Thursday, June 27, 2013

197. කිරුළ සහ සෙනෙහස ……8









" කුවණ්ණා කිමද සොඳුර?...ඔබට මෙපමණ සිත් තැවුල් වීමට කිමද කාරණය? " 

විජය විමසූයේ ඇගේ දෙඋර මත දෑත් තබාගත්වනමය. 

" ඔබට විඩාව අධික බව පෙනේ. කුමරුණි..මඳක් විවේක ගත මැනව. මම ඔබට පානයට යමක් ගෙන එන්නෙමි. " 

විජයගේ මුහුණ දෙස නොබලාම සෙමෙන් ඔහුගේ දෑත ඉවත්කල කුවණ්ණා ආපසු හැරී මුළුතැන්ගෙය දෙසට පිය මැන්නාය. 

ප්‍රධාන නිදන මැදිරිය ඔබ්බෙහිවූ පටු බරාඳයට පිවිසිය හැකිවූයේ ලා රත් පැහැ කබොක් ගල් පදම්කල මැට්ටෙන් බැඳ නිමකල අර්ධ වෘත්තාකාර ආරුක්කු දෙකකිනි. ලංකාපුරයෙහි ගෘහනිර්මාණ ශිල්පයෙහි මෙතෙක් දක්නට නොලැබුණු ආරුක්කුව යන සංකල්පය වංග ඉඳිකිරීම් ශිල්පයෙහි ආභාෂයෙන් ලැබූවකි. 

ආරුක්කුව එපිට වූ දිගු අසුනෙහි වූ කුලිච්චම ( Cushion ) ඉවත්කොට එහි හිඳගත් විජය දෙදණ මත වැලමිට තබා දෑතින්ම හිස මිරිකා ගත්තේය. සිත්තැවුලට කාරණා කිමද යනුවෙන් කුවණ්ණාගෙන් විමසූවද ඇගේ සිත්තැවුලට හේතුවූ කරුණ කිමෙක්ද යන්න ඔහු අතැඹුලක්සේ දැන සිටියේය. 

කුවණ්ණා රැගෙන පැමිණි සිසිල් පානය කුමක්දැයි ඇසීමට හෝ නොවෙහෙසුණු විජය ඒ ඇගේ සුරතින් ගෙන බිඳින් බිඳ තොලගාන්නට වූයේ ද පහතට නැඹුරු කොටගත් හිසිනි. 

ඔහු අසල අසුන්ගත්වනම කුවණ්ණාද බරාඳය සීමාවූ කෙටි බිත්තියෙන් ඔබ්බෙහි වූ සේපාලිකා පඳුරෙහි දැවටෙනා කණමැදිරියන් දෙස බලා උන්නාය.ලංකාපුරයෙහි වසර මුලුල්ලේ බල පැවැත්වූ කර්කශ දේශගුණය හමුවෙහි සුපුෂ්පිත උද්‍යානයක් පවත්වාගෙන යාම දැඩි දුෂ්කර මෙන්ම වෙහෙසකරසුළු කර්තව්‍යයක් වූ නමුදු සිතෙහි උපන් යම් අදහසක් ඉෂ්ඨ කර ගැනීමෙහිලා ඉතා අනලස් එමෙන්ම අධිෂ්ඨානශීලී කුවණ්ණාවන් හට ඒ කිසිසේත්ම අපහසු කාර්යයක් නොවීය.ඇගේ දෑතින්ම නිතොර සත්කාර ලැබූ පුෂ්පධාරක තුරු ලතා මෙන්ම දවස මුළුල්ලේ ගත සිත දෙකම දවනා නිරුදක කතරට වටනා දැඩි හිරු රැසින් සෙවණ දෙනු පිණිස රෝපණය කරනු ලැබූ හරිත වර්ණ වනස්පතීහුද ඇයට තම කෘතඥතාව පළකරනු සේ නිතොර සුගන්ධවත් පුෂ්පයන්ගෙන් මෙන්ම හරිත වර්ණ තුරු පතින්ද සජ්ජිත වූවාහුය. 

අංගනය පුරා රටාවකට අනුව සිටුවා තිබූ කොහොඹ තුරු පත් සොළවමින් හමා ආ මද පවන ඒ හා සමඟ සේපාලිකා මල් සුවඳ ද දසත පැතිරවීය.අඩ සඳක් ඈත අහස් කොණෙහි එල්ලී තිබියද ඉන් ප්‍රාසාද අංගනයට ගෙන ආයේ ඉතා මද ආලෝකයක් සේම පාළු මූසල ස්වභාවයකි. 

From Google Images

එක්වරම හිස ඔසවා බැලූ කුවණ්ණා නැඟී සිටියාය. 

" බිහිදොර දෙපස විලක්කු මෙතෙක් දල්වා නැත්තේ මක් නිසාද?...මේ එකදු සේවිකාවකුත් සොයා බලා අණ කළොත් මිස කිසිදු කාර්‍යයක් නොකිරීම තරමට මා කෝප ගන්වන්නක් වෙනත් නැත. " 

එසේ පැවසූ ඕ ඉක්මන් ගමනින් ප්‍රාසාදය පසුපස දෙසට නික්ම ගියාය. 

විජය මදින් මද කැටිගැසෙන අඳුර මධ්‍යයේ දෑත් ළයමත පටලාගත්වනම දසතින් නැඟෙන රැහැයි හඬට සවන් දෙමින් බරාඳයේ අසුන්ගෙන හුන්නේය. 

දැල්වෙන කැකුණතෙල් විලක්කු දෙකක් දෑතින් රැගත් සේවිකාවක මැදුරේ පසු අංගනය දෙසින් නික්ම බිහිදොර දෙසට පියමනිනු විජයගේ දෑසට ලක්වනු හා සමඟම කුවණ්ණා පැමිණ යළි ඔහු අසළ අසුන් ගත්තීය. 

සේවිකාව විලක්කු බිහිදොර දෙපස වූ විලක්කු ධාරක මත රැඳවූවද ඉන් නික්මුණු ආලෝකය අඳුර දුරුකලේ අංගනයේ අර්ධයකට ආසන්න ප්‍රමාණයක් පමණි. 

" විලක්කු වලින් නික්මෙනා ආලෝකය ප්‍රමාණවත් නොමැති බවක් පෙනේ. මේ දෙසට ඉන් ලැබෙනා ආලෝකය කිසිසේත්ම නොසෑහේ නොවේද? " 

දැල්වෙනා විලක්කු දෙස මද වේලාවක් බලාසිටි ඔහු පැවසීය. 

" මගේ හදවත ද එසේමයි කුමරුණි..යළි කිසිදු දිනෙක ඒ ආලෝකයෙන් පිරී යනු නොමැතිබව මට දැඩිව හැඟේ.." 

කුවණ්ණා සිහින් හඬින් පැවසූයේ තම ඇකය මත වූ එකිනෙක පටලාගත් දෑත් දෙස බලාගත්වනමය. 

වහා හිස හරවා ඇය දෙස මොහොතක් බලා සිටි ඔහු දිගු සුසුමකට ඉක්බිති ඇගේ සුරත පිරිමදිමින් හඬ අවදිකලේය. 

" එසේ නොපවසනු මැන සොඳුර..ඔබේ ඒ වදන් මා හද මහත් සොවකින් පුරවාලයි.මෙපමණ ඔබ කෙරෙහි සෙනෙහස දක්වන මා පිළිබඳවද ඔබගේ විශ්වාසය බිඳ වැටී ගොස්ද? අහෝ එසේ නොකරන්න. මගෙ සෙනෙහස කිසිදිනක වියැකී නොයනු ඇත. " 

කුවණ්ණාගේ දෑස කඳුලින් පිරීගියේය. ඔහු වෙතට ලංව ඔහුගේ උරහිසට තම හිස වාරුකොට ඇය කතා කලේ බිඳුනු ස්වරයකිනි. 

" ඒ බැව් මම හොඳින්ම දන්නෙමි මා කුමරුනි......මා සහ අපගේ දරු දෙදෙනා කෙරෙහි ඔබගේ ළය පුරා පිටී ඉතිරී පවත්නා සෙනෙහස කිසිදිනෙක වියැකී නොයන බව මම ඉඳුරාම දනිමි. එහෙත් එදවස මහද සොරාගත් දින ඔබ විජය නම්වූ කුමරෙකි.සිය රටින්ද පිටුවහල් කරනු ලැබ හුදු අහම්බයකින් ලංකාද්වීපයට සපැමිණි නොදැමුණු තරුණයෙකි. " 

ඒ සොඳුරු අතීතය යලි සිහිපත්වූ කුවණ්ණා හිස ඔසවා ඔහු දෙස බලා දෙතොල් විදහා සිනහසුණාය. අපරිමිත සෙනෙහසින් පිරීගිය හදවත ඉහිල් කොටගනු වස් දිගු සුසුමක් හෙලූ විජය ඇගේ නෙතඟ පිරි කඳුලු සුරතෙහි දබරැඟිල්ලෙන් සෙමෙන් පිසදැම්මේය.ඉන් අනතුරුව සෙමෙන් පහත්ව ඇගේ දෙතොල සිප ගත්තේය. 

" ඔබට ඒ අතීතය මතකද කුමරුණි? " 

යලි ඔහුගේ උරතලය මත හිස හොවාගත් ඈ පිළිවිසියාය. 

" එසේය, එසේය...ඔබ සහ මම..අප පිළිබඳව ඒ සොඳුරු අතීතයෙහි ඉතා සුළු සිද්ධියක් පවා ගල කෙටූ අකුරක් මෙන් පැහැදිලිව නොමැකෙන සේ මසිත රැඳී ඇත. ඒ නොදැමුණු තරුණයා දමනය කරනු උදෙසා එක්තරා ඉතා රූමත් කුමරියක විසින් කල එක් ක්‍රියාවක වේදනාකාරී මතකය මසිත පවතිනා තුරු ඒ මතකය මසිත හැර නොයන්නේය. " 

ඇය හමුවූ පළමු දින ඔහුගේ සුරත අකර්මණ්‍ය වනයුරු ඇය නිලයක් ස්පර්ශ කිරීමේ සිද්ධිය ඔහුගේ මතකයට පැමිණියේ නිරායාසයෙනි. 

" කුමරියනි …" 

ඔහු එවර හඬ අවදිකලේ දෙනෙතට දඟකාර බැල්මක් ආරූඪ කරගනිමිනි. 

" ඔබට ඇත්තක්ම පවසමි.බොහෝ කලක සිට ඔබට මේ පවසනු අපේක්ෂාවෙන් හුන් නමුදු ඒ සඳහා සුදුසු අවස්ථාවක් නොලද්දෙමි." 

" කුමරුණි ???..

ඔහු පවසන්නට යත්න දරනුයේ කුමක් පිළිබඳවදැයි එකෙණෙහි සිතාගත නොහුණු කුවණ්ණා ඔහුදෙස දෑස් දල්වා ප්‍රශ්නාර්ථයක් රැගත් දෙනෙතින් බලා හුන්නේ නළලත ද රැළි නංවමිනි. 

ඔහු එවර පහත්ව ඇගේ කණට තම මුව බොහෝ ආසන්නකොට පහත් හඬින් තෙපළීය. 

" එදින සිට මේ අද දක්වාම ඔබ හා සමඟ ආලිංගනයෙන් වෙළී කල්යැවූ සෑම මොහොතකම ඔබගේ නිල ස්පර්ශ කිරීමෙහි දක්ෂතාවය පිළිබඳ මතකය මසිත රැඳී පැවතිණි.කුමන හෝ අවස්ථාවක ඔබ විසින් නොදැනුවත්ව කිසියම් මර්මස්ථානයක් ස්පර්ශකොට යම් අවයවයක් එකෙණෙහි අකර්මණ්‍ය වේදැයි බියෙන් ත්‍රස්තව කල් යැව්වෙමි. ආලිංගනයෙහිදී මවිසින් යම් ආකූල හෝ වික්ෂිප්ත බවක් පලවිනිනම් ඊට හේතුව ඔබට දැන් පැහැදිලියයි සිතමි. " 

ඔහු පැවසූයේ මහ හඬින් සිනාසෙමිනි. 

කුවණ්ණා විළියෙන් රත්ව ගියේ තම්බපණ්ණි නැව්තොට කෙළවරපිහිටි හුණු ගල් පරය ඔබ්බෙහි අස්තගතවන සැඳෑහිරු අවර අහස රත් පැහැ කරවන අයුරිනි. 

ඇය කුමන අර්ථයකින් පැවසුවද ශ්වේත වර්ණ ඉතිරියක නොවූවාය. යක්ඛ ගෝත්‍රිකයෝ ස්වභාවයෙන්ම ලක් දිවයිනෙහි දැඩි හිරුරැසින් පීඩිත එමෙන්ම උණුසුම් සහ කර්කශ කාලගුණයට ඔරොත්තු දෙන පරිදි කාල වර්ණ වූවාහුය. එහෙත් ඇගේ මෑණියන් යවන කතක වූ හෙයින් ( වාසුගී තම යොවුන් අවදියෙහි ශාස්ත්‍ර පිපාසය සන්සිඳුවාගනු වස් වෙළඳ නෞකාවක සහායක නැවියකු ලෙස යවන දේශයට ගොස් එහි වසරක පමණ කාලයක් ගත කල සමයෙහි ඒ රුවැති යවන යුවතිය හා පෙමින් බැඳී ඈ මෙහි කැටුව පැමිණියේය ) ඇයට ආවේණිකවූ ධවල වර්ණය උරුම කොටගත් කුවණ්ණා ද එළලු පැහැයෙන් යුතු වූවාය. 

