Sunday, March 13, 2022

675. පුවක් එෂැණිං - 68 - මෞගුණ ගායනා සහ අත කණ කර පූජා...


ජනාපෙති මෞගුණ ගැයීමට සූදානමින්
සීරුවෙන් සිටින මහජනයා...

දිවයින පුරා මහජනයා දිනපතා ජනාපෙතිතුමාගේ මෑණියන් සිහිකරන බව ජනාපෙති මාජ්ජිය අන්සය නිවේදනයක් නිකුත් කරමින් කියාසිටී...සාමාන්‍යයෙන් මෙවන් සිහිකිරීම් කරනුයේ මරණ සංවත්සර දිනයේදී පමණක් වුවත් දිනපතාම සී ලාන්කික මහජනයා ජනාපෙතිතුමාගේ මෑණියන් සිහිකිරීම එතුමා කෙරෙහි මහජනයා තුල පවතින අපමණ භක්ත්‍යාදරය මුසු ගෞරවනීය හැඟීමට ප්‍රබල සාක්ෂියක් බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ. 

වැඩි වශයෙන් මේ ගුණ සිහිකිරීම් සිදුවනුයේ ඉන්ධන පිරවුම්හල් සහ ගෘහස්ථ ගෑස් අලෙවිහල් අසල  වන අතර තව නොබෝ දිනකින් ෆාමසි අසල රැස්වන මහජනයාද මෙම ගුණ ගායනාවට එකතුවනු ඇති බවට තමන්ට දැඩි විශ්වාසයක් පවතින බවද ජනාපෙති මාජ්ජිය ප්‍රකාසකතුමා ඉතාමත් හැඟීම්බරව පැවසීය.

ටං...ටිං...ටුං... ආර්.ආර්. ඒ. විරුවා......එම්.බී.පී. සැමදා...

කොරියානුවන් එම රට අසීරු අඩියකට වැටී තිබියදී තම අත කර ආභරණ පවා රට වෙනුවෙන් රජයට පරිත්‍යාගකල බව මේ අතර වනසත්ව සංරක්ෂණ ඇමතිවරයා පවසා ඇත. 

ඇමතිවරයාගේ මේ ප්‍රකාශයෙන් පසු එසේ තමන් සතු අත කණ කර ආභරණ පරිත්‍යාග කල හැක්කේ කොතැනටද? යනුවෙන් විමසමින් දේශප්‍රේමී කාන්තාවන්ගෙන් වැළ නොකැඩී දුර කථන ඇමතුම් එතුමාගේ නිවසට ලැබෙන බැවින් ඇමතිතුමාගේ පවුලේ සාමය බිඳ වැටීමට ප්‍රථම දුරකථනය ක්‍රියා විරහිත කීරිමට සිදුවූ බව එතුමාගේ පෞද්ගලික ලේකම් වරයා පුවක් එෂැණිං  අමතා පැවසීය.

මෙම දැඩි ඉල්ලිම් වලට ප්‍රතිචාර වශයෙන් එම අත කණ කර ආභරණ තැන්පත් කිරීම උදෙසා යාල සහ විල්පත්තු අභයභූමිවලට පිවිසෙන ප්‍රධාන දොරටු දෙපස විශාල ප්‍රමාණයේ පකිස් පෙට්ටි දෙක බැගින් තබන ලෙස ඇමතිතුමා නියෝග කර ඇතැයිද ඔහු වැඩිදුරටත් පැවසීය. අත කණ කර පරිත්‍යාගශීලීන්හට ඉතා පහසුවෙන් හඳුනා ගැනීම සඳහා එම පකිස් පෙට්ටිවල ලොකු අකුරින් "ඔබේ අත කන කර අපිට... රට පෙරට" යනුවෙන් සඳහන් කරන ලෙසද එතුමා නියෝග කල බව ලේකම් තුමා අවසන් වශයෙන් පැවසීය.

ටං...ටිං...ටුං... ආර්.ආර්. ඒ. විරුවා......එම්.බී.පී. සැමදා...

දළඳාව වැඩම කරවූ නැදුන්ගමුවේ රාජා හස්තියාගේ අභාවය අසා තමන් බලවත්සේ ශෝකවූ බව පුවත්පත් නිවේදනයක් නිකුත්කරමින් මල්වතු අනුනාහිමි වුඩ්ඇපල්කුඹුරේ හාමුදුරුවෝ පවසති. මෙම වසරේ දළඳා පෙරහැර ආරම්භවීමට පෙර මහනුවර අධිවේගී මාර්ගය සාදා නිම කිරීමට මහාමාර්ග අමාත්‍යතුමා තමන්ට පොරොන්දුවූ බවද එහි රාජා හස්තියාට ගමන් කිරීමට සුදුසු පරිදි මෘදු රබර් ටයිල් ඇතිරූ ඇත් මංපෙතක් රාජා හස්ති රාජයා වෙනුවෙන්ම තම පෞද්ගලික වියදමෙන් ඉදිකිරීමට  අමාත්‍ය තුමා තමන්ට සපථ කල බවද අනුනාහිමියෝ ප්‍රකාශ කලෝය. එම හස්ති මංපෙතේ ගමන් කර පෙරහැර සඳහා මහනුවරට පිවිසීමට රාජා  හස්තීන් වහන්සේහට වාසනා මහිමයක් නොමැතිවීම බලවත් කණගාටුවට කරුණක් බවද උන්වහන්සේ පැවසුවෝය. 

ටං...ටිං...ටුං... ආර්.ආර්. ඒ. විරුවා......එම්.බී.පී. සැමදා...

මේ අතර රාජා හස්තියාගේ අභාවය රටේ පා ලකයා ට අසුභ නිමිත්තක්  බවට පැතිරයන කට කථාව සම්බන්ධයෙන් එෂැණ පුවක් අමතා අදහස් පළකල අස්ගිරි අනුනායක වී.යූ.පාලි හිමියෝ මෙසේ සඳහන් කළහ "එහෙම ප්‍රශ්නයක් නෑ..එහෙම ඇතෙක් මලාය කියල අවුලක් වෙන්නෙ නෑ..දැං බලන්න හිට්ලර් මහත්තයට අඩුම ගානෙ ඇතෙක් හිටියෙ වත් නෑ. එතුමාට හිටියෙ බැල්ලියක්..ඒ නිසා කිසිම ප්‍රශ්ණයක් වෙන්නෙ නෑ..මම තාමත් කියන්නෙ අපේ ජනාපෙති තුමාට හිට්ලර් මහත්තයෙක් වෙලා හරි මේ රට හදන්න කියලමයි"

ටං...ටිං...ටුං... ආර්.ආර්. ඒ. විරුවා......එම්.බී.පී. සැමදා...

"එක රටක් එක වේලක්" යනුවෙන් ජනාපෙති කාරිය සාදක බලකායක් පත්කිරීමට ජනාපෙති අවදානම යොමුවී ඇති බව මේ අතර වාර්තා වේ. එහි සබාපති වසයෙන් ගරු වෙළඳ ඇමතිතුමා පත් කෙරෙනු ඇත. දිනකට කන එකම වේලට අඩංගු වියයුතු බත් ග්‍රෑම් ගණන, එළවලු වර්ග කීයක් අඩංගු වියයුතුද? එලෙසම එම වේල ආහාරයට ගත යුත්තේ දවසේ කුමන වේලාවකද යන්න අවියත් මග බුද්ධිමතුන්ගේ උපදෙස් පරිදි මේ කාරිය සාදක බලකාය විසින් නොබෝ දිනකින් ප්‍රකාසයට පත් කරනු ඇත.

ටං...ටිං...ටුං... ආර්.ආර්. ඒ. විරුවා......එම්.බී.පී. සැමදා...

පසුගියදා අවසන්වූ අපොස උසස් පෙළ විභාගයට ගණිත අංශයෙන් මුහුණදුන් සිසු සිසුවියන් උදෙසා විශේෂ තරඟයක් පැවැත්වීමට අජ්ජපාන අමාට්ටියන්සය කටයුතු යොදා ඇත. 

යුක්‍රේනයේ දින තුනක සංචාරයක් ත්‍යාගය වශයෙන් ලැබෙන මෙම තරඟය සඳහා සහභාගී වීමට කලයුත්තේ පහත සඳහන් පැණයට පිළිතුරු දීමයි "ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රටට ගෙන එන එක් ඩොලරයකට රු. 38/= විශේෂ දීමනාවක් ගෙවන බවට ප්‍රකාශ කොට ඇත. පැන්ඩෝරා පත්‍රිකාවල සඳහන් අන්දමට ඇන්. රාජපස්ස මහත්මියට අයත්ව ඇති මුලු මුදල් ප්‍රමානය ඩොලර් මිලියන 160 නම් එම මුදල් මෙරටට ගෙන ඒමෙන් ඇයට ලබාගත හැකි ප්‍රසාද දීමනාව කොපමණද?" 

ඔබේ පිළිතුරු පැන්ඩෝරා පත්‍රිකා පිළිබඳව විමර්ශනය කිරීමට ඒ දවස්වලම පත්කල ජනාපෙති කාරිය සාදක බලකායේ සබාපතිතුමා වෙත නොපමාව තැපැල් හෝ ඊ මේල් මඟින් එවන්න..

Wednesday, March 2, 2022

674. පුවක් එෂැණිං - 67 - මෙහෙමයි මචං..........


ආදරණීය නැන්දම්මේ..මට දුව බාරදුන්න කියන්නෙ හරියට
ගෝඨාභයට රට බාර දුන්නා වගේ තමයි..

මෙහෙමයි මචං දැං ඔය අපේ ගෝඨා ඉන්නව නේද? ගෝඨා කියන්නේ මාර මීටරයක් මචං....හෙන ස්මාර්ට් පොරක් මචං...රට රටවල් දැකලා ඒවගෙ සිස්ටම් චේන්ජ් අත්දැකපු පොරක්. මේ රට දියුණු කරන්ට නම් සම්පූර්ණ සිස්ටම් චේන්ජ් එකක් කරන්නම ඕන මචං..ඒකෙ ආයෙ දෙකක් නෑ...

දැං අර පොහොර ප්‍රස්නෙ ගනිං..ඇයි ගෝඨා රසායනික පොහොර තහනං කලේ ගහෙං ගෙඩි එනව වගේ.?....පොර දන්නව ඔය වැඩේ එක පැය විසිහතරෙං කරන්න බැරි බව..ඒත් ගෝඨට උවමනා උනේ අපේ ගොවියො ඔක්කොමල එක්සත් කරන්ට....

දැං බලාපං මචං ඒ ටාගට් එක ෆුල් සක්සස් උනේ නැද්ද? පොහොට්ටුවට චන්දෙ දුන්න ගොවියො..එතකොට ටෙලිෆෝන් එකට චන්දෙ දුන්නු ගොවියො..අලියට එතකොට මාලිමාවට චන්දෙ දුන්නු ගොවියො ඔය ඔක්කොමල එකා වගෙ පාරට බැස්සෙ නැද්ද? "පොහොර දියව් පොහොර දියව්..." කියන සටන් පාඨෙන් මුලු රටම එකනින්නාද උනේ නැද්ද? 

අර සීතා නෝනා කණෙහි මී ඕනාක් බඳු මධුර ස්වරයෙන් කියපු සක්වල ගලද මොකක්ද එක ප්‍රකම්පිත උනේ නැද්ද? මේ රටේ ඔය විදිහට ගොවියො ඔක්කොම එකට එකතු කරන්ට මීට කලිං වෙන කිසිම නායකයෙකුට පුලුවන් උනාද? ගෝඨා තමයි ඒ වැඩේ කලේ..අන්න එකයි මචං මම කියන්නෙ ගෝටා කියන්නෙ මාර ස්මාට් පොරක් කියල..

දැං අනික් එක ඔය පෙට්‍රල් ඩීසල් පෝලිම් බලපං..ඒ ගැන හැමෝම ගෝඨට බණිනව..ඒත් කවුරුත් එතන යටිබිම්ගත අදහස තේරුම් අරගෙන නෑ..දැං බලපං..මිනිස්සු අතර අන්තර් මානුෂික සබඳතා කොච්චරනම් දුර්වල වෙලාද? අපිට අපේ අසල්වාසියා එක්ක ඔෆිස් එකේ අල්ලපු මේසෙ වැඩ කරන මනුස්සය එක්ක කතා කරන්න දුක සතුට බෙදා ගන්න වෙලාවක් නෑ..අපි හැමෝම යාන්ත්‍රික වෙලා..

නිකමට හිතපං පෙට්රල් පෝලිමක කෑන් අරගෙන පැය හත අටක් ඉන්නකොට ඉබේම අපි අපි ලඟ ඉන්න මනුස්සය එක්ක කතා කරනවනෙ..අන්න ඒකෙන් නිකමට හිතපං කොයි තරම් අපේ අන්‍යෝන්‍ය සුහදතාවය වර්ධනය වෙනවද කියල..මේ විසිඑක්වෙනි ශතවර්ෂයෙ රටක් දියුණු කරන්ටනම් මනුෂ්‍ය සබඳතා දියුණු කරල ඉන්ට ඕමනයි ඔක්කෝටම ඉස්සරලා....ගෝඨා මචං ඔය කරන්නෙ ඒක..තෙල් වලට ගෙවන්ට ඩොලර් නෑ කියන්නෙ බොරුවක් මචං..මිනිස්සුන්ට කියන්ට දේකුත් තියෙන්ට එපාය..උඹ නිකමට මේ ගැන හිතල බලපන් මචං...

අනික් එක මචං මේ රට දියුණු කරන්ට ඔය දේසපාලුවන්ට තියන බොරු ගෞරවය නැති කරන්ටම ඕන..දැං නිකමට හිතහං මේ පොහොර, සිමෙන්ති, ඩීසල් හිඟය හින්ද මිනිස්සු කිසි බයක් හැකක් නැතුව ගෝඨගෙං මයින්දගෙං පටං ගත්තම එයාලගෙ හත්මුතු පරම්පරාවටම අම්ම මෝ නැතුව බණිනවනෙ..

මේ ඊයෙ පෙරේද අර නාමෝලට මූණටම බැනල තිබ්බ..ඊට කලිං අපේ වියත් මඟේ අර ගොඩහෑවට බස් එකකට නැංග කියල බැණල තිබ්බ..එහෙම ඒ තැංවල බැන්නෙත් මචං අපේ වියත් මඟේම සෙට් එකක්..ඒක අපි හිතලමයි කලේ..අර මම කලිං කිව වගෙ දේසපාලුවන්ට තියන ගැතිකම බය පක්සපාතකම නැති කරන්ට..

ඊගාවට තව එකක්..උඹ දකින්ට ඇති මේ ඊයෙ පෙරේද ඩීසල් බවුසරයක් ෂෙඩ් එකට ආවම රතිඤ්ඤා දාල පිළිඅරගෙන තිබ්බ..මීට කලිං එහෙම පිළිගත්තෙ දේසපාලුවො..තෙල් බවුසරයක් ඇමති කෙනෙක් පිළිගන්නව වගෙ පිළිගන්න තැනට මිනිස්සු පත්වුනාය කියන්නෙ රටේ අනාගතය ගැන හොඳ ළකුණක් මචං..

අනික විනය..රටක් හදන්ට විනය ඕනමයි..ගෝඨා තදින්ම විනය තකනව මචං..රටක් විදිහට අපිට හමුදා විනයක් තියෙන්න ඕන..මොකක් හරි දෙයක් කරනවනං ඔක්කොමල එක සැරේට..දැං බලපං මේ ලයිට් කැපිල්ල හින්ද රටේ බාගයක් හවස  හයාමාරට කලින් බත් මාලු උයාගෙන රෙදි පෙරෙදි මැදගෙන සූදානමෙන් ඉන්නව....හරියට හයාමාරට ලයිට් ගියාම ඉටිපන්දං හරි කුප්පි ලාම්පු හරි පත්තුකර ගන්නව..ඉතුරු බාගෙ රෑ අටහමාරට කලිං ඔය කිව්ව වැඩටික කරල අටහමාරට ලයිට් ගියාම ඉටිපන්දං කුප්පි ලාම්පු පත්තු කරගන්නව..මුලු රටම එක වෙලාවට එක කතාවට යමක් කරනව කියන්නෙ මචං ඒක තමයි විනය කියන්නෙ..

මේ ඔක්කොම දැනටමත් ප්ලෑන් කරලා ඉවරයි මචං...වියත් මඟේ අපි කට්ටිය කුප්පි ලාම්පු එළියෙං මේ දවස්වල රෑ තිස්සෙ රැස්වෙලා කතා කරන්නෙ ප්ලෑන් කරන්නෙ මෙව්ව තමයි මචං.. .උඹත් ටිකක් කල්පනා කරල බලපං මම කියන්නෙ බොරුද කියල.. මොළයක් තියෙනවා නේ උඹට....

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...