Saturday, October 21, 2017

540. The Story Of My Marriage - 47 - Taking the blame is the name of the game…..


70 සහ 80 දශකයන්හි ලොව පුරා ප්‍රසිද්ධවූ ABBA සංගීත
කණ්ඩායමේ ඉතා ජනප්‍රිය ගීයක් වූයේ
"The name of the game" නම් ගීතයයි.
ඇබා සංගීත කණ්ඩායම ඉහත ඡායාරූපයෙහි දැක්වේ.
(Google images)

"හහ්හා...මගේ අතිජාත මිත්‍රයා....අද වැඩේට සූදානම් නේද? මොකවත් අවුලක් එහෙම නෑනෙ....."

පසුදින උදෑසන කාර්යාලයට ගොස් මගේ අසුනේ හිඳගෙන නිවිහැනේ හුස්මක් කටක් ගැනීමටත් ප්‍රථම මහ හඬින් එසේ පවසමින් මගේ කුටියට ඇතුළු වූයේ බාලක්‍රිෂ්ණන් මහතාණන්ය. ඔහුගේ මුවගෙහි වූයේ දහසක් හිරු එක්වර පෙරඹ'ර නැඟුනාක් බඳුවූ සිනහවෙක් වූ අතර සුරතෙහි වූයේ දුම් දමන කෝපි කෝප්පයකි. 

එහි වූයේ කෝපි බව මා දැනගත්තේ කෙසේදැයි ඔබ සිතෙහි යම් කුකුසක් ගැටළුවක් පැනනැඟීනම් මා දයාබර පාඨකය මෙන්න ඊට පිළිතුර. එහි ඇත්තේ කෝපිම මිස අන් කිසිවක් නොවන බව මා තිරකොට දැනගත්තේ බාලක්‍රිෂ්ණන් මහතා කුටියට ඇතුළුවීමත් හා සමඟම කුටිය පුරා විසිරී පැතිරී ගිය කෝපි සුවඳිනි.

එකම අඩුපාඩුව වූයේ ඔහු කෝපි කෝප්පය බන්දේසියක තබා රැගෙන නො ඒම පමණකි.

"කමක් නෑ පළවෙනි පාරනෙ.ඊලඟ පාර කියන්න ඕන බන්දේසියක තියල ගේන්න කියල…" මම එසේ තොළ මතුරමින් සිත සනහා ගතිමි.

"කුණු බැණුං අහගෙන මෝඩයෙක් වගෙ කරබාගෙන ඉන්න ආය අහවල් සූදානමක්ද? මට අද කරන්න තියෙන්නෙ එච්චරනෙ…." සිතේ වූ කේන්තිය මඳක් හෝ සමනය කරගනු වස් මම එසේ පවසමින් බාලාගේ අතින් කෝපි කෝප්පය ගතිමි.

කෝපි කෝප්පයෙහි කට වටා කෝපි වැගුරුණු තැන් පැහැදිලිව පෙනෙන්නට තිබිණි. මම එදෙස බලා සිටිනු දුටු බාලා වහා දිවගොස් බිත්තිය අසල මේසය මතවූ ටිෂූ කරදාසි පෙට්ටියෙන් ටිෂූ කිහිපයක් රැගෙන විත් මට දුන්නේය. 

"හ්ම්ම් ඒකත් නරකම නෑ. මගේ බොසා මට කෝපි හදල ගෙනත් දෙනව. කෝප්පෙ වටේ හැලිච්ච කෝපි පිහදාන්ට ටිෂූත් ගෙනල්ල දෙනව...හෙහ්...හෙහ්.." මම එසේ සිතමින් කෝපි තොලගාන්නට වීමි. "හ්ම්ම් කෝපි එකත්නම් නරකම නෑ.."

අප කාර්යාලයෙහි පසෙක වූ සම්මන්ත්‍රණ ශාලාවෙහි ඊට දෙහෝරාවකට පසු ඒ ඉතා වැදගත් රැස්වීම ඇරැඹිණි. පසෙක බිත්තියෙහි එල්ලා තිබූ දර්ශන තිරයෙහි බාලා මවිසින් සකස් කරන ලද පවර්පොයින්ට් ඉදිරිපත් කිරීම (Power point presentation) ඇරඹීය. මවිසින් අපේක්ෂා කල පරිදිම එහි ප්‍රථම චිත්‍රකාචයේ (First slide) වූ මගේ නම ඉවත් කොට තිබිණි.

ඉන්දීය උප මහාද්වීපයෙහි ඕනෑම බැංකුවක, ඕනෑම අංශයක, ඕනෑම හේතුවක් නිමිති කරගෙන පැවැත්වෙන්නාවූ ඕනෑම සම්මන්ත්‍රණයක කෙරෙන්නාවූ ඕනෑම ඉදිරිපත් කිරීමක් ඇරඹෙන්නාසේම බාලාගේ ඉදිරිපත්කිරීම ඇරඹුනේද 1991 වසරේ ඉන්දීය ආර්ථිකය ලිහිල් කරණයෙන් රටේ දියුණුවට සැළසෙන මගඟු අවස්ථා සහ ඒවායින් නිසි ප්‍රයෝජන ගන්නා අයුරු පිළිබඳව දීර්ඝ විස්තරයකිනි.

(සටහන - එවකට ඉන්දීය අග්‍රාමත්‍ය වරයාවූ පී.වී. නරසිම්හ රාවෝ මහතාගේ සහ මුදල් අමාත්‍ය ධුරය හෙබවූ ආචාර්ය මන්මෝහන් සිං මහතාගේ ප්‍රධානත්වයෙන් 1991 වර්ෂයේදී ඉන්දීය ආර්ථිකය ඉන් පෙර පැවති ශුභසාධන වාදී රාජ්‍ය මූලික ප්‍රතිපත්තියෙන් ඉවත්ව වඩාත් ලිහිල්කරණයවූ පෞද්ගලික අංශයට වැඩි බරක් තබා ක්‍රියාකරන ප්‍රතිපත්තියකට මාරුවිය. මීට පෙර 1967 සහ 1985 යන වර්ෂවලදීද මෙසේ ආර්ථිකය ලිහිල්කරණයට උත්සාහ දැරුණද ඒ අසාර්ථක විය.)

"මම හිතන්නෙ මේ අනුව ඔබ සැමට ඉතාම පැහැදිලිව පේනව ඇති තොරතුරු තාක්ෂණය කියන්නෙ අපේ ඉදිරිගමනේ ඉතාම වැදගත් අංගයක්…"

බාලා පැවසූයේ දර්ශන තිරය මත වූ ප්‍රස්ථාරයකට අපගේ අවධානය යොමු කරවමිනි. එහෙත් එම ප්‍රස්ථාරයෙහි රේඛාව දිගින් දිගටම පහළට යොමුව ගමන් කිරීම පිළිබඳව කිසිවක් සඳහන් නොකිරීමට ඔහු වගබලා ගත්තේය.

මෙම සාකච්ඡාවට සහභාගීවීම උදෙසා සිටි බැංකුවේ පාරිභෝගික සේවා අංශයේ ප්‍රධාන කළමණාකාර අනිල් මථූර් මහතා මුම්බායිහි සිට චෙන්නයි දක්වා ගමන් ගන්නා දවසේ පළමු ගුවන් යානයෙන් පැමිණ සිටියේය. සාකච්ඡා මේසයෙහි ප්‍රධානත්වය උසුලමින් සිටි ඔහුගේ මුහුණෙහි කිසිදු සතුටක සේයාවක් හෝ දක්නට නොවීය. සිටි බැංකුව මුහුණදී ඇති අභාග්‍යමත් තත්වය මත ඔහුගේ මුහුණ කිසිසේත්ම සතුටුදායක විය නොහැකි බවට සැකයක් නොමැති නමුදු මථුර් මහතාගේ නොසතුටට හේතුවූයේ සාකල්‍යයෙන්ම වෙනත් කරුණකි.

අවසාන මොහොතේ ඉතා හදිසියෙන් ගුවන් යානයේ අසුනක් වෙන් කොට ගැනීමට සිදුවූ බැවින් ඔහුට තම සුපුරුදු ව්‍යාපාරික පංතියෙහි (Business class) අසුනක් වෙනුවට ලැබී තිබුනේ සාමාන්‍ය පංතියේ (Economy class) අසුනකි. එහිදී එදිනෙදා තම යම් යම් කටයුතු උදෙසා මුම්බායි සහ චෙන්නයි අතර පියාසර කරනා සාමාන්‍ය මිනිසුන් හා උරෙනුර ගැටී ගමන් කිරීමට සිදුවීම පිළිබඳව ඔහු පසුවූයේ තදබල සිත් වේදනාවකිනි.

ඔහුගේ මුහුණෙහි වූ නොපහන් කෝපාවිෂ්ඨ පෙනුම බාලාගේ ඉදිරිපත් කිරීම නොනැවත ඉදිරියට ගලා යද්දි ක්‍රමයෙන් තීව්‍ර වන්නට වූයේය.

සතළිස් වියට ආසන්න අනිල් මථූර් සිටි බැංකුවෙහි ධූරාවලියෙහි (Hierarchy) සීඝ්‍රයෙන් ඉහළ නැඟීමේ විභවයක් ඇත්තෙකු ලෙස සැළකිණි. බැංකුව මඟින් පවත්වන වැඩමුළු සහ සම්මන්ත්‍රණයන්හිදී ඔහු හඳුන්වා දෙනු ලැබූයේ "මේ තමයි අනිල්,බොහොම දක්ෂයෙක්. කවදක හරි සිටි බැංකුවෙ ඉහළම තනතුරට පත්වෙන බව සහතිකයි" වැනි ප්‍රශංසාත්මක වදන් භාවිතයෙනි. අනෙකුත් කණිෂ්ඨ නිලධාරීන් අභිප්‍රේරණය (Motivating) කොට ඔවුන්ගෙන් වහළුන්ගෙන් මෙන් වැඩගැනීම උදෙසා සිටි බැංකුවේ ඉහළ කළමණාකාරිත්වය මෙවන් උපක්‍රම අනුගමනය කළෝය.

අනිල් සම්මන්ත්‍රණ ශාලාවට ඇතුළු වන විට එහි රැස්ව සිටි චෙන්නයි ශාඛාවේ කණිෂ්ඨ නිලධාරීන්ගේ ඇස් මහත්ව දිළිසුණු අන්දම එම උපක්‍රමය ඉතාම සාර්ථක බව මොනවට ගෙන හැර පෑය. ඔවුන්ගේ දිළිසෙනා දෑස් මා චෙන්නයි ගුවන් තොටුපොළේ සිට නිවහන වෙත රැගෙන ආ ත්‍රිරෝද රථ රියදුරාගේ දෑස් රජ්නි කාන්ත්ගේ රුව රැගත් යෝධ ප්‍රචාරක පුවරුව දුටු වහා දිළිසුණු අන්දම මට සිහිගැන්වූයේ නිතැනිණි.

"ඉතින් මහත්වරුනි ඉතා කෙටියෙන් කියනවනම් ඔන්න ඔය විදිහටයි අපමේ අද අපට මුහුණ දීමට සිදුවෙලා තියන දුර්භාග්‍යමත් තත්වයට පත්වුනේ…"

පුරා හෝරාවකට මඳක් අධික කාලයක් තිස්සේ ඇදී ගිය ඔහුගේ කරුණු දැක්වීම බාලා අවසන් කලේ එළෙසිනි. මෙතරම් ඉක්මණින් ඔහු තම කථාව අවසන් කරනු ඇතැයි මම කිසිසේත්ම අපේක්ෂා නොකළෙමි.

අනිල් නිහඬවම තම දෙනෙත් පළමු පෙළෙහි අසුන්ගෙන හුන් සීයල්ලන්ගේම මුහුණු දෙස අනුපිළිවෙලින් යොමු කොට ගෙන ගියේ කිසිවකුගේ මුහුණෙහි වරදකාරී හැඟීමක් වැන්නක් පිළිබිඹු වනවාදැයි සැක හැර දැනගන්නා අටියෙන් මෙනි. ඔවුහු සියල්ලෝම වහා තම දෙනෙත් පහතට හරවා ගත්තා විනා කිසිවකු ඔහුට මුහුණ දුන්නේ නැත. දමිළයෝ කිසිවකුගේ දෙනෙත් දෙස එක එල්ලේ නොබලන්නෝය. තමනට වඩා ඉහළ නිළයක් හෝ තත්ත්වයක් දරන්නකු කෙරෙහි නම් ඒ භය හෝ ගෞරව සම්ප්‍රයුක්ත හැඟීම තවත් සුවිශේෂීය.

