Wednesday, July 17, 2024

694. මැයි මාර ප්‍රසංගය සහ තවත් අදාල සහ අදාල නොවන කතා...


මැයි මාර ප්‍රසංගය කියවන්ට බොහොම ඕන කමක් තිබ්බට අන්තිමට නුවර පොත් ප්‍රදර්ශනේ වෙනකල්ම ඉන්න උනා ඒ ආසාව ඉස්ට වෙන්ට..වැඩේ උනෙ මම නුවර ගියොත් සාමාන්‍යයෙන් ගිය රාජකාරිය අහවරක් කරල අනිවාර්යයෙන් යන තැන් දෙකක් තියනව..

එකක් KCC එකේ සරසවි පොත් සාප්පුව..කලින් නම් ඒකට අල්ලල තිබ්බ විජිත යාපා එකටත් යනවමයි...ඒත් දැන් අවුරුදු තුනකට වගෙ ඉස්සර විජිත යාපා එක එතනිං අයිං කරගෙන පේරාදෙණිය පාරෙ ආර්පිකෝ සුපර් මාකට් එක පහුකරල මීටර් 50 වගෙ එහා තැනකට ගෙනිච්ච..එතනට යන්ට ඕනය කියල මම අනන්තවත් හිතල ඇති ඒත් අන්තිමට දැං මාස හයකට වගෙ ඉස්සර ඒක වහල දානකන්ම මට එතනට යන්ට බැරි උනා කියහල්ලකො..

සාමාන්‍යයෙන් එහෙම වෙනව..ඉතාම අත්‍යාවශ්‍ය භාන්ඩයක් ඇරෙන්න වෙන දේකට අපි පුරුදු පාරෙං වෙනම යන්ට ඉතාම කම්මැලියි..මම වගෙ පොත් පිස්සෙක්ට උනත් ඒ ධර්මතාවය පොදුයි..

සරසවි එක නුවරට ඇවිල්ල දැං අවුරුදු විසි පහයි..මේ පහුගිය දවස්වල ඒ වෙනුවෙන් සරසවි ප්‍රකාශන 25%ක්  මිල අඩුකරල විකුණුව KCC සරසවි එකේ වගේම ත්‍රිකුණාමල වීදියෙ ඔරිජිනල් සරසවි එකේ..මම හිතන්නෙ අවුරුදු 50 සංවත්සරේට එයාල 50% මිල අඩු කරල විකුණයි..ඒ වගේම අවුරුදු 100 සංවත්සරේට නොමිලේම පොත් දෙයි..එහෙම තමයි එයාල හිතාගෙන ඉන්නෙ මහිතේ..

ඉතිං ඔය 1999 අවුරුද්දෙ සරසවි එක නුවරට එන්ට ඉස්සෙල්ල 86/87 කාලෙ ඉඳල විජිත යාපා එක නුවර තිබ්බ..ඒ කාලෙ තිබ්බෙ කාසල් ස්ට්‍රීට් එකේ..කාසල් බාර් එක ඉස්සරහම..මම ඉතිං ඒ කාලෙ වැලිකන්දෙ මහවැලියෙ වැඩ කරන කාලෙ මාසෙකට සැරයක් නිවාඩු දාල ගෙදර ආහම පහුවදාම නුවර ගිහිල්ල විජිත යාපා එකෙං අලුතෙං ආව පොත් හත අටක් ගන්නව..ඒ කරල ඒ එක්කම ඉස්සරහිං තියන කාසල් බාර් එකට ගිහිල්ල මුල්ලක් අල්ලගෙන කාලක් සහ බියර් එකක් ගහන ගමං ගත්තු පොතේ පරිච්ඡේදයක් දෙකක් කියවල ඉවර කරනව..ක්ලාක් ලොක්කගෙ ස්පේස් ඔඩිසි තුන් ඈඳුත්ත, එතකොට ජෙෆ්‍රි ආචර්ගෙ , මයිකල් ක්‍රයිටන්ගෙ එහෙම පොත් බර ගාණක් මම ඔහොම විජිත යාපා එකෙං ගත්ත..

ඒ කාලෙ කාසල් එකේ වැඩ කරපු වේටර්ල ඔක්කොමල මම අඳුනනව එතෙන්ට ගිහිල්ලම.....කාසල් එකේ කතා දෙක තුනක් මම මීට කලිං බ්ලොග් එකේ ලියලත් ඇති..ඒ කාලෙම වගෙ කාසල් බාර් එක වැහිල එතන වන් ප්ලස් වන් කියල ඇඳුං කඩයක් දැම්ම..දැන්නම් ඒකත් නැද්ද කොහෙද..මොන ක්ලබ්ද කියල එකක් ඒත් ඇඳුං ක්ඩයක් මහිතේ එතන දැං තියෙන්නෙ..කාලෙකිං ඒ පැත්තෙ ගියේ නෑ..විජිත යාපා එකත් වැහුනට පස්සෙ ඉතිං යන්ට උවමනාවක් නෑනෙ..

එතකොට නුවර ආවම යන අනික් තැන.... ඒ ඇවිල්ල මාකට් එකේ යට තට්ටුවෙ දකුණු පැත්තෙ තියන මිඩ්ලන්ඩ්ස් හෝටලේ..එතනිං එළවළු රොටියක් හෝ මාළු පාන් එකක් කාල ටී එකක් ගැහුවෙ නැත්තං නුවර ආවයි කියල දැනෙන්නෙ නැති ගතියක් මට තියෙන්නෙ..

ආ..ආය එතනම එළියෙ උඩ තට්ටුවට යන පඩිපෙල ගාව වඩේ විකුණන මනුස්සයගෙන් වඩේ 20 ක් විතරත් අනිවා ගන්නව..පොඩි වඩේ එකක් රුපියල් දහයයි..වඩේ අරගෙනම මිනිහ දැං මගෙ ගජ යාලුව...ගෙවල් ඒ ලඟම මල්ලිකා ස්ටුඩියෝ එක පිටිපස්සෙ..මිනිහ මුස්ලිම්..එයයි තව සිංහල හාදයෙකුයි හවුලේ තමයි බිස්න්ස් එක කරන්නෙ..

එතන මිනිහට වාඩි වෙන්ට පොඩි පකිස් පෙට්ටියක් තියනව..මම ඉතිං ඕක උඩ වාඩිවෙලා මනුස්සය එක්ක පොඩි කයියක් එහෙම ගහල තමයි එන්නෙ..ආ..මේ ඒක නෙවෙයි පකිස් පෙට්ටියට ඒ නම හැදුන හැටි දන්න කවුරු හරි ඉන්නවද? මට කලිං ඕක මතක තිබ්බ වගෙ මතකයි..දැං අමතකයි..

හරි මැයි මාර කතන්දරේට ආපහු එමු..ආ..ඊට කලිං මැයි මාරෙ එක්කම මම ගත්ත ෆීල්ඩ් මාර්ෂල් සරත් ලොක්කගෙ සොයං ලිකිත චරිතාපදානෙ.."යුද හමුදාපති ජාතියට දුන් පොරොන්දුව"..මේ දවස්වල කියවගෙන යනව..

වැඩේ කියන්නෙ පිටු 612ක්..සයිස් එකත් 9"x7" වගෙ..බරත් කිලෝ එකක් විතර..මම සාමාන්‍යයෙන් පොත් කියවන්නෙ ඇඳේ දිගාවෙලා හින්ද පැයක් වගෙ කියවන කොට අත් රිදෙන්ට ගන්නව..ඒ හින්ද පොත පැත්තක තිබ්බම ආය දවස් දෙක තුනකිං තමයි කියවන්ට ගැනෙන්නෙ..මම නම් කියන්නෙ ඔය වගෙ විසාල පොත් මිලදී ගන්න වයසක පාඨකයින්ට උප්පැන්නෙ චෙක් කරල නොමිලේ සිද්ධාලේප ඩප්පියක් හෝ වින්ටොජිනෝ ටියුබ් එක දෙන්ට ඕන..

පොන්සේකා ලොක්කට කිව්වනම් එයා උනත් එව්වට යන වියදම දෙයි එයා ගානෙ..

"යුද හමුදාපති ජාතියට දුන් පොරොන්දුව" ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාගේ ස්වයං ලිඛිත චරිතාපදානය - සමඟ වයස්ගත ඔබට සිද්ධාලේප 100g ඩප්පියක් සහ වින්ටෝජීනෝ 100ml ටියුබයක් නොමිලේ..

හරි ඒක මොකක් හරි මැයි මාර සීන් එක මෙහෙමයි..මම මැයි මාරෙ කියවලා ඒ ආතල් එකේ ඉන්නකොට ඔන්න පුදුම වැඩේ කියන්නෙ මූණු පොත කළඹවගෙන මැයි මර රැල්ලක් ආවනෙ..ඒ කියන්නෙ MMP එක හෙණ වාව් පොතක් කිව්වට එයාලට එහෙම දැනුනෙ නෑ කියල..ඒක ඉතිං එහෙම තමයි..එක එක්කෙනාගෙ රස වින්දනය, යමක් ග්‍රහණය කර ගැනීමේ හැකියාව වෙනස්නෙ..

දැං ඔය ගුරුගීතය තියෙන්නෙ Teacher's Song... ඒක මාරම පොතක් කියල දෙනෝදාහක් උඩ දාන හින්දම මම තුන් හතර පාරක්ම කියෙව්ව මොකෝ බොලේ මේ කට්ටිය මේක ගැන මේ හැටි මැරෙන්න හදන්නෙ කියල හොයා ගන්ට ම්හු..මට නං එහෙම් වාව්නස් එකක් ආවෙ නෑ..එව්ව එහෙම තමයි..

අනික තමන්ට ඒ වගෙ ඇත්තම ජීවන අත්දැකීමක් එහෙම තිබ්බොත් පොත තවත් හදවතට සමීප වෙනව..ඒ අතර අපේ සන්මිත්‍ර ප්‍රබල සූපවේදිනියක් Cum සම්මානලාභී ලේඛිකාවක්ද  වන සානිකා සසීපියා මහත්මිය (එතුමියගෙ ඇත්තම නම ශානිකා ශෂීප්‍රියා  හොඳද ?) අපූරු කව් පෙලක් ලියල තිබ්බ MMP ගැන..මමත් ඒකට කමෙන්ට් එකක් එහෙමත් දැම්ම..


මේ ශානිකාගෙ කව්පෙල...


සංචරණි ඔයා....!!


සුදු පාට මීඳුමේ දුහුල් තිර ඉරාගෙන

අවාරෙත් රතු පාට මැයි මාර හිනාවෙන

ඈත දුර ගවරවෙල කන්ද දෙස බලාගෙන

ඇබිති තුත්තිරි මලකි ජීවිතේ කියාදෙන


ආදරෙත් රැගෙන නිති පෙත් මඟට වඩින්නී

ඉගුරු මල් සුවඳක්ව හාත්පස පිරෙන්නී

මුඳු මන්දහාසයක් කන්ද වෙත පුදන්නී

අනුප්‍රාසම රසට සුදු පාද තබන්නී


හරිත පැහැ කඳු විළුඹ පාමුලෙන් මැකී

සළඹක්ව දුර ඇදෙන දුම්‍ රියේ නැගී

කියන්නට කලින් මගෙ සෙනෙහසේ හැටී

නොඑන්නට ගියපු නුඹ මීඳුමක් වැනී


ඔබ නැතුව කල්පයක් කඳු අතර ගෙවුණී

ඔබ නැතත් ඔබෙ නමට මැයි මාර පිපුණී

කොහේ හෝ ඔබ ඉතින් වෙසේනම් සුවෙණී 

නොකී හින්දාම පෙම රහයි  සංචරණී


මේ මගේ කමෙන්ට් එක...


කවදාකවත් ඔබව හමුනොවෙන බව දනිමි,

සිහිනයෙන් ගෑ පමණ සෙනෙහසක සුව විඳිමි,

මිහිදුමින් වෙලුනු ඔබෙ රුව සැඟව යනු දකිමි,

හැමදාම හිමිදිරියෙ කවුළු දොර හැර තබමි,


මැයි මාර ප්‍රසංගය මම ගත්තෙ සති දෙහෙකට ඉස්සෙල්ල කැන්ඩි බුක් ෆෙයාර් එකෙං..පෙරෙයිද තමයි කියෙව්වෙ..තාම ඒ මූඩ් එකේ ඉන්නකොට තමයි ඔයයිගෙ මේ කවි පෙල දැක්කෙ....

20 comments:

  1. මස්ඉඹුල ගමේ පොර වෙලත් මම තාම ඕක කියවල නෑ කියල හිතෙනකොට මොනවද බොන්න හොඳ.

    ReplyDelete
    Replies
    1. මුද්දරප්පලං දාල පෙරපුවා... :)

      Delete
  2. සරසවි එකේ 100 සංවත්සරේ වෙනකල් ඉන්නද ඔහේ හිතාන ඉන්නෙ එක්කෙනෙක් 2048 වෙනකල් ඉන්න හිතනව වගේ.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      එව්ව කියන්න බෑ...එතකොට මට වයස 136 යි..විද්‍යාවෙ දියුණුව ගැන හිතල බලනකොට ඒ කාලෙ වෙනකොට මිනිස්සු අමරණීය වෙන්නත් පුලුවන්..

      ඒත් අපි හිතන තරම් ඉක්මනට විද්‍යාව දියුණු නොවෙන්නත් පුලුවන්..එහෙම නොවෙන්න හේතුවකුත් එක පාරක් කිව්ව මට මතක විදිහට රාමනුජම් හෝ ක්‍රිෂ්ණමූර්ති වෙන්න ඕන..හොයල දාන්නං වෙලාවක..

      Delete
  3. වට්ටමට පොත් ගන්නවා තරම් සතුටක් තව කොහින්ද? එහෙම අරගෙන තාම නොකියවූ පොත් වැඩියි කියවපුවට වැඩිය.

    ReplyDelete
    Replies
    1. Litseeker,

      ඒකනම් ඇත්ත..මගෙත් එහෙම අරං නොකියවපු පොත් සෑහෙන්න තියනව...ගත්තු පොත් කියවන්ට පරක්කු වෙන එකේ අවුල ගත්තු පොතක් ආයම පාරක් ගන්නව වැරදිලා :(

      Delete
  4. පොත හොඳ නම් කියවමුනේ

    ReplyDelete
    Replies
    1. අජිත්,

      කියවන්න, කියවන්න..මට නම් හොඳයි..

      ඒත් FB එකේ සෑහෙන කට්ටියක් කිය්ල තිබ්බ පොතේ හිතපු තරං ගතියක් නෑ කියල..

      ඒත් මෙහෙම සීන් එකක් තියනවනෙ බං..පොතේ කතාව අපේ ජීවිත අත්දැකීම්ක් නම් අඩුම ගානෙ ඊට ලඟින් යන එකක් නම් පොත දැනෙනවා ( ෆීල් වෙනවා ) වැඩියි... :)

      Delete
    2. ඔව් ඒක එහෙමයි

      Delete
  5. මෙන්න මේ පැත්තත් මතක් වෙලා..ස්තූති හොදේ මගේ කයියටත් මෙහෙම තැනක් දුන්නට...😍

    ReplyDelete
    Replies
    1. සඳවතී,

      ඔව් බං මොනව උනත් මුල අමතක කරන එක හොඳ නෑනෙ..අර 56 දරුවෝ කියනව වගෙ අපි ඇවිල්ල මුලින්ම බ්ලොග් වලින් ආපු දරුවෝ නෙව..ඒ හින්ද මම අධිෂ්ඨානය කර ගත්ත සතියකට දෙකක්වත් බ්ලොග් පෝස්ට් ලියන්ට ඕනය කියල..

      Delete
    2. අන්න එහෙමනෙ ඉන්න ඕනේ ..අර මග නවත්තපුවා ලියමු එහෙනම් ඉස්සෙල්ලම

      Delete
  6. ඊයේ පෙරේද දවසක සිරිබිරිස් උන්නැහේ අපේ දිහා ආවා නුගේගොඩ සරසවි එකට ගිහිං එන ගමන්. ගත්තු පොත් තොගයකුත් අරගෙන. "නිමල් අයියේ, මෙව්වයින් ඔයාට කැමති පොත් තියනවා නං ගන්න. මට පුළුවන් එව්වා ආයේම ගන්න සරසවියට යන වෙලාවක." උන්නැහේ කිව්වා.
    දැන් මම කියවීමට වැඩි වෙලාවක් නොදෙන නිසා මම ගත්තේ 'සරසවි ප්‍රේමසිරි' පොත විතරයි. ඒකත් කියවලා ආපසු දෙන්න. එතකොට මමත් සිරිබිරිස් උන්නැහේට කිව්ව දෙයක් තමයි පොත්වල බර දැන් අපේ අත්වලට ඔරොත්තු නොදෙන එක!
    ඇත්තටම ප්‍රකාශක මහත්තුරු මං වගේ- අපි වගේ නෙවෙයි රවී... මං වගේ වයසක මැන්ටල් ගැනත් හිතනවා නං...

    ReplyDelete
    Replies
    1. නිමල්,

      අඩේ..මම දැක්ක ඔය සරසවි ප්‍රේමසිරි පොත නුවර සරසවි එකේ..ඒක හෙණ දඩාර් පොතක්නෙ..මේ සරත් ලොක්කගෙ පොතටත් වැඩිය ලොකුයි..මගෙ හිතේ හොඳට හැදිච්චි ගං කුකුල් රාජයෙක්ගෙ බරට වැඩි මිසක් අඩු වෙන්නෙ නම් නෑ..ඒක ඇඳේ දිගාවෙලා කියවන්ට ගියොත් නම් කෙල වෙනවා..

      මේ පෝස්ට් එකට පස්සෙ මම FB එකේ දාපු පෝස්ට් එක..

      උපුටා ගැනීම

      අප්පට උඩු...අර කලිං මැයි මාර ප්‍රසංගේ ගැන ලියපු පෝස්ට් එකේ මම කිව්වනෙ මම පොත් කියවන්නෙ ඇඳේ දිගාවෙලයි කියල..

      මෙන්න යකෝ එහෙම එව්වංට කියන වෙනම නමකුත් තියනවනෙ..Librocubicularist...ලීබ්‍රෝකියුබිකියුලරිස්ට්...

      සිංහලෙං අපි කියමු මෙහෙම.."සයනාරූඪපුස්තකපාඨක" හොඳයි නෙවද ළමයි ඒ නම?

      අපූරු වැඩේ කියන්නෙ අවුරුදු හතරකට ඉස්සෙල්ල ඒ විස්තරේ ෂෙයාර් කරල තියෙන්නෙත් මමම තමයි..

      පොඩි අදාල නොවන කාරණාවක් - වොලිබෝල් ගහද්දි ලිබෙරෝ ක්‍රීඩකයෙක්/ක්‍රීඩිකාවක් කියල කෙනෙක් ඉන්නව දන්නවද?

      උපුටාගැනීම අවසන්

      ඉතිං ඔය ලීබ්‍රෝකියුබිකියුලරිස්ට්ලට විශේෂයෙන් හදාපු ඇඳන් තියනව ජපානෙ..පොඩි ලී තට්ටුවක් වගෙ එකක් ඇලුමිනියම් බාර් දෙකකින් එක්ස්ටෙන්ඩ් කරන්න පූලුවන්..

      ඇඳේ හාන්සි වෙලා ඒක දිග ඇරල ඉස්සරහට ගත්තම හරියටම පපුව මට්ටමට වගෙ එනව..ඒ ලෑලි තට්ටුවෙ ඈංගල් එක උනත් Adjust කරගන්න පුලුව්න්..

      ඕන නැති වෙලාවට අකුලල ඇඳ පිටිපස්සට දැම්මැහැකි..

      Delete
    2. රවී, මම නං පොත් කියවන්නේ පුටුවක වාඩිවෙලා.

      ඊයේ රෑ සරසවි ප්‍රේමසිරි පොත කියවලා ඉවර කළා. වැරදි තැනුත් පෙනුණා කිහිපයක්ම.

      මම තවමත් හිතන්නේ 1/4 සයිස් එකෙන්- ආර්ට් පේපර් කඩදාසියේ 4 කලර්ස්වලින් මුද්‍රිත පිටු 296ක පොතක් රුපියල් දාහට විකුනන්න නං පොත් කීයක් අච්චු ගහන්න ඇද්ද කියලයි!

      Delete
  7. //දැං ඔය ගුරුගීතය තියෙන්නෙ Teacher's Song... ඒක මාරම පොතක් කියල දෙනෝදාහක් උඩ දාන හින්දම //

    ගුරු ගීතය, To kill a Mocking Bird, නවගත්තේගම ගේ පොත්, අර ලක්ෂ්මී සිංහාරච්චිද කවුදගෙ ඉන්දියන් පරිවර්ථන පොත්, Steinbeck ගේ පොත් වගේ මං කවදාවත් කියවල නැති, කියවන්න අදහසකුත් නැති ඒත් ඒවා ගැන ලියපු ලිපි හුඟක් ඉබේම කියවිලා ඇති පොත් කීපයක් තියනවා.

    ඒවා නොකිව්වාට නිකං කියෙව්වා වගේ කමෙන්ට් එකක් දාන්න පුලුවං. බැරිම වුනොත් ටිකක් බරට "ඒත් මෙහෙමත් ........ " කියල මොකක් හරි අපබ්‍රංසයක් හරි , නිකම්ම දිගට "හ්ම්ම්ම්ම්ම්ම්" කියල දැම්මෑකි.

    මං හුඟක් පොත් කියවනවයි කියල යාලුවො දන්න නිසා උන් හිතනවා මං ශුවර් එකටම කියවල ඇති කියලා.

    උන් දන්නෙ නෑ මං සම්බාව්ය බර පොත් එකක් කියෙව්වොත් comics, thrillers, අයිතිහාසික ප්‍රබන්ධ, Science Fiction, Fantasy විස්සක් තිහක්වත් කියවනවයි කියල බර පොතේ කම්මැලිකම යන්න.

    ReplyDelete
    Replies
    1. Pra Jay,

      අනේ බොලේ ඔය සම්භාව්‍ය කියල කියන කතන්දර සහ පොත් ගැන කතා කරල වැඩක් නෑ...

      එක ගමනක් මමත් අර දඩයක්කාරයාගේ කතාව කියල එකක් ලියන්ට පටංගෙන ඒක සම්භාව්‍ය කරන්ට ගිහිල්ල අන්තිමට හරියටම බොගක් දාල හෝදන්ට බලනකොට බිල ගෙවල නැති හින්ද වතුර කපල වගේ සීන් එකක් උනා..ඔහෙට සම්ටයිම්ස් රිමෙම්බර් ඇති.. :)

      සම්භාව්‍ය කවි ලියන එක නං මට නතිං..මේ කාලෙකට ඉස්සර මම ලියපු සම්භාව්‍ය කවියක්..

      කවි ලියන එක අමාරුයි කියල කවුද කියන්නෙ? මොන විකාරද? විශේෂයෙන්ම සම්භාව්‍ය කවියක් ලියන එක හරියට ජාපාල කසාය බිව්වම බඩ බුරුල් වෙනව වගෙ ලේසියි පහසුයි.

      දැන් ඔන්න මෙහෙමනෙ සම්භාව්‍ය කවි ලියන්නෙ. ඉස්සෙල්ලම ඔය මොනවහරි වාක්‍යයක් ලියනව. ඔය එදිනෙදා සිද්ද වෙන බොහොම සාමාන්‍ය සිද්දියක් හොඳටම ඇති නොහොත් මෝ දෑන් ඉනෆ්.

      ඉන්ටලාකො ඉස්සෙල්ලම මම කවි ලියන විදිහ කියල දෙන්ට ඉට්ටෙප් බයි ඉට්ටෙප්…

      මෙන්න මෙහෙමයි. ඔන්න දවල්ට කාල එහෙම මම සරමත් වළාපොට ගහගෙන දොරකොඩින් මිදුලට බැහැල බඩත් අත ගගා පොඩි සක්මන් පාරක් දානව කියල හිතමු. වැට මුල්ලෙ තියෙන වැල ගහෙන් ඉදිච්චි වැල ගෙඩියක් තපෝස් කියල මගෙ ඉස්සරහට වැටිච්චි.වැලේ චොප්ප චොර වෙලා හතර අතට වැල මදුලුත් විසික්ක වෙච්චි.

      දැන් පටගාල පොඩි කෝට්ටක් ඇන්න එතනම වැල්ලෙ ලියනව මෙහෙම "වැලය වැටී හතර අත චොරවී මදුලු විසි විය. ඇට ද එහෙ මෙහෙ දසත විසිරිණි." රායිට් කවියක් ලිවීමේ මුල්ම පියවර අති සාර්තකව අවසානයි. දැං අවුලක් නෑ ඕන නං සරම බඩ මැදිං ඇඳගෙන ගෙට ගිහිල්ල බූරු ඇඳ කරේ තියාගෙන ගෙනිහිල්ල මිදුලෙ හීල් හෙවණක දිගෑරගෙන ඒකෙ උඩු බැල්ලෙං පත බෑවිල ආතල් එකේ සූට්ටං නින්දත් එහෙම ගහල උනත් කවි ලිවීමේ දෙවෙනි පියවරට ගිහෑකි.

      ඒත් එකක් මතක තියාගන්ට ඕමනයි. අපි දාරානිපාතව බුදියන අව් අස්සෙ අල්ලපු ගෙදර බළල් තඩිය එහෙම ඇවිදිල්ල කවිය උඩ රීල ඒක වහන්ට හතර අත පහුරු ගාල කවිය මකල දැම්මොත් ජලා හුටා. ඒ හින්ද කෝකටත් තෛලය කියල පිළි කන්නෙ හේත්තු කරල තියෙන අර පරණ ටකරම ගෙනල්ල කවිය වැහෙන්ට ඊට උඩිං නමලා තිබ්බනං වැඩේ කෝකටත් හොඳය. සූදානං සරීරේය කියල අර කවුද මූද හත් ගව්වක් තියල කවුද යකෝ මගේ අමුඩෙ රුන්නෙ?

      එනිසාවෙන් එහෙමත් කරල, බැරිවෙලාවත් මහ හුලඟක් ඇවිල්ල ටකරම හුලඟෙ ගියොත් එහෙම කියල ගඩොල් බාගා දෙකකුත් දෙපැත්තෙං බරට තියලම ආවනං වැඩේ සුද්දය. එහෙම කරල ඔන්න ඇවිදිල්ල පැය දෙකක වගෙ ෂපාන් නින්දක් එහෙම ගහල ආයම ඇහැරිනකොට හවස හතර වගෙ පහු වෙලාය.

      අල්ල ලෙව කාල කහට ඩිංගක් එහෙම බීල හිට අපේ වැඩේට සූජානං වෙන්ට ඕනෑය. මොකක්ද වැඩේ? හරි..මහා කලා නිර්මාණයක් වූ සංබාවිය කවියක් ලිවීමය. ඒ වැඩේට සරම වලාපොට එහෙම ගහගෙන කවිය ලඟ ඉස්සෙල්ලාම වාඩි වෙන්ට ඕනෑය. ආ..ඊට කලිං අර ටකරම අයිං කරල උස්සං ගිහිල්ල පිළිකන්නෙ තිබ්බ තැනම හේත්තු කරන්ටත් ඕනෑය.

      මොකක්ද ඇහුවෙ? ඇහුනෙ නෑ හරියට ..ටිකක් සද්දෙට කියන්ටකො කට ඇතුලෙ තියාගෙන සුටුපුටු ගාන්නෙ නැතුව...ගඩොල් බාග දෙකට මොකද කරන්නෙ කියල ඇහුව? ඒකට කැමති දෙයක් කරන්ට. ............ඒකට කරන්ටම දෙයක් හිතාගන්ට බැරිමනං එල්ලගං උඹෙ...හෙහ්,...හෙහ්,...ඒ ගඩොල් බාග දෙකෙයි කවි ලිවිල්ලෙයි සම්බන්ධයක් නෑ. හරි දැං ඉඳගත්ත උක්කුටිකයෙං කවිය ලඟ..දන්නවනෙ උක්කුටිකයෙං ඉඳගන්ට නේද? අන්න හරි අර උක්කුටික පෝච්චියෙ ඉඳගන්නෙ ..අන්න ඒ විදිහට.

      දැං ඔන්න ඉස්සරහ තියනව අර කලින් ලියාපු වාක්කිය. මතකෙයි? "වැලය වැටී හතර අත චොරවී මදුලු විසි විය. ඇට ද එහෙ මෙහෙ දසත විසිරිණි."

      ඔන්න දැන් නියම ආතල් පහේ කවියක් හදාගන්ට කොරන්ට තියෙන්නෙ බෝම ලේසි වැඩක්. අර වාක්කියෙ වචන එහා මෙහා කරල ආයම ලියනව. මේ බී ලයික් දිස් එහ්?

      චොරවී හතර අත,
      විසිවී මදුලු වැටී වැලය,
      විසිරිනි දසත,
      එහෙ මෙහෙ ඇටද,

      එහෙම නැත්තං මෙහෙම උනත් ඒ හැටි අවුලක්මත් නෑ....

      මදුලු චොරවී වැටී වැලය,
      විසිවී හතර අත,
      ඇටද විසිරිනි,
      දසත එහෙ මෙහෙ,

      ආන්න දැක්කද? මගේ දයාබර සහෘදයිනි, ඔය තියෙන්නෙ සම්භාව්‍ය ගණයේ කවියකි. අද්දුටුවයි. සත්තයි. ප්‍රත්තියාක්සයි. හරි නොගියොත් මුදල් ආපසු. කවීශ්වර තිස්ස, බදුරුලෙන, පත්තලගෙදර වේයන්ගොඩ. වී.පී.පී. නැත. ඉරිදාට මා හමුවිය හැක්කේ කොට්ටුකච්චියේ එළුමස් කඩය පිටුපස අබිලිංගේ තිප්පොලේදී පමණි.

      හරි හරි ඒ කවීශ්වර තිස්ස කතන්දරේ නිකං බූරුවා උඩ හකුරු පටවනව නැත්තං හරකා කෝච්චිය දිහා බලා ඉන්නව වගේ නං ඒ ගැන විස්සෝප වෙන්ට එපල්ල. ඒක මේ අපේ කාලෙ කතාවක්. මයෙ හිතේ ඔය අරූට, හෙන්රිට, ඉයන්ට සහ හැලපෙට එහෙම මතක ඇති.

      Delete
  8. අදයි දැක්කේ මේකේ ආයිමත් ලියවෙනවා කියලා. එන්න ඕන නුවර රවිත් එක්ක ඔය වඩේකන තැන සහ බාර් ටික බලන්න.

    ReplyDelete
    Replies
    1. ඉයන්,

      අපොයි එන්න එනි ටයිම් යූ ආ මෝස්ට් වෙල්කම් ඩියර්.. :)

      Delete
  9. මගේ සහෘදයින් සියළු දෙනාටම,

    බ්ලොග් එකේ කමෙන්ට් වලට පිළිතුරු දාන්ට බැරි ලෙඩක් තිබ්බ..ඒ ගැන මම FB එකේ කිව්වම ප්‍රතිකර්ම පිළිබඳව උපදෙස් දුන් සියල්ලන්ටම බොහොමත්ම ස්තූතියි..

    බ්‍රව්සර් එක වෙනස් කරලයි වැඩේ ගොඩ දාගත්තෙ..මට මතක නෑ ඒ උපදෙස දුන්නෙ කවුද කියල..

    කොහොම හරි හැමෝන්ටම තෑම්ස් සෝ සෝ මච්..ලව් යූ ඕල්.. :)

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි