Wednesday, May 26, 2010

51. තුතිපුදදුන් උණුසුම් හාදුව


ඇය ගර්භණී මාතාවක් වූවාය.
ඔහු ඇයගේ වටිනා ජීවිතය ගලවා ගත්තේය.
ඔහු ඇයගේ වටිනා ජීවිතය,
ඇයගේ නිවස වසා පැතිරෙන්නට වූ බියකරු ගිණි ජාලාවෙන් ගලවා ගත්තේය.
දෝතින් දරාගෙන, පුංචි දරුවකු ගෙන එන්නාසේ වඩා තුරුළුකරගෙන ඉදිරිපස මිදුලට ගෙන ආවේය.
ඒ ද ඒ බියකරු ගිණි ජාලා සමගින් තවදුරටත් පොර බදනා අතරතුරදීය.

ඒ ගලවා ගැනීම සාර්ථක වූ බව සක් සුදක් සේ පසක් වූ පසු
සැනසුම් සුසුමක් හෙලා ඒ සමගින් ම මහා සුසුමකින් ලයපුරවාගෙන ඔහු බිමින් වාඩි විය.
අසීරු ම කර්තව්‍ය නිමා කර, විඩා නිවන්නට ඔහු බිමින් වාඩි විය.

ඒ ඇසිල්ලේ ඔහු අසලට ලං වූයේ ඡායාරූප ශිල්පියෙකි.
ඒ ඡායාරූප ශිල්පියා යමක් දුටුවේය.

ඇය සිටියාය.
පසෙකට වී විඩාබර, බියපත් දෙනෙතින් ඔහු දෙස නෙත් නොසලා බලාගෙන ඇය සිටියාය.
සිය දිවි නොතකා තමාත් තම කුස ඔත් දරුවනුත් වෙනුවෙන් කැපවුනු
ඒ අසාහය ආදරණිය පුරුෂයා දෙස බලාගෙන,
වදනට කැටි කිරීමට නොහැකි තරම් හැඟීම් දෙනෙතින් දනවමින්,
ඇය සිටියාය.

යම් කිසි සිදුවීමක් සිදුවන්නට යන බව ඒ ඡායාරූප ශිල්පියා දුටුවේය.
ඔහු නිසගයෙන් සිය ආම්පන්නය සුදානම් කර ගත්තේය.

ඇය,තුති පළ කිරීමට කාලය එළඹ ඇති බව දත්තාය.
සෙමින් දෙපයට වාරු ගත්තාය.
සෙමින් සෙමින් පියවර මනිමින් ඒ මිනිසා වෙත ලං වූවාය.
සිය මුව ඔහුගේ මුව මතට ලං කලාය.
ඒ මොහොතේම, ඒ අමතක නොවන මොහොතේම
ඒ සිදුවීම සිය කාචය මත සටහන් කරගන්නට ඒ ඡායාරූප ශිල්පියාට හැකි වූ නිසාවෙන්,
.......................................
මේ ඡායාරූපය ඔබ වෙත ගෙන එන්නට මට හැකි විය.







Friday, May 21, 2010

50. ජීවිතය දිනන්නට වෙර දරනා උන්ට... (දිරිය පුත්‍රයෙකුගේ කථාවක්)

අවුරුදු 30කට ආසන්න වූ මාගේ ජීවිත කාලයේදී, ජීවිතය ගොඩ නගා ගන්නට උත්සහ දරණ, පවුල යනු කුමක්ද ඒ තුල තමන්ගේ භූමිකාව කුමක්ද යනුවෙන් මනා වැටහීමක් ඇතිව ජීවත් වන, තමන් ලඟා කර ගන්නට උත්සහ දරණ ඉලක්කය වෙත නොපසු බට වීර්යයෙන් යුතුව පිය මනින, පිරිමින් දැක ඇත්තේ එක අතක ඇඟිලි වලින් පමණක් ගිණිය හැකි ප්‍රමාණයකි. ඒ සමහර විට මා දන්නා පිරිමින් අතර තවත් එවැන්නන් නොසිටීම හෝ සිටියත් ඒ පිළිබඳ මා හට වැටහීමක් නැති බව විය හැකියි. මා කියන්නට යන කථාවට ඒ සංගණන වාර්තා අවැසි නැත. අවැසි වන්නේ උක්ත දක්වන ලද විශේෂන විස්තරය පමණි. ඉතින් මේ මිනිසුන් අතරින් කෙනෙකු ගැන, අද ඔබට පවසමි. අහඹු ලෙස මාගේ 50 වෙනි ලිපිය ඔහු ගැන සටහන් කිරීමට වෙන් කිරීමට හැකි වීම මට ඉමහත් සතුටකි.

මිනිසත් කම ලබා උත්පත්තිය ලබනවා යැයි කියන්නේ ඉතාමත් දුර්ලභ සිදුවීමක් වශයෙන් බෞද්ධයන් වන අප අතර පිළිගත් මතයක්ව ඇත. එහෙත් එසේ ලැබුනු මිනිසත් කමට නිගා දෙමින් ජීවත්වන මිනිසුන්නම් අප අතර දුර්ලභ නොවෙයි. අංග සම්පූර්ණ වූ මිනිසෙකු හෝ ගැහැණියක වශයෙන් මෙලොව එළිය දුටු බොහෝ දෙන රටටත් ලෝකයටත් පමණක් නොව තමන්ටවත් වැඩදායක පුද්ගලයකු වශයෙන් ජීවත් වන්නට නොසිතන ලෝකයක උපතින් දායාද කරගත් යම් ආබාධයක් සහිතව, එපමණක් නොව මිනිසකු වශයෙන් දරාසිටීමට ඉතාමත් අපහසු වූ කඩඉම් කිහිපයකටද මුහුණ දීමට සිදුව, එයින් නොසැලී ජීවිතය ජයගත් අපේ කාලයේ දිරිය ප්‍රත්‍රයෙකු ගැනයි අද මාගේ සටහන.

ඔහු, අපේ අම්මාගේ හොඳම මිතුරියන් අතරින් කෙනෙකුගේ වැඩිමහල් පුතු වශයෙන් උපත ලැබීය. ඔහු එදා, විය යුතු සේම ඔහුගේ අම්මා තාත්තා සේම පියකරු පැහැපත් සිඟිත්තකු වන්නට ඇත. එහෙත් දුටු මතින් පෙනී යන, මනුෂ්‍යයකුගේ ජීවිතයට නැතිවම බැරියයි කෙනෙකුට සිතෙන, බලවත් වූ අඩුපාඩුවක් යැයි අප සැවොම සිතන එක් අංගයක් ඔහු කෙරෙහි නොවූ බව දුටු ඒ අම්මාට මොනවා නම් සිතෙන්නට ඇතිදැයි අද අම්මා කෙනෙකු වශයෙන් මා හට මොනවට පැහැදිලි වෙයි. ඒ සිඟිති පුතු මෙලොව එළිය දුටුවේ සිය වම් අත වැලමිට අසලින් අහිමිවයි. මුල් දිනවල ඒ අම්මා අපමණ ලෙස දුක් වන්නට ඇති. දරුවාගේ අනාගතය ගැන කඳුළු සලන්නට ඇති. නමුත් නොබෝ දිනකින්ම ඇයත් සැමියාත් දරුවාගේ ජීවිතය ගොඩනගා ගන්නට ඔහුට උගන්වන්නට සිතා ගන්නට ඇති.

වෙනත් දරුවන් සේම ඉතාමත් සාමාන්‍ය ආකාරයෙන් හැදුනු වැඩුනු ඔහු කුඩා කලදීම චිත්‍ර ශිල්පයට දස්කම් ඇත්තකු බව පෙන්වන්නට විය. ඉඳින් ඒ අම්මාත් තාත්තාත් ඔහුට ඒ මග යන්නට හැරියෝය. කොළඹ ඉතාමත් ප්‍රසිද්ධ පිරිමි පාසලකට ඔහුව ඇතුලත් කරන ලදී. පුංචි වයසේ සිටම දඟකාර දරුවකු වුනු ඔහු සමඟ කරට කර සිටීමට සමත් දරුවන් සිටියේ නම් ඒ ඉතා ස්වල්ප දෙනෙකු වන්නට ඇත. පුංචි කාලයේදී කෘතිම වම් අතක් ලබා දුන්නද එයින් ඔහුගේ තිබෙන වම් අතින් කරගන්නා වූ වැඩ කොටස කරගන්නට ද ඔහුට අපහසු වූ බැවින් ඒ කාලයේදිම එය ඉවත් කර ඇත. දන්නා අය දනිති. ඔහු ඒ තරම්ම සාමාන්‍යකරණිය වී සිටියේය. අම්මා තාත්තා නෑදැයින් යහළු මිත්‍රයින් හට ඔහුගේ කිසිම වෙනසක් නොපෙණින.