අවසන ඔහුගේ නෙත් නතර වූයේ බාලාවෙතය. බාලා යම්තමට හිස හරවා මදෙස බැලීය. මම සෙමෙන් හිස සොළවා මගේ එකඟතාවය පළකළෙමි. "ඔව්..ඔව්....ඔව්.....මනුස්සයෝ....මම ලෑස්තියි දංගෙඩියට බෙල්ල තියන්ට…මම ලෑස්තියි" මම එසේ තොල් මැතිරීමි.

අනිල්ගේ ජංගම දුරකථනය නාදවිය. ඔහු එය තම කළිසම් සාක්කුවෙන් පිටතට ගත්තේය. ඇමතුම මුම්බායි සිට ඔහුගේ ලේකම්වරියගෙනි. 

"මොකක්ද කිව්වෙ? ආපහු මුම්බායි යන්ට බිස්නස් ක්ලාස් ටිකට් එකක් අදම ගන්ට බෑ කිව්ව? මොකක්ද ඒ කතාවෙ තේරුම? මේ..මේ..මේක හොඳට අහගන්නව. මට නම් කොහොමටත් බෑ උදේ ආව වගෙ මේ මැඩ්රාස් යක්කුත් එක්ක එකට පොදි ගැහිල එන්ට..මම කොහොමවත් ඒකනම් කරන්නෙ නෑ…"

අනිල් සහ මම හැරුනු විට සම්මන්ත්‍රණ ශාලාවෙහි රැස්ව සිටි අන් සියල්ලෝම අනිල් පරිභව මුඛයෙන් කථා කල මැඩ්රාසීහුය. ඔවුන් බොහෝ දෙනෙකුගේ තොල් සැපෙනු සහ මුහුණු විරූපවනු මම දුටුවෙමි. එහෙත් අනිල් වනාහී ඔවුන්ගේ ප්‍රධානියාය. එබැවින් අනිල් ඉතා හාස්‍යජනක විහිළුවක් කල අයුරු ඔවුහු සියල්ලෝම දෙතොල් වැරයෙන් මෑත්කොට මද සිනහ පළකලෝය.

මිනිත්තු දෙකක පමණ කාලයක් තම ජංගම දුරකථනයට සවන් දුන් අනිල් එක්වරම හුනස්නෙන් නැඟී සිටියේ ය.

"මොකක්? මට එයාපෝට් එකට එවන්නෙ හොන්ඩා සිටි එකක්ය කිව්ව? මේ..ට්‍රාන්ස්පෝට් එකට කියනව මට මර්සිඩීස් එකක්..මර්සීඩීස් එකක් නැත්නම් බී.එම්.ඩබ්ලිව්. එකක් එවන්නෙයි කියල...මගේ තනතුරේ හැටියට මට ඒ වගෙ වාහනයක් ලැබෙන්න ඕන...මොකක්ද? ඔව්..ඔව්...මම දැන් එක පාරක් කිව්වනෙ..ට්‍රාන්ස්පෝට් එකට කියනව මම එහෙම කිව්වයි කියල..."

ජංගම දුරකථනය ක්‍රියා විරහිත කල අනිල් යලි අසුන්ගෙන දිගු සුසුමක් හෙලා අනතුරුව දෑතින්ම තම මුහුණ පිරිමදින්නට වූයේය.

මසිතේ ඔහු කෙරෙහි මහත් අනුකම්පාවක් ජනිත වන්නට වූයේය. තම මූලික අවශ්‍යතාවයක් සපුරා ගැනීම උදෙසා දිනපතා සටන් කරන්නට වීම යනු මහත්ම අභාග්‍යයකි. 

"හරි ඒක ඉවරයි..දැන් අපිට විසඳන්ට තියෙන ප්‍රශ්ණෙ ගැන බලමු…" අනිල් සෙමෙන් තමන්ටම කියා ගත්තේය. ඒ ඇසූ රැස්ව සිටි සියල්ලෝ තම තමන්ගේ අසුන් මත සෘජුවූවෝ දෑත් උකුල් මත තබා ගත්වනම ස්වකීය නාසිකාවන්ට කෙළින් ඉදිරිපස දෙස නෙත් යොමුකොටගත්තෝය.

"සර්..මම මේ කිය කිය හිටියේ….."

බාලා යළි තම ඒක පත්‍ර භාෂණය (Monologue) යළි ආරම්භ කිරීමට තැත් කරමින් පැවසීය. අනිල් ආපසු මුම්බායි බලා යෑමට නියමිත ගුවන් යානය තවත් පැය හතරකින් චෙන්නයි ගුවන් තොටුපොළින් පිටත්වනු ඇත. බොහෝවිට බාලා සිතන්නට ඇත්තේ කුමන හෝ වල්පල් රැසක් කියවමින් කාලය කා දැමුවහොත් පිළිතුරු දිය නොහැකි ප්‍රශ්ණ ඇසීමට අනිල්ට ප්‍රමාණවත් කාලයක් නොමැතිවනු බව විය හැක. 

"ඇති බාලා..ඔයා දැන් ගොඩක් දේවල් කිව්වනෙ ඔය ඇති හොඳටම…." අනිල් පැවසූයේ තම සුරත ඔසවා බාලා ට බාධා කරමිනි. "මට දැනගන්ට ඕන සරලවම මෙච්චරයි. එක මාසෙකදි අපේ හොඳම ගනුදෙනුකාරයො හත් දෙනෙක් අපිට නැතිවුනා. මට දැනගන්ට ඕන එහෙම වුනේ කොහොමද කියල එච්චරයි…"

අපි සියල්ලෝම පොළවෙහි අතුරා ඇති බුමුතුරුණෙහි ඇඳි මහඟු රටාව අධ්‍යයනය කරන්නට වුනෙමු. 

"කෝටි දෙකක්.... " අනිල් එක්වරම මහ හඬින් කෑගැසීය. 

අපි සියල්ලෝම ගැස්සී හිස් එසවීමු. එතෙකුදු අනිල්ගේ මුහුණ දෙස එක එල්ලේ නොබැලීමටද ප්‍රවේශම් වීමු. 

"කොහොමද අපි ගැන විශ්වාසය තියපු ගණුදෙනු කාරයන්ගෙ සල්ලි කෝටි දෙකක් එක පාරට නැති වෙන්නෙ? ඒ ගණුදෙනු කාරයො සිටි බැංකුවට ආවෙ තමන්ගෙ සල්ලි නැතිකරගන්ට නෙවෙයිනෙ. ඒ ගොල්ල ආවෙ සිටි බැංකුව ගැන විස්වාසය තියල. තමන්ගෙ සල්ලි ආරක්ෂාවෙයි කියල හිතල එහෙම නේද?"

අනිල් එසේ පැවසූයේ තමන් වෙන කිසිවකුට සිහිනෙන්වත් සිතාගත නොහැකි අන්දමේ මහා සොයාගැනීමක් කල පරිද්දෙනි.

"හරි ඒක පැත්තක තියමුකො. දැං වෙච්ච දේ වෙලා ඉවරයිනෙ. දැං මට කියන්න කවුද මේ අපේ ගණුදෙනු කාරයින්ට ඉන්ටනෙට් කොටස් විකුණමුය කියල යෝජනා කලේ? කවුද මේ අදහස ඉස්සෙල්ලාම ඉදිරිපත් කලේ? කොටින්ම මට දැනගන්ට ඕන කවුද මේකට වැරදිකාරයා? කවුද මේ විකාර වැඩේ මහමොළකාරයා?"

"සර් …."

බාලා එසේ පවසා හිස හරවා මදෙස බැලීය. රැස්ව සිටි අන් සියල්ලෝම ඒ සැනින් කලින් කතා කොට එකඟතාවයකට පැමිණියාක් මෙන් තම හිස් හරවා මදෙස බැලුවෝය. මගේ මුහුණ උණුසුම් වනු මට දැනෙන්නට විය. මම වහා බිම බලා ගතිමි. 

"හ්ම්ම්ම්.....මොකක්ද තමාගෙ නම?" අනිල් මදෙසට තම සුරත දිගුකොට විමසීය.

"මගෙ නම ක්‍රිෂ්... සර්…." මම සිහින් හඬින් පැවසීමි.


********************************

ඔබ "ABBA" ලෝලියෙකු නම් ඔවුන් ගයන "The name of the game" ගීතය ඔබට පහත වීඩියෝවෙන් ශ්‍රවණය කල හැක.



Tuesday, October 17, 2017

539. පුවක් එෂැණිං 33….Current Hot Topics - සමන්තබද්‍ර සාදු සහ කූඹියෝ........


පිටිදූවේ සිරිධම්ම හෙවත් සමන්තබද්‍ර සාදු  ඉහත
ඡායාරූපයෙහි දැක්වේ. මේ වනාහී දණින් වැටී සමාව
ගැනීමට පෙර ඔහු රහත්ව සිටි කාලයේදී බව

කරුණාවෙන් සලකන්න.
(Google Images)
සමන්තබද්‍ර සාදුගෙ සමාව ගැනිල්ල මම හිතන්නෙ මේ පහුගිය සතිය ඇතුලත සී ලංකාවෙ වෙච්චි වැදගත්ම සිද්දිය. වැදගත්ය කියල මම කියන්නෙ ප්‍රවෘත්තිමය වටිනාකමකින්. එහෙම නැත්තං සමන්තබද්‍ර සාදු ගිහිල්ල මල්වත්තෙ මහානායක සාදුගෙන් දන ගහල සමාව ගත්තද නැද්ද කියන එකේ ඇති කිසිම වැදගැම්මක් නෑ. 

මොකද මේ අද වෙනකොට ඔය මල්වත්තෙ අස්ගිරියෙ මහානායක සාදුල කියන්නෙ  කවුරු හරි සුදු සූට්කාරයෙක් කොළඹ ඉඳල තකහනියක් දුවගෙන ඇවිල්ල, දන ගහල වැඳල,  පිරිකරක් එහෙම පූජා කරල, එකත්පස්ව මිටි පුටුවක වාඩිවෙලා, අනේ අපේ හාමුදුරුවනේ "ආන්ඩුව මෙහෙම කරන්ට යනව, අරම කරන්ට යනව" කිව්වම "ආ..ඒකත් එහෙමද? එහෙම කරනවනම් බොහොම වැරදියි" කියල කියන උදවිය. පත්තර ටී.වී වලටත් ඕක මදැයි. උනුත් ඒ කියපු එක දාව "මල්වතු මහ නාහිමියෝ මෙසේ වදාළහ, අස්ගිරි මහනාහිමියෝ එසේ වදාළහ" කියල.

ඕකෙ වැරැද්ද වෙන මොකවත් නෙවෙයි වැල ගහකිං ගෙඩියක් පත බෑවෙන පමාවෙං ඔය සාදුල බැහැදකින්ට දුවගෙන යන දේසපාලුවංගෙ. හැබැයි දැං සති දෙහෙකට වගෙ උඩදි දිනෙස් ගුනවර්දන ලොක්කට නං රෙද්දෙ යන්ටම මල්වතු ලොක්ක කියල තිබ්බ. ඒත් ඔය යක්කුංට ලැජ්ජාවක් කියල එකක් තියේය? ආයම යයි දුවගෙන පොඩ්ඩ බැරිවෙනකොට.

සමන්තබද්‍ර සාදුගෙ රන් ආලේපිත පිලිම හැදිල්ල, එතනිං ගිහාම කැටයම් කරපු මහ විසාල පුටුවල නැඟල ගැලරි ටෝක් දෙන එක, පාරෙ යනකොට මුතු කුඩ ඇල්ලිල්ල, යටි පහු වෙන්ට රූමත් මානවිකාවො ලවා මල් දම්මවා ගැනිල්ල වගෙ ගොන් පාට් ගැන නොසලකා හැරියොත් ඇත්තටම ඒ සාදු කියන දේවල් වලට මගේ හිතේ පොඩි කැමැත්තකුත් තිබ්බ කිව්වම මොකද ආය.. 

දැන් සලකල බැලුවොත් එහෙම මල්වත්තෙ අස්ගිරියෙ ලොකු ලොකු සාදුල කරන්නෙ කවිච්චි උඩ ඉඳගෙන මේ ලෝකෙ කිසිම කෙනෙකුට වැඩහට නැති බහුබූත කියවන එකය කියන කතාව ඇත්තනෙ. මල්වත්ත අස්ගිරිය කියල කිව්වට මේ කතාව රාමඤ්ඤ සහ අමරපුර නිකායන් දෙකටත් එහෙම්මම අදාලයි.

