Showing posts with label පරිවර්තන. Show all posts
Showing posts with label පරිවර්තන. Show all posts

Wednesday, July 28, 2021

162. එයින්ට්‍රි වීදිය, අක්බාර් ලේන්, ඇලන් මැතිනියාරාම පාර සමගින් ඇල්බට් චන්ද්‍රවංකය




එයින්ට්‍රි වීදිය-හැව්ලොක් ටවුම, කොළඹ 05


    හැව්ලොක් ටවුමේ සිට, තිඹිරිගස්යාය පාරේ මීටර 800ක් පමණ යනවිට වම් දෙසට හමුවන ඇස්කොට් ඇවනියු ඔස්සේ මීටර 100ක් ගිය තැන වම් දෙසට වන මග එයින්ට්‍රි වීදිය නම්වේ.


    එඩ්වඩ් ක්ලැරන්ස් ඩි ෆොන්සේකා යනු කෝටිපති මිනිරන් ව්‍යාපාරික එඩ්මන්ඩ් ක්ලාර්ක් ඩී ෆොන්සේකාගේ පුතුය. අශ්වයින් හතලිස් දෙනෙකුට හිමිකම් කියූ එඩ්වඩ් ක්ලැරන්ස්, ඒ සතුන් ගාල්කර තිබුණේ ජාවත්තේ පිහිටි ඔහුගේ වතුයායේ ගොඩනැගූ ස්තාලයේය. රාජකීය විදුහලට ඉදිරිපසින්, වර්තමානයේ රාජ්‍ය ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව හා කොළඹ විශ්ව විද්‍යාලයේ ගොඩනැගිලි කිහිපයක් පිහිටා ඇති ප්‍රදේශයේ පිහිටා තිබුනු තුරඟ තරඟ පිටියේ එම අසුන් තරඟ පිණිස යෙදවුණි. තුරඟ තරඟ කෙරෙහිවූ සිය බලවත් කැමැත්ත ප්‍රකට කරමින් ඔහු සිය වතුයායේ කොටස් වෙත ජනප්‍රිය බ්‍රිතාන්‍ය තුරඟ තරඟයන්හී නම් යෙදුවේය. එවැනි ජනප්‍රිය තුරඟ තරඟයක් සිහි කරමින් ඔහුගේ සමස්ත වතුයායට ගුඩ්වුඩ් නම දී තිබේ. වතුයාය වෙත වූ ප්‍රධාන පිවිසුම් මග ඇස්කොට් ඇවනියු යනුවෙන් නම් කෙරුණු අතර අතු වීදි දෙක එප්සම් වීදිය සහ එයින්ට්‍රි වීදිය ලෙසින් නම් කෙරිණ.




අක්බාර් ලේන්/පටුමග-අලුත්කඩේ, කොළඹ 12


    අලුත්කඩේ වටරවුමෙන් වම් දෙසට වන මිහිදු මාවත ඔස්සේ යනවිට දකුණු දෙසට හමුවන පළමුවන මග වන සෙන් සෙබස්තියන් වීදිය ඔස්සේ මීටර 100ක් යන විට වම් දෙසට හමුවන මග අක්බාර් පටුමගවේ.



    කීර්තිමත්, ලාංකික මැලේ ජාතිකයෙකු වන, මාස් තාජූන් අක්බාර් (1880-1944) මහතා දිස්ත්‍රික් සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු, ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයෙකු, ශ්‍රී ලංකාවේ සොලිසිටර් ජෙනරාල්වරයා සහ 1937-1938 කාලයේ නගර සභා සභීකයෙකු ආදී වශයෙන් ක්‍රියා කළ අතර ඊට අමතර ව මල්ලව පොර ශූරයෙකු මෙන්ම ජූඩෝ ක්‍රීඩකයෙකුද වශයෙන් කීර්තියක් ඉසිලීය. ආදී රාජකීයයෙකු වන අක්බාර් මහතා එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ උපාධිධරයෙකුද වන්නේය. ඔහු පේරාදෙනිය විශ්ව විද්‍යාල පිහිටුවීම සඳහා වූ කොමිසමේ සාමාජිකයෙකුවූ අතර හුසායිනියා පිරිමි විදුහලත් ෆාතිමා කාන්තා විදුහලත් පිහිටුවීමේ පුරෝගාමියෙකුද විය. මේ ආකාර වූ සේවාවන් වල නියුතු වීම නිමිති කොටගෙන ගෞරවයක් වශයෙන් ඔහුගේ නමින් කොළඹ වීදි දෙකක් නම් කර තිබේ. එයින් එකක් අලුත්කඩේ පිහිටා ඇති මෙම වීදිය වන අතර අනෙක පිහිටා ඇත්තේ කොම්පඤ්ඤ වීදියේ මැලේ ජාතිකයින් බහුල ව වසන පෙදෙසෙහිය. වඩා ම වැදගත් කාරණය වනුයේ පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ශාලාවක් ද ඔහුගේ නමින් නම් කර තිබීමයි.




ඇලන් මැතිනියාරාම පාර-හැව්ලොක් ටවුම, කොළඹ 05


    පොල්හේන්ගොඩ මං සන්දියෙන් වම් දෙසට විජය කුමාරණතුංග මාවත ඔස්සේ මීටර 500ක් පමණ යනවිට වම් දෙසට වන මග මෙම පාර වේ.

    පොල්හේන්ගොඩ කඳු කැටය මුදුනේ, නාවලත් කිරුලපනත් අතර මැද ඇලන් මැතිනියාරාම විහාරය පිහිටා තිබේ. කොළඹ නගරයේ උස් ම ස්ථානයක් වන මෙතැනට හිමිදිරියේ සමනල කන්ද දිස්වේ.

    මෙම විහාරය මේ නමින් හඳුන්වන්නේ ඇයි? කවුද මේ ඇලන්? විහාරවාසී ස්වාමීන්වහන්සේ මෙයට පිළිතුරු සපයති.

    නෙලී චාර්ලට් හෙන්රියාටා ඩී ඔලිවෙරා මහත්මිය (1869-1907) යම්කිසි මානසික රෝගයකින් පෙළුනාය. ඇයට බොහෝ වෛද්‍යවරුන් ප්‍රතිකාර කළත් ප්‍රයෝජනයක් නොවීය. අවසානයේ ඇය කඳවෙල ධර්මාලංකාර තෙරණුවන් වෙත එළඹුනාය. උන්වහන්සේ ඇයට සෙත් පැතීමෙන් අනතුරුව ආයුර්වේද ප්‍රතිකර්ම නිර්දේශ කළෝය. සමහරවිට එය සුළු සම්‍ය ප්‍රයෝගයක් විය හැක. කෙසේ නමුදු සුවය ලැබූ ඇය එයින් සතුටට පත් ව තමන් මේ වෙනුවෙන් කළ යුත්තේ කුමක්දැයි තෙරණුවන්ගෙන් විමසුවාය. උන්වහන්සේ විහාරයක් ගොඩ නැගීම පිණිස බිම් කඩක අවශ්‍යතාව විස්තර කළ අතර නෙලී මහත්මිය ඒ සඳහා සුදුසු වූ මෙම බිම්කඩ ලබා දී විහාරය ගොඩ නැගීම පිණිස අවශ්‍ය මුදල් ද ලබා දුන්නාය. ඈ මියගිය පසු ආදාහනයෙන් අවශේෂ වූ අළු බඳුනක බහා ගෙනවිත් විහාර භූමියේ තැන්පත් කර ඇගේ නමින් ස්මාරකයක් ගොඩනගන ලදී. විහාරයේ ප්‍රධාන ගොඩනැගිල්ලේ ඇගේ ඡායාරූප දෙකක් දකින්නට ලැබේ. විහාරවාසී භික්ෂූන් වහන්සේ අදහස් කරන්නේ නෙලී මහත්මිය මේ වනවිට දේවදූත ආත්මයක් ලබා විහාරය ආශ්‍රිතව ම ගැවසෙන බවයි.

    ඇලන් යනු සමීපතයින් නෙලී මහත්මිය හැඳින් වූ කෙටි නාමය වන අතර ඇයට ගෞරව පිණිස ඇලන්මැතිනියාරාමය වශයෙන් එම විහාරය හඳුන්වයි.




ඇල්බට් චන්ද්‍රවංකය - කුරුඳුවත්ත, කොළඹ 07


    ජාතික කෞතුකාගාරය අභිමුව වන කේම්බ්‍රිජ් පෙදෙසේ අන්තයත්, නිදහස් මාවතේ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමය අසල අන්තයත් යා කරන මග ඇල්බට් චන්ද්‍රවංකය නම්වේ.

    වික්ටෝරියා රැජණගේ වල්ලභයා ඇල්බට් කුමාරයාය. ඇගේ සම්පූර්ණ රාජ්‍ය කාලය තුලදී ම (1837-1901) ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය කිරීටය යටත් පාලනය කෙරුණු අතර 1876 දී වික්ටෝරියා රැජණ ඉන්දියාවේ අධිරාජිණිය බවට පත් වූවාය. ඔවුන්ගේ පුතුන් ශ්‍රී ලංකාවේ සංචාරය කළත් ඇල්බට් කුමරු කිසිදා මෙහි පය තබා නැත. එබැවින් මෙම නාමකරණයට සෘජු සම්බන්ධයක් පිළිබඳ සිතිය නොහැකිය. තවත් සිත්ඇදගන්නාසුලු කාරණයක් නම් ලන්ඩනයේ ලැම්බත් හී කොළඹ වීදියේ (Colombo Street) ප්‍රින්ස් ඇලබට් පබ් නමින් අවන්හලක් තිබීමයි. නමුත් ඇල්බට් කුමරු එයට ද කිසිදා පා තබා නැති බවට ලියුම්කරුට විශ්වාසය. කාලාන්තරයක් මෙරට පාලනය කළත් වික්ටෝරියා රැජණට කොළඹ ප්‍රදේශයේ උද්‍යානයක් මිස මාවතක උරුමයක් නැත.



Wednesday, July 21, 2021

161. වීදි සරන ළය 06 - අභය පෙදෙස, අභයාරාම පටුමග, අභයසිංහාරාම පාර, ඇඩම්ස් ඇවනියු, ඇඩම්ලි පෙදෙස, අධිකරණ මාවත සමග අහමඩ් පටුමග


අභය පෙදෙස - දෙමටගොඩ, කොළඹ 09

කොලොන්නාව දෙස සිට දෙමටගොඩ හන්දිය දෙසට පැමිණෙන විට දෙමටගොඩ ඇලත් දෙමටගොඩ හන්දියත් අතර මාර්ගයේදී වම් අත දෙසට වන අභය පෙදෙස හමුවේ.

අභය යනු නිර්භයභාවය වන අතර අභය මුද්‍රාවෙන් සංකේතවත් වන්නේ ආරක්ෂාව ලබා දීමටත්, බිය පලවා හැරීමටත්, හේතුවන අධ්‍යාත්මික ශක්තියයි. බුදුරජාණන් වහන්සේ නිර්වාණය අවබෝධ කරගැනීමේදී අභය මුද්‍රාව භාවිතා කළ අතර පසුව කලහාකාරී ලෙස හැසිරුණු ඇතෙකු දමනය කරනු පිනිස ද එය යොදා ගන්නා ලදී. අභය සූත්‍ර දේශනාවේ, ‘සම්මා වාචා’ පිළිබඳ විස්තරයේදී උන්වහන්සේ කෙනෙකු කිව යුතු නොකිව යුතු දේ පිළිබඳ ව දේශනා කළෝය. ‘අප නිතර ම කතා කළ යුතු වන්නේ සත්‍ය හා අර්ථයක් ඇති දේ පමණයි. ඒ වගේ ම සතුටුදායක වුවද දුක්ඛදායක වුවද යම් දෙයක් පැවසීමට වඩා සුදුසු ම අවස්ථාව තෝරාගත යුතුය’

බොහෝ සිංහල රජවරුන්ගේ නාමයන් හී මුලට හෝ අගට ‘නිර්භය’ යන තේරුම ගෙනදෙමින් ‘අභය’ යන වදන එක්කර තිබේ. ඒ අතර අභය රජ (ක්‍රී . පූ. 474-454), අභයගිරි දාගැබ සෑදූ වට්ටගාමිණි අභය/වගලම්බාහු රජ (ක්‍රී . පූ. 88-76) සහ දුටුගැමුණු රජ (ක්‍රී . පූ. 161-137) යනාදී රජවරුන් වේ.



අභයාරාම පටුමග - හැව්ලොක් ටවුම, කොළඹ 05

නාරාහේන්පිට, ශ්‍රී අභයාරාම බෞද්ධ විහාරස්ථානයට පිවිසීමට ඇති පටුමග මෙනමින් හැඳින්වේ.



අභයසිංහාරාම පාර - මරදාන, කොළඹ 10

පංචිකාවත්ත වටරවුමෙන් පංචිකාවත්ත දෙසට යන විට වම් අත දෙසට මෙම පාර හමුවේ. ඒ ඔස්සේ ගොස් අභයසිංහාරාම බෞද්ධ විහාරස්ථානයට පිවිසිය හැකිය. (අභයසිංහ - නිර්භය සිංහයා යන අරුත දේ)



ඇඩම්ස් ඇවනියු - කොල්ලුපිටිය, කොළඹ 03

බම්බපිටිය හන්දියේ සිට, තුන්මුල්ල වටරවුම් ද්විත්වය පසුකර කොළඹ විශ්ව විද්‍යාලය දෙසට පැමිණෙද්දි වම් අත දෙසට හමුවන පළමු මාවත මෙනමින් හැඳින්වේ. මෙම නාමය උපන් හේතුව නිශ්චිත නැත. ආදම් සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘවරුන් වන ආදම්ජී ලුක්මන්ජී පවුලේ පිරිස දැනට ජීවත් වන්නේ ඇඩම්ස් ඇවනියු පාරට පසු ව හමුවන පටුමගට මායිම් වන සයිෆි විලා - Saiffee Villa මන්දිරයේය (පෙර ලක්ෂ්මිගිරි මන්දිරය). සමහරවිට ඇඩම්ස් ඇවනියූ නාමය ඉපදීමට මෙම සම්බන්ධය බලපෑවා විය හැකිය. කෙසේ නමුදු මෙම දේපල වල පැරණි හිමිකරුගේ නම ඇඩම්/ඇඩම්ස් විය හැකි බවට H. A. C. හුලුගල්ල විසින් රචිත, The Centenary Volume of the Colombo Municipal Council යන ග්‍රන්ථයෙන් යෝජනා කෙරේ.



ඇඩම්ලි පෙදෙස - බම්බලපිටිය, කොළඹ 04

මැජෙස්ටික් සිටි ගොඩනැගිල්ල පසු කර කොළඹ දෙසට පැමිණෙද්දි වම් අත දෙසට හමුවන දෙවන මග ඇඩම්ලි පෙදෙස වේ.

බෝරා මුස්ලිම් ජාතිකයින් 1831 දී මෙම දිවයිනට ලඟා වූයේ අහම්බෙනි. ගුජරාටය බලා කරවල රැගෙන යමින් සිටි ජැෆර්ජි ඊසාජීගේ කුඩා මුහුදු යාත්‍රාව කුණාටුවකට අසු වී විනාශ වූ අතර දිවි බේරාගත් ඔහු ගාල්ල වෙරළට ලඟාවිය. මෙරට ඇති ව්‍යාපාර අවස්ථා දුටු ඔහු පසුකාලීන ව මෙරට මූලික කරගෙන ආනයන අපනයන වෙළඳාම ඇරඹීය. ඔහුගේ පුත් කරීම්ජී ජැෆර්ජි එම ව්‍යාපාරය තවදුරටත් ව්‍යාප්ත කරමින් ඉංදියානු සාගරය හරහා නැගෙනහිර අප්‍රිකාවේ සිට සිංගපූරුව දක්වා වෙළෙඳ ගනුදෙනු මෙහෙයවන්නට සමත්වීය. ඔහුගේ ඥාති සොයුරු මොහොමඩ්බායි අලීබායි නැමැත්තා සිය පුතුන් වන ඉසුෆ්අලී, ගුලාම්හුසෙයින් සහ ඇඩම්ලි (Esufally, Gulamhussein and Adamaly) යන අයගේ නම් උපයෝගී කරගෙන ඊ. ජී. ඇඩම්ලි සහ පුත්‍රයෝ (E G Adamaly & Sons) යන ව්‍යාපාරය අරඹා, සීනි, භූමිතෙල්, රබර්, පිටි සහ හාල් වෙළදාමෙන් ඉතාමත් කෙටි කලකදී ඉමහත් දියුණුවක් ලබා, දිවයිනේ ප්‍රමුඛත ම වෙළඳ ව්‍යාපාරයන් අතරට එක්විය. පවුලේ තවත් සාමාජිකයෙකු වන ඊ. ජී. ඇඩම්ලි යන අය 1920-1925 අතර කාලය තුල ව්‍යවස්ථාදායක සභාව නියෝජනය කළ අතර ඔහුගේ පුත් කුර්බාන් හුසෙයින් ඇඩම්ලි 1948 දී නියෝජ්‍ය නගරාධිපතිවරයා වශයෙන් ද, 1947-1971 අතර කාලය තුල සෙනෙට් සභිකයෙකු වශයෙන් ද, කටයුතු කළේය. ඉතාමත් සිත්ඇදගන්නාසුලු බෝරා මස්ජිදය පිහිටා තිබෙන්නේ ද මෙම ඇඩම්ලි පෙදෙස කෙලවරෙහි ය.



අධිකරණ මාවත - මරදාන, කොළඹ 10

ටෙක්නිකල් හන්දියේ සිට පංචිකාවත්ත දෙසට ශ්‍රී සංඝරාජ මාවත ඔස්සේ යන විට වම් අත දෙසට හමුවන පළමු මාවත මෙය වේ.

‘අධිකරණ - සමථ ධම්ම’ යනු බෞද්ධ විනය පිටකයෙහි එන කොටසකි. එයින් පනවා ඇත්තේ භික්ෂූන් අතර ඇතිවන ආරවුල් හෝ නඩු ආදි කාරණා සමථයට පත් කරගැනීමේදී සැළකිය යුතු විනය නීති සමුදායයි. අධිකාරණික යනු විනිශ්චයකාරවරයාය. අධිකරණ මාවත, පහළ උසාවි සහ අලුත්කඩේ පිහිටා ඇති අධිකරණ අමාත්‍යාංශය වෙත දිවෙයි.



අහමඩ් පටුමග - කොම්පඤ්ඤ වීදිය, කොළඹ 02

තොරතුරු සපයන කෙනෙකු මගින් ලේඛකයාට කොම්පඤ්ඤ වීදියේ පිහිටි මෙම පටුමගෙහි, පදිංචි, ටී. බී. ජයා මහතාට සමීප ඤාතියෙකු වන තුවාන් අහමඩ් හමීඩ් ඩීන් නැමැති ශ්‍රී ලාංකික මැලේ ජාතික සමාජ සේවකයෙකු හමු වී තිබේ. ඒ හැර එම පටුමග පිළිබඳ වැඩිදුර විස්තර නොමැත.

Wednesday, July 14, 2021

160. වීදි සරන ළය 05 - අබ්දුල් කෆූර්, අබ්දුල් හමීඩ් සමග අබ්දුල් ජබ්බාර්




පෙර ලිපි
154. වීදි සරන ළය - 01



අබ්දූල් කෆූර් මාවත - කොල්ලුපිටිය, කොළඹ 3

පැරණි නම - පෙන්ඩෙනිස් ඇවනියු

    ගාලු පාරේ බම්බලපිටියේ සිට කොල්ලුපිටිය දෙසට පැමිණෙන විට, දකුණු පැත්තේ ඇති ශ්‍රී ලංකා බයිබල් සංගමය ගොඩනැගිල්ලට පසු ඇති මග අබ්දූල් කෆූර් මාවත වේ.

    අරාබි වෙළෙඳුන් මෙරටට පැමිණ පළමුව බේරුවල ආශ්‍රිත ව පදිංචි වූයේ, අටවන සියවසයේ දී යැයි විශ්වාස කෙරේ. මෙරට පතල් කර්මාන්තය හා මැණික් වෙළෙඳපොළ වැඩිදියුණු කිරීමෙහි ලා මැණික් පිළිබඳව වූ සිය ප්‍රවීණතාව මැනවින් උපයෝගී කරගත් ඔවූහු කොළඹට පැමිණ මැණික් වෙළඳාමෙහි යෙදුණු අතර අවසානයේ එහි ම පදිංචි වූහ. 1894 දී ‘නූර්ඩීන් හාජියාර් අබ්දූල් කෆූර් හාජියාර්’ විසින් පළමු වරට කොළඹ වරායේ මැණික් වෙළඳාම අරඹන ලද අතර මද කලකින් ම ඉමහත් කීර්තියක්, ප්‍රසිද්ධියක් උපයාගත් ඔහු 1901 දී වේල්සයේ කුමර කුමරියන් මෙරටට සම්ප්‍රාප්ත වූ අවස්ථාවේ දී මහනුවර මණ්ඩපයේ දී ඔවුනට සිය දියමන්ති සහ මුතු මැණික් එකතුව සහිත ප්‍රදර්ශනයක් ඉදිරිපත් කිරීමට ද සමත්විය. පසුකාලීන ව යුරෝපයේ සහ ඇමරිකාවේ පවත්වන ලද ප්‍රදර්ශනයන්හි දී සම්මානයට පත් වූ අබ්දූල් කෆූර් 1929 දී සිය මිල කළ නොහැකි අනර්ඝ මුතු මැණික්, දියමන්ති සහ අභරණ එකතුව ප්‍රදර්ශනය කරනු පිණිස, කොළඹ කොටුවේ, පල්ලිය වීදියේ මැණික් කෞතුකාගාරයක් විවෘත කළේය. ඒ පෙදෙසෙහි සංචාරය කරන්නේ නම්, කොටුවේ ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලයට යාබද ව අදටත් එම ගොඩනැගිල්ල දැකගත හැකිය.

    මෙරට මුස්ලිම් අධ්‍යාපනය නගා සිටුවීමට කැපවීමෙන් කටයුතු කළ අබ්දූල් කෆූර් මරදාන සහිරා විද්‍යාලයට, ද ගෆූරියා ඇරබික් විද්‍යාලයට සහ ද ගෆූර් අරමුදලට සිය ධනය පරිත්‍යාග කළේය. තව ද ශ්‍රී ලාංකික මුස්ලිම්වරුනගේ මක්කම වන්දනාවන් සඳහා මූල්‍යමය දායකත්වයත් සැපයීය. 1949 දී අභාවප්‍රාප්ත වූ අබ්දූල් කෆූර් මහතාගේ දේහය මරදාන මුස්ලිම් පල්ලිය භූමියේ භූමදාන කරන ලදී.



අබ්දූල් හමීඩ් වීදිය - අලුත්කඩේ, කොළඹ 12

පැරණි නම - වින්සන්ට් වීදිය

    කෙසෙල්වත්තේ සිට උසාවිය පසුකොට අලුත්කඩේ වීදිය ඔස්සේ පැමිණෙද්දී හමුවන ‘Y’ හන්දියෙන් දකුණු දෙසට වන්නට ඇත්තේ ශ්‍රීමත් බණ්ඩාරනායක මාවත වේ. එහි මීටර 200ක් පමණ දුරින් හමුවන සිව්මංසලින් දකුණු පසට වන මග අබ්දූල් හමීඩ් වීදිය වේ.

    1900දී ශ්‍රී ලාංකික මුස්ලිම්වරු, තුර්කි සුල්තාන්-දෙවන අබ්දූල් හමීඩ්ගේ රිදී ජුබිලිය මහ ඉහළින් උත්සවාකාරයෙන් සැමරුවේ කොඩි ලෙලවමින් සහ ගිණිකෙළි සංදර්ශන පවත්වමිනි. ඔහු තුර්කි ඔටෝමාන් අධිරාජ්‍යයේ ප්‍රධානියා මෙන් ම ඉස්ලාමීය සහයෝගීතාවේ සංකේතයක් බඳු කාලීෆ් වරයෙකුවිය. එරටෙහි පළමු සිවිල් සේවකයා වූ අමා අසීස් මෙසේ පවසයි.

    ‘සුල්තාන්වරයාගේ සෑම ප්‍රධාන කටයුත්තක් ම රාජ්‍යයේ කටයුත්තක් හා සමානයි. සෑම සතියේ ම දේවස්ථාන වල සිකුරාදා පූජාවන්හී එතුමාගේ නාමය රැව්දීම ඉතාමත් සාමාන්‍ය කාරණයක්. බොහෝ මුස්ලිම් නිවෙස් වල එතුමාගේ පිංතූරයක් තිබෙනවා. තුර්කි රාජධානිය සුල්තාන්ගේ උත්සව හා වෙනත් විවිධ අවස්ථාවන් වෙනුවෙන් උවමනාවටත් වඩා කාලය හා ඉඩ වෙන් කෙරුවා. ළදරුවන් සහ ආයතන නම් කෙරුණේ සුල්තාන්වරයාගේ නමින්’.

    සුල්තාන්වරයාගේ උරුමයෙන් ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරු තුර්කි තොප්පිය (Fez) පැළඳීමත්, හඳ පලුව හා තනි තරුව ප්‍රදර්ශනය කිරීමත් සිදු කළ අතර ඒවා ඔටෝමාන් අධිරාජ්‍යයේ සංකේත විය.

    I.L.M. නූර්ඩීන් හාජියාර් ඔහුගේ පියාවන ඉඩෘස් ලෙබ්බේ මාරිකාර්ගෙන් පසු 1900දී ග්‍රෑන්ඩ් මොස්ක් මුස්ලිම් පල්ලිය-පදනමේ භාරකාරවරයා බවට පත් වූ අතර ඔහු අලුත්කඩේ පෙදෙසේ දේපළ පරිත්‍යාග කර පල්ලියේ නඩත්තු කටයුතු සැළසීය. සිය පුද්ගලික වියදමින් කොළඹ ග්‍රෑන්ඩ් මොස්ක් මුස්ලිම් පල්ලිය භූමියේ හමීඩියා විද්‍යාලය වෙනුවෙන් ගොඩනැගිලි ඉදිකළ නූර්ඩින් හාජියාර් මහතා එය තුර්කි සුල්තාන් හමීඩ් නමින් නම් කළේය.

    ලාංකීය විද්වතුන් හා කතාබහ කිරීමෙන් මෙන් ම පුස්තකාල ආශ්‍රය කරගනිමින් සොයා බැලුව ද අබ්දුල් හමීඩ් මාවත කුමන පුද්ගලයාගේ නමින් නම් වූයේ දැයි පැහැදිළි අදහසක් ගත නොහැකි වූ අතර වියහැකි ආකාර පහත පරිදි ලඝු කොට දැක්විය හැකිය.

I.L.M. අබ්දූල් හමීඩ් - I.L.M. නූර්ඩින් හාජියාර්ගේ සහෝදරයා

    N.D.H. අබ්දූල් හමීඩ් - මරදාන මොස්ක් හී භාරකාරවරයා, නූර්ඩින් හාජියාර්ගේ පුතා, N.D.H. අබ්දූල් කෆූර්ගේ සහෝදරයා (අබ්දුල් කෆූර් මාවත)

    B.S. අබ්දුල් හමීඩ් - කොළඹ මහා නගර සභා සභික (1950-1957)



අබ්දුල් ජබ්බාර් මාවත - අලුත්කඩේ, කොළඹ 12

    ආමර් වීදිය පොලීසිය ඉදිරිපිට, M.J.M. ලෆිර් මාවත ඔස්සේ යන විට හමුවන පළමු සිව්මංසලින් දකුණු දෙසට වන මග අබ්දුල් ජබ්බාර් මාවත වේ.

    වාපු මරිකාර් අබ්දුල් ජබ්බාර් මහතා 1940-1957 දක්වා කාලය තුල මාරදාන මොස්ක් මුස්ලිම් පල්ලියේ භාණ්ඩාගාරික තනතුර හෙබවීය. ඔහුට, මාමා වන I.L.M. නූර්ඩීන් හාජියාර්ගෙන් ගොඩනැගිලි ද්‍රව්‍ය ව්‍යාපාරයක් උරුම විය. අදටත් එම වෙළඳසැල, M.J.M. ලාෆිර් මාවත-මැසෙන්ජර් වීදියත්, ගල්වල පාරත් (Quarry Road), අබ්දුල් ජබ්බාර් වීදියත් හමුවන සිව්මංසලදී දැකගත හැකිය.

    අබ්දුල් ජබ්බාර් සහ පුත්‍රයෝ (Abdul Jabbar & Sons), අබ්දුල් ජබ්බාර් නිවස (Abdul Jabbar House) යන ව්‍යාපාරය සහ නිවස අබ්දුල් ජබ්බාර් මාවතේ පිහිටා ඇත.

Wednesday, July 7, 2021

159. වීදි සරන ළය 04 - කොළඹ කළාප තුන්වන කොටස







කොළඹ 11 - පිටකොටුව

    සිංහල භාවිතය අනුව පිටකොටුව-Pettah යනු ‘කොටුවෙන් පිටත’ යන්න අරුත් ගන්වන වදනකි. හොබ්සන්-ජොබ්සන් නම් ඉංග්‍රීසි-ඉන්දියානු ශබ්දකෝෂයට අනුව Pettah යනු (දමිළ බසින් පෙට්ටායි) බලකොටුවකට ඈඳුනු උපනගරයක් හෝ බලකොටුවකට යාබද නගරයකි. අතීතයේ බොහෝ ජනයා පදිංචි පෙදෙසක් වූ එහි එළිමහන් කඩ වීදියක් හා වෙළෙඳපොලක් තිබී ඇත. වර්තමානයේ වීදි, පටු මං හා මුඩුක්කු පෙදෙස් වලින් ගහන වංකගිරියක සිරිගෙන ඇති පිටකොටුව, ශ්‍රී ලංකාවේ තොග සහ සිල්ලර වෙළෙඳාමේ ප්‍රධාන මධ්‍යස්ථානයක් ව ක්‍රියා කරයි.

කොළඹ 12 - අලුත්කඩේ

    ඕලන්ද ජාතික ජෙනරාල් ජෙරාඩ් හල්ෆ්ට් (Gerard Hulft), 1656 දී සිදු කළ, පෘතුගීසින්ට එරෙහි විජයග්‍රාහී අවසන් සටනේ දී ඝාතනයට ලක්විය. ඔහු, වසර 150කට අධික කාලයක් තිස්සේ කොළඹ අත්පත්කරගෙන සිටි පෘතුගීසින් පළවා හැරීම සඳහා එවකට කන්ද උඩරට පාලනය කළ දෙවන රාජසිංහ රජු සමග සන්ධාන ගතවිය. හල්ෆ්ට් මිය යෑමට පෙර දිනයේ ඔවුන් ත්‍යාග හුවමාරු කරගන්නා ලද අතර දෙවන රාජසිංහ රජු, ‘රන්මය කරපටියක්’ ජෙනරාල් හල්ෆ්ට්ගේ ගෙල වටා පැළඳ වූයේය. ඊට අමතර ව තමන් දෙදෙනා අතර වන මිත්‍ර සන්ධානය සංකේතවත් කරමින් තමාගේ මුදුවක් හල්ෆ්ට්ගේ ඇඟිල්ලක පැළඳවීය.

    පසුදා ජනරාල්වරයා අවසන් සටනේ දී භාවිතා කළ හැකි ඉදිරිපෙළ අගල් ගැන පරීක්ෂා කරමින් සිටියේය. ඒ අතරේ ඕලන්ද ශාලාවක ගින්නක් ඇති කිරීමට පෘතුගීසින් සමත් විය. ඔහු උදව් සොයන්නට විය. ‘යහපත් දෙවියනි!, උදව් කරන්න!’ නමුදු පමා වැඩිය. හදවත පසාරු කරගෙන ගිය වෙඩි උණ්ඩයක් හේතුවෙන්, ඕලන්දයින් කොළඹ අත්පත් කරගන්නා අයුරු දකින්නට තිබූ අවස්ථාව ඔහුට අහිමි විය. නමුදු, ඒ ඕලන්ද සෙනෙවියා සිය නිවස ගොඩ නැගූ කඳු ගැටය සියවස් ගණනාවක් තිස්සේ Hulftsdorp (හල්ෆ්ට්ගේ ගම්මානය) නාමය දරමින් කොළඹ පදාසයක් හිමිකරගෙන සිටියි.

    වරෙක බ්‍රිතාන්‍යයින් පිටකොටුවේ වෙළෙඳපොළ මෙම කඳු ගැටයේ බෑවුම් වෙත ගෙන එන්නට දරපු උත්සහයේ ප්‍රතිඵලයක් වශයෙන් එම පෙදෙසට ‘අලුත්කඩේ’- New Bazar යන නාමය හිමිවිය.

    වර්තමාන ශ්‍රී ලංකාවේ නීතිය පිළිබඳ වූ සියලු ම ආයතන පාහේ පිහිටා ඇත්තේ අලුත්කඩේ පෙදෙසෙහිය. ඒ අතර මහාධිකරණය, ශ්‍රේෂ්ඨාධිකරණය මෙන් ම අධිකරණ අමාත්‍යාංශය ද වේ. (මෙම පෙදෙස හඳුන්වන ඉංග්‍රීසි නාමයෙහි නිවැරදි අක්ෂර වින්‍යාසය, ‘Hulftsdorp - හල්ෆ්ට්ස්ඩෝප්’ වේ).

කොළඹ 13 - කොටහේන

    කුඩා ධීවර ගම්මානයක් වුණු කොටහේනට ඒ නම ලැබී ඇත්තේ එහි තිබුණු සරුසාර කොට්ටන් ගස් (Costus Speciosus) යාය (කොට්ටන් හේන) නිසා යැයි සැළකේ. පෘතුගීසි යුගයේ දී මේ පෙදෙස හැඳින්වූයේ කොට්ටන්චීන - Kottanchina යනුවෙනි. ඕලන්ද බසින් ‘Korteboam’ යනු ‘කොට ගස්’ යන්නට සමාන පදයකි. අවසානයේ බ්‍රිතාන්‍යයන් විසින් කොටහේන - කොට්න් චයිනා (Cotton China) බවට පෙරළීය.

    සිංහල ක්‍රමයට ගතහොත් කොටහේන යන්න, ‘ගස් කපා ලඳු කැලෑ ගිණි ලූ පසු ඉතිරිවන කොට සහිත හේන’ යන යෙදුමෙන් ආවා ද විය හැක. (වරක් අස්වැද්දූ පසු මෙවැනි හේන් අතහැර දැමෙන අතර වෙනත් බිම් කඩක නව හේනක් සාදා ගැනීම සිරිතයි)

    1760 පමණ සිට කොටහේනේ දේවස්ථානයක් තිබුණද, මේ කුඩා ගම්මානය කලඑළි වී නාගරීකරණය වූයේ 1838 දී ශාන්ත ලුසියාස් ආසන දෙව්මැදුර පිහිට වීමෙන් පසුවය.

කොළඹ 14 - ග්‍රෑන්ඩ්පාස්

    පෘතුගීසි යුගයේ දී කැළණි නදිය හරහා උතුරු දෙසට තරණයට තොටුපළ ඔරු (Ferries) දෙකක් විය. පෘතුගීසින් එවා හැඳින්වූයේ ‘Passo’-පැසෝ යන නමින් වන අතර බ්‍රිතාන්‍යයන් පසු කාලීන ව එවදන ‘Pass’-පාස් යනුවෙන් ඉංග්‍රීසිකරණය කරන ලදී. පළමු තොටුපළ ඔරුව වූයේ වර්තමාන නාගලගම් වීදිය කෙළවරෙහිය. එය පෘතුගීසි යුගයේදී ‘Passo Grande’ ලෙස හැඳින් වූ අතර පසුකාලීන ව ග්‍රෑන්ඩ්පාස් බවට හැරුණේ එම නාමයයි. දෙවැන්න පිහිටියේ වත්තල පෙදෙස ආසන්නයේය. ග්‍රෑන්ඩ්පාස් තොටුපළ වඩා කාර්යය බහුල ස්ථානය වූ අතර එයට ම හිමි වූ වෙළෙඳපොළක් සහ රේන්දයක් තිබූ බව සඳහන් ය. 1822 දී පාරු පාලම (Pontoon Bridge) ඉදි වූ පසු ඔරුව ඉවත් කෙරිණ. එම පාරු පාලමට බෝට්ටු 21ක් අයත් වූ අතර එහි දිග අඩි 499ක් විය. 1895 දී අඩි 26ක් පළල, ගරාදි බාල්ක යෙදූ මාර්ග පාලමක් (lattice girder road bridge) වන වික්ටෝරියා පාලම නිමවන තෙක් ගඟ තරණය සඳහා වූ ප්‍රධාන ක්‍රමය වූයේ මෙයයි. ඊට වසර 30කට පෙර කැළණි ගඟ හරහා දුම්රිය පාලම සම්පූර්ණ කර තිබිණ.

කොළඹ 15 - මුත්වාල්

    කැළණි ගඟේ සාගරයට බැඳි කොටස සාම්ප්‍රදායික ව හඳුන්වන්නේ ‘මුත්වාල් ඔය’ නමිනි. මෝය කට යන්නට දමිළ බසින් යෙදෙන ‘මුහතුවරම්’ යන වදන, පෘතුගීසින් හා ලන්දේසීන් භාවිතා කිරීමේදී ‘මුත්වාල්’ යන වදන බිහි වූ ලෙස සැළකේ. වර්තමාන මුත්වාල් ප්‍රදේශයට, උතුරු කොළඹට අයත් මට්ටක්කුලිය, මෝදර, කදිරාන සහ කාක දූපත අයත් වේ.


                         (මෙහි දක්වා ඇති මිල ගණන් ගැන අපගේ වගකීමක් නොමැත)


කොළඹ කළාප නිමි

Wednesday, June 30, 2021

157. වීදි සරන ළය 03 - කොළඹ කළාප දෙවන කොටස






කොළඹ 5 - හැව්ලොක් ටවුම

1890 සිට 1895 දක්වා කාලය තුල ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා වූයේ ආතර් එලිබෑන්ක් හැව්ලොක් (Arthur Elibank Havelock) මහතාය. කඩවසම් භාවය අතින් ඉහළ ම ආණ්ඩුකාරවරයා නොවුණාට ‘ජැන්ඩියට’ ඇඳ පැළඳීම අතින් එකල දිවයිනේ ඉහළින් ම වැජඹුණු තැනැත්තා ඔහු විය. කොහොම නමුත් අන් අයට නොවූ අවස්ථාවක් ඔහුට අත්කරදෙමින් මෙරට නගරයක් ඔහු නමින් නම් විය. එම වාසනාව ලද එකම බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා ඔහු ය. එයට අමතර ව හැව්ලොක් පාර, එලිබෑන්ක් පාර සහ හැව්ලොක් පෙදෙස යනුවෙන් තවත් මාර්ග තුනක් ඔහු නමින් නම් කෙරුණ ද හැව්ලොක් පාර අද වන විට ඔහුට අහිමි ව තිබේ. එහි වර්තමාන නාමය සම්බුද්ධත්ව ජයන්ති මාවත වේ.

කොළඹ 6 - වැල්ලවත්ත

වැල්ලවත්ත යනු වැලි උයන යන්නට සමාන වදනකි. එකල එය සැනෙන් එරෙන වැල්ලෙන් නිර්මිත, වල් පැළැටි සහ පඳුරු වලින් ගහන වූ, මුහුදු වෙරළ කරා දිවෙන මුඩු බිමක් වූ නමුදු වර්තමානයේ ගාලූ පාරේ පිහිටි නගර අතුරින් ඉතාමත් ජනාකීර්ණ වෙළෙඳ නගරයක් බවට පත් ව තිබේ. දිය මං සහ කානු සෑහෙන ප්‍රමාණයක් වැල්ලවත්ත හරහා මුහුදට ඇදෙයි.



(මෙහි දක්වා ඇති මිල ගණන් ගැන අපගේ වගකීමක් නොමැත)

කොළඹ 7 - කුරුඳු වත්ත

1765 සිට 1785 දක්වා කාලයේ ශ්‍රී ලංකාවේ ඕලන්ද ආණ්ඩුකාරවරයා වූ විලෙම් ඉමාම් ෆැල්ක් (Willem Imam Falck) ගොවිබිම් හී කුරුඳු වගා කිරීම පිළිබඳ ව පර්යේෂණයෙහි යෙදුනෙකි. එයට පෙර විශ්වාසය වූයේ කුරුඳු යනු වනාන්තරයේ ස්වභාවික ව වැඩෙන ශාකයක් වශයෙනි. මෙම කුරුඳු යාය දැනට කොළඹ 7 කලාපයට අයත් පෙදෙස ද ඇතුලු ව, මරදානේ සිට හැව්ලොක් ටවුම දක්වා මයිල 12ක් පුරා විහිද පැතිර පැවතිණි. සිංහලෙන් කුරුඳු වත්ත ලෙසින් ද, ඉංග්‍රිසියෙන් Cinnamon Garden ලෙසින් ද, කොළඹ 7 කලාපය හැඳින්වීමට හේතු වන්නේ මෙකී කුරුඳු යායයි.


කොළඹ 8 - බොරැල්ල

බොරැල්ල යනු බොරලු ඇති බිම යන්නට සමාන පදයකි. පෘතුගීසින් ද මේ පෙදෙස හැඳින්වූයේ ගල් ගොඩැල්ල/බොරලු කන්ද - Outeirinho das pedras ලෙසිනි. වර්තමානයේ, වෝඩ් පෙදෙස, දොස්තර ඩැනිස්ටර් ද සිල්වා මාවත (බේස්ලයින් පාර), ඥානාර්ථ ප්‍රදීපය පාර සහ දොස්තර එන්. එම්. පෙරේරා මාවත (කොටා පාර) යන මාර්ග මුණ ගැසෙන පස් මං සන්ධිය නිසා කාර්යය බහුල වූ බොරැල්ල සෑහෙන ජනාකීර්ණ වෙළෙඳ නගරයකි. මෙරට, දරුවන් සඳහා වන ප්‍රධාන රෝහල වන රිජ්වේ ආර්යයා ළමා රෝහල මෙන් ම වෛද්‍ය පර්යේෂණ ආයතනයත් බොරැල්ලේ (MRI) පිහිටා ඇත.

කොළඹ 9 - දෙමටගොඩ

මෙරට, නාග දෂ්ටන ඇතුලු බොහෝ අවස්ථාවන්හි දී දෙමට පඳුරු (Gmelina Asiatica or Asiatic bushbeech) වෙදකම සඳහා භාවිතා කෙරේ. ප්‍රධාන පඳුරෙන් පහළට එල්ලෙන සීනු ආකාර කහපාට මල් ඇති මෙම පඳුරු සාමාන්‍යයෙන් මීටර තුනට වඩා උස් නොවේ. සමහරවිට දෙමටගොඩ ප්‍රදේශය අතීතයේ දී දෙමට පඳුරු දහස් ගණනක් සරුවට වැවුණු ගම්මානයක් ව පවතින්නට ඇත.

එසේත් නැත්නම් එම නාමය භාෂා දෙකක සම්මිශ්‍රණයෙන් බිහි වූවක් විය හැක. පෘතුගීසි බසින් ‘De mata’ යනු වනයේ/බැද්දේ ආදී තේරුමක් දෙන අවස්ථාවකි. සිංහලෙන් ‘ගොඩ’ යනු ‘Village’-ගම යන ඉංග්‍රීසි වදනට යෙදෙන පදයකි. මේ සියලු දේ සළකා බැලීමේ දී දෙමටගොඩ යනු ‘Village in the jungle’ නොහොත් ‘බැද්දේගම’කි. එය අපට ලෙනාඩ් වුල්ෆ්ගේ එනමින් ම වන කෘතිය සහ පරිවර්තන කෘතිය සිහිගන්වයි. (එහි සඳහන් ගම අයත් වන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයට ය.)

අද වනවිට දෙමටගොඩ යනු ග්‍රාමිය පෙදෙසක් නොවේ. ජනාකීර්ණ නාගරික පෙදෙසකි. ජාතික දුම්රිය කෞතුකාගාරය දෙමටගොඩ පිහිටා ඇති අතර බහු මංතීරු ගුවන් පාලමක් ද දෙමටගොඩ සතුව තිබේ.

කොළඹ 10 - මරදාන

දෙමළ භාෂාවෙන් මරම් යනු ගස ය. දානම් යනු පෙදෙස ය. එසේ ගත්කළ මරදාන යනු ‘ගස් පෙදෙස’ විය නොහැකිද?

