Saturday, March 12, 2016

120. මිනිසුන්ට උපකාර වන්න - දෙවියන්ට උපකාර වන්න! සහ තවත් කතා


පුංචි අතයි - පුංචි හිතයි!

දිනක් පුංචි පුතෙක් දුරකථන ඇමතුමක් ගැනීමට වෙ‍ළෙඳසලකට ගියේය. එහි වූ බීම බෝතල් රඳවා තබන්නට භාවිතා කරන හිස් පෙට්ටියක් තල්ලු කර ලඟට ගත් ඔහු ඒ මත නැගී රිසිවරය අතට ගෙන දුරකථන අංකයක් එබුවේය. 

වෙ‍ළෙඳසල් හිමියා මේ සියල්ල සාවධානව බලාගෙන, දුරකථන සංවාදයට සවන් දී සිටියේය.

පුංචි පුතා : නෝනා, මට ඔබේ වත්ත පිටිය සුද්ද කරන වැඩේ කරන්න දෙන්න පුළුවන්ද?

මහත්මිය : (දුරකථනයේ අනෙක් පසින්) දරුවෝ, දැනට ම ඒ වැඩේට කෙනෙක් ඉන්නවා නෙව. 

පුංචි පුතා : නෝනා, මම එයා ගන්නවාට වඩා භාගයක් අඩුවෙන් අරගෙන වැඩේ කරලා දෙන්නම්. මට ඒ වැඩේ දෙනවද? 

මහත්මිය : අනේ දරුවෝ, දැන් ඒ වැඩේ කරන කෙනා වගේ ඔයාට ඒක කරන්න පුළුවන් වෙයි කියලා මට හිතාගන්න අමාරුයි. 

පුංචි පුතා: (උත්සහය අත් නොහරිමින්) : අනේ නෝනා, මම ඔයාගේ තාප්පෙත් පිහදාලා, අයිනෙන් තියෙන අඩිපාරත් අතුගාලා දෙන්නම්. එතකොට ඉරිදා වෙද්දි මේ පැත්ත පලාතට ම තියෙන ලස්සන ම මිදුල ඔයාගේ මිදුල වෙලා තියේවි! 

මහත්මිය : ඔයාගේ උනන්දුව ගැන බොහොම සතුටුයි. ඒත් මට ඔයාගේ සේවය අවශ්යි නැහැ. ස්තුතියි පුතා කතා කෙරුවට. 

මුහුණෙහි වූ මන්ද ස්මිතයකින් යුතුව පුංචි පුතු රිසිවරය තැබුවේය. සියල්ල අසා සිටි වෙ‍ළෙඳසල් හිමියා ඔහු වෙත ලං විය. 

වෙ‍ළෙඳසල් හිමියා : පුතා, ඔයාගේ හැසිරීම ගැන මට හරි සතුටුයි. එච්චර ප්රෙතික්ෂේප වෙලත් මේ වගේ හිනා වෙලා ඉන්න විදිහ ඇත්තට ම මට ඔයා ගැන ලොකු කතාවක් කියනවා. ඔයා එන්න, මං ඔයාට රස්සාවක් දෙන්නම් 

පුංචි පුතා : එපා. බොහොම ස්තුතියි මහත්තයා 


වෙ‍ළෙඳසල් හිමියා : ඒත්... ඒත් ඔයා දැන් විනාඩියකට කලියෙන් මෙතන කනිපින්දන් ගැහුවානේ රස්සාවක් ඉල්ලලා 

පුංචි පුතා : මහත්තයා, ඒක ඒ හැටි ගණන් ගන්න එපා. මං මේ මට දැනට ම තියෙන රස්සාව, මං හරියට ම කරනවාද කියලා හොයලා බැලුවා විතරයි. මං තමයි දැනටමත් ඒ නෝනාගේ වත්ත පිටිය සුද්ද පවිත්‍ර කරන කෙනා!





පරිවර්තනය:
රන්දිකා රණවීර ප්‍රනාන්දු

කථාව සහ පිංතූර:
අන්තර්ජාලයෙනි.




****************************************************







සතුට හිතට - හිත සතුටට!


තමන්ගේ ජිවිතය ගැන බොහොම තෘප්තිමත් සිතින් පසු වූ හුදෙකලා කපුටෙක් ඈත ඈත වනන්තරයේ වාසය කළේය. නමුත් පළමු වරට හංසයෙකු දුටු දා පටන් ඔහුගේ සිතුවිලි වෙනස් විය.

“අනේ අප්පේ, මේ හංසයා සුදු ම සුදුයිනේ” කපුටා සිතුවේය.

“ඒකට මම!, මම කට්ට කලුයි. මේ ලෝකේ ඉන්න ප්‍රීතිමත් ම කුරුල්ලා මේ හංසයා වෙන්න ඕනෑ”

අනතුරුව තමන්ගේ සිතුවිල්ල පිළිබඳ ව ඔහු හංසයා සමග පැවසීය. 

“ඇත්තටම,” හංසයා පිළිතුරු දුන්නේය. 

“පාට දෙකක් තියෙන, ගිරවෙකු දකින කං මාත් මං ගැන හිතාගෙන හිටියේ එහෙම තමයි. එයා දැකපු දවසේ මට තේරුණා ප්‍රීතිමත් ම කුරුල්ලා මං නෙමෙයි ඒ ගිරවා තමයි කියලා.” 

ඉක්බිති අපේ මේ කපුටා ඒ ගිරවා සොයාගෙන ගියේය. ගිරවා ඔහුට සිය සිතුවිලි මෙසේ පැහැදිලි කළේය. 

