Wednesday, September 24, 2014

281. පොතක්, මහ වැස්සක් සහ අවන්හලක සැඳෑවක්...1

Google Images

මත්ලෝලීන්ගෙන් සපිරුණු ප්‍රසිද්ධ සුරාසලක් තුල පවත්නා නිරතුරු ගාලගෝට්ටියට වෙනත් සමකල හැක්කක් මම නොදනිමි. 

එවන් ස්ථානයක මත්පැන් පානය කොට පළපුරුදු ඇත්තෝ මා පවසන්න එක් පැහැර වටහාගන්නා බවට සැක නැත. එසේ නොමැත්තෝ අවම වශයෙන් කාර්ය බහුල හෝරාවක සුරාසලක් ඉදිරියෙන් ගමන් කොට හෝ ඇත්නම් ඔවුනටද මේ ඝෝෂාකාරිත්වය අමුත්තක් නොවනු ඇත. 

සුරාසලක් තුල පවත්නා ගාලගෝට්ටිය මත්ලෝලීන්ගේ සුරාමත ඉහළ යන්නා හාම ඊට අනුලෝමව සමානුපාතිකව ඉහළ යයි. ඒ සමඟම අනේක සංඛ්‍යාත දුම්වැටි දවා හළු කරමින් නිකුත්වන දුමාරය හතර අතින් ඇවුරුණු කුඩා ඉඩ ප්‍රමාණය තුල කැරලි ගැසෙනුයේ හැඳ සිටිනා ඇඳුම් ඇඟලුම් ආදියෙන් පවා අමිහිරි වූ කටුක ගන්ධයක් නිකුත් කරවමිනි. 

එතෙකුදු මත්ලෝලීහු මේ කිසිදු අපහසුවක වගේ වගක් නොමැතිව කුඩා රවුම් කනප්පු වටා හිඳ මහ හඬින් දොඩමින්, වරෙක කොක් හඬලා සිනහසෙමින් බදින ලද හුරුල්ලන්, තෙම්පරාදු කොටගත් තැම්බූ කඩල හෝ වෙනත් එවන් කටගැස්මක් වරින්වර සපමින් අසෝක වීදුරුවෙහි කට්ටය මට්ටමට පුරවා සෝඩා හෝ වෙනත් මිශ්‍රකයකින් තනුක කොටගත් අරක්කු ගිල දමන්නෝය. 

මේ අපූර්ව දසුන් නරඹමින් මුහුදෙහි රළ නඟන ඝෝෂාව මෙන් වරින්වර උස්ව නැඟෙමින් යලි බැසයන මත්ලෝලීන්ගේ ගාලගෝට්ටියට සවන් දෙමින් ප්‍රසිද්ධ සුරාසැලක අඩ අඳුරින් වැසුණු මුල්ලක හිඳ සෙමින් සෙමින් පරණ අරක්කු වීදුරුවක් හෝ පරණ අරක්කු මිශ්‍ර කල බීර තඹලේරුවක් තොල ගෑමට මම බොහෝ සේ ප්‍රිය කළෙමි. 

එතෙකුදු වුව සරණ බන්ධනයට ඇතුලත් වන්නාහාම මවිසින් කළයුතු වූ කැපකිරීම් අතර එකක් වු ඒ සුරාසල් මත්පැන් පානයෙහි රුචිය මවෙතින් කෙමෙන් ගිලිහී ගියේ මා නොදැනුවත්වමය. 

ජීවිතයේ දෙවන දශකය ගෙවීයන්නාහාම ස්ථිර රැකියාවක් ලද නමුදු මත්පැන කිසිසේත් නිවසට වද්දා නොගතයුතු දුෂ්චරිතයක් සේ සැලකූ මගේ මවුපියන් හේතුකොටගෙන නිවසෙහිදී මම කිසිවිටෙක මත්පැන් පානය කොට නොමැත්තෙමි. 

එදවස මගේ පළමු රැකියාව වූයේ උතුරුමැද සහ නැගෙනහිර පළාත් මායිම් අතර හෙක්ටෙයාර දසදහසකට අධික වපසරියක් පුරා පැතිරගිය රාජ්‍ය වාරිමාර්ග සහ කෘෂිකාර්මික ජනපද ව්‍යාපෘතියක තාක්ෂණ අංශයට සම්බන්ධවය. 



හිරිමල් යොවුන් වියේ පසුවුනු එකල මම ගෙදර පැමිණියේ බොහෝවිට මසකට වරකි.වැටුප් ලද පසු සති අන්තයක් හා යාබද දින දෙකක් හෝ තුනක නිවාඩුවකට පැමිණෙන මම පුරුද්දක් වශයෙන් වරක් හෝ දෙවරක් මහනුවර නගරයට ගියේ යම් අත්‍යාවශ්‍ය දේ මිලට ගනු උදෙසාය. 


ඒ අත්‍යාවශ්‍ය දේ යනු හුදෙක් ඒ ආසන්නයේ නිකුත් වූ සිංහල හෝ ඉංගිරිසි නවකථාවන් කිහිපයකි. විජිත යාපා හෝ සරසවි පොත් හල් විවෘත කොට නොතිබුණු ඒ දිනවල පොත්ලෝලීන්හට තම මන දොල සපුරාගැන්ම උදෙසා මහනුවර නගරයේ වුයේ යටිනුවර වීදියේ පිහිටි මැකලම්,ගුණසේන හෝ සීවලී පොත්හල් සහ ත්‍රිකුණාමල වීදියෙහි වූ කේ.වී.ජී. ද සිල්වා සමාගමෙහි පොත්හල පමණෙකි. 

උදෑසන ආහාරයෙන් පසු ගෙදරින් පිටවන මම දහවල් එකොළහ පමණ වනතෙක් නුවර වීදි ඔස්සේ ඉබාගාතේ සරන්නෙමි. අනතුරුව නගර මධ්‍යයේ පිහිටි වැව අසබඩ බෝට්ටු සේවයේ මෙහෙයුම් කාර්යාලය ආසන්නයෙහි වූ දැවැන්ත කොහොඹ රුක් සෙවණෙහි පනවා තිබූ අයෝමය අසුන මත දිගඇදී මඳ සුළඟේ රැලි නඟන වැව් දිය මතින් ඈත දිස්වන දළඳා මැදුර දෙස බලා හිඳින්නෙමි. 

ඉර මුදුන්වන්නා හා සමඟම කුමන හෝ පොත්හලකට වැද පොත් කිහිපයක් තෝරා මිළදීගැන්මෙන් අනතුරුව මගේ දෙපා එසවෙන්නේ කොටුගොඩැල්ල වීථියෙහි එදවස වූ කාසල් අවන්හල වෙතටය. 

කැසමරා හෝටලය සහ මාරබැද්ද මල් ශාලාව අතර වත්මනෙහි ඩිසයින් ක්ලබ් නිමි ඇඟලුම් වෙළඳසල පිහිටි බිම් කඩෙහි එකල වූයේ තනි මහලේ සිංහල උළු සෙවිලි කල දෙපළ පියස්සකින් සෙවණ ලත් කාසල් අවන් හලය. 

කොටුගොඩැල්ල වීථියෙහි පදික වේදිකාවේ සිට ගලින් බැඳි පියගැට හතරක් හෝ පහක් නැඟ ඇතුලු විය යුතුවූ අවන් හලෙහි ඉදිරිපස වූයේ විසල් වීදුරු ජනෙල් පෙළකි. 

ඒ හා සමඟම ඔබ පිවිසෙනුයේ වසර ගණනක් මුලුල්ලේ දස දහස් සංඛ්‍යාත ජනකායකගේ පා පහසින් ඔපවත්වූ රතු පැහැ සිමෙන්තියෙන් වැසුණු විසල් බරාඳයකටය. මේ බරාඳයෙහි මෙන්ම ඉන් ඔබ්බෙහි වූ ශාලාවෙහිද ඒ වටා වූ කුඩා ලී පුටු තුනක් හෝ හතරක් සහිත කළු පැහැයෙන් ආලේපිත රවුම් කනප්පු පණහකට නොඅඩු සංඛ්‍යාවක් වූයේය. 

ලා කහ සහ දුඹුරු මුසු වර්ණයකින් යුත් අත්කොට කබා සහ සුදු සරම් වලින් සැරසුණු අවන්හලෙහි සේවකයෝ රවුම් මේස අතරින් ලහි ලහියේ එහා මෙහා ගමන් කරමින් පාරිභෝගිකයින්ගේ ඇණැවුම් ඉටු කිරීමෙහිලා යුහුසුළු වෙති. 

ඔවුනගේ කබායෙහි ඉහළ තරමක විශාල සාක්කුවකි. රතුපැහැ නූලෙන් කාසල් යන නමෙහි ඉංගිරිසි අකුරු හය එකිනෙක පසුපස හඹායන අයුරක් දිස්වනසේ ගෙත්තම්කොට තිබුණු එහි කුඩා සටහන් පොත් පිංචක් සහ පැන්සලයක් හෝ කාබන් පෑනක් නිතර දක්නට ලැබිණි.ඇණවුමක් ලද වහාම ඔවුහු වහා උඩ සාක්කුවෙන් අර සටහන් පොත ඉවතට ගෙන එහි ඇණවුම සටහන් කරගනු මම බොහෝවිට දැක ඇත්තෙමි. 

කබායෙහි පහළට වන්නට වූ සාක්කු යුගලෙහි වූයේ අත්ලක පමණ ප්‍රමාණයක් වනසේ ඉරාගත් පුවත්පත් කැබලිය.අවශ්‍ය අයෙකු අතක් ඔසවා ඇඟිලි එකිනෙක ගටමින් සංඥාකල වහාම යුහුසුළුව එකි ලඟාවන වේටර් වරයෙක් සාක්කුවෙන් ඉවතට ගත් කඩදාසි කැබලි කිහිපයක් කනප්පුව මත තබයි. 

එක් එක් වේටර් වරයාට සුපුරුදු ගණුදෙනු කරුවන්ද විය. අප්පුහාමි නම්වූ වයස හැටක් හෝ හැටපහක් පමණවූ වේටර් වරයෙක් එකල මගේ අයිතිය පවරාගෙන සිටියේය.පොත්තපිටියෙහි පදිංචිකරුවකුවූ ඔහු වැඩිවිය පත් දූදරුවන් විවාහපත්ව වෙන්ව ගිය පසු තම බිරිඳ සමඟ හුදකලාව වසන්නෙකි. දිනෙක හදිසියේම ඇද හැලුනු මහ වැස්සක් තුරල් වන තෙක් ඉදිරිපස බරාඳයෙහි ඔහු හා සාමීචියෙහි යෙදෙමින් ගතකල සවස් යාමයක ඔහුගේ ජීවිතය අප්පුහාමි ඉතා සැකෙවින් මා හා විස්තර කළේය. 

