Tuesday, July 17, 2018

596. The Story Of My Marriage - 76 - I Felt As If My Soul Has Taken Leave Of My Body And Floating Away………..

An Artist's Depiction of The Soul Leaving The Body
 - Google Images

"පැය දෙකකට පස්සෙ ක්‍රිෂ් එයාගෙ පෙම්වතිය මුණ ගැහෙන්න යොදාගෙන තියනව."

"ඒ කියන්නෙ ක්‍රිෂ් ඔබට ඔබේ ජීවිතේ විසඳාගත යුතු ප්‍රශ්ණවලට වැඩිය ඔබේ පෙම්වතිය වැදගත්...එහෙමද?"

"ඇත්තම කිව්වොත් ගුරුජී මගේ පෙම්වතිය තමයි විසඳාගත යුතු ප්‍රශ්ණය...." මම බිම බලාගෙන කිව්ව.

ඩයනා එක පාරට නිකං පුදුම උනා වගෙ ඇස් බැමිත් රැලිකරගෙන මා දිහා හැරිල බලනව මම යම්තමට ඇස් කොණින් වගෙ දැක්ක

"ම්හ්ම්….." මම උගුර පෑදුව. "හරියටම කිව්වොත් එයාමත් නෙවෙයි. එයාගෙ පවුලෙ උදවිය තමයි ප්‍රශ්ණෙ...කමක් නෑ....මම දන්නව පැය දෙකකින් ඒ වගෙ ප්‍රශ්ණෙකට පිළිතුරු හොයන එක කොහොමත් ලේසි නෑ. ඒ හින්ද මම යන්නම්... ඔය දෙන්නටම බොහොම ස්තූතියි."

"මේ ළමයව තව මිනිත්තු පහළවකින් මගෙ කුටියට එවන්න…." ගුරුජී ඩයනා දිහාට හැරිල එහෙම කියල  බොහොම ශාන්ත විලාසයකින් භෝජන ශාලාවෙන් පිටවෙලා යන්ට ගියා.

ගුරුජීගෙ කුටිය පිහිටල තිබ්බෙ අතරින් පතර කහපාට මල් පිපුනු මල්ගොමු අතරින් විහිදගිය, ප්‍රධාන ගොඩනැඟිල්ලෙ ඉඳල භෝජන ශාලාව දක්වා පැතිරුනු පෙත්මඟ තරම්ම පළල් නොවුනු, මට හිතුනු විදිහට බොහෝවිට සක්මන් මළුවක් විය හැකි ගඩොලින් නිමවුනු කුඩා අඩිපාරක කෙළවර. 

ඩයනා මට ගුරුජීගෙ කුටිය පෙන්නල ආපහු යන්ට ගියා. "හරියටම මිනිත්තු පහළවකින් කුටියෙ දොරට තට්ටු කරන්න….." ඈ යන්ට කලින් හිනා වෙලා එහෙම කිව්ව. 

"බොහොමත්ම ස්තූතියි ඔබ මට කල උපකාර වලට…." මම ඇයට සිනහවකින් සමුදුන්න.

මම ඒ අසළම තිබුණු සුවිසල් නුග ගසක සෙවණේ මිනිත්තු පහළවක කාල සීමාව ගත කරල හරියටම නියමිත වෙලාවට ගුරුජීගෙ කුටියෙ ද්වාරය ඉදිරිපිට හිටගත්තා.

මම කුටියෙ ද්වාරයට තට්ටු කරන්නට සුරත ඔසවනවාත් සමඟම ද්වාරය විවර වෙලා ගුරුජී එළිපත්ත මත පෙනීසිටියා.

"එන්න ක්‍රිෂ්…." ගුරුජී මන්දස්මිතියකින් සැරසුනු මුවගින් යුතුව මාව පිළිගත්ත. "එන්න ඇතුළට……"

ඔහු ගිහිල්ල ඒ කුඩා කුටියේ පසෙක තිබූ සයනයක් මත හිඳගත්ත. අවශ්‍ය පරිදි ආසනයක් ලෙසද භාවිතා කල හැකි ශක්තිමත් දැවයෙන් තැනූ එවන් සයනයන් මම බොහෝවිට ආශ්‍රම අරභයා ලියවුනු ප්‍රවෘත්ති පත්‍ර ලිපිවල දැකල තියනව.

මම ගුරුජී ඉදිරියේ පොළව මත එලා තිබූ කළාලය මත දෙපා නවා හිඳගත්ත. කුටිය තුල වෙනත් කිසිදු අසුනක් නොතිබුනු නිසා සහ ගුරුජී සයනය මත හිඳගත් තැනට හරියටම ඉදිරියෙන් කළාලය එලා තිබූ නිසා ඒ මා වෙනුවෙන් පැනවූ අසුන බව වටහා ගැනීමට මට අසීරුවූයේ නැහැ.

මා ඉදිරියේ සයනය මත එරමිණිය ගොතා හිඳහුන් ගුරුජීගේ දෑස් කෙමෙන් පියවුනා. 

ගුරුජීගේ මුහුණ දෙස ඇසිපිය නොහෙලා බලාහුන් මගේ සිතට නැඟුනේ මෙලෙස කුඩා කුටියක් තුල සාධුවරයෙකු ඉදිරිපිට හිඳ ඔහුගේ මුහුණ දෙස බලා සිටින්නට අද උදෑසන අනන්‍යා ඇගේ කාර්යාලය අසල බස්සවා ඇගෙන් සමුගන්නාවිට මගේ තුන්සිතකවත් කිසිදු අදහසක් නොතිබුනු බවය.

ඒ අවස්ථාවේදී මසිත තුලවූ එකම අපේක්ෂාව වූයේ සවස කතිකාකොටගත් පරිදි කෝපි පානය උදෙසා අනන්‍යා හමුවනතෙක් පොන්ඩිචෙරියෙහි සුපතල ප්‍රංශ අවන්හල් පීරීම පමණයි. මෙසේ ගුරුජී කෙනෙකු හමුවන්නට මට කිසිදු අවශ්‍යතාවයක් ඇත්තෙන්ම තිබුනේ නැහැ. දෛවයක් පිළිබඳව මගෙ ඒ හැටි විශ්වාසයක් නොතිබුනත් මේ සිද්ධියනම් එහෙම එකක් වෙන්න ඕන කියල මගෙ හිත මට කිව්ව.

"මෙහෙම මෙතනට එන්ට සිද්ධ වුනු එක ඔබට මහත් විශ්මයක් වෙන්න ඕන එකත් එකටම. ඒත් මම හිතන්නෙ අප හමුවුනේ දෛවෝපගතවයි." ගුරුජී එක පාරටම එහෙම කිව්වම මම විශ්මය පත්වුනා.

"ඔබතුමා අනුන්ගෙ හිත් කියවන්නත් දන්නවද?" ඒ ප්‍රශ්ණය මගෙ මුවෙන් පිටවුනේ ඉබේටමයි.

"නැහැ, ඇත්තම කිව්වොත් හිතම නෙවෙයි. මම කියවන්නෙ මිනිස්සු. නිවැරදිව මිනිස්සු කියවන්නට ඉගෙන ගත්තොත් ඔබට කවදාවත් වරදින්නෙ නැහැ. හරි අපි ඔබේ ප්‍රශ්ණෙට එමු. ඔබේ හිතේ බොහොම විශාල දෙගිඩියාවක්, තැවුලක් තියන බව ඔබේ මුහුණේ ඉරියව් වලින් මට ඉතාම පැහැදිලියි."

එහෙම කියල ගුරුජී තම දිගු සුදු රැවුල ඉහළ සිට පහළට අත ගාමින් මා දෙස නිහඬව බලා සිටියා. මම අඩක් පහතට යොමුවූ දෙනෙතින් යුතුව ඔහු ඉදිරියේ හිඳගෙන සිටියා මිස කිසිවක් පැවසුවේ නැහැ.

"ඔබ ඔබට ඇති ප්‍රශ්ණය නොපවසන්නේ නම් එය විසඳා ගැනීමට මම ඔබට උපකාර වන්නේ කෙසේද? කරුණාකර ඔබේ ප්‍රශ්ණය පවසන්න දරුවා.." නිහඬත්වයෙන් ගතවූ මිනිත්තුවක පමණ කාලයකින් අනතුරුව ගුරුජී ශාන්ත ස්වරයකින් මා අමතා එසේ පැවසූවා.

"ගුරුජී ......" දිගු සුසුමකින් අනතුරුව මම කතාකලා. 

"මගෙ පෙම්වතිය දෙමළ. මම පන්ජාබි. අපි දෙන්නගෙ පවුල් දෙකේම වැඩිහිටියො ඒ කියන්නෙ දෙපැත්තෙම දෙමව්පියො අපේ විවාහයට විරුද්ධයි. අපි දෙන්නම ඒ කිව්වෙ මමයි මගෙ ගෑණු ළමයයි දෙන්නම අපිට පුලුවන් උපරිම විදිහට උත්සාහ කරනව මේ විරුද්ධත්වය නැතිකරගන්ට. ඒත් ඒ උත්සාහය සාර්ථක වෙන බවක් පේන්න නෑ. ඔය හින්ද මම ඉන්නෙ බොහොම හිතේ අසහනයෙන්. හිත් වේදනාවෙන්."

"හ්ම්ම්ම්.. එහෙමද?....හරි එහෙනම් දැන් ඇස් දෙක වහගන්න. වහගෙන ඔබගෙ මේ ප්‍රශ්ණය ගැන ඔබගෙ හිතට එන ඕනම දෙයක් කියන්න. කිසිම දෙයක් හිතේ නතර කරගන්න, ගිලගන්න එපා. හිතට එන ඔක්කොම ඒ විදිහටම කියන්න."

"මම ඇයට ආදරෙයි…….." මම කිව්වා. 

"මමයි එයයි එකට ඉන්නකොට අපි දෙන්නම බොහොම සතුටෙන් ඉන්නෙ. ඉතින් අපි දෙන්නට ජීවිත කාලෙම එහෙම එකට ඉන්න පුලුවන්නම් අපි දෙන්නට හරිම සතුටින් ඉන්න පුලුවන් වෙයි. ඒත් ගුරුජී…….."

