Wednesday, July 28, 2021

162. එයින්ට්‍රි වීදිය, අක්බාර් ලේන්, ඇලන් මැතිනියාරාම පාර සමගින් ඇල්බට් චන්ද්‍රවංකය




එයින්ට්‍රි වීදිය-හැව්ලොක් ටවුම, කොළඹ 05


    හැව්ලොක් ටවුමේ සිට, තිඹිරිගස්යාය පාරේ මීටර 800ක් පමණ යනවිට වම් දෙසට හමුවන ඇස්කොට් ඇවනියු ඔස්සේ මීටර 100ක් ගිය තැන වම් දෙසට වන මග එයින්ට්‍රි වීදිය නම්වේ.


    එඩ්වඩ් ක්ලැරන්ස් ඩි ෆොන්සේකා යනු කෝටිපති මිනිරන් ව්‍යාපාරික එඩ්මන්ඩ් ක්ලාර්ක් ඩී ෆොන්සේකාගේ පුතුය. අශ්වයින් හතලිස් දෙනෙකුට හිමිකම් කියූ එඩ්වඩ් ක්ලැරන්ස්, ඒ සතුන් ගාල්කර තිබුණේ ජාවත්තේ පිහිටි ඔහුගේ වතුයායේ ගොඩනැගූ ස්තාලයේය. රාජකීය විදුහලට ඉදිරිපසින්, වර්තමානයේ රාජ්‍ය ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව හා කොළඹ විශ්ව විද්‍යාලයේ ගොඩනැගිලි කිහිපයක් පිහිටා ඇති ප්‍රදේශයේ පිහිටා තිබුනු තුරඟ තරඟ පිටියේ එම අසුන් තරඟ පිණිස යෙදවුණි. තුරඟ තරඟ කෙරෙහිවූ සිය බලවත් කැමැත්ත ප්‍රකට කරමින් ඔහු සිය වතුයායේ කොටස් වෙත ජනප්‍රිය බ්‍රිතාන්‍ය තුරඟ තරඟයන්හී නම් යෙදුවේය. එවැනි ජනප්‍රිය තුරඟ තරඟයක් සිහි කරමින් ඔහුගේ සමස්ත වතුයායට ගුඩ්වුඩ් නම දී තිබේ. වතුයාය වෙත වූ ප්‍රධාන පිවිසුම් මග ඇස්කොට් ඇවනියු යනුවෙන් නම් කෙරුණු අතර අතු වීදි දෙක එප්සම් වීදිය සහ එයින්ට්‍රි වීදිය ලෙසින් නම් කෙරිණ.




අක්බාර් ලේන්/පටුමග-අලුත්කඩේ, කොළඹ 12


    අලුත්කඩේ වටරවුමෙන් වම් දෙසට වන මිහිදු මාවත ඔස්සේ යනවිට දකුණු දෙසට හමුවන පළමුවන මග වන සෙන් සෙබස්තියන් වීදිය ඔස්සේ මීටර 100ක් යන විට වම් දෙසට හමුවන මග අක්බාර් පටුමගවේ.



    කීර්තිමත්, ලාංකික මැලේ ජාතිකයෙකු වන, මාස් තාජූන් අක්බාර් (1880-1944) මහතා දිස්ත්‍රික් සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු, ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයෙකු, ශ්‍රී ලංකාවේ සොලිසිටර් ජෙනරාල්වරයා සහ 1937-1938 කාලයේ නගර සභා සභීකයෙකු ආදී වශයෙන් ක්‍රියා කළ අතර ඊට අමතර ව මල්ලව පොර ශූරයෙකු මෙන්ම ජූඩෝ ක්‍රීඩකයෙකුද වශයෙන් කීර්තියක් ඉසිලීය. ආදී රාජකීයයෙකු වන අක්බාර් මහතා එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ උපාධිධරයෙකුද වන්නේය. ඔහු පේරාදෙනිය විශ්ව විද්‍යාල පිහිටුවීම සඳහා වූ කොමිසමේ සාමාජිකයෙකුවූ අතර හුසායිනියා පිරිමි විදුහලත් ෆාතිමා කාන්තා විදුහලත් පිහිටුවීමේ පුරෝගාමියෙකුද විය. මේ ආකාර වූ සේවාවන් වල නියුතු වීම නිමිති කොටගෙන ගෞරවයක් වශයෙන් ඔහුගේ නමින් කොළඹ වීදි දෙකක් නම් කර තිබේ. එයින් එකක් අලුත්කඩේ පිහිටා ඇති මෙම වීදිය වන අතර අනෙක පිහිටා ඇත්තේ කොම්පඤ්ඤ වීදියේ මැලේ ජාතිකයින් බහුල ව වසන පෙදෙසෙහිය. වඩා ම වැදගත් කාරණය වනුයේ පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ශාලාවක් ද ඔහුගේ නමින් නම් කර තිබීමයි.




ඇලන් මැතිනියාරාම පාර-හැව්ලොක් ටවුම, කොළඹ 05


    පොල්හේන්ගොඩ මං සන්දියෙන් වම් දෙසට විජය කුමාරණතුංග මාවත ඔස්සේ මීටර 500ක් පමණ යනවිට වම් දෙසට වන මග මෙම පාර වේ.

    පොල්හේන්ගොඩ කඳු කැටය මුදුනේ, නාවලත් කිරුලපනත් අතර මැද ඇලන් මැතිනියාරාම විහාරය පිහිටා තිබේ. කොළඹ නගරයේ උස් ම ස්ථානයක් වන මෙතැනට හිමිදිරියේ සමනල කන්ද දිස්වේ.

    මෙම විහාරය මේ නමින් හඳුන්වන්නේ ඇයි? කවුද මේ ඇලන්? විහාරවාසී ස්වාමීන්වහන්සේ මෙයට පිළිතුරු සපයති.

    නෙලී චාර්ලට් හෙන්රියාටා ඩී ඔලිවෙරා මහත්මිය (1869-1907) යම්කිසි මානසික රෝගයකින් පෙළුනාය. ඇයට බොහෝ වෛද්‍යවරුන් ප්‍රතිකාර කළත් ප්‍රයෝජනයක් නොවීය. අවසානයේ ඇය කඳවෙල ධර්මාලංකාර තෙරණුවන් වෙත එළඹුනාය. උන්වහන්සේ ඇයට සෙත් පැතීමෙන් අනතුරුව ආයුර්වේද ප්‍රතිකර්ම නිර්දේශ කළෝය. සමහරවිට එය සුළු සම්‍ය ප්‍රයෝගයක් විය හැක. කෙසේ නමුදු සුවය ලැබූ ඇය එයින් සතුටට පත් ව තමන් මේ වෙනුවෙන් කළ යුත්තේ කුමක්දැයි තෙරණුවන්ගෙන් විමසුවාය. උන්වහන්සේ විහාරයක් ගොඩ නැගීම පිණිස බිම් කඩක අවශ්‍යතාව විස්තර කළ අතර නෙලී මහත්මිය ඒ සඳහා සුදුසු වූ මෙම බිම්කඩ ලබා දී විහාරය ගොඩ නැගීම පිණිස අවශ්‍ය මුදල් ද ලබා දුන්නාය. ඈ මියගිය පසු ආදාහනයෙන් අවශේෂ වූ අළු බඳුනක බහා ගෙනවිත් විහාර භූමියේ තැන්පත් කර ඇගේ නමින් ස්මාරකයක් ගොඩනගන ලදී. විහාරයේ ප්‍රධාන ගොඩනැගිල්ලේ ඇගේ ඡායාරූප දෙකක් දකින්නට ලැබේ. විහාරවාසී භික්ෂූන් වහන්සේ අදහස් කරන්නේ නෙලී මහත්මිය මේ වනවිට දේවදූත ආත්මයක් ලබා විහාරය ආශ්‍රිතව ම ගැවසෙන බවයි.

    ඇලන් යනු සමීපතයින් නෙලී මහත්මිය හැඳින් වූ කෙටි නාමය වන අතර ඇයට ගෞරව පිණිස ඇලන්මැතිනියාරාමය වශයෙන් එම විහාරය හඳුන්වයි.




ඇල්බට් චන්ද්‍රවංකය - කුරුඳුවත්ත, කොළඹ 07


    ජාතික කෞතුකාගාරය අභිමුව වන කේම්බ්‍රිජ් පෙදෙසේ අන්තයත්, නිදහස් මාවතේ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමය අසල අන්තයත් යා කරන මග ඇල්බට් චන්ද්‍රවංකය නම්වේ.

    වික්ටෝරියා රැජණගේ වල්ලභයා ඇල්බට් කුමාරයාය. ඇගේ සම්පූර්ණ රාජ්‍ය කාලය තුලදී ම (1837-1901) ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය කිරීටය යටත් පාලනය කෙරුණු අතර 1876 දී වික්ටෝරියා රැජණ ඉන්දියාවේ අධිරාජිණිය බවට පත් වූවාය. ඔවුන්ගේ පුතුන් ශ්‍රී ලංකාවේ සංචාරය කළත් ඇල්බට් කුමරු කිසිදා මෙහි පය තබා නැත. එබැවින් මෙම නාමකරණයට සෘජු සම්බන්ධයක් පිළිබඳ සිතිය නොහැකිය. තවත් සිත්ඇදගන්නාසුලු කාරණයක් නම් ලන්ඩනයේ ලැම්බත් හී කොළඹ වීදියේ (Colombo Street) ප්‍රින්ස් ඇලබට් පබ් නමින් අවන්හලක් තිබීමයි. නමුත් ඇල්බට් කුමරු එයට ද කිසිදා පා තබා නැති බවට ලියුම්කරුට විශ්වාසය. කාලාන්තරයක් මෙරට පාලනය කළත් වික්ටෝරියා රැජණට කොළඹ ප්‍රදේශයේ උද්‍යානයක් මිස මාවතක උරුමයක් නැත.



15 comments:

  1. Replies
    1. Prasanna,

      පලයං බං යන්න..ගිහිල්ල බලාපිය මගෙ පෝස්ට් වල අකුරු සයිස් එක...:)

      Delete
  2. මෙච්චර අකුරු ලොකු කරල තියෙන්නෙ අර රවි අයියට දැං හරියකට ඇස් පේන්නෙ නැති හින්ද වෙන්න ඕන.

    ReplyDelete
    Replies
    1. සේරම ඉන්නේ සම වයසේ අයනේ. ඒකයි

      Delete
  3. තොරතුරු ලොකු නිසා වෙන්නැති අකුරු ලොකුත්
    හමුවී තියෙනවා වාගෙයි නිධානෙකුත්
    නැත්තං 'වදුලු'වත්, හරි වටිනව ඒවත්
    තව හෙළි කරනු මැන ඉතිහාසයෙ මංපෙත්

    ReplyDelete
    Replies
    1. ඔයාලාට කියවගන්න ලේසි වෙන්න ලොකු අකුරු යොදා තියෙන්නේ. ඔය හැටි ම කියන නිසා තා ‌පොඩ්ඩක් පොඩි කරන්නම්කෝ

      Delete
  4. /වඩා ම වැදගත් කාරණය වනුයේ පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ශාලාවක් ද ඔහුගේ නමින් නම් කර තිබීමයි/

    දැන් මේ කමෙන්ට් එක ලියද්දි ඉස්සරහ දොරෙං පේනව අක්බාර් හෝල් එකේ පිටිපස්ස...:)

    ReplyDelete
    Replies
    1. එහෙමෙයි? ඇවිදිල්ලා ම බලන්ට වෙනවා එහෙනම්

      Delete
  5. මේ ලිපි පෙළ ගැන දැන් නම් තියෙන්නේ ඇබ්බැහියක්, කියවන්න අවස්ථාවක් ලැබුනේ අදයි. ස්තුතියි විස්තර එකතුවට.

    ReplyDelete
    Replies
    1. මේ සතියේ පළ කරන්න බැරි වුණානේ. ලබන සතියේ පළ කරන්නම්කෝ

      Delete
  6. Replies
    1. ස්තුතියි අක්කේකේ)

      Delete
  7. This comment has been removed by a blog administrator.

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...