Wednesday, September 28, 2016

444. ගුරුවරියක සමඟ මගේ ජීවිතය - 32 - අනවශ්‍ය දොස්තර ගෞරවය නොහොත් අශ්වයින්ට අං පැළඳවීම සමඟ Sethu Samudram, Miranda Warning, Dilscoop & Queen Closer








ජොස්තර වර්ජන නාඩගම ගැන ලියපු සටහනේ අන්තිමට මම කිව්වනෙ ජොස්තරු ගැන තව සිද්දියක් කියන්ට තියනවය, ඒත් සටහන දිගවැඩිවුන හින්ද ඒක පස්සෙං පහු කියන්නම්ය කියල. ඉතිං මම කල්පනා කලා ඒකත් මෙහෙම්මම කියල දැම්මනම් වැඩේ අහවරයි නෙවද කියල. අනික ඒ සිද්දිය සම්බන්ද වෙන්නෙ මගෙ ගුරුවරියක සමඟ මගේ ජීවිතය කතා මාලාවට හින්ද කාලෙකින් ඒ සීරීස් එකේ එපිසෝඩ් එකක් ලිව්වෙත් නැති හින්ද ලියන්ටම ඕන කියල හිතුන. ඔන්න ඉතිං මෙහෙමයි කතාව.

අපි දෙන්න දැනට ඔය ඇත්තං කාල නැත්තං කහට උගුරක් බීල දෙයියනේ කියල වැටිල ඉන්න පැල්කොටේ අටව ගන්ට ඉස්සර උන්දැට හම්බවුනු ඉස්කූල් කෝටස් එකේ හිටිය එක අවුරුදු හතක් තරම. මම ඒ කාලෙ ගැන බොහොම විස්තර ලියල තියනව ගුරුවරියක සමඟ මගේ ජීවිතය ලියද්දි. 

අර වීක් එන්ඩ් එකට ගෙදර තියන කොට්ට,මෙට්ට ඇඳ ඇතිරිලි,දොර රෙදි,ජනෙල් රෙදි,සර්වියට් පවා තොගේ පිටිං හෝදල වත්ත පුරා රෙදිවැල් ඇදල වනන්නෙ ඒ ඔය කෝටස් එකේ ඉන්දැද්දි තමයි. වීක් එන්ඩ් වල රිලැක්ස් එකේ දෙකක් දාගෙන පොතක් පත්තරයක් කියවගෙන ඉන්නෙ ඒ වෙන මිනිස්සු. මම කරන්නෙ වැස්සක් කඩාපාත්වෙනවද බලබල එලිපත්තට වෙලා ඉන්න එක, අර එලියෙ හෝදල වනල තියෙන රෙදි කන්දරාව තෙමෙන්ට ඉස්සරවෙලා ගෙට ගන්ට එපාය. අන්න ඒ ඉස්කූල් කෝටස් එකට එන්ට කලිං මාස තුනක් වගෙ අපි දෙන්න හිටිය හීරැස්සගල පාරෙ ඇනෙක්සියක.

ඒ මාස තුනත් බොහොම අමතක නොවන කාලයක්. අපි හිටපු ඇනෙක්ස් එකේ ඉඳල පයින් යන දුරක තිබ්බෙ සීතාදේවි බාලිකාව. ඒ දවස්වල අපෙ උන්දැට සීතාදේවි එකට ට්‍රාන්ස්ෆර් එකක් ලැබෙන කතාවකුත් තිබ්බ හින්ද ඒ ඇනෙක්ස් එක තිබ්බෙ හොඳම තැන. ම්ම්ම්..ඇත්තම කිව්වොත් ඒ පයින්යන දුර කියන ඩෙෆිනිෂන් එක නම් එතරම් සාර්තක නෑ. ඒ කියන්නෙ ලංකාවෙ ඉඳල ජර්මනිය ප්‍රංශෙ උනත් පයින් යන දුරක තියෙන්නෙ කියල කිව්වැහැකි අර ඉන්දු-ලංකා පාළම හැදුවට පස්සෙ. මොකක්ද ඒකෙ නම? ආ..මේ සේතු සමුද්‍රම් නේද? නෑ නේද? සේතු සමුද්‍රම් කියන්නෙ අර පෝක් සමුද්‍ර සන්ධිය ගැඹුරු කරල නැව් ගමනාගමනයට පහසුකම් සළස්වන ආතල් එකනෙ. හරි කොහොමහරි ඒ ගැඹුරු කිරිල්ලට අමතරව පාළමකුත් හැදෙනවලු. ඉන්දියාව සහ ලංකාව යා කරල පාළමක් හදන්ට ඉන්දියාවෙ අදහසක් තියනවයි කියල අවුරුද්දකට හමාරකට වගෙ ඉහත මම දැක්ක පත්තරවල දාල තියනව.

හරි හරි ඔය ඉන්දු-ලංකා පාළං ගැන කතන්දර දැනට පැත්තකිං තියමුකො. ඔව්ව කොයි කාලෙක කෙරෙයිද කියල එක අතකට කාටද කියන්ට පුලුවන් නැද්ද? ලංකාවෙ රජයයි ඉන්දීය රජයයි දෙකමත් එක පයිං කැමතිවෙලා වියදං සල්ලි හොයාගත්තත් ඉතිං අර ගොල්ල එපා කිව්වොත් ඕක කෙරෙන්නෙම නෑනෙ. දන්නවනෙ අර ගොල්ල කවුද කියල නේද? ඈ? දන්නෙ නෑ? එතකොට ලංකාවෙ ඕනම වැදගත් ආර්ථික සමාජීය තීරණයක් ගන්ට යද්දි එයාලගෙ අවසර ඕන වෙන සර්ව බලධාරින් කට්ටිය ගැන දන්නෙ නෑ නේද? ෂෙක්..ලැජ්ජයි ලැජ්ජයි..වෙන කවුරුත් නෙවේ වදේ...ජී.ඕ.එම්.ඒ. එක නොහොත් සර්ව බලධාරී අති උතුම් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (ආමෙන් සහ හලෙලූයා) ගැනයි මම මේ කියන්නෙ.

හරි ඒ පාළං කතා ඔය මදැයි. ඉතිං ඔය හීරැස්සගල ඇනෙක්ස් එකේ ඉද්දි හැමදාම හවසට සාලෙ ජනේලෙන් පේනව වවුලො එක ලක්ස ගානක් පියඹල යනව නුවර ටවුන් එක දිහාවට. ඒ කිව්වෙ බහිරව කන්ද උඩවත්තෙ කැලේ හන්තාන. ඊට පස්සෙ එව්වත් පහුකරල හුන්නස්ගිරිය දිහාවට.

"කොහෙන්ද ඒයි ඔය හැටි වවුලො කැටියක් ඔය එන්නෙ?"

අපේ උන්දැ මුලින්ම එක පොක්කරේට ඔහොම වවුලො පියාඹනව දැකපු දවසෙ ඇහුවෙ කටත් ඇරගෙන. ඒ වෙලාවෙ අපි දෙන්න හිටියෙ උණු උණු කිඹුලො දෙන්නෙක් රස විඳිමින්. හීරැස්සගල හන්දියෙම තිබ්බ ලලිතා බේකරිය කියල. හවස පහ වගෙ වෙනකොට ඒකට එනව අච්චු පාන්, තැටි පාන්, රෝස් පාන්, කිඹුලො, සීනි බනිස්,විස්කිරිඤ්ඤ, ඤාණකතා ඔය කොයිවත්. සුවඳ කියන්නෙ ආය ඉවසන්නම බෑ. "පාන් සුවඳ සිව් සිය ගව් දැනේයා" කියල කියන්නෙ ඉතිං කට කහනවටය?

ඔයිට කාලෙකට ඉස්සරවෙලා, ඒ කිව්වෙ හැත්තෑව දශකයේ මැද භාගයේ පමණ මම මේ කියන්නෙ, අපි ඔය කෑගල්ලෙ ඉන්න කාලෙ අපෙ තිබ්බ තඩි වේවැල් කූඩයක් . ඕකත් වන වන නාගොල්ලෙ අපි හිටපු කෝටස් වල ඉඳල පොලිසිය එහෙම පහුකරල මම කන්ද බැහැල එනව හැමදාම වගෙ පාන් ගෙනියන්ට. ඒ එන්නෙ කෑගල්ලෙ ටවුන් හෝල් එක එතකොට ලක්සල එහෙම පහුකරල ටවුම පැත්තට බඹ සීයක් හමාරක් යනකොට මහජන බැංකුව ඉස්සරහ පාරෙ දකුණු පැත්තෙ පිහිටල තිබ්බ මිරන්ඩා ඇන්ඩ් සන්ස් එකට. නොහොත් මිරන්ඩා සහ පුත්‍රයෝ සමාගමට. මිරන්ඩා එකේ තමයි ඒ කාලෙ ඒ පලාතෙම නමගිය පාන්, බනිස් සහ කේක් දැම්මෙ. 

"Miranda Warning" කියල එකක් අහල තියනවද? අමරිකාවෙ සැකකරුවෙකුගෙන් ප්‍රශ්ණ කිරීමට හෝ ප්‍රකාශයක් සටහන් කර ගන්නට පලමු සැකකරුට ඔහුගේ අයිතීන් පිලිබඳව මතක් කරල දෙන්න ඕන නිල වශයෙන්ම. එහෙම නැත්නම් සැකකරු දුන්නු පිළිතුරු හෝ ප්‍රකාශය නීත්‍යානුකූල නෑ සහ අධිකරණයකදි පිළිගන්නෙ නෑ. ඔය මිරන්ඩා වෝනිං එකට ඒ නම ලැබුනෙ මිරන්ඩා නම් සැකකරුවෙක් සම්බන්ධයෙන් තමයි අමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය මේ නියෝගය ලබාදීල තියෙන්නෙ.අර තිලකරත්න ඩිල්ෂාන්ගෙ "ඩිල්ස්කූප්" ෂොට් එක වගේ තමයි හෙහ්,හෙහ්,

ඉතිං පාං ගන්ට එද්දි මම අරම වේවැල් කූඩෙ අරගෙන එන්නෙ මොකෝ දන්නවද? එහෙම නැත්තං පාං ගේන්ට තිබ්බෙ අම්ම මහන රෙදි බෑග්. ගනකම කාකි රෙද්දක් දෙපොට දාල කතිර මැස්මෙන් මැහුවම ආය නෑ කාලාන්තරයක් පාවිච්චි කලෑකි හෝද හෝද. ඉස්පිරිතාලෙන් අයින් කරන සේලයින් බට ගොතල අත්තම්ම හදනව ඒ රෙදි බෑග් වලට අල්ලු නොහොත් හැන්ඩ්ල්ස් දෙකක්. ඒ කාලෙ ෂොපිං මලු කියන එව්ව ගැන අපි දන්නෙවත් නෑ. බඩු ගේන්නෙ එක්කො ඔය වගෙ රෙදි මල්ලකට. එහෙම නැත්තං වේවැල් කූඩෙකට. එක පාර බඩු විසාල තොගයක් ගන්නකොට කඩේ ගෝලයම පෝර මල්ලකට හරි පැරකුම් උකුකිරි ටිං 24 පැක් කරල ආපු කාඩ්බෝඩ් පෙට්ටියකට හරි බඩු ටික සීරුවට අඩුක් කරල දෙනව.

පාන් පුච්චන්ට ගෑස්, කරන්ට් පෝරණු තිබ්බෙ නෑ එදවස. තනිකරම දර තමයි ඉන්ධන. ගින්දරට ඔරොත්තු දෙන ගිණි ගලෙන් හදපු පෝරණුවෙ කට අර්ධ කවාකාරයි. ඒක වහල තියෙන්නෙ ගණකම වානේ හෝ යකඩ තහඩුවකින්. ඒ දොර ඇරියගමං එළියට ගහනව රස්නයක් ආය නෑ අපායෙ දොර ඇරිය වගෙ. මෙහෙ රස්නෙ කාලෙට අපි වැඩකරන්නෙ ඒසී ෆුල් දාල තව ටිකකුත් දාලනෙ. හවස වැඩ ඇරිල ගෙදර යන්ට එළියට බැස්ස ගමං දවල් දවස තිස්සෙ රත් වෙච්චි අවට පරිසරේ රස්නෙ කෙලින්ම මූණටම වදිනකොට මට පටගාල මතක් වෙන්නෙ ඒ කාලෙ කෑගල්ලෙ මිරන්ඩා පාන් පෝරණුවෙ දොර ඇරියම රස්නෙ මූණට ගහපු හැටි.