"ඔව්..දිහටම කියාගෙන යන්න..නවත්වන්න එපා…"

"ඒත් ගුරුජී අපේ ඒ සතුට හින්ද ජීවිතේ අපිට බොහොම සමීපව ඉන්න අය අසතුටු වෙනවනම් අපි අපේ සතුට ගැන විතරක් හිතන එක හරිද? මට ඔය ගැටළුව හිතට බොහොම වද දෙනව ගුරුජී රැයක් දවාලක් නැතුව…"

මම තවත් දිගටම කතා කරගෙන ගියා. මගෙ හිතට ආපු හැඟීම්....මෙච්චර කාලයක් තිස්සෙ කාටවත් කියාගන්න බැරුව හිතේ අහුමුළුවල හංගගෙන හිටපු හැඟීම්.....ගඟක් මහ වැස්සකට පස්සෙ දෙගොඩ තලා ගලා යනව වගෙ මගෙ කටින් පිටවෙලා ගුරුජීගෙ කුඩා කුටියෙ අවකාශය පුරාවට පැතිරුනා. මමම කතාකරගෙන ගියා මිසක ගුරුජී කිසිම දෙයක් කිව්වෙ නෑ. යන්තමට හ්ම්ම්ම් සද්දයක්වත් නෑ. මම ඇස් වහගෙන හිටපු හින්ද ගුරුජී තවමත් මා ඉස්සරහ ඉඳගෙන ඉන්නවද නැත්නම් හෙමිහිට කිසිම සද්දයක් බද්දයක් නෑහෙන විදිහට නැඟිටල කොහෙවත් යන්ට ගිහිල්ලද කියල මම දන්නෙ නම් නෑ. ඒත් මම දිගටම කියවගෙන ගියා....

"ඉතිං මොනව උනත් අන්තිමට මට කියන්ට තියෙන්නෙ මම ඇයට ආදරෙයි. ඇයත් මට ඒ වගේම ආදරෙයි. කොටින්ම ඇය තමයි මගේ අනාගතය…." මම එහෙම කියල කතාව පටන්ගත්ත වගේම දිගු සුසුමක් හෙලල කතාව ඉවර කලා.

කතාව ඉවර කලත් මම ඇස් ඇරියෙ නෑ. එහෙමම ඇස් වහගෙනම සෙමෙන් හුස්ම ඉහල පහල දමමින් සිත සන්සුන් කරගන්නට උත්සාහ කලා.

"එච්චරද ක්‍රිෂ්?........ කතාව ඉවරද?" ගුරුජීගෙ කටහඬ මට ඇහුනා. 

"එහෙමයි ගුරුජී මට කියන්ට තියෙන්නෙ ඔච්චරයි…" මම ඇස් නෑරම කිව්වා.

"ඔබට සහතිකද ඔය ඔබගේ ගැහැණු ළමයගෙ ප්‍රශ්ණය විතරයි ඔබගේ සිතට වද දෙන්නෙ කියල?"

"මට පැහැදිලි නෑ….මොකක්ද ඔබ මේ කියන්න හදන්නෙ?"

"මට පේනව දරුවා ඔබ තුල ඔබ සිත තුල කාලාන්තරයක් තිස්සෙ නොවිසඳුනු ප්‍රශ්ණයක් තිබෙන බව. ඒ ප්‍රශ්ණය හින්ද ඔබ බලවත් සිත් තැවුලකින් ඉන්නෙ. බලවත් වේදනාවකින් ඉන්නෙ. ඔබගේ අනාගතය ගොඩ නඟා ගැනීමට පළමු දරුවා ඔබ ඔබේ අතීතයේ නොවිසඳුනු ගැටළු විසඳාගත යුතුයි අනිවාර්යයෙන්ම. ඒක තමයි එකම විසඳුම. වෙන ක්‍රමයක් නෑ."

"මොකක් ගැනද ගුරුජී ඔබතුමා මේ කියන්නෙ?"

මගේ ස්වරය යම් තරමකට උච්ච වුනා නම් ඒ මම හිතල මතල කල දෙයක් නෙවෙයි. ඉබේටමයි. එහෙම අහන ගමන්ම මම ඇස් ඇරියා. ගුරුජී තවම මා ඉදිරියේ එරමිණියා ගොතාගත්වනම හිඳ සිටියා. ඔහුගේ ඇස් තවමත් පියවෙලා.

"ආයෙමත් ඇස් වහගන්න දරුවා…" ගුරුජී තම දෑස් නෑරම කිව්වා.

"එහෙමයි…" මම එහෙම කියල ආයම දෑස් වහගත්තා.

"හරි දැන් මට කියන්න. රාත්‍රියේදී ඔබට නින්දට පිවිසීමේ අපහසුවක් තිබෙනවා නේද?"

මම කිසිවක් නොපවසා නිහඬව සිටියා.

"මම අසන ප්‍රශ්ණවලට ඔබ පිලිතුරු නොදෙන්නේනම් මට ඔබට උපකාර කිරීමට අපහසුයි දරුවා. ඔබට රාත්‍රියේ නින්ද යන්නේ සයනයට පිවිස බොහෝ වේලාවක් ගතවීමෙන් පසුවයි නේද?"

"එහෙමයි."

"මට කියන්න එලෙස නින්දට යාමට අපහසුවන්නේ ඔබට තිබෙන ප්‍රශ්ණ නිසා නේද?"

"එහෙමයි."

"මට කියන්න මොනවද ඒ ප්‍රශ්ණ?"

"එකක් කියල නෙවෙයි ගුරුජී. මගේ රැකියාව සම්බන්ධ ප්‍රශ්ණයක් තිබෙනවා. ඇත්තම කිව්වොත් මම දැනට කරන රැකියාව කරන්නෙ කිසිම උනන්දුවකින් නෙවෙයි. නොකර බැරිකමට. ඊලඟට මම කිව්වෙ අර මගෙ ගැහැණු ළමය,අනන්‍යා සම්බන්ධ ප්‍රශ්ණය. ඒ කිව්වෙ අපේ අනාගතය ගැන කිසිම ස්ථිරතාවයක් නැති එකේ ප්‍රශ්ණය. ඊලඟට මගෙ පියා..."

මම ඒ අන්තිම වචන කීපය කිව්වෙ බොහොම හෙමිහිට. ඇහෙන නෑහෙන ගාණට.

දැඩි නිහඬතාවයකින් හාත්පස පිරීගිය මිනිත්තුවක් පමණ ගතවුනා. ඊට පස්සෙ ගුරුජී කථාකලා.

"ඔබේ පියා …...හ්ම්ම්ම්…..ඔබේ පියා ගැන මට කියන්න…"

"ඒ ප්‍රශ්ණෙ බොහොම සංකීර්ණයි ගුරුජී" මම හෙමිහිට කිව්වා. 

"හ්ම්ම්ම්..සංකීර්ණයි...ඒ වගේම ඔබේ හිතට දැඩි බරක්... එහෙම නේද?"

මම දිග සුසුමක් හෙලුවා. 

"අත ඇරල දාන්න…." ගුරුජී එක පාරටම කිව්වා.

"මට බෑ. මට ඒක කොහොමවත්ම කරන්න බැරිවෙයි. කොටින්ම මම ඒ ගැන කතා කරන්න වත් කැමති නෑ…" මම කියාගෙන කියාගෙන ගියා. 

"මෙච්චර දවසක් ඒ ගැන කතා කලේ නැත්නම් අද අපි ඒ ගැන කතා කරමු."

"මට බෑ….." මම ආයෙමත් කිව්වා.

"ක්‍රිෂ්, මම මේ අහගෙන ඉන්නෙ....."

ගුරුජී එහෙම කියල උඩුකය නවල ඉස්සරහට පහත්වෙලා ඔහුගේ සුරතේ අත්ල මගේ හිස් මුදුනත තිබ්බා. මගෙ හිසට සහ අනුක්‍රමයෙන් මුලු ගතටමත් විශ්මයජනක සැහැල්ලුවක් දැනෙන්න පටන් ගත්තා. මාව අමුතුම ලෝකෙකට පාවෙලා යනව වගෙ මට දැනෙන්න ගත්තා. 

හරියටම මට හිතුනෙ මගේ ආත්මය මගේ සිරුර අතහැරල ඉන් පිටතට ඇවිල්ල හිතුමතේ කුරුළු පිහාටුවක් වගේ පාවෙලා යනව කියල. ඒත් මා ඉදිරියේ තිබෙන දුෂ්කර කාර්යය ගැන මට හොඳ වැටහීමක් තිබ්බා.

"ගුරුජී මට කොහෙත්ම මේක කරන්න බෑ. කරුණාකරල මා ලවා මේ වැඩේ කරවන්න උත්සාහ කරන්න එපා."

මම ගුරුජීගෙන් එහෙම බැගෑපත්ව ඉල්ලා හිටියෙ ගුරුජී මගෙන් බලාපොරොත්තු වෙන්නෙ මොකක්ද? සහ ඒ කාර්යය ඉටුකිරීමේදී මට විඳින්නට වෙන වේදනාව ගැන මට හොඳ අවබෝධයක් තිබුනු හින්දයි. 

"ක්‍රිෂ්...මම අහගෙන ඉන්නෙ... දැන් කරුණාකරල පටන් ගන්න….."

ගුරුජී අනුකම්පා විරහිත එහෙත් ඉතාම සෞම්‍ය ස්වරයකින් එහෙම කිව්ව.

ඉතින්...ඉතින්....ඉතින්...මම මගේ කතාව කියන්න පටන් ගත්තා……

Thursday, July 12, 2018

595. The Story Of My Marriage - 75 - Diana The Ex-Lawyer From Finland And Meeting The Guruji…..



පොන්ඩිචෙරීහි ඖරෝබින්දෝ ආශ්‍රමයේ
දර්ශනයක් - Google Images

ජීවිතේ බොහෝ වෙලාවට අපි ක්ෂණිකව ගන්න තීරණ අපෙ ජීවිතේට දැඩිව බලපෑම් කරනව. මම උදේ එද්දි හිතාගෙන හිටියෙ අනන්‍යා එයාගෙ රැස්වීමට සහභාගි වෙන අතරෙ මම මට ලැබෙන ඉඩ ප්‍රස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන පොන්ඩිචෙරී වල සුප්‍රසිද්ධ ප්‍රංශ අවන්හලකින් දිවා ආහාරයට ප්‍රංශ කෑම කන්නම්ය කියල. 

