පහුගිය සෙනසුරදා මළගෙදරක ගියා..ෆියුනරල් පාලර් එහෙක මළගෙදර තිබ්බෙ..අපේ ගෙදර ඉඳල පයිං යන දුරකින් තියෙන්නෙ පේරාදෙණියෙ ප්‍රියන්ත මල් ශාලාව..මම එදා ඔය මළගෙදර ගිය වෙලාවෙ දන්නෙ ඒක වෙන කට්ටියක් අරගෙන කියල..දැන් නම ෆොන්සේකා මල් ශාලාව..
මළගෙදර අපේ බිරින්දෑ තොමෝගෙ පාසල් සමයේ මිත්‍රයෙකුගෙ අම්මගෙ මළගෙදර....බිරින්දෑ තොමෝට එදා හදිසි වැඩකට කොලඹ යන්ට වෙච්චි නිසා ඉතිං ඈ වෙනුවට මම ගියා..
මළගෙදර ගිහිල්ල බිරින්දෑගෙ යාලුවට මාව අඳුන්වල දීල එහෙම (කලිං එක පාරක් මට ඒ මිත්‍රයා හම්බවෙලා තියනව..ගිය අවුරුද්දෙ මුල වගෙ අපි දෙන්නා ඒ මිත්‍රයයි තව ඒත් ඉස්කෝලෙ යාලුවො කට්ටියකුයි එක්ක ආරුගම්බේ ගියා..) හොඳටම දාඩිය හින්ද..(එදා උදේ ඉඳලම අහස වැහි වලාකුල් පිරිල තිබ්බෙ..) මම පොඩ්ඩක් මිදුලෙ ගහක් යටට ගියා හුළං පොඩ්ඩක් වදින්ටත් එක්ක..
ඒ වෙලාවෙ ප්ලාස්ටික් පුටුවකුත් උස්සගෙන ටිකක් මට වඩා වයසක පහේ මහත්මයෙක් මම වගේ නෙවෙයි සුදු අත්දිග කමිසයකුයි කලිසමකුයි ඇඳල කොණ්ඩෙ එහෙම ගානට පීරල රැවුල එහෙමත් අපූරුවට කපල එතුමා හිටියෙ..මා ගාවට ආව..මම මේ පරණ ටී ෂර්ට් එකකුයි හම්පඩ ඩෙනිමකුයි ඇඳගෙන ගිහිල්ල තිබ්බෙ..
අපේ එතුමිය හිටියනං කීයටවත් මට ඔව්ව ඇඳගෙන යන්ට දෙන්නෙ නම් නෑ.." මනුස්සයො...මේ හම්පඩ ඇඳගෙන එතනට ගිහිල්ල මගෙ යාලුවො ඉස්සරහ මට ලැජ්ජා කරන්ටද යන්නෙ? ඔහොම නම් යන්නෙ නොගොහිං ඉන්න එක වඩා හොඳයි..." අනිවා ඩෙෆා එහෙම කියන එකත් කියනව..
ඉතිං ඔන්න විනාඩි පහ හයක් යන්නැති..මට තියනව ඔය ලඟ ඉන්න මනුස්සයෙක් එක්ක කතා නොකර වැඩි වෙලාවක් ඉන්න බැරි අසනීපයක්..
" මේ මහත්මයා..පදිංචිය එහෙම මේ අහළ පහළකද? " මම හිනාවෙලා ඇහුව..
"ඔව් මම මේ ලංකාතිලකෙ..මේ කිට්ටුවමයි..." සුදු හැඳි මහත්මයා පිළිතුරු දුන්නා..
"ඔව් මම දන්නව..මමත් මේ කිට්ටුවමයි... පැණිදෙණියෙ.."
"ආ..එහෙමද? එහෙනං කිට්ටුවමනෙ...මමත් කීප සැරයක් ඇවිල්ල තියනව පැණිදෙණිය ඉංග්ලිෂ් ට්‍රේනිං කොලේජ් එකේ ඔය පුහුණු වැඩ සටහන් වලට..මම ගුරුවරයෙක්.."
"ආ..එහෙමද? මගෙ වයිෆුත් ගුරුවරියක්..මොකක්ද මහත්මයා උගන්නපු සබ්ජෙක්ට්ස්? "
"මම චිත්‍ර කලාව..."
"හරි හරි එතකොට ඔබ තුමා කොහෙ වගේද ඉගැන්නුවෙ?"
" අන්තිමට පේරාදෙණිය සීනියර් එකේ.."
"ඇත්තද?"
අපේ කතාව ටික වෙලාවකට නැවතුනේ මගේ කතා සඟයාගෙ මිතුරෙක් ඇවිල්ල ඔහු එක්ක කෙටි පිළිසඳරක යෙදුනු හින්දයි..ඒ එක්කම බිස්කට් සහ නෙස්කැෆේ අරගෙන ආව කුඩා දැරියක් දෙදෙනෙක්..මට පොඩි බඩගින්නකුත් තිබ්බ නිසා චොක්ලට් බිස්කට් දෙකක්ම ගත්තා..
"මට එපා..." සුදු හැඳි මහත්මයා බිස්කට් සහ නෙස්කැෆේ දෙකම කාරුණිකව ප්‍රතික්ෂේප කලා..
"මට සීනි..." ඔහු මා දිහා බලල හිනාවුනා..
"මටනම් සීනි නෑ..මාජින් එකේ තිබ්බ අවුරුදු දෙකකට වගෙ කලිං දැන්නම් නෝමල්..." මම කිව්වා..
"සීනි වැඩි උනයි කියන්නෙ මහ විනාසයක්..වෙන දරුණු අසනීප බොහොමයකට සීනි බලපානව.."
"ඔව් නේද?..." මම එකඟ වුනා..
ඔන්න ඒ වෙලාවෙ හීං වැහි පොදකුත් ඇද හැලෙන්ට ගත්තා..
"තෙමෙනව නේද? යමු අර වහළ යටට.." අපි දෙන්නා පුටු දෙකත් අරගෙන අමානෝ ෂීට් හෙවිළි කරපු පොඩි මඩුවක් වගෙ එකක් යටට ගියා..මට හිතෙන්නෙ වාහනයක් එහෙම හදිස්සියට පාක් කරන්ට හදපු තැනක් වගේ..
"ඔය මහත්මයා දන්නවද ඩබ්ලිව්.ඩී. ආරියසිංහ?" මගේ සුදු හැඳි සඟයා එක පාරටම ඇහුවා..
"ඔව්..අර ප්‍රසිද්ධ ගායකයනෙ..මම දන්නව..දන්නව කියන්නෙ මම එහෙම පෞද්ගලිකව අඳුනන්නෙ නෑ..හැබැයි හොඳ අපූරු ගීත කීපයක්ම කියපු දක්ෂ ගායකයෙක් කියල දන්නවා.."
"මිනිහා මගෙ පොඩි කාලෙ ඉඳලම හොඳම යාලුවා..අපේ මහ ගෙදර ඉඳල හැතැම්ම කාලක් වත් නෑ එයාලගෙ මහ ගෙදරට.."
"ඈ? කොහෙද ඒ?"
"ලංකාතිලකෙ.."
"අප්පට සිරි..ඒ කියන්නෙ ආරියසිංහ මහත්මයා මේ පැත්තෙද? දෙයියෝ සාක්කි ඔය කියනකල් මම දැනගෙන හිටියෙ නැහැ නෙව.." මම බීල ඉවර කරපු නෙස්කැෆේ කෝප්පෙ පුටුව ලඟම බිම තියල ආරියසිංහගෙ යාලුවා දිහාට හැරුනා..
"ඔව්..අපි දෙන්නම පිළිමතලාවෙ සෙන්ට්‍රල් එකට ගියේ..එතනින් දෙන්නම ගියා හේවුඩ් එකට..ඒ කාලෙ රජයේ ලලිත කලා විද්‍යාලය..පස්සෙ විශ්ව විද්‍යාලයක් කලානෙ..මම ඉතිං පාස් අවුට් වෙලා ගුරු පත්වීම අරගෙන මේ පැත්තට ආව..ආරි එහෙම නැවතුනා.."
"ඔව් එයා කසාද බැන්දෙ ආර්.ඒ. චන්ද්‍රසේනගෙ දුවනෙ.."
"ඔව් දර්ශනී චන්ද්‍රසේන.."
"ඉතිං එතනිං පස්සෙ ඔය දෙන්නගෙ ආශ්‍රය නැවතුනාද?"
"මෙහෙමයි ඉතිං ...කිට්ටුවෙන් නම් ආශ්‍රය කලේ නෑ..ඒත් ගමේ ආවොත් අනිවාර්යයෙන්ම මම හම්බවෙන්න එනවම තමයි.."
"ආරියසිංහ මහත්තයා ලඟදි මැරුන නේද?"
"ඔව් අවුරුදු පහක් වගෙ ඇති..මට මළගෙදරවත් යන්ට බැරි වුනා..කෝවිඩ් කාලෙනෙ..මගෙ වයසත් එක්ක අපේ ගෙදර කට්ටිය මට යන්ට දුන්නෙ නෑ.."
"ඔව්ව ඉතිං ඔහොම තමයි මහත්මයා..ජීවිතේ හැටි.."
"මොකට කියනවද ඒ ගැන... එහෙනම් මම යන්නං..බොහොම සන්තෝසයි හඳුනාගන්ට ලැබුනු එක.."
එහෙම කියල මට ආයුබෝවන් කියල ඩබ්ලිව්.ඩී.ආරියසිංහගෙ මිතුරා මගෙං සමුගෙන යන්ට ගියා..මම එහෙම්මම පුටුවෙ වාඩි වෙලා කල්පනා කලේ මේ මනුස්සය මගේ ප්‍රියතම ගායකයෙක් වෙලත් මේ තරම් කිට්ටුව මිනිහගෙ මුල්ගම්පළාත කියල දෙයියෝ සාක්කි මම දැනගෙන හිටියෙ නෑනෙ කියල..
මගෙ ෆෝන් එකේ රිං ටෝන් එකක් විදිහට මෙතුවක් කාලෙකට මම දාගෙන ඉඳල තියෙන්නෙ එකම සිංදුවයි..ඒ ඩබ්ලිව්. ඩී.ආරියසිංහ මහත්මයාගෙ මා ළඟටම තව ළංවෙලා හිඳින්න නිහඬ නුවන් පියා..ගීතය විතරයි... 2005/2006 වගෙ කාලෙ ඒ...
හිඳින්න නිහඬ නුවන් පියා
මා සීතාවෝ සැතැපෙන නින්දේ
නූපුර හෝ ප්‍රියේ පා සුළැඟිල්ලේ
අද නම් අවදි නොවේ
කුසුම් කැකුළ නිදනා තුරා
සැතපුණ දා දුටු කින්නර පෙම් සිහිනේ
මහළු වෙලා අද සඳ වාගේ
යෞවන රෑ සඳු බලාන උන්නාවේ
මා ළඟටම තව ළංවෙලා...
අපි යමු මේ රෑ අනාගතය සොයලා
නලමුදු සුවඳේ නිදන මලේ
මට මල් රොනඟුන් සුවඳ දැනේ ළඳුනේ
මා ළඟටම තව ළංවෙලා...
Music : Thissasiri Perera
Lyrics : Ajantha Ranasinghe
"රවී මචං මිනිය උස්සන්ට යන්නෙ... උඹත් එනවද ආදාහනාගාරෙට යන්ට?" බිරින්දෑ තොමෝගෙ යාලුවෙක් මා ගාවට ඇවිල්ල ඇහැව්ව..
"යමු එහෙනං වැඩි දුරක් නෑනෙ..පිළිමතලාවෙනෙ.." මම පුටුවෙං නැඟිට්ටා..
********************************************
මේ ඩබ්ලිව්.ඩී. ආරියවංශ මහත්මයාගෙ තවත් අපූරු ගීතයක් එහි අර්ථය ගැන ලියවුණු විවරණයකුත් එක්කම...
(උපුටා ගැනීම අන්තර්ජාලය ඇසුරෙනි)
මහද සුරත් නෙලුම් කැකුළ දැදුරු වෙන්න පාරා//
අතීතයේ සිට ම කවීන් ස්ත්‍රියක ගේ පුන් පියොවුරු උපමා කරන්නට යොදා ගත්නේ හසුන් හෙවත් තිසරුන්ය. මොනයම් හෝ හේතුවකට එහි ඖචිත්‍ය දැක්වීමට, මෙ තරම් කලක් එය නො වෙනස් ව යෙදීමම දෙස්. මෙහි තිසර තුඩ යනු පියොවුරෙහි තුඩුවයි. දෙවැනියට කියන තුඩ නම් ඔහු ගේ මුවයි (බඹර තුඩ,කුරුළු තුඩ ...). තුඩ යන්න අරුත් දෙකකින් එකවිට යෙදීම අනුප්‍රාසය ඔස්සේ ශබ්දාලංකාරයක් ඇති කරවයි.
රත් පැහැය ස්වභාවයෙන්ම ප්‍රේමයේ මෙන්ම රාගයේ හැඟීම් ජනිත කරවන්නකි. ඔහුගේ හද සු-රත් හෙවත්, ඉතාම රත් පැහැගත් නෙලුම් කැකුළකි. ඇගේ පුන් පියොවුරු සිඹින ඔහුගේ හද තුළ ප්‍රේමණීය සිතුවිලි පිබිදී හද පුබුදු වෙයි. නෙලුම් කැකුළ දැදුරු වෙයි, හෙවත් පිපී එයි. ඇයට රාධා ලෙසින් ඇමැතීම, ඔවුන් තුළ එකිනෙකා කෙරේ පවතින දැඩි ප්‍රේමණීය බැඳීම හඟවාලයි.
// දුනු දියෙන් මිදී මදරද රාව නගන මීපා
මදරද නම් අනංගයායි. අනංගයා වනාහි සිතෙහි ඇති වන අනුරාගය දැක්වීම උදෙසා යොදාගත් සාහිත්‍යමය සංකේතයෙකි. දුන්නෙන් මිදුණු හීයක් මෙන් නිදහස් වූ ඇගේ අනුරාගී සිතුවිලි, ඇගේ පොපියන දෙතොලින් හැඟවෙයි. එය ඔහුට මදු පිරි විතක් මෙනි. මී - පා යනු ඒ දෙ තොල් ඔහු වෙත ප්‍රේමය/රතිය නමැති මධු ප්‍රදානය කරන බවයි. ඔහු ඇගේ දෙතොල් මී විතෙන් මධු පානයට අවසර ඉල්ලයි.
// කොළොම් වන හිසේ මුවරද මමන මද පොදින් සීතල
සුසුම් නලින් වියැලෙන්නට ඉඩහරින්න රාධා//
හින්දු සාහිත්‍යය අනුව, ක්‍රිෂ්ණා රාධාවන් සමග ලෝකාස්වාද රතියෙන් බැඳෙන්නේ කොළොම් රුකක සෙවණේය. එහෙයින් මෙහි දී කොළොම් වනය ශෘංගාරාත්මක සංකේතයකි. මෙය බක්මී වර්ගයේ ශාකයෙකි.
කොළොම් වනයේ තුරු හිස් මුවරදින් හෙවත් මල් පැණියෙන් පිරෙන්නේ වසත් කාලයේදීය. මෙහි වසත් කල පිබිදුණු කොළොම් වනය නම් ඇගේ තුනුවිලයි. අනුරාගී හැඟුම් උත්සන්න වූ ඇගේ, තුනුවිලෙන් වෑහෙන අසීමිත වූ ‘මුවරද’ මංගල යහන් සලුව ද තෙමෙන තරමි. තෙතබරිත ඒ සලුපිළි සිය මුවින් නැගෙන සුසුමින්ම වියළා දමන්නටයි ඔහුගේ අදහස! කාම සම්භෝගයෙ හි උච්චතම අවස්ථාවක් පවා කවියා ඉදිරිපත් කර ඇති සංයමය කෙ තරම් අගනේ ද?
ළියගෙවල පිරුණු උණුසුම නිවාලන්න රාධා
ළහෝපලු සිහිල් හෙල්මැලි සඳුන් කල්ක තවරා//
නියඟලා පුෂ්පය වනාහි තද රත් පැහැයෙක් උසුලන්නකි. අනුරාගයෙන් මත්ව, රත් පෑ ගත් තොල් පෙති සහිත, ඇය ගේ රස ගඟුලේ මුවදොරයි මේ රත් පැහැ නියඟලා මල. බලන්න රහසඟට කෙතරම් ඔබින උපමාවක් ද කියා.
ගඟුලෙක් නම් සිහිල් දියෙන් පිරී ඇත. වන ගැබෙක ද, ළිය ගොමුවක ද ඇත්තේ සිහිලස මැයි. නමුදු මේ කියන ගංතෙර ද, වනගැබෙ හි ළියගොමු ද උණුසුම් ය. මන්ද ඈ සුරතාන්තයට ළං ව ඇති හෙයිනි. ඒ උණුසුම නිවාලන්නට යන්නෙන් අදහස් වන්නේ එක්කෝ සංක්ෂෝභයට පත් වන්නට යැයි ඇයගෙන් ඉල්ලීමයි,
නැතහොත් වචනාර්ථයෙන්ම, සඳුන් කල්ක තවරාගෙන, සුදු නෙලුම් ගත දවටාගෙන ඒ පමා කරන්නට යන්න ද වියහැකි යි. මන්ද සඳුන් සහ සුදු නෙලුම් යන දෙකම, සිරුර සිහිල් කරන ගුණයෙන් යුතු යැයි වෛද්‍ය ශාස්ත්‍රයෙ හි සඳහන් වන හෙයිනි. එමතු ද නොව, සඳුන් යනු අදට ද රති ප්‍රබොධකයක් ලෙස යොදාගන්නා ද්‍රව්‍යයකි. ඈ සමග රති කෙළියේ යෙදී සැහෙනු නොහැකි ව, ඒ තව තවත් දිගු කරගැනීම ඔහු ගේ කැමැත්ත වනු හැකි ය.
හෝපලු නම් අශෝක රුකට යෙදෙන තවත් නමෙකි. හෝපලු රුක සහ රතිය අතර ඇති සබැඳියාව බොහෝ පැරණි මූලාශ්‍රවල සඳහන්ය.
පුරුෂයකුගේ සිතෙහි ඇති වන එ වන් වූ අනුරාගී හැඟුම්වලට ස්ත්‍රියක කෙසේ නම් පිළිතුරු දෙනු ඇත් ද? ඔහු ගේ රාගාන්විත ආයාචනයන්, ඉංගිතයන් ඈ කෙසේ නම් ඉවසනු ඇත් ද?
කවුරුත් අහල තියෙන රාධා හා ක්‍රිශ්ණාගේ කතාව පාදක කරගනිමින් ලියැවෙන ශ්‍රී ජයදේවයනගේ ගීත ගෝවින්දය මේ ගීතය සදහා වස්තු බීජය සපායා ඇති සෙයකි.
තිසර තුඩට තුඩ නඟන්න ඉඩ හරින්න රාධා
මහද සුරත් නෙලුම් කැකුල දැදුරු වෙන්න පාරා
ලලිත ලවන සිඹ රඟන්න ඉඩ හරින්න රාධා
මමන මද පොදින් සීතල
වපුල කලාපේ මංගල
යහන් සලුව සෝදා
සුසුම් නලින් වියැලෙන්නට
ඉඩහරින්න රාධා
නියඟලා මලින් සෝබන
කළිඳු ගංතෙරේ වන ගැබ
දියගෙවන පිරුනු උණුසුම
නිවාලන්න රාධා
ලහෝපලු සිහිල හෙල්මැලි
සඳුන් කල්ක තවරා
තිසර තුඩට තුඩ නඟන්න ඉඩ හරින්න රාධා...
සංගීතය | විශාරද ගුණදාස කපුගේ
පද රචනය | රත්න ශ්‍රි විජේසිංහ
දසුන් මුසුව | රොෂාන් මංජුල වික්‍රමසිංහ