Thursday, June 26, 2014

266. විමලෙගෙ වාංපතුල් කතා 13…...කට කන්ට තැනීම සහ ගස්වල උස මැනීම.


Google images
එක පාරක් ඔය විමලෙගෙ වාංපතුල් කතාවක් කියද්දි පිළිස්සු කුකුළකු නිසා අහිමිවූ මගේ ආදරය කියල කතාවක් තියනව ඒත් අද වෙලාව නෑ ඒක පස්සෙදි කියන්නම්ය කියල මම කිව්ව. පස්සෙ දවසක හැලප කමෙන්ට් එකකින් අහලත් තිබ්බ කෝ අර කුකුළගෙ කතාව කියන්නෙ නැද්ද? කියල. අපි ඇවිල්ල පොරොන්දු ඉටුකරන සංවර්ධන ලොතරැයිය වගෙ තමයි.හරිද?...අද ඔන්න ඒ පොරොන්දුව ඉස්ට කරන්නයි ලෑස්තිය....හෙහ්,හෙහ්, 

මේ කේස් එක සිද්ද උනේ ඇත්තම කියනවනං විමලෙ අයිය එක්ක ගත කරපු කාලෙට පස්සෙ කාලෙක.ඒත් කමක් නෑ, එකම ආයතනයෙ, එකම කාලෙ, අනික මගෙ ජීවිතෙත් එකම යුගයක සිද්ද වෙච්ච දේවල් නිසා විමලෙගෙ වාංපතුල් කතා යටතටම දාන්නංකො...කාරියක් නෑනෙ? නේද?...හරි අවුලක් නෑ!!!

අර මහ කැළේ මැද්දෑවෙ ඉඳල මාව මාරුකලා පාරට ටිකක් කිට්ටු වැඩබිමකට. එහෙදි ඉතිං ආයම අර කලින් වගේම යාලුවො බුරුත්තක්ම සැට් උනා. ඕකෙ වැඩේ මේකනෙ. කුණු එකතුවෙන්නෙ කුණු ගොඩටෙයි කියනවනෙ. ඉතිං ඒ වගේ තමයි එක ජාතියෙ කට්ටිය එකට එකතු වෙනව කියලත් කියනවනෙ. Birds of a feather flock together...ඒකෙං කියවෙන්නෙ ඕනම කුරුල්ලෙක්ගෙ තටු ගැලෙව්වම ඔක්කොමල එකයි කියන එක...

ඔය උපහැරනෙ කිව්වය කිව්වයි කියන්නෙ සේක්ස්පියර් ගොයිය..දන්නවනෙ නේද අර එංගලලන්තෙ අර අනාදිමත් කාලෙක හිටපු නාඩගං කාරය. මිනිහ ඔය මාතර අහ පොරක්ය..හිච්චි එකා කාලෙම නැවක හොරෙං වහං වෙලා එංගලන්තෙට පැන්නයි කියලත් කියනව. දෙවුන්දර අහල පහල තාම ඉන්නව කියනව මිනිහගෙ නෑදෑ පරපුර..සීක්කුපේරු කියල එයාලගෙ වාසගම.

ඔය සෙට් එකේ මගෙ එක යාලුවෙක් අජිත්. ගෙවල් හඟුරන්කෙත ටවුමට චුට්ටක් විතර මෙහා. හරිම හිත හොඳ එකා. ඇත්තටම බලනකොට ඒ කාලෙ අපෙ ඔය යාලුවන්ගෙන් සීයට අනූනමයයි දසම නමයයි නමයක්ම හිත හොඳ එවුන් තමයි. අතීසාර මිත්තරයො කියන්නෙ ..අන්න ඒ කැටගරි එකේ එවුං....

ඒ කාලෙ ඔය එන්ටර්ටේන්මන්ට් විදිහට අපිට තිබ්බෙ එක්කො පොතක් පතක් කියවන එක නැත්තන් ටී.වී. බලන එක විතරයි. මහ කැලේ මැද්දෑවෙ ආය වෙන අහවල් දෙයක්ද? චිත්තරපටියක් බලන්ටත් කදූරුවෙල ටවුමටම එන්ටම ඕන. ඒකත් කිලෝ මීටර්ම තියනව දාසයක් විතර වගෙ. අනික ඔච්චර දුරක් ගිහිල්ල පැය දෙකහමාරක් ගත කරන්ට තරම වටින චිත්තරපටි එහෙ තිබ්බ හෝල් එකට ආවෙම නෑ. ඔන්න ඔය රට හැමතැනම පට්ට ගහපු එව්ව අන්තිමට එහාට එනව. හරියකට පේන්නෙත් නෑ. තිරේ පුරා පැල්ලං ...හෙහ්,හෙහ්, ඒ ආවෙත් ඔය ඇගේ වෛරය, අර සයනය , මේ සයනය, අර යහන මේ යහන ඔන්න ඔය වගෙ මෙලොව යකෙකුට බලාගෙන ඉන්ට බැරි දහ ජරාව.

හැබැයි ඔව්ව බලන්ට සෙනඟ කියන්නෙ ආය නෑ බල්ලගෙ **** කෝඳුරුවො වගෙ තමයි. අපෙ එකෙක් ඔය ගමේ කෙල්ලෙක් එක්කල පොඩි අයිටම් එකක් පටං අරගෙන තිබ්බ. කෙල්ල හොඳ හැඩ වැඩයි.ඒ වගේම තමයි කට. අපෙ යාලුව කොහොම හරි වදෙං පොරෙං කෙල්ල කැමතිකරගත්ත කියමුකො ටවුමට ගිහිල්ල පිච්චර් එකක් බලන්ට...හෙහ්,හෙහ්, පිච්චර් තමයි. ඌට හිතෙන්ට ඇති පිච්චර් බැලුවට වඩා හොඳයි ග්‍රැමොක්සෝන් කුප්පියක් කටේ හලාගෙන පරාක්කරමේට පැන්නනං කියල. පහුවදා කෙල්ල ගම හැම තැනම මෙහෙමයි කියල තියෙන්නෙ.

" අනෙ අප්පේ..ඒ මහත්තය පිච්චර් මඩුවෙ එලිය නිවාපු වෙලේ ඉඳලම මෙලෝ සිහියක් පතක් නැතුව මයෙ කට කන්ට තැනුව මිසක දිව ගිලෙන තිබාසෙට පැන්ට උගුරක්වත් අරං දුන්න එකක්ය…"

හෙන්රියත් මේ ලඟදි කොහෙ හරි මේ කතාව කියල තිබ්බ.හෙන්රි ගොයියත් ඔය මං කියන දවස්වල ඊට ටිකක් එහා ළමයිංට කුල්ලට ඉංග්‍රීසියෙං කියන්නෙ මොකද්ද කියල කියා දිදී ඉඳල තියනව. ඒ නිසා ඕකට ආරංචි උනෙත් ඔය මම කියන සිද්දියම වෙන්ට ඕන.

ඔය අර කෙල්ලගෙ කට කන්ට තනපු එකාගෙ නම කිරිබණ්ඩ.නැචුරලි අපි කිව්වෙ කේබී කියල. කේබිය ටිකක් පඬිය. නොදන්න දෙයක් කාගෙංවත් අහන්නෙ එහෙම නෑ. දන්නව වගෙ ඉඳල අන්තිමට හත්පලේ ගාගන්නව.

අපි වැඩ කරපු හරියෙ ඔන්න මහ කැළේ සුද්ද කරන්ට ගත්ත කුඹුරු කට්ටි කඩල මිනිස්සුන්ට බෙදල දෙන්ට. පේනතෙක් මානෙ මයෙ හිතේ හෙක්ටෙයාර් ඔක්කොම දාස් ගාණක් කැළේ සුද්ද කරල මීටර් පණහෙං පණහට වගෙ දිගට ගොඩවල් ගහල සති දෙකක් විතර ගිණිගහන අව්වෙ කරකුට්ටං උනාම ගින්දර තියනව. එහෙම ගිණි තියන දවසට අපිත් යනව කට්ටියම බලන්ට. හරිම අපූරු දර්ශනයක් ඒක. ඒත් ළඟට කිට්ටු වෙන්ට බෑ රස්නෙ.

ඔය කැළේ එළිකරන වැඩේ කොන්ත්‍රාත් අරගෙන තිබ්බෙ චීන කොම්පැණියක්. මයෙ හිතේ ලංකාවෙ ඉස්සොරෝම චීන කොම්පැණියකට කියල ආවෙ ඒ ගොල්ල. පස්සෙ පාරවල් වගයක් එහෙමත් අරගෙන කොන්ත්‍රාත් කලා.

ඉතිං චීන්නු කැළේ එළිකරල ගිණි තියල වැඩේ ඉවරකලයි කියමු. දැං මෙවුන්ට ගෙවන්ට එපාය කොන්ත්‍රාත් ගිවිසුම අනුව.

ඒ ගිවිසුමේ එක කොන්දේසියක් තමයි කැළේ සුද්ද කරනකොට එක හෙක්ටෙයාර් එහෙකට වටප්‍රමාණය මීටර්...ම්ම්..අපි කියමු මීටර් 1.5 ටවඩා වැඩි ගස් යම් සංඛ්‍යාවක් ඉතුරු කරන්න ඕනය කියන එක. අපි හිතමුකො ගස් දහයක්ය කියල.

ඔහොම ඉතුරු කරන්නෙ පරිසරය ආරක්ෂා කරගැනීමක් හැටියට. ඊට අමතරව හෙවණටත් හොඳයිනෙ. දවල්ට ගහ යට ඉඳගෙන බත කන්ට එහෙමත් පුලුවන් ගොවි මහත්වරුන්ට. ගහ උඩ අතුපැලක් උනත් අටව ගන්ට පුලුවන් නෙව රෑ පානෙ කුඹුරු රකිද්දි.