ඒත් අරමුණකින් තොරව ඉස්සරහට යද්දි එක පාරටම මම දැක්ක පාර අයිනෙ පොඩි දැන්වීම් පුවරුවක් ඖරෝබින්දෝ ආශ්‍රමය කිලෝ මීටර් හතරයි කියල. ඒ ලඟම වැවිල තිබ්බ මහ විසාල ගහක කොළ අතුවලින් වැහිල ඒ දැන්වීම් පුවරුව පාරෙ යන කෙනෙකුට මඟ ඇරෙන්න තියන ඉඩකඩ බොහෝම වැඩියි. ඒත් මගෙ දෛවය අනුවද මන්ද මම ඒ දැන්වීම් පුවරුව දැක්ක. දැක්ක විතරක් නෙවෙයි ක්ෂණිකව මට හිතුන ප්‍රංස කෑම කන එක යකාට ගියාවෙ කියල ආශ්‍රමයට ගියානම් හොඳයි නේද කියල.....

මම දෙපාරක් හිතන්නෙ නැතුව බයික් එක ආශ්‍රමයට යන පාරට හරව ගත්ත.

ආශ්‍රමය ඉස්සරහ හොඳ ඉඩ කඩ තියන මිදුලක් තිබ්බ. මම ඒ මිදුලෙ අයිනකට වෙන්ට තිබ්බ අඹ ගහක් යට හෙවණෙ බයිසිකලේ නවත්තල අතපය දිග ඇරල හිරි කඩන ගමන් වටපිට බැලුව. 

ඒ වෙලාවෙත් මිදුලෙ හිටිය මයෙ හිතේ මිනිස්සු එක විස්සකට තිහකට එහා පැත්තෙ. ඒත් ඒ හැමෝම කිසිම සද්දයක් බද්දයක් නැතුව එහෙ මෙහෙ තම තමන්ගෙ කටයුතු උදෙසා ඇවිද යමින් හිටියෙ බිම බලාගෙන. බාහිර පෙනුමෙ විදිහට ඉන්දියානුවන්ට වඩා බහුතරයක් හිටියෙ මගෙ කල්පනාවෙ හැටියට විදේශිකයො.

ආශ්‍රමය ඇතුලට යන්ට ඉස්සර වෙලා තිබ්බ හොඳට වාතාශ්‍රය ලැබෙන ඒ වගේම ඉඩකඩ තියෙන ප්‍රවේශ ශාලාවක්. ඉංග්‍රීසියෙන් ඔය "Lobby" කියල කියන්නෙ අන්න ඒකක්. ලොබි එකේ හරි මැදටමත් නෙවෙයි ටිකක් වගෙ පස්සට වෙන්ට තිබ්බ අර්ධ කවාකාර "Reception Desk " එකක්. ඒක පිටිපස්සෙ වාඩිවෙලා හිටිය යුරෝපියානු පෙනුමක් තියන කාන්තාවක්. වයස මයෙ හිතේ හතළිහකට වැඩි මිසක අඩු එහෙම නෑ. ඈ ලා නිල් පාට සාරියක් ඇඳල හිටියෙ. ආභරණයක් විදිහට මම දැක්කෙ ගෙලවටා එල්ලෙමින් තිබුණු තරමක ලොකු රවුම් ඇට වර්ගයකින් හදපු මාලයක් විතරයි.

"ඔබ මොනවද හොයන්නෙ?" ටික වෙලාවක් මගේ මූණ දිහාවෙ බලා ඉඳල ඇය හෙමිහිට ඇහුව.

අංක එක මම මේ ඉන්නෙ ආශ්‍රමයක හින්ද සහ අංක දෙක ඇය ඒ ප්‍රශ්නෙ අහපු විදිය හින්ද ඒ ප්‍රශ්නෙ තවත් සැඟවුනු අරුතක් ඇතිය කියල මට හිතුන.එහෙම හිතල මම ඇගේ නිල්පාට ඇස් දිහාම ටික වෙලාවක් බලා හිටිය.ඇගෙ ඇස් වටේට යම්තමට රැළි වැටිල වගෙ තිබ්බෙ එක්කො වයස හින්ද නැත්නම් යුරෝපීයයන්ට නුපුරුදු ඉන්දියාවෙ කර්කශ දේශගුණය හින්ද වෙන්න ඕන.

"මම මේ ඉස් ඉස්සෙල්ලාමයි මෙහෙට ආවෙ…." මම කිව්ව.

ඇය ඩෙස්ක් එකේ කුඩා ලාච්චුවක් ඇරල ආශ්‍රමයෙන් කෙරෙන කටයුතු පිළිබඳ විස්තර අඩංගු විස්තර පත්‍රිකාවක් මට දුන්න. 

"ඔය පත්‍රිකාවෙ ඔබට දැනගන්නට ඕන සියළු විස්තර තියනව….."

තවත් කවුද උස මහත පකිස්තාන පෙනුමක් තියන මැදිවියේ මනුස්සයෙක් පිළිගැනීම් කවුන්ටරේ ළඟට ආව. 

"සමාවෙන්න…." ඔහු මා දිහා බලල ආචාරශීලි විදිහට හිස පහත් කරල සුදු ගැහැණිය දිහාට හැරුන. "සමාවෙන්න මට දවල් කෑම ටෝකන් දෙකක් දෙනවද?"

දවල් කෑම ටෝකන් දෙකක් මිළදීගෙන ඔහු ඇතුළුවන දොරටුව ලඟ ඉඳගෙන හිටපු බොහෝවිට ඔහුගේ භාර්යාව විය හැකි ගැහැණියක වෙත ගියා.

"මටත් දෙනවද දවල් කෑම ටෝකන් එකක්.." මම සුදු ගැහැනියගෙන් විමසුව…

"ඔව් ඇත්තෙන්ම මෙතනින් ටෝකන් එකක් අරගත්තම ඔබට ආශ්‍රමයෙ භෝජන ශාලාවෙන් දවල් කෑම ගන්න පුලුවන්…."

ආයෙමත් වරක් ඇය ටෝකන් පොත එළියට ගත්ත. මමත්  ටෝකන් එකක් මිළදී ගත්ත.

"ඔබ දැන්මම දවල් ආහාරය ගන්නව නම් මාත් එක්ක යමු. මමත් මේ යන්න කියල සූදානම් වුනේ භෝජන ශාලාවට…" ඇය පිළිගැනීමේ කවුන්ටරය පසුපස ඉඳල ඇවිල්ල මා අසලින් හිටගත්ත. "එහෙනම් යමුද?"

"යමු….." මම හිනාවෙලා කිව්ව. ඇය ඉස්සර වුනා.

ආශ්‍රමයෙ ප්‍රධාන ගොඩනැඟිල්ල අද්දරින්ම වගෙ ඊට සමාන්තරව දිවෙන කපා ඔපමට්ටම් කල කළුගල් ඇතිරූ අඩි තුනක් වගෙ පළල පෙත්මඟක් දිගේ අපි ගමන් කලා. භෝජනාගාරය තිබුනෙ ප්‍රධාන ගොනැඟිල්ලෙ ඉඳල කිලෝමීටර බාගයක් වගෙ එහාට වෙන්ට.

පෙත්මඟ දිගේ සෙමෙන් ඇවිදගෙන යද්දි ඈ මට ඇගෙ විස්තර කිව්ව. මම අනුමාන කලා හරි. ඇය ෆින්ලන්තෙ. නම ඩයනා. ඇය වෘත්තියෙන් නීතීඥවරියක්. ෆින්ලන්තෙ සුප්‍රසිද්ධ නොකියා ජංගම දුරකථන සමාගමේ ඇය සේවය කරල තියෙන්නෙ. ඇයට පැවරිලා තිබුනු රාජකාරිය ඇවිල්ල නොකියා සමාගමේ නව නිපැයුම් වලට පේටන්ට් බලපත්‍ර ලබාගැනීමට අවශ්‍ය නීතිමය කටයුතු කරන එක.

හිතවතියකගෙ මාර්ගයෙන් මේ ආශ්‍රමයට අහම්බෙන් වගෙ පැමිණි ඇය දැන් වසර තුනක් වගෙ කාලයක ඉඳල මෙතන ස්වේච්ඡා සේවිකාවක් විදිහට වැඩ කරනව කියලත් ඈ මා සමඟ කිව්ව.

"මට මෙතන මෙහෙම වැඩ කරගෙන ඉන්න එක හිතටයි ගතටයි දෙකටම හොඳයි. මෙතන ජීවිතේ හරිම නිස්කලංකයි.." ඩයනා මා එක්ක එහෙමත් කිව්ව.

කතාවෙන් කතාවෙන් අපි භෝජන ශාලාව ඉස්සරහටම ඇවිත් තිබුන. 

"එතකොට ඔබ? ඔබ මෙහෙ ආවෙ යමක් හොයාගෙනද? එහෙමත් නැත්නම් සංචාරකයෙක් විදිහට මෙතන නරඹන්නද? මම එහෙම අහන්නෙ මේ දෙවර්ගයෙම අය මෙතනට එන හින්ද

ඈ මගේ දිවා ආහාර ටෝකන් එක මට දුන්න.

"යමක් හොයාගෙනද කියල ඇහුවෙ?... මට තේරුණේ නෑ" මම නළල රැලි කරගෙන ඇහුව.

"We call them Seekers......සීකර්ස්ල වර්ග දෙකක් ඉන්නව. පොදුවේ තමන්ගෙ මුලු ජීවිතේම අලුත් මාර්ගයක ගෙනියන්න ඕනය කියල හිතල ඒ මාර්ගය හොයාගෙන මෙතනට එන අය සහ යම් එක් විශේෂිත ප්‍රශ්ණයකට පමණක් විසඳුමක් සොයාගෙන මෙතනට එන අය…"

"මම ඇත්තම කියන්නද ඩයනා?...මම ඔය දෙකටම අයිති නෑ කියල කියන්න පුලුවන්...I am actually neither a seeker nor a tourist.......මම චෙන්නයි වල ඉඳල ආවෙ මගෙ යාලුවෙකුත් එක්ක. යාලුවට පොන්ඩිචෙරීවල අද වැඩක් තියනව. මේ... මේ...රැස්වීමක්. ඉතිං මට හිතුන චෙන්නයිවල දවසම ඔෆිස් එකේ හිරවෙලා ඉන්නවට වැඩිය වෙනසකටත් එක්ක මමත් එයත් එක්ක ආවනම් හොඳයි කියල. ඉතිං යාලුව එයාගෙ වැඩේට ගියා. මම ඒ අතර මෙහෙට ආව...."

ඩයනා මදක් හඬනඟා සිනාසුනාය. ඇය සිනාසෙන විට ඇගේ නිල් පැහැ නෙත් බබලන අයුරු මට දැකගත හැකිවිය.

