Showing posts with label කෙටි කථා. Show all posts
Showing posts with label කෙටි කථා. Show all posts

Friday, September 7, 2018

606. රළ බිඳෙන තැන……Where Waves Break….

Image From Face Book

රළ බිඳෙන තැන..

ඔව්...මම මේ යන්නෙ රළ බිඳෙන තැනට…

අපි මුලින්ම හමුවුනේ එතන.

එදත් වෙනසක් නැතුව රළ බිඳුනා. බොහෝ විට මට හිතෙන්නෙ අපිට එදා සුවිශේෂී දවසක් උනාට බිඳෙන රළ වලට එදා වෙනදා වගේම ඉතාම සාමාන්‍ය දවසක් වෙන්න ඇති....

අපි වෙරළෙ රූස්ස පොල් ගහක් යට ඉඳගෙන අත්පටලාගෙන රළ බිඳෙන හඬ අහගෙන හිටිය..

ඒ අවුරුදු හතකට වගෙ ඉස්සර...

අවුරුදු හතරකට වගෙ ඉස්සර අපි දෙන්න ආයම රළ බිඳෙන තැනට ගියා. 

ඒත් ඒ අත් පටලාගෙන නෙවෙයි.. 

ඔයාගෙ වමතෙයි මගෙ දකුණු අතෙයි සිඟිති අත් දෙකක ඇඟිලි පැටලිලා තිබුනා. බොහොම හෙමිහිට අපි ගිහිල්ල ආයම අර අවුරුදු හතකට කලින් ඉඳගත්ත පොල් ගහ යටම ඉඳගත්ත.

ඊට පස්සෙ අර සිඟිති දෙපා මුළුවසං වැල්ල පුරා දුවන දිහා අපි දෙන්න සිනාමුසු මුහුණින් බලා හිටිය. 


ඊටත් පස්සෙ දිග සුසුමක් හෙලල ඔයා මගෙ උරහිසට ඔලුව තියා ගත්ත.

"මේ තරම් ජීවිතේ ප්‍රීතිමත් වෙන එකට මට හරිම බයක් වගෙ දැනෙනව…" ඔයා මගෙ කණට කෙඳුරුව.

"ඒ මොකද?" මම යම්තමට ඔලුව හරවල ඔයා දිහා ඇස් කොණකින් බලල ඇහුව.

"අපෙ අත්තම්ම ඒ දවස්වල නිතරම කිව්ව ජීවිතේ අපි පතන හැම දෙයක්මඒ විදිහටම ඉෂ්ඨ වෙන එක  ඒ තරම් හොඳ දෙයක් නෙවෙයි කියල…."

"හ්ම්ම්ම්ම්......ඒකත් එහෙමද?" ඒ වෙලාවෙ උත්තරයක් කියල මගෙ හිතට ආවෙ එච්චරමයි..

මොන පිස්සුද? විකාර කියවන්ට එපා අනේ...ඒ වගෙ කිසිම දෙයක් මගෙ ඔලුවට ඒ වෙලාවෙ ආවෙ නැත්තෙ මොකද කියල මට අදත් හිතා ගන්න බෑ..

ඔබ නැතුව උනත් තවමත් එතැන රළ බිඳෙයි,
පුරා සඳ   සිතිජයේ එදා  වාගේම නැඟෙයි.
රතු රෝස මල තබා රළ බිඳෙන ඉම් තෙරේ, 
ඔබට යලි සමු දුනිමි නෙතඟ කඳුලක් නැඟෙයි,

සටහන - රළ බිඳෙන තැන යන නමින්  අවුරුදු විස්සකට වගෙ කලින් ටෙලි චිත්‍රපටයක්  විකාශනය වුනා...ඉතාම අපූරු රඟපෑම් සහ කතා පුවතක් අඩංගු මම ඉතාම කැමති  නිර්මාණයක්. ප්‍රධාන චරිත වලට පණ දුන්නෙ මහේන්ද්‍ර පෙරේරා, චාන්දනී සෙනෙවිරත්න සහ විශ්වජිත් ගුණසේකර...

Friday, October 3, 2014

282. අවන්හලක සැඳෑවක්…2

 

Google Images

අවන්හලක සැඳෑවක්....1

එක්වරම අනපේක්ෂිත ලෙස මගේ දකුණු පසින් නැඟුනු ලයිටරයක් දල්වන හඬ කණවැකුණු වහා මම ඒ දෙසට හිස හැරවීමි. මම මීට පළමු අසුන්ගෙන හුන් බරාඳයට පිවිසෙන දෙපළු ලී දොර අසල මුල්ලෙහි වූ කනප්පුවක් පසුපස අසුන්ගෙන හුන් ප්‍රාංශු දේහධාරී පුද්ගලයෙක් තම අසුනෙන් මඳක් ඉදිරියට නැඹුරුව අඩක් විවරවූ දොර පියන් අතරින් හමාඑන සීතල සුළඟෙහි ලෙළදෙන ගිණිසිලක් සහිතවූ ලයිටරයක් මා දෙසට දිගුකොටගෙන සිටියේය. 



නිරායාසයෙන්ම දෙතොලග රැඳි දුම්වැටියද සමඟ හිස, නිවීයාමට ආසන්නව එහෙත් විවරවූ දොරපළු අතරින් හමා එන සීතල සුළඟ සමඟ පණ රැක ගැන්මට නිරර්ථක සටනක යෙදෙන ගිණි සිලෙන් යුතු ලයිටරය දෙසට පහත්වුවද අවසන් තත්පරයෙහිදී මම යලි හිස මඳක් ඔසවා ඔහුගේ මුහුණ දෙස මොහොතක් එක එල්ලේ බලා සිටියෙමි. 



මම එසේ මඳක් පසුබට වූයේ අවන්හල්හි හුදකලාව මත්පැන් පානයෙහිදී සමහරවිට මෙලෙස අනාරාධිතවම යම් උපකාරයක් කොට හිතවත්ව පසුව තම සැඟවුනු න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කරනු වස් උත්සාහ ගන්නා පුද්ගලයින් හා සම්බන්ධ මගේ පෞද්ගලික අත්දැකීම් නොමැති වුවද එවැන්නන් පිලිබඳව මම කොතෙකුත් අසා පුරුදු හෙයිනි. එවැන්නන් බැලූ බැල්මට හඳුනාගත නොහැකි බැවින් ප්‍රසිද්ධ අවන්හලක මත්පැන් පානයෙහිදී නාඳුනන්නන් සමඟ අවම වශයෙන් වචන කිහිපයක කතාබහක හෝ නිරතවීමට පළමු ඒ පිළිබඳව දෙවරක් සිතීම මගේ පිළිවෙත විය. 

මා ඔහුගෙ දෑස දෙස එක එල්ලේ බලා සිටියදී ඒ ප්‍රාංශු දේහධාරියා ද ඇසිපිය නොසලා මදෙස බලා සිටියේය. තව දුරටත් එසේ පසුවිය නොහැකි කල මම හිස පහත්කොට දුම්වැටිය දල්වා ගතිමි. ඉක්බිති දුම්වැටිය සුරතට ගෙන ඔහු දෙස බලා සිනහසුණෙමි. 

" බොහොම ස්තූතියි. " 

මගේ ස්තූතිය ඔහු පිළිගත්තේ මඳක් හිස ඉදිරියට නැවීමෙනි. ඒ හැර කිසිදු වදනක් තෙපලීමක් හෝ අවම තරමින් සිනහවක් හෝ ඔහු කෙරෙන් විද්‍යාමාන නොවීය. ප්‍රාංශුදේහධාරියාගේ මේ උදක්ම අවිචාර සම්පන්න හැසිරීම වෙනත් ඕනෑම අවස්ථාවක මසිත නොමනාපයක් ඉපිදවීමෙහි සමත්වනවාට නිසැක වුවද යථෝක්ත මොහොතේ මසිත හටගත්තේ නොමනාපයක් නොව මහත් සැනසීමෙකි. 

නාඳුනන්නකු හා සාමීචියෙහි යෙදීමට වඩා උදක්ම මට ඇවැසි වූයේ එදින මිලදීගත් කථාවෙහි රස විඳීමටය.එබැවින්වැඩිමනත් භජනයකට පොරොත්තු නොවී මම පොත වෙත නැඹුරු වූයෙමි. 

කොතෙකුත් ගෙල නවාගත්වනම පොතක් කියවීම කිසිසේත් සුකර කාර්යයක් නම් නොවේමය. කුඩා අවධියේ සිටම ඇඳෙහි හෝ එසේත් නැතහොත් කුලිච්චම් අතුල කවිච්චියක දිගාවී පොත් කියවීමෙහිලා ඇබ්බැහීය හේතු කොටගෙන මට ඒ මහත් වෙහෙසක් ගෙන දෙන්නක් විය.මිනිත්තු පහළවකට පමණ පසු කියවමින් හුන් පිටුව නවා සළකුණු කොට පොත වසා කනප්පුව මත තබා කෙමෙන් උත්සන්න වෙමින් වේදනා ගෙන දෙන්නටවූ පිටිකර පෙදෙස වමතින් සෙමෙන් පිරිමදිමින් වේදනාව පිළිබිඹු වනසේ මුහුණ ද ඇඹුල් කොට ගනිමින් මම කොන්ද කෙළින් කොට ගනිමින් දිග ඇදුනෙමි. 

එසේ දිග ඇදෙමින්ම ගෙල සෙමින් දෙපසට හරවමින් වේදනාව සමනය කොටගනු වස් තැත් දැරූ මගේ දකුණු පස දුටු දසුනින් මොහොතක් පාෂාණිභූත වූයෙමි. 

සුරාසළෙහි බරාඳයට පිවිසෙනා පළු දෙකකින් සැදුම්ලත් සුවිසල් ද්වාරය අසල කනප්පුවක් පසුපස ප්‍රාංශු දේහ ධාරියා අසුන්ගෙන හුන් බව මම පැවසූබව ඔබට මතක ඇතැයි සිතමි. ඔහු මේ මොහොත වන විට දෑත් ළයමත බැඳගත්වනම පසුපසට බරවී තැනින් තැන් සායම් පතුරු ගැලවී කපරාරුව කඩතොලුවූ දුර්වර්ණ බිත්තියට බරවී සිටියේය.දෑස් තදින් පියාගත්වනම හිස සෙමෙන් ඉහළට සහ පහළට සොලවමින් ඔහු යම් නොපැහැදිලි කිසිවක් තොල මතුරමින් සිටියේය. ඔහු ඉදිරියේ වූ කුඩා කනප්පුව මත වූයේ අඩකට මඳක් අඩුවෙන් මත්පැනින් පිරුණු අසෝක වීදුරුවකි. ඒ අසළම විවර කල සෝඩා බෝතලයකි. 

මා ඔහු දෙස විදහාගත් දෙනෙතින් යුතුව බලා සිටියදී එක වරම ප්‍රාංශු දේහධාරියාගේ දෙනෙත් විවර වූයේය. මොහොතක් හිස හරවා මදෙස බලාහුන් ඔහු ඉනික්බිති දෙතොල් මඳක් විවරකොට සිනහසුනි. පෙනුම බොහෝසේ රළු පරළු වූ, එසේම දුටු මනත සිතෙහි අපුලක් හෝ ජුගුප්සාවක් විනා පහන් හැඟුමක් කිසිසේත්ම හට නොගන්නා මිනිසුන් හෝ ගැහැණුන් ඔබ කොතෙකුත් දැක ඇතිවාට මට සැක නැත.එහෙත් එවන් අප්‍රියකර වූ මුහුණක සිනහවක් හට ගත් වහා එහි වූ අපුල ස්වභාවය එක පැහැර වෙනස්ව මනබඳිනා ස්වභාවයක් පළ කරනු ඔබ කිසිදා දැක තිබේද? 

ප්‍රාංශු දේහධාරියා ද එවන් පුද්ගලයෙකි. සිනහව ඔහුගේමුහුණ සහ පෙනුම එසැණින් වෙනස්කලේ අදහාගත නොහැකි අයුරිනි 

ඔහු දෙස බලා සිනාසුණු මම මත්පැන් ස්වල්පයක් වීදුරුවට හලා ගතිමි. ලයන් ලාගර් බීර බෝතලය අතට ගෙන එහි පත්ලේ ඉතිරිව ටිබුණු බීර ස්වල්පය වීදුරුවට හලා හිස හරවා සාලය සහ පිටත බරාඳය දෙස විපරම් කලේ අප්පුහාමි පෙනෙන තෙක් මානයක හිඳින්නේදැයි දැනගනු උදෙසාය. 

මා ඔහු පිළිබඳව විපරම් කරන බව ඔහුට පංචේන්ද්‍රිය ඉක්මවා යන යම් අතීන්ද්‍රිය ක්‍රමයකින් එසැණින් දැනගත හැකිදැයි මම නොදනිමි එහෙත් මවිසින් විපරම් කරනු ලබන සෑම විටකම පාහේ කොහේ හිඳ හෝ ප්‍රාදුර්භූත වන සුපුරුදු ලෙස අප්පහුහාමි මා ඉදිරියේ පෙනී සිටියේය. 

" අප්පුහාමි, තව ලයන් ලාගර් එකක්..කූල් නැතුව. " 

එසේ පවසමින් මම හිස් බෝතලය ඔහු වෙතට දිගු කලෙමි. 

" ඕකේ සර් " 

එසේ පවසමින් අප්පුහාමි බෝතලය ගත්තේ ප්‍රාංශු දේහ ධාරියාවෙත දෙබැම හකුළුවා ගනිමින් නොපහන් බැල්මක් හෙලමිනි. අවන්හල වෙත පැමිණෙන සමාජයේ පහළ යයි සම්මත ස්ථරයන්ට අයත් ගණුදෙනු කරුවන් පිළිබඳව ඔහු තුල කවදත් පැවතියේ නොමනාපයකි. 

" බ්ලඩි රාස්කල්ස්...අයි ඩෝන්ට් ලයික් දෙම්..නොට් වන් බිට්.." 

ඔහු මෙසේ මා හා පැවසූයේ වරක් හෝ දෙවරක් නොවේ. ඒ ඔහු දීර්ඝ කාලයක් සේවය කල සුදු ජාතිකයාගේ ආකල්ප ඇසුරින් වූ ඇබ්බැහියක් බවට සැකයක් නැත. සමාජ සමානාත්මතාවය පිළිබඳව අප්පුහාමිට ඒක පුද්ගල දේශන පැවැත්වීම මම කාසල් අවන්හල වෙත යෑමේ පරමාර්ථය නොවන බැවින් මුවින් නොබැණ මම ඔහු දෙස බලා එවිට සිනාසුනෙමි. 

යලිදු එකවරම වැස්ස වැඩිවූයේ අවන්හල තුලටද සිහින් දුමාරයක් මෙන් වැසි බිඳිති පාව එන්නට විය. වරක් හිස ඔසවා බැලූ මම ඒ ගෙබිම පුරා පතිතවන පින්න ගණනකට නොගෙන යලි පොතෙහි හිස ඔබා ගත්තේ අමරසේකර මහතාගේ ලිවීම මාසිත ඒසා වශීකෘත කොට තිබුණු බැවිනි. 

" ගුණදාස අමරසේකරගේ මහත්තයගෙ පොත් වලට මමත් හරිම කැමතියි. " 

ප්‍රාංශු දේහධාරියගේ එවදන් මසිත දැහැණින් මුදවාලීය. 

ඒ වදන් හොඳින් ඇසුණු නමුදු මම තවත් මොහොතක් පොත දෙසම බලා හිඳ සෙමින් හිස හරවා ඔහු දෙස බැලූයෙමි. 

" මොකක්ද කිව්වෙ? " 

" නෑ..මම මේ කිව්වෙ ගුණදාස අමරසේකර මහත්තයගෙ පොත් වලට මමත් බොහොම කැමතියි කියල " 

ඉක්බිති ගුණදාස අමරසේකර මහතාගේ පොත් පිළිබඳව ඔහු සහ මා අතර පැවති සාකච්ඡාවෙහි සියළු විස්තර ඔබ හමුවේ තබා මේ සටහන සාහිත්‍ය විචාරයක් කරනු මම නොකැමැත්තෙමි.එමතුදු ඔබ අවම වශයෙන් අද දින හෝ මේ කථාවෙහි අවසානයක් දකිනු රිසි බවද මම හොඳහැටි දන්නෙමි.එසේ හෙයින් ඒ සාහිත්‍යය සාකච්ඡාවෙහි විස්තර පසෙක තබා ඉන් අනතුරුව සිදුවූව ඔබට පැවසීමට මට අවසර, 

අවන්හල්හිදී හමුවන නාඳුනන්නන් හා මිත්‍ර සමාගම් පැවැත්වීමෙහි ලා මසිත කොතරම් අකමැතිවුවද ඒ හා සමානව මා මෙන්ම පොත් පිළිබඳව රුචියක් දක්වන්නන් හා සමඟ ප්‍රිය සමාගමයෙහි යෙදීමටද මසිතෙහි රුචියක් පවතී. එසේ හෙයින් වීදුරුවෙහි වූ අවසාන මත්පැන් ස්වල්පය මුවෙහි හලාගත් මම මුහුණ ඇඹුල්කොටගෙන ඔහු ඇමතීමි. 

" අකමැත්තක් නැත්තං එන්න මෙතෙන්ට …" 

ඉදිරියේවූ අනෙක් පුටුව පෙන්වා මම ඔහුට පැවසුවෙමි. 

" හරි ප්‍රශ්නයක් නෑ.." 

එසේ පවසමින් ඔහු බිත්තිය පාමුල තිබූ රෙදි උරයක්ද සුරතට ගෙන වමතින් කනප්පුව මතවූ වීදුරුවද ගෙන නැඟී සිටියේය. 


" අප්පුහාමි.........." 

මඳක් ඔබ්බෙන් තවත් ගණුදෙනුකරුවකුගේ ඇණවුම නෝට් පොතෙහි සටහන් කොටගෙන බාරය වෙත යන්නට හැරුණු අප්පුහාමි අමතා මම ඔහුට සංඥා කලෙමි. 

" ඕල්ඩ් හොඳයි නේද? " 

එවර මම ඇසූයේ මා ඉදිරියෙහි අසුන්ගෙන හුන් ප්‍රංශු දේහධාරියාගෙනි.. 

" කමක් නෑ. " 

" හරි අප්පුහාමි ඕල්ඩ් හාෆ් එකක්, සෝඩා බෝතලයක්. හුරුල්ලො දෙන්නෙක්...ගෝල්ඩ් ලීෆ් තුනක්…" 

ප්‍රංශු දේහධාරියා දෙස නොපහන් බැල්මක් හෙලූ අප්පුහාමි සෘජු කොටගත් කයින් යුතුව නික්ම ගියේය. 

" මිනිහ කැමති නෑ මට.." 

ප්‍රාංශු දේහධාරියාගේ දෙතොලග නැඟුනේ සෝපහාස මඳ සිනහවකි. 

ඒක ගණං ගන්න එපා අයිසෙ ඉතිං අපිට මොකද? එසේ වදනින් නොපැවසූවද එලෙස හැඟී යන අයුරු මම සුරත ඔසවා සන් කලෙමි. 

" ඔව්ව ගණං ගන්නෙ කවුද මහත්තය ජීවිතේ මම මූණ දීල තියෙන දේවල්වල හැටියට ඔව්ව බොහොම සුළු දේවල්. " 

ඔහුගේ රළු දෑතට මැදිව වරක් වාමාවෘතවද වරක් දක්ෂිණාවෘතවද කරකැවෙන හිස් වීදුරුව දෙස මම බලා සිටියෙමි. 

" මගේ කතාව මහ අමුතුම එකක් මහත්තය. මම හතර පස් පාරක්ම උත්සාහ කලා මගෙ කතාව ලියන්ට. ඒත් මට ඒකට ගැම්මක් එන්නෙ නෑ..මහත්තය කතා ලියල නැද්ද?..

ඒ වනවිට මවිසින් ලියූ කෙටිකතා දෙකක් සතිඅන්ත පුවත්පතක පළවී තුබුණද ඒ බව ඔහුට පැවසීමට මම මැළි වූයෙමි. 

" ඔය කතා හත අටක්නම් ලියල තියනව.." 

කනප්පුව මතවූ පොත් කිහිපය එක මත එකක් වන සේ ගොඩ ගසමින් මම පැවසූයෙමි. 

ඇණවුම දෑතින් දරාගෙන අප්පුහාමි අප වෙත පැමිණියේ මේ අවස්ථාවේදීය.දැඩි නොපහන්බව මුහුණින් පලකරමින් නිහඬවම රැගෙන ආ කළමනා කනප්පුව මත තැබූ අප්පුහාමි මදෙස ක්ෂණික බැල්මක් හෙලා ආපහු හැරිණි. ඔහුදෙස ඉඟිමැරූ මම තොල සපාගෙන සිනහව වළක්වා ගැන්මට තැත් කළෙමි. ප්‍රාංශු දේහධාරියා අප්පුහාමි හා මා අතරවු මේ අභිනයෙන් වූ ගණුදෙනුව දෙස බලා සිටියේ දෑසින් සිනහසෙමිනි. 

" මම දොරගමුව කිට්ටුව… ' 

මවිසින් ඔහු අතට දුන් බෝතලය සුරතට ගනිමින් ඔහු පැවසීය. 

" අපෙ අප්පච්චිල ඒ හැටි සල්ලි කාරයො නෙවෙයි. ඒත් කරදරයක් නැතුව එදා වේල කාල හිටිය ගොවිතැන් කරල. දහයෙ පන්තියෙන් පස් සෙ මම ඉස්කෝල් යන එක නැවැත්තුව. ඒ දවස්වල ඉගෙන ගන්න එකේ අගයක්වත් ඒ ගැන උඅන්දුවක්වත් අපිට තිබුනෙත් නෑ ඒ ගැන අපිට කියල දෙන්ට කවුරුවත් හිටියෙත් නෑ. " 

කතාවට සවන් දෙන අතරම ඔහුගේ වයස කොපමණ වෙත්දැයි අනුමාන කිරීමට මම උත්සාහ කලෙමි. කෙසඟ උස් වූ සිරුර, හකුඇට පෑදීගිය මුහුණ සහ රළුවූ කටහඬ අනුව ඔහු වයස හතළිහක් හෝ ඒ ආසන්නයේ පසුවන බව මම උපකල්පනය කළෙමි.පසුව ඔහු පැවසූ සිද්ධීන් අනුව ඔහුගේ වයස හතළිහකට නොව තිස්පහක් පමණ විය හැකිබවට මම තීරණය කළෙමි. 

" පන්තියෙ මගෙ හොඳම යාලුව විජේසූරිය. ඉස්කෝලෙං අස් වනවත් එක්කම විජේසූරිය ගියා එයාගෙ මාමණ්ඩිලගෙ ගෙදර…. අරලගංවිල " 

" කොහෙ කිව්ව??..... අරලගංවිල?? " 

කොතෙකුත් ඇදහැලෙන අධික වර්ෂාවෙහි අනවතර ඝෝෂාව නිසා ඉදිරියට නැවී කනප්පුව මත දෙවැළමිටි රඳවා ඒ මත වාරුකොටගත් මුහුණින් යුතුව ඔහුගේ කථාවට සවන්දෙමින් හුන් මම සැණෙකින් විශ්මයපත්ව කෙළින් වෙමින් විචාලෙමි. 

අරලගංවිල යනු එකල මා සේවය කරමින් හුන් ව්‍යාපෘති කාර්යාලයෙහි සිට කිලෝ මීටර දොළහක් හෝ පහළවක් පමණ නුදුරින් පිහිටි මහියංගන මාර්ගයට මායිම්වූ පැරණි ගම්මානයකි.එහෙත් ඒ පිළිබඳව සත්‍යය එනම් අරළගංවිල ප්‍රදේශය ගැන මම දන්නා බව හෙලිකලහොත් පවසන්නට සූදානම් වන කථාව පැවසීමට ඔහු පසුබට විය හැකි බව කල්පනා වූ බැවින් මම ඒ බව වසන් කළෙමි.

" ඔව්,,ඇයි මහත්තය දන්නවද අරලගංවිල? "

" ආ..නෑ..නෑ..මේ කලින් කවදාකවත් අහල පුරුදු නමක් නෙවෙයි,,ඒකයි එහෙම ඇහුවෙ…" 

" විජේසූරියගෙ මාමගෙ තිබ්බ අක්කර ගානක කුඹුරු, ඒ එක්කම හේන්වැවිල්ලත් කලා. විජේ එහෙ ගියෙ මාමට උදව් වෙන්ට.මම අප්පච්චිගෙ ගොවිතැනට උදව් වීගෙන ගමට වෙලා හිටිය. ඔහොම ඉන්නකොට තමයි චේ ගුවේරා කලබලේ ආවෙ.මහත්තයට මතකද චේ ගුවේරා කලබලේ? " 

හිස ඔසවා මදෙස බැලූ ඔහු කනප්පුව මතවූ බෝතලය ගෙන වීදුරුවෙහි අඩක් පමණ පුරවා ගත්තේය. 

චේගුවේරා කලබලය යනුවෙන් අපේ වැඩිහිටියන් හැඳින්වූයේ 1971 වසරේ අප්‍රේල් මස එවකට රට පාලනය කල සමගි පෙරමුණු රජයට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ විසින් මෙහෙයවුණු ආයුධ සන්නද්ධ අරගලයයි. එවකට ළමා වියේ පසුවූමුත් එවන් බිහිසුණු අත්දැකීමක් ළමා මනසෙහි ඇතිකරන බලපෑම කොතෙක්ද යන්නට නිදසුන් ලෙස මෙන් දෝ අදටද මා සිතෙහි එකල දුටු දසුන් නොමැකෙන සේ සටහන් වී ඇත. 

" ඔව් මට මතකයි. මම එතකොට බොහොම පොඩියි. ඒත් මට අද අද වාගෙ මතකයි…" 

" ඒ වෙනකොට මට වයස විස්සක් වගෙ ඇති. පොලිසියෙන් ඇවිල්ල ඒ වයසෙ කොල්ලො කෙල්ලො අල්ලගෙන යන්ට පටං ගත්ත නිසා මම ගියා ඒ කලබල මඟ ඇරෙනකල් කියල අරලගංවිල විජේ හිටපු දිහාට. එහෙ ගිහිල්ල විජේලගෙ මාමගෙ ගෙදර නැවතුන. මාමගෙ තිබ්බ මැණිකෙ ඇල ඉහත්තාවෙ මහ විසාල හේනක්. විජෙයි මායි තමයි මහත්තය ඔය හේන බලාගත්තෙ. අපි දෙන්න වැඩිපුරම හිටියෙ ඔය කැලේ මැද හේනෙ. සමහර වෙලාවට සුමානෙ දෙක අපි එහෙට වෙලා ඉන්නව. පුදුම සතුටකින් අපි එහෙ හිටියෙ ඒ මුල් කාලෙ. ඒත් ඒ සන්තෝසෙ තිබ්බෙ බොහොම කෙටි කාලයයි. " 

ඒ සමඟම මහ හඬින් පුපුරාගිය අකුණක ගර්ජනයත් සමඟම අවන්හලෙහි සියළු විදුලි පහන් සැණෙකින් නිවී ගියේය. මත්පැන් බෝතලය අතට ගෙන වීදුරුවට මත්පැන් පුරවමින් හුන් මම සීරුවෙන් බෝතලය යලි කනප්පුව මත තබා වීදුරුවද ප්‍රවේශමෙන් කනප්පුව මැදට කලෙමි. අඩ අඳුරේ ගතවූ මිනිත්තු කිහිපයකට පසු කුඩා පීරිසි වල සවිකල දැල්වූ ඉටිපන්දම බැගින් ගෙන ආ අප්පුහාමි ඒවා ගනුදෙනු කරුවන් අසුන්ගෙන හුන් කනප්පු මත තැබීය. 

