Friday, May 27, 2011

සොළොස් වසකට පෙර වෙසක් මසකදී.........2



ඉතින් මීට අමතරව ඔය කාලෙදි ඒ කිව්වෙ මම ඔය විවාහ මංගලෝත්සවේට ලක ලැහැත්ති වෙන කාලෙ සිද්ද වෙච්චි අටෝරාසියක් සුලු සුලු අකරතැබ්බ, හුරස් පරස් තිබ්බ උනාට එව්ව ඔක්කොම මෙතන කියන්ඩ බැරුවා.
ප්‍රධානම සිද්ධිය විතරක් කියන්නම්, හොඳේ, මෙන්න මෙහෙමයි ඒ සීන් එක.



දැං ඔන්න අපි හැමෝම පොඩි කාලෙ ඉඳම්ම ජීවිතේ අපි මේ දේ කරන්නෙ මෙහෙමයි, අර දේ කරන්නෙ අරහමයි කියල චිත්‍රයක් හිතේ මවාගෙන ඉන්නවනෙ. එව්ව පස්සෙන් පහු කරන්ඩ බැරිවෙන එක වෙනම කාරණාවක්.......හෙහ්,.......හෙහ්, වැදගත් දේ එහෙම අපේ හිතේ මැවිල තියෙනව.....ම්ම්ම්, මොකක්ද ඒකට කියන්නෙ?....හරි දැනට කියමු පරමාදර්ශී සිතුවමක් කියල....අන්න එහෙම එකක්.



ඉතින් ඔන්න මගෙ හිතෙත් ඔය අවුරුදු 20-22 පිරිච්ච කාලෙ ඉඳම්ම තිබ්බ ඔන්න ඔය පරමාදර්ශී සිතුවමක් මගෙ විවාහය කෙරෙන්න ඕන මෙන්න මෙහෙමයි කියල.



කොහොමද? , රටේ ලෝකෙ ඔක්කොටම කියල බොරුවට වියදම් කරල හෝටල් වල මහ විසාල උත්සවයක් නම් ගන්නෙම නෑ. ගෙදරම ඔය චාමෙට ලඟම නෑදෑයො කීප දෙනාට කියල පොඩි උත්සවයක් ගන්නව. පහුවදා මගෙ යාලුවො ඔක්කොටමයි, නෑදෑ සනුහරේටමයි ඔන්න හෝටලේක දෙනව කන්ඩ බොන්ඩ නාන්ඩ ඇති වෙනකල්.විශේෂයෙන්ම බොන්ඩ. මොකද මගෙ යාලු
වො එන්නෙ බොන්ඩම බලාගෙන. බොන්ඩ තිබ්බෙ නැත්නම් අනිවාර්යයෙන් උන් කරන්නෙ දෙන්ඩ ගෙනාපු එන්විලොප් එකෙන් කීයක් හරි අරගෙන ලඟ කොහාට හරි ගිහිල්ල මගෙ දෙමවුපියන්ගෙ ගුණ මතක් කර කර හොඳ හැටි ගහල මතක් උනොත් අර එන්විලොප් එක ඉතුරු සල්ලිත් එක්ක දීල,( බොහොම වෙලාවට වෙන්නෙ උන්ට ඒක මතක් වෙන්නෙ පහුවදාට ) ගෙවල් වලට යන එකයි. අනික් වැදගත් කාරණේ මම ඉතින් ඊට පස්සෙ රස්සාවට එහෙම නොගියට කමක් නැහැ.



අනිත් කාරණේ ඔය උඩරට සිරිතක් වන මුලු ඇඳුම් ඇඳිල්ලට නම් මගෙ කොහෙත්ම කැමැත්තක් තිබ්බෙ නැහැ.එදාට විතරක් කුළියට ඇඳුමක් අරන් ඇවිත් අඳින එක කිසිම තේරුමක් නැති මහ විකාර වැඩක් හැටියටයි මට හිතුනෙ. මගෙ කැමැත්ත තිබ්බෙ එදාට ජාතික ඇඳුම අඳින්න. ඔය වාගෙ සිහින මහ රාශියක් මගෙ හිතේ පැළපදියම් වෙලා තිබුන මගෙ විවාහය කෙරෙන්ඩ ඕන ආකාරය ගැන.



ඉතින් මේ ගැන සාකච්ඡා කරන්ඩ මමයි එයයි දවසක හමු උනා එයාලගෙ හිතවත් අක්ක කෙනෙකුගෙ ගෙදරදි.




කේක් කෑල්ලක් කාල, තේ එකක් කාරිය බීල හිට මම බැස්සා මාතෘකාවට රාහු කාලය කාරිය මඟ ඇරල හිට.



"මේ, මම ඔයාට පොඩි කාරණයක් කියන්ඩයි කියල උන්නෙ "



එයා මා දිහාට හැරුන, ඇස් දෙකත් උඩ තියාගෙන. දැන් සෑහෙන කාලයක් ආශ්‍රය කරල එයා දන්නව මගෙ පොඩි කාරණා කොහොම එව්වද කියල.



" මොකක්ද කිව්ව නම් බලන්ට ඔය පොඩි කාරණේ "



" නෑ මේකයි, කළබල වෙන්ට දෙයක් නෑ. අපෙ වෙඩිං එක ගද්දි මම මුලු ඇඳුම් අඳින්ඩම ඕනද? "



" නැතුව එහෙනං, අපෙ පවුලෙ ඔක්කොමල එහෙම තමයි මඟුල් දවසෙ ඇන්දෙ.ඇයි ඔයාගෙ ඒකට මොකක් හරි අකමැත්තක් තියනවද? "



" මම කැමති නෑ අනේ ඒ වැඩේට, ඔය එක දවසකට විතරක් ඇඳුමක් කුලියට අරං අඳින එක මහ විළි ලැජ්ජා නැති වැඩක් කියලයි මට හිතෙන්නෙ "



" ඒ කොහොමද? එතකොට ඔය එහෙම අඳින උදවිය ඔක්කොම විළි ලැජ්ජා නැති අය කියලද ඔයා කියන්නෙ "



ඔන්න ඇහුනෙයි?හොඳට අහගන්ඩ, Feminine Logic නැත්නම් ස්ත්‍රී තර්ක විධි ක්‍රමය කියන්නෙ ඕකට තමයි.



" එහෙම එකක් මම දැන් මෙතන කිව්වද? ඒ අඳින අය විළි ලැජ්ජ තියන අයද නැති අයද කියන එක මට වැඩක් නෑ. මම දන්නෙ මම ඒකට කැමති නෑ. එච්චරයි "



මගෙ කටහඬත් ටික ටික වොලියුම් වැඩිවෙන බව මටම තේරුනු නිසා මම කතාව එහෙම්මම නවැත්තුවා. ඒ කරල ඉස්සරහ ටීපෝ එක උඩ තිබ්බ රෝස මල් පොකුර දිහාවෙ බලාගෙන නිහඬවම ටික වෙලාවක් හිටියා. තවමත් එයාගෙ සද්දයක් නැති නිසා හෙමිහිට ඒ පැත්ත බැලුවා. හෙණ ගහපං, ගණං බලාපං කිව්වලු මෙන්න අඬනවා. අඬනවාම නෙවෙයි. අඬන්ඩ ඔන්න මෙන්න. අඬනවාට හපං ඒක.



තමන් ආදරේ කරන යුවතිය තමන් සමඟ ඇතිවූ සිත් තැවුලක් නිසා දෑසේ කඳුලු පුරවාගෙන සිටින දර්ශනය තරම් සිත් සසල කරවන තවත් දෙයක් ඇත්දැයි මම නම් දන්නේ නැහැ. මොකද මම තවත් ඒ වගේ දර්ශනයක් තියේද කියල හොයන්ඩ ගියේ නෑ ආයෙ කවදාවත්.....හෙහ්.....හෙහ්, එක් වරක් ඒ වගෙ තත්වෙකට මුහුණ දුන්නම ජීවිතේටම ඇතියි කියල මට ඒ මොහොතේම හිතුනා.එවන් අවස්ථාවකට මුහුණ දුන්නෙකුට ඒ පිළිබඳව විස්තර කිරීමට කිසිසේත් අවශ්‍ය නොවන අතර එවන් අවස්ථාවකට මුහුණ නොදුන්නෙකුට ඒ හැඟීම වචනයෙන් විස්තර කිරීමට සමතෙක් ඇත්දැයි මම දන්නේ නෑ. මට නම් ඒ හැකියාව නොමැති බව මම පැහැදිලිවම දනිමි.



චිරාත් කාලයක් මුලුල්ලේ මගේ විවාහයේදී මා සැරසිය යුතු ආකාරය පිළිබඳ මගේ සිතේ මැවී තිබුණු සිහිනය කඳුලු පිරි දෑසක් ඉදිරියේ සැනෙකින් කැප කිරීමට මම තීරණය කළෙමි.



" හරි, හරි, ඕකට ඉතින් අඬන්ඩ ඕනෙද? අඳින්ඩම ඕනෙ නම් මම මුලු ඇඳුම අඳින්නම් "



ඈ, මා දෙස බලා කඳුලු පිස දමමින් සිනාසුනාය. ඇගේ ඒ සිනහව මගේ බොඳවූ සිහිනයේ වේදනාව සැනෙකින් මසිතින් පළවා හැරියේය.



හෙහ්.....හෙහ්......., ඔන්න ඔහොම තමයි මගෙ මංගල්‍යය පවත්වන ආකාරය ගැන ගැන මගෙ හිතේ තිබුණු සිහිනය බිඳ වැටුනෙ. බිඳ වැටුනයි කියනවට වඩා මම කැමතියි ඒ සිහිනය මම ඇගේ සතුට වෙනුවෙන් පරිත්‍යාග කලයි කියල කියනවට.



ඔන්න ඊළඟට ආව විසඳ ගන්න තියන ප්‍රශ්න අංක 2, විවාහ මංගලෝත්සවයේදී මත්පැන් සපයනවාද නැද්ද?කියන ඉතාමත්ම වැදගත් කාරණේ. ඔයිට කලින් අපිදෙන්නගෙ කතාබහ වලදි මම මුට්ටිය දාල බැලුවා. දන්නවනෙ මුට්ටිය දාල බලනව කියන්නෙ මොකක්ද කියල.......දන්නෙ නැත්නම් ලැජ්ජාවට දන්නව වගෙ ඉන්න එහෙම එපා. කියන්න. එහෙම උනොත් ආයෙමත් ඒ ගැනත් පෝස්ට් එකක් ලියන්නම්කො.



ඉතින් මේ මුට්ටි දැමිල්ලට ලැබුනෙ එතරම් ප්‍රසාදජනක ප්‍රතිචාර එහෙම නෙවෙයි.ඒ නිසාම මමත් මුට්ටි දැමිල්ල නවත්තල දැම්මා.



මද්‍යපානය ගැන එයාගෙ හිතේ තිබුනෙ බුදු හාමුදුරුවන්ට පොඩි මිස්ටේක් එකක් වෙලා ආනන්තර්ය පාප කර්ම වලට ඇතුලත් කරන්න තිබුනු එකක්ය මේ පස්වෙනි සිල්පදේ හැටියට දාල තියෙන්නෙ කියල.එයාලගෙ පවුලෙ හැමෝමත් මත් පැන් මතක් කලත් කලන්තෙ දාන සයිස් එකේ කට්ටිය කියලයි මට කතා බහෙන් තේරුනෙ.

ඒත් දැන් තවත් ඒ වැඩේ කල්දාන්නම බැරි අවස්ථාවක් තමයි මේ ඇවිල්ල තියෙන්නෙ.කතාකරල දෙකින් එකක් තීරණය කරන්නම වෙනවා අදම.



මුලු ඇඳුම් ප්‍රශ්නෙ හින්ද එයා හොඳ මූඩ් එහෙක ඉන්න නිසා මට හිතුණා අදම තමා මහා මත්පැන් අර්බුදයත් විසඳා ගන්න හොඳම දවස කියලා.



" මේ.....තව පොඩි කේස් එකක් තියනව. "



එයා මා දිහා බැලුව. කඳුලු නම් දැන් නැහැ.



" බොන්ඩ දෙන එක කොහොමද? "



" අපොයි අපෙ ගෙදර කිසි කෙනෙක් බොන්නෙ නෑ. අප්පච්චි අයියල නෑදෑයො කවුරුත්ම ඒව පාවිච්චියක් නෑ.අනික අපේ ගෙදර තිබ්බ කිසිම උත්සවයකදි අරක්කු දුන්නෙ නෑ.එහෙම කියල කිසිම අඩුපාඩුවක් උනෙත් නෑ. "



" හරි, හරි........... ඔයාලගෙ කට්ටියට බොන්ඩ කියල මම කියන්නෙ නෑ. බොන්නෙ නැත්නම් නිකම් ඉන්න. ඒකෙ කිසිම ප්‍රශ්නයක් නෑ. ඒත් මගෙ නෑදෑයො, විශෙෂයෙන්ම යාලුවො ඒ අයට බොන්ඩ දෙන්නම ඕනෙ. "



" ඔය බොන එක හොඳ දෙයක්ද? මිනිස්සුන්ට දෙන්න ඕනෙ හොඳ දේවල්, "



" හරි, හරි ඔය මිනිස්සුන්ට දිය යුත්තේ මිනිස්සු කැමති දේවල්ද මිනිස්සු ඉල්ලන දේවල්ද කියන එක අවුරුදු තුන්දාහක් තිස්සෙ තාමත් එක තීරණයකට එන්ඩ බැරුව වාද කරන ප්‍රශ්නයක්. දැන් මේ පැය බාගයක් ඇතුලත අපි දෙන්නට ඕකට ස්ථිර විසඳුමක් හොයාගන්න ලැබෙන එකක් නෑ. ඒ නිසා ඒ ප්‍රශ්නෙ පැත්තක තියල වෙඩිං එකේදි අරක්කු දෙනවද නැද්ද කියල සරල ප්‍රශ්නෙට උත්තරේ හොයාගමු , දැනට ඒ ඇති හොඳටම."



" වෙඩිං එක දවසෙ නම් අරක්කු දෙන්නෙ නෑ. මට ඔය ගැන කොහොමත් අපෙ අප්පච්චි එක්ක කතාකරන්න බෑ. "



" හරි එහෙනම් මෙහෙම කරමු. වෙඩිං එක ඔයාලට කැමති විදිහට කරන්න.හෝම් කමිං එකටනෙ මගෙ නෑදෑයො වැඩි හරියකුයි, යාලුවො ඔක්කොමයි එන්නෙ. හෝම් කමිං එකේදි නම් මට අරක්කු දෙන්ඩම වෙනවා. ඒකෙ ආයෙ දෙකක් නෑ. "



" හ්ම්ම්ම්ම්......ඔයාට කැමති දෙයක් කරන්ඩ, අනික කල්පනා කරන්ටකො, අරක්කු දෙන්න ගිහාම වියදම උනත් සුලු පටුද? "



" නෑනෙ, අරක්කු නොදෙනවානම් තමයි මට වැඩි පුර වියදම් යන්නෙ, "



" ඈ......ඒ කොහොමද ඒ?" එයාහෙ ඇස් දෙකත් ලොකු උනා. කටත් ඇරුන බාගෙට.



" ඒක වෙන්නෙ මෙහෙමනෙ, දැන් මගෙ යාලුවො එනවා බොන්ඩ බලාගෙන, බඩු නැති උනාම උන් ටික අනිවාර්යයෙන් හෝටලේ දොර ජනෙල් වල එක වීදුරුවක් නෑර කුඩු සංසාර කරනවා. එතකොට ඒකෙ අලාබෙ ගෙවන්ඩ වෙන්නෙ කාටද? වෙන කාටද මේ මට, ඉතිං මට ඊට ලාබයි එවුන්ට අරක්කු දෙන එක. ඒත් එවුන් අන්තිමට වීදුරුවක් දෙකක් නම් කොහොමත් කුඩු කරයි. එහෙම නූනොත් ඒ බොන්ඩ දෙන එකෙන් ඇති වැඩකුත් නෑ.ඒත් වැඩේ ලාබයි මට. "



එයාට බකස් ගාල හිනා ගියා." හා....හා.....මරු යාලුවො ටිකක් නෙව ඉන්නෙ.ඔයත් මට පේන්නෙ කලින් මඟුල් ගෙවල් වල ගිහිල්ල ඔය විදිහට යකා නටල ඇති. ඒකනෙ විස්තර දන්නෙ. හරි මයෙ මොකෝ, ඔයාට ඕන එකක් කර ගන්න එකයි ඇත්තෙ."



ඔන්න යන්තම් එකඟතාවයකට ආව. අර 3 C සංකල්පය තමයි මෙතන මම ක්‍රියාත්මක කලේ.



Consultation, Compromise And Consensus,

සාකච්ඡාව,සමෝධානය සහ සම්මුතිය.



ඉදින් පිය සබඳ,මීට හරියටම සොළොස් වසරකට ඉහත වෙසක් පුන් සඳ මුදුන්වී දෙදිනක් ගෙවුනු ඉක්බිති ඇගේ සහ මගේ සරණ මංගල්‍යෝත්සවය දෙපාර්ශ්වයේ නෑදෑ හිතමිතුරන් මධ්‍යයේ පැවත්වුණු වග මෙසේ සටහන් කර සිටුම්හ.


මම ඔය ෆොටෝ එකට බොහොම සිරියාවන්ත විදිහට හිනා වෙලා හිටියෙ. ෆොටෝග්‍රෆර් කියාපි මුලු ඇඳුම් ඇන්දම හිනාවෙන්නෙ නැත. ගාම්බීර විදිහට ඉන්න ඕනය කියල. මම ඉතින් ඔය මම දන්න විදිහට ගාම්බීර කමට හිටිය හැටි තමයි.ගාම්භීර කොහොම වෙතත් හීනෙන් බයවෙල වගෙ කියලයි මට නම් හිතෙන්නෙ,.....හෙහ්, හෙහ්.....ඔයාලට මොකද හැබෑටම ඒ ගැන හිතෙන්නෙ කාරිය?


පිපුණු මල් ගොමු කුමකටද මට,
ඔබ අදත් හද පිපි මලයි,
ගලන දියරැළි කුමකටද මට,
සිහිල් දිය දෝතත් ඔබයි,

ඔබේ සෙනෙහස එදා වාගෙම,
අදත් මා හද සුවඳමයි,

තරු පිරුණු රෑ අහස කුමටද?
දිලෙන රන් තරුව ද ඔබයි,
නිල් නෙලුම් පිපි උයන් කුමටද?
හද විලේ නෙලුමත් ඔබයි,

ඔබේ සෙනෙහස එදා වාගෙම,
අදත් මා හද සුවඳමයි
,

Tuesday, May 24, 2011

73. මම දුර ඈතක.............. නෝනා ලඟ පාතක............


නෝනේ..................

නෝනා හරිම හැඩකාරයි - ඒ වගේම දඟකාරයි

සුසිනිදු දිදුලන වරලසක්ලු - සුසිනිදු සුදු මුදු සමක්ලු

ලඟට ඇවිත් අතගා බලන්න - කෙනෙකුට ආසාවක් දැනෙනවාලු


නෝනේ.....................

මං නං මහ හඩු පාටයි - ඒ වගේම හරි මෝඩයි

හැඩපළු ගෙතිච්ච කෙස් කැරැල්ල - කොරළ පිපුනු ගොරහැඩි සම

ලඟට ඇවිත් අතගා බලන්න - කෙනෙකුට ආසාවක් නැතුවානේ


නෝනේ.....................

කොළඹ රටට ලඟපාතක - උපන්න නුඹ සුකොමාළව

පිට කවරේ ඉඳන් හැඩට - පානා ලස්සන හිනාවකට

අසුරු සැනින් එක මොහොතට -දහසින් බැඳි පියලි ලැබුවට

උපන්න මම දුර ඈතක - අති දුෂ්කර පලාතක

කවරේ තුල දවස පුරා - දහදිය බිඳු ගඟක් සදා

සතෙන් සතේ එකතු කරන් - රුපියල් ලබනා (ක්)අරුමය





නෝනේ............ නෝනා මගේ නංගිගේ වයසේ ඇති............ ඒත් නංගියේ කියන්න බැරි තරමට........................

Thursday, May 19, 2011

හද කම්පාකල නික්මයාමක්..............




සුපුල් විකසිත වන්ට පෙරදිම,
පරවු අරවින්දයකි මල ඔබ,
සසර පෙර කල අකුසලක්විද,
නික්ම යන්නට කිමද කාරණ,

නුදුටුමුත් කිසිදිනක ඔබ රුව,
සදා සොයුරකු වීය අප හට,
නිවෙන්නට පෙර තිරය අවසන,
පහන් සිල එළි කරයි දසතම,

හදේ සෝ දුක් සුසුම් නැගෙනා,
නෙතඟ උණු කඳුලැල්ය ගලනා,
බුදුන් පාමුල වැතිර පතනා,
පැතුම මෙලෙසයි සදා බැතිනා,

සසර මඟ ඔබ පැතුම් සැමදා ඉටු වේවා!
නැවත අප අතරම විගස ඔබ ඉපදේවා!
අකල් වූ මරණයක් ඔබ හට නොවේවා!
සසර කෙලවර නිවන් සුවයෙන් නිවී සැනසේවා!

Monday, May 16, 2011

සොළොස් වසකට පෙර වෙසක් මසකදී.........1





මම කාලෙකට ඉස්සරවෙලා කිව්ව මතකද මට අර එක්කෙනෙක් හමු උන විදිහ බස් එකේදි? ම්ම්ම්..... ඔව්, මාස පහකට විතර කලින්.නෑ...නෑ.....ළමයිනේ මාස පහකට විතර කලින් කිව්වෙ එයා හම්බවුනේ මාස පහකට විතර කලින් කියල නෙවෙයි........මම ඒ කතාව කිව්වෙ මාස පහකට විතර කලින් කියලයි මම මේ කිව්වෙ, වරදවා වටහා ගන්න එපා. Don't Misunderskirt , Okay? හරි එතන ගැටලුවක් නැහැනෙ, හරි,

කතාව කිව්වෙ කොටස් දෙහෙකින්.

අතීතාවර්ජන.....1

අතීතාවර්ජන.......2

හරි ඔන්න ඉතින් ඔය ආදර කතාව ගලාගියා අවුරුදු දෙකකට කිට්ටු කාලයක්. දෙගොඩ තලා ගලා ගියයි කියන්නත් බැහැ, නිවී සැනසිල්ලෙ නදී තොමෝ ලතාවකට බැස ගිය පරිදි නිවී හැනහිල්ලෙ ගලා ගියා කියන්නත් බෑ.

පොඩි පොඩි ඔය බාධක නොතිබුනාමත් නෙවෙයි. හැබැයි අපරාදෙ කියන්න බෑ ඒ බාධක ආවෙ මේ අපේ මනුස්සලෝකෙන් නම් නෙවෙයි ඔන්න. උදලු මුල්ලු, අලවංගු දැම්ම තරමක් දැම්මෙ උඩ ඉන්න කට්ටිය....... දෙයියොමත්ම නෙවෙයි ඔය......ඉන්නෙ ග්රබහ තාරකා කියල කට්ටියක් අන්න ඒ අය. හෙහ්........හෙහ්,

අර ටී.වී. ප්රෝ ග්රෙම් එකක් එහෙම තියෙනව නේද පාර කියන තාරකා, කියල, බලල ඇතිනෙ නේද?

මොන පාර කිවිල්ලක්ද, ඔය තාරකාය කියන මගෝඩියො බැලුවෙම මගෙ පාර වහල දාන්ඩ, හෙහ්.......හෙහ්.....අපි නම් සැලෙයි එව්වට...නැද්ද?

වැඩේ ඉතිං මම නොසැලුනාට අපේ මූලස්ථානය, නැත්නම් Headquarters,අපෙ මව් තුමී ටිකක් ඔය තාරකා අර්බුදය නිසා දෙගිඩියාවෙන් හිටියෙ.අන්තිමට බැරිම තැන මම මේ තාරකා පලහිලව්ව කිව්ව මගෙ හොඳම යාලුවෙක් හිටිය ඔය දවස්වල අපෙ ගෙවල් කිට්ටුවම, මහින්ද කියමුකො නම, මහින්දගෙ තාත්තට. හරිම නිවිච්ච සාධාරණ දැනුම් තේරුම් ඇති මනුස්සය. මම අදටත් හදවතින්ම ගරු කරන පුද්ගලයෙක්.

" ඉන්නකො පුතා මම කියන්නම් ඕකට කරන්න ඕන හොඳම වැඩේ.මගෙ හොඳම හිතවත් හාමුදුරු කෙනෙක් ඉන්නව. ඔය පොරොන්දම් බැලිල්ලට හරිම ප්රේසිද්ධයි. ඒ වගේම ඒ මත්තෙම රැඳිල ඉන්න කෙනෙකුත් නෙවෙයි. හරිම සාධාරණ ප්රලශ්නයක් තේරුම් ගන්න පුලුවන් මනුස්සයෙක්. අපිට හොඳ පිළිතුරක් හොයා ගන්න බැරිවෙන එකක් නැහැ" මයෙ හිත ඩිංගක් විතර සමහන් උනා ඒ පිළිතුරෙන්.

ආ ඔය මම කියාපු මහින්දගෙ තාත්ත ගැන තව ලස්සන කතාවක් තියනව. ඒකත් කියලම ඉම්මුකො.මහින්ද තාත්ති කියාපු නිසා අපිත් ඔක්කොම කතාකලේ තාත්ති කියලයි.

මුලින්ම ඔන්න මම මහින්දලගෙ ගෙදර ගිය දවස.අපෙ තව යාලුවො දෙන්නෙකුයි,මමයි,ඔන්න පොඩි කර්මාන්තයක් කරන්න ලෑස්ති වුනා ගෙදර ඉස්සරහ කාමරේ.දන්නවනෙ කර්මාන්ත.......කිව්වම නේද?, මේ.......වෙන මොකවත් නෙවෙයි කොකා කෝල ටිකක් බොන්න. ඔය කොකා කෝල කියන ජාතිය තියනව නේද?..........අප්පොච්චියේ නීට් බොන්නම බැහැ නෙව. වමනෙට එනව. ඒ නිසා අපි කරන්නෙ ඔය තව මොනව හරි බීම වර්ගයක් ෂැන්ඩි කර ගන්න එකයි..... ඒ කිව්වෙ මිශ්රඑ කර ගන්න එක. එදා මට මතක විදිහට අපි ගෙනාවෙ බ්රැින්ඩි බෝතලයක්ද කොහෙද ෂැන්ඩි වලටෙයි කියල.

මහින්දයි තාත්තයි දෙන්නම හොඳ කර්මාන්ත කරුවො උනාට,උඩරට වැදගත් පරම්පරාවකින් පැවතෙන උදවිය නිසාවෙන් දෙන්න සමගාමීව, ඒ කිව්වෙ එකට කර්මාන්තෙ කරන්නෙ නැහැ. එහෙම කරන එක අපේ සිංහල බෞද්ධ හැදියාවට ගැලපෙන්නෙ නැහැනෙ...... එකඟයි නේ මගෙ කතාවට නේද? මොන මොන දේ කලත් අපෙ හැදියාව කියන එක ඉතා වැදගත්. දිවි හිමියෙන් අන්න ඒක ආරස්සා කොර ගන්න එපාය. හරි......හැදියාව ගැන ඒ ඇති දැනට........ඉතිං ඔන්න ඉස්සරහ කාමරේ කර්මාන්තෙ සූදානම් කරල අපෙ මිත්තරය, ඒ කිව්වෙ මහින්ද ගියා " වොෂ් එකක් දාගෙන එන්නම්, මචං එතකල් උඹල වැඩේ පටන් ගනිල්ල" කියල.

තාත්ති ඉතින් ඔය වෙලාවෙ සාලෙ පත්තරයක් බල බල ඉන්නව. අපෙ එකෙක් දොර රෙද්ද මෑත් කරල කතා කලා"තාත්ති, එන්නකො පොඩ්ඩක්" කියල. අනේ තාත්තිත් ආව. අපි කොකා කෝල බෝතලේ කඩල එහෙම වැඩේට මුල පිරුව.වීදුරු උඩට උස්සල හෙමිහිට තට්ටු එහෙම කරල.......දන්නව නෙව, පළපුරුදු උදවිය, තාත්ති සව්දිය පිරුවා "එහෙනම් පුතාල, දිව්ය. ඖෂධයක් වේවා!!! " කියල, ඒ කරල......ඉතින් .....වෙන මොනව කරන්නද.......... බිව්වා.



ඔහොම කොකා කෝල වඩි දෙක තුනක් අරගෙන, විස්තර එහෙම කතා කරකර ඉඳල, මහින්දගෙ කටහඬ ඇහෙනකොට " පුතාල එහෙනම් වැඩේ කරගෙන යන්න, මම පස්සෙන් පහු ආයෙ එන්නම්කො " කියල තාත්ති ගියා එලියට. මහින්ද ආව. " අප්පට සිරි, උඹල වැඩේ පටන් අරගෙන තියෙන්නෙ. හරි......හරි.......ගනිං මටත් වීදුරුවක් " කියල ඔන්න රටේ නැති වල් පල් කතා කර කර, අපි කර්මාන්තය කරගෙන ගියා.

ටිකකින් මහින්ද එළියට ගියා, තාත්ති ආයෙම සාලෙ පත්තරේ බලනව.ඔන්න දැන් මෙහෙමයි දෙබස.

" තාත්ති අර මගෙ යාලුවො තාත්තිව අඳුන ගන්න ඕනය කියනව. පොඩ්ඩක් කාමරේට ගියානම් "

" ආ හරි, හරි ලොකු පුතා, මම ඒ ගොල්ලව අඳුනා ගත්ත ටිකකට කලින්. පුතා අඳුනා ගන්නකො. තව ටිකකින් මට ආයෙම බැරිය අඳුනා ගන්න "

හිනා වෙල පණ ගියෙ නැතුව විතරයි අපෙ. ඔය කතාව තාත්තයි පුතයි දෙන්නම ෆුල් සීරියස් කිව්වෙ.........හෙහ්,......හෙහ්,

මහින්ද ආපහු ආව කාමරේට. " උඹල නිකම් වත් කිව්වෙ නෑ මට තාත්ති මෙතනට ඇවිත් ගියේ කියල නේද? "

" කියන්ඩ උඹ ඇහුවයෑ, ඇහුවනම් අපි කියනවා "

ඔන්න ඔහොමයි මම මේ කියන තාත්තිගෙ විස්තරේ.

ඉතින් ඔන්න සතිඅන්තෙක අපි දෙන්න, ඒ කිව්වෙ තාත්තියි මායි ගියා මේ මහා බාරදූර කර්තව්යමයට. ම්ම්ම්ම්........බාරදූර කියන්ඩ එන්නෙ භ යන්න......ද?.....නැත්නම් නිකම්ම බ යන්න ද? හරි...හරි.......මොක උනාම මොකද...... නැද්ද? කෝකටත් භ කියල දාමුකො......හරි........භාරදූර කර්තව්ය්යට. මගේ ජීවිතේ.........ගමන් මඟ තීරණය වෙන හැරවුම් ලක්ෂ්යනයක් තමයි එදා. සිංහලෙන් කිව්වොත් ටර්නිං පොයින්ට් එකක්.

" මොනවද තාත්ති ගෙනියන්ඩ ඕනෙ? "

" මොකවත් ඕන නැහැ පුතා, මම බුලත් අතක් ලෑස්ති කරල ගෙනාව, ඔය රුපියල් පණහක් වාගෙ තිබ්බ නම් ඇති. කේන්දර කොපි දෙක ගෙනාවද?........ හරි එහෙනම් යමුකො දවල් වෙන්ඩ ඉස්සරවෙලා "

අපි කන්ද නැඟල ආවාසෙට යනකොට දෙතුන් දෙනයි හිටියෙ. පැත්තක තිබිච්ච බංකුවෙ වාඩිවෙලා අපේ වාරෙ එනකල් හිටියා. එක්කෙනා එක්කෙනා ඇතුල් කාමරේට යනවා. විනාඩි පහළහකින් විස්සකින් වාගෙ පිට වෙලා යනවා. ඔන්න අපේ වාරෙත් ආව.

" යමු පුතා ඇතුලට, ඔය බුලත් අත පුතාම පිළිගන්වන්ඩ හාමුදුරුවන්ට " තාත්ති ඉස්සරවෙලා ගියා ඇතුලට. මමත් ඒ පස්සෙන්.

හාමුදුරුවො මම හිතාපු තරම් වයස නෑ. කලුවර කවිච්චියක ඉඳගෙන හිටිය පැත්තකට හැරිල.ඉස්සරක මිටි මේසෙක උදේ ඉඳල ලැබුනු බුලත්,පලාපල විස්තර ලියාපු කොටුරූල් පොත් මහ ගොඩක්.

තාත්ති ඉස්සරවෙල වැඳ නමස්කාර කලා. මම ඊළඟට බුලත් අතත් පිළිගන්වල වැන්දා. හාමුදුරුවො බුලත් අත අරගෙන අර මිටි මේසේ උඩම තිබ්බා.ඊට පස්සෙ තට්ටෙ එහෙම පිරිමදිමින් කතා කලා.

" අපෙ මහත්තය බොහොම කාලෙකින් නෙව, දැන් දකින්නෙත් කලාතුරකින් "

" කාලෙකින් මේ පැත්තෙ එන්ඩ උනෙත් නෑ අපෙ හාමුදුරුවනේ, අද නම් ආවෙ........මේ පුතාගෙ වැඩකට,..........මේ අපේ ලොකු පුතාගෙ යාලුවෙක්,........පොරොන්දම් ගැලපීමක් බලාගන්ඩය කියලා ඔබ වහන්සෙට කියල "

මම කේන්දර දෙක දීල එකත්පස්ව පැත්තකට උනා.

" හ්ම්ම්ම්ම්ම්ම්......ඉඳගමු, ඉඳගමු...." හාමුදුරුවො ජනේලෙ අයිනෙ තිබ්බ මිටි පුටු දෙකක් පෙන්නුවා. තාත්තියි මායි ඔන්න ඉඳගත්ත. ඔහොම ගියා පැය බාගෙකට කිට්ටු කාලයක්. මම ජනේලෙන් එලියෙ පේන බුදුගෙයි වහලෙ පරෙයියො එහෙ මෙහෙ දඟලනව බලාගෙන හිටියා. කාමරේ ඇතුලෙ සද්දෙකට ඇහුනෙ කවිච්චියට එහා මුල්ලෙ තිබුනු පංකාව වටේට කරකැවෙමින් හුළං විදින සද්දෙ විතරයි.

අන්තිමේ හාමුදුරුවො ගනන් හැදිල්ල අහවර කරල කෙලින් වෙලා කවිච්චියෙ හේත්තු උනා.

" මහත්තයා......මේ......පොරොන්දම් වල නම් නොගැලපීමක් ඇත්තටම තියෙනව,....ඒත් ඒක ලොකුද පොඩිද කියල තීරණය වෙන්නෙ ඔය දෙන්න.....ඒ කිව්වෙ මහත්තයයි ඒ නෝනයි මේ ගැන හිතන විදිහට, නැත්නම් මේ තත්වෙ බාරගන්න විදිහට තමයි.හිතනෙ මහත්තය ඔය ඔක්කොටම මුල. හිතට කරන්න බැරි දෙයක් නෑ." හාමුදුරුවො කේන්දර දිහා බලාගෙනමයි ඔය ටික කිව්වෙ.

" ඒ කිව්වෙ හාමුදුරුවනේ? "

" ඒ කිව්වෙ........හොඳයි මම මෙහෙම අහන්නම්කො, මහත්තය මේක යෝජනාවක්ද එහෙම නැත්නම්....................... " හාමුදුරුවො මා දිහාට හැරිල ඇහැව්වා.

" යෝජනාවක් නම් නෙවෙයි හාමුදුරුවනේ " මම බිම බලාගෙන යන්තමට හිනාවෙන ගමන් කිව්ව,

" අන්න ඒක තමයි මම කියන්නෙ, පොරොන්දම් ගලපල බලද්දි පොඩි පොඩි ප්රටශ්න තිබ්බට, ඒ ඔක්කොම හිත කියන එකට යටයි.මහත්තයට එක හිතින් ඉන්න පුලුවන් නම්, ඒ නෝනත් එහෙම නම්, වෙන මොනවද තියෙන ප්රටශ්නෙ? " හාමුදුරුවො කිව්වෙ ඔලුවත් හොල්ලන ගමන්,

" ඒකනම් ඇත්ත හාමුදුරුවනේ..................... " මම තාත්තිගෙ මූණ බැලුවා.

තාත්ති අත්දෙක දණිසට බරකරල ඉස්සරහට බර උනා"අපෙ හාමුදුරුවනේ මෙතන ඒ උනාට මේ නොගැලපීම අනික් අයට ප්රුශ්නයක් වෙයි නේද? "

" ආ, ඒක එච්චර දෙයක් නෙවෙයි, මම පොරොන්දම් ගැලපීම් විස්තරේ මෙහෙම ලියල දෙන්නම්කො, සුලු නොගැලපීමක් තිබුනද ප්රෙබල ගැලපීම් හේතුවෙන් විවාහයට සුදුසුයි කියල, බොරුවකුත් නෙවෙයිනෙ මහත්තය.හිත් ගැලපෙනව නම් ඊට වඩා ආයෙ අහවල් පොරොන්දම්ද " හාමුදුරුවො හිනා වෙවී කිව්ව.

අපි දෙන්නට හාමුදුරුවො තේ දෙකකුත් ගෙන්නල දුන්න. තාත්තියි හාමුදුරුවොයි පරණ ආගිය කතා කතාකරකර තව ටික වෙලාවක් හිටිය. ඒ කරල අපි යන්ඩ නැඟිට්ට.

" හෙට උදේ මේ වෙලාවට වාගෙ එන්ඩකො, මම විස්තරේ ලියල තියන්නම්" අපි වඳිනකොට හාමුදුරුවො කිව්ව.

" දැන් හරිනෙ පුතා වැඩේ, හෙට උදේ පුතා ඇවිත් පොරොන්දම් විස්තරේ අරන් යන්න, නැත්නම් මට උනත් ඇවිත් ගතෑකි. මොකෝ මහ දුරක්ය? " තාත්ති කිව්වෙ අපි කන්ද බහින අතරෙ.

" ආපෝ ඕන නෑ තාත්ති කරදර වෙන්න එපා. මම එන්නම් "

පහුවදා මම ආවා. පොරොන්දම් විස්තරේ අර ගත්තා.හාමුදුරුවොත් ඒ කියාපු විදිහටම ලියලත් තිබුනා. එතනින් පස්සෙ ග්රිහ තාරකා වලින් තිබ්බ කරදරේ නැතිවෙලා ගියා. සියලු කටයුතු සාර්ථකව කෙරුනා. පොරොන්දම් වලට වඩා හිත තමයි වැදගත් කියල හාමුදුරුවො කියාපු කතාව ඇත්තම ඇත්ත කියල මට අද වෙනකොට බයනැතුව කියන්ඩ පුලුවන් කියල විතරක් කිව්වම ඇති නේද හොඳටම.



මතු සම්බන්ධයි...............






























Friday, May 6, 2011

සෙනෙහස මගේ, මහ මෙර වගේ......5 - ජීවිතයම අතැඟිලි අතරින් ගිලිහී යනු විපිළිසරව බලා සිටියෙමි.









මම මොනවත්ම කිව්වෙ නැහැ.රන්බණ්ඩා ඒ ප්‍රශ්නෙ ඇහුවෙ මගෙන් උත්තරයක් බලාපොරොත්තුව නොවෙන බව මම දන්න නිසයි ඒ.



එතනම දොරකඩ ගාව මල්ලි වැටිල හිටිය.පිහි ඇනුම් තුවාල වලින් ඒ වෙනකොටත් ලේ ගලන එක නතර වෙලා
මම එහෙම්මම කෙලින් වෙලා බිත්තියට හේත්තු වෙලා මල්ලි දිහාවෙ ටික වෙලාවක් බලන් ඉඳල ඔලුව උස්සල මලී දිහා බැලුවා.



ඒකි හෙමිහිට මා ලඟ වාඩිවෙලා මගෙ පපුවට ඔලුව තියාගත්ත. මලීගෙ ඉසකෙස් වලින් හමනා සුවඳින් මගෙ පපුව පිරෙද්දි මට හිතුනෙ මේ මොහොත ගැන මම කොච්චර හීන දකින්න ඇතිද, ඒත් අන්තිමට ඒ අවස්තාව ආවෙ මොන තරම් නොහිතපු විදිහකටද කියලයි." මහත්තයට නැත්ද ඒ වගෙ සිදුවීම් වලට මූණ දුන්නු අත්දැකීම්? "
" ඔය කියන විදිහෙම නම් නෙවෙයි, ඒත් නැහැමයි කියන්නත් බැහැ රන්බණ්ඩා, ඉතිං ඊළඟට? "



" ඔහොම බිම් කලුවර පාත් වෙනකල්ම, අපි දෙන්න එහෙම්මම හිටිය. ඒ හිටපු කාල සීමාව මගෙ ජීවිතේටම මට අමතක වෙන්නෙ නැහැ මහත්තය මම අවුරුදු සීයක් ජීවත් උනත් "



අන්තිමටම මලී ඔලුව උස්සල, කඳුලු පිරුනු ඇස් වලින් එක එල්ලේ මා දිහා බලාගෙන ඉඳල හෙමිහිට ඇහුව," ඇයි මයෙ අයියෙ අපිට මෙහෙම උනේ? මේ වෙන්ඩ තිබ්බ හොඳම විදිහ කියලද අයිය හිතන්නෙ?" කියල



" හොඳම විදිහද නැද්ද කියන එක තීරණය වෙන්නෙ මලී අද නෙවෙයි, තව අනාගතයේ දවසක.සමහරවිට ඇත්තටම මේ හොඳම විදිහ වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්, කවුද හරියටම ඒ ගැන දන්නෙ. එකම දෙයක් නම් ඉස්තිරයි. මේ තමයි වෙන්න නියම වෙලා තිබ්බ විදිහ. වෙන විදිහක් නැහැ. අපිට ඉතින් ඒක පිළිගන්නව ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ"



" මේ හැම දෙයක්ම උනේ මගෙ වැරැද්දෙන් කියලයි මම නම් තාමත් කියන්නෙ " මලී කිව්වෙ කම්මුල් දිගේ ගලන කඳුළු පිහදාමින්,



" නෑ, ඒකටත් මට කියන්න තියෙන්නෙ මේ තමයි වෙන්න නියම වෙලා තිබුනු විදිහ, එච්චරයි "



බිම් කලුවර ගෙට ගොඩ වෙද්දි අපි දෙන්න අවසන් වතාවට එකිනෙකාගෙ ඇස් දිහාවෙ බලාගෙන එතනින් නැඟිට්ටා. ඊට පස්සෙ ඒත් පළවෙනි සහ අන්තිම වතාවට මම මලීගෙ නලල සිප ගත්තා.මලී මොනවත් කිව්වෙ නැහැ. හීන් ඉකි බිඳුමක් විතරක් එයාගෙන් පිට උනා.එදා මම ගමේ යන්ඩ පිටත් වෙච්චි වෙලාවෙ වගේම "මලී, මම යන්නම්" කියල කිව්වා. ඒත් එදා වගේ නෙවෙයි මේ තමයි අවසානය කියල මමත් දැනං හිටිය, එයත් දැනං හිටිය. ඒ කරල අඩ අඳුරෙම මම එළියට බැස්සා.



මේ වෙනකොට රෑ දොලහත් පහුවෙලා මයෙ හිතේ. ටිකක් හීතල ගතියකුත් අවටින් දැනෙන්න පටන් අරන් තිබුනා. දන්නෙම නැතුව දෙවෙනි බෝතලෙත් සෑහෙන්න ඉවර වෙලා.රන්බණ්ඩා තව පොඩ්ඩක් වීදුරුවට වක්කරගන්න ගමන් මගෙ දිහා බැලුව. "නැහැ, මට එපා, ඔක්කොම දාගන්න, තව ඕන නම් තව එකකුත් තියෙනව " මම කිව්ව. මගෙ කටහඬ මටම ඇහුනෙ හීන ලෝකෙක ඉඳන් කතා කරන හඬක් වාගෙ.මට හිතුනෙ මම තාම පියවි ලෝකෙට ඇවිත් නැහැ වගේ කියල.



ඉතිරි හරිය දැන ගන්ඩ මට ලොකුවට ඕන කම තිබ්බට මම රන්බණ්ඩගෙන් ඇහුවෙ නැහැ. මිනිහටම කතාව ඉවර කරන්ඩ දීල මම බලා හිටියා.



" නඩුව තිබ්බෙ නුවර උසාවියෙ.ආත්මාරක්ෂාවට කියල ආණ්ඩුවෙන් මට කතාකරපු පෙරකදෝරු මහත්තය තර්ක කලාට අවුරුදු විස්සකට මම හිරේට නියම උනා. කොහොමත් නඩුව ඇහෙන දවස් වල මම හරි සිහියකින් හිටියෙ නැහැ මහත්තය, උසාවිය, නඩු කාරය, පෙරකදෝරුවො ඔක්කොම මට නිකම් හීනෙන් වගෙ තමයි මතක,අවුරුදු දොලහක් හිරේ ඉඳල අද පොසොන් හින්දා නිදහස් කරපු හිරකාරයො ගොන්නට මාවත් අයිති උනා.අද උදේ තමයි මම බෝගම්බරින් නිදහස් උනේ මහත්තය "



තව අරක්කු තිබ්බට බොන්ඩ අපි දෙන්නටම ආයෙ පිරියක් තිබ්බෙ නැහැ. එහෙම්මම හඳ එළිය, අඳුර, කණාමැදිරියන්, දිහාවෙ බලාගෙන ගත වෙච්ච විනාඩි දහයකට පාළහකට පස්සෙ මම හීනෙකින් අවදිඋනා වගෙ පුටුවෙන් නැගිට්ට.



" රන් බණ්ඩ, බත් ටිකක් කමු නේද? "



" කාරියක් නැද්ද? මටත් නම් බඩගින්නකුත් තියනව, දවල්ටත් හරි හමං කෑමක් නැහැ "



" හපොයි පිස්සුද, ඉන්න මම බත් එකක් අරන් එන්නම් "



මම බත් පිඟන් දෙකක් බෙදාගෙන ඇවිත් රන්බණ්ඩට එකක් දුන්න. හෙමිහිට හෙමිහිට බත් කාල ඉවර වෙලා රන්බණ්ඩ නැඟිට්ට.




" මම යන්නම් මහත්තය, මම මේ කතාව මෙහෙම සහසුද්දෙං කාටවත්ම මීට කලියෙං කියාල නැහැ. කොටිම්ම මා වෙනුවෙං කතාකරපු පෙරකදෝරු මහත්තයටත් මම මේ විස්තර ඔක්කොම කියැව්වෙ නෑ.ඒත් මොන දෙයක්ද මටම හිතාගන්ඩ බෑ, මහත්තය දැක්කම මට හිතුන පළවෙනි පාරටයි අන්තිම පාරටයි මගෙ මුලු කතාවම මහත්තයට කියන්ඩ ඕනය කියල "



" රන්බණ්ඩ දැන් කොහෙද යන්නෙ? දැන් මෙහෙ ඉඳල උදේ යන්න "



" බෑ මහත්තය බොහොම ස්තූතියි, ඒත් මම දැන්මම යන්න ඕනෙ, හඳ එළියත් තියනවනෙ.මම දැන් මයෙ ගෙදර යන්නයි යන්නෙ. අපෙ අප්පොච්චි එහෙම ඉන්නවාද දන්නෙත් නැහැ. මම ඒ අයට කිව්ව මාව බලන්න එන්න එහෙම එපයි කියල. අප්පොච්චි හිටියා නැතා මම ගමේ ඉන්නෙ නැහැ මහත්තය, ඊටත් එහා අන්න අර කන්දෙ තියෙන ආරණ්‍යයට යන්නයි මගෙ කල්පනාව"




" මගෙ ජීවිතේ දැන් වැඩි බලාපොරොත්තු කියල දෙයක් නෑ මහත්තය. හෙට දවස ඔහෙ කාටවත් කරදරයක් නොවී ගත කර ගත්තොත් ඊට පස්සෙ අනිද්ද ගැන හිතන්නෙ අනිද්දට. ඔන්න ඔහොමයි මම දැන් දවසින් දවස තමයි ජීවිතේ ගත කරන්න හිතාගෙන ඉන්නෙ.අපි ඉපදෙනකොටම අපේ ඉරණම තීරණය වෙලයි තියෙන්නෙ මහත්තය ඒ ගැන අකම්පාල විස්සෝප වෙලා වැඩක් නැහැ.මම යන්නම් මහත්තය, මහත්තය මට මුණ ගැහුනෙත් මම හිතන්නෙ මගෙ ඉරණමේ ලියවිලා ඇති.අපි ආයෙම හම්බ වෙන එකක් නැහැ මහත්තය.බොහොම පිං, මහත්තය කරපු උදව් වලට "



මමත් රන්බණ්ඩ එක්ක වැට ගාවටම ගියා.



අන්තිමට කම්බි වැටෙන් පැනල රන්බණ්ඩා " යන්නම් මහත්තය එහෙනම් " කිව්ව.



" ආ, රන්බණ්ඩ, මලීට මොකද උනේ කියල කිව්වෙ නැහැනෙ නේද? "



" මම හිරේ ගිහිල්ල සතියකට පස්සෙ, ඒ කෙල්ල වහ බිව්ව මහත්තයා " මේ කතාව කියද්දි කිසිම විටක මම නොදුටු කඳුලු බිඳු දෙකක් රන්බණ්ඩගෙ දෑසින් ගිලිහිල කම්මුල් දිගේ ගලා හැලුනා.




------------------------------------------------------------------------------------------------




රන්බණ්ඩා විසින් එක් පුන්සඳ පෑයූ නිසල රාත්‍රියක පූර්ව යාමයේ මා සමඟ පැවසූ පරිදි ඔහුගේ ශෝචනීය වූ කථාව මම මෙසේ ඔබ වෙත ඉදිරිපත් කලෙමි. මේ සිදුවීම් පිළිබඳව වගකිව යුත්තන් නොහොත් වැරදි කරුවන් නිශ්චය කිරීමට මම කිසිම විටක තැත් නොකලෙමි. ඒ මම රන්බණ්ඩා පැවසූ ලෙසම ඔහුගේ කතාව ඔබට පැවසූ කතාකරුවා විනා මිනිස් සිත්සතන්හි හට ගන්නා හැඟුම් හෝ සිතුවිලි වල නිරවද්‍ය භාවය විනිශ්චය කරන්නකු නොවන බැවිනි.




හිතවත / හිතවතිය, ඒ පිළිබඳ විනිශ්චයකට එළඹිය යුතුයයි ඔබ සිතන්නේ නම් ඔබට ඒ සඳහා පූර්ණ නිදහස ඇත.




සමුගැනීමට පෙර තවත් එක් කාරණයක් පමණක් පැවසිය යුතුය. රන් බණ්ඩා පැවසූ මේ අනුවේදනීය කතාව ඒ දිනවල මම මුහුණ දී සිටි දිවි එපාකරවන සුලු සිත් තැවුල් වලින් යම් තරමකට හෝ මිදීමට මට ඉවහල් විය.ඒ ගැන මම රන්බණ්ඩාට අදත් ණයගැති වෙමි.




"මිරිවැඩි සඟලක් ඉල්ලා හැඬුවෙමි, පායුග නැති ඔබ දකින තුරා,


කුංකුම චන්දන ඉල්ලා හැඬුවෙමි, නෙත් අඳ ඔබ නෙතු දකින තුරා"




අවසාන වශයෙන් රන්බණ්ඩා වෙනුවෙන්, ඔහුගේ කතාව අසාසිටි ඔබ සැමට ස්තුතිය පලකිරීමට මට ඉඩ දෙන්න.

Tuesday, May 3, 2011

සෙනෙහස මගේ, මහ මෙර වගේ......4 - නළලේ කෙටූ ඉරණම වළකනු හැකිද ?


අද මේ හතරවෙනි කොටස නිසා මම හිතුව කලින් කොටස් වලින් කියපු කතාව ආයෙම මතක් කලොත් හොඳයි කියල, කාරියක් නැහැනෙ නේද?




පළවෙනිම කොටසින් කිව්වෙ මගෙ ආදරයට නැවතීමේ තිත තියාපු විදිහ. මතකයිනෙ?




අංක දෙකෙන් කිව්වෙ මම හුදකලාව පොසොන් දා රෑ ගත කරද්දි ආපු අනපේක්ෂිත අමුත්තා ගැන, මතකනෙ......රන්බණ්ඩා.....




ඊළඟ කොටසෙදි රන්බණ්ඩ එයාගෙ කතාව පටන් ගත්ත, හැමදෙයක් ගැනම කලකිරිල ආපහු ගමට යන්ඩ තීරණය කරපු තැන දක්වා ඔන්න කතාව කියල ඉවරයි.




එහෙනං, ළමයිනේ,.....අද එතැන් සිට.....




යන්ඩ සූදානම් වෙලා මම මලීට කියන්ඩ ගියා. " මලී මම යන්නම්" කියාපු ගමන් ඒ කෙල්ල වැලහින්නියක් වගෙ අඬාගෙන මගෙ දෙපතුල් ගාව වැටුනා.මම උරහිසෙන් අල්ලල නැගිට්ටවන්ඩ හැදුවට හරි ගියේ නැහැ. " අනේ බුදු අයියේ, මට සමා වෙයං මයෙ අයියේ. මගේම තමයි වැරැද්ද. මේ කරපු දේට මට කවදාවත් හොඳක් නම් වෙන්නෙ නැහැ අයියේ, ඒක නම් මම දන්නවා හෙට ඉර පායන්නැහෙ " ඕං ඔහොම කිය කියා, මයෙ දෙපතුල් බදාන ඒකි අඬා වැටුනා.



" වෙන්ඩ තියෙන දේවල් ඒ ආකාරෙටම, නියම වෙලා තියෙන විදිහට වෙයි, මලී ඒක උඹටවත් මටවත් වෙනස් කරන්ඩ බෑ, මේ තමයි වෙන්ඩ තිබුනු විදිහ කියල හිතල මම හිත හදා ගන්නම් මලී, මගේ ජාති ජාතිවත් තරහක් නෑ "



එහෙම කියල මම මගෙ ඇඳුම් කෑලි දෙක තුනත් මල්ලක දාගෙන එලියට බැස්සා.මම ගුන්නෑපානට ආවෙත් මේ විදිහටම ඇඳුම් කෑලි දෙක තුනක් මල්ලක දාගෙන. ආපහු යන්නෙත් ඒ වාගෙමයි. ඒත් එකම වෙනස මුලු ලෝකෙම ඔලුව උඩ තිබ්බ වගෙ බරක් මම ආපහු ඇන්න යන එකයි.



ආපහු ගමේ ගිහින් මම අපෙ කුඹුරු ටික වැඩ කරගෙන හිටියා. අප්පොච්චිට මම කිව්වෙ කඩේ වැඩ මල්ලිට බාර දීල මම ආව කියලයි. උන්දෑ එතනින් එහාට මොකවත් ඇහුවෙ නැහැ. ඔහොම ඉන්නකොට මාස තුන හතරකට පස්සෙ ගුන්නෑපානෙන් ලියුමක් ආව මල්ලිගෙයි මලීගෙයි කසාදෙ ගැන කියල. අප්පොච්චි එහෙම නම් ගියා. කුඹුරු කිරි වැදෙන කාලෙ නිසා ඒ පිට දාල මම මග ඇරියා.මලී දැක ගන්ඩ හිතේ කොණක ආසාවක් නොතිබ්බමත් නෙවෙයී ඒත් මොකක්ද ඒකෙන් ඇති පලේ කියල මම හිත හදාගත්තා.



ඔහොම තවත් මාස කීපයක් වාගෙ ගත උනා. මම කුඹුරු කරගෙන ඔහේ ජීවිතේ ගත කලා.අප්පච්චි මට මඟුල් ඔත්තු හොයන්ඩ මහන්සි උනාට මම මොනව හරි කියල එව්ව මග ඇරියා.



දවසක් ගුන්නෑපානෙ මාම ලියුමක් එවල අප්පච්චි තකහනියක් එහෙ ගියා. දවස් තුනකට පස්සෙ ආවෙ. මූණ හරිම නැහැ එනකොට. " පොඩි එකයි අර කෙල්ලයි හැමදාම සණ්ඩු සරුවල්ය කියන්නෙ. හීන් බණ්ඩ දැන් නොසෑහෙන්ඩ බොන්ඩත් පුරුදු වෙලානෙ "



අප්පච්චි කිව්වෙ " අනේ ලොකු පුතේ මොකදෑ අපි කරන්නෙ " කියල අහනව වගෙ මගෙ මූණ දිහා මහ අසරණ විදිහට බලන ගමන්.



මගෙත් හිතේ ගිණි පත්තු උනා. එදා රෑ මම කුඹුරෙ පැල් කොටේ හිටියෙ. ලෝකෙන්ම තනි වෙන්න ඕන උනාම මම කරන්නෙ කුඹුරෙ පැලට යන එකයි. මගෙ හිතේ කල්පනා කලේම මලී ගැන. මොනවද වෙලා තියෙන්නෙ කියල හොයා බලන්ඩ යන්ඩ හිතුනත් ආයෙම මට හිතුන මේ වෙලාවෙ යන එකෙන් තව ප්‍රශ්නයක් මතු වෙන්ඩ පුලුවන්ය කියල.



ඊට සතියකට විතර පස්සෙ මලී මට ලියුමක් එවල තිබ්බ, එහෙ එන්ඩෙයි කියල.ඒත් එහෙම යන එක හොඳ මදිය කියල මට හිතුන නිසා මම ගියේ නැහැ. තව මාසෙකට විතර පස්සෙ ආයෙම ලියුමක් ලැබුනා. ඒකෙ ලියල තිබ්බ දේවල් දැකල මට කඳුලු ආව මහත්තයො.අන්තිම දවසෙ එයා කියාපු දේ කවදාවත් මේ කරපු දේට මට හොඳක් වෙන්නෙ නැහැ ඒ කතාවත් මතක් කරල කියල තිබ්බ ඒක ඒ විදිහටම වෙලයි දැන් තියෙන්නෙ කියල. වැඩි දවසක් නොගිහින් පණ නහගන්නව කියලත් කියල තිබ්බ.



මම අප්පච්චිටත් නොකියම පිටත් උනා. ඒ කෙල්ල මාව දැක්ක ගමන් මගෙ දෙපතුල ලඟ වැටිලා අඬන්ඩ පටන් ගත්ත. අර එදා මම යන්ඩ යනව කියපු දවසෙ වගේම. වෙනස එදා වගෙ නෙවෙයි අද අඬා වැලපුනෙ පපුවම ගැලවිලා එලියට එන විදිහට.මේ මාස හත අටට මලී වෙනස් වෙලා අඳුනන්ඩ බැරි තරමට. ඒ දවස්වල මූණෙ තිබ්බ සිරියාව හොරු අරන් ගිහිල්ල වගෙ, ඇස්වල තිබ්බෙ බලන්ඩ බැරි තරම් වේදනාවක්, කලකිරීමක්.



" අයියා මට මේ පලදීල තියෙන්නෙ අයියට පිටු පෑව එක. එයා එදා ඉඳම්ම මට බැණ අඬගහනව මයෙ හිත තියෙන්නෙ අයිය ගාවෙයි, මම එයාව රැවැට්ටුවයි කියල.රැවැට්ටුවයි කියන කතාව ඇරෙන්න ඉතිරි හරිය නම් බොරුවකුත් නෙවෙයි අයියා.ඒ දවස්වල මම නිකම් පිස්සුවෙන් වාගෙ හිටියෙ. පිස්සුව හොඳ වෙලා ඇහැරලා බලනකොට වෙන්න තිබ්බ දේ වෙලා ඉවරයි. ඊට පස්සෙ මම පුලුවන් තරම් උත්සාහ කලා හොඳ බිරිඳක් විදිහට ජීවිතේ ගෙනියන්න. ඒත් හිත කියන එක මේච්චල් කරන්න පුලුවන් කාටද අයියා "



මම මලීව උරහිසෙන් අල්ලල නැගිට්ටෙව්ව. කෙල්ල ඔහේ හිතේ තියෙන දුක් කන්දරාව කියවගෙන ගියා ඇල්ලකින් වතුර ගලන්නා වගේ. නිහඬව අහගෙන ඉන්න එක විතරයි මට කරන්ඩ ඉතුරු වෙලා තිබුනෙ. වෙන මොනවයි කියල කරන්ඩද මම හැබෑටම.ජීවිතේ අපි හැමෝටම බරපතල විදිහට වැරදිලා කියන එක විතරයි මට තේරුම් ගිය එකම කාරණේ.



" එයා මාව තේරුම් ගත්තනම් මේ විදිහට කාරණා සිද්ද වෙන්නෙ නැහැ කොහෙත්ම. ඒත් එයාට ඒ කිසිදෙයක් තේරුම් ගන්න හැකියාවක් වත්, ඊටත් වැඩිය උවමනාවක්වත් තිබ්බෙම නැහැ.දවස තිස්සෙම අයිය ගැන කියල මට වගපල කියන එකතමයි එයා කරපු එකම දේ. ටිකින් ටික එයා හොඳටම බොන්ඩ පුරුදු උනා. මොනවද කරන්නෙ කියල මට හිතාගන්ඩ බැරිඋනා අයියා. කුණාටුවකට අහුවෙලා මාව ගහගෙන යනව, කිසිම විදිහකින් බේරෙන්ඩ බැරුව මම අසරණ වෙලා කියලයි මට දැන් හිතෙන්නෙ. බැරිම තැන මොනව උනත් කමක් නැහැ, ඉස්සරහට වෙන ඕනම දෙයක් මීට වඩා හොඳ මිසක නරක් වෙන්න බැහැ කියල හිතල තමයි මම අයියට එන්ඩෙයි කියල ලියුම දැම්මෙ "



ඔහොම මලී පිස්සියෙක් වගෙ කියවද්දි " ආ......ඔය ඇවිල්ල ඉන්නෙ, හොර වාහෙ..... දැං ඉතිං මොන අඩුවක්ද? ඔච්චරනෙ අඩු වෙලා තිබ්බෙ" කියාගෙන මල්ලි සාලෙ දොරකඩට ආව. කෙලින් ඉන්න බැහැ, හොඳටම බීල..... උලුවස්ස එක අතකින් අල්ලගෙන එල්ලිලා වගෙ හිටියෙ.




" මල්ලියේ " මට කියන්ඩ හම්බ උනෙ එච්චරයි.



" මේ...... උඹ මට මල්ලි කියන්න එපා. තේරුණාද? උඹෙයි මගෙයි සහෝදරකං මම අතඇරල හුඟක් කල්.ඒ උඹ මේකි මගෙ ඇඟේ ගහල මාරු වෙච්ච දවස් වලමයි " මල්ලි ඔය ටික කියැව්වෙ දකුණතේ දබරැඟිල්ලත් විඩෙන් විඩේ මා දිහාට උරුක් කරමිනුයි.



" කට තිබ්බ පළියට ඔහොම කතා කරන්ඩ එපා මනුස්සයෝ " මලී බැරිම තැන කෑගැහුවා.



" ආ......උඹේ කට දැන් බොහොම සැරයි නේද? පහුගිය ටිකේ අඬ අඬ හිටපු ගෑණි, ඇයි දැන් උඹෙ වාහෙ ආවනෙ.... හිටපං උඹේ කට මම අද මට්ටු කරනවා "



මල්ලි....ඇත්තටම මල්ලි නෙවෙයි එතන හිටියෙ යක්ෂයෙක්.....ඔව් සිහි විකල් වුනු යකෙක්......මලීගෙ බෙල්ල මිරිකන්න පටන් ගත්තා. මම මල්ලිගෙ බෙල්ලෙන් අල්ලල ඇදල ගත්තා. කකුල එතන තිබ්බ පුටුවක පැටලිල මම වැටෙනකොට ඔලුව ලඟ තිබ්බ මේසෙ කෙරෝලක වදිනව මට මතකයි. අඩ සිහියෙන් වගෙ මට දැනුන මල්ලි මගෙ පපුව උඩ නැගගෙන මගෙ බෙල්ල මිරිකනවා. මම ඒ අත් දෙක ගලවන්ඩ උත්සාහ කලත් ටිකින් ටික මට තේරුන මගෙ හයිය නැතිවෙලා යනවා. අලු පාට අඳුරක් මගෙ ඇස් ඉස්සරහට ගලා එන්ඩ පටන් ගද්දි කන් දෙකේම මහා සද්දයක් ඇහෙන්ඩ පටන් ගත්තා.ඒත් ටිකකින් බෙල්ල තද කරන ගතිය එක පාරටම නැතිවෙලා ගියත් එක්කම එකපාරටම හීතල හුලඟ මගෙ පෙනහලු වලට පිරෙනව මට දැනුන. ඒ එක්කම මම හිතන්නෙ මට සිහිය නැතිඋනා.



මූණට හීතලක් දැනිල මට ආයෙ සිහි එනකොට ඔලුව පුපුරන්ඩ වගෙ කැක්කුමයි. මලී මගෙ මූණට වතුර ඉහිනව අඬ අඬ. " අයියෙ....අයියෙ....ඇහැරින්ඩකො....අයියෙ ....අනේ අයියෙ,....කතාකරන්ඩකො ‘’



රන්බණ්ඩ ආයෙම කතාව නවත්තල ටිකක් වක්කර ගත්තා. මගෙ අතෙත් වීදුරුව එහෙම්මම දැන් සෑහෙන වෙලාවක ඉඳල.ඊලඟ හරිය අහන්න ඉස්සර මම කෝකටත් වීදුරුවෙ තියන හරිය උගුරට හලා ගත්ත.



වක්කරගත්තු වඩිය උස්සල ඒ දිහා ටික වෙලාවක් බලාඉඳල "මහත්තය හිතන්නෙ මොකක් වෙලා තියෙන්න ඇති කියලද?" රන්බණ්ඩ ඇහුවා.




මතු සම්බන්ධයි............

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...