ඉතිං ඔහොම ගිවිසුමේ කොන්දේසි තිබ්බට ගෙවීම් කරද්දි කවුරුවත් ඔය ගස් වල වට ප්‍රමාණයවත් හෙක්ටෙයාර් එහෙකට නියමිත ගස් ගාන තියනවද කියලවත් ගණං කරන්ට යන්නෙ නෑ. ටිකක් ඔහෙ ඇවිදල බලල ගහක් දෙකක් මැනල ඊට පස්සෙ ගෙවීම අනුමත කරනව. ඔය මම කියන කාලෙ අලුතින් පත්වීම අරගෙන ඇවිල්ල හිටිය අපෙ බොසා නූලට රාජකාරිය කරන කෙනෙක්. ඉස්සොරෝම රස්සාවට ගියාම එහෙමනෙ. ඔන්න අර චීන්නු එක ගිවිසුමකට අදාල කොටස සුද්ද කරල ක්ලේම් එකක් දැම්ම. ඒ කිව්වෙ ගෙවීම නිදහස් කරන්න කියල ඉල්ලුව. කොටිම්ම අපි වැඩේ කරල ඉවරයි බොල. කෝ සල්ලි ගෙවාපිය කියල කිව්ව...හෙහ්,හෙහ්,

අර අලුතින් ආපු බොසා කලේ කතා කලා අපෙ කේබියට.

" කිරිබණ්ඩා...හෙට උදේ පොඩි වැඩක් කරන්න ඕන. දහ අටේ ඩී ඇලේ ඉඳල විසි තුනේ ඩී ඇල ගාවට යනකල් අර චීන කොම්පැණිය කැලේ සුද්ද කලේ ..අන්න ඒ කෑල්ලේ තියෙන ගස් ගාණයි ඒ ගස්වල ගර්ත් එකයි මැනගෙන එන්ට ඕන..තේරුණාද? අර චෙක් රෝලෙං ගෝලයො දෙන්නෙකුත් අරගෙන යන්ට. "

කේබියත් පහුවදා උදේම අලුත් ෆීල්ඩ් බුක් එකකුයි ටේප් එකකුයි අරගෙන ගෝලයො දෙන්නෙකුත් අඬගහගෙන... ඕකගෙ තියෙනව පියාඹන පීරිසියක් විතර ඇති පංකොළ තොප්පියක්. ඕකත් දාගෙන පිටත් උනා. හවස ආපහු අපෙ ක්වාටස් එකට ආවෙ පාං කියාගන්ට බැරි සයිස් එකෙං..

" හරි අමාරුයි බං හොඳ පණගියා. " කේබී තේ එක බොන ගමං එහෙම කිව්ව.

" ඔව්නෙ... මේ දවස්වල පැලෙන්ට පායනවනෙ…" මම එහෙම කියල හිනාඋනා.

" වැඩේ ඉවරද මචං? " ආයෙම මම ඇහුව…

" පිස්සුද තව කොහෙද? උඹ හිතන්නෙ ඒක සෙල්ලං කෙලියක්ය කියලද? " 

කේබියා තේ කෝප්පෙත් අරගෙන නැඟිටින ගමං එහෙම කිව්වෙ අමනාපෙං වගේය කියලත් මට නිකමට වගෙ හිතුන.

" වැඩේ ඉවරද කිරිබණ්ඩ? " පහුවදා ඔෆිස් එක ඉස්සරදි බොස් ඇහුවෙ අපි උදේ පොත අත්සන් කරන්ට යද්දි.

අපේ රාජකාරි නිල වෙලාව උනේ උදේ 600 ඉඳල හවස 1830 වෙනකල්. ඒ නිසා ක්ෂේත්‍ර රාජකාරි කරපු කවුරුත් තරාතිරමක් නැතුව උදේ හයට ඔෆිස් එකට ගිහිල්ල පොත අත්සන් කලා.

" නෑ බොස් අද දවසත් යයි වගේ.."

" ආ..එහෙමද? …." බොසා පුදුමෙං වගෙ කේබිය දිහා එක පාරක් බලල මොනවද කියන්ට වගෙත් ගිහිල්ල ආයෙම " හරි හරි වැඩේ ඉවර කරන්ටකො " කියල යන්ට ගියා.

බොසා යන දිහාවෙ රවාගෙන හිටපු කේබිය ආපහු මගේ පැත්තට හැරුන.

" හුහ්, දැක්කද බොසාගෙ කතාව? පොර හිතාගෙන ඉන්නෙ මම අර පළු ගහක් යට පත්තරයක් එලාගෙන දවසම බුදියගත්තයි කියලද දන්නෙ නෑ...බාරදීපු වැඩේ අමාරුව එයාට තේරෙන එකක්ය. "

" ඒත් මචං මම මේ උඹෙං අහන්ටමයි හිටියෙ...." මම ඉතුරු හරිය ගිල ගත්ත කේබිය මා දිහාවෙ රවපු රැවිල්ලට…

" මොකක්ද උඹ අහන්න හිටියෙ? "

" ආ..නෑ..නෑ මොකවත් නෑ...." මම එතනිං එහාට වචනයක් කතා කලේ නෑ..

ඇත්තටම මට අහන්න ඕන උනේ මේ ගස් දෙතුන් සීයක වටප්‍රමාණය මනින්ට දවසකිනුත් බැරි උනේ මොකද කියලයි. ඒත් කේබිය ඕක නුහුරට හිතල මට අම්ම මෝ නැතුව බණින්ටත් බැරි නෑ..එහූ දසය. මේ උදේ පාන්දර නිරපරාදෙ කණ පුරවල අහගන්නෙ මොන කෙහෙල් මලකටද කියල හිතල මම නිකා හිටිය.

එදා හවසත් කේබිය ආවෙ හුඹහෙං ඇදල ගත්තු නයා වගෙ. මම මොකවත්ම ඇහුවෙ නෑ...වැඩේ මොකද? ඉවරද? කින්ද මන්ද? කියල..

" හෙට දවසත් යයි වගෙ බං...හරිම අමාරුයි..සැමී ඔය කේතලේට වතුර එකක් පුරවල ලිපේ තියාපං බං..උණු වතුර ටිකකිං ඇඟපත හෝද ගත්තොත් මේ අමාරුව ටිකක් යයි. වණේ දාල කොටල වගෙ බං.."

එහෙම කියල කේබිය නොන්ඩි ගගහ කාමරේට ගියා. විමලෙයි මායි මූණෙං මූණ බලාගත්ත.

" යකෝ මේක මාර කෙලියක්නෙ. මේ පොඩි වැඩේට මේ යකා දැං දවස් දෙකක් ගත්ත. ඒත් ඉවරයක් නෑ තාම. මේ විමලෙ ..මෙතන මොකක් හරි තියනව කේස් එකක්. මුගෙං ඔව්ව අහන්ට බෑ දන්නවනෙ එක ජාතියක මනුස්සයනෙ. මූලවාතෙ තද උනොත් මෙතන ආය ඉඳල ඉවරයි. ඕක එක්ක ගියේ අර පේමසිරියයි නවරත්නයි නේද මනින්ට. ඉඳහං මම ගිහිල්ල අහගෙන එන්ට මොකක්ද මේ සීන් එක කියල "

පේමසිරියයි, නවායි අපෙ චෙක් රෝලෙ ගෝලයො. ටෝච් එකක් අරගෙන මම ගියා මයිනර් ස්ටාෆ් ඩෝමිටරි එක නොහොත් සුළු සේවක නේවාසිකාගාරය පැත්තෙ.

" පේමසිරිය ඉන්නවද බං? "

මිදුලෙ හිටිය ඇල්බට්ගෙන් අහගෙනම මම ගෙට ගොඩ උනා. ඇල්බ අපේ ට්‍රැක්ටර් රියදුරු.

" ඉන්නව මහත්තය... අන්න අතපය බරු ගහගෙන ඇවිල්ල සිද්දාර්තෙ ගාගන්නව කාමරේ…"

" ඈ..අතපය බරුගහගෙන ? "

එහෙම අහගෙනම මම ගියා පේමෙගෙ කාමරේට.

" ආ මහත්තය එන්ට එන්ට.." පේමසිරිය නැඟිටින්ට හැදුව.

" මොකද බං උඹට උනේ? මේ අතපය ඔක්කොම බරු ගැහිල නේද? යකෝ අලියෙක් වත් පැන්නුවද උඹල තුංදෙනා පාරෙ.." එහෙම අහල මම පේමෙගෙ ඇඳ කෙලවරේ ඉඳගත්ත.

" ඔහෙ පන්නපු අලියෙක් නෑ මහත්තය "

" එහෙනං? "

" අම්මාපල්ල මහත්තය කිව්වට විස්වාස කරන්ට. අපෙ බාප්ප ගස් නැඟල අතු පාහින එක තමයි රස්සාවට කරන්නෙ. උන්දැට දැං පණහත් පැනල.."

" ඉතිං? ඉතිං? "

මමත් හරිබරි ගැහිල ඇස් දෙක මදිවට කටත් බාගෙට ඇරගත්ත. ඔය පේමසිරිය ඉළ ඇදෙන කතා කියන්නෙ. අනික් එවුං ඕකට කියන්නෙ කටා කියල..

" ඉතිං බං? මොකක්ද උඹලගෙ අතු පාහින බාප්පොච්චිගෙ සම්බන්දෙ මෙතනට? "

" ඉන්නකො මහත්තය ඒක තමයි මම මේ කියන්න යන්නෙ.අපෙ පනහත් පැනපු බාප්ප නැඟපු ගස් ගානට වැඩිය ගස්වලට මම නැග්ග මහත්තය මේ ඊයෙයි අදයි. එකක් හරි වැඩි මිසක අඩුනං නෑ. මට ෂුවර් ඒක."