එසේ හෙයින් ඇය විළියෙන් රත් පැහැගැන්වෙනු දැකීම විරල වූ නමුදු මෙවිට කන්පෙති වලින් ඇරඹී ගෙල පසුකොට ළයමඬල ඉහළකොටස දක්වා ඇය විළියෙන් රතු වූවාය.ඒ හා සමඟම ඔහු කෙරෙන් දෑස් ඉවතට ගත් ඕ තොමෝ වහා අසුනෙහි එහා කෙළවරට වූවාහු හිස ගස්සා ඉවත බලා ගත්තීය. සිනහව පාලනය කර ගැන්මට අසාර්ථක උත්සාහයක යෙදුනු විජය අවසන හිස නවා දෑතට වාරුකොටගෙන ආයාසයෙන් තොල් තදින් පියාගත්තේය. 

ඇය විළියෙන් රත් රත්පැහැ ගැන්වෙමින්ද ඔහු සිනහව පාලනය කොට ගැන්මට වෙහෙසෙමින්ද ගතවුනු නිමේෂයකට පසු කුවණ්ණා විජය දෙසට හැරුණාය. 

එක්වරම ඔහුගේ ඇය කිසිසේත් අපේක්ෂා නොකල විදූෂක භාෂිතයෙන් ( කවට බසින් - Jesting ) ඇය විපිළිසර වුවද කුවණ්ණා මුඛරිකමෙහි ඉතා සමත්වූවාය. 

" මා දයාබර වූ දියණියනි, රාජ්‍ය පාලනයෙහිලා මුඛරිකම ඉතා අගනා මෙවලමකි. ඕනෑම ආතතියක් ලිහිල්කොට සුහද වාතාවරණයක් ඇතිකිරීමෙහිලා ඒ හැකියාව ඉතාමත් අනර්ඝය " 

ඒ වාසුගී ඇය රාජ්‍ය පාලනය සඳහා පුහුණු කිරීම අරම්භකල මුල් අවදියෙහි දිනක් ඇය අමතා පළකල අදහසකි.ඇය ඒ කිසිදින අමතක නොකලා පමණක් නොව ඉන් බොහෝ ප්‍රයෝජන ද ගත්තීය. 

" එසේනම් කුමරුනි මා කියන්නක් ද අසනු මැන. මෙපවත් ඔබට පැවසීමටද මම බොහෝ කාලයක් මුලුල්ලේ පොරොත්තු වූයෙමි." 

ආලිංගනය පිළිබඳ නර්මාලාපය ( Yarn ) පැවසීමෙහිලා විජයගේ දෙනෙතෙහි වූ දඟකාර පෙනුම නොව මෙහිදී කුවණ්ණාගේ දෑසෙහි වූයේ බැරෑරුම් පෙනුමකි. ඇගේ දෑසෙහිවූ බැල්මෙන් වික්ෂිප්තවූ ඔහු දෑස් විදහා ඈ දෙස බලා උන්නේ ඇය කුමක් පවසන්නට සැරසෙන්නේද යනු සිතා ගැන්මට අසාර්ථක උත්සාහයක් දරමිනි. 

ඔහුගේ ව්‍යාකූල බැල්ම කරනකොටගෙන ගෙන දෙතොලට නැඟ ආ මන්දස්මිතිය ආයාසයෙන් පාලනය කොටගනිමින් ඇය කථා කලාය. 

" එසේ ආලිංගනයෙන් කල් යැවූ කිසිදු විටෙක ඔබේ චර්යාවෙහි හෝ ක්‍රියාකාරකම්හි කිසියම් වූ ආකූල භාවයක් හෝ එසේත් නොමැතිනම් වික්ෂිප්ත භාවයක් නොදිටිමි කුමරුණි.එසේත් නැතහොත් නොහැඟුනි...ඊට හාත්පසින්ම ප්‍රතිවිරුද්ධ ලෙස ඔබගේ අධික ලාලසාව ( Passion ) හේතුකොටගෙන ඒ අදාල අවයවය සදාකාලිකව අකර්මන්‍ය වනයුරු නිලයක් ස්පර්ශ කිරීමට සහසක් වර මසිතට නැඟුනි. එහෙත් ඒ සෑම විටම මසිත දමනය කොට ගතිමි. එසේ වුවද ඉදිරියෙහිදී එසේ මසිත දමනය කොට ගත නොහුණු අවස්ථාවල් නොඑලඹෙනබවට මට කිසිසේත් ඔබට සහතික විය නොහැක. එසේ හෙයින් කුමරුණි ඉදිරියෙහිදී ප්‍රවේශම් වුව මැන.ඔබට මා අනතුරු නොහැඟවූයේයයි අනතුරුව මාහට දෝෂාරෝපණය නොකරනු මැන " 

ඇය හැඟීම් විරහිතවූ මුහුණින් යුතුව පැවසුවාය. 

විජය අයාගත් මුවින් යුතුව ඈ දෙස බලා සිටියේය. කුවණ්ණා තම සහකාරිය කොට ගතකල පසුගිය පස්වසර මුළුල්ලේ ඔහු හොඳහැටි වටහාගත් ඇගේ එක් ගුණාංගයක් වූයේ ඕනෑම කවට බසක් ඉතා බරපතල කරුණක්සේ හැඟීම් විරහිතව එමෙන්ම දෙතොලග මන්දස්මිතියක් හෝ රහිතව තෙපලීමට ඈ තුල වූ නිසර්ග හැකියාවයි. 

ඔහුගේ විශ්මයාහව වත දෙස තව දුරටත් හැඟීම් විරහිතව බලා සිටිය නොහැකි බව වටහාගත් කුවණ්ණා තොල් සපාගෙන ඉවතට හැරුණාය.ඇගේ උරහිස් ගැස්සෙන අයුරින් ඇය සිනාසෙන බව වටහාගත් විජය මහත් හඬින් සිනාසුණේය. එසේ සිනාසෙමින්ම ඇය තමා වෙතට ලංකොටගෙන උඩුකය වටා දෑත යවා තරව ග්‍රහණය කොට වැළඳ ගත්තේය. 

මෙතෙක් ආයාසයෙන් වළක්වාගෙන හුන් සිනහව මුදාහල හෝ ඔහු හා එක්ව හඬනඟා සිනාසුනාය. 

දෙනෙත් කඳුළු පිරී බිහිදොර දෙපස දිලෙන විලක්කු ආලෝකය බොඳව සහසක් ගිණිජාලා ලෙස දර්ශනය වන තෙක් ඔවුහු එකිනෙකා වැලඳ සිනාසුනහ. 

කෙමෙන් සිනහ හඬ මැකීගොස් ඔවුහු එකිනෙකාගේ ආලිංගනයෙහිම හිඳ සෙනෙහසේ උණුසුම විඳින්නට වූවෝය. 

" කුමරුනි, මාගේ අනතුරු හැඟවීම කවටකමක් ලෙස නොගත මැනව. නිල ශාස්ත්‍රය තවමත් මට අමතක නොමැතිබව සිහිතබා ගනු මැනව. " 

කුවණ්ණා ඔහුගේ තුරුළෙහි හිඳ තෙපළුවාය. යලිත් සිනහව අලුත් විය. 

ඒ සිනහ හඬ මැකීයන්නාහාම විජය පහත්ව තම දෙතොල් ඇගේ කණට ලංකොට කෙඳිරීය. 

" සොඳුර තොපගේ අනතුරු හැඟවීම ක්‍රියාත්මක කරනුවස් අවස්ථාවක් ළබාදීමට මම සූදානම්ය. කිමෙක්ද?..මෙතැනම?...මේ ආසනය මතම? මේ නිල් අහස යට? ඔබම සාත්තු සප්පායම් කොට හැදූ වැඩූ සේපාලිකා මල් සුවඳ රැගත් මඳ නල පහස විඳිමින්ම?...කිමෙක්ද සොඳුර? ....ඔබ ඊට සූදානම්ද? " 

කුවණ්ණා යලිදු විළියෙන් රත්ව ගියාය. 


මතු සම්බන්ධයි...... 

Monday, June 24, 2013

196. දණ ගැස්සවීම, පී.ටී. මැඩම්ගෙ ගෙදර ඉන්න එක්කෙනා සහ වෙනත් ආරළු බූරළු...


අපි හැමෝගෙම ජීවිතේ යාන්තමට හරි මතක තියෙන දවසක් නේද ඉස්සොරෝම ඉස්කෝලෙ ගිය දවස...මම ගැන කිව්වොත් නම් එහෙමම තමයි....මට හොඳටම මතකයි මම ඉස්කෝලෙ ගිය මුල්ම දවස.... 


උදේම කිරිබතක් හැදුවා අම්ම හරි අත්තම්ම හරි...ඒකරල බුලත් කොළේක කිරිබත් ගුලි කරලයි මට කැව්වෙ කියලත් නම් මතකයි.අපේ මහ ගෙදර තියනව දිග දම්වැලකින් වහලෙ පරාළෙක එල්ලන තිර හතක් දාන්ට පුලුවන් පරණ පොල්තෙල් පහනක්...ඒ දවස්වල සාලෙ බුදු පිළිමෙ ගාව සිවිලිමේ කොක්කක් එල්ලල තිබ්බ විශේෂ අවස්ථාවල ඔය පහන එල්ලල පත්තු කරන්ට...සිංහල අවුරුදු දවස..අපෙ කාගෙ හරි උපන් දිනේ වගෙ..අන්න එහෙම දවස්....මම ඉස්කෝලෙ ගිය දවසෙත් ඒ පහන එල්ලල වටේටම පහන් වැටි පත්තුකරල හෙමිහිට එහාට මෙහාට පද්දි පැද්දි තිබුනත් මයෙ මතකයෙ තියෙනව... 

" සුට්ටි පුතා.. අද ඉස්කෝලෙ ගිහිල්ල අඬන්නෙ එහෙම නෑ හොඳද? "
 
අප්පච්චි එක්ක දොරට බහින්ට ලෑස්තිවෙලා හිට අත්තම්මට දණගහල වැන්දම උන්දැ මයෙ ඔළුව අත ගාල කඳුලක් පිහගෙන කිව්ව.
 
" ඒ මොකටෙයි අඬන්නෙ?....මම අඬන්නෙ නෑ..මම ඉස්කෝලෙ යන්ට ආසයි...ඔය...මම නෙවෙයි අත්තම්මනෙ අඬන්නෙ…" 

ඇත්තම කිව්වොත් මම ඉස්කෝලෙ යන්න හරිම ආසාවකින් හිටියෙ.ඒ දවස්වල පෙර පාසල් අධ්‍යාපනය කියල අදවගෙ රටේ නැති නං වලින් හන්දියක් ගානෙ ළදරු පාසල් තිබුණෙ නෑ...අද එහෙමද? ලිට්ල් බර්ඩ්ස් , ටයිනි ටොට්ස්, කුඩා කුසුම්, තරු මල් කැකුළු ඔන්න ඔය වාගෙ මොන්ටිසෝරි වැහි වැහැලනෙව.

අපි ටික කාලයක් හිටිය හීරැස්සගල ඇනෙක්ස් එකක් අරගෙන. ඒ යන පාරෙ තිබ්බ ඔය ළදරු පාසලක් ඒකෙ නම ලිට්ල් රාස්කල්ස්...සිංහෙලෙන් නම් කුඩා යකුන් පෙර පාසළ....ඒකෙ කොල්ලො කෙල්ලො කරන වැඩ මම ඔය ගෙදර ඉන්න දවසට ගිහිල්ල බලා ඉන්නව. ඒ නම දාල තියෙන්නෙ නොදන්නාකමටමත් නෙවෙයි කියලත් මට වෙලාවකට හිතුණ. 

ඉතිං අපේ කාලෙ ඔහොම ෆෝමල් මොන්ටිසෝරි තිබුණෙ නෑ. ඔය කවුරු හරි ගෙවල් අහල පහළ ආන්ටි කෙනෙක් පොඩි එවුං හත් අට දෙනෙක් එකතු කරගෙන උදේ වරුවෙ පැය තුනක් විතර පොඩි කවි සිංදු, එතනිං ගිහාම අකුරු හත අටක්, ඉලක්කමක් දෙකක් කියල දෙනව....

මම ගියෙත් එහෙම එකකට. අපෙ අප්පච්චිත් එක්ක එකට වැඩකරපු අංකල් කෙනෙක්ගෙ ගෙදර තමයි ඒ මොන්ටිසෝරිය තිබ්බෙ...ඒ ඇන්ටිගෙ නංගි...ඒ මිස් තමයි මයෙ මොන්ටිසෝරි ටීචර්...අපෙ ගෙදර ඉඳල ගෙවල් හතර පහකට එහා තිබුණෙ. අනික ඒ ගෙදර මගෙ වයසෙ තව පොඩි දෙන්නෙක්ම හිටපු නිසා එහෙට මම කලිං ඉඳලම සෙල්ලං කරන්ට ගිහිල්ල බොහොම පුරුදු තැනක්..මේ මම එහෙදි ඉගෙන ගත්තු ඉංගිරිස් පොයං එකක්.
 
අයිසලිපා බ්‍රදල් ජොනා, 
මොරිෆලිඟා ඩිඟා ඩොඟා,
 
ඕක සුද්දො මුලිම්ම කිව්වය කියන්නෙ නං මෙහෙමලු... 

Are you sleeping?..are you sleeping?...brother john, brother john, 
Morning bell is ringing, morning bell is ringing, ding dong bell, ding dong bell…. 

" පුතා දැං ඉස්කෝලෙ එහෙම යනවද?..." 

එහෙම අහන්නෙ අම්මගෙ යාලුවො .. 

" නෑ තාම නෑ..ලබන අවුරුද්දෙ යන්නෙ..මම තාම මොන්ටිසෝරිනෙ.."
 
" ආ..එහෙමද හරි ෂෝක්නෙ..කියන්ට බලන්ට ඔයා ඉගෙන ගත්තු සිංදුවක් එහෙම.." 


