Friday, July 31, 2015

337. අබයාරාමයේ විත්ති 4 - මරා ඡන්ද වැඩට පාවිච්චි කරන නිලරථය වෙනුවෙන් මුදල් ගෙවීම නොහොත් මිහිකත කම්පාවී ගුගුරා දෙස්දීම.


Ravaya Cartoon



අබයාරාමය ඉහලින් බටහිර අහසේ හිරු බැසයමින් පැවතිණි. බෝධියෙහි අතුපතර සැඟව කෙළිදෙලෙන් පසුවන පරවියන් යුවලකගෙන් ගිලිහුනු සුදුවන් පියාපතක් මද සුළඟේ එහා මෙහා පාවෙමින් අවුත් බණ මඩුවේ පිඟන් ගඩොල් ඇතිරූ පොළව මත පතිත විය. එදෙස මොහොතක් බලා සිටි හිටපු ජනාධිපතිතුමා දෑස් ඔසවා තමා ඉදිරියෙහි රැස්ව සිටියවුන් දෙස ඔරවා බැලීය.

" කෝ..මේ මාද්දිය ඒකකේ කට්ටිය?.... ඉන්නවද ඇවිල්ල? "

" ඉන්නව සෑර්……………" මාද්දිය ඒකකේ ප්‍රදානියා අත ඔසවා පැවසීය.

" ඉන්නව තමයි......ඕයි මේ......... යමක් කියනකොට සිහි බුද්දිය ඇතුව ඒක කියන්ට පුරුදුවෙනවල." 

" ඇයි සෑර් එහෙම කියන්නෙ? "

" එහෙම කියන්නෙ?....දැං බලනව අර අකුරැස්සෙ කේස් එක..අර කවුද මගෙ ඇඟිල්ලක් අඹරවපු මිනිහට මම දෙකක් දෙන්ට ගියා තමයි.....ඒත් තමුසෙ ඒක ගැන කියල තිබ්බෙ කොහොමද? හිටපු ජනාධිපතිතුමාට හිරිහැර කිරීමට සූදනම් වූ පුද්ගලයෙකුට එරෙහිම එතුමා තම ආරක්ෂාව සඳහා කටයුතු කලයි කියල ..මොකක්ද ඕයි ඒ කුණුහරුප කතාව? මොකක්ද මට කරන්ට ආපු හිරිහැරේ? දන්නවද දැං රටපුරා යන ආරංචිය මොකද්ද කියල? "

" නෑ සර් ….මොකද්ද? "

" මොකද්ද තමයි..දැං හැමෝම කියන්නෙ ඒ මිනිහ මයෙ අංගජාතෙ මිරිකන්ඩ හැදුවයි කියල. මතකනෙ අපෙ එවුං පාර්ලිමේන්තුවෙදි අර හාමුදුරු කෙනෙක්ට ඔය වැඩේ කරන්ට ගිහිල්ල වෙච්චි කලබැගෑනිය?..... ඒ හින්ද ඕයි මම මේ හොඳිං කියන්නෙ මීට පස්සෙ ඔය ප්‍රවෘත්ති නිවේදන නිකුත් කරනකොට මගෙං ඉස්සෙල්ල අහල ඉන්නව. නැත්තං දන්නවනෙ මොකද වෙන්නෙ කියල?.......දන්නෙ නැත්තං අහනව අපේ ඔය සන්ධානෙ ලේකං තුමාගෙං ඊගාවට මොකද වෙන්නෙ කියල ....එතුමා හොඳට දන්නව ඒ ගැන. ...ඒ මනුස්සයට බොහොම දරුනු ප්‍රායෝගික අද්දැකීං තියනව ඒ ගැන...හිහ්...හිහ් "

" ඇත්තටම සෑර් …..මොකද එතන වුනේ? "

මරාගෙ කණට කරල එහෙම ඇහුවෙ එතුමා ලඟම වාඩිවෙලා හිටිය මෝඩවන්ස තුමාය. මේ පාර චන්දෙදි මෝඩවන්ස තුමාගේ සුපුරුදු ස්වරාලය නොහොත් සවුන්ස් බොක්ස් එක අතේ අරගෙන නහර වැල් උලුප්පා යටිගිරියෙන් දෙසාබාන බටහිර අදිරාජ්ජවාදී කුරුමන්තරන කතාව එතුමා කියන්නේ නැත. එයට හේතුවනම් මරා චන්ද වියාපාරය ආරම්බයේදීම මෙසේ කියා තිබීමය.

" මේ ඕයි ගිරිය පුප්පගෙන ඔය අදිරාජ්ජ කුමන්තරන බහුබූතෙ ආයෙම කියන්නෙ එහෙම නෑ හොඳද? ඒක දැං මටම ඇතිවෙලයි තියෙන්නෙ. වෙන මොකක් හරි අලුත් බොරුවක් ගොතාගන්ට බැරිනං කටයි පුකයි වහගෙන සද්ද නැතුව ඉන්නව. " 

ඒ අවවාදය ඉහමුදුනිම්ම පිළිගත් මෝඩවන්ස තුමා මෙවර ජාතියේ වීරවන්සය ලියන්නට සහ දැනගත්දාසිට කැප්පෙටිපොලට කෙලින්ට පෙරුම් පිරුවායයි මොකක්දෝ බහුබූතයක් ලියූ මෙලොව යකෙකුට නොතේරෙන පෝස්ටර් තාප්පයක් ගානෙ ඇලවීමෙං සෑහීමට පත්වුනේය.

" එතන වුනේ බං අර මිනිහ මගෙ බෝලෙ ඌරුතෙල් ගාන්ට ආවනෙ. "

" මොන බෝලෙද?..." මෝඩවන්ස තුමා ඇස් ලොකු කරල ඇහුව. 

" මොන බෝලෙද කියන්නෙ? …..ඇයි යකෝ මම අර කොයි වෙලෙත් අතේ මිරික මිරික ඉන්න මහා බලගතු බෝලෙ..වෙන අහවල් බිබික්කමක්ද? "

ඇයි බොල ගොං අම්බරුවො..ඔය බෝලෙ පැය විසිහතරෙම මිරික මිරික ඉඳලත් නේද ජනාදිපතිවරනෙත් කෙලවෙලා ගියේ?... ගරු කටයුතු මෝඩවන්ස තුමා එහෙම ඇහුවේ නැත. හිතින් හිතුවා විතරය.එහෙම අහලා නවලෝකෙ බිල් ගෙවන්ට කහන සල්ලි නැතිහින්ද එතුමා සද්ද නැතුව උන්නේය. සන්දාන ලේකම් තුමාලට වගේ නෙවෙයි නෙව ඉතිං අපිට....හ්ම්ම්ම්ම්ම්...ඒ කම්පනා සියල්ල අකාමකාහල මෝඩවන්ස තුමා හිටපු ජනාදිපති තුමා කරන්නට යන කතාවට අවදානය යොමු කලේය.

" මම අද මේ කට්ටියටම එන්ට කිව්වෙ වැදගත් කාරනේකට…... චන්දෙට පාවිච්චි කරනවනම් මගෙ නිල වාහෙනේට සල්ලි ගෙවන්ට කියල මට දන්නල තියනව. "

" සෑර් ,…….බුදු සෑර් ඒකට නම් ඉඩ දෙන්ට එපා..අපි මේකට විරුද්දව උද්ගෝසනයක් කරමු. පාර්ලිමේංතුවෙ බුදියමු. රෑට චයිනීස් ගෙනල්ල කාල පාර්ලිමේංතුවෙ බුදියගමු. " මෝඩවන්ස උඩ පැනලා කෑගැහුව නෙවෙයි කෑ ගැස්සුන.

" ඉවරද?.ආ ඉස්සෙල්ල ඉවර වෙලා ඉන්නවකො. …" මරා රවාගෙන ඇහුව.

" ඉවරයි සෑර්….."

" හ්ම්ම්ම්......එහෙනං මේකත් අගහන්නව. කලිං පාර තොපි හරක් රැල ගිහිල්ල පාර්ලිමේංතුවෙ බුදියපු එකෙං මගෙ සායම ගිය එකයි වුනේ. වෙන කෙහෙල්මලක් නෙවෙයි, අනික මේ පාර කොහොමද බූරුවො පාර්ලිමේංතුවෙ ගිහිල්ල බුදියන්නෙ?... පාර්ලිමේංතුව දැං විසුරුවල ඉවරයි, ඒක හින්ද ගොං කතා කියන්නෙ නැතුව කට වහගෙන හිටහං "

මෝඩවන්ස කටවහගත්තට පස්සෙ එතුමා ආයෙම සබාව දිහාට හැරුන.

" මට නිලරතේට ලක්සයක් ගෙවන්ට කියල තියනව. ඔය ලස්සෙ මට නතිං. ඒත් 1994 අපේ ආන්ඩුව බලයට ආවට පස්සෙ මම ඔය මොනම හරි දේකට සත පහක් හරි ගෙවනවමයි. දැං අවුරුදු විසි එකක් වෙන්ට ආව මම ඉතාම නිහතමානී ආඩම්බරේකින් මේ ඔබ තමුන්නාන්සේලා ඉස්සරහ කියන්නෙ මගෙවත් මගෙ පවුලගෙවත් මගෙ දරුවංගෙවත් කිසිම දේකට මගෙ අතිං මම සත පහක් වියදං කරල නෑ. ඔව්...අන්න එහෙමයි මම. එහෙම හිටපු මට තමයි මේ දේසද්දොරෝහියො මේ ගුනමකුවො කියන්නෙ මම පාවිච්චි කරන වාහනේට ලක්සයක් ගෙවන්ට කියල. ඒත් මිත්තරවරුනි මගේ රට ජාතිය ආගම වෙනුවෙං මම ලෑස්තියි......ඔව්....මම ලෑස්තියි.... " 

( දෙයි..දේයි..දේයි..ඒ මවිල් කොවිල්වන හඬ, ඒ හීගඩු පුප්පවන හඬ දසත සිසාරා යයි ... ඕකේ රිපීට් වන්ස් අගේන්..දේයි....දේයි..දේයි...රායිට් වන්ස් මෝ...දේයි....දේයි..දේයි )

" හරි සර්…..අපි මෙහෙම කරමු. ….." මාද්දිය ලොක්කා නැඟිට්ට. 