“මම ඉතාමත් ප්‍රීතිමත් ජීවිතයක් ගත කළ එක ඇත්ත. හැබැයි ඒ මොණරෙකු දකින කං විතරයි. මට තියෙන්නේ පාට දෙකයි. ඒකට මොණරාට! එයාට තියෙන පාට ගනින්න මගේ මේ ඇ‍ඟේ තියෙන පිහාටු මදි. ඒ තරමට එයාගේ පිහාටුවෙන් පිහාටුවට එක එක පාට” 

කපුටා මොණරා සොයාගෙන ගියේය. අවසානයේ සත්ත්ව උද්‍යානයක දී ඔහුට මොණරා මුණ ගැසිණ. සිය ගණන් මිනිසුන් වට ව මොණරා නරඹමින් සිටිනු ඔහුට දැකගත හැකි විය. 

“ඉතිං කොහොමද මොණරෝ?” මිනිසුන් පිටව ගිය පසු ඔහු මොණරා වෙත ලංවිය. 

“ඔයා නං හැබෑ ලස්සනයි නෙව. බලන්නකෝ දවස ගාණේ සිය ගණන් මිනිස්සු පේළි පේළි ඔයාව බලන්න එනවානේ. 

ඒත්... ඒත් මේ මාව දැක්ක ගමන් සූ... සූ... ගාලා පන්නනවා. මට හිතෙන්නේ මේ ලෝකේ ඉන්න ප්‍රීතිමත් ම කුරුල්ලා ඔයා තමා කියලා” 

මොණරා පිළිතුරු දුන්නේය. 

“මාත් ඒ කාලේ හිතාගෙන හිටියේ මං තමා මේ ලෝකේ ඉන්න හැඩකාර ම, ඒ නිසා ම වාසනාවන්ත ම කුරුල්ලා කියලා. ඒත් මගේ ලස්සන නිසා මං මේ උගුලේ වැටුණා. 

බලන්න මේ වටේ ම කූඩු... කුරුල්ලෝ හිර කරලා... 

හැබැයි ඒවායේ එක එක ජාතියේ කුරුල්ලෝ හිටියාට එක කුරුල්ලෙක් නැහැ. බලන්න හොඳට! ඒ එක කූඩුවකවත් කපුටෙක් නැහැ. 

ඒ බව වටහා ගත්ත දවසේ ඉඳන් මට තියෙන්නේ එක ම එක හිතුවිල්ලයි. 

මොණරා පැවසූ ඒ සිතුවිල්ල ගැන සිතමින් කපුටා ඈත ඈත වනන්තරය වෙත හැල්මේ පියඹා ගියේය. මියෙනතුරා ම ඒ මොණර වදන් කපුටු හදවතේ දෝංකාර දුන්නේය. 

‘අනේ මං කපුටෙක් වුණා නං... මේ වෙනකොට නිදහසේ කැමති කැමති තැන් වල ගිහින්, හිතේ හැටියට ජීවත් වෙනවා නේද’





පරිවර්තනය:
රන්දිකා රණවීර ප්‍රනාන්දු

කථාව සහ පිංතූර:
අන්තර්ජාලයෙනි.


************************************************



මිනිසුන්ට උපකාර වන්න - දෙවියන්ට උපකාර වන්න!

සිය පංතියේ අසුන්ගෙන සිටි නම අවුරුදු වියැති පිරිමි දරුවෙකුට එක් වනම තමන්ගේ පතුල් කුඩා දිය කඩිත්තක කැලතෙන බවක් දැනෙන්නට විය. ඔහුගේ හුස්ම හිර වූයේ බිම බලන විට තමන්ගේ කලිසමේ උඩ කොටසද තෙමී ඇති අයුරු දුටු විටදීය.

ඔහුට එක්වනම දැනුනේ තමන්ගේ හදවත ක්ෂණයකින් නතර වන්නට යන ලෙසකිනි. ඒ දේ සිදුවූයේ කෙසේදැයි ඔහුට මොනම විදිහකටවත් වටහා ගත නොහැකි විය.

එයට පෙර කිසිදාක එවැන්නක් සිදු වී නොතිබුණු අතර පංතියේ කොල්ලන්ගෙන් එක් අයෙකු හෝ මෙය දුටුවහොත් කිසිදා වියැළි නොයන නින්දා ගංගාවක තමන් ගිලෙන බව හොඳ හැටි පැහැදිලිය.

එපමණක්ද? කෙල්ලන්ගෙන් කෙනෙකු හෝ දුටුවොත් ඒ රංචුවෙන් එක් අයෙකුවත් ජීවිතාන්තය දක්වා ම ඔහු සමග කිසිම ඇයි හොඳයියකට නොඑනු ඇත. ඔහුට තම හදවත එළඹෙන නිමේෂයේදී නතරවන බව ආයේ නම් සැක කරන්නට දෙයක් නැත. හිස බිමට නමා ගත් ඔහු දෙවියන් යදින්නට විය.

“අනේ දෙවියනි, ඇත්තට ම මේක හදිසියේ වෙච්චි දෙයක්, මං හාංකවිසියක් දන්නේ නැහැ. සත්තයි!.
අනේ මට උදව් කරනු මැන! තව විනාඩි පහයි, ඔබ මා දිහා නොබැලුවොත් ඊට පස්සේ මේ කටිටිය මාව එම්බාම් කරනවා සිකුරුයි!“

හිස ඔසවා බැලූ කල, අමුතු බැල්මකින් මුව සරසා ගත් ගුරුතුමිය එක එල්ලේ තමන් වෙත එන අයුරු ඔහුට දැක ගත හැකි විය.

‘මං ඉවරයි‘ ඔහුට සිතිණ.

