Monday, March 3, 2014

246. ගුරුවරියක සමඟ මගේ ජීවිතය - 13 - හැටදෙකේ එල්ලී පැමිණීම සහ ඕගනයිසිං පරීක්ෂා කිරීම.




" වීරසිංහ මහත්තය ..මෙන්න හෙඩ් ඔෆිස් එකෙන් මැසේජ් එකක්.." ඒ අපේ රේඩියෝ ඔපරේටර්.... 



" මොකද්ද බං? " මම මෙසේජ් එක අතට ගත්ත.

ඩෝසරය එවීමට නොහැකිවීම පිළිබඳ කණගාටු වෙමි. හෙට දින ඇතුලත එවීමට බලාපොරොත්තු වෙමි..

" මොකක්? ඩෝසරය එවීමට නොහැකිවීම පිළිබඳ කණගාටු වෙමි.....එතකොට අර කෝඳුරුවාවෙ ග්‍රැවල් කපන්නෙ ඩෝසරේ නෙවෙයි නං වෙන අහවල් එකද? "

ඒ වෙලාවෙ මගෙ කට ඇරිල තිබ්බ විදිහ කියල අනික් එවුං හිනා උනා මම එහෙං අස්වෙලා එනකල්ම.

" මොකක්ද වීරෙ මේ වෙලා තියෙන්නෙ? දැං අර මොකක්ද එතකොට ඊයෙ ආපු ඩෝසර් එක? " අයි.ඊ. මහත්තය මගෙං ඇහුව.

" ඒක තමයි බොස් මටත් තියන ප්‍රශ්නෙ .ඉන්නකො මම ගිහිල්ල බලන්නං මොකක්ද මේ කේස් එක කියල. "

" අන්න පොඩි මහත්තය ඇති. එයත් එක්ක ගිහිල්ල බලන්න මොකද වෙලා තියෙන්නෙ කියල. "


පොඩි මහත්තය අපේ ජීප් රියදුරු. පැන්ෂන් යන්ට ඔන්න මෙන්න. හොඳ මනුස්සය. ඉස්සරහ දත් දෙකම නෑ. ඒ නිසා සමහර අකුරු හරියට ශබ්ද වෙන්නෙ නෑ. ඔය අකුරු හරියට ශබ්ද වෙන්න දත්, දිව, තල්ල, උගුර ඔය හැමතැනම උදව් වෙනව. ශබ්ද වෙන ස්ථානය අනුව අකුරු වර්ග තියනව. හරියටම කිව්වොත් පස් වර්ගයක්. කණ්ඨජ(උගුරෙන්), තාලුජ (තල්ලෙන්), මුර්ධජ (මුදුනෙන්), දන්තජ(දත්වලින්), ඕෂ්ඨජ (තොල්වලින්). හරි ඒ ඇති..
ඒ ගැන වැඩිදුර කියන්ට ගියොත් මේක භාෂා පාඩමක් වෙනව. 

මම මේ කියන්ට ආවෙ ඔය පොඩි මහත්තයගෙ දත් නැති කේස් එක නිසා කතා කරන එව්ව හොයාගන්ට හරිම අමාරුයි. අපි ඉතිං කාලයක් ආස්සරේ කරල දන්න කියන නිසා හිතාගන්නව මේ මනුස්සය කිව්වෙ මේකයි කියල…..මනුස්සයට හයන්න කියන්ට බෑ. හතර කියවෙන්නෙ අතර කියල.

මම කලින් දවසක කිව මතකද අපේ ජීප් හැඳින්නුවෙ නොම්මරේ අන්තිම අංක දෙකෙන්ය කියල. 4782 ටකිව්වෙ අසූදෙක කියල. 1762 හැටදෙක උනා." මචං හැටදෙක කොහෙද ගියෙ? නෙල්සන්ට මැලේරියාව වගෙ හොස්පිටල් එක්ක යන්ට වෙයි මම හිතන්නෙ. " එහෙම නැත්තං " ඒයි හෙට පෝය නේද? බොස්ට කියල අසූ දෙක ඉල්ලගනිං ගල් විහාරෙ පැත්තෙවත් ගිහිල්ල එන්ට." ඔන්න ඔය වගෙ.

පොඩි මහත්තයගෙ ජීප් එක දවසක් රෙපයාර් එකක් ආව. ඩීසල් ඉන්ජෙක්ටර් අප්සෙට් ගිහිල්ල. අපේ වර්ක් ෂොප් එක තියෙන්නෙ කිලෝ මීටර් විස්සක් විසි පහක් වගෙ එහා. ඉතිං වාහනේ වර්ක්ෂොප් දාන්න ගිහාම ඒ රියදුරා ආපහු එක්ක එන්න තව වාහනයක් යවන එක සිරිතක්.මොකද ඒ කාලෙ ඒ පළාතෙ පොදු ප්‍රවාහන සේවයක් කියල එකක් තිබ්බෙ නෑ.එදා කොහොම හරි පොඩි මහත්තය වර්ක් ෂොප් ගියාට ලොක්කට අමතක වෙල වාහනයක් යවන්ට. මිනිහා රෑ වෙනකල් බලා ඉඳල පයිම්ම පාරට ඇවිල්ල. හොඳ වෙලාවට අපේ හැටදෙක ජීප් එක චමරිවලට බඩු ගේන්ට පොළොන්නරු ගිහිල්ල ආපහු එනව ඒ වෙලාවට. යංතං ඒකෙ පිටිපස්සෙ එල්ලිල වගෙ මනුස්සය කෑම්ප් එකට ඇවිල්ල. හැටදෙකේ රියදුරුගෙ නම හේමපාල.

ලොක්කට මාර අප්සෙට් ඒ අතපහුවීමට. පහුවදා උදේ ඔෆිස් එක ඉස්සරහ අපි එක්ක ඔය විස්තරේ කියනව බොහොම සෝ බරව..

" බලනවකො අයිසෙ මට මතක් උනේම නෑනෙ මේ මනුස්සය ජීප් එකත් අරගෙන වර්ක් ෂොප් ගියාය කියල. කිසිකෙනෙක් මට මතක් කලෙත් නෑ.මිනිහ රෑ කොහොම ආවද දන්නෙ නෑ."

ඔන්න ඔය වෙලාවටම පොඩි මහත්තය එතනට ආව.

" ආ. මේ ඉන්නෙ පොඩි මහත්තය. මට ඊයෙ අමතක උනානෙ මොකක් හරි වාහනයක් එවන්ට. කොහොමද රෑ උනහම ආපහු ආවෙ? " ..ලොක්ක ඇහුව..

පොඩි මහත්තය ඔලුව එහෙම කහල බොහොම අහිංසක තාලෙට හිනා උනා.

" ප්‍රශ්නයක් උනේ නෑ, සේර්, හේමපාලගෙ හැටදෙකේ එල්ලිල යන්තං ආපහු කැම්ප් එකට ආව."

අපිට මැරෙන්ඩ හිනා!!!

" ඈ..මනුස්සයො හේමපාලගෙ මොකේ එල්ලිල ආපහු කෑම්ප් එකට ආවයි කියලද කිව්වෙ? " හිනාවෙන අස්සෙම මම ඇහුව.

පොඩි මහත්තයට පුදුමයි..මේ මොකෝ ඔක්කොමල හිනාවෙන්නෙ කියල. මිනිහ අපි ඔක්කොගෙම මූණු දිහා බැලුව මාරුවෙන් මාරුවට.කටත් බාගෙට ඇරිල ඔන්න. .

" ඇයි මහත්තය මම කිව්වෙ හේමපාලගෙ හැට දෙකේ එල්ලිලයි මම ආවෙ කියල."

අපි කට්ටිය ආයෙමත් පාරක් කොච්චර හයියෙං හිනා උනාද කිව්වොත් ඔෆිස් එකේ මිදුලෙ තිබ්බ මයිල ගහේ කොල අස්සෙ පෙම් කෙලිමින් උන්නු බටගොයි දෙන්නෙක් බය වෙච්චි පාර සුරූස් ගාල කොළ අතු විදගෙන ඈත වෙල් එළිය පැත්තට ඉගිල්ලිල ගියා.

ඉතිං එහෙමයි අපේ පොඩි මහත්තය සපයන ආතල්. ඕන්න ඔය කියාපු පොඩි මහත්තය එක්ක ජීප් එකේ ඔන්න මම ගිය තකහණියක් මේ අන්තර්ජාතික ඩෝසර් අර්බුදය මොකක්ද කියල අගක් මුලක් තේරුං ගන්ට. ඇයි දෙයි හාමුදුරුවනේ...හෙඩ් ඔෆිස් එකෙන් කියනව ඩෝසරේ හෙට එවන්ට බලන්නම්ය කියල. ඒ අස්සෙ අරෙහෙ ඩෝසරේ වරුවක් තිස්සෙ දැං ග්‍රැවල් කපනව.

මම යනකොටත් ඈත ඉඳලම ඇහෙනව ඩෝසරේ බෑඟිරි ගහගෙන වැඩ. අප්පටසිරි. මේ වරුවක් වගෙ වැඩ කලේ මේ යස්සය සිරීපාද කන්දට ටිකක් අඩු තරමෙ ග්‍රැවල් කන්දක් ගොඩ ගහල. ගමේ මිනිස්සු දහයක් දොළහක් ඉන්නව වට වෙලා බලාගෙන . කොල්ලො කුරුට්ටොත් හිටිය එක විස්සක් තිහක් කටවලුත් ඇරගෙන. පව්..එවුං ඉතිං ඔය වගෙ එකක් දකින්නෙ බොහොම කලාතුරකින්නෙ. මට මතක් උනා අවුරුදු හත අටක් කාලෙ ඉලාස්ටික් බැහැපු කලසං කොටේ අත් දෙකෙම්ම උස්ස උස්ස මම ඔය අපෙ ගෙවල් උඩහ රබර් වත්තක පරණ 
ගස් ගලවන්ට ආපු ඩෝසරයක් පස්සෙ හති මුනිං දාගෙන දීව හැටි. 

" මොකෝ මහත්තය ගිය පයිම්ම ආපහු?.."

විටක් කටේ පුරවගෙන ජීප්පෙක ගාවට ආපු විජේතුංගය ඇහුව.

" මේ කොල්ලො... ඔය ඩෝසරේ අපේ එකක්ය කියල උඹට ෂුවර්ද? "

" ඇ..ඇයි මහත්තය එහෙම ඇහුවෙ? "

" මෙහෙට වරෙංකො "


මම විජේතුංහය එක්කගෙන එතන ඊමම තිබ්බ ඇටුවමෙන් එහාට ගියා. මේ කතාව කාටවත් නෑහෙන්ට හගිස්සුවන්ට ඕන. හතර විලි ලැජ්ජාවයි මේ වෙලා තියෙන හෙයියම්මාරුව ගම පුරා පතල උනොත් එහෙම. පාරට බැහැලත් හමාරයි.

