Friday, December 27, 2013

237. නූපුර නිහඬවිය…. The Silent Anklet.


මහඇලේ ඉම නියර අද්දර රූස්ස නුග ගහ තාම තියනව. ඒත් අර තිබ්බ සරුසාර කොළපාට දැං ඇහැවෙලා ගිහිල්ල. මම වගේම තමයි කියල මට හිතුනෙ නිරාසායසෙන්ම. ජීවිතේ හොඳ හරිය ගෙවිල ගිහිල්ල අන්තිම කාලෙ මරණය බලාපොරොත්තුවෙං ඉන්නව එලොවත් මෙලොවත් අතර. මේ මහ නුගේට කතාකරන්ට පුලුවන් නම් මොන මොන දේවල් කියයිද හැබෑටම? 

ගස් ගල් කතා කරපු යුගයක් ඉස්සර තිබ්බලු. එහෙම කිව්වෙ මයෙ අත්තම්ම. අම්මයෙ අම්ම.අපෙ සිංහල උළු හොයපු ගෙයි ඉස්සරහ මුළු පලලටම තිබ්බෙ ඉස්තෝප්පුවක්. රවුං මිල්ල කණු අටකින් පලේ උහුලාන හිටියෙ. ඉස්කෝලෙ පහේ කැලෑසියෙ විතර දුටුගැමුණු රජ්ජුරුවංගෙ දසමහ යෝදයො ගැන මුදියන්සෙ මහත්තය ඉතිහාස පාඩමට කියල දුන්නු දවසෙ ඉස්කෝලෙ ඇරිල ගෙදර එද්දි කඩුල්ල ගාව ඉඳල මම ඔය සද්දන්ත මිල්ල කණු දැක්කෙ හරියටම අර යෝදයො වගෙ.

ඉස්තෝප්පුවෙං සාලෙට ඇතුල්වෙන පලු දෙකේ බුරුත දොර කෙලිම්ම තිබිච්ච කණු දෙක ඇරෙන්න ඉතිරි කණු අතර වද්දල තිබ්බ මල් ලියකම් වැඩ දාපු ලී මෝස්තරේකින් හැඩ වෙච්චි ලී රාමු. ඉස්තෝප්පුව මැද්දෑවෙ කකුල් තුනේ කලුවර කනප්පුව. ඒක උඩ හැමදාම රාත්තිරියෙ පත්තු උනේ ගොලෝ ලාම්පුව. 

මං හීං එකා සන්දියෙ ඔය පහනෙ රාජකාරිය කලේ අපෙ අප්පච්චි. සතියකට සැරයක් බ්‍රාසො දාල රෙදි කෑල්ලකිං ලාම්පුවෙ තෙල් දාන ගෙඩිය වගෙ බඳ රත්තරන් පාටට දිස්නෙ වැටෙනකල් මදින එක, ලාම්පු අල්ලුවෙ දැලි සුද්ද කරන එක, ලාම්පු තිරේ ගිරෙං උල හැඩේට කපන එක, අන්තිමට ලාම්පු බඳේ පැත්තක තිබ්බ මූඩිය ඇරල භූමිතෙල් පුරෝන එක. ඔව්ව තමයි ලාම්පුවෙ රාජකාරි. තුනේ පංතියට මම ආහම අප්පච්චි මට ඒ වැඩ ටික බාර දුන්න.

" අනේ මේකට ඔව්ව පුළුවනිය දැම්ම?...." අම්ම හිනාවෙවී ඇහුවෙ කම්මුලේ අතකුත් තියාගෙන.

" මොකෝ බැරි?....දැං ඉලන්දාරියෙක් නෙව. " අප්පච්චි මයෙ බොකුටු කොණ්ඩෙ අවුල් කලා....

එදා ඉඳල ලාම්පුවෙ රාජකාරිය කලේ මම. අටවක හඳ පලුව දොරගමුව කඳු වලල්ල උඩින් යාන්තමට එල්ලිල වගෙ තිබ්බ.ලාම්පුවෙ එළිය ලීස්තරවල මල් කැටයම් අස්සෙං විහිදිල සුදු වැලි අතුරපු මිදුලෙ අපූරු රටාවක් මැව්ව.

මිදුලෙ පොල් අතු රටාවට තවම අපූරුවට පේන්ට තිබ්බෙ අපෙ අම්ම හැමදාම හවස පහ වගෙ වෙනකොටත් ආයම පාරක් මිදුල අතුගාන හින්ද.සූනියම් දේවතාවුන් වහන්සෙගෙ ගමන් මාර්ගයක් වැටිල තියෙන්නෙ මේ මිදුල මැද්දෙං..ඒ නිසා මිදුල කොයියම්ම වෙලාවක උනත් හැඩිවෙල තියෙන්ට හොඳ නෑ. අම්ම මා දැක්ක එහෙම කිව්වෙ දවසක් " හවහත් මිදුල අතුගාන්නෙ ඇයි අපෙ අම්මෙ " කියල මම උන්දැගෙන් අහපුවාමයි.

සූනියම් දේවතාවුන් වහන්සෙ වඩිනකොට මල් සුවඳක් හමනව.

" පුතේ උඹ එළි පෙහෙළියෙ ඉන්න වෙලාවට එහෙම දෙයක් දැනුනොත් එහෙම බිම බලාගෙන ගෙට වරෙන් හොඳද? "

අපෙ අම්ම ආයෙම කිව්වෙ ඇස් දෙකත් ලොකු කරගෙන. කිව්වත් වාගෙ මට කීප දොහක් එහෙම අනීවාරතේ මල් සුවඳ දැනිල තියනව. මේ..රුක් අත්තන සුවඳ වගෙ හරියටම. ඒ වෙලාවට අම්ම කියාපු විදිහට මම බිම බලාගෙන ආපහු ගෙට ආව.

ඒත් ඔය හඳ පායපු දවසක් කියල මට මතකයි. අපුච්චි ඉස්තෝප්පුවෙ සාලෙට ඇතුල්වෙන මහ දොර ගාවම අයිනක තිබ්බ වේවැල් හාන්සි පුටුවෙ දිගාවෙලා. බාපත තිබ්බට ඒ වෙලාවෙ අකුලල තිබ්බෙ කියලයි මට මතක. ඔය කළුවර හාන්සි පුටුව මයෙ අම්මයෙ පරම්පරාවෙන් එන එකක්ලු. අම්මයෙ අපුච්ච, මයෙ අත්ත ඉන්දැද්දි රාත්තිරි බෝජනේ සප්පායං වෙලා ඔහොම ඉන්නව කියල අත්තම්ම මා දැක්ක කියල තියෙනෝ.

මයෙ අම්ම හිටියෙ ඉස්තෝප්පුව වටේට තිබ්බ මිල්ල කණුවකට හේත්තු වෙලා මිටි බංකුව උඩ ඉඳගෙන...මගෙ කාකි කොට කළිසමක් එළලනව.

" කොහේ රිංගනවද මන්ද මෙව්ව මේ හැටි බරු ගැහෙන්ට…මයෙ ඇස් දෙක පේන එකත් හොරයි දැං ඇඳිරි වැටෙද්දි…" අම්ම කිව්වෙ මා දිහා බලල

" හ්ම්ම්ම්. කිව්වට අහනවය..කී දොහක් කිව්වද මා එක්ක නුවර යමුය කියල සමරසිංහ සාප්පුවෙං කණ්ණඩි කුට්ටමක් ගන්ට.." ඒ අප්පච්චි

" හ්ම්ම්ම්...දවුල් හේනෙ බෝංචි ටික හෙට අනිද්ද කැඩෙයි නේද? එතකොට බැරිය…"

" ආය බෝංචි වගේද ඇස් දෙක...යමු හෙටම මගෙ ගාව සල්ලි තියනව. "

" කොහෙන්ද ඔහෙට සල්ලි? "


අප්පච්චි අම්මට කතා කලෙත් අම්ම අප්පච්චිට කතා කලෙත් ඔහෙ කියල. අපෙ අප්පච්චි පාත්තයෙක් කියල මම කිව්වද? නෑ නේද? ඔව්..උන්දැ අකුරැස්සෙ...අවුරුදු විස්සක විසිදෙහෙක ගජ ඉලන්දාරිය කාලෙ උන්දැ ඇවිත් තියනව ගුණ්ණෑපාන කඩමණ්ඩියෙ බේකරියක වැඩට. ඒ බේකරිය උන්දැගෙ බාප්පොච්චිගෙ.ඒකෙ කැසියර් කූඩුවෙ ඉන්දැද්දි තමයි අපෙ අම්මණ්ඩිව ඇස්සර වැටිල හාදවෙලා කාර බැඳගෙන බින්න බැහැල තියෙන්නෙ.ඒකත් අපූරු ආදර අන්දරයක්...

" ලොකු නිළමෙ පහුගිය සුමානෙ මම කොළ පෑගුවට ගිය වියදං කාසි අද දුන්න නෙව. "

ගම ඉහත්තාවෙ පන්සලත් එක්ක දෙයියන්නෙවෙලෙං එගොඩහ තිබ්බෙ අමුණුගම පහළ වලව්ව.ලොකු නිළමෙයි මැණිකෙයි ලොකු අප්පොයි, චුට්ටි මැණිකෙයි වළව්වෙ හිටියෙ. හිටියෙ කිව්වට ලොකු අප්පො කොළඹ ඔය මොකද්ද විස්ස විද්යාලෙද කොහෙද ඉගෙන ගත්ත. චුට්ටි මැණිකෙ නුවර ඉස්කෝලෙක පොඩි කාලෙ ඉඳලම නැවතිල ඉගෙන ගත්තෙ....අටේ පන්තියෙ...මගෙ වයසෙ...

මිදුලෙ කෙළවර ලාම්පු එළිය යන්තමට වැටෙන නොවැටෙන මායිමේ වගෙ ගඩොල් කෑලි හත අටක් වටකරල හදල තිබ්බ රෑ මනමාලි පඳුරෙ මල් හත අටක්ම පිපිල. හුලඟ හමන හමන විඩේ එන සුවඳ මිදුල පහු කරල ඉස්තෝප්පුව පුරාත් පැතිරෙනව.

දොරකඩින් මිදුලට බහින පඩි දෙකෙන් උඩ පඩියෙ මං වාඩිවෙලා හිටියෙ. අප්පච්චිගෙ පරණ කාකි කෝට් එක පොරවාන හීතලට. මම හරිම ආසයි ඒකෙ උණුහුමට. අනික ඒක පොරව ගත්තම මමත් ලොකු මිනිහෙක්ය කියල මට හිතෙන එකත් එක හේතුවක් වෙන්න ඇති.

" නිළමෙට දැන් හොඳටම අහේමයි….." අප්පච්චි කිව්වෙ පුටුවෙ කෙළිං වෙල පපුව අතගාමින්.

" ඈ???? ඇත්තද..අනේ අර මැණිකෙල දෙන්න ගැනයි මයෙ පපුව ඇවිලෙන්නෙ.." අම්ම නූල්පොට දතිං ඇදල කඩල දැම්ම.

" චුට්ටි මැණිකෙටත් ඉස්කෝල ගාස්තු ගෙවන්න බැහැයි කියල අස්කරවගෙන පෙරෙයිද ගෙදර එක්ක ආව. "

" දෙයි හාමුදුරුවනේ...."
අම්ම කම්මුලේ අතක් තියාගත්ත.

" ඔව්, ලොකු අප්පොටත් වියදං සැරයිනෙ. චුට්ටි මැණිකෙ හෙට ඉඳල මෙහෙ ඉස්කෝලට යයි.අපෙ ලොක්කගෙ පංතියෙ. "
අම්ම තාම කම්මුලේ අත තියාගත්තු ගමන

" ලොකු පුතේ…" අප්පච්චි මට කතා කලා..

" අප්පච්චි…" මම එහෙමම ඉඳගෙන හැරිල බැලුව.

" ලොකු පුතේ උඹ හෙට උදේ ඉස්කෝලෙ යන්ට ලෑස්තිවෙලා පලයං වළව්වට. උඹට ටික දවසකට චුට්ටි මැණිකෙ ඉස්කෝලෙට එක්කං යන්ට වෙනව. ඒ ඇත්තිට ටිකක් විතර පාර තොට පුරුදු වෙනකල්. "

" හොඳයි අප්පච්චි…" මම හිනාඋනා.

දොරගමුව කඳු ඉහත්තාවෙ එක පාරටම උල්කාපාතයක් පුපුරල ගියා. පලාතම එළිය වුනා මොහොතකට.බිතක්කනේ ගුලි ගැහිල හිටපු කඩිය බුරාගෙන දිව්ව ඒ පැත්තට. අපෙ අත්තම්ම නම් කියන්නෙ එව්ව දේවතා එළි කියල.ඒත් ඉස්කෝලෙදි සුමනාවතී මෑම් අපිට කියල දුන්න එහෙම එළිය විහිදවාගෙන පත්තුවෙන්නෙ උල්කාපාතයි කියල.

" උඹ පුතේ ඔය කොණ්ඩෙ කපාගන්නෙ කවද්ද? " අප්පච්චි ආයෙම ඇහුව හිනා වෙවී.

මයෙ මුදු ගැහිච්ච කොණ්ඩෙ බෙල්ල ගාවටම වැවිල තිබ්බ. කඩ මණ්ඩියෙ බාබර් සාප්පුව කරගෙන ගියෙ ලොකු බණ්ඩ මාම. දෙතුන් විඩයක් උන්දැගෙ බාබර් සාප්පුව ළඟටම ගිහිල්ලත් මට බෑ කියල හිතිල ආපහු ආව. මගෙ මුදු කොණ්ඩෙට මම ආසයි.

පහුවදා පාන්දරම මම ඉස්කෝලෙ යන්ට ලෑස්තිවෙලා දෙණි කුඹුර මැදිං ගිහිල්ල වළව්වෙ උයනගේ පැත්තට කිට්ටු කලා.සුදු පළාපු බැනියමයි සුදු සරමයි ඒ අපේ නිළ ඇඳුම. ගෑණු ලමයි ළමා සාරිය.

" කමළාවතී නැන්දෙ.." .උයනගෙයි පෑළදොර ගාව වළං මැස්ස ළඟ ඉඳගෙන මම කතාකලා. කමළාවතී නැන්ද තමයි වලව්වෙ උයනගෙයි රාජකාරි කලේ. අපෙ අම්මයෙ කිට්ටුම නෑයො.

" ජයසේන පුතේ...මොකෝ මේ පාන්දරම අද?.." කමළාවතී නැන්ද ඇස් දෙකත් පිහ පිහ එළියට ආව. උයනගෙයි දුමාරෙ ඇස් වලට අමාරුයි.

" මම..මේ..ආව අද චුට්ටි මැණිකෙ එක්කලා යන්ට කියල ඉස්කෝලෙට...."

" ආ, කවුද එහෙම කිව්වෙ? "

" අපෙ අප්පච්චි…"

" ආ..ඒකත් එහෙමද? ජයසේන පුතේ . එහෙනම් මේ ටිකත් හොඳට අහ........"


" කවුද කමළාවතී ඔය?...." එහෙම අහගෙන කුස්සියෙ දොරෙන් මතු උනේ චුට්ටි මැණිකෙ.

අපි එක වයසෙ උනාට ඇත්තටම මම ඔයිට කලින් චුට්ටි මැණිකෙ කිට්ටුවට දැකල තිබ්බෙම නෑ. අපෙ අප්පච්චි වලව්වෙ කුඹුරු වතුපිටි බලාගන්න නිසා උන්දැ නිතර වලව්වෙ ගැවසුනානම් තමයි ඒත් අපිට වළව්ව පැත්තෙ ගැවසෙන්ට උවමනාවක්වත් වෙලාවක්වත් තිබ්බෙම නෑ. ඒ ඇරත් චුට්ටි මැණිකෙ හෝඩියෙ ඉඳම්ම ඉගෙන ගත්තෙ නුවරනෙව.

" මේ කවුද මේ? …"

චුට්ටි මැනිකෙ ඇස් පුංචි කරල මගෙ ඉස් මුදුනෙ ඉඳල දෙපතුල දක්වාම බැලුව.

" මේ මේ..ජයසේන ...චුට්ටි මැණිකෙව ඉස්කෝලෙ එ..එ..එක්කල යන්ට ඇවිත් තියෙන්නෙ "

කමළාවතී නැන්දට ගොත ගැහෙන්නෙ මොකද? ඇස් දෙකෙත් තියෙන්නෙ බය වෙච්චි පෙනුමක්..

" හුහ්, අපේ ගමේ මාව ඉස්කෝලෙ එක්ක යන්ට කවුරුවත් මොකටද? මට කවුරුවත් ඕන නෑ...අනික මෙයාගෙ හැටි...කොණ්ඩෙත් වවාගෙන. මට බෑ මෙයා එක්ක පාරෙ යන්ට."

" අනේ මයෙ මැණිකෙ තාම පාරවල් එහෙම පුරුදු නෑනෙ මැණිකෙට.... එතකල්වත්…" කමළාවතී නැන්දට එච්චරයි කියන්ට හම්බ උනේ.

" මට බෑ කිව්ව නේද දැං සැරයක්? "

චුට්ටි මැණිකෙ දකුණු කකුළ උස්සල අඩිය පොලවෙ ගැහුව. මිණි ගෙඩියකවගෙ අපූරු නාදයක් උයනගෙයි පුරා පැතිරිල ගියා. අපෙ හඳය මැස්සො එලවන්ට ඔළුව හොලවනකොට උගෙ කරේ බැඳපු ගෙජ්ජි හෙල්ලෙනව වගෙ. ඒත් ඊට වැඩිය බොහොම මිහිරි නාදයක් මේක.මම පුදුම වෙලා චුට්ටි මැණිකෙගෙ අර මිහිරි නාදය ආපු ඇස්වටේ දිහාවෙත් මූන දිහාවෙත් මාරුවෙන් මාරුවට බැලුව.

" මොනවද මනුස්සයො ඒ පාර කටත් ඇරගෙන බලාගෙන ඉන්නෙ? "

චුටි මැණිකෙ කෑගහපු පාරට මම හිතන්නෙ මගෙ කට ඇරිල තිබ්බනං ඉබේම වැහෙන්ට ඇති.

" මම එදා ඇත්තටම කට ඇරගෙනද හිටියෙ? " බොහොම පස්සෙ දවසක මම චුට්ටි මැණිකෙහෙන් ඇහුව මේ නුගගහ යටදිම.

" හිහ්, හිහ්, මොකද නැත්තෙ?...මම කෑගහපු පාර ඔයා බය වෙලා කට වහගත්ත... එහෙම 
නැත්තං …" 

" ඔව් 
එහෙම නැත්තං මොකද වෙන්නෙ? " 

එහෙම නැත්තං එදා අර කුස්සියෙ පිරිල තිබ්බ දුං ඔක්කොම ඔයාට පෙවෙනව කට බලියාන හිටපු විදිහට..හිහ්, හිහ්.." 

චුට්ටි මැණිකෙගෙ හිනා සද්දෙ මම හිතන්නෙ ඈත කුඹුරු ඉස්මත්තටත් ඇහෙන්ට ඇති.

" හිනාවෙන්ට එපා අනේ ඔහොම….." මම කිව්වෙ දත්මිටි කාගෙන.

ඔව්..ඒත් මේ නුගගහ යටදිම තමයි.

වළව්ව පැත්තෙන් රතිඤ්ඤා සද්දෙ ඇහෙන්ට ගත්ත.ඒ එක්කම බෙර සද්දෙ ..දවුල ගහන්නෙ එගොඩහ ගොඩේ සුද්දප්පු මාම වෙන්ට ඕන. ඔය වැඩේ හැමදාම කලේ උන්දැම තමයි.පෙරහැර මෙතනට එන්ට තව පැය කාලක්වත් යාවි.

මම එහෙම්මම නුගගහට හේත්තුවෙලා ඇස් දෙක පියාගත්ත.

" ජයේ..අපිට වෙන කරන්න දෙයක් නෑ....මේ අපි ලබා උපන් හැටි තමයි. ඉරණම වෙනස් කරන්න බෑනෙ . ඒ නිසා අපි වෙන්වෙලා යමු දෙපැත්තකට. ඒත් මගෙ හිතේ හැමදාම ඔයා ඉඳීවි මම මැරෙනකල්..සමහරවිට ඊටත් පස්සෙත්. "

දිග සුසුමක් හෙලල ඈ කිව්වෙ ඇස් දෙකේ කඳුළු පුරවාන.

" ඔව්..ඔයා කියන එක ඇත්ත. මේ අපේ ඉරණම.අපි ඒකට මුහුණ දෙන්ට හිත හදාගමු. හෙට මම යනව පොළොන්නරුවෙ. අප්පච්චිට එහෙ ඉඩමක් හම්බවෙලා."

" ඔව්..ඒකත් හොඳයි එක අතකට... ජයේ..ඔයාව උදේ හවස දකින්ට හිටියොත් මට හිත හදාගන්ට අමාරුවෙයි. ඔයාට මොනවද ඕන මාව මතක් වෙන්ට? "

" ඔයාව මතක්වෙන්ට නම් මට ආය අමුතුවෙන් මොකවත් ඕන නෑ….. ම්ම්ම්...මතකද අර අපි මුලින්ම හම්බ උන දවසෙ..අර වලව්වෙ කුස්සියෙදි ඔයා අඩිය පොලවෙ ගහල කෑගැහුවෙ?."


" ම්ම්ම්.. මතකයි ..මතකයි…" කඳුළු පිරුණු දෑසින් ඈ හිනාඋනා.

" ඒ වෙලාවෙ ඔයා කකුලෙ දාගෙන උන්නු ..අර..අර..ගෙජ්ජිය? "

" මොකක්?..." චුට්ටි මැනිකෙගෙ මූණ රතු උනා..තරහ ගියාම එහෙම තමයි.

" ගෙජ්ජි දාන්නෙ හරක්නෙ මනුස්සයො..ඒකට කියන්නෙ ගෙජ්ජි නෙවෙයි නූපුර….."

" හරි මොකහරි ...මට ඒක දෙනවද?..."

ඇගෙ මූණ අඳුරු උනා.

" හා……"

ආයෙම සුසුමක් හෙලල ඈ කිව්ව.

කළිසම් සාක්කුවට අත දාල මම නූපුර අතට ගත්ත. මගෙ අතටම මැදිල සිනිඳු වෙලා ගිහිල්ල. ඒත් තාමත් ඉන් නැඟෙන්නෙ එදා වලව්වෙ උයනගෙයිදි නැඟුනු මිහිරි නාදයමයි.

දවුල් සද්දෙ ලඟම ඇහෙනව. මම ඇස් ඇරල හැරිල බැලුව. සුද්දප්පු මාම තමයි දවුල ගහන්නෙ. අවුරුදු හත අටකට ඉහත මයෙ අප්පච්චිගෙ මළගමට ආපු වෙලාවෙ උන්දැ මට කිව්ව.ජයසේන ළමයො..මයෙ පලෝලෙ උන්දල ඔක්කොම දැං මිය පරළොව ගිහිල්ල. බේකරියෙ මළය විතරයි අන්තිමට ඉතුරු වෙලා උන්නෙ. ඔන්න උන්දැගෙ මළගමටත් මටම මළ බෙරේ ගහන්ට වෙච්චි හැටි. සංදුක්කාරේ...පරණ උදවිය බේකරියෙ මළය, බේකරියෙ අයිය කියල තමයි අප්පච්චිට කතාකලේ.

රතිඤ්ඤ දාන්නෙ කවුද නාදුනන කොළු ගැටව් දෙන්නෙක්. ගමේ ඉලන්දාරියො බාගෙට බාගයක් මම අඳුනන්නෙ නෑ. අවුරුදු තිහක් වෙනව නෙව මම ගමෙං ගිහිල්ල. කොල්ලො වීසි කරපු රතිඤ්ඤයක් නුගේ කිට්ටුවම පිපුරුණා. වෙඩි බෙහෙත් ගඳ මගෙ නාස් පුඩු හිරකරගෙන පපුවට ඇතුලු උනා.

කට කාරවන ගතියත් එක්කම මගෙ කටට කෙල ඉනුව. ඒත් දෑහැට කඳුළු ඉනුවෙ වෙඩි බෙහෙත් සැර හින්ද නෙවෙයි. අවුරුදු තිහක් තිස්සෙ මගෙ දෑතට මැදිවෙලා හිටිය නූපුරය ආයෙම පාරක් මම තදින් මිරිකගත්ත.

" ජයේ මම එහෙනම් යන්නම්……"

චුට්ටි මැණිකෙ මට කිව්ව.

" හොඳයි ..සුබා ..මමත් එනව..එතකල් ඔයා බලාගෙන ඉන්නව නේද? "

මම එහෙම කියල නූපුරය හෙමිහිට හෙලෙව්ව..ඒ මිහිරි නූපුර රාවය...අයෙමත් මගෙ සවන් සිසාරා ගිහිල්ල පපුව පතුලෙම තැන්පත් උනා.

එදා මෙදා තුර කඳුලට විවර වු
දෑස් පියන් පත් කවුළු වසා..
ළයේ ගලා ගිය සෙනේහයේ සුව
සිනා පෙරූ රත් දෙතොල් පියා
මිලාන වී ගිය රෝස කුසුම් පෙති
කම්මුල් සුදුමැලි පාට පොවා
දෑත ළයේ බැඳ අවසන් ගමනට
සොඳුරිය මට නොකියාම ගියා….

දෑස් කවුළු පත් පලා කඳුළු කැට
වෑහෙද්දී මගෙ දෑස් අගින්
කාත් කවුරුවත් වෙතත් හිතයි මට
පාත් වෙන්න ඔය මුවට උඩින්
ඈත්ව යන්නට සමුගෙන කවුරුත්
ඔබෙ මුව දොවතත් සුවඳ පැණින්
මාත් මගේ හිතටත් ඔබ සුවඳයි ඈත් නොවේමයි ඒ සුවඳින්

ඊයේ ඉපදී අද මිය යන්නට පෙරුම් පුරාගෙන උපන් ළයේ
හීයේ වේගෙන් අහස උසට බැඳි
ආදර ලෝකය හෙටත් තියේ
ඒත් ඉතින් දැන් සොඳුරියෙ ඔබ නැත
ඇයි මේ ලොව මා තනිව ගියේ…
ආයේ දවසක එක හිත් ඇත්තන්
වී අපි ඉපදෙමු එකට පියේ

 

Monday, December 23, 2013

236. කවිකාරියකගේ ප්‍රේමය…..22


Cesar Legaspi - Untitled - Oil - 1979

අනෝමලා හිටපු ක්වාටර්ස් එකට හැරෙන තැනදි අපි නැවතුනා. 

" එහෙනං බං සුජා හම්බ උනයින් පස්සෙ මට විස්තරේ කියපං...ඒත් උඹ කැමතිනම් විතරයි…"

" අපෝ එහෙම ප්‍රශ්නයක් නෑ..මම කියන්නං..ඒත් මම හිතන්නෙ නෑ මගෙ තීරණය වෙනස් වෙයි කියල. උඹට දැම්මම ඕනිනම් කියන්නං.." 

" එපා..එපා..හිතක් කියන එක වෙනස් වෙන්ට මහවෙලාවක් යන්නෙ නෑ.මට වැඩේ ඉවර වෙලාම කියාපංකො.." 

" ඕකේ මැඩම් විල් ඩූ සෝ….."


මම එහෙම කියල අපෙ ක්වාටර්ස් පැත්තට හැරුන. අඩි හත අටක් ගිහිල්ල මම නැවතිල ආපහු හැරුන.

" මේ ඒයි......."

අනෝමත් නැවතිල ආපහු හැරුන

" යස් සර්? "

" තෑන්ක්ස් සෝ මච් ෆො ඕල්.."

" දැට් වෝස් අ ප්ලෙෂර්, ඩෝන්ට් මෙන්ෂන් …"
අනෝම හිනාවෙලා ආපහු හැරුන.

ඊළඟ සතියෙ බ්‍රහස්පතින්ද නිවාඩුවක් වැටිල තිබ්බ. පෝයක්. මගෙ යාලුවෙක් හිටිය කුරුණෑගල යග්ගපිටියෙ. කලින් මා එක්කම වැඩ කරල අවුරුද්දකට දෙහෙකට වගෙ උඩදි දඹුල්ල කිට්ටුව අපෙ ප්‍රොජෙක්ට් එහෙකට මාරුවෙලා ගියා. අසේල නම. ඔය යග්ගපිටියෙ කට්ටි කඩපු ඉඩමකින් පර්චස් 20 අරගෙන ලෝන් එකක් දාල ගෙයක් හදාගත්ත. යග්ගපිටිය තියෙන්නෙ කුරුණෑගල - දඹුල්ල පාරෙ බඩගමුව වන රක්ෂිතය කිට්ටුවම. මම අසේලට ගත්ත කෝල් එකක් උගෙ ඔෆිස් එකට.

" මචං මේ පෝය දවසෙ උඹ ගෙදර ඉන්නවද?..."

" ම්ම්..වැඩ නම් නෑ. ඒත් ගෙදර උන්දැ මොන මොනව දාගෙන ඉන්නවද මන්ද..ඒකෙන් කමක් නෑ..මොකක්ද උඹට කෙරෙන්න ඕන.."

" උඹෙ බයික් එක ඕන මට එදාට. වැඩි දුරකට නෙවෙයි මචං මේ වැව රවුමට යන්ට. උඹට වැඩක් මොකක් හරිනම් මාව ගිහින් දාපං, ඒත් ඇති."


ඒ දවස්වල ගහක් ගලක් ගානෙ ත්‍රී වීලර්ස් තිබ්බෙ නෑ.

" හරි හරි ඒක මොනවහරි කරගන්ට බැරිය .උඹ කීයටද එන්නෙ? "

"' ම්ම්..දහයට වගෙ. "

" හරි මම උඹට වයිෆ්ස්ගෙනුත් අහල බලල පණිවිඩේ දෙන්නම්. උඹලගෙ ඔෆිස් එකට දැන් ටෙලිෆෝන් තියනව නේද? " 

" ඔව් බං…. ගත්තනෙ ටෙලිෆෝන්..අනෝම උඹ දන්නවනෙ. පණිවිඩේ කියපං මට කියන්ට කියල. "

සුජාතගෙ හොඳම යාලුව හිටියෙ කුරුණෑගල වැව රවුමෙ. එහෙට මට එන්නෙයි කියල කිව්ව පෝය දවසෙ උදේ.

බදාද හවස ගෙදර ගිහිල්ල 
පහුවෙනිද නවය වෙනකොට මම ගියා අසේලයගෙ ගෙදර. .

" බයික් එක අරං පළයං බං අවුලක් නෑ.  පහ වගෙ වෙනකොට උඹ එනවනෙ. හවස පන්සල් පැත්තෙ ගිහිල්ල එන්ටවත් එපාය. " තේකක් එහෙම බිව්වට පස්සෙ අසේල කිව්ව

" අපොයි එච්චර වෙලා යන්නෙ නෑ බං මම අද ගෙදර යන්ටත් එපාය. "

" පිස්සුද? හෙට උඹ කොහොමත් නිවාඩුනෙ ..කොච්චර කාලෙකින්ද හම්බ උනේ..අද ඉඳල පල…"

" හරි ඒක මොක හරි බැරිය....එහෙනම් මම ගියා …"
අසේලගෙ තිබ්බෙ හොන්ඩා සී. එම්. කස්ටම් බයික් එකක්. ආන්න බයික්.

වැව රවුමෙ දිය දහරා හෝටලේ යාළුවන්ගෙ නෑදෑයන්ගෙ මඟුල් දෙක තුනකට ඒ වෙනකොට මම ගිහිල්ල තිබුණ. ඒ හැම දාකම ඔය වැවේ වතුර තිබුනෙ මැද්දෑවට වෙන්ට බොහෝමත්ම පොඩිත්තයි. අදත් ඒකෙ වෙනසක් නෑ. ඒ දවස්වල හෙල්මට් දාන එක තහනම් කරපු එක ඔළු ගෙඩියෙ ආරක්සාව සම්බන්දව කොහොම වෙතත් ඉහිං කණිං දාඩිය දාන එක වලක්වා ගැනීම සම්බන්දයෙන් නම් නම් ලොකු උදව්වක් උනා. ඉස්සෙල්ල මුහුණු ආවරණ තහනම් කරල විජය ඝාතනයෙන් පස්සෙ ඒ වෙනකොට හෙල්මට්ස් සම්පූර්ණයෙන්ම තහනම් කරලයි තිවුනෙ.

වැව් කණ්ඩියෙ වංගුවත් එක්කම වම් පැත්තෙ පාරෙන් පල්ලෙහ බාගෙට කපරාරු කරපු පොඩි ගෙයක් කියලයි සුජා මට කිව්වෙ. ඉස්සරහ අරලිය ගහකුත් තියේය කිව්ව. හරි..ඔය තියෙන්නෙ...මේක වෙන්න ඕන...අරලිය ගහකුත් ඔය තියෙන්නෙ. රතු අරලිය පොකුරු දෙකකුත් පිපිල.

මිදුල මැදම අඹගහක් තිබුන. වටේට කළුගල් පෙලක් අල්ලල. මැද පස් පුරවල ඩුබායි රෝස වවල. රෝස සහ සුදුපාට මල් පිපිල.බයික් එක මම අඹ ගහ හෙවණෙ නවත්තල බැස්ස. එත්කොටම සුජාතා ගේ ඇතුලෙ ඉඳල ඉස්තෝප්පුවට ආව. සුදු බ්ලව්ස් එහෙකුයි නිල්පාට කලිසමකුයි ඇඳල.

" එන්න ..එන්න.." සුජාතා හිනාවුනා.

ඉස්තෝප්පුව වට කරල බැඳල තිබ්බෙ අඩි තුනක් වගෙ උස මිටි බිත්තියක්. ඇතුල් වෙන්ට තිබ්බෙ දෙපැත්තට ඇරෙන යකඩ ගේට්ටුවකින්. මම වහල තිබ්බ ගේට්ටුව ලඟ නතර වෙලා වටපිට බැලුව. 

" මොකද? ඇතුලට එන්නෙ නැද්ද? " 

සුජාතා ආයෙම ඇහුව අතේ තිබ්බ තුවායක් වගෙ මොකක්ද මිටි බිත්ති කණ්ඩිය උඩ තියන අතරෙ.

" කෝ ගෙදර වෙන කවුරුවත් නැද්ද? " 

ගේට්ටු පොඩ්ඩ ඇරල ගල් පඩි දෙක නැඟල ඉස්තෝප්පුවට ගොඩ උනෙ මම හිනාවෙලා එහෙම අහගෙන.

" වෙන කවුරුවත් මොකටද මම හිටියම මදිද?..." සුජාතා හිනාඋනේ ඇස් දෙකෙන්.

" මානෙල්, මගෙ යාලුවයි….. එයාගෙ මහත්තයයි ගියා එයාලගෙ මහ ගෙදර ගිහිල්ල එන්න. මේ කිට්ටුව ..ගැට්ටුවානෙ....දවල්ට කාල එහෙම එයි...මොනවද බොන්නෙ?....තේ හොඳයි නේද? "

" හොඳයි හොඳයි……"

" හොඳ නැති උනත් ඉතිං වෙන කරන්න දෙයක් නෑ..තේ තමයි බොන්න වෙන්නෙ..මෙහෙ වෙන මොකවත් නෑ.හිහ්, හිහ්, " සුජාතා ආයෙම හිනාඋනා..

" වෙන ආය අහවල් දෙයක්ද?..." මම සුජාතගෙ මූණ බලල ආයෙම බිම බලාගත්ත.

" හිහ්, මම දන්නව... විජිත මට කිව්වනෙ…." සුජාතගෙ මූණෙ හිනාව මැකිල ගියා.

ඈත වැව මැද්දෑවෙ ඉතුරු වෙලා නලියන වතුර කඳට උදෑසන ඉර එළිය වැටිල දිළිසෙනව දිහාවෙ අපි දෙන්නම බලාහිටියෙ කියන්ට දෙයක් හිතාගන්ට බැරුව. ඒ කතාව එතනින් එහාට ගෙනියන්නෙ කොහොමද කියල මට හරියකට තේරුමක් තිබුනෙ නෑ. ඒත් අද මෙතනින් පිටත් වෙලා ආපහු යන්ට ඉස්සරවෙලා කොහොම හරි ඒ කතාව ඇදිල එනව විතරක් නෙවෙයි ඒකට උත්තරේකුත් හොයන්ට වෙනවයි කියල මම හොඳාකාරවම දැනගෙන හිටිය.

" ඉන්න මම තේ එකක් ගේන්නං …"

එකපාරටම එහෙම කියල නිශ්ශබ්දතාවය බිඳදාපු සුජාතා ගෙට ගියා. ඉස්තෝප්පුවෙ තිබ්බ වේවැල් පුටු දෙකක්. දකුණු පැත්තෙ බිත්ති කණ්ඩිය උඩ කණාටු වෙච්ච රෝස පැලයක් ඉන්දවපු මැටි පෝච්චියක්. එක වේවැල් පුටුවක් බිත්ති කණ්ඩිය අයිනටම ඇදල මම ඉඳගත්ත. ඒ එක්කම වැව පැත්තෙං හමාගෙන ආපු හුළඟෙ තිබ්බෙ සිසිලසක් නම් නෙවෙයි තවත් දාහය වැඩි කරන උණුහුමක්....කමිසෙ උඩ බොත්තං දෙක ගලවල බිත්ති කණ්ඩිය උඩ රෝස පැලේට පිටිපස්සෙන් තිබ්බ පත්තරේකිං මම මූණෙයි පපුවෙයි දාඩිය නිවාගන්න උත්සාහ කලා.

තේ එකක් බන්දේසියක තියාගෙන සුජාතා ආව." රස්නෙයි නේද? මේ ඇස්බැස්ටස් හින්ද තවත් රස්නෙ වැඩියි. රස්නෙං තේ බීල තවත්......."

" නෑ..මේ වෙලාවෙ තේ එකක් තමයි හොඳ...කූල් බිව්වම ඒ වෙලාවට පහසුවක් දැනුනට පස්සෙ ආයම දාඩිය දාන්ඩ ගන්නව තිබ්බටත් වැඩිය."

" හිහ්..ඔයා ඉතින් මොකෝ? ඕන එකකට උත්තරයක් තියනවනෙ…"
සුජාතා අනික් වේවැල් පුටුවෙ ඉඳගත්ත.

" ඉතිං ඒක හොඳ නැද්ද? තර්කානුකූල පැහැදිලි කිරීමක් ඕනම ප්‍රශ්නෙකට තියෙන්න ඕනමයි නේද?...." තේ උගුරක් බොන ගමන් මම කිව්වෙ සුජාතා දිහාවෙ බාගෙට හැරිල. ඒත් මම කිව්ව දේ නෑහුනා වාගෙ එයා ඈත වැව් පිටිය දිහාවෙ බලන් හිටිය.

