව වත්ද? "

ඇගේ ස්වරයෙ තිබ්බෙ සෝපහාසයක්...

" අනේ මන්ද..ඕකා වැඩි වෙලා මෙහෙ එයිද දන්නෙ නෑ බුදිය ගන්ට.."

මම ඈ දිහා හොරැහින් බැලුව..

" එහෙම උනොත් මොනව කරන්නද? ඔය සාලෙ අර ට්‍රැවලින් මෙට්‍රස් එකක් තියෙන්නෙ ඒකවත් දාල දෙමු. "

ඈ ගණනකට නොගෙන කිව්ව.

" පිස්සුද? මම බොරුවට කිව්වෙ..ඔයා මොනව කියයිද බලන්ට..සුමනෙ ආය මෙහෙ එන්නෙ නෑ..ගෙදර යයි. අනික ඕක වැඩි වෙන්ට බොන්නෙ නෑ කවදාවත්…"

" හිහ්..හිහ්..මම දන්නෙ නැතුවය ඒ හරිය...මතකනෙ අපෙ වෙඩිං එකේ....."


ඈ ආයෙම පත්තරේ උකුල උඩ තියල මා දිහා බලල හිනාඋනා..මටත් ඔන්න නොදැනුවත්වම හිනාවක් ගියා. ඒ අපේ සරණ මංගල්‍යය සිහිවෙලා.

හප්පෝ...එදා මධු පානෝත්සවයෙන් පස්සෙ මෙවුං කරපු විකාර...පරණ කෝන්තර ඇදගෙන තුං හතර දෙනෙක් ගහගන්ට ලෑස්ති උනා. හොඳ වෙලාවට මම ආරක්ෂක අංශය බාර දීල තිබ්බ මගෙ අතිජාත මිත්‍රයො තුන් හතර දෙනෙකුට.

" මචං උඹල වැඩිය බොන්ට එපා..හොඳද? වැඩේ කන්ට්‍රෝල් කරපල්ල. රෑට බොමු ඕන හැටිය. "

අපරාදෙ කියන්ට බෑ උං කිව්ව වගේම වැඩේ කලා. නැත්තං එහෙම….. හෝම් කමිං එක තිබ්බෙ නුවර වැව රවුමෙ ඩෙවොන් හොටේල් එකේ. ඒකෙ අර තියන අඩි තිහක් විතර උස දාර සයිස් වීදුරුවක් එහෙම අපෙ එකෙක් අතිං බිඳුනනං මම තාම ඒකෙ ණය ගෙවනව..අනෙ අම්මප...

කිව්වම මොකද මගෙ ඔය යාලුවො ඔතන අර දෙනෝ දහක් මැද්දෑවෙ අසබ්‍ය සිංදු දෙක තුනකුත් කිව්ව ඔන්න.හප්පච්චියේ මොකද කොරන්නෙ ඉතිං?...මම බීරි අලිය වගෙ හිටිය නෑහුණ ගානට.ඔය සිංදුව තියනව වෙඩිං වීඩියෝ එකේ. ඒ දවස්වල CD, DVD, මොකවත් නෑනෙ. VHS කැසට් තමයි තිබ්බෙ. එව්ව හරි ඉක්මනට පුස් අල්ලනව. අවුරුදු දෙකක් ගියේ නෑ අපෙ වීඩියෝ එකටත් ඒ සන්තෑසියම උනා. පස්සෙ මම ඕක සුද්ද කරවල CD එහෙකට කොපි කරව ගත්ත. වෙලාවක හොයල බලන්ට ඕන, මගෙ ඔය ෆිල්ම්ස් CD ගොඩේ ඕකත් ඇති. අර සිංදුව හොයල දාන්නනංකො තිබ්බොත් හොඳද?

ඊගාවට ඔන්න………

මින්දද හී සර වැදී සැළෙන හද,
නංවන දුක් ගී ඔබට ඇසෙනවද?
චන්දන මල් අතුරා ඇති යහනක,
කන්ද කපා පායන් රන්පුන් සඳ.....ආ.ආ..ආ.ආ..ආ.ආ....


එතකොට නම් මට සිංදුව නොකියම බැරි උනා..ඔය අදටත් මගෙ ප්‍රියතම ගීතයක්.........