මම ඉතිං සීරුවෙං ඉඳල අත්දෙකත් දෙපැත්තෙන් ඇඟට සමාන්තරව තියාගෙන..එහෙම තමයි අපෙ මිස් කියල දුන්නෙ..මගෙ ප්‍රියතම පොයං එක කියනව...අම්මගෙ යාලු ඇන්ටිල පණ යනකල් හිනාවෙනව. මට තරහත් යනව..පස්සෙ පස්සෙ මම ඔය පොයං එක කවුරුහරි ඉස්සරහ කියන එක අත ඇරලම දැම්ම. 

ඉතිං ඔහොම අවුරුද්දකටත් වැඩිය මොන්ටිසෝරි ගියාට නිල ඇඳුමක් අරකක් මේකක් එහෙම නොතිබුණු නිසා නිල වශයෙන් ඉස්කෝලෙ යන්ට මගෙ පුදුම විදිහෙ කැමැත්තක් තිබ්බෙ.
 
අප්පච්චි මාව පන්තියට ඇරළල ගියා. මට නේද මාර තන්තෝසෙ...අපෙ මැඩම් බෝම හැඩරුවයි. උස මහතයි. සුදුයි. කොහොම හරි අඩු ගානෙ එහෙම තමයි මට මතක. ඊට කාලෙකට පස් සෙ අඹ යහළුවෝ ටෙලි චිත්‍රපටය බලද්දි ...ඒකෙ අර හරිම අපූරු සිංදුව මතකද? මල් පිපෙයි, දෙනෙත් ඇරෙයි..කතා කියයි හෙමින්...හිරු එබෙයි එළිය දෙයි කුරුළු ගී ඇසෙයි...පියානෝ එක ගගහ ඒ සින්දුව කියන්නෙ ..අර සුනිල්ගෙ ගුරුතුමිය. මට එක පාරට මතක් උනේ මගෙ පළවෙනි ගුරුතුමියත් මේ වගේම නේද කියල.. 

කොහොම හරි දහය විතර වෙනකල් අපි පොඩි එවුං බොහොම තන්තෝසෙං හිටියයි කියමුකො. ඔන්න දහයට විතර එකෙක් අඬනඩ පටං ගත්තෙ නැතෑ..අම්ම මතක් උනාය කියල.. ඒකා මූණත්තහඩුව බෙරිකරගෙන අඬනව බලං හිටපු තව දෙතුං දෙනෙක්ම අඬන්ඩ උනා. මම මුලිම්ම එවුංට අඬන්ඩ එපා..අනේ..තව ටිකකිං ගෙදර යනවනෙ ..ඔහොම පඬි ටෝක් දිදී හිටිය මහදැනමුත්ත වගෙ. ඒත් ටිකකිං මටත් ඇඬුනා..මම අඬන්ඩ ගත්තම ආය නෑ...පලාතම ඉවරයි..යටි ගිරියෙං දෙන්නෙ වැඩේ. 

කොහොම හරි අර කලිං අඬ අඬ හිටපු දෙතුං දෙනාගෙ ඇඬිල්ල ඉබේම නැවතුනා. එවුං ඔක්කොමල වටවෙලා බලා හිටිය මම අඬන දිහා. අපේ මැඩම් ඒ පාර මා ළඟට ඇවිල්ල " අඬන්නෙ මොකටද රවි?...මම ඉන්නවනෙ අඬන්න එපා. ඉන්නකො තව ටිකකිං මම ඔයාව ගෙදර එක්කෙගෙන යන්නං "  කියල මගෙ ඔළුව අත ගාන්ට ගත්ත. මම අඬාගෙනම මැඩම්ගෙ ඔහොරි පොට අස්සෙ මූණ හංගගත්ත.එදා එතුමිය ළඟින් හමපු රෝස මල් සුවඳත් සාරි පොට අස්සෙ මට දැනිච්ච උණුහුමත් සෙහෙහසත් මට අද වාගෙ මතකයි. ටිකින් ටික මගෙ මොර ගැහිල්ල අඩුවෙලා ගිහිල්ල අන්තිමට ඉඳ හිටල ඉකි ගැහිල්ලක් බවට පත් වෙලා ටිකකිං ක්‍රමයෙන් ඒකත් නතර වෙලා ගියා. ඒත් සෑහෙන වෙලාවක් මම ඒ ඔහොරි පොට අස්සෙ මූණ හංගගෙන එහෙමම හිටිය. 

මගේ ලෝකයෙ එතෙක් හිටපු වීරවරියො දෙන්න තමයි අම්මයි අත්තම්මයි.එදා මම ඒ ඉස්සොරෝම ඉස්කොලෙ ගිය දවසෙ ආපහු ගෙදර ගියේ තුන්වන වීරවරියෙකුත් මෙගේ ලෝකෙට එකතුකරගෙන.
 
පස්සෙ දවසක ඔන්න මම ඉස්කෝලෙට යද්දි මෙන්න අපේ මැඩම් පිට්ටනිය මැද්දෙ දණගහගෙන ඉන්නව. කවුද උස මහත මහසෝනා වගෙ මනුස්සයෙක් පොල්ලකුත් අරගෙන මැඩම්ට බණිනව...නෑ..එහෙම දෙයක් උනේ නෑ ඇත්තටම...ඒත් නිකමට හිතන්න එහෙම දෙයක් උනානම් මගෙ හිතට මොන තරම් වේදනාවක් එයිද? ඒ වගේම අර වගෙ ගුරු මෑණිකෙනෙකුට මොනතරම් හිත් රිදීමක් ඇතිවෙයිද කියල.

කොහොම හරි අපි ඉස්කෝලෙ ගිය සොඳුරු හැත්තෑවෙනි දශකයෙ එහෙම දේවල් අහන්ට දකින්ට තියා ඒ වගෙ දෙයක් හිතාගන්ට වත් බැරි තරමයි... 

අපෙ අත්තම්ම ඉන්න කාලෙ මට කිව්වෙම... 

" සුට්ටි පුතේ කවදහරි පුතා ගුරුවිරියක් ( එහෙම තමයි උන්දැගෙ වචන...හාල් වලට කිව්වෙ හාට ගෙඩි, උන්දැ තම්බන්නෙ වී නෙවෙයි වියට ගෙඩි ) හොයා ගන්ට ඕන හොඳද?....හොඳ රතු පාට...." 

ගෑණු මිනිස්සුන්ගෙ පාට ගැන කියද්දි සුදු පාට උන්දැට පෙනුනෙ රතු පාට විදිහටද මන්ද....කොහොම හරි ඔය රතු කියල කිව්වෙ සුදු පාටට… 

" ගුරුවරියක් නං ඔය හොයාගන්ට බැරුවය...රතු පාට වෙන්ට නං ඉතිං හම ගහල තමයි ගන්ට වෙන්නෙ. " 

මම කියන්නෙ හිනාවක්වත් නැතුව… 

" ඔය කිව්වෙ ..ඔය කිව්වෙ..එහෙම නෙවෙයි සුට්ටි පුතේ.." 

ඔන්න අත්තම්ම කරුණු පැහැදිලි කරන්ට පටන් ගන්නව... 

අර කිව්වත් වාගෙ මට කොක්ක ගැහැව්වෙ නං උන්දැ කියාපු විදිහටම ගුරුවිරියක් නම් තමා..ඒත් අර රතු පාට තමයි කොස්ස..හරි එව්ව ඇරිච්චාවෙ....මොකටද නිකං අහක යන නයි බෙල්ලෙ ඔතා ගන්නෙ? නැද්ද?....නිකං නාගන්ට ඕන නෑනෙ..අනික මේ දවස්වල බල සේනා කට්ටිය ඇදල නාගන්න එක කරනවනෙ අපිටත් එක්කම...
 
හරි දැං එමු ටිකක් විතර මේ නුදුරු අතීතයට. හිරයක් එහෙම අරං ( ඔය වැඩේට හිරේ කියල කියන්නෙ ඇයි කියල පස් සෙ දවසක කතා කරමු ) ඉවර වෙලා මම ඔන්න අර කැළේ මැද රස්සාවෙං අහක් වෙලා ගෙදර ආව. ඒ කරල ඔන්න අපෙ ගුරුවිරීගෙ ඉස්කෝලෙ ගුරු නිවාසෙ වේකන්ට් උනාම ඒකට ආව දෙන්නත් එක්කල පදිංචියට. 

ඉස්කෝලෙක ගුරු නිවාසෙ පදිංචි වෙනවයි කියන්නෙ වගකීම් සම්බාරයක් කරමත තබාගැනීමක්. ඉස්කෝලෙට කොළඹින් වගෙ එවන යෙදවුම් කියයි, උපකරණ කියයි, ලිපි ද්‍රව්‍ය කියයි, ඔව්ව එන්නෙ බොහෝවිට මහ රෑ දෙගොඩ හරියෙ..යක්කු ගස් යන වෙලාවට...හේතුව මේකයි. අපෙ ඉස්කෝලෙ තිබ්බෙ නුවර ඉඳල කොළඹ යන පාර කිට්ටුවමයි. ඒ නිසා උදෙම්ම කොළඹිං එන ලොරි නුවර අවට ඉස්කෝල ඔක්කොටම ගිහිල්ල අන්තිමට යමිං ගමන තමයි අපෙ එකට එන්නෙ.ඉතිං එවුං ආහම රෑ කීයට හරි දණි පණි ගාල ගිහිල්ල අත්සං කරල බඩු බාර ගන්න ඕන. 

ඒ වගේම නිල නිවාසෙට යන්ට තිබ්බෙ තනිකරම ඉස්කෝලෙ මැදින්මයි. ඉස්කෝලෙ වෙලාවට ඕක මැදින් යන එක හරිම වාතයක්. ඒත් ඉතිං ටික දවසක් ගිහාම ඕක ගාණක් නැතුව ගියා. ජීවිතේ හැමදෙයක්ම එහෙමනෙ. මුලින් නිකං හරිම අභව්‍ය විදිහට දැනෙන දේවල් කාලයාගෙ ඇවෑමෙන් ඉතාම සාමාන්‍ය විදිහට දැනෙනව.
 
ඒත් ඒ ඔක්කොම අපහසුතා නොසලකා ඇරල අපි නිල නිවාසෙට ගියේ ඒකෙ කුළිය ඉතාම අඩුනිසා. මට මතක විදිහට රු. 500 යි අපෙ උන්දෙගෙ පඩියෙන් කැපුවෙ. දෙක නිල නිවාසෙ පිහිටල තිබ්බෙ ගමනා ගමනය බොහොම පහසු තැනක. ඕන රෑක කොළඹ නැත්නම් ලංකාවෙ ඕනම ප්‍රධාන නගරයක ඉඳල බස් එකේ නැහ්නං කෝච්චියෙ ඇවිල්ල බැහැල පයින් යතෑකි දුරක. තුන සහ වැදගත්ම කාරණේ අපෙ උන්දැට බෝම ලේසියි රස්සාවට යන්ට එන්ට. ඔසරියක් පටලාන ඉස්සරහ තිබ්බ පඩි පෙළ බහින එක විතරයි තියෙන්නෙ. ඔවුන්දැ මහම මහ කම්මැලි අරටුව හෙහ්, හෙහ්....මේ වැඩ පිළිවෙල උන්දැගෙ ඉහේ මලක් නෙවෙයි මල් කළඹක්ම පිපුණා හා සමාන වෙච්චි ඔන්න කොටිම්ම...හරි ඒ ගැනත් ඒ ඇති..ආයෙම අර අහක යන නයි තියරිය.... 

ඔය ඉස්කෝලෙ නිල නිවාසෙ ඉන්න කාල සීමාවෙ මම රස්සාවල් දෙක තුනක්ම කලා. රස්සාවල් දෙකක් අතරෙ මාසයක් දෙකක් වගෙ රැකියා විරහිතවත් ඉන්ට සිද්ද උනා. මේ එහෙම කාලෙක..
 
මම මතක විදිහට මොකක්ද වැඩකට නුවර ගිහිල්ල ආව.එහෙම ඉස්කෝල වෙලාවෙ ආපහු ගෙදර එනකොට මම ඉස්කෝලෙ ප්‍රධාන දොරටුවෙන් එන්නෙ නෑ. ඉස්කෝලෙ පිට්ටනිය පැත්තෙං ඇතුල් වෙලා ප්‍රාථමිකේ පිළිකන්න දිගේ ඇවිල්ල ගුරු නිවාසෙට එන්ට පුළුවන් කෙටි පාරක් තියනව.... තුනේ පංතිය ළඟිං එනකොට ඔන්න ඇහෙනව ඇතුලෙං දෙබසක්. 

" ඒයි කවුද ඒ? අර නිල්පාට කමිසයක් ඇඳගෙන යන්නෙ? " 

කරුණු දෙකක් කියන්න ඕමනයි කතාව තව දුරටත් කියන්න ඉස්සරවෙලා..එක මම එදා නිල් පාට කමිසයක් ඇඳගෙනයි හිටියෙ. දෙක ඒ දවස්වල මම උදේම ගුරුනිවාසෙ මිදුල අතුගානව පුරුද්දක් වශයෙන්...ගෙදර ඉන්නවනම් මම අනිවාර්යයෙන් ඒ වැඩේ කරනවමයි.
 
ගමං වේගය ටිකක් අඩාල කරල මම කතාවට කන්දුන්න. 

" ආ..ඔය අර පී.ටී. මැඩම්ලගෙ ගෙදර ඉන්න මනුස්සයනෙ. "
 
අපෙ උන්දෙ සාරීරික අද්‍යාපනේ කරපු නිසා කොල්ලො කෙල්ලො විතරක් නෙවෙයි ස්ටාෆ් එකේ අනික් අයත් කිව්වෙ පී.ටී. මැඩම් කියල..මමත් හිටපු ගමං පී.ටී. කියල කතා කොරනව..හෙහ්, හෙහ්, 

" මොකද එයා පී.ටී. මැඩම්ලගෙ ගෙදර කරන්නෙ? "

ආයෙම අර පළමු කටහඬ.. 

" එයා තමයි උදේට මිදුල අතුගාන්නෙ…" 

එයයි ඉස්කෝලෙ ඇරිල ආහම ඔය කතාව කියල අපි දෙන්න කඳුලු පනිනකල් හිනාඋනා. 

මුහුණ රතු වෙලා දෙනෙතින් කඳුළු පණින තුරු එලියට ඔහොම හිනාවෙනකොට නුඹ ලස්සනයි උමා....

මතු සම්බන්ධයි...... 

ප.ලි. - සමාවෙන්න, සිසුවෙක් වශයෙන් ගුරුවරුන් පිළිබඳ මගේ හැඟීම්, ගුරුවරියක් සමඟ ගෙවන ජීවිතය සහ ඒ නිසාම සිසු දරුදැරියන් පිලිබඳ මගේ අත්දැකීම් ගැන බොහොම කෙටි සටහනක් විදිහට පටන් ගත්තු ලියවිල්ල නොදැනිම දිගට ලියවුනා. ඒ නිසා තව කොටසක් ලියලම අහවරයක් කරන්නං.... 

Thursday, June 20, 2013

195. කිරුළ සහ සෙනෙහස ……7







කුවණ්ණාගේ සිත එක්වරම පිරවූයේ එකිනෙකට හාත්පසින්ම වෙනස් හැඟුම් දහරාවන් දෙකකිනි. 

" කුමරියනි,මා සිත තුල ඔබ කෙරෙහි පැන නැඟී ඇති අපරිමිත සෙනෙහස ප්‍රකාශ කිරීමට මේ අවස්ථාවක් කොට ගනිමි, ඊට මට අවසරද? " 

ඔහු මෙසේ පැවසූයේනම් මම කුමන පිළිතුරක් දෙන්නෙම්ද?...ඇගේ සිත අර්ධයක් ඔහු මුවින් එබස් නික්මෙනු ඇසීමට පුල පුලා සිටිනාතුර අනෙක් අර්ධය ඔහු එවැන්නක් විමසාවිදැයි භීතියෙන් සලිත වනු සත්‍ය‍ය වශයෙන්ම පරස්පරයක් නොවන්නේද?..එහෙත් මා විශ්වාස කරනු මැන මා ප්‍රිය සහෘදය / සහෘදිනිය., මා ඒ විස්තර කලේ සත්‍යය වශයෙන්ම ඒ උක්ත මොහොතේ කුවණ්ණාවන්ගේ සිතෙහි පැන නැඟ එකිනෙකා හා ගැටුණු හැඟුම් දෙවර්ගයයි. 

හැඟුම් සහසක් කැළඹෙනා තම සිත ආයාසයෙන් මැඩගනිමින් විළියෙන් රත්වන්වූ වත ඔහු කෙරෙන් ඉවතට හරවාගැන්මට අසාර්ථක උත්සාහයක යෙදෙමින් කුවණ්ණා මෙළෙස පිළිවදන් දුන්නීය. 

" එසේය...කු...කුමරුනි....ඔ...ඔබට අවසරයි….." 

ඇගේ සිතතුල වු චංචල භාවය ඔහුට වැටහිණිනම් ඔහු හඬ අවදිකලේ ඒ පිළිබඳව කිසිදු හෝඩුවාවක් ඇයට දැනගැන්මට ඉඩක් නොතබමිනි. 

" කුමරියනි, තම්බපණ්ණිය බදු අයකිර්‍රිමෙන් සපුරා තොරවූ නිදහස් නැව් තොටක් ලෙස ප්‍රකාශයට පත් කිරීම මැනවැයි මගේ අදහසයි. ඒ පිළිබඳව ඔබගේ අදහස් දැනගනු රිසියෙමි. " 

දෑස් විදහාගත්වන ඔහු දෙස බලාසිටින්නටවූ කුවණ්ණාගේ සිතතුල පළමුව හටගත්තේ බලාපොරොත්තු කඩවීමක සෙවණැලිය. ඒ හා සමඟම යම් පමණකට සහනයකට හුරු හැඟීමක්ද ඒ හා සමඟම පසුපස හඹාආ බවද නොරහසකි.එහෙත් ඒ සමඟම ඇගේ සිතට පිවිසුනේ නුරුස්නා හැඟීමකි.මොහු වනාහී තම්බපණ්ණි අධිකරණයෙන් දඬුවම් ලෙස ලංකාද්වීපයෙන් පිටුවහල් කිරීමට නියමව සිටින්නෙකි. පියාණන්ගේ අවසන් තීරණය මත ඔහුගේ ඉරණම උදක්ම රැඳී පවතින්නේය. පියාණන්ගෙ තීරණය ඇගේ උපදෙස් මත රැඳී පවතින්නේය යන්න පරිබාහිර කාරණයකි. ඒ කෙසේ වුවද ඔහු තවමත් දඬුවම් නියමව සිටින්නෙකි. එවැන්නෙකුට රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳව පාලිකාව හා සමඟ සාකච්ඡා කිරීමට තරම්වූ ධෛර්යයක් පහළවූයේ කෙසේද? වහාම ඔහුගේ ස්ථානය ඔහුට මතක් කරදීම කළ යුතුයි. 

එහෙත් එවන් කටුක වදන් පෙළක් මුවින් නික්මීමට පළමු ඇය මඳක් වෙළෙවි වූවාය.ඔහු පළකල අදහස එක් වරම ඉවත දැමිය යුත්තක් නම් නොවේමය. තම්බපණ්ණිය බදු රහිත නැව්තොටක්සේ ප්‍රකාශයට පත් කිරීම පිළිබඳව පියාණන් හා ඈ අතර බොහෝ සාකච්ඡා සහ වාද විවාද අපමණ සන්ධ්‍යා සමයන්හි මේ ආලින්දයේදීම කැකුණ තෙල් විලක්කු ආලෝකය මධ්‍යයේ සිදුවී ඇත.එහෙත් ඒ කිසිදු විටෙක වාසුගීගේ සිත ඒ කෙරෙහි නම්මා ගැන්මට එවන් ක්‍රියා මාර්ගයකින් දෙතුන් ගුණයකින් වර්ධනය කොට ගත හැකි ආදායම පිළිබඳව ඔහුට ඒත්තු ගැන්වීමට සමත් වූයේ ඇය නොවේ. 

අවසන ඇය ඔහු ඇමතූයේ වෙසෙසින් පාලනය කොටගත් සන්සුන් ස්වරයකිනි. 

" කුමරුණි, ඔබ එසේ පවසනුයේ කුමක් නිසාද? තීරු බදු ආදායම් අහිමි වීමෙන් අනර්ථයක්ම සිදුවන බවයි මගේ අදහස.." 

තම අදහස් සඟවාපියා ඇය එසේ පැවසූයේ ඒ පිළිබඳව ඔහුගේ අදහස් දැන ගැන්මේ රිසියෙනි. 

" කුමරියනි..අසනු මැන...තීරු බදු ආදායම අහිමිවී යා හැක. එහෙත් තම්බපණ්ණිය යනු තම වෙළඳ භාණ්ඩ, තමන් ස්වකීය ධනය වැයකොට මිලදීගත් හෝ නිපදවූ වෙළඳ භාණ්ඩ ගැණුම්කරුවෙකුට විකුණා ලාභයක් ලැබීම වෙනුවෙන් තුන්වැන්නෙකුට නිකරුණේ යම් මුදලක් ගෙවියයුතු ස්ථානයක් නොවන බව ඈත පෙරදිග සීන දේශයේ සිට අපරදිග යවන දේශය දක්වා දනන් තුඩ තුඩ පැතිරුණු කල්හි ඔවුන් සැමදෙන තම වෙළඳ ද්‍රව්‍ය හුවමාරු මධ්‍යස්ථානය වශයෙන් ඉතාම සුදුසු වන්නේ තම්බපණ්ණිය බව තීරණයකොට මෙහි පැමිණෙනවාට මට කිසිදු සැකයක් නැති. එවිට වෙළඳාමෙන් ඔවුන් ලබනා ලාභයෙන් වැඩි ප්‍රතිශතයක් ඔවුහු මෙහිදී තම සුඛ විහරණය උදෙසා වියදම් කරනු ඇත. මම ඒ පිළිබඳව හොඳින්ම දනිමි. සති තුන හතරක් මහ සමුදුරෙහි ගත කරන වෙළෙඳුන් සහ නැවියන් නැව්තොටකට පැමිණෙනුයේ දෙව්ලොවකට පා තැබුවාක් මෙන් ආහ්ලාදයකින් යුක්තවය. " 

" ඒ ඔබගේ පෞද්ගලික අත්දැකීම් අශ්‍රයෙන් කල නිගමනයක්සේ හඟිමි කුමරුණි..හිහ්, හිහ්." 

කුවණ්ණා ඔහු දෙස නෙත් කොණින් බලා සිනාසුණාය. 

විජය ද ඇගේ දෑස දෙස එක එල්ලේ බලාසිට නෙත් සිහින් කොට සිනාසුනේය. 

ඉදින් ඉනික්බිති තම්බපණ්නියෙහි මෙසේ සිදුවිය. 

වාසුගී සිරීසවත්ථු පුරයෙහි සිට නියමිත කලට පෙරළා පැමිණියේය. 

පසුදින ඔහු විනිශ්චයාසනාරූඪ වූ අධිකරණයට ඉදිරිපත් වූ විජය සිය අභියාචනය ඉදිරිපත් කළේය. ඒ සලකා බැලූ වාසුගී තුන් මසක පරිවාස කාලයකට යටත්ව මනා කල් ක්‍රියාවෙන් පසුවන ලෙසට කල දැඩි අවවාදයකින් අනතුරුව සත්සියයක් හා එකක් වූ වංග තරුණයින් හට තම්බපණ්ණියෙහි රැඳී සිටීමට අවසර දුන්නේය.කුවණ්ණා පෙරදින සන්ධ්‍යාවෙහි ඔහු අබියස කල කරුණු දැක්වීම ද මේ තීරණය කෙරෙහි බල නොපෑවේ නොවේ යන්නද මවිසින් පැවසිය යුතුමය. 

තුන්මසක පරිවාස කාලය කිසිදු අතුරු ආන්තරාවකින් තොරව ගෙවී ගියේය. 

තැනින් තැන යමින් ගෙවූ සංචාරක අක්මුල් රහිත දිවිය නිමා කරමින් තම්බපණ්නියෙහි නතර වීමට වංග තරුණයෝ තීරණය කළෝය. 

ආහ්..සමාවුව මැන!...ඉන් පෙර සිදුවූවක් ඔබට පැවසිය යුතුමය. විජය හා නොයෙක් සන්ධ්‍යාකාලයන්හි පැවති සාකච්ඡා සහ වාද විවාද බොහෝ ගණනකට පසු තම්බපණ්ණිය බදුරහිත නැව් තොටක් බවට ප්‍රකාශයට පත් කිරීමට වාසුගී එකඟ වූයේය.එහෙත් ඒ ද තෙමසක අත්හදා බැලීම් කාලසීමාවකට යටත්වය. 

පියාණන්ගේ සහ විජයගේ වාද විවාදයන්හිදී ඇය සිනාමුසු මුවගින් යුතුව පසෙකට වී එදෙස බලා සිටියා පමණි. 

තුන්මස අවසානයෙහි ආදායම් ගණනය කිරීමෙන් අනතුරුව වාසුගී හිස ඔසවා කුවණ්ණා ඇමතුවේය. 

" දියණිය , මේ තරුණයා අසාමාන්‍ය හැකියාවන් සහ ඥාණයක් ඇත්තෙක් බවට සැකයක් නැත. ඔහු ස්ථිරව පුරෝකථනය කල පරිදිම ආදායම දෙගුණයකට ආසන්න ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇත. " 

කුවණ්ණා සිත පුරා පිරීයන ප්‍රීතියකින් යුතුව පියාණන් දෙස බලා සිණාසුනාය. 

ඔවුන් අතර සෙනෙහස කෙමෙන් විකසිත වූයේ උදා හිරු එළියේ විකසිතවන අරවින්දයක් මෙනි. 

තවත් සය මසක ඇවෑමෙන් විජය සහ කුවණ්ණා අතර සරණ බන්ධනය සිදු වූයේ රාෂ්ඨ්‍ර පාලක වූ වාසූගීගේ සොහොයුරාගේද පූර්ණ අනුමැතිය සහ අනුග්‍රහය සහිතවය. 

විවාහ උත්සවයෙන් බොහෝ කලක් ගෙවී ගියේ නැත. ගෝකණ්න ප්‍රදේශයේ දකුණු දිග ප්‍රාන්ත දේශ සීමාවෙහි පැණ නැඟි අර්ධ වනචාරීන්ගේ අරගලයක් මැඩ පැවැත්වීමෙහිදී හී පහරකට ගොදුරු වූ රාෂ්ඨ්‍ර පාලක තෙමේ දින තුනක ඇවෑමෙන් යලි සිහි නොලබාම මිය ගියේය. 

රාෂ්ඨ්‍ර පාලක පදවිය නිතැනින්ම උරුම වියයුතු වාසුගී ඒ වගකීම එකහෙලාම ප්‍රතික්ෂේප කල හෙයින් කුවණ්ණාවන්ට ඒ සඳහා ආරාධනා කෙරිණි. එදවස ලංකාපුරයෙහි රාෂ්ඨ්‍ර පාලකට පාලන උපදෙස් දෙනු උදෙසා ප්‍රාදේශීය ප්‍රධානීන්ගෙන් සැදුම්ලත් මන්ත්‍රණ සභාවක් වැන්නක් වූ නමුදු ඔවුන්ගේ උපදෙස් පරිදි කටයුතු කිරීමට රාෂ්ඨ්‍ර පාලකයා බැඳී නොසිටියේය. 

රාෂ්ඨ්‍ර පාලකගේ අභාවය සහ වාසුගීගේ පදවි ප්‍රතික්ෂේපය කරණකොට කුවණ්ණා ලංකාද්වීපයෙහි පාලක පදවියට නිසර්ගයෙන්ම හිමිකාරිය වූ නමුදු හිරිමල් යොවුන් වියේ පසුවූ ඇගේ පාලනය පිළිගැනීමට ඇයට වඩා බොහෝසේ වයසින් මුහුකුරාගිය ප්‍රාදේශීය පාලකයෝ බහුතරයක් මැළි වූහ. ඔවුහු සෘජුව තව අප්‍රසාදය පළනොකල වී නමුදු අළුයට සැඟවුනු ගිණි පුළිඟු නොසිතූ විරූ පරිදි හමාඑන මාරුතයකින් අළු විසිර ගිය ඉක්බිති යළි දැල්වී ගිණි දළු මතුකරන්නාක් මෙන් නුදුරු අනාගතයෙහි ඒ බුර බුරා මතුවිය හැකි/මතු වන බව වාසුගී මෙන්ම කුවණ්ණා ද මනා කොට දත්තෝය. 

එබැවින් ඒ හැම අර්බුදයකටම එකම විසඳුම වශයෙන් පියා සහ දියණිය තීරණය කලේ රාෂ්ඨ්‍ර පාලක තනතුර විජයට පැවරීමටය.කුවණ්ණා එම තනතුරට පත් වුවහොත් ඈ බලයෙන් පහකොට තමන් අතරින් වෙනත් ප්‍රාදේශීය ප්‍රධානියකු එම තනතුරට පත්වේයැයි මාත්සර්ය්‍යයෙන් පෙළුනු සියළු ප්‍රාදේශීය ප්‍රධානීහුද සිත යටින් කෙසේ වුවද මතුපිටින් ඔවුන්ගේ අදහසට එකඟත්වය පලකළහ. 

එසේ ලංකාද්වීපයෙහි පාලක තනතුරට පත් විජය වාසුගී සහ කුවණ්ණාගේද උපදෙසින් බොහෝ ඉදිරිගාමී පියවරයන් ගනිමින් සියළුම පුරවැසියන්හට එක හා සමානව තමනට කැමති පරිදි දිවිගෙවිය හැකි වතාවරණයක් රට තුල ගොඩ නැඟීමෙහිලා තම උපරිම උත්සාහය නොමසුරුව යෙදවීය. 

එහෙත් ඔහුන්ගේ ඒ උත්සාහය බොහෝවිට මල්පල ගැන්වූයේ නොවේ.විදේශ වෙළඳාමෙන් බොහෝ ආදායම් ලැබූවද තම්බපණ්ණිය පෙරදිග අපරදිග යාකෙරෙන ප්‍රධාන නැව්තොට ලෙස විරුදාවලි ලැබූවද රටේ අභ්‍යන්තර තත්වය නිතර කැළඹෙන සුළු අවිනිශ්චිත තාවයෙන් යුතු විය. 

ප්‍රාදේශීය ප්‍රධානීහු ස්වල්ප කලක් නිහඬව හුන් නමුදු විදේශික රජකුගේ පාලනය පිළිබඳ ජනයා තුල තිබූ අප්‍රසාදය කුළු ගන්වමින් තත්වය අස්ථාවර කිරීමෙහි උත්සාහ කළෝය. බොහෝවිට ඔවුන් මැඩපැවැත්වීමට යුද සේනාව යොදවන්නට පවා සිදුවිය. 

මෙසේ බොහෝ වියවුල් මධ්‍යයේ පස් වසරක් ගත වූයේය. කුවණ්ණා සහ විජයගේ සෙනෙහබර යුග දිවි ගමනට අත්වැලක් වන් වූ නිවුන් පුතකු සහ දියණියක විවාහයෙන් දෙවන වසරේහිදී ඔවුනට එකතු වූහ.දරුවන්හට දෙවන වසර ගෙවෙද්දී වාසුගී එක් උදෑසනක නින්දෙන් අවදි නොවීය.තම දරු දෙදෙනා දෑතින් ගත් කුවණ්ණා බොහෝවේලා ඔහු දෙස බලා සිට සෙමෙන් පහත්වී අවසන් වරට සිය පියාණන්ගේ නලලත සිප ගත්තීය. ඇය පසුපස සිටි විජය ඇගේ අතින් දරුවන් රැගෙන මුදුව ඈ හිස සිප ගත්තේය. 

ඒ තුන් වසරකට පෙරය. ඉන්පසු ගතවූ කාලය තුල යක්ඛ ගෝත්‍රික ප්‍රධානීන්ගෙන් එල්ලවූ බලපෑම් අවම වූ නමුදු ඒ හා සමඟම පැණ නැඟුනේ උදක්ම අනපේක්ෂිත උවදුරකි.රට අභ්‍යන්තරයෙහි තැන තැන ඇතිවූ නොසන්සුන් තාවයක් සමනය කිරීම උදෙසා විජය හා සමඟ වංග දේශයෙන් පැමිණි සඟයෝ තමන්ගේ සේනාංකයන්ද කැටුව නොමද සහයක් ලබා දුන්නෝය.එතෙකුදු වුව යුද මානසිකත්වයෙන් ඔද වැඩුනු ඔවුහු තමන්ගේ සේනාංකයන්හි බල මහිමයෙන් ප්‍රාදේශීය රජවරුන්සේ කටයුතු කළෝය. රජකුමරකු වුවද තමන් හා එකට වංග දේශයෙන් පළවාහරිනු ලැබූ පිටුවහලකුගේ අණ පිළිපදිනුයේ කුමකටදැයි ඔවුන් බොහෝවිට කල්පනා කලා විය හැක. ඒ කෙසේ වතුදු විජයට ඉතාම විශ්වාස සහ හිතවත් භටයින් සියයකට ආසන්න පිරිසක් හැරෙන්නට අනෙකුත් සේනාංක පිළිබඳව විශ්වාසයක් තබා කටයුතු කල හැකි වතාවරණයක් එදවස ලංකාද්වීපයෙහි නොතිබිණි. ඒ අතර යක්ඛ ගෝත්‍රිකයින්ගේ නොසන්සුන්තාවයන්ද දිවයිනෙහි ඈත ගම් දනව් අතරින් විටින් විට මතු නොවූයේ නොවේ. 

ලංකාපුරයෙහි ( යක්ඛ අගනගරය වූ සිරීසවත්ථු පුරය ලංකාපුරලෙස යළි නම්කරන ලද්දේ විජය කිරුළු පැළඳ දෙවන වසරේදීය. )රාජ සභාවෙහි ඇමති වරුන් අතර පූර්ණ පක්ෂපාතීත්වය පිළිබඳව විජය සහ කුවණ්ණාට විශ්වාසය තැබිය හැකිවූයේ උපතිස්සයන් කෙරෙහි පමණකි. 

කෙමෙන් රට තුල උත්සන්නවන්නාවූ අරාජක තත්වයට පිළියම් ලෙස ලංකාද්වීපයට ඉතාම ආසන්නයේ පිහිටි දඹදිව් තලයේ රාජධානිය වන මදුරාපුර රජුගේ සහාය පැතීමට විජයට අවසානයේ සිදුවිය.එහෙත් එසේ සහාය දෙනු වස් මදුරාපුර රජු එක් කොන්දේසියක් පැණවීය. එනම් විජය ඔහුගේ දියණිය හා සමඟ අවාහ වියයුතුය යන්නයි. කුවණ්ණා හා සමඟ දැඩි සෙනෙහසින් වෙළී හුන් විජය ඒ යෝජනාව එකහෙළා ප්‍රතික්ෂේප කළේය. 

" එවැන්නක් පිළිබඳව සාකච්ඡා කිරීම පවා මගේ සිත මහත්සේ පාරවන සුළුයි උපතිස්ස, කුවණ්ණා මා කෙරෙහි කොපමණ සෙනෙහසක් දක්වන්නේද යන්න ඔබට කිසිසේත්ම රහසක් නොවෙයි.මම ද ඇයට එලෙසම පෙම් කරන්නෙමි.එසේ හෙයින් මේ වෙනත් කුමරියක හා කරන විවාහයක් පිළිබඳව මින් මතු මා හා වදනකුදු නොදොඩන්නැයි මම හෙටම අමාත්‍ය මණ්ඩලයට නියෝග කරමි. " 

අමාත්‍ය මණ්ඩලයෙහිදී අදාල යෝජනාව සාකච්ඡාවට ගැණුනු පළමු දින රාත්‍රි යාමයෙහි මාළිගයෙහි බිහිදොර අබියස අඹ තුර සෙවනෙහි වූ ගල් ආසනයෙහි හිඳ සිටි විජය තමා අසලම අසුන්ගෙන හුන් උපතිස්ස අමතා පැවසූයේ බිඳුනු හඬකිනි. 

" ඔබගෙන් මම එකම ඉල්ලීමක් කරන්නෙමි උපතිස්ස..කරුණාකර මේ බවක් කුවණ්ණාට දැනගැන්මට කිසිසේත්ම ඉඩ නොතබනු මැනවි…" 

අවසානයේ අසුනෙන් නැඟීසිටි විජය උපතිස්සගේ දසරුව මත තම දෑත් තබමින් එසේ ආයාචනය කලේය. 

" ඒ පිළිබඳව කිසිදු සැකයක් ඔබ සිතෙහි තබාගත යුතු නැත රජතුමනි. මම ඔබගේ ඉල්ලීම එලෙසම ඉටු කරමි. එහෙත් කොපමණ කලක් මෙය කුමරියගෙන් වසන් කොටගෙන සිටින්නද? " 

ඒ පැණයට සුදුසු පිළිතුරක් සිතාගත නොහැකිවූ විජය උපතිස්ස වෙතින් ඉවත්ව අංගනය හරහා සිය වාස භවන වෙත පිය නැඟුවේය. 

උපතිස්ස පැවසූ ලෙසම කුවණ්ණා දින කිහිපයක් ඉක්මයාමට පෙර විවාහ යෝජනාව පිළිබඳ පුවත දැනගත්තාය. 

දින කිහිපයක් මාළිගයෙන් බැහැරයාමෙහි අවස්ථාවක් නොලද විජය එදින සවස උපතිස්ස හා සමඟ ඉද්ද ගැසුවාක්සේ දිවෙන ලංකාපුරය සහ තම්බපණ්ණි මාර්ගයෙහි බොහෝ දුර අසු විහිදවූයේ ගතමෙන්ම සිතද ඉපිල යන අන්දමේ ප්‍රීතියකිනි. 

" උපතිස්ස ජීවිතය යනු මෙයයි උපතිස්ස, කුමක්ද මේ කිරුළ?...ඒ මා හිස මත තැබූ ගල පර්වතයක් මෙන් මා සිත මෙන්ම ගතද දවයි. කුවණ්ණා සහ දරු දෙදෙනාද රැගෙන මේ රාජ්‍යය රුචි අයෙකුට භාරදී වනගතව දිවිගෙවීමට ඇත්නම් ඒ කෙතෙක් භාග්‍යයයක්දැයි මට සිතී ඇත්තේ වරක් හෝ දෙවරක් නොවේ උපතිස්ස වරක් හෝ දෙවරක් නොවේ. " 

කොහොඹ ගස් මණ්ඩියක අසුන් පිටින් බැස හිරු බැසයන දෙස මඳක් වේලා දෑස් දලවා බලා සිටි විජය උපතිස්ස අමතා එසේ පැවසූයේ වැල්ලේ හිඳ ගනිමිනි. 

" රජතුමනි, කිරුළ පැලඳීම තරම්ම එය ඉවතහෙලීමද අසීරුයි. සමහර විට ඊටද වඩා අසීරුයි.අප හැමදෙනගේ දෛවය අනුව ඉරණම අනුව ලියැවී ඇත්ත වෙනස් කිර්‍රිමට තරම් අපි කවුද?

බටහිර අහසේ හිරුඑලිය මැකීගියේ ගනඳුර අතරින් නිල් මිණිවන් තරුකැට දහසක් පායා එනයුරු නරඹමින් ඔවුහු බොහෝ වේලාවක් එහි ගත කළහ. 

Image - Huffingtonpost.com

" බලනු මැන උපතිස්ස කොපමණ අයස්කාන්ත දර්ශනයක්ද? අහෝ මේ අපූර්ව දසුන නරඹනුවස් කුවණ්ණා මෙහි නොමැතිවීමය මසිත පෙලන එකම ශෝකය…" 

එදින ආපසු සිය වාස භවන වෙත විජය පැමිණියේ උද්දාමයට පත්වූ සිතකිනි. විලක්කු ආලෝකයෙන් බබලන පෙත් මඟ ඔස්සේ ඔහු ප්‍රධාන දොරටුව වෙත ලඟා වූයේ " කුවණ්ණා…. " යනුවෙන් හඬ නඟමිනි. 

" කෝ මගේ කුඩාවුන් දෙදෙනා?...ඔවුන් වේලාසනම නින්දට ගියා වත්ද? " 

ආලින්දයෙහි ඈත කෙලවර අසුන්ගෙන සිටි කුවණ්ණා සෙමෙන් නැඟිට ඔහු වෙත පිය මැන්නාය. 

" එසේය කුමරුණි, දරුවන් නින්දට ගොස්ය. " 

ඔහු රජවූ පසුවද ඇය ඔහු ආමන්ත්‍රණය කල කුමරුණි යන්න වෙනස් නොකලාය.ඇගේ ස්වරයෙන්ම යම් වෙනසක් දැනුනු විජය දරුවන්ගේ නිදන මැදිරිය වෙත පිවිසීම උදෙසා එසවූ පය එලෙසම තබා කුවණ්ණා දෙස හැරුණේය. 

" කුවණ්ණා????..." 

" කුමරුණි....." 

ඔහු ඇගේ දෑස් දෙස එබී බැලීය. වෙනදා ඔහු වත දුටු වහාම දීප්තිමත්ව බබලනා ඒ දෑස්, ඇගේ සිහින් දෑස් වේදනාවෙන් පරිපීඩිතව තිබිණි. 


මතු සම්බන්ධයි...... 

Friday, June 14, 2013

194. ක්‍රැකටෝවා......

මම මෙහෙ ඉන්නෙ මගෙ හොඳ යාලුවෙක් එක්ක එපාට්මන්ට් එකක හවුලෙ.මම මීට කලින් මේ කතාව කියලත් තියනව....අර..මේ..අර...තාරාවෙක් ගැන විස්තරේදි... යාලුව ඉන්නෙ එයාගෙ බිරිඳ සහ පොඩි දරුවො දෙන්න එක්ක. ලොකු පුතා මෙහෙ ශ්‍රී ලංකා පාසලේ තුන වසරෙ....මේ ඊයෙ පෙරෙයිද දවසක මිනිහ කඩාගෙන ආව මගෙ කාමරේට.. 

"අනේ අංකල් මට ගිණි කඳු පිපිරීම් ගැන විස්තර ටිකක් කියනවද?..ටීචර් කිව්ව හෙට එනකොට ඒ ගැන විස්තර හොයාගෙන එන්නෙයි කියල." 

අම්මප දැං මේ ඉස්කෝල වල උගන්නනව කිව්වට කරන කෙහෙල්මල් ඉගැන්නිල්ලක් නෑ!!! ළමයින්ටම විස්තර හොයාගෙන ඉගෙන ගන්නයි තියෙන්නෙ. සමහරවිට හැමදේම කියල දෙනවට වැඩිය එහෙම ඉගෙන ගන්න ඉඩ හරින එක වෙන්නැති හරිම ක්‍රමේ..කවුද දන්නෙ ඔව්ව?...කොහොමහරි ඔය කියන කියන තොරතුරු පට පට ගල හොයා ගන්ට ජාලෙ තියන නිසාම හොඳයි. නැත්තං මේ කියන කියන අටමගල් ගැන විස්තර කොහෙං හොයන්ටද? එහෙමත් නැත්තං ලක්ස ගානක් දීල එන්සයික්ලොපීඩියා බ්‍රිටැනිකා විශ්ව කෝෂෙ A - Z කාණ්ඩ ටික ඔක්කොම අරගෙන ගෙදර ගොඩ ගහගෙන තියාගන්නයි වෙන්නෙ. 

හරි ඒ නවීන ඉගෙනුම් ක්‍රම ගැන කතා කලා මදැයි..එව්ව එහෙම තමයි..කලින් කල පලින් පල කිව්වලු..ලෝකෙ හැම දෙයක්ම අනිවාර්යයෙන් වෙනස් වෙනවනෙ...මේ අද කියන එක නෙවෙයි හෙට..ඊට හාත්පසින්ම වෙනස් දෙයක්..අපිත් ඉතිං ඔය ඔක්කෝටම හා..හූ..කිය කිය ඉන්නව මිසක වෙන මක් කරන්නද?... 

ඔන්න එක පොඩි උදාහරණයක් ගම්මු..දැන් මේ පොල් තෙල් තියනව නේද? අපි පොඩි සන්දියෙ ඉවුං පිහුං ඔක්කෝටම ගත්තෙ පොල්තෙල්...කට්ට කරෝල කෑල්ලක් බැදල ගන්ටද ලූණු කපාපුව ටිකකුත් දාල...එතනිං ගිහාම වේලිච්ච මිරිස් කරලක් දෙකට පලල ලුණු පොල් කට්ටෙ පොඟෝල තියල බැදල ගන්ටද, එහෙමත් නැත්තං තිලාපියා මොසැම්බිකා පෙති කපල දුරු මිරිස් අතගාල බැදල ගන්ටද ඔය ඔක්කෝටම ඉතිං පොල් තෙල්ම තමයි, ඒ දවස්වල ඔය පොල් තෙල් වලිං හාට් ඇටෑක් එනවය කියල කතාවක් තිබ්බෙ නෑ ආය...

අපෙ අත්තම්ම ඒ දවස්වල මාස තුනකට විතර සැරයක් පොල්තෙල් හිඳිනව..හප්පා ඒක මහා පරිමාණෙ ව්‍යාපෘතියක්. නිවාඩු දවසක් ඉරිදාවක් වගෙ අල්ලල තමයි වැඩේ පටං ගන්නෙ..ආය නෑ ගෙදර වැඩිහිටියො ඔක්කොම එකතුවෙනව. ඒත් හවස හතර පහ වෙනකොට තමයි යාන්තමට වැඩේ එකලාසයක් වෙන්නෙ. හරි ඒ ගැන ආයම ලියන්නම් සවිස්තරව..මම මේ කියන්ට ආවෙ පොල් තෙල් හිඳිනකොට තෙල් කහ කියල ඉතුරු වෙනව ගාපු පොල් සහ බාගෙට හැදිච්ච පොල්තෙල් වල මිශ්‍රණයක්. අල්ලන්ටවත් බැරි තරමට තෙල්. අපි පොඩි එවුං ඔව්ව කනව කට දෙපැත්තෙයි, බඩෙයි ඔක්කොම තෙල් නාවර පෙරාගෙන. අම්මල අප්පච්චිල කවුරුත්ම අපිට කෑගැහැව්වෙ එහෙම නෑ බැරිවෙලාත්, හා...හා... කන්ට එපා ළමයි ඔව්ව . ඔය හැටි තෙල් කන එක හොඳ නෑ කියල එහෙම. 

ඔන්න කාලෙකට පස්සෙ මට මතක විදිහට 82/83 වගෙ කාලෙ වෙන්න ඕන..ඕන්න ආව හා හූවක් පොල් තෙල් කෑම බොහොම අගුණය. හාට් එකට ෆුල් අබ්ලික්ය අරකද මේකද කියල..පත්තරවල තිබ්බ ඒ ගැන ලිපි ඕසෙට. රූපවාහිනියෙ සාකච්ඡා ගියා පැල් බැඳගෙන. කොහොම හරි ඔන්න අපිත් ඔය කියන එව්ව ඔක්කොම පිළිගත්ත.නැතුව කොහොමද? විසේසඥයො කිව්වම පිළිගන්ටම එපාය. හෘද රෝග ගැන අවුරුදු ගානක් ඉගෙන ගත්තු ඒ ගැන උපාදි කප්පරක් ගත්තු මනුස්සයෙක් කිව්වම පොල්තෙල් හෘදයට අගුණයි කියල... පිස්සුද ඕයි තමුසෙට ඔල්මාදද ? කියල අහන්ට පුළුවන? අනික එහෙම අහන්ට අපි කවුද? 

අනේ අපි ඔහෙල වගෙ පුරුතග්ජනයින්ට තියෙන්නෙ හා එහෙමද? හැබෑද?...කවුද දන්නෙ අනේ ඔය විත්තියක්? කලින් කියන්ට එපාද? දැන්වත් දැනගත්තු එක කොච්චර ලොකු දෙයක්ද? ඉස්තූතියි බොහොමත්ම ඔහෙලට කියල ආයම මේ ගෙදර පැත්ත පළාතෙ පොල්තෙල් එහෙම ගෙනෙනව නෙවෙයි ඔන්න..මම නොකිව්වයි කියන්ට එපා කියල තහනං නියෝග නිකුත් කොරල ගෝරනාඩු කරල යකා නටල එදා ඉඳල අර විසේසඥයංගෙ උපදෙස් පරිදි එළෝළු තෙල් කන්ට පුරුදු වෙන එක. 

ඕන්න ඔහොම ඉතිං එළෝළු තෙල් කකා කකා හිටියයි කියමු. ඔහොම අවුරුදු දහයක් පාළොහකුත් ගියාය කියමුකො. ඔන්න ගහෙං ගෙඩි එන්නැහෙ පත්තරවල විසේසාංග, එතකොට ටී.වී වල අර මඬල, මේ මඬල, අර සබාව, මේ සබාවෙ ඔව්ව ඔක්කොගෙම පැල්බැඳගෙන කියන්ට ගන්නව අර කාලෙකට ඉස්සර පොල් තෙල් අගුණයි කිව්වෙ ..ඒක පට්ට බොරුවක්ය..ඒ එළෝළු තෙල් කොම්පැනි වලිං සල්ලි අරං විසේසඥයොය කියන ගොබිලො ජහමනයව රවට්ටන්ඩ කියාපු එකක්ය කියල..පොල්තෙල් තරං හුර්දයට ආතල් වෙන එකක් මේ තුංලෝකෙම නැතිය..අරකද මේකද රටේ නැති ජාති.. විසේසඥයො රූපවාහිනියට ඇවිල්ල පොලවෙ පස් කනව පොල්තෙල් හොඳයිය කියල, දහාතේ දිවුරනව.... 

ඕන්න අපි ඔක්කොම ආයෙම...ඒකනෙ කියන්නෙ...මම නං ඒ කාලෙම හිතුව ඕකෙ මොකාක් නමුත් කොස්සක් තියනවය කියල..නැත්තං ආය අපෙ අත්තල මුත්තල බැදුං පිළිස්සුං හැදුවෙත් ඔය එළෝලු තෙල් දාලය..ඒත් කොයි උන්දැලට ඔය කියන හාට් ඇටෑක්ද මොනවද කියන එව්ව...ඔන්න ඔහොම කියල ආයම පොල්තෙල් කන්ට පුරුදු වෙනව..එව්වයෙ හැටි එහෙම තමයි... 

හරි ඒ අතුරු කතාව ඇති ඔය....ඉතිං අර පොඩි එකාට ගිණිකඳු ගැන විස්තර හොයල දෙන්ට ගිහිල්ල ඔන්න මම ගියා මතක මංපෙත ඔස්සේ අතීතයට..Down memory lane… 

ඔහෙ ඉතිං මොකද?...ඕන දෙයක් කියාපං....ඔහෙටත් ඇති එක්කො ඒ වගෙ අත්දැකීමක්....අඩුම ගනනෙ යාලුවෙක්ගෙ යාලුවෙක්ගෙ යාලුවෙකුටවත් ඒ වගේ දෙයක් වෙලා හරි ඇති..නැද්ද?.... හෙහ්..හෙහ් 

හරි ඒ පරණ කතාව මෙන්න මෙහෙමයි හොඳද? 

අවුරුදු පහළොව දාසයේ විතර කාලෙ ..දන්නවනෙ ඔය කාලෙ ඉතිං...ඉස්ත්‍රී සරීරය ගැන එහෙම උනන්දුව එකසියගානට නැගල යන කාලෙනෙ...පිච්චර් එකක් එහෙම උනත් බලන්නෙ යන්තමට අඟ පසඟ පේන්ට ඉස්ත්‍රියාවක් බිල් බෝඩ් එකේ දාල තිබ්බොත් විතරයි. මරදාන හන්දියෙ ඔහොම අනන්ත තිබ්බ ඒ දවස්වල බිල් බෝඩ්ස් අඩි හතලිහක් විතර උස..ඔන්න යන්තම් ඇඟ වැහෙන්ට මොකක් හරි පටලෝගෙන ඉන්න ඉස්තිරියාවකගෙ රූපයක්....අපිට ඉතිං පිස්සු නොහැදෙන එක විතරයි. 

ඉතිං දෙවෙනි පීරියඩ් එක ඉවර වෙන්නෙ කොයි වෙලාවෙද කියල ඉන්නෙ...අර කුණු කාණුව දිගේ බඩ ගාල ඉස්කෝලෙ පිටිපස්සෙ තාප්පෙං පැනල අල්ලපු වත්තෙ බල්ලට වැඳල කාරිය පාරට ගොඩ වෙල ඔන්න යනව විජිතපුර සටනට ගොස් එන ගැමුණු කුමරු වගෙ තමයි කොටින්ම...මාර හැපී..කණ කටේ..හෙහ්, හෙහ් 

ඔහොම දුෂ්කර ක්‍රියා කරල ගියාය කියමු හෝල් එකට....පිචර් එකත් බැලුවය කියමු..අනේ අර බිල් බෝඩ් එකේ තිබ්බ කෑල්ල බලනකොට පිචර් එකේ නෑ...මුං මේ අපි වගෙ මෝඩ කොල්ලො අන්දන්න හිතලම කරපු මගඩියක්...ටිකට් විකුණන එකාගෙ අම්මට බැණ බැණ ආයම එනව ඉස්කෝලෙට..ඒත් ලස්සනම වැඩේය කියන්නෙ..ආයම ඊලඟ දවසෙත් ඔය ඔය ටික ඔය විදිහටම කරනව...ආය නෑ ඒකෙ දෙකක්... 

ටික දවසකින් ඔය වගෙ පිචර් එකක් නොබල නිකං අපෙ හිතත් එක්ක හෝන්දු මාන්දු වෙලයි තිබ්බෙ. 

"ඒයි මැජස්ටික් එකේ අලුත් ෆිල්ම් එකක් දාල තියනව...හවස යමං සික්ස් තර්ටි ෂෝ එකට.." 

ඔන්න එකෙක් කිව්වෙ ඉන්ටවල් එක වෙලාවෙ 

අපි කට්ටිය හිටියෙ ඩෙස්ක් එකකට තට්ටු කර කර ඒ කලෙ නැඟල ගිය සිංදුවක් කියමින්.....සීතාදේවි ෆිල්ම් එක..නිම් හිම් සෙව්වා මා සසරේ හමුවී යුගයෙන් බැඳි යුගයේ....... 

" මොකක්ද නම?..කෑලි එහෙම තියනවද?..." 

"එහෙම එව්ව නං නෑ මම හිතන්නෙ...මේ ක්‍රැකටෝවා..... ඊස්ට් ඔෆ් ජාවා නම.. " 

"මොකක්ද බං ඒ? මහ විකාර නමක්නෙ...මොකක්ද ඉස්සරහ බෝඩ් එකේ දාල තිබ්බෙ? " 

මිනිහගෙ ගෙවල් ගල්කිස්සෙ…. ගෝල් රෝඩ් එකේ හෝල් වල දාල තියන ෆිල්ම්ස් වල ආරංචි අපිට අරං එන එක මිනිහටයි බාර වෙල තිබ්බෙ... 

"ගිණි කන්දක් පුපුරනව තිබ්බ මචං ඒ කිට්ටුව බැලූන් එකක් පාවෙලා යනව.." 

" මොකක් බැලුමක්? අර පොඩි එවුං සෙල්ලං කරන ජාතියෙ?..." 

" නෑ බං අර මහ විසාල එව්ව...බැලුමෙ යට පොඩි කූඩුවක් වගේ එකක් එල්ලල මිනිස්සු නැඟල යන්නෙ අන්න ඒ ජාතියෙ එකක්…"

" අඩේ යමුද බලන්ට?...හැමදාම බුරුස් ලීගෙ එව්වයි යන්තං මොකක් හරි කෑල්ලක් තියන එව්වයිම බල බල ඉඳල හරියන්නෙ නෑ..ඔහොම එකකුත් බලමු ඉඳ හිටල " 

"හරි..හරි එහෙනං හවස වරෙල්ල පහට විතර බොරැල්ලෙ දාස එක ඉස්සරහට…" 

එදා අපි මැජස්ටික් එකේ බැලුව ඒ ෆිල්ම් එක ක්‍රැකටෝවා ඊස්ට් ඔෆ් ජාවා...( හැබැයි චිත්‍රපටයෙ නමේ නම් වැරැද්දක් තියනව..ක්‍රැකටෝවා ගිණි කන්ද තිබ්බෙ ජාවා දූපතට නැගෙනහිරින් නම් නෙවෙයි බටහිරින්...) පටන් ගත්තු වෙලාවෙ ඉඳල ඉවර වෙනකල්ම ගල් ගිල්ල වගෙ අපි බලාහිටිය මැජස්ටික් අති විශාල පුළුල් තිරේ දිග ඇරෙන විශ්මයජනක දර්ශන දිහාවෙ....කොහොම හරි ඊට සතියකට විතර පස් සෙ අපි ආයෙම සැරයක් ක්‍රැකටෝවා බැලුව මට මතකයි. 




ක්‍රැකටෝවා කියන්නෙ දූපතක්..ජාවා සහ සුමාත්‍රා අතර තිබුනු යමහල් දිවයිනක්..ඒ කියන්නෙ ගිණි කන්දක් මුහුදෙන් මතු වීම නිසා නිර්මාණය වුනු දූපතක්. 1883 අගෝස්තු 26-27 යන දෙදින තුල මේ ගිණි කන්ද පුපුරායාම නිසා ඒ දූපතෙන් 2/3 සම්පූර්ණයෙන්ම විනාශ වෙනවා. 




ක්‍රැකටෝවා පිපිරීම මිනිස් ඉතිහාසයේ මෙතෙක් වාර්තාවූ දරුණුම පිපිරීම...මෙහි පිපිරීමේ බලය 1945 හිරෝෂිමා නගරයට හෙළපු පරමාණු බෝම්බය වගෙ 13,000 ගුණයක්. මෙතෙක් මිනිසා විසින් කල විශාලම පිපිරීම සෝවියට් දේශය 1961 ඔක්තෝබර් 30 වනදා සිදුකල Tsar Bomba ජලකර බෝම්බ පිපිරවීම. ක්‍රැකටෝවා පිපිරීම ඒ වගෙ හතර ගුණයක්... 

ඒ වගේම මිනිස් ඉතිහාසයෙ මෙතෙක් ඇසුණු විශාලම ශබ්දය.දකුණු දෙසින් සැතපුම් 1930 දුරින් පිහිටි බටහිර ඕස්ට්‍රේලියාවෙ පර්ත් නගරයට පිපිරුම් ශබ්දය ඇහිල තියනව. ඒ වගේම සැතපුම් 3000 බටහිරින් පිහිටි රොඩ්‍රිගුවස් සහ මොරිෂස් දූපත්වලටත් ශබ්දය ඇසුණයි කියල වාර්තා වෙනව. ඒ කියන්නෙ අනිවාර්යයෙන්ම ලංකාවටත් මේ ශබ්දය ඇහෙන්නම ඇති. පිපිරීමෙන් උත්පාදනය වූ කම්පන තරංග සිද්ධියෙන් දින පහකට පසුද මානක උපකරණ වල සටහන් වූ බවද සම්පූර්ණයෙන්ම වියැකී යාමට පෙර එම තරංග ලොව වටා සත් වරක් ගමන් කල බවද කියැවෙනවා. 

ඒ හා සමඟම ඇතිවූ සුනාමිය සහ රක්ත තප්ත ගල් සහ උණුසුම් අළු පතනය සහ විෂ වායූන්ට ගොදුරු වීම නිසා ගම් සහ නගර 165 විනාශ වූ අතර යටත් පිරිසෙයින් මිනිසුන් 36,417 දෙනෙකු මිය ගිය බවටද වාර්තා වෙනවා. 

ක්‍රැකටෝවා දූපත මුහුදේ ගිලීගිය තැන 1930 තවත් යමහලක් මුහුදින් මතුවෙනවා. එම දූපත හැඳින්වෙන්නේ අනක් ක්‍රැකටෝවා ලෙසින් ( ඉන්දුනීසියානු භාෂාවෙන් ක්‍රැකටෝවාගේ දරුවා )මේ දූපත වසරකට සාමාන්‍ය වශයෙන් මීටර් 7 පමණ වේගයෙන් වර්ධනය වෙනවා. ඒ කියන්නෙ අඩි 22 විතර අවුරුද්දකට මුහුදෙන් මතු වෙනවා කියන එක.1994 සිට මේ දක්වා අනක් ක්‍රැකටෝවා සක්‍රිය යමහලක්. යම් කාල පරතරයන් ඇතිව සුළු විදාරණයන් සිදුවෙනවා. එසේම යමහල් විද්‍යාඥයින් මෙහි ක්‍රියාකාරිත්වය පිළිබඳව බොහොම විමසිලිමත්ව සිටින්නෙ. සමහරවිට ඔබේ මගේ ජීවිත කාලය තුල 1883 ක්‍රැකටෝවා පිපිරීම පරදවන පිපිර්‍රිමක් දැකබලා ගැනීමේ වාසනාව හෝ බොහෝවිට අවාසනාව අපිට හිමිවෙන්නත් පුළුවන්. කවුද දන්නෙ? 




මිනිස්සු කොච්චර දියුණු උනත් ස්වභාව ධර්මය එක්ක ඒ සෙල්ලං හරි යන්නෙ නෑ. ඉඳහිටල ටිකක් ඔය නාහෙට නාහන තමන් දැං ඔක්කොම දන්නව ඒ නිසා තමන්ට වැඩිය ජගතෙක් නැහැයි කියල ඔලුව උදුම්මගෙන ඉන්න අකීකරු දරුවෙකුගෙ කණෙන් අල්ලල පොඩ්ඩක් හොල්ලල කාරිය අම්ම කියල දෙනව වගේ උඹ මොනතරම් චණ්ඩි පාට් දැම්මත් මට උඹ ලොකු නැහැ කියල ස්වභාව ධර්මයත් මිනිස්සුන්ට හිටපු ගමන් කියල දෙනව උඹල මට මොක්කුද කියල. 

2004 සුනාමිය එහෙම එකක්..අපේ කාලෙදි ආයෙම එහෙම මිනිස්සුන්ට පාඩමක් කියල දෙන්ට ස්වභාව ධර්මයට නොහිතේවා කියල ප්‍රාර්ථනා කරනව ඇරෙන්න වෙන මොනවද අපිට කරන්න පුළුවන්? 

Tuesday, June 11, 2013

193. කිරුළ සහ සෙනෙහස ……6







එදින ඒ තම්මැන්නා පුරවරයෙහි රත්හිරු කෙමෙන් අවර සයුර රළපෙලට මුවාව බැසගිය සැඳෑවේ සිට ගතවූ වසර පහකට ආසන්න කාලය පිළිබඳව සැකෙවින් සඳහන් කොට වත්මනට පිවිසෙන්නට මට අවසර ප්‍රිය සහෘදය / සහෘදිනිය... 

පසුදින අධිකරණය වෙත ඉදිරිපත් වූ විජය අභියාචනයක් ඉදිරිපත් කළේය. 

තම තීරණයට විරුද්ධව ඉදිරිපත්වූ අභියාචනයක් තමන් විසින්ම සළකා බැලීම සදාචාරශීලී නොවන්නේය යන පදනම මත කුවණ්ණා ඒ පිළිබඳව තීන්දුවක් දීම පියාණන් යළි තම්බපණ්ණියට සැපත්වූ ඉක්බිති ඔහුට පවරන බව පවසා එතෙක් විජය ඇතුළු පිරිසට යහපත් කල්ක්‍රියාවෙන් යුතුව හැසිරෙන බවට වූ එකම කොන්දේසියට යටත්ව තම්බපණ්ණියෙහි රැඳී සිටීමට අවසර දුන්නාය. 

වාසුගී යලි සැපත් වනතෙක් ගෙවුණු දෙසතියක පමණ වූ කාල පරිච්ඡේදය තුල කුවණ්ණා ඔහු සමඟ බොහෝ සන්ධ්‍යා කාලයන් ප්‍රාසාදයෙහි පිටාංගනයට ඔබ්බෙන් වූ සමුද්‍ර තීරයෙහි මෙන්ම ආලින්දයෙහි ද ගත කළාය. විජය පිළිබඳව ඈ තුල වූ පූර්ව නිගමනයන් බොහෝ සාවද්‍ය බව ඇයට පසක් වීමට දින කිහිපයකට වඩා ගත නොවීය. 

ඔහු අඳබාල නොදැමුණු තරුණයෙක් වශයෙන් වර්ගීකරණය කල ඇගේ තීරණය ඉඳුරාම සාවද්‍ය බවට වැටහෙන කල්හි විජය කෙරෙහි තම සිත් සතන් තුල නැඟෙනා බැඳීම කුමණාකාරදැයි වටහා ගැනීමට කුවණ්ණා බොහෝසේ උත්සාහ කළාය. 

" සිද්ධාර්ථ ගෞතමයන්ගේ දර්ශනය පදනම්ව ඇත්තේ අනාත්ම වාදය මත.මනුෂ්‍යයාහට නැවත ඉපදීමක් නැත. ඔබ කරනා සියළු හරි හෝ වැරදි ක්‍රියා මෙලොව මේ ආත්ම භාවය තුලදීම ඔබ කරා එලඹෙන්නේය.එබැවින් තම තමන් ක්‍රියා කල යුතු ආකාරය පිළිබඳව තීරණය කිරීම සිතීමට සිතක් ඇති නිසාම මනස උසස් වූ නිසාම මනුෂ්‍ය යයි නම් ලද්දාවූ මිනිසාටම පැවරෙන්නේය. " 

විජය පැවසූයේ එක් සවස් භාගයෙක ප්‍රාසාදයෙහි ආලින්දයෙහි අසුන්ගෙන පියස්ස දරා සිටි කුළුණු වල රැඳි අයෝමය ධාරකයන්හි දැල්වෙනා විලක්කු ආලෝකයට රොදබැඳ ගත් මැසි සමූහයා ගින්නෙන් දැවෙමින් අංගනයෙහි අතුල සුදු වැලි තලය මතට පතිත වන අයුරු නරඹමිනි. 

සුදු පැහැරෙදිකඩකින් දෙවුර වසාගත් සේවිකාවක් බන්දේසියක තැබූ නොපැසුණු තල් වතුර පිරවූ රිදී ආලේපකල තඹලේරු දෙකක් ගෙනවුත් ඔවුන් දෙදෙන අතර වූ අටමුළු කනප්පුව මත තබා සෙමෙන් ඉවත්ව ගියාය. 

විජයගේ දෑස් යොමුව තිබුණු දෙස නෙත් යොමු කල කුවණ්ණාගෙ සිතෙහි ගිණි හුල වෙත ලඟාව අනවතරව පිළිස්සී මියයන්නාවූ කුඩා සත්වයින් පිළිබඳ හට ගත්තේ ශෝකය සහ මුසුවූ අනුකම්පාවකි. මේ නාඳුනන තරුණයා කෙරෙහි අනිච්ඡානුගව ආකර්ෂණය වන්නාවූ තම සිත පිළිබඳව නිමේෂයක් කල්පනාවේ යෙදුනු ඇය තුල තමාද ගිණි හුලට ආකර්ශනයව මියයන්නාවූ අසරණ සත්වයෙක් බඳු යැයි සිතුවිල්ලක් මොහොතකට ඉපිද යලි අතුරුදන් විය. 

" බොන්න කුමරුණි.....මේ තෙල පෙනෙන තල් ශාඛයන්හි නොපැසුණු ඵල අභ්‍යන්තරයෙහි වන්නාවූ සිසිල් දියරයයි. ඉතා පෝෂ්‍යදායකයි එමෙන්ම ප්‍රණීතයි. " 

ඇය එක තඹලේරුවක් සුරතට ගත්තේ ප්‍රාසාදයෙහි බිහි දොර අසල සිට ආරම්භව තම්බපණ්ණි පුරවරය දක්වා දිවෙන බොරළු අතුල මාර්ගයෙහි දෙපස සෘජුවූ උරස්කායෙන් යුතු ආරක්ෂක මුර සෙබළුන් සේනාංකයක් මෙන් නිසලව හිඳිනා තල් රුක් දෙපෙළ වමතින් දැක්වීමෙන් අනතුරුවය. 

Image Credit - T.G.
" ඔබට ස්තූතියි කුමරියනි……" 

විජය මද සිනහවකින් යුතුව තඹලේරුව සුරතට ගත්තේය. සෙමෙන් සෙමෙන් තල් පැන් තොල ගානා අතර තුර ඔවුන් අතර පැවතියේ නිහඬතාවයකි. 

කල්පනාවෙන් බරවූ කුවණ්ණාගේ සිත එක පැහැර දිව ගියේ වසර සතරකට පමණ ඔබ්බෙහි අතීතයටය. 

තම්බපණ්ණියෙහි සිට දඹකොළ පටුන දක්වා මුහුද ආසන්නයෙන් දිවෙන මාර්ගයෙහි මාතොට පසුවූ තන්හි යොදුන් තුනක් පමණ මඟ ගෙවූ කල්හි රට අභ්‍යන්තරයට විහිද ගිය මාර්ගයෙහි අසකු අරා අඩ හෝරාවෙක් පමණ වූ කාලයක් ගමන් කල ඉක්බිති ලවණ රස මුසු මුහුදු සුළඟ පොහෝනා නොපොහෝනා මානයේ වූ නූස් එක් කඳු ගැටිත්තෙක් වී. 

එහි කඳු මස්තකය ආසන්නයේම වූ එක් සුවිසල් ගල් ගුහාවෙක් විය. එහි වාසය කලෝ එක් බොහෝ වයස්ගත වූ යෝගිනියකි.ඒ අවට වූ දනව් වැස්සන් සපයන්නාවූ අහරින් යැපුණු ඇය කෙතෙක් වයස්ගතදැයි ඉඳුරාම කෙසේ වුවද ආසන්න වශයෙන් හෝ පැවසිය හැකි සමතෙක් එදවස නොවූහ.වසරක් පාසා තෙසතියක් හෝ ඊට බොහෝ සේ ආසන්න කාලයක් පුරා නොකඩවා ඇදහැලෙන මෝසම් වර්ෂාව කාලයෙහිදී දනව් වැස්සන්හට ඇයට අහර සැපයීමෙහි ලා දුෂ්කරතා පැණ නැඟුනද ඇය කිසිදු විටෙක අහර හිඟයකින් පෙළුණු බවෙක් නම් පෙනී ගියේ නැති. 

එළෙසම ඔහුගේ මුත්තණුවන්ගේ යුගයෙහි පවා ඇගේ ස්වරූපය කිසිදු වෙනසක් නොමැතිව මෙළෙසම වූ බැව් දනව්වෙහි වැසි වයෝවෘද්ධතමයා ශපථ කොට සිටියේ කිසිදු සැකයකින් තොරවය. 

මේ අපූර්ව යෝගිනිය වනාහී තම තපසෙහි බල මහිමයෙන් තුන්කල් දක්නා වක්තෘවරියක බවට පසල් දනව් වැසියන් අතර තුඩ තුඩ පැතිරි රාවය තම්බපණ්ණියට ළඟාවනු වස් බොහෝ කල් ඉක්ම නොගියේය. 

අද්භූත බලයන් පිළිබඳව එකහෙලා විශ්වාස නොකලමුදු වාසුගී එළෙසම එවන් දේ එකහෙලා බැහැර කිරීමටද මැළිවිය. 

" විවෘත මනසක් පවත්වා ගැනීම ඉතාම වැදගත් කුවණ්ණා..මා දියණිය..මේ ලොව අප නොදන්නා අපට වටහාගැන්මට උගහට වූ සහසක් සංසිද්ධීන් මෙන්ම ප්‍රපංචයන්ද ඉඳුරාමැ පැවති සහ පවතින බව උදක්මැ සිහිතබා ගත මැනවි. " 

දිනෙක උදෑසන හිමිදිරි හිරු රැස් තල් අරඹ සිපගැන්මට ද පෙරාතුව අසුන් දෙදෙනෙකු අරා පියා සහ දියණිය ඒ අපූර්ව යෝගිනිය හමුවනු වස් ගමනාරම්භ කළෝය. 

හිරු අවරට හැරී හෝරා දෙකක් පමණ ඉක්ම ගිය ඉක්බිති ඔවුහු අදාල ගිරි ශිකර මස්තකය වෙත ලඟා වූවෝය. බැසයන හිරුගේ රත් පැහැය තුඟු ගිරි මුදුනෙහි වූ විසල් ගල් කුළු මත පතිතව විස්මයාහව දසුනක් මවා පෑවේය. ගිරි හිස වූයේ කුඩා තැනිතලාවෙකි. එහි එක් කෙළවරෙක බෑවුමට පිටුපා නිල් අහසට නැඟි තුඟු වනස්පතියක සෙවණෙහි දෙදණ නවා පියාගත් දෙනෙතින් යුතුව යෝගිනිය භාවනාවෙහි යෙදී හුන්නීය. 

සෙල් පිළිමයක්මෙන් නිසලව හිඳි ඇගේ වත බැසයන හිරු එළියේ දිලිනි. නිහඬව තමා අසලින් හිඳගන්නා ලෙස කුවණ්ණාහට සුරතින් සන් කෙරෙමින් වාසුගී යෝගිනිය ඉදිරියෙහි වූ ගල් පොත්තක් මත අසුන් ගත්තාය. 

ඔවුන් දෙදෙන ඒ සන්ධ්‍යා කාලයෙහි නිහඬවම කොපමණ කාලයක් ගත කලේදැයි කුවණ්ණාහට ස්ථිරව කිව නොහැක.එහෙත් ඒ අඩ හෝරාවකට ආසන්න කාලයක් බව ඇගේ මතකයේ රැඳී ඇත්තේය. 

එක් වනම යෝගිනිය දෑස් විවර කලාය. 

" දියණිය….. තොප විසින් ගන්නාවූ එක් තීරණයක් හේතු කොටගෙන මේ දිවයිනෙහිම අනාගතය වෙනස් වනු ඇත. " 

මඳ වේලාවක් කුවණ්ණා දෙස බලා සිටි ඕ පහත් හඬින් තෙපළාය. 

" මෑණියනි.?...." 

විස්මයපත් වූ කුවණ්නා දෑස් විදහාගත්වනම විචාලාය. එහෙත් තම සුරත එසවූ යෝගිනිය ඇය වැළැක්වූවාය. 

" ඒ කෙසේද? ඒ වැළැක්වීමට කටයුතු කල යුත්තේ කෙසේද යන්න නොවිමසන්න. කාලය වනාහී නොනවතින ප්‍රවාහයකි. එම ප්‍රවාහයෙහි එක් දිය සුළියක් වෙනස් කිරීමට උත්සාහ කිරීම බරපතල විපාක ගෙන දිය හැකි අන්තරායකර කර්තව්‍යයකි.එබැවින් දෛවය එසේත් නැතහොත් ඉරණමට ඉඩ දීමට ඔබේ සිත එකඟ කරවා ගන්නට උත්සාහ කරන්න. " 

සුරත ඔසවා කුවණ්ණාට ආශිර්වාද කල ඇය යලි දෙනෙත් පියා ගත්තීය. ඇය යළි දෙනෙත් විවර කරනා තෙක් ඔවුහු ඒ ගිරි ශිඛර මස්තකයෙහි ස්වල්ප වේලාවක් පොරොත්තු වූ නමුදු භාවනාවෙන් යලි මිදීමට ඇය බලාපොරොත්තු නොවන බැව් සපුරා වැටහීගිය පසු කුවණ්ණාහට සන් කරමින් වාසුගී හිඳ සිටි ස්ථානයෙන් නැඟී සිටියේය. 

මධ්‍යම රාත්‍රියට ආසන්නව ආපසු මන්දිරය කරා පැමිණෙන තෙක් ඔවුන් අතර යෝගිනියගේ අනාවැකිය සම්බන්ධව කිසිදු කතාබහක් නොවිනි. 

පසුදින පාතරාසයෙන් පසු පොත්ගුලෙහි යම් ලේඛනයක් පරීක්ෂා කරමින් සිටි වාසුගී වෙත සෙමෙන් ලඟාවූ කුවණ්ණා ඔහු ඉදිරියෙහි වූ කළාලය මත හිඳ ගත්තීය. 

" පියාණනි......." 

වාසුගී හිස ඔසවා ඈ දෙස බලා සිටියේ දෙනෙතට ප්‍රශ්නාර්ථයක් කැටිකොටගත් බැල්මක් නඟා ගනිමිනි. 

" ඊයේ දින ගිරි ශිකරය මත දී ඒ යෝගිනිය පැවසූව මා සිතට මහත් සේ තැවුල් ගෙන දෙයි.ලක්බිමෙහි ඉතිහාසය වෙනස් කරවන තීරණයක් මවිසින් ගතයුතුය යනුයෙන් අදහස් වන යමක් ඇගේ මුවින් පිටවුවා නොවේද? පියාණනි, ඔබ ද එතැන මා සමඟ සිටි හෙයින් මම ඈ පැවසූව පිළිබඳව ඔබගේ අදහස් විමසනු කැමැත්තෙමි. " 

" කුවණ්ණා..අනාගතයෙහිදී සිදුවන්නේ කිමෙක්ද යනුවෙන් පුරෝකථනය කිරීමෙහි හැකියාවක් ඇත්දැයි මම ස්ථිරව පැවසීමට නොදන්නෙමි. එසේම එසේ නොහැකියයි එකහෙලා ප්‍රකාශ කිරීමටද ඉක්මන් නොවන්නෙමි. අප නොදන්නා සේම අපට කිසිදා දනගත නොහුණු බොහෝ දේ මේ විශ්වය තුල පවතින බව රහසක් නොවෙයි. එබැවින් එවන් අනාගතය දැකීමෙහි ඥාණය වර්ධනය කොටගත් තැනැත්තෙක් හෝ තැනැත්තියක් මෙළොව ජීවත්ව සිටීමටද කිසිසේත්ම නොහැකියාවක් නොමැත. එසේම ඒ යෝගිනිය පැවසූව ඔබට මහත් සිත් කළබලයට හේතුවන්නක් බවද මට රහසක් නොවෙයි.එහෙත් ඒ ගැන කිසිත් කල හැක්කක් ඔබට නැහැ නොවේද දියණිය? " 

වාසුගී ඉදිරියට නැවී කුවණ්ණාගේ හිස මුදුන මත තම සුරතින් සෙමෙන් පිරිමදිනට විය. 

" එහෙත් පියාණනි.. මගේ මව්බිමෙහි අනාගතයට බලපානා මවිසින් ගන්නා තීරණය වෙනස් කලොත්? " 

වාසුගී පිළිවදන් දුන්නේ මඳ සිනහවකින් යුතුවය. 

" අංක එක….." 

ඔහු වමතෙහි සුළඟිල්ල සුරතින් නවමින් කථා කලේය. 

" අංක එක…. ඒ අනාගතය වෙනස් කරවන තීරණය කුමන තීරණය දැයි පැහැදිලිව නොදැන ඔබ එය වෙනස් කරන්නේ කෙසේද? අංක දෙක....එලෙස දැන සිටියද අනාගතයට බල පානුයේ ඔබ දෙවනුවට ගන්නා තීරණය නොවන බවට ඔබට ඇති සහතිකය කුමක්ද? තෙවනුව මවිසින් ප්‍රකාශකල අන්දමට සියල්ල සිදුවනුයේ කාල ප්‍රවාහයෙහි ගලා යාමට අනුකූලව නම් ඉන් අදහස් වනුයේ අප සැමදෙනගේ එසේම සියළු ජාතීන්ගේ සහ එමෙන්ම රාජ්‍යයන්හි පවා ඉරණම කාලාරම්භයත් සමඟම තීරණය වී අවසානයි නොවේද? එසේ දැනටම තීරණය වී ඇත්තක් වෙනස් කිරීමට උත්සාහ කිරීම නිරර්ථක වෑයමක් නොවන්නේද? " 

බොහෝවිට සිදුවන අයුරු ලෙස පියාණන්ගේ තර්කයන්ට එරෙහිව කරුණු ගලපාගත නොහුණු කුවණ්ණා ඔහු දෙස නිරුත්තරව බලා සිටියාය. 

මේ ඒ යෝගිනිය පැවසූ ලක්බිමෙහි අනාගතය තීරණය කරවන මොහොතද? කිසිදු තර්කානුකූල හේතුවක් සිතාගත නොහුණු මුත් කුවණ්ණා ඒ එසේම බව හෙට උදෑසන හිරු නැඟෙන්නාක් මෙන් එක පැහැර පිළිසිඳ දැන සිටියාය. රාෂ්ට්‍ර පාලක තෙම දාරක සම්පත්තියෙහි වාසනාව නැත්තෙකි. ඔහුගේ එකම මල් බෑයාවූ වාසුගීද රාජ්‍ය පාලනය කෙරෙහි කිසිදු රුචියක් නොදක්වන්නෙකි.වාසුගීගේ එකම දියණිය වූ හෙයින්ම එබැවින් කුවණ්ණා ලංකාද්වීපයෙහි කිරුළට උරුමක්කාරිය වනුයේ නිතැනිණි. 

එසේ දැඩි වගකීමක් උර මත පැවරුණු කිරුළ හිමි රජ කුමරියක වූ තමා තුල මේ නාඳුනන වංග ජාතික තරුණයාහට, ඔහුම පිළිගත් පරිදි සිය පිය රජු විසින් පවා පිටුවහල් කල දාමරිකයා කෙරෙහි නිරායාසයෙන් ඇතිවන මේ ආකර්ෂණය, මේ බැඳීම කුමක්ද? මේ නිසැකයෙන්ම වසර කිහිපයකට ඉහත ඒ සන්ධ්‍යා යාමයෙහිදී යෝගිනිය පැවසූ අනාගතය වෙනස් කරවන මොහොත වන්නේද? 

" කුමරියනි........." 

විජය ඈ අමතන හඬින් කුවණ්ණා යලි පියවි ලොවට පිවිසියාය. 

" ඔබ අමනාප නොවන්නේ නම් යමක් පැවසීමට මට අවසරද? " 

විජය සිය සිනාසෙන දෑස් ඈ වෙත යොමුකොටගත් වනම පිළිවිසියේය 


මතු සම්බන්ධයි...... 

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...