ඉතිං ආයම එමු හීරැස්සගලට. හන්දියෙ පාන් කඩෙන් පාන් ගේන්ට ගෙදර හිටියොත් අනිවාර්යයෙන්ම මම යනව. ඒ යන පාරෙ අතරමඟ තරමක විතර ගෙයක් කුලියට අරගෙන ඒකෙ නැවතිල හිටිය ඒ අහල පහලම තියෙන ප්‍රයිවට් ඉස්පිරිතාලෙක හෙදියො හැටියට පුහුණුවෙන කෙල්ලො හත් අට දෙනෙක්.

මම ඔතිං ඔතනින් යනකොට මුලින්ම එවුං එක්ක මනුස්සකමට හිනාවෙලා ඊට පස්සෙ ආයම ඒත් මනුස්සකමටම කතාබහ කරල ඊටත් පස්සෙ ඒත් මනුස්සකමට බොහොම හිතවත් වුනා. පස්සෙ ඒ ගැටිස්සියන්ට පාන්, බනිස්, කිඹුලො, ඥනකතා, සව් බොර, යනාදී නොයෙක් ඔය තේ බොන්ට ගන්න කෑම වර්ග එහෙමත් ගෙනත් දෙන්ට මටම බාරවුනා. ඒත් මනුස්සකමට. පස්සෙ ඔය මනුස්සකමට පටන් ගත්තු සමාජසේවා වැඩේ තව පොඩ්ඩෙංනං මහ ජංජාලයක් වෙලයි කෙලවරක් වෙන්නෙ. හරි ඒ ගැන සවිස්තරව කියමුකො ආයම ගුරුවරියක සමඟ මගේ ජීවිතය කථාංගයක් කියන දවසක. මොකක්ද? ගුරුවරියක සමඟ මගේ ජීවිතය තව කොටස් තියද ඇහුව? මොනවද ලතා මේ කතා? තව අඩුම ලංසුවෙන් කථාංග තියනව එක දෙසීයකට එහා පැත්තෙ. ඒ හින්ද ඒ ගැන හිතේ කහටක් එහෙම තියාගන්ට එපල්ල.

හරි එහෙමනම් මම අර කතන්දරේ පටන්ගද්දිම කිව්වෙ ජොස්තරල ගැන තව පොඩි කතාවක් කියන්ට තියනවය කියල. ඒක කියල අද කතන්දරේ ඉවරයක් කරල දාමු. එහෙම හොඳයි නේද? හරි එහෙම තමයි හොඳ.

ඔන්න අපෙ උන්දැට හිටපු ගමන් හැදෙනව බොහොම දරුණු ඉසේරදයක්. ඕක හැදුනම ඔලුව පුපුරන්ට වගෙ අමාරුයිලු. ඒ වෙලාවට ඉතිං යන්තමට සද්දයක් ඇහුනත් ඉවසන්ට බෑ. ඉතිං කරන්නෙ ඒකට දීල තියන බේත් බීල කාමරේ ජනෙල් රෙදි එහෙම පාතට දාල පුලුවන් තරම් අඳුරු කරගෙන නිදාගන්න එක. ඕඩිකොලෝන් පොඟවපු ලේන්සුවක් නළලට දාපුවහමත් ගුනයක් තියනව.

ඉතිං අපි ඔය හීරැස්සගල ඉන්න කාලෙ දවසක මම ගෙදර එද්දි මෙතුමීට ඔන්න බෝම තදටම අර අසනීපෙ හැදිල. දොර අරින්ට ආවෙත් බොහොම අමාරුවෙන්. ඒ දවස්වල මම වැඩකලේ මීපිළිමානෙ. නුවරඑළියෙ ඉඳල පට්ටිපොළ පාරෙ යන්ට ඕන කිලෝ මීටර් හයක් හතක් වගෙ.

නමසිය හැත්තෑ ගණංවල සිරිමාවෝ මැතිණිගෙ ආණ්ඩුවෙන් පටන්ගත්තනෙ වගා සංග්‍රාමයක්. "උදළු අරං වරෝ...නගුලු අරං වරෝ,.... වරෝ, වරෝ, වරෝ, .....රට නඟන්න වරෝ," උදේ පාන්දර පහට පහමාරට විතර ගුවන් විදුලි සංස්ථාවෙන් එහෙම තමයි අපිට කිව්වෙ. පිටරටින් අල ගෙන්වීමත් තහනම් කලා. මේ රටේම අල වවන්න රජයෙන් ආධාර එහෙමත් දුන්න. ඔය හොඳ තත්වයෙ බීජ අල එහෙම ආණ්ඩුවෙන් නොමිලේ බෙදල දුන්න. ගුණතිලක කියල මහත්තයෙක් තමයි මේ බීජ අල නිෂ්පාදන වැඩේ මූලිකත්වය ගත්තෙ. එයාට කිව්වෙ "අල මහත්තය" කියල. බොරලන්දෙ සහ මීපිළිමානෙ මේ බීජ අල නිෂ්පාදනයට විශේෂ ගොවිපොලවල් දෙකකුත් ආරම්භ කලා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන්.

මට මතක විදිහට වැලිමඩ අර්තාපල් සහ නුවරඑළිය අර්තාපල් කියල දෙවර්ගයක් ආවෙ මේ බීජ ගොවිපොළවල් දෙක හින්ද. ඉතිං පස්සෙ කාලෙක ආර්ථිකය විවෘත වෙලා අර්තාපල් සහ බීජ අර්තාපල් ඔක්කොම ආනයනය කරන්ට ගත්තු හින්ද මේ ගොවිපොළවල් වල් බිහිවෙලා ගියා. 

දෙදාස් දෙකේ, තුනේ වගෙ මේ අත ඇරල දාපු,  පාලුවට ඇරිල තිබ්බ මීපිළිමාන ගොවිපොළේ ජපානයට අපනයනය උදෙසා ඕකිඩ් සහ කානේෂන් මල් වගා කරන්ට සූදානම් වුනා පෞද්ගලික සමාගමක්. ඒකට හරිතාගාර හදන්ට කඳු කපල පොළව ලෙවල් කරන කොන්ත්‍රාත් එක අරගත්ත මගෙ යාළුවෙක්. කුකුළේ ගඟේ අර මතකනෙ " සුරක්ෂිතතා පූර්ව උපක්‍රම" එහෙම. කැනරි කුරුල්ලන් වෙනුවට අවිච්චියන් යොදා ගැනීම. ඒ කටයුතු අහවරයක් වෙලා ගෙදර ඇවිදිල්ල ඉන්න කාලෙ තමයි මට ඔය මීපිළිමාන වැඩේ සෙට් වුනේ.

මම ඔය මීපිළිමානෙ ගියහම දවස් තුන හතරකට සැරයක් වගෙ ගෙදර එන්නෙ. මේ එහෙම ආපු දවසක්.

ඉතිං එතුමී ඔලුවත් අල්ලගෙන බැරි මරගාතෙ ඇවිල්ල ඉස්සරහ දොර ඇරල ආපහු ගිහිල්ල නිදාගත්ත.

"මොකද අනේ? ආපහු අර ඔලුව කැක්කුම ආවද?" මම ඇඳේ ඉඳගෙන ඇගේ හිස පිරිමැද්ද.

"ඒකනෙ..බලන්ටකො...උදේ ඉඳල ටික ටික තිබ්බ. පස්සෙ හවස් වෙනකොට හොඳටම වැඩි වුනා."

"ඉතිං අර ඕකට ගන්න කහපාට පෙත්ත බිව්වෙ නැද්ද?"

"හරි වැඩේනෙ. ඒ බෙහෙත ඉවරයිනෙ. මට මතක තව ඉතුරුවෙලා තිබ්බ වගෙ. ඒත් දැං සෑහෙන දවසකින් ඔලුවෙ කැක්කුම හැදුනෙ නැති හින්ද බෙහෙත් තියනවද කියල බලන්ටත් අමතකම වෙලා ගියානෙ. අද බලනකොට එකක්වත් නෑ."

"ඒක තමයි කියන්නෙ...පොඩ්ඩක් හොයල බලන්ට එපාය බෙහෙත් ඉවරද කියල. ඔය අසනීපෙ හැදුනම තියන අමාරුව ඔයාමනෙ දන්නෙ. අනික හදිස්සියෙන් මම අද ආවෙ එහෙම නැත්තං. කෝල් එකක්වත් දෙන්ට තැනක් තියනවද?"

අපේ මීපිලිමානෙ සයිට් එකට ටෙලිෆෝන් නෑ. ඒ හරියට සිග්නලුත් නෑ හරියකට. අනික ඒ කාලෙ මගෙ ගාව මොබයිල් එකක් තිබ්බට ඇනෙක්ස් එකේ ටෙලිෆෝන් නැති හින්ද මම ඒක තියලයි යන්නෙ.

"මම දන්නවනෙ ඔයා එනවමයි කියල. එන්නෙ නැත්තං මට කියනවනෙ." ඇය වේදනාබරව මහත් අපහසුවෙන් සිනා සුනාය.

"හරි, හරි යමු බෙහෙත් ගන්ට. ඔහොම ඉඳල හරියන්නෙ නෑනෙ. අතන අර හන්දියෙ එළවළු කඩේට එහා පැත්තෙ ඩිස්පෙන්සරිය තවමත් ඇරල මම හිතන්නෙ. යමු මම විනාඩියෙන් වොෂ් එකක් දාල එන්නං ඔයා ඇඳගන්ට"

හීරැස්සගල හංදියෙම වගෙ ඒ කාලෙ තිබ්බ ඩිස්පෙන්සරි එකක්. ඒක රෑ නමය දහය වගෙ වෙනකලුත් ඇරල. අපි දෙන්න ඔන්න ඇඳ පැළඳගෙන ගෙදර දොර වහල දොරට බැස්ස. 

"පයිං යන්ට පුලුවන්ද? මම ගිහිල්ල ත්‍රී වීලර් එකක් ගේන්ටද?"

"නෑ. මෙතන තනියම ඉන්න වෙලාවෙ හෙමීට යමු. මහ දුරක් නෑනෙ. මඟදි එකක් හම්බ වුනොත් නඟිමු."

කොහොම හරි ඩිස්පෙන්සරියට යනකල්ම ත්‍රී වීලර් එකක් හම්බවුනේ නෑ. අපි දෙන්න හෙමිහිට පයින්ම ගියා. යනකොටත් එලියෙ පුටුවල ඉඳගෙන ඉන්නව දහයක් දොළහක් විතර. අතන හිටපු නර්ස්ට නම දීල අපි දෙන්න ඉඳ ගත්ත.

"මේ ….ඔය වගෙ දරුණු ඔළුවෙ කැක්කුම් වලට දෙන බෙහෙත් බොහොමයක ආෆ්ටර් ඉෆෙක්ට්ස් තියනව. ඒ හින්ද මතක ඇතුව දොස්තරගෙන් අහන්න එව්ව ගැන" මම ඈ දිහාට නැමිල කිව්ව

"මෙතන තව සෑහෙන සෙනඟක් ඉන්නවනෙ ඒයි. අනික ගොඩක් ඩොක්ටර්ස්ල කැමති නෑ එහෙම ප්‍රශ්ණ අහනවට. මේ ඩොක්ටරුත් එහෙමයි කියල මට කවුද මන්ද කිව්ව."

"මොකක්? ඒක මාර කතාවක්නෙ. අපි නිකං නෙවෙයිනෙ බෙහෙත් ගන්නෙ. අපි ඩොක්ටර් කියන ගාණ ගෙවනව. අනික අපි කවදාවත් කඩේකට එළවළුවක් ගන්ට ගිහිල්ල කේවෙල් කරනව වගෙ ඩොක්ටර් කෙනෙක් එක්ක කෙවෙල් කරන්නෙ නැහැනෙ. දොස්තර මහත්තයො ඔහෙගෙ ගාණ නම් වැඩියි. එහෙම නෙවෙයි බැරිද තව කීයක් හරි අඩුකරන්ට කියල. අපි එහෙම නොකරන්නෙ අපිට පුලුවන් ඉක්මනට ලෙඩේ සනීප කරගන්ට ඕන හින්ද සහ එහෙම කේවෙල් කරන එක ඩොක්ටර්ගෙ වෘත්තිය හෑල්ලු කීරිමක් කියල අපි හිතන හින්ද. එහෙනම් අන්න ඒ වගේම දොස්තරත් දැනගන්න ඕන අපි ගෙවන මුදලට හරියන සේවයක් අපිට ලබාදෙන්ට."

