Friday, November 17, 2023

691. පුවක් එෂැණිං - 75 - වැඩබලන පොලොස්පති පත්කිරීම, ක්‍රිකට් පරාජය සහ ගෝටාබයගේ පෙටි කෑෂ්...



මේක මේ සතියකට දවස් දහයකට විතර කලිං බ්ලොග් එකේ දාන්ට කියල හිතාගෙන ලියපු එකක්..කොහොමහරි මේ දවස්වල අධික වැඩ රාජකාරි හින්ද අමතක මතක බැරි උනා කියහල්ලකො..

****************************************************

හිටපු පොලොස්පතිතුමාම සති තුනක කාලයක් සඳහා නව පොලොස්පති ලෙස පත්කිරීමට අතිගරු ජනාදිපතිතුමා තීරණය කොට ඇති බව ජනාපෙති මාජ්ජි අම්සය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී...

මීට පෙර දවරක් මාස තුන බැගින් සේවය දිගු කල නමුත් මෙවර එසේ කිරීමට  ව්‍යාවස්ථා සභාව විරුද්ධවීම නිසා සේවා දිගුව සති තුනකට සීමා කිරීමට අතිගරු ජනාපෙතිතුමා තීරණය කොට ඇත...

සතිතුන අවසානයේ එතුමාම යලිත් පත්කිරීමට ව්‍යවස්ථා සභාව නැවත වරක් විරුද්ධ වුවහොත් සේවා දිගුව සති දෙකකට සහ ඉනික්බිති සති එකහමාරකට , ඉන්පසු සතියකට වශයෙන් සේවා දිගුවන් ලබාදෙනු ඇත..පසුව දවස් තුනකට, දවස් දෙකකට, දවසකට, වරුවකට, පැය හයකට සහ පැය තුනකට වශයෙන් සේවා දිගුවන් ලනාදීමට අතිගරු ජනාපෙතිතුමා තීරණය කොට ඇති බව ජනාපෙති මාජ්ජි අම්සය වැඩි දුරටත් නිවේදනය කරයි..

ටං..... ටිං..... ටුං

****************************************************

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මේ දිනවල ලබන අන්ත පරාජයන් පිළිබඳව සම්පූර්ණ වගකීම භාරගෙන තම තනතුරින් ඉල්ලා අස්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පෞද්ගලික සමාගමේ ලේකම් තනතුරේ කටයුතු කල මොහාම් ඩී සිල්වානෝ මහතා නිර්භයව තීරණය කොට ඇත..තේරීම් කමිටුවක් සහ නොයෙක් නොයෙක් මාදිලියේ පුහුණු කරුවන් ( වේගපන්දු පුහුණු කරුවන්, පාදඟපන්දු පුහුණු කරුවන්, පිටදඟපන්දු පුහුණු කරුවන්, කඩුල්ල අසල සිට උඩ පන්දු රැකීමේ පුහුණු කරුවන්, කඩුල්ල අසල සිට උඩ පන්දු අතහැරීමේ පුහුණු කරුවන් යනාදී වශයෙනි ) රැසක් SLC පෞද්ගලික සමාගමින් වැටුප් ලබාගත්තද ඒ සියලු තේරීම් සහ පුහුණු කටයුතු සිදු කෙරුනේ තමන් විසින් බැවින් සම්පූර්ණ වරද භාරගෙන ඉල්ලා අස්වීමට තීරණය කල බව එතුමා ඉතා හැඟුම් බරව ප්‍රකාශ කලේය..

එලෙසම කෝප්ප කමිටුවේ නිර්දේශ පරිදි මෙවර ලෝක කුසලාන තරඟාවලිය සඳහා තරඟ වදින කණ්ඩායම දිරි ගැන්වීම පිණිස නළු නිළියන් ක්‍රිකට් ආයතනයේ වියදමින් ගෙන නොගිය අතර එම නළු නිලියන් නටමින් ගයමින් සිනාසෙමින් කල දිරිගැන්වීම් මෙවර දක්නට නොලැබීම අපේ කණ්ඩායමේ මානසික ඒකාග්‍රතාවය බිඳ වැටීමට හේතුවූ බවද ආයතනයේ ඩොලර් 30,000ක් වැටුප් ලබන උසස් දක්ෂතා විශේෂඥතුමා ( High Performance Specialist) පැවසීය..