" හෙහ්, හෙහ්, ඒ මොකද බං? හා හරි හරි මම දන්නව...කේබී මහත්තය පළු කන්ට දෙයිය. උඹව නග්ගවන්ට ඇති පළු ගස් වලට.."

මෙතන වෙලා තියෙන්නෙ මොකද්ද කියල මට සහසුද්දෙම්ම තේරුණා. ඒත් මම අරම කිව්වෙ පේමය කුල්මත් කරල ගන්ට.ආය මොනවද? ඌ හනුමගෙ වලිගෙට ගිණි තිබ්බ වගෙ ෆෝම් උනා.

" මහත්තය මේ කෙහෙම්මලක් කතා කරනව. "

පේමය කිව්වෙ මගෙ මූණ දිහාට දකුණු අත දික් කරල. තව පොඩ්ඩෙං මගෙ ඇහැත් පොට්ට කරනව මේකා...මම කෝකටත් ටිකක් ඇඳේම එහාට උනා…

" එහෙනං බං? "

" අර රාජපක්ස බොස් කිව්වලුනෙ ඩෝසර් කරල ඉතුරු කරපු ගස්වල උස මැනගෙන එන්ට කියල.ඉතිං ඊයෙයි අදයි දවස් දෙකේම කේබී මහත්තයයි නවයයි මායි කලේ ඔය රාජකාරිය. ලේසි නෑ මහත්තය මේ දාරානිපාත හුළඟෙ ඔය දඩ ගස් වල මුදුං දල්ලටම නඟින එක. මයෙ ඇඟේ ලේ වතුර වෙලයි ඔන්න තිබ්බෙ මුලු දවසෙම. "

පේමය ඇසුයි කටයි නටව නටව කියාගෙන යනව. ඌ කතා කරනව බලා ඉන්ට ආසයි.

" මම ඉතිං ගහේ දල්ලටම නැඟල ටේප්පෙකේ බිංදුව අල්ලනව ගහේ මුදුනට. ගහමුල ඉඳල නවය ටේප් එකේ අනික් කොණ බිමට අල්ලනව. කේබී මහත්තය ඇවිත් දනගහගෙන නැමිල බලල එතන තියන ගාණ ලියාගන්නව අර නෝට් පොතේ. ඩී විසිතුන ඇල අසල පළු ගස උස අඩි තිස් දෙකායි අඟල් අටායි. ඔහොම හෙමිහිට තොල මතුරල කියල ඒ ගණං හිලව් පොතේ ලියාගන්නව. "

" නෑ???....." මම හිනාව නවත්ත ගත්තෙ බොහොම අමාරුවෙං " බොරු කියන්ට එපා බං "

මුං තුංදෙනා මේ කරල තියෙන විකාරෙ මතක් වෙනකොටත් මට ඉවසන්ට බෑ හිනාව. ඒත් හිනාවෙලත් බෑ. මොනව උනත් කේබිය නෝන්ඩි කරන්ටත් බෑනෙ.

" ඉතිං පේමෙ ඊට පස්සෙ? " මම තොල විකාන ඇහුව.

" ඊට පස්සෙ මම බිමට බහිනව. ඉතිං තුන්දෙනා එක්කම යනව ඊලඟ ගහ ගාවට. ආයම මම නඟිනව ගහේ මුදුනට. ආයම කේබී මහත්තය දනගහගෙන ටේප් එක බලල කියනව ... පලු ගහ ලඟම හුඹහ අසල වීර ගහ. උස අඩි විසිහතයි අඟල් 3 යි. කියල ඒ ගාණ පොතේ ලියාගන්නව. "

" නෑ???........."

" ඔන්න ඔහොම තමයි මහත්තය ඊයෙයි අදයි දවස් දෙකම ගත උනේ. මගෙ ඇඟ නිකං වණේ දාල කෙටුව වගෙ කොටින්ම. හෙටත් යන්ට ඕනය කිව්වෙ. අනේ මහත්තය මාව රස්සාවෙං දොට්ට දැම්මත් මම නෙවෙයි හෙටනං ඔය මඟුලට යන්නෙ. "

පේමෙ අල්ලට ගත්තු තෙල් ටික දකුණු දණිස්ස හරියෙ ගාගන්න ගමං කිව්ව.

" හැබැයි මහත්තය එකක් තියනව අපරාදෙ කියන්ට බෑ. මට අමාරුයි කියල තේරුණාම කේබී මහත්තය සපත්තු මේස් ගලෝල ගහ මුල තියනව. ඊලඟට කලිසමේ කකුල් දෙක නවා ගන්නව දණිස් හරියට. ආය මොනවද? මේං නඟිනව ගිණි කසය වගෙ ගහට. ඇත්තටම මොනවටද මහත්තය ඔය ගස් වල උස මනින්නෙ? "

" ඉතිං උඹ ඕක කේබී මහත්තයගෙන්ම අහන්ට එපාය... "

" ඇහුව ඇහුව "

" ඉතිං මොකද කිව්වෙ? "

" කවුරු දන්නවද බං ? සමහරවිට රාජපක්ස මහත්තයගෙ අම්ම නග්ගවන්ට වෙන්ට ඇති..මේ පේමෙ ඔය විකාර ඇහිල්ල පැත්තක තියල වරෙං විජහට මේ කෙහෙම්මල අදවත් ඉවරයක් කරල දාන්ට නැත්තං තව සුමානයක් විතර ගස් බඩගාන්ට තමයි වෙන්නෙ උඹටයි මටයි. ඔන්න ඔහොමයි කේබී මහත්තය කිව්වෙ...ඇත්තටම මොකටද මහත්තය ඔය ගස් වල උස මනින්නෙ? "

" ඔය ගස් වල රුක් දෙයියො ඉන්නවද කියල බලන්ටනෙ බං " මම කටට ආපු එක කිව්ව.

" ඈ ..ඒ කොහොමද ඒක දැනගන්නෙ? "

" පේමෙ….ඔය රුක් දෙයියො ඉන්නවයි කියන්නෙ අඩි විසිහයයි අඟල් තුනට වැඩි ගස් වල."

" නෑ? ………...මම එහෙම එකක් ඔය ඇහුවමයි.."

" ඒකනෙ කියන්නෙ බොරු නෙවෙයි බං ඇත්තම ඇත්ත. හෙට මනින්ට ගිහාම උඹ කේබී මහත්තයට කියාපංකො මහත්තය නොකිව්වට මම දන්නව ඇයි මේ ගස් මනින්නෙ කියල, රුක් දෙවියො ඉන්නවද කියල බලන්ට නේද? ඔහොම කියාපං හැබැයි කොල්ලො එකක් මං කිව්වය කියල එහෙම කියන්ට එපා..හොඳද? "

මම තොල් හපාගෙනම නැඟිටල පේමෙගෙ කාමරෙං එලියට ආව.හඳත් පායල ටෝච් එක ගෙනාවට කිසි වැඩක් උනේ නෑ.

Friday, June 20, 2014

265. කෝසළ සිහින - එකුන් විසි වැන්න නොහොත් නිදැල්ලේ මුදාහල චණ්ඩ සුනඛයින්ගේ වස්තුව.




එදවසැ සාවත්‍ය නුවරැ මහ වැසි වසින්නාහ. රාජ්‍යය මධ්‍යයේ පිහිටියාවූ සියළු වාපීන් සහ රැස්කුරු ජලාශයෝ ඉහිල් වීමකින් තොරවමැ නිරතුරු ඇදහැලෙන්නාවූ අසනි වර්ෂාවෙන් මුවවිට තෙක් පිරී ගොස් හෙයින් මහත් අනතුරක් වළක්වාගනු වස් වාපි රක්ෂාවරණය භාරවූ රජ පුරුෂයෝ වාන් දොරටු විවරකොටැ අතිරික්ත ජලකඳ මුදා හළෝය. 

එදවසැ කොසොල් රජ්ජුරුතෙමේ තම රටවාසීන් හටැ යම් උපද්‍රවයක් එළඹි කලැ වහා ඒ පිළිබඳවැ සොයාබලා පිළියම් යෙදීමට නිතොර උත්සුක වන්නාහු, ධාරානිපාත වර්ෂාවද නොතකා මහජනයාහට එලඹි අතුරු උපද්‍රව සියැසින්මැ නැරඹීම නම් රාෂ්ඨ්‍ර පාලක ලෙස තම යුතුකම යැයි සැළකුවාහු, පසල් දනව් පුරා චාරිකා කළාහුය.

පස් දිනක් මෙසේ චාරිකාවෙහි නිරතවැ රටවැසියාගේ ජිවිත මතුනොව දේපල පවා ආරක්ෂාකිරීමෙහිලා කුදු මහත් සියළු පියවර සලස්වා ලන්නාහු අවසන බොහෝ විඩාපත්වැ පෙරළා මාළිගයට සැපත්වූවාහුය.

අධික විඩාවෙන් පෙළෙන්නාවු නිරිඳානෝ රාත්‍රි භෝජනයද ප්‍රතික්ෂේප කළාහු, කොත්තමල්ලි පානය කුසලාන කිහිපයක් පමණක් පානය කොටැ සිරියහන් ගබඩාවට වන්නෝය.

ප්‍රියාදර අග මෙහෙසිය වූ සාමාවතියද සිය දෙමව්පියන් බැහැදැක සුව දුක් විචාරීම උදෙසා රජගහ නුවර බලා නික්ම ගිය බැවින් සිරියහනේ හුදකලාවමැ නිද්‍රාවට පත් රජතුමෝ රාත්‍රියේ පශ්චිම යාමයෙහි ගලාහැලෙන දහදියෙන් තෙමුනු සියොළඟින් යුක්ත වූවාහු, එක් සැණෙකින් අවදිව සිහී එළවා ගත නොහැකිව අන්ද මන්දව විදහාගත් සුරත් තඹරු සේ රත්පෑ ගත් දෙනෙතින් හාත්පස බලන්නට වූහ.

සයනාගාරයෙහි ද්වාරාරක්ෂාවෙහි නියුතු අංගාරක්ෂක සෙනෙවියෝද සිරියහන් ගබඩාවෙන් නැඟ ආ ශබ්දයෙන් වික්ෂිප්ත වූවාහු වහා දිව අවුත් රජුට නමස්කාරකොට මෙසේ පිළිවිසියාහුය.

අහෝ දේවයිනි! ඔබ වහන්සේට කුමන නපුරක්දැයි භීතියෙන් වහා දිව ආවෙමි. "

එබස් ඇසු රජ තෙමේ මන්දස්මිතියක් පළකොට මෙසේ පැවසූයේ අංගාරක්ෂකයාගේ කුකුස් දුරුකරලීය.

නැත දරුව, කලබල වීමට කිසිදු කරුණක් උදක්මැ නැත්තේමය. එක් භයානක ස්වප්නයක් දර්ශනය කල හෙයින් තිගැස්සී පිබිදුනෙමි."

එසේ පවසා අංගාරක්ෂකයා බණවා සිහිල් පැන් කුසලානක් ගෙන්වා පානය කොට යලි සයනය මතුයෙහි වැතිර ගත්තෝය.

සයනයෙහි වැතිරගත් නමුදු කිසිදු ලෙසකින් නිදිසුවයක්නම් විඳීමට අපොහොසත්වූ රජතුමෝ සයනයෙහි එහා මෙහා පෙරලෙමින් නිදි වර්ජිතවම අළුයම තෙක් කල් ගෙව්වාහු පෙර'ඹර හිරු නැඟෙන්නා හා සමඟම සයනෙයෙන් ඉකුත්ව මුව දොවාපියා වහා හැඳ පැලඳගත්තාහු, දෙව්රම් වෙහෙර බලා නික්ම ගියේ, චිත්ත සමාධියට උදක් බාධාකරන්නාවූ රාත්‍රියෙහි දුටු ඒ බියකරු සිහිනය පිළිබඳ තතු විමසා නිරවුල් විවරණයක් හා අර්ථ විවරණයක් සැපයීමෙහිලා සමත් එකම ඥාණවන්තයා තිලෝගුරු අපමහ බුදු රජාණන් වහන්සේ බව අතැඹුලක්සේම දන්නා බැවිනි.

බුදුන් වහන්සේද උදෑසනක්සේම අවදිව, මුව දොවා, පැන් සනහාපියා, පාතරාසය ද වළඳා, අවසන දම්සබා මණ්ඩපයෙහි වැඩ හිඳ භික්ඛු භික්ඛුණී උපාසක උපාසිකා යන සිව් වනක් පිරිස් කෙරෙන් පැනනැඟි සද්ධර්මය හා සම්බන්ධ ගැටළු උදෙසා විසඳුම් ලබාදෙමින් කල්ගත කරනුයේ මණ්ඩප දොරටුව කරා එළඹ එකත්පස්වැ හුන් රජතුමා ඇස ගැටුනේ " මහරජ, ඉදිරියට එනු මැනව, " යනුවෙන් මන්දස්මිතියකින් යුක්තව පවසා ඉක්බිති රජු තම දෙපා අබියස පසඟ පිහිටුවා වැඳ වැටුනු කල්හි සුරත ඔසවා " සුවපත් වේවා! " යනුවෙන් ආශීර්වාද කලාහුය.

ඉනික්බිති බුදුන් වහන්සේ තමන් දෙපා නැමද පසෙකටව උකටලීවැ හිඳිනා රජු වත දෙස එක එල්ලේ බලමින් මෙසේ විචාලෝය

" කිමෙක්ද මහරජ? යලිදු වරෙක් තොප චිත්ත සන්තානය පෙලනා යම් කාරණයක් ඇති සැටි දිස්වේ. කිමෙක්ද? නිර්භයව නොවලහා පවසව. තොප සිත් තැවුල් දුරුකොටැ සිත් සනසන්නෙමැයි " පවසා මඳහසින් යුතුවැ පොරොත්තු වූවාහුය.

එබසින් ධෛර්යයට පත් රජතොමෝ යලිදු වරක් බුදුන් වහන්සේ නමැද මෙසේ පවසන්නට වූහ.

" අහෝ ස්වාමීනී, පෙරදින රාත්‍රි පශ්චිම යාමයෙහි බොහෝ සෙයින් බියකරු නපුරු සිහිනයක් දුටුවෝ අප රාජ්‍යයට ඉන් කවර අනතුරක් වේදැයි සිත කුකුස් හට ගත්තාහු බියෙන් තැවෙන්නමෝය. ඒ කෙසේද යත්, ඉතා රෞද්‍ර පෙනුමැති දඩ වැද්දෙක් වන් පුරුෂයෙක් ගොර බිරම් හඬින් දසත වෙව්ලුම් කමින් බුරා හැලෙන රුදුරු සුනඛයින් රැළක් නුවර මධ්‍යයේ මුදාහරින්නාහ. කසාය වස්ත්‍ර හැඳි උක්ත සුනඛයෝ රුදුරු හඬින්ගොරවමින් ගර්ජනා කරමින් අහිංසක පුරුෂයින් සහ ස්ත්‍රීන් වෙතට කඩා පනිමින් උන් සපා කමින් මහත් කලි කළහයක යෙදෙන්නාහ.කසාය වස්ත්‍ර ධාරී සුනකයින් පසුපස ඔල්වරසන් නඟමින් පැමිණෙන්නාවූ කවන්ධයෝ ශත සහස්‍ර සංඛ්යාවෙක් සුනඛයින්ට බියෙන් හිස් ලූලූ අතැ පලායන ජනයා වෙතට පැන ඔවුන් රිසිසේ 
තලා පෙලන්නාහ .ජීවිතාශාවෙන් සතර දිශාවට පලායන ස්ත්‍රී පුරුෂයෝ පූර්වෝක්ත රෞද්‍ර පුරුෂයාණන් හට ආයාචනය කරන්නහු තම දිවි රැකදෙන මෙන් ඉල්ලා සිටින්නාහුය. එබස් නෑසූ කණ්වැ හිඳිනා රෞද්‍ර පුරුෂයෝ සුනඛයින් සියලු නොපනත්කම් අවසන්වැ තත්වය යම් පමණකට සන්සුන් වූ කල්හි නිද්‍රාවෙන් අවදිවූවාක් මෙන් ගර්ජනා කරන්නාහු.... කිසිවෙකුට නීතිය තම සිතැඟි පරිදි මෙහෙයවිය නොහැක. වරදක් කලේ කවරකු වුවද දැඩි වූ දණ්ඩනයට යටත් කෙරෙමියි.... හැඳ සිටිනා ශ්වේත වස්ත්‍රයෙහි මල පහ වන තෙක් ගිරිය යටින් මරහඬ තලන්නාහ. ඒ අසා සිටිනා නුවරු පශ්චාත් භාගයෙන් මහත් හඬින් සිනාසෙන්නාහු තුමූද හැඳ සිටිනා වස්ත්‍රයන්හිම මල පහ කරගන්නෝය. අවසන සියල්ලෝම මල පහවූ වස්ත්‍ර සහිතව තුෂ්නිම්භූතවැ එකිනෙකා දෙස බලාසිටින්නාහුය. අහෝ ස්වාමීනී, මේ භයංකර සිහිනය මාගේ මේ දේශයට නුදුරු අනාගතයේ පැමිණීමට නියමිත යම් අතුරු උපද්‍රවයක අසුභ පෙරනිමිති වේදැයි බියෙන් තැවෙමි. "

රජතුමෝ එසේ පවසා බිය රැඳි නෙත් බුදුන් වහන්සේගේ වත කමල දෙසම යොමා ගත්තේ ඇඳිලි බැඳගත්වනම නිහඬ වූහ.

මඳක් නිහඬවමැ ගතකරනා බුදුන් වහන්සේ ඉනික්බිති ශාන්තවූ ස්වරයෙන් රජු අමතන්නාහු මෙසේ පැවසුවෝය.

" බිය නොවනු මැන පින්වත් රජතුමනි, මේ ඔබටවත් ඔබ රාජ්‍යයටත් වන්නාවූ යම් අතුරු අන්තරායක පෙර නිමිති නොවන බව සැළකුව මනාය. ඒ කෙසේද යත් මේ වනාහී මීට වසර දෙදහස් පන්සියයක ඇවෑමෙන් අප දඹදිව් දේශයට දකුණින් පිහිටනා දිවයින් රාජ්‍යයක සිදුවන්නමෝය. එකල ඒ රාජ්‍යයට ඉතා බලවත් සොර දෙටුවෙකුගෙන් බොහෝ අනතුරු සිදුවන්නාහ.උහු එක් වරමැ ප්‍රත්‍යාන්ත ගම් දනව් කරා කඩා වැද බොහෝ මිනිසුන් නිර්දය ලෙස ඝාතනය කරන්නාහ. "

" කිසිදු අයුරකින් මර්දනය කල නොහෙන මේ සොරදෙටුවා මර්දනය කිරීමට ඉදිරිපත්වන එක්තරා පුරුෂයෙක් කෙසේ හෝ උහු ඝාතනය කොට සාමය උදාකරන්නාහ. ඒ උදෙසා ඔහු තම සහෝදරයින් ඥාතීන්, හිත මිත්‍රාදීන් ඈ තමනට සුළු වශයෙන් හෝ ඥාතීත්වයක් ඇත්තාවූ සියළු දෙනාහට උසස් තනතුරු, තාන්න මාන්න යනාදිය පිරිනමන්නාහ. අහෝ කම් නැත, උහු අර සොර දෙටුවා නසා දැමීමම වනාහී කවර නම් ආශ්චර්යයක්ද එසේ හෙයින් කම් නැත පවසමින් නුවරු සිත් සනහා ගන්නාහුය. එහෙත් සොරදෙටු ඝාතක පුරුෂ තෙම සොර දෙටු මරාදැමූයේ මම්ම වේද? එසේ හෙයින් මේ දිවයිනේ පාලනය කල යුත්තේ මින් මතු මා සහ මගේ පුත්‍රා දාරකාදීන්මය යනුවෙන් සිතන්නහු එසේ නියෝග ද පනවා සම්මත කරගත්තාහුය. "