"ෂ්..ෂ්..ෂ්..කෑ ගහන්ට එපා අනේ..අර මිනිස්සුත් බලනව මේ පැත්ත." ඇය වටපිට බලල හෙමිහිට කිව්ව. 

ඇත්තත් නම් තමයි. මගෙ කටහඬ නොදැනිම ඩිංගක් විතර උච්ච ස්වරයකට ගිහිල්ල. දෙතුන් දෙනෙක්ම අපි දෙන්න දිහා බලල ආපහු අහක බලාගත්ත. 

"හරි ඔයාටනෙ ඕක අහන්ට බැරි. මම අහන්නම්කො ඩොක්ටර්ගෙන්. කොහොමත් මමත් ඔයා එක්ක ඇතුලට එනවනෙ."

"මේ එකක් කියන්නං. අනේ පිං සිද්ද වෙයි මෙතන කෑගහන්ට විතරක් එපා ඔන්න. අර අතන කොණේම ඉන්න ලේඩි ඉන්නෙ අපෙ ගෙදරට ගෙවල් දෙක තුනකට මෙහා. උදේ මම ඉස්කෝලෙ යනකොට හැමදාම වගෙ කතා කරනව. ඔයා මෙතන කෑගහල එකක් කලොත් එහෙම මම කොහොමද ඒ මනුස්සයගෙ මූන බලන්නෙ?"

"හරි, හරි, මම නිකං නෙවෙයිනෙ කෑගැහුවත් කෑගහන්නෙ. සාධාරණය වෙනුවෙන් නෙ."

"හරි, හරි, හරි මම දන්නවනෙ ඒක."

ඔහොම විනාඩි විස්සක් වගෙ ගියා. ඇතුලට ගිය කට්ටිය විනාඩි දෙකයි තුනයි එලියට එනව.

"විනාඩි දෙකකින් තුනකින් දෙයියෝ සාක්කි ලෙඩාට හරි බරි ගැහිල වාඩිවෙන්ටවත් පුලුවන්ද? මේ දොස්තරය නම් මාර බඩුවක් තමයි." මම අපෙ උන්දැට විතරක් ඇහෙන්ට කිව්ව. ඇය නෑහුනා වගෙ තොල් හපාගෙන අහක බලා ගත්ත. 

ඒ එක්කම මගෙ අතේ තිබ්බ ජංගම දුරකථනය නාද වෙන්ට ගත්ත. අතේ තියාගෙන හිටියෙ ඒක සාක්කුවෙ දාගන්ට බැරි තරම් මහ විසාලයි. ආනබාදුවක් විතර ඇති කොටින්ම. ගොඩනැඟිලි ඉදිකිරීම් ශිල්පය ඉගෙන ගත්තු අය දන්නව ඇති ආනබාදුව කියන්නෙ ගඩොලක් දික් අතට හරි මැදින් කඩා ගත්තම ඒකට කියන නම (ඉංග්‍රීසියෙන් Queen Closer)

"හලෝ... මචං මම මේ ලලිත්….." ලලිත් කියන්නෙ මම අර කලින් කිව්වෙ මීපිළිමානෙ කොන්ත්‍රාත් එක ගත්තු මගෙ යාලුව.

"හලෝ ලලිත්. මම මේ දැන් ඇවිල්ල පැයක් වගෙ බං…"

"හරි හරි සොරි කරදර කලානං. මචං මේ අර Zone A එකේ කොච්චර විතර දැනට පස් කපල ඉවරද?..."

"ඒකෙ නම් ලලිත්……."

මම නැඟිටල එළියට බැස්ස අවහිරයකින් තොරව කතා කරන්ට. කොහොම හරි කතාව ඇදිල ගියා. ලලිත් පහුවදා කොලඹ යනවදවස් තුන හතරකට. ඒ හින්ද මිනිහට පහුගිය ටිකේ කරපු වැඩ ගැන සම්පූර්ණ විස්තරයක් ඕන වුනා.

"ඔව්..ඔව්....ක්ලයන්ට්ගෙ සර්වේයර් ආව අද දවල්. යස් ජොයින්ට්ලි තමයි ලෙවල්ස් චෙක් කලේ. අවුලක් නෑ." ඒ අතර මම දැක්ක නර්ස් ඇවිල්ල අපෙ එතුමීට කතා කරනව. මම අතින් කිව්ව එතුමීට ඇතුලට යන්ට කියල. කියල මම ලලිත් එක්ක සාකච්ඡාව කරගෙන ගියා දිගටම.

ඔහොම විනාඩි ඔන්නම් හතරක් පහක් වගෙ මම කතාකරකර ඉන්ට ඇති ලලිත් එක්ක. මෙන්න එතුමී එළියටත් එනව. ඒ එක්කම අන්තිම විස්තරෙත් ලලිත්ට කියල මම ෆෝන් එක කට් කලා. මම ඇතුලට යන්ට ඉස්සර එතුමී ඔන්න දනි පනි ගාල එලියට ආව. 

"මොකද ඒයි ඔච්චර විජහට ලෙඩ බලල බෙහෙතුත් දුන්නද?"

"හරි හරි යමුකො යමුකො යන ගමං කතා කරමුකො." ඈ ඒ ටිකට මිදුලට බැහැලත් ඉවරයි. 

මම එතනම ඉඳල ඈට කතා කලා."දැං අර මම කිව්ව විදිහට ආෆ්ටර් ඉෆෙක්ට්ස් ගැන අහගත්තද? "

"හරි හරි එන්ටකො, එන්ටකො, මම යන ගමං කියන්නංකො විස්තරේ."

"යන ගමං නෙවෙයි දැං කියන්ටකො. මොකෝ යන ගමං ආය?" මගෙ හඬ ආයම උස්වෙලාද කොහෙද. ලෙඩෙක් එක්ක ආපි මනුස්සයෙක්ද කොහෙද එළියට කර පොවල බැලුව.

"හරි හරි යංකො කිව්වම අහල." ඇගේ ආයාචනාත්මක ස්වරය හමුවේ මට වෙන කලහැකි කිසිවක් තිබුනෙ නෑ. 

"හම්ම්ම්..යංකො එහෙනං.." මාත් එහෙම කියල එළියට බැස්සා.

"හරි දැං කියන්නකො ඩොක්ටර්ගෙන් අර මම කියපු විස්තර අහගත්තද?" ගේට්ටුවෙන් එළියට බැහැල මම ඇහුව. 

"නෑනෙ……" ඇය බිම බලාගෙන කිව්ව. 

මම එතනම නැවතුනා. " මොකක්? මම අච්චර කියලත් ඔයා ඒ ටික අහගත්තෙ නෑ එතකොට? "

"නෑ අනේ මම ඩොක්ට මේ... කියල ඒ ගැන අහන්ට යනකොටම ඒ මනුස්සය කරපු වැඩේ අර මේසෙ උඩ තියන බෙල් එක ගහල නර්ස්ට කතා කරල කිව්ව ඊලඟ ලෙඩා එවන්න කියල."

" ඉතිං? …."

"ඉතිං මම වෙන මොකක් කරන්නද? නැඟිටල ආව එන්ට."

"ඒක මාර වැඩක්නෙ. ඔයාට තිබ්බෙ කියන්ට ඩොක්ට පොඩ්ඩක් ඉන්න. මට මේ බෙහෙත් ගැන විස්තර ටිකක් දැනගන්ට තියනව කියල."

"එහෙම කියන එක හරි නෑනෙ ඒයි."

"මොකක්ද හරි නැත්තෙ? අම්මප මට හිතෙනව ආපහු ගිහිල්ල අහන්ට මිනිහගෙං මොකක්ද මේ කරන වැඩේ තේරුම කියල."

"අනේ එපා ඒයි...ඔන්න ඔහෙ යමු යන්ට. අනික දැං මගෙ ඔළුවෙ කැක්කුම ටිකක් අඩුයිත් වගෙ."

"ඈ? ඒ කොහොමද ඒ? බෙහෙත් බොන්නෙත් නැතුව? මම ඔය ඇහුවමයි බෙහෙත් බොන්නෙ නැතුව අතේ තියාගෙන ඉන්නකොටත් ලෙඩ හොඳ වෙනව කියල. අර මිරකල් ඩ්‍රග්ස් කියන්නෙ එව්ව වෙන්න ඇති එහෙනං..දිව්‍ය ඖෂධ...හෙහ්,හෙහ්," කේන්තිය පිටම උනත් මට හිනාත් ගියා. 

" අප්පේ ඇති යන්තම් හිනාවුනා. යමු යමු ඇත්තටම මට දැං ටිකක් අඩුයි වගෙ. ගිහිල්ල මේ බෙහෙත් ටික බිව්වම හොඳටම අඩුවෙයි."

"නිකං හිස් බඩට බෙහෙත් බොන්ට හොඳ නෑ. දැං රෑට මොකවත් උයලත් නෑ නේද? ත්‍රී වීලර් එහෙක ධනසිරියට ගිහිල්ල රෑට කන්ට මොකවත් අරගෙනම යමු. මොනවද හොඳ? "

"යමුකො මොනවද තියෙන්නෙ බලන්ට." ඇය මා සුරතේ එල්ලෙමින් පැවසුවාය. "හෙට වැඩද? "

"නෑ. මීපිළිමානෙ යන්නෙ නම් නෑ. ඒත් වෙන වැඩකුත් නම් තියනව නුවර. කමක් නෑ. ඒක අනිද්දට කරමු. මම හෙට ගෙදර ඉන්නං. ඔයත් හෙට නිවාඩුවක් දාන්ට."

"හා....දැන්නම් මගෙ අසනීපෙ හොඳටම හොඳයි වගෙ..හිහ්..හිහ්…"

"හෙට හවස එන්ට ඕන මේ දොස්තරය හම්බ වෙන්ට. මොකක්ද මේ කරන වැඩේ කියල පැහැදිලි කරගන්ට. "

"ඔන්න ඉතිං ආයෙත් මගෙ ඔලුව කැක්කුම වැඩි කරන්ටයි යන්නෙ…"

"නෑ..නෑ..නෑ..මම එන්නෙ නෑ..මම එන්නෙ නෑ… මම බොරුවට කිව්වෙ හෙහ්,හෙහ්, "

පසුදින අවදිවන විට ඇහේ හිස රුදාව බොහෝදුරට සමනයවී තිබිණි. එදින නිවාඩුවක් දමා විවේකයෙන් ගතකල ඉක්බිති සවස්වන විට ඇය පූර්ණ ප්‍රකෘති තත්වයට එළඹ සිටියාය. 

එහෙත් ඉන් පසුවද මම ඇයට පැහැදිලි කිරීමට උත්සාහ කලේ වෛද්‍යවරුන් ද යෙදෙනුයේ අති ගෞරවනීය සේවයක නොව හුදෙක් වෙළඳ ව්‍යාපාරයක බවයි. වෙළෙන්දෙකුගෙන් ඔහු ලබාදෙන සේවය පිළිබඳ ප්‍රශ්ණ කිරීමට ඔහුට ඒ වෙනුවෙන් යම් නිශ්චිත මිලක් ගෙවන පාරිභෝගිකයින් වන අපට ඇති අයිතියම කිසිදු වෙනසකින් තොරව වෛද්‍යවරයකුගෙන් සේවය ලබාගැනීමේදීද අපට භාවිතා කල හැක. ඒ සඳහා අපට පූර්ණ අයිතියක් ඇත.

එහෙත් අවාසනාව නම් බොහෝ රෝගීන් පෞද්ගලික චැනල් සේවාවේ යෙදෙනා වෛද්‍යවරුන් පවා ඉටුකරනුයේ මහඟු සහ ගෞරවනීය සේවයකි එබැවින් ඔවුන්ගෙන් කිසිවක් විමසීමට ඔවුනට කරනා අගෞරවයකි යන මූඪ අදහසෙහි එල්බගෙන සිටීමය. බහුතරයක් වෛද්‍යවරුන්ද කරනුයේ පොදුජනයා අතර මුල්බැසගත් මේ වැඩවසම් අදහස්වලට පොහොර දමා තම වාසිය උදෙසා ඒ තවදුරටත් වර්ධනය කරවීමය. එහෙත් පසුගිය කාල වකවානුවෙහි වෛද්‍යවරුන් පිළිබිඹු කල නිහීන නිර්ලජ්ජී ක්‍රියා පිළිවෙත හේතුකොටගෙන ඔවුන් විසින්ම ඔවුන් නංවාගෙන තිබෙන පාදස්ථල වලින් ඇද වැටීම මහත් සතුටට කරුණකි.