එසේම 2027 එක්දින ලෝක කුසලානය ජයග්‍රහණය කිරීම උදෙසා ඉන්දීය කණ්ඩායමට එරෙහි තරඟයේදී පන්දුවාර 19.1 තුලදී සියළු ක්‍රීඩකයින් දැවීගිය අවස්ථාවේ සිටම තමන් නවතම සැළැස්මක් සකස් කිරීමට මුල පිරූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති සැම්මි සිල්වා මහතා මේ අතර නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටී..එහි මූලික පියවර පරිදි 2027 ලෝක කුසලානය පැවැත්වීමට නියමිත දකුණු අප්‍රිකාවට යාම සඳහා SLC ආයතනයේ නිලධාරීන් 12 දෙනෙකුට ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට සහ තමන්ගේ හිතවත් නළු නිළියන් 6 දෙනෙකුට ව්‍යාපාර පංතියේ ගුවන් ප්‍රවේශ පත්‍ර සහ තරු 5 හෝටල්වල නවාතැන් පහසුකම් වෙන්කර ගැනීමට දැනටමත් කටයුතු කරගෙන යන බව ඔහු ඉතාම හැඟීම් බරව පැවසීය..

ඊට අමතරව 2027 ලෝක කුසලානය ජයග්‍රහණය කොට ලංකාවට ගෙන ආපසු එම කුසලානය මහජන ප්‍රදර්ශණය උදෙසා තැබීමට මනරම් කුටියක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපිට ඉදි කිරීම සඳහා ලියාපදිංචි කොන්ත්‍රාත් කරුවන්ගෙන් මිල ගණන් කැඳවීමද ඉදිරි දින කීපය තුල ආරම්භ කිරීමට නියමිතය..

ටං..... ටිං..... ටුං

****************************************************

හිටපු ජනාපෙති ගෝටාබේ මහතා ජනාපෙති මන්දිරය අතහැර පලායද්දි ගෙනයාමට නොහැකිව අත්හැර දමා ගිය  රුපියල් මිලියන 17 ක මුදල ආපසු එතුමාටම භාරදීමට ඒ පිළිබඳව පරීක්ෂණ පැවැත්වූ අල්ලස් කොමිසම තීරණයකරයි..

මෙම මුදල් සම්භාරය තමාට හිමි පෞද්ගලික මුදල් බවටත් තම වියදමින් රට පුරා පැවැත්වූ ගම සමඟ පිළිසඳර වැඩසටහන් සඳහා ඉදිකල පිදුරු සෙවිලිකල මඩු සහ ගස් උඩ නංවා ප්‍රශ්න ඇසීමට සූදානම් කල පාක්ෂිකයින් සඳහා ගෙවීම් කටයුතු කිරීමට Petty Cash ලෙස මෙලෙස ජනාපෙති මන්දිරයේ තබාගත් බවටත් හිටපු ජනාපෙති තුමා කල ප්‍රකාශය පදනම් කරගෙන මෙම තීරණය ගත් බව කොමිසමේ ආරංචි මාර්ග ප්‍රකාශ කරයි..

තවද අරගලකරුවන් මන්දිරය වටලන විට එතුමා අනුභව කරමින් සිටි පැපොල් පලුවද සොයා එතුමා වෙත භාරදීමට ඒ පිළිබඳව පරීක්ෂණ කටයුතු නොනවත්වා ඉදිරියට කරගෙන යන බවද කොමිසම පවසයි..

ටං..... ටිං..... ටුං

6 comments:

  1. +++++++ මයියා https://maiyyagelokaya.blogspot.com/

    ReplyDelete
  2. ක්‍රිකට් ක්‍රිට් අනෙ මන්දා තහනමනම් මරූ
    විකට් ‍‍යන්නෙ ජනතාවගෙ ජීවිතයෙන් සරූ
    පොකට් එකට තට්ටුකරයි එන නිල ලත් හොරූ
    රොකට් එකක් යවයිද යළි පෙන්නන්නට තරූ...
    අනෙ මන්දා....

    ජයවේවා !!!

    ReplyDelete
  3. අර පැපොල් පලුව මෙච්චරකල් නරක් නොවී තියාගන්න කොච්චර බෙහෙත් ගහල ඇතිද?

    ReplyDelete
  4. මොනවද යකෝ ඔය තරමට තියන වැඩ රාජකාරී?

    ReplyDelete
  5. ලෝකෙන් උතුම් රට ලංකාවයි
    ලංකාවයි සිරි ලංකාවයි
    හොර බොරු සේරම තියෙන රටයි
    රැවටෙන්නන්ටම ඇරුණු රටයි

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...