මා ඔහුගෙ දෑස දෙස එක එල්ලේ බලා සිටියදී ඒ ප්‍රාංශු දේහධාරියා ද ඇසිපිය නොසලා මදෙස බලා සිටියේය. තව දුරටත් එසේ පසුවිය නොහැකි කල මම හිස පහත්කොට දුම්වැටිය දල්වා ගතිමි. ඉක්බිති දුම්වැටිය සුරතට ගෙන ඔහු දෙස බලා සිනහසුණෙමි.
" බොහොම ස්තූතියි. "
මගේ ස්තූතිය ඔහු පිළිගත්තේ මඳක් හිස ඉදිරියට නැවීමෙනි. ඒ හැර කිසිදු වදනක් තෙපලීමක් හෝ අවම තරමින් සිනහවක් හෝ ඔහු කෙරෙන් විද්‍යාමාන නොවීය. ප්‍රාංශුදේහධාරියාගේ මේ උදක්ම අවිචාර සම්පන්න හැසිරීම වෙනත් ඕනෑම අවස්ථාවක මසිත නොමනාපයක් ඉපිදවීමෙහි සමත්වනවාට නිසැක වුවද යථෝක්ත මොහොතේ මසිත හටගත්තේ නොමනාපයක් නොව මහත් සැනසීමෙකි.
නාඳුනන්නකු හා සාමීචියෙහි යෙදීමට වඩා උදක්ම මට ඇවැසි වූයේ එදින මිලදීගත් කථාවෙහි රස විඳීමටය.එබැවින්වැඩිමනත් භජනයකට පොරොත්තු නොවී මම පොත වෙත නැඹුරු වූයෙමි.
කොතෙකුත් ගෙල නවාගත්වනම පොතක් කියවීම කිසිසේත් සුකර කාර්යයක් නම් නොවේමය. කුඩා අවධියේ සිටම ඇඳෙහි හෝ එසේත් නැතහොත් කුලිච්චම් අතුල කවිච්චියක දිගාවී පොත් කියවීමෙහිලා ඇබ්බැහීය හේතු කොටගෙන මට ඒ මහත් වෙහෙසක් ගෙන දෙන්නක් විය.මිනිත්තු පහළවකට පමණ පසු කියවමින් හුන් පිටුව නවා සළකුණු කොට පොත වසා කනප්පුව මත තබා කෙමෙන් උත්සන්න වෙමින් වේදනා ගෙන දෙන්නටවූ පිටිකර පෙදෙස වමතින් සෙමෙන් පිරිමදිමින් වේදනාව පිළිබිඹු වනසේ මුහුණ ද ඇඹුල් කොට ගනිමින් මම කොන්ද කෙළින් කොට ගනිමින් දිග ඇදුනෙමි.
එසේ දිග ඇදෙමින්ම ගෙල සෙමින් දෙපසට හරවමින් වේදනාව සමනය කොටගනු වස් තැත් දැරූ මගේ දකුණු පස දුටු දසුනින් මොහොතක් පාෂාණිභූත වූයෙමි.
සුරාසළෙහි බරාඳයට පිවිසෙනා පළු දෙකකින් සැදුම්ලත් සුවිසල් ද්වාරය අසල කනප්පුවක් පසුපස ප්‍රාංශු දේහ ධාරියා අසුන්ගෙන හුන් බව මම පැවසූබව ඔබට මතක ඇතැයි සිතමි. ඔහු මේ මොහොත වන විට දෑත් ළයමත බැඳගත්වනම පසුපසට බරවී තැනින් තැන් සායම් පතුරු ගැලවී කපරාරුව කඩතොලුවූ දුර්වර්ණ බිත්තියට බරවී සිටියේය.දෑස් තදින් පියාගත්වනම හිස සෙමෙන් ඉහළට සහ පහළට සොලවමින් ඔහු යම් නොපැහැදිලි කිසිවක් තොල මතුරමින් සිටියේය. ඔහු ඉදිරියේ වූ කුඩා කනප්පුව මත වූයේ අඩකට මඳක් අඩුවෙන් මත්පැනින් පිරුණු අසෝක වීදුරුවකි. ඒ අසළම විවර කල සෝඩා බෝතලයකි.