මට වයස අවුරුදු දහතුන දහහතර වගෙ කාලෙ ඉතාම ජනප්‍රිය වෙලා හිටිය නවකතා රචකයා කුමාර කරුණාරත්න. කුමාරගෙ තුන් ඈඳුතු ප්‍රේම කථාවකට අපි ඒ කාලෙ වහ වැටිල හිටියෙ. සිතට සිතක්, අතුරු මිතුරු සහ ඔබයි මමයි...ඒ තමයි පොත් තුනේ නම්..

කුරුණෑගල නගරය පසුබිම් කරගෙන ලියවුනු යොවුන් පෙම් කතාවක්...බොළඳයි කියලත් කිව්වැහැකි. ඒත් කතන්දර කියන්නෙ කතන්දර..බොලඳ කතාවලට උනත් මම එදත් කැමතියි අදත් එහෙමයි.ඔය රූපවාහිනියෙ අයි.ටී. එන්. එකේ යන ටෙලි නාට්‍ය තියනව නේද? ...මමයි අපෙ උන්දැයි ඔව්ව එකක් නෑර බලනව කඳුළු පිහ පිහ....හෙහ්, හෙහ්,

( එව්වට නියම විදිහටනම් කියන්ට ඕන ටෙලි නාට්‍ය නෙවෙයි, ටෙලි චිත්‍රපට කියල... මුලින්ම 82 අවුරුද්දෙ රූපවාහිනී පටන් ගත්තු කාලෙ පෙන්වන්න කතන්දර නැතිනිසා කලේ වේදිකා නාට්‍ය රූගත කරල පෙන්නුව එක. කැළණි පාළම, පරාස්ස, කළුවරේ ජරමරේ... උදාහරණ කීපයක්. එව්ව හැඳින්නුවෙ ටෙලි නාට්‍ය කියල. ඒ නම දිගටම භාවිතයට ආව ඒකයි උනේ )

හරි අර කුමාර කරුණාරත්නගෙ පොත් තුනෙන් එහෙක තිබ්බ ඔය මින්දද හීසර ගීතයෙ පද මාලාව දාල. ඒක මම ලියාගත්ත. ඕක නිතර නිතර කියල තමයි ඒ ගීතය මගෙ ප්‍රියතම ගීතයක් උනේ. දශක හතරකට ආසන්න කාලයක් ගෙවිලත් තාමත් ඒක එහෙමමයි.

තුරඟකු පිට නැඟි නීල වළාකුළු
ගුවන් ගැබින් ඔබ ඇදෙන වෙලේ....
පිබිදුනු දෑසින් බලා හිඳිමි මම…
පිබිදුනු දෑසින් බලා හිඳිමි මම..
සතුටු සිනා කැන් හද පුරවා...


ඇස් දෙකත් පියාගෙන මම සිංදුව කියල ඉවර කලා…

" ලස්සනයි…………….."

ඈ හෙමිහිට කිව්ව..මම ඇස් ඇරල ඇගෙ මූණ බලල හිනා උනා..

" ඔයාට හිතෙනවද යාලුවො එක්ක එතනට ගිහිල්ල එකතුවෙන්ට තිබ්බනම් හොඳයි කියල...." ඈ ආයෙම ඇහුව ..ඒත් හෙමිහිට..අහක බලාගෙන…

" මෙහෙමයි..ලොකුම අත්‍යාවශ්‍ය උවමනාවක් වගෙත්නම් නෑ.. "

මම දෙපැත්තට ඇදල කිව්ව ඈ දිහාවෙ කටාක්ෂ නීරීක්ෂණය කරමින්. ( කටාක්ෂ නීරීක්ෂණය = ඇස් කොණින් බැලීම )

" ඒ කියන්නෙ අනවශ්‍යත් නෑ කියන එක නේද? …"

ඈ ආයෙම ඇහුව...දෙතොලඟ යන්තමට හිනාවක් තැවරිල තිබ්බට ඇස් දෙකේ තිබ්බෙ බැරෑරුම් පෙනුමක්.

මම මොකවත්ම නොකිය හිනා උනා..බොහෝම අහිංසක අන්දමට....

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...