Friday, February 24, 2017

486. The Story Of My Marriage - 37 - Making Love For The Greater Good Of Our Beloved Mother India…..

ක්‍රිෂ් සහ අනන්‍යා - 2 States චිත්‍රපටයෙන්

"ඕක අල්ලල දාන්න සෙන්දිල්...මේක මේ ප්‍රශ්ණයක් කරගන්න තරම් දෙයක් නෙවෙයිනෙ.." රාමනුජම් සෙන්දිල්ගේ උරහිසට අතක් තබා පැවසීය. මද වේලාවක් කල්පනාවේ නිමග්නව හුන් සෙන්දිල් හිස සොලවා කැමැත්ත පළකලේය. 

"ස්තූතියි හැමෝට" එසේ පවසමින් මම කුකුල්මස් අඩංගු භාජනය පොලිතීන් කවරයකින් වසා ශීතකරණයෙහි තැන්පත් කළෙමි. "ආ තව එකක් කරුණාකරල එයා එන වෙලාවට උඩ කෑල්ලට කමිසයක් ඇඳගෙන ඉන්ට හොඳද? ඔය නූලක් විතරක් දාගෙන හිටියට හොඳටම මදි...මේක ඉතාම කාරුණික ඉල්ලීමක්…"

එදින පස්වරු දෙකට පමණ අනන්‍යා අප නවාතැනට පැමිණියාය.

ඉතාම ආචාර ශීලී සහ ශිෂ්ඨසම්පන්න ලෙස මම ඇය අප නිවහනේ ප්‍රධාන දොරටුව අසළදී පිළිගෙන සාලයට කැඳවාගෙන ආයෙමි. 

සාලයෙහි මගේ සගයෝ එළිසබෙත් මහ රැජින බකිංහැම් මාළිග අංගනයේ තම උපන්දින වෙනුවෙන් පැවැත්වෙන ආචාර පෙළපාලියක් පිරික්සීමට පැමිණෙන තෙක් පොරොත්තුව සිටිනා හමුදා අනුඛණ්ඩයක් මෙන් සීරුවෙන් සිටියෝය. ඇය ඔවුන් එකිනෙකාට ආචාර කරද්දී ඔවුහු ලජ්ජාශීලි ලෙස එකිනෙකා දෙස හොරැහින් බලමින් ඇඹරුනෝය. සෙන්දිල් ඇය අමතා දමිල භාෂාවෙන් කතා කලේය. දමිලයෝ දමිල භාෂාව නොදන්නවුන් ඉදිරියේ දමිලයෙන් කතා කිරීමට මහත් කැමැත්තෝය. දමිල නොදන්නවුන් ඉන් පත්වන දැඩි අපහසුතාවය ඔවුන්ට මහත් ආහ්ලාදයකි. බොහෝසෙයින් නිහඬ යටහත් පහත් ජන කොටසක් වන දමිළයින් තම ආධිපත්‍යය පතුරවන්නට ලැබෙනා මෙම එකම අවස්ථාව මැනවින් ප්‍රයෝජනයට ගන්නෝය.

සියළු ආචාර සමාචාරයන් අවසානයෙහි ඇය මගේ නිදන කාමරයට ඇතුළුවූ වහා මම ඇය පසුපසින් ගොස් වැළඳ ගතිමි. 

"මේ හලෝ ඉස්සෙල්ලම දොර වහල ඉන්නවද?" ඇය මවෙතින් මිදෙමින් පැවසුවාය.

මම නිදන කාමරයෙහි දොර වසා අගුළු දා නැවත ඇය වැළඳ ගතිමි. එවරද ඇය මගෙන් මිදෙන්නට තැත් කළාය. "ඇයි දැන් මොකද ප්‍රශ්ණෙ?" මම නොමනාපයෙන් විමසීමි. 

"නෑ නෑ කිසිම ප්‍රශ්ණයක් නෑ මම කියන්නෙ මේ ඔය වැඩේ බැරියැයි පස්සෙ. මොකෝ තව පැය බාගයක් පැයක් ඉවසල හිටියට මගෙ කෑල්ලක් අඩු වෙනවය.."

"ඉතිං කෑලි අඩුවෙන්නෙ නෑ නම් තමයි. මොකද ඔයා ඉතිං කියන්නෙ?"

"කියන්නෙ අපි ඉස්සෙල්ල කාල ඉමුද? මම මේ පහුගිය මාස දෙකටම චිකන් කෑල්ලක් කටේ තිබ්බෙ නෑ කියල කිව්වොත් ඔයා විස්වාස කරනවද?"

"හරි හරි ඔයා මාස දෙකකින් චිකන් කාල නෑ. මම මාස හතරකින් අහවල් වැඩේ කරල නෑ."

මගේ ස්වරයේ වූ නොමනාපය කැටිවූ හඬ ඇගේ මුවට ගෙන ආවේ මද සිනහවකි. "හරි හරි ඉවසල ඉන්නකො තව පැයක් හමාරක්. කෝ බඩු? "

"මම ෆ්‍රිජ් එකේ දැම්ම"

දොර විවර කොටගෙන සාලයට ගිය අනන්‍යා ශීතකරණය විවෘත කොට කුකුල් මස් භාජනය පිටතට ගත්තාය. 

"ෂාහ්...ඔයා බියරුත් ගෙනල්ල. නියමයි….." බීර බෝතලයක් පිටතට ගත් ඇය එය එතෙකුත් සාලයෙහි රැස්ව හුන් මගේ සගයින්හට දිගු කලාය. "ඔයාලත් බොනවද එකක්? "

මහත් භීතියට පත්වූ ඔවුහු දෑත් වනමින් ඇගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කලේ යමක් වේගයෙන් තොල මතුරමිනි. බොහෝවිට ඔවුහු දෙවියන්ගෙන් සමාව ඉල්ලා සිටියා විය හැක.

අප පාපයෙහි ගැලෙනු මගේ සගයින්ගේ ඇස ගැටීම වළක්වනු පිණිස අප දෙදෙන බීර බෝතල සහ තන්දූරි කුකුළුමස් අඩංගු භාජනය මගේ නිදන කාමරයට රැගෙන ආයෙමු. දොර යලි වසා අගුළුදමා මගේ ලියන මේසයෙහි වූ පුටු දෙකෙහි හිඳගත් ඇය සහ මම බීර බෝතල දෙකක් පානය කරන අතර ගරු කටයුතු කුක්කුට රාජයාටද වග කීවෙමු.

"රයිට් කාල බීල ඉවරයි. මට තවත් ඉවසන්ට බෑ..දැන් එහෙනං ඔන්න බෑ කියන්ට එහෙම ඔට්ටු නෑ හොඳද?..." මම ඇය තරව වැළඳ ගනිමින් පැවසූයෙමි.

"මේ මගේ බඩ ෆුල් හොඳද? ගුඩුස් එහෙම ගියාට ගණං ගන්ට එපා ඔන්න ඈ…" අනන්‍යා පැවසුවාය.

ඇගේ දෙතොල් සිපගන්නා අතර මම රාමතෙල් හැරියෙමි. 

"ෂික්...අප්පිරියාවෙ බෑ……" ඇය සෙමෙන් මගේ කම්මුලකට පහරක් දෙමින් පැවසුවාය.

අප දෙදෙන දීර්ඝ කාලයක් තරව සිප ගතිමු. මගේ කුටිය තුල මෙන්ම පිටත ලෝකයෙහිද කාලය එක්වරම නතරව ඇතිබවක් මට හැඟිනි. සිප ගැන්මෙන් අනතුරුව අප ලෝකාස්වාද රතියෙහි නිරතවූයේ ඉතා වේගවත්වය. ඒ මේ වනාහී පුරා මාස හතරකට පසුව අපට ලැබුණු ප්‍රථම අවස්ථාව කරණකොටගෙන මෙන්ම පසුගිය දින කිහිපය තුල අප දෙදෙනටම මුහුණ දෙන්නට සිදුවූ උද්වේගකර අවස්ථාවන්ට ප්‍රතිචාරයක් ලෙස ආතතිය මුදාහැරීමක් ලෙසද විය හැක. (Something like letting off steam I reckon )

"මේ…. මයි ඩියර් මිස්ටර් සිටි බෑන්කර්..අපිට කෝච්චියක් අල්ලන්ට නෑ හොඳද? ඒ හින්ද ඊලඟ පාර වෙරි ස්ලෝලි ඇන්ඩ් වෙරි ජෙන්ට්ලි... යූ අන්ඩර්ස්ටෑන්ඩ්?"

"හෙහ්..ඒ කියන්නෙ තව පාරක් තියනව කියන එකද?"

"අපි බලමුකො …." ඇය මගේ මුහුණ සෙමෙන් අතගාමින් පැවසුවාය.

ලෝකාස්වාද රතියෙහි නිරතවූ පසුව මම අනිවාර්යයෙන්ම පත්වන අර්ධ නිද්‍රාජනක තත්ත්වයට මම එළඹෙමින් පසුවුනෙමි. රාමනුජම්ගේ කුටියෙන් නික්මෙන සිහින් රාගධාරී සංගීත රාවය මගේ දෑස් සෙමෙන් පියවන්නට වූයේ නිරායාසයෙනි. 

"මේ හලෝ..මොනව හරි කියනවකො..පිරිමි ඔහොම්මමයි..ඔය වැඩේ විතරමයි ඕන….." අනන්‍යා මගේ බත්කෙණ්ඩ ප්‍රදේශයට පා පහරක් එල්ල කළාය. 

"මොන වැඩේද?" සයනයෙහි හිඳගනිමින් මම ඇසූවෙමි. 

"මොන වැඩේද කියන්නෙ? දැං අපි කරපු වැඩේ...ලිංගික කාය කර්මය…….." 

ඇය සයවන වසරෙහි ඉගෙනුම ලබද්දි ප්‍රජනන සෞඛ්‍ය පිළිබඳව ඉගැන්වූ ගුරුවරිය භාවිතා කල එම වදන අදාල කාර්යය හැඳින්වීම සඳහා යොදාගැන්මට ඇය බොහෝසේ ප්‍රිය කලාය.

"ඔව්..ඔව්..මට ඕකම විතරයිනෙ ඕන..ඒ හින්ද තමයි මම ඔයාගෙ මල්ලිට උදේ පාන්දර පහට පාඩම් කියල දෙන්න කැමතිවුනේ. ඒ හින්දම තමයි මම අද උදේ පාන්දර පැය හතරක් මේ කෙමිස්ට්‍රි නෝට්ස් පාඩම් කලේ......" සයනය අසලම වූ මගේ ලියන මේසයේ ලාච්චුව විවෘත කොට එහි වූ රසායන විද්‍යා කෙටි සටහන් ගොන්න පිටතට ගෙන ඇයට පෙන්වමින් මම පැවසුවෙමි. 

"මම බොරුවට ඔයාව කේන්ති ගස්සන්න එහෙම කිව්වෙ අනේ…………….." ඇය ඉදිරියට නැවී මගේ කොපුල සිපගනිමින් පැවසුවාය. "යූ ආ සෝ ස්වීට්...කිසිදේකට බයවෙන්න එපා හොඳද? මම අද කිව්ව කියල ලියල තියාගන්න. වැඩිකල් නොයාම මගෙ අම්මයි තාත්තයි බොහොම පැහැදිලිව තේරුම් ගන්නව ඔයා කොච්චර හොඳ කෙනෙක්ද කියල. අන්න එදාට එයාල මටත් වැඩිය ඔයාට ආදරය කරන්ට පටං ගන්නව. ආය ඒකෙ දෙකක් නෑ.,..හිහ්...හිහ්..."