මා ඔහු දෙස විදහාගත් දෙනෙතින් යුතුව බලා සිටියදී එක වරම ප්‍රාංශු දේහධාරියාගේ දෙනෙත් විවර වූයේය. මොහොතක් හිස හරවා මදෙස බලාහුන් ඔහු ඉනික්බිති දෙතොල් මඳක් විවරකොට සිනහසුනි. පෙනුම බොහෝසේ රළු පරළු වූ, එසේම දුටු මනත සිතෙහි අපුලක් හෝ ජුගුප්සාවක් විනා පහන් හැඟුමක් කිසිසේත්ම හට නොගන්නා මිනිසුන් හෝ ගැහැණුන් ඔබ කොතෙකුත් දැක ඇතිවාට මට සැක නැත.එහෙත් එවන් අප්‍රියකර වූ මුහුණක සිනහවක් හට ගත් වහා එහි වූ අපුල ස්වභාවය එක පැහැර වෙනස්ව මනබඳිනා ස්වභාවයක් පළ කරනු ඔබ කිසිදා දැක තිබේද?
ප්‍රාංශු දේහධාරියා ද එවන් පුද්ගලයෙකි. සිනහව ඔහුගේමුහුණ සහ පෙනුම එසැණින් වෙනස්කලේ අදහාගත නොහැකි අයුරිනි
ඔහු දෙස බලා සිනාසුණු මම මත්පැන් ස්වල්පයක් වීදුරුවට හලා ගතිමි. ලයන් ලාගර් බීර බෝතලය අතට ගෙන එහි පත්ලේ ඉතිරිව ටිබුණු බීර ස්වල්පය වීදුරුවට හලා හිස හරවා සාලය සහ පිටත බරාඳය දෙස විපරම් කලේ අප්පුහාමි පෙනෙන තෙක් මානයක හිඳින්නේදැයි දැනගනු උදෙසාය.
මා ඔහු පිළිබඳව විපරම් කරන බව ඔහුට පංචේන්ද්‍රිය ඉක්මවා යන යම් අතීන්ද්‍රිය ක්‍රමයකින් එසැණින් දැනගත හැකිදැයි මම නොදනිමි එහෙත් මවිසින් විපරම් කරනු ලබන සෑම විටකම පාහේ කොහේ හිඳ හෝ ප්‍රාදුර්භූත වන සුපුරුදු ලෙස අප්පහුහාමි මා ඉදිරියේ පෙනී සිටියේය.
" අප්පුහාමි, තව ලයන් ලාගර් එකක්..කූල් නැතුව. "
එසේ පවසමින් මම හිස් බෝතලය ඔහු වෙතට දිගු කලෙමි.
" ඕකේ සර් "
එසේ පවසමින් අප්පුහාමි බෝතලය ගත්තේ ප්‍රාංශු දේහ ධාරියාවෙත දෙබැම හකුළුවා ගනිමින් නොපහන් බැල්මක් හෙලමිනි. අවන්හල වෙත පැමිණෙන සමාජයේ පහළ යයි සම්මත ස්ථරයන්ට අයත් ගණුදෙනු කරුවන් පිළිබඳව ඔහු තුල කවදත් පැවතියේ නොමනාපයකි.
" බ්ලඩි රාස්කල්ස්...අයි ඩෝන්ට් ලයික් දෙම්..නොට් වන් බිට්.."
ඔහු මෙසේ මා හා පැවසූයේ වරක් හෝ දෙවරක් නොවේ. ඒ ඔහු දීර්ඝ කාලයක් සේවය කල සුදු ජාතිකයාගේ ආකල්ප ඇසුරින් වූ ඇබ්බැහියක් බවට සැකයක් නැත. සමාජ සමානාත්මතාවය පිළිබඳව අප්පුහාමිට ඒක පුද්ගල දේශන පැවැත්වීම මම කාසල් අවන්හල වෙත යෑමේ පරමාර්ථය නොවන බැවින් මුවින් නොබැණ මම ඔහු දෙස බලා එවිට සිනාසුනෙමි.