"හරි අපි ඒ ගැන පස්සෙ කතා කරමු. දැන් කමු….." එහෙම කියල ඩයනා භෝජන ශාලාවට ඇතුළු වුනා. මමත් ඇය පසුපස ගියා.

භෝජන ශාලාවෙ දොර ගාවම දිග සුදු පාටින් දිලිසෙන මේසයක් උස වානේ පිඟන් සහ තැටි මහ ගොඩක් එක පිට එක ගොඩ ගහල තිබ්බ. මට එක පාරටම මතක් වුනේ රත්නා ස්ටෝර්ස් එක. නිරායාසයෙන්ම මුවඟට නැඟුනු හිනාව වහ ගන්ට මම අහක බලාගත්ත.

ආශ්‍රමයකටම ගැලපෙන විදිහට කෑම වේල බොහොම සරළයි. කාබනිකව වගා කෙරුනු දුඹුරු සහලින් පිසූ බත්, කිරි යම්තමට යෙදූ කහ පරිප්පු සමඟ කැරට් සහ කඩල සබ්සි.

ආහාර ගන්ට වෙන් කරල තිබුනෙ එතනම පොඩි ස්ක්‍රීන් එකකින් වෙන් කරල තිබ්බ ශාලාවක්. ඒකෙ පුටු මේස තියා අඩුම ගණනෙ බංකුවක් වත් නෑ. පොළව මත එළපු කළාල උඩ ඉඳගෙනයි ආහාර ගන්න තිබ්බෙ. ඩයනයි මායි ටික වෙලාවක් හිස් පහත් කරගෙන නිහඬව ආහාර ගත්ත. පස්සෙ මම ඔලුව උස්සල ඈ දිහා බැලුව. 

"හරි අපි මෙහෙම කියමුකො. මට මොකක් හරි ප්‍රශ්නෙකට පිළිතුරු අවශ්‍යයි කියමුකො. මම මෙහාට ආවෙ ඒ ප්‍රශ්ණෙට පිළිතුරු හොයාගෙනය කියලත් කියමුකො. දැන් මට කියන්න කොහොමද මම ඒ පිළිතුරු ලබාගන්නෙ? කවුද මට ඒ වැඩේට උදව් කරන්නෙ?"

"මෙහෙමයි….." ඩයනා ආහාර ගැනීම නවත්තල හිස ඔසවල බැලුව.

"එහෙම ප්‍රශ්නවලට උත්තර හොයාගෙන එන උදවියට අපි කියන්නෙ ප්‍රශ්ණවලට උත්තර තියෙන්නෙ තමන් ඇතුලෙමයි. අපි මෙතන කරන්නෙ තමන්ගෙ අභ්‍යන්තරයෙන්ම අන්න ඒ උත්තර හොයාගන්න උදව් කරන එක විතරයි. සාමාන්‍යයෙන් එහෙම ප්‍රශ්ණයකට හෝ ප්‍රශ්ණවලට පිළිතුරු හොයන අය කරන්නෙ අපේ ආශ්‍රමයෙ සති දෙක තුනක් වගෙ නැවතිල ඉන්න එක. ඒ අතරෙ තමන්ගෙම අභ්‍යන්තරයෙන් තමන්ගෙ ප්‍රශ්ණවලට උත්තර හොයාගන්න අපි එයාලට මඟ පෙන්වනව. අපේ තියනව සත්සාන්ග් කියල එකක්. ඔබ ඒ ගැන අහල තියනවද?"

"නෑ……."

"හරි...සත්සාන්ග් කියන වචනෙ තේරුම සත්‍යය සමඟ එකතුවීම නැත්නම් සත්‍යය හමුවීම...සත්සාන්ග් එකක් කියන්නෙ ඇත්තටම හෘදයාංගම රැස්වීමක්...අපේ ඉන්නව මිනිස් සිත පිළිබඳව බොහොම අධ්‍යයනය කරපු ඥානවෘද්ධයන්. එයාලට කියන්නෙ ගුරූ කියල. තමන්ගෙ ප්‍රශ්ණ වලට පිළිතුරු හොයන අයට ඒ ගුරූ කෙනෙක්ගෙන් උපදෙස් ගන්න පුලුවන් තමන් මොකද කරන්න ඕන, මොන මාර්ගයෙද යන්න ඕන කියල...හැබැයි ඉතිං ඔය ඔක්කොම හදිස්සියෙ කරන්න නම් කොහෙත්ම බැහැ. ඒකට කාලය යනව....මට කියන්න ඔබට කොපමණ කාලයක් ඔබේ ප්‍රශ්නවලට පිළිතුරු සොයාගන්න මිඩංගු කරන්න පුළුවන්ද?"

"මම තව පැය දෙකකදි මගෙ ප්‍රේමවන්තිය හම්බ වෙන්න ඕන. අපි දෙන්න කතා කරගත්ත ල'ඔරියන්ට් හෝටලේදි හම්බ වෙලා කෝපි කෝප්ප දෙකක් බොන්න. ඊට පස්සෙ අපි දෙන්න අද හවසම ආපහු චෙන්නයි යනව"

ඩයනා යලිත් සිනාසුණාය. ඉන්පසු ඇය කතා කලේ හිස සෙමෙන් දෙපසට සොලවමිනි. 

"ම්හු....මම කොහොමටවත් හිතන්නෙ නෑ පැය දෙකක් නම් ඇතිවෙයි කියල. ජීවිතේ මෙතෙක් නොවිසඳුනු ගැටළුවලට පිළිතුරු හොයන්න ඔහොම ඩෙඩ්ලයින්ස් දාගෙන නම් බෑ"

"එහෙමනම් මට තියෙන්නෙ නොවිසඳුනු ගැටළු ඔය තියන විදිහටම තිබ්බාවෙ කියල වැඩේ අල්ලල දාන්ට…."

"නෑ.....පොඩ්ඩක් ඉන්නකො..මම හිතන්නෙ ඔබ වාසනාවන්තයි..අර අතන මුල්ලෙ ඉඳගෙන කෑම ගන්නෙ…. මම අර කලින් කිව්වෙ... එතුමා අපේ බොහොම පලපුරුදු ගුරූ කෙනෙක්"

ඇය මට පෙන්නුවෙ සුදු රැවුලක් සහිත වයසින් අවුරුදු හැත්තෑවක් හෝ අසූවක් පමණ වේ යැයි සිතිය හැකි ඉතාම ශාන්ත පෙනුමකින් යුතු පුද්ගලයෙක්. තනි සුදු ලෝගුවක් වැන්නක් හැඳසිටි ඔහු තනිවම ආහාර ගනිමින් සිටියා. 

"ඉන්න මම එතුමට ඔබ ගැන කියන්නම්. එතුමට සමහරවිට ඔබ ගැන මොනව හරි කරන්න පුලුවන් වෙයි...."

"එපා එපා..මේ හදිස්සියෙ එතුමට බාධා කරන එක හරිනැහැනෙ..කරදර කරන්න එපා…"

"නෑ කිසිම කරදරයක් නෑ. ඔබ වෙනුවෙන් මිඩංගු කරන්න කාලයක් එතුමාට මේ වෙලාවෙ නැත්නම් එතුමා කෙලින්ම ඒ බව කියාවි. එච්චරයි…"

"ප්‍රණාම් ගුරුජී "

ඩයනා බොහොම ගෞරව සම්ප්‍රයුක්තව දෑත් එක් කරල එහෙම කියල ඊට පස්සෙ පහත්වෙලා ගුරුජීගෙ දෙපා ස්පර්ශ කලා. මමත් ඇය අනුගමනය කලා. ගුරුජී තම දකුණත උස්සල අපිට ආශිර්වාද කලා

"ගුරුජී මේ මගේ හිතවතෙක්. එයාගෙ නම….."

ඩයනා එහෙම කියල මගෙ මූණ බැලුව. ඩයනා කොහොමත් මගෙ නම දන්නෙ නෑ. මම ඇයට කිව්වෙ නෑනෙ.

"මගෙ නම ක්‍රිෂ්" මම කිව්ව. 

"ඔව්..මෙයාගෙ නම ක්‍රිෂ්."

ඩයනා එහෙම කියල ආපහු ගුරුජී දිහාට හැරුන.

"ගුරුජී මේ ක්‍රිෂ්ට ප්‍රශ්ණ කීපයකට පිළිතුරු හොයාගන්ට උවමනා වෙලා තියනව…...ඒත්…"

"ඔව් මොකක්ද ඒත්?" ගුරුජී ඇහුව. 

"ගුරුජී ක්‍රිෂ්ට මෙහෙ, අපේ ආශ්‍රමයෙ ගතකරන්න පුලුවන් පැය දෙකක් විතරයි."

"ඇයි?.... පැය දෙකකට පස්සෙ මොකද වෙන්නෙ? "

"පැය දෙකකට පස්සෙ ක්‍රිෂ් එයාගෙ පෙම්වතිය මුණ ගැහෙන්න යොදාගෙන තියනව"

"ඒ කියන්නෙ ක්‍රිෂ් ඔබට ඔබේ ජීවිතේ විසඳාගත යුතු ප්‍රශ්ණවලට වැඩිය ඔබේ පෙම්වතිය වැදගත්...එහෙමද?"

"ඇත්තම කිව්වොත් ගුරුජී මගේ පෙම්වතිය තමයි විසඳාගත යුතු ප්‍රශ්ණය.." මම බිම බලාගෙන කිව්ව.

Thursday, July 5, 2018

594. The Story Of My Marriage - 74 - Veerappan, Malgudi Days & Auroville….

"අප්පට සිරි....කොහෙන්ද හලෝ බයික් එක?"

අනන්‍යා කට කණේ තියාගෙන එහෙම ඇහුවෙ මම ඈව පොන්ඩිචෙරී එක්ක යන්න බයික් එකක ගිය වෙලාවෙ. මතකනෙ අපි කලින් කතාවුනා දෙන්න එක්ක එකට පොන්ඩිචෙරී යමු කියල. මම ගියේ කළුපාට යමහා RX 100 එකක.

බයික් එක බාලගෙ....බාලගෙ කිව්වට ඇත්තටම නම් බාලගෙ ලොකු පුතාගෙ. අපරාදෙ කියන්න බෑ මම "මේ ගමනට බයික් එකක් තිබ්බනම් හොඳයි" කියල  කියපු ගමං බාල කිව්ව "කිසි ප්‍රශ්නයක් නෑ ක්‍රිෂ් බයික් එක අරගෙන යන්ට...පුතා දැන් වැඩිය ඕක පදින්නෙත් නෑ" කියල. බොස්ලව ෂේප් එකේ තියාගත්තම අන්න එහෙම වාසි තියනව අනන්තවත්...