තේ එක හෙමිහිට බීල ඉවර වෙනකලුත් සුජාත වචනයක්වත් කතාකලේ නෑ. මම දෙතුන් පාරක් හොරැහින් බැලුවත් ඈ ගල් පිළිමයක් වගෙ ඈත බලාගෙනම හිටිය. සුජාතා තේ එක ගෙනාපු බන්දේසිය තිබ්බෙ බිත්ති කණ්ඩිය උඩ. තේ බීපු කෝප්පෙ බන්දේසියෙ තියන්න මට නැඟිටල සුජාතා පහුකරගෙන යන්න උනා. ඒ යනගමනුත් මම හොරැහින් බැලුව. තාම අර හිටපු විදිහටම බර කල්පනාවක.

" ජීවිතේ හැම ප්‍රශ්නෙකටම තර්කානුකූල පිළිතුරු හොයන එක වැරදියි කියල ඔයාට හිතෙන්නෙ නැද්ද? "

සුජාතා එහෙම ඇහුවෙ මම හිස් කෝප්පෙ බන්දේසියෙ තියන කොටම. බන්දේසිය උඩ තියාපු කෝප්පෙ එහෙම්මම අල්ලගෙන මම එතනම ගල් ගැහුන. මොකක්ද කියන්නෙ කියල කල්පනා කරද්දි සුජාතා ආයෙමත් කතාකලා.

" මම කියන්නෙ හදවතට පපුවට ඉඩ දෙන්න ඕන, එහෙම ඉඩ දෙන්ඩ වෙන අවස්තාත් තියෙන්න පුලුවන්, එහෙම තියෙනව කියල ඔයාට හිතෙන්නෙ නැද්ද ....රවී????? "

මම ඈ දිහා බලල යාන්තමට තොල් මෑත් කරල හිනාඋනා. ඊට පස්සෙ ඈ ළඟින්ම ආපහු ගිහිල්ල 
කලින් මම ඉඳන් හිටපු වේවැල් පුටුවෙ ඉඳගත්ත. උත්තරයක් විදිහට කියන්නෙ මොනවද කියල මම කල්පනා කලේවත් නෑ. මොකද උත්තරයක් විදිහට කියන ඕනම දෙයකින් නොහිතූ පැත්තකට,  නැහැ හරියටම කියනවනම් මම උත්තර නැතුව අපහසුතාවයට පත්වන තැනකට කතාව යොමුවෙන්නට පුලුවන් කියල මම හොඳාකාරවම දැනගෙන හිටපු නිසා. 

මගෙන් උත්තරයක් නැතිකොට ඈ නැඟිටල මා දිහා ටික වෙලාවක් බලා ඉඳල බන්දේසියත් අරගෙන ගේ ඇතුලට ගියා.උණු තේ එකක් බිව්වට පස්සෙ පරිසරය එක්ක ශරීරයෙ තියෙන උෂ්ණත්ව සමතුලිතතාවය බිඳ වැටෙනව. ආයම අලුත් සමතුලිතතාවයකට පත්වෙන්ට ශරීරය කරන්නෙ දහදිය පිටකරන එක. දහදිය වාෂ්ප වෙන්නෙ ශරීරයෙන් උෂ්ණත්වය ලබාගෙන. ඒ අයුරෙනුයි නව සමතුලිතතාවයකට ශරීරය පත්වෙන්නෙ. ජීවිතේ වෙන ඕනෑම දේකදිත් අපි එහෙමනේද කියල මට ඒ එක්කම හිතුනා.සුපුරුදු සමතුලිතතාවය බිඳ වැටුනම ආයම මොන ක්‍රමයකින් හරි අලුත් 
සමතුලිතතාවයකට  ලඟාවෙන්ට නේද අපි හැමෝම උත්සාහ කරන්නෙ? 

සුජාතා ආයම ඇවිල්ල පුටුවෙ ඉඳගත්ත. ඈ වෙතින් නිකුත්වෙච්චි ජැස්මීන් විලවුන් සුවඳක් හෙමිහිට සුළඟත් එක ඇවිල්ල මගෙ පපුව පුරා පැතිරුනා. මෙච්චර වෙලා මට එහෙම සුවඳක් නොදැනුනෙ මොකද කියල මට හිතුන ඒ එක්කම.

" මම සති දෙහෙකට වගෙ ඉස්සර අපෙ ගෙවල් කිට්ටුව තියන ඉස්කෝලෙකට මාරුවක් හදාගෙන ගියා.." සුජාතා එක පාරටම කිව්ව.

" ආ..ඇත්තද?....ඒක හොඳයි...."

" ඇයි හොඳයි කිව්වෙ?..."
ඇගේ බැම හැකිළුනා..

" නෑ..මම මේ කිව්වෙ කොහොමත් ගෙවල් කිට්ටුවට යන එක හොඳයි කියලයි."

" විජිත දෙපාරක් ආව මාව මුණගැහෙන්ට…" යාන්තමට හමන හුළඟට හෙමිහිට හෙල්ලි හෙල්ලි තිබ්බ අඹගහේ කොළ නිසොල්මන් උනේ එක වංගියෙම.

" එයා කරපු වැරැද්ද පිළිගන්නවලු. මගෙන් ඇහුව මට අතීතය අමතක කරල අලුතෙන්ම පටන් ගන්න බැරිද කියල......"

මම කිසිවක් නොපවසා ඇගේ වත දෙස බලා සිටියෙමි.

" මම කිව්ව මට කියන්ට තියෙන්නෙ කලින් කියාපුදේම විතරයි. ඒ තීරණය තාමත් එහෙමමයි.අනික ඒ තීරණය ගන්නට හේතුවුනු කාරණා එකක්වත් කිසිම විදිහකින් වෙනස් වෙලාවත් ඒ සිද්ධවුනු දේ ගැන මගෙ ආකල්පය කිසිම විදිහකින් වෙනස් වෙලා නැති නිසාත් තිරණය වෙනස් කරන්ට හේතුවක් මට පේන්නෙ නෑ කියල. "

වැව දිහායිං හමාගෙන ආපු රත්වෙච්ච හුළඟ දාහය නිව්ව නෙවෙයි තවත් වැඩිකලා.මම ඉඳගෙන හිටපු කිට්ටුවම බිත්ති කණ්ඩිය උඩ තිබ්බ දෙකට නවපු පත්තරයක්. ඒක අරගෙන මම දාඩිය නිවාගන්න උත්සාහකලා.

" ඉන්න මම ෆෑන් එක අරං එන්නං. "

සුජාතා ගිහිල්ල ටේබල් ෆෑන් එකක් ගෙනැල්ල බිත්ති කණ්ඩිය උඩම තියල ක්‍රියාත්මක කලා. හීතල හුලං පාරෙ සනීපෙට මම එහෙම්ම ඇස් පියාගත්ත.

" එතකොට මිස්ට රවී ආයමත් පාරක් මම අහන්නම්....  මගෙ ඉල්ලීම ගැන මොකද ඔයා කියන්නෙ?...නෑ එහෙම නෙවෙයි අහන්න ඕන..මගෙ ඉල්ලීම ඔයා ප්‍රතික්ෂේප කලානෙ...වැඩේ කියන්නෙ මට ඒක හැම වෙලාවෙම අමතක වෙනව.හරි...ඒකට කමක් නෑ. ඒ ඔයාගෙ තීරණය...මම මෙහෙම අහන්නම්කො..මගෙ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන්න මොනවද හේතු?....වෙන කොයිම කෙනෙක්ගෙන් වත් මම මෙහෙම අහන එකක් නෑ. ඒත් මොන දෙයක්ද මන්ද මට ඔයාගෙන් ඒකට පැහැදිලි උත්තරයක් ඕනෙ. "

බිත්ති කණ්ඩියම උඩ තිබ්බ ෆෑන් එක එකපාරටම නැවතුනා. මොකක්ද සුජාතගෙ ප්‍රශ්නෙට දෙන උත්තරේ කියල කල්පනා කරමින් හිටිය මම ඔලුව හරවල ඒ දිහා බැලුව.

" ලයිට් ගිහිල්ල වගේ …" සුජාතා නැඟිටල ඉස්තෝප්පුවෙ ලයිට් එකේ ස්විච් එක දාල බලල කිව්ව.

" ඔයාගෙ ප්‍රශ්නෙට මම මෙහෙම උත්තරයක් දෙන්නද?.මේක වැල් වටාරමක් වගෙ ඔයාට පේන්ට පුළුවනි. ඒත් වෙන විදිහක් මට තේරෙන්නෙ නෑ. ජීවිතේ සමහර දේවල් තියනව මැඩම් අපිට හරියටම පැහැදිලි කරල දෙන්ට බැරි. දැන් දෙකයි දෙකයි එකතු කලාම හතරයි. එතන වෙන උත්තරයක් නෑ. ඒත් ජීවිතේ ප්‍රශ්න වලට එහෙම කෙලින්ම උත්තර නෑ බොහෝ වෙලාවට. ජීවිතේ අපි ගන්න තීරණ වලටත් හරියටම හේතු දෙන්නත් බැරිවෙන්න පුළුවන්. මම මේ කියන්නෙ තවත් කෙනෙකුට ඒත්තු යන විදිහට හේතු දෙන්න බැරිවෙන්න පුලුවන්ය කියලයි "

සුජාතා ටිකක් වෙලා මගෙ මූණ දිහාවෙ බලා හිටිය.

" Let me be frank Ravi, that’s a lot of words only. You didn't say anything at all, "

" හෙහ්, හෙහ්, හෙහ්, " මම හිනා උනා…" You are so blunt aren't you? But I like that and do you know there's a saying…. Saying nothing sometimes says the most.."

" Yes…Emily Dickinson …" සුජාතා ඉගැන්නුවෙ ඉංග්‍රීසි කියල මම කලින් කිව්වනෙ නේද?

" සුජාතා මම එවපු ලියුමෙ ලියල එව්ව මතකයිද ජීවිතේ සමහර දේවල් අපිට ඕන විදිහට සිද්ධ වෙන්නෙ නෑ. දෛවය හෝ ඉරණම හෝ වෙන මොකක් හරි හෝ අපිට ජීවිතය ලබාදෙන දේ පිළිගන්න වෙනව. ඒක සාධාරණ නෑ තමයි. ඒත් එහෙම තමයි ඒකෙ හැටි." 

" එතකොට ඔයා මට කියන්නෙ විජිතට සමාව දීල ඒ ඔක්කොම අමතක කරන්න කියලද? "

" අපොයි නෑ..මම එහෙම කිසිම දෙයක් ඔයාට කියන්නෙ නෑ. තවකෙනෙකුගෙ ජීවිතය ගෙනියන්න ඕන කොහොමද කියල උපදෙස් දෙන්න මට මොකක්ද තියෙන අයිතිය?. ඒක සම්පූර්ණයෙන්ම ඔයා තීරණය කරන්න ඕන දෙයක්...ඉට්ස් යුවර් ලයිෆ් "

ආපහු ලයිට් ආවද කොහෙද..එක පාරටම ෆෑන් එක වැඩ කරන්න ගත්ත.දහදිය ගලන මුහුණ ඒ පැත්තට හරවල මම සනීපෙට දෑස් පියාගෙන පුටුවෙ පස්සට දිග ඇදිල හොඳට හේත්තු උනා.


" එතකොට රවී මොකක්ද ඔයා මට කියන්නෙ? "

" Sujatha, please understand, at least make a try..Some things in life are just meant not to be. It's neither your fault, mine or anyone else's. It’s just the way it happens, just the way it's destined to be. That's all. Most probably there would have been a much happier ending with just a little bit changing of circumstances but unfortunately it was not to be. let us accept what life offers us. "

ඉර ඇතුගල එහා පැත්තෙං බැහැගෙන ගියා. වැව ඉස්මත්තෙ සුදුපාටට තිබ්බ වළාකුළුවල පරිමිතිය පමණක් රතු පාටට දිලිහුනෙ රතු පීත්ත පටියක් ඇල්ලුව වගේ.දාස් දෙන අව්ව අඩුවෙනවත් එක්ක රස්නෙත් ටික ටික අඩුවෙන්ට ගත්ත. ඒත් වැව් පිටිය සිසාරා හමාගෙන එන ගිණියම් හුළඟෙ පීඩාව අඩු උනේ නම් නෑ. එහෙම තමයි එක පාරටම එහෙම වෙන්නෙ නෑ. දාහය අඩුවෙන්ට තව වෙලා යනව. එව්ව සිද්ද වෙන්නෙ අපිට ඕන වෙලාවට නෙවෙයි.

" එතකොට ඔයාට කියන්න තියෙන්නෙ එච්චරම තමයි නේද? " ඇගේ කටහඬට මම ඇස් ඇරිය.

" ඔව්..මාත් එක්ක තරහ වෙන්න එපා…" මම කිව්වෙ ඇය දිහාවෙ යන්තමට බලල ආපහු වතුර හිඳිච්ච වැව දිහාවෙ හැරිල පුටුවෙ කෙලින් වෙලා ඉඳගෙන.

" කමක් නෑ, ඔයාගෙ තීරණය ඒකනම් මම මොනව කියන්නද? …" ඇය කිව්වෙ තවත් ටික වෙලාවකට පස්සෙ.

" මේ මගෙන් පුංචි තෑග්ගක්, " කුරුණෑගල බස් නැවතුම්පලේදි සමු ගනිද්දි ඇය මට දුඹුරු පාට කඩදාසියක ඔතපු පාර්සලයක් දුන්න.

" මේක මම ගෙනාවෙත් ඔයාට…" මම ඇගෙ දෑස් දිහාවෙ බලාගෙන කිව්ව.....ඇගේ දෑස්වල තිබ්බෙ මොකක්ද මට වටහගන්ට බැරි හැඟීමක්.

ඇය මුල්වරට හමුවූ දවසෙ කුරුණෑගල බස් එකේදි මම ඇයට කියවන්ට දුන්නු ආතර් සී.ක්ලාක්ගෙ නවකතාව මතකයි නේද? මම ඒක ඇයට දුන්න සිහිවටනයක් විදිහට. ඒක උනේ හදිස්සියෙ මට වෙන මොකවත් තෝරගන්ට වෙලාවක් තිබ්බෙ නෑ.

පොතේ අන්තිම පිටුවෙ මම මෙහෙම ලිව්ව....

Sometimes we need to stop analyzing the past .. stop planning the future .. stop trying to figure out precisely how we feel .. stop deciding with our mind what we want our heart to feel and sometimes we just have to go with "whatever..happens..happens" and let things decide by themselves. It may not be the best policy but more often than not, the alternatives would be far worse.

නුවර බස් එකට නැඟල ජනේලෙ අයිනෙ සීට් එකක වාඩිවෙලා මම ඇය දුන්නු පාර්සලේ ලිහුව. පොත් දෙකක්...මලගිය ඇත්තෝ සහ මලවුන්ගේ අවුරුදු දා...පොත් දෙක දිහා බලාගෙන බොහොම වෙලාවක් ගතකරපු මම සීට් එකට හේත්තුවෙලා උඩට ඇදගත්තු දිගු සුසුමක් පහලට හෙලුව පපුව ඔක්කොම හිස් වෙලාම යන්ට.

සකුරා මල් පිපුණු ගිම්හානෙක සවස,
පියවර මැන ගියා මතකයි අප දෙදෙන,
රැඳුනේ අපේ හමුවීමේ මුල් දවස,
වෙන්වන ලෙසින ඉරණම නළලේ කෙටුව,

සෙනෙහස බැඳුනි ඔබ වෙත මම නොදැනීම,
අරුතක් ඇතිද නොඅසමි මම කිසිදාක,
මෙදියත හැම දෙයම සිදුවනුයේ එලෙස,
අරුතක් හැම දේම සොයනුයෙ අප කෙලෙස,

සමුගෙන ගියෙමි ඔබෙ අවසර නොපතාම,
යන්නට සිදුවුනේ මම නොසිතූ විලස,
සකුරා මල් පිපෙන සවසක මතුදාක,
හමුවෙමු යලිත් මළවුන් අවුරුදු දාක,


පසු සටහන - ජීවිතයේ යම් යම් අවස්ථාවන්හි අප ගන්නා තීරණ පිළිබඳව ප්‍රත්‍යාවලෝකනයේදි අපි බොහෝ විට පසුතැවෙමු. එහෙත් ඔබට පරම සත්‍යයක් පවසමි මා ප්‍රිය මිතුර/මිතුරිය.මගේ ජීවිතයෙහි එසේ මා පසුතැවෙනා තීරණ ඇත්තේ ඉතාම අල්පයකි. එසේම ඒ පිළිබඳව මා පසුතැවෙන්නේ ද ප්‍රත්‍යාවලෝකනයෙහි සහායෙන් හෙයින් ඒ විශේෂිත තත්ව හමුවෙහි දී නැවතත් මවිසින් ඒ තීරණයම නොගන්නා බවට මට සහතික විය නොහැක. එසේ නොවන මට අතීතය වෙනස් කොට ගත හැකිනම් බොහෝසෙයින් මවිසින් වෙනස් තීරණයක් ගනු ලබන එක් අවස්ථාවක් වනුයේ නිසැකවම සුජාතා පිළිබඳ සිද්ධියයි.

විජිත මාස කිහිපයකට පසු අප ආයතනයෙහි සේවයෙන් ඉවත්ව ගියේය. ඔහු පිළිබඳ කිසිදු තොරතුරක් ඉන්පසු මට දැනගැන්මට නොලැබිණි. ප්‍රස්තුත සිද්ධියෙන් වසරකටත් අඩු කාලසීමාවක් තුල මම මගේ නිවසට වඩාත් ආසන්න අප ආයතනයේම වෙනත් අංශයක ව්‍යාපෘතියකට ස්ථාන මාරුවක් ලබා පැමිණියෙමි.එහෙයින් විජිත පිළිබඳ වැඩිමනත් තොරතුරු දැනගැනීමේ අවස්ථාවට ඉන් නිතැණින්ම වැට බැඳිණි. සත්‍යය එලෙසින්ම පවසතොත් මම ඒ උදෙසා කිසිදු උත්සාහයක් 
 නොදැරුවෙමි. සුජාතා පිළිබඳවද එසේමය. 

නිදි නැති බොහෝ රාත්‍රිකාලවල මම සෙමෙන් සයනයෙන් නැඟිට තද නින්දේ පසුවන බිරින්දෑ දෙස මොහොතක් බලා හිඳ නිදන කාමරයෙන් එක එල්ලේ පිවිසිය හැකි සඳළුතලයට පිවිස කිසිදු අරමුණකින් තොරව රාත්‍රි අහස දෙස බලා හිඳිනෙමි.හන්තාන කඳුවැටිය ඉහල අහසේ එක් වරම ඇඳී එසැණින් නිවීයන උල්කාශ්ම මම බොහෝවිට දැක ඇත්තෙමි.අප කිසිසේත් බලාපොරොත්තු නොවන මොහොතක ඉහළ අහසේ ප්‍රාදුර්භූත වන උල්කාවෝ එක් නිමේශයක් හාත්පසම ආලෝකවත් කොට යළි කිසිදිනෙම අප දෑසට දිස්නොවනසේ එක් සැණෙකින් අපගේ දර්ශන පථයෙන් සදහටම 
ඉවත්ව යන්නෝය. එදෙස දෑස් දල්වා බලා හිඳිම හැර අප වෙන කුමක් කරන්නද? 

සුජාතාද එසේ එක්වරම මගේ ජීවිතය නම් අහස් කුසෙහි මුදුනත අනපේක්ෂිතව එක් මොහොතක් දිළී එසැණින් සදහටම නිවීගිය උල්කාශ්මයක් සේ සැළකීමට මම කැමැත්තෙමි.

Thursday, December 19, 2013

113. කාලය! නුඹට ඇසුනේද?



කාලය මෙතරම්
වියපත් වන්නට
පෙර ඒ අපේ කාලයේ
කුළුණු ගුණයෙන් යුත්
සොඳුරු තරුණකු
ඇදුනු කල සිත මැදින්
තුරුණු වියේ සිටි
මසිත පැතුවා
එවන් කෙනෙකුට
බිරිඳ වන්නට

සෙමින් එකිනෙක
කෙස් පැහීගෙන එන 
වියපත් කාලය
අදද නෙත් හමුවට
කැඳවයි එවන්
සොඳුරු තරුණන්

පතමි මම ,
සුදු පැහැති හිසින් යුතු ව
සැඳෑ සමයට පිය නගන
අපේ කාලය සමගින්,
එවන් වූ සොඳුරු තරුණකු ව 
මපුතු එනු දකිනට
වාසනා වේවා !!! 




මයි කිංග් ජෝර්ජ් !!!



Tuesday, December 17, 2013

235. කවිකාරියකගේ ප්‍රේමය…..21


ඔන්න තව සතියක් වගෙ යන්ට ඇති...සුජාතා ආයම කෝල් කලාද නම් මන්ද...අනෝමා ඒ ගැන මා එක්ක මොකවත්ම කිව්වෙ නෑ. අනෝම එක්ක ඔය වල් පල් කතාකරකර හිටපු දෙතුන් පාරක්ම ඒ ගැන අහන්ටත් හදල මම ආයම වචන ගිල ගත්ත. 

" මොකෝ අර එදා කතාකරපු නමක් ගමක් නැති ගෑණු ළමෙය අයම කතා කලාද?" කියල අහන්ටය…

" ඉතිං උඹ එදා කිව්වෙ එහෙම ගෑණු ළමේක් දන්නෙත් නැත. නාඳුනන ගෑණු ලමයිංගෙං එන කෝල් වලය උඹ බයය අරකද මේකද කියල.... ඉතිං මොකෝ මේ හදිස්සියෙ එහෙම අහන්ට හිතුනෙ? "

ආය දෙකක් නෑ ඕකි ඔහොම අහන එක අහනව..ඔක්කොටමත් වැඩිය මට විඳින්ට බැරි ඔහොම අහන ගමං ඒ යෝදි කට කොණකිං හිහ්, හිහ් ගාල දාල නෝන්ඩි හිනහව...

කෙල්ලන්ට ඉව කියන්නෙ ආය නිකංය.." උඹ මොනවත් මගෙං අහන්ට එහෙම ගිහිල්ල නිකං මේ මේ ලැජ්ජයි ලැජ්ජයි වගෙ හිතිල ආයම ගිල ගන්නවයි කියල මට හිතෙනව.. ඒ මොකෝ ඇත්තට? "

දවසක රාත්තිරියෙ ඔෆිස් එකේ මූණට මූණට බලාගෙන කතාකරකර ඉන්න ගමං අනෝමා එක පාරටම අහපි.

එදා හෙඩ් ඔෆිස් එකෙන් ඔය හාෆ්ෂීට් ෆයිල් කවර එහෙම තොගයක් ගේනවය කියල මෙසේජ් එකක් ඇවිල්ල තිබ්බ. අපේ ඔෆිස් එක තමයි මඩකලපුවෙ ඉඳල කොළඹ පැත්තට යද්දි අන්තිමටම තියෙන්නෙ. ඉතිං සාමාන්‍ය සම්ප්‍රදාය ඇවිල්ල ඔය දුර බැහැර ඔෆිස් වලට බඩු බෙදල ආපහු කොළඹ යන ගමනෙ අන්තිමට අපෙ ඔෆිස් එකට ඇවිල්ල ගෙනාපුව බාලා කරලා යන එක.

ලිපිකරු තනතුරේ කියල අපෙ හිටියෙ අනෝම කෙලී විතරයි නෙව. ඒ නිසා ඒකිට ඉන්ට උනා ඔපිස් එකේ ලොරිය ඇවිල්ල බඩු බෑවට පස් සෙ ජී ආර් එන් එක අස්සං කරල දෙන්ට ජී ආර් එන් කිව්වෙ ගුඩ්ස් රිසීව්ඩ් නෝට් නොහොත් භාණ්ඩ භාරගැනීමේ සටහන් පත… 

එදා වෙලාවටම අපේ ඔෆිස් එකේ ඉන්න අනික් කෙල්ලො දෙන්නම නිවාඩු ගිහිල්ල. ඔය වගෙ වෙලාවට වනිතාවන්ට තනි රකින්ට අහුවෙන්නෙ මම තමයි.."' ආ..උඹම තමයි හොඳ ඒ වැඩේට...වනිතා කටයුතු ඇමතිනෙ උඹ " ඔන්න ඔහොම කියල අනික් එවුං ඔක්කොමල්ල මඟ අරිනව.මම ඉතිං උංගෙ අම්මලාට බැන බැන වැඩේ බාර ගන්නව.

" මේ විකාර කියවන්නෙ නැතුව ඉන්නවද ඔහොම?....අහන්ට ගිහිල්ල ගිල ගන්නව..හුහ්..මම උඹට බයේනෙව එහෙම ගිල ගන්නෙ.." මට එක පාරට තරහ ගීයා

" හිහ්..හිහ්..හිහ්……" අනෝමා ඔලුව පස්සට වීසිකරල හිනාඋනා…

" මේ අඩේ..ඔහොම හිනාවෙනවද බොල ගෑණු ළමස්සියො උනහම?.....අම්මාපල්ල දැං ලොක්කත් එනව මොකද්ද මේ විකාරෙ කියල බලන්ට..."

මම කිව්වෙ දත්මිටිකාගෙන ..ඇත්තටම ලොක්කයෙ නිල නිවාසෙ ඔෆිස් එකට ඒ හැටි දුරින් නෙවෙයි තියෙන්නෙ. මේ යෝදිගෙ කැකිරි පැලිල්ල නෙවැරදීම ලොක්කයෙ ගෙදෙට්ට නං ඇහෙන්ටම ඇති.

එක පාරට සුවිච් එකක් ඕප් කලාහේ අනෝමයෙ සිරික්කිය නැවතුනා. ඕකි ඔය මට එහෙම පාට් දැම්මට අපෙ ලොක්කට පණ බයයි. ලොක්ක ඔය හැමෝම බය කොරගෙන ඉන්නෙ අනම්මනම් පාට් දාල. අනෝම දනි පනි ගාල නැඟිටල ඔපිස් එකේ දොර ගාවට ගිහිල්ල එබිල බැලුව.

" නෑ බං කවුරුවත් පේන්ට නෑ..ලොක්කගෙ ගෙදර ලයිටුත් නෑ. "

" මේ මනුස්සය කොහෙ ගියාද ? හවසත් මම දැක්කනෙ ටී ටී ගහනව…"


ඔපිස් එක ඉස්සරහ අතුපතර විහිදවාගෙන සෙවණ දුන්නු මයිල ගහේ කොල අතු සිරි සිරි ගෑවිල්ලෙ හමාගෙන ආපු හීතල හුළඟ ඇතුලට කඩා වැදිල මගෙ හීගඩුත් පිප්පෙව්ව.

" හප්පා හීතල.. වහීද මන්ද …." මමත් නැඟිටල අත් දෙක පෙරවගත්ත.

" දොර වහන්ටද? …." අනෝමා බාගෙට ඔලුව හරවල මා දිහා බලල ඇහුව.

" පිස්සුද බං? ආය එකක් ඒ පාර..මෙන්න මෙහෙ වරෙං ඇවිල්ල ඉඳගනිං …"

" හරි හරි ඉතිං කෑනොගහ ඉඳහං….. මම විහිලුවට කිව්වෙ…."

" මට ඉස්සෙල්ල එක පාරටම හිනහ ගියෙ මොකද දන්නවද? "


බඩු ආහම අත්සන් කරල දෙන්ට ලෑස්ති කරල තිබ්බ ජී.ආර්.එන්. එක එහාට මෙහාට කරකවන ගමං අනෝම ඇහුවෙ ටික වෙලාවක් පැවතිච්චි නිහඬතාවයකට පස්සෙ. අනෝමගෙ අත්දෙක මැද කැරකෙන ජී. ආර්.එන්. එක දිහා බලා හිටිය මිසක මම මොකවත්ම කිව්වෙ නෑ.

" මට තේරුණ උඹට තරහ ගියයි කියල...මට හිනාගියෙ ඒ හින්ද…."

" තරහ යන්නෙ නැද්ද පිස්සු විකාර අහනකොට "


" හිහ්,හිහ්..ඇත්ත කියනකොටත් සමහරුන්ට තරහ යනව කියල මම අහල තියනව…" අනෝම ආයෙම හිනා උනා..

මම කිසි දෙයක් කිව්වෙ නෑ..මොනව කියන්ටද? මේ යෝදි කියන්නෙ සම්පූර්ණ ඇත්තකොට මොනවයි කියල කියන්ටද?

" මම කිව්වෙ ඇත්ත නේද?...." අනෝමා ආයෙම ඇහුවෙ බොහොම හෙමිහිට..

" ඔව්........" මම කිව්ව..ආය මොනවටද බොරුවක් කියන්නෙ?

" ඒක තමයි..මම මොකද නොදන්නෙ ඔයා ගැන...." අනෝමා මට ඔයා කියල අමතන්නෙ මොකක් හරි සීරියස් කතාවකට කියල මම දන්නව.

" එදා අර කතා කලේ සුජාතා නේද?......."

මම එක වංගියෙම ඔලුව උස්සල බැලුව. අනෝමගෙ දෙතොලග තිබ්බෙ සරදම් හිනාවක් එහෙම නෙවෙයි. කොහොමද දන්නෙ කියල අහන්න ඕන උනත් මම එහෙම අහන්නෙ නෑ. ..

" එදා කියපු වෙලාවටම සුජාතා කතාකලා.පස්සෙ මම කිව්ව ඔයා ඇවිල්ල යන්ට ගියාය කියල.එයා එක පාරටම ෆෝන් එක තිබ්බ. දවස් දෙක තුනකට පස්සෙ එයා ආයෙම කතා කලා. එදා තරමක් දුරට මට විස්තර කිව්ව.ඊටත් පස්සෙ මේ පහුගිය පෙරෙයිද කතා කරල තමයි මට සම්පූර්ණ විස්තරේම කිව්වෙ...විස්තරේ කියල මගෙන් ඇහුව ඔයාගෙයි මගෙයි අතර කිට්ටු හිතවත්කමක් තියනවද කියල "

" ඉතිං ?......"

" මම කිව්ව මෙහෙම...ඔව්..ඇත්තටම අපි බොහොම කිට්ටුවෙන් ආශ්‍රය කරනවය ..අපි හොඳම යාලුවො කියල... කමක් නෑනෙ නේද එහෙම කිව්වට? "

" හෙහ්,හෙහ්, කමක් නැද්ද කියල අහන්නෙ එහෙම කියල දවස් ගාණකට පස්සෙනෙ.." මම හිනා උනා.." නෑ අනෝමා මම විහිලුවට එහෙම කිව්වෙ..කිසිම ප්‍රශ්නයක් නෑ ඔයා එහෙම කියපු එකට ඉතිං?...."

" ඒ පාර මගෙං ඇහුව ඔයාට කියන්ට බැරිද කියල එයාට කතාකරන්ටෙයි කියල……."

" මම කිව්ව මම උත්සාහ කරල බලන්නම්ය කියල…"


දැඩි නිහඬබවින් හාත්පස වෙලාගත්තු විනාඩි කීපයක් ගෙවිල ගියා. පිටිපස්සෙ කාමරේට යන තැන ආරුක්කුව උඩ එල්ලල තිබ්බ බිත්ති ඔරලෝසුවෙ ටිකිස්, ටිකිස් සද්දෙ විතරයි ඔපිස් එක ඇතුලෙ එක දිගටම ඇහුනෙ...

දොර පලුව එහෙම්ම ඇරල. ආයෙම ගලාගෙන ආපු හීතල හුලඟකුත් එක්ක වේලිච්ච මයිල කොල දෙක තුනකුත් ඔපිස් එක ඇතුලට ගහගෙන ආව.

" පව් අනේ ඔයා එයාව එක පාරක් හම්බ උනොත් හොඳ නැද්ද? "

ඔෆිස් එක ඉස්සරහින්ම යන පාර හරි කෙලින් ඉද්ද ගැහුව වගෙ විහිදෙනව දෙපැත්තටම කිලෝ මීටර් දෙක තුනක් විතර. ලොකු බොහොම බර ලෝඩ් එකක් පටවගෙන එන ලොරියක සද්දෙ ඇහෙන්ට පටන්ගත්ත විඩෙං විඩේ හුළං අත මේ පැත්තට අල්ලනකොට.

" හෙඩ් ඔෆිස් එකේ ලොරියද දන්නෙ නෑ…….. "

අනෝමා නැඟිටල මිදුලට බැස්ස. මාත් ඒ පස්සෙන්ම ගියා. ගේට්ටුව ඇරගෙන අපි දෙන්න පාරටම ගියා. ආයම හුළං අත මාරු උනහම ලොරියෙ සද්දෙ හොඳට ඇහෙන්න ගත්ත.

" නෑ ඒ අපේ එක නෙවෙයි. මේක මේ හෙණ ලෝඩ් එකක් එක්ක බොහොම අමාරුවෙන් අදින ලොරියක්. නෑ මේක වෙන්න බෑ...මෙහෙට එනකොට අපේ ලොරියෙ ඉතුරු වෙන්නෙ අනෝමා…. අපිට ගේන පොඩ්ඩ විතරයි. ඔහොම බෑඟිරි ගහගෙන අදින්න හේතුවක් නෑ. ඔය අර සමූපකාරෙට එන ලොරිය වෙන්නැති. "

අපෙ කෑම්ප් එක පහුකරල තව කිලෝමීටර් තුන හතරක් ගිහාම පැරණි මුස්ලිම් ගම්මානයක් තිබුණ. ඒකෙ සමුපකාරෙට සතියකට වගෙ සැරයක් කදුරුවෙලින් ගේනව බඩු ලොරියක් පුරවල.

තව ටික වෙලාවකින් ඔන්න ඈත ගණ අන්දකාරෙ ඉරාගෙන හෙඩ් ලෑම්ප්ස් දෙහෙක එලිය පේන්ට ගත්ත.

" යමු ඇතුලට.. සීතලයි …" මම කිව්ව..

" ඉන්ට පොඩ්ඩක් අපි මේක මොකක්ද කියල බලලම යමු. "

අනෝම මගෙ උරහිසට අත තියල කිව්ව. මම කිව්ව වගේම ඒ සමුපකාරෙ ලොරිය තමයි.

" මම කියනවට එක පාරක් සුජාතව හම්බ වෙන්ට ගිහිල්ල………"

අනෝම ආයෙම කිව්ව පුටුවෙ ඉඳගෙන වැලමිටි වලින් මේසෙට බරවෙලා ...කෙලින්ම මයෙ ඇස් දෙක දිහා බලාගෙන…

" එයාට කියන්ට තියන දෙයක් කෙලින්ම කියන්ට මූණටම..එච්චරයි..ඒ මොකක්ද කියන එක මම දන්නෙ නෑ. ඒක මට අදාලත් නෑ..මම කියන්නෙ මොක හරි කෙලින්ම මූණටම කියන්ට කියලයි. "

අනෝමගෙ ඇස් දෙකේ තිබුනෙ ආයාචනාත්මක බැල්මක්..පව්..මට දුකක් වගෙ හිතුන….

" හරි ඔයා කියන එකේ ඇත්තක් තියනව...මම යන්නං….."

" තෑන්ක්ස් අනේ..මම දන්නවනෙ ඔයා මම කියන දෙයක් නොකර ඉන්නෙ නෑ කියල.."

" හරි හරි උඹෙ බටර් ඇති..මේ දැන් මදැයි මේ ඔයා මෙයා කියල කතා කලා..උඹට උඹ නොකිය ඔයා මෙයා බාසාවෙන් කතා කරන එකත් මහ වදයක් බං.."

" ඉඳපං තව විනාඩි පහක් මේ ඔයා මෙයා මූඩ් එකේම ඉමු. …."


අනෝමා ලාච්චුවෙං යතුරක් අරගෙන නැඟිටල ගිහිල්ල ආරුක්කුව අයිනෙ බිත්තියට හේත්තු කරල තිබ්බ චුට්ටි මේස පොඩ්ඩක් උඩ තිබ්බ ටෙලිෆෝන් එකේ අගුල ඇරිය.

" ඔය මොකද බං කරන්න හදන්නෙ? "

මේ යස්සනී කොරන්න හදන්නෙ මොකද්ද කියල මට එතකොට මීටර් වෙලයි තිබ්බෙ..

" ඒයි මේ පිස්සු කෙලින්න නම් ලෑස්ති වෙන්න එපා.." 

මමත් නැඟිට්ටා. අනෝමා එතකොටත් ටෙලිෆෝන් එකේ නොම්මර ඔබල ඉවරයි. කහපාට රිසීවරේ කණට තද කරගෙනම ඒකි මා දිහාට හැරිල ඉඟි මැරුව. ටෙලිෆෝන් එක රිංවෙන සද්දෙ රාත්තිරියෙ නිස්සද්දතාවයත් එක්ක මට පැහැදිලිවම ඇහෙනව.

" තියාපිය ඕක…" මම සද්දෙ නෑහෙන්ට දත් මිටි කාගෙන කිව්ව.

" හිටපං කෑනුගහ…" අනෝමත් ඒ විදිහටම කිව්ව. එතකොටම රිං වෙන සද්දෙ නැවතුනා.

" හෙලෝ........"

අනෝමා කතා කලා..මම රවාගෙන හිටිය. ඒකි මට විරිත්තුවා..

" හෙලෝ... මේ…. මට සුජාට කතා කරන්ට පුළුවන්ද?...."

" ………………………………….."

" නෑ..නෑ..මම මේ සුජාගෙ යාලුවෙක්…"

" ………………………………….."

" ආ..ඔව්...පොළොන්නරුවෙ තමයි...හා..හරි…"

" සුජා නානවලු …" 
එහෙම කිව්වෙ මට.

" අනේ උඹ බම්බු ගහපං…" මම දත්මිටි කාගෙනම කිව්ව.

" හිකිස් …" අනෝමට දෙවුර අකුලල හිනාඋනා..

" හරි…. හරි..මට කතාකරන්න කියන්නකො දැන්මම..අනෝමා කිව්වම සුජා දන්නව…" අනෝමා රිසීවර් එක තිබ්බ.

" සුජා නානවලු. නාල ඉවරවෙලා කෝල් එකක් දෙයි.."

" මට ඇහුණ..උඹ හිතුවෙ මං බීරෙක් කියලද?..." මම කිව්වෙ නැඟිටල එලියට බහින ගමං.

" මේ රෑවෙලා නාන්නෙ ….අනේ මන්ද " ...අනෝම කියනව මට ඇහුන.

" එයාගෙ කොණ්ඩෙ කොටයි.ඒ හින්ද අවුලක් නෑ……" මම කිව්ව නෙවෙයි මට කියවුණා…

" ඈ...ඔහොම හිටපං ඔහොම හිටපං…" අර යෝදි කෑගහද්දි මම නෑහුණවගෙ එළියට බැස්ස.

ඔෆිස් එකෙන් එළියට බහිනකොටම තිබ්බෙ කපරාරු නොකරපු ගඩොල් කුළුණු තුනකින් දරාගෙන ඉන්න පියස්සකින් ආවරණය වෙච්චි පොඩි ඉස්තෝප්පුවක් වගෙ කොටසක්. මයිල ගහේ කොළ අස්සෙං ඈත කන්දකඩුව ආකහෙ හඳ එල්ලිල තිවුනෙ දෑකැත්තක් වගෙ. Sickle Moon කියල කියන්නෙ ඉංග්‍රීසියෙන් ....

ඉස්ලාම් ආගමේ සංකේතයත් ඒකමනෙ. දෑකැති සඳ සහ තනිතරුව...තනි තරුවයි හඳ පළුවයි....තනි තරුවකුත් හඳ පළුව එක්ක පල්ලෙහයිං තියද කියල බලන්ට ඕනය කියල මට එක පාරට හිතුන.ඉස්තෝප්පුවෙන් මිදුලට තිබ්බ පඩි දෙක බැහැල මයිල ගහ පහුකරල මම ගේට්ටුව දිහාවෙ ගියෙ යටි පහුවෙන බොරළු ඇනිල යටි පතුල් රිදුම් දෙද්දි.

මගෙ රබර් සෙරෙප්පු දෙක ඔෆිස් එකේ මේසෙ යට ගලවපු ගමං. මට තරහ ගිය පාර ඒකත් නැතුවයි එළියට බැහැල තියෙන්නෙ. හඳ පළුව තිබ්බට තනි තරුවක් නම් ඔහෙ තිබ්බ එකක් නෑ. හීතල හුළඟ පපුව පුරා පුරවගෙන එහෙම්මම අහස දිහා බලාන උන්න මම.

හීතලත් එක්ක පරිසරය වහගෙන තිබුනු දැඩි නිහඬතාවය මැටි කළගෙඩියක් උස්සල ඇති විරියෙං පොළවෙ ගැහුව වගෙ එක පාරටම බිඳිල ගියෙ කාර්යාලය ඇතුලෙ දුරකථනය නාද වෙන්ට පටන් ගත්තු සද්දෙට.

අනෝමා රිසීවරේ උස්සයි කියල මම එහෙම්මම හිටිය කන්දිහාගෙන. ඒත් දිගටම ටෙලිෆෝන් එක වදිනව.

" මේ උඹ ඇවිල්ල මේකට උත්තර දෙනවද නැද්ද? සුජාතා කතා කරන්නෙ…"

අනෝමගෙ කටහඬ ඇහුණ දුරකථනයෙ සද්දෙත් මැඩගෙන. ඔෆිස් එකට කිට්ටුවම තිබුනෙ සුළු සේවකයින්ගෙ නේවාසිකාගාරෙ. ඒකෙ පිටිපස්සෙ වතුර ටැංකිය ගාව රෑට කාපු පිඟාන හෝදමින් හිටිය සිරිසේන අයිය වෙන්න ඕන, සිරිසේන අයිය කියන්නෙ අපෙ ට්‍රැක්ටර් රියදුරු. මිනිහ තමයි අපෙ කෑම්ප් එකේ උසම මනුස්සය.සිරිසේන අයිය පිඟානත් අරගෙන පිළිකන්නට ඇවිල්ල මේ පැත්තට එබිකම් කලා. මේ යෝදිගෙ කෑගැහිල්ල එහාටත් ඇහුණද කොහෙද..අනෙ අම්මාපල්ල.

" හිටපං කෑනුගහ මම එනකල්……"

මම සද්දෙ බාල කරල කිව්ව එකට තද කරගත්තු දත් අතරින්..

" ඉතිං වරෙං…. මොකද ඔය එළියෙ කරන්නෙ? ගෙම්බො අල්ලනවද? හිහ්, හිහ්.."

අම්මාපල්ල මේ අම්මණ්ඩිව මට....බොරළු ඇනෙමින් ආපහු මම ගියා. බොරළු ඇනෙන පය රිදවන....එක විඩේම දුරකථනය නිහඬ උනා. ආයම කෑලි කපන්ට පුළුවන් නිශ්ශබ්දතාවයක් දසතම වෙලාගත්ත.

" හ්ම්ම්ම්ම්…."

දිග සුසුමක් හෙලුනෙ මට ඉබේටම. ඒ බලාපොරොත්තු කඩවීමක් නිසා හෙලුනු සුසුමක්ද නැත්නම් සැනසුම් සුසුමක්ද? නැත්නම් ඒ දෙකේම සම සම මිශ්‍රණයක්ද? ඒ ප්‍රශ්නෙට උත්තර හොයන්ට මට උවමනාවක් තිබුනෙවත් වෙලාවක් තිබුනෙවත් නෑ.

" ඔහොම හිටහං ටිකක්.... එයා කතා නොකලත් මම හරි කතා කරල මේක බේරුමක් කරනව. ඇයි යකඩො?..මේක මාර වැඩක්නෙ..කියන්ට තියන දෙයක් ගිහිල්ල ඒ මනුස්සයගෙ මූණටම හම්බවෙලා කියන එක නේද මනුස්සකම?...අනේ මන්දන්නෙ නෑ උඹලගෙ පිරිමි කම...."

අනෝමා එහෙම තමයි. කියන්ට තියන දේ කියනව ලබ්බ ගලේ ගැහුවවගෙ. මම ඕකිට කැමතිත් ඒකම තමයි.

" උඹ තරහද? …"

ආයෙම අනෝම හෙමිහිට ඇහුවෙ බිම බලාගෙන..

" නෑ බං මම තරහ නෑ. උඹ මොනව කිව්වත් මම තරහ වෙන්නෙ නෑ.," මම හිනාවෙලා අනෝමගෙ උරහිසට අත තියල මිරිකුවා.

" ඒත් උඹෙ කතාවට උත්තරයක් දෙන්න ඕනනෙ. පිරිමිකම ගෑණුකම කියල වෙනම දෙකක් තියනවද? මම හිතන්නෙ තියෙන්නෙ මනුස්සකම විතරයි කියල.එහෙම පිරිමිකම කියල එකක් තියනව කිව්වත් ඒක අර්ථ දක්වන්නෙ කොහොමද?.....හෙහ්, හෙහ්, "

" මේ මම ඒ වචනෙ ඉල්ලල අස් කරගන්නං..එහෙම කරන එක ලාබයි වගේ…...නැත්තං උඹ මෙතන පටං ගනියි ගෑණු කමයි පිරිමි කමයි අර්ත දක්වන්ට " අනෝමා කිව්වෙ සීරියස් පිට..

" හරි හරි බං ඒක අල්ලලදාමු..මට කියන්න ඕන උනේ...." 

මට වාක්‍යය ඉවර කරන්න උනේ නෑ..ආයම දුරකථනය හඬ නඟන්න ගත්ත.

අනෝමා එහෙමම ඉඳගෙන යටි තොල දික්කරල මට ඉඟියෙන් ටෙලිෆෝන් එක පෙන්නුවා. මමත් ඒ විදිහටම යටිතොල පෙරලල ඔලුව දෙපැත්තට වැනුව.මට හිනායන්නත් එනව. අනෝම මා දිහා රවාගෙන ඉඳල ගිහිල්ල රිසීවරය ගත්ත.

" හෙලෝ..

"…………….."

" ආ..ඔව්...අනෝමා තමයි..ඉතිං සුජාත කොහොමද?................"

"…………….." 

" ආ..ඔව්,ඔව්..ඔයා මට කිව්වනෙ......" 

"…………….."

" ඇත්තද? ඒක හොඳයි....."

"…………….."

" ඔව් අනේ….කොච්චර හොඳද? "


"…………….."

" මේ ඒකනෙවෙයි අඳුරන කෙනෙක් ඉන්නව ....ආ..ඉන්න මම එයාටම දෙන්නම්…"


අනෝමා රිසීවරය එක අතකින් වහගෙන මට ඔලුවෙන් කතාකලා. මම ආයෙම ඔලුව වැනුව තිරස්ව..

" මෙහෙ වරෙං බං….." සද්ද නෑහෙන්ට දත්මිටි කාගෙන කිව්වත් ඒකිගෙ ඇස් දෙකේ තිබ්බෙ හිනාවක්...මම ගිහිල්ල රිසීවරේ ගත්ත.

" හෙලෝ......."

මිනිත්තු බාගයක්වගෙ යනකල් කිසිම ප්‍රතිචාරයක් නැතිතැන මම ආයම කතා කලා..

" සුජාතා ඔයා ඉන්නවද? "

" ඔව්........"


ආයම නිහඬතාවයක්…

" මොකද මම එවපු එක ලියුමකටවත් උත්තර එව්වෙ නැත්තෙ?....."
සුජාතගෙ හඬේ තිබුනෙ තරහක්ද? කණගාටුවක්ද?...මට හරියට තේරුම්ගන්න පුළුවන් උනේ නෑ...මොනවයි කියල කියන්නද?..

" හෙහ්, හෙහ්….." මම හිනාඋනා....

" හිනා වෙන්න එපා...හරිද? "

" හා……"


" ලියුම් වලින් ඇහුවට උත්තර දෙන්නෙ නැහැනෙ. දැන් මම කෙලින්ම අහන්නම්කො..මාව හම්බවෙන්න එනවද?......"

" හා..මම එන්නම්......."


වෙන මොනව කියන්නද? 

...........................................................

මතු........හෙහ්, හෙහ්, එක්කොත් ඒක ඕන නෑ....අම්මට මේ දවස්වල ටිකක් සනීපත් මදි වගෙ. දැන් වයසයිනෙව. ඔය අස්සෙ හෙම්බිරිස්සාවත් හැදුනොත් තව එකක්.....අනික තව කාරණාවක් තියනව...කතාවක් කොටස් 21 කින් ඉවර කරන එක අසුබ පල දෙනවලු.විසේසයෙන්ම කියවන ඔබ තමුන්නාසේලාට.අංක විද්‍යාව අනුව මෙහෙමයි ඒක වෙන්නෙ.

21 = 2 + 1 ,

2+ 1 = 3,

3 x 3 = 9,

9 කියන්නෙ ඉතාම අසුබයි. යක්ෂයාගේ අංකය.....

Friday, December 13, 2013

234. ගුරුවරියක සමඟ මගේ ජීවිතය - 7......දිඹුලාගල හාමුදුරුවෝ, කනේරු ඇට, සීනි, ග්‍රාමීය රෝහල් , පැරකොට් සහ කිරිමැටි


1. දණ ගැස්සවීම, පී.ටී. මැඩම්ගෙ ගෙදර ඉන්න එක්කෙනා සහ ...
2. ගුරුවරියක සමඟ මගේ ජීවිතය සහ ටී රෙක්ස්..........

3. ගුරුවරියක සමඟ මගේ ජීවිතය - 3......මදුරු සංහාර මෙහෙයුම

4. ගුරුවරියක සමඟ මගේ ජීවිතය - 4......කොලපත් බත් ගෙඩි.......

5. ගුරුවරියක සමඟ මගේ ජීවිතය - 5......සූරයන්ගෙත් සූරයා,........

6. ගුරුවරියක සමඟ මගේ ජීවිතය - 6......වෙන වැඩක් නෑ කන්ට,......

කළකට පස්සේ වෙළකට බැස්සේ..කිව්වලු..කවුද දැන් ඕක කිව්වෙ?...වෙන කවුද ඉතිං මී හරකෙක් මිසක්ක.....අපෙ ගුරුවිරී...ඔය ගුරුවිරී කියන්නෙ අපෙ අත්තම්මගෙ වචනයක්..ගුරුවිරී සමඟ මගේ ජීවිතේ ගැන විඩිං විඩේ මම ලිව්ව කොටස් හයක්. ඔය උඩ දාල තියෙන්නෙ එව්ව...

ඈ මා එක්ක දීග ඇවිල්ල කෙලිම්ම පදිංචි උනේ අපෙ කෝටස් එකේ. ඔය මේස කෑල්ලක් ඇඳක් පුටු හතර පහක් කාරිය මගෙ යාලුවො මම කලින් හිටපු තනිකඩ කෝටස් එකේ ඉඳල කලින්ම ගෙනත් දාල තිබ්බ. ඉතිං ඔව්ව ටිකක් එහෙමෙහෙ කරල අස්පස් කොරල දාල හිට අපි දෙන්න පදිංචි වෙච්චි.කිරිසුට්ටකුත් උතුරෝල එහෙම.

අහ්, තව කතාවක් තියනව කියන්ට.. සරණ මංගලෝත්සවෙං පස්සෙ සති දෙකක් නිවාඩු දාල ඔන්න හඳුදාවක නෙව ආපහු වැඩට යන්ට තිබ්බෙ. සඳුද පංදරම නැඟිටල යනවට වඩා යමු එහෙනං ඉරිද හවස කියල දාවල් බත් එහෙම කාල අපි දෙන්න පිටත් උනා එයයිලගෙ ගෙදරිං...

ඔන්න ගිහිල්ල අරගෙන ගිය ඇඳුං බෑග් කාරිය ක්වාටර්ස් එකේ දාල දෙන්න එක්කම ගියා ඒ කිට්ටුව තිබ්බ කඩමණ්ඩියට රෑට උයන්ට හාල්, එලෝලු මොක මොකව හරි එතනිං ගිහාම හාල් මැස්සෙක්, කරෝල කෑල්ලක් කාරිය ඇරගෙන එන්ට. අප්පටසිරි මෙන්න බොලේ වැඩේ... කඩවල් ඔක්කොම වහල....මහ ජංජාලයක් නෙව. එක කඩයක්වත් නෑ ඇරල..කඩ ඔක්කොගෙම වගෙ කහ කොඩිත් දාල..

" මොකද අනේ මේ?..." එයයි ඇහුව…

" කහ කොඩි දාන්නෙ නම් හාමුදුරුකෙනෙක් මලාම. හෙහ්..මලාම නෙවෙයි අපවත් උනාම "

" හා, හා, සාදු බලාගෙන. ඔහොමත් පයිනවද අද්දන බස් එකට? මෙතන රෝදෙට යටවෙල අපවත් උනහම මම එපාය වග උත්තර කියන්ට.."


අපෙ පාන්දර මේල් බස් එකේ රියදුරු විල්බට් අයිය ඔලුවෙ අත ගහගෙන එක දවසක් කෑමොර ගැහුවෙ නාවුල බස් ස්ටෑන්ඩ් එකෙන් බස් එක අද්දන කොටම දුවගෙන ඇවිල්ල නඟින්ට හදපු පොඩි හාමුදුරු නමකට.

ඒ ලඟම තමයි තිබ්බෙ පාර අයිනෙම ඉස්කෝලෙ. ඉස්කෝලෙ ඉස්සරහ ඉස්පිරිතාලෙ. ග්‍රාමීය රෝහලක්.වාට්ටු දෙකයි.පිරිමි වාට්ටුව සහ ගැහැණු වාට්ටුව. ස්ථාන භාර වෛද්‍ය නිලධාරී තුමා ඇවිල්ල ආර්.එම්.පී. කෙනෙක් නොහොත් ලියාපදිංචි වෛද්‍ය නිලධාරී කෙනෙක්. ඒ.එම්.පී ල නොහොත් සහකාර වෛද්‍ය නිලධාරීන් කාලයක් ගිහිල්ල වෛද්‍ය සභාවෙ ලියාපදිංචි උනාම ආර්.එම්.පීල වෙනව. කාලෙකට ඉහත එයාලට කිව්වෙ සහකාර වෛද්‍ය වෘත්තික සහ ලියාපදිංචි වෛද්‍ය වෘත්තික කියල. සෞඛ්‍ය අමාත්‍යාංශයට කරුණු කියල ඒ ගොල්ලො තමන්ගෙ වෘත්තීය නාමය වෙනස් කර ගත්ත.

ආර්.එම්.පී අපෙ හොඳ යාලුව. මේ නාත්තන්ඩිය දිහා ගෙවල්...කතෝලික.... මත්පැන් එහෙම පෙන්නන්ට බෑ.දැක්ක ගමන් ගසල අරිනව. සිගරටුත් එහෙමයි. මගෙ වෙඩිං එකට මිනිහ ආවෙ නෑ. ඒ කාලෙ ඒ පැත්තෙ පිස්සු බලු රෝගය පැතිරිල ගිහිල්ල තිබ්බ ගජරාමෙට. ඒ අහල පහල මිනිස්සු දෙන්නෙක්ද කොහෙද මලත් එක්ක. ඒ නිසා දවස් තුන හතරක මොකක්ද ඒ ගැන වැඩ සටහනක් තිබ්බ පොළොන්නරුවෙ. ඩොක්ටර්ට ඒකට යන්ට උනා.

" අනේ රවී…. තරහ වෙන්න එපා..මට එන්න වෙන්නෙ නෑ. උඹ දන්නවනෙ..මේ බල්ලො කේස් එක..අර සෙමිනා එකට යන්ටම වෙනව. උඹ වරෙංකො බැඳල..පස්සෙ මම එන්නම් ගෙදර වයිෆුත් එක්කම. "

මංගල්‍යාරාධනාපත්‍ර දෙන්න ගිහාම ඩොක්ටර් එහෙමයි කිව්වෙ. ඩොක්ටර්ගෙ වයිෆ් හිටපු ගමං මාසෙකට දෙහෙකට සැරයක් වගෙ ඇවිල්ල සතියක් හමාරක් ඉඳල යනව. හරිම ගුණ යහපත් මනුස්සය.

ඉතිං අපෙ ප්‍රියම්බිකාවියයි මායි පාර දිගේ ඇවිදගෙන යද්දි ඩොක්ටර් හිටිය ක්වාටර්ස් එකේ ඉස්තෝප්පුවෙ. 
අපි දැක්ක විතරයි " ආ..රවී කවදද ආවෙ? ..හෙලෝ " කියල අපෙ උන්දැ එක්ක හිනා උනා..

" අද ආවෙ ඩොක්ට, මේ මෙහෙ හොස්පිටල් එකේ ඩොක්ට..අර මම ඔයාට කිව්වෙ. ඩොක්ට මේ මගෙ වයිෆ්.." මම අඳුන්නලා දුන්න.

" මොකෝ ඩොක්ට මේ කඩවල් ඔක්කොම වහල අද? " 

සතුටු සාමීචි කතා බහ, ඒ කිව්වෙ මඟුල් ගෙදර විස්තර මගේ පැත්තෙන් සහ සෙමිනා එකේ විස්තර ඩොක්ටගෙ පැත්තෙන්...ඉවර උනහම මම ඇහුව.

" ඇයි අදනෙ දිඹුලාගල හාමුදුරුවන්ගෙ ආදාහනය..මුළු පොළොන්නරු දිස්ත්‍රික්කෙම අද කඩ ඔක්කොම වහල. "

" මාර වැඩේනෙ..අපි මේ දැන් ටිකකට ඉස්සරවෙලා ආවෙ..උයන්ට පිහන්ට හාල් පොල් ඩිංගක් ගන්ටෙයි කියල මේ කඩ පැත්තෙ යන්ට පිටත් උනේ. "

" ෂහ් එහෙමද?...මමත් තව ටිකකින් යනව යාලුවෙක්ගෙ ගෙදර මින්නේරියෙ..නැත්තං ඔය මොනව හරි.. "

" කමක් නෑ ඩොක්ට..අපි මොනව හරි කර ගන්නම්.." 


එහෙම කියල අපි දෙන්න ආපහු ආව.

 මගෙ තව යාලුවො අහල පහල ක්වාටර්ස් වල හිටියට හාහා පුරා කියල ආපු ඉස්සොරෝම දවසෙ කාගෙන්වත් බඩු ඉල්ලන්ට අපෙ එතුමී කැමති උනේ නෑ කොහෙත්ම.මට නං ඔව්වෑ ගාණක් නෑ..

" පිස්සුද ඔයාට? එහෙම මුල් දවසෙ හාල් පොල් ඉල්ලගෙන ගිහෑක? ලැජ්ජ නැද්ද? "

" එතකොට මොකද කරන්නෙ අද රෑට?. "

" මම කියන්ටද?... අපි ආපහු ගෙදර යමු.."

" ඈ??? "

මම කටත් බාගෙට ඇරගෙන එයා දිහා බැලුව. ඔව්..අන්තිම බස් එක කීයටද? හතර හමාර..මම වෙලාව බැලුව...තුනයි හතලිස් පහයි..වෙලා නම් තියනව..

" ගිහිල්ල? " 

"  ගිහිල්ල හෙට උදේ ආපහු එමු..දවල්ට ගෙදරින් බත් දෙහෙකුත් බැඳගෙන..වෙන කරන්ට දෙයක් නෑ.."

" හ්ම්ම්ම්ම්ම්..එහෙනං ඉතිං වෙන මක් කරන්නද? එහෙමවත් කරමු."

 මාස අටකට ඉස්සර ඉස්සර ඔය ඩොක්ට ගැන කතාවක් මම කියන්නම්ය කියල කිව්ව. .ඔන්න අද කියන්ටයි යන්නෙ ඒ කතාව හොඳද? අපි ඇවිල්ල එහෙම තමයි පොරොන්දු ඉටුකරන සංවර්ධන ලොතරැයිය...හෙහ්,හෙහ්,

හැලපානියා ඔතානියයි ජානුස් ද ග්‍රේට් තුමීයි නක්කලේකුත් දැම්ම ඔය කතාව කවදා කියයිද දන්නෙ නැතය කියල..අඩෝව්ව්ව්ව්..දැනගනියව් තොපි දෙන්නම... අපි ඇවිල්ල යමක් කරනව කිව්වොත් කරනව..

ඩොක්ට එක්ක අපි සතියකට දෙපාරක්වත් පොඩි ආතල් එකක් ගන්නව.හඳ පායල මහ දවල් වගෙ කිරි පාටට හතර අත බැබලෙද්දි ඒ දිහාවෙ බල බල ඩොක්ටගෙ ක්වාර්ටර්ස් එකේ සාලෙ දොරවල් වහගෙන බොන්ට සිද්ද වෙන එක තමයි අපිට කාල ඉන්ට බැරි.

වැඩේ දොස්තර මහත්තුරු ප්‍රසිද්දියෙ මත්පැන් පානය කරන්නෙ නැද්ද කොහෙද? එයාලගෙ ආචාර ධර්ම නොහොත් එතික්ස් වල එහෙම තියනව මම හිතන්නෙ. නැත්තං අර පහං දල්වල කියන්නෙ මොකක්ද ..හරි හිපපොටේමස් ආඥාව. ඔන්න බලමුකො වැඩේ හැටි මම එහෙ ඉන්නකලුත් ඕක ඩොක්ටර්ගෙන් අහන්නම්ය කියල හිතාගෙන හිටිය. ඒ මනුස්සය ගම් පලාතට ස්තාන මාරුවක් ලැබිල යනකලුත් ඒ වැඩේ බැරිඋනා නෙව. හෙහ්,හෙහ්, ඩොක්ටර්ට ස්තාන මාරුවක් ලැබිච්චි එකත් මරු කතාව..ඒක මතුයම් දවසක හොඳද?

" මඟුල මට යස්සය ආරූඩ වෙන්නෙ මිදුලෙ අච්චර හුළං වැදි වැදි ආතල් එකේ මේ වැඩේ කරන්ට තියෙද්දි මෙහෙම මේක අස්සට වෙලා මහා පව්කාර වැඩක් එහෙම නැත්තං නීති විරෝධී වැඩක් කරනව වගෙ කරන්ට වෙලා තියෙන එකට.."

හැමදාම ඩොක්ටර් පළවෙනි ෂොට් එක දාගන්ට කලින් ඔහොම කියල මූණ කට ඇඹුල් කරගන්නව.

" ගණං ගන්න එපා ඩොක්ට ලඟ ලඟ දෙකක් නවා ගන්න. එතකොට ඔය අවසේස නොවැදගත් කාරණා අමතක වෙලා යයි. " බෝතලේ ඩොක්ටට දෙන ගමන් මම කියනව.

ඒ ඊමම තිබ්බ අපෙ ක්වාටර්ස් එකට ගියානං ඔය කිසි ගින්නක් නෑ තෙල් ටිකට වැඩේ කරන්ට තිබ්බ. ඒත් කොහෙද.. අර ඔන් කෝල් සීන් එකක් තියනවනෙ ඒ කියන්නෙ වාට්ටුවාසී ලෙඩෙකුට අමාරු උනොත් නැත්තං අමාරු ලෙඩෙක් අරං ආවොත් ඩොක්ටර් කෙනෙක් ස්ටෑන්ඩ් බයි ඉන්න ඕන පරික්සා කරල අවශ්‍ය ප්‍රතිකාර කාරිය නියම කරන්ට. හාල් පොත වාගෙ මුලු ඉස්පිරිතාලෙටම හිටියෙ අපෙ කතානායක තුමා විතරක් හින්ද රාජකාරියෙ යෙදි හිටපු හැමදවසකම මනුස්සය ඔන් කෝල් බයි ඩිෆෝල්ට්.

ඒ කලිං ලියාපු සටහනේ අදාල කොටස මෙහෙමයි...

මම ඔය බඳින්ට එහෙම කලිං වැඩ කලා මාතලේ සහ පොළොන්නරුව දිස්ත්‍රික්ක මායිමේ පිහිටි ප්‍රදේශයක කාලයක්. කිව්වම මොකද ඔය අපෙ අම්මණ්ඩි මට කොක්ක ගැහැව්වෙ ඒ කාලෙදිම තමයි. ඔය අපෙ බින්දි නෝන දන්නව යස අගේට ඒ පැත්ත ගැන. එයයි ඒ පැත්තෙ තමයි සයිකල් පදින්ට පුරුදු වෙන්ට ගිහිල්ල තියෙන්නෙ. සයිකල් පැදිල්ල කොහොම වෙතත් එරමිණියා පඳුරු අස්සෙ තමයි වැඩි හරිය ඉඳල තියෙන්නෙ සයිකලෙත් එක්කම. හෙහ්, හෙහ්,..රයිට් කියන්ට ආවෙ ඒක නෙවෙයි...එහෙ තිබ්බ ග්‍රාමීය රෝහලක්...ඕකෙ ඉස්තාන බාර වයිද්දිය තුමා අපෙ හොඳ බොක්කා.එයයි ඇවිල්ල ඒ. එම්. පී. කෙනෙක්. අර සහකාර වෛද්‍ය නිලධාරී කියන්නෙ. අන්න ඒ ගොල්ල.

මිනිහ මත්පැන් පානයට බොහොම ප්‍රියයි. අපෙ අතීසාර මිත්තරයෙක් උනෙත් එහෙම සින් එහෙකිං තමයි.එයා ගැන කතා තියනව බර ගාණක්..ඔන්න එක දවසක් මිනිහගෙ ක්වාටස් එකේ අපි හතර පස් දෙනෙක් එකතුවෙලා පොඩි කර්මාන්තයක් කරනව ( කර්මාන්තය= මධු පානය ) ඕන්න දැං අර සිරුරෙං නිකුත්ව ආත්මය අවකාශයට පාව යන්ට ඔන්න මෙන්න තියන අවස්තාවෙ වගෙ අපි ඉන්නෙ ( Out of body experience කියන්නෙ මම හිතන්නෙ ඔය සීන් එකට වෙන්න ඕන.... මේ දවස්වල මව්බිමේද පියබිමේද කොහෙද යනව ඔය සූක්සම සරීරය, ඕකට කියන්නෙ මනෝසීල කාය කියල...ගැන ලිපි පෙලක්..මමත් ඉන්නෙ මගේ ඔය අත්දැකීං ගැනත් හොඳවයිං ලිපියක් ලියන්ට...කොහොමද අයිඩියානන්ද එක ? නරකම නෑ නේද?....හොඳම ශාස්ත්‍රීය ලිපියට ලැබෙන සම්මානෙ එහෙම හම්බ උනොත් එපා කියන්ටයැ...හෙහ්, හෙහ්,)

කුවාටස් එකේ ඉස්සරහ තිබ්බෙ පළු හතරෙ දොරක්. වීදුරු දාල. එක වීදුරුවක් බිඳිල එක්ස් රේ කොලයක් දාල අලවල තිබ්බෙ.

" අනේ දොස්තර මහත්තයෝ දොර අරින්ට......දොස්තර මහත්තයෝ ….."
එක පාරටම අර දොර ගැලවිල වැටෙන සයිස් එකට කවුදෝ දොරට තඩි බානව..ගෑණු කටහඬක්...

අපි ඔක්කොම ගැස්සිල ගියා.දොස්තර ගොයිය අපිට කිය කියල හිටියෙ එදා මිනිහ ගෙදර යන්ටයි හිටියෙ ඒත් හදිස්සි මොකක්ද වැඩක් යෙදිල යන්ට බැරිඋනාය ඒ නිසා වයිෆ් කතාකරල හොඳටම දොස් කිව්වය කියල.

" අඩේ, ඔයනං අනිවාර්යයෙං උඹෙ වයිෆ්තුමී වෙන්නම ඕන. උඹ අ..අද ගි...ගියෙ නැතිනිසා ඔය හොයාගෙන ඇවිල්ල ති..ති...ඉයෙන්නෙ.." වචන පැටලි පැටලි මම කිව්ව…

දොස්තර ගොයියටත් එකපාරටම හිතෙන්ට ඇති අඩේ එහෙමවත්දෝ කියල...ටිකක් වෙලා බලා හිටිය දොර දිහාවෙ..ආයෙම ඔන්න අර මර විලාපෙ..

" අනේ බුදු දොස්තර මහත්තයෝ........."

" පිස්සුද යකෝ...ඒ අපෙ වයිෆ්ගෙ වොයිස් එක නෙවෙයි...අනික එයා ආවනං ඔහොම දොරට ගගහ ඉන්නෙ නෑ. කෙලින්ම දොර කඩාගෙන ඇතුලට එන්නෙ...හෙහ්, හෙහ්, "


ඔය ක්වාටර්ස් එක තිබ්බෙ ඉස්පිරිතාලෙ වත්තෙමයි. ඔන්නම් වැඩිම උනොත් ඉස්පිරිතාලෙ ඉඳල යාර පණහක් ඇති.

ආයෙම ඔන්න දොරට තඩි ගැහිල්ල. අර කැඩිච්ච වීදුරුව සර සර ගල හෙල්ලෙනව. කඩාගෙන වැටෙන්ට ඔන්න මෙන්න.

" දැං අර වීදුරුවත් කඩාගෙන වැටෙනව. මචං ගිහිල්ල බලපං " එකෙක් කිව.

" පොඩ්ඩක් නිදහසේ ඉන්ට දෙන්නෙ නැති හැටි අම්මප…"

තොල මතුර මතුර ගිහිල්ල මිනිහ දොර ඇරිය. ඉන්නෙ කවුද කියල අපිට පේන්නෙ නෑ. ඒත් කටහඬ ඇහෙනව.

" අනේ දොස්තර මහත්තයෝ මයෙ කෙල්ල වහබීල අනේ විගැහිං එන්ඩ ඔබ තුමාට බුදු බව අත්වෙයි…"

දොස්තරත් එක්ක අපිත් ගියා ඒ වෙලාවෙ ඉස්පිරිතාලෙට...එතන ඒ වෙලාවෙ මරු වැඩක් උනේ...දැන් ඒ කතාව ඔක්කොම නම් කියන්න බැරියෝ. තැචර් නෝන ගැනනෙ අද කතා කරන්නෙ..ඒ කතාව වෙන දවසක හොඳද?....


ඔන්න කෙල්ල ඉන්නව ඉස්පිරිතාලෙ ඕ.පී.ඩී. එකේ ( බාහිර රෝ ගීඅංශය ) බංකුවක හරහ දාල. වයස ඔන්නම් දාහතක් වගෙ ඇති. ලව් කේස් එහෙකට වහ බීල තියෙන්නෙ කියල අපිට පස්සෙ ආරංචි උනා. ඒ කාලෙ දිවි නහගන්ට සරල සහ අඩු වියදම් ක්‍රම දෙකක් තිබ්බ විශේෂයෙන් ඔය වියළි කළාපෙ ගොවිජනපද ආශ්‍රිතව. . වැඩිපුරම පේමෙං පැරදිච්චි දාසයෙ, දාහතේ මානවිකාවො තමයි ඔය දේශීය ක්‍රම සහ විධි අනුගමනය කලේ.

1. කනේරු ඇට සහ සීනි අනුභව කිරීම..මේකෙ තියනව විශේෂ අනුපාතයක්...හෙහ්, හෙහ්, අහන්න නම් එපා කියන්නෙ නම් නෑ.මොකද මේ බොලොග් ලියන අම්මණ්ඩිල බහුතරයක් නුහුගුණේ තදටම තියන උදවිය.නිකමට වගෙ දවල්ට බත් කාල කනේරුයි සීනියි කාල බලන්ටත් බැරි නෑ..මේ යස්සය මේ කියන්නෙ ඇත්තද කියල හොදිවිසි කරන්ට...

2. ඩිස්ප්‍රීන් සමඟ අරලිය මල් පෙති තලා අනුභව කරනු.

වෙද මහත්තුරු බෙහෙත් සීට්ටු ලියන්නෙ එහෙමයි. පත අට එකට සිඳ අඬු කෝප්ප භාගයක් මීපැණි තේ හැන්දක් සමඟ පානය කරනු.

ලක්බිමේ ඒ කාලෙ පලවුනා අපූරු විහිලු කතා අඩංගු තීරු ලිපියක්. යස් ඔය දැන් Numero Uno වන්දිභට්ටයෙක් වෙලා ඉන්න ගොයිය, විපරමා තමයි ඒක ලිව්වෙ.පශු වදන ලියන්නෙත් ඔය මනුස්සයම නේද?

හරි අනික් හැමදේකටම වගෙ වන්දිභට්ටයින්ට වන්දිභට්ටකම් කිරීමේ අනුල්ලංඝනීය අයිතියකුත් තියනව. ඒ ගැන ඒ ඇති දැනට. අර කලින් කිව්ව කතාව මෙහෙමයි. මොනව උනත් මනුස්සය ඒ වැඩේ නම් කලා මල් හතට. දැන් ඒ වෙනුවට පලවෙන අර කාගෙද කොමිට් කෑලි කියවන ගමන් හිනායන්ට නම් පත්තරෙත් එක්ක දෙන්ට ඕන නයිට්‍රස් ඔක්සයිඩ් සිලින්ඩරයකුත්.

හරි ඒ කතාව මෙහෙමයි. පිස්සු බල්ලෙක් කාපු මනුස්සයෙක් ගෙනාව වෙද මහත්තය ගාවට. රෝගියා පරීක්සා කරල බලල එහෙම බේත් සීට්ටුව ලියල දුන්න. අපි හිතමු මෙහෙමයි කියල..රසකිඳ, අමු ඉඟුරු, කළාඳුරු අල, පෙරුම්කායම් සම ප්‍රමාණයෙන් ගෙන ගලෙහි අඹරා කෑ මුඛයෙහි ගානු.

වෙද මහත්තය බේත් සීට්ටුව ලියල දීල කිව්ව හරි මේ විදිහට දවස් තුනක් කරල මට ඇවිල්ල ගුණපණ කියන්න... ඔන්න ඔහොම

ඔන්න දවස් පහකුත් ගියපි ආවෙ නෑ ලෙඩාගෙ කවුරුවත්ම මොකද? කින්ද? මන්ද? කියල කියන්ට. වෙද මහත්තයට ටිකක් විතර තරහකුත් ගියා. මෙච්චර කියලත් මේ මිනිස්සුන්ට මගෙ වචනෙ අමතක උන හැටි. හැබැයි ඔය අතර බල්ලො කාපු කට්ටිය තව තුන් දෙනෙක් ආව වෙද මහත්තය ළඟට..හ්ම්ම්ම්..මේ ලෙඩේ පැතිරෙනව වගේ මට පේන්නෙ..වෙද මහත්තය තමන්ටම කියාගත්ත.

ඊට පහුවදා ඔන්න වෙද මහත්තය ඒත් අල්ලපු ගමේ ලෙඩෙක් බලන්ට යනව. පාරෙදි හම්බ වෙච්චි අර බල්ල කාපු මනුස්සයගෙ ලොකු පුතා..

" මොකද ළමයො මම එදා දවස් තුනක් බෙහෙත් බැඳල ඇවිල්ල විස්තරේකියන්නෙයි කියලත් ඔය ළමයි ඒක සත පහකට සැලකුවෙ නෑ නේද? " වෙද මහත්තය ඇහුව අර පුතා දැක්ක ගමන්ම. 

" අනේ එහෙම එකක් නෙවෙයි වෙද මහත්තයො. තවම එක දවසක්වත් ඒ කියපු විදිහට බෙහෙත් බඳින්ට උනේ නෑ.." 

වෙද මහත්තයගෙ ඇස් දෙක නළලට ගියා. 

" මොකක් කිව්ව? ඇයි ළමයො ඒ බෙහෙත් බඩු හොයාගන්ට අමාරු එව්ව නෙවෙයිනෙ කොහොමවත්ම? 

" නෑ, නෑ,බෙහෙත් බඩු ඔක්කොම අපි හොයාගත්ත. එතකොට බෙහෙත හදාගත්තට වෙද මහත්තයො කෑ මුකේ එව්ව ගාන්ට අර බල්ල අල්ලගන්ට එපාය. ඌ මහ වසවර්තියෙක්. ඌ අල්ලන්ට ගිය තුන්දෙනෙක්ව කෑව මේ පහුගිය දවස් ටිකට. වෙද මහත්තය බය වෙනට එපා. අද අපි කොහොම හරි ඌව අල්ලනව. අපි ගමේ කොල්ලො විස්සක් විතර ලෑස්ති වෙලයි ඉන්නෙ මදු එහෙම හදාගෙන." 

ලෙඩාගෙ පුතා කිව්ව බොහොම ආඩම්බරෙන් 

( ඔරිජිනල් කතාවට පොඩි එකතුකිරීම් කිහිපයක් කලෙමි.)

ඕකට කියන්නෙ සන්නිවේදනයේ බිඳ වැටීම කියල... කමියුනිකේෂන් බ්‍රේක් ඩවුන්..කියන්න හදන එක නෙවෙයි වෙන මොකවත් හීනෙකින් වත් නොහිතාපු දෙයක් තේරුම් ගන්නෙ ඒකයි ඔය සන්නිවේදනය ගැන පවත්වන සමුළු වල බොහොම තදින් අවධාරණය කරන්නෙ තමන් දෙන පණිවිඩේ එහෙම නැත්තං කියන්න හදන දේ පටලැවීමකින් අපැහැදිලිතාවයකින් තොරව තමන් දෙන්න නැත්නම් කියන්න හදන විදිහටම සම්ප්‍රේෂණය උනාද කියල සත්‍යාපනය කොට ගත යුතුය කියල.

වහ බීපු කෙල්ල ඕ.පී.ඩි. එකේ දිග ලී බංකුවක වැතිරිල ඉන්නව ඇසුත් උඩ තියාගෙන. අහළ පහළ ඉන්ට හිටින්ට බැරිතරමට නහය කඩාගෙන යන සැර ගඳක් ආව කිට්ටු වෙනකොටම....එතනම ඇණ තියාගෙන ඉඳගෙන මැදිවියේ ගෑණු මනුස්සයෙක් ඉහ අත් බදාගෙන විලාප තියනව. තව පහළවක් විස්සක් විතර සෙනඟ වටේ පොදි කනව.

ඒ පැත්තෙ සිරිතක් ඔය..වහ බීල හෝ බබෙක් හම්බවෙන්ට... මහ රාත්තිරියෙ හදිස්සියෙ ඉස්පිරිතාලෙට ඇතුල් කරන්නෙ වැඩිපුරම ඔය කාරණා දෙක හින්ද.ත්‍රී වීලර් එහෙක ලෙඩා දාගෙන ඔන්න ඉස්පිරිතාලෙට ගෙනාහම ඒ පස්සෙ ලෑම් මාට්ටර් දෙක තුනක පැටවිල ගමේ අහල පහල නෑදැ හිත මිත්‍රාදීන් සියළු දෙනාම ඔන්න එනව ඉස්පිරිතාලෙට.එහෙම නොකලොත් ඒක ඉස්පිරිතාලෙට ඇතුල් කරන තමන්ගෙ හිතවතාට / හිතවතියට ඥාතිවරයා/ඥාතිවරියට කරන විසාල අගෞරවයක්, මදි පුංචි කමක් ඒ වගේම තමන්ගෙන් ඉටුවියයුතු අනිවාර්ය වගකීමක් පැහැරහැරීමක් හැටියටයි ඒ පැත්තෙ සැළකෙන්නෙ.

" මේ ඔය කට්ටිය පොඩ්ඩක් එහාට මෙහාට වෙනවද? "

එතනට ආපු ඇටෙන්ඩන්ට්ගෙ ගෝරනාඩුවට වටවෙලා හිටපු සංවේගප්‍රාප්ත බන්ධුවර හිත මිත්‍රාදීන් එහාට මෙහාට උනා. 

" මොනවද බීල තියෙන්නෙ? "

එතන හිටපු මම හොඳට අඳුනන බෙදුම් ඇල ගොවි සංවිධාන ලේකම් මහත්තෙයෙක්ගෙන් මම ඇහුව හෙමීට. එක යායක ( ට්‍රැක් එක කියන්නෙත් ඒකටමයි ) ගොවීන් එකතුවෙලා ප්‍රධාන වශයෙන් ජලය බෙදාගැනීමේ කටයුතු උදෙසා පිහිටුවාගන්නා ස්වේච්ඡා සංවිධානය හැඳින්වෙන්නෙ බෙදුම් ඇල ගොවි සංවිධානය කියලයි. මුර ක්‍රමයක් සකස් කරල ඒ අනුව කුඹුරු වලට ජලය බෙදාහැරීමේ ජල පාලන කටයුතු කෙරුනෙ අපේ ආයතනයෙන් නිසා ඔය ගොවි සංවිධාන නිලධාරීන් සමඟ අපිට සමීප සබඳකම් පවත් වන්නට සිදුවුණා.

" ආ..මේ අපේ මහත්තයනෙ..පැරකොට් බීල තියෙන්නෙ. "

හප්පා..පැරකොට් කියන්නෙ වල් නාශකයක්.වල් නාශක තමයි සැරම. වල් නාශක ගහල කුඹුරෙ වතුර බැන්දම දවස් තුනකින්ද කොහෙද තමයි වල් මැරෙන්න ගන්නෙ. ඒ හින්ද ද කොහෙද වල් නාශක බිව්වම හොඳට සනීපයි වගෙ ඉඳල තුන්වෙනි දවසෙ තමයි වැලිගම්පිටි යනවයි කියන්නෙ.

වහබීල ඉස්පිරිතාලෙට ගෙනාහම වමනෙ කරවන්ට දෙන්නෙ සබන් වගෙ රහක් තියෙන ද්‍රාවණයක්. ඕක බීල වමනෙ කරන්ට ගත්තම වහ උඩට එන්නෙ උගුර බඩ පපුව ඔක්කොම ආපහු දවාගෙන. ඒ වෙලාවට ඇටෙන්ඩන්ට්ල කරන්නෙ එළිමහනෙ තියෙන ෂවර් එකක් යටට ගිහින් දාල ෂවර් එක ෆුල් ඇරල නාවන එක. නිකන් නෙවෙයි අමු තිත්ත කතාවෙන් බැණ බැණ..එව්ව අහනවට වඩා හොඳයි ආයම වහ ටිකක් බොන එක...හෙහ්,හෙහ්,

නහය වැහෙන්ඩ ලේන්සුවක් බැඳගෙන ඩොක්ට පාත්වෙලා ගෑණු ළමයගෙ නාඩි බැලුව.ඉනික්බිති අත් ඔරලෝසුව දිහාවෙ බලා හිටිය සෑහෙන වෙලාවක්. ඊට පස්සෙ හෙමිහිට ඔලුව හොල්ලල ඇටෙන්ඩන්ට් ගෙනාපු මෙටලික් පාට මොකක්ද උපකරණයක් පූට්ටු වෙලා තිබ්බ දත් ඇඳි අතරින් දාල කට ඇරවල පෙන් ටෝච් එකක් ගැහුව කට අතුලට..

" මේ මොනවද මේ? "
ඩොක්ට එක පාරට ඇහුවෙ කෙළින් වෙලා ආපහු හැරිල ටිකක් දුරට වෙලා බලා ඉන්න මිනිස්සු කැළත දිහාවෙ බලාගෙන.

" බුදු මහත්තයෝ ඔය කිරි මැටි… " එහෙම කිව්වෙ අර විලාප ගගහ හිටපු ගෑණු මනුස්සය.

" මොකක්? කිරිමැටි??? කිරිමැටි කොහොමද මේ ළමයගෙ කට ඇතුලෙ? "

ඒ ගෑණු මනුස්සය අසරණ විදිහට වට පිට බැලුව.

" මේ මේ අපේ විජේ බණ්ඩා මළය... එයා තමයි කිව්වෙ වහ බිව්වම කිරිමැටි දියකරල බොන්ට දෙන්නෙයි කියල.කෝ දැන් මෙතන හිටිය නේද? " 

 හෙහ්, හෙහ්, දැන් අල්ලයි විජේබණ්ඩගෙ වලිගෙ. මේ වගෙ වෙලාවට මිනිහ කරන්නෙ හීන් සීරුවෙ මඟ අරින එක.මම දන්නව ඔය විජේ බණ්ඩ. අති පණ්ඩිතය..නොදන්න මඟුලක් නෑ ඔය මිනිහ මේ නිල් අහස යට.

ඩොක්ටර් රැස්වෙලා ඉන්න මිනිස්සු ඔක්කෝම සිසාරා යන විදිහට වටේටම බැල්මක් හෙලුවා. ඊට පස්සෙ කතා කලේ අත් වැසුම් ගලවන ගමන්,

" මේ මම දොස්තර විබාගෙට ඉගෙන ගන්නකොට වහ බීපු මිනිස්සුන්ට ගැහැණුන්ට මොකක්ද කරන්න ඕන කියල ඉගෙන ගත්ත.ඒත් කිරිමැටි බීපු අයට මොකද 
කරන්න ඕන කියල අපිට කවුරුත් අපේ ගුරුවරු කියල දුන්නෙ නෑ. ඒ කියන්නෙ එහෙම එකක් අපි ඉගෙන ගත්තු වෛද්‍ය විද්‍යා ශාස්ත්‍රයෙ තිබුනෙ නෑ.ඒ නිසා කිරිමැටි පොවපු කට්ටිය කිරි මැටි අයිං කරල දුන්නොත් ඊට පස්සෙ මම ඉගෙන ගත්තු විදිහට මම වහ බීපුව අයින් කරල දෙන්නම්. "

එහෙම කියල " අපි යමු බං "  මා දිහා බලල කියාගෙනම ඩොක්ට ඉස්පිරිතාලෙන් එළියට බැස්ස.

පලි - එහෙම තද වෙලා එළියට බැස්සට ඩොක්ටර් අපහු ගිහිල්ල අර ගෑණු ළමයට ප්‍රතිකාර කලා. ඒ ළමයට ජීවිත හානියක් නම් උනේ නෑ දෙයියන්ගෙ පිහිටෙන්. ඒත් පැරකොට් වල සැරට වෙන්නැති බොහෝ විට ඇස් පෙනීම බොහොම දුර්වල උනා.

පපලි - අද අපේ එතුමිය aka ප්‍රියම්බිකාවිය aka ගුරු
තුමියගෙ උපන් දිනේ. කවිකාරිගෙ පේමෙ අවසන් කොටස ලිය ලිය ඉඳල ගුරුවරියක සමඟ මගේ ජීවිතය ගැන ආයම ලියන්ට උනේ ඒ හින්දයි. සමාවනසේක්වා!!! 


Monday, December 9, 2013

233. Invictus - අපරාජීතෝ


1982 පෙබරවාරි 17.......මුළු මහත් ශ්‍රී ලංකාවටම සුවිශේෂී දවසක්..හැබැයි එකම කොන්දේසියකට යටත්ව..ඒ ඔබ සිරුර පුරා ක්‍රිකට් ලේ දුවන, පෙනහළු පුරා ක්‍රිකට් ආශ්වාස කරන ක්‍රිකට් ලෝලියෙක් නම් විතරයි. එහෙම නැත්තං එදත් ඔබට වෙනදා වගේම සාමාන්‍ය බදාදාවක් විතරයි. ස්ථානය වනාතමුල්ලේ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණය.ආනන්ද- නාලන්ද සුලෝහිත සංග්‍රාමය වසරක් පාසා පැවැත්වෙන හින්ද පී. සරවනමුත්තු ක්‍රීඩාංගණය මට බොහොම සුපුරුදු තැනක්.

උදේම ක්‍රීඩාංගණයට මම ගියේ මගෙ යාලුවො දෙන්නෙකුත් එක්ක. ඒ වෙනකොට මම උසස් පෙල විභාගය ට මුහුණ දීල කොළොම් පුරේ අතෑරල අනුරාදපුරේ අපේ ගෙදර ගිහිල්ල ජීවිතේ ඉස්සරහට කරන්නෙ මොනවද කියල පැහැදිලි අදහසක් නැතුව ගන්ධබ්බ ජීවිතයක් ගත කරපු කාලයක්. අම්ම තාත්තගෙන් සල්ලි ඉල්ලන එක මට හරිම අප්‍රසන්න දෙයක් උනත් මේ ගමන නෑවිත්ම බැරිනිසා අම්මගෙන් සල්ලි ඉල්ලගෙන කලින් දවසෙ මම කෝච්චියෙ කොළඹ ආව.පිට කෝට්ටෙ මගෙ යාලුවෙක්ගෙ ගෙදර නැවතිල උදේ ආවෙ වනාතමුල්ලට.

ක්‍රීඩාංගණයට ඇතුලු වෙන්ට ටිකට් ගත්තම ටිකට් එකත් එක්ක දුන්න නිල් පාට කැප් එකක්. ඉස්සරහ ලොකුවට H.N.B. අකුරුතුන සහ ඊට යටින් " The First Test Ever. I Was There" කියල ලියල තිබ්බ. හැටන් නැෂනල් බැංකුව තමයි මේ තරඟයේ නිල ප්‍රධාන අනුග්‍රාහක..ආ මට අමතකම උනා නෙව මේ සුවිශේෂී දවස මොකක්ද කියල කියන්ට . ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වුනු අපේ මංගල ටෙස්ට් ක්‍රිකට් තරඟය.බොබ් විලීස් ගුවන්පුර මහල් නිවාස අන්තයෙන් දුවගෙන ඇවිදිල්ල බන්දුල වර්ණපුරට ප්‍රථම පන්දුව යවනව මම බලන් හිටියෙ සතුට උතුරාගිය දෑසින්.

මම යාලුවොත් එක්කලා තරඟය මුල් දවස් දෙකේ බැලුව. තුන්වන දවස විවේක දවසක්. එදා උදේම කෝච්චියෙ මම ආපහු ගෙදර ගියා. තුන්වන දිනයෙ අවසානයෙ ඉතාම ප්‍රබල තත්වයක හිටිය අපේ කණ්ඩායම සිව්වන දිනය ඉවර වෙන්ටත් කලින් කඩුළු හතකින් පැරදුනා... හරි එව්ව එහෙම තමයි..මට මතකයි පහුවදා සන් පත්තරේ ක්‍රීඩා පිටුවෙ පොල් ගෙඩි අකුරින් දාල තිබ්බ " Empire Strikes Back"   කියල.

ඊට මාස හතකට පස්සෙ ඉන්දීය කණ්ඩායමත් එක්ක මුල්ම තරඟෙදි, ලකුණු 175ක ඉලක්කයක් හඹාගිය ඉන්දියානුවන් අවසානයෙදි තරඟය ජයපරාජයෙන් තොරව අවසාන කරගත්තෙ බොහොම අමාරුවෙන්. ඒ වෙනකොට ලකුණු තත්වය 135 / 7. දුලීප් මෙන්ඩිස් ඉනිම දෙකේදිම 105 බැගින් රැස්කලේ මදුරාසියෙ පවැත්වුනු අන්න ඒ තරඟයෙදි.

එංගලන්තෙ එක්ක මංගල තරඟෙදි, ඒ වගේම ඊට පස්සෙ පකිස්තාන සංචාරයෙදි දෙවෙනි ටෙස්ට් එකේ ඇරෙන්න ඉතුරු දෙකේදිම මදි නොකියන්ට කෑවත්, ඉන්දීය තරඟෙ අපෙ කට්ටිය දක්වපු දක්ෂතා හින්ද ලංකාවෙ ක්‍රිකට් අනාගතය ගැන බොහොම සුබවාදී බලාපොරොත්තු අපි කාගෙ කාගෙත් හිත්වල ආයෙම දැල්වුනා..හෙහ්, හෙහ්, පානෙ දැල්ල නටන්නෙ නිවෙන්ට ලංඋනාමයි..එහෙම කතාවක් තියෙනවනෙ. ඒ වගේම පුදන කොටම කාපි යකා ...අන්න එහෙම කතාවකුත් තියනව.

ඔය කතාදෙකම එක පාර අපිට මතක් කරවමින් බන්දුල වර්ණපුර , ලංකා කණ්ඩායමේ නායකයා දකුණු අප්‍රිකාවට ක්‍රිකට් කණ්ඩායමක් අරගෙන පිටත් උනා.ඒ දවස්වල වර්ණභේද වාදය නිසා දකුණු අප්‍රිකාව එක්ක අනෙක් රටවල් සියළුම ක්‍රීඩා ගනුදෙනු නවත්තලයි තිබ්බෙ. ඒ නිසාම බැරී රිචර්ඩ්ස්, ග්‍රේම් පොලොක්, පීටර් පොලොක්, මයික් ප්‍රොක්ටර්, එඩී බාලෝ වගෙ ඉතාම දක්ෂ ක්‍රීඩකයන්ගෙ දක්ෂතා දැක බලා ගැන්මේ වාසනාව අපිට අවාසනාවන්ත විදිහට අහිමි උනා.

දකුණු අප්‍රිකාවට කිසිම ක්‍රිකට් කණ්ඩායමක් එන්නෙ නැති නිසා මේ යන්තම් මාස අටකට ඉස්සෙල්ල පළමු ටෙස්ට් තරඟය පවත්වපු කෝඩුකාර අපේ කණ්ඩායම ලොකු මුදලක් ගෙවල එහෙම ගෙන්න ගන්න ලැබුණු එකත් එයාලට ලොකු දෙයක්. මොකද මේ එන්නෙ මොනව උනත් ටෙස්ට් ක්‍රීඩකයින්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක්නෙ. බන්දුල වර්ණපුර ඒ කාලෙ වෙනකොට ඇත්තටම අසාර්ථක වෙලයි හිටියෙ ක්‍රීඩකයෙක් විදිහට. මේ කැරලිකාර කණ්ඩායමේ සංචාරය ( ඒ දවස්වල ඔවුන් හැඳින්නුවෙ එහෙමයි ) සංවිධානය කරන්ට මූලික උනා කියන්නෙ ටෝනි ඕපාත. ඕපාතත් ඒ වෙනකොට ක්‍රීඩා ජීවිතයෙ අවසාන භාගයට ලඟා වෙලයි හිටියෙ. මංගල ටෙස්ට් තරඟයට ක්‍රීඩා කරන්ට මනුස්සයගෙ හිතේ ලොකු බලාපොරොත්තුවක් තිබුනය ඒක ඉෂ්ට උනේ නැති නිසාය මෙහෙම දෙයක් කලේ කියලත් කතාවක් තිබ්බ.

දුලීප් මෙන්ඩිස්ගෙ නමත් ඈඳිල තිබ්බ. මිනිහ මේ වැඩේ ප්‍රධාන සංවිධායකයෙක්ය පස්සෙ අන්තිම මොහොතෙ මඟ ඇරියය කියල. නිර්මල් හෙට්ටිආරච්චි, අනුර රණසිංහ, බර්නාඩ් පෙරේරා, ජෙරී වව්ටර්ස්, සුසන්ත කරුණාරත්න,හේමන්ත දේවප්‍රිය, ෆ්ලේවියන් අපොන්සෝ,අජිත් ද සිල්වා, ලලිත් කළුපෙරුම, මහේෂ් ගුණතිලක...මට මතක ඔය සංචාරයට සහභාගි වෙච්ච අනික් අය. ඕපාත තමයි කළමනාකරු.

ඕපාතගෙ නම අවුරුදු හත අටකට ඉස්සෙල්ල ආයෙම පත්තරවල ගියා...අර මතකද රෝයල් පාර්ක් එකේ මිනීමැරුම?....අභියචනාධිකරණයෙන් මරණ දඬුවම නියම කරපු ලංකාවෙ එකම නඩුව කියලත් මම කොහෙ හරි දැක්ක.මහාධිකරණයෙන් චූදිතයට ( නම ජයමහ ) අවුරුදු දහයකද කොහෙද සිර දඬුවමක් නියම කලා. විත්ති පාර්ශවය ඇපීල් කලා දඬුවම ඉවත් කරන්නෙයි කියල. නීතිපතිත් ඇපීල් කලා මරණ දඬුවම දෙන්නෙයි කියල.අභියාචනා දෙකම එකට අහල අන්තිමට මහාධිකරණ තීන්දුව විසික්කරල ජයමහට මරණ 
දඬුවම දුන්න අභියාචනාධිකරණයෙන්.

ඉතිං ඕපාත ගොයියගෙ සම්බන්දෙ ගැන කියන්ට බැරිඋනානෙ..ඔය චූදිත ජයමහගෙ කුඩප්පච්චි තමයි ඕපාත. ඒ කිව්වෙ අම්මගෙ දෙවෙනි කසාදේ පුරුසයා....අන්න එහෙමයි.

නඩු වීසිකරනව කිව්වම ඔන්න මතක් උනේ.....පේමදාස මහත්තයගෙ අර නඩු වාර්තා වීසි කරන කතාව අහල තියනවද? ඕක එතුමා කිව්වෙ ඔය කොහෙ හරි ගං උදාවක සමාප්ති උස්සවේදි. කොටු කොටු අත්කොට කමිසෙ සරමට උඩිං දාල ඇඳල අර ඩිකී බර්ඩ් ( දන්නවනෙ නේද?.... සුප්‍රසිද්ධ එංගලන්ත ජාතික ක්‍රිකට් විනිසුරු ) දාන ජාතියෙ කැප් එහෙකුත් දාගෙන කකුලෙ ඇඟිලි වලිං ඉස්සි ඉස්සි තමයි එතුමා කතා කරන්නෙ..

" ඔය නීතිය කියන එක මහ කජ්ජක් නෙවෙයි..මම හොඳ කතාවක් කියන්නම්.මම නීතිය ඉගෙන ගත්තෙ කොහොමද දන්නවද? ලෝ කොලේජ් ගිහිල්ලද ? නෑ..මම ගිහිල්ල නෑ ලෝ කොලේජ්...මම පොඩි කාලෙ අපෙ මහ ගෙදර තිබ්බෙ අළුත්කඩේ උසාවියෙ පිළිකන්නෙ, උසාවියෙ තාප්පෙටම අල්ලල. දැං ඔය උසාවියෙ පරණ නඩු වාර්තා එහෙම තියනවනෙ ..ඔව්ව කාලෙන් කාලෙට තාප්පෙං එහාට වීසි කරනව. එව්ව කෙලින්ම ඇවිල්ල වැටෙන්නෙ අපේ පිළිකන්නට. මම කරන්නෙ ඔව්ව එකතුකරල තියාගෙන ඉඳල විවේක වෙලාවෙදි කියවන එක. අන්න එහෙමයි මම නීතිය ඉගෙන ගත්තෙ. ඕකෙ ඔය කියන තරං ඇති කෙහෙල්මලක් නෑ..."

කොහොම හරි වැඩේ උනේ අරවගෙ ලෝක පූජිත ක්‍රීඩකයින්ට අපේ කට්ටිය නිකං කොටියට පූසෙක් හම්බ උනා වගෙ කියල අහන්ටත් දෙයක්ද? මොනවද දුන්න දුං විසිවෙන්ට. එක්දින තරඟ හතරයි ටෙස්ට් තරඟ දෙකයි පැරදුන බොහොම සවුත්තු විදිහට.

අනුර රණසිංහ එක එක්දින තරඟයක සීයක් ගැහුව. ආය දෙවෙනි ටෙස්ට් එකේ බර්නාඩ් පෙරේරා සීයක් ගැහුව.එච්චරම තමයි. මම හිතන්නෙ උන්ටත් එපා වෙලාද කොහෙද හනුම දර පලන්න වගෙ ලවක් දෙවක් නැතුව ගහන ගැහිල්ල ආයම අපේ අයට නිකමටවත් කතා කලේ නෑ. බර්නාඩ් පෙරේර මේ ගිය අවුරුද්දෙද කොහෙද නැතිඋනා. ගාමිණී දිසානායක බොහොම මහන්සිවෙලා ලංකාවට ටෙස්ට් තත්වය ලබා දුන්නම ඒකෙං ප්‍රයෝජන ගත්තෙ ඕපාත සහ වර්ණපුර.

ඒ දවස්වල නම් ක්‍රිකට් එපාම වෙලා තිබ්බෙ. නිල කණ්ඩායම නවසීලන්තෙ ගිහිල්ල බඩ පුරා කනව. කැරලි කාරයො දකුණු අප්‍රිකාවට ගිහිල්ල එහෙං කනව.

ඔය දකුණු අප්‍රිකා ටුවර් එක නිසා ලංකාවෙ පත්තරවල දිගට හරහට ලිපි පලවෙන්ට ගත්ත වර්ණභේදවාදී ප්‍රතිපත්තිය ගැන. ඒ කාලෙ මොකක් හරි සබ්ජෙක්ට් එකක් ගැන කරුණු හොයන එක අද වගෙ ලේසි නෑ. අද මොනවද සර්වඥ ගූගල් ඇන්ඩ් විකිපීඩියා තියනවනෙ. බොහොම ලේසියි.

ඒ දවස්වල කරුණු හොයාගන්ට තිබ්බ එක්කො පුස්තකාලවලට යන එක. එහෙම නැත්තං විෂය ආශ්‍රිත පොත් බලන එක. අන්තිම විකල්පය දන්න කෙනෙක්ගෙන් අහගන්න එක.පුස්තකාලවල උනත් ඒ ඒ කරුණු අනුව ප්‍රවෘත්ති වර්ගීකරණය කරල සූචිගත කරල තිබ්බෙ එහෙමත් තැනක විතරයි. ඒකත් අදාල පුස්තකාලයාධිපති සහ සහායකයින්ගෙ උනන්දුව මත. ඒ දවස්වල අනුරාධපුරේ මහජන පුස්තකාලෙ එහෙම තිබ්බ ලිපිගොනු වෙනම වෙනම විෂය කරුණු ගැන.

වර්ණභේද වාදය ගැන මම කරුණු හෙව්වෙ දවස් තුන හතරක් අන්න ඒ පුස්තකාලෙට ගිහිල්ල. ඒ හෙවිල්ලෙදි තමයි මුලින්ම මට නෙල්සන් මැන්ඩෙලා ගැන වැඩිදුර තොරතුරු ලැබුණෙ. ඊට කලිනුත් මම මනුස්සය ගැන අහල තිබ්බ. ඒත් වැදගත් කරුණු රාශියක් හොයාගත්තෙ පුස්තකාලෙන්. ඒ කාලෙ මැන්ඩෙලා හිටියෙ රොබන් දූපතේ හිරගෙදර.

මගෙ ජීවිතේට බොහොම කිට්ටු හිරගෙවල් කීපයක් තිබ්බ. භෞතිකව බෝගම්බර හිරගෙදර. පුංචි සන්දියෙ ඉස්කෝලෙ නිවාඩුවට අපි බොහෝ විට එනව දවස් කීපයක් ගතකරල යන්ට බෝගම්බර හිරගෙදර නිලනිවාස වලට. අම්මගෙ නංගි, අපෙ පොඩි අම්ම බැඳල හිටිය පොඩි අප්පච්චි වැඩකලේ ඒ දවස්වල බෝගම්බර හිර ගෙදර. රෝස පාට සායම් ගාපු හිරගෙදර මහ විසාල උස තාප්පෙ අයිනෙං වැටිල තිබ්බ පාර දිගේ මම යන්නෙ ඔලුව උස්සල තාප්පෙ මුදුන දිහාවෙ ඇස් විතරක් නෙවෙයි කටත් ඇරගෙන බල බල.

ඊගාවට මගෙ ජීවිතේට ඇතුල් උනේ ෂතෝ ඩීෆ් හිරගෙදර. ඇත්තම කියනව නම් මම ෂතෝ ඩීෆ් හිරගෙදර නේවාසිකව හිටිය අවුරුදු දාහතරක්. මගෙ කාමරේ මා එක්ක එකට හිරගත වෙලා හිටියෙ එඩ්මන් දනතිස්ස. අල්ලපු කාමරේ හිටියෙ පේරියා කියල පූජක තුමෙක්. එතකොට නිතර අපෙ කාමරේට ආව ගියා De H'Alape කියල තවත් බොහොම ඥාණවෘද්ධ ඒ වගේම බොහෝ සේ ඇසූ පීරූ තැන් ඇති කතන්දර කියන්නෙක්. එඩ්මනුයි පූජක තුමායි මායි සමහරවෙලාවට මුහුදු රැල්ල හිරගෙදර බිත්තිවලට වැදිල දෝංකාර දෙන සද්දෙ පසුබිමින් නැඟෙද්දි වරු ගණං De H'Alape ගෙ කතන්දර අහගෙන ඉඳල තියෙනව.

ඊගාවට අමරිකාවෙ සැන් ෆ්‍රැන්සිස්කෝවෙ අල්කට්රාස් බන්ධනාගාරය.චිකාගෝවෙ සුප්‍රසිද්ධ පාතාල නායකයෙක් වුනු ඇල් කැපෝන් නවසිය තිස් ගණංවල හිරකරල හිටියයි කියන්නෙ අල්කට්රාස් වල.අපෙ ගෙදර අප්පච්චිගෙ පරණ පොත් පෙට්ටියක තිබිල මට හමබවෙච්චි ලයිෆ් මැගසින් එහෙක ලිපියකිනුයි මම මේ අල්කට්රාස් ගැන දැන ගත්තෙ. මොකද මන්ද දැනටත් මගෙ හිතේ ඒ ලිපියෙ තිබ්බ පින්තූර හිටන් ඇඳිල තියනව මේ අද ඊයෙ වගෙ.

හරි, එතකොට බෝගම්බර, ශතෝ ඩීෆ්...ඊලඟට අල්කට්රාස් ..ඒ බන්ධනාගාර පෝළිමට එකතු වෙච්චි අලුත්ම සාමාජිකය තමයි රොබන් දූපතේ බන්ධනාගාරය.

මැන්ඩෙලා ගැන ඊට පස්සෙ නිතර තොරතුරු පත්තරවල පල වෙන්න ගත්ත. ටී.වී. එකේ රේඩියෝ එකේ ඇහෙන්න ගත්ත. මම අර මහවන මැද රැකියාව කරද්දි අපෙ එක යාලුවකුට අපි කතාකලේ මැන්ඩෙලා කියල..හෙහ්, හෙහ්, හිතාගන්න පුලුවන්නෙ ඒ මොකෝ කියල. මිනිහගෙ නම නෙල්සන්.

මැන්ඩෙලා කතාව කොච්චර ජනප්‍රිය උනාද කිව්වොත් අන්තිමට අපෙ බොසාත් ඌට කතාකලේ මැන්ඩෙලා කියල. වසන්ති මතකනෙ නේද? ඔන්න වසන්ති වැඩට ඇවිල්ල දවස් තුන හතරක් ඇති.

" වසන්තී ..."


ලොක්ක කතාකලා දවසක්. මේසෙ උඩ බෙල් එකක් තිබ්බට කිසි දවසක ලොක්ක ඕක ගහන්නෙ නෑ. " ජයතුං...ග අ.අ.අ.අ.අ.අ.අ.අ.. " නැත්තං " වසන්ති ඊඊඊඊඊඊ ..." කියල බෙරිහන් දෙනව...වෙලාවකට අපෙ ක්වාටර්ස් එකටත් ඇහෙනව. " අර ලොක්ක මරහඬ දෙන විදිහට හිරලෙ පාත්වුනෙ නැත්තං බලාපං අද හෙටම " දවසක් මම විමලෙ එක්ක කිව්ව.

" වසන්තීඊඊඊඊඊ ....."

" එනව සර්….."


වසන්තිත් ඔන්න දනි පනි ගාල දිව්ව ලොක්කගෙ කාමරේට.ලොක්කට හිටපු ගමං එනව අමුතු අයිඩියාස් නොහොත් සංකල්ප...අර පේමදාස මහත්තයට එක දිහට ගලාගෙන ආපු සංකල්ප වාගෙ..උදාගම් සංකල්පය, ජනසවිය සංකල්පය, කැපකරු මාපිය සංකල්පය, ඇඟලුම් කම්හල් සංකල්පය, නළලිං සංකල්පය, ගම් උදාව සංකල්පය, හෝරා ස්ථම්භ සංකල්පය, අන්න ඒ වගෙ.

ලොක්කට එන සංකල්පෙ තමයි අපි හැමෝගෙම රාජකාරි මාරු කරන එක. රාජකාරි ප්‍රතිශෝධනය ඒකට කියන්නෙ.

" වසන්ති මම හැමෝගෙම රාජකාරි මාරුකලා. මේ ඩ්‍රාෆ්ට් එක අරගෙන ගිහිල්ල මේ විදිහට ලියුම ගහන්න."

" හොඳයි සර්..
" වසන්ති ලියුමත් අරගෙන ආපහු හැරුනා.

" ආ,..මේ වසන්ති...ඔතන නොම්මර අටට මම නම නැතුව හිස් තියල ඇති. එතෙන්ට අර මැන්ඩෙලාගෙ නම දාන්න. මට මිනිහගෙ නම මතක නෑ.."

" මැන්ඩෙලාගෙ ….සර්?..." ඔන්න වසන්ති හොල්මං උනා..

" ඔව් ළමයො අර මැන්ඩෙලා...දන්නව නේද? "

" ඔව්ව්ව්ව්…. සර් දන්නව…
"

එහෙම දන්නව කිව්වට වසන්ති දන්නෙ නෙල්සන් මැන්ඩෙලා විතරයි...මේ මොකක්ද ලොක්ක කියන අණ්ඩර දෙමලෙ කියල ඒ ලමය අඳෝ සංසාරයක් දන්නෙ නෑ. ඒත් එතන ඉඳගෙන ආයම අහන්ට බය නිසා වසන්ති ආව. දැන් ඔන්න පුටුවෙ ඉඳගෙන අහස පොලව ගැටගහන්ට කල්පනාව..මොකක්ද මේ මැන්ඩෙලාගෙ කතාව…???????

" මොකෝ මිසී බයවෙලා වගෙ? "

ඒ ජයතුංග ..අපේ පියුම් නොහොත් ද ලෝටස්..පාරෙං එහා පැත්තෙ කඩේට ගිහිල්ල සිගරට් එකක් කාරිය ඇදලයි ඔය ආපහු ආවෙ…

ආ..පස් පියුම් විල කියල එකක් අහල තියනවද?..දන්නවද පස් පියුම් විල කියන නම හැදුනෙ කොහොමද කියල?...දයාසේන ගුණසිංහ මහත්මය එක පාරක් දිවයිනේ රයිගම් රාල තීරුවෙදි ඔය පස් පියුම් විල අර්ථ කථනය කලේ මෙහෙමයි...පාරවල් වල හැදෙනව නේද ඔය විසාල වලවල්..ඔව්වට වතුර පිරුනම සමහර වෙලාවට ලඟිං යන මිනිස්සු ඇදන් වැටෙනව. ඒ වගෙ මහ විසාල වලක් තිබ්බ පාර මැදම විඩෙං විඩේ ලියුම් බෙදන පියුම් මහත්තුරු පස් දෙනෙක්ම වැටිච්චි ඕකට ලියුම් මල්ලත් එක්කම. අන්න ඒ නිසා එදා ඉඳල මිනිස්සු ඒකට කිව්වෙ පස් පියුම් විල කියල...

" කවුද ජයතුංග මැන්ඩෙලා මහත්තය කියන්නෙ? "

" හිහ්, හිහ්..ඇයි මොකෝ? මැන්ඩෙලා මහත්තයට ලියුමක් ගහන්නෙයි කියල ලොක්ක කිව්වද?..."

" ඔව්නෙ..කවුද අනේ ඒ? "

" ඒ තමයි අර නෙල්සන් ජයසූරිය මහත්තය. අර කලු උස උඩුරැවුලක් වවල ඉන්නෙ…"


" ආ හරි ඉතිං මොකෝ එයයිට මැන්ඩෙලාය කියල කියන්නෙ?.."

" ඔය අනික් මහත්තුරු දාපු නමනෙ..අන්තිමට ලොකු මහත්තයත් එහෙමම කියන්ට ගත්ත.
"

වසර විසිඅටක් සිරගතව විසීමෙන් පසු මැන්ඩෙලා 1990 දී නිදහස් කෙරිණි. 1994 පැවැත්වුනු ප්‍රථම නිදහස් මැතිවරණයෙන් ඔහු දකුණු අප්‍රිකාවෙහි ජනාධිපති පදවියට පත්විය.1995 දකුණු අප්‍රිකාවෙහි පැවති රග්බි පාපන්දු ලෝක කුසලාන මම ඉතා උනන්දුවෙන් නැරඹීමි.

අවසාන තරඟය පැවතියේ නවසීලන්ත සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම් අතරය. ඔවුන් හැඳින්වුනේ පිළිවෙලින් ඕල් බ්ලැක්ස් සහ ස්ප්‍රිංබොක්ස් යන අපරනාමයන්ගෙනි. තරඟයේ අතිරේක කාලයේදී ලකුණු තත්වය 12-12 ලෙස සමව පවතිද්දී දකුණු අප්‍රිකාව ඩ්‍රොප් ගෝලයක් මඟින් ලකුණු 3 ක් ලබා 15-12 ලෙස ජයගත්තේය. 




ප්‍රධාන වශයෙන් සුද්දන් ක්‍රීඩාකල රග්බි ක්‍රීඩාවට කල්ලන්ගේ සහයෝගයද ලබාදීමට පුරෝගාමී වෙමින් මතක ඇති කාලයක සිට බලපැවැත්වූ වර්ණභේදවාදයෙහි අමිහිරි මතක සටහන් අකා මකා දමා එකම ජාතියක් ලෙස ඉදිරියට යාමට රග්බි ලෝක ශූරතා තරඟාවලිය යොදා ගැන්මට ජනාධිපති නෙල්සන් මැන්ඩෙලා සහ දකුණු අප්‍රිකානු රග්බි කණ්ඩායමේ නායක Francois Pienaar එකතුවී ක්‍රියාත්මක කල වැඩ පිලිවෙල ඉන්පසු 2009 වර්ෂයේ නිෂ්පාදනය වුනු Invictus චිත්‍රපටයේ සදා අනුස්මරණීය ලෙස නිරූපණය කෙරිණි. Pienaar ලෙස Matt Damon සහ මැන්ඩෙලා ලෙස Morgan Freeman එහි චරිත නිරූපණය කළහ. අධ්‍යක්ෂණය - Clint Eastwood




වසර 2011 අගභාගයෙහිදී යලි මැන්ඩෙලා හා ඇසුරු කිරීමට මට අවස්ථාවක් උදාවූයේ මගේ යෙහෙළිය රන්දිල් හා සමඟ ඉන්වික්ටස් චිත්‍රපටයේ දෙබස් සිංහලට පරිවර්තනය කිරීමේ ව්‍යාපෘතියකට උරදුන් බැවිනි.

ඊගාවට මැන්ඩෙලාගෙ ස්වයං ලිඛිත චරිතාපදානය " Long Walk To Freedom " මම දැනට තුන් හතර වතාවක් කියවල ඇති.ආයම මේ පාර ගියාමත් කියවන්න ඕනෙ. 



1999 ජූනි මාසයෙහිදී වසර 5 ක සේවා කාලයකින් පසුව මැන්ඩෙලා විශ්‍රාම ගියේය.

මැන්ඩෙලා චින්තනයක් නොතිබූ නිසාදෝ දකුණු අප්‍රිකානු ව්‍යාවස්තාව වෙනස් කොට යාවජීව ජනාධිපති පදවියට පත්වීමෙහි අවශ්‍යතාවයක් ඔහුට කොහෙත්ම නොතිබූ අතර ජාතිය බේරාගත් වීරයා ලෙස ඔහුට වැඳුම් පිදුම් කිරීමට සැදී පැහැදීහුන් අපෘෂ්ඨ වංශිකයෝ 
ද රටවැසියන් අතරෙහි නොවූහ. එලෙසම මැන්ඩෙලානනේ..මහ රජාණනේ යනුවෙන් ප්‍රශස්ති ගයනා සට්ටඹියෝද එහි නොවූහ. 

එබැවින් දෛවයෙන් තමනට නියමවූ කාර්ය භාරය නොපිරිහෙලා ඉටු කිරීමෙන් සෑහීමට පත්වූ ඒ මහා පුරුෂයාණෝ ජීවිතයේ සැඳෑ සමය සියළු ලෝ වැස්සන්ගේ ගෞරවාදරයට පත්වූ ලෝක පූජිත නායකයකු ලෙස ගතකොට පසුගිය බ්‍රහස්පතින්දා අභාවප්‍රාප්ත වූහ.

"What counts in life is not the mere fact that we have lived. It is what difference we have made to the lives of others that will determine the significance of the life we lead.”

“No one is born hating another person because of the color of his skin, or his background, or his religion. People must learn to hate, and if they can learn to hate, they can be taught to love, for love comes more naturally to the human heart than its opposite.”

"I learned that courage was not the absence of fear, but the triumph over it. The brave man is not he who does not feel afraid, but he who conquers that fear."


Let me conclude with a catchy phrase I read somewhere but sorry I have forgotten all about from where…

When aliens get down here and asks us " Hey mankind , please take us to your leader…" well... Nelson Mandela is the closest to that title as one would ever get…

Well then ...Good bye the leader of mankind ,…. until we meet again!!!!

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...