"හරි..හරි...හරි….අපි බලමුකො " මම පැවසුවෙමි.

"බලන්ට දෙයක් නෑ. වැඩේ වෙන්නෙ එහෙම තමයි…." ඇගේ නෙතු සඟල දීප්තිමත්ව බබලන්නට වූයේය. "මම දන්නව ක්‍රිෂ් මේ වැඩේ ලේසි වෙන්නෙ නෑ. මගෙ අම්ම තාත්ත ටිකක් අමුතු කට්ටිය. මට පොරොන්දු වෙන්න මොනවා උනත් ඔයා මාව අත අරින්නෙ නෑ කියල"

"සත්තකින්ම නෑ අනන්‍යා මම පොරොන්දු වෙන්නම්. මම ඔයාව අත අරින්නෙ නෑ…." මම ඇගේ කාලවර්ණ කෙස් කළඹ අතරින් මගේ ඇඟිලි යවා පිරිමදිමින් කෙඳිරීමි.

"තෑන්ක්ස් ක්‍රිෂ්....අයි රියලි ඇප්‍රිෂියෙට් වට් යූ වුඩ් ඩූ ෆො මී...." දෑස් සෙමෙන් පියාගනිමින් අනන්‍යා පැවසුවාය. "මෙහෙම එකට තුරුලු වෙලා කතා කරකර ඉන්න එක..ක්‍රිෂ් ..මම හිතන්නෙ ඒක ලිංගික කාය කර්මයටත් වඩා අපූරුයි..නැද්ද? "

"මට ඒකට එක පාරටම උත්තරයක් දෙන්න බෑ..මැඩම්...දෙකම හොඳයි කියලයි මට හිතෙන්නෙ……" සයනයෙන් නැඟිට විදුලි පංකාවෙහි වේගය වැඩිකරමින් මම පැවසුවෙමි.

"ගෙදරදි අපි කිසිම දෙයක් ගැන අවංකව කතා කරන්නෙ නෑ....." අනන්‍යා කොට්ටයක් ඇඳ විට්ටමට හේත්තුකොට ඊට හේත්තු වූවාය. "අම්මයි තාත්තයි කිසිම දෙයක් ගැන කතා කරන්නෙ නෑ. ඇත්තම කිව්වොත් කතාකරන්නෙ නැත්තෙමත් නෑ. අපි ඔය රටේ දේශපාලන තත්ත්වය, කාළගුණය, හෙට කන්නෙ මොනවද? ඔන්න ඔය වගෙ වැඩකට නැති දේවල් ගැන වරු ගණං කතා කරනව. ඒත් අපේ ජීවිතයට වැදගත්වෙන දේවල් ගැන ඒ කිව්වෙ අපි එකිනෙකගෙ හැඟීම් ගැන..එව්ව ගැන වචනයක්වත් කතා කරන්නෙ නෑ. ක්‍රිෂ්, මම මේ ඇත්තමයි කියන්නෙ. මගේ හැඟීම් ගැන අවංකව මට කතා කරන්න පුලුවන් ඔයා එක්ක විතරමයි."

මම කිසිවක් නොපවසා නිහඬවූයෙමි. අනන්‍යා සයනයෙන් නැඟිට ඇඳුම් හැඳගත්තාය. පහත්ව බුමුතුරුණ මතවූ කොට්ටයක් අසුලා ගත් ඇය එහි උරය නියමිත පරිදි දමා සයනය මත තබා සකස් කලාය. ඇගේ සුරතින් ඇද මම ඇය සයනය මත මා අසල වාඩි කරවා ගතිමි.

"මේ ක්‍රිෂ්…...මම දෙයක් අහන්නද? ඇයි ඔයා තවම මට කිව්වෙ නැත්තෙ අම්මල තාත්තලට බම්බු ගහගන්න අපි දෙන්න ඔන්න ඔහෙ ගිහිල්ල කසාද බඳිමු කියල. ඇත්තම කිව්වොත් අපි දෙන්නට එහෙම කරන්ට කිසිම බාධාවක් නෑනෙ."

"ඔයා හිතන්නෙ මම එහෙම කරන්ට ඕනය කියලද? මම කියන්නෙ මේ අපි දෙන්න හිතු මතේට බඳිමුය කියල යෝජනා කරන්ට ඕනය කියලද? හරි අපි මෙහෙම හිතමු. මම එහෙම ඔයාට යෝජනා කලාය කියමු. මොකද ඔයා කියන්නෙ? එහෙම කරන්ට කැමති වෙනවද?"

"ක්‍රිෂ්..... ඇත්තම කිව්වොත් මට හිතාගන්ට බෑ ඔයා එහෙම යෝජනා කලොත් මම මොනව කියන්නද කියල. මම ඔයාට හුඟක් ආදරෙයි. ඒ වගේම මගෙ අම්මටයි තාත්තයිටත් හුඟක් ආදරෙයි. මට එයාලගෙ හිත් රිද්දන්න කොහෙත්ම ඕන නෑ. පන්ජාබි කොල්ලෙක් මගෙ අනාගත සැමිය හැටියට තෝරගෙන මම දැනටම එයාලගෙ හිත් රිද්දලයි තියෙන්නෙ. මට තවත් එයාලගෙ හිත් රිද්දන්න කිසිම ඕන කමක් නෑ. මට ඕන කොහොම හරි උත්සාහ කරල එයාලගෙ කැමැත්ත ගන්න අපේ විවාහයට. එයාලව ඔයාට කැමති කරව ගන්න. අපි දෙන්න බඳින දවසට ඒ දෙන්න හිනා කටක් පුරවගෙන අපි දෙන්නගෙ දෙපැත්තෙ ඉන්නව දකින්නයි ක්‍රිෂ් මට ඕන. විවාහයක් කියන්නෙ මොකක්ද කියල දැනුම් තේරුම් වෙච්චි දවසෙ ඉඳල මගෙ හීනෙ අන්න ඒක. ඉතිං ක්‍රිෂ් මොකද ඔයා කියන්නෙ?"

දෙදණට බරකල දෑතෙහි හිස රැඳවූ මම කෙස් අතරින් ඇඟිලි යවා හිස පිරිමදිමින් කතා කරන්නට වූයෙමි. "අනන්‍යා කොහොමත් අපි දෙන්නගෙ හිතුමතේට කසාද බඳින එකට මගෙ නම් කොහෙත්ම කැමැත්තක් නෑ…."

"ඇයි ඒ?.." අනන්‍යා දෙබැම රැළි කොටගෙන විමසුවාය. 

"එහෙම කරන එක බොහොම ලේසියිනෙ. රෙජිස්ට්‍රාර් කෙනෙක් ගාවට ගියා බැන්ද. අනික එහෙම කලාම අපි දෙන්නගෙ ප්‍රශ්නෙ විසඳෙයි. ඒත් ඒක එහෙම හරි යන්නෙ නෑ. අපි උත්සාහ කරන්න ඕන ඊට වඩා දෙයක් කරන්න ඊට වඩා හැමෝටම දැනෙන දෙයක් කරන්න…….."

"ඒ කිව්වෙ? මට තේරෙන්නෙ නෑ ක්‍රිෂ්….." සයනයෙන් නැඟිටගත් අනන්‍යා මේසය මතවූ කුකුළුමස් තසිම සුරතට ගෙන යලි හිඳ ගත්තාය. "මොකක් ගැනද ඔයා මේ කියන්නෙ? "

"මම කියන්නෙ අපේ රටේ මිනිස්සුන්ට හැදිල තියෙන මේ පිස්සුව ගැන. අපි ඔක්කොම ඉන්දියානුවො. එහෙම හිතන්නෙ නැතුව කවම කවදාකවත් මේ රට දියුණු කරන්ට බෑ. ඒත් අපේ අය හිතන්නෙ කොහොමද? දැන් මේ පැත්තෙ අය ගත්තොත් එයාල ඉස්සෙල්ල දමිලයො. ඊලඟටයි ඉන්දියානුවො වෙන්නෙ. අපේ පැත්තෙ අයත් එහෙමයි. එයාල ඉස්සෙල්ල පන්ජාබීන්. දෙවනුව තමයි ඉන්දියානුවො වෙන්නෙ. මේ පටු කල්පනාවල් වලින් මේ මෝඩ අදහස් වලින් මිදෙන්ට දැන් කාලය ඇවිල්ල. එහෙමයි මම හිතන්නෙ......"

අනන්‍යා දෑස් විදහාගත්වනම මදෙස බලා සිටියාය. "වාව්...ඔයා මෙහෙම සීරියස් කතා කරනව මම කවදාවත් දැකල නෑනෙ. මොකක්ද මේ හදිසි වාග් චාතූර්යයට හේතුව? තන්දූරි කුකුළද? බියර්ද? එහෙමත් නැත්නම් ලිංගික කාය කර්මයද? මට සන්තෝසවෙන්ටත් එක්ක කියන්න ක්‍රිෂ් හේතුව ලිංගික කාය කර්මය කියල. අනේ බොරුවට හරි කමක් නෑ කියන්නකො...." ඇය ඉඟි මරමින් පැවසුවාය.

"අනන්‍යා මේක කොහෙත්ම විහිලුවක් නෙවෙයි. මම ෆුල් සීරියස් මේ කියන්නෙ. ඉන්දියාව පුරාම භාවිතා වෙන මුදල් ඒකකය ඉන්දියානු රුපියල්. ඉන්දියාව පුරාම ගායනා කෙරෙන්නෙ එකම ජාතික ගීයක්. හැම ක්‍රීඩාවකටම අපිට ඉන්නෙ ඉන්දීය ජාතික කණ්ඩායමක්. ඒත් විවාහ වලට ගියාම අපි අපේ ප්‍රාන්තයෙන් පිට විවාහවලට කොහෙත්ම ඉඩ දෙන්නෙ නෑ. මේ වගෙ පසුගාමී චින්තනයක් කොහොමද අපේ රටේ දියුණුවට උදව් වෙන්නෙ? මේ මෝඩ අදහස් අයින් කරලම දාන්න ඕන. අඩුම ගානෙ අපිවත් ඒක කරන්න ඕන...."

"හරි මට කියන්න අපි කොහොමද ඒක කරන්නෙ? "

"අපේ දරුවො ගැන හිතන්නකො."

"මම හිතල තියෙන්නෙ. එයාලට මගේ මූණ තියෙන්න ඕන අනිවාර්යයෙන්ම. ම්ම්ම්..ඔයාගෙ ඇස් දෙකනම් තිබ්බට කමක් නෑ. ඒත් ඇස් දෙක විතරමයි. වෙන මොකවත්ම බෑ. "

"ඒ කෙහෙම්මලක් නෙවෙයි මනුස්සයො මම කියන්නෙ. අපේ දරුවො පන්ජාබීත් නෙවෙයි. දමිළත් නෙවෙයි. එයාල ඉන්දියානුවන්. මේ පිස්සු විකාර මොකවත් එයාලට බලපාන්නෙ නෑ. මම කියන්නෙ මේකයි. ඉන්දියාවෙ ඉන්න ඔක්කොම කොල්ලො කෙල්ලො තමන්ගෙ ප්‍රාන්තයට පිටතින් කොල්ලෙක් හෝ කෙල්ලක් හොයාගෙන කසාද බැන්දොත් වැඩි කාලයක් යන්ට ඉස්සර මේ විකාර ඔක්කොම නැතිවෙලා යනව. මම කියන්නෙ අන්න ඒ ගැන."