" හරි කියනව බලන්ට මොකක් හරි අපිට වාසියක් වෙන වැඩක්. නිකං මේ ගොං කතාවක් නැතුව...."

" ඔය සල්ලි ගෙවන වැඩෙං අපි වාසියක් ගමු…….." 

" හ්ම්ම්ම්. අන්න හරි..කියනව බලන්ට. ඕනම දේකිං වාසියක් ගන්ට පුලුවන්නං මම ලෑස්තියි. මම ඒකාලෙ ඉඳම්ම කලෙත් එහෙමනෙ. දැං බලමු අර සුනාමිය වෙලාවෙ……"

" සෑර් මේ..එව්ව හාර අවුස්සන්ට ඕන නෑ මේ වෙලාවෙ….."

මාද්දිය ලොක්කා වහා කීවෙ ලොක්කා කට වරද්දාගන්නට උපං හපනෙකු බව දන්නා නිසාය. ජනාදිපතිවරන වෙලාවෙ කිව්ව පයිල් හංගාගෙන ඉන්න කතාව ඒ වගෙ හත්පලේ ගා ගත්තු මරිමෝඩ කතාවක්ය.

" හ්ම්ම්ම්ම්. …..ඒකත් ඇත්ත තමයි අර කවුදත් කියනව වගෙ ගියදේ ගියාවෙ. හරි තමුසෙ මොකද්ද දැං කියන්ට ආවෙ? අන්න ඒක කියල ඉන්නව ඉස්සෙල්ල. "

" මම මේ කියන්ට ආවෙ….. ..අපි මෙහෙම කරමු කියල. ඔය ලස්සෙ ගෙවන එක අපි උත්සවාකාරෙං කරමු…..ටී.වී. පත්තර ඔය ඔක්කෝටම එන්ටෙයි කියල ආරාදනා කරල එහෙම "

" ඈ???.......... ඒ මොකටද ඒ? "

" ඉන්නකො කියනකල්..ලක්සෙ අපි ගෙනියන්නෙ දාහෙ කොලවලිං….. ලක්සෙට දාගෙ කොල කීයක් තියනවද? "

" කවුද බං ඔව්ව දන්නෙ?..... අනික කවුද සල්ලි වලිං  ගණුදෙනු කරන්නෙ? ….සීෂෙල්ස් වල එකවුන්ට් නම්බර් එක දුන්න…"

" ෂ්ෂ්ෂ්ෂ්....,…..සර් සර්...මොනවද ඔය කියවන්නෙ? "

" අප්පට සිරි ….ඇත්තම නෙවෙන්නං තව පොඩ්ඩෙං ජලා හුටා...හොඳ වෙලාවට මෙතන ඉන්නෙ අපේ එවුම්ම විතරයි. හරි එව්ව ඇරිච්චාවෙ..තමුසෙ කියාගෙන ආපු එක කියනව. "

" ලක්සෙ ගෙනියන්නෙ දාහෙ කොලවලිං …" 

" හරි ගෙනිච්චයි කියමුකො..ඊට පස්සෙ? " 

" ඊට පස්සෙ කරන්නෙ සෑර් දැකල තියනවද ඔය පාර අයිනෙ එතකොට මාකට් එක ඉස්සරහ එහෙම ලොතරැයි විකුණන මිනිස්සු තෑග්ගක් දිනුව මනුස්සයට සල්ලි දෙන විදිහ? "

" නෑනෙ.. ඒ කොහොමද? …" 

" ඔන්න අපි හිතමු දහදාහක් දිනුවයි කියල. ඉස්සෙල්ලම අර මනුස්සයගෙ නම ගම එහෙම අහල ඊට පස්සෙ ලවුස්කීපරෙං අහල ගං හතටම ඇහෙංට එලවුන්ස් කරලයි සල්ලි දෙන්නෙ. ඔන්න මෙහෙමයි. ඉස්සෙල්ලම රුපියල් දාහයි කියල ලවුස්කීපරෙං කියල අර මිනිහට රුපියල් දාහක් දෙනව. ඊට පස්සෙ රටේ නැති වල්පල් ටිකක් කියනව ලොතරැයි ගන්න එකේ තියන වාසි සහ ලාබ පොරෝජන ගැන., ඊලඟට තව දාහක් දෙනව. දැං දෙදාහයි කියල එවුන්ස් කරනව. ආයම තව මොනවහරි විලම්බීත ටිකක් කියනව. ආයම දාහක් දෙනව...ඔන්න ඔහොමයි රුපියල් දහ දාහ දෙන්නෙ. " 

" ඉතිං තමුසෙ කියන්නේ අපි මේ ලක්සෙ ගෙවන එකත් එහෙම කරමුය කියලද? " 

" මෙහෙම කරමු සෑර්. ඔන්න ඔබතුමා ගිහිල්ල එතන සල්ලි බාරගන්න කවුරුහරි බලධරයට ඉස්සරෝම රුපියල් දාහක් දෙනව, ඊට පස්සෙ පොඩි කතාවක් කරනව. කොටි පරදවපු හැටි ගැන කියමුකො. එච්චර වෙලා ගන්ට එහෙම එපා. මේ විනාඩි තුන හතරක් ඇති. " 

" හෙහ්..මරුනෙ..ඊට පස්සෙ? " 

" ඊට පස්සෙ ආයෙම තව දාහක් දෙනව. ආයම පොඩි කතාවක්...නෑ අපි කියමු ඒකට කරුනු පැහැදිලි කිරීමක්ය කියල ඒක වඩාත්ම හොඳයි......හරි කරුනු පැහැදිලි කිරීමක් කරනව.අධිරාජ්ජියවාදී කුරුමන්තරන වලින් රට බේර ගත්ත හැටි..පන පිහිටුවල දෙන්ට ඔබ තුමාගෙ නම්බර් නෝට් සෑන්ඩ් පේපර් වොයිස් එකෙං...ඊට පස්සෙ තව දාහක් දෙනව..ආයම පොඩි කතාවක්..ආයම දාහක් දෙනව ..ආයම කතාවක්. " 

" හෙහ්..ඒකනං මරු අයිඩියා එක..අම්මපල්ල උඹටත් වෙලාවකට එනව නෙව හොඳ හොඳ අපූරු කම්පනාවල්...රායිට් එහෙම කරමු. හරි ඒ වාහනේට සල්ලි ගෙවීමේ මහා වියාපුරුතියෙ මුල් පියවර හැටියට උඹලගෙ මාද්දිය ඒකකෙං නිවේදනයක් නිකුත් කරපල්ල මම මෙහෙම ලක්සයක් ගෙවන්ටයි යන්නෙ කියල……"

" හරි සෑර්..අපි එහෙම කරන්නං..ඊට පස්සෙ සෑර් ගිහිල්ල අර අපි කතා කරගත්තු විදිහට සල්ලි ගෙවන්ට. මේ සිද්ධිය ඇවිල්ල සිරි ලංකා ඉතිහාසයෙ රංවං අකුරිං ලියවෙන සුවිසේසී සිද්දියක්. ඒ හින්ද අපි නිවේදනයක් නිකුත් කරමු ඔබතුමා සල්ලි ගෙවනකොට මිහිකත කංපාවී ගුගුරා දෙස් දුන්නයි කියල. එතකොට තමයි වැඩේ නැඟලම යන්නෙ. මිනිස්සු සාදුකාරදෙයි හිටු කියල..."

Monday, July 27, 2015

336. ආදර කොමා, අනුපමා, සක්විති සුවය, හුලවාලී සහ සමුගත් වසන්තය ........ඔබට ස්තූතියි දයා!!!!


දයා රාජපක්ෂ - Google Images

කෑගල්ලේ ඒ කාලෙ අපි හිටිය කච්චේරි නිලනිවාසෙ තිබ්බෙ තරමක ලොකු වත්තක මැද්දෑවෙ. සුද්දන්ගෙ කාලෙ හදපු ඒ නිලනිවාසෙ අර බංග්ලෝ ටයිප් කියන්නෙ අන්න ඒ ජාතියෙ එකක්. ගෙදර ඉස්සරහ දෙපැත්තට විහිදුනු සුදුපාට උස කුළුණු පෙල, ගෙදර වටේ දෙපැත්තක් පැතිරුණු ඉඩ පහසු ඇති බරාඳය, ගෙදර හරහා ඉතාම පහසුවෙන් ග්‍රීෂ්ම කාලෙදි සිසිල් වාතය ගමන් කරන්නට හැකිවෙන විදිහට හදපු පොළවෙ ඉඳල සිවිලිමටම විහිදෙන විසාල දොරවල් හින්ද අපි අවුරුදු හයක් වගෙ ජීවත් වෙච්චි මේ ගෙදර හරිම ගාම්භීර පෙනුමක් තිබ්බෙ. 

පස්සෙ කාලෙක මම බොහොම ආසාවෙන් කියවපු ජිම් කෝබට් නම් බ්‍රිතාන්‍ය - ඉන්දියානු හමුදා නිලධාරියා ලියාපු ඔහු ඉන්දියාවෙ ගතකල කාලය පිළිබඳ මතක සටහන් කියවනකොට මට එක පාරටම මතකයට ආවෙ කෑගල්ලෙ අපි ජීවත්වුනු මේ නිලනිවස. ජිම් කෝබට් විස්තර කරන ඔහුගේ නිවස හරියටම ඒ වගේමයි. ජිම් කෝබට් පරම්පරා කීපයක් ඉන්දියාවෙම ඉපදුනු සුද්දෙක්. ඒ වගේම ඉන්දියාවෙම ඉපදිලා වන සතුන් විශේෂයෙන් කොටින් දඩයම් කිරීම ගැන අපූරු කතා පෙළක් ලියාපු තවත් කෙනෙක් තමයි කෙනත් ඇන්ඩර්සන්.

