Wednesday, August 21, 2024

697. මා ළඟටම තව ළංවෙලා සහ තිසර තුඩට තුඩ නඟන්න ඉඩ හරින්න රාධා...

පහුගිය සෙනසුරදා මළගෙදරක ගියා..ෆියුනරල් පාලර් එහෙක මළගෙදර තිබ්බෙ..අපේ ගෙදර ඉඳල පයිං යන දුරකින් තියෙන්නෙ පේරාදෙණියෙ ප්‍රියන්ත මල් ශාලාව..මම එදා ඔය මළගෙදර ගිය වෙලාවෙ දන්නෙ ඒක වෙන කට්ටියක් අරගෙන කියල..දැන් නම ෆොන්සේකා මල් ශාලාව..

මළගෙදර අපේ බිරින්දෑ තොමෝගෙ පාසල් සමයේ මිත්‍රයෙකුගෙ අම්මගෙ මළගෙදර....බිරින්දෑ තොමෝට එදා හදිසි වැඩකට කොලඹ යන්ට වෙච්චි නිසා ඉතිං ඈ වෙනුවට මම ගියා..

මළගෙදර ගිහිල්ල බිරින්දෑගෙ යාලුවට මාව අඳුන්වල දීල එහෙම (කලිං එක පාරක් මට ඒ මිත්‍රයා හම්බවෙලා තියනව..ගිය අවුරුද්දෙ මුල වගෙ අපි දෙන්නා ඒ මිත්‍රයයි තව ඒත් ඉස්කෝලෙ යාලුවො කට්ටියකුයි එක්ක ආරුගම්බේ ගියා..) හොඳටම දාඩිය හින්ද..(එදා උදේ ඉඳලම අහස වැහි වලාකුල් පිරිල තිබ්බෙ..) මම පොඩ්ඩක් මිදුලෙ ගහක් යටට ගියා හුළං පොඩ්ඩක් වදින්ටත් එක්ක..

ඒ වෙලාවෙ ප්ලාස්ටික් පුටුවකුත් උස්සගෙන ටිකක් මට වඩා වයසක පහේ මහත්මයෙක් මම වගේ නෙවෙයි සුදු අත්දිග කමිසයකුයි කලිසමකුයි ඇඳල කොණ්ඩෙ එහෙම ගානට පීරල රැවුල එහෙමත් අපූරුවට කපල එතුමා හිටියෙ..මා ගාවට ආව..මම මේ පරණ ටී ෂර්ට් එකකුයි හම්පඩ ඩෙනිමකුයි ඇඳගෙන ගිහිල්ල තිබ්බෙ..

අපේ එතුමිය හිටියනං කීයටවත් මට ඔව්ව ඇඳගෙන යන්ට දෙන්නෙ නම් නෑ.." මනුස්සයො...මේ හම්පඩ ඇඳගෙන එතනට ගිහිල්ල මගෙ යාලුවො ඉස්සරහ මට ලැජ්ජා  කරන්ටද යන්නෙ? ඔහොම නම් යන්නෙ නොගොහිං ඉන්න එක වඩා හොඳයි..." අනිවා ඩෙෆා එහෙම කියන එකත් කියනව..

ඉතිං ඔන්න විනාඩි පහ  හයක් යන්නැති..මට තියනව ඔය ලඟ ඉන්න මනුස්සයෙක් එක්ක කතා නොකර වැඩි වෙලාවක් ඉන්න බැරි අසනීපයක්..

" මේ මහත්මයා..පදිංචිය එහෙම  මේ අහළ පහළකද? " මම හිනාවෙලා ඇහුව..

"ඔව් මම මේ ලංකාතිලකෙ..මේ කිට්ටුවමයි..." සුදු හැඳි මහත්මයා පිළිතුරු දුන්නා..

"ඔව් මම දන්නව..මමත් මේ කිට්ටුවමයි... පැණිදෙණියෙ.."

"ආ..එහෙමද? එහෙනං කිට්ටුවමනෙ...මමත් කීප සැරයක් ඇවිල්ල  තියනව පැණිදෙණිය ඉංග්ලිෂ් ට්‍රේනිං කොලේජ් එකේ ඔය පුහුණු වැඩ සටහන් වලට..මම ගුරුවරයෙක්.."

"ආ..එහෙමද? මගෙ වයිෆුත් ගුරුවරියක්..මොකක්ද මහත්මයා උගන්නපු සබ්ජෙක්ට්ස්? "

"මම චිත්‍ර කලාව..."

"හරි හරි එතකොට ඔබ තුමා කොහෙ වගේද ඉගැන්නුවෙ?"

" අන්තිමට පේරාදෙණිය සීනියර් එකේ.."

"ඇත්තද?"

අපේ කතාව ටික වෙලාවකට නැවතුනේ මගේ කතා සඟයාගෙ මිතුරෙක් ඇවිල්ල ඔහු එක්ක කෙටි පිළිසඳරක යෙදුනු හින්දයි..ඒ එක්කම බිස්කට් සහ නෙස්කැෆේ අරගෙන ආව කුඩා දැරියක් දෙදෙනෙක්..මට පොඩි බඩගින්නකුත් තිබ්බ නිසා  චොක්ලට් බිස්කට් දෙකක්ම ගත්තා..

"මට එපා..."  සුදු හැඳි මහත්මයා බිස්කට් සහ නෙස්කැෆේ දෙකම කාරුණිකව ප්‍රතික්ෂේප කලා..

"මට සීනි..."  ඔහු මා දිහා බලල හිනාවුනා..

"මටනම් සීනි නෑ..මාජින් එකේ තිබ්බ අවුරුදු දෙකකට වගෙ කලිං දැන්නම් නෝමල්..." මම කිව්වා..

"සීනි වැඩි උනයි කියන්නෙ මහ විනාසයක්..වෙන දරුණු අසනීප බොහොමයකට සීනි බලපානව.."

"ඔව් නේද?..." මම එකඟ වුනා..

ඔන්න ඒ වෙලාවෙ හීං වැහි පොදකුත් ඇද හැලෙන්ට ගත්තා..

"තෙමෙනව නේද? යමු අර වහළ යටට.." අපි දෙන්නා පුටු දෙකත් අරගෙන අමානෝ ෂීට් හෙවිළි කරපු පොඩි මඩුවක් වගෙ එකක් යටට ගියා..මට හිතෙන්නෙ වාහනයක් එහෙම හදිස්සියට පාක් කරන්ට හදපු තැනක් වගේ..

"ඔය මහත්මයා දන්නවද ඩබ්ලිව්.ඩී. ආරියසිංහ?" මගේ සුදු හැඳි සඟයා එක පාරටම ඇහුවා..

"ඔව්..අර ප්‍රසිද්ධ ගායකයනෙ..මම දන්නව..දන්නව කියන්නෙ මම එහෙම පෞද්ගලිකව අඳුනන්නෙ නෑ..හැබැයි හොඳ අපූරු ගීත කීපයක්ම කියපු දක්ෂ ගායකයෙක් කියල දන්නවා.."

"මිනිහා මගෙ පොඩි කාලෙ ඉඳලම හොඳම යාලුවා..අපේ මහ ගෙදර ඉඳල හැතැම්ම කාලක් වත් නෑ එයාලගෙ මහ ගෙදරට.."

"ඈ? කොහෙද ඒ?"

"ලංකාතිලකෙ.."

"අප්පට සිරි..ඒ කියන්නෙ ආරියසිංහ මහත්මයා මේ පැත්තෙද? දෙයියෝ සාක්කි ඔය කියනකල් මම දැනගෙන හිටියෙ නැහැ නෙව.." මම බීල ඉවර කරපු නෙස්කැෆේ කෝප්පෙ පුටුව ලඟම බිම තියල ආරියසිංහගෙ යාලුවා දිහාට හැරුනා..

"ඔව්..අපි දෙන්නම පිළිමතලාවෙ සෙන්ට්‍රල් එකට ගියේ..එතනින් දෙන්නම ගියා හේවුඩ් එකට..ඒ කාලෙ රජයේ ලලිත කලා විද්‍යාලය..පස්සෙ විශ්ව විද්‍යාලයක් කලානෙ..මම ඉතිං පාස් අවුට් වෙලා ගුරු පත්වීම අරගෙන මේ පැත්තට ආව..ආරි එහෙම නැවතුනා.."

"ඔව් එයා කසාද බැන්දෙ ආර්.ඒ. චන්ද්‍රසේනගෙ දුවනෙ.."

"ඔව් දර්ශනී චන්ද්‍රසේන.."

"ඉතිං එතනිං පස්සෙ ඔය දෙන්නගෙ ආශ්‍රය නැවතුනාද?"

"මෙහෙමයි ඉතිං ...කිට්ටුවෙන් නම් ආශ්‍රය කලේ නෑ..ඒත් ගමේ ආවොත් අනිවාර්යයෙන්ම මම හම්බවෙන්න එනවම තමයි.."

"ආරියසිංහ මහත්තයා ලඟදි මැරුන නේද?"

"ඔව් අවුරුදු පහක් වගෙ ඇති..මට මළගෙදරවත් යන්ට බැරි වුනා..කෝවිඩ් කාලෙනෙ..මගෙ වයසත් එක්ක අපේ ගෙදර කට්ටිය මට යන්ට දුන්නෙ නෑ.."

"ඔව්ව ඉතිං ඔහොම තමයි මහත්මයා..ජීවිතේ හැටි.."

"මොකට කියනවද ඒ ගැන... එහෙනම් මම යන්නං..බොහොම සන්තෝසයි හඳුනාගන්ට ලැබුනු එක.."

එහෙම කියල මට ආයුබෝවන් කියල ඩබ්ලිව්.ඩී.ආරියසිංහගෙ මිතුරා මගෙං සමුගෙන යන්ට  ගියා..මම එහෙම්මම පුටුවෙ වාඩි වෙලා කල්පනා කලේ මේ මනුස්සය මගේ ප්‍රියතම ගායකයෙක් වෙලත් මේ තරම් කිට්ටුව මිනිහගෙ මුල්ගම්පළාත කියල දෙයියෝ සාක්කි මම දැනගෙන හිටියෙ නෑනෙ කියල..

මගෙ ෆෝන් එකේ රිං ටෝන් එකක් විදිහට මෙතුවක් කාලෙකට මම දාගෙන ඉඳල තියෙන්නෙ එකම සිංදුවයි..ඒ ඩබ්ලිව්. ඩී.ආරියසිංහ මහත්මයාගෙ මා ළඟටම තව ළංවෙලා හිඳින්න නිහඬ නුවන් පියා..ගීතය විතරයි... 2005/2006 වගෙ කාලෙ ඒ...


මා ළඟටම තව ළංවෙලා
හිඳින්න නිහඬ නුවන් පියා
මා සීතාවෝ සැතැපෙන නින්දේ
නූපුර හෝ ප්‍රියේ පා සුළැඟිල්ලේ
අද නම් අවදි නොවේ
කුසුම් කැකුළ නිදනා තුරා


සඳගිරි පවුවේ පෙරදා සංසාරේ
සැතපුණ දා දුටු කින්නර පෙම් සිහිනේ
මහළු වෙලා අද සඳ වාගේ
යෞවන රෑ සඳු බලාන උන්නාවේ

මා ළඟටම තව ළංවෙලා... 

කල්ප කාල යුග අප අතරින් ගෙවිලා
අපි යමු මේ රෑ අනාගතය සොයලා
නලමුදු සුවඳේ නිදන මලේ
මට මල් රොනඟුන් සුවඳ දැනේ ළඳුනේ

මා ළඟටම තව ළංවෙලා...


Artist : W. D. Ariyasinghe
Music : Thissasiri Perera
Lyrics : Ajantha Ranasinghe




"රවී මචං මිනිය උස්සන්ට යන්නෙ... උඹත් එනවද ආදාහනාගාරෙට යන්ට?" බිරින්දෑ තොමෝගෙ යාලුවෙක් මා ගාවට ඇවිල්ල ඇහැව්ව..

"යමු එහෙනං වැඩි දුරක් නෑනෙ..පිළිමතලාවෙනෙ.." මම පුටුවෙං නැඟිට්ටා..


********************************************


මේ ඩබ්ලිව්.ඩී. ආරියවංශ මහත්මයාගෙ තවත් අපූරු ගීතයක් එහි අර්ථය ගැන ලියවුණු විවරණයකුත් එක්කම...

(උපුටා ගැනීම අන්තර්ජාලය ඇසුරෙනි)


// තිසර තුඩට තුඩ නඟන්න ඉඩ හරින්න රාධා 
මහද සුරත් නෙලුම් කැකුළ දැදුරු වෙන්න පාරා//

අතීතයේ සිට ම කවීන් ස්ත්‍රියක  ගේ පුන් පියොවුරු උපමා කරන්නට යොදා ගත්නේ හසුන් හෙවත් තිසරුන්ය. මොනයම් හෝ හේතුවකට එහි ඖචිත්‍ය දැක්වීමට, මෙ තරම් කලක් එය නො වෙනස් ව යෙදීමම දෙස්. මෙහි තිසර තුඩ යනු පියොවුරෙහි තුඩුවයි. දෙවැනියට කියන තුඩ නම් ඔහු ගේ මුවයි (බඹර තුඩ,කුරුළු තුඩ ...). තුඩ යන්න අරුත් දෙකකින් එකවිට යෙදීම අනුප්‍රාසය ඔස්සේ ශබ්දාලංකාරයක් ඇති කරවයි. 

රත් පැහැය ස්වභාවයෙන්ම ප්‍රේමයේ මෙන්ම රාගයේ හැඟීම් ජනිත කරවන්නකි. ඔහුගේ හද සු-රත් හෙවත්, ඉතාම රත් පැහැගත් නෙලුම් කැකුළකි. ඇගේ පුන් පියොවුරු සිඹින ඔහුගේ හද තුළ ප්‍රේමණීය සිතුවිලි පිබිදී හද පුබුදු වෙයි. නෙලුම් කැකුළ දැදුරු වෙයි, හෙවත් පිපී එයි. ඇයට රාධා ලෙසින් ඇමැතීම, ඔවුන් තුළ එකිනෙකා කෙරේ පවතින දැඩි ප්‍රේමණීය බැඳීම හඟවාලයි.


// දුනු දියෙන් මිදී මදරද රාව නගන මීපා

ලලිත ලවන සිඹ රඟන්න ඉඩ හරින්න රාධා//

මදරද නම් අනංගයායි. අනංගයා වනාහි සිතෙහි ඇති වන අනුරාගය දැක්වීම උදෙසා යොදාගත් සාහිත්‍යමය සංකේතයෙකි. දුන්නෙන් මිදුණු හීයක් මෙන් නිදහස් වූ ඇගේ අනුරාගී සිතුවිලි, ඇගේ පොපියන දෙතොලින් හැඟවෙයි. එය ඔහුට මදු පිරි විතක් මෙනි. මී - පා යනු ඒ දෙ තොල් ඔහු වෙත ප්‍රේමය/රතිය නමැති මධු ප්‍රදානය කරන බවයි. ඔහු ඇගේ දෙතොල් මී විතෙන් මධු පානයට අවසර ඉල්ලයි.


// කොළොම් වන හිසේ මුවරද මමන මද පොදින් සීතල

වතුළ කලාපේ මංගල යහන් සලුව සෝදා
සුසුම් නලින් වියැලෙන්නට ඉඩහරින්න රාධා//

හින්දු සාහිත්‍යය අනුව, ක්‍රිෂ්ණා රාධාවන් සමග ලෝකාස්වාද රතියෙන් බැඳෙන්නේ කොළොම් රුකක සෙවණේය. එහෙයින් මෙහි දී කොළොම් වනය ශෘංගාරාත්මක සංකේතයකි. මෙය බක්මී වර්ගයේ ශාකයෙකි.

කොළොම් වනයේ තුරු හිස් මුවරදින් හෙවත් මල් පැණියෙන් පිරෙන්නේ වසත් කාලයේදීය. මෙහි වසත් කල පිබිදුණු කොළොම් වනය නම් ඇගේ තුනුවිලයි. අනුරාගී හැඟුම් උත්සන්න වූ ඇගේ, තුනුවිලෙන් වෑහෙන අසීමිත වූ  ‘මුවරද’ මංගල යහන් සලුව ද තෙමෙන තරමි. තෙතබරිත ඒ සලුපිළි සිය මුවින් නැගෙන සුසුමින්ම වියළා දමන්නටයි ඔහුගේ අදහස! කාම සම්භෝගයෙ හි උච්චතම අවස්ථාවක් පවා කවියා ඉදිරිපත් කර ඇති සංයමය කෙ තරම් අගනේ ද?


// නියඟලා මලින් සෝබන කළිඟු ගංතෙරේ වන ගැබ
ළියගෙවල පිරුණු උණුසුම නිවාලන්න රාධා
ළහෝපලු සිහිල් හෙල්මැලි සඳුන් කල්ක තවරා//

නියඟලා පුෂ්පය වනාහි තද රත් පැහැයෙක් උසුලන්නකි. අනුරාගයෙන් මත්ව, රත් පෑ ගත් තොල් පෙති සහිත, ඇය ගේ රස ගඟුලේ මුවදොරයි මේ රත් පැහැ නියඟලා මල. බලන්න රහසඟට කෙතරම් ඔබින උපමාවක් ද කියා.

ගඟුලෙක් නම් සිහිල් දියෙන් පිරී ඇත. වන ගැබෙක ද, ළිය ගොමුවක ද ඇත්තේ සිහිලස මැයි. නමුදු මේ කියන ගංතෙර ද, වනගැබෙ හි ළියගොමු ද උණුසුම් ය. මන්ද ඈ සුරතාන්තයට ළං ව ඇති හෙයිනි. ඒ උණුසුම නිවාලන්නට යන්නෙන් අදහස් වන්නේ එක්කෝ සංක්ෂෝභයට පත් වන්නට යැයි ඇයගෙන් ඉල්ලීමයි, 

නැතහොත් වචනාර්ථයෙන්ම, සඳුන් කල්ක තවරාගෙන, සුදු නෙලුම් ගත දවටාගෙන ඒ පමා කරන්නට යන්න ද වියහැකි යි. මන්ද සඳුන් සහ සුදු නෙලුම් යන දෙකම, සිරුර සිහිල් කරන ගුණයෙන් යුතු යැයි වෛද්‍ය ශාස්ත්‍රයෙ හි සඳහන් වන හෙයිනි. එමතු ද නොව, සඳුන් යනු අදට ද රති ප්‍රබොධකයක් ලෙස යොදාගන්නා ද්‍රව්‍යයකි. ඈ සමග රති කෙළියේ යෙදී සැහෙනු නොහැකි ව, ඒ තව තවත් දිගු කරගැනීම ඔහු ගේ කැමැත්ත වනු හැකි ය.

හෝපලු නම් අශෝක රුකට යෙදෙන තවත් නමෙකි. හෝපලු රුක සහ රතිය අතර ඇති සබැඳියාව බොහෝ පැරණි මූලාශ්‍රවල සඳහන්ය.

පුරුෂයකුගේ සිතෙහි ඇති වන එ වන් වූ අනුරාගී හැඟුම්වලට ස්ත්‍රියක කෙසේ නම් පිළිතුරු දෙනු ඇත් ද? ඔහු ගේ රාගාන්විත ආයාචනයන්, ඉංගිතයන් ඈ කෙසේ නම් ඉවසනු ඇත් ද?

කවුරුත් අහල තියෙන රාධා හා ක්‍රිශ්ණාගේ කතාව පාදක කරගනිමින් ලියැවෙන ශ්‍රී ජයදේවයනගේ ගීත ගෝවින්දය මේ ගීතය සදහා වස්තු බීජය සපායා ඇති සෙයකි.


තිසර තුඩට තුඩ නඟන්න ඉඩ හරින්න රාධා

මහද සුරත් නෙලුම් කැකුල දැදුරු වෙන්න පාරා

දුනු දියෙන් මිදී මදරද රාව නගන මීපා
ලලිත ලවන සිඹ රඟන්න ඉඩ හරින්න රාධා 


කොලොම් වන හිසේ මුවරද
මමන මද පොදින් සීතල
වපුල කලාපේ මංගල 
යහන් සලුව සෝදා
සුසුම් නලින් වියැලෙන්නට 
ඉඩහරින්න රාධා


තිසර තුඩට තුඩ නඟන්න ඉඩ හරින්න රාධා...

නියඟලා මලින් සෝබන
කළිඳු ගංතෙරේ වන ගැබ
දියගෙවන පිරුනු උණුසුම
නිවාලන්න රාධා
ලහෝපලු සිහිල හෙල්මැලි 
සඳුන් කල්ක තවරා

තිසර තුඩට තුඩ නඟන්න ඉඩ හරින්න රාධා...


ගායනය |  ඩබ්ලිව් ඩී ආරියසිංහ
සංගීතය | විශාරද ගුණදාස කපුගේ  
පද රචනය | රත්න ශ්‍රි විජේසිංහ 
දසුන් මුසුව | රොෂාන් මංජුල වික්‍රමසිංහ






Monday, August 12, 2024

166. Online ප්‍රේමයේ උප්පත්ති කාලය ගැන ආරංචියක්

    රටක, කළාපයක ඉතිහාසය හැදෑරීමේ දී විවිධ නිර්ණායක භාවිතා වෙනවා. ඒ අතුරින් කලා කෘති වලට ලැබෙන්නේ වැදගත් තැනක්. හැදෑරීමට ලක්වන සමයට අදාළ මූර්ති, කැටයම්, චිත්‍ර පමණක් නොව විවිධ ලියැවිලි ද ඉතිහාසය ගැට ගසා ගැනීමට එකතු කර ගන්නා සවි ශක්තිය ඇති රැහැන් පට වෙනවා.

    මෑත කාලීන ඉතිහාසය සැලකීමේ දී වේදිකා නාට්‍යය, නූර්ති, ඉන්පසු එළඹුණු අවධියේ ගීත, චිත්‍රපට සහ ටෙලි නාට්‍ය වැනි කලා කෘති අධ්‍යයන කිරීමෙන් තත්කාලීන සමාජයේ හැසිරීම පිළිබඳ සිතුවම් වර්ණ ගන්වා ගන්න හැකියාව ලැබෙනවා. උදාහරණයක් මෙහෙම කියන්නම්. මෑතක දී යශෝරාවය නාට්‍යය නැවත වතාවක් මා නැරඹූවා. එහි ‘රංජනීලෑ තාත්තා‘ මත්පැන් පානය කරන දසුනක් කිසිම රූප බාධාවකින් තොරව විකාශය වනවා. එය වර්තමානයට වඩා වෙනස් ටෙලි නාට්‍යය භාවිතාවක් බව අප දන්නවා. එමගින් තත්කාලීන සමාජය මත්ද්‍රව්‍ය කෙරෙහි දක්වන ලද ලිහිල් ප්‍රතිපත්තියක ඡායාවක් අපට පෙනී නොපෙනී යනවා.

    මීට අවුරුදු 24කට 25කට පෙර අපි උසස් පෙළ අවධියේ සිටිද්දි ප්‍රගතිගාමී එකතු කිරීම් සහ වෙනස්කම් කිහිපයක් අධ්‍යාපන රටාවේ සිද්ධ වුණා. ඒ කාලයේ තිබුණු දැඩි යැයි කියන්න හැකි පාසල් විනය නීති වලට හුරුව සිටි අපට ඒ සමහර වෙනස්කම් පුදුමයක් වුණා කියන්න පුළුවන්. එයින් එකක් ලෙස උසස් පෙළට මුල් වතාවට එම වසරේ දී හෝ ඊට පෙර වසරේ දී හෝ ඇතුලත් කෙරුණු තරමක විශාල ඉංග්‍රීසි අච්චු පොතේ තිබුණු ඉංග්‍රීසි ගීතත්, ඒ සමග ලැබුණු කැසට් පටයත් සිිහි වනවා. එකල ඉංග්‍රීසි සිංදු කියමින් ‘නැටිල්ල‘ අශෝබන දෙයක් සේ හැඟවෙන පරිසරයක හිටි අපට පංතියේ දි කැසට් පටය වාදනය කරමින් එම ගීත ගායනා කිරීමේ අවස්ථාව උදා වුණා.

    ‘Back Street Boys’ ගේ As long as you love me සහ Quit playing games with my heart එම එකතුවේ තිබුණු බව මතකයි. දැන් මතකය දැදුරු වෙලා තිබෙන නිසා හරියට ම තිබුණු සියලුම ගීත සිහි වන්නේ නැහැ, හොටෙල් කැලිෆෝනියාත් තිබුණා ද මන්දා!

මේ සියලු අසා පුරුදු ගීත අතර මා ඊට පෙර අසා නොතිබුණු ගීතයක් තිබුණා. ඒත් මේ අද වුව, ඇඟ ලොමු දැහැගන්වමින්, යොවුන් බ්‍රිට්නි ස්පියර්ස්ගේ හඬින් Forever… කියන්නා ඇසෙන්නා වාගේ ඒ ගීතය සිහිවන සැනින් මන සවනේ රැව් පිළි රැව් දීම ඇරඹෙනවා. එය පෙම් හබයක් මද දුරකට ඇදී යාමෙන් පෙම්වතුන් අතර ඇති වූ විරසකය පිළිසකර කර ගැනීම පිණිස යොවුන් පෙම්වතිය විසින් කරන දුක් ගී ගායනාවක්. එම ගායන විලාශය නිසා ඇගේ හඬින් ඇගේ ඉකි බිඳුම අප වෙත සංනිවේදනය වනවා වාගේ.




Forever…

It's been hours seems like days
since you went away
And all I do is check the screen
to see if you're okay
You don't answer when I phone
'cause you wanna be left alone
So I'm sending you my heart,
my soul and this is what I'll say

I'm sorry, oh, so sorry
Can't you give me one more chance
To make it all up to you

    කොටින් ම ඒ දිනවල මා ඒ පෙම්වතී වී ඒ දුක මුලු හදින් ම වින්දේ පෙම්වතකු පේන තෙක් මානයක නොසිටි අවධියක ය... කලාව!

    ඉතිං මා මේ ලිපියට අත තැබූ කාරණයට නැවතත් ගියොත් මේ ගීතයෙන් එකල තාක්ෂණික භාවිතාවන් ගැන අදහසක් ලබා දෙන අයුරු අපිට දකින්න පුළුවන්. ඈ ඇගේ පෙම්වතාට මේ කියන Screen එක කුමක් වන්න පුළුවන් කියලා ද ඔබට හිතෙන්නේ?... දුරකතනයේ?...

    නැහැ!... මේ කියන්නේ පරිගණක තිරය ගැනයි. ඇය පරිගණක තිරය දෙස නෙත් නොසලා බලා සිටින්නේ ඔහුගෙන් ඊ මේල් පණිවිඩයක් ලැබෙන තුරුයි. මේ ගීතය ප්‍රේක්ෂකයාට නිදහස් වන්නේ 1999 වසරේ දි. ඒ වනවිට ස්මාර්ට් ෆෝන් මේ ලෝකය ආක්‍රමණය කර තිබුණේ නැහැ. අපි අද කාට හෝ දුරකතනයෙන් ඇමතීම phone ලෙස සඳහන් කරන්නේ නැහැ. අපි භාවිතා කරන්නේ call යන වදන. බොහෝවිට ඈ මේ සඳහන් කරන්නේ ස්ථාවර දුරකතන පිළිබඳ ව වන්නටත් පුලුවන්.

    ඇය මෙහෙම පවසනවා,

“අපේ ආදරය කිසිදා නොනැසෙන බව ලියා ඊ මේලයකින් 
මා මගේ හදවත ඔබට එවමි
මම දනිමි ඔබ ඔය ඔතන හිඳ තවමත් මා කෙරෙහි සැලකිල්ලෙන් ඉන්නා බව
නැවත මා වෙත ඊ මේලයක් එවා මට කියන්න අපේ ආදරය සුරැකි ව තිබෙන බව“

E-mail my heart and say our love will never die
I know you're out there and I know that you still care
E-mail me back and say our love will stay alive
Forever... e-mail my heart...

    ඇය තව දේ කියනවා. ඒ දේවලින් ඒ කාලයේ මිනිසුන් තාක්ෂණය හා ගනුදෙනු කළ අයුරු ගැන විවිධ අදහස් අප වෙත ගලා එනවා.

Online වෙනුවට on the line!

I can see you in my mind coming on the line
And opening this letter that I've sent a hundred times
Here's a picture of us two, I look so good on you
And can't you please forgive me for the hurt I put you through?


    පෙම් හසුන් හුවමාරු කරගත් අවධියේ ප්‍රේම කතා සේ ම ඊ මේල් වලින් පෙම් කෙරූ අවධියේ ප්‍රේම කතාත් සොඳුරු ව තිබෙන්න ඇති. විරහ ව තදින් දනවන්න ඇති. ලියුම් දෙකක් අතර කාලයේ කේන්තිය, තරහ නිවී විරහ වේදනාව මතු වී බන්ධන සවිමත් වූවා සේ ම ඊ මේල් අතරත් ඔවැනි දේ තිබෙන්න ඇති.


    පරෙවියන් අත පෙම් හසුන් යැවූ කාලයට පෙර සිට ඊ මේල් යුගය දක්වා ද, ඉන්පසු එලඹුණු වට්ස්ඇප් mk? Bs Gn යුගයේ ද මිනිස් හැඟීම් දැනීම් වල වෙනසක් සිදු වී නැති බව ලොව නන් දෙසින් මතු වී තිබෙන සමහර පුරාණ කලා නිර්මාණ, ලේඛන ආදිය ශාක්ෂි සපයනවා. ඒක එහෙම වෙද්දී වර්තමාන බන්ධන වල ස්වභාවය වෙනස් වන්නට ප්‍රතිචාර වේගය බලපානවා විය යුතුයි. 

 තාක්ෂණය සපයා ඇති පහසුකම් උපයෝගී කරගෙන සිතුවිල්ලක වේගයෙන් හැඟීම් අකුරු කරන්නට යෑම නිසා පෙම් කතා පමණක් නොව අනෙකුත් පුද්ගල සම්බන්ධතා වල ද සමහරවිට පලුදු ඇතිවන අයුරු විවිධ මිතුරු හවුල් වල නිතර දෙවේලේ ඇඟිලි තුඩින් ඇවිදින විට අපිට දකින්න ලැබෙන අවස්ථා තිබෙනවා. නැවතිල්ලේ හිතලා බැලුව ම ලියුම් ලියූ යුගයටත් වඩා කල්ගෙන පිළිතුරු සපයන්නත් පුළුවන් අවකාශයක් අපට විවෘත වී තිබෙන්නේ. කල් ගැනීම හෝ ක්ෂණික ව ක්‍රියාත්මක වීම හෝ යන දෙකින් එකක් තෝරා ගැනීමේ අවස්ථාව ඇති අරුම පුදුම අවකාශයක සැරි සැරුවත් වැඩිපුර ම වෙන්නේ ක්ෂණික ප්‍රතිචාර දැක්වීම්!

    වසර 2000න් පසු ඉපදුණු දරුවන්ට නම් තැපැල් ප්‍රේමය තබා ඊ මේල් ප්‍රේමයවත් සිතා ගන්න අපහසු වෙන්න පුලුවන්. අපේ දුව අහනවා මේ ෆෝන් එකේ මැසේජ් කියලා තියෙන එකෙන් මොකක් ද කෙරෙන්නේ?, වට්ස්ඇප් තියෙද්දි ඇයි තව මැසේජ් කියලා එකක් තියෙන්නේ?, ඒ මැසේජ් එක යවන කෙනා දැක්ක ද කියලා දැන ගන්න බැරි ඇයි? කිසිම වැඩක් නැති ඇප් එකක්නේ කියලා. ඒ වෙලාවට මට මැවිලා පේනවා, බ්‍රිට්නි ස්පියර්ස් උදේට මූණ හෝදන්නේ, දත් මදින්නේවත් නැති ව, කඳුලු පුරවගෙන, CRT මොනීටරයකට එබීගෙන ඉන්න විදිහ.




Forever...

It's been hours seems like days since you went away

And all I do is check the screen to see if you're okay
You don't answer when I phone
'cause you wanna be left alone
So I'm sending you my heart,
my soul and this is what I'll say

I'm sorry, oh, so sorry
Can't you give me one more chance
To make it all up to you

E-mail my heart and say our love will never die
I know you're out there and I know that you still care
E-mail me back and say our love will stay alive
Forever, e-mail my heart

I can see you in my mind coming on the line
And opening this letter that I've sent a hundred times
Here's a picture of us two, I look so good on you
And can't you please forgive me for the hurt I put you through?

I'm sorry, oh, so sorry
Can't you give me one more chance
To make it all up to you

E-mail my heart and say our love will never die
I know you're out there and I know that you still care
E-mail me back and say our love will stay alive
Forever, e-mail my heart

I'm sorry, oh, so sorry
Can't you give me one more chance
To make it all up to you

E-mail my heart and say our love will never die
I know you're out there and I know that you still care
E-mail me back and say our love will stay alive
Forever, e-mail my
Forever, e-mail my
Forever, e-mail my heart

Sunday, August 4, 2024

696. ගංගාරාමේ පොඩි හාමුදුරුවෝ ගැන මගේ මතක...



දැං අර ගංගාරාමෙ හාන්දුරුවො මැරිල ගියානෙ..කට්ටියක් එයාගෙ හොඳ කියනව කට්ටියක් නරක කියනව..මම මේ ඒ ගැන මොකවත් කියන්ට හදනව එහෙම නෙවෙයි..

කොහොමත් කිව්වත් කියන්ට වෙන්නෙ නරක තමයි..ඒ මොකද කියනවානං මට මනුස්සයෙක් මලාට පස්සෙ හොඳට වැඩිය මතක හිටින්නෙ නරක..

ඒ කිව්වෙ දැං ජැක්සන් මලාට පස්සෙ මට මතක බුවා සුගතපාල ද සිල්වා මහත්මයාගෙ මරාසාද් නාට්‍යයෙ යොන් පෝල් මරා විදිහට රඟපාමින් ප්‍රදර්ශනය කල විශිෂ්ඨ හැකියාව නෙවෙයි ඇස් දෙකත් දොම්බං කරගෙන කට හරව හරව මයිනා පැවත එන්නෙ බුදු හාමුදුරුවන්ගෙ පරම්පරාවෙන්ය  කියල කියනව...කාලෝ ගැනත් එහෙමයි...වාසුදේව ගැනත් එසේමයි..

හරි එව්ව ඇරිච්චාවෙ..කියන්ට ආපු කතාව කියමු..

ඔය ගංගාරාමෙ අල්ලපු ඉඩමෙ ඒ කාලෙ තිබ්බලු ප්‍රයිවට් කම්පනි එහෙක හෙඩ් ඔෆිස් එකක්..අපි කියමු සත්සර ට්‍රේඩිං සමාගමය කියල..ඕකට ඔන්න එක පාරක් අලුතෙං පත්වෙලා ආවලු බොහොම ලස්සන ගෑණ් ළමයෙක් රිසෙප්ෂනිස්ට් හැටියට..

මේ ළමය ඉතිං හැමෝත් එක්කම සුහදව කාගෙත් හිත දිනාගෙන අපූරුවට රාජකාරියත් කරගෙන ඔන්න දැං ඉන්නවලු..හැබැයි මේ ළමයගෙ එක වැරැද්දක් තියෙන්නෙ පොඩ්ඩ ඇත්තං කලබල වෙනවලු..කලබල උනාම කියන්නෙ මොනවද කරන්නෙ මොනවද කියල එයාටම තේරුමක් නැතිලු..ටෝටලි මඤ්ඤමයිස්ඩ්ලු...රිසෙප්ෂන් එකේ ඉඳගෙන ඉන්නකොට ඩිරෙක්ටර් කෙනෙක්ගෙං කෝල් එකක් ආවොත් පුටුවෙං නැඟිටලලු ආන්ස්වර් කරන්නෙ..ඒ වගේම මේ ළමයට පොඩි නුහුගුණ ගතියකුත් තිබ්බලු.

අනික් අය ඔය නිකරුනෙ කලබල වෙන එක නවත්ත ගන්න කියල අවවාද කලාට කොහෙද මේ ළමයට ඒක අතෑර ගන්නම බෑලු..ඉතිං ඔය නිකරුනේ කලබල වෙන වැඩේ සහ නුහුගුණ සීන්ස් එක හින්ද මේ ළමය ඔෆිස් එකේ කොල්ලංගෙන් බයිට් වෙන එකත් සීමාවක් නෑලු..

ඔන්න දවසක් දවල් කෑම පැය ඉවරවෙලා මේ ළමය ඇවිල්ල රිසෙප්ෂනිස්ට් පුටුවෙ ඉඳගත්ත විතරයිලු ෆෝන් එක රිං වෙන්ට ගත්ත..මේ ළමයා ආන්ස්වර් කලා..

"හෙලෝ සත්සර ට්‍රේඩිං..හව් කැන් අයි හෙල්ප් යූ?"

"මේ.....කැන් හෙල්ප් යූ නෙවෙයි ළමයො... අපේ ඇතා එහෙම ඔය පැත්තෙ ආවද? මේ උදේ කිතුල් වගයක් කකා හිටිය..දැං බැඳල හිටපු තැන පේන්ට නෑනෙ.."

"කවුද මේ කතා කරන්නෙ කියල කියනවද කරුණාකරල? "

"ඇයි ළමයො මාව ඇඳින්නෙ නැද්ද? මම මේ ගංගාරාමෙ පොඩි හාමුදුරුවො..අපි අල්ලපු වැටේ ඉන්නෙ..ඔය ළමය ඔතෙන්ට අලුත් ඇති නේද? නැත්නම් මාව කටහඬින් අඳුරනව ඔතන වැඩ කරන පරණ අය ඔක්කොම.."

මේ ළමයා බයවුණු පාර පුටුවත් පෙරළගෙන නැඟිට්ටෙ..

"අනේ හාමුදුරුවනේ සමාවෙන්න..මම මේ රස්සාවට ඇවිල්ල වැඩි දවසක් නෑ.."

"හරි හරි මම හිතුවා..මම හිතුවා..හරි ඇතා ඇවිල්ල ඉන්නවද කියල පොඩ්ඩක් බලල කියනවද මට? "

"එහෙයි හාමුදුරුවනේ..එහෙයි එහෙයි "

ඔන්න එතකොටම කලිං සෙට් කරගත්තු විදිහට ස්ටාෆ් එකේ එක කොල්ලෙක් එතෙන්ට එනව..

"ඇයි සුලෝචනා මොකක්ද ප්‍රශ්ණෙ? "

"අනේ සුජිත් මේ ගංගාරාමෙ පොඩි හාමුදුරුවො ටෙලිෆෝන් එකෙං කතා කරන්නෙ.."

"ඉතිං? "

"එතුමගෙ ඇතා මෙහෙ ආවද කියල අහනව.."

"හරි හරි මම දැක්ක දැං ටිකකට ඉස්සෙල්ල අපේ අර පිටිපස්සෙ අඹ ගහ යට කුරුම්බා කෝම්බෙකිං පුට්බෝල් ගගහ ඉන්නව.."

"ඈ? ඇත්තු පුට්බෝලුත් ගහනවද? "

"මමත් හැබැයි ඔය දැක්කමයි..වෙන්න ඇති සමහරවිට... පූරුවෙ පිං කරපු සර්දාවන්ත ඇත්තුනෙ.."

"හරි හරි.." කියල කෙල්ල ආයම ටෙලිෆෝන් රිසීවරේ කණේ තියාගත්ත.."

"අපෙ හාමුදුරුවනේ...ඔව්..ඔව්..ඔබ වහන්සෙගෙ ඇතා මෙහෙ ඇවිත් තියනව..අපේ අර පිටිපස්සෙ තියනව අඹ ගහක් ඒක යට ෆුට් බෝල් ගගහ ඉන්නවලු.."

"හප්පේ ඔන්න බලන්නකො ළමයො..මම මේ දහ අතේ ගිණි පත්තු වෙලා හොයනව..මූ මෙහෙ ආතල් එකේ ෆුට්බෝල් හනව..අද හොඳ වැඩක් කරන්නම් මම..ඉන්නකො මමම ඇවිල්ල ඔය ගෙහෙඩියා අල්ලගෙන යන්නං..අනේ ළමයො මං එනකං සතාට කොහෙවත් යන්න නොදී බලාගන්න හොඳද? "

"එහෙමයි අපෙ හාමුදුරුවනේ.."

"හරි හරි ඔයා යන්න ඕන නෑ..හාමුදුරුවො එනකල් මම ඇතාව බලාගන්නං..." සුජිත් වැඩේ බාරගත්තා..

"අනේ තෑන්ක්ස් සෝ මච් සුජිත්.."

විනාඩි දහයකිං විතර ඔන්න සුජිත් ආයම ආව සුලෝචනා ලඟට..

"අන්න වැඩේ හරි..හාමුදුරුවොම ඇවිල්ල ඇතාව ආපහු අරගෙන ගියා..ඔයාට කියන්ට සුලෝචනා..හාමුදුරුවො ඇවිල්ල වැට ලඟ ඉඳල මෙහාට එන්ට නේද කිව්වෙ කණ්ඩුල කිව්ව ගමං පොල් කෝම්බෙත් අතෑරල දාල බලු කුක්කෙක් වාගෙ හාමුදුරුවංගෙ පස්සෙ වැටිල ගියානෙ.."

"එහෙම තමයි අනේ පන්සල්වල හැදෙන පිංවන්ත ඇත්තු.."

විනාඩි දහයකිං විතර ආයම ෆෝන් එක රිං වෙනව..

"හෙලෝ සත්සර ට්‍රේඩිං..හව් කැන් අයි හෙල්ප් යූ?"

"ඉයා..ගුඩ් ආෆ්ටර්නූන්...ඊස් අවර් ප්‍රීස්ට් දැට්ස් අවර් පොඩි හාමුදුරුවෝ ස්ටිල් දෙයාර්? "

"මේ අයි නෝ හූ ඊස් ස්පීකිං දෙයා ප්ලීස්? "

"අයෑම් ගංගාරාමෙ ඇතා හියර්..."

"වට්? ඇතා?.." සුලෝචනා රිසීවර් එකත් මේසෙ උඩ තියල දනි පනි ගාල පුටුවෙන් නැඟිට්ට..නැඟිට්ට නෙවෙයි ඇත්තම කිව්වොත් නැඟිට්ටුනා....වෙලාව කියන්නෙ සුජිත් ආයම ඔන්න කොහෙද ගිහිල්ල මේන් එන්ට්‍රන්ස් එකෙං ඇතුල් වුනා..

"අනේ සුජිත් හොඳ වෙලාවට ඔයා ආවෙ.."

"ඇයි මොකෝ නංගි අවුල?"

"මේ ඇත්තුන්ට කතා කරන්න පුලුවන්ද? "

"සාමාන්‍යයෙන්නම් බෑ..ඒත් මම අහල තියනව මේ ගංගාරාමෙ ඇතාට කතා කරන්න පුලුවන්ය කියල..මම හිතන්නෙ බොරුවක් වෙන්න ඕන.."

"බොරුවක් නෙවෙයි අනේ..අන්න ඇතා තමයි ටෙලිෆෝන් එකෙං කතා කරන්නෙ..අනික විස්වාස කරන්ටත් බෑ ඇතාට ඉංග්‍රීසිත් පුලුවන්නෙ.."

"මොකක්? දෙයියෝ සාක්කි..එහෙනං ඒ කතාව ඇත්ත..හරි දැං ඇතා මොකද කියන්නෙ?"

"ඇතා අහනව හාමුදුරුවො මෙහෙ ඉන්නවද කියල.."

"හාමුදුරුවො මෙහෙ කොහෙද? මම බලා ඉන්දැද්දිනෙ හාමුදුරුවො ඇතාත් එක්කරගෙන  පංසලට ගියේ.."

"හරි හරි එහෙනං වැරදීමක් වෙන්න ඇති..මම ඇතාට කියන්නංකො.."

සුලෝචනා ආයම රිසීවර් එක ගත්තා..

"හෙලෝ මිස්ටර් ඇතා..ඉට් සීම්ස් ද ප්‍රීස්ට් හැඩ් ගෝන් බැක්  ටු ද ටෙම්පල් විත් යූ සම් ටයිම් බෑක්...."

"වට් නොන්සන්ස්.. මම අද දවසම පංසලෙං එලියට එක අඩියක් තිබ්බෙ නෑනෙ..එහෙනං මේ මනුස්සය වෙන ඇතෙක් එක්ක ඔය යන්ට ඇත්තෙ..මට ඉංග්‍රීසිත් අමතක වෙනව මෙව්ව ඇහෙන කොට..හරි අද ආවාවෙකො හාමුදුරුවො..හොඬවැලෙං දෙකක් තට්ටෙට පතබාලයි මම පස්ස බලන්නෙ..හරි හරි මම තියන්නං..ඔය ළමයට බොහොම ස්තූතියි.."

සුලෝචනා රිසීවර් එක තියල ඇස් දෙකත් ලොකු කරගෙන දිග හුස්මක් පාතට හෙලුවා..ඒ කරල මෙහෙම කිව්ව..

"අනේ සුජිත්.. මේ රස්සාව නම් හරියන එකක් නෑ..රිසෙප්ෂනිස්ට් ජොබ් එක බාර ගනිද්දි මම දන්නෙ නෑනෙ ඇත්තුන්ටත් ආන්සර් කරන්න ඕනය කියල..බලන්ඩකො ඉන්ටවීව් එකේදි අපේ මැනේජිං ඩිරෙක්ටර්වත් ඔහොම කතාවක් නිකමටවත් කිව්වෙ නෑනෙ.."