Friday, March 28, 2014

250. ගුරුවරියක සමඟ මගේ ජීවිතය - 15 - වළාපෙලට ඉහලින් පෙනෙන කඳු මුදුන, මුදලිහාමි, මයියොක්කා පෙරහැර සහ චූටි අයියා

රයිට් ආපහු යමු මුලටම..කතාරම්බයට...අන්තිමට කොහොම හරි අපෙ ලොක්කත් ඇවිල්ල රැස්වීමත් තියල දවල් එකට වගෙ බත් ටිකකුත් කාල මම බස් එකේ නැග්ග මාතලේ එයාලගෙ ගෙදර යන්ට.

ඒ දවස්වල එයාලගෙ ගෙවල් පැත්තට යන්ට ඒ හැටි බස් තිබ්බෙ නෑ. මාතලේ ඉඳල යන්ට ඕන කිලෝ මීටර් 10 -12 වගෙ.ගහේ නඟිනව වගෙ කන්දක් නැඟල ආපහු බැහැපුවාම තියෙන බොහොම ස්වභාව සෞන්දර්යයෙන් අනූන නිම්න භූමියක තමයි එයාලගෙ ගෙදර තියෙන්නෙ. වටේටම කඳු. දෙසැම්බර් කාලෙට හේම ඔය වටේට තියන කඳු වළල්ල මුළු දවසෙම බාගයක් විතර මීදුමෙන් වැහිල තියෙන්නෙ. සමහර වෙලාවට කඳු මුදුන් මීදුම් වළාවට ඉහලින් පෙනෙනව. පුදුම ලස්සනක්.

ඕකෙ ලස්සනම මෙහෙමයි.. ඒ පැත්තට බොහොම ඉක්මනට කළුවර වැටෙනව. වටේටම කඳු වලින් වටවෙලා පාත්තරේ වගෙ තියන නිසයි ඒ. හතරහමාර පහ වෙනකොට අවට කලුවර පාත්වීගෙන යනව. ඒත් බහින ඉර කඳුවලට මුවා උනාට අහස ආලෝකමත්. රතුපාටින් බබලනව තව පැය බාගයක් තරමෙ. මම හරිම ආසයි ඒ දිහාවෙ බලාඉන්න. එයාලගෙ ගෙදර ගියොත් හවස වැස්ස නැත්තං මම අනිවාර්යයෙන් 
මිදුලෙ කර්තකොළොම්බන් ගහ යට හාන්සි පුටුවකුත්  තියාගෙන හොඳටම කළුවර වෙලා ගෙදර ලයිට් දානකල් ඔය මනස්කාන්ත දර්ශනය බලා ඉන්නව.

කලාතුරකින් දවසක මිහිදුම් වළාවට ඉහලින් පේන කඳු මුදුන් ඊට පිටිපස්සෙන් බැහැලයන ඉර මඬලෙ රන්වන් රැස් නිසා දිළිසෙනව. මම තුන් හතර වතාවක් ඒ දර්ශනය දැකල තියනව.

" ඒයි..මේ…"

මම පුටුවෙන් නැඟිටල ඈට කතා කරනව.

" මෙහෙ එන්ටකො ටිකකට ඉක්මනට "

" ඇයි? "


ඈ කොහෙද ඉඳල දුවගෙන එනව.

බොහෝ වෙලාවට අතේ වතුර බාල්දියක්.මල් ගස් වලට වතුර දමමින් ඉන්න ඇත්තෙ. ඇගේ ප්‍රියතම මල් වර්ග දෙකයි. ඕකිඩ් සහ ඇන්තූරියම්. අනික් ඔය නොයෙක් මල් වලටත් එයයි කැමතියි. ඒත් අර දෙක විශේෂයි. 

ගෙදර ඉද්දි තනිකරම මල් වගාව කරල තියෙන්නෙ එයා තමයි. කසාදෙන් පස්සෙ එයා ගෙදරින් ආහම මල් වගාවත් එහෙම්මම අභාවයට ගියා. අම්මා විතරයිනෙ ගෙදර. එයයිටත් වයසයි. ඔය වතුර දාන වැඩ එහෙම කරන්ට බෑ.ඒ නිසා මල් වගාව එහෙම්මම ඇහැවෙලා ගියා.

" අනේ ඔයාල හරි නරකයි, බලන්ට මගෙ මල් ටික ඔක්කොම හේබාලා ගිහිල්ල. "

සති දෙහෙකට මාසෙකට වගෙ සැරයක් ගෙදර යන ඈ ඇඳුම් මාරුකරන්ටත් ඉස්සරවෙලා දුවන්නෙ මල් වගාව බලන්ට. අම්ම එක්ක තමයි ඔය වග පල කියන්නෙ.

" අනේ චුට්ටි දුව මම ඔය පුලුපුලුවන් වෙලාවට වතුර දානව. "

අම්ම මූන නරක් කරගෙන කියනව.

" පිස්සුද අනේ..අම්මට පුළුවන්ද ඔව්ව කරන්ට.මේක හරි යන්නෙ නෑ. එක්කො ඔයා ගෙදර නවතින්ට.."

" හ්ම්ම්..හිතේ ඇති "

ඈ මා දිහා බලල රවනව.

" නැත්තං මෙහෙම කරමු....මල් පෝච්චි අපි එහෙ අරං යමු.."

" කොහෙද ?... ක්වාටර්ස් එකට? "

" ඔව්…. ඇයි? "

" එහෙ අරං ගිහිල්ල ආය ආපහු එන දවසක අරගෙන එන්ටත් එපාය. "


" එහෙම තමයි ඉතිං... නැතුව ආය වෙන කොහොමද? මොකෝ අපි එහෙ ඉඳල එන දවසක බස් එකේ එන්නෙ නෑනෙ. ඔය බඩු පටවං එන ලොරියක හරි මොහොක හරි දාගෙන එමු. "

" හරි එහෙමවත් කරමු එහෙනං මේ මල් මම ඔය අස්ප ගණං දීල ගත්තුවා. අන්න අරක දන්නවද? ඕකට තමයි කියන්නෙ ගෝතමාලා කියන්නෙ. අර මුල්ලෙ තියෙන එක ෂැම්පේන්."


එයා මට එක එක වර්ගයෙ ඇන්තූරියම් පෙන්නනව. 

ගෝතමාලා කියන්නෙ මෙව්වට

" මොන මාලා හරි කමක් නෑ. මොකක්වත් කලේ නැත්නම් ඔය මාලල ඔක්කොම අපරාදෙ මැරිල යයි.. අන්න එච්චරයි මම දන්නෙ .."

මම පාත් වෙලා තද රතුපාට ඇන්තූරියම් මලක් අත ගානව.කොහොම හරි අපි ඔය වටින කියන මල් ටික අරගෙන ගියා අපෙ ක්වාටර්ස් එකට. එහෙ ගිහිල්ල තියාගෙන ඉඳල මම රස්සාවෙන් අයින්වෙලා ගෙදර එනකොට බඩු අරගෙන ආව ලොරියෙ පටෝල ආපහු අරගෙනත් ආව.අපෙ මහ ගෙදර මම හිතන්නෙ අදටත් ඇති ඒ ගෙනාපු මල් ගස්.

" මෙහෙ එන්ටකො ටිකකට ඉක්මනට "

" ඇයි? …"


ඈ කොහෙද ඉඳල දුවගෙන එනව. අතේ මල් වලට වතුර දාන බාල්දිය..

" මොකද අනේ? "

" අන්න බලන්ටකො අර කඳුමුදුනෙයි වළාකුලෙයි ලස්සන "


මම අත දික්කරල අඹ ගහේ පාරට නැමිච්ච අත්තට එහායිං පේන ඒ චමත්කාරජනක දර්ශනය ඈට පෙන්වනව. කඳු මුදුන රත්තරන් පාට  වැස්සකට තෙමිල වගෙ දිලිහෙන්නෙ. ඊට යටින් තියන වළාකුළු ඊටත් පිටිපස්සෙන් අවරගිරේ සැඟවෙන්ට තනන මලහිරුගෙ රත්වන් රැස් දහරාව නිසා දිළිසෙනව. ඒත් ඒ වලාකුලුවල මායිම විතරයි. හරියට සුදුම සුදු පාට කොට්ටෙකට රතු පීත්ත පටියක් ඇල්ලුව වගෙ..මට හිතෙන්නෙ එහෙමයි.

" අනේ හරිම ලස්සනයි. මෙච්චර හිටිය මම කවදාවත් ඔහොම දැකල නෑනෙ. "


ඈ වතුර බාල්දිය බිම තියල මගෙ පුටුව ගාවම කඩකාමර පෙලේ පිල් කණ්ඩියෙ ඉඳගන්නව. එයාලගෙ අප්පච්චි බොහොම ඉස්සර එයාල පුංචි කාලෙ කඩයක් කරල තියනව.ගෙයි මිදුලෙ පැත්තකට වෙන්ට ඒ කඩේ තිබ්බ මේ ළඟක් වෙනකල්. කඩේ කිව්වට එතන කඩ කාමර තුනක්. හාල් සිල්ලර බඩු කඩයක්, රෙදි කඩයක්... ඒත් එක්කම සැලූන් එහෙකුත් තිබිල තියනව ඔය කඩ කාමර පේළියෙ. ඒ කාලෙ බොහොම සාර්තකව ඒ වෙළඳ ව්‍යාපාරය කෙරුනයි කියල කඩ පේලියෙ ඉස්සරහ පිලේ පුටු දෙකක් තියාගෙන එකමත් එක දවසක 
හවස අම්ම හදාපු වැලිතලප හත අටක් දෙසාබාන ගමන් උණු කහට එකක් බොන අතරෙ එයා මා එක්ක කියල තියනව. 

" මේ ගමේ විතරක් නෙවෙයි අනේ මේ අහල පහල ඔක්කොම ගම් වලින් ඒ කාලෙ මිනිස්සු ආව කඩේට බඩු ගන්ට…අර කඳුවල ඒ කාලෙ තිබ්බ තේ වතු. දැන්නම් එව්වට මොනව වෙලාද මන්ද..ඒ වතුවල පඩි දුන්නු දවසට දෙමල මිනිස්සු ගෑණු ඔක්කොම එන්නෙ අපේ කඩේට.හයියෝ ඒ දවස්වල කච බචේ කියන්නෙ පොතක් පතක් බලාගන්ටත් නෑ. "

එයා එහෙම කියල හිනාවෙනව.

" ඉතිං අප්පච්චි රස්සාවකුත් කරද්දි කොහොමද කඩ කෙරුවාවත් කලේ? "


මම අහනව.

" එයා සතියකට සැරයක් ඇවිල්ල ගණං හිලව් බලල අඩුපාඩු ගෙනත් දානව. වෙනම හිටිය දෙතුන් දෙනෙක්ම කඩේ බලාගන්ට. "

ආහ්හ්..මට කියන්ට බැරිඋනා නෙව. ඔය කඩ කාමර පෙලේ පිටිපස්සෙ වී මෝලකුත් තිබිල තියනව.

" ඉතිං මොකද ඔය කඩ කෙරුවාවට උනේ? "

" මොනවද ඉතිං? අපි ඔක්කොම පොඩියිනෙ. ලොකු අයියටත් අවුරුදු දහයක් දොළහක් විතර ඇති. අන්තිමට කඩේ බලාගන්ට විශ්වාසවන්ත කෙනෙක් නැතුව ගියා. හිටපු අය හතර අතේ ගසා කාල කඩේ බංකොළොත් උනා. අප්පච්චි දවසක් තරහ ගිහිල්ල ඉතුරු තිබ්බ බඩු නිකම්ම වගෙ ගමේ මිනිස්සුන්ට බෙදල දීල කඩේ වහල දැම්ම. "


" අපරාදෙ.."

" මේ පැත්තටම ඉස්සෙල්ලම කඩයක් දැම්මෙ අපෙ අප්පච්චි. ඒක හරියට කරගෙන ආව නම් අපිට වෙන මොකවත් ඕන නෑ.."


ඇගේ ඇස් දෙකේ තිබ්බෙ ඒ සොඳුරු අතීතය හදිසියේම මතකයේ අවදිවීමෙන් දැනිච්ච සංතාපයක්....

" වී මෝලෙං අයිං කරපු දහයියා කන්දක් ගොඩ ගහල තිබ්බ දැං ඔය කාමරංක ගහ තියන තැන. දහයිය නියම පෝර මයියොක්ක වලට. මෝලෙ වැඩ කරපු මුදලිහාමි ඔය දහයිය පසට කළවං කරල මයියොක්ක පාත්තියක් හැදුව  අන්න අර බිලිංගහ දිහාට යනකල්. "

ඈ දකුණත දික්කරල ගෙවත්තෙ කෙළවරක අතෑරල දාපු පරණ වැසිකිළිය ගාව කඳ නොපෙනෙන තරමට ගෙඩි එල්ලගෙන ඉන්න සරුවට හැදිච්චි බිලිංගහ පෙන්නනව.

" ඔය මයියොක්ක හැදෙනව බොහොම සාරසුබාවට...මේං මෙච්චර විතර ඇති අල. "

ඈ තම දකුණත මිටිකරල වැළමිටෙන් පහල කොටස මට පෙන්නනව.

" අල ගලවනදාට අපි ඔක්කොමල අල කරේ තියාගෙන ගේන්නෙ හිහ්, හිහ්, "

ඒ අතීත මතක සටහන් කොතරම් ආනන්දජනකද? ඇගේ වත පහන් වී ඇත්තේ සොඳුරු සිනාවකිනි.

" අල කරේ තියාගෙන අපි ඔන්න යනව වත්ත වටේ පෙරහරක්. සාදු සාදු කිය කිය. මුදලිහාමි කෑගහනව. අනේ චූටි දෙයියා මොකද ඔය කරන්නෙ? දැං මහත්තය ආවොත් මටයි බැණුං අහන්ට වෙන්නෙ. එව්ව අපි අහන්නෙ නෑ. ඒත් ඔය පෙරහර එක පාරට නවතින්නෙ අප්පච්චි කොහෙද ඉඳල කඩා පාත් උනහම. මොනවද ඔය කරන්නෙ? පෙරහැරවල් යන්නෙ අල කරේ තියාගෙන? එක එකාගෙ ඇස්වහ කටවහ වැදිල ඔව්ව ඇහැවෙල ගිහාම නිකං ඉඳපල්ල. "

අප්පච්චි කෑ ගහනකොට අපි අලත් එතනම දාල දුවනව.

" කවුද ඔය මුදලිහාමි? "

මම අහනව.

" මුදලිහාමි තමයි අපේ වී මෝල බලාගෙන ඒකෙ වැඩ කටයුතු කරගෙන හිටියෙ. අප්පච්චිගෙ දුරින් නෑදෑ කමකුත් තියන කතාවක් මම අහල තියේ. මිනිහ එක පාරක් හිරෙත් හිටියලු. මිනීමැරුමකට සම්බන්ද වෙල. මගෙත් එක්ක හරි එකතුයි. මම ඔය ඕන එකක් අහනව.මට ඔව්වයෙ ගානක් නෑ... දවසක් මම ඇහුව වී මෝල ඉස්සරහ වී ගෙනාපු ගෝනි ගොඩ උඩ ඉඳගෙන මුදලිහාමි එක්ක කතාකර කර ඉන්දැද්දි ඇත්තද මුදලිහාමි හිරේ හිටියයි කියන්නෙ? කියල. "

" ඉතිං? "

" මුදලිහාමි ටිකක් වෙලා මගෙ දිහා බලා ඉඳල ඇහුව චූටි දෙයියට කවුද කිව්වෙ? කියල. ඇත්තටම ඒ වෙනකොට මට මතක තිබ්බෙ නෑ කවුද ඒ කතාව මා එක්ක කිව්වෙ කියල..මට හරියට මතක නෑ මුදලිහාමි කවුද කිව්වෙ කියල..ඉතිං ඇත්තද ඒ කතාව? මම ආයෙම ඇහුව..ඔව් චූටි දෙයිය ඒ කතාව ඇත්ත. මම ඒ කතාව චූටි දෙයිය එක්ක 
කියන්නං... ඒත් අද නෙවෙයි. චූටි දෙයිය තව ටිකක් ලොකු උනහම. මුදලිහාමි එහෙම මා එක්ක කිව්ව "

" එතකොට ඔයාගෙ වයස කීයක් විතර අද්ද? "

" ම්ම්ම්ම්...දහයක් වගෙ….."


" ඉතිං පස්සෙ ඒ කතාව මුදලිහාමි ඔයාට කිව්වද? "

" නෑ මට ඒ කතාව අහගන්ට බැරිඋනා…... මුදලිහාමි හිටපු ගමං අතුරුදහං උනා. "

" ඈ?... අතුරුදහන් උනා? ඒ කොහොමද එහෙම උනේ? "


මම ඇහුවෙ පුදුමෙන් ඇස් දෙකත් ලොකු කරගෙන.

" ඉන්නකො ඒ කතාව මම පස්සෙ ඔයාට කියන්නම් "

" ඒ දවස්වල අපේ ගෙදර අම්ම ඇරෙන්ට අනික් අය හරක්මස් කෑව. අප්පච්චි මාතලෙන් ගේනව හබරල කොලේක ඔතල මස් රාත්තල් දෙකක් තුනක් වගෙ ගෙදර එද්දි. අම්ම කන්නෙ නැතිනිසා කඩේ පිටිපස්සෙ වෙනම ලිපක් හදල තිබ්බ හරක් මස් උයන්ටම. මුදලි හාමි තමයි උයන්නෙ. දුරු මිරිස් ආං අර අඹ ගෙඩිය විතර ගුලියක් අඹරනව ගලේ. ඕකටම ලුණු ඇට දෙක තුනකුත් ගහනව. මස් උයන්ටම තිබ්බ අප්පල්ලයක්. මුදලිහාමි දාඩිය දාගෙන උයනව අපි වටවෙලා බලාන ඉන්නව. "


" මොකද ළමයිනේ ඔතන වටවෙලා ඉන්නෙ? දෙයියෝ සාක්කි, කවදාවත් කාපු නැතිදෙයක් වගේනෙ. මේ කඩේට යන එන මිනිස්සුන්ටත් පේනව... අප්පච්චි කඩේ ලියන මේසෙ පොත්පත්වල ගණං එකතුකරමින් ඉන්න ගමන හිටපු ගමං පස්ස හැරිල ගෝලු ගන්නව. ඒ වෙලාවට අපි ජුංඩක් එහාට මෙහාට උනට ආයම ටිකකිං ලිපට වටවෙනව."

" මස් උයපු දාට අපෙ පිඟං වලට කුස්සියෙං බත් දාගෙන අපි පෝලිමට එනව කඩ කෑල්ලෙ පිටිපස්සට. මුදලිහාමි ඉහිංකණිං දාඩියත් දාගෙන එතකනුත් මස් හොද්ද හැඳිගානව. ඔය වෙලාවට මනුස්සයට අඳින්ට තියනව පරණ සරුවාලයක්.තැන තැන නූල් ගැලවිල එල්ලෙන කාකිපාට ඔය සරුවාලෙයි අප්පච්චිගෙ තැන තැන ඉරිල අණ්ඩ දාපු මේස් බැනියමකුයි ඇඳගෙන පොඩි කොලොම්බුවක ඉඳගෙන මුදලිහාමි ඔය රාජකාරිය කරන්නෙ. "

" මස් හොද්ද කාල්ගාන්ටම තිබ්බ පොල්කටු හැන්දක් වෙනම. ඔයක කුස්සිය පැත්ත පළාතෙ ගෙනියන්ට දෙන්නෙ නෑ අපෙ අම්ම අනික් මාලු පිණි වලට මුහුං වෙයි කියල.අම්ම ඒකෙ මිටේ අග්ගිස්සෙ කට්ටයක් කපල රතුපාර තංගුස් පොටක් ගැටගහල තිබ්බ බැරිවෙලාවත් මාරුවෙයි කියල.ඉස්සෙල්ල අප්පච්චිට එයාගෙ බෙලෙක් පිඟානට මස් බෙදල මැටි කෝප්පෙකිං වහල එතනම බිත්තියට හේත්තු කරල තිබ්බ පරණ ලියන මේසෙ උඩිං තියනව මුදලිහාමි.ඊට පස්සෙ මස් මඩක්කුවත් අරගෙන ලොයි බංකුවෙ පේළිමට ඉඳගෙන ඉන්න අපි ගාවට ඇවිල්ල පොල්කටු හැන්දෙන් දෙක ගානෙ පුරවල මස් බෙදනව.මුදලිහාමි අපිට කතාකලේ දෙයිය කියල. ලොකු අයිය ලොද්දෙයිය, පොඩි අයිය පොඩි දෙයිය, චූටි අයියට හැබැයි චූටි මහත්තය, ලොකු අක්ක හීං දෙයිය, චුට්ටි අක්ක හිච්චි දෙයිය, මම චුට්ටි දෙයිය..."