සමන්තබද්‍ර සාදු කියපු මම කැමති තව කාරනයක් තමයි බෞද්ධ ධර්මය කියන්නෙ සිවුරුවලට පසඟ පිහිටුවා වැඳීම නෙවෙයි බුදුන් වහන්සේ වදාළ පරිදි ජීවත්වීමය කියන එක. ඒ ඔක්කෝටම වැඩිය මට හිතුනු දෙයක් තමයි සමන්තභද්‍ර සාදු වගෙ කෙනෙක් අපිට මේ කාලෙට ඕනම කරල තිබ්බයි කියන එක. අර කවුද කියනව වගෙ යුගයේ අවශ්‍යතාවයක්. අද මහා සංගරටනේ කියල තමන්ම කියාගන්න තක්කඩි කරන විගඩං, නටන නාඩගං දැක්කම අර කඩි ගුලකට උණු අළු ගැහුව වගෙ,  එහෙම නැත්නම් ගැරඬියෙකුට බූමිතෙල් ගැහුව වගෙ, එහෙමත් නැත්නම් බල්ලගෙ පස්චාත් බාගයට පෙට්රල් ගැහුව වගෙ, මේක හොල්ලල ගන්ට කවුරු හරි ඕනම කරල තිබ්බ. ඇත්තම කියනව නම් Long over-due.

සමන්තද්‍ර සාදු ඒ වැඩේ කරයි කියලයි මම හිතුවෙ. මොකද එයා ඕපන්ලි චැලේන්ජ් කලානෙ ඕනම සාදු කෙනෙකුට එයත් එක්ක ධර්මය ගැන වාදයකට එන්ට කියල. ඔය මහා ධර්මධර සීලවන්ත භික්සූන් කවුරුත් ඉදිරිපත් වුනේ නෑ. ඒත් ඔන්න තමංට හරි අවබෝධයක් නැති දේශපාලන ආර්ථික ප්‍රතිපත්ති වගෙ එව්ව ගැන වාදෙකට එන්ට කිව්වනං අප්පට සිරි කට්ටිය සිවුරු කරේ තියාගෙන ඒවි. එහෙම තමයි ඒකෙ අවයවය.

හැබැයි ඉතිං අන්තිමට සමන්තබද්‍ර සාදුත් අර නැට්ට දෙපරැන්ද අස්සෙ ගහගත්තු කුක්ක වගෙ සති දෙහෙකට ඉස්සෙල්ල තමන්ම පංච නින්දාවෙන් බැන වැදිච්චි අය ගාවට ගිහිල්ල සමාව ඉල්ලුව. වහාම මහනකමෙන් පහකරනව කියල මල්වත්තෙං රෙඩ් නෝටිස් එක ආව ගමං උන්දැගෙ හුළං බැස්ස. 

ඒකට හේතුව තේරුං ගන්ට අමාරු නෑ. ඔය ඔක්කොමල රඟාගෙන ඉන්නෙ පොරවං ඉන්න සිවුරෙං ලැබෙන සිවිල් බලේ හින්ද. නානෙ සාදු මයික් පැලෙන්ට පොර ටෝක් දෙන්නෙත්, දයාරත්න සාදු කල්ලතෝනි අල්ලන්ට ගේට්ටු ඇරගෙන කඩා වදින්නෙත්, අබේතිස්ස සාදු සල්ලි හිඟමං චාරිකා සංවිදානය කරන්නෙත්, ආනන්ද සාදුයි නාලක සාදුයි අර ගොට්ට මහත්තය ජනාදිපති කොරවන්ට සංවිදාන පිහිටුවාගෙන දත කන්නෙත් ඔන්න ඔය සිවුරෙ තියන සිවිල් බලේ පිහිටෙං. නැතුව ආය වෙන අහවල් දෙයක්වත් නිසා නෙවෙයි. ඔය වහංසෙල සිවුරු ගලවල තියල ඇවිත් කවම කවදාවත් ඔය නාඩගං නටන්නෙ නෑ. ඒක සත්තයි.

ඉතිං ඔය සිවිල් බලය නැතිඋනයි කියන්නෙ අර හැව ඇරපු නයා වගෙ තමයි. අර තිබ්බ ගාම්බීර ගතිය කොහෙං ගියාද කියල නෑ. ඉතිං සමන්තබද්‍ර සාදුටත් උනේ දනගහගෙන ගිහිල්ල සමාව ගන්ට. එහෙම නැතුව නම් සමන්තබද්‍ර සාදූන්ට තිබ්බෙ එක විකල්පයයි. "අනේ මල්වත්තෙ ලොක්කලා බම්බු ගහගනිල්ල" කියල වෙනම නිකායක් පිහිටුවා ගන්න එක. අනික් අතට ආය අහවල් දේටද වෙනම නිකායක් විතරක්? බුදු වෙලත් ඉන්න එකේ බැරුවය ආය වෙනම සාසනයක්ම පිහිටුවා ගන්ට. "ඉඳහල්ලකො මම පිහිටුවා ගන්නව වෙනම සාසනයක්. දෙන්නං උඹල හැමෝටම බැස්ටිය...." එහෙම උනත් බැරිකමක් නෑනෙ. 

අනික එයයිම එයා බුදුවෙලයි කියල කියන එකේ ආය මොකටද ලත වෙවී ඉන්නෙ? හෙහ්..ඔන්න ඔතන තමයි මනුස්සයෙක්ගෙ අධිෂ්ඨානය එතකොට චිත්ත ශක්තිය මැනගන්ට පුලුවන් අම්ල පරීක්ෂාව නොහොත් ඇසිඩ් ටෙස්ට් එක. අම්ල පරීක්ෂාව කියන එක දන්නවනෙ නේද? නියම පිරිසිදු රත්තරං අඳුන ගන්නෙ ඇසිඩ් ටෙස්ට් එකෙන්. ඒකට කරන්නෙ රත්තරං රාජ අම්ලයෙ දාල දියවෙනවද කියල පරීක්සා කොරනව. ඔතන රාජ අම්ලය කියල කියන්නෙ නයිට්රික් අම්ලයෙ සහ සල්ෆියුරික් අම්ලයෙ මිශ්‍රණයක් මට මතක විදිහට.

කොහොම හරි අන්තිමට ඕනම කරන වෙලාවෙදි සමන්තබද්‍ර සාදුගෙ පුරාජේරු බිංදුවට බැස්ස. මම දැක්ක ඒත් එයයිගෙ භක්තිමත් ගෝල බාලයො තැන් තැන්වල කියල තිබ්බ ඔය තාවකාලික පසුබැසීමක් විතරය. එයයිලගෙ සාස්තෲවරයගෙ චීවරේ අස්සෙ තුරුම්පු ආසි කොලේ තියනවය. වෙලාවට ඒක ඇදල කුජීත කරලම දානවය කියල. ඒ කතන්දරේ ඇත්තනං ඒකට කියන්ට වෙන්නෙ Ace up my sleeve නෙවෙයි Ace up my saffron robe කියල තමයි.

අපිටත් තියෙන්නෙ ඉතිං බලාගෙන ඉන්ට තමයි සමන්තබද්‍ර උන්නාන්සෙ නොහොත් Ven. Sam Buddy මක්කද කරන්න යන්නෙ කියල...


කූඹියෝ ටෙලි චිත්‍රපටයේ යුරේනි නොෂිකා සහ
තුමිඳු දොඩන්තැන්න රඟපාන දර්ශනයක්
ඉහත ඡායාරූපයෙහි දැක්වේ.
(Google Images)
දැන් දෙවෙනි හොට් ටොපික් එක. පහුගිය දවස්වල බට කැළේට ගිනිගත්ත වගෙ හැමතැනම කතාවෙන්ට ගත්ත කූඹියෝ ගැන. කූඹියෝ කිව්වෙ අර ඒ නමින් ඉන්න සුට්ටං සත්තු ජාතිය එහෙම නෙවෙයි. අර දකුණෙ ඈයො හින්නොය කියල කියන්නෙ. අන්න උං එහෙම නෙවෙයි. මේක ඇවිදිල්ල හිට "කූඹියෝ" කියල ටෙලි චිත්‍රපටයක්.

හැමතැනම කිව්වට වැඩිපුරම ඔය කතා බහ කෙරුනෙ මූණු පොතේ. ඒකෙ කූඹි ගුල කියල වෙනම ගෲප් එකක් හිටං හදාගෙන කට්ටිය වැඩේට බැස්සෙ. කූඹි ගුලේ සාමාජිකයො ප්‍රධාන වශයෙන් දෙකොට්ඨාසයක් ඉන්නව. "ප්‍රෝ ඈන්ට්ස්" නොහොත් "කූඹියෝ ලෝලී" සහ "ඇන්ටි ඈන්ට්ස්" නොහොත් "කූඹියෝ විරෝධී". සෙනසුරාදයි ඉරිදයි තමයි කූඹියෝ විකාශනය වෙන්නෙ. ඉතිං ඔය කූඹියෝ විකාශය වෙලා ඉවර වෙච්චි ගමං මේ පරම සතුරු කණ්ඩායම් දෙක එනව කැති, පොලු, මුගුරු අමෝරගෙන. අප්පටසිරි, ඊට පස්සෙ තමයි තුන්වන ලෝක මහා සංග්‍රාමය ඇරඹෙන්නෙ.

මේ කූඹි ගුලේ උදවිය මරාගන්ට යන්නෙ අමුතුම කාරණා වලට. ඔන්න "ඇන්ටි ඈන්ට්ස්" කණ්ඩායමෙන් කියනව අතන අර සිද්ධිය අභව්‍යයයි අස්වාභාවිකයි. එහෙම වෙන්ට විදිහක් නැත කියල. එතකොට ඔන්න සෙනිකව පිටියට එන්ටර් වෙනව "ප්‍රෝ ඈන්ට්ස්" බැටෑලියන් එක. එයාල කියනව නෑ එහෙම වෙන්ට පුලුවන්ය. එහෙම වෙන්නෙ මෙහෙමය. නැත්නම් අරමය කියල කෙස් පලන තර්ක ගේනව. ඒ එක්කම කූඹියෝ එකට සහතික ප්‍රදානය කරනව. හේතුපාට කියවනව. ලංකා ටෙලි-චිත්‍රපට ඉතිහාසයෙ මෙතෙක් විකාශය වෙච්චි ඉතාම අග්‍රගණ්‍ය නිර්මාණය වනාහී නිසැකවම කූඹියෝමය. එයට අලගු තැබිය හැකි හෝ නිර්මාණයක් මෙතෙක් කිසිදා බිහිවී නැතය. ඔන්න ඔහොම එක ජෝගියයි.

අසූ අනූ ගණංවල ජයන්ත චන්ද්‍රසිරි එතකොට තිස්ස අබේසේකර එතනින් ගියාම අශෝක හඳගම එහෙම හැදුව සුපිරි ගණයේ ටෙලි චිත්‍රපට පෙලක් ….....

(ටෙලි නාට්‍ය කියල හැමෝම කිව්වට ඒ යෙදුම සම්පූර්ණයෙන්ම වැරදියි. ටෙලි චිත්‍රපට වෙන්න ඕන. ඕක ඔය රූපවාහිනිය ලංකාවට ආපු මුල්ම කාලෙ රූපවාහිනිය වෙනුවෙන්ම හදපු චිත්‍රපට නැති නිසා කලේ ඒ කාලෙ ජනප්‍රිය වෙලා තිබ්බ වේදිකා නාට්‍ය රූගත කල රූපවාහිනියෙ විකාශය කලා. කැළණි පාළම, කළුවරේ ජරමරේ, අංගාරා ගඟ ගලා බසී, බෙර හඬ, ඒ එහෙම ප්‍රචාරය කල නාට්‍ය කීපයක්. එව්වට ටෙලි චිත්‍රපට කියන්ට බැරි හින්ද කිව්වෙ ටෙලි නාට්‍යය කියල. කොහොම හරි ඒ යෙදුම එහෙම්මම ස්ථිර වුනා. ඔන්න ඔහොමයි උනාය කියන්නෙ)

ඇසළ කළුවර, අකාල සන්ධ්‍යා, රැජිණ, දුන්හිඳ අද්දර, දියකැටපහණ, දඬුබස්නාමානය, පිටගම්කාරයෝ, බෝගල සවුන්දිරිස්...හරි එව්ව ඒ යටගිය දවස කියමුකො....මේ ඊයෙ පෙරේදත් ප්‍රචාරය වුනා බොහොම අපූරු ටෙලි චිත්‍රපට කීපයක්...සත්පතිනි එතකොට බැද්දේ කුළවමිය. ඒදෙකම මටනම් කූඹියෝට වඩා දාහක්  හොඳයි. 

කූඹියෝ නරකයි කියල මම කියන්නෙ නෑ. මේ දවස්වල ටී.වී. චැනල් ඔක්කොගෙම වගෙ අරක්ගත්තු බොළඳ කතාවලට වඩා (මම හැබැයි ඔය බොළඳයි කියන කතන්දරත් අනිවාර්යයෙන් බලනව..හෙහ්,හෙහ්..මිනිස්සු උනාම රස වින්දනය විවිධයි විෂමයි වෙන්න ඕන..ඒකට කියන්නෙ රසවින්දන විවිධාංගකරණය කියලා) කූඹියෝ හොඳයි අනිවාර්යයෙන්ම. 