අද මම ලියන්නට යන මේ සටහනට කෑගල්ලෙ ඒ කොලෝනියල් බංග්ලෝ වර්ගයේ නිල නිවස මෙන්ම ජිම් කෝබට් දඩයක්කාර මහත්තයත් සම්බන්ධයි.

මම කලින් කිව්වනෙ කෑගල්ලෙ අපෙ ගෙදර තිබ්බෙ සෑහෙන තරමෙ විසාල වත්තක් මැද කියල. ගෙදර ඉඳල හේට්ටුවට තිබ්බ මයෙ හිතේ අඩු ගණනෙ යාර පණහක හැටක වගෙ තරමෙ දුරක්. විසාල මිදුල මැද තිබ්බ තණකොළ වවල හදපු ලංකාවක්. ඒ කිව්වෙ ඒ තණකොළ බිස්ස වවල තිබ්බෙ ලංකාවෙ හැඩේට. ඒක අපි කවුරුවත් කරපු දෙයක් නම් නෙවෙයි අපිට කලින් පදිංචි වෙලා හිටපු කාගෙ හරි වැඩක්. 

තණකොළ කපන මැසිමක් ඇහැටවත් දැකල නොතිබිච්ච ඒ කාලෙ වත්තෙ පිටියෙ නොයෙක් වැඩ වගේම ඔය තණකොළ බිස්ස නඩත්තු කිරිල්ලත් බාර වෙලා තිබ්බෙ අපෙ මාමට.අම්මගෙ ඒ අවිවාහක වැඩිමල් සහෝදරයා ජීවත් වුනේ අපිත් එක්ක. ඒ අත්තම්මට අමතරව. 

පරණ දුනු කොළ කෑල්ලක් කම්මලකට දීල තලල මුවත් තියල ඒකට ලී මිටක් ගහල හදාගත්තු වීසි කැත්තෙන් මාම තණකොළ බිස්සෙ තණකොළ වීසි ගහනව මට තාමත් මතකයි. පස්සෙ කාලෙක ඔය වීසි ගැහිල්ල දකිනකොට මට මතක් වෙන්නෙම ගොල්ෆ් ගහනව..හෙහ්...

හරි.... ඉතින් අපි ඒ කාලෙ දිනපතා පත්තර දෙකක් ගත්ත.ඩේලි නිව්ස් සහ දිනමිණ. කෑගල්ලෙ ලේක් හවුස් පත්තර ඒජන්සිය කලේ වි.කේ.බී. සහ පුත්‍රයෝ සමාගම. සිගරට් ඒජන්සියත් කලේ එයාලම තමයි. කෑගල්ල නගරය අවට ගෙවල් වලට පත්තර බෙදාහරින්නට එයාල යොදවල තිබ්බ බයිසිකල් කාරයො. බයිසිකලේ පිටිපස්සෙ ලගේජ් එකට තියල බැඳපු පකිස් පෙට්ටියක පත්තර වෙන වෙනම දෙකට නවල, කෙලින් හිටවල, එහෙ මෙහෙ යනවට කළු රබර් පටියකුත් දාල, වැස්ස දවසක නම් ගණකම් ඉටි කොලේකින් වහලයි පත්තරකාරයා පත්තර අරගෙන ආවෙ.

පත්තර කාරය එන්නෙ උදේ පහයි හතළිස් පහ සහ හය අතර වගෙ.ඉතින් ඇත්තටම ඔය වෙලාවට අපෙ ගෙදර යුද්දයක් වගෙ. අම්මයි අප්පච්චියි වැඩට යන්ට ලෑස්තිවෙනව. මමයි නංගිල දෙන්නයි ඉස්කෝලෙ යන්ට ලෑස්තිවෙනව. ඒ අස්සෙ අත්තම්ම අම්මගෙ දවල් බත් එක බඳිනව. එකම කැම්බැල්ලයයි. ඒ කාලෙ දැන් වගෙ හෙදියන්ගෙ සේවාමුරය පැය 6 නෙවෙයි. දැන් නම් මොකද එයාලට? .....එක්කො උදේ 7 - දවල් 1.... නැත්නම් දවල් 1 - රෑ 7..... මොන ෂෝක්ද... නැද්ද? අපෙ අම්මලගෙ සේවා මුරය ඒ කාලෙ ,දවසක් ඇර දවසක් එක්කො උදේ 7 - හවස 3 නැත්නම් උදේ 7 - රෑ 7 

ඉතින් ඔය දස මර යුද්දෙ අස්සෙ පත්තරකාරය ඇවිල්ල ගේට්ටුව ගාව බෙල් එක ගැහුවම ඉතින් යුද්දෙ දෙගුණ වෙනව. සත හැටපහක මාරු සල්ලි හොයන්ඩ එපාය. බොහොම වෙලාවට පත්තරකාරය ගාව ආපහු ඉතුරු දෙන්ට මාරු සල්ලි නෑ. ඉතිං ගාණටම සල්ලි දෙන්ට ඕන. දිනමිණ සත තිස්පහයි, ඩේලිනිව්ස් එක සත තිහයි.ඊට අමතරව අඟහරුවාදට තව සත විසි පහක් වැඩිපුර යනව... ඒ සතුට පත්තරේට. ලංකාවෙ පළවෙනි චිත්‍රකතා පත්තරේ. ආහ්හ්හ්..තව පත්තරයක් අමතකම වුනා...නවයුගය....මාසෙ 12 වෙනිදයි 26 වෙනිදයි නවයුගය පිටවෙනව. ඒක ඒ කාලෙ සත සත විස්සයි. ඒ කාලෙ අපේ ගෙදරට ඔච්චර තමයි පත්තර ගත්තෙ. ඉරිදට සිළුමිණ සහ සන්ඩේ ඔබ්සර්වර් එක.

ඉතිං මම මේ කියන්ට ආවෙ පත්තරකාරය උදේ ඇවිල්ල ගේට්ටුව ගාව බෙල් එක ගහනකොට සල්ලි හොය හොය එහෙ මෙහෙ දුවන එක මහ වදයක්..

" අම්මේ..අම්මේ...." බයිසිකල් බෙල් එක ඇහෙනකොට මම කෑගහනව. 

" මොකද ළමයො? මම මේ කුස්සියෙ .."

" අර පත්තරකාරය ඇවිල්ල බෙල් එක ගහනව..කෝ මාරු සල්ලි සත හැටපහක්? "

" හරි හරි මට දැන් එන්ට බෑ ඔතනට මාරු සල්ලි හොයන්ට...හොඳටම පරක්කු වෙලයි තියෙන්නෙ..ඔයා බලන්ටකො අර අලි පාත්තරේ ලඟ මම දැක්ක ඊයෙ මාරු සල්ලි වගයක් තියනව." 

ඒ අලි පාත්තරේ කිව්වෙ දණ ගහගෙන ඉන්න අලි තුන්දෙනෙක්ගෙ පිට උඩ අර පාත්තරයක් තියල තියන කෞතුක භාණ්ඩයක් තියෙන්නෙ. අන්න ඒකක්. අපෙ ගෙදර ඔයින් දෙකක් තියනව. පාත්තරේ අඩියක් වගෙ විෂ්කම්භය තියෙන පිත්තල එකකුයි අඟල් හයක වගෙ සයිස් කළුවර ලීයෙන් හදපු සුට්ටි එකකුයි.

" කෝ අම්මෙ පාත්තරේ ගාව සල්ලි නෑනෙ.."

" ඉතිං ඔතන ඉඳල කෑගැහුවම සල්ලි මැවෙනවද? අප්පච්චිගෙං ඉල්ලගන්ටකො ළමයො." 

පත්තර කාරයා ඇවිදිල්ල හිට බෙල් එක ගහනකොට මාරු හොයල හතීකරේ දුවන පොයියංගම හැමදාම කරන්ට බැරි හින්දම අප්පච්චි කලේ මූඩියකුත් තියන පරණ ප්ලාස්ටික් කෝප්පයක් හොයාගෙන ඇණයක් රත්කරල ඒකෙ තව් දෙකක් විදල බකට් කම්බි පොටක් ඒ තව් අස්සෙං දාල ගේට්ටුවෙ උඩම හරහට තිබ්බ යකඩ පයිප්පෙ ගැට ගැහුව. 

දැන් වැඩේ කිසි අවුලක් නෑ. මතක ඇතුව කලින්දා රෑ මාරු සල්ලි අර කෝප්පෙට දාල තියන්ටයි තියෙන්නෙ. පත්තර කාරයා උදේ ඇවිල්ල කෝප්පෙ ඇරල සල්ලි අරගෙන පත්තර නවල ගේට්ටුවෙ හරස් කූරු අස්සෙ ගහල බෙල් එක දෙපාරක් ගහල යන්ට යනව. අපි කවුරුහරි ගිහිල්ල පත්තර අරං එන එකයි තියෙන්නෙ. කලින්දා රෑ මතක ඇතුව පහුවදාට ඕන මාරු සල්ලි අම්මගෙන් ඉල්ලගෙන කෝප්පෙට දාල තියන රාජකාරියයි, පහුවදා උදේ ගිහිල්ල පත්තර අරං එන රාජකාරියයි මම බාරගත්ත ස්වේච්ඡාවෙන්ම...හෙහ්,හෙහ්,

උදේ පත්තර ගේන්ට ගේට්ටුව ගාවට ගිහාම මට ආපහු ඒ යාර පණහ හැට එන්ට යනව විනාඩි අඩුම තරමෙ දහයක් පහළවක් වගෙ තරම.

මම ඉස්සෙල්ලම ඩේලි නිව්ස් එකේ අන්තිම පිටුවෙ ක්‍රිකට් මැච්වල විස්තර බලනව.ඊලඟට දිනමිණ පත්තරේ අන්තිම පිටුවෙ දිනපතා පලවෙන චිත්‍රකතා දෙක බලනව. ඔව්ව බල බල හෙමිහිට හෙමිහිට ගාට ගාට ගෙදරට එනව. 

