Friday, June 26, 2015

328. විමලෙගෙ වාංපතුල් කතා - 31 - Operation Thunderbolt, Hiroo Onoda, ලොකු අම්මා සහ සරෝජිනී

Google Images

" ආය මිසිස් තෙන්නකෝන්ගෙන් අහන්නෙ මොකටද? අම්මට බැරිය ඒ ළමය මෙහෙ නවත්තගන්ට. "

මුලු සතියෙම අම්මයි අප්පච්චියි විතරනෙ ගෙදර ඉන්නෙ. ඒ කාලෙ වෙනකොට මම සති දෙකකට සැරයක් වගෙ සති අන්තෙට විතරයි ගෙදර ආවෙ. නංගිල දෙන්නම කොළඹ. එයාල නම් හැම සිකුරාදාවකම වගෙ ගෙදර ආව. සඳුද පාන්දර ආපහු යනව. කොහොමහරි සතියෙ දවස් පහේ අම්මයි අප්පච්චියි විතරයි ගෙදර.

අම්ම කටත් බාගෙට ඇරගෙන මා දිහාවෙ බලා ඉඳපු ඉඳිල්ලට මම හිනාව ගිල ගත්තෙ බොහොම අමාරුවෙන්..

" පුතා ඇත්තටම කියනවද විහිලුවට කියනවද කියල මටනම් හිතාගන්ට බෑ.." අම්ම තොල මැතිරුවෙ තමන්ටම කියාගන්නව වගෙ. 

" විහිලු නෙවෙයි. අප්පච්චිගෙ අසනීපෙත් එක්ක නර්ස් කෙනෙක් ගෙදරම ඉන්නව නම් කොච්චර එකක්ද? " මම එහෙම කියල අම්ම දිහා හොරැහින් බලාගෙන මගෙ කාමරේට ගියා.

අප්පච්චි ඒ ගමන තව දවස් තුනක් ඉස්පිරිතාලෙ හිටිය. ඒ අතර රෑට අප්පච්චි ලඟ ඉන්න එක අපෙ ලොකු අම්මගෙ පුතෙක් බාර ගත්ත. අපෙ ලොකු අම්මට පුත්තු හිටිය පස් දෙනෙක්ම. එයින් ලොකුම පුතත් කාලයක් මම එක්ක අර කැලේ මැද එකම ඔෆිස් එකේ වැඩ කලා. එයා හිටියෙ අපේ අයකැමි විදිහට. සිංහලෙන් සරප්.අපේ වැටුප් ගෙව්වෙ ඒ අයිය. එක පාරක් චෙක් එකේ මොකක්ද අවුලක් වෙලා බැංකුවෙන් සල්ලි ගන්ට බැරිවෙලා අපිට පඩි ගෙව්වෙ නෑ. අපේ එවුන්ට මල අතේ. එදා වෙච්චි මරු සීන් එකක් මම කලින් ලිව්වද කියල මට මතක නෑනෙ.කලින් ලියපුවගෙ පොඩි සර්ච් පාරකුත් දාල බැලුව ඒත් ම්හු..හොයාගන්ට බැරිවුනා. ඒත් මට මතකයි ලිව්ව වගේ.

රයිට් කලිං ලිව්ව උනත් කමක් නෑ ආයම කියන්නංකො..ඒ තරමට ආතල් කතාව ඒක.ඉතිං මයෙ ලොකු අම්මගෙ පුතා තමයි අපිට වැටුප් එතනිං ගිහාම ඔය අනික් දීමනා එහෙම ගෙවන්ට හිටියෙ. මුදල් අයකැමි නොහොත් සරප්.මාසික වැටුප ගෙවන්නෙ මාසෙ 25 වෙනිදයින් පස්සෙ, 30 වෙනිදට ඉස්සර. 

ඔය අපේ නෑදෑකම මගෙ යාලුවො වැඩිදෙනෙක් දැනගෙන හිටියෙ නෑ. මයෙ ඉතාම කිට්ටුවන්ත යාලුවන්ට විතරයි මම ඔය විස්තරේ කියල තිබ්බෙ.Need To Know Basis. අන්න ඒ පදනම මත. CIA, KGB, Mossad වගෙ ඔත්තුසේවා වල රහස්‍ය තොරතුරු එයාලගෙ නිලධාරීන්ට වුනත් දැනුම්දෙන්නෙ ඔය නීඩ් ටු නෝ බේසිස් එක මත.මොකද එහෙම උනහම මොනවහරි සැලසුමක් වැරදිල ගිහිල්ල ඒ නිලධාරියා හතුරන්ට අහුවුනත් එයා නොදන්න දෙයක් හතුරන්ට දැනගන්ට විදිහක් නෑනෙ. අන්න ඒ නිසා.

මොසාඩ් කියන්නෙ ඊශ්‍රායල් රහස් ඔත්තු සංවිධානය. සම්පූර්ණ නම The Institute for Intelligence and Special Operations. රහස් තොරතුරු සහ විශේෂ මෙහෙයුම් ආයතනය. අපේ තියෙන්නෙ හමුදා බුඩ්ඩි අංසෙ කියලනෙ. Intelligence කියන වචනෙට අර්ථ දෙකක් තියනවයි කියල නොදන්න බුද්ධිය කියන එක සීරෝ මහිෂයෙක් දාපු ඒ නම තවම පාවිච්චි කරන්නෙ ඇයිද කියන එකයි මට හිතාගන්ට බැරි.

හරි ආපහු මොසාඩ් සහ ඊශ්‍රායලය ගැන. යුදෙව්වො කියන්නෙ මම බොහොම ගරුකරන ජාතියක්. පලස්තීනය පිළිබඳ ඔවුන්ගෙ ප්‍රතිපත්ති ගැන මම එකඟවෙන්නෙ නැතිවුනත් ඔවුන් එහෙම කරන්න හේතුසාධක මට හිතාගන්න පුලුවන්.1976 අවුරුද්දෙ ජූලි මාසෙ පලස්තීන ත්‍රස්තවාදීන් එයාර් ෆ්‍රාන්ස් ගුවන් යානයක් පැහැරගෙන උගන්ඩාවෙ එන්ටෙබේ ගුවන් තොටුපොලට අරගෙන ගියා. එහි හිටපු යුදෙව්වන් ප්‍රාණ ඇපකරුවන් විදිහට තියාගෙන ඔවුන් ඉල්ලා සිටියා ඊශ්‍රායලයෙ සිරගතව සිටින පලස්තීන ත්‍රස්තවාදීන් පිරිසක් නිදහස්කරන ලෙස. 

එවකට උගන්ඩාවෙ ජනාධිපති ඉඩි අමීන් පලස්තීනුවන්ට සම්පූර්ණ සහයෝගය දුන්නා. ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීමේ සියළු සාකච්ඡා අසාර්ථකවූ පසු, ඊශ්‍රායල් කමාන්ඩෝ සේනාංකයක් ඉතාම රහසිගතව මධ්‍යම රාත්‍රියේ ඝණ අඳුර මැදින් එන්ටෙබේ ගුවන් තොටුපොලට ගොඩ බැස, ත්‍රස්තවාදීන් සහ උගන්ඩානු හමුදා භටයින් ගණනාවක් මරා දමා, ප්‍රාණ අපකරුවන් මුදාගත්තා. Operation Thunderbolt නමින් හැඳින්වුනු එම එම මෙහෙයුමෙහිදී ප්‍රා ඇපකරුවන් තිදෙනෙක් සහ එක් ඊශ්‍රායල් කමාන්ඩෝ සෙබලෙක් මියගියා. ඒ මියගිය එකම ඊශ්‍රායල් සෙබලා මෙහෙයුමට නායකත්වය දුන් ලුතිනන් කර්නල් යොනටන් නෙටන්යාහු. වර්තමාන ඊශ්‍රායල් අගමැති බින්යමීන් නෙටන්යාහූ ඔහුගේ බාල සහෝදරයා. යොනටන් අනුස්මරණය උදෙසා පසුව එම මෙහෙයුම Operation Yonatan ලෙස නැවත නම් කිරීමට ඊශ්‍රායල් රජය කටයුතු කලා.

ඒ වීර වික්‍රමාන්විත මෙහෙයුම අලලා අපූරු චිත්‍රපට කීපයක්ම ඉන්පසු නිපදවුනා. Operation Thunderbolt, Victory At Entebbe, Raid On Entebbe, එයින් කිහිපයක්.

1976 අවුරුද්දෙ ඒ මෙහෙයුම සිදුවූ දවස්වල දිනමිණ පත්‍රයේ ඒ ගැන සෑහෙන විස්තරයක් පලවුනා. එවකට බලයේ සිටි මැතිණියගෙ සමගි පෙරමුණු රජය පලස්තීනයට පූර්ණ සහයෝගය පලකලත්,  මේ මෙහෙයුම ගැන විස්තර දිනමිණෙහි පලවීමට ඒ ප්‍රතිපත්තිය බාධාවක් වුනේ නෑ. මගේ සිත්ගත්, මම ආසාවෙන් කියවපු ප්‍රවෘත්ති, අඩංගු පත්තර ලිපිගොනුවල දාල එකතුකරන පුරුද්දක් ඒ දවස්වල මගෙ තිබ්බ. අපේ මහ ගෙදර සමහරවිට පරණවෙලා කහ ගැහිච්චි ඒ පත්තර පිටු තවම තියෙන්න පුලුවන්, ඔය කොහෙ හරි කබඩ් එකක පතුලෙ මොනවට හරි යට වෙලා. ආයම මහගෙදර ගිය වෙලාවක හොයල බලන්ට ඕන.