"කාගෙද ක්‍රිෂ් බයික් එක?" අනන්‍යා මගේ උරහිසට අතක් තියල බයික් එකට ගොඩවෙන අතරෙ ඇහුව. 

"මේක මේ අපේ බාලගෙ…." මම බයික් එක රේස් කරන ගමන් කිව්ව.

අනන්‍යා ඇඳල හිටියෙ මෙරූන් පාර සල්වාර් එකක්. තද අව්ව හින්ද ඈ මූණෙන් බාගයක් විතර වැහෙන්ට අව් කණ්නාඩියක් දාගෙන සුදු පාට දුපාදා එකකින් ඔලුව ඔක්කොම වහගෙන හිටියෙ. 

"ඔයා හරියට වීරප්පන්ගෙ මංකොල්ල කණ්ඩායමේ සාමාජිකාවක් වගේ.." මම ඈ දිහා හැරිල බලල හිනාවුනා. 

(පරිවර්තකගේ සටහන - වීරප්පන් කියන්නෙ ඉන්දියාවෙ කර්නාටක, කේරළ සහ තමිල්නාඩු ප්‍රාන්තවල මහ වනයේ ජීවත්වෙමින් ඒ ප්‍රදේශ භීතියෙන් ඇළලවූ සංවිධානාත්මක මංකොල්ල කාරයෙක්. ඔහුගෙ ප්‍රධාන ආදායම් මාර්ග වුනේ මුලින්ම සඳුන් දැව ජාවාරම සහ ඇත්දළ ජාවාරම. 

පසුව ඔහු ධනවතුන්, රජයේ නිලධාරීන් සහ ඇමතිවරුන් පවා පැහැරගෙන ගොස් ඔවුන් නිදහස් කිරීමට කප්පම් ගැනීමට හුරු වුනා. මේ ප්‍රාන්ත කීපයේම බලධාරීන්ට බලවත් හිසරදයක් වූ වීරප්පන් අවසානයේදී 2004 වර්ෂයේදී වෙඩි තබා ඝාතනය කෙරුනා.)


ඉහත ඡායාරූපයෙහි දැක්වෙනුයේ වීරප්පන්ය.

"හ්ම්ම්...එහෙමද පේන්නෙ? ඔව් මම එහෙම තමයි. මට ඕනනම් මිනිහෙක් මරන එකත් ඒ හැටි දෙයක් නෙවේ...." ඈ දෑතින්ම මගේ බෙල්ල මිරිකුවා. 

"….අම්මෝ" මම කෑගැහුව. අහල පහල හිටපු දෙතුන් දෙනෙක් ඒ සද්දෙට හැරිල බැලුව. 

"මොකද්ද මනුස්සයො ඒ කලේ?" අනන්‍යා රතුවූ මුහුණින් යුතුව කසුකුසුවෙන් මට බැණ වැදුන. 

"ඇයි එහෙනං මගෙ බෙල්ල මිරිකුවෙ? බෙල්ල මිරිකන කොට ඕනම පිරිමියෙකුට මතක් වෙන්නෙ තමන්ගෙ අම්ම…"

"හරි හරි...මම දන්නව..අම්ම තමයි මතක් වෙන්නෙ..ඒක නෙවෙයි දැං වත් යමුද මෙතනිං?" ඈ හොරැහින් වටපිට බලන අතරෙ ඇහුව.

"හ්ම්ම්ම් යමුකො එහෙනං" මම බ්‍රේක් එක අතෑරල බයික් එක පාරට දාගත්ත...

පොන්ඩිචෙරී තියෙන්නෙ චෙන්නයි වල ඉඳල කිලෝ මීටර් එකසිය හතළිහක් වගෙ එහායින්. පොන්ඩිචෙරී යන්න චෙන්නයි ඉඳල දකුණට බෙංගාල බොක්ක වෙරළ තීරය ඔස්සේ දිවෙන නැගෙනහිර වෙරළ පාරෙ යන්න ඕන. ඔය නැඟෙනහිර වෙරළ පාර හැමෝම හැඳින්නුවෙ E.C.R. Road කියල ඒ කියන්නෙ East Coast Road. අපේ සංගීත උළෙල පැවැත්වෙන Fisherman's Cove Resort එක තියෙන්නෙ ඔන්න ඔය E.C.R. පාර දිගේම චෙන්නයි වල ඉඳල කිලෝමීටර් විස්සක් වගෙ එහායින්.

අපි දෙන්න අන්නසාලේ වල තියන අනන්‍යාගෙ ඔෆිස් එකෙන් පිටත් වුනේ උදේ අටහමාරට විතර. අනන්‍යා මගෙ පිටිපස්සෙ ඉඳගෙන බයික් එකේ සයිඩ් බාර් දෙක තදින් අල්ලගෙන උන්න. ලැටිස්බ්‍රිජ් පාරෙන් ගිහිල්ල චෙන්නයි නාගරික සීමාව පහුවෙනකොට ඈ සයිඩ් බාර් අත ඇරල මගෙ උරහිස බදාගත්ත. පරණ මහබලිපුරම් පාරෙන් ගිහිල්ල අපි E.C. Road එකට වැටුන.

"හප්පා මාරම ලස්සනයිනෙ." E.C. පාරෙ ටික දුරක් යනකොට එක පාරටම ඈතින් තද නිල් පාටින් බැබළෙන මහ සයුර පේන්න ගන්න කොටම මට එහෙම කියවුනේ ඉබේටම වගෙ. 

"ඒකනෙ හලෝ මම කිව්වේ….." අනන්‍යා මගෙ බෙල්ල පිටිපස්ස ඉඹින ගමන් කිව්ව. 

ෆිෂර්මන්ස් කෝව් රෙසෝට් එකේ බයික් එක නවත්තල අපි දෙන්න ඇතුලට ගියා. ඉවෙන්ට් මැනේජර් හම්බවෙලා මම අපේ උත්සවේ ගැන විස්තර විමසුවා. 

"කිසි දේකට බය වෙන්න ඕනකමක් නෑ මිස්ට ක්‍රිෂ්. අපි මේ වගෙ දේවල් පුරුදු වෙන්න කරනව නෙවෙයිනෙ. අනික අපේ රෙසෝට් එකේ කීර්ති නාමයටත් ලොකුම කැළලක් මොකක් හරි පොඩි අප්සෙට් එකක් හරි සිද්ද උනොත්. ඒ හින්ද අපි හැම දෙයක් ගැනම ඉතාම පරීක්ෂාකාරීව හොයල බලනව. You don't have to worry about anything from our end. I can assure you that the event will be a roaring success "

එවෙන්ට් මැනේජර් එහෙම කියල මගෙ පිටට සුහද තට්ටුවක් දැම්ම.

"හරි එහෙනම් අපි යනව.."

මම එහෙම කියල දෙන්නත් එක්ක රෙසෝර්ට් එකෙන් පිටත්වුනා. පැයකට විතර වගෙ පස්සෙ අපි මහාබලිපුරම් පහුකලා. මහාබලිපුරම් වල මූද අයිනෙම වගෙ තියෙන ගලින් කරපු දේවාල හරිම අපූරුයි. ඒත් අපි මහාබලිපුරම්වල නතර වුනේ නෑ. කාලවේලාව මදි හින්ද අපි දිගටම ගියා. මහාබලිපුරම් පහුකරල පැයකට විතර පස්සෙ එක පාරටම E.C. Road එක ඩෝං ගාල ඉවරවුනා කියපල්ලකො.

පාර එකපාරටම හුඟක්ම පටුවුනා. යන්තම් වාහන දෙකකට එහා මෙහා මාරුවෙන්න පුලුවන් බැරි ගානට වගෙ. පාරදෙපැත්තෙ කඩ දහයක් විස්සක් වගෙ තියන කඩ මණ්ඩියකින් විතරක් සැදුම්ලත් කුඩා නගර පහුකරල අපි ගමන් කලා. ඒ නගර හැම එකටම වගෙ අඩුම ගණනෙ අකුරු පහළවක් වත් තියන මහ දිග නම් තිබ්බ.

හැම නගර දෙකක් අතරම තිබ්බෙ ඇසට අසුවන මානය තෙක් පැතුරුණු කොළපාට කුඹුරු යායවල්. හත් අට පොළකදිම මට බයික් එක නවත්තල බලා ඉන්න උනා පාර දිගේ අපි ඉස්සරහට එන එක්කො බර කරත්තයක් නැත්නම් එළු රංචුවක් අපිව පහු කරල යනකල්. එක තැනකදි ඒත් අපිට ඉන්න වුනා පාර පුරා හිනාවෙමින් කෑගහමින් දුව පැන ඇවිදින පාසල් ළමයි නඩයක් හින්ද.

කොහොම කොහොම හරි දවල් දොළහ වගෙ වෙනකොට අපි පොන්ඩිචෙරියට ආවයි කියමුකො. මම කලින් පොන්ඩිචෙරිය ගැන අහල තිබ්බ විදිහට මම බලාපොරොත්තු වුනේ බොහොම ලස්සන ජනාකීර්ණ නගරයක්. ඒත් පොන්ඩිචෙරිය ඉස්සෙල්ලම දැක්ක ගමං මගෙ ඒ බලාපොරොත්තු එහෙම්මම බිඳ වැටුන. "Shit... Is this that exotic Pondicherry I have heard so much about?" මම මටම කියාගත්ත.

"දැං මේකද මේ ඔයාලගෙ මහ ලොකු පොන්ඩිචෙරිය?" 

මම ඔලුව හරවල අනන්‍යාගෙන් ඇහුවෙ නගරය මැද ප්‍රධාන වටරවුමට අපි ලඟාවෙනකොට. 

"මට නම් කිසිම වෙනසක් පේන්නෙ නෑ...ඉන්දියාවෙ අස්සක් මුල්ලක් නෑර තියෙන අනික් පොඩි පොඩි නගර වගේම තමයි."

"හරි හරි ඉන්නකො ඉවසල...ලස්සන හරිය තව ඉස්සරහට..ෆ්‍රෙන්ච් ක්වාටර් සහ ඖරෝබින්දෝ ආශ්‍රමය දැක්කම ඔයා ඔහොම කියන එකක් නෑ…" අනන්‍යා මගෙ නාහෙ මිරිකුවා.

