Monday, May 20, 2013

110. මළපහ කන්ද

,.,


“අයියේ මෙන්නෝ......... ඔයාගේ බොගමන් අදත් වැඩේ දීලෝ” මල්ලීගේ හඬින් මගේ අඩ නින්ද මරු විකලෙන් පලා ගියේය.
අභව්‍ය වූ වදන් වැලක් මුමුණමින් ඇ‍ඳෙන් බිමට පීනූ මම ඉස්තෝප්පුව වෙත ගියෙමි.

මල්ලී ඉනට එක් අතක් තබාගෙන එක් අතක් ගෙබිම මායිමට දික් කරගෙන ඉදිරිපෙල දත් නැති කටින් හිනාවෙමින් මා දෙස බලා සිටින අයුරු දුටු විට ඔහු කෙරෙහි මා සිතෙහි පහළ වූ කෝප මුසු හැඟීම යටපත් කර ගත නොහී,

“දුවනවා ගස් ගඳයා ගෙට......... බොටත් ඕනේ නැති මගුලක් නැහැ”යි ඔහු වෙත කඩා පැනීමි.

“අම්මේ මෙන්නෝ........... මේ අයියා ගහනෝ”යි හඬ නගමින් කුස්සිය දෙසට දිව ගිය ඔහුගේ පස්සේ පන්නාගෙන යෑමේ වුවමනාවක් මා හට නොවීය.

දින කිහිපයක සිට ඇතිව තිබෙනා කරදරයෙන් ගැලවෙන්නේ කෙලෙස දැයි නැවත නැවතත් සිතමින් පහුගිය සතියේ ම මගේ උදේ වරුව නාස්ති විය. දිනක් රෑ එළිවනතුරු අවදිව සිටිමින් මේ හොරගෙඩියා අල්ලා ගනිමියි සිතා, කොස්සත් ලඟ තබාගෙන ඉස්තෝප්පුවේ පුටුවකට වී වාඩි වී සිටියෙමි. අම්මාට කියා තේ වතුර ටිකක් සාදවාගෙන උණුවතුර බෝතලයේ ලා, එය ද ලඟ තබා ගත්තේ රෑ පානේ ඇහැරී සිටින විට තේ වතුර ටිකක් බීමෙන් නිදිමත පළවා හැරිය හැකි බැවිනි. ඇය ද රෑ 9.30 පමණ වනතුරු මා අසලින් වාඩී වී මදුරුවන් තලමින් සිට,

“ලොක්කා නිදියන්න යනකොට දොර අගුළු බලන්න” යැයි කියමින් නින්දට ගියාය.

“හරි හරි............ එව්වැයේ බලන්න දෙයක් නැහැ, මං හෙට උදේට තමයි මෙතැනින් නැගිටින්නේ”යි පැවසූ මම නැගිට ඉස්තෝප්පුව හරහා එහා මෙහා වරක් දෙවරක් සක්මන් කලෙමි.

11.00 වන විටත් කිසිම වෙනසක් සිදු වූයේ නැත. නිදිමත වැට මතින් පැන ඉස්තෝප්පුවට ගොඩවී මොහොතකින් මගේ හිසට ගොඩවන්නට යන වග හැ‍ඟෙන්නට වූ විට තේ වතුර ටිකක් කෝප්පයට දමාගෙන පුටුව මතින් හිඳ ගතිමි.

“අයියෝ........... හරි මුරකාරයා.............” මල්ලීගේ ගෝරනාඩුවෙන් උඩ විසි වී නැවතත් පුටුව මතට වැටීමි. සැනෙකින් දෙපයින් සිට ගත්තද සිදුවන්නේ කුමක්දැයි එක් වරම වටහා ගැනීමට අපහසුවිය.

“තව ටිකෙන් මෙදා බොගමන් බෙට්ට දාන්නේ තමුසෙගේ ඔක්කේ”යි කියමින් මගේ මලයා උඩ පැන පැන සිනාසෙමින් මිදුලට දිව ගියේය.

ක්ෂණයකින් සියල්ල සිහි වූයෙන් විගස පුරුදු තැනට මගෙ දෑස් දිව ගියේය. නැත. එක දශමයකුදු වෙනස් වී නැත. ඒ මළපහ කන්ද පසුගිය දින කිහිපයේ ම සේ ම සුපුරුදු තැන සුපුරුදු ආකාරයෙන් වැද හොත්තේය. යහළුවන් අතරදී වීරයෙකු සේ දුව පැන ඇවිදන මගේ ශුද්ධ සිංහල වාග් මාලාව එහි දී එළි බසිනු නොහැකිව මුව තුල පෙරළි කරන්නට විය. සියල්ලට ම වඩා, මුරකරන්නට ගොස් ඇති කරගත් අවමානය නිසාවෙන්, මෙම සිදූ විමට හේතු වූ බලු නකුටා ඒ මොහොතේ හමු වුනි නං මරාගෙන මැරෙන්නට තරම් වූ කෝපයකින් වෙව්ලා ගියෙමි. කොස්ස වේගයෙන් ඉස්තෝප්පුවේ පොළොවේ දමා ගැසූ මම කුස්සිය දෙසට ඇවිද ගියෙමි.

සැබවින් ම එය සාමාන්‍ය සුනඛයකු හෙලන ප්‍රමාණයට වඩා විශාල වූ මළපහ ප්‍රමාණයකි. ඇත්තට ම මළපහ කන්දකි. ඒ වන විට පුරා සති දෙකක් නිති පතා මා, ඒ අප්‍රසන්න වූ ද්‍රව්‍යය ඉවත් කර, එතැන බිම පස් පිඩැල්ලක් කපා වත්ත කෙළවරට ගෙන ගොස් දමා, නව පස් පිඩැල්ලක් කපාගෙන විත් එතැන පුරවා, එම කටයුත්ත කරන විට දී ඉස්තෝප්පුවේ පිය ගැට මතට විසිවන පස් අතු ගා දමා ඒ පැත්ත පලාතම සුද්ද කර තිබිණ. පෙනුමේ අප්‍රසන්න කම පමණක් වුනි නම් අහක බලාගෙන ගොස් නොදැක සිටිය හැකිය. දරා ගත නොහැකි වූයේ විහිදුනු දුර්ගන්ධයයි. වැල වරකා ගෙඩි පිටින් ගිල, හෙලන ලද මළපහ මතින් වැල වරකා එපා කරවන තීව්ර වූ දුර්ගන්ධයක් පැන නැගින. කුඩා කල ඉමහත් ලෙස කැමත්තකින් පසු වූ එම පළතුරු මට අදටත් අතටවත් ගන්නට නොහිතෙන්නේ මෙම සිදු වීමේ අතුරුපලයක් ලෙස යැයි හඟිමි.

වරක්, විකිණීම සඳහා සුනඛයින්, මාළුන්, කුරුල්ලන් ආදී වූ සුරතල් සතුන් ඇති කරන අපේ පවුලට හිතවත් කෙනෙකු පැමිණි අවස්ථාවක මළපහ කන්ද විශ්ලේෂණය කර පවසා සිටියේ, එය සාමාන්‍ය සුනඛයකුගේ වැඩක් නොවන බවය.

“ඈ පුතේ මිනිහෙක්ද එතකොට මේ වැඩේ කරන්නේ?” යි එහිදී මගේ මව අසා සිටි පැනයට පිළිතුරු ලෙස ඔහු පැවසුවේ,

“නැහැ නැහැ නැන්දේ, බල්ලෙක්ම තමයි. ඒත් නිකං ගමේ ගොඩේ හැදෙන බල්ලෙක් නෙමෙයි. ඔය කොහෙන් හරි එන ලොකු වර්ගයක එකෙක්. අනිත් එක පුරුද්දක් ඇති වුනාම ඒක දිගටම කරගෙන යන එකෙක්. මං ගාවත් ඉන්නවා එහෙම බල්ලෝ. පැටිකිරිය හොඳ වෙන්න වෙන්න, උන්ගේ වැඩත් අනිත් උන්ට වඩා වෙනස් වෙනවා”

“අනේ පලයං බං යන්න. පැටිකිරිය හොඳ නිසාද මේ වැල වරකා ගෙඩි පිටින් ගිලින්නේ? අර බලපන් කොස් ඇට ම කීයක්ද?” ඔහුගේ බලු වර්ණනාව ගැන නොරිස්සීමක් ඇති වුයෙන් හරහට යමක් කීමේ අවශ්‍යතාව මා කෙරෙහි උග්‍ර ලෙස පැන නැගින.

“හරි හරි......... කොහොම හරි මූ හොඳ වර්ගයක එකෙක් වෙන්න ඕනෑ. ගෙදරකින් මග හැරිලා හරි මොකක් හරි වෙලා වෙන්න ඇති. අපරාදේ කන්න නැතුව, බාල වෙන්නත් පුළුවන්. මට වෙලාවක් නැහැ නැත්තං මං අදත් ඉඳලා මේකාව කොහොම හරි අල්ලගෙන යනවා”යි සුනඛ වසුරු විශ්ලේෂනය කර බල්ලාගේ ජාතිය නිර්ණය කල ඔහු, පසු දිනෙක පැමිණෙන බව පවසා පිටව ගියේය.

ඔහු පැවසූ දෙයද සත්‍යයක් විය හැකිව තිබූණේ, අවටින් ලද තොරතුරු වලට අනුව, අසල වූ නිවෙසක විසූ පිරිසක් හදිසි තත්ත්වයක් මත ගම හැර යෑමේදී නිවසේ සුරතලයට ඇති කරන ලද සුනඛයා හා පූසන් දෙතුන් දෙනෙකු ගමට දයාද කර ගොස් තිබීමය. එම සුනඛයා ඩොබර්මන් වර්ගයට අයත් ප්‍රමාණයෙන් විශාල වර්ගයේ එකකු විය. කාරණා කාරණා අනුව විත්තිකරු මොහු ම වශයෙන් අප විසින් තීරණය කරගත්තද මෙම මළපහ කන්ද මිස සුනඛයකු පිළිබඳ හෝඩුවාවක්වත් නොවීය. මගේ මලයා ඔහු හැඳින්වූ නමට හේතුව පැහැදිලි ඇතැයි සිතමි. ‘බොගමන්’

මුල් දින සුද්ද පවිත්‍ර කිරීම් කරන්නට ගොස් හත් පලේ තවරා ගන්නට මා හට සිදු විය. උදැල්ල ගෙන එක් පහරින් ගන්නට ගොස් උදැල්ල මළපහකන්ද මැදින් වැදී කොටසක් උදළු තලය මතට පැමිණුන අතර තවත් පදාසයක් උදළු තලය යට පැත්තේ තැවරී ගියේය. කාර්යය වැරදී ගිය තැන, කලබලයෙන් උදැල්ල තබා තිබූනේ ඉස්තෝප්පුවේ පිය ගැටයක් මතය. එවර තුන් වන තැන ද තැවරුණ අතර නැවතත් පැන උදැල්ල ගන්නට ගොස් සමබරතාව ගිලිහී බිම තිබූ ඉතිරිය මත දකුණු පය රඳවා ගැනීමෙන් හතරවන තැනද, උදැල්ල ගෙන මිදුල මත තබන්නට ගොස් උදැල්ල මත තිබුණු කොටස බිමට හැලී යාමෙන් පස්වන තැනද, උදැල්ල මිදුල මත තැබීමෙන් හය වන තැනද වශයෙන් තවරා ගත් මා අවසානයේ විසුරුණු මළපහ කන්ද පත්තර පිටුවක් මතට එකතු කරගත්තේ පොල් මුඩු පොල් ලෙලි ආදිය භාවිතා කරමිනි. මුළු කාර්යය පුරාවටම දරාගත නොහැකි වූ අප්‍රසන්න භාවයකින් සිටි මට ‘ඕක් ඕක්’ ආකාරයෙන් වමනේ පිටවන්නට ම ගියේය. එයද ආයාසයෙන් දරාගෙන කාර්යය කෙසේ හෝ අවසන් කර, අවසානයේ පැයක් පමණ නාන කාමරයට වී ස්නානය කලෙමි.

එදිනෙන් පසු කිසි දිනෙක නැවතත් මෙවැන්නකට මුහුණ දෙන්නට නොසිතුවද, නොසිතූ දේම සිදුවන අයුරු කියා පාමින් තවද දින හත අටක් එම කටයුත්තේ නියැලෙන්නට මා කල පාපය කුමක්දැයි දහස්වර මගෙන් ම විමසන්නට ඇත. පසු පසු ව කටයුත්තට විශේෂ ප්‍රාගූණ්‍යක් ඇති වුවද, එවැන්නට ඇති වන විශේෂ ප්‍රාගූණ්‍යයකට වඩා කුසගින්නේ මිය යෑම යෙහෙකියි මා හට සිතුනේ වරක් දෙවරක් නොවේ.

කෙසේ හෝ අවසානයේ වඩා සුදුසු ම කෙමත් රැගෙන ඉස්කෝලේ මාමා පැමිණියේය. අවිවාහකයෙකු වූ ඔහු ගුරු වෘත්තියෙන් විශ්‍රාම ගෙන මහ ගෙදර නිවසේ තනිවම ජීවත් වූයේය. කොතරම් තනිව හිටියත් අප්‍රියෙල්, අගෝස්තු හා දෙසැම්බර් මාස වල හැර වෙනත් කිසිම මාසයකදී ඔහු ගෙදරින් පිට නොවීය. ඒ ඔහුගේ රාජකාරී ජීවිතයෙන් ඔහු ලද දායාදයයි. විශ්‍රාම ගෙන සිටියද, හිතුනු විට පෙර සේවය කල ගමේ පාසලට යන ඔහු ගුරුවරයෙකු නොමැති වූ පංතියක් වුවහොත් ඒ දරුවන් හට අකුරක් උගන්වන්නට ඉදිරිපත් වූයේ ඉමහත් කැමැත්තෙනි. ඒ කොතෙක්ද යත් ගුරුවරයෙකු නොමැති නං ළමයින්ගෙන් කෙනෙකු ගෙදරට පැමිණි ඔහු ව කැඳවාගෙන ගිය අවස්ථා ද ඇති වන්නට විය. ලෝකය පිළිබඳ විසල් දැක්මකින් පසු වූ ඔහු ඕනෑම කෙනෙකු කථා බහ කරන්නට කැමති වන අයුරේ ප්‍රියමනාප කරුණාවන්ත පුද්ගලයෙකු විය.

මා මුරකරන්නට ගොස් සවුත්තු වූ දා දහවල් ඔහු අපේ නිවසට පැමිණියේය. තාත්තා පුරුදු පරිදි නගරයට ගොස් යතුරුපැදියේ නංවාගෙන ඉස්කෝලේ මාමා කැඳවාගෙන ආවේය. මගේ අම්මාගේ වැඩිමහල් සහෝදරයා වූ ඔහු හැම සිංහල අවුරුදු නිවාඩුවට ම අපගේ නිවසට පැමිණීම අනිවාර්යය විය.

“මොකද ලොක්කා නිකං හේ බාලා ගිහින් වගේ?” එදින හවස් වරුවේ ඉස්තෝප්පුවේ පඩිය මත හිඳගෙන බලු සන්නියට කල යුතු පිළියම කල්පනා කරමින් සිටි මා අභියසට පැමිණි ඉස්කෝලේ මාමා මගේ හිස අතගාමින් ඇසුවේය.

“නැහැ මාමේ මොකුත් නැහැ. මේ නිකං.... යාළුවෝ හැමෝම වගේ නිවාඩුවට එහෙ මෙහෙ ගිහින්... මං මේ කම්මැලි කමට ටිකක් හිටියා” විගස නැගී සිටි මම පවසා සිටිමී.

“ඉෂ්කෝලේ මාමා දන්නේ නැහැනේ මෙයාට වෙලා තියෙන එක... මෙයා හැමදාම උදේට බලු බෙටි පුඩිං හදනවා”යි කියමින් මගේ මලයා පැමිණ මාමාට මුවා වී මට විරිත්තන්නට විය.               

“මක් කිව්වා පොඩි එකෝ...? බලු ‍බෙටි... මක් කිව්වා?” මාමා බක බක ගා සිනා සෙමින් තාත්තාගේ හාන්සි පුටුව මත වාඩි විය.

මාමා ඉදිරියේ මල්ලීට ගහන්නට පනින්නට බැරි හෙයින් තර්ජනාත්මක බැල්මකින් ඔහුට සංග්‍රහ කොට, නැවතත් පඩිය මතට කඩා වැටුනෙමි.

“නැහැ මාමේ, මේ කොහිද යන බල්ලෙක් ඇවිත් හැමදාම උදේට මෙන්න මෙතැන ජරා කරලා යනවා. ඒක මහා විසාල ජරාවක්. මට එපා වෙලා තියෙන්නේ ඒක අරං දාලාම. මට කද්දිත් මතක් වෙනවා, කන්නත් බැහැ හරියකට” මම මාමා ඉදිරියේ සත්‍යය ම පවසා සිටියෙමි. අනතුරුව මාමා සිද්ධිය මුල පටන් ම විස්තර ඇතුව අසා ගත්තේය.

“හා හා අපි බලමු හෙට උදේටත් අපේ හාදයා වැඩේ කොරලා තියෙයිද කියලා. පුතා කලබල නැතුව ඉන්නකෝ.” අවසානයේ දී මාමා ලබා දුන් පිළිතුරින් මා හට එතරම් දැනෙන සහනයක් උදා නොවීය.

පසු දින ද සුපුරුදු අපුල දර්ශනය කිසිම වෙනසකින් තොරව දක්නට ලැබිණ. මම ඉතාමත් අසරණව මාමා දෙස බැලුවෙමි. හාන්සි පුටුවේ අසුන්ගෙන සිටි මාමා, මළපහ කන්ද දෙස බලාගෙන කල්පනාවට වැටී සිටියේය.

“දැන් මේක බලං ඉඳලා මාමාටත් කන්න එපා වෙයි. මං අරං දාලා එන්නං” බලා සිට බැරිම තැන පුරුදු කාර්යයට පිටත් වන්නට සූදානම් වීමි.

“එපා... එපා පුතා...” මාමා මා වළකාලූයේය.

“ඔහේ තියෙද්දෙන්... ආයේ බලු බෙට්ටක් ඔච්චර තදට හිතට ගන්න එපා... අලි බෙට්ටක් නෙමෙයිනේ........ ඔහේ තියෙද්දෙන්...” මාමා සිනා වෙමින් සන්සුන්ව පැවසුවේය.

“ඉයෑක්කා........... මෙච්චර ගඳක් එද්දි කොහොමද මේක තියං ඉන්නේ........ මට නං බැහැ......... මං යනවා සීයලැයේ අහ” මල්ලී, දැනට ම මිදුලට බැස අවසන්ය.

“කොල්ලෝ වුනහම ඔහොම පුළුවන්ද? බලු බෙට්ටක් නිසා ගේ දාලා යනවද? ඔහේ හිටු ගෙරි පැටියා........ මිනිස්සු වුනහම ඔයිට වඩා අපහසු දේවල් වලට මුණ දෙන්න වෙනවා... මේ ගඳ මොකද්ද? දවසක් දෙකක් ඉවසාගෙන ඉන්න එකයි තියෙන්නේ...... එතකොට ගඳ ඉබේටම නැති වෙනවා” මාමා පිය ගැට බැස ගොස් මල්ලීගේ කරින් අල්ලා ගත්තේය.

මාමාගේ කීම පරිදි එදින දවස පුරාම මළපහ කන්ද තිබූ තැනම තිබෙන්නට හරින ලදී. හෙට උදෑසන සිහි වන විට උදේ කෑම පිඟාන දෙස බලන්නටවත් මට පිරියක් ඇති නොවීය.

“අයියේ, ඔයා කන්නේ නැහැනේ........ මං මේ කිරිබත් කෑල්ලක් ගන්නද?” මල්ලීට වගේ වගක් නොවීය.