" ඒ අකුණ ගහපු විදිහට ආයම සෑහෙන වෙලාවකට ලයිට් එන එකක් නෑ වගේ. නුවර ටවුමටම ලයිට් ගිහිල්ල කියලයි කියන්නෙ. " 

විදුලි බලය ඇණසිටින විට පුරවමින් හුන් මත්පැන් වඩිය ගිල දැමූ මම කථාව යළි ඇරඹනතෙක් ඔහුගේ ඉටිපන්දම් එලියෙන් දිලිසෙන දෑස දෙස බලා සිටියෙමි. 

" අපි හිටපු හේනට අල්ලපු බූටෑව කොටාගෙන පැලක් අටවගෙන පදිංචියට ආව හිඟුරක්ගොඩ පැත්තෙ කට්ටියක්. මිනිහයි ගෑනියි දුවයි..දුවට ඇති අවුරුදු දහතක් තරමෙ. එච්චර හැඩකුත් නෑ. කලුයි. කෙට්ටුයි. ඒත් ඒකිගෙ ඇස් දෙක තමයි මහත්තය ඇස් දෙක. මම තවම දැකල නෑ එහෙම ඇස් දෙකක්. අපි වගෙ හය හතර නොදන්න කොල්ලො නෙවෙයි තලත්තෑනි පිරිමි උනත් දැපනෙ වැටෙනව ඒ ඇස් දෙකට. ඒ කෙල්ලගෙ නම සුමනාවති. සුමන එහෙට ඇවිල්ල සුමාන දෙකක් යන්ට ඉස්සර මා එක්ක හිතවත් උනා. මම ඒකිට ආදරේ කලේ මගෙ පපුව පතුලෙන්මයි. " 

" මහත්තය තුනට දහයයි..බාර් එක වහන්ට යන්නෙ...ගන්න දෙයක් දැන්ම ගන්ට. අනික කෑම ඕනෙ නං ඕඩර් කරන්ටත් වෙයි. " 

අප අසලට පැමිණි අප්පුහාමිගේ පැවසූයේ කනප්පුව මත වූ හිස් බෝතලය සුරතට ගනිමිනි.

නගර සභාවෙහි මත්පැන් වෙළඳාම් නීතිරීති සහ රෙගුලාසි අනුව මහනුවර නගරයෙහි සියළු සුරාසල් එකල සවස තුනට වසා දැමිය යුතුය. වත්මනෙහිද මේ රෙගුලාසි එලෙසම ක්‍රියාත්මක වන්නේදැයි මම නොදනිමි. සවස තුනට පෙර මිලදීගත් මත්පැන් ඉදිරිපස ප්‍රධාන දොර වැසූ අවන්හල තුල හිඳ පානය කිරීමෙහි කිසිදු තහනමක් නොවීය.

" අප්පුහාමි තව දෙසීයක් ගේන්න. ෆ්‍රයිඩ් රයිස් දෙකකුත් ඕඩර් කරන්න."

කෑමක් හෝ බිමක් ඇණවුම් කිරීමෙහිදී අනෙකුත් අයගේ කැමැත්තද විමසීම සදාචාර සම්පන්න වුවද කථාවට සවන් දීමේ දැඩි උනන්දුව නිසාම මම ප්‍රාංශු දේහධාරියාගෙන් නොවිමසාම එසේ ඇණවුම් කලෙමි. 

" ඔහොම මාසයක් දෙකක් යනකොට මට තේරුණ මහත්තය සුමනගෙ වෙනසක්. ගෑණි මාව මඟ අරින්ට ගත්ත. ඒ අස්සෙ විජෙත් මට මූණ දෙන්නෙ නැතුව වගෙ කියලත් මට හිතෙන්ට ගත්ත. මේ දෙන්න අතරෙ මොකක් හරි දෙයක් තියනව කියල මට සහසුද්දෙන්ම තේරුනාට පස්සෙ තවත් මේක හංගගෙන ඉන්නෙ මොකටද කියල දවසක් රෑ පැළේ මැස්ස උඩ ඉඳගෙන ඈත බලාගෙන උන්නු විජේ ඉස්සරහට ගිහිල්ල මම කෙලින්ම කතා කලා.

අවසාන අරක්කු ස්වල්පය සමව වීදුරු දෙකට පිරවූ මම එක බත් පාර්සලයක් දිග හරින්නට වීමි. 

" ඔය චුට්ට බොන ගමං බත් කමු. කාල ඉවරවෙලා කතාවෙ ඉතුරු හරිය...." 

සවස හතරට ආසන්නව තිබූ හෙයින් අවන්හල තුල ඉතිරිව සිටියේ අප දෙදෙන හැරුණු කල තවත් ගණුදෙනු කරුවන් අතලොස්සක් පමණි. 

බත් කෑමෙන් අනතුරුව අප්පුහාමිගෙන් සමුගත් අපි අවන්හල ඉදිරිපිට පඩි පෙල බැස කොටුගොඩැල්ල වීථියට පිවිසුණෙමු. 

ඇදහැලුනු ධාරානිපාත වර්ෂාව මේ වනවිට නතරව තිබුණද තවමත් වරින්වර විදුලිය කොටමින් ඒ හා සමඟම උඩවත්ත කඳුවැටිය දෙසින් ගලාඑන අහස ගුගුරන හඬත් සමඟ පොද වැස්සක් සිරි සිරි හඬින් ඇද හැලෙයි. දළඳා වීදියෙහි පදික වේදිකාව ඔස්සේ අපි ඔරලෝසු කණුව දෙසට ඇවිද යන්න්ට වූයේ පොද වැස්ස කෙරෙහි කිසිදු තැකීමක් නොකරමිනි. 

" විජේ උඹ මගෙ හොඳම යාලුව. ඒ යාලුකමට දැං අවුරුදු පහලවකට වැඩි මිසක් අඩු නෑ. ඒ නිසා මට ඇත්ත කියපං..විජේ මා දිහාවෙ බලල ආයේ අහක බලාගත්ත.මට කියපං..මේ මං දිහාවෙ කෙලිං බලපං..උඹගෙයි සුමනගෙයි මොකක් හරි ඇයි හොඳයියක් තියනවද?....." 

" ඔව්...තියනව තමයි..උඹ මොකද ඉතිං කියන්නෙ? " 

" මහත්තය විජේ එහෙම කිව්වම මට මගෙ කන් අදහාගන්ට බැරුව ගියා. මේ මගෙ පොඩි කාලෙ ඉඳල එකට කාපු බීපු යාලුවද මේ කතා කරන්නෙ කියල. " 

" මට මොකද කියන්නෙ? උඹ හොඳටම දන්නව සුමනයි මායි අතරෙ තිබ්බ සම්බන්දෙ ගැන. එහෙම තියෙද්දි? " 

" ඉතිං එහෙම තිබ්බයි කියල මොකද කියන්නෙ? සුමන මට කැමතියි මම සුමනට කැමතියි එච්චරයි. මට ඒ වෙලාවෙ උන්න මලා පේන්නෙ නැතුව ගියා මහත්තයො. ඒ ලඟම තිබ්බ මොකක්ද පොල්ලක් මම අතට ගත්ත. ඒ එක්කම විජේ නැඟිටල ඉනේ තිබ්බ දිග පිහියක් වගෙ මොකක්ද අතට ගත්ත. මට ඒ වෙලාවෙම තේරුනා මිනිහ සූදානං වෙලාම තමයි ඉඳල තියෙන්නෙ කියල. මම එක පාරටම අතේ තිබ්බ පොල්ලෙන් ගැහුව මිනිහගෙ අතට. ඒ එක්කම පිහිය වැටුන.මම පිහිය අරගෙන විජේගෙ බඩට ඇන්න. ඒ එක්කම මිනිහ පැත්තකට පැන්න නිසා පිහිපාර බඩ හරහට දිග කැපුම් පාරක් හිටිය. ඒ කැපුං පාරෙං ලේ ගලනව දැක්කම මට මේ ඔක්කොම එපා උනා මහත්තය. මොන කෙහෙල්මලකටද අපි මේ මරාගන්නෙ කියල අට හිතුන..විජේ කියන්නෙ මගෙ හොඳම යාලුව. ගෑණියෙක් හින්ද මම උගෙ ලේ හෙල්ලුවයි කියල හිතෙනකොටත් මට මං ගැනම මහ පිළිකුලක් දැනුන. " 

" මම එහෙම්මම පිහිය අතඇරල ආපහු හැරුන. මම ආපහු ගමේ යනව බං...මට මේ මොකවත් ඕන නෑ..එහෙම කියල මම පැලෙන් එලියට බැස්ස. " 

පොද වැස්ස අතරින් මේ වනවිට අප ඔරලෝසු කණුව අසල බස් නැවතුම්පල වෙත පැමිණ සිටියෙමු. වේලාව සවස පහ පසුවී හෝ නොතිබුණද වැහි අඳුර හේතුකොටගෙන වීථි ලාම්පු දැල්වෙමින් තිබිණ. දොරගමුව බලායන බස් රථ පිටත්වන බස් නැවතුම්පලට අප ලඟා වුනෙමු. 

" හරි එහෙනම් මම යන්නං..මම යන්නෙ කඩුගන්නාව බස් එකේ. පල්ලෙහා ගුඩ්ෂෙඩ් ස්ටෑන්ඩ් එකට යන්ට ඕන. " 

මම ප්‍රාංශු දේහධාරියාගේ සුරත අල්ලාගනිමින් පැසසූයෙමි. 

" ආ...මෙච්චරවෙලා කතා කලා..මට නම අහන්ටත් බැරිඋනානෙ...ඇත්තටම මොකක්ද ඔහෙගෙ නම?

තම තියුණු දෑස් එක එල්ලේ මා දෙස යොමු කොට ඔහු මොහොතක් මදෙස බලා සිටියේය. 

" මහත්තය කලින් මගෙං නම අහපු නැති එක හොඳයි. එහෙම ඇහුවත් මම කියන එකකුත් නෑ." 

එසේ පැවසූ ප්‍රාංශු දේහධාරියා හැඳහුන් කමිසයේ බොත්තම් ගලවා තම පපුව ප්‍රදේශය නිරාවරණය කලේය. ඔහුගෙ බඩ හරහා දිගටම පිහිටි කැපුම් පහරකි. දෑස් හයාගත්වනම මම ඒ දෙසම බලා සිටියේ කිසිවත් පවසාගත නුහුණු බැවිනි. 

" එතකොට මේ..මේ...මේ.." 

අවසන මම ආයාසයෙන් පවසා ගතිමි. ප්‍රාංශු දේහධාරියා කිසිදු කලබලයකින් තොරව නිවීහැනේ කමිසයෙහි බොත්තම් පියවමින් කථා කලේය. 

" ඔව් මහත්තය..මම තමයි විජේ...බිම වැටිච්චි පිහිය අරගෙන පොඩි කාලෙ ඉඳල එකට හිටිය මගෙ හොඳම යාලුවට පිහියෙන් ඇනල මරපු විජේ තමයි මම. මම අවුරුදු පහළවක් හිරේට ගියා. බෝගම්බර ඉඳල අද උදේ තමයි නිදහස් උනේ... " 

************************************************ 

අහම්බෙන් ජීවිතයේ එක් වරක් පමණක් හමුවී සදහටම වෙන්ව ගියද ජීවිතයට කිසිදා නොමැකෙන සිහිවටන එක්කරන පුද්ගලයින් ඔබටද හමුවී ඇත්දැයි මම නොදනිමි. එහෙත් මගේ ජීවිතයෙහිදී මට හමුවූ එවන් සුවිශේෂී පුද්ගලයෙකු පිළිබඳව මගේ මතකය මෙසේ සටහන් කළෙමි.

Wednesday, September 24, 2014

281. පොතක්, මහ වැස්සක් සහ අවන්හලක සැඳෑවක්...1

Google Images

මත්ලෝලීන්ගෙන් සපිරුණු ප්‍රසිද්ධ සුරාසලක් තුල පවත්නා නිරතුරු ගාලගෝට්ටියට වෙනත් සමකල හැක්කක් මම නොදනිමි. 

එවන් ස්ථානයක මත්පැන් පානය කොට පළපුරුදු ඇත්තෝ මා පවසන්න එක් පැහැර වටහාගන්නා බවට සැක නැත. එසේ නොමැත්තෝ අවම වශයෙන් කාර්ය බහුල හෝරාවක සුරාසලක් ඉදිරියෙන් ගමන් කොට හෝ ඇත්නම් ඔවුනටද මේ ඝෝෂාකාරිත්වය අමුත්තක් නොවනු ඇත. 

සුරාසලක් තුල පවත්නා ගාලගෝට්ටිය මත්ලෝලීන්ගේ සුරාමත ඉහළ යන්නා හාම ඊට අනුලෝමව සමානුපාතිකව ඉහළ යයි. ඒ සමඟම අනේක සංඛ්‍යාත දුම්වැටි දවා හළු කරමින් නිකුත්වන දුමාරය හතර අතින් ඇවුරුණු කුඩා ඉඩ ප්‍රමාණය තුල කැරලි ගැසෙනුයේ හැඳ සිටිනා ඇඳුම් ඇඟලුම් ආදියෙන් පවා අමිහිරි වූ කටුක ගන්ධයක් නිකුත් කරවමිනි. 

එතෙකුදු මත්ලෝලීහු මේ කිසිදු අපහසුවක වගේ වගක් නොමැතිව කුඩා රවුම් කනප්පු වටා හිඳ මහ හඬින් දොඩමින්, වරෙක කොක් හඬලා සිනහසෙමින් බදින ලද හුරුල්ලන්, තෙම්පරාදු කොටගත් තැම්බූ කඩල හෝ වෙනත් එවන් කටගැස්මක් වරින්වර සපමින් අසෝක වීදුරුවෙහි කට්ටය මට්ටමට පුරවා සෝඩා හෝ වෙනත් මිශ්‍රකයකින් තනුක කොටගත් අරක්කු ගිල දමන්නෝය. 

මේ අපූර්ව දසුන් නරඹමින් මුහුදෙහි රළ නඟන ඝෝෂාව මෙන් වරින්වර උස්ව නැඟෙමින් යලි බැසයන මත්ලෝලීන්ගේ ගාලගෝට්ටියට සවන් දෙමින් ප්‍රසිද්ධ සුරාසැලක අඩ අඳුරින් වැසුණු මුල්ලක හිඳ සෙමින් සෙමින් පරණ අරක්කු වීදුරුවක් හෝ පරණ අරක්කු මිශ්‍ර කල බීර තඹලේරුවක් තොල ගෑමට මම බොහෝ සේ ප්‍රිය කළෙමි. 

එතෙකුදු වුව සරණ බන්ධනයට ඇතුලත් වන්නාහාම මවිසින් කළයුතු වූ කැපකිරීම් අතර එකක් වු ඒ සුරාසල් මත්පැන් පානයෙහි රුචිය මවෙතින් කෙමෙන් ගිලිහී ගියේ මා නොදැනුවත්වමය. 

ජීවිතයේ දෙවන දශකය ගෙවීයන්නාහාම ස්ථිර රැකියාවක් ලද නමුදු මත්පැන කිසිසේත් නිවසට වද්දා නොගතයුතු දුෂ්චරිතයක් සේ සැලකූ මගේ මවුපියන් හේතුකොටගෙන නිවසෙහිදී මම කිසිවිටෙක මත්පැන් පානය කොට නොමැත්තෙමි. 

එදවස මගේ පළමු රැකියාව වූයේ උතුරුමැද සහ නැගෙනහිර පළාත් මායිම් අතර හෙක්ටෙයාර දසදහසකට අධික වපසරියක් පුරා පැතිරගිය රාජ්‍ය වාරිමාර්ග සහ කෘෂිකාර්මික ජනපද ව්‍යාපෘතියක තාක්ෂණ අංශයට සම්බන්ධවය. 



හිරිමල් යොවුන් වියේ පසුවුනු එකල මම ගෙදර පැමිණියේ බොහෝවිට මසකට වරකි.වැටුප් ලද පසු සති අන්තයක් හා යාබද දින දෙකක් හෝ තුනක නිවාඩුවකට පැමිණෙන මම පුරුද්දක් වශයෙන් වරක් හෝ දෙවරක් මහනුවර නගරයට ගියේ යම් අත්‍යාවශ්‍ය දේ මිලට ගනු උදෙසාය. 


ඒ අත්‍යාවශ්‍ය දේ යනු හුදෙක් ඒ ආසන්නයේ නිකුත් වූ සිංහල හෝ ඉංගිරිසි නවකථාවන් කිහිපයකි. විජිත යාපා හෝ සරසවි පොත් හල් විවෘත කොට නොතිබුණු ඒ දිනවල පොත්ලෝලීන්හට තම මන දොල සපුරාගැන්ම උදෙසා මහනුවර නගරයේ වුයේ යටිනුවර වීදියේ පිහිටි මැකලම්,ගුණසේන හෝ සීවලී පොත්හල් සහ ත්‍රිකුණාමල වීදියෙහි වූ කේ.වී.ජී. ද සිල්වා සමාගමෙහි පොත්හල පමණෙකි. 

උදෑසන ආහාරයෙන් පසු ගෙදරින් පිටවන මම දහවල් එකොළහ පමණ වනතෙක් නුවර වීදි ඔස්සේ ඉබාගාතේ සරන්නෙමි. අනතුරුව නගර මධ්‍යයේ පිහිටි වැව අසබඩ බෝට්ටු සේවයේ මෙහෙයුම් කාර්යාලය ආසන්නයෙහි වූ දැවැන්ත කොහොඹ රුක් සෙවණෙහි පනවා තිබූ අයෝමය අසුන මත දිගඇදී මඳ සුළඟේ රැලි නඟන වැව් දිය මතින් ඈත දිස්වන දළඳා මැදුර දෙස බලා හිඳින්නෙමි. 

ඉර මුදුන්වන්නා හා සමඟම කුමන හෝ පොත්හලකට වැද පොත් කිහිපයක් තෝරා මිළදීගැන්මෙන් අනතුරුව මගේ දෙපා එසවෙන්නේ කොටුගොඩැල්ල වීථියෙහි එදවස වූ කාසල් අවන්හල වෙතටය. 

කැසමරා හෝටලය සහ මාරබැද්ද මල් ශාලාව අතර වත්මනෙහි ඩිසයින් ක්ලබ් නිමි ඇඟලුම් වෙළඳසල පිහිටි බිම් කඩෙහි එකල වූයේ තනි මහලේ සිංහල උළු සෙවිලි කල දෙපළ පියස්සකින් සෙවණ ලත් කාසල් අවන් හලය. 

කොටුගොඩැල්ල වීථියෙහි පදික වේදිකාවේ සිට ගලින් බැඳි පියගැට හතරක් හෝ පහක් නැඟ ඇතුලු විය යුතුවූ අවන් හලෙහි ඉදිරිපස වූයේ විසල් වීදුරු ජනෙල් පෙළකි. 

ඒ හා සමඟම ඔබ පිවිසෙනුයේ වසර ගණනක් මුලුල්ලේ දස දහස් සංඛ්‍යාත ජනකායකගේ පා පහසින් ඔපවත්වූ රතු පැහැ සිමෙන්තියෙන් වැසුණු විසල් බරාඳයකටය. මේ බරාඳයෙහි මෙන්ම ඉන් ඔබ්බෙහි වූ ශාලාවෙහිද ඒ වටා වූ කුඩා ලී පුටු තුනක් හෝ හතරක් සහිත කළු පැහැයෙන් ආලේපිත රවුම් කනප්පු පණහකට නොඅඩු සංඛ්‍යාවක් වූයේය. 

ලා කහ සහ දුඹුරු මුසු වර්ණයකින් යුත් අත්කොට කබා සහ සුදු සරම් වලින් සැරසුණු අවන්හලෙහි සේවකයෝ රවුම් මේස අතරින් ලහි ලහියේ එහා මෙහා ගමන් කරමින් පාරිභෝගිකයින්ගේ ඇණැවුම් ඉටු කිරීමෙහිලා යුහුසුළු වෙති. 

ඔවුනගේ කබායෙහි ඉහළ තරමක විශාල සාක්කුවකි. රතුපැහැ නූලෙන් කාසල් යන නමෙහි ඉංගිරිසි අකුරු හය එකිනෙක පසුපස හඹායන අයුරක් දිස්වනසේ ගෙත්තම්කොට තිබුණු එහි කුඩා සටහන් පොත් පිංචක් සහ පැන්සලයක් හෝ කාබන් පෑනක් නිතර දක්නට ලැබිණි.ඇණවුමක් ලද වහාම ඔවුහු වහා උඩ සාක්කුවෙන් අර සටහන් පොත ඉවතට ගෙන එහි ඇණවුම සටහන් කරගනු මම බොහෝවිට දැක ඇත්තෙමි. 

කබායෙහි පහළට වන්නට වූ සාක්කු යුගලෙහි වූයේ අත්ලක පමණ ප්‍රමාණයක් වනසේ ඉරාගත් පුවත්පත් කැබලිය.අවශ්‍ය අයෙකු අතක් ඔසවා ඇඟිලි එකිනෙක ගටමින් සංඥාකල වහාම යුහුසුළුව එකි ලඟාවන වේටර් වරයෙක් සාක්කුවෙන් ඉවතට ගත් කඩදාසි කැබලි කිහිපයක් කනප්පුව මත තබයි. 

එක් එක් වේටර් වරයාට සුපුරුදු ගණුදෙනු කරුවන්ද විය. අප්පුහාමි නම්වූ වයස හැටක් හෝ හැටපහක් පමණවූ වේටර් වරයෙක් එකල මගේ අයිතිය පවරාගෙන සිටියේය.පොත්තපිටියෙහි පදිංචිකරුවකුවූ ඔහු වැඩිවිය පත් දූදරුවන් විවාහපත්ව වෙන්ව ගිය පසු තම බිරිඳ සමඟ හුදකලාව වසන්නෙකි. දිනෙක හදිසියේම ඇද හැලුනු මහ වැස්සක් තුරල් වන තෙක් ඉදිරිපස බරාඳයෙහි ඔහු හා සාමීචියෙහි යෙදෙමින් ගතකල සවස් යාමයක ඔහුගේ ජීවිතය අප්පුහාමි ඉතා සැකෙවින් මා හා විස්තර කළේය. 

" එන්ඩ සර්..එන්ඩ...අද තෙමිල වගේ නේද? " 

හිසෙහි රැඳි වැසි බිඳු ගසා ලමින් ඇතුලත බරාඳයට පිවිසි මා දුටු සැණින් සිනහසෙමින් ඉදිරියට පැමිණියේ අප්පුහාමිය. 

" ඔව් අප්පා, උදේ ගෙදරින් එළියට බහිනකොට වහින ලකුණක්වත් තිබ්බය? හිටපු ගමන් නෙව දෙන්ට තිබා ගත්තෙ…" 

කේ.වී.ජී. ද සිල්වා පොත් හලෙහි සිටියදී අනපේක්ෂිතව ඇදහැලෙන්නට වන් ධාරාණිපාත වර්ෂාව ඉහිල් වනතෙක් අඩ හෝරාවක පමණ කාලයක් එහිම රැඳී සිට යන්තමට පොද වැස්සක් බවට පත්වුනු කෙණෙහි ත්‍රිකුණාමල වීදියෙහි කඩ පිල් වලින් මාරුවෙමින් පැමිණියද ඒ වනවිට මම සෑහෙන පමණ තෙමී සිටියෙමි. 

" යමු පිටිපස්සට….මොනවද මහත්තය ගේන්නෙ ? ඈස් යූෂුවල් නේද? " 

සාක්කුවෙහි වූ ලේන්සුව ගෙන හිස පිසදමන්නට වූ මදෙස බලා සිනාසෙමින් අප්පුහාමි විමසීය. 

තම යොවුන් වියෙහිදී මහනුවර දළඳා වීදියෙහි එකල වූ වෝකර් සහ ග්‍රිග් නම්වූ තේ වතුවලට අවශ්‍ය යන්ත්‍රෝපකරණ ආනයනය කොට බෙදාහැරීමෙහි නිරත විදේශීය සමාගමක කළමනාකාර අධ්‍යක්ෂ තනතුර දැරූ බ්‍රිතාන්‍ය ජාතිකයකුගේ බටලේරු තනතුරෙහි වසර ගණනක් සේවය කොට ඇති අප්පුහාමි ඉංගිරිසි බස හැසිරවීමෙහි මනා පරිචයක් ඇත්තෙකි. 

" ඔව්..අප්පුහාමි දන්නවනෙ…" 

සිනහසෙමින් පවසමින් පසුපස මිදුලෙහි වූ සුදු පැහැ බෝගන්විලා පඳුර අසල බරාඳයේ කෙළවරක වූ මගේ සුපුරුදු අසුනට බර දිනිමි. 

එදින මවිසින් මිලදී ගත් පොත් කිසිවක නම් පිළිබඳව පැහැදිලි මතකයක් නොමැතිවුවද ඒ අතර ගුණදාස අමරසේකර ගේ ගමනක මුල නවකතාවෙන් ඇරඹි කතා මාලාවෙහි පොත් දෙකක් හෝ තුනක් වූ බව නිසැකව පැවසිය හැක්කේ මේ කතාව ඉදිරියෙහිදී ඒ කරුණ ඉතා වැදගත් වන බැවිනි.

අඩක් බිඳීගිය වැසිවතුර පිහිල්ලෙන් ඇද හැලෙන ජලදහරින් නැහැවෙන බෝගන්විලා පඳුරෙහි මලින් බර අතු වරෙක පොළව මට්ටමටම නැවී එක්වරම යලි කෙලින් වෙයි. කුමන වර්ගයක එවුන්දැයි පැහැදිලිව හඳුනා ගත නොහැකි කුඩා කුරුල්ලන් තුන් හෝ සතර දෙනෙකු පියාපත් පුම්බාගෙන බෝගන්විලා පඳුරින් ඔබ්බෙහිවූ කැසිකිළියෙහි අගුවෙහි ගුලි ගැසී සිටිති.රවුම් කනප්පුව මත වූ ප්ලාස්ටික් බෑගයෙන් ඉවතට ගත් ගමනක මුල පොත අතෙහි තබාගෙනම මම ඔවුන් දෙස බලා සිටියෙමි. 


මගේ දැහැන බිඳී ගියේ අප්පුහාමි ලයන් ලාගර් බෝතලය සහ බදින ලද හුරුල්ලන් පිඟාන කනප්පුව මත තබන හඬිනි. 

" තව මොකවත් ඕනද සර් ? "


කනප්පුව වෙතට පහත්ව උඩ සාක්කුවෙන් ගත් ඕපනරයෙන් බීර බෝතලය විවර කල හෙතෙම පහත් හඬින් විමසීය. 

" යස්, ඉට්ස් ටූ කෝල්ඩ් ටුඩේ..ඕල්ඩ්….ටූ හන්ඩ්‍රඩ් අප්පුහාමි…" 

මම පැවසුවේ ළයමත බැඳගත් දෑතින් යුතුව උරහිස් හකුළුවා ගනිමිනි. 

" යස් සර් ...ඔෆ් කෝස් සර්…….ඇට් වන්ස් සර්...."

ඉද්ද ගැසුවාක් මෙන් එක්වරම කෙළින්වූ අප්පුහාමි සීරුවෙන් මොහොතක් හිඳ සොල්දාදුවකුගේ පියවරින් නික්ම ගියේ මගේ ඇණවුම ඉටු කරනු පිණිසය. ඒ ඔහු බ්‍රිතාන්‍ය ජාතිකයා යටතේ සේවය කල සමයේ මතක ආවර්ජනයකි. මට එකෙණෙහිම මතකයට නැඟුනේ පතිරාජගේ සොල්දාදු උන්නැහේ චිත්‍රපටයේ ජෝ රඟපෑ භූමිකාවයි. 

අරක්කු මිශ්‍ර කල බීර කෙමෙන් තොල ගමින් මම ගමනක මුල කතාව කියවන්නට වීමි. 



කුඩා කල සිටම ගුණදාස අමරසේකර මහතාගේ නවකථා කියවීමට මම බොහෝසේ ඇළුම් කලෙමි. 

දැඩි අවධානයෙන් යුතුව ගමනක මුලට සමවැද හුන් මට එක්වනම වැස්ස දැඩිවනු ද නොහැඟුනි. 

" සර් ඔතනට හිරිකඩ එනව නේද ඕසෙට...කනප්පුව ගමු අතන මුල්ලට " 

මා අසලටම පැමිණ අප්පුහාමි එසේ පැවසූයේ අඩක් හිස්වූ බීර බෝතලය සුරතට ගනිමිනි. 

" ෂෙහ්, ඒකනෙ මට තෙරුණෙම නෑනෙ. " 

හිරිපොදෙන් මඳක් තෙත්වූ බොහෝ කලක් නිතර භාවිතය නිසාම අවපාට වූ ඩෙනිම් කලිසමෙහි රැඳි වැහිබිඳු කිහිපයක් ගසා දමමින් මමද නැඟී සිටියෙමි. 

" මම දැක්ක....සර් පොතට වහ වැටිලනෙ උන්නෙ...." 

නොකඩවා ඇදහැලෙන වැස්ස බෝගන්විලා පඳුර මත පතිතව ඒ අසල බරාඳයේ අර්ධ කවාකාර පෙදෙසක් තෙමයි. ඒ හිරිකඩින් වැළකෙනු වස් අප්පුහාමි කනප්පුව බරාඳයෙන් මදක් එපිට අවන්හලේ මධ්‍යයෙහි ශාලාවෙහි දොර අසලට ගෙනගියේය. 

" මෙතන හොඳයිනෙ සර් ? " 

එසේ පවසමින් ඔහු දොර පසුපසවූ පැරණි මාදිලියේ ටම්බ්ලර් ස්විචය ක්‍රියාත්මක කලේ ඒ අවට අලෝකයෙන් නහවමිනි. 

මම නැවත අසුන් ගත්තේ යලි ගමනක මුලට සම වැදීමේ නොඉවසිල්ලෙනි. කියවීම ඇරඹීමට පෙර යලිත් මත්පැන් වඩියක් උගුරට හලාගෙන දුම්වැටියක් දෙතොල රඳවා හාත්පස හිස හැරවූයේ අප්පුහාමිගේ යට සාක්කුවක නොවරදින ගිණි පෙට්ටිය හෝ ලයිටරය බලාපොරොත්තුවෙනි. 

එක්වරම අනපේක්ෂිත ලෙස මගේ දකුණු පසින් නැඟුනු ලයිටරයක් දල්වන හඬ කණවැකුණු වහා මම ඒ දෙසට හිස හැරවීමි. වැස්ස ඇදහැලීමට පළමු මම අසුන්ගෙන හුන් බරාඳයට පිවිසෙන දෙපළු ලී දොර අසල මුල්ලෙහි වූ කනප්පුවක් පසුපස අසුන්ගෙන හුන් ප්‍රාංශු දේහධාරී පුද්ගලයෙක් තම අසුනෙන් මඳක් ඉදිරියට නැඹුරුව අඩක් විවරවූ දොර පියන් අතරින් හමාඑන සීතල සුළඟෙහි ලෙළදෙන ගිණිසිලක් නිකුත් කරමින් දැල්වෙන ලයිටරයක් මා දෙසට දිගුකොටගෙන සිටියේය. 


******************************
සැප්තැම්බරේ කියන්නෙ සාහිත්‍යය මාසෙ. කෙටිකතාවක් ලිව්වොත් හොඳයි කියලයි මේක මේ ලිව්වෙ..තව කොටසක් තියනව හොඳද?...:)


******************************
Last but not least අපේ රන්දිල් නෝන මහත්තැං දන්නවනෙ නේද? නිදහස් සිතුවිලි මුල් හිමිකාරිය..මේ ඊයෙ පෙරෙයිද අර පොතක් එහෙමත් ලිව්වෙ මා බාල කාලේ අම්මාගෙ උකුලේ කියල...අන්න එතුමියගෙ සුබ උපන්දිනේ යෙදිල තිබ්බ පහුගිය සිකුරාද..සැප්තැම්බර් 19 වෙනිද...එහෙනං පහුවෙලා හරි කමක් නෑ..මගේ ලෑන්ඩ් ලේඩි තුමිය..ඔබට සුබ උපන් දිනයක්!!!

Friday, December 9, 2011

93. ඔහු එලෙසින් මා අත්හැර ගියේය -03 මනෝ පුබ්බංග මා ධම්මා

91. ඔහු එලෙසින් මා අත්හැර ගියේය

92. ඔහු එලෙසින් මා අත්හැර ගියේය - පුනරාගමනය

“මොනවා? සීයතාත්තා?” මම කථා කරගත හැකි වූ විගස තාත්තම්මාගේ අත සොලවමින් ඇසීමි.

“ඔව් දරුවෝ. සීයතාත්තා. ඒත් ඒ එයා නෙමෙයි. එයා නොවෙයිත් නෙමෙයි. ඔයාගේ නැන්දාටත් වඩා තරුණ කෙනෙක් හැටියට එයා නැවත මං සොයාගෙන ඇවිත් තිබුණා. මං ගාවින් වාඩි වෙන්න ද කියලා ආචාරශීලි විදිහට අහපු ඒ මහත්මයා මගේ ගාවින් වාඩි වුනා” තාත්තම්මා කියන දෙය මට වැටහී නොවැටහී ගියද ඒ සිද්ධියේ අගමුල ඇයගේ මුවින්ම අසා දැන ගැනීමේ බලවත් පීඩාවෙන් ඇය දෙස බලා සිටියෙමි.

“එයා කථා කලා”

“සුනේත්‍රප්‍රියා. කොහොම හරි අවසානේදි මට ඔයාව මුණ ගැහුනා. අවුරුදු 10ක විතර ඉඳන් මං ඔයාව හීනෙන් දකිනවා. ඔයා මට නිරතුරු හීනෙන් එන්න කියනවා. ඒ හීන මට දැනුනේ සැබෑවටම සිද්ධ වෙන දේවල් විදිහට. ඒත් මං එන්න හදද්දිම හැමදාමත් රෑ මැද මට ඇහැරෙනවා. හීනෙන් දැකපු ඔයාට වඩා ඔයා දැන් ගොඩක් වයසට ගිහින්. මේ ගැටළුව විසඳ ගන්න බැරුව මම ගොඩක් ලොකු දුකක් වින්දා. මම නොයෙකුත් ‍ක්‍රම වලින් මේකට විසඳුමක් හෙව්වා. අවසානේදී මට යාළුවෙක් කිව්වා මේක මේ පෙර ආත්මය සම්බන්ධ දෙයක් වගෙයි, එයා දන්න තරුණ මනෝ වෛද්‍යවරියක් ඉන්නවා, එයාට පුළුවන් වෙයි මේකට විසඳුමක් දෙන්න කියලා. ඒ පාර මං ඒ ඩොක්ටර් ව මුණ ගැහෙන්න ගියා. එයා මගෙන් ප්‍රශ්න කලා මේ ගැන. ඒත් මට දෙන්න පුළුවන් එක ම උත්තරේ වුනේ හීන ගැන විතරයි. ඒ පාර එයා තීරණය කලා මාව මෝහනය කරන්න. ඒ මෝහනයේදී මං ඔයා ගැන, අපේ දරුවෝ ගැන, ගේ දොර ගැන, මගේ ඒ භවයේ හදිසි මරණය ගැන ගොඩක් දේවල් කියලා තිබුනා. කොච්චරද කිව්වොත් මං ඒ ගෙදර ලිපිනය පවා කියලා තිබුනා. ඒ සටහන් ඔස්සේ තමයි අද මං මෙතැන ඉන්නේ. ඔය මෝහන කටයුතු වුනේ මීට අවුරුදු 1 ½කට විතර ඉස්සර. එතකොට අපි හිටියේ ජර්මනියේ.”

ඔන්න ඔය විදිහට ඒ මහත්මයා දීර්ඝ විස්තරයක් කිව්වා. මම අහගෙන හිටියා.

එයා ඔයාගේ සීයා තරුණ කාලේ වගේමයි. එයා මැරෙද්දී, ඔය කාලේ පහුකරලා අවුරුදු 5ක් විතර ගිහින් තිබුණේ. ඉතිං ඒ මහත්මයා ව දැක්කාට පස්සේ මට කථා කරගන්න වචන හොයා ගන්න ගොඩාක් වෙලා ගියා. මට ලොකු සතුටක් දැනුනා, මිය ගියත් එයා වෙනුවෙන් කැපවෙලා හිටපු මාව හොයාගෙන එයා නැවතත් ආවා නේද කියලා. වයස පරතරය, ආදරය, විවාහය වගේ බැඳීම් වලින් එහා ගිය උත්තරීතර බැඳීමක් නේද අපි අතර තියෙන්නේ කියලා මට කියන්න ඕනේ වුනත්, හිතට දැනුනු සතුට නිසා ඒක වචන කරගන්න බැරි වුනා. නෑ කමක් නැති නෑ කමක් නේද මේ ඇති වුනේ කියලා මට හිතුනා.

ඒ අතරේ ඒ මහත්මයා අපේ දරුවෝ ගැන ඇහැව්වා. මම හිමින් හිමින් ඒ විස්තරත් කිව්වා. දරුවෝ හොඳ තැන් වල ඉන්න බවත් කිව්වා. ඒ මහත්මයාගේ වයස අවුරුදු 28ක් කිව්වා. මම නැවත විවාහ වුනාද කියාලාත් ඇහැව්වා.

ඔය අතරේ මගේ හිතේ පුදුමයක් ඇතිවෙලා නැති වෙලා යන්න වුනා. මට ඒ ලඟක් වෙනකම්ම සීයාතාත්තා මේ ගෙදර ඉන්න බව දැනි දැනී තිබුණේ දුවේ. එතකොට මෙයාට 28යි නම් එහෙම දැනුනේ කොහොමද කියන එක මගේ හිත් පතුලේ මතුවුනා.

“අද මගේ හිත නිදහස් වුනා. මං හිතන්නේ අදින් පස්සේ මට ඒ හීන පේන එකක් නැහැ. මං ඔයාව හොයා ගත්තා. මගේ ජර්මන් යාළුවෝ පුදුම වෙයි මේ සිද්ධිය කිව්වහම. ඔයා මාව හමුවෙන්න කැමත්ත පළ කලාට පස්සේ තමයි අපි එහෙන් ආවේ. මගේ හිතට පුදුමාකාර නිදහසක් දැනෙන්නේ සුනේත්‍රප්‍රියා.............. මේක ඇත්තටම පුදුමාකාර දෙයක්. කෙනෙකුට ජීවිතේ අත්විඳින්න ලේසියෙන් නොලැබෙන අත්දැකීමක්. මට ම මෙහෙම දෙයක් වුනානේ. ඉට්ස් අමේසින්........... ඉට්ස් අමේසින්...........

ඒ මහත්මයා මං වගේ බිරාන්ත වෙලා නෙමෙයි හිටියේ. අලුත් යමක් හොයා ගත්ත කෙනෙක් වගේ බොහොම උද්යෝගයෙන් හිටියේ. ඔහොම ටික වෙලාවක් ගියා. ඊට පස්සේ,

කෙනෙක් ඉන්නවා ඔයාට හඳුන්වලා දෙන්න. ඉන්න මං එක්කගෙන එන්නම් කියපු ඒ මහත්මයා නැගිටලා වාහනේ අතට ගියා.” තාත්තම්මාගේ මුහුණු මදක් වෙනස් වූ බව විමසිල්ලේ ඇය දෙස නෙත් යොමා සිටි මා හට වැටහුණි.

“ඒ ගිහින් වාහනේ අනිත් පැත්තේ දොර ඇරියා. ඒ දොරෙන් එළියට බැස්සේ ගැබ්බර සුදු නෝනා කෙනෙක්. මගේ සිතුවිලි කන්ද මගේ කකුල් දෙක පාමුල කඩාගෙන වැටුනා. මගේ කම්මුල් දිගේ කඳුළු ගලාගෙන ගියේ මටම නවත්තගන්න බැරි විදිහට. එයාලා ලඟට එද්දී මං ඉක්මනට කඳුළු පිහදාගෙන හිනා වෙන්න උත්සහ කලා”

“සුනේත්‍රප්‍රියා, මේ ඉන්නේ අර මං කිව්ව දොස්තර නෝනා. ඔයා නිසා තමයි මට මෙයාව මුණ ගැහුනේත්. ඔයා මගේ හීන වලට වෙලා හොල්මන් කරන්න ගත්ත නිසා මට මේ දොස්තර නෝනාගේ උදව් ගන්න සිද්ධ වුනා. අන්තිමේදී ඒ උදව්ව දුරදිග ගියා” කියලා ඒ මහත්මයා හිනා වුනා. නෝනාත් හිනා වෙලා මගේ මූණ ට මූණ තියලා කථා කලා” තාත්තම්මා ඈත පෙනෙන කඳු යාය දිහා නෙත් යොමාගෙන සිටියාය.

මම නිරුත්තර ව ඇය දෙස බලා සිටියෙමි. ඒ හමුවීමේ රූප, චිත්‍රපටයක, ටෙලි නාට්‍යයක මෙන් මා ඉදිරියේ මැවී පෙනෙන්නට විය. එහිදී, මගේ තාත්තම්මා උත්සහයෙන් රඳවාගෙන හිටි හැඟීම් සමඟින් ඒ ඇත්තියගේ කම්මුල මත තම කම්මුල තබන හැටි බොඳවුනු දෙනෙතින් මම දිටීමි. පසෙකින් මගේ සීයතාත්තා නොහොත් ඒ ආගන්තුක පුද්ගලයා සිනා මුසුව සිටියි. අහෝ! මාගේ මිත්තණිය ඒ අවස්ථාවට කෙලෙස මුහුණ දෙන්නට ඇත්ද?

“මම තනියෙම කල්පනා කලා, මම ද හොල්මන් කලේ එයාද කියලා, එයායි මගේ හිතේ හොල්මන් කලේ, මේ ගෙදර සැරි සරන බව දැනුනු නිසා, එයාව නිරතුරු දැනුනු නිසා, අපේ දරුවෝ නිසා මං මගේ මුළු ජීවිත කාලයම තනිකඩව ගත කලා. ඒත් එයා අසරණ මං ගත කරපු ජීවිතය ගැන හාංකවිස්සියක් හොයන්නේ බලන්නේ නැතුව, එක පාරම ඇවිත් මගේ ලෝකය නැවත කඩා බිඳ දැම්මා නේද කියලා මට හිතුනා. මට කෑ ගහලා අඬන්න ඕනෑ වුනා පුතේ. මං දෙවොලක් හදලා පුද පූජා කරපු දෙවියෝ ම ඒ දේවාලයට ගිණි ලෑවා නේද කියලා මගේ හිත කියන්න ගත්තා. එතකොට මං මුළු ජීවිතේම මුලාවෙන් ගත කරලද? මං මිරිඟුවක් පස්සේද දුවලා තියෙන්නේ? ඔය වගේ නොයෙකුත් දේවල් හිතෙන්න ගත්තා මැණිකේ. ඒ දෙන්නා මොන මොනවාදෝ කියමින් හිටියා. ඒ කිසි දෙයක් මට ඇහුනේ නැහැ. මං මගේ කඩාගෙන වැටෙන ලෝකය අල්ලලා නවත්වන්න ලොකු උත්සහයක් දරමින් හිටියේ. අන්තිමේදී කරන්න පුළුවන් හොඳම දේ මට මතක් වුනා” තාත්තම්මාගේ දෙනෙත් වල පෙර නොවූ කාන්තියක් මතුවිය.

ඒ මහත්මයා ආයෙත් මගේ නම කිව්වා, “සුනේත්‍රප්‍රියා........” මම හෙමින් අත ඉස්සුවා. එයා කථාව නතරකලා.

“මේ පුතා හඳුනා ගන්න ලැබුනු එක ගැන සතුටුයි. නෝනා මහත්මයා ගැනත් එහෙමයි. පුතා මට ඔය නම කියලා කථා කරන්න එපා. ඔය නම ඔය විදිහට කිව්වේ මට මේ ලෝකේ එකම කෙනායි. ඒ මගේ මහත්තයා. මගේ දරු තුන්දෙනාගේ තාත්තා. එයා දැන් මේ ලෝකේ නැහැ. ඒත් එයාගේ පිහිට අපිට හැමදාමත් තියෙනවා. මේ ඇති, මේ හොඳට ම ඇති. ආයේ පුතා මා හමුවන්න උත්සහ කරන්නත් එපා. ඔයා කවුරු වුනත් මට ඒකේ වෙනසක් නැහැ. මගේ මහත්මයා ජීවතුන් අතර නැහැ. ඒ මනුස්සයාට මගේ හිතේ, මගේ ලෝකේ, අපේ ලෝකේ සමාදානයෙන් සැතපිලා ඉන්න දීලා ඔය දෙන්නා යන අහක යන්න. කිසිම දවසක මාව හමුවන්න හිතන්නවත් එපා” කියලා බොහොම සාමකාමීව කියපු මම එතැනින් පිටත් වෙලා එන්න ආවා. ඒ එද්දී ඊට ටිකක් එහායින් වාහනේ නවතාගෙන සයිමන් හිටි බව මං දැක්කේ ඒ වෙලාවේ. ඒත් අද වෙනකම් සයිමන් මේ ගැන හාංකවිස්සියක් ‍මගෙන් ඇහැව්වේ නැහැ.

ඒ අය ඊට පස්සේ මට මුණ ගැහුනේ නැහැ දුවේ.

මේ බැඳීම් ගැන, සංසාරය ගැන වෙනස් විදිහට හිතන්න මට ඒ සිද්ධිය ගොඩක් උපකාරී වුනා. ඒක නිසා ඒ පුතා මුණ ගැහීම මට සිදු වුනු හොඳ දෙයක් කියලා දැන් හිතෙනවා.

සීයතාත්තා අපි අතර ගැවසුනා කියලා දැනුනේ ඇයි කියන්න මං දන්නේ නැහැ. සමහරවිට ඒ විදිහේ පැතුමක් හිත් කොනේ තිබුණු නිසා වෙන්න ඇති. කොහොම හරි ‘මනෝ පුබ්බංග මා ධම්මා..........’ බුදු වදන මොන තරම් ඇත්තක්ද කියන එක මේකෙන් වැටහෙනවා නේද?

සීයතාත්තා මැරුණා කියලා මං මැරුණේ නැහැ, මං මැරුණේ නැහැ කියලා සීයා තාත්තා මං එනතුරු බලං ඉඳලත් නැහැ, මං නැහැ කියලා එයා මේ ආත්මේ කසාද නොබැඳ ඉඳලත් නැහැ. ඔන්න ඕකයි පුතේ සංසාරේ............... මේ හැමෝම අනන්තවාරයක් විවිධාකාර නෑ කම් වලින් අපට හමුවෙන බව තමයි බුදු වදන කියන්නේ. ඉතිං ඒ පුතා ගැන මගේ හිතේ කහටක් නැහැ. එයාට ඕනෑ වුනේ මේ භවයේ ජීවිතය සැහැල්ලුවෙන් ගත කරන්න මේ ගැටළුව විසඳගන්න. ඒකත් ඉෂ්ට වුනා. මට ධර්මය දකින්න මාර්ගයත් පෑදුනා.” තාත්තාම්මා සිය කථාව අවසන් කරමින් සිටියාය.

“හරි පුදුම කථාවක් තමයි මේක. දැන් තාත්තම්මා සීයතාත්තා ගැන වැරදියට හිතනවද?” මං මෝඩ ප්‍රශ්නයක් ඇසූ බව මද වේලාවකින් මට දැනුනත් එය, පැහැදිලි කරගත යුතු නිසාවෙන් ඇසූ බව තාත්තාම්මා වටහා ගත්තා විය යුතුය.

“නැහැ පුතේ. එයාගේ අපිත් එක්ක හිටපු භවයේ කටයුතු අහවර වුනා. ඒක නිසා එයා ගියා. අපේ ලෝකයේ එයා මිය ‍ගිය කෙනෙක්. ආයේ කොතැන ඉපදුනත් ඒවා අදාල කරගන්න සුදුසු නැහැ. මගේ ලෝකේ, මම මහත්තයා මිය කණවැද්දුමියක් විතරයි. ඒ ගැන හිතලා දහමට අනුව හිත හදා ගැනීම තමයි කරන්න ඕනා” කියමින් තාත්තාම්මා සිහින් සිනාවක් පෑවාය.

“මැණිකට තේරෙනවා නේද? කෙනෙක් නැති වුනා කියලා දුක් වීම මොනවගේ දෙයක්ද කියන එක. ඒ ගැන තව තවත් පහදන්න මං උත්සහ කරන්නේ නැහැ.” යි තාත්තම්මා පැවසුවාය. ඇගේ අතින් අල්ලාගත් මම පෙර නොවූ පිබිදීමකින් නැගී සිටියෙමි.



*************************************

තාත්තාම්මා සමග ගත කල මාස එකහමාරින් පසු කොළඹ පැමිණියේ, එහි ගිය මා නොවේ.

යහපත් දැක්මෙන් පිබිදුනු නව යෞවනියක සේ මට ම මා ගැන දැණින. තාත්තා මට වඩා හොඳ රැකියාවක් සොයා දුන්නේය. ඊට මාස හයකට පමණ පසු යෝජනාවකින් දැන හඳුනාගත් මා සැමියා හා වසරක පමණ පෙම් සබඳතාවකින් අනතුරුව විවාහ දිවියට ඇතුළු වීමි. වැඩිමහල් පුතු ලැබෙද්දී මා ලඟ සිටින්නට කිසි දිනෙක කොළඹ නොආ මාගේ තාත්තම්මා දුරු කතර ගෙවාගෙන පැමිණියාය. පුතුට අවුරුදු 3ක් පමණ වූ අවධියේ දිනෙක,මගේ සදාදරණීය තාත්තම්මා ඒ ආදරණීය නිවසේදී ඉතාමත් සාමකාමී ලෙස නින්දේදීම මෙළොව හැරගොස් සිටියාය.

එයින් වසරකට පසු අප ලද දියැණිය තාත්තම්මාගේ පුනරාගමනය ලෙසින් හැම දෙන දකිති. ඒ ගැන කියති. ඇය කියන කරන හැම දේ තාත්තම්මාගේ පුරුදු ලෙස ඔවුහු විස්තර කරති. නමුදු මාගේ සදාදරණීය තාත්තම්මා කොහේ හෝ සිට මා දෙස බලා, මට පිහිට වන බව සිතන්නට හෝ මාගේ දියැණිය ඇගේ පුනරාගමනය ලෙසින් සිතන්නට හෝ ඇය මට පෙන් වූ ලෝකයේදී මා ලද දැනුම කිසි සේත් ම මා හට අවසර නොදෙනු ඇත.

***************************************

නිමි

Thursday, December 8, 2011

92. ඔහු එලෙසින් මා අත්හැර ගියේය -02 පුනරාගමනය



91. ඔහු එලෙසින් මා අත්හැර ගියේය


මට විගස සිතුනේ ඇය කෙසේ හෝ ‍කුමන හෝ සම්බන්ධයක පැටලී ඇති බවයි. එය මගේ හිතේ කහටක් ඇති කරන්නට සමත්විය.


“මට තේරෙන්නේ නැහැ තාත්තම්මා මොනවා කියනවද කියලා” මම නොරිස්සුම සඟවාගෙන පැවසීමි.

“ඔව් දුවේ. කාට කිව්වත් මේ කථාව මොන විදිහට තේරුම් ගනියිද කියලා මටත් හිතා ගන්න බැහැ. ඒත් මේක ඇත්තම ඇත්ත. බුදු දහම අනුව බැලුවත් මෙහෙම දෙයක් වෙන්න බැරි නැහැ නේද කියලා ඔයාටත් තේරෙයි” තාත්තම්මා සංසුන්ව පැවසුවාය.

“කියන්නකෝ බලන්න එහෙනං මොකද වුනේ කියලා” මම මගේ පුටුව ඇය අසලට ගෙන ලංව වාඩී විමි.

“මේක වුනේ මීට අවුරුදු 5කට උඩදී, නැන්දාගේ 30 වෙනි උපන්දිනේ වෙනුවෙන් මෙහේ උත්සවයක් තිබුනා මතකයි නේද? ඔයාට එන්න බැරි වුනානේ. ආන් ඒ උත්සවේ පහුවෙලා හරියටම සතියයි” සැබෑව. මගේ තාත්තම්මා ව මා ඒ වන විට මුණ ගැසී තිබුනේ අතේ ඇඟිලි වලට වඩා මදක් වැඩි ප්‍රමාණෙකිනි. ඒ කිව් උත්සවයට මා හට සහභාගි වීමට අපහසු වූයේ කුමක් නිසාදැයි නිනව් නැත. ඉඳින් මම බිම බලාගෙන හූ මිටි තැබීමි.

“මට ලියමනක් ආවා. නොදන්න කෙනෙක්ගෙන්. ඉන්න ඒ ලියමන මං අරං තියලා තියෙන්නේ. මං ඒක අරං එන්නම්”

මම මිදුලේ මල් පාත්ති දෙස බලාගෙන කල්පනා කරන්නට වීමි. මේ කියන්න යන්නේ කුමක්ද? ඔය කියන කාලේ වෙද්දි තාත්තම්මාට වයස අවුරුදු 60ක් විතර ඇති. එය ප්‍රේම කථාවක් වීමට ඉඩ කඩ බොහොම අඩු බව ‍මට දැනුනි. මද වේලාවකින් පැමිණි තාත්තම්මා ඒ ලියමන මා අතින් තැබුවාය.

දිනය සටහන් කර තිබුනත් ආපසු ලිපිනයක් කොතැනකවත් සටහන් කර නොතිබුණු එහි දුරකථන අංකයක් දිනයට උඩින් සටහන් කර තිබුණි.

මහත්මියණි,

මේ ලිපිය ලියන මා ඔබ කිසි දිනෙක හමු වී නැති කෙනෙක් යනුවෙන් දැනට පවසන්නම්. මෙයද සටහන් කරන්නේ කොල සියයක් පමණ ගුලි කොට මේසය වටා බිම විසුරුවා දමා අවසානයේ බවද පවසන්නම්. කොතැනින් පටන්ගෙන කොහොම කියන්නද කියලා හිතාගන්න බැරි කථාවක් මේක. අනේ කරුණාකරලා ඔබට හැකි දිනයකදී මා හමුවනු මැනව. ඔබේ දරු තිදෙනාගේ නාමයෙන්, මා හමුවනු මැනව. මෙහි ඉහතින් සඳහන් කර ඇති දුරකථන අංකයට අමතා, එයට පිළිතුරු දෙන කාන්තාවට දිනයක්, වේලාවක් සහ තැනක් කියන මෙන් ඉල්ලා සිටිනවා. මෙය ඉතාමත් මානුෂිය අවශ්‍යතාවක්. මෙය විසඳාගන්නා තුරු මට සැනසිල්ලක් නොදැනෙනු ඇත. ගුණයහපත් කාන්තාවක් වශයෙන් මගේ ඉල්ලීම ඉවත නොදමා මා හට පිහිට වනු මැනව

මෙයට විශ්වාසී,

ඔබ හමුවන්නට මග බලා සිටින අය

“ඉතිං තාත්තම්මා ගියාද?” අතිශයින් විශ්මයට පත් මා ලිපිය නමා ඇය අතට දෙන අතරතුරේ විමසීමි.

“මම නාකි ගැහැණියක්. ඇරත් මේ අත්අකුරු මට හුරුයි වගේ. ලියලා තියෙන විදිහ පවා මට හුරුයි වගේ දැනුනා. කෙනෙකුගේ මානුෂිය අවශ්‍යතාවක් දරුවන්ගේ නාමයෙන් ඉෂ්ට කරන්න කිව්වහම, ඒක පැත්තකට දාන්න මට පුළුවන් කමක් තිබුනේ නැහැ දරුවෝ” තාත්තම්මා ලිපිය අතට ගන්නා ගමන් පැවසුවාය.

“ඒක හරි කථාවක්නේ. කවුද දන්නේ, තාත්තම්මාව උස්සන් යන්න එන්න කිව්වද කියලා” මම සිනා සෙමින් පැවසීමි.

“අනේ කෙල්ල, මේ නාකි මාව කොහි උස්සන් යන්නද? මම ‍දවස් දෙක තුනක් කල්පනා කලා මොකද මේකට කරන්නේ කියලා. ඔයාගේ තාත්තාට කියන්නත් හිතුනා. කිව්වා නං කලබල වෙනවා සේරමලා. ඒක නිසා මං තීරණය කලා තනියෙම ඒ ගමන යන්න. ඒ කරලා මං ඒ අංකෙට කථා කලා. ගැහැණු දරුවෙක් කථා කලේ. මං ලියුම ගැන විස්තරේ කියලා දවසක් වේලාවක් කියලා නුවර වැව රවුමේ තැනක් ගැන කිව්වා. ඒ දරුවා කිව්වා හොඳයි මැඩම්, මම සර්ට දන්වන්නම් කියලා.” තාත්තාම්මා තමන් කරපු වීරක්‍රියාව විස්තර කරන්නීය.

“හැබැයි කෙල්ල, ඔයාගේ වයසේ කෙනෙක් වුනා නං මං, කීයටවත් ඒ වගේ ගමනක් යන්නේ නැහැ. තේරුණා නේද දරුවෝ?” නැවතත් ඇය සිනා සලන්නීය.

“ඉතිං ඉතිං කියන්නකෝ මොකද වුනේ” මම නොඉවසිලිමත්ව අසා සිටීමි.

“ම්ම්........... වුනේද? වුනේ ඔයා කවදාවත් නොහිතන දෙයක්. මං කවදාවත් නොහිතපු දෙයක්. කවුරුවත් කොහොමවත් නොහිතන දෙයක්. මම එදා උදේ පාන්දර අවදි වෙලා සුදානම් වුනා. සයිමන් එක්ක වාහනෙන් දළදා මාලිගාවට ගිහින්, දළදා හාමුදරුවන් වහන්සේ වැඳ පුදාගෙන හිමින් හිමින් වැව රවුමේ අර කියපු තැනට ආවා. සයිමන්ට ටිකක් දවල් වෙලා ඒ පැත්තට එන්නය කියලා මං කියලා තිබුනේ. ඉතිං මං ඇවිත් ඒ පුටුවක වාඩි වෙලා වැවේ පීනන පාත්තයෝ දිහා බලාගෙන, උන්ට ‍කඩල මිටක් විසි කර කර උන්නා” ඇය කල්පනා බරිතව පවසන්නීය. ඒ මොහොතේ මට සිහි වුයේ දූ දරුවෝ නාට්‍යයේ ඩල්සි ආච්චිමය. මගේ තාත්තාම්මා ඇයට වඩා වෙනස් වූයේ ඉතාමත් මද වශයෙනි.

“ඉතිං ආවාද ඒ කියපු කෙනා?” මට කථාව දැන ගන්නා තුරු ඉස්පාසුවක් නොමැත. කිසිම දෙයක් අනුමාන කළ නොහැකි මානයකට මේ කථාව ඇදී යන අයුරු මට දැනේ.

“ඔව් පුතේ. එයා ආවා. සුදු පාට ලස්සන අලුත් වාහනයක එයා ආවා. මම ඒ වාහනේට කියන නම දන්නේ නැහැ. ඒත් ඒක හරිම ලස්සන අලුත් පන්නේ එකක්. ඒක ඇවිත් මං ඉන්න ඉසව්වෙන් නතර කලාම, මට ඉවෙන් වගේ දැනුනා මේ එන්නේ මං හම්බ වෙන්න එන කෙනා කියලා. මම හැරිලා බැලුවා. ඩ්‍රයිවින් සීට් එකේ මහත්මයෙක් හිටියා. අනිත් සීට් එකේ නෝනෙක් හිටියා. මහත්මයා දොර හිමින් ඇරලා බැහැලා මගේ පැත්තට ආවා. පුතාට කියන්න මට මගේ කකුල් දැනුත් පණ නැති වෙලා යන හැටියක් දැනෙනවා...............

ගොඩක් වෙලා කථා කලානේ, එතනාට කියන්න මට වතුර ටිකක් ගේන්නය කියලා” යි පවසමින් තාත්තාම්මා පුටුවේ හේත්තු වුවාය.

මම එතනා ඇමතීමි. ඇය ගෙනා වතුර වීදුරුවෙන් භාගයක් පානය කල ඈ නැවත කථාව ඇරඹුවාය.

“ඒ මහත්මයා ලඟට එද්දි මට නැගිට ගන්න ඕනෑ වුනත්, මගේ කකුල් මට වාරු නැතිව ගියා.” තාත්තා අම්මා හතිලන බවක් මට දැණින. නැවතත් වතුර වීදුරුව ඇයට ලං කලත් ඇය එය පානය නොකලාය.

“සුනේත්‍රප්‍රියා.............

දරුවෝ.........,
ඒ මහත්මයා මට ඒ නම කියලා කථා කලා. මං කලාන්තේ නොවුනු ටික විතරයි.

දරුවෝ.........

ඒ ඇවිත් හිටියේ ඔයාගේ සීයාතාත්තා” තාත්තාම්මා වේගයෙන් හුස්ම ඉහල පහල හෙලන්නට වූවාය.

මම උඩ ගොස් බිම වැටීමි. නැවත නැවත එලෙස වී බම්ප් වෙන බෝලයක් බවට පත්වීමි. මේ කියන්නේ කුමක්ද? සීයාතාත්තා මියගොස් නැද්ද?



මතු සබැඳි..................

Wednesday, December 7, 2011

91. ඔහු එලෙසින් මා අත්හැර ගියේය

ඔහු එලෙසින් මා අත්හැර ගියේය. ඔහු මා අත්හැර ගියේ ප්‍රේමය යනු පට්ටපල් බොරුවක් නිසාද, එහෙමත් නැත්නම් අප දෙදෙනා එකිනෙකාට පෑවේ සැබෑ ප්‍රේමය නොවන නිසාද, මා වෙතින් ලද හිතවත් කම ඔහුට මදි වූ නිසාද, නැතහොත් ඔහු වංචාවක් කලේද................., ඒ සියල්ලම එක පසෙක තිබියදී මා නොදත් වෙනත් ම හේතුවක් නිසාද යන්න පහදාගත නොහැකිව මම දිවා රෑ හඬා වැළපුනෙමි. ජීවිතය ගලින් ගල ඉහලට නැංවූ ආදරණීය නිවසක්ව, වහල සෙවිල්ලන්නට ඔන්න මෙන්න තිබියදී ඔහු මා අත් හැර ගියේය.



අම්මා මුලින් මා සැනසුවද පසු පසුව නෝක්කාඩු පවසන්නට වූවාය. එයිනුත් පසුව දෙස් දෙවොල් තියන්නට වූවාය. එයිනුත් අනතුරුව එළඹියේ ‘පාරේ බැස යෑමට නොහැකි’ නිසාවෙන් ආරම්භ වූ ගාලගෝට්ටිමය ස්වරූපයයි. මා පියා මේ සියලුම අවස්ථාවන්හි දී මුවින් නොබැන, සුසුමක් හෙලා සියලු දෙය දෙස නෙත් යොමා බලා සිටියේය.

“මෙයා හරියට වැලපෙන්නේ අම්මා අප්පා මැරිලා වගේනේ. ඔයාට ඔයිට වඩා හොඳ තැනකින් කසාදයක් කරගන්න බැරි කමක් නැහැනේ. ගිය මිනිහෙක් මත්තේ අඬන්නේ. නාඩා ඉඳින්. අපි ඒ කටයුතු තව ටික කාලෙකින් එකලස් කරලා දෙන්නම්” අම්මා දෙස් දෙවොල් අතරින් පැවසුවේ මෙවැනි දේය.

එවකට මට දැනුනේ මාගේ සිත මට අවනත නොවන බවයි. ඒත් පසු කාලීනව, මා ඉතාමත් බොලඳ ලෙස මාගේ සිතට අවනත වූ බව පසක් කර ගතිමි.

තාත්තා මා දෙස දුක්බරව බලා සිටියා මිස කිසිත් නොපැවසීමත් මගේ හිත, අම්මාගේ වදන් අවි වලට වඩා පාරවන්නක් විය. තාත්තා එක් වදනක් හෝ පැවසුවා නම් එය සහනයක් ලෙසින් දැනෙන්නට ඉඩ තිබුනු බව එකල එය බලාපොරොත්තුවෙන් සිටි මගේ සිතට දැණින.

කාලය දින සති මාස වලින් ගෙවෙන්නට විය. නොදන්වා සේවයට වාර්තා නොකිරීම නිසාවෙන් රස්සාව නැති වන්නට ඇත. එය මට ඒ දිනවල එතරම් නොදැණින. ඒ ගැන දන්වමින් ලිපියක් ආවාද, එය මා බැලුවාද යන්නද මට නිනව්වක් නොවින. ජීවිතයම කඩා වැටුණු කල, ඒ මතට තවත් පස් ටිකක් වැටුනා කියා වැඩි බරක් දැනේද?

මාස හතරකට පමණ පසු දිනක් උදෑසන, තාත්තා මගේ කාමරයට පැමිණියේය.

“දුව. ලැහැස්ති වෙන්න තාත්තාඅම්මලාගේ ගෙදර යන්න. එහේ ගිහින් මාසයක් දෙකක් ඉඳලා එන්න මැණිකේ. එතකොට ඔය හේබාපු ගතිය ඇරෙයි” වෙව්ලන අතින් මගේ හිස අතගාමින්, වෙව්ලන වදන් තරයේ අල්ලාගනිමින් තාත්තා පැවසූ ආකාරය මට අද මෙන් මතකය. මම තාත්තාගේ උරහිසේ හිස තියාගෙන හැඬුවෙමි. තාත්තා දිගටම මගේ හිස අත ගෑවේය. එලෙසින් ගත වූ කාලය කොපමණදැයි මට මතක නැත. අම්මා පැමිණි දොර උළුවස්සට හේත්තු වී හඬමින් සිටින අයුරු හිස ඔසවන විට දිටීමි.

“අම්මේ....... මං තාත්තාඅම්මලායේ ගෙදර යන්නද?” මම ඇඳ මත හිඳ ගනිමින් ඇයගෙන් විමසුවෙමි.

“ඔව් පුතේ ඔයා යන්න. ගිහින් ඉඳලා එන්න. එහේ ඉද්දි හිතට සහනයක් දැනෙයි” අම්මා ද මා පසෙකින් වාඩි වූවාය. තාත්තා මගේ මේස පුටුවේ වාඩි විය. තාත්තාත් අම්මාත් මාත් තිදෙන ත්‍රිකෝණයක මුළු තුනට වී බිම බලාගෙන සිටි ඒ මොහොතේ තිබුණු නිහැඬියාවත් ජනේලයෙන් කාමරයට ගෙනා මද ආලෝකයත් කාමරයේ වූ මද අඳුරත් එකට මුසුව ඇති කලේ ගුප්ත බවෙකි.


************************************

තාත්තාඅම්මා සියල්ල දැන සිටියාය. මා පසුව දැනගත් පරිදි මුල් දිනවලම තාත්තා පැමිණ මේ ගැන තාත්තාඅම්මා සමඟ පවසා ඇත. එදා ඇයත් තාත්තාත් අම්මාත් එක්ව ගත් තීරණයෙන්, මාස හතරකට පමණ පසු මා ඇයගේ සෙවනට පත්ව සිටි බව මට පසුව දැනගන්නට ලැබිණ.

තාත්තාඅම්මා තනිව මහගෙදර විසුවාය. ඇයගේ සේවයට කුස්සියේ උයන අම්මා කෙනෙකුත්, වත්ත පිටිය වැඩකටයුතු බලාගන්න ඒ අම්මාගේම පුතාත්, පරණ කාරය පදවාගෙන යන්න ඉඳහිට එන සීයා කෙනෙකුත් හැර වෙන කිසිවකු ඒ නිවසේ දැකගත නොහැකි විය.

එහි වූයේ සීතල, තනි කමෙකි. බිම පවා පයට ගෙන ආවේ අමුතු සිසිලකි. ගස් කොලන් වලින් වටව තිබුණු මේ නිසංසල පරිසරයේ සුව විඳින්නට මීට පෙර මට නිවාඩු පාඩුවක් නොවින. ඒ තරමට කොළඹ රටේ කාර්යය බහුල වූ මා ඒ වනවිට නිකම්ම නිකම් නිකමියක නොවේදැයි සිතී මුල් දිනවල තනිව හැඬු අයුරු කිසිවකු දැන සිටියෙ නැත. මා එහි ගිය දින තාත්තාම්මා මා ආදරයෙන් පිළි ගත්තාය.

“කොච්චර දෙයක්ද මගේ මැණිකේ ආ එක. අපි දෙන්නට කරන්න කොච්චර වැඩ‍ තියෙනවද?” ඇය මා සිඹිමින් පැවසුවාය. ඔසරියකින් සැරසී, පබළු මාලයක් පැළඳ, කොණ්ඩය ගැට ගසා, සිනා කටින් ඉන්න ඇය මට සිහිකලේ අයිරාංගනී සේරසිංහ මහත්මියවයි.

පුංචි කාලේ ඉස්කෝලේ නිවාඩු දිනවල දිනකට දෙකකට පැමිණියත්, අමතර පංති නිසා විගස නැවත කොළඹ දිව ආ අපි ඇයට බොහෝ සෙයින් ලං වූ දරුවෝ නොවීමු. මා මෙහිදී අපි යැයි පැවසුවේ බාප්පාගේ හා නැන්දාගේ දරුවෝ සහ මාය. එහෙත් එසේ ගතව ගිය කාලය ගැන මා හට අපමණ ලෝභ කමක් ඇති කලේ තාත්තාම්මා සමඟ මා ගත කල ඒ මාස එකහමාරක පමණ කාලයයි. ඇය ඒ තරමටම ලෙංගතු, ආචාරශීලි, ගුණවත් ස්ත්‍රියාවක් වූවාය. මගේ තාත්තාගේ ස්වභාවය ඇගෙන් උරුම වූවක් බව මම පසක් කලෙමි. ඇයව එලෙස තනිකර කොළඹ රටට වී ජීවිතය පසු පස දුවන අප ගැන මුලින් මා හට ඇති වූයේ කේන්තියකි. පසුව අනුකම්පාවකි.

එහි ජීවිතය සරළ විය. උදෑසන අවදි වන විට කුස්සි අම්මා උදෑසන ආහාරය පිළියෙල කර අවසන් හෝ අවසන් කරමින් සිටින්නීය. තාත්තාම්මාත් ඇයට උදව් වන්නීය. පසු පසුව අප තිදෙනාම එක්ව ආහාර පිළියෙල කලෙමු. උදෑසන කටයුතු අහවර ව පොත් පත් කියවමින්, මැහුම් ගෙතුම් කරමින්, කථා බහ කරමින් ගත කරන අප දෙදෙනා, බොහොම දිනවල ඉඩම කෙලවරින් ගලා බසින අතු ගඟට යන්නේ නැවුම් වූ සීතල වතුර ටිකක් හිස මත හොවා ගන්නටය.

සමහරවිට ඔබට මවිතයක් දැනෙනු ඇත. ප්‍රේමය අහිමිව හඬා වැලෙපෙමින් සිටි මා ඔය වාගේ කාර්යයන් වල නිරත වූයේ කෙලෙසින්ද යන වග ඔබ කල්පනා කරනු ඇත. එහෙත් ප්‍රේම වියෝගයෙන් මුලින් උද්වේගකර ලෙස වැළපුනු මා මේ කියන කාලය වන විට යොමුව සිටියේ ඇතිව තිබූ තත්ත්වයේ තව දුරටත් ඇලී ගැලී නොසිට කෙලින් කටින් සිට ගත යුතුය යන සිතුවිල්ලෙනි. එහෙත් තවත් ප්‍රේම කථා නම් මගේ ජීවිතයේ නොලියැවෙනු ඇති බව සක් සුදක් සේ පැහැදිලිව දකිමින් සිටියෙමි.

මට ඇවැසි වූයේ ලෞකික ජීවිතයෙන් ඔබ්බට ගිය සැනසුමක් දෙස තාත්තාම්මා සේම නෙත් හෙලන්නටය. මම ඇය සමග බණ දහම් පිළිබඳව කථා කලෙමි. ඇය මට මා නොදත්, මා වැරදි ලෙස වටහාගෙන සිටි, කරුණු බොහොමයක් පහදා දුන්නාය. අපි දෙදෙනා සැමදා හවස වතාවත් වල යෙදුනු අතර දින දෙකකට වරක් පන්සල් ගියෙමු. මෙවන් කාන්තාවක් මෙතරම් කල් මුණ නොගැසී මා කලේ මොන ‘බම්බුවක්දැයි’ මට ම සිතුනු වාර බොහෝ විය. ඇයගේ කාරුණික සෙවනේ මම නැවත ඉපදෙමින් සිටියෙමි.

ඇය බොහොම බැරෑරුම් කෙනෙක් යැයි ඔබට සිතෙනු ඇත. නැත, ඇය බොහොම සරළ තැනැත්තියකි. අතේ රැඳි සිහින් රත්‍රං වළලු සිහින් හඬින් ලෙලෙන සේම විටෙක විසුළු කථාවක් පවසා කිකිණි හඬින් සිනා සලන්නීය. ඇය මා නොසිතන දේ පවසමින් මා හට සිනා කැඳවූවාය.

ඇගේ ගෙමිදුලේ වූ අලංකාර මල් වගාව අප දෙදෙනා එක්ව තවදුරටත් මනස්කාන්ත දර්ශනයක් බවට පත් කලේ භාවනාවක යෙදෙන අයුරිනි. දිනක් මෙසේ ගෙමිදුලේ කටයුතු කරමින් සිටින විට මගේ සිතේ තිබුණු පැනයක් මම තාත්තාම්මාගෙන් විමසුවෙමි.

“ඇයි තාත්තම්මේ, සීයාතාත්තා මැරුණට පස්සේ තාත්තාම්මා ආයේ බැන්දේ නැත්තේ? ඒ කාලේ තාත්තම්මාට වයස 30ක්වත් නැහැ කියලා තාත්තා කියනවා” මම මුල්ලුවෙන් ගාර්ඩ්නියා ගහක් වටේ හාරන ගමන් ඇයගෙන් විමසුවෙමි.

“අනේ අනේ, මගේ මැණිකෙට මතක් වෙච්චි දෙයක්. අනේ හැබෑමට මට ඒක අමතක වුනානේ. දැන් බැරි වෙයිද දන්නේ නැහැ කෙල්ලට මට හොඳවැයින් නාකි කොල්ලෙක් හොයාලා දෙන්ට” ඇය ඉනට අත් දෙක තියාගෙන කිකිණි සිනා සලන්නට වූවාය.

මම ද ඇය සමග හවුලේ සිනා සීමි.

“බැරි වෙන එකක් නැහැ, යංකෝ කොළඹ. අපේ ගේ ඉස්සරහින් උදේට උදේට දුවන ග්‍රැන්ඩ් පපෙක් ඉන්නවා. එයා නං තාත්තාම්මාට කියාපු කෙනා” පැවසු මම දිවගොස් ගේ ඉදිරිපිට පිය ගැටයක් මත වාඩි වුනෙමි.

තාත්තාම්මාත් පැමිණ ඇගේ හාන්සි පුටුවේ වාඩි වූවාය. “එතනෝ, තේ කහට ටිකක් බොමු නේද?” කුස්සිය දෙසට හැරී පැවසූ ඇය, “දුව මෙතැනින් වාඩි වෙමුද?” යි මා දෙස බලා පැවසුවාය.

“සීයාතාත්තා මැරුණු දවස් වල මම ඔයා වගේම ඇඬුවා. මට දැනුනු තනිකම මෙච්චරයි කියලා කියන්න බැහැ. ලෝකෙම කඩා වැටුනා. දරුවෝ තුන්දෙනෙක් එක්ක මං තනි වුනා.” සාමාන්‍යයෙන් මෙවැනි කථාවක් පවසන විට, පවසන ගැහැණු කෙනා ඔසරි පොට ගෙන දෑස පිස දමනු ඔබට මැවෙනු ඇත. එහෙත් මගේ තාත්තම්මා නොහැඬුවාය. ඇය සෙමින් සෙමින් වෙනදා මෙන් කථා කරමින් සිටියාය. මම බණ කථාවක් අසන උවැසියක සේ ඇය දෙස නෙත් හෙලා සාවධානව අසා සිටියෙමි.

“මිනිස්සු නොයෙකුත් දේවල් කිව්වා. මගේ කාලකන්නි කම කිව්වා. මගේ කේන්දරේ බලවත් කිව්වා. එතකොට පිරිමියෙකුට යටත්ව ඉන්නේ නැහැ කිව්වා. ඔය මුල් දවස් වල කියපුවා. පස්සේ පස්සේ කණවැද්දුමි කියලා ඇහෙන්නම කිව්වා මැණිකේ. මක් කරන්නද ඉතිං ලබා උපන් හැටිනේ. මගුල් ගෙවල් වලට එහෙම මං නොයා බැරි කමට හැංගි හැංගි වගේ ගියේ. අසුභ කථා කියැවෙන්න පුළුවන් නිසා. ඔහොම ජීවිතේ ගත වුනා.” එතනා ඇවිත් තේ කෝප්ප දෙක ටීපෝව මත තබා යන්නට ගියාය.

“මේ ඉඩ කඩම් නිසා, දරුවෝ තුන්දෙනා ලොකු මහත් කරගන්න ඇති තරම් මිල මුදල් ලැබුනත්, ඒ කටයුතු නිසියාකාරව පාලනය කරගන්න ගොඩක් වෙහෙස වෙන්න වුනා. හැරුනත් පදයක් හැදෙන්න පුළුවන්. දරුවන්ට කැලලක් නැතිව, නැති වෙච්චි මගේ මනුස්සයාගේ නම කැත නොවෙන විදිහට ජීවත් වෙන්න වෙනමම උත්සහ කරන්න වුනා දුවේ.” තාත්තාම්මා මගේ අතින් තේ කෝප්පයක් තබා ඇයගේ කෝප්පය අතට ගත්තාය.

“තාත්තම්මා දැනුත් කෙල්ල වගේනේ. ඒ කාලේ ලස්සන ඇති. ගමේ සීයලා ආවේ නැද්ද අත පතාගෙන.” මම ඇසුවෙමි. ඇයගේ දුක්බර පෙනුමක් නැති නිසා මටත් විසුළු නොකල යුතු අවස්ථාවක් ලෙස නොහැඟිණි.

“මොකද නැත්තේ. එක විකාරයයි. සීයාතාත්තාගේ නෑයෝ මං අතින් වරදක් වෙනතුරු බලං ඉන්නවා. අපේ නෑයෝ මාව බන්දන්න හදනවා. බොරු කියන්නේ මොකටද සමහරවිට මටත් හිතුනා මේ තනිකමින් පිරුණු ජීවිතේ කොහොම ගෙවන්නද කියලා. ඒත් දරුවෝ තුන්දෙනා ගැන හිතලා, ඊටත් වඩා සීයාතාත්තා ගැන හිතලා මං කසාදයක් නොකරගෙන හිටියා. ඒ මොකද සීයාතාත්තා මේ ගෙදර ඉන්න බව මට නොයෙක් විට දැනිලා තිබුනා. එයා දරුවන්ට බලන බව, දරුවන්ට ඉගෙනුමට උදව් කරන බවට මගේ හිතේ ලොකු විශ්වාසයක් තිබුනා. හැමදාමත් සීයාතාත්තාට කෑම පංගුව වෙන් කරලා තමයි අපි කෑවේ බීවේ. මම සීයාතාත්තා වෙනුවෙන් කැපවෙලා ඉදිරි ජීවිතය ගත කරන්න තීරණය කලේ, එයාත් ආත්මයක් හැටියට අපි වටාම ඉන්න බව දැනුනු නිසායි” තාත්තම්මා සෙමින් සෙමින් ඇගේ අතීතය දිග හැරියාය.

“දරුවෝ තුන්දෙනා හොඳින් ඉගෙන ගත්තේ, සීයාතාත්තාගේ බැල්ම නිසා කියලා ගමේ මිනිස්සු අද පවා කථා වෙනවා.” ඇය සිනා සෙන්නීය.

ඇයගෙන් කෙරුනු කොටස ගැන නොපැවසී, නොපෙනන බලවේග වලට ලකුණු දීම ගැන ඇයට කිසිම මනස්තාපයක් නොවීය. එහෙත් මට සිතුනේ ඇය අයාලේ ගියා නම් , බාප්පා තාත්තා හා නැන්දා යහපත් අයුරින් හැදෙන හැටි බලන්නට තිබුනා නොවේද යනුවෙනි. එහෙත් එවෙලේ ඇගේ විශ්වාසයට හිංසා කිරීමට අකමැති වූ නිසාවෙන් ඒ පිළිබඳ ව නොපැවසීමි.

“මැණිකේ, මං කාටවත් නොකී කථාවක් තියෙනවා මේ කථාවේ. ඔයා මේ කථාව දැන් ගන්න ඕනේ. ජීවිතේ අපි කොච්චර වැරදි මත වල පිහිටලා කටයුතු කරනවද කියලා ඔයා එතකොට හොඳින් තේරුම් ගනියි. හැබැයි මගේ කෙල්ලේ මගේ තරුණ කාලය ගෙවුනු හැටි ගැන අබ මල් රේණුවක තරම්වත් කණගාටුවක් දැන් මගේ හිතේ නැහැ” තාත්තම්මා මගේ හිස අතගාමින් පැවසුවාය.



මතු සබැඳි..................

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...