Saturday, May 4, 2024

693. නලින් ද සිල්වා ගැන මගේ මතක......



නලින් ද සිල්වා ගැන බොහෝ දෙනෙක් ලියනව ඉස්සෙල්ලම නලින් ලොක්කා හම්බ උනේ අරමයි මෙහෙමයි අපි කතා කලේ අරවයි මේවයි කියල..

මෙතන ඉතිං නෝන්ඩි වෙන්න බෑ නෙව... ඒ හින්ද මමත් කල්පනා කලා සජීවීව නලින් ලොක්කා හම්බ උන දවස ගැන පොඩි විස්තරයක් ලියන්ට..

ඒක උනේ මට මතක විදිහට 1992 නැත්නම් 1993 අවුරුද්දෙ විතර..ස්ථානය මාතලේ හෝටලයක්..මට හෝටලේ නමත් මතක නම් නෑ..එතන එදා තිබ්බ මංගල්‍ය උත්සවයක්...මහවැලියෙ මගෙ අතිජාත මිත්‍රයෙක්ගෙ විවාහය එදා..

මගේ මිත්‍රය ගැන මම බ්ලොග් එකේ ලියල තියනව සෑහෙන පෝස්ට් තොගයක්..අන්න එහෙම චරිතයක් බුවා..

අපේ ඉතිං විවාහ මංගල්‍යයන්හි අනිවාර්යයෙන්ම මත්පැන් තියෙන්ටම ඕන..බොන්ට දෙන්නෙ නැත්නම් විකල්පය මෙහෙමයි.. ජෝඩුවට දෙන්ට ලියුම් කවරෙක දාල සල්ලි ගේනවනෙ..අපි ඔය සල්ලි ගේන්නෙ මාරු කරල පොඩි කොලවලිං..ඒ කාලෙ ඉතිං දෙන්නෙ රුපියල් තුන්සීයක් හාරසීයක් වගේනෙ උපරිම පන්සීයයි..ඔය ගාණ ගේන්නෙ පණහෙ සීයෙ කොළවලිං..

මත්පැන් සපයන්ට සූදානමක් නැති සයිස් එකක්නං තියෙන්නෙ අපි කට්ටිය කරන්නෙ ඉස්සෙල්ලම අර ජෝඩුවට දෙන්ට ගෙනාපු සල්ලි වලිං පණහ පණහ එකතු කරල බයික් එකක් තියෙන එක්ක තව එකෙක් කිට්ටුවම තියන බාර් එකට යවල අරක්කු, බයිට්, සෝඩා, සිගරට් එහෙම ගෙනල්ල හෝල් එකේම කොහෙ හරි මුල්ලක එහෙමත් නැත්තං මිදුලෙ ගහක් යට පුටු දෙක තුනක් රවුමට ඇරේන්ජ් කරල වැඩේ කරගෙන යනව..

ඒ කාලෙ මට මතක විදිහට ගල් එකක් එකසිය පණහක් වගෙ වෙන කාලෙ..ඉතිං බොහෝවිට පණහක කලෙක්ෂන් එකක්  ඇති හොඳටම.... මදිම වගේ නම් ඒ වෙනකොටත් කෙලිං කටිං ඉන්න එවුං ආයම විසිපහක් තිහක් වගෙ එකතු කරල තව බඩු ගේනව..අන්තිමට ලියුං කවරෙ ඉතුරු වෙච්චි ගාණ කීයක් හරි ඒක තමයි ඉතිං ජෝඩුවට දෙන්නෙ..

ඩෝප් වැඩි වෙච්චි එවුං සම්ටයිම්ස් සල්ලි දෙන්නෙත් නැතුව එනව...වංජාවකට එහෙම නෙවෙයි..ෆොගොටිනික් වෙලා..ඒ කියන්නෙ අමතකම වෙලා..අනික උස්සං ඇවිත් වාහනේට දාන එවුංට කොහෙද සල්ලි දීල එන්ට සිහියක් පතක්.. 

ඉතිං ඔය මනමාලය සතියකට පස්සෙ විතර ආපහු වැඩට එනවනෙ..එදා තමයි ඔන්න මඟුල දවසෙ සල්ලි දෙන්ට අමතක වෙච්චි එවුං ඇවිල්ල සල්ලි දික් කරන්නෙ..අනේ බං එදා අමතක උනානෙ සල්ලි දෙන්ට ආ..මෙතන තියනව හාරසීයක් හරි තුන්සීයක් හරි කීයක් හරි..බොහෝවිට වෙන්නෙ ඒ සල්ලි එදාත් ඌට දෙන්නෙ නෑ ...එව්ව එකතු කරල ආයම අරක්කු ගෙනල්ල බොනව..

හරි ඒ අනම්මනම් කතා ඇති..දැං එමු නලින් ඩි සිල්වගෙ සීන්ස් එකට..

අර මගෙ යාලුවගෙ මාතලේ වෙඩිං එකේනං එහෙම කලෙක්ෂන් දාන්ට උනේ නෑ..මොකද ඌ නාන්ට බඩු ලෑස්ති කරල තිබ්බ..මධුපානෝත්සවය ලෑස්ති කරල තිබ්බෙ වෙඩිම තිබ්බ හෝල් එකේම පැත්තක තිබ්බ ලී සොල්දරයක් උඩ..

අපි ඉතිං ගිහිල්ල යාලුවට "හලෝ මචං..හව් ආ යූ?..බෙස්ට් විෂස් ෆෝ අ මෙරී ක්‍රිස්මස්" කිව්ව....ඒ එක්කම ඇහිබැම උස්සල උගෙං අහනව "වෙයා ද හෙල් ඊස් ද ප්ලේස්?" කියල....ඌ ඇස් කරකෝල කටත් එක්ක අඹරවල පෙන්නනව අර මං කියපු සොල්දරේට නඟින පඩි පෙල..අපි ඉතිං තවත් ප්‍රමාද නොවී අප්පමාදෝ අමත පදං කියල සොල්දරේට නඟිනව..

දැං වැඩේ සොල්දරේ උඩ නැඟල යනව..සිංදුවක් එහෙමත් හෙමිහිට කියවෙනව ඩොලැක්ක පාරකුත් එක්ක..

ටොයිලට් තිබ්බ පල්ලෙහා..පම්ප් එක දාන්ට අර සොල්දරේ ඉඳල ලී පඩි පෙලේ බැහැල මංගල සබාව මැද්දෙං ගිහිල්ල හෝල් එකේ කෙළවරටම යන්ට ඕන..

ඔන්න එක පාරක් පම්ප් ටයිට් එකක් ඇවිල්ල මම ලී පඩිපෙලේ අත්වැට එහෙමත් අල්ලගෙන ඒකටම බරවෙලා පරිස්සමට පල්ලෙහාට බැස්ස..

ඉතිං මම දැං බොහොම පරිස්සමට මංගල සබාව මැද්දෙං සීරුවට අඩිය තිය තිය ටොයිලට් පැත්තට යනව.. එක පාරටම පුටුවක ඉඳගෙන හිටපු බුවෙක් පුටුව පස්සට තල්ලු කරල නැඟිට්ට..නැඟිට්ට පාරට තව පොඩ්ඩෙං මගෙ ඇඟේ හැප්පෙනව..මම සාමාන්‍යයෙන් බිව්වම බොහොම ආචාරශීලියි..සාමාන්‍යයෙනුත් එහෙම තමයි..බිව්වම උපරිමයි..එහෙම කට්ටිය ඉන්නව..බොන්ඩ බොන්ඩ ඇග්‍රෙසිව් සහ බොන්ඩ බොන්ඩ පොලයිට්..මම දෙවෙනි කැටගරි එකේ..

ඉතිං මම අර අර එකපාරටම නැඟිට්ට බුවාට වෙරි සොරි කියල ඔලුවත් පාත් කලා..එතකොට පොරත් ඔලුව උස්සල බැලුව....හිනා උනාද නැද්ද? මොකවත් පිලිතුරක් දුන්නද? ඒ මොකවත්නම් මට මතක නෑ ඇත්තම කිව්වොත්..ඒත් මෙන්න යකෝ..මේ පොර නලින් ද සිල්වා වගේමයි..ආය ඇරපු අතක් නෑ..කපාපු පලුවෙ අනික් එක..මම ඉතිං ඔයා නලින් ද සිල්වද? කියල අහනව ඒ වෙලාවෙ..කරුමෙ කියන්නෙ මට ඒ වෙලාවෙ නලින් ද සිල්වා කියන නම අමතක උනා කියහල්ලකො...

පම්ප් එක දාන ගමනුත් මම මතක් කලා නලලත් රැළි කරගෙන මොකාද මේ පොර වගේම මම දන්න පොර කියල..ම්හු මතකෙට එන්නෙම නෑ..ඒ පාර මම ඉතිං පම්ප් එක දාල එහෙම ඉවර වෙලා කර කර හිටපු වැඩේ කරන්ට ආපහු සොල්දරේට නැග්ග..

නලින් ද සිල්වා ඒ දවස් වලත් පුවත් මවන්නෙක්..ඔය කාලෙ මං හිතන්නෙ අර කොළඹ විශ්ව විද්‍යාලෙ ඒ කාලෙ හිටපු කුලපති ජීඇලා එක්ක වලියක් ගිහිල්ල පොරව යුනිවසිටි එකෙං දොට්ට දාල තිබ්බ කාලෙ වෙන්න ඕන..දිවයිනට ජාතික චින්තනේ ගැන කොලමකුත් ලිව්ව..ඒ හින්ද පොර සාමාන්‍යයෙන් රටේ තොටේ ප්‍රසිද්ධයි.....

මම ඉතිං ගිහිල්ල අපේ එවුංගෙං ඇහැව්ව "කවුද බං අර ප්‍රසිද්ධ ප්‍රොපා? ජීඇලා කොලඹ යුනිවසිටි එකෙං එලියට දැම්මෙ? අර ඉරිදා දිවයිනට කොලමක් ලියන්නෙ?" කියල..

මොන? උං එකෙක් වත් එහෙම එකෙක් ගැන දන්නෙවත් නෑ..ඒක අස්සෙ එකෙක් සද්දයක් දැම්ම "මොනවද බං උඹල මේ ඩොකෙක් ගැන කියවන්නෙ? වරෙල්ල වරෙල්ල සිංදුවක් කියමු.." කියල..මමත් ඉතිං තව එකකුත් දාගෙනම  සිංදුවට ජොයින් උනා..

සිංදු කිව්වට බිව්වට මගෙ සිහියෙ තිබ්බෙම අර පල්ලෙහා තට්ටුවෙ දැකපු බුවා..කවුද කවුද කවුද මූ?"... යුරේකා..Finally the penny dropped.. නලින් ද සිල්වා..පල්ලෙහා ඉන්නෙ නලින් ද සිල්වා..

"අඩේහ්..අර පල්ලෙහා ඉන්නෙ බං නලින් ද සිල්වා..එහෙම නැත්තං පොරගෙ නිවුන්නා." මම කෑගහල කිව්ව..ඔන්න ඒ ගමන නම් දෙතුන් දෙනෙකුට නලින් ද සිල්වා මතක් උනා..

"එහෙනං යමල්ලකො නලින් ද සිල්වා බලන්ට.." කියල එකෙක් කිව්ව... 

අපි තුං හතර දෙනෙක් පඩි පෙලේ බාගයක් බැහැල පල්ලෙහා හෝල් එකට එබුනා..පොර ඉඳං හිටපු පුටුව හිස්..

"ඒක තමයි කිව්වෙ උඹට ඩෝප් වැඩියිද කොහෙද බං.." එකෙක් මගෙ පිටට පාරක් ගැහැව්ව..

"අනික නිසාන්  මේ මාතලේමනෙ ගම..ඔය නලින් බුවා ගාල්ල පැත්තෙ මම දන්න විදිහට..ඉතිං කොහොමද  ඒ යකා මුගෙ වෙඩිං එකට එන්නෙ?.."..තව එකෙක් කිව්ව (නිසාන් කිව්වෙ අපෙ යාලුවා a k a මනමාලයා) 

"හරි හරි එහෙම වෙන්නැති එහෙනං.." මමත් කිව්ව..

අපි ආපහු සොල්දෙරේ උඩට ගිහිල්ල කර්මාන්තය පටං ගත්ත..අන්තිමට කොහොම හරි වැඩේ ඉවර වෙනකොට අපි ඔක්කෝටම හොඳ ගණං..තරප්පුවෙ අත්වැටේ එල්ලීගෙන පාතට බැස්සෙ..මනමාලය පිටත් වෙන්ටයි සූදානම..අපි ඉතිං මනමාලයට සුබ පතංට ඌ ඉස්සරහ පෝලිං ගැහුන. ඒ ඉන්දැද්දි මම නිකමට වගෙ ඔලුව හරවල බැලුව....මෙන්න යකෝ අර නලින් වගේ පොර ආයම ඉන්නව..

ඒත්  ඇත්තම කිව්වොත් මේ පාරනම් මටත් ෂුවර්ම නෑ මේ ඉන්නෙ නලින් ද සිල්වාමද කියල..ඩෝප් සීන් එකත් වැඩියිනෙ..මට හිතුනෙම මේ ඩෝප් වැඩි කමට පේන Hallucination එකක්ය කියල..

මනමාලය ගාවට ගියාම මම ඌව බදාගෙන සුබ ප්‍රාර්තනා කලා "Happy wedded life Machng...." 

ඌ ඇහුව "කොහොමද මචං? මොකුත් අඩුපාඩුවක් එහෙම උනේ නෑ නේද? "

මම කිව්ව "පිස්සුද ලොක්කා? මොන අඩුපාඩුවක්ද? හොඳටම ගහල ඉන්නෙ..කොටිම්ම මට මේ හෝල් එකේ ඉන්න එක පොරක් පේන්නෙම අර ඩොකා.. නලින් ද සිල්වා,,අන්න ඒ පොර වගේමයි" 

මනමාලයෙ උගෙ අතිං මගෙ කට  වැහුව "කෑගහන්ට එපා XXX... ඒ ඉන්නෙ නලින් ද සිල්වා තමයි.."

"හුxxx, ඒ කොහොමද බං ඒ? පොර උඹෙ කවුද?"

"මගෙ වයිෆ්ගෙ අක්ක බැඳල ඉන්නෙ නලින් ද සිල්වා.."

"යකෝ උඹ නිකමටවත් කලිං කිව්වෙ නෑ නේද? කිව්වනං පොරත් එක්ක සෙට් වෙන්න තිබුනනෙ... ෂැහ් අපරාදෙ.."

"මේ නිකං විකාර කියවන්ට එපා බං..පොර බොන්නෙ නෑ...

"හරි හරි එව්වයිං කමක් නෑ..දැං කෝ පොර? මම ටිකක් කතා කරන්න ඕන.."

"මේ විකාර කරන්ට ලැහැත්ති වෙන්ට එපා මෙතන..අනේ මචං මේ වීරෙව එක්කං ගිහිල්ල කන්ඩ සෙට් කරපං.." මගෙ පිටිපස්සෙං හිටපු යාලුවො දෙන්නට මනමාලයා කිව්වා..

"හරි හරි කන්ට බැරිය... කෝ කියපංකො උඹෙ මස්සිනා?"

" පොර  ගියා දැං පැය බාගයක් විතර ඇති...." මගෙ යාලුවා මනමාලයා කිව්ව..

ෂැහ් අපරාදෙ නේද? එදා මට නලින් එක්ක කතා  කරන්න තිබ්බනං මොනව වෙන්ට තිබ්බද කියල දෙයියො තමයි දන්නෙ....සමහරවිට ලංකා ඉතිහාසෙම මීට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්ට තිබ්බ....

Who the hell knows? Stranger things have happened and are still happening in this world..Don't you agree, My friends?

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...