Friday, March 30, 2018

573. අනුර ගැන මගේ මතක - Reminiscing about AB…..

සුනේත්‍රා, චන්ද්‍රිකා, අනුර සහ සිරිමා මැතිණිය....

මේ දවස්වල මෙහෙ ශීත සෘතුව කෙමෙන් අහවර වෙමින් ග්‍රීෂ්ම සෘතුව ලබමින් යනව. ඔය සංක්‍රාන්ති සමයෙදි වැහි ඇල්ලක් දෙකක් වගෙ අනිවාර්යයි. එක පාරට සීතලේ ගැහි ගැහි ඉඳල රස්නෙ වැඩිවෙනකොට බොහොම දෙනෙකුට අසනීප හැදෙනව. මහ දරුණු එව්ව එහෙම නෙවෙයි. කැස්ස, හෙම්බිරිස්සාව, උණ, සෙම් කෝප වීම වගෙ එව්ව. මටත් පහුගිය සතියෙම වගෙ ප්‍රබල කැස්සක් තිබ්බ.

මුලිම්ම සුපුරුදු ලෙස මියුකොසොල්වන් බෝතල් දෙකක් බීල බැලුව. ම්හු...හරියන්නෙම නෑ. ඒ පාර ගියා දොස්තර නෝනෙක් ගාවට.එතුමී ඇවිල්ල හිට පිලිපීන්. 

මගෙ පපුවෙන් එන රූං රූං සද්දෙ අහල දොස්තර නෝනා නියම කලා එක්ස්-රේ එකක්. ඒ අරගත්තු එක්ස්-රේ එක අර වෙසක් එකට අපි පොඩි කාලෙ හදපු එළිය පෙට්ටියක් වගෙ එකකට හයි කරල පිටිපස්සෙන් ලයිට් එකක් දාල බලල ඒ නෝනා කියාපි මයෙ දකුණු පෙණහැල්ලෙ සෑහෙන්ට පැතිරිලා ගිය ඉන්ෆෙක්ෂන් එකක් තියනවයි කියල. 

ඒ පාර ඒ නෝනා බොහොම සැර ප්‍රතිජීවක කරල් වගේකුයි බොන බෙහෙතකුයි, ඉන්හේලර් එකකුයි නියම කරල ඊට වැඩිමනත් වසයෙන් මට උපදෙස් දීපි බොහොම පරිස්සම් වෙන්ටෙයි කියාල.

ඉතිං ඒ කියාපු විදිහටම දැන් සතියක් වගෙ තිස්සෙ බොහොම පරිස්සමින් තමයි ඉන්නෙ. මොකද Severe Lung Infection කියන්නෙ සෙල්ලමක් නෙවෙයි. ඒ හින්දම වැඩ ඇරිල ඇවිල්ල කාල එහෙම කලින්ම නිදියනව. අනික රෑ කැස්ස ගතිය කොහොමත් වැඩියි.

ඉතිං මම මේ කරුණු කාරණා සියල්ල කිව්වෙ සෑහෙන දවසකින් මොකක්වත් ලියන්ට බැරිවුනේ මොකදැයි කියල ඔබ තමුන්නාන්සෙලාට පහදල දෙන්ට. අනන්‍යාගෙ කතාවෙ ඊලඟ කොටසත් බාගෙට ලියල තියෙන්නෙ. ඊට අමතරව අසනීප වෙද්දි අනුර හාමු ගැන පොඩි සටහනක් වගෙ එකක් බාගෙට ලියලයි තිබ්බෙත්. 

දැන්නම් ඇත්තටම අනුර ගැන කියන්න කල්පහු වෙලා සෑහෙන්න. ඒත් මම හිතුව මෙහෙම දෙයක් කලානම් හොඳයි නේද කියල. කොහොමත් අනුර ගැන අපිට ආයම කතා කරන්න වෙන එකක් නෑ. ඒත් අනුර කියන්නෙ කතා කලයුතුම චරිතයක්. ඒ හින්ද අනුර ගැන කලින් ලියල තිබ්බ අසම්පූර්ණ සටහන සම්පූර්ණ කරලම අනන්‍යා ගැන ලියන්නම්ය කියලයි මම මේ කල්පනා කලේ. මොකෝ කියන්නෙ? එහෙම හොඳයි නෙවද?

අනුර බණ්ඩාරනායක කියන්නෙ ඇත්ත වශයෙන්ම දේශපාලන විචාරකයින් අතර කතාබහට ලක්වියයුතු චරිතයක්. ඒත් ඔහුගේ අවාසනාව වගේම රටේ අවාසනාව වෙන්නත් පුලුවන් අනුර නොහොත් A.B. මියගිහිල්ල දසවන සංවත්සරය ගෙවිල ගියාවුනත් පත්තරේක ඒ ගැන ලිපියක් තබා යම්තමට සඳහනක් වත් තිබ්බයි කියල මම නම් දැක්කෙ නැහැ. එහෙම වෙච්චි එකට අනුරත් සෑහෙන ප්‍රමානයකින් වගකියන්න ඕනයි කියලයි මගේ හැඟීම.

අනුර අපේ රටේ විතරක් නෙවෙයි මුලු ලෝකෙම ගත්තත් ඉතාම අවාසනාවන්ත දේශපාලනඥයෙක් කියල එක හෙලාම කියන්න පුලුවන්. වංශගත දේශපාලනය නොහොත් Dynastic Politics ඇටුවම් බැහැපු දකුණු ආසියාවෙ අනුර වගෙ කෙනෙකුට රටේ නායකත්වයට එන්ට ලැබුනෙ නෑ කියන්නෙ එක අතකට විශ්වාස කරන්ටත් බැරිතරම් විශ්මයජනක කාරණයක්. තාත්තා රටේ අගමැති. අම්ම රටේ අගමැති. අක්ක රටේ ජනාධිපති. ඒත් අනුරට සිද්ද වුනේ කථානායක කමෙන් සෑහීමට පත්වෙන්ට. පාරුවේ පුවක් එතකොට පූරුවේ පවක් කියන්නෙ ඔන්න ඔය වගෙ එව්වට තමයි.

හරියට ඔලුව පාවිච්චි කරල වැඩ කලානම් 94 ජනාධිපති වෙන්න තිබ්බෙ චන්ද්‍රිකා නෙවෙයි අනුර. ඒත් ඊට අවුරුද්දකට කලින් එජාප පරාජය පෙනි පෙනී අනුර එජාපයට ගියා. ගියා නෙවෙයි යන තැනට වැඩ සිද්ද කලා. හෙහ්..හෙහ්..කවුද එහෙම කලේ කියල ඇහුව? වෙන කවුද ඉතිං? "ලොක්කා කිසිදේකට බයවෙන්ට එපා..කවදකහරි ලොක්කා මේ රටේ නම්බර් වන් කරලයි මම පස්ස බලන්නෙ. ලොක්ක එක මම දෙක.." අන්න එහෙමලු ඔය මනුස්සය අනුරව මුරුංග අත්තෙ තිබ්බයි කියන්නෙ. ඒ කරල යටින් ගේම දුන්න.

අනික් කාරණේ....අනුර බොහොම තදට සායිබබා ඇදහුවයි කියල කියනව. සායි බබා අනුරට කිව්වලු බය වෙන්ට එපා කවදක හරි ඔබ ඔබේ රටේ නායකය වෙනවයි කියල. ඒ හින්ද අනුර බලා හිටියයි කියනව නායකත්වය ඔඩොක්කුවට වැටෙනකල්. අන්තිමට කෙල වෙනකල්ම දන්නෙ නෑ. සායි බබා වගෙ ලෝක හොරු අදහන මිනිස්සුන්ට ආය ඔහොම නූනොත් තමයි එක අතකට පුදුම වෙන්ට ඕන. හෙහ්,හෙහ්.

1970 අවුරුද්දෙ තුනෙන් දෙකක පාර්ලිමේන්තු බලයකුත් එක්ක සමගි පෙරමුණ බලයට පත්වෙලා සිරිමා මැතිණි අගමැතිණි වෙනකොට අනුරට යන්තම් 21 යි වයස. 

වැඩි කාලයක් යන්ට ඉස්සෙල්ල සමගි පෙරමුණු ආණ්ඩුවෙ ජනප්‍රියතාවය සීග්‍රයෙන් පල්ලම් බහිනකොට ආණ්ඩුවට විරුද්ධව ප්‍රවෘත්ති පලවීම මොන දහං ගැටේ ගහල හරි වලක්වගන්ට ආණ්ඩුවට ඕනවුනා. 

ඒ කාලෙ රූපවාහිනී තිබුනෙ නැහැනෙ. ගුවන් විදුලිය කොහොමත් ආණ්ඩුව යටතෙනෙ තිබ්බෙ. ආණ්ඩුවෙ වැඩ කටයුතු ගැන ඉතාම සුන්දර චිත්‍රයක් මවල මහජනය ඉස්සරහ පෙන්නන එක ගුවන් විදුලියෙන් යස අගේට කෙරුනා. එකම අවුල තිබ්බෙ පත්තර. 

ඒ හින්ද ආණ්ඩුව කලේ ලේක් හවුස්, ටයිම්ස් සහ දවස යන පුවත්පත් සමාගම් තුනම ආණ්ඩුවට පවරාගන්න එක. සමාවෙන්න ලේක් හවුස් සහ ටයිම්ස් රජයට පවරාගත්ත. දවස නිවසට සීල් තිබ්බ. මට මතක විදිහට හදිසි නීතිය යටතෙයි එහෙම කලේ. ඒ හින්දයි 1977 පාර්ලිමේන්තු මැතිවරණය තියන්න ඉස්සෙල්ල මාර්තු මාසෙ විතර හදිසි නීතිය ඉවත් කලාම දවස ආයතනය සීල් තැබිල්ලත් ඉබේටම අවලංගුවුනේ.

රජයට පවරාගත් ටයිම්ස් සමාගමෙන් පලවුනේ ලංකාදීප සහ ඩේලි මිරර් යන පත්තර දෙක. ටයිම්ස් ආයතනයේ නිල නොලත් නිසි බලධාරියා විදිහට කටයුතු කලේ අනුර කියල තමයි ඒ දවස්වල හැමෝම කිව්වෙ. ඒ වෙනකොට අනුර ඔක්ස්ෆර්ඩ් ගිහිල්ල ඇවිල්ලද කොහෙද...

ඔයවෙනකොට අනුරගෙ අම්මගෙ ආණ්ඩුව පොදුජනයා අතර බොහොම අප්‍රසාදයට පත්වෙලයි තිබ්බෙ. රට දියුණු කරන්ට නම් විදේස විනිමය ඉතිරි කරන්ට ඕන කියල ආණ්ඩුව කලේ පිටරටින් බඩු ආනයනය කරන එක සම්පූර්ණයෙන්ම නවත්තල දාපු එක. ඇපල් ගෙඩියක් මිදි ගෙඩියක් සැමන් ටින් එකක් මම දැක්කෙ මට අවුරුදු දාහතරක්වගෙ උනාට පස්සෙදියි.

මැතිණිගෙ ආණ්ඩුවෙ ප්‍රතිපත්ති සමහරවිට රට සංවර්ධනය කරන ඉලක්කය එක්ක බැලුවම හරි වෙන්න පුලුවන්. ඒත් සාමාන්‍ය මිනිස්සු බොහොම දුකසේ ජීවත් වෙද්දි ඇමතිවරු එහෙම සුර සැප විඳිනවයි කියල රට පුරාම ආණ්ඩුව කෙරෙහි ලොකු අප්‍රසාදයක් ඇතිවෙලා තිබ්බ. විශේෂයෙන්ම ප්‍රබල ඇමතිවරයෙක් වුන ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක ගැන මිනිස්සු පුදුම තරහකින් හිටියෙ. 

ඒ කාලෙ මන්ත්‍රීවරු පත්වුනේ කොට්ඨාස ක්‍රමයට. ෆීලික්ස්ට මිනිස්සු උපහාසයට කිව්වෙ පෑලිස් කියල. පෑලිස්ගෙ සීට් එක නොහොත් ආසනය ඇවිල්ල දොම්පෙ. ෆීලික්ස්ගෙ මහ විසාල කුකුල් ෆාම් එකක් තිබ්බ නයිවල.

මිනිස්සුන්ට කන්න නැතුව ඉද්දි ඔය ෆාම් එකේ කුකුලන්ට ලක්ස්ප්‍රේ පිටිකිරි දෙනවයි කියල රට පුරා ආන්දෝලනයක් තිබ්බ. බොහෝවිට යූඇන්පියෙ බොරු ප්‍රචාර වෙන්නත් පුලුවන්. ඒ කොහොම හරි ඔය ආදී කතා හින්ද මිනිස්සුන්ට ආණ්ඩුව එපාම වෙලා තිබ්බෙ. 

අනුරට යූඇන්පී එකෙන් දාල තිබ්බ අපහාසාත්මක වනම අත්තනගල්ලේ නූගත් රදළයා. ආ..තව එකක්..ඒ කාලෙ ගුවන් විදුලියෙන් "කාගෙද ගොන් වස්සා?" ගීතය ප්‍රචාරය කිරීම තහනම් කරලයි තිබ්බෙ කියලත් කියනව. ඒකටත් අපේ අනුර හාමු සම්බන්දලු.

ඔය කාලෙ ලංකාවෙ අංක එකේ ව්‍යාපාරිකයා එස්.ඩී. ගුණදාස නොහොත් දාස මුදලාලි. රාජ්‍ය අනුග්‍රහයෙන් මනුස්සයගෙ ව්‍යාපාර කටයුතු දිනෙන් දින දියුණු වුනා. ඩියුරෝ ෂර්ට්ස් දාස මුදලාලිගෙ නිෂ්පාදනයක්. කැළණියෙ විශ්ව විද්‍යාල මණ්ඩපය ඉස්සරහ එතකොට බොරැල්ල හන්දියෙ සහ කොල්ලුපිටියෙ තිබ්බ එයාගෙ දාස වෙළඳ මධ්‍යස්ථාන. ඔය දාස මුදලාලිගෙ දුවක් අනුර බඳිනව කියල ඒ කාලෙ රටපුරා හාහෝවක් පැතිරුනා. ඒත් එහෙම උනේ නෑ.

කැළණිය විශ්ව විද්‍යාල මණ්ඩපය කියල මම කිව්වෙ ඒ කාලෙ ලංකාවටම තිබ්බෙ එකම විශ්ව විද්‍යාලයයි. ඒ ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලය. කැළණිය ජපුර පේරාදෙණිය එහෙම ඒ ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලයෙ මණ්ඩප නොහොත් කැම්පස්. කැළණිය ජපුරත් නෙවෙයි ඒ මණ්ඩපවල නම්. විද්‍යාලංකාර මණ්ඩපය සහ විද්‍යෝදය මණ්ඩපය. එතකොට තව තිබ්බ කොළඹ මණ්ඩපය, පේරාදෙණිය මණ්ඩපය, යාපනය මණ්ඩපය. 

කැම්පස් එකේ ප්‍රධානියා හැඳින්වුනේ මණ්ඩපාධිපති කියල. කෙටියෙන් මණ්ඩපයා.76 අවුරුද්දෙ වගෙ පේරාදෙණිය මණ්ඩපයෙ මණ්ඩපාධිපති වෙලා හිටියෙ මහාචාර්ය විතානගේ. පේරාදෙණිය මණ්ඩපයෙදි ඇතිවෙච්චි ගැටුමකින් මියගිය වීරසූරිය නම් ශිෂ්‍යයා අනුස්මරණය කරල "මණ්ඩපයා අපට එපා. වීරසූරියට සාධාරණය ඉටු කරනු. මණ්ඩපයා පන්නමු " කියල අපිත් අපේ ඉස්කොලෙ ඉස්සරහ තිබ්බ ගල් බිත්තියෙ පෝස්ටර් ඇලෙව්ව.

ඒ අඩුමගානෙ පෝස්ටර්වල ලියල තියෙන්නෙ මොනවද කියල අඳෝ සංසාරයක්වත් දැනගෙන එහෙම නෙවෙයි. කවුද අයියල වගයක් අපිට ඒ පෝස්ටර් ගෙනත් දුන්න අලවපල්ල කියල අපි ඇලෙව්ව. එච්චරයි. ඒත් එක දවසයි එහෙම කලේ. ප්‍රින්සිපල්ට වැඩේ අහුවෙලා මුලු පන්තියටම දුන්න වේවැල් කසාය මදි නොකියන්ට.

ඔය මහාචාර්ය විතානගේ ඇවිල්ල භූ විද්‍යාඥයෙක්. වික්ටෝරියා වේල්ල හදල තියන තැන පොළව අභ්‍යන්තරයෙ විශාල විභේදනයක් තියනවයි කියල එතුමා ඒ දවස්වල කිව්ව. 

පස්සෙ විශ්ව විද්‍යාල සේවයෙන් විශ්‍රාම ගිහිල්ල ඒ මහත්තය ඔය දළඳා මාළිගාවට එහා තල්වත්ත හරියෙ පදිංචි වෙලා හිටිය. 1998 අවුරුද්දෙ දළඳා මාලිගාවට කොටි බෝම්බ ගහපු සද්දෙ නුවර අවට බොහෝ පළාත්වලට ඇහුනනෙ. එදා මම හිටියෙ පිළිමතලාවෙ අපේ මහ ගෙදර. යන්තමට සද්දයක් එක්ක අපේ සාලෙ ජනේලවල වීදුරු හෙලවෙනව මට මතකයි. පස්සෙයි දැනගත්තෙ ඒ දළඳා මාළිගාවට කොටි බෝම්බ ගහපු එකය කියල.

ඉතිං අපේ මහාචාර්ය තුමා ඒ සද්දෙ ඇහිල ගෙදර හිටපු කාගෙන්ද අහල තියනව "ඒ මොකක්ද සද්දෙ?" කියල. පස්සෙ ගෙදර කට්ටිය ආරංචි කරල බැලුවම සීන් එක දැනගෙන. අනේ ගෙදර කට්ටිය එතුමාට විස්තරේ කියල තියෙන්නෙ කොටි බෝම්බ ගහල දළඳා මාලිගාවෙ ගන්ඩ දෙයක් නෑ ඔක්කොම සුන්නද්දූලි වෙලයි කියල. ඒක අහල ඒ මහත්තය එතනම පපුව අල්ලගෙන වාඩි වුනාලු . එච්චරම තමයි.

77 අවුරුද්දෙ ඡන්දෙ ලංකරල යූඇන්පී එකෙන් පොතක් ගැහුව "හත්වසක ශාපය" කියල. 70-77 කාලෙ ආණ්ඩු කරපු සමගි පෙරමුණු ආණ්ඩුවෙ මජර වැඩ උපහාසාත්මකව සහ අපහාසාත්මකව බොහොම අපූරුවට ඒකෙ ඉදිරිපත් කරල තිබ්බ. අර ඒ කාලෙ චිත්‍රකතා තිබ්බෙ. ලන්දේසි හටන, බිලි පූජාව, සඳ කුමරි එහෙම කියල. අන්න ඒ මොඩල් එකට ගහල තිබ්බ ඒ හත්වසක ශාපය පොතේ මට මතක විදිහට පිටු 20 වගෙ තිබ්බ. 

සිරිමා මැතිණිගෙ නෑදෑ හිතවත්තු ඔක්කොම රජයේ තනතුරුවලට පත් වෙලා සුර සැප විඳින අන්දම තමයි ඒ පොතෙන් පෙන්නුවෙ. මුල පිටුවෙම තිබ්බ බණ්ඩාරණායක පවුල් ගස කියල මැතිණිගෙ නෑදෑයො පරපුර අතුපතර විහිදුනු මහ ගහක් වගේ ලංකාවෙ සාරය උරාබීගෙන වර්ධනය වෙලා ඉන්න විදිහ දැක්වෙන රූප සටහනක්.

ඔය හත්වසක ශාපය පොත බොහොම රහසිගතව තමයි කියවන්ට වුනේ. අපේ පන්තියෙ හිටිය ඒ චන්දෙදි මීරිගමට යූඇන්පී එකෙන් ඉදිරිපත්වෙච්චි අපේක්සකයගෙ පුතා. මනුස්සය පංතියට ගෙනල්ල මම ඔය පොතක් හොර රහසෙ මගෙ ට්‍රැවලිං බෑග් එකේ අඩියටම දාගෙන ගෙදර අරංගියා. අප්පච්චි බය වෙච්චි පාර ඒ පොත වහාම අපෙ ගෙදර පරන ලට්ට ලොට්ට දාල තිබ්බ ඉස්ටෝරු කාමරේ හැංගුවා. අප්පච්චි කච්චේරියෙ වැඩ කරපු හින්ද බය වෙන්ට ඇති ආණ්ඩුව පස්පඩංගුවෙ විවේචනය කරන ඒ වගෙ පොතක් ගේ ඇතුලෙ එලි පෙහෙලියෙ තියාගන්ට.

77 චන්දෙන් සිරිමගෙ ආණ්ඩුව පජාත විදිහට පැරදුන. මන්ත්‍රීන් 168 ඉන්න ජාතික රාජ්‍ය සභාවෙ සමගි පෙරමුණෙන් ජයග්‍රහණය කලේ මන්ත්‍රීන් 8 දෙනෙක් විතරයි. අනුර කොහොමහරි මන්ත්‍රී කෙනෙක් වෙන්ට හිතාගෙන නුවර එළිය-මස්කෙළිය බහු ආසනයෙන් (මන්ත්‍රීල තුන්දෙනෙක් පත්වුනා ඒ ආසනයෙන්) ඉල්ලල තුන්වෙනි ස්ථානයට ආව. ගාමිණී දිසානායක එක. තොන්ඩමන් දෙක. තොන්ඩමන්ය කිවෙ දැං ඔය ඉන්න හාල්පාරුවා නෙවෙයි. මිනිහගෙ සීයා. සෞම්‍යමූර්ති තොන්ඩමන්.

මන්ත්‍රීල තුන්දෙනෙක් පත්වුනු තව ආසනයක් තිබ්බ. ඒ ඇවිල්ල මැද කොළඹ. පළවෙනි මන්ත්‍රී ආර්. ප්‍රේමදාස. දෙවෙනි මන්ත්‍රී ජබීර්. ඒ. කාදර්. (කොල්ලුපිටියෙ ලිබර්ටි ෆිල්ම් හෝල් එක එහෙම අයිතිවෙලා තිබ්බෙ ඔය ජබීර් ඒ. කාදර්ට) තුන්වන මන්ත්‍රී සමගි පෙරමුණෙන් පත්වෙච්චි හලීම් ඉෂාක්.

ශ්‍රී ලංකාණ්ඩුවට පක්ෂපාතවෙනවයි කියල දිවුරුම් දීම ප්‍රතික්ෂේප කරපු හින්ද ද්‍ර.එ.වි.පෙ. පක්සෙ මන්ත්‍රී ධුර අහිමිවුන හින්ද අමිර්තලිංගම්ගෙ විපක්ෂනායක ධුරයත් අහිමිවුනා. ඒ හින්ද 1983 අවුරුද්දෙ ඉඳල 1988 වෙනකල් පාර්ලිමේන්තුවෙ විපක්ෂනායක ධුරය දැරුවෙත් අනුර.

1993 වෙනකොට චන්ද්‍රිකා ආපහු ශ්‍රී ලංකා එකට එන එක වළක්වන්ට බැරිබව පැහැදිලිව පේන්ට තිබුන. ඒ වෙලාවෙ රටේ මිනිස්සුන්ටත් ඕන වෙලා තිබ්බෙ එජාපයට විරුද්ධව නායකත්වය ගන්ට පුලුවන් ආකර්ශණීය චරිතයක්. චන්ද්‍රිකා ඒ නිර්නායකවලට අගේට ගැලපුනා. ඒ හින්ද අනුර කලේ යූඇන්පී එකට එකතුවෙලා විජේතුංග ජනාධිපතිතුමා යටතෙ උසස් අධ්‍යාපන ඇමතිකම ලබාගත්තු එක. 

ඒ එක්කම වගෙ පැවැත්වුනු දකුණු පළාත්සභා මැතිවරණයෙන් එක ආසනයකින් පොදු පෙරමුණ දිනුව. මහ ඇමති විදිහට අමරසිරි දොඩංගොඩට දිවුරුම් දෙන්ට නොදී යූඇන්පී ආණ්ඩුව ජසයා සහ ලෙන්චිනාට ඇන්දා. මහ ඇමති දිවුරුම් දෙන්ට ඕන පළාත් ආණ්ඩුකාරය ඉස්සරහනෙ. දකුණු පළාත් ආණ්ඩුකාර බකීර් මාකර් කලේ දිවුරුම් දීම කොහොමින් කොහොමින් හරි වලක්වන්ට හිතාගෙන මාතලේ එයාගෙ තේ වත්තට වෙලා හැංගිල හිටපු එක.

ඒ අතර ආණ්ඩුවෙ ලොක්කො ෆුල් ට්‍රයි එක දුන්න කවුරුහරි දෙතුන් දෙනෙක් ඒ පැත්තට බිලීබාගෙන බහුතරය හදාගන්ට. ඒත් ඒ වැඩේ හරිගියේ නෑ. ඒ දිවුරුම් දීමේ නාඩගමෙන් පාඩමක් ඉගෙන නොගත්ත ආණ්ඩුව ඊටපස්සෙ තමයි අර කුප්‍රසිද්ධ ප්‍රැන්සිස්කු මෙහෙයුම දියත් කලේ. 

 මහ ඇමති අයවැය කතාව ඉදිරිපත් කරල ඒකෙ ඡන්ද විමසීම පවත්වන දවසෙ ආණ්ඩුව පොදු පෙරමුනේ පලාත් සබා මන්ත්‍රී විමල් ප්‍රැන්සිස්කුව බලෙන් අරගෙන ඇවිල්ල හංගල තියාගෙන හිටිය. ඔය ප්‍රැන්සිස්කු  මෙහෙයුමේ මහ මොල කරුවා  අනුර බණ්ඩාරනායක කියල තමයි රට හැමතැනම කතාව පැතිරුනෙ. ඒ කිව්වෙ යූඇන්පී ආන්ඩුවට ආපු අලුතනෙ. ඒ හින්ද වැඩ පෙන්නන්ට ගිහිල්ල අනුර හත් පොලේ ගාගත්ත කියලයි හැමෝම කිව්වෙ.

ආයම අනුර යූඇන්පී එකෙන් පොදු පෙරමුනටත් ගියා. පාර්ලිමේන්තුවෙ කතානායක තනතුරත් දැරුව. ඒත් අන්තිමට අගමැතිවරයෙකුගේ සහ වරියකගේ එකම පුතා සහ ජනාධිපතිවරියකගේ මලණුවන් වූ අනුරට අත්වූ ඉරණම සෝචනීයයි. 

ඒත් ඉතින් එක අතකට බැලුවම එහෙම හිතන්නෙ අපිනෙ. අනුරට ඕකෙ ගානක් නැතුව ඇති. පොඩි කාලෙ ඉඳලම නේරුල, ගාන්ධිල ටිටෝල එක්ක කතාබහ කරල ආශ්‍රය කරල හිටියම ඔය බලයට තියෙන පෙරේතකම ආසාව නැතිවෙනව. අනුරත් එහෙමද කියල කවුද දන්නෙ? 

ඒ මොකවුනත් අනුර කියන්නෙ ශ්‍රී ලාංකික දේශපාලනයෙ බොහොමත්ම වර්ණවත් චරිතයක්. ඒකෙ ආය කිසිම සැකයක් නෑ.

Monday, March 19, 2018

අනුර බණ්ඩාරනායක.... මහපොළොව උරාගත් ඉහිරුණු මීවිත


Lanks News Web අඩවියේ පළවූ රදිකා ගුණරත්නගේ ලිපියකි.

ගෙවී ගිය මාර්තු 16 වැනිදාට අනුර ප්‍රියදර්ශී සොලමන් ඩයස් බණ්ඩාරනායක මහතා මියගොස් හරියටම වසර 10 කි. ඔහු සිටියාද කියාවත් මතක නැති දේශයකට ඔහු මිය ගොස් දශකයක් පිරුණු බව අමතක වීම පුදුමයක් නොවේ.

මැණික් ගල් ගිලී ගොස් ගොම රිටි උඩ පාවෙන අද්‍යතන දේශපාලන යථාර්ථයක් තුළ අනුර බණ්ඩාරනායක යනු සාපේක්ෂව ඉතා ලිබරල් මිනිසෙක් වූ බව පවා බොහෝ දෙනෙකුට අද අමතක ය. මේ ගතවූ වසර 10 සඳහාම ඔහු පිළිබඳ කිසිදු සාධනීය විචාරයක් හෝ විශ්ලේෂණයක් සිදුවී නොමැති බව අපගේ විශ්වාසයයි.

අනුර බණ්ඩාරනායක ලාංකේය දේශපාලනය තුළ ‘චරිතයක්’ බවට පත්වන ප්‍රධාන හේතුවක් වන්නේ ඔහු කිසිදිනෙක ජාතිවාදී, ආගම්වාදී හෝ ගෝත්‍රවාදී ආස්ථානයක නොසිටීමයි. ඔහුගේ පියා වූ සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක ගත් ඒ මග ඔහු කිසිවිටෙක නොගත්තේය. එනම් බණ්ඩාරනායක තාත්තාගේ සිංහල බෞද්ධ ව්‍යාධිය පුතාට කිසිවිටෙක නොවැළඳුණේය. ඇත්ත වශයෙන්ම එස්ඩබ්ලිව් හෝ සිරිමා ද කිසිවිටෙක සිය දරු තිදෙනා එම ආස්ථානය වෙත ඇද නොදැමූ බවට ඉතිහාසය මෙන්ම වර්තමානය ද සාක්ෂි දරයි. කෙසේ හෝ ජාතිවාදී භූතයා බෝතලෙන් පිටතට ගත් පවට සොලමන් ඩයස් ජීවිතයෙන් වන්දි ගෙව්වේය. අවසානයේ ජාතිවාදය සිංහල ජන සමාජය සමග නින්දිත ලෙස නිදන්ගත වීම ඇරඹුණේය. නමුත් අනුරලා, සුනේත්‍රලා පමණක් නොව චන්ද්‍රිකාලා පවා ඒ සමග කිසිදා යහන්ගත නොවූහ.

77 වසරේදී බහුපක්ෂ ඡන්ද ක්‍රමයෙන් මස්කෙළිය ආසනයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසි අනුර බණ්ඩාරනායක අවසානයේ 2008 වසරේ අවලංගු කාසියක් සේ පෙනී ගිය නරක කාලයක අවසන් හුස්ම හෙළුවේය. ඒ අතර කාලය තුළ 2000-2001 කාලය තුළ ගරු කථානායකවරයා වශයෙන් කටයුතු කළේය. 93-94 කාලයේ උසස් අධ්‍යාපන ඇමතිවරයා වශයෙන් කටයුතු කළේය. 2004-2007 අතර කාලයේ සංචාරක ඇමතිවරයා වශයෙන් ද, 2007 වසරේ ජාතික උරුම අමාත්‍යවරයා වශයෙන් ද, 2005 වසරේ කෙටි කාලයකට විදේශ අමාත්‍යවරයා වශයෙන් ද කටයුතු කළේය. 83-88 අතර සමයේ විපක්ෂ නායකයා වූයේ ද ඔහු ය.

අනුර බණ්ඩාරනායක යනු වියත් කථිකයෙකි. ඔහු පාර්ලිමේන්තුවේදී සිදුකළ සාරගර්භ දේශන විමසමින් ඒ පිළිබඳ දීර්ඝ ලෙස සටහන් කරන්නට මෙය අවස්ථාව නොවෙතත්, අනාගතයේදී එය යම් කිසිවෙකු විසින් කළ යුතුම කාර්යයකි. ඔහු තුළ සිටි ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදියා ඉස්මතු කර ගන්නට එම කතා කිහිපයක් පමණක් දීර්ඝ වශයෙන් විශ්ලේෂණය කිරීම ප්‍රමාණවත් වනු ඇත. ඔහු කිසිදු විටෙක ජාතිවාදී ආස්ථානයන් අල්ලාගෙන ලකුණු දමානොගත් දේශපාලකයෙක් බව ද එවිට පැහැදිලි වනු ඇත.

අනුර බණ්ඩාරනායක දැඩි ලෙස සුරාවට ලොල් වී සිටි බව නොරහසකි. එය ද ඇතැම්විට ඔහු තුළ තිබූ ලිබරල් අංගයේම කොටසක් විය හැකිය. ලිබරල් මූලයකින් පැවත එන පවුලක් දේශපාලන උගුලට කැමැත්තෙන් හසු වී සිංහල බෞද්ධ වුවද, අනුර අප පෙර කී පරිදි කිසිම අවස්ථාවක ඊනියා සිංහල බෞද්ධකමක් කරපින්නා ගත්තේ නැත.

එදා ජනපති බවට පත්ව සිටි මහින්ද රාජපක්ෂ මරණ මංචකයේ-ගිලන් සයනයේ සිටි අනුර බණ්ඩාරනායක වෙත දුරකථන ඇමතුමක් ලබාදී සෝපහාසයෙන් යුතුව මෙසේ කෝචෝක් කළ බව ඉතිහාසගත ය. “අනුර මොකක්ද මේ කියන්නෙ...? මේ ජෙයරාජ්ල කියන්නෙ ඔයා මේ සමූපකාර ඇමතිකම ඉල්ලනව කියලා...?” කෝපයෙන් නිරුත්තර වූ අනුර බණ්ඩාරනායක දුරකථනය විසන්ධි කර එය පොළොවේ ගසා තිබිණි.

එදා මේ කෘතහස්ත දේශපාලකයා ‘සමූපකාර ඇමතිකමක් ඉල්ලන බව’ කියමින් ජීවිතයේ අසීරුම අවස්ථාවක ඔහුව සරදමට ගත් ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ද ඔහුට වඩා මාසයක්වත් ජීවත් වීමට වරම් ලැබුවේ නැත. අනුර බණ්ඩාරනායක 2008 මාර්තු 16 වැනිදා අසනීප වී මිය ගිය අතර ජෙයරාජ් අප්‍රේල් 6 වැනිදා බෝම්බයක් වැදී මිය ගියේය.

එයින් දස වසරක් ඉක්ම යන්නට පෙර අනුරට කෝචෝක් කළ මහින්ද රාජපක්ෂ රාජ ඌෂ්ණයේ උපරිමය වැදී ගෙදර ගොස් ඉතිහාසයේ කුප්‍රකට ලෙස කුජීත වූුණේ සමූපකාර ඇමතිකම නොව කුලියාපිටියෙන් ප්‍රාදේශීය සභා මන්ත්‍රීකම ඉල්ලන බව ප්‍රකට වීමත් සමග ය.

වයස අවුරුදු 59 දී මිය යන විට ද, අනුර බණ්ඩාරනායක හට සම කළ හැකි ‘බර තැබිය හැකි’ කථිකයෙක් ලංකා දේශපාලනය තුළ සිටියේ නැත. එසේම අනුර බණ්ඩාරනායක යනු අතිශයන්ම බරපතළ ලෙස පොත් පත් කියැවූ අයෙකි. ඔහු කුඩා කල පටන්ම පොත් ලෝලියෙකු වූ බවට පුවත් බොහොමයකි. ඔහු තුළ වූ විරල ගණයේ කථන ප්‍රතිභාවේ ද රහස එය විය යුතුය. නමුත් සැබවින්ම උත්කර්ෂයට නැංවිය යුතු මේ චරිතයේ අත් පහස ලත් පොත් පවා අද තිබෙන්නේ කොතැනකදැයි මදක් සොයා බලන්න. මෙයට වසර කිහිපයකට පෙර බුකියේ පොත් කියවන්නන් සඳහා වෙන් වූ එක් ගෲපයක පළ වූ ඡායාරූපයක දැක්වුණේ “චන්ද්‍රිකා අක්කාගෙන් අනුර මල්ලීට” ඔහුගේ උපන් දිනය දා තෑගි දුන් බව කියන පොතක පළමු පිටුවේ ඡායාරූපයකි. එම ඡායාරූපය බුකිගත කර තිබුණේ එම පොත, පරණ පොත් කඩයක දැක අහම්බෙන් ඇස ගැටී මිලදී ගත් පාඨකයෙක් විසිනි. අනුරගේ පොත් සම්භාරයටම, ඔහුගේ මුළු පුස්තකාලයටම පාහේ ඔහුගේ මරණයෙන් පසු අත් වී තිබුණේ මේ ඉරණම ය. ඉතින් අනුර බණ්ඩාරනායකගේ උරුමය රැක ගැනීම ගැන කවර කතාද...?

අනුර බණ්ඩාරනායක තුළ තිබූ ලිබරල් බව ‘පාලනයකින් තොර අසීමිත ලිබරල් බවක්’ විය. පාලනයකින් තොර අසීමිත ලිබරල් බව යනු හැමවිටම මහා විනාශයකි. එයම ඔහුට විණ කැටුවේය. ජේ්‍යෂ්ඨ සිවිල් පරිපාලන නිලධාරී බ්‍රැඩ්මන් වීරකෝන් මහතා විසින් රචනා කළ Rendering Unto Caesar කෘතියේ එක් තැනෙක සොලමන් ඩයස් බණ්ඩාරනායක තාත්තා විසින් අනුර ප්‍රියදර්ශනයට වැරැද්දූ තවත් තැනක් ගැන මැනවින් දැක්වේ. එම ඡේදය පටන් ගන්නේ මෙසේ ය.

“අනුරට අවුරුදු හත අටක්ව සිටියදී ක්‍රිකට් ක්‍රීඩාවට මහත් උනන්දුවක් තිබිණ. ඔහු හා සෙල්ලම් කිරීමට ගමෙන් ගෙනා කොලුවා අනුරට වඩා අවුරුදු තුන හතරක් වැඩිමහල් විය. මේ ගැමි දරුවාගේ වේගවත් බෝලවලට අනුරගේ කඩුලු එකපිට එක බිඳ වැටුණි.” තණනිල්ලේ ක්‍රිකට් ගැසූ අනුර මේ පරාජය දරාගත නොහැකිව මේ ගැන බණ්ඩාරනායක තාත්තාට පැමිණිලි කළේය. එවිට ගෙයින් පිටතට පැමිණි බණ්ඩාරනායක මහතා ගමෙන් ගෙන ආ කොලුවාට තරවටු කර තිබුණේ ඔහුව කොළඹ කැඳවාගෙන ආවේ අනුර සමග සෙල්ලම් කරන්නට මිස අනුරව පරාජය කරන්නට නොවන බවයි.

මෙහි කදිම සමුදයර්ථයක් තිබේ. සැබෑ ජීවිතයේ දී ද අනුර, ඔහු අසල සිටි අය විසින් ඔහුව දිනවන තෙක් බලා සිටියේය. ඔහු වටේ සිටි අය ඔහු සමග සෙල්ලම් කරනවා මිස ඔහුව පරදවන්නට සෙල්ලම් කරන බව ඔහු සිතුවේ නැත. එනිසා ඔහුට කිසිවිටෙක වෙහෙස මහන්සි වී බලය අල්ලා ගැනීමට ලෝභ කමක් ඇති වුණේ නැත. මහින්ද රාජපක්ෂ යනු, ඒ අර්ථයෙන් අනුර බණ්ඩාරනායකගේ විරුද්ධ රූපකයයි. යම් හෙයකින් එදා අනුර බලය ගැන උනන්දු වී ඒ වෙනුවෙන් වෙහෙස වූවා නම් මහින්ද රාජපක්ෂ නමැති බලලෝභී, විනාශකාරී පාලකයාට ලංකාව එදා නතු වන්නේ නැත.

අනුර බණ්ඩාරනායක යනු සැබවින්ම නැවත කියවිය යුතු චරිතයකි. ලංකාවේ ලිබරල්වාදීන් වෙත් නම් ඔවුන්ට අනුර බණ්ඩාරනායක විසින් ලබාදුන් සම්මුඛ සාකච්ඡා, ඔහු පාර්ලිමේන්තුවේ පැවැත්වූ සාරගර්භ කථා යනාදිය විමසා බලා මේ පිළිබඳ ගැඹුරු ප්‍රවේශයක් ලබාගත හැකිය. මේ කෙටි සටහන, ඒ සඳහා පෙරවදනක් පමණි.

අනුර බණ්ඩාරනායක...

අපතේ ගිය සඳ එළිය
නොපිපීම පරව ගිය 
මදාරා කුසුම 
මහපොළොව උරාගත් ඉහිරුණු මීවිත

- ‘නිහඬ තණපතකි මම’ කාව්‍ය සංග්‍රහයෙන්.

- රදිකා ගුණරත්න

Friday, March 16, 2018

572. දෛවය සමඟ ගේම ඉල්ලූ ඉස්ටීවන් අයියාගේ නික්මයාම…

Stephen Hawking - One of the Greatest Minds of Our Time

පලි - (මෙතන පලි කියන්නෙ පසුව ලියමි කියල නෙවෙයි පළමුව ලියමි කියල හොඳද? ) 

බූරා මලය තමයි මට කිව්වෙ අර අනන්‍යාගෙ උරචක්‍රමාලෙ පොඩ්ඩකට පැත්තකිං තියල හෝකිං ගැන ලියාපන්ය කියල. කොහොමත් මම හෝකිං ගැන ලියන්න තමයි හිටියෙ. අර උරචක්‍ර මාලෙට වෙලා තියෙන්නෙ බං ඒක දැං අතාරින්ට බැරිකම නෙව. එහෙම බලනවනම් උරචක්‍ර මාලයක්ය කියනවට වඩා ගැලපෙන්නෙ ඒකට කොටි වලිගයක්ය කියන එක...හෙහ්,හෙහ්,

**********************************

මම මුලින්ම ඉස්ටීවන් අයියා කෙනෙක් ගැන දැනගන්නා විට මගේ වයස දහයකට දොලහකට වඩා වැඩි නැත්තේය. ඒ දවස්වල අපි හිටියේ කෑගල්ලේය. කාල වකවානු සහිතව කිව්වොත් එහෙම පසුගිය සියවසේ අටවන දසකයේ මැද බාගයේය. එහෙමත් නැත්තං හැත්තැ තුන හෝ හතර වගේ කාලයේය. 

කෑගල්ල ටවුම පිහිටා ඇත්තේ ප්‍රදාන වසයෙන් කොළඹ - නුවර මහා මාර්ගය දෙපස බව කෑගල්ල ගැන දන්නෝ දන්නවා ඇත. හරියටම මේ ටවුම මැද හරියේම මහ තැපැල් කන්තෝරුව ඉස්සරහම වගේ පාරෙන් අනික් පැත්තට පොඩි අතුරු පාරක් මම කියන මේ අතීතයේ තිබුනාය. ඒ පාරේ යාර (ඒ දවස්වල පාරවල්වල දුර මැන්නේ මීටර් කිලෝමීටර් වලින් නොව යාර, පර්ලොම් සහ සැතපුම් වලිනි.) තුන්හාරසීයක් වගෙ දුරක් ගිය තැන තනිකර කලු ගලින් නිමවුනු පල්ලියක් තිබ්බාය. හැමෝම ඊට කිව්වේ ගල් පල්ලිය කියාය. 

ඔන්න ඔය ගල් පල්ලිය පහුකරල කන්දක් නැඟල බැස්සම තිබ්බ පොඩි ගම්මානයක්. මට දැන් හරියකට මතක් වෙන්නෙ නෑ නම. ඒත් රතඹලකන්ද වගෙ නමක්ය කියල පොඩි මතකයක් තියනව. ඔය ගම්මානෙ නිජබිම කරගෙන හිටිය ඒ කාලෙ චණ්ඩියෙක්. නම ස්ටීවන්. හැමෝම කිව්වෙ ඉස්ටීවන් අයිය කියල. 

ඒ කාලෙ චණ්ඩි ඔය දැන් ඉන්න දෙකයි පණහෙ බොරු ෂෝ කාරයො වගෙ නෙවෙයි. වචනයෙ පරිසමාප්ත අර්තයෙන්ම චණ්ඩි. මෝටර් සයිකලේ පිටිපස්සෙ පිලියන් ඉඳගෙන ඇවිල්ල ටී පණස් හයකිං පට පට ගාල තියාගෙන තියාගෙන ගිහිල්ල "යමාං යමාං පාගල යමාං" කියල පස්ස නොබල පලායන ඔය අද ඉන්න ජාතියෙ චණ්ඩි නෙවෙයි එදා හිටියෙ. පේස් ටු පේස් ගේමට බැහැල අතිං පයිං ගහ ගත්තු චණ්ඩි. 

අනික ඒ කාලෙ ඔය ඉස්ටීවන් අයිය වගෙ මිනිස්සු උනත් එහෙමට අසාදාරන වැඩ කලේ නෑ. වෑවලදෙණියෙ පන්සලේ පෙරහැර දවසෙ එහෙම නැත්තං බස් ස්ටෑන්ඩ් එක (මම මේ කියන්නෙ කෑගල්ලෙ ඔර්ලෝසු කණුව ගාව තියන පරණ බස් ස්ටෑන්ඩ් එක ගැන) ඉස්සරහ මුත්තු මාරි අම්මන් කෝවිලේ තේරුව වීදි සංචාරය කරන දාට ඔය පොලිසියෙ රාලහාමිලා එක්ක වලියක් දෙකක් දාගත්ත තමයි. මම හිතන්නෙ ඒ වලි පොලීසියෙ කස්ටියත් බලාපොරොත්තුව හිටියෙ. එහෙම වලියක් දෙකක්වත් නැත්නම් නිකං හිතට හරි නෑ වගෙ ගතියක් තිබ්බෙ. මගෙ හොඳම යාලුවෙකුගෙ තාත්ත පොලීසියෙ සාජං මහත්තයෙක් හින්ද මට ඒ ගැන කැට තියල කිව්වැහැකි. 

ඒ කාලෙ පොලිස් රාළහාමිල ඇන්දෙ දණිස්ස ගාවට තියෙන බාජු කොට කළිසම. කළු සපත්තු. දනිස් ගාවට කාකි පාට මේස් දාල. මේ මේස් එකක කාබන් පෑනක් ගහගෙන හිටියෙ. බොහෝවිට මේ පෑන තැඹිලි පාට බික් වර්ගයේ පෑනක්. පොලීසිය ඇතුලෙ බොහෝමයක් වෙලාවට උඩට ඇඳල හිටියෙ මේස් බැනියමක්. ජීප් තිබ්බෙ ලෑන්ඩ් රෝවර්. බොහෝවිට EN කාණ්ඩෙ එව්ව. මට මතකයි ඔය ජීප් හතර පහක් හැමදාම කෑගල්ල පොලීසිය ඉස්සරහ තිබ්බ බෝ ගහ යට එක පෙලට නවත්තල තියනව පාර පැත්තට මූණ දාල. 

ඉතිං ඔය මම කිව්වෙ ජීවිතේ මම දැනගෙන හිටපු එක ඉස්ටීවන් අයියා කෙනෙක් ගැන. 

තව මං දන්න ඉස්ටීවන් අයියල දෙන්නෙක් ඉන්නව. ඒ දෙන්න මම අඳුනගත්තෙ අර කෑගල්ලෙ ඉස්ටීවන් අයිය ගැන දැනගත්තට බොහොම පස්සෙ කාලෙක. දෙන්නම පොත් ලියපු අය. පුදුම වැඩේ කියන්නෙ දෙන්නගෙ නම් දෙකත් බොහොම සමානයි. එක්කෙනෙක් ඉස්ටීවන් කිං අනෙක් එක්කෙනා ඉස්ටීවන් හෝකිං. 

ඉස්ටීවන් කිං කියන්නෙ නවකථා කරුවෙක්. මගෙ ප්‍රියතම ලේඛකයෙක්. 

ඉස්ටීවන් හෝකිං ලේඛකයෙක් වෙනවට අමතරව ලෝක ප්‍රසිද්ධ Theoretical Physicist කෙනෙක්. එහෙම නැත්නම් න්‍යායාත්මක භෞතික විද්‍යාඥයෙක්. 

මේ ඉස්ටීවන් අයිය සැලකෙන්නෙ ලෝකෙ මෙතෙක් පහල වෙච්චි අග්‍රගන්‍ය බුද්ධිමතෙක් හැටියට. කොටින්ම ඇස් දෙක පියාගෙන අයිසැක් අයියගෙයි ඇල්බට් අයියගෙයි එක පලෝලෙ තියන්ට පුලුවන් මට්ටමේ ගොබිලෙක් හැටියටයි අපේ මේ ඉස්ටීවන් අයිය සැළකෙන්නෙ. අයිසැක් අයිය කිව්වෙ අයිසැක් නිව්ටන් ගොයියට. එතනින් ගිහාම ඇල්බට් අයිය කිව්වෙ ඇල්බට් අයින්ස්ටයින් ගොබිලට. 

ඒ එක්කම එහෙනං අයිසැක් අයිය ගැන මේ කතාවත් ලියලම ඉන්නංකො. ඔය අයිසැක් අයිය ජීවිතේටම බැන්දෙ නැහැලු. ඒ තියා ජීවිත කාලෙටම ලිංගික කාය කර්මයෙ යෙදුනෙත් නැහැය කියලයි කියන්නෙ. හැබැයි ඔක්කොම වෙන්නෙ හොඳටෙයි කියල කියනවනෙ. බැරිවෙලාවත් අයිසැක් අයිය බැඳල හිටියනම් ගුරුත්වාකර්සනේ තවම හොයාගෙන නැතිවෙන්ටත් තිබ්බ. 

ඔන්න අපි හිතමු අයිසැක් අයිය බැඳල හිටියය කියල. එහෙනම් මෙහෙමයි අර ඇපල් සීන් එක සිද්ද වෙන්නෙ. ඔන්න ඇපල් ගහයට ඉඳගෙන ඉද්දි අයිසැක් අයියගෙ ඔලුවට ඇපල් ගෙඩිය පත බෑවෙනව. මිනිහ නැඟිටල දනිපනි ගාල ගෙදර දුවල අයිසැක් අක්කට මෙහෙම කියනව. 

"ඒයි ඒක නෙවෙයි බල්ලනකො වෙච්චි දේ.. මම අර අතන ඇපල් ගහ යට ඉඳගෙන ඉද්දි මගෙ ඔලුවට ඇපල් ගෙඩියක් වැටුනනෙ." 

"ඉතිං?" අයිසැක් අක්ක අහනව. 

"දන්නවද ඒකෙං අපිට හිතාගන්ට පුලුවන් දේ?" 

"හ්ම්ම්ම්...මම දන්නව…" අයිසැක් අක්ක මූන හපුටු කරගෙන කියනව. 

"මොකක්? ඔයා දන්නව? මොකක්ද ඔයා දන්නෙ?" අයිසැක් අයියට පුදුමයි අයිසැක් අක්කටත් ගුරුත්වාකර්සනේ ගැන අයිඩියා එක ඇවිල්ලද කියල 

"මොකක්ද කියන්නෙ? අදත් තමුං උදේම යන්ට ඇති ඇපල් ගහ යට ඉඳගෙන අර එහා ගෙදර තේඋඩිච්චි එක්ක කොමල කරන්ට...." 

"ඔයයිට පිස්සුද අනේ?..." 

"පිස්සු?....පිස්සු මට නෙවෙයි. මම දන්නව උදේ ඉඳල ඔතන ඇපල් ගහයට මොකද කරන්නෙ කියල...මේ මගෙං හැඳිපාරක් කන්නෙ නැතුව මේ ගෙට වෙලා ඉන්නව. කරන්ට වැඩක් නැත්තං අර සාලෙ පුරහම ගොඩ ගහල තියෙන්නෙ පොත්. එව්වයෙ දූවිලි පිහදාල දානව. ඔන්න මම නොකිව්වයි කියන්න එපා. ආයම දවසක් ඔය ඇපල් ගහයට ඉඳගෙන ඉඳල මට අහුවුනොත් එහෙම මම......." 

"හරි හරි මදැයි ඔය ගෝරනාඩුව. මම පොත් පිහදාන්නංකො…" 

අයිසැක් අයිය සාමකාමී මනුස්සය. ඒ හින්ද අක්ක කියාපු විදිහට එදා දවසම පොත්වල දූවිල්ල ගැසුව. හැබැයි එකක් තියෙන්නෙ අයියට තදටම තියනව ද පිනෑන්ස් නොහොත් පීනසේ. දූවිල්ල නහේට ගිහිල්ල එදා රෑ වෙනකොට මනුස්සයට ඔන්න සහලවලා පීනසේ. දවස් තුනක් ඇඳේ ඉඳලයි ඔන්න කොටිම්ම ආපහු නැඟිට්ටෙ. 

හැබැයි එකක් තියෙන්නෙ පීනස් අමාරුව හින්ද මනුස්සයට අර ඇපල් ගෙඩිය ඔලුවට වැටිච්චි සීන් එක සහමුලින්ම අමතක වෙලා ගියා. පහුවදයි අනික් පහුවදයි ඇඳේ හාන්සිවෙලා ඉන්න ගමං මිනිහ මතක් කරන්ට ෆුල් ට්‍රයි කලා මොකක්ද වැදගත් දෙයක් මට කල්පනා උනා නේද කියල. 

ඒත් එහෙම කල්පනා කරනව දැක්කම අයිසැක් අක්ක කෑගහන්ට ගත්ත "යකෝ ලෙඩ ඇඳේ ඉඳගෙනත් අර අල්ලපු ගෙදර දහදුරාවි ගැන නෙවද කල්පනා කරන්නෙ?" කියල. 

මේ මල වදේ හින්දම අයිසැක් අයිය ඒ ගැන කල්පනා කරන එකත් අත ඇරලම දාල නිකා හිටිය. ගුරුත්වාකර්සනේ හොයා ගැනිල්ල එතනිම්ම හබක් වූ සේක! 

ඔන්න ඔහොමලු අයිසැක් අයිය බැඳල හිටියනං සිද්ද වෙන්ට නියමිත වෙලා තිබ්බෙ. තේරුණෙයි ඔහෙලට? 


මෙම කාටූනයේ දැක්වෙන අයුරු ඇපල් ගෙඩියක් නොව නිව්ටන්ගේ
ඔලුවට පතිතවී ඇත්තේ කුරුල්ලකුගේ වසුරු පිඩකි. ඔහුගේ
සේවකයකු මෙසේ පවසමින් ඔහු සනසයි.
"හරි හරි ගණන් ගන්න එපා බොසා..ගුරුත්වාකර්සනේද
මොකක්ද එක හොයාගත්ත එකනෙ වැදගත් වෙන්නෙ.
අර අලජ්ජි කුරුල්ල රුන්න එක කියන්ට ඕන නෑනෙ.
අපි හැමෝටම කියමු බොසාගෙ ඔලුවට ඇපල් ගෙඩියක්
වැටුනයි කියල..වඩියුසේ? ඕකේ?"

ඉතිං ඒ අතුරු කතාවෙන් අනතුරුව ආපහු ප්‍රදාන කතාවට නොහොත් අපේ ඉස්ටීවන් අයියා ගැන කතාවට නැවත ප්‍රවිස්ට වෙමු. 

අපේ මේ ඉස්ටීවන් අයිය සැලකෙන්නෙ ලෝකෙ මෙතෙක් පහල වෙච්චි අග්‍රගන්‍ය බුද්ධිමතෙක් හැටියට. ඒ වාක්‍යය ඇත්තටම කිව්වොත් වැරදියි. සැළකෙන්නෙ නෙවෙයි හරියටම කිව්වොත් සැළකුනේ වෙන්න ඕනෙ. ඒ කියන්නෙ ඒ ඉස්ටීවන් අයියා වැඩි දොහක් එහෙම නෙවෙයි මේ පහුගිය මාර්තු දාහතරවෙනිද අභාවප්‍රාප්ත වුනා නොහොත් මියගියා. 

1942 අවුරුද්දෙ උපන් මේ ඉස්ටීවන් අයියට වයස යන්තම් 22, 23 වගෙ වෙනකොට බොහොම කලාතුරකින් කෙනෙකුට වැලඳෙන බරපතල රෝගයක් වැලඳුනා. Motor neuron disease නමින් හඳුන්වන මේ ලෙඩෙන් කරන්න අපේ ශරීරයෙ ක්‍රියාකාරකම් පලනය කරන ස්නායු පද්ධතියෙ තියන නියුරෝන අක්‍රියාකාරී කරන එක. එහෙම උනහම අපේ සිරුරේ අවයව ක්‍රියාකාරිත්වය සම්පූර්ණයෙන්ම බිඳ වැටෙන. අන්තිමට ආහාර ගිලීම හුස්ම ගැනීම වගෙ ක්‍රියාවලීනුත් අඩපණවෙලා රෝගියා මියයනව. 

ඉතිං වෙලාව කියන්නෙ අපේ ඉස්ටීවන් අයියටම මේ ලෙඩේ හැදුන එකනෙ. 

"ඇයි මටම මෙහෙම වෙන්නෙ?" නැත්නම් "WHY ME?" 

එහෙමයි එහෙම වෙලාවට අපි කෑගහල අහන්නෙ? එක්කො අපි අදහන දෙයියෙක්ගෙං. දෙයියෙක් අදහන්නෙ නැත්තං තමන්ගෙන්ම. 

ඔය "Why me?" ප්‍රශ්ණෙට අපූරු පිළිතුරක් දීල තිබුන එක පාරක් අමරිකානු ටෙනිස් ශූර ආතර් ඈෂ්. ආතර් අයිය තමයි විම්බ්ල්ඩන් ටෙනිස් ශූරතාවය දිනපු පළමු කල්ලා. ඒ 1975 අවුරුද්දෙදි. පස්සෙ කාලෙක හාට් බයිපාස් සැත්කමක් කරද්දි ඔහුට වැරදීමකින් HIV අසාදිත ලේ පාරවිලයනය කරල තිබ්බ. ඒ හින්ද ඔහුට ඒඩ්ස් වැළඳුනා. 

පුවත්පත් වාර්තාකාරයෙක් ඔහුගෙන් මෙහෙම ඇහුව. 

"ආතර්...ඔබට කවදාවත්ම කෑගහල අහන්ට හිතිල නැද්ද Why me? කියල" 

ඒ ප්‍රශ්නෙට ආතර් අයිය මෙහෙම උත්තර දෙනව. 

"මම යූ.එස්. ඕපන් දිනුව. විම්බ්ල්ඩන් දිනුව පළමුවන කල්ලා වුනා. ලෝකෙ අංක එකේ ටෙනිස් ක්‍රීඩකය වුනා. මිලියන ගණනක් හම්බ කලා. ඒ කොයිම වෙලාවකවත් මම Why me? කියල ඇහුවෙ නෑ. ඒ හින්ද මට මේ වෙලාවෙත් Why me? කියල අහන්න අයිතියක් නෑ." 

මට හිතෙන්නෙ අපේ ඉස්ටීවන් අයියගෙන් උනත් ඔය වයි මී ප්‍රශ්නෙ ඇහුවනම් ඔය උත්තරේම ලැබෙන්ට තිබ්බ ෂුවර් ඇන්ඩ් ෂොට්. 

තව කාරණයක් කියන්නද? ඔහොම රුධිර පාරවිලයනක් හින්ද ඒඩ්ස් හැදුනු ලංකාවෙ කමලිකා අබේරත්න වෛද්‍ය තුමිය මතකද? දිවයින පුරා අඩු ආදායම් ලබන දුප්පතුන්ට නොමිලේ වෛද්‍ය සායනයන් පැවැත්වූ එතුමිය හම්බන්තොට පැත්තෙ එවන් සායනයකට යද්දි රිය අනතුරකට ගොදුරුවෙලා සැත්කමක් කරන්නට සිදුවුනා. ඒ සැත්කම වෙලාවෙදි H.I.V. වෛරස් සහිත රුධිරය ලබා දීම නිසා ඇයට ඒඩ්ස් වැලඳුනා. මට මතක විදිහට 1996 නැත්නම් 97 වගෙ ඇය ඒඩ්ස් රෝගයෙන් මියගියා. ඒකත් බොහොම අවාසනාවන්ත ඛේදවාචකයක්. 

සාමාන්‍යයෙන් මේ Motor neuron disease රෝගයට ගොදුරුවුන කෙනෙක් උපරිම අවුරුදු 2-3 පමණයිලු ජීවත් වෙන්නෙ. අවුරුදු 10 පන්නල ජීවත් වෙන්නෙ බොහොමත්ම කලාතුරකින් කෙනෙක්ය කියලයි කියන්නෙ. හෝකිංටත් කියල තියෙන්නෙ උපරිම ජීවිත අපේක්ෂාව අවුරුදු දෙකයි කියල. ඒත් මේ මනුස්සය අවුරුදු පණස් පහක් ජීවත් වුනා. ඒක ඇත්තටම ආශ්චර්යයක්. 

අනික් අතට බලාගෙන යනකොට මේ ආශ්චර්යයට හේතුත් තියනව. අපේ ඉස්ටීවන් අයිය ධනවතෙක්. ලෝක පූජිත පුද්ගලයෙක්. ඒ හින්ද ලෝකෙ ඒ වෙනකොට තියන දියුණුම ප්‍රතිකාර සහ හොඳම මට්ටමේ Professional care giving ඔහුට ලැබුන. තවත් හේතුවක් මට හිතෙන්නෙ ඔහුට ජීවිතේ ඉලක්කයක් අපේක්ෂාවක් තිබුන. මම මේ දේ කරන්න ඕනමයි කියල. ඔයවගෙ පූර්ණ අකර්මණ්‍යතාවයට හේතුවන රෝගයකට ගොදුරුවුනු එහෙම සුවිශේෂී ඉලක්කයක් නැති අය මට හිතෙන්නෙ බොහොම ඉක්මනටම මිය පරලොව යනව. 

ඒ මොනව උනත් අවුරුදු 55 රෝද පුටුවකට සීමා වෙලා ගත කරපු ජීවිත කාලෙදි ඔහු කල කී දෑ අනන්තයි අප්‍රමාණයි. විශ්වයේ උපත පිළිබඳව මහා පිපුරුම් න්‍යාය අපේ ඉස්ටීවන් අයියා නව මානයකින් ඉදිරිපත් කලා. ඒ වගේම කළු කුහර සහ සාපේක්ෂතාවාදය ගැන ඔහු ඉදිරිපත්කල න්‍යායයන් ලොව පුරා ප්‍රසාදයට ලක්වුනා. ඔහුට නොබෙල් ත්‍යාගය නොලැබුනේ ඔහු ඉදිරිපත් කල න්‍යායයන් කිසිවක් මෙතෙක් නීරීක්ෂණාත්මකව ඔප්පු කිරීමට නොහැකිවූ නිසාලු. කළු කුහරයක් කවුරුත් තාම දැකල නැහැ. න්‍යායාත්මකව එහෙම එව්ව තියෙන්න පුළුවනි කියල විතරයි කියන්න පුලුවන්. 

ඉතිං කොහොම හරි අපි හැමෝටම කවදක හරි යන්ට වෙන ගමන ඉස්ටීවන් අයියා ගියා. 

ඔබට සුබගමන් ඉස්ටීවන් අයියේ!!! 

රෝද පුටුවේ සිට අඩ සියවසකට අධික කාලයක් මනසින් සැරිසැරූ කළු කුහර,නිහාරිකා,මන්දාකිණී අතර සැබවින්ම කල්පාවසානය තෙක් සිත්සේ සරන්නට ඔබට සුබ ප්‍රාර්ථනා!!! 

ඉස්ටීවන් අයිය ගැන වැඩිදුර විස්තර දැනගන්ට ඕමනා නම් පල්ලෙහයින් තියනව වීඩියෝ ක්ලිප්ස් කීපයක්....

                                            තම පියා පිළිබඳව ලුසී හෝකිංගේ ආවර්ජනා...

 
දෙවියන් පිළිබඳව......

                                                       පිටසක්වලින් බුද්ධිමත් ජීවීන්ගේ ආගමනය පිලිබඳව 
                                                                                     ඔහුගේ අදහස්...

                                                                                      Worm holes පිළිබඳව........

                                                                     මහා පිපුරුම් න්‍යාය පිළිබඳව ඔහුගේ අදහස්....

Friday, March 9, 2018

571. The Story Of My Marriage - 62 - A One Litre Un-Opened Chivas Regal Whisky Bottle….

මට සුට්ටක් කලින් ඔෆිස් එකෙන් මිසිං වෙන්න හොඳටම ඕනකම තිබ්බ මොකද අද කොයිමක් කරල හරි අන්ක් ස්වාමීස්ගෙ ප්‍රසන්ටේෂන් එක ඉවරයක් කරල දාන්ට ඕනය කියල දැඩි අදිස්ටානෙකින් හිටපු හින්ද….ඒත් අපේ අතිගරු මිස්ටර් බාලාස්ගෙ ඇස් දෙක සීසීටීවී කැමරාවලට හපං..කොයිවෙලෙත් ඉන්නෙ PTZ කැමරා මෝඩ් එකේ.

(PTZ කියන්නෙ දුරසිට පාලනය කල හැකි (Remote Controlled) සිකියුරිටි කැමරා වර්ගයක්. PTZ= Pan, Tilt & Zoom...Pan කියන්නෙ ලෙන්ස් එක තිරස් අතට මූව් වෙනව. Tilt කියන්නෙ ලෙන්ස් එක සිරස් අතට මූව් වෙනව. Zoom කියන්නෙ ෆෝකස් වෙන දුර වෙනස් වෙනව. )

කොහොම හරි බාලගෙ ඇහැට වැලි ගහල මම පැයක් වගෙ කලින් ඔෆිස් එකෙන් එළියට පැනගත්තයි කියමුකො එහෙනං. මයිලපෝර් හරියෙ ඇවිදගෙන යද්දි මම දැක්ක සංගීත සහ චිත්‍රපට සී.ඩී. විකුණන කඩයක් තියනව. ප්‍රසන්ටේෂන් එකේ තව කරන්න ඉතුරු වෙලා තිබ්බෙ ෆයිනල් ෆෝර්මැටිං විතරයි. ඒ හින්ද මගෙ හිතත් ටිකක් රිලැක්ස් මෝඩ් එකට වැටිල තිබ්බෙ. 

සී.ඩී. කඩේ දැක්කහම මට හිතුන අඩේ අද වැඩ කරද්දි කොහොමද පසුබිමින් මනමෝහනීය, කර්ණරසායන, සිත පහන් කරවන සිහින් සංගීත රාවයක් සවනට එන්ටර් උනානම් ආතල් කෝටියයි නෙවදෙයි කියල. හැබැයි ඉතිං එකම ප්‍රශ්ණයක් තිබ්බෙ මම මෙතෙක් කාලෙකට අහල තියන දෙමළ සංගීත වාදන නම් සිත පහන් කරවන නෙවෙයි බ්ලඩ් ප්‍රෙෂර් වැඩි කරවන එව්ව. ලෝ බ්ලඩ් ප්‍රෙෂර් තියන අයට නම් මල් හතයි. ආය බෙහෙත් එහෙම ඕනම නෑ ලොවෙත්.

කෝකටත් කියල මම සී.ඩී. කඩේට ගොඩවුනා.

"මොනවද ඕන සර්?" කවුන්ටරේ එහා පැත්තෙ හිටපු හීන්දෑරි කොලු ගැටය මගෙන් ඇහුව.

සාප්පුවෙ බිත්ති දෙකක් වැහිල තිබ්බෙ දැක්කම ඔලුව නරක්වෙන තාලෙ බයංකාර පිටකවර වලින් යුක්ත දෙමළ චිත්‍රපට සී.ඩී වලින්.

"මට ඕන සංගීත සී.ඩී. දෙක තුනක්...හැබැයි දෙමළ නෙවෙයි…"

කොලුව යටිතොල පෙරලල ඔලුව දෙපැත්තට හෙල්ලුව. 

"මෙහෙ තියෙන්නෙ ඔක්කොම දෙමළ විතරයි. සර්ට වෙන එව්ව ගන්න ඕනනම් නුංගම්බක්කම්වලට යන්ට වෙයි"

"එහෙමද?" මම ආපහු හැරුන..

"ඉන්නකො පොඩ්ඩක්, මට මතකයි ඔය කියන එව්ව වගේ දෙක තුනක් තිබ්බද මන්ද.." කොලුව එහෙම කියල කවුන්ටරේ ගාව පාත් වෙලා මොනවද හෙව්ව.

"හරි හරි මෙන්න තියනව සර්ට ඕන එව්ව. මේව දෙමළ නෙවෙයි…"

මනුස්සය මට සී.ඩී. තුනක් දික්කලා. උඩින්ම තිබ්බෙ හින්දි නන්-ස්ටොප් රී-මික්ස් එකක්. පපුවෙන් බාගයක් එලියෙ දාගත්තු කෙල්ලො තුන්දෙනෙක් ඒකෙ කවරෙ හිටිය. මේක හරියන්නෙ නෑ කොහොමටවත්. හදවතක හැඩේ කවරයක් තිබ්බ දෙවෙනි සී.ඩී. එකේ තිබ්බෙ තනිකරම පරණ ආදර ගීත. තුන්වෙනි එක ඉංග්‍රීසි නර්සරි රයිම්ස්.

"හරි මට දෙන්න දෙවෙනි එක. අර ආදර ගීත තියන එක" මම කොලුවට කිව්ව

කොලුවා මහතා තෙමේ බිල ලියන අතරෙ මම කර්ණාටක සංගීත තැටි තිබ්බ රාක්කෙන් එකක් දෙකක් අරගෙන එහාට මෙහාට පෙරලල බැලුව.

"මල්ලි නැද්ද හොඳ කර්ණාටක සංගීත සී.ඩී. එහෙම?"

"හොඳ කියල කියන්නෙ?" කොලුව මම අරගත්තු සී.ඩී. එක බ්‍රවුන් පේපර් බෑග් එකකට දාන ගමන් ඇහුව

මම මගේ අතේ තිබ්බ කර්ණාටක සංගීත තැටි තුන හතර දිහා බැලුව. එව්වයෙ ඔක්කොගෙම කවරෙ තිබ්බෙ මැදිවියේ අවසාන භාගෙ ගෑණු නැත්නම් පිරිමින්ගෙ රූප

"ම්ම් හොඳ කියල කිව්වෙ නේද? හරි අපි මෙහෙම කියමුකො. කර්ණාටක සංගීතයේ ඉතාම ජනප්‍රිය සංගීත ඛණ්ඩ...The greatest hits collection in carnatic music... අන්න ඒ වගෙ සී.ඩී.එකක් නැද්ද මං අහන්නෙ තමුං ගාව?"

කොලුව මාදිහාවෙ නළලත් රැලිකරගෙන බලා හිටියෙ මොකෙක්ද බොලේ හැබෑටම මේ පිස්සා? කියල හිතාගන්ට බැරුව වගේ කියලයි මට හිතුනෙ.

"හරි හරි ඒක අමතක කරන්න. අපි මෙහෙම හිතමුකො. මට ඕන කර්ණාටක සංගීතය රස විඳින්න ඉගෙන ගන්න...එච්චරයි…"

"සර් උතුරු ඉන්දියානු නේද?" කොල්ල ඇස් පුංචි කරල ඇහුව. 

ඔව් කියල අඟවන්ට මම ඔලුව ඉහලට පහල වැනුව. 

"ඉතිං එහෙමනම් අහවල් දේකටද සර් මේ කර්ණාටක සංගීතය රස විඳින්න ඉගෙන ගන්න හදන්නෙ?" කොල්ලගෙ නළලෙ රැළි තවමත් තියනව.

මම මොනවයි කියල කියන්නද? කියනවනම් මෙහෙම නෙ කියන්න වෙන්නෙ. "මල්ලි කඩේ වහපන්කො..අපි යමු උඹලගෙ ගෙදර..උඹ රෑට උයනකල් මම කුස්සියෙ පොඩි පුටුවක වාඩිවෙලා උඹට සවිස්තරව කියන්නං ඇයි මට කර්ණාටක සංගීතය රස විඳින්න ඉගෙන ගන්න ඕන වෙලා තියෙන්නෙ කියල" කිසිසේත්ම එළෙස පැවසිය නොහැකි නියාවෙන් මම මුවින් නොබැණ මුනිවත රැකීමි.

"ම්ම්ම්..ඉන්නකො ඔය කියන විදිහට මේ දෙක හරියයි" කොලුව මට සී.ඩී. දෙකක් දුන්න

පළවෙනි එකේ කවරෙ තිබ්බෙ කාන්තාවක් තම්පූරාවක් වාදනය කරනව. 

තම්පුරාවක් වාදනය කරන යුවතියක්...
Google Images

දෙවෙනි එකේ කවරෙ තිබ්බෙ වයසක මනුස්සයෙක්ගෙ රුපයක්. කවරෙ ලියල තිබ්බෙ ඔක්කොම දෙමළ අකුරෙන්. මම සී.ඩී. කවරෙ අනික් පැත්ත හරවල බැලුව. 

"ඔය ඉන්නෙ ටී.ආර්. සුබ්‍රමනියම්" සාප්පුවට ආව මැදිවියේ කාන්තාවක් මගෙ අතේ තියන සී.ඩී. එක දැකල කිව්ව. "ඔයා එයාගෙ මියුසික් වලට කැමතිද?"

"එහෙනං එහෙනං මොනවද මේ කතා?...සුබ්‍රා තමයි පොඩි එකා කාලෙ ඉඳලම මගේ ප්‍රියතම කර්ණාටක සංගීත විශාරදය…" මම එහෙම කියල සී.ඩි. දෙකටම සල්ලි ගෙවල සාප්පුවෙන් එළියට බැස්ස

හවස හයහමාර වගෙ වෙනකොට මම අනන්‍යාලගෙ ගෙදරට ගියා. ඒ වෙනකොටත් අංකල් කන්ණාඩි කුට්ටම එහෙම දාගෙන මෙසේ වාඩිවෙලා ප්‍රසන්ටේෂන් එකේ ප්‍රින්ට් අවුට් එහෙක වැරදි තැන් එතකොට අලුතෙන් එකතුවෙන්න ඕන කරුණු එහෙම ළකුණු කරනව.

එතනම එහා පැත්තෙ පොඩි මේසයක් උඩ ලොකු පළඟානක තිබ්බෙ උණු උණු පරිප්පු වඩේ. පළඟාන වටේට පොඩි භාජන වල දාපු රතු කොල සහ සුදු පාට චට්නි.

"අර වඩයක් කන්න ක්‍රිෂ්...අපේ ඔෆිස් එක පහුකරල පොඩ්ඩක් දුර ගියාම තියනව ඔය වඩ වලට මේ හතර දිබ්බාගෙම ප්‍රසිද්ධ රෙස්ටෝරන්ට් එකක්. මම තකහනියක් එතනට ගිහිල්ල ඔය වඩේ ගත්තෙ ඔයාටමයි" අන්කල් ඔලුව හරවල බල  එහෙම කිව්ව.

වඩයක් අතට ගන්න ගමන් මම අංකල්ගෙ ඇස් දෙක දිහාවෙ කෙලින්ම බැලුව. මම හිතන්නෙ මේ අංකලුයි මමයි එකිනෙකා දිහා කෙලින්ම බලපු පළමුවෙනි වතාව. We made eye contact for the first time ever since I had known him.

මට ඒ වෙලාවෙයි එක පාරටම හිතුනෙ "අඩේ..රැළි වැටිච්ච මූණයි කන්ණාඩි කුට්ටමයි අමතක කරල දැම්මොත් මේ මනුස්සයට තියෙන්නෙ අනන්‍යාගෙ ඇස් දෙකම නෙවද?" කියල.

"අද කීය වුනත් කමක් නෑ අංකල් අපි මේ වැඩේ ඉවරයක් කරනව....." මම එහෙම කියල පුටුවක් ඇදගෙන අංකල් ගාවින්ම ඉඳගෙන මගෙ ලැප් එක ඕපන් කලා.

අංකල් ඔලුව හොල්ලල ඒ කතාවට එකඟත්වය පලකලා. ඊට පස්සෙ පුටුව මගෙ ලඟට කිට්ටු කරගෙන ස්ක්‍රීන් එකට එබුන.

"හරි අපි මෙහෙම කරමු. මුල ඉඳලම ස්ලයිඩ්ස් එකින් එක අරගෙන බලමු. එව්වයෙ ෆයිනල් රිවිෂන්ස් මොනවහරි කරන්න තියේනම් අංකල් ඒ වෙලාවෙම මට කියන්න. මම එව්ව කරන්නම්. ඒ එක්කම ෆයිනල් ෆෝමැටිං එකත් කරල ඉවරයක් කරල අපි ඊලඟ ස්ලයිඩ් එකට යමු. එහෙම දිගටම කරගෙන යමු"

අංකල් ආයම පාරක් ඔලුව හෙල්ලුව. 

පැයක් වගෙ ඇතුලත අපි පළවෙනි ස්ලයිඩ්ස් පහ ඉවර කලා.

"අංකල් මේ...මම මියුසික් මොනවහරි දාන්නද? හෙමීට සංගීතයක් ඇහෙන කොට දිගටම ස්ක්‍රීන් එක දිහා බලා ඉන්නකොට එන ඔලුවෙ කැක්කුම නැතුව යනව" එහෙම කියල මම මගෙ ලැප් ටොප් එකේ සීඩී ප්ලේයර් එක ඕපන් කලා.

"අතන ස්ටීරියෝ සෙට් එකක් නම් තියන ක්‍රිෂ්, මම හිතන්නෙ ඒකෙ ඔය සී.ඩී. එක ප්ලේ කලොත් වඩා හොඳ වෙයි"

අංකල් එහෙම කියල සාලෙ ඩිස්ප්ලේ කැබිනට් එක දිහාට ඇඟිල්ල දික්කලා. මම ඔෆිස් බෑග් එකෙන් සීඩී එළියට අරගෙන සාලෙ කැබිනට් එක ගාවට ගියා. අංකල් ඇවිල්ල ස්ටීරියෝ සෙට් එකේ ප්ලග් එක ගහල ඔන් කලා.

ඊට පස්සෙ අංකල් සෙට් එක ටියුන් කරද්දි මම දැක්ක ඊට යට තට්ටුවෙ තියනව විස්කි බෝතලයක්! 

ඈ...විස්කි බෝතලයක්?...

නිකම් විස්කි නෙවෙයි ෂිවස් රීගල් විස්කි බෝතලයක්!

නිකම් ෂිවස් රීගල් බෝතලයකුත් එහෙම නෙවෙයි...ලීටරේ එකක්!!

නිකම්ම ලීටරේ ෂිවස් රීගල් විස්කි බෝතලේතු නෙවෙයි. කඩපුවත් නැති එකක්!!!

ඒ කියන්නෙ කොටිම්ම කිව්වොත් මෙතන මේ දිලිසි දිලිසි තියෙන්නෙ කඩපුවත් නැති වන් ලීටර් ෂිවස් රීගල් විස්කි බෝතලයක්!!!

හෙහ්..කොහොමද ඒක? 

ඔන්න ඔය ජාතියෙ එකක් තමයි අංකල්ගෙ
කැබිනට් එකේ තිබ්බෙ...Google Images

Tuesday, March 6, 2018

570. දෑත ළය මත බැඳගනිමි. පරදුක්ඛ දුක්ඛිත මුද්‍රාවට සම වැදෙමි…..

පොළොන්නරුව ගල්විහාරයෙහි පරදුක්ඛ දුක්ඛිත මුද්‍රාව
දැක්වෙන බුදුන් වහන්සේගේයැයි සැළකෙන හිටි පිළිමය 

වයස පණහක් පැන්නම අපි හිතනව ජීවිතේ හුඟක් දේවල් අපි අත්දැකල තියනවයි කියල. ඒක බොහෝවිට බොරුවක්මත් නෙවෙයි. මේ මිහිපිට ශතවර්ෂ බාගයක් ජීවත්වෙලත් ජීවිතේ විඳින්නට බැරිවුනයි කියන්නෙ එතන මොකක් හරි අඩුපාඩුවක් තියනව. අඩුපාඩුවක් කිව්වට පොඩි එකක් එහෙම නෙවෙයි ලොකුම අඩුපාඩුවක්.

එහෙම ඉන්න එක කට්ටියක් අර ජීවත් උනාට තමන් ජීවත්වෙන්නෙ තවත් විවිධාකාර මිනිසුන් ගැහැණුන් සරා සංඛ්‍යයක් මධ්‍යයේය කියල නොහිතා අනේ උංට බම්බු ගහගන්ට කියහල්ල කියල තමංගෙ වැඩක් බලාගෙන පැත්තකට වෙලා ඉන්න අය. එහෙම අයට කියන්නෙ අසංවේදී මිනිස්සු කියල. අනික් මිනිසුන් සහ ගැහැණුන්ගෙ දුක්වේදනා සංතාපයන්ට ඒ අය ප්‍රතිචාර දක්වන්නෙ නෑ. Immune From Feelings කියලයි එහෙම අයට කියන්නෙ. 

තවත් සමහරු ඉන්නව උපන්නාට මේ ලොව වැනෙනවා විනා, ලොව සිරිතට අඹු දරු රකිනවා විනා මාදිලියේ මිනිස්සු. ඒ වගෙ අය කිසිම දේකින් හිත උණුවෙන්නෙ නැති මිනිස්සු. අර බුදු හාමුදුරුවොත් කිව්වයි කියන නොසැලෙන ස්වභාවයයි මේ හිත උණු වෙන්නෙ නැති එකයි හැබැයි ඉත්තේරුවෙන්ම දෙකක්.

පොළොන්නරුවෙ ගල්විහාරෙ තියන හිටි පිළිමය ආනන්ද හාමුදුරුවන්ගෙ පිළිමයක්ය කියන ජනප්‍රිය මතයක් තියනව. ඒත් පරණවිතාන මහත්තය කියන්නෙ ඒ ඉන්නෙත් බුදු හාමුදුරුවොමයි කියල. ඒ දෑත් ළය මත බැඳගෙන ඉන්න මුද්‍රාවට කියන්නෙ පරදුක්ඛ දුක්ඛිත මුද්‍රාව කියල. ඒ කියන්නෙ අනුන්ගේ දුකේදී දුක්වන කියන එක. බුදුන් වහන්සේ සියළු කෙලසුන් නසා බුද්ධත්වයට ලැබූ ඉක්බිති දුකක් හෝ සතුටක් වගෙ පෘථග්ජන හැඟීමක් උන්වහන්සේට ඇතිවිය හැකිද කියන ගැටළුව ගැන මම මෙතනදි කතා කරන්න යන්නෙ නෑ.

මහමෙව්නාවේ සමාධි බුදු ඇස 
රෑ වට සීතල පින්නෙන් පිරුණිද
නැත්නම් සැබැවින් කඳුලින් වැසුනිද

පිරිතේ තෙවලා බණ පදයේ 
සාදුකාරයේ හඬ මඩිමින් 
අවි ගැටෙනා හඩ රණ දෙරනේ 
දෝංකාර දී එයි නැගෙමින්
ඒ ඇසු බුදු ඇස කඳුලින් වැසුනිද
නැත්නම් රෑ වට පින්නේ පිරුණිද

හදේ ගලා ගිය මෙත් ගඟුලේ 
සීතල දිය රැලි ගල් ගැසෙමින් 
නොමිනිස්කම් දළු දමා වැඩේ 
මිනිසත් භාවය ගිණි තබමින්
ඒ දුටු බුදු ඇස කදුලින් වැසුණිද
නැත්නම් රෑ වට පින්නෙන් පිරුණිද

අසූව දසකයෙ මුල්බාගයෙදි නන්දා මාලිනී එහෙම කිව්ව. ඒ ගීතය දැඩිලෙස විවේචනය කරල පුවත්පතකට ලිපියක් ලියල තිබ්බ මට මතකයි තිලක් රත්නකාර මහත්තය. එයා කිව්වෙ බුදුන් වහන්සේට දුකක් කණගාටුවක් සතුටක් වගෙ හැඟීමක් ඇතිවෙන්න කොහෙත්ම ඉඩක් නැති හින්ද මේ ගීතයම බොරුවක් කියලයි. ගීත සාහිත්‍යයෙදි භාවිතාවන උපමා රූපක ගැන ඒ මහත්මයට කොහෙත්ම හැඟීමක් නැතුව ඇති කියලයි මට නම් ඒ වෙලාවෙ හිතුනෙ.

බුදුහාමුදුරුවන්ට උනත් දුක හිතෙන වෙලාවක් එන්ට පුලුවනි. මම මේ පූර්විකාව කියල එහෙම ලැහැත්ති වෙන්නෙ අන්න එහෙම කතාවක් කියන්න.. 

වැඩි කාලයක් නෑ මේ ඊයෙ රෑ...අපේ තිසර මලය මට මෙසේජ් එකක් දාල තිබ්බ. 

"මොකද අයියෙ උඹ මා එක්ක තරහෙන් වත්ද?"

"පිස්සුද බං?... ආය අහවල් දේකට තරහ වෙන්නද?" මමත් පිලිතුරු බැන්ද. 

"නෑ මම මේ එහෙම ඇහුවෙ සතියකට වගෙ ඉස්සර මම උඹට දිග මෙසේජ් එකක් දැම්ම ඒකට නෝ රිප්ලයි හින්ද…"

"අඩේ බං මම මේ දවස්වල ටිකක් දුර බැහැර වැඩ කරන්නෙ..ඒ හින්ද වැඩිපුර අන්තර් ජාලයෙ සරන්න වෙලාවක් කලාවක් ඇත්තෙම නෑ…Sorry …" මම සමාව ඉල්ලුව.

"හරි හරි කමක් නෑ…ඒක ගනන් ගන්න එපා.." තිසර කිව්ව.

"හරි මම දැන්ම බලන්නම්කො මෙසේජ් එක.."

ඒ මෙසේජ් එකේ තිබ්බෙ මම මේ ඊයෙ පෙරෙයිද ලියාපු අර පිලිපීන් පොඩි කෙල්ල Melodyගෙ මරණය ගැන පෝස්ට් එක කියවල තිසර මට එවපු ඒ වගේම කතාවක් කියවෙන ගීතයක වීඩියෝ එකක්.

ඇත්තම කිව්වොත් මගෙ පපුව පත්තුවෙච්චි ගීතයක්...

තම දරුවකුගේ මරණය කොහොමත් දෙමව්පියන්ට දරන්නට අමාරුයි. ඒත් වයස පහක  වගෙ සුරතල් දරුවෙකුගෙ මරණය දරාගෙන ඉන්නෙ කොහොමද කියල මට නම් හිතා ගන්න වත් බැහැ. අනික පපුව තවත් කීරි ගැහිල යන්නෙ මේ සත්‍ය කතාවක් කියල දැනගත්තම...

මේ විස්තරේ මම උපුටා ගත්තෙ ඒ වීඩියෝ එකට දාල තිබ්බ කමෙන්ට් එකකින්...

සත්‍ය සිදුවීමකින් නිමැවුනු ගීතයේ පසුබිම් කතාව.....

අපේ රටෙි ධනවත් පින්වත් දෙමාපියන් දෙදෙනෙකුට පුංචි පුතෙක් උපදිනවා.. මලක් වගේ ලස්සනයි.. පුතාගේ නම ටෙහාන්.. අනිත් දරුවො වගේ නෙවෙයි ටෙහාන් පුතා හරි වෙනස්.. . ටිකෙන් ටික පුංචි පුතා ලොකු වෙනවා..

දවසක් පුතා වාහනේ යනකොට දකිනවා පාරෙ දුප්පත් ළමයෙක් සෙරප්පු නැතිව ඉන්නවා... "තාත්ති කාර් එක නවත්වන්නකෝ..." කියා අවුරුදු 2ක පුංචි පුතා දිව ගොස් තමන්ගේ සෙරප්පු දෙක අර ළමයට දෙනවා... අවුරුදු 2ක ළමයෙක් කල දේ දෙමාපියන්ට අදහ ගන්නට බැරි වෙනවා... ඊට පස්සේ තාත්තට සිදු වෙනවා වාහනයේ බාටා සෙරප්පු බෑග් එකක් දාගෙන යන්න.. ටෙහාන් පුතා පාරෙ ඉන්න සෙරප්පු නැති දරුවන්ට වාහනේ නවත්වලා සෙරප්පු දෙනවා... 

ඒ වගේම බුදු පිලිමවහන්සේ නමක් කොහේ දුටුවත් පුංචි ටෙහාන් වනදනා කරනවා බුදු සාදු කියලා... මෙි වගේ අසාමාන්‍ය ගති ගුණ මෙි දරුවගෙන් දෙමාපියන් දකිනවා.. මෙි කිසිදෙයක් දෙමාපියන් කියලා දීපු ඒවා නෙවෙයි…

කාලය ගත වෙනකොට එක්වරම පුංචි පුතා අසනීප වෙනවා.. පුතාව සිංගප්පූරුව බලා රැගෙන යනවා.. වෛද්‍ය ප්‍රතිකාර සදහා.. කාලයකට පස්සේ එහේ වෛද්‍යවරු කියනවා මෙි පුතාව නැවත ලංකාවට අරන් යන්න කියලා... 

ඒ ඇවිත් දවසක් පුතා සමග පිංකමකට සහභාගි වෙනවා... ඒ පින්කමේදි හැමෝටම අදහාගත නොහැකි ලෙස මේ පුංචි ටෙහාන් පුතා පැත්තකට වෙලා භාවනා කරනවා දකිනවා..ටෙහාන් ඊට පෙර කිසි දවසක භාවනා කරලා තිබුනෙත් නෑ කවුරුවත් එයාට භාවනා කරන්න කියල දීලා තිබුනෙත් නෑ... පුංචි ටෙහාන් ඊලග දවසෙත් උදේම අවදි වෙලා බුදු සාදු බලන්න පන්සලට යන්න ඕනෙ කියලා අම්මට කියනවා... පුතාගෙන් බෙිරෙන්න බැරිම තැන අම්මා පන්සලට එක්කරගෙන යනවා..

මග යනකොට ටෙහාන්ගේ අසනීපය වැඩි වෙනවා..පුංචි පුතත් එක්ක වාහනය ඇතුලේ තනි වෙන අම්මා හමුදුරුවන්ට කතා කරනවා.. පුංචි පුතාට සෙනෙහස දක්වපු හාමුදුරුවොත් ඒ වෙද්දී මගට වාහනේකින් වැඩම කරලා වෙන වැඩකට. අම්මගේ හදිසි ඇමතුමෙන් හාමුදුරුවෝ ටෙහාන් පුතාලගේ වාහනේ තියෙන මගට වඩිනවා.. 

හාමුදුරුවෝ පිටිපස්සේ සීට් එකට රෝහලට යන්න පුතත් එක්ක නගිනවා...පුතා හාමුදුරුවන්ගේ සිවුරට තුරුල් වෙනවා...හාමුදුරුවන්ගේ ඔඩොක්කුවෙි අවුරුදු පහක් වයස රෝස මලක් වගේ හිටපු ටෙහාන් පුතා අවසන් හුස්ම පොද හෙලනවා... 

දරා ගන්න බැරි දරු දුකින් හඩා වැටෙන පුතාගේ තාත්තා දවසක් නින්දෙන් දකිනවා වලාකුලූ අතරින් ලස්සනට ඇද ගත්ත දෙවි කෙනෙක් වගේ කෙනෙක් ලගට එනවා... ඇවිත් තාත්තට ධර්මය කියා දෙනවා.. තාත්තා හඳුනාගන්නවා මෙි තමන්ගේ මිය ගිය පුතා බව.. 

මෙි දිව්‍ය පුතා තාත්තට නාඋයනේ අරියධම්ම නායක ස්වාමීන්වහන්සේ ලගට යන්න පාර පෙන්වනවා... අවසානයේ සසරින් ආ මිතුරෙක් ලෙසින් මෙි දෙමාපියන් දෙන්නව මෙි පුතා ධර්මයේ පිහිටුවනවා...ධර්මයේ හැසිරෙන්නට මග කියා දෙනවා..අනතුරුවලින් වලක්වනවා...පින් කර ගන්නට මග හදනවා...අද ඒ දෙමාපියන් පුතාට පින් අනුමෝදන් වීම පිනිස මහා සෑයක් පවා ඉදිකරනවා...

මෙි විසල් කතාව විනාඩි 5ක මධුර මනොහර තනුවකින්ද, වචනයක් වචනයක් පාසා හද හඩවන පද වැලකින්ද, හද කකියන සංගීතයකින්ද, පියෙකුගේ වෙිදනාව හඟවන හඬකින්ද,  විශිෂ්ඨ රංගනයකින්ද මෙය නිර්මාණය කිරීමනම් විශිෂ්ඨ වැඩකි... කතාව නොදැන ගීතය පමණක් අසා සංවෙිදි වූ බොහෝ දෙනා පසුබිම් කතාව දැනගත් විට හනු ඇත...

පුංචි කාලයකට හෝ මනුලොවට ආපු පුංචි ටෙහාන් අම්මවයි තාත්තවයි තිසරණයේ පිහිටෙවුවා... ආයෙමත් ආපු තැනටම යන්න ගියා.. ඒත් අම්මවයි තාත්තවයි අමතක කලේ නෑ... වළාකුලු අතරින් ඇවිත් උපකාර කලා... ඒ දෙමාපියොත් පුංචි පුතාව අමතක කලේ නෑ.. ලස්සන පින් කරමින් තවමත් පුතාට අනුමෝදන් කරනවා..

ඉතින් අප රැස් කරනා පිනත් ටෙහාන් පුතුට අනුමෝදන් වෙිවා! සසර දුකින් නිදහස් වන්නට ඒ සියලු පින් උපකාර වෙිවා!!!

- උපුටා ගැනීම අවසන් - 

වීඩියෝව නම් කරල තියෙන්නෙ සසරෙන් ආ මිතුරා කියල…



වළාකුලෙන් පාවී ඇවිත්
ගීයක් ලියා මාගේ ලෙයින් 
කතරේ කෙළවර සොයා 
යන්නේ තනියම ඔයා 

සසරෙන් ආ මිතුරා 
කොහෙද නැවතත් 
සැඟවුනේ 
අහසෙන් ආ ඇරයුම් 
රැගෙන තනිකලා
මා මිහිතලේ 

ඇයි මා හා තනිකලේ.........

යලි එන හෙටත් ගැන ගැන හිතත් 
මැරි මැරි සිටිත් ආදරයත් 
ක්ෂිතිජේ කෙලවර සොයා 
ඉන්නම් හමුවන තුරා

සසරෙන් ආ මිතුරා
කොයිද නැවතත් සැඟවුනේ
අහසෙන් ආ ඇරයුම් 
රැගෙන තනිකලා 
මා මිහිතලේ

ඇයි මා හා තනිකලේ.........

වෙන් කලත් නොපෙනෙන මාරුතේ 
සංහිඳ වී ඔබ ඈතින් පෙනේ
මා යන මඟ බලමින් ඇතේ 
එතෙර වන්නට තොටුපලේ

සසරෙන් ආ මිතුරා
කොයිද නැවතත් සැඟවුනේ
අහසෙන් ආ ඇරයුම් 
රැගෙන තනිකලා 
මා මිහිතලේ

ඇයි මා හා තනිකලේ.........

Some angels just waltz into our lives
when our journey seems dark without light at sight
They become the guide for this desert, that's open wide
Such friends take a head start just to lead us and clear our path

My old friend through eternity
Though you are not in my vicinity
I'd only have to look up to see you
Coz I live just a galaxy below you 

Years and years I have spent unrested
Hoping you'd return as I requested
I will voayage in search of an end to the horizon
To find you where our worlds meet in unison

My friend we've been through an eternity
A million times we've said Hi
A million times we've said goodbye
For every time you were summoned from the heavens
It's me who was left deserted without your presence

This journey seems endless
But I won't stop because I see you at a distance
Could you wait till I come to your reach 
Together we could attain the freedom we seek

My old friend our paths have crossed infinite times
"No, not again" I said when you said "goodbye"
But the heavens have summoned you again this time
And I'm left to sail without you by my side

Sasaren Aa Mithura -සසරෙන් ආ මිතුරා - (Inspired by a true story)
Starring- Bimal Jayakody & Edrian Koralage 
Vocals, Lyrics & Melody by Methun SK
Music by Sarith Surith Jayawardena 

ඉතිං තිසර මල්ලි ඔබට බොහොම ස්තූතියි!!!


LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...