(පරිවර්තකගේ සටහන - 18වන සියවසේදී ප්‍රංශ ජාතිකයින් උත්සාහ කරල තියනව බ්‍රිතාන්‍යයන් පළවා හැරල ඉන්දියාවෙ වෙළඳ ආධිපත්‍යය තමන්ට නතුකර ගන්ට. ඒ තනිකරම ඉන්දියාවෙ නිපදවෙන කුළුබඩු යුරෝපයට අපනයනය කිරීමේ ඉතා අධිකව ලාභ ඉපයිය හැකි වෙළඳාම තමන් අතට ගැනීමේ පරමාර්ථයෙන්. 

ඒත් ප්‍රංශුවන්ගේ ඒ අභිප්‍රාය සාර්ථක වෙලා නැහැ. ඒත් විසිවන සියවසේ මැද භාගයෙ ඉන්දියාව බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස ලබන කොටත් ප්‍රංශයට පරිපාලනමය වශයෙන් අයත්වූ කුඩා ප්‍රදේශ කීපයක් ඉන්දියාවෙ තිබිල තියනව. පොන්ඩිචෙරිය එයින් ප්‍රධානයි. 1954 අවුරුද්දෙ අවසාන වශයෙන් ඒ සියළුම ප්‍රදේශ ඉන්දීය ආණ්ඩුවට භාර දීල තියනව. ඒ භාර දුන්නු ප්‍රදේශ කලින් හඳුන්වල තියෙන්නෙ French India නොහොත් ප්‍රංශ ඉන්දියාව යන නමින්.)

ඉහිං කණිං මිනිස්සු පුරවගත්තු ත්‍රී වීලර් අඩුම තරමෙ පණහක් හෝ එහෙම නැත්නම් හැටක් වගෙ ගාණකුයි ඒ මදිවට වැලි ද පස්ද මොනවද පුරව ගත්තු මහ විසාල ට්‍රක් හත අටකුයි අස්සෙං ඔලුවයි කඳයි බේරගෙන, අනන්‍යාටත් අතුරු අන්තරාවක් වෙන්නට නොදී මම කොහොම හරි පොන්ඩිචෙරී ටවුම මැද වටරවුමෙන් එහාට පැනගත්ත. 

ප්‍රන්ස ප්‍රන්ස කියල මැරෙන්න හැදුවට මෙතෙක් ඔන්න මම එහෙම ප්‍රන්සෙට සම්බන්ද දෙයක් කියල දැක්කෙ වට රවුමත් එක්කම තිබ්බ විසාල බිල් බෝඩ් එක විතරයි. ඒක මේ ෆ්‍රෙන්චී කියන ඉන්දියාවෙ කාන්තා සහ පිරිමි දෙපාර්ශ්වයටම යටඇඳුම් නිර්මාණය කරන සුප්‍රසිද්ධ සමාගමේ ප්‍රචාරක පුවරුවක්...


"Frenchie"  යට ඇඳුම් ප්‍රචාරක දැන්වීමක් 

"හෝව් හෝව් මාව ඔය ඉස්සරහින් බස්සවන්න…" 

කඩලෝර් පාර කියල වම් පැත්තට ඊතලයක් ඇඳල තියන තරමක බෝඩ් එකක් හිටවල තිබ්බ හන්දියක් ගාවට එද්දි අනන්‍යා මගෙ පිටට පාරක් ගහල කිව්ව.

"අපේ එච්.එල්.එල් ඔෆිස් එක තියෙන්නෙ ඔය පාරෙ මීටර් සීයක් වගෙ එහායින්. මම ඔය ටික හෙමිහිට පයින් යන්නං. මතකනෙ මගෙ මීටිං එක ඉවරවෙනකොට තව පැය තුනක් වත් යයි. දවල්ට කන්න මෙහෙ ලෑස්ති කරල තියෙන්නෙ. ඔයත් ඔය එහෙ මෙහෙ ඇවිදල දවල්ට කොහෙන් හරි කාල හතර වගෙ වෙනකොට ල'ඔරියන්ට් හෝටලේට එන්න. තැන මතකනෙ..අර මම එද්දි පෙන්නුවෙ..."

මම ඔලුව වැනුව....

"හරි හරි හරියට හතරට මම එන්නම්...බායි මැඩම්.." 

මම එහෙම කියල බයික් එක රේස් කරල අරමුණකින් තොරව ඉස්සරහට පැදගෙන ගියා.

"මේ මල්ගුඩි ටවුවෙ පැය තුනක් විතර කාලෙ මරන එක තමයි වැඩේ.." 

මම හෙමිහිට මටම තොල් මතුරා ගනිමින් ඔලුව දෙපැත්තට හෙල්ලුව.....

(පරිවර්තකගේ සටහන - මල්ගුඩි ටවුම කියල භගට් මෙතන අදහස් කලේ ඉන්දියාව පුරාම අස්සක් මුල්ලක් නෑර විසිරිල තියෙන ප්‍රත්‍යන්ත සහ දර්ශීය කුඩා නගරයක් කියන එක වෙන්න ඕන කියලයි මට හිතෙන්නෙ. ඒ වචනෙ නිර්මාපකයා සුප්‍රසිද්ධ ඉන්දියානු ලේඛකයෙක් වන ආර්.කේ නාරායන්. මෙවන්  නිදිබර, ගමක් සහ නගරයක් අතර ස්ථානයක් ගන්නා කුඩා ඉන්දියානු නගර අමරණීයත්වයට පත් කලේ ඔහුගේ Malgudi Days කථා මාලාවෙන්. ඔබට මතක ඇති මම හිතන්නෙ 80 දශකයේ අගභාගයේ සහ 90 දශකයේ මුල් භාගයේ ටයි මහත්තයගෙ හඬ කැවීම් ඒකකයෙන් හඬ කවල ඒ කථා මාලාව ජාතික රූපවාහිනියෙන් විකාශය වුනා ඉරිදා රාත්‍රී ප්‍රවෘත්ති විකාශයෙන් අනතුරුව.)


සුප්‍රසිද්ධ ඉන්දීය ලේඛක ආර්.කේ. නාරායන් මහතා
ඉහත ඡායාරූපයෙහි දැක්වේ.

මල්ගුඩියටම සම්බන්ධ පොඩි අතුරු කතාවකුත් තියනව. මේ එක්කම ඒකත් කියල ඉන්නංකො එහෙනං…

මම ඒ කාලෙ වැඩ කලේ බකමූණෙ. සරණාගත වෙලා එහෙම නෑ. ඉතිං සති අන්තයට ගෙදර ඇවිල්ල සඳුද කුකුලත් මල්ලෙ දමාගෙන යනව මාතලෙන් ඇළහැර බකමූණ හරහා ගිරිතලේ යන පාන්දර C.T.B. මේල් බස් එක අල්ලන්ට. කරුමෙටවත් ඒක මිස් උනොත් ඊලඟට තියෙන්නෙ මාතලෙන් හතට පිටත්වෙන ගුණදාස මුදලාලිගෙ බස් එකක්... 

ගුණදාස මුදලාලි කිවෙ බකමූණ පැත්තෙ මැණික් ව්‍යාපාරිකයෙක්. මනුස්සයට තිබ්බ මාතලේ ගිරිතලේ වැඩ කරපු බස් හත අටක්ම. හැබැයි ඒ ඔක්කොම අර ලෝ රූෆ් ඉසුසු ජර්නි බස්. ඔව්වයෙ මිනිස්සු පටවන්නෙ ආය නෑ මහ නියං කාලෙට මහ ඇලේ වතුර හිඳිච්චහම ඉස්ගෙඩි රොත්ත පිටිං දඟලනව වගෙ. 

ලෝ රූෆ් හින්ද සීට් එකක් හම්බවුනේ නැත්තං සොරිම ඩොට් කොම් තමයි. නමයට විතර බකමූණෙං බැහැල කෙලින්ම යන්නෙ ඔෆිස් එකට නෙවෙයි ඉස්පිරිතාලෙට කොන්දට ගාන්න නීලමන් ඩප්පියක් ඉල්ල ගන්ට. නීලමන් කිව්වෙ ලිනිමන්ට් වලට. අපෙ අත්තම්ම එහෙමයි කිව්වෙ.ඒ කාලෙ ඔය වාත කැක්කුං අත පය වේදනා ඕනම එකකට නොවරදින අවුසදේ තමයි නීලමන්.

ලිනමන්ට් බෝතලයක් ඉහත
ඡායාරූපයෙහි දැක්වේ.

ඉතිං අපි ඔය ගුණදාස ලෝ රූෆ් බස් වලට කිව්වෙ මල්ගුඩි බස් කියල. මොකද ඒ දවස්වල පෙන්නපු මල්ගුඩි දවසැ (මල්ගුඩි ඩේස් කියන නම ටයි මහත්තය පරිවර්තනය කලේ එහෙමයි. මල් ගුඩි දවසැ) වැඩසටහන් කීපයකම ඔය වගෙ ඉහිං කනිං මිනිස්සු එල්ලගෙන ලවක් දෙවක් නැතුව පාර පුරා දුවන පොඩි පාං ගෙඩි වගෙ බස් පෙන්නුව.

රායිට් ඒ සුලු De-tour එකෙන් ඉක්බිති යලි පොන්ඩිචෙරියට සහ එහි සිටින අපේ කතානායක ක්‍රිෂ් මල්හෝත්‍රා වෙතට…

ජීවිතේ බොහෝ වෙලාවට අපි ක්ෂණිකව ගන්න තීරණ අපෙ ජීවිතේට දැඩිව බලපෑම් කරනව. මම උදේ එද්දි හිතාගෙන හිටියෙ අනන්‍යා එයාගෙ රැස්වීමට සහභාගි වෙන අතරෙ මම මට ලැබෙන ඉඩ ප්‍රස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන පොන්ඩිචෙරී වල සුප්‍රසිද්ධ ප්‍රංශ අවන්හලකින් දිවා ආහාරයට ප්‍රංශ කෑම කන්නම්ය කියල. 

ඒත් අරමුණකින් තොරව ඉස්සරහට යද්දි එක පාරටම මම දැක්ක පාර අයිනෙ පොඩි දැන්වීම් පුවරුවක් "ඖරෝබින්දෝ ආශ්‍රමය කිලෝ මීටර් හතරයි" කියල. 