" මේ දැං උඹ ඊයෙ රෑ කෝඳුරුවාවෙ හන්දියෙ ඉඳල ඩෝසරේ නැවැත්තුවනෙ. ඒ කරල අර ඔපරේටර්ට මොනවද කිව්වෙ?.."

" මම ටෝච් එක ගහල ලොරිය නවත්තල කිව්ව …. ඔතන ඉස්සරහිං වමට තියන පාරෙ යමු. මගෙ බයිසිකලේ පස්සෙ එන්න  කියල. ඉතිං ලොරියත් මගෙ පස්සෙං ආව. "

" මොනවටද කොහාටද ඩෝසරේ ගෙනියන්නෙ කියල උඹ ජයවීර එක්ක කතා කරේ නැද්ද අද උදේවත්.? "

" නෑ මහත්තය, පාරවල්, ඇළ බන්ට් හදන්ට ග්‍රැවල් කපන්ටයි තියෙන්නෙ කියල මම ජයවීරට ග්‍රැවල් කපන තැන පෙන්නුව... ඌ උදේ ඉඳල කැපුව. අන්න බලන්ටකො මහත්තය කපල තියන ග්‍රැවල් ගොඩ විතරක්... රන්කොත් වෙහෙර වගෙ තියන අපූරුව.."

" හුහ්, මේ මගෙං මොකවත් අහගන්ට එපා..රෙද්දෙ රන්කොත් වෙහෙර. ඔය ග්‍රැවල් ගොඩ උඹටයි මටයි කන්ට තමයි වෙන්නෙ ඔන්න බලාපං මම අද කිව්වයි කියල. යකෝ මේ ඩෝසරේ අපට එව්ව එකක් නෙවෙයි. "

" නෑ???? …"


ඔය බුලත් හපේ ටික ටික හැපෙන කොට කටේ කෙළ පිරෙනව. එතකොට කතා කරද්දි එහෙම ටික ටික කට උඩට හරවන්ට ඕන. කටේ පිරී ඇති බුලත් කෙළ පරිමාව අනුලෝමව සමානුපාතිකයි ශීර්ෂයෙ අක්ෂය තිරස සමඟ ආපාතනය කරන කෝණයේ විශාලත්වයට. අපෙ අත්තම්ම තමයි ඔය වැඩේ බොහොම අපූරුවට කරන්නෙ.

කට බාගෙට උඩට හරෝගෙන හිටපු විජේතුංගය එක පාරට ඔලුව පහතට හරෝල නෑ කියාපු පාර මගෙ කමිසෙ ටයි ඇන්ඩ් ඩයි බතික් නොවී බේරුණ පූරුවෙ වාසනාවකට.

අපේ තව විට මරුවෙක් හිටිය ගුණේ අයිය කියල. රෑට බුදියන්නෙත් විටක් හක්කෙ තියාගෙන. මිනිහ ජීප් වලට නංග ගන්ට ඩ්‍රයිවර්ව හරිම අකමැතියි. දොර ජනේල පුරා ගහනව බුලත් කෙළ. කොළපාට ජීප් එකේ යස අගේට කැපිල පේනව රතු පාට බුලත් කෙළ පාර. අනික ඔය ගුණෙය හුණු තලියකුත් විටට කෙළල අරින නිසා පුළුවං විජහට හෝදල නොදැම්මොත් ජීප් එකේ ඒ තැන්වල පේන්ට් එක අවපාටක් ගහනව.

" උඹල රියදුරෝ ඔක්කොම එකතුවෙලා ලොක්කට ලියුමක් දීපල්ල මේ කොළ පාට ජීප් වෙනුවට රතු පාට ජීප් ගෙන්නවල දෙන්ටය කියල, එතකොට බාල්ල බුලත් කෙල පාරක් වැටුනත් ආය පේන්නෙ නෑ "

මම දවසක් ඔය ගුණයගෙ කෙළ ගැහිල්ල ගැන නහයෙං අඬපු හේමපාලට කිව්ව….. මතකනෙ හේමපාල නේද? ..අර හැට දෙකේ ඩ්‍රයිවර්..ආන්න එයා…

" මම ඔන්නං අගේ ඇති ලියුමකුත් හදල දෙන්නං "

මම දෙපාරක් හිතන්නෙ නැතුව ඉදිරිපත් උනා. ආන්න අපි එහෙමයි. කෙනෙකුට උදව්වක් කරන්ට තියනව නං ආය වෙන මොකවත් ඕන නෑ. ඉහේ මලක් පිපුන වගේ තමා.

" නෑ නෙවෙයි බොල ඔව්..අන්න අර යකාට එන්ට කියාපං ඔය ග්‍රැවල් කැපිල්ල නවත්තල. "

ජයවීර ඩෝසරේ නවත්තල බැහැල ආව.

" ජයවීර එන්ඩකො මෙහෙට පොඩ්ඩකට …"

මම ජයවීරව එක්කරගෙන ගියා ඇටුවමෙනුත් එහාට.

" මේ ඩෝසරේ කොහේ එකක්ද ජයවීර? "

" ඇයි මහත්තය?.... මේක මේ උතුරු මැද යන්ත්‍රෝපකරණ ඒකකයෙ ඩෝසර් එකක්නෙ. "

" ඈ??? …"


මම දැනගත්ත වැඩේ සයින් ද පීස් සකබෝනා තමයි කියල. හෙඩ් ඔෆිස් එකෙන් පණිවිඩේ එනකොටම මේ පකිරින්තුව... විජේතුංගය...මොකක් හරි මූලමක් කෙලල තමයි කියල මට හිතුනට දැන් තමයි මට වැඩේ හරියටම මීටර් උනේ.

" එතකොට ඔයා මේ ඊයෙ රෑ කොහෙ යන්ටද ගියේ? "
" ඇමතිතුමා ලබන සතියෙ එනවයි කියල පාරවල් වගයක් හදන්ට තියෙනව කියලයි මාව එව්වෙ." ජයවීර කිව්ව.

මිනිහටත් තේරෙන්ට ඇති මොකක් නමුත් අවුලක්ය කියල.

" ඇයි මහත්තය? මොකක් හරි ප්‍රශ්ණයක්ද? "

" එතකොට කවුරුවද ඇවිල්ල හම්බ වෙන්ට කිව්වෙ? "

" ඉරිගේෂන් එකේ මහත්තයෙක්..එයා කවුරු හරි පාරට එවයි කියල කිව්ව. ඉතිං විජේතුංග පාර මැදට ඇවිල්ල ටෝච් එක ගහල වාහනේ නතර කලාම මම හිතුවෙ ඒ තමයි අර එවනවයි කියල කියපු එක්කෙනා කියල."


" ඔය ගිහිල්ල හම්බ වෙන්ට කිව්වෙ සාලිය කියල මහත්තයෙක්ද? "

" ආන්න හරි මහත්තය, සාලිය තමයි නම...දැන් මොකද මහත්තය වෙලා තියෙන්නෙ? "

" වෙලා තියෙන්නෙ ඔයාගෙ ඩෝසරේ එවල තියෙන්නෙ වෙන වැඩකට. අපේ වැඩේට කිසිම සම්බන්ධයක් නෑ මේ ඩෝසරේ. ඒකනෙ ජයවීර ඔය සාලිය කියල මහත්තයෙක් හම්බ වෙන්ට කිව්වය කියන කතාව පොඩ්ඩක් උදේම මට කිව්වනං මේ අප්සෙට් මොකවත් වෙන්නෙ නෑනෙ. හරි, හරි මක් කරන්ඩද ඉතිං දැං?  මම කියන්ටද? ඔයා එහෙනම් මැෂින් එකෙන් ඔය කපපු ග්‍රැවල් ගොඩෙම්ම රෑම්ප් එකක් වගෙ ගහන්න, දැන් ලෝ බෙඩ් එක ආහම පටවන්නත් එපාය. මම සාලිය මහත්තයව හම්බ වෙලා කතා කරල එන්නං."


ජයවීරය බිම බලාගෙන ආපහු ගිහිල්ල ඩෝසරේ ස්ටාට් කලා. මම විජේතුංගය දිහාවෙ රවල බැලුව.

" ඔය ඉතිං? මම හිතල කරපු දෙයක්ද මහත්තය? "

ඒකා නීල මහ යෝදය වගෙ බඩත් එක්ක හොල්ල හොල්ල හිනාවෙන අතරෙ කිව්ව.

" හිතල කරපු දෙයක්ද? හුහ්, අනෙ අම්මාපල්ල මට උඹේ බෙල්ල මිරිකන්ට තරං කේන්තියි ඕං දැං…" මම ජීප් එකට නැග්ග.

" යමු පොඩි මහත්තය. "

ඒ අනුංගෙ ඩෝසර් අරගෙන ගිහිල්ල ග්‍රැවල් කප්පවාපු සීන් එක දුරදිග නොයා එහෙම්මම ෂේප් උනා. ඉරිගේෂන් එකේ සාලිය කියන්නෙ මයෙ හොඳ යාලුවෙක්. ඇලහැර - දියබෙදුම යෝද ඇලේ ජලපාලනය කලේ ඒ ගොල්ලො. ඒ නිසා අපි දෙගොල්ල අතර හොඳ සුහදතාවයක් තිබ්බ. එහෙම නැතුව බෑ ඒ වැඩේ කරන්ට. හදිස්සියෙ බෙදුම් ඇල කෙළවරේ කුඹුරු මැරෙන්ට යද්දි ඔන්න මිනිස්සු බයිසිකල් වලින් ඇවිල්ල ගේ වටකරනව. ඒ වෙලාවෙ සාලිය හරි වෙන කවුරුහරි යෝද ඇල බාරව ඉන්න එකාට පණිවිඩයක් ඇරල වැඩිපුර වතුර ටිකක් කුඹුරු වලට යවාගන්න එක තමයි ලේසිම ක්‍රමේ. නැත්තං ඔය කර්තව්‍යය නිල වශයෙන් කරන්න ගියානං එහාට මෙහාට ලියුම් ගහල ඉවර වෙනකොට කුඹුරු මැරිල හත් දවසෙ දානෙත් දීල.

සාලිය හම්බ වෙන්ට ගිහිල්ල මේ විස්තරේ කිව්වම ඌ ඔලුවෙ අත ගහගත්ත.