"හා..හා..හා..දැන්නෙ මට තේරුනෙ..ඔයා මේ මට ආදරේ කරන්නෙ මාත් එක්ක අහවල් වැඩේ කරන්නෙ වෙන කිසිම දෙයක් හින්ද නෙවෙයි අපේ රටේ මතු දියුණුව උදෙසා...එහෙම නේද?"

"මෙහෙමයි ඉතිං ඇත්තම කිව්වොත්…. ඒකත් එක හේතුවක් කියල සමහරවිට කියන්ටත් බැරිකමක් නැත්තෙම නෑ කියල මම කිව්වොත්......." මම මද සිනහවකින් යුතුව පැවසීමි.

සයනය මත වූ කොට්ටයක් සුරතට ගත අනන්‍යා ඉන් මට දමා ගැසුවාය. 

අප දෙදෙනාගේම මවුබිම එනම් ඉන්දියාවේ මතු දියුණුව උදෙසා ඉක්බිති අප දෙදෙන නැවත වරක් ලෝකාස්වාද රතියෙහි යෙදුනෙමු.

Wednesday, February 22, 2017

485. The Story Of My Marriage - 36 - A Chicken Eating & Beer Drinking Tamil Brahmin Girl……

චෙන්නයිහී තන්දූරි කුකුළුමස් සඳහා  සුප්‍රසිද්ධ
ඩෙල්හි ධාබා අවන්හල -  Image from Google Images

අනන්‍යා ඇගේ ත්‍රිරෝද රියෙහි කවුලුවෙන් හිස පිටතට රුවා මා සමඟ කතා කලාය. "මම මල්ලිගෙ ටියුෂන් වැඩේ ගැන අම්මයි තාත්තයි එක්ක කතා කරන්නම් ක්‍රිෂ්, සතියකට දෙපාරක් පහට හොඳද?"

මම උගුරෙන් අව්‍යාක්ත රාවයක් නැංවීමි. "උදේ පහට? ෂිට්..මොකක්ද අනේ ඔය පහේ වෙලාව? චෙන්නයිවල මිනිස්සු මොන කෙහෙල්මලක් කරන්ට මේ හැටි උදේම නැඟිටිනවද කියල දෙයියො තමයි දන්නෙ.."

"හලෝ..මේ ….උදේ පාන්දර තමයි ඉගෙන ගන්න හොඳම වෙලාව…..ඔහේ ඒක දන්නෙ නැද්ද?" එසේ පවසා මට සුරත වනා සමුගෙන ඇය නික්ම ගියාය.

අනන්‍යාට මගේ නිවස්නයට පැමිණිය හැකිවූයේ තවත් සති දෙකකට පසුව එළඹුණු ශනිදාවේදීය. පළමු සතිඅන්තයේදී අනන්‍යාගේ මෑණියන් කිසියම් රෝග තත්වයකින් පෙළෙමින් සයනගතව හුන් හෙයින් ආහාර පිළියෙල කිරීම අනන්‍යාහට පැවරිණි. එහෙත් අවාසනාවන්ත ලෙස ඇයගේ සූපවේදී කුසලතාවය අහ්මදබාද්හි මගේ කුටියෙහිදී නටන ජලයෙහි බහා තබා මැගී නූඩ්ල්ස් පිළියෙල කිරීමට සහ රෙදි මදින ස්ත්‍රික්කයක් භාවිතා කොට පපාඩ් පිළියෙල කිරීමට සීමා වූ බැවින් (එසේය දයාබර පාඨකය එසේ කල හැකිබවට මම සහතික වන්නෙමි) විය යුතු ලෙසම ඇගේ ආහාර පිළියෙල කිරීම ඛේදවාචකයක්ම විය.

(පරිවර්තකගේ සටහන - පපාඩ් යනු අපට සුපුරුදු පපඩම් වලට බොහෝසේ සමාන උඳු සහ තිරිඟු පිටි මිශ්‍ර කොට තැනූ ආහාරයකි. දකුණු ඉන්දියාවේ පපාඩ් ප්‍රධාන ආහාරය සමඟ ගන්නා අතුරු ආහාරයක් හෝ සුළු කෑමක් (Snack) ලෙස භාවිතා වේ. පපාඩ් බොහෝවිට රත්වූ තැටියක් මත අතුරා පුළුස්සා ගනු ලැබේ. රචකයා මෙහිදී ස්ත්‍රික්ක භාවිතා කොට පපාඩ් පිළියෙල කර ගැනීම පිලිබඳව වෙසෙසින් සඳහන් කරනුයේ දකුණු ඉන්දියානුවන්ගේ මුදල් වියදම්කිරීමේ මැළිකම උපහාසයට ලක්කිරීමට විය යුතුය. හුදෙක් නවාතැන් පමණක් සපයන හෝටල් කාමරයක නතරවූ කල්හි ආහාර සඳහා වැයවන මුදල අවම කොට ගැනීමේ අටියෙන් දකුණු ඉන්දියානුවන් විශේෂයෙන් කේරළයින් පිටි සහ උණුවතුර මිශ්‍ර කොට රොටී තනා කාමරයෙහි ඇති ඉස්ත්‍රික්කය භාවිතා කොට රොටි පුළුස්සා ගන්නා බව බොහෝ විදේශිකයින් අතර ප්‍රචලිත අන්දරයකි. එහි සත්‍යාසත්‍යභාවය කෙසේ වුවද හෝටල් කාමරයට නොමිලයේ සපයන ස්ත්‍රික්කය වෙනුවට නොමිලයේ අවශ්‍ය ඇඳුම් මැද දීමේ සේවයක් පවත්වාගෙන යන හෝටල් රාශියක් මම දනිමි.)

හදිසියේ අනන්‍යාගේ නිවසට පැමිණි ශෝභා නැන්දා අනන්‍යා පිළියෙල කල ආහාර වේල රස බලා කොපමණ චිත්ත ප්‍රීතියට පත්වූයේද යත් රෝගාතුරව සයනයෙහි වැතිරහුන් අනන්‍යාගේ මෑණියන් අසලට සාලයෙන් සුවපහසු අසුනක් ගෙන ගොස් තබා එහි දිගඇදී අසුන්ගෙන බ්‍රාහ්මණ වංශික මෑණිවරුන් තම දියණියන් කොපමණ උපාධි ලබා ගත්තද ඔවුනට ප්‍රණීත ආහාර වේලක් පිළියෙල කරන අන්දම අනිවාර්යයෙන් ඉගැන්වියයුතු බවට හෝරාවකට අධික කාලයක් මුලුල්ලේ නොමිලයේ දේශනයක් පැවැත්වූවාය.

දේශනයෙන් පසු අනන්‍යාගේ මෑණියන් සුවය ලබනතෙක් ආහාර පිළියෙල කීරිමේ කාර්යභාරය ශෝභා නැන්දා ස්වේච්ඡාවෙන්ම පවරාගත් අතර ඊට සරිලන වන්දියක් හා/හෝ ප්‍රති උපකාරයක් වශයෙන් ඊලඟ සති අන්තයේ ඇය සාරි සඳහා සුප්‍රසිද්ධ ටී නගර් කරා කැඳවා ගොස් ඇය තෝරාගත් සාරි කිහිපයකට මුදල් ගෙවා ඇයට පරිත්‍යාග කිරීමට අනන්‍යාට සිදුවිය.

මේ අතර අනන්‍යා හමුවන්නට අවස්ථාවක් නොලැබුණු ඒ කාල සීමාව තුල මම වසර අටකට පමණ පෙර අයි.අයි.ටී. ප්‍රවේශ පරීක්ෂණයට සාර්ථකව මුහුණ දීමට මට විශාල සහයක් ලබාදුන් බ්‍රිලියන්ට් ටියුටෝරියල්ස් ආයතනය වෙත ගොස් ඔවුන් විසින් නිකුත් කල නවතම උපකාරක පාඩම් මාලා පොත් කට්ටලයක් මිළදී ගතිමි.

රාත්‍රි කාලයෙහි මගේ සයනයෙහි දිගාවී එම පාඩම් මාලා පොත් කට්ටලය පෙරළා බැලූ මම එහි වූ විෂයකරුණු කරුණු වටහාගෙන ප්‍රවේශ පරීක්ෂණයෙන් සමත්වීම මවිසින් එම පරීක්ෂණයට මුහුණ දුන් දිනවලමෙන් තවමත් ඉතා අසීරු බව වටහා ගතිමි. සත්‍යය එළෙසින්ම පවසන්නේනම් අයි.අයි.ටී. ප්‍රවේශ පරීක්ෂණයෙන් මම පළමුවරම සමත් වීමේ පූර්ණ ගෞරවය හිමිවිය යුත්තේ මගේ දෙමව්පියන්ටය. විශේෂයෙන්ම මපියාණන්ටය. ඔහු එකල්හි කොපමණ චණ්ඩ ලෙස මගේ මෑණියන් හා අඩ දබර වූයේද යත් බොහෝ දිනවල සම්පූර්ණ සන්ධ්‍යා සමය මම ගත කලේ මපියාන්ගේ මුරගෑම් නෑසෙන ලෙස මගේ කුටියේ දොරගුලුලා   සවන් හොඳින් වැසෙන පරිදි හිස වටා තුවායක් වැන්නක් ඔතාගෙන පාඩම් කිරීමෙනි.

කෙසේ හෝ දිනපතා රාත්‍රි කාලයෙහි අවම වශයෙන් හෝරාවක් හෝ දෙකක්වන් කාලයක් හෝ වැයකරමින් පාඩම් මාලාවන් අධ්‍යයනය කොට මම මගේ පළමු පංතිය වශයෙන් අනන්‍යාගේ මළනුවන්හට රසායන විද්‍යාව ඉගැන්වීමට සූදානම් වූයෙමි.

එලෙසම අනන්‍යාගේ කොන්දේසි සපුරාලීම උදෙසා අවුලකින් තොරව කුකුල්මස් සහ බීර මිළදී ගතහැක්කේ කෙසේද යන්න පිළිබඳව උපදෙස් ලබා ගැනීම සඳහා මම අප නිවහන අසළම වෙසෙනා මා මිතුරු සර්දාරීවරයා හමුවන්නටද එක් ශනිදාවක ගියෙමි. 

(චෙන්නයි නගරයට මා පැමිණි පළමු දිනයෙහිදී ගුවන් තොටුපොළේ සිට මා පැමිණි ත්‍රිරෝද රථයෙහි රියදුරා සහ ඔහුට සහයට පැමිණි සගයින් සමඟ ඇතිවූ මත භේදයේදී මගේ සහයට පැමිණි අසල්වැසි රත්පැහැ ජටාවක් පැළඳිප්‍රාංශු දේහධාරී සර්දාරිවර්යා පිළිබඳව ඔබට මතක ඇතැයි මම උපකල්පනය කරන්නෙමි මා දයාබර පාඨකය.......)

"මොකටද කුකුළෙකුයි බියරුයි? කව්ද එන්නෙ? ඔහෙගෙ පන්ජාබ් යාලුවො කට්ටියක්ද?"

"නෑ..නෑ..මේ මම වැඩ කරන බැංකුවෙ ස්ටාෆ් එකේ දෙතුන් දෙනෙක්" සර්දාරීවරයාද ආරාධනාවක් රහිතවම එදින පැමිණීම වළක්වනු අටියෙන් මම වහා පැවසුවෙමි.

