Tuesday, September 4, 2018

144. නගරාධිපති දත හෙවත් මෙකල්හි එක් දිනක් - One of these days

ගැබ්‍රියල් ගාෂියා මාකේස් මහතාගේ One of these days නම් වන කෙටි කතාව ඇසුරිනි

      වැහිනැති, උණුසුම් සඳුදාවක්. වේලපහෙන් අවදිවන අවුරෙලියෝ එස්කොවා, උපාධියක් නොමැති දත් දොස්තර, උදෑසන හයට සිය කාර්යාලය විවෘත කළේය. ඒ වනවිටත්, අච්චුවට සවිකර තිබූ බොරු දත් පෙළක් වීදුරු ඇසුරුමෙන් පිටතට ගත් ඔහු ප්‍රමාණාකූලව අසුරා ප්‍රදර්ශනයට තබා තිබූ උපකරණ පොදිය මේසය මතින් තැබුවේය. හීන්දැරි සෘජු පුද්ගලයෙකු වූ දොස්තර, කරපටි රහිත ඉරි කමීසය රන්වන් බොත්තමකින් කර පියවා, සස්පෙන්ඩරයෙන් රැඳවුණු කලිසමක් ඇඳ සිටි අතර ඔහුගේ බැල්ම කන් නොඇසෙන කෙනෙකුගේ බැල්ම මෙන් අවට පිළිබඳ හැඟීමකින් තොරවිය. 

      මේසය මත සියල්ල ස්ථානගත කළ ඔහු, කුඩා විදුම් යන්ත්‍රය පුටුව වෙත ලංකර ගෙන වාඩි වූයේ බොරු දත් ඇන්ද ඔප දැමීමටය. බැලූ බැල්මට පෙනුනේ යෙදී සිටි කාර්යය පිළිබඳ කල්පනාවෙන් තොර බවක් වුවද, ඔහු නොනැවති ක්‍රියා කරමින් උන්නේය. උවමනා නොවන විටත් අනිච්ඡානුග ව මෙන් පාදයෙන් විදුම් යන්ත්‍රය ක්‍රියාකරවමින් තිබිණ. 

      උදෑසන අට පසු වූ පසු ජනේලය තුලින් අහස විමසන්නට සිය කාර්යය මදකට නැවතූ ඔහු දුටුවේ අල්ලපු ගෙදර වහළ මුදුනේ සිට කල්පනාකාරීව හිරුරැස් තපින රාජාලියන් දෙදෙනෙකි. දහවල් ආහාරයට පෙර වසිනු ඇතැයි යන සිතුවිල්ලෙන් ඔහු නැවත කාර්යයට යොමුවිය. සිය එකොළොස් අවුරුදු වයස් පුත්‍රයාගේ කන් සිදුරු කරවන කටහඬින් ඔහුගේ අවධානය බිඳිනි. 

      “තාත්තේ!“ 

      “මොකද?“ 

      “නගරාධිපතිතුමා අහනවා ඔයැයි එයැයිගේ දත ගලවනවද කියලා“ 

      “මං මෙහෙ නැහැ කියන්න!“ 

      ඔහු රත්තරං දතක් ඔප දමන්නට වන්නේය. අතේ දුරින් එය ඉහළට අල්ලා ඇස් හීනි කරමින් පරීක්ෂා කරන්නේය. පටු පොරොත්තු කාමරයේ සිට නැවතත් පුත්‍රයා කෑමොර දුන්නේ මෙවිටය. 

      “එයැයි කියනවා ඔයැයි ඉන්නවා කියලා. මොකද එයැයිට ඔයැයිව ඇහෙනවා“ 

      දත් දොස්තර දිගට ම දත පරීක්ෂා කරමින් සිටියේය. ඔහු පිළිතුරු දුන්නේ එතෙක් කළ කටයුත්ත පිළිබඳ ව සෑහීමට පත්වීමෙන් පසු එය මේසය මතින් තැබීමෙන් අනතුරුවයි. 

      “අන්න ඒක වඩා හොඳයි!“ 

      නැවතත් විදුම් යන්ත්‍රය ක්‍රියාත්මක විය. නිම නොකළ කොටස් තිබෙන පෙට්ටියෙන් ගත් කොටස් කිහිපයක් මේසය මත තැබූ ඔහු නැවතත් රත්තරං දත මදින්නට වන්නේය. 

      “තාත්තේ!“ 

      “මොකද?“ 

      ඔහුගේ භාවයෙහි වෙනසක් නොවීය. 

      “එයැයි කියනවා, දත ගැලෙව්වේ නැත්තං ඔයැයිට වෙඩි තියනවා කියලා“ 

      කිසියම් ම කලබලයක් නොමැතිව, නිශ්චලත්වයට ඉතාමත් ආසන්න වූ අභිනයකින් විදුම් යන්ත්‍රය ක්‍රියා කරවූ පාදය නැවතූ ඔහු, යන්ත්‍රය පසෙකින් තබා ඈතින් තිබූ මේසයේ පහත ම ලාච්චුව ඇරියේය. එහි තිබුණි රිවෝල්වරය! 

      “හරි...,“ ඔහු කීවේය. 

      “එයැයිට ඇවිත් වෙඩි තියන්න කියන්න“ 

      දොර හරස්වන ලෙස පුටුව තල්ලු කරදැමූ ඔහු ලාච්චුවේ දාරය මත අත තබා ගත්තේය. නගරාධිපතිවරයා දොරකඩ ප්‍රාදූර්භූත විය. මුහුණේ වම්පස රැවුල බාන ලදුව, වේදනාවෙන් ඇදී පැදී ගිය දකුණුපස වූ පස් දිනක් වයසැති රැවුලක් සමගින... නිදිවරා, බලාපොරොත්තු බුන් ව ගෙවුණු රාත්‍රීන් කිහිපයක ම නටඹුන් නගරාධිපතිවරයාගේ අඳුරු දෙනෙත් ඔහුට පෙන්වා දුන්නේය. ඔහු ඇඟිලි තුඩින් ලාච්චුව වසා මෘදුව මෙසේ පැවසුවේය. 

      “ඈඳිගන්න“ 

      “සුභ උදෑසනක්“ නගරාධිපතිවරයා කීය. 

      “උදෑසනක්“ දොස්තර පැවසීය. 

      උපකරණ තැම්බෙන අතරේ නගරාධිපතිවරයා පුටුව මත දිග ඇදී හිස නියමිත තැන සතපාගත්තේය. ඔහුට යම් තරමක පහසුවක් දැනිණ. ඔහුගේ සුසුම් සිසිල්විය. ඒ හැටි යමක් නොවූ ඒ කාමරය දුප්පත් පෙනුමක් ඉසිලීය. පරණ ලී පුටුව, කකුලින් ක්‍රියාකරවන විදුම් යන්ත්‍රය, සෙරමික් බෝතල සහිත වීදුරු බහලුම, පුටුවට ඉදිරිපසින් කුඩා ජනෙල් කවුළුව. දොස්තර ලං වූ බව හැඟුනු විට සිය පා යුවල කිටි කිටියේ තදකරගත් නගර අධිපතියා සිය මුව විවර කළේය. 

      අවුරෙලියෝ එස්කොවා ඔහුගේ හිස විදුලි එළිය දෙසට හැරෙව්වේය. ආසාධිත දත පරීක්ෂා කිරීමෙන් පසු ඔහු නගරාධිපතිවරයාගේ යටි හනුව ඉතාමත් සෙමින් තල්ලු කර කට වැසුවේය. 

      “හිරිවට්ටන්නේ නැතුව කරන්නයි වෙන්නේ“ ඔහු පැවසුවේය. 

      “ඇයි?“ 

      “සැරව ගඩුවක් තියෙනවා“ 

      නගරාධිපතිවරයා දොස්තරගේ දෙනෙතට ගිලී බැලුවේය. 

      “හා එහෙනම්“ යි පැවසූ ඔහු සිනා වන්නට උත්සහ කළේය. 

      දොස්තර කලබලයෙන් තොරව ජීවානුහරිත උපකරණ කුඩා අඬුවකින් අල්ලා මේසය මත පෙළ ගැසීය. සපත්තු තුඩින් පඩික්කම ලං කළ ඔහු දෙඅත් සෝදාගැනීමට ගියේය. මේ සෑම දෙයම කරන අතරතුරේ ඔහු කිසිවිට නගරාධිපතිවරයා දෙසට නෙත් යොමුකළේ නැත. නමුත් නගරාධිපතිවරයා කිසිවිට ඔහු වෙතින් නෙත් ඉවතට ගත්තේ නැත. 

      එය යටිහනුවේ ඥාන දතකි. පා යුවල විහිදා හිටගත් දොස්තර උණුසුම් ඩැහි අඬුවෙන් දත තදින් ග්‍රහණය කරගති. නගරාධිපතිවරයා සිය අත් දෙකින් පුටු ඇන්දේ ගැට ගැහුණි, පා යුවල සියලු වෙර යොදා පුටුවට මිරිකා ගති, ඔහුගේ වකුගඩු සිසිල් අවකාශයක් ඇති කරනු ඔහුට දැණින, එනමුදු මුවින් නොවේ කිසිඳු හඬක් පිටවූයේ. දොස්තර සෙලවූයේ සිය මැණික් කටුව පමණි. ක්‍රෝධය නොතැවරුණු මුත්, පමණටත් වඩා තැවරුණු කටුක මෘදුභාවයකින් යුතුව ඔහු මෙසේ පැවසුවේය. 

      “අපේ මිය ගිය මිනිසුන් විසිදෙනා වෙනුවෙන් නුඹ දැන් ගෙවයි!“ 

      සිය යටිහනුව බිඳෙනු නගරාධිපතිවරයාට දැණුනි. ඔහුගේ දෙනෙත් කඳුලින් පිරිණි. නමුදු දත එළියට එනතුරු ඔහු හුස්ම අල්ලා සිටියේය. අනතුරුව ඔහු සිය බොඳවුණු දෙනෙතින් එය දුටුවේය. ගෙවුණු පස් රැය පුරා වටහා ගැනීමට නොහැකි තරම් වූ ඉහළක තිබූ මාරාන්තික වේදනාවෙන් හිංසා ගෙන දුන්නේ මේ දතදැයි ඔහුට සිතා ගැනීමට නොහැකි විය.

පිංතුරය අන්තර්ජාලයෙනි

      පඩික්කමට නැවුණු ඔහු දහදියෙන් තෙමෙමින්, ක්ලාන්ත වෙමින් කබායේ බොත්තම් ගලවන අතරේ කලිසම් සාක්කුවට අනෙක් අත දමමින් ලේන්සුව සොයන්නට විය. දොස්තර ඔහුට පිරිසුදු රෙදි කඩක් පිරි නැමීය. 

      “කඳුලු පිහදා ගන්න“ 

      නගරාධිපතිවරයා එසේ කළේය. ඔහු කම්පිතව උන්නේය. දොස්තර දෑත් දොවන අතරේ, දිරාපත්වෙමින් ඇති සිවිලිමේ බැඳි මකුළු දැලක තිබූ මකුළු බිත්තරත් එහි පැටලී මිය ගිය කෘමී සතුනුත් ඔහු දුටුවේය. දොස්තර දෑත් පිස දමමින් හැරුණේය. 

      “කෙලින් ම ඇඳට යන්න, සැරින් සැරේ ලුණු වතුරින් කට හෝදන්න“ ඔහු පැවසීය. 

      නගරාධිපතිවරයා නැගී සිටියේය. හමුදාමය ආචාරයක් යාන්තමට දක්වා සමුගැනීමේ වදනක් බිනීය. අනතුරුව කකුල් දිග අදිමින්, කබාය නොපියවාම දොර වෙත ඇවිද ගියේය. 

      “බිල එවන්න“ නගරාධිපතිවරයා කීය. 

      “ඔබට ද, නගර සභාවටද?“ 

      නගරාධිපතිවරයා දොස්තර දෙස නොබලා ම දොර වසා පිට වී ගොස් ජනෙල් කවුළුවෙන් එබුනේය. 

      “ඔය කොයි ඉලව්වත් එකයි!“ 


පරිවර්තනය : රන්දිකා රණවීර ප්‍රනාන්දු

24 comments:

  1. දත ගලෝගන්න හෙට එන්නං.

    ReplyDelete
    Replies
    1. හිරිවට්ටන්නේ නැතිවම!

      Delete
  2. මට රචකයගෙ නම සහ කතාවෙ නම අමතකයි ඒත් තවත් ලතින් අමරිකානු ලේඛකයෙක් ලියාපු මේ වගේම කතාවක් තියනව කරණවෑමියෙක් ගැන.

    රචකයගෙ නම අමතක වුනාට අවුරුදු හතළිහකට වගෙ ඉස්සර කියවපු ඒ කතාවෙ දෙබස් පවා තවම මතකයි. අර "මගේ කරණවෑමි කතා" කතා මාලාවෙ ඉස්සෙල්ලම මම ලියන්න ඉන්නෙ ඒ කතාව...හෙහ්..හෙහ්..

    ReplyDelete
    Replies
    1. මං අහලා කියවලා නැහැ ඒ කතාව. ලිව්වට පස්සේ කියවමුකෝ.

      Delete
  3. /සස්පෙන්ඩරයෙන් රැඳවුණු කලිසමක් ඇඳ සිටි/
    ඔය කියන්නේ බඩ මහත අය කලිසම කරේ එල්ලා ගැනීමට යොදා ගන්නා උරපටි නේද? තව item එකකටත් ඔය නම භාවිත කරනවානේ.

    /ඔහුගේ වකුගඩු සිසිල් අවකාශයක් ඇති කරනු ඔහුට දැණින/
    මේ කියන්නේ මොකක්ද? නගරාධිපතිට චූ ගියාවත්ද?

    ReplyDelete
    Replies
    1. මේ කියන කාරණා දෙකම මේක පරිවර්තනය කරද්දි වැඩියෙන් අවධානය යොමු වුණු තැන් දෙකක්. ඇත්තටම මේ කතාව කියවද්දි තමයි මටත් වැටහුණේ මේ කියන්නේ ඒ කලිසම එල්ලන අයිටම්ස් එකට කියන නම මේක වෙන්න ඕනෑ කියලා. වෙබ් සර්ච් කළාම අපි හැමෝම දන්න අයිටම්ස් එක නෙමෙයි මුලට ආවේ, කලිසම එල්ලන පටිය ම තමයි :D

      හැබෑට ඒ කියලා තියෙන්නේ ගියා කියලා නේද? මටත් දැනුයි ඒක තේරුණේ. වෙලාවට පරිවර්තන වාක්‍යය වැඩි ගැටලුවක් නැතිව කෙරිලා තියෙනවා and felt an icy void in his kidneys :D

      Delete
    2. දැන් සස්පෙන්ඩර් බෙල්ට්ස් ෆැෂනබල්නෙ.
      ලංකාවෙ සෑහෙන්න ඇඳුම් කඩවල දතියනව

      Delete
    3. කොච්චරක් ෆැෂනබල් ද කිව්වොත් අනිිත් බෙල්ට් එක දාලා සස්පෙන්ඩර් නිකන් එල්ලගෙනනේ ඉන්නේ. :D

      Delete
  4. අගෙයි. නගා ඩොකාගෙ දතක් ගලෝල තියෙනව වගෙයි කාලෙකට කලින්.

    ReplyDelete
    Replies
    1. කාලෙකට කලින් මන්දා, කාලෙකට පස්සේ ගලවන්න පටන් ගත්තා වගේ දැනෙන්නේ දැන් :D

      Delete
  5. ගැබ්‍රියල් ගාෂියා මාකේස් මහතාගේ කෘතියකින් ජනක ඉනිමංකඩ පරිවර්තනය කරපු "කර්නල් සහා එරන්දිකා" පොතේ කර්නල්ගේ කතාවත් මේ කතාව එක්ක මතක් වුනා.

    ReplyDelete
    Replies
    1. මේ රන්දිකා වුණාට ඒ එරන්දිරා වගේ මට මතක. ඒකේ කර්නල් කතාව පුදුම විදිහට හිතට ඇලුනා. හරිම ලෝභ කමින් හිමින් හිමින් කියෙව්වා. එරන්දිරා නං හරි ගියේ ම නැහැ. :)

      Delete
    2. රන්දිකා අක්කේ ඒ එරන්දිරා වෙන්න ඕනේ තමයි.මටත් එකේ නියමෙට තිබ්බේ කර්නල් කතාව.

      Delete
    3. ඉනිමංකඩ මහත්තයා මාර්කටින් එක්ස්පර්ට්නේ. කර්නල් සහ එරන්දිරා කිව්ව ගමන් කට්ටිය ඒ දෙන්නාගේ කතාවක් මවාගෙන පොත ගත්තට මොකද ඒක කතා දෙකක්නේ. :D

      Delete
  6. හරිම ලස්සනයි. අපිටත් බැරියැ දතක් ගලවගන්න. ගොඩාක් හොඳ පරිවර්ථනයක් රන්දි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි චන්දි අක්කේ

      Delete
  7. මේ කොමෙන්ට් එකම කලින් පොස්ට් එකටත් දැම්ම එක පබ්ලිෂ් වෙලා තිබ්බේ නෑ.. බලමු මේකවත්..

    'ෆේස් බුක් එකට ලොග් වෙන්න බැරි වීමේ අතුරු ඵල හෙවත් කාලෙකට පසු බ්ලොග් එක මතක් වීම' හෙහ් හෙහ්..

    ෆේස්බුක් කේස් එක හරියන්නම එපා.!!!

    ReplyDelete
    Replies
    1. ඔහොම බැහැ දහපාලොස් දෙනෙක් වත් එකතු වෙලා එක විට ප්‍රාර්ථනා කරන්න වෙයි! :D

      Delete
  8. Eka husmatama kiyewwaa. Thawa digata thibbanam....

    ReplyDelete
    Replies
    1. මං ලිව්වා නං දිග කරන්න තිබුණා. මගේ මිතුරා ලිව්වා නං කොටස් වශයෙන් ලියා ගන්නත් තිබුණා. :D

      Delete
  9. අදනේ මම මේක දැක්කේ... ලස්සන පරිවර්තනයක්. මම මේක කලින් කියවල නෑ.. තව පොතක් ලියන්න ප්‍රැක්ටිස් කරනව ද? වෙරි ගුඩ් වෙරි ගුඩ්... හෙහ් හෙහ්

    ReplyDelete
  10. ඔය කොයි ඉලව්වත් එකයි!“

    ඒක හරි අපූරු කතාවක්. ස්තූතියි

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...