ක්ලෆ්ගේ අර්ථ දැක්වීමට අනුව (Clough’s definition) ‘වැලි තලාව’ යන තේරුමින් ‘මරදාන’ බිහි වූ බව දැක්වේ. මුල් ම කුරුඳු වගාව සිදු කරන ලද්දේ මරදාන පෙදෙසේ වැලි තලාවේය. එයින් ලබාගත් අස්වැන්න ශ්‍රී ලංකාවේ හොඳ ම කුරුඳු ලෙස සැළකේ. මේ වැලි පසේ කුරුඳු මෝරා පරිනත භාවයට පත්වන්නට පස් වසක් ප්‍රමාණවත් වුවත්, සාමාන්‍ය පසේ ඒ සඳහා වසර හතක් හෝ ඊට වැඩි කලක් ගතවන බවක් පැවසේ.

මරදානේ කුරුඳු කෙතරම් ඉස්තරම් වූවාද යත් එහි අස්වැන්න විනාශ වන දෙයක් හෝ හොරකමක් කළහොත් මරණ දණ්ඩනය පැනවුණු නමුත් අනෙක් පෙදෙස් වල කුරුඳු අස්වැන්න සඳහා එවැනි වරදකට නියම වූයේ කස පහර දීම පමණි.

වර්තමාන මරදාන කාර්යයබහුල වූ සංකීර්ණ මාර්ග මං සන්ධියකින් හා දිවයිනේ දකුණු දෙසින් ඇදෙන දුම්රිය සඳහා වූ දුම්රිය පර්යන්තයකින් සන්නද්ධ ව සිටින අතර ශ්‍රී ලංකාවේ ප්‍රධාන නගර අතර මුල් තැනක වැජඹේ.

Wednesday, June 23, 2021

156. වීදි සරන ළය 02 - කොළඹ කළාප පළමු කොටස






කොළඹ කළාප


    වර්තමාන කොළඹ නගරය තැපැල් කළාප 15කට වෙන්කර ඇත. කොළඹ කොටුවේ සිට මට්ටක්කුලිය දක්වා වාමාවෘත ව මෙම කළාප නම් කර තිබේ. පුරාණයේ භාවිතා වූ මායිම් සළකුණු මත ම නොපිහිටියත් (විශේෂයෙන් උතුරු කොළඹ), වඩා ආසන්න පැරණි ප්‍රාදේශීය නාමයන් මෙම කළාප සඳහා තවමත් භාවිතා කෙරේ.


(මෙහි දක්වා ඇති මිල ගණන් ගැන අපගේ වගකීමක් නොමැත)

කොළඹ 1 - කොළඹ කොටුව


    කොළඹ වරාය යනු විදේශීය වෙළෙඳුන් පමණක් නොව ආක්‍රමණිකයින් ද එක හා සමාන ව ආකර්ෂණය වුණු ස්වභාව ධර්මයේ අගනා දායාදයකි. පළමුව පෘතුගීසීන් (1505-1656) කොළඹ වරාය වටකොට බලකොටුවක් ගොඩනැගූ අතර, දෙවනුව ලන්දේසීන් (1656-1796) හා තෙවනුව ඉංග්‍රීසීන් (1796-1948) විසින් එය තවදුරටත් වෙනස් කර වැඩිදියුණු කරමින් ගොඩනගන ලදී. පුරාණ කොළඹ නගර සීමාවට අයත් වූයේ කොළඹ කොටුව සිට පිටකොටුව සීමාව දක්වා පමණි.


    බ්‍රිතාන්‍යයින් මෙරට ආක්‍රමණය කරන සමයෙහි කොළඹ නගරයේ මුර අට්ටාල එකොළහක් සහ ප්‍රධාන වීදී හතරක් තිබුණු බව සඳහන් වේ. 1869 දී එතෙක් පැවතී කොළඹ කොටුව බිඳ හෙලීමේදී, රොටර්ඩැම් මුර අට්ටාලය (Rotterdam bastion) බිඳ හෙළා එහි බිත්ති කොටස් වලින් ඒ ආසන්නයේ පැවතී අගල පිරවූ බව පැවසේ. වර්තමානයේදීත් ශ්‍රී ලංකාවේ වෙළඳ හා ආර්ථික කේන්ද්‍රස්ථානය කොළඹ වන අතර එහි සැරි සරන්නේ නම්, කොළඹ ‘කොටුවේ‘ නශ්ටාවශේෂ කිහිපයක් ඔබට අදටත් දැකගත හැකිවනු ඇත.


කොළඹ 2 - කොම්පඤ්ඤ වීදිය


    කොම්පඤ්ඤ වීදිය අතීතයේ දී හැඳින් වූ ප්‍රසිද්ධ නාමය වූයේ වහල් දූපත ‍(Slave Island) යන්නයි. අදටත් එම ප්‍රදේශය ඉංග්‍රීසියෙන් හඳුන්වන්නේ (Slave Island) ලෙසිනි. මේ කියන ප්‍රදේශය අර්ධද්වීපයක් වන අතර එය වර්තමාන කොල්වින් ආර්. ද සිල්වා මාවත නොහොත් යූනියන් පෙදෙසින් ප්‍රධාන භූමියට සම්බන්ධ වේ.


    පෘතුගීසින් විසින් මොසැම්බික් ජාතික කාපිරි මිනිසුන් (නැගෙනහිර අප්‍රිකානු වෙරළින්) 2000කට ආසන්න ප්‍රමාණයක් මෙරටට ගෙන් ආ අතර පසුකාලීන ව ඔලන්ද ජාතිකයින් විසින් එම කාපිරි මිනිසුන් කුළී හේවායින්, මෙහෙකරුවන් සහ කම්කරුවන් ලෙසින් යොදා ගන්නා ලදී. එසමයෙහි ඇතිවුණු සුප්‍රසිද්ධ ‘කාපිරි කැරැල්ල’ අතරතුර සිදුවුණු බැරන්ට් ද ස්වෝන් (Barent de Swan) නමැති ලන්දේසි නිලධාරියාගේ ඝාතනය හේතුවෙන් කාපිරි මිනිසුන් දැඩි ආරක්ෂක රැකවල් යටතේ තැබීමට නිතී හඳුන්වා දෙන්නට ලන්දේසීන් කටයුතු කරන ලදි. දවසේ කිස අවසන් වූ පසු දෑත් බඳින ලද වහල් මිනිසුන් ඔරු පාරු වල නංවා බේරේ වැව මැද පිහිටි දූපත වෙත ගෙන ගොස් එහි ඇති පැල්පත් හා කුටි වල ගාල් කෙරිණ. වැවේ සිටි කිඹුලන් ඔවුන් එතැනින් පැන නොයන බව සහතික කළ අතර අනාගත කැරලි කෝලාහල මැඩ පවත්වනු වස් වහල් මිනිසුන්ට පෙනෙන පරිදි උස් ස්ථානයක ස්ථාපනය කරන ලද එල්ලුම් ද ගසක් විය. වහල් දූපත නමින් හැඳින් වූ පෙදෙස කොම්පඤ්ඤ වීදිය - Company Street ලෙස හැඳින්වීමට හේතු වූයේ එකල එහි පිහිටුවා තිබුණු රයිෆල් රෙජිමේන්තුවයි. (Rifle Regiment/Company)


කොළඹ 3 - කොල්ලුපිටිය


    කොල්ලුපිටිය යනු ‘කොල්ල කෑ පිටිය’ යන්නෙන් බිඳී ආවක් ලෙස සැළකේ. වර්ෂ 1644 දී දෙවන රාජසිංහ රජ්ජුරුවන්ගෙන් සිහසුන මුදවාගෙන ඔහුගේ දොළොස් හැවිරිදි පුතු රජ කරවීමට සිතා, මහනුවර ප්‍රධානීන් තිදෙනෙක් පිඹුරුපත් සකසන්නට වූහ. කෙසේ හෝ රජ කුමරුවා එය ප්‍රතික්ෂේප කළ අතර කුමන්ත්‍රණකරුවන්ගෙන් දෙදෙනෙකු හිස ගසා දැමීමට ලක්විය. තෙවැන්නා වූ අඹන්වෙල රාළ ඔලන්ද පාලන ප්‍රදේශයට පලා එන්නේ ඔවුන්ගේ කවර හෝ දඬුවමකට ලක්වීමට සුදානමිනි.


    නමුදු ඕලන්ද පාලනාධිකාරය ඔහුට දඬුවම් පැමිණවීම වෙනුවට වරප්‍රසාද ලබා දුන්නේය. ස්වදේශිකයින්ගෙන් බලහත්කාරයෙන් අත්පත්කරගත්, මුහුදට මුහුණ ලූ සෑහෙන විශාල බිම් කඩක් ඔලන්දයින් විසින් අඹන්වෙල රාළට ලබා දෙන ලදී. එහි පොල් වගාවක් අරඹා මත්පැන් පෙරන ස්ථානයක් පවා පිහිට වූ ඔහු වෑන් රයික්ලෝෆ් - Van Rycloff යන ඕලන්ද නාමය ද ආරූඪ කරගත්තේය. කොල්ලුපිටියේ, ශාන්ත මයිකල් දේවස්ථානය අවට පෙදෙස අදටත් හඳුන්වන්නේ ‘පොල්වත්ත’ යන නමිනි. ස්වදේශිකයින්ගෙන් කොල්ලා කෑ ඒ බිම්කඩ - කොල්ලුපිටිය යන නාමය දරා, ඉතිහාසයේ සිදු වූ ඒ සොරකම සහ සොරුන් සිහිකරවමින් අදත් ගාලූ මුවදොර කෙළවර සිට ගාල්ල දෙසට විහිදි පැතිර සිටී.


කොළඹ 4 - බම්බලපිටිය


    බම්බලපිටිය යන නාමයෙහි උපතට හේතු වී ඇත්තේ එම ප්‍රදේශයේ තිබූ බොහෝ සරුසාර වූ ජම්බෝල ගසකි. ජම්බෝල යනු සිංහල නම වුවත් එය ‘පම්පලිමාසු’ යන දෙමළ හැඳින්වීමෙන් බිඳී සෑදුණු පෘතුගීසි හෝ ලන්දේසී නාමයෙන් බිහි වූවක් ලෙස සැළකේ. ‘පම්ප්ලමූසස්’ (ප්‍රංශ) සහ ‘පොමෙලෝ’ යනුවෙන් ද හැඳින්වෙන ජම්බෝල, පැඟිරි කුළයේ විශාල ම පළතුරකි (citrus maxima). මේ සියලු වදන් වල සම්මිශ්‍රණයකින් බම්බලපිටිය යන නාමය බිහි වූ බව සැළකෙන අතර කොල්ලුපිටිය අවසාන වන තැනින් ඇරඹෙන, වර්තමානයේ බොහෝ ජනාකීර්ණ වෙළෙඳ නගරයක් වන බම්බලපිටිය, ගාලු පාර පාදක කරගනිමින් එමග ඔස්සේ ගාල්ල දෙසට ඇදෙයි.

Tuesday, June 15, 2021

154. වීදි සරන ළය - 01

  

    මේ මවිසින් ඇත්ත පුවත්පතට වසර කිහිපයකට පෙර පරිවර්තනය කළ, ඉංග්‍රීසි බසින් වූ ග්‍රන්ථයක හැඳින්වීම සහ ඊට පසු පළ කෙරුනු ලිපියයි. මුල් රචකයාගේ නිසි අවසරය මත පරිවර්තනය ආරම්භ කෙරුණු මෙම ඉංග්‍රීසි ග්‍රන්ථය, ලිපි පෙළ අවසානයේ සිංහල බසින් ග්‍රන්ථයක් ලෙස සම්පාදනය කිරීමේ බලාපොරොත්තුව අප වෙත වූවත්, ඇත්ත පුවත්පත නතරවීමෙන් පසු එම කටයුත්ත යම් පමණකට අඩාල විය. පසුව නැවතත් පරිවර්තන කටයුත්ත ආරම්භ කෙරුණු අතර ‌මුල පටන් එම ලිපි පෙළ නිදහස් සිතුවිලි පාඨකයින් වෙත ඉදිරිපත් කිරීම අපගේ බලාපොරොත්තුවයි.






ආරම්භක ලිපිය


    පර්යේෂණාත්මක ලේඛනයෙහි නියැලෙන වෘත්තිකයෙකු වන, ඉංග්‍රීසි ජාතික ජෙෆ් එල්ස් (Geoff Ells) මහතා කොළඹ බ්‍රිතාන්‍ය කවුන්සිලයේ වෘත්තීය පුහුණුකරුවෙකු වශයෙන් 2008 සැප්තැම්බර් මස සිට 2013 මාර්තු දක්වා වසර හතරකට අධික කාලයක් සේවයෙහි නියුතුව සිටියේය. ඒ අතරවාරයේදි, කොළඹ නගරයේ මංමාවත් හා ප්‍රසිද්ධ ස්ථාන සම්බන්ධයෙන් සිදු කරන ලද පර්යේෂණ හා නිරීක්ෂණ මතින් රචනා කරන්නට යෙදුණු COLOMBO JUMBO කෘතිය ඇසුරෙන් කළ අනුවර්තනය...


පරවියා සහ කොළ අඹ ගස


    ලන්දේසින්ගේ කොළඹ ලාංඡනයේ අඹ ගසක් සහ එහි වසා සිටින පරවියෙකු දැක්වෙයි. කොළඹ යන නාමය ඉපැද්දීමෙහි ලා මෙම පරවියාට විශේෂ තැනක් හිමිවුණු බව ඇතැමෙකුගේ මතය වේ. එයට හේතුව, පෘතුගීසි බසින් පරවියා “COLUMBUS - කොළම්බස්” යනුවෙන් හැඳීන්වීම නිසාය.


    පෘතුගීසි ජාතික ඉතිහාසඥයෙකු වන “DE QUEYROZ - ඩී කීරෝස්” නැමැති අයගේ යෝජනාව වූයේ කොළඹ - COLOMBO යන නාමය “කොළ-අඹ” යන වදන් එකතු වීමෙන් නිම වී ඇති බවයි.


    17 වන සියවසයේදී, කන්ද උඩරට රජුගේ සිරකරුවෙකු වූ ඉංග්‍රීසි ජාතික රොබර්ට් නොක්ස් ද මෙම කාරණය යම්තාක් දුරට ස්ථීර කරමින් කරුණු ඉදිරිපත් කරයි.


    කොළඹ නගරයේ බටහිරට වන්නට තිබුණා යැයි සැළකෙන, කිසිදා ඵල හට නොගත්, කොළ පමණක් තිබුණු අඹ ගසක් ස්වදේශීකයින් විසින් කොළ-අඹ ගස ලෙසින් හැඳින් වූ බවත්, පසු කාලීන ව කොළ අඹ -> කොළ-අඹෝ බවට හැරෙද්දී, ක්‍රිස්තියානීන් COLUMBUS සිහිකරනු වස් එය COLOMBO බවට හරවා ගන්නා ලද බවත් රොබට් නොක්ස් පවසයි.


    මේ අතර නූතන ලේඛකයෙකු වන හේරත් යන අය තමන්ගේ අදහස මෙසේ බෙදා ගනී.


    “සිංහලයින් කොළඹ හැඳින්වූ ආකාර දෙකක් තිබිණ. කොළොන්තොට සහ කොළ-අඹ යනු ඒ දෙ-ආකාරයයි. කොළ-අඹ ලෙස හැඳින්වූයේ ඒ සුප්‍රසිද්ධ ගෙඩි නැති, කොළ පමණක් ඇති අඹ ගස නිසා වන අතර එම ගස, පරම්පරා ගණනාවක් තිස්සේ කොළඹ කොටුවේ, Commissariat Street - කොමිසාරියෙට් වීදිය ආසන්නයේ විරාජමාන ව සිට, ප්‍රමුඛ බිම් සළකුණක් වශයෙන් ඉතිහාස ලේඛනයන් හී සිය අනන්‍යතාව සළකුණ කර ඇති බව පෙනෙන්නට තිබේ”


කොළොන්තොට


    කොළඹ නාමයෙහි උප්පත්තිය පිළිබඳ පැතිර ගිය තවත් මතයක් ලෙස, එහි මූලාරම්භයට වරායක් හෝ ගංගාවක් හේතු වූ බව පැවසෙන කතාව දැක්විය හැකිය. මුහුදු සංචාරයෙන් පසු යෝනක වෙළඳුන් රට ඇතුලට සිය යත්‍රා ඇතුලු කළේ කැළණි තොට හෙවත් කැළණි ගංගාවේ වරාය තුලිනි. කාලාන්තරයක් තිස්සේ කටවහරින් පැමිණි මේ වදන් කැළණි තොට -> කොළොන්තොට -> කැළැම්බෝ ලෙස වෙනස් වන්නට ඇති බව එම මතය දරණ අයවලුන්ගේ පිළිගැනීමයි. 19 සියවසයේ මුල් කාලයේ දී උපන් බ්‍රිතාන්‍ය ජාතික දේශාටකයෙකු වන ශ්‍රීමත් එමර්සන් ටෙනන්ට් - SIR EMERSON TENNANT සිය ලේඛනයන් හී කැළණි ගංගාවේ නමින් කොළඹ යන නාමය බිඳි එන්නට ඇති බව පිළි ගන්නා අතර 20 වන සියවසයේ ඉතිහාසඥයෙකු වන එස්. ජී. පෙරේරා පියතුමා වඩා විස්තරාත්මක ව මෙම කාරණය සොයා බලයි. ඔහුට අනුව මෙම නාමය ඉපැද්දීමෙහි ලා හේතු වුණු ගංගාව වෙසෙසින් ම කැළණි ගඟ නොව, එහි අතු ගංගාවක් වන කොළොන් නම් වන ගංගාව විය යුතුය.


    “බොහෝ අයට මග හැරුණු කාරණයක් තිබෙනවා. කොළඹ හැඳීන්වීමේ දී සාහිත්‍යමය කටයුතු වලදී භාවිතා වන නම කොළොන්තොට වත්දී මට නිතර කල්පනා වුණු දේ නම්, ගිංතොටින් මුහුදට ගලා බහින්නේ ගිංගඟ නම්, කලුතරින් (කලුතොට) මුහුදට ගලා බහින්නේ කලුගඟ නම්, කොළොන්තොටින් මුහුදට යන ගංගාව ඉන්තේරුවෙන් ම කොළොන් ගඟ විය යුතු නොවේද යන්නයි” එසේ නම් කොහෙද මේ සැබෑ ම කොළොන්තොට?


    එයට පිළිතුර යෝජනා කරන්නේ කීර්තිමත් ලාංකිකයෙකු වන ශ්‍රීමත් පෝල් ඊ පීරිස් මහතා විසිනි.



    “සිංහලයින් විසින් එකල කොළොන්තොට යනුවෙන් හඳුන්වන ලද්දේ, වර්තමානයේ දී උතුරින් බංගසාල වීදීයෙන් ද, නැගෙනහිරින් හතරවන හරස් වීදියෙන් ද, දකුණින් මැලිබන් වීදියෙන් ද, බස්නාහිරින් ඉදිරි වීදියෙන් ද (Front Street - මල්වත්ත පාර), වටව ඇති, පිටකොටුව සීමාවෙන් හරි අඩකට ආසන්න ප්‍රමාණයක් ආවරණය කරනා ඒ බිම්කඩයි. එකල එහි උතුරු හා දකුණු සීමා ජලයෙන් ද, බස්නාහිර සීමාව හා නැගෙනහිර සීමාවෙන් වැඩි ප්‍රමාණයක් වගුරු බිම් වලින් ද වට ව තිබුණා යැයි සැළකේ.”

Thursday, May 28, 2020

149. මේ, නිකමට කියන්නයි... THIS IS JUST TO SAY...

කෑවෙමි මම
අයිස් පෙට්ටියේ තිබූ
වියලි මිදි
අහුර



සුරකින්න
ඔබ සිතන්නැති
උදෑසන ආහාරය
පිණිස


සමාවන්න මට
ප්‍රණීත ය ඒවා
එලෙස ම 
මිහිරි ය
හරි ම සිසිල් ය



I have eaten
the plums
that were in
the icebox

and which
you were probably
saving
for breakfast

Forgive me
they were delicious
so sweet
and so cold



BY WILLIAM CARLOS WILLIAMS
TRANSLATED BY RANDIKA RANAWEERA FERNANDO



ගෙදර තිබෙන කෑමක් රසවිඳින්නට පෙර අවසර ගැනීමට අමතක වූ/කළ, සුවහසක් වූ, සකළ ලෝකවාසී වල්ලභ කුමාරයින් වෙනුවෙනි.


     ප්ලම් නම් වන පළතුර ශ්‍රී ලාංකිකයනට ආගන්තුක ය. (වෙඩින් කේක් සෑදීමේ අමුද්‍රව්‍යයක් වුවද සැබෑ ප්ලම් ලැබෙනවා දැයි නොදනිමි) මෙරට, වියලි මිදි හැඳින්වීමට ප්ලම් යන වදන භාවිතා කරයි. අප රටවාසී බහුතරයක් රස හඳුනන වියලි මිදි කවියට එකතු කළේ එබැවිනි. කැමති පරිදි "ප්ලම් අහුර" ලෙස ද යොදා ගත හැකිය.



     වැදගත් කරුණක් වන්නේ වියළි ප්ලම් බඩේ අමාරු වලට ඔසුවක් වන බවයි. මුල් නිර්මාණය පිළිබඳ විස්තර කියවා බලනවිට, මේ "කෑම" බඩේ අමාරුවක් නිසා කෑ බවක් දකින්නට ලැබුණේ නැත. නොකියා කෑම නිසා, අවුලට පත් වන බිරිඳ ව සැනසීම සඳහා සැමියෙකු ලියන ආකාරයට ලියූ බවක් දකින්නට ලැබුණි.

   කවියා විරාම ලක්ෂණ කිසිවක් භාවිතා නොකර තිබීම විශේෂත්වයකි. එය පරිවර්තනයේදී ද රැක ගැනීමට උත්සහ දැරීමි.



මේ පිළිබඳ කතා කළ Rangi අක්කාටත්, Deen අයියාටත්, Ransirimal මහතාටත් ස්තුතියි.

Monday, May 25, 2020

148. කැපකාර ෆ්‍රෙඩාගේ රැකවරණය ලත් සොහොන

     ෆ්‍රෙඩා ජීවත් වූ උතුරු තුඩුව, මුළු ලෝකයෙන්ම වඩා ම ශීතාධික පළාත බව එම ප්‍රදේශයට බොහෝ සේ ඇලුම් කරන ගැමියන්ට පවා පිළිගැනීමට සිදු වී ඇති කරුණකි. ඊසාන දිග රළු සුළං මුහුදු බොක්ක හරහා විසිල් හඬ නගමින් පැමිණ, මුහුදු බොක්කේ සිට ඉහළ නැගෙන උස් කඳු මුදුන කරා ඇදී යන්නේ මග හමුවන සියලුම දේ විනාශ කරමිනි. එමග බේරී සිටීමට සමත් ව ඇත්තේ කේතුකාකාර ගස් හා කුඩා කටු සහිත පඳුරු පමණි.


     කඳු මුදුනේ, ගිනිකොණදිග දෙසින් තිබූ සෙවණ සහිත නිම්නයක උතුරු තුඩු පල්ලිය පිහිටා තිබූ අතර මුළු උතුරු තුඩුවට ම තිබුණු දර්ශනීය ම ස්ථානය වූ සුසාන භූමිය එයට පිටුපසින් පිහිටා තිබුණි. උතුරු තුඩු වැසියන් මල් වලට ඉමහත් කැමැත්තක් දැක්වූවත් ඔවුන්ට සිය ගෙවත්තේ මල් වවා ගැනීමට හැකියාවක් නොමැති බැවින්, ඔවුහු එම අලංකාරය සුසාන භූමිය වෙත තිළිණ කරති. එහි තම පවුලට හිමිව ඇති බිම් කැබැල්ල, වල් පැළෑටි ඉවත් කර, මල් පැළෑටි නිසි ලෙස කප්පාදු කොට, අලංකාර මලින් සුසැදි ව පවත්වාගෙන යෑම ඒ ඒ පවුලේ සාඩම්බරය පිළිබඳ මෙතෙක් නොඇසූ කතාවකි.

     වසරේ මැයි මාසයේ තෝරාගත් දිනයක දී සුසානභූමිය සුද්ධ පවිත්‍ර කොට අලංකාරවත් කිරීම, මෙම පුංචි මිනිස් සමූහය විසින් පිළිපදින, ‘නීති පොතක සටහන් නොකෙරුණු නීතියක්’ වැනි යමකි. එය කිසිසේත් ම අසතුටුදායක රාජකාරියක් නොවීය. ඒ ආසන්න දිනයක දී වියෝ සංවේගයට පත් වූවන්ට පවා!

     සිය නෑසියන් සදාකාලික නින්දේ සුව ලබන බිම අලංකාරවත් කිරීමෙන්, ගම්වැසියෝ ඔවුන් වෙනුවෙන් තවමත් කැපවීමෙන් කටයුතු කරන බවක් අර්ථ ගන්වති.

    දරුවන් ‘සුසානභූමි දිනය’ වෙනුවෙන් මඟ බලා සිටියේ එය ආනන්දජනක සංවත්සරයක් ලෙස හඟිමිනි.

     "දන්නවනේ, හෙට සුසාන භූමි දිනය!" පාසලේ විවේක කාලයේ දී, සියලුම දැරියන් වැට මත වාඩි වී සිටින අවස්ථාවේ දී මැනී හචින්සන් පැවසුවාය. "නියමයි නේද? රොබට් මාමා නගරයෙන් ලොකු සුදු රෝස පඳුරක් එව්වා, මම ඒක හචින්සන් අත්තම්මගේ සොහොන උඩ ඉන්දන්න ඉන්නේ"

     "අපේ අම්මාත් රෝස පඳුරු දහයක් ලෑස්ති කරගෙන ඉන්නේ" නැන් ග්‍රේ සිය ආඩම්බරය පෑවා ය.

    "අපේ කෑල්ල වටේම ලිලී පේලියක් යවන්නයි අපි හිතාගෙන ඉන්නේ" ඒ කෙටී මොරිස් ය.

     කුඩා ෆ්‍රෙඩාට හැර අනෙක් සියලුම පුංචි ගැහැනු ළමයින්ට පාරට්ටු කියන්නට යමක් තිබිණ. කොනකට වී තනි ව වාඩි වී සිටි ඇයට සියල්ලෙන් ම වෙන්වී හුදකලා වූ ලෙසක් දැණින. ඇයට බිම් කැබැල්ලක හිමිකමක්වත්, සුසානභූමි දිනය වෙනුවෙන් කළයුතු යමක්වත් නො තිබිණ.

     "ෆ්‍රෙඩා ඔයා මොනවා හරි හිටවන්න ද ඉන්නේ?" නැන් ඇසුවේ අනෙක් අයට ඉඟි මරමිනි.

     ෆ්‍රෙඩා නිහඬ ව හිස දෙපසට වැනුවාය.

     "ෆ්‍රෙඩාට මොකුත් හිටවන්න බැහැනේ" විනී බෙල් හට කෲර වන්නට වුවමනා නොවූවත්, ඇය එය පැවසුවේ කුරිරු ලෙසිනි. "එයාට සොහොනක් නැහැ!"

     උතුරු තුඩුවේ වැසියෙකු හැටියට, එහි සුසාන භූමියේ බිම්කඩක හිමිකරුවකු නොවීම, ඔබව සදහට ම වංශයෙන් පිට කෙනෙකු සේ හංවඩු ගසන්නට ප්‍රමාණවත්! සිය මිතුරියන් මැද මේ මොහොතේ ෆ්‍රෙඩාට හැඟුණේ සොහොනකට හිමිකාරිත්වයක් නැතිකම අපරාධයක් ලෙසින් සේ ම අපකීර්තියකට හේතුවක් ලෙසිනි. අනෙකුත් ගැහැනු ළමයි ෆ්‍රෙඩා ගැන කණගාටුවෙන් මෙන් කතා කරන අතරේ ම, තමුන්ට පරම්පරාගත ව උරුම වූ සොහොන් බිම් තිබීම හේතුවෙන් හිමි ව ඇති සුසානභූමි දිනය සැමරීමේ අයිතිය ගැන උදම් ව, ඇය ව පහත් කොට සැළකුවෝ ය.

     තමාගේ අවාසනාවට නිමක් නැතැයි ෆ්‍රෙඩාට සිතුනි. අනෙකුත් දැරියන් සෙල්ලමට දිව යද්දී ඇය ඉතාමත් කණගාටුදායක ලෙස වැට මත වාඩි වී කල්පනාවෙන් බලා සිටියා ය. හවස් වූ පසු නිවෙස වෙත හුදකලාවේ ඇවිද ගියාය. ඇයට තවදුරටත් මේ කණගාටුව දරා ගැනීමේ හැකියාවක් නොවීය.

     ෆ්‍රෙඩා දස අවුරුදු වයස් දැරියකි. විල්සන් මහත්මිය නගරයේ වූ අනාථ නිවාසයෙන් ඇය මෙහි කැඳවාගෙන ආවේ මීට අවුරුදු හතරකට පෙරදීය. සුසාන භූමිය අසල වූ නිවසක ජීවත් වූ විල්සන් මහත්මිය උතුරු තුඩුවේ මිනිසුන් හැඳින්වූයේ ඔල්මාද කාරියක ලෙසිනි. නැතහොත් 'පිස්සු ගෑනියෙක,' ලෙසිනි. ඇය සමග සිටින්නට වන කවර දරුවකුට වුවද තමන් අනුකම්පා කරන බව ඔවුහු පැවසූහ. ඇයට හෝ ඔහුට මරණය තෙක් වහලකු මෙන් සේවය කිරීමට සිදු වනු ඇතැයි ඔවුහු සිතුවෝ ය.

     මුලදී ඔවුහු මේ පිළිබඳ ව ෆ්‍රෙඩා දැනුවත් කිරීමට උත්සාහ දැරුවත් ඕපදූප වෙත අවධානය යොමු නොකරන, කල්පනා බරිත විසල් දෙනෙතක් හිමි නිහඬ කුඩා ජීවියකු වූ ඇගේ අවධානය දිනා ගැනීමට එම කතන්දර සමත් නොවීය. එහෙත් යම් හෙයකින් ෆ්‍රෙඩා පැමිණිලි කළේ නම්, තම අනාවැකි සත්‍යය බව ඔවුන් නිසැකවම පසක් කොට ගන්නට ඉඩ තිබිණි.

     "විල්සන් නෝනා," රාත්‍රියේ දී ෆ්‍රෙඩා බයාදු ලෙස විල්සන් මහත්මිය ඇමතුවාය. "ඇයි අපිට සොහොනක් නැත්තේ?" මෙවැනි ප්‍රශ්න විල්සන් මහත්මිය වෙත පලා යාමේ උවමනාවක් ඇති කරවයි.

     "අපිට එහෙම එකක් නැති එක ගැන උඹ ස්තුති කරපං," ඈ බරපතළ ලෙස කීවාය. "ඔය සුසානභූමි දිනය කියන්නේ තනිකර ම මිත්‍යාදෘෂ්ටික චාරිත්‍රයක්. ඒ කට්ටිය ඒක අනිවාර්ය සවාරියක් කරගෙන, ඔක්කොට ම වඩා පිස්සු හැදෙන්නෙ ඉස්කෝලේ කෙල්ලො ටික තමන් මොනවද හිටවන්නේ කිය කියා අනිත් අයට වඩා ලොකුකම් පෙන්නන්න යන එකයි. මට සොහොනක් තිබ්බ නම් මම කීයටවත් ඒක මල්වත්තක් කරන්නෙ නැති වෙයි!"

     පසුදා නිවාඩු දිනයක් වුවත් ෆ්‍රෙඩා සුසාන භූමිය වෙත නොගිහින් සිටියා ය. නමුදු සන්ධ්‍යාවේ දී සියල්ලන් ම නිවෙස් කරා පිට ව ගිය පසු කඳු ගැටය දිගේ බඩ ගා, බීච් පඳුරු මැදින් එබී, සිදු වී ඇත්තේ කුමක්දැයි විමසිලිමත් වූවා ය. අලුතින් මල් පැල සහ මල් ගස්වල අල වර්ග සිටුවන ලද බිම් කට්ටි ඉතාමත් පිළිවෙලට, සිත් ඇදගන්නාසුළු ව හා නැවුම් ව දිස්විය. සමහර පැළෑටි වල දැනටමත් මල් පොහොට්ටු පෙනෙන්නට තිබූ අතර අවුරුදු හතළිහකට පෙර මියගිය කෙටි මොරිස්ගේ මාමාගේ සොහොන, දර්ශනීය ව පිපී හිනැහෙන දම්පාට පැන්සි මල්වලින් සම්පූර්ණයෙන් වැසී තිබුණි.

     ෆ්‍රෙඩා පුදුමයට පත් කරවමින්,කෙතරම් කුඩා වුවත් පැරණි වුවත් සියලුම සොහොන් සිය වාර්ෂික තිළිණ දිනා තිබිය දී, එකක් පමණක් වල් වැදීමෙන් පාලුවට ගොස් තිබිණ. හැදීගෙන එන පොප්ලර් ගස් මණ්ඩියකට මුවා ව, වෙනත් කිසිඳු සොහොන් කොතක් නොමැති පහළ කොනට වන්නට හුදකලාව තිබුණු එය, සරුවට වැඩුණු බ්ලූබෙරි පඳුරු රාශියක් දරාගෙන පොළොව මත ගිලී ගියාක් සේ දිස්විය. සමරු ඵලකයක් පෙනෙන්නට නොතිබුණු එහි, අත්හැර දැමීම නිසා උපන් දුක්මුසු පෙනුමක් දකින්නට තිබිණ. ෆ්‍රෙඩා ඒ පිළිබඳව කනගාටු වූවාය.

     ඇයට රැක බලාගන්නට සොහොනක් නොමැත. මේ සොහොන රැක බලාගන්නට කිසිවෙකුත් නොමැත.

     ඈ නිවසට ගිය පසුව ඒ සොහොන කාගේදැයි විල්සන් මහත්මියගෙන් විමසා සිටියාය.

   "හ්ම්... උඹට නහස්ති කරන්න තරම් වැඩිපුර කාලය තියෙනවා නම්, සොහොන් ගැන හොය හොයා ඇවිදිනවට වඩා හොඳ නැද්ද මැහුමක් ගෙතුමක් බලා ගත්තා නම්? මගේ ඇඟිලි ගෙවෙනකම් උඹට ඇඳුම් මහන්න ද කියන්නේ? මට දැන් හිතෙනවා උඹට ළමා නිවාසෙ ම ඉන්න ඇරියා නම් හොඳයි කියලා. ඔය කියන එක මං හිතන්නෙ, අර වැඩකට නැති බේබද්දා... ජෝර්ඩන් ස්ලේඩ්ගේ සොහොන. අවුරුදු විස්සකට උඩදි මැරුණා. ඇන්ඩෘ මැසර්වේගේ ස්ටෝරුව කඩපු නිසා ඒකාට හිරේ යන්න වුණා. ඊට පස්සේ නිදහස් වෙලා ආපහු මෙහෙට ආවා. මෙහෙ ඉන්න ජේත්තුකාර, නම්බුකාර මිනිස්සුන්ට උන්දැ එක කරන්න දෙයක් තිබ්බේ නැහැ. මහ මඟට වැටුණා, මැරුණට පස්සේ රජයේ වියදමෙන් වළ දැම්මා. ඒකාගේ නෑයෝ කවුරුත් මෙහේ නැහැ. නැගෙනහිර තුඩුවේ කොග්ස්වෙල් පවුල එක්ක ජීවත්වුණු අවුරුදු දහයක නංගි කෙනෙක් හිටියා. හොඳ පෙනුමට හිටපු ඒ දැරිවි, ජෝර්ඩ් මැරුනට පස්සේ පෝසත් පවුලක කට්ටියක් එක්ක ගෙන ගිහින් තිබුණා. මං දන්නේ නැහැ පස්සේ මොනවා වුණාද කියලා, මට ඇති වැඩකුත් නැහැ. හා... හා... දැන් ගිහින් හරක් ටික අරන් වරෙන්!"

     එදින රැයේ නින්දට යනවිට ෆ්‍රෙඩා යම් තීරණයක් ගෙන තිබුණි. ඇය ජෝර්ඩන් ස්ලේඩ්ගේ සොහොන, කැපකරුවකු සේ රැකබලා ගැනීමට යන්නී ය!

     එයින් අනතුරුව ෆ්‍රෙඩාගේ විවේක කාලයෙන් සෑහෙන ප්‍රමාණයක් ගත වූයේ සුසාන භූමියේදී ය. මලකඩ කෑ පැරණි ලොකු කතුරකින් බ්ලූබෙරි පඳුරු කප්පාදු කර, වෙලී පැටලී තිබුණු තණ පඳුරු සියල්ල ගලවා අවසන් වනවිට, ඇගේ දුඹුරු පුංචි පාට අත් පුරා දිය බුබුළු නැගී තිබිණ.

    ඉන්පසුව ඈ සොහොන මත සිටු වන්නට වනයෙන් මීවන පඳුරු ගලවා ගෙන ආවා ය. නැන්ගෙන් ඇත්සොඬ මුලක් ඉල්ලා ගත් ඈ ලිලී පඳුරක් වෙනුවෙන් කෙටී හමු වූවා ය. රෝස අතු කැබැල්ලක් හමුවූයේ නෙලීගෙනි. මහලු බෙනට් මහත්මියගෙන් පැන්සි ඇට කිහිපයක් ලැබුණු අතර ජෙරනියම් ඉත්තක් ලැබුණේ මැනීගේ අක්කාගෙනි. ඈ පැළ සහ ඇට සිටෙවුවා ය. වතුර දමා උවමනාවෙන් සාත්තු කළා ය. අවසානයේ ඒ උත්සාහය සාර්ථක වෙමින් ඇගේ සොහොන අනෙකුත් සෑම සොහොනක් සේම අලංකාරවත් ලෙස දිස් වන්නට විය.

     කාලය ගතවිය. ෆ්‍රෙඩා හැර අන් කිසිවෙකු ඒ ගැන දැන සිටියේ නැත. වැඩුණු පොප්ලර් යාය විසින් ඒ කොන අවට ලෝකයෙන් සඟවාගෙන සිටියි. සම්භාවනීය පුරවැසියෙකු නොවූ ජෝර්ඩන් ස්ලේඩ්ගේ සොහොන ලොවට අමතක ව ගොසිනි. අවම වශයෙන් සිතුවොත් එලෙසින් පෙනෙන්නට තිබේ. නමුදු එක් හැන්දෑවක වතුර බාල්දියක් රැගත් ෆ්‍රෙඩා හිමින් සීරුවේ සුසාන භූමිය වෙත ඇදී, පොප්ලර් වැටිය වටෙන් ඇගේ සොහොන වෙත යද්දී කලු ඇඳුමින් සැරසුණු ආගන්තුක කාන්තාවක්, සොහොන අසල සිටගෙන කඳුළු සලමින් සිටියාය. ඇගේ මුහුණු දුටු මොහොතේ, තමා දැක ඇති ලස්සන ම මුහුණ එය යැයි ෆ්‍රෙඩාට සිතුණි.

    වතුර බාල්දියක් ගෙන එතැනට පැමිණි දැරිය දුටු මොහොතේ ඒ කාන්තාව හඬ අවදි කළාය.

   "මට කියන්න පුළුවන් ද කවුද මේ සොහොන රැක බලා ගන්නේ කියලා?" ඈ ඇසුවා ය.

    "ඒ... ඒ... මම," කාන්තාව තමා කෙරෙහි කෝප වේ දෝයි සිතමින් දැරිය පැටලෙමින් කීවා ය. "අනේ නෝනා! ඒ මම, ඒත් මම ඒකට මොකුත් නරකක් කරන්න හිතුවේ නැහැ. අනිත් හැම ගෑනු ළමයාට ම තමන්ගේ ම සොහොනක් තියෙනවා. මට නැහැ. ඉතිං මං හිතුවා මේ කාත් කවුරුවත් නැති සොහොනට කැපකරු වෙලා හදා වඩා ගන්න"

   "ඉතිං ඔයා දන්නවද මේක කාගෙද කියලා?" කාන්තාව මෘදු ලෙස ඇසුවා ය.

   "ඔව් නෝනා... මේක ජෝර්ඩන් ස්ලේඩ්ගේ. විල්සන් නෝනා මට කිව්වා"

   "ඒ මගේ අයියා," කාන්තාව පැවසුවා ය. "අපරාදේ, එයා නොමගට ගියා, ඒත් එයා කියන තරම් නරක කෙනෙක් නෙමෙයි. එයා හරි ම දුර්වල කෙනෙක්. කාට වුනත් නම්ම ගන්න පුළුවන්. මොන තරම් වැරදි තිබුණත් එයා හොඳ කෙනෙක්, කරුණාවන්ත කෙනෙක්... අනේ! මං පුංචි කාලේ එයා මට හරිම කරුණාවන්ත, හොඳ කෙනෙක් වුණා. මං මගේ මුළු හදින් ම මගේ අයියාට ආදරේ කළා. මට හැමදාම උවමනා වුණා මගේ අයියාගේ සොහොන දකින්න එන්න, මගේ ගේ ගොඩක් දුර ඈත තියෙන්නේ, ඒක නිසා මට අද වෙනකම් එන්න බැරි වුණා. මම හිතාගෙන ආවේ මේක වන වැදිලා මට හොයා ගන්නවත් බැරි වෙයි කියලා. මට වචන නැහැ, මේක මේ විදිහට ලස්සනට තියෙනවා දැක්ක ම මට හිතුණ දේ විස්තර කරන්න. මගේ ආදර දරුවෝ, ඔයාට සිය දහස් වාරයක් ස්තුතියි!"

  "ඒ කියන්නේ ඔයාට කේන්ති ගියේ නැද්ද?" ෆ්‍රෙඩා බැබලෙන දෙනෙතින් යුතුව උනන්දුවෙන් ඇසුවා ය. "ඒ කියන්නේ මට දිගට ම මේක රැක බලාගන්න පුලුවන්! අනේ කියන්න නෝනා! පුලුවන් නේද? එහෙම බැරි වුණොත් ඒක මට දරාගන්න බැරි තරමේ වේදනාවක් වෙයි!"
"ඔයාට කැමති කාලයක් මේක රැක බලාගන්න පැටියෝ. මමත් ඔයාට උදව් කරන්නම්. මුලු ගිම්හාන කාලය ම මම ඉන්නේ නැගෙනහිර තුඩුවේ. ඉතිං මේක අපේ සොහොන වෙන්නයි යන්නේ... ඔයාගෙයි මගෙයි!"

    එය ෆ්‍රෙඩාට ආනන්දජනක ගිම්හානයක් විය. හාලිඩේ මහත්මිය වෙතින් ඇයට බොහෝ සේ ලෙංගතු මිතුරු ඇසුරක් හිමිවිය. ඉතාමත් ධනවත් කාන්තාවක වූ ඇයට දරුවන් නොවී ය. ඇගේ සැමියා මියගොස් එතරම් කල් ගත වී නොතිබිණ. සීත කාලය එළඹිණ. හාලිඩේ මහත්මියට පිටත්වීමට කාලය උදාවිය. නමුදු ඇය පිට ව ගියේ තනි ව නොවේ. ‘සදහට ම ඇගේ පුංචි දැරිවිය වන්නට’ ෆ්‍රෙඩා ද ඈ සමග එක් වූවා ය. විල්සන් මහත්මිය අකමැත්තෙන් වුව ඇයට යාමට ඉඩ දුන්නේ ඉර්ෂ්‍යා පර්වශ ව, අකෘතඥ වීම පිළිබඳ ව අවලාද කියමිනි.

   පිට ව යෑමට පෙර, නව කැපකාර මවත් දියණියත්, දියණිය විසින් කැපකාරියක ලෙස රැකබලාගත් සොහොනින් සමුගැනීමට අමතක කළේ නැත. හාලිඩේ මහත්මිය විසින් එය රැකබලා ගැනීම පිණිස උතුරු තුඩු වැසියන් කිහිප දෙනෙකු සොයාගෙන තිබුණු නමුත් සමුගන්නා මොහොතේ ෆ්‍රෙඩා වැළපුණා ය.

   "ඒ ගැන දුක් වෙන්න එපා පැටියෝ," හාලිඩේ මහත්මිය ෆ්‍රෙඩා සැනසුවා ය. "අපි හැම ගිම්හානයකදී ම මෙතැනට එනවා. මේක හැමදාමත් අපේ සොහොන! ඒක කවදාවත් වෙනස් වෙන්නේ නැහැ"
හාලිඩේ මහත්මියගේ අතට තුරුළු වුණු ෆ්‍රෙඩා කඳුළු අතරින් සිනා නගමින් හිස ඔසවා ඈ දෙස බැලුවා ය.



~ලුසි මෝඩ් මොන්ටිගොමරිගේ කෙටි කතාවක් ඇසුරින්,
පරිවර්තනය රන්දිකා රණවීර ප්‍රනාන්දු විසිනි~

Saturday, May 16, 2020

146. ෆ්ලෝරි හැමිල්ටන් නොහොත් වාසනාවන්ත අත්වැරැද්ද

   “අනේ අම්මේ! ඉන්න බැහැ. කොහොම ඉවසන්නද මේ අමාරුව!” සිය කාමරයෙහි වූ සෝෆාවට වී අමාරුවෙන් ඇඹරෙමින් පෙරළෙමින් සිටි නැන් වොලස් නොරිස්සුමින් හඬ නැගුවාය. “මං කවදාවත් හිතුවේ නැහැ ‍දවසක් මෙච්චර දිග වෙන්න පුළුවන් කියලා”

  “අනේ ඔයා හරි පව්!” ඇගේ සොයුරිය වූ මෞඩි කණගාටුවෙන් පැවසුවාය. ඇය යුහුසුලුව එහා මෙහා යමින් එමින් කාමරය පිළිවෙලක් කරමින් පසු වූයේ අම්මාගෙන් විසුමක් නොවන බව දන්නා බැවිනි. ඇත්තට ම එම සතිය තුළ කාමරය පිළිවෙලට තබා ගැනීම බාරව තිබුණේ නැන් හට වුවත් දින තුනකට පෙර ඇගේ කකුලක් ඇමැට්ටි වූ බැවින් සෝෆාවේ වැතිර කෙඳිරිගාමින් සිටිනු හැර ඇයට කළ හැකි වෙන අන් යමක් නොවීය. කඩිසර නව යොවුන් ගැහැණු දැරිවියක වූ නැන් හට එය ඉතාමත් වෙහෙසකර, එපාකරවනසුලු හිඳුමක් විය.

  “ඒ අස්සේ අද හවස පික්නික් එක!” ඇය සුසුම් හෙලුවාය. “මං මුලු ගිම්හාන කාලය පුරාම බලාගෙන හිටියා. බලන්න අද කොච්චර හොඳ දවසක්ද? මට වෙලා තියෙන්නේ ගෙදරට වෙලා මේ කකුල බදාගෙන ඉන්නයි”‍ නැන් රෙදිපටි ඔතා ඇති කකුල දෙස රවා බැලුවාය. මෞඩි ජනේලයෙන් එබී රෝස වැල ඇද මල් නෙලන අතරේ පාර දිගේ යන කිසිවෙකුට හිස වනන’යුරු නැන් දුටුවාය.

  “කවුද ඒ?” ඇය ඇසුවාය.

  “ෆ්ලොරී හැමිල්ටන්”

  “පික්නික් එකට එයත් එනවද?” එතරම් උනන්දුවකින් තොරව නැන් ඇසුවාය.

  “නැහැ. කවුරුත් එයාට එන්න කිව්වේ නැහැ. ඇත්තටම එයා එන්න කියයි කියලා හිතන්නත් නැතුව ඇති කියලයි මං හිතන්නේ. කොහොමත් එයා අපේ කාණ්ඩේ කෙනෙක් නෙමෙයිනේ. අනේ මන්දා! කොහොම ඉන්නවද කියලා ඉස්කෝලේ. ඔය විදිහට ඉන්න එක මහා එපා කරපු වැඩක් නෙමෙයි ද? මිස් බ්‍රැක්ස්ටන්ගේ ප්‍රයිවෙට් ස්කූල් එකට මේ ළමයාව එවන්න එයාගේ තාත්තාට පිස්සුද මන්දා. ෆැක්ටරි ඔවර්සියර කෙනෙකුගේ දුවක්!”

  “එක අතකට එයා අපේ කාණ්ඩේ නොවුණට අපේ පංතියේ කෙනෙක් වෙච්චි කොට එයාටත් පික්නික් එකට එන්න කියන්න තිබුණේ” නැන් මද වේලාවකින් පැවසුවාය.

  “ඇත්තට ම මං හිතන්නේ නැහැ ගියා වුණත් එයාට ඒක විනෝදයක් වෙයි කියලා. එයා අපි අතරට මුහු වෙන්න උත්සාහ කරන්නෙත් නැහැනේ. කාට හරි මේ ළමයාගේ හැටි දැක්කහම හිතෙන්න පුලුවන් ඒ කටේ දිවක් නැහැ කියලා” ඇය තවදුරටත් පැවසුවාය.

  “එයා පංතියේ හොඳම ළමයා!” මෞඩි තමන් සැරසූ රෝසමල් බඳුන නැන්ගේ වැලමිට අසළ වූ මේසය මතින් තබන අතරේ පැවසුවාය. “ඒත් ඔය ආරාධනා කිරිල්ල ගැන නම් වග කියන්න ඕනෑ පැටී මොරිසනුයි විල්හෙල්මිනා පැටර්සනුයි තමයි. එයාලා එයාට ආරාධනා කරලා නැහැ. - මේ බලන්නකෝ මගේ ආදර නැනී, හරිම ලස්සනයි නේද? මං මේ ටික ඔයාගේ තනියට ලඟින් තියලා යන්නම් හොඳේ”

  “අපොයි මේ. මං රෝස මල් එක්ක ඉන්නවට වඩා කෙනෙක් හොයා ගන්නවා!” කොට්ටයට වැරෙන් පහරක් ගැසූ නැන් පැවසුවාය.

  “ඔයාලා හැමෝම පික්නික් ගිහින් විනෝද වෙද්දී මං මෙතනට වෙලා තනියෙම දුක් වෙවි ඉන්නද? මං වෙනුවෙන් ෆ්ලොරි හැස්ටින්ස්ට පුංචි පණිවුඩයක් ලියන්න පුලුවන්ද ඔයාට? මං ඊට වඩා ගොඩක් දේවල් කරන්න පොරොන්දු වෙනවා ඔයා කකුල අඹරාගෙන පුටුව බදාගෙන ඉන්න දවසට හොඳේ”

  “හා... හා... ඒක එතකොටනේ. දැන් මොනවද මං ඒකේ ලියන්න ඕනෑ?” සිය ලිපි ගොනු අවුස්සන අතරේ මෞඩි ඇසුවාය.

  “පොඩි දෙයයි. එයාගෙන් අහන්න කරකියා ගන්න දෙයක් නැතිව අසරණව ඉන්න කෙනෙක් ව සතුටු කරන්න, අද හවස් අතේ එන්න පුලුවන්ද කියලා. එයා එනවා, මං ඒක දන්නවා. ඒ වගේ ම එයා එක්ක ඉන්නකොට කාලේ යනවා දැනෙන්නේ නැහැ... ලියලා, දැන්ම ම ඩිකීට දෙන්න ඒක ගිහින් දෙන්න කියලා”

  “අනේ මන්දා ෆ්ලෝරි හැමිල්ටන් එයාට පික්නික් එකට කියපු නැති එක ගැන හිත් අමාරු කර ගනීද මන්දා”යි තමාගෙන් ම විමසා ගනිමින් මෞඩි ලිපිය කවරය තුළට දමා ලිපිනය ලීවාය.

  ඒ විමසිල්ලට හරියට ම පිළිතුරු දැන සිටියේ, ඒ නැවුම් උදෑසන දිලිහෙන හිරු එළියේ තනිව මාවතේ ඇවිද යමින් සිටි ෆ්ලොරි හැමිල්ටන් හැර වෙන කවරෙක්ද? ඇය පැහැදිලි ව තත්ත්වය වටහාගෙන සිටියත් හිතුවාට වඩා දැඩි වේදනාවක් ඇගේ සිත රිදවමින් තිබිණ. ඇත්තට ම ඇය ව ගණන් නොගන්නා කෙල්ලන් රොත්තක් සමගින් පික්නික් යෑම කාංසියක් දනවන දෙයක් බව ඈ දැන සිටියාය. නමුත් පාසලේ සියලු ම දැරියන් ආරාධනා ලැබ සිටියදි ඇය ව මග හැර තිබීම! ඒ ගැන සිතෙද්දී ඇගේ තොල් පෙති හද පාරවන දුකකින් සැලෙන්නට වී.

  “ඉස්කෝල නිවාඩුවෙන් පස්සේ මාව රජයේ ඉස්කෝලේට දාන්න කියලා තාත්තාට කියනවා මං” ඇය තමාට ම මුමුණා ගත්තාය. “මට දැන් මේ මිස් බ්‍රැක්ස්ටන්ගේ තැන තිත්ත වෙලා”

  ෆ්ලෝරි, වින්බරෝ පෙදෙසට ආගන්තුක තැනැත්තියක වූවාය. මෑතකදි, ඇගේ පියාට මේ කුඩා ටවුමේ පිහිටි විශාලත ම කර්මාන්තශාලාවේ තනතුරක් ලැබිණ. පියා කර්මාන්ත‍ශාලා සේවකයකු වීම නිසා පාසලේ වූ නපුරු දැරියන්ගේ කෙනෙහෙළිකම් වලට ලක්වන්නට ඇයට සිදු වූ අතර සමස්තයක් ලෙස ගත් කළ මුළු පාසලේ ම දැරියන් ඇය ව තනි කළ ලෙසක් පෙනෙන්ට තිබිණ. ඇත්තට ම ආරම්භයේදී මිතුරු දෑත් සමහරක් ඈ වෙත දිගු කෙරුණද, තමා වටා වූ අවකාශයට එක්වන ම යහපත් ප්‍රතිචාරයක් දැක්වීමට අපොහොසත් වූ ෆ්ලොරි උදාසීන, කනස්සලු සහගත සෝමාරි කෙනෙකු වශයෙන් මුලු ගැන්විණි. එන්න එන්න ම තනි වන්නට වූ ඇය පාසලේ දී හුදකලා පෙවෙතක් ගතකළේ කිසිවෙකු නොමැති දූපතක දිවි ගෙවෙන කෙනෙකු මෙනි.

  “එයාලා මට කැමති නැහැ, මගේ මේ චාම්, මොස්තරයක් නැති ඇඳුම් නිසා, මගේ තාත්තා ඒ හැටි සල්ලි තියෙන කෙනෙක් නොවන නිසා” ෆ්ලෝරි කනගාටුවෙන් කල්පනා කළාය. සෑහෙන තරමේ ඇත්තක් වූ මේ කාරණය මිස් බ්‍රැක්ස්ටන්ගේ දැරියන් බොහෝ දෙනෙකු ඈ මග හැරීමට හේතුවිය.

  “මෙන්න ඔයාට ලියුමක් තියෙනවා ෆ්ලෝරි,” දහවලේ ඇගේ සොයුරු ජැක් පැවසුවේය. “ගෙදර එන වෙලාවේ කන්තෝරුවේදි ලැබුණේ. කවුද අප්පේ ඔයාට ලියන කෙනා?”

  ෆ්ලෝරි ඉමිහිරි සුවඳකින් යුතු වූ ලිපිය දිග හැරියාය. මුලින් වූ ගැටළු සහගත පෙනුම ඉවත් කරමින් මද වේලාවකින් ඇගේ මුහුණ බබලන්නට වී.

  “මේ අහන්නකෝ ජැක්,” ඇය උද්යෝගයෙන් පැවසුවාය.

  “ආදර ෆ්ලොරි,
නැන් අසනීපෙන්. එයාගේ කකුල ඇමැට්ටි වුණා. ඒ නිසා එයා ගෙදර කාමරේ සෝෆාවට කොටු වෙලා. ඉතින් අද හවස් වරුව එයාට තනියෙම ඉන්න වෙලා තියෙන්නේ. ඔයාට පුළුවන්ද ඇවිත් එයා එක්ක ඉන්න? එයාට ඔයාගේ පැමිණීම හරි ම වටිනවා. දැනටමත්, හවස පාලුවෙන් ඉන්නවෙයි කියලා කණගාටුවෙන් ඉන්න එයාට සතුට ගෙනෙන්න පුලුවන් එකම කෙනා ඔයා කියලා එයා හිතනවා.

  මීට,
  හිතවත් මෞඩි වොලස්”

  “ඉතිං ඔයා යනවද?” ජැක් ඇසුවේය.

  “ඔව්... මන්දා, මම දන්නේ නැහැ... මම ඒ ගැන හිතන්න ඔ්නෑ” අකල්පනාවෙන් මෙන් පැවසූ ෆ්ලෝරි විගස උඩු මහළේ සිය කාමරය වෙත දිව ගියාය.

  “මම යනව ද?” ඈ සිතුවාය. “ඔව්. මම යනවා. මට ඉන්තේරුවෙන් ම කියන්න පුළුවන් නැන් මට කතා කළේ පික්නික් එකට මට නොකී එක නිසා මම අවුලෙන් ඇති කියලා හිතලා, කණගාටු හිතිලා. එහෙම වුණා වුණත් ඒකෙන් පේන්නේ එයාගේ යහපත්කම. මං හැමතිස්සේ ම හිතුවේ මේ වොලස් ගෑණු ළමයි එක්ක හිතවත්කමක් ඇති කරගන්න තිබුණා නම් කොච්චර හොඳ ද කියලානේ. ඒ ගොල්ල හැම තිස්සේ ම මට හොඳින් සැළකුවා. මට තේරෙන්නේ නැත්තේ ඒ ගොල්ල ඉස්සරහ මගේ දිව ගල් ගැහිලා මහා මෝඩයෙක් වගේ මාව පෙනෙන්න ගන්නේ ඇයි කියන එකයි. කොහොම වුණත් මම යනවා”

  එදින සැඳෑවේ වොලස් මහත්මිය නැන්ගේ කාමරයට පැමිණියාය.

  “නැන්, මගේ පැටියෝ, ෆ්ලොරි හැමිල්ටන් ඔයාව අහගෙන ඇවිත් ඉන්නවා”

  “ෆ්ලොරි... හැමිල්ටන්...”
  “ඔව්. ඔයා අද උදේ යැව්ව මොකක්ද ලියුමක් ගැන කිව්වා. මම එයාට උඩට එන්න කියන්නද?”

  “හා... හා... එන්න කියන්කෝ” නැන් බිඳුනු හඬින් පැවසුවාය. අම්මා පිටව ගිය විගස පසුපසට වී කොට්ට මත හේත්තු වූ ඈ වේගයෙන් සිතන්නට වූවාය.

  “ෆ්ලෝරි හැමිල්ටන්! හරිනේ! මෞඩිට වාසගම වැරදිලා ලියැවිලා. නමුත් ඒක එයාට දැන ගන්න තියෙන්න හොඳ නැහැ. පුංචි සැකයක්වත් ඇති වෙන්න දෙන්න හොඳ නැහැ. අනේ අම්මේ! දැන් මොනවද මං එයා එක්ක කතා කරන්නේ? පුදුම තරම් නිහඬ ලජ්ජාකාරියක්නේ”

  ෆ්ලෝරිගේ පැමිණීමත් සමගින් වැඩිදුර කල්පනා කිරීමට මග ඇහිරිණි. ඇය දුටු සැනින් නැන් ඉතාමත් මිත්‍රශීලි සිනාවක් දක්වා දෑත විහිදුවාය.

  “ඔයාගේ හැන්දෑව, මේ කමකට නැති මං වෙනුවෙන් වෙන් කරපු එක ගැන බොහොම ස්තුතියි” ඈ හදවතින් ම පැවසුවාය. “ඔයා දන්නේ නැහැ මං කොච්චර පාලුවකින්ද හිටියේ කියලා මෞඩි ගිය වෙලේ පටන්. ඔය තොප්පිය ගලවලා තියලා, වැඩියෙම හොඳයි කියලා හිතෙන පුටුවේ වාඩි වෙන්නකෝ. අපිට කොච්චර දේවල් තියෙනවද කතා කරන්න!”

  කොහොම නමුත් නැන්ගේ හිතෛශි පිළි ගැනීමෙන් ෆ්ලෝරිගේ ලැජ්ජාව තුරන් වී ඇයට තමන්ගේ නිවසේ සිටින්නාක් මෙන් හැඟීමක් දැනෙන්නට විය. මෞඩිගේ පැද්දෙන පුටුවේ වාඩි වී වටපිට බලන විට දුටු රෝස මල් වලින් පිරුනු බඳුන ඇගේ ප්‍රීතිය වඩවන්නක් විය. ඒ බව දුටු නැන් මෙසේ ඇසුවාය. “ඒවා හරි ශෝක් නේද? අපි වොලස්ලා, අපේ රෝස වැල් නිසා පුදුමාකාර සතුටක් විඳිනවා. අපේ අත්තම්මාගේ අත්තම්මා මීට අවුරුදු හැටකට කලින් එංගලන්තේ ඉඳන් මෙහෙට පදිංචියට එද්දි මේවා ගෙනත් තියෙන්නේ. මේ වර්ගයේ බිත්ති දිගේ ඇදිලා වැවෙන රෝස වැල් මේ රටේ වෙන කොහෙවත් හැදෙන්නේ නැහැ.”

  “ඔව් ඔව් මං දන්නවා.” සිනාවකින් මුව සරසා ගත් ෆ්ලොරි කීවාය. “කාමරේට ආපු ගමන් මං ඒවා හඳුන ගත්තා. ඒවා හරියට ම එංගලන්තේ ඉන්න හැමිල්ටන් අත්තම්මාගේ ගෙදර තියෙන ජාතියමයි. මම ඒවාට බොහොම කැමැත්තෙන් හිටියේ”

  “එංගලන්තේ? ඔයා එංගලන්තේ ඉඳලා තියෙනව ද?”

  “අනේ ඔව්නේ” ෆ්ලෝරි සිනා පෑවාය. “මම ලෝකේ තියෙන හැම රටක් ගාවට ම ගිහින් තියෙනවා. අපි කියමු මෙහෙම, මම ගිහින් තියෙනවා නැවකට ලං වෙන්න පුළුවන් හැම රටක් ගාවට ම”

  “ෆ්ලෝරි හැමිල්ටන්! ඔයා ඔය ඇත්තම ද කියන්නේ?”

  “ඔව්. ඇත්ත ම ඇත්තයි. ඔයා සමහරවිට දන්නේ නැතිව ඇති අපේ ‘දැන් අම්මා’, ජැක් සමහරවිට කියන්නේ එහෙමයි, ඒ තාත්තාගේ දෙවැනි බිරිඳ. මගේ අම්මා මං පුංචි කාලෙ නැති වෙලා. බබාලා නැති නැන්දා කෙනෙක් එයා ගාවට මාව අරගත්තා. එයාගේ මහත්තයා මුහුදු නැවක කැප්ටන් කෙනෙක්. නැන්දා ඒ මාමාගේ සියලුම මුහුදු ගමන් වලට එකතු වුණා. ඉතින් මාත් එකතු වුණා. මම වැඩුනේ නැව් තට්ටුවේ. අපි බොහොම ප්‍රීතිමත් කාලයක් ගතකළා. මම ඉස්කෝලේ ගියේ නැහැ. නැන්දා බඳින්න ඉස්සෙල්ලා ටීචර් කෙනෙක්, ඉතිං එයා මට ඉගැන්නුවා. මීට අවුරුදු දෙකකට කලින් මගේ තාත්තා ආයේ කසාද බැන්දා. ඒ පාර තාත්තාට ඔ්නෑ වුණා මං ආයේ පවුලට එකතු වෙනවා දකින්න. මුලින්, නැන්දයි, අපේ පරණ නැවයි, ඔහේ පාවුණු ජීවිතෙයි දාලා එන්න ගොඩක් දුක හිතුණා. ඒත් මං ආවා”

  “අනේ, මට එයාලා ගැන සේරම දේවල් කියන්න” නැන් බොහොම උනන්දුවෙන් ඉල්ලා සිටියාය. “ඇයි ෆ්ලෝරි හැමිල්ටන්? හිතන්නකෝ ඔයා ඔයාගේ ඔය තරම් ලස්සන, වටින අත්දැකීම් ගැන එක වචනයක්වත් කවදාවත් කියලා නැහැනේ. මං හරිම කැමතියි වෙනත් රටවලට ගියපු අයගෙන් ම ඒ රටවල් ගැන විස්තර දැන ගන්න. අනේ කියන්න, මම අහගෙන ඉඳලා ප්‍රශ්න අහන්නම්”

  ෆ්ලෝරි මතක ඇති සියලු දේ කීවාය. ඇයට අගේ ඇති කතා ලතාවක් ඇති බව ද, ඇගේ සංචාරයන් ගැන හාස්‍ය මවමින් විශිෂ්ට ලෙස විස්තර කිරීමට හැකියාවක් ඇති බව ද වටහා ගැනීමෙන් වඩා විස්මයට පත් වූයේ නැන් ද ෆ්ලෝරි ද යන්න මට කිව නොහැක. බොහොම වේගයෙන් ගෙවීගිය සැඳෑව අවසානයේ, ගොම්මනේ ඇය පිටව යන්නට පෙර නැන්ගේ කාමරයේ දි පිරි නැමුණු ප්‍රණීත තේ බඳුන, හැකි ඉක්මනින් නැවත පැමිණෙන්නට කළ හෘදයාංගම ඇරයුමක් වැනි විය.

  “ඔයා ආපු නිසා මං ගොඩක් සතුටු වුණා” නැන් සුහද වදන් තෙපලුවාය. “මට ඇවිදින්න පුළුවන් වුණු ගමන් මම එනවා ඔයා බලන්න. හැබැයි එතකන් ඉන්න එපා. අපි හැමදාමත් හොඳ යාලුවෝ වෙලා ඉමු. කිසි හේතුවක් උවමනා වෙන්නේ නැහැ ඔයාට මෙහේ එන්න. මං මග බලාගෙන ඉන්න එක විතරක් මදැයි” සතුටු සිනාවකින් මුව සරසාගත් ෆ්ලොරි සැහැල්ලු හදවතින් යුතුව පිටව ගියාය.

  මද වේලාවකින්, හිරු රැස් වලින් දැවුණු දුඹුරු හමින් යුතු වූ මෞඩි, පික්නික් ගමනින් ප්‍රමෝදයට පත් සිතින් නිවසට ගොඩ වැදුණාය.

  “අද නම් හරි ම සතුටු දවසක් අනේ!” ඈ හඬ නැගුවාය. “ඔයා මෙතන හිර වෙලා හිටපු එක තමයි මට තිබුණු එකම දුක! ෆ්ලෝරි ආවා ද?”

  “එක ෆ්ලෝරි කෙනෙක් ආවා. මෞඩි, ඔයා ෆ්ලෝරි හැස්ටින්ස් ලියනවා කියලා වැරදිලා ලියලා තියෙන්නේ ෆ්ලෝරි හැමිල්ටන්ටනේ”

  “මොනවා! නැන්, ඔයා ඔය ඇත්තම ද කියන්නේ? මට විශ්වාසයි...”

  “ඔව්, ඔයා එහෙම තමයි කරලා තියෙන්නේ. මටත් එකපාර මොකක්ද වුණේ කියලා හිතාගන්න බැරි වුණා මෞඩි!”

  “මම ලියන වෙලාවේ හැබැයි එයා ගැන තමයි හිත හිතා හිටියේ. හරි වැඩේ! ඒ ගමන් මම එයාගේ නම ම ලියන්න ඇති දෙයියනේ! සොරි අනේ!...”

  “නෑ... නෑ... සොරි කියන්න උවමනාවක් නෑ. මතක ඇති කාලෙක ඒ තරම් සතුටු වෙලා නැහැ මං. ඇයි අනේ මෞඩි! එයා ලෝකේ වටේ ම කරක් ගහපු කෙනෙක්. අම්මේ! එයා වගේ විහිළුකාරියක්! හරිම ලස්සනට ඒ විස්තර කියවගෙන කියවගෙන යනවා අනේ! කොහෙත් ම අපි දන්න ළමයා නම් නෙමෙයි. එයා හරිම ආදරේ හිතෙන කෙල්ලෙක් මෞඩි!”

  “අම්මෝ! ඇති යාන්තම් මට හරි සතුටුයි ඔයා සතුටින් හිටියා කියලා දැන ගත්තම. ඔයා දන්නවද? කිහිප දෙනෙක් සෑහෙන නෝක්කාඩු කිව්වා එයාට ආරාධනා නොකරපු එක ගැන. ඒගොල්ලො කියන්න ගත්තා ඒක හරිම කැත විදිහේ නපුරු කමක් කියලා. අන්තිමට පැටියි විල්හෙල්මිනායි වැරැද්ද තමන්ගේ බව පිළිගත්තා. මට හිතෙන්නේ මිස් බ්‍රැක්ස්ටන්ගේ ඉස්කෝලේ අපි පමණට වඩා උඩඟු වෙන්න පටන් අරං වගෙයි. දැන් ඒක තේරිලා කිහිප දෙනෙක් ම ලැජ්ජා වෙලා ඉන්නේ”

  “ඉවසලා ඉන්නකෝ ඉස්කෝලේ පටන් ගන්නකම්!” නැන් පැවසුවාය. ඇය අදහස් කළ දේ මෞඩි වටහා ගත්තා විය යුතුය.

  කොහොම නමුත් ඒ දෙදෙනාට පාසල් ආරම්භ වනතුරු ඉන්නට ඉඩ ලැබුණේ නැත. වොලස් දැරියන්, ෆ්ලෝරි හැමිල්ටන් සිය සමාගමයට එකතුකරගෙන ඇති බව වැඩිකල් නොයවා ම වින්බරෝ පළාතේ සියලු ගැහැණු ළමෝ දැන ගත්තෝය. වොලස් ළමයි කැමති වෙන්න, මුලදි හිතුවාට වඩා යමක් ෆ්ලෝරි වෙත තිබිය යුතු බව මිස් බ්‍රැක්ස්ටන්ගේ සිසුවියන් කිහිප දෙනෙකු තර්ක කරන්නට විය. වැඩි කල් යන්නට මත්තෙන්, ෆ්ලෝරි සිය කුලෑටිකමින් මිදුණු විට ඉතාමත් ප්‍රියජනක දැරියක බව ටිකින් ටික සියලුම දැරියනට වටහා ගන්නට හැකි විය. පාසල ඇරඹෙන විට පංතියේ ජනප්‍රිය ම චරිතය බවට ඇය පත්ව සිටි බව අමුතුවෙන් කිවයුතු නැතැයි මම සිතමි. ඇය හා නැන් වොල්ස් අතර ගොඩ නැගුණේ, ඔවුන්ගේ ජීවිත කාලය පුරා ම පැවතුණු, හෘදයාංගම වූත් ලෙංගතු වූත් ගැඹුරු මිතු දමකි.

  “මේ හැමදේම මෞඩි වචනයක් වරද්දපු නිසානේ” දිනෙක නැන් මද සිනාවකින් යුතුව තමාට ම මතුරා ගත්තාය. නමුදු එම කාරණය ෆ්ලෝරි හැමිල්ටන් කිසිදාක දැන නොගනු ඇත.

~ලුසි මෝඩ් මොන්ටිගොමරිගේ කෙටි කතාවකි~
~පරිවර්තනය රන්දිකා රණවීර ප්‍රනාන්දු~



******************************************************

  අපිට කෙනෙක් හොඳයි කියලා දැනෙන්නෙත් නරකයි කියලා දැනෙන්නෙත් අපේම අභ්‍යන්තර මිම්මකින් නිමක් නැතිව මිනිසුන් ව මනින නිසා. මිනිසුන්ගේ අපට පේන ගති ඇති වෙන්න කාරණා තුනක් හේතු වෙනවා මට හිතෙන විදිහට.

    එකක් ඒ අය මෙච්චර කල් ගෙවාගෙන ආපු ජිවිතේ විඳිම් හා විඳවීම් ඒ අයට දැනෙන විදිහ.

   තව එකක් ඒ දේවල් කොහොම වුණත් ඒ මිනිස්සු තමන් ම හිතලා තමන්ට උවමනා විදිහට වෙනස් වෙලා ඉඳීම.

    අනිත් එක අපේ හැසිරීම.

   හැම තිස්සේ ම තමන්ගේ කෝවේ දමාගෙන මිනිස්සුන් ව වෙනස් කරන්න නොයා ඒ අය එහෙම වෙන්න හේතුවුණු කාරණා හිමින් සීරුවේ හොයලා බලලා, කල්පනා කරලා බැලුවහම සමහර වෙලාවට ලොකු කම්පනයක් දැනෙනවා. මිනී මරුවෙක්, මංකොල්ලකරුවෙක් වුණත් ඒ තත්ත්වයට එන්නේ එකපාර නෙමෙයි කියන එක පැහැදිලි ව පෙනෙන්න ගන්නවා. සමහර වෙලාවට අපි කලින් හිටපු මතය සපුරා ම වැරදි බව වැටහෙන්න ගන්නවා. කාවවත් පිළිකුල් නොකර, ප්‍රතික්ෂේප නොකර එක් එක් අය තමන්ගේ ආරක්ෂිත සීමාවට ගතයුතු ප්‍රමාණය වැටහෙන්න ගන්නවා.

  (කොහොම වුණත් මේ කාරණා වලංගු වෙන්නේ තනි තනි පුද්ගලයින්ටයි. යම් යම් අදහස් දරණ පුද්ගලයින් පිරිසක් එකතු වුණා ම ඇතිවන තත්ත්වය සපුරා වෙනස්. ඒ ගැන පසුව හිතන්න, හිතේ අරං තියා ගත්තා)

*******************************************

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...