" මොකද ළමයො  කරන්නෙ? ඔය පත්තරේ ගෙනත් දෙනවකො විගහට. පස්සෙ බලාගන්ට බැරිය ඕක..කවුරුවත් අරං යනවය ආය? " අප්පච්චි බරාඳෙ කුළුණ ගාවට වෙලා නොයිවසිල්ලෙං කෑගහනව. 

" හරි හරි මේ එනව මේ එනව " මම අඩිය ඉක්මන් කරනව...:)

දිනමිණේ අන්තිම පිටුවෙ චිත්‍රකතා දෙක ඇන්දෙ බන්ධුල හරිශ්චන්ද්‍රයි දයා රාජපක්ෂයි.මුලින්ම තිබ්බෙ බන්ධුලගෙ චිත්‍රකථාව.රූපරාමු තුනක් වගෙ තමයි එක දවසට පළවෙන්නෙ. බන්දුල බොහෝවිට ඇන්දෙ ග්‍රීක හෝ රෝම කථා නැත්නම් ඉන්දියානු කථා එහෙමත් නැත්නම් බෞද්ධ සාහිත්‍යයෙ එන කථාවක්. බෙලරෝපන්, පෙරික්ලීස්, සින්බෑඩ්, හෙලන්, දේවස්මිතා,සිංහබාහු,..ඒ බන්ධුලගෙ කතා. දයාගෙ කතා ඊට වෙනස්. ඔහු ඇන්දෙ බොහෝවිට ස්වතන්ත්‍ර නිර්මාණ.

මම මේ සටහනේ කලින් කිව්ව මතකයි නේද ජිම් කෝබට් මගෙ මේ කතාවට සම්බන්ධයි කියල. ඒ මෙහෙමයි.දයා රාජපක්ෂගෙ මට මතක මුල්ම කතාවෙ තිබ්බ ඔය කොටියෙකුට වෙඩි තියන දඩයක්කාරයෙකුගෙ චරිතයක්. ඉන්දියාවෙ වෙන්න ඇති බොහෝවිට. මොකද ඒ කතාවෙ සඳහන් වුනු පරිසරය එහෙම ඉන්දියාවෙ වෙන්න ඕන කියල මට හිතෙනව. අත්හැරල දාපු පරණ සංගිලි පාළමක්. ඒ පාළම එගොඩ තියෙන පැරණි දේවාලයක්. පාළමේ දෙපැත්තෙ තියන සුවිසාල කුළුණු දෙකෙන් එකක් උඩ ඉන්න දරුණු කොටියෙක්. ධාරානිපාත මහ වැස්සක් කඩා වැටෙන  රෑක ගඟෙන් එගොඩ තියන දේවාලෙට බාරයක් වෙන්ට යන තරුණ යුවලක්.ඒ අතර අර කණුව උඩ ඉන්න කොටියට වෙඩි තියන්ට උත්සාහ කරන දඩයක්කාරයෙක්.

මට ඒ කතාවෙ මතක ඔය වගෙ අසම්පූර්ණ සිද්ධීන් මාලාවක් විතරයි. ගණඳුරු රැයක අහස ඒකාලෝක කරන විදුලි ආලෝකයෙන් යන්තමට පෙනී ආයෙම නොපෙනීයන අඳුරු හෙවණැලි වගෙ දශක හතරක් තිස්සෙ ඒ කතාව මගෙ හිතේ හොල්මන් කරනව. මම හිතන්නෙ ඒ කතාවෙ තිබ්බ සිත් ඇදගන්නා සුළු ගතිය නිසා වෙන්න ඕන ඒ.අඩු ගණනෙ කතාවෙ නමවත් මට මතක නෑ කිව්වම...පස්සෙ කාලෙක ජිම් කෝබට්ගෙ The Man-Eating Leopard of Rudraprayag කතාව කියවද්දි මට එකපාරටම මතක් වුනේ දයා රාජපක්ෂගෙ ඔය චිත්‍රකතාව,

හැබැයි දයාගෙ ඊළඟ කතාවනම් මට සෑහෙන දුරකට මතකයි. ආදර කොමා...ඩොක්ටර් අයිවන්, රොබෝ මිනිසකු නිර්මාණය උදෙසා තම දිවියම කැපකල දක්ෂ විද්‍යාඥයෙක්.. එල්සි ඔහුගේ කෙළිලොල් තරුණ බිරිඳ. කොමා අයිවන් නිර්මාණය කල රොබෝ මිනිසා. කොමා හා එල්සි අතර ඇතිවන සෙනෙහස. ආදර කොමා කතාවත් අවසාන වෙන්නෙ කොහොමද කියලනම් මට මතක නෑ....:)

ඊට පස්සෙ දයා දිනමිණටම ඇන්දා ආචාර්ය සයිකෝ කියල කතාවක්. ඒක මේ අපූර්ව බලයක් තියෙන ඉන්ද්‍රජාලිකයෙක් ගැන කතාවක්. පින්තු කියල තරුණයෙක් ඒ කතාවෙ හිටිය මට මතකයි.

ඒ අතර ඉරිදා සිළුමිණට ඔහු ඇන්දා අනුපමා…….අසිත, සංජය, අනුපමා සහ මාර්තාගේ කතාව. ඊට කලින් මයෙ හිතේ හුලවාලි…….සුබා, ධාරා සහ බිබිලෙ ඇත්තෝ...

රක්තා, පොඩි මාමා,වෙද හාමුදුරුවෝ, සිව්මංසල,…... 

මැදිවියෙහිදී උපැවිදි වන යතිවරයෙකුට මුහුණ දෙන්නට සිදුවන සිත්තැවුල් දුක් කම්කටොලු දෙස සානුකම්පිත බැල්මක්..සමුගත් වසන්තය.

මනුෂ්‍යත්වය පිරි ටැක්සිකාරයාගේ කතාව…. බකට් හැරී….සක්විති සුවය.

දයා දීර්ඝ කාලයක් සේවය කලේ විජය ප්‍රවෘත්තිපත්‍ර සමාගමට. ඒ හින්ද ඔහුගෙ චිත්‍රකතා පලවුනේ ලංකාදීප සහ ඉරිදා ලංකාදීප පත්‍රවල පමණයි.දීර්ඝ කාලයක් ඇණහිට තිබූ දයා හා මා අතර ඇසුර යලි ඇරඹුනේ වසර දෙදාහේදී පමණ. ඒ පියහසර සහ සකිසඳ එලියස් සමඟ. එළුවන් මිලදීගන්නට පැමිණෙන කාසිචෙට්ටි මුදලාලිගේ චරිතය ඔහු නිර්මාණය කලේ ඔහුටම ආවේණික නිසඟ හැකියාවෙන් යුක්තව. 

ඉන් අනතුරුව විදේශගතවූ පසු විය යුතු ලෙසම දයාගෙ චිත්‍රකතා රසවිඳීමේ භාග්‍යය මට අහිමිවුනා. වසර තුනකට පමණ පෙර අප කොස් පොළොස්, කොහිළ ආදිය මිලදීගන්නා, ශ්‍රී ලාංකිකයින් පිරිසක් විසින් පවත්වාගෙන යන වෙළඳ සැලට ඉරිදා පත්තර ගෙන්වන්නටවූ විට යලි දයාගේ චිත්‍රකතා කියවීමේ අවස්ථාව හිමිවුනත් හරියටම මාස හයකට පමණ පසු ඔවුන් එසේ පත්තර ගෙන්වීම නවත්වා දැම්මා. පත්තර මෙරටට ගුවන් මඟින් ගෙන්වීමේදී දැරීමට සිදුවන අධික ප්‍රවාහන  ගාස්තු නිසා නියමවන වැඩි මිල ගෙවීමට සූදානම් පාඨකයින් සංඛ්‍යාවක් සොයා ගැනීමට අපහසුවීම ඔවුන් ඊට දැක්වූ හේතුවයි. ඒ මාස හයක් වන් කෙටිකාලය තුල පස් නම් දයාගේ කතාව කියවූවා මට මතකයි.

slcomics.wordpress.com

වසර හතළිහකට පෙර බොහෝසේ චමත්කාරජනක විශ්මිත ලොවකට මා රැගෙන ගිය ඒ දයාබර මිනිසා... දයා ….ඊයේ උදෑසන අප අතරින් සදහටම සමුගත්තා. මේ මතක සටහන ඔහු වෙනුවෙන් පිදෙන මගේ උපහාරයයි..ස්තූතියි දයා!!!!

Friday, July 24, 2015

335. විමලෙගෙ වාංපතුල් කතා - 34 - කම්බිලි කන්දේ මිනිරන් හෑරීම, දිරාගිය කිතුලේ කතාව, සරෝජිනීගේ ඉරණම සහ දෑවැද්දට පෙට්ටගමක්.

Google Images

අසෝකා බිම බලාගෙනම කොස් කපනව. මම බිත්තිය අයිනෙ තිබ්බ පරණ පෙට්ටගම උඩ වාඩිවුනා. " මොකෝ කතා නැත්තෙ? "

" නෑ මම මේ කල්පනා කලේ කාරණා දෙකෙන් ඉස්සෙල්ල කියන්නෙ මොකක්ද කියල. "

" කාරණා දෙකක් තියනවද? මම ඇහුවෙ නම් එකයි. මනමාලියො බොරු කියනවද කියල. "

" හරි එහෙනං ඒකට මම ඉස්සෙල්ල උත්තර දීල ඉන්නංකො. මනමාලියො කියල නෑ ගෑණු මිනිස්සු කවුරුත් බොරු කියනව. "

" එතකොට දෙවෙනි කාරණේ ? " 

අසෝකා ඔලුව උස්සල මගේ දිහා බලල යන්තමට හිනා වුනා. " දෙවෙනි කාරණේ මේකයි. අර හිස් බෝතලේ පයිං තල්ලු කරල හැංගුවට වැඩක් නෑ. මම කොස් කපන්ට මෙතෙන්ට ආපු ගමන්ම ඒක දැක්කා. "

" පිස්සුද ඕක මම බීපු එකක් නෙවෙයි…"

" මම දන්නව ..තනියම නම් නෙවෙයි වෙන්ට ඇති තමයි…..අපෙ අජිත් අයියත් එක්කල හවුලෙ ඊයෙ රෑ බොන්ට ඇති...."