" එන්ඩ සර්..එන්ඩ...අද තෙමිල වගේ නේද? " 

හිසෙහි රැඳි වැසි බිඳු ගසා ලමින් ඇතුලත බරාඳයට පිවිසි මා දුටු සැණින් සිනහසෙමින් ඉදිරියට පැමිණියේ අප්පුහාමිය. 

" ඔව් අප්පා, උදේ ගෙදරින් එළියට බහිනකොට වහින ලකුණක්වත් තිබ්බය? හිටපු ගමන් නෙව දෙන්ට තිබා ගත්තෙ…" 

කේ.වී.ජී. ද සිල්වා පොත් හලෙහි සිටියදී අනපේක්ෂිතව ඇදහැලෙන්නට වන් ධාරාණිපාත වර්ෂාව ඉහිල් වනතෙක් අඩ හෝරාවක පමණ කාලයක් එහිම රැඳී සිට යන්තමට පොද වැස්සක් බවට පත්වුනු කෙණෙහි ත්‍රිකුණාමල වීදියෙහි කඩ පිල් වලින් මාරුවෙමින් පැමිණියද ඒ වනවිට මම සෑහෙන පමණ තෙමී සිටියෙමි. 

" යමු පිටිපස්සට….මොනවද මහත්තය ගේන්නෙ ? ඈස් යූෂුවල් නේද? " 

සාක්කුවෙහි වූ ලේන්සුව ගෙන හිස පිසදමන්නට වූ මදෙස බලා සිනාසෙමින් අප්පුහාමි විමසීය. 

තම යොවුන් වියෙහිදී මහනුවර දළඳා වීදියෙහි එකල වූ වෝකර් සහ ග්‍රිග් නම්වූ තේ වතුවලට අවශ්‍ය යන්ත්‍රෝපකරණ ආනයනය කොට බෙදාහැරීමෙහි නිරත විදේශීය සමාගමක කළමනාකාර අධ්‍යක්ෂ තනතුර දැරූ බ්‍රිතාන්‍ය ජාතිකයකුගේ බටලේරු තනතුරෙහි වසර ගණනක් සේවය කොට ඇති අප්පුහාමි ඉංගිරිසි බස හැසිරවීමෙහි මනා පරිචයක් ඇත්තෙකි. 

" ඔව්..අප්පුහාමි දන්නවනෙ…" 

සිනහසෙමින් පවසමින් පසුපස මිදුලෙහි වූ සුදු පැහැ බෝගන්විලා පඳුර අසල බරාඳයේ කෙළවරක වූ මගේ සුපුරුදු අසුනට බර දිනිමි. 

එදින මවිසින් මිලදී ගත් පොත් කිසිවක නම් පිළිබඳව පැහැදිලි මතකයක් නොමැතිවුවද ඒ අතර ගුණදාස අමරසේකර ගේ ගමනක මුල නවකතාවෙන් ඇරඹි කතා මාලාවෙහි පොත් දෙකක් හෝ තුනක් වූ බව නිසැකව පැවසිය හැක්කේ මේ කතාව ඉදිරියෙහිදී ඒ කරුණ ඉතා වැදගත් වන බැවිනි.

අඩක් බිඳීගිය වැසිවතුර පිහිල්ලෙන් ඇද හැලෙන ජලදහරින් නැහැවෙන බෝගන්විලා පඳුරෙහි මලින් බර අතු වරෙක පොළව මට්ටමටම නැවී එක්වරම යලි කෙලින් වෙයි. කුමන වර්ගයක එවුන්දැයි පැහැදිලිව හඳුනා ගත නොහැකි කුඩා කුරුල්ලන් තුන් හෝ සතර දෙනෙකු පියාපත් පුම්බාගෙන බෝගන්විලා පඳුරින් ඔබ්බෙහිවූ කැසිකිළියෙහි අගුවෙහි ගුලි ගැසී සිටිති.රවුම් කනප්පුව මත වූ ප්ලාස්ටික් බෑගයෙන් ඉවතට ගත් ගමනක මුල පොත අතෙහි තබාගෙනම මම ඔවුන් දෙස බලා සිටියෙමි. 


මගේ දැහැන බිඳී ගියේ අප්පුහාමි ලයන් ලාගර් බෝතලය සහ බදින ලද හුරුල්ලන් පිඟාන කනප්පුව මත තබන හඬිනි. 

" තව මොකවත් ඕනද සර් ? "


කනප්පුව වෙතට පහත්ව උඩ සාක්කුවෙන් ගත් ඕපනරයෙන් බීර බෝතලය විවර කල හෙතෙම පහත් හඬින් විමසීය. 

" යස්, ඉට්ස් ටූ කෝල්ඩ් ටුඩේ..ඕල්ඩ්….ටූ හන්ඩ්‍රඩ් අප්පුහාමි…" 

මම පැවසුවේ ළයමත බැඳගත් දෑතින් යුතුව උරහිස් හකුළුවා ගනිමිනි. 

" යස් සර් ...ඔෆ් කෝස් සර්…….ඇට් වන්ස් සර්...."

ඉද්ද ගැසුවාක් මෙන් එක්වරම කෙළින්වූ අප්පුහාමි සීරුවෙන් මොහොතක් හිඳ සොල්දාදුවකුගේ පියවරින් නික්ම ගියේ මගේ ඇණවුම ඉටු කරනු පිණිසය. ඒ ඔහු බ්‍රිතාන්‍ය ජාතිකයා යටතේ සේවය කල සමයේ මතක ආවර්ජනයකි. මට එකෙණෙහිම මතකයට නැඟුනේ පතිරාජගේ සොල්දාදු උන්නැහේ චිත්‍රපටයේ ජෝ රඟපෑ භූමිකාවයි. 

අරක්කු මිශ්‍ර කල බීර කෙමෙන් තොල ගමින් මම ගමනක මුල කතාව කියවන්නට වීමි. 



කුඩා කල සිටම ගුණදාස අමරසේකර මහතාගේ නවකථා කියවීමට මම බොහෝසේ ඇළුම් කලෙමි. 

දැඩි අවධානයෙන් යුතුව ගමනක මුලට සමවැද හුන් මට එක්වනම වැස්ස දැඩිවනු ද නොහැඟුනි. 

" සර් ඔතනට හිරිකඩ එනව නේද ඕසෙට...කනප්පුව ගමු අතන මුල්ලට " 

මා අසලටම පැමිණ අප්පුහාමි එසේ පැවසූයේ අඩක් හිස්වූ බීර බෝතලය සුරතට ගනිමිනි. 

" ෂෙහ්, ඒකනෙ මට තෙරුණෙම නෑනෙ. " 

හිරිපොදෙන් මඳක් තෙත්වූ බොහෝ කලක් නිතර භාවිතය නිසාම අවපාට වූ ඩෙනිම් කලිසමෙහි රැඳි වැහිබිඳු කිහිපයක් ගසා දමමින් මමද නැඟී සිටියෙමි. 

" මම දැක්ක....සර් පොතට වහ වැටිලනෙ උන්නෙ...." 

නොකඩවා ඇදහැලෙන වැස්ස බෝගන්විලා පඳුර මත පතිතව ඒ අසල බරාඳයේ අර්ධ කවාකාර පෙදෙසක් තෙමයි. ඒ හිරිකඩින් වැළකෙනු වස් අප්පුහාමි කනප්පුව බරාඳයෙන් මදක් එපිට අවන්හලේ මධ්‍යයෙහි ශාලාවෙහි දොර අසලට ගෙනගියේය. 

" මෙතන හොඳයිනෙ සර් ? " 

එසේ පවසමින් ඔහු දොර පසුපසවූ පැරණි මාදිලියේ ටම්බ්ලර් ස්විචය ක්‍රියාත්මක කලේ ඒ අවට අලෝකයෙන් නහවමිනි. 

මම නැවත අසුන් ගත්තේ යලි ගමනක මුලට සම වැදීමේ නොඉවසිල්ලෙනි. කියවීම ඇරඹීමට පෙර යලිත් මත්පැන් වඩියක් උගුරට හලාගෙන දුම්වැටියක් දෙතොල රඳවා හාත්පස හිස හැරවූයේ අප්පුහාමිගේ යට සාක්කුවක නොවරදින ගිණි පෙට්ටිය හෝ ලයිටරය බලාපොරොත්තුවෙනි. 

එක්වරම අනපේක්ෂිත ලෙස මගේ දකුණු පසින් නැඟුනු ලයිටරයක් දල්වන හඬ කණවැකුණු වහා මම ඒ දෙසට හිස හැරවීමි. වැස්ස ඇදහැලීමට පළමු මම අසුන්ගෙන හුන් බරාඳයට පිවිසෙන දෙපළු ලී දොර අසල මුල්ලෙහි වූ කනප්පුවක් පසුපස අසුන්ගෙන හුන් ප්‍රාංශු දේහධාරී පුද්ගලයෙක් තම අසුනෙන් මඳක් ඉදිරියට නැඹුරුව අඩක් විවරවූ දොර පියන් අතරින් හමාඑන සීතල සුළඟෙහි ලෙළදෙන ගිණිසිලක් නිකුත් කරමින් දැල්වෙන ලයිටරයක් මා දෙසට දිගුකොටගෙන සිටියේය. 


******************************
සැප්තැම්බරේ කියන්නෙ සාහිත්‍යය මාසෙ. කෙටිකතාවක් ලිව්වොත් හොඳයි කියලයි මේක මේ ලිව්වෙ..තව කොටසක් තියනව හොඳද?...:)


******************************
Last but not least අපේ රන්දිල් නෝන මහත්තැං දන්නවනෙ නේද? නිදහස් සිතුවිලි මුල් හිමිකාරිය..මේ ඊයෙ පෙරෙයිද අර පොතක් එහෙමත් ලිව්වෙ මා බාල කාලේ අම්මාගෙ උකුලේ කියල...අන්න එතුමියගෙ සුබ උපන්දිනේ යෙදිල තිබ්බ පහුගිය සිකුරාද..සැප්තැම්බර් 19 වෙනිද...එහෙනං පහුවෙලා හරි කමක් නෑ..මගේ ලෑන්ඩ් ලේඩි තුමිය..ඔබට සුබ උපන් දිනයක්!!!

Tuesday, September 16, 2014

280. විමලෙගෙ වාංපතුල් කතා 22 - දූ දරුවෝ, මන්දාරම් නුවර, නස්රුද්දීන් සහ Murder House Stories...


Nasruddin - Google Images

" අනේ මල්ලි අද දවල්ට කන්ඩ ඉන්නව තිහක් විතර. කොස් ගෙඩි දෙකක් කඩාගෙන ආව. කොස් මැල්ලුමක් හදන්ඩයි යන්නෙ. අතන කුස්සිය එහා පැත්තෙ දර මඩුවෙ අසෝක නංගි කොස් කපනව. ඒත් එයාට තනියම කරන්ට අමාරුයි ඒක. මල්ලි ගිහිල්ල පොඩ්ඩක් වැඩේට උදව් වෙන්ටකො."

පොඩි කාලෙ අත්තම්ම එක්ක කොස් කපල මට ඔය කොස් වැඩේ හොඳට පුරුදුයි. මීට කලිනුත් එක පාරක් අජිතයගෙ ගෙදර ආහම මම කොස් කපල දුන්න. සුජිත අක්කට ඒක මතක තිබිලද ??????......නැත්තං???? 

" හරි අක්කෙ.. මම ඒකෙ අවුලක් නෑ. ඒත් එතකොට මේ වැඩේ." මම ඔලුවෙං එතන කැටයං කපන්ඩ සූදානං කරල ගොඩ ගහල තිබ්බ තෙල් කරදාසි ගොඩ පෙන්නල ඇහුව. 

" මේ වැඩේ හදිස්සියක් නෑනෙ මල්ලි. හවස හරි කරන්ට බැරිය. අනේ ගිහිල්ල අර අසෝකට උදව් වෙන්ටකො. " සුජිතා අක්ක අජිතයට ඉඟියෙන් මොනව හරි කිව්වද? නැත්තං ඒ මගෙ හිත් හෝදිසියට පෙනිච්ච විදිහද? 

" හරි හරි මම යන්නංකො. මනමාලිගෙ ඉල්ලීමක් අහක දාන එකත් හරි නෑනෙ ඉතිං...හෙහ්,හෙහ්, " එහෙම කියල මම ඉඳගෙන හිටපු තැනින් නැඟිටල අත පයේ හිරි ඇර ගත්ත. 

අසෝක නංගි කෙට්ටුයි උසයි. කොයි වෙලෙත් හිනා වෙච්චි ගමං. ඒ වගේමයි කතාව. කියවන එකේ ඉවරයක් නෑ.මීට අවුරුද්දකට වගෙ ඉස්සර අජිතයගෙ ගෙදර ආපු පාර අපි ගියා අසෝකලගෙ ගෙදර. 

" මචං වරෙං අපෙ ලොකු මාමලගෙ ගෙදර ගිහිල්ල එන්ට. ලබන මාසෙ මාළිගාවට අපෙ මුර දානෙ. ඒ ගැන කතා කරගන්ඩ එහෙ ගිහිල්ල එන්නෙයි කියල අම්ම කියනව. " 

එදා උදේට කන ගමං අජිතය කිව්ව. උදේ කෑම මේසෙ ආය කියල වැඩක් නෑ..මේසෙ පුරාවට නිල්පාට මල් වැල් රටාවක් වැටිච්චි පළංගාන් වල කොත ගහල තිබ්බෙ කැකුලු බතයි, පොල් සම්බෝලෙ මළවල, කීරමිං බැදල. ඒ මදිවට කරපිංච, උම්බලකඩ යහමිං දාල කිරි හොද්දකුත් හදල. 

කලින් දවසෙ රෑ වෙන්ට ඇරල ඉස්සරහ ඉස්තෝප්පු කාමරේ පොත් රාක්කෙ අයිනෙ දෙවරක්පෙරුම බෝතලයක් හංගල අජිතයයි මායි හෙමිහිට විනාඩි පාළහෙං පාළහට වගෙ කාමරේට ගිහිල්ල සුට්ට සුට්ට දාගත්ත. වෙලාවට එදා අජිතයගෙ අප්පච්චි හිටියෙ නෑ. හඟුරන්කෙත ඇවිදිල්ලහිට අජිත්ගෙ අම්මයෙ ගම. අප්පච්චි ඇල්කඩුවෙ. වත්තේගම කිට්ටුව. අප්පච්චි ග්‍රාමසේවක රාළහාමි කෙනෙක්. හඟුරන්කෙත රාජකාරි කරන කාලෙ තමයි අම්මව මුණ ගැහිල තියෙන්නෙ. 

ඔහොම ගෙදර කට්ටියට හොරා සුට්ට සුට්ට ගහන අපූරු සීන් එකක් තිබ්බ..මතකද දූ දරුවෝ ටෙලි චිත්‍රපටය?. අන්න ඒකෙ. ඩයස් මතකයිනෙ. එච්. ඒ පෙරේරා..මේ ඊයෙ පෙරෙයිද අභාවප්‍රාප්ත උනේ. දූ දරුවෝ එකේ සුනේත්‍රා සරච්චන්ද්‍රගෙ ස්වාමි පුරුෂයගෙ චරිතෙ කලේ එච්. ඒ. ඒ දෙන්නගෙ දුව තමයි නිල්මිණි ....ඩයස්ගෙ තිබ්බ මයිනර් එකක්. ඕකෙ ඩිකියෙ තමයි සුමිහිරි පානය බෝතලේ හංගන්නෙ.සුනේත්‍රගෙ නංගිට හිටියෙ රත්නා ලාලනීද කොහෙද...එයාගෙ මහත්තය සම්පත් තෙන්නකෝන් මහිතේ..ඩයස් ඔන්න හෙමීට කතා කරනව මස්සිනාට..ඇත්තටම නියම නෑදෑකම අනුවනම් මස්සිනා නෙවෙයි සහෝදරය වෙන්න ඕන. හරි ඒක මොක හරි.. ඩයස් කියනව හෙමීට වටපිට බලල " පොඩි මස්සිනේ...මොකද කියන්නෙ? හෙමීට කාටත් නොදැනෙන්ට කාර් එකේ ඩිකියට පාත් වෙමුද ගිහිල්ල?..." හෙහ්.හෙහ්... 

මොනව උනත් අජිතයගෙ අප්පච්චි ගෙදර හිටියනං අපි ඔය කර්මාන්තෙ ගෙදර පටන් ගන්නෙ නෑ. අජිතයලගෙ වත්තෙ පැත්තක තිබ්බ කාලෙකට ඉස්සර වී මෝලක් හයි කරල තිබ්බ පරණ මඩුවක්. දැං ඒකෙ ඔය පරණ ලට්ට ලොට්ට තමයි දාල තියෙන්නෙ. ඕක පිටි පස්සට වෙන්ට තියනව කොට බිත්තියකිං වට වෙච්ච පොඩි ඉස්තෝප්පුවක් වගෙ කෑල්ලක්. එතන පුටු හතර පහක් තියාගෙන තමයි අපි ඔය පස්වන සික පදය බිඳීමේ මහඟු කර්තව්‍යයෙ යෙදුනෙ. හෙහ්,හෙහ්, 

ඒ වෙනකොට අපි රස්සාවල් කරල සමහරු කසාදත් බැඳල දරු මල්ලො ළමා ලපටි නඩත්තු කරන වැඩිහිටියො උනාට වැඩිහිටි ගෞරවය කියන එක අපි කාගෙන්වත් ගිලිහිලා ගියේ නෑ. අපෙ අප්පච්චි අන්තරා වෙනකොට මට වයස තිහක් වගෙ වෙන්ට ඇවිල්ල. ඒත් ඒ වෙනකොටත් අප්පච්චි එනකොට මම ඉඳගෙන ඉන්න පුටුවෙන් නැඟිටිනව. ඒ වගේම කියන්ට දෙයක් තියනවනං ඒක කියන්නෙ අම්ම හරහ.අප්පච්චි කතා කලොත් මිස උන්දැ එක්ක මම කෙලින්ම කතාවට යන්නෙ නෑ කවම කවදාවත්.ඒ තමයි අපි හැදිච්ච විදිහ. එහෙම වෙන එක හරිද වැරදිද නම් මන්ද. කොහොම හරි එහෙම තමයි අපි පුරුදු පුහුණු වෙලා උන්නෙ. 

අම්මාපල්ල ඒකටත් එක්ක දැං හැදෙන හිච්චි එවුං..මම මගෙ යාලුවෙක් එක්ක අපාට්මන්ට් එකක හවුලටනෙ මෙහෙ ඉන්නෙ. යාලුව ඉන්නෙ එයාගෙ අඹුදරුවන් එක්ක. පොඩි එකෙක් ඉන්නව අවුරුදු හය පිරෙන්නෙ මේ මාසෙට. ඒකා කොයිවෙලාවෙ බැලුවත් තාත්තගෙ කරේ...හෙහ්,හෙහ්, ඒ පුරුද්දට ඕකා මගෙ කාමරේට ආපු ගමං කෙලිම්ම මගෙ කරෙත් නඟිනව. හෙහ්,හෙහ්, මොකදෑ ඉතිං කරන්නෙ? 

ඉතිං නැවත අදාල කතාවට ගියොත් එහෙම ඉතිං එදා අජිත්ගෙ අප්පච්චි එහෙමත් ගෙදර නැතිඋන එකේ ඇඩ්වාන්ටේජ් එක නොහොත් වාසියත් අරගෙන අජිතුයි මායි ඉස්සරහ කාමරේ හංගල පොඩි කර්මාන්තයක් කලා.අපි දෙන්න හෙමීට ඇවිල්ල දෙකක් විතර නවාගෙන කඩල ඇටේකුත් කාරිය හපල කුස්සිය පැත්තෙ රවුමක් කාරිය ගහනව. 

කුස්සියෙ ඉතිං කාන්තා පක්සය එකතුවෙල රටේ නැති වල්පල් කියව කියව උයනව පිහනව එක දෙව්ලාවයි. අජිතයගෙ ගෙදර එහෙම තමයි.අප්පච්චි ගමේ රාළහාමි වෙච්චි. ඒ වෙනකොටනං මයෙ හිතේ විශ්‍රාම අරං. ඒත් අර ගමේ ප්‍රභූවරයෙක් කියන පිළිගැනීම ඒ වෙනකොටත් අඩු නැතුවම තිබුන.ඉතිං අජිතයගෙ ගෙදර කොයිවෙලේ බැලුවත් හත් අට දෙනෙක් වරදින්නෙ නෑ. ඉවිල්ලත් ආයෙ එහෙම තමයි. ගෙදර හිටියෙ පස් දෙනයි. අත්තම්මයි අම්මයි අප්පච්චියි මල්ලිල දෙන්නයි. අජිත් අපි එක්ක කැලේ මැද. අක්ක රස්සාවට ගිහිල්ල කොළඹ. ඒත් ඔය මම ඔය ගියපු හැම දාකම අඩුම ගානෙ දහ දොළොස් දෙනෙක් වත් කෑමට ඉන්නවමයි. උංගෙ කුස්සියෙ තිබ්බ දිග බංකුවක්. ඕකෙ වාඩිකරවල ඒ වෙලාවෙ ගෙදර මොනම දේකට හරි ඇවිල්ල හිටපු හැමෝටම බත් බෙදල දෙනව අම්මයි අත්තම්මයි. 

අපෙ අත්තම්මත් එහෙම තමයි. අපෙ ගෙදරට මොනම දේකට හරි ආපු කිසිම කෙනෙකුට බත් කටක් නොදී ආපහු අරින්නෙ නෑ. බෙහෙතකට වදකහ හොයාගෙන ආපු එගොග ගොඩේ බබලතෙක් වෙච්චි. අප්පච්චිගෙං මොනව හරි උපදෙසක් ගන්ට ආපු වයසක මනුස්සයෙක් වෙච්චි. කඨිනෙට ආදාර එකතු කරන්ට ගෙවල් ගානෙ ඇවිදින දායක සබාවෙ කට්ටිය වෙච්චි ඔය කාට උනත් බත් කටක් කන්ට අඬගහනව අපෙ අත්තම්ම. ඒ උන්දැගෙ හැටි. "අද කාලෙ එහෙම කරන්ට බෑ අම්මෙ " කියල අපෙ අම්ම එහෙම කොච්චර තේරුම් කරන්ට හැදුවත් උන්දැට ඒකෙ ගාණක් නෑ. අර පරණ පුරුදු වෙච්චි විදිහම තමයි. 

හරි ආයෙම එමු අජිතයලගෙ ගෙදෙට්ට. 

එක පාරක් ඔන්න අපි දෙන්න තොල කට එහෙම පිහ දාල මිදුලෙ පේර ගහ යටට වෙලා සිගරට් එහෙකුත් බෙදාගෙන ගහල පේර කොළ හතර පහකුත් හපල කාරිය කුස්සියෙ පිටිපස්ස දොරෙං ඇතුල් උනා. 

" කොහෙද මේ දෙන්නත් එක්ක කරුවලේ ඇවිදින්නෙ? " ඔහොරි පොට ඉණේ ගහගෙන දර ලිපේ මද ගින්නෙ පැහෙන මොකක් හරි හොද්දක් හැඳිගාන අතරෙ අජිතයගෙ අම්ම ඔලුව හරවල ඇහුව. 

" අර දර මඩුව පැත්තෙං මොකද්ද සද්දයක් ඇහුන අම්මෙ. ඒක බලන්ට ගියෙ මේ අපි දෙන්න.." අජිතය කිව්වෙ අහක බලාගෙන. 

" අපොයි ඔව්...මොකට කියනවද ඒ හරිය? සද්දෙ බලන්ටම තමයි යන්ට ඇත්තෙ. " අම්මා කුස්සියෙ දොර ගාවපුටු පුංචෙ ඉඳගෙන හිටපු අත්තම්ම දිහා බලල ඉඟි මැරුව. 

" එහෙනං එහෙනං හිහ් හිහ්, ……" අත්තම්ම හිනා උනේ යන්තමට කෙස් ගස් එක දෙක ඉදීගෙන එනඔලුව හොල්ල හොල්ල. 

අජිතයගෙ අත්තම්ම මට හරිම කැමතියි. මම ආය නෑ කටපුරා අත්තම්මෙ කියල කතා කරනව එතනිං ගිහාම වඳිනකොට ආය නෑ අඩුවක් පාඩුවක්..කෙලිම්ම පසඟ පිහිටුවල වඳින්නෙ. පසඟ නෙවෙයි වෙලාවකට සයඟත් පිහිටුවල වඳිනව...හෙහ්,හෙහ්, දන්නව නේද සයඟ කියන්නෙ මොනවටද කියල?...හෙහ්,හෙහ්,හෙහ්, 

අත්තම්ම මම ආපු දවසෙම හීං නූලෙන් මගෙ වගතුග ඇහුව. අම්ම අප්පච්චි කවුද? නං ගං එහෙම කොහොමද? ගම් පළාත් කොහෙද?......මමත් ඉතිං ඒ අහන්නෙ මොකටද කියල නොතේරෙන ගානට අහන අහන එව්වට උත්තර දුන්න. 

අජිතයගෙ අම්ම වලව්වක කුමාරිහාමි කෙනෙක් උනාට හරිම නිරහංකාරයි. ඒ වගේම තමයි විහිලු කරන්ට ගියාම ආය නෑ කියන එව්වට ඉළ ඇදෙනව හිනා වෙල. 

ඔය වගෙ එක පාරක් ඒත් අපෙ හොඳ යාලුවෙක් හිටිය මිනිහගෙ ගෙවල් මන්දාරම් නුවර. මන්දාරම් නුවර අහල තියනවනෙ නේද? රිකිල්ල ගස්කඩ පහු කරල පදියපැළැල්ල පාරෙ යන්ට ඕන මන්දාරම් නුවරට. නමෙන්ම තේරෙනවනෙ….. මන්දාරම් නුවර කියන්නෙ කොයිවෙලෙත් වැහි අඳුර, බීරං ගතිය, මීදුමෙං වැහිල තියෙන පළාතක්. 

එක විඩයක් ඒ කිට්ටුව මළගෙදරක ගිය පාර අපි ගියා අර කලින් කියපු යාලුවගෙ ගෙදර. ඒ කලෙ ඔය මලගෙවල් වලට සහභාගි වෙන්ට එක පයිං සැදී පැහැදී ඉන්න අපෙ කණ්ඩායමක් හිටිය. " The Funeral Team"   නැත්තං " මළගෙවල් කණ්ඩායම "  කියල විරුදාවලියකුත් ලබාපු මේ කණ්ඩායමේ ප්‍රධානියෙක් විදිහට මම කටයුතු කලයි කියල අමුතුවෙන් කියන්ට ඕන නෑනෙ නේද? 

අපෙ කාගෙහරි මළගෙයක් උනහම සහභාගිවෙන්ට ජීප් එකක් කතා කරල ඇරේන්ජ් කර ගැනීම, යන එන ගමං කන්ඩ බොන්ඩ ඒ ක්‍රම සහ විධි සූදානම් කර ගැනීම, රෑ නවතින්ඩ උනොත් මළ ගෙදර නෙවෙයි නම් ඒ කිට්ටුව පාතක අපෙ යාලුවෙකුගෙ ගෙදර ඒ සඳහා පහසුකම් සංවිධානය කිරීම, මල් වඩමක් මිළදී ගැනීමේ කටයුතු, අපේ සුභ සාධක සංගමයෙන් මළගෙදරකට දෙන ආධාර මුදල ඒ අදාල සාමාජිකයා අතට පත් කිරීම, එතනිං ගිහාම අපේ ශෝක ප්‍රකාශ බැනර් එක මළගෙදර කාට කාටත් හොඳ හැටි පේන තැනක ප්‍රදර්ශනය කීරිමට අවශ්‍ය කටයුතු සංවිධානය කිරීම, අවමංගල සභාවේ අපේ ආයතනය වෙනුවෙන් කතාවක් පැවැත්වීම සංවිධානය කිරීම, අපේ ආයතනය වෙනුවෙන් මිනියට කර ගැහීම සංවිධානය කිරීම, ඒ ඔක්කෝටම වැඩියෙං මඟදි හම්බ වෙන පළවෙනි මත්පැන් හලේ ඉඳලම සාතිශය දුක්ඛ දෝමනස්සයන් තුනී කොට ගැනීමේ කර්තව්‍යය සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සම්පාදනය කොට ගැනීම...හෙහ්,හෙහ්, කොහොමද පිස්සු හැදෙනව නේද වගකීම් සම්භාරය එකින් එක කියවනකොට..ආ..ආ....ඔය ඔක්කොමත් අස්සෙ අප්පමාදෝ අමරපදංච වීම...සෙල්ලංද කොල්ලෝ කිව්වලු. 

ඉතිං ආයම එමු එහෙනං මන්දාරම් නුවර කේස් එකට. එදා අර මළගෙදර ගිහිල්ල අපි හවස දෙක වගෙ වෙනකොට මන්දාරම් නුවර යාලුවගෙ ගෙදර ගියා. මිනිහට කියමුකො ඔන්න සුමනෙය කියල. හරි සුමනෙ හොඳයි. හප්පා..පට්ට හීතල..ඒ මදිවට මේ ඔහොම මෙහෙම පේන්නෙ නෑ..මීදුම..ආය ගේ ඇතුලෙ කියල වෙනසක් නෑ..ඇතුලෙත් ගන සැරේට මීදුම. සුමනෙගෙ අම්ම හිටිය ඔන්න ලා නිල් පාට ඔසරියක් එහෙම ඇඳගෙන. අම්ම දැක්කෙත් හුළඟට මීදුම ටිකක් එහාට මෙහාට වෙනකොට. 

" මචං මේ අපෙ අම්ම " කියල සුමනෙ අඳුන්වල දුන්න. එකෙක් ගිහිල්ල අම්මට වඳිනකොට ඔන්න මීදුම ඇවිල්ල පළාතම වැහෙනව. ඊළඟ එකා ඉන්ට ඕන ආයම මීදුම එහා මෙහා වෙනකල්.ඔහොම අපෙ කට්ටියටම අම්මට වැඳල ආචාර කරන්ට ගියා එක විනාඩි හතළිහක් වාගෙ තරම. 

පස්සෙදි මොකෝ කරන්නෙ..මේක හරියන කෙලියක් නෙවෙයි..බොන්ටත් එපාය. ඒ මදිවට කට කට ගෑවිල්ලෙ ගැහෙන්නෙ පට්ටම හීතල. 

" මචං සුමනෙ..අපි වැඩේ පටන් ගනිමු. මීදුම එහා මෙහා වෙනකොට ඒ වඳින කටයුතු ඒ විදිහට චාරිත්‍රානුකූලව කරගෙන යමු. " මම කිව්ව. " හා..එහෙම හොඳයි " කියල හැමෝම ඒකට එකඟ උනා. අන්තිමට එහෙම තමයි ඔන්න වැඩේ කෙරුනෙ. 

දෙක තුන වෙලා තුන හතර වෙලා කං එහෙම රතුවෙලා එන්ට පටං ගද්දි අපේ එවුං කියවන්ට ගත්ත රටේ නැති විකාර...හෙහ්,හෙහ්, 

මචං සුමනයට අවුරුදු හයක් වගෙ වෙනකල් උංගෙ අම්ම හිතාගෙන ඉඳල තියෙන්නෙ සුමනය කෙල්ලෙක්ය කියල..අජිත්ද කොහෙද එහෙම කිව්වෙ.. 

" ඒ මොකද බං ඒ? " තව එකෙක් ඇහුව. 

" ඇයි බං මීදුමනෙ, කිසිදෙයක් පේන්නෙ නෑනෙ " ..හෙහ්,හෙහ්..අපි ඔක්කොම මීදුම මැකෙන තරමට හයියෙන් හිනාඋනා. 

" ඒයි මේක අහපල්ලකො... මුගෙ තව අයියල මල්ලිල ඉන්නවද දන්නෙත් නෑ මුං දන්නෙ නැතුව. මේ ගෙදර කාමර අස්සෙ...හෙහ්,හෙහ්, මීදුම හින්ද හරියට පේන එකක්ය.." එහෙම කිව්වෙ මම. 

" අනේ බලන්ට මේ පුතාල කියන එව්ව…" සුමනෙගෙ අම්ම මීදුම අස්සෙං මතුවෙච්චි වෙලාවක එහෙම කිව්වෙ අත් දෙකෙන්ම කට වහගෙන . 

මට ජීවිතේ තියනකල් අමතක නොවෙන්නෙ එදා කටගැස්ම. සුමනෙලගෙ ගෙදර වටේටම අක්කර තුන හතරක වගෙ එළවලු වවල තියෙන්නෙ. මල්ලිල දෙන්න තමයි එව්ව කරන්නෙ. කටගැස්මට තිබ්බෙ කැරට්, බීට්, ගෝවා සහ අර්තාපල් ස්ටිම් කරල ලුණුයි ගම්මිරිසුයි ඉහල..කියල වැඩක් නෑ..දවස් ගණං පරක්කු වෙච්චි එව්ව නෙවෙයිනෙ. අලුත්ම අලුත් බඩු. අමුතුම රහක් තියෙන්නෙ...බයිට් ඉවර උනාම ඔන්න අපි කට්ටිය බැස්ස ගේ පිටිපස්සෙ කැරට් පාත්තියට. සුමනෙගෙ මල්ලි මුල්ලුවකින් පස් බුරුල් කරනව. අපි පොර කකා කැරට් ඇහින්දෙ....ගෙනල්ල හෝදල ඒ වෙලාවෙම තම්බනව... 

කැරට් ගලවපු හැටි කියනකොට මරු කතාවක් ඔන්න මතක් උනා. මේක ඇවිල්ල නස්රුද්දීන්ගෙ කතාවක්. කාලෙකට ඉස්සර නවයුගය පත්තරේ ගියේ. නස්රුද්දීන් ඔන්න දවසක් මල්ලකුත් අරගෙන කඩේ යනව රෑට උයන්ට එළවලු මොකවත් ගේන්ට. ඔහොම යද්දි මිනිහ දකිනව පාර අයිනෙ බොහොම සාරෙට හැදිච්චි කැරට් කොටුවක්. 

" මෙච්චර ගොඩක් කැරට් මොකටද මේ තනි මිනිහෙකුට? " 

එහෙම තමාටම කියාගත්තු නස්රුද්දීන් වටපිට බලල කොටුවට රිංගල දනි පනිගාල ඔන්න කැරට් ගලවල මල්ලට දාගත්ත. කරුම වෙලාව කියන්නෙ කැරට් අයිතිකාරය හරියටම මේ වෙලාවෙ කොටුවට එනව.. 

" ආ..නස්රුද්දීන්..අපූරුයි නේද වැඩේ? මම හිතුවෙ නෑ ඔහේ මෙහෙම මනුස්සයෙක්ය කියල. මගෙ කැරට් හොරකං කරන්ට නේද හැදුවෙ? " 

" අන්න ඒකනෙ කියන්නෙ..කොයිම වෙලාවකවත් තමන්ට පේන දේ ඇසුරෙන් එක පාරටම නිගමන වලට එන්ට එපා. එහෙම කලොත් ඔහේට බොහොම පසුතැවිලි වෙන්ට සිද්ද වේවි. " නස්රුද්දීන් එහෙම කිව්ව දබරැඟිල්ලත් උරුක් කරගෙන. 

කැරට් අයිතිකාරයත් ටිකක් අප්සෙට් ගියා මේ කතාවට. " ඇයි ඔහේ එහෙම කියන්නෙ? දැං ඔහේ මගෙ කොටුවට පැනල කැරට් හොරකං කරන්ට හැදුවෙ නැද්ද? "

" අන්න ඒකනෙ කියන්නෙ..ඉන්නවකො මම වෙච්චි දේ කියන්ට. මම කඩේ යද්දි එක පාරට මහ විසාල කුණාටුවක් ඇවිල්ල මාව පාවෙලා ආව තමුසෙගෙ කැරට් කොටුවට. " නස්රුද්දීන් වෙච්චි දේ පැහැදිලි කරන්ට පටන් ගත්ත. 

" හරි ඒක එහෙමයි කියමුකො.එතකොට මේ කැරට් ගස් ගැලවුනෙ කොහොමද? " 

" කුණාටුවෙන් බේරෙන්ට මම ඒ කැරට් ගස් අල්ල ගත්ත. ඒත් කුණාටුව කොච්චර සැරද කියනවනං කැරට් ගසුත් ඉදුරුනානෙ." 

" හරි ඒකත් එහෙමයි කියමු. එතකොට මේ කැරට් ඔහෙගෙ මල්ලට ගියේ කොහොමද?" 

නස්රුද්දීන් තලප්පාව ගලවල අතට ගත්ත, නළලත් එක්ක රැලිකර ගත්ත. 

" අන්න ඒ බොහොම බැරෑරුම් ප්‍රශ්නෙට පිළිතුර මොකක්ද කියල මමත් කල්පනා කර කර ඉන්නකොට තමයි තමුසෙ ඇවිල්ල මට බාධාකලේ. හරි දැන් යනව කරුණා කරල මෙතනින් මට ඒ ප්‍රශ්නෙට උත්තර හොයාගන්ට දීල." 

මළගෙවල් වල කතා තියනව හැට හැත්තෑවක්. මම මේ කල්පනා කලේ ඒ ඔක්කොම කියන්ට ගියෝතිං මේ කුකුළ් සීන් එක කියන්ට වෙන්නෙ නෑ. රයිට් එහෙනං මළගෙවල්වල කතාමාලාව වෙනම කියන්නං " Stories From Murder Houses " කියල..එහෙම හොඳයි නේද? 

Wednesday, September 10, 2014

279. සඳ සහ ඔබ…Moon & You….

Google Images
සඳවත යට හමුවුණු එදවස විල්දිය මත, 
නළලත සිප සමුගත්දින මතකයෙ තව ඇත,
හදවත ගැහෙනා තුරු හිඳ සිඳු රල පෙල මත,
නෙතුමත ඇඳි සුපුල් රුවක අරුමය නොමැකෙත,


Sorrow would slowly become a recurrent ache,
Heart suddenly becoming a whirling storm,
Memories would never ever go away,
What is forgotten is not worth remembering,

පිණිබිඳ වට සියපත් මත රැඳෙනු නොහැකි සඳ,
පිරිසිඳ මල්පෙති අග නිල්දියට පතිත වන,
විසිරිත තරුකැටවන් කණමැදිරි පුළිඟු දැක,
සිහිනෙක ගෑ සුවඳක් සේ ඔබ වත සිහිවෙත,

Shimmering halo of a waxing moon,
Ligting up those crags thro' haze,
With falling starlets streaking no end,
We parted never to meet again,

කඳුලක බර නෙතට දැනුනු කල ඉක්මුනු සඳ,
සුසුමක උණුසුම විඳගමි දෙනෙත් පියා හිඳ,
කඳු මුදුනක කලා සොලස සපිරුනු සඳ හිඳ,
සෙනෙහෙ මතක යලිදු ගෙනෙයි පුරුදුයි දුක විඳ,

විශේෂ ස්තූතිය - දිල්ට

Friday, September 5, 2014

278. විමලෙගෙ වාංපතුල් කතා - 21 - වියුණුවෙහි නව මුහුණුවර, ආගිය කතා, වන් සැප සහ කොස් කැපීම.

Charles Dwyer

රයිට් නිදහස් සිතුවිලි වියුණුවට නව මුහුණුවරක් දීල තියනව ඔහෙල දකින්ට ඇති නේද? අලුතෙන් ගෑව නීල වර්ණයක්. එහෙම කලේ මොකද දන්නවද? ඒකෙත් තියනව ලොකු අභ්‍යන්තරයක්. " පුතේ... ඕක ඇතුලෙ තියනව ලොකු අභ්‍යන්තරයක් " එහෙම කිව්වෙ අපෙ ලොකු මාම...බූරානිස් මලයා තුමාත් අහල තිබ්බ " මොකෝ බං මේ වෙනස? රන්දිල් නෝනා මහත්තැං වාර්සික අලුත්වැඩියාව කරල වත්ද? " කියල. 

එතුමාට පිළිතුරු වසයෙන් මම කිව්වෙ " ඉඳහංකො ඒ විස්තරේ ඊලඟ කතාවෙදි කියන්නම්ය " කියල. ඉතිං ඒ කතාව තමයි මේ… 

මම ඉතිං ඔය මත්තල ගැන, හම්බංතොට වරාය ගැන, නෙලුං පොකුන ගැන, නෙලුං කුලුන ගැන එක එක දේවල් කියනවනෙ හිටපු ගමං. ඒ ගැන පොඩ්ඩක් විතර හිත නොරොක් වෙච්චි ඇනෝ මහත්මයෙක් හෝ මහත්මියක් කියල තිබ්බ මෙහෙම. 

/ යූඇන්පී කාරයා එළියට පනිනවා වැඩියි දැන් දැන්. රංදිල් නෝනටත් මෙහෙම ගියොත් කරදර ඇති වෙයි වගේ. / 

දැන් ඔන්න බලන්ට මොන තරම් සත්ගුනවත් ඇනෝ තුමෙක්ද මේ....රන්දිල් නෝනට කරදර ඇතිවෙයි කියල බොහොම විස්සෝප වෙලා අනතුරු ඇඟවීමකුත් කරල. තර්ජනයක් වෙන්ට නම් බෑ මයෙ හිතේ..බොහොම සුහද අවවාදයක් වෙන්ට ඕන. ඒත් පොඩි අඩුපාඩුවකට තියෙන්නෙ එහෙම කරදර වෙන්නෙ කොහොමද කියල පැහැදිලි කරපු නැති එකයි. එහෙම පොඩිවට වගෙ විස්තරේකුත් කලානං එහෙම ආය නෑ මල් මසුරං....රයිට් ඒ පරාර්තකාමී, සත්ගුනවත් නිර්නාමික තුමා ගැන ඒ ඇති. 

එතකොට අද උදේ ඔන්න මගෙ ලෑන්ඩ් ලේඩි නොහොත් නිවෙස් හිමිකාරිය නොහොත් රන්දිල් නෝනා මහත්මිය මට තකහනියක් කතා කලා. 

" මේ හලෝ..මොකද අර ඔහෙ කරල තියෙන්නෙ? " 

" මොකක්ද මම කරල තියෙන්නෙ? " 

" මොකද කරල තියෙන්නෙ කියන්නෙ? මත්තල ගැනයි, හම්බන්තොට වරාය ගැනයි, නෙලුං කුලුන ගැනයි අපහාසාත්මකව ලියල කියල චෝදනා තියනව නේද ඔහෙට? " 

" ඔන්න ඕකනෙව කියන්නෙ. මම හිතුවෙ නෑ ඔයත් ඔහොම වරදවා වටහා ගනීය කියල. " 

" ඒ කිව්වෙ? " 

" ඒ කිව්වෙ මෙහෙමනෙ. දැං හම්බංතොට වරායට නැව් එන්නෙ නෑ තමයි. මම එහෙම කිව්වත් තමයි. ඒත් ඒකට හේතුව ලියනකල් ඉවසන්ට එපාය. එහෙම නැතුව වලං කඩේට පැනපු ගොනා වගෙ මැද්දෑවට පැනල මට දොස් කිව්වම හරි යනවද? " 

" හරි මොකක්ද දැං නැව් නො එන්ට හේතුව? " 

" හේතුව මේකයි. වරායට නැව් එන්නෙ නැත්තෙ වරායට ඇතුල් කරන්ට බැරි තරමට නැව් තියනව පෝලිමේ. නැව් පෝළිමේ එහා කෙලවර තියනවයි කියන්නෙ මැඩගස්කරේ කිට්ටුව. ඒ පෝළිමේ හැටියට අවුරුදු දෙකක් වත් යනවලු වරායට නැවක් දාන්ට. අන්න ඒ නිසයි නැව් එන්නෙ නැත්තෙ. නැත්තං ඔය වෙන අනං මනං හින්ද නෙවෙයි. ගලක් තියනවය අරකද මේකද ඔය ඔක්කොම එතුමාගෙ කීර්තිනාමයට කැලැල් කරන්ට හදාපුව නෙව. දැං බලන්ට අවුරුදු විස්සක් විතර පරන ලදරං චන්ද්‍රිකාවක් අලුත් වැඩියා කොරල සිංහ කොඩිය එහෙම ගහල කක්ස ගත කරන්ට තරං හැකියාවක් තියෙන උත්තමයෙක් එතුමා. මේ සුට්ටං ගල් කෑල්ලක් අයිං කරන එක එතුමට සිම්පල්. අර චන්ද්‍රිකාවට චීනෙට කෝටි ගානක් දුන්න එක වෙනම කතාවක්. චීන්නු පට්ට ගහපු පරන බඩු සල්ලි දීල ගන්ට එතුමා බොහොම කැමතියි නෙව.අර ගල් අඟුරු බලාගාරෙ.... ඒ තව එකක්. " 

" හෑ???ඒකත් එහෙමද? " රන්දිල් විස්මයට පත් වෙලා ඇහුව. 

" ආය එහෙනං වෙන කොහොමද?....එහෙමම තමයි...... වරායෙ විස්තරේ ඒ....දැං බලමු මත්තල ගුවං තොටුපොල ගැන. ඕකට ගුවං යානා යන එන එක එතුමා අනඥාවක් නිකුත් කරල සීමා කරල දැම්ම. ඒ කිව්වෙ මාසෙකට උපරිම පෙලේං බස්සන්ට පුලුවං තුනයි. දන්නවද මොකද්ද හේතුව කියල. මරා ආසියාන්තරා පිටැන්න විවුර්ත කරපු අලුත ඕකට ප්ලේන් බාලා තියෙන්නෙ තරඟෙට. එකක් බාලා නවත්තන්ට කලිං ඒකෙ බපර් එකේ වදින්ට වගෙ ඇවිල්ල නවත්තනව පිටිපස්සෙං තව එකක්.පෙලේං හත අටක වගෙ නම්බර් ප්ලේට් හිටං ඇද උනාලු පස්සෙං ආපු එකාට කොන්ට්‍රෝල් නැතුව යන්තමට වගෙ වද්දල. සිග්නල් බෙරේක් ලයිට් හිටං කුඩු සංසාර උනාලු මහ හුඟක්. " 

" අවුරුදු කාලෙ එතුමා ගත කලේ ගමරට බලා ගිහිල්ල නෙව. මේ පාර එතුමාව වට කරගත්තලු අහල පහල බබලත්තු ටික. " ආ..කොහොමෙයි ඉතිං? ඔන්න මම ඔහෙලට ආසියාන්තරා පිටැන්නකුත් හදල දුන්න. දැං සන්තෝසයි නේද?" එතුමා බොහොම හැඟීම් බරව විමසුවා. ඉතාම සංවේදීයි නෙව. අම්බානක් සංවේදීයි. " එහෙමයි එහෙමයි. ඒත් ඒ වැඩෙං අපිට හරිම අකර තැබ්බක්නෙ වෙලා තියෙන්නෙ." වටකරගෙන උන්නු බබලත්තු නාහෙං අඬන්ට ගත්ත. " ඈ?? ඒ මොකද ඒ?" එතුමා පුදුම වෙලා ඇහුව. '' මත්තල පිටැන්නට එක පිට එක පෝලිමේ ආසියන්තරා බාන හින්ද අපිට කුරක්කං ටිකක්වත් වේලගන්ට හැටියක් නෑ නෙව උත්තමයාණනි.'' .....බබලත්තු එක හඬින් කිව්ව. '' ඒ කොහොමද එහෙම වෙන්නෙ?...... '' " ඇයි අප්පේ පෙලේං වලට දවස තිස්සෙම ආකහේ වැහිල. පෙලේංවල හෙවනැල්ලට ඉර එලිය මුවා වෙලා. ඉතිං කොහොමද කුරක්කං වේලන්නෙ." හ්ම්ම්ම්. හ්ම්ම්ම් ඒකත් ඇත්ත තමයි . අර පරන සිංදුවකත් තියෙන්නෙ. එර්දියෙන් යන්නාවූ නෙක් රහතුංගේ සෙවනැල්ලෙනි හිරු රශ්මිය භංගේ.. " 

" ඒ කාලෙත් ඔය රහත් කස්ටිය නිතර එර්දියෙං යන්ට ගිහිල්ල ඉස්තිරියාවන්ට වී වේලාගන්ටත් බැරිඋනාය කියනවනෙ. ඒ පාර බුදු හාමුදුරුවො රහතුං වහන්සෙලට සික්සා පදයක් පැනෙව්වලු වී වේලන කාලෙ අහසිං වඩින්ට තහනම්ය කියල. අන්න ඒ වගෙ එතුමා ඒ පාර වහාම නියෝග කලා මත්තලට මාසෙකට උපරිම බාන්ට ඇහැක් පෙලේං තුනයි කියල. මත්තලට පෙලේං එන්නෙ නැති ඇත්තම හේතුව ඒකයි. දැං බලන්ට එතුමා මොන තරං සංවේදී නායකයෙක්ද කියල, අච්චර කෝටිගානක් වියදං කරල හදපු පෙලේං පිට්ටනිය පාලුවට ගියත් තමංගෙ සහෝදර ජනතාවගෙ කුරහං වේලිල්ලට බාදාවක් වෙන්ට ඉඩ දුන්නෙ නෑ. අන්න නායකයො. " 

ඉතිං මම ඔය විස්තරේ කියාගෙන කියාගෙන ගියානෙ. රන්දිල් ඔක්කොම අහගෙන ඉඳල මෙහෙම ඇහුව. 

" එතකොට මේ කට්ටිය වැරදි අවබෝදෙකනෙ ඉන්නෙ නේද?..... රයිට් අපි මෙහෙම කරමු. ඒ වැරදි අවබෝදය දුරු වෙලා යන්ට බ්ලොග් එකේ වෙනසක් කරමු. " 

" ඕකේ රයිට්. ඕන එකකට මම එකඟයි. මොකද අපි කරන්නෙ? " 

" මෙහෙම කරමුද? නිදහස් සිතුවිලි කියල නමේ අකුරු වටේට කුරහං සාටකයක් ඔතමුද? " 

" අන්න මරු..ඔයානෙ ඔව්ව දන්නෙ. එහෙනං එහෙම කරන්ටකො." මම එහෙම කිව්ව. 

ඔන්න ටිකකිං මුන්දැ මට ආයෙම කතා කරපි. 

" ඒක හරි යන්නෙ නෑ. සාටකේ එතුවම නිකං බඩවැලක් එතුව වගෙ. එහෙම නෙවෙයි. මම මොකක් හරි හොඳ ඇනිමේෂන් පාරකුත් එක්ක හොඳ වැඩක් දාන්නම් පස්සෙ. එතකල් බ්ලොග් එක නිල්පාට කරමු . ඒත් මදැයි. " 

" හරි නෝ ප්‍රොබ්ලම්. ඇනිමේෂන් එකට දාන්ට අර ප්ලේන් බෑවිල්ල හින්ද කුරක්කං වේලගන්ට බැරුව බබලත්තු ගිහිල්ල එතුමාට දුක කියන සීන් එකයි. එතුමා වහාම නියෝග කරල ප්ලේන් බාන එක නවත්තන සීන් එකයි. එහෙනං එතකල් නිල්පාටවත් කරල දාන්ට. උන්නු හැටියට මලා මදැයි කියලත් කියනවනෙ. " මම අන්තිමට එහෙම කිව්ව. 

ඉතිං බූරාබිදාන මලේ ඔන්න ඔහොමයි නිදහස් සිතුවිලි නිල්පාට උනේ...හෙහ්,හෙහ්. 

හරි ඒ කතාව මදැයි ඔය....දැං පහුගිය කොටසෙ සිට ඉදිරියට... 

" මගෙ ජොකා නෑ……" ජයන්තය දත්මිටි කාගෙන කිව්ව.. 

" මොකක්?...." මගෙ කටත් එක්ක ඇරුන. 

" ජොකා නෑ?..මොකද ඒකට උනේ?...." 

" ඒක තමයි මාත් අහන්නෙ? මොකද ඒකට උනේ? " ජයන්තය මගෙ දිහා රවල බැලුව. 

" යකෝ මට රවන්නෙ? මම ගත්ත වගේනෙ....මේ මචං..හොඳට මතක් කරපං උඹට බුදු ෂුවර්ද ජොකා ඊයෙ ඇඳගෙන ආවය කියල.." 

" මේ මගෙං කුණුහරප අහගන්නෙ නැතුව ඉඳහං..මොකද බං මට මතක නැත්තෙ?..මොකද තොපි වගෙ මාත් නකතං වෙන්ට බොනවය? " ජයන්තය කාමරේ දෙකක් වෙන්ට කෑගැහුව. 

" හරි හරි බං... හරි හරි.... කාම් ඩවුන් කාම් ඩවුන්..ඕකේ? " මම උගෙ අත්දෙක අල්ලගෙන ඌව සංසුං කලා. 

සංසුං කලා කිව්වම පොඩි කතාවක් මතක් උනා බොලේ හෙහ්,හෙහ්, ඒ ලක්බිම පටන්ගත්තු අලුත. දැන් ඔය රූපවාහිනියෙ / අයි.ටී.එන්. එකේ විපරම සහ පශු වදන කියල ඉතාම සාරගර්භ වැඩ සටහන් දෙකක් කරන හාදය දන්නව නේද? ඔය හාදය ඒ මුලම කාලෙ ලක්බිමේ ලිව්ව ආගිය කතා කියල තීරු ලිපියක් වගෙ එකක්. හිනාවෙල ඉළනෑ ඒකෙ තිබ්බ විහිලු කියවල. මිනිහ නියමෙට කලා ඒක. ඒ කාලෙ ඉඳලම මිනිහ විහිලු කාරය. 

ඔය යකාගෙ පශුවදන මම බලන්නෙ ලෝ බ්ලඩ් ප්‍රෙෂර් වගෙ දැනිච්ච දවසට විතරයි. බෙහෙත් වලට යන ගාන ඉතුරු වෙනව. 

රයිට් දැං අර සංසුං කතාවට. ඔන්න එක මනුස්සයෙක් ගියාලු බඩේ අමාරුවකට බෙහෙත් ගන්න………. 

" ම්ම්ම්..අපි එක්ස් රේ එකක් අරගෙන බලමු මේකට. " දොස්තර බඩ එහෙම මිරිකල කිව්ව. " හෙට උදේම එන්න. " 

" අද රෑ නමයට වගෙ කෑවට පස්සෙ මොකවත් කන්න එපා හොඳද? " දොස්තර ආයෙමත් කිව්ව. 

පහුවදා මනුස්සය පාන්දරම ගියා එක්ස් රේ වැඩේට. ඒත් තව කට්ටිය හිටිය පෝළිමේ සෑහෙන්ට. 

" හරි පෝළිමේ ඉන්ට,…... පැයක් හමාරක් වගෙ යයි. " එතන හිටපු නර්ස් එහෙම කියල නම කාරිය ලියාගත්ත. " කන්ට එහෙම එපා මොකවත් ඇහුණද? " 

ඔන්න පැයක් වගෙ ගියා. මේ මනුස්සය ඉන්ට බෑ බඩගින්න. කලන්තෙ වගෙ. එතනම එහා පැත්තෙ කැන්ටිම. පාන්, බනිස් තෙල් සුවඳ එද්දි ඉන්ටම බෑ. ඉවසන්ටම බැරිතැන ඕන ****** පණං අටයි කියල හිතල මිනිහ හෙමීට කැන්ටිමට රිංගල උණු උණු වන්ඩු දෙකක්ම අරගෙන කන්ට ගත්ත. කරුමෙ කියන්නෙ හරියටම ඔය වෙලාවටම ඔන්න මිනිහගෙ නම කතාකරනව ඇහුන එක්ස් රේ ගන්ට. 

" එච්. ජයවර්දන .... කෝ මේ එච්. ජයවර්දන. කොහෙ මකබෑ වෙලාද? " නර්ස් නෝන කෑගහනව ඇහිල මිනිහ දනි පනි ගාල ඉතුරු වන්ඩුවත් එහෙම්මම ගිල දාල ගියා එක්ස් රේ එක ගන්ට. 

" කොහෙද මනුස්සයො ගියේ? කී පාරක් කතා කලාද? " නර්ස් නෝන බොහොම ආදරෙං ඇහුව. 

" නෑ නෝන මම …...මේ….. මම මේ…" 

" ආ..ඒකෙං කමක් නෑ. යනව ඇතුලට ගිහිල්ල එක්ස් රේ එක ගන්නව. ඉක්මන් කරනව තව කට්ටිය ඉන්නව. " නර්ස් නෝන කිව්ව. 

මිනිහත් ඔන්න ගිහිල්ල බඩේ එක්ස් රේ එක ගත්ත. එදා හවස මිනිහගෙ එක්ස් රේ එක අරං බලපු දොස්තර නළලෙ අත ගහ ගත්තලු. බඩේ ගත්තු එක්ස් රේ එකේ තිබ්බෙ " යාපනය දැං සංසුං " කියලලු. මේ මනුස්සය අර නම කතාකරනකොට කලබල වෙච්චි පාර වන්ඩුව එහෙම්මම ගිල්ලනෙ. වණ්ඩුව ඔතල තිබ්බ පත්තර කොලෙත් ඒ එක්කම කැවිල ඒකත් බඩේ. ඒ පත්තරේ තිබ්බ හෙඩ් ලයින් එක තමයි අර .... 

ජොක්කු ගැන කතා කරන හින්ද මෙන්න ආගිය කතාවක තිබ්බ ජොක්කු කතාවක්. යාලුවො කට්ටියක් ඔන්න ගියාලු විනෝද චාරිකාවක්. ඒ කිව්වෙ මේ ට්‍රිප් එකක්. රයිට් අපි කියමු පොළොන්නරුව පැත්තෙ කියල. දවල්ට කන්ට කලින් ඔන්න පරාක්‍රම සමුද්‍රෙ නාන්ටයි සූදානම. හැමෝම කලසං ගලෝල ජොකා පිටිං ඔන්න බැස්ස වතුරට. එකෙක් විතරක් ගොඩ ඉන්නව. උගෙ නෑ නාන්ට කිසිම සුදානමක්. 

" ඒයි වරෙං බං..කලිසම ගලවල වරෙං..නියම වතුර ටික.." යාලුවො කෑගහනව. 

" අනේ බෑ බං මම නාන්නෙ නෑ. " අරකා පිංසෙංඩු වෙනව. 

දන්නවනෙ ට්‍රිප් එකක් ගියාම ඔහොම කියල බේරෙන්ට බෑනෙ යාලුවංගෙං… 

" අඩෝ ඒව හරියන්නෙ නෑ හොඳද? වරෙං බැහැපං වතුරට. ගලවපං කලිසම. " යාලුවො අවසාන නිවේදනය නිකුත් කලා. 

බේරෙන්ටම බැරිතැන මිනිහ ඔන්න බොහොම අකමැත්තෙං කලිසම ගලවල වතුරට බැස්ස. අනික් එවුං ඇඳල ඉන්න ට්‍රන්ක් වල ඔන්න පිටිපස්සෙ ගහල තියනව නයික්, අඩිඩාස් ඒ වගෙ සුප්‍රසිද්ද බ්‍රෑන්ඩ් නේම්ස්. මුගෙ එකේ පිටිපස්සෙ තියෙන්නෙ " වන් සැප " දැං කට්ටියම හොල්මන් ද පොල්කොල..... ඇයි දෙයියෝ සාක්කි වන් සැප කියල බ්‍රෑන්ඩ් එකක් කලින් අහලම නෑනෙ. මුගෙං ඇහුව ඇහුව මූ කියන්නෙම නෑ. එහාට මෙහාට ඇඹරෙනව. 

අන්තිමට මූ මරන්ඩ වගෙ ගියාම තමයි ඔන්න විස්තරේ කිව්වෙ. 

" අනේ මචංලා. කාටවත් කියන්ට එහෙම එපා. ඔය මළ ගෙයක් උනාම පාර හරහ බැනර් දානවනෙ. අහවලාට නිවන් සැප ලැබේවා!!! කියල. ඒ පරන වෙච්චි බැනර් එකකින් මහගත්තු ජොකෙක් තමයි මේ. නිවන් සැප ලැබේවා!! කියල ලියල තිබ්බ හරිය තමයි කරුමෙක පස්සට සෙට් උනේ. " 

හරි ඒ අතුරු කතා වාරය අවසානයි. ආපහු ජයන්තයගෙ කතාවට..... 

" යකෝ මට රවන්නෙ? මම ගත්ත වගේනෙ....මේ මචං..හොඳට මතක් කරපං උඹට බුදු ෂුවර්ද ජොකා ඊයෙ ඇඳගෙන ආවය කියල.." 

" මේ මගෙං කුණුහරප අහගන්නෙ නැතුව ඉඳහං..මොකද බං මට මතක නැත්තෙ?..මොකද තොපි වගෙ මාත් නකතං වෙන්ට බොනවය? " ජයන්තය කාමරේ දෙකක් වෙන්ට කෑගැහුව. 

" හරි හරි බං.... හරි හරි.... කාම් ඩවුන් කාම් ඩවුන්..ඕකේ? " මම උගෙ අත්දෙක අල්ලගෙන ඌව සංසුං කලා. 

ඉතිං ඔන්න එකා එකා දවල් කෑම වෙලාව අල්ලල ආපහු ක්වාටර්ස් එකට එන්ට ගත්ත. ඒ ආපු හැමෝම ජයන්තයගෙ ජොකා නැතිවෙච්චි සීන් එක ගැන බොහොම විස්සෝප උනා. ඒ ඇර ජොකාට වෙච්චි දෙයක් කවුරුවත් දැනගෙන හිටියෙ නෑ. අන්තිමටම වගෙ ආවෙ අජිතය. ඕකනෙ ජයන්තයගෙ කල්‍යාණ මිත්‍රය. අජිතය හින්දනෙ අපි ජයන්තය අඳුර ගත්තෙත්. 

" මොකද බං තාම මෙතන? මම හිතුවෙ උඹ උදෙම්ම යන්ට ඇතිය කියල…" එහෙම කෑගහගෙන අජිතය කාමරේට ආව. 

" නෑ බං ජයන්තයගෙ ජොකා මිසිං . ඒකයි ඌ ගිහිල්ල නැත්තෙ " මම කිව්ව. 

" පිස්සුද බං? ආය මඟුලක් කතා කරනව. මුගෙ ජොකා ගන්ට ආය කවුද මෙහෙ ඉන්නෙ? උඹ ෂුවර් එකටම ඊයෙ ජොක්ලස් එන්ට ඇත්තෙ." අජිතය එහෙම කියව කියව සරමක් උඩිං දාගෙන ජොකා ගලවල ටවල් රැක් එක උඩට දැම්ම. 

" මේ උඹ මගෙං මොකවත්……." එහෙම කියාගෙන ජයන්තය ඇඳෙන් නැඟිට්ට දුන්නෙ දුනුදිය මුදා හැරිය වගෙ. ඒ එක්කම උගෙ ඇස් ලොකු උනා තරමක පීරිසි දෙකක් විතර. 

" අම්මට උඩු..අන්න මගෙ ජොකා.." ජයන්තය කෑගහගෙන අජිතය ටවල් රැක් එක උඩට දැම්ම ජොකාට ඇඟිල්ල දික්කරල පෙන්නුව. 

" රම්පෙට පොරි කිව්වලු. ඔය ජොකා උඹේද? කලින් කියන්ට එපාද බං..අනික මම ඒත් කල්පනා කලා. මාර හිරයි. උදේ ඉඳල මම තාම හරියකට හුස්මක් කටක් ගත්තෙ නෑ කිව්වම උඹල විස්වාස කරනවද? උඹ මොන කෙහෙල්මලටද ජයන්ත උඹේ ජොකා මගෙ කලිසම ගාවම ගැහැව්වෙ? උදේ පාන්දර කලුවරේ මම හිතුවෙ ඒ මගේ ජොකා කියලනෙ. " 

දැන් මේ පසුබිම ඔක්කොම සකස් කරේ අජිතය කියන්නෙ මොන වගේ පුඟුලෙක්ද කියල ඔබ තමුන්නාන්සේලාට අඳුන්වල දෙන්නයි. මගෙ අතිජාත මිත්‍රය. පිළිස්සූ කුකුළකු කරන කොටගෙන අහිමිවූ මගේ ආදරය කතාවට කෙලින්ම සම්බන්ද වෙන්නෙ ඔය අජිතය. අජිතයට වැඩිමල් අක්ක කෙනෙක් හිටිය. අක්කගෙ නම සුජිතා. ඒ කාලෙ වැඩකලේ කොටුවෙ විදුලි මල බණ්ඩලයෙ හෙඩ් ඔෆිස් එකේ. එහෙදිම කොල්ලෙක් සෙට් වෙලා ගෙවල් වලිනුත් කැමතිවෙලා ඔන්න වෙඩිම ගන්නයි යන්නෙ. කලින් ඉඳල දෙතුන් පාරක් ගිහිල්ලම අජිතයගෙ අම්මල අප්පච්චිල අක්ක එහෙම මම හොඳට අඳුනනව. ගෙදරකට ගියාම මට ආය එතන මගෙ ගෙදර වගෙ තමයි. කුස්සියට ගිහිල්ල කන්ඩ මොනවද තියෙන්නෙ කියල හැලි වලං ඇරල බලල එව්වයිම්ම මොනව හරි බෙදාගෙන කන එක මට ඒ හැටි දෙයක් නෙවෙයි. ඔය හින්දම මගෙ යාලුවංගෙ අම්මල අප්පච්චිල මට හුඟක් කිට්ටු උනා. අනික අත්තම්මල...හෙහ්,හෙහ්,උඩරට සිරිත විදිහට අත්තම්මට ගෙදර විශේෂ තැනක් ලැබෙනව. විශේෂයෙන්ම අම්මගෙ අම්මට. අත්තම්ම ෂේප් කරගත්ත කියන්නෙ ආය නෑ බඩේ බත් තමයි. ඔය කොයි කොයි දේට උනත්... හෙහ්,හෙහ්, 

සුජිතගෙ වෙඩිං එකට අපි අජිතයගෙ කිට්ටුම හිතවත් තුන් දෙනෙක් ගියේ දවස් හතරකට වගෙ කලිං. ගිහිල්ල ඉතිං ඔය තියන පොඩිපොඩි වැඩ වලට උදව් වෙමින්ද, ඉන්න අංගනාවියන්ට අරක මේක කියමින්ද, රෑවෙනකොට හෙමිහිට ස්වල්ප වශයෙන් මධු පානයෙහි යෙදෙමින්ද අපි කාලෙ ගත කලා. අජිතයලගෙ අම්මගෙ පවුලෙ සහෝදර සහෝදරියො මහ ගොඩයි. නමයක්ද දහයක්ද කොහෙද... ඔක්කොමල ඒ කිට්ටුව කිට්ටුවම තමයි. ඒ නිසා අජිතයගෙ නෑනල මස්සිනාල, සහෝදර සහෝදරියො හිටිය එක විසි පහකට එහා. ඒ අතරින් අපි එක්ක බොහොම සුහදව ආශ්‍රය කලා අජිතයගෙ ලොකු මාමගෙ දුව..නම අශෝකා. 

" මචං අශෝකා නංගි නර්ස් කෙනෙක්. නුවර මහ ඉස්පිරිතාලෙ. මගෙ ලොකු මාමගෙ දුව. ලොකු මාම පෝස්ට් මාස්ටර් කෙනෙක්. ඒ නැන්දත් හරිම හොඳයි. " 

" ආ..එහෙමද? " පෝරුවෙ සැරසිලි කරන්ට තෙල් කොළ නමල නියනෙං මෝස්තරයක් කප කප හිටපු මම ඕනවට එපාවට වගෙ කිව්ව. 

පෝරුවෙ වැඩ බාරව හිටියෙ අජිතයගෙ ඒත් දුරින් නෑවෙන මහප්ප කෙනෙක්. එයා අපි කට්ටියට එක එක වැඩ බාර දීල තිබ්බ, මට දීල තිබ්බෙ ඔය කැටයම් කපන්ඩ. 

" නෑ මම මේ උඹට කිව්වෙ අසෝක නංගි උනත් හරිම හොඳ නිහතමානී කෙල්ල.මට වැඩිය අවුරුදු දෙකක් වගෙ බාලයි. " 

" ඉතිං බං ඔච්චර වර්ණනා කරන එකේ උඹට නරකද? නෑකමත් හරිනෙ..ඇවැස්ස නෑන…" නියන හත් අට පොටකට නමපු තෙල්කොල උඩ පරිස්සමට තියල අත කොළුවෙන් වැරෙන් පාරක් ගහන ගමං මම කිව්වෙ අජිතය දිහාවත් නොබල. 

" පිස්සුද බං? අසෝකයි මායි පොඩි කාලෙ ඉඳල හිටියෙ සහෝදර සහෝදරියො වගෙ. " 

" හරි උඹ මට මොකද දැං කියන්නෙ? " 

" මම උඹට කිසි දෙයක් කියන්නෙ නෑ…" අජිතය හක හක ගාල හිනාවුනා. 

" ආ, ඒක මිසක්. එහෙනං කමක් නෑ.." මම ආයෙම කැටයම් කැපිල්ල පටං ගත්ත. 

ඒ එක්කම එතනට දුවගෙන ආවෙ සුජිතා අක්ක. නොහොත් මනාල මහත්මිය.... 

" ආ..මේ ඉන්නෙ වීරෙ මල්ලිව තමයි මම මේ හෙව්වෙ? " 

" ඇයි අක්කෙ? ….." මම ඔලුව උස්සල ඇහුව. 

" අනේ මල්ලි අද දවල්ට කන්ඩ ඉන්නව තිහක් විතර. කොස් ගෙඩි දෙකක් කඩාගෙන ආව. කොස් මැල්ලුමක් හදන්ඩයි යන්නෙ. අතන කුස්සිය එහා පැත්තෙ දර මඩුවෙ අසෝක නංගි කොස් කපනව. ඒත් එයාට තනියම කරන්ට අමාරුයි ඒක. මල්ලි ගිහිල්ල පොඩ්ඩක් වැඩේට උදව් වෙන්ටකො." 

පොඩි කාලෙ අත්තම්ම එක්ක කොස් කපල මට ඔය කොස් වැඩේ හොඳට පුරුදුයි. මීට කලිනුත් එක පාරක් අජිතයගෙ ගෙදර ආහම මම කොස් කපල දුන්න. සුජිත අක්කට ඒක මතක තිබිලද ??????......නැත්තං???? 

" හරි අක්කෙ..  ඒකෙ අවුලක් නෑ. මම යන්නං...ඒත් එතකොට මේ වැඩේ.?" මම ඔලුවෙං එතන කැටයං කපන්ඩ සූදානං කරල ගොඩ ගහල තිබ්බ තෙල් කරදාසි ගොඩ පෙන්නල ඇහුව. 

" මේ වැඩේ හදිස්සියක් නෑනෙ මල්ලි. හවස හරි කරන්ට බැරිය. අනේ ගිහිල්ල අර අසෝකට උදව් වෙන්ටකො. " සුජිතා අක්ක අජිතයට ඉඟියෙන් මොනව හරි කිව්වද? නැත්තං ඒ මගෙ හිත් හෝදිසියට පෙනිච්ච විදිහද? 

" හරි හරි මම යන්නංකො. මනමාලිගෙ ඉල්ලීමක් අහක දාන එකත් හරි නෑනෙ ඉතිං...හෙහ්,හෙහ්, " එහෙම කියල මම ඉඳගෙන හිටපු තැනින් නැඟිටල අත පයේ හිරි ඇර ගත්ත.

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...