ඔය වගේම ඒ කාලෙ මම බොහොම ආසාවෙන් කියෙව්වා, ඒ වගේම ඒ ප්‍රවෘත්තිය පලවූ පුවත්පත් පිටු එකතුකලා ජපන් ජාතික හිරූ ඔනෝඩාගේ විශ්මයජනක කතාපුවත. ඒ පුවත සිළුමිණ පුවත්පතේ සති කීපයක් කොටස් වශයෙන් පලවූවා. ඔනෝඩා දෙවන ලෝක යුද සමයේ ජපන් යුද හමුදාවේ ලුතිනන් වරයෙක්. 1944 වර්ෂයේදී ඔහුට යන්ට සිදුවෙනවා පිලිපීනයේ ලුබ්ලෝංග් දූපතට. ඔහුට අණ ලැබෙන්නේ මෙහෙමයි. සතුරන් අතට දූපත පත්නොවීමට කලයුතු සියලු දේ ඔබ කල යුතුයි. කිසිදු කරුණක් නිසා සතුරාට යටත්වීම හෝ දිවිනසාගැනීම සම්පූර්ණයෙන්ම තහනම්.

බහුතරයක් ජපනුන් අද පවා ඔවුන්ගේ අධිරාජයා මිහිපිට වසන දෙවියකු ලෙසයි සලකන්නේ. අධිරාජයාගේ අණ පිළිපැදීමේදී , ඔහු පවරන රාජකාරිය ඉටුකිරීමෙහිදී ජීවිතය කැපකිරීම ඔවුන්ට ඉතා සුළු දෙයක්.

ලුබ්ලෝංග් දූපත අමරිකානු හමුදා අතට පත්වුවත් ඔනෝඩා සහ සගයින් කීප දෙනෙක් කඳුකරයේ කැළෑවට පලාගොස් එහි සැඟවී සිට ගරිල්ලා යුද්ධයක නිරතවෙනවා. යුද්ධය අවසන් නිසා කැළෑවෙන් එළියට පැමිණ භාරවන ලෙස ගුවනේ සිට විසිරුවා හරින පත්‍රිකා මඟින් කල ඉල්ලීම් ඔවුන් නොපිළිගන්නේ ඒ සතුරන්ගේ කූට ප්‍රයෝග ලෙස උපකල්පනය කරමිනුයි. අවසානයේ 1974 වර්ෂයේ ඔනෝඩාගේ අණදෙන නිලධාරියාවූ මේජර් යොෂීමි ටනිගුචි ජපානයේ සිට ලුබ්ලෝංග් දූපතට පැමිණ යුද්ධය අවසන්වී ඇති බැවින් වහාම අවිආපසු භාරදී යටත්වන ලෙස ඔහුට නියෝග කලා. ඒ අනුව ඔනෝඩා තම වසර තිහක ඒක පුද්ගල යුද්ධය අවසන් කලා.

ඔනෝඩාගේ කතාව මම බාගෙට ලියල තියෙන්නෙ. " හිරූ ඔනෝඩා...විනය ගරුක සොල්දාදුවෙකුගේ වසර තිහක ඒක පුද්ගල යුද්ධය "

සතුරාට යටත්වීම කියන්නෙ මරණයටත් වඩා අන්ත ඉරණමක් සහ එහෙම කරන අයගේ පවුල්වලට පවා ඒ අපකීර්තියෙන් ගැලවීමක් නැතිය කියන අන්තවාදී සංකල්පය ජපන් සොල්දාදුවන්ගේ මනසට ඒ දවස්වල දැඩිලෙස කාවද්දලයි තිබිල තියෙන්නෙ ඔවුන්ගෙ පුහුණුවේ ඉඳලම. හිරෝෂිමා සහ නාගසාකි නගරවල ලක්ෂ දෙකකට අධික ජනතාවකට ජීවිතයෙන් වන්දි ගෙවන්නට හේතුවූයේත් ඒ ජපන් ජාතිකයින්ගේ ඇටමිදුළු තුලට පවා කාවැදුනු දෘඩ, අනම්‍ය පරාජය පිළිනොගැනීමේ ප්‍රතිපත්තියයි.

හරි එන්ටෙබේ මෙහෙයුම සහ හිරූ ඔනෝඩා පිලිබඳ අතුරු කතාවෙන් අනතුරුව යලිත් ප්‍රධාන ප්‍රස්තුතයට.

අපේ මුදල් අයකැමි විදිහට වැඩ කරන්නෙ මයෙ ලොකු අම්මගෙ පුතාය කියල මගෙ යාලුවො හුඟක් හරියක් දැනගෙන හිටියෙ නෑ. ඉතිං ඔන්න එක පාරක් අපි ගියා මාසෙ අන්තිමට වැටුප් ගන්න. ගිහිල්ල බලනකොට මහ ජංජාලයක්. එදා පඩි සල්ලි ගෙනල්ල නෑ. චෙක් එකේ මොකක්ද අවුලක් වෙලා බැංකුවෙන් සල්ලි දීල නෑ. ඉතිං මොකේද දං වළඳන්නෙ? අපි එහෙම්මම හැරිල ආව. හැමෝටම වගෙ මාර අප්සෙට්. ගෙවල් වලට සල්ලි යවන්ට ඕන එවුං, බැංකු ණය වාරික වලට සල්ලි දාන්ට ඕන එවුං,මොනවහරි ගවුං කෑල්ලක් අරගෙන කෙල්ලො බලන්ට යන්ට හිටපු එවුං, ඔයවගෙ මෙකී නොකී එවුං ඔක්කොගෙම මූණු හරියට ජනවාරි නම වෙනිද වටිං ගොඩිං එළිය වැටීගෙන එද්දි, මරාගෙ මූණත්තහඩුව වාගෙ.

අතේ සතපහක් නැති වුනත් අපේ කෑම්ප් එකේම තිබ්බ බාර් එකෙං ( ඒ බාර් එක ගැන විස්තරේ මම කලින් ලිව්ව කියල මතකයි ) ණයට බෝතල් දෙහෙකුත් අරගෙන අපි එදා රෑ සෙට් වුනා.ඒ දුක තුනී කරගන්ට හොඳම ක්‍රමය ඒක හින්ද. ගහන ගමනුත් කතාව පඩි කේස් එක ගැන. හැමෝම අයියට බණින්නෙ. ඇත්තටම මිනිහගෙ කිසිම වැරැද්දක් නෑ. චෙක් එක වරද්දල තියෙන්නෙ එකවුන්ට්ස් සෙක්ෂන් එකෙන්. ඒ මිනිහ මක් කරන්ටද ඒකට? බැංකුවෙං සල්ලි දුන්නෙ නැත්තං මේ මනුස්සය අතිං ගෙවන්ටය.ඕක ඉතිං ගහපහ දෙන්ට යන එකේ කිසිම තේරුමක් නැති හින්ද මම සද්ද නැතුව හිටිය. ටික ටික ඔන්න ඒ ගැන කතාව මඟඇරිල ගියා කියමුකො. 

ඒත් ගාමිණී කියල මගෙ යාළුවෙක් හිටිය මූ මේක අතාරින්නෙම නෑ. ඒ ගැනමයි කතාව. ඔන්න එක පාරටම මූ කියාපි " කැෂියරයගෙ අම්මට ****** " කියල.

ඒ වෙනකොට මටත් අප්පමාදෝ අමරපදං වෙලයි හිටියෙ.මට නේද ඉපදෙනව මැරෙනව පේන්නෙ නැතුව ගියා. පැන්න ගමං අල්ලගත්ත ගාමිණියගෙ හීං තැනින්ම.නෑ..නෑ...නෑ...බොලව් .හීං තැනිං කියන්නෙ බෙල්ලෙං..බෙල්ලෙං....

" අඩෝ තෝ දැනගං ඒ මගෙ ලොකු අම්මා.."

මම එහෙම කිව්ව උගෙ බෙල්ලෙං අල්ලල හොල්ලන ගමං. අනේ ගාමිණියා බයවෙච්චි පාර මගෙ දිහා බලාහිටිය ඇස්දෙකත් දොට්ට දාගෙන. අනික් එවුනුත් කතා බතා ඔක්කොම නතර කරලා අපි දිහාට හැරුනා. ඒ එක්කම මමත් ගිණි අඟුරක් අත ගෑවුන වගෙ ගාමිණියගෙ බෙල්ල අත ඇරල අඩියක් පස්සට ගත්ත. මට මාර අප්සෙට් වෙච්චි වැඩේට. 

" කවුද බං දන්නෙ උඹෙ ලොකු අම්ම කියල ඒ?..... කලින් කියන්ට එපාය" ගාමිණිය එහෙම කියල මගෙ අත අල්ලගත්ත. 

" හරි, හරි…. බං වෙරිම වෙරි සොරි..ඒක අමතක කරල දාපං…" මම උගෙ කරට අතක් දාගෙන කිව්ව.

රයිට් ඒ සීන් එක එතනිං ඉවරයි.පස්සෙ දවසක අයිය හම්බවෙච්චි වෙලාවක මම ඔය කතාව අයිය දැක්කිනුත් කිව්ව. අපි දෙන්නම කඳුළු එනකල් හිනාවුනා. මේ කතන්දරේ පසු කතාවකුත් තියනව. ඉතිං ඊට ටික කාලෙකට පස්සෙ අයිය ස්ථාන මාරුවක් හදාගෙන නුවර කිට්ටුව අපෙ ව්‍යාපෘතියකට ගියා. මමත් තව ටික කාලයක් එහෙ ඉඳල අර ගොවි ජනපදයේ සේවය සඳහා ගියානෙ. ඊට පස්සෙ තමයි ඔන්න මගෙ විවාහ මංගල්‍යෝත්සවය එහෙම තිබ්බෙ.ඕකට අර ගාමිණියත් ආවනෙ. ඔන්න ඕකා අපිදෙන්න ( අපි දෙන්න කිව්වෙ එතුමී සහ මම ) ඉන්න තැනට ඇවිල්ල අතට අත දීල කතාකලාය කියමුකො.

" මගේ සුබ පැතුම් මචං ……" 

" තෑන්ක්ස් ගාමිණී……" මම එහෙම කියල එතුමී දිහාට හැරුන. " මේ ගාමිණී ……..අපි දෙන්න කලින් එකට වැඩකලා අවුරුදු ගානක්.... දැන් මේකා ඉන්නෙ ඇඹිලිපිටියෙ. " 

එහෙම කියල එතුමීට ගාමිණී අඳුන්වල දීල මම ආපහු මිනිහ දිහාට හැරුනා.

" ආ..ඒක නෙවෙයි...උඹ අර එක පාරක් අපේ ලොකු අම්මා ගැන මොනවද කිව්ව නේද? ඉඳහංකො අන්න ලොකු අම්ම ඇවිල්ල ඉන්නව..මම උඹට අඳුන්වල දෙන්නං..කෝ මේ? ආ ..අර ඉන්නෙ..මේ ලොකු අම්මේ..ලොකු අම්මේ... " මම එතනම ඉඳල ලොකු අම්මට කතා කලා.

ගාමිණියගෙ මූණත් එක්ක රතුවෙලා හුස්ම හිරවෙන්ට වගෙ ඇවිල්ලා.." උඹට පිස්සුද බං? මොනවද මේ කරන විකාරෙ? " ඌ හෙමිහිට මට විතරක් ඇහෙන විදිහට කිව්වෙ දත්මිටි කාගෙන. එතුමී තුස්නිම්බූත වෙලා බලා ඉන්නව මේ මොකද වෙන්නෙ කියල හිතාගන්ට බැරුව.

" ඇයි පුතේ? " ඒ අස්සෙ ලොකු අම්මත් එතනට ආපි. ගාමිණිය ඇඹරුනා ඇඹරිල්ලක් අර සුනාමියට අහුවෙච්චි පැරෑලියේ රේල්පීලි වගෙ. 

" ආ..ලොකු අම්මෙ..මේ ගාමිණී... මගෙ යාලුවෙක්...ගාමිණීය ලොකු අම්මව දකින්ට ආසයි කියල කියපු හින්දයි මම මේ කතා කලේ.." 

" ආ එහෙමද? මම හිතන්නෙ අපෙ පුතාව එහෙමත් අඳුනනව ඇති නේද ඔය ළමය?..."

" ආ..ඔව්..ඔව්...ඒක තමයි මම හිතන්නෙ ගාමිණී ලොකු අම්මව දකින්ට ආසයි කියල කිව්වෙ.."

"ආ..ඒක කොච්චර එකක්ද? අපේ පුතත් ඔන්න දැං මේ හරියෙ හිටිය.." 

"හරි ලොකු අම්මෙ එහෙනං අයිය දැක්කොත් කියන්ටකො මේ ගාමිණී එහෙම ඇවිල්ල ඉන්නවයි කියල. " එහෙම කියල මම ලොකු අම්මව එතනිං පිටත් කලා. ගාමිණිය මා දිහා කන්ට වගෙ බලා ඉඳල ආපහු හැරිල  පස්සවත් නොබලා යන්ට ගියා. 

" මොකක්ද අනේ ඒ එතන වුනේ? මොකෝ අර ඔයාගෙ යාලුව පස්සවත් නොබලා යන්ට ගියේ? හරියට කවුරුහරි පස්සෙං පන්නනව වගෙ? " එතුමී නළලත් රැලි කරගෙන එහෙම ඇහුව.

දැංවගෙ එහෙමනං  ඔය ගාණක් නෑ මං කියල දානව විස්තරේ. ඒ වුනාට ඒ බැඳපුම දවසෙනෙ. ඔව්ව කියන්ට ගිහිල්ල කොහෙං කෙරවල් වෙයිද දන්නෙ නෑනෙ.

" ඒ ඔය ගාමිණියට ටිකක් නුහුගුණේ වගේ ඒයි.. ඒක හින්ද ඔය " මම එහෙම කියල වැඩේ ක්ලෝස් කරල දැම්ම..

" හුහ්..නුහුගුණේ...නුහුගුණේ මට පේන්නෙ ගාමිණීට නම් නෙවෙයි මෙයාට වගෙ...මේ..මෙන්න මෙහාට ඇවිල්ල ඉඳගන්ට….." ඈ මට විතරක් ඇහෙන්ට අඬ බාලකරල එහෙම කියල බස බස ගාල ගිහිල්ල මල් සැරසිළි කරපු කවිච්චියෙ ඉඳගත්ත.

ඉතිං ආපහු එමු අප්පච්චි ගාවට.......අප්පච්චි ඒ ගමන තව දවස් තුනක් ඉස්පිරිතාලෙ හිටිය. ඒ අතර රෑට අප්පච්චි ලඟ ඉන්න එක අපෙ ලොකු අම්මගෙ පුතෙක් බාර ගත්ත. අප්පච්චිගෙ අසනීප තත්වය එන්ට එන්ටම සුව අතට හැරුනු නිසා දවල්ට කවුරුත් අප්පච්චි ලඟ ඉන්න ඕන වුනේ නෑ. ඒත් දවල්ට කෑම අරගෙන ගිහිල්ල මම දවස් දෙකක්ම, හවස අර මම කිව්ව අයිය එනකල් අප්පච්චි ලඟ හිටිය.ඒ මම හිතන්නෙ සරෝජිනී එක්ක කතාකරන්ට තිබ්බ කැමැත්ත හින්දමද කියල මට හරියට කියන්න බෑ. ඒත් අම්ම කියපු දේවල් හින්දමත් නෙවෙයි ඒ ළමය ගැන මගේ හිතේ මොකක්ද පැහැදීමක් වගෙ දෙයක් ඇතිවෙලයි තිබුනෙ ඒ වෙනකොටත්. 

ඒත් මෙතන ප්‍රශ්ණයක් වෙලා තිබ්බෙ සරෝජිනී කිසිම විදිහකින් එයාගෙ හැඟීම් ගැන ඉඟියක්වත් පලනොකල එකයි. මම කතාකරද්දි ඈ කිසිම විදිහකින් අකමැත්තක් පෙන්නුවෙ නෑ. ඒ වගේම මුහුණෙ ඉරියව්වකින්වත් කැමැත්තක් පෙන්නුවෙත් නෑ.ඒ හින්දම මටත් ලොකු ප්‍රශ්ණයක් වුනා මම මොකද කරන්නෙ කියන එක. එයාලගෙ අම්ම අපෙ අම්මගෙ යාලුවෙක් වුනත් මම කැමතිවුනේ නෑ ඒ මාර්ගයෙන් වැඩේට අතගහන්ට. 

" අම්මා මේ අර සුරවීර ආන්ටිට ඕන නම් කෝල් එකක් දීල විස්තර අහන්ට. ඒත් අර සරෝජිනී ගැනනම් කිසිදෙයක් නිකමටවත් කියන්ට එපා ඔන්න.." මම කලින්ම අම්මට එහෙම ඉන්ජන්ක්ෂන් එකක් දාල තිබ්බෙ එයාගෙ හැටි මම හොඳාකාරවම දන්න හින්දයි.

" හරි හරි ඔයා කියනවනම් මම මොකවත් අහන්නෙ නෑ ඒ ගැන.." අම්ම එහෙම කියල හිනාවුනා.