යලිදු එකවරම වැස්ස වැඩිවූයේ අවන්හල තුලටද සිහින් දුමාරයක් මෙන් වැසි බිඳිති පාව එන්නට විය. වරක් හිස ඔසවා බැලූ මම ඒ ගෙබිම පුරා පතිතවන පින්න ගණනකට නොගෙන යලි පොතෙහි හිස ඔබා ගත්තේ අමරසේකර මහතාගේ ලිවීම මාසිත ඒසා වශීකෘත කොට තිබුණු බැවිනි.
" ගුණදාස අමරසේකරගේ මහත්තයගෙ පොත් වලට මමත් හරිම කැමතියි. "
ප්‍රාංශු දේහධාරියගේ එවදන් මසිත දැහැණින් මුදවාලීය.
ඒ වදන් හොඳින් ඇසුණු නමුදු මම තවත් මොහොතක් පොත දෙසම බලා හිඳ සෙමින් හිස හරවා ඔහු දෙස බැලූයෙමි.
" මොකක්ද කිව්වෙ? "
" නෑ..මම මේ කිව්වෙ ගුණදාස අමරසේකර මහත්තයගෙ පොත් වලට මමත් බොහොම කැමතියි කියල "
ඉක්බිති ගුණදාස අමරසේකර මහතාගේ පොත් පිළිබඳව ඔහු සහ මා අතර පැවති සාකච්ඡාවෙහි සියළු විස්තර ඔබ හමුවේ තබා මේ සටහන සාහිත්‍ය විචාරයක් කරනු මම නොකැමැත්තෙමි.එමතුදු ඔබ අවම වශයෙන් අද දින හෝ මේ කථාවෙහි අවසානයක් දකිනු රිසි බවද මම හොඳහැටි දන්නෙමි.එසේ හෙයින් ඒ සාහිත්‍යය සාකච්ඡාවෙහි විස්තර පසෙක තබා ඉන් අනතුරුව සිදුවූව ඔබට පැවසීමට මට අවසර,
අවන්හල්හිදී හමුවන නාඳුනන්නන් හා මිත්‍ර සමාගම් පැවැත්වීමෙහි ලා මසිත කොතරම් අකමැතිවුවද ඒ හා සමානව මා මෙන්ම පොත් පිළිබඳව රුචියක් දක්වන්නන් හා සමඟ ප්‍රිය සමාගමයෙහි යෙදීමටද මසිතෙහි රුචියක් පවතී. එසේ හෙයින් වීදුරුවෙහි වූ අවසාන මත්පැන් ස්වල්පය මුවෙහි හලාගත් මම මුහුණ ඇඹුල්කොටගෙන ඔහු ඇමතීමි.
" අකමැත්තක් නැත්තං එන්න මෙතෙන්ට …"
ඉදිරියේවූ අනෙක් පුටුව පෙන්වා මම ඔහුට පැවසුවෙමි.
" හරි ප්‍රශ්නයක් නෑ.."
එසේ පවසමින් ඔහු බිත්තිය පාමුල තිබූ රෙදි උරයක්ද සුරතට ගෙන වමතින් කනප්පුව මතවූ වීදුරුවද ගෙන නැඟී සිටියේය.
" අප්පුහාමි.........."
මඳක් ඔබ්බෙන් තවත් ගණුදෙනුකරුවකුගේ ඇණවුම නෝට් පොතෙහි සටහන් කොටගෙන බාරය වෙත යන්නට හැරුණු අප්පුහාමි අමතා මම ඔහුට සංඥා කලෙමි.
" ඕල්ඩ් හොඳයි නේද? "
එවර මම ඇසූයේ මා ඉදිරියෙහි අසුන්ගෙන හුන් ප්‍රංශු දේහධාරියාගෙනි..
" කමක් නෑ. "
" හරි අප්පුහාමි ඕල්ඩ් හාෆ් එකක්, සෝඩා බෝතලයක්. හුරුල්ලො දෙන්නෙක්...ගෝල්ඩ් ලීෆ් තුනක්…"
ප්‍රංශු දේහධාරියා දෙස නොපහන් බැල්මක් හෙලූ අප්පුහාමි සෘජු කොටගත් කයින් යුතුව නික්ම ගියේය.
" මිනිහ කැමති නෑ මට.."
ප්‍රාංශු දේහධාරියාගේ දෙතොලග නැඟුනේ සෝපහාස මඳ සිනහවකි.
ඒක ගණං ගන්න එපා අයිසෙ ඉතිං අපිට මොකද? එසේ වදනින් නොපැවසූවද එලෙස හැඟී යන අයුරු මම සුරත ඔසවා සන් කලෙමි.
" ඔව්ව ගණං ගන්නෙ කවුද මහත්තය ජීවිතේ මම මූණ දීල තියෙන දේවල්වල හැටියට ඔව්ව බොහොම සුළු දේවල්. "
ඔහුගේ රළු දෑතට මැදිව වරක් වාමාවෘතවද වරක් දක්ෂිණාවෘතවද කරකැවෙන හිස් වීදුරුව දෙස මම බලා සිටියෙමි.
" මගේ කතාව මහ අමුතුම එකක් මහත්තය. මම හතර පස් පාරක්ම උත්සාහ කලා මගෙ කතාව ලියන්ට. ඒත් මට ඒකට ගැම්මක් එන්නෙ නෑ..මහත්තය කතා ලියල නැද්ද?.."
ඒ වනවිට මවිසින් ලියූ කෙටිකතා දෙකක් සතිඅන්ත පුවත්පතක පළවී තුබුණද ඒ බව ඔහුට පැවසීමට මම මැළි වූයෙමි.
" ඔය කතා හත අටක්නම් ලියල තියනව.."
කනප්පුව මතවූ පොත් කිහිපය එක මත එකක් වන සේ ගොඩ ගසමින් මම පැවසූයෙමි.
ඇණවුම දෑතින් දරාගෙන අප්පුහාමි අප වෙත පැමිණියේ මේ අවස්ථාවේදීය.දැඩි නොපහන්බව මුහුණින් පලකරමින් නිහඬවම රැගෙන ආ කළමනා කනප්පුව මත තැබූ අප්පුහාමි මදෙස ක්ෂණික බැල්මක් හෙලා ආපහු හැරිණි. ඔහුදෙස ඉඟිමැරූ මම තොල සපාගෙන සිනහව වළක්වා ගැන්මට තැත් කළෙමි. ප්‍රාංශු දේහධාරියා අප්පුහාමි හා මා අතරවු මේ අභිනයෙන් වූ ගණුදෙනුව දෙස බලා සිටියේ දෑසින් සිනහසෙමිනි.
" මම දොරගමුව කිට්ටුව… '
මවිසින් ඔහු අතට දුන් බෝතලය සුරතට ගනිමින් ඔහු පැවසීය.
" අපෙ අප්පච්චිල ඒ හැටි සල්ලි කාරයො නෙවෙයි. ඒත් කරදරයක් නැතුව එදා වේල කාල හිටිය ගොවිතැන් කරල. දහයෙ පන්තියෙන් පස් සෙ මම ඉස්කෝල් යන එක නැවැත්තුව. ඒ දවස්වල ඉගෙන ගන්න එකේ අගයක්වත් ඒ ගැන උඅන්දුවක්වත් අපිට තිබුනෙත් නෑ ඒ ගැන අපිට කියල දෙන්ට කවුරුවත් හිටියෙත් නෑ. "
කතාවට සවන් දෙන අතරම ඔහුගේ වයස කොපමණ වෙත්දැයි අනුමාන කිරීමට මම උත්සාහ කලෙමි. කෙසඟ උස් වූ සිරුර, හකුඇට පෑදීගිය මුහුණ සහ රළුවූ කටහඬ අනුව ඔහු වයස හතළිහක් හෝ ඒ ආසන්නයේ පසුවන බව මම උපකල්පනය කළෙමි.පසුව ඔහු පැවසූ සිද්ධීන් අනුව ඔහුගේ වයස හතළිහකට නොව තිස්පහක් පමණ විය හැකිබවට මම තීරණය කළෙමි.
" පන්තියෙ මගෙ හොඳම යාලුව විජේසූරිය. ඉස්කෝලෙං අස් වනවත් එක්කම විජේසූරිය ගියා එයාගෙ මාමණ්ඩිලගෙ ගෙදර…. අරලගංවිල "
" කොහෙ කිව්ව??..... අරලගංවිල?? "
කොතෙකුත් ඇදහැලෙන අධික වර්ෂාවෙහි අනවතර ඝෝෂාව නිසා ඉදිරියට නැවී කනප්පුව මත දෙවැළමිටි රඳවා ඒ මත වාරුකොටගත් මුහුණින් යුතුව ඔහුගේ කථාවට සවන්දෙමින් හුන් මම සැණෙකින් විශ්මයපත්ව කෙළින් වෙමින් විචාලෙමි.
අරලගංවිල යනු එකල මා සේවය කරමින් හුන් ව්‍යාපෘති කාර්යාලයෙහි සිට කිලෝ මීටර දොළහක් හෝ පහළවක් පමණ නුදුරින් පිහිටි මහියංගන මාර්ගයට මායිම්වූ පැරණි ගම්මානයකි.එහෙත් ඒ පිළිබඳව සත්‍යය එනම් අරළගංවිල ප්‍රදේශය ගැන මම දන්නා බව හෙලිකලහොත් පවසන්නට සූදානම් වන කථාව පැවසීමට ඔහු පසුබට විය හැකි බව කල්පනා වූ බැවින් මම ඒ බව වසන් කළෙමි.
" ඔව්,,ඇයි මහත්තය දන්නවද අරලගංවිල? "
" ආ..නෑ..නෑ..මේ කලින් කවදාකවත් අහල පුරුදු නමක් නෙවෙයි,,ඒකයි එහෙම ඇහුවෙ…"
" විජේසූරියගෙ මාමගෙ තිබ්බ අක්කර ගානක කුඹුරු, ඒ එක්කම හේන්වැවිල්ලත් කලා. විජේ එහෙ ගියෙ මාමට උදව් වෙන්ට.මම අප්පච්චිගෙ ගොවිතැනට උදව් වීගෙන ගමට වෙලා හිටිය. ඔහොම ඉන්නකොට තමයි චේ ගුවේරා කලබලේ ආවෙ.මහත්තයට මතකද චේ ගුවේරා කලබලේ? "
හිස ඔසවා මදෙස බැලූ ඔහු කනප්පුව මතවූ බෝතලය ගෙන වීදුරුවෙහි අඩක් පමණ පුරවා ගත්තේය.
චේගුවේරා කලබලය යනුවෙන් අපේ වැඩිහිටියන් හැඳින්වූයේ 1971 වසරේ අප්‍රේල් මස එවකට රට පාලනය කල සමගි පෙරමුණු රජයට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ විසින් මෙහෙයවුණු ආයුධ සන්නද්ධ අරගලයයි. එවකට ළමා වියේ පසුවූමුත් එවන් බිහිසුණු අත්දැකීමක් ළමා මනසෙහි ඇතිකරන බලපෑම කොතෙක්ද යන්නට නිදසුන් ලෙස මෙන් දෝ අදටද මා සිතෙහි එකල දුටු දසුන් නොමැකෙන සේ සටහන් වී ඇත.
" ඔව් මට මතකයි. මම එතකොට බොහොම පොඩියි. ඒත් මට අද අද වාගෙ මතකයි…"
" ඒ වෙනකොට මට වයස විස්සක් වගෙ ඇති. පොලිසියෙන් ඇවිල්ල ඒ වයසෙ කොල්ලො කෙල්ලො අල්ලගෙන යන්ට පටං ගත්ත නිසා මම ගියා ඒ කලබල මඟ ඇරෙනකල් කියල අරලගංවිල විජේ හිටපු දිහාට. එහෙ ගිහිල්ල විජේලගෙ මාමගෙ ගෙදර නැවතුන. මාමගෙ තිබ්බ මැණිකෙ ඇල ඉහත්තාවෙ මහ විසාල හේනක්. විජෙයි මායි තමයි මහත්තය ඔය හේන බලාගත්තෙ. අපි දෙන්න වැඩිපුරම හිටියෙ ඔය කැලේ මැද හේනෙ. සමහර වෙලාවට සුමානෙ දෙක අපි එහෙට වෙලා ඉන්නව. පුදුම සතුටකින් අපි එහෙ හිටියෙ ඒ මුල් කාලෙ. ඒත් ඒ සන්තෝසෙ තිබ්බෙ බොහොම කෙටි කාලයයි. "
ඒ සමඟම මහ හඬින් පුපුරාගිය අකුණක ගර්ජනයත් සමඟම අවන්හලෙහි සියළු විදුලි පහන් සැණෙකින් නිවී ගියේය. මත්පැන් බෝතලය අතට ගෙන වීදුරුවට මත්පැන් පුරවමින් හුන් මම සීරුවෙන් බෝතලය යලි කනප්පුව මත තබා වීදුරුවද ප්‍රවේශමෙන් කනප්පුව මැදට කලෙමි. අඩ අඳුරේ ගතවූ මිනිත්තු කිහිපයකට පසු කුඩා පීරිසි වල සවිකල දැල්වූ ඉටිපන්දම බැගින් ගෙන ආ අප්පුහාමි ඒවා ගනුදෙනු කරුවන් අසුන්ගෙන හුන් කනප්පු මත තැබීය.
" ඒ අකුණ ගහපු විදිහට ආයම සෑහෙන වෙලාවකට ලයිට් එන එකක් නෑ වගේ. නුවර ටවුමටම ලයිට් ගිහිල්ල කියලයි කියන්නෙ. "
විදුලි බලය ඇණසිටින විට පුරවමින් හුන් මත්පැන් වඩිය ගිල දැමූ මම කථාව යළි ඇරඹනතෙක් ඔහුගේ ඉටිපන්දම් එලියෙන් දිලිසෙන දෑස දෙස බලා සිටියෙමි.
" අපි හිටපු හේනට අල්ලපු බූටෑව කොටාගෙන පැලක් අටවගෙන පදිංචියට ආව හිඟුරක්ගොඩ පැත්තෙ කට්ටියක්. මිනිහයි ගෑනියි දුවයි..දුවට ඇති අවුරුදු දහතක් තරමෙ. එච්චර හැඩකුත් නෑ. කලුයි. කෙට්ටුයි. ඒත් ඒකිගෙ ඇස් දෙක තමයි මහත්තය ඇස් දෙක. මම තවම දැකල නෑ එහෙම ඇස් දෙකක්. අපි වගෙ හය හතර නොදන්න කොල්ලො නෙවෙයි තලත්තෑනි පිරිමි උනත් දැපනෙ වැටෙනව ඒ ඇස් දෙකට. ඒ කෙල්ලගෙ නම සුමනාවති. සුමන එහෙට ඇවිල්ල සුමාන දෙකක් යන්ට ඉස්සර මා එක්ක හිතවත් උනා. මම ඒකිට ආදරේ කලේ මගෙ පපුව පතුලෙන්මයි. "
" මහත්තය තුනට දහයයි..බාර් එක වහන්ට යන්නෙ...ගන්න දෙයක් දැන්ම ගන්ට. අනික කෑම ඕනෙ නං ඕඩර් කරන්ටත් වෙයි. "
අප අසලට පැමිණි අප්පුහාමිගේ පැවසූයේ කනප්පුව මත වූ හිස් බෝතලය සුරතට ගනිමිනි.
නගර සභාවෙහි මත්පැන් වෙළඳාම් නීතිරීති සහ රෙගුලාසි අනුව මහනුවර නගරයෙහි සියළු සුරාසල් එකල සවස තුනට වසා දැමිය යුතුය. වත්මනෙහිද මේ රෙගුලාසි එලෙසම ක්‍රියාත්මක වන්නේදැයි මම නොදනිමි. සවස තුනට පෙර මිලදීගත් මත්පැන් ඉදිරිපස ප්‍රධාන දොර වැසූ අවන්හල තුල හිඳ පානය කිරීමෙහි කිසිදු තහනමක් නොවීය.
" අප්පුහාමි තව දෙසීයක් ගේන්න. ෆ්‍රයිඩ් රයිස් දෙකකුත් ඕඩර් කරන්න."
කෑමක් හෝ බිමක් ඇණවුම් කිරීමෙහිදී අනෙකුත් අයගේ කැමැත්තද විමසීම සදාචාර සම්පන්න වුවද කථාවට සවන් දීමේ දැඩි උනන්දුව නිසාම මම ප්‍රාංශු දේහධාරියාගෙන් නොවිමසාම එසේ ඇණවුම් කලෙමි.
" ඔහොම මාසයක් දෙකක් යනකොට මට තේරුණ මහත්තය සුමනගෙ වෙනසක්. ගෑණි මාව මඟ අරින්ට ගත්ත. ඒ අස්සෙ විජෙත් මට මූණ දෙන්නෙ නැතුව වගෙ කියලත් මට හිතෙන්ට ගත්ත. මේ දෙන්න අතරෙ මොකක් හරි දෙයක් තියනව කියල මට සහසුද්දෙන්ම තේරුනාට පස්සෙ තවත් මේක හංගගෙන ඉන්නෙ මොකටද කියල දවසක් රෑ පැළේ මැස්ස උඩ ඉඳගෙන ඈත බලාගෙන උන්නු විජේ ඉස්සරහට ගිහිල්ල මම කෙලින්ම කතා කලා. "
අවසාන අරක්කු ස්වල්පය සමව වීදුරු දෙකට පිරවූ මම එක බත් පාර්සලයක් දිග හරින්නට වීමි.
" ඔය චුට්ට බොන ගමං බත් කමු. කාල ඉවරවෙලා කතාවෙ ඉතුරු හරිය...."
සවස හතරට ආසන්නව තිබූ හෙයින් අවන්හල තුල ඉතිරිව සිටියේ අප දෙදෙන හැරුණු කල තවත් ගණුදෙනු කරුවන් අතලොස්සක් පමණි.
බත් කෑමෙන් අනතුරුව අප්පුහාමිගෙන් සමුගත් අපි අවන්හල ඉදිරිපිට පඩි පෙල බැස කොටුගොඩැල්ල වීථියට පිවිසුණෙමු.
ඇදහැලුනු ධාරානිපාත වර්ෂාව මේ වනවිට නතරව තිබුණද තවමත් වරින්වර විදුලිය කොටමින් ඒ හා සමඟම උඩවත්ත කඳුවැටිය දෙසින් ගලාඑන අහස ගුගුරන හඬත් සමඟ පොද වැස්සක් සිරි සිරි හඬින් ඇද හැලෙයි. දළඳා වීදියෙහි පදික වේදිකාව ඔස්සේ අපි ඔරලෝසු කණුව දෙසට ඇවිද යන්න්ට වූයේ පොද වැස්ස කෙරෙහි කිසිදු තැකීමක් නොකරමිනි.
" විජේ උඹ මගෙ හොඳම යාලුව. ඒ යාලුකමට දැං අවුරුදු පහලවකට වැඩි මිසක් අඩු නෑ. ඒ නිසා මට ඇත්ත කියපං..විජේ මා දිහාවෙ බලල ආයේ අහක බලාගත්ත.මට කියපං..මේ මං දිහාවෙ කෙලිං බලපං..උඹගෙයි සුමනගෙයි මොකක් හරි ඇයි හොඳයියක් තියනවද?....."
" ඔව්...තියනව තමයි..උඹ මොකද ඉතිං කියන්නෙ? "
" මහත්තය විජේ එහෙම කිව්වම මට මගෙ කන් අදහාගන්ට බැරුව ගියා. මේ මගෙ පොඩි කාලෙ ඉඳල එකට කාපු බීපු යාලුවද මේ කතා කරන්නෙ කියල. "
" මට මොකද කියන්නෙ? උඹ හොඳටම දන්නව සුමනයි මායි අතරෙ තිබ්බ සම්බන්දෙ ගැන. එහෙම තියෙද්දි? "
" ඉතිං එහෙම තිබ්බයි කියල මොකද කියන්නෙ? සුමන මට කැමතියි මම සුමනට කැමතියි එච්චරයි. මට ඒ වෙලාවෙ උන්න මලා පේන්නෙ නැතුව ගියා මහත්තයො. ඒ ලඟම තිබ්බ මොකක්ද පොල්ලක් මම අතට ගත්ත. ඒ එක්කම විජේ නැඟිටල ඉනේ තිබ්බ දිග පිහියක් වගෙ මොකක්ද අතට ගත්ත. මට ඒ වෙලාවෙම තේරුනා මිනිහ සූදානං වෙලාම තමයි ඉඳල තියෙන්නෙ කියල. මම එක පාරටම අතේ තිබ්බ පොල්ලෙන් ගැහුව මිනිහගෙ අතට. ඒ එක්කම පිහිය වැටුන.මම පිහිය අරගෙන විජේගෙ බඩට ඇන්න. ඒ එක්කම මිනිහ පැත්තකට පැන්න නිසා පිහිපාර බඩ හරහට දිග කැපුම් පාරක් හිටිය. ඒ කැපුං පාරෙං ලේ ගලනව දැක්කම මට මේ ඔක්කොම එපා උනා මහත්තය. මොන කෙහෙල්මලකටද අපි මේ මරාගන්නෙ කියල අට හිතුන..විජේ කියන්නෙ මගෙ හොඳම යාලුව. ගෑණියෙක් හින්ද මම උගෙ ලේ හෙල්ලුවයි කියල හිතෙනකොටත් මට මං ගැනම මහ පිළිකුලක් දැනුන. "
" මම එහෙම්මම පිහිය අතඇරල ආපහු හැරුන. මම ආපහු ගමේ යනව බං...මට මේ මොකවත් ඕන නෑ..එහෙම කියල මම පැලෙන් එලියට බැස්ස. "
පොද වැස්ස අතරින් මේ වනවිට අප ඔරලෝසු කණුව අසල බස් නැවතුම්පල වෙත පැමිණ සිටියෙමු. වේලාව සවස පහ පසුවී හෝ නොතිබුණද වැහි අඳුර හේතුකොටගෙන වීථි ලාම්පු දැල්වෙමින් තිබිණ. දොරගමුව බලායන බස් රථ පිටත්වන බස් නැවතුම්පලට අප ලඟා වුනෙමු.
" හරි එහෙනම් මම යන්නං..මම යන්නෙ කඩුගන්නාව බස් එකේ. පල්ලෙහා ගුඩ්ෂෙඩ් ස්ටෑන්ඩ් එකට යන්ට ඕන. "
මම ප්‍රාංශු දේහධාරියාගේ සුරත අල්ලාගනිමින් පැසසූයෙමි.
" ආ...මෙච්චරවෙලා කතා කලා..මට නම අහන්ටත් බැරිඋනානෙ...ඇත්තටම මොකක්ද ඔහෙගෙ නම? "
තම තියුණු දෑස් එක එල්ලේ මා දෙස යොමු කොට ඔහු මොහොතක් මදෙස බලා සිටියේය.
" මහත්තය කලින් මගෙං නම අහපු නැති එක හොඳයි. එහෙම ඇහුවත් මම කියන එකකුත් නෑ."
එසේ පැවසූ ප්‍රාංශු දේහධාරියා හැඳහුන් කමිසයේ බොත්තම් ගලවා තම පපුව ප්‍රදේශය නිරාවරණය කලේය. ඔහුගෙ බඩ හරහා දිගටම පිහිටි කැපුම් පහරකි. දෑස් හයාගත්වනම මම ඒ දෙසම බලා සිටියේ කිසිවත් පවසාගත නුහුණු බැවිනි.
" එතකොට මේ..මේ...මේ.."
අවසන මම ආයාසයෙන් පවසා ගතිමි. ප්‍රාංශු දේහධාරියා කිසිදු කලබලයකින් තොරව නිවීහැනේ කමිසයෙහි බොත්තම් පියවමින් කථා කලේය.
" ඔව් මහත්තය..මම තමයි විජේ...බිම වැටිච්චි පිහිය අරගෙන පොඩි කාලෙ ඉඳල එකට හිටිය මගෙ හොඳම යාලුවට පිහියෙන් ඇනල මරපු විජේ තමයි මම. මම අවුරුදු පහළවක් හිරේට ගියා. බෝගම්බර ඉඳල අද උදේ තමයි නිදහස් උනේ... "
************************************************
අහම්බෙන් ජීවිතයේ එක් වරක් පමණක් හමුවී සදහටම වෙන්ව ගියද ජීවිතයට කිසිදා නොමැකෙන සිහිවටන එක්කරන පුද්ගලයින් ඔබටද හමුවී ඇත්දැයි මම නොදනිමි. එහෙත් මගේ ජීවිතයෙහිදී මට හමුවූ එවන් සුවිශේෂී පුද්ගලයෙකු පිළිබඳව මගේ මතකය මෙසේ සටහන් කළෙමි.