Thursday, June 10, 2010

57. අම්මේ මම එනවා එනවාමයි....................


පුංචි කාලේ ඔබේ අතින්
බෙදලා දුන්නු බත් පිඟාන
රසයි රසයි කියමින් කෑවත්.........,
කෑව විටදි බත් දෙකටක්
ඔබේ අතින්ම අනාපු
මා කෑ බත් පිඟානේ රසය
පැරදී පලා යනවා පෑල දොරින්........,

දැනුත් අම්මේ ආසයි මට
ඇවිත් කන්න ඔබේ අතින්
බත් කටවල් එකක් දෙකක්
ඒත් කොහිද මට වෙලාව
උදේ ඉඳන් රෑ වෙනකම්
ෂෙඩියුල් වෙලා මගේ වෙලාව........,

උදේ රැයින්අවදිවෙලා
උයා පියා හදා බෙදා
මළු දෙකකට දාගෙන අපි
ඉස්සර කාලේ ඔබ වාගෙම
දෙන්නා එක්ක ඉගිලිලා
වැඩට එන්නේ අපි දෙන්නා
පුංචි පැටික්කි ගෙදර තියා
දන්නවානේ මගේ අම්මේ........,

හවස් කොරේ අපි දෙන්නා
මගින් මගට අඩු පාඩුත්
මල්ලකට එකතු කරන්
බෙල්ල කැඩිලා ‍වගේ නැවත
ගෙදර බලා ඉගිල්ලෙන්නේ
ඉස්සර කාලේ ඔබ වාගෙම
පුංචි පැටික්කිගේ මුව පොඩියට
එක් කරන්න සිනා මලක්
මගේ අම්මා දන්නවානේ..........,

මේ සේරම දැන දැන ඔබ
දින පහ හය අපි නාවොත්
මූණ නොරොක් කරන් ඉන්නේ
අඩපාලි මට කියන්නේ
එහෙම වුනත් සෙනේ සිතින්
බත් දෙකටක් හනි හනිකට
බෝම රසට උයා දෙන්නේ
මව් ස්නෙහය නිසාම බව
මම දන්නවා මගේ අම්මේ........,

මේ සේරම දැන දැන මම
බෝම නරක දුවක් වෙලා........,
අද ඔබ මට අමතාලා
පවසනතුරු මා නොදනිම්
නැවතුන බව රෝහලෙහි
හාංකවිස්සියක් ඒ ගැන
ඇහේ දාන් දරුවෝ හැදුවේ
මෙහෙම වෙන්නද මගේ අම්මේ?........,

මගේ අම්මා සුවපත් වී
විගස ගෙදර ආව කලට
නොවරදවා දින දෙකකට
සැරයක් මා ඔබ දකින්න
එන බව දිව්රමි මේ ලෙස
ඒ දිව්රුම මා රකිනා සැටි
දැක ගන්නට ඉක්මනටම
සුවපත් වී සතුටු සිතින්
ගෙදර යමු අපි අම්මේ........,



Tuesday, June 8, 2010

56. (මෙහෙමත් පැංචෝ) බෝයි බබා, අනිත් බබා ගර්ල් බබාද? බෝයි බබාද? කියා සොයාගත් හැටි...........




අම්මලත් එක්ක පුංචි වෝක් එකකට පුංචි පැටව් දෙන්නෙක් පාර්ක් එකකට ආවා. හැබැයි වෝක් එක අම්මලා දෙන්නාගේ. පැටව් දෙන්නා ගෝ කා(ර්)ට් එකේ. ඉතිං මේ අම්මලා දෙන්නා දෙන්නාට දෙන්නා දැකලා "අනේ ඔයා දැක්ක කල්" ඉඳන් සියලු ආගිය නොගිය තොරතුරු කථා කරන්න පටන් ගත්තා. ගෝ කා(ර්)ට් දෙකේ හිටිය පැටව් දෙන්නත් දැන් බර කථාවක්.

"මේ කොහොමද?"

"බබාට ෂෝයි"

"ඔයා බෝයි බබෙක්ද ගර්ල් බබෙක්ද ?"

"??????????? බබා දන්නේ නැහැ."

"අයියෝ වැඩක් නැහැනේ. මම නම් බෝයි බබෙක්"

"ආ........................ බබා දන්නේ නැහැනේ ඒවා" බබා මූණ ඇඹුල් කර ගත්තා.





"හා............හා..........ඔයා අඬන්න එපා. මම ඕනේ නම් කියන්නම් ඔයා බෝයි බබෙක්ද ගර්ල් බබෙක්ද කියලා"

"ආ...................ඔයාට පුළුවන්ද? හා..............එහෙනම් කියන්න"

"එහෙම කියන්න බැහැ. ඒක බලන්න ඕනේ. ඒකට මම ඔයාගේ කා(ර්)ට් එකට එන්න ඕනේ."

"ම්ම්ම්............... හා ................ එහෙනම් එන්න"

කොළු පැටියා හෙමිහිට අනිත් කා(ර්)ට් එකට ගියා. ගිහින් අනිත් බබාගේ ඇඟ වහලා තිබුණු පෙරවනය ඇතුලට ගියා. විනාඩි කිහිපයකින් ජයග්‍රාහී ලෙස එළියට ආවා.

"මං හිතුවා හරි ................. ඔයා ගර්ල් බබෙක්"

"බබා ගර්ල් බබෙක්??????? හරි ෂෝයි. ඔයා කොහොමද දැන ගත්තේ?"

කොළු පැටියා ‍දත් යාන්තම් මතුවුනු ලොඹු කට පෙන්වා ලොකු සිනාවක් පෑවා.






"ඔයාට දාලා තියෙන්නේ රෝස පාට මේස්"



55. “සමසකට පෙර සවසක යුද්ධයක් නිමාවිය” තුන්වන කොටසේ සිට අවසාන කොටස දක්වා...........

මම මේ ලිපි පෙළ පෙල ගැස්වූයේ දින කිහිපයක් ඇතුලත නිසා ඒ කාලේ මට සිදු වූයේ මෙය කොටස් වශයෙන් පළ කරන්නයි. එහෙත් දැන් මා සතුව සියලුම කොටස් තිබෙන නිසා දැනට පළ කල කොටස් හැර ඉතිරි කොටස් සියල්ලම එකවර පළ කරන්නට සිතුවෙමි. ඒ අනුව අද දින ඒ සියලු කොටස් පළ කරමි.

“සමසකට පෙර සවසක යුද්ධයක් නිමාවිය” 03 කොටස

Posted in ජීවිතය මේ වගෙයි on 06/11/2009 07:33 am by randil

ඉස්සර මං ……………………….

මා ඉගනුම ලැබුවේ බොරැල්ල ප්‍රදේශයේ කාන්තා පාසලකය. පළමු වසරේ සිට උසස් පෙළ අවසාන මාස කිහිපය වනතුරුම තාත්තා හෝ අම්මා විසින් අපව පාසල වෙත ‍ගෙන යාමේ ගෙන ඒමේ කටයුතු කරන ලදී. උසස් පෙළ අමතර පංති සදහා තනිව ගොස් සහභාගි වූයෙමි. එකල කිසිම ආකාරයේ ප්‍රේම සම්බන්ධතාවක් පවත්වා ගැනීමට මා හට අවැසි නොවීය. මාගේ සියලුම මිතුරියන් ද එවැනි දේ කිරීමට‍ යොමු නොවූ අය විය.

අම්මාද මා කෙරෙහි අචල විශ්වාසයක් පෙරදැරිව සිටියාය. මා ඒ විශ්වාසය කෙතරම් රැක්කේද යත් මරදානෙන් දුම්රියට ගොඩවී නිවස බලා එන්නේ යැයි අම්මාට උදෑසන පැවසුවේ නම් කිසිම හේතුවක් නිසාවත් කොටුව දුම්රිය ස්ථානයට යාමටවත් බසයෙන් නිවසට යාමටවත් සිතන්නේවත් නැති තරම්ය. යම් දවසක ප්‍රේම සම්බන්ධතාවක් සදහා මා සිත් ඇති වූයේ නම් මුලින්ම කිවයුතු වන්නේ අම්මාට බව මම තරයේ සිතා සිටියෙමි. අම්මාත් මාත් වාසය කළේ මිතුරියන් ලෙසිනි. එනිසා මා හට ඇයට කිව නොහැකි දෙයක් නොවීය. සමහර විට ඒ මා සිතූ හැටි පමණක් විය හැකිය. මා ගන්නා ක්‍රියාමාර්ගයන් අම්මාට දැන ගත හැකි වන්නේ මිතුරියක් ලෙසින් සිටීමෙන් බව ඇය කල් තියා වටහාගෙන සිටියා විය හැක. මට එලෙසින් සිතෙන්නේ මා අම්මා මාගේ මිතුරිය ලෙසින් සිතා පැවසූ දෙවල් හමුවේ ඇය හැසිරුනු ආකාරය නිසාය.

අම්මා පැවසුවේ උසස් පෙළ විභාගයට ප්‍රථම වරට පෙනී සිටියාට පසුව ප්‍රථිපල එනතුරු කුමක් හෝ හොද පාඨමාලාවක් සදහා යොමුවිය යුතු බවයි. ඒ අනුව අම්මාගේ මිතුරියකගේද උපදෙස් මත මා උසස් පෙළ අවධියේ දීම සැළසුම් ශිල්පි පාඨමාලාවක් සදහා අයැදුම් කිරීමට යොමුවිය. උසස් පෙළ විභාගයේ අවසාන ප්‍රශ්න පත්‍රය වන පොදු පරීක්ෂණයට පෙනී සිටියේද සැළසුම් ශිල්පි පාඨමාලාවට සහභාගී වන අතරතුරදීමය. අම්මා එලෙසින් මා එම මාවත වෙත යොමු කිරීම වචනයෙන් කියා නිම කළ නොහැකි තරම් අමිල වූ කාරණයකි.

ඊට පස්සේ මං …………………

කෙසේ හෝ මාගේ ජීවන සහකරු මා හට මුණ ගැහීමේ දෛවෝපගත සිදුවීම සිදු වූයේද මෙම පංතියේදීමය. දගකාර පුංචි කොලු ගැටයෙක් ! සිහි වද්දීත් මා මුව මත සිහින් සිනාවක් ඇදී යන්නේ නිරායාසයනි. අවුරුද්දකුත් මාස දෙකක් පුරාවට පංතිය පැවැත්විණි. එහෙත් ඒ කාලය තුල අප අතර දැඩි මිතුදමකට එහා ගිය දෙයක් නොවීය. එනමුදු ලග ලග ම ඊට එහා ගිය දෙයක් ආරම්භ වීමේ පෙර මග සලකුණු නම් ඕනෑ තරම් විය. ‍දිගු කථාවක් කෙටියන් කියන්නේ නම් ඒ මාස දහ හතර අවසානයේ 2002 නොවෙම්බර් මස 02 දින, එනම් මාගේ උපන් දිනයෙන් දින 44 කට පසු ඔහුගේ උපන් දිනයට දින 44ක් තිබියදී අපගේ සම්බන්ධය ආරම්භ විය. මා එදිනම අම්මාට පවසන්නට සැරසුනත් ඔහු පැවසුවේ එසේ නොකරන ලෙසිනි. එයට හේතුව වශයෙන් ඔහු පැවසුවේ තවම රැකියාවේ (ඒ වන විට ඔහුට රැකියාවක් ලැබී දින කිහිපයක් පමණි) ස්ථිර භාවයක් නැති බැවින් එයට වඩා තත්ත්වයකට පැමිණි පසු අම්මාට පවසන ලෙසය. එනමුදු මා සිතුවේ වෙනත් අයුරකිනි. මා සිතුවේ”කොල්ලෝ නම් ඔහොම තමයි. ගෙදරට කියන්න එපා කියලා කියන්නේ මොකද? කෝකටත් මතු ආරක්ෂාවටත් එක්ක අම්මාට කියනවා” යනුවෙනි. දැනටත් මා සැමියා ඒ සිද්ධිය සිහිකරමින් මා හට විහිළු කරයි. “අම්මාට කියලා මට හෙල්ලෙන්න දෙන්නේ නැතිව ඉන්නයි හැදුවේ නේද? මදැයි කර ගත්ත දේ” කියමින් ඔහු සිනහසෙයි. සැබවින් ම ඔහු මගේ මිතුරා වුවත් ‘ඔහුත් තවත් එක පිරිමි කෙනෙකු පමණයි’ යන සිතුවිල්ල මුල් කරගෙනත්, ඊටත් වඩා අම්මාට මෙවන් දෙයක් ආරම්භයේ දීම පවසන්නට මා තරයේ සනිටුහන් කරගෙන සිටි නිසාත්, දින තුනක් පමණ හොර ගල් ඇහිලීමෙන් පසුව අම්මාට පැවසූවෙමි. ඔන්න එදා තමයි සමසකට පෙර අවසන් වූ සවසක යුද්ධයේ ආරම්භය. අම්මා ගේ දෙවනත් කළාය. මට බැන්නාය. හැඩුවාය. මුලින් ම කී වදන් පෙළ මට අද වාගේ මතකය. මාගේ දෙනෙතට එබී, “ඔයාට ඒ වගේ දෙයක් දැන්ම කරන්න බැහැ” යනුවෙන් අම්මා පවසා සිටියේ තර්ජනාත්මකවය. තාත්තාගේ චරිතය රූපවාහිනි ටෙලි නාට්‍යය චරිතයක් ම විය. “ඔයාගේ වැරැද්දෙන් තමයි මේ ගොල්ල මෙච්චර නරක් උනේ. මම කිව්වා කිව්වා අහුවේ නැහැ”. ඒ තාත්තාගේ වදන්ය. එමගින් අම්මාගේ කෝපය වේදනාව තව තවත් වැඩි වුනි. “තාත්තා එක්කත් රණ්ඩු වෙවී මම උඹලාගේ පැත්ත ගත්තේ. දැන් පේනවානේ උඹලා මට කරපු දේ”. එයින් අනතුරුව රෑ එළිවනතුරු ගෙදර කිසිවෙකුට නින්දක් නොවීය. එවන් නිදිවර්ජිත තවත් බොහොමයක් රාත්‍රීන් වල ආරම්භය එදින සිදුවිය. අවසානයේ අම්මා පැවසුවේ, ‘තාම ඇහුවා විතරනේ, ඔයා මොකුත් උත්තරයක් දුන්නේ නැහැනේ, ඒක නිසා අපි මොකුත් කරන්නේ නැහැ. ඔයා ඔහොමම පැත්තකට වෙලා ඉන්න” යනුවෙනි. මම හිස සැළුවෙමි. එය උගුරට හොරා බෙහෙත් කෑමක් බව අම්මාත් මමත් දෙදෙනාම දැන සිටියෙමු. එනම් මේ වන විටත් උත්තරය දී අවසාන බව මා මෙන්ම අම්මාද ‍හොදාකාරවම දැන සිටියාය. කෙසේ හෝ එක් දෙයක් මෙහිදි මවිසින් පැවසිය යුතුව ඇත. සැබවින් ම එදා මා ඒ පිළිබද ව අම්මාට පැවසුවේ අවසර ගැනීමට නොව ඇයව ඒ පිළිබදව දැනුවත් කිරීමටය. එය මා ගත් තීරණය ඇයට දැන්වීමක් විය. එනමුදු එදා ඇති වූ ගොරනාඩුවෙන් පසු මට සිතුනේ වහාම ක්‍රියාත්මක වන පරිදි මේ සම්බන්ධය නවතා දැමිය යුතු බවටය.

ඩෙංගු මදුරුවා කරපු හරිය …………………………

එසේ සිතා පසුදාම ඔහු වෙත පණිවුඩයක් යැව්වෙමි. මා ද එදිනට දින දෙකකට පෙර සිට රැකියා පුහුණු අවස්ථාවක් ලැබ රජයේ සංස්ථාවක පුහුණු වන සැළසුම් ශිල්පිණියක් ලෙසින් බැදී සිටියෙමි. එහි සිටි සහෝදර පුහුණු වන්නකු හරහා පණිවිඩය යවා ගත හැකි විය. පිළිතුර ලෙස ලැබුනේ නොසිතූ ආරංචියකි. තදබල ලෙස රෝගාතුර වූ මා ‍මිතුරා රෝහල් ගත කර තිබුණි. මට කල යුත්තක් සිතා ගත නොහැකි විය. මා හට පසුදින බ්‍රිතාන්‍ය කවුන්සලයේ ඉංග්‍රීසි පංතියට සහභාගි වීමටද තිබුණි. එහි අපත් සමග උගත් වෛද්‍යවරියක මා හට පැවසුවේ අවේලාවේ වුවද රෝහල වෙත වෛද්‍ය ශිෂ්‍යයකු ලෙසින් යාගත හැකි බවය. එලෙසින් මම එහි ගියෙමි. මා මිතුරාට වැළදී තිබුනේ ඩෙංගු උණය. සම්බන්ධය නවතන කථා එයින් සුන් විය. එහෙත්, ගෙදර අය කෙසේ හෝ දැනගෙන මා හට තර්ජනය කරන බව පමණක් එහිදී ඔහු හට පැවසුවෙමි. මාගේ දෙනෙතට එබී, මාගේ වමතින් හිමින් අල්ලා, රෝගී ස්වරයෙන් ඔහු ඇසුවේ එක් පැණයකි. ‍‍”ඔහොම දිගටම වුනොත් ඔයා මොකද කරන්නේ?” මා කිසිදා වෙනස් නොවන බව ඔහුට අවධාරණය කොට මම පිටත්ව ආවෙමි.

අසාධ්‍ය තත්ත්වයෙන් සති දෙකක් පමණ ගතවිය. ඒ දිනවල සිදු වූ දේවල් මාගේ සිතට දරා ගත නොහැකි තරම්විය. අම්මාගේ ඇනුම් බැණුම්, ඔහුගේ අසනීප තත්ත්වය, ගෙදර ඇති ව තිබු දරා ගැනීමට නොහැකී පරිසරය, මේ සියල්ලම මා පාගා දැමීය. එහෙත් ඔහු වෙත බැදුනු සිත නොවෙනස් ව අචලව මාවෙත රැදී තිබිණ.

අවසානයේ කෙමෙන් කෙමෙන් ඔහු සුවපත් විය.

මේ දේවල් දැන් මට දැනෙන හැටි ……………………..

අම්මා එලෙසින් හැසිරුනේ හේතු කිහිපයක් මුල් කරගෙනය.

ගෙදර වැඩිමහල් දරුවා වශයෙන් මා ගන්නා තීරණ, මා කරනා දේවල්, නංගිලා විවෘත දෑසින් බලා සිටීමත්, මා හට ඔවුන්ගේ අනාගතය ගැන වගකීමක් තිබීමත්, ප්‍රධාන කාරණා විය. අනෙක් අතට අම්මා කැමති වුයේ පිරිමි ළමයකුගේ දෙමව්පියන් විසින් “ඔයාගේ දුවව අපේ පුතාට දෙනවාද” යනුවෙන් ඉල්ලීම් ලැබීමටය. අම්මා තරුණ කාලයේ අම්මාගේ අක්කා බැලීමට ආ මනමාලයන් අක්කා හට නොව නංගී හට කැමති වු අවස්ථාවන් ද තිබී ඇත. අම්මා පවසන්නේ එසේ නැන්දම්මාවරුන්ගෙන් කැමැත්ත ලැබෙන පරිදි ජීවත් වීම වඩා අගනා බවය. එය සැබෑවක් විය හැක. එනමුදු එකම අගනා ක්‍රමය එය පමණක් නොවන බව අම්මාට වටහා ගැනීම අපහසු වන්නට ඇත.

තවද මා පෙර පැවසූ පරිදි ඔහු එකල බාහිරව පෙනුනේ දගකාර පුංචි කොල්ලකු ලෙසිනි. එනමුදු වසරකට ආසන්න කාලයක් ඇසුරින් මම ඔහුව හොදින් වටහාගෙන සිටියෙමි. ඒ බව අම්මාට වටහා දීමට තරම් මා වෙත හැකියාවක් නොවීමත් මේ ප්‍රශ්නය දුරදිග යාමට හේතු විය. අම්මා හැමදා ඔහු ගැන සිතුවේ කිසිම බරක් පතලක් නැති කෙනෙකු ලෙසිනි. කෙනෙකු වයසත් සමගම මුහුකුරා යන බව අම්මාට සිහි නොවුනා සේ විය.

අම්මා මුලදීම කලබල නොවී, ඔහුගේ දෙමව්පියන් සමගින් කථා කොට සමතයකට ආවේ නම් නංගිලා හට නරක ආදර්ශක් වේ යැයි සිතිය නොහැක. එවිට ඔවුන් ද යම් අවස්ථාවකදී ප්‍රශ්නයක් නිරාකරණය කර ගැනීමට හොදම පුද්ගලයා ලෙස අම්මා තෝරා ගැනීමට ඉඩ තිබිණ. අම්මා සිතුවේ මට එක පාරින් කැමැත්ත දුන්නේ නම් නංගිලා හටද අම්මාට ඒ ආකාරයටම ක්‍රියා කිරීමට සිදුවනු ඇති බවයි. “ඔන්න ඔයාලත් බලා ගන්න, අක්කා මුලින්ම ඇවිත් මටයි කිව්වේ. ඒක නිසා අපි ඒ අයත් එක්ක කථා කරලා තීරණයකට එනවා. ඔයාලත් කවදා හරි දවසක මේ වගේ දෙයක් වුනොත් අපිට ඇවිත් කියන්න ඕනේ, අපි හොයලා බලලා ගැලපෙනවා නම් කරලා දෙනවා” යනුවෙන් නංගිලාට පැවසුවේ නම් එය ඔවුන්ට හොද ආදර්ශයක් වනු ඇති බවයි මගේ නම් හැගීම. එසේ නොකොට කලබල වීමෙන් සිදු වූයේ, “අක්කා කොහොම හරි දින්නානේ, අපිත් කොහොම හරි දිනනවා” වැනි අදහසක් ඔවුන්ගේ හදවත් හී ස්ථාපනය වීම පමණි.

“සමසකට පෙර සවසක යුද්ධයක් නිමාවිය” 04 කොටස

Posted in ජීවිතය මේ වගෙයි on 06/12/2009 04:15 am by randil

මිනිසුන්ගේ මුහුණු මත නිරතුරුවම හැගීම් ජනිත වෙයි. දුක, සතුට, සිනහව, කේන්තිය, ආදරය, පුදුමය ………………. ඔය වගේ නොයෙකුත් හැගීම් ………….. ඉහත කී සියල්ලට අමතරව තවත් දෙයක් ඇත. එනම් අසරණ බව. මට කෙනෙකුගේ මුහුණෙහි දකින්නට අපහසුම පෙනුම එයට අසරණ කම ආරූඩ වූ විටයි. කෙනෙකුගේ කේන්තිය හමුවේ මෙන්ම ආදරය හමුවේද නොසැලී සිටීමට මට හැකියාවක් ඇතැයි සිතමි. එනමුදු අසරණ මුහුණක් මා වෙත ගෙන එන්නේ තදබල නොසන්සුනතාවකි.

අම්මා මුලින් මට බැන්නාය. විටෙක තර්ජනය කලාය. පසුව පැහැදිලි කරන්නට පටන් ගත්තාය. එනමුදු එවදන් තුලින්, මා කරන්නේ නොකල යුතු දෙයක් බව අවධාරණය කරන්නට ඇය අපොහොසත් වූවාය. අනතුරුව හඩන්නට ආඩපාලි කියන්නට පටන් ගත්තාය. තවත් විටෙක ඉතා අසරණව කල් ගත කරන්නට පටන් ගත්තාය. එවිට ඇයගේ මුහුණේ පලවන හැගීම් මා නොසන්සුන් කලේ නිතැතිනි. එවිට මේ සියලු දේ නවතා දැමීමට මට සිත් වූ අවස්ථා එමටය. ඒ බැදුනු සිත වෙනස් වූ නිසා නොවේ. අම්මාගේ මුහුණ දකින්නට තිබූ අපහසුතාව නිසාවෙනි. එසේ සියල්ල නවතා දැමීමට සිතා සිටි මොහොතක ඔහු හමු වූ විට සියලු සිතුවිලි අතුරුදන් වූයේ ඒ පිළිබද සේයාවක්වත් නොතබමිනි. මේ සියලු දෑ අභිමුව වඩා අසරණ වූයේ කවුරු දැයි ඔබට වැටහෙනවා ඇති.

මට සිතෙන, මට වැටහෙන, අන්දමට අම්මා මේ තරම් කලබල වූයේ මා කෙරෙහි තබා තිබූ මහමෙරක් වන් වූ බලාපොරොත්තු සමුදාය නිසාය. පංතියේ පළමුවැනියා නොවූවද, මා සිටි සෑම පංතියකදීම දීප්තිමත් ශිෂ්‍යාවක් වූවාය. අම්මා එකල පවසන්නේ පාසලේ දෙමව්පිය රැස්වීම් වලට සහභාගී වීමට පැමිණි විට මාගේ ගුරු මෑණිවරුන් ඇයව සාදරයෙන් පිළි ගන්නා බවයි. අනෙක් මව්වරු බොහෝ දෙනා රැස්ව සිටින අවස්ථාවේ ගුරු මෑණිවරුන් මාගේ අම්මා සමග මා ගැන වර්ණනා කරන විට අම්මා නිහතමානී ආඩම්බරයක් හිතේ දරා සිටියාය. එහෙත් ඇය කිසිදා අනෙක් අය සමග අපේ පුරාජේරුව වනන්නට නොගියාය. නිහඩව අහිංසකව ඒ සතුට බුක්ති විදීම ඇයගේ සිරිත විය. චරිතවත් බවට, ඒ සෑම දෙයටම වඩා ඇය මුල් තැන දුන්නාය. ඇය වටහා ගත්තේ පිරිමි ළමයෙකු සමග සම්බන්ධයක් ඇති කර ගැනීම චරිතයට කරගත් මහත් වූ කැළලක් වශයෙනි. ඇත්තට ම අද සමාජය දෙස බලන විට ගැහැණු දරුවකු සම්බන්ධයෙන් අම්මා කෙනෙකුගේ සිතේ ඇතිවන බිය සාධාරණ බියකි. ඒ තරමට රැවටිලිකාර ලෝකයකට අද වන විට අප සැම පා තබා ඇත. අම්මා බිය වූයේත් මා කරදරයකට පත්වේ යැයි සිතාය.

ඔහු කෙරෙහි මා සිතෙහි ඇතිව තිබූ විශ්වාසය පදනම් කරගෙන, මා කිසිදාක කරදරයකට පත් වේ යැයි මම සිහිනයකින්වත් නොසිතුවෙමි. ඒ තරමට ම අපේ බැදීම ශක්තිමත් විය. අප දෙදෙනා කිසිදා රණ්ඩු වී නොමැත. මම මෝඩ බොලද වැඩ අනන්තවත් කර ඇත්තෙමි. ඒ කිසිවක් හමුවේ ඔහු මට දොස් කියා නොමැත. සමහර අවස්ථාවන් වලදී බොහෝ පිරිමි ළමුන් ඔවුන්ගේ පෙම්වතියන් හට තමුසේ ඕයි වැනි වචන භාවිතා කරනු මට ඇසී ඇත. එහෙත් මා සැමියා මා ඔහු දන්නා කාලයේ සිට මට එවන් වදනකුදු භාවිතා කර අමතා නැත. ඔහු හැම විටම මාගේ ‍ගරුත්වය උසස් කොට සැලකුවේය. මිතුරන් අභියස දී පමණක් නොව ඔහුගේ නෑදෑයන් අභිමුව දී වුව ඔහු මට හිමි තැන මට ලබා දුන්නේය. වරක් ඔහුගේ නෑදෑ පිරිසක් ඉදිරීයේදී ඔවුන් මා පිළිබද විමසා සිටිය කල ඔහු පැවසූවේ කවදා හරි මම කසාද බදිනවා නම් බදින කෙනා තමයි මේ යනුවෙනි.

මේ ආකාර වූ අපේ බැදීම නිසා අම්මා පවසන ආකාරයේ අවැඩක් සිද්ධ වේ යැයි මා හට සිතා ගැනීමට නොහැකි විය. ඔහු එක් මොහොතකට හෝ මා හට අකාරුණික වී නම්, මා නොසලකා හැරියේ නම්, හෝ මා වැරදි දෙයකට පෙළඹ වූයේ නම් ඒ මොහොතේදීම යම් තීරණයක් ගැනීමට මා හට හැකියාවක් තිබිණ. අම්මා පවසන දෙයට හාතපසින්ම විරුද්ධ වූ ගති ලක්ෂණ වලින් හෙබි වූ ඔහු කෙරෙහි අහිතක් ‘මා කොහොම නම් සිතා ගන්නදැයි’ එකල මා හට සිතා ගත නොහැකි විය.


“සමසකට පෙර සවසක යුද්ධයක් නිමාවිය” 05 කොටස

Posted in ජීවිතය මේ වගෙයි on 06/15/2009 03:49 am by randil

අපි අනාගතය ගොඩ නැගුවේ මෙහෙමයි ! ……………………………..

මේ ආකාර වූ ප්‍රශ්න නිමක් නොමැතිව ආවා වුවද, අපි අපගේ වැඩිදුර ඉගනුම් කටයුතු අතපසු නොකලෙමු. ඇත්ත වශයෙන්ම එය අප හට සති අන්තයේදී හමුවන්නට මාර්ගයක් ද සැපයූවා යැයි නොපැවසුවහොත් එය සත්‍යය වසන් කිරීමකි. කෙසේ වුවද අප දෙදෙනා අපගේ විෂය පථයට සම්බන්ධ බොහොමයක් පාඨමාලාවන් මේ වන විට සම්පූර්ණ කර අවසානය. එය අපගේ අධ්‍යාපන මට්ටම මෙන්ම රැකියා තත්ත්වය ද නංවාලන්නට මහෝපකාරී විය. රැකියාවෙන් ඉපයූ මුදල් බොහෝ ප්‍රමාණයක් වැය වුවද අද ඒ පිළිබද කණගාටුවක් නොමැත්තේ එයින් උපයාගත් ජීවිතය අප අතැතිව අද ඇති බැවිනි.

වසර 2007 වනතුරු වසර 5ක් පමණ කාලයක් රැකියාවට අමතරව මුලුමනින් ම අප වැය කලේ අධ්‍යාපන කටයුතු සදහාය. ඒ අතර අතරින් පතර පංති අතපසු කරමින් වෙන වෙන ගමන් ගිය බවද සැබෑවකි. එනමුදු ඒ එකම ගමනක්වත් ‍සමාජ සම්මතයන්ට පටහැනි වු, නොහොබිනා ගමන් නොවූ බව ඉදුරා පැවසිය හැක. ‍දෙහිවල සත්ත්ව උද්‍යානය, WATER WORLD කැලණිය, LEISURE WORLD (ආරම්භ කල අලුතම වාගේ එක් වරක්), ආදී ස්ථාන වෙත, කැලණිය, කළුතර, බෙල්ලන්විල, ආදී විහාරස්ථාන වලට අමතරව අපි ගොස් ඇත්තෙමු. තවද BMICH හී සැත්තැම්බර් මස පවත්වන ‍පොත් සල්පිල ද, පෙබරවාරි මස පවත්වන ගෘහ නිර්මාණ ශිල්පයට අදාල ප්‍රදර්ශනය ද, නොවරදවාම අපගේ සහභාගීත්වය ලබන ස්ථානයන් දෙකක් විය. ඉහතින් මා දක්වන ලද ගමන් එකල රටේ පැවති තත්ත්වය අනුව දෙමව්පියන්ගේ අනු දැනුමකින් තොරව ගැහැණු ළමයකු තබා පිරිමි ළමයකු වුවද නොයා යුතු ඒවා බව අද වන විට මට හැගේ. එයට හේතුව නිරතුරුව ම බෝම්බ පිපිරුණු රටක එවන් අනතුරකට අප පත් වූයේ නම්, අප දෙදෙනාගේ දෙමව්පියවරුන්ට කුමකින් කුමක් සිදුවනු ඇත්දැයි දැන් දැන් මා හට සිතීමය. දන්වා ගියද නොදන්වා ගියද තම දරුවන් අනතුරකට පත්වීම දෙමව්පියනට දරා ගත නොහැකි දෙයකි. එනමුදු දිල්ලි ගිය කෙනෙකුට බොම්බායේදී අනතුරක් වේ යැයි කවුරු නම් සිතත්ද? අවසානයේ සමාජ අපවාදයට ලක් වන්නට සිදුවන්නේ ද අහිංසක දෙමව්පියන්ටමය.

කෙසේ හෝ එම තත්ත්වයට ‍සිතා හෝ නොසිතා (අප මෙන්ම) තරුණ දූ දරුවන් බොහෝ දෙනා තල්ලුකර දමන්නේද දෙමව්පියන්මය. දැන ගත් විගසින් දුම්මල වරම අතට ගැනීමෙන් සිදුවන්නේ මෙවැනි දේවල් බව දෙමව්පියන් තරයේ වටහා ගතයුතුමය. ඇහේ දාගෙන හැදුවත් වැඩුවත් දරුවෝ යනු තවත් එක් ජීවී කොට්ඨාසයක් පමණි. ඔවුන් කලක් ගත වද්දී තමන්ගේම සිතුම් පැතුම් අනුව කටයුතු කිරීමට පටන් ගනී. මෙහි දී දෙමව්පියන් කරනා කියනා දේ මෙන්ම ගන්නා තීරණද අතිශය තීරණාත්මක වන බව මාගේ හැගීමයි.

බොහෝවිට පවුලේ වැඩිමහල් දරුවා යනු දෙමව්පියන්ගේ වැඩි අවධානය දිනා ගන්නා දරුවා බව කොතරම් ඔවුන් නොපිළිගත්තත් සැබෑවකි. ඒ බවට සාධක බොහොමයක් සමාජය දෙස බලන කල දැක ගත හැක. බොහෝ නිවෙස් වල වැඩිමහල් දරුවාගේ වසරින් වසරට ගත් පිංතූර ඇත. පොඩි කාලේ ඇන්දූ ඇදුම් ඇත. අනෙක් දරුවන්ගේ ඒවා නොමැත. දරුවන් සම්බන්ධ සියලු අත්දැකීම් ප්‍රථම වරට දෙමව්පියන් අත්දකින්නේද සිය වැඩිමහල් දරුවා මගිනි. එබැවින් එම දරුවන් මෙවන් සම්බන්ධයකට පත්වීමද, දෙමව්පියන් හට මහමෙරකි. ඔවුන් ඔතරම් කලබල වන්නේද ඒ හේතුවෙනි. අනෙක් අතට වැඩිමහල් දරුවා සුවච කීකරු දරුවකුව සිටියදී ඊට බාල දරුවකු මෙවන් දෙයක් කලේ නම් තත්ත්වය තවත් භයානක වනු ඇත. තවද පවුලේ එකම දරුවා වූයේ නම්, ………………… ලෝක විනාසයකි.

මේ කරුණු සියල්ල දෙමව්පියන් මෙන්ම දරුවන්ද සිහිබුද්ධියෙන් කල්පනා කලයුතු වූ ඒවාය. අප සියලු දෙනා තනි තනිව ගෙනා කර්ම ශක්තියක් ඇත. එය වටහා ගැනීම සියලු ප්‍රශ්න වලට විසදුමයි.


“සමසකට පෙර සවසක යුද්ධයක් නිමාවිය” 06 කොටස

Posted in ජීවිතය මේ වගෙයි on 06/16/2009 06:37 am by randil

කිරලා මැනලා හිතට (‍නො)ගත යුතු අවවාද අනුශාසනා ………………………………….

“කාලයට ඉඩ දෙන්න. තව තවත් ඉවසන්න. පස්සේ ඔය සේරම හරි යයි.”

ඔය වගේ අවවාද තමයි අප දෙදෙනාට හැමදාමත් දන්න කියන අයගෙන් ලැබුනේ. මගේ සමහර ම්තුරියන්ගේ මව්වරු පියවරු ඇතිව තිබූ තත්ත්වය ගැන පුදුම වූහ. ඔවුන් නිරතුරු විමසුවේ, “මෙච්චර හොද දරුවෙකුට ඇයි ඔයාගේ අම්මා අකමැති දුවේ” යනුවෙනි. මාගේ හිතවත්ම මිතුරු මිතුරියන් හා ඔවුන්ගේ දෙමව්පියන් ඉහතින් දක්වන ලද ආකාරයේ අවවාද දුන්නා මිසක කිසි දිනෙක වැරදි තීරණයක් ගැනීමට අබමල් රේණුවක තරමවත් අනුබලයක් නොදෙන ලදී. ඔවුන් නිරතුරු පැවසුවේ, “ඔය දෙන්නාට වරදින්නේ නැහැ, ඒත් පුතේ කවදාවත් අම්මා තාත්තාගේ හිත රිද්දන තීරණ නම් ගන්න එපා. එයාලා කවදාහරි තේරුම් ගෙන ඔයාලාට ආශිර්වාද කරයි.” යනුවෙනි.

එනමුදු මෙහිදි කිව යුත්තක් ඇත. මගේ තාත්තාගේම අක්කාගේ දුවත් (ප්‍රේම සම්බන්ධයක් මත විවාහ වී එම විවාහය අසාර්ථක කර ගත් අයෙකි), මගේ තාත්තාගේ මිතුරකුගේ බිරිදත් (විවාහ ජීවිතයේ හැල හැප්පීම් මැද, දෙමවිපිය සරණද අහිමිව වෙසෙන අයෙකි), මගේ එක් මිතුරියකගේ මව් කෙනෙකුත් (ස්ව කැමැත්තට විවාහ වී ආර්ථික ප්‍රශ්න නිසා, දන්නා දා සිට සැමියා පිටරට සිටින්නියකි), තවද මාගේ නැගනියගේ මිතුරියකගේ මව් කෙනෙකුත් (නොගැලපෙන විවාහයක බැදී, බීමත් සැමියාත් දියණියන් දෙදෙනාත් සමග ජීවිත සටන අසීරුවෙන් ගෙන යන අයෙකි) ඉදුරා පවසා සිටියේ අප දෙදෙනාගේ කැමැත්ත අනුව තීරණයක් ගන්නා ලෙසය. ඒ අතරින් අයෙක් කීවේ, “ඔන්න ඔහේ පැනලා යන්න අනේ” කියලාය. තව කෙනෙක් කීවේ, “ඔයයි ජීවත් වෙන්න ඕන. ඒක නිසා ඔයා කැමති කෙනෙක්ට ගෙදරින් කැමති නැත්නම් ඔයා දැන්මම තීරණයක් ගන්න” යනුවෙනි. අප දෙදෙනාම සිටින තැනකදී මේ අතරින් කෙනෙක් විමසුවේ, “ඔයා කවදා වෙනකම් අම්මා කැමැත්ත දෙනකම් ඉන්නද? එතකොට මේ ළමයාට යන කල මොකද්ද? අවුරුදු ගානක් ගිහිල්ලත් ඔයාගේ අම්මා කැමැත්ත දුන්නේ නැත්නම් මේ ළමයාට දුක් දෙන්නද යන්නේ?” යනුවෙනි. තවද ඇය තදින් විමසා සිටියේ, “ඔයාගේ අම්මා කවදාවත් කැමැත්ත දුන්නේ නැත්නම් ඔයා ඔයාගේ කැමැත්තට මේ ළමයා එක්ක එනවාද නැද්ද? එහෙම බැරිනම් දැන්ම නවත්තලා දැම්මොත් හොද නැද්ද” යනුවෙනි. මෙහිදී මා හට දී ගන්නට පිළිතුරක් නොමැති විය. එසැනකින් ඉදිරිපත් වූ මා සැමියා පවසා සිටියේ, “මෙයාගේ ගෙදරින් කැමැත්ත ලැබෙන තුරු කිසිවක් සිද්ධ වෙන්නේ නැහැ” යනුවෙනි.

සැබවින්ම මේ අයට අවශ්‍ය වූයේ අපට උපකාර කරන්නට නොවන බව අද මෙන්ම එදාද මම දැන සිටියෙමි. ඔහුද දැන සිටියේය. තමන් වැටුනු වලේ තමන්ගේ ම නැගනියක වූ මා වැටෙනු දැකීමට එක් අයෙකු සතුටු වූ අතර තව අයෙක්ට අවශ්‍ය වූයේ අක්කා ගෙදරින් පැන ගිය විට ඇතිවන තත්ත්වය හමුවේ නැගනියගේ අධ්‍යාපන කටයුතු අඩාල වනු දැකීමටය. එවිට ‘සිය දියණියට සිටි තරගකාරියක පිටියෙන් ඉවත් වූවා’ යැයි ඇයට සතුටු වීමට හැකියාවක් ලැබෙනු ඇත. තවත් කෙනෙකුට අවශ්‍ය වූයේ අප දෙදෙනා අතර ප්‍රශ්නයක් ඇති කිරීමටය. අම්මාගේ කැමැත්ත ගැන සිතනවා විනා මා ඔහු ගැන නොසිතන බව ඔහුට පසක් කිරීමට ඇයට අවශ්‍ය විය. මේ මූඩ මිනිසුන්ට නොතේරුණු එක් දෙයක් ඇත. ඒ අප වැනි දෙදෙනෙකු ඔවන් කථා වලින් මුලා කල නොහැකි බවය.

මෙය කියවන සහෝදර සහෝදරියන් හට, පෙර ලිපියකදී පවසන ලද පරිදීම මෙහිදීද මට පවසන්නට ඇත්තේ, ඔබටත් මෙවැනි අවවාද උපදෙස් දෙන්නට ඕනෑ තරම් අය හමු වේවි. එහෙත් කවදාවත් මුලා වන්න එපා. පෙර පැවසු පරිදීම, පැන ආ දවසේ රැය පහන් කිරීමට සිය කාමරය, නිවස දීමට ඕනෑ තරම් අය සිටීවි. රසමසවුලෙන් සංග්‍රහ කරාවි. එහෙත් පසුදිනට ඉර පායන විට හිසට සෙවනක් සොයාගෙන යාමට ඔබට සිදුවේවි. එවිට කුස ගින්න නිවා ගන්න පාන් කෑල්ලක් ගන්න තරම්වත් මුදලක් ඔබ අතේ නැති වන්නටද, බොහෝ දුරට ඉඩ ඇත.

ඔබ ධනවත් කෙනෙක් නම් ඉහත කිව් කිසිවක් ඔබට සිදුවන්නේ නැත. එහෙත්, අම්මා තාත්තා දහදුක් විද හැදූ වැඩූ ඔබ හිතුවක්කාරී තීරණයක් ගත් දින පටන් ඒ අයගේ හදවත් තුල දැල්වෙන ගින්දර ඔබේ ධනය අළු කර දමන්නට ප්‍රමාණවත් නොවේ යැයි ඔබට සිතේද?. යම් දිනෙක ඔබගේ දරුවකු ඔබට රිදවුවහොත් එය ඔබට කෙසේ දැනෙනු ඇත්දැයි නිරතුරුවම සිහි කරන්න.

සමහර විට ඔබගේ දෙමව්පියන් හිතුවක්කාර විවාහයකින් බැදුනු අය විය හැක. ඒ වුවද ඔබ කිසදා එවන් තීරණයක් ගන්න එපා. එසේ වුව හොත් අසලවැසි උදවිය, නෑදෑයෝ, මිතුරෝ, ඔබගේ දෙමවිපියන් හට, “ඔන්න දැක්කනේ, කල කල දේ පල පල දේ” යනුවෙන් හිනා ‍වනු ඇත. අප හදා වඩා උස් මහත් කොට මේ සමාජයට දායාද කලේ ඔවුන් නිසාවෙන් දෙමව්පියන් කුමන වරද කලද ඉවසා සිටීමේ වගකීම අප වෙත නිරතුරු රැදී ඇති බව සිහි කරන්න.

වසර 30ක් පුරාවට පැවති උතුරු නැගෙනහිර යුද්ධය අද නිමා වී ඇත. එනිසා එහි තිබූ භයංකරත්වය ටිකෙන් ටික ජන මනසින් වියෝ වි යනු ඇත. එයට මුහුණ දුන් පරම්පරාව අවසාන වූ විට එය පුරාවෘත්තයක් බවට පත් වී එළාර දුටු ගැමුණු යුද්ධය ගැන අද අප කථා කරන ආකාරයට සමාජය තුල රැදී තිබෙනු ඇත. එනමුදු යුද්ධය පැවති සමයේ, පිටතට එන දවසක් නොදැන පෙට්ටියක සිරවී සිටියා බදු හැගීමකින් යුතුව, ’යුද්ධය කවදා ඉවර වේදෝ, කවදා මේ බෝම්බ පිපිරීම් නවතීදෝ’ යනුවෙන් අප සියල්ලෝම ලතැවිල්ලේ බලා සිටියෝය.

එලෙසින්ම පසු ගිය මාස හයට පෙර පැවති වසර හය අප දෙදෙනාට ම ගිණි ගොඩක් විය. ඇත්ත වශයෙන්ම එම ප්‍රශ්නය සාමකාමී අන්තයක් කරා ලං වේදෝයි අප තුල තදබල සැකයක් නොතිබුනාම නොවේ. ‘තව තවත් ඉවසන්න. කාලයට ඉඩ දෙන්න’ වාගේ අවවාද ඇසීමෙන් දෙසවන් විඩා වැටී තිබුණි. විභාගයක් කලේ නම් ප්‍රථිඵල එන දවස ආසන්න වශයෙන් හෝ දන්නා නිසා ඉවසා සිටිය හැක. එහෙත් අප සිටි තත්ත්වය එසේ නොවේ. කවදා කෙලෙසින් එම ප්‍රශ්නය විසදේ දැයි දැන සිටියේ අපගේ දෛවය පමණි. එහෙත් අප විශ්වාසය මත පදනම් වූ බලාපොරොත්තුවකින් යුතුව පෙර මග බලා සිටියේ මායිම් ගම්මානවාසී ජනතාව සිටියා සේය.

මා හට විටෙක දිවි නසා ගැනීමටද සිත් වූ බව අද දින සිහි කරන්නේ ලජ්ජාශීලිවය. ඇත්තටම එය ලැජ්ජාවටම කරුණකි. අද දින මා ගෙවන ජීවිතය දෙස බලන කල, අම්මාවරු දෙදෙනාගේම ආදරය කරුණාව නිරතුරුවම ලැබෙන කල, ‘අයියෝ මොන තරම් මෝඩ විදිහටද එදා මම හිතලා තියෙන්නේ’ කියා මට විටින් විට සිතේ. ජිවිතය නම් මේ වගෙයි. ඇත්ත වශයෙන්ම ඉවසීමෙන් නම් සැනසීම ලැබේමය.


“සමසකට පෙර සවසක යුද්ධයක් නිමාවිය” 07 කොටස

Posted in ජීවිතය මේ වගෙයි on 06/17/2009 05:07 am by randil

මට දැණුනු දේ අම්මා තේරුම්ගත් හැටි ………………………………..

වරක් අම්මා අසනීප විය. ඇයගේ දියවැඩියා තත්ත්වය උත්සන්න වීම එයට හේතුවිය. මානසික පීඩනය දියවැඩියා තත්ත්වයට බලපාන බව වෛද්‍යවරුන් පෙරදී අම්මාට පවසා තිබුණි. එබැවින් ඇය රෝගී වූයේ මා නිසා යැයි මා සිත තදබල ලෙස මා හට දෝෂාරෝපණය කරන්නට විය. එය මාගේ පපුව හිරකරවන තත්ත්වයක් විය. වරක් අම්මා බලන්නට රෝහලට මාත්, තාත්තාත්, ලොකු නැන්දාත් ගියෙමු. තාත්තා අවශ්‍යතාවකට පිටතට ගියේය. අම්මාත් නැන්දාත් කතා කරමින් සිටි අතර මම අසලින් සිටියෙමි. මදින් මද මා වෙලා ගත්තේ තදබල නොසන්සුන්තාවකි. මට එතන තව දුරටත් සිටිය නොහැකි තත්ත්වයක් උදාවිය. මම විගසින් ජනේලය අසලට ගියෙමි. හදවත තෙරපූ වේදනාව, කදුළු බවට හැරී, නවතා ගත නොහැකි වූ මහා ඉකි ගැසිමක්ද සමගින් පිට විය. මට මා පාලනය කර ගත නොහැකි විය. ‘අම්මා ලෙඩ වූයේ මා නිසාවෙනි. අම්මා අද රෝහල් ගතව සිටින්නේ මා නිසාවෙනි’ වැනි සිතුවිලි මාගේ මනස කළඹාලීය. අම්මා පැමිණ මා අස්වැසුවාය. ඇය සිතුවේ අම්මා ගෙදර නැති නිසාවෙන් මා හඩන බවකි. “බය වෙන්න එපා පුතේ අම්මා මැරෙන්නේ නැහැ. ඔයාලාට හොද කල දවසක් උදා කරනතුරු අම්මාට මොකුත් වෙන්නේ නැහැ” යනුවෙන් පවසමින් (හඩමින්) ඇය මා අස්වසන්නට උත්සහ කළාය. එනමුදු මා පෙලූයේ ඇය සිතූ දේ වලින් පමණක් නොවන බව මට එදා පමණක් නොව පසුවද ඇයට වටහා දීමට නොහැකි විය. එදා ඇතිවූ තත්ත්වය නිසා ඉන් පසු අම්මා නිවසට පැමිණෙන තුරු මම ඇය බලන්නට රෝහලට නොගියෙමි. එසේ එහි නොගියේ යෑමෙන් සිද්ධ වන්නේ, මා දරුණු වේදනාවකට පත්වීම මෙන්ම අම්මාද හඩන්නට පටන් ගැනීම නිසාය.

එනමුදු පසුව අම්මා සිතා ගත්තේ වෙනත් දෙයකි. ඈ මා සමග උරණ වූ සැම විටම පවසා සිටියේ, “අරූ එක්ක වැඩ ඇරිලා එන්න ඕන නිසා මාව බලන්න ඉස්පිරිතාලෙට ආවේ නැහැ. හොදයි පුතේ ඔහොම තමයි මේ අම්මාට කරන්න ඕන” යනුවෙනි. ඇයගේ පැත්තෙන් ඈ සිතූ හැටි නිවැරදිය. එනමුදු මගේ පැත්තෙන්? ……………………….. මම එය සෑම විටම ඉවසා දරාගත්තෙමි. එසේ නොකොට වෙන කුමක් කරන්නද? පහදා දෙන්නද? පහදා දෙන්නේ මොනවා කියමින්ද? මා නිවසේ සාමාජිකයින් සමග සිටිනවාට වඩා ඔහු ඇසුරේ සිටින්නට ප්‍රිය කල බව සැබෑවකි. එනමුදු මේ සිද්ධියේදී මා වැටුනේ නොසිතූ තත්ත්වයකට බව දන්නේ මාත් ඔහුත් පමණකි.

ඔවැනි අවස්ථාවන් ජීවිතයේ බොහෝවිට උදා වේ. එවිට කිරීමට ඇත්තේ මුණිවත රැකීම ම පමණි. කෙසේ වුවද ඒ දෙයින් පසු මම සිතා ගත්තේ ආයෙත් එවන් අවස්ථාවක් උදා වුවහොත් මට කුමන තත්ත්වයක් උදා වුවද අම්මාගේ සිතසුව පිණිස එක සිතින් ක්‍රියා කරන බවටය.

නැවත වාරයක් 2008 වසරේ මුල් භාගයේදී ඇයට රෝහල්ගත වන්නට සිදුවිය. එකල, තාත්තාට අම්මා බැලීමට රෝහලට ඒමට අපහසු වූයේ ඔහු අවශ්‍යතාවකට ගමේ ගොස් සිටි බැවිනි. උදෑසන 6 වනවිට අප දෙදෙනා මොටර් සයිකලයෙන් කොළඹ මහා රෝහල වෙත පැමිණීමත්, ඔහු වාට්ටුවෙන් පිටත සිටියදී මා ගොස් අම්මා බලා ගෙනා කෑම ඇයට දී කථා කර ඒමත් ඇය නිවසට පැමිණෙන තුරාවටම නොපිරිහෙලා ඉටු කළෙමු. සවස ද ආහාර රැගෙන ඇය බැලීමට අපි දෙදෙනා ගියෙමු. ඔහු වාට්ටුවෙන් පිටත සිටින බව ඇය දැන සිටියාය. වරක් මා ඇගෙන් ‘ඔහු කැදවන්නදැ’යි ඇසුවද ඇය එය ප්‍රතික්ෂේප කලාය. එය මාගේ සිත රිදවන්නක් විය. එනමුදු හිමිදිරි උදෑසන මා කැදවාගෙන රෝහලට ඒම ඔහු කිසි දිනෙක ප්‍රතික්ෂේප කලේ නැත. එහෙත් මා පසුව නැගනියන්ගෙන් දැන ගත්තේ ‘අක්කා පව් නේද?’ යනුවෙන් පවසමින් එම සිද්ධිය ඔවුන් සමග අම්මා පැවසූ බවය. තදබල ලෙස විරෝධය පාමින් සිට එවන් අවස්ථාවකදී, එක්වරම සුහදශීලි වීම නුසුදුසු යැයිද, එසේ වුවා නම් ඔහු වුවද ‘මාව ඕනෑ කරදරයකදී තමයි’ යනුවෙන් සිතනු ඇතැයිද අම්මා සිතන්නට ඇත. ඇත්තටම ඇය ඒ අවස්ථාවේදී කල දේ නිවැරදි යැයි අද මට පෙනේ. නමුදු එදා දුටුවේ එහි අනෙක් පැත්තයි. ඇයගේ සිත මහා දරුණු සිතක් යැයි එවිට මට සිතුණද, ‘කමක් නැහැ අම්මානේ’ කියා සිතා සිත හදා ගත්තෙමි. නමුදු ඇය කර ඇත්තේ අවස්ථානෝචිතව වඩාත්ම සුදුසු දෙයයි. අපට අවසර දෙන තෙක් වහෙන් ඔරෝ වැඩ වලට සිය අකමැත්ත එකහෙලා ප්‍රකාශ කලාය.

දෙමව්පියන් මොනදේ කලද අප නුවණින් සිතා බලා ක්‍රියා කල හොත් ඇතිවිමට තිබෙන දරුණු තත්ත්වයන් මග හරවා ගැනිමේ අවස්ථාවන් විරල නොවන බව මම අත්දැකීමෙන් දනිමි. මුල් වතාවේ අම්මා අසනීප වූයේ 2004 වසරේදීය. එකලට වඩා පසුව අම්මා අසනීප වනවිට වසර හතරකින් අප මුහුකුරා ගොස් සිටීම නිසාත්, ප්‍රශ්නයකදී වඩා කල්පනාකාරීව ක්‍රියා කිරීමට හැකියාව ලැබී තිබු නිසාත්, එවර අපට අම්මාගේ සිත සතුටු වන ලෙසත්, පැහැදෙන ලෙසත්, කටයුතු කිරීමට හැකිවිය. එය අම්මාගේ කැමැත්ත ගැනීමට අප දැමු අඩිතාලමේ එක් ශක්තිමත් ගලක් වූ බව අදවන විට පෙනී යයි.

අපි දෙදෙනා මෙසේ වරින් වර ඒ අඩිතාලම ශක්තිමත් කළෙමු. ඒ සදහා මූලික වූයේ අප දෙදෙනාගේ තිබූ ඒකමතික භාවයත් සමගි සම්පන්න බැදීමත්ය. කිසිම කෙනෙකු හට ඒ බැදීම දුර්වල කිරීමට නොහැකිවිය. ඒ අප දෙදෙනා යහපත් වූ අවබෝධයකින් සිටි නිසාය. මා හට ඔහුට පෙර පිරිමි යහළුවන් නොසිටී තරම්ය. නමුදු පසුව රැකියාවේදී මෙන්ම පාඨමාලාවන් හදාරන විටද බොහෝ මිතුරන් ඇතිවිය. ඒ කිසිම විටෙක ඒ පිළිබද ඔහු තුළ කලබලයක් නොවීය. ඔහු ගැන පවසන්නේ, නම් ඔහුට මිතුරන් මෙන්ම මිතුරියන්ද බොහෝ ප්‍රමාණයක් සිටී. ඒ සියල්ලන්ම පාහේ දැන් මාගේත් මිතුරන්ය. මාගේ සේවාස්ථානයේ පිරිසත් ඔහුගේ මිතුරන් අතර සිටී. ඒ දේවල් කෙසේ වුවද, “අප දෙදෙනා යනු වෙනම රාමුවකි, අනෙක් සියල්ලන්ම ඒ රාමුවෙන් පිටත වේ” යන පදනම මත ‍සිටීම අපි හැම විටම වැදගත් කොට සලකමු. යම් දිනෙක අපගේ දරුවන් සම්බන්ධයෙන් ද අපගේ මතය වනු ඇත්තේද එයයි. එයට හේතුව බොහෝ නිවෙස් තුල දෙමව්පියන්ගේ ඒකමතික භාවයක් නොමැති කම නිසාවෙන් දරුවන් එක් අයෙකු තුලට ඇද ගැනීමට දෙමවිපියන් දරන උත්සහයයි. දෙමවිපියන්ගේ ඇති අසමගිය දරුවන්ට එවිට ඉතාමත් අයහපත් ලෙස බලපාන බව එම පවුල් දෙස බලන කල මොනවට පැහැදිලි වේ.


“සමසකට පෙර සවසක යුද්ධයක් නිමාවිය” 08 කොටස

Posted in ජීවිතය මේ වගෙයි on 06/18/2009 03:47 am by randil

එළඹ සිටි අවස්ථාවට මැදහත් සිතින් මුහුණ දීම ……

කුඩා කල සිට දෙමව්පිය සහෝදර ඇසුරේ හැදුනු වැඩුනු කෙනෙකු හට ආදරණිය සහකරුවෙකු හෝ ආදරණිය සහකාරියක මුණ ගැසුනු විට එතෙක් ගත කල ජීවිතය වෙනස් වන බව සැබෑවකි. එනමුදු ඔවුන් තවමත් සිය දෙමව්පිය සහෝදර සහෝදරියන්ගෙන් සැදුම් ලත් පවුලේ කොටසක් බව කිසි විටෙක අමතක කල යුතු නොවේ.

අද මා කුමක් කීවද මට නම් බොහෝ අවස්ථාවන් වලදී ඒ බව අමතක වූ බව සත්‍යයකි. එකල ලද හැම අවස්ථාවකදීම මා උත්සහ කලේ ඔහු හමුවිමටය. ගෙදර අවශ්‍යතාවකටවත් මා නිවසේ රදවා ගැනීම අම්මාට අසීරු කරුණක් විය. අප දෙදෙනාගේ නිවාඩු ද බොහෝ සෙයින් ඉතිරි වූයේ අසනීපයකටවත් ගෙදර නැවතීම ඉතාමත් කලාතුරකින් සිද්ධ වූවක් බැවිනි.

ඒ දිනවල අවුරුදු නිවාඩුවට හෝ වෙනත් අවශ්‍යතාවකට ගමේ යෑම මට මහ කරදරයක්විය. එයට හේතුව ගමේ ගියහොත් නැවත පැමිණෙන්නේ සතියකට දෙකකට පසුව වීමය. පසුගිය අවුරුද්දේ අවුරුදු නිවාඩුවට තාත්තා කොළඹ සිටියදී අම්මාත්, මාත්, නංගිලා දෙදෙනාත් දුම්රියෙන් බණ්ඩාරවෙල ගියෙමු. යාමට පෙර මා සැමියා, (එවිට සැමියා නොවේ) මාගේ සේවාස්ථානයට පැමිණ, මාත් සමග ගොස්, මට ගෙන යාමට අවශ්‍ය ව තබූ දේ කිහිපයක් නුගේගොඩින් අරන් දුන්නේය. ඉන්පසු අප දෙදෙනා කොටුව දුම්රිය ස්ථානයට පැමිණි අතර ඒ එන අතරතුර ‘අයියෝ මට යන්න බැහැ’ කියමින් දෙනෙතින් මෙන්ම නහයෙන්ද හඩමින් පැමිණියෙමි. ඊට පෙර අවස්ථාවකදීද (එවිට මෝටර් සයිකලය නොවීය) ඒ ආකාරයටම නුගේගොඩ සිට කොටුව දුම්රිය ස්ථානයට බසයෙන් එන අතරතුර ඉතාමත් ‍බොලඳ ලෙස හඬමින් පැමිණි බවක් මතකයේ තිබේ. “ඇයි මේ අඬන්නේ? ෆෝන් එක තියෙනවානේ. කෝල් කරන්න පුළුවන්නේ ඕන වෙලාවක” කියමින් ඔහු මා අස් වැසුවේය. (ඒ කෙසේ වුවද මා කිසිම පැකීලීමකින් තොරව ම ඒ ගමන ගියේ නම් ඔහු ඒ ගැන පුදුම වන බවද දනිමි.)

මුළු ගමන පුරාම හිත් වේදනාවෙන් යුතුව කල්පනා කරමින් ගියෙමි. අම්මා, නංගිලා සිටියාට මට ඒ මදි විය. වරින් වර දුරකථන ඇමතුම් ලදිමි. මාද දුරකථන ඇමතුම් දුනිමි. කෙසේ ‍හෝ හිමිදිරි පාන්දර වන විට අපි බණ්ඩාරවෙලට සේන්දු වී සිටියෙමු. මාමාගේ නිවස පිහිටා තිබූ ස්ථානයට දුරකථන සංඥා හරි හැටි ක්‍රියාත්මක නොවුනේ කදු වලින් වටවි ඇති නිසාය. ඒ තවත් හිත් අමාරු වැඩි කරවන්නක් විය. කෙසේ හෝ සම්බන්ධ කරගත්තද කථා කරනවාට වඩා හැඬූ බව අද සිහිකරන්නේ මද ලජ්ජාවකිනි. දින දෙකක් යන විට මා හට උණ ගැණින. වෙනදා සීතලේ, පින්නේ, දෙසැම්බර් මාසයේදී පවා මද සෙම්ප්‍රතිශ්‍යාවක්වත් නොමැතිව ගමේ ගත කර ඇති මට මෙවර ගැණුනේ නම් ආදර උණ බව මා හට වැටහිණ. කෙසේ හෝ මා නිසා අනෙක් අයටත් යන්නට සිටි ගමන් අහිමි විය. උණ තත්ත්වය නිසා, නිවාඩුව අවසන් වනතුරු අවදි වූ වේලේ පටන් නිදා ගනිමින් ගත කරන්නට මා හට සිදු විය. ඇත්ත වශයෙන්ම මා සාංකා තත්ත්වයෙන් පෙළුනු බව වටහා ගත්තේ ගමේ සිට කොළඹ පැමිණ ඔහු හමු වු මොහොතේය. එය වටහා දීමට ද අපහසු තත්ත්වයකි.

ඔය ආකාරයෙන් නිවසේ අය සමඟ විනෝද චාරිකාවක් ගියද, මා හට නම් විනෝදයක් නොවිනි.

ඇත්තටම අප හැසිරිය යුත්තේ ඒ ආකාරයටද? …………………………………..

සිතා මතා ඇති කර ගත් තත්ත්වයක් නොවූවද, අවශ්‍ය වූයේ නම් එම තත්ත්වය පාලනය කර ගැනීමට හැකිවනු ඇතැයි මා හට දැන් සිතේ. මනෝ පුබ්බංග මා ධම්මා …………………………. යනුවෙන් කියැවෙන බුදු වදන සනාථ කරමින් එම තත්ත්වයට හේතුව හුදෙක් මගේම සිත පමණක් බව මේ වන විට මට අවබෝධ වී ඇත. පෙර, මේ ලිපිය ආරම්භයේ දී මා පැවසූ පරිද්දෙන්ම අප උපන් දා සිට මියයනතුරු ම විවිධාකාර සමාජ කොටස් වලට හෝ විවිධාකාර තනි පුද්ගලයන් හට අඩු වැඩි වශයෙන් සම්බන්ධකම් වලින් බැ‍ඳේ. ඒ ඒ කොටස් වලට ඒ ඒ අවස්ථාවේදී අපෙන් විය යුතු කොටස සිද්ධ නොවූයේ නම් එහිදී ඇති වන්නේ ගැටළුකාරී තත්ත්වයකි. උදාහරණයක් වශයෙන් ගත් කල රැකියාව කරන අවස්ථාවේදී නිවස ගැන සිත සිතා සිටීමත් නිවසේදී රැකියාවේ කටයුතු ගැන සිත සිතා සිටීමත් ඒ ස්ථාන දෙකෙහිම කටයුතු අඩාල කිරීමට හේතු විය හැක.



මව්පිය සහෝදර සහෝදරියන් සමඟ ගත කරන කාලය ඔවුන් සමඟ උපරිමයෙන් සතුටින් ගත කල යුතු බව මගේ දැන් හැඟීමයි. අප ඔවුන්ගේ සමාජයේ කොටසකි. අපගේ ආදරය, කරුණාව, බැඳීම ලබන්නට ඔවුනට අයිතියක් ඇත. ඒ දේ ලබා දීමට අප හට වගකීමක් මෙන්ම යුතුකමක් ද ඇත. යම් හෙයකින් අපගේ අම්මා හෝ තාත්තා අපව නොසලකා හැර වෙනත් වෙනත් දේ ගැන සිතමින් සිටින්නට පටන් ගත්තා නම් මේ තත්ත්වයේ ඇති බැරෑරුම් බව අප හට මොනවට පැහැදිලි වනු ඇත. අපට ඇති සමාජ සම්බන්ධතා කුලක වශයෙන් ගතහොත් අප සිටින්නේ කුලක ඡේදනයේ බව පෙනී යයි. එසේ නම් අපට එක් කුලකයකට කොටු වී සිටිය නොහැක. ඒ ඒ කුලකය තුල අපගේ කාර්යය භාරය වටහාගෙන ක්‍රියා කිරීම වඩාත් ම සුදුසු දෙයයි.

මේ බව මට දැන් වඩාත්ම පැහැදිලි වී ඇත. මම දැන් විවාහක කාන්තාවක් වෙමි. මාගේ ගමන් බිමන් සියල්ල සැමියා හා බැ‍ඳේ. එබැවින් දැන් මා හට පෙර සිටි නිදහස් කිරිල්ල, අම්මාගේ තාත්තාගේ දියණිය, නැගණියන්ගේ අක්කා වශයෙන් ඔවුන් හා තනිව දුර ගමන් යා නොහැක. එසේ යතොත් එයින් සිදුවන්නේ විවාහ ජීවිතයට නොගැලපෙන දෙයකි. අනෙක් අතට එකල විඳින්නට තිබූ යම් යම් දේ මා අතින් ‍මා නොදැනුවත්වම ගිලිහී ඇති බව දැන් දැන් මට පසක් වෙයි. ඒ අවස්ථාවේදි ඔවුන් සමඟ සිංදුවක් කියා සතුටින් ඒ ගමන් ගියේ නම් මා එකල ගතකල යුතු ආකාරයට ගතකල බව සිතා මා හට දැන් සතුටු විය හැක. ඇත්තටම, ‘ආයේමත් කිසිමදාක ඔවුන් සමඟ එවන් ගමන් යාමට මා හට නොහැකිය’ යන සිතුවිල්ල දැන් මා සිත පාරවයි. මට එවන් ගමනක් යාමට අවශ්‍යතාවක් ඇති වුවහොත් මා සැමියා මා එයින් වළක්වන්නේ නැත. එනමුදු එදා සිටි මා නොවෙයි අද සිටින්නේ. එදා සිටි තත්ත්වයෙන් එයට සහභාගී වන්නට අද මට හැකියාවක් නැත. මට පෙරට වඩා දැන් වගකීම් යුතුකම් තිබේ. ඇත්තටම දැන් ඔහු මා හට යාමට අවසර දුන්නද, නොයන තත්ත්වයක මම සිටිමි. එනමුදු අහිමි කරගත් අවස්ථාවන් පිළිබඳ සිහින් සංවේගයක් එවන් අවස්ථාවන් සිහිවන විට මා සිත පෙළයි.

එබැවින් එළඹී අවස්ථාවට මැදහත් සිතින් මුහුණ දීමට පුරුදු වීම ඉතාමත් වැදගත් කාරණාවකි. කාලයෙන් කාලයට ස්වභාව ධර්මයා විසින් අප වෙත ලං කරනා පුද්ගලයන් සහ සමාජ ‍කොට්ටාශ සමගින් ඒ ඒ අවස්ථාවට උචිත වන පරිදි කටයුතු කිරීම, සියලු සමාජ සම්බන්ධතා යහපත් අයුරින් පවත්නා ගෙන යාමට අප හට මහඟු උපකාරයක් වනවා මෙන්ම අපට පසුතැවිලි නොවී සතුටු සිතින් අනාගතයට මුහුණ දීමට මග ද පාදයි.


“සමසකට පෙර සවසක යුද්ධයක් නිමාවිය” 09 කොටස

Posted in ජීවිතය මේ වගෙයි on 06/22/2009 07:36 am by randil

හිතට නිවනක්, හිසට සෙවනක්,……………………………………………

කෙනෙකුගේ අනාගතය ශක්තිමත් වන්නට නම් වර්තමානයේ දී ශක්තිමත් අඩිතාලමක් ගොඩ නැංවිය යුතුය. අඩිතාලම බොල් නම් ඒ මත ගොඩ නැගෙන අනාගතය වැල්ලේ තැනූ වැලි මාලිගාවක් වනවා නිසැකය. අප නිරතුරුව ම කල්පනාකාරී විය යුත්තේ එම අඩිතාලම සඳහා අප විසින් භාවිතා කරන්නට යන අමුද්‍රව්‍යන් පිළිබඳවය. අධ්‍යාපනය එක් තිරණත්මක සාධකයකි. අධ්‍යාපන තත්ත්වය මත තීරණය වන රැකියා තත්ත්වය ද අනාගතය ගොඩනැංවීමේ දී වැදගත් වන අමු ද්‍රව්‍යයකි.

පෙර මා පැවසූ පරිදි, පාසල් අධ්‍යාපනයෙන් පසුව අප දෙදෙනා යොමු වූයේ වෘත්තිය පුහුණුව හරහා යොමුවුනු අධ්‍යාපනය දෙසටය. ඒ මාවත ඔස්සේ වසර පහක් හයක් පමණ අපි ගමන් කළෙමු. අධ්‍යාපන තත්ත්වයේ නැග්මත් සමඟ අපගේ රැකියාවන් වඩා දියුණු අඩියකට පත් විය. එයට අමතරව අමතර ආදායම් මාර්ගයක් ද අප ඉදිරියේ විවෘත විය. නිවාස සැළසුම් නිමවීමත්, ඒවාට අදාළ ඇස්තමේන්තු සැකසීමත්, අප හට විවෘත වුනු අමතර ආදායම් මාර්ගයයි. දෙපස සිටින දෙදෙනෙකුට එවන් කාර්යයක් කාර්යක්ශමව කිරීමට අපහසු වුවද එම තත්ත්වයටද මුහුණ දෙමින් අපගේ කාර්යය කරගෙන යාමට අපට හැකිවිය.

ඒ අතරතුර අපගේ ම නිවසක් පිළිබඳ බලාපොරොත්තුවක් ද අප සිත්තුල කෙමෙන් කෙමෙන් පහළවිය. ‘මොන මොන බාධක පැමිණියත්, යම් දිනෙක අප දෙදෙන විවාහයකින් බැ‍ඳෙන්නේ අප දෙදෙනාටම නම්, අපගේම නිවසක් පිළිබඳ සිතන්නට අප හට බාධාවක් නොවේ’ යැයි අපි සිතුවෙමු. අනෙක් අතට අපගේම කියා නිවසක් ඇත්නම්, දෙමවිපිය ආශිර්වාදය ගැනීමට එයද උපකාරී වනු ඇතැයි මට සිතිණ. මෙහි දී කිව යුත්තක් ඇත. එනම් මෙම තීරණය අපට සාධාරණ වුවද ලොව සිටින සියලු පෙම්වත් යුවල හට සාධාරණ වේයැයි මම නොකියමි. ඉතාමත් තදබල විශ්වාසයක් මත මිසෙක මෙවන් තීරණයක් නොගත යුතු බව තරයේ පවසමි. එයට හේතුව වියදම් වන මුදල් හා ශ්‍රමය මත ගොඩ නැගෙන නිවෙස පිළිබඳ මිසෙක, යම් ප්‍රශ්නයක් ඇති වුවහොත් එම අලාභානිය ලබා ගන්නේ කෙසේ දැයි සිතමින් මෙවන් කාර්යයකට අත ගැසීම නොකල යුතු බැවිනි. ගෙදරින් ද තදබල ලෙස ප්‍රශ්න ඇතිව තිබූ මොහොතක මා ගන්නා ලද ඒකමතික තීරණය ගැන අද මා දෙමව්පියෝද සතුටු වෙති. එනමුදු යම් කෙනෙකු ගත් එවන් තීරණයක් වැරදී ගියේ නම්,…………………………. උපයා ගත් සියලුම ධනය අහිමිව, රැවටිල්ලට ලක්වීම නිසා උපදින ආත්මානුකම්පාවෙන් වෙලී, ජීවිතයම අඳුරු ආගාධයකට ගිලී යාම නොවැලැක්විය හැකිය. එබැවින් ඔබත් එවන් තීරණාත්මක තීන්දුවකට ඒමට සිටී නම් බොහෝ වාරයක් සිතා බැලිය යුතු බව අවධාරණය කරමි.

2003 වසරේ දී මාගේ උපන් දිනය යෙදී තිබූ දිනයේදී ඔහුගේ මව ( ඈ මාගේ උපන් දිනය පිළිබඳ ව තබා මා පිළිබඳව වත් දැන සිටියේ නැත.) ඔහුට පර්චස් දහයක පමණ ඉඩමක් මිල දී ගෙන දී තිබුණි. මුලදී අප සිතුවේ එහි නිවස සාදන්නටය. එහෙත් ඔප්පුව හරි හැටි නොබැලීම නිසාවෙන්, එය මඩ ඉඩමක් ලෙස වරදවා වටහා ගැනීමෙන්, අපහට එහි නිවසක් තැනීමට බාධා ඇතිවිය. කෙසේ හෝ අවසානයේ තීන්දු වූයේ ඔහුගේ මහ ගෙදර ඉඩමේ නිවස සාදන්නටය.

අනතුරුව එළඹියේ නිවාස සැළසුම සකස් කිරීමේ කාර්යයයි. වෙනත් අයගේ නිවාස සැළසුම් වඩා ඉක්මනින් ලබා දීමට අපට හැකි වුවත් අපගේ නිවසේ සැළසුම නම් එසේ විගස නිමවා ගැනීමට අපට නොහැකි වූයේ ඒ පිළිබඳ අප ඕනෑ ප්‍රමාණයටත් වඩා කල්පනාකාරී වු නිසාවෙන් යැයි සිතමි. කෙසේ හෝ මාසයකට ආසන්න කාලයක් විවිධ වෙනස් කම් කරමින්, අලුත් දේ එක් කරමින්, සමහර දේ ඉවත් කරමින්, සැළසුම සමඟ ඔට්ටු වු අපි අවසානයේ අපගේ පුංචි මාලිගාව ගොඩ නැංවීමට නැකත් සෑදූවෙමු. 2007 වසරේ ජූනි 01 වන දා වැඩ ආරම්භ කිරීමට නැකත් ලැබුණු අතර ඒ වන විට මැයි මස අන්තිම සතිය උදා වි තිබිණ. අප දෙදෙනා සතුව තිබූ මුදල්ද ණය මුදල් මගින් සම්පාදනය කරගත් මුදල් ප්‍රමාණයක් ද මූලික වැඩ කටයුතු කර ගැනීමට අපට උපකාරී විය. ඔහුගේ නිවසින් ද අප හට ලැබුනේ නොමද සහයකි. ඔහුගේ අම්මා අප හට මුදලින් උපකාර වූවාය. අපගේ සේවාස්ථාන වෙතින්ද අප හට උපකාර ලැබිණ.

සමහර අවස්ථාවන් වලදී මාගේ සේවාස්ථානයේ මිතුරන් මා හට විහිළු කලේ, ‘කොල්ලා ගේත් හදාගෙන වෙන මනමාලියෙක් ගෙනෙයිද දන්නේ නැහැ නංගියේ’ කියමිනි. මම එවිට, “අනේ හොඳයි කාට හරි ඉන්න පැලක් හදලා දුන්නා කියලා සතුටු වෙනවා” කියමින් සිනාසෙමි. ඔව්, ඇත්තෙන් ම ඔවුනට එහෙම ඇත්තටම සිතුනා වුවද විය හැක. සමහර මිතුරු වෙසින් සිටියද එසේ නොවන්නෝ එහෙම වෙනතුරු බලා සිටියාද විය හැක. එය ලෝක ස්වභාවයයි. කෙනෙකු අනතුරක වැටෙනතුරු බලා සිට සිනහාසීමට සිටින්නෝ බොහෝය. අප දැන ගත යුත්තේ අනතුරේ නොවැටී සිටින ආකාරයයි. අප අපගේ අනාගතය ගොඩ නගා ගන්නා අතරම ඒ අතරමග ඇති අනතුරු හඳුනාගෙන, ඒවායේ නොවැටී සිටීමටද වගබලා ගත යුතුය. ජීවිතය දිනාගන්නට අවදානම් දරා ගත යුතුබව සැබෑවකි. එනමුදු මුහුණ දෙන අවදාමනේ දිනුම අප වෙත නොවන බව දැනේ නම් වහා එයින් අත්මිදිය යුතුය. එය හදවතට දරා ගත නොහැකි වනු ඇත. එහෙත් එවන් අවස්ථාවන් වලදී බුද්ධියට ඉඩදී, හදවතට නිහඬව ඉන්නට අවධාරණය කල යුතුය. ඉහත ලිපි පෙළින් කියැවුනු, මා ගත් තීරණ හමුවේ මා වෙත කිසිම සැකයක් නොවූ නිසාවෙන් එම තීරණ ගැනීමට මම නොපසුබට වූයෙමි. එනමුදු සුළු හෝ සැකයක් මා වෙත වූයේ නම්, අපගේ සම්බන්ධය යන මාර්ගය දෙස බලා සිටිනවා හැර අනාගතය සකසන්නට මා උත්සහයක්වත් දරන්නේ නැත.

මට සිතෙන හැටියට නම් විවාහය, ආදරය, යනු අපි ජීවිතය පරදු තබා අල්ලන්නා වූ සූදුවකි. සූදුව දිනුවේ නම්, එය ජීවිතාත්තය දක්වා, සමහර විටෙක සසරාන්තය දක්වා දිනුවා වෙයි. එසේ නොවුනහොත් පරදු තැබුවේ ජීවිතය නිසාවෙන් සිදුවන පාඩුව මෙතෙකැයි කිව නොහැකි වනු ඇත. මා සිතනා පරිද්දෙන් අපි දෙදෙනාම එම සූදුව දිනුවෙමු. ඒ සසරාන්තය දක්වාම වේවා ! යන්න අප දෙදෙනාගේ ඒකායන පැතුමයි.

නිවස තවමත් නිමවා ඉවර නැත. එහෙත්, ‘වැස්සෙන්, අව්වෙන්, මුවා වී සිටීමට අපටම කියා පැලක් තිබෙන්නේ’ යැයි සිතීමත් හිතට ගෙන එන්නේ අස්වැසිල්ලකි. සැනසිල්ලකි. අප දෙදෙනා විවාහයෙන් පසුව එක් දිනක්වත් කුළී නිවසකවත්, දෙමව්පියන්ගේ නිවාසවලවත්, සිටියේ නැත. දෙවන දවසේ උත්සවයෙන් පසු අප ආවේ අපේම ගෙදරටය. මේ සියලු කාරණා නිසා, අපි අවිහිංසක ආඩම්බරයක් හිත දරාගත් සාඩම්බර ප්‍රේම වන්තයෝ වෙමු.


(“සමසකට පෙර සවසක යුද්ධයක් නිමාවිය” 10 කොටස)

Posted in ජීවිතය මේ වගෙයි on 01/05/2010 03:26 am by randil

ෙමම ලිපිය ලිවීම අාරම්භ කරන ලද්ෙද් පසුගිය අවුරුද්ෙද්දි වුවත් ෙනාවැලැක්විය හැකි ෙහ්තුවක් නිසා පල කිරීමට අපහසු වූ බව පවසමි. ඒනමුදු ඒය පවසන්ෙන් කණගාටුෙවන් ෙනාෙවයි. හද පිරී ඉතිරි යන සතුටකිනි. මා සමග ෙම් ලිපි ෙපළ ෙබදා හදා ෙසායුරු ෙසායුරියන් අතුරින් කිහිප ෙදෙනකු දැනටමත් ඒ පිළිබද ව දැනුවත් ව සිටින අතර ඒෙස් ලිපිය පළ කිරීමට ෙනාහැකි වූ ෙහ්තුව දැන ගැනීෙමන් ලබැදි ඔබ සැම සතුටට පත්වනු අැතැයි සිතමි. 2009 සැප්තැම්බර් මස 07 වන දින අප ෙදෙදනා අතරට පුංචි කුමාරිකාවක් ඒක් වීම නිසාෙවන් මා නිවාඩු ලබා සිටීම ඒයට ෙහ්තුවයි.

ලියා තිබූ ලිපියම ෙවනසක් ෙනාකර පළ කිරීමට සිතුෙවමි.

ෙමම ලිපි පංතිෙය් අවසාන ලිපිය ද ෙමයම වනු අැත.

අවසානයක් ෙනාමැති අවසානය

අවසාන ලිපිය පළ කිරිමෙන් පස්සේ මාස දෙකකට පසු ලිපියක් පළ කිරීමට අවස්ථාවක් ලදිමි. මෙම ලිපි පෙළ අවසාන නොකිරීමෙන් සිදුවන්නේ මා හට පවසන්නට අවැසි වු සියල්ල පවසා ගැනීමට නොහැකී වීමයි. එම ලිපි ගැන විමසමින් මා හට ඊ මේල් එවූ සහෝදර සහෝදරියන්ගේ ඉල්ලීම් ද නොසලකා හැරීමට මා හට නොහැකිය. එබැවින් අද දින අවසාන ලිපිය ලිවීමට සිතා ගත්තෙමි. (මෙම ලිපිය ලිවීමට මෙතරම් කලක් නොහැකි වූයේ මන්දැයි පැවසීම පසුවට කල් තබමි)

සියලු බාධක මැද පසුගිය වසර උදා විය. ඒ සම්පුර්ණ කාලයම වැය වූයේ නව නිවසේ කටයුතු සඳහාය. නිවස යම්තමින් පදිංචිය සඳහා උචිත පරිදි සකසා ගැනීමට අප සපයා ගත් මුදල් ප්‍රමාණවත් විය. ඒ අතරතුර ඔහුගේ මව විටින් විට පවසා සිටියේ අවසාන තීරණය ගැනීමට දැන් කාලය එළඹ ඇති බවයි. එහෙත් මගේ පාර්ශවයෙන් ඇතිව තිබෙන තත්ත්වය නිසා ඒ පිළිබඳ කථා කරන්නටවත් මම බිය වීමි.

කෙසේ හෝ පසුගිය වසරේ ජූනි මස දිනකදී ඔහු නිවසේ නැති අවස්ථාවක් බලා ඔහුගේ මල්ලී මා හට ඇමතුමක් දී ඔවුන්ගේ අම්මාට මා සමඟ කථා කිරීමට අවශ්‍ය බව පැවසුවේය. ඒ අම්මා දුරකථනය අපේ අම්මාට දෙන මෙන් ඉල්ලා සිටි අතර බොහෝ වේලාවක් අදි මදි කරමින් සිට ඇගේ ඉල්ලීම ඉටු කළෙමි.

වසර 6ක් පුරාවට තිබුනු උභතෝකෝටික ප්‍රශ්නය ලස්සනට විසඳුන හැටි!

අපේ අම්මා ඇය සමග සුහදව කථා කළාය. ඉන් අනතුරුව සිදු වූ සිද්ධිදාමය පසු වූ වසර 6 පුරාවට ම අප දෙදෙනා දුටු සිහිනය ඉටු කරලන්නක් විය. සියල්ල ඉතාමත් සුභදායක ෙලස සිදුවිය. හරියටම වසර 6ක් පුරාවට අවසානය තීරණය කරගත ෙනාහැකිව විකාශය වූ‍‍ ෙටලිනාට්‍යයක් ඒක් වරම අධ්‍යක්ෂවරයා විසින් සුඛාන්තයක් කරා ෙගන අාවක් වැනි විය. අදටත් හිතාගත ෙනාහැකි ෙලස අප දෙදෙනාට ඒක් වීමට වරම් උදාවිය. බුද්ධ ධර්මය ෙකෙරහිත් ෙදවියන් ෙකෙරහිත් තිෙබන්නා වූ විශ්වාසය අප හට පිහිට වූ බව තරෙය් විශ්වාස කරමු. 2008 .ෙදසැම්බර් මස 05 වන දින සවසක යුද්ධයක් ඒෙලසින් නිමා විය.

HAPPILY LIVED EVER AFTER !!!!!!!!!!!!!!!!!!!!!!!!

Our Wedding

Our Home  Coming


Monday, June 7, 2010

54. “සමසකට පෙර සවසක යුද්ධයක් නිමාවිය” දෙවන කොටස

පසු ගිය සෙනසුරාදා සිට මා මිට පෙර පෙළ ගැස්වූ ලිපි පෙලක් නැවත පළ කිරීම ඇරඹියෙමි. අද දින එහි දෙවන ලිපිය පළ කරමි. යම් කෙනෙකු හට යම් වැදගත් පණිවුඩයක් එයින් ලැබේ යැයි සිතන නිසාවෙන් මෙලෙසින් පළ කරන අතර පෙර ලිපි වල කිසිඳු වෙනස් කමක් කර නැත. මෙය අපි ජීවිත පන්නරය ලැබූ සැටි දැක්වෙන සත්‍යයම කථාව නිසා එය මා ලියා ඇති ආකාරයේ යම් නීරස ස්වභාවයක් වේ නම් ඒ පිළිබඳව කණගාටුව ප්‍රකාශ කරමි.


“සමසකට පෙර සවසක යුද්ධයක් නිමාවිය” 02 කොටස

දවස් තුනකින් කිසිවක් පල කරන්න බැරි උනේ සති අන්තය නිසාවෙනි. තවද ඊයේ දිනයේ දි ඇති වූ හදිසි අසනීප තත්ත්වයක් නිසා හිටි හැටියේ නිවාඩුවක් දැමීමටද සිදු විය.

ඉතින් එදා නවතපු තැනින් අද පටන් ගන්නෙමි.

සමහර අවස්ථාවන් වලදී බොහෝ දෙනා තමන් ගත්ත තීරණය මත්තේම එල්ලී ගෙන සිටිනා අයුරැ දැක ගත හැකිය. එවිට ඔවුනට පෙනෙනුයේ ඒ තීරණය ඉතාමත් නිවැරදි වූත් බුද්ධි ගොචර වූත් තීරණය ලෙසිනි. මේ කථාවේදිත් අප සියලු දෙනා අප විසින් තනි තනිව එල්බ සිටි මතයන් ඉතාමත් නිවැරදි ම මතයන් බවට තීරණය කරගෙන තිබුනු නිසාවෙන් අනෙක් අයගේ අදහස් වලට කන් දුන්නද ඒවායේ අරැත් වටහා ගැනීමට උනන්දුවක් නොදැක්වීය. මගේ අම්මා සම්බන්ධයෙන් පවසනවා නම් ඇය අනෙක් අයගේ අදහස් කොහෙත් ම නොසැළකුවාය. “ඔය කොලුවා රජෙක් වෙලා ආවත් මම නම් කැමැත්ත දෙන්නේ නෑ නෑමයි” යන වදන අම්මා කිහිප සැරයක්ම දැඩිව අවධාරණය කර සිටියාය. එවැනි අවස්ථාවන් වලදී මා තුලද පහල වූයේ ආවේගශීලි අදහස් පමණි. එනමුදු එවන් බොහෝ අවස්ථාවන් වලදී මුවින් එක වදනකදු නොහෙලා සිටීමට තරම් මම පරිස්සම් වූයෙමි. එයට හේතුව මේ ප්‍රශ්නයේදී කෙසේ වුවද මාගේ ජීවිතයේ යම් සඵලතාවක් තිබේ නම් එයට සියයට අනූවකම දායකත්වය ලැබුනේ මාගේ අම්මාගෙන් නිසාවෙනි. එහෙත් සමහර අවස්ථාවන් වලදී මාගේ ඉවසීමේ සිමාවටද උන් හිටි තැන් අමතක වූ අවස්ථාද තිබෙන බව අද මා සිහි කරන්නේ මද නොසන්සුන්තාවයකිනි. ඒ එවන් අවස්ථාවන් වලදී අම්මා හා මා අතර ඇති වූ බහින්බස් වීම් සිහිවන නිසාය.

දැන් සිටින්නේ මීට මාස හයකට එහෙමත් නැත්නම් අවුරැද්දකට පෙර සිටි මා නොවේ. මා දැන් සිතන්නේ පෙර ආකාරයට නොවේ. ලෝකය දෙස ප්‍රශ්න දෙස බලන්නේද පෙර පරිදි නොවේ. අප වරෙක මහමෙරක් ලෙසින් හිස තබා ගෙන ගාලගෝට්ටි බවට පත් කර ගන්නා යම් යම් දෙවල් තුල ඇත්තේ හුදෙක් හිස් බවම පමණක් බව කාලයත් සමගම වැටහී යන විට පෙර අප හැසිරැනේ කෙතරම් මූඩ ආකාරයටද යන්නද ඒත් සමගම සිහියට එයි. අපගේ විවාහ දිනය වනතුරැ අපි දෙදෙනා මහත් වූ බලාපොරොත්තු රැසක් පොදි බැදගෙන බලා සිටියෙමු. එහෙත් විවහා දිනයේදී පිටත්ව යන මොහොත එළඹෙන විට එතැන වූයේ වෙනත්ම තත්ත්වයකි. සියලු නෑදෑ හිත මිතුරන් සමගින් අප දෙදෙනා හඩා වැලපුනෙමු. ඒ මොහොතේදීත් මා පෙලුවේ යුද්ධයක් කර දිනා ගත්තද ඒ ලෝකයට පිටත්ව යාමට නිවසේ සියල්ල හැර දා යාමට සිදුවීම කෙසේ නම් දරා ගන්නද යන්නයි. අවසානයේ පිටත්ව යන විට, කර තිබු රෑපලාවන්‍ය හැඩගැන්වීම් සේරම කදුළු වලින් සේදි තිබින. මාගේ සිතීමේ මානය වෙනස් වූයේ අප දෙදෙනා මධු සමයට පිටත්ව ගිය මොහොතේ පටන්මය. එතැන් පටන් එතෙක් මට නොපෙනුන මානයක් මා ඉදිරියේ දිස් වන්නට විය. අම්මා උත්සව දිනයේ මුළු දවසම හිටියේ වැහි බීරමෙන් යුතු අහස සේය. ඇයගේ කන්තෝරැවේ මිතුරියන් පැමිණි විටද ඇය හඩමින් පැවසුවේ “අනේ මට දරා ගන්න බැරි තරමට දුකයි දුව ගියාට පස්සේ මම කොහොම ඉන්නද” යනුවෙනි. අම්මා හැම දේම කලේ මාගේ ඉදිරි ජීවිතය වඩා යහපත් කෙරැමට බව මම හැමදා දැන සිටියෙමි. ඒත් අම්මාට මීට වඩා නම්‍යශීලි වන්නට තිබුනි. ඒ පාර්ශවය සමග වඩා සුහදව කථා කරනු වෙනුවට අම්මා කලේ ඔවුන් සමග බහින් බස් වීමය. එවිට තාත්තා ඉදිරිපත් ව අම්මාගෙන් ඇසුවේ “ඔහොම රණ්ඩුවෙලා ඊට පස්සේ මේ මගුලම කෙරැනොත් අපි කොහොමද මූණ දෙන්නේ” යනුවෙනි. එවිටත් අම්මා කීවේ “ඒවා කොහෙද කෙරෙන්නේ” කියාය.

අප දෙදෙනා සම්බන්ධයෙන් කියනවා නම් සමාජය විවහයකදී ගලපා බලන සාධක සියල්ල ඕනැවටත් වඩා ගැලපී තිබිණ. අධ්‍යාපන මට්ටම සමානය. රැකියා තත්ත්ව සමානය. කුළ ප්‍රශ්නයක් නැත. ආගම අතින්ද සමානය. කීමට නොගැලපීමක් නොමැත. පෙර භවයේ කරන ලද අකුසල කර්මයක් නිසාවෙන් මේ සියලු ප්‍රශ්න ඇති වූවා යැයි සිතීම හැර වෙන කිසිවක් සිතා ගත නොහැක.

ඉතින් මෙය කියවන අම්මේ, තාත්තේ, සමහර විට ඔබගේ දරැවාත් මෙවැනි හිතුවක්කාරී අදහසක සිටිනවා විය හැක. යම් පිළිගත හැකි නොගැලපීමක් තිබෙනවා නම් ආදරයෙන් වටහා දෙන්න උත්සහ කරන්න. කෙසේ වුවද දරැවෙකුගේ මෙවන් සම්බන්ධයකදී‍ නොකළ යුතු කාරණා දෙකක් තිබේ. එනම්, එක් වරම විරැද්ධත්වය ප්‍රකාශ කිරීම හා එක් වරම කැමැත්ත ප්‍රකාශ කිරීමයි. එක් වරම කැමැත්ත ප්‍රකාශ කිරීමෙන්, ඔවුනට ඕනැවට වඩා ලිහිලක් ලැබීමෙන් සම්බන්ධයේ වටිනා කම් ගිලිහි යා හැක. දරැවාට කරදරයකින් තොරව සිය අනාගත ජීවිතය ගත කල හැකි පරිසරයක් තිබේ දැයි සොයා බලන්න. අධ්‍යාපන මට්ටම්, රැකියා තත්ත්ව අනුව ඔවුන්ට සිය ඉදිරි ජීවිතය තව තවත් සාර්ථක කර ගත හැකි වනු ඇති දැයි සොයා බලන්න. ඒ බවට තහවුරැ කරන්න ඔවුන්ව පොළඹවන්න. කැමැත්ත දිය යුතු අවස්ථාව එවිට ඔබට වැටහේවි.

ඒ වගේම ආදරණීය අයියේ, අක්කේ, නංගියේ, මල්ලියේ. අද ඊයේ මුණ ගැහුනු කෙනෙකු නිසාවෙන් දෙමව්පියන්ගේ හිත් තලන්න එපා. මොන තත්ත්වයක් මත වුවත් දෙමව්පියන්ගේ දහදිය මහන්සිය නිසා අප අද මේ තත්ත්වයෙන් සිටින බව සිහි කරන්න. දෙමව්පියන් අකමැත්ත ප්‍රකාශ කරන්නේ ඇයි දැයි නුවනින් විමසා බලන්න. යම් අඩුපාඩුවක් වේ නම් එය නිවැරදි කරගෙන නැවත උත්සහ කරන්න. කිසිදාක කවර හේතුවක් මතවත් හිතුවක්කාර ලෙස (එනම් පැනලා යාමට) විවහා වීමට සිතන්න එපා. ඒ සදහා උපදෙස් දෙන්නට, පැනලා ආ දිනයේ නවාතැන් දෙන්නට, ඕනෑ තරම් මිතුරන් සිටිවී. එහෙත් පසදා පටන් ජීවිතයට මූණ දෙන්න ඕනේ ඔබයි. දෙමව්පියන් ඇහේ දාගෙන හැදූ දරැවන් එවන් දෙයක් කල දිනයට ඔවුනට කුමක් දැනෙනු ඇතිදැයි සිතන්න. අනෙක් අතට විවාහයක් යනු ඉතාමත් ලස්සනට සිදුවිය යුත්තක් යන්නයි මාගේ හැගීම. සියලු නෑ හිත මිතුරන් අභිමුව, පෝරැ මස්තකාරෑඩව, සියලු චාරිත්‍ර විධි ඉෂ්ට කොට, සිදු කරන විවාහයක් ලබන්නට පිං කළ යුතුය. ඒ හැගීම එතරම් වටනේය. විවාහ දිනයේ ගත් පිංතූරය දකින හැම විටම සිත සංතෝෂයෙන් පිරෙයි. හිතුවක්කාර විවාහයක් ඔබට උරැම කරන්නේ සැගවී සිටීමට ගොළුබෙලි කටුවක් පමණි. ලස්සන, චාම් විවාහ උත්සවයක් ඔබට අභිමානයක් ඇති කරනු ඇත. මා ඔබ හැම දෙනාටමත් පවසන්නේ ඒ අවස්ථාව මග හරින්න එපා. ඔබගේ ආදරණීය දෙමව්පියන්ගේ මහළු දෙනෙත් යුග වලට ඒ අවස්ථාව මග හරවන්නත් එපා යන්නයි.

අප දෙදෙනා ජීවිතය දිනා ගැනීමට ගත් ක්‍රියා මාර්ගයන් ඉදිරියේදී පවසන්නම්.

Saturday, June 5, 2010

53. “සමසකට පෙර සවසක යුද්ධයක් නිමාවිය” පද ගැලපීමට අද දිනට වසරයි.

මීට හරියටම වසරකට පෙර මම ලිපියක් ලියුවෙමි. මගේ වසර 30කට ආසන්න වන අතීතයෙන් වසර 10ක පමණ කාලයක් තුල මම ලැබූ කර්කශ අත්දැකීම පාදක කරගෙන ඒ ලිපිය මා අතින් ලියැවිනි.

එය අරඹන විට එය මෙසේ අවසන් විය යුතුයි, මෙපමණ කොටස් ගණනකින් යුතු විය යුතුයි, කියා පැහැදිලි අදහසක් මා සිත තුල නොවීය. මට අවැසි වූයේ මා සිත තුල කැකෑරෙමින් තිබුණු අදහස් සමුදාය පිළිවෙලකට පෙල ගස්වා, ඒ මගින් යම් කෙනෙකුට සිය ජීවිතය ගොඩ නගා ගැනීමට අවැසි වෙතැයි සිතෙන අවස්ථාවන් කිහිපයක් ඔබ වෙත ගෙන ඒමයි.

එම ලිපි මම පෙළ ගැස්වූයේ මාගේ මුල්ම බ්ලොග් අඩවිය තුලයි. අද දින වන විට මේ බ්ලොග් අවකාශය තුල සැරිසරන හිතමිතුරු ඔබ සැම අතරින් සමහර පිරිසක් එකල සිටියේ නැත. ඒ නිසා බොහොමයක් දෙනෙකු හට ඒ ලිපි මග හැරෙන්නට ඇත. මේ ගැන සිතන විට මට සිතුනේ අද පටන්, කොටස් 10කින් යුතු එම ලිපි පෙල දින දහයක් ඇතුලත නැවතත් මාගේ මෙම බ්ලොග් අඩවිය තුල ප්‍රතිස්ථාපනය කල යුතු බවයි.

ඉඳින් මිතුරු මිතුරියනි, ඇවිත් විඳින්න,
මේ මාත් ඔහුත් වින්ද වේදනාවයි.
එලෙසින්ම,
මේ මාත් ඔහුත් එක්ව ජය ගත් ජීවිතයයි.

සමසකට පෙර සවසක යුද්ධයක් නිමාවිය (LTTE යුද්ධය නොවේ)

‍මම අද පටන් එක කථාවක් බිදෙන් බිද ඔබ සැම හමුවේ දිග හරින්නට තීරණය කළෙමි. මේ කථාව මා සිතනා පරිද්දෙන් බොහෝ දෙනෙකු හට යම්කිසි යහපත් අදහසක් ඇති කරනු ඇත. අප හැම විටම නිවැරදිව සිතනා, නිවැරදිව ක්‍රියා කරනා පිරිසක් නොවන බවද, එලෙසින් ම සමහර අවස්ථාවන් වල දී අනෙක් අයගේ අදහස් පසෙක ලා අප ගන්නා දැඩි තීරණයන් අපගේ මෙන්ම ඔවුන්ගේද තවත් බොහෝ දෙනෙකුගේද යහපත උදෙසාම ක්‍රියාත්මක විය හැකි බවද, මෙයින් ඔබ හට පසක් වනු ඇත. තවද අපගේ හිතුවක්කාරී ක්‍රියාකාරකම් හේතුවෙන් අපට හිතෛෂිව ක්‍රියාකරනා ආදරණියයන්ගේ සිත්ද, ඔවුන්ගේ දැඩිමතදාරී අදහස් හේතුවෙන් අපගේ සිත් තැලෙන පොඩිවෙන ආකාරයටම තැලී පොඩිවී යන බවද මෙයින් ඔබට පවසනු ඇත. එසේම ඒ සිදුවීම් අපගේ මෙන්ම ඔවුන්ගේ සිත් තුලද දීර්ඝ කාලීන පසු තැවීමක් පමණක් ඉතිරි කරන බවත්, එය අන්‍යෝන්‍ය සහසම්බන්ධයේදී අදිසි සෙවනැල්ලක් ලෙසින් එබිකම් කරන බවත්, තේරුම් ගෙන එවැනි දේ නොසිදුවන්නට කටයුතු කලයුතු බවද ඔබට වැටහෙනු ඇත.

ලිපියේ මාතෘකාව දුටු සැනින් මේ දිනවල ජනප්‍රිය මෙන්ම ප්‍රසිද්ධ මාතෘකාව අරභයා මාද ලිපියක් ලිවීමට සැරසේ යැයි ඔබට සිතෙන්නට ඇත. නැත. මෙයින් දිග හැරෙන්නේ මාගේ 26 වසරක ජීවිත කාලයෙන් 1/4‍ට ආසන්න කාලයක් පුරා මා විදි මාගේ ජීවන අත්දැකීමයි.

අද 2009 ජූනි මස 5 වනදාය. අද දින මට සුවිශේෂි වූ දිනයකි. මට පමණක් නොව මාගේ දයාබර සැමියානන් හටද මට මෙන්ම අද දින සුවිශේෂි දිනයකි. අද දිනට අප දෙදෙනා විවහ වී සමසකි. වසර භාගයකි. එලෙසින් ම අපගේ පුංචි මාලිගාවට නැකතට ගෙවැදී අද දිනට පිරෙන්නේ ද සයවන මාසයයි. (නැකතට මා කැන්දාගෙන යාමට සියලු නෑ හිත මිතුරන් පිරිවරා අපගේ නිවසට පිටත්ව ඒමට පෙර අපගේ පුංචි මාලිගාවට ගෙවැදී ඒමට මා සැමියානන් හට නැකත් ලැබී තිබීම අප දෙදෙනාගේ ජීවිත ගමනේ උදා වූ බොහෝ විශේෂ අවස්ථාවන් මෙන්ම තවත් එක් සුවිශේෂි අවස්ථාවක් වන බව මේ ලිපි කියවා ගෙන යන කල ඔබ දකිනු ඇත).

ඒ සියල්ල යහපත් අයුරින් සිදුවිනි. ඒ මීට මාස හයකට පෙර දීය. එදා මෙදා තුර කාලය යහපත්ව සාමකාමීව ගෙවිනි. ‍මෙදෙස නෑයෝ එදෙසට යන්නෝය. එදෙස නෑයෝ මෙදෙසට පැමිනෙන්ණෝය. විනෝද සවාරි එක්ව යන්නෝය. අප දෙදෙනාගේ අවිහිංසක පැතුම සැමදා දෙපස නෑයෝ සමගිව වෙසෙත්වා ! යන්නයි.

මේ ගෙවුනු සමසක කාලයට පෙර වසර හයක් තිස්සේ අප දෙදෙනා මුහුන දුන් ගැටළුකාරී තත්ත්වයේ අපහසුකාරී බව සහසුද්දයෙන් ම දන්නේ අප දෙදෙනාම පමණි. එකම ගැටළුව විවිධ පාර්ශව අත්දකින්නේ විවිධ ස්වරෑප වලිනි. එබැවින් එම ගැටළුවෙන් පීඩා වින්දේ අප දෙදෙනා පමණක් බව මම නොපවසමි. මාගේ දයාබර දෙමව්පියන්ද ඔහුගේ දයාබර දෙමව්පියන්ද එම තත්ත්වය නිසා ඇති වූ පීඩාව ස්වරෑප දෙකකින් අත්වින්ද බව නොරහසකි. එහෙත් එකල් හී ඔවුන් පිළිබද තැවුලක් අප සිතේ වුවද, ඔවුන්ගේ තැවුල් ගැන සලකා බැලීමට අප හට අවැසි නොවීය. මන්ද යත් අප දෙදෙනා සියයට දහසකින් නිවැරදි බව අප දෙදෙනා පමණක් නොව අපගේ සියලු මිතුරු මිතුරියන් ද සැළකූ බැවිනි. දැන් දැන් දෙපස දෙමව්පියන්ගේ ඒකමතික අදහස ද එයම වූවත් එකල් හී මාගේ දෙමව්පියන් දරා සිටියේ මෙයට ඉදුරාම පටහැනි අදහසයි. ඔවුන්ගේ අදහස් මොන ආකාර වුවත් දරුවන් වශයෙන් ඔවුන්ගේ සිත් නොරිදවා සිටීමේ පරම යුතුකමක් අප උපදින විටම ‍ගෙන එන බව කිසි දිනෙක අමතක නොකළ යුතු බව එදා අපට කෙලෙසින්වත් වටහා ගත නොහැකි විය. යම් කෙනෙකු අපට වටහා දීමට උත්සහ දැරුවේ නම් ඔහු මෙන්ම ඔහුගේ අදහස්ද අප දුටුවේ සතුරන් ලෙසිනි.

අප දෙදෙනා අපගේ ප්‍රේමය දුටුවේ සර්ව සුභවාදී දැක්මකිනි. අප දෙදෙනා සෑම අතින්ම නිවරද බව අපගේ එකම අදහස විය. දැනටත් අපගේ අදහසේ කිසිම වූ වෙනසක් සිදු වී නොමැත. අප දෙදෙනාට වැරදුනේ නැත. දෙදෙන එක්ව දැඩි අදිශ්ඨානයකින් ක්‍රියා කෙරුවෙමු. එහි ප්‍රතිඵල අද අප සියලු දෙනා ම අත්විදින්නේ සතුටු සිතිනි. එනමුදු හැමගේම සිත් තුල මා පෙර කී ආකාරයේ පසුතැවිල්ලක් හොල්මන් කරන බවද මම දනිමි. ඒ මසිතේද එවැන්නක් ඇති නිසාය. අද දින කෙසේ වුවත්, මා මාගේ අම්මාගේ හිත මොන තරම් රිදෙව්වාද යන සිතුවිල්ල දැන් රිදවන්නේ මාගේ සිතයි. එලෙසින් ම අම්මා ද රිදුනු සිතින් පසුවෙතැයි මට හැගේ. අප සියලු දෙනා එක්ව වසර හයක් පුරාවට එකිනෙකාගේ සිත් රිසි සේ රිදවා ගත්තේ යැයි මට සිතේ. “වරද කොතනද? වරද මෙතනයි” යනුවෙන් එක් තැනකට අත් දික් කරනු නොහැකිය. වරද සිදු වී ඇත්තේ, වරද සිදු කර ඇත්තේ සාමුහිකවයි. සමුහයක් විසින් කරන ලද වරදක් ආයේ කිසි දින‍ නොවීමට නම් සමූහයේ සාමාජිකයින් තනි තනිව කරන ලද වරද කොටස හදුනා ගත යුතුය. මාගේ මේ වෑයම ඒ සදහා ම පමණි. මන්ද යත් අප දෙදෙනා මෙන්ම තනිව දුක් විදිනා අපමණ වූ සහෝදර සහෝදරියන් පිරිසක් අප අතර තවත් සිටිනා බැවිනි. අපගේ දයාබර දෙමව්පියන් මෙන්ම දරුවන්ගේ හිතුවක්කාරී ආකල්ප නිසා තැවෙනා සුවහසක් අම්මාවරු පියවරු අප අතර සිටිනා බැවිනි.

බ්ලොග් කියවන්නේ දරුවන් පමණක් නොවෙයි. මව්වරු පියවරු ද කියවති. මාගේ මෙම ලිපි පෙළ ඔවුන් සැම සිත් තුල යහපත් ආකල්පයක් ඇති කරත්වා ! යන්න මාගේ ඒකායන පැතුමයි.

මතු සම්බන්ධයි








Friday, June 4, 2010

52. මම රැකෙමි නුඹ නිසා, නුඹ රැකෙයි මා නිසා

වැලි, සිමෙන්ති, චිප් ගල්
සමග වතුර ද ගෙන ඇති පමන
සැලකුමෙන් නිසි පදම
ඇනූ කොන්ක්‍රීට් ගොඩ නුඹ

ලී කැබලි වටකර
ඇණ ගසා සවිමත්ව
රඳවමින් නිසිම තැන
ගැට ගැසූ කම්බි හතර මම

මා කම්බි හතර මත
දමා නුඹ කොන්ක්‍රීටය
සෑදූ 'ටයි බීමය'
නොවෙද අපගේ මේ බැඳීම

නුඹට ඉරි තැලෙනු නොහැකිය
නුඹ ‍රැකෙයි මා නිසා
මට ඇද වන්නටද නොහැකිය
මම රැකෙමි නුඹ නිසා

රකිමු අපි අප නිසා
අපෙන් පැවතෙන්නන් නිසා
සවිමත් වූ ටයි බීමය මත
හැදුනු බිත්තිය වූ අප විවාහය





LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...