ඒ ලඟම වැවිල තිබ්බ මහ විසාල ගහක කොළ අතුවලින් වැහිල ඒ දැන්වීම් පුවරුව පාරෙ යන කෙනෙකුට මඟ ඇරෙන්න තියන ඉඩකඩ බොහෝම වැඩියි. ඒත් මගෙ දෛවය අනුවද මන්ද මම ඒ දැන්වීම් පුවරුව දැක්ක. දැක්ක විතරක් නෙවෙයි ක්ෂණිකව මට හිතුන ප්‍රංස කෑම කන එක යකාට ගියාවෙ කියල ආශ්‍රමයට ගියානම් හොඳයි නේද කියල..

මම දෙපාරක් හිතන්නෙ නැතුව බයික් එක ආශ්‍රමයට යන පාරට හරව ගත්ත.


ඖරෝබින්දෝ ආශ්‍රමය පිහිටි ප්‍රදේශය
හැඳින්වෙනුයේ ඖරෝවිල් යන නමිනි.


"Malgudi Days" කතාමාලාවේ ඉතාම ජනප්‍රියවූ "Swami & Friends" පළමු කථාංගය නැරඹීමට ඔබ කැමැත්තේනම් එය පහතින් ඇත.




Saturday, June 30, 2018

ගෝඨාගේ අලුත්ම මුට්ටිය : අස්ගිරියේ අනුනායක පූජ්‍ය වෙඬරුවේ උපාලි....

"අප්පට උඩු, ඇත්තටම මම මේකා වගේද?"කණ්නාඩියක් 
ඉදිරියට ගොස් එතුලින් දිස්වන හිට්ලර්ට ඉතා සමාන තම 
ප්‍රතිබිම්බය නරඹමින් ගෝඨා එසේ සිතයි.
Sunday Observer පත්‍රයේ පළවූ වසන්ත සිරිවර්ධනගේ
කාටූනයකි.

ගාමිණී වියන්ගොඩ

විනාශය, ඝාතනය සහ අමානුෂිකත්වය හැරුණු කොට හිට්ලර්ට ආරෝපණය කළ හැකි වෙන කිසි චරිතාංගයක් හෝ දේශපාලනික ලක්ෂණයක් හෝ නැත. කොටින්ම, තව කෙනෙකුට අනුකරණය කිරීමට සුදුසු කිසිවක් නැත. ඔහුව මොන පැත්තකට හරවා බැලූවත්, ඔබට පෙනෙන්නේ ඝාතකයෙකි. උන්මත්තකයෙකි. අමනුස්සයෙකි. මීට වෙනස් ඕනෑම අර්ථයක් හිට්ලර් නැමැති නාමයේ ඇතොත් උපුටා පෙන්වන්නැයි අස්ගිරියේ අනුනායකගෙන් හෝ ‘වියත් මගේ’ නායකගෙන් මුලින්ම ඉල්ලා සිටිමි.

පසුගිය දවසක, වෙඬරුවේ උපාලි නැමැති අස්ගිරි පාර්ශ්වයේ අනුනායක භික්ෂු නමක් ගෝඨාභය රාජක්ෂගේ 69 වැනි උපන් දින උත්සවයට සහභාගී වෙමින් පැවැත්වූ ධර්ම දේශනාවකදී, රටේ මිනිසුන්ට අවශ්‍ය කරන්නේ හිට්ලර් කෙනෙකු නම්, ඒ හිට්ලර් බවට පත්වී රට ගොඩගන්නැයි ගෝඨාභය රාජපක්ෂගෙන් ඉල්ලා සිටි බවක් වාර්තා විය. ඒ නාමය මොන සන්දර්භයක පාවිච්චි කළත්, ඒ මගින් ඇති කළ හැක්කේ අර්ථ දෙකක් පමණකි. එකක් විය හැක්කේ, ඔබ හිට්ලර් කෙනෙක් වෙන්න එපා යන්නයි. අනික වන්නේ, ඔබ හිට්ලර් කෙනෙක් වෙන්න යන්නයි.

හිට්ලර් කෙනෙකු නොවන්නැයි ගෝඨාභය රාජපක්ෂගෙන් තමන් එවේලේ ඉල්ලා සිටි බවක් මේ හිමියන් දැනටත් නොකියන නිසා, අනිවාර්යයෙන්ම ඒ ‘ශ‍්‍රීමත් හිට්ලර්’ නාමය මේ හිමියන්ගේ ශ‍්‍රී මුඛයෙන් පිටවන්ට ඇත්තේ මොන අර්ථයකින් ද යන්න වටහා ගැනීම අසීරු නැත. ශාසන ඉතිහාසයෙන්ම උදාහරණයක් ගත්තොත්, ඔබ දේවදත්ත වන්නැයි කෙනෙකු යමෙකුට කියන්නේ නම්, එහි අරුත් දෙකක් තිබිය හැකි ද? ඉති, මිනීමරු දේශනාවක් කිරීමට අමතරව, එසේ කළ බව ප‍්‍රතික්ෂේප කරමින් දැන් මුසාවාදයකුත් දෙසාබෑම, මේ රටේ ප‍්‍රධාන සංඝ පාර්ශ්වයක මහනායක හිමිකමට පත්වීමට සිටින භික්ෂුවකට තරම් නොවන බව කිව යුතුය.

අස්ගිරි උන්නාන්සේලා මෙවැනි කතා නිතර කියති. ජාතික ප‍්‍රශ්න සම්බන්ධයෙන් මේ අස්ගිරි පාර්ශ්වයේ නායක-අනුනායක හිමිවරුන් මෙන්ම, සංඝ කාරක සභා ආදී සියල්ල මගිනුත් රටට දේශනා කළ දේවල් තවමත් ජනතා මතකයේ තිබේ. අඩු වශයෙන් දළදා මාළිගාව ඉදිරිපිට පුංචි පාරවත් ජනතා සුභසිද්ධිය සහ ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව තකා විවෘත කිරීමට මේ කියන පාර්ශ්වය තවමත් මාරාන්තික ලෙස විරුද්ධත්වය ප‍්‍රකාශ කොට සිටීමෙන් තමන්ගේ ජනතා-විරෝධී රදළ දැක්ම ඇති පදම් ප‍්‍රදර්ශනය කොට තිබේ.

හිට්ලර්ව ජන ඝාතකයෙකු බවට පත්කළ, දේශපාලනික සහ සමාජයීය හේතුවලට අමතරව, ඔහුගේ පුද්ගල ස්වභාවය සහ මනෝ භාවය ගැන, කීර්තිමත් මනෝ විද්‍යාඥයන් විසින් අධ්‍යයන රාශියක් කොට තිබේ. එයින් එක් අංශයක් පමණක් පාඨකයාගේ සහ අර කියන අනුනායක භික්ෂුවගේත්, ‘වියත් මගේ’ නායකවරයාගේත් දැන ගැනීම සඳහා මෙහි සඳහන් කරමි.

හිට්ලර්ගේ පියා හිට්ලර් කුඩා කාලයේ ඔහුට සැලකුවේ ඉතා නපුරට ය. සමහර දවස්වල කස පහරවල් පනහකටත් වැඩි දඬුවම්වලට මේ පියා හිට්ලර්ව භාජනය කොට ඇත. අවසානයේ පියාගේ කස පහරවල් ඉදිරියේ නොහඬා ඉන්නට හිට්ලර් පුරුදු විය. ඔහු නොහඬා කෙළේ, පියාට ඉත සිතින් වෛර කිරීමයි. මේ පියා කවුද?

ඒ පියාගේ මව, එනම් හිට්ලර්ගේ ආච්චි, ගෘහ සේවිකාවකි. ඈ සේවය කෙළේ, ධනපති යුදෙව් ව්‍යාපාරිකයෙකුගේ නිවසේ ය. අවිවාහකව සිටි ඈ හදිසියේ ගැබ් ගත්තාය. හිට්ලර්ගේ පියා උපදින්නේ එහි ප‍්‍රතිඵලයක් වශයෙනි. මැරෙන තෙක්, මේ දරුවාගේ පියා කවුදැ යි අර ගැහැනිය හෙළි කෙළේ නැත. ඔහුගේ උප්පැන්නයේ පියෙකු ගැන සඳහනක් නැත. එහෙත් මේ දරුවාගේ අධ්‍යාපනය (විශ්ව විද්‍යාලය දක්වා) සහ වෙනත් සියලූ වියහියදම්, ඔහු විවාපත් වන තෙක්ම දැරුවේ, අර කියන යුදෙව් ජාතික ව්‍යාපාරිකයා ය.

දැන්, මේ පියාගෙන් දස වද විඳින පුංචි හිට්ලර් ගැන සිතා ගන්න. පියා කෙරෙහි වන වෛරය සමස්ත යුදෙව් ජාතිය කෙරෙහි යොමු වීම පුදුමයක් ද? හිට්ලර් සැලකුණේ ‘ආර්ය’ වංශිකයෙකු වශයෙනි. යුදෙව්වන් සැලකුණේ, ‘අනාර්යයන්’ වශයෙනි. එදා යුරෝපයේ යුදෙව්වෙකු යනු දැඩි සමාජ ගර්හාවට (දැන් මෙන්ම) ලක්වූ ජාතියකි. දැන්, තමාගේ ‘ආර්ය’ ලේ පිළිබඳ බරපතල සැකයක් ඇතිව ඇතිදැඩි වන හිට්ලර්, යුදෙව්වන් කෙරෙහි යුරෝපා සමාජයේ පොදුවේ පැවති ඉහතින් කී ඓතිහාසික විරෝධයත් පාවිච්චියට ගනිමින් තමාගේ පෞද්ගලික වාඩුවත් පිරිමසා ගැනීමට බැලීම අස්වාභාවික නැත. එහිදී, තමා යුදෙව්වෙකු නොවන බව ලෝකයාට ඔප්පු කිරීමට ඔහුට උදක්ම අවශ්‍ය විය. ඒ සඳහා තිබුණු හොඳම ක‍්‍රමය වුණේ, යුදෙව්-විරෝධයක් හිතින් ගෙන, හැකි තාක් යුදෙව්වන් ඝාතනය කිරීමයි. ඒ අනුව, යුද්ධයට කිසි සම්බන්ධයක් නැති යුදෙව් ජාතිකයන් 60 ලක්ෂයක් (මහල්ලන් සහ ළමුන් ද ඇතුළුව) ඔහු ඝාතක කඳවුරුවල පිහිටි ගෑස් කාමරවලට යවා මැරුවේය. වැඩිම ඝාතන සංඛ්‍යාවක්, එනම් 11 ලක්ෂයක් ඝාතනය කෙළේ පෝලන්තයේ පිහිටි අවුෂ්විට්ස් ඝාතක කඳවුරේ ය. මා මේ කඳවුර නැරඹීමට දෙවතාවක් ගොස් තිබේ. ඒ දෙවතාවේම මට දැනුණු මිනී ගඳ සහ ඔක්කාරය, ඉහත කී අනුනායක හිමියන්ටත් දැනෙන්ට සැලැස්විය හැකි ක‍්‍රමයක් විණි නම් මොන තරම් අගේදැ යි ඔහුගේ ප‍්‍රකාශය ඇසීමෙන් මගේ සිතට වන්නේය.