හැබැයි බැද්දේ කුළවමිය සහ සත්පත්තිනි ගැන මේ වගෙ උස්සල උඩ දැමිල්ලක් වුනේ නෑ මොකද මම හිතන්නෙ එව්වයෙ රචකයින්ට නිෂ්පාදකයින්ට මෙහෙම මාකටිං උණක් තිබ්බෙ නෑ. මම මේ මාකටිං උණ හොඳ නෑ කියනව එහෙම නෙවෙයි. මාකටිං නැතුව අද ලෝකෙ මොකවත් කරන්න බෑ. 

ඒ හින්ද කූඹියෝ නිෂ්පාදන කණ්ඩායම කලේ බොහොම සූක්ෂමව හිතල බලල ටොප් ක්ලාස් මාකටිං ස්ට්‍රැටජි එකක් දියත් කලා. එහෙම බලනකොට කූඹියො කරේ තියාගෙන යන අය වගේම කූඹියෝ විරෝධී ඈන්ට් ඊටර්ස්ලත් මට පේන්නෙ ඒ මාකටිං ස්ට්‍රැටජි එකේ ස්ටේක් හෝල්ඩර්ස්ල වෙලා. ඈන්ට් ඊටර්ස්ල නම් දැනුවත්ව හෝ නොදැනුවත්වම.

ඒත් මම කියන්නෙ එහෙමයි කියල කූඹියො කරේ තියාගෙන හන්දියක් හන්දියක් ගානෙ නට නට යන්ට ඕන නෑ කියල. කූඹියෝ රචකයා සහ නිෂ්පාදකය උනත් මේ හා හෝව නිසා උඩ ගිහිල්ල "එකම පොර මමම වෙමි" කියන මානසික තත්වයට ලඟා නොවෙයි කියල මම හිතනව ඒ වගේම එසේ නොවේවා කියල ප්‍රාර්ථනා කර ද සිටිනව.

එතකොට ඇන්ටි ඈන්ට්ස් කණ්ඩායමේ අර අතන අස්වාභාවිකයි මෙතන අස්වාභාවිකයි කියන තර්කය ගැනත් වචනයක් කියන්ට ඕන. ඒ තර්කය ගේන්නෙ ඈන්ට් ලවර්ස්ලගෙ කිරිපණුගාය වර්ධනය කරල කුල්මත් කොට ගැනීමේ පරම පවිත්‍ර චේතනාවෙන් නම් ඒකෙ වරදක් නෑ. එහෙම නැතුව සද්භාවයෙන්ම නම් එතන මට හිතෙන විදිහට වරදක් තියනව.

ඒ කියන්නෙ කලා නිර්මාණයක් යථාර්ථවාදීම වෙන්න ඕනද? උදාහරණයක් විදිහට අර ජෙහාන් උපාධියක් අරගෙන අවුරුදු දහයක් තිස්සෙ ස්ථිර රසාවක් නැතුව ඉන්න එක ගැන මම දැක්ක කියල තිබ්බ එහෙම වෙන්න විදිහක් නෑ කියල. 

ඉතිං ඇත්තටම එහෙම වෙන්න බැරිද? එහෙම මිනිස්සු ඉන්නව කලාතුරකින්හරි. එක්කො කම්මැලිකම. එහෙම නැත්නම් කවුරුහරි යටතෙ වැඩ කරන්ට තියන අකමැත්ත. එහෙමත් නැත්නම් ජීවිතේ සිරා නොගන්න එක. ඒ මොන හේතුව හින්ද හරි එහෙම මිනිස්සු ඉන්නව. නොහිටියාම කියමු. එහෙම මිනිහෙක් නෑම කියමු. ඒත් රචකයට අධ්‍යක්ෂවරයට, නිෂ්පාදකවරයට නිදහසක් නැද්ද එහෙම චරිතයක් නිර්මාණය කරන්ට කතාව වෙනුවෙන්?

කොහොම හරි අන්තිමට කියන්ට තියෙන්නෙ මෙච්චරයි. සමන්තබද්‍ර සාදුයි කූඹියොයි දෙගොල්ලොම ඇවිල්ල තනිකරම මාකටිං නිර්මාණ. එතකොට අපිට ඉතිං කරන්ට තියෙන්නෙ මහීෂ තෙම ධූමරථය දෙස අනිමිස ලෝචනයෙන් බලා උන්නාක් මෙන් මේ මාකටිං ඇස්බැන්දුම් දිහා බලා ඉන්න එක විතරයි. 

ඒ අතර සමන්තබද්‍ර සාදුගෙ ගෝල බාලයො කියනව මේ වනාහී හුදෙක්ම තාවකාලික පසු බැසීමක් පමණය එතුමා තව නොබෝ දිනකින් ආපසු සටනට එනවය "Enter the Dragon with both Guns blazing" කියල. අර ලාරා ක්‍රොෆ්ට් නොහොත් ඇන්ජලීනා ජොලී එන්නෙ කරණං ගහගෙන දෑතින්ම වෙඩි තියාගෙන "Lara Croft the Tomb Raider" ෆිල්ම් එකේ අන්න ඒ වගේ...So then My friends, Let's wait with bated breath..OK?

එතකොට කූඹියෝ ගැන කිව්වොත් කූඹියෝ එකේ ඔක්කොම එපිසෝඩ්ස් 45ක්ද කොහෙද තියනවලු. තාම ගියේ 16යයි. සමහර ඈන්ට් ලවර්ස්ල ඉන්නව ඒ අය කොහෙන්දෝ කූඹියෝ සම්පූර්ණයෙන්ම බලලලු. මං හිතන්නෙ සම්ටයිම්ස් නිෂ්පාදකයා මේ අයට විශේෂ දර්ශනයක් පෙන්වන්ට ඇති. හූ ද හෙල්මට්  නෝස්?

ඉතින් එන්න ඒ අය තමයි කියන්නෙ ඉස්සරහට පෙන්වන්ට නියමිත කොටස්වල තියනවලු මෙතෙක් මෙරට ටෙලි චිත්‍රපට ඉතිහාසයේ නොවූ වීරූ පරිදි සිනමාත්මක සහ කලාත්මක සීන්ස් සහ ප්ලොට්ස්. එව්වත් පෙන්නනකල් අපිට ඉවසා වදාරන්ට කියලයි ඈන්ට් ලවර්ස්ලගෙ කාරුණික ඉල්ලීම. ඒකත් අසාධාරණ ඉල්ලීමක් නෙවෙයි නෙව. 

ඒ හින්ද අපි එයාල කියන එකත් අහල ජුංඩක් ඉවසල ඉම්මුකො. 

වඩියු සේ? මොකෝ ඔහෙල කියන්නෙ? හාද?

Friday, October 13, 2017

538. From The Big Bad Wolf To Lone Wolf………….


ශිශිර සෘතුවෙහි පතිත හිම මත පසුවන වෘකයින්
තිදෙනෙක් ඉහත ඡායාරූපයෙහි දැක්වේ.
(Google Images)

මේ දවස්වල The big bad wolf නොහොත් දැවැන්ත නපුරු වෘකයා ලංකාවට ඇවිල්ල පැලපදියම් වෙලා ඉන්නව. ඒ සතා ආපහු යනවයි කියන්නෙ මේ පාළොස් වෙනිදද කොහෙද. 

දුහුණන් දැනුම් උදෙසා පවසන වගනම්.....බිග් බෑඩ් වුල්ෆ් නමින් හැඳින්වෙන්නෙ අන්තර්ජාතිකව සුප්‍රසිද්ධ පොත් ප්‍රදර්ශනයක් සහ සල්පිළක්. අවුරුදු අටකට ඉස්සෙල්ල මැලේසියාවෙ පටන් ගත්තු මේ පොත් සල්පිළ දැනට තායිලන්තය සහ ඉන්දුනීසියාවෙ වාර්ෂිකව වගෙ පැවැත්වෙනව. ලංකාවට වෘකයා සම්ප්‍රාප්ත වුනේ මේ පළමු වරට.

මැලේසියාවෙ එහෙම ඔය පොත් සල්පිලේ පොත් විකුණන්නෙ මෙහෙමලු. එක එක ප්‍රමාණ හතර පහකින් කාඩ්බෝඩ් පෙට්ටි තියනවලු. ප්‍රමාණය විසාල වෙන්ට විසාල වෙන්ට එව්වයෙ මිල වැඩියි. පොත් ගන්ට එන අයට තියෙන්නෙ තමන් ගන්න හිතාගෙන ඉන්න පොත් ප්‍රමාණය අනුව ගැලපෙනවයි කියල හිතන පෙට්ටියක් අරගෙන ගිහිල්ල ඒකට පොත් දාගන්න එක. පෙට්ටිය පිරුනම පියන් වැහුව. පිටවෙන දොරටුවට පෙට්ටියට සල්ලි ගෙවපු බිල පෙන්නුව. එළියට ආව. 

ලංකාවෙ හැබැයි ඒ ක්‍රමේ තිබ්බෙ නෑ. එහෙම තිබ්බනම් තියෙයි රුපියල් පන්දාහෙ පෙට්ටි, අටදාහෙ පෙට්ටි, දහදාහෙ පෙට්ටි එහෙම. සිරි ලාංකිකයින්ගෙ හැටි සොබාව දන්න හින්ද මම හිතන්නෙ සංවිදායකයො පෙට්ටි මෙතඩ් එක මෙහෙට හරියන්නෙ නැතය කියල තීරණය කරන්ට ඇති.

අර පොත් පෙට්ටි කතන්දරේට ඌණ පූරණයක් එකතු කරන්ට උවමනයි. ඔය පොත් පෙට්ටි කතාව මට මතක විදිහට ඉස්සෙල්ලම මම කියෙව්වෙ අපේ පැතුමගෙ බ්ලොග් එකේ. දන්නවනෙ අර පැතුමා නේ? පැතුමයි කියන්නෙ අපේ දැනට නොකඩවා ලියන ජේෂ්ඨම වියුණු රචකයා....පැතුමට "ශ්‍රේෂ්ඨ ජේෂ්ඨයා" කියල ගෞරව නාමයකුත් දුන්න අපේ අභාවප්‍රාප්ත චිචාරක තුමා......

හරි පොත් පෙට්ටි කතාවෙ ඌණ පූරණය මෙහෙමයි. පැතුම කියනව එහෙම පොත් පෙට්ටි සිනාරියෝ එකක් මැලේසියාවෙ තිබ්බෙ අවුරුදු දෙකකට සැරයක්ලු. ඒ අතර එන ඕල්ටර්නේටිව් අවුරුද්දෙ සල්පිල පැවැත්වෙන්නෙ මෙහෙ තිබ්බ සාමාන්‍ය නෝමල් ක්‍රමේටමලු. 

ඒ කියන්නෙ සම් ටයිම්ස් ලබන අවුරුද්දෙ පොත් පෙට්ටි මෙතඩ් එක සිරි ලංකාවටත් එන්න පුලුවන්. ඒ හින්ද පුස්තකකාමී (ඉංග්‍රීසියෙං නම් Bibliophiles) උදවිය දැං ඉඳලම දඩාර් සයිස් දැවැන්ත පෙට්ටි සූදානම් කරගත්තොත් කෝකටත් හොඳයි. ඔය සීතකරණ, වොෂිං මැෂින් වගෙ එව්ව ගෙනාපු පෙට්ටි තියනවනම් එළ ද බ්‍රා...

ඉතිං ඒ බිග් බෑඩ් වුල්ෆ් කතන්දරේ මෙතෙකින් අවසානයි. දැන් දෙවෙනි කතාව. මගෙ ජීවිතේ ඔය අහඹු සම්පාත සිදුවීම ඒ කියන්නෙ ඉංග්‍රීසියෙන් අපි ඔය Coincidence කියන්නෙ. අන්න එව්ව බොහොම බහුලයි. එහෙම දෙයක් මේ පාරත් වුනා. 

ඒ කියන්නෙ ඔය බිග් බෑඩ් වුල්ෆ් තුමා ලංකාවට සැපත් වෙද්දි මම කියව කියව හිටියෙ ජෝඩි පිකෝ කියන අමරිකානු ලේඛිකාවගෙ ලෝන් වුල්ෆ් නම් නවකථාව. ජෝඩි පිකෝ කියන්නෙ එකිනෙකට හාත්පසින්ම වෙනස් විවිධ මානයන් ඔස්සේ කථා ගෙතීමට සමත් බොහොම දක්ෂ ලේඛිකාවක්.

ජෝඩි පිකෝගේ ලෝන් වුල්ෆ් නවකථාව
ඉහත ඡායාරූපයෙහි දැක්වේ
(Google Images)

කතාව ගෙතෙනුයේ ලූක් වොරන් නම් සත්වෝද්‍යාන භාරකරුවෙක් වටා. කුඩාකල සිටම සතුන්ට දැඩි ආදරය දක්වන ලූක්ගෙ විශේෂ අවධානයට ලක් වෙන්නෙ වෘකයින්. වෘකයින් දුරින් සිට නීරීක්ෂණය කිරීමෙන් ඔවුන්ගේ සැබෑ ගතිගුණ හඳුනාගැන්මට නොහැකියයි දැඩිලෙස විශ්වාස කරන ලූක් වරක් කැනඩාවෙ මහ වනයක වෘක රැළක් සමඟ වසර දෙකකට ආසන්න කාලයක් ගත කරනවා. 

මේ ලෝන් වුල්ෆ් පොතෙන් එක් පරිච්ඡේදයක්......

වෘකයින් රැළක ක්‍රියාකාරිත්වය බොහෝ විට මාෆියා සංවිධානයේ ක්‍රියාකාරිත්වයට සමානය. මාෆියා සංවිධානයේ පරිදිම වෘක රැළකද සියළු සාමාජිකයින් හට යම් නියමිත කාර්ය භාරයක් ඇත. එළෙසම ඒ සියළු සාමාජිකයෝ තමනට නියමිත කාර්යය නොපිරිහෙලා ඉටු කල යුතුය. අනෙකුත් සාමාජිකයෝ ද එලෙස ඔවුන් තමන්ට නියමිත කාර්යය ඉටු කරනු ඇති බවට අපේක්ෂා කොට සිටින්නෝය.

රැළෙහි නායක පදවිය උසුලන ප්‍රධානියා නොහොත් ඇල්ෆා වෘකයා පිළිබඳව අප සැම අසා ඇත. ඇල්ෆා වෘකයා යනු රැළෙහි උත්තරීතර පාලකයාය. රැළෙහි සාමාජිකයින් වන්නාවූ අනෙකුත් වෘකයින්ගේ ආරක්ෂාව ඔහු හෝ ඇයගේ වගකීම වේ. ඔවුන් සංචරණය කල යුත්තේ කුමන ප්‍රදේශයන්හිද ආහාර පිණිස ඔවුන් දඩයම් කල යුත්තේ කුමන සතුන්ද එමෙන්ම දඩයම් කල යුත්තේ සතුන් කී දෙනෙක්ද යන්න පිළිබඳව අවසාන තීරණය ගනු ලබන්නේ ඇල්ෆා වෘකයා/වෘක ධේනුව විසිනි.

වෘක රැළෙහි අනාගත අභිවෘද්ධිය උදෙසා සියළුම තීරණ ගනු ලබන්නේ ඇල්ෆා වෘකයා/වෘක ධේනුව විසිනි. එබැවින්ම රැළෙහි විනය මනාලෙස පවත්වා ගැනීමේ රාජකාරියෙන් ඔහු සපුරාම නිදහස් වේ. රැළෙහි විනය පවත්වාගැනීම භාරවූවකුට නිතර විනය විරෝධීව හැසිරෙන රැළෙහි අනෙකුත් සාමාජිකයින් හට දඬුවම් කිරීමට සිදුවීම වැළැක්විය නොහැක. 

මෙසේ දඬුවම් කීරිමේදී ප්‍රචණ්ඩ සටන් පවා සිදුවීමට ඇති ඉඩ ප්‍රස්ථාවද සුළු කොට තැකිය නොහැක. මෙම ප්‍රචණ්ඩ සටන් වලදී පූර්ණ අකර්මණ්‍යතාවයට හෝ අවසාන වශයෙන් ජීවිතක්ෂයට පත්වීමේ අවදානමද සුළුකොට තැකිය නොහැක. එබැවින් රැළෙහි විනය පවත්වා ගැනීමේ කාර්යය භාරවන්නේ වෙනත් වෘකයෙකුට හෝ වෘක ධේනුවකටය.

එම වගකීම පැවරෙනුයේ රැළෙහි ධූරාවලිය (Hierarchy) අනුව දෙවන ස්ථානයෙහි වගකීම දරන්නාටය. නැතහොත් බේටා වෘකයාටය. ඔහුගේ කාර්ය භාරයඅඩුවැඩි වශයෙන් බලාත්මක කරවන්නකුගේ (Enforcer) කාර්ය භාරයට සමානය. බොහෝ විට හොඳින් වැඩුණු ශක්තිමත් පිරිමි සතකු වන බේටා වෘකයා වියයුතු පරිදිම ඉතා රෞද්‍ර ගතිපැවතුම් වලින් යුක්ත වූවෙකි. 

රැළෙහි අනුත්තර නායකයාට ඔබ අනවශ්‍ය පරිදි කිට්ටුවුවහොත් ඔහු ඔබ වෙතට එක්පැහැර කඩා වැද ඔබගේ උගුරු දණ්ඩ ඔහුගේ ශක්තිමත් හනු යුවල භාවිතා කොට කඩා දැමීමට එක් මොහොතක් හෝ නොපැකිළෙනු ඇත. ඔහු එවන් අවස්ථාවකදී අභාග්‍යසම්පන්න පරිදි මියගියද රැළෙහි කිසිවකුට ඒ බරපතල ප්‍රශ්ණයක් නොවනු ඇත. ඔහුගේ තැන ගැනීමට නොපැකිල ඉදිරිපත්වන එමන්ම කාය ශක්තියෙන් අනූන සහ සුදුසු පරිදි රෞද්‍ර වෘකයින් බොහෝ දෙනෙකු රැළෙහි සිටින්නාහ.

වෘක රැළෙහි ධූරාවලියෙහි තෙවැන්නා වනාහී පරීක්ෂකයාය (Tester). ඔහු ස්වභාවයෙන්ම කිසිවකු කෙරෙහි විශ්වාසය නොතබන අතර නිතොර සියල්ල සහ සියල්ලන් සැක කරන්නෙකි. වෘක රැළ අභ්‍යන්තරයෙහි හෝ ඊට පරිබාහිරව කිසියම් නුපුරුදු එනම් මින් පෙර නොවූ වීරූ යමක් සිදුවන්නේ යයි ඔහුට/ඇයට හැඟී ගියහොත් ඒ කෙරෙහි පූර්ණ අවධානය යොමු කරමින් ඔහු /ඇය ඒ අසළම ගැවසෙනු ඇත. කුමන හෝ අවදානමක් පිළිබඳව දැනුනු වහාම ඒ පිළිබඳව නායකයා දැනුවත් කීරිම ඔහුගේ වගකීමකි.

පරීක්ෂකයාගේ සංවිභාගශීලීභාවය (Investigative tendencies) රැළෙහි සුරක්ෂිතතාව උදෙසා බොහෝ වැදගත් වනු ඇත. එළෙසම රැළෙහි තත්ව පාලක (Quality control) කාර්යයද ඉටු කරනුයේ ඔහු හෝ ඇය විසිනි. 

රැළෙහි යම් සාමාජිකයකු තමනට නියමිත කාර්ය භාරය ප්‍රශස්ත ලෙස ඉටු නොකරන්නේනම් ඔහුට හෝ ඇයට තම ප්‍රකෘති හැකියාව (Mettle) ඔප්පු කිරීමට අනිවාර්යයෙන් සිදුවන අවස්ථාවක් නිර්මාණය කිරීමට ආරක්ෂකයා නොපැකිලේ. බොහෝවිට සැකයට භාජනය වන සාමාජිකයාහට රැළෙහි බලාත්මක කරවන්නා නොහොත් බේටා වෘකයා සමඟ සටනකට එළඹීමට සිදුවනු ඇත. මෙවන් සටනකදී එම සාමාන්‍ය සාමාජිකයා එක පැහැර පොළොව මත හෙලා පරාජය කිරීමට බලාත්මක කරවන්නා අසමත් වුවහොත් ඔහු තව දුරටත් තම තනතුර දැරීමට කිසිදු අයුරකින් සුදුස්සකු නොවේ.

Diffuser නොහොත විසරකයා හට රැළෙහි නියමිත කාර්ය භාරය ඔහුගේ ඇයගේ නමින්ම ගම්‍යවන පරිදි විසිරවීමයි. ඔමේගා ලෙසද බොහෝවිට හැඳිවෙන විසිරකයා රැළෙහි ධුරාවලියෙහි පහත්ම ස්ථානය දරන්නාලෙස බොහෝ කලක් සැලකුනු නමුදු ඔහු/ඇය කාර්ය රැළෙහි අභිවෘද්ධිය උදෙසා ඉතා වැදගත් කාර්යභාරයක් ඉටුකරන බව මනා සේ පැහැදිලිය. 

මාෆියා සංවිධානයක ශරීරයෙන් කුඩා සහ ඝන කාචවලින් හෙබි උපැස් පැළඳි නීතිඥයා ඉටු කරන කාර්ය භාරය එනම් සංවිධාන ධුරාවලියෙහි ඉහළ ස්ථානයන්හි සිටින්නන් අතර බොහෝවිට ඇතිවන මත ගැටුම් සහ කලහකාරී අවස්ථාවන් සමනය කිරීමේ කාර්ය භාරය වෘක රැළෙහි ඉටු කරනුයේ විසිරකයා විසිනි.

උදාහරණයක් ලෙස වෘකයින් දෙදෙනෙකු පොර වැටෙද්දී විසිරකයා ඔවුන් මධ්‍යයට පනිමින් එහා මෙහා දුවමින් විසුළු සහගත රංගනයක් යෙදේ. කෝපයෙන් ගිණියම්ව සටනෙහි යෙදීමට සූදානම්ව එකිනෙකා වෙත දත් විළිස්සා සිටිනා පසමිතුරන්ගේ කෝපාග්නිය නිවීයාමට බොහෝවිට විසිරකයාගේ මේ උසුළු විසුළු හේතුවනු ඇත. අනතුරුව සටන් කාමීහු සටන අත්හැර සාමකාමීව විසිර යන්නාහ.

සත්‍ය වශයෙන්ම විසිරකයා වනාහී රැළෙහි සාම දූතයාය. විසිරකයකු නොමැතිව වෘක රැලකට පැවතිය නොහැක. ස්වභාවයෙන්ම රෞද්‍ර ගතිගුණ ඇති වෘකයෝ එවන් අවස්ථාවක නිරතුරුව එකිනෙකා කා කොටා ගැනීමෙන් කල් ගත කරනු ඇති බව නිසැකය.

මාෆියා සංවිධානයක ක්‍රියාකාරිත්වය පිළිබඳව ඔබට බොහෝ ගැටළු තිබිය හැක. බොහෝවිට ඔබ ඔවුන් දැඩිලෙස පිළිකුල් කරනවාද විය හැක. 

එහෙත් ඔබ එකහෙලා පිළිගතයුතු සත්‍යයක් ඇත. එනම් මාෆියා සංවිධානයක කාර්යක්ෂම ක්‍රියාකාරිත්වයට ඔවුන්ගේ මනා සංවිධාන ව්‍යුහය, සෑම සාමාජිකයෙක්ම ධුරාවලියෙහි තමනට හිමි ස්ථානය කිසිදු ප්‍රශ්න කිරීමකින් තොරව පිළිගැනීම මෙන්ම සෑම සාමාජිකයෙක්ම තමන්ට පැවරුණු කාර්ය භාරය තම ශක්ති මට්ටමේ පරිදි නොපිරිහෙලා ඉටු කිරීමද හේතුවේ. 

මාෆියා සංවිධානයක සාමාජිකයෝ තම සංවිධානයේ අභිවෘද්ධිය උදෙසා සහ එමෙන්ම තම සහෝදර සමාජිකයින් උදෙසා ජීවිතය පරිත්‍යාග කීරිමට හෝ මොහොතකුදු නොපැකිලෙන්නෝය.

වෘකයින් රැළක් මාෆියා සංවිධානයක් හා සමවීමට තවත් හේතුවක් ඇත. 

එනම් ඔවුන් දෙපාර්ශ්වයටම තම සංවිධානය හෝ රැළ ලොවෙහි අන් සියල්ලටම වඩා වැදගත් මෙන්ම උතුම් ද වන්නේය.

Tuesday, October 10, 2017

537. The Story Of My Marriage - 46 - A Midnight Call From My Father.....

"හරි මිස්ටර් බාලක්‍රිෂ්නන් අපි බලමු මොකද කරන්න පුළුවන් කියල.." මම අසුනින් නැඟිටිමින් පැවසූයෙමි.

"ඒ කියන්නෙ ක්‍රිෂ් මගේ යෝජනාවට කැමතියි කියන එකද?" බාලා ද වහා හුනස්නෙන් නැඟී සිටිමින් විමසූයේ අපේක්ෂා සහගත ස්වරයකිනි. 

"සුබ රාත්‍රියක් මහත්මයා…" මම වදනින් වදන බරකොට පවසමින් ඔහුගේ කුටියේ දොරටුවෙන් පිටවූයෙමි.

*************************************

මපියාණෝ කිසිදිනක දුරකථනයෙන් මා නොඅමතන්නාහ. එදින මධ්‍යම රාත්‍රියේ ඔහු මා ඇමතුවේ කුමක් හෙයින්ද යන්න තවමත් මට විසඳාගත නොහෙන ගැටළුවකි.

බාලා හා සමඟ නැටූ ජෝගියෙන් පසු මානසිකව මෙන්ම ශාරීරිකවද හෙම්බත්වී සිටි මට උදක් අවශ්‍ය වූයේ අන් කිසිවක් නොව හෙට උදෑසන අනන්‍යාගේ බාල සොයුරාට ඉගැන්වීමේ නීරස කාර්යයෙහි නිරතවීමට සහ ඉනික්බිති කාර්යාලයට ගොස් වියගසෙහි බඳිනු ලබන්නට ප්‍රථම අවම වශයෙන් සුවපහසු නින්දක් හෝ ලබා ගන්නටය.

එහෙත් මගේ අපේක්ෂා කඩ කරමින් රාත්‍රී එකොළහට පමණ රාමනුජන් මගේ කුටියේ දොරට තඩි බාන්නට විය. "ක්‍රිෂ්..ඕයි...මේ නැඟිටිනවා..නැඟිටිනවා…"

"මොකද මනුස්සයෝ?" මම සයනයේ සිටම හඬ ගෑවෙමි.

අනන්‍යා මෙහි පැමිණි දින සිට මම මගේ නවාතැන් සගයින් සමඟ ආශ්‍රය උදෑසන මුහුණට මුහුණ හමුවුවහොත් සුබ උදෑසනක් යයි පැවසීමට පමණක් සීමාකළෙමි.

"තමුන්ට ටෙලිෆෝන් කෝල් එකක්………." රාමනුජන් දොරට තඩි බෑම නවතා හඬ ගෑවේය.

"කාගෙන්ද?..." මම සයනයෙන් නැඟිටිමින් ඇසූයෙමි. නවාතැනෙහි දුරකථනයට මට බොහෝවිට කතා කරන්නේ අනන්‍යාය. එහෙත් ඇය කිසිදිනෙක මෙතරම් රෑබෝවී කතා නොකරන්නීය.

"තමුන්ගෙ තාත්තා කතා කරන්නෙ....මේ ක්‍රිෂ්..කතා කරගන්ට තියෙන දෙයක් කතා කරගෙන තාත්තට කියනවද දෙයියන්ගෙ නාමේට ආයෙමත් එහෙම මේ යක්කු ගස්යන වෙලාවෙ කතා කරන්ට එපාය කියල……." රාමනුජන් තවත් මොනවාදෝ දෙඩවූ නමුදු ඈනුමක් හේතු කොටගෙන මට ඔහු ඉන්පසු පැවසූ වදන් ඇසුණේ කඩින් කඩය.

"තාත්තා?........" දොර විවර කිරීමට අගුල හරින්නට දික්කල මගේ සුරත එතැනම පාෂාණිභූත විය. මගේ සිරුර පුරා ධාවනය වන රුධිරය හදිසියේ දැඩි ශීතලෙන් මිදුණුසේ දැනෙන්නට වූයෙන් මුළු සිරුරම කිළිපොළා ගියේය. "තාත්තා මොකද මේ කවදාවත් නැතුව? දෙයියනේ අම්මට කරදරයක්ද දන්නෙ නෑ…"

මම දුරකථනය තබා ඇති සාළයේ ටීපෝව වෙතට ගියේ වැරෙන් ගැහෙන හදවතින් යුක්තවය. 

"හෙලෝ?" මම රිසීවරය ඔසවා කණට තබා ගනිමින් කෙඳිරීමි. 

"ආ..මේ කතා කරන්නෙ මගේ පුතාද?..." තාත්තා මට පුතා යයි ඇමතීම මට මහත් අමුත්තක් විය. පසුගිය වසර තුනකට අධික කාලයක් තුල අප දෙදෙන අතර පියකු සහ පුතකු අතර සාමාන්‍යයෙන් ඇතිවන මාදිලියේ කිසිදු සුහද සාකච්ඡාවක් සිදු නොවීය.

"මම ක්‍රිෂ් …."

"ඒ කියන්නෙ ඔය මගේ පුතානෙ...එහෙම නේද?"

"හොඳයි අපි එහෙම කියමුකො දැනට …."

දැඩි නිශ්ශබ්දතාවය රජකල ස්වල්ප වේලාවක් ගෙවී ගියේය. 

"මම අහගෙන ඉන්නෙ…" මපියා පැවසීය. 

"මොනවටද? …"

"මගේ එකම පුතාට එයාගෙ තාත්තට කියන්ට තියන ඕනම දේකට ඇහුම්කන් දෙන්ට මේ තාත්තා ලෑස්ති පිට ඉන්නෙ …"

"මට කියන්ට කිසිම දෙයක් නෑ. නිකං විකාර කියවන්ට එපා. මොකද මේ මහරෑ මට කතාකලේ කියනවද කරුණා කරල?" මම විමසූයේ සිතට නැඟුනු කෝපය පාලනය කර ගැන්මට තැත් කරමිනි.

"තමුං පළවෙනි පඩිය ගත්තහම අම්මට චෙක් එකක් යැව්ව නේද?"

"ඔව්……………" මඳක් නිහඬව පසුවීමෙන් අනතුරුව මම පැවසූයෙමි. 

"මගේ සුබපැතුම්!..." ඔහු පැවසූයේ සෝපාහාසය මුසු ස්වරයකිනි. 

එක් වරම මසිත මහත් බියකින් පිරුණි. "මේ..කරුණාකරල මට මේක කියනවද? අම්මා සනීපෙන් නේද? තමුන් එයාට මොකවත්…"

"අම්ම බොහොම හොඳ සනීපෙන් ඉන්නව. ඒ වගේම අම්ම තමුන් ගැන බොහොම ආඩම්බර වෙනව. …"

"හරි එහෙනං එච්චරයි...තව මොකවත් කියන්ට එහෙම තියනවද?"

"කොහොමද ඔහෙ ජීවිතේ?"

"මම ජීවිතේ ගෙවන විදිහ තමුන්ට කිසිම විදිහකින් අදාල වෙන්නෙ නෑ. ඒ හින්ද ඒ ගැන හොයල බලන්ට කරදර වෙන්ට එපා…"

"මේ තමන්ගෙම තාත්තට කතා කරන විදිහද මනුස්සයො?" මපියා කෝපාවිෂ්ඨව කෑගැසීය. 

"ඔය විදිහට හරි, වෙන විදිහකට හරි, කොයිම විදිහකට හරි තමුන් එක්ක කතා කරන්ට මට කිසිම ඕනකමක් නෑ. ඒ ටික මෙතෙක් තේරුනේ එහෙම නැත්නම් කරුණාකරල දැන්වත් තේරුම් ගන්න. ඒක අපි දෙන්නගෙම මනා ශරීර සෞඛ්‍යයට ප්‍රබල හේතුවක් වෙයි නොවැරදීම"

"අපි අතරෙ සන්නිවේදන ප්‍රශ්ණයක් තියනව තමයි. ඒත් මනුස්සයො මම මේ හදන්නෙ ඒ ප්‍රශ්ණෙට උත්තරයක් හොයන්න..තේරෙන්නම නැද්ද ඒක?" ඔහු යලිත් කෑගැසීය.

මම රිසීවරය කණෙන් මඳක් ඈතට කොට අල්ලා ගතිමි. රිසීවරය දුරකථනය මත තබා ඇමතුම විසන්ධි කිරීම ඉතා පහසු කටයුත්තක් වුවද මම එසේ නොකළෙමි. මම එසේ කළහොත් අනිවාර්යයෙන්ම මපියාණන්ගේ කෝපය එල්ල වන්නේ මගේ මෑණියන් කෙරෙහිය. මා කුඩා අවදියේ පටන්ම ඔහු මා කෙරෙහි තැබූ මහත් අපේක්ෂාවන් මවිසින් සාහසික ලෙස සිඳ බිඳ දැමූ අන්දම පිළිබඳ මපියාණන්ගේ සුපුරුදු ඒකපාත්‍ර භාෂණය (Monologue) ඒ වනවිට ඇරඹී තිබිණි.

පසුගිය විසි වසර මුලුල්ලේ ඔහු පවසන මේ අඳෝනාවෙහි අදද කිසිදු වෙනසක් නැත. එළෙසම මේ අඳෝනාව ඇරඹුනු පසු එය ගලා යන්නේ දෙගොඩ තලායන මහත්වූ ගංගාවක් පරිද්දෙනි.

මම සෙමෙන් රිසීවරය ටීපෝව මත තබා ඒ අසළම වූ ශීතකරණය විවෘත කළෙමි. එතුල ඇපල් ගෙඩි කිහිපයක් දැමූ වීදුරු බඳුනක් සහ පානීය ජලය බෝතල හත අටක් විය. ඇපල් ගෙඩියක් පිටතට ගත් මම මුළුතැන්ගෙට ගොස් ප්ලාස්ටික් පිඟානක් සහ කුඩා පිහියක් රැගෙන පැමිණ ටීපෝව අසලට පුටුවක් ඇද එහි අසුන් ගතිමි.

ටීපෝව මතවූ රිසීවරයෙන් තවමත් මපියාණන් මට බැණ වදින හඬ නික්මෙයි. ඇපල් ගෙඩියේ අඩක් කුඩා කැබලි වලට කපා පිඟානට දැමූ මම ඉන් එක බැගින් ගෙන සෙමෙන් විකමින් අනුභව කළෙමි. 

යලි රිසීවරය අතට ගත් මම එය සෙමෙන් දකුණු කණවෙත කිට්ටු කළෙමි. "තමුං ගැන ඇත්තටම මට ලැජ්ජයි. තමුංගෙ ඔය කෙහෙම්මල් උපාදි..කවුද අයිසෙ ඔව්ව ගණං ගන්නෙ? අනික තමුං සමහරවිට හිතාගෙන ඉන්නව ඇති මාස් පතා අම්මට සල්ලි යවන හින්ද තමුං මහ ලොකු මිනිහෙක් කියල. ඉන්නවකො මම තමුංට හොඳ පාඩමක්........."

යලිත් රිසීවරය ටීපෝව මත තැබූ මම ඇපල් ගෙඩියේ ඉතිරි අඩ ගෙන පෙර පරිදිම කුඩා කැබලි වලට කපන්නට පටන් ගතිමි.

එම ඇපල් කැබලිද එකින් එක ගෙන අනුභව කොට අනතුරුව සිසිල් වතුර බෝතලයක්ද පානය කල පසු මම යලි රිසීවරය ඔසවා කණට ළං කලෙමි. "මේ තමුං මම කියන දේ අහගෙනද ඉන්නෙ?......." මපියාණන්ගේ හඬෙහි වූයේ වෙව්ලනසුළු ස්වභාවයකි.

"අපොයි ඔව්...මම එක වචනයක් නෑර අහගෙන තමයි හිටියෙ...මේ ..දැන් හොඳටම රෑ වෙලා...අනික තමුන්ගෙ ටෙලිෆෝන් බිලත් නැඟල ඇති නහුතෙට...මට හෙට වැඩට යන්ටත් තියනව. ඒ හින්ද මොකද කියන්නෙ? මම නිදාගන්ට යන්ටද?"

"තමුං ගාව වැඩිහිටි ගෞරවය කියන එක ගෑවිලාවත් නෑ වගේ මට පේන්නෙ"

"ඔය කතාව මීට කලින් සිය පාරකට වඩා කියල තියෙන එකක්නෙ. අලුතෙන් මොකවත් කියන්ට නැත්නම් මම ගිහිල්ල නිදිය ගන්ටද? එහෙනං සුබ රාත්‍රියක් …"

"සුබ රාත්‍රියක්…" එලෙස පවසා මපියාණෝ දුරකථන ඇමතුම ක්‍රියා විරහිත කළෝහ.

කොපමණ කෝපාවිෂ්ඨ වුවද යුද හමුදා නිලධාරීහු ආචාරශීලිත්වය ඉතා අගයති. ඉන්දියා පකිස්තාන යුද සමයෙහි දෙපසෙහි නිලධාරීහුද යුද පෙරමුණෙහි වෙඩි තබාගැනීම ඇරඹීමට ප්‍රථම අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරගන්නට ඇති බව මට සහතිකය.


ලාහෝරය අසල පිහිටි වගාහි ඉන්දු-පකිස්ථාන් දේශසීමාවේ දිනපතා සවස් කාලයෙහි හිරු බැසයාමත් සමඟම පැවැත්වෙන මෙම දේශසීමාව වැසීමේ උත්සවය (Waga Border Closing ceremony) නැරඹීමට දෙස් විදෙස් සංචාරකයෝ බොහෝ සෙයින් පැමිණෙති. වසර 1959 සිට පැවත එන මෙම සංදර්ශනය ඉන්දු- පකිස්තාන දේශ සීමා ආරක්ෂක බල සේනාවන්හි ශක්තිය,ආක්‍රමණශීලිත්වය සහ නිර්භීතකම ප්‍රදර්ශනය කරන්නක් ලෙස සැලකේ.

මම ආපසු පැමිණ සයනයෙහි දිගාවීමි. මගේ පියාණන් යලිත් මගේ ජීවිතයට ඇතුළුවනවාට මගේ කිසිදු කැමැත්තක් නොවීය. ඔහු වන් පියකු මගේ ජීවිතයට ඇතුළුකොට ගැනීමට වඩා මට පියකු නොමැතිලෙස ජීවිතය ගත කිරීම පහසුවකි. ඊට අමතරව මට වර්තමානයෙහි තවත් පියකු සමඟ කටයුතු කිරීමට සිදුවී ඇත. ඒ වනාහී තම දියණියගේ ජීවිතයෙන් කරුණාකර ඉවත්ව යන ලෙස දෑත් එක්කොට වඳිමින් මගෙන් ඉල්ලා සිටි ආදරණීය පියෙකි. එලෙසම ඒ දියණියගෙන් ඈත්වීම මට කෙසේවත් කල නොහැකි උගහට කාර්යයකි. ඒ සියළු ගැටළු වලට අමතරව මට බාලා, මගේ කමකට නැති නවාතැන් සගයින් සහ නුහුගුණාපිත නිවෙස් හිමියකු සමඟද ගණුදෙනු කිරීමට සිදුවී ඇත.

ඔවුන් සියල්ලන්ගෙන් මිදී කාර්යාලයෙන් හෝ නවාතැනින් වීදි බට සැණෙකින් දසතින් හමා එන නාසය හකුළුවන සාම්බාර් කටුක ගන්ධය විඳ ගන්නටද මට සිදුවනු ඇත. මේ සියළු සිත කළඹවන සුළු භයංකර සිතුවිලි සන්ධ්‍යා යාමයක අහස පුරා තටු සලනා බියකරු වවුලන් රැසක් සේ මගේ හිස තුල පියා සලන්නට වූයෙන් මම මහත්සේ විපිළිසර වූයෙමි. "ළමයි... දැන් ඇති කරුණාකරල මට ටිකක් නිවීහැනේ නිදාගන්ට දීල යනවද තරහ නැතුව?" මම එසේ ආයාචනා කලද ඔවුහු ඒ මගේ බැගෑපත් ඉල්ලීම පිළිගැනීමට කිසිසේත්ම සූදානම් නොවූවෝය.

බාලාට අදාලවූ සිතුවිල්ල මා ඉදිරියේ මහත් බියකරු දසුනක් මවාලීය. මවිසින් තියුණු ආයුධයකින් ළය ප්‍රදේශයට අනිනා ලදුව බිම වැතිර මියගොස් සිටින බාලාගේ දේහය සහ පොලීසියේ අත් අඩංගුවට පත් මම එම දසුන විය.

අනන්‍යාගේ පියාට අදාල සිතුවිල්ලෙන් පෙන්නුම් කලේ දෑත් එක් කොට වැඳ අනන්‍යාගේ පියා විසින් මවෙතින් කල ඉල්ලීමට එනම් ඔහුගේ දියණිය වෙතින් ඈත්වන ලෙස කල ඉල්ලීමට මවිසින් ඒ මොහොතේදී ලබාදියයුතුව තිබූ පිළිතුරු රාශියකි. 

"ඒ වුනාට මම අනන්‍යාට ආදරෙයි අංකල්..." නැතහොත් "මම අවංකයි අංකල්, එක පාරටම මාව ප්‍රතික්ෂේප කරන්නෙ නැතුව මට අවස්ථාවක් දීල බලන්න.." එසේත් නැතහොත් "අනන්‍යා කියන්නෙ බාල වස්කාරියක් නෙවෙයිනෙ. තමුං දැනගන්නව හොඳයි අපි දෙන්නට ඕනෙනම් තනි කැමැත්තට කසාද බඳින්ට පුලුවන්. තමුංගෙ කැමැත්තක් ඕනම නෑ. තමුං දන්නෙ උදේ ඉඳං රෑ වෙනකල් හින්දු පත්තරේ කියවන්ට විතරයි හුහ්..."

සමහර පුද්ගලයෝ ඉතා වාසනාවන්තයෝය. ඔවුහු සයනයෙහි දිගාවී කොට්ටයට හිස තබන ඇසිල්ලේ නිදි දෙව්දුව ඔවුන් වැළඳ ගන්නීය. මම කිසිසේත්ම එවන් වාසනාවන්තයෙක් නොවන්නෙමි. නින්දට යාමට පෙර මගේ හිස තුල රඟන අවම වශයෙන් පණහක් පමණවූ සිතුවිලි දහරාවන් මවිසින් එකින් එක ක්‍රියාවිරහිත කල යුතුය.

හෝරාවකට ආසන්න කාලයකට පසු මම අවසාන සිතුවිලි දහරාව ඊට අදාල ස්විචය ඔබා ක්‍රියා විරතිත කළෙමි. ඒ වනාහී කොටස් වෙළඳ පොළ පිළිබඳව කිසිවක් නොදන්නා චෙන්නයි කාන්තාවන් කිහිප දෙනෙකු කොටස් වෙළඳ පොළේ ඉතාම අස්ථිර කොටස් මිළදී ගන්නාලෙස මවිසින් පෙළඹවීමේ අවිචාරශීලී ක්‍රියාව පිළිබඳ සිතුවිලි දහරාවයි.

Saturday, October 7, 2017

536. The Story Of My Marriage - 45 - බාලාගේ ඉල්ලීම සහ මගේ ප්‍රතිචාරය......

"තව තත්පර තිහක් ඇතුලත තමුසෙ ඔය කියන්ට තෙපරබාන මල ඉලව්ව කිව්වෙ නැත්තං දෙයියම්පල්ල මම තමුසෙගෙ හොම්බට දෙකක් අනිනව.." මම යටිතොල සපාගත්වනම එසේ සිතුවෙමි. මගේ සිතතුල මා දැනටමත් බාලාගේ ඉදිරි දත් හතරක් කැඩෙන්නට පහර දී ඔහුගේ කෙස් දෙමිටක් මගේ දෑතින්ගෙන ගලවා ඊට අමතරව මගේ දකුණු පයින් උගුරු දණ්ඩද පාගා අවසානය.

"මේ බැංකු ජීවිතේදි අපි එකිනෙකා ගැන අපි බලාගන්ට ඕන ක්‍රිෂ්. මොකෝ මෙහෙදි අපි එකිනෙකා ආරක්ෂා කරන්ට දෙමව්පියො නැත්නම් භාර්යාවො එන්නෙ නෑනෙ. ඒ හින්ද අපිට අපේම පිහිට තමයි"

මම විඩාපත් මුහුණින් යුතුව වදනකුදු නොදොඩා බාලා දෙස බලාගත්වනම පසුවූයෙමි. 

"ක්‍රිෂ් දන්නවනෙ මම ඔයාගෙ බොස්..ඒ හින්ද මට ඕනම වෙලාවක් පුලුවන් ක්‍රිෂ්ට කිසිම කරදරයක් නොවෙන්ට ඔයාව රැකබලාගන්ට. එහෙම පුලුවන් විතරක් නෙවෙයි අනාගතයෙ හැමදාමත් මම එහෙම කරනව. මේ වෙලාවෙ ඇත්තමයි මම ක්‍රිෂ්ට එහෙම පොරොන්දු වෙනව"

බාලා එසේ පැවසූයේ මිට මොළවාගත් දකුනතින් ඔහුගේම ළය ප්‍රදේශයට ගසා ගනිමිනි. මගේ දෑස් විසල් වූයේ විශ්මයටත් වඩා භීතියෙනි. මට එක්වරම සිහියට නැඟුනේ මේ මෑතකදී අසල්වැසි රාජ්‍යයක දේශපාලන පක්ෂ නායකයකු එරට නායකයා තෝරාගැනීමේ ඡන්ද ව්‍යාපාරයේදී මෙසේ පපුවට ගසා ගනිමින් කථා පැවැත්වූ ආකාරයයි. N.D.T.V. ආයතනය මඟින් නිතර දෙවේලේ පෙන්වූ එම දර්ශනය පාසලේ සිව්වන වසරේදී පමණ ගුරුවරියද සමඟ නව දිල්ලියේ ජාතික සත්වෝද්‍යානයට ගිය චාරිකාවකදී එහි කූඩු කොට සිටි දැවැන්ත ගෝරිල්ලකු මහත් හඬ නඟමින් තම පපුවට ගසා ගත් අයුරු මට සිහිපත් කළේය.

"යකෝ සාක්කි මේ මනුස්සය මෙහෙම පපුවට ගහගෙන මෙතන මලොත් එහෙම මට අද රෑ නිදියන්ට වෙන්නෙ පොලිස් කූඩුවේ තමයි" එසේ සිතමින් මම අසුනින් නැඟිටින්නට තැත් කලේ බාලාගේ පපුවට පහරදී ගැනීමේ ව්‍යාපෘතිය වහා අත්හිටුවීමේ අදහසිනි. එහෙත් ඒ සමඟම ඔහු ස්වේච්ඡාවෙන්ම එම ව්‍යාපෘතිය අත්හිටුවා හති දමන්නට පටන් ගත්තේය. මම නැඟිට ගොස් ඔහු ඉදිරිපිටවූ වතුර කෝප්පය ඔහු වෙතට ළංකලෙමි. 

"වතුර ටිකක් බීල ඉන්න මිස්ටර් බාලා.."

මඳ වේලාවක් දෑස් වසාගෙන හුන් බාලා වතුර උගුරු කීපයක් පානය කොට මදෙස බලා සිනාසුණේය.

"ක්‍රිෂ් ඔයා දන්නවනෙ හෙට උදේ අපේ පරිභෝගික සේවා අංශෙ මුළු ඉන්දියාවෙම ලොක්ක ඒ කිව්වෙ කස්ටමර් සර්විසස් චීෆ් මැනේජර් එනව මුම්බායි වල ඉඳල. ඒ එක්ක තවත් ලොක්කො හතර පස් දෙනෙක්වත් එයි අනිවාර්යයෙන්ම. ඒ ගොල්ල අහයි ඇයි මොකවත් නොදන්න අපේ කස්ටමර්ලට මේ ඉන්ටනෙට් ස්ටොක්ස් වික්කෙ? කියල. අනිවාර්යයෙන් ඒකෙ වැරැද්ද එන්නෙ මගේ කරපිට. ඒකෙ ආය දෙකක් එහෙම නෑ"

"එහෙම වෙන්ට එපාය. ඒකෙ ඉතිං අහන්ටත් දෙයක් ඇත?...තමුසෙනෙ එව්ව විකුණපියව් විකුණපියව් කියල පස්ස විකාගෙන දැඟලුවෙ...නැතුව එහෙනං මමයැ"  බාලා දෙස බලාගත්වනම මම එසේ සිතුවෙමි.

"ඉතිං මම මේ කියන්ට ආවෙ වැරැද්ද මගේ තමයි. ඒත් ක්‍රිෂ් ඔයාට පුලුවන්නම්..." බාලා කථාව නතරකොට වතුර උගුරු කීපයක් යලි පානය කළේය. 

බාලා එන පොට මට මේ වනවිට හොඳින් පැහැදිලිවී තිබිණි. එහෙත් ඔහුගේ මුවින්ම එය අසාගනු රිසියෙන් මම ඔහු දිරිමත් කළෙමි.

"ඔව් මිස්ටර් බාලක්‍රිෂ්ණන් මට පුළුවන්නම්...කියන්න මට මොකක් පුළුවන්නම්ද?"

දෙනෙත් පහතට හරවාගත්වනම තමා ඉදිරියේ ඇති වතුර කෝප්පය දෙස බලා සිටියා විනා වදනකුදු තෙපලේ බාලා නොවේ.

"හරි මමම කියන්නම්කො මිස්ටර් බාලා කියන්නෙ නැත්නම්. ඔයාට ඕන මේ වෙච්චි අලකලංචියෙ වගකීම මා පිට පවර ගන්නෙයි කියල කියන්ට. එහෙම නේද?"

හිස ඔසවා මදෙස බැලූ බාලා යම්තමට හිස සොළවා ඒ එසේයැයි හැඟවීය. 

"මිස්ටර් බාලක්‍රිෂ්ණන්....මේක අහන්න.....මම මෙතන මේ ඊයෙ පෙරෙයිද වැඩට ආපු බොහොම කණිෂ්ඨ සේවකයෙක්. කොටින්ම මම තවම සිටි බැංකුවෙ වැඩ කරන්නෙ ට්‍රේනී කෙනෙක් හැටියට. අපේ දීර්ඝ කාලීන ගනුදෙනු කාරයින්ට මෙච්චර විසාල මුදලක් යටකරල ස්ටොක්ස් විකුණන්න වගෙ තීරණයක් මට තනියම ගන්න පුලුවන්ද? අනික ඔය බොම්බායෙ ඉඳල එන මොන මැනේජර්ද කවුද...ඒ මිනිස්සු එහෙම දෙයක් විස්වාස කරයිද? මොකද එයාල මෝඩයො නෙවෙයිනෙ..."

"නෑ අපිට මෙහෙම කිව්වැහැකි. ක්‍රිෂ් ඔයා I.I.M.A. පාස් අවුට් M.B.A. මාස්ටර්ස් ග්‍රැජුවට් කෙනෙක්. ඒ හින්ද ට්‍රේනී කෙනෙක් උනාට ඔයාට තමන් කැමති විදිහක් කරන්න අපි බලය දුන්නයි කියල වගෙ දෙයක්...එහෙම පුලුවන්නෙ නේද ක්‍රිෂ්..ප්ලීස්?"

බාලා මදෙස ආයාචනාත්මක බැල්මක් හෙලමින් විමසීය. බාලාගේ එම අදහස තර්කානුකූලය. ගණුදෙනුකරුවන්ට කොටස් විකිණීමේදී පලායන ඔහුගේ බුද්ධිය තම තනතුරට අනර්ථයක් වන්නට යන අවස්ථාවකදී අළු ගසාදා පියා නැඟිට සිටින අන්දම ඇත්තෙන්ම විශ්මයජනකය.

"හරි ඒක හරි කියමුකො. ඒත් මහත්මයා මම එහෙම වැරැද්ද පිළිඅරගෙන සියලු මහ දෝසෙම මගෙ කරපිට දාගත්ත කියන්නෙ සිටි බැංකුවෙ මගෙ අනාගතය එහෙම පිටින්ම ඉවරයි. මම සදාකල් මෙතනම තමයි. සමහරවිට ට්‍රේනී කෙනෙක් හින්ද රස්සාව ගහල යන්ටත් ඉඩ තියනව"

"නෑ ක්‍රිෂ් එහෙම වෙන්නෙ නෑ. කොහොමවත් ඔයාගෙ රස්සාව නැතිවෙන්නෙනම් නෑ. ඔයා ට්‍රේනී කෙනෙක් හින්දමයි ඔයාගෙ රස්සාව නැති නොවෙන්නෙ. පළපුරුදු නිලධාරියෙක් අතින් වෙනවට වඩා මේ වගෙ වැරැද්දක් ට්‍රේනී කෙනෙක් අතින් උනහම ඒ හැටි සීරියස් නෑ"

බාලාගේ එම තර්කයේද යම් සාධාරණත්වයක් ඇත. එහෙත් එක්විටම ඔහුගේ අදහසට එකඟවීමට ද මට නුපුළුවන.

"මිස්ටර් බාලා කියනව මම අහගෙන ඉන්නව. ඔය කියන විදිහටම ඔව්ව වෙයි කියල ඔයාට සහතිකද?"

"ඔව්. මට සහතිකයි. අනික ක්‍රිෂ් තවම ඉන්නෙ ට්‍රේනී කෙනෙක් විදිහටනෙ. ඔයාගෙ ප්‍රමෝෂන් එක ලැබෙන්නෙ ඔයාගෙ අංශ ප්‍රධානිය හැටියට මම රෙකමන්ඩ් කලොත් විතරයි. ඔයා හිතා ගන්නකො දැනටම මම හොඳ රෙකමෙන්ඩේෂන් එකක් දීලයි කියල තියෙන්නෙ. හැබැයි අනික් අතට මේකෙ වැරැද්ද මට බාරගන්ට උනොත් මගෙ රස්සාව පවා නැතිවෙන්ට පුලුවන්. එහෙම උනොත් ඔයාව රෙකමන්ඩ් කරන්න මම මෙතන ඉන්න එකක් නෑ"

"ඉතිං මිස්ටර් බාලක්‍රිෂ්ණන් මේක අහන්නකො...... වැරැද්ද ඔයාගෙ අතේනෙ...... ඒ හින්ද ඔයා වැරැද්ද බාරගන්ටම එපැයි.........."

"ක්‍රිෂ්, කරුණාකරල මේ වෙලාවෙ මට උදව් කරන්න.." 

බාලාගේ දෑසෙහි වූයේ අසරණ යාචකයෙකුගේ දෑසෙහි දක්නට ලැබෙනා අන්දමේ බැල්මකි.

මේ වනතෙක් බාලා සහ මා අතරවූයේ ප්‍රධානියා සහ යටහත් සේවකයකු අතර පවතිනා සම්බන්ධයකි. සත්‍යය වශයෙන්ම බාලා වනාහී මගේ ප්‍රධානියා වූ බැවින් අප අතර සම්බන්ධය එසේ වීමෙහිලා කිසිදු අරුමයක් හෝ අස්වාභාවිකත්වයක් නැති. එහෙත් මේ වනවිට එක සම්බන්ධතාවය කණපිට පෙරලී ඇති බවක් මට වැටහෙන්නට විය. ඔහුගේ රැකියාව ආරක්ෂාකොට ගැන්ම උදෙසා ඔහුට උදව් කරන ලෙස මගේ ප්‍රධානියා මා ඉදිරියේ ආයාචනා කොට සිටින්නේය. ඔහුගේ ඉල්ලීමට එකඟවුවහොත් හෙට දිනයෙන් අනතුරුව මට බාලා අල්ලේ නැටවිය හැකිවනු ඇත. ඔහුගේ රැකියාව ආරක්ෂාකොට දුන්නේ මා බැවින් මගේ කිසිදු ඉල්ලීමක් ඔහුට කිසිසේත්ම ප්‍රතික්ෂේප කල නොහැකිවනු ඇත.

ඔහුගේ රැකියාව ආරක්ෂාකරදෙනු වෙනුවෙන් බාලා වෙතින් මා අපේක්ෂා කරනුයේ ඉතා සුළු ප්‍රති උපකාර කිහිපයකි. එබැවින් ඒ ඉටු කිරීමෙහි ලා බාලාට කිසිදු දුෂ්කරතාවයකට මුහුණ දීමට සිදුනොවන බව මට සහතිකය. ඒ කිසිසේත් සිටි බැංකුවේ මුදල් සේප්පුව විවෘතවන රහස් අංකය මට ලබා දීම වැන්නක් නොවේ. අනෙක් අතට මා ඉල්ලා සිටියද එම රහස් අංකය බොහෝවිට ඔහු පවා නොදන්නවා විය හැක.

මා ඔහුගෙන් අපේක්ෂා කරනුයේ ඉතා සුළු උපකාර කිහිපයකි. උදෑසන කුකුළාත් අතින්ගෙන කාර්යාලයට නොපැමිණ ලොවපුරා මාවැනිම වූ වෙනත් සාමාන්‍ය බැංකු සේවකයින් තම රාජකාරි අරඹන වේලාවට රාජකාරි ඇරඹීමට අවසර ලබා ගැනීම ඉන් ප්‍රධානතම උපකාරයයි. එළෙසම දවසේ සේවය නිමාවේදී ඝන අන්ධකාරයේ මාවවුලන් ඉබාගාතේ පියාසර කරනා වේලාව උදාවනතෙක් කාර්යාලයේ කාලය කානොදමා සාමාන්‍යයෙන් අනෙකුත් සේවකයින් සේවය නිමකරනා වේලාව නොඉක්මවා සේවය නිමකොට ඇහැ පාටින් නවාතැන වෙත යාමට අවසරය ලබා ගැන්ම දෙවන උපකාරයයි.

එසේම කලින් දින රාත්‍රියෙහි ස්වල්ප වශයෙන් පදම වැරදී දරුණු හිස රුජාවෙකින් පීඩා විඳින දිනයක මගේ කුටියෙහි දොර වසා දමා තිරරෙදිද පහතට ඇද මේසයට හිස තබාගෙන අඩ හෝරාවක් පමණ සැතපීමට අවසර ලබාදීම තෙවන උපකාරයයි. 

ක්‍රිෂ් බාලාගෙන් ඉල්ලීමට බලාපොරොත්තුවන තුන්වන
උපකාරය වනාහී මඳක් පදම වැඩිවූ රාත්‍රියකට පසුදින
කාර්යාලයෙහි මේසයට හිසතබා හෝරාවක් හෝ
අඩ හෝරාවක් පමණ 
සැතපීමේ අවසරයයි. 
තම ප්‍රධානියාගෙන්
  අවසර ගෙන හෝ නොගෙන 
එසේ සැතපෙන්නෙකු ඉහත ඡායාරූපයෙන් දැක්වේ.

සිව්වන සහ අවසාන උපකාරය වනුයේ සතියකට දින දෙකක් හෝ තුනක් අනන්‍යා හමුවීම පිණිස නියමිත වේලාවට හෝරාවක් හෝ අඩ හෝරාවක් පළමු කාර්යාලයෙන් බැහැරව යාමට අවසර ලබා ගැනීමයි. 

මවිසින් බාලාගේ රැකියාව ආරක්ෂා කොටදෙනු ලැබුවහොත් ඔහු මවෙත මේ සියළු උපකාර නොපැකිළ කිරීමට ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත්වනු ඇති බවට මට කිසිදු සැකයක් නොවීය. 

"ඔෆිස් එකේ ඩෙස්ක් එකට ඔලුව තියල පොඩ්ඩක් නිදාගත්ත.....එතකොට පැයක් හමාරක් කලින් ගියා.....එව්ව නම් මොනවද? එව්ව වගේද එයාගෙ රස්සාව. හරිනම් බාලා මට මුලු ජීවිතේටම ණයගැතියි හුහ්..." මම මහත් සතුටින් එසේ සිතුවෙමි.

"හරි ඒ ප්ලස් පොයින්ට්නෙ. මයිනස් පොයින්ටුත් තියනව. මගෙ ෆයිල් එකට මේ ගැන නෝට් එකක් වැටෙනව. ඉස්සරහට ප්‍රමෝෂන් වලදි එහෙම ඒක බලපාන්ට ඉඩ තියනව. අනේ බම්බුව.....මම කොහොමත් තව වැඩි කාලයක් මෙතන ඉන්නෙ නෑනෙ. ඒ හින්ද ඔහෙ ඕන එකක්. ඉන්න ටිකේ දෙයියනේ කියල මට ඕන විදිහට ඉන්ට තිබ්බ නම් මදැයි.." 

එම චිත්තාභ්‍යන්තර සමාලෝචනයෙන් පසු මම බාලාගෙ යෝජනාවට එකඟවීමට තීරණය කළෙමි. එහෙත් එක්වරම එසේ එකඟනොවී මම තව මොහොතක් කල් මැරුවෙමි. බාලා තවත් මා ඉදිරියේ බැගෑපත්වනු දැකීම මගේ අභිප්‍රාය විය.

"ක්‍රිෂ්, චීෆ් මැනේජර් මට කොහෙත්ම කැමති නෑ. මිනිහ ඇවිල්ල උතුරු ඉන්දියානු. දකුණෙ මිනිස්සුන්ට මිනිහ කැමතිම නෑ කියල තමයි ආරංචිය. ඒත් ඔයාට ප්‍රශ්ණයක් වෙන එකක් නෑ ඔයත් උතුරෙනෙ. එයා ඔයාට සමාවක් දෙයි... ඒත් මට කොහෙත්ම සමාවක් දෙන එකක්නෑ"

බාලා හඬන්නට ඉතා ආසන්න හඬකින් පැවසීය. බාලා සත්‍ය වශයෙන්ම හඬනු ඇත්දැයි දැකබලා ගැන්මට මසිතෙහි බලවත් ආශාවක් ඇතිවුවද ඒ වනවිට අධික තෙහෙට්ටුව සහ නිදිමත කරණකොටගෙන මගේ ඇස් පියවෙන්නට ආසන්න තත්වයකට පත්ව තිබිණි.

"හරි මිස්ටර් බාලක්‍රිෂ්නන් අපි බලමු මොකද කරන්න පුල්කුවන් කියල.." මම අසුනින් නැඟිටිමින් පැවසූයෙමි.

"ඒ කියන්නෙ ක්‍රිෂ් මගේ යෝජනාවට කැමතියි කියන එකද?" බාලා ද වහා හුනස්නෙන් නැඟී සිටිමින් විමසූයේ අපේක්ෂා සහගත ස්වරයකිනි. 

"සුබ........රාත්‍රියක්......මහත්මයා…" මම වදනින් වදන බරකොට පවසමින් ඔහුගේ කුටියේ දොරටුවෙන් පිටවූයෙමි.

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...