" ඔය කිව්වෙ ඉතින්..ඔන්න කිව්ව..අපි දෙන්නගෙන් කවුරුවත් බිව්ව එකක් නෙවෙයි මේ.."

" එහෙනම්? "

" මේ ඔගෙගෙ මාමණ්ඩිය බිව්ව බෝතලයක්. …."

මම ඒ මාමණ්ඩිය කිව්වෙ අජිතයගෙ අප්පච්චිට....ඇත්තම කිව්වොත් ඒ මනුස්සය රහමෙර කටහරියෙ තියන්නෙ නෑ...හෙහ්...හෙහ්.......පුත්තු බොන්ට පුරුදුවෙන්ට අප්පච්චිල බොනවද නැද්ද කියන කාරණේ බලපානවද? දැන් අජිතය ගත්තොත් උගෙ අප්පච්චි රා, අරක්කු කටේ තියන්නෙ නෑ. ඒකටත් එක්ක අජිතය...අපෙ අප්පච්චිත් එහෙමයි..සමස්ථ ලංකා අමද්‍යප සංගමේ යාවජීව සාමාජික. 

මම හිතන්නෙ ඔතන මෙහෙම දේකුත් තියනව. හොඳට බොන ඒ වගේම බීල යකා නටන තාත්තෙක්ගෙ පුතෙක් ඒ විකාර සහ බහුරූ කෝලං දැකලම මත්පැන් එපා වෙලා ජීවිතේට කටේ නොතියනව වෙන්ට පුලුවන්. ඒ වගේම එහෙම තාත්තෙක්ගෙ පුතෙක් පොඩි කාලෙ ඉඳලම ඔය ඇඳන් අස්සෙ කබඩ් පිටිපස්සෙ තියන කොට ගහලම රහ වැටිල මත්පැනට පොඩ්ඩ පොඩ්ඩ පුරුදු වෙන්ටත් පුලුවන්. එනිසාවෙන් ඔය පියකුගේ මත්පැන් භාවිතය පුත්‍රයකු මත්පැන් භාවිතයට පොළඹවන්නේද ? කියන ප්‍රශ්නයට මට දෙන්න පුලුවන් සරලම පිළිතුර තමයි It Depends කියන එක. පියා මත්පැන් බිව්වත් නැතත් පුතා මත්ලෝලියකු වීමේ ප්‍රවණතාවයක් තියනවනම් ඒ මනුස්සය බොනව.එච්චරයි.

අසෝකගෙ ඇස් දෙක ලොකු වුනා. කොස් කැපිල්ල අතෑරල දාල කම්මුලේ අතකුත් තියාගත්ත. 

" ඇයි අනේ ඔහොම අහස පොලෝ නුහූලන බොරු කියන්නෙ... මාමා කට හරියෙ තියන්නෙ නෑ ඔය ජරාව…"

" එව්ව මං දන්නෙ නෑ. ඊයෙ මටම කියලයි ඔය බෝතලේ ගෙන්න ගත්තෙ. "

" අනේ අප්පේ බලන්ටකො මේ.. බොරු කියන හැටි..ඉන්ටකො මම මාමගෙං අහන්ට..මාමේ..මාමේ.."අසෝකා එතනම ඉඳල කෑගහන්ට ගත්ත. 

" ඒයි මේ මොකද ඔය කරන්ට හදන්නෙ?..කෑගහන්ට එපා මනුස්සයො…" මම ඉඳගෙන උන්නු පෙට්ටගමෙන් බිමට පැනල අසෝකා දිහාට අඩියක් දෙකක් තිබ්බ.

" ආ...ඒක තමයි නේද? මාමා එයි කියල බයකුත් තියනව.ඔච්චරම බයනං මොකටද ඔය අමූලික බොරු කියන්නෙ?..."

******************************************************

අපෙ ප්‍රියාම්බිකාස්ලගෙ ගෙදරදි වෙච්චි දෙයක් මේක. මයෙ හිතේ බැඳල අවුරුද්දකට වගෙ පස්සෙ තරම.

සති අන්තෙකට අපි දෙන්න එහෙ ගිය වෙලාවක් ඒ. එයාලගෙ කුස්සියෙ කට්ටියම එකතුවෙල දවල්ට උයනව. අපෙ උන්දැ... එයාගෙ අක්කල තුන්දෙනා... අම්ම ..ඔය ඔක්කොම ඉතිං ඉන්නව. අපෙ උන්දැනං මේ ලෝකෙ දෙයක් කරන්නෙ නෑ. ඔය කොළොම්බක් උඩට වෙලා රටේ නැති වල්පල් ඕපදූප කියව කියව ඉන්නව.මම ඉතිං ඔය ඕපාදූප කිවිල්ලට සම්පූර්ණයෙන්ම විරුද්ධ හින්ද ඔය වගෙ වෙලාවට කුස්සියෙං හෙල්ලෙන්නෙ නෑ. අනික ඔව්ව රහකරකර කියනකොට එවුන්දලගෙ කටවල් බලන්ට ඕන.වෙලාවකට කජුලෙලිහේ ඇඹරෙනව, ආය වෙලාවකට තොල් පියාන ඇඹුල්වෙනව.මම ඉතිං ඔය නානාප්‍රකාර විගඩං දිහාවෙ බලාඉඳල උත්ප්‍රේරක සපයනව දිවා ප්‍රවෘත්ති එසැණින් විකාශයට. 

" නෑ???.. "

" බොරු කියන්ට එපා ඒයි…"

" ෂිහ්...ඇත්තමද? "

ප්‍රස්තුත දවසෙ මාතෘකාව වෙලා තිබුනෙ එයාලගෙ වත්තෙ කෙළවරක තිබ්බ රූස්ස කිතුල් ගහ. ඒ වෙනකොට ඒ මහ ගහ සෑහෙන්න වයස්ගත වෙලා තිබ්බෙ.වත්තෙ කෙළවරක හින්ද ඇදගෙන වැටුනත් ගෙටනම් කිසිම හානියක් අපල උපද්‍රවයක් වෙන්ට ක්‍රමයක් නෑ. ඒත් පොඩි අවුලකට තිබ්බෙ ඒ කිට්ට්ටුවම තිබ්බ එයාලගෙ දර මඩුව. ගහේ උසේ හැටියට හුළං කෝඩෙකටවත් දෙරි ගැහුවොත් ආය කතා දෙකක් නෑ කෙලිම්ම වැටෙන්නෙ දර මඩුව උඩට.

එදා උදේ මම දත් මැද මැද ඒ පැත්තෙ හක්කලං කොරද්දි දැක්ක ගහේ මැදක් හරියෙ වගෙ කෑරළෙක් බෙනයක් හාරනව.කෑරළෙක් බෙනයක් හාරනව කියන්නෙ ගහ දිරල කියන එක. ඒ කියන්නෙ බොහොම නුදුරු අනාගතයෙදි කිතුල් ගස් රාජයා මහ පොළවට මතට ඇදබෑවෙන සේක! 

" කෑරළා බෙනයක් හාරන්නෙ කඳ දිරල හින්ද.. .... ඈ අම්මෙ... මම නං කියන්නෙ ඉක්මනටම කාට හරි කියල ගහ බිම දැම්මොත් හොඳයි. හුළං අත හමන විදිහට මට හිතෙන්නෙ අනිවාර්යයෙන් ඕක වැටෙන්නෙ දරමඩුව උඩට වෙන්න පුලුවන්. " මම ඉඳගෙන හිටියෙ කෑම කාමරෙං කුස්සියට ඇතුල්වෙන දොරත් එක්කම පැත්තකිං බිත්තියට හේත්තු කරල තිබ්බ බංකු පුංචෙ.

" මේ දවස්වල මිනිහෙක් අල්ලගන්න එක තමයි අමාරු පුතා. අර කම්බිලි කන්දෙ මිනිරං මතුවෙලාය කියල මේකෙ ඉන්න තරමක් එවුං ඔක්කොම උදේ පාන්දරම බතුත් බැඳගෙන යනවනෙ මිනිරං හාරන්ට. ගහකට යවා ගන්ට එකෙක් නෑ ඔන්න කොටින්ම කිව්වොත්.. " අම්ම කිව්ව ලිපට පිඹින ගමං ආපහු හැරිල .

කම්බිලි කන්ද කියන්නෙ ආණ්ඩුවෙ රිසිවේසං එකක්. ඒ කියන්නෙ රක්ෂිතයක්. ඕකෙ ඒ දවස්වෙනකොට මිනිරං මතුවුනාය කියල මහ ගාලගෝට්ටියක් පැතිරුනා ඒ අහල ගං හත අටේම.උදෙම්ම වැල නොකැඩි යනව ගෑණු මිනිස්සු ළමයි බමයි ඔක්කොම ගෝණි බෝනි උදළු බුදළු කරතියාගෙන. මිනිරං වලට ඒ පැත්තෙ කිව්වෙ මීරං කියල. 

" ආ..බිසෝ ..කොහෙද මේ උදෙම්ම?..."

එයයි මිදුල අතුගානව. එකතුවෙන කොළරොඩු ගෝනියකට දාල රම්පෙ ගහ පිටිපස්සෙ කුණුවලට ගිහිං දාන්නෙ මම. එයාලයි පුංචි අක්ක කෘෂිකර්ම ගුරුවිරියක්. කොම්පෝස්ට් පෝර ව්‍යාපෘතියක් පටංගන්නයි එයාගෙ සූදානම. ඒ දවස්වල එයා ඉගැන්නුවෙ ගෙදර ගාවම තියන ඉස්කෝලෙ.ඔන්නං මීටර් හාරසීයක් වගෙ ඇති. ඉස්කෝල වත්තෙ කොම්පෝස්ට් වැඩේට ඉඩ නෑ කියල පුංචි අක්ක ලෑස්තිය ගෙදර වත්තෙ ඒක හදල ළමයි එක්කං ඇවිල්ල පෙන්නල ඒ ගැන කියල දෙන්ට.

" මීරං හාරන්ට යනව චුට්ටි දෙයිය…" බිසෝ කරේ තියන ගෝණිය අතට අරගෙන හිනාවෙලා කියනව. " කම්බිලි කන්දෙ එහා පැත්තෙ මීරං මතුවෙලානෙ.මේ ගමේ බාගයක් මේ දවස්සල එහෙ අප්පා. "

" මටත් ආසයි ඔය මිනිරං හාරන දිහාවට ගිහිල්ල බලල එන්ට. " බිසෝ යන්ට ගියාට පස්සෙ මම කිව්ව. 

" පිස්සුද ඔයාට? ඔය කම්බිලිකන්ද කියන්නෙ රක්ෂිතයක්. රක්ෂිතවල ඔය ඕන ඕන විදිහට මිනිරං හාරන්ට බෑ. බලන්ටකො අද හෙටම ඔතෙන්ට පොලීසියෙං පැන්නෙ නැත්තං."

" හෙහ්, ඒකත් ඇත්ත තමයි. මයෙ කරුමෙට පොලීසියෙං පයින වෙලාවට මාත් එතන ඉඳල කුදලගෙන ගිහිල්ල කූඩු කලොත් එහෙම හතර විලිලැජ්ජවෙ පස්වෙනි එක...එහෙනං ඔයාට තමයි එන්ට වෙන්නෙ ඇප දෙන්ට.."

" හිහ්..මම නං පැත්ත පලාතෙ එන්නෙ නෑ ඔන්න නොකිව්වයි කියන්ට එපා. ඔය පොලීසියෙ හතර පස්දෙනෙක්ම මම හොඳට අඳුරනව. ලජ්ජහේ බෑ..මම නං එන්නෙ නෑ ඔන්න…."

අර කිව්වත් වාගෙ ඊට දවස් හතර පහකට පස්සෙ පොලීසියෙං කඩා පැනල මිනිරං හාරමින් හිටපු තිහ හතළිහක්ම අල්ලගෙන ගිහිල්ල රිමාන්ඩ් කලා. ඊට පස්සෙ මීරං හෑරිල්ලත් එහෙම්මම නැවතිලා ගියා.

" මේ දවස්වල මිනිහෙක් අල්ලගන්න එක තමයි අමාරු පුතා. අර කම්බිලි කන්දෙ මිනිරං මතුවෙලාය කියල මේකෙ ඉන්න තරමක් එවුං ඔක්කොම උදේ පාන්දරම බතුත් බැඳගෙන යනවනෙ මිනිරං හාරන්ට. ගහකට යවා ගන්ට එකෙක් නෑ ඔන්න කොටින්ම කිව්වොත්.. " අම්ම කිව්ව ලිපට පිඹින ගමං ආපහු හැරිල .

" ඒක තමයි වැඩේ නේද? ඒත් මට හිතෙන්නෙ අද හෙටම නොවුනත් බොහොම ඉක්මනටම කිතුල කපල දාන්ට වෙයි. "

" හ්ම්ම්ම්,....බලමු අප්පච්චිටත් කියල. අහල පහලිංවත් මිනිහෙක් දෙන්නෙක් හොයාගන්ට බැරිවෙන එකක් නෑ මගෙ හිතේ. " ඒ සංවාදයට එක්කහු උනේ අපෙ උන්දැ.

" හෙහ්..හැබැයි අප්පච්චි නං කැමතිවෙන එකක් නෑ ඔය කිතුල කපන්ට.."

" ඈ? ඒ මොකද? ඔය දිරච්ච ගහ තියාගෙන අප්පච්චි අහවල් දෙයක් කරන්ටද? "

" ඇයි අප්පච්චි ඒ කාලෙ ඔය කිතුල මැදගෙන රා බීව නේද? "

" අනෙ අප්පෝ මේ මනුස්සය කටේ තොලේ නොගෑවී කියන මුසාවාද හැබෑටම " ඈ කම්මුලේ අතක් තියාගත්ත. කටත් බාගෙට ඇරිල.

" චුට්ටි දුව..මොකද ඔය පුතාට කතාකරන විදිහ? " අම්ම බෝංචි කැඩිල්ල නතර කරල වට්ටියෙං ඔලුව උස්සල ඇහුව.

මම කලිනුත් කියල ඇති. මට ඔය ඒක මේක කියනවට අම්ම කැමති නෑ.මට පුදුම ආදරයක් තිබ්බෙ. හැබැයි ඉතිං පතාගෙන ආපු හැටි කියන්නෙ උන්දැගෙ මළගමටවත් මට යන්ට බැරිවුනා. අම්ම නැතිවෙනකොට මම විදේශගත වෙලා මාස හයක්වත් නෑ. ඒ නිසා මට යන්ට ලැබුනෙ නෑ.

" හරි වැඩක්නෙ මේක..මෙයා මෙතන මේ අහස පොළව නුහූලන බොරු කියනකොට අම්ම කියන්නෙ මට කටපියාගෙන ඉන්ට කියලද? "

" හරි හරි බොරුවක්ම කියමුකො ඒත් ඔහොම කියන්ට වටිනවද ඔයාට?..." අම්මට ඒ විඩේනම් යන්තමට හිනාවකුත් ගියා. 

මම කිව්වනෙ කලින් මම ඉඳගෙන හිටියෙ කුස්සියට ඇතුල්වෙන දොරට පිටුපාල. අපෙ උන්දැ මට ඉස්සරහ දොර පැත්තට මූණ පාල. 

" හරි දැං කියමු බලන්ට කවුද ඔය අප්පච්චි කිතුල මැදගෙන රා බීපු කතාව ඔයාට කිව්වෙ? " අපෙ උන්දැ ඔන්න පටන් ගත්ත ඉන්කුවාරි එක. 

මටත් ඉතිං ඒ මදැයි..කතාවක් කියන්ට තියේනං මට ඊට වඩා දෙයක් තියනවය ආය? 

" හරි, එහෙනං ඉන්ටකො කතාව මුල ඉඳලම කියන්ට. " මම බංකු පුංච උඩ හරි බරි ගැහුන..

" වෙන කවුරුවත් නෙවෙයි ඔය කතාව මා දැක්ක කිව්වෙ අප්පච්චිමයි...හෙහ්,හෙහ්.." මම ඇස් එහෙම නටවල කිව්ව. 

" නෑහ්?.." අපෙ උන්දැ නැඟිටල මා දිහාට ආව අඩි දෙකක්. " ඇත්තමද ඔය? අපෙ අප්පච්චිම ඔයා එක්ක ඔහොම කිව්වද? "

" කිව්ව නේන්නං ආය මම බොරු කියන්නෙ අහවල් දේකටද? "

" මම අහන්ටද එහෙනං අප්පච්චිගෙං?..."

" පිස්සුද හැබෑට? අප්පච්චිට ලැජ්ජ හිතෙයි..අහන්ට එහෙම එපා ඔන්න. "

" ආ..ඒකත් එහෙමද? එතකොට අප්පච්චිට ලැජ්ජ හිතෙයි නේද? "

" ඒකත් හරි තමයි… එහෙනං අපි අහන්නෙ නෑ අප්පච්චිගෙං..මල්ලි කියන්ටකො බලන්ට කොහොමද අප්පච්චි ඔය කතාව කිව්වෙ කියල.."  එහෙම කිව්වෙ ඒ එයාලගෙ පුංචි අක්කා. 

කට්ටියම හිනාවෙන්නෙ මොකද කියල මට පොඩි කුකුසක් වගෙ ආවත් මම එව්ව ඔක්කොම යටපත් කරල දාල ඇක්ෂන් දාල කතාවට එන්ටර් උනා. එන්ට ද ඩ්‍රැගන් පාට් ටූ..එන්ට එපාද ඩ්‍රැගන්

" කවදද දැං ඔය කතාව අප්පච්චි ඔයා එක්ක කිව්වෙ? " අපෙ උන්දැ කතාව පටන් ගන්ට කොණක් අල්ලල දුන්න.

" මට කිව්වෙ දැං මාසෙකට වගෙ කලිං….."

" කොහොමද කිව්වෙ? "

" මෙහෙමයි අප්පච්චි කිව්වෙ..පුතා මම මෙහෙම කිව්ව කියල කාටවත් කියන්ට එපා. පුතාව මට විස්වාස නිසයි මම මෙහෙම කියන්නෙ..ඔය ගේ පිටිපස්සෙ තියන කිතුල මැදල මම ඒ දවස්වල හැමදාම වගෙ රා බිව්ව ෂෙහ්, නියම රා හොඳද? "

" ඈහ්? අපෙ අප්පච්චි එහෙම කිව්ව එතකොට නේද? "

" කිව්ව නේන්නං..නැතුව ආය මම බොරු කියන්නෙ අහවල් දේකටද? "

" ඔයා කොච්චර එපා කිව්වත් මම ඔය කතාව අප්පච්චිගෙං අහන එකත් අහනව. "

" පිස්සුද මේ..මම එක පාරක් කිව්වනෙ..අප්පච්චිගෙන් නං අහන්ට එපා ඔන්න. අප්පච්චිට ඔයාලට මුණ දීගන්ට බරුව ලැජ්ජ හිතෙයි.. "

" නෑ නෑ එහෙම වෙන්නෙ නෑ..අනික මේ කතාවෙ ඇත්ත නැත්ත මම හගිස්සුවන්ටම ඕන.හරි වැඩේ කල්දාන්ට ඕන නෑනෙ..ඇත්තද අප්පච්චි රවී මේ කියන්නෙ? අප්පච්චි අර වත්ත පහළ කිතුල මැදල රා බිව්ව කියල රවී එක්ක කිව්වද? " අපෙ උන්දැ කුස්සියට ඇතුල්වෙන දොර දිහා ඔලුව උස්සල බලල ඇහුව 

" ඈ????......................" මම හෙමිහිට ඔලුව පස්සට හරවල බැලුව. බැලුව තමයි...දෙයියංටම ඔප්පු වෙච්චාව්. දොරේ උලුවස්සට අත්දෙක ගහගෙන මෙන්න ඉන්නව අප්පච්චි. 

" ඇත්ත වෙන්ට ඇති... ඇත්ත වෙන්ට ඇති... රවි පුතා බොරු කියන්නෙ නෑනෙ. එයා කියනවනං මම රා බිව්ව කියල ආය ඒකෙ දෙකක් නෑ මම රා බොන්ටම ඇති. " අප්පච්චි එහෙම කිව්ව. 

කුස්සියෙ හිටපු ඔක්කොමල ආයෙම පාරක් මහ හයියෙං හිනාවුනා. මට නේද? කාටවත්ම නොපෙනි අන්තර්දාන වෙන්ට පුලුවන් බලයක් මට තියෙනවනං කොච්චර හොඳද කියල මට හිතුනෙ ඔය එකසිය අටවෙනි නැත්තං එකසිය නම වෙනි පාරට.

" මම ගිහිල්ල අර කෑරළා කිතුලෙ බෙනේ හාරල ඉවරද මොකද කියල හෝදිසි කරල එන්නම් " මම එහෙම කියල හෙමීට බංකුවෙං නැඟිටල කුස්සියෙ පිටිපස්ස දොරෙං එළියට බැස්ස.


******************************************************

" ඇයි අනේ ඔහොම අහස පොලෝ නුහූලන බොරු කියන්නෙ... මාමා කට හරියෙ තියන්නෙ නෑ ඔය ජරාව…" අසෝකා ඇස් දෙකත් ලොකු කරගෙන කිව්ව.

" එව්ව මං දන්නෙ නෑ. ඊයෙ මටම කියලයි ඔය බෝතලේ ගෙන්න ගත්තෙ. "

" බොරු කියන හැටි..ඉන්ටකො මම මාමගෙං අහන්ට..මාමේ..මාමේ." අසෝකා එතනම ඉඳල කෑගහන්ට ගත්ත. 

" ඒයි මේ මොකද ඔය කරන්ට හදන්නෙ?..කෑගහන්ට එපා මනුස්සයො.." මම ඉඳගෙන උන්නු පෙට්ටගමෙන් බිමට පැනල අසෝකා දිහාට අඩියක් දෙකක් තිබ්බ 

" ආ...ඒක තමයි නේද? මාමා එයි කියල බයකුත් තියනව.ඔච්චරම බයනං මොකටද ඔය අමූලික බොරු කියන්නෙ?..."

" බය නෙවෙයි ළමයා ඒකට කියන්නෙ ගෞරවය..ගෞරවය. " මම ආපහු ගිහිල්ල පෙට්ටගම උඩිං ඉඳගත්ත. 

" මේ බලාගෙන. ඕක උඩ එක පාරට තප්පදෝරුව වාගෙ ඉඳගන්ට එපා..ඕකෙ පිටිපස්සෙ කකුලක් අඩමානෙට තියෙන්නෙ. මෙතන ඇදං වැටුනොත් පෙට්ටගමත් එක්ක ආය තව විජ්ජුම්බරයක්…"

" හෙහ් මට එහෙනං ආදරේකුත් තියනව නේද? " 

" පීස්සුද? ඔය පෙට්ටගම මම බඳින දවසට තෑග්ගක් විදිහට දෙනව කියල අපෙ නැන්දම්ම මට කියල තියෙන්නෙ …."නැන්දම්ම කිව්වෙ අජිතයගෙ අම්ම.

" ආ..ඒකත් එහෙමද? එහෙනං ඉතිං මටම තමයි ඒකත් උස්සගෙන යන්ට වෙන්නෙ. "

එහෙම කියල මම හොරැහිං අසෝකා දිහා බැලුව.අසෝකට මගෙ කැමැත්තක් තියනව කියල මම කෙලින්ම අඟවපු මුල්ම වතාව ඒක. කෙල්ලගෙ මූන රතුවුනා, බිම බලාගෙන කිසි කිසි ගාල කොස් වහළු කපාගෙන කපාගෙන ගියා.

දර මඩුව පූර්ණ නිශ්ශබ්දතාවයක ගිලිල ගත්වෙච්චි මිනිත්තු හතර පහක වගෙ කාලයකට පස්සෙ මම ආයෙම කතා කලා. 

" ආ..මේ ඒක නෙවෙයි..අර ඔයාගෙ යාලුවා……"

" කවුද? ………." අසෝකා ඔලුව උස්සල බලල ආයම බිම බලාගත්ත.

" සරෝජිනී..මම මේ කියන්නෙ සරෝජිනී ගැන "

" ඉතිං? …………"

" දැං මොකද එයාගෙ විස්තර ? අර යාලුවෙලා හිටියයි කිව්වෙ ඔයාලගෙම බැච් එකේ කොල්ලෙක් එක්ක..ඒ වැඩේ තාම තියනවද? "

" ආ..නෑ..නෑ..එයාලගෙ අම්ම කොහොමත් ඒකට කැමති වෙන්නෙම නැති හින්ද සරෝජිනී ඒ වැඩේ අතෑරිය. පස්සෙ අම්මා හොයල දුන්නු කෑගල්ල පැත්තෙ ටීචර් කෙනෙකුට සරෝජිනී කැමතිවුනා. මගෙ හිතේ තව මාස දෙකකින් විතර බඳියි. සරෝජිනී ට්‍රාන්ස්ෆර් එකක් අරගෙන ගියා කෑගල්ලට, දැං වැඩ කෑගල්ල හොස්පිට්ල් එකේ. "

" ෂෙහ්,….අපරාදෙ…." මට ඉබේටම කියවුනා....

" මොකක්ද අපරාදෙ? " අසෝකා නළල රැලි කරගෙන ඇහුව. 

" නෑ මම මේ කිව්වෙ එච්චර කල් තිබ්බ එෆෙයාර් එකක් කැඩිල ගිය එක අපරාදෙ කියල."

" හ්ම්ම්ම්ම්…...ඒක නම් එහෙම තමයි..මේ දැන්වත් මේ වැඩේ ඉවරයක් කරමුද? නැත්තං මේ කොසේ දවල්ට නෙවෙයි රෑටවත් උයන්ට වෙන්නෙ නෑ...."

" හරි හරි ඉන්ටකො එහෙනං.."

මම පෙට්ටගමෙං බැහැල ඇවිල්ල දරමඩුවෙ මුල්ලක තිබ්බ තලේ කැඩිච්චි පරණ හිරමනයක් අරගෙන ආව. දරමඩුවෙ පිටිපස්ස කොණේ කණු දෙකක හරහට බැඳල තිබ්බ ලණු පොටක දාල තිබ්බ පරණ සරමකිං හිරමණ කොටේ දූවිලි පිහදාල අසෝක කොසේ කපන ඉස්සරහිම්ම හිරමනේ තියල ඒක උඩ සීරුවට ඉඳගත්ත. මම ඇඳල හිටියෙ අජිතයගෙ සෝටක්. අජිතය මට වඩා මහතයි, ඒ හින්ද සෝට් බෑයෙ ටිකක් විතර මට ලොකුයි. කකුල් එහෙමත් බැගී වගෙ.ඒ හින්දම ඉඳගෙන මම සෝට් බෑය හොඳට හදාගත්ත. 

" මේ මොකවත් පේනවනං එහෙම කියන්ට හොඳද? "

" ඈ? ………….." අසෝකා ඔලුව උස්සල බැලුව. යන්තමට ලා රතු පාටක් ඇහේ කම්මුල් හරියෙ පැතිරෙන්ට ගත්ත. 

" නෑ මම මේ කිව්වෙ මොකවත් පේන්ට එහෙම තියනවනං කියන්ට කියල…. ලැජ්ජාවට කරබාගෙන එහෙම ඉන්ට එපා හොඳද?..." මම බිම බලාගෙන කොස් මදුලුවල ඉරි ගලවන්ට පටං ගත්ත.

" මේ මගෙං මොකවත් අහගන්නෙ නැතුව ඔය වැඩේ කරනවද? "

" ඕකේ..ඕකේ...කාම් ඩවුන් කාම් ඩවුන්.." මම ඔලුව උස්සන්නෙ නතුවම කොස් මදුළුවල ඉරි ගලවන වැඩේ කරගෙන ගියා.

ඔහොම මිනිත්තු හත අටක් වගෙ ගත වෙන්ට ඇති. ඊට වැඩි මිසක අඩු නම් නෑ..

" අසෝකා නංගි.." මම හෙමිහිට කිව්වෙ ඔලුව උස්සන්නෙ නැතුවම..

" ම්ම්ම්ම්..ඇයි?…." මගෙ ස්වරයෙ වෙනසක් තේරිලද කොහෙද එයත් ඇහෙන නෑහෙන ගානට ඇහුව. 

" මම මේ කිව්වෙ මේ පෙට්ටගම ගැන... මම කැමතියි ඒක මට තෑග්ගක් විදිහට ලැබෙනවනම්.."

මම බොහොම අමාරුවෙන් කියල දැම්ම. වෙන රටේ නැති බහුබූත ගැන කටකමසෙයියාවක් නැතුව දෙඩෙව්වට ඔය වගෙ ඕනම කියන වෙලාවල් වලදි මට මුඛ පූට්ටු බන්ධනය මැතිරුව වගෙ වෙනව. 

" ම්ම්ම්..පෙට්ටගම ගැනනං නැන්දම්මගෙං අහන්ට වෙයි.පෙට්ටගමත් එක්ක තව මොකවත් ඕනනං අපෙ අප්පච්චිගෙං අහන්ට වෙයි…"

ඈයි මායි දෙන්නම ඔලුව පාත්කරගෙන උන්නත් ඈ හිනාව ගිලගන්ට උත්සාහ කරමින් එහෙම කිව්ව බව මට ඒ ස්වරයෙන්ම තේරුණා.

" හරි මම ඔයාලගෙ අප්පච්චිගෙං අහන්නංකො……………." මම ඔලුව උස්සල අසෝකගෙ ඇස් දෙක දිහා බලල හිනාවුනා.

Sunday, July 19, 2015

334. අබයාරාමයේ විත්ති 3 - ජනාධිපතිගේ චෝදනාවලට මරාගේ පිළිතුර, අමරාවික්ෂේප වාදය, පුරවැසි බලය, සුනිල් පෙරේරා සහ හැඟීම් අභිබවා බුද්ධියෙන් ක්‍රියාකිරීමේ වැදගත්කම.

Ravaya Cartoon

මහින්ද රාජපක්ෂ නැවත බලයට පත්වීම කෙසේ හෝ වැළැක්විය යුතු මන්ද යන කාරණය පිළිබඳව මම බොහෝ කරුණු දක්වා ඇත්තෙමි. එහෙත් එලෙස මවිසින් ලියන ලද සටහන් වලට නිර්නාමිකව ප්‍රතිචාර දක්වන මරාවාදීන්, මරා යලි බලයට පත්කල යුත්තේ කුමන හෙයින්ද යන්න පිළිබඳව පැහැදිලි පිළිතුරක් ලබා නොදෙති. කරුණු විමසා බලන කල එහි පුදුමවීමට කිසිදු හේතුවක් නත. ඔවුන්ගේ අනුත්තර නායක තුමානෝද පිළිතුරු දිය නොහැකි ප්‍රශ්න මඟහැරීමෙහිලා ඉතා සමර්ථය. ජනාධිපතිතුමා මෙම මස 14 වන දින කල ප්‍රසිද්ධ ප්‍රකාශයෙන් මහින්ද රාජපක්ෂ මහතාට බරපතල චෝදනා කිහිපයක් එල්ල කලේය. ඉන් පසු දවසක ඔහු වටකරගත් මාධ්‍යවේදීන් ඒ පිළිබඳව විමසූ විට මහින්ද මහතා පැවසූයේ ඒ සියළු චෝදනා වලට 17 වන දින අනුරාධපුරයේ පැවැත්වෙන රැස්වීමෙහිදී පිළිතුරු ලබාදෙන බවය.

එහෙත් අනුරාධපුරයේ රැස්වීමෙහිදී ඔහු ඒ පිළිබඳව කිසිදු පිළිතුරක් නොදුන්නේය. ඔහු පැවසූයේ අසත්‍ය චෝදනාවන්ට පිළිතුරු නොදෙන බවත් අගෝස්තු 17 වන දින මහජනයා ඊට පිළිතුරු ලබාදෙන බවත්ය. බණ්ඩක්කා ගොඩක් මතින් ආඳකු ලිස්සා යන්නාක් බඳුවූ මෙම ප්‍රකාශය මසිතට අමරාවික්ෂේප වාදය සිහිගැන්වීය. බුදුන් වහන්සේගේ සමකාලීන ෂට් ශාස්තෘවරුන් අතරවූ සංජය බෙල්ලට්ඨිපුත්ත අනුගමනය කලේ අමරාවික්ෂේප වාදයයි. එනම් කිසිදු පැණයකට නිශ්චිත පිළිතුරක් නොදී මඟහැරයාමේ පිළිවෙතයි.

*********************************************

දශක හතරකට ආසන්න කාලයක් ලංකාවේ එකසේ ජනප්‍රසාදය දිනාගත් ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායක සුනිල් පෙරේරා මහතා පෙර යොවුන් වියේ සිටම මගේ සිත්ගත් ගායකයෙකි. නිතර නවතම ආරක, නවතම රටාවක ගීත නිර්මාණය කිරීමෙහිලා ඔහු ඉතා දක්ෂයෙකි. මගේ මතකයේ රැඳී ඇති ඔවුන්ගේ පළමු ගීය " නෝනෙ මගෙ සුදු නෝනේ " නමින් හැත්තෑව දශකයේ මැද භාගයේ පමණ එළි දැක්වූ ගීතයයි. 

ඉන් පසු ඔවුන්ගේම " මම දුන්නෙ කිස් එකයි කිස් එකයි " ගීතය මහ හඬින් ගයා මගේ මවගෙන් බැණුම් ඇසූ බවද මතකයේ ඇත. ඒ අප කෑගල්ලේ විසූ සමයේ බැවින් අදාල කාලය 1975 වසර හෝ ඊට ආසන්න විය යුතුය. ඉන් පසුකාලීනම නිකුත්වූ සුනිල්ගේ සියළුම ගීත මම ඉතා ආශාවෙන් රසවින්දෙමි. ඒ ඔවුන් නිරතුරු සම්ප්‍රදායික රටාවෙන් පිටපැන අලුත් යමක් කිරිමට උත්සාහකල බැවිනි.

*********************************************

කලාකරුවන්ට ආදරය කිරීම සහ කලාකරුවන්ට ගෞරව කිරීම එකිනෙකට වෙනස්ය. මම ආදරය කරන කලාකරුවකු තම නෛසර්ගික දක්ෂතාවය උපයෝගී කොටගෙන ගොඩනඟා ගන්නා පෞරුෂය හා / හෝ ජනප්‍රියත්වය, ප්‍රේක්ෂක ආකර්ෂණය තම 

ප්‍රේක්ෂකයින් නොමඟ යැවීමට භාවිතා කරයිනම් ඔහු හෝ ඇය කෙරෙහි මගේ කිසිදු ගෞරවයක් ඇති නොවේ. පසුගිය වසර පහ තුල මම බොහෝසේ ආදරය කල කලාකරුවන් / කලාකාරිනියන් කිහිප දෙනෙක්ම එසේ මගේ ආදරය අහිමි කොට ගත්හ. ඔවුහු කොතෙක් අන්තගාමී වූයේද යත් " සර් ඕකා මරලා හරි බලය ගන්න නේද තිබුනේ? " යන සාහසික පැණය පරාජිත හිටපු ජනාධිපතිතුමාගෙන් විමසන තරමට එඩිතර වූහ.

හිටපු ජනාධිපතිතුමාගෙන් ලබාගත් නොයෙක් තනතුරු / වරදානයන් මුදල් යාන වාහන උපයාගැනීමේ අවස්ථාවක් හමුවේ තම ආත්මය පාවාදුන් එවන් කලාකරුවන් යන නාමයට පවා නොහොබිනා නිලජ්ජී මිනිසුන් / ගැහැණුන් රට වටා යමින් මහින්ද රාජපක්ෂමහතාගේ ගුණ වයන අතර මේ දුර්දාන්ත, අධර්මිෂ්ඨ පාලනය වහා පරාජය කිරීම මේ එළඹෙන මොහොතේ යුගයේ අවශ්‍යතාවය බව වටහාගත් තවත් සැබෑ කලාකරුවෝ පිරිසක්, තම උදර පෝෂණය නොව රටේ අනාගතය , යුක්තිය සහ සාධාරණත්වය වැදගත් කොට සැලකූ කලා කරුවෝ පිරිසක්, තවත් විවිධ ක්ෂේත්‍රයන්හි නියුතු විද්වතුන් හා එක්ව පුරවැසි බලය නම් සංවිධානයක් පිහිටුවාගත්හ. 

ධර්මසිරි බණ්ඩාරනායක, ගාමිණී වියන්ගොඩ, ලූෂන් බුලත්සිංහල, ලක්ෂ්මන් විජේසේකර, ආදීන් සාමාජිකත්වය දැරූමේ යහපාලනය වෙනුවෙන් පිහිටුවාගත් ලිබරල් සංවිධානයේ මූලාරම්භයේ සිටම සුනිල් පෙරේරා එහි ප්‍රධාන කාර්ය භාරයක් ඉටුකලේය.


ජනාධිපතිවරණයෙන් මෛත්‍රිපාල සිරිසේන මහතා ජයග්‍රහණය කල පසු කිසිදු තනතුරක් භාරනොගෙන තම ඉලක්ක සපුරා ගැන්මෙහිලා තිරය පසුපස සිට නිහඬ කාර්යභාරයක් ඉටුකල පුරවැසි බලය සංවිධානය මහින්ද මහතා පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වීමත් සමඟ ඔහු සහ ඔහුගේ සහචර දූෂිතයින් පැරදවීම උදෙසා යලි ඉදිරියට පැමිණ ඇත.

කවදත් ඇත්ත ඇති සැටියට පවසන එසේම එසේ පැවසීමට නිර්භයව ඉදිරිපත්වන සුනිල් පෙරේරා පසුගිය 16 වන දින ස්වර්ණවාහිනියේ අද දවස වැඩසටහන වෙනුවෙන් සහභාගී විය. එහිදී ඔහු වහෙන් ඔරෝ නොමැතිව ලබ්භශෛලමස්තකාරූඪ කොට පැවසූයේ මහින්ද රාජපක්ෂ නැවත බලයට පැමිණීම මුළු රටටම මහත් බිය ගෙන දෙන්නක් බවය.

" ඔව්,මම බයයි තමයි..මහින්ද ආපහු එනවට මම බයයි " එහිදී ඔහු පැහැදිලිව ප්‍රකාශ කලේය. මහින්ද රාජපක්ෂ පරාජයකොට දේශපාලනයෙන් පලවා හැරිය යුත්තේ මන්ද යන්න තවමත් හරිහැටි වටහා නොගත් යමකු වේනම් කරුණාකර සුනිල් පෙරේරාට සවන් දෙන්න. ඔහු පවසනුයේ සත්‍යය නොවේදැයි ඔබගේ විචාර බුද්ධිය අවදිකොට කරුණාකර විමසන්න. හැඟීම් වලට නොව බුද්ධියට ඉඩ දෙන්න. 





හැඟීම් වලට මුල්තැන් දියයුතු අවස්ථාවන් කොතෙකුත් අපගේ ජීවිත කාලය තුලදී එළඹෙනු ඇත. ඒ පිළිබඳව මම එකහෙලා එකඟ වෙමි. එහෙත් මා ප්‍රිය මිතුර, මිතුරිය, මේ හැඟීම් වලට ඉඩදියයුතු මොහොතක් නොවෙ. අපරටේ අනාගතය බොහෝවිට  ඔබේ තීරණය මත රඳා පැවතිය හැක.

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...