Saturday, September 24, 2016

ප්‍රජාතන්ත්‍රීය නොවූ රජයේ වෛද්‍ය නිලධාරී සංගමය සහ​ එහි දේශපාලනය - චාමර ලක්ෂාන් කුමාර



1926 වසරේ ඇරැඹුණු රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ දැකගත හැකි ඉපැරැණිතම වෘත්තිය සමිතියක් ලෙස සැලැකෙයි. වසර 90 ක සාඩම්බර ඉතිහාසයකට උරුමකම් කියන රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය තම භාවිතාව හා පැවැත්ම තුළ දේශපාලන මධ්‍යස්ථ භාවයක් සංවිධානයක් ලෙස චිරාත් කාලයක් ප්‍රදර්ශනය කළමුත් වසර හය හතක සිට එහි බරපතළ ගුණාත්මක කඩා වැටීමක් දක්නට ලැබේ. ර‍ටේ ඉහළම වෘත්තිකයන්ගෙන් සමන්විත සංවිධානයක් ලෙස එහි කඩා වැටීම සමාජයට කර ඇත්තේ අතිශය නිෂේධනාත්මක බලපෑමක් බව රහසක් නොවේ.

පොදු ව්‍යවහාරය තුළ වෘත්තිය සමිතියක් යනු තම වෘත්තියට අදාළ අයිතිවාසිකම් හා වගකීම් පිළිබඳ සාමූහිකව කටයුතු කරන්නා වූ සංවිධානාත්මක ගොනුවකි. සාමාන්‍ය රැකියාවකට වඩා එහා ගිය මනුෂ්‍ය ජීවිතය සමඟ තීරණාත්මක ලෙස බැඳී පවතින ගෞරවනීය උතුම් සේවාවක් ලෙස ඉහළ මට්ටමේ ගරු හැසිරීමක් වෛද්‍ය වෘත්තිකයන්ගෙන් සමාජය අපේක්ෂා කළ ද දිගින් දිගටම අපට අසන්නට හා ලියන්නට ලැබෙනුයේ එහි අනෙක් පැත්තය. එය කනගාටුදායක තත්ත්වයකි. රජයේ වෛද්‍ය නිලධාරි සංගමය ඇල්ලු අලුත්ම අඩව්ව වූයේ තම දූ දරුවන් සුපිරි පාසල්වලට ඇතුළත් කරගැනීම වෙනුවෙන් පසුගියදා රඟ දැක්වූ විගඩමය. සෑම වෛද්‍යවරයකුම තම වෘත්තිය දිවිය ආරම්භ කරත්දී සිදුකරන හිපොක්‍රටීස් දිවුරුම හරහා ඉහළ සදාචාර ප්‍රමිතීන් පවත්වාගෙන යමින් තමන්ට පැවරි ඇති යුතුකම් හා නිසි පැවැත්ම රැකගන්නා බවට සහතික වන මුත් ප්‍රායෝගික ලෝකය තුළ සැබැවින්ම දැකගත හැක්කේ ඊට සපුරා වෙනස් තත්ත්වයකි. පොදු සමාජ යහපත අභිවෘද්ධිය වෙනුවට ආත්මාර්ථකාමිත්වය හා ලාභ උපරිම කර ගැනීමේ අරමුණු පෙරදැරිව සාතිශය බහුතරයක් වෛද්‍යවරුන් සංවිධානගතව කටයුතු කිරීම තුළ පෙනෙනුයේ මේ වන විට දක්නට ලැබෙන සමාජය පිරිහීමෙන් හා කඩා වැටීමෙන් ගැලවීමට සාපේක්ෂව උගත් හා බුද්ධිමත් ප්‍රජාවක් ලෙස සැලකෙන ඔවුන්ට ද නොහැකි වී ඇති බවය. කෙසේ වෙතත් මේ දුෂ්ට ප්‍රවාහයට හසු නොවී තවමත් උඩුගම් බලා පිහිනන අතළොස්සක් වූ වෛද්‍ය වෘත්තිකයන් ද සමාජයේ සිටින බව ඔවුන්ට ගෞරවයක් ලෙස මෙහිදී ලියා තබන්නට කැමැත්තෙමු. නමුත් අවාසනාවන්ත කාරණය වනුයේ එම සුළුතරය අධිනිශ්චය කරමින් බහුතරයේ අතාර්කිකභාවය හැම විටම කැපී පෙනීමය. එහි නූතන ප්‍රකාශකයා වී ඇත්තේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයය.

වෛද්‍යවරුන්ට සමාජය සම්බන්ධයෙන් ඇති වගකීම ඉහළ වනුයේ, වෛද්‍ය විද්‍යාලයෙන් පිටවන සෑම දොස්තරවරයකු වෙනුවෙන්ම, මේ රටේ බදු ගෙවන ජනතාව, සෑහෙන පිරිවැයක් දරන බැවිනි. නිදහස් අධ්‍යාපනය සඳහා වැය කරනුයේ මේ රටේ ජනතාවගේ බදු මුදල්ය. නි‍ෙවසක් නොමැති පුද්ගලයන්ට නිවාස තනා දීමට වගා කටයුතු සඳහා වාරිමාර්ග ක්‍රම ඇති කිරීමට ආදි සෙසු අවශ්‍යතා සඳහා ඇති මුදල් නිදහස් අධ්‍යාපනයට යොදවනු ලබන්නේ නිශ්චිත අරමුණු පෙරදැරිවය. ඒ සියල්ල අනාගතය වෙනුවෙන් කරන ආයෝජනය. වෛද්‍යවරුන්ගේ සේවය සමාජයට අත්‍යවශ්‍ය එකක් බැවින්, එය කිසිවෙකුට ප්‍රශ්න කළ නොහැකි තරම්ය. නමුත් ගැටලුව වී ඇත්තේ, එම ආයෝජනයට සරිලන තරම් ප්‍රතිලාභ පෙරළා සමාජයට නොලැබීමය. තමන්ව පෝෂණය කළ සමාජයට, ප්‍රතිචාර දැක්වීම වෙනුවට වෛද්‍යවරුන් ලෙස වෙනම සංවිධානගත වී තම පෞද්ගලික අභිලාෂයන්, සිහින ඉටුකර ගැනීමට ඔවුන් වැඩි උනන්දුවක් දක්වන බවක් පෙනෙන්නට ඇත. තීරු බදු රහිත වාහන බලපත්‍ර, වැටුප් වැඩිවීම්, තම දරුවන්ව සුපිරි පාසල්වලට ඇතුළත් කරගැනීම වැනි අතිශය පෞද්ගලික වූ ඉල්ලීම් සමාජගත කරමින්සුපිරි පුරවැසියන් කොටසක් ලෙස පෙනී සිටීමට ඔවුන් තම කාලයෙන් වැඩි පංගුවක් මිඩංගු කරමින් සිටින බව පෙනෙන්නට තිබේ. ඒ නිසාම වෛද්‍යවරුන් කෙරෙහි පැවති සමාජීය පිළිගැනීම ද මේ වන විට ක්‍රමයෙන් ගිලිහෙමින් පවතී.

මුලදී සඳහන් කළාක් මෙන් එම තත්ත්වය ඇතිවීම විෂයෙහි, ප්‍රධාන වශයෙන්ම හේතු වූයේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මෑත කාලීන ක්‍රියාකාරිත්වය යැයි පැවසුවහොත් එහි දොසක් නොමැති තරම්ය. පසුගිය දශකයක කාලය තුළ මේ රටේ ජනතාව පිළිකුල් කළ අප්‍රසන්න වෘත්තිය සමිතිය වූයේ ගැමුණු විජේරත්නගේ බස් සංගමයයි. නමුත් මේ වන විට අනුරුද්ධ පාදෙණිය, විශේෂඥ වෛද්‍යවරයාගේ නායකත්වයෙන් ක්‍රියාත්මක රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, ගැමුණුලා පහුකර බොහෝ දුර ගමන් කර ඇත. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ක්‍රියාකාරිත්වය එහි ඉහළ නිලධාරීන්ගේ කෙරුවාවල් පිළිබඳව මේ දිනවල වැඩි වශයෙන් කියවෙන බැවින් ඒ ගැන ලිවීමට තීන්ත නාස්ති කිරීමට අප සූදානම් නැත. මේ සටහන තුළ අපේ ප්‍රස්තුතය වනුයේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තුළ ඇති ප්‍රජාතන්ත්‍රවාදය නොඑසේනම් එහි “දේශපාලනය” පිළිබඳ සාකච්ඡා කෙරුමටය. මහින්ද රාජපක්ෂ යුගයේ, රටේ ප්‍රජාතන්ත්‍රවාදය, යහපැවැත්ම, පිළිබඳ බරපතළ ප්‍රශ්න රැසක් නිර්මාණය වී තිබියදී “නිර්වින්දිත” සංවිධානයක් ලෙස පෙනි සිටීම් කළ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, මෑතක සිට “එට්කා” විරෝධය වැනි සටන්පාඨ උත්කර්ෂයට නංවමින් මහා ප්‍රජාතන්ත්‍රීය සංවිධානයක් ලෙස පෙනී සිටීමට උත්සාහ කරන මුත් එය සැබැවින්ම අව්‍යාජ වූ හැසිරිමක් ද යන්න සොයා බැලීම වැදගත්ය.

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ප්‍රජාතාන්ත්‍රීය භාවය ප්‍රශ්න කරන බරපතළම කාරණය වනුයේ එයට නිලධාරීන් තෝරා ගන්නා ආකාරයයි. වාර්ෂිකව නිලධාරීන් තෝරා ගැනීමට නිලවරණ පවත්වන මුත් දැනට ඇති මධ්‍යගත නිලවරණ ක්‍රමය පවතින තුරු බලය හොබවන කණ්ඩායම ඉන් ඉවත් කිරීම අතිශය දුෂ්කර කටයුත්තකි. වෛද්‍ය නිලධාරී සංගමයේ සාමාජිකත්වය විසිදහසකට වඩා වැඩිමුත් සාමාන්‍යයෙන් නිලවරණයකදී ඡන්දය ප්‍රකාශ කරනුයේ ඉන් 15%ක් තරම් පංගුවකි. වෛද්‍ය නිලධාරී සංගමයේ මවු ශාඛාවේදී නිලවරණය පැවැත්වෙන බැවින් කොළඹින් පරිබාහිරව සිටින සාමාජිකයන්ව නිතැතින්ම ඉන් බැහැර කිරීමක් සිදු වේ. ඒ මූලිකවම ඒ සඳහා කාලය සහ මුදල් වැය වන බැවිනි. එනිසාම මුළු සාමාජිකත්වයෙන් 80%කට වඩා වැඩි පිරිසක් නිලවරණය වර්ජනය කිරිම පසුගිය කාලය පුරාම දැකගත හැකි වූ පොදු තත්ත්වයකි. නිලවරණයකදී ධුරයේ සිටින කණ්ඩායමට වාසි ලැබෙන ආකාරය මඳක් සොයා බැලුම වැදගත්ය. නිලවරණය මෙහෙයවීමේ බලය හිමිව ඇත්තේ රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ මැතිවරණ කමිටුවටය. ස්වාධීන බවක් පිටතට පෙන්වුවද එහි සිටිනුයේ ධුරය දරන කණ්ඩායමට පක්ෂපාති පුද්ගලයන්ය. පසුගිය අවස්ථා කිහිපයකදී එය නියෝජනය කළ විශේෂඥ වෛද්‍ය මංගල ගුණතිලක ඊට එක් නිදර්ශනයක් පමණි. වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය සමඟින් “විශේෂඥ” වූ ගුණතිලක තම මිත්‍රයා තරග කරත්දි මැතිවරණ කමිටුවේ සිටීමම යනු ලබැඳියාවන් අතර ගැටුමක් නිර්මාණය කරනු ලබන්නකි. වත්මන් පාලනයට සම්බන්ධ බොහෝ දෙනා දශකයකට වැඩි කාලයක් තිස්සේ රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ විධායක සභාව, මහා සභාව නියෝජනය කරන අතර නිලවරණය කැඳවීමෙන් පසුව වුවද මවු සංගමය සතු වත්කම් ඔවුන් භාවිත කරන ආකාරය පසුගිය අවස්ථා කිහිපයකදීම දැකගත හැකි විය. නිලවරණ අවස්ථාවකදී බලයේ සිටිමින් ඊට තරග කරන කණ්ඩායමට වෛද්‍ය නිලධාරී සංගමය සතු දුරකථන ෆැක්ස් ආදි සෙසු පහසුකම් භාවිත කිරීමට ඉඩ ලැබීම සෙසු අපේක්ෂකයන්ට කෙරෙන පැහැදිලි අසාධාරණයකි.

නිලවරණයේදී ඡන්දය ප්‍රකාශ කරන්නන්ගෙන් අති බහුතරය අත්දැකීම් අඩු කනිෂ්ඨ වෛද්‍යවරුන් වීම විශේෂත්වයකි. ක්ෂේත්‍රයේ වසර ගණනාවක අත්දැකීම් සහිත පළපුරුදු වෛද්‍ය වෘත්තිකයන්ව මැතිවරණ ක්‍රියාවලියට දායක කර ගැනීම වෙනුවෙන් කාර්යක්ෂම යන්ත්‍රණයක් නොමැති වීම පැහැදිලි ගැටලුවකි. බලයේ සිටින කණ්ඩායම ලෙස නිලවරණයට එක්වීම තුළ කනිෂ්ඨ වෛද්‍යවරුන්ගේ මොළ සේදීමේ ක්‍රියාවලිය පහසුවෙන් සිදු කළ හැකි අතර ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරුන්ගේ නිහඬතාව එය තවත් පහසු කරනු ලබයි. මේ තත්ත්වය නිසාම ඡන්ද ක්‍රමය විමධ්‍යගත කළ යුතු බවට අවස්ථා කිහිපයකදී ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරුන් වෙතින් ඉල්ලීම් ඉදිරිපත් වූ නමුත් තවමත් එහි වෙනසක් සිදුව නොමැත. දැන් සිදු වනුයේ සමස්ත සාමාජිකත්වයේ 80%කට වැඩි පිරිසක් බැහැර කරවමින් නිලවරණය පැවැත්වීමය. මුළු සාමාජිකත්වයෙන් 20% කගේ කැමැත්ත අකැමැත්ත මත නිලධාරීන් තෝරා ගැනීමක් මේ වන විට සිදු වේ. නිලවරණය පැවැත්වීම සඳහා මැතිවරණ කමිටුවක් පත්කිරීම සිදු වනුයේ වාර්ෂික සමුළුවේදීය. සාමාන්‍යයෙන් ඊට සහභාගි වනුයේ දෙතුන් සියයක පිරිසකි. ඒ තත්ත්වය තුළ අපහසුවකින් තොරව මැතිවරණ කමිටුව සඳහා තම හිතවතුන්ව පත්කර ගැනීමේ හැකියාව සිටින පරිපාලනයට හිමි වේ.

තැපැල් ඡන්ද ක්‍රමයක් ද නිලවරණයේදී භාවිත කරනමුත් එය සැබැවින්ම අන්ත දූෂිත ක්‍රියාවලියකි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලවරණය වඩාත් දූෂිත එකක් කරනුයේ තැපැල් ඡන්ද ක්‍රියාවලියයි. තැපැල් ඡන්ද පත්‍රිකා ප්‍රවාහනය සඳහා ලියාපදිංචි තැපෑල වෙනුවට මිල අධික පෞද්ගලික ලිපි ප්‍රවාහන ආයතනයන්හි සේවාව රජයේ වෛද්‍ය නිලධාරී සංගමය ලබාගන්නා අතර තමන්ට හිතවත් කලාපීය ශාඛා වෙත ඒවා යැවූ පසු බොහෝ විට සිදු වනුයේ ඔවුන්ගේ අවශ්‍යතාව පරිදි ඒවා තොග පිටින් පුරවා නැවත මවු සංගමයට එවීමය. ප්‍රතිඵල පිළිබඳ අවදානම් සහගත තත්ත්වයන් නිර්මාණය වුවහොත් ප්‍රයෝජනයට ගැන්මට එසේ සිදු කරනු ලබයි. තැපැල් ඡන්ද ඉල්ලීම් සිදු කරද්දී ප්‍රතිඵලය පිළිබඳව තක්සේරුවක් දැන ගැනීමේ හැකියාව තමන්ට හිතවත් ඡන්ද නිලධාරීන් හරහා කල් තියා දැනගැනීමේ හැකියාව ලැබෙන අතර එම “අනාගත අවදානම” සැලකිල්ලට ගනිමින් වැඩිදුර ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම සිදු කරනු ලබයි. තැපැල් ඡන්ද පත්‍රිකා මවු සංගමයට එවීම බලයේ සිටින කණ්ඩායමට වාසියක් වනුයේ, “මහගෙදර” පාලනය ඇත්තේ ඔවුනට බැවිනි. එය ඡන්දයක අනිවාර්යයෙන්ම පැවැතිය යුතු රහස්‍යභාවය පිළිබඳ ප්‍රශ්න මතු කරයි. මහා දවාලේ සිදුවන මෙම ඡන්ද මංකොල්ලය ගැන බහුතර සාමාජිකයන් හොඳින් තොරතුරු දන්නා නමුත් ඒ පිළිබඳව කතා කිරීමට ඔවුන් මැලිකමක් දක්වයි. ඒ එසේ සිදුකර අනවශ්‍ය කරදරවල පැටලීමට මැලිකමක් දක්වන බැවිනි.

මෙම සියලු තත්ත්වයන් තුළ රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ නිලවරණ ක්‍රියාවලිය විමධ්‍යගත කිරීම වැදගත්ය. නමුත් ඒ පිළිබඳව කිසිදු අදහසක් උනන්දුවක්, ප්‍රජාතන්ත්‍රවාදය, අයුක්තිය, අසාධාරණය පිළිබඳව නිතර කෑමොර දෙන පාලකයන්ට නොමැත. එසේ සිදුකර තම පැවැත්ම කෙරෙහි බලපාන්නා වූ අනවශ්‍ය ප්‍රශ්න නිර්මාණය කර ගැනීමට ඔවුනට අවශ්‍ය නැත. දූෂණයට මඟ පාදන මෙම නිලවරණ ක්‍රමය සිදු කිරීම සම්බන්ධයෙන් වැදගත් අදහස් කිහිපයක් පසුගිය කාලයේ ඉදිරිපත් විණි. විද්‍යුත් ඡන්ද ක්‍රමයක් හඳුන්වා දීම, සෑම දිස්ත්‍රික්කයකම ඡන්ද මධ්‍යස්ථානය පිහිටුවීම, වැනි යෝජනා හරහා මුදල් හා කාලය ඉතිරි කර ගනිමින් කාර්යක්ෂම හා ප්‍රතිඵලදායි අවසාන තීන්දුවක් ලබා ගත හැකි බවට ප්‍රබල මත සමාජගත වුවද ඒ සියල්ල බීරි අලින්ට වීණා වැයීමට වඩා වැඩි දෙයක් නොවුණි. මැතිවරණ ක්‍රියාවලිය තුළ නිල බලයෙන් හිමිව ඇති මෙම වාසිදායක තත්ත්වයට අමතරව මඩ ගැසීම කොන් කිරීම ආදි පහත් ක්‍රියා ද ප්‍රතිවිරුද්ධ අපේක්ෂකයන් අරභයා නිරතුරුවම සිදු වෙයි. තම දරුවාට හොඳ පාසලක් ලබා ගැනීම, ස්ථාන මාරු සිදුකර ගැනීම, දැනට සේවය සිදු කරන ස්ථානයේ තව දුරටත් රැඳී සිටීම, විනය පරීක්ෂණවලින් ගැලවීම යන මේ සියල්ල සඳහා මාවත වැටි රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ පරිපාලනය හරහා බැවින් එය ද නිලවරණයකදී මානසික අල්ලසක් ලෙස යොදා ගැනෙයි.

රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ පරිපාලනයට තේරී පත්වීම පාඩුවක් නොවන්නේ ඒ සමඟ අතිරේක වරදාන වරප්‍රසාද රැසක් ගැටගැසී ඇති බැවිනි. 2014 වසරේදී වෛද්‍ය සංගම් මාෆියාවට එරෙහිව කටයුතු කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ එවකට සිටි කීර්තිමත් වෛද්‍යවරුන් කණ්ඩායමක් එක පෙරමුණකට පැමිණියේය. විශේෂඥ වෛද්‍ය රංජනී ගමගේ, විශේෂඥ වෛද්‍ය ජයන්ත බලවර්ධන, විශේෂඥ වෛද්‍ය වජිර සේනාරත්න, විශේෂඥ ශල්‍ය වෛද්‍ය සුනිල් පෙරේරා, විශේෂඥ වෛද්‍ය එස්. එච්. කොළඹගේ, වෛද්‍ය උපුල් ගුණසේකර ඇතුළු ප්‍රමුඛ පෙළේ වෛද්‍ය වෘත්තිකයන් කණ්ඩායමක් ඊට ඇතුළත් විය. ඔවුන් අනාවරණය කළ තොරතුරු අනුව රජයේ වෛද්‍ය නිලධාරී සංගම් පරිපාලනය කෙතරම් දූෂිත එකක් ද යන්න මැනැවින් පෙනී ගියේය. 2013/2014 මූල්‍ය වර්ෂයේ සංගමයේ වාර්ෂික ආදායම රුපියල් ලක්ෂ දෙසීය පනහක් වෙද්දි එහි වියදම ඊට වඩා ලක්ෂ හතළිහකින් වැඩි වී තිබු අතර ඒ අතරින් වැඩිම මුදලක් විය පැහැදම් කර තිබුණේ සාමාජිකයන්ගේ සුබසාධන කටයුතු වෙනුවෙන් හෝ පර්යේෂණ කටයුතු සඳහා නොවේ. ලක්ෂ එකසිය හැත්තෑවක මුදලක් වැය කර තිබුණේ, ග්‍රහලෝකාගාරය ඉදිරිපිට පිහිටි විද්වත් වෘත්තිකයන්ගේ සංගම් ශාලාවේ ඇති මවු සංගම් කාර්යාලයේ විය පැහැදම් වෙනුවෙනි. එහි සේවය කරන අතළොස්සක් වූ සේවකයන්ගේ අර්ථ සාධක අරමුදල් වෙනුවෙන් රුපියල් තුන්ලක්ෂ පනස් දාහක මුදලක් වැය කරද්දී ඔවුන්ට වැටුප් ගෙවීම සඳහා රුපියල් ලක්ෂ පනහකට වඩා මුදලක් වැය කර තිබිණි. සංගමයේ ඉහළ වගකීම් හොබවන ඇතැමුන්ගේ නම් ද එම වැටුප් ලේඛනයේ විය. සාමාජිකයන් වාර්ෂිකව ගෙවන සාමාජික මුදලින් නඩත්තු වන ඔවුන් හා මුට්ටිකාසිකාරයන් ලෙස අතීතයේ හැඳින්වූ වෘත්තිය සමිති නායකයන් අතර වෙනසක් නොමැති තරම්ය. අප ඉහත සඳහන් කළ මුදල් වර්ෂයට අදාළව සංගම් කාර්යාලයේ දුරකථන හා අන්තර්ජාල වියදම් වශයෙන් රුපියල් දහතුන් ලක්ෂ හැත්තෑ එක් දහසක්; ගමන් වියදම් හා ප්‍රවාහන වියදම් සඳහා රුපියල් විසිදෙලක්ෂ හතළිස් නවදහස් හතළිස් එකක්, වාර්ෂික මහා සභා රැස්වීම්, කමිටු රැස්වීම්, ජනමාධ්‍ය සාකච්ඡා හා නිලවරණය වෙනුවෙන් රුපියල් විසිහත් ලක්ෂ විසිනව දහස් හත්සිය අසුඅටක් ශාඛා සමිති බැහැදැකීමේ සංචාර වෙනුවෙන් රුපියල් හාරලක්ෂ දහසය දහස් හත්සිය හැත්තෑ හතක මුදලක් වියපැහැදම් කර තිබිණි. ඒ සා ප්‍රබල වි‍වේචන සමාජගත වුවද, කීර්තිමත් වෛද්‍යවරුන් රැසක් සංගමයේ ක්‍රියාකාරිත්වය එළිපිට විවේචනය කළ ද මධ්‍යගතව පවතින නිලවරණ ක්‍රමය තුළ වැඩි අපහසුවකින් තොරව අනුරුද්ධ පාදෙණිය ඇතුළු කණ්ඩායම තම ජයග්‍රහණය තහවුරු කර ගත්තේය.