කෙසේ වෙතත්, වෙඬරුවේ උපාලි භික්ෂුවගේ දේශනාව ගැන මම පුදුමයට පත්නොවෙමි. මුලින්ම මා නිර්දේශ කරන්නේ, මෙවැනි භික්ෂූන්, භික්ෂූන් වශයෙන් නොව, මනුෂ්‍යයන් වශයෙන් මුලින්ම පුනරුත්ථාපනය කළ යුතුව ඇති බවයි. බුදුරජාණන් වහන්සේගේ සමස්ත ධර්ම ස්කන්ධයටම මොහු සම්බන්ධයෙන් මේ දක්වා එය කළ නොහැකි වී ඇති බව මේ ප‍්‍රකාශයෙන් ස්ඵුට වෙයි. එබැවින්, අඩු වශයෙන්, 8 පංතියේ ප‍්‍රජාචාරය පොතවත් දැන් මොහුට පාඩම් කිරීමට සැලැස්විය යුතුව තිබේ.

කෙසේ වෙතත් මේ ආශ‍්‍රයෙන් ප‍්‍රධාන කරුණු තුනක් අප වෙන් කොට හඳුනා ගත යුතුව ඇත. එකක් වන්නේ, ලංකාවේ භික්ෂූ සාසනයේ පිරිහීම පිළිබඳ කාරණයයි. දෙවැන්න වන්නේ, එම පිරිහීම සමස්ත සමාජයේ මනෝ භාවයක යම් නිරූපණයක් නොවන්නේ ද යන්නයි. තෙවැන්න වන්නේ, ඒ කරුණු දෙකම ප‍්‍රයෝජනයට ගනිමින්, ඒකාධිපතියෙකු බිහි කර ගැනීම සඳහා වන දේශපාලනික ව්‍යාපෘතියක් මේ වන විටත් දියත්ව ඇත් ද යන්නයි.

මේ හිමියන් තමන්ගේ උපන් දිනයේදී එවැනි ප‍්‍රකාශයක් කළ බව ගෝඨාභය රාජපක්ෂ පිළිගනී. එහෙත් එම ප‍්‍රකාශයේ සැබෑ අරුත, ඔහුට අනුව, රට විනයගත කිරීමේ හැකියාවක් ඇති නායකයෙකු පත්කර ගැනීමේ ආධ්‍යාශයලූ. හිට්ලර් ජර්මනිය විනයගත කෙළේ කෙසේද යන්න ඔහු මුලින්ම අපට කියා දිය යුතුව තිබේ. ඊළඟට, බුදුන් වහන්සේ ධර්ම දේශනා කෙළේත් ප‍්‍රඥාවන්තයන්ට ලූ. දැන්, තමා වැනි ප‍්‍රඥාවන්තයෙකු මේ කියන භික්ෂුවගේ දේශනාව නිවැරදිව වටහාගෙන ඇති බවත්, අනිත් මෝඩයන් පොට පටලවාගෙන ඇති බවත්, ගෝඨාභය කියයි. (මේ ගෝඨාභයට කවුරු හෝ දිරච්ච ලණු දෙන බව පෙනේ. ගැඹුරු දේශනාවක් වශයෙන් සැලකූ අභිධර්මය බුදුන් දේශනා කෙළේ තව්තිසා දිව්‍ය ලෝකයට වැඩම කරමිනි. ඒ තම මෑණියන් වෙනුවෙනි. නිර්වාණය සඳහා අවශ්‍ය කරන සකල ධර්මය ඔහු දේශනා කෙළේ හුදී ජනයා වෙනුවෙනි).

රටක් විනයගත කිරීමේ හැකියාව ඇති, දැඩි මතධාරී, එහෙත් ජන ඝාතකයන් නොවන කිහිප දෙනෙකු, කෙනෙකුට අවශ්‍යම නම්, ඉතා මෑත ඉතිහාසයෙන් සොයා ගත හැකිය. ඒ, සිංගප්පූරුවේ ලී ක්වාන් යූ සහ මැලේසියාවේ මහතීර් මොහොමඩ් ය. රටවල් වශයෙන් ඒ දෙක අපට ඉතා ආසන්න ය. ජර්මනිය භූගෝලීය වශයෙන් පමණක් නොව, හිට්ලර්ගේ ඉතිහාසය සම්බන්ධයෙනුත් ඊට වඩා ඈත ය. එසේ තිබියදී අල්ලපු ගෙදර ආදර්ශය අමතක කොට වඩාත් ඈතට ගොස් හිට්ලර් කෙනෙකු ගැනම යමෙකු කියන්නේ නම්, ඒ කතාවේ තිබිය හැක්කේ එක අරුතක් පමණි. එහි නිසැකවම තිබෙන්නේ, ඔබ නිකංම අමාත්‍යාංශ ලේකම්වරයෙකු වශයෙන් සිටියදී පවා සුදු වෑන්වලින් එදා පෑ ඒ පෙළහර, මේ රටේ ජනාධිපති පදවියට පත්ව ඊටත් වැඩියෙන් පෙන්වා, මේ රට මකවන්න යන්නයි.

මේ අතර ඩලස් අලහප්පෙරුමත් ගෝඨාභය ගැන චරිත සහතිකයක් දී තිබේ. එය, අර කියන භික්ෂුවගේ චරිත සහතිකයම වෙනත් වචනවලින් සහ වෙනත් ආකාරයකින් ඉදිරිපත් කිරීමකි. එහි ‘හිට්ලර්’ යන වචනය සඳහන්ව නැත. එහෙත්, ගෝඨාභය යනු මස්මාළු තියා උම්බලකඩවත් නොකන ගුණවතෙකැ යි ඩලස් අලහප්පෙරුම අපට කියයි. ඔහුගේ දැන ගැනීම සඳහා ලෝක නායකයන් තුන් දෙනෙකු ගැන දළ විස්තරයක් කිරීමට කැමැත්තෙමි. එක් කෙනෙක් මස් මාළු කෑවේය. මත්පැන් බීවේය. නොනවත්වා සිගරට් බීවේය. ගැහැනු දෙන්නෙක් තියාගෙන සිටියේය. තව කෙනෙක්, අධික ලෙස මත්පැන් බීවේය. දවල් වන තෙක් නිදාගත්තේය. හොර ගෑනු තියාගෙන සිටියේය. තුන්වැන්නා, පදක්කම් ලත් රණ විරුවෙකි. මස්මාළු තියා උම්බලකඩවත් නොකෑවේය. එකම ගැහැනියකට මැරෙනකල් ආලය කෙළේය. පළමුවැන්නා, ඇමරිකානු ජනාධිපති ෆ‍්‍රෑන්ක්ලින් රූස්වෙල්ට් ය. දෙවැන්නා බි‍්‍රතාන්‍ය අගමැති වින්සටන් චර්චිල් ය. තෙවැන්නා, ලෝකය විනාශ කළ, අස්ගිරි පාර්ශ්වයේ සහ ගෝඨාභයගේ වීරවර ඇඩොල්ෆ් හිට්ලර් ය.

හිට්ලර් ගැන ඔවා දෙන විට, එම හිට්ලර් අවසානයේ (සමස්ත ලෝකය පැත්තකින් තිබියේවා) ජර්මනියට පමණක් ඉතිරි කොට ගිය ලෞකික උරුමය පවා හිමියන් නොදන්නවා විය යුතුය. මුළු ලෝකයම අල්ලා ගැනීමට ගිය හිට්ලර් අවසානයේ විනාශ වන විට, එතෙක් තනි රටක් වශයෙන් තිබුණු ජර්මනිය, බටහිර ජර්මනිය සහ නැගෙනහිර ජර්මනිය වශයෙන් දෙකට කැඩුණි. එය යළි එක්සත් කර ගැනීමට අවුරුදු හැත්තෑවක්ම ගියේය.

දැන්, මේ භික්ෂුව ගෝඨාභය රාජපක්ෂගේ උපන් දිනය දවසේ මෙවැනි දේශනාවක් කරන්නේ ඇයි? වර්තමාන යහපාලන ආණ්ඩුව ගැන පොදු කලකිරීමක් සාමාන්‍ය ජනතාව අතර මේ අවස්ථාවේ තිබේ. ඊට බොහෝ කරුණු හේතු වෙතත්, ඉන් එක් ප‍්‍රධාන චෝදනාවක් වන්නේ, මේ ආණ්ඩුව පණ නැති එකක් බව ය. ඒ තත්වය තුළ, විවිධ කතා මාර්ගයෙන්, දැඩි පාලකයෙකු පිළිබඳ අදහසක් එහෙන් මෙහෙන් මතු වෙනු දක්නට ලැබේ. මේ මනෝ භාවය සමග, රාජපක්ෂ පාලන කාලයේ ගෝඨාභයගේ දැඩි චර්යාව පිළිබඳ ප‍්‍රසාදයකුත් ආලේප කරමින් තිබේ. ගෝඨාභය සහ ඔහුගේ ‘වියත් මග’ පසුගිය මාස ගණනාවක සිට මේ මුට්ටිය විවිධ වේශයෙන් දැම්මේය. ඉහත කී භික්ෂුව මෙවර එය හෙලූවෙන්ම කෙළේය. ඇත්තෙන්ම ඔහුට අප ස්තුතිවන්ත විය යුතුය. මන්ද යත්, ‘වියත් මග‘ සහ ගෝඨාභය වැනි ප‍්‍රපංච හරහා, අවස්ථාවක් ලදොත්, අනාගතයේ ලංකාව ගෙන යනු ඇත්තේ මොන දිසාවකට ද යන්න, වචන සිය දහස් ගණනින් පැහැදිළි කර දීමට අපට පැවරී තිබුණු දුෂ්කර කර්තව්‍යය, මේ භික්ෂුව තනි වචනයකින් රටට පැහැදිළි කර දුන් නිසා ය. 

ඔබ වහන්සේට නිවන් සුව අත්වේවා/ හිට්ලර්ටත් එසේම වේවා/

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...