" යකෝ තෝ මරන්ට එපාය. අපි මේ හතීකරේ දුවනව ඊයෙ රෑ ආපු ඩෝසරේට මොකද උනේ කියල. කොටිම්ම මම ගෝලයො හත් අට දෙනෙක් යෝද ඇල දිගේ පයිං යැව්ව ලෝ බෙඩ් එක පිටින්ම ඇලට පෙරලිලාවත්ද කියල බලන්ට. "

" හරි බං හරි හරි..දැං ඕක ඔතනිං අරං එන්ට ක්‍රමයක් බලමු. "

" හරි... අපේ ලෝ බෙඩ් එක ඇති මේ වෙලාවෙ මින්නේරියෙ. මම පණිවිඩයක් යවල ඒක ගෙන්නන්නං."

" අඩේ වහාම ඒක කරපං බං.මගෙ මේ ඇඟේ ලේ වතුර වෙලයි ඉන්නෙ. ඇමතියගෙ ඕඩර් එකකට යන එකක්නෙ ඕක."

" හරි, හරි ,මම දැන්ම වැඩේ කරන්නං මල්ලි හැබැයි නිකං බෑ හරිද? අනික උදේ ඉඳල ඩීසලුත් සුවල්ප පිච්චෙන්ඩ ඇද්ද ? ඒ ඩීසල් ඔක්කොම මම එපාය දෙන්ට.. හැනපියර් බෝතල් හයක් වත් ඕන. "


ඒ යුගයෙ අපේ ප්‍රියතම පානය වෙලා තිබ්බෙ හැනපියර් බ්‍රැන්ඩි එක.

" හරි බං හරි හරි ඒක බැරිය. උඹ අර මඟුල විජහට අරං වරෙංකො එතනිං "

අන්න එහෙම යාන්තං ඒ වෙන්ඩ ගිය අලකලංචිය ෂේප් වෙල ගියා ඔන්න. ඔය කේස් එක උනේ මම බඳින්ට ඉස්සරවෙලාය කියල මම කිව්වද? කිව්වෙ නැත්තං ඔන්න දැන් කිව්වා. ඉතිං එවුන්දැ එක්ක මම ඔය විස්තරේ කිව්ව ඊලඟට හම්බ වෙච්චි දවසෙ.

" ඒයි මේ මේක අහන්ටකො . මට මාර වැඩක් උනානෙ මේ පහුගිය සුමානෙ. "

" ඔයාට ඉතිං මාර වැඩ නැතුව මේ අපි වගෙ පෘථග්ජන සාමාන්‍ය මිනිස්සුන්ට එදිනෙදා සිද්ද වෙන සාමාන්‍ය නෝමල් වැඩක් සිද්ද උනේ කවද්ද? "
උන්දැ ගහෙංගෙඩි එන්නහෙ කියාපි.

මම ටිකක් වෙල බලා හිටිය එකෙ එල්ලේ උන්දගෙ ඇස් දිහාවෙ. අපේ රන්දිල් මහගෙ නම් කියන්නෙ එහෙම ඇස් දිහාවෙ එක එල්ලේ බලාහිටියම ඕනෑම දරුණු භයානක සතෙක් මෙල්ල වෙනවයි කියල.ඒක නම් මන්ද..ඒත් මම ඔය අපෙ උන්දැ දිහාවෙ එක එල්ලේ බලං ඉන්නව නේද? ඔන්න උන්දැ ටිකක් එක විදිහක් වෙනව.

" හරි එහෙනං දැං කතාව කියන්ටද එපාද? "මම ඇහුව බොහොම ගාම්බීර හඬකින්

" කවුද ඉතිං එපාය කිව්වෙ, කියන්ට කියන්ට…" ඈ කිව්ව.ඔය එන්න එදා කිව්ව කතාව පිළිබඳව තමයි මෙදා පාර ඈ කියව්වෙ.

" හරි...හරි…. මට මතකයි ඔයා ඔය මැෂින් යුනිට් එක ගැන මට කියල තියනව. අර විජේතුංග මරු වැඩක් කලයි කියල ඔයා කිව්වෙ ඒත් ඔය මැෂින් යුනිට් එක ආපු වෙලාවක නේද? "

විජේතුංගය අපෙ වෙඩිං එකටත් ආව. දෙකක් දාල කටපුරා විටකුත් පුරෝගෙන අපි දෙන්න ගාවට ඇවිල්ල ආචාර කලා යන්ට ලෑස්ති වෙලා.

" ආ මේ ඉන්නෙ.... මූ තමයි ඒයි,  ඇමති අර කොහෙද පාරවල් වගයක් හදන්ට එවාපු ඩෝසර් එක අරගෙන ගිහිල්ල කෝඳුරුවාවෙ ග්‍රැවල් කැප්පෙව්වෙ. තව අනූනමයයි තුංකාලෙං මගෙ රස්සාවටත් කෙලිනව මේකා. "

මමත් ඒ වෙනකොට හෙමීට දෙක තුනක් ඇණගෙන හිටියෙ. " මේ මම පොඩ්ඩක් බලල එන්නං ඕගනියිසිං එහෙම කොහොමද කියල" ....ඈට එහෙම කියල මම හෙමිහිට මාරුවෙලා යනව ආතල් එක යන පැත්තෙ. එහෙම දෙතුං පාරක්ම එකම පැත්තටම ගිය එක ඔන්න ඈට මීටර් වෙලා.

" ඕගනයිසිං පරීක්සා කරන්නෙ අර කට්ටිය කට පිහ දම දම එලියට එන කාමරේ ඇතුලෙ විතරයි වගෙ මට පේන්නෙ…"

ඊලඟ පාරත් මම ඕගනයිසිං පරීක්සා කරල ආහම ඈ අහක බලාගෙන කිව්ව...හෙහ්, හෙහ්,

" කෑගහන්ට එපා ඒයි මොනව කියවනවද මන්ද.." .ඈ මා දිහාවෙ රවල බැලුව.

" ඒකනෙ මිස් ..බලන්ටකො මේ මහත්තය කියන එව්ව." විජේතුංගය ආයෙමත් බඩ ගෙඩිය හොල්ල හොල්ල හිනා උනා.

" හිහ්..හිහ්..අඩේ ඔව්නේ...මම ඔයාට ඒ විස්තරේ කිව්ව නේද?...හාපෝ මතක් කරන්ට එපා..මට මතක් වෙනකොටත් විජේතුංගය එක්ක මල පයිනව…"

ඉතිං ඒ සෙනසුරාදත් ගෙවිල ගියා. ඈගෙ නෑ ගෙදර යනව තියා ඒ පිලිබඳව තුං හිතකවත්. ඒක මට පැහැදිලියි ඉර හඳ වගෙ. මමත් ඒ පාර ඔය ගැන මොකවත්ම ඇහුවෙ නෑ. කොයි වෙලෙත් එක තැන දුවන තැටිය වගෙ ඕකම අහන්ට ගියාම ඈට සැක හිතෙන්ට බැරි නෑනෙ. ඔය අරක්කු සුට්ටක් බොන්ටය මේ හැටි මේ කෙලෙඹි පුත්‍ර තෙමේ දඟලන්නෙ කියල හිතුවට නම් කාරියක් නෑ කියමුකො. ඒත් වෙන බහුබූත ඔලුවට දාගත්තොත් එහෙම වඳින්ට ගිය දේවාලෙ කපුව දේවාලෙ රුන්නට දෙයියන්ට අවුලක් නෑ වගෙ වැඩක් උනොත් එහෙම බබිත් සුං බබීගෙ අම්මත් සුං . ඒ නිසා මම ඒ ගැන වචනයක් වත් කතා කලේ නෑ. ඒ ගැන රැක්ක පතිවත.

ඊළඟ සතියත් ඔන්න ගෙවිල යන්ට ආව.මම ඉතිං ආයෙමත් මගෙ යාලුවො එක්ක පොඩි ආතල් එකක් ගන්න එක. ප්ලයිවුඩ් දොරට ගහල සිංදුවක් දෙකක් කියන එක.ගානට වැදුනම කට්ටියම එක්ක ගිහිල්ල පරණ ඉස්ටෝරුව පිටිපස්සෙ සියඹලා ගහට අල්ලල සුලුදිය පහ කරන එක.ඒ ඔක්කොම ඉවර වෙලා සාලෙ මේසෙ උඩ සමණල හෝටලෙන් ගෙනාපු බත් දිගඇරගෙන කන එක. එව්ව ඔක්කොම ඉවරයි කියල ඒ ඔක්කොම ගැන තිබ්බ ආසාවන් ප්‍රහීණ කරගෙනයි හිටියෙ ඒ වෙනකොට.

සිකුරාද උදේ ඔන්න මම ඇගෙ බත් එක බඳිනව.

" ආ මට ඔයාට කියන්ට බැරිඋනා. අම්මට ටිකක් සනීප මදි කියල පණිවිඩයක් එවල තියනව. මම අද හවස ඉස්කෝලෙ ඇරිල එහෙම්මම ගෙදර යනව. "

මම එක පාරටම ඔලුව උස්සල ඈ දිහාවෙ බැලුව. ඈ සාලෙ මුල්ලක හේත්තු කරල තිබ්බ කණ්ණාඩිය ඉස්සරහ හිටගෙන නෙරිය හදනව.

" ඔයා එන්න ඕන නෑ වැඩත් තියනවනෙ. මම ඉරිද දවල්ට බත් දෙකකුත් අරගෙන එන්නං, "

" ඒත් මගෙ හිතට හරි නෑ අනේ. අම්මට මොකද දන්නෙ නෑ නේද? "


" නෑ ඒ හැටි අමාරුවක් නෑ. එයාට ඔය හිටපු ගමං එනව කොන්දෙ අමාරුවක්. ඒක වෙන්ට ඇති. මම ගිහිල්ල බලල ඩොක්ට කෙනෙක් ගාවට එක්ක යන්ට ඕනනම් ඒකත් කරල බෙහෙත් අරං දීලම එන්නම්. "

72 comments:

  1. හැක්. අම්මප සාලිය කාරය හිතන්න ඇති ලෝ බෙඩ් එකත් එක්කම ඩෝසරේ කවුරුහරි සාක්කුවෙ දාගෙන කියල. ඇමතියට ආරංචි උනානං තමයි නියම වැඩේ වෙන්නෙ.

    අන්තිමට කොළ එලියක් දැල්විලා තියෙනව වගේ. බලමුකො ඒකටත් හෙනහුරා පාත්වෙයිද කියල.

    ReplyDelete
    Replies
    1. Praසන්ன,

      / අන්තිමට කොළ එලියක් දැල්විලා තියෙනව වගේ. බලමුකො ඒකටත් හෙනහුරා පාත්වෙයිද කියල.  /

      කොළ එලියක් නම් වැටිල තියනව වගෙ පේනව..නැද්ද බාං හෙහ්,හෙහ්,

      කොළ එළිය වැටෙනව කිව්වම මතක් උනේ..උඹ කලිං අහල ඇතිද නම් මන්ද..අහල තියේනං කියවන්ට එපා..හොඳද?