‍එහෙත් අම්මා නම් තවත් දරුවන් හදන්නට නොසිතුවාය. ඇය ඒ ගැන අපේ අම්මා සමඟද වරින් වර පවසා තිබිණ. එහෙත් අපේ අම්මා ඇතුළු බොහෝ මිතුරියන් ඇය හට පැවසුවේ නැවත වාරයක් එවැන්නක් සිදු වෙතැයි සිතිය නොහැකි බවයි. කෙසේ හෝ අයියාට නංගී කෙනෙකු ගෙනෙන්නට අවසානයේ අම්මාත් තාත්තාත් සිතන්නට ඇති. ඔහුට වඩා අවුරුදු 8 ක් පමණ බාල, පුංචි සුරංඟනාවක් වන් නංගී කෙනෙකු අයියාට හිමි වුනේ ඒ ආකාරයටයි.

ඔහුගේ වැඩ කටයුතු ඔහුටම කරගන්නට දෙන්න යැයි තාත්තා විසින් අම්මාට පැවසුවේ යම් දිනෙක ඔහු ඒවා තනිවම කරගතයුතු වූ නිසාවෙනි. සිතේ අකමැත්තෙන් වුවද අම්මා ඒ සඳහා ඔහුට ඉඩ හැරියාය. අවසානයේ නිවසේ වැඩ කටයුතු බොහොමයකට ඔහුගේ උදව්ව අම්මාට නැතිවම බැරි වන ගානට ඔහු හැම දේම උගත්තේය.

සාමාන්‍ය පෙළින් පසු උසස් පෙළ ද හොඳින් හැදෑරු ඔහු පාසල තුලද ජනප්‍රිය චරිතයක් විය. පාසලේද ගමේද බොහෝ සමිති සමාගම් වල තනතුරු දැරූ ඔහු ඒවායේ කටයුතු වල ඉතාමත් ක්‍රියාශීලී අන්දමින් නිරතවිය.

සියල්ල හොඳින් සිදුවිය. තරුණ වියට එළඹෙත්ම එක් ගැහැණු ළමයෙකු කෙරෙහි ඔහුගේ සිත ඇදී යන්නට විය. සිය සිතැඟි ඇය හා පවසා ඇය හා මිතුරු වූ ඔහු සිය අනාගතය නිසි ලෙස ගොඩ නගා ගන්නට පාසල් අධ්‍යාපනයෙන් පසු වෘත්තීය මට්ටමේ අධ්‍යාපනයක් කෙරෙහි යොමු විය. ඒ සඳහා තෝරා ගත්තේ සැළසුම් ශිල්පයයි. එය කෙනෙකුට විශ්මයක් විය හැක. එහෙත් ඔහුව දන්නා අපට එහි විශ්මයක් නැත. අද ඔහු සාර්ථක සැළසුම් ශිල්පියෙකි. එහෙත් ඔවුන්ගේ ආදර සම්බන්ධයට වසර ගණනක් සපිරිණු පසුවද ඇයගේ නිවසින් එල්ල වූ බලවත් විරෝධය ලිහිල් නොවූ බැවින් ඔවුනට වෙන් වන්නට සිදුවිය. මා දන්නා පරිද්දෙන් ඔහුගේ ජීවිතයේ ඔහුට දැනුනු ප්‍රථම බලවත් පීඩාව එය විය.

එයින් අනතුරුව සිය රැකියාවේ යෙදෙමින්, ගෙදර දොර කටයුතු වල යෙදෙමින්, ඉතාමත් ලබැඳි වූ නෑ හිතමිතුරන් සමඟ ගෙවා දැමූ කාලයට නැවතත් අවාසනාව ගෙනෙමින් සිදුවූ සිය ආදරණිය මෑණියන්ගේ වියෝවට මුහුණ දීමට ඔහුට සිදුවිය. හදිසි හෘදයාබාධයකින් ඇය මෙලොවින් සමු ගත්තාය. එවකට ඔහුට වයස අවුරුදු 25ක් වූ අතර 17 වියැති නැගනිය පාසල් යන වයසේ පසු වූවාය. නැවතත් කාලය ගෙවී යන්නට විය. මේ අතර පරිගණක ආශ්‍රිත සැළසුම් ශිල්පියෙකු වූ ඔහුට එතෙර රැකියා වරමක් උරුම විය. බලන්න. සිය හැකියාවන්ගෙන් උපරිම ප්‍රයෝජන ගැනුමට මිනිසෙකුට අවැසි වන්නේ උත්සහය පමණි. මොන දේ තිබුණද සිය උත්සහය නැතිනම් ඒ කිසිම දෙයකින් පලක් නොවනු ඇත.

ඔහු රට රැකියාවේ නියුතු වන අතර නැවතත් ඔවුන්ගේ ජීවිත වලට අඳුර ගෙනෙමින් ඔහුගේ නැගණිය හදිසියේ වියෝ වූවාය. යම් දිනෙක අයියාට නංගීත් නංගීට අයියාත් සෙවනැළි වන කාලයක් උදා වනු ඇතැයි අම්මාත් තාත්තාත් හිත් සනසාගෙන සිටියාත් ඒ පුංචි සුරංගනාව හදිසියේ මෙලොවින් සමු ගත්තේ අප කාටත් සිතාගන්නටත් බැරි ලෙසිනි. එතෙර සිට සිය නැගනියගේ මළ ගමට පැමිණි ඔහු හැම සිත් කම්පා කරවමින් හඬා වැටුනේය. එහෙත් පිය පුතු දෙදෙන තනිකර අම්මාත් නංගීත් නොයෙන ගමන් ගිහින් අහවරය.

මෙලෙසින් කාලය ගතවිය. නැවතත් එතෙර සිය රැකියාවට වාර්තා කල ඔහු එහි නිරතව කාලය ගෙවා දැමීය. ඒ අතරතුර පියා ඇතුළු නෑදැ පිරිස ඔහුට මනාලියක සෙවීමේ කර්තව්‍යයේ යෙදුනෝය. අවසානයේ ඔහුට හිමි ඔහුගේ සහකාරිය සොයා ගැනීමට ඔවුනට හැකි විය. ඔහුගේම මිතුරකුගේ නැගනි කෙනෙකු වූ ඇය මා තවමත් දැක නැත. ඔවුන්ගේ විවාහය මහ වැසි මැද ඊයේ දිනයේ උත්සවාකාරයෙන් පැවැත්වින. හෙට දින දෙවන දින උත්සවයට පැවැත්වෙන අතර එයට සහභාගී වීමෙන් අනතුරුව සඳුදා වැඩි විස්තර ඔබ හැමට පවසන්නම්.

මේ සියල්ල පවසා මා හට කීමට අවැසි වූයේ එක් දෙයක් පමණි. තමන් සතු නොයෙකුත් ආබාධ දක්වමින් අනුන්ගෙන් යැපෙන්නට අද සමාජයේ කොතෙකුත් දෙනා උත්සහ දරණවාද යන්න සමාජය දෙසට නෙත් හෙළු සැනින් මොනවට පැහැදිලි වෙයි. එහෙත් සාමාන්‍යයෙන් ගත් කල වඩා බලවත් ආබාධයක් ලෙස සැලකිය හැකි මෙවන් තත්ත්වයකදීද නොසැලී ජීවිතයට මුහුණ දුන් ඔහු අපේ කාලයේ දිරිය පුතුනුවකු නොවන්නේද? ජීවිතයට මුහුණ දුන්නා පමණක් නොව ඔහු ජීවිතය ජය ගත්තේය. දරා ගැනීමට අපහසු මානසික කම්පනයන්ටද ඔහුව පෙරළා දැමීමට නොහැකි විය. දැන් ඉදිරි ජීවිතය යෙහෙන් ගත කිරීමට අවැසි සම්පත් ඔහු සතුය.

යම් කෙනෙකු ජීවිතයේ පැමිණෙන නොයෙකුත් බාධා හැලහැප්පීම් මැද පසු බා යන බවක් පෙනේ නම් ඔවුනට මේ කථාව කියන්න. ජිවීතයේ එන බොහෝ බාධා වලට උදාහරණ මේ දිරිය දරුවාගේ ජීවිතය තුළ තිබේ. බ්ලොග් අවකාශයේ බොහෝ ලියැවිලි පිරී තිබෙන්නේ ප්‍රේම වියෝගයන් සහ එයින් ඔවුන් විඳින වේදනාව දැක්වෙන වදන් වලිනි. ප්‍රේම වියෝගය දරා ගත නොහැකි වේදනාවක් බව දනිමි. එහෙත් එක්ව එක තීරණයකට එන්නට බැරි වූ විට වෙන් වෙන්නට සිදු වූවා නම් එයින් අනතුරුව සිත හදා ගන්නට සිදුවන බව මේ චරිතයේ ආදර්ශයයි. මේ ලියැවිල්ල කියැවූ කෙනෙකු එයින් යම් යහපත් අදහසක් ගනු ඇතැයි මම විශ්වාස කරමි.

දැනට මේ අයියාද බ්ලොග් සටහනක් ආරම්භ කර ඇත. එහෙත් ඔහුගේ අනන්‍යතාව ඔහුගේ අනු දැනුමකින් තොරව ඉදිරිපත් කිරීම යහපත් දෙයක් නොවන බැවින් ඔහුගේ බ්ලොග් සටහනේ ලිපිනය පසුවට ලබා දෙන්නෙමි. එවිට එයට ගොඩ වැදී ඔහුට සුභ පැතුමක් එක් කරන්නට ඔබ සැමට හැකි වේවි.

ඉඳින් මා මිතුරු මිතුරියනි !!!!!!!!!! අප සමඟ එක්ව ඔහුගේ ජීවිතයේ මේ ප්‍රීතිමත් දිනය සමරන්නට එක්වන මෙන් ඇරයුම් කරමි. අප සමඟ එක්ව ඔහුට සුභ පතන්නට එක්වන මෙන් ඉල්ලා සිටිමි.


තනි දිවිය නිමවා යුග දිවිය ඇරඹුනි
ඒ දිවිය තුටින්, යෙහෙන් ගෙවන්නට
සුභාසිරි ගෙන එන්නෙමු මේ ලෙසින්

මාත් ඔහුත් අප දියණිත් පමණක් නොවෙයි
සයිබර් අවකාශයේ අප මිතුරු සැම දෙනත්
ඔබ දෙපළට සැපත, ජය, සතුට ආදී වූ සැම යහපත් දෙයක්ම
ඉත සිතින්ම පතන්නෙමු, වැජඹෙන්න යෙහෙන්

උදා වූ නව දිවිය, සතුට ම උදා කරත්වා අයියේ අක්කේ සැමදා ඔබ දෙපළට‍ !!!!!!!!!!!!






Thursday, May 13, 2010

ලාංකීය සිතුවිලි මෙහෙයවන සහෘදයනි !!!!!!! ඔබට අපගේ ප්‍රණාමය





ලාංකීය සිතුවිලි බ්ලොග් කියවනය විසින් මෙහෙයවන, ලාංකීය ඉතිහාසයේ ප්‍රථම වරට සංවිධානය කරනු ලැබූ අන්තර්ජාල කවි මඩුව අද උදෑසන 8.30ට චිරගත සම්ප්‍රදායට මුල් තැන දෙමින් පොල්තෙල් පහන දැල්වීමෙන් ආරම්භ ‍කිරීමට යෙදුන අතර මේ වන විට එහි ලියාපදිංචිව සිටින සියයකට ආසන්න සාමාජිකයින්ගෙන් බහුතරයක් කවි කීමට කවි මඩුවට රැස් වී සිටී.

ඉතාමත් උද්යෝගීමත් අයුරින් ඉදිරියට ගලා යන මෙහි සංවාදශීලි අන්දමින් කිවි කිවිඳියන් සිය දක්ෂතා දක්වනු දැක ගත හැකිය. අප රටේ තරුණ පරම්පරාව, විශේෂයෙන් අන්තර්ජාලය තුල සරන පිරිස මෙවන් කාර්යයකට එක් රැස්ව සිටිනු දැකීමද ඉමහත් සතුටට කාරණයකි. එයට හේතුව අන්තර්ජාලය යනු තරුණ පරම්පරාව ව්‍යසනයට පත් කරන ස්ථානයක් වශයෙන් බොහෝ දෙනෙකු තුල මුල් බැස ඇති මතයක් වීමයි. සිංහල බ්ලොග් කරණය හරහා ලේඛනයෙහි ඇති සිය දක්ෂතාව ඔපමට්ටම් කරගනිමින් සිටින අප සහෘදයන් හට, නිසංසලේ කල්පනා කරමින් කවි පබඳීමට පමණක් නොව හිටිවන කවි ගෙතීමෙහි හැකියාවක් ද තමන් කෙරේ පවතින බව අද දින සිට ඉදිරියට පුරා සතර දිනක් පවත්වන්නට නියමිතව ඇති මේ කවි මඩුව නිසා මොනවට පැහැදිලි වනු ඇත.

ලාංකීය සිතුවිලි මෙහෙයවන සහෘදයනි !!!!!!! ඔබටයි මේ ප්‍රණාමය.

බ්ලොග් කරණයෙහි නියැලෙන අප වැනි අංකුර ලේඛක ලේඛිකාවන් හට ඔබ හවුල විසින් ඉදිරියටත් මෙවන් අත්වැල් ලබා දෙනු ඇතැයි උදක්ම අපේක්ෂා කරමු.

Monday, May 10, 2010

49. අම්මේ නුඹ.............. දරුවෝ නිසා

දනිමි ඔබද මා මෙන්ම
ගැහැණියක මවක බව
කුස ඔත් දරුවන් රකිනා........

ඔවුන් හට මෙලොව පෙන්වන්නට
ජීවිතයද මරණයද නොදකිමින්

නොවිඳිනා දුක් විඳිනා.........

අප සිතද ගතද පෙළමින්
දරු පෝෂණය කරනා.........

ජාතිය කුමක් වුවත්
ඔබද මා මෙන්ම
ගැහැණියක මවක
බව දනිමි සක් සුදක් සේම.......

එනමුදු..........................

දුටු සැනින් අතක් ඔසවා
නොහැකි නම් දෙඅතම ඔසවා
මට නොහැකි වූයේ නම් සැමි බනවා


නුඹව තලා පෙලා මිරිකා මරා දැමුවේ
අහිතකින් නොවේ නුඹ ගැන
ඇති හිත නිසාමය

අප දියණි ගැන

සමා වෙයන් මදුරු අම්මේ මට.......................






Tuesday, May 4, 2010

48. මයි කාර් මයි පෙට්‍රල් සහ අවර් චුස් අවර්ට චුස්

අප දහදියෙන් ලැබ පණ
දෙ-රෝදයෙන් දුවන
අපගේම රථයෙන
කඩිමුඩියේ අප දෙදෙන
යන කළට උදෑසන
(මයි කාර් මයි පෙට්‍රල්)

සීරුවෙන් සිටින්
නොකියා කියමින්
නළා හඬවමින්
අත පයද වනමින්
පොලිස් නිල දැරුවන්
ගෙන යති කර මතින්

අප ඡන්දයෙන
ලැබ ඉන්ධන
විදුලි එළියක් ලෙසින
අසුරු සැනකින් දිවයන
මහ රථයක් දිලිහෙන
සහ එහි ඉන්දන
ලද (ජ)(තා) (නියෝජිත)යෙක් !!! යහතින
(අවර් චුස් අවර්ට චුස්)

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...