“කාපිය........... කාපිය............ මාවත් කාපිය මදි හරියට” මල්ලීගේ කනට කර පැවසූ මම කාමර වෙත ගියෙමි.

මා හැර නිවසේ සැමදෙන පුරුදු පරිදි දවසේ කටයුතු වල නියුතුවිය. වෙනසකට තිබුනේ වෙනදා මෙන් ඉස්තෝප්පුව අසල ගැවසීම් අඩු වීම පමණි.  උදේ 10 පමණ වන විට මට අධික කුසගින්නක් දැනෙන්නට වුවද, කෑමේ කිසිම පිරියක් නොවීය. තදින් ඉර පායා තිබුණු බැවින් මගට බැස කොහේවත් යන්නට කැමත්තක්ද නැති වූයෙන් කාමරයට වී සිටිනු මිස මා හට කරන්නට දෙයක් නොවීය.

දහවල් ආහාර වේලාවේදී ද කෑම පිඟාන දෙස බලමින් එහා මෙහා යනු මිස අතට ගෙන අනුභව කරන්නට කිසිසේත්ම හිත හදා ගත නොහැකි විය. උදේ වරුවේ තරම් නැතද, මළපහකන්ද මගේ සිතෙන් පහ නොවී තවදුරටත් හොල්මන් කරමින් සිටියේය. එහි දුර්ගන්ධය නහය වටා පැලක් අටවාගෙන පදිංචි වූ සේය. කෑම පිඟාන වැසූ මම ඉස්තෝප්පුව හරහා කාමරය වෙත යන ගමනේ හොරැසින් මගේ සතුරා දෙසට නෙත් හෙලීමි. වමනය යන්නට පෙර විගස කාමරයට පැනගත් මා කොට්ටය බදාගෙන නිදන්නට උත්සහ දැරීමි.

හවස 4 30ට පමණ කුසේ අපමණ වූ වේදනාවෙන් අවධි වූ මම මද වේලාවක් ඇඳ මත අසුන්ගෙන සිට විගස කුස්සිය දෙසට දිව ගියේ කිසිවක් දෙස නෙත් නොහෙලමිනි. මගේ බත් පංගුව මා එනතුරු හඬමින් බලා සිටියි. විගස එය ගෙන ගිල දැමුවෙමි.

“ආ කොල්ලාට බඩගිනි වෙලා වගෙයි...” ඉස්කෝලේ මාමා සැඳෑ නින්දෙන් අවදිව කුස්සියට දෙසට එනුයේ, මා දැක නැවතිනි. බත් කටක් වෙනුවෙන් වතුර උගුරක් පානය කල මම මාමා හා අපහසුවෙන් සිනාසුනෙමි.

“හිමින් කන්න ළමයා, හිමින් කන්න”යි මගේ පිටට තට්ටු කල මාමා කුස්සිය දෙසට ගියේය.

පසු දින උදෑසන 4ට පමණ අහම්ඹෙන් වාගේ අවදි වූ මම පුරුදු කණස්සල්ලෙන් සැලෙන්නට වීමි. නමුදු එක්වනම සිහි වූයේ වෙනදාට වඩා අද දින වෙනස් විය හැකි බවය. එවර මට කාමරය තුලට ම වී මේ විකාර බලු සන්නිය මිය යනතුරුම සිටින්නට සිතුණි. එහෙත් මාමා පැවසූ පරිදි බල්ලෙකුට යටත් ව, නැත බලු බෙට්ටකට යටත් ව සැලෙන්නට නම් මා පිරිමියෙකු ව ඉපදුනේ මන්ද? ඔවැනි බරපතල දේවල් ගැන සිතමින් සිටින විට උදෑසන 4 30ට පමණ ඉස්තෝප්පුව දෙසින් යම් ශබ්දයක් ඇසෙන්නට වූ අතර ඇ‍ඳේ ඉඳගත් මා හොඳින් සවන් දෙන්නට වූ අතර එය බලු කෙඳිරියක් බව සක් සුදක් සේ පැහැදිලිවිය. හිමින් හිමින් ගොස් හඬ නොනැගෙන සේ දොර ඇරගත් මා සිදුවන්නේ කුමක්දැයි බලා සිටියෙමි. අප සිතුවා නිවැරදිය. ඒ අප සිතූ ඩොබර්මන් නොහොත් බොගමන් මය. දොර පොල්ල අතට ගත් මා ‘අප හාදයාගේ’ ඊ ලඟ පියවර දෙස සාවදානව බලා සිටියෙමි.

බල්ලාට පුරුදු කාර්යයේ නියුතු වන්නට නොහැකිව, වටේට වටේට කැරකෙමින් සිටියේය. කෙඳිරි ගාමින් වටයක් යන ඌ නැවතී මද වේලාවක් බලා සිටියි. නැවතත් කෙඳිරි ගායි. මද දුරක් පාර දිගේ යයි. නැවතත් එයි. මළපහකන්ද ඉවකර විගස හොම්බ ඉවතට ගනියි. එහි වූයේ එක් නළු දර්ශනයකි. දොර පොල්ල නැවතත් තිබූ තැනින් තැබූ මම තවත් හොඳින් දොර ඇර මේ දර්ශනය නරඹන්නට වීමි. කොතරම් වට ගණනක් කැරකුණද අවශ්‍ය කාරණය අද දින ඉෂ්ට කරගත් නොහැකි වන බව වටහා ගත් ඌ මහා කෙඳිරියක් නගා අශ්වයෙකු මෙන් පැන පැන පාර දිගේ දිව යන්නට විය. අප වත්තෙන් ඉවත් ව මහා පාර තෙක් දිව ගියද උගේ කෙඳිරිය නොනැවති ඇසුනු අතර මට දැනුනු සතුට මෙතැකැයි අදටත් විස්තර කළ නොහැකිය.

‘මෙච්චර කල් මූට බෙට්ට දාන්න තැන හදලා දීලා තියෙන්නේ මං නේ’

“මාමේ මාමේ............ වැඩේ හරි මාමේ................” යි කෑ ගසමින් මම මාමා නිදා සිටි ඇඳ වෙත දිව ගියෙමි.

“ඇයි ඇයි මොකද වුනේ පුතේ?” කලබලයෙන් අවදි වූ මාමා විගස උපනෙත් ගෙන පැළඳගෙන අසා සිටියේය.

“අර බලු තඩියා ආවා. අද බෙටි දැම්මේ නැහැ. ඊයේ එක එතැන තිබුණු නිසා අද ඌට බෙටි දාන්න බැරුව දඟලලා දඟලලා අඬ අඬා දිව්වා. මාර වැඩක් තමයි වුනේ. මාමා හිතුවද මෙහෙම වෙයි කියලා...........?” මම සතුටින් කියාගෙන ගියෙමි.

“ඔහොමම වෙයි කියලා හිතුවා කියන්නත් බැහැ නොහිතුවා කියන්නත් බැහැ. ඒත් හැමදාම එකම දේ එකම විදිහට වෙනවා නං අපේ ක්‍රමේ වැරැද්දක් තියෙන්න ඕනෑනේ. අපේ ක්‍රමේ වෙනස් කරලා බලන්නයි මං එහෙම කරන්න කිව්වේ. හිතුවාටත් වඩා වැඩේ සාර්ථකයි නෙව. කොහොම වුනත් කොල්ලෝ බලු බෙට්ටක් කියන්නේ, කොල්ලෙකුට කෙල්ලෙක් වගේ, නොකා නොබී, ඇඹරි ඇඹරි වමනේ තද කරගෙන ඉන්න දෙයක් නං නෙමෙයි රජෝ... ඔයිට වඩා හිත ශක්තිමත් කරගන්න ඕනෑ. ඔයි බෙට්ට ඔහොම ම තියෙන්න අරින්න. තව කාරණා වැටහෙයි එතකොට”

මාමා කිව් පරිදි ම මළපහ කන්ද එලෙසම තියෙන්නට හරින ලදී. දෙවැනි දින එහි දුර්ගන්ධය අඩු වූවාද, නැතහොත් මා ප්‍රතිග්‍රාහී අනුවර්තනයකට ලක් වූවාද කියන්නට නොහැකි ලෙසින් කාරණා සිද්ධ වූයේය. තුන්වැනි දින මගේ දඩබ්බර මලයා විසින් කෝටුවකින් ඇන, පාරා තිබීම හේතුවෙන් නැවතත් අමුතු තීව්ර ගන්ධයක් නිකුත් වූවද, එය මුල් දින තරම් නොවීය. “අහක තියෙන කුණු ගොඩවල් කූරු ගාන්න යන්න එපා ළමයා, තමන්ටමයි කරදරේ”යි මාමා පැවසුවෙන් මල්ලී නිහඬ ව පසෙකට විය.

කෙමෙන් කෙමෙන් මළපහ කන්දේ උසද අඩුවන්නට විය. කුරුමිණි පැමිණ බෝල ‍සාදමින් එයින් කොටසක් ගෙනගිය අතර, වේලෙන්නට වූ මළපහකන්දේ උඩ හරිය හුලඟට පාව යන තරම් විය. පස්වන සයවන දින වන විට එයට මළපහ කන්ද කිව නොහැකි තැනට කටයුතු සැලසී තිබිණ. අඩතැනිතලාවේ මතු වූ ශේෂ කඳුසේ දිරාගිය කොස් ඇට පමණක් ඉල්පී සිටින සේ මළපහකන්ද බිමටම සමතලා වී ගියේය.

“දැන් ඔය ටික අම්මා හෙට උදේට මිදුල අතුගාද්දි ඉදලෙන් අතුගාලා දැම්මා කියලාත් වෙනසක් ‍නැහැ නේද පුතේ? කොහොමද පළවෙනි දවසේම අම්මා ඉදලෙන් අතුගෑවා නං. එහෙම නැත්තං දැන් පුතාට පුළුවන් උදැල්ලක් අරං අරංදාන්න කිසිම අමාරුවක් නැතුව. එහෙමත් නැත්තං මං වඩාම කැමතියි මෙහෙම කරන්න. උදැල්ල ගෙනැත් ඊට ටිකක් එහායින් වලක් කපලා, ඔය කුණුටික ඒ වලට ඇදලා දාලා, අර වතුසුදු ගහෙන් අත්තක් කඩන් ඇවිත් ඒ වලේ හිටවලා පස් දාලා වහලා වතුර ටිකක් දැම්මා නං. බලු බෙට්ටක් වුනත් වැල වරකානේ. ගොම වලට වඩා වැඩි වෙනසක් නැහැ............ නැහැ එක්කෝ ඕනැන්නේ නැහැ. කොහොම වෙතත් පුතා මේ වෙච්චි දේ ගැන නිස්කාංසුවේ හිතලා බලන්න. ගොඩක් කාරණා වැටහෙයි”

 
 

Saturday, May 18, 2013

109. වන්ස් උපෝන් අ ටයිම් දෙයාර් වොස් අ ප්‍රිටි ලීල් ගර්ල් සමගින් මහා තොරණ රාජයා......

වන්ස් උපෝන් අ ටයිම් දෙයාර් වොස් අ ප්‍රිටි ලීල් ගර්ල්............ හුහ්........... (කට බොරු කිව්වත් අත බොරු කියන්නේ නැහැ, හිතේ තියෙන එව්වා තමයි පනින්නේ)

වැරදුනා වැරදුනා..............
 
වන්ස් උපෝන් අ ටයිම් දෙයාර් වෝස් ඇනදර් කොන්ට්‍රිබියුටර් ෆෝ දිස් බ්ලොග්............. කෝ බං ඒ උන්දි.............?
 
ඉන්නවා ඉන්නවා යහතින් ඉන්නවා... ඉතිං උන්දි ගියා නෙව “කොටු වැටිච්චි පුංචි සරම ඇඳන් නටන්න මල්ලියෙක්“ ගේන්න...
 
ඉතිං ඔය කාලේ උන්නේ නැහැ වගේ තමයි උන්නේ. ඇත්තට ම එහෙම උන්නා නෙමෙයි ඉන්න සිද්ධ වුනා. ඒ අහු අස්සේ මේ උන්දැ මේ ලියාගෙන ලියාගෙන යන එව්වා දැක්කහම මට (ඒ කිව්වේ මේ අතුරුදන් වෙලා වගේ හිටපු කෙනාට) ලියන්න හිටපු එව්වායි, ලියන්නේ කොහොමද කියන එකයි, ආදී වශයෙන් බ්ලොග් කලාවට අදාල සේරම දේවල් පැටලිලායි මේ ඉන්නේ.

ඉතිං නැවතත් පුරුදු පාරට එන්න හිතාගෙන ලියන්න දෙයක් හිතද්දි බොහොම දේවල් හිතුනා, ඒ සමහර එව්වා ලිව්වා. ඒත් ආරම්භයක් හැටියට පොඩි දෙයක් නමුත් වැදගත් දෙයක් සටහන් කරන්න හිතුනා.

මගේ පෙම්බර සැමියා දර කඩන්න කැලයට ගියා....... (ඔය ඔය ආයෙත් වැරදුනානේ)

ඉතිං මං මේ කියන්න ගියේ මගේ පෙම්බර සැමියා පුංචි කාලේ එයාලාගේ ගෙදර ඉස්සරහ ගෙදර ඉඳලා තියෙනවා එයාට වඩා අවුරුදු දෙක තුනක් වැඩිමහල් තවත් පුංචි ළමයි දෙන්නෙක්. (ඔව් ඔව් දැනුත් ඉන්නවා. තාමත් අවුරුදු දෙක තුනක් තමයි වැඩිමහල්, හැබැයි පුංචි ළමයි නෙමෙයි, දැන් එයාලා පුංචි ළමයින්ගේ තාත්තලා) ඉතිං මේ අයියා මලෝ තුන්දෙනා එකතු වෙලා පුංචි පුංචි නිර්මාණ කරලා තියෙනවා. පහු පහු වෙනකොට ඒ නිර්මාණ වැඩි දියුණු වෙලා වඩාත් නිර්මාණාත්මක නිර්මාණ බිහිවෙලා තියෙනවා. වෙසක් මහේ තොරණ හැදිල්ලත් ඒ වගේ එයාලා කරපු දෙයක්.

ඉතිං මගේ පෙම්බර සැමියා හැමදාමත් නත්තලට නත්තල් ගහක් සරසනවා වගේ ම මෙච්චර කල් හැම වෙසක් කාලෙටම වෙසක් කූඩු හැදුවා. මේ පාර එයාට හිතුනා දුවත් දැන් ටිකක් තේරෙන වයසේ නිසා දුවට තොරණක් හදලා දෙන්න. මුලින් හිතුවේ චිත්‍ර ඇඳලා හැකි අයුරින් කරන්නලු. වෙලාවට දුවට පත්තරයක් ගන්න ගියහම රෙඩි මේඩ් තොරණ කොලයක් ම දීලා. ඉතිං එයා ඒක අරං ඇවිත් කාඩ් බෝඩ් එකක එලවලා, අනවශ්‍ය කොටස් කපලා, නත්තල් ගහ සරසන්න ගෙනාපු සීරියල් බල්බ් වැලයි, තව අලුතින් සීරියල් බල්බ් වැලකුයි ගෙනැල්ලා අගේ ඇති තොරණක් හැදුවා. දුවට බොහොම සතුටුයි. මටත් සතුටුයි.
 
,.,

 
,.,

 
,.,

 
,.,

 
,.,

 
ඉතිං මට කියන්න තියෙන්නේ මේ ලිපිය කියවන අපේ හිතවත් තාත්තලාට පුළුවන් නම් ඔයාලාගේ බබාලාටත් මේ වගේ දෙයක් කරලා දෙන්න, එයාලා ඒකෙන් ලබන සතුට බලන්න පුළුවන් වෙයි.
ගොඩක් අය මේ වගේ දේවල් කරනවා ඇති, ඉතිං දන්නවා නේද බබාලාගේ මූණු වල ඇඳෙන සතුටු හිනාවේ තරම................



ප ලි:

කාලය ප්‍රශ්නයක් නම් අපට කියන්න තියෙන්නේ, මේ වැඩේ කරන්න මිනිස් පැය 10ක් වත් වැය වුනේ නැහැ, කොටින් ම කාලයක් ගත වුනේ ම නැහැ. අයි පී ඇල් බල බලනේ කෙරුවේ............ :D


 

Friday, May 17, 2013

187. කිරුළ සහ සෙනෙහස …...2


කිරුළ සහ සෙනෙහස…..1

රාජ සභාව රැස්වන සන්නිපාත ශාලාව පිහිටි පිටි නුවර ගොඩනැඟිලි සංකීර්ණයට මඳක් ඔබ්බෙන් එහෙත් තැනින් තැන් සම දුරින් දැල්වුණු කැකුණ තෙල් පහනින් ආලෝකමත් වූ පියවර එක්සිය සතලිසක් පමණ දිගු පටු වරංඩයෙකින් වහා පිවිසිය හැකිවූ කුඩා ප්‍රවේශ ශාලාවෙකින් ඔබ්බෙහි වූයේ රාෂ්ට්‍ර පාලක උදෙසාම වෙන්වූ නිදන මැදිරි, ආලින්ද බරාඳ සහ මැද මිදුල් වලින් යුතු වාස භවනයයි. 

වරංඩය ඔස්සේ විජය ගමන්කලේ යුහුව වුවද ස්ථිර සාර පියවරිනි. සති කිහිපයක්...නැත මාස ගණනක් මුළුල්ලේ සිතට වදදුන් අවිනිශ්චිතතාවයකට දෙගිඩියාවකට ස්ථිරව විසඳුමකට එලඹි කල්හි සිත අභ්‍යන්තරයේ ගැඹුරෙහිම ඉපිද සිත පමණක් නොව ගත ද සනහාලමින් පැතිරයන ආශ්වාදයක සුමියුරු සුව පහස විඳිමින් ඔහු ගමන් කලේ සැහැල්ලු පියවරිනි. වරංඩය දෙපස රළු බිත්තියට පිටුපා තියුණු තුඩගින් යුතු විලක්කු ආලෝකයෙන් දිදුලන හෙලි සහ තෝමර දැරූ අංගාරක්ෂකයින් ඔහු පසුකරයනවිට තම සුරත් වම් පපුව මත තබා කල උත්තමාචාරයට විජය ප්‍රතිචාර දැක්වූයේ ඔවුන් දෑස දෙස එක එල්ලේ මොහොතක් බලා සිට මඳ සිනහවක් ද සමඟ හිස සැලීමකිනි. 

විජයගේ පෞද්ගලික අංගාරක්ෂකයින් වූ ඔවුහු උපතිස්සයන් විසින් බොහෝ ප්‍රවේශමෙන් තෝරාගන්නා ලද්දාහු ඉතාමත් විශ්වාස කටයුතු එමෙන්ම මනා ලෙස ආයුධ සහිත මෙන්ම ආයුධ රහිත සටනෙහිද පරිචයක් ඇත්තෝ වූහ. අභ්‍යන්තර බල අරගල කැළඹිලි ගහන මෙවන් අවිනිශ්චිත කාල වකවානුවක මෙවන් විශ්වාසනීය සේනාංකයක අත්‍යන්ත වැදගත් කම වචනයෙන් කිව නොහැකි තරම් බව විජය මනා කොට දත්තේය. 

නිරායුධ සටන් කලාව ඔවුන් ප්‍රගුණ කලේ ලක්දිවට පැමිණි පසුය. විජයගේ නිජබිම වූ බෙංගාලයෙහි ප්‍රචලිත නොවුනු එහි සමාරම්භකයෝ මෙන්ම හසල දැනුමැත්තෝ ද ලක්දිව යක්ඛ ගෝත්‍රිකයෝ වූහ.තම්මැන්නාපුර ප්‍රාදේශීය පාලක තනතුර හෙබවූ වාසුගී නම් යක්ඛ ගෝත්‍රික ප්‍රභූවරයාගේ එකම දියණිය වූ කුවණ්ණා ද යාන්තමට බහ තෝරන වියෙහි ඇද නොවැටී පිය නඟන්නට සමත්වූ වහාම තම පියාණන් පා සෙවණෙහි ඒ ශිල්පය මනාව උගත්තී නව යොවුන් වියට එළඹෙන කල්හි එමතුදු නොව සන්නද්ධ යුද සරඹයන්හිද මනා නිපුණත්වයක් පෑවාය. 

