
මගේ කතාව - 1
මගේ කතාව - 2
මගේ කතාව - 3
මගේ කතාව - 4
" අම්මප.....ඔයා එහෙම්මම කිව්වද?......ඉතින් සචිනි මොකෝ කිව්වෙ? "
" කවි ලියන එක නවත්තන්නෙ නෑ කිව්ව, පොඩි Argument එකකුත් උනා අපි දෙන්න අතරෙ,මටත් තරහ ගියා,......එදා රෑ සචිනි කෑවෙත් නෑ.......පහුවෙනිද මම ගෙදර එනකොට සචිනි ගිහිල්ල.....අයියෙ,"
" දැන් දවස් කීයක්ද මල්ලි සචිනි ගිහිල්ල? " ඒ ජානකී අක්ක,
" අදට දවස් තුනයි අක්කෙ,"
" ඔයා ඉතින් අඩු ගනනෙ කෝල් එකක් වත් දුන්නෙ නැත්ද? '' ඒ අයිය.
" සචිනි බලන්ට යන්ට,....... අඩු ගානෙ කෝල් කරන්ට මට හොඳටම ඕන කම තිබ්බ අයියෙ, ඒත් නිකම් සචිනි මොනව කියයිද කියන දෙගිඩියාව නිසා මම පස්ස ගැහැව්ව.''
" මල්ලි ඉස්සෙල්ලම කියන්ට තියෙන්නෙ විවාහ ජීවිතේ ඔය වගෙ ප්රශ්න මතුවෙන එක පුදුමයක් නෙවෙයි......හාත්පසින්ම වෙනස් පවුල් පසුබිමකින් ආපු....ආකල්ප අදහස් උදහස් අතින් අහසට පොළව වගෙ වෙනස් දෙන්නෙක් නෙවෙයි.......සමාන පසුබිම් වලින් ආපු අදහස් ගැලපෙන දෙන්නෙක් උනත් එක වහලක් යට ජීවත් වෙන එක ලේසි නෑ.......මිනිස්සු කියන්නෙ තමන්ටම ආවේණික සිතුම් පැතුම් තියෙන ලෝකෙ ගැන ජීවිතේ ගැන තමන්ගෙම ස්වාධීන අදහස්, ආකල්ප තියෙන සත්ව කොට්ඨාශයක්.......ඒ නිසා මත ගැටුම් ඇතිවෙන එක වළක්වන්න බෑ. නමුත් අපි උත්සාහ කරන්න ඕන අපේ මතය නැත්නම් ආකල්ප අනික් පුද්ගලය මත්තෙ බලෙන් පටවන්ට නෙවෙයි.එහෙම කරන්ට ගියොත් අනිවාර්යයෙන් විවාහ ජීවිතේ අපායක් වෙනව, මෙතන මම හිතන්නෙ අජන්තට මේව ආයෙම කියන්ට කිසිම උවමනාවක් නෑ.....මම හිතන්නෙ අජන්තම අජන්තගෙ වැරැද්ද තේරුම් අරගෙන තියනව....."
" විවාහ ජීවිතේ මුල් කාලෙම මේ වගෙ මත ගැටුමක් මතු උනු එක එක අතකට හොඳයි මල්ලි......එතකොට හිතේ හංගං ඉන්නෙ නැතුව හිතේ තියන දෙයක් එළියට දාල හිත නිදහස් කර ගන්ට පුලුවනි.මල්ලි දන්නවද පාරවල් වලට තාර දානකොට එක නියමිත උෂ්ණත්වයකට උණු කරන්ට අත්යාවශ්යයයි කියල. ඒකට කියන්නෙ ප්රශස්ත උෂ්ණත්වය නැත්නම් Optimum Temperature කියල. එහෙම කරන්නෙ ඇයි දන්නවද? ඒ තාර පාරට දැම්මයින් පස්සෙ ආයෙ මොන තරම් අව්ව වැටුනත් උණු වෙන්නෙ නෑ.මේ වගෙ ප්ර ශ්නයක් මතුවෙල සුහදව ඒක විසඳගත්තයි කියන්නෙ මල්ලි ඔය දෙන්න අතර ඇති වෙනව ආයෙ කිසිදාක කඩන්ඩ බැරි අවබෝධයක් නැත්නම් තේරුම් ගැනීමක්. විවාහ ජීවිතයක් සාර්ථකව ඉදිරියට ගෙනියන්ට බොහොම වැදගත් මෙන්න මේ දෙන්න අතර තියන තේරුම් ගැනීම එහෙම නැත්නම් පන්නරය......හප්පා.......මල්ලි මගෙ ලෙක්චර් එක දිග වැඩිද මන්දා.......හෙහ්, හෙහ්,''
'' නෑ අයියෙ, අයිය කියපු දේවල් ඔක්කොම ඇත්ත......''
'' මමත් පොඩි කොටසක් එකතු කරන්නම් මල්ලි.....'' ජානකී අක්ක කටහඬ අවදි කලා....'' මේ මගේම අත්දැකීමෙන් කියන දෙයක්......විවාහ වෙලා කොච්චර අපහසු උනත් කමක් නෑ දෙන්න වෙනම පදිංචි වෙන්න........නැන්දම්ම කොච්චර හොඳ උනත් එකට ඉන්නකොට ප්රශ්න මතු වෙන එක අනිවාර්යයයි.......ඔය මහ ලොකු දේවල් නෙවෙයි......එක වචනයක්........බැල්මක් ඇති ලොකු ප්රශ්නයක් වෙන්න.....ඔයාට අම්ම අත් අරින්න කියනව නෙවෙයි මේ.......පුළුවන් නම් ......පුළුවන් නම් නෙවෙයි....මම හිතන්නෙ ඔයා අනිවාර්යයෙන් කල යුතුමයි.....ඒ කිට්ටුවම ඇනෙක්ස් එහෙකට හරි යන්න.''
'' දෙන්නෙක් එකතුවෙලා ජීවිතේ ප්රශ්න විසඳ ගන්න හදනකොට ඒ ඇතිවෙන අන්යෝන්ය අවබෝධය බන්ධනය කවදාවත් බිඳෙන්නෙ නෑ මල්ලි, ''
'' හරියටම හරි...මල්ලි අක්ක කිව්ව දේ මමත් සීයට දෙසීයක් අනුමත කරනව......ඔයාගෙ අම්ම එක්ක මේ ගැන මම කතා කරන්නම් එහෙම අවශ්ය යයි කියල ඔයාට හිතෙනව නම්.......අම්ම මාව දන්නව නෙව....අනික ඔයාගෙ අම්ම කියන්නෙ මට තේරෙන විදිහට යමක් තේරුම් ගන්න බැරි කෙනෙක් නෙවෙයි....මම හිතන්නෙ නෑ එයාට කරුණු පැහැදිලි කරල දෙන එක එච්චර අමාරු වෙයි කියල.''
'' හරි, අජන්ත දැන් මෙහෙම කරමු හෙට පෝයනෙ.....උදෙන්ම සචිනිට කතාකරල මෙහෙට එන්න කියමු........ඊට පස්සෙ අපි මේ ප්රශ්නෙ විසඳ ගමු......එහෙම හොඳයි නේද? ''..........රංජිත් අයිය මගෙ අත අල්ලගෙන කිව්ව.
දවස් තුනකට පස්සෙ එදා ඔන්න මට හොඳට නින්ද ගියා.......මත් ගතිය නිසාම නෙවෙයි හිතේ සැහැල්ලුව නිසාත්.....රංජිත් අයියට හැමදෙයක්ම කියාපු එකෙන් මගේ හිතේ තිබ්බ බර හෑල්ලු උනා වගේම හෙට සචිනි ඒවි කියන විශ්වාසෙත් නිසා කොට්ටෙ ඔළුව තිබ්බ විතරයි ඔන්න මතක......
පහුවදා උදේ අටට වගෙ මම කතාකලා සචිනිගෙ නම්බර් එකට.......
" සචිනි........මම අජන්ත......." මම එහෙම කිව්වෙ කියන්ඩ දෙයක් එක පාරට හිතට නාව නිසා........
" අජන්ත........ඔයා කොහෙද ඉන්නෙ? " ඒ කටහඬ මගෙ හිතට ගෙනාවෙ පුදුම සතුටක්.....
" මම ඉන්නෙ පේරාදෙනියෙ.....රංජිත් අයියලගෙ ගෙදර....."
" සචිනි මගෙ රත්තරං, ඔයා මා එක්ක තරහ නෑ නේද?" ......මම ඒ ටික කියා ගත්තෙ බොහොම අමාරුවෙන්.....
.........මඳ වෙලාවක් පැවතුණු නිහඬතාවයකට අනතුරුව ටෙලිෆෝන් එකෙන් ඇසුණෙ ඉකි බිඳින හඬක්....
" අනේ අඬන්න එපා සචිනි......" මගේ ඇස් වලට උනන කඳුළු වලක්ව ගන්න උත්සාහ කරන අතරෙ මම කිව්වෙ ඇහෙන නෑහෙන හඬින්........
" කෝ දෙන්න අජන්ත, මම කතා කරන්නම්" .....රංජිත් අයිය මගෙන් ටෙලිෆෝන් එක ගත්ත.....
" සචිනි......නංගි....මම රංජිත් අයිය.....හරි, හරි දැන් අඬන්න එපා.....ඔක්කොම හරි,...please calm down now, take a grip on yourself, okay?...... හරි ඔයා දැන් මෙහෙම කරන්න නංගි......දහයාමාරට කොටුව ස්ටේෂන් එකෙන් තියනව නුවරට කෝච්චියක්.....ඔයා ඒකෙ එන්න පේරාදෙණියට.......අජන්ත පේරාදෙණිය ස්ටේෂන් එකට ඇවිත් ඉඳියි.....දවසකට දෙහෙකට ඇඳුම් අරගෙන එන්න.......ඔන්න හරිනෙ එහෙනම්....okay..........bye,"
එකහමාරට මම ස්ටේෂන් එකට ගියා.......සචිනි ඇවිත් කෝච්චියෙන් බැස්ස.....මම එයාගෙ අත්දෙක අල්ලගෙන ඇස් දෙකට එබිල හෙමිහිට කිව්ව " මට සමාවෙන්න මගෙ රත්තරන් කියල" එයා ඇස් දෙකේ කඳුළු පුරවගෙන මගෙ මගෙ පපුවට තුරුළු උනා.......සෙනඟ හිටපු නිසා අපි වැඩිවෙලා එහෙම හිටියෙ නෑ....
ජානකී අක්ක සචිනිව වැළඳ ගත්තෙ කාලෙකින් නොදැකපු සොහොයුරියක් හමු උනු ගානට.....
එදා පෝය දවස......අපි හවස හතර දෙනාම ගියා දළඳා මාළිගාවට......රතු නෙළුම් මල් වට්ටි දෙකක් අරන් අපි දෙන්න එක ළඟම තියල පූජා කලා....
" අජන්ත මට පොරොන්දු වෙන්න ආයෙ කවම දාකවත් මගෙ හිත රිද්දන්නෙ නෑ කියල" සචිනි කිව්වෙ වැඳගෙනම හිස හරවල මා දිහා බලන ගමන්.
" නෑ......සචිනි...ආයෙ කවදාවත්ම නෑ" ......මමත් ඈ දිහා හිස හරවල බලල පොරොන්දු උනේ මගෙ හදවතින්ම.
එදා රෑට අපි කෑම නුවරින්ම ගෙනාව.ඉඳිආප්පයි.....සම්බෝලයි......කිරි හොදියි,
රෑට කාල ඉවර වෙලා අපි හතර දෙනා සඳළුතලයෙ ඉඳගෙන කෝපි කෝප්පයක් තොලගෑව.
අද ඊයෙ වගෙ වළාකුළු කිසිදෙයක් අහසෙ නෑ......පුරා හඳ එළියෙ හන්තාන කඳු වැටිය දිලිසුනෙ අතින් අල්ලන්ට පුළුවන් තරම් ළඟින්. ඊයෙ නොතිබිච්ච පිච්ච මල් සුවඳක් මඳ සුළඟත් එක්ක මුහු වෙලා සඳළු තලේ පුරා පැතිරුනා.
" පිච්ච සුවඳක් එන්නෙ කොහෙන්ද රංජිත්?" ......ජානකී අක්ක හුස්මක් පපුව පුරා අරගෙන ඇහුවෙ වටපිට බලන ගමන්.
" මේ කිට්ටුව පිච්ච නම් නෑ" ........රංජිත් අයිය අපි තුන්දෙනාගෙම මූණු දිහා බැළුව....." ඒත් ඔයාල දන්නවද?......දේවතාවො වඩිනකොට ඔය වගෙ පිච්ච සුවඳ හමනවයි කියල මම අහල තියනව........"
" මොනවද රංජිත් මේ කියන්නෙ?......මේ ළමයත් දැන් බය වෙයි ඔන්න" ....ජානකී අක්ක කිව්වෙ නොරිස්සුමෙන්.
" දේවතාවො වඩිනවයි කිව්වම බය වෙන්නෙ මොකටද?....ඒක බොහොම සුබ ළකුණක්නෙ " රංජිත් අයිය නැඟිටල කෝපි කෝප්ප ගේ ඇතුලට අරන් ගියා....
ආයෙම ඇවිල්ල අයිය අපි ඉස්සරහම වාඩිවුනා.
" අජන්ත, සචිනි.....මට ඔය දෙන්නට වැඩිපුර කියන්න දෙයක් නෑ...ඔයාල දෙන්නම දැනුම් තේරුම් තියෙන දෙන්නෙක්......අනික අජන්ත අතින් වෙච්ච වැරදි එයාම තේරුම් අරන් ඉන්න නිසා ආයෙම ඒවගෙ දෙයක් අජන්ත අතින් කෙරෙන එකක් නෑ කියල මට සීයට දෙසීයක් විශ්වාසයි....."
" ජිවිතේ පොඩි පොඩි හැලහැප්පීම්, මතභේද ඇතිවෙන එක ස්වාභාවිකයි......එහෙම නොවුනොත් තමයි පොඩ්ඩක් හොයල බලන්ට ඕනෙ.......දැන් මේ ජානකියි මායි ගන්නකො......මේ අම්මණ්ඩි එක්ක මම හින්දම ඉහ ගහල ඉන්නව මිසක්......." රංජිත් අයිය වාක්ය සම්පූර්ණ නොකරම කොක් හඬලා හිනාවෙන්ට පටන් ගත්ත.
" රංජිත්......අහල පහල මිනිස්සු නිදි මේ වෙලාවට " .....ජානකී අක්ක දත් මිටි කාගෙන කිව්වට හිනාව සඟවගන්ට එයාටත් බැරිඋනා.
" හරි, මම මේ කියාගෙන ආවෙ ජීවිතේ සිද්ධ වෙන හැමදේකින්ම පාඩමක් ඉගෙන ගන්ඩ....හැම දේම වෙන්නෙ හොඳටයි කියල හිතාගන්ට...එච්චරයි"
පහුවදා උදේ කුරුල්ලන්ගෙ සද්දෙට මම ඇහැරුනා. සචිනි නෑ ඇඳේ. බෙඩ් රූම් එකත් එක්කම තිබ්බ සඳළුතලේ පුටුවෙ සචිනි ඉන්නව දැකල මම එතනට ගියා.....
" මොකද ලමයො....මේ උදේම මෙතන කරන්නෙ? "
හන්තාන කන්දට උඩින් ඉර පායාගෙන ආව. කෙලින්ම මිදුලෙ අඹ ගහේ අතු අස්සෙන් ආපු හිරු එළිය දහරාවක් සචිනිගෙ මූණටම වැටුන නිසා එයා වමතින් ඇස් මුවාකර ගත්ත.
මගෙ දිහාවෙ ඇස් කොනකින් බලල උකුලෙ තිබ්බ සුදු කඩදාසියක් මට දිගු කලා....
මලින වූ මල් කිනිති නැවතත්,
හද පුරා විකසිත වෙලා,
පුලින තල මත සිඳීගිය,
දිය දහර ආයෙත් යයි ගලා,
අඳුරු මේ කුළු පහව ගිය සඳ,
හිරු දිලුනි අහසේ නිලේ,
සොඳුරු මනසේ පිපුණු නෙළුමකි,
ඉතිරි වී ඇති හද විලේ,
ආදරය පිදු ඔබට එදවස,
මිලින වී නැත කිසි දිනේ,
නීල සිඳු මත නඟන රැළිසේ,
නැවත ඉපදෙයි හදවතේ,
සෙනෙහෙ ඔබගේ විලකි,
මම එහි පිපෙන්නෙමි නෙළුමක් වෙලා,
සසර සැමදා ඔබෙ සුරත ගෙන,
ඇවිද යමි සෙවණට වෙලා,
මගෙ ඇස් දෙකට පිරිච්ච කඳුළු වලක්ව ගන්ට මම කිසිම උත්සාහයක් ගත්තෙ නෑ. මම එහෙම්මම පාත් වෙලා සචිනිව වැළඳ ගත්ත. එයා මගෙ පපුවට මුහුණ තදකරගෙන කොඳුරලා කිව්ව. " Never ever let me go Ajantha.......do you promise me? "
" With all my heart Sachini, I am giving you my word........i won't let you go, again, ever,".......ඇගේ නලල සිප ගන්න අතර මම එහෙම කිව්ව.....