"හරි….හරි…. ඒත් එකක් ...ඔව්ව ලිෆ්ට් එකේ උඩට අරගෙන යනකොට බොහොම පරිස්සමින් හොඳද? කවුරුහරි දැක්කොත් එහෙම පහුවදාම දොට්ට දායි. ඔය බිල්ඩිමේ අයිතිකාරය සුරා සූදු සහ මස් මාංශවලින් පූර්ණවශයෙන් තොරේ බොහොම ධාර්මික භවතෙක්" සර්දාරිවරයා හඬනඟා සිනාසෙමින් පැවසීය.

සර්දාර්වරයාගේ උපදෙස් පරිදි මම මගේ නවාතැනෙහි සිට කිලෝමීටරයක් පමණ නුදුරින් වූ ඩෙල්හි ධාබා අවන්හලින් තන්දූරි කුකුළුමස් සෑහෙන පමණ මිළයට ගතිමි. ඉන් නික්මෙන ඊටම ආවේණික සුගන්ධය (හෝ ඔබ මාංශ විරෝධියෙකුවේනම් ඔබගේ ආකල්ප මත එය ගන්ධය හෝ විය හැක) සඟවාලනු වස් මම පොලිතීන් කවර තුනක පළහන ලද කුකුළු මස් එතූයෙමි.

තන්දූරි කුකුළුමස් - Image from Wikipedia

රජයේ අනුමත මත්පැන් හලින් බීර මිලදී ගැනීමෙහිදී අනපේක්ෂිත ගැටළුවක් මතුවූයේය. ඉන් මත්පැන් මිලදී ගැනීමට නම් ඔබ අවම වශයෙන් විසිපස් හැවිරිදි හෝ විය යුතුය. 

"මේ ඔයාට වයස විසිපහක් පේන්නෙ නෑනෙ. ඇත්තටම ඔයාට විසිපහට වැඩිද? නැද්ද? අපිට ඇත්ත කියන්න.." මත්පැන්හල් භාරකරුවා සැකමුසුව විමසීය. 

"ඇත්තම කිව්වොත් මට විසිපහක් නම් නෑ. ඒත් මේ හෙට අනිද්දම විසි පහ පිරෙනව. ඇත්තමයි."

"ඇත්ත කිව්වට බොහොම ස්තූතියි. ඒත් එහෙමනම් ඒ එක්කම බොහොම කණගාටුයි මට ඔයාට මත්පැන් දෙන්න බෑ"

"මේ....මෙහෙම කරමු මම එක බෝතලේක වැඩිපුර රුපියල් දහය ගානෙ දෙන්නම්. එහෙම කලහමවත් මට විසිපහට වැඩියි කියල සළකන්න බැරිද?"

"හ්ම්ම්ම්…..හා..හා...ඔච්චරම කියන හින්ද ඉතිං... බෑ කියන්ටත් මහ මොකක්ද වගේ..."

ඉන්දියාව පුරා උතුරු, දකුණු, නැගෙනහිර හෝ බටහිර කිසිදු වෙනසක් නැත. දෘඩ නීති රීති ලිහිල් කිරීමෙහිලා මුදලෙහි ඇති මහේශාඛ්‍ය බලය අසීමිතය.

මත්පැන්හල් භාරකරු දුඹුරුවන් කඩදාසි බෑගයක බීර බෝතල් තුන දැවටා දැල් කවුළුව අතරින් මවෙතට තල්ලු කලේය. කිසිවකුට බෝතල්වල හැඩය හඳුනාගත නොහැකිවන පරිදි මම ප්ලාස්ටික් බෑගයක ඒ බහාලූයෙමි. 

"මොනවද ඒකෙ? බෝතල් වගයක් නේද?" සෝපානයෙහි පොළව මත බීර බෝතල් අඩංගු බෑගය තැබීමෙහිදී ඉන් නිකුත්වූ ශබ්දය ඇසූ සෝපාන ක්‍රියාකරු මගෙන් විමසීය.

"මේ දෙහි යුෂ බෝතල් දෙක තුනක්..මම බොහොම කැමතියි දෙහි යුෂ වලට…"

"අපෝ දෙහියුෂවලට පුරුදු වෙන්ට එපා. ගෑස්ට්‍රික් හැදෙනව. මම කියන්ටද කුරුම්බා වතුර බෝතල් කරපුව මෙහෙ තියනව හැම සුපර් මාකට් එකකම වගෙ. අන්න ඒක මරු…."

"හොඳයි බොහොම ස්තූතියි උපදෙසට.....මම හෙට ඉඳලම එහෙම කරන්නම්කො…" මම මගේ නිල නොලත් බීම උපදේශකයා වෙත හිස පහත් කරමින් සෝපාණයෙන් පිටවූයෙමි.

බීර බෝතල ශීතකරණයෙහි තැන්පත් කරද්දී රාමනුජම් තම කුටියෙන් පිටතට පැමිණියේය. සුදු පැහැ ලුංගියක් හැඳ සිටි ඔහුගේ උඩුකය වැසී තිබුනේ එක උරහිසක් මත පැළඳගෙන හුන් සුදු පැහැති නූලකින් පමණි.

(ලුංගිය යනු ඉන්දියානුවන් යටිකය වසාගැන්මට භාවිතා කරන ශ්‍රී ලංකාවේ අප භාවිතා කරනා සරමට බොහෝසේ සමාන  වස්ත්‍රයකි.)

"ඒ මොනවද?..." ඔහු විමසීය.

"ආ..ඒ මේ බියර් බෝතල් වගයක්…" මම නොසැළකිල්ලෙන් මෙන්පැවසීමි. 

"යාළුවා..මම කලිනුත් ඔයාට බොහොම පැහැදිලිව කිව්ව නේද? මේ ගොඩනැඟිල්ලෙ කිසිම ඇල්කොහොල් වර්ගයක් ගෙන ඒම හෝ පානය කිරීම සපුරාම තහනම්"

"රාමා..මේ.....මේකයිනෙ මෙතන වැඩේ. මේ සෙනසුරාද මම යාලුවෙලා ඉන්න ගෑණු ළමය මාව මුණ ගැහෙන්න මෙහෙට එනව. එයා බියර් බොන්ට බොහොම ප්‍රිය මනාපයි"

"මොකක්? ඔයාට ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙකුත් ඉන්නවද?" රාමනුජම් දෑස් විසල් කොටගෙන විමසූයේ ගැටවර වියෙ පසුවන තරුණයකුට පෙම්වතියක් සිටීම යනු ගිනස් වාර්තා පොතට ඇතුලත්වියයුත්තක් සේ ඔහු සළකන නිසා වියයුතුය.

මගේ චමරි සගයින් කිසිවකුට පෙම්වතියක් නොවූහ.ඔවුන් සියල්ලෝම වෘත්තීය සුදුසුකම් සහිත, ප්‍රමාණවත් වැටුපක් ලබන සිටි බැංකුවේ රැකියා කරන්නවුන් වූන් නමුදු දෙමළ පාරම්පරික චාරිත්‍රානුකූලව ඔවුහු තම දෙමව්පියන් විසින් ඉහළම ලංසුවට විවාහ වෙළඳ පොලේ වෙන්දේසි කරන තෙක් සුවච කීකරු දරුවන් මෙන් තම අපේක්ෂාවන් සහ ආශාවන් සඟවා ගනිමින් කල් ගත කලෝය.

"ඔව්..මට ගර්ල් කෙනෙක් ඉන්නව. අපි හම්බවුනේ අහ්මදාබාද්වල එම්.බී.ඒ. කරද්දි…" මම රාමනුජම් දෙස බලා සිනාසුනෙමි.

අප කතා කරන ශබ්දය ඇසූ මගේ අනෙකුත් චමරි සගයෝ එකිනෙකා තම කාමරවල දොරවල් විවර කොට පිටතට පැමිණියෝය. ඔවුහු කිසිවකු උඩුකය වසා නොසිටියෝය. මගේ බීර බෝතල පිළිබඳ විදවත් සාකච්ඡාව තව දුරටත් ඉදිරියට යනු වැළැක්වීමේ අටියෙන් මම වහා ශීතකරණයෙහි දොර වසා දැමීමි.

"දැන්..මේ…..එයා..... ඒ කියන්නෙ ඔයාගෙ මේ ගෑණු ළමයා…..එයා ඔයාව මුණ ගැහෙන්ට චෙන්නයිවලට එනවද?" සෙන්දිල් විමසූයේ සාලයේ වූ සෝපාවක සුවපසු ලෙස අසුන් ගත්තේ දීර්ඝ සාකච්ඡාවකට සූදානමින් වියයුතුය. 

"ඉතිං එයා ඉන්නෙ කොහෙද? එයාට මෙහෙ ඉන්න බෑනෙ…. එහෙම නේද?" අප්පලිංගම් අප සියල්ලන්ගේ මුහුණු දෙස පිළිවෙලින් බලමින් විමසීය.

"නෑ..නෑ..නෑ..ඔහේල කලබල වෙන්ට ඕන නෑ..එයාට මෙහෙ නවතින්න ඕන වෙන එකක් නෑ කොහෙත්ම. එයාගෙ ගම්පළාතත් මෙහෙමයි. මේ චෙන්නයිවලමයි."

මගේ චමරි සගයින් එකිනෙකාගේ මුහුණු දෙස යලිත් විදහාගත් දෑසින් බලා සිටියේ ඊලඟ ඉතාම වැදගත් එනම් ඩොලර් හැට හතර දාහේ ප්‍රශ්ණය විමසන්නේ කවුද යන්න තීරණය කර ගන්නට නොහැකිව මෙනි. අවසන රාමනුජම් ඒ ප්‍රශ්ණය ඇසූයේ සිහින් හඬිනි. 

"ඒ කියන්නෙ... ඒ කියන්නෙ…. ඒ ළමය දෙමළද?"

"ඔව්….." මම පිළිතුරු දිනිමි. "දෙමළ කිව්වට දෙමළ විතරක් නෙවෙයි........දෙමළ........බ්‍රාහ්මණ වංශයෙ…….." මම අවසාන වචන තුන හොඳින් ඇද පැද පැවසූයේ ඔවුන්ට කම්පනය හොඳින් දරාගැන්මට ප්‍රමාණවත් පරිදි කාළය ලබා දෙමිනි.

"වාව්………" ඔවුහු සියල්ලෝම එක්වරම පැවසුවෝය.

"යස් වාව් ඉන්ඩීඩ්………." මම ඔවුන් දෙස බලා සිනාසුනෙමි. 

"ඒ ගෑණු ළමය එතකොට බියර් බොනව?" රාමනුජම් හිස දෙපසට සෙකින් සොළවමින් තමන්ටම කියාගත්තේය.

"ඔව්නෙ බොනවනෙ..හරි කරදරයක් නම් තමයි. ඒත් ඉතිං වෙන මොනවයි කියල කරන්නද? බියර් ඕනමයි කියල කියනවනෙ" එසේ පවසමින් මම තන්දූරි කුකුළා පිඟන් මැට්ටෙන් තැනූ තසිමකට දැමුවෙමි.

"මේ මොනවද? කුකුල් මස් නේද? එයා මසුත් කනවද? මොන ජාතියක බ්‍රාහ්මණ වංශිකයෙක්ද මේ ගෑණු මනුස්සය? ඇත්තම කිව්වොත් මට නම් මේ කිසි දෙයක් තේරෙන්නෙ නෑ" සෙන්දිල් අසුනින් නැඟිට සාලයෙහි එහා මෙහා සක්මන් කරන්නටවූයේ දැඩි නොසන්සුන් තාවයකිනි. 