තම්මැන්නාව යනු ලක්දිවෙහි වයඹ දිග කෙලවරෙහි ජම්බුද්වීපය හා ඉතාම ආසන්නව නොගැඹුරු එමෙන්ම වසරේ බහුතර කාලයක් නිසල මුහුදු තීරයෙහි පිහිටි එපමණ ජනාකීර්ණ නොවූ නගරයකි.උත්තර ලංකාද්වීපයෙහි මතු නොව දකුණේ ප්‍රත්‍යාන්ත ගම් නියම්ගම් වලින් පවා ශක්ති සම්පන්න ගවයින් බැඳි ගැල් සිය දහස් ගණනින් වසර පුරා තම්මැන්නාව කරා ඇදුනේ ඒ එකල ලක්දිව විදේශයන් හා සමඟ වෙළඳාම් කටයුතු සිදුකල එකම මධ්‍යස්ථානය වූ බැවිනි. 

තම්මැන්නාවේ ප්‍රාදේශීය පාලක වරයා යනු ලංකා රාජ්‍යය වෙනුවෙන් තම්මැන්නාපුර වරායෙන් අපනයනය කෙරෙන වෙළඳ භාණ්ඩ සඳහා අය විය යුතු බදු අයකරගන්නා ප්‍රධාන බලධරයා ද විය. 

එදවස ලක් රජයට ආදායම් ලැබුනු ප්‍රධාන මාර්ගය තම්මැන්නාවෙන් ලැබුනු සුංගම් වීය. අවරදිග පාරාවෝවරුන්ගේ දේශයෙහි එනම් මිසරයෙහි සිට ඈත පෙරදිග චීනය බලා ඔලීව් තෙල්, සුවඳ කපුරු, විසිතුරු කැටයම් කල අවි ආයුධ ආදිය රැගෙන යාත්‍රා කල පියවර හාරසියයකට නොඅඩු දිගකින් යුක්තවූ පැතිරුනු මහත් රුවලින් යුතු මහා නෞකාවෝ තම්බපණ්ණි වරායෙහි දින කිහිපයක් නතරව අරාබි මුහුද හරහා සතියක් පමණ කල යාත්‍රාවෙහිදී සිඳීගිය වියළි ආහාර සහ පානීය ජලය ගබඩා යලි පුරවා ගත්හ. 

එළෙසම ලක්දිව එකල ඈත පෙරදිග චීනයෙහි පටන් අවරදිග යවන දේශය දක්වා ප්‍රකට වූයේ අගනා මුතු මැණික් සහ අලි ඇතුන් උපදිනා භූමියක් විලසිනි.කාර්තේජයෙහි අසහාය පාලකයා වූ හැනිබාලුන් රෝමයට එදිරිව කල ජයග්‍රාහී සංග්‍රාම වලදී ඇල්ප්ස් කඳුවැටිය තරණය කොට රෝමානුවන් සංත්‍රාසයට පත් කිරීමට යොදාගත් යුද ඇතුන් බහුතරයක් ලක්දිව තම්බපණ්ණියෙන් අපනයනය කලෝ වූහ. 

අගනුවර සිරීසවත්ථු පුරයෙන් උපතිස්ස නුවරටද ඉක්බිති අනුරාධපුරයටද වෙනස් වූ නමුදු ශත වර්ෂ පහකට ආසන්න කාලයකට පසු මාන්තොට ලක්දිව ප්‍රධාන වරාය ලෙස පිළිගැනෙන තෙක් තම්බපණ්ණිය එකම වෙලඳ මධ්‍යස්ථානය ලෙස තම ස්ථානය රැකගත්තී අනායාසයෙනි. 

මිසරයෝද, අරාබීහුද, සිරියානුවෝද, අවකන්නුද, පර්සියානුවෝද චීන්නුද වන් එදවස සත් සමුදුර තරණය කල සියලුම ජාතීන්ට අයත් නාවිකයෝ තම වෙළඳ බඩු භාරදියයුතු නියමිත වරායන් කරා ළඟාවීමට සුදුසු වෙලඳ සුළං හමනා තෙක් තම්බපණ්ණියෙහි විවේක සුවයෙන් පසුවූවෝය. සුකර වූ සුළඟ ඇරඹුනු වහාම රුවල් නංවා යතුරනු රිසිවූ හෙයින් ඔවුහු වරායෙන් බොහෝ සේ බැහැරව යාමෙහි මැළි වූවෝය. 

මේ අතර කිසිවකුත් නොදන්නා බසක් කතාකල වස්සාන සමය ගෙවීගොස් සැඩහිරු බබලන නිල්වන් අහස්කුස වන් නිල්පැහැති දෙනයනෙන් සහ සැඳෑ කල අස්තගතවන මලහිරුගේ රත්වන් පැහැයෙන් යුතු කෙස්සෙන්ද යුත් එලෙසම පැහැපත් සමකින් යුතුවූ ආරෝහ පරිනාහ දේහයෙන් යුක්ත වූ නැවියෝද නොවූයේම නොවේ. 

නියමිත දිශාවට හමනා සුළඟ බලාපොරොත්තුවෙන් නැවියන්හට වරාය අසලම රැඳී සිරීමට බලකරනු ලැබූයෙන් ඔවුනගේ සහසක් අවශ්‍යතාවන් මෙන්ම රුචි අරුචිකම් පියැවීම් වෙනුවෙන්ම කැපවුනු වෙලඳ පුරවරයක් තම්බපණ්ණි වරාය අවට බිහිවිය.රටතුලට පියවර දෙදහසකට ආසන්න දුරක් කාවැදුනු කලපුවක් වන් ආරක්ෂිත වරායට වයඹ දෙසින් පිහිටි අර්ධ කවාකාර හිරිගල් පරයක් ස්වාභාවික දිය කඩනයක්සේ ක්‍රියාකරමින් ආරක්ෂාව සැපයීය. අව අටවක අහසේ තල් ගස් කරටි ඉහලින් පායන අඩ සඳක හැඩය ගත් තම්බපණ්ණි වරායෙහි දකුණු අන්තයෙන් ඔබ්බට සමුද්‍ර තීරය ඔස්සේ වෙළඳ නගරය පිහිටියේය. 

හුදෙක් භාණ්ඩ ගොඩබෑමේ සහ පැටවීමේ පහසුව උදෙසාම කටුක ලවණාධික මුහුදු ජලයට සෑහෙන පමණ කාලයක් ඔරොත්තු දෙන කුඹුක්, වෑවරණ, කිරිඳිය වන් වනස්පතීන්ගේ පිටපළු වලින් නිමැවුනු දොළොසක් පමණවූ තොටමුණු ( Jetty ) සහ වියළි තල් අතු සෙවිල්ලා වරිච්චි බිත්තියෙන් හාත්පස අවුරා නිමැවුනු ගුදම් සහ ගබඩාවන් වරාය ආසන්නයේම ඉඳිකොට තිබිණි. ඒ හැර නොයෙක් විසිතුරු භාණ්ඩ වෙළඳාමෙහි යෙදෙන සල්පිල්, එමෙන්ම රෙදිපිළි සහ විවිධ ආයුධ වෙළඳ සැල්, ආහාර පාන මිළඳී ගත හැකි බොජුන් හල් සහ සුරාසැල් හැරුණු විට වරාය නගරයක අත්‍යාවශ්‍ය අංගයක් වූ පුරඟනන් වෙසෙනා කුඩා කුටි රාශියකින් ද තම්බපණ්ණී වෙළඳ නගරය සමන්විත වූයේය. 

ආයාත සහ නිර්යාත කෙරෙන භාණ්ඩ පිළිබඳව සටහනක් නඩත්තු කිරීම, ඒ ඒ භාණ්ඩ වර්ගය සහ ප්‍රමාණය අනුව නියමිත බදු අය කිරීම , වෙළඳ නගරයේ සල්පිල් සහ බොජුන් හල වලින් අයවිය යුතු බිම්බදු අය කිරීම මෙන්ම වෙළෙඳුන් සහ නගර වැසියන් අතර බොහෝ විටද වෙළෙඳුන් සහ වෙළෙඳුන් අතර කලාතුරකින්ද හට ගන්නා ආරවුල් ලක්දිවෙහි සම්මත නීතිය අනුව විසඳා යුක්තිය පිරිසිඳලීම සහ නීතිය කඩකලවුන්ට නියමිත දඬුවම් පැමිණවීමද රාෂ්ට්‍ර පාලකයාගේ පූර්ණ බලැති නියෝජිත ලෙස තම්බපණ්ණියෙහි ප්‍රාදේශීය පාලක තැනගේ වගකීම් සහ රාජකාරීන් අතර වූයේය. 

ඒ අනුව මේ භාරදූර වගකීම නිරත්තරයෙන් දරණු ලැබූයේ රාෂ්ට්‍රපාලකයාගේ ඉතාම විශ්වාසවන්තයකු විසිනි. ඒ සම්ප්‍රදාය අනුවම මෙදවස ඒ තනතුර දැරූ වාසුගී යනු ලක්දිව රාෂ්ට්‍ර පාලකයාගේ මල් බෑයාය. 

වසරකට තුන් වරක් පමණ තම්බපණ්ණියෙහි කටයුතු පිළිබඳ වාර්තා කිරීම, බදු ලේඛන සහ අයකොටගත් මුදල් සහ බදුවශයෙන් ලබාගත් භාණ්ඩ රජ භාණ්ඩාගාරයට භාරදීම උදෙසා වාසුගී ආයුධ සන්නද්ධ සේනාංකයක්ද කැටුව අගනුවරවූ සිරීසවත්ථු පුරය බලා පිටත් වන සම්ප්‍රදායක් පැවතුනි. මෙවර එම කාර්යය උදෙසා ඔහු පිටත්ව ගියේ දින තුනකට පෙර හිමිදිරියේය. මේ සම්පූර්ණ ගමනට දළ වශයෙන් දින අටළොසක් පමණ ගතවේ. ඒ කාලය තුල තම්බ පණ්ණියෙහි සියළු පාලන කටයුතු සිදු වූයේ කුවණ්ණාවන් අතිනි. 

වෙලඳ නගරයෙහි ඝෝෂාව ප්‍රාදේශීය පාලක ප්‍රාසාදයට ඇසුණේ වරින් වරය.ඉන්දීය සාගරය සිසාරා හමා එන සුළඟේ දිශාව වෙනස් වීමේ ප්‍රවනතාව අනුව වරෙක සිහින් මිමිනීමක් බවට පත්වන ඒ වරෙක ඝෝෂාවක් බවට පත්වෙයි. නගරයෙන් මඳක් දුරස්ථව ඉදිවී තිබුණු ප්‍රාසාදයෙහි පිටි අංගනයෙහි කෙටි සළුවක් ඒකාංශ කොට හැඳි කුවණ්ණාවෝ කඩු සරඹ පුහුණු වෙමින් උන්නීය. කුඩා අවධියේ සිටම සටන් කලාවන් මනාව ප්‍රගුණ කොට සිටි ඇයගේ සුනම්‍ය දේහය වරෙක දුනුදිය මුදාලූ කලෙක පරිදි එකලාව හැරෙමින් කරකැවෙමින් යලි දිග හැරෙමින් වරෙක දිළිසෙන කඩුපත හිසවටා කරකවමින් වරෙක උරහිස මතින් අර්ධ චක්‍රාකාරව විදුලියක් මෙන් ලෙල දෙවමින් සරඹ අභ්‍යාසයෙහි යෙදුනී කිසිදු වෙහෙසකින් හෝ ආයාසයකින් තොරවය. 

සමුදුර නිරතුරු නැඟෙන රැලි රත් පැහැගන්වමින් හිරු අවරදිගින් බැසයාමට ඉතා ආසන්නවූ බැවින් කුවණ්ණා සටන් අභ්‍යාස කරමින් හුන් පිටි අංගනය අඳුරේ ගිලීයන්නට ආරම්භ වෙමින් පැවතුනි. අංගනය පරිධියෙහි වූ කෙටි පවුර මත දැල්වූ විලක්කු රඳවමින් හුන් සේවිකාවක එක්වරම කාර්ය්‍ය නතරකොට කර ඔසවා බැලූයේ ප්‍රාසාදයට පිවිසෙන ප්‍රවේශ මාර්ගය දෙසින් කිසිවකු මහ හඬින් කතාකරනා ශබ්දයක් කණ වැකුනු හෙයිනි. 

කුවණ්ණාවෝද සරඹ මඳකට නතර කලේ ඒ හඬ පැමිණි දිශාව දෙසට තම අවධානය යොමු කළාය. 

" කුමරියනි..මට අවසරද?..." 

මඳ අඳුරේ මුහුණුවර හඳුනාගත නොහැකි වුවද කට හඬින් කුවණ්ණා ඔහු වහා හැඳින ගත්තීය. 

" ගුත්තික ඔබට අවසරයි..ඉදිරියට පැමිණෙනු මැන. " 

ගුත්තික යනු නගරාරක්ෂක සේනාංකයෙහි උප ප්‍රධානියාය. නගරාරක්ෂක ප්‍රධානියා වාසුගී සමඟ සිරීසවත්ථු පුරය බලා පිටත්ව ගිය බැවින් නගරාරක්ෂාවෙහි මෙන්ම සාමය රැකීමෙහිද සම්පූර්ණ වගකීම පැවරී තිබුණේ ගුත්තිකගේ කරමතය. 

" ඔව් ගුත්තික කියන්න. කිසියම් ප්‍රශ්නයක්ද?...." 

කඩුපත කොපුවේ ලා අසලවූ ආධාරකයක් මත රඳවමින් ගුත්තික ඉදිරියට ආ කුවණ්ණා මඳ සිහවක් පාමින් ඔහු දිරිමත් කළාය. 

" එසේය කුමරියනි...අද හිරු හැරී හෝරාවකින් පමණ බෙංගාලයෙන් පැමිණි නෞකාවක් වරායෙහි නැංගුරම් ලෑවා. ඉන් පැමිණි නාවිකයින් සත්සියයක පමණ පිරිසක් නගරයෙහි කලහකාරී ලෙස අනෙකුත් වෙළෙඳුන්ට සහ නගර වාසීනට මහත් හිරිහැරයක් වන පරිදි හැසිරෙනවා.ඒ බව ඔබ තුමියට දැනුම් දීමට සහ ඉදිරි ක්‍රියාමාර්ගයන් පිළිබඳව උපදෙස් ලබා ගැනීමටයි මා මෙහි පැමිණියේ... " 

නගරාරක්ෂක සේනාංකයෙගි පිරිස් බලය පිළිබඳව හොඳින් දැන සිටියද කුවණ්ණා යලි ගුත්තික අමතා ප්‍රශ්න කලාය. 

" ගුත්තික අපේ සේනාංකයෙහි සම්පූර්ණ භටයින් සංඛ්‍යාව කොපමණද? " 

" සක්‍රිය රාජකාරියෙහි යෙදී සිටිනුයේ සියයක් පමණි. විවේක සුවයෙන් පසුවන්නන් ද සේවයට කැඳවුවහොත් ඒත් ඒ උපරිම භටයින් දෙසිය පණහක් පමණයි කුමරියනි." 

ගුත්තික හිස පහත් කොටගත් වනම තෙපලේය. 

" මේ කළහකාරීන්...ඔවුන් බෙංගාලයෙන් පැමිණි බව ඔබ පැවසුවා..ඔවුන් වෙලඳාමට පැමිණියවුන්ද?....." 

" ඔවුන් වෙළෙඳුන් බවක් පෙනීයන්නේ නැහැ කුමරියනි. එහෙත් ඔවුන් අත බොහෝ මුදල් ගැවසෙන බව නම් මට දැනගන්නට ලැබුණා. " 

" හරි , තව එක ප්‍රශ්නයක්..ඔවුන් ආයුධ සන්නද්ධවද නගරයට පැමිණ සිටින්නේ?... 

" බහුතරයක් නිරායුධයි..එහෙත් කිහිප දෙනෙක් කඩු සහ කිරිච්චි දරාසිටින බව සැලයි.

හිස නවාගත්වනම කුවණ්ණා මඳ වේලාවක් සිතුවිල්ලෙහි නිමග්නව හුන්නාය. ඉනික්බිති හිස ඔසවා බැලූ ඕ කෙලින්ම ගුත්තිකගෙ දෑස් දෙස බලා පැහැදිලි සහ ස්ථිරසාර ස්වරයකින් කථා කලාය. 

" ගුත්තික..... අවම බලය භාවිතා කොට ඔවුන් සියළු දෙනා අත් අඩංගුවට ගෙන දඟ ගෙයි ලන්න. ඔවුන් විරුද්ධ වුවහොත් වුවහොත් සුදුසු පරිදි කටයුතු කිරීමට මම ඔබට පූර්ණ බලතල දෙමි.බලමු හෙට හිරු උදාවතෙක් දඟ ගෙයි තැපීමෙන් පසුව වත් ඔවුන්ට විදේශයකදී ආගන්තුකයින් වශයෙන් හැසිරිය යුතු විධිමත් අන්දම සිහියට ඒදෝ කියා...." 

කුවණ්නා සම දසන් දක්වා සුන්දර සිනහවක් පෑවාය. 


මතු සම්බන්ධයි...... 

Tuesday, May 14, 2013

186. කිරුළ සහ සෙනෙහස…..


මම කාලෙකට ඉස්සර ලිව්ව කතාවක් මේ. පොඩි කුමාරිහාමි වියුණුවේ පලවූ විජය සහ කුවේණි කතාවට මගේ ඌණ පූර්ණය විදිහට.ඒ කතාව මම එදා ඉවර කලේ නෑ. තව දිගට ලියන්ට ඉඩ තියාගෙන කතාව නතර කලා.මේ ඒ කතාවට සංශෝධන කීපයක් එකතු කරල අලුතෙන් ලියපු කතාව.. 

අපේ ඉතිහාසයෙ පුරුෂයින් සම්බන්ධව බොහෝ දුරට අගතිගාමී විදිහටයි ලියවිල තියෙන්නෙ කියලයි මට හිතෙන්නෙ. මේ විජයගෙ කතාව මට හිතෙන විදිහට. 

පොඩ්ඩි..බොහොම ස්තූතියි. ඔයාගෙ වියුණුවෙ ලියාපු සටහන් වලට ප්‍රතිචාර විදිහට තමයි මා අතින් බොහොමයක් රසවත් කතා ලියවුනේ. වියුණුවක් ලියන්නට පටන් ගත් මුල්ම කාලෙ ඒ සටහන් වලට ලැබුණු හෘදයාංගම ප්‍රතිචාර මෙතෙක් දුරක් ආ ගමනට සවිමත් අත්වැලක්වූ බව අනිවාර්යයෙන් කියන්නම ඕන...ආයෙමත් ස්තූතියි පොඩ්ඩි...:) 

****************************************************

මධ්‍යම රාත්‍රිය ඉකුත්ව හෝරාවකට ද මඳක් අධික කාලයක් ගෙවී ගොස් තිබුණද, ලංකාපුරයේ රාජ මාළිගයේ ඇතුළු ගැබෙහි කැකුණ තෙල් විලක්කු දැල්වී තිබුනේ රාජ සභාව තවමත් රැස්ව ඇති බැවිනි. 

ආරෝහ පරිණාග දේහයෙන් යුතු පුරුෂයකු දෑත විදාහල කල්හි අතැඟිලි අතර වූ දුර ප්‍රමාණයෙන් තුනෙන් එකක් පමණ දිගකින් සහ ඉන් තවත් තුනෙන් එකක් පමණ උසකින් යුතු වූ හුණුගල් සහ බොරළු මුසු අඳුරු කසාවන් පාෂාණ පදම් කොටගත් හුඹස් මැට්ටෙන් කුස්තුර කවා බැඳගත් මාළියගෙහි රළු බිත්ති හුණු කපරාරුවෙන් ආවරණය නොවීය. 

තවමත් ළදරු අවදියෙහි පසුවන ලංකා රාජ්‍යයෙහි චිරස්ථිතිය උදෙසා ඉටු කල යුතු වෙනත් ඉතා වැදගත් බොහෝ කාර්යයන් අතරේ සුව පහසු ශ්‍රී විභූතියෙන් පිරි මාළිගයක් ඉදිකිරීම විජයගේ සිතෙහි කිසිවිටෙක ප්‍රමුඛස්ථානයක් නොගත්තේය. 

පිටිනුවර ලෝකුරුවන් විසින් කිහිරඟුරු මතුයෙහි තලා නිමැවුනු අයෝමය විලක්කු රඳවන අඳුරුවන් බිත්තියෙහි පියවර සොළොසකට ආසන්නවූ පරතරයෙන් සවිකොට තිබූයේ පුරුෂයකු අත පොවන මානයේය. ඒ උස ප්‍රමාණය එසේ වූ හේතුව ඔබට පැහැදිලි ඇතැයි හඟිමි මා ප්‍රිය සහෘදය / සහෘදිනිය. 

ඒ අයෝමය ධාරකයන්හි රැඳි විලක්කු වලින් නික්මුණු මලානික ආලෝකය විසල් රාජ සභාවෙහි දසත පැතිරගත් අඳුරු සෙවණැළි එක පැහැර දුරු කිරීමට සමත් වූයේ නොවේ. 

එහෙත් විජය හෝ සොළොස් දෙනෙකුගෙන් සමන්විත ඔහුගේ අමාත්‍ය මණ්ඩලයේ අනෙකුත් සාමාජිකයින් හෝ ඒ පිළිබඳව කිසිදු තැකීමෙක් නොකළෝය.සන්ධ්‍යා සමයෙහි හිරු බැස යාමටද ප්‍රථම රැස් වූ රජ සභාව තීරණයකට එළඹිය නොහැකිව මේ ගත කරනුයේ දසවන හෝ එකොළොස්වන හෝරාව විය යුතුය. තීරණයකට එළඹීම උගහට වූයේ හුදෙක් අමාත්‍ය මණ්ඩකයේ බහුතර මතයට එකඟ වීමට විජය ප්‍රතික්ෂේප කිරීම හේතුකොටගෙනය. 

සිහසුන් අරා හුන් විජයගේ ගතට දැනුනේ අපමණ විඩාවකි. ඊටත් වඩා ඔහුගේ සිත පිරී තිබුනේ තියුණු සැතකින් ඇඟ මස කීතු කීතු ඉරාලන්නාක් මෙන් වූ දැරිය නොහැකි වේදනාවකිනි. 

" රජතුමනි, මේ කාරණය පිළිබඳව අප හෙට පහන් වන තුරු සාකච්ඡා කලද කිසිම පලක් නොවන බව තව හෝරා කිහිපයකින් හිරු පායා එන්නේ යම්සේද එලෙසම ස්ථිරයි. එලෙසම පැහැදිලියි. අපගේ තීරණය කිසිම ලෙසකින් වෙනස් නොවන බව නැවත වරක් මතක් කිරීමට මට අවසර. ඔබතුමා අනිවාර්යයෙන් මදුරාපුර රජ කුමරිය හා විවාහ විය යුතුමයි," 

හිස ඔසවා අනුරාධ දෙස තම විඩාබර දෑස යොමුකල විජය නැවත වරක් හිස පහත් කොට රාජත්වය සංකේතවත් කල පේරැස් මුද්ද මැදගිල්ලේ පැළඳි සුරතින් සිය පුළුල් නළලත සෙමෙන් පිරිමදින්නට විය. 

සොළොස් දෙනෙක් ගෙන් සමන්විත ඇමති මණ්ඩලයේ විජයගේ කුළුපඟම ඇමති වරයා වූ උපතිස්ස දෙස විජය අසරණ වූ දෑසින් යොමු කල බැල්මට උපතිස්ස පිළිතුරු දුන්නේ තොල් තදින් පියාගත් මුවින් යුතුව සෙමින් හිස දෙපසට සැලීමෙනි. 

කිසිදු බලාපොරොත්තුවක් ඉතිරිව නැති බව පසක් කල විජය සිහසුනෙහි සෘජුව හිඳ ආයාසයෙන් මවාගත් ගැඹුරු හඬකින් රාජ සභාව ඇමතීය. 

" මා හිතවත් ඇමති වරුනි, රටේ ජාතියේ යහපත පිණිස හිතට කිසිසේත් එකඟ නොවන, එසේම හෘදය සාක්ෂිය කිසිසේත් අනුමත නොකරන තීරණ ගතයුතු වන බව මාපිය සිංහබාහු රජතුමා වරක් පැවසූ බව මේ මොහොතේ මා සිහියට නැඟේ. එහෙත් එය මෙතරම් අසීරු බව මම සිහිනෙනුදු නොසිතුවෙමි.වන්නාටය, සියල්ල සිදු වන්නේ දෛවයේ නැතහොත් ඉරණමේ ලියවී ඇති පරිදිය. මළ පුඩුවක බැඳුනු මුව පොව්වකු වරපටින් මිදෙනු උදෙසා කොපමණ තැත් දැරුවද උහු තවත් තදින් පාශයෙහි බඳෙනු විනා කිසිදු ගැලවුමක් නැති. මේ මගේ කර්මය නම් ඊට එරෙහිව මා කුමක් කරන්නද? හිස නමා මම එය පිළිගනිමි. රාජසභාවේ කැමැත්ත පරිදි කටයුතු කිරීමට මම තීරණය කලෙමි. බහුතර කැමැත්ත පරිදි කටයුතු කිරීමට බහුතරයට හිස නැමීමට මම තීරණය කළෙමි.ඔබ සැමට ස්තූතියි....මාගේ ඇමතිවරුනි," 

සිහසුනෙහි දෙපස දෑත් රඳවාගැන්ම උදෙසා රන්කම් කොට නිමැවූ සිහ හිස් මත දෑත වාරුකොට නැඟීසිටි විජය හිඳ සිටි අසුන් වලින් එකෙණෙහිම නැඟීසිට හිස් නවාගත්වනම පසුවූ ඇමති මඬුල්ල දෙස නොබලාම, ආයාසයෙන් මවාගත් ගාම්භීර විලාශයකින් රාජසභාවෙන් පිට විය. 

පිටවන අතර ඔහුට පමණක් පෙනෙන අයුරු විජය සුරතින් කල සංඥාව අනුව, තැනින් තැන කාණ්ඩ වශයෙන් එකතුව පහත් හඬින් මන්ත්‍රණයෙහි යෙදෙන අනෙකුත් ඇමතිවරුන් දෙස නෙත් කොණින් නීරීක්ෂනය කල උපතිස්ස ඔවුන් කිසිවකුගේ හෝ අවධානය තමා හෝ විජය කෙරෙහි යොමුව නොමැතිබව තිර කොට ගත්තේ කිසිදු හදිසියක් නොවූ සැහැල්ලු පියවරින් රාජසභාවෙන් පිටවූයේ මාළිගයේ නැගෙනහිර අංගනයේ බිහිදොර අබියස දී විජයට එකතු වූයේය. 

සඳරැසින් නැහැවීගිය රජ මාලිග අංගනයේ නැගෙනහිර අන්තයේ පිහිටි විසල් නුග රුක සෙවනේ පනවා තිබූ ගල් අසුනකට විජය බරවූයේ දිගු සුසුමක් හෙළමිනි. තමන් අසලම අසුන් ගන්නා ලෙස උපතිස්සට සන් කල ඉක්බිති මෙතෙක් එකත්පස්ව පසෙක සිටි හිතවත් ඇමතිවරයාද අසුන් ගති. 

" උපතිස්ස.....මම තීරණයක් ගත්ත.....ඒක හරි, ඒත් ඒක මගෙ හදවතට එකඟව ගත්තු තීරනයක් නෙවෙයි කොහෙත්ම.......උපතිස්සත් ඒක හොඳාකාරවම දන්නව.....දැන් මම ලෑස්තිවෙන්නෙ ඒ තීරණය වෙනස් කරන්න. මට විකල්ප දෙකක් තියනව.එක..... කුවණ්ණා අවාහ කරගෙන රාජසභාව විසුරුවල ඇරල රට පාලනය කරන්න.දෙක..... රජකම අත ඇරල කුවණ්ණයි දරුවොයි එක්ක වන ගත වෙන්න. " 

" හරි දැන් මට උපතිස්ස කියන්න මම මේ විකල්ප දෙකෙන් එකක් අනුගමනය නොකල යුත්තේ මන්ද? අද මේ මොහොතේ මම තීරණයක් ගන්න ඕන.....ඒ නිසා කතාකරන්න උපතිස්ස , කතාකරන්න," 

" රජතුමනි, ලාට රට සිට පිටුවහලුන් සේ නැව් නැඟි දා සිට ඔබගේ සෙවණැල්ලසේ උන් මිතුරා මමයි. තම්බපණ්ණියෙන් ගොඩ බැස කුවණ්ණා කුමරිය මුලින්ම හමු වනවිට ඔබ අසල සිටියේ මමයි. යක්ෂ ගෝත්‍රිකයන් පරදවා ලංකාවම යටත් කරගන්නවිට ඔබ අසල අවි දරා සිටියේ මමයි. එසේම මේ මුළු මහත් ලංකා පුරයේම ඔබගේ හොඳම මිතුරාද මමයි. එහෙත් සමාවන්න, මේ අවස්ථාවේ මට ඔබට උපදෙස් දීමට සිදුවී ඇත්තේ ඔබේ මිතුරා නොව ඔබගේ ජේෂ්ඨතම ඇමතිවරයා ලෙසය. ඒ පිළිබඳව පලමුව සමාව අයදිමි.

විජය නොඉවසිල්ලෙන් අතින් සන්කලේ ඒ පිළිබඳව ගැටළුවක් නැතිබවය. 

විජයගේ වේදනා බර දෑස දෙස එක එල්ලේ බැලීමේ අපහසුව නිසාම උපතිස්ස කතාකලේ සුදුවැලි තලය මත සඳ කිරණ අඳිනා සිතුවම් දෙස නෙත් යොමාගෙනය. 

" රජතුමනි, ඔබගේ විකල්ප දෙකම එක සේ හානිකර බව පහදාදීමට මට අවසර. පළමුවන විකල්පය- ඔබ කුවණ්ණා අවාහ කරගෙන රාජ සභාව විසුරුවා හැර රට පාලනය කිරීම වර්තමාන දේශපාලන තත්වය අනුව කිසිසේත් ප්‍රායෝගික නොවන්නේය.. ඔබතුමා දන්නව අපේ ප්‍රත්‍යන්ත ජනපද වලට විටින්විට යක්ෂ ගෝත්‍රිකයො තවමත් ප්‍රහාර එල්ල කරන බව. ඔවුන් මැඩ පැවැත්වීමට අනිවාර්යයෙන්ම අපිට රාජ සභාවේ ඇමති වරුන්ගේ සේනා බලය අත්‍යාවශ්‍යයයි.ඔබ තුමාට මම අමුතුවෙන් කියන්ට අවශ්‍ය නැහැ, කෙළින්ම ඔබ යටතේ ඉන්නෙ සුළු පිරිසක් පමනක් බව. බහුතර භට පිරිසක් තවම පිළිපදින්නෙ ඔවුන් මෙරටට රැගෙන ආ ඇමතිවරුන්ගේ අණ. ඒ නිසා කොහොමත් ඔබ තුමා අසීරු තත්වයකට පත්වෙන එක වලක්වන්ටම බැහැ. ඊට අමතරව ඔබ ක්ෂත්‍රිය කුමරියක අවාහ කර නොගතහොත් නිළ වශයෙන් ඔබට මෞලි මංගල්‍යයක් පැවත්විය නොහැකියි.......එහි අනිවාර්‍ය ඊළඟ ප්‍රතිඵලය ලංකා රාජ්‍යය ඉන්දියාවේ රජවරුන් පිළිනොගැනීමයි. අමතක කරන්න එපා ඉන්දියාවේ රාජසභා බොහොමයක තවම බලය හිමි බ්‍රාහ්මණ වංශිකයින්ට බව. ඔබ යක්ෂ ගෝත්‍රික කුමරියක විවාහකර ගතහොත් ඔවුන් කිසි දිනක ඔබට සමාවක් දෙන එකක් නෑ. ලංකා රාජ්‍යය තවම ළදරු අවස්ථාවේ පවතින්නක්. මව් රටේ ආධාර නොමැතිව අපට රාජ්‍යය පවත්වාගත් නොහැකි බව සක් සුදක් සේ පැහැදිළියි රජතුමනි." 

මොහොතක් නිහඬ වූ උපතිස්ස දෙනෙත් ඔසවා විජයගේ මුහුණ බැලීය. 

තමන්ගේ අසරණ බව හැඟවීමට අත්ල පිටතට පිහිටන පරිදි දෑත විදහාලූ විජය " හරි ඔය කරුණු ඔක්කොම හරි, උපතිස්ස, දැන් දෙවෙනි විකල්පය.......මම කුවණ්ණා විවාහ කරගෙන රාජත්වය අත ඇරල වන ගත උනොත්............." උපතිස්සගේ දෑස දෙස එක එල්ලේ බලමින් විමසීය. 

" වඩාත් භයානක විකල්පය ඒකයි රජතුමනි......එහෙම උනොත් ඔබ සිව් දෙනාගෙම ජීවිත පවා දැඩි අනතුරකට පත්වෙනවා. ඔබ දන්නවා කැළෑ ගතව සිටින යක්ෂ ගෝත්‍රිකයින් ඔබ සමඟ,ඔබටත් වඩා කුමරිය සමඟ සිටින්නේ බද්ධ වෛරයකින් බව. ඔබ සියළුදෙන ඔවුන් අතින් මරණයට පත් වනවා සිකුරුයි වැඩි කලක් ගත නොවී..." 

" කමක් නෑ උපතිස්ස....ජීවිත කාළයම සිතින් වද විඳිමින් මැරි මැරී උපදිනවාට වඩා මට රුචියි කුවණ්ණයි දරු දෙන්නයි එක්ක සුළු කාලයක් පවා සිත සතුටින් ගත කොට මිය යාම....මම තීරණය කලා හෙට අළුයමට පෙර කුවණ්නයි දරු දෙදෙනයි සමඟ වනගත වෙන්න." 

අසුනින් නැඟී සිටි උපතිස්ස වහා පහත්වී රජුට වැඳ වැටුනේය. 

" රජ තුමනි, මෙතෙක් මම කතාකලේ ඔබගේ ප්‍රධාන ඇමති වරයා ලෙසයි. දැන් මම කතා කරන්නේ ඔබගේ හොඳම මිතුරා ලෙසයි. ඔබගේ තීරණය එයනම් කමෙක් නෑ. මමත් ඔබ සමඟ වනගත වීමට එනවා........ඔබට හිමිවන ඕනෑම ඉරණමක් මටද හිමි වේවා......" 

කඳුළු පිරුනු දෑසින් උපතිස්සගේ දසරුවෙන් අල්ලා ඔහු නැඟිටුවාගත් විජය ඔහු වැළඳ ගත්තේය. 

" උපතිස්ස ඔබ මෙය කලයුතු නෑ උපතිස්ස.මහ ඇමති වශයෙන් ඔබයි ඊළඟට රජකමට පත්විය යුත්තා. ඔබ මා සමඟ පැමිණීමට අවශ්‍ය නෑ සබඳ," 

" නෑ රජතුමනි ඔබ මේ පියවර ගන්නේ ඔබෙ හෘදය සාක්ෂිය සමඟ ජීවිත කාලයක් සටන් කිරීමට ඔබට නොහැකි නිසා සේම මමද මේ පියවර ගන්නේ එම හේතුව නිසාමයි.මටත් මගේ හෘදය සාක්ෂියට විරුද්ධ විය නොහැකියි." 

අංගනය වටා බැඳුනු බඹ දෙකකට ආසන්න උසකින් යුතු ගල් පවුරේ පොළව මට්ටමේ සිට බඹයකට ආසන්න උසෙකින් වූයේ පවුර නිම වූ ඔප මට්ටම් කල ගල් කුට්ටි අතර වූ කුස්තුරයන්ට රිංගවූ අයෝමය මුදුය. ඒ සෑම මුදුවකම රැඳුනේ කැකුණ තෙලින් දැල්වෙනා විලක්කුවකි. පවුරෙහි ඇතුළු පස වූ සලපතල මළුවක් බඳු වූ පෙත් මඟෙහි රාත්‍රි කාලය පුරාම නිරතුරු සක්මනෙහි යෙදෙනා ආරක්ෂක මුර භටයින් වූ නමුදු උපතිස්ස බිහිදොර පියමං කරන්නාහා සමඟම ඔවුන්ගේ නායක විධායක සෙබළා හට පහත් හඬින් කල විධානයක් අනුව මේ වන විට ඔවුහු සියල්ලෝම මාලිගා අංගනයෙන් ඉවත්ව ගොස් සිටි බැවින් පහත් හඬින් මන්තරණයේ යෙදීමක් කිසිසේත්ම අවශ්‍ය නොවූ නමුදු ඔවුහු දෙදෙන කථා කලේ මන්ද ස්වරයකිණි. 

රාෂ්ට්‍ර පාලක රජු සහ ඔහුගේ මහ ඇමති අතර රජ මාළිගාංගනයේ වන සතර කන් මන්ත්‍රණයක් පවා මුර භටයින් ඉවත් කොට කිසියම් මංපැහැරීමක් සැලසුම් කිරීමෙහි යෙදෙනා සොර දෙටුවන් දෙදෙනෙකු මෙන් පහත් හඬින් කලයුතු වීම එදවස ලංකාපුරයෙහි පැවැති අවිනිශ්චිත දේශපාලන තත්වය මොනවට කියා පෑවේය. 

එසේමය. එදවස ලංකාපුරයෙහි පැවතියේ එපමණ අවිනිශ්චිත සහ කිසිදු අයුරකිනුදු පුරෝකථනය කල නොහැකි දේශපාලන තත්වයකි. විජය තම පෞරුෂයෙහි බල මහිමයෙන් රාෂ්ඨ්‍ර පාලකයා වශයෙන් සිහසුන් අරා කටයුතු කලද ඒ කොයි මොහොතේ මහා චන්ඩ මාරුතයකින් ඇද වැටෙන යෝධ වනස්පතියක් මෙන් රාජ්‍ය බලය අහිමිවේදැයි නිරතුරු චකිතයකින් ද පෙලෙමිනි. 

ඊට ප්‍රධාන හේතුව වූයේ විජය සමඟ පැමිණි සෙනෙවියන්, එනම් වර්තමාන රාජ සභාවෙහි ඇමති වරුන් ස්වකීය අණ පමණක් පිළිපදින සේනාවන් තවමත් පවත්වාගෙන යාමය.එසේම ඔහු මෙතෙක් නිල වශයෙන් මෞලි මංගල්‍යයක් පවත්වා චාරිත්‍රානුකූලව කිරුළු පැළඳීමට අපොහොසත් වීමද ඇමතිවරුන්ගේ අත්තනෝමතික ක්‍රියාවන්ට දැඩිව හේතු වූයේය. 

" එසේනම් උපතිස්ස මම ඔබේ තීරණයට ගරු කරනවා. තව හරියටම හෝරා දෙකකින් රාජ අංගනයේ උතුරු පස බිහි දොර අසලදී හමුවෙමු. අසුන් තිදෙනෙක්, අවශ්‍ය ආයුධ සහ ආහාර ස්වල්පයක් පමණක් රැගෙන එන්න." 

