Friday, September 28, 2018

මැල්කම් රංජිත් කාදිනල්තුමා මතුකරන ශ්‍රී ලංකා කතෝලික සභාව මුහුණදී ඇති අවුල...


මාකස් ප්‍රියන්ත පෙරේරාගේ වියුණුවෙහි පළවූ ලිපියකි....

//බටහිර අළුත් ආගම මානව හිමිකම්.. අපි ආගම අදහනවා නම් මානව හිමිකම් ගැන කථා කරන්න ඕනෑ නැහැ...// 

බැලු බැල්මටම මැල්කම් රංජිත් කාදිනල්තුමා කරඇති කථාවේ වරදක් නැත යැයි පෙනීයනු ඇත. එම ප්‍රකාශයම වෙනත් ආකාරයකට දැක්වුහොත් ''මානව හිමිකම් මොකටද, අපි ආගම් අදහනවා නම්" යන්න කියවේ. ඒ අනුව මානව හිමිකම්වලට ඉහලින් ආගම් ඔසවා තැබීම සිදුවේ. ආගමික නායකයෙකු වශයෙන් සියල්ලන්ටම ඉහලින්, සියල්ලටම ඉහලින් ආගම ඔසවා තැබීම ඔහුගේ රාජකාරිය බව අපි දන්නෙමු. එහෙත් 'මානව හිමිකම්' යන්න බටහිර මතුවුයේ ආගම්වලට තවදුරටත් මිනිස් ජීවිතවල වටිනාකම් ආරක්ෂා කරදීමට අසමත්වීම නිසා යැයි යන තර්කයද කිසිසේත්ම ඉවතහෙළිය නොහැක.

විශේෂයෙන්ම, දෙවන ලෝක යුද්ධයෙන් පසුව, 1948 විශ්ව මානව හිමිකම් ප්‍රකාශනය එළිදක්වන්නේ අතිවිශාල ව්‍යසනයකට මුළු මිනිස් සමාජයම ලක්වූ පසුවය. දෙවන ලෝක යුද්ධ සමයේ සිදුවූ අතිමහත් කෲරතර මිනිස් සංහාරයක් කල හිට්ලර්, මුසලෝනි වැනි වර්ගවාදී, ජාතිවාදී ජන ඝාතකයන්ව කිසිසේත්ම වලක්වාලීමට කිසිදු ආගමක් සමත්වූයේ නැත. විශේයෙන්ම යුදෙව්, ජිප්සී (Gypsy people/Roma) ජනයා පමණක් නොව ශාරීරික දුර්වලතා සහිත ජර්මානු ජනයා ඇතුළු නියත මරණයේ අනතුරට ලක්කල ජනයාගේ ඉරණම වෙනස්කරලීමට ආගමික සංස්ථාපිතයන්ට කිසිදු තීරණාත්මක මැදිහත්වීමක් සිදුකල නොහැකිවීම ඉතිහාසයේ සිදුවූ ඉතා අවාසනාවන්ත තත්වයකි.

එම පසුබිම මත එළිදක්වන මානව හිමිකම් ප්‍රකාශනය කරලියට ඒමත්, එය බලාත්මකවීමත් සමග මහා මිනිස් ව්‍යසනයන්ට එරෙහිව අයෝමය හඩක් ගොඩනැගුනාසේම ඇතැම් ව්‍යසනයක් වලක්වාලීමටද, අවමකරගැනීමටද, එසේ නොහැකිවුයේනම් අඩුම තරමින් වරදකරුවන් නීතිය හමුවට පැමිණවීමට සහ නැවත එවැන්නක් ඇතිවීම වලක්වාලීමටද හැකිවිය.

අනික් අතට, මානව හිමිකම්හී නැගීමත් සමග ආගමික සංස්ථාවන්ට සහ ස්ථාපිතයන් අභියෝගයක්ද එල්ලවූ බව පැහැදිලිය. විශේෂයෙන්ම, ආගමීක නායකයන් අතින් සිදුවූ ළමා අපයෝජනයන් සම්බන්දයෙන් නීතිමය ක්‍රියාමාර්ගවලට යොමුවීමත්, එම ක්‍රියාවන් සම්බන්දයෙන් තරාතිරම නොබලා ආගමීක නායකයින්ට දඩුවම්දීමත්, ආගමික ඉගැන්වීම් නාමයෙන් ස්ත්රීන්ගේ මෙන්ම සමලිංගික ප්‍රජාවන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමවලට එරෙහිවද ක්‍රියාත්මකවීම සිදුවිය. එමගින් පල්ලියේ මෙන්ම වෙනත් ආගම්වල පැවැත්මට බරපතල අභියෝගයක් එල්ලකල බව පැහැදිලිය. අගරදගුරුවරු, වතිකානුවේ ප්‍රධානින්, රදගුරුවරු සහ පුජා ප්‍රසාදීන්වහන්සේලා ආදීන් අත්අඩංගුවට පත්වීමත් සම්බන්දයෙන් ක්‍රිස්තියානි ආගමික සංස්ථා ප්‍රධානීන්ගේ දැඩි අවධානය යොමුවීමත් තේරුම් ගැනීමට පුළුවන.

එහෙත් මානව හිමිකම්හි පදනම ආගමීක ශාස්තෘවරුන්ගේ ඉගැන්වීම් කිසිසේත්ම උල්ලංඝනය කරන්නක් නොව ඔවුන්ගේ ඉගැන්වීම් වෙනත් ආකාරයකින් තහවුරු කරන්නකි. එහෙයින් මානව හිමිකම් සම්බන්දයෙන් චෝදනා කිරීමට කිසිසේත්ම පදනමක් නැත. මානව හිමිකම්හී පදනම් ආගමික ඉගැන්වීම් නම් එය බටහිරට ආගමක්වීම වරදක් වෙන්නේ කෙසේද?

එහෙත් මට පෙනී යනුයේ මැල්කම් රංජිත් කාදිනල්තුමාගේ ආරාවුල ඇත්තේ මානව හිමිකම් සම්බන්දයෙන් නොව වර්තමාන බටහිර ලෝකය සමග බවය. පැහැදිලිවම බටහිර ලෝකය තුල ආගමට මෙන්ම ආගමික සංස්ථාපිතයන්ටද හිමිව තිබු අධිකාරිය ක්‍රමයෙන් දියවෙමින් ගොස් තිබේ.

එහෙත් ඔවුන් සම්පුර්ණයෙන්ම ආගම අත්හැර ඇතයි යන්න ඉන් නොකියවේ.

තමන් නිතර පල්ලි නොගියද, ආගම හොඇදහූවද, බටහිර ලෝකයේ බහුතරයක් තවමත් තමන්ගේ ආගම ක්‍රිස්තියානි ආගම යැයි කියන්නට නොපැකිළෙති. විවාහය වැනි උත්සවයක් පල්ලියේ ගැනීමට ප්‍රියකරති. ජේසු උපන් නත්තල වසරේ ප්‍රධාන උත්සවය ලෙස සමරති. සිය ශිෂ්ටත්වයේ පදනම් සකස්කරලීමෙහිලා ක්‍රිස්තියානි ආගම ඉවහල්වී ඇතිබව පිළිගනිති.

එහෙත් බටහිර පුද්ගලයා මෙන්ම රාජ්‍යයද තීන්දු-තීරණගැනීමේදී කටයුතු කරනුයේ හුදෙක් බයිබලය, පල්ලිය, පාපය, අපාය හෝ පුජා ප්‍රසාදීන්ගේ අභිලාෂයන්, ඉගැන්වීම් හෝ ආශිර්වාදය පදනම් කරගෙන නොවේ. සිය අනුබුද්ධිය, තර්කඥානය, කැමැත්ත, යුක්ති සහගත බව සහ පරිමේය තුලය. එබැවින් බටහිර මනුෂ්‍යයා සබුද්ධික මනුෂ්‍ය ජීවිතයක් ගෙවන්නන් (Rationalist humanism) ලෙස හඳුන්වති.. 'මානව හිමිකම්' යන්න ගොඩනැගී ඇත්තේ මෙහිම තවත් එක් දිගුවක් ලෙසය.

බටහිර ජනයා ලංකාවේ මෙන් හදියක් හන්දියක් පාසා සුරුවම් තැබීමට හෝ මීසමට පැමිණන පුජා ප්‍රසාදිවරයෙකු පසා අලුතින් සුරුවම් තැබීමට සතපහක්ව නොදේ. එහෙත් සිය ගමේ පල්ලියේ ගරාවැටෙන පල්ලිය ප්‍රතිසංස්කරණ කිරීමට මෙන්ම ලයිට් බිලගෙවීමටද යම් දායකත්වයක් දෙයි. 

 ''බයිබලයේ ඩයිනෝසර්ලා ගැන සදහන්වී නැත්තේ ඇයි?" යැයි බටහිර දරුවන් සිය දෙමාපියන්ගෙන් විමසනවිට ඔවුන්ගේ පොදු පිළිතුර වන්නේ බයිබලයේ හැම සතෙකු ගැනම සදහන් කර නැත යැයි කියයි. අඩුමතරමින් අලි ගැනවත් එහි නැත යැයි කියයි. ඒ ඇයිදැයි ඇසූවිට බයිබල් කතුවරයා හැම සතෙකුම දැක නැත යැයි පවසති. 

බයිබලය සම්පුර්ණයෙන්ම බොරුය, එය නොකියවිය යුතු, විසිකර දැමිය යුතු පොතක් යැයි සිය දරුවන්ට කියන ''දෙමාපියන්'' ඇත්තේ බටහිර ශිෂ්ට සමාජයෙන් එලියේය. බටහිර ලෝකයේ බොහෝ දෙමාපියන් සිය දරුවන්ට බයිබලය අඩුම තරමින් සාහිත්‍ය කෘතියක් ලෙස හෝ කියවීමට නිර්දේශ කරති. 

විවාහයට පෙර ලිංගික සබදතා, සමලිංගික සබදතා, ගබ්සාව ආදී කරණා සම්බන්දයෙන් මෑතකදී සිදුවූ සාකච්ජාවකදී ප්‍රකට කතෝලික කාදිනල්වරයෙකු දැක්වුයේ "දෙවියන් වහන්සේ මිනිසාව මැව්වේ තෝරා ගැනීමට ඇති නිදහසද සමග බවය" - එනම් 'තහනම් ගහක්ද' එහි ගෙඩි කෑමට හෝ නොකෑමට නිදහසද ඇතිව බවය. 

ඒ අනුව හොද නරක පෙන්වා දිය හැකිවුවද එය පුද්ගලයාගේ ස්වකීය තීරණයක් බවය. මේ අනුව පෙනීයන්නේ බටහිර ශිෂ්ටත්වය තුල ජීවත්වෙන වැසියන් පමණක් නොව ආගමික නායකයාද සබුද්ධික මනුෂ්‍ය ජීවිතයක් ගෙවන්නන් (Rationalist human) ලෙස ඉන් පෙනී යයි. 

එහෙත් බටහිර ලෝකයේ සබුද්ධික මනුෂ්‍ය ජීවන තත්වය ((Rationalist humanism) ඉස්මතු කිරීම වෙනුවට බටහිර මනුෂ්‍ය ජීවිතය හෙලාදැකීමට අති ගරු මැල්කම් රන්ජිත් කාදිනල්තුමා කටයුතු කරන්නේ ඇයි ?

එවැනි සබුද්ධික මනුෂ්‍ය ජීවන තත්වයක් ((Rationalist humanism) ඉස්මතු කිරීම තුල කාදිනල්තුමා, රදගුරුවරු, පුජා ප්‍රසාදීන් පමණක් නොව බෞද්ධ භික්ෂුන් ආදී ආගමීක නායකයන් ලාංකීය සමාජයතුල උසුලන ප්‍රභූ තත්වයනට පහරවදින නිසා යැයි යන්න එක් නිගමනයක් වියහැක. 

මා මීට පෙර දැක්වූ ලෙස ශ්‍රී ලංකාව වැනි රටවල ආගමීක නායකයන් සමාජය තුල එක්තරා ආකාරය ප්‍රභූන් පිරිසක්වනවා පමණක් නොව දේශපාලන බලය සම්බන්දයෙන් කේවල් කරන්නන්ද වේ. අනෙක් අතට දෙමාපියන්, ගුරුවරුන්, දේශපාලකයන්, නිලධාරින් ආදිය පවා සුවිශේෂී පිළිගැනීමක් බලාපොරොත්තුවන ධුරාවලියක් සේ ගොඩනගා ඇති සමාජයක ආගමික නායකයන්ද එවැනි අස්ථානයක් ඉසිලීම පුදුමයකට කරුණක් නොවේ. 

එහෙත් බටහිරින් පැමිණි, තවමත් බටහිරින් (රෝමයෙන්) මෙහෙයවන කතෝලික පල්ලියද ලංකාව තුල එම ගොඩටම වැටෙන්නේ ඇයි? 

මට නම් පෙනී යනුවේ එය ක්‍රිස්තියානි ආගම දේශීය තත්වයන්ට ගලපාගැනීමට, නැතහොත් දේශීයකරණය කරගැනීමට ශ්‍රී ලංකා කතෝලික සභාව දරණලද සහ තවමත් දරමින් සිටින උත්සාහයේ ප්‍රතිපලයක් බවය. 

ඇත්තවශයෙන්ම, ශ්‍රී ලංකා කතෝලික සභාව දේශීයකරණය කිරීමට ප්‍රථමයෙන්ම ක්‍රියාමාර්ග ගත්තේ ලංකාවේ ප්‍රථම කාදිනල්වරයාවූ තෝමස් කුරේ කාදිනල්තුමාය. ඒ ඔහු පවා කමිටු සමාජිකත්වය දරූ දෙවන වතිකානු මන්ත්‍රණ සභාවේ (1962-65) තීන්දු තීරණ නිකුත්වීමටත් පෙර, 1944 දී කොළඹ අගරදගුරු පදවියේ සිටි අවසාන විදේශීය අගරදගුරුවරයාවූ ප්‍රංශ ජාතික Jean-Marie Masson, O.M.I. (1944-1947) අගදරගුරුවරයා ඉවත්ව ගොස් මීගමුව පෙරියමුල්ලෙන් බිහිවූ බෙන්ජමින් තෝමස් කුරේ රදගුරුවරයා කොළඹ අගරදගුරුවරයා ලෙස පත්වීමෙන් අනතුරුවය.

එහෙත් තෝමස් කුරේ අගරදගුරුවරයා ශ්‍රී ලංකා කතෝලික සභාව දේශීයකරණය වියයුත්තේ කුමන ආකාරයකටද? එහි සීමා මායිම් මොනවාද? යන්න ගැන පැහැදිලි දැක්මක් සහ අවබෝධයක් ඇතිව සිටියහ. එයට එක් උදාහරණයක් වනුවේ 1962 දී එවකට කොළඹ කතෝලික පාඨශාලා සමාන්‍ය අධිකාරිවරයාවූ D. J. ඇන්තනී පියතුමා කොළඹ ආනන්ද විද්‍යාලයේ රැස්වීමකදී "තමන් අන් සිංහලයන්ට නොදෙවෙනි සිංහලයෙකු බවත්, තමන්ගේ ලේවල දුවන්නේ ආර්ය සිංහල ලේ" යැයි දැක්වූ ප්‍රකාශනයක් සම්බන්දයෙන් අවවාද කල බවත්, එවැනි වාගලංකාරයන් (rhetoric) අනවශ්‍ය අවධානයන් සහ විකෘති අදහස් නිර්මාණය කරණබවත් දක්වා තිබේ. 

එමෙන්ම කාදිනල් කුරේ හිමියන් දරුණු ලෙස රෝගාතුරව ස්විට්සර්ලන්තයේ සිරිකුරුස නිකායේ ශා. රැපියල් රෝහල්ගතව සිටි සමයේ එතුමා ලඟින්ම සිටි එවකට රදගුරුවරයාවූ එම්ලියානුස් පිල්ලේ පියතුමන් වරක් පවසා ඇත්තේ "අප සිංහල හෝ දෙමළ වන්නේ භාෂාව නිසාද, නැතහොත් සංස්කෘතිය නිසාද යන්න දේවධර්මයට අදාල නැති බවත්, සියල්ලන්ම දෙවියන්වහන්සේගේ දරුවන්" බව තරුණයන්ට පසක්කර දෙන ලෙසය.

එවැනි ආකාරයේ විචක්ෂණ ලෙස මතවාදීමය ලෙස සහ ප්‍රතිපත්තිමය වශයෙන් ශ්‍රී ලංකා කතෝලික සභාව සිය සීමාවන් සටහන් කරගැනීමට දේශීය සහ බටහිර යන්න නීර්ණය කරගැනීමේදී වර්තමානයේ කෙතෙක් සමත්ද යන්න මැල්කම් රන්ජිත් කාදිනල්තුමාගේ ප්‍රකාශනයන් තුල දැන් දැන් නිතර මතුවෙන ගැටළුවකි.

සිංහලයන් යනු සිංහල-බෞද්ධයන් යැයි යන්න වඩ වඩාත් තවුරුකිරීමට දැඩි වෙරක් දරණ ප්‍රවණතා හමුවේ සිංහල-කතෝලිකයන්ද සිංහලයන්ය යන්න තවුරුකිරීමට ශ්‍රී ලංකාවේ කතෝලික සභාවට උවමනාවක් පවතින්නේද? සිංහලයන් යනු සිංහල-බෞද්ධයන් පමණක්ය යන්න මතුකරන්නන් සිංහල-කතෝලිකයන් නියම සිංහලයන් ලෙස පිළිගනීද යන්න අපි නොදනිමු. 

එහෙත් කතෝලිකයන් විවිධ භාෂා කථා කලද විවිධ සංස්කෘතික අනන්‍යතාවයන්ගෙන් යුක්තවුවද ඔවුන් මූලික ආගමික-සංස්කෘතික අනන්‍යතාවය බටහිර බව කිසිසේත්ම මුලින් උපුටා දැමිය හැකියැයි මම නම් නොසිතමි. විශේෂයෙන්ම රෝමයෙන් මෙහෙයවන රෝමානු කතෝලික සභාවකට එය කිසිසේත්ම කල නොහැක. එහෙයින් කාදිනල්තුමාගේ බටහිර සමාජ විවේචනය ''කිරි නිසා විසිකිරීම්ටත් බැරි උණු නිසා බීමටත් බැරි''  තත්වයක් නිරූපණය කරයි.

කෙසේවුද, කදිනල්තුමාව විවේචනය කිරීම සඳහා මංගල සමරවීරගේ කරේ නැගීමට හෝ මේ අවස්ථාවෙන් ප්‍රයෝජනය ගෙන දේශපාලන වාසියක් ලබා ගැනීමට මහින්ද රාජපක්ෂලාගේ සහ නිමල් ලාන්සලාගේ තක්කඩි වැඩ වලට හෝ සහය දීමට නොයා යුතුය. මන්ද ඔවුන් නිරූපණය කරන ලුම්පන්, අවස්ථාවාදී, තක්කඩි දේශපාලනයෙන් අපට වැඩක් නැත.

අප පෙනී සිටිය යුත්තේ හුදෙක් දේශපාලකයන්ගේ හෝ ආගමික නායකයන්ගේ ප්‍රසාදයන්, අභිලාෂයන්, ආශිර්වාදයන් පදනම් කරගත් නියාලු සමාජයක් වෙනුවට බටහිර මනුෂ්‍යයා මෙන් අනුබුද්ධිය, තර්කඥානය, කැමැත්ත, යුක්ති සහගත බව සහ පරිමේය මුල්කරගත් සබුද්ධික මනුෂ්‍ය ජීවිතයක් (Rationalist humanism) වෙනුවෙනි. 'මානව හිමිකම්' ආරක්ෂාකරගත යුත්තේ එවැනි මනුෂ්‍යයන්ට ජීවත්විය හැකි සමාජ අවකාශයක් වෙනුවෙනි.

මාකස් ප්‍රියන්ත පෙරේරා.
28/09/2018

Saturday, September 22, 2018

608. මගේ කරණවෑමි කතා - 2 - දුන්හිඳ අද්දර, කිංග්ස් සැලූන්, කොන්ටිකි යාත්‍රාව සහ ඝාතකයා නොහොත් කර්නල් රොඩ්රිගුවේස්ගේ ආගමනය…..

වේරගම්පිට කච්චේරි නිල නිවාසෙ ලැබෙන්ට ඉස්සර මාස තුනක් විතර අපි හිටියෙ නූපෙ. නූපෙ තියෙන්නෙ මම හිතන්නෙ මාතර නගරයට ඉස්සෙල්ල. ඒ කියන්නෙ ගාල්ල පැත්තෙන් යනකොට. රාහුලේ එහෙමත් තියෙන්නෙ ඒ කිට්ටුව නේද? 

රාහුල මාෆියා එක මතකද? හෙහ්..හෙහ්..රාහුල මාෆියා එක තිබ්බෙ ච.බ.කු.ගෙ පාලන කාලෙ. ච.බ.කු. නොහොත් C.B.K. ඒ රාහුල මාෆියා එකේ හිටියෙ ජනාධිපති ලේකම් කුසුම්සිරි බාලපටබැඳි (ලසන්ත වික්‍රමතුංග ද සන්ඩේ ලීඩර් පත්තරේට ලියපු දේශපාලන ලිපියෙ මිනිහව හැඳින්නුවෙ The cheap belt wearer කියල. ඒ  දේශපාලන ලිපිය ලසන්ත ලිව්වෙ සුරනිමල කියන අන්වර්ථ නාමයෙන්.) ඊලඟට ආරක්ෂක ලේකම් චන්දානන්ද ද සිල්වා. තව කීප දෙනෙක් හිටිය උසස් නිලතල දරපු අය. 

ඒ ඔක්කොම රාහුලේ ආදි ශිෂ්‍යයො. හැබැයි මොනව උනත් ඒ මිනිස්සු ඊට පස්සෙ ආපු එවුං වගෙ මං පහරන්නො නෙවෙයි. ලලිත් වීරතුංග එතකොට ගාමිණී සෙනරත් ඊටත් පස්සෙ මේ ඊයෙ පෙරෙයිද කජු සිරාගෙ ගෝලය..කතා කරල වැඩක් නෑ. පට්ට හොරු...

මම උපන්නෙ බදුල්ලෙ කියල මම කලින් කියල තියනවනෙ. ඒ වෙනකොට අප්පච්චි වැඩ කලේ බදුල්ලෙ කච්චේරියෙ. අම්ම බදුල්ලෙ ඉස්පිරිතාලෙ. අපි හිටියෙ රිවර්සයිඩ් වල ගෙදරක. අර අපේ සන්මිත්‍ර කළ්‍යාණමිත්‍ර තෙමේ නම් ඔය දිහාස් ගැන හොඳ හැටිම දන්නව. රිවර්සයිඩ් කියන නමෙන්ම කියන විදිහට (Self explanatory) ඒ ගෙදර තිබ්බෙ ගඟ අයිනෙ. 

ගඟ කිව්වට ඒක ඇත්තටම නම් බදුලු ඔය. ඔය අපි හිටපු ගෙවල් පහු කරල තව හැතැම්ම පාළහක් වගෙ ගලා ගෙන ගිහිල්ල එක පාරටම මහ විසාල ප්‍රපාතෙකින් පාතට පැනල දුන්හිඳ දියඇල්ල නිර්මාණය කරන්නෙත් ඔය බදුලු ඔයම තමයි.

බදුලු ඔයෙන් කිරි කඳුළක් ගන්නට පෙරුම් පිරුවෙ...ඒ දීපිකා ප්‍රියදර්ශනී....

බොරළු ඇනෙන පය රිදවන වෙහෙස මඳක් නිවාගන්න
ඔබේ සතුටු මුහුණ අපට ටිකක් හොඳින් බලාගන්න
මහත්වරුනි බදුලු ඔයෙන් කිරි කඳුළක් අපිත් ගන්න
කාසි ඇතොත් මේ බෙලිමල්කඳුළු වතුර පොදක් බොන්න

කැලේ ගිහින් නිදි වැරුවා කැපුන සඳුන් දණ්ඩ දනී
ඒ සඳුනෙන් හිත තැවරූ සුවඳ පවා සිහින වැනී
අඳුරට දුක එකතු වෙලා නින්ද බිදුණු පැලට වඩී
අපට නැතත් බදුලු ඔයට හෙටත් උදෑසනක් වඩී

රෑන ගිරව් කටුසා කොබෙයි උරග නාග සපුණි වනේ
නුඹට වගේ මයි අපටත් දුක් පීඩා විඩා දැනේ
කඳු ඉස්මත්තෙන් පාවී වැගිරෙන දුන් හිඳ හීනේ
පුංචි එවුන්ටයි ලස්සන කිරිගරුඩෙන් කවිය වුණේ

පද -රුචිර පරණවිතාන 
සංගීතය- රෝහණ වීරසිංහ
ගායනය - දීපිකා ප්‍රියදර්ශනී



දුන්හිඳ ගැන කියනකොට මට අනිවාර්යයෙන්ම මතක් වෙන්නෙ දුන්හිඳ අද්දර. අශෝක හඳගමගෙ මම හිතන විදිහට පළමු ටෙලි චිත්‍රපටය..අනෝමා ජනාදරී..කෞෂල්‍යා ප්‍රනාන්දු...එතකොට රුක්මල් නිරෝෂ්...

ඉතින් මාතර වේරගම්පිට ඉන්න කාලෙ මට වයස ඔන්නම් ඇති උපරිම තුනක් නැත්නම් හතරක් විතර. ඒ කාලෙ මගෙ කොණ්ඩෙ බොහොම අක් බඹරුයි. අක් බඹරුයි කියන එක දන්නවනෙ නේද? Curly hair කියන එක බොලව්. වෙන අහවල් කෙංගෙඩියක්වත් නෙවෙයි. "අක් බඹරු සිනා නොදැක බැඳුනු ආදරේ...ඇගෙ අහංකාර බැල්මට බැඳි ආදරේ..." කියල අර ප්‍රසිද්ධ ගීතයක් එහෙමත් තියෙන්නෙ

ඉතිං මාසෙකට වගෙ සැරයක් මගෙ කොණ්ඩෙ කපන්ට අම්ම මාව එක්කං යනව මාතර ටවුමෙ තිබ්බ සැලූන් එහෙකට. නම මට මතක විදිහට කිංග්ස් සැලූන් වගෙ. අර උස බාබර් පුටුවෙ ඉඳගත්තම මගෙ මොකවත්ම කණ්නාඩියෙන් පේන්නෙ නෑ. 

ඒ හින්ද කරණවෑමියානෝ කරන්නෙ පුටුවෙ අත් දෙක උඩට ලෑලි කෑල්ලක් තියනව. ඒ ලෑලි කෑල්ල එහෙම මං වගෙ දොඩං ගෙඩි දෙකක් තරංවත් උස නැති හිච්චි එවුං ආහම උංව ඉන්දවන්නටම විශේෂයෙන් කුෂන් කරල එහෙම හදපු එකක්. 

හැමදාම පුරුද්දක් විදිහට කොණ්ඩෙ කපල ඉවර උනහම අම්ම ඒ බාබර් සාප්පුවටම අල්ලල තියෙන හෝටලෙන් මට අයිස්ක්‍රීම් එකක් අරගෙන දෙනව. අර දිග නැට්ටක් තියෙන වීදුරු අයිස්ක්‍රීම් කප් එහෙක පෙත්තටම පුරවල තියෙන කහපාට අයිස්ක්‍රීම් එකේ වේෆර්ස් විස්කෝත්තකුත් ගහල තියනව. 

මම විස්කෝතු කියල නොකිය විස්කෝත්තක් කියල කිවෙ දකුණෙ භාෂා ව්‍යවහාරය අනුවයි. පත්තර පිට්ට, ලන්න, සාළුව, පනිට්ටුව..... මාලිම්බඩ හිටපු අපේ ලොකු නැන්දගෙ පුතාල කතාකලේ අන්න එහෙමයි.

හරි හරි ඒ විස්තර පස්සෙ කතා කරමුකො. දැන් එමු අර මම මුලින්ම කිව්ව ලතින් අමරිකානු කතාවට. රන්දිකා නෝනගෙ නගරාධිපතිගේ දත කතාවට මම දාපු කමෙන්ට් එකක් හින්දනෙ මගෙ මේ කරණවෑමි කතා මාලාව ලියන එක ඉක්මන් වුනේ. නැත්නම් මම හිතාගෙන උන්නෙ ඔය අහුකොන් ඉතිරිවෙලා තියන, ඒ කිව්වෙ අනන්‍යාගෙ කතාව, කුමරියකට පෙම් කළෙමි, අහල්‍යාගෙ කතාව වගෙ එව්ව ඉවරයක් කරල දාලම කරණවෑමි කතා පටන් ගන්ට. 

කොහෙද ඉතිං ජීවිතේ අපි හිතං ඉන්න දේවල් වලින් සීයට අනූනමයක්ම ඒ විදිහට කරගන්ට ලැබෙන්නෙ නෑනෙ නේද? සිතු දේ නොමවේ නොසිතු දෙයක් වේ ලෝ දම් කැරකෙනවා...එතකොට ලොව නිසසලවී නවතින මොහොතේ යටිහිත් මතුකොට සිනහ සලා ලොව දොඩමලුවී නෙත් මානන කල අප දෙදෙනා ඉමු තරහ වෙලා...

ඔය මම කියන කතාව පලවුනේ නවයුගය සඟරාවෙ. ඒ කාලෙ ඒ කිව්වෙ හැත්තෑවෙ දශකයෙ මැද භාගයෙ විතර නවයුගය කියන්නෙ දැනුම් සාගරයක්. මාසෙකට දෙපාරයි නිකුත් වුනේ. 12 වෙනිද සහ 26 වෙනිද. ගෞතමදාස කියල මහත්මයෙක් තමයි හැමදාම මුල් පිටුවෙ චිත්‍රය ඇන්දෙ. ජී. ඇල්. ගෞතමදාස....චිත්‍ර නිකං ආය නෑ පණ පිටින් ඉන්නව වගෙ…

ජී. ඇල්. ගෞතමදාස මහතා.

මට තවම මතකයි තෝර් හෙයර්ඩාල්ගෙ කොන්ටිකි චාරිකාව ගැන නවයුගයෙ කවරයේ කතාව පළවුනු දවසෙ මුල් පිටුව පුරා තිබුනු ගෞතමදාස මහත්මයා ඇඳපු ඒ යාත්‍රාවෙ චිත්‍රය. 

තෝර් හෙයර්ඩාල් කියන්නෙ නෝවීජියානු විද්‍යාඥයෙක්. ඔහු අදහසක් ඉදිරිපත් කලා දකුණු අමරිකාවෙ ඉන්කා වරුන් අවුරුදු හයසියයකට පමණ ඉස්සෙල්ල බල්සා නම් ඉතාම සැහැල්ලු ලීයෙන් කල පහුරුවල නැඟී පැසිෆික් සාගරය පුරා සැරි සැරුවයි කියල. 

තෝර් හෙයර්ඩාල් මහතා.

ඒ අදහස ඔප්පු කරන්න ඔහුත් ඒ විදිහට නවීන තාක්ෂණය කිසිසේත් උපයෝගී කොටනොගෙන තැනූ බල්සා පහුරක නැඟිල තම මිතුරන් කිහිප දෙනෙකු සමඟ ඒ ගමන ගියා පොලිනීසියානු දූපත් දක්වා. දුර සැතපුම් 4300ක්. මේ ගමනට දින 101 ක් ගතවුනා. කොන්ටිකි යාත්‍රාව කියල ඒ ගමන අලලා ඔහු ලියපු පොත ඉතාම ජනප්‍රිය වුනා.

කොන්ටිකි යාත්‍රාව පොතේ පිටකවරය

තෝර් සහ ඔහුගේ මිතුරන් සමඟ මේ චාරිකාවට සභභාගිවුනාලු තවත් කෙනෙක් අනාරාධිතවම. ඒ කකුළුවෙක්. බල්සා කොටයක ගුලක් හාරගෙන ඒකෙ පදිංචි වෙලා මේ කකුළුව ඔවුන් ගමන අරඹා දින දෙක ඇතුලත ඔවුන්ගේ චාරිකාවට එකතු වුනාලු. විටින් විට පහුර මතට ගොඩවන මේ කකුළුවට ඔවුන් ආහාරත් දුන්න කියල සඳහන් වෙනව. ඒ විතරක් නෙවෙයි ඔවුන් මේ අනාරාධිත මිත්‍රයා "ජොහැන්නස්" කියල බෞතීස්මත් කලාලු. ඔය කොන්ටිකි චාරිකාව ගැන පාඩමක් තිබ්බ අපේ සිංහල - 7 නැත්නම් 8 පොතේ.

දෙයියම්ප මට එක හිතකිං එක මාතෘකාවක් ගැන ලියන්ට බැරි හැටියක්. හිත ආයාලේ යනව කියන එකේ සීමාවක් නෑ. "අයාලේ ගිය සිතක සටහන්" ඒ මම බොහොම ප්‍රියකරන පොතක්. රචකයා නැසීගිය තිස්ස අබේසේකර මහත්මයා.

අයාලේ ගිය සිතක සටහන් පොතේ පිටකවරය

ඒත් අනික් අතට එහෙම නිශ්චිත අරමුණක් නැතුව ඔන්න ඔහේ ඔලුව හැරිච්චි දිහාවෙ යමුය කියල හිතල ගමනක් පිටත්වෙන එකෙත් තියනව අමුතුම ආතල් එකක්. අර පරණ පොත්වල හිස හැරුණු අත ඉබාගාතේ ගියෝය කියල කියන්නෙ අන්න එහෙම අවස්ථාවකට. හැබැයි සටනකින් පැරදිල පලා යන්නෙ නම් හිස් ලූ ලූ අත. 

වෙධය බණ්ඩාරයන්ගේ අසමසම රණශූරත්වය හමුවේ බියෙන් ත්‍රස්ත වූ පෘතුගීසීහු හිස් ලූ ලූ අත පළාගියෝය. එහෙම තියෙන්නෙ සුනේත්‍රා නොහොත් අවිචාර සමය පොතේ. කර්තෘ ඩබ්ල්යු. ඒ. සිල්වා මහත්මයා. වැල්ලවත්ත ආරච්චිගේ ඒබ්‍රහම් සිල්වා.

අපේ පළමුවන ජනාධිපතිතුමා ජේ.ආර්. ජයවර්ධන මහත්මයා කිව්වෙ පෘතුගීසීන් කියල නෙවෙයි පෝචුගීන් කියල. එතුමටම ආවේණික වචන මාලාවක් තිබ්බනෙ. රෝහණ විජේවීරට කිව්වෙ රොහාන් විජයවීර. ජෙප්පොන්ට කිව්වෙ ජේ.වී.පී. සමාගම කියල.

ඩබ්ල්යු. ඒ සිල්වා කියල මම ලියන්නෙ එතුමා තමන්ගෙ නම ලිව්වෙ ඒ විදිහට නිසා. එතකොට මාටින් වික්‍රමසිංහ මහත්මය තමන්ගෙ නම ලිව්වෙ මාර්ටින් වික්‍රමසිංහ කියල. එතුමා ලියපු ගම් පෙරළිය පොත අවසන් වෙන්නෙ මේ විදිහට. "හුදීජන පහන් සංවේගය උදෙසා සිංහල වංශ කථාවෙහි අංශු මාත්‍රයක් පවසනු පිණිස කොග්ගල මලලගම නිවැසි මාර්ටින් වික්‍රමසිංහයන් විසින් විරචිත ගම් පෙරළිය මෙතෙකින් නිමියේය."

හරි හරි කතාව කියමුකො අදවත්.....

වාතාවරණය දිනෙන් දින අභාග්‍යසම්පන්න වන්නට විය. අපගේ ගරිල්ලා භටයින් මෙන්ම රජයේ හමුදාභටයින්ද කඳුකරයේ සැඟවී සිට කල පහරදීම් වලදී මියගියේ බුරුතු පිටිනි. කඳුහෙල් දියඇළි සහ දුර්ගයන්ගෙන් සපිරුණු භූමියෙහි පිහිටීම් පිළිබඳව මනා අවබෝධයකින් යුක්තවූ හෙයින් ගරිල්ලා භටයෝ ඉතා මැනවින් සැඟවී සිට පහර දීමට සුදුසු ස්ථාන තෝරාගැන්මෙහිලා විචක්ෂණවූහ. එබැවින් මහත්ම හානි සිදුවූයේ රජයේ හමුදාවන්ටය.

හුදෙක් හමුදා ක්‍රියාන්විතයන්ගෙන් මේ අරගලය පරාජය කිරීම උගහට බැව් වටහාගත් අගනුවර හමුදා මූලස්ථානයෙහි නායකයෝ රැස්ව යුද උපක්‍රමයන් පූර්ණ වශයෙන් සංශෝධනය කිරීමට තීරණය කළෝය.

ඒ අනුව "ඇසෑසීනෝ" නොහොත් ඝාතකයා ලෙස රටපුරා කුප්‍රකට කර්නල් රොඩ්රිගුවේස් අපගේ ප්‍රදේශය භාර හමුදානිලධාරියා ලෙස පත්කොට එවනු ලැබීය. 

ඔහුට රටේ ඉහළම ප්‍රධානියාගෙන් ඕනෑම උපක්‍රමයක් භාවිතා කොට අරගලය තෙමසක් ඇතුළත මර්දනය කරන ලෙස පෞද්ගලිකව උපදෙස් ලැබුණු බවටද අපට ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් දැනගන්නට ලැබිණ.

එසේ ආරංචි නොවූවද රොඩ්රිගුවේස් පැමිණියේ එවන් අධිකාරි බලයක් සහිතව බව වැඩි දිනක් ගතවන්නට පෙර ඔහුගේ ක්‍රියාකලාපයෙන් මොනවට පැහැදිලි විය. ඔහු හමුදා මුර සංචාර නතර කලේය. ඔහු යටතේවූ හමුදා භටයෝ තම කඳවුරෙන් පිටතට පැමිණියේ දින දෙක තුනකට වරකි. ඒද දැඩි ලෙස සන්නද්ධව අපගේ කුඩා නගරය වටා තම ජීප් රථවලින් ගමන්කිරීමට පමණි. 

කුඩා නගරය යනුවෙන් මවිසින් හඳුන්වනු ලැබූවද මෙහි වූයේ කුඩා කඩමණ්ඩියක් සහිත කඩ වීදියක් පමණි. මා සතුව කඩ වීදියෙහි මධ්‍යයට වන්නට පිහිටි කරණවෑමි හලක් විය. එහි එකම කරණවෑමියා වශයෙන් මම කටයුතු කළෙමි. මීට පෙර මගේ පියාණන්ද ඔහුගේ පියාණන්ද වශයෙන් අපගේ පරම්පරාවම කරණවෑමියෝ වූහ.

මගේ මළනුවන් දෙදෙනා කරණවෑමි රැකියාව ප්‍රිය නොකල අතර ඔවුහු පාරම්පරික ධනවතකුගේ තිරිඟු ගොවිපලක අඳ ගොවීහු ලෙස සේවය කලහ. අපගේ අරගලය පැන නැඟුනේ ප්‍රධාන වශයෙන් මේ ඉඩම් හිමි රදළයින්ට එරෙහිවය.

රොඩ්රිගුවේස්ගේ උපක්‍රම කිසිසේත් සම්මත හමුදා උපක්‍රම නොවීය. පලමුව ඔහුගේ ඔත්තු කරුවෝ කිහිප දෙනෙක් නගරයෙහි රැකියා සොයා පැමිණෙන අවට කඳුකර වාසීන් ලෙස වෙස්වලා පැමිණ නගරයට ඇතුළු වූහ. ඒ පිළිබඳව අපට ඔත්තු ලබුනු ලැබුණු නමුදු ඔවුන් කවුරුන්දැයි ස්ථිර වශයෙන්ම හඳුනා ගැන්ම ඉතා ප්‍රවේශමෙන් කලයුතු කාරයයක්විය.

වැරදි හඳුනාගැන්මකින් අප අතින් අහිංසකයකු මරණයට පත්වුවහොත් ඒ අපගේ සංවිධානයේ කීර්ති නාමයට දැඩි කැළලක් ඇතිකරන බවට අපි තීරණය කළෙමු. එබැවින් ඔත්තු කරුවන් නිවැරදිව හඳුනාගැන්ම සඳහා අප මිඩංගු කල කාලය තුල ඝාතකයාගේ ඔත්තු කරුවෝ නිසි නින්දේ තම කටයුතු ඉටුකොට ගත්හ.

ඔවුන් කෙතරම් හොඳින් තම කටයුතු ඉටුකොට ඇත්දැයි අපට පසක් වූයේ හදිසියේම එක් මධ්‍යම රාත්‍රියක අපගේ කුඩා නගරයට ආසන්න ගම්මාන දෙකක් වැටලූ හමුදා භටයින් අපගේ ප්‍රබල ක්‍රියාධරයින් දොළොස් දෙනෙකු අත් අඩංගුවට ගත් ඉක්බිතිය.

Friday, September 14, 2018

607. මගේ කරණවෑමි කතා - 1 - අනන්‍යාගේ තර්ජනය, කරණවෑමියාගේ සම්බාහනය සහ වේරගම්පිට රජමහා විහාරය...


වේරගම්පිට රජමහා විහාරය - Image from Google 

රන්දිල් නෝනා මේ පහුගිය දවසක ලියපු නගරාදිපතිගෙ දත ගැන කතන්දරේට මම මෙහෙම ප්‍රතිචාරයක් දැම්ම ඔබ තමුන්නාන්සෙලාට මතක ඇති මහිතේ...

/මට රචකයගෙ නම සහ කතාවෙ නම අමතකයි ඒත් තවත් ලතින් අමරිකානු ලේඛකයෙක් ලියාපු මේ වගේම කතාවක් තියනව කරණවෑමියෙක් ගැන. 

රචකයගෙ නම අමතක වුනාට අවුරුදු හතළිහකට වගෙ ඉස්සර කියවපු ඒ කතාවෙ දෙබස් පවා තවම මතකයි. අර "මගේ කරණවෑමි කතා" කතා මාලාවෙ ඉස්සෙල්ලම මම ලියන්න ඉන්නෙ ඒ කතාව...හෙහ්..හෙහ්. /

ඉතිං මම කල්පනා කලා ආපහු අනන්‍යාගෙ කතන්දරේ ලියන්ට යන්ට ඉස්සරවෙලා ඒ කතාවත් කියලම ගියානම් මොකද කියල. 

ඇත්තම කිව්වොත් අනන්‍යාගෙන් මේ දවස්වල මට හරිම කරදරයි. විසේසයෙන් සතිඅන්තෙ ඔය මොකවත් කර්මාන්තයක් කලහම ආය ඉතින් මට නින්දක් ඇත්තෙම නෑ. රෑ දෙගොඩ හරියෙ ඔන්න මම බයවෙල වගෙ ඇහැරල බලනකොට මෙන්න අනන්‍යා ඉන්නව මගෙ ලියන මේසෙ පුටුවෙ වාඩිවෙලා. මා දිහා රවාන. ඇස් දෙක නිකං ගිණි කබල් දෙකක් වගෙ.

"මොකද හලෝ? මොකක්ද තමුන්ට වෙලා තියෙන්නෙ? මොකද ඔතන කොරන්නෙ මේ දෙගොඩහරි ජාමෙ?"

මම ටිකක් සද්දෙට එහෙම අහනව. එහෙම මුලින්ම ඇඟට ගොඩවෙල කොන්ටෝල් කොරගත්තෙ නැත්තං ඔය බබලත්තු එක්ක ඉහ ගහල ජීවත්වෙන්ට අමාරුයි. මම ඉතිං දන්නවනෙ ඔය සාස්තරේ..හෙහ්..හෙහ්..

ඒත් ඉතිං ඇත්තම කිව්වොත් මට ඔය සාස්තරෙං පොරෝජං ගන්ට වෙලා නෑ කවදාවත්. අපේ උන්දැ එක්ක ඒ සෙල්ලං හරි යන්නෙ නෑනෙව. ඒක තමයි ඔය පුරාන ඉරිසින්නාන්සෙල කිව්වයි කියන්නෙ සාස්තරේ දන්න එක එකක් ඒකෙං පොරෝජං ගන්න එක තවත් එකක් කියල. මම සාස්තරේ දැනගත්තට ඒකෙං පොරෝජං ගන්ට පිනක් නැති ගොබිලෙක්...අහෝ තුකකි ඉරකි තිතකි.

මම ඉතිං ටිකක් සද්දෙට මොකද හලෝ? මොකක්ද තමුන්ට වෙලා තියෙන්නෙ? කියල ඇහුවම අනන්‍යා ඔන්න මගෙ ඇඟට ගොඩ වෙනව.

"හුහ් ඒක අහන ලස්සන..ඔහේ නෙවෙයි මමයි එහෙම අහන්න ඕන.."

"මොකක් ගැනද මේ කියන්නෙ? මම ඔහෙට කිසිම වරදක් කරපු බවක් මටනම් මතක නෑ නෙව.."

"මතක නෑනේද? ඉන්නවකො එහෙනං මම මතක් කරල දෙන්ට..ඔහෙ නෙවෙයිද මම ගැන ඔහෙගෙ අර බ්ලොග් පඩංගුවෙ ලියන්ට ගත්තෙ?"

"ඔව්..ඔව්..මම ඉතිං එහෙම ලියන්ට ගත්ත නම් තමයි.."

"හරි..ලියන්ට ගත්තනෙ..එහෙම පටන් ගත්තෙ මම කියලද?"

"නෑ..නෑ..මටම හිතිලයි ඔහේ ගැන ලියන්ට ගත්තෙ.."

"ආ..අන්න එහෙනම් හොඳ හිතින් ඒ ලියන්ට පටන් ගත්තු එක ලියල ඉවරයක් කරල දානව..හොඳද?"

මටත් ටිකක් මල පැන්න ඒ වංගියෙ නම්. මොකෝ මම ඔය තර්ජන, ගර්ජන, පුස්පාට්, බලපෑම් අරව මෙව්වට කොහොමවත් කැමති මනුස්සයෙක් එහෙම නෙවෙයි...

"හොඳයි මම ඔහේ ගැන ආයම නොලිව්වොත් එහෙම?"

"ආ..නොලිව්වොත්ද? හොඳයි ඒක මම ඒ වෙලාවට බලාගන්නම්කො…"

එහෙම කියල අනන්‍යා ගිණි පිටවෙන දෑසිං මා දිහා රවාගෙන හිටිය ටික වෙලාවක්. රතු පාටිං දිලිසෙන ඒ දෑස් දිහා බලා ඉන්ට බැරුව මම බිම බලාගත්ත. මෙන්න ටික වෙලාවකින් මිණි කිංකිණියක් වයනව වගෙ හිනා අඬක් ඇහෙන්ට ගත්ත. ඔලුව උස්සල බලනකොට අනන්‍යා දකුණු අතින් කට වහගෙන හිනාවෙනව. 

"මොකද ඒ පාර කැකිරි පලන්ට ගත්තෙ?" මම නොමනාපෙන් ඇහුව.

"මම විහිලුවක් අනේ කලේ...ඔයා බයවෙයිද බලන්ට…"

"හුහ්... බය? මම බය උන ඇති එකක් නෑ…"

"හරි හරි ඒකෙං වැඩක් නෑ..මේ ඒක නෙවෙයි මගෙ කතාව ලියල ඉවර කරනව නේද?" අනන්‍යා බොහොම සෙනෙහෙබර හඬකින් ඇහුව. 

ඉස්තිරියාවක් ඔය විදිහට ඇහුවම මට කොහොමත් බෑ කියන්ට හිතෙන්නෙම නෑ…"හරි හරි ලියන්නං ලියන්නං…" මම හිනාවෙලා කිව්ව..

"වෙරි ගුඩ් බෝයි..හරිම හොඳ ළමයා.." අනන්‍යා එහෙම කිව්ව.

O.K. Then, After that brief prelude let's get back to my Barbers Stories. හරි ඒ කෙටි පූර්විකාවෙන් පසු මගේ කරණවෑමි කතා වෙත අපි නැවත ප්‍රවිෂ්ඨ වෙමු.

මම දැනට අඩ සත වර්සෙකුත් වසර කීපයක් වෙච්චි මගෙ මුලු මහත් ජීවිත කාලෙටම බාබර් සාප්පුවකින් නැත්නම් සැලූන් එකකින් ඇර ගෙදරදි මවිසින්ම රැවුල කපාගෙන නැහැ කියල කිව්වොත් සමහරවිට ඔබ තමුන්නාන්සෙලා විස්වාස කරන එකකුත් නෑ. ඒත් ඒක තමයි ඇත්ත.අර කවුද කියනව වගෙ තිත්ත ඇත්ත.

එහෙම වෙන්ට හේතු දෙකක් තියනව. එකක් ඔය මූණ පුරා සබං උලාගෙන කන්ණාඩිය ඉස්සරහට ගිහිල්ල බොහොම පරිස්සමින් රේසරේ එහාට මෙහාට උලල රැවුල කපන එක මට වසම වස කම්මැලිම කම්මැලි වැඩක්. අපෙ අත්තම්ම කියන විදිහට නම් මරන්නා වගෙ වැඩක්. අන්න ඒ එක හේතුවක්.

හේතු අංක දෙක....සැලූන් එකකට ගිහිල්ල හොඳට අතපය දිග ඇරල අර සනීප පුටුවෙ දිගාවෙලා බාබරය ඒ කලයුතු සියලුම පහිණිපත් කරල රැවුල කපනකල් ආතල් ද බ්‍රේව් එකේ ඇස් දෙකත් පියගෙන මගේ පරිකල්පන ශක්තිය අවදි කරවල මනෝ ලෝකෙ සැරිසරන එකේ තියන විද්ග්ධ සන්තර්පණය වෙන කොයිම කර්තව්‍යකින්වත් ලබන්නට නොහැකි වීම..අන්න හේතු අංක දෙක....ඇත්තම කිව්වොත් මම ඔය ලියන කතන්දර බහුතරයක් හිතේ මවා ගන්නෙ සැලූන් එකේ පුටුවෙ දිග ඇදිල ඉද්දි.

ආ..තව වැදගත්ම කාරණේකුත් කියන්ටම ඕමනයි. මෙහෙ තියන සැලූන් බොහොමයක රැවුල් කොණ්ඩා කැපිල්ලට අමතරව හෙඩ් ඇන්ඩ් බොඩි මසාජ් එකකුත් දෙනව කිසිම අමතර අයකිරීමකින් තොරව. බොඩි කිව්වට ෆුල් බොඩි නෙවෙයි හොඳේ...ගෙල පෙදෙස,  දසරුව සහ පිට පෙදෙස පමණයි.

මෙහෙ අපෙ ගෙවල් කිට්ටුවම ඒ කිව්වෙ විතින් පයූව් මිනිට්ස් වෝකිං ඩිස්ටන්ස් තියනව බංගාලියො ඒකිව්වෙ බංග්ලා දේශ් ජාතිකයො කරන බාබර් සාප්පුවක්. අන්න ඒකෙ ඔය මම කියපු සම්බාහනය දෙනව තනිකර ඇඬෙන්ඩ. මම ඒකට යද්දි පොඩි තුවා කෑල්ලකුත් සාක්කුවෙ දාගෙනයි යන්නෙ. 

ඉස්සෙල්ලම ඔලුවෙන් පටන් ගන්නෙ මසාජීස් එක. ඊට පස්සෙ කං පෙති දෙක විතරක් මසාජ් කොරනව එක විනාඩි දහයක් තරම. ඊට පස්සෙ ගෙල. නෙක්ස්ට් ෂෝල්ඩර්ස්...ඊලඟට පිට...පිට මසාජ් කරද්දි කොඳු ඇට පෙලේ කසේරුකාවන් එකක් නෑර වෙන වෙනම මසාජ් කොරනව. ආය මොනවද කෙලින් ද රෝඩ් නන් ස්ටොප් තව්තිසා තමයි.

ඊට පස්සෙ එනව දකුණු අතට. අතේ ඇඟිලි වලින් පටන් ගන්නෙ. ඉස්සෙල්ලම මාපට ඇඟිල්ල. ඊට පස්සෙ දබරැඟිල්ල..ඒ ගාවට මැදඟිල්ල. ඊගාවට වෙදඟිල්ල..

ඔය වෙදඟිල්ලට ඉංග්‍රීසියෙන් කියන්නෙ Ring finger උනාට සිංහලෙන් කියන්නෙ මුදු ඇඟිල්ල කියල නෙවෙයි. වෙදඟිල්ල කියල. ඇයි ඒ කියල එහෙම දන්නවද? 

ඉස්සර අපේ ඔය වෙද මහත්තුරු සමහර වටිනා කියන බොහොම අමාරුවෙන් හදාගත්තු බෙහෙත් ලෙඩෙකුට දෙනවයි කියන්නෙ බොහොම සුට්ටයි. අන්න එහෙම වටිනා බෙහෙතකින් බොහොම සුට්ටක් අරන් දෙන්න පාවිච්චි කලාය කියන්නෙ ඔය දකුණතේ හතරවෙනි ඇඟිල්ලෙ ටිකක් දිගට වවාගත්තු නියපොත්ත. අන්න ඒ හින්දලු ඔය ඇඟිල්ලට වෙදඟිල්ල කියල කියන්නෙ. මට මතක විදිහට අපෙ අප්පච්චි තමයි මට ඔය විස්තරේ කියල දුන්නෙ.

හරි ආපහු අර බංගලි කරණවෑමියගෙ හස්ත සම්බාහනයට ආවොත් වෙදඟිල්ලෙන් පස්සෙ එනව සුළඟිල්ලට. ඔය ඇඟිලි සම්බාහනය කරන එකත් වෙනම කලාවක්. ඒකටත් තියනව නියමිත ක්‍රියා පටිපාටියක්. ඒ ගැන සවිස්තරව කියන්නම් කරණවෑමි කතා ලිපි පෙලේ ඉදිරියෙදි ලියවෙන ලිපි වලදි. 

හරි දැනට කෙටියෙන් කියන්නම්කො. ඇඟිලි වලින් පස්සෙ එනව අල්ලට..අප්පට සෝරු..ඒ අල්ල මසාජ් කිරිල්ල තමයි මසාජ් කිරිල්ල...ෂුහ් කියල වැඩක් නෑ..ඌර්ණ රෝම ධාතුව සෘජු වෙනව. ලැන්ගර්හැන් දීපිකා සෛල සලිත වෙනව. කර්ණ පටහ පටලය එකනින්නාද වෙනව. ශ්‍රෝණි මේඛලාව සන්තර්පණය වෙනව.

හරි මගෙ කරණවෑමි කතා මාලාව පටන් ගන්නෙ අපි මාතර ඉන්දැද්දි. මම මේ කියන්නෙ 1966 සහ 1967 අවුරුදු ගැන. අප්පච්චි ඒ දවස්වල රාජකාරි කලේ මාතර කච්චේරියෙ. අපි හිටියෙ වේරගම්පිට කච්චේරි නිල නිවාසවල. සුප්‍රසිද්ධ වේරගම්පිට රජමහාවිහාරය තිබ්බෙ අපෙ ගෙදර ඉඳල යාර සීයක තරම මානයෙ.

ඔය වේරගම්පිට පන්සල හරිම ප්‍රසිද්ධ පන්සලක්. බ්‍රිතාන්‍ය පාලන සමයේ හිටපු ප්‍රකට පැවිදි පඬිවරයෙක් වන කරතොට ධම්මාරාම හාමුදුරුවො වැඩ සිටියයි කියන්නෙ මේ වේරගම්පිට පන්සලේ. ජෝන් ඩොයිලි මහත්තයත් නිතර මේ පන්සලට ආවා ගියා කියල සඳහන් වෙනව. එතකොට ගජමන් නෝනයි ඇලපාත මුදලියි දෙන්නම කරතොට හාමුදුරුවන්ගෙන් කාව්‍ය ශාස්ත්‍රය ඉගෙන ගත්තය කියන්නෙත් මේ වේරගම්පිට පන්සලේම තමයි.

වේරගම්පිට පන්සල ගැන තොරතුරු හොයද්දි මට මේ ගීතය හමුවුනා. මම මීට කලින් මේ ගීතය අහල තිබුනෙ නෑ. ගායනා කරන්නෙ සුනිල් එදිරිසිංහ සහ සමන්ති රණසිංහ.

වේරගම්පිට පන්සලේ 
පෝයදා වස් පිංකමේ 
පෙරහැරේ ගිය නුඹ දුටු දා සිට 
නින්ද නෑ මට නංගියේ.... 

රාමලාන් හඳ ආකහේ
දුටුව සිකුරාදා රැයේ 
ඔබ මා දිහා බැලු හැටි තාම 
මට නොතේරෙන කවියක් වගේ.... 

ලියවැල් පලා පෙති මණ්ඩලේ
පිපි නෙළුම් මල නුඹ නම් නඟේ 

ඔබ සාජහන්ගේ පෙළපතේ
කිරි ගරුඬ මැදුරක සඳැල්ලේ
ඒ දෙතැන කඳුළක සීතලේ..... 

වෙනසක් නොවෙයි අයියණ්ඩියේ.....

සැරසිලි නැතත් මුන්දානියේ
මා ඇඳිලි බැඳගෙන නළලතේ 

ඒ නළල බිම තබනා වෙලේ 
මට ආදරේ උණුසුම දැනේ 

හදවතයි උල්පත ප්‍රේමයේ...... 

උල්පත් වහන්නට බෑ නඟේ ...... 

ගී පද - රත්න ශ්‍රී විජේසිංහ 
ගී තනු - සමන්ත පෙරේරා 
ගායනය - සුනිල් එදිරිසිංහ සමග සමන්ති රණසිංහ



මතු සම්බන්ධයි.....

Friday, September 7, 2018

606. රළ බිඳෙන තැන……Where Waves Break….

Image From Face Book

රළ බිඳෙන තැන..

ඔව්...මම මේ යන්නෙ රළ බිඳෙන තැනට…

අපි මුලින්ම හමුවුනේ එතන.

එදත් වෙනසක් නැතුව රළ බිඳුනා. බොහෝ විට මට හිතෙන්නෙ අපිට එදා සුවිශේෂී දවසක් උනාට බිඳෙන රළ වලට එදා වෙනදා වගේම ඉතාම සාමාන්‍ය දවසක් වෙන්න ඇති....

අපි වෙරළෙ රූස්ස පොල් ගහක් යට ඉඳගෙන අත්පටලාගෙන රළ බිඳෙන හඬ අහගෙන හිටිය..

ඒ අවුරුදු හතකට වගෙ ඉස්සර...

අවුරුදු හතරකට වගෙ ඉස්සර අපි දෙන්න ආයම රළ බිඳෙන තැනට ගියා. 

ඒත් ඒ අත් පටලාගෙන නෙවෙයි.. 

ඔයාගෙ වමතෙයි මගෙ දකුණු අතෙයි සිඟිති අත් දෙකක ඇඟිලි පැටලිලා තිබුනා. බොහොම හෙමිහිට අපි ගිහිල්ල ආයම අර අවුරුදු හතකට කලින් ඉඳගත්ත පොල් ගහ යටම ඉඳගත්ත.

ඊට පස්සෙ අර සිඟිති දෙපා මුළුවසං වැල්ල පුරා දුවන දිහා අපි දෙන්න සිනාමුසු මුහුණින් බලා හිටිය. 


ඊටත් පස්සෙ දිග සුසුමක් හෙලල ඔයා මගෙ උරහිසට ඔලුව තියා ගත්ත.

"මේ තරම් ජීවිතේ ප්‍රීතිමත් වෙන එකට මට හරිම බයක් වගෙ දැනෙනව…" ඔයා මගෙ කණට කෙඳුරුව.

"ඒ මොකද?" මම යම්තමට ඔලුව හරවල ඔයා දිහා ඇස් කොණකින් බලල ඇහුව.

"අපෙ අත්තම්ම ඒ දවස්වල නිතරම කිව්ව ජීවිතේ අපි පතන හැම දෙයක්මඒ විදිහටම ඉෂ්ඨ වෙන එක  ඒ තරම් හොඳ දෙයක් නෙවෙයි කියල…."

"හ්ම්ම්ම්ම්......ඒකත් එහෙමද?" ඒ වෙලාවෙ උත්තරයක් කියල මගෙ හිතට ආවෙ එච්චරමයි..

මොන පිස්සුද? විකාර කියවන්ට එපා අනේ...ඒ වගෙ කිසිම දෙයක් මගෙ ඔලුවට ඒ වෙලාවෙ ආවෙ නැත්තෙ මොකද කියල මට අදත් හිතා ගන්න බෑ..

ඔබ නැතුව උනත් තවමත් එතැන රළ බිඳෙයි,
පුරා සඳ   සිතිජයේ එදා  වාගේම නැඟෙයි.
රතු රෝස මල තබා රළ බිඳෙන ඉම් තෙරේ, 
ඔබට යලි සමු දුනිමි නෙතඟ කඳුලක් නැඟෙයි,

සටහන - රළ බිඳෙන තැන යන නමින්  අවුරුදු විස්සකට වගෙ කලින් ටෙලි චිත්‍රපටයක්  විකාශනය වුනා...ඉතාම අපූරු රඟපෑම් සහ කතා පුවතක් අඩංගු මම ඉතාම කැමති  නිර්මාණයක්. ප්‍රධාන චරිත වලට පණ දුන්නෙ මහේන්ද්‍ර පෙරේරා, චාන්දනී සෙනෙවිරත්න සහ විශ්වජිත් ගුණසේකර...

Tuesday, September 4, 2018

144. නගරාධිපති දත හෙවත් මෙකල්හි එක් දිනක් - One of these days

ගැබ්‍රියල් ගාෂියා මාකේස් මහතාගේ One of these days නම් වන කෙටි කතාව ඇසුරිනි

      වැහිනැති, උණුසුම් සඳුදාවක්. වේලපහෙන් අවදිවන අවුරෙලියෝ එස්කොවා, උපාධියක් නොමැති දත් දොස්තර, උදෑසන හයට සිය කාර්යාලය විවෘත කළේය. ඒ වනවිටත්, අච්චුවට සවිකර තිබූ බොරු දත් පෙළක් වීදුරු ඇසුරුමෙන් පිටතට ගත් ඔහු ප්‍රමාණාකූලව අසුරා ප්‍රදර්ශනයට තබා තිබූ උපකරණ පොදිය මේසය මතින් තැබුවේය. හීන්දැරි සෘජු පුද්ගලයෙකු වූ දොස්තර, කරපටි රහිත ඉරි කමීසය රන්වන් බොත්තමකින් කර පියවා, සස්පෙන්ඩරයෙන් රැඳවුණු කලිසමක් ඇඳ සිටි අතර ඔහුගේ බැල්ම කන් නොඇසෙන කෙනෙකුගේ බැල්ම මෙන් අවට පිළිබඳ හැඟීමකින් තොරවිය. 

      මේසය මත සියල්ල ස්ථානගත කළ ඔහු, කුඩා විදුම් යන්ත්‍රය පුටුව වෙත ලංකර ගෙන වාඩි වූයේ බොරු දත් ඇන්ද ඔප දැමීමටය. බැලූ බැල්මට පෙනුනේ යෙදී සිටි කාර්යය පිළිබඳ කල්පනාවෙන් තොර බවක් වුවද, ඔහු නොනැවති ක්‍රියා කරමින් උන්නේය. උවමනා නොවන විටත් අනිච්ඡානුග ව මෙන් පාදයෙන් විදුම් යන්ත්‍රය ක්‍රියාකරවමින් තිබිණ. 

      උදෑසන අට පසු වූ පසු ජනේලය තුලින් අහස විමසන්නට සිය කාර්යය මදකට නැවතූ ඔහු දුටුවේ අල්ලපු ගෙදර වහළ මුදුනේ සිට කල්පනාකාරීව හිරුරැස් තපින රාජාලියන් දෙදෙනෙකි. දහවල් ආහාරයට පෙර වසිනු ඇතැයි යන සිතුවිල්ලෙන් ඔහු නැවත කාර්යයට යොමුවිය. සිය එකොළොස් අවුරුදු වයස් පුත්‍රයාගේ කන් සිදුරු කරවන කටහඬින් ඔහුගේ අවධානය බිඳිනි. 

      “තාත්තේ!“ 

      “මොකද?“ 

      “නගරාධිපතිතුමා අහනවා ඔයැයි එයැයිගේ දත ගලවනවද කියලා“ 

      “මං මෙහෙ නැහැ කියන්න!“ 

      ඔහු රත්තරං දතක් ඔප දමන්නට වන්නේය. අතේ දුරින් එය ඉහළට අල්ලා ඇස් හීනි කරමින් පරීක්ෂා කරන්නේය. පටු පොරොත්තු කාමරයේ සිට නැවතත් පුත්‍රයා කෑමොර දුන්නේ මෙවිටය. 

      “එයැයි කියනවා ඔයැයි ඉන්නවා කියලා. මොකද එයැයිට ඔයැයිව ඇහෙනවා“ 

      දත් දොස්තර දිගට ම දත පරීක්ෂා කරමින් සිටියේය. ඔහු පිළිතුරු දුන්නේ එතෙක් කළ කටයුත්ත පිළිබඳ ව සෑහීමට පත්වීමෙන් පසු එය මේසය මතින් තැබීමෙන් අනතුරුවයි. 

      “අන්න ඒක වඩා හොඳයි!“ 

      නැවතත් විදුම් යන්ත්‍රය ක්‍රියාත්මක විය. නිම නොකළ කොටස් තිබෙන පෙට්ටියෙන් ගත් කොටස් කිහිපයක් මේසය මත තැබූ ඔහු නැවතත් රත්තරං දත මදින්නට වන්නේය. 

      “තාත්තේ!“ 

      “මොකද?“ 

      ඔහුගේ භාවයෙහි වෙනසක් නොවීය. 

      “එයැයි කියනවා, දත ගැලෙව්වේ නැත්තං ඔයැයිට වෙඩි තියනවා කියලා“ 

      කිසියම් ම කලබලයක් නොමැතිව, නිශ්චලත්වයට ඉතාමත් ආසන්න වූ අභිනයකින් විදුම් යන්ත්‍රය ක්‍රියා කරවූ පාදය නැවතූ ඔහු, යන්ත්‍රය පසෙකින් තබා ඈතින් තිබූ මේසයේ පහත ම ලාච්චුව ඇරියේය. එහි තිබුණි රිවෝල්වරය! 

      “හරි...,“ ඔහු කීවේය. 

      “එයැයිට ඇවිත් වෙඩි තියන්න කියන්න“ 

      දොර හරස්වන ලෙස පුටුව තල්ලු කරදැමූ ඔහු ලාච්චුවේ දාරය මත අත තබා ගත්තේය. නගරාධිපතිවරයා දොරකඩ ප්‍රාදූර්භූත විය. මුහුණේ වම්පස රැවුල බාන ලදුව, වේදනාවෙන් ඇදී පැදී ගිය දකුණුපස වූ පස් දිනක් වයසැති රැවුලක් සමගින... නිදිවරා, බලාපොරොත්තු බුන් ව ගෙවුණු රාත්‍රීන් කිහිපයක ම නටඹුන් නගරාධිපතිවරයාගේ අඳුරු දෙනෙත් ඔහුට පෙන්වා දුන්නේය. ඔහු ඇඟිලි තුඩින් ලාච්චුව වසා මෘදුව මෙසේ පැවසුවේය. 

      “ඈඳිගන්න“ 

      “සුභ උදෑසනක්“ නගරාධිපතිවරයා කීය. 

      “උදෑසනක්“ දොස්තර පැවසීය. 

      උපකරණ තැම්බෙන අතරේ නගරාධිපතිවරයා පුටුව මත දිග ඇදී හිස නියමිත තැන සතපාගත්තේය. ඔහුට යම් තරමක පහසුවක් දැනිණ. ඔහුගේ සුසුම් සිසිල්විය. ඒ හැටි යමක් නොවූ ඒ කාමරය දුප්පත් පෙනුමක් ඉසිලීය. පරණ ලී පුටුව, කකුලින් ක්‍රියාකරවන විදුම් යන්ත්‍රය, සෙරමික් බෝතල සහිත වීදුරු බහලුම, පුටුවට ඉදිරිපසින් කුඩා ජනෙල් කවුළුව. දොස්තර ලං වූ බව හැඟුනු විට සිය පා යුවල කිටි කිටියේ තදකරගත් නගර අධිපතියා සිය මුව විවර කළේය. 

      අවුරෙලියෝ එස්කොවා ඔහුගේ හිස විදුලි එළිය දෙසට හැරෙව්වේය. ආසාධිත දත පරීක්ෂා කිරීමෙන් පසු ඔහු නගරාධිපතිවරයාගේ යටි හනුව ඉතාමත් සෙමින් තල්ලු කර කට වැසුවේය. 

      “හිරිවට්ටන්නේ නැතුව කරන්නයි වෙන්නේ“ ඔහු පැවසුවේය. 

      “ඇයි?“ 

      “සැරව ගඩුවක් තියෙනවා“ 

      නගරාධිපතිවරයා දොස්තරගේ දෙනෙතට ගිලී බැලුවේය. 

      “හා එහෙනම්“ යි පැවසූ ඔහු සිනා වන්නට උත්සහ කළේය. 

      දොස්තර කලබලයෙන් තොරව ජීවානුහරිත උපකරණ කුඩා අඬුවකින් අල්ලා මේසය මත පෙළ ගැසීය. සපත්තු තුඩින් පඩික්කම ලං කළ ඔහු දෙඅත් සෝදාගැනීමට ගියේය. මේ සෑම දෙයම කරන අතරතුරේ ඔහු කිසිවිට නගරාධිපතිවරයා දෙසට නෙත් යොමුකළේ නැත. නමුත් නගරාධිපතිවරයා කිසිවිට ඔහු වෙතින් නෙත් ඉවතට ගත්තේ නැත. 

      එය යටිහනුවේ ඥාන දතකි. පා යුවල විහිදා හිටගත් දොස්තර උණුසුම් ඩැහි අඬුවෙන් දත තදින් ග්‍රහණය කරගති. නගරාධිපතිවරයා සිය අත් දෙකින් පුටු ඇන්දේ ගැට ගැහුණි, පා යුවල සියලු වෙර යොදා පුටුවට මිරිකා ගති, ඔහුගේ වකුගඩු සිසිල් අවකාශයක් ඇති කරනු ඔහුට දැණින, එනමුදු මුවින් නොවේ කිසිඳු හඬක් පිටවූයේ. දොස්තර සෙලවූයේ සිය මැණික් කටුව පමණි. ක්‍රෝධය නොතැවරුණු මුත්, පමණටත් වඩා තැවරුණු කටුක මෘදුභාවයකින් යුතුව ඔහු මෙසේ පැවසුවේය. 

      “අපේ මිය ගිය මිනිසුන් විසිදෙනා වෙනුවෙන් නුඹ දැන් ගෙවයි!“ 

      සිය යටිහනුව බිඳෙනු නගරාධිපතිවරයාට දැණුනි. ඔහුගේ දෙනෙත් කඳුලින් පිරිණි. නමුදු දත එළියට එනතුරු ඔහු හුස්ම අල්ලා සිටියේය. අනතුරුව ඔහු සිය බොඳවුණු දෙනෙතින් එය දුටුවේය. ගෙවුණු පස් රැය පුරා වටහා ගැනීමට නොහැකි තරම් වූ ඉහළක තිබූ මාරාන්තික වේදනාවෙන් හිංසා ගෙන දුන්නේ මේ දතදැයි ඔහුට සිතා ගැනීමට නොහැකි විය.

පිංතුරය අන්තර්ජාලයෙනි

      පඩික්කමට නැවුණු ඔහු දහදියෙන් තෙමෙමින්, ක්ලාන්ත වෙමින් කබායේ බොත්තම් ගලවන අතරේ කලිසම් සාක්කුවට අනෙක් අත දමමින් ලේන්සුව සොයන්නට විය. දොස්තර ඔහුට පිරිසුදු රෙදි කඩක් පිරි නැමීය. 

      “කඳුලු පිහදා ගන්න“ 

      නගරාධිපතිවරයා එසේ කළේය. ඔහු කම්පිතව උන්නේය. දොස්තර දෑත් දොවන අතරේ, දිරාපත්වෙමින් ඇති සිවිලිමේ බැඳි මකුළු දැලක තිබූ මකුළු බිත්තරත් එහි පැටලී මිය ගිය කෘමී සතුනුත් ඔහු දුටුවේය. දොස්තර දෑත් පිස දමමින් හැරුණේය. 

      “කෙලින් ම ඇඳට යන්න, සැරින් සැරේ ලුණු වතුරින් කට හෝදන්න“ ඔහු පැවසීය. 

      නගරාධිපතිවරයා නැගී සිටියේය. හමුදාමය ආචාරයක් යාන්තමට දක්වා සමුගැනීමේ වදනක් බිනීය. අනතුරුව කකුල් දිග අදිමින්, කබාය නොපියවාම දොර වෙත ඇවිද ගියේය. 

      “බිල එවන්න“ නගරාධිපතිවරයා කීය. 

      “ඔබට ද, නගර සභාවටද?“ 

      නගරාධිපතිවරයා දොස්තර දෙස නොබලා ම දොර වසා පිට වී ගොස් ජනෙල් කවුළුවෙන් එබුනේය. 

      “ඔය කොයි ඉලව්වත් එකයි!“ 


පරිවර්තනය : රන්දිකා රණවීර ප්‍රනාන්දු

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...