එයාලගෙ චුට්ටි අයිය වයස පහළවක් වගෙ වෙද්දි හදිස්සියෙම හරියට මොකක්ද කියල හිතාගන්ට බැරි අසනීපෙකින් නැතිවෙලා.

" මට එතකොට වයස දහයක් විතර ඇති. මගෙ ජීවිතේට අපි ආදරය කරන කෙනෙක් අපිව අතෑරල ගියහම දැනෙන දරාගන්ට බැරි වේදනාව, පාළුව ඉස්සෙල්ලම මට දැනුනෙ අපේ චුට්ටි අයිය නැතිවෙච්චි දවසෙ. "

අපේ සෙනේහෙ පටන්ගෙන සතියකින් දෙහෙකින් විතර එයා ඇස් දෙකේ කඳුළු පුරවගෙන මා දැක්ක එහෙම කිව්ව.ඒ මාතලේ රත්නගිරියෙ උඩ තට්ටුවෙ දවල්ට බත් කන ගමන්.

Saturday, March 22, 2014

249. ගුරුවරියක සමඟ මගේ ජීවිතය - 14…. ඉඳගෙන ලෙවල් ගැනීම සහ ක්‍රය ශක්තිය හීන වීම

මම එක පාරටම ඔලුව උස්සල ඈ දිහාවෙ බැලුව. ඈ සාලෙ මුල්ලක හේත්තු කරල තිබ්බ කණ්ණාඩිය ඉස්සරහ හිටගෙන නෙරිය හදනව.

" ඔයා එන්න ඕන නෑ වැඩත් තියනවනෙ. මම ඉරිද දවල්ට බත් දෙකකුත් අරගෙන එන්නං, "

" ඒත් මගෙ හිතට හරි නෑ අනේ. අම්මට මොකද දන්නෙ නෑ නේද? "

" නෑ ඒ හැටි අමාරුවක් නෑ. එයාට ඔය හිටපු ගමං එනව කොන්දෙ අමාරුවක්. ඒක වෙන්ට ඇති. මම ගිහිල්ල බලල ඩොක්ට කෙනෙක් ගාවට එක්ක යන්ට ඕනනම් ඒකත් කරල බෙහෙත් අරං දීලම එන්නම්. "


පහුවදා සිකුරාද..... " ***, මම එන්නං ගිහිල්ල " කියල ඈ යන්න ගියා. ඇස් වල කඳුළු දිලිසෙනව වගෙ මම දැක්කට සහතික කරලම කියන්ට බෑ. මම අර තරු දාල තියෙන්නෙ ආය මේ කුනුහබ්බයකට එහෙම නෙවෙයි ඔන්න...හරිද? ඒ ඇවිල්ල එයයි මට කතාකරන නම. එයාටත් මම කතාකරන එහෙම විශේෂ නමක් තියනව. ඒ නම් දෙක දන්නෙ අපි දෙන්න විතරමයි. අපෙ සෙනේහෙ පටන් හත්තු අලුතමතමයි අපි එහෙම විශේෂ නම් දෙකකින් එකිනෙකා අමතන්න පටන් හත්තෙ.එයාට නම් හැබැයි සමහරවෙලාවට මට කියන සුවිශේෂී නම කියවෙන්න එනව මහ සබා මැද....මම මොනව හරි කියල ඒක යටපත් කරල ෂේප් කරල දානව.

දෙන්න දෙමහල්ලන්ට එකිනෙකා අමතන්න එහෙම තමන් විතරක් දන්න තමන්ටම සුවිශේෂී නම් දෙකක් තියන එක බොහෝම සෙනෙහෙබර ඒ වගේම රොමෑන්තික කාරණයක් කියලයි මම හිතන්නෙ. ඔහෙලට කොහොමෙයි හිතෙන්නෙ? එහෙම සුවිශේෂී නම් දෙකක් නැත්තං වහාම එහෙම නම් දෙකක් හදාගන්ට..කාලෝ අයංතේ මේ එයට කාලයයි.

පහුවෙනිදත් අපේ සති ප්‍රගති සමාලෝචන රැස්වීම තිබ්බ.

" මොකෝ බං? උඹෙ හරි නෑ මූණත් එක්ක...මොකෝ අවුල? "

අපෙ ලොක්ක කොහෙද ගිහිල්ල එන්ට පරක්කු උන නිසා රැස්වීමත් පටන් ගත්තෙ ටිකක් පරක්කු වෙලා. ඒ අතරෙ කැන්ටිමෙන් රුලං කෑල්ලක් කාල ප්ලේන්ටියක් ගහන ගමං සුමනෙ ඇහුව.

" කෝ නංගි? මේ සුමානෙත් මෙහෙද?"

" ආ..නෑ..නෑ..ඊයෙ ගෙදර ගියා.."

" ආ..එහෙමනම් අද පොඩ්ඩක් දාගමු...හෙහ්, අවුලක් නෑනෙ.."

" එයයිලගෙ අම්මට සනීප නෑ කියල ගියේ මචං ඒකයි මට මේ පොඩ්ඩක් අප්සෙට් වගේ…"


" ආහ්...එහෙමද? මොකෝ අම්මට? "

සුමනෙ අඳුනනව එයාලගෙ ගෙදර ඔක්කොමල. කසාදෙ රෙජිස්ටර් කොරන්ඩත් අපි දෙන්න ඕකගෙ බයික් එකේනෙ ගියේ. සාක්කියට අස්සං කලෙත් සුමනෙම තමයි.

" නෑ, මේ..ඒ හැටි අමාරුවක් මොකවත් නැතය කියල තමයි කිව්වෙ..අම්මයෙ තියනව හිටපු ගමං පොඩි කොන්දෙ අමාරුවක්..ඒක ආයම මතු වෙලයි කියල තමයි කියන්නෙ.."

" ඉතිං මොකද මචං උඹ කරන්න හිතාගෙන ඉන්නෙ? "

" මම හිතාගෙන හිටියෙ අද පොඩ්ඩක් සන්තර්පණය වෙන්නම්ය කියල. ඒත් හිතට හරි නෑ බං..අම්ම මට මාරම ආදරෙයි. "


" මම දන්නව..මම ඉතිං අම්මගෙ ලේලිනෙ. මෙයා තමයි පුතා..කියල නංගි කියනවලු නේද? "

" ඔව්නෙ හෙහ්, හෙහ්,සුමනෙ කොහොමද දන්නෙ? " 


ඔය කතාව සුමනෙට කිව්වෙ නෑ මම මට මතක විදිහට..

" හිහ්, නංගිම තමයි දවසක් මා එක්කලා කිව්වෙ. "

" ඒකනෙ බං...මම කියන්ටද? මම දවල්ට කාල යන්නං..බොන්ට බෑ අද…"

" කමක් නෑ මචං මොකෝ ආය අරක්කු කියන්නෙ නොබීපු දෙයක්ය?..උඹ එහෙනං පලයං .."


" ඕ කේ.. එහෙනං එහෙම කරමු. ෂෙහ් , අද මේ ලොක්ක කොහෙ ගියාද මන්ද..කලින් රැස්වීම පටං ගත්තනං කලිං ඉවර කරන්ට තිබ්බනෙ. බලපංකො දහයට කාලයි. "

අපෙ ඔය රැස්වීමට සාමාන්‍යයෙන් වෙන විශේෂ මොකක් හරි දෙයක් ඈඳුනෙ නැත්තං පැය තුනක් වගෙ යනව. උදේ නමයක පටන් ගත්තම දහය හමාරට වගෙ කට කපල ටී එකකුත් එක්ක දෙනව පත කේක් කෑල්ලක්.රැස්වීම කෙරෙන ගමම්ම එව්ව සප්පායං උනාම තව පැය එකහමාරකිං වගෙ වැඩේ අහවරයි. ඒ කියන්නෙ දොළහට වගෙ.

" ලොක්ක ඔය කොහෙද ගියයි කියන්නෙ මේ උදේම? "

" අන්න අර ගලතරඔය හරහ අමුණක් බැඳල දෙන්ටෙයි කියල මිනිස්සු ඉල්ලනවනෙ දැන් සෑහෙන කාලෙක ඉඳල.ඒ ගැන වාර්තාවක් ඉල්ලුවලු සඳුද මිනිස්ට්‍රි එකෙන්. ඒ ගැන බලන්ටයි ඔය ගියේ. "

" අඩේ එහෙමද? ඉතිං කවුද ලොක්ක එක්ක ගියේ? ඕකෙ ලෙවල් ලයින් එකක් වත් ගන්ට එපාය වාර්තාවක් දෙන්ට. "


අමුණක් ඇලක් වැවක් වගෙ හදන්ට සැලසුම් කරන්ට ඉස්සරවෙලා පොළවෙ උස් පහත් තැන් අතර හරියටම වෙනස මැන ගෙන ඒ දත්ත සටහන් කරගන්න එක ඉතාම වැදගත්.ඒකට වෙනම උපකරණයක් තියනව. ලෙවල් එක ඒකටකියන්නෙ.ත්‍රිපාදිකයක් ( Tripod ) උඩ 
ලෙවල් එක සවිකරල ඒකෙ උපනෙතට ඇහැ තියල බලල තමයි පොළවෙ මට්ටම් ගන්නෙ. 

ලෙවල් ගන්නෙ මෙන්න මෙහෙම

" ලකියව එක්ක ගියාය කියන්නෙ…"

සුමනෙයි මායි අසෝකයි ලක්ෂ්මනුයි තමයි ඔය කාලෙ එහෙ හිටියෙ තාක්ෂණ අංසෙ. අසෝක මතකයි නේද? අර නෙලුම් බැඳල හිටියෙ.

" ලකියව ? "

මට හිනාව නවත්තගන්ට බැරිඋනා…

" අම්මාපල්ල ඔය යස්සය ගලතර අමුණෙත් ඉඳගෙන ලෙවල් ගත්තෙ නැත්තං ඇති…"

" මොකට කියනවද ඒ හරිය? හෙහ්, හෙහ් "


සුමනෙත් හිනාවට හවුල් උනා..ඒ ඉඳගෙන කතාව මෙහෙමයි. ඕක උනේ ඔයිට සති දෙහෙකට තුනකට ඉස්සර.

ඔය කුඹුරු පැළ ගොයම කාලෙ සහ ආය පූදින කාලෙ ගොවියන්ට කොච්චර වතුර තිබ්බත් මදි. කුඹුරු වලට අනෝතත්ත විල වාගෙ වතුර පුරෝගත්තෙ නැත්තං එවුන්ට නින්ද යන්නෙ නෑ. " වතුර මදි මහත්තයා වතුර මදි " ඕක තමයි කොයි වෙලාවෙත්.

ඒත් ඉතිං වතුර දෙන්ට පුළුවන් සීමාවක් තියනවනෙ. මම කලිං කිව්වෙ යෝද ඇලෙන් තමයි ගිරිතලේ, මින්නේරිය, කවුඩුල්ල ඔය ඔක්කොම වැව් වලට වතුර දෙන්නෙ. ඉතිං එව්වට යන වතුර ඔක්කොම අපේ ගොවියො ඇඬුවයි කියල උන්ට දෙතෑකිය? ඔන්න ඔය කචල් එක නිසා ගොවි මහත්තුරු කොරන්නෙ ඔය කොහෙ හරි වෙල්පහු වතුර පාරක් හරස් කරල පොඩි ඇනිකට් කෑල්ලක් බැඳගෙන කුඹුරු වලට අමතර වතුර පාරක් හරවා ගන්න එක.

වෙල්පහු වතුර කියන්නෙ කුඹුරු වලින් පිටාර ගලන වතුර. එව්ව ගලාගෙන ගිහිල්ල ආපහු පල්ලෙහා වැවකට එකතු වෙනව . ඒ වැවට පල්ලෙහා කුඹුරු අස්වද්දන්ට ආයම ඒ වෙල්පහු වතුර පාවිච්චි කරනව. ඔහොම අමුණක් බැඳගෙන මීටර් තුන් සීයක විතර ඇළක් කපල වතුර ගන්ට යාය 23 පැත්තෙ ගොවියො කට්ටියක් සංවිධානය වෙලා තිබ්බ. ඇළේ පතුලෙ ලෙවල් දෙන්ට ගියේ අපේ ලකියා.

ඔන්න ඕකා ලෙවල් දීල ආව. ඒ දීපු ලෙවල් වල හැටියට ගොවියො ඇලත් කැපුව. පහුවදා මෙන්න හෙණ ගෝසාවක්. අර ඇලේ වතුර ගලන්නෙ නෑ කියල විරෝධය පළ කරන්ට ඒ ඇල කපාපු ගොවියො තිහක් විතර ඇවිල්ල අපෙ ඔෆිස් එක වට කරලා. මේ ප්‍රශ්නෙට විසඳුමක් හැටියට අපෙ ලොක්කා කලේ අදාල පාර්ශ්වයන් ඔක්කෝම ගෙනල්ල අපේ ශ්‍රවණාගාරයෙ රැස්වීමක් තිබ්බ.

දැං ඔය Stake Holders කියල තමයි ඒ අයට කියන්නෙ. ඒ කියන්නෙ මොකක් හරි ව්‍යාපෘතියකින් ප්‍රතිලාභ ලැබෙන, ඒ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරවන හෝ ඒ ව්‍යාපෘතියෙන් නිසි හෝ අනිසි බලපෑමක් ඇතිවන අය. සිංහලෙන් අදාල පාර්ශ්වයන් කිව්වැහැකි.

" මචං මාර වැඩක්නෙ මම ලෙවල් දුන්න හරියට. ඒ ****** පුතාල නියම විදිහට ඇළ කපා ගත්තෙ නැතුවට මම පළිද? "

ලකියා අපෙ ඔෆිස් එක දෙකක් වෙන්ට කෑගහනව.

" හරි හරි බං උඹ ලෙවල් දීල ආවනෙ. එවුං ඇළ කපද්දි ආයම ලෙවල් චෙක් කලේ නෑ නේද? "

" පිස්සුද බං? උං රෑ වැඩ කරනව කිව්වෙ. ඒක ලේසියි කියල. මට ඇහැක රෑ තිස්සෙ ඔතන ගිහිල්ල ඉන්ට. "

" එහෙම බෑ කියල බෑ...මචං රාජකාරිය කරනකොට වෙලාවක් කලාවක් බලන්ට බෑ. උඹලට පඩියක් ගෙවනවනෙ…"


මම බොහොම බැරෑරුම් මුහුණින් කිව්ව. ලකියා මොහොතක් මගෙ මූණ දිහා බලාගෙන හිටිය මූණ කුණ්ඩ හට්ටිය වගෙ කරගෙන......

" අනේ මේ උඹ ***** නැතුව ඉඳහං. " කියල බස බස ගාල යන්ට ගියා පස්සවත් නොබල. සුමනයයි මායි කඳුලු පයිනකල් හිනා උනා.

ඔන්න ඇලේ ලෙවල් අර්බුදය විසඳන්ට කැඳවපු අර මහා රැස්වීම ආරම්බ උනා කියමුකො. ගොවිසංවිදානෙ සබාපති තුමා නැඟිටල කරුණු ඉදිරිපත් කලා. ඔය සමහර ගොවි මහත්වරු ඉන්නව හරබර වචන දාල කතා කරන්ට බොහොම මනාපයි. කාටවත් තේරෙන්නෙ නැති වචන දාල කතාකරන එක බොහොම ගරු නම්බු ලැබෙන වැඩක් කියලයි එයාල හිතන්නෙ.

ඔන්න එක පාරක් ඒත් ඔය යෝද ඇල කට්ටෙටම හිඳිච්චි නියං කාලෙක තියන වතුර ටික බෙදා ගන්නෙ කොහොමද කියල තීරණය කරන්ට රස්වීමක් තිබ්බ. ඔය එක මයික් ටයිසන්ගෙ බාප්පගෙ පුතා ටයිප් එකේ සබාපති කෙනෙක් කතාකරගෙන ගියා වරුවක් විතර.

" ඇත්ත වශයෙන්ම මේ අපේ අසරණ ගොවි මහතුන්ගේ ක්‍රය ශක්තිය අන්තිම පහත් තත්වයට ඇද වැටිලයි තියෙන්නෙ මේ වෙනකොට.... මම ඒක කියන්නම ඕන ගරු මහත්වරුනි.........."

ඔන්න එතුමා කියාපි. මායි සුමනෙයි අපෙ අයි.ඊ. මහත්තයයි ඉස්සරහ ස්ටේජ් එකේ ඉඳගෙන උන්නෙ. රැස්වීම තිබ්බෙ ඉස්කෝලෙ සාලාවෙ.

ඔය වෙලාවෙ අපෙ අයි.ඊ. මහත්තය ( ආ..අයි.ඊ. මහත්තය කියන්නෙ වාරිමාර්ග ඉංජිනේරු තුමා. Irrigation Engineer... මම අර කලින් දවසක කිව්වෙ..උඹ හිතං හිටියෙ චන්ද්‍රිකා උඹෙ බටේ පාත්කරල දෙන්ට එයි කියලද ඈ යකෝ? ..අන්න එහෙම අපෙ සියාතු මාමට කිව්වෙ එතුමා තමයි ) සාක්කුවෙං ගත්තු විට පාර්සලේ දිග අරිනව.විට මැලේ ඔතල තිබ්බෙ ඊට කලින් සතියෙ ජල ප්‍රශ්නය විසඳීමට ක්‍රියාත්මක කලයුතු ක්‍රියාමාර්ග කියන මාතෘකාවෙන් හෙඩ් ඔෆිස් එකෙන් එවල තිබ්බ ලියුමක. මම ඒක සුමනෙට ඇඟිල්ලෙං ඇනල පෙන්නුව. සුමනෙ අහක බලාගෙන හිනා උනා.

විට පාර්සලේ දිග ඇරිල්ල පැත්තක තියල එතුමා මගෙ දිහාට නැමුන.

" ඈ බං..වීරෙ..අර මොනවද අර යකා අර දොඩවන්නෙ? ක්‍රය ශක්තිය? අම්ම මුතුං කලෙ අහපු වචනයක්ද බං ඒ? "

මමත් අයි.ඊ. මහත්තය පැත්තට නැමුණ." ඔය ක්‍රය ශක්තිය කියන්නෙ අයි.ඊ. මහත්තය අර අහවල් වැඩේටනෙ. .....කම් සැප විඳීම.... ඒකටම තමයි. "

" ඉතිං මේ ****** පුතා ඒක කාටත් තේරෙන විදිහට එහෙම නොකියා මොනවද මේ කියන අපබ්‍රංස? "

" ඒකනෙ අයි.ඊ. මහත්තයා.කාට කියන්ටද මෙව්ව.."


මම සුමනෙ දිහාවට හැරිල ඉඟි මැරුව. සුමනෙ තොල් විකාගෙන අහක බලා ගත්ත. ඔන්න තව විනාඩි පහක් තරම ගියා. අයි.ඊ. මහත්තය හක්කෙ දෙපැත්තට කර කර විටේ හපනව. අර ක්‍රය ශක්තිකාරයා තවම කතාව.

" ඔබ තමුන්නාසේලාගෙන මම ඉල්ලා සිටින්නේ අපගේ හීන වී ගිය ක්‍රය ශක්තිය වර්ධනය කර ගැනීමට කුමන හෝ වැඩ පිළිවෙලක්........ "

" ඈ වීරෙ.."


අයි.ඊ. මහත්තය ආයෙම මගෙ පැත්තට නැමුණ. සුමනෙත් මගෙ එහා පැත්තෙ ඉඳල මගෙ දිහාට නැමුණ.

" ඔව්..අයි.ඊ. මහත්තය? "

" ඉතිං බං වයසට යනකොට ක්‍රය සක්තියද මොකද්ද එක හීන වෙනව තමයි. දැං මේ මගෙ උනත් එහෙමයි....ඉතිං ඒකට අපි මොනව කරන්ටද? මේ යකා ඒක මේ රැස්වීම වල කියන්නෙ ඒකත් අපෙ වැරැද්ද වගේනෙ. අනික ඒක වර්ධනය කරවල දෙන්ටෙයි කියන්නෙ අපට. අපි කොහොමද ඒක කරන්නෙ? ඔය තියෙන්නෙ අනන්ත තෙල් බේත්..එව්වයිං ටිකක් අරගෙන ගාල තවල කාරිය බලනව මිසක...."

" ඇත්ත ඇත්ත අයි.ඊ. මහත්තය.."


තොල් හපාගෙන ඉඳල මට ලේ රහක් වගෙත් ආව.... සුමනෙගෙ ඇස් වලින් කඳුලු පනින්න ඔන්න මෙන්න.

" ඉඳපංකො මම නැඟිටල කියන්ට ක්‍රය සක්තිය හීන උනාට අපිව අල්ලගන්ට එපාය කියල. "

අයි.ඊ. මහත්තය නැඟිටින්ට හැදුව.

" එපා. එපා. බොස්.. ඔන්න ඔහෙ ඕක අල්ලල දාන්ට. අපි රැස්වීමෙං පස්සෙ මිනිහට හෙමිහිට ඕක කියමු. "

මම එතුමාගෙ අතින් අල්ලල ආයම ඉන්දෙව්ව. ඔය අයි.ඊ. මහත්තයත් නියම බුලට් එක. අපිටම හරියන පිස්සු ලෝකෙ. ඇත්තට කියනවද අපිව අන්දන්ට කියනවද කියල අපිටම හිතාගන්ට බෑ.

පස්සෙං පහු දවසක මම අල්ල ගත්ත අර ක්‍රය ශක්ති සබාපතියා.

" සබාපතිතුමා අර මොකද්ද එදා අර රැස්වීමෙදි කිව්ව වචනෙ? ක්‍රය ශක්තිය.? මොකක්ද හැබෑටම ඒ? "

" හිහ්,හිහ්, ක්‍රය ශක්තිය කියන්නෙ මහත්තයා මිළදී ගැනීමේ හැකියාව.. "

" අම්මපා? ඉතිං කොහෙන්ද ඔය වචනෙ හොයා ගත්තෙ? "

" හිහ්..හිහ්..අපේ ලොකු දුව උසස් පෙළ ආර්ථික විද්‍යාවනෙ කරන්නෙ. මම එයාගෙන් තමයි ඕක දැනගත්තෙ "


ඉතිං ආපහු අර ඇලේ ලෙවල් අර්බුදයට....ගොවි සංවිදාන සබාපති තුමා කිව්වෙ මෙහෙමයි. ඇලේ ලෙවල් වැරදිය කුඹුරෙ වතුර ආපහු ඇල දිග ගිහිල්ල අමුණට යනවය අරකද මේකද රටේ නැති කතන්තර. එතුමාගෙ කතාවෙන් පස්සෙන් පහු අපෙ ලොක්ක ඔන්න කතා කලා.

" හරි දැන් අපි වැරැද්දක් වෙලා තියනවනම් ඒක නිවැරදි කර ගමු. ඊට කලින් ඔය ඇළේ ලෙවල් දුන්නු අපේ ලක්ෂ්මන් මහත්තයගෙනුත් අහල ඉන්ට එපාය. නැත්නම් ඒක හරි මදිනෙ. ඔය ඔය මහත්තුරුගෙ මතයනෙ. ඔව් ලක්ෂ්මන් මහත්තය මොකද කියන්නෙ මේ ගැන? "

ලකිය කොහොමත් වැඩි කතා කාරයෙක් නෙවෙයි අනික කලබල උනාම පොඩි ගොත ගැහෙන ගතියකුත් තියනව. ඔන්න ලකිය නැඟිටපි.

" බොස් මම ඉ..ඉ..ඉ...ඉඳගෙන ඒ ඇලේ ලෙවල් හරියටම දුන්න. මට කියන්ට තියෙන්නෙ එ...එ...එ...එච්චරයි. " 

දඩස් ගාල ආපහු ඉඳගනිපි.

අර කලින් කතා කරපු ගොවි සංවිදාන සබාපති තුමා උඩ පැනල ආයම නැඟිට්ට.

" අන්න ඒකනෙ සර් ..අපි ඉතිං බොරු නෙවෙයිනෙ කියන්නෙ. ඉඳගෙන ලෙවෙල් දුන්නම කොහොමද ලෙවල් හරියන්නෙ?..පුදුමයක් නෙවෙයි කුඹුරෙ වතුර ආපහු ඇනිකට් එකට එන එක…"

" ඈ???......... "


ලකිය ඇසුත් ලොකු කරගෙන සබාපතිය දිහා බලා හිටපු විදිහ මට මේ දැනුත් පේනව පේනව වගේ.ආ..උගෙ කටත් බාගෙට ඇරිලයි තිබ්බෙ. ලකිය කතා කරන්නෙ එහෙම තමයි. මචං මම ඉඳගෙන ඊයෙ රෑ පොතක් කියවනකොට....මම ඉඳගෙන උදේ ඔෆිස් එද්දි..ඔන්න ඔය වගෙ.

ඒ ඒ පුද්ගලයට නැත්නම් ප්‍රදේශයට ආවේණික වදන් භාවිතය නිසා බොහොම අපූරු සිදුවීම් ඇතිවෙන්න පුළුවන්. මාතර පැත්තෙ කොල්ලෙක් කොළඹ රස්සාවකට ආව. එකට වැඩ කරන කොළඹ කිට්ටුව කෙල්ලක් ගැන මිනිහගෙ ඇතිඋනා පිළිබඳ සිතක්. ඒත් කෙල්ලගෙ නෑ ඒ හැටි ගෝ එකක් මේ වැඩේට. වදෙන් පොරෙන් මිනිහ කැමති කරව ගත්ත කෙල්ලව නිවාඩු දවසක හම්බවෙලා ටිකක් කතා කරන්න. ඔන්න දෙන්න හම්බ උනාය කියමුකො. ඒත් කෙල්ල නෑ කිසිම කිසියම්ම කතාවක් බතාවක් ගල්බීත වෙලා වගෙ බලාගෙන ඉන්නව.

" මක්කැයි නංගි දොඩන් නැත්තෙ? "

ඉවසල ඉවසල බැරිම තැන කොල්ල ඇහුව.

" මේ කාලෙ දොඩං අවාරෙනෙ අයියෙ ඒකයි "

කෙල්ල කිව්ව. මේ ඔය තැඹිලි පාට දොඩං පිටරටිං ගෙන්නන්ට පටං ගන්ට කලිං කතාවක් හොඳද?

ඔය මයික් ටයිසන්ලගෙන් බේරෙන්ටම බැරි මංගල මහ සබාවල. එතන කතා පවත්වන්ට ගියාම වචන පැටලි පැටලි වට පිට බල බල පැද්දි පැද්දි වරුවක් කතා කරනව. මනාල යුවලට ආයෙ නෑ විකාරෙ හැදෙනව. මොකද කොයි වෙලේ මෙතනිං පැනගන්ටද කියල නෙව ඉන්නෙ ඒ දෙන්න..

දවසක් ඔය ජාතියෙ ටයිසන් බුවෙක් ඔන්න කතාවක් පවත්තනවලු. කතාව ඇදෙනවලු වරුවක් විතර..එකම, එකම, ආයම, ආයම කියනවලු..

" ඇත්ත වශයෙන්ම අද දින විවාහප්‍රාප්ත වූ මේ නවක දම්පතීන් යහපත් දූ දරුවන් ලැබ චිරාත් කාලයක්....."

මේ කෙහෙල්මල ඉවසන්ටම බැරි තැන එකෙක් නැඟිට්ටලු..

" සමාවෙන්න මහත්මයා. මම දන්න විදිහටනම් යහපත් හරි අයහපත් හරි දූ දරුවන් ගහෙං ගෙඩි එන්න වගෙ ඉබේම ඇති වෙන්නෙ නෑ. ඒ වැඩේට ඊට කලින් යම් නියමිත ක්‍රියාවක නිරත වෙන්ට වෙනව. මට පේන්නෙ ඔය මහත්තය තවදුරටත් මේ කතාව දිගටම මෙහෙම කරගෙන ගියොත් මේ නවක දම්පතීන්ට මෙතනම තමයි ඒ අදාල කටයුත්තෙත් නිරත වෙන්ට වෙන්නෙ..."

රයිට් ආපහු යමු මුලටම..කතාරම්බයට...අන්තිමට කොහොම හරි අපෙ ලොක්කත් ඇවිල්ල රැස්වීමත් තියල දවල් එකට වගෙ බත් ටිකකුත් කාල මම බස් එකේ නැග්ග මාතලේ එයාලගෙ ගෙදර යන්ට.

Tuesday, March 18, 2014

117. මං පුංචි කාලේ - රස්සාවක් තේරු තාලේ


දැන් ඔයාට වගේ ම තමයි දුවේ. මං පුංචි කාලෙත් නොයෙක් විට නොයෙක් දෙනා ඇසූ එකම ප්‍රශ්නයක් විය.

“ඔයා ලොකු වුනහම කවුරු කෙනෙක් ද වෙන්නේ?” මා සතුව හැමවිටම ඒ සඳහා පිළිතුරක් දිව අග තිබිණ. නමුදු එය සැමවිට ම එකම පිළිතුර නම් නොවීය.

ප්‍රථමයෙන් මා හට අවැසි වූයේ රාත්‍රී මුරකරුවෙකු වීමටයි. එය අපුරු සිතුවිල්ලක් විය. මුළු නගරයම සුව නින්දේය. මා පමණක් අවදියෙන්! නගරය ගැන විමසිල්ලෙන් මා පමණක් අවදියෙන්! කෙතරම් අගනා රැකියාවක්ද? ඒ පිළිබඳ ව දින ගනන්, අවදියෙන් සිටිමින් සිහින දකින්නට මා හට හැකි විය.

මගේ රාත්‍රී මුරකරු සිහිනය පසෙකට විසි කර දමමින්, බැබලෙන හරිත වර්ණ කරත්තයක් තල්ලු කරගෙන, අයිස් ක්‍රීම් වෙළෙන්දෙක් පැමිණියේය. ඇයි මා අයිස් ක්‍රීම් වෙළෙන්දෙකු නොවන්නේ? වනවා නම් විය යුත්තේ අයිස් ක්‍රීම් වෙළෙන්දෙක්මය. කරත්තය තල්ලු කරගෙන, ගම් නගර සිසාරා යන ගමනේ මා හට අවැසි ඕනෑම වර්ගයක අයිස් ක්‍රීමයක රස බැලීමට කාගෙන් නම් තහනමක්ද? එකල මට සිතුනේ එලෙසිනි.

“අයිස් ක්‍රීම් එකක් විකිණු සැම විට ම මමත් එකක් කනවා” මම එලෙසින් සිතීමි. “ හැම පුංචි ළමයාට ම නොමිලේ අයිස් ක්‍රීම් දෙනවා. පව්නේ පුංචි ළමයි!” 



තමන්ගේ පුතනුවන් අයිස් ක්‍රීම් වෙළෙන්දෙකු වන්නට යන වග ඇසූ මගේ දෙමව්පියන් ඉමහත් පුදුමයට පත් වූහ. එය ඉතාමත් හාස්‍යජනක දෙයක් ලෙසින් ගත් ඔව්හූ සිහි වන හැම විටම සිනහ පහළ කරන්නට වූහ. නමුදු මා සිතුවේ, රසවත් ලෙසින් වැඩෙන්නට හොඳ ම විදිහ අයිස් ක්‍රීම් වෙළෙන්දකු වීම බවයි.

දිනක් අම්මා සමගින් ගමනක් යන විට මට අමුතු ආකාරයේ මිනිසකු දුම්රිය ස්ථානයේදී දකින්නට ලැබිණ. ඔහු මුළු ඇඟම වැසෙන පරිදි අඳිනා, ‘ඕවරෝල්’ වර්ගයේ ඇඳුමක් ඇඳ සිටි අතර දුම්රිය ගැල් හා දුම්රිය මැදිරි හා සෙල්ලම් කරමින් සිටියේය. ඒවා එකල මා සතු ව තිබූ පරිදි සෙල්ලම් බඩු නොවීය. සැබෑම ගැල් සහ මැදිරි විය! විටෙක දුම්රිය වේදිකාවට පැන්න ඔහු, තවත් විටෙක ගැලක් හෝ මැදිරියක් යටින් බඩ ගා යන්නට විය. එය ඇත්ත වශයෙන් ම අමුතු හා අතිශයින් විනෝදජනක ක්‍රීඩාවක් විය.

“කවුද අම්මේ අර මනුස්සයා?” මම ඇසීමි.

“දුම්රිය පීලි මාරු කරන්නෙක්”

එවෙලෙහිම මා වටහා ගත්තේ මා යම් දිනෙක යම් කෙනෙක් වනවා නම් ඒ දුම්රිය පීලි මාරු කරන්නෙක් ම බවයි. නිකමට මෙන් සිතා බලන්න! ඔහු අච්චර අතිවිශාල දුම්රිය මැදිරි හා ගැල්වල පීලි මාරු කරනවා! එයිටත් වඩා විනෝදජනක දෙයක් ලෝකේ තියෙන්න පුළුවන්ද? නැත. කොහෙත් ම නැත.

දිනක් කෙනෙකු හා, මා යම් දවසක දුම්රිය පීලි මාරු කරන්නෙකු වන වග පැවසූ විට ඔහු එක්වනම මෙලෙස අසා සිටියේය.

“‍ඔහ්.... හොඳයි. බොහොම හොඳයි. ඒත් මොකද වුනේ අයිස් ක්‍රීම් වෙළඳාමට?”

එය නම් ඇත්ත වශයෙන් ම විශාල ගැටළුවක් විය. දුම්රිය පීලි මාරු කරන්නෙකු වන්නට ඒ වනවිටත් මා විසින් තීරණය කර තිබුණත්, හරිත වර්ණ බැබලෙන කරත්තයක් තල්ලු කරගෙන අයිස් ක්‍රීම් විකුණන්නට යෑම අත් හරින්නට ද කැමැත්තක් මසිතේ නොවීය. අවසානයේ එම ප්‍රශ්නයට කදිම විසඳුමක් සොයා ගන්නට මා හට හැකි විය. ඉඳින් පිළිතුර සරළ විය.

“ මම දුම්රිය පීලි මාරු කරන්නෙකුයි, අයිස් ක්‍රීම් වෙළෙන්දෙකුයි වෙනවා!”

මගේ පිළිතුර ඇසූ ඇසූ හැම දෙන පුදුමයට පත්විය. නමුදු ඇත්ත වශයෙන් ම එහි එතරම් පුදුමයට කාරණයක් නොමැති බව වටහා දෙමින්, මගේ පිළිතුර පහදන්නට මම ඉදිරිපත් වීමි.

“ඇත්තට ම ඒක එච්චර අමාරු වැඩක් නෙමෙයිනේ. ඔන්න මෙහෙමයි හරිද? ඔන්න මුලින් ම උදේන් ම මම අයිස් ක්‍රීම් විකුණන්න යනවා. ඒ වැඩේ ඉවර වුනාට පස්සේ ඉස්ටේෂන් එකට යනවා. ඔය තියෙන කෝච්චියක් දෙකක් පීලි මාරු කරලා ඉවර වෙලා, ආයේ යනවා අයිස් ක්‍රීම් පොඩ්ඩක් විකුණන්න. ආයේ ඒ වැඩේ ඉවර වුනාට පස්සේ ආපහු ඉස්ටේෂන් එකට ගිහින් කෝච්චියක දෙකක පීලි මාරු කරලා ඉවර වෙලා යනවා හවස් වරුවේ අයිස් ක්‍රීම් විකුණන්න. ඇත්තට ම ඒක එච්චර අමාරු වැඩක් වෙන්නේ නැහැ, මොකද මං මගේ අයිස් ක්‍රීම් කරත්තේ නවත්තන්නේ ස්ටේෂන් එකට ලඟ පාතින්. ඉතිං මට එච්චර දුර නිකරුණේ ඇවිදින්න වෙන්නේ නැහැනේ”

අසා සිටි හැම දෙන සතුටට පත් වීදෝ ඉතාමත් අලංකාර ලෙසින් මහ සිනාවකින් මා හට සංග්‍රහ කලෝය.

එහෙත් එයින් මගේ සිතේ කේන්තියක් පහළ විය.

“ඔන්න ඔන්න ඉතිං. ඔයාලා ඔය විදිහට හිනා වෙන්න තියා ගත්තොත් ‍එහෙම මං, රෑ කාලේ කරන්න වෙන වැඩකුත් නැති එකේ රාත්‍රී මුරකරුවෙකුත් වෙනවා ඔන්න!”

එයින් අනතුරුව සියල්ල සන්සුන් ව කාලය ගතවිය. එහෙත් නැවතත් වරින් වර මගේ සිහිනය වෙනස් වීම නිසාවෙන් ඒ සන්සුන් භාවය නැවත නැවතත් අතුරුදන්වන්නට විය. වරෙක මගේ අනාගත රැකියාව ලෙස මා විසින් තෝරා ගන්නා ලද්දේ ගුවන්යානා නියමුවකු වීම වූ අතර එය රංගන ශිල්පියෙකු දක්වා වෙනස් වීමට දින පහක්වත් ගත නොවූ බව මා හට මතකය.

මා පියා, මා රැගෙන කම්හලක් වෙත ගිය දිනයේ මගේ සිහින රැකියාව ලෙස ලියවන පට්ටලයක් ආරම්භ කිරීම වඩාත් ම සුදුසු බව මා හට වැටහී ගියේය. මේ මොන රැකියාව අතරතුර වුවද සේලරුවකු වශයෙන් ද කටයුතු කිරීම මගේ අභිප්‍රාය විය. එය අපහසු විනි නම් අඩුම තරමින් එ‍‍ඬේරකු වශයෙන් ක්‍රියා කරමින් දිග කසයකින් පහර දෙමින් ගවයන් දක්කාගෙන දිනය පුරා ගම වටා ඇවිදීමවත් කළ යුතුව තිබිණ.

මේ ආකාරයෙන් වරින් වර මගේ සිහින රැකියාව වෙනස් වන්නට විය. මා කවරෙකු විය යුතුද යන්න විචල්‍යක් ම විය.

අවසානයේ, වඩාම සිත් ගන්නා සුළු පිළිතුර මා හට ලැබිණ. සියලු කාරණා අවසානයේ මා වටහා ගත්තේ මට ඇත්ත වශයෙන් ම අවශ්‍ය සහ සුදුසු ම වන්නේ බල්ලෙකු වීම බවයි. මෙය වටහා ගත් දිනයේ, මුළු දවස පුරාම අත් පා හතරින් බිම දිගේ වේගයෙන් එහා මෙහා පනිමින් ආගන්තුකයින්ට බුරා පැනීම මගේ එකම කටයුත්ත බවට පත්විය. මගේ හිසට තට්ටු කිරීමට උත්සහ කළ වැඩිහිටි කාන්තාවක් දෙසට පැන හපා කන්නට යෑමට පවා මගේ බලු රස්සාව මා පෙළඹවීය. ඉතාමත් අගනා ලෙස බිරීමට ඉගෙන ගැනීමට වැඩි කලක් නොගියද, අවාසනාවකට මෙන් කොතරම් මහන්සි වී උත්සහ දැරුවද, පස්ස ගාතයක් ඔසවා කන පිටු පස කසා ගන්නට නං මා හට කිසි ලෙසකින් නොහැකි විය. නිවස තුල සිට මෙවැන්නක් පුරුදු වීම අපහසු යැයි සිතූ මම ඊ ගාව පියවර ලෙස නිවසින් පිටතට ගොස් ආලින්දයේ සිට පස්ස ගාතයෙන් කන පිටු පස කසා ගන්නට වට ගණනාවක් එක තැන ම කැරකෙන්නට වීමි.

මේ අතරතුරේ පාර දිගේ ඇවිදගෙන ගිය මිනිසකු මේ අරුම පුදුම කැරකිල්ල කුමක්දැයි කියා විපරම් කරන්නට වූවා විය යුතුය. මා ඔහු දුටුවද, බල්ලකු වී සිටි නිසාවෙන් ලැජ්ජාවක් නොදැනිනි. මද වේලාවක් මා දෙස බලා සිටි ඔහු එතැනින් යතැයි කියා සිතුවද, එසේ නොවිණ.

“ඈ ළමයෝ.......... මොකද්ද ඇත්තට ඔය කරන්න හදන්නේ?“ අනතුරුව කුතුහලය නොවිසිඳුන නිසාවෙන්දෝ විමසා සිටින්නට විය.

“මේ මං නියම බල්ලෙක් වෙන්න යනවා“

“හ්ම්... එහෙමද? ඇයි ඔයාට ඕනෑ නැද්ද නියම කොල්ලෙක් වෙන්න?“

“හපෝ........... මං ඇති තරං කාලයක් නියම කොල්ලෙක් වෙලා ඉදලා තියෙනවානේ“

“මක් කිව්වා? ඇති තරම කාලයක් නියම කොල්ලෙක් වෙලා හිටියා? නියම කොල්ලෙක් නං මේ ලෝකේ කරන්න බැරි වැඩක් නැහැ. අනේ ළමයෝ...... අඩුම ගානේ බල්ලෙක්වත් වෙන්න බැරුව දගලන ඔයා මොන කොල්ලෙක්ද?............. අනෙක් අතට මනුස්සයෙක් වුනහම බල්ලෙක් වෙනවාට වඩා කරන්න තව කොච්චරක්වත් වැඩ රාජකාරී නැද්ද හැබෑටම“

“හ්ම්.............................. දැන් අංකල් මට කවුරු කෙනෙක් වෙන්න කියලද කියන්නේ“

“මුලින් සේරමට කලියෙන් තමන් ව තේරුම් අරං ඉන්න. මනුස්සයෙක් වෙලා ඉපදීමේ වටිනාකම වටහාගෙන ඉන්න. හොඳ මනුස්සයෙක් වෙන්න. එතකොට ඔයාට ඉබේ ම තමන් විය යුතු කෙනා වැටහේවි“ යි පැවසූ ඔහු යන්නට ගියේය.

ඔහු මගේ ක්‍රියාව සමච්චලයට ලක් නොකලා පමණක් නොව සුළු ලෙසකින්වත් සිනහ පහළ කලේ ද නැත. නුමුදු සංවාදය අවසන් කර එම මනුස්සයා පිටත් ව ගිය මොහොතේ මා කෙරෙහි ම ඇති වූ අති මහත් වූ ලජ්ජාවකින් පීඩාවට පත්වීමි. මම සිතන්නට වීමි. දිගින් දිගට ම සිතන්නට වීමි. සිතන්නට සිතන්නට තව තවත් ලජ්ජාව විසින් මා පෙළන්නට විය. එම මිනිසා මා හට කිසිවක් පැහැදිලි කලේ නැත. මා විය යුත්තේ කවුරුන්දැයි මා හට පැවසුවේ නැත. එහෙත් දිනෙන් දින සිහින රැකියාව වෙනස් කරමින් විකාර දේ සිතමින් සිටි මගේ සිතේ විසුළු ස්වභාවය මා හට පසක්විය. අනෙක් අතට සිහින රැකියාවක් තෝරා ගැනීමට තරම් වැඩුනු වයසකින් හෝ මනසකින් මා පසු නොවන වගද ඒ හා සමගම මට වැටහිණ. එයින් පසු එළඹුණු සමයේ කෙනෙකු මාගෙන් ‘ලොකු වුනහම කවුරුද වෙන්නේ?‘යි ඇසූ සැනින්, විදීයේ නැවතී මා හා කථා කල පුද්ගලයා මගේ සිතට පිවිසිණ. එයින් අනතුරු ව මගේ පිළිතුර කවදාවත් වෙනස් නොවීය.

“මම හොඳ මනුස්සයෙක් වෙනවා“

කිසිවකු සිනහ පහළ කලේ නැත. එම ප්‍රශ්නයට ලොව තිබෙන සුදුසු ම පිළිතුර එය බව මම වටහා ගතිමි. අදටත් මාගේ සිතුවිල්ලේ වෙනසක් නැත. එයට වඩා යහපත් පිළිතුරක් තිබෙන්නට නොහැකිය. සැමට ම පෙර සෑම කෙනෙකු ම යහපත් පුද්ගලයෙකු වී සිටිය යුතුය. එයයි මෙලොව උපන් සෑම මනුෂ්‍යයකුගේ ම අභිප්‍රාය විය යුතු වන්නේ. ඔහු ගුවන් නියමුවකුද, එඬේරකුද එසේත් නැත්නම් අයිස්ක්‍රීම් වෙළෙන්දෙකුද යන්නෙහිද වටිනාකම තීරණය වනුයේ මනුෂ්‍යයකු වශයෙන් සමාජයේ ඔහුගේ හැසිරීම මුල් කරගෙනය. එසේ වූ සඳ මගේ දුවේ, කිසිදිනෙක මිනිසෙකුට තමන්ගේ පයින් තමන්ගේ කණ පිටුපස කසා ගන්නට සිදුවන්නේ නැත.


අනුවර්තනයකි.

පෙර අනුවර්තන :

114. මගේ ලස්සන බාලේ - මට නැති වූනු බෝලේ
115. මා බාල කාලේ - බල්ලෙකු හීලෑ කල තාලේ
116. පියානෝවේ තාලේ - මා රිදවූවයි බාලේ

Saturday, March 15, 2014

248. විශ්වාස කරන්නේනම් විශ්වාස කරන්න..Believe it or not ( With apologies to Robert Ripley ) - Operation First Anniversary.

දකුණේ ගුවන් තොටුපොලක් හැදීම එතුමාගේ හීනයකි.වරායක් හැදීම ද එහෙම එකකි. ඒ කිව්වෙ හීනයකි. ඒ හීන දෙකම එතුමා කොහොමහරි හැබෑ කරගත්තේය. තව මොනවත් හීන තියෙනවාද කියලා දන්නේ උඩ ඉන්න දෙයියන්ම විතරය. අවුලක් නැත. එහෙම හීන තියනවානම් ඒ ඔක්කොම හීන හැබෑකර ගන්ට එක මොහොතින් ණය දෙන්ට ඇස් හීන් මිනිසුන් වසන රටක් සැදී පැහැදී ඉන්නවාය.

ගල් අඟුරු විදුලි බලාගාර එහෙම හදා දෙන්ට ඔවුන් එක පයින් ලෑස්තිය. එහෙම හදපුවා අවුරුද්දේ වැඩි කාලයක් වැඩ නොකරනවානම් ඒක ඇස් හීන් මිනිසුන්ගේ වරදක් නොවේය. ඒකෙ වැරැද්ද මේ රටේ වසන අවාසනාවන්ත කාළකන්නි මිනිසුන්ගේය. ගල් අඟුරු බලාගාරය වැඩ කලත් නොකලත් ඒකට දුන්නු ණය පොළියත් එක්කම ගෙවන්ට ඕනෑය. ඒකෙ ආය දෙකක් නැත.ණය ගිවිසුමේ එහෙම කොන්දේසියක් ඇතිවාට සැක නැත.

මේ බලාගාරය නිතරම අබ්ලික් වෙන එක ගැන එතුමා එහෙට කතා කරලා ඇහුවාය.

" හලෝ..හලෝ..මේ මොකද ඔහෙලා අපට දුන්නු ගල් අඟුරු බලාගාරෙ නිතරම කැඩෙන්නෙ? "

" කැඩෙනවා???... නෑ වෙන්ට බෑ.."
එහෙං උත්තර ආවේය.

" නැත්තෙ මොකද? ඒක වැඩ කරනවාට වැඩි කාලයක් තියෙන්නෙ කැඩිලනෙ.."

" නෑ.නෑ ඒක වෙන්ට බෑ. ඔය අපි ඔහෙලට එවපු බලාගාරෙ මෙහෙ අවුරුදු විස්සක් යස අගේට වැඩ කලානෙ. ඉතිං කොහොමද ඕක දැන් හරියට වැඩ කරන්නෙ නැහැය කියන්නෙ.."
එහෙං විස්මයට පත්වූ හඬකින් උත්තර ලැබුනේය.

" ඒකත් හරි තමයි බලාගෙන යනකොට " එතුමා කිව්වා නොව එතුමාට කියවුනේය.

නෙලුං පොකුනක් සහ නෙලුං කුලුනක් හදන එකද එතුමාගේ හීනයකි. ඒ දෙකෙං පොකුන නම් හදා ඉවරය.කුලුන වැඩ පටන් අර ගෙනය. ඔව්වට නම් දාපු මනුස්සයා මොනව උනත් හැබෑ දක්සයෙක්ය. නෙලුං කිව්වම අර වතුරෙ පිපෙන මලට අමතරව අම්බානක ගහනවා යන තේරුමත් එනවාය." ඌට නෙලුවා කට්ටිය වටකරගෙන " " නෙලපිය නෙලපිය ඕකට " අන්න එහෙමය. එතකොට මේ පොකුන සහ කුලුන දෙකෙන්ම රටේ එදාවේල හොයා ගන්ට දහ අතේ දඟලන මිනිස්සුංටම නෙලිල්ලක් තමයි සිද්ද වෙන්නෙ කියන අදහසින් ඔව්වට නෙලුං පොකුන සහ නෙලුං කුලුන කියල නම් දැම්මා වෙන්ටත් පුලුවනිය. ඔව්වා දන්නේ ඒ ගොල්ලන්මය.

වරායේ මහ ගල් පතයක් නිසා නැව් එන්නේ නැතිබව මිනිස්සු තැන තැන කියන්නෝය.ඒ ආර්තික විද්දියාව ගැන මෙලෝ හසරක් නොදන්න මෝඩ බුවාලාය.නැව් නාවාට වරායේ ගල කැඩීමේ වියාපුරුතිය හින්දා රස්සාවල් දහස්ගනනක් ඇතිවෙනවාය. ඒ මෙහෙමය. ගල තියෙන්නේ වතුර යටය. වතුර යට තියෙන ගලක් කඩන්ට ගොඩ ඉඳං බැරිය.ගිණි මද්දහනේ මහ පාර මැද වෙඩි තියාගෙන ඔලුවෙ වෙඩි උණ්ඩයකුත් එක්ක ඉන්නවයි කියන අතීතය මොකවත් මතක නැති මහජන නියෝජිතයෙකුට උනත් ඒක තේරෙන්ට ඕනෑය.

ඉතිං වතුර යට ඇති ගල කඩන්ට වතුරේ කිමිදෙන්ට ඕනෑය. ඔන්න එතකොට කිමිදුම් කරුවන්ට රැකියා අවස්තා උත්පාදනය වෙනවාය.වතුරේ කිමිදෙන්ට සාටක සහ නැෂනල් ඇඳගෙන බැරිය. ඒකට අමුඩයක් ගහ ගන්ට ඕනෑය. එතකොට අමුඩ නිස්පාදනය ඉහල ගොස් තවත් රැකියා අවස්තා උත්පාදනය වෙනවාය. අමුඩ ඇඳගෙන කිමිදී ගල් කඩා ආපහු උඩට ආවාම ඇඟ පිහගන්ට ඕනෑය. අන්න එතකොට බූල් තුවා නිස්පාදනය ඉහල යනවාය.

වතුර යට බොහොම වෙලා ඉන්නකොට ඇඟපොත හීතල වෙනවාය. වෙව්ලන්ට ගන්නවාය. ඒකට ප්‍රතිකර්මය නම් එක්කෝ මලක් හෝ සුමිහිරි පානය ජුංඩකි.ආන්න බලන්ට මල් වගාව සහ ලඳු කැලෑවල, බඩවැටිවල කෙරෙන දේසීය කර්මාන්ත එතකොට දියුණු වෙනවාය. ඒ වරායේ ගල ගැනය.

ගුවං තොටුපොලට ගුවං යානා එන්නේ නැත කියලත් ඔය හැම දේකම වැරදිම හොයන කොහාටවත් නැති අපතයෝ කිය කිය යනවාය. ඔය මොකවත් නොදන්න මෝඩයෝ හිතාගෙන ඉන්නෙ ගුවං තොටුපොලක්ය කිව්වම නිතර දෙවේලේ මේ කෙහෙල් වත්තට නැත්තං ගුණසිංහ පුරේට බස් එනව වගෙ පෙලේං එන්ට ඕනෑය කියලාය. එහෙම ඕනෑ නැත. අපේ සාඩම්බර අතීතයෙං ඕනෑනං උදාහරන දිය හැක. අපේ ජාතියේ ස්‍රේස්ට අතීත නරපතියානන් වන රාවනා මහරජතුමාගේ ( ඕං නමඃ නමෝ නමඃ ශ්‍රී රාවණා, සිද්ධි රස්තු!!! ) එයා පෝට් එක තිබුනාය කියන්නේ වාරිය පොලය. ( වා = වායු හෝ ගුවන්, රිය = රතය , පොල = තැන, එතකොට වාරියපොල = ගුවනේ ගමන් කරන 
රත නැවතුම් පොල )

ඒ කාලෙ මුලු ලෝකෙටම ගුවං යානයක් තිබුනේ එතුමාට විතරය. එතකොට වාරියපොල ගුවං තොටුපොලට බස්සවන්නේ එතුමාගේ දඬුමොණරය විතරය. ඒකත් ඔය කාලාන්තරයකට සැරයක් එතුමා ගුවන් ගමනක යෙදුනොත් විතරය. අර සීතා නම් ඇහැට කනට පේන ගැටිස්සී උස්සගෙන ආවා වගේය. ඒ ඇවිදිං ගොඩ බැස්සාය කියන්නෙත් ඔය වාරියපොලටමය. 

අපේ අතීතය අන්න ඒ වගේය. එහෙමනම් ශ්‍රී රාවණා යුගයේ අතිත ශ්‍රී විබූතිය යලි ඇතිකිරීමට නම් මාස දෙකකට සැරයක් වගෙ ගුවං යානයක් ගොඩ බස්සන ගුවන් තොටුපොලක් තිබීම අත්‍යාවශ්‍යය. දකුණේ හැදුවේ අන්න එහෙම එකකි. මේ සුට්ටං කාරනේවත් නොතේරෙන මෝඩයිං උඩ පැන්නාට කරන්ට දෙයක් නැත.

ඒ ගුවං තොටුපොලට ගුවං යානා එන්නේ නැත්තේ දාවන පතය හරහා මොණරු පියාඹන නිසාය කියන කතාව ද ඔය වගේම මෝඩ කතාවකි. දකුනේ දක්ස වෙඩික්කාරයින්ට රැකියා අවස්තා උත්පාදනය වීම ඔය මොණරුන් පියෑඹීමේ කේස් එකේ අනිවාර්ය ප්‍රතිපලයකි.

එසේත් නැත්නම් විකල්පයක්ද ඇත. ආගමන, විගමන නිලදාරීන් සහ රේගු නිලදාරීන් බඳවාගන්නාවිට වෙඩි තැබීමේ දක්සතාවයද සලකා බැලිය යුතුය. ලිඛිත පරීක්සනයෙන් පසු කට්ටියම මිදුලට එක්කගෙන ගොස් අඩි දෙසීයක් දුරින් ඇති සජීවී ප්‍රමාණ මොණර රූපයකට වෙඩි තැබීමට සැළැස්විය යුතුය.එවිට ලිඛිත පරීක්සනයෙන් ලබාගන්නා ලකුනු වලට වෙඩි තැබීමේ පරීක්සනයේද ලකුනු එකතු කොට දක්ෂයින් තෝරා ගැනීමට පුලුවන.

එහෙම තෝරාගන්නා රේගු සහ ආගමන විගමන නිලදාරීන්ට විවේක වෙලාවට දාවන පතේ හරහා පිහාඹන මොනරුන්ට වෙඩි තැබීමේ නිරත විය හැක. මාසය අන්තිමේ නියමිත වැටුපට අමතරව මරන ලද මොනරුන් ගනන අනුව දිරි දීමනාවක් ගෙවීමෙන් මේ මයුර ඝාතන ව්‍යාපෘතිය වඩාත් සාර්තක කර ගත හැකි බවට සැක නැත.

දකුණේ ගුවන් තොටුපොලට මාස තුනකින් ගුවං යානයක් බස්සවා නැත. සුමාන දෙකෙකට උඩදී එතුමා ගමේ ගියේය. එතුමා ආපු ආරංචියට ගමේ හිතවත්තු නෑදැයෝ වට උනෝය.

" ආ..විලියොං අයියා.." එතුමා පොඩි එකා කාලෙ එකට හොටු නාවර පෙරාගෙන සෙල්ලං කරපු යාලුවෙක් දැක කටපුරා හිනාවී කතාකලේය.

" එහෙමයි.." විලියොං අයියා දෙකට නැමී අහිංසක ලෙස හිනැහුණේය.

" ඉතිං කොහොමද? " එතුමා ආයම ඇසුවේ විලියොං අයියාගේ උරහිසට අතක් තබමිනි.

" අනේ අප්පෝ..කියන්ට තරං නං වරදක් නෑ.. ඒත් මේ..ඒත් මේ.." විලියොං අයියා තැටමුවේය.

" ඔව් මොකද්ද ප්‍රශ්නෙ?...බය නැතුව කියන්ට…" එතුමෝ විලියොං අයියා දිරිමත් කලෝය.

" නෑ…..මේ නෑ..මේ අපේ මිනිබිරීට ආසියාන්තරාවක් බලන්ට ඕනය කියල අර පෙලේං බාන පිටැන්න ගාවට එක්ක ගියා. දැං මාස තුනකිං මෙහා පෙලේං එකක් බැස්සුවෙ නැතිලු එහාට. ඒකි හරිම දුකෙං ඉන්නෙ.." විලියොං අයියා බෝම දුක්මුසුව කිව්වේය.

" මොනවා ??? " එතුමා ඉඳගෙන උන් හාන්සි පුටුවෙන් උඩ පැන නැඟිට්ටේය.අතේ තිබූ බෝලය මිරිකාගෙන මිරිකාගෙන ගියේ ඇති වීරියෙනි.

ඔය බෝලයක් අතේ තියාගෙන මිරිකීමේ සෙල්ලම එතුමා ඉගෙන ගත්තේ අර ආදං ගෙන්ය. ආදං කිව්වට අර ඒවත් එක්ක සමෝසමේ ඇපල් කාපු ඒදං උයනේ හිටපු ආදං එහෙම නෙවෙයිය. මේ ඇවිල්ලා ආදං ජිල්ක්‍රිස්තුය. 2007 ලෝක සූරතා අවසාන තරඟයේ ගොල්ෆ් බෝලයක් මිරිකමින් පන්දුවට පහරදී ශතකයක් රැස්කලේ ඔය ආදං නම් බුවාය.ආදංගේ එදා ඒ බෝල මිරිකීමේ සෙල්ලමිං අපිට කෙලවුනේ නන්නත්තාර වෙන්ටය.එතුමා ඒ මැච් එකද බලන්ට ගියේය. ඔය බෝල මිරිකීමේ ආශ්චර්ය එතුමා ඉගෙන ගත්තේ අන්න එදාය.

" ඉන්ට ...මම දැන්මම පියවරක් ගන්නව ඔය ගැන. මාස තුනකින් එක ප්ලේන් එකක්වත් ආවෙ නෑ?... මම මේ කිසිදෙයක් දැනගෙන හිටියෙ නෑනෙ. " එතුමා වහාම කොළඹට කතා කලේය. ඒ දෙවෙනි එතුමාටය.

" මොකද මේ මෙහෙට මාස තුනකිං ප්ලේන් එකක් බස්සල නැහැය කියන්නෙ? "

" ********************** "


" එව්වයිං මට වැඩක් නෑ. මේ අපේ විලියොං අයියගෙ මිණිබිරීට ප්ලේන් එකක් බස්සනව බලන්ට ආසයිලු. වහාම තව සති දෙකක් ඇතුලත මෙහාට ප්ලේන් එකක් බස්සන්ට කටයුතු සලස්වන්ට ඕන, තේරුණෙයි? "

" ********************** "


" මම කිව්වනෙ මට වැඩේ කෙරෙන විදිහෙං වැඩක් නෑ..මට ඕන වැඩේ කෙරෙන්ට විතරයි. "

" ********************** "

" යුද්දෙ ගැන මම කිව්වෙත් එහෙමනෙ. මේකත් ඒ වගේම කෙරෙන්ට ඕන. එච්චරයි. "


" ********************** "

" මේ දහ අට වෙනිද මේක විවුර්ත කරල අවුරුද්දකුත් වෙන්ට එනව. එදාට මේකෙ හරක් බැඳල තනකොල කවන්ටද මට සිද්ද වෙන්නෙ? වහාම මොනවහරි කරල දහ අට වෙනකොට ප්ලේන් එකක් බස්සවන්ටම ඕන...."

" ********************** "


" මේ එව්ව කියල හරි යන්නෙ නෑ. තමුං යුද්දෙ කලා තමයි. වෙලාවට ආයුද ටිකයි මැරෙන්ට හරි ඉස්සරහට යන්ට කොල්ලොයි ඉන්නකොට යුද්දයක් කරන එක මහ ලොකු දෙයක්ද? දැං යුද්දෙ ඉවරයිනෙ..මදැයි ඔය යුද්දෙ යුද්දෙ කියල ඒ පිට දාල ආතල් ගත්ත. දැං මම මේ කියන එක කරනව. "

" ********************** "

" මොකක්? මම කරන්නෙත් ඒකමයි කිව්ව? "


දඩාස් යන අනුකරනයෙන් ටෙලිපෝනය පොලවේ ගැසූ එතුමෝ බෝලය ඇති විරියෙං මිරිකාගෙන මිරිකාගෙන ගියෝය..

" සති දෙකකිං ප්ලේන් එකක් මෙහාට බායි. පොඩි එකී එක්ක ගිහිල්ල පෙන්නන්ට. " එතුමා විලියොං අයියා දෙසට හරී දැනුම් දුන්නේය.

" ඔබ තුමාට පිං " විලියොං අයියා දෙකට නැමුණේය.

කොළඹ සිටි දෙවෙනි එතුමාගේ නැට්ට ගිණිගත්තේය. ලොක්කාට මල පැන්නාම වෙන ගිනි විජ්ජුම්බර පොඩි කාලේ සිට අත්විඳ පුරුදු එතුමෝ තම විශ්වාසනීය හදිසි මෙහෙයුම් බලකාය සේවයට කැඳවූයේය. ඔවුන්ට තත්වය පැහැදිලි කල දෙවෙනි එතුමා කොයි මක් කරලා හරි තමන්ව බේරාදෙන ලෙස ඉල්ලා සිටියෝය.

" හරි සර් මොකද කෙරෙන්න ඕන? " බලකායේ ප්‍රදානියා ඇසුවෝය.

" කොහොම හරි ප්ලේන් එකක් බාවලා දෙනව ඕයි අර වේලි වේලි තියන එයා පෝට්ටෙකට. " එතුමෝ බැගෑපත්ව ඉල්ලා සිටියෝය.

" හරි සර් ඕකත් ඒ හැටි දෙයක්ද? අර එල්.ටී.ටී. කාරයා. කනක්ක පුල්ලෙද කවුද, හැමෝගෙම ඇස් වලට වැලි ගහල අල්ලගෙන ආපු අපිට ඕක මහ දෙයක් නෙවෙයි. හරි අපි ඒ වැඩේ කරපු දිහායින්ම වැඩේ පටන් ගමු. සර් බය වෙන්න එපා. දහ අට වෙනිදා වෙනකොට ලෝකෙ තියන ලොකුම ප්ලේන් එකක් එහෙට බාල තියෙයි.සර් බය නැතුව සංවත්සර උත්සවේ ලෑස්ති කරන්නකො. "

Image - Daily Mirror

Monday, March 10, 2014

247. කරවල සුවඳ, කප්පල් කල්ලෙන්, ෆකිං සංගා සහ ආසියානු කුසලාන..Of Stereo Typing, Monica Lewinsky , Kurakkan Republics & Asia Cup

යම් රටක පුරවැසියෙක්ය කියන හැඟීම තදින්ම දැනෙන්න රටින් පිටවෙන්නම ඕන. විශේෂයෙන්ම දීර්ඝ කාලයක් රටින් පිටව ඉන්නකොට ඒ හැඟීම හොඳටම දැනෙනව. ඒත් එක්කම අපි හැමෝම අපේ රටේ නිල නොවන තානාපතිවරු. සාමාන්‍යයෙන් අපි විදේශයකදි හැසිරෙන කතාකරන විදිහ ඒ වගේම අපේ ගතිගුණ අනුව තමයි අපේ රට ගැන අනික් අය තීරණය කරන්නෙ. අපේ හෙන්රීස් ගොයියට ඉන්දියානුවො පෙන්නන්න බැරි එහෙම කේස් එකක් නිසා. එක අතකට ඒකෙ වැරැද්දකුත් නෑ. ස්ටීරියෝ ටයිපිං කියල එකක් තියනවනෙ.

ස්ටීරියෝ ටයිපිං ගැන සුට්ටක් හොයල බලද්දියි මෙන්න මේ විස්තරේ හම්බ උනේ. ලෝකෙ හැම ජාතියක් ගැනම වගෙ හැසිරීම් රටා සහ ගතිගුණ වර්ගීකරණයක් මෙතන තියනව. අපි ගැන තියෙන්නෙ මෙහෙමයි..හෙහ්,හෙහ්,

Sri Lankans – aggressive separatists; lazy; jealous; rebellious; ardent defenders of faith; friendly & warm people; conservative; strong beliefs in cultural norms; extreme traditional; uneducated, unskilled and unemployed; patriarchic and devoted women; believe in “natural evolution of things”; entrepreneurs; sometimes naughty deal makers; opportunist linguists – ‘Neither here nor there’

බොරුමත් නෙවෙයි බලාගෙන යනකොට..නැද්ද හා?

මම ඔය මුලින්ම මෙහෙ ආපු දවස්වල මගෙ අපාර්මන්ට් එකේ එකට හිටියෙ පකිස්තානුවෙකුයි ඉන්දියානුවන් දෙන්නෙකුයි. ඉන්දියානුවන් දෙන්නෙගෙන් එකෙක් කාශ්මීර්වල.මනුස්සයගෙ නම සුබයර්. මම සිව් සිය වසක පෙම් කතාවක් ලියද්දි කාශ්මීරයෙ තානායම් භාරකරුගෙ නම සුබයර් කියල දැම්මෙ ඒ මේ සුබයර් නිසා.

" Good evening sir, good evening madam,..... Welcome...... Welcome.... please come in..... this is certainly your home"

ඇඳුම් සහ වෙනත් අත්‍යාවශ්‍ය ආම්පන්න සහිත ගමන් මළු ඔසවාගෙන අප දෙදෙන පිටත අධික ශීතලෙන් මිදෙනු වස් හැකි විගස ඇරුණු ද්වාරයෙන් ඇතුළු වූයෙමු.

ඉන්දීය රජය මඟින් බොහෝවිට මහජන සේවයක් ලෙස පවත්වාගෙන යනු ලබන මෙම තානායම් සේවය බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ සිට පැවත එන්නකි.

සුවිසල් සාලයට පිවිසි මට හැඟුනේ නැවත වසර සියයක අතීතයට එක් වරම පිවිසියාක් මෙනි. ඉපැරණි ගලින් සැදුණු ගිනි උඳුනේ ඇවිලුනු ගින්න ගත මෙන්ම සිතද උණුසුම් කලේ එක මොහොතකිනි. තද දුඹුරු පැහැ කලාල ඇතිරූ ගෙබිම පාවහන් ඉවත් කරනට අපට අවසර ලබා දුනි. ගිනි උඳුන අසල සුව පහසු ආසන දෙකක දිග ඇදුනු අප දෙදෙන අත් පා ගින්න දෙසට දිගුකොට උණුසුම් වන්නට වීමු.

" තේ ද කෝපි ද සර්? " හිස නමා ගෞරව සම්ප්‍රයුක්තව ඇසූ තානායම් භාරකරු පියවර කිහිපයක් පසුපසට විය.

" මොනවද අපර්ණා?" .........මම ඇය දෙසට හැරෙමින් විමසුවෙමි.

" Coffee.......black " ඇය පැවසුවේ තානයම් භාරකරු දෙසට හැරෙමිනි.

" ඕ කේ. මැඩම්, By the way........my name is Zubair " පැව
සූ තානායම් භාරකරු ඈත බිත්තියේ තිර දැමූ දොරටුවකින් පිටවී ගියේය

ඔහු පිටවී ගිය දෙස ටික වෙලාවක් බලාසිටි අපර්ණා එක වරම ඉද්ද ගැසුවසේ හුනස්නෙන් නැඟිට ඉක්මන් ගමනින් ශාලාවේ ඈත බිත්තියේ එල්ලා තිබූ විශාල ප්‍රමාණයේ චිත්‍රයක් වෙත ගියාය. මොහොතක් ඒ නැරඹූ ඕ සහන් මෙහෙ එන්නකො වික්ශිප්තවූ හඬකින් මා ඇමතුවාය. මමද ගින්නේ උණුසුමෙන් ඉවත්ව ඈ වෙත ගියෙමි.

" මේ බලන්නකො........" ඈ එම සිතුවම වෙත සුරත දිගුකලාය.

අනෙකා පන්ජාබ්. සීක් ජාතිකයෙක්. අපේ කුස්සිය පොදුයි. ඒ නිසා මාරුවෙන් මාරුවට තමයි උයා ගන්නෙ. සිකුරාදා, සතියෙ එකම නිවාඩු දවසෙ වැඩේ බොහොම දුෂ්කරයි. ඒත් ඉතිං සහයෝගෙං වැඩේ කරගන්නව.

මගෙ ප්‍රියතම කෑමක් තමයි කරවල. හප්පා..බී ලූණු අමු මිරිස් එහෙම පෙති ගහල දාල පදමට බැද ගත්තම වෙන මොකවත් ඕන නෑ. ගෑවිච්ච ගෑවිච්ච තැන බත් දාගෙන කෑහැකි. කට්ටා, අංගුලු, මෝර,බල, සූඩයි, කීරමින් ඔය කොව්වටත් මම මනාපයි. කරෝල කටු හොද්ද ඊට එහා. කරෝල හොද්ද උයපු ඇතිළියෙ බත් දාගෙන කනව වගෙ රහක් නැතුව ඇති මේ තුං ලෝකෙම.

ඔය හොදි මාළු උයපු ඇතිලියටම බත් දාගෙන කන එක මට පුරුදු කලේ අපෙ අත්තම්මා.

" එන්ටකො සුට්ටි පුතේ මේකෙං කටක් කවන්ට , බලන්ටකො රහ හේම කොහොමද කියල. "

කෑගල්ලෙ අපෙ කුස්සියෙ දුම ගාව බිත්තියට හේත්තු කරල තිබ්බ ලොයි බංකුව උඩ ඉඳගෙන වමතෙ අල්ල උඩ තියාගත්තු ඇතිළියෙ දමාන හොදි මාලු එක්ක බත අනන ගමන් උන්දැ එහෙම කියන සුනංගුවට කකා හිටපු බත් එක ඔය කොහෙ හරි තියල මම දුවන්නෙ විදිල්ල වගෙ.

" හා, හා, ඉතිං ඔය බලාගෙන ..මේ බත් ටික කාල යන්ඩකො ළමයො " අම්ම කෑගැහුවට එව්වයෙ ගානක් මට නෑ.

උණු අළු පල්ලෙ දාල කරෝල පුස්සල කන එක, දෙහි ජුංඩකුත් මිරිකල...හෙහ්,හෙහ්, මතක් කරන්ට එපා...

වැව් මාළු කරවල රහට මම හුරු උනේ ඔය කැළේ මැද්දෑවෙ රස්සාවට ගියයිම් පස්සෙදියි. විශේෂයෙන්ම ලූල් කරවල...ආ..තව එකක් කියන්ට ඕන...ඔය හොඳ කරවල තෝරගන්ට බෑ ඒ ගැන දැනුම් තේරුම් නැති කෙනෙකුට. අර අපේ ජානිස් ගොයිය ඉන්නවනෙ..ඒ මහගෙ ඔය කරෝල තේරිල්ල ගැන ඇක්ස්පර්ට්. උන්දැ කරනවයි කියන්නෙ කරෝලයගෙ පෙන්ද කනව කෙලින්ම. එහෙම තමයි වෙරි ගුඩ් ඇන්ඩ් ටොප් කොලිටි කරෝල උන්දැ තෝරනවයි කියන්නෙ.එවුන්දැගෙ අම්ම තමයි ඔය කරවල ඇගයිමේ ක්‍රමවේදය කියා දුන්නයි කියන්නෙ.

ඉතිං මම මෙහෙ ආපු අලුත ඔය බඩු ගන්න සුපර් මාකට් එකට ගිය පළවෙනි දවසෙම මම හතීකොණ හොයා බැලුවෙ කරෝල නැද්ද කියල. කරවාඩු ඉල්ලෙයා? කියල ඇහුවම දැනට ඉවරයි. ලබන සතියෙ විතර ඒවිය කිව්ව.ලබන සතියෙ තමා..මාස දෙකක් වගෙ ගියා වැඩේට. ඔන්න එක බුරාස්පොතින්දාවක හවහ මම සතියෙ බඩු ගන්ට යද්දි මෙන්න බඩු ඇවිල්ල. ග්‍රෑම් දෙසිය පණහෙ වගෙ පැකට්.

අම්මාපල්ල, දැක්කගමං මයෙ කටට කෙල ඉනුව. ජනූගෙ වලිගෙ හපන සෙල්ලං කරන්ට බෑ, පැකට් කරලනෙව තියෙන්නෙ. මොනවද රතු පාට වගෙ ජාතියක්..ආය මොනව උනාම මොකද..ගත්ත සල්ලි සල්ලි කියල බැලුවෙ නැතුව පැකට් දෙකක්ම.

බුරාස්පොතින්ද දොලහමාර වෙනකොට මම ඕෆ්. මම වැඩ හෙඩ් ඔෆිස් එකේ. අනික් එවුං තුන්දෙනා, පකිස් ගොයියයි, ඉන්දියානුවො දෙන්නයි වැඩ සයිට් එහෙක. එවුං එනකොට පහ වගෙ වෙනව. ඊලඟ බුරාස්පොතින්ද ගෙදර ආපු ගමං ලූණු, මිරිස් එහෙම යහමිං කපල දාල බැදපි කරෝලයා. අම්මපා බදිනකොට ආපු සුවඳ අහ අහ බත් කන්ට තිබ්බ පිඟං දෙකක් තුනක් විතර.

කරෝල බැදපුව එයා ටයිට් බාජනේක දාල වැහුව. වෙන්ටිලේටර් එක දැම්ම පුල් වොලියුම්. කුස්සියෙ දොර ජනෙල් ඔක්කොම ඇරල දැම්ම හායි ගාල.හෙහ්, හෙහ්, හායි ගාල කියන කොට මතක් උනේ. අපි දෙන්න අර ඉස්කෝලෙ ක්වාටර්ස් එකේ ඉන්න කාලෙ ඒ ඉස්කෝලෙ ඉංග්‍රීසි ගුරුතුමී...ඒ උන්දැ කියන්නෙ " කොහෙද අනේ ඔය දෙන්න ගියේ?... මම ඒත් බැලුව දොර ජනෙලුත් හෑයි ගාල ඇරල දාල කොහෙද ගියේ කියල." මට නේද? හිනාව ගිලගෙන ඉන්නෙ බොහොම අමාරුවෙං..අපෙ උන්දැ මට රවනව හිටු කියල...හෙහ්,හෙහ්,

මෙහෙ ගෙවල්වල ජනෙල් දොරවල් බීඩිං එහෙම දාල අගේට සීල් වෙන්ට හදල තියෙන්නෙ. දූවිලි එන නිසා. ඒ නිසා ගේ ඇතුලෙ මොනවහරි හැලුනොත් එහෙම ආය හොදි ඕන නෑ. මාසයක් තියනව ඒ ගඳ හරි සුවඳ හරි. සුට්ටක් විතර වැඩිවෙලා මහ බැංකු අධිපති එහෙම වගෙ උනොත් අනාථයි සහනාධාරයි තමා. අන්න ඒ නිසයි මම ඒ.සී.,වෙන්ටිලේටර් අරකද මේකද රටේ තියන ඔක්කොම ෆුල් බ්ලාස්ට් දැම්මෙ.

ඔන්න හවස පහට පහමාරට වගෙ අනික් එවුං ආපි. අම්මාපල්ල කිව්වට විස්වාස කරන්ට අර සීක් එකා කෙලින්ම සික්ම උනා. කුස්සියට ආවෙත් නෑ ඌ. සාලෙදිම ඌ කටත් මිරිකගෙන ටොයිලට් එකට දුවල වමනෙ කලා.අනික් දෙන්නටනම් එච්චරම දරුණු උනේ නෑ කේස් එක.එවුං දෙන්න එක පාරක් මගෙ මූණ බැලුව.." What's that disgusting smell? " කියල කාමර වලට ගිහිල්ල දොරවල් වහගත්ත. මට නේද? වහ ටිකක් තිබ්බනං අම්මාපල්ල කනව ඔන් ද ස්පොට් එතනම. වහ නැති හින්ද කලේ බත් ටිකක් බෙදාගෙන කරවල කෑලි දෙක තුනකුත් දාගෙන කාගෙන කාගෙන ගිය එක.

පස්සෙ මම ඉතිං අරුං තුන්දෙනාගෙන් සමාව ඉල්ලුව. එහෙම කරන්න එපාය? සාමූහිකත්වය කියන්නෙ ඒකයි.එකට ඉන්නකොට අපිට ඕන විදිහට වැඩ කර්න්නම බෑනෙ . යම් කැපකිරීමක් කරන්න වෙනව. දැං මෙහෙම බලමු. මම මත්පැන් පානය කරනව. ඉතිං තර්ස්ඩේ නයිට් ඇන්ඩ් ප්‍රයිඩේ දවසම ඔය පොඩ්ඩ පොඩ්ඩ ගන්නව. පත්තර, පොත් බලන එව්ව. ටී.වී. බලන එව්ව, රෙදි පෙරෙදි හෝදන එව්ව, ඉවුම් පිහුම් කරන එව්ව ඔක්කොම කරන්නෙ මද පමණට සන්තර්පණය වෙලා තමයි. අපාර්ට්මන්ට් එකේ සාලෙ හැමෝටම පොදුයි. ඒත් එහෙම කියල මම සාලෙට වෙලා බොන එක හරි නැහැනෙ. අනික් තුන් දෙනාම අමද්‍යප. අනික් අතට මාසෙකට සැරයක් වගෙ මගෙ යාලුවෙක් ආහම උං හෙමිහිට උංගෙ කාමර වලට යනව සාලෙ අපිට ඉඩ දීල. අන්න ඒකයි මනා අන්ඩර්ස්කර්ට් එක කියන්නෙ. එහෙම තියෙන්න ඕන. නැත්තං මේ ලෝකෙ අමාරුයි ජීවත් වෙන්ට.

දැං මම ඔය බොන එක අපේ අනික් එවුං තුන් දෙනාට මාර ප්‍රශ්නයක්වෙලා තිබ්බෙ.

" Aren't you a Buddhist? I always thought drinking is prohibited in your religion. Ravi please understand, I am not being inquisitive just want to know "

මාසයක් දෙකක් ගිහිල්ල ටිකක් දැන අඳුනාගත්තට පස්සෙ සිකුරාදා උදේ වරුවක සාලෙ වාඩි වෙලා කතා කරකර ඉන්දැද්දි එහෙම ඇහුවෙ කුල්දීප්... අර සික් ජාතිකයා..

" No., no, no, that's Ok ..yes, you are correct. taking hard liquor is actually discouraged in our religion. but the problem is I like drinking, so I drink, that's all, nothing more, nothing less "

Rene Descartes තමයි කිව්වෙ " I Think , Therefore I am " කියල . ඒ වගෙ මමත් කියනව " I Drink, therefore I am "


හෙහ්, හෙහ්, කොහොමද නරකම නෑ නේද ආතල් එක..බලාගෙන ගිහාම දර්ශනවාදියෙක් වෙන එකෙත් ඒ හැටි ගේමක් නෑ. ඕකෙ I Drink කෑල්ල වෙනුවට ඔය ළමයි කැමති ඕනම එකක් දාගන්ට. ඔය බ්ලොග් එකේ නමට යටින් දාගන්ට එහෙම අන්තිම අපූරුයි මට හිතෙන්නෙ.

ඉතිං ආපහු කුල්දීප් ගැන. මතකනෙ? අර පන්ජාබ් පොර... ඕකා ආපහු පන්ජාබ් වලට ගිය දවසක කියයි. " හාපෝ ලංකාවෙ සිංහලයොද? එවුං මාර බේබද්දො කට්ටියක්. බොන එකමයි වැඩේ " කියල. ඒත් ඇත්තටම එහෙම ස්ටීරියෝ ටයිප් කරන එක හරිද? ඒ වගේම තමයි ඒකෙ අනික් පැත්ත. ඔය කුල්දීප් බොහොම ආගම දහමට ලැදියි. ඒත් හැම සික් කාරයම එහෙමයි කියල මම කිව්වොත් ඒක වැරදියි. අපි පිටරටකට ගිහාම නිල නොවන තානාපතිවරු වෙනවයි කියල මම අර කලින් කිව්වෙ ඒකයි.

මම මෙහෙ ඇවිල්ල මාස හයකට වගෙ පස්සෙ අපේ පී.ආර්.ඕ. නැත්නම් මහජන සම්බන්ධතා නිලධාරී තනතුරට ආව සෝමාලියානුවෙක්. පී.ආර්. ඕ. කිව්වට මිනිහට තියෙන්නෙ වැඩ කරන සේවකයින්ගෙ පාස්පෝට්, නේවාසික බලපත්‍ර වගෙ එව්ව අලුත් කරන්ට අවශ්‍ය වැඩ කටයුතු කරන එක.සෝමාලියාව කුප්‍රකට මොකටද කියල දන්නවනෙ? හෙහ්,හෙහ්,

මිනිහට මම ඔය ජොලියට වගෙ නමක් දැම්ම " කප්පල් කල්ලෙන් " කියල. කප්පල් කියන්නෙ දෙමළෙන් නැව්, කල්ලෙන් කියන්නෙ හොරා. අපෙ හෙඩ් ඔෆිස් එකේ ස්ටාෆ් එකෙන් තුන් කාලකට වගෙ දෙමල පුලුවන්. එක්කො දෙමල නැත්නම් කේරළ. කේරළ අයටත් දෙමල තේරුම් ගන්න පුලුවන් . මම අර සෝමාලියානුවට, මිනිහගෙ නම අහමඩ්, ඒ නම දැම්ම එක ඔය කවුරුහරි මිනිහට කියල. මා එක්ක තරහ වෙලා හිටිය සති දෙකක් විතර. පස්සෙ බොහොම අමාරුවෙන් ආයම ෂේප් කර ගත්තෙ. ඒ එක ස්ටීරියෝ ටයිපිං එකක්.

ලංකාව දැන් ඇත්තටම ස්ටීරියෝ ටයිප් වෙලයි තියෙන්නෙ අදූරදර්ශී, මාන්නාධික බලලෝභී පාලක පැලැන්තියක් සහ අන්තවාදී, ගෝත්‍රික, අවිචාරශීලී, ආගමික උන්මාදයෙන් පෙලෙන පූජක පැලැන්තියක් සහ එදා වේල ට්‍රැවල්ස් වර්ගයේ බඩගෝස්තරවාදී ජනතාවක් ඉන්න රටක් විදිහට. නිල නොවන තානාපතිවරු වගෙ වැඩ කරද්දි අමාරුම වැඩේ මොකක්ද දන්නවද? රට වෙනුවෙන් ප්‍රශ්න වලට උත්තර දෙන එක.

එක දවසෙ නැතුව කඩින් කඩ ඡන්ද තියන එක අසාධාරනයි නේද?

තමන් එක්ක තරඟ කරල පැරදුනු අපේක්ෂකයා හිරේ යවන එක හරි නෑ නේද?

තමන්ට අහිතකර තීන්දු දුන්නයි කියලඅගවිනිසුරුවරිය පන්නල දාන එක සදාචාරයට එකඟද?

දේශපාලන හයියෙන් මිනීමරන අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වීම මෙතරම් ප්‍රමාද ඇයි?,

ජනවාර්ගික අර්බුදයට විසඳුමක් විදිහට ඔයාල මෙතෙක් කල් කලේ මොනවද?


ඔන්න ඔව්වට උත්තර දෙන්න ගිහාම තමයි මුක පූට්ටු වෙන්නෙ. මම කලින් වැඩ කරපු කොම්පැනියෙ අපෙ චීෆ් එකවුන්ටන්ට් පිලිපීන් ජාතිකයෙක්.එයාගෙ දුව මෙහෙ යුනිවසිටි එහෙක උපාධියක් කරනව අන්තර් ජාතික සබඳතා තමයි විෂය. ලෝක ප්‍රසිද්ධ යුනිවර්සිටි එකක්. අමරිකාවෙ ජෝජ් ටවුන් යුනිවර්සිටිය.බිල් ක්ලින්ටන් ගොයිය එහෙම ඒකෙ ආදි සිස්සයෙක්. මතකනෙ බිල් ගොයිය නේද? අර මොනික ළමය එක්ක එහෙම..ආන්න හරි..ආ..ඔව්..ඔව්..ඔය අමරිකාවෙ ජනාදිපති වැඩෙත් දෙපාරක්ද කොහෙද කලා තමයි. ඒත් මිනිහ ලෝක ප්‍රසිද්ද උනේ මොනිකගෙ කේස් එක නිසා.

ඉතිං අර ගෑණු ළමයගෙ විෂයය Politics of South Asia, The Developments after gaining Independence. මගෙන් ඇහුව මොකවත් උදව්වක් කරන්න බැරිද කියල එඩ්ගා..එඩ්ගා කිව්වෙ අපෙ ඔෆිස් එකේ වැඩ කරපු ඒ ළමයගෙ තාත්ත. මම මා ගාව තිබ්බ බ්‍රැඩ්මන් වීරකෝන්ගෙ Rendering Unto Caesar පොත එහෙම දුන්න.... පොත දෙන එක නම් බැරිය..කාල ඉන්ට බැරි ඒ ළමය අහන ප්‍රශ්න වලට උත්තර දෙන එකනෙ. යන්තමට ඔහෙ මොන මොනව හරි බයිල කියල බේරුනා. නිල නොවන තානාපති තමයි...ආච්චිගෙ තට්ටෙ!!! එතනින් අයිංවෙලා වෙන තැනකට ආපු නිසා යන්තං ඒකෙං නං බේරිච්චි ඔන්න.

දැන් සතියකට හමාරකට ඉස්සරවෙලා ආසියා කුසලානය පටන් ගත්තනෙ.අපෙ ඔෆිස් එකේ ඉන්දියානුවන් සහ පකිස්තානුවන් බොහොම උනන්දුවෙන් ඒ ගැන කතා කලේ. ඉන්දියන් අය බොහොම බලාපොරොත්තු තියාගෙන හිටිය අනිවාර්යයෙන් කප් එක උංටම තමයි කියල. ඒත් සංගගෙ ශතකය ඒ බලාපොරොත්තු බිඳ දැමුව.

මගෙ අනික් පැත්තෙ මේසෙ ඉන්න ඉන්දියානුවා..නම අස්ගාර්..හැමදාම උදේම මම එක්ක ඒෂියා කප් එකේ විස්තර කතා කරනව. ඒත් ඉන්දියාව ලංකාවට පැරදුනාට පහුවෙනිද මිනිහ නෝ කතා නෝ සිනා.කම්පියුටරේ දිහා බලාගෙන වැඩ. විනාඩි දහකකට විතර පස්සෙ මම හෙමිහිට ඇහුව

" Asgar, what happened yesterday? "

" That bloody fucking Sangakkara " ස්ක්‍රීන් එක දිහා බලාගෙනම අස්ගාර් දත්මිටි කෑව.මට මැරෙන්ඩ හිනා.

" Yeah, agreed, he is a bloody fucking guy all right. " මම අහක බලාගෙන කිව්ව.

" What???.." අස්ගාර් මා දිහාට හැරුන. " What do you mean? "

" As far as I can remember Sanga has two daughters, so it's obvious that he is fucking... isn't it? "

" You are impossible …"
අස්ගාර් මගෙ පිටට ගහල මහ හයියෙං හිනාඋනා…

ෆයිනල් එක තිබ්බෙ පහුගිය සෙනසුරාදනෙ. අපිට නිවාඩු. දවල්ම පොඩි ආතල් එකකුත් ලෑස්ති කරල අපි තුන් හතර දෙනෙක් සෙට් උනා.

" මචං මේ මම නම් බොහොම කන්ට්‍රෝල් එකේ ගහන්නෙ...මට මැච් එක හොඳ සිහියෙං බලන්ට ඕන. "

ඔය වගෙ ෆයිනල්ස් නම් කීයක් මට බලන්ට බැරුව ගිහිල්ල තියනවද මේ බඩජහරිකම නිසා..ඒ නිසා මේ පාරනම් හිතාගත්ත මැච් එක ඉවර වෙනකල් එළඹ සිටි සිහියෙන් ඉන්නවයි කියල..සම්මා සති...

" අජන්ත මෙන්ඩිස් ගත්තු නැති එක කේස්...ඔන්න බලපං ඔතන තමයි වැඩේ අනා ගත්තෙ. "

ටොස් එක දාන්නත් ඉස්සරවෙලා එකෙක් කිව්ව. මටත් හැබැයි එහෙම හිතිලයි තිබ්බෙ ඒ වෙලාවෙ වැඩේ වකූර් කරගාත්තවත්ද කියල..අනික අර යස්සය වසීම් අක්‍රම් ඒකමනෙ කිව්වෙ. අජන්ත මෙන්ඩිස් නොගත්තු නිසා මිනිහ බොහොම සතුටු වෙනවයි කියල. ඔන්න ඒ ගමන තවත් හිත හෝන්දු මාන්දු වෙලාගියා. ඒ පාර ටිකක් වැඩිපුර වක්කරල දාගත්ත ෂොට් එකක් ඕන මඟුලක් පණං අටයි කියල.

ආනල්ඩ් එහෙම ඔක්කොම කිව්වෙ බැටිං විකට් එකක්ය ෆස්ට් බැට් කරල 280 වගෙ ගැහුවොත් බඩු ෂුවර්ය බඩේ බත් වගේය කියල. ඔන්න ටොස් එක දාපි . ඇන්ජලෝ ඒක පැරදිච්චි.

" We will bat " මිස්බා කියාපි. මගෙ පපුව හීතල වෙච්චි. බඩ පපුව දිහායිං රත්වීගෙන ආපු ගැම්ම එහෙම්මම බැහැල පලච්චි.

" ඒකත් කෙළ වෙච්චි එහෙනං.." තව සාමාජිකයෙක් කිව්ව.

මාලිංගය කෙස්ස හොල්ල හොල්ල ඇවිල්ල හෙල්ල විසිකරනව වගෙ දාපු බෝල දෙහෙකටම අර ඕපන් කරපු මොකාද එකා හතරෙ පාරවල් ගහපි.ඒ පාරනං අපි ඔක්කොම හිතුවෙ වැඩේ මේ පාරත් අන්දොස්ම තමයි කියල.

" යකෝ ෆයිනල්ම නම් දැන් කියක්ද? වර්ල්ඩ් කප්ම දෙකක්. "

ඒත් මේ පාර සැනසීමකට තිබ්බෙ එකයි.රජ්ජුරුවො බෝලෙත් මිරික මිරික මැච් එක බලන්ට ගිහිල්ල හිටපු නැති එක.

" අන්න එච්චරයි මචං සැනසීමකට තියෙන්නෙ.."

මට එහෙම කියල කටගන්ට හම්බ උනේ නෑ. මාලිංගය ගත්ත විකට් එකක්..ඇරපිය අරපිය ලුසිය දොර...ඒ ෆස්ට් ඕවර් එක. අනික් පැත්තෙං ලක්මාල්ගෙ ඕවර් එකත් මරු. ඊලඟ ඕවර් එකේ අප්පටසිරි තව විකට් එකක්..මාලු කඩේ මාලු කඩේ ජොරා මම...තුන්වන ඕවරය..තුන්වන විකට්ටුව...සුරුට්ටුව...සුරුට්ටුව..පත්තු කර..ගන්නට ඇරපිය ලුසිය දොර..

ඊට පස්සෙ ආය කිසි ගින්නක් නෑ..බඩේ බත් වගේ තමයි..කප් එක අපේ..ඒ වගේම වැඩේ සිද්ද උනා. හැබැයි පොඩි මිස් ෆයර් එකක් ගියා. එකම වෙලාවක මගෙ ප්‍රෙෂර් එක 160 / 120 වගෙ නැග්ග.ඒ කුසල් පෙරේරයි සංගක්කාරයි අජ්මල්ට බෝල දෙකකදි අවුට් උන වෙලාවෙ.

පට ගාල ප්‍රෙෂර් පෙති දෙකක් ගැහුව පොඩි ෂොට් එහෙකුත් එක්ක. ඒ එක්කම මහේල ගොයියයි තිරිමාන්න ළමයයි එළකිරි සහ ඇල් ජලය වගෙ වැඩේ ගෙනිච්ච ඉස්සරහට. මගෙ ප්‍රෙෂර් එකත් එහෙම්මම නෝමල් උනා. කප් එකත් ඉස්සුවා දන්නෙම නැතුව. ඔන්න ඔහොමයි උනා කියන්නෙ. 

Image - Cricinfo

ශ්‍රීලාංකිකයෙකු වීම පිළිබඳව උද්දාමයට පත්වීමට හේතුවන කාරණයක් සිතාගැන්ම පවා අසීරු මෙවන් අඳුරු යුගයක මොහොතකට හෝ අපගේ සිත් සතන් අමන්දානන්දයෙන් ඉපිල යාමට හේතුභූතවූ ආසියානු කුසලාන විජයග්‍රහණය පිළිබඳව ඇන්ජලෝ සහ සපිරිවර සගයිනි, ඔබට අපගේ හෘදයාංගම වූ ගෞරව බහුමානනීය ප්‍රණාමය !!!

Thursday, March 6, 2014

116. පියානෝවේ තාලේ - මා රිදවූවයි බාලේ



නුඹ දන්නවාද මගේ දුවේ?.........

කුඩා අවධියේදී මගේ දෙමව්පියන් විසින් මා හට සෙල්ලම් භාන්ඩ බොහෝ ප්‍රමාණයක් ගෙනැවිත් දුන් අතර පෙර සඳහන් කරන්නට යෙදුනු බෝලය ඇතුළුව බොහෝ දේවල් ඒ අතර තිබිණ. ඒවායින් සෙල්ලම් කරමින් පසුවන අතරේ එක්තරා ලස්සන දිනකදී මට අරුම පුදුම භාණ්ඩයක් ලැබුණි. නමුදු එය මා මුලින් සිතූ පරිද්දෙන් සෙල්ලම් බඩුවක් නොවීය. එය දිස්නේ දෙන කළුපාට මතුපිටකින් යුත් අගනා පියානෝවකි. එහි විශාලත්වය කෙතරම් ද යත්, අපගේ විසිත්ත කාමරයෙන් හරි අඩක ප්‍රමාණයක් පියානෝව වෙනුවෙන් වෙන්විණ.


“තාත්තේ, ඔයාට මේක වාදනය කරන්න පුළුවන්ද?” මම ඇසීමි.

“බැහැ” යන්න පිළිතුර විය.

“එහෙනං අම්මේ, ඔයාට පුළුවන්ද මේක වාදනය කරන්න?” අම්මාගෙන් ඇසීමි.

“බැහැ” පිළිතුර පෙර පරිදි ම විය.

“හැහ්........... එහෙනං කවුද බොලේ මේක වාදනය කරන්න යන්නේ?” අම්මාත් තාත්තාත් හැර වෙන කිසිවකු අප නිවසේ නොවූ නිසාවෙන්, මට එය පුදුමයක් විය.

“වෙන කවුද ඉතිං... ඔයා තමයි!” එවර අම්මාත් තාත්තාත් එකවර පැවසූහ. 

“ඉතිං අනේ, ඒත් අනේ, මාත් දන්නේ නැහැනේ මේක වාදනය කරන්න”

“ඒකට මක් වෙනවද? ඔයාට සංගීතය ගැන බොහොම ඉක්මනට ඉගෙන ගන්න ලැබෙනවා” තාත්තා පැවසුවේය.

“දන්නවද පුතේ ඔයාගේ සංගීත ගුරුතුමිය කවුද කියලා. ඇගේ නම ඇනා ඉවානොව්වා” අම්මා ඒ පිළිතුර සම්පූර්ණ කලාය.

මොහොතකින් මා හට වැටහී ගියේ, එවර මා ලබා තිබුනේ අනභි භවනීය ත්‍යාගයක් බවයි. එයට පෙර කිසිමදාක ගුරුවරියක් පැමිණ සෙල්ලම් බඩුවකින් සෙල්ලම් කරන ආකාරය මා හට උගන්වා නොතිබිණ. එතෙක් කාලයකට ලැබුණු සියලුම නව සෙල්ලම් භාණ්ඩ සමග කටයුතු කිරීමට මම තනිව ම උගතිමි.

දින කිහිපයක ඇවෑමෙන් නව ගුරුතුමිය ප්‍රාදූර්භූත වූවාය. ඇය වැඩිහිටි කාන්තාවක් වූ අතර සිහින් ස්වරයෙන් කථා කරන්නියක වූවාය. ප්‍රථමයෙන් ඇය මට අසා සිටින්නට පියානෝව වාදනය කල අතර අනතුරුව ස්වර එකින් එක මා හට හඳුන්වා දෙන්නට වූවාය. ‍සියලුම ස්වර හතක් පමණක් වූ අතර ඒවා නම්, ස, රි, ග, ම, ප, ධ සහ නි විය.

ස්වර හත එක්වනම ධාරණය කර ගැනීම, හොඳින් සුද්ද කර දුන් කජු මද කන්නා සේ පහසුවිය. එයට හේතුව මම මගේ ම ක්‍රමයක් ඒ සඳහා යොදා ගැනීමයි. ඇත්තට ම එය මගේ ම ක්‍රමයක් යැයි කිව නොහැකිය. මන්ද එය අපට පාසලේ උගැන්වූ දෙයක් නිසාවෙනි. නමුදු සංගීතය සඳහා එම ක්‍රමය යොදා ගත් පළමුවැන්නා මා විය යුතුය.

මම ආකරාදී හෝඩිය උගත් පරිද්දෙන් සියලු ම ස්වරයන් සඳහා එකකට එක චිත්‍රය බැගින් ඇඳ ගතිමි!

එම චිත්‍ර මෙසේ විය.
‘ස’ යන්නෙන් සමනලයෙකි.
‘රි’ යන්නෙන් රියකි.
‘ග’ යන්නෙන් ගසක් වූ අතර ‘ම’ යන්නෙන් මලක් විය.
‘ප’ යන්නෙන් පඹයෙක් ඇඳ ගත් මා ‘ධ’ යන්නෙන් ඇඳ ගත්තේ අප රටේ ධජයයි.
අවසාන වශයෙන් ‘නි’ යන්නෙන් නිළමේ කෙනෙකු අඳිනවාට වඩා නිල මැස්සෙකු ඇඳ ගැනීම පහසු යැයි සිතීමි.
කාර්යය අවසාන වූ පසු ඉමහත් ප්‍රහර්ශයට පත් වුවද, ස්වල්ප දිනකින් මා හට වැටහී ගියේ චිත්‍ර ඇඳ ගැනීම තරම් පහසුවෙන් පියානෝ වාදනය උගත නොහැකි බවයි. එක දිගටම එකම ස්වර වාදනය කිරීමත්, නැවතත් ඒවා ම වාදනය කිරීමත්, ආයෙම නැවත නැවතත් ඒවා ම වාදනය කිරීමත් නිසාවෙන් වැඩි කල් නොගොස් එම කාර්යය එපා වන තැනට කටයුතු සැලසිණි. ඇත්තට ම පියානෝවක් වාදනය කරනවාට වඩා, එම කාලය තුල පොතක් කියැවීම හෝ සෙල්ලම් බඩුවක් ගෙන සෙල්ලම් කිරීම හෝ ඒ කිසිවක් ම නොකර නිකම් ම සිටීම හෝ දාහෙන් සම්පතක් බව මා හට වැටහෙමින් තිබිණ. සති දෙකක් අවසන් වන විට මා පියානෝ වාදනයෙන් කෙතරම් පීඩාවට පත් ව, රෝගී ස්වභාවයක් උසුලමින් සිටියේද යත් පියානෝ ව දෑසින් දැකීමත් අප්‍රසන්න දෙයක් බවට පත් වී තිබිණ. ඇනා ඉවානොව්වා-මගේ සංගීත ගුරුතුමිය, මුලින් මා පෙන්වූ ප්‍රගතියෙන් ඉමහත් සතුටට පත් ව සිටියත් ඒ වන විට දුකින් හිස සලමින් සිටියාය. 


“මේ පාඩම් වලින් ඔයා සතුටක් ලබන්නේ නැද්ද?” ඇය මගෙන් ඇසුවාය. එවන් වූ අප්‍රසන්න දෙයකින් සතුටක් ලැබීමක් ගැන ඇසීමට ඇය හට උමතුවක් වැළඳී ඇතැයි සිතූ මම පුදුමයෙන් ඇය දෙස බැලීමි.

“නැහැ! මට කිසිම සතුටක් නැහැ!” මම පිළිතුර දුනිමි. ඇය ඉමහත් සේ කෝප ගෙන ඉන්මතු අප නිවසට නොපැමිණ සිටී යැයි මගේ එකායන බලාපොරොත්තුව වුවද, එය එසේ නොවීය.

අම්මාත් තාත්තාත් මට දොස් කියන්නට පටන් ගත්හ.

“බලන්න, අපි කොච්චර ලස්සන පියානෝවක් ඔයාට ගෙනැත් දුන්නද? හොඳ ම හොඳ ගුරුවරියකුත් ගෙදරට ම ගෙනැත් දුන්නා ඔයාට ඉගෙන ගන්න. ඇයි වදේ ඔයාට බැරි පියානෝ වාදනය ඉගෙන ගන්න? ඔයාට ඕනෑ නැද්ද මේ වගේ හැමෝට ම බැරි දෙයක් ඉගෙන ගන්න. ෂිහ්... ඔයා ගැන හරි ලැජ්ජායි ළමයෝ!” අම්මා තදින් පවසන්නට වූවාය.

අනතුරුව තාත්තාගේ වාරය එළඹින.

“දැන් මෙයාට සංගීතේ ඉගෙන ගන්න බැහැලු. තව ටික දවසක් යද්දී කියයි ඉස්කෝලේ යන්නත් බැහැ කියලා. ඔහොම ගිහින් ලොකු වෙනකොට කිසිම රස්සාවක් කරගන්න බැරි වෙයි. කම්මැලි කොල්ලන්ට පොඩි කාලෙම උගන්වන්න ඕනෑ ලොකු වුනහම රස්සාවක් කර ගන්න පුළුවන් විදිහේ දෙයක්! එව්වා කොහිද මාත් එක්ක, මෙයා අනිවාර්යයෙන්ම පියානෝ වාදනය ඉගෙන ගන්න ඕනෑ!”

“අනේ අපි පුංචි කාලේ මෙහෙම දේවල් අපේ දෙමව්පියෝ අපට ලබා දුන්නා නං, අපි කොච්චර ඒ අයට කෘතඥ වෙනවද? ඒ කාලේ අපිට පියානෝවක් කියන්නේ හීනයක්” අම්මා වික්ෂෝප වූවාය.

“ඔයාලා පියානෝවක් ගෙනාවාට බොහොම ස්තුතියි. මං ඒ ගැන කෘතඥ වෙන්නම්. ඒත් මට තවදුරටත් සංගීතය ඉගෙන ගන්න ඕනෑ නැහැ අයියෝ” මම සෙමින් පැවසීමි.

අනතුරුව එළඹි දිනයේ ඇනා ඉවානොව්වා මහත්මිය පැමිණෙන විට මම සැඟ වී සිටියෙමි. අම්මාත් තාත්තාත් නිවසේ උඩ සිට පහළටත්, සියලුම මාවත් පුරාත්, මිදුලේ අස්සක් මුල්ලක් නෑරත් මා සොයා තිබිණ. සංගීතය සඳහා වූ කාලය ඉක්ම යනතුරුවත් ඔවුනට මා සොයාගත නොහැකි විණ. කාලය අවසන් විය. ඒ බව හැඟුනු පසු මම සෙමින් සෙමින් මගේ ඇඳ යටින් එළියට පැමිණීමි.

“සුභ ගමන් ඇනා ඉවානොව්වා මහත්මිය” මම මගේ ගුරුතුමියට සමු ගැනීමේ වදන් පැවසීමි.

“මේ කරපු වැඩේ ගැන ඔයාට ගොඩක් කණගාටු වෙන්න වෙයි පුතා!” තාත්තා කෝප වී සිටියේය.

“ඔයාට කියන්න තියෙන දේ කියන්න. මං පස්සේ මගේ දඬුවම එයාට දෙන්නම්” අම්මාද සූදානමින් සිටියාය.

“ඕනෑ දෙයක් කරන්න මට. ඒත් මට කවදාවත් සංගීතය ඉගෙන ගන්න ඕනෑ නැහැ. මට සංගීතය ඉගෙන ගන්න බැහැ” මගේ වදන් බිඳුනු අතර විශාල දුකකින් හදවත බර වූ බව හැඟිණ. මම හඬමින් සිටියෙමි.

ඒ වන විටත් කුඩා දරුවකුව සිටි මා හට සංගීතය සදහට ම එපා වී තිබිණ.

“සංගීතය හදවතට සංතුෂ්ටිය ගෙන එනවා” ගුරුතුමිය පැවසුවාය. “මගේ ගෝලයින් කිසිම කෙනෙක් කවදාවත් මගෙන් හැංගෙන්න හිතාගෙන ඇඳන් යටට රිංගලා නැහැ. දරුවෙක්ට පුළුවන් වුනා නං සංගීත පාඩමකින් බේරෙන්න කියලා හිතාගෙන පැයක් තිස්සේ ඇඳක් යටට වෙලා ඉන්න, ඒකේ ආයේ හිතන්න දෙයක් නැහැ, එයා සංගීතය ඉගෙන ගන්න කොහෙත්ම කැමති නැහැ කියලා අපි වටහා ගන්න ඕනෑ. ඉතිං ඒ වගේ කෙනෙක් ව සංගීතය ඉගෙන ගන්න, සංගීතය ඉගෙන ගන්න කියලා බල කරලා යොමු කිරීමෙන් කිසිම වැඩක් වෙන එකක් නැහැ. සමහරවිට එයා වැඩිහිටි වුනු කාලෙක පසුතැවෙයි කොච්චර අගනා දෙයක් ද ගිලිහුනේ කියලා. එතකොට පෙරහැර ගිහින් ඉවරයි. මගේ සේවය අවශ්‍ය නැති බව අද හොඳ හැටියෙන් වටහා ගත්තා. ඉතිං එහෙනං මං ගිහින් එන්නම්. මං එනකොට ඇඳ යට හැංගෙන්නේ නැති, සංගීතයට ආදරය කරන ළමයින් කොච්චර ඉන්නවද. නිකරුනේ කාලය නාස්ති කරනවාට වඩා, ඒ අය වෙනුවෙන් කැප වෙන එක මට සතුටක්”

ඇය ගියාය. නැවත කිසි ‍දිනෙක නොපැමිණියාය. මගේ තාත්තා මට බොහෝ සෙයින් බැණ වැදුනේය. ඔහු අවසන් කරනවාත් සමගම අම්මා පටන් ගත්තාය. අපගේ විසිත්ත කාමරය අරා සිටි පියානෝව අසලින් යනවිට මගේ මුහුණ ඇඹුල්වීම වලකා ගන්නට කාලයක් යනතුරු මා හට නොහැකි විය.

වැඩිහිටි වූ පසු මා හට වැටහුණේ අනෙක් බොහොම මිනිසුන් සංගීතය වෙනුවෙන් විවර වුණු සවන්පත් වලින් යුතු වුවත් එවැනි හැකියාවක් මා හට නොවූ බවයි. අදටත් මට සංගීත භාණ්ඩයක් සුසර කරගත නොහැකිය. ඉදින් කුඩා කොලුවකු වූ මා කෙසේ නම් පියානෝ වාදනය ඉගෙන ගන්නද?

ඉතිං මගේ දුවේ, හැමදෙනාට ම හැමදේ ම එකාවන් ව ඉගෙන ගන්න නොහැකි බව දෙමව්පියන් වටහා ගන්නාතුරු අහිතකර පියානෝ වාදන වලින් අසරණ දරුවන් නිකරුනේ දුක් විඳීම වැලැක්විය නොහැකි වනු ඇති බව මගේ හැඟීමයි.





අනුවර්තනයකි.

පෙර අනුවර්තන :

114. මගේ ලස්සන බාලේ - මට නැති වූනු බෝලේ
115. මා බාල කාලේ - බල්ලෙකු හීලෑ කල තාලේ

Monday, March 3, 2014

246. ගුරුවරියක සමඟ මගේ ජීවිතය - 13 - හැටදෙකේ එල්ලී පැමිණීම සහ ඕගනයිසිං පරීක්ෂා කිරීම.




" වීරසිංහ මහත්තය ..මෙන්න හෙඩ් ඔෆිස් එකෙන් මැසේජ් එකක්.." ඒ අපේ රේඩියෝ ඔපරේටර්.... 



" මොකද්ද බං? " මම මෙසේජ් එක අතට ගත්ත.

ඩෝසරය එවීමට නොහැකිවීම පිළිබඳ කණගාටු වෙමි. හෙට දින ඇතුලත එවීමට බලාපොරොත්තු වෙමි..

" මොකක්? ඩෝසරය එවීමට නොහැකිවීම පිළිබඳ කණගාටු වෙමි.....එතකොට අර කෝඳුරුවාවෙ ග්‍රැවල් කපන්නෙ ඩෝසරේ නෙවෙයි නං වෙන අහවල් එකද? "

ඒ වෙලාවෙ මගෙ කට ඇරිල තිබ්බ විදිහ කියල අනික් එවුං හිනා උනා මම එහෙං අස්වෙලා එනකල්ම.

" මොකක්ද වීරෙ මේ වෙලා තියෙන්නෙ? දැං අර මොකක්ද එතකොට ඊයෙ ආපු ඩෝසර් එක? " අයි.ඊ. මහත්තය මගෙං ඇහුව.

" ඒක තමයි බොස් මටත් තියන ප්‍රශ්නෙ .ඉන්නකො මම ගිහිල්ල බලන්නං මොකක්ද මේ කේස් එක කියල. "

" අන්න පොඩි මහත්තය ඇති. එයත් එක්ක ගිහිල්ල බලන්න මොකද වෙලා තියෙන්නෙ කියල. "


පොඩි මහත්තය අපේ ජීප් රියදුරු. පැන්ෂන් යන්ට ඔන්න මෙන්න. හොඳ මනුස්සය. ඉස්සරහ දත් දෙකම නෑ. ඒ නිසා සමහර අකුරු හරියට ශබ්ද වෙන්නෙ නෑ. ඔය අකුරු හරියට ශබ්ද වෙන්න දත්, දිව, තල්ල, උගුර ඔය හැමතැනම උදව් වෙනව. ශබ්ද වෙන ස්ථානය අනුව අකුරු වර්ග තියනව. හරියටම කිව්වොත් පස් වර්ගයක්. කණ්ඨජ(උගුරෙන්), තාලුජ (තල්ලෙන්), මුර්ධජ (මුදුනෙන්), දන්තජ(දත්වලින්), ඕෂ්ඨජ (තොල්වලින්). හරි ඒ ඇති..
ඒ ගැන වැඩිදුර කියන්ට ගියොත් මේක භාෂා පාඩමක් වෙනව. 

මම මේ කියන්ට ආවෙ ඔය පොඩි මහත්තයගෙ දත් නැති කේස් එක නිසා කතා කරන එව්ව හොයාගන්ට හරිම අමාරුයි. අපි ඉතිං කාලයක් ආස්සරේ කරල දන්න කියන නිසා හිතාගන්නව මේ මනුස්සය කිව්වෙ මේකයි කියල…..මනුස්සයට හයන්න කියන්ට බෑ. හතර කියවෙන්නෙ අතර කියල.

මම කලින් දවසක කිව මතකද අපේ ජීප් හැඳින්නුවෙ නොම්මරේ අන්තිම අංක දෙකෙන්ය කියල. 4782 ටකිව්වෙ අසූදෙක කියල. 1762 හැටදෙක උනා." මචං හැටදෙක කොහෙද ගියෙ? නෙල්සන්ට මැලේරියාව වගෙ හොස්පිටල් එක්ක යන්ට වෙයි මම හිතන්නෙ. " එහෙම නැත්තං " ඒයි හෙට පෝය නේද? බොස්ට කියල අසූ දෙක ඉල්ලගනිං ගල් විහාරෙ පැත්තෙවත් ගිහිල්ල එන්ට." ඔන්න ඔය වගෙ.

පොඩි මහත්තයගෙ ජීප් එක දවසක් රෙපයාර් එකක් ආව. ඩීසල් ඉන්ජෙක්ටර් අප්සෙට් ගිහිල්ල. අපේ වර්ක් ෂොප් එක තියෙන්නෙ කිලෝ මීටර් විස්සක් විසි පහක් වගෙ එහා. ඉතිං වාහනේ වර්ක්ෂොප් දාන්න ගිහාම ඒ රියදුරා ආපහු එක්ක එන්න තව වාහනයක් යවන එක සිරිතක්.මොකද ඒ කාලෙ ඒ පළාතෙ පොදු ප්‍රවාහන සේවයක් කියල එකක් තිබ්බෙ නෑ.එදා කොහොම හරි පොඩි මහත්තය වර්ක් ෂොප් ගියාට ලොක්කට අමතක වෙල වාහනයක් යවන්ට. මිනිහා රෑ වෙනකල් බලා ඉඳල පයිම්ම පාරට ඇවිල්ල. හොඳ වෙලාවට අපේ හැටදෙක ජීප් එක චමරිවලට බඩු ගේන්ට පොළොන්නරු ගිහිල්ල ආපහු එනව ඒ වෙලාවට. යංතං ඒකෙ පිටිපස්සෙ එල්ලිල වගෙ මනුස්සය කෑම්ප් එකට ඇවිල්ල. හැටදෙකේ රියදුරුගෙ නම හේමපාල.

ලොක්කට මාර අප්සෙට් ඒ අතපහුවීමට. පහුවදා උදේ ඔෆිස් එක ඉස්සරහ අපි එක්ක ඔය විස්තරේ කියනව බොහොම සෝ බරව..

" බලනවකො අයිසෙ මට මතක් උනේම නෑනෙ මේ මනුස්සය ජීප් එකත් අරගෙන වර්ක් ෂොප් ගියාය කියල. කිසිකෙනෙක් මට මතක් කලෙත් නෑ.මිනිහ රෑ කොහොම ආවද දන්නෙ නෑ."

ඔන්න ඔය වෙලාවටම පොඩි මහත්තය එතනට ආව.

" ආ. මේ ඉන්නෙ පොඩි මහත්තය. මට ඊයෙ අමතක උනානෙ මොකක් හරි වාහනයක් එවන්ට. කොහොමද රෑ උනහම ආපහු ආවෙ? " ..ලොක්ක ඇහුව..

පොඩි මහත්තය ඔලුව එහෙම කහල බොහොම අහිංසක තාලෙට හිනා උනා.

" ප්‍රශ්නයක් උනේ නෑ, සේර්, හේමපාලගෙ හැටදෙකේ එල්ලිල යන්තං ආපහු කැම්ප් එකට ආව."

අපිට මැරෙන්ඩ හිනා!!!

" ඈ..මනුස්සයො හේමපාලගෙ මොකේ එල්ලිල ආපහු කෑම්ප් එකට ආවයි කියලද කිව්වෙ? " හිනාවෙන අස්සෙම මම ඇහුව.

පොඩි මහත්තයට පුදුමයි..මේ මොකෝ ඔක්කොමල හිනාවෙන්නෙ කියල. මිනිහ අපි ඔක්කොගෙම මූණු දිහා බැලුව මාරුවෙන් මාරුවට.කටත් බාගෙට ඇරිල ඔන්න. .

" ඇයි මහත්තය මම කිව්වෙ හේමපාලගෙ හැට දෙකේ එල්ලිලයි මම ආවෙ කියල."

අපි කට්ටිය ආයෙමත් පාරක් කොච්චර හයියෙං හිනා උනාද කිව්වොත් ඔෆිස් එකේ මිදුලෙ තිබ්බ මයිල ගහේ කොල අස්සෙ පෙම් කෙලිමින් උන්නු බටගොයි දෙන්නෙක් බය වෙච්චි පාර සුරූස් ගාල කොළ අතු විදගෙන ඈත වෙල් එළිය පැත්තට ඉගිල්ලිල ගියා.

ඉතිං එහෙමයි අපේ පොඩි මහත්තය සපයන ආතල්. ඕන්න ඔය කියාපු පොඩි මහත්තය එක්ක ජීප් එකේ ඔන්න මම ගිය තකහණියක් මේ අන්තර්ජාතික ඩෝසර් අර්බුදය මොකක්ද කියල අගක් මුලක් තේරුං ගන්ට. ඇයි දෙයි හාමුදුරුවනේ...හෙඩ් ඔෆිස් එකෙන් කියනව ඩෝසරේ හෙට එවන්ට බලන්නම්ය කියල. ඒ අස්සෙ අරෙහෙ ඩෝසරේ වරුවක් තිස්සෙ දැං ග්‍රැවල් කපනව.

මම යනකොටත් ඈත ඉඳලම ඇහෙනව ඩෝසරේ බෑඟිරි ගහගෙන වැඩ. අප්පටසිරි. මේ වරුවක් වගෙ වැඩ කලේ මේ යස්සය සිරීපාද කන්දට ටිකක් අඩු තරමෙ ග්‍රැවල් කන්දක් ගොඩ ගහල. ගමේ මිනිස්සු දහයක් දොළහක් ඉන්නව වට වෙලා බලාගෙන . කොල්ලො කුරුට්ටොත් හිටිය එක විස්සක් තිහක් කටවලුත් ඇරගෙන. පව්..එවුං ඉතිං ඔය වගෙ එකක් දකින්නෙ බොහොම කලාතුරකින්නෙ. මට මතක් උනා අවුරුදු හත අටක් කාලෙ ඉලාස්ටික් බැහැපු කලසං කොටේ අත් දෙකෙම්ම උස්ස උස්ස මම ඔය අපෙ ගෙවල් උඩහ රබර් වත්තක පරණ 
ගස් ගලවන්ට ආපු ඩෝසරයක් පස්සෙ හති මුනිං දාගෙන දීව හැටි. 

" මොකෝ මහත්තය ගිය පයිම්ම ආපහු?.."

විටක් කටේ පුරවගෙන ජීප්පෙක ගාවට ආපු විජේතුංගය ඇහුව.

" මේ කොල්ලො... ඔය ඩෝසරේ අපේ එකක්ය කියල උඹට ෂුවර්ද? "

" ඇ..ඇයි මහත්තය එහෙම ඇහුවෙ? "

" මෙහෙට වරෙංකො "


මම විජේතුංහය එක්කගෙන එතන ඊමම තිබ්බ ඇටුවමෙන් එහාට ගියා. මේ කතාව කාටවත් නෑහෙන්ට හගිස්සුවන්ට ඕන. හතර විලි ලැජ්ජාවයි මේ වෙලා තියෙන හෙයියම්මාරුව ගම පුරා පතල උනොත් එහෙම. පාරට බැහැලත් හමාරයි.

" මේ දැං උඹ ඊයෙ රෑ කෝඳුරුවාවෙ හන්දියෙ ඉඳල ඩෝසරේ නැවැත්තුවනෙ. ඒ කරල අර ඔපරේටර්ට මොනවද කිව්වෙ?.."

" මම ටෝච් එක ගහල ලොරිය නවත්තල කිව්ව …. ඔතන ඉස්සරහිං වමට තියන පාරෙ යමු. මගෙ බයිසිකලේ පස්සෙ එන්න  කියල. ඉතිං ලොරියත් මගෙ පස්සෙං ආව. "

" මොනවටද කොහාටද ඩෝසරේ ගෙනියන්නෙ කියල උඹ ජයවීර එක්ක කතා කරේ නැද්ද අද උදේවත්.? "

" නෑ මහත්තය, පාරවල්, ඇළ බන්ට් හදන්ට ග්‍රැවල් කපන්ටයි තියෙන්නෙ කියල මම ජයවීරට ග්‍රැවල් කපන තැන පෙන්නුව... ඌ උදේ ඉඳල කැපුව. අන්න බලන්ටකො මහත්තය කපල තියන ග්‍රැවල් ගොඩ විතරක්... රන්කොත් වෙහෙර වගෙ තියන අපූරුව.."

" හුහ්, මේ මගෙං මොකවත් අහගන්ට එපා..රෙද්දෙ රන්කොත් වෙහෙර. ඔය ග්‍රැවල් ගොඩ උඹටයි මටයි කන්ට තමයි වෙන්නෙ ඔන්න බලාපං මම අද කිව්වයි කියල. යකෝ මේ ඩෝසරේ අපට එව්ව එකක් නෙවෙයි. "

" නෑ???? …"


ඔය බුලත් හපේ ටික ටික හැපෙන කොට කටේ කෙළ පිරෙනව. එතකොට කතා කරද්දි එහෙම ටික ටික කට උඩට හරවන්ට ඕන. කටේ පිරී ඇති බුලත් කෙළ පරිමාව අනුලෝමව සමානුපාතිකයි ශීර්ෂයෙ අක්ෂය තිරස සමඟ ආපාතනය කරන කෝණයේ විශාලත්වයට. අපෙ අත්තම්ම තමයි ඔය වැඩේ බොහොම අපූරුවට කරන්නෙ.

කට බාගෙට උඩට හරෝගෙන හිටපු විජේතුංගය එක පාරට ඔලුව පහතට හරෝල නෑ කියාපු පාර මගෙ කමිසෙ ටයි ඇන්ඩ් ඩයි බතික් නොවී බේරුණ පූරුවෙ වාසනාවකට.

අපේ තව විට මරුවෙක් හිටිය ගුණේ අයිය කියල. රෑට බුදියන්නෙත් විටක් හක්කෙ තියාගෙන. මිනිහ ජීප් වලට නංග ගන්ට ඩ්‍රයිවර්ව හරිම අකමැතියි. දොර ජනේල පුරා ගහනව බුලත් කෙළ. කොළපාට ජීප් එකේ යස අගේට කැපිල පේනව රතු පාට බුලත් කෙළ පාර. අනික ඔය ගුණෙය හුණු තලියකුත් විටට කෙළල අරින නිසා පුළුවං විජහට හෝදල නොදැම්මොත් ජීප් එකේ ඒ තැන්වල පේන්ට් එක අවපාටක් ගහනව.

" උඹල රියදුරෝ ඔක්කොම එකතුවෙලා ලොක්කට ලියුමක් දීපල්ල මේ කොළ පාට ජීප් වෙනුවට රතු පාට ජීප් ගෙන්නවල දෙන්ටය කියල, එතකොට බාල්ල බුලත් කෙල පාරක් වැටුනත් ආය පේන්නෙ නෑ "

මම දවසක් ඔය ගුණයගෙ කෙළ ගැහිල්ල ගැන නහයෙං අඬපු හේමපාලට කිව්ව….. මතකනෙ හේමපාල නේද? ..අර හැට දෙකේ ඩ්‍රයිවර්..ආන්න එයා…

" මම ඔන්නං අගේ ඇති ලියුමකුත් හදල දෙන්නං "

මම දෙපාරක් හිතන්නෙ නැතුව ඉදිරිපත් උනා. ආන්න අපි එහෙමයි. කෙනෙකුට උදව්වක් කරන්ට තියනව නං ආය වෙන මොකවත් ඕන නෑ. ඉහේ මලක් පිපුන වගේ තමා.

" නෑ නෙවෙයි බොල ඔව්..අන්න අර යකාට එන්ට කියාපං ඔය ග්‍රැවල් කැපිල්ල නවත්තල. "

ජයවීර ඩෝසරේ නවත්තල බැහැල ආව.

" ජයවීර එන්ඩකො මෙහෙට පොඩ්ඩකට …"

මම ජයවීරව එක්කරගෙන ගියා ඇටුවමෙනුත් එහාට.

" මේ ඩෝසරේ කොහේ එකක්ද ජයවීර? "

" ඇයි මහත්තය?.... මේක මේ උතුරු මැද යන්ත්‍රෝපකරණ ඒකකයෙ ඩෝසර් එකක්නෙ. "

" ඈ??? …"


මම දැනගත්ත වැඩේ සයින් ද පීස් සකබෝනා තමයි කියල. හෙඩ් ඔෆිස් එකෙන් පණිවිඩේ එනකොටම මේ පකිරින්තුව... විජේතුංගය...මොකක් හරි මූලමක් කෙලල තමයි කියල මට හිතුනට දැන් තමයි මට වැඩේ හරියටම මීටර් උනේ.

" එතකොට ඔයා මේ ඊයෙ රෑ කොහෙ යන්ටද ගියේ? "
" ඇමතිතුමා ලබන සතියෙ එනවයි කියල පාරවල් වගයක් හදන්ට තියෙනව කියලයි මාව එව්වෙ." ජයවීර කිව්ව.

මිනිහටත් තේරෙන්ට ඇති මොකක් නමුත් අවුලක්ය කියල.

" ඇයි මහත්තය? මොකක් හරි ප්‍රශ්ණයක්ද? "

" එතකොට කවුරුවද ඇවිල්ල හම්බ වෙන්ට කිව්වෙ? "

" ඉරිගේෂන් එකේ මහත්තයෙක්..එයා කවුරු හරි පාරට එවයි කියල කිව්ව. ඉතිං විජේතුංග පාර මැදට ඇවිල්ල ටෝච් එක ගහල වාහනේ නතර කලාම මම හිතුවෙ ඒ තමයි අර එවනවයි කියල කියපු එක්කෙනා කියල."


" ඔය ගිහිල්ල හම්බ වෙන්ට කිව්වෙ සාලිය කියල මහත්තයෙක්ද? "

" ආන්න හරි මහත්තය, සාලිය තමයි නම...දැන් මොකද මහත්තය වෙලා තියෙන්නෙ? "

" වෙලා තියෙන්නෙ ඔයාගෙ ඩෝසරේ එවල තියෙන්නෙ වෙන වැඩකට. අපේ වැඩේට කිසිම සම්බන්ධයක් නෑ මේ ඩෝසරේ. ඒකනෙ ජයවීර ඔය සාලිය කියල මහත්තයෙක් හම්බ වෙන්ට කිව්වය කියන කතාව පොඩ්ඩක් උදේම මට කිව්වනං මේ අප්සෙට් මොකවත් වෙන්නෙ නෑනෙ. හරි, හරි මක් කරන්ඩද ඉතිං දැං?  මම කියන්ටද? ඔයා එහෙනම් මැෂින් එකෙන් ඔය කපපු ග්‍රැවල් ගොඩෙම්ම රෑම්ප් එකක් වගෙ ගහන්න, දැන් ලෝ බෙඩ් එක ආහම පටවන්නත් එපාය. මම සාලිය මහත්තයව හම්බ වෙලා කතා කරල එන්නං."


ජයවීරය බිම බලාගෙන ආපහු ගිහිල්ල ඩෝසරේ ස්ටාට් කලා. මම විජේතුංගය දිහාවෙ රවල බැලුව.

" ඔය ඉතිං? මම හිතල කරපු දෙයක්ද මහත්තය? "

ඒකා නීල මහ යෝදය වගෙ බඩත් එක්ක හොල්ල හොල්ල හිනාවෙන අතරෙ කිව්ව.

" හිතල කරපු දෙයක්ද? හුහ්, අනෙ අම්මාපල්ල මට උඹේ බෙල්ල මිරිකන්ට තරං කේන්තියි ඕං දැං…" මම ජීප් එකට නැග්ග.

" යමු පොඩි මහත්තය. "

ඒ අනුංගෙ ඩෝසර් අරගෙන ගිහිල්ල ග්‍රැවල් කප්පවාපු සීන් එක දුරදිග නොයා එහෙම්මම ෂේප් උනා. ඉරිගේෂන් එකේ සාලිය කියන්නෙ මයෙ හොඳ යාලුවෙක්. ඇලහැර - දියබෙදුම යෝද ඇලේ ජලපාලනය කලේ ඒ ගොල්ලො. ඒ නිසා අපි දෙගොල්ල අතර හොඳ සුහදතාවයක් තිබ්බ. එහෙම නැතුව බෑ ඒ වැඩේ කරන්ට. හදිස්සියෙ බෙදුම් ඇල කෙළවරේ කුඹුරු මැරෙන්ට යද්දි ඔන්න මිනිස්සු බයිසිකල් වලින් ඇවිල්ල ගේ වටකරනව. ඒ වෙලාවෙ සාලිය හරි වෙන කවුරුහරි යෝද ඇල බාරව ඉන්න එකාට පණිවිඩයක් ඇරල වැඩිපුර වතුර ටිකක් කුඹුරු වලට යවාගන්න එක තමයි ලේසිම ක්‍රමේ. නැත්තං ඔය කර්තව්‍යය නිල වශයෙන් කරන්න ගියානං එහාට මෙහාට ලියුම් ගහල ඉවර වෙනකොට කුඹුරු මැරිල හත් දවසෙ දානෙත් දීල.

සාලිය හම්බ වෙන්ට ගිහිල්ල මේ විස්තරේ කිව්වම ඌ ඔලුවෙ අත ගහගත්ත.

" යකෝ තෝ මරන්ට එපාය. අපි මේ හතීකරේ දුවනව ඊයෙ රෑ ආපු ඩෝසරේට මොකද උනේ කියල. කොටිම්ම මම ගෝලයො හත් අට දෙනෙක් යෝද ඇල දිගේ පයිං යැව්ව ලෝ බෙඩ් එක පිටින්ම ඇලට පෙරලිලාවත්ද කියල බලන්ට. "

" හරි බං හරි හරි..දැං ඕක ඔතනිං අරං එන්ට ක්‍රමයක් බලමු. "

" හරි... අපේ ලෝ බෙඩ් එක ඇති මේ වෙලාවෙ මින්නේරියෙ. මම පණිවිඩයක් යවල ඒක ගෙන්නන්නං."

" අඩේ වහාම ඒක කරපං බං.මගෙ මේ ඇඟේ ලේ වතුර වෙලයි ඉන්නෙ. ඇමතියගෙ ඕඩර් එකකට යන එකක්නෙ ඕක."

" හරි, හරි ,මම දැන්ම වැඩේ කරන්නං මල්ලි හැබැයි නිකං බෑ හරිද? අනික උදේ ඉඳල ඩීසලුත් සුවල්ප පිච්චෙන්ඩ ඇද්ද ? ඒ ඩීසල් ඔක්කොම මම එපාය දෙන්ට.. හැනපියර් බෝතල් හයක් වත් ඕන. "


ඒ යුගයෙ අපේ ප්‍රියතම පානය වෙලා තිබ්බෙ හැනපියර් බ්‍රැන්ඩි එක.

" හරි බං හරි හරි ඒක බැරිය. උඹ අර මඟුල විජහට අරං වරෙංකො එතනිං "

අන්න එහෙම යාන්තං ඒ වෙන්ඩ ගිය අලකලංචිය ෂේප් වෙල ගියා ඔන්න. ඔය කේස් එක උනේ මම බඳින්ට ඉස්සරවෙලාය කියල මම කිව්වද? කිව්වෙ නැත්තං ඔන්න දැන් කිව්වා. ඉතිං එවුන්දැ එක්ක මම ඔය විස්තරේ කිව්ව ඊලඟට හම්බ වෙච්චි දවසෙ.

" ඒයි මේ මේක අහන්ටකො . මට මාර වැඩක් උනානෙ මේ පහුගිය සුමානෙ. "

" ඔයාට ඉතිං මාර වැඩ නැතුව මේ අපි වගෙ පෘථග්ජන සාමාන්‍ය මිනිස්සුන්ට එදිනෙදා සිද්ද වෙන සාමාන්‍ය නෝමල් වැඩක් සිද්ද උනේ කවද්ද? "
උන්දැ ගහෙංගෙඩි එන්නහෙ කියාපි.

මම ටිකක් වෙල බලා හිටිය එකෙ එල්ලේ උන්දගෙ ඇස් දිහාවෙ. අපේ රන්දිල් මහගෙ නම් කියන්නෙ එහෙම ඇස් දිහාවෙ එක එල්ලේ බලාහිටියම ඕනෑම දරුණු භයානක සතෙක් මෙල්ල වෙනවයි කියල.ඒක නම් මන්ද..ඒත් මම ඔය අපෙ උන්දැ දිහාවෙ එක එල්ලේ බලං ඉන්නව නේද? ඔන්න උන්දැ ටිකක් එක විදිහක් වෙනව.

" හරි එහෙනං දැං කතාව කියන්ටද එපාද? "මම ඇහුව බොහොම ගාම්බීර හඬකින්

" කවුද ඉතිං එපාය කිව්වෙ, කියන්ට කියන්ට…" ඈ කිව්ව.ඔය එන්න එදා කිව්ව කතාව පිළිබඳව තමයි මෙදා පාර ඈ කියව්වෙ.

" හරි...හරි…. මට මතකයි ඔයා ඔය මැෂින් යුනිට් එක ගැන මට කියල තියනව. අර විජේතුංග මරු වැඩක් කලයි කියල ඔයා කිව්වෙ ඒත් ඔය මැෂින් යුනිට් එක ආපු වෙලාවක නේද? "

විජේතුංගය අපෙ වෙඩිං එකටත් ආව. දෙකක් දාල කටපුරා විටකුත් පුරෝගෙන අපි දෙන්න ගාවට ඇවිල්ල ආචාර කලා යන්ට ලෑස්ති වෙලා.

" ආ මේ ඉන්නෙ.... මූ තමයි ඒයි,  ඇමති අර කොහෙද පාරවල් වගයක් හදන්ට එවාපු ඩෝසර් එක අරගෙන ගිහිල්ල කෝඳුරුවාවෙ ග්‍රැවල් කැප්පෙව්වෙ. තව අනූනමයයි තුංකාලෙං මගෙ රස්සාවටත් කෙලිනව මේකා. "

මමත් ඒ වෙනකොට හෙමීට දෙක තුනක් ඇණගෙන හිටියෙ. " මේ මම පොඩ්ඩක් බලල එන්නං ඕගනියිසිං එහෙම කොහොමද කියල" ....ඈට එහෙම කියල මම හෙමිහිට මාරුවෙලා යනව ආතල් එක යන පැත්තෙ. එහෙම දෙතුං පාරක්ම එකම පැත්තටම ගිය එක ඔන්න ඈට මීටර් වෙලා.

" ඕගනයිසිං පරීක්සා කරන්නෙ අර කට්ටිය කට පිහ දම දම එලියට එන කාමරේ ඇතුලෙ විතරයි වගෙ මට පේන්නෙ…"

ඊලඟ පාරත් මම ඕගනයිසිං පරීක්සා කරල ආහම ඈ අහක බලාගෙන කිව්ව...හෙහ්, හෙහ්,

" කෑගහන්ට එපා ඒයි මොනව කියවනවද මන්ද.." .ඈ මා දිහාවෙ රවල බැලුව.

" ඒකනෙ මිස් ..බලන්ටකො මේ මහත්තය කියන එව්ව." විජේතුංගය ආයෙමත් බඩ ගෙඩිය හොල්ල හොල්ල හිනා උනා.

" හිහ්..හිහ්..අඩේ ඔව්නේ...මම ඔයාට ඒ විස්තරේ කිව්ව නේද?...හාපෝ මතක් කරන්ට එපා..මට මතක් වෙනකොටත් විජේතුංගය එක්ක මල පයිනව…"

ඉතිං ඒ සෙනසුරාදත් ගෙවිල ගියා. ඈගෙ නෑ ගෙදර යනව තියා ඒ පිලිබඳව තුං හිතකවත්. ඒක මට පැහැදිලියි ඉර හඳ වගෙ. මමත් ඒ පාර ඔය ගැන මොකවත්ම ඇහුවෙ නෑ. කොයි වෙලෙත් එක තැන දුවන තැටිය වගෙ ඕකම අහන්ට ගියාම ඈට සැක හිතෙන්ට බැරි නෑනෙ. ඔය අරක්කු සුට්ටක් බොන්ටය මේ හැටි මේ කෙලෙඹි පුත්‍ර තෙමේ දඟලන්නෙ කියල හිතුවට නම් කාරියක් නෑ කියමුකො. ඒත් වෙන බහුබූත ඔලුවට දාගත්තොත් එහෙම වඳින්ට ගිය දේවාලෙ කපුව දේවාලෙ රුන්නට දෙයියන්ට අවුලක් නෑ වගෙ වැඩක් උනොත් එහෙම බබිත් සුං බබීගෙ අම්මත් සුං . ඒ නිසා මම ඒ ගැන වචනයක් වත් කතා කලේ නෑ. ඒ ගැන රැක්ක පතිවත.

ඊළඟ සතියත් ඔන්න ගෙවිල යන්ට ආව.මම ඉතිං ආයෙමත් මගෙ යාලුවො එක්ක පොඩි ආතල් එකක් ගන්න එක. ප්ලයිවුඩ් දොරට ගහල සිංදුවක් දෙකක් කියන එක.ගානට වැදුනම කට්ටියම එක්ක ගිහිල්ල පරණ ඉස්ටෝරුව පිටිපස්සෙ සියඹලා ගහට අල්ලල සුලුදිය පහ කරන එක.ඒ ඔක්කොම ඉවර වෙලා සාලෙ මේසෙ උඩ සමණල හෝටලෙන් ගෙනාපු බත් දිගඇරගෙන කන එක. එව්ව ඔක්කොම ඉවරයි කියල ඒ ඔක්කොම ගැන තිබ්බ ආසාවන් ප්‍රහීණ කරගෙනයි හිටියෙ ඒ වෙනකොට.

සිකුරාද උදේ ඔන්න මම ඇගෙ බත් එක බඳිනව.

" ආ මට ඔයාට කියන්ට බැරිඋනා. අම්මට ටිකක් සනීප මදි කියල පණිවිඩයක් එවල තියනව. මම අද හවස ඉස්කෝලෙ ඇරිල එහෙම්මම ගෙදර යනව. "

මම එක පාරටම ඔලුව උස්සල ඈ දිහාවෙ බැලුව. ඈ සාලෙ මුල්ලක හේත්තු කරල තිබ්බ කණ්ණාඩිය ඉස්සරහ හිටගෙන නෙරිය හදනව.

" ඔයා එන්න ඕන නෑ වැඩත් තියනවනෙ. මම ඉරිද දවල්ට බත් දෙකකුත් අරගෙන එන්නං, "

" ඒත් මගෙ හිතට හරි නෑ අනේ. අම්මට මොකද දන්නෙ නෑ නේද? "


" නෑ ඒ හැටි අමාරුවක් නෑ. එයාට ඔය හිටපු ගමං එනව කොන්දෙ අමාරුවක්. ඒක වෙන්ට ඇති. මම ගිහිල්ල බලල ඩොක්ට කෙනෙක් ගාවට එක්ක යන්ට ඕනනම් ඒකත් කරල බෙහෙත් අරං දීලම එන්නම්. "

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...