" සොර දෙටුවා ඝාතනය කොටැ පස් වසරක් ඉක්ම ගියමුත් නුවරුන් උදක්මැ අපේක්ෂා කල පරිදි කිසිදු සමෘද්ධියක් දක්නට නොලැබෙන කල්හි තැන තැන් ගම් නියම් ගම්හි බොහෝ කසුකුසු ඇතිවන්නාහ. සොර දෙටු ඝාතක පුරුෂ සහ ඔහුගේ ඥාතී බන්ධු මිත්‍රාදීන් නුවරුන්ගේ සමෘද්ධිය වෙනුවෙන් වැයකල යුතු මහත් ධනයක් ඉතා සූක්ෂම ලෙස වඤ්චාවෙන් පැහැර ගන්නා ලද්දේය යනුවෙන් පැතිරෙන රාවය වළකනුවස් සහ එලෙසම නුවරුන්ට තමන් සාමය උදාවෙන් පස්වසකට පසුවද හිඳිනා දුක්ඛිත භාවය අමතක කරවනු පිණිස සොර දෙටු ඝාතක පුරුෂ තෙම නවතම ක්‍රමෝපායක් අනුගමනය කරන්නාහුය. එනම් රිසි පරිදි නුවරුන් අතරට වැද කල කෝලාහල කරනු පිණිස පූර්ණ අවසරයක් මත කසාය වස්ත්‍ර ධාරීහු නුවර මධ්‍යයේ මුදා හැරීමය. එකල ඔහුගේ අපේක්ෂා සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වන්නේමය. නුවරු තමන් නිරතුරු පෙලන්නාවූ අන් සියලු ගැටළු අමතක කොට වහ වහා කසාය වස්ත්‍ර ධාරීහු පසුපස රොද බැඳ ඇදෙමින් ඔල්වරසන් දෙන්නාහ..කසාය වස්ත්‍ර ධාරීහු බුරාපනින තම සහෝදර නුවරුන්හට කැට කැබිලිත්තෙන් පහර දෙන්නහුය. අත පය බිඳ ලන්නාහුය.මේ කල කෝළාහලයට එකහෙලා විරුද්ධ අපක්ෂපාතී නුවරුන්ද කිසිවත් කරකියාගත නොහී තුෂ්නිම්භූතව උකටලීවැ බලා සිටින්නහ. "

" මහරජ, මාගේ චිත්ත වික්ෂෝපයට කාරණය නම් මේ කසාය වස්ත්‍ර ධාරී චණ්ඩ පුරුෂයෝ මේ සියලු නොපණත්කම් කරනුයේ මාගේ නාමය දඩමීමා කොටගෙනය. ගිණි නිවන්නෝ වියයුතු ඔවුහු ගිණි අවුළුවන්නෝ වෙති. ඔවුහු බුද්ධ ශාසන ආරක්ෂා කිරීමෙහි ලා එකම බලධාරීන් ලෙස තුමූම පත්කොටගෙන සිටිති.වසර පන්දහසක් මාගේ ධර්මය නොනැසී පවතිනුයේ එම දිවයිනේ බව තුමූම පවසන්නාහුය. එලෙසම පිරිනිවන් මංචකයෙහිදී එම දිවයින රකිනු උදෙසා යම් දෙවියෙකුට මවිසින් පවරන ලද්දේය යනුවෙන්ද ඔවුහු නිරතුරු පවසන්නාහ. අහෝ! වසර පන්දහසක් පවතිනුයේ ඔවුන් අදහන ධර්මය නම් ඒ නැසීයාම යෙහෙකි. මක්නිසාද යත් කිසිසේත්ම ඒ මවිසින් වදාල ධර්මයනම් නොවන බැවිනි. "

" එසේ හෙයින් පින්වත් මහරජ, නොබා හිඳිනු මැන. මේ සිහිනය කිසිසේත් නුඹට හෝ නුඹගේ රාජ්‍යයට සිදුවන්නට නියමිත වූ අනතුරක් පිළිබඳ අසුබ නිමිත්තක් නම් නොවේමය."


එසේ පවසා සිද්ධාර්ථ ගෞතම නම් වූ අප මහ බුද්ධෝත්තමයාණන් වහන්සේ කොසොල් රජුගේ කුකුස දුරුකොට ඔහු සිත් සැනහවූ බව මෙයින් දත යුත්තේය.

කෝසළ සිහින එකුන් විසිවැන්න නොහොත් නිදැල්ලේ මුදාහල චණ්ඩ සුනඛයින්ගේ වස්තුව මෙතෙකින් නිමියේය.

Monday, June 16, 2014

264. ආවර්ජනා.....In Retrospect

Star of Heaven by Edward Robert Hughes


සදාතන යයි එසඳ සිතු සෙනෙහසක සුවඳකි යළිදු දැනුනේ, 
වලාපෙල තුල එතුනු සඳවත කලා සොළසකි පුරනු පෙනුනේ,
මලානික තරු ලකුණු මංපෙත පුරා සෙවණැළි අඳිනු ඉතිනේ,
විලාසෙන නුඹ එකල හිනැහුනු රෑ මනාලී මලකි පිපුනේ. 


අනන්තය වෙත පියනඟන්නෙමි නෙතඟ පිරි කඳුලකට සමුදී,
වසන්තය එන්නටත් පෙර ආ ගිම්හානයකි මහද කැළඹී,
සයින් පෙලෙනා මසිත පතනා ඉසුඹුවකි මංපෙතග දිස්වී,
ඉදින් වෙහෙසවු දෙපායුග මා නොදැනුවත්වම එදෙස යොමුවී.

සරාසඳ හද එකලුකරමින් දිලුනු දා ඇස නොගැටි තරුවක්,
පුරාවිල දිය පිපුනු සියපත ලඟ සැඟව හුන් කුමුදු කැකුලක්,
වරාසිත නෙතුයුගට හඬනා දයාබරවූ සිනහ ගඟුලක්,
නිරාදුක විඳිනා කලට හදවතට ගල්වන සෙනෙහෙ සිහිලක්.

එසඳ හදවත පුරා විඳි සෙනෙහසේ සුවඳත් වැළඳ ගන්නෙමි,
මහද කඩතොළු මකා සුවපත් කල සෙනෙහසේ සුව විඳින්නෙමි,
සුළඟ එනු ලෙද අගුළු හැර හදකවුළු ලෙන්දොර විවර කරනෙමි,
ගිරග සඳ නැතුවද දිලෙන තරු එළිය දෝතට ගෙන සිඹින්නෙමි. 

Thank You  - කඳු.....

Sunday, June 8, 2014

263. හිරු සඳු එකවර දෙපස නැඟී........Of The Sun & Moon, Dhraupadhi & A Short Story...


මාසෙකට හමාරකට වගෙ ඉස්සරවෙලා අපෙ කම්පනි එකට අලුතෙන් ආපු ඉන්දියානුවෙක් මට ආරාධනා කලා සති අන්තයෙ පොඩි සුහද හමුවකට. සිකුරාද දවසක උදේ ඔන්න මමත් ගියා. මිනිහගෙ තව ඉන්දියන් යාලුවො තුන් හතර දෙනෙක් හිටිය. අන්‍ය ජාතිකයෙකුට ඔන්ලි මී.Old Monk Dark Rum තමයි මෙහෙ ඉන්න බොහෝ ඉන්දියානුවන්ගෙ ප්‍රියතම පානය. ඉන්දියාවෙ උනත් අංක එක ඒක තමයි. 

මම චෙන්නයි ගිය වෙලාවෙ තැබෑරුමක පියගැට පෙලේ ඉඳගෙන ඔය රම් බෝතල් දෙකක් පානය කරපු බොහොම සුන්දර අත්දැකීමක් තියනව. දෙමළ කතාකරන්ඩ බැරිඋනාට මට යම් තරමකට තේරුම් ගන්ට පුලුවනි. ඒ දන්න ටික සහ හස්ත මුද්‍රා, අංග චලන උපයෝගී කරගෙන එදා ඒ පියගැටපෙළේම මා වටා ඉඳගෙන උන්නු චෙන්නයි වාසීන් සමඟ බොහොම සුහද සාකච්ඡාවක නිරත වුනු අන්දම අදත් සොඳුරු මතකයක්. ක්‍රිකට්, ඉන්දු - ලංකා සබඳතා, රාම, රාවණ, විජය ඔය වගෙ බොහෝසේ පුළුල් විෂය පරාසයකට අදාලව අපි අදහස් හුවමාරු කර ගත්ත.

හරි ඒ සොඳුරු අතීතානුස්මරණයෙන් පසු යලි වර්තමානයට.

රම් බෝතල් දෙකක් මුලින්ම කාමරෙන් අරගෙන ඇවිල්ල ටීපෝව උඩ තිබ්බ මගෙ යාලුව. මිනිහගෙ නම කිරන්. කිරන්ල දෙන්නෙක් ඉන්නව මම දන්න. එක්කෙනෙක් කිරන් මෝරේ..ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමේ හිටපු කඩුළු රකින්නා.අනික් කිරන් ඇවිල්ල කාන්තාවක්..කිරන් බේඩි...ඉන්දියානු පොලිස් සේවයේ අධ්‍යක්ෂවරියක්, විශ්‍රාම යාමෙන් පසු සමාජ ක්‍රියාකාරිනියක්.

" කන්න රවී...."

කිරන්..මිනිහ ඇවිල්ල කිරන් මතොන්ද්කර්...කැරට්, පිපිඤ්ඤ, ගර්කින්, සුකිනි දිගට තීරු කපල ලුණු ගම්මිරිස් ඉහල දීසියක දාල....කිරන් මට ඒ දීසිය දික් කලා. මිනිහ තනිකරම වෙජිටේරියන්...ඒ කැරට්, සුකිනි ගර්කින් තීරු Garlic Mayonnaise ටිකක් තවර ගත්තම ආය නෑ මරු බයිට් එක.

පොඩ්ඩ පොඩ්ඩ Old Monk බෝතලේ මට්ටම පහළ බහිනවත් එක්කම කතාබහ පුරාණ ඉන්දියාව පැත්තට හැරුනා. කිරන් ඇවිල්ල බොහොම හොඳ රසිකත්වයක් තියෙන මනුස්සයෙක්. බෂාම්,රොමිලා තාපර් ගෙ ඉඳල නේරුගෙ ඩිස්කවරි ඔෆ් ඉන්ඩියා හරහා රාමායණය සහ මහාභාරතය දක්වා අපේ කතාබහ පැතිරුනා.

" Shall we watch Mahabharath? I have some very recent CDs "

කිරන් එහෙම ඇහුවෙ මගෙන්.

"Yeah, why ever not? I would love to. It's one of my favourite Indian sagas "


1994 අවුරුද්දෙ...... මම එතකොට බැඳල එහෙම නෑ. අපෙ මහ ගෙදරට ඉස්සෙල්ලාම වර්ණ රූපවාහිණියක් ගෙනාවෙ ඒ අවුරුද්දෙ මැයි මාසෙ. රූපවාහිනිය ඒ අවුරුද්දෙ වෙසක් පෝයට දඹදිව ඉඳල අපූරු වැඩ සටහනක් විකාශය කලා බුද්ධ පූර්ණිමා කියල. ඒක තමයි වර්ණ රූපවාහිනිය ගෙනල්ල අපි බලපු මුල්ම වැඩසටහන.

ඒ දවස්වල මම සෙනසුරාද වරුවක් වැඩ කරල ගෙදර එනව. ඉරිද ගෙදර ඉඳල සඳුද පාන්දර ආපහු වැඩට යනව. ඉරිද දවල් එකහමාරට වගෙ සිරසෙ ප්‍රචාරය උනා මහාභාරත කතාව ටෙලි චිත්‍රපටයක් විදිහට.මමයි අම්මයි නංගිල දෙන්නයි නොවැරදීම ඒ පැයක කාලය රූපවාහිනිය ඉස්සරහ තමයි.

මහාභාරත කතාවෙන් කියවෙන්නෙ පාණ්ඩව සහ කෞරව සහෝදරවරුන් අතර සිදුවන මහා යුද්ධයක් ගැනයි. පාණ්ඩව සොහොයුරන් පස් දෙනයි. යුධිෂ්ඨිර, භීම, අර්ජුන නකුල සහ අන්තිමයා සහදේව. ද්‍රෞපදී කියන්නෙ බොහොම රූමත් කුමාරිකාවක්. ඇයට ස්වාමියකු තෝරාගැනීම සඳහා තරඟයක් පැවැත්වෙනවා. මහ විසාල දුන්නක දුනුදිය යොදල ශාලාවෙ සිවිලිමේ යන්ත්‍රානුසාරයෙන් එහෙමෙහෙ දුවන මත්ස්‍ය රූපයක ඇහැට විදින්න ඕන බිම තිබෙන ජල බඳුනක දිස්වන මාලුවගෙ ප්‍රතිබිම්බය දිහා බලාගෙන.

මේ තරඟයෙන් අර්ජුන ජයග්‍රහණය කරල ද්‍රෞපදී දිනා ගන්නව. සහෝදරයො පස් දෙනා ද්‍රෞපදීත් එක්කෙගෙන එනව . ඇවිල්ල අම්මට කියනව " අම්මෙ මෙන්න බලන්නකො අර්ජුන දිනා ගත්තු දේ " කියල. අම්ම හැරිල බලන්නෙවත් නැතුව කියනව " අර්ජුන දිනාගත්තු දෙයක් තියනවනම් උඹල පස් දෙනාම ඒක බෙදාගනිල්ල " කියල. ඉතිං අන්තිමට කොහොමින් කොහොමින් හරි ද්‍රෞපදී සහෝදරයො පස් දෙනාටම භාර්යාව වෙනව.

එකගෙයි කෑම කියන්නෙ මේ සිරිතට. එකම පවුලෙ සහෝදරයන් කීප දෙනෙක් එකම කාන්තාවක් භාර්යාව වශයෙන් තබාගෙන පවුල් කෑම.

ඔය එක ගෙයි කෑම ගැන මොනව හරි ලියන්ට ඕනය කියල මම හිතාගත්තෙ අර කිරන් එක්ක මහාභාරතය බලපු දවස්වලමයි. මම කාලෙකට ඉස්සෙල්ල පොඩි කුමාරිහාමි එකගෙයි කෑම ගැන ලියපු පෝස්ට් එකකට කමෙන්ට් එකක් හැටියට පොඩි කතාවක් ලිව්ව. ඒකත් එක්ක මේ ගැන ලියන්ට හිටියට ඒත් කොහොමින් කොහොමින් හරි ඒ වැඩේ මඟ ඇරුන දවසින් දවස.

දවස් දෙක තුනකට ඉස්සෙල්ල හැලප ලියල තිබ්බ පෝස්ට් එකක් කේ. ජයතිලක මහත්තය ඔය චාරිත්‍රය ගැන ලියපු " එක ගෙයි අවුරුද්ද " කෙටිකතාව පලකරල. ඒක කියෙව්වම මට හිතුන මෙච්චර දවසක් අත පහු වෙච්චි ඒ කතාව ආපහු ලියල දාන්න ඕනය කියල.

මේ පල්ලෙහා තියෙන්නෙ ඒ කතාව....


හිරු සඳු එකවර දෙපස නැඟී................

" වහාම දින කීපයක් නිවාඩු දමා ගෙදර එන්න "

අප්පච්චිගේ විදුලි පණිවිඩය ලැබෙන විට මම මේ දිනවල නිම කරමින් සිටි ව්‍යාපෘති වාර්තාවේ ලිවීමට ඉතිරිව තිබුනේ සමාලෝචනය පමණි.

එබැවින් එදින අඟහරුවාදාවක් වුවද, දින තුනක් නිවාඩු දමා කාර්යාලයෙන් බැහැරව යාමට ලොක්කාගෙන් බාධාවක් නොවීය.

මහනුවර කරා දුම්රියේ එන තුරුත්, මහනුවර සිට හුන්නස්ගිරිය පාරේ අපේ ගම කරා දිනකට එක් වරක් දිවෙන බස් රථයේ අතුරු සිදුරු නැතිව පිරීගිය මිනිස් පොදිය තුල සිරවී ගෙනත් මම අසාර්ථක උත්සාහයක යෙදුනේ අප්පච්චිගේ මේ හදිසි කැඳවුමට හේතුවක් සිතා ගැනීමටය.

දුම්බර කඳු වලල්ල අසල දුෂ්කර ගම්මානයක ප්‍රභූ පැලැන්තියක උපත ලද මට සිටියේ එක් වැඩිමහල් සොහොයුරකු පමණි. මට වඩා වසර අටකට පමණ පෙර උපත ලද හෙතෙම වැඩිදුර අධ්‍යාපනයට යොමු නොවූයේ පාරම්පරික වතු පිටි රැක බලා ගැනීමෙහි පූර්ණ කාලීනව යෙදුනේය.

කුඩා කල සිට ඉගෙනීමේ සමත් වූ මම මහනුවර ප්‍රසිද්ධ පාසලක උසස් අධ්‍යාපනය ලැබීමෙන් අනතුරුව පේරාදෙනිය විශ්ව විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලබා උපාධියක් ලැබ ගත්තේ අගනුවර පෞද්ගලික ආයතනයක රැකියාව කලෙමි.විශ්ව විද්‍යාලයේදී හමුවූ මගේ පෙම්වතිය ද අගනුවරම රජයේ ආයතනයක රැකියාවක යෙදුනු අතර ලබන වසරේදී අපි විවාහ වීමට තීරණය කොට තිබිණි.

දස හැවිරිදි වියේ සිට පමණ නිවසින් පිටමංවූ හෙයින් අප්පච්චි, අයියා සහ මා අතර වූයේ දුරස් වූ සබඳතාවයකි. නිවසේ මා හා සමීප වූයේ අම්මා පමණකි.මා උසස් පෙල ඉගෙනුම ලබද්දී අම්මා ද හදිසියේ මියගියහෙයින් ඉන්පසු මම ගෙදර පැමිණියේද බොහෝවිට දෙමසකට පමණ එක් වරකි.

අවසන් වරට මා නිවසට පැමිණියේ මීට සය මසකට පමණ පෙර අයියාගේ විවාහ මංගලෝත්සවය සඳහාය.

අයියා කැන්දාගෙන ආ මනාලිය සැතපුම් දොළහකට පමණ දුරක පිහිටි අම්මාගේ පාර්ශ්වයෙන් අපට දුරින් ඥාතීත්වයක් ද ඇති අප සේම ප්‍රභූ පැලැන්තියේ යුවතියක් වූ අතර සිත් ඇදගන්නා රුවින් යුතුවූවාය.

ඈ මා ඇමතුවේ " පොඩි අයියා" යනුවෙනි.

විවාහ මංගල්‍යයෙන් පසු සතියක් පමණ මම නිවසේ රැඳී සිටි අතර ඒ කාලය තුල තුල නෑනා මා හා බොහෝ සමීප වූවාය. අසල නගරයේ මධ්‍ය මහා විද්‍යාලයේ උසස් පෙළ සමත් වී සිටි ඇය විශ්ව විද්‍යාලයට ඇතුළු වීමට ලකුණු කිහිපයක් පමණක් මද වීම පිළිබඳව අදටත් පසු තැවිලි වන බව පමනක් නොව පාසල් සමයේ ඇගේ පැවති පෙම් සබඳතාවයක් ගැනද මා හා පැවසුවේ මා බොහෝ කලක සිට හඳුනන්නෙකු සේ සලකමිනි.ඇය ඇත්ත වශයෙන්ම ඥාතීත්වය අනුව අක්කා වුවද ඇය මට වඩා මාස දෙකක් බාල බවද මම දැන ගත්තේ මේ කතා බහ අතර තුරදීය.

ඇය බොහෝවිට නිවසේ ඉදිරිපස මගේ කාමරයේ පොත් රාක්කය අතපත ගාමින් පොත් පිළිබඳව මා හා දොඩමළු වෙමින් ගතකල අතර ඈ හා ගතකල කාලය මසිතට අමුතුම ආනන්දජනක හැඟීමක් ගෙන ආ බව පැවසීමට මම මැළි නොවෙමි.


ඇය මගේ කාමරයෙහි තනිව නිතර ගත කිරීම පිළිබඳව මා සිත යම් චකිතයක් වූ වද අයියා හෝ බොහෝ කාරණා සම්බන්ධයෙන් ගතානුගතික අදහස් වල එල්බ ගත් අප්පච්චී හෝ ඒ පිළිබඳව කිසිදු තැකීමක් නොකිරීම මගේ විශ්මයට හේතු විය.

අවසන මා කොළඹ ඒමට පිටත් වූ දින ඈ මගේ දෙපා වැඳ නැගිට සිටියේ කඳුළු පිරි දෙනෙතිනි.ඒ මට විශ්මයක් වූ නමුදු වඩාත් මා විපිලිසර වූයේ "අඬන්න, එපා, දුව....අයිය ඉක්මනටම ආයෙ ඒවි නෙව " යනුවෙන් ඇගේ හිස අතගාමින් අප්පච්චී පැවසූ වදනිනි.

මුල්කාලයේ මසකට වරක් ගෙදර පැමිණ යන ලෙස අප්පච්චී ලියුම් කිහිපයකින් ඉල්ලා සිටියද සුපුරුදු ලෙස ඒ ඉල්ලිම ඉටු කිරීමට නොව පිළිතුරු ලිපියක් ලිවීමට පවා මම අතපසු කලෙමි. ඉන්පසු අප්පච්චිගේ ලියුම් නතර වූ අතර සය මසකට පසුව මේ විදුලි පණිවිඩය ලැබෙන තෙක් කිසිදු ප්‍රවෘත්තියක් නිවසින් මා හට නොලැබිණි.

අවසන කෙඳිරිගාමින් පැමිණි බස් රිය නිවෙස අසල නැවතුමට ලඟාවිය. මම ගමන් මල්ලද ඔසවාගෙන පඩි පෙල නැඟ ආලින්දයට ගොඩ වූයෙමි. කිසිවෙකු එළිපෙහෙලියේ පෙනෙන්නට නොසිටි අතර ගමන් මල්ල බිම තැබූ මම සැමදා මා ප්‍රිය කරන ඇඳි පුටුවේ දිගාවී අසල තිබූ ප්‍රවෘත්ති පත්‍රයකින් පවන් සලා ගනිමින් මුහුණ පුරා ගලන දහදිය නිවා ගන්නට වෙර දැරුවෙමි.

එක්වරම දැනුනු විලවුන් සුවඳක් නිසා හිස හරවා බැලූ මට දක්නට ලැබුනේ සාලයට පිවිසෙන දොර උළුවස්සට හේත්තු වී මුව පුරා පැතිරුණු සිනහවකින් යුතු නෑනාය. ස්වල්ප මොහොතකට පෙර ස්නානය කල බව ඇගේ දිගු කෙස් වැටියෙන් තවමත් බේරෙන දියබිඳු කියා පෑවේය.

" ආ...අයිය කොයි වෙලාවෙද ආවෙ?"

" මේ ආව විතරයි"

" මම දැන ගත්ත අයිය අද එයි කියල " 

ඈ නෙත්කොනින් මා දෙස බලමින් පැවසුවාය

" ඒ කොහොමද එහෙම හිතුවෙ?" 

මම ඈ දෙස බලා සිනාසෙමින් ඇසුවෙමි. රුවැති යුවතියක හා අල්ලාප සල්ලපයෙහි යෙදීමට මැළි වන්නේ කවර නම් තරුණයාද?.......මේ මගේ අයියාගේ භාර්යාව වුවද සැබැවින්ම රූමත් යුවතියක් නොවේද?

" මම දන්නවනෙ" 

ඈ තොඳොල් වෙමින් පැවසුවාය.

" ඉන්න,මම මේ බෑග් එක අයියගෙ කාමරෙන් තියන්න......" 

ඈ ඉදිරියට පැමිණ නැවී බෑගය ඔසවා ගත්තාය.

මමද ඈ පසුපස කාමරයට ඇදුනෙමි.

" අයිය, මට මොනවද කොළඹින් ගෙනාවෙ? " 

බෑගය ඇඳ මත තබා ආපසු හැරෙමින් ඈ ඇසුවාය.

" ම්ම්ම්...ඔයාට....." 

එක්වරම පිළිතුරක් දීමට මට නොහැකිවූයේ ඇත්ත වශයෙන්ම ඈ වෙනුවෙන් කිසියම් දෙයක් මිළයට ගත යුතුයැයි කිසි විටෙක මට හැඟී නොගිය බැවිනි.

ඒ සමඟම කුසගිනි දැනුනහොත් අනුභව කරන්නෙමැයි සිතා නුවරින් මා මිලයට ගත් චොක්ලට් දෙක මගේ මතකයට නැඟිනි.බසයේ අතුරු සිදුරු නොමැතිව සෙනඟ පිරී සිටි බැවින් චොකලට් පිළිබඳ මතකයක් වත් මා හට නොතිබිණි.

" ආ...ඉන්න " 

මම බෑගයෙන් චොක්ලට් දෙක ගෙන ඇය අත තැබීමි.

" මම දන්නවනෙ, අයිය මට මොනව හරි ගෙනෙනව කියල......" මුව පුරා සිනාසුනු නෑනා, " ඉන්න අයියට මූණ සෝද ගන්න මම වතුර දාන්නම්" කියමින් උයන ගෙය දෙසට ගියාය.

" එපා නංගි නාගන්න ඕන...මම ළිඳට යන්නම්. "

" ඉන්න, මම එහෙනම් එන්නම් බාල්දියයි සබනුයි අරගෙන "

" එපා පිස්සුද?.....මම අරන් යන්නම්, කෝ දෙන්න සබනුයි බාල්දියයි........"


ළිඳෙන් විඩාව පහව යන තෙක් සීතල වතුර නෑමෙන් පසු, මම කාමරයට එන විට කාමරයේ මේසය මත වැලිතලප පිඟානක් සහ උණු තේ කෝප්පයක් විය.

වැලිතලප සහ තේ කෝප්පයද රැගෙන ආලින්දයට ගිය මම නැවත මගේ සුපුරුදු පුටුවේ හිඳගතිමි. ඇයද පැමිණ මා අසලම හිඳ ගත්තී කොළඹ ජීවිතය පිළිබඬ මගෙන් නොයෙකුත් දේ විමසුවාය......

" මම හිතුවෙ ඒත් ගෙදර එන්නෙම නැත්තෙ අයියට කොළඹ ගෑණු ළමයෙක්වත් ඇතිය කියල" 

එක් වරම ඈ විමසුවේ නෙත් කොනෙන් මා දෙස බලමිනි.

" මොකෝ නැතුව" මම ඈ දෙස එලෙසම බලමින් පැවසුවෙමි.

ඇගේ දෑස විශ්මයෙන් විශාල විය..." අයිය බොරුමයි කියන්නෙ......"

ඒ සමඟම අප්පච්චි ආලින්දයට ගොඩ වූයෙන් නෑනා නැඟිට උළුවස්සට හේත්තු වූවාය.

" පොඩි පුතා කොයි වෙලාවෙද ආවෙ?..... මොකක්ද ළමයො හැබෑටම මේ වැඩේ තේරුම? ලියුමකට උත්තර නෑ.....ගෙදර එන්නෙ නෑ.....ඔහොම පුළුවන්ද දැන් ......වගකීමක් කරට ගන්ඩ එපාද?" 

 පුටුවේ හිඳගත් වහාම අප්පච්චීගෙන් උපදෙස් මාලාවකි.

" ඇයි ඔය අයිය ඉන්නෙ " 

 මම ගනනකට නොගෙන වැලිතලප කෑල්ලක් හපන අතර පැවසුවෙමි.

" මොකක්?.....අයිය ඉන්නෙ.....එහෙම කියල හරියනවද?......මෙව්ව ඔක්කොම කවද හරි උඹල දෙන්නටම තමයි........" 

අප්පච්චි පැවසුවේ නෑනා දෙස ද බලමිනි

 හිස හරවා ඈ දෙස නළල රැලිගන්වා විමසුම් බැල්මක් හෙලූයෙමි.ඈ මා වෙත මද සිනහවක් පෑවාය. 

" මොකද අප්පච්චි, මේ හදිස්සියෙ මට එන්න කිව්වෙ?"

" මොනවද ආයෙ හදිස්සි?......උඹ මංගල්ලෙං පස්සෙ මේ පැත්ත පළාතෙ ආවෙ නෑ....එහෙම පුලුවන්ද?........."

" මම ඉතිං ඉස්සරත් එහෙමනෙ......මම කොහොමත් වැඩිය ගෙදර එන්නෙ නැහැනෙ,"

" ඒ ඉස්සරනෙ....ඒ වගේ බෑ දැන්....පොඩි පුතේ මේක හොඳට අහගනින්..........."


අප්පච්චි හමුවීමට කුමන හෝ කාර්යයකට පැමිණි ගැමියකු නිසා කථාව එතැනින් නතර විය.

" අප්පච්චි මොනව කියන්ට හදනවද මම නං දන්නෙ නෑ"

මම ඈ දෙස බලමින් පැවසූයෙමි. ඈ කිසිවක්ම නොදොඩා මා දෙස නොබලාම මිදුලේ අව්වට හේබා වීගිය බුලත් මැස්ස දෙස බලා උන්නීය.

රාත්‍රී ආහාරයෙන් පසු අයියා නැඟිට සිටියේය. 

" මල්ලි එහෙනම් නිදා ගන්ට.ගමන් මහන්සියත් ඇතිනෙ......මම යනව දෙණියෙ තේ කෑල්ලට....අද රෑ එහෙ පැලේ නිදියනව.......වල් ඌරොන්ගෙන් බේරෙන්ට බෑ......."

විදිලි පන්දම තුවක්කුව සහ පොරෝනයක් ද රැගෙන අයියා පිටත් ව ගියේ නෑනාගේ හිස අතගාමිනි.

ඉදිරි කාමරයේ ඇඳේ දිගාවුනු මම අලුත් කොට්ට උරයෙන් සහ ඇඳ ඇතිරිලි වලින් නැඟෙන තාන් සුවඳ පපුව පුරා විඳ ගනිමින් විවර වූ ජනේලයෙන් පැතිරෙන සඳ එළියේ ආස්වාදය විඳිමින් අරමුණක් රහිත කල්පනා රැහැනේ වෙලෙමින් පසුවුනෙමි.

මට නින්ද ගොස් තිබිනිද යන්න හරි හැටි මතකයක් නැත.කිසිවකු ඇඳ මත හිඳ ගනු දැනී එක්වනම කෙලින් වී හිඳ ගතිමි.

පපුව පුරා විහිදීගිය පිච්ච් මල් සුවඳක් ද සමඟ කාමරයට විහිදුනු සඳ එලියෙන් මා දුටුවේ දුහුල් රාත්‍රී ඇඳුමකින් සැරසී සිටි නෑනාය.

" වසන්ති මොකද මේ?" 

මුල් වරට මම ඈ ඇගේ නමින් ඇමතීමි.

" මට මෙහෙම කරන්ට එපා මගෙ රත්තරං.....ඇයි මට මෙහෙම කරන්නෙ?......මම මොන වරදක් කලාටද මට මේ දුක් දෙන්නෙ?" 

ඈ මා වෙතට වාරුවී මගේ පපුවට මුහුණ තද කරගත්තීය.

මම ඇය ඉවතට තල්ලු කර දමා ඇඳෙන් නැගිට ගතිමි.

" මොකද මේ පිස්සු හැදීගෙන එනවද?........අර අප්පච්චිත් එහා කාමරේ......දැන් ඇහැරිලා ආවොත් එහෙම.....මෙතන මම දන්නෙ නෑ මොනවයින් මොනව වෙයිද කියල......."

ඇය කෙලින් වී ඇඳෙහි හිඳ ගත්තීය.

" අප්පච්චි මොනව හිතන්නද?.......ඔයා හිතන්නෙ අප්පච්චි තකහනියක් ටෙලිග්‍රම් ගහල ඔයාව ගෙන්න ගත්තෙ මොකට කියලද?" 

ඇගේ හඬෙහි වූයේ නොරිස්සුමකි.

" මොකටද?" 

මම විදහාගත් දෑසින් ඇගේ මුහුණ දෙස බලා සිටියෙමි.

" මොකටද?.......ඔයා මට විහිළු කරනවද?......මම දීග ආවෙ අයියයි ඔයයි දෙන්නම එක්ක බව දන්නෙම නැද්ද?" 

ඈ බෙහෙවින් විශ්මයට පත්වී ඇති බව ඇගේ විදහාගත් දෑස කියාපායි.

" මොකක්?.........ඔයාට පිස්සුද වසන්ති?......නැත්නම් මට පිස්සු හැදීගෙන එනවද?...........මොකක්ද මේ විකාරෙ? "

" පිස්සු මට නම් නෙවෙයි ඔයාට......මම දීග ආවෙ ඔය දෙන්නම එක්ක......එහෙමයි ඔයාලගෙ අප්පච්චි අපෙ අප්පච්චිල එක්ක කතා කරල ස්ථිර කර ගත්තෙ....."


" එතකොට අයිය?......අයියත් මේක දන්නවද?" 

මම සවන් අදහා ගනු නොහැකිව ඇසුවෙමි.

" මොකෝ නොදන්නෙ?.....ඔයා හිතන්නෙ අයිය ඔය අද ගියෙ තේ කෑල්ලට ඌරො එන නිසාය කියලද? ...ඒකෙ ඉන්නව මුරකාරයෙක්,"

" දෙයියෝ සාක්කි......මට නම් මේ කතාව විශ්වාස කරන්ටත් බෑ......ඇයි දෙයියනේ මේ වගෙ දෙයක් කතා කරනකොට, මගෙ ජීවිතේටම බලපාන දෙයක් ගැන තීරණයක් ගන්නකොට, කිසි කෙනෙකුට නිකමට වත් හිතුනෙම නැද්ද මගෙනුත් මේ ගැන ඇහුව නම් හොඳයි නේද කියල......ඔක්කොමල එකතු වෙලා මා ගැන තීරණ අරන් තියනව මම කිසි දෙයක් දන්නෙ නෑ....මමත් මනුස්සයෙක් නේද.....මටත් හිතක් පපුවක් තියනව නේද?......මා ගැන තීරණ ගන්ට මටත් අයිතියක් තියනව නේද කියල හිතන්ට තිබුන නේද? "

ආවේගශීලී බව වැඩි නිසාම එක තැනක හිඳීමට අපහසු වූයෙන් මම මෙසේ පැවසුවේ කාමරය පුරා ඇවිදිමිනි. නොදැනුවත්වම මගේ හඬද උස්ව තිබිනි.

" කෑ ගහන්ට එපා අයියා, අප්පච්චිත් ඇහැරලා එයි."

" ඉතින් ආවාවෙ.....එයා එක්ක තමයි මට තියෙන්නෙ මේ ගනුදෙනුව බේරගන්ට " 

එසේ පැවසූ නමුදු මම කට හඬ බාල කලෙමි. 

ඇය වේගයෙන් හුස්ම ගන්නා හඬින් පමණක් කාමරය තුල රජයන නිහඬතාවය බිඳීගිය කල්පයක් වන් මිනිත්තු කිහිපයක් ගතවිය.

ජනේලය අසලම වූ අඹ ගසෙහි ඉදුණු අඹයකට පොරකනවා වියහැකි වවුලන් දෙදෙනෙක් එකිනෙකා පරයමින් නැඟූ කන් විදගෙන යන්නාක්වන් තියුණු ස්වරයෙන් එක්වරම තිගැස්සීගිය ඈ හිස හරවා මා දෙස බැලුවාය.

" අයිය අර ගෑණු ළමයෙක් ගැන කිව්වෙ ඇත්තටමද?" 

වසන්තී ඇසුවේ ඇසෙන නෑසෙන ස්වරයකිනි.

" ඔව්" 

මම ජනෙලයෙන් ඉවත බලාගෙන පැවසුවෙමි.

කොට්ටයට හිස තබා මුනින් තලා වූ ඇය සෙමින් ඉකි බිඳින්නට වූවාය.

කොතෙකුත් ඇගේ හැඬුම අසා සිටිය නොහැකිවූ මම ඇඳේ ඈ අසල වාඩිවී ඇගේ හිස පිරිමදින්නට වීමි.

එක වනම හිස ඔසවා මා වැළඳ ගත් ඈ මගේ පපුවට මුහුණ තද කරගෙන හඬන්නට වූවාය. ඇගේ කඳුලින් මා හැඳ සිටි කමිසය තෙත් වනතෙක් හැඬූ ඈ හිස ඔසවා කඳුළු පිරි දෙනෙතින් මා දෙස බැලුවාය.

" අයිය මේ මංගල්ලෙට මම කැමති උනේ අයිය නිසා......ඒත් ඒක දැන් හීනයක් විතරයි......මට ඒ වාසනාව නෑ.....කමක් නෑ අයිය, මම හිත හදා ගන්නම්, මේක මගේ ලැබීම. නලලේ කොටපුදේ වලක්වන්ට කාටවත් ම බැහැනෙ. මේ තමයි මගෙ නලලෙ කොටල තියෙන දේ...මම ඒක පිළිගන්ටම එපාය....."

එක්වරම  ඇඳෙන් නැගී සිටි ඈ කඳුළු පිසදමා හැර, ලිහුනු වරලස සකස් කර ගනිමින්, කාමරයෙන් පිටවීමට සෙමින් සෙමින් පිය මැන්නාය. හිරකරගත් ඉකියක් වරින් වර මගේ සවන් පාරවා ලමින් ඇසිණි.

" වසන්තී" 

මම සෙමින් ඇය ඇමතීමි......කාමරයේ දොරටුව අසලට ළඟාවී සිටි ඇය එකෙනෙහිම නතරව සෙමෙන් හිස හරවා මා දෙස බැලුවාය.

සඳ එලිය පතිතවූ ඇඳ ඇතිරිල්ල මත ඇඳ විට්ටමට හේත්තුවී ඇගේ කඳුලින් පෙඟුනු කොට්ටය තුරුළු කොට ගෙන මම ඇය දෙස බලා සිටියෙමි.

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...