"යාළුවා මේ ගෙදරට මස් මාලු මොකවත් ගේන්න තහනම්. මම හිතන්නෙ ඔහේ ඒක පැහැදිලිවම දන්නව" ඉක්බිති ඔහු සක්මන නවතා මදෙස හැරී පැවසූයේ චෝදනාත්මක ස්වරයකිනි.

"මේ..අපි මෙතන මේ වගෙ සුළු දේකටප්‍රශ්ණයක් ඇතිකරගන්න ඕන නෑ. හැබැයි මතක තියාගන්න මමත් මේ චමරියෙ සාමාජිකයෙක්. මටත් මගේ කැමැත්තක් කරන්න අයිතියක් තියෙන්න ඕන" මම සාමකාමී ස්වරයකින් පැවසීමි.

"ඒ වුනාට මෙතන නීතියක් සම්ප්‍රදායක් කියල එකක් තියනවනෙ. ඒ අනුව මස් මාලු මෙතනට ගේන්න බෑ" සෙන්දිල් යටිතොල සපාගත්වනම පැවසීය. ඔහුගේ නළල මත දහදිය බිඳු පෙලක් මතුවී තිබිනි.

චෙන්නයි නුවර වැසියෝ නීතිරීතීන් හට පෙම් කරන්නෝය. එසේ නැතහොත් නීතිරීති අනුගමනය කිරීමට පිළිපදින්නට බලවත්සේ කැමැත්තෝය. එහෙත් එහි ව්‍යාතිරේකයක්ද ඇත. ඒ ඔබ ත්‍රිරෝද රථ රියදුරකු, පොලිස් නිලධාරියකු හෝ මත්පැන් අලෙවිහල් භාරකරුවකු නොවන්නේ නම් පමණි.

"ඕක අල්ලල දාන්න සෙන්දිල්...මේක මේ ප්‍රශ්ණයක් කරගන්න තරම් දෙයක් නෙවෙයිනෙ.." රාමනුජම් සෙන්දිල්ගේ උරහිසට අතක් තබා පැවසීය. මද වේලාවක් කල්පනාවේ නිමග්නව හුන් සෙන්දිල් හිස සොලවා කැමැත්ත පළකලේය. 

"ස්තූතියි හැමෝට" එසේ පවසමින් මම කුකුල්මස් අඩංගු භාජනය පොලිතීන් කවරයකින් වසා ශීතකරණයෙහි තැන්පත් කළෙමි. "ආ තව එකක් කරුණාකරල එයා එන වෙලාවට උඩ කෑල්ලට කමිසයක් ඇඳගෙන ඉන්ට හොඳද? ඔය නූලක් විතරක් දාගෙන හිටියට හොඳටම මදි...මේක ඉතාම කාරුණික ඉල්ලීමක්…"

එදින පස්වරු දෙකට පමණ අනන්‍යා අප නවාතැනට පැමිණියාය.

Thursday, February 16, 2017

484. The Story Of My Marriage - 35 - The Hybrid Cop And My Fifty Rupee Kiss

චෙන්නයිහී මරීනා වෙරළ ඉදිරිපිට පිහිටි
තමිල්නාඩු පොලිස් මූලස්ථානය
 - Google Images

ඉන්දියානු සාගරය දෙසින් හැමූ මද නල අපගේ කෙස් අවුල්කොට දැමීය. අනන්‍යා ඇගේ හිස මගේ වම් උරහිස මත තබා දිගු සුසුමක් හෙලුවාය. මම මගේ සුරතින් ඇගේ සුමුදු වත සෙමින් පිරිමදින්නට වූයෙමි. මද රත්පැහැයෙන් දිදුලන හිරු ඉන්දියානු සාගරයෙන් සෙමෙන් හිස එසවීය.සෙමෙන් අහස ඉහළට යන්නාහාම හිරු මඬල මද රත් පැහැයේ සිට දඹරන් පැහැයක් ගත්තේය. මෙතෙක් ඉතා සෙමෙන් හමා ආ මදනල එක්වරම වේගවත් වූයේ මගේ සිරුර කිළිපොලවමිනි. අනන්‍යාද මට තවත් තදින් තුරුළු වූවාය.

මම සෙමින් පහත්ව ඇගේ නළල්තලය සිප ගතිමි.

"ක්‍රිෂ්..මේ...ඔයාට අපේ අම්මගෙයි තාත්තගෙයි හිත දිනාගන්න එක ක්‍රමයක් නම් තියනව" මගේ උරහිස මත තම හිස තබාගත්වනම ඈත ක්ෂිතිජයෙන් හිරු කෙමෙන් නැඟ එන අයුරු දෙස නෙත් යොමුකොටගත්වනම හුන් අනන්‍ය එකවරම හිස ඔසවා මාදෙසට හැරෙමින් පැවසුවාය. 

"ඒ කොහොමද?"

"අපෙ මල්ලිට අයි.අයි.ටී. එන්ට්‍රන්ස් එග්සෑම් එකට ටියුෂන් දෙන්න ඔයාට පුළුවන් නේද? මල්ලිව අයි.අයි.ටී. එකකට ඇතුල් කරවාගන්න අම්මයි තාත්තයි ඕන දෙයක් කරයි"

"අයි.අයි.ටී. ටියුෂන් දෙන්න?...මේ..මම?"

"ඔව්..ඔව්...මල්ලිව අයි.අයි.ටී. එකකට දාගන්න එක එයාලගෙ ජීවිතේ ලොකුම හීනයක්. ඒ හීනෙ හැබෑ කරවල දෙන්න ඔයාට පුලුවන් නම් ඔයා කොච්චර මොට්ට පංජාබි ගමරාල කෙනෙක් උනත් අම්මයි තාත්තයි ඔයාව බෑණ කරගන්ට එක පයින් කැමති වෙනව මට ඒක ෂුවර් ඇන්ඩ් ෂොට්…"

(සටහන - ඉන්දියාවේ අයි.අයි.ටී. අධ්‍යාපන ආයතන නොහොත් ඉන්දීය තාක්ෂණ ආයතනයන්ට (Indian Institute Of Technology) ඇතුළු වීම යනු ඉතා අසීරු කාර්යයකි. ඒ සඳහා ඉතා දුෂ්කර ඇතුළුවීමේ විභාගයකට මුහුණ දිය යුතුවේ. එම කඩඉම සමත්ව අයි.අයි.ටී. ආයතනයකට තම දරුවකු ඇතුලු වීම සාමාන්‍ය මධ්‍යම පාංතික ඉන්දීයානුවන් සලකනුයේ තමන්ටද ඥාතීන් සහ හිත මිතුරන් අතර ඉහළ සමාජ තත්වයක් නිතැනින්ම හිමිවන මහත් ජයග්‍රහණයක් ලෙසය.)

මම හිඳහුන් අසුනින් නැඟිටුනේ නිතැනිණි. "මොකක්? මොට්ට පංජාබි ගමරාල කෙනෙක්? එහෙමද දැං හිතං ඉන්නෙ?"

"හරි හරි හරි..දැං කලබල වෙන්නෙ නැතුව ඉඳ ගන්නකො. මම ඒ නිකං විහිලුවට වගෙ කිව්වෙ. අනික මම කිව්වෙ මොට්ට පංජාබි ගමරාල කෙනෙක් උනත් කියලනෙ. ඔයා ගමරාල කෙනෙක් කියල මම කිව්වෙ නෑනෙ..හිහ්..හිහ්…" අනන්‍යා සිනාසෙමින්ම මගේ සුරත අල්ලා යලි අසුන මත හිඳවූවාය.

"නෑ මම මේ කිව්වෙ මම අයි.අයි.ටී. එග්සෑම් එකට පාඩම් කලේ අවුරුදු අටකට ඉස්සර. කාටද එව්ව තවම මතක තියෙන්නෙ?"

"හරි, හරි...ආයම පොඩ්ඩක් පාඩම් කරන්නකො"

"ආයම පාඩම් කරන්න?"

"ඔව්..මොකද මම වෙනුවෙන් ඔයාට එහෙම දෙයක් වත් කරන්න බැරිද? "

"හරි හරි අපි බලමුකො…"

"බලමු නෙවෙයි ක්‍රිෂ්..අපි මෙහෙම කරමු. ඔයා ඔය පරණ පොත් දෙක තුනක් ආයම බලල මල්ලිට උදව් කරන්න විභාගෙ පාස් වෙන්න. එතකොට අපෙ අම්මලගෙ හිත්වල උනත් ඔයා ගැන යම් පැහැදීමක්, යම් පිළිගැනීමක් ඇතිවෙයි. එතකොට එයාලට ඔයාව කෙලින්ම ප්‍රතික්ෂේප කරන්න බැරිවෙනව. ආන්න එතකොට අපි මේ ගැන කෙලින්ම කතා කරමු"

"හරි හරි…"

"කන්නකො ඉතිං...මේ මම ගත්තු ඉඩ්ලි තවම එහෙම්මමනෙ.."

මම අප අතර අසුන මතවූ කඩදාසි බෑගයෙන් ඉඩ්ලියක් ගෙන චට්නි බඳුනෙහි බහා ගිල දැම්මෙමි. මගේ මෑණියන් සුපුරුදු පරිදි පාතරාසය උදෙසා තනන ගිතෙල් සුවඳ හමන උණු පරාතා මගේ මතකයට පැමිණියේ නිරායාසයෙනි.

"ඔයා මට ආදරෙයි නේද?" අනන්‍යා මගේ දෙතොල මත රැඳුනු චට්නි ස්වල්පයක් තම සුරතෙහි දබරැඟිල්ලෙන් සෙමෙන් පිසදමමින් විමසුවාය. 

පළමුව ඇගේ සුරතෙහි ඇඟිලි සිපගත් මම දෙවනුව අසුනෙහි ඇය දෙසට පහත්ව ඇගේ රත් පැහැ දෙතොල් සිපගත්තෙමි. මේ මම ඇගේ දෙතොල් සිපගන්නේ පුරා මාස දෙකකට පසුවය. ඒ අඩුපාඩුව යාවත් කාලීන කරනු උදෙසා මම මිනිත්තුවකට අධික කාලයක් ඇගේ තොල් සිපගත්තෙමි.

"ඒයි ...මොකද ඔය ඔතන කරන්නෙ?"

වර්ෂාවක සළකුණක් හෝ නොමැතිව පැහැදිලිව තිබූ නිල් අහස් කුස දෙදරවමින් එක්වණම ඇසෙනා මේඝ ගර්ජනාවක් බඳු හඬක් අප පසුපසින් නැඟිනි. බියෙන් ත්‍රස්තවූ අප දෙදෙන අසුනින් නැඟී සිටියා නොව අනිච්ඡානුගව නැඟීසිටවුනි. අප වෙත ජල්ලිකට්ටු ක්‍රීඩාවට යොදාගන්නා කුලප්පු වූ ගවයකු මෙන් දිව එමින් සිටියේ පොලිස් නිලධාරියෙකි. අප්‍රිකානු ගෝරිල්ලකු සහ ස්පාඤ්ඤයේ ගොන් පොර ක්‍රීඩාව සඳහා යොදා ගන්නා රෞද්‍ර ගවයකු අතර දෙමුහුමක් බඳුවූ ඔහුගේ මුහුණ එවේළෙහි අධික කෝපයෙන් වියරු වැටී තිබිණි.

(සටහන - ජල්ලිකට්ටු යනු ගවයින්ගේ පිටට පැන ඔවුන්ගේ මොල්ලිය තරව ග්‍රහණය කොටගෙන උපරිම කාලයක් බිම ඇද නොවැටී සිටීමට තැත් කිරීමේ ක්‍රීඩාවකි. බහුතරව දකුණු ඉන්දියාවේ පෙබරවාරි මස කෙරෙන මෙම ක්‍රීඩාව පසුගිය වර්ෂයේ අග භාගයේදී සත්ව අවිහිංසා සංවිධාන ඉදිරිපත් කල පෙත්සමක් විභාගකල ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහනම් කෙරිණි. එහෙත් ඊට ඉඩදෙන ලෙස ඉල්ලා ප්‍රාන්තය පුරා පැවැත්වුනු බහුජන උද්ඝෝෂණ වල ප්‍රතිඵලයක් ලෙස තමිල්නාඩු මහාධිකරණය කොන්දේසි සහිතව පසුගිය 2017 ජනවාරි 31 වන දින ඊට අවසර දුන්නේය. මෙම ජල්ලි කට්ටු ක්‍රීඩාව ස්පාඤ්ඤයේ පැම්පලෝනා නගරයෙහි සෑම වසරකම ජූනි මස පැවැත්වෙන වීදි ඔස්සේ ගොනුන් දිවවීමේ ක්‍රීඩාවට බොහෝ සේ සමානය. ස්පාඤ්ඤයේ ගොනුන් දිවවීමේ ක්‍රීඩාවට ද එරෙහිව බොහෝ උද්ඝෝෂණ පැවැත්වෙන නමුදු තවමත් කිසිවෙකුත් එය තහනම් කිරීමට පියවර ගෙන නැත. ජල්ලි කට්ටු ක්‍රීඩාවෙහි සහ ගොනුන් දිවවීමේ ක්‍රීඩාවෙහි වීඩියෝ දර්ශන දෙකක් පහත දැක්වේ.)






"මොකද තමුසෙලා හිතාගෙන ඉන්නෙ මෙතන ජෝගි නටන තැනක් කියලද? හුහ්..පේනවද කිසිම ලැජ්ජාවක් නැතුව හැසිරෙන විදිහ...තමුසෙල දෙන්නට මම….."

එසේ මුරගාමින් පොලිස් නිලධාරියා තම සුරතෙහිවූ මගේ මැණික් කටුව තරම්වූ වේවැලෙන් අප හිඳ සිටි බංකුවට වැරෙන් පහරක් දුන්නේය. දෑතින් මුහුණ වසාගත් අනන්‍යා වහා මා පසුපසට වී සැඟවීමට තැත් කළාය. 

"අනේ ක්‍රිෂ්..අනේ..මේ මනුස්සය යවන්නකො..අනේ යවන්නකො…"

"යවන්න? ඒ කොහොමද?"

"ඔය මිනිහ ඔය කෑගහන්නෙ සල්ලි ඉල්ලල..ඔය ඉල්ලන ගානක් දීල යවන්නකො.." ඇය නැවතත් මා පසුපසටවී කෙඳුරුවාය.

"මොනවද දෙන්නගෙ රහස් කතා? එනව යන්න දෙන්නම පොලිසියට..මම දානව දෙන්නම උසාවියට...සෙල්ලං වෙන්නෙ නෑ හොඳද? චෝදනා බරපතලයි..ප්‍රසිද්ධ ස්ථානයක අවිනීතව හැසිරීම..අනික හරියටම පොලිස් මූලස්ථානය ඉස්සරහම………"

"ඉතිං ඔහෙල මොකටද මේ කෙහෙම්මල් පොලිස් මූලස්ථානයක් ගෙනල්ල ගැහුවෙ මේ දෙනෝ දාහක් මිනිස්සු ගැවසෙන වෙරළක් අස්සෙ? ඔහෙලගෙමනෙ වැරැද්ද" වරද අපගේ නොව තමිල්නාඩු පොලිස් දෙපාර්තමේන්තුවේ බව ගෝරිල්ලාට පැහැදිලි කීරිමට මම උත්සාහ කලෙමි. 

"ක්‍රිෂ්…..මොනවද මේ කියවන විකාර?..ඔලුව හොඳ නැද්ද හැබෑටම?.. ඔය මනුස්සය ඉල්ලන ගාණක් දීල යවන්න මෙතන මේ හතර වටිං මිනිස්සු පිරෙන්ට ඉස්සෙල්ල" අනන්‍යා මගේ උරහිසේ එල්ලී කෙඳිරුවාය. 

කළිසමේ පසුපස සාක්කුවෙන් මුදල් පසුම්බිය පිටතට ගත් මම ඉන් රුපියල් විස්සක් ඉවතට ගතිමි.

"ඉල්ල ඉල්ල…" එසේ ගුගුරමින් ගෝරිල්ලා මගේ දකුණු උරහිසෙන් අල්ලා මිරිකුවේය.

මම යලි රුපියල් පණහේ නෝට්ටුවක් ඉවතට ගත්තෙමි.

"ෆර්ස්ට් ඇන්ඩ් ලාස්ට් වෝනිං" එසේ පවසා අනන්‍යාගේ සහ මගේ ඉස් මුදුනේ සිට පාදාන්තය දක්වා කිහිප විටක් බැලූ ඔහු මා දිගුල රුපියල් පණහේ නෝට්ටුවද මිටිකොටගෙන වෙරළ ඔස්සේ ඉවතට ඇවිද ගියේය.

ඔහු ඉවත යන දෙස මද වේලාවක් බලා සිටි අනන්‍යා බංකුවෙහි වාඩිවී සිනාසෙන්නට වූවාය.

"දැන්නම් හිනාවෙනව මහ ලොකුවට. අර පොලිස් කාරයා මෙතන ගෝරනාඩු කරනකොට බලන්ට තිබ්බ මගෙ පස්සෙ හැංගිල බයේ වෙව්ලපු හැටි"

එසේ පවසමින් ඇය දෙස නොපහන් බැල්මක් හෙලූ මමද බංකුවෙහි අසුන්ගෙන මගේ මේස් සහ පාවහන් පැළඳ ගන්නට වූයෙමි.

"හුහ්..මම ඒ එහෙම කලේ බයට නෙවෙයි..දන්නවද?"

"එහෙනං?"

"මම ඒ බැලුවෙ ඔයා මට කොච්චර ආදරෙයිද කියල"

"ඉතිං? දැං මොකද? ආදරේ තරම මැනගත්තද?

"ඔව්..ඔයාගෙ ආදරේ වටිනාකම රුපියල් විස්සයි.හිහ්..හිහ්…" ඇය සිනාසුණාය. 

"ඒක හොඳයි එහෙම දැනගත්ත එක. ෂිහ්..මට නම් අද ලොකු පාඩුවක් වුනේ…."

"ඇයි? මොකක්ද පාඩුව?" 

"එක කිස් එකකට රුපියල් පණහක් ගියා..අපරාදෙ.."

"හුහ් අපරාදෙ නේද? හා..හා..හරි එහෙනං තව ඕන තරම් දෙන්නකො ඔයාට ඇතිවෙනකල්….අර පණහට හරියනකල්" ඇය මවෙත සෙමෙන් ළංවෙමින් දඟකාර සිනහවකින් පැවසුවාය. 

"මේ කෝළං කරනවද? …." මම බියපත්ව වටපිට බලමින් ඇය ඉවතට තල්ලු කළෙමි. "අර ගෝරිල්ල ඔය කොහෙවත් පඳුරක් අස්සෙවත් හැංගිලා ඉඳල ආයෙමත් පාරක් කඩා පැන්නොත් මෙදා පාර රුපියල පණහකින් නම් බේරෙන්ට බැරිවෙයි ඔන්න.."

"හප්පෝ ඔයානම් පුදුම බයක් තියෙන්නෙ. ඔය දාඩියත් දාල..හිහ්..හිහ්.." ඇය හඬනගා සිනාසෙමින් පැවසුවාය.

"හරි හරි ඒ ගැන පස්සෙ කතාකරන්ට බැරිය..යමු පරක්කු වුනා…"  මම බංකුවෙන් නැඟිට කළිසමේ රැඳි වැලි කැට ගසා දැමුවෙමි.

"මේ..අනන්‍යා... අපි ආයෙ හම්බ වෙන්නෙ කොහොමද? ම්ම්ම්ම් ...මම කියන්ටද ? ඔයාට බැරිද අපේ චමරියට එන්ට වෙලාවක?" ත්‍රී වීලරයකට නැඟීමේ බලාපොරොත්තුවෙන් අසලවූ බස් නැවතුම්පල දෙසට පානඟන අතර මම ඇගෙන් විමසූයෙමි.

"හෙට අනිද්දම වගේ නම් බැරිවෙයි ක්‍රිෂ්..අර මම ඔයාට කිව්වෙ….මම මේ දවස්වල උදේම චෙන්නයි වලින් පිටත් වෙලා ගිහිල්ල ආපහු එන්නෙ රෑට රෑවෙලා"

"එහෙනම් සති අන්තයෙ කොහොමද? "

"අපි බලමු. මම උපරිම උත්සාහ කරන්නම්කො."

"හැබැයි එක පොරොන්දුවක් පිට…………." ඇගේ දෑසෙහිවූයේ දඟකාර සිනහවකි. 

"ඒ මොකක්ද?"

"මට තන්දූරි චිකන් එකක් ගෙනල්ල තියන්න හොඳ ළමය වගේ..මේ මාසෙ දෙකේ එළවලුම කාල මට ඇතිවෙලා තියෙන්නෙ"

" හෙහ්..ඒක මොකක්ද?...සිම්පල්නෙ"

"ආ...තව එකක්... බියර් බෝතල් දෙක තුනක්වත් ගෙනල්ල තියන්න මතක ඇතුව…………."

"හරි හරි නෝ ප්‍රොබ්ලම්" මම පොරොන්දු වූයෙමි. 

මා වසන චමරියෙහි මස් මාංශ ඉවීම සපුරා තහනම් වුවද පිසූ කුකුල්මස් පිටතින් ගෙන ඒම ගැටළුවක් විය නොහැකියැයි මම උපකල්පනය කළෙමි. 

ත්‍රිරෝද නැවතුම්පලෙහිදී අප දෙදෙන ත්‍රි රෝද රිය දෙකකට නැඟ ගතිමු. 

අනන්‍යා ඇගේ ත්‍රිරෝද රියෙහි කවුලුවෙන් හිස පිටතට රුවා මා සමඟ කතා කලාය. "මම මල්ලිගෙ ටියුෂන් වැඩේ ගැන අම්මයි තාත්තයි එක්ක කතා කරන්නම් ක්‍රිෂ්, සතියකට දෙපාරක් පහට හොඳද? "

මම උගුරෙන් අව්‍යාක්ත රාවයක් නැංවීමි. "උදේ පහට? ෂිට්....මොකක්ද අනේ ඔය පහේ වෙලාව? චෙන්නයිවල මිනිස්සු මොන කෙහෙල්මලක් කරන්ට මේ හැටි උදේම නැඟිටිනවද කියල දෙයියො තමයි දන්නෙ.."

"හලෝ..මේ ….උදේ පාන්දර තමයි ඉගෙන ගන්න හොඳම වෙලාව…..ඔහේ ඒක දන්නෙ නැද්ද?" එසේ පවසා මට සුරත වනා සමුගෙන ඇය නික්ම ගියාය.

Monday, February 13, 2017

483. The Story Of My Marriage - 34 - A Morning At Asia's Longest City Beach…..


මරීනා වෙරළෙහි හිරු උදාව..
ඡායාරූපය Indiaouting.com අනුග්‍රහයෙනි.


"මේ ඔයා කලින්ම ගාණ කතා කරන්න. නැත්තං මට ආයෙ ඒ මිනිහ එක්කත් ගහ ගන්න වෙයි" මම පැවසූයෙමි.

"ඒ මිනිහ එක්කත් කියන්නෙ? ඒ කියන්නෙ ඔයා මීට කලිනුත් ත්‍රී වීල් කාරයෙක් එක්ක ගහ ගත්තද?"

"එහෙනං…...ඇත්තම කියනවනං ගහගත්තෙමත් නෑ. ඒත් තව පොඩ්ඩෙන් ගහගන්ට වෙනව. ඒක වුනේ ඊයෙ රෑ එයාපෝට් එකේ ඉඳල චමරියට එද්දි. හෙහ්,හෙහ්, කොහෙද මට ඉතිං ඒ විස්තර ඔයාට කියන්ටවත් වෙලාවක් තිබ්බය" මම නොනවත්වා කියාගෙන ගියෙමි. 

තමන් විවාහ වන්නේ මා සමඟ පමණක් බව අනන්‍යා දැඩි ලෙස තිරකොට පැවසූ පසු මගේ සිත මහත් ආනන්දයකින් පිරී තිබිණි.

"හරි, අපි දෙන්නගෙ ප්‍රශ්නයක් මෙතන නෑ. අපි දෙන්නම එක අධිෂ්ඨානෙකින් ඉන්නෙ කවදකහරි බඳිනවාමයි කියල. ඒක හරි. ඒත් ළමයා මට තියෙන අවුල ඔයාලගෙ අම්මයි තාත්තයි මේ වැඩේට කැමති කරව ගන්න එකනෙ. මට තේරෙන්නෙ නෑ විශේෂයෙන්ම ඔයාලගෙ තාත්තව කැමති කරවගන්නෙ මොන දහංගැටයක් ගහලද කියල"

අනන්‍යා මද සිනහවකින් යුතුව මදෙස බලා සිටියාය. "මොකද හිනා වෙන්නෙ?" මම ඇසීමි.

"නෑ..නෑ...මොකවත් නෑ..කියන්න කියන්න..ඔයා කියන්න ආපු ඔක්කොම කියන්නකො………."

"කොටිම්ම කිව්වොත් ඔයා නාල එනකල් මම ඒ මනුස්සය ඉස්සරහ ඉඳගෙන හිටියෙ හයේ පන්තියෙදි දවසක් ඉස්කෝලෙ ප්‍රින්සිපල් මම ඔෆිස් එකට ගෙන්නල එයගෙ මේසෙ ඉස්සරහ දණ ගස්සවල තිබ්බ දවසෙ වගෙ බය බිරාන්ත වෙලා. බොරුවක් එහෙම නෙවෙයි අනන්‍යා මේ ඇත්තම ඇත්ත."

"හිහ්..හිහ්..මට නිකම් මේ මැවිල පේනව වගෙ ඔයා ඇස් දෙකත් ලොකු කරගෙන මූණ පුරා දාඩියත් දාල ප්‍රින්සිපල් ඉස්සරහ දණ ගහගෙන ඉන්නව. ෂික්..අපරාදෙ බලන්ටම වටින වැඩේ...හිහ්... "

"මේ...හිනාවෙන්ට එපා හොඳද? "

"හිනාවෙනව නෙවෙයි අනේ හිනා යනව..හරි ..හරි..දැන් කියමු බලන්ට ඔයා මොනව කරලද ප්‍රින්සිපල් ඒ දණ ගස්සල තිබ්බෙ?"

"ඒ..මේ…..වැඩකට ඇති දේකට නෙවෙයි."

"හරි හරි මොකටද කියන්නකො ඉතිං?........"

"ගෑණු ළමයෙකුගෙ කොණ්ඩෙං ඇද්දයි කියල…"

"හිහ්..හිහ්...හයේ පන්තියෙ ඉන්න කාලෙ ඉඳලම මනමාලකමේ නම් අඩුවක් තිබිල නෑ නේද?" අනන්‍යා පැවසූයේ මගේ වම් කොපුල සිප ගනිමිනි.

"මේ ඔය හිනාව නවත්ත ගන්නවද? මෙතන මොකක්ද තියෙන්නෙ හිනාවෙන්ට?"

"මම දැන් සැරයකුත් කිව්වෙ...මම හිතල හිනාවෙන්නෙ නෑ හලෝ..මට හිනා යනව ඒකට ඉතිං මම මොකක් කරන්නද?" අනන්‍යා නොනවත්වා සිනාසුණාය. මම අමනාපයෙන් ඉවත බලා ගතිමි "හරි හරි දැන් ඒක ඇති...හරි ඒ තාත්ත ගැනනෙ. අම්ම ගැන මොකද ඔයාට හිතෙන්නෙ?"

"හාපෝ...අම්ම එක්ක බලනකොට තාත්ත තව හොඳයි කිව්වැහැකි. අම්ම දැක්කමත් මගෙ කටේ කෙළ හිඳෙනව. අනික කොහොමත් මම ඔයාලගෙ අම්මට ඒ කාලෙ ඉඳලම පුදුමාකාර බයකින් නෙව හිටියෙ. ඇයි අර අහ්මදාබාද්වල ඔයාගෙ කාමරේ ඇඳ ලඟම බිත්තියෙ එල්ලල තිබ්බෙ අම්මගෙ ලොකු ෆොටෝ එකක්. මම ඔයාගෙ කාමරේදි ඔයාගෙ කම්මුලක් ඉඹින්ටවත් පණ බයෙන් හිටියෙ"


"ඈ? ඇයි ඒ?"

"ඇයි ඒ කියල අහන්නෙ? මට හිතුනෙම මම එහෙම කලොත් ඔයාගෙ අම්ම ෆොටෝ එකෙන් බිමට බැහැල මගෙ කණෙං අල්ලල ගෝරනාඩු කරයි කියල ඈ බොල අසමජ්ජාතියො තෝ මොකද ඔය මගෙ රත්තරං දුවට කරන්ට හදන්නෙ? ඉඳපං මම තෝ අද පට්ට ගහනව ඇහේ ඉඳල පල්ලෙහාට ..අන්න එහෙම"

"හිහ් හිහ්..හී.." අනන්‍යා සිනහව නවතා ගත නොහැකිව අසලවූ තාප්පයකට අත්දෙක තබා ඊට වාරු වූවාය. අප ඉදිරියට පැමිණෙමින් සිටි මහළු මිනිසෙක් මොහොතක් නැවතී අප දෙස බලා සිට ඒ අසලම වූ අතුරු පාරකට හැරී ඉක්මන් ගමනින් ඇවිද ගියේය. 

"මේ ඔය හිනාව නවත්ත ගන්නවද? අහල පහල ගෙවල්වල මිනිස්සුත් ඇහැරල එනව මම දන්නව දැන්" අනන්‍යාගේ උරහිසට අත තබා සොළවමින් මම පැවසූයේ බියපත් දෙනෙතින් හිස හරවා වටපිටද බලමිනි.

අනන්‍යා දැඩි ආයාසයකින් සිනහව වළකාගනිමින් මදෙසට හැරුනාය. ඇගේ දෑසේ කඳුලු පිරී තිබිණි. "ඔච්චර බය වෙන්ට දෙයක් නෑ ක්‍රිෂ්, මේ පැත්තෙ ඉන්නෙ ඔක්කොම අපේ නෑයො ලඟින් හෝ දුරින්..හිහ්..හිහ්…"

"හරි හරි අහල පහල ඉන්නෙ ඔක්කොම නෑයො කියල ඔහොම හිනාවෙන්න ඕනය?"

"ඔයා අර අපෙ අම්මගෙ ෆොටෝ වලට බයවෙච්චි කතාව කියනකොට හරිම කියුට් අනේ. ඇස් දෙකෙනුත් පේනව බය වෙච්චි තරම...මේ පාරෙ කොච්චර රෑ වුනත් මිනිස්සු යනව එනව. එහෙම නොවුන නම් මම ඔයාව බදාගෙන ඉඹින එක ඉඹිනව. සත්තයි.."

"අනේ.. අන්න එහෙම කරමුකො..හාද?" මම ඇගේ සුරත අල්ලා ගමිනින් පැවසුවෙමි. 

"පිස්සුද? යමු යමු ...තාම ත්‍රී වීල් එකක් අල්ලගන්ටත් බැරිවුනා. ඒ කරල මම ආපහු යන්නත් ඕන. තව ටිකක් බලල තාත්ත එයි මේ පැත්තට මොකද මම පරක්කු කියල බලන්ට"

"හපොයි..එහෙමද? එහෙනං යමු ඉක්මන් කරල. බදාගෙන ඉඹින එක වෙන වෙලාවක කරන්ට බැරිය" මම වහා ඇගේ සුරත අතහැර පය ඉක්මන් කලෙමි..

"හිහ්..හිහ්..ඔය මං කිව්වෙ නැද්ද?... You are so cute. That's why I love you so much Mr. Malhothra. Do you know that?" අනන්‍යා එළෙස පැවසූයේ සිනහව නවතා බැරෑරුම් ස්වරකිනි.

"So am I, Miss. Swaminathan, so am I" මම ද එවන් ස්වරයකින් පිළිතුරු දුනිමි. "මේ විහිලු ඇති...මොකද අපි දැන් මේකට කරන්නෙ? මම කියන්නද? ඔයාට බැරිද අම්ම හොඳ මූඩ් එකක ඉන්න වෙලාවක් බලල මේ ගැන වචනයක් දාන්ට?"

"වචනයක් දාන්ට නම් බැරිකමක් නෑ. ඒත් ඒකට අම්ම හොඳ මූඩ් එකක ඉන්න වෙලාවක් හොයාගන්න එක තමයි ප්‍රශ්නෙ"

"ඇයි අනේ ඒ?...."

"අම්ම මේ දවස්ටිකේම දිගටම ස්ට්‍රෙස් එකේ ඉන්නෙ"

"ඇයි ඒ?"

"අර අපෙ අම්මගෙ කර්ණාටික් සංගීත ගුරුවරයා අම්මට සංගීතෙ උගන්වන්න බෑ කියල කියනව"

"අප්පේ? ඒ මොකද?"

"ඒක ටිකක් දිග කතාවක්..මම පස්සෙ වෙලාවක ඔයාට කියන්නංකො."

"හරි..හරි..මේ අනන්‍යා අපි හෙට හම්බවෙමුද? හැබැයි ඔයාලගෙ ගෙදරනම් නෙවෙයි හොඳද? පිට කොහේ හරි.. ඔයාලගෙ ගෙදර නැතුව මට කොහෙ උනත් කමක් නෑ"

"ඕකේ..අපි හෙට මරීනා බීච් එකේදි හම්බ වෙමු"

"කීයටද?"

"හයට…"

"අපොයි මට කොහොමත්ම එන්න වෙන්නෙ නෑ හයට. මගෙ බොසා මිස්ට බාලා ඕෆ් වෙලා යන්නෙ අටට. ඊට කලින් මම ගියොත් එහෙම ඒ යකාට හාට් ඇටෑක් එකකුයි ස්ට්‍රෝක් එකකුයි එක පිට එක හැදෙයි විනාඩි දෙකක පරතරයක් ඇතුව. හෙහ්,හෙහ්,"

"බොස්ට හාට් ඇටෑක්වත් ස්ට්‍රෝක්වත් හැදෙන්ට හේතුවක් නෑ. මම හය කිව්වට හවස කියල කිව්වෙ නෑනෙ.."

"මොකක්? ඒ කියන්නෙ ඔයා මට එන්න කියන්නෙ උදේ හයටද? පිස්සුද ඔයාට?" මම දෑස් විදහාගෙන ඇය දෙස බලා සිටියෙමි. 

එවිටම අප පසුකොට යාමට ආ ත්‍රි රෝද රියකට ඇය සුරත දිගු කලාය.

රියදුරා ක්‍රාස්ස්ස් යන හඬින් රිය නතර කොටගෙන හිස එළිය දැමීය. "එන්නා? "

"Nungambakkam, Twenty Rupees, Extra Illai Ok?" අනන්‍යා රියදුරා අමතා පැවසුවාය.

සිටි බැංකු නවාතැනෙහි මගේ යාබද කුටි සගයාවූ රාමනුජම්ගෙන් ඉල්ලාගත් එලාම් ඔරලෝසුවේ අමිහිරි නාදයෙන් මම උදෑසන පහට පිබිදුනෙමි. එහෙත් එලෙස උදෑසනම පිබිදීමෙන් කිසිදු අවාසියක් නොවුනු බව මට වැටහීගියේ මරීනා වෙරළට උදෑසන හිරු උදාවන චමත්කාරජනක දර්ශනයෙන් වශීකෘත වූ පසුවය.

"මුලු ආසියාවෙම නගරයක් ආශ්‍රිතව තියෙන දිගම වෙරළ තීරය මේ මරීනා බීච් එක කියල ඔයා දන්නවද?" පෙර දින අප එකඟවූ පරිදි මරීනා වෙරළ තීරය යාබදව පිහිටි තමිල්නාඩු පොලිස් මූලස්ථානය ඉදිරියෙහිදී මා හමුවූ අනන්‍යා විමසුවාය.

"ඔව්..ඔයා මට කලින් කියල තියනව."

"ක්‍රිෂ් ….මොකෝ මේ ඔයා අත්දිග ෂර්ට් එකක් හොඳ කලිසමක් එහෙම ඇඳල... නිකම් මේ ඔෆිස් යන්ට වගෙ?"

"ඔෆිස් යන්ට වගේ නෙවෙයි ඔෆිස් යන්ට තමයි...හෙහ්,හෙහ්..ඔයාව හම්බවෙලා මම කෙලින්ම ඔෆිස් එකට යන්ටයි හිතාගෙන ඉන්නෙ. අඩුගානෙ හත හමාරටවත් එතන ඉන්න ඕන. පුහුණුවෙන කාලෙ එහෙම උදේම එන්න ඕනලු" ඒ අසල වූ බංකුවක අසුන්ගෙන පාවහන් ගලවා කලිසම් කකුල්ද දණහිස් දක්වා නවා ගනිමින් මම පැවසූයෙමි.

"එච්චර පාන්දරම යන්නෙ අර අහවල් දෙයක් කරන්නද?...මට පේන්නෙ සිටි බැංකුව් දොරවල් ඇරල අතුපතු ගාන්නෙත් ඔයාද කොහෙද" අනන්‍යා මගේ සුරත ගෙන වෙරළ ඔස්සේ ඇවිද යමින් පැවසුවාය.

"ආය එහෙමට කියල කරන්න දෙයක් නෑ. නිකම් මේ ලොක්කගෙ පිට කහන්ඩනෙ. එහෙම උදේම ගිහිල්ල ලොක්කගෙ හිත දිනාගත්තම තමයි ඊලඟ ලෙවල් එකට ප්‍රමෝෂන් එකක් එහෙම ලැබෙන්නෙ. එහෙම තමයි මහා පරිමාණ සමාගම්වල වැඩ කටයුතු කෙරෙන්නෙ"

"මටනම් තාම එහෙම ප්‍රශ්ණයක් නෑ. මට වෙලා තියෙන්නෙ මැනේජ්මන්ට් එකෙන් දීල තියෙන ටාගට් කවර් කරන්න බැරි එක. සතියකට කෙචප් බෝතල් දාහක් මම විකුණන්න ඕන. මට තාම එක සතියකවත් ඒ ගාණ විකුණගන්න බැරිවුනා"

අනන්‍යා එසේ පවසමින් ඒ අසළ පාපැදියක පසුපස සවිකල පෙට්ටියක බහාලූ යම් ආහාර වර්ගයක් විකුණන තරුණයකු අසල නැවතුනාය. 

"ක්‍රිෂ් ඔයා තවම උදේට මොකවත් කාල නෑ නේද?"

"කාල නම් නෑ. මොනවද ඕකෙ තියෙන්නෙ? චිකන් ටෝස්ට් දෙක තුනක් තියනවනම් මේ වෙලාවෙ බොහොම අගෙයි"

"පිස්සුද? චිකන් කොහෙද මෙහෙ? චෙන්නයිවල කෑම සීයට අනූඅටක්ම වෙජිටේරියන්. ඒ හින්ද තියන දෙයක් කන්න පුරුදු වෙනව හලෝ.." අනන්‍යා ඉඩ්ලි හතරක් මිලයට ගත්තාය.

ඉඩ්ලි සහ ඒ සමඟ ලැබෙන චට්නි අඩංගු භාජනයද රැගෙන අප දෙදෙන ඒ අසල තුරු සෙවණක සාගරය දෙසට මුහුණලා සවිකල කොන්ක්‍රීට් අසුනක හිඳගතිමු.

ඈත ක්ෂිතිජය දෙස මොහොතක් බලාසිටි අනන්‍යා කථාකලාය. "මම ඔයාට කිව්වනෙ අපෙ අම්ම ගැන කතාවක් කියන්නම් කියල. අම්ම අප්සෙට් වෙලා ඉන්නෙ අර සංගීත ගුරුවරයා, එයාලට කියන්නෙ ගුරුජී කියල...ඉතිං ඒ ගුරුජී අම්මට ගායනය උගන්වන්ට බෑ කියල"

"ඉතිං ඇයි එහෙම බෑ කියල තියෙන්නෙ?"

"මේකයි….ගුරුජී කියල තියනව අම්මගෙ කැපවීමයි දක්ෂතාවයයි දෙකම මදිය කියල.."

"දක්ෂතාවය මදියි කියල?... ඒත් ඔයාලගෙ අම්මගෙ ගායනය හොඳ මට්ටමක තියනව නේද?.......මටනම් ඊයෙ හිතුනෙ එහෙමයි."

ඊයේ රාත්‍රියේ අනන්‍යාගේ නිවසෙහිදී මා බියෙන් ත්‍රස්ත කල කිසිවකුගේ ගෙල මිරිකන විට උගුරෙන් නිකුත්වන්නාවූ භයංකර ශබ්දය වැන්නක් යලි කිසිදිනක අසන්නට නොලැබේවා යන්න මගේ ඒකායන ප්‍රාර්ථනය වූ නමුදු මම කිසිසේත්ම එළෙස නොපැවසූයෙමි. තමන් ප්‍රේමයෙන් බැඳී සිටිනා යුවතිය වෙනුවෙන් මෙවන් අසත්‍යයක් හෝ පැවසිය නොහැකිනම් එවන් ප්‍රේමයකින් කුමන ඵලයක්ද?

"මෙතන වැඩේ මෙහෙමයි ක්‍රිෂ්, අම්මගෙ ගායනය ඇත්තටම හොඳයි. තාත්ත චෙන්නයි වලින් පිට වැඩ කරපු හැම තැනකදිම එහෙ ටැමිල් කමියුනිටි එකේ අම්මට ලොකු තැනක් තිබ්බ. ලොකු පිළිගැනීමක් තිබ්බ. මම අර කිව්වෙ කොල්කටා වල එහෙම. ඒත් වැඩේ කියන්නෙ චෙන්නයිවල තැනකට එන්ට ඒ දක්ෂතාවය හොඳටම මදි. මෙහෙ ස්ටෑන්ඩර්ඩ් එක හොඳටම ඉහළයි. අම්මට ඒ මට්ටමට එන්ට ඇත්තටම අමාරුයි" 

මම හිස සොලවා ඇය පැවසූ සියල්ල අනුමත කළෙමි. "ඔව්..ඒකත් ඇත්ත වෙන්න පුලුවන් තමයි"

"ඉන්දියාව පුරාම වැඩ කරල මගෙ අම්මයි තාත්තයි ආපහු චෙන්නයි වලට ආවෙ මහ විසාල බලාපොරොත්තු සම්බාරයක් පපුව ඇතුලෙ හිරකරගෙන. ඒත් දැන් එයාලගෙ ඒ බලාපොරොත්තු එකින් එක විනාසවෙලා යන එකයි වෙන්නෙ. තාත්ත ගොඩක්ම බලාපොරොත්තු තියාගෙන හිටපු ප්‍රමෝෂන් එක එයාට ලැබුනෙ නෑ. ඕන එකටයි එපා එකටයි හැම දේටම ඇඟිලි ගහන නෑදෑයො මහම කරදරයක් වෙලා තියෙන්නෙ. ඉතිං මේ ඔක්කොම කරදර අස්සෙ එයාලගෙ එකම දුව කියනව බ්‍රාහ්මණ වංශික නොවෙන, ඒ මදිවට අඩුගානෙ දෙමළවත් නොවෙන පන්ජාබි කොල්ලෙක් එයාලගෙ බෑණා හැටියට පිළිගන්නෙයි කියල. එයාලට පිස්සු හැදුනෙ නැත්තං ඇති..හිහ්..හිහ්...අපි ටිකක් ඉවසමු ක්‍රිෂ්, එයාලට තව ටිකක් කල්දෙමු ඔයාව හරියට අඳුනාගන්ට. මම ඔයාට වගේම එයාලටත් ආදරෙයි ක්‍රිෂ්..."

නොනවත්වා කථාකල අනන්‍යා කථාව නවත්වා වේගයෙන් හුස්ම ගත්තාය. ඇගේ වත රත්පැහැගත්තේ උදෑසන හිරු එළිය පතිතවීමෙන්ද නැතහොත් ඇගේ කථාවේවූ උද්වේගකර ස්වභාවය හේතුකොටගෙන්දැයි මම නොදත්තෙමි. ඒ කෙසේ හෝ එවේලෙහි ඇය මට කොපමණ සුන්දරව දර්ශනය වූයේද යත් මට ඇගේ වත සිපනොගෙන සිටිය නොහැකි විය.

ඉන්දියානු සාගරය දෙසින් හැමූ මද නල අපගේ කෙස් අවුල්කොට දැමීය. අනන්‍යා ඇගේ හිස මගේ වම් උරහිස මත තබා දිගු සුසුමක් හෙලුවාය. මම මගේ සුරතින් ඇගේ සුමුදු වත සෙමින් පිරිමදින්නට වූයෙමි. මද රත්පැහැයෙන් දිදුලන හිරු ඉන්දියානු සාගරයෙන් සෙමෙන් හිස එසවීය. සෙමෙන් අහස ඉහළට යන්නාහාම හිරු මඬල මද රත් පැහැයේ සිට දඹරන් පැහැයක් ගත්තේය. මෙතෙක් ඉතා සෙමෙන් හමා ආ මදනල එක්වරම වේගවත් වූයේ මගේ සිරුර කිළිපොලවමිනි. අනන්‍යාද මට තවත් තදින් තුරුළු වූවාය.

මම සෙමින් පහත්ව ඇගේ නළල්තලය සිප ගතිමි.

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...