" අම්මෙ මේ විහිලුවක් එහෙම නෙවෙයි..මම මේ සීරියස් කියන්නෙ...මෙහෙම දෙයක් ගැන මොකවත්ම කතාකරනව එහෙම නෙවෙයි ඔන්න හොඳද? "

" හරි..හරි..මම දැං හා කිව්වනෙ..මම කතා කරන්නෙ නෑ...ඔයා කලබල වෙන්ට එපා…" මම ඒත් අම්මගෙ මූණ දිහා බලාගෙන හිටිය ටික වෙලාවක්..

" නෑ..පුතා..ඇත්තමයි..පුතා එපා කියනවනම් මම ඒ ගැන කිසිම දෙයක් කතා කරන්නෙ නෑ.." අම්ම පොරොන්දු වුනා.

සරෝජිනීගෙන් කෙලින්ම අහන්ට බැරිකමක් නැතිවුනත් මගෙ හිත ඒකට ඉඩ දුන්නෙ නෑ.

අප්පච්චි ටිකට් කපාගෙන එන දවසෙ සරෝජිනී දවල් ෂිෆ්ට් එක කලේ. මම අප්පච්චිව ඇඳෙන් බස්සවල උණුවතුර බෝතලේ, රේසර් එක, සබන් පෙට්ටිය දත් බුරුසුව එහෙම කබඩ් එකෙන් අරගෙන ට්‍රැවලිං බෑග් එකට දා ගත්ත. 

"මිස්ට වීරසිංහ...." සරෝජිනීගෙ කටහඬ….. අප්පච්චියි මායි දෙන්නම ඒ පැත්ත හැරිල බැලුව. ඈ අපි දෙන්නටම කතාකලේ මිස්ට වීරසිංහ කියල.

අපි දෙන්නම එක විඩේ ඒ පැත්ත බැලුවම ඈටත් එකපාරට හිනාගියා. ඈ ඊලඟට කතාකලේ අප්පච්චිගෙ මූණ බලාගෙන. 

" මේ ලීෆ්ලට් එකේ ඇති මිස්ටර් වීරසිංහට කන්න සුදුසු ආහාර වර්ග, එතකොට කලයුතු දේ නොකලයුතු දේ.මොකද හාට් ඇටෑක් එකක් ආවයි කියන්නෙ හුඟක් පරිස්සම් වෙන්න ඕන.වෙලාවට බෙහෙත් බොන්න ඕන මතක ඇතුව..." කතාව අන්තිම හරිය ඈ කිව්වෙ මට, මගෙ මූණ බලාගෙන. අර කිව්ව ලීෆ්ලට් එක දුන්නෙත් මට.

අප්පච්චිත් එක්ක හෙමිහිට මම වාට්ටුවෙන් පිටවෙන දොර දිහාට ඇවිදගෙන ආව. ට්‍රැවලිං බෑග් එකත් කරේ දාගෙන. අප්පච්චිගෙ එක අතක් අල්ලගෙන. සරෝජිනීත් අපිත් එක්ක දොර ගාවට ඇවිල්ල එතන නැවතුනා. දොර පහුකරල අඩි විස්සක් තිහක් යන්ට වුනේ නෑ අප්පච්චි ගාව මේ දවස් දෙක තුනේ හිටපු ලොකු අම්මගෙ පුතා ජයන්ත අයිය අපි ඉස්සරහට ආව. 

" අයියෙ අප්පච්චිව එක්ක යන්ටකො....මම ඉක්මනට එන්නං.." 

අප්පච්චිව ජයන්ත අයියට බාරදීල මම ආපහු වාට්ටුවට ගියා. සරෝජිනී ඒ වෙනකොට මේසෙ ඉඳගෙන පොතක් දිගඇරගෙන මොනවද ලියනව. හොඳ වෙලාවට ඒ අහල පහල වෙන කවුරුවත්ම නෑ. 

" සරෝජිනී. " මම ඒ ඉස්සෙල්ලමද කොහෙද එයාට නම කියල කතාකලේ

" මම හවස ඩියුටි ඕෆ් වෙන වෙලාවට ඔයාව හම්බ වෙන්ට එන්නද? " මම මේසෙ ඉස්සරහ හිටගෙන ඇහුව.

ඈ ඔලුව උස්සල මගේ දිහා බැලුව. ඊටපස්සෙ හෙමිහිට කණට ඇහෙන නෑහෙන ගාණට " එපා " කියල ආයම පොත දිහා බලා ගත්ත.

Tuesday, June 23, 2015

327. අබයාරාමයේ විත්ති - 1


Cartoon - Ravaya

අබයාරාමෙ චෛත්‍යය පිටිපස්සෙ බෝ ගහේ කොළ හත අටක් එක පාරටම හමාගෙන ආපු හුළඟට ගැලවිල අතුපතරින් බිමට වැටුන.වැලි මලුව අතුගගා හිටපු එතුමා ඒ දිහා බලල දත්මිටිකෑවා. 

" අම්මාපල්ල..මේ අතුගෑවිල්ලෙ ඉවරයක් නෑනෙ..කොච්චර අතුගාපං...කොච්චර අතුගාපං ආයම කොළ වැටෙනව..ආයම කොළ වැටෙනව." 

එතුමා හිටියෙ මේස් බැනියමක් ඇඳල සුදු සරම වලාපොට ගහගෙන. කුරහං සාටකේ බෝ ගහේ අත්තක වනල තිබ්බෙ දාඩිය ටිකක් වේලෙන්ට. මේ දවස්වල ඒ සාටකේ කොයි වෙලාවෙත් දාඩියෙං තෙත බරි වෙලා. ඇයි අප්පච්චියේ කීයක් නං කියල වැඩද?

අම්මාපල්ල ඇත්තම කිව්වොත් ජනාදිපති කාලෙටත් වඩා මට දැන් නෙව වැඩ වැඩි..එතුමා අතුගාන එක ටිකකට නවත්තල ඉදලෙ මිටට නිකට තියාගෙන කල්පනා කලා. ඒ කාලෙ මට ඒ හැටි වැඩක් තිබ්බ එකක්ය. ඔය රැස්වීමකට දෙකකට ගිහිල්ල රුපියල් පන්සීය ගානෙ දීල නොමිලේ ලංගම බස් වල පටවගෙන ආපු සෙනඟ මගෙ පින්තූර උස්සගෙන ජයවේවා කියල කෑගහනකොට ඒ දිහාට අතක් උස්සල දත් වහල්ල විරිත්තල හිනාවෙන්ටයි, ළමයෙක් දෙන්නෙක්ට හංකිචි කවල උඩ දාන්ටයි, වයසක බබලතෙක්ගෙං ආ..කොහොමෙයි අම්මේ දැං සැපසනීප එහෙම ? කියල අහන්ටයි...ට්‍රැක් කිට් එක ගහගෙන උදේට උදේට ගෝල්පේස් එකේ දුවන්ටයි, සතියකට සැරයක් ජාතික පුවත්පත්ය කියන පත්තර කඩමාලුවල කත්තුරුල කියල ඉන්න පක්කලියන්ට අරලියගහ මන්දිරේට එන්ට කියල කුරහං තලප එක්ක උදේ කෑම වේලක් දෙන්ටයි, ඔය වගෙ පොඩි පොඩි ගංසබා වැඩ ඇරුනු කොට ඒ කාලෙ තමං එහෙමට කරපු දෙයක් නැතිබව මතක්වී එතුමාට හීල්ලුණේය.

ඊට අමතරව වැඩක් හැටියට කලානම් කලේ විපස්සෙං බිලී බාගන්නා මන්තිරිලට ඇමතිකංවල පත්තීම් ලිපි ප්‍රදානය කිරීමය. හිටපු ලේකං තුමා පත්තීම් ලිපිය දුන්නම, ඒක එතුමාගේ දෑත් සත්තිමත් කොරන්ට හිතාගෙන විපස්සයෙං ආන්ඩුව පැත්තට බඩ පිනුමක් ගහපු කරනං කාරයාට දීමේ රාජකාරිය කලේ එතුමාය. ඒ වෙලාවෙ සමහර කරනං කාරයෝ දෙකට නැමී තමං ගාව වැඳ වැටුන හැටි මතක් වෙලා එතුමාගේ දෑසට කඳුලු පුරාගෙන ආවේය.

පත්තීං ලිපි ප්‍රදානය එතුමා ජනාදිපති කාලේ කොරපු ප්‍රධානම රාජකාරිය බව දවසක්දා කිව්වේ වෙන කවුරුවත් නොව එතුමාගේ ඇඹේණියන්මය. නැතහොත් ආර්යා තොමෝමය. විපස්ස නායකයාට ටෙම්පල් ටිරීස් එකට එන්ට කියා කෝපි කෝප්පයක් එහෙම පිලිගන්වා එහාට මෙහාට පිල්මාරු කරන එක නවත්තමුය, නව දේසපාලු සඟිස්කුරුතියක් ගොඩනඟමුය කියල පොරොන්දු වෙලා සතියක් යන්ට පෙර විපස්සයේ හත් අට දෙනෙක් බිලී බාගත්තු හැටි මතක් වෙලා එතුමාට සෑහෙන කාලෙකට පස්සෙ හීං හිනාවක්ද ගියේය. පුදුම වෙන්ට දෙයක් නැත. තමංගෙ බලේ රැකගංට ඒ වගේ ඕනෑම පජාති වැඩක් කරන්නට එතුමා එක මොහොතක්වත් පැකිලුනේ නැත..

ඒ ඔක්කොම සුකුරුත්තං වැඩ කෑලි ජනවාරි අටවෙනිදායිං පස්සෙ කෙලවෙලාම ගියහැටි මතක් වෙනකොට බඩ පපුව දාගෙන යන්නේ හම්බන්තොට ලෝකයේ ලොකුම වතුර වල විවෘත කරපු දා සුබ මොහොතිං දොර ඇරියාම මූදෙ වතුර හාරපු වලට ගලාගෙන ආවා වගේය.

මේ දවස්වල එතුමාට ජනාදිපතිකාලෙටත් වැඩිය වැඩ රාජකාරි අදිකය. උදේම අබයාරාමෙට එතුමා බලන්ට කියල එන දුරබැහැර ජහමනයා හම්බවෙලා වචනයක් දෙකක් කතාකරන්ට ඕනෑය.කුජීතවෙලා ගිහිල්ල මාස හයකටත් කිට්ටුවුනත් තාමත් පුදුමසතා බලන්ට වගෙ මිනිස්සු එන එකේ අඩුවක් නැත.

" මේ මෝඩ හැතිකරේ..මොන මඟුලකට මාව බලන්ට එනවද මන්ද...මුං ඔක්කොම එකයි. ළමයි මගෙ අතට දීල මනාපෙ අර සිරිසේනයට දුන්න " 

හවස් වෙනකල් තාප්ප උඩ නැඟගෙන, ජනෙල් කූරුවල තනිඅතින් එල්ලීගෙන අර හන්දියක් හන්දියක් ගානේ අදාදිනේවා...අදාදිනේවා කියා යටිගිරියෙං කෑගහන ලොතරැයිකාරයෙක් වගේ මෙගාපෝං වලිං එලොවටත් නැති, මෙලොවටත් නැති, සම්ප්‍රප්ඵලාප දේසනාකොට පාංකියාගන්නට බැරිවුනහම එතුමාටම ඔයාකාර හිතුනාවුනත් එහෙම මිනිස්සු ඇවිල්ල අතපත ගාලා " අනේ අපොයි ඇඟේ හැපෙයි පාරෙ උංට මාරකේ..." කියල එහෙම යනවට එක අතකට එතුමා බොහොම කැමතිය.

" අනේ අප්පේ...මේ ඉන්නෙ හඳපාන වාගෙ...මූණ කට බලමුකො ඇස්වහක් කටවහක් නෑ රත්තරන් පාටයි...." ගමේ ගොඩේ වයසක ආච්චිලා හැරමිටි ඇන ඇන ඇවිත් එහෙම කියනකොට එතුමාගේ මූණ කට සිරියාවන්ත හිනාවකිං වැසීයන්නේය.

" හප්පච්චියේ කොහොම හිටපු මමද අද මේ පන්සලක අගුපිලකට වෙලා දංබත් කකා ඉන්ට වෙලා තියෙන්නෙ ඇබිත්තයෙක් වගෙ.."

නොදැනීම එතුමාට හෙලුනු සුසුම අසන්නට එතන හිටියේ අබයාරාමේ ලොකු හාන්දුරුවන්ගේ සුවච කීකරු බලු දණ්ඩා පමණි. ඒ බලු රාල ඒ නායක උන්නාංසේ බුදුන් වදාල ධර්මය පරිදි සකල ජනයාහට නිවන් දොරටු විවරකොට දීම ලබන ආත්ම භාවය වනතුරු ටෙම්පරරිලි පෝස්පෝංකොට නේස් නෝනලාගේ විමුක්තිය වෙනුවෙං සිවුර කරටගත් කාලයේ පටං එතුමා එක්ක පයුරුපාසානේ යෙදී පංසලේම වාසය කරන තිරිසනෙකි.

බෝ මලුව පාමුල වැතිරී සිටි ඒකා බණ මඩුව පිටිපස්ස පැත්තෙං එන යකඩ තලන සද්දෙට ඇහැරී කං උස්සා ජුංඩක් වෙලා ඒ පැත්ත බලා හිට වරක් දෙවරක් බිරුවේය. ඒ සද්දයට අතීතාවර්ජනයෙන් මිදුනු එතුමාද කඳුලු පිහදාගෙන ඒ පැත්තට ගියේය. බණ මඩුව පිටුපස තාවකාලිකව අටවාපු ටකරං මඩුවක චීන්නු හත් අටදෙනෙක් වටවී හැලි අරක්කු පෙරන බැරල් එකක් වගේ මොකක්ද එකක මලකඩ කඩති. ඒ අතර බැරල් එක වගේ එකේ ඇදවෙලා තියන තැං කෙලිං කොරන්නට කුලුගෙඩි දෑත බදා උස්සා දේයි දේයි යන අනුකරණයෙන් බැරල් එකට තඩි බාති. පරණ බැනියමක් සහ හම ගිය කොට කලිසමක් ඇඳගත් උස මහත තරුණයෙක් ඒ ලඟම තියෙන ලාම්පුතෙල් බූලියක් උඩ වාඩිවී ඒදෙස බලා ඉඳියි.

" චිංචි පුතා..මොකද තවම ඕකෙ මලකඩ කඩල ඉවරයක් කරගන්ට බැරිවුනාද ළමයො? " එතුමා අත්දෙක ඉණට තබාගෙන ඇසුවේය

" නෑනෙ ඩඩා, බලන්නකො මේකෙ හැටි...මේ යක්කු එක්ක බෑනෙ. අපිට මේ මලකඩ කාච්ච පරන ලදරමක්නෙ මුං විකුණල තියෙන්නෙ... " එහෙම කීවෙ ලාම්පුතෙල් බූලිය උඩ වාඩිවී හිටිය තරුණයාය. ඒ එතුමාගෙ බාල පුත්‍රරත්නය නොහොත් චිංචි පුතාය.

ලෝකේ ලාබාලම අබ්බියාවකාසගාමියා වෙන්නට පෙරුම් පිරුවේ අපේ මේ චිංචි පුතාය. එතුමාගේ පවුලේ කස්ටියට බැරිදෙයක් නොමැත.චිංචි පුතා ලාබාලම අබ්බියාවකාසගාමියා වෙන්නට ආචාරිය උපාදියක් නොහොත් ඩොට්ටරේට් එකක් කරනවාය කියාත් ඒ දවස්වල පත්තරවල පලවුනේය. ඒ අතර එතුමාගේ ආර්යාව පත්තරවලට කිව්වෙ චිංචි දොස්තර කෙනෙක් වෙන්නට ඉගෙන ගන්නවා කියාය. ඒ මොකවුනත් චිංචි පුතා ආමි රගර් ටීම් එකේ කැප්ටන්කම කලා කියලා නම් මට මතකය. අනික් ළමයි දෙන්නත් ආමි සහ නේවි රගර් ටීම් වලට සෙල්ලං කලෝය. අයිය මලෝ තුංදෙනාම සිරි ලංකා රගර් ටීම් එකටද නිතරඟයෙන් තේරී පත් වූවෝය. 

රගර් කියන්නෙ අර දෙපැත්ත උල් බෝලෙ අරගෙන මෙලොව සිහියක් නැතුව දුවන, ඔලුව කියල එකක් නැතුව කඳබඩ විතරක් තියෙන, ඕනම කෙනෙකුට කිසි අවුලක්නැතුව කොරංට ඇහැක් සෙල්ලමක් නිසා පුත්තු තුංදෙනාම කිසිම අවුලක් නැතුව රගර් ක්‍රීඩකයන් උනෝය. යන්තමට වත් රාජ කුමාරවරු පොල්පිති බැට් එකක්වත් අල්ලලා හුරුවක් නොතිබිච්චි එක හොඳට ගියේය. නැහ්නං ඔය තුං දෙනාම සුටුස් ගානකොට ශ්‍රී ලංකා ක්‍රිකට් ටීම් එකට දාන එක එතුමාගේ මල්ලිලා එක්තුවෙලා හතර අතේ කොමිස් ගැහුව එක වගේ ඉස්තිරය.

ඒ චීන්නු වටවෙලා තඩි බාමින් උන්නු හැලි අරක්කු බැරල් එකක් වාගේ එක චීනයෙං එතුමා සල්ලි දීලා ගත්තු චන්ද්‍රිකාවය.. ඕක ගත්තු අලුතම ලෝකෙ වටේ රවුම් බාගයක් ද කොහෙද ගියා කියලා ඒ කාලෙම පත්තරේක තිබ්බාය. ශ්‍රී ලංකාවටද දැං චන්ද්‍රිකාවක් තියනවාය කියා ඩිනමින පත්තරේ එහෙම ඒ දවස්වල කිව්වේ පොල්ගෙඩි සයිස් අකුරු වලින් යුතු සිරස්තල දාලාය.

" අනේ අප්පේ කොච්චර දෙයක්ද? රට සුකිත මුදිත කරලා අපිට දැං තිබ්බ ලොකුම අඩුපාඩුව ඒකය. දැං ඔන්න එතුමාට පිංසිද්ද වෙන්ට ඒ අඩුපාඩුවත් සම්පූර්ණයි නෙවද? " 

එහෙම කියමින් අපි කවුරුත් ඒ දවස්වල චන්ද්‍රිකාව සිංහ කොඩියකුත් ගහගෙන, ලෝකෙ වටේ යනවා යනවා බලන්ට, කමින් හිටපු බත්පත පැත්තක දමා, මිදුල් වලට පැන්නෙමු.ඇස් රිදෙන තුරු උඩබලා හිට ජයගෝසා ද නැඟූවෙමු. එතුමාගේ පිංතූර කෝටුවල ගහලා හිට උඩට උස්සලා දස අතේ වනමින් ඔල්වසරන් දුන්නෙමු. ඇඳ පැලඳ හිටි සරං, කලිසං, සාරි, සහ එතනිං ගිහාම ගවුං ගලවා හිස වටා සිසාරවමින් ඔල්වරසං දුන්නෙමු. 

ඔය චන්ද්‍රිකාව චීන්නුංගෙං ගත්තේ තනිකරම මැදමුලන එතුමාගේ ප්‍රම්ප්‍රාගත හේනේ කුරහං විකුණලා ගත්ත සල්ලිවලිං නිසා ලෝකෙ වටේ රවුම් බාගයක් දිව්වට පස්සෙ ඒක කොට උඩ ගියපු එකගැන එතුමාගේ කොයියම්ම තරහ කාරයෙකුට වුනත් වැරැද්දක් කියන්ට බැරිය. දැං ඔය නැව් නේන වරාය, මොනරු පිල්විදහාගෙන නටන ආසියන්තරා පිට්ටනිය, විහාරමහාදේවී උද්දියානෙ හදපු රංගසාලාව වගෙ අටමගල් වලට වුනත් එතුමාගේ නම දාගත්තු එක ගැන කාටවත් එක වචනයක්වත් කියන්ට බැරිය. ඒ එකක්කත් මහජන සල්ලි වලින් හදපුවා නෙවෙයිය. එව්වා ඔක්කොම හැදුවෙ මැදමුලන එතුමාගේ පාරම්පරික කුරහං හේනේ ආදායමිං බව දන්නෝ දනිති. ඒ ගැන නොදැන ආඩපාලි කියන්නෝ ඉස් මුදුනට බැටං පොලු පාරක් පත බෑවිලා මොළගෙඩිය සුට්ටක් හෙල්ලුනාට පසු ඇත්ත සිද්දිය අවබෝද කරගන්නෝය. ඒ කාලේ වැඩ සිද්ද වුනේ අන්න එහෙමය.

" හරි..චිංචි පුතා..එහෙනං වැඩේ කරගෙන යන්ටකො..මට යන්ට තියෙනවා වැලිකඩ.." එතුමා එතනින් පිටවී මල් දෝවනය කරන වතුරමල ගාවට ගියේ මූණ කට ටිකක හෝදාගෙන දිනපතා වැලිකඩ යන ගමනට ලෑස්තිවෙන්ටය. එතුමාගේ ගෝල බාලයිංගෙං සීයට පණහක් දැං ඉන්නේ එක්කෝ වැලිකඩ රිමං එකේය. එහෙම නැත්තං ඇප මතය.

" හපෝයි මුංට මෙව්ව කරන්ට කියල මම කිව්ව එක හැබෑව..ඒත් අහුවෙන්ට කරන්ටය කියල මම කිව්වද? මුං දැනගන්ට එපාය කරන මඟුලක් අහුනෙවෙන්ට කරන්ට. ඒකෙනුත් මටමයි කරදරේ..ඇයි මේ තක්කඩි බලන්ට හිරගෙදර යන්ට එපාය.." තොල් මතුරමින් එතුමා මූන කට හෝදා ජාතික බැනියම දෙතුං වරක් ගසලා දාලා එහෙම ඇඳගත්තේය.

ඒ එක්කම අබයාරාමෙ ගේට්ටුවෙං ගාල කඩාගත්තා වාගෙ ඇතුල් වුනේ පනහක හැටක පමණ සේනාවකි. ඒ එතුමාගේ ගමේ කට්ටිය බව එතුමා අඳුනාගත්තේ සෙනඟ තලේ ඉස්සරහිම්ම එන ගුණේරිස් අයියා දැකීමෙනි. ගුණේරිස් එතුමා මුල්කිරිගල අතුරු මැතිවරනය කාලෙ හිරේ හිටිය දවස්වල ඉඳලම එතුමාට පණ වුනත් දෙන්නට තරම් සූදානම් හිතවතෙකි.

" මොකද ගුණේරිස් අයියා?..." එතුමා ඇසුවේ කුරහං සාටකේ කරේ දමාගන්නා අතරේය.

" ඔබතුමාට මේ පාර මහ චන්දෙට අපේක්සකකම ලැබෙන පාටක් නෑ වගේ නේද? " ගුණේරිස් අයියා ලඟටම කිට්ටුවී හෙමීට ඇසුවේය.

එතුමා මුලිම්ම ලෝඩ් පකීර් වගේ කෙලිම්ම ඉල්ලා හිටියේ අගමැති අපේක්සක කමය. ඒක හරි නොයන බව දැනුනුවිට ජාතික ලයිස්තුවෙං පාර්ලිමේන්තුවට රිංගන්ට බැලුවේය. ඒකත් කෙලවුනු තැන නිකං අපේක්සක කමක්වත් ඉල්ලා සිටියේය. ඒකත් එකහෙලාම ප්‍රතික්සේප විය.

" ඒකනෙ බලාපංකො ගුණේරිස් අයියෙ..මේ මිනිස්සුංට කිසිම කෙලෙහි ගුනයක් නැති හැටියක්.මට අපේක්සක කමවත් නොදෙන හැඩක් තමයි තියෙන්නෙ.." එතුමා එහෙම කීවේ බෝමත්ම කනගාටුවෙනි. 

" ඔබතුමා කිසිදේකට බයවෙන්ට එපා..කවුරු නැතිවුනත් ඔබ තුමාට අපි ඉන්නව. අපි මේ ආවෙ ඔබතුමාට යෝජනාවක් අරගෙනයි. ඔබතුමා මේ රටට වැඩක් කරන්ට ඕන තව දුරටත්. ඒක වලක්වන්ට කාටවත්ම අපි ඉඩ දෙන්නෙ නෑ." 

" ඒක නේන්නං ගුණේරිස් අයියෙ බලාපංකො..මම මේ චන්ද ලක්ස හතරකිං පැරදිලත් ගෙදර යන්නෙ නැතුව රෑ දවල් දෙකේ මේ දඟලන්නෙ කිරිපණු ගායටද? නෑ...මගේ රට ජාතිය ආගම වෙනුවෙන් ( දේයි..දේයි..දේයි..තුංවරක් පපුවට ගසාගනී. ගුණේරිස් අයියා ප්‍රධාන පිරිස තූස්නිම්බූතව බලා හිඳිති ) මගේ අනුපමේය සේවය තව දුරටත් ලබාදීමේ පරම පවිත්‍ර චේතනාවෙන් නේද? ඇයි මේ මිනිස්සු මට ඒකට ඉඩ නොදෙන්නෙ? "

" හරි..හරි..ඒක තමයි අපිත් කියන්නෙ..ඔබ තුමාගෙ සේවය තවදුරටත් අපිට ( මේ මොහොතේ එතුමා යලිත් දෙවරක් පපුවට ගසා ගනී. දේයි..දේයි...) අවශ්‍යයයි.. අපි ඒකට යෝජනාවක් කරන්ටයි මේ තකහනියක් ආවෙ. "

" හරි මොකක්ද ඉතිං ඔය යෝජනාව? රට ජාතිය වෙනුවෙං මැරෙනකල්ම සේවය කරන එක තමයි මගේ එකම අදිෂ්ඨානය…"

" අපේ යෝජනාව මෙහෙමයි…….. ඔබතුමා....."

එතුමා මේ අවස්තාවේ අත ඔසවා කතාවට ගුණේරිස් අයියාගේ කතාවට බාදා කලේය..." මට අමතක වුනානෙ අර රට ජතිය වෙනුවෙං කියල කිව්ව වෙලාවෙ පපුවට ගහ ගන්ට..හරි කමක් නෑ..දැං ගහගමු..දේයි..දේයි..හරි පපුවට ගහගෙන ඉවරයි කියමුකො.දැං මොකක්ද ඔහෙලගෙ යෝජනාව…"

" අපේ යෝජනාව මේකයි. දැං මේ හෙට අනිද්දම වගෙ ප්‍රාදේසීය සබා චන්දෙත් තියනවනෙ. ඔබතුමා ඉල්ලන්ට මැදමුලන ප්‍රාදේසීය සබාවෙ සබාපතිකමට. මොකද කියන්නෙ? කැමතියි නේද? "

" අපොයි ගුණේරිස් අයියෙ මං කැමතියි…..මං කැමතියි….මං කැමතියි…...රට , ජාතිය වෙනුවෙන්…" ( දේයි...දේයි...දේයි )

Friday, June 19, 2015

326. අසාමාන්‍ය රංගධරයෝ කිසිදා මියනොයති. ඔවුහු සැඳෑ අඳුරට මුසුව සැඟව යනු පමණි. They never die, just fade away into twilight.


Image - Sunday Observer

ඡායා සහ ටාසන්...කෑගල්ල නගරයෙ ඒ කාලෙ තිබ්බෙ චිත්‍රපට ශාලා දෙකයි. ඒ කාලෙ කියන්නෙ 1976 අවුරුද්දෙ. නගරය මැද ලංගම බස් නැවතුම්පළ ලඟම එකිනෙකට යාර 400 වගෙ දුරින් තිබුනු ඒ ෆිල්ම් හෝල් දෙකේ ගාල තිබ්බ පාටත් මට තාම මතකයි. ඡායා හෝල් එකේ ගාල තිබ්බෙ රෝස පාට..ටාසන් එකේ අළුපාට. 

පෞද්ගලික බස් රථවලට ඒ කාලෙ අවසර තිබ්බෙ වන්දනාගමන්, අධ්‍යාපන චාරිකා, මළගෙවල් ට්‍රිප් වගෙ එව්ව යන්ට විතරයි. පෞද්ගලික බස් වලට පොදු මගී ප්‍රවාහණයට අවසර ලබාදුන්නු ජේ.ආර්. ගෙ යූ.ඇන්.පී. ආණ්ඩුව බලයට පත්වෙන්නෙ තව අවුරුද්දකට වගෙ පස්සෙ. ටාසන් පෞද්ගලික බස් රථ සමාගම ඒ කාලෙ කෑගල්ලෙ විතරක් නෙවෙයි මධ්‍යම පළාතෙත් කුරුණෑගල පැත්තෙත් ප්‍රසිද්ධයි. ටාසන් හෝල් එකයි බස් කොම්පැණියයි දෙකම එකම සමාගමේ. ඒ නිසා බොහොමයක් දවස්වල අපි 9.30 චිත්‍රපට දර්ශණය බලල එළියට එනකොට හෝල් එක ඉස්සරහ මිදුලෙ ටාසන් බස් දෙක තුනක් ගාල් කරල තිබ්බ. 

අද වෙනකොට නම් ටාසන් හෝල් එක ඉස්සරහ එහෙම ඉඩ පහසුවක් නෑ. අවුරුදු හත අටකට උඩදි දවසක් බස් එකේ කොළඹ යද්දි මම දැක්ක ටාසන් හෝල් එක ඉස්සරහ තිබ්බ ඒ බිම් කොටසෙ කඩ සාප්පු සංකීර්ණයක් ඉදිකරල තියනව.ආ...තව එකක්...ඡායා හෝල් එක පැත්තකිනුත් මිලානෝ කියල තවත් ෆිල්ම් හෝල් එකක් පස්සෙ කාලෙක හදල තියනව.

අප්පච්චිට උසස්වීමකුත් එක්ක ස්ථාන මාරුවක් ලැබුන හින්ද අපේ පවුලෙ අනික් අය මාව කෑගල්ලෙ නවත්තල 1975 අවුරුද්දෙ අන්තිමේ ගියා අනුරාධපුරේට. ඊලඟ අවුරුද්දෙ අන්තිමට ජා.පො.අ.ස. විභාගෙ ලියන්ට නියමිතව තිබුන නිසා මට කෑගල්ලෙම නවතින්ට වුනා.එහෙම වෙන්ට හේතුව ප්‍රාග් වෘත්තිය 2 විෂයට මම කරපු මෝටර් යාන්ත්‍රික විද්‍යාව විෂයය උගන්වන ඉස්කෝලයක් අනුරාධපුරේ තිබුනෙ නෑ.

අවුරුදු හතරක් උගන්වන විෂයයක් අන්තිම අවුරුද්දෙදි වෙනස්කරල වෙනම විෂයක් විභාගෙකට කරන්ට බැරිනිසාම මම එකේ පන්තියෙ ඉඳලම මගෙ හොඳම යාලුවගෙ ගෙදර අවුරුද්දකට නැවතුනා.කෑගල්ලෙ පොලීසිය පහුකරල නුවර පාර අයිනෙම බොහොම සේසයක් දුර එයාලගෙ ගෙවල් තිබ්බෙ. ඒ හරියට කියන්නෙ මීපිටිය.ඒ කිට්ටුවම තිබ්බ පොලිස් නිල නිවාසවල ඒ දවස්වල හිටිය නැඟීඑන තරුණ වාදකයෙක්. රූකාන්ත ගුණතිලක.

මගෙ යාලුවට තිබ්බ පෙර-යොවුන් වියේ ආකර්ෂණයක් (A Pre-teenage Crush ) එක්තරා රූමත් යොවුන් නිළියක් කෙරෙහි. ඈ නීටා ප්‍රනාන්දු.

76 අවුරුද්දෙ මැද භාගයෙ විතර නීටා රඟපෑ චිත්‍රපටයක් ප්‍රදර්ශනය වුනා. විජය ධර්මශ්‍රී ගේ පළමු අධ්‍යක්ෂණය..චිත්‍රපටය දුහුළු මලක්...

දුහුළු මලක් චිත්‍රපට ටෝනි කලේ ප්‍රධාන චරිතය නෙවෙයි.අනියම් පෙමක පටලැවෙන තරුණ කාන්තාවකගේ සැමියාගේ භූමිකාව....ඒ භූමිකාව ඔහු කොපමණ අපූරුවට ඉදිරිපත් කලාද කියතොත් ප්‍රධාන චරිත රඟපෑ නීටා සහ රවීන්ද්‍රගේ නම් මට අද මතකයට නඟාගත නොහැකි වුවත් ටෝනි රඟපෑ චරිතයේ නම මට අදත් මතකයි..සුරවීර...නීටා ඔහුට කතා කරන්නෙ සුරේ කියල." අනේ ඇයි සුරේ මේ? ඇයි ඔයා මේ විදිහට හැසිරෙන්නෙ? " නීටා ටෝනිගෙන් එහෙම අහන්නෙ නීටාගේ අනියම් පෙම පිළිබඳව ටෝනිට යම් සැකයක් මතුවුනු දා රාත්‍රියෙහිදී........

දුහුළු මලක් චිත්‍රපටය ගැන කිවයුතු අනෙක් වැදගත්ම කාරණය එහි අඩංගුවුනු අපූරු ගීත. 

රන්කෙන්දෙන් බැඳ අතැඟිලි එක්කල ආදරයයි, 
පෙම් රැහැණින් බැඳ සිතුම් වසඟකල ආදරයයි, 

බොඳ මීදුම් කඳුරැල්ලේ, සුරංගනා රජ දහනේ, 
ඔබේ සිනා කඳුළු බිඳක් හෙටත් වාසනා හෙටත් වාසනාවන්….

අවුරුදු හතළිහකට ආසන්න කාලයක් ගිහිල්ලත් තවමත් ඉඳහිටලා ඉබේටම වගෙ මගෙ මුවින් මිමිණෙන ගීත දෙකක්. ඒ සුප්‍රසිද්ධ ගීත දෙකට අමතරව දුහුළු මලක් එකේ තිබ්බ තවත් එතරම් ප්‍රසිද්ධ නොවුනු අපූරු ගීතයක්. මිල්ටන් මල්ලවාරච්චි නම්වූ ගායකයා කිව්වෙ..

රෝමය ලෙසේ...අතීතයේ...
ගිණි ඇවිලේ ගිණි ඇවිලේ යෞවන සිත් නගරේ..
වෙණවයා සැනසෙමූ..නීරෝ...වගෙඅපී..
වෙණ වයා සැනසෙමූ..නීරෝ...වගෙ අපී..

ඒ අවුරුද්දෙම දුහුළු මලක් එකට පස්සෙ තිරගතවුනා මංගලා චිත්‍රපටය.. ඒ කාලෙ ආණ්ඩු කරපු සමගි පෙරමුණු රජයෙ වෙළඳ ඇමති පදවිය දරපු ටී.බී. ඉලංගරත්න මහත්මයගෙ නවකතාවක් ඇසුරින් කරපු නිර්මාණයක්. ඒ කාලෙ ඉලංහරත්න මහත්මයගෙ පොත්වලින් චිත්‍රපට ගහන රැල්ලක් තිබ්බා. මංගලා, තිලක හා තිලකා, නෑදෑයෝ,සසර, ළසඳා, ඉලංගරත්න මහත්මයගෙ ඔය ඔක්කොම පොත්වලින් චිත්‍රපට ගැහැව්ව. දැන් අර රූපවාහිනියෙ ලොක්කා වෙලා ඉන්න මනුස්සයා මිනිහගෙ අර දෙකයි පණහෙ චිත්‍රපට ඔක්කොම රූපවාහිනියෙ පෙන්නනව වගේ....හෙහ්,හෙහ්, 

මංගලා ෆිල්ම් එකෙත් ප්‍රධාන චරිතය රඟපෑවෙ නීටා....මම අර කලින් කිව්වෙ මගෙ යාලුවා.....මිනිහගෙ ක්‍රෂ් එක මේ වනකොට අසාධ්‍යය තත්ත්වයට ඇවිල්ලයි තිබ්බෙ. මිනිහ කොහොමහරි අපේ පංතියෙ හිටපු යාලුවෙක්ගෙ මාර්ගයෙන් ( ඒ යාලුවගෙ අයිය කෙනෙක් වැඩකලා ඡායා හෝල් එකේ කැන්ටිමේ ) මංගලා ෆිල්ම් එකේ අඩි 3 x අඩි 2 වගෙ පෝස්ටර් එකක් හොයාගෙන මිනිහගෙ ඇඳ ඉහත්තාවෙ බිත්තියෙ අලව ගත්ත. 

හැමදාම රෑට නිදාගන්ට ගිහිල්ල මනුස්සය ඇඳේ දහරමණ්ඩිය ගොතාගෙන නීටගෙ පෝස්ටරේ දිහා බලා ඉන්නව එක විනාඩි දහයක් පාළහක් තරම. මට නේද? විකාරද අමරදේව....

අනික ඔය චිත්‍රකතා සහ චිත්‍රකතා පොත් නැඟල යන කාලෙ. ලන්දේසි හටන ( 1-8 දක්වා කොටස් අටක් තිබ්බා ) පහන් තරුව, සඳ කුමරිය, බිලි පූජාව, ඒ කාලෙ ප්‍රසිද්ධ වෙච්චි චිත්‍රකතා පොත්, ලන්දේසි හටන සහ පහන් තරුව ඇන්දෙ සුසිල් ප්‍රේමරත්න.

රූ රැසේ අඳිනා ලෙසේ අත් ලෙළදිදී විදුලිය පබා... 
රන් රසේ එක් වන ලෙසේ වෙණ නාද නූ පා තබ තබා... 
කම් පසේ දෙන සර ලෙසේ දෙස බල බලා නෙතඟින් සබා... 
මම් කෙසේ පවසම් එසේ වර සුර ළඳුන් දුන් රඟ සොබා..." 

ගුත්තිල කාව්‍යයෙ සඳහන් වෙන සුරඟන රැඟුම් ගැන කියවෙන ඒ ගීතය ගැයුවෙ සුසිල් ප්‍රේමරත්න සහ ලතා වල්පොල.රූපවාහිනියෙ ඒ කාලෙ මාසෙකට වතාවක් ප්‍රචාරය වෙච්චි වෙච්චි නන්දන වින්දන වැඩ සටහනේ සුසිල් ප්‍රේමරත්න චිත්‍ර ඵලකයක් ඉස්සරහ ඉඳගෙන රූ රැසේ අඳිනා ලෙසේ ගීතය ගායනා කරන දර්ශනය මට කිසිදාක අන්මතක වෙන එකක් නෑ. ගීතය ගයන අතරේ ඔහු තම පින්සල් තුඩඟින් ඵලකය මත නර්තනයේ යෙදෙන දෙවඟනන්ගේ රූ සිරි මැවූ අයුරු විස්මය ජනකයි. ඔහු ගීතය ගායනය කරලා අවසාන වන විට චිත්‍ර ඵලකය මත ගුත්තිලයන්ගේ වෙණ නද අනුව පා තබමින් නර්තනයේ යෙදෙන දෙවඟනන් නිරූපණය වී අවසන්. කලාවේ නෛසර්ගික හැකියාව කියන්නෙ අන්න ඒක.

දයා රාජපක්ෂ..ඒ තවත් එදවස අපේ හද බැඳගත් චිත්‍ර ශිල්පියෙක්. ඔහුගේ හුලවාලි චිත්‍රකතාව පදනම් කරගෙන නිපදවුනු හුලවාලි චිත්‍රපටයේ ටෝනි නිරූපණය කලේ දුහුළු මලක් චිත්‍රපටයේ ඔහු නිරූපණය කල චරිතයට ඉඳුරාම ප්‍රතිවිරුද්ධ චරිතයයි. දුහුළු මලක් හි ඔහු තම බිරිඳගේ අනියම් සබඳකම හේතුකොටගෙන වේදනා විඳිනා ස්වාමියා වන විට හුලවාලිහි ඔහු රොඩී රැහේ නායක ධාරාගේ අඹුව වූ සුබා හා පෙමින් වෙලී ඈ හා පළායන බිබිලේ ඇත්තෝ නම් වෙළෙන්දාගේ භූමිකාව නිරූපණය කලා.

පෙම්බර මධූ...ඒ ටෝනි රඟපෑ තවත් චිත්‍රපටයක්. පෙම්බර මධූ එක් අතකින් සුවිශේෂී චිත්‍රපටයක්. ඒ වනාහී අවසානයක් දෙකක් සහිත ප්‍රථම සිංහල චිත්‍රපටයයි. දවසක් හැර දවසක් සේ පෙම්බර මධූ ප්‍රදර්ශනය කෙරෙන සිනමා ශාලාවල ඒ අවසානයන් දෙක නැරඹීමට ප්‍රේක්ෂකයින්ට අවස්ථාව ලබුනා.

1979 වසරේ විතර වගෙ මට මතක ...සරසවිය පත්තරේ අනුග්‍රහයෙන් " එදා මෙදාතුර සිංහල සිනමාවේ මංසලකුණු සනිටුහන් කල සිතුවම් පට " යන මැයෙන් 
චිත්‍ර
පට උළෙලක් කොළඹ රීගල් සිනමාහලේ පැවත්වුනා. ඒ චිත්‍රපට උළෙලේදී ගම් පෙරළියේ බලදාස සහ පරසතුමල් හි බොනී මහත්තයාගේ වතුපිටි පාලනය කරන සුපවයිසර් වරයා මට හමුවුනා. ඒ චරිත දෙකම විශිෂ්ට අයුරින් නිරූපණය කලේ ටෝනි.


බටහිර අහස රතු සිත්තම් මැකුණාවේ 
දෙනිපෙත අඩනහිරියා මල් පිපුණාවේ 
මා ආදරය දුටුබව නොම හැඟුණාවේ 
මා නැති කලෙක උන් සුවඳක් දැනුනාවේ 

පරසතුමල් 
චිත්‍ර
පටය අවසාන වෙන්නෙ ගාමිණී ෆොන්සේකාගේ හඬින්ම ගැයෙන ඒ ශෝකීරාවය සවන් විනිවිද යද්දි.

හන්තානේ කතාව චිත්‍රපටය මම නැරඹුවෙ බොහොම පස්සෙ කාලෙක රූපවාහිනියෙ ප්‍රදර්ශනය කරද්දි. ටෝනි, විජය සහ ස්වර්ණා සමඟ හන්තානේ කතාවෙත් ප්‍රධාන චරිතයක් රඟපෑවා.

ටෝනිගේ කුසලතා පරාසය රඟපෑමට විතරක් සීමා වුනේ නෑ. 

චිත්‍රපට තිරනාටක රචනය - කොටි වලිගය, අවරගිර, තරණය, දුවට මවක මිස, කෙළිමඬල හා පවුරු වළලු

වේදිකා රංගනය - බෝඩිංකාරයෝ, තට්ටු ගෙවල්, රන්තෝඩු, වැනිසියේ වෙළෙන්දා, හරිම බඩු හයක්, අවි, ගිම්හානේ රැයක දුටු සිහිනයක්

වේදිකා නාට්‍යය අධ්‍යක්ෂණය - දොළොස්වැනි රාත්‍රිය, ජුලියස් සීසර් 

එතරම් ප්‍රසිද්ධ නොවූවද ඔහු නවකථා රචකයකුද විය -ආදරණීය අයිරා, ජෝගි හමාරයි, මට කවුරුවත් ආදරේ නෑ හා හැමදාම ඔබ මගේ 

අතිවිශිෂ්ඨ රංග ප්‍රතිභාවකට උරුමකම් කීවද තම සහජ හැකියාවෙන් උපයාගත් මහජන ප්‍රසාදය, සිවිල් බලය ඔහු කිසිදා ගණිකා වෘත්තියෙහි නොයෙදීය. ඔහු කිසිදිනෙක කිසිවකුගේ සට්ටඹියකු නොවීය. බොහෝ කළාකරුවන් දේශපාලන වේදිකාවට ගොඩනැඟි 2005 වසරේදී පවා ඔහු කිසිදු පුද්ගලයෙකුට මනාපය ප්‍රකාශ කරන ලෙස අපගෙන් ඉල්ලා නොසිටියේය. ඒ ටෝනිගේ අධීනත්වයයි. ඒ ඔහුගේ පෞරුෂත්වයයි. 

ඔබට සුබ ගමන් අනුපමේය රංගධරයාණනි!!!

Image - Sunday Observer

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...