" එසේය රජතුමනි," 

" මම තව දුරටත් රජතුමා නෙවෙයි උපතිස්ස. මේ කෙහෙල්මල් රජකමට පත්වීමට පෙර මට ආමන්ත්‍රනය කල පරිදි විජය කියා මා අමතන්න," 

පියවරක් ඉදිරියට තැබූ විජය දැඩි සෙනෙහසින් උපතිස්ස වැලඳගත්තේය. 

" උපතිස්ස වසර ගනනකින් නොදැනුනු සැහැල්ලුවක් මට දැනෙනවා උපතිස්ස......ජීවිතේ ඉදිරියට ගත කරන්ට තියෙන්නෙ කොපමණ කෙටි කාලයක් වුවත් මේ සැහැල්ලුව ඒකට හිලව්වට හොඳටම වටිනවා. හරි හරියටම හෝරා දෙකකින් හමු වෙමු. කුවණ්ණාට මේ සුබ ආරංචිය දැනුම් දෙනතෙක් මට ඉවසුමක් නෑ." 

මෙසේ පැවසූ විජය රජෙකු ලෙස නොව ආදරණීය පෙම්වතකු, සදාදර ස්වාමියකු ලෙස කුවණ්නා කුමරිය හමුවීමට ගියේ සැහැල්ලු උද්දාමයට පත් වූ සිතකිනි. 


මතු සම්බන්ධයි...... 

Thursday, May 9, 2013

185. විමලෙගෙ වාං පතුල් කතාව - ලොක්කිගෙ මොරෝම ගති, ඉම්රාන් ඛාන්ගේ බත් ඉවීම සහ වැසි මැවිසුරුගේ අනපේක්ෂිත ස්නානය



ඔන්න බලමුකො ඒකෙත් හැටි සුබාව..ගිය පාර කතාව පටං ගත්තෙ දෑන් ඔන්න එහෙනං ගුණතිලකයගෙ දෙවෙනි කතාව කියලයි. අන්තිමට රටේ නැති වැල් වටාරං පල් හෑලි කියෙව්ව මිසක කියන්ට ආපු එක කිව්වෙ නෑ නෙව... 

හරි එහෙනං ඔන්න කියන්ට ආපු කතාව...මම කිව්වනෙ ගුණතිලකය මහ මදාවියයි කියල. අර ගං ගොඩේ කෙල්ලොංට වතුර විදින කේස් එකත් කිව්වනෙ නේද?...හරි...ඔය ගමේ හරි හරියට හිටිය මුස්ලිම් සිංහල දෙගොල්ල. ඒ කාලෙ හලාල් ගැන ප්‍රශ්නයක් වත් නිකාබ් එක ගැන ප්‍රශ්නයක්වත් කාටවත්ම තිබුණෙ නෑනෙ. දෙගොල්ල බොහොම සාමයෙං සහයෝගයෙං හිටිය. 

ඔය ගම්මානෙං හුඟක් මුස්ලිම් ඒ වගේම සිංහල කොල්ලො අපෙ කෑම්ප් එකේ චෙක් රෝලෙ වැඩට ආව. ( චෙක් රෝල කියන්නෙ අනියම් සේවකයින්ගෙ නාම ලේඛණය ) එහෙම ආපු එකෙක් තමයි අර ගෝණට වෙඩි තිබ්බෙ…….මුර්තලා...

මුර්තලාගෙ මස්සිනත් අපි ළඟ වැඩ කලා. බොහොම අහිංසක හාදය...ඉම්රාන් නම. නැචුරලි අපි ඉතිං කිව්වෙ ඉම්රාන් ඛාන් කියලයි.ඔය සුප්‍රසිද්ධ පුද්ගලයින්ගෙ නම් දරුවන්ට දාන එක සමහර දෙමව්පියන්ගෙ සිරිතක්. විශේෂයෙන්ම තමන් ඉතාම ප්‍රිය කරන ගෞරව කරන පුද්ගලයින්ගෙ නම්...හැබැයි මම මේ කියන ඉම්රාන්ට නම වැටිල තියෙන්නෙ නම් එහෙම වෙන්න බෑ. මොකද ඉම්රාන් ඛාන් ප්‍රසිද්ධ වෙනකොට මම මේ කියන ඉම්රාන් ඉපදිලත් සෑහෙන කල් කිසිම සැකයක් නැතුව.ජෝසප් ස්ටාලින් කියන්නෙ ගුරු සංගම් නායකයෙක්.. ඒ වගේම බ්‍රැඩ්මන් වීරකෝන් ඇවිල්ල අග්‍රාමාත්‍යවරුන් හත් දෙනෙකුගෙ ලේකම් හැටියට සේවය කරපු පරිපාලන නිලධාරියෙක්. මේ දෙන්නගෙ එකම සමානකම මම හිතන්නෙ දෙන්නම මනුස්සයො වීම ඇරුණු කොට ප්‍රසිද්ධ පුද්ගලයින්ගෙ නම් දැරීම.හරි නම් ගැන දැනට ඔය ඇති. පස්සෙ වෙලාවක වෙනම සටහනකින් ඒ ගැන සවිස්තරව කතා කරමු. විවිධාකාර නම් ගැන. ගැහැණු මිනිස්සුංගෙ නම්, ස්ථාන නම්, ග්‍රාම නම් ගැන බොහොම රසවත් දේවල් මහ හුඟක් තියනව කතා කොරන්ට...හෙහ්, හෙහ්, 

ඉම්රාන් ගැන කියාගෙන ආව නිසා මනුස්සය ගැන එක කතාවක් විතරක් කියන්නං දැනට... හොඳද? අපේ චමරි ගැන මම කලිං කියල තියනවනෙ..චමරියෙ උයන්ට හිටියෙ චෙක් රෝලෙ සේවකයො. ඒ කියන්නෙ අනියම් කම්කරුවො. ඒ දවස්වල කම්කරු රෙගුලාසි අනුව දින 180 වඩා එක දිගට අනියම් පදනම මත කම්කරුවෙක් සේවයේ යොදවා ගන්ට බෑ.අනියම් කියන වචනෙ තේරුමම හදිසි අවශ්‍යතාවයකට යොදාගැනීම කියන එකනෙ. එතකොට දින 180 වගෙ කාලයක් ( මාස 6 ) එක දිගට සේවයෙ යොදවා ගත්තොත් අනියම් පදනම බිඳ වැටෙනව කියන තර්කය මත තමයි ඔය රෙගුලාසිය ඇවිත් තියෙන්නෙ. එක්කො ඒ මනුස්සයගෙ සේවය ස්තිර කරන්ට ඕන එහෙම නැත්නම් සේවය නතර කරන්ට ඕන. 

ඔය රෙගුලාසියෙං ගැලවෙන්ට කලේ මෙහෙමයි. චෙක් රෝලෙ සේවකයො මාස 6 ක් සම්පූර්ණවෙන්ට දවසකට දෙහෙකට ඉස්සරවෙලා චෙක් රෝලෙං අයිං කරනව සති දෙහෙකට නැත්තං මාසෙකට. ඒ කාලෙ මාස 6 කට පස්සෙ ඔන්න මිනිස්සු ගෙවල් වලට ගිහිල්ල එහෙම එනව. සර්විස් කඩනව කියලයි ඒකට කිව්වෙ. රෙගියුලර් ගෝලය එහෙම සර්විස් කඩල ගෙදර ගිහාම චෙක් රෝලෙං වෙන කවුරු හරි දෙනව ඉවුම් පිහුම් වලට තාවකාලිකව.ඔය එහෙම එන බොහොමයක් එවුංට උයන්ට බෑ. ඉතිං ගෝලයටත් එක්ක කන්ට අපි තමයි උයන්නෙ...හෙහ්, හෙහ්, 

අපෙ හිටිය හුඟක් එවුන්ට උයන්ට පුළුවෙනි යස අගේට.උදේ අටට වැඩට ගිහිල්ල හවස හතරට ඇරිල ගෙදර යන රස්සාවක් නැතුව ජීවිතේ ටික කාලයක් හරි කඳවුරක එහෙම නැත්තං නිල නිවාසයක දුර බැහැර පලාතක ජීවිතේ ගෙවන එකේ තියන මිල කල නොහැකි වාසි වලින් එකක් තමයි ඔය ඉවුම් පිහුම් වලට පුරුදු වෙන එක. උපන්දින මතක සමරුම් කතාවෙ සෝමෙ අයිය මතකයි නේද? 

හිරයක් ගත්තහම ඔය ඉවුං පිහුං හැකියාව බොහ්හෝම්ම පොරෝජං වෙනව. අපේ මේ වනිතා පක්සෙ බොහොම උජාරුවට පාරම් බාන එකක් නෙව කටට රහට උයන්ට පුලුවනිය කියන එක ( හරි, හරි ලමයි...කාම් ඩවුං කාම් ඩවුං..හැමෝම ගැන නෙවෙයි මම මේ කියන්නෙ...හොඳද?...යාන්තමට පරිප්පු හොද්දක්, කොල මැල්ලුමක්, හාල් මැස්සං බැදුමක් වත් හදාගන්ට පුලුවන් අංගනාවියො ගැනයි මම මේ කියන්නෙ..එහෙම ආඩම්බර වෙන්ටත් කලිං උයන්ට දැනගෙන ඉන්ට එපාය ) 

අපෙ උන්නැහේ නං අන්න ඒ අතිං මල් මසුරං..කියලා වැඩක් නෑ..කියන්ට තියන දේ කියනව ආය නෑ අම්මට අප්පට උනත්...ආය ලබු කියන එව්ව පෙන්නන්ට බෑ. ගලේමයි ගහන්නෙ...ගලේමයි ගහන්නෙ....අපි ඉස් ඉස්සෙල්ලාම හම්බ වෙලා දවස් දෙකයි ඔන්න ගියේ...වනිතාවන්ට තේරෙනවනෙ ගොනා සහ පොල් පැල සීන් එක..උන්දැ කෙලිම්ම කිව්ව මට...ආය මොකවත් නෑ..හොම්බට දමල ඇන්නැහෙ.. 

" මේ මට උයන්ට නම් බෑ ඔන්න.මම දන්නෙ නෑ උයන්ට..ඒ නිසා එක්කො ඔයාට උයන්ට වෙයි නැත්තං තුං වේලම කඩෙං තමයි..." 

හෙහ්, හෙහ්,අන්න එහෙමයි උන්දැ...මම ඉතිං එතනම... මට මතක විදිහට බස් එකේදි ඔය සීන් එක උනේ...නැඟිට්ටා. සීරුවෙං ඉඳගෙන ගැහුව සැලියුට් එකක් නලලෙ පාර තිබ්බ සුමානයක් විතර.. 

" බිය නොවන්න මැතිණියනි..මම වනාහී සූප වේදයෙහි කෙළ පැමිණියෙක්මි.එබැවින් නොබා හිඳිනු මැනවි. " අම්මප මල් කඩන කාලෙ අපිත් කරන දේවල්...හෙහ්, හෙහ්, 

අපේ ඔය පේම පුරානෙදි ආව බාදා වැටකොටු දුස්ට චරිත නෑ සියල්ල සතුටිං හමාර උනේ එවුන්දැගෙ ඔය මොරෝම ගතිය නිසයි කියලයි පාරවිලයනයෙදි ( අඩේ In retrospect කියන වචනෙ සිංහලෙං පාරවිලයනය නේද?..හරි මොකක් හරි කමක් නෑ..කොහොමත් ඊට කිට්ටුවෙං යන වචනයක්නෙ...දැනට ඔය මදැයි...හරිම වචනෙ දන්න කස්ටිය ඒක මෙතෙන්ට දාල කියවන්ට...මටත් කියන්ට හොඳේ තරහ නැතුව... ) පාරවිලයනයෙදි හෝ ඊට සමාන අර අනික් වචනෙදි මට හිතෙන්නෙ. 

මොකද දැන් මේ වාං පතුල් ගැන කතාව ලියන්ට පටං ගත්ත වගෙ තමයි මයෙ හැම වැඩක්ම.ටිකක් දුර ඔන්න යනකොට අරමුන වෙනස් වෙනව..එක පාරටම අංසක අනූවක් හැරෙන එක මට නතිං..ඒක බොහොම නෝමල්..අංසක තුංසිය හැටකිං හැරෙනව ඔන්න හිටපු ගමං...( හරි නේද අංසක ගාන?..හරි තුංසිය හැට හරි කීය හරි තනිකර ආපහුම හැරෙන්නෙ..අන්න ඒ අංසක ගාන ගැනයි මම මේ කියන්නෙ කීය හරි ) 

ඉතිං අපෙ පේම පුරාණෙදිත් ඔය එක එක උදළු, බාදක, හරස් බැමි ආහම මට කීප පාරක්ම හිතුන අර කීයදෝ අංසක ගානිං හැරිල ආපු අතක් බලාගෙන යන්ට. අපෙ උන්දැ කොහෙද හෙහ්, හෙහ්..ඔවුන්දැගෙ මොක නැතත් එකක් තියනව...හොඳක් තියෙනෝනං ඒක කියන්ට එපාය. අපෙ උන්දැට තියනව බොහොම තියුණු ඉවක්...ඕන මනුස්සයෙක් ආය නෑ විනාඩි පහක් ආස්සරේ කලාම කිව්වැහැකි සතා මොකාද කියල.උන්දැ දැනගත්ත මේ ඉන්නෙ නං දහකිං හොයාගන්ට බැරි පුරුස රත්නයක්....එක්කොත් ඕන නෑ ඒ හරිය මට නිකං ලැජ්ජයි ලැජ්ජයි වාගෙ...අනික තව එකක්...ඒ ටික වෙනම නොකිව්වත් ඔයාල ඔක්කොම දන්නවනෙ එහෙම තමයි, ඒ කතාව ඇත්තම තමයි කියල...හරි එහෙනං මගෙ අදික නිහතමානීකොම හින්ද මම ඒ ටික කියන්ට යන්නෙ නෑ...ඔහේල හිතාගන්ටකො ඔන්න හොඳද? 

ඉතිං අපෙ උන්දැ කෙලිම්ම යුද්ද ප්‍රකාස කලා ගෙදරට විරුද්දව..මම නිවාඩු වෙලාවක ලියන්ට ඉන්නෙ අපේ ප්‍රේම පුරානය සවිස්තරව. 

ඉතිං දිග කතාවක් කෙටියෙං කිව්වොත් උන්දැ බැලුව මෙවන් මහාර්ඝ උතුම් වූ පුරුෂයෝ වනාහී ඉතා දුර්ලභ වන්නාහ. එසේ හෙයින් කුමන උපක්‍රමයක් ක්‍රියාත්මක කොට හෝ මොහු මා සතු කොටගත යුතුයැයි එක සිත් සිතා ගත්තාහු නාටාමීහු මහත් සේ භාරයෙන් යුතු වූ සහල් මිටියක් ගිලිහී බිම පතිත නොවෙන පිණිස කරට ගැනීමට පෙර තම දිගුවූ අයෝමය කොක්කෙන් ගසා අමුණා ගන්නා වූ පරිද්දෙන් මාගේ ඒ ධීර වීර වූ හෘදය වස්තුව එක පැහැර විනිවිද යන්නාවූ පරිද්දෙන් කොක්ක අනලස්ව ගසා ලූය. 

මේ අපෙ ඒ ප්‍රේම පුරාණේ එක එපිසෝඩ්ඩෙකක් මාස හය හතකට උඩදි අර හිරු ගොයියගෙ කමෙන්ට් එකකට උත්තරයක් විදිහට මම දැම්ම. 

මේ ඔන්න තව එපිසෝඩ් එකක්....මේක විතරක් කියල ඉන්නං හොඳද..වෙන මොහොකටවත් නෙවෙයි මේ පෙරේම පුරාණ කතාව ඇදිල ආපු හින්ද. 

ඔන්න අපේ පෙං කතාව පටං ගත්තු අලුත...එයයිගෙ අප්පොච්චි අසනීප වෙලා ඉස්පිරිතාලෙට ඇතුල් කලාය කියල එයාලගෙ ගෙවල් කිට්ටුව ඉඳල මම ඉන්න දිහාට වැඩට යන ටීචර් කෙනෙක් අතේ මට පණිවිඩයක් එවල තිබ්බ. පුළුවන්නං හවස පහට ලෙඩ්ඩු බලන වෙලාවට ඉස්පිරිතාලෙ ගාවට එන්ට කියලත් ඒකෙ තිබුන. මම කල්පනා කලා මේක හොඳ චාන්ස් එක මාමන්ඩියව සේප් කොරගන්ට කියල.හවස මට තිබ්බ හොඳම කමිසෙ ඉස්තිරික්ක කරල එහෙම ඇඳගෙන, ටයි කෝට් ඒ දවස්වල තිබ්බෙ නෑ තිබ්බනං අනෙ අම්මප අර ගිනි මද්දහනෙ කියල බලන්නෙ නෑ, එව්වත් ඇඳගෙන යනව. 

ටවුමෙං ගත්ත ඇපල්, මුද්‍රස්පලං, වෙරලු, මසං ජමනාරං, අඹ, කජු, දං පේර, එතනිං ගිහාම බිස්කට්, රෝස් පාං, බූංදි, පුහුල් දෝසි, මස්කට් ඔය කොව්වයිනුත් කිලෝ එක ගානෙ, එතකොට තව තැඹිලි වල්ලක්, ඔය බඩු කන්දරාව ත්‍රී වීල් දෙහෙක පටවගෙන ඔන්න ගියා ඉස්පිරිතාලෙට.එවුන්දැ ඇවිත් හිටිය අම්මත් එක්ක අප්පච්චිව බලන්ට... 

" මොකද පුතා මේ දානෙකට වගෙ මෙයාකාර බඩු? " ඔන්න අම්ම අහපි. 

" නෑ අම්මෙ මේ ....මොනවද කන්නෙ බොන්නෙ කියල හරියටම දෙන්නෙ නැති හින්ද මම ඔය කොව්වයිනුත් ටික ටික අරගෙන ආව…" මම එකත්පස්ව ඉඳගෙන කිව්ව. 

ඊට පස්සෙ ඔන්න මාමණ්ඩිගෙං විස්තර ඇහුව...බොන්ට දෙන බෙහෙත් මොනවද කියල පරීක්සා කලා. ඒ බෙහෙත්වල අතුරු ආබාද ගැන දීර්ග විස්තරයක් කලා. හෙහ්, කිරි ගහට ඇන්න වගේ බඩු වැඩ කලානෙ. අම්මයි අප්පච්චියි කටවල් ඇරගෙන මා දිහා බලා හිටියෙ..හෙහ්, හෙහ්, ඇඳ ඉහ පත අරගෙන ඒක කියෙව්ව නලලත් රැලි කරගෙන. තුංදෙනාම හුස්මත් නොගෙන ඔන්න මා දිහාවෙ බලාගෙන. හ්ම්ම්ම්..හ්ම්ම්ම්ම්ම්..හ්ම්ම්ම්ම්...කියල බොහොම ගැඹුරු හඬකින් කියල ඔලුව දෙතුං පාරක් හෙල්ලුව...මොකවත්ම කිව්වෙ නෑ..ඒ ඔලුව හොල්ලන එකෙත් තියනව ප්‍රොසීඩියර් එකක්. දන්නැති කට්ටිය අහගන්ට. ඉස්සොරෝම සිරස්ව දෙපාරක් හොල්ලනව. ඊට පස්සෙ තිරස්ව එක පාරයි. අන්තිමට විකර්ණය ඔස්සේ දෙපාරක් හොල්ලනව. එතනිං ඔලුව හෙල්ලිල්ල ඉවරයි. පැහැදිලියි නේද? එහෙම මොකවත්ම නොකිය ඔලුව විතරක් හොල්ලපුවාම තමයි රැස්පොට් එක වැඩි. මම ඔව්ව දන්නවනෙ අත්දැකීමෙන්ම. 

ඒ කරල ඔන්න " එහෙනං අප්පච්චි මම ගිහිල්ල එඤ්ඤම්ය " කියාල එතනම හතර ගාතෙ දමල වැඳ වැටිච්චි වෙලාවෙ උන්දැ කියාපි.. 

" හොඳයි එහෙනං පුතා...ඔව්වයෙ හැටි ඔහොම තමයි..කරුමයක් තියනව නං ආය ගල ගාල ඉවරයක් කොරන්ටය?...ගෙවන්ටම එපාය " කියාල..මම නේද? නිකං කරකෝල අතෑරිය වගෙ උනා. 

ඔන්න ලෙඩ්ඩු බලන වෙලාව ඉවර උනාම අපි ඉස්පිරිතාලෙං පිටත් වෙලා පාරට එනව බස් එකේ නඟින්ට. අම්මට ටිකක් ඉස්සරවෙන්ට දීල මම අපෙ උන්නැහැට ඔලුවෙන් කතාකලා . 

" මේ මොකක්ද අර අන්තිමට අපි එන්ට පිටත් වෙද්දි ඔයාලයි අප්පච්චි කිව්ව කතාව...කරුමයක් ගෙවන්ට තියේනම් වලක්වන්ට පුලුවනෑ කියපු එක . එයයි එහෙම කිව්වෙ එයයිගෙ අසනීපෙ ගැන හිතලද එහෙම නැත්නං....." මම ඉතුරු ටික නොකියා එයාටම හිතාගන්ට ඉඩ දුන්න. 

දන්නවද මුන්දැ ගත් කටටම කියාපු එක…" දෙකටම වෙන්ටැ...මොකද අප්පච්චි අසනීපෙ ගැනත් දන්නව, එයයිගෙ දූ ගැනත් දන්නව, ඒ හින්ද මට හිතෙන්නෙ දෙකටම වෙන්ට ඇති...." .එහෙම කියල මා දිහා ඇහැ යටිං බලල හක හක ගාල හිනා උනේ නැද්ද? 

අඩේ ඉම්රාන්ගෙ කතාව කියන්ටත් එපාය...හරි අපේ රෙගියුලර් ගෝලය සැමීගෙ සර්විස් කඩල මිනිහ ගමේ ගියා. තාවකාලික ගෝලයට ආවෙ ඉම්රාන් කාන්. මම තමයි ඒ මාසෙ චමරිය මැනේජ් කලේ. ඔන්න අපි රෑ වෙලා අර මුස්ලිම් ගම්මානෙට ගිහිල්ල පාං ගෙනැල්ල තියල උදේම නැඟිටල කිරි හොද්දක් හැඳි ගාගන්නව. එව්ව කාල වැඩට යනව. යන්ට කලින් ඔන්න ඉම්රානය එනව. මම ඉතිං ඌට උපදෙස් දෙනව. 

" ඉම්රාන් දවල්ට හය දෙනෙක් ඉන්නව කට්ටිය. බිත්තර හයක් තම්බපං හරි?....ම්ම්ම්...තව මොනවද?....මූට උයන්ට පුළුවන්ද දන්නෙත් නෑ..අද මේ මුල්ම දවසනෙ උයන්ට ආවෙ..හරි පරිප්පු හොද්දක් හදාපං..තව මොනවද?...හරි තක්කලි තියනව පෙති ගහල බොම්බයි ලූණු දාල සලාදයක් හදපං ඒ ඇති…" ( සැ.යු. - " මූට උයන්ට පුළුවන්ද දන්නෙත් නෑ..අද මේ මුල්ම දවසනෙ උයන්ට ආවෙ.." මේ කෑල්ල මම කිව්වෙ නෑ..හිතුව විතරයි හොඳද? ) 

ඔය උපදෙස් මාලාව ඉවර වෙනකොට අපෙ ජීප් එක ඇවිල්ල දොරකඩට… 

" හරි එහෙනං උයල උඹ ගෙදර යනවනං ඉස්සරහ දොරේ යතුර මෙන්න මෙතන මේ මල් පෝච්චිය යටිං තියල පලයං," 

" හරි මහත්තය …" ඉමා හිනාවෙලා ඔලුව වනනව. මම දුවල ගිහිල්ල ජීප් එකට ගොඩ වෙනව. 

එදා දවල්ට මම එනකොට ටිකක් පරක්කු වෙල. ඔන්න අනික් එවුං ඉන්නව සාලෙ ඉඳගෙන...එකෙක්ගෙවත් මූණු හොඳ නෑ...දෙහි ලෙල්ලක් මිරිකුව වගෙ.. 

" මොකද බොලව් අස්සය මැරිච්චි කව්බෝයිල වගෙ...උඹල මේ විජහට කෑවත් එක්කද? " 

මොකද වෙනද ආපු ගමං මුං ටික කෙලිම්ම ඉඳගන්නෙ මේසෙට යන්තං මූණ අතපයෙ වතුර ටිකක් ගාගත්තු ගමං, ඒකයි මම එහෙම ඇහුවෙ. 

" උඹ මේ මඟුලක් කතා කරනව..මොනව කන්ටද බං.?..." 

විමලෙ හරි සරත හරි දෙන්නගෙං එකෙක්. මට හරියටම මතක නෑ කවුද කියල...මා දිහාවෙ රවාගෙන කිව්ව. 

" යකෝ මේක මාර වැඩක්නෙ. මම මොනව කලාටද?..." මටත් තද උනා. 

" ඇයි යකෝ මේ වහල තියෙන්නෙ මොනවද මේසෙ උඩ? " සාලෙ මැද තිබ්බ හරි හතරැස් මේසෙ වහල තිබ්බ වේවැල් කූඩෙ පෙන්නල මම ඇහුව. 

" බලාපංකො ඇරලම.."'….සරත කිව්ව. 

මම කූඩෙ ඇරල බැලුව. හරි බිත්තර තම්බල තියනව. තක්කලි සම්බලෙත් හරි. පරිප්පු හොද්දත් හරි...හොද්දෙ පෙනුම නං ඒ හැටි පිරියක් නෑ. ඒත් කමක් නෑ බත් ටික බඩට දාගන්ට තිබ්බ නම් මදෑ.. 

" ඒත්...කෝ බොල බත්?..." මම අනික් එවුංගෙ මූණු බැලුව… 

" ඒක තමයි බං අපිත් අහන්නෙ? කෝ බත්?...." 

" මේ විහිලු කරන්ට එපා බාල්ල..මම තව පැය බාගෙකිං ආපහු යන්ටත් ඕන. හවස ලොකු වැඩකුත් තියනව. ඉඳපං බලන්ට.." 

මම කුස්සියට ගිහිල්ල තිබ්බ වට්ටි, පෙට්ටි ඔක්කොම අවුස්සල බැලුව. මෙවුං බත් එක එහෙවත් හංගලාද බලන්ට ...ඔහෙ නෑ.. 

" මේ උඹට පිස්සුද වීරෙ?....බත් එක හංගල බඩ ගින්නෙ ඉන්ට අපිට අරපයිත්තියං කියල හිතුවද? අනික අපිටත් හවස වැඩ තියනව. අපිත් කාල යන්ට ඕන. එහෙම එකේ බත් හංගන්නෙ මොකටද බං අපි? " විමලෙ කිව. 

ඒකත් ඇත්ත තමයි බලාගෙන යනකොට. " අඩේ මේකා…. මේ ඉම්රානයා එහෙනං බත් ඉව්වෙ නැතුව වත්ද? " 

" වීරෙ..මේ උඹ උදේ ඉම්රාන්ට කිව්වෙ මොකක්ද? " විමලෙ නැඟිටල කුස්සිය දිහාට යන ගමං ඇහුව. … 

" කිව්වෙ ආයෙ වෙන මොකවත් නෙවෙයි..හයදෙනෙක් ඉන්නවය,බිත්තර තම්බල තක්කාලි සම්බලක් හදල පරිප්පු උයල තියන්ටෙයි කියල.." 

" හෙහ්, හෙහ්, මම කියන්නං වෙච්චදේ උඹ බත් උයන්ට කියල කිව්වෙ නෑනෙ..ඌ ඒ නිසා බත් ඉව්වෙ නෑ.." 

" යකෝ වෙනදත් අපි ගෝලයට උයන දේවල් කියනකොට බත් උයන්ටෙයි කියනවද?..." මට අසූහාරදාහට තද උනා… 

" හරි හරි බං මූ මේ ඉස්සෙල්ලාමනෙ අද උයන්ට ආවෙ. ඒ නිසා ඌට බත් උයන්ට කිව්වෙ නෑ. ඒ නිසා ඌ ඉව්වෙ නෑ.. සුපිරිං කෝට් නඩු ගියත් ඌ දිනනව. ....හරි, හරි....ඒක දැං ඇරිච්චාවෙ වරෙං වරෙං සස් ගාල බත් ටිකක් උයාගමු. මම හාල් ගරන්නං..ඒයි උඹල දෙන්න ලිප පත්තු කරපල්ල.." 

බත් එක පිඟං වලට දාල ෆෑන් එක ෆුල් වොලියුම් දාල උඩට අල්ලගෙන ඉඳල නිවාගෙන කාල තමයි එදා හවස අපි ආයෙම වැඩට ගියේ. මම ගියෙ අන්තිමට. වෙලාවට මම යන්ට ඉස්සර ඉම්රාන් ආව රෑට උයන්ට. 

" ඉම්රාන්..මොකද බං උඹ බත් ඉව්වෙ නැද්ද?..." ඌට කෑගහල වැඩක් ඇත?...මට එහෙම අහන කොටත් හිනා.. 

" නෑ මහත්තය මහත්තය කිව්වෙ නෑනෙ..මම ඒත් අහන්ටත් අහල බත් උයන්ට එපයිද කියල ආයම නිකං හිටිය.." 

" හා, හා..එකෙං කමක් නෑ..මේ රෑට මතක ඇතුව බත් උයාපං හොඳද? " රෑට උයන වෑංජනත් ඌට කියල මම එළියට බැස්ස. 

රයිට් ගුණතිලකයගෙ දෙවෙනි කතාවට පසුබිම සකස් කිරීම තමයි මේ පඳුරු තැලිල්ලෙ අරමුණ...හරි, ඔය ඉම්රාන් දවසක් මම එලියෙ පුටුවක් තියාගෙන පොතක් බල බල ඉන්දැද්දි හෙමිහිට මා ලඟට ආව. ඒ වෙනකොට අපෙ රෙගියුලර් ගෝලය , සැමී ආයෙම ඇවිල්ල. ඉම්රාන් ආපහු කෑම්ප් එකේ වැඩ. 

" මහත්තය......." 

" මොකෝ බං?..." මම පොත පාත් කලා.. 

" මහත්තයට පොඩි කාරණයක් කියන්නෙයි කියල. " 

" මොකක්ද?...." 

" අර ගුණතිලක, ඩ්‍රයිවර්, මිනිහ අපේ ගමේ ගෑණු ළමයිංට කරදර කරනව මහත්තය හරියට." 

" කරදර කිව්වෙ ඉම් රාන්..කොහොම කරදරද? " මම නොදන්නව වගෙ ඇහුව… 

" ජීප් එකේ යද්දි වතුර විදිනව මහත්තය. අපේ ගමේ කට්ටිය කතා උනා මේකට මොනව හරි කරන්ට ඕනය කියල.මම ගුණතිලකට කිව්ව මෙහෙම කරන්ට එපා අයියා කියල. මිනිහ මට ගහන්ට ආවනෙ උඹ උඹේ වැඩක් බලාගනිං කියල තව නරක වචනත් කියල බැන්න මට මහත්තය…." ඉමා අඬන්ට වාගෙ… 

" ඉතිං ඉම් රාන් මට කියන්ට හිතුවෙ මොකද මේ ගැන? " 

" නෑ මහත්තය..... මහත්තය එක්ක ගුණතිලක හොඳ නිසා මහත්තය කියන දෙයක් අහයි කියල මට හිතුන. " 

" හරි මම ගුණතිලකට කියල බලන්නං..ඉම් රාන් දැං යන්න.." මම ආයෙම පොත අතට ගත්ත. 

එදා රෑට කාල මම ඩ්‍රයිවර්ලගෙ ඩෝමෙට්‍රි එක පැත්තෙ ගියා ගුණතිලක එක්ක කතාකරන්ට හිතාගෙන. ඒත් මිනිහ තව ඩ්‍රයිවර් කෙනෙකුට මැලේරියාව හැදිල මිනිහත් එක්ක ඉස්පිරිතාලෙ ගිහිල්ල.පහුවදා ඉඳල දවස් තුනක් මට ට්‍රේනිං එකක් සෙට් උන නිසා ගුණතිලක එක්ක මේ ප්‍රශ්නෙ ගැන කතා කිරිල්ල මඟ ඇරුන.හතර වෙනි දවසෙ හවස තමයි මම ආපහු කෑම්ප් එකට ආවෙ. 

අපෙ කෑම්ප් එක මැද තිබ්බෙ පිට්ටනියක්. පිට්ටනියක් කිව්වට ආය තණකොල එහෙම නෑ. ඩෝසර් එකෙං ගස් ගලවල ගෝලයො දාල මුල් අයිං කරවල ඊට පස් සෙ පොළව ලෙවල් කරල හදාගත්තු අපිට ඔය වොලිබෝල් ක්‍රිකට් එහෙම ගහන්ට යන්තං ඉඩ කඩක් තියෙන බූමි බාගයක්.දිවයිනේ හතර දිබ්බාගෙම්ම ආපු එවුං අපි එක්ක හිටියයි කියල මම කිව්වනෙ නේද? වලස්මුල්ලෙං ආපු එකෙක් හිටිය. ඕක ක්‍රිකට් පිස්ස. හවස ඔන්න අපි ටිකක් නිදාගෙන ඉන්නව නේද? මූ එනව බෑඟිරි ගහගෙන.. 

" යකුනේ, මේ බැරැස්සිගෙ අව්ව වැටෙන ජාමෙ බුදියෙන්ට එපල්ල. මහ මුසිපේංතුවයි, යමල්ල පිටැන්න පැත්තෙ කිරිකැට් අතක් සෙල්ලං කොරන්ට. " 

ආය අපි මෙහෙම කියනවනෙ ගෝලයට, සැමීට.." සැමී, කොල්ලො බතකුයි සම්බලේකුයි උදේට හදහං…" 

අර වලස්මුල්ලෙ එකා චමරිය කරද්දි කියන්නෙ මෙහෙම. " සැමී, කොලුවෝ, හෙට උදේට බතකි සම්බලකි තනාපං ඇහුණය?..." 

අපිට මැරෙන්ඩ හිනා ඒකගෙ කතා වලට..අඩේ මේ ජානිසෝ..මම මේ අහන්ඩමයි හිටියෙ? පෙම්බ්‍රාස් තුමාත් ඔය වලස්මුල්ලෙ ගොබිලෙක් නෙවද? අම්මප, උන්දැත් ඔහොමද කතා කොරන්නෙ? 

ඕකා කඩේ ගිහිල්ල උඹට කෝල් එහෙම දෙන්නෙ නැතිය මෙහෙම? 

" ජාන්ස්..මේ... පොල් ගෙඩි පහකි, සම්බ කිලෝ දහේ මල්ලකි ගෙනාවම ඇතිය? ඔහෙට තව මොනවය ඕන?.." 

හරි, අර කිව්ව පිටැන්නෙ අපි කස්ටිය ක්‍රිකට් ගගහ හිටිය මම අර ට්‍රේනිං එකට ගිහිල්ල ආපු දවසෙ හවස. 

ගුණතිලකයත් එනව කිරිකැට් කෙලියට. ඌ කියන්නෙ බෑට් ගහනව කියල...උන්දැගෙ තියනව පොල් අඩි ෂොට් එකක් හනුම දර පලන්නහෙ ආය නෑ හරියට වැදුනොත් බෝලෙ හොයන්ට සතියක් අනියම් නිවාඩු දාන්ට වෙනව. 

අපි ඉතිං කරන්නෙ මූට ගහන්ට බැරිවෙන්ට හෙන ස්ලෝ දානව. එහෙම දෙක තුනක් දානකොට මූ බෝලෙ අල්ලනව එල්ලේ ගහනකොට වගෙ." අනේ මහත්තය එහෙම ඔට්ටු නෑ. හරිද? අසාදාරනයි, අසාදාරනයි..." හරි ක්‍රිකට් ගැහිල්ල ගැන ආයෙම දවසක කියන්නං..සිත්තමී, ඔන්න බාගෙට කියාපු තව කතාවක්...දාගනිං මතක ඇතුව ලිස්ට් එකට... 

එදා මම ෆිල්ඩිං පැත්තට වැටුනෙ. පළමුවන ලුහුට්ටා නම් ස්ථානයේ තමයි පන්දු රැක්කෙ.පිටැන්න වටේට තමයි අපෙ ක්වාටර්ස් හදල තිබ්බෙ.ඔන්න ටිකකිං මම දැක්ක අපේ බොසා, ( වැසි මැවිසුරු තුමා..මතකනෙ එතුමා නේද? අර ගුණතිලකය ඉස්සරෝම ජීප් එක එලෙව්ව දවසෙ ඉස්සරහ සීට් එකේ හිටියෙ..ආන්න එතුමා ) කිට මරල එහෙම 75 එලවගෙන ගියා කෑම්ප් එකෙං එලියට. ( 75 කිව්වෙ ගුණතිලකයගෙ ජීප් එක ) 

" කොහේද බං ලොක්ක අර ගියේ ටයි පොල්ලකුත් දාගෙන? " 

මම ඒ වෙලාවෙ බැට් කර කර හිටපු විජේගෙං ඇහුව. දවස් තුනක් කෑම්ප් එකේ නොහිටපු නිසා ලේටස්ට් නිව්ස් මොකවත් මම දැනගෙන හිටියෙ නෑ. 

" ඇයි බං අද ඒඩ්ස් ඒජන්සි වලින් ගෙට් ටුගෙදර් එකක් ඕගනයිස් කරලනෙ ලොක්කන්ට පොළොන්නරුවෙ හොටේල් එහෙක. ඒකට ඔය යන්ට ඇත්තෙ. මේකා මොනව කරනවද මන්ද බෝල් කරන්නෙ නැතුව..ඒයි චක් එවපං *******, බෝලෙ. " ඒ අන්තිම ටික විජේ කිව්වෙ මට නෙවෙයි ඒ වෙලාවෙ බෝල් කරමින් හිටපු චක් නොරිස්ට. 

බෝලර්ගෙ නම ඇවිල්ල ජයන්ත. ඌ බෝල් කරනව බලා ඉන්ටම වැඩේ. ඔන්න හරියට ස්ටෙප්ස් එහෙම මැනල එතන පොඩි ගල් කෑල්ලක් එහෙම දාල බොහොම අපූරුවට මුරලිය බෝල් කරන්ට එනව වගෙ ඇවිල්ල ( ඒ කාලෙ මුරලිය සෙල්ලං කලේ නෑ, ඒක වෙනම කතාවක් ) විකට් එක ගාව නවතිනව එක පාරටම . ඊට පස් සෙ අත කරකැවිලි මොකවත් නෑ අඹගහකට ගලකිං කෙලල අරින්නා වගෙ දමල ගහනව බෝලෙ. ඌට චක් නොරිස් කිව්වෙ ඒ නිසා. " අනේ බාං කොයි වෙලෙත් මට චක් නොරිස් කියන්ට එපල්ල " කියල ඌ නහයෙං අඬනකොට " හරි හරි ඕකේ, ඕකේ...මීට පස්සෙ උඹට කියන්නෙ දමාලා ගසා ඛාන් " කියල අපි කට්ටිය ඒ නම රෙජිස්ටර් කලා. 

" ඒත් මොකෝ ලොක්ක 75හේ යන්නෙ? පිකප් එක නැද්ද?..." ඒ කාලෙ ලොක්කගෙ නිල වාහනය ඇවිල්ල නිසාන් පිකප් එකක්. 

" පිකප් එක සර්විස් දාල බං…." .විජෙය එහෙම කියන ගමන් එක්ස්ට්‍රා කවර් හරහා හතරේ පහරක් එල්ල කලා. 

ක්‍රිකට් ගැන කතන්දර නම් තියනව එකසිය ගානට. අර ආනන්ද-නාලන්ද මැච් එකේ සිංහලෙං ඉස්සොරෝම විස්තර ප්‍රචාරය දුන්නෙ වෙලාවෙ වෙච්ච සීන් එක අහල ඇති නේද? මම හිතන්නෙ 70 නැත්තං 71 දි..." බෝලෙට දරුනු පහරක් ගැහුවා..බෝලෙ උඩ යනව..ඔව් තවත් උඩ යනවා..මෙන්න පල්ලෙහාට එනවා..එක්කෙනෙක් බෝලෙ යටට යනවා..අල්ලන්ටයි ලෑස්තිය..ඇල්ලුවා..ඇල්ලුවා...නෑ...අම්මට උඩු මේ යකා බෝලේ අත ඇරිය නේද?...මළ කෙලියයි.. " 

අපි ඉතිං චක්ට අනම් මනම් කිය කිය ක්‍රිකට් ගැහිල්ල කරගෙන ගියා. ආ. කියන්න අමතක උනා..ගුණතිලකයත් හිටිය පිටැන්නෙ කෙලවරක ඩීප් ස්ක්වෙයාර් ලෙග් නමැති ස්ථානයේ පන්දු රකිමින්. 

ඔන්න විනාඩි ඔන්නම් දහයක් යන්ට ඇති. ජීප් එක ආපහු ආව අයර්ටන් සෙනා ෆෝමිලා වන් රේස් එකක ඩ්‍රයිව් කරනව වගෙ. ගේට්ටුවෙං කෑම්ප් එකට හැරෙව්වෙ දූවිලි වලාවක් නග්ගගෙන...ලොක්කගෙ ගේ ඉස්සරහ බ්‍රේක් ගහපු පාර මුලු කෑම්ප් එකටම ඇහෙන්ට ඇති. අපි ඔක්කොම ක්‍රිකට් ගැහිල්ල නවත්තල ඒ දිහාවෙ බලං හිටිය ගල් ගැහිල වගෙ. ලොක්ක බැහැල දඩාං ගාල දොර වහල ගෙට ගියා. 

අප්පට සිරි මේ මොකෝ මේ?....ලොක්ක ඔලුවෙ ඉඳල නාල නේද? තෙමිච්ච කුකුල වගේ....මොකද බොලේ මේ හැබෑට? 

" ඇලේ කට කපල වතුර දුන්නනෙ ඊයෙද කොහෙද ...ලොක්කට ඔක්කොම අමතක වෙලා නාන්ට හිතුනද දන්නෙ නෑ..." මම හෙමිහිට කිව්ව විජෙයට විතරක් ඇහෙන්ට…මාදුරු ඔය ජලාසෙං මාස් කන්නෙට වතුර නිකුත් කලේ ඒ කිට්ටුවම 

" හෙහ්, කියන්ටත් බෑ තමයි..ඒත් යකෝ ඇඳුං පිටිම්ම ? " ...විජේ කිව්වෙ තොල් හපාගෙන… 

" නිල් කැටේ වගෙ වතුර ඩිංග දැක්කම ලොක්කට ආසාවෙ උහුලං ඉන්ට බැරිවෙන්ට ඇති.." මම ආයෙම කිව්ව කට කොණකිං..ඒත් ඒ වෙනකොට ඉම්රාන් මා එක්ක දවස් තුනකට කලිං කියපු කතාව මතක් වෙලා මොකක්ද වෙලා තියෙන්නෙ කියල යාන්තමට වගෙ මගෙ හිතේ චිත්ත රූපයක් ඇඳෙන්ට පටන් ගෙන තිබුණා. ඒ එක්කම මට ගුණතිලකය දිහාවෙ බැලුනා. 

" ෂ්ෂ්ෂ්........" ඒ විජේ.. 

" මොකෝ බං?...." මම ඇහුවා. 

විජේ ඇහෙං ලොක්කගෙ ගේ දිහාව පෙන්නුවා. ඔන්න ලොක්ක තෙත ඇඳුම් මාරු කරල සරමක් ගහගෙන ගෙයිං එලියට බැස්සා 

" ගුණ...ති...ල..ක....ක..ක……" මිදුලෙ මැදක් ඇවිල්ල අත්දෙකත් ඉණට තියාගෙන ලොක්ක බෙරිහං දුන්න.... 

අපි ඔක්කෝටම ඉබේම ගුණතිලකයගෙ මූණ බැලුනා. ඌ අර මොනවද කාපු රිලවගෙ කටට දෙහි බෑයක් මිරිකුව වගෙ මූණත්තහඩුවත් හදාගෙන බිම බලාගෙන හෙමිං හෙමිං ලොක්ක ගාවට යන්ට පිටත් උනා. 

Tuesday, May 7, 2013

184. විමලෙගෙ වාං පතුල් කතාව - මෙන්ටලි චැලේන්ජ්ඩ් උදවිය, ඡායාරූප ශිල්පයේ නව ප්රවණතා සහ බාවය උද්දීපනය වීම


දැං ඔන්න එහෙනං ගුණතිලක ගැන දෙවෙනි කතාව.මිනිහ හෙණ මනමාලය. වයසත් ඒ හැටි හොඳ නෑ නෙව...අපි මුලිම්ම යනකොට ඒ හරිය හද්ද කැලේ උනාට ( හද්ද කැලේය කියන්නෙ මොකද දන්නවද? හද්ද කියන්නෙ හත් දා කියන එක. දවස් හතක් පයිං ගියත් කැලෙං එළියට එන්ට බැරිතරමට විසාල කැළයක් කියන එකයි ඒකෙ තේරුම ) පස්සෙං පහු මිනිස්සු ගෙනැල්ල පදිංචි කලා.ඉස්කෝල, සමුපකාර, ඉස්පිරිතාල එහෙම හදල ඒ පදිංචිකාරයිංට ගෙවල් හදාගන්ට ආධාර සහ කුඹුරු කරල කන්නයක් කැපෙනකල් කෑම බීම හිට දුන්න. 

ඔය පදිංචි වෙච්චි පවුල් වල ඉන්නවනෙ නාඹර ගැටිස්සියො එහෙම. ගුණතිලකය කරන්නෙ ජීප් එකේ වින්ඩ්ස්ක්‍රීන් එක පිරිසිදු කරන්ට වතුර විදින්ට තියෙන සුට්ටි බට දෙක නවල පාත් කොරනව දෙපැත්තට. ඒ කරල පාරෙ තොටේ යන කෙල්ලන්ට විදිනව වතුර එවුං නෑවිල තෙත බරියං වෙලා යන්ට. 

දවසක් මාත් එක්ක යද්දිත් ඕක ඔය වැඩේ කලා. 

" මේ උඹ තනියම යනකොට ඕන මඟුලක් කරගනිං ..හැබැයි පුතේ එකක් මතක තියාගනිං... මා එක්ක යනකොට ඔව්ව බෑ…" 

හිනාවෙවී කිව්වට මම ඒ කිව්වෙ සීරියස්ලි. හැබැයි අපරාදෙ කියන්ට බෑ එහෙම කිව්වට පස් සෙං පහු ඌ මා එක්ක යද්දි නං ඒ වැඩේ කලේ නෑ. 

පස්සෙදි මිනිහ අපෙ හොඳම ගජයෙක් උනා. දවසක් මම ඇහුව මිනිහගෙං…… 

" ඈ බං ගුණේ....අර උඹ වැඩට ඇවිල්ල හැත්තැ පහ එලවපු මුල්ම දවසෙ ( ඒ ජීප් එකට කිව්වෙ හැත්තැ පහ කියල. ඒකෙ නොම්මරේ අන්තිම ඉලක්කම් දෙක ඇවිල්ල 75, ) මොකක්ද බං අර නටපු පිස්සුව? අර මාන ගොල්ලක් අස්සට හැරෙව්වෙ එක පාරටම?. " 

හෙහ්, හෙහ්..මතක් වෙනකොටත් අපිට හිනා ඒ සීන් එක...දන්නවද මේ යස්සය කියාපු එක… 

" නෑ මහත්තය ඉන්ටකො වෙච්චි දේ කියන්ට...මට ඔය පත්තීම හම්බ උනාම අපෙ අප්පච්චි මොනවද දන්නවද කිව්වෙ?..කොල්ලො උඹ බොහොම බාරදූර වගකීමකටයි ඔය උර දෙන්ට යන්නෙ..ඒ නිසා ඒ ලොකු මහත්තුරු කියන එක ඒ විදිහටම කරාපං. ආය පුරස්න අහන්ට, පස්ස ගහන්ට යන්ට එපා. අනික ඒ ආයතන වල වැඩ කෙරෙන විදිහත් අමුතුයි. ඒ නිසා බොහොම පරිස්සමිං ලොකු මහත්තුරුංගෙ හිත දිනාගෙන වැඩ කොරහං .... ඉතිං මහත්තය ලොකු මහත්තය,.... ගුණතිලක, ඔය ඉස්සරහිං වමට ...කිව්වම මම ආය හිත හිත ඉන්ට ගියේ නෑ. කැපුව වමට.." 

" ඒත් ඇයි යකෝ, උඹට හිතුනෙම නැද්ද ජීප් එකක් කොහොමද මාන කැළයක් අස්සෙ යන්නෙ කියල" 

හිනාව නවත්ත ගත්තු ගමම්ම මම ඇහුව. 

" හිතුන මහත්තය..ඒත් මම ආයම හිතුව මෙහෙ එහෙම වෙන්ටැති වැඩ කෙරෙන්නෙ කියල…" 

ඔන්න ඌ කියැව්ව එක,….ඉතිං කාටද කියන්නෙ අනෙ අම්මප හැබෑවටම මෙව්ව? 

ගුණතිලකය පිස්සු ලෝකෙ උනාට හිත හොඳ එකා.ඕන රෑක ඔන්න මොකක් හරි ලොකු හදිස්සියක්ය කියමුකො....ඔන්න අපි පොඩි ආතල් එකක් අරං ඉන්දැද්දි බඩු මදිවෙනව. ගල් බෝතලයක් ගේන්න යන්න ඕන කිලෝමීටර් අටක් විතර. ඒ ගිහිල්ලත් බාර් කීපර්ගෙ ගෙදර ගිහිල්ල උගෙ බල්ලට මස් කටුවක් දීල ( අපි යනකොටම මස් කටුවක් දෙකක් සාක්කුවෙ දාගෙන යන්නෙ ) එකෙක් ඌ ගාව ඉන්දැද්දි තව එකෙක් හෙමීට දොරට ගහනව..... 

" බාර් එකේ අයියෙ..බාර් එකේ අයියෙ " … 

ඌත් ඔය වෙලාවට කරපට් වෙන්ට ගහල නිදි.. 

" ඈහ්හ්..හූහ්හ්...කවුද බොලව්? …...තොපෙ අම්...." 

ඕං ඔහොම සඟිස්කුරුත කට පාඩං කරනව මිසක ඌ එන්නෙ නෑ නැඟිටල.. ටිකකිං ඔන්න බාර් අයියගෙ හාමිනේ එනව නැඟිටල කොණ්ඩෙත් බැඳ බැඳ....ටිකක් එක විදිහක විසුරුමානයක් තමයි ඒක...ඔය නොයෙක් කතන්දර නම් පැතිරිල තිබ්බ ඕන හැටිය. අනේ ඒ හින්දම අපි එවුන්දැ දිහාවෙ ඇහැක් ඇරල බැලුවෙ නෑ...අහල ගං හතකටම තිබ්බෙ ඔච්චරයි බාර් එකක්. බාර් අයිය තරහ කොටගෙන කොහොමද?..ගෑණු නං ආය මොනවද ඔය ඉන්නෙ ඕන හැටිය...පඳුරක් පඳුරක් ගානෙ... 

ඒ පස්සෙම්ම එනව අයියත් සරම ඇඳ ඇඳ.. 

" මොකද බොලව්?." 

" නෑ අයියෙ මේ බෝතල් දෙකක් ගන්නෙයි කියල.." 

අයියත් දාගෙනම ගිහිල්ල බෝතල් දෙක ඇරගෙන ආපහු අයියව ගෙදෙට්ටම දාල අපි ඔන්න ආපහු එනව දෙයියනේ කියල. අපේ අනික් එවුං අපි එනකල් පාරෙ එතකල්....හෙහ්, හෙහ් 

" අම්මප මුං වාගෙ ජාතියක්…... ජීවිතේට අරක්කු ටිකක් බීල නැතුව වාගෙනෙ මෙවුං මේ මඟ බලාන ඉන්නෙ.." උංට පස් පඩංගුවෙ බැණ බැණ අපි ජීප් එකෙං බහිනව.... 

ඉතිං ඔහොම මහ රෑ අර අලි එහෙ මෙහෙ හක්කලං කොරන අස්සෙ අරක්කු ගේන්ට යන වෙලාවෙ කලිම්ම බෝතල් හතර පහක් ගෙනැත් තියාගත්තනං ඉවරයිනෙ කියල ඔහෙලට අහන්ට හිතෙන්නෙ නැද්ද? එහෙම හිතෙනව කාට උනත්. අපිටත් එහෙම හිතුන මුලින්ම. ඒ කරල වැඩේ ක්‍රියාත්මකත් කලා. ඔය වැඩිය ගමේ එහෙම යන්නෙ නැති දෙතුන් දෙනෙක් ගෙන් මාසෙ අන්තිමට සල්ලි දෙන්නම්ය කියල පොරොන්දු වෙල එක පාර බෝතල් දහයක් දොලහක් වගෙ අරං ආව..මොන?...ඒ ගෙනාපු ටික දවසිං දෙකෙං ඉවරයි...බෝතල් තියනවයි කියල දන්න හින්දද කොහෙද වෙනද කාලක් ගහන එකා එදා ගහනව කෙලිම්ම තුං කාලක්... 

මගෙ ඇඳ අස්සෙ තමයි බෝතල් තිබ්බෙ.. 

" හරි මේ මෙතනම තියන නිසානෙ බඩු එක පාරම ඉවර වෙන්නෙ..මෙහෙම කරමු අපි..අනික් පාර බෝතල් දෙකක් විතරක් තියාගෙන අනික් ටික දෙමු කපිලයට තියාගන්න. " 

කපිල කියන්නෙ බොහොම හුරුබුහුටි පොඩි එකෙක්. මේ ඊයෙ පෙරෙයිද අට පාස් කරපු පෙනුමක් තිබ්බෙ. මත් පැන් තියා ඕකා කොකා කෝලා බිව්වෙත් නෑ කවුද ඌට එව්වයෙත් ඇල්කොහොල් තියනවයි කියල කිව්වයි කියල.ඔන්න කපිලයට දුන්න අතිරික්ත බෝතල්.. 

" මල්ලි…. මේ ටික උඹේ ඇඳ අස්සෙ තියාගනිං කිසි කෙනෙකුට දෙන්ට එහෙම එපා " මම කිව.. 

" හරි අයියෙ…" කපිලය පොරොන්දු උනා. 

එදත් ඔන්න බොන්ට පටන් ගද්දි හැමෝම කතා උනා 

" හරි අද නං බෝතල් දෙක තමයි..ඒ දෙක ගැහැව්ව, වෙරි උනා නොවුනා කෑව බුදිය ගත්ත.." 

හෙහ්, හෙහ්, මත්පැන් පාවිච්චි කරන / කලිං පාවිච්චි කරපු එවුං දන්නව ඇති ඔය කතා ඉතිං වලංගු වෙන්නෙ ෂොට් එකක් දෙකක් බඩට වැටිල කං පෙති එහෙම යාන්තමට රතු වීගෙන එනකල් විතරයි කියල. ඔන්න අපෙ තවත් එකෙක්ගෙ අයිය ඒ දවස්වල ඩුබායි ද ඕමාන් ද කොහෙද රස්සාවකට ගියා. ඉස් ඉස්සෙල්ලම නිවාඩුවට එනකොට අයිය අරං ආව කැමරාවක්. ඔලිම්පස් ද කොහෙද මට මතක විදිහට. ඩිජිටල් එව්ව නෑනෙ ඒ කාලෙ.මේක ඇවිල්ල ෆිල්ම් රෝලක් දාන එකක්. කොඩැක් එක්ට්‍රා 100, 200, 400 කිය කිය තිබ්බ රීල්ස් වර්ග මහ ගොඩක්.ඉතිං ඔන්න මූ එනකොට කදුරුවෙලිං ෂොට්ස් 36 ක රීල් එකක් අරගෙනමයි ආවෙ. 

හප්පා, බලන්ට එපාය මූ ඔය කැමරාව ආරස්සා කරන්නෙ මැණිකක් රකිනා නා රජිඳෙකුසේ තමයි. 

" ඒයි අඩේ දීපංකො උඹේ කැමරාව ටිකකට?..." ඔන්න එකෙක් දුවගෙන එනව මිදුලෙ ඉඳල. 

" අර මොකටද මේ තකහනියක්? " කැමරා ඕනර් අහනව. 

" මචං අතන ගේට්ටු කණුව උඩ ලස්සන බෝදිලිමෙක් ඉන්නව.... උගෙ ෆොටෝ එකක් ගන්ට. " 

" පලයන් බං මගෙන් කුණු හබ්බ අහගන්නෙ නැතුව.... මේකෙ තව ෂොට්ස් විස්සක් විතරමයි තියෙන්නෙ. හෙට අපි යන්ට හිතාගෙන ඉන්නෙ දිඹුලාගල. එහෙදි ලස්සන ෆොටෝස් ටිකක් ගන්ට ඕන. " 

ඔය යස්සය ඊට සති දෙකකට විතර කලිං අපෙ ඔෆිස් එකේම ක්ලාර්ක් ගැටිස්සියක් එක්කල පයිරු පාසානමක් පටං ගත්ත. මේ ඉස් ඉස්සෙලාම දිඹුලාගල ගිහිල්ල පෝටොස් එහෙම අල්ලන්ටයි ලෑස්තිය දෙන්නත් එක්කල. 

එදා හවසත් අපි පොඩි ආතල් එකක් ගත්ත. අර කැමරා හිමි මගෙ යාලුව..දැන්නම් මිනිහට නමක් දෙන්නම වෙනව..හරි සරත්ය කියමු....සරතා ඒ හැටි බොන එකෙක්නම් නෙවෙයි. ඒත් ඔන්න එදා මිනිහත් ආව වැඩේට. මොනවද ෂොට් එකයි දෙකයි බඩට ගියෙ...මූට අන්දොස් උනා. 

" මචාං උඹල හොඳ එවුං බං..ඔක්කොම මගෙ බුදු පිටාල, මගෙ බොක්කවල්...ඉඳපල්ල බොලා මතක් වෙන්ටත් එක්කල අපි අල්ලමු පොටෝ…" 

" ඒයි උඹ හෙට දිඹුලාගලද කොහෙද යනවය, එහෙදි ගහන්න ෂොට්ස් ඉතුරුකරගන්න ඕනය අනම්මනං දවල් දුන්න නේද හෙණ ටෝකක් "  මම ඌට මතක් කලා. 

" අන්න මචං වීරේ.... උඹ එහෙම කතා කරන එක වැරදියි මචං.... කෙල්ලො කියන එවුං අද අපි එක්ක පණ වගෙ හිටිය, හෙට නෑ..යාළුවො එහෙම නෙවෙයි..මචං අර මොකක්ද කතාවකුත් තියෙන්නෙමිතුරු තුමෝ දුක සැප දෙකෙහිම..කවුද ඕක කිව්වෙ? මට මේ වෙලාවෙ මීටර් වෙන්නෙ නෑ..." මොන මීටර් විල්ලක්ද? ඒකා කෙලිං ඉන්නෙත් බොහොම අමාරුවෙං... 

" ඕක කිව්වෙ දොන් ජෙරොනිමෝ ද අසවේදුනෙ…" මම කිව්වා. 

" ඈ????? උඹට ෂුවර්ද?...." සරතා ඇහුව මගෙ අතකුත් අල්ලගෙන. 

" ෂුවර්ද කියන්නෙ?...බුදු ෂුවර් මචං.... බුදුම ෂුවර්.." මම දිවුරුවා. 

" හරි උඹ කියනවනං හරි..මොකක්ද ඒ කතාව?...මිතුරු තුමෝ දුක සැප දෙකෙහිම පවතී, බිතු සිතුවම් මොකක්ද එකක් නේද ඊළඟට? ...." . 

" ඔව් බං බිතුසිතුවම් මැකී නොයනු ඇත මා ආ මේ දිගු ගමනේ…" 

ආය මොනවද? අපි ඔක්කොම එකතු වෙලා ඒ සිංදුව කියන්ට ගත්ත.සරතත් ටිකක් වෙලා ඇහිපිල්ලං ගගහ බලා ඉඳල නැඟිටල නටන්ට ගත්ත.. 

සිංදු ගැන කියද්දි තව සෝක් කතාවක් මතක් උනා..ඉන්ටකො එහෙනං ඒකත් කියලම ඉන්නං..නැත්තං ඔව්ව අමතක වෙනව. දැනටත් තියනව මම පස්සෙ කියනවයි කියල පොරොන්දු වෙච්චි කතා හතලිස් තුනහමාරක්...මොකක්ද ඒ හමාර කියල ඇහුවා?...හමාර ඇවිල්ල එක කතාවක් බාගෙට කියල නැවැත්තුවනෙ..ආන්න ඒකයි.... 

මේක මේ පිස්සං කොටුවෙ වෙච්චි කතාවක්... 

පිස්සං කොටුවෙ වෙසක් පෝයට හැම අවුරුද්දෙම හාමුදුරු නමක් වඩම්මල බණක් කියන සිරිතක් තිබ්බලු ඔන්න හරිද?...එක පාරක් ආපු හාමුදුරුවො අර ඉන්නෙ ගාතා එහෙම ඇදල පැදල කියන හාමුදුරුවරු කස්ටියක්..නිකං හරියට සිංදුවක් කියන්නා වගෙ...අන්න ඒ මොඩල් එකේ හාමුදුරු නමක්. ඔන්න හාමුදුරුවොත් වැඩිය කියමුකො බණට. හෝල් එකේ ඉන්නව කට කපල සුදු ඇඳගෙන පිස්සු කස්ටිය. දැං මේ කාලෙ පිස්සු කියල කියන්නෙ නෑ. පොලිටිකලි කරෙක්ට් වචනෙ ඇවිල්ල මෙන්ටලි චැලේන්ජ්ඩ්. හැම එකටම තියනව ඒ වගෙ හදාගත්තු වචන. පොලිටිකලි කරෙක්ට් වචන. ආබාධිත එහෙමත් නැත්තං ෆිසිකලි ඩිසේබල්ඩ් කියල කියන්නෙ නෑ දැං. ෆිසිකලි චැලේන්ජ්ඩ් නැත්තං ඩිෆරන්ට්ලි ඒබල්ඩ් තමයි නියමිත වචනෙ. ආය වෙන කෙහෙල්මලක් ඕන නෑ. මම වගෙ තට්ටයින්ට කියන්නෙ මොකක්ද දන්නවය? බෝල්ඩ් කිව්වෙ ඒ කෝපි කාලෙ. දැං කියන්නෙ ෆොලිකලි චැලෙන්ජ්ඩ් කියලයි..... හෙහ්, හෙහ්, 

රයිට්..හාමුදුරුවො ඔන්න පටං ගත්ත බණ.... 

" පින්වත්නී..ධර්ම දේශනයට සවන් දීමට ප්‍රථම පන්සිල් සමාදන්වෙමු.......'' 

ඉස්සරහම හිටිය වැඩිහිටි මෙන්ටලි චැලේන්ජ්ඩ් පොරක්..මිනිහ පිළිවදන් දුන්න " එහෙමයි හාමුදුරුවනේ " කියල. ඒ කරල අත්දෙක නළලෙ තියාගෙන වැඳ ගත්ත. අනික් අයත් ඔන්න එහෙම කලා. වැඳ ගත්ත.හාමුදුරුවො පටන් ගත්ත පන්සිල්.... 

" බු..ද්...ධං.........ස...ර..ණං..ග..ච්...ඡා..මී.... " 

ඇ..ද...ල......පැ..ද...ල...කියල ටික වෙලාවක් බලා හිටිය කට්ටියත් එහෙම කියනකල්...ම්හු...නෑ...සද්දයක්..වටාපොත එහෙම ටිකක් මෑත් කරල බැලුව පොඩ්ඩක් මොකද මේ කේස් එක කියල...කට්ටිය ඉන්නව කිසි අවුලක් නෑ..දොහොත් මුදුනේ තියාගෙන වැඳගෙන..ඒත් මීයට පිම්බා හා සමානයි.අර කියන්නෙ අල්පෙනෙත්තක් බිම වැටුනත් ඇහෙන සයිස්ය කියාල. අන්න එහෙම සයිස් ඔන්න කොටිම්ම. 

ටිකක් වෙලා ඉඳල බැරිම තැන හාමුදුරුවො කතා කලා අර ඉස්සරහම හිටිය වැඩිහිටි M.C. පුද්ගලයට. 

" පි..න්..ව...ත....මා..කියනා..පාඨය..ඒ සමඟම...පව..සන්..න…" 

" හරි, හරි... සාදු දිගටම කියාගෙන යන්නකෝ..අපි වෙලාවට දෙන්නම් වැඩේ..බයවෙන්ට එපා..එළකිරි වගේ තමයි…" M.C. කිව්වා දොහොත් නලලේ තියාගෙන වැඳගත්තු ගමම්ම. 

අනේ ඉතිං පිංවතුනි...මේ හාමුදුරුවොත් මෙන්න මෙහෙම හිතනවා..මෙතන මේ රැස්වෙලා ඉන්නෙ ඉන්නෙ මානසික ආබාධිතයින් පිරිසක්...මොවුන් කෝපාවිෂ්ඨ වුවහොත් කුමක් කරාවිදැයි කිවහැක්කේ දෙවියන්හට පමණි. එබැවින් ඔවුන් කියන ආකාරයට කටයුතු කිරීම ශරීර සෞඛ්‍යයට ගුණ දායකය. 

මෙහෙම හිතල පිංවත්නි හාමුදුරුවො දිගටම පන්සිල් දීගෙන යනවා. අපේ M.C. උදවිය දොහොත් මුදුනේ තබාගෙන වැඳගෙන සිටිනවා එකද වචනයක් හෝ නොදොඩා. 

" ධ..ම්..මං ..ස..ර...ණං....ග..ච්...ඡා..මී " 

" සං....ඝං ..ස..ර...ණං....ග..ච්...ඡා..මී " 

ඔන්න පිංවත්නි...මේ වෙලාවෙ අර M.C. ලීඩර් නැඟිටල ආපහු හැරිල දකුණු කණට දකුණතේ දකුණු දබරැඟිල්ල ගහගන්නව. ඒ කරල ඇස් දෙකත් පියාගෙන මුළු ශාලාවම දෙදරල යන්ට මෙහෙම කියනවා...පින්වත්නී...කොහොමද? 


ඔන්න එතකොටම අර දොහොත් මුදුන් දීගෙන හිටපු අනෙකුත් M.C. උදවිය ඔක්කොම එක හඬින් මෙහෙම කියනව… 

" පිවිතුරු..හද…..වත ..පෑ…….රේදෝ...." 

ඔන්න කට්ටියම නැඟිටල එක සීරුවට මෙහෙම කියනව. 

" ඔබෙ..රාආආආආආගී ඊඊඊඊ..මන...කැළඹේදෝ…." 

" පිවිතුරු..හදවත ..පෑරේදෝ...." 

" එම විට පවසනු මුවින් ඔබේ……." 

" බුද්ධං සරණං ගච්ඡාමී...." 

" බුද්ධං සරණං ගච්ඡාමී...." 

" ධම්මං සරණං ගච්ඡාමී…" 

" සංඝං සරණං ගච්ඡාමී…" 

ශාලාව ගිගුම් දෙනව පිංවතුනි....එකනින්නාද වෙනව...ධර්ම සංවේගය කරණ කොටගෙන හදවත රෝමෝද්ගමනය වෙනව. ගලනාලය සලිත වෙනව. ක්ෂුද්‍ර අතුණුබහන් දඟර වැටෙනව පින්වත්නී...ඔව්...දඟර වැටෙනව… 

අනේ පිංවතුනි අපේ හාමුදුරුවො...අනේ එතුමා වටාපොතත් අයිං කරල කටත් ඇරගෙන බලා ඉන්නව මේක දිහා උතුර දකුණ මාරු වෙලා වගේ... 

අප්පච්චියේ…. සරතා කැමරාව ගෙනල්ල පොටෝස් අල්ලන්ට ලෑස්ති වෙච්චි එක කියන්ට ඇවිල්ල ඔන්න නැවතිච්ච තැන අන්තිමට...හෙහ්, හෙහ්, පිස්සං කොටුවෙං..නරකම නෑ නෙවද වැඩේ? 

ඉතිං සරතා ගේනව කැමරාව..අප්පටසිරි දිගට හරහට ගන්නව පෝටොස්...කොල්ලො ආය නෑ වීදුරු උස්සල චියර්ස් කියනව ගන්නව ..බයිට් කෑල්ලක් කන්ට වගෙ කටට ලංකරගෙන ඉන්නව ගන්නව...එකා එකා බදාගෙන බෝල් රූම් නටනව ගන්නව. සරමෙං බෝට්ටු ඩාන්ස් දානව ගන්නව..එක වැඩයි එතන. 


ඔන්න කොහොමිං කොහොමිං හරි ගෙනාපු බෝතල් දෙක හරි තුන හරි ඉවර උනාය කියමුකො.කට්ටියට හොඳ ගනං....සැමී තමයි අපෙ ගෝලය...මම අර කලින් කිව්වෙ..මිනිහ පුහුල්වැල්ලෙ මේ මාතර පැත්තෙ.. 

" සැමී කෑම බෙදමු නේද කොල්ලො? ...." මම සැමීට කෑම මේසෙට බෙදන්ට උදව් වෙනව..ඔන්න ඒකත් හරි.. 

" කෝ බං මේ මහත්තුරු ටික?....කොහාට ගියාද හැබෑට?.." කෑම බෙදල බලනකොට අනික් එවුං එකෙක් වත් නෑ පේන්ට. 

" බලාපං බං මෙවුං මොන දේවාලෙක ගියාද කියල…" ඔන්න අපි දෙන්න ටෝච් එකත් අරගෙන මිදුළට බැහැල හතර අතට එළිය ගහල බලනව... 

" අන්න මහත්තෙය..අර එනව පේන්නෙ අපේ මහත්තුරු කට්ටිය නේද?..." සැමී කළුවරේම කෑම්ප් එක මැද්දෑවෙ තිබ්බ පිට්ටනිය මැදිං මේ පැත්තට එන කට්ටියක් පෙන්නුව. ඔව් අපෙ කට්ටිය තමයි. 

" දෙයියෝ සාක්කි, ටෝච් එකක් තියා ඉටි පන්දමක්වත් නැතුව මේ යක්කු ඇටපල් කළුවරේ කොහෙ ගියාද මංද...පොළඟෙක් වත් කාපි නං මොන දෙයියංට කියන්ටද? " මම කිව්ව. 

" කොහෙද බං ගියේ? අරෙහෙ කෑමත් බෙදල...නිකං හීතල වෙල යනව.." මම කෑගැහුව. 

" අපි ගියා බං පොඩි බඩුවක් හොයං එන්ට..මේ..." වළාපොට ගහගෙන හිටපු සරම අස්සෙං එලියට අරගෙන සරතය මට බෝතලයක් පෙන්නුව.. 

" යකෝ කොහෙන්ද ඕක ගෙනාවෙ?...කපිලය ගාව මම තිබ්බ එකක් නේද? ඇයි බොලව් වැඩේ පටං ගද්දි නමෝ විත්තියෙං කතා උනා මතක නැද්ද මේ බෝතල් තුන විතරයි ගහන්නෙ, කපිලය ගාව තිබ්බ එව්ව හෙට අනිද්ද දිහාට ගහමුය කියල. " 

" හරි, හරි බං එහෙම කිව්ව නං තමයි...ඒත් ඒ අමුවෙං ඉන්න වෙලාවෙනෙ. එව්ව කවුද සිරා ගන්නෙ?..අනික හෙට බොන්නෙ අද බීලනෙ..වරෙං වරෙං මේක ගහල දාමු ඩබල් එකේ…" 

" මට නං බෑ..තකහනියක් ගිහිල්ල ගෙනාව නං බොලාම ගහපල්ල…" මට තද වෙල හිටියෙ නැට්ටටම. 

" කපිලෙය මොකද කිව්වෙ?..." ටිකකිං කූල් ඩවුන් උනාම එකක් දාගන්න ගමං මම ඇහුව. 

" සැමී ඔන්න ඔය මේසෙට තිබ්බ ඒවයිං මස් කෑලි දෙක තුනකුත් අරං වරෙං බාං..අර කිව්වත් වගෙ හෙට ගහන්නෙ අද ගහල ඉවර වෙලානෙ…" 

" කපිලෙය දොර ඇරියෙම නෑ..වීරෙ අයිය දෙන්ට එපා කිව්ව කාටවත් කියල නාහෙං ඇඬුව ...දොර කඩල තෝ පට්ට ගහනව කිව්වහම තමයි බය වෙලා ජනේලෙං බඩු දුන්නෙ….'' 

" අම්මප උඹලත් කොරන වැඩ..හෙට මට කණක් ඇහිල ඉන්ට වෙන්නෙ නෑ..ඕකගෙ චුරුචුරුව…" මම හිනාවෙවී කිව්ව. 

කිව්ව වගේම පහුවදා මම අපෙ ටැංකිය ගාව ( අපෙ ක්වාටර්ස් පිටිපස්සෙ හදල තිබ්බ පොඩි වැව් වාගෙ දාර ටැංකි...ගඩොලෙං බැඳල..ඔව්වට බව්සර් වලිං හැමදාම උදේ ගහනව වතුර කට කපල එකක්. ඕක වටේ තිබ්බ පිලක්. අපි රෙදි හෝදන්නෙ, නාන්නෙ ඔක්කොම ජලාශ්‍රිත කටයුතු කරන්නෙ ඕන්න ඔය පිලේ තමයි ටැංකිය වටේට ඉඳගෙන ) දත් කුස්ටම මදිනව වැඩට යන්ට ඉස්සර. මේං කපිලය ආපි අඬාගෙන. 

" අනේ අයියෙ ආයෙ එහෙම බෑ ඔන්න මට බෝතල් කාමරේ තියාගන්ට. ඊයෙ රෑ සරත් අයිය එහෙම ඇවිල්ල මාව මරන්ට හැදුව…." 

" හරි, හරි බං අඬන්නෙ නැතුව ඉඳපං…. ආය මම උඹට බෝතල් තියාගන්ටෙයි කියල කියන්නෙ නෑ." මම ඌව සැනසුවා. 

ඒකනං එහෙම ෂේප් උනා කියමුකො. එදා හවසනෙ කෙළිය..ඔන්න දිඹුලාගල යන්ට ලෑස්ති වෙලා සරතා ගත්ත කැමරාව. 

" අඩෝව්...කවුද ඩෝ මගෙ කැමරාවෙං පොටෝ ගත්තෙ?....මේකෙ ඊයෙ ෂොට්ස් විස්සකට වැඩිය තිබුණ.දං එකක්වත් නෑ...බලාපල්ල උඹල කරන කැත වැඩ....'' 

" ආ..හැබෑටම?....කැත වැඩ නේද? මම කිසිම දෙයක් කියන්නෙ නෑ..ඔන්න ඔය සැමීගෙං අහපං ඊයෙ රෑවෙච්ච දේ...කැ...ත...වැ...ඩ මම උඹට කිව්වයි කියල හිතාගං " 

කොහොම හරි උගෙ දළු දාගෙන ආපු පෙරේමය ඔය කැමරා කේස් එක නිසා උපංගෙයිම මිය ඇදෙන්ට ගිහිල්ල බොහොම අමාරුවෙං තමයි ආයෙම පුබුදුවල ගත්තෙ 

ඊට සුමාන දෙහෙකට විතර පස් සෙ අපේ විමලය මොකක් හරි උවමනාවකට කදුරුවෙල යනවයි කිව්වම සරතා දුන්න අර එදා ගත්තු පෝටොස් සුද්ද කරන්ට ස්ටුඩියෝ එකට බාර දුන්නු බිල. අනේ බං ෆොටෝස් ටික සුද්ද කරල නං අරං වරෙං කියල. 

එදා හවස විමලෙය ආවෙ කෑම්ප් එක දෙකක් වෙන්ට කෑ ගහගෙන.. 

" ඒයි කොල්ලනේ..වරෙල්ලා... සරතගෙ පෝටොස් බලන්ට. හැමදාම නෑ හැමතැනම නෑ….හැමදාම නෑ හැමතැනම නෑ…." 

වෙලාවට සරතය හිටියෙ නෑ...ඌ කෙලි පොඩ්ඩිත් එක්ක වෝල්ක් එකක් ගිහිල්ල...අපි ඔක්කොම විමලය වටේ රැස් උනා. 

" පපර පපර පෑං...මෙන්න සරතාභිධාන මහා ඡායාරූප ශිල්පීයානන්ගේ පළමු ඡායාරූපය.මේ ඇහැ කාගෙද කියල හරියටම කියන කෙනෙකුට ඉතා වටිනා ත්‍යාගයක් පිරිනමනු ලැබේ...'' 

යකෝ ඇත්ත නේන්නං....ඒ පලවෙනි ෆොටෝ එකේ තිබ්බෙ කාගෙද ඇහැක් විතරයි.හොයන්ඩම බෑ කාගෙද ඇහැ කියල..බාගෙට පියවෙලයි තිබ්බෙ ඇහැ.අනික් පොටෝසුත් ඊට දෙවෙනි නෑ. එක්කො කාගෙ හරි අතක්...නැත්තං දණිස්සෙං පල්ලෙහ කකුලක කෑල්ලක්..ඊට අමතරව තිබ්බ අපි බීපු බෝතල්වල නම් සම්පූර්ණ පොටෝස් හතර පහක්ම. මේ මනුස්සය මේ බෝතල් පොටෝ ගහල තියෙන්නෙ මොන මඟුලකටද මන්ද?.... පොටෝ බලන ගමන් එකෙක් කිව්ව. 

" එව්ව මචං මේ උඹලට අපිට තේරෙන්නෙ නෑ..හරිද? ඕකට කියන්නෙ ඇබ්ස්ට්‍රෑක්ට් ආට් කියල සිංහලෙං කිව්වොත් භාවාත්මක කලාව. ඒකෙදි ඔහොම තමයි. කෙලිම්ම පොටෝ ගන්නෙ නෑ. එක්කො ඇහැක්. එක්කො කණක්...එක්කො මහපටඟිල්ල..ආන්න ඒ වගෙ ඒ පුද්ගලයගෙ භාවය සහ ආත්මීය සංඝටනය සාක්ෂාත් වෙන විදිහට සංකේතීය විසංවාදය උද්දීපනය වෙන විදිහටයි කලාව ප්‍රකාශන මාධ්‍යයක් විදිහට යොදා ගන්නෙ. " 

සරතයව සවුත්තු වෙන්න දෙන්නත් බෑනෙ. මගෙ අතීසාර මිත්තරය වෙච්චි.… 

" භාවය උද්දීපනය වෙන එකක් නම් මන්ද..මම නම් අහල තියෙන්නෙ බාවය කියන්නෙ නැට්ටට කියලයි. " විමලෙය හෙමිහිට තොල් මැතුරුව. 

" බාවය උද්දීපනය වෙනව කියන්නෙ එහෙනං නැට්ට කෙලිං වෙනවට වෙන්ට ඇති…" මට ඉබේම කියවුනා. 
Related Posts Plugin for WordPress, Blogger...