Monday, August 22, 2022

682. අද සිරී ලම්කාවෙ වහා විසඳාගත යුතු දැවෙන පස්න හෙවත් බෙර්නිං කුවෙස්චන්ස්....


කැකිරාව සෙන්ටල් එකේ ළමයිංගේ නිලඇඳුම..

 
1. මයින්ද අමරවීරට අනුව  ගෞරවාර්හ  දඬුලේනා මහතා ජාටික සත්තයා (නැසනල් ඇනිමොල්) තනතුරින් ඉවත්කල යුතුද?... එසේ ඉවත් කරන්නේනම් ඒ සඳහා අනුප්‍රාප්තික සතා විය යුත්තේ මොකාද?

2. සීයයිඩියට අනුව ජනාපෙති මන්දිරේට කඩා වැදී එහි සිට ජනාපෙතිතුමාගේ සීතකරනයේ තිබූ පැණි කොමඩු පළුව කොටා බෑ නරුමයා වහාම අත් අඩංගුවට ගැනීම

3. අප්පසන්න රෙණතුන්ගට අනුව ගෝල් පේස් එකේ තනකොල පාගා ඒවා මැරී යාමට වගකිවයුතු අරගල කරුවන් සහ කාරියන් සීසීටීවී දර්සන අනුව හඳුනාගෙන ඔවුන්ගෙන් පෑගූ පෑගූ තනකොල ගහක් ගහක් ගානෙ අලාබය අයකර ගැනීම

4. මේජ ජනරාල් කෙමල්  ගූරත්නට අනුව බලහත්කාරයෙන් ලංකාවට ආ චීන නැවට එලව එලවා පහරදීමට පිලිකන්නේ රැස් කල ගඩොල් බාගා කැටියට අහවල් දෙයක් කරන්ටදැයි හිතාගත නොහැකිවීම.

5. අටිගරු ජනාපෙටි වික්කමසිම්හයානන්ට අනුව ඊලඟ ජාටිය ඇමටීමේදී පැවසිය යුත්තේ ඉතාම අමාරුවන්නේ ඉදිරි මාස තුනද නැත්නම් මාස හයදැයි යන්න පිලිබඳව තීරනය කල නොහැකිවීම.

6. නීටිෆටිතුමාට අනුව මෙර්විං සිල්ලා මහතා 2007 වසරේ ජාතික රූපවාහිනියට කඩාවැදී කල බලාත්කාරකමට හැකි ඉක්මනින් දඬුවං පැමිනවීම.

(ජොංස්ටං, රත්තරං සහ කපුටානන්ට විරුද්දව ඇති චෝදනා පිලිබඳව පරීක්සා කිරීමට යොදවා තිබූ නීතිඥ කන්ඩායම් තුනක් වහාම එම පරීක්සන වලිං ඉවත් කොට මෙර්විංට විරුද්දව ෆාස්ට් ට්‍රැක් චෝදනා ගොනුකිරීම සඳහා යොදවා ඇත)

7. සමහර බුකී වාසී ප්‍රාඥයිංට අනුව කැකිරාව සෙන්ටල් ඉස්කෝලේ ගෑණු ලමයින් මෙතෙක් ඇඳි ළමා සාරිය ඉවත්කොට ඔවුන්ට ගවුම් ඇන්දවීම.

Saturday, August 6, 2022

681. ආ...තෙරුවන් සරණයි කියල මෙතනිං අත්සං කරන්ටකො....

මේ දවස්වල අර  තෙරුවන් සරණයි වීඩියෝ එක ට්‍රෙන්ඩිං වෙනවනෙ..

ඒ වීඩියෝව නුදුටු දුහුණන් දැනුම් උදෙසා - ඒකෙ තියෙන්නෙ රෙජිස්ට්‍රාර් නෝන කෙනෙක් මනමාලිට "ආ..එහෙනං තෙරුවන් සරණයි කියල මෙතන අත්සන් කරන්නකො..."  කිව්වම මනමාලි අහනව "තෙරුවන් සරණයි කියල ලිව්වම ඇද්ද? අත්සන් කරන්නත් ඕනද?" කියල..

මටත් මතක් උනා ඔය වගේම කතන්දරයක්..ඔය අපි වැලිකන්දෙ ඉන්න කාලෙ..මහවැලියෙ වැඩ...90/91 වගෙ කාලෙ...

අපි හිටපු ඩෝමිටරි එකේ ඉඳල ඔෆිස් එකට තිබ්බ කිලෝමීටරයක් වගෙ දුරක්...කලින්ම පොත්වල අත්සන් කරල ඔය කාලෙ වෙනකොට අපිට ඇවිල්ල තිබ්බ අත්සන් කරන මැෂින්....ඒ මුල්ම යුගයෙ අස්සං මැෂින්....බිත්තියෙ  හයි කරපු ලා කහ පාට පොඩි යකඩ පෙට්ටියක ඉස්සරහින් පොඩි කවුළුවක් තියනව. අඟලක් විතර උස සහ අඟල් හයක් විතර පළල. ඔය කවුළුවෙ පිටිපස්සෙං තියනව කඩදාසි රෝලක්. අර බස් කොන්දොස්තරල ටිකට් මැෂිමට දාන්නෙ අන්න ඒ වගෙ එකක්..

අපි අත්සන ගහල අර පැත්තකින් තියෙන හැඬල් එක එක පාරක් පල්ලෙහාට කරකවල අතාරිනව..එතකොට ඔටෝ අපෙ අත්සන ගාවින් එදා දිනෙයි වෙලාවයි ප්‍රින්ට් වෙලා කඩදාසි රෝල කැරකිලා පල්ලෙහාට යනව. පෝලිමේ ඊලඟට ඉන්න ගොබිලටත් තියෙන්නෙ ඒකම කරන්න. අත්සන් කලා.....හැඬල් එක කැරකුවා.....ඊලඟ එකාත් අත්සන් කලා... හැඬල් එක කැරකුවා...

දවස අවසානයෙ කවුරුහරි ඒ සබ්ජෙක්ට් එක බාරව ඉන්න ක්ලාක් හරි පියන් හරි රෝල එලියට අරගෙන අඩි දෙකක් වගෙ දිගට කෑලි කපල විසාල පොතක අලවනව. ඊට පස්සෙ එක එක්කනාගෙ නම ඉස්සරහිං පැමිණීම සහ පිටවීම ලකුණු කරනව තවත් පොතක. මාසෙ අන්තිමට අපිට ඕ.ටී. ගණනය කරන්නෙ අන්න ඒ පොත අනුව. අපේ ඕ.ටී. වලට කිව්වෙ හෝරානුකූල දීමනා නොහොත් Hourly Allowance කියල...

එක මාසයක් අහවර වෙනකොට ඒ මාසෙ වැඩ කරපු මුළු පැය ගණන ගණං කරල ඒකෙං 240ක් අඩුකරල ඉතුරු පැය ගාණට ඕ.ටී. හදල ගෙවනව..ඔය 240 සීන් එක මෙහෙමයි..දවසක රාජකාරි පැය ගණන 8 යි මාසෙ දවස් 30යි. එතකොට 30 x 8 = 240..

මම කිව්වනෙ අපේ ඩෝමිටරි එකේ ඉඳල ඔෆිස් එකට කිලෝ මීටරයක් වගෙ තියනවයි කියල..අපේ උදේ ඔන් එක 6.00 ට. ඔය පාන්දර නැඟිට්ට ගමං දණි පණි ගාල අස්සන ගහන්ට දුවන එකත් සෙල්ලං නෑ...ඉතිං ඔය ප්‍රශ්ණෙට විසඳුම තිබ්බෙ එකෙක් නියෝජිතයෙක් විදිහට ගිහිල්ල වැඩේ කරල එන එක..ඒකට එක්ස්පර්ට් කෙනෙක් හැම ඩෝමිටරි එකකම වගෙ හිටිය..කොටින්ම ඒක පුද්ගල කොමිෂන් සභාවක් වගෙ එකෙක්...

ඉතිං අර තෙරුවන් සරණයි කතන්දරේ තාම කිව්වෙ නෑනෙ..මේ ඒක කියන්ට පසුබිම තමයි සකස් කරගෙන ආවෙ..පඳුරු එහෙම තලල...ඔය පඳුරු තැලිල්ලෙ කතාව එන්නෙ දකුණු රටෙන්.. 

අවුරුදු පණහකට වගෙ ඉස්සර කුරුඳු වගාව එහෙ ක්‍රමවත්ව වැවිල්ලක් වගෙ කෙරුනෙ නෑ....ඔහෙ කැලෑවල කුරුඳු පඳුරු හැදුන...පෝර දැමිල්ලක් වතුර දැමිල්ලක් නෑ...කුරුඳු තලන කාලෙට ඉඩම අයිති කාරයො ගිහිල්ල කුරුඳු කපාගෙන එනව....ඉතිං ඒ වෙනකොට කුරුඳු පඳුරු වටේට මාන ඉලුක් එහෙම ගන සැරේට වැවිල...කුරුඳු පඳුරට කිට්ටු වෙන්නවත් බෑ...ඉතිං ඕකට කරන්නෙ කුරුඳු කපන්ට දවස් දෙක තුනකට කලින් මිනිස්සු දම්මල අර වල් පඳුරු ඔක්කොම තලල දානව...ඒකට තමයි පඳුරු තැලිල්ල කියන්නෙ...පසුබිම සකස් කිරීම...

නමුත් ඉංග්‍රීසියෙන් Beating Around The Bush  කියන්නෙ වෙන තේරුමකින්...To talk about lots of unimportant things because you want to avoid talking about what is really important...

හරි දැන් ඔන්න ප්‍රස්තුත කතන්දරේ...ඉතිං ඔය මැසිමෙ අත්සන් කලාම අත්සන කාගෙද කියල හොයාගන්ටම බෑ...පොතේ අත්සන් කරන කාලෙ නම් නමත් ලියනවනෙ...මේකෙ තියෙන්නෙ අත්සන විතරයි...අනික අත්සන කියන්නෙ කියවගන්ට පුලුවන් වෙන්ට ඕනෙයි කියල නීතියකුත් නෑනෙ..ගොඩක් එවුංගෙ අස්සං එක්කො පොඩි එවුං බලි ඇන්ද වගෙ..එහෙමත් නැත්තං මිනී ඔලුවක්..සමහරුන්ගෙ අස්සන දැක්ක ගමන්ම මතක් වෙන්නෙ මොකක් හරි අවයවයක්...ගොඩක් ඔය අසභ්‍ය අවයව කියන්නෙ අන්න එව්ව.. තව ඉර හඳ තරු එහෙමත් තියනව..

ඔන්න ඔය හින්ද අපි ඔක්කෝටම දීල තිබ්බ ඉංග්‍රීසි අකුරු දෙකක් සහ අංකයක්....අපි සිද්ධපුර ඔෆිස් එකේ වැඩ කරපු හින්ද ඉංග්‍රීසි අකුරු දෙක ඇවිල්ල SP...අංකය අපේ බොස්ගෙ අංකය 1....එතන ඉඳල පල්ලෙහාට..මගෙ අංකය තිබ්බෙ 84ද කොහෙද...ඒ කියන්නෙ මගේ අංකය ඇවිදිල්ල හිට SP 84..මම කරන්නෙ අත්සන ගහල ඊ ගාවට SP 84 කියල ලියනව..

ඔන්න දැං තමයි හරියටම කතන්දරේට එන්නෙ... අපේ එකෙක් බැන්දා...පොර මේ දකුණෙ එකෙක්..අම්බලංගොඩ දිහාවෙ..මඟුලට ඉස්සෙල්ල රෙජිස්ට්‍රේෂන් එක තිබ්බ...සාක්කියට අස්සන් කරන්ට ඒ කිට්ටුවම ගෙවල් තියන අපේ තවත් යාලුවෙකුත් එක්කගෙන පොර ගියා....පහුවෙනිදම අර  සාක්කි බුවා ආපහු ආව..

එදත් හවස අපි සුපුරුදු පරිදි පොඩි කර්මාන්තයකට සෙට් වුනා..ටිකක් විතර කන් දෙක එහෙම රත්වීගෙන එනකොට ඔන්න කලිං දවසෙ තිබ්බ අරූගෙ රෙජිස්ට්‍රේෂන් එක ගැන කතාව ඇදිල ආව..

අපි ඉතිං අර විට්නස් ඩයල් එකෙං ඇහුව විස්තර.."මොකද මචං උනේ ඉතිං? විස්තර කියහංකො.."

"ඒයි යකෝ..මාර වැඩක් උනානෙ..අනේ බං අරූ ආහම මම කිව්ව කියල එහෙම කියන්ට එපා ඔන්න..ඕකා මාව මරයි..."

"නෑ..නෑ..පිස්සුද බං? අපි එහෙම කියනවද? කියහංකො විස්තරේ.."

"අඩේ මූ කසාද පොතේ අත්සන් කරල SP 90 කියල යටිං ලිව්ව කියහංකො.." 

(අර අස්සං මැසිමෙ අස්සන් කරනකොට උගෙ නොම්මරේ SP 90) 

"මල කෙලියයි..ඉතිං යකෝ ඊගාවට?"

"රෙජිස්ට්‍රාර් නෝන ඒ ගමන ඇහුව මේ මොකක්ද මේ? කියල...ඒ පාර ඉතිං ඇත්තම කිව්ව..වෙන අහවල් දෙයක් කියන්ටද? පස්සෙ ඒ කොලේ ඉරල අයිං කරල ආයම ඊලඟ කොලේ ආපහු මුල ඉඳල අත්සන් ගැහුව..හෙහ්..හෙහ්.."

පලි - ඔය මඟුල් අත්සන් කිරිල්ල සම්බන්ධ තව කතන්දරයක් තියනව මම කාලෙකට ඉස්සෙල්ල අහපු..

ඔන්න එක බුවෙක් බඳින්ට ගිහිල්ල  රෙජිස්ට්‍රාර් "ආ මෙතන අත්සන් කරන්ඩ.."  කියල තැන පෙන්නුවම මේ බුවා අත්සන් නොකර බොහොම අසරණ විදිහට වට පිට බලනවලු..කට්ටියම මේ මොකද සීන් එක කියල ඉන්නකොට දෙවෙනි මනමාලය පට ගාල ඉස්සරහට පැනල විවාහ ලියාපදිංචි පොත තියල තිබ්බ මේසෙ උස්සල එහාට මෙහාට හොල්ලන්ට පටං ගත්තලු..

ඔන්න ඒ ගමන මනමාලයත් පුටුවෙන් නැඟිටල හිටගෙන හිනාවෙලා එහෙම කිසි අවුලක් නැතුව අත්සන ගැහුවලු..දෙවෙනි මනමාලය මංගල සබා තොමෝ අමතල කිව්වලු.."අපි දෙන්නම බස් කොන්දොස්තරල..බස් එක ගැස්සෙද්දි හිටගෙනම ටිකට් ලියල අපිට එහෙම නැතුව ලියන්ට අත්සන් කරන්ට එහෙම අමාරුයි.." කියල...

Friday, July 22, 2022

680. පුවක් එෂැණිං - 72 - අද අළුයම් කාලයේ ගෝටාගෝගමට එල්ලවූ හමුදා ප්‍රහාරය පිළිබඳව ගරු ජනාපෙති තුමාගේ විසේස ප්‍රකාසය.....

 


විසේසයෙන් කියන්ට උවමනයි මේ අරගලේ කස්ටියට පෑගිල ගෝල් පේස් එකේ වටිනා තණකොල මැරිල යනව..එව්ව බොහොම වටින තණකොල..වර්ග අඩියක් දාස් ගානක් වෙනව..

එතකොට මේ කාලෙට ගෝල් පේස් වෙරලට එනව බොහොම දුර්ලබ කැස්බෑවො ජාතියක් බිත්තර දාන්ට... අර පිට කලු කඳ සුදු කට රතු දාර කැස්බෑවද මොකාද කියල..උං රෑට එනකොට ගෝල් පේස් එකේ ලයිට් දාල කානිවල් එකක් වගෙ තියන කොට උං බයවෙලා ආපහු මූදට යනව..ඒ හින්ද ඒ සත්තු වඳ වෙලා යන්ට පුලුවෙනි..මට අන්තර් ජාතික රතු දත්ත පොතේ කට්ටිය ඒ ගැන පැමිණිලි කලා..

ඊගාවට මේ අරගල කරුවං කෑගහන සද්දෙට ශැන්ග්රිලා එකේ වහලෙ ඉන්න නීල කොබෙයියො බය වෙලා කූඩු අතෑරල යනව..ඔය ගොල්ලො දන්නවද ලංකාවට එන ටුවරිස්ට්ලගෙන් සීයට අනූවක් එන්නෙ ඒ නීල කොබෙයියො බලන්ට..හෝටල් වලින් එතකොට සංචාරක අධිකාරියෙන් මට ඒ ගැන පැමිණිලි ආව.

ඊගාවට තව එකක් තියනව..ජනාදිපති කාර්යාලෙ ඉස්සරහ දොරටුව මේ අරගල කාරයො වහගෙන ඉන්න හින්ද ඇතුලට යන අයට පිටවෙලා එන අයට යන්ට එන්ට වෙන්නෙ පිටිපස්සෙ දොරෙං..ඒ පිටිපස්සෙ දොරටුව ඉස්සරහම තියනව විසාල නයි කූඹි ගුලක්..එතනින් යන එන කොට නයි කූඹි කකුල් දිගේ නැඟල කනවයි කියල මට ජනාදිපති කාර්යාලෙ ස්ටාෆ් එකෙන් පැමිණිලි ආව..විසේසයෙන්ම කාන්තා පක්සයෙන්..

ඒ වගේම අපි දැං පෙට්‍රල් ඩීසල් එහෙම ඇති තරං ගෙනල්ල තියනව..එතකොට පෝලිම් වල ඉන්න ජනතාවගෙන් මට පැමිණිලි එනව මේ අරගල කාරයො කාර්, බස්, මෝටර් සයිකල් ගිහිල්ල පෝලිම් වල තියල අහකවෙලා ගෝල්පේස් එකට ඇවිල්ල අරගල කරනවය..එතකොට තෙල් ආවත් පිටිපස්සෙ ඉන්න අයට ඉස්සරහට යන්ට බෑය කියල...

ඔන්න ඔය සියලුම කාරනා හිතල බලල තමයි මම මේ තීරනය ගත්තෙ..

අරගලකරුවන් ඔක්කොගෙම්ම මම ඉල්ලා සිටිනව සාමකාමීව ගෙවල් වලට වෙලා දම්මපදේ කියවන්නයි කියල..

තෑම් කියු..

Monday, July 11, 2022

679. පුවක් එෂැණිං - 71 - අටිඝරු ජනාපෙතිතුමා ඉල්ලා අස්වීමට 13වන දින තෙක් කල්ගැනීම..


සමුගෙන යන්න මගෙන් තව මොහොතයි.....

අටි ඝරු ජනාපෙටි තුමා ඉල්ලා අස්වීමට 13 වන දින තෙක් කාලය ලබා ගත්තේ මක්නිසාද? යන ප්‍රශ්ණය පිලිබඳව ටටුඩට් විඩ්වටුන් ප්‍රකාස කරන අදහස් කිහිපයක් පහත දැක්වේ. ඒ පිළිබඳව ඔබගේ අදහස් දැනගැනීමට කැමැත්තෙමි....

1. ඥාණක්කාට ගෙනයාමට සවේ ලවා ගෙන්වාගත් ඉතා අගනා කිතුල්පැණි බෝතලය ජනාපෙටි මංදිරේට අරක්ගෙන සිටිනා අපතයෙක් එතුමාගේ කුස්සියේදීම උණුකොට හකුරු සාදා ප්ලේන්ටී පානය කොට ඇති බැවින් සවේ ලවා තවත් කිතුල් පැණි බෝතලයක් ගෙන්වාගෙන ඥාණක්කට ගෙන ගොස් දී ඉල්ලා අස්වීමට සිතා සිටින නිසා........

Note - අරගලය දින කටුනායක එයා පෝට් එක දෙසට අධි වේගයෙන් ගිය රථ පෙලක් පිළිබඳව ඒ ජනාපෙතිතුමා පලායන බවට ආරංචි පැතිරගිය නමුදු ඒ වනාහි සවේ පිටරට සිට ආපසු පැමිණෙන විට ඔහු කැඳවාගෙන ඒමට ගිය රථ පෙලක් බවට දැන් සනාථවී ඇත. සවේ එසේ හදිසියේ ආපසු ආවේ "අනේ සවේ කොල්ලො..අර උඹ ගෙනත් දුන්නෙ අපූරු කිතුල් පැණි බෝතලයක්..මං මේ හිතා හිටියෙ ඒක ඥාණාට දෙන්ට කියල... කොහෙද බං බලපංකො අර මගෙ ගෙට රිංගං ඉන්න පිස්සු යක්කු ඒක උණු කරල හකුරු හදලනෙ. ඒ හින්ද බොල කොලුවො ඉන්න තැනකිං විගැහිං ආපහු ඇවිල්ල මට තව කිතුල් පැණි බෝතලයක් ගෙනැති දීහන්කො හොඳ එකා වගෙ..ඒක  ඥාණාට ගිහිං දීල තමයි මම ඉල්ලා අස්වෙන්නෙ.." යනුවෙන් අටිඝරු ජනාපෙටිතුම ඉතා හැඟීම්බරව කල බැගෑපත් ඉල්ලීම නිසා බවද සැළවේ..

2. එතුමා ඉතා සාර්ථක ලෙස පැවැත්වූ සහ එමෙන්ම රට පුරා හුදී ජන පහන් සංවේගය ඉතාමත් දරුණු ලෙස දිනාගත් ගම සමඟ පිළිසඳරවල් 69කදී හඳුනා ගත් ගැටළු ක්‍රමවත්ව ලැයිස්තු ගත කොට පයිල් 69ක් සාදා අලුතින් පත්වන ජනාපෙතිතුමාට බාරදෙනු පිනිස සකස් කිරීමට දින හතරක් ගතවන නිසා.....

3. එතුමාට තම පාලනකාලයේදී රටක් වටිනා මහාර්ග උපදෙස් මාලාවක් ලබාදුන් එතුමාගේ සංග උපදේසක සබාව වහාම රැස්කොට සැඟවී සිටින තැනින් සූම් තාක්සනයෙන් සම්බන්දවී තමන් ඉල්ලා අස්වන බව පවසා ඔවුන්ගේ ආසීර්වාදය ලබා ගැනීම සිණිස......

4. තම නිල නිවස ජර්මන් අරගලකරුවන් විසින් අත්පත් කරගත් අවස්ථාවේදී අටිගරු හිට්ලර් මහතා කුමන ක්‍රියාමාර්ගයක් අනුගමනය කලේද යන්න පිළිබඳව වේඬරුවේ හාන්දුරුවන්ගෙන් උපදෙස් ලබා ගැනීමට.....

5. ජනාපෙති පදවියේ දිව්රුම්දී අත්සන් කොට පෙට්ටියට දමා වැසූ පෑන අස්ථාන ගතවී ඇත. එම පෑන ඇමරිකාවේ වෙසෙන මනෝජ් පුතාට අයත් වූවකි. "තාත්තෙ ඉල්ලා අස්වෙලා මෙහෙ එන එකනම් අවුලක් නෑ..ලබන අවුරුද්දෙ විතර දුවත් මොන්ටිසෝරි දාන්නයි අපි හිතගෙන ඉන්නෙ..එතකොට තාත්තට පුලුවන් නෙව දුව මොන්ටිසෝරියට එක්ක යන එක එක්ක එන එක කරන්න..හැබැයි තාත්තෙ අර ජනාපෙති පදවියෙ දිව්රුම්දීල අත්සන් කරපු පෑන නම් අරන් එන්න හොඳද? ඒක මට සෑහෙන්න වටිනවා" කියා මනෝජ් පුතා ටැලිපෝන් කොට පැවසූ බැවින් කෙසේ හෝ එම පෑන සොයා ගැනීමට යම් කාලයක් අවශ්‍ය බැවින්......

6. ජනාපෙති පදවියේ දිව්රුම් දීම රුවන්මැලි සෑය අබියස කල පරිද්දෙන් ඉල්ලා අස්වීමේ ලියුමට අත්සන් තැබීමද රුවන්මැලි සෑය අබියසම උත්සවාකාරයෙන් පැවත්විය යුතු බව අටිගරු මහා සන්ගරට්නේ ඉල්ලා සිටින නිසා එම උත්සවය සංවිධානය කිරීමට දින කිහිපයක් අවශ්‍ය නිසා....

Note - මේ අවස්තාවේදීම රුවන්මැලි සෑයේ දේවතා කොටුවේ වැඩ සිටින සිය මෑණියන්ගේ ආශිර්වාද ලබාගැනීමට එතුමා බලාපොරොත්තුවේ.. "අනේ මද්දු පුතේ උඹ කරගත්තු නස්පැත්තියක්..."  යනුවෙන් දේවතාවිය විස්සෝපවේද යන්න පිළිබඳව විද්වතුන් අතර එකඟතාවයක් නැත....

7. තමන් රට පාලනය කල වසර දෙකහමාර තුල දැක්වූ අවංක සහ අනර්ඝ සහයෝගය වෙනුවෙන් පාදඩේ මහතා, අතන මෙතන රතන හිමි, ජේසුමන මහතා, ජේසුන්දර මහතා, කබ්බරාල් මහතා ඇතුළු කාරියසූර බුජ්ජිමත් මහත්වරුන්ට හිතාදර ඉස්තූතිය පලකොට සමුගැනීම උදෙසා සිංහල බාසාවේ මෙතෙක් භාවිතා නොවූ අසභ්‍ය වදන් නිපදවීමට පත්කල කමිටුවට ඒ කාර්යය උදෙසා යම් කාලයක් ලබාදිය යුතු බැවින්.....

8. හිටපු ජනාපෙති මයින්ද රාජපස්ස මහතා යහපාලන සමයේ විපක්ෂයේ සිටියදී තෙල් මිල රු. 5/= කින් ඉහල දැමීමට විරෝධය පලකරනු සඳහා පාර්ලිමේන්තුවට බයිසිකලයක් පැදගෙන පැමිණියේය. ඒ බයිසිකලය දැන් ඇත්තේ අටිඝරු ජනාපෙතිතුමාගේ මිරිහාන නිවසේය. "ලොකු මල්ලි..මේ...උඹ අස්වෙලා යනවනං අර බයිසිකලේ මට ගෙනල්ල දීල පලයං ..14 වෙනිද මට තියනව ඒකෙ නැඟල පාර්ලිමේන්තු යන්ට.." හි.ජ.කු.පා.ම. මයින්ද අයියා ජනාපෙතිතුමා අමතා එසේ පැවසූ බැවින් එම බයිසිකලය සොයා මයින්ද මහතාට බාරදීමට යම් කාලයක් අවශ්‍ය වීම...

9. පසුගිය දිනවලදී රටපුරා මහත් ආන්දෝලනයකට තුඩුදුන් රසදිය රික්තය මඟින් විදුලිය නිපදවීමේ ක්‍රමය සොයාගත් ඒ හෙල විරු තරුණයා තම සැඟව සිටින බංකරයට කැඳවා  ඔහුට "සිරි ලම්කා රසදිය විබූසන" ගෞරව නාමය සහ පදක්කම පිරිනැමීම සඳහා...

10. ජනාපෙති මන්දිරය සහ කාර්යාලය දැන් මහජනයාට විවෘත බැවින් අවසන් වරට ඒවා දැකබලා ගැනීම සඳහා සවේ ද සමඟ කොටු සරමක්, මේස් බැනියමක් සහ ජටාවක් ඇඳ  මැදමුලනේ ගැමියන් දෙදෙනෙකු මෙන් වෙස් වලාගෙන එහි ඇතුලුවී සිරි නැරඹීම උදෙසා...



Wednesday, July 6, 2022

678. පුවක් එෂැණිං - 70 - අතිගරු ජනාධිපති තුමාගෙ අනපේක්ෂිත පාර්ලිමේන්තු ආගමනය..


මේ.......ආදරයයි....


ඊයේ අතිගරු ජනාධිපතිතුමා කිසිදු අවශ්‍යතාවයක් නොමැතිව හදිසියේ පාර්ලිමේන්තු සභාවාරයට සහභාගි වූයේ පහත සඳහන් කුමන හේතුවක් නිසාදැයි ඔබ සිතන්නේද?

1. මාස තුනකට ආසන්න කාලයක් බංකරයක සැඟවී දිවිගෙවීමට සිදුව ඇති බැවින් කෝපයට පත්වූ ආර්යාව "මීට වඩා දාහෙන් සම්පතයි ඕයි අර උන්නු විදිහට තෙල් ගහගෙන අරෙහෙ උන්නනං...අද මම දවල්ට උයන්නෙ නෑ..තමුසෙ ඕන තැනකින් කනවා.." යයි බැණ වැදී ඔලුවේ සිට පොරවාගෙන නිදාගත් බැවින් දිවා ආහාරය නොමිලේ පාර්ලිමේන්තු කැන්ටිමෙන්  හෝ ගත යුතුයැයි සිතුනු බැවින්ය.. 

2. ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉතා ජැන්ඩි පහට ටයි කෝට් වලින් සැරසී පාර්ලිමේන්තුවට සහභාගි වන වන බව අතිගරු මාධ්‍ය පකාසක කින්සිලී මහතා දැනුම් දුන් බැවින්  අගමැටිට  පමණක් නොව තමාටද ඉතා අගනා ලෙස ටයි කෝට් වලින් සැරසී පැමිණිය හැකි බව පෙන්වා දීමට අවශ්‍ය වූ නිසා..

3. තම දෙටු සොයුරු හි.ජ.කු.පා.ම. මහින්ද රාජපක්ෂ මහතා  පසුගියදා ඔහු රෝගීව ප්‍රතිකාරගත් බව සැලවූ නමුදු ඔහුද තමා මෙන්ම දැනට බංකරයක දිවිගෙවන බැවින් හමුවී සුවදුක් විමසිය නොහැකි වූ බැවින් ඔහු හමුවී සුවදුක් විමසීම සඳහා.. 

4. "සර් කිසිදේකට බයවෙන්ට එපා..මගේ හෝටලේ ගිනි තියන එක කලින් කියන්න බැරිඋනාට කාලි අම්ම මගෙං සමාව ගත්තා.එහෙම උනේ පොඩි මිස් එකකින්ය ආයෙම එහෙම වෙන්නෙ නෑය කියලත් එතුමී මට පොරොන්දු උනා.. ඒ හින්ද සර් බය නැතුව මේ තෙල් කුප්පිය දෙපරැන්ද අස්සෙ ගහගෙන ඕන තැනක යන්ට..ඔය ගෝටා ගෙදර පල කියන ඔබතුමාගෙ විරුද්දකාරයො ඔබතුමාට දැපනෙ වැටෙන්නෙ මේං මෙහෙම බලා ඉන්දැද්දි,,..." ඥාණා මෑණියන් එසේ පවසා තමාට ලබාදුන් තෛල රාජයාගේ සත්ත බැලීමට අවශ්‍ය වූ නිසා..

5. ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මුහුණ කුණ්ඩ හට්ටියක් වගේ කරගෙන මුව කමල ඇඹුල්කොට "විසේසයෙන්ම මේකත් කියන්ටෝන..ඉදිරි සතිදෙක බොහොම අමාරුයි...." යනුවෙන් පවසන විට ඉතාම දැකුම්කලු බව ගරු කටානායක තුමා ගිය සතියේ දවසක හවසක දුරකතනයෙන්  ආගිය තොරතුරු කතා කරමින් සිටියදී පැවසූ බැවින් ගරු අග්‍රාමාත්‍ය තුමා අසළම වාඩිවී එම මනස්කාන්ත දර්ශනය සියැසින්ම දැක ගැනීමට අවශ්‍ය වූ නිසා...

6. "සර්..සර්..හිරුණිකා වගේ ගෑණු කෙනෙක් තව ගෑණු හත් අට දෙනෙකුත් එක්ක මේ පැත්තට එනව දැක්කයි කියල මේ දැං පොලීසියෙන් කෝල් කරල කිව්වා..." යනුවෙන් ශුදේව හති දමමින් දිවවිත් පැවසූ බැවින්  "නෝනෙ එහෙනං ගෙදට්ට වෙලා ජනෙල් දොරවල් වහගෙන ඉන්ට..මම පාර්ලිමේන්තුව පැත්තට මඟ ඇරල වහං වෙලා ඉඳල එඤ්ඤං..ඔපිස් යන්නත් බෑනෙ...එතන අර අරගල කාරයොනෙ..." යයි ආර්යාවට පවසා වහාම පාර්ලිමේන්තුවට පසු බැසීමට සිදුවූ නිසා...


Sunday, July 3, 2022

677. පුවක් එෂැණිං - 69 - දිරි දීමනා සහ දඬුවම් ලිහිල් කිරීම


කැබිනට් ඇමති රණතුංග...


ලංකා විදුලිබල  මණ්ඩලයේ මනු කියවන්නන්හට නිවැරදිව මනු කියවීම වෙනුවෙන් වැටුපට අමතරව දිරි දීමනාවක්ද  ගෙවන බව කෝප් කමිටුව ඉදිරියේදී හෙලිවූ බව වාර්තා වේ.. ඒ අනුව ඊයේ දිනයේදී රැස්වූ පහත සඳහන් වෘත්තීය සමිතිද එවන් දිරි ගැන්වීමේ දීමනාවක් තමන්ටද ගෙවන ලෙස  බල කරමින් වහාම උද්ඝෝෂණ පැවැත්වීමට ඒකමතිකව තීරණය කොට ඇත.

1. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය  එක් එක් නිවසේ දී හමුවූ  ඩෙංගු මදුරු කීටයින් ගණන නිවැරදිව වාර්තා කිරීම වෙනුවෙන් දිරි දීමනාවක් ඉල්ලා සිටී.

2. ලංගම බස් රියදුරෝ  බස් හෝල්ට් වල බස් රථය නැවැත්වීම වෙනුවෙන් දිරි දීමනාවක් ඉල්ලා සිටිති.

3. පොල් කඩන්නන්ගේ සංගමය නිවැරදිව පැසුණු පොල් පමණක් කැඩීම වෙනුවෙන් විශේෂ දිරි දීමනාවක් ඉල්ලති.

(දැන් මේ හරියට මීටර් එක කියවනවට මීටර් රීඩර්ට දිරි දීමනාවක් ගෙවනවයි කිව්වම මට ආපු ප්‍රශ්නෙ තමයි අඩේ..හරියට මීටර් එක කියවන එක උගෙ රාජකාරියනෙ..ඌට පඩියක් කියල එකක් ගෙවන්නෙ ඌ රාජකාරිය හරියට කරනවට..හරියට රාජකාරිය කරනවට වෙනම දීමනාවක් ගෙවනවයි කියන්නෙ එතකොට රාජකාරිය හරියට නොකලත් ඒ කියන්නෙ මීටර් එක හරියට නොකියවුවා උනත් පොරට පඩිය කොහොමත් ගෙවනවයි කියන එකනෙ..මාරයි ඕයි මේ රටේ වැඩ..මේ රටේ මිනිස්සු තනිකර කෙලින්නෙ පිස්සූ...ඇත්තම තමයි..)


******************************************************


නඩුවක් විභාග කිරීමේදී චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වුවද විත්තිකරුට දඬුවම් නියම කිරීමේදී පහත සඳහන් කරුනු අනිවාර්යයෙන් සළකා බැලිය යුතු බවට  විනිශ්චයකාර වරුන්ට උපදෙස් ලැබී ඇති බව අධිකරණ ආරංචි මාර්ග පවසයි..

1. විත්තිකරුගේ නිවස මෑතකදී ගිණි තබා විනාශ කොට ඇතිද? යන්න....

2. විත්තිකරුගේ දියණිය තම විවාහය ප්‍රමාදවීම නිසා විශාදයෙන් පෙලන්නේද?  යන්න...

3. විත්තිකරුට සිර දඬුවමක් නියම කලහොත් ඔහුගේ පරම්පරාවේ කීර්තිනාමයට ඉන් කැලලක් සිදුවේද ? යන්න.. 

4. විත්තිකරුගේ සුරතල් බල්ලා බත් කන්නේ විත්තිