Friday, November 8, 2013

229. කවිකාරියකගේ ප්‍රේමය…..17


හෙමිහිට ඇහෙන්ට පටන් ගත්තු අඩි සද්දයක් ටිකින් ටික වැඩි උනා. ලැම්බට් අයිය තැඹිලි ගෙඩියත් අරගෙන එනව වෙන්ට ඇති කියල හිතල මම ඇස් දෙක ඇරියෙවත් නෑ. 

අඩි සද්දෙ මා ලඟටම ඇවිල්ල නැවතුනා. මම උඩ බලාගෙනම හෙමිහිට ඇස් ඇරියා, කුඹුක් ගහේ අතු අස්සෙං පාතට ආපු ඉරු රැස් දහරක් කෙලිම්ම මයෙ ඇහැට වැටිල මගෙ ඇහැ ආයෙම පියෙව්ව. 

" අයියෙ……" 

කණ ළඟම ඇහුන ඒ කටහඬ ආයෙම මගෙ ඇස් අරවල ඔලුවත් ඒ පැත්තට හැරෙව්ව. 

ඔලුව හරවල බලනකොට කවුද මා ලඟ හිටගෙන හිටියෙ?..දෙයියංටම ඔප්පු වෙච්චාවෙ සුජා!!!!!! 

දනි පනි ගාල මට නැඟිටුනෙ ඉබේටම.. 

" සුජා නංගි ඔයා????? " 

මම එහෙම කිව්වෙ අර කාලෙකට ඉස්සෙල්ල සෙලින්කෝ ඇඩ් එහෙක ගියෙ කෑල්ලක් ….අහිංසා...ඔයා???? කියල... අන්න ඒ විදිහට .... 

සුජා කෙලින්ම මයෙ බෙල්ලෙ එල්ලුනා...ඒ කරල මයෙ පුලුල් පපුවට මුහුණ තද කරගෙන අඬන්ඩ ගත්ත.සධාතුක කරඬුවක් බුද්ධාලම්බන ප්‍රීතියෙන් ඔද වැඩී තුරුළු කොටගන්නේ යම්සේද එලෙස මම හද පුරා පිරීගිය බැති පෙමින්යුතුව ඇය වැළඳ ගතිමි.ඇය හෙලූ කඳුලු මගේ කමිසය තෙත් කොට ගලාගියේ මේ සසරේ අනේක ජාතීන්හි ඒ කඳුලු මගේ පපුව තෙත් කොට ගලාගියාක් මෙනි. 

" රවි අයියා……" 

ඇය තම කඳුළු පිරි විසල් නෙත් ඔසවා මා වත දෙස එක එල්ලේ බලා සිටියාය. 

" අයිය නැතුව මට ඉන්ට බෑ මයෙ අයියෙ…. ඒ නිසා ජාති ජාතීත් මම අයිය හොයාගෙන ආව වගේ ආයෙම ආව මයෙ රත්තරනේ.." ඇය කොඳුළාය. 

මම පහත්ව අපමණ සෙනෙහසින් ඇගේ නළලත සිප ගතිමි. 

" ඉන්න සුජා පොඩ්ඩක් ….." ඇගේ මල්දම් වන් දෙඅත මා ගෙලෙන් මෑත්කල මම කලිසමෙහි කකුල් ඉණ දක්වා නවා ගනිමින් ජලාශයට බැස්සෙමි. 

" අනේ රවී අයියා බලාගෙන …" සුජාතා බියපත්ව කෑගැසුවාය.. 

" ඉන්නකෝ ළමයො මම ඉන්නකල් කිසිම දේකට ඔයයි බය වෙන්න එපා….." සුදට සුදේ පිපී තිබූ ඕළු මල් ගොන්නක් නෙලාගනිමින් මම පසුපස හැරී ඇය දෙස බලා සිනාසුනෙමි. 

" ඒයි අයියෙ…. ඔන්න කිඹුලෙක් " එක්වරම ඇය කෑගැසුවාය. 

" මළ කෙළියයි…" නෙලාගත් ඕළු මල් මිටියද වැවටම අතහැර දෙදණහිස් දක්වා මඩ වැකුණු දෙපයින් යුතුව මම දණි පණිගා ගල්තලාවට ගොඩ වීමි. 

" හප්පා යන්තම් බේරුණා…" මම පපුවට දකුණු අත තබාගත්වනම පැවසුවෙමි. 

" කෝ දැං ඔය කිඹුලා?....." 

" ආං අර ඉන්නෙ……" සුජාතා දකුණත දිගු කලාය.." කිඹුලෙක් නම් නෙවෙයි අයියෙ කබර තඩියෙක්……" 

" උඹට මම මොකටද කියන්නෙ එහෙම?.... ඉඳපං ඔහොම …" මම ඇය අල්ලා ගැන්මට තැත් කලෙමි.. 

" අනේ එපා….." ඇය හඬනඟා සිනාසෙමින් මගෙන් මිදී වැව් කණ්ඩිය දිගේ දිවයන්නට වූවාය. 

කොහොමද ඒ පේමාලිංගන සීන් එක?....ආව නිකං මල් හතට නේද? පිස්සු හැදෙයි, යළි හොඳවෙයි නැවත හැදෙයි කිව්වලු..හෙහ්, හෙහ්...මයෙ හිතේ තියනව මේ කෙහෙම්මල් රස්සා බස්සා ඔක්කොම අතෑරල දාල පුල් ටයිම් ආදර කතා ලියන්ට...ඒකට පොඩි පෙර හුරුවක් විදිහට තමයි ඔය සුජාස් සහ රවීස්ගෙ ලව් සීන්ස් කෝන්ස් එක ලිව්වෙ.....හෙහ්, හෙහ්, නරකම නෑ නෙවද? 

" අයියෙ……" 

කණ ළඟම ඇහුන ඒ කටහඬ ආයෙම මගෙ ඇස් අරවල ඔලුවත් ඒ පැත්තට හැරෙව්ව. 

" විජිත...." 

මට නැඟිටුනෙ ඉබේටම..ඊයෙ රාත්තිරියෙ අන්තිමට මනුස්සය මට කිව්වෙ උඹටනම් හොඳක් වෙන්නෙ නෑ කියලනෙ. එක පාරටම මට නිකං හිතේ ගැස්මක් වගෙත් ආව මේ යස්සය මට ගහයිවත්ද කියල. 

මම ඔය ගුටි ඇණගන්න සීන් වලට කවදාවත් ඒ හැටි කැමැත්තක් දැක්කුවෙ නෑ. තුනේ පංතියෙදි විතරක් ඔන්න එකම පාරක් මට එකෙක් එක්ක ගුටි කෙලගන්න උනා. ඒත් මම මඟ අරින්ට හදල බැරිම තැන.ඒකෙං මයෙ ඉස්සරහ දතක් ගැලවුනා. ඒ දත කොහොමත් හෙල්ලි හෙල්ලි තිබ්බ නිසා ඒ හැටි අවුලක් උනේ නම් නෑ. පුංචි සන්දියෙ ගුටි ඇණ ගන්නවට වඩා මම කලේ ගුටි කෙළි සංවිධානය කරපු එක...හෙහ්, හෙහ්, 

මයෙ හිත ටිකක් විතර එහෙ මෙහෙ උනාට එහෙම කලබල වෙන්ට කිසිම උවමනාවක් ඇත්තටම තිබ්බෙ නෑ. විජිතය හිටියෙ බිම බලාගෙන.මම නැඟිටල කුඹුක්ගහට හේත්තු උනා. එහෙම නිස්සද්දවම ගෙවිල ගියා මම හිතන්නෙ මිනිත්තුවකට කිට්ටු තරම..විජිත කතා කරන පාටක් පේන්නෙ නැතිකොට නිස්සද්දතාවය ඉවසන්ටම බැරිතැන මම කතාකලා. 

" ඔව්..... විජිත කියන්න…" 

ඒ වංගියෙ ඔන්න මිනිහ ඔලුව ඉස්සුවා. ඇස්වල කඳුලු තිබ්බයි කියල කියන්ට තරම් මට මතකයක් නම් නෑ. ඒත් බොහොම අසරණ කමක් හිත් වේදනාවක් නම් ඒ ඇස්වලින් ගලාගෙන ගියයි කියලනම් මට සහතිකයි. 

" ඉස්සෙල්ලම කියන්න අයිය මා එක්ක තරහද?....." 

මම මොකවත්ම නොකිය විජිතගෙ මූණ දිහාවෙ බලාන හිටිය. මොකක් කියන්ටද කියල හරි හැටි හිතාගන්ට බැරුව… 

" හරි එහෙනම් මම මෙහෙම අහන්නම්කො..අයිය මට සමාව දෙනවද?..." 

අන්න ඒකට නම් මට එක එල්ලේ උත්තරයක් දුන්නෑකි. 

" හරි මල්ලි එහෙම අවුලක් නෑ..කවුරු අතිනුත් වැරදි වෙනවනෙ...එව්ව ඔක්කොම අල්ලල දාන්න.." මම නැමිල විජිතගෙ පිටට තට්ටු කලා. 

" අයියට කියන්න මට දිග කතාවක් තියෙනව….." 

මම කිව්ව මේ ගල්තලාව කුඹුක් ගහේ මුල ඉඳල වැවේ වතුර තියෙන මට්ටමට යනකල්ම වැව් කණ්ඩියෙ ආනතියත් එක්කම විහිදිලා ගිහිල්ල තියෙන්නෙ. මම හිටියෙ කුඹුක් ගහට පිටදීලා ගල් තලාවෙ මුදුනෙම හරියෙ. විජිත මට පල්ලෙහායින් ගල් තලාවෙ ඉඳගෙන කකුල දිගඇරගත්ත. මම කුඹුක් ගහ මුලම ඉඳගෙන ගහට හේත්තු වුණා. 

ඔය චිත්‍රපට, ටෙලි චිත්‍රපට වල එහෙම සීන්ස් දැකල තියද දෙන්නෙක් කතා කරනව එකිනෙකාගෙ මූණ බලන්නෙ නැතුව. අපි සාමාන්‍ය ජිවිතේදි එහෙම කරන්නෙ නෑ නේද? ඔන්න මොකක් හරි කතාකරන්ට අමාරු සබ්ජෙක්ට් එකක් කතා කරද්දි කෙලින්ම මූණ බලන්න බැරුව අහක බලාගෙන කතාකරන එක ගැන නෙවෙයි මම මේ කියන්නෙ... 

දැං ඔය පෙම් පලහිලව්වක් ඉවර කරනකොට ඒක මූණටම කියන්ට උනොත් මූණ බලාගෙන කියන්ට බෑ තමයි..එහෙම නෙවෙයි මම මේ කියන්නෙ. තනිකරම තමන් ආමන්ත්‍රණය කරන පුද්ගලයට පිටුපාල කතාකරන එක ගැන. එහෙම සංවාදයක් ටිකක් අස්වාභාවිකයි කියල හිතෙන්නෙ නැද්ද? 

සමහරවිට චිත්‍රපටවල එහෙම යොදනව ඇත්තෙ යම් ඇඟවිමක් කරන්න වෙන්න ඇති.හරි, ඒ සිනමා විශ්ලේෂණය දැන් ඇති. මම මේ කියන්ට ආවෙ එදා කුඹුක් ගහයටදි විජිත එයාගෙ මුලු කතාව කිව්වෙ මට පිටුපාල ඉඳගෙන. 

බොහෝවිට මට මූණදෙන්න බැරිගතියක් වගෙ විජිතට දැනෙන්න ඇති.ඒ මොක හරි ඒ සංවාදය කෙරුනෙ එහෙමයි. සංවාදය කිව්වට මම ඕනනම් වචන හත අටක් කතා කරන්න ඇති. විජිත මට පිටුපාල වැව දිහා බලාගෙන කතාකරගෙන ගියා. මම අහගෙන හිටිය. අන්න ඒ විදිහටයි උනේ. ඒ වෙලාවෙ මට ඒක ඒ හැටි අමුත්තක් නොවුනට පස්සෙදි මටම කල්පනා උනා අඩේ විජිත කතාව කියද්දි හිටියෙම මට පිටුපාල නේද කියල.ඒකෙ මොකක් හරි යටි ඇඟවුමක් තියනවද කියලනම් මම දන්නෙ නෑ.ඒත් වැඩේ උණේ නම් එහෙමයි. 

" මගෙ තාත්ත නැතිවෙනකොට මට වයස අවුරුදු දෙකක්වත් නැතිලු. මට තාත්ත මතක යන්තමට මීදුම මැදින් පෙනෙන නොපෙන ඡායාවක් වගෙ.අම්මයි තාත්තයි තනි මතේට කසාද බැඳල තියෙන්නෙ.... අම්මගෙ දෙමව්පියො ....ඒ කියන්නෙ මගෙ ආච්චියි සීයයි තාත්තට කැමතිවෙලාම නැහැ. ඒකට හේතුවක් මම අදවත් හරියට දන්නෙ නෑ. හිතුවක්කාරෙට පොතේ අත්සං කරල ඒ දෙන්න ගිහිල්ල පදිංචි වෙලා තියෙන්නෙ තාත්තගෙ ගමේ.."

" අයිය දන්නවද ඇඹිලිපිටිය?...... " විජිත ඇහුවෙ මාදිහාවෙ හැරිල බලන්නෙවත් නැතුව.. 

මම ඔලුව හෙල්ලුව ඔව් කියන්න. ඒත් විජිත ආයෙම කතාව පටන් ගන්නෙ නැතුව දිගටම වැවේ වතුරෙ හුළඟට හැදෙන රැලි ගල්තලාව පාමුලටම ඇවිල්ල බිඳිල යන හැටි බලාගෙන හිටිය. 

" ඔව්..මම ගිහිල්ල තියනව ඇඹිලිපිටියෙ.." අන්තිමට මම කිව්ව… 

මගෙ කටහඬින් නින්දෙන් ඇහැරියවගෙ විජිත එක පාරට ඔලුව උස්සල ආයෙම කතාව පටන් ගත්ත. 

" ඇඹිලිපිටියටත් එහා තාත්තගෙ ගම...එහාට කියන්නෙ බිංකම කියල…" 


" හදිස්සියෙම තාත්ත මැරිල පොළඟෙක් කාල....අම්ම ඊට පස්සෙ මාවත් අරගෙන ආපහු සීයයි ආච්චියි ළඟට ඇවිල්ල. අම්ම සීයයි ආච්චිගෙයි හිත් බින්දට පවුලෙ එකම දරුව නිසා අම්මට ඒ දෙන්න ගොඩක් ආදරෙන් ඉඳල තියනව. ඒ නිසාමයි හිතේ සැකයක් නැතුව අම්ම ආපහු ඇවිල්ල තියෙන්නෙ…" 


විජිත කතාව නවත්තල හිටිය මිනිත්තුවක් තරම නිස්සද්දව...ඊට පස්සෙ ආපහු කතාව පටන්ගත්ත.මේ කතාව මනුස්සය දිගටම කිව්වෙ එහෙම ...හිටිගමන් නවත්තනව...ආයෙම කතාව කියන එකක් නැතිය කියල මට හිතෙන තරමට නිස්සබ්දතාවය දිගට ඇදෙනකල් ඉඳල එක පාරට කතාව පටන් ගන්නව. 

" සීය ඒ තරම් කැමැත්තක්වත් අකමැත්තක්වත් පෙන්නල නෑ අම්මයි මායි ආපහු ආවට. ඒත් අයිය ඒ එයාගෙ හැටි...මතුපිටිං එහෙම උනාට හිත උණුවෙන මනුස්සය. ආච්චිනම් බොහොම සන්තෝසෙන් අම්මවයි මාවයි බාරගෙන තියනව. " 

" මහත්තය තැඹිලි........." 


ඔන්න වැඩේ හැටි ලැම්බට් අයියයි තැඹිලියි අමතකම වෙච්චි හැටි. ඇස්ස ගහපු තැඹිලි ගෙඩි දෙකක් දෑතිං අරගෙන ආපු ලැම්බට් අයිය හිනාවීගනම නැමිල තැඹිලි දෙක දුන්න විජිතටයි මටයි. 

ලැම්බට් අයියගෙ මුණුබුරා ඈත දුවගෙන එනව ගිණිකසය වගේ. කොල්ලට අවුරුදු අටක් විතර ඇති. නිවාඩු මාසෙම ගෙවන්නෙ ආතා එක්ක කැළේ මැද්දෑවෙ වාඩියෙ. නම සුමනසිරි...මා එක්ක හරිම එකතුයි..මොන එකක්ද මන්ද පොඩි එවුං මා එක්ක බොහොම ඉක්මනට සැට් වෙනව. සමහරවෙලාවට මහ වාතයක්, ඇණයක් වගෙ හිතෙන තරමට...හෙහ්, හෙහ්, ඒත් මම එහෙම හිතන්නෙ නෑ... 

" පුතා උඹ මොනවයි කරන්නෙ ලොකු උනාම? " මම එහෙම අහනව කොල්ල දැක්කිං. 

" මම මහත්තය ගාව වැඩ කරනව කැළේට ඇවිල්ල වාඩියෙ නතර වෙලා.." හෙහ්, ඔන්න උගෙ උත්තරේ… 

" හෙහ්, නරකම නෑ..උඹ ලොකු මහත් වෙලා වැඩට එනකල් මට කැළේම ඉන්ට කියලද සුමනසිරි මට කියන්නෙ? " මම හිනාවෙනකොට කොල්ලත් හිනා වෙනව.එතකොට ලැම්බට් ආතත් හක හක ගාල හිනාවෙනව. 

" හෙමිහිට වරෙං පුතා දැං වැටිල තුවාල කරගන්නව…" ලැම්බට් එතනම ඉඳල කෑගැහුව. 

" වීදුරු දෙකක් ගේන්න කිව්ව මහත්තය මම කොළුවට…. මහත්තයලට තැඹිලි බොන්ට.." 

" ඕන නෑ ලැම්බට් අයියෙ..තැඹිලිවල ගතිය තියෙන්න උඩ බලාගෙන ගුඩු ගුඩු ගාල ගහල අරිනකොට…" 


තැඹිලිය එක හුස්මට ගහල ඇරිය මම ...ටිකක් විතර සේට් එකෙත් හැලුන… 

" ලැම්බට් අයියෙ පලාපංකො ...ලොඳ තියනව....සුමනෙ අරං වරෙං කොල්ලො මන්නෙ…" 

සුමනෙ කියල කතා කලොත් උගෙ ඉහටත් උඩිං..කරෙත් ගිහෑකි..කොල්ල රූං ගාල ඉගිල්ලුනා ආපහු වාඩියට,… 

" මහත්තය හොඳට දන්නව ආලවට්ටං දාල වැඩ ගන්ට නේද? " ලැම්බට් අයිය ආයෙම බඩ ගෙඩියත් හොල්ල හොල්ල හිනා උනා. 

මේ සියලු කාරණා කටයුතු සිද්ද වෙද්දි විජිත යන්තමට හිනාවීගෙන පැත්තකට වෙලා බලාහිටිය විතරයි. වචනයක්වත් කතා කලේ නෑ. 

" විජිත…... කොහොමද මල්ලි ආවෙ? " ජීප් එකක් ආව නම් අනිවාර්යයෙන් මට සද්දෙ ඇහෙන්න ඕන. 

" ධර්මෙ බයික් එකේ මාව ගෙනත් දාල ගියා. මම කිව්ව පැය එක හමාරකින් දෙහෙකිං විතර ආපහු එන්නෙයි කියල…" 

පැය එකහමාරකිං..දෙහෙකිං..හ්ම්ම්ම්ම්..විජිතට සෑහෙන කතාවක් කියනට තියනව වගෙ මා එක්ක. 

" ඔන්න ඔහොම අම්මයි මායි සීයයි ආච්චියි අපි හතර දෙනා බොහොම නිස්කලංක ජීවිතයක් ගෙව්ව. සීයගෙ කුඹුරු වතුපිටි වල ආදායම් නිසා අපට කිසිම අගහිඟයක් තිබුනෙ නෑ. අපිට තිබ්බ එකම ප්‍රශ්නෙ අම්ම. අම්ම හැමදාම ලෙඩගානෙ දවසින් දවස දිරල ගියා. ඒකට හේතුව තාත්ත නැතිවෙච්චි දුක දරාගන්ට තරම් අපෙ අම්මගෙ පපුව හයිය මදි උනා අයියෙ.මට කොහොමහරි අවුරුදු හතරක් වෙන්ටත් කලින් අම්මත් නැතිඋනා..." 

විජිත අන්තිම හරිය කිව්වෙ බොහොම හෙමිහිට..හරියට කාටවත් ඇහෙයි කියල අපි ඔය කණට කරල රහස් කියන්නෙ අන්න ඒ වගේ..මොනවද කියන්නෙ කියල හරියට අහගන්ට මට දණිස් දෙකට දෑත් තියල වාරු වෙලා ඉස්සරහට නැමෙන්ටත් උනා ඔන්න කොටින්ම. 

උදේ පුපුරන්ට වගෙ තිබ්බ ඔලුවෙ කැක්කුම දැන් නිකං එක ගාණකට ඇවිල්ල. යන්තමට මිනිත්තුවකට තුන් හතර පාරක් ඔලු ගෙඩිය ඇතුලෙ ඩීං ඩීං ගෑවිල්ලෙ දෙපාරක් විතර පිටි කොටනව වගෙ දැනෙනව ඇරෙන්න වෙන උහුලන්ට බැරි අමාරුවක් හේම නෑ. ලැම්බට්ගෙ තැඹිලි ගෙඩිය හින්දද එහෙමත් නැත්තං විජිතගෙ කතාවට මයෙ අවධානය යොමුවෙලා තියෙන නිසාද නැත්තං සමෝසමේ ඒ දෙකම හින්දද? හරි එව්වයිං වැඩක් ඇත...මොක හරි කරණ කොට ගෙන ඔලුවෙ කැක්කුම අඩුවුනානං ඒ මදිද හැබෑට? 

" ඊට පස්සෙ සීයයි ආච්චියි තමයි මගෙ ලෝකෙ ඉරයි හඳයි උනේ අයියෙ..සීයා සැර පරුස මනුස්සය උනාට අම්ම මියෑදුනයිං පස්සෙං පහු මට හුඟක්ම කිට්ටු උනා. වාත අමාරුවක් වගේ බං මට..සිද්ධාර්තෙ ඩිංගක් ගාපංකො පොඩි එකෝ මේ පපුවෙ කියල මට කිව්ව දවසක් හැන්දෑවෙ. මම තෙල් ගාල අතගාද්දිම පණ හැඟඋනා උන්දැගෙ...එතකොට මම අටේ පන්තියෙ. " 

" සීය නැතිඋනයි කියල දෙයියංගෙ පිහිටෙං අපට සල්ලිය බාගෙ අඩුවක් උනේ නෑ. අපෙ ආච්චි ඒ අතිං ඕනම දේකට ඔට්ටුයි. වතුපිටි ඉඩකඩං උන්දැ අපූරුවට පාලනේ කරල ආදායං ඉපැද්දුව. මට හිතෙන්නෙ සීය හිටිය කාලෙටත් වඩා අපිට සල්ලිය බාගෙ ආව ආච්චි වැඩේ අතට ගත්තයිං පස්සෙ. අයියට මයෙ කතාව අහන එක මහ කන්දොස්කිරියාවක් වගේද?.." 

කතාව පටන්ගත්තට පස්සෙ පලවෙනි පාරට විජිත ඔලුව හරෝල මගෙ මූණ බැලුවා. 

ඊයෙ මේ මනුස්සය මම ජීවිතේට වෙන කාගෙන්වත් නාහපු වචන වලින් මට දොස් කිව්ව. කුණුහරුප වලටත් වැඩිය මගෙ හිතට වැදුනෙ උඹට නම් හොඳක් වෙන්නෙ නෑ කියල මගෙ මූණටම කීව කතාව. එහෙම කතාවක් මූණටම කියන්ට මනුස්සයෙක්ගෙ හිතේ කොයිතරම්නම් වෛරයක් ඉපදිලා තියෙන්ට ඕනද? ඉතිං ඇත්තම කියනවනං විජිතගෙ හිතේ මා ගැන එහෙම වෛරයක් තරහවක් ඇතිඋනේ ඇයිද කියල සහසුද්දෙං දැනගන්ට මයෙ හිතෙත් ලොකුම ඕන කමක් තිබ්බ.ඒත් ආයම විජිත කවමදාවත් හම්බවෙන එකක් නැතිය ඒ හින්ද ඒ කාරණේ කිසිදාක දැනගන්ට බැරිවෙයි කියලයි මම හිතාගෙන හිටියෙ. ඒත් මම තුංහිතකිංවත් නොහිතපු විදිහට මිනිහම අද මා ලඟට ඇවිල්ල මිනිහගෙ කතාව කියනකොට ඒක කන්දොස්කිරියාවක් වෙන්නෙ කොහොමද? 

" නෑ මල්ලි කියන්න කියන්න...මම බොහොම ආසාවෙන් අහගෙන ඉන්නෙ ඔයාගෙ කතාව..මට විශේෂයෙන්ම දැනගන්ට ඕන........" 

දෙය්යෝ සාක්කි ඒ ටික කියන්නෙ කොහොමද? මම එතනින් කතාව නවත්තල ඉතුරු වචන ගිල ගත්ත. විජිතත් මොනවදෝ අහන්ට වගෙ හදල ආයෙම නිස්සබ්ද උනාය කියල මට තේරුණා. විශේෂයෙන් මොනවද දැනගන්ට ඕන කියල අහන්ට හිතල ආයෙම නිකා ඉන්ට ඇති බාගවෙලාවට. 

" මම ඇඩ්වාන්ස්ඩ් ලෙවල් කරල ටික දවසක් ගෙදර හිටිය.වැඩිදුර ඉගෙන ගන්න මගෙ කිසිම ආසාවක්වත් උනනදුවක්වත් තිබුනෙ නෑ. අපෙ ආච්චිගෙ එකම නංගිගෙ දෙවෙනි පුතා තමයි අපෙ ලොක්කා. එයා තමයි මාව මේ රස්සාවට දැම්මෙ. ඒ එල් වලට මම එකවුන්ටන්සි කරල තිබ්බ නිසා වැඩ අල්ලගන්න අමාරුවක් තිබ්බෙ නෑ. " 

මේ වෙනකොට ඉර මුදුං වෙලා හොඳටම...වැවෙං ගලාගෙන එන හුළං රැල්ලෙත් අර කලිං තිබ්බ හීල් සිසිලස මැකිල ගිහිල්ල.තොප්පිගල පැත්තෙ ඉඳල පියාඹගෙන ආපු දියකාවො රංචුවක් එකා පස්සෙ එකා වැවට පාත් වෙලා දඩයම පටංගත්ත. 

" පිටිං බලන කෙනෙකුට මගෙ ජීවිතේ කිසිම අඩුපාඩුවක් නෑ කියල හිතෙයි අනිවාර්යයෙන්ම. අපෙ අම්ම පවුලෙ එකම දරුවා. අම්මගෙ එකම දරුවා මම . ඒ නිසා ආච්චිගෙ නමට තියෙන වතුපිටි කුඹුරු ඔක්කොම මට තමයි ආච්චිගෙන් පස්සෙ. එතකොට මට දෙය්යනේ කියල සෑහෙන පඩියක් හම්බුවෙන රස්සාවක් තියනව. අතපය හතර අඩුවක් නැතුව තියනව. ඒ ඔක්කොමත් හරි..ඒත් අයිය දන්නවද මනුස්සයෙකුට ඔය මොනව තිබ්බත් ජීවිතේ අවශ්‍ය තව දෙයක් තියනව. ඒක නැතුව ජීවත් වෙනවයි කියන්නෙ ඒ මනුස්සය ජීවත් උනත් මැරිල වගෙ. අයිය දන්නවද ඒ මොකක්ද කියල? ..." 

විජිත දෙවෙනි පාරටත් ඔලුව හරවල මගෙ මූන බැලුව. උත්තරේ මම හොඳාකාරවම දැනගෙන හිටියත් මම මොකවත් කිව්වෙ නෑ. යන්තමට තොල් මෑත් කරල හිනා උනා… 

" ඔව්..මම දන්නව අයිය ඒ මොකක්ද කියල දන්නවයි කියල.. ඒ තමයි ආදරය..ඒ තමයි ආදරය..ඒ තමයි ආදරය.." විජිත එහෙම තුන් පාරක්ම කිව්ව. 

මතු සම්බන්ධයි...... 

70 comments:

  1. විජිතට ජීවිතේට ඕනම දේ හරියට ලැබිලා නැති නිසා නේද අර තරම් emotional වෙලා තියෙන්නේ..??
    අර උඩින්ම තියෙන ආදර සීන් එක නරකම නැ රවී.. ලස්සනයි.. :)
    ඒ සීන් එක උඩින්ම දාලා අපිව නොමග යැවුවා එහෙනම් ටික වෙලාවකට නේද..??
    මමත් කොච්ච්චර ඇඟේ හැලුනත් තැඹිලි,කුරුම්බා බොන්න කැමති මේකේ ලියලා තියෙන විදියට තමා.. එතකොට තමා ඒක feel වෙන්නේ නේද..??
    ඊළඟ කොටසත් එනකන් මග බලාගෙන ඉන්නවා.. :)

    ReplyDelete
    Replies
    1. සඳා,

      / විජිතට ජීවිතේට ඕනම දේ හරියට ලැබිලා නැති නිසා නේද අර තරම් emotional වෙලා තියෙන්නේ..?? /

      හෙහ්...ජීවිතේ ඔයවගෙ තමන්ට ඕනමදේ නොලැබෙන මිනිස්සු එමටයි සඳා, ඒත් හැමෝම ඔහොම ආවේගශීලී වෙන්නෙ නෑ. තමන්ට තමන්ගෙ හැඟීම් පාලනය කරගන්න පුළුවන් හැකියාව මත Self Emotionality Index එක රඳා පවතිනව.

      / ඒ සීන් එක උඩින්ම දාලා අපිව නොමග යැවුවා එහෙනම් ටික වෙලාවකට නේද..?? /

      කාගෙ කාගෙත් ලේ ටිකක් රත්කරන්ට හිතුණා අනේ උදේ පාන්දරම..කට්ටියකගෙ ලේ රත් වෙනව " මේ ඔරං උටා ඒ පාර මොකාටද මේ එන්ට හදන්නෙ? සුජාතෙකුත් ගාවගෙන මඟුල් නටන්ට හදන්නෙ? "ඔහොම හිතල..." අනේ..හරී සුවීට් අනේ...මට මැවිල පේනව ඔය දෙන්න වැව් බැම්ම උඩ හිනා වෙවී දුවන හැටි.."' ඒ තව කට්ටියකගෙ ලේ රත්වෙන හේතුව..කොහොම හරි කමක් නෑ..දෙගොල්ලගෙම ලේ රත් උනානං එච්චරයි...හෙහ්, හෙහ්,

      / මමත් කොච්ච්චර ඇඟේ හැලුනත් තැඹිලි,කුරුම්බා බොන්න කැමති මේකේ ලියලා තියෙන විදියට තමා.. එතකොට තමා ඒක feel වෙන්නේ නේද..?? /

      ඒකනෙ අනේ වීදුරු වලට දාල..බට ගහල..සික්..එහෙම තැඹිලි බොන එකේ නෑනෙ කිසිම ගතියක්

      / ඊළඟ කොටසත් එනකන් මග බලාගෙන ඉන්නවා.. :) /

      Ok Madam, ඈසූනෑස්පෝසිබොල්...ඈසූනෑස්පෝසිබොල්…:)

      Delete
    2. විජිත කියන්නේ ඒ තරම් වයසක් ගිය කොල්ලෙක්වත්, ආදරේ ගැන එච්චර අත්දැකීම් තියෙන කොල්ලෙක්වත් නෙවේ කියලා හිතෙනවා එයාගේ විස්තරේ බැලුවාම.. ඉතිං ඒ නිසා වෙන්න ඇති ඒ තරම් ආවේගශීලි වුණේ...

      ඒ නිසා එහෙම හිතලා සමාව දෙන්න පුළුවන් නේද..??

      ඒකෙන් මම කියන්නේ නෑ.. විජිත වීරේට කතා කළ විදිය හරි කියල...

      රවීට ඔය වගේ දෙයක් වුණා නම් එහෙම ආවේගශීලි වෙනවද..??

      Delete
    3. සඳා,

      /ඒ නිසා එහෙම හිතලා සමාව දෙන්න පුළුවන් නේද..?? /

      අපොයි මැඩම්. මගෙ කිසිම තරහක් නෑ ඒකා එක්ක.ඌ එදා කතාකරපු විදිහට පෘතග්ජනයෙක් විදිහට මගෙ හිතේ තරහක් ඇති උනා තමයි..මොකටෙයි බොරු කියන්නෙ?...ඒත් ඒක ඒ වෙලාවට විතරයි..ඔයයි ඔය කියන විදිහටම ඒ කිව්වෙ අනේ මේ පොඩි එකා දන්නෙ මොනවද කියල හිතල මම ඒකට සමාව දුන්න.

      / රවීට ඔය වගේ දෙයක් වුණා නම් එහෙම ආවේගශීලි වෙනවද..?? /

      නෑ සඳා …..ඇත්තම කිව්වොත් ඕන වෙලාවටවත් ආවේගශීලී වෙන්නෙ නෑ කියලයි අපෙ හාමිනේ මට හීන් නූලෙං වගෙ නොකියා කියන්නෙ...හෙහ්, හෙහ්,

      Delete
  2. සුජා නං ඔතෙනට එන්න කොහොමත්ම විදිහක් නෑ කියලා මට හිතුණා... අනික සුජාතා කියපු දේවල්, උඹ මල් කඩන්න වැවට බහින එක එහෙම කියෙව්වහම, උඹ මොකාටද මේ එන්න හදන්නෙ කියලා මම බැලුවේ.... හොඳ වෙලාවට වැඩේ එතනින් නතර උනේ...

    මම මේ කල්පනා කරන්නේ, විජිතගෙ කතාව එච්චර අවංක එකක් නෙමෙයි කියන එකද කියලා අයියා මේ ඉඟි කරන්නෙ....

    ඔය තැඹිලි ගෙඩිය හලාගන්නෙ නැතුව බොන ඉස්සර මට මැජික්... හැබැයි පහු කාලෙදි කොහොම හරි වැඩේ අල්ල ගත්තා... හැබැ‍යි තැඹිලියට වඩා මං කැමති කුරුම්බා බොන්න...

    ReplyDelete
    Replies
    1. ඔය කවුරු මොනවා කීවත් මම එක්ක තැඹිලි බොන්න නම් බෑ ඔය කාටවත්. මම තැඹිලි එක බීලා ඉවරයි කියලා දන්නෙත් එකම උගුරට ඔක්කොම බීවට පස්සේ. ඒ වෙලාවට ගෙඩි දෙකක් විතර බීවම තමයි ඔන්න මට මතක් වෙන්නේ හෙමීට බොන්න ඕනේ කියලා. එතකොට තමයි හැලෙන්න හෙම ගන්නේ....

      Delete
    2. තිසර,

      / උඹ මොකාටද මේ එන්න හදන්නෙ කියලා මම බැලුවේ.... හොඳ වෙලාවට වැඩේ එතනින් නතර උනේ…/

      හෙහ්,හෙහ්..උඹේ ලේ රත්කරන්ටම තමයි මලේ මම මේ ලව් සීන්ස් එක ලිව්වෙ….

      මම දන්නව හොඳාකාරවම උඹේ මවිල් කොවිල් වෙනවය කියල මේ සීන් එක කියෙව්වම...හෙහ්,හෙහ්

      / මම මේ කල්පනා කරන්නේ, විජිතගෙ කතාව එච්චර අවංක එකක් නෙමෙයි කියන එකද කියලා අයියා මේ ඉඟි කරන්නෙ.... /

      ඇත්තම කියනවනං කවුද බං දන්නෙ? මිනිස්සු තමංගෙ උවමනාව ඉස්ට කරගන්ට ඔයිට වැඩි අතේ පැලවෙන ගජ බින්න කෙලල අරිනව නෙව කටේ තොලේ නොගෑවී. ඒත් විජිතය ගැන මට එහෙම හිතුනෙ නෑ..ඌ ආවේගශීලී සහ කලබලයි තමයි ඒත් මම හිතන්නෙ නෑ ඌ තනිකරම බොරුවක්ම කලාය කියල..ඒත් අනික් අතට මිනිස්සු කියන ජාතිය කාල බලන්ටය බං කවුද හරියටම දන්නෙ?

      Delete
    3. බූරු,

      දෙයියෝ සාලෙ උඹෙ තියෙන්නෙ බඩක්ද බං කළගෙඩියක්ද? තැඹිලි දෙකක් එක හුස්මට බොනවයි කියන එක සෙල්ලං කෙළියක්ය කියලද උඹ හිතන්නෙ?

      Delete
  3. මුල ඉදලම කියවන්න බැරි වුණත් කොටස් කීපයක් කියෙවුවා ලැම්බට් කියන කෙනා වගේ කෙනෙක් ඉන්නවා අපේ ගෙවල් පැත්තේ මට එයාව මතක් උනා කියවද්දී , දිගටම ලියන්න ,,

    ReplyDelete
    Replies
    1. අපූර්වී,

      අඩේ ලැම්බම වෙන්න ඕන..ඒකා වගෙ වෙන එවුං ආය නෑ..මම කියන්ටද උඹට සහතිකේටම දැනගන්ට ක්‍රමයක් ඒ ලැම්බද කියල..

      ඕකට හෙණ හංකුචි..ඊලඟ පාර හම් බුනාම අන්න වීරසිංහ මහත්තෙය මතක් කරන්ට කිව්වය කියල ඇණහං කිහිල්ලට ඇඟිල්ලෙං...හෙහ්, හෙහ්, එක පාරටම පාර මැදම කුණුහරුප වැපුරුවොත් ඒ අනිවා ඩෙෆා ලැම්බම තමයි..ලැම්බම තමයි..

      Delete
    2. හයියූ....මොනාද මනුත්තයෝ මේ කියන්නේ ඉදගෙන :) තව ටික ක් කියෝලා බලන්න ඕනේ

      Delete
  4. මම හිතුවේ මඟ හරියෙදි සීන් එකක් පටන් ගනීමයි කියල :ඩී

    ReplyDelete
    Replies
    1. සෑම්,

      හෙහ් කිව්වම මොකද මයෙත් හොඳටම හිතේ තිබ්බ..ඒත් කොහෙද.... මෙවුං එක්ක බෑ නෙව කිසිම දෙයක් හිතු මනාපෙට කොර ගන්ට...:(

      Delete
  5. මම කිව්වෙ විජිතය එන්නෙ කියල.
    බයිස්කෝප් සින් එක නියමයි.
    වතුරට බහිද්දිම හිතුව බොරුවක් කියල.

    ReplyDelete
    Replies
    1. කෙන්ජි,

      හෙහ්, උඹ දැනගත්ත නේද? :)

      Delete
  6. සුජා ගෙ සින් එක මම හිතුවෙ හිනයක් කියල.විජිතයට හොද යාලුවෙක් ඉදල නැ මම හිතන්නෙ.ඔය අදරෙ එපා කියල පොඩ්ඩක් ඉදල බලපන් හොයාගෙන පස්සෙන් එන්නෙ

    ReplyDelete
    Replies
    1. දමිත්,

      එහෙම තමයි බං මොනව කරන්නද? ලබා උපං හැටියටමයි බබා වැනෙන්නේ..මලයෝ බබා වැනෙන්නේ...

      Delete
  7. සමහරු ඉන්නවා ආදරේ කරන්න ගත්තම බොක්කත් මදි ආදරේට... ඒ තරං නැහෙනව ආදරේ වෙනුවෙන්... හැබැයි ඒ ආදරේ ප්‍රැක්ටිකල් මදි... මොකද කිව්වොත් ඒ අය ආදරේ වෙනුවෙන් කියලා හිතලා, අනවශ්‍ය, නොකළයුතු දේවල් පවා කරන්න පෙළඹෙන නිසා... ඒක ආත්මාර්ථකම වෙන්නත් පුළුවන්... අනිත් කෙනාව තේරුම් ගන්න බැරිකම වෙන්නත් පුළුවන්... මොනා උනත් එහෙම ආයට ලවු හරියන්නේ නෑ.. එක්කො අනිත් කෙනාට එපා වෙනව.. නැත්තං විජිතයට උනා වගේ බොරුවක් මාට්ටු වෙලා කෙළ වෙනව... එහෙම නැත්තං මෙයාගේ දුර්වලකම දැනගත්ත කෙනෙක්ට අහුවෙලා ජීවිතේම විනාස කරගන්නව...

    ReplyDelete
    Replies
    1. අම්මාපල්ල ආයෙම බලාපං උඹේ උප්පැන්නෙ...වයස කීයද කියල....උඹේ වයසෙ හැටියට නෙවෙයි බොලේ චින්තනේ..අනෙ අම්මප..කියල තියන එක නම් හරියටම හරි...ඇරහං කට..මේ වෙලාවෙ අහල පහල වෙන මොකවත් නං නෑ..රටඉඳි තියනව ඇට අයිං කරල ආමන්ඩ් ඇට මැදට දාපු. එයිං ගෙඩියක්කත් දාන්ට.

      සෙනෙහස කියන්නෙ බං තමංගෙ සහකරු/ සහකාරිය කෙරේ කොච්චරවත් ඇලී ගැලී ඉන්න එක නෙවෙයි.....ඕනම දේකට තියෙන්ට ඕන වෙලාවක් කලාවක්. ඇලී ගැලී ඉන්ට ඕන කොයි වෙලාවෙද? ඉස්පාසුවක් දෙන්ට ඕන කොයි වෙලාවටද කියල තමන්ටම ඉවෙං වගෙ තේරෙන්ට ඕන..මම හිතන්නෙ අන්න ඒක තමයි චිරාත් කාලයක් නොබිඳෙන සෙනෙහසක අඩිතාලම.

      Give space whenever it's necessary. No one can grow in a shade.

      Delete
  8. රත් තෙත් දෙතොල් නවකතාව කියවන්න
    www.kathakaru.blogspot.com

    ReplyDelete
  9. මම නැති කාලේ සෑහෙන දිගට කතාව ගොහිං නෙව..

    අනේ ඇත්තට මෙයා ත් මාරම රෝමියෝ කෙනෙක් තමා ! හිහි

    /හෙහ්, හෙහ්, නරකම නෑ නෙවද? /

    රවී අයියේ ...මේ... ඔයාගේ ඔය හෙහ් හෙහ් සීන් කෝන් එක දැන් වෙන එක්කෙනෙක් කොපි කොරල තීන්නේ. අර තෝර් පිචර් වල ඉන්න ලෝකි ට ඇක්ට් කොරන නළුවා? ආන් ඒ උන්දැ. මේං බලාන්ට


    ඕන් ඉතිං මේ උන්දැ ගේ 'හෙහ් හෙහ්' එකට හිත ගිය අංගනාවියෝ දැන් මිනිහට පොර ලු.
    බලාන්ට ඒකෙත් හැටි! ලලනා ලෝකේ ඔයයිට තීන තැන දැන් මේ නළු බට්ට අරං තීන්නේ...කොපි රයිට් වයලේෂන් නඩුවක් වත් දාන්ට වෙයි!!

    ReplyDelete
    Replies
    1. අමාස්,

      උඹටම නෙව මෙව්ව හම්බ වෙන්නෙ...හෙහ්, හෙහ්, හෙහ්, තෑන්ක්ස් හොඳේ..

      හිනාවෙන විදිහ බුද්දිමය දේපොල පනත යටතට ගැනෙනවද කියල හොයල බලන්ටෝන...එහෙම උනොත් අම්මාපල්ල දානව අරකට විරුද්දව නඩු...මයෙ පාටකයිං / පාටවිකාවං ඔක්කෝම දානව මං වෙනුවෙං සාක්කියට..

      " පැමිණිල්ල වෙනුවෙං පළමු සාක්කිය...මැලිබන් හන්දියේ අමා අපූරුවාස්......මේ උඹ එනව නේද මං වෙනුවෙං සාක්කි දෙන්ට....වෙන මොකවත් කියන්ට ඕන නෑ..කියාපං උඹ දන්න කාලෙ ඉඳලම රවි අයිය තමයි ඔය විදිහට හෙහ්, හෙහ්,ගාල හිනා උනේය.... එහෙම වෙන කවුරුවත්ම හිනා වෙනව උඹ දැකලවත් අහලවත් නැතය කියාල.

      උඹට කිව්වම මොකද අපෙ උන්දැත් කිසිම කැමැත්තක් නෑ මයෙ ඔය හිනාවට…

      අපෙ ඔය අහල පහල ඉන්නවනෙ මයෙ හිතේසිවන්ත නංගිල...මම ගෙදර ගිහාම අනේ එවුං පහුවදා පාන්දරම කුකුලත් අතිං ඇන්න එනව මාව බලන්ට..මම ඉතිං හෙහ්, හෙහ් ගාල හිනාවෙලා එහෙම එවුංට කතන්දර කියල දෙනව. " අනේ අයිය හෙහ්,හෙහ් ගාල හිනාවෙන විදිහ හරිම ලස්සනයි" කියල එවුං මගෙ අත අතගානව. අපෙ උන්දැට නේද? කන්ට කේන්තියි.." හුහ්, මොකක්ද ඔය හිනා වෙන විදිහ.හෙහ්..හෙහ්.... නහ පොල්ල කුණුවෙලාද මන්ද? මීට පස්සෙ ඔන්න නොකිව්වයි කියන්ට එපා හොඳද?...ඔයා .වෙන විදිහකට හිනා වෙන්ට..." ඉතිං කාටද මෙව්ව කියන්නෙ?

      Delete
  10. //මේ වෙනකොට ඉර මුදුං වෙලා හොඳටම...වැවෙං ගලාගෙන එන හුළං රැල්ලෙත් අර කලිං තිබ්බ හීල් සිසිලස මැකිල ගිහිල්ල.තොප්පිගල පැත්තෙ ඉඳල පියාඹගෙන ආපු දියකාවො රංචුවක් එකා පස්සෙ එකා වැවට පාත් වෙලා දඩයම පටංගත්ත.// සංකේතයක් කියලා හිතුණ මේක.

    ReplyDelete
    Replies
    1. දිලිනි,

      / සංකේතයක් කියලා හිතුණ මේක /

      හරි මැඩම්... එහෙම හිතල තමයි ලිව්වෙ..:)

      " අදත් රස වින්දා..මෙගා කරන්න නම් එපා. "

      " නැතෝ..නැතෝ...විජහට ඉවර කරනෝ..විජහට ඉවර කරනෝ…"

      ඔන්න ඒ ටික මමම කිව්ව අද ආය මොකටෙයි අඩුපහඩුවක්...හෙහ්, හෙහ්,

      Delete
  11. මම මුලිම්ම කිව්වනෙ එන්නෙ විජිතය කියල.කොහොම හරි රවී කට්ටිය නොමග යවන්න පොඩි මනඃකල්පිත ආදර ජවනිකාවකුත් එකතු කළා නේද.
    කොහොමත් අද කතාව චිත්ත රූප මැවීම අතින් උපරිමයි.චිත්‍රපටයක් බලනවා වගේ කතාවෙ මුල ඉඳන්ම රූප රාමු හිතේ මැවූනා විජිතගේ අතීතාවර්ජනයට එනතුරු.අතීතාවර්ජනය ලඟින් රූප රාමු පෙළ මැකිලා ගියා.

    ReplyDelete
    Replies
    1. ඒ ටික නම් හැලප පට්ටම සීන් එක.
      ඇදුම් පැළදුම් වෙනස් වුනත් 'රක්තා' ෆිල්ම් එක කරපු ට්‍රින්කෝ වල ආන්දන්කුලම වැව් ඉස්මත්තේ ලොකේෂන් එක මතක් වුන සුජාස් සහ රවීස් ගෙ සීන් එකේ ලොකේෂන් එක විදියට.

      Delete
    2. කෙන්ජි මට මතක් වුණේ සොරබොර වැව ඉස්මත්තේ කුඹුක් ගස් යට මට මතක තියෙන දර්ශනයක්.

      Delete
    3. @ හැලපේ &කෙන්ජි........නියම කැමරා ශොට් එක නේද බන්? මගේ චිත්‍රෙට ආවේ ලකී ඩයස්ගේ පපුව මැද්දට නදීකා ගුණසේකර පපුව තියාගෙන ඉන්නවා.ගුනරත්න රංහොටි ඈතට වෙන්න චමරිය පැත්තේ තැඹිලි ගෙඩියක් කපනවා. අති සාර්ථකයි . මොනවගේ බැකප් මියුසික් එකක්ද හොඳ?

      Delete
    4. හැලප,

      සොර බොර වැව ඉස්මත්තේ,
      කුඹුක් ගහ යට හීල් හෙවණේ...හෙහ්, හෙහ්

      Delete
    5. අරූ,

      / මගේ චිත්‍රෙට ආවේ ලකී ඩයස්ගේ පපුව මැද්දට නදීකා ගුණසේකර පපුව තියාගෙන ඉන්නවා /

      කට්..කට්, යකෝ...කට් කිව්වම කට්..එහෙමද බොල මම ඒ සීන් එක ගන්න කිව්වෙ...පපුව මැද්දට පපුව තියාගෙන ඉන්නවා....මොකටද උඹට මම කියන්නෙ?....

      මේක නීලවර්ණ චිත්‍රපටියක් කරන්ඩද උඹ හදන්නෙ? ..හපොයි මගේ අර අහිංසක නිර්මල අති පාරිසුද්ද පූජනීය පේමය .... පපුව මැද්දට පපුව..අනෙ අම්මප මට එක කේන්තියක්...

      Delete
    6. තලතා.....මම ඔයාට කිව්වා නේද දුවට ෆිල්ම් එකක් දෙනවා නම් මම කියන විදිහට වැඩ කරන්න කියලා...නදීකා ...මම කිව්වේ පපුවට මූන තියන්න කියලා...කවුද පපුව තියන්න කිව්වේ...පපුව තියන සීන් එක එන්නේ පස්සේ

      අනිත් එක නදීකා...මුට මං කිව්වේ කතාව ලියන්න කියලා විතරයි...මූ දැන් තිර රචනයත් ලියලා...ඒ මදිවට කැමරා එකත් අරං...මේන් රෝල් එකත් අරන්....දැන් මට ඕඩර්ස් දෙනවා.....මූ හිතන් ඉන්නේ ගාමිණි ෆොන්සේකා කියලා....දැන් උඹද ඩිරෙක්ටර්....මමද?

      ගාමිණි මහත්තයා කියපන් බලන්න මේ සීන් එකට හරියන මියුසික් පාට් එක මොකක්ද කියලා... මටනම් හිතෙන්නේ ...නිම් ඉම් සෙව්ව මා සසරේ.....


      මම රස විඳිනවා.....රවී උත්තරයක් ඕනමයි.....මියුසික් ගැන විතරක් නෙමේ කම්ප්ලීට් සීන් එකටම.

      Delete
    7. අරූස්,

      හෙහ්, හෙහ්, ලකි ඩයසුයි නදීකයි එකට රඟපෑවද බං?..මොන ෆිල්ම් එකේද ඒ? අනික මොකද බොට ලකීයි නදීකයි මතක් උනේ? හෙහ්, හෙහ්, මගෙ පරිකල්පන ශක්තිය ඕවර්ඩ්‍රයිව් යවල මට සිනාරියෝස් දෙක තුනක් හිතාගත්තෑකි. ..හෙහ්, හෙහ්,

      Delete
  12. රවියෝ මේ විජිතයාව හලලා අපිට සුජාගේ රස වෑහෙන කවි කතා ප්‍රේමයේ කෑලි ටිකක් ගෙනත් ලියපන්කෝ. මේක හරියට ගිරේට අහුවෙච්ච පුවක්ගෙඩිය වගේ දැන්.

    ReplyDelete
    Replies
    1. බූරු,

      එහෙම කොහොමද බං?...වෙච්චි නැති දෙයක් ලියන්නෙ කොහොමද? :(

      Delete
  13. උඹ හරි දක්ෂ ලේඛකයෙක් බං...ඇත්තටම එතන ඉන්නවා වගේ. විජිත මහත්මයා ගැන මගේ හිතේ ඇතිවන ආකල්පයන් හැම පෝස්ට් එකෙන් පෝස්ට් එකට වෙනස් වෙනවා. ඒ නිසා හැම කොටසක්ම මාව රසවත් කරනවා....මාව විමතියට පත් කරනවා. ලේඛකයා සතු දක්ශතාවය තමයි පාඨකයාව ඔහුට නතු කර ගැනීම. උඹ විජිත කියන චරිතය තුලින් මම නැමති පාඨකයාට ඒ දේ කරනවා.

    උඹත් පඳුරු තලන නිසා අපිටත් එහෙම කරන්න වෙනවා. මමත් රන්ඩුවට අකැමතියි. මටත් ඉස්කෝලේ කාලේදී කොල්ලෙක් ගහලා හක්කේ දතක කෑල්ලක් කැඩුනා. තාම ඒක එහෙමයි. කොච්චර සැර පාරක් වෙන්න ඕනද හක්කේ දතකින් කෑල්ලක් කැඩෙන්න. අනිත් කාරනාව තමයි පොඩි එවුන් මාත් එක්ක හරි ඉක්මනට ෆිට් වෙනවා. ඊට පස්සේ උන් ඉතින් පස්සෙන්මයි. අපේ එවුන්ගෙන් මම බැනුම් අහනවා මම වාත දාගන්නවා කියලා.

    ReplyDelete
    Replies
    1. අරූ,

      බොහොමත්ම ස්තූතියි මචං..උඹේ ප්‍රශංසාව මට වටිනව මෙතෙකැයි කිව නොහැකි තරම්...මම කලිනුත් දවසක කිව්ව උඹ ලියන දේ මම කියවන්නෙ බොහොම ආසාවෙන්..අන්න ඒ නිසාමයි මේ වචන කිහිපය මට මහා ශක්තියක් වෙන්නෙ..අරූ ආයෙමත් ස්තූතියි...:)

      පොඩි එවුං එක්ක මයෙ පයිරු පාසානං ගැන මාස හතර පහකට ඉස්සරවෙලා ලියාපු එකක් මේ..වෙලාවක් තියේනං බලාපං...:)

      Delete
    2. රවී...මම කියෙව්ව.. මේ ටික ලියන්නම ඕන කියලා හිතුනා.......පොඩි එවුන් මේ රටේදී වුනත් මාව දැක්කම පිස්සු හැදෙනවා. මාව දැක්ක ගමන් සෙල්ලම් කරන්න අල්ල ගන්නවා. මේ උන්ට මිස් වෙන ළමා ලෝකය බව මම හොඳටම දන්නවා.අරකීත් එලෙසමයි. අඩියක් ගහගෙන ඉන්න වෙලාවෙන් මම උන් වෙනුවෙන් කාලයක් වෙන් කරනවා ඕනම පාටියකදී. හීනියට වදින කොට මමත් හෙමින් හෙමින් ඒ ලෝකයට යනවා. චූටි දුවලා මාව උන්ගේ බියුටි සැලෝන් වල කස්ටමර් කෙනෙක් කරගන්නවා. අරකී තමයි රිසිප්ෂනිස්ට්...පාට දාලා ....මූන අතුල්ලලා එක එක විකාර දානවා. ලොකු එවුන්ගේ අප්පිරිය කතාවලට වඩා පොඩි එවුන්ගේ ලෝකය සුන්දරයි. උන් හරිම විවෘතයි.

      ලංකාවෙදිත් ඔහොමයි. පුංචි එවුන්ට එන්න කියලා එක එක විදිහට කෑම හදලා දෙනවා. උන් ලබන සතුට කියලා නිම කරන්න බැහැ.

      අපේ දුව පොඩි කාලෙ අපේ අම්මට බියුටි සැලූන් දාලා, අම්මගේ කොන්ඩේ පොඩි කොටසක් කපලා දාලා. අපිට හරි කේන්තියි....අම්මා කිව්වා ...ඒ තමයි පොඩි එවුන්ගේ ලෝකය....අනිත් එක ඒ මගේ කොන්ඩේ....ඔය ගොල්ලෝ කලබල වෙන්න එපා කියලා.

      අරකිගේ අම්මා සෝමා ඇන්ටි.....ලෝකය විසින් නිර්මානය කරන ලද සුන්දරම චරිතයක්...මගේ කතාවේ ඇය මට විශාල ශක්තියක්. මම ඒ ගැන ලියනවා.

      දිග වැඩියි...සමාවෙයන්.....මම ආසයි මෙහෙම වෙන්න...

      Delete
    3. අරූ,

      දරුවන් එක්ක ඉන්න පුලුවන් මනුස්සයෙකුට මචං රටේ ලෝකෙ ඉහ ගහල ඉන්න එක බොහොම සිම්පල්...

      අපෙ නංගිගෙ පොඩි එවුං, එතනිං ගිහාම හාමිනේගෙ අක්කලගෙ පොඩි එවුං සුට්ටි කාලෙ..( දැං එවුං කරදඬු උස් මහත් වෙලා ටීනේජර්ස්ල ) මම තමයි උංගෙ සෙල්ලං ඔක්කෝටම අල්ල ගන්නෙ…

      වෙලාවකට අර උඹ කිව්ව වගෙ මම උංගෙ බියුටි සැලූන් එකේ කස්ටමර් කෙනෙක්. පව්ඩර් තලි තලි මූණෙ උලල තියෙන කෙස් ගස් දෙක උඩට පීරල රබර් පටියක් දාල මලක් වගෙ බඳිනව ඉස් මුදුනට කරල.

      ආයම ඔන්න උං මූදු මංකොල්ල කාරයො දෙන්නෙක්..මම තමයි උං රට රාජ්ජවල් මංකොල්ල කන්ට යන නැව. ඇඳේ මුණිං අතට හරහ දාල මයෙ පිට උඩ නැඟල තමයි එවුං ඒ වැඩේට යන්නෙ ...හෙහ්, හෙහ්, මෙහෙම කියල බෑ බං වෙලාවක පෝස්ට් එකක්ම ලියන්ට ඕන...

      ටී.වී. එකේ ගිය රොබින් හුඩ් කතාව මතකද? ඔය කාලෙ පොඩි එවුං විතරක් නෙවෙයි අපිත් ඕකට වහ වැටිල හිටියෙ...මම ගෙදර ගිය වෙලාවක රෑට හදල තිබ්බ සුප් එකක්. මම සුප් කෝප්පෙ අඬු දෙකෙන් අල්ලල උඩට ඉස්සුව. ටිකක් වෙලා ඇස් පියාගෙන හිටිය..නංගිගෙ පොඩි එකා ඔන්න ඇස්දෙක දොඹගෙඩි වගෙ කරගෙන මා දිහා බලා ඉන්නව...ඊට පස්සෙ " Hearne. Protect Us...." කියල සුප් ටිකක් බිව්ව. ඒ කරල සුප් එක දෑතින්ම දුන්න නංගිගෙ පොඩි එකාට.ඌත් සුප් එක උඩට උස්සල " Hearne. Protect Us...." කීයල කියල සුප් ටිකක් බිව්ව. අම්මල එහෙම තුස්නිම්බූත වෙලා බලා ඉන්නව. " මේ අයිය එක්කනෙ බැරි..ඔක්කෝටම වඩා පොඩි එකා වෙලා තියෙන්නෙ අයියනෙ.."නංගි එහෙම කිව්ව හිනා වෙවී.

      ප.ලි. රොබින් හුඩ් එකේ කට්ටියම රෑ කෑමට වාඩි උනාම රොබින් වයින් භාජනයක් උඩට උස්සල " Hearne. Protect Us...." කියල කියල ඒකෙං උගුරක් බොනව. ඊට අප්ස්සෙ පිළිවෙලට වටේම ඉන්න අයට එඔ භාජනේ පාස් කරනව. හැමෝම එහෙම කියල වයින් පොඩ්ඩ පොඩ්ඩ බීල තමයි කෑම කන්ට පටන් ගන්නෙ.. Hearne තමයි එයාල අදහන දෙයියො...මතකයි නේද?

      Delete
    4. අරූ, මමත් පොඩි එවුන් එක්ක එකතුයි. හුඟක් වෙලාවට මේ අතදරුවෝ පවා මගේ අතට එන ගතියක් තියෙනවා. අමුත්තෝ දැක්කාම අඬන උන් මගේ අතට කැමැත්තෙන් එනවා. ඒ සමහරවිට අපිට නොමැති sixth sense එකක් නිසාද කියලා මට හිතෙනවා.

      නමුත් මෙහෙම දෙයක් තියෙනවා. අපි මෙහෙදි අපේ නොවන ළමයෙක් වඩාගන්න අතින් අල්ලන්න තියා ලඟටවත් කිට්‍ටු වෙන්නේ නෑ. ඒකට හේතුව ළමා අපචාර සිද්ධි නිසා එහෙම ළමයෙකුට කිට්‍ටු වෙන පිටස්තර පුද්ගලයෙක් දිහා සැකෙන් බලන්න සමාජය පෙළඹවීම වෙන්නැති. කොහොමත් මෙහෙ ගෑණු පිරිමි බේදයකින් තොරව අපි ශිෂ්‍යයෙක්ගෙ වත් ඇඟට අත තියන්නේ නෑ මොනම හේතුවකටවත්. එංගලන්තෙත් එහෙම වෙන්නැති නේද?

      Delete
    5. ඩූඩ්.....අපේ කෙනාට ළමයි දැක්කාම පිස්සු හැදෙනවා. ගෑණියෙක් හින්දා කමක් නැහැ...මමනම් අපේ අපේ අයගේ ඇරෙන්න පිටස්තර සුද්දන්ගේ එහෙම පොඩි එවුන් දිහා එක පාරකට වඩා බලන්නෙත් නැහැ. මුන් බලන්නේ හැමෝම පීඩෝ කියන ඇහෙන්. ඒක ලොකු ලෙඩක් මචං...හරිම පරිස්සම් වෙන්න ඕන.

      Delete
  14. කවි කාරියකගේ ප්‍රේමය ද මොකද්ද කියලා බොක්ස් ඔපිස් වාර්තා බිඳපු චිත්‍රපටියක් යනවා කියලා කඩාගෙන බිඳගෙන ආවට කොහෙද මේක මෙගා සීන් කෝන් එකක්නේ..

    දැන් ඉතින් ඇඟිලි ගැන ගැන හිටපන්කේ 18 වෙනි කොටස එනකම්...

    මට හිතා ගන්න බැරි විජිතයා මොකාටද එන්නෙ කියලා තමා..

    ReplyDelete
    Replies
    1. රූ,

      ආය අහවල් බොක්ස් ඔපීස්...හෙහ්, හෙහ්,

      අම්මාපල්ල තව කොටස් දෙකයි නැත්තං උප......රීඊඊ...ම තුනයි. කයිකාරිගෙ පේමයත් ඉවරයි. කයි කාරිත් ඉවරයි :)

      Delete
    2. //කයි කාරිත් ඉවරයි :)//

      ea mokada ane, anthimata sujatha marenawada? :-/

      Delete
    3. සයුරි,

      අපෙ අප්පෝ නෑ නෑ..කවි කාරිත් ඉවරයි කිව්වෙ කතාව ඉවරයි කියල...:)

      Delete
  15. Ok Madam, ඈසූනෑස්පෝසිබොල්...ඈසූනෑස්පෝසිබොල්…:)

    එක පාරටම පාර මැදම කුණුහරුප වැපුරුවොත් ඒ අනිවා ඩෙෆා ලැම්බම තමයි..ලැම්බම තමයි..

    ලබා උපං හැටියටමයි බබා වැනෙන්නේ..මලයෝ බබා වැනෙන්නේ...

    ---------------vs---------------

    ඒ තමයි ආදරය..ඒ තමයි ආදරය..ඒ තමයි ආදරය.." විජිත එහෙම තුන් පාරක්ම කිව්ව.

    මේ ප්‍රතිරාවය කරන පුරුද්ද අනුව රවියා = විජිත කියලා මේක කියවන උඹලට හිතෙන්නේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. Henry,

      / මේ ප්‍රතිරාවය කරන පුරුද්ද අනුව රවියා = විජිත කියලා මේක කියවන උඹලට හිතෙන්නේ නැද්ද? /

      උඹට එච්චරද හිතෙන්නෙ? වෙන මොකවත් එහෙම හිතෙන්නෙ නැත?ඈ බොල...

      උඹ නම් පුදුම *****ම තමයි, පුදුම *****ම තමයි, පුදුම *****ම තමයි,

      Delete
    2. මොකද බං ඩූඩ්ට විතරක් ෆයිව් ස්ටාර්ස් දීලා තියෙන්නේ?

      Delete
    3. අරූ,

      ඩූඩා ඇවිල්ල තරු පහේ *****. ඒකයි

      Delete
  16. puh api ahuwei owata...sujatha papuwata oluwa thiyagena anduwa kiyanakotama matanam hithuna ekko heenayak nathnam tom pachayak thamai kiyala :D

    ReplyDelete
    Replies
    1. සයුරි,

      අනේ අප්පේ මොකෝ එහෙම කියන්නෙ? පුළුල් පපුවකට ඔලුව තියල බබලත්තු අඬන්නෙ එක්කො හීනවල එහෙම නැත්තං ඒක ටොම් පචයක්..එහෙමද?..

      සික් ඒකෙ තියන ආතල් එක දන්නෙ නැතිහින්දයි බොලා ඔහොම කෝචොක් දාන්නෙ..දන්නවද? හෙහ්, මයෙ මේ පපුවට කතා කරන්ට පුලුවන් නම් කියයි කී දෙනෙක් අංගනාවියො එහෙම තුරුළු වෙලා අඬල තියනවද කියල.

      මම කාලයක් මයෙ පපුවයි උරහිසයි ලීස් කලා අවශ්‍ය බබලත්තුන්ට... එක්කො පපුවට තුරුලු වෙලා ඉන්ට. එහෙම නැත්තං උරහිසට ඔලුව තියල අඬන්ට..හෙහ්, හෙහ්, බැන්දත් හරි එව්ව ඔක්කොම හබක්...

      සුවදායක උරහිසක් සහ පුළුල් පපුවක් හෝරානුකූල ගාස්තුමත බද්දට හෝ කුළියට. විමසන්න.....

      ඔන්න ඔහොම ලහිපිටේ ඇඩ් එහෙකුත් දැම්ම මම ඒ කාලෙ...හෙහ්, හෙහ්, නියම බිස්නස් එක ඒක....

      Delete
  17. වීඩිඕ එකක් බලලා ලෙහෙසියෙන්ම සතුටු වෙන්න පුළුවන් මොකද ඇස් දෙකට පේන නිසාත්, කන් දෙකට ඇහෙන නිසාත්...
    ඒත්.. කියවගෙන යනකොට අපි එතන ඉන්නවා වගේ දැනෙන, හරියටම ලස්සනට චිත්ත රූප මැවෙන විදියට ලියන්න පුළුවන් එක හැබෑම දක්ෂතාවයක් රවී... :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි..ස්තූතියි..බොහෝම ස්තූතියි සඳා...ෂුක්රාන්...ෂුක්රාන්... ෂුක්රාන් :)

      Delete
    2. එමිරේට් ප්ලේන් වල ඕක කියනවා නේ ..මට නම් හිනා යනවා .

      Delete
    3. බින්දි,

      සික් අන්තිම නරකයි..අන්තිම නරකයි...

      මට මතක් උනේ අර Nymphomaniac කෙල්ලගෙ කතාව. කෙල්ල ගියා දොස්තර ගාවට Evaluation එකකට. ..

      දොස්තර කොලේක ඇන්ද රවුමක්….." මේ මොකක්ද ? "

      ම්ම්ම්ම්..කෙල්ල ටික වෙලාවක් රූපෙ දිහා බලං හිටිය...

      " හොඳ උස මහත කඩවසම් කොල්ලෙක් "

      ඊගාවට ඩොකා ඇන්ද තව රවුමක්…" එතකොට මේ?

      " ආ..මම දන්නව මම දන්නව ඒ ලස්සන කෙල්ලෙක්…"'

      ඊළඟට දොස්තර ආයෙමත් ඇන්ද රවුම් දෙකක් එක ලඟම එක උඩ එකක්....

      " මේ මොකක්ද? ""

      කෙල්ල ලැජ්ජාවෙං ඇඹරුණ..

      " ඒ ඒ අර කෙල්ලයි කොල්ලයි... කෙල්ලයි කොල්ලයි ....අනේ මට ලැජ්ජයි ඩොක්ට.."

      Delete
    4. " ම්ම් එහෙමද? …"දොස්තර පුටුවෙ පස්සට වෙලා ඉඳගෙන බොහොම බැරෑරුම් විදිහට කෙල්ල දිහාවෙ බලා හිටිය ටික වෙලාවක්.

      " I think you are severely obsessed with sex "

      කෙල්ලට යස්ස සේනාදිපතිය ඉස්මුදුනට ආරූඩ උනේ නැද්ද?

      " Whaaaat???? How dare you? You have drawn all those dirty pictures and you accuse me of being obssed with sex? ….Huh ? "'

      Delete
  18. මේකත් ඉවර වෙන මංගල්ලයක් නෙමේ .....මුලදී නම් පපුව හෝස් වුනා ..සුජීව ප්‍රසන්න හාදයා ට කරදරයක් වත්ද කියල ..මෙයා වැඩේට බැස්සේ...

    අහක තියෙන මුට්ටි ඔලුවේ නවාගෙන මුන්දට වෙලා තියෙන කරදරයක්.. දැන් අපි විජිතයගේ ජිවන පුරාවෘත්තයත් අහන්න ඕනද ..මොකෝ බොලන් සුජාට වුනේ ..

    ReplyDelete
    Replies
    1. ඕනෑම කතාවක තුන් පැත්තක් තියෙනවලුනේ බින්දියො.. මගේ කතාව, ඇගේ කතාව හා උගේ කතාව කියලා.. ඉතිං අපි මෙච්චර දවස් කියෙවුවෙ කතාවෙ රවියගෙ පැත්තනෙ.. දැන් අහමු බලන්ට විජිතගෙ පැත්තෙන්.. විජිතගෙ පැත්තෙන් කතාව තව හය මාසයක් විතර ඇද්දට පස්සෙ තමා සුජාගෙ පැත්තෙන් කතාව අහන්ට ලැබෙන්නෙ..

      පලි: තව ඉතින් රවියට හිතුනොත් ඔය කතාව ලැම්බට් අයියගෙ පැත්තෙන්, විමලෙගෙ පැත්තෙන්, එතකොට සුජාගෙ හොඳම යාළුවගෙ පැත්තෙන් එහෙමත් කියන්ට පට්ටාං ගනියි.. කොහොමත් තව අවුරුදු 5ක් ඇද්ද හැකි ෂුවර්.. :D

      Delete
    2. Bindi & Bura,

      මේක අහගල්ලා.... විජිතය එහෙම හැසිරුන එකට හේතු සාදක කියන්නෙ නැතුව ඩොග් ගාල කතාව ඉවර කරන එක ඌට කරන අසාදාරනයක් නෙවෙයිද? මිනිසුන්ගෙ හැසිරීම වලට හේතුබූත වෙච්චි සිද්දීන් මොනවද කියල විස්තර කරන්නෙ නැතුව කොහොමද බොලල්ලා තාත්වික විදිහට කතාවක් ගොඩ නඟන්නෙ?

      බොලාට තදියම තිබ්බට ඇහැක?....:) :)

      Delete
    3. ඉතිං කවුද බොලං මෙතන සාධාරණයක් අසාධාරණයක් ගැන කිවුවෙ.?? මං කිවුවෙ ඉස්සරහට මේ කතාව ඇදෙන්ට තියෙන්නෙ කොහොමද කියලා පොඩි පැහැදිලි කිරීමක් විතරයි.. :P

      Delete
    4. මේං මෙව්වට නං ඉතිං මටත් හිතෙනව මොකක් හරි කට කැඩිච්ච කතාවක් කියලම යන්ඩ..

      Delete
    5. ජානුස්,

      මොකටද මම කියන්නෙ එහෙම තොට? …...බබලත්තුංගෙ කං ගොඩවෙන්ඩ කතාකරන එක මම අතෑරල ගොඩක් කල්..නැත්තං දනී අම්මප..

      කාලෙකට පස්සෙ බොහොම තන්තෝසයක් ආව අර බලු නට්ටෙකුත් තුරුල් කරං ඉන්න පිංතූරෙ දැක්කම..අඩේ කාලෙකට පස්සෙ මේකිටත් අපිව මතක් වෙලා තියෙන්නෙ කියල..හුහ්..මතක් වෙලා තමයි...මේකි මේ තකහනියෙ ඇවිත් තියෙන්නෙ අරුං දෙන්න..ඒ කියැව්වෙ අර බුහුරයි බිංජියි...එවුං දෙන්න මට ඒක මේක කියනව දැකල ඒකට උල්පංදං දීල තව මොකවත් කියල යන්ට..අනේ අම්මප මෙවුං තමයි දවසකටවත් ගෑණු.

      Delete
    6. අනේ ඉතිං මෙහෙ කොයින්ද ආමන්ඩ් ඇට.. ඒත් බුරා උඹ කිව්ව මේ කතාවටනං මොකාක් නමුත් ඇටයක් කටේ ඔබන්නේ නැතිවනං බැහැ..අම්මපා.. ඒ තරං වටිනා කියන අදහසක් නෙව දීලා තියෙන්නේ.. :D

      උඹට කියන්න බුරෝ ඉස්සර ටැලිවිසොන් එකේ ටැලිනාට්ටිය යද්දිත් මේකේ වගේ සිස්ටොං එකක් තිබුනා... පලවෙනි විනාඩි පහ ඇවිල්ලා ගිය සතියේ වෙච්ච සංගදි පෙන්න පෙන්න ඉන්නවා.. එතැනදී ඉතිං කලින් කතාවේ බාගයක්ම පෙන්නලා තමා අද කතාවට බහින්නේ.. එහෙම බැහැලා විනාඩි පහ යද්දි කතාව මතු සම්බන්ධයි කියලා වැටෙනවා.. අර මේ සතියේ අගට තිබුන ටික ලබන සතියේ මුලට පෙන්නනවා.. හරියටම ගණන් බැළුවොත් සති තුනකට කෑලි දෙකක් වගේ තමා පෙන්නන්ට වෙන්නේ.. ඉතිං අපිත් බලං ඉන්නවා මොක්කුද වගේ... මක්කා කියලා කොරන්නද.. අපිත් විරවං බලං ඉන්නවා...

      ඔන්න බලහං මං හූනා කියන්නැහේ කියන්නං.. දැන් මේකා මේ කොමෙන්ට් එක අල්ලගෙන ටෙලි නාට්ටිය ඉතිහාසේ ඇදලා අරං තව සතියක් කොමෙන්ට් වලින් මේක අදිනවා.. :D

      Delete
    7. Mars,

       / දැන් මේකා මේ කොමෙන්ට් එක අල්ලගෙන ටෙලි නාට්ටිය ඉතිහාසේ ඇදලා අරං තව සතියක් කොමෙන්ට් වලින් මේක අදිනවා.. :D /

      එහෙමත් බැරි නෑ බං එහෙමත් බැරි නෑ....හෙහ්, හෙහ්,

      Delete
  19. අනේ ඇත්තමය් දාන්න වටිනව අර ආමන්ඩ් ඇටයක් දාපු රට ඉඳි ගෙඩි ටිකක් බින්දිගෙය් බූරාගෙය් කටේ..
    පහු ගිය ටිකෙ පොඩි ප්‍රශ්න වගයක් නිසා බ්ලොග් මග අරුනත් පස්සෙ ඔක්කොම කියෙව්වා, හැබය් කමෙන්ට් කරන්න කම්මැලි හිතුනා..එත් මේක දැක්කමනම් ජනූ ට වගෙ මගෙත් ඉතින් කට නලියනවා..ඒත් ඉතින් හොඳ නැ නොවැ කොඉවෙලෙත් ආඩපාලි කියන්න.. :)

    ReplyDelete
    Replies
    1. Mekuwi,

      ආ..ඔය ආවෙ අනික් එකී....මෙවුංට ඇවිල්ල කතාව ගැන මොකවත් කියල යන්ට බෑ..කටේ පිට්ටු..අම්බානක බිසී…

      ඒත් මට බයිනව දැක්කම රෙද්ද කරේ තියාගෙන උඩ දාගෙන එන්නෙ තකහනියක්...ඒ ඇවිල්ල තියෙන්නෙත් අරුං දෙන්නට ආමන්ඩ් දාපු රට ඉඳි කවන්ට..අම්මාපල්ල මගෙ මයිල් ලෙලෙදෙනව මෙව්ව ඇහෙනකොට…

      අනෙ අම්මප.. මේ දෙකක් තුනක් ලඟ ලඟ නවාගෙන පොතක් පතක් බලාගෙන ආතල් එකේ ඉන්ට තියන වෙලාවත් මුං වෙනුවෙං දිව විකාගෙන කතා ලියනවට හැබෑටම මොකද මට කොරන්ට ඕන?...

      මේ සිකුරාදම යන්ට ඕන අර වේලපු ( මෙහෙ හරකුංගෙ බූරුවංගෙ එව්ව නෑ..තියෙන්නෙ ඔටුවගෙ ) ඔටුවගෙ මොකක්ද එකක් ගේන්ට...දේයි දේයි ගාල උදේ හවස පස්සා පැත්තට දී ගන්ට..ලියනවද ආය ලැජ්ජ නැතුව මේ ගුණ සංගරේ නැති එකීලට කතා?..ලියනවද ආයෙ?...ලියනවද ආයෙ?

      Delete
  20. මට මේක කියවනකොට මතක් වුනේ 70 දශකයේ සේන සමරසිංහගේ චිත්‍රපටි. සදහටම ඔබ මගේ, චංචල රේඛා... ඒවගේ ඒවා...

    මතකද චංචල රේඛා දංචූටි අර එකතැනක අයියට විහිලුවක් කරල වෙල මැද්දේ වැටි වැටි දුවන සීන් එක අන්න ඒවගේ මේ කතාව

    ඇත්තටම රවිට හොඳ තිර රචනා ලියන්න පුලුවන් බවක් නම් අගේට පේනවා.

    ReplyDelete
    Replies
    1. දයා,

      ස්තූතියි දයා අගය කිරීමට....:)

      චංචල රේඛා සේන සමරසිංහගෙ තුන්වෙනි චිත්‍රපටය මට මතක විදිහට..සදහටම ඔහෙ මගේ...කස්තුරි සුවඳ, ඊට කලින් ආපුව..නිල්ලසොයා ආවෙ ඊට පස් සෙ..

      ඔය දංචූටිගෙ ගීතය පුදුම විදිහට ජනප්‍රිය උනානෙ. මිල්ටන් සහ නීලා…

      කීණ දං මිටක් කඩං ආවා මගේ නංගෝ..
      කාටවත් නෙවේ නඟාටයි මේවා නංගෝ….
      පොඩි කාලේ වාගෙ අපේ…
      ඔන්න ඔට්ටුයි කියලා හැංගි මුත්තා හොයාලා හැංගෙමුදෝ අයියේ

      සේන සමරසිංහ කෑගල්ලෙ නිසා ඔය චිත්‍රපට මංගල දර්ශනය තිබ්බෙ කෑගල්ලෙ ටාසන් චිත්‍රපට ශාලාවෙ..හප්පා එදාට මුළු කෑගල්ලම මඟුල් ගෙයක් වගේ..ගාමිණී, මාලිනී ඔක්කොම එනව..සෙනඟ ආය නෑ මී මැස්සො වගේ...හෙහ්, හෙහ්

      දයාගෙන් දයාබර ඉල්ලීමක්..ජෝතිගැන ලිපි මාලාව ඉවර උනාම ලියන්නකො සේන සමරසිංහගෙ චිත්‍රපට ගැන...:)

      නිල්ල නඟන ස්වර්ණ කිකිණි රාවේ සිත පුරා,
      එරන් වන් පුතුන් එරන් වන් ලඳුන් මන්දහාස වී ඇදී ඒ...

      අතීත මතක සැමරුම වෙනුවෙන් ආයෙමත් ස්තූතියි දයා.... :)

      Delete
  21. This comment has been removed by the author.

    ReplyDelete
  22. බොහොම රසවත් පුවත් එකතුවක්.

    දොස්තරලා හොරෙන් නෙවෙයි ප්‍රසිද්ධියේත් බොනවා. ඉස්සර අපේ කඳවුරකට නිතර ආවා ඒ පැත්තේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි වරයා. අපිත් එක්ක බිලියඩ් ක්‍රීඩා කරන ගමන් සප්පායම් වෙනවා. රෝහලෙන් හදිසි ඇමතුම් එනවා දරු ප්‍රසූතියක් සඳහා මවකට අමාරුයි වහාම එන්න කියලා. 'මචං, මං අරක ඇදලා දාලා එන්නං ටාර් ගාලා' කියලා දොස්තර යනවා. අපි දෙයියන්ට කියනවා අර අම්මයි දරුවයි පරිස්සං කරලා දෙන්ඩ කියලා.

    රවී කෑගල්ලේද? මමත් කෑගල්ලේ නිසා ඔය සේන සමරසිංහ යුගය ගැන යම් යම් මතකයන් තියනවා.

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි