Wednesday, June 10, 2020

150. ගුරු තාරුකා


"හරි! දැන් ඉඳ ගන්න, මට සේරම අය පේන්න ඉන්න ඕනෑ' ටීචර් එහෙම කිව්වා. එහෙම කියලා, අපි වාඩි වුණාට පස්සේ කිහිප දෙනෙකු ව එහෙ මෙහෙ කළා.

"සේරම හරි! සේරම අය පේනවා. හැබැයි මට වාසනාවයි රන්දිකාවයි තමයි හරියට පේන්නේ නැත්ත‌ේ" අපේ පංතියේ සියලුම ළමයින්ට වඩා උසින් අඩු වුණු අපේ ගුරුතුමී අත කරකවලා අත ඇරියේ මොන බෝලයක්දැයි හිතා ගත නොහැකි ව අපි දෙන්න ම දෙතැනක ඉඳගෙන ඇටිකෙහෙල් කෑ උගුඩු ජෝඩුවක් වගේ බලාගෙන ඉන්න ඇති. 

පංතියේ හුන් අවුරුදු විසි ගණන්වල අග, මැද, මුල හුන් සියලුම සිසු සිසුවියන් අපේ පුංචි ගුරුතුමී ඉදිරියේ සුවච කීකරු ගෝලයින් වුණා. මිස් මිටි වුණාට කෙසඟ කෙනෙක් නෙමෙයි. සෑහෙන උස ෆ්ලැට් හයි හීල්ස් පැළඳ, ඒවා වැසෙන්නට ම සාරිය හැඳ, කෙටි කර්ලි කොණ්ඩය බෙල්ල මුලට කර බූල් බෑන්ඩයක් දමා, ඇස් හීනිකරගෙන හිමින් හිමින් අඩිය තබමින් පංතියට එන්නේ සාරි පොට පටලාගත් අත් දෙක පිටිපස්සට කරගෙන. අනේ ඉතිං සෑහෙන චණ්ඩි වගේ පිරිමි ළමයිනුත් ඇය ඉදිරියේ කීකරු ගෝලයින් වුණා. අපේ කණ්ඩායමේ පමණක් නොවෙයි, ඊට පෙර සහ පසු කණ්ඩායම් වල අයත්!

ඒ අපේ සැලසුම් ශිල්පි පාඨමාලාව. මිස් ඔය කතාව කිව්ව කාලේ වෙද්දි අපි අතර එහෙම එකක් නොතිබුණත්, එහෙම එකක් වෙන්න යන බව මුළු විශ්වය ම දැන හිටපු රහසක් වෙන්න ඕනෑ. මිස්ට තිබුණු ප්‍රශ්නේ, ඇගේ තීක්ෂණ ඥානයට ඒ වනවිට කිසි කිසි ගා අහුවෙමින් ගිය අනිත් අය අතරේ මෙතන එහෙම එකක් තිබේදැයි කියා සොයාගන්න බැරිවුණු විචිකිච්ඡාව. අපි දෙන්නා යන්නේ එන්නේ එකටමයි. ඉන්නෙත් එක කිට්ටු ගම්වල. කෝච්චි බස් සේරම එක ම මගේ. ඒත් ඉතිං එහෙම එකක් තියෙන්න එපැයි සොයාගන්න. ඈ හරි! 'වාසනාවයි රන්දිකාවයි' හරියට අන්තිම වෙනකම් දැකගන්න මිස්ට බැරි වුණා. මොකද අන්තිම වෙනකම් එහෙම එකක් වුණේ නැති නිසා. 

පාඨමාලාව අවසන් වී වසර හයක් ගෙවුණා. අපේ විවාහයට දින යෙදුණා. අපිට උවමනා වුණා අපේ ආදරණීය ගුරුතුමියට ඒ සඳහා ආරාධනා කරන්න. අප දෙදෙනා ම ක්ෂේත්‍රයේ විවිධ පාඨමාලා හදාරමින් ඉදිරියට යමින් හිටියත් අපේ මූලික අඩිතාලමේ පාදමේ හිටියේ ඇයයි. අපිට එක තිතක්වත් වැරදියට තියන්න ඈ ඉඩ තැබුවේ නැහැ. බොහොම තදින් අපේ ඉගනීමේ කටයුතු වෙනුවෙන් ඇය පෙනී සිටියා. අනේ ඇත්තට ම පුංචි බටු ඇටයක්! ඊටත් වඩා ගම්මිරිස් ඇටයක්!

ඉතින් අපි ඈ සොයාගෙන ගියා. ඒ වනවිට ඇය ඉගැන්වීමේ කටයුතු නවතා තමන්ගේ පවුලේ ව්‍යාපාරයක් වන මංගල උත්සව ආදිය ගන්නා හෝටලයක් පවත්වාගෙන යමින් සිටියා. අපිව දැක්ක ම අපේ පුංචි බටු ටීචර් බොහොම සතුටු වුණා. අපි ඈට මතක් කළා ඈ එදා කී අපව නොපෙනෙන කතාව. ඒත් ඈට ඒක මතක තිබුණේ නැහැ. ඇයි අනේ කී දාහක් නං කියලා පෙනෙන නොපෙනෙන කතා සිසු දරුවන් අතර තියෙන්න ඇතිද! ඉතිං ඈ අපේ විවාහයට බොහොම සතුටින් සහභාගි වුණා. අපේ පංතියේ හිටපු තවත් යුවලක් ඒ වනවිට විවාහ වෙලා හිටියේ. ඒ දෙදෙනයි තවත් පංතියේ හිටපු යෙහෙළියකයි සමග ආගිය තොරතුරු කතා කරමින් අපේ විවාහ දින ඈ බොහොම සතුටින් හිටියේ. නමුත් දෛවෝපගත ලෙස, පිංතූරයක් ගැනීමට පෙර ඈට පිට ව යන්නට සිදු ව තිබුණා.

ඉතින් ඔහොම කාලය ගතවුණා. අපි තවදුරටත් අපේ ක්ෂේත්‍රයේත් අපේ වයසේත්ය ඉදිරියට ගියා. අපේ විවාහයට අවුරුදු දහයකුත් මාස හයක් වෙනතුරු ඉන්පසු අපට ඈ බලන්න යන්න ඉස්පාසුවක් තිබුණේ නැහැ. පසුගිය අවුරුද්දේ ජූනි මාසේ මැද හරියේ දි අපේ බැච් එකට පස්සේ බැච් එකේ යාලුවෙක් ඒ දුක්බර ආරංචිය මැසෙන්ජර් හරහා මට දැන්වූවා. අපේ පුංචි ටීචර් මේ ලෝකෙන් ගිහින්. ඒ වනවිටත් මම ඈ ෆේස්බුක් එකේ සෑහෙන හොයලා තිබුණා. හමු නොවන්න හේතුව එදා ආයෙ ම හොයද්දි වැටහුණා.  සේර ම තියෙන්නේ සතුන්ගේ පිංතූර. (වැඩිපුර තිබුණේ Wild Life පිංතූර)

ඇගේ හදිසි අභාවය සිදුවෙලා තිබුණේ කිතුල්ගලදි බෝට්ටුවක් පෙරලීමෙන්. තොරතුර දැනගත්තේ රෑ අටට විතර. වාසනා (මගේ හස්බන්ඩ්) ඒ වෙලාවේ ම ඈ බලන්න බොරැල්ලේ රේමන්ඩ් වෙත පිටත් ව ගියා. රෑ පානේ මේ තුන්දෙනා අරගෙන යන්න බැරි නිසා මම ගියේ නැහැ. පසුදා දහවලේ මමත් ඈ බලන්න ගියා. අපි දන්න කවුරුවත් හිටියේ නැහැ. මම ඇගේ සිසුවියක් කිව්වොත් කවුරුත් විශ්වාස කරන එකකුත් නැහැ. ඈ ඒ තරම් පුංචිවට හුරුබුහුටිවට තරුණ පෙනුමැති ව වැතිර සිටියා. සමහරවිට අපිට නොදැනුණාට ඒ කාලේ වෙද්දිත් ඇයට අවුරුදු 23ක් 25ක් වගේ වෙන්න ඇති. මම ඇයට අවසන් වතාවට වැඳ පිටත් ව ආවා. ඒත් මේ ජීවිතය තිබෙනතුරා මම ඇයට සිතින් නිරතුරු නමස්කාර කරනවා. අද අපේ දරුවන් යෙහෙන් සිටින්නේ ඈ අපට දුන් සිප් සතර නිසා. ඈ එය නියමාකාරයෙන් දුන් නිසා. ඇගෙන් උගත් බොහෝ පිරිසක් ක්ෂේත්‍රයේ විවිධ තැන් වලදි ඔබට මුණ ගැහෙන්න පුළුවන්. සමහරවිට මේ ලෝකේ තවදුරටත් ඉන්න බැරි තරම් ඇගේ පින් කන්ද වැඩි වෙන්න ඇති කියලා මට හිතෙනවා. 

මම එදා රෑ හස්බන්ඩ් පිටත් ව ගිය පසු ෆේස් බුක් තුලින් තවදුරටත් ඈ ගැන සොයන්න වුණා. National Association of Photographers Sri Lanka ආයතනයේ පිටුවෙන් ශෝක පණිවුඩ කිහිපයක් නිකුත් කර තිබුණා. ඒ කාලේ වෙද්දි ඈ එම ආයතනයේ ක්‍රියාකාරී සාමාජිකාවක් ව හිඳ තිබුණා. හස්බන්ඩ් ඡායාරූපකරණය ගැන වැඩිදුර ඉගෙන ගන්න සොය සොයා හිටපු කාලේ. අපි අපේ ගුරුතුමියත් සම්බන්ධ ව හිඳ තිබූ ඒ ආයතනය ගැන හොයන්න වුණේ ඊට පස්සේ. තැන හොඳ බව වැටහුණා. ඔහු එයට සම්බන්ධ වුණා.

ගුරුතුමිය අපෙන් දුරස් ව ගිහිනුත්, ඔහුට වඩා හොඳ මාර්ගය පෙන් වූ බව අපට සිතෙනවා. අද ඇය සිටියා නම් හිනා වෙලා ඔහුගේ පිටට තට්ටු කරලා, කටේ ටොෆියක් තියාගෙන වගේ රසකරමින් කතා කරන ස්වරයෙන් සුබ පතන හැටි, "මේ මගේ කොල්ලෙක් තමයි" කියලා හිනා කටින් ආඩම්බරයෙන් පවසන්න ඉඩ තිබුණු හැටි සිතමින් මේ මොහොතේ මගේ ඇස් බොඳ වෙනවා. ඇයත් සමග නැවතත් කටයුතු කිරීමේ අවස්ථාවක් සිහිනයක් වගේ වියැකී ගිහින් තිබුණා.

ඇගේ පළමු අනුස්මරණ දිනය අබියස දී, මගේ මේ 150 වන බ්ලොග් ලිපිය ඇයටත් ඇය වැනි සුවහසක් වූ ගුරු තාරකාවන්ටත් උපහාර වේවා!



ආදරණීය ගුරුතුමි



WINNING IMAGES







ACCEPTANCES











LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...