Tuesday, May 31, 2016

127. එසේ වේමැයි මේ දිවිය!



ජීවිතය පිළිබඳ ව සෑහීමට පත්වන්නට ඔබට නොහැකි වන්නට පුළුවන
එවැනි දිවියක් ලොව බොහෝ දෙනෙකුට සිහිනයක් ව තිබෙනා අතරතුර

ගොවි බිමට ඉහළින් නීල අහසේ ඇදී යන අහස් නැව දැක 
ඉගිල යන්නට සිහින දකිනා දරුවෙකු මෙබිම සිටිය හැක 

අහස් නැවේ සිට මහ පොළොව වෙත යොමාගෙන සිය නෙත 
සිටිය නොහැකිද ගුවන් නැවියෙකු මව්බිමේ සිහිනයක ගිල්වා සිත 

එසේ වේමැයි මේ දිවිය! සතුටුවන්න ඔබ ලද දිවියෙන්... 

සතුටේ රහස ධනය නම්, 
තුටින් සිටිය යුතුය පොහොසතුන් 
මහ මග ගයා නටා රඟමින් 

එනමුදු, වෙන කවුරුවත් මා නම් දැක නැත 
වැස්සේ පවා තුටින් නටනා දූගී දරුවන් මිස 

රැකවරණය පිළිබඳ හැඟීමක් 
ලබා දෙන්නට බලයට හැකි නම් 
මහ මග තනිව සැරිය යුතුය බලවතුන් 
කුමට පිරිවරා බෝ රැකවලුන් 

නමුදු මෙබිම තනිව සරන්නට හැකි - වෙනත් පිරිසක් වාසය කරති 
සරළ දිවි පෙවතක් ඇති - සැහැල්ලු නින්දක් දිනය කෙළවරේ ඇති 

මනා වූ රූපයත් යශෝරාවයත් 
ගෙනෙයි නම් පරමාදර්ශි සබැඳියාවක් 
ජනකාන්ත පුද්ගලයින් 
සතුව විය යුතුය 
උත්කෘෂ්ටවත් විවාහ දිවියක් 

චාම් දිවියක් - නිරහංකාර පැවැත්මක්
හෘදයාංගම බැඳීමක්
මග ලකුණු කියනු ඇති
ලොව ඇති සියලු යහපතට - ඔබ වෙතට එන්නට
කොයි ඉසව්වේ ඔබ සිටියත්

*********************






*********************

අනුවාදය:
රන්දිකා රණවීර ප්‍රනාන්දු

කථාව සහ පිංතූර:
අන්තර්ජාලයෙනි.
(පිරික්සන්න: Sometimes you are unsatisfied with your life)

Friday, May 27, 2016

417. වැස්සට කලින් කැම්පස් ගිය බුද්ධිමත් මහත්වරුන් ගැන පශු වදනක්


සමාවෙන්ට උවමනයි.අර ඊයෙ ප්‍රවේශ කතාවක් ලියපු එකේ ප්‍රධාන කතාව අද ලියන්ටයි හිටියෙ. ඒත් මේ ඊයෙ හවස සිද්දවෙච්චි දෙයක් හින්ද ඒක තව දවසකට කල් දැම්ම. මොකද මට හිතුන මේ කතාව අදම ලියල දාන්ට ඕනය කියල.

*********************************

මෙහෙ සති අන්තෙ සිකුරාදයි සෙනසුරාදයිනෙ. ඉතිං බෘහස්පතින්ද හවස කන බොන අය කවුරුත් පොඩි ආතල් එකක් ගන්නව. මගෙත් යාලුවො හත් අට දෙනෙක් ඇවිල්ල ඊයෙ පොඩ්ඩක් වගෙ වෙන්ට කර්මාන්තයක් කලා. ගාණට වගෙ වැදීගෙන එනකොට වැඩේ නැවැත්තුව. මොකද එතන හිටපු තුන්දෙනෙක් කිලෝ මීටර් හතළිහක් වගෙ දුර බැහැරක ඉන්නෙ. යන්තමටවත් වැඩිවෙලා ඇක්සිඩන්ට් එකක් උනොත් දඩේ ගෙවන්ට ලංකාවෙ තියන ගේ උගස් තියන්ට වෙනව.

ඉතිං කන්ට ලෑස්තිවෙලා බලනකොටයි දැක්කෙ පිඟං තුනක් අඩුයි. ඒක ඇවිල්ල තනිකරම මගේ වැරැද්ද. සත්කාරක නොහොත් Host හැටියට වැඩේ පටන්ගන්ට ඉස්සරවෙලා අවශ්‍ය ප්‍රමාණයට සියලුම භාණ්ඩ සහ උපකරණ තියනවද කියල හොයල බලන එක මගෙ වගකීම. මේක වුනේ බොන්ට තියෙන හදිස්සියට එව්ව අමතක වුනානෙ. අනේ අනිච්චං කණේ කඩුක්කං

"අනේ බං සමාදිය බජනය කරන්ටලා..පිඟං තුනක් නම් අඩුයි....අල්ලපු ගෙදරින් වත් මම ඉල්ලගෙන එන්ටද?"

"පිස්සුද බං? මෙන්න මෙහෙ ඉඳහං...ආය ඔක්කොම එකටම කන්ට ඕනය කියල නීතියක් තියනවය? කවුරුහරි කාල ඉවර උනහම ඒ පිඟාන ගමු. නෝ ප්‍රොබ්ලම්" වසන්ත එහෙම කිව්ව.

ඉතිං ඔන්න පස් දෙනෙක් කනව . අපි තුන් දෙනෙක් එතකල් දුමක් එහෙම ගහගෙන හිටිය පැත්තකට වෙලා.

ඔන්න අසිත කාල ඉවර වුනා. "මචං සරතා උඹ කාපං එහෙනං ඒ පිඟානෙ. උඹ දුර යන්ටත් තියනවනෙ." මම කිව්ව. සරතා අර මම කිව්වෙ කිලෝ මීටර් හතළිහක් වගෙ දුර ඉන්නවය කියල. එයිං එකෙක්.

" කෝ දීපංකො එහෙනං පිඟාන" සරතා නැඟිට්ට. 

"ඉඳහං බං මම පිඟාන හෝදල දෙන්නං" අසිත පිඟානත් අරගෙන කුස්සියට යන්ට ලෑස්තිවුනා. 

"පිස්සුද බං මෙන්න මෙහෙ දීපං මම ඕකට බෙදාගෙන කන්නං" සරතා අසිතයගෙන් පිඟාන ගන්ට හැදුවා.

"බෑ..බෑ...බං මේකෙ මේ ඉඳුලුත් එක්ක." 

"නෑ..නෑ..එව්ව මොනවද බං..මෙන්න මෙහෙ දීහං" සරතා අසිතයගෙන් බලෙන්ම පිඟාන අරගෙන අර ඉඳුල් උඩටම බත් බෙදාගත්ත.

මගේ ඇස් ලොකුවුනා."ඒයි බං මොන ජරා වැඩක් ද ඕක? අනුංගෙ ඉඳුල් උඩට බත් දාගෙන කන්නෙ?" 

"ආය මට ඔව්වයෙ ගානක් නෑ බං…"

"මේ සරතා උඹ මට බොරුනේද කිව්වෙ?" පොල්කටු හැන්දෙන් අලහොද්ද බෙදාගන්න සරතගෙන් මම ඇහුව. 

"ඈ?....මොකක්ද මම කියාපු බොරුව?" ඌ මා දිහාට හැරිල ඇහුව.

"උඹ මට දවසක් කිව්වනෙ උඹ කැම්පස් ගිහිල්ල නෑ කියල. "

"නෑ තමයි බං..ආය මොකටද බොරු කියන්නෙ?...මට කැම්පස් යන්ට වුනේ නෑ. "

"එතකොට ඔහොම කැත නැතුව ඉඳුල් පිඟංවල බත් දාගෙන කන්ට පුරුදුවුනේ කොහෙන්ද? "

"මම මෙහෙම පුරුදු වුනේ බං හිච්චි එකා කාලෙමයි. අපෙ පවුලෙ කොල්ලො කෙල්ලොම අටක්. අනික තාත්තා කලේ කුලී වැඩ.ඉතිං ඔය හැමෝටම එක පාර බත් බෙදන්ට ගෙදර පිඟන් තිබ්බෙ නෑ. මම පවුලෙ වැඩිමලා. ඉතිං අම්මයි මායි ලොකු නංගියි කරන්නෙ පොඩි එවුං කාල ඉවර උනහම ඒ ඉඳුල් පිඟානටම බත් බෙදාගෙන කනව."

"ඒක වෙන්ට බෑ බං..නෑ..නෑ..කොහෙත්ම වෙන්ට බෑ.."

"මොකද්ද? මොකද්ද වෙන්ට බැරි?" සරතයට ඔන්න තද වුනාද කොහෙද? පිඟානත් පැත්තක තියල මා දිහාට හැරුන.

"හරි හරි කලබල වෙන්ට එපා..මම මේ කිව්වෙ ඉඳුල් පිඟානටම බත් දාල කන එක ගැන. එහෙම අති ශ්‍රේෂ්ඨ සමානාත්මතාවයක් ගෙදරදි පුරුදු උනාය කියල මට විස්වාස කරන්ට අමාරුයි."

"එතකොට කොහෙදිද එහෙම දේවල් පුරුදු වෙන්නෙ?"

"එහෙම ඉතාම උසස් මානුෂික අති ශ්‍රේෂ්ඨ ගුණ ධර්ම පුරුදු වෙන්ට තියෙන්නෙ එකම තැනයි" මම කෑගහල කිව්ව.ඔක්කොමල කන එකත් නවත්තල මගේදිහාට හැරිල දැං කටවලුත් ඇරගෙන බලා ඉන්නව. 

"පපර පපර පපර පෑං පෑං පෑං ....ඔව්..ඒ එකම තැන නම් ශ්‍රී ලංකාවේ විස්ව විද්‍යාලවල රැග් එකේදී පමණයි. වෙන කොහේවත් එහෙම බෑ. ඒකයි සරතා මම කිව්වෙ මට උඹේ කතාව විස්වාස කරන්ට බෑ කියල. ඇත්ත කියපං..හොඳට මතක් කරපං..බොට සමහරවිට අමතක වෙලා තිබ්බට උඹ ඇත්තටම කැම්පස් ගිය එකෙක් වෙන්න ඇති"

"පිස්සුද බං..මේ මඟුලක් කතා කරනව. ඒ වගෙ අපායකට ගියා නං එහෙමත් අමතක වෙනවද? ඒක නෙවෙයි කවුද දැං ඔය ඒ වගෙ සමානත්මතාව ඉගෙන ගන්ට පුලුවන් රැග් එකෙං විතරක්මය කියල කියන පොර?"

"හප්පා එතුමා බොහොම උගතෙක්, බුද්ධිමතෙක්. වැස්සට කැම්පස් ගිය කෙනෙක් එහෙම නෙවෙයි ඔන්න. වහින්ඩ ඉස්සෙල්ලම කැම්පස් ගිහිල්ල එහෙදිම නාගත්ත කෙනෙක්. එහෙම කෙනෙක් කියපු දෙයක් කොහොමවත් බොරු වෙන්ට බෑනෙ ඒකයි මට තාම උඹේ කතාව විස්වාස නැත්තෙ.."

"අනේ මෙහ්..මගෙං මොකවත් අහගන්නෙ නැතුව හිටහං…" සරත මං දිහා රවාගෙන කිව්ව.

"ඉතිං තව මොනවද එතුමා කියල තියෙන්නෙ?" එහෙම ඇහුවෙ වසන්තය. 

"ආ..දැං ඔය කොල්ලො කොලු කමට අනික් එවුංගෙ සරං කඩනවනෙ …"

"ඉතිං? "

"ඉතිං එහෙම වෙලාවට රැග් එක කාල පලපුරුදු එකෙක් නෙවෙයි නම් අනිවාර්යයෙන්ම සරම කඩපු එකාට පිහියෙං අනිනවලු."

"මොන විකාරද බං? මගෙ රූම් එකේ අනික් එකා කේරල බුවෙක්. මම මේ ඊයෙත් ජෝක් එකට උගෙ සරම කැඩුව.."

"නෑහ්හ්හ්?..." මගෙ ඇස් ගෙඩි දෙක ලොකු වුනේ රැග් එකේ දි සුහදව අඳුනාගන්ටය කියල සින්නොද මක්කුන්ද කියන යමපල්ලො නවකයෙක්ගෙ ඔලුව කකුස්සි පෝච්චියට එබුවම ඒ අහිංසකයගෙ ඇස් ගෙඩි දොඹ ගෙඩි සයිස් වෙනව වගෙ. 

"කෝ ඉඳහං බලන්ට..ඔය ෂර්ට් එක ගලවපං.." මම වසන්තයට කිව්ව.

"ඒ මොකටද? "

" ගලවපංකො කියන්ට.."

වසන්තය "මොකටද බං?...මොකටද බං?" කිය කිය ෂර්ට් එක ගැලෙව්ව. 

මම උගෙ වටේට ගිහිල්ල හොඳට පරීක්සා කරල බැලුව. "අඩේ නෑනෙ.."

"මොනවද යකෝ නැත්තෙ?" වසන්තය ඇහුව ෂර්ට් එක ආපහු අඳින ගමං.

"මම මේ බැලුවෙ උඹේ බඩේ හරි පිටේ හරි පිහි පාරක් තියනවද කියල..ඒත් නෑනෙ එකක්වත්.."

"මොකක්ද ඒ පිහි පාරෙ කතාව?" තව එකෙක් ඇහුව. 

"නෑ..ඔහොම සරම කැඩුවම රැග කාල නැති එකෙක් නම් අනිවාර්යයෙන්ම පිහියකිං අනින්ට ඕන. ඒත් මුගේ ඇඟේ නෑනෙ එක පිහි පාරක්වත්."

"කේරළය මුගෙ පුකටවත් පිහියෙන් ඇන්නද දන්නෙ නෑ." එකෙක් එහෙම කියල බක බක ගාල හිනා වුනා. 

"ඇන්නා පුකට නෙවෙයි උඹෙ…" වසන්තය ඌ දිහා රවාගෙන කිව්ව. 

"නෑ ඒක වෙන්න බෑ....." මම අත් දෙක පපුවෙ බැඳගෙන කල්පනා කලා. "එහෙම පුකට පිහියෙං අනිනව නං අර බුද්ධිමත් මහත්තය එහෙම කියනව. එහෙම කියල තිබ්බෙ නෑ. ඒ හින්ද එහෙම වෙන්න බෑ......හරිනෙ.." මට එක පාරට කෑගැස්සුනා.."දැන්නෙ මට වැඩේ තේරුණෙ. උඹේ ඔය රූමා කේරළය අනිවා ලංකාවෙ කැම්පස් එකක ඉගෙන ගත්ත පොරක්. එහෙදි රැගත් කාල අංගජාත ප්‍රදර්ශණ ක්‍රියාවලියටත් සහබාගි වෙලා පලපුරුදු පොරක්. ඒකයි මචං උඹට පිහියෙං ඇන්නෙ නැත්තෙ. ආය ඒකෙ දෙකක් නෑ බඩු ෂුවර්."

"පිස්සුද බං? ඌ එහෙම ලංකාවෙ ඉගෙන ගත්තු එකෙක්නං මට කියනවනෙ…"

"නෑ..නෑ..එහෙමම තමයි වෙලා ඇත්තෙ. මම මේ කියන මහත්තයට කොහොමත් වරදින්ට බෑ. සමහරවිට කේරල බුවාට උඹට කියන්ට අමතක වෙන්ට ඇති. නැත්තං ඌ කියන්ට ඇති. ඌ කිව්වයි කියල උඹට අමතක ඇති. "

"තොට පිස්සුද XXXXX?... මට එහෙම අමතක වෙන්ට මොකෝ මම දුමින්ද සිල්වද? අනික ඌ මගෙ ගජ යාලුව. ඌ මට නොකිය ඉන්නෙ නෑ කොහොමවත් ඔහොම එකක්. " 

"නෑ..බං අපි හරියටම දන්නෙ නෑනෙ..මම කියන්ටද? උඹ ගනිං ඌට කෝල් එකක්..අරගෙන අහපං ලංකාවෙ කැම්පස් එකෙක ඉගෙන ගත්ත නේද කියල" 

"උඹෙ ඔලුව නරක් වෙලාද? ඌ හිතයි මට පිස්සුය කියල.."

"අනේ බං මම කියනවට කෝල් එකක් ගනිං..හරි හරි මෙන්න මගෙ ෆෝන් එක.මේකෙං ගනිං.."

"ආය මට උඹේ ෆෝන් එක ඕන නෑ...මට බය මූ මට පිස්සුය කියල හිතල ගෙවල් අයිතිකාරයට කියල මාව කාමරෙනුත් දොට්ට දායිද කියල..ඔය හරියෙ ඒ ගාණට කාමරයක් හොයාගන්න එක ලේසි නෑ…." වසන්තය අඬන්නෙ නැති එක විතරයි.

"හරි හරි නාඬ ඉඳිං..ඌ උඹව එලවල දැම්මොත් උඹ මෙහෙ ඇවිල්ල නතර වෙයංකො. හරි දැං ගනිංකො කෝල් එක.."

වසන්තයට හින්දිත් පුලුවන් ටික ටික...ඌ ගත්ත අරූට කෝල් එක. "නමස්තේ ජායි කීහේ මෙරේ බින්ද ගීහේ ජෝකිම්"

ජෝකිම් කියන්නෙ කේරලයගෙ නම. ඔය කේරල්ලු බාගෙට බාගයක් කතෝලික. ඒ හින්ද උංගෙ නං උනත් ඒ ආබාසෙටයි යන්නෙ. ජෝන් තෝමස්, කිෂූ ජෝර්ජ්, මැතිව් ජෝසප් ඔන්න ඔය වගෙ.

"නහී, නහී, නහී, එක්ස්ට්‍රීම්ලි සොරී ජෝකිම්…" වසන්තය මූනත් බෙරිකරගෙන ෆෝන් එක තිබ්බ…. "ඌ බැන්න බං මට පස් පඩංගුවෙ මොන පිස්සු කියවනවද කියල.."

"හරි හරි ඒක අමතක කරපං දැං ඌ මොනවද කිව්වෙ? ඕක පේරාදෙණියෙ ඉගෙන ගෙන තියනව නේද? මම හිතන්නෙ මේ අනූවෙ වගෙ කාලෙ. "

"පිස්සුද බං? ඌ ඉගෙන ගත්තු පේරාදෙණියක් නෑ. උඹටනම් පිස්සු.. "

"ඈ?.... එහෙමද? කොහොමද බං එහෙම වෙන්නෙ? අපේ අර වධක ප්‍රවර්ධක මහත්මයා එහෙම බොරු කියන මනුස්සයෙක් නෙවෙයි. මට හිතාගන්නත් බෑ බං…" මම එහෙම කිව්වෙ ඔලු ගෙඩියත් හොල්ල හොල්ල. ඇත්තම කියනවනං මට මේක හිතාගන්නවත් බෑම තමයි.

ටිකකට පස්සෙ සරතා වසන්තය එහෙම GN & BS කියල යන්ට පිටත් වුනා. මමත් උං එක්කලා පල්ලෙහා කා පාක් එකටම ගියා. උං යන්ට පිටත් වෙනකොටත් මම ජනේලෙං ඔලුව දාල සරතට කිව්වෙ "අනේ මචං හෙට උදේ නිවී සැනසිල්ලෙ කල්පනා කරල බලපං බැරිවෙලාවත් උඹ කැම්පස් ගියාද කියල.මොකද අර වැස්සට කලින් කැම්පස් ගිය මහත්තයට වරදින්ට බෑ. ඒ හින්ද මොකක් හරි මතක් උනොත් මට වහාම කෝල් එකක් දීපං හොඳේ.."

"අනේ උඹෙ XXXXX " එහෙම කියල වමතෙ මහපට ඇඟිල්ලයි දබරැඟිල්ලයි රවුමක් හැදෙන්ට එකට ගාවල දකුණතේ දබරැඟිල්ලත් යොදාගෙන මොකක්දෝ සංඥාවක් කරගෙනම උං යන්ට ගියා.

ඔන්න හොඳක් කරන්ට ගිහිල්ල මට වෙන වැඩ ඔව්ව තමයි.

ඉස්සර අපි පොඩි කාලෙ පාඩම් පොත්වල කතාවක් අන්තිමට තිබ්බ ඒ කතාවෙන් ලබාගත හැකි පාඩම ගැන ලියවුනු සාරාංශයක් වගෙ එකක්.මෙන්න මේ වගෙ,

ආදර්ශය - නුවණැත්තා සියලු බාධා ජය ගනියි.. 

ඒ වගෙ මේ කතාවෙන් ගත හැකි ආදර්ශය මම හිතන විදිහට මෙහෙමයි. 

ආදර්ශය - වැස්සට පෙර කැම්පස් යාමෙන් සිසු සිසුවියන්ට ඉඳුල් පිඟන්වල බත් කෑමට සහ එකිනෙකාගේ අංගජාතයන්ගේ දිග පළල දැක ගැනීමට හැකිවේ. අංගජාත ප්‍රදර්ශනයේ ආනුභාවයෙන් ජීවිතයේ ඉදිරි දිනක කිසිවකු හදිසියේ සරම කැඩුවොත් ඒ කැඩූ එකාට පිහියෙන් ඇනීමෙන් වැලකිය හැක.

වැස්සට කලිං කැම්පස් ගිය හින්දනෙ ඉතිං ඔය ටිකවත් ඉගෙන ගත්තෙ ....නැද්ද?... වෙන මොනව නැතත් ඒත් මදැයි එක අතකට බලාගෙන යනකොට...හෙහ්..හෙහ්…

Thursday, May 26, 2016

416. පූර්විකාවක් නොහොත් ප්‍රවේශයකි.

වැලිකන්ද නගරය - Explorelanka.lk

ඒ 1991 අවුරුද්දෙ මැද. හරියටම කිව්වොත් මැයි මාසෙ 18, 20 වගෙ දවසක මම හදිසි නිවාඩුවක් අරගෙන ගෙදර ආව. ඒ වෙනකොට අපේ ගෙදරට ලයිට් තිබ්බෙ නෑ. ආ..ඒක කියන්න බැරිවුනානෙ. එතකොට මම හිටියෙ අපේ මහ ගෙදර.බැඳල කරල එහෙමත් නෑ.

ඉතිං එහෙම  හදිස්සියෙ ගෙදර ආවෙ අම්ම හැකි ඉක්මනින් ගෙදර එන්ට කියල පණිවිඩයක් එවල තිබුනු හින්ද. ඒ දවස්වල මම ඉන්න දිහාට ඒ කිව්වෙ වැලිකන්දට හදිසි පණිවිඩයක් එවනව කියන එක තනිකරම මීඩියම් ස්කේල් ප්‍රොජෙක්ට් එකක්.

ඒ දවස්වල අපේ ගෙදරට ටෙලිෆෝන් නෑ. ලයිටුත් නෑ කිව්වම ඉතිං ටෙලිෆෝන් නෑ කියල කියන්ටත් දෙයක්ය නේද? ඒ අහල ගං ගතකට ටෙලිෆෝන් එකක් තිබ්බෙ පන්සලේ විතරයි.අපේ ගෙදරට පේන තෙක් මානෙට  ලයිට්  ඇවිල්ල නැවතිල තිබ්බ. පුදුම වැඩේ කියන්නෙ තත්වෙ ඔය විදිහට උනාට අපේ ගෙවල් තිබ්බ හරියට කොළඹ-නුවර පාරෙ ඒ කියන්නෙ ලංකාවෙ ප්‍රධාන A -1 මාර්ගයේ ඉඳල තියන දුර  මැන්නොත් ඕනනම් කිලෝ මීටරයක් ඇති. ඊට අඩු මිසක වැඩි නම් නෑ.

එහෙම වෙන්ඩ ඒ කිව්වෙ අපේ පැත්තට ලයිට්, ටෙලිෆෝන් නොලැබෙන්ට හේතුවක් තියනව කියලයි ගමේ වැඩිහිටියො නම් කිව්වෙ. හේතුව තමයි ඒ පළාතම ශ්‍රී ලංකා කියල හංවඩු ගැහිල තිබ්බ එක. අපේ ආසනය යටිනුවර. 77 ට ඉස්සර කොබ්බෑකඩුව මහත්තයගෙ සීට් එක. 

ඉතිං ගමේ පන්සලේ ලොකු හාමුදුරුවන්ගෙන් පටන් ගත්තම පිහා කැති පණ පොවන ඩිංගිරාගෙ කම්මලේ පිල් කණ්ඩිය උඩ වකුටුවෙලා ඉන්න දුඹුරුපාට බැලි කික්කි පොහොරි දක්වා ගම්වාසී සියලු මිනිසුන් සහ සතුන් බෙල්ලට කඩු කොටයක් තියල තර්ජනය කලත් තාමත් චන්දෙ දෙන්නෙ අතට, පුටුවට හෝ ඊටත් පස්සෙං පහු නං බුලත් කොළේට කියලයි ඒ දවස්වල රට කරවපු අර තිරිසනාගෙ පක්සෙ උදවිය හිතාගෙන හිටියෙ.

ඉතිං ඒ දේසපාලන තක්සේරුවෙ ප්‍රතිපලේ වුනේ කොළඹ-නුවර පාරෙන් එහා පැත්තෙ තිබ්බ උඩුනුවර ආසනේ පුවක් ගස්වල හිටං ඉන්සියුලේටර් කොහු ළණු වලිනුත් එක්ක ගැටගහල ගස් දෙබල් උඩ පොඩි එව්වො සෙල්ලං කරන්ට හදාගෙන තිබිච්චි සෙල්ලංගෙවල් වලටයි ගෙවල් ඉස්සරහ අටවල තිබ්බ පරෙයි කූඩු වලටයි හිටං ලයිට් දෙද්දි පාරෙං මෙහා පැත්තෙ අපේ ගෙවල් වල පොඩි එවුං පාඩං කලේ චිමිනි ලාම්පුවල එළියෙං.

ඉතිං අපේ ගමේ ටෙලිෆෝන් එකක් තිබ්බෙ පන්සලේ විතරක් වෙනකොට වැලිකන්දෙ ටෙලිෆෝන් එකක් තිබ්බෙ මේන් ඔෆිස් එකේ විතරයි. ඒකෙත් ටෙලිෆෝන් එක තිබ්බෙ ලොක්කගෙ කාමරේට මෙහා කාමරේ ලොක් එකක් එහෙම දාල. ඉන්කමිං ඔන්ලි. මම හිතන්නෙ එහෙම නැතුවත් බෑ.ඒ කාලෙ මොබයිල් එහෙම ආපු අලුත වගෙ. අපි හිටපු අහල ගං හතකටවත් සිගනෑල් එහෙම නෑ. ඒ හින්ද මොබයිල් වලිං කිසිම වැඩක් නෑ.අර මොබයිල් ෆෝන්ස් ඔක්කෝටම සෙල්ටෙල් කියපු යුගය ගැන මම මේ කියන්නෙ.

සෙල්ටෙල් කිව්වෙ ලංකාවෙ මුල්ම මොබයිල් සර්විස් ප්‍රොවයිඩර්. ඒ කාලෙ ඕනම මොබයිල් ෆෝන් එකකට කිව්වෙ සෙල්ටෙල් එකක් කියල. "අපෙ අයිය ගෙනාව රට ඉඳල එනකොට මෝටරොලා සෙල්ටෙල් එකක්" " සෙල්ටෙල් වලින් හොඳම ජාතිය මම හිතන්නෙ නොකියා" ..අන්න එහෙමනෙ කියන්නෙ. අර කියන්නෙ මට නම් හොඳම බාටා ජාතිය ඩී.එස්.අයි.කියල. අන්න ඒ වගේ.

ඉතිං හදිසි පණිවිඩයක් එහෙම දෙනවනම් ක්‍රියා පටිපාටිය මෙහෙමයි. පන්සලට ඇවිල්ල ඔෆිස් එකට කතාකරල එතන ඉන්න ටෙලිෆෝන් ඔපරේටර්ට කියන්න ඕන අහවලාට කියන්න ගෙදරට කතාකරන්නය කියල. ඉතිං ඒ මනුස්සය අපේ නම ගම ආගම ඉපදුනු දාතම එහෙම අහගෙන කොලේක ලියල කවුරුහරි අපේ ඩෝමිටරි එක පැත්තෙ එන කෙනෙක් අතේ පණිවිඩේ එවනව. ඒ එන මනුස්සය එන වෙලාවට බොහෝවිට ඩෝමිටරි එකේ කවුරුවත්ම නෑ. බොහෝ වෙලාවට ඉන්නෙ උයන්ට ඉන්න ගෝලය විතරයි. ඉතිං වෙන මක් කරන්නද? මිනිහට ඔය කොළ කෑල්ල දීල යනව.

 මනුස්සය ඕක එක්කො පරිප්පු බෝතලේ යටිං තියනව. නැත්තං සූදුරු මුලට යට කරනව. දවල් කෑමට අපි ආහම මනුස්සයට ඔය පණිවිඩේ මතක් උනොත් හොඳයි. නැත්තං ඒක එච්චරම තමයි. ඉතිං පණිවිඩේ ලැබුනොත් ඊලඟට කරන්නෙ හවස වැඩ ඇරිල එනගමන් ටවුමෙන් බහිනව. ඒ වෙනකොට ඔය කොමියුනිකේෂන් කියන එව්ව එක දෙක පටන් ගන්න කාලෙ.කොමියුනිකේෂන් කිව්වට එව්වයෙ හාල් සිල්ලර වෙළඳාමත් කෙරුනා. කඩේ මුල්ලක පොඩි ඇලුමිනියම් පෙට්ටියක් වගෙ ගහල තිබ්බ යන්තමට හිටගෙන ඉන්ට විතරක් පුලුවන් සයිස් එකට. ඒකෙ තමයි ටෙලිෆෝන් එක තිබ්බෙ. එතනට යන්ට හාල්, සීනි, පරිප්පු ගෝණි උඩිං පැනගෙන යන්ට ඕන.

ගිහිල්ල ටෙලිපෝන් කූඩුව ඇතුලෙ ගොඩගහල තියෙන මුංඇට ගෝනි දෙකයි කඩල ගෝනියයි උස්සල එළියෙන් තියල පන්සලේ නොම්මරේ ඩයල් කරනව. ඔන්න එහා පැත්තෙං බොහෝවිට කතා කරන්නෙ පොඩි හාමුදුරු නමක්. 

"හලෝඕඕඕඕ.." ඇදල පැදල පිරිත් කියල පුරුදුවෙලාද මන්ද මම දන්න බහුතරයක් හාමුදුරුවරු හලෝ කියන්නෙ බොහොම ඇදල පැදල.

"හලෝ මම මේ කතාකරන්නෙ අර වෙළ උඩහ ගෙදරට පණිවිඩයක් යවන්ට පුලුවන්ද කියල බලන්ට. කවුද ඔය කතාකරන්නෙ කියල කියන්ට පුලුවන්ද කරුණාකරල? පොඩි හමුදුරුවොද?"

"නෑ..මම ..මේ සුදත්ත.." 

කවුරුහරි පන්සලේ නැවතිලා ඉන්න පොඩි හාමුදුරු කෙනෙක් වෙන්ට ඇති. පිරිවෙනකුත් තියන හින්ද කොහොමත් ඔය පන්සලේ හාමුදුරුවරු දහ දොළොස් නමක් වරදින්නෙම නෑ.

"හාමුදුරුවනේ මම මේ වැලිකන්දෙ ඉඳල කතා කරන්නෙ අපෙ ගෙදරට පණිවිඩයක් යවන්න පුලුවන් වෙයිද අම්මට හරි අප්පච්චිට හරි පන්සලට එන්න කියල. මම තව පැය බාගෙකින් වගෙ ආපහු කතා කරන්නං.."


"හොඳයි මම පණිවිඩයක් යවන්නං.."


පන්සලේ ඉඳල අපෙ ගෙදරට ඒ හැටි දුරක් නෑ. හරියටම මීටර් හාරසීයයි තියෙන්න. කොහොමද දන්නවද මම දන්නෙ? එක පාරක් පන්සලේ තිබ්බ අවුරුදු උත්සවේක මීටර් හාරසීය ධාවන තරඟය පටන් ගත්තෙ පන්සලේ ගේට්ටුව ඉස්සරහිං. මීටර් හාරසීයෙ අවසාන වෙන කහ ඉර පාර හරහ ඇඳල තිබ්බෙ හරියටම අපේ ගෙදර ඉස්සර.

අනික ඒ වෙනකොට අපෙ අප්පච්චි පන්සලේ දායක සභාවෙ ලේකම් විදිහට වැඩ කලා. ඒ හින්ද කොහොමත් පණිවිඩේ අනිවාර්යයෙන් යවනව පොඩි හාමුදුරුකෙනෙක් අතේ හරි. ඉතිං කිව්වත් වගෙ විනාඩි හතළිහකට වගෙ පස්සෙ ජයන්ති හෝටලෙන් ටිංකිරි ටී එකක් ගහල ගෝල් ලීප් උගුරකුත් ඇදල ආපහු කූඩුව අස්සට ගිහිල්ල පන්සලට කතා කරනකොට අම්ම ඇවිල්ල හිටිය. දෙවෙනි පාර එනකොට මුං ඇට කඩල ගෝනි එළියට දාන්ට වුනේ නෑ.. 

"මුදලාලි මේ ගෝනි ආය ටෙලිපෝං කූඩුව ඇතුලට දාන්ට එහෙම එපා දැම්මම. මම ආපිට එනව ආයෙ කෝල් එකක් ගන්ට" මම යද්දි මුදලාලිට එහෙම දැනුම් දීමක් කරලයි ගියේ.

ආයෙම පන්සලට කතා කරනකොට අම්ම ඇවිල්ල හිටිය. 

"ආ..අම්මෙ..කෝ අප්පච්චි?" මම එහෙම ඇහුවෙ වෙනද ඔහොම පණිවිඩ වලට එන්නෙ අප්පච්චි හින්ද…

"අප්පච්චි හදිස්සියෙ කොළඹ ගියා පුතා..අර පෙන්ෂන් එකේ මොකක්ද වැඩකට..." අප්පච්චි විශ්‍රාම අරගෙන ඒ වෙනකොට අවුරුදු තුනක් වගෙ ගතවෙල තිබ්බට පෙන්ෂන් එක හරියටම හැදිල තිබ්බෙ නෑ ඒ වෙනකොටත්. 

"ආ..එහෙමද? මොකද මේ හදිස්සියෙ මට කෝල්කලේ? මොකක් හරි කරදරයක්ද?"

"ආ...නෑ...නෑ..එහෙමට කරදරයක් නෑ..පුතාට බැරිද මේ වීක් එන්ඩ් එකේ  දවස් දෙකක් වගෙ නිවාඩු දාල ගෙදර එන්ට? "

"ඉතිං කරදරයක් නැත්තං මොකටද නිවාඩු දාල ගෙදර එන්නෙ?" 

"නෑ මේ..අර අපි ගෙදරට ලයිට් ගන්ට සල්ලි බැන්දනෙ." 

"ඔව්..ඔව්..මමනෙ ගිය මාසෙ ආ වෙලාවෙ ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකට ගිහිල්ල සල්ලි ගෙව්වෙ…"

"ඔව් පුතා".....අම්මගෙ කටහඬ කොඳුරන මට්ටමට වොලියුම් අඩුවුනා. පන්සලේ ටෙලිෆෝන් එක කිට්ටුව තව කවුරුහරි ඇති. "මේ...අර අහල පහල අය දැං සල්ලි දෙන්ට බෑ කියනවනෙ"

"නැහ්??? හෙහ්,හෙහ්...ඒකත් නරකම නෑ..ඕකෙ වැඩේ මේකනෙ අම්ම ඔය කරන්ට් සප්ලයි එක ගත්තම මාස හයයි අපිට අයිතිය තියෙන්නෙ. ඊට පස්සෙ ඕන කෙනෙකුට ඒකෙන් ගෙවල් වලට ලයිට් ගත්තෑකි. ඒ මිනිස්සු දන්නව ඒක. ඒකයි ඔය මඟාරින්ට හදන්නෙ"

"හුහ්..එහෙම කොහොමද?"

"හරි හරි දැං මට මොකක්ද කියන්නෙ?" 

"පුතා ඇවිල්ල සී.ඊ.බී. එකට ගිහිල්ල කියන්න අනික් අය සල්ලි දෙන්නෙ නෑ ඒ හින්ද අපිටත් කරන්ට් ඕන නෑ කියල" 

"කොහොම වුනත් අපිටම තමයි අම්ම ඕක කරන්න වෙන්නෙ..හරි හරි මම එහෙනං ඉරිද උදේම එන්නංකො. දවස් දෙකක්වත් නිවාඩු දාල. ඇවිල්ල ඕක ගැන කතා කරමු." එහෙම කියල මම ටෙලිෆෝන් එක තිබ්බ.

ඔතන වුනේ මේකයි. අන්තිමට ලයිට් ඇවිල්ල නැවතුනු තැන ඉඳල කණු හයක් හිටවන්න ඕන අපිට ලයිට් ගන්න. අම්ම ලෑස්තිවුනේ ඒ පාර දෙපැත්තෙ ඉන්න අය ඔක්කොමල එකතු කරගෙන වියදම සමව බෙදාගෙන වැඩේ කරන්න. මූලික තැන්පතුව අපි ගෙව්ව. හැමෝම මුලින් කැමතිවෙලා හිටිය වැඩේට. සී.ඊ.බී. පෝරම කොලෙත් අත්සන් කලා. ඒත් පස්සෙ පස්සෙ එක එක්කෙනා පස්ස ගහල වැඩෙන් මඟ ඇරිය. 

එතන වෙන්න ඇත්තෙ මේකයි. දැන් අපි වියදම් කරල අපේ ගෙදරට ලයිට් ගත්තයි කියමුකො. මාස හයක් යනකල් ඒ ලයින් එකෙන් වෙන කාටවත් ලයිට් දෙන්න බෑ.ඒත් මාස හයෙන් පස්සෙ අයිතිය ආපහු සී.ඊ.බී.එකට යනව. ඊට පස්සෙ එයාලට ඕන කෙනෙකුට ඒකෙං ලයිට් දෙන්න පුලුවනි. කිසිම තේරුමක් ඇති නීතියක් නෙවෙයි. මම දන්නෙ නෑ තාමත් එහෙමද කියල. ඒත් ඔය කියන කාලෙ ඒ කියන්නෙ අවුරුදු විසිපහකට වගෙ උඩදි නම් එහෙම තමයි.

පස්සෙ කිව්ව විදිහට මම ගෙදර ගියා. මම අනන්ත කිව්ව අම්මට කොහොමත් ඔය සල්ලි අපිටමයි ගෙවන්න වෙන්නෙ ඒ හින්ද ඕක ගෙවල ලයිට් ගමුය කියල. 

"ඒත් පුතේ..මේ අහල පහල එවුං ඔක්කොම මාස හයකට පස්සෙ නිකම්ම ඉඳල ලයිට් ගනියිනෙ අපේ සල්ලි වලින්"

"ඒක කොහොමත් එහෙම තමයි අම්මෙ..ඒක ආණ්ඩුවෙ නීතිය"

"මට ඔය සල්ලි ඔක්කොම දීල ලයිට් ගන්න එක ලොකු දෙයක් නෙවෙයි. ඒත් මට මෙච්චර තරහ මේ මිනිස්සු කරපු වංචාව ගැන. කලින්ම බෑ අපිට සල්ලි නෑ කිව්වනං ඒක එකක්. මුං හිතලමයි මේ වැඩේ කලේ"

නෑ අම්මෙ එහෙම නෑ..කියල කියන්න මට පුලුවන් කමක් කොහොමවත් තිබ්බෙ නෑ. මොකද ඇත්තටම උනේ එහෙම තමයි කියල සක්සුදක්සේ පැහැදිලි හින්ද. අහල පහල මිනිස්සු බැලුවෙ මුලින් හා කියල අපි ලව්ව වැඩේට මුල පුරවල ඊට පස්සෙ බෑ කිව්වම අපි මුලු ගාණම ගෙවල ලයිට් ගනියිනෙ. ඊට පස්සෙ තව මාස හයක් චිමිනි ලාම්පු එළියෙන් ඉඳල ඉක්බිත්තෙන් සත පහක්වත් වියදම් නොකර ලයිට් ගන්නංකො කියල.

ඉතිං මම කොච්චර කිව්වත් අපි සල්ලි ඔක්කොම ගෙවල ලයිට් ගමුය කියල..මොන? අම්ම කැමති වුනේම නෑ. 

"නෑ..නෑ..ඕන නෑ...අප්පච්චියි මායි විතරනෙ ගෙදර ඉන්නෙ..අපි දෙන්න ඔය මොනවහරි රත්කරගෙන කාල කලුවර වැටෙනකොට නිදාගන්න එකනෙ. ඒ හින්ද ආය මොකෝ ඔය ලයිට් කියන එක ඕනම එකක්ය..ඒ හින්ද ඕන නෑ..පුතා සී.ඊ.බී. එකට ගිහිල්ල කියන්ට කණු ගේන්ට එපා කියල. ඩිපොසිට් එක ඔහෙ තිබ්බාවෙ" අම්මා එකහෙලාම කියා හිටිය. 

ඇත්තටම ඒ වෙනකොට අම්මයි, අප්පච්චියි විතරයි ගෙදර හිටියෙ. නංගිල දෙන්න කොළඹ, මම අරෙහෙ වැඩ. මම ගෙදර එන්නෙ මාසෙකට සැරයක්. නංගිලා සති දෙකට වගෙ සැරයක්. 

කොහොම හරි අන්තිමට අම්ම කියපු විදිහටයි වැඩේ කෙරුනෙ. ඉතිං වෙනද ගෙදර ආහම මම නුවර පැත්තෙ රවුමක් දාල කාසල් එකෙං බියර් එකකුත් ගහල විජිත යාපා එකෙං පොත් දෙකතුනකුත් අරගෙන පත්තර කැටියකුත් කිහිලි ගහගෙන තමයි ගෙදර එන්නෙ. මෙදාපාර මේ පොයියංගමට හිරවුනු හින්ද අර සී.ඊ.බී. එකට ගිය ගමනක්ද දෙකක්ද ඇරෙන්න මම ගෙදරමයි හිටියෙ. ගෙදර රේඩියෝ එකත් කැඩිල. ප්‍රවෘත්තියක්වත් අහගන්ට තිබ්බෙ නෑ. ඉතිං නිවාඩු ඉවරවෙලා මම ආපහු වැඩටත් ගියාය කියමුකො....හොඳද?


*************************************

මේක මේ ඇත්තම කියනවානං මට කියන්ට ඕන වෙලා තිබ්බ කතාවට ප්‍රවේශයක්. අන්තිමට නොහිතූ විදිහට ප්‍රවේශය දීර්ඝ වෙච්චි. හෙහ්,හෙහ්...කොහොමද ආතල් එක? අන්තිමට සතාට වඩා වලිගෙ දිගයි කිව්ව වගෙ ප්‍රවේශයෙන්ම වැඩේ ඉවර කරන්ට වුනානෙ. හරි හරි ඒක එච්චර ගාණකට ගන්ට එපල්ල. ප්‍රධාන කථාව වහාම ලියල දාන්නං..ගෝඩ් ප්‍රොමිස්!

Saturday, May 21, 2016

415. මානසික ආබාදිතයින්ගේ නවක වදය හෙවත් මහා උප සඟිස්කුරුත නාඩගම

Daily Mirror Cartoon - Awantha Artigala

නවක වදය පිළිබඳව මේ සටහන අඩක් ලිව්වේ සති දෙකකට හෝ තුනකට හෝ ප්‍රථමය. නවක වදය පිළිබඳ ආන්දෝලනය මදකට හෝ වියැකී යෑම සහ වෙනත් කරුණු පිළිබඳව ලිවීම නිසා මේ සටහන පළකිරීම අතපසුවිය. මේ සටහන සම්පූර්ණ කොට පළකල යුතුයැයි මට හැඟුනේ නවක වධකයින් පෙලෙන මානසික ව්‍යාධීන් සහ නවක වධයට පක්ෂපාතීව අදහස් දක්වන ඊට ගොදුරු වූවන් පෙලෙන ව්‍යාධිය පිළිබඳ ලිපියක් වෛද්‍ය රුවන් ජයතුංග මහතා දින දෙකකට පෙර ඔහුගේ වියුණුවෙහි පලකිරීමෙන් පසු ඊට ලැබී ඇති ප්‍රතිචාර කියවූ පසුවය.

*********************************************

විස්ස විජ්ජාල වලට කොල්ලෝ කෙල්ලෝ එන්නේ ඉගෙන ගන්ටය. එහෙත් එහෙම නොවෙන වෙන වෙන නියාය පත්තර ඔලුව ඇතුලේ තියාගෙන ඔතෙන්ට එන බම්මන්නලා කොටසක්ද සිටිති.එතනට එනවිටම ඔවුන්ගේ ඔලුවලට අං තට්ටු පැලඳවෙයි. සිරි ලංකාවෙ සිස්සයිංගෙං බුද්දිමත්ම සීයට අහවල් ගානට තමංද අයිතිවන බව ඔවුන්ගේ සිත්තුල මහමෙරක් වගේ පැලපදියම්ව ඇත. එනිසා ඒ මාන්නයෙන් උදම්ව සිටින ඔවුන් විස්ස විජ්ජාල තුලදී කරන්නෙ රට හදන්ට හදන එකය. නැතහොත් තමංද අඳෝ සංසාරයක් නොදන්නා නිදහස් අජ්ජාපනය රැකගන්ට පුක විකාගෙන දඟලන එකය.

ඒ නිදහස් අද්දියාපනේ රැකගන්ට රෑ නිදි නැතුව, හේනක දාගිය අලුගොඩේ පැලවුනු ලබු වැලක පලගත් දඩ ලබ්බක සයිස් රතු පාට අකුරුවලිං " නිජහස් අජාපනේ රැකගව් අම්මේ, ටාට්ටේ, මෂ්ෂිනේ, නෑනේ, බාප්පේ, මාමේ, පෙරට එන්න අප හා එක්වන්න " කියා කහ පාට උලාපු කඩදහිවල ලියා තාප්ප ගානේ අලවන මේ ජාති මාමක වීරයෝ දවල් දවසේ කරන්නේ තමං වගේම එකම විබාගෙට ලියා විස්ස විජ්ජාලයට එන්නට ළකුණක් දෙකක් මදිවී මුදල් ගෙවා හෝ ඉගෙන ගෙන අනාගතය සාර්තක කරගන්ට වලිකන තමංගෙම පංතියේ සහෝදර සහෝදරියන්ට වල කැපීමේ පරම පිවිතුරු අදිස්ටානයෙන් යුතුව ගිරිය යටිං බෙරිහං දෙමිං වෝඩ් පෙදෙසට එහෙමත් නැත්තං අරලියගහ මන්දිරයට පාගමං යන එකය. 

ඒ අතර වැඩ ඉන්නා පිස්සූන් වහන්දෑලා මාර්ග බාදක යනාදිය මත ඉර්දි බලයෙන් සක්මන් කරන්නෝය. "අහසිං වඩින පින ලැබිලද උඩ සක්මන් කරන්නේ?" කියා සුනිල් එදිරිසිංහ ඇහුවේ නම් මේ වහන්දෑලා ගෙන් වෙන්ට බැරිය.

එහෙමත් නැත්තං තමං වගේම රෑ නිදි මරා පාඩං කරලා විබාගෙං පාස් වෙලා පණ බයේ ගැහෙමිං (දෙයියනේ කියලා බොහෝවිට මුලු පවුලෙම්ම, මුලු ගමෙම්ම ඉස් ඉස්සෙල්ලාම විස්ස විජ්ජාලෙකට ආවෙ ඒ කෙලී හෝ කොලුවා විය හැක) හාපුරා කියා විස්ස විජ්ජාල දොරෙං ඇතුලුවන නවකයාට හද්ද කුණුහරුපයෙන් බැණ අඬගැහීමය.

ඉන් අනතුරුව තමන් පෙලෙන දරුණු මානසික ආබාද ප්‍රදර්සනය කරමින් අර අහිංසකයින්ට රජකාලේ දෙතිස් වද වලටත් නොදුන්නු අමානුසික දඬුවම් දීමය. ඒ ඔක්කොම කොරන්නේ නවක වදේ යන මහාර්ග වචන දෙකට මුවා වෙලාය. 

නවක වදය නතර කර නොහැක්කේ මන්ද යන ප්‍රස්නයට ඒ පිස්සන් ලඟ අපූරු උත්තරයක්ද ඇත. ...ආ..එහෙම කොහොමද? ඒක විස්ස විජ්ජාලෙ උප සයන්ස්කුරුතියෙ ප්‍රදාන අංගයක්. ඒක එහෙම තහනං කරන්ට බෑ. නවක වදෙං තමයි සිස්සයො එකිනෙකා අඳුනාගන්නෙ. අනික නවක වදෙං සිස්සයිංගෙ පවුරුසේ වර්දනේ වෙනව. ජීවිතේ ඕනම දේකට මූන දෙන්ට හැඩගැහෙනව..අරකද මේකද...නවක වදයෙන් ලැබෙන ප්‍රතිලාබ ගැන වර්නනා කෙල කෝටියකුත් තවත් එකසිය එකකි.

ඒත් ඔය හද්ද කුණු හරුප ඇසීමෙන් පවුරුසේ වර්දනේ වෙනවා යයි උඩ බිම ගහන උදවිය කී දෙනෙක් සති අන්තේකට ගෙදර ගිය විට තමංගේ බාල සහෝදර සහෝදරියං පෙල ගස්වා උං ඉදිරියේ හද්ද කුණුහරප කියනවාදැයි හරියටම දැනගන්නට ගනං හිලව් හොයාගන්නට නැත. කුණුහරප ඇසීමෙන් නවකයිංගේ පවුරුසේ වර්දනේ වෙනවානම් අනිවාර්යයෙන්ම ඒ සන්තෑසිය තමංගේ බාල සහෝදර සහෝදරියන්ටද අදාල වියයුතුය. එහෙත් එහෙම කරන බවක් දැනගන්නට නැති එක ලොකුම අබාග්ගියකි.

අනික් විකාර කතාව නම් ඔය විදිහට දස වද දීමෙන් අඳුනාගැනීම බෝම පහසුවෙනවාය කියන කුනුහරුපයය. ඔය අඳුනා ගන්නට නවක වදය දෙන යම පල්ලන් කිසිවකු තමං රස්සාවකට ගියවිට එතන සේවය කරන අනික් උදවිය අඳුනා ගන්නටය කියා එවුංගේ කලසං ගලවා අඩ නිරුවතිං බිම බඩ ගාන්නට සැලැස්වූවාය කියා ආරංචියක් නැත. එසේත් නැතහොත් සමූහ ස්වයං වින්දනයේ යෙදෙන්නට නියම කලාය කියාත් දැනගන්නට නැත.

එසේම තමංගේ වැඩිමල් සහෝදරයාගේ මඟුල් ගෙදර දවසේ මනමාලියගේ නෑදෑ පිරිස හඳුනාගන්නටයයි කියා මනමාලිගේ මව්පියන්ගේ බෙල්ලෙං අල්ලා ඔවුංගේ ඔලුගෙඩි කකුස්සි පෝච්චි තුලට එබ්බවූ බවටද එහෙමට ආරංචියක් නැත.

ඇත්තටම නවක වදයෙන් ඔය කියන එව්වා කෙරෙනවානම් නැත්තං ලැබෙනවානං එව්වා තමංද ප්‍රයෝජනයට ගත්තාට කිසිම වරදක් තිබෙන්නට බැරිය. තමංගේ බාල සහෝදර සහෝදරියංගේ පවුරුසේ ඉල් වැස්සට පස්සෙ තෝර කොළ දළු දාන්නැහේ බලා ඉන්දැද්දි  වර්දනය වෙනවා දකින්නට අකමැති අයියෙක් අක්කෙක් මේ ලෝකේ හිටින්නට බැරිය. ඒ වගේම තමංගෙම සහෝදරයා විවාහ වූ පාර්ශ්වයේ නෑදෑයින් පිරිස අඳුනාගන්නට මෙපමණ පහසු ක්‍රමයක් තිබෙද්දී ඒ ප්‍රයෝජනයට නොගන්නේ මොන මෝඩයාද? මොන බූරුවාද?

නවක වදය යනු විස්ස විජ්ජාල උප සයන්ස්කුරුතියට අයිති අංගයකි ඒ හින්දා කට විරුද්දවිය නොහැක යන්නද නවක වදයට පක්ෂව කරුණු දක්වන්නන්ගේ ජනප්‍රිය තර්කයකි.

ඒ තර්කය අනුව උප සයන්ස්කුරුතියට අයිතිය කියන ඕන දෙයක් රටේ බල පැවැත්වෙන නීතියට සපුරා විරුද්ද වුවද ඊට එරෙහි විය නොහැක. කොටිම්ම එසේ වැරදි කරන අපරාදකාරයින් අත් අඩංගුවට හෝ ගත නොහැක. බලාගෙනයි එහෙම උනොත් මුලු මහත් සිස්ස පොරජාවම පාරට බහින්ට ලෑස්ති පිට සිටිමි. ලාංකීය සිස්ස වියාපාරය රැකගැනීමට ඔවුහු දිවි පුදා හෝ කටයුතු කිරීමට පසුබට නොවෙති. තේරුණා නේද? සෙල්ලං වෙන්නෙ නෑ ඔන්න වැඩේ...

මේ ඊනියා උප සඟිස්කුරුත තර්කය අනුව මහ රෑ දෙගොඩහරියේ ගෙදර පිටිපස්සෙ ආනමාලු කැන කපා කරේ තියාගෙන යන හොරකු අතටම අල්ලාගත්තද " අඩෝ අත ඇරපංඩෝ මේක අපේ උපසඟිස්කුරුතියේ අංගයක්. උඹ කවුද ඩෝ ඒ ගැන කතා කරන්ට? අනික උඹ කවදාවත් හොරෙං කෙහෙල් කැනක් කපල තියනවද? නෑ නේ..එහෙනං අපේ උප සඟිස්කුරුතියට ඇඟිලි නොගහ පාඩුවේ ඉඳපං " කියා ඌ ගමටම ඇහෙන්ට කෑගැවුවොත් ඒකත් ඇත්ත තමයි කියා කෙහෙල් කැනත් කරගසාගෙන යන්නට ඌට ඉඩදී පැත්තකට වීමට බොහෝවිට සිදුවිය හැක.

නවක වදය උඩ දමන්නන්ගේ තවත් ජනප්‍රිය විධි ක්‍රමයක් නම් "ඉතිං මොකද ඕකට විසඳුම? මොනවද ඔයගොල්ල යෝජනා කරන ප්‍රතිකර්ම?" යනුවෙන් ප්‍රශ්න කිරීමය. මෙතන විසඳුමක් සොයා අමුතුවෙන් තර්ක කිරීමට දෙයක් නැත. නවක වදය දීම යනු ලංකාවේ බල පැවැත්වෙන නීතිය අනුව වරදකි. එසේනම් නීතිය කඩකල විට අනුගමනය කෙරෙන ක්‍රියා පටිපාටිය මෙහිදීද ක්‍රියාත්මක විය යුතුය. පළමුව නවක වධකයින්ට විරුද්ධව නීත්‍යානුකූලව ක්‍රියා කොට ඔවුන්ට උපරිම දඬුවම් ලබා දියයුතුය. එලෙසම ඔවුන් පෙලෙනා මානසික ව්‍යාධීන් හඳුනාගෙන ඊට ප්‍රතිකාර කල යුතුය.

නවක වදය උඩ දමන්නන් පෙලෙන ව්‍යාධිය හඳුන්වනුයේ ස්ටොක්හෝම් සහලක්ෂණය (Stockholm syndrome) ලෙසය. ඔවුන්ටද වහාම ප්‍රතිකාර ලබා දිය යුතුය.

Thursday, May 19, 2016

414. සම්භාව්‍ය කවි ලිවීමට උපදෙස්........


කවි ලියන එක අමාරුයි කියල කවුද කියන්නෙ? මොන විකාරද? විශේෂයෙන්ම සම්භාව්‍ය කවියක් ලියන එක හරියට ජාපාල කසාය බිව්වම බඩ බුරුල් වෙනව වගෙ ලේසියි පහසුයි.

දැන් ඔන්න මෙහෙමනෙ සම්භාව්‍ය කවි ලියන්නෙ. ඉස්සෙල්ලම ඔය මොනවහරි වාක්‍යයක් ලියනව. ඔය එදිනෙදා සිද්ද වෙන බොහොම සාමාන්‍ය සිද්දියක් හොඳටම ඇති නොහොත් මෝ දෑන් ඉනෆ්.

ඉන්ටලාකො ඉස්සෙල්ලම මම කවි ලියන විදිහ කියල දෙන්ට ඉට්ටෙප් බයි ඉට්ටෙප්…

මෙන්න මෙහෙමයි. ඔන්න දවල්ට කාල එහෙම මම සරමත් වළාපොට ගහගෙන දොරකොඩින් මිදුලට බැහැල බඩත් අත ගගා පොඩි සක්මන් පාරක් දානව කියල හිතමු. වැට මුල්ලෙ තියෙන වැල ගහෙන් ඉදිච්චි වැල ගෙඩියක් තපෝස් කියල මගෙ ඉස්සරහට වැටිච්චි.වැලේ චොප්ප චොර වෙලා හතර අතට වැල මදුලුත් විසික්ක වෙච්චි.

දැන් පටගාල පොඩි කෝට්ටක් ඇන්න එතනම වැල්ලෙ ලියනව මෙහෙම "වැලය වැටී හතර අත චොරවී මදුලු විසි විය. ඇට ද එහෙ මෙහෙ දසත විසිරිණි." රායිට් කවියක් ලිවීමේ මුල්ම පියවර අති සාර්තකව අවසානයි. දැං අවුලක් නෑ ඕන නං සරම බඩ මැදිං ඇඳගෙන ගෙට ගිහිල්ල බූරු ඇඳ කරේ තියාගෙන ගෙනිහිල්ල මිදුලෙ හීල් හෙවණක දිගෑරගෙන ඒකෙ උඩු බැල්ලෙං පත බෑවිල ආතල් එකේ සූට්ටං නින්දත් එහෙම ගහල උනත් කවි ලිවීමේ දෙවෙනි පියවරට ගිහෑකි. 

ඒත් එකක් මතක තියාගන්ට ඕමනයි. අපි දාරානිපාතව බුදියන අව් අස්සෙ අල්ලපු ගෙදර බළල් තඩිය එහෙම ඇවිදිල්ල කවිය උඩ රීල ඒක වහන්ට හතර අත පහුරු ගාල කවිය මකල දැම්මොත් ජලා හුටා. ඒ හින්ද කෝකටත් තෛලය කියල පිළි කන්නෙ හේත්තු කරල තියෙන අර පරණ ටකරම ගෙනල්ල කවිය වැහෙන්ට ඊට උඩිං නමලා තිබ්බනං වැඩේ කෝකටත් හොඳය. සූදානං සරීරේය කියල අර කවුද මූද හත් ගව්වක් තියල කවුද යකෝ මගේ අමුඩෙ රුන්නෙ?

එනිසාවෙන් එහෙමත් කරල, බැරිවෙලාවත් මහ හුලඟක් ඇවිල්ල ටකරම හුලඟෙ ගියොත් එහෙම කියල ගඩොල් බාගා දෙකකුත් දෙපැත්තෙං බරට තියලම ආවනං වැඩේ සුද්දය. එහෙම කරල ඔන්න ඇවිදිල්ල පැය දෙකක වගෙ ෂපාන් නින්දක් එහෙම ගහල ආයම ඇහැරිනකොට හවස හතර වගෙ පහු වෙලාය.

අල්ල ලෙව කාල කහට ඩිංගක් එහෙම බීල හිට අපේ වැඩේට සූජානං වෙන්ට ඕනෑය. මොකක්ද වැඩේ? හරි..මහා කලා නිර්මාණයක් වූ සංබාවිය කවියක් ලිවීමය. ඒ වැඩේට සරම වලාපොට එහෙම ගහගෙන කවිය ලඟ ඉස්සෙල්ලාම වාඩි වෙන්ට ඕනෑය. ආ..ඊට කලිං අර ටකරම අයිං කරල උස්සං ගිහිල්ල පිළිකන්නෙ තිබ්බ තැනම හේත්තු කරන්ටත් ඕනෑය.

මොකක්ද ඇහුවෙ? ඇහුනෙ නෑ හරියට ..ටිකක් සද්දෙට කියන්ටකො කට ඇතුලෙ තියාගෙන සුටුපුටු ගාන්නෙ නැතුව...ගඩොල් බාග දෙකට මොකද කරන්නෙ කියල ඇහුව? ඒකට කැමති දෙයක් කරන්ට. ............ඒකට කරන්ටම දෙයක් හිතාගන්ට බැරිමනං එල්ලගං උඹෙ...හෙහ්,...හෙහ්,...ඒ ගඩොල් බාග දෙකෙයි කවි ලිවිල්ලෙයි සම්බන්ධයක් නෑ. හරි දැං ඉඳගත්ත උක්කුටිකයෙං කවිය ලඟ..දන්නවනෙ උක්කුටිකයෙං ඉඳගන්ට නේද? අන්න හරි අර උක්කුටික පෝච්චියෙ ඉඳගන්නෙ ..අන්න ඒ විදිහට.

දැං ඔන්න ඉස්සරහ තියනව අර කලින් ලියාපු වාක්කිය. මතකෙයි? "වැලය වැටී හතර අත චොරවී මදුලු විසි විය. ඇට ද එහෙ මෙහෙ දසත විසිරිණි." 

ඔන්න දැන් නියම ආතල් පහේ කවියක් හදාගන්ට කොරන්ට තියෙන්නෙ බෝම ලේසි වැඩක්. අර වාක්කියෙ වචන එහා මෙහා කරල ආයම ලියනව. මේ බී ලයික් දිස් එහ්?

චොරවී හතර අත,
විසිවී මදුලු වැටී වැලය,
විසිරිනි දසත, 
එහෙ මෙහෙ ඇටද,

එහෙම නැත්තං මෙහෙම උනත් ඒ හැටි අවුලක්මත් නෑ....

මදුලු චොරවී වැටී වැලය,
විසිවී හතර අත,
ඇටද විසිරිනි,
දසත එහෙ මෙහෙ,

ආන්න දැක්කද? මගේ දයාබර සහෘදයිනි, ඔය තියෙන්නෙ සම්භාව්‍ය ගණයේ කවියකි. අද්දුටුවයි. සත්තයි. ප්‍රත්තියාක්සයි. හරි නොගියොත් මුදල් ආපසු. කවීශ්වර තිස්ස, බදුරුලෙන, පත්තලගෙදර වේයන්ගොඩ. වී.පී.පී. නැත. ඉරිදාට මා හමුවිය හැක්කේ කොට්ටුකච්චියේ එළුමස් කඩය පිටුපස අබිලිංගේ තිප්පොලේදී පමණි.

හරි හරි ඒ කවීශ්වර තිස්ස කතන්දරේ නිකං බූරුවා උඩ හකුරු පටවනව නැත්තං හරකා කෝච්චිය දිහා බලා ඉන්නව වගේ නං ඒ ගැන විස්සෝප වෙන්ට එපල්ල. ඒක මේ අපේ කාලෙ කතාවක්. මයෙ හිතේ ඔය අරූට, හෙන්රිට, ඉයන්ට සහ හැලපෙට එහෙම මතක ඇති. 

තව සුරා සූදූ අතහැර කියලත් ඒ වෙළඳ දැන්වීමෙ පොල් අකුරින් තිබ්බ උඩිම්ම. තව තිබ්බ ඔය නිතරම ගිය ඇඩ් එකක්. ඩී.ඩී. ජයසේකර වෙද මහතා, වෙද ගෙදර, මීගමුව. ඒ මහත්තය බේත් දුන්නෙ පීනසට. නාසානන්ද තෛලය තමයි බෙහෙතෙ නම.පස්සෙ ඒ වෙද මහත්තයගෙ නෝනත් පීනසට වෙදකං කලා. නම හැරියට් ඊ. ජයසේකර.

අපි හිච්චි එවුං කාලෙ...ඉච්චි නඟේ පාලේ ඉඳ ඇංගි ඔරා. ලෆටි සිතිම් මට මතකල් වීලු කලා....හරි ඒ සංගීත අන්තස්ථයෙන් පස්සෙ ආයම කතාවට. (සංගීත අන්තස්ථය = මියුසිකල් ඉන්ටර්ලූඩ්) ඉතිං අපි ඉච්චි එවුං කාලෙ හැමදාම වගෙ පත්තරේ යන ඇඩ් එකක් ඕක. මන්තර ගුරුකං එහෙම කරපු හාමුදුරුවො කෙනෙක් ඔය කවීශ්වර තිස්ස.

හරි ඉතිං ආපහු කවියට. ඕක අර පේස් භුක් එකේ දැම්මනං එක අඩ හෝරා අඩක් යන්ට ඉස්සෙල්ල ලයික් පණහක්වත් වැටිල. අද්දුටුවයි සත්තයි, ප්‍රත්තියාක්සයි. ආ..නෑ..නෑ..නෑ..තේරුං ගැන කවුරුවත් අහන්නෙ නෑ. එහෙම අහන එක මදිකමක් කියලයි සාමාන්ය පිළිගැනීම. එහෙම අහනව කියන්නෙ කවිය තේරෙන්නෙ නෑ කියන එකනෙ. ඒ හින්ද එහෙම අහන්නෙ නෑ මැරූකොට.සක්සුදක්සේ තේරුණා වගේ ඉන්නව අර ඇටිකෙහෙල් කාපු ගල් බමුණා වාගෙ.

එහෙමත් නැත්තං සමහරු මෙහෙමත් කියනව." තේරුණේ නං නෑ. ඒත් මේක ඇතුලෙ ලොකු අභ්‍යන්තරයක් තියනව කියල නිකං ලාවට ලාවට වගෙ තේරෙනව" ඔන්න ඔහොමත් කියනව. 

එතනිං ගියාම තවත් කස්ටිය ඕකට රටේ නැති තේරුං දෙනව. 

"ආ..ඔතන වැලයක් කිව්වට ඕක වැලයක්මත් නෙවෙයි."

"ඒ කිව්වෙ? වැලයක් නෙවෙයි නං වෙන මොකද්ද?"

"ඔතන ඔය වැලයක් වැටුනයි කියන්නෙ සසර ගමනෙ පාරමිතා පුරනවනෙ. ඒ පාරමිතා බිඳ වැටුනයි කියන එක."

"හැබෑද? කවුද දන්නෙ?..... කලිං කියන්ට එපාය නිකමට වගෙ…"

සම්භාව්‍ය කෙටිකතාවක් ලියන එක ඔයිටත් ඉතාම ලේසියි. ඉන්ටලාකො ඒ ගැනත් උපදෙස් දෙන්නං..අනික මම එහෙම ලියපු ආදර්ශ සම්භාව්‍ය කෙටිකතාවකුත් තියනව. ඒකත් දාඤ්ඤංකො හෙට අනිද්දම.

Monday, May 16, 2016

413.පසුගිය සතියේ දේශපාලන, ආර්ථික සහ සමාජීය තොරතුරු විග්‍රහය. - Last Weak Politikal, Ekonomik And Social Analayisis


Poto : Colombo Telegraph

I wright this thinking, thinking and thinking and after that. Last year August election I give my like to mister Mahinda. He is our one King. He kill Prabakaran at north laguun. He is very brev man. Our populasion no remember that. Sinhalaya remember two weaks Robet Noks say. Noks also say sinhalaya pool kevum eating giant.

Some say Mahinda bad man took money from country. Sunami money taking they say. Saying that are bad peepal. Mahinda put sunami money in his bank yes. But that was to safeguard it from bad peepal and later give to puver peepal. But before that UNP go to coats. Cheap Judger at that time mister Sarath Silva said mahinda good man no rong done. After Mahinda no president Cheap Judger said he has done wrong releasing Mahinda but no problem no one tuk him seeriyas.

Mahinda's security not army now. Some venereal monks not liking that. They said if not army back 72 hours we going to roads. And also venereal monks give sekurity to Mahinda. Hambantota some venereal yello robes say they remove robes and go and give sekurity to Mahinda. They plan to remove robes near Katunayaka eyarport and go to Yuganda. But Mahinda not very like venereal sekuriti. " What mothers cloth this yello robes…. gods rice eating no? " he says.Somebody hearing told us.

Mahinda's brother Basil is in jail now. During Mahinda was King Basil all buying UNP members. His son Yoshita also in jail. He not Navy now. Removed from Navy. Big son Namal go to coats wearing black court if Basil or Yoshita go to coats. Mahinda is buy a house near coats. Very good. No travelin cost.

Mahinda go Yuganda now. Yuganda president opening serimoney. After Mahinda go there, Yuganda president put his enemy in pesident elekson in jail. Me think Mahinda told put that bugger in jail I also put Sarath Ponseka in jail after win elekson.

Mahinda go to Yuganda in First klass. He talk to goverment and give me money to go Yuganda. Goverment say no money only tiket. So Mahinda talk I want first class tiket. So the Goverment give that. All our tax money. Join opposison say Vat too much. Yes but Vat money go to Mahinda first klass tiket. Butt no problem. Mahinda our king. all kings go first klass. Picture see our king like a tedi bare. All laaf. we also hapi.Our tax money our king laaf and we are hapi.

Sarath Ponseka say in paaliment Gotabaya LTTE bomb is not bomb. It is Gotabaya bomb tell the truth. Gotabaya make his bomb because 50 meters away bomb. If LTTE bomb come very clause.

Venereal Uduwe is coat case for little elipant. It is like this. Venereal Uduwe is very pond of little elipants. Some very very bad man put little eleipant in venereal Uduwe's temple. So Venereal Uduwe give milk and rice and some more to little elipant and keep at the temple. Venereal Uduwe takes big money to Bana talking. So he has big money to give food to little elipant. But UNP came to govermant and take little elipant and put Venereal uduwe in jail. May be my story is not all correct but all same same. Now Venereal Uduwe will have to go jail again. may be he ask for big money to Bana talking to prisoners.

This weak analyisis finish. Next weak analayisis come next weak OK?

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...