ගුරුතුමිය ලං ලං ව එද්දී ම, පංතියේ අලංකාරයට තබා තිබූ එක් මාළුවෙකු සිටි ගෝලාකාර ටැංකිය ඔසවාගෙන ඈ පිටුපසින් එන ගැහැණු ළමයෙකු ඔහුගේ ඇස ගැටුනේය. නිතර කලබල ඇති කරන කෙනෙකු වූ ඒ ළමයා ගුරුතුමිය පියමං කොට ඉදිරියට පැන ගන්නට ගොස්, ටැංකිය කැලතී එහි තිබූ වතුර පදාසයක් ඔහුගේ උකුල මතට හැලී ගියේය.

දේව කන්නලව්ව ටක්කෙට ම හරි ගොස් ඇත. කේන්තියකින් මුහුණ පුරවා ගත් ඔහු සැනින් නැගී සිටියේ, ‘බොහොම පිං දෙවියනේ, බොහොම පිං‘ යැයි තමන්ට ම කියා ගනිමිනි.

චූදිතයෙකු වන්නට සිටි කෙනා වින්දිතයෙකු බවට පත්විය. එසේ නැතහොත් අවමානයට ලක් වන්නට සිටි කෙනා අනුකම්පාවට ලක්විය යුතු කෙනෙකු බවට පත් වූ අතර ගුරුතුමිය වහ වහා ක්‍රීඩා කාමරය වෙත ගොස් සරඹ සඳහා අඳින කලිසමක් සොයාගෙන ආවාය.

අනෙක් ළමයින් එකතු වී ඔහුගේ මේසය හා ඒ අසල බිම පිස දමන්නට විය. එය නම් හරි ම අගේ ඇති අනුකම්පාවක්!

ඒ අතරේ අවමානය ඔහු වෙතින් ඈ වෙතට ස්ථාන මාරුවක් ලබා තිබිණ!

ඇය තමන් අතින් වූ වරද නිවරද කරන්නට උත්සහ දරනු දුටු ළමෝ ඇය පන්නා ගත්තෝය. “ඇති ඇති! මේ කරපු හරිය හොඳට ම ඇති!“ ඔවුහු පැවසුවෝය.

දිනය අවසානයේ බස් නැවතුම්පොළේදී අනුකම්පාවත් අවමානයත් එකවිට වෙන වෙන ම විඳගත් ඔවුහු හමු වූවෝය.

“මේ... ඔයා ඒක හිතලම මගේ ඇඟට හැලුවා නේද?“ ඔහු ඇයට ලං වී ඉවත බලාගෙන ඇසුවේය.

“අනේ අප්පේ, මං දන්නවානේ අද ඔයා වැටිලා හිටිය අමාරුවේ තරම! මමත් දවසක් ඉස්කෝලේ ඇරෙනකම් ම කර කියා ගන්න දෙයක් නැතුව පුටුවට ඇලවිලා හිටියා අනේ“ ඇය යටැසින් වටපිට බලමින් ඔහුට පමණක් ඇසෙන පරිදි පැවසුවාය.





පරිවර්තනය:
රන්දිකා රණවීර ප්‍රනාන්දු

කථාව සහ පිංතූර:
අන්තර්ජාලයෙනි.

********************************



පුළුවන් නම් නැහැයි කියන්න!

දිනක් රජ කෙනෙක් සිය අනුශාසකවරයා සමග පිළිසඳරෙහි යෙදෙමින් මාලිගා උද්‍යානයෙහි සක්මන් කරමින් පසු වූයේය. කදිමට හිරු එළිය වැටී බබලමින් තිබුණු ඒ ගිම්හාන උදයේ, කපුටන් රෑනක් බොහොම ප්‍රීති ප්‍රමෝදයෙන් යුතුව උද්‍යාන ජල තටාකයේ දිය කෙළියෙහි යෙදී සිටිනු ඔවුනට දැකගත හැකිවිය.

කපුටු සතුටු සමාගම නරඹමින් සිටි රජුගේ සිතෙහි එක් වනම ගැටළුවක් පැන නැගිණ. තමන්ගේ රටේ ඒ වනවිට කොපමණ නම් කපුටන් ප්‍රමාණයක් ජිවත් වනු ඇතිදැයි ඔහු කල්පනා කරන්නට විය.

මදක් වේලා කල්පනාවේ ගැලී සිටි රජුට තමා අසල අනුශාසකවරයා සිටින බව සිහි වූයෙන් සිය පැනය ඔහු වෙත යොමු කළේය.

රජු දෙස මදක් වේලා බලා සිටි අනුශාසක උඩ බැලුවේය, බිම බැලුවේය, වට පිට බැලුවේය. දෑතේ ඇඟිලි එහෙ මෙහේ කරමින් ගණන් සෑදුවේය.

අවසානයේ පිළිතුරු දුන්නේය.

“දේවයන් වහන්ස, ඔබ වහන්සේගේ කාරුණික පාලනයට යටත් වූ මේ අධිරාජජ්‍යයෙහි මේ වෙද්දි හරියට ම කපුටන් අනූපන්දහස් හාරසිය හැට තුන් දෙනෙක් ඉන්න බව මට විශ්වාසයෙන් යුතුව කියන්න පුළුවන් ස්වාමීනි!”

ක්ෂනික පිළිතුරක්! ඇති වූ පුදුමය සැඟ වූ රජු ඊ ළඟට මෙසේ ප්‍රශ්න කළේය.

“හොඳයි, ඊට වඩා එක කපුටෙක් හරි හිටියොත් ඔබ මොකද කියන්නේ?”

එයටද නොපමාව පිළිතුරු ලැබිණි.

“දේවයන් වහන්ස, තරහ අවසර, ඕකත් අහන්න දෙයක්ද? මං කිව්ව ගාණට වඩා එක කපුටෙක් හරි වැඩි වුණොත් ඒ අහල පහල රටකින් මේ රටේ කපුටන් දැක බලා ගන්න කියලා ආපු කපුටෙක් තමයි ඉතිං”

“හරි එහෙමයි කියමුකෝ. අපි හිතමු ඔබේ ගණනයට වඩා එක කපුටෙක් හරි අඩු වුණා... එතකොට?”

“දේවයන් වහන්ස, ආයෙමත් තරහ අවසර, අහන්න දෙයක් නැහැ ඉන්තේරුවෙන් ම ඒ කපුටා ගිම්හාන නිවාඩුව ගත කරන්න කොහේ හරි ගිහින් තමයි”යි අනුශාසකවරයා ඇඟට පතට නොදැනී පැවසීය.




පරිවර්තනය:
රන්දිකා රණවීර ප්‍රනාන්දු

කථාව සහ පිංතූර:
අන්තර්ජාලයෙනි.


**************************************



මහත්මා මහරජ

එක් කලෙක ඉතාමත් දරුණු, දුෂ්ට රජකෙනෙක් වාසය කළේය. ඔහුගේ යටත් වැසියන්, ඔහුගේ මරණය හෝ කවුරුන් හෝ පැමිණ සිංහාසනය අත්පත් කරගනුු දැකීම හෝ ප්‍රාර්ථනා කරමින් දිවා රෑ සන්තාපයෙන් ගෙවමින් පසුවද්දී, ඒ හැම පුදුමයට පත් කරමින් රජතුමාගේ හැසිරීමෙහි මහත් වූ විපර්යාසයක් සිදුවිය.

“දුෂ්ටත්වය නිමි, ආසාධාරණයත් නිමි“ ඔහු සිය රටවැසියන් හමුවේ දිව්රා පොරොන්දු විය. එලෙසම ඔහු තමන්ගේ වදන අකුරට ම ඉෂ්ට කරමින් දැහැමෙන් සෙමින් රාජ්‍යය විචාරන්නට වූයේය. රටින් රට ඔහුගේ කීර්ති රාවය පැතිර යන්නට වූ අතර ලොව පුරා වැසියෝ ඔහු, ‘මහත්මා මහරජ‘ ලෙසින් හඳුන්වන්නට වූහ.

එහෙත් බොහෝ කලක් යනතුරු වෙනත් අයෙකු තබා ඔහුගේ ඇමතිවරුන්ගෙන් කෙනෙකුවත් මේ විපර්යාසයට හේතු විමසා සිටින්නට නිර්භය වූයේ නැත.

අවසානයේ රජතුමාගේ අවංක හැසිරීම වටහාගත් ඇමතිවරුන් අතුරින් කෙනෙකුගේ බිය පහ වූයෙන් ඔහු ඒ ගැන විමසන්නට වූයේය.

‘මහත්මා මහරජ‘ මෙලෙසින් පිළිතුරු දුන්නේය.

“එක දවසක් මං අසු පිට නැගී වනාන්තරය මැදින් පිම්මේ දුව එද්දී, දඩයම් බල්ලෙකු, නරියෙකු පසු පස පන්නාගෙන යන හැටි දුටුවා. නරියා කොහොම හරි දුවගෙන ගෙන ගිහින් ගුලකට රිංග ගත්තත් ඊට කලින් බල්ලා නරියාගේ කකුලකින් කෑල්ලක් කඩා ගත්තා. නරියා මැරෙන්න ඇති, ජීවත් වුනත් අබ්බගාත වෙලා ඇති.

ඊට පස්සේ දවසක මං ගමක් මැදින් යද්දි, ඒ දඩයම් බල්ලා දකින්න ලැබුණා. ඌ හිටියේ මනුස්සයෙකුට පැන පැන බුරමින්. ලොකු ගලක් අතට ගත්ත මනුස්සයා ගහපු පහරෙන් බල්ලාගේ කකුල මැදින් කැඩිලා, කුඩු වෙලා ගියා.

බල්ලා දිහා බලාගෙන අනිත් අතට යන්න පය තියපු මනුස්සයාට අඩි පහ හයක්වත් යන්න ලැබුණේ නැහැ, ඒ ලඟ හිටපු අශ්වයෙකුගේ ඇඟේ හැපුනා. අශ්වයා අනිත් පැත්ත හැරුණු ගමන් දුන්නු පා පහරෙන් ඒ මනුස්සයාගේ දණහිස කුඩු පට්ටම් වෙලා, එතනම ඇදගෙන වැටුණේ ආයේ නං කවදාවත් ඇවිදින්න නෙමෙයි.

මේ අලකලංචියෙන් කලබල වෙච්චි අශ්වයා හිස හැරුණු අතේ දුවන්න ගිහින්, ලඟ තිබ්බ වලකට කකුලක් ගිහින් හිරවෙලා, එතනම ඇදගෙන වැටුණේ කකුල කඩාගෙන.

මේ දේවල් එකින් එක කල්පනා කරද්දී මට පැහැදිලි වුණා,

නපුර විසින් නපුර ම මිස වෙන යමක් නූපදවන වග,

මගේ ගමනත් කවදාහරි මටත් රටටත් අවැඩක් මිසක් හොඳක් සිද්ධ නොකරන වග,

මං දිගින් දිගට ම නපුරෙන් ම ජීවත් වුණොත් නපුරෙන් ම මා විනාශ වන වග,

ඉතිං මං එකහෙලා තීරණය කළා වහාම වෙනස් විය යුතු වග.“

මෙය අසා සිටි ඇමතිවරයා ‘කදිම වේලාව‘ උදා වූ බව තමාට ම ඒත්තු ගන්වා ගත්තේය. ඔහුගේ එකායන සිතුවිල්ල වූයේ, වහා ම මේ ‘මහත්මා මහරජ‘ පන්නා දමා සිංහාසනය පැහැරගත යුතුය යන්නයි.

මේ සිතුවිල්ලෙහි ගිලී ඇවිද ගිය ඇමතිවරයාට පිය ගැට වැරදිණි. නපුර විසින් නපුර මිස වෙන යමක් නූපදවන බව තවත් වරක් මොනවට ඔප්පු කරමින් ඇද වැටුණු ඇමතිවරයාගේ ගෙල බිඳී ‘මහත්මා මහරජ‘ ඉදිරිපිටදී ම දිවි කෙළවර විය.




පරිවර්තනය:
රන්දිකා රණවීර ප්‍රනාන්දු

කථාව සහ පිංතූර:
අන්තර්ජාලයෙනි.

52 comments:

  1. ආපහු අපූරු පරිවර්තන ටිකක් , පලවෙනි කතාවට වැඩිපුර කැමතියි .

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඉවාන් :)

      Delete
  2. පලවෙනි කතාව කියවද්දී උගුර පොඩ්ඩක් හිර වෙනවා වගේ ගතියක් දැනුනා...

    කතා ඔක්කොම ගොඩක් හොඳයි...
    මේවායෙන් පොතක් ගහමු...

    ReplyDelete
    Replies
    1. මටත් ඒ වගේ දෙයක් වුණා. ඒකමයි මේක පරිවර්තනය කරන්න හිතුවේ.

      දැන් දැන් මටත් හිතෙනවා එහෙම දෙයක් කරන්න බලන්න.

      ස්තුතියි ලොකු පුතේ

      Delete
    2. දිගටම ඔය පළවෙනි කතාව වගේ එව්ව ලියන්න රන්දිල්. මං ආසයි අර යකා උගුර හිර වෙලා මැරිලම යනවනං...

      Delete
  3. රවී ගෙ කථා වගේ තමයි. මේ ටික එකකට එකක් දෙවෙනි නැහැ. මේක තමයි හොඳම එක කියල හිතනකොට ඊලඟ එකත් ඒ වගේ. බොහොම ස්තූතියි රන්දිල්

    ReplyDelete
    Replies
    1. ඔබටත් බොහොම ස්තුතියි ඉයන් :)

      Delete
  4. මමත් කැමති පළවෙනි කතාවට. අර තෙමාගන්න කතාවෙ වීඩියෝ එකක් මම දැකලා තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඔව්... මේ සමහර කතා මීට කලින් මාත් කියවලා තියෙනවා

      Delete
  5. හොඳට හිතට වදින කතා ටිකක්... පුංචි උනත් හරිම වටී..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ගස්... ලොකු දිරිගැන්වීමක් :)

      Delete
  6. අර කපුටො ගැනපු කතාවෙන් කියන්නේ මෝඩ ප්‍රශ්ණ වලට, මෝඩ පිළිතුරු දීලා ගොඩ යන්න පුළුවන් කියලා නේද ?

    ReplyDelete
    Replies
    1. ඒකත් එහෙමයි. කමකට නැති ප්‍රශ්න වලට නැහැයි කියලා ඔප්පු කරන්න බැරි උත්තර දෙන්ඩ ඕනෑ කියන එකත් ගන්න පුළුවන්... :D

      Delete
  7. අන්තිම කතාව ඊයේ බුකියේ කියෙව්වා.. මට නිකමට හිතුනා බ්ලොග් පොස්ට් එකක් වෙයි කියලා මේක.. මට අල්ලලාම ගියේ අර කලිසම තෙමා ගන්න කෙස් එක.. පතාගෙන ආපු කෙල්ලක් වෙන්න ඕනි.. :)

    කම්මැලිකම අත ඇරලා මෙහෙමවත් එකක් ලියාගෙන හිටු. නැත්නම් අපිට රන්දිල් කියන නමත් අමතක වෙනවා..

    ReplyDelete
    Replies
    1. මටත් හිතෙන්නේ පතාගෙන ආපු කෙනා වෙන්ටෑ :D

      දැන් දැන් ගොඩක් වෙලා හිතලා මගේ ම ලිපි ලියන්න තරම් ඉස්පාසුවක් නැහැ. අනිත් එක මොකක් හරි දෙයක් ගැන ලියන්න හිතුනත් ටික වෙලාවක් යද්දි ඕනෑ නැහැ කියලා හිතෙනවා. මේ වගේ පුංචි කතාවක් කියවන්න විනාඩි 5-4යි. පරිවර්තනය කරන්න විනාඩි 10-15යි. හැබැයි පරිවර්තනය කරලා දවසක් දෙකකට පස්සේ තමයි එෆ් බී දාන්නේ, එතකොට සමහර කොටස් වල වෙනස්කම් කරන්න අදහස් එනවා. ගැලපෙන මාතෘකාවකුත් හිතට එනවා. ගැලපෙන පිංතුරයක් හොයා ගන්නත් ඒ හැටි වෙලාවක් යන්නේ නැහැ. දවස් 5 පුංචි කතා පහ බ්ලොග් පෝස්ට් එකකට ගැලපෙන තරම් දික් වෙනවා. :) නැත්තං ඉතිං අර කිව්වා වගේ මාව මෙයාලාට අමතක ම වෙලා යයි.

      Delete
  8. මං මේ මට දැනට ම තියෙන රස්සාව, මං හරියට ම කරනවාද කියලා හොයලා බැලුවා විතරයි.///////// ha ha ha

    ReplyDelete
  9. රන්දිකා පොඩ්ඩක් මෙතන සුද්ද පවිත්තර කරලා, එහෙන් මෙහෙන් මකුළුදැල් ටිකක් එහෙම කඩලා, ආයෙමත් කතාවක් දෙකක් දාන්ට හිතාගත්තු එක හොඳයි.. නැත්තං මෙතන නිකං අම්බලම වගේ වෙලයි තිබුනෙ.. අර රවියා කියලා එකෙක් ඉන්නවා.. ඌ දන්නෙ අර සුරංගලා ආතා වගේ විට කකා, මිදුල පුරා කෙල ගගහා කෙබර කෙලින්ට විතරයි.. ඌට ඒකටම හරියන කෝනංගියො ටිකකුත් සෙට් වෙලා ඉන්නවා ‍'එහ්හෙනං එහ්හෙනං' කියයා හූමිටි තියන්ටත්..

    ReplyDelete
    Replies
    1. අනේ ඉතිං ඒ ආතාට මොකුත් කියන්ට එපා. එතුමා නැත්තං මේ බ්ලොග් ප්‍රාග් ඓතිහාසික ගල් යුගයේ වැළලිලා ගිහින්. දැනටත් පැත්තකට වෙලා පාඩුවේ ඉන්න නොදී මාව මේ වැඩේට දිරිමත් කොරන්නේ එතුමා ප්‍රධාන, සිත්තමි ඇතුළු කිහිප දෙනෙක් තමයි.

      ස්තුතියි බූරා අදහස් දැක්වීමට

      Delete
    2. කෝනංගියො..... මට අලුත් වචනයක්

      Delete
    3. මං හිතුවේ පෝස්ට් දාන්ට පමා වෙද්දි, එහෙමත් නැත්තං එක එක ලේබල් වල කතා පමා වෙද්දි අයියා අර පෝස්ට් එක කෝ කියලා අහන නංගියෝ ගැන කිව්වා කියලා. :D

      Delete
    4. සෙන්නා ඔය පරණ ගැමි නාඩගම් එහෙම බලලා නැතුව ඇති නේද? ඔය නාඩගම්වල ඉන්නවා කතාව අතරමැද්දෙන් සැරෙන් සැරේ ඇවිල්ලා එකේක විකාර කියන‍/ කරන විහිළුකාරයො.. මේ චරිතයට කියන්නෙ 'කෝනංගියා/ සෙල්ලං ළමා' කියලා.. මෙයාලගෙ කාර්යභාරය වෙන්නෙ හාස්‍ය රසය මතුකරලා ප්‍රේක්සකයාට නාඩගම එපාවෙන්නෙ නැතුව දිගටම රඳවලා තියාගන්න එකයි..

      පැරණි නාට්‍ය ජාති හැම එකකම වගේ මේ චරිතය විවිධාකාරයෙන් දකින්ට පුළුවන්.. නූර්තිවල ‍'බම්මන්නා', සොකරිවල 'පරයා', සංස්කෘත නාට්‍යවල එන 'විදූෂක' (සිංහල චිත්‍රපටිවල ෆ්‍රෙඩී/ බන්දු/ ටෙනී) මේ හැම එකම අර කාර්යභාරය වෙනුවෙන් තැනුන චරිත..

      දකුණු ඉන්දියාවෙ කර්ණාටක ප්‍රාන්තයෙ අපේ ගැමි නාඩගම් හා සමාන නාටක විශේෂයක් තියෙනවා යක්ෂගාන කියලා.. මේකෙ ඉන්න විහිළුකාරයා හැඳින්වෙන්නෙ 'කෝඩංගියා' කියලයි..

      Delete
    5. ස්තූතියි බූරා. බලහන් පොඩි වචනයක් පිටි පස්සේ ලොකු කතාවක් තියනවානේ....

      Delete
    6. අනේ බ්ලොග් එක කියවන්න එන ලබැඳි සොයුරියෝ ටික මාත් එක්ක අමනාප වෙන්න කාරි නැහැ ඔන්න! :)

      Delete
  10. ලස්සන පරිවර්තන ටිකක් ,,
    //මං මේ මට දැනට ම තියෙන රස්සාව, මං හරියට ම කරනවාද කියලා හොයලා බැලුවා //
    මෙහෙම අය නම් පොත්වලින්ම තමයි :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කසුන්,

      ඇත්තටම මනංකල්පිත චරිත වුණත් ඒ කතාවෙන් තමන්ගේ රස්සාවට තියෙන්න ඕනෑ කැපවීම ගැන දෙන පොඩි අදහස් අපේ ඔළුවට පැනගත්තා නේද? :)

      Delete
  11. බොල, කතන්දර පරිවර්තනය කලාටම මදි. එව්ව තමුංගෙ ජීවිතේට යොදාගන්ටත් ඕන. දැං අපි මේ කතාව අරගමු ඈස් ඇන් එස්සාම්පල් විදිහට....ඕකේ?

    / මං මේ මට දැනට ම තියෙන රස්සාව, මං හරියට ම කරනවාද කියලා හොයලා බැලුවා විතරයි. /

    මං කියන්ටද? ඔහේ වැඩ කරන කොම්පැණියෙ ලොක්කට කෝල් එකක් දීල අහන්ට ඔය ළමය කරන වැඩේ කරන්ට කැමතියි හොඳට වැඩ කරන්නංය..අරකද මේකද කියල. ලොක්ක දෙන උත්තර අනුව ඉතිං....හෙහ්,හෙහ්...

    පලි - ඕනනං ලොක්කා හා සමඟ ඔබගේ ඒ සංවාදය මම ලියන්නං මගෙ ඊලඟ පෝස්ට් එක හැටියට.

    මාතෘකාව මෙහෙමයි.." ආදර්ශමත් සුට්ටි කතා සැබෑ ජීවිතයට ගැලපීම අංක 1 - රන්දිල් සහ ලොක්කා අතර සංවාදය "

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ ගුරුවරියක සමඟ..., වාං පතුල් වගේ තව කැටගරි එකක්ද?

      Delete
    2. අප්පච්චියේ, ඇත්තට ම ඔය කිව්වහමයි මට වැටහීගෙන එන්නේ, මං මොකද දැන් එච්චර බ්ලොග් නොලියන්නේ කියන එක.

      ඉස්සර අපේ ඔෆිස් එකේ මේ පැත්තේ කරක්ගහන්න හිටියේ මං විතරයි. ඊට පස්සේ මේ මහතැනුත් ආවා. දැන් එහෙම නෙමෙයි, මුළු ඔෆිස් එකෙන් 95% ක්ම ෆේස් බුක් ඉන්නවා. බ්ලොග් කියවනවා. දැන් නිකං ඉන්න වෙලාවට මට මතක් වෙනවා ඒ දවස් වල ඔෆිස් එක ගැනත් අරවා මේවා ලිව්වා නේද? මේ ගොයියලා මේවා කියවලා මොනවා හිතයිද වගේ අරවා මේවා. ආන් ඒ සිතුවිලි අනිච්ඡානුග ව මට බලපාලා තියෙන්නේ කියලා දැන් තමයි වැටහෙන්නේ.

      Delete
  12. අර කතා මැද්දේ සුදු පේන කොට මට හරිම කම්මැලියි..

    ReplyDelete
    Replies
    1. හිතලා දාපු එකක් නෙමෙයි බොලං... ඒක අයින් කරන විදිහක් මට හොයා ගන්න බැහැ... :(

      Delete
    2. ඒක වෙන්නෙ කොතනින් හරි කොපි කරලා අරන් බ්ලොග් එඩිටර් එකේ පේස්ට් කලහම.. ඒ ගත්ත තැන තියෙන වෙබ් ෆෝර්මැටින් එහෙමම මෙතෙන්ටත් ආදේශ වෙනවා.. ඕක නවත්තන්ට ඕන නම් කරන්ට තියෙන හොඳම වැඩේ තමා, කොපි කරලා එක පාරින් බ්ලොග් එඩිටර් එකට පේස්ට් කරන්නෙ නැතුව අතර මැද්දෙන් නෝට්පෑඩ් එකට පේස්ට් කරලා එතැනින් ආයෙමත් කොපි කරලා බ්ලොග් එඩිටර් එකට පේස්ට් කරන එකයි..

      නෝට්පෑඩ් කියන්නෙ පියෝ ටෙක්ස්ට් එඩිටර් එකක් නිසා පේස්ට් කරද්දි අර ෆෝර්මැටින්ග් සේරම අයින් වෙලා අකුරු ටික විතරයි ඇතුළට ගන්නෙ.. එතකොට එතැනින් අරන් වෙන තැනක කොපි/ පේස්ට් කලාම අර අකුරු ටික ඒ පේස්ට් කරන තැන තියෙන ෆෝර්මැටින්ග්වලට ඔටෝ හැඩ ගැහෙනවා..

      අත් දුටුවයි සත්තයි! අප කර දුන් ගුරුකමක් වැරදී නැත! හරිගියාම ගාස්තුව ගෙවන්න! :-D

      Delete
    3. හැබෑට, බොහොම ස්තුතියි. දැන් ඕං යාංතං මතක් වෙනවා, ඒ දවස් වල මං ඔහොම පේස්ට් කළාම තව කරන වැඩක් තිබුණා, සේරම සිලෙක්ට් කරලා, රිමූව් ෆොන්ට් ෆෙෘ්ර්මැට් වගේ මොකක් හරි ඔබනවා. කොහොද ඉතිං අනේ ඕවා මතක තියෙන්නේ, බ්ලොග්ර් එඩිටර් එකට යන්නත් විනාඩි 15ක් විතර ගියා මට :D

      Delete
    4. මේ බුරම්පි අයියා කියලා තියෙන මෙතඩ් එක තමා මාත් අනුගමනේ කරන්නේ. නෝට්පැඩ් එක ලොකු උදව්වක් දෙනවා ඒ වැඩේට. මං ඒත් බැලුවේ, අර කාලෙකට කලින් රවි අයියාගේ පෝස්ට් වල ෆෝර්මැටිං අවුලක් ගිහිල්ලා පබිලිස් කොරගන්ට බැරුව ඉන්න කොට අක්කා නෙව ඒක විසඳලා දුන්නේ. අර මල්දමේ කතන්දර පවා අයියට පබ්ලිෂ් කරගන්න විදිහක් නැතුව හිටියා. ඉතින් එව්වා විසඳපු අක්කට මේක මොකද බැරි වුනේ කියලා මං බැලුවේ. :D

      Delete
    5. :D ඒ කාලේ මට සිහිවෙන්නේ පහුගිය ආත්මේ වගේ නගා. යාංතං අර හින්දි පිලුම් වල වගේ ෆ්ලෑස් වෙලා යම් යම් දේවල් සිහි වෙනවා.

      දැන් ඒ ටික ‍නෝට් පෑඩ් ගෙනියන්න ගියොත් වැඩේ නෝටි වෙනවා. ඒක නිසා මං මේ කිව්ව මෙතඩ් එකට වෙනස් කළා, දැන් හරි ගියා.

      දේශකයා මහත්තයාට කම්මැලි නැතුව කියවන්ට ඇහැකි. මගේ හිතත් හරි. :D

      Delete
  13. නිර්නාමික අමතන්නා: මම මේ කතා කලේ නෝනගෙ බ්ලොග් එකේ මටත් ලියන්න දෙන්න කියලා ඉල්ලන්න....

    රන්දිල් නෝනා: (දුරකථනයේ අනෙක් පසින්) අනේ ලොකු දෙයක්... දැන් ඒ වැඩේ කරන කෙනා නිසා බ්ලොග් එක වල් වැදිලා... මම අහනකොට ඒ මනුස්සයා කියන්නෙ නං පඳුරු තලනවා කියලා. මම හිතුවා එහෙම පඳුරු තලනකොට බ්ලොග් එක සුද්ද බුද්ද වෙලා කල එළියට එයි කියලා... ඒත් මට හිතෙන්නේ එයා පඳුරු තලනව මදි ඇති.. ඒකයි මේ තාම කැලේ වගේ... එයාට වඩා හොඳට පඳුරු තලන්න පුළුවන් නම් මම මේක අදම ඔයාට දෙනවා....

    නිර්නාමික අමතන්නා: හෙහ්.. හෙහ්.. (දුරකතනය විසන්ධි වෙයි)

    ReplyDelete
    Replies
    1. මං නං ඕං මොකුත් කියන්නේ නැහැ. :D අදාල පාර්ශවයේ ආපු වෙලාවට තලයි පඳුරු කොනක ඉඳලා, ඕං අපි නං දන්නේ නැහැ :)

      Delete
  14. මේ කතා හරිම රසවත්. පළවෙනි එක තමා මමත් කැමතිම. ඔක්කොම එකතු කරලා තියාගන්නවා දෝණිට කියවන්න. සැරින් සැරේ මෙහෙමවත් ලියන එක හොඳයි :)

    ReplyDelete
    Replies
    1. එහෙම කිව්වහ ම සතුටුයි. මං කොහොම හරි මේ වැඩේ දිගටම කරගෙන යන්න තමයි (දැනට) :) හිතාගෙන ඉන්නේ

      Delete
  15. මගේ මනාපය පිළිවෙලින් 2, 3, 1, 4, 5 කතන්දර වලට දෙනවා. පොරව මොට වෙන්න නොදී මුවහත් කරගන්න අක්කා හොඳ ක්‍රමයක් හොයාගෙන තියෙන්නේ, අක්කට වගේම කියවන අපිටත් ලොකු දෙයක් ලැබෙනවා මේකෙන්. බොහොම ස්තූතියි අක්කේ! :)

    ReplyDelete
    Replies
    1. මං වගේ කම්මැලියන්ටත් ලෝකේ තැනක් තියෙනවා නගා, ස්වභාව ධර්මය ඒකටත් මගක් පාදලා තියෙනවා. (එහෙම කියන්නත් බයයි, ආයේ මේකටත් කම්මැලි හිතෙයි කියලා) :D

      Delete
  16. අන්තිම කතාව නං මාරයි.

    රන්දිල් මැතිණිය දිගටම ලියනවනං...
    (හැමදාම දකින රවි ගෙ කරමලේ සුදුයි ද දන්නෑ...)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඩ්‍රැකි. සෙනසුරාදාට කොහොම හරි පෝස්ට් එකක් දාන්න තමයි අදිස්ටානය :)

      Delete
  17. මං මේ රන්දිල් නෝනගෙ පෝස්ට් එකක් කියවන දෙවනි පාර. කලින් පෝස්ට් එක ට කොමෙන්ට් බැරි වුනේ මං ඒක කියෙව්වේ සිකුරාද නිසා. මේකත් දවස් දෙකක්ම ප්‍රමාදයි.

    (රන්දිල්අක්කට රහසින්) රවි අයියට කියන්න ආයේ මේ පැත්තේ එන්න එපා කියලා. මහ පඳුරු තලන්නෙක්.

    දැන් කතා ටික ගැන.
    අර පන්තියේ සීන් එක මටත් පොඩි කාලෙ වෙලා තියෙයි. හැබැයි පන්තියේ නෙවෙයි. කෑම ෂාලාවෙ ඉන්න වෙලාවක. මගේ නුවන ට වැටහුනේ ඒ වෙලාවෙ වතුර කෝප්පෙ හලාගත්තනම් හරි කියල. වැඩේ හරිගියා. මමත් අර නවනිංගිරාවෙන් බේරුනා.
    අනිත් කතා ටිකත් හොඳයි. එකක් වැඩිපුර හොඳයි කියල කියන්න බෑ.

    ජය වේවා!

    මොකද මේ ආයේ 100 ගනන්වල ඉඳන් යන්නේ? රවි අයියගෙ අංක නෙවෙයිද මේ නෝනට තියෙන්නෙ?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කසුන්... ඒ වගේ තැනට සුදුසු නුවණක් පහළ වෙන එකත් පිනක් තමයි.

      මෙහෙමනේ, මං ඉබ්බා වගේ හෙමින් හෙමින් යද්දි, අපේ රවී මහතැන් හාවා වගේ පණ කඩාගෙන දුවනවා නෙව... එයා පටන් ගනිද්දිත් මං 70 ගණන් වල මං හිතන්නේ හිටියේ, දැන් එයා 300 ගණන් මං තාම එකසිය ගණං. ආං එහෙමයි ගණං හැදුනේ

      Delete
    2. මේන්න තියනවා හාවාව පරද්දන්න පුළුවන් ප්ලෑන් එකක් :D

      https://www.youtube.com/watch?v=pS9xvzEMygY

      Delete
  18. අර පළවෙනි කතාව කියවද්දි මතක් වුණේ
    කොලුව නියම සේවා දායකයෙන් කියන එක. අපේ රටෙ බහුතරයක් වයාපාරික මහත්තැන්ලට ගන්න දේවල් ගොඩක් තියෙයි ඒ කොල්ලගෙන්

    අර මාළු ටැංකියෙ වතුර පාරත් ලෙසටම හිතට ඇල්ලුවා
    අපූරුයි අක්කේ...
    ආයෙත් දවසක කතා ගොන්නක් ඇරං එන්ඩෝ

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මහේෂ් මල්ලි,

      ස්තුතියි නැවත හමුවෙමු! :)

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...