2000 වසරේ සීමාවාසික පුහුණුවේ සිටියදී වෛද්‍ය සංගම් පරිපාලනයට පැමිණි අනුරුද්ධ පාදෙණිය විවිධ භූමිකා හොබවමින් රජයේ වෛද්‍ය සංගම් පරිපාලනය තුළ තවමත් නොදැවී සිටියි. ඔහු මේ වන විට තෙවතාවක් මෙහි සභාපති ධුරයට පත්ව තිබේ. ඉදිරියේ වුවද පවතින තත්ත්වය තුළ ඔහුව වෙනස් කිරීමට හැකිවෙතැයි සුළු හෝ අනුමානයක් තබාගත නොහැකි තරම්ය. වරක් ඇමැති එස්. බී. දිසානායක පාදෙණියගේ කැරැට්ටුව ප්‍රසිද්ධියේ හෙළි කළේ ඔහු හොරට විභාග සමත් වූ බව කියමිනි. ඒ අවස්ථාවේදී එස්. බී. ට එරෙහිව නඩු පැවරිය යුතු බවට වෛද්‍ය සංගම් විධායක සභාව යෝජනා කළ මුත් පාදෙණිය එසේ කළේ නැත. ඒ වෙනුවට අතරමැදි සාමදානයකට හෙතෙම ගමන් කළේය. අනතුරුව රාජපක්ෂ පාලනය සමඟ අවබෝධාත්මක ගනුදෙනුවකට ගිය පාදෙණිය පසුගිය ජනාධිපතිවරණයේදී පවා වෘත්තිය සංගම් නායකයකු ලෙස පෙනී සිටියේ කවුරුන් වෙනුවෙන් ද යන්න රහසක් නොවේ. අරලියගහ මන්දිරයේදී පැවැති දන්සල සඳහා තම සාමාජිකයන් නිරතුරුවම කැඳවාගෙන ගිය පාදෙණිය ඒ සමයෙහි වෛද්‍යවරුන්ගේ දරුවන්ව පාසල්වලට ඇතුළත් කිරීමේ ලිපි ප්‍රදානය කිරීමේ උත්සව පැවැත්වූයේ ද රටේ ජනාධිපතිවරයාගේ සහභාගිත්වයෙනි. ඒ තරමටම දෙදෙනා අතර පැවැති සහසම්බන්ධය දියුණු එකක් විය.

වෛද්‍යවරුන් වීම නිසා දරුවන් පාසල්වලට ඇතුළත් කිරීමට විශේෂ අවස්ථාවක් හිමි නොවන මුත් ඔවුන් විසින් ඉටුකරන සේවයට ගරු කරමින් වසර හතරකට වරක් සිදුවන ස්ථාන මාරු නිසා ස්ථිර පදිංචිය පිළිබඳව මතු වන ගැටලු සැලකිල්ලට ගනිමින් විශේෂ සහන ලබාදීමක් එහිදී සිදු වේ. නමුත් එහිදී පවා ඉහළම ප්‍රමුඛතාව හිමි වනුයේ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ පරිපාලනය හොබවන වෛද්‍යවරුන්ගේ දරුවන්ටය. එතැනදීත් සිදු වනුයේ අවභාවිතාවකි.

දැන් මෙම ත්‍රස්තවාදයේ සැබෑ නිරුවත සමාජය ඉදිරියේ අනාවරණය වෙමින් පවතී. සැබැවින්ම වෘත්තිය සමිතියක් කටයුතු කළ යුත්තේ තමන් නියෝජනය කරන ප්‍රජාවට බලපාන්නා වූ ගැටලු ප්‍රශ්න විසඳීම වෙනුවෙනි. නමුත් ඒ වෙනුවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වත්මන් පරිපාලනය නම් දිගින් දිගටම කරනුයේ තම පෞද්ගලික දුෂ්ට අරමුණු පෙරදැරිව ක්‍රියාත්මක වීමය. එබැවින් මේ කැත “දේශපාලනය” ජනතාව තේරුම් ගැනීම වැදගත්ය. රටක් ලෙස අප මෙතරම් ශෝචනීය ඉරණමකට ගොදුරුවී ඇත්තේ තමන්ගෙන් ඉටු විය යුතු යුතුකම් හා වගකීම් සමාජ වගකීම් දරන්නන් නිසියාකාරව ඉටු නොකිරීම නිසාය. අන්‍යයන්ගේ ක්‍රියාකාරිත්වය විවේචනය කිරීමට සමගාමීව තමන් වෙත පැවැරෙන්නා වූ වගකීම් හා කාර්යභාරයට සාධාරණයක් ඉටු කරන විට නිසැකවම මේ සමාජය මීට වඩා යහපත් එකක් වනු ඇත. වෛද්‍යවරුනි, මේ ඔබේ හෘදය සාක්ෂිය අවදි කිරීමට කාලයයි.

Tuesday, September 20, 2016

443. ජොස්තර වර්ජන නාඩගම - අතීතාවර්ජනයක්…..


ආන්ඩුවෙ ජොස්තර සංගොමේ ජොස්තරල ඊයෙ පෙරෙයිද නටපු නාඩගම ගැන හැමෝම කතා කරනවනෙ. මනුස්සකමක් ගෑවිලාවත් තියෙනවනම් කරන්ට පුලුවන් දෙයක්ද ඔය පිශාචයො කලේ කියල හිතන කොටත් ඇත්තටම පුදුම කළකිරීමක් ඇතිවෙන්නෙ. 

තමන්ගෙ දරුවන්ට ජනප්‍රිය පාසල් ඕනමයි කියල අධ්‍යාපන අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරෙක රෑ පදිංචි වුනා. ඊට පස්සෙ එක ජොස්තර නෝනා කෙනෙකුට ජබර කලන්තෙ හැදුනයි කියල අර ජොස්තර සංගමේ ලේකම්ද කවුද කිය ඇර සොයිසා මහත්තය ඇම්බියුලන්ස් එකක් අරගෙන ආව. ඇවිල්ල ගේට්ටුවට පයිං එහෙම ගහල මහ කොටි නැටුමක් නැටුව. ඊට පස්සෙ කොහොම හරි ඇම්බියුලන්ස් එක අතුලට අරගෙන කට්ටියම ඒකෙ ගෙනාපු කෑම බීම එහෙම කාල බීල ෂපාන් එකේ පුටු උඩ පත බෑවිල එලිවෙනකල් නිදාගත්ත.

ඔය මේ අපේ රටේ ජොස්තර ගොල්ලට විතරයි ඔය මාන්නකාරකොම ඉහට ගහල තියෙන්නෙ. තව තියෙන්නෙ ඔය නානාප්පරකාර රස්සා. කෝ එව්ව කොරන මිනිස්සුත් ඔය වගෙ ජෝගි නටනවය? නෑ..දෙය්යනේ කියල තමංගෙ රස්සාව කරගෙන බැංකුවෙන් ණයක් තුරහක් කරගෙන දරු මල්ලන්ටත් කොහොමිං කොහොමිං හරි උගන්නගෙන අර ගත්තු ලෝන්ලි ප්ලැනට් එහෙමත් ගෙවාගෙන ( ලෝන්ලි ප්ලැනට් කියන්නෙ ලෝන් කියන එකට. මම එහෙම තමයි.  නියම වචනෙ වෙනුවට ඊට සම්බන්ධ වෙන වචනයක් හරි ඒ හා රයිමිං වචනයක් හරි පාවිච්චි කරන්ට මම බොහොම කැමතියි. බිල් කියන එකට බිල් ක්ලින්ටන්. "මේ බිල් ක්ලින්ටන් ආවද?" අපෙ උන්දැගෙන් මම ඒ අහන්නෙ ලයිට් බිල ආවද කියල...තව මතක් උනහම කියන්නං ) දැහැමෙන් සෙමෙන් ඉන්නව.

දැන් මේ ජෝස්තරල කියන එවුංට විතරක් එහෙම බෑ. උං හිතං ඉන්නෙ එවුං අමුතුම ජාතියක්ය කියල. අර ඇල්කෙමියා කියල තිබ්බ වගෙ අලි පුකෙං ආපු සත්ව කොට්ටාසයක්ය කියල. රටේ අනික් හැම මනුස්සයටම පොදු විදිහට පිලිගත්තු සම්ප්‍රදායට එවුන්ට වැඩ කරන්ට බෑ. එවුං කියන කියනදේ ආණ්ඩුව කරන්ට ඕන.නැත්තං බලාගනියව් අපි වර්ජනයේ......

මම අර දුර බැහැර කැලේ මැද්දෙ වැඩ කරන කාලෙ මගෙ අම්ම අසනීප වුනා. හෘදයේ සංකූලතාවයක්. "ඇන්ජයිනා" කියන්නෙ අන්න ඒ රෝගී තත්වය. සති දෙකක් විතර නුවර ඉස්පිරිතාලෙ ඉඳල ටිකට් කැපුවා. ඉනික්බිති මුලින්ම සතියෙන් සතිය නුවර මහ රෝහලේ හෘද රෝග සායනයෙන් බෙහෙත් ගන්න වුනා. අවුරුද්දකට වගෙ පස්සෙ ඒක මාසෙකට වරක් වුනා. 

ඉතිං අම්මට තනියම බෙහෙත් ගන්න යන්න බෑ. ගෙදර වෙන යන්න කවුරුවත් ඇත්තෙත් නෑ. ක්ලිනික් එක තිබ්බෙ බදාදා දවසට. මම ඉතිං එහෙම ක්ලිනික් යන දවසට කරන්නෙ කොහොම හරි මගෙ රාජකාරි වැඩ ටික එකලාසයක් කරල කාට කාට හෝ පංගාර්තු කරල අඟහරුවාද හවස ගෙදර එනව.

අම්මට කාලයක් තිස්සෙ සන්ධි ප්‍රදාහය නොහොත් ආතරයිටිස් තියෙන හින්ද පයිං ගමනාගමනය අමාරුයි. කොහොමත් නුවර ඉස්පිරිතාලෙට ස්ටේෂන් එක ගාව බැහැල අර මහ ගිරි දඹේ නගින්ට එපාය. බඩේ අමාරුවට බෙහෙත් ගන්ට ගිය මනුස්සය අන්තිමේ බඩේ අමාරුව පැත්තකිං තියල දණිස් අමාරුවට බෙහෙත් අරගෙනයි එන්නෙ. 

අපෙ මාම කෙනෙකුට ඔය වැඩේ වුනා. බඩේ අමාරුවට බෙහෙත් ගන්ටෙයි කියල ගිහිල්ල තුන් පාරක්ම දණිස් කැක්කුමට බේත් අරගෙන ආපහු ආව. අන්තිමට කොහොමිං කොහොමිං හරි බඩේ අමාරුව නිකම්ම හොඳ වුනා. ඉතිං අම්ම එක්ක යන්ට ත්‍රී වීලර් එකක් ඕන. මම ඔන්න උදේම පිළිමතලාවෙ ගිහිල්ල ත්‍රී වීලර් එහෙකුත් කතා කරගෙන ඇවිල්ල අම්මවත් නග්ගගෙන නුවර ඉස්පිරිතාලෙට යනව.

සැර දාගෙන කන්ද නැඟල ත්‍රී වීලරේ ඉස්පිරිතාල පරිශ්‍රයට ඇතුල් වෙනව.

හෑ? මේ මොකෝ අද කවදාවත් නැතුව සෙනඟ ඔක්කොම මිදුලෙ? වෙනද මේ වෙලාවට මිදුලෙ සෙනඟ ඇත්තෙම නෑ එහාට මෙහාට යන ඇටෙන්ඩන්ල මිසීල තුන් හතර දෙනෙක් ඇරුනු කොට. රෝගීන් ඔක්කොම ගිහිල්ල නොම්මර අරගෙන සායන වල බංකු හෝ පුටුවල ඉඳගෙන. ඒත් අද මොකද මේ? 

"මොකද අම්මෙ මේ සෙනඟ තාම එළියෙ?" මම ත්‍රී වීලර් එකෙන් ඔලුව එළියට දාල සෙනඟ දිහා බලල අම්මගෙන් ඇහුව. 

"දෙයියනේ අද ස්ට්‍රයික්ද දන්නෙ නෑ …" අම්ම කම්මුලේ අතක් තියාගත්ත. 

"හරි යංකො කෝකටත් හාට් ක්ලිනික් එක ගාවට."

එතනිං එහාට ත්‍රී වීලර් එකේ යන්ට බෑ. සෙනඟ ඊස් මීස් ගාල. අම්මවත් අතිං අල්ලාන බස්සගෙන වාරු කරගෙන හෙමිහිට ගියා හෘද රෝග සායනයෙ මහ දොර ගාවට. එතනත් මී වදේ වගෙ සෙනඟ. ඔක්කොමල එක වෙලාවෙ කතාව අත පය දික් කරමින්. මොනව කියනවද කියල ඒ හැටි තේරුමක් නෑ. මූදෙ ගෝසාව වගේ හරියට. අම්මව පඩි පෙල පාමුල නවත්තල මම පඩි හත අට නැඟල දොරට කිට්ටු වුනා. කෙලල තියෙන්නෙ. අම්ම කිව්ව එක හරි. 

"වෛද්‍යවරුන්ගේ වැඩ වර්ජනය හේතු කොටගෙන අද දින සියලුම සායන නොපැවැත්වෙන බව කාර්ණිකව දනුම් දෙනු ලැබේ. මීට රෝහල් කළමණාකාරිත්වය."

නිල්පාට ප්ලැටිග්නම් එකකින් ඔය වාක්‍යය ලියපු A 3 සයිස් කොළයක් දොරේ වීදුරුවෙ අලවල. කාර්නිකව..හුහ්..කාර්නිකව..මුංගෙ අම්මලාට... මම පඩි හත අට බැහැල ආය අම්ම ගාවට ගියා. 

"මොකද පුතා?"

"අම්ම කිව්ව හරි. අද දොස්තරල ස්ට්‍රයික් කරල."

"මොකක්ද හේතුව? "

"හේතුවක් නං දන්නෙ නෑ ස්ට්‍රයික් කියල විතරක් ක්ලිනික් එකේ දොරේ නෝටිස් එකක් ගහල තිබ්බෙ.. කාර්නිකව දැනුම් දෙමු කියලයි තිබ්බෙ" 

"පුතා මෙතන ඉන්ටකො. මම සමරසිංහ ආන්ටි හම්බ වෙලා විස්තරේ දැනගෙන එන්නම්"

අපෙ අම්ම හෙදියක්. ආතරයිටිස් හින්දම ඈ සේවය කරන්ට තව වසර දහයකටත් වඩා තියෙද්දි කලින්ම විශ්‍රාම ගියා. අම්ම එක්ක එකට වැඩ කරපු හෙදියො බොහොම දෙනෙක් ඉන්නව රැකියාවෙ ඉහලට ගිහිල්ල හෙදි සොහොයුරියො නැත්නම් හෙදි පාලිකාවො විදිහට වැඩ කරනව. සමරසිංහ ආන්ටිත් එහෙමයි. දැන් ඇය හෙදි පාලිකාවක්.

"හරි  අතන කැන්ටිම ඉස්සරහ අපි ආපු ත්‍රී වීලර් එක තියනව. මම ඒකට වෙලා ඉන්නම්. අම්ම තනියම එන්ට එපා. ආන්ටි හම්බවෙල මෙතන කොරිඩෝ එකට එන්න. මම එන්නම් එක්ක යන්ට."

විනාඩි පහළවකින් වගෙ අම්ම ආපහු ආව.

"මොකෝ අම්මෙ වෙලා තියෙන්නෙ?" මම ඇහුව.

"බලන්ටකො මේ මිනිස්සු... මම කිව්වෙ මේ ඩොක්ටර්ස්ල පුදුම ජාතියක්නෙ. ඩොක්ටර්ස්ල නයිට් කරනකොට විවේක ගන්ට රෙස්ට් රූම් තියනව හැම ඉස්පිරිතාලෙම. මෙහෙ වෝඩ් ටෙන් එකේ කියලයි සමරෙ කිව්වෙ මට මතක විදිහට. ඒකෙ රෙස්ට් රූම් එක මහ විසාලයිලු. ඉන්න ඩොක්ටර්ස්ල දෙන්නට ඒක හොඳටම ලොකු වැඩි හින්ද කෙං කොටසක් නර්සස්ලට වෙන්කර දුන්නලු. ඒකට විරුද්දව තමයි ඔය ස්ට්‍රයික් කරල තියෙන්නෙ. අපෙ අම්මේ..ඒ අතිං අපේ කාලෙ හිටපු ඩොක්ටර්ස්ල රත්තරංනෙ." අම්ම ඇස් දෙකත් ලොකු කරගෙන කිව්ව.

"හරි දැං මොකද කරන්නෙ?..." මම ඇහුව.

"මෙහෙම කරමු. සති දෙකකට බෙහෙත් ෆාමසියකින් අරගෙන ගෙදර යමු. ස්ට්‍රයික් ඉවර උනහම ආයම ක්ලිනික් එමු."

"හරි එහෙම කරමු. ෂෙහ් අපරාදෙ මගෙ නිවාඩුවත් අපතේ ගියා."

"පුතාට මෙහෙම්මම වැඩට ගියෑකි නේද? මම ත්‍රී වීලර් එකේ ගෙදර යන්නං. ඒකෙ ප්‍රශ්නයක් නෑ."

"බෑනෙ මම කාමරේ යතුර ගෙනාවෙත් නෑනෙ. ක්ලිනික් ඉවරවෙලා ආපහු ගෙදර යනකොට දොළහ එක වගෙ වෙන හින්ද මම හිතුවෙ හෙට වැඩට යන්ට. හරි බෙහෙතුත් අරගෙන ගෙදර යමුකො ඔක්කෝටම ඉස්සරවෙල. ඒකරල හවස වහින්ට වගෙ නැත්තං හවසම ආපහු යන්නං. නැත්තං කලින් හිතාගෙන හිටපු විදිහට හෙට පාන්දර තමයි."

අපරාදෙ කියන්න බෑ. ඒ වගේම ඇස් වහක් කටවහක් එහෙම නෑ. අපේ කුශාග්‍ර බුද්දිමත් අති උතුම් ජොස්තර ගොල්ලො ස්ට්‍රයික් කරන්නෙ ඔය වගෙ ඉතාම සංවේදී ඒ වගේම වෘත්තීය වැදගත් කමකින් යුත් කාරණා වලට තමයි. මේ ඒ වගෙ ජොස්තරල ස්ට්‍රයික් කරපු කාරණා කිහිපයක්. 

1. එක පාරක් ලැබ් ටෙක්නීෂියන්ලට දෙන්න ගිය සුදු කබාය ජොස්තර කබායට සමානයි කියල ඒක ගලවනකල් අපි වැඩ එන්නෙ නෑ කියල ස්ට්‍රයික් කලා.

2. හෙදි පාලිකාවන්ගෙ වැටුප එක මට්ටමකදි ජොස්තර වැටුපට වඩා වැඩිවෙනවයි කියල ඒක අඩුකරනකල් අපි වැඩ කරන්නෙ නෑ කියල ස්ට්‍රයික් කලා.

3. ඊගාවට ලෙඩෙකුට කැතීටරයක් දාන්න ඕන ජොස්තරද නර්ස්ද කියල විසඳගන්න බැරුව ස්ට්‍රයික් කොලා. 

4. ඊගාවට ජොස්තරලට පැමිණීම / පිටවීම අස්සං කරන්ට පොතක් දාන්ට හදනවයි කියන ආරංචියට එක්කො ස්ට්‍රයික් කලා නැත්තං ස්ට්‍රයික් කරනවයි කියල තර්ජනය කරල ඒ වැඩේ නවත්ත ගත්ත. 

මේ කාරණා මට මතක තියන විදිහට ලිව්වෙ. තව කාරණා බොහොමයක් තියනව. මේ වෙලාවෙ මතක් වෙන්නෙ නෑ.

ඔය ජොස්තරලගෙ මහන්තත්තෙ හින්ද රටේ පොදු මහ ජනයා අසීරුවට අපහසුතාවයට පත්වෙන වෙලාවක් එවුංගෙ මේ ඉවක් බවක් නැතුව ස්ට්‍රයික් කිරිල්ල. මේ ඊයෙ පෙරේද ඩියුටි ෆ්‍රී වාහන බලපත්‍ර ක්‍රමය නවත්වන්ට හැදුවම ඒක ඕනය කියල දවස් ගානක් ස්ට්‍රයික් කරල කොහොම හරි ඒක ආපහු ගත්ත.

අර ජේ.ආර්. කියන මනුස්සය මේ රටට කරපු තවමත් අපිට ආපහු හරව ගන්ට බැරුව ඉන්න එක විනාසයක් තමයි ඒ. මුලින්ම කලේ මන්ත්‍රීලට ඩියුටි ෆ්‍රී වාහන පර්මිට් දෙන එක. ඊට පස්සෙ ප්‍රේමදාස ලොක්ක රජයේ සේවකයන්ටත් ඒ අල්ලස, දොල පිදේනිය දුන්න. මේ රටේ ජාතික ධනස්කන්ධය බිලියන ගණනිං අවුරුදු පතා විනාස වෙනව ඔය ඩියුටි ෆ්‍රී කෙලිය හින්ද. ඒක අර කොහොමත් විනාස කරන්ට බැරි පිළිලයක්, පිළිකාවක් වගේ වෙලයි දැන් තියෙන්නෙ.

ජොස්තරල ගැන තව කතාවක් තියනව. දැනටමත් මේ පෝස්ට් එක ටිකක් විතර දිග වැඩිවුනා. අනික් කතාව පස්සෙ හොඳේ…..

Friday, September 16, 2016

442. ඒ ගී සොළොසට අයත් නොවූවද තවමත් මා හද බැඳි ගී - 5 - පිපී පිපී රේණු නටන.....

"හරි හරි දැන් කියන්නකො අර මම මොකක්ද කතාවක් තියන පොතක් කියවල තියනවද කියල ඇහුවෙ? මොකක්ද ඉතින් ඒ කතාව?" ඇය නැටවෙන දෑසින් යුතුව විමසුවාය.

"ගෑණු ළමයි නාඳුනන පිරිමි ළමයි එක්ක බොහොම කුළුපඟව කතාකරන්නෙ ඒ පිරිමි ළමයා කෙරෙහි යම් අනුකූලතාවක් වගෙ එකක් හිත ඇතුලෙ තියන හින්දයිකියල මම කොහෙ හරි පොතක් කියවල තියනව. ඒත් දැන් මතක් නෑ කොහෙද එහෙම තිබ්බෙ කියල"

මම ඇය දෙස ක්ෂණික බැල්මක් හෙලා කවුළුවෙන් ඉවත බලා ගතිමි. ඇය මදෙස ඇසිපිය නොහෙලා බලාසිටිනු ඇස් කොණින් එදෙස නෙත් යොමුකල මට පෙනිණ. එලෙස නිහඬව ගෙවී ගිය මිනිත්තු භාගයකට පමණ පසු ඇය කථා කලාය. ඇය සිනහව වළකා ගැන්මට තැත්කරනු ඇගේ කටහඬින් මට හැඟිණ. 

"එහෙම කතාවක් තියෙන පොතක් නම් මම කියවල නෑ. ඒත් මට මෙහෙම දෙයක් නම් ....." ඇය වහා කථාව නවත්වා නැඟී සිටියේ හදිසියේම ඇය ඉදිරියේ ප්‍රාදුර්භුතවූ මැදිවියේ කාන්තාවකගේ සුරතින් අල්ලාගත්තීය."ඇයි අම්මා මොකෝ මේ කලබලෙන්? මොකද වුනේ?"

කිසිසේත්ම අපේක්ෂානොකල මේ සිද්ධියෙන් වික්ෂිප්තවූ මට කල හැකි වූයේ දෑස් හයා එදෙස බලාසිටීම පමණකි.

හදිසියේ ප්‍රාදුර්භූතවූ මැදිවියේ කාන්තාව අමතා ඇය එසේ නොඇමතුවේ වුවද ඒ ඇගේ මව බවට කිසිදු සැකයක් නොවීය. මැදිවියේ කාන්තාවගේ මුහුණුවර යුවතියගේ මුහුණුවරම වූයේය. අදින් දශක දෙකක පමණ කාලයක් වයස්ගතවූ ඉක්බිති ඇයද මෙලෙසම වනු ඇතිබව හැඟී මගේ දෙතොලට සිහින් සිනහවක් නැඟිනි. 

"ඒ ටොයිලට් එකේ වතුර බිංදුවක් නෑ. ඒ මදිවට ගන්දස්සාරෙ ඉවසන්ට බෑ." කෝපාවිෂ්ඨ ස්වරයෙන් පැවසූ ඇගේ මෑණියෝ අසුන් ගත්තා නොව අසුන මත දඩස් යන අනුකරණයෙන් කඩා හැලුණෝය.

"හරි හරි අම්මෙ ඉතිං කෑගහන්ට එපා…" තම මෑණියන් අසලින්ම අසුන් ගත් ඕ හිස අඩක් හරවා මදෙස බලා යන්තමට සිනාසී යලි මව වෙත හැරුනාය.

"නෑ මම කියන්නෙ දැන් රේල්වේ සර්විස් එක අන්තිමයි.ඒ දවස්වල ඔහොම තිබ්බෙ නෑ. මට මතකයි ඔයා පොඩි කාලෙ අපි වොරන්ට්ස් අරගෙන ට්‍රින්කෝ යනව……." 

"හරි හරි මම කිව්වනෙ දැන් කෑගහන්න එපා කියල." ඇය හිස මෑණියන් දෙසට පහත්කොට කුමක් හෝ පහත් ස්වරයෙන් පැවසුවාය. ඒ කුමක් වුවද ඇගේ මව වහා හිස ඔසවා මදෙස බලා සන්සුන්වීමට වෑයම් කළාය.

"මෙතන නිකම් තේරුමක් නැතුව කෑගහන්ට එපා අම්මෙ. අර අතන ජනේලෙ අයිනෙ ඉන්න හොඳ වැදගත් පෙනුම තියෙන මහත්මයා ඉන්නව නේද? එයාව තමයි මම කවද හරි බඳින්නෙ. ඒ හින්ද අම්ම මෙතන නිකම් කලබල කරන්න එපා..තේරුණාද?" ඇය පැවසූයේ එවැන්නක් විය නොහැකිද?

පිපී පිපී රේණු නටන වනේ මලක හැප්පිලා
වරෙන් වරෙන් හුළං පොදක් අපේ ඇඟෙත් ගෑවිලා
කාගෙත් කාගෙත් පින් පල දීලා
කාටත් කාටත් දෙයියෝ දීලා
පුංචි පහේ ඉල්ලමකුත් පෑදිලා

අසව් අසව් කොයි කාටත් රස පණිවුඩයක් ගියා
රෑණ ගිරව් කුඹුරු උඩින් මල් මල් ගමනක් ගියා

පිපී පිපී රේණු නටන වනේ මලක හැප්පිලා
වරෙන් වරෙන් සුළං පොදක් අපේ ඇගෙත් ගෑවිලා

දෙන දෙවියෝ ගෙට ගෙනැවිත් දෙනවා
අපටත් දවසක හඳ පායනවා
එදා අපිත් මල් පැණියෙන් නානවා

අපේ ගමේ මල් පිපිලා මී මැස්සන් එක්වෙලා
වරකා ගහේ මී බැඳලා පැණි වරකා මෝරලා

කොහේ ගියත් වලාකුළක් නිල් අහසේ පාවෙලා
හෙමින් හෙමින් ලැගුම් ගනී කඳු මුදුනක දැවටිලා

පද රචනය - ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ
ගායනය - නාරද දිසාසේකර
සංගීතය - ඩබ්.ඩී.අමරදේව
රන්මුතුදූව චිත්‍රපටයෙන්


Wednesday, September 14, 2016

441. ඒ ගී සොළොසට අයත් නොවූවද තවමත් මා හද බැඳි ගී - 4 - ස්වර්ණ විමානෙට එහා ලෝකයෙන්.....

දුම්රියේ වේගය සීඝ්‍රයෙන් අඩාල වනු දෑස් පියාගත්වනම ආසනයට හේත්තුවී හුන් මට දැනිනි. එසේ වේගය අඩුවීම හැඳින්වීමට යෙදෙන පාරිභාෂික වදන මතකයට නඟාගැන්මට මම තදින් දෑස් පියාගත්වනම උත්සාහ දැරුවෙමි.

තිඹිරිගස්යායේ අශෝකාරාමයේ හෝ ගංගොඩවිල සුභද්‍රාරාමයේ පැවති භෞතික විද්‍යා උපකාරක පංති වලදී සේනාරත්න මහතා බොහෝ වැරවෑයමෙන් අපට ඉගැන්වීමට දැඩි උත්සාහයක් ගත් විෂය කරුණු මෙතරම් විගස මතකයෙන් ගිලිහී යෑම උත්තම ගණයේ ගුරුවරයකුවූ ඒ මහතාටද මහත් අගෞරවයකි. එබැවින් කෙසේ හෝ එම වදන මතකයට නඟාගත යුතුය.

ඒ උදෙසා අහස පොළව ගැටලීමට මෙන් වෙහෙසගෙන දශකයකට පමණ පෙරාතුව ඒ මතකය යලි කැඳවනු වස් අපමණ උත්සාහ කරන කල්හි මට හදිසියේම සිහිවූයේ ඉදිරි අසුනේ හිඳිනා ඒ මනස්කාන්ත යුවතියයි. ඇය ඒ වදන දැනසිටිය යුතුය. මසිතෙහි ඒ පිළිබඳව කිසිදු සැකයෙක් නොවීය.

මම දෑස් විවරකොට ඇය ඇමතීමි. "මේ ..මිස්...."

එවර මගේ හඬ කිසිදු අවුලක් නොමැතිව පිටවිය. ඇය හිස ඔසවා මදෙස බැලුවාය. 

"මිස් ඒ ලෙවල් වලට ෆිසික්ස් කලාද? "

ඇය මොහොතක් දෙනෙත් විදහා මා දෙස බලා සිටියාය. පසුගිය දින කිහිපය තුල පත්‍රවල පළවූ එමෙන්ම ගුවන් විදුලියේ සහ රූපවාහිනියේ ප්‍රචාරය වූ ප්‍රවෘත්ති සිරස්තල අතර "මානසික රෝහලෙන් රෝගියකු පැනයයි" වැන්නක් වූයේදැයි ඇය සුපරීක්ෂාකාරීව යලි සිතා බලනු විය යුතුය.

"නෑ මිස් කලබල වෙන්ට දෙයක් නෑ. මම බොහොම සරල ප්‍රශ්නයක්නෙ ඇහුවෙ. ඔයාට දෙන්ට තියන උත්තරෙත් ඒ වගේම ඉතාම සරලයි. එක්කො ෆිසික්ස් කලා නැත්නම් නෑ."

ඇය පියකරු ලෙස සිනාසුණාය. "දැන් ඔයා මම ඒ ලෙවල් කලාය කියල තීරණය කලේ කොහොමද?"

"හප්පටසිරි ඒකත් ඇත්ත තමයි" මම වික්ෂිප්තව ඇය දෙස බලා සිටියෙමි.

"හිහ්..හිහ්..මම ඒ විහිලුවට ඇහුවෙ. ඒක ගණං ගන්න එපා..ඔව් මම ෆිසික්ස් කලා ඒ ලෙවල් වලට. ඉතිං දැං මොකක්ද ඔයාට තව දුරටත් දැනගන්ට ඕන? මට ෆිසික්ස් වලට ලකුණු කීයද කියලද?"

"නෑ..නෑ..එහෙම මොකවත් නෙවෙයි. චලිතය පාඩම මතකද?"

"ඔව්..ඉතිං? "

"චලිතයෙ අර ප්‍රවේගය වැඩිවීමේ සීඝ්‍රතාවයට කියන්නෙ ත්වරණයනෙ. මට දැනගන්න ඕන ප්‍රවේගය අඩුවෙන සීඝ්‍රතාවයට කියන්නෙ මොකක්ද කියල. මට මේ වෙලාවෙ ඒ වචනෙ මතක් වෙන්නෙ නෑ"

"මන්දනය.."

"අන්න හරි..අන්න හරි...බොහොම ස්තූතියි..බොහොම ස්තූතියි."

"ඉතිං මොකද මේ හදිස්සියෙ මන්දනය ගැන මතක් වුනේ? දැන් නිදාගෙන නේද හිටියෙ?"

"ආ..නෑ..නෑ..මේ..නිදාගෙන නෙවෙයි මම මේ ටිකක් ඇස්පියාගෙන හිටියෙ.."

"ආ...ඇත්තද? මම නම් හිතුවෙ නිදාගෙන ඉන්නවය කියල…"

ඇය කිසිදු සබකෝළයකින් තොරව මා හා දොඩමළුවන්නීය. යුවතියක නාඳුනන තරුණයකු හා සමඟ එසේ චකිතයකින් තොරව කථා කරනුයේ නම් ඒ ඇගේ සිතෙහිද ඔහු කෙරෙහි යම් ඇල්මක් ආකර්ශණයක් ඇතිබවට නොවරදින ලකුණක් බව කොහේ හෝ පොතක කියවූ බවට මට මතක්විය. මොකක්ද ඒ පොත? ෂෙහ්..මතක් වෙන්නෙම නෑනෙ. මේ අම්මණ්ඩි නම් ෂුවර් ඇන්ඩ් ෂොට් දන්නව ඇති. 

"මේ මෙහෙම කතාවක් මම කියවපු පොතක තිබ්බ. ඒත් මට දැන් මතක නෑ එහෙම තිබ්බෙ මොන පොතේද කියල.. ඔයා එහෙම පොතක් කියවල තියද?"

"එහෙම පොතක් මම කියවල තියනවද කියල කියන්ට කලින් ඔයා ඔය කියන්නෙ මොකක් ගැනද කියල කියන්ට එපාය. මොකෝ මට අර මොකක්ද අනුන් හිතන දේ දැනගැනීමේ ඥාණය තියනවය?"

"අත්ථ කිලමථානු යෝගය"

"මොකක්?"

"නෑ මම මේ කිව්වෙ අර අනුන් හිතනදේ දැනගැනීමේ ඥාණය…. ඒකට කියන්නෙ අත්ථ කිලමථානු යෝගය කියලනෙ"

"හිහ් හිහ් බොරු නම් කියන්න එපා. අත්ථ කිලමථානු යෝගය නම් නෙවෙයි. ඒක මට ෂුවර්. "

"හරි හරි මම විහිලුවක් කලේ. අත්ථ කිලමථානු යෝගය කියන්නෙ සිරුරට දුක්දීමෙන් සත්‍යය අවබෝධකරගත හැකිය කියන මතවාදය. අර ඔයා කලින් කියපු අනුන් හිතනදේ දැන ගැනීමේ හැකියාවට කියන්නෙ පරචිත්ත විජාණන ඥාණය කියල"

"හරි හරි දැන් කියන්නකො අර මම මොකක්ද කතාවක් තියන පොතක් කියවල තියනවද කියල ඇහුවෙ? මොකක්ද ඉතින් ඒ කතාව?" ඇය නැටවෙන දෑසින් යුතුව විමසුවාය.

වේලාව උදෑසන එකොළහ පසුවී ඇත. දුම්රිය කවුළුවෙන් ඔබ්බෙහි පෙනෙන අහසෙහි එකද වළාකුලක් හෝ නොමැත. නිල් අහස යට මැවී ඇත්තේ ස්වර්ණ විමානයකි.

ස්වර්ණ විමානෙට එහා ලෝකයෙන්
ඔරුවට ගොඩ වී මා එනවා 
ස්වර්ණ වර්ණ රන් එළිය දකින්නට 
රළ රැළි මත නැගිලා එනවා 

රැල්ලේ පා වී වැල්ලේ බිහිවන 
සංගීතෙන් අප හමුවෙනවා 
සැන්දෑ යාමේ පෙම් රස කලතා
සාගර ජල කද නැළවෙනවා 

මුතු බෙලි කටු කිරි කවඩි පුරාගෙන 
ඔරුවට ගොඩ වී මා එනවා 
මගේ අනාගත පැතුම් විමානෙට 
සෙනෙහස පොදි බැඳ ගෙන එනවා

ගේය පද : මඩවල එස් රත්නායක
සංගීතය සහ ගායනය: පණ්ඩිත් අමරදේව
චිත්‍රපටිය: ගැටවරයෝ (1964)


ඒ එක්කම මේ වීඩියෝ ක්ලිප් එකත් බලලම ඉන්නකො. පිස්සු හැදෙයි මැස්සො මැරෙයි....හෙහ්,හෙහ්


LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...