      රබර් කිරි කපන කොල්ලෙක් ගියාලු ඩ්‍රයිවිං ලයිසන් ගන්ට.උපදේසක තුමා වැඩේ ආරම්බ කරන්ට ඉස්සර වෙලා ප්‍රස්න කීපයක් ඇහුවලු කොල්ලංගෙ දැනුම බලන්ට.මේ පොරගෙන් ඇහුවෙ මෙහෙම.

      " කොළ වැටුනම මොකක්ද කරන්න ඕන? "

      " කොළ වැටුනම මහත්තය, කිරි කපන එක නවත්තන්ට ඕන."

      ( දුහුණන් දැනුම් උදෙසා - රබර් ගසෙහි කොළ හැලන කාලයට කිරි කැපීම අත්හිටවනු ලැබේ )

      මේ තව රියදුරු පුහුණු ප්‍රශ්ණයක් සහ උත්තරයක්.

      " තමා දැන් වාහනේ එළවගෙන යනව. ඉස්සරහින් ඔන්න රතු ලයිට් එකක් වැටුනයි කියමු. මොකද තමා කරන්නෙ?"

      " වාහනේ නතර කරගන්නව …"

      " හරි බොහොම හොඳයි, ඊට පස්සෙ? "

      " ඊට පස්සෙ හනික දුවල ගිහිල්ල වැටිච්ච රතු ලයිට් එක අහුල ගන්නව."

      Delete
    2. නියම කතා දෙක රවී.. :)

      Delete
    3. අර කිරි කපන කේස් එකනං අහල තියෙනව. දෙවෙනි එකනං අහල තිබුණෙ නැද්ද කොහෙද.

      Delete
    4. ප්‍ර: පාර මැද්දේ ඩබල් ලයින් ගහලා තියෙන කොට ඒකෙන් අදහස් වෙන්නේ මොකක්ද?
      උ: ඉස්සරහ පොලීසියෙන් ඉන්නවයි කියන එක.

      Delete
  2. අම්මේ... ඇති යාන්තං... උඹට බොන්න චාන්ස් එක හැදුන එක කියෙව්වාම සතිගානක් හිතේ තිබ්බ බරක් හෑල්ලු උනා වගේ.... අනේ අම්මපා උදේ ඉදන් තිබ්බ දත් කැක්කුමත් අඩුවුනා වගේ......

    ReplyDelete
    Replies
    1. නිර්නාමික,

      අන්න කල්යාන මිත්‍රයෙක්...ඉස්තුතියි, ඉස්තුතියි..

      හප්පා. දත් කැක්කුම කියන්නෙ ආය ඕනම නෑ...මට මේ පහුගිය මාසෙකට වගෙ උඩදි හැදිල දිවිනහගන්ට තරමට හිතිලයි තිබ්බෙ කොටිම්ම. අනික ඔය දත් දොස්තරල කියන ජාතිය ඉන්නව නේද? මැරූ කොට නෑනෙ දතක් ගලවන්නෙ. අර ෆිලිං , මේ ෆිලිං, රූට් ෆිලිං නර්ව් ෆිලිං කැනල් ෆිලිං කිය කිය කොහොම හරි එක දතකිං පුලුවන් තරං ආදායම් උපදවා ගන්ට තමයි බලන්නෙ.

      Delete
  3. හම්මේ මටත් ඔය වගේ සීන් එකක් වෙලා තියනවා, ඉහමොල රත්වෙනවා ඒ වෙලාවට...
    :D
    වැඩේ මම කාලෙකට කලින් යාලුවෙක් එකක් computer shop එකක් කලා. දවසක් මින්නේරිය ආමි කෑම්ප් එකෙන් දෙන්නෙක් ඇවිත් කොම්පියුටර් 16ක් දීලා කීවා ඔක්කොම ෆෝමැට් කරලා ඔෆීස් දාලා තව playersඅනංමනං දාලා චෙක්කරලා තියන්න දවස් දෙකකිං වාහනේ එවන්නං බිල් එක දැංම ගෙවලා යන්නං කියලා. අපිත් වැඩේ ඉවරකරලා මැෂින් ටික ලේබල් කරලා තිබ්බා ගෙනියන්න එනකල්. පහුවදා උදේම ආවා කැබ් එකක ආමි අයියලා දෙන්නෙක් ඇවිත් "මල්ලී මේ කොම්පීටර වගයක්, සාජං මහත් ත් තයා.. " කියලා එතකොටම අපේ කොල්ලොත් ආ හරි අයියා වැඩේ ඉවරයි මම call එකක් දෙන්න හිටියේ ඔයාලා උදේම ඇවිත්නෙ. කියලා පටගාලා පැටෙව්වා කැබ් එකට computers දාසයම.... මෙන්න බොලේ කැබ් එක ගිහිං පැය දෙක තුනකිං කෝල් එකක් ආපි මේ අහවල් ෂොප් එකද? අපි වාහනේ එවන්නද? කොම්පියුටර් හරිද? කියලා.... මට ඉතිං සූ ගියේ නැති ටික විතරයි ඇයි අප්පා ආමිනේ :D අන්තිමට හතර වටේ කෝල් දීලා හොයාගත්තා. (ඒ විස්තරත් දානවනං ඉතිං මේක comment එකක් නෙමේ blog post එකක් වෙනවා :D )

    ReplyDelete
    Replies
    1. සහන්,

      හප්පා..බොක්ක උණු වෙන්ට ඇති ඒ වෙලාවට...ස්තූතියි සහන් :)

      Delete
    2. ඔව් ඒ වෙලාවේ හිතට දැනුනදේ කියන්න විදිහක් නෑ... :)
      ඇත්තටම මොකුත් උනානම් එදා computer ගෙනාව අාමි අයියලා දෙන්නත් ගස්, වැරදිලා ගෙනියපු අනිත් කෑම්ප් එකේ මොට්ටයෝ දෙන්නත් ගස්. අපි :O ගැන කියන්න දෙයක් නෑනේ ;)
      (හොඳ වෙලාවට දන්න කියන දෙතුන්දෙනෙක්ට කෝල් දීලා වාහනයක් යවලා බලලා ආපහුු ගෙනාවා)

      Delete
  4. එළකිරි කතාව ගොයියෝ. හැම දෙයක්ම මැවිලා පෙනුනා. පොඩි අකුරැ පටලැවිලි කිහිපයක් දැක්කා. පෙන්වා දුන්නට කමක් නැතැයි සිතනවා. මුනිවත පතිවත වෙලා කොටලා තියෙන්නේ. අතන ඇට දෙක කියලා නොලියා හැට දෙක කියලා තියෙන්නේ. ඒකනම් හිතලමද කලේ කියලත් හිතෙනවා.
    ඒවා වැඩක් නෑ. භාෂා සයිලිය
    නම් පංකාදුයි බං. හොඳ වචන උඹට තියෙනවා. උඹ විශ්වාස කරහං අපෙත් ඒ දිනවල හැනපියර් සහ ලෙමන් ජින් තමයි ප්‍රියතම පාන. කොත්තුවක් බයිට් එකට දාගත්තාම
    වෙන මොනවද ඕනේ. ඒ වගේම
    දැන් උනත් මධුවිතින් සප්පායම් වෙද්දී ගේ ඇතුලේ වැසිකිලි පහුකරන් ගිහින් එලියේ ගහකට අල්ලන තරම් ආතල් එකක් තවත් තියෙනවද? දවසක් හරි වැඩක් උනා. දවසක් යාළුවෙකුගේ ගෙදර සෙට් වෙලා එලියට ගිහින් මූත්‍රා කරලා තිබුනේ උගේ බිරින්දෑගේ එළවළු පාත්තියට. කට්ටිය මේ ලීක්ස් වල ලුනු වැඩියි කිය කිය කෑවාලු. හික්... හික්..,
    උඹට ජයම වේවා!!

    ReplyDelete
    Replies
    1. චන්දන,

      / මුනිවත පතිවත වෙලා කොටලා තියෙන්නේ. /

      ඒක හිතලම එහෙම ලිව්වෙ මල්ලි...හෙහ්,හෙහ්, ඔය වගෙ දේවල් මම කරනව..ගෙදර උනත් කතාකරනකොට හිතමතා වචන මාරු කරල කතාකරන එක මගෙ පුරුද්දක්. අපෙ උන්දැට මුල්ම කාලෙ පිස්සු නොහැදුන විතරයි. දැන් එයාටත් ගාණක් නෑ.

      / අතන ඇට දෙක කියලා නොලියා හැට දෙක කියලා තියෙන්නේ. ඒකනම් හිතලමද කලේ කියලත් හිතෙනවා /

      යස් ඔබ හරි..මම එහෙම ලිව්වෙ හිතලමයි. මොකද හේමපාල කියන්නෙ හැට දෙක කියල හිතාගෙනනෙ. මිනිහට ඇත්තටම තේරෙන්නෙ නෑ මිනිහට කියවෙන්නෙ ඇට දෙක කියලයි කියන එක.:)

      බොහොම ස්තූතියි චන්දන මල්ලි...:)

      Delete
    2. //මධුවිතින් සප්පායම් වෙද්දී ගේ ඇතුලේ වැසිකිලි පහුකරන් ගිහින් එලියේ ගහකට අල්ලන තරම් ආතල් එකක් තවත් තියෙනවද//
      ඕකට හේතුව මට හිතෙන විදියට ගේ අැතුලෙ වැසිකිළියෙ තියෙන සීමිත ඉඩ ප්‍රමාණය වෙන්න ඕන. මොකද බෝතලේ හිස්වෙන ප්‍රමාණය අනුව ඔය වැඩේ කරන්න වැඩි රේන්ජ් එකක් උවමනා වෙනව. :D

      Delete
    3. Chandana & Praසන්ன,

      රෑ ඩෝප් මරගාතෙ නැඟිටල ටොයිලට් එකේ දොරය කියල හිතල අල්මාරිය ඇරල ඒක ඇතුලට හුලිජ්ජ දාපු කතාව අහල තියද?

      ආය කතාවක් තියනව මෙහෙම. ඔන්න වයිෆ් උදේ අහනවලු….

      " මේ ඊයෙ ඔයා ආවෙ හතර ගාතෙන් නේද? කොහෙද බිව්වෙ? "

      " අනේ මතක නෑ ඒයි..මගෙ යාලුවෙක් එක්ක ගියේ…. මිනිහගෙත් යාලුවෙකුගෙ ගෙදර..කොහොම හරි කෝටි පතියෙක් වෙන්න ඕන. යුරිනල් එක තනිකරම රත්තරං..."

      බීල වෙච්චි අලකලංචි තියනව බං ගෝණියක් විතර. මටත් එහෙමයි මගෙ ඔය හිත මිතුරන්ටත් එහෙමයි..ලියන්ට ඕන කතා මාලාවක්." මධු පානයෙන් ඉක්බිති........"...ඒක හොඳයි නේද මාතෘකාවට?..දේසකයගෙං කලින් අනුමත කරවගෙන ඉන්න ඕන මේ පාර. ඔබගේ ආවරණ අනුමැතියට යටත්ව ලියමි...හෙහ්,හෙහ්,

      Delete
  5. //ඒ යුගයෙ අපේ ප්‍රියතම පානය වෙලා තිබ්බෙ හැනපියර් බ්‍රැන්ඩි එක//

    මගේ දැනටත් ප්‍රීයතම පානය , ඒ උනාට ගොඩදෙනෙක් ඒ රසයට කැමති නැ

    ReplyDelete
    Replies
    1. අටම්,

      ඔබ හරි, හැනපියර් එකේ රසයට ගොඩක් දෙනෙක් කැමති නෑ තමයි. ඒත් මට නම් අවුලක් නෑ. ඕල්ඩ් එක තමයි මගෙ ෆේවරිට්. ඒත් කට්ටියගෙන් ඇහුවම කියන්නෙ අරං වරෙං හැනා කියල...

      Delete
  6. වැලිඔය ප්‍රදේශයේ එක්තරා හමුදා කඳවුරක දුරකථන අංකයත්, අනුරාධපුර ප්‍රදේශයේ ප්‍රබල දේශපාලනඥයකුගේ කාර්යාලයීය දුරකථන අංකයත් වෙනස්වෙන්නේ එකම එක ඉලක්කමකින්. අර දේශපාලනඥයාගෙන් විවිධ කොන්ත්‍රාත් කරුවන් අර වැඩේ කරන්නද මේ වැඩේ කරන්නද කියලා අහන ඇමතුම් වැරදිලා ආවම අපි ඒ ඔක්කොටම පොඩ්ඩක් ඉන්න අහලා කියන්නම් කියලා හරි හරි කරන්න කියනවා. මොකක් වුනත් කාටහරි සෙතක් වෙනවා ඇතිනේ.

    ReplyDelete
    Replies
    1. අපේ ෂොප් එකේ අංකෙයි, මෙහේ පශු වෛද්‍ය එකේ අංකෙයි වෙනස් වෙන්නෙත් එක ඉලක්කමකින් විතරයි. ඉතිං මේකටත් ඔය වගේ ඩොකා ඉන්නවද කියල අහල කෝල් එනව.

      Delete
    2. Wicharaka,

      දෙයියෝ සාක්කි, දේසපාලුවො කියන අය වෙන වෙන කොන්ත්‍රාතුත් දෙනවනෙ බං..එහෙම එකෙක් කතා කරල " බොස් මොකෝ කියන්නෙ? අර එදා කියපු වැඩේ? ඒක කරන්නද එපාද? "එහෙම ඇහුවමත් උඹල කියනව ඇති " හරි හරි කරපං කරපං..." කියල.....සික් පණ පිටිං අපායෙ යන වැඩ එව්ව ..:(

      Delete
  7. රූපවාහිනියෙ බොහොම දෙනෙක් කට ඇරගෙන බලා ඉන්න නාටක තියා ප්‍රවෘත්ති විකාශන අවස්ථාවෙ පවා වයසක මාත් බ්ලොග් කියවන්නෙක් වෙලාද මන්ද . හිසට හදවතට සැනසුම සතුට ගේන හරවත් යමක් හැම තිස්සේම බ්ලොග් සටහන් අතරට එක්වෙනව. මේත එයින් එකක්. ඒවට ලැබී තිබෙන ප්‍රතිචාර වලින් පවා ලැබෙන්නේ අමුතුම වින්දනයක් හා දැනුමක් ! සමර විටක බ්ලොග් ලෝකය අනෙක් මාධ්‍ය වර්ග ආක්‍රඹනය කරවා වගේ. මගේ හෑල්ල ඇති ලිපියටත් අදහස් ලියූ ඔබ සැමටත් පින්

    ReplyDelete
    Replies
    1. ගුණසිංහ මහත්මා,

      ඔබට බොහොම ස්තූතියි. :)

      ඔබේ උග්ගල් අළුත්නුවර ලිපි පෙල මම බොහොම උනන්දුවෙන් කියවනවා. අවුරුදු ගාණකට ඉස්සරවෙලා සන්ඩේ ටයිම්ස් පත්‍රයෙ අපූරු ලිපි පෙලක් පලවුනා උග්ගල කල්තොට කියල ගමක් සම්බන්ධව. ඔබගෙන් මම මුලදිම වගෙ ඇහුව උග්ගල් කල්තොටයි උග්ගල අළුත් නුවරයි එකක්ද දෙකක්ද කියල. ඒ දෙකම එකක්ය කියල ඔබ පිළිතුරු දුන්නයි කියලයි මට මතක.

      Delete
  8. "හ" යන්න කියවෙන්නේ නැති නිසා "හේමපාල " කියන එකත් " ඒමපාල" කියල වෙන්ට ඇති ප්‍රොනඋන්ස් කරන්ට ඇත්තෙ මයෙ හිතේ.

    ReplyDelete
    Replies
    1. නිර්නාමික,

      යර්ස් . එසේය.තව මගෙ යාලුවෙක්ගෙ යාලුවෙක් හිටිය තයන්න වෙනුවට කියවෙන්නෙ කයන්න...හෙහ්,හෙහ්, ඕකා මූණ නිල්වෙන්ට ගුටි කෑවලු දවසක් ඔය අකුරු පටලැවිල්ල නිසා...පව්...:(

      Delete
  9. නැන්දම්මා අසනීප වුනා කියලා දැනගත්තාම දෙන දෙයියෝ ගෙට ගෙනැවිත් දෙනවා කියන්නේ මේ වගේ වෙලාවට කියලා හිතෙන්නැති රවීට...:)

    ReplyDelete
    Replies
    1. රූ,

      අනේ නෑ බං...මයෙ ඔය නැන්දම්ම මට මාරම ආදරෙයි. අපෙ උන්දැ කියන්නෙ මම ඉතිං අම්මගෙ ලේලිනෙ..මෙයා තමයි පුතා කියල..හෙහ්,හෙහ්,.මම ඔය පැණිරහ කන්ට මාර ආසයි. මම ගියොත් උන්දැ අප්පච්චිට කියල හොඳ කිතුල් පැණි බෝතලයක් ගෙන්නවල වැලිතලප හරි අග්ගල හරි හදන එක හදනවාමයි..:)

      Delete
  10. හේමපාලව ඉස්පිරිතාලේ නැවැත්තුවේ නැද්ද...??? :P
    වැරදිලා ආව ඩෝසරේ ලවා තව වරුවක් වැඩ කරව ගත්තනම් වැඩේ ෆිනිෂ් වගේ....

    ReplyDelete
    Replies
    1. අයාල් සිත්,

      / හේමපාලව ඉස්පිරිතාලේ නැවැත්තුවේ නැද්ද...??? :P /

      නෑ..ඒක එච්චර ගානක් නෑ. ඔය බඩවැල පාත් උනාම සමහර මිනිස්සු කිලෝ හත අට උස්සගෙන ඉන්නෙ. මම කලින් දවසක කිව්වෙ අර ලබු කනප්පුව ගැන එහෙම...:)

      අනික මගෙ යාලුවෙක් හිටිය අර අවයවය වර්දනය කරගන්ට කියල වෛද්‍ය උපදෙස් පිට තෙලක් ගාල ආනබාදුවක් ( ( Queen Closer ) ) එල්ලගෙන උන්න දවසට පැය දෙකක්.

      / වැරදිලා ආව ඩෝසරේ ලවා තව වරුවක් වැඩ කරව ගත්තනම් වැඩේ ෆිනිෂ් වගේ.... /

      පිස්සු කතා කරන්ට එපා පුතා....මම මේ බොක්ක රත්වෙලා හිටියෙ කවුරුහරි ඕක එවපු මනුස්සය ඩෝසරේට මොකද උනේ කියල හොයාගෙන එයි කියල. වැඩේ ඒ දවස්වල මොබයිල් ෆෝන්ස් ආපු මුල්ම කාලෙනෙ.ඒ නිසා සන්නිවේදන කටයුතු ටිකක් ප්‍රමාදයි. ඒකෙ වාසි වගේම අවාසිත් තිබ්බ. මේ ඔන්න වාසියක් :)

      Delete
    2. ලබු කනප්පුව ?කොහෙද කියල තිබ්බෙ,මට මතක නෑ,ඒකෙ ලින්ක් එකයි අර තෙල් වර්ගයෙ නමයි ටක් ගාල දානවද රවී.

      Delete
    3. හැලප,

      අඩේ ඊයෙ ඉඳන් හොයනව හොයාගන්ට බෑ ඒ ලබු කනප්පුවෙ කතාව මම කොතනද කිව්වෙ කියල..එක්කො මගෙ පෝස්ට් එහෙක නැත්තං කමෙන්ට් එහෙක, එහෙමත් නැත්තං හෙන්රියගෙ, අරූගෙ හෝ උඹගෙ පෝස්ට් එහෙකට දාපු මාගල් කමෙන්ට් එහෙක. ඉඳපන් තාම හොයමින් පවතිනව. හම්බ වෙච්චි වහාම ලින්ක් එක දාන්නං..හොඳෙයි?

      අර තෙල නම් බං බොහෝම බලගතු තෙලක්. කාලෙ බෝතලයක් වෙනව රුපියල් අටදාහක්ද කොහෙද...නම ඇවිල්ල ශිෂ්නදීර්ඝාලේප මහා තෛල රාජයා...නුවර කොළඹ වීදියෙ බොහොම ප්‍රසිද්ධ ආයුර්වේද ඖෂධාලයක විතරයි ඕක හදන්නෙ. තැපෑලෙන් එවනව එයාල. උඹට ඕනනං කියපං..මචං නොට් අ ජෝක්.... අන්ඩස්කර්ට්?... ටෝටලි සීරියස්..

      Delete
    4. අනේ මචං මටත් අරික්කාලක් විතර එවන්න කියපං සල්ලි සල්ලි කියල බලල බෑනෙ ඔය වගේ ප්‍රතිකාරවලට.අම්මප තෙලේ නම දකිනකොටත් දීර්ඝ වෙනව වගේ බං ශාන්තී ශාන්තී!!!

      Delete
    5. @හැලපේ,

      මේ නහින දෙහින කාලෙ අර මක්කටැයි ශිෂ්ණදීර්ඝාලේප තෛලෙ හොයන්නෙ.?? ඒකෙන් මදුරුවන්ට තලන්ටැයි.?? ;-)

      Delete
    6. mean methana thiye

      http://arugeadaviya.wordpress.com/2013/10/23/%e0%b6%85%e0%b7%80%e0%b7%94%e0%b6%bd%e0%b7%8a-%e0%b7%80%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1%e0%b6%a7-%e0%b6%b4%e0%b7%99%e0%b6%bb-12-%e0%b7%84%e0%b6%82%e0%b7%80%e0%b7%90%e0%b6%bd%e0%b7%8a%e0%b6%bd%e0%b7%9a/

      Delete
    7. මුදියන්සේ,

      බොහොමත්ම ස්තූතියි මලේ..මට ඕක හොයාගන්ට බැරුව මේ හිටියෙ :)

      Delete
    8. බූරාස්,

      යකෝ හැලපයට සුවල්ප පොරෝජංද බාං ඒ තෙලෙං? රෑට නිදියන්ට ගියයි කියමු. හැලපෙ ඇවිල්ල පොත් මරුව නෙව. පොතක් බලල ඉවරවෙලා ඇඳේ ඉඳලම ලයිට් එක ඕෆ් කලෑකි. ඔන්න එකක්. ආය සුපර් මාර්කට් එහෙකට ගියයි කියමු. අතිං කටිං බඩු මලු එල්ලගෙන එන්ට එපාය. එක සොපිං මල්ලක් ඕකෙ එල්ලං එතෑකි.තව කිව්වැහැකි. දැනට මදැයි...:)

      Delete
    9. @ රවී.....ඒ කාලේ මොබයිල් ෆෝන් තිබුනනං....ඔබතුමාට ඇමතියාගේ මධුර මනෝහර වොයිස් එක අහගන්ට ඉඩ ලැබෙන්න තිබුනා.... :D

      @රවී & බුරතිනෝ......කකුල් දෙහෙකට වඩා තුනක් තියෙනකොට ස්ථායි භාවය වැඩියි නේ?? ;)

      Delete
    10. ඔය අපේ සීයගේ ලබ්බේ ස්ටෝරියනේ.

      Delete
    11. හම්මේ මගෙ හක්ක.. අ‍නේ හැබෑට මාත් එනවනෙ මේ අටමගල කියවන්ඩ :-D

      Delete
    12. ජානුස්,

      මොකද බං හක්කට උනේ? ඇයි දෙයියනේ....කොයි වෙලෙත් මොනවහරි හපන එකමනෙ වැඩේ..හකු තියෙයියැ ඉතිං?

      Delete
  11. //
    කුඹුරු මැරිල හත් දවසෙ දානෙත් දීල.
    //
    :D කුඹුරට හත් දවසේ දානේ දෙන්නේ කොහොමද කියලත් කිවුවනම් අගෙයි :D

    රවී තුමාට යන්තම් අවසර ලැබෙන පාටයි.. ඒත් මට මෙහෙම හිතෙනවා..
    ඔන්න සඳා තුමී ගෙදර යනවා.. යනකොට අම්මට ටිකක් අසනීපයි, සෙනසුරාදා උදේ බෙහෙත් අරන් දෙනවා අම්මට.
    රවී තුමා දිව්‍යලෝක ගත වෙනවා සෙනසුරාදා දවල්..
    සෙනසුරාදා දවල් වෙනකොට, බෙහෙත් ඇඟට වැටිලා අම්මට සනීප වෙච්ච නිසා, සඳා තුමී එනවා ආපහු ගෙදර..
    එනකොට ඔබතුමා ඉන්නවා සාලේ බිම දපල..
    කොහොමද :D
    මමත් හරිම ආස කරන ක්ෂේත්‍රයක් තමයි වාරිමාර්ග අංශය.. උතුරුමැද පළාත තුල තියන සෞම්‍ය වියලි හැන්දෑවක, වැව ඉවුරකට වෙලා ඉන්න තියනවා නම්..

    ReplyDelete
    Replies
    1. එක් ලඩ්කී...

      //මමත් හරිම ආස කරන ක්ෂේත්‍රයක් තමයි වාරිමාර්ග අංශය.. උතුරුමැද පළාත තුල තියන සෞම්‍ය වියලි හැන්දෑවක, වැව ඉවුරකට වෙලා ඉන්න තියනවා නම්..//

      මැරෙන්න හිනා මේ කෑල්ල කියවලා.... :D

      Delete
    2. Ek Maanaviks,

      / D කුඹුරට හත් දවසේ දානේ දෙන්නේ කොහොමද කියලත් කිවුවනම් අගෙයි :D /

      හාපෝ ඒක ටිකක් දිහට ලියන්ට ඕන..වෙලාවක වෙනම ලියන්නං .. :)

      / එනකොට ඔබතුමා ඉන්නවා සාලේ බිම දපල.. කොහොමද :D /

      අනෙ අම්මප ඇත්තම ඇත්ත.ඔය පැලෙන්ඩ පායන කාලෙ මම පොඩි සෝටක් ඇඳගෙන සාලෙ පොළවෙ වැතිරිලයි හවස වැඩක් නැති දවසට ඉන්නෙ. සමහරවිට එහෙම්මම දන්නෙම නැතුවම නින්ද යනව.

      / මමත් හරිම ආස කරන ක්ෂේත්‍රයක් තමයි වාරිමාර්ග අංශය.. උතුරුමැද පළාත තුල තියන සෞම්‍ය වියලි හැන්දෑවක, වැව ඉවුරකට වෙලා ඉන්න තියනවා නම්../

      ඇත්තටම කැමතිනම් මම හිතන්නෙ නෑ ඒක එච්චර අමාරු දෙයක් කියල. ඔය වියළි කලාපෙ සේවයට යන්ට කවුරුවත් ඒ හැටි කැමැත්තක් නැති නිසා බොහොම ලේසියෙන වැඩේ කරගත්තෑකි. මම දන්නෙ නැඇ. අද තත්වය. ඒ කාලෙ නම් එහෙමයි තත්වය...:)

      Delete
  12. යා ගිය පාර කතාවෙ ඉතුරු ටික දැං නෙ කොම්ප්ලීට් වෙලා තීන්නෙ... හෙහ් හේ ෆට්ට...
    ඔයිං ගියා ඇති ගුටි නොකා... සාලි යාළු හින්ද හොදා... බැරි වෙලාවත් අර සියාතු වගේ අංකල් කෙනෙක් උනානං.....
    හැක්
    මට මැවිල පේන්ව

    ReplyDelete
    Replies
    1. මහේෂ්,

      ස්තූතියි මහේෂ්...:)

      Delete
  13. අම්මෝ යන්තං මෙදා සැරේ නං මිත්‍ර සමාගමට එක්කහු වෙන්න ලැබෙන පාටයි,ඊට පස්සෙ වෙන්නෙ මොනවද කියල පොඩි කුතුහලයකුත් හිතේ නැතුවම නෙවෙයි.

    ReplyDelete
    Replies
    1. හැලප,

      ලුක්ස් ලයික් ඉට්? ඉස්න්ට් ඉට් සෝ? ලෙට්ස් සී මචං ලෙට්ස් සී...:)

      Delete
  14. පොඩිමහත්තයා ගේ කතාවට කඳුළුත් එලියට පැන්නා හිනා වෙලා... මොකද ඒක එක පාරටම මීටර් වුනේ නෑ...
    "සුළුදිය පහකරනවා".. අදමයි ඇහුවේ...:D
    කොළ එළියක් ආවට වුනදේ කියනකන් විශ්වාස නෑ..
    හැමදාම කියනවා වගේ අදත් කතාව හරිම රසයි රවී... ස්තූති වේවා...!!!! :)

    ReplyDelete
    Replies
    1. සඳා,

      / "සුළුදිය පහකරනවා".. අදමයි ඇහුවේ...:D /

      සුළුදිය , බඩදිය, හුලිජ්ජ ඔය ඔක්කොම කියන්නෙ මුත්‍රා වලට.

      බොහොම ස්තූතියි සඳා!!!!

      Delete
  15. උඹලගේ වාහන වලටත් උඹලටම ගැලපෙන නොම්මර ලැබෙන්නේ.. ඒකෙත් ඇටි ඒනං.... මම මේ කල්පනා කලේ උඹලා ඉතින් හේමපාලගේ හැටදෙකේ නැගලා කොච්චර නං එහෙමෙහෙ ගිහින් ඇද්ද නේද?

    //" ඕගනයිසිං පරීක්සා කරන්නෙ අර කට්ටිය කට පිහ දම දම එලියට එන කාමරේ ඇතුලෙ විතරයි වගෙ මට පේන්නෙ…" //
    ඉතිං උඹ කියන්න එපැ‍යි ඒක තමයි ප්‍රධාන පාලක මැදිරිය කියලා.... ඊට පස්සේ ආයෙ යන්න ඕන උණහමත් කියන්න තිබ්බා, "දැන් සුළු විරාමටකට මම ප්‍රධාන පාලක මැදිරියට යොමු වෙලා එන්නම්" කියලා...

    උන්දෑ උන්දෑ කිය කිය ඉඳලා උඹ එකපාරටම ටිකක් ෆෝමල් වෙලා 'ඈ' කියන්න ගත්තෙ මොකද කියලා මම බැලුවේ...

    //" ඒත් මගෙ හිතට හරි නෑ අනේ. අම්මට මොකද දන්නෙ නෑ නේද? " //
    උඹ අහක බලාගෙන නේද මේ කෑල්ල කිව්වේ?

    ReplyDelete
    Replies
    1. තිසර,

      / උන්දෑ උන්දෑ කිය කිය ඉඳලා උඹ එකපාරටම ටිකක් ෆෝමල් වෙලා 'ඈ' කියන්න ගත්තෙ මොකද කියලා මම බැලුවේ…/

      උඹ නම් නියමයි බං..:) :) …..කතාවක් සාවධානව කියවනව කියන්නෙ මල්ලි අන්න ඒ වගෙ පොඩි පොඩි ඇඟවුම් , ඉඟි එහෙම මීටර් වෙන්ට ඕන.

      උන්දැ උන්දැ කිය කිය ඉඳල ඈ කියල වෙනස් කලේ යම් හේතුවක් ඇතුව...හෙහ්,හෙහ්, ...වැඩි විස්තර කිව්වොත් උඹ කතාව ඉවරවෙන්නෙ කොහොමද කියල අල්ලගනියි පටගාල. මෙහෙම කියන්නං...කතාවෙ ඊළඟ කොටස දිගඇරෙන විදිහට උන්දැ කිව්වම හරි නෑ. ඒකයි ඈ කියල වෙනස් කලේ.

      /" ඒත් මගෙ හිතට හරි නෑ අනේ. අම්මට මොකද දන්නෙ නෑ නේද? " ...උඹ අහක බලාගෙන නේද මේ කෑල්ල කිව්වේ?/

      නෑ බං අවංකවමයි එහෙම කිව්වෙ..මයෙ නැන්දම්ම කියන්නෙ ආය නෑ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගුණවත් කුළ කතක්...:) මට පුදුම ආදරයක් තිබ්බෙ..තිබ්බෙ කියන්නෙ උන්දැ 2009 මිය පරළොව ගියා. මට මළගෙදරට යන්ටත් බැරිඋනා. ජීවිතේ හැටි එහෙම තමයි...මල්ලි.

      ඔය අපෙ උන්දැ පමණක් වෙලාවට මයෙ කරේ නැඟලනෙ ඉන්නෙ. නැන්දම්ම කැමතිනෑ එව්වට. පරණ තාලෙ කට්ටියනෙ.

      " චුට්ටි දුව..මොකද ඔය හැබෑටම?"කියල කණ්ණඩිය උඩිං බලල ටිකක් විතර සැරෙං අහනව…

      " ඇයි මොකද?" අපෙ උන්දැත් හිනාවෙලා කියනව.

      අපි ඔය කාමරේ එහෙම ඉන්නකොට මම බොරුවටත් එක්ක සාලෙ ඉන්න අම්මට ඇහෙන්ට කියනව….

      " මොකද අනේ මේ? මගෙ කර උඩනෙ ඔයා ඉන්නෙ ටිකක් එහාට වෙන්ටකො "කියල…

      " චුට්ටි දුව..අ..අ..අ..අ.අ .."කියල අම්ම සාලෙ ඉඳලම කියනව..

      " මෙයාගෙ බොරු ඔය අම්මෙ. මම නැඟපු කරක් නෑ." අපෙ උන්දැ කෑගහනව.

      නැන්දම්ම ගැනත් ලියන්නං ආයෙම වෙලාවක…:)

      Delete
  16. ඉබ්බා දියේ දාන කොට ඇන්නාවේ [ඔබතුමා හෝ කවුරු හරි කියා තිබුණ ඉබ්බා දැන් නෑවේ කියලා ] කිව්වලු.

    මේ ඒක නෙමේ මේ ගුරුවරී කෑල්ල හෙඩිමට දාල නිස්කාරනේ අර දේශකයා මේක නොකියවන එක ඇරෙන්න වෙන යම් වැඩක් තියෙනවද මන් අහන්නේ

    ReplyDelete
    Replies
    1. ඒක කියලා තිබුනේ, අර ඒ කාලෙ කට කහන පොරක් හිටියේ 'දුමියා' කියලා, ආන්න ඌ.. බුවා දැන් නම් ඉන්නවද මැරිලද දන්නෙ නෑ.. :-)

      Delete
    2. Bindi,

      / මේ ඒක නෙමේ මේ ගුරුවරී කෑල්ල හෙඩිමට දාල නිස්කාරනේ අර දේශකයා මේක නොකියවන එක ඇරෙන්න වෙන යම් වැඩක් තියෙනවද මන් අහන්නේ /

      එතන වැඩේ ලැච්චස් ගොයිය සීර්ස පාටයට කැමති නෑ කිව්ව මිසක මේක දාපං එහෙනං කියල වෙන එකක් යෝජනා කලේ නෑ නෙව. මම ඊළඟට දාන එකත් උන්දැට අසාධ්‍ය උනොත් මොකෝ කොරන්නෙ? මිනිහට අල්ලන එකක් එනකල් මට මාතෘකා මාරුකරකර ඉන්ටයි වෙන්නෙ..අර අපෙ උන්දැගෙ ලොකු අම්ම කිව්ව වගෙ වෙන වැඩක් නෑ කන්ට ...ඔහෙවත් කියන්ටකො මැඩම් එහෙනං තරහ නැතුව දේසක තුමාගෙග හිතට අල්ලල යාවිය කියල හිතෙන සීර්ස පාටයක් ........

      Delete
  17. මට වැඩියෙන්ම හිත ගියේ උඩ තියෙන පින්තුරේට ... :)

    ReplyDelete
    Replies
    1. මෙකුවි,

      හෙහ්,හෙහ්, ආය අහන්ටත් දෙයක්ද? ඒකෙ කියල තියන එව්ව උදේ හවස උඹත් කරන හින්ද ඒ වගෙ ජීවිතේට සමීප දෙයක් දැක්කම හිත ඇදිල යනව තමයි. :)

      Delete
  18. උඹ හූනියමක්වත් කලාවද්ද මහ උන්දැට?

    ReplyDelete
    Replies
    1. a Henry aiye......... a kiyanne oya karala tiyenawa neda nandammata huniyam....................

      Delete
    2. උන්දැට වෙන හූනියං ඕනෙ නෑ බං සචීර. මම තමයි ලොකුම හූනියම. :D

      Delete
    3. Henry and Sacheera,

      අනේ බාල්ලා නැන්දම්මලට ඒක මේක කියනවට මම න්ම ඉත්තේරුවෙම්ම විරුද්දයි. මොකද මයෙ නැන්දම්ම ඇවිල්ල පෙරාපු රත්තරං..උඹල දෙන්නගෙ නැන්දම්මල යකාමාක් නම් අවුලක් නෑ ඒ ගැන අපි කතා කරමු...;)

      Delete
  19. Ane wasanawan mehemath hoda wifela......giya sumane uanna oneda ahuwa....me sumane yanna wada sidda kara.........Baladdi ehema birindawaruth innawane...man hituwe hamoma man wage oya wage wada walata puluwan tharam akul helanawai kiyala.................


    A....aiye habai Surameraya ananthareeyak pawak kiyala hitan hitapu akka wedding1 dawase biuwata aulak une na kiyala hitanna amarui ne...........

    ReplyDelete
    Replies
    1. Sacheera,

      / A....aiye habai Surameraya ananthareeyak pawak kiyala hitan hitapu akka wedding1 dawase biuwata aulak une na kiyala hitanna amarui ne..../

      හෙහ්, බොහොම අමාරුවෙං බං ඒ වැඩේට කැමති කොරෝ ගත්තෙ ...මම කලිං ලිව්ව ඒ විස්තරේ....

      ඔන්න ඊළඟට ආව විසඳ ගන්න තියන ප්‍රශ්න අංක 2, විවාහ මංගලෝත්සවයේදී මත්පැන් සපයනවාද නැද්ද?කියන ඉතාමත්ම වැදගත් කාරණේ. ඔයිට කලින් අපිදෙන්නගෙ කතාබහ වලදි මම මුට්ටිය දාල බැලුවා. දන්නවනෙ මුට්ටිය දාල බලනව කියන්නෙ මොකක්ද කියල.......දන්නෙ නැත්නම් ලැජ්ජාවට දන්නව වගෙ ඉන්න එහෙම එපා. කියන්න. එහෙම උනොත් ආයෙමත් ඒ ගැනත් පෝස්ට් එකක් ලියන්නම්කො.

      ඉතින් මේ මුට්ටි දැමිල්ලට ලැබුනෙ එතරම් ප්‍රසාදජනක ප්‍රතිචාර එහෙම නෙවෙයි.ඒ නිසාම මමත් මුට්ටි දැමිල්ල නවත්තල දැම්මා.

      මද්‍යපානය ගැන එයාගෙ හිතේ තිබුනෙ බුදු හාමුදුරුවන්ට පොඩි මිස්ටේක් එකක් වෙලා ආනන්තර්ය පාප කර්ම වලට ඇතුලත් කරන්න තිබුනු එකක්ය මේ පස්වෙනි සිල්පදේ හැටියට දාල තියෙන්නෙ කියල.එයාලගෙ පවුලෙ හැමෝමත් මත් පැන් මතක් කලත් කලන්තෙ දාන සයිස් එකේ කට්ටිය කියලයි මට කතා බහෙන් තේරුනෙ.

      ඒත් දැන් තවත් ඒ වැඩේ කල්දාන්නම බැරි අවස්ථාවක් තමයි මේ ඇවිල්ල තියෙන්නෙ.කතාකරල දෙකින් එකක් තීරණය කරන්නම වෙනවා අදම.

      මුලු ඇඳුම් ප්‍රශ්නෙ හින්ද එයා හොඳ මූඩ් එහෙක ඉන්න නිසා මට හිතුණා අදම තමා මහා මත්පැන් අර්බුදයත් විසඳා ගන්න හොඳම දවස කියලා.

      " මේ.....තව පොඩි කේස් එකක් තියනව. "

      එයා මා දිහා බැලුව. කඳුලු නම් දැන් නැහැ.

      " බොන්ඩ දෙන එක කොහොමද? "

      " අපොයි අපෙ ගෙදර කිසි කෙනෙක් බොන්නෙ නෑ. අප්පච්චි අයියල නෑදෑයො කවුරුත්ම ඒව පාවිච්චියක් නෑ.අනික අපේ ගෙදර තිබ්බ කිසිම උත්සවයකදි අරක්කු දුන්නෙ නෑ.එහෙම කියල කිසිම අඩුපාඩුවක් උනෙත් නෑ. "

      " හරි, හරි........... ඔයාලගෙ කට්ටියට බොන්ඩ කියල මම කියන්නෙ නෑ. බොන්නෙ නැත්නම් නිකම් ඉන්න. ඒකෙ කිසිම ප්‍රශ්නයක් නෑ. ඒත් මගෙ නෑදෑයො, විශෙෂයෙන්ම යාලුවො ඒ අයට බොන්ඩ දෙන්නම ඕනෙ. "

      " ඔය බොන එක හොඳ දෙයක්ද? මිනිස්සුන්ට දෙන්න ඕනෙ හොඳ දේවල්, "

      " හරි, හරි ඔය මිනිස්සුන්ට දිය යුත්තේ මිනිස්සු කැමති දේවල්ද මිනිස්සු ඉල්ලන දේවල්ද කියන එක අවුරුදු තුන්දාහක් තිස්සෙ තාමත් එක තීරණයකට එන්ඩ බැරුව වාද කරන ප්‍රශ්නයක්. දැන් මේ පැය බාගයක් ඇතුලත අපි දෙන්නට ඕකට ස්ථිර විසඳුමක් හොයාගන්න ලැබෙන එකක් නෑ. ඒ නිසා ඒ ප්‍රශ්නෙ පැත්තක තියල වෙඩිං එකේදි අරක්කු දෙනවද නැද්ද කියල සරල ප්‍රශ්නෙට උත්තරේ හොයාගමු , දැනට ඒ ඇති හොඳටම."

      " වෙඩිං එක දවසෙ නම් අරක්කු දෙන්නෙ නෑ. මට ඔය ගැන කොහොමත් අපෙ අප්පච්චි එක්ක කතාකරන්න බෑ. "

      " හරි එහෙනම් මෙහෙම කරමු. වෙඩිං එක ඔයාලට කැමති විදිහට කරන්න.හෝම් කමිං එකටනෙ මගෙ නෑදෑයො වැඩි හරියකුයි, යාලුවො ඔක්කොමයි එන්නෙ. හෝම් කමිං එකේදි නම් මට අරක්කු දෙන්ඩම වෙනවා. ඒකෙ ආයෙ දෙකක් නෑ. "

      " හ්ම්ම්ම්ම්......ඔයාට කැමති දෙයක් කරන්ඩ, අනික කල්පනා කරන්ටකො, අරක්කු දෙන්න ගිහාම වියදම උනත් සුලු පටුද? "

      " නෑනෙ, අරක්කු නොදෙනවානම් තමයි මට වැඩි පුර වියදම් යන්නෙ, "

      " ඈ......ඒ කොහොමද ඒ?" එයාහෙ ඇස් දෙකත් ලොකු උනා. කටත් ඇරුන බාගෙට.

      " ඒක වෙන්නෙ මෙහෙමනෙ, දැන් මගෙ යාලුවො එනවා බොන්ඩ බලාගෙන, බඩු නැති උනාම උන් ටික අනිවාර්යයෙන් හෝටලේ දොර ජනෙල් වල එක වීදුරුවක් නෑර කුඩු සංසාර කරනවා. එතකොට ඒකෙ අලාබෙ ගෙවන්ඩ වෙන්නෙ කාටද? වෙන කාටද මේ මට, ඉතිං මට ඊට ලාබයි එවුන්ට අරක්කු දෙන එක. ඒත් එවුන් අන්තිමට වීදුරුවක් දෙකක් නම් කොහොමත් කුඩු කරයි. එහෙම නූනොත් ඒ බොන්ඩ දෙන එකෙන් ඇති වැඩකුත් නෑ.ඒත් වැඩේ ලාබයි මට. "

      එයාට බකස් ගාල හිනා ගියා " හා....හා.....මරු යාලුවො ටිකක් නෙව ඉන්නෙ.ඔයත් මට පේන්නෙ කලින් මඟුල් ගෙවල් වල ගිහිල්ල ඔය විදිහට යකා නටල ඇති. ඒකනෙ විස්තර දන්නෙ. හරි මයෙ මොකෝ, ඔයාට ඕන එකක් කර ගන්න එකයි ඇත්තෙ."

      ඔන්න යන්තම් එකඟතාවයකට ආව. අර 3 C සංකල්පය තමයි මෙතන මම ක්‍රියාත්මක කලේ.

      Consultation, Compromise And Consensus,

      සාකච්ඡාව,සමෝධානය සහ සම්මුතිය.

      Delete
    2. methana ati 3C sankalpayak newe aiye 2K sankalpayak............

      Kapatikama ha kiyawilla....................

      Delete
    3. Sacheera,

      ඒකත් හරි තමයි බලාගෙන යනකොට...හෙහ්,හෙහ්,

      Delete
  20. ශික් මම හිතුවෙ ඩොසර් වැඩෙ ටිකක් නැගල යයි කියල නේ.අයියො නිකන්ම ශෙප් වෙලා.මොකො උබ කියටවත් ඔය බොතල් ටිකවත් දෙන එකක්ය.
    මටනම් රවි අයියෙ මාර ශුවර් බොට මෙ පාරත් වැඩෙ බකල් වෙනව.ටිචර් යන්නෙ නැ.
    ඔෆිස් එකෙ ඇතුලෙ තනියම හිනා යනකොට මාර අවුල් බන්.

    ReplyDelete
    Replies
    1. Damith,

      / ශික් මම හිතුවෙ ඩොසර් වැඩෙ ටිකක් නැගල යයි /

      පිස්සුද බං? උඹ මේ නැඟල යාමක් කියනව. මම ලේ වතුර වෙලා හිටියෙ. අපි අර කාටවත් කරදරයක් නැති අනේපිඬු සිටාණෝ වගෙ මිනිස්සු නිසා යන්තං වැඩේ ෂේප් උනා.

      / ඔෆිස් එකෙ ඇතුලෙ තනියම හිනා යනකොට මාර අවුල් බන්. /

      මොකද්ද බං අවුල? උඹලගෙ ලොක්ක කැමති නැද්ද උඹල හිනාවෙලා සන්තෝසෙං ඉන්නවට? අනික කස්ටමර්ලට උනත් සිනහ මුවින් යුතුව මුහුණ දුන්නම බිස්නස් උනත් වැඩිවෙනව නෙව. ලොක්ක වලියට ආවොත් කියපං මම කිව්වය කියල..

      රක්සනේ ගැන පොඩි කතාවක් කියන්න ඉඳහං..

      රක්සන කොම්පැනි දෙකක ඒජන්ට්ල දෙන්නෙක් ඔන්න තමන්ගෙ කොම්පැනිවල සේවයේ කාර්යක්සමතාවෙ ගැන පම්පෝරි ගහනවලු.

      " අපෙං රක්සනේ වෙච්චි එක්කෙනෙක් මැරුනව මිනිය වලදාන්නත් ඉස්සරවෙලා අපි චෙක් එක ගිහින් දෙනව වයිෆ් හරි හස්බන්ඩ්ගෙ හරි අතටම " ඔන්න එක්කෙනෙක් කිව්වලු.

      අනිකා ඌට පරදින්න කැමති උනේ නෑ.

      " හෙහ්, ඒක මොකක්ද? අපේ ඔෆිස් එක තියෙන්නෙ තට්ටු බිල්ඩිමක පස් වෙනි තට්ටුවෙ. ඕකෙ විසිවෙනි තට්ටුවෙ හිටිය අපෙං ජීවිත රක්සනයක් ගත්ත මනුස්සයෙක්. දවසක් මිනිහ බැල්කනියෙන් ලිස්සල වැටුන පල්ලෙහාට. අපේ ඔෆිස් එකේ ජනේලෙ පහු කරනකොට අපි චෙක් එක මිනිහගෙ අතටම දුන්න "

      Delete
  21. හෙහ් හෙහ් අපේ එකෙක් හිටියා මුට "ම" යන්න කියවෙන්නේ නැ කියවෙන්නේ "ව"යන්න. මු ඒ හින්දා කවදාවත් "ම" ලිවෙත් නැ. උ කියනවා කියවෙන්නේ නැත්තන් මොන මඟුලටද ලියන්නේ කියලා.
    හැමදාම කියවනවා උඹේ බ්ලොග් එක. එත් ඔන්න මේ දෙවැනි කොමෙන්ට් එකද කොහේදෝ. නැ බන් කම්මැලි කමටත් නෙවේ කියවලා ඇස දෙක පියාගෙන ෆිල්ම් එක බලනවා සැහෙන වෙලාවක් මම දන්නා චරිත ඔය තැන් වලට දාලා.

    ReplyDelete
    Replies
    1. itnishantha,

      අවුලක් නෑ මල්ලි, කියවනවනම් ඒ ඇති..ස්තූතියි :)

      Delete
  22. මේක කීප සැරේකට කියෙව්වේ. මගදී එක එක එව්වා මතක් උනා කමෙන්ට් එකේ ලියන්න. දැන් එකක්වත් මතක නෑ.

    මම ඒත් බැලුවා මේ හැනපියර් බෝතල් කියන්නේ ඒ කාලේ ඩීසල් මැනපු ඒකකයක් කියලා. අනේ අම්මපා...මෙහෙමත් එවුන්..හිහි

    ReplyDelete
    Replies
    1. සයුරි,

      / මේක කීප සැරේකට කියෙව්වේ. මගදී එක එක එව්වා මතක් උනා කමෙන්ට් එකේ ලියන්න. දැන් එකක්වත් මතක නෑ. /

      ඔන්න ඉතිං ඕකනෙ කියන්නෙ..කලින් දවසකත් ඔහොම කියල මම දුන්නු උපදේසෙ මතක නැත ඔහෙට? කමෙන්ට් එකට ලියන්ට ඕන එව්ව වෙනම සටහන් කොර ගන්ට. එහෙම නැතුව බෑ...:)

      Delete
  23. රවී......අනේ මචෝ මගේ නැන්දම්මාත් මටම හම්බවුනු කෙනෙක්. ඇය ගැනනම් වෙනම ලියන්න ඕන. ඒකටත් පින් කරන්න ඕන මචං. ඕනම කෙනෙකුගේ හොඳ පැත්ත හිතන්න, නරක පැත්ත අමතක කරන්න කියන ජීවිතයේ ලස්සනම පාඩම මට කියලා දුන්නේ ඒ ආදරණීය ගැහැණියයි. ඒ දෙදෙනාගේ වියෝව අපේ ජීවිතවලට හරි පාළුවක්.

    මටත් ඔය වැරදි පාර්සල් භාරදීම වෙලා තියෙනවා. එක පාරක් පවුම් 500ක පේමන්ට් එකක් ගෙවන්න කෑශ් තියලා ගියා බොසා. ඒ කම්පැනි එකේම බුවෙක් ආවා මම ඌට දුන්නා.,මෙන්න විනාඩි දහයකින් හරි එකා එනවා. පිස්සු ඩබල් වුනා බන්. එකේ අරයකා හිටිය නිසා, ආපු මෑන් ඌව දන්නවා. කෝල් කරලා ගෙන්න ගෙන වැඩේ සෙට්ල් කරා.

    ඇත්තම කියනවානම් මුකුත්ම නැති උනොත් බ්‍රැන්ඩි බොනවා මිසක්, මම බ්‍රැන්ඩිවලට එතරම් කැමති නැහැ.

    ReplyDelete
    Replies
    1. CCTV එකේ අරයකා හිටිය නිසා, ආපු මෑන් ඌව දන්නවා. කෝල් කරලා ගෙන්න ගෙන වැඩේ සෙට්ල් කරා.

      Delete
    2. අරූ,

      නැන්දම්මා ගැනනම් කියල වැඩක් නෑ බං...වෙනම දවසක ලියන්නම්. කිසි කෙනෙකුට කිසිම දේකට බල නොකරපු තමන්ගෙ දරුවන්ට උනත් ආධිපත්‍යය පතුරවන්ට හීනෙන්වත් නොහිතපු පැත්තකට වෙලා තමන්ගෙ පාඩුවෙ දරුවො ගැන හොයාබලන එක තමන්ගෙ යුතුකම කියල සලකපු ..අර මම කලින් කිව්ව වගෙ පෙරාපු රත්තරං තමයි. නියම ස්පිරිට් එක..:)

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි