එය අරඹන විට එය මෙසේ අවසන් විය යුතුයි, මෙපමණ කොටස් ගණනකින් යුතු විය යුතුයි, කියා පැහැදිලි අදහසක් මා සිත තුල නොවීය. මට අවැසි වූයේ මා සිත තුල කැකෑරෙමින් තිබුණු අදහස් සමුදාය පිළිවෙලකට පෙල ගස්වා, ඒ මගින් යම් කෙනෙකුට සිය ජීවිතය ගොඩ නගා ගැනීමට අවැසි වෙතැයි සිතෙන අවස්ථාවන් කිහිපයක් ඔබ වෙත ගෙන ඒමයි.
එම ලිපි මම පෙළ ගැස්වූයේ මාගේ මුල්ම බ්ලොග් අඩවිය තුලයි. අද දින වන විට මේ බ්ලොග් අවකාශය තුල සැරිසරන හිතමිතුරු ඔබ සැම අතරින් සමහර පිරිසක් එකල සිටියේ නැත. ඒ නිසා බොහොමයක් දෙනෙකු හට ඒ ලිපි මග හැරෙන්නට ඇත. මේ ගැන සිතන විට මට සිතුනේ අද පටන්, කොටස් 10කින් යුතු එම ලිපි පෙල දින දහයක් ඇතුලත නැවතත් මාගේ මෙම බ්ලොග් අඩවිය තුල ප්‍රතිස්ථාපනය කල යුතු බවයි.
ඉඳින් මිතුරු මිතුරියනි, ඇවිත් විඳින්න,
මේ මාත් ඔහුත් වින්ද වේදනාවයි.
එලෙසින්ම,
මේ මාත් ඔහුත් එක්ව ජය ගත් ජීවිතයයි.
සමසකට පෙර සවසක යුද්ධයක් නිමාවිය (LTTE යුද්ධය නොවේ)
Posted in ජීවිතය මේ වගෙයි on 06/05/2009 02:41 am by randilමම අද පටන් එක කථාවක් බිදෙන් බිද ඔබ සැම හමුවේ දිග හරින්නට තීරණය කළෙමි. මේ කථාව මා සිතනා පරිද්දෙන් බොහෝ දෙනෙකු හට යම්කිසි යහපත් අදහසක් ඇති කරනු ඇත. අප හැම විටම නිවැරදිව සිතනා, නිවැරදිව ක්‍රියා කරනා පිරිසක් නොවන බවද, එලෙසින් ම සමහර අවස්ථාවන් වල දී අනෙක් අයගේ අදහස් පසෙක ලා අප ගන්නා දැඩි තීරණයන් අපගේ මෙන්ම ඔවුන්ගේද තවත් බොහෝ දෙනෙකුගේද යහපත උදෙසාම ක්‍රියාත්මක විය හැකි බවද, මෙයින් ඔබ හට පසක් වනු ඇත. තවද අපගේ හිතුවක්කාරී ක්‍රියාකාරකම් හේතුවෙන් අපට හිතෛෂිව ක්‍රියාකරනා ආදරණියයන්ගේ සිත්ද, ඔවුන්ගේ දැඩිමතදාරී අදහස් හේතුවෙන් අපගේ සිත් තැලෙන පොඩිවෙන ආකාරයටම තැලී පොඩිවී යන බවද මෙයින් ඔබට පවසනු ඇත. එසේම ඒ සිදුවීම් අපගේ මෙන්ම ඔවුන්ගේ සිත් තුලද දීර්ඝ කාලීන පසු තැවීමක් පමණක් ඉතිරි කරන බවත්, එය අන්‍යෝන්‍ය සහසම්බන්ධයේදී අදිසි සෙවනැල්ලක් ලෙසින් එබිකම් කරන බවත්, තේරුම් ගෙන එවැනි දේ නොසිදුවන්නට කටයුතු කලයුතු බවද ඔබට වැටහෙනු ඇත.
ලිපියේ මාතෘකාව දුටු සැනින් මේ දිනවල ජනප්‍රිය මෙන්ම ප්‍රසිද්ධ මාතෘකාව අරභයා මාද ලිපියක් ලිවීමට සැරසේ යැයි ඔබට සිතෙන්නට ඇත. නැත. මෙයින් දිග හැරෙන්නේ මාගේ 26 වසරක ජීවිත කාලයෙන් 1/4ට ආසන්න කාලයක් පුරා මා විදි මාගේ ජීවන අත්දැකීමයි.
අද 2009 ජූනි මස 5 වනදාය. අද දින මට සුවිශේෂි වූ දිනයකි. මට පමණක් නොව මාගේ දයාබර සැමියානන් හටද මට මෙන්ම අද දින සුවිශේෂි දිනයකි. අද දිනට අප දෙදෙනා විවහ වී සමසකි. වසර භාගයකි. එලෙසින් ම අපගේ පුංචි මාලිගාවට නැකතට ගෙවැදී අද දිනට පිරෙන්නේ ද සයවන මාසයයි. (නැකතට මා කැන්දාගෙන යාමට සියලු නෑ හිත මිතුරන් පිරිවරා අපගේ නිවසට පිටත්ව ඒමට පෙර අපගේ පුංචි මාලිගාවට ගෙවැදී ඒමට මා සැමියානන් හට නැකත් ලැබී තිබීම අප දෙදෙනාගේ ජීවිත ගමනේ උදා වූ බොහෝ විශේෂ අවස්ථාවන් මෙන්ම තවත් එක් සුවිශේෂි අවස්ථාවක් වන බව මේ ලිපි කියවා ගෙන යන කල ඔබ දකිනු ඇත).
ඒ සියල්ල යහපත් අයුරින් සිදුවිනි. ඒ මීට මාස හයකට පෙර දීය. එදා මෙදා තුර කාලය යහපත්ව සාමකාමීව ගෙවිනි. මෙදෙස නෑයෝ එදෙසට යන්නෝය. එදෙස නෑයෝ මෙදෙසට පැමිනෙන්ණෝය. විනෝද සවාරි එක්ව යන්නෝය. අප දෙදෙනාගේ අවිහිංසක පැතුම සැමදා දෙපස නෑයෝ සමගිව වෙසෙත්වා ! යන්නයි.
මේ ගෙවුනු සමසක කාලයට පෙර වසර හයක් තිස්සේ අප දෙදෙනා මුහුන දුන් ගැටළුකාරී තත්ත්වයේ අපහසුකාරී බව සහසුද්දයෙන් ම දන්නේ අප දෙදෙනාම පමණි. එකම ගැටළුව විවිධ පාර්ශව අත්දකින්නේ විවිධ ස්වරෑප වලිනි. එබැවින් එම ගැටළුවෙන් පීඩා වින්දේ අප දෙදෙනා පමණක් බව මම නොපවසමි. මාගේ දයාබර දෙමව්පියන්ද ඔහුගේ දයාබර දෙමව්පියන්ද එම තත්ත්වය නිසා ඇති වූ පීඩාව ස්වරෑප දෙකකින් අත්වින්ද බව නොරහසකි. එහෙත් එකල් හී ඔවුන් පිළිබද තැවුලක් අප සිතේ වුවද, ඔවුන්ගේ තැවුල් ගැන සලකා බැලීමට අප හට අවැසි නොවීය. මන්ද යත් අප දෙදෙනා සියයට දහසකින් නිවැරදි බව අප දෙදෙනා පමණක් නොව අපගේ සියලු මිතුරු මිතුරියන් ද සැළකූ බැවිනි. දැන් දැන් දෙපස දෙමව්පියන්ගේ ඒකමතික අදහස ද එයම වූවත් එකල් හී මාගේ දෙමව්පියන් දරා සිටියේ මෙයට ඉදුරාම පටහැනි අදහසයි. ඔවුන්ගේ අදහස් මොන ආකාර වුවත් දරුවන් වශයෙන් ඔවුන්ගේ සිත් නොරිදවා සිටීමේ පරම යුතුකමක් අප උපදින විටම ගෙන එන බව කිසි දිනෙක අමතක නොකළ යුතු බව එදා අපට කෙලෙසින්වත් වටහා ගත නොහැකි විය. යම් කෙනෙකු අපට වටහා දීමට උත්සහ දැරුවේ නම් ඔහු මෙන්ම ඔහුගේ අදහස්ද අප දුටුවේ සතුරන් ලෙසිනි.
අප දෙදෙනා අපගේ ප්‍රේමය දුටුවේ සර්ව සුභවාදී දැක්මකිනි. අප දෙදෙනා සෑම අතින්ම නිවරද බව අපගේ එකම අදහස විය. දැනටත් අපගේ අදහසේ කිසිම වූ වෙනසක් සිදු වී නොමැත. අප දෙදෙනාට වැරදුනේ නැත. දෙදෙන එක්ව දැඩි අදිශ්ඨානයකින් ක්‍රියා කෙරුවෙමු. එහි ප්‍රතිඵල අද අප සියලු දෙනා ම අත්විදින්නේ සතුටු සිතිනි. එනමුදු හැමගේම සිත් තුල මා පෙර කී ආකාරයේ පසුතැවිල්ලක් හොල්මන් කරන බවද මම දනිමි. ඒ මසිතේද එවැන්නක් ඇති නිසාය. අද දින කෙසේ වුවත්, මා මාගේ අම්මාගේ හිත මොන තරම් රිදෙව්වාද යන සිතුවිල්ල දැන් රිදවන්නේ මාගේ සිතයි. එලෙසින් ම අම්මා ද රිදුනු සිතින් පසුවෙතැයි මට හැගේ. අප සියලු දෙනා එක්ව වසර හයක් පුරාවට එකිනෙකාගේ සිත් රිසි සේ රිදවා ගත්තේ යැයි මට සිතේ. “වරද කොතනද? වරද මෙතනයි” යනුවෙන් එක් තැනකට අත් දික් කරනු නොහැකිය. වරද සිදු වී ඇත්තේ, වරද සිදු කර ඇත්තේ සාමුහිකවයි. සමුහයක් විසින් කරන ලද වරදක් ආයේ කිසි දින නොවීමට නම් සමූහයේ සාමාජිකයින් තනි තනිව කරන ලද වරද කොටස හදුනා ගත යුතුය. මාගේ මේ වෑයම ඒ සදහා ම පමණි. මන්ද යත් අප දෙදෙනා මෙන්ම තනිව දුක් විදිනා අපමණ වූ සහෝදර සහෝදරියන් පිරිසක් අප අතර තවත් සිටිනා බැවිනි. අපගේ දයාබර දෙමව්පියන් මෙන්ම දරුවන්ගේ හිතුවක්කාරී ආකල්ප නිසා තැවෙනා සුවහසක් අම්මාවරු පියවරු අප අතර සිටිනා බැවිනි.
බ්ලොග් කියවන්නේ දරුවන් පමණක් නොවෙයි. මව්වරු පියවරු ද කියවති. මාගේ මෙම ලිපි පෙළ ඔවුන් සැම සිත් තුල යහපත් ආකල්පයක් ඇති කරත්වා ! යන්න මාගේ ඒකායන පැතුමයි.
මතු සම්බන්ධයි
ඒ කාලෙ අපි හිටියෙ නෑනෙ. මෙදා පාර කියවන්නම්.
ReplyDeleteආයෙත් සැරයක් කියවන්නම්කො, ඔයා ලියන රටාව නිසා දෙවෙනි සැරේ කියෙව්වත් එපා වෙන්නේ නම් නෑ.
ReplyDeleteඇත්තටම කියනවනම් ප්‍රභාකරන් චිත්‍රපටිය වුන ලංකාවෙ ඔබ ලියන නීරස සටහන අති විශිෂ්ඨ බ්ලොග් සටහනක් වීම අරුමයක් නෙවෙයි.
ReplyDeleteකලින් කියෙව්වා. ඒත් ආපහු කියවන්න ඕන කියලා නෝට් කර ගත්තා නගේ . . . .
ReplyDeleteදිගු බ්ලොග් ගමනකට සුභ පැතුම් . .. !
අදහස් දැක්වූ ඔබ සැමට ස්තුතියි.
ReplyDeleteවෙනස් ආකාරයේ කොමෙන්ටුවක් මගේ බ්ලොග් ලිපියකට ලැබුනු පළමු අවස්ථාව මේ. ඒ සහෝදරයාට/සහෝදරියට කරුණාවෙන් කීමට ඇත්තේ නීරස දේ කියවීමෙන් වැලකීම ඔබගේ මානසික සෞඛ්‍යයට වඩා හොඳවනු ඇති බවයි.
ස්තුතියි ඔබටත්