Thursday, February 26, 2015

306. විමලෙගෙ වාංපතුල් කතා - 26 - ළමා අවදියෙහිදී අලිපිට යෑමේ ආදීනව, මාළිගාවේ මුර දානය සහ දාහතේ වාට්ටුවේ සරෝජිනී.


Painting - Malcolm T. Liepke
 " අනේ පුතාට තුණුරුවන්ගෙම සරණයි.." නැන්දම්ම මගෙ ඔලුව අතගෑව.

" මේ පුතා මේ කිට්ටුවද? " 

" ඔව් නැන්දම්මෙ මම මේ පිළිමතලාවෙ….."

මම නැන්දම්මෙ කියන කෑල්ල බරකරල කියන ගමං හොරැහිං බැලුව අර කෙල්ලගෙ මූණ දිහා. ඒකි තොල් හපාගෙන ඇස් දෙකෙං හිනා වෙනව.

" පුතාල උදේට කාල එහෙමද ආවෙ?..." 

මම වැඳල එහෙම එකත්පස් වුනාට පස්සෙ ඔන්න නැන්දම්ම අහනව. 

" ඔව් නැන්දම්මෙ කාල ආවෙ...."

" හිහ්..ආය අහන්ටත් දෙයක්ය...අම්ම දන්නෙ නැද්ද හීන් නැන්දම්මගෙ විත්තිය? මඟුල් මේසෙ ඇරිය වගෙ තියෙන්ට ඇති " ...ආයම නැමිල කෙස් වැටිය තෙත් මාත්තු කරන අතරෙ අසෝකා කිව්ව.

" එහෙනං පුතා තේ කෝප්පයක්වත් බොමු නේද? " නැන්දම්ම කුස්සිය පැත්තට යන ගමං ඇහුව...

" හරි නැන්දම්මෙ එහනං කහට එකක් බොමු....." අජිත් එහෙම කියල මිදුලට බැස්ස.. " බයික් එකට ඒ ටිකට අව්ව වැටිල ..ඉඳහං මම අඹ ගහේ හෙවණට දාල එන්නං..."

" නැන්දම්ම නිකම්ම කහට එකක් උස්සගෙන එයිද මන්ද.." මම හෙමිහිට මටම එහෙම කියාගෙන කවිච්චිය ලඟට ගියා.අසෝකා මගෙ දිහා ඔලුව උස්සල බලල තොල් හපාගෙන ආයෙම අහක බලාගත්ත. 

" ඔය වැලිතලප, වෙල්ල වැහුං, පුස් නාඹු, නාරං කැවුං, අග්ගල කොයි කොයිවත් දුන්නොත් අපි එපා කියන්නෙ එහෙම නෑ...හොඳේ? " අසෝකා දිහාවෙ හොරැහින් බලල මම ආයෙම කිව්ව.

" දෙන්ට තියෙන්ට එපාය..ඔහෙ ඇති වෙල්ලවැහුමක්වත් වැලිතලපයක්වත් නෑ..." අසෝකා අහක බලාගෙනම කිව්ව..

" ෂිහ්.. වැලිතලප කෑල්ලක්වත් නැද්ද හලෝ? පුදුම වලව් තමයි මෙව්ව..." මම ආයෙම හොරැහින් ඈ දිහා බලල අහක බලාගෙන කිව්ව. 

" මොන වලව්වක්ද? කවුද එහෙම කතාවක් කිව්වෙ?..." අසෝකා තුවාය අතට අරගෙන මා දිහාට හැරිල සැරෙන් ඇහුව..

" හරි හරි එහෙම නෙවෙයිනං කලබල වෙන්ට එපා. අජිත් තමයි මා දැක්ක කිව්වෙ.."

" මොනවද දැං අජිත් අයිය කිව්වෙ? "

" කිව්වෙ මෙහෙමයි..මචං ඔය අසෝකා නංගිලගෙ අම්ම.... ඒ කිව්වෙ අපෙ නැන්දම්මල රඹුකේවෙල වලව්වෙ. රජකාලෙ රජ්ජුරුවංගෙ ඇත්පන්තිය බාරව ඉඳල තියෙන්නෙ ඒ පරම්පරාවෙ අය. අපි පොඩි කාලෙ ඒ නැන්දම්මලටත් හිටිය අලි හත් අට දෙනෙක්ම. "

" එහ්?.....අජිත් අයිය ඇත්තටම ඔහොම කිව්වද? " අසෝකගෙ ඇස් දෙකත් ලොකු වෙලා....

" කිව්වෙ නැත්තං ආය ඔයාලට අලිහිටියයි කියල දැනගන්ට මොකෝ මට දිව්‍යඥාණෙ තියනවය? අජිත් කිව්ව තමයි. "

" ඉතිං?.... අජිත් අයිය තව මොනවද කිව්වෙ? " 

" ආආආ.....තව කිව්ව මෙහෙම මචං උඹ දන්නවද ඔය අසෝකා නංගි පොඩි කාලෙ ඉස්කෝලෙ හිට ගියේ අලිය පිටේ…"

" මොකක්?..... අලි පිටේ කවුද ඉස්කෝලෙ යන්නෙ? "

" හරි හරි මමත් ඒ වෙලාවෙ ඔහොමම තමයි කිව්වෙ..බොරු කියන්ට එපා...කවුද බං අලිපිටේ ඉස්කෝලෙ යන්නෙ කියල? "

" ඉතිං? ..."

" ඉතිං කියන්නෙ…. අජිතය ඊට පස්සෙ කිව්ව, නෑ බං ඇත්තමයි..ඔන්න අසෝක නංගිව දැක්ක දවසට උඹටම පෙනෙයි එයා අලි පිටේ ගිහිල්ල තියනවද නැද්ද කියල.."

" ඈ???........ ඒ කොහොමද එහෙම කියන්නෙ? "

" එහෙම කියන්න පුලුවන්..හැබැයි ඔය කියුලට් බියුලට් ඇඳගෙන ඉන්නකොට ටිකක් අමාරුයි. ඔන්න කලිසමක් වගෙ ඇඳල ඉන්නවනම් ටක්කෙටම කිව්වැහැකි. ඔයාගෙ නැද්ද කලිසමක් එහෙම? තියනව නම් ඇඳගෙන එන්නකො. පොඩි කාලෙ අලිපිටේ ගියෙ නෑ කියල ඔප්පු කරන්ට ෂුවර් ඇන්ඩ් ෂොට් ක්‍රමේ තමයි ඒක. "

" අනේ මේ....මගෙං මොකවත් අහගන්නෙ නැතුව ඉන්නවද ඔය ඉන්න විදිහට.....කලිසං...හුහ් "

ඒ පාර නං කෙල්ලට මල පැනලම වගෙ. තුවායත් අතේ මිරිකගෙන මාදිහා රවාගෙන උන්න විදිහට මට මැරෙන්ට හිනා...

ඒ එක්කම නැන්දම්ම කුස්සියෙ ඉඳල ආවනෙ තේ කෝප්ප දෙකකුත් බන්දේසියක තියාගෙන. 

" තේ එකක් බොන්ට පුතා..කෝ අපේ අජිත් පුතා? ..." නැන්දම්ම වටපිට විපරම් කරමින් ඇහුව..

" බයිසිකලේ අව්වෙ කියල හෙවණකට දාල එන්නං කියල ඔය ගියෙ අම්මෙ..." අසෝකා එහෙම කියල දොරගාවට ගිහිල්ල පඩි දෙක බැහැල මිදුලට ගියා..

" බයිසිකලේනං අන්න අඹගහ හෙවණට දාල තියනව. අජිත් අයියනං නෑ පේනතෙක් මානෙක...."

" මේ ළමය කොහෙට ගියාද? " .....නැන්දම්ම එහෙම කියල තේ බන්දේසිය මහෙ ඉස්සරහ ටීපෝ එක උඩ තිබ්බ. 

" අනේ දුවේ අර ඊයෙ හදපු අග්ගලා මම පීරිසියක දාල ඇති කුස්සියෙ මේසෙ උඩ. එක පාරට ගේන්ට බැරිහින්ද ගෙනාවෙ නෑ. ගිහිල්ල අරං එන්ටකො. මේ පුතා පැණිරහ එහෙම කනව නේද?..."

" එහෙමකට කන්නෙ නං නෑ ..ඒත් නැන්දම්ම ඉස් ඉස්සෙල්ලම හිත සන්තෝසෙන් දෙන එක එපා කියල කොහොමද? ගේන්ටකො බලන්ට ඔය දහයක් දොළහක් විතර තියනවනං....."

මම හෙමිහිට කිව්ව මා ගාවිං කුස්සියට යන්ට ආපු අසෝකට විතරක් ඇහෙන්ට..කෙල්ල මගෙ දිහා ඔලුව හරවල බලල ආයෙම ගස්සගෙන ඉස්සරහ බලාගෙන කුස්සිය පැත්තට ගියා.

අජිතය ඔන්න ඔය වෙලාවෙම ගෙට ගොඩවුනා. 

" කොහෙද පුතා ගියේ?......"

" මම අර සමිතියෙ කඩේ පැත්තෙ පොඩ්ඩක් ගිහිල්ල එන්ට ගියා නැන්දම්මා......" අජිතය එහෙම කියල මා ගාවම ඉඳගත්ත. 

" හා..එහෙනං පුතාත් බීල ඉන්ටකො තේ උගුරක් මේ දරුවත් එක්කම....." 

අපි ඉතිං අග්ගල කාල තේ බිව්ව.ගම්මිරිස් එහෙම යන්තමට දාල කිතුල් පැණියෙං හදපු එව්ව තමයි අග්ගල.අග්ගල කං ඩෝං පුතා හෙලේ නඟිං ඩෝං පුතා..හීතල මැකිල යන්ට ගම්මිරිස් දාපු අග්ගල කකා සිරීපාදෙ කරුණා කරන එක ගැන කියවෙන ඒ කවි පදේ මට මතක හිටියෙ අපෙ අත්තම්ම කියල දුන්නු කවියකිං..ඉතුරු හරිය මතක නෑ.

අජිතුයි මායි නැන්දම්මලගෙ ගෙදර ආවෙ මාළිගාවෙ මුරදානෙ ගැන කතාකරගන්ටෙයි කියල මම කිව්වනෙ කලින්ම නේද?..ඔය දාන සීන් එකත් සෙල්ලං කෙලියක් එහෙම නෙවෙයි මාළිගාවේ මුර දානයක් ගන්න එකත් අර කණ කොකා විය සිදුර ඇතුලෙන් ඉගිලෙනකොටයි සුද පේන්නෙ කියල කතාවක් තියෙන්නෙ, අන්න ඒ වගේ තමයි.

තේ බීල ඉවර වෙලා නැන්දම්මයි අජිතයයි තේ මේසෙ ඉඳගෙනම මාළිගාවෙ දානෙ දෙන එකේ Logistics කතාකරන්ට ගත්ත. ලොජිස්ටික්ස් කියන එකේ සිංහල වචනෙ ඇවිල්ල කාර්ය සම්පාදනය.ප්‍රසම්පාදන කියන වචනෙ අහල තියනවද? මේ ලඟදි තමයි ඔය වචනෙ නිර්මාණය කරල තියෙන්නෙ මම හිතන්නෙ. ප්‍රසම්පාදන කියන්නෙ Procurement කියන එකට. ඇත්තටම එහෙම අලුතෙන් සිංහල වචන හදන එක මගේ අදහසේ හැටියට බොහොම හොඳ දෙයක්.

මට ඉතිං ඔය මුර දානවල කාර්ය සම්පාදන ගැන කොහෙත්ම උනන්දුවක් නැතිහින්ද මම නැඟිටල මිදුලට බැස්ස. ඔය මම කියන කාලෙ පුදුම පෑවිල්ලක් තිබ්බෙ. තණකොල ඉඳල කරකුට්ටං වෙලා ගිහිල්ල. ඒත් අඹ ගහ වටේට ගඩොල් අල්ලල පාත්තියක් හදල බාර්බටන් ඩේසීස්, කපුරු අරව මෙව්ව වවල තිබ්බ. කවුරුහරි වතුර එහෙම දාල හොඳට සාත්තුකරන වගත් පේන්ට තිබ්බ. වෙන කවුද ඉතිං? එක්කො නැන්දම්ම නැත්තං මේ කෙල්ල වෙන්ට එපාය...මල් පිපිල හැම ගහකම වගෙ. මම මල් දිහාවෙ බලාඉන්දැද්දි ඔන්න එක අපරටම මට ඇහුන රෙද්දක් ගසල දාන සද්දයක්.

හැරිල බලද්දි ගේ පැත්තකට වෙන්ට වගෙ පේර ගස් දෙකක ගැටගහල තිබිච්ච වැලක අසෝකා හෝදපු රෙදි වගයක් වනනව.

මම හෙමිහිට ඒ පැත්තට ගියා..

" මේ නංගි ඔයා නුවර ඉස්පිරිතාලෙ නේද වැඩ?..." අසෝකා නර්ස් කෙනෙක් නැත්තං මාණ්ඩලික හෙදියක් කියල මම කලින් කිව්ව මතකයිනෙ නේද? 

" ඔව් අයියෙ....." 

" මොන වාට්ටුවෙද? "

" මේ දවස්වල නම් මම විසි හතරෙ…"

" දාහතේ වාට්ටුවෙ එහෙම වැඩ කරල නැද්ද? "

" නෑනෙ... තවම නෑ.. ඒක කාඩියොලොජි මේල් වෝඩ් එකනෙ..ලඟදිම ඒකටත් වැටෙයි.."

ඔය වෙනකොට අසෝකා රෙදි වනල ඉවරයි . 

" යං අයියෙ ගෙට. මොකටද මේ අව්වෙ වේලෙන්නෙ…"

අපි දෙන්න ගෙට ගොඩ වෙනකොටත් අජිතයයි නැන්දම්මයි කෑම මේසෙ වාඩිවෙච්චි විදිහට එහෙම්මම ඉඳගෙන බරටම කතාව. අජිතය කොලේක මොනවද ලියනව. මුර දානෙට ඕන බඩු ලැයිස්තුව වෙන්ට ඇති.

අජිතයගෙ හැටි එහෙම තමයි..මේ හවසට ඌයි මායි බෝතලයක් ගෙනල්ල ගහන්ට ලෑස්ති වෙයංකො..මෙන්න මේ යකා හාෆ් ෂීට් එකක් අරගෙන ලෑස්ති වෙනව ඉස්සොරෝම. 

" මොකටද බං ඔය හාෆ් ෂීට් දැම්මම? අත පිහින්ට පත්තරයක් දෙකක් ඉරල ගමු…" මම දන්නෙ නැතුව වගෙ අහනව ඕකගෙ මල පන්නවන්ටම..

" අත පිහින්ට නෙවෙයි යකෝ..මේක මේ බඩු ලිස්ට් එක ලියන්ට."

" ඈ???.....මේ අපි දෙන්න එකතුවෙලා බෝතලයක් ගහන්ට බඩු ලිස්ට් එකක් මොකටද බං?.."

" එහෙම තමයි බං ..මොනවහරි අමතක උනොත් ආය අතන මෙතන කියලද? ගව් ගාණක් යන්ට එපාය. "

එක අතකට ඒ කතාවත් ඇත්ත. ඔය අපි අර මහ කැළේ මැද්දෑවෙ හිටපු කාලෙනෙ. කඩේකට යන්ට පාරටම ඉතිං එන්ට එපාය.

" ඒකත් හරි තමයි බලාගෙන ගිහාම..මොකවත් අමතක උනොත් කාරිය. උඹ එහෙනං බඩු ලිස්ට් එක ලියාපංකො මොකවත් අමතක නොකර..මම ගිහිල්ල බොසාගෙං ජීප් එකක් ඉල්ලගෙන එන්නං.. "

අජිතය ඔන්න දිවත් හපාගෙන ඉඳගන්නව බඩු ලිස්ට් එක කියන්ට. මම ගිහිල්ල බොසාගෙන් වාහනේකුත් අනුමත කරවගෙන යනව කදුරුවෙල බඩු ගේන්ට අජිතයත් එක්ක. කදුරුවෙල ටවුමෙ මාකට් එක ඉස්සරහ වාහනේ නවත්තල අපි දෙන්න බැහැල යනව කඩ වීදිය දිගේ ඉස්සරහට.

" ඒයි කෝ ගනිං අර ලිස්ට් එක...." රෝහණ ස්ටෝර්ස් එක ලඟට එනකොට මම කියනව

රෝහණ එක පහුකරල තව යාර පණහක් හැටක් ඉස්පිරිතාලෙ පැත්තට යනකොට තමයි ෆැන්සි හවුස් එක තියෙන්නෙ. ඒ දවස්වල ඒ පැත්තෙ තිබ්බ ලොකුම කඩයක්. සපත්තු සෙරෙප්පු, රේඩියෝ, ටී.වී. නැති දෙයක් නෑ. විමලයයි මායි වාං පතුල් ගන්ට ගියෙත් ඕකට. හෙහ්,හෙහ්,..... ඔය වාං පතුල් කේස් එකෙන් නෙව මේ කතන්දර මාලාව පටන් ගත්තෙ. අද මේ ලියන්නෙ විසිහයවෙනි කොටස. නම වාං පතුල් උනාට ඉතිං මෙව්වයෙ ලියපු තරමක් ලිව්වෙ මගෙ ජීවන අත්දැකීම්..... අර බෝඩ් එකක් දාල නැති බස් එක වගෙ තමයි. ඔන්න බස් එකක් නවත්තල තියනව. ඒත් බෝඩ් එකක් නෑ

" මේ..කොන්දොස්තර මහත්තයො...මොකදෑ මේ බස් එකේ බෝඩ් එකක් නැත්තෙ? " වයසක ලොක්කෙක් කිට්ටු වෙලා අහනව. 

" අද ඩැයිවර නකතං වෙන්ට ගහල අංකල්, බස් එක කොහෙ යයිද කියන්ට බෑ.. ඒ නිසා බෝඩ් එකක් දැම්මෙ නෑ. ඔය කොහෙ හරි ගිහිල්ල නැවතුනහම එතනට හරියන බෝඩ් එක දානව. " කොන්දොස්තර බස් එකට හේත්තුවෙලා ඉඳගෙන කිව්ව ඇස් පිල්ලං ගගහ. බලනකොට ඒ මනුස්සයත් කරපට් වෙන්ට ගහල.

රයිට් ආපහු රෝහණ ස්ටෝර්ස් එක ගාවට.........

" ඒයි කෝ ගනිං අර ලිස්ට් එක....." රෝහණ ස්ටෝර්ස් එක ලඟට එනකොට මම කියනව

අජිතය උඩ සාක්කුවට අතදානව..ඒ කරල ආයෙම කලිසං සාක්කු දෙකටම අත් දෙක දානව. ඕකා කලිසං සාක්කු වලට අත් දාන්නෙත් අමුතු විදිහකට. වං අත කලිසමේ දකුණු සාක්කුවට සහ දකුණු අත කලිසමේ වං සාක්කුවට..ආන්න එහෙම. අජිතයගෙ අත්දෙක හෙණ දිගයි. අර අපි හතේ අටේ පංතිවලදි ඉගෙන ගත්තෙ වානර මානවයො..අන්න ඒ වගේ. ඉතිං ඒ හින්ද අත්දෙක මාරු කරල සාක්කු වලට දාන්ට පුලුවෙනි හන්දි එහෙම ඇද ගන්නෙ නැතුව. ඉතිං ඔන්න අජිතය අර කදුරුවෙල ටවුමෙ දෙනෝ දාහක් සෙනඟ මැද්දෑවෙ ඇස් දෙකත් උඩ තියාගෙන සාක්කු දෙකේ ලිස්ට් එක හොයනව. 

" මොකද බං වෙලා තියෙන්නෙ? කෝ ලිස්ට් එක? …" මම අහනව බැරිම තැන..

" ඒක අමතක වෙලානෙ බං …" ඔන්න අජිතය හෙමිහිට කියනව..

" අම්මාපල්ල උඹ වගේ එකෙක්..හා..හා..යමං ඕන බඩු ටික අපි ගමු බං.මහ ගොඩක් නෑනෙ ඕකට ආය අහවල් ලිස්ට් එකක්ද?...මෙන්න මෙහෙ වරෙං ……." මම ඌත් ඇදගෙන රෝහණ එකට ගොඩවෙනව.

අජිතයගෙ ඔය සීන් මතක් වෙලා මම තොල්පොට හපාගෙන හිනාව ගිලගත්ත.

" නංගි කෝකටත් අර ලිස්ට් එක ඔයත් ලියල තියාගන්ට..අවුලක් නැතුව දානෙ වැඩ ටික කෙරෙන්ට ඕනනං.."

එහෙම කියල මම ඒ දෙන්න ඉන්න දිහාට යන්නෙ නැතුව සාලෙට ගොඩ වෙන තැනම තිබ්බ වේවැල් පුටුවක ඉඳගත්ත. මෙන්න අර කෙල්ලත් මා ඉස්සරහ ඉඳ ගනිපි.

ඔය පරණ ගෙවල්වල සාලෙ එහෙම මහ විසාලයි. මේස පුටු එහෙම එක පැත්තකට අයිං කලොත් බැඩ්මින්ටන් අතක් වොලිබෝල් ගේමක් එහෙම ගැහුවැහැකි ඇහැ පියාගෙන. පිරිත් මණ්ඩප්පයක් ගහන්ට එතකොට හදිස්සියකට පණහකට හැටකට ඉඳගෙන බණක් අහන්ට, විසි තිස් නමකට දානයක් දෙන්ට පුලුවන් ඉඩ පහසුකම් තියන සාලයක් ඕනය කියල තමයි ඒ දවස්වල පිළිගැනීම තිබ්බෙ. එහෙම උනහම සාලෙම වෙනව පර්චස් විස්සක් විතර හෙහ්,හෙහ්,

කොහොම හරි අසෝකයි මායි ඉන්න තැනට අජිතුයි නැන්දම්මයි කතාවෙන එව්ව ඇහෙන්නෙ නෑ. අසෝකා මං ඉස්සරහ ඉඳගෙන මගෙ මූණ බලල හිනාවුනා.

" අයිය මොකද අර වෝඩ් සෙවන්ටීන් එක ගැන ඇහුවෙ ?..." ...එයා හෙමිහිට ඇහුව.

" නෑ මේ නිකං …" මම ඇදල පැදල කිව්ව.

" නිකං නං වෙන්න බෑ…" එයා ආයෙම හිනා වුනා..

" වෝඩ් සෙවන්ටීන් එකේ වැඩ කරනව නේද සරෝජිනී කියල ගර්ල් කෙනෙක්?..."

" ඔව්..සරෝජිනී මගෙ බැච් මේට්..අයිය එයාව දන්නෙ කොහොමද? "

" ඒක ටිකක් දිග කතාවක්...මෙහෙමයි..අපෙ අප්පච්චි මාස හයකට වගෙ ඉස්සෙල්ල හාට් ඇටෑක් එකක් ඇවිල්ල ඔය වෝඩ් එකේ හිටිය සති දෙකක් විතර…"

" ඉතිං?........"

" ඉතිං මම තමයි වැඩිපුර අප්පච්චි ගාව හිටියෙ…" අසෝකා මා දිහා බලල ආයෙම බිම බලා ගත්ත…

" ඒ කාලෙදි තමයි මම සරෝජිනීව අඳුනා ගත්තෙ…"

Wednesday, February 18, 2015

305. කෝසළ සිහින - විසිවැන්න නොහොත් මෘත කළේබර ඔසවාගෙන යන්නවුන්ගේ කථා වස්තුව


Daily Mirror.








ගිම්හානයෙහි තද උණුසුමෙහි පෙරමඟ ලකුණු එළිපතට පැමිණ ඇතිවද තවමත් එකහෙලා පහව නොගිය ශිශිරයෙහි කටුක ශීතල ගත මෙන්ම සිතද පෙලනුයේ නිතැනිනි.සිත වෙහෙසියයුතු කුදු මහත් රාජකාරි කටයුතු නොගිණිය හැකි පමණ වූවද දිනකිහිපයක සිට සිත මෙන්ම ගතද පෙලෙනා කෙඩෙත්තුව කරනකොටගෙන කොසොල් රජතෙමේ සවස්වරුවම ගත කලේ සිරියහන් ගබඩාවෙහි සුවපහසු සයනය මත වැතිර ගත්වනමය.

රාත්‍රියාමය උදා වුවද ගත පෙලන දාහය කිසිසේත් ඉහිල්වූයේ නොවේ. එසේහෙයින්ම දහසක් අන්තඃපුර බිසෝවරුන් රජුගේ මනදොළ පිනවීම උදෙසා තුන්තිස් පැය මුලුල්ලේ සැදී පැහැදී සිටියද ඒ අරභයා කිසිදු තැකීමක් නොකල රජ තෙමේ මාළිගයෙහි තුන්වන මහලෙහි බිහිදොර අංගනය මත්තෙහි වූ සඳළු තලයට වන්නේ දින කිහිපයකට පෙර යවන දේශයෙන් වෙළඳාම් උදෙසා පැමිණි පියපුතු දෙදෙනෙකු විසින් තුටුපඬුරක් සේ ප්‍රදානය කරන ලද රත් පැහැ මුද්‍රික පානය පිරවූ ඔඩමක් හිස් කරන්නට වූයේය.

රජමාළිග අංගනය මධ්‍යයේ වූ නිල්දියෙන් සපිරි පොකුණ අභියස වූ රත්කරඳ වෘක්ෂයේ අහස් කුසට නැඟීගිය අතුපත් අතරින් දිලෙනා අටවක සඳ පාවීයන්නාවූ වළාවන් අතරින්ම අවරට යන තෙක්ම රජතෙමේ මුද්‍රික පානයෙන් සන්තර්පණය වූයේය.

අවසනැ පැසුළුයම ඇරඹීමට ආසන්නයේ සිරියහන් ගැබට වැද නින්දට වන් එතුමෝ අළුයම බියකරු සිහිනයෙක් දුටුවෝ අනපේක්ෂිතව පය ලිස්සාගොස් මහා ගංගාවකට ඇදවැටුනෙකු සියොළඟ තෙමීබත්වන්නේ යම්සේද එලෙස දහදිය කරණකොට සියොළඟ තෙමීගොස් බියෙන් තැතිගත්වනමැ අවදි වූවෝය.

එලෙස සියොලඟ දහදියෙන් නැහැවීයන පමණ භයංකර වූ සිහිනය යලි යලි මැවී පෙනෙන්නට වූයෙන් පෙරලා නින්දටවන්නට අසමත්වූ රජතුමෝ උදෑසන පෙර'ඹර පැහැපත් වනතෙක්ම සඳළුතලයෙහි සුවපහසු අසුනක් අරා දෑස් පියාගත්වනම ගතකලෝ හිමිදිරියෙහිම මුව දොවාපියාලා සිරුරුකිස, මුව දෙවීම යනාදී අත්‍යාවශ්‍ය වූ කටයුතු වලින් අනතුරුව තම මංගල සෛන්ධවයා අරා දෙව්රම බලා පිටත් වූහ.

අප තිලෝගුරු ගෞතම බුදුන් වහන්සේද සුපුරුදු වූ පරිද්දෙන් උදෑසනක් සේම පිබිදියාහු මුව දොවාලා පියා අනතුරුව පාතරාසයෙන් ඉක්බිති දෙව්රම් වෙහෙර අංගනයෙහි සුවිසල් සල් රුකක් සෙවණෙහි විවේක සුවයෙන් වැඩ හුන්නෝය.

බුදුන් වහන්සේගේ ශාන්තවූ මුව මඬල,  රාත්‍රියෙහි දුටු බියකරු සිහිනය කරණකොටගෙන එතෙකුදු පහව නොගිය බිය සංකා ඇති රජතුමාගේ සිතට මහත් වූ සහනයක්ම වූයේය. බුදුන් වහන්සේ වෙත එළඹ නමස්කාර කොට එකත්පස්වැ හුන් රජතුමා දෙස සිනහ මුසුව නෙත්යොමුකල අප මහ කාරුණිකයාණෝ මෙසේ පිළිවිසියහ.

" කිමෙක්ද මහරජ..මේ උදෑසනක්සේම?....තවත් බියකරු සිහිනයෙක් දුටුවෙහිද? "

" එසේය ස්වාමීනී..රාත්‍රියෙහි පශ්චිම යාමයෙහිදී දුටු එක්තරා බියකරුවූ සිහිනයක් හේතුකොටගෙන බියෙන් තැවෙන්නෙමි. එතැන් පටන් නින්දක් හෝ නොමැත්තේය. එසේ වූ  හෙයින් අළුයම් වූ ඇසිල්ලෙහි ඔබතුමන් බැහැදැක ඒ පිලිබඳව පවසා සහනයක් ලබනු රිසිවැ උදක්ම පැමිණියෙමි. "

" කිමෙක්ද රජතුමනි..මේසා ඔබ බියපත් කල සිහිනය?..වහා පවසනු මැන " …..මෙසේ පවසමින් බුදුහු රජතුමා දිරිමත් කලෝය.

එබස් ඇසූ රජතුමෝ දෑඟිලි බැඳගත්වනමැ හිඳ හිස ද පහතට හරවාගෙන මෙසේ පවසන්නට වූවෝය.

" ස්වාමීනී ඊයේ පශ්චිම යාමයෙහි මවිසින් දක්නා ලදැ ඒ බියකරු සිහිනය නම් මේ ලෙසයැ. වාමනයන් බඳුවූ විසුළු පුරුෂයින් සිව් දෙනෙකු මෘත කළේබරයක් දඬු මැස්සක තබාලා පියා සතර දෙසින් ඔසවාගෙනැ වීදි සඤ්චාරය කරන්නාහ. මියගොස් මසක් පමණ ගතවීයැයි දුටු වහාම කිසිදු සැකයෙකින් තොරව ස්ඵුට වන්නාවූ ඒ මෘත කළේබරයෙන් ගලන්නාවූ කුණුවූ ඕජසින් නික්මෙන දුර්ගන්ධය හාත්පස පැතිරෙන මුත් ඒ ඔසවාගෙන යන්නාවූ වාමනයන් බඳු පුරුෂයෝ ඒ පිළිබඳවැ කිසිදු තැකීමක් නොකොට ප්‍රීති ඝෝෂා පවත්වමින් සරන්නාහුය. "

" මේ ජුගුප්සාජනක දර්ශනය ඉවසාගත නොහුණු නුවරු නොයෙක් ලෙසින් වාමන පුරුෂයින්හට අවමන් කරන්නහුය.... කොළ පවිටුවනි, තෙල මෘත ශරීරය කරතබාගෙන වීදි සරමින් තොප කුමක් අපේක්ෂා කරන්නාහුද? තොපවෙතින් නික්මෙන දුර්ගන්ධය කිසිසේත් ඉවසනු නොහැකිය. වහා තෙල මෘත ශරීරය අමු සොහොනකට ගෙන ගොස් දමා ගලායන්නාවූ ජලපහරකට වැද ස්නානය කොට පිරිසිදු වනු මැනව. යනුවෙන් නාස් මිරිකාගත් වනමැ ඝෝෂා කරන්නාහුය. ඒ කිසිදු බසක් නොතකන වාමන පුරුෂයෝ සිව් දෙන, නැත නැත මේ කිසිසේත්ම මෘත කලේබරයක් නොවන්නේය. මේ වනාහී අපගේ අසහාය නායකයානන්ම වෙති. එනු මැනවි. අපගේ මහා නායකයාණන් වටා එක්රොක් වනු මැනවි. උහු අප විමුක්තිය කරා ගෙන යන මහා රජිඳානෝය. අපගේ පහන් තාරකාවෝය. අපගේ පුන් සඳානෝය. අපගේ සූර්ය දිව්‍ය රාජයාණෝය..අපගේ....අපගේ....අපගේ..."

" එබස් අසා කිපුණු නුවර වැස්සෝ කොළ නින්දිත වාමනයිනි. තොප අහස පොළව නුහුලනා අසත්‍යයක් පවසන්නාහුය. දුගඳ හමන්නාවූ, මාංශ දියවීගියාවූ, ඕජස් ගලන්නාවූ කුණපයක් කිසිදු හිරිකිතක්, පිළිකුලක් නොමැතිව කරතබා යන්නා පමණක් නොව ඒ පිලිකුල් සහගත ක්‍රියාවට සම්මාදම් වන ලෙස අපටද ආරාධනා කරන්නාහුය. යව, යව, මේ පුරවරයෙහි මොහොතකුදු රැඳී නොසිට තොපගේ නායකයාණන් වන තෙල මෘත කලේබරයද රැගෙන වහා මේ නුවරින් පිටවෙව යනාදී වශයෙන් නොයෙක් ආක්‍රෝශ පරිභවයෙන් නින්දා කලාහු කැට කැබලිත්තෙන් පහර දී පළවා හැරියාහුය."

මේ නයින් තමන් දුටු ස්වප්නයෙහි විස්තර බුදුන් වහන්සේ අමතා පැවසූ රජ්ජුරුවෝ මඳක් අවකාශගෙන ඉක්බිති යලිදු උන්වහන්සේ නමැද මෙසේ පවසන්නාහ. 

" එසේ හෙයින් මාගේ ස්වාමීනී. මේ බියකරු සිහිනය වනාහී මා හට හෝ මාගේ වැසියන්හට හෝ මාගේ රාජ්‍යයට හෝ සිදුවන්නට නියමිතව ඇත්තාවූ යම් අනතුරක පෙරනිමිත්තක් දෝ හෝයි බියෙන් තැවෙන්නෙමි. "

එබස් ඇසූ බුදුන් වහන්සේ මන්දස්මිතියෙන් යුතුවැ මඳක් නිහඬව හුන් ඉක්බිති යලි රජුන් බැණවූහ. 

" කිසිසේත්ම බිය විය යුතු නැත. මහ රජතුමනි. මේ නම් තොපට හෝ රටවැස්සන්ට හෝ මේ රාජ්‍යයට සිදුවන්නට නියමිතව ඇත්තාවූ යම් අනතුරක පෙර නිමිත්තක් නොවේමය. මේ වනාහී මින් වසර දෙදහස් පන්සියයකට අනතුරුව මේ ජම්බු ද්වීපයට දකුණු දෙසින් පිහිටි කුඩා දිවයිනක සිදුවන්නකි. "

" ඒ කාල වකවානුවක එහි වැස්සන්හට පල් හොර කණ්ඩායමකගෙන් බොහෝ ගැහැට සිදුවන්නාහ. එදවස එහි දක්ෂිණ භාගයෙහි උපත ලබන්නාවූ එක් පුරුෂයෙක් ඒ දිවයිනෙහි ජන සම්මතයෙන් නායක පදවියට පත් වන්නේ කෙසේ හෝ චෞරයින් පරදවා සියලු ජනයාහට ශාන්තිය උදාකරන්නාහ. මෙසේ රට පාලනය කරන්නාවූ මේ පුරුෂ තෙමේ මෙසේ සිතන්නාහුය. කිසිවෙකුට දමනය කල නොහැකිවූ තෙල චණ්ඩ චෞරයා ජීවිතක්ෂයට පත්කලෝ මම්ම වේද? එසේ හෙයින් මේ දිවයිනෙහි යාවජීව රජ තනතුරට මා හැර අන් සුදුස්සෙක් ඇත්ද? මෙසේ සිතා ඒ පුරුෂ තෙමේ මානයෙක් මත්වූවෝ රාජ්‍ය පාලන අණපණත් අත්තනෝමතික ලෙස සංශෝධනය කොට තමන් යාවජීව රජු ලෙස සිතා කටයුතු කලෝය. උහුගේ දරදඬු අත්තනෝමතික පාලනය ඉවසිය නොහැකි කල්හි රටවැස්සෝ රහසින් කතිකා කොට උහු බහුතර මනාපයෙන් පළවා හැර තමන් සිත්ගත්තාවූ වෙනත් කෙළෙඹි පුත්‍රයෙක් පාලක තනතුරට පත්කොට ගත්තාහුය. "

" පාලන බලයෙන් පහකොට පළවා හැරි ඒ අත්තනෝමතික පාලකයා සමඟ උන් රාජ්‍යය පාලනය කරන සමයේ උහු සෙවණේ සුවච කීකරු සුනඛ පෝතකයින් සේ ලැග හිඳිමින් මහජන මුදලින් සිත්සේ කාබී සතුටුවූ නිවට අන්තේවාසිකයින් කැලද තම යසඉසුරු අහිමිව පලාගියෝය. "

" එසේ වුවද බොහෝ කාලයක් මුලුල්ලේ මහජන මුදලින් සුර සැප විඳි ඔවුහු වැඩි කලක් ගතවන්නට පළමු තම සුපුරුදු යස ඉසුරු රහිතව ජීවත්වීමේ අසීරුව වටහා ගත්තෝ නැවත සුපුරුදු ජීවිතයට ප්‍රවිෂ්ඨ වන්නේ කෙසේදැයි කල්පනා කලෝය. දේශපාලන වශයෙන් පාරාජිකා වූ ඔවුන් අතරින්  සිව් දෙනෙකු අවසානයෙහි සාමූහික නිගමනයකට එලඹියහ. එනම් පරාජිත රජතුමා තම කරමතට ගෙන උහුගේ මාර්ගයෙන් කෙසේ හෝ මහජනයා මුළාකොටැ නැවත බලයට පත්වීම තමන්ට ගැලවීමට ඇති ඒකායන මාර්ගය බව ඔවුනට පසක් විය. එලෙසම තම තීරණය ක්‍රියාත්මක කල එම සට්ටැඹියන් සිව් දෙන ජාතික නන්නත්තාර පෙරමුණ නම් දේශපාලන පක්ෂයක් අටවා ගත්තාහු පරාජිත රජතුමා උර මත තබාගෙන රට පුරා සංචාරය කිරීම ආරම්භ කළෝය."

මෙසේ පැවසූ බුදුන්වහන්සේ කොසොළ් රජු දෙස සිනාමුසු මුහුණින් මඳක් බලා සිටියේ යලි මෙසේද පැවසුවෝය. 

" ඒ නන්නත්තාරයින් සිව්දෙනා මෙබඳුය. එකෙක් කලක් හුදී ජන විමුක්තිය උදෙසා විප්ලව කිරීමේ ඒකායන පරමාර්ථය ඇතිව කල් ගෙවා පසුව මහළු වියෙහිදී තම සියලු ප්‍රතිපත්ති නිර්ලජ්ජී ලෙස පාවා දෙමින් අන්තේවාසික යන නාමයට නව අර්ථ විවරණයක් සැපයූවෙකි. ඒ හා සමාන මහළු වියෙහි පසුවන දෙවැන්නා පොදුජන උන්නතිය උදෙසා බොහෝ සේ කටයුතු කල උදාර පියෙකුගේ පුත්‍රයා වීමේ භාග්‍යය විනා අන් කිසිදු දේශපාලන හැකියාවක් නැත්තෙකි. ඔවුනට ලාබාල වූ අනෙක් දෙදෙනාද ඔවුන්ටම දෙවෙනි නොවෙනා කෝණංගියෝ වෙති. එකෙක් වාචාලකම නෛසර්ගයෙන්ම උරුමවූ කට හැකරයෙකි. සිහිගිරි පවා නොගිය එමෙන්ම මහල්ලා සහ මුහුද රචනා කලේ කවුදැයි නොදන්නා මුත් ජාතිය රක්නා පංචායුධය යයි තමන්ටම විරුදාවලියක් ප්‍රධානය කරගන්නා තරමට උද්ධච්ඡයෙකි. සතර වැන්නා මිනිසුන්ගේ කැමැත්ත ලබාගැනීමට වියදම් කිරීමට ඔවුන්ගෙන්ම මුදල් එකතු කල සට කපටයෙකි. "

මෙසේ සිහින විවරණය නිමා කල බුදු රජානෝ " එසේ හෙයින් මහරජ නොබා හිඳිනු මැන " යනුවෙන් යලිදු මන්දස්මිතියෙන් යුතුවැ රජු අමතා වදාළෝය.

" එසේය ස්වාමීනී..ඔබගේ වදනින් මසිත බිය සැක දුරුව පහන් වූයේ වළාපෙලකට මුවාව සිටි පුන්සඳ වලාවන් පහව ගිය ඉක්බිති බබලන්නාසේය. ඔබට බොහෝසේ ස්තූතියි. ඒ සමඟම මසිත පැනනැඟි කුකුසක් දුරුකොට ගැන්මට ඔබේ අවසර….."

" එසේය මහරජ. විමසනු මැන..විමසා සැක දුරුකොටගනු මැන.."

" ස්වාමීනී. එදවස එම අනාගත දේශයෙහි ඔබ වහන්සේ පැවසූ අන්තේවාසිකයින් සිව්දෙනා අපේක්ෂාකරන පරමාර්ථය සාර්ථක වේද? "

" කිසිසේත්ම නැත මහරජ, කිසිසේත්ම නැත..මෘත කලේබරයකට යලි ජීවය ලබා දිය හැක්කේ කවර ජගතෙකුටද?...එලෙසින්ම ගලායන මහා ගංගාවක් දෑතින් නවත්වා ආපසු හැරවිය හැක්කේ කාටද? මහරජ, අසනු මැන,ඔවුන්ගේ උත්සාහය ඒකාන්ත වශයෙන්ම පරාජය වන්නේය. එසේ වී ඒ දිවයිනට ඉතා යහපත් කාලයක් ඉක්බිති උදාවනු ඇත. "

" සාදු..සාදු..සාදු..ඔබට යලිත් වරක් ස්තූතියි ස්වාමීනී!!! …" 

කොසොළ් රජතුමෝ මෙසේ පවසමින් බුදුන් වහන්සේ ඉදිරිපිට පසඟ පිහිටුවා වැඳ වැටුණෝය.

කෝසළ සිහින - විසිවැන්න නොහොත් මෘත කලේබර ඔසවාගෙන යන්නවුන්ගේ කථාවස්තුව මෙතෙකින් නිමියේය. 

ඒවං මේ සුතං..මා විසින් මෙසේ අසන ලදී.

Saturday, February 14, 2015

304. එකොළොස්වන ක්‍රිකට් ලෝක ශූරතාවය සහ වෙනත් අතුරු කථා…Beating About The Bush And The Eleventh Cricket World Cup



මට මතක ඇති කාලෙ ඉඳලම අපෙ අප්පච්චි ඩේලිනිව්ස් පත්තරේ ගත්ත දිනපතා. ඉරිදට සන්ඩේ ඔබ්සර්වර් එක. ඩේලිනිව්ස් එකේ අන්තිම පිටුව ඇවිල්ල හිට ක්‍රීඩා පිටුව. 

ඒ දවස්වල ක්‍රීඩා පිටුවෙ වැඩි ඉඩක් වෙන් වෙලාතිබ්බෙ ක්‍රිකට් වලට. අද වගේම තමයි බලාගෙන ගියහම.වැඩි වෙනසක් නෑ. වයස අවුරුදු නවය දහය වගෙ කාලෙ ඉඳලම මගෙ ප්‍රියතම ක්‍රීඩාව වුනේ ක්‍රිකට්. ප්‍රියතම වගේම එකම ක්‍රීඩා කියන්නත් ඇහැකි. ඉස්කෝලෙ අවුරුද්දකට සැරයක් එන නිවාසාන්තර ක්‍රීඩා  තරඟ කාලෙදි අපේ නිවාසය වෙනුවෙන් පණ කඩාගෙන දිව්ව ඇරෙන්ට වෙන මොන ක්‍රීඩාවක්වත් කරපු බවක්නම් මගෙ මතකයෙ නෑ.

ඉස්කෝලෙ පටන් ගන්නෙ 7.30 ට. ඒත් 6.45 වෙනකොට මම ඉස්කෝලෙ. මම වගේම මගෙ පංතියෙ සගයො, ඒ වගේම අපිට අවුරුද්දක් දෙකක් ඉහල සහ පහළ පංතිවල ළමයි හැමෝම වගෙ පැය බාගයක්, විනාඩි හතලිස්පහක් තරම වේලාසන ඉස්කෝලෙ එන එක පුරුද්දක් කරගෙන හිටිය. ඒ වෙන මොකටවත් නෙවෙයි ක්‍රිකට් ගහන්ට. 

අපේ ඉස්කෝලෙ කෑගල්ල ශාන්ත මරියා මහා විද්‍යාලය පිහිටල තිබ්බ භූමිභාගයෙම තමයි ශාන්ත මරියා දේවස්ථානයත් තියෙන්නෙ. ඒ දේවස්ථානයට එහා පැත්තෙ කන්ද කපල හදල තිබ්බ කුඩා පිට්ටනිය තමයි අපේ ඕවල් ක්‍රීඩාංගණය. තණකොල ගහක්වත් නැති ඒ පිට්ටනිය තනිකරම සුදු වැලිවගෙ පසක් තිබ්බෙ. තැනින් තැන තිරිවාණ වගෙ ගල් තිබ්බ. කොහොමත් දවස් දෙක තුනකට සැරයක් කවුරුහෝ උඩ පන්දුවක් රැකගන්ට ගිහිල්ල ඇදගෙන වැටිල ඔය ගල් රැන්දක දණිස්ස ලෙලි ගහගන්නව. ඉස්කෝලෙ ටක්ෂොප් එකට පල්ලෙහා තිබ්බ ප්‍රථමාධාර කාමරයෙ පිහිට තමයි එතකොට.

ප්‍රථමාධාර කාමරේ භාරව හිටියෙ දසනායක මැඩම්. " මොකද දරුවෝ මේ?..අතපය කඩාගන්න එකේ ඉවරයක් නෑ නේද? " ඔහොම කියල තමයි එතුමී තුවාල සුද්ද කරන්ට පටන් ගන්නෙ. 

ඉස්සෙල්ලම සර්ජිකල් ස්පිරිට්. අන්න බඩු...අලුත් තුවාලෙට ඉස්සෙල්ලම සර්ජිකල් ස්පිරිට් හැලුවම හූ තියවෙන්නෙ ඉබේටම.තුවාලෙ ලොකුනං දෙතුන් දෙනෙක් එක්කහු වෙනව තුවාලධාරියගෙ අතපය තද කරල අල්ලගන්ට.ඒත් සමහර ඔය උස මහත එවුං ඒ වෙලාවට අර හතර පස් දෙනත් පෙරලගෙන නැගිටින්නෙ.එක පාරක් උඩ පන්දුවක් රැකගන්ට ගිහිල්ල මම තව පන්දු රකින්නෙක් එක්ක එකට හැප්පිල ඇදගෙන වැටිච්චි වැටිල්ලක් ගල් රැන්දක් උඩ.... දණිස් දෙක ලෙලි ගියා. යාලුවො දෙන්නෙක් උස්සගෙන වගෙ ගියේ අර කියාපු ප්‍රථමාධාර කාමරේට. 

ඔය බොරළු උඩ පත බෑවුනහම පොඩි ගල් කැට යනව හම ඇතුලට. එව්ව අරං දාන්ට ඕන පරිස්සමට. බැරිවෙලාවත් එකක් හරි මඟ ඇරුනොත් ආය සමාවක් නෑ. පැහැවන එකත් පැහැවනව. ඔය පැහැවපු තුවාල කල් අල්ලනව හොඳ වෙන්ට. මගෙ ඔය වගෙ ඒත් දණිස්සෙ වණයක් තිබ්බ මට මතක විදිහට මාසයක් වගෙ ගියා හොඳ වෙන්ට. තවම තියනව ඒ කැළල...

ඔය තුවාල හොඳවෙන්ට කල් යන එකට අපිත් බොහොම කැමතියි ඒ කාලෙ. දණිස්සෙ ලොකුවට තුවාලයක් තිබ්බම ඕකට බෙහෙත් දාල උඩිං ගෝස් කෑල්ලකුත් තියල ඊට පස්සෙ ගහනව ප්ලාස්ටර්. තිරස්ව සාමාන්‍යයෙන් ප්ලාස්ටර් කෑලි තුනක් වගෙ තමයි ගාණ. පැහැවපු තුවාලවලට බෙහෙත් දාන්ට තියනව එක පිළිගත් සම්ප්‍රදායක්. අපෙ ගෙවල් පැත්තෙ හිටිය ඉස්පිරිතාලෙ වැඩ කරල පැන්සන් පලච්ච ඇටෙන්ඩන් කෙනෙක්. මනුස්සය තමයි ඒ පළාතෙම තුවාල ඔක්කොගෙම තනි අයිතිකාරය. නම ඇවිල්ල ඉග්නේෂස්...

ඉස්පිරිතාලෙ තාමත් වැඩ කරන ඉග්නේෂස්ගෙ පරණ සගයො මිනිහට බෙහෙත් එහෙම ගෙනත් දෙනව වෙන්න ඕන. කරේ එල්ලගෙන යන කාකිපාට රෙදි මල්ලක බේත් හේත් ඒ එක්කම අවශ්‍ය අනෙක් අඩුම කුඩුම සහ ආම්පන්න ඔක්කොමත් දාගෙන ඉග්නේෂස් ගෙවල් ගානෙ එනව තුවාල සුද්ද කරල බේත් දාන්ට.

නාගොල්ල පාරෙ ඇවිදිල්ල හිට අපේ ගෙදරට හැරෙන්ට තිබ්බෙ ගල්වල ගාව තිබ්බ තුම්මංහන්දියෙන්.ගල්වල කිව්වෙ පොදු නාන ළිඳක්. තනිකරම ගල් පර්වතයක් හාරල හදල තිබ්බ ගල්වලේ කිසිම දවසක වතුර හිඳුනෙනම් නෑ කියල මට මතකයි. හැත්තැපහේ අවුරුද්දෙ මැදවගෙ මට මතක විදිහට මුලු රටටම බලපාපු මහ නියඟෙදි උනත් කට මට්ටං පිරිල තිබ්බ වතුර යන්තමට අඩියක් දෙකක් වගෙ පහළ බැස්ස එච්චරයි. අපෙ ගෙදර නාන කාමර දෙකක්මත් තිබ්බට අත්තම්මයි මමයි වැඩිපුරම නෑවෙ ඔය ගල්වලෙන්.

නාන්ට අඳින්ට තිබ්බ මගෙ පරණ කලිසං කොටයක්. ඕකෙ ඉස්සරහ බොත්තං ඔක්කොම වගෙ කැඩිල ගිහිල්ල. එදවස සිප් තිබුනේ නැත.අපි පොඩි එවුංගෙ කලිසංවලට අල්ලල තිබ්බෙ ලොකු බොත්තං. අප්පච්චිගෙ කලිසංවල බොත්තං අල්ලල තිබ්බෙ නෑ. එයාලගෙ කලිසංවල බොත්තම අල්ලන තැනත් තිබ්බෙ බොත්තං කාසයක් මහල. එතකොට කලිසමේ දෙපැත්තෙම තියෙන්නෙ කාස. ඔය කාස වලට දාන්ට තිබ්බ වෙනම බොත්තං වැලක්.සුදුපාටයි. මම හිතන්නෙ ප්ලාස්ටික් වගෙ මොනවහරි දේකින් හදල තිබ්බෙ. මහ මැෂින්වල නූල් ඔතන බොබින්ස් දන්නව නේද? සිංහලෙන් කියන්නෙ ඉද්ද කියල. ඔය බොත්තං හරියටම අන්න ඒ බොබින්ස් වගේමයි.ඒ බොත්තං වල මැදින් සුදුපාට කපු නූලක් වගෙ එකකින් වැලක් වගෙ වෙන්ට බැඳලයි තිබ්බෙ. කලිසම අඳිනකොට කරන්නෙ අර බොත්තං වැල දෙපැත්තෙ කාස වලට දාගෙන දාගෙන යන එක. ඒ කරල උඩම තියන පටියෙ බොත්තම දානව. එච්චරයි.

ඉතිං අර කිව්ව ගල්වලට අමතරව ඔය තුම්මංහන්දියෙ ඉඳල කෑගල්ල ටවුම පැත්තට යාර තුන් හාරසීයක් ගිහාම තියනව තවත් පොදු නාන ළිඳක්. ඒක නම් බොහොම ක්‍රමානුකූලව හදාපු එකක්. ළිඳ හරියටම සෘජු කෝණාශ්‍රාකාරයි.. ඔපමට්ටම් කරපු ගලෙන් පතුලෙ ඉඳන් උඩටම බැඳල තිබ්බ. වටේටම අඩි අටක් වගෙ උඩට තාප්පයක් බැඳල ආවරණය කරල හරි මැදින් ගෑණු පිරිමි දෙගොල්ලට නාන්ට දෙකට බෙදල නාන වතුර පහසුවෙන් ගලාගෙන යන්ට පරිවහන කාණුවක් සිමෙන්තියෙන් බැඳල... රටේ නැති සෙල්ලං...හෙහ්,හෙහ්,

ඒ පොදු ළිඳට හැමෝම කිව්වෙ ටැංකිය කියල. ළිඳ හරියටම ටැංකියක් වගේ හින්ද මම හිතන්නෙ. ඔය ටැංකිය පහුකරල ඒ පාරෙ තව යාර පනහක් වගෙ ගියහම තිබ්බ කළුගල්ල මහත්තයගෙ ගෙදර. කළුගල්ල මහත්තය ගැන අපේ පලෝලෙ අය අරුනම වැඩි දෙනෙක් දන්නෙ නෑ මයෙ හිතේ. එතුමා තමයි 70-77 සමගි පෙරමුණු ආණ්ඩුවෙ නාවික සහ සංචාරක ඇමති. පී.බී.ජී. කළුගල්ල.ඔය ගෙදර මම හිතන විදිහට හිටියෙ මිසිස් කළුගල්ල ... දුවල දෙන්නෙක්ද කොහෙද හිටිය තව. 

අත්තම්මයි මායි ඔය ටැංකියෙං නාල තුවා එහෙම ඔලුවෙ දාගෙන බාල්දි එහෙමත් අතිං අරගෙන එද්දි පෙලක් දවසට අපිට හම්බවෙනව කලුගල්ල මහත්තයලගෙ කාරෙක සැර දාගෙන කන්ද අදිනව. මට මතක විදිහට ඕපල් රෙකෝඩ් එකක් හරි ඕපල් කැපිටාන් එකක් වෙන්න ඕන. පාර හරිම පටුයි. නැවක් වගෙ කාරෙකට යන්ටත් ඉඩ මදිවගේ. 

" කෝ ඔන්න බලාගෙන සුට්ටි පුතා මේ..මෙහෙට එන්ට…" අත්තම්ම මගෙ අතින් ඇදගෙන හිඟුරු පඳුරුත් පොඩි කරගෙන පාර අයිනෙ කාණුවට බහිනව. 

" සුට්ටි පුතා..අද කොහොමද? පණහද හැටද? "

මම අර පරණ කලිසං කොටෙත් ඇඳගෙන කෙලිං කටිං ඉඳගත්තහම සුදු පාට ටුවයින් නූල් අඹරවල හදාපු කඹයක් ගැට ගහපු සුට්ටි බාල්දිය ළිඳට දාන අතරෙ අත්තම්ම අහනව. 

" අද ටිකක් සීතලයි අත්තම්මෙ...හතළිහක් මදිද? "

" හා..එහෙනං අදට විතරක් හතළිහක් ඇති කියමුකො... හැබැයි හයියෙං ගණං කරන්ට ඕන ඔන්න... හොඳද? " ඒ පණහද හැටද කියල අහන්නෙ මාව නාවන වතුර බාල්දි ගාණ…

" මොකද දරුවො ඔය අත්දෙක පෙරවගෙන? දාන්ට අත්දෙක පහළට.."

බාල්දිය අරගෙන අත්තම්ම ලෑස්තිවෙනකොටම ඇස්දෙකත් පියාගෙන අත්දෙකත් පෙරවගෙන මමත් ලෑස්තියි..

" සීතලයිනෙ අත්තම්මෙ.." මම කෙඳිරිගාන්නෙ ඇස්දෙක තවත් තදින් පියාගනිමින්. 

" හා ඉතිං ගණං කරන්ට…" අත්තම්ම පළවෙනි වතුර බාල්දිය මගෙ ඔලුවෙ හලනව. 

" හූඌඌඌඌඌ .." මම යටිගිරියෙන් හූ තියනව. ඇත්තටම ගල්වලේ වතුර පුදුම තරමට සීතලයි. මතක් වෙද්දි දැනුත් මගෙ ඇඟ වෙව්ලනව....හෙහ්,හෙහ්, දෙයියම්ප..ඇත්තමයි.

" කෑගහන්ට එපා දරුවො......." අත්තම්ම බාල්දියෙ ඉතුරු වතුර ටිකත් ආයෙම මගෙ ඔලුවට හලන ගමං ඔන්න කියනව.සුදුමල් වැටිච්ච නිල්පාට චීත්ත රෙද්දක් තනමත්තක් ඇඳං ඉන්න උන්දැ එහෙම කියන්නෙ මාදිහා රවාගෙන. ඒත් මම දන්නව ඒ බොරුවට කියල. 

" කෝ ඉතිං ගණං කලේ නෑනෙ. "

" එ..ක්..ක්..කායි.." මම බොරුවටත් එක්ක වෙව්ලනව…. අත්තම්ම ගණං අකුරු ඔය මොකවත් දන්නෙ නෑ. උන්දැ ජීවිතේට ඉස්කෝලෙකට පය තියලවත් නෑ.

" එකොළහයි..දොළහයි…" දැන්නම් හුලඟත් එක්ක හීතල ඉවසන්ටම බෑ වගෙ..

" දහතුනයි..දහ අටයි..දහනමයයි.." 

" සුට්ටි පුතා ඔය හරිද ගණං කරනව? " අත්තම්ම නෑවිල්ල පැත්තක තියල මගෙං අහනව...මළපොතේ අකුරක් බැරිවුනාට උන්දැට ඉවෙං වගෙ එව්ව තේරෙනව. 

උන්දැම වවන මයියොක්කා බතල සාරෙට හැදුනම සන්ලයිට් පෙට්ටියකුත් ලැගේජ් එකේ බැඳගෙන එන බයිසිකල් කාරයට විකුණනනව රාත්තල් ගානට. එව්වයෙ ගණං හිලව් එහෙම උන්දැ දන්නව ටක්කෙටම. ආය හොර බොරු බෑ.

" සුට්ටි පුතේ මෙන්න මේ රුපියල් පහ අරං තියන්ටකො...." පරාක්‍රමබාහු පිළිමෙ නෝට්ටුවෙ උඩ පැත්තෙ තියන රතුපාට රුපියල් පහ උන්දැ මට දෙනව මම ඉස්කෝලෙ ඇරිල ආහම. අත්තම්මගෙ සල්ලි මම පරිස්සමට තියන්නෙ මගෙ පොත් මේසෙ ලාච්චුවෙ පතුලට එලල තියෙන පරණ කැලැන්ඩරේ උස්සල ඒකෙ යට. ඒ කැලැන්ඩරේ තිබ්බෙ වැවුරුකන්නල බුදු පිළිමෙ ෆොටෝ එකක්.

වෙසක් පෝයට වට්ටාරම රජමහ විහාරෙට සිල්ගන්ට යද්දි අත්තම්ම මගෙං ඒ පරිස්සමට තියාගන්ට සල්ලි වලිං කොටහක් ඉල්ල ගන්නව. "මල් වට්ටියක්වත් ගන්ට එපාය.." උන්දැ සුදු සිල් රෙද්දත් ඇඳගෙන එහෙම කියනව.

ඉස්කෝලෙ පිට්ටනියෙ ක්‍රිකට් ගහද්දි මම තවත් පන්දු රකින්නෙක් එක්කල එකට හැප්පිල බිම ඇදවැටිල තුවාල උනයි කියල මම කලිං කිව්ව නෙව. අර එක පාරක් අස්ගිරියෙ ටෙස්ට් මැච් එහෙකදි ඕස්ට්‍රේලියන් ටීම් එකේ ජේසන් ගිලස්පී සහ ස්ටීව් වෝ ඒත් උඩ පන්දුවක් රකින්ට ගිහිල්ල එකට හැප්පිල ඉස්පිරිතාලෙ අරංයන්ට වෙච්චි කේස් එක මතකයිද? එතන ගිලස්පී සහ වෝ දෙන්නම එක ටීම් එකේ. අර මම හැප්පුනේ වෙන ටීම් එහෙක ඒ වගේම වෙන මැච් එහෙක පන්දු රකින්නෙක් එක්ක. ඒ ගැන මම හිතන්නෙ පොඩි පැහැදිලි කිරීමක් ඕමනයි. 

ඔය අපේ ඉස්කෝලෙ පිට්ටනියෙ එක වෙලාවෙ මැච් හතර පහක් ගහනව. ඒ පිට්ටනියටම උඩහින් තමයි ශාන්ත මරියා දෙමළ විද්‍යාලය තියෙන්නෙ. අපි කිව්වෙ දෙමළ ඉස්කෝලෙ කියල. දෙමළ ඉස්කෝලෙ පැත්තට වෙන්ට අයිනෙම තීරුව අපේ. ඒ කිව්වෙ හයවන ශ්‍රේණිය ඒ පන්තියෙ. ඊට අල්ලපු තීරුවෙ ක්‍රිකට් ගැහුවෙ හතේ අය. ඊටත් එහා අටේ ළමයි. ඔන්න ඔය වාගෙ. ඉතින් එක පාර මැචස් හතර පහක් ගහනකොට ආය නෑ ඔතන ලබ්බෙ තොයිලෙ වගෙ. එහෙම නැත්තං පිස්සිගෙ පලාමල්ල වගේ. බෝල එහෙ යනව මෙහෙ යනව. එකම තැන ෆීල්ඩර්ස්ල දෙතුන් දෙනෙක් ඉන්නව. හැබැයි ටීම් දෙක තුනක ඒ වගේම මැච් තුන හතරක සෙල්ලං කරන අය. හෙහ්,හෙහ්, දැන්නං මතක් වෙනකොටත් හිනායනව කොහොමද එහෙම සෙල්ලං කලේ කියල. ඒත් අපි කොහොමහරි අවුරුදු ගානක් ඔහොම සෙල්ලං කලානෙ.

අපේ පංතිය දෙකට බෙදිලත් සෙල්ලං කරනව ඒ වගේම බී පංතියට හිටපු ගමං චැලේන්ජ් කරල එයාල එක්කත් මැච් ගහනව. කාලෙන් කාලෙට අපේ ක්‍රීඩා නීති රීති වෙනස් උනා. දෑත බදල හුක් හෝ පුල් පහරක් එල්ල කලාම පන්දුව කෙලින්ම A 1 මාර්ගයෙ. කොළඹ -නුවර පාර වැටිල තිබ්බෙ ඔය අපි සෙල්ලං කරපු පිට්ටනියත් එක්කම පල්ලෙහයිං. ඒ පාරට බෝලෙ යන්ට ගැහුව පිතිකරුවා ස්වයංක්‍රීයව දැවීයනවයි කියල කාලයක් තිස්සෙ අපෙ තිබ්බ රීතියක්. ඒ පාරට එහායිං කොන්වන්ට් එක. කොන්වන්ට් එක ඇතුලට හයේ පාරක් එල්ල කරපු එකා මහා වීරයෙක් විදිහටයි අපි සැලකුවෙ. මට මතක විදිහට අජිත් කියල අල්ලපු පංතියෙ කොල්ලෙක් විතරයි ඒ හපංකම කලේ මම දන්න කාලෙකදි. 

අපි අටේ වගෙ ඉන්දැද්දි අපිට එහා පැත්තෙ තීරුවෙ සෙල්ලං කලේ හයේ පංතියෙ මල්ලිල. ඒ අතරෙ සෑහෙන දුරක ඉඳල දුවගෙන ඇවිල්ල පන්දු යවපු වේග පන්දු යවන්නෙක් හිටිය. කළු කොට මහත මේ පන්දු යවන්නා මට මතක හිටියෙ බොහොම වේගෙන් පන්දු යැව්ව නිසා සහ ඒ පංතියෙ දක්ෂම පිතිකරුවා නිසාත්. මේ දවස්වල නීතිවිරෝධීව ලංකාවෙ රැඳී ඉන්නවයි කියල බොහොම ලොකු කලබැගෑනියක් තියෙන්නෙ..... කුමාර් ගුණරත්නම්.. ඒ තමයි ඒ පන්දු යවන්නා.

රයිට්..මේ ඔක්කොම ලිව්වෙ වෙන මොකවත් හින්ද නෙවෙයි. හෙට පටන්ගන්නව එකොළොස්වන ලෝක ශූරතා ක්‍රිකට් තරඟාවලිය. මේ පාර ඕස්ට්රේලියාව සහ නවසීලන්තය යන රටවල් දෙකේ පැවැත්වෙන්නෙ. 1999 ලෝක ශූරතාවයෙන් පස්සෙ ලෝක ශූරතා තරඟාවලියකට සහභාගිවන අපේ කණ්ඩායම ගැන මොනම බලාපොරොත්තුවක්වත්  තියාගන්ට කිසිම විදිහක් නැත්තෙ මේ පාර තමයි. තරඟාවලියට ඉස්සෙල්ල අර කියන්නෙ Build Up එක කියල. නැත්නම් ජයග්‍රාහී මානසිකත්වය. මේ පාර එහෙම එකක් ඇත්තෙම නෑ. සිම්බාබ්වේටත් පැරදුනහම ආය කවර කතාද? රයිට් කොහොම හරි තව පැය තුනහමාරකින් අපේ පලවෙනි මැච් එක. ඒ නවසීලන්තය එක්ක.

ඉතාම අනපේක්ෂිත යමක් සිද්ධ වුනොත් හැරෙන්නට මේ පාර නෝ හෝප්...රයිට් කමක් නෑ. ක්‍රිකට් කියන්නෙ ක්‍රීඩාවක් විතරයිනෙ..නැද්ද?..හෙහ්,හෙහ්, ඒ එක්කම අන්න අර කලින් කිව්ව අනපේක්ෂිත යමක් සිද්ධ වෙයි කියන බලාපොරොත්තුව තනිකරම අත්හැර ගන්නෙ නැතුව අපේ කණ්ඩායමට ජය පතමු!!!

ඉතිං ඇන්ජලෝ සහ සගයිනි!! ඔබට සුබ පැතුම්!!!

Saturday, February 7, 2015

303. තමන් මියගිය බව නොදන්නා මළගිය ප්‍රාණකාරයින් වහාම දුරීභූත කොට දැමීමෙහි වැදගත්කම සමඟ Thank You So Much Ma'am!!!

Google Images

ඒ 1994 අවුරුද්ද. 1977 දි පටන්ගත්තු ජේ.ආර්.ගෙ දරුමිස්ටර් පාලනය ඉවරවෙලා ඊට පස්සෙ ප්‍රේමෙගෙ අවුරුදු හතරත් ගතවෙලා අපේ ගමේ මනුස්සය ඩී.බී. ලොක්කත් අවුරුද්දක් රට පාලනේ කරල ඒ වෙනකොට.රටේ මිනිස්සුන්ගෙන් බාගෙකට යූ.ඇන්.පී. එක තිත්ත වෙලයි තිබ්බෙ. අනික් බාගෙන් බාගයක් පාලකයින්ගෙ උදව්වෙන් රටේ සල්ලි යටිමඩි ගහ ගත්තු ජාවාරං කාරයො. ඉතුරු කස්ටිය ඔය මැරුවත් අපි චන්දෙ දෙන්නෙ අලියට කියල ඉන්නෙ...ආන්න එයාල.

ඔය චන්දදායකයින්ගෙන් සෑහෙන කොටසක් ඉන්නව විදේසීය කුරුමන්තරණ වලට බයේ කොයි වෙලාවෙත් මයිල් කෙලින් කරගත්තු උදවිය. එයාල අඳුනගන්ට බොහොම ලේසියි. 24 x 7 බේසිස් සරුවාංගෙ පුරා හීගඩු පිපිල උන්දල ඉන්නෙ.මේ දවස්වල බොහොම සුලබයි ඔය යූ.එස්. ඒ./ ඉන්ඩියන් කොන්ස්පිරසි තියරිස්ට්ල සහ එක්ස්පර්ට්ල.

ඔය කොන්ස්පිරසි තියරි එක ක්‍රියාත්මක වෙන්නෙ මෙහෙමයි. මෛත්‍රිපාල වැඩ කරන්නෙ ඉන්දියාවට ඕන හැටියටය, ක්‍රියාත්මක කරන්නෙ මෝඩිගෙ ප්‍රතිපත්තිය, අඳින්නෙ මෝඩිගෙ අර ජැකට් එකක් වගෙ මොකක්ද එකය කියල අර මොකක්ද එක විකාගෙන කෑගහනව. ඉතිං මොකද බොලව්? මොකාට ඕන විදිහට හරි මොකද හරි දේ සිද්ද වෙනවනං? අනික අපේ මහරජ්ජුරුවො නීතිය යුක්තිය කියන එක තඹ සතේකට ගණං ගන්නෙ නැතුව හිතූ මනාපෙට ජෝගි නටනකොට " අඩෝ මේ පිස්සු කෙළින එකෙත් තියනව සීමාවක්. වහාම සීලාචාරව වැඩ කරපං "  කියල සත්තම දාන්ට කවුරුහරි ඉන්ටත් එපාය.

මට නං අනේ ඇත්තම කිව්වොත් කාට කොහොම යටත් වෙලා හිටියත් ඔහෙ කමක් නෑ දෙයියනේ කියල නිදහසේ අත පය දිග ඇරල තමන් කැමති රස්සාවක් කරගෙන තමන්ට ඕන විදිහට  ඉන්ට තියේනං..අම්මාපල්ල ඇත්තමයි. අනික වහල්ලු වගෙ ජීවත්වෙනව නං එක අතකට අපේම රජෙක් යටතෙ වහල්ලු වගෙ ඉන්නවට වඩා හොඳයි විදේසීයයන් යටතෙ ඉන්න එක.මහ අන්තවාදී නරුම අදහසක් විදිහට පෙලක් වෙලාවට ඔහෙලට පේන්ටත් ඇහැකි මගෙ අදහස ....ඒත් ඔය ඉතිං මට හිතෙන හැටි තමයි. මගෙ දිවෙන් දිව ගාගෙන හිටපු අතිජාත මිත්‍රයො කීප දෙනෙක්ම මා එක්ක ඇරගන්ට ආව ඒ දවස්වල ඔය දෙකක් දාල අප්‍රමාදව අමර පදමට සැපත්වෙලා මම ඔය මගෙ ස්වර්ණමය අදහස් නිර්භයව ප්‍රකාශ කලාම...හෙහ්,හෙහ්,

මේ සති දෙහෙකට වගෙ ඉස්සෙල්ල අපෙ උන්දෙ මා එක්ක මෙහෙම කිව්ව.

" මේ ඒයි අද මහින්ද ලොක්ක ඇවිල්ලනෙ මාළිගාවට…"

" හෙහ්, ඇත්තද? තව පාරක් වැව වටේ රේස් එකක් තියන්ටද කියල මහානායක ගොයියගෙං අහල බලන්ට වෙන්ට ඇති…"

" හිහ්..ඒක නං හරියටම දන්නෙ නෑ. ඒත් දැක්කද අර ගෑණු නඩයක් එකතුවෙලා අත් දික්කරගෙන එහෙම අඬා වැලපිච්ච විදිහ? "

" නැහ්??? අම්මප? ගෑණු උන්දෙල එහෙම අඬා වැලපුනාය ඇත්තටම? "

" ඒකනෙව කියන්නෙ....හතරවිලිලැජ්ජහේ බෑ අප්පා..අම්ම අප්ප මලා වගේනෙ මේ ගෑණු රොත්ත අඬන්ට තියාගත්තෙ. "

කියල වැඩක් නෑ දෙයියම්ප මේ ගෑණුන්ට නම් අන්ද කයිප්පු කැවිලද කොහෙද? අර ගෑණු සීයක් දූෂණය කෙරුව එක සමරන්ට පාටියක් දැම්මෙ අකුරැස්සෙද කොහෙද ප්‍රාදේශීය සබා සබාපතියෙක්. ඒ මේ මනුස්සයගෙ ගෝලයෙක්.එතකොට තංගල්ලෙ හෝටලේක සුද්දියක් දූෂණය කලේ .ඒත් මෙයයිගෙ තව ගෝලයෙක්. ඒ මිනිහව නං හිරේ ඇරිය. ඒත් පුලුවන් තරං බේරගන්ට ට්‍රයි කරල බැරිම තැන විදේශීය බලපෑම් හින්දයි එහෙම උනේ කියලයි කියන්නෙ. අර ලෙමන් පෆ් ජාතික වීරයා කියන්නෙ විදේශීය කුමන්ත්‍රණ ගැන. ඒ ඉතිං ඔව්වගෙ එව්ව තමයි.

පුදුම වැඩේ කියන්නෙ ඔය ඔක්කොම වෙච්චි දිහාස් වලින් තමයි මේ මනුස්සයට ඡන්ද වැඩිම. මෝඩ කමට බෙහෙත් නැහැය කියනවනෙ.අපෙ අප්පච්චි දකුණෙ මනුස්සයෙක්ය කියල මම මීට කලින් කියල තියනවනෙ නේද? හෙහ්..ආය නම් එහෙම කියන්ටත් මට නිකං ලැජ්ජයි ලැජ්ජයි වගේ.

අර තිස්ස කියන හොර තක්කඩිය අඩු ගානෙ අවුරුදු පහකටවත් හිරේ යවන්ටම ඕන. ඔය මිනිහ හොර ගිවිසුමක් ගෙනල්ල පෙන්නල තව පොඩ්ඩෙන් මේ මුලු රටේම අනාගතය විනාස කරල දානව.මෛත්‍රීට ඡන්දෙ දීපු අය 224,536 ක් ඔය යකා කියපු පට්ටපල් බොරුව විස්වාස කරල මරාට ඡන්දෙ දුන්නනං දිනන්නෙ මරා. මේ ගාණ ලොකු ගාණක් වගෙ පෙනුනට වැටිච්ච වලංගු ඡන්ද වලින් 1.85 % ක් විතරයි. පේනව නේද මේ තිස්ස කියන හෝතඹුව කරන්ට ගිය පජාති වැඩේ බරපතල කම? කිසිම සමාවක් දෙන්ට නම් වටින්නෙ නෑ. උපරිම දඬුවම් දෙන්ට ඕන ඉස්සරහට ඔහොම කොරන්ට හිතාගෙන ඉන්න එවුන්ටත් පාඩමක් විදිහට.

අනික කොහොමත් මේ ගිවිසුම ඇත්තක්ය කියල හිතල මම හිතන්නෙ මරාට බොහොම දෙනෙක් ඡන්දෙ දුන්න. ඔය ගත්තයි කියල පාරම් බාන ලක්ෂ 57 ඇතුලෙ ඔය වගෙ රැවටිලි , ප්‍රෝඩා, අල්ලස් දීල ගත්තු චන්දත් බර ගාණක් තියනව. ඒකෙ ආය දෙකක් නෑ. ඔය ඡන්ද ලක්ෂ 57 ඔලුව උඩ තියාගෙනයි මම හිතන්නෙ අර දෙලොවටම නැති අපතයො ( වාසු, දිනේෂ්ල එහෙම ) කියන්නෙ ඉදිරි මහ මැතිවරණෙට මහින්දගෙ නායකත්වය අත්‍යාවශ්‍යය කියල.

ඒත් ඔය බොරු ගිවිසුම්,බටහිර කුමන්ත්‍රණ, ඡන්ද අල්ලස්, බිය වැද්දීම් එහෙම චිත්‍රයෙන් අයින් කලාම ඔය ඡන්ද ගාණ ආයම වැටෙන්නෙ නෑ මරා ගොයියට. ඒත් වැලේ වැල් නැති වාසු වගෙ මිනිස්සු ඒක පිලිගන්ට කැමති නෑ. මේ වල පයයි ගොඩ පයයි කාලෙ මොන දහංගැටේ ගහල හරි මන්ත්‍රී කමක් ගන්ටයි ඔය දඟලන්නෙ. අම්මාපල්ල පස්සවිකාගෙන මැරෙන්ට හිතෙන්නෙ කාලයක් ඔය මිනිහ මගෙ ප්‍රියතම දේසපාලුව වෙලා හිටියනෙ කියල මතක් වෙනකොට...හෙහ්,හෙහ්,

මිනිස්සු මැරෙනකොට එක්කො තමන්ගෙ වස්තුවට දැඩි ලෝභකමෙන් එහෙම නැත්තං කාට හෝ දැඩි ආදරෙන් ඉඳල මලාම මේ ලෝකෙ අතැරල යන්ට බැරිවෙනව. එහෙම අය දන්නෙ නෑ තමන් මළාය කියල. ඉතිං මේ ලෝකෙම රැඳිල ඉන්නව. හැබැයි එහෙම නිකම්ම ඉන්නෙත් නෑ. ජීවත්වෙන මිනිස්සුන්ට මහ වදයක් වෙනව. එහෙම උනාම ප්‍රතිකර්ම දෙකයි තියෙන්නෙ. එකක් ඔය දානමානයක් කාරිය දීල පිංපෙත් පමුණුවල ඒ මලගිය ආත්මය පරලෝකෙට සම්ප්‍රාප්ත කරවන එක.සමහර මලගිය ප්‍රණකාරයො එහෙම පිංපෙත් දුන්නත් තේරුං ගන්නෙ නෑ තමං මැරිලය, දැං මනුස්ස ලෝකෙට අයිති නැතිය කියල. ඒක වෙන්නෙ බොහෝවිට ඔය මලගිය ආත්මෙං ප්‍රයෝජන ගන්ට බලාගෙන ඉන්නව ජීවත්වෙන කුම්භාණ්ඩයො, පිශාචයො වගෙ කට්ටිය.උං කරන්නෙ ඔබතුමා මැරිල නෑය කියල අර මලගිය ප්‍රානකාරය කුල්මත් කරනව. එහෙම උනාම කරන්ට තියෙන්නෙ එකම දෙයයි. මලගිය ආත්මයයි. ඒ ආත්මෙං ප්‍රයෝජන ගන්ට බලාගෙන ඉන්න පිශාචයො, කුම්භාණ්ඩයොයි ඔක්කොම හැඳි ගෑවිල දුරීභූත වෙලා යන්ට නටන්ට වෙනව හොඳවයිං තොයිලයක්. දැන්නං පේන්ට තියෙන විදිහට එහෙම තොයිලයක් නටන්නෙ නැතුවම බැරි ගානට ඇවිල්ලයි තීයෙන්නෙ.

රයිට් ඒ තමං මලබව නොදන්නා මලගිය ප්‍රාණකාරයින් සහ පාරාජිකා වෙච්චි වල පයයි ගොඩ පයයි පිශාචයින් ගැනයි ඒ ඇති. ආයම යමු 1994 වර්ෂයට. මම කිව්වනෙ ඒ වෙනකොට 17 වර්ෂයක් රට පාලනය කරපු එක්සත් ජාතික පක්ෂය මිනිස්සුන්ට එපාවෙලා තිබ්බෙ. වෙනසක් අවශ්‍යයි කියන මතය රටපුරා නැඟෙමින් තිබ්බ ඒ එක්කම. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග නෝනා මහත්මිය බස්නාහිර මහ ඇමති විදිහට පත්වෙලා අවුරුද්දයි. 1994 අගෝස්තු මාසෙ තිබ්බ මහ මැතිවරණයෙන් පොදුජන එක්සත් පෙරමුණ දිනල චන්ද්‍රිකා අගමැති වුනා. ඒ එක්කම නොවැම්බර් මාසෙ තිබ්බ ජනාධිපතිවරනයෙන් එතුමිය දිනල ජනාධිපති වුනා.

මම ඒ කාලෙ වැඩ කරපු ආයතනයෙ සීයට අනූනමයක්ම හිටියෙ යූ.එන්.පී. රජය යටතෙ පත්වීම ලබපු අය. පුදුමයකුත් නෙවෙයි එක අතකට. මොකද අවුරුදු දාහතක්ම තිබ්බෙ අලියගෙ ආණ්ඩුවක්නෙ. මට උනත් රස්සාව හම්බ වුනේ එහෙමයි. ආය බොරු කියන්නෙ මොකටද? ඒත් එහෙමයි කියල අපේ හෘදය සාක්ෂිය පාවා දෙන්ට පුලුවනිය? නැත්තං යුක්තිය සාධාරණය පෙනි පෙනි තියෙද්දි අයුක්තියට අසාධාරණයට ඉඩ දෙන්ට පුලුවනිය? එහෙම කරන්ට බෑ කොහොමවත්. මගෙ ඔය යාලුවො හුඟ දෙනෙකුට තේරුම් ගන්ට බැරිවෙච්චි දෙයක් ඔන්න ඕක.

" උඹ මහ කෙළෙහි ගුණ නොදන්න එකෙක් බං...මේ ආණ්ඩුවෙන් නේද උඹට ජොබ් එක දුන්නෙ? එහෙම එකේ උඹට වටිනවද....." ඒ ජයේ....පරම්පරාගත යූ.එන්.පී. කාරයෙක්. 

" ඇයි බං උඹට මම කියන එක තේරෙන්නෙ නැත්තෙ?...යකෝ මම රස්සාවක් කරන වයසට එනකොට තිබ්බෙ යූ.එන්.පී. ආණ්ඩුවක්..අනික ඒ වෙනකොට රස්සාවල් දුන්නෙ දේශපාලන කනෙක්ෂන් මත. ඒ නිසා මටත් ඒ විදිහට රස්සාවක් හොයාගන්ට වුනා. ඒ වෙනකොට තිබ්බෙ ශ්‍රී ලංකා ආණ්ඩුවක් නම් මට ඒ පක්ෂෙ කාගෙහරි ලියුමකින් රස්සාවක් ගන්ට තමයි වෙන්නෙ. ඉතිං එහෙම කියල මම හැමදාම යූ,එන්.පී. එකට පක්ෂපාත වෙන්ට ඕනය කියල මොන පොතේද තියෙන්නෙ? "

ඔය මොනව කිව්වත් එව්ව හරියට අර අල කොළේට වතුර දානව වගෙ තමයි. කිසිම වැඩක් නෑ..

" නෑ බං ඒත් ගාමිණී මහත්තයත් ඉල්ලන එකේ.. " 

ප්‍රේමදාසයි ලලිතුයි දෙන්නම මළාට පස්සෙ රාජාලියා පක්ෂෙ විසිරුවා හැරල ගාමිණී දිසානායක ආයම යූ.එන්.පී. එකේ නායකය උනා රනිල්ව පරද්දල. 

" මචං ගාමිණී මහත්තයට මම ගරු කරනව. ඒ රටට අවශ්‍ය නායකයෙක්. ඒත් මේ වෙලාව රටට වෙනසක් ඕන කරන වෙලාව.ඒ වෙනසට ඉඩ දෙන්ඩ වෙනව."

ගාමිණී කියන්නෙ අතිධාවනකාරී මනුස්සයෙක්. ඒ වෙලාවෙ ඇත්තටම අවුරුදු දාහතකට පස්සෙ රටේ හැමෝටම ඕන වුනු වෙනසට ඉඩ දීල පැත්තකට උනානම් ගාමිණීට ඔහොම අකල් මරණයක් අත්වෙන්නෙ නෑ කියල මට සහතිකයි.නොවැම්බර් මාසෙ තිබ්බ ජනාධිපතිවරණයට ගාමිණී ඉදිරිපත් වෙනකොට ඇත්තටම චන්ද්‍රිකා දිනලයි තිබ්බෙ චන්දෙ තියන්නත් ඉස්සර. ඒත් ගාමිණීගෙ පෞරුෂත්වය සහ Charisma  එක හින්ද දවසින් දවස අපිටත් හිතෙන්ට ගත්ත මොකක් හරි වෙනසක් වෙයි කියල.ඒත් චන්ද්‍රිකා කොහොමත් දිනනව කියල මම දැනගෙන හිටිය. ඒත් ගාමිණී ඝාතනය කලේ එක්කො කොටිත් ගාමිණී දිනයිදෝ කියල හිතුව වෙන්න ඇති. එහෙම නැත්තං පැරදුනත් ගාමිණී වැඩි කලක් විපක්ෂෙ ඉන්නෙ නැතිබව උං හිතන්න ඇති. නුදුරු අනාගතයෙ තමන්ට බලවත් තර්ජනයක් වෙන්න පුලුවන් නායකයෙක් නැතිකරල දාන්ට පුලුවන් හොඳම අවස්ථාව මම හිතන්නෙ උං ප්‍රයෝජනයට ගත්ත.

ඔන්න ජනාධිපතිවරණ සටන ඉතාම උණුසුම් මුහුණුවරක් ගත්ත. මම මේ කියන්නෙ ගාමිණී ඝාතනය වෙන්ට කලින්. 

" මේ චන්ද්‍රිකාට රට බාර දීල හරියන්නෙ නෑ බං. ඒ ගෑණි දවසකට විස්කි බෝතලයක් ගහනවලු තනියම…." එහෙම කිව්වෙත් ජයේමද කොහෙද....

අපි කට්ටිය හිටියෙ ඔය වෙලාවෙ ගුණේගෙ කාමරේ රෑ අටේ රූපවාහිනී ප්‍රවෘත්ති බලමින්. විස්කි මැඩම් කියල චන්ද්‍රිකාට ඒ දවස්වල නමක් පටබැඳලත් තිබ්බ. ඔය අපහාසාත්මක කටකතාව යූ.එන්.පී. එකේ ප්‍රචාරක උපක්‍රමයක්. 

" අඩෝ මේ, උඹල අපි දැං කොච්චර කල්ද බොන්ට පටන්ගෙන. ඒත් තාම ගල් බාගයක් ගහගන්ට බෑ, කන සාක්කුවෙ. එහෙම එකේ විස්කි බෝතලයක් ගහල චන්ද්‍රිකා ඔය ඡන්ද වැඩ කටයුතුත් ඔක්කොම කරනව කියන්නෙ එයාම තමයි ජනාධිපතිකමට හරියන්නෙ. "

මම එහෙම කියල සරමත් අතේ අරගෙන නැඟිට්ට ගිහිල්ල කාල නිදාගන්ට. ඔය දවස්වල අතේ සතේ නෑ ඒ නිසා අමුවෙම්ම තමයි රෑ කාලෙ ගත වුනේ. 

" ඔය කිව්වෙ ඔන්න කිව්ව ඔන්න කිව්ව " විජේ මා දිහා රවල බලාගෙන ඉන්නව කාමරේ දොරෙං එලියට එනකොටත් මම දැක්ක.

ඉතිං එතනිං පස්සෙ වෙච්ච දේවල් සාරාංශගතව කිව්වොත් ගාමිණී තොටළඟ බෝම්බෙන් මියගියා. චන්ද්‍රිකා විශිෂ්ඨ ලෙස ජනාධිපතිවරණය ජයග්‍රහණය කලා.ඒ කරල අපි ඔක්කෝගෙම බලාපොරොත්තු ඉතාම සාහසික ලෙස බිඳ දාල අවුරුදු එකොළහක් රට පාලනය කරල දේශපාලනයෙන් විශ්‍රාම ගියා.චන්ද්‍රිකා එක්ක මගෙ තිබ්බෙ පුදුම තරහක් ඇත්තම කිව්වොත්. ජනවාර්ගික අර්බුදය වන්ස් ඇන්ඩ් ෆෝ ඕල් විසඳන්ට 1977 ජේ.ආර්. පප්පට හම්බවෙච්ච මහඟු අවස්ථාව වගේම තවත් අවස්ථාවක් තමයි 1994 දි චන්ද්‍රිකාට හම්බ වුනේ.ජේ.ආර්. තමංගෙ මහන්තත්තෙ සහ උද්දච්ච කම හින්ද අහිමි කරගත්තු අවස්ථාව චන්ද්‍රිකා අහිමි කරගත්ත බල ලෝභය සහ දේශපාලන අපරිණත භාවය නිසා. කොහොම හරි එහෙම තමයි මට හිතෙන විදිහට සිද්ද වුනේ.

චන්ද්‍රිකා එක්ක මගෙ තිබ්බෙ පුදුම තරහක්ය කියල මම කලින් කිව්වනෙ. " ප්‍රේමයක් බිඳීගිය කල්හි ඇතිවන වෛරයෙහි පරිමාව බිඳීගිය ප්‍රේමයෙහි තීව්‍රතාවයට අනුලෝමව සමානුපාතික වේ. "  ඒ ඇවිල්ල ප්‍රේමයේ තුන්වන නියමය. 

මම කවදාකවත් හිතුවෙ නෑ මට ඒ අම්මණ්ඩිට සමාවක් දෙන්ට පුලුවන් වේවිය කියල. ඒත් සිතුදේ නොමවේ නොසිතුදෙයක් වේ කියල කියනව වගෙ පහුගිය බදාද හවස මම චන්ද්‍රිකාට සමාව දුන්න. ඒ සිරස රූපවාහිනිය එක්ක කරපු එයාගෙ සාකච්ඡාව බැලුවට පස්සෙ. වැඩ සටහන ඇවිල්ල " ඉලක්කය "

අපේ මහරජ්ජුරුවො පරද්දන්ට හැකියාව තියෙන පොදු අපේක්ෂකයෙක් හොයාගන්ට කරපු මෙහෙයුමේ චන්ද්‍රිකාත් යම් කාර්ය භාරයක් කලාය කියල ඔය කණින් කොණින් ආරංචි පැතිරුනාට හරියටම වැඩේ උනේ කොහොමද කියල මම දැනගත්තෙ එදා ඉලක්කය බැලුවට පස්සෙ. 

" උපන්දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැළණියේ " කියල අර කතාවක් තියෙන්නෙ. අන්න ඒ වගේ ඔබ කල සියලු වරදට සමාව දෙමි...හෙහ්, හෙහ්, ඒ ලෙසම ඔබට අනේක වාරයක් ස්තූතියි මැතිණියනි....Thank You So much Ma'am!!!!



Monday, February 2, 2015

302. විමලෙගෙ වාංපතුල් කතා - 25 - ජොන්සන් සහ වෙජ්වුඩ් පිඟන්, Fragrance of Jasmine සහ පසඟ පිහිටුවා නැන්දම්මාට වැඳීම

Adrift  by Paul Hedley

" අනේ මල්ලි අද දවල්ට කන්ඩ ඉන්නව තිහක් විතර. කොස් ගෙඩි දෙකක් කඩාගෙන ආව. කොස් මැල්ලුමක් හදන්ඩයි යන්නෙ. අතන කුස්සිය එහා පැත්තෙ දර මඩුවෙ අසෝක නංගි කොස් කපනව. ඒත් එයාට තනියම කරන්ට අමාරුයි ඒක. මල්ලි ගිහිල්ල පොඩ්ඩක් වැඩේට උදව් වෙන්ටකො."

පොඩි කාලෙ අත්තම්ම එක්ක කොස් කපල මට ඔය කොස් වැඩේ හොඳට පුරුදුයි. මීට කලිනුත් එක පාරක් අජිතයගෙ ගෙදර ආහම මම කොස් කපල දුන්න. සුජිත අක්කට ඒක මතක තිබිලද ??????......නැත්තං???? 

" හරි අක්කෙ.. මම ඒකෙ අවුලක් නෑ. ඒත් එතකොට මේ වැඩේ?" මම ඔලුවෙං එතන කැටයං කපන්ඩ සූදානං කරල ගොඩ ගහල තිබ්බ තෙල් කරදාසි ගොඩ පෙන්නල ඇහුව. 

" මේ වැඩේ හදිස්සියක් නෑනෙ මල්ලි. හවස හරි කරන්ට බැරිය. අනේ ගිහිල්ල අර අසෝකට උදව් වෙන්ටකො. " සුජිතා අක්ක අජිතයට ඉඟියෙන් මොනව හරි කිව්වද? නැත්තං ඒ මගෙ හිත් හෝදිසියට පෙනිච්ච විදිහද? 

" හරි හරි මම යන්නංකො. මනමාලිගෙ ඉල්ලීමක් අහක දාන එකත් හරි නෑනෙ ඉතිං...හෙහ්,හෙහ්, " එහෙම කියල මම ඉඳගෙන හිටපු තැනින් නැඟිටල අත පයේ හිරි ඇර ගත්ත. 

අසෝක නංගි කෙට්ටුයි උසයි. කොයි වෙලෙත් හිනා වෙච්චි ගමං. ඒ වගේමයි කතාව. කියවන එකේ ඉවරයක් නෑ.මීට අවුරුද්දකට වගෙ ඉස්සර අජිතයගෙ ගෙදර ආපු පාර අපි ගියා අසෝකලගෙ ගෙදර. 

" මචං වරෙං අපෙ ලොකු මාමලගෙ ගෙදර ගිහිල්ල එන්ට. ලබන මාසෙ මාළිගාවට අපෙ මුර දානෙ. ඒ ගැන කතා කරගන්ඩ එහෙ ගිහිල්ල එන්නෙයි කියල අම්ම කියනව. " 

එදා උදේට කන ගමං අජිතය කිව්ව. උදේ කෑම මේසෙ ආය කියල වැඩක් නෑ..මේසෙ පුරාවට නිල්පාට මල් වැල් රටාවක් වැටිච්චි පළංගාන් වල කොත ගහල තිබ්බෙ කැකුලු බතයි, පොල් සම්බෝලෙ මළවල, කීරමිං බැදල. ඒ මදිවට කරපිංච, උම්බලකඩ යහමිං දාල කිරි හොද්දකුත් හදල. 

ඔය පිඟන් සුද්දගෙ කාලෙ එංගලන්තෙන් ගෙනාපුව. ජොන්සන් පිඟන් තමයි බොහොම ප්‍රසිද්ද..ජොන්සන් කියන්නෙ එංගලන්තෙ පිඟන් බඩු හදපු සුප්‍රසිද්ධ සමාගමක්.ජොන්සන් පිඟන් බඩුවල යටි පැත්තෙ ඔටුන්නක රූපයක් යට ජොන්සන් කියන නම කොටල තියනව.තවත් ඒ කාලෙ ලංකාවෙ ප්‍රසිද්ධ පිඟන් බඩු වර්ගයක් ඇවිල්ල වෙජ්වුඩ්.

අජිතයගෙ මාමගෙ ගෙදර තිබ්බෙ තව නොම්මර හතරක් විතර හඟුරන්කෙත ටවුම පැත්තට වෙන්ට. ඒ පැත්තෙ නොම්මරවලින් තමයි දුර මයින්නෙ. නොම්මරයක් කිව්වෙ හැතැක්මක්. පාරෙ තියෙන හැතැක්ම කණුවක එතෙන්ට තියන හැතැක්ම ගාන ලියල තියනවනෙ. ආන්න ඒකෙනුයි ඔය නොම්මර කතාව පටන්ගෙන තියෙන්නෙ.අජිතය අපි ඔක්කොම එකටනෙ රස්සාවට ගියෙ. මුලිම්ම ඕකා ඔය නොම්මර කතාව කියල ආය නෑ වහ කෑවට හපං. ඊට පස්සෙ හැබැයි අපරාදෙ කියන්ට බෑ අජිතය ඔය නොම්මර කතාව ආය කවදාවත් කිව්වෙ නෑ...හෙහ්,හෙහ්,


අජිත්ගෙ යාලුවෙක්ගෙන් ඉල්ලගත්තු CM Custom බයික් එහෙකිං අපි දෙන්න ගියා මාමලගෙ ගෙදර.පාරෙ ඉඳල යාර පණහක් හැටක් වගෙ වත්ත ඇතුලට වෙන්ට මාමලගෙ ගෙදර තිබ්බෙ. අර පරණ තාලෙ සිංහල උළු හොයපු ගෙවල් දැකල තියද? අන්න ඒ ජාතියෙ ගෙයක්. ඉස්සරහ පැත්තෙ දෙපැත්තෙං කාමර දෙකයි. ඒ කාමර දෙක මැද ඉස්තෝප්පු කෑල්ලක්. ඒ එක්කම ලොකු දෙපළු ලී දොරවල් දෙක ඇරෙන්නෙ සාලෙට.

" මාම නම් නැතුව ඇති බං ගෙදර..අද සතියෙ දවසක්නෙ. නැන්දම්ම විතරයි ඇත්තෙ...ඉඳපං මම බලල එන්නම්…"

අජිතය එහෙම කියල ගේ ඇතුළට ගියා.සාලෙ එක පැත්තක වේවැලෙන් වියපු කවිච්චියක්. කවිච්චිය දෙපැත්තෙ ඇළේට තියල තිබ්බ සේසත් දෙකක්.අපෙ ගෙදරත් තියනව ඔය වගෙ සේසත් ජෝඩුවක්. අප්පච්චි කෑගල්ලෙ වැඩ කරන කාලෙ ලක්සලෙන් ගත්තෙ. දැන් ඔය කෑගල්ලෙ නගර ශාලාව ඉස්සරහ තියන ලක්සල හැදුවෙ අපි කෑගල්ලෙ ඉන්න දවස්වල. මට මතක විදිහට හැත්තෑ තුනේ නැත්තං හතරෙ වෙන්න ඕන.ඒ කාලෙ අපෙ අප්පච්චි කලේ මම අර කලින් මොලේ කොළොප්පං මුදලිවරු පෝස්ට් එකේ කියාපු කච්චේරියෙ මුදලි රස්සාව. හැබැයි ඒ වෙනකොට තනතුරු නාමය වෙනස් වෙලා. කාර්යාල සහකාර නොහොත් ඔෆිස් ඇසිස්ටන්ට්.

කච්චේරියෙ කුඩා කර්මාන්ත අංශයෙන් තමයි ඔය ලක්සල සම්බන්ධ කටයුතු බොහොමයක් කෙරුණෙ.ඉතිං අප්පච්චිත් එව්වට සම්බන්ධ උනා ඉබේටම වගෙ. කෑගල්ලෙ ලක්සල විවෘත කරපු දවසෙ තමයි මම අර අපේ ගෙදර තාමත් තියනවයි කියාපු සේසත් දෙක අප්පච්චි අරගෙන ආවෙ.

කෝ දැං මේ මනුස්සය? ඇයි දෙයියෝසාලෙ නැන්දම්ම බලල එන්නං කියල ගෙට ගිය එකා ගියා ගියාමයි………..මම මේ කියන්නෙ අජිතය ගැන

අජිතයලගෙ පැත්තෙ නැන්දට කියන්නෙ නැන්දම්මයි කියල. මට ඔය ආමන්ත්‍රණය මහ නුහුරුයි. මොකද අපි නැන්දම්මයි කියන්නෙ එක්කො බිරිඳගෙ නැත්තං ස්වාමි පුරුෂයගෙ මව්ට.

ආ..අපෙ ප්‍රියාම්බිකා තොමෝ ඉන්නවනෙ. එවුන්දැත් කියන්නෙ නැන්දම්මයි කියල. උන්දැට ඉන්නෙ මව් පාර්ශ්වයෙන් නැන්දම්මල දෙන්නයි පිය පාර්ශ්වයෙන් නැන්දම්මල එක්කෙනයි.

ඉස්තෝප්පුවෙං සාලෙට එන දොරේ පළුදෙකම හායි ගාල ඇරල දාපු ගමං. අපි දෙන්න කාලයක් හිටියනෙ අර ඉස්කෝලෙ ක්වාටර්ස් එකේ. ඊට අල්ලපු වත්තෙ හිටියෙ ඒ ඉස්කෝලෙ එයාලගෙම ස්ටාෆ් එකේ තව මැඩම් කෙනෙක්. එයා කියන්නෙ දොර හායි ගාල ඇරල දාල නෙවෙයි හෑයි ගාල ඇරල දාල කියල.

" මොකද අනේ...මේ ඉස්සරහ දොරත් හෑයි ගාල ඇරල දාල දෙන්නම කුස්සියට වෙලා මොනව කරනවද? "

දවසක් ඒ මැඩම් ඔහොම කියාගෙනයි ගෙට ගොඩවුනේ. අපි දෙන්නට නේද? තොල් විකාගෙන හිටියෙ හිනාවෙන්ට හොඳනැති හින්ද...දැනුත් මම ඔය කතා කරද්දි කියනව දොරවල් එහෙම වහලද ආවෙ? හෑයි ගාල ඇරල දාල එහෙම නෑනෙ කියල...

රයිට් අජිතයලගෙ මාමගෙ ගෙදර සාලෙ පලුදෙකේ දොර හායි ගාල ඇරල දාලනෙ තිබ්බෙ. හමාගෙන ආපු මද සුළඟක් එක්ක මිදුලෙ වැටිල තිබ්බ වෙළිච්ච අඹ කොළ දෙකක් සාලෙ ඇතුලට ඇවිල්ල මගෙ කකුල් දෙක ගාව නැවතුනා.මම නැමිල එක අඹ කොළයක් අහුලගත්ත. දුඹුරු පාට වේලිච්ච කොලේ නාරටි රටා හොඳට පේනව. දෙපැත්තට අතුබෙදිල ආයම එව්වයෙනුත් අතු බෙදිල ගිහිල්ල.ඉස්කෝලෙ උද්භිද විද්‍යාවට ඔව්ව ඒ කාලෙ කටපාඩම් කලාට මට හරියටම එව්වට කියන්නෙ මොකක්ද කියල මතක් වෙන්නෙ නෑ. කරුමුන් නාරටි වින්‍යාසය කියල එකක් නම් මතකයි වගෙ. ඒ ඇවිල්ල නාරටි පැතිරිල තියෙන එක ක්‍රමයක් වෙන්න ඕනෙ.

ඒ එක්කම මට ආයම මතක් වෙන්ට ගත්ත තලස ශාක, නීල-හරිත ඇල්ගී, පර්ණාංග, ලයිකන, පයිටොප්තෝරා.....ඔව්ව රෑ දෙගොඩහරියක් වෙනකල් නිදිවරාගෙන වණපොත් කරපු කාලෙකුත් තිබ්බ නෙව...හෙහ්,හෙහ්,...ඉස්කෝලෙ අපේ බොටනි උගන්නපු මැඩම්....දවසක් උද්භිද විද්‍යා පංතියෙ වෙච්චි දෙයක් මතක් වෙලා මගෙ දෙතොලට හිනාවක් ආවෙ ඉබේටම. ...හැබැයි ඒත් එක්කම ආයෙමත් හමාගෙන ආපු සුළං රැල්ලත් එක්කම ඇවිල්ල මගෙ නාහෙන් ඇතුල්වෙලා පපුව පුරහට පැතිරිච්ච සුවඳක් මාව පාසල් සමයේ පංති කාමරෙන් මුදවල ආයම අජිතයගෙ ලොකු මාමගෙ ගෙදර සාලෙට කැන්දගෙන ආව....සමන් පිච්ච සුවඳ නොහොත් ෆ්‍රේග්‍රන්ස් ඔෆ් ජැස්මින්...මගෙ හුස්ම ටික යනකල් මට අමතක නොවන සුවඳක්....

ඒත් සමන් පිච්ච මල් සුවඳ ගැන මට හිතන්ට ඉඩක් ලැබුනෙ නෑ. මම අර කියාපු කවිච්චිය එක්කම එහා පැත්තෙ තිබ්බ දොරක්. ඒ දොරට දාල තිබුනෙ කහ පාට මල් ඉහිරිච්චි ලා දුඹුරු පාට දොර රෙද්දක්. ඒ දොර රෙද්ද මෑත් කරගෙන මා ඉදිරියට ආවෙ තරුණියක්. සුදු පාට තුවායකින් කෙස් කළඹ පිහිදමින් ආපු ඈ ඇඳල හිටියෙ සුදු ටී ෂර්ට් එකක් සහ දණිස් දක්වා දිග රෝස පාට කලිසමක්.අර කියුලට් කියල කියන්නෙ ආන්න ඒකක්.

තමන් කරන කාර්යය ගැනම හිත යොදවල හිටපු හින්දද කොහෙද ඈ මාව දැක්කෙ නෑ. පිට මැදක් වගෙ තෙක් දිගු කෙස් කළඹ තුවායකින් තෙත මාත්තු කරමින් ඈ සාලෙ මැදක් වෙනකල් හෙමිහිට ඇවිදගෙන ගියා.සාලයෙන් පිටවෙන්ට තිබ්බෙත් පළු දෙකේ දොරක්. ඈ ඒ දොර ගාවටම ගිහිල්ල තුවායෙන් තෙත් කෙස් කළඹ ගසා දමන අතරෙ " අම්මා  !!! " කියල හඬ නඟා කතා කලා.

මම ඇත්තටම පත්වෙලා හිටියෙ අසීරු අවස්ථාවකට. මේ ළමයට කතා කරනවද? එහෙම කතා කරනවනම් කතාකරල මොකක්ද කියන්නෙ? එක පාරට මම කතාකලොත් මේ ළමය බය වෙයිද? ඔයවගෙ නොයෙක් ප්‍රශ්න මහෙ හිත ඇතුලෙ පොර බැදුව.

කොහොමින් කොහොමින් හරි මම අන්තිමට කලේ කිසි දෙයක් නොකර ගලින් නෙලූ පිළිරුවක් වගෙ එතනම හිටගෙන ඈ දිහා බලා හිටපු එක. අර හුලඟට පාවෙලා ඇවිල්ල මම අහුල ගත්ත වේලුනු අඹ කොලේ මේ වෙනකල් මගෙ අතේ තිබ්බ. නොදැනුවත්වම මම හිතන්නෙ මගෙ අතින් ඒ කොලේ පොඩිවුනා. එතකොට කරස් ගාල නැඟිච්ච සද්දෙ ඈට ඇහුණ වෙන්න ඕන කුස්සියට යන දොර ගාව නැවතිල එක පාරටම ආපහු හැරිල බැලුව.

" බය වෙන්ට එපා..මම මේ අජිත් එක්ක ආවෙ.." ඇගේ දෑස් විසල් වෙනව දැකල මම විගහට කිව්ව.

මට හිතුනෙම මේ කෙල්ල බයවෙලා කෑගහයි කියල.මොකෝ ආය එහෙම උනත් වරදක් කියන්ටය...තමන්ගෙ ගෙදර සාලෙ මැද්දෑවෙ කිසිදවසක දැකල නැති නාඳුනන මනුස්සයෙක් මෝලංගිරියා වගෙ හිටගෙන ඉන්නව දැක්කම ඕනම කෙල්ලෙකුට කෑගැස්සෙනවනෙ ඉබේටම.

" කලබල වෙන්ට එපා.... " මම ආයෙම එහෙම කිව්ව බොහොම අහිංසක විදිහට හිනාවෙන අතරෙ.......අසෝකා ( මම නම දැනගත්තෙ පස්සෙ...ඒත් ගෑණු ළමය නැත්තං ඒ කෙල්ල කියනවට වඩා නමම කියන එක වඩා හොඳයි නේද? ) කොණ්ඩෙ පිහදදා උන්නු තුවාය අතට අරගෙන පපුවට තුරුළු කර ගත්ත.

" එතකොට...එතකොට....කෝ අජිත් අයිය? " 

ඈ මම හිතන්නෙ කෝකටත් තෛලය කියල අඩියක් පස්සට තියල ඇහුව.

" ඔන්න ඔය නැන්දම්මද කොහෙද බලල එන්නං කියල ගේ ඇතුලට ගියේ.." මම ආයම හිනාවුනා.

" ඇයි අම්ම කොහෙ ගිහිල්ලද? "

" ආ..නැන්දම්ම ඔයාගෙ අම්මද? "

" ඔව්..... මගෙනම් අම්ම තමයි ඒත් ඔයාගෙ නැන්දම්ම උනේ කොහොමද? " 

අසෝකා ආයෙම තුවායෙං කෙස්ස පිහින අතරෙ ඇහුව.ඔලුව නමාගෙන හිටපු නිසා හරියටම නොදැක්ක වුනත් ඇගේ තොල් මත හිනාවක් පිපිල තියෙනව කියල මම ටක්කෙටම දැනගෙන හිටිය. අසෝකගෙ ඒ මුඛරිකමට මම කැමතියි.අනික ආය නෑ කතාවට ගිහාම ගිරවි වගේ. ඕන එකකට පට ගාල කැපෙන්ට එකක් කියනව. 

" හෙහ්, නැන්දම්ම වුනේ කොහොමද නේද? දන්නවද අපිනම් නැන්දම්ම කියන්නෙ අප්පච්චිගෙ නංගිට නෙවෙයි…"

ඈ පිහදැමිල්ල නතරකරල ඔලුව උස්සල මා දිහා ටික වෙලාවක් බලා හිටිය. ඒ කරල මොකක්ද කියන්ට කට හදනවත් මම දැක්ක. ඒත් ඒ එක්කම " දුවේ " ..කියාගෙන ලා නිල් පාට ඔසරියක් ඇඳපු කාන්තාවක් දොර රෙද්ද මෑත් කරගෙන සාලෙට ආව.

ඒ පස්සෙම්ම වගෙ ආවෙ අජිතය…

" ආ...අසෝක නංගි..අද වැඩට ගියෙ නැහැල්ලු නේද? " 

" නෑ අයියෙ අද මේ ලඟ මගෙ යාලුවෙකුගෙ ගෙදර දානයක්...එහෙ යන්ට ඕන නිසා නිවාඩුවක් දැම්ම…"

" ආ..මේ පුතා ගැනද අජිත් මේ කිව්වෙ…"

" ඔව් නැන්දම්මෙ මේ මගෙ හොඳම යාලුව වීරෙ..........."


" නැන්දම්මෙ......" එහෙම කියාගෙන මම ගිහිල්ල උන්දැගෙ දෙපාමුල වැඳ වැටුන. වඳින්ට ගියාම ආය ඔය බාගෙට වැඳිලි නෑ මගෙ. යන්තමට කඳ පොඩ්ඩක් නමල අත්දෙක එකතු කරල ඔය වඳිනව වෙනුවට වඳින වැඳිලි නෑ මගේ ගාව. ආය නෑ දණ්ඩ නමස්කාරය තමයි. පසඟ පිහිටුවා වැඩේ දෙන්නෙ.හෙහ්,හෙහ්,

මගෙ ඔය යාලුවන්ගෙ අම්මල අප්පච්චිල අත්තම්මල අත්තල එහෙම මට බොහොම මනාපයි ඔය හින්දම. " අන්න දරුවෝ උඹලත් ඉගෙන ගනිල්ල මෙහෙම…" එහෙමයි උන්දල කියන්නෙ මගෙ ඔලුව අතගාන ගමං.

අන්න ඒකටත් එක්ක දැං හැදෙන කෙල්ලො..අර හින්දි පිච්චර් වල දීපිකාල බීපිකාල, කරීනල බරීනල යන්තමට ඉණෙං නැවිල කකුලෙ පිටිපතුල අල්ලන සීන් බලා ඉඳල එවුං වඳින්නෙත් එහෙම….

" අනේ පුතාට තුණුරුවන්ගෙම සරණයි.." නැන්දම්ම මගෙ ඔලුව අතගෑව.

" මේ පුතා මේ කිට්ටුවද? " 

" ඔව් නැන්දම්මෙ... මම මේ පිළිමතලාවෙ….."

මම නැන්දම්මෙ කියන කෑල්ල බරකරල කියන ගමං හොරැහිං බැලුව අර කෙල්ලගෙ මූණ දිහා. ඒකි තොල් හපාගෙන ඇස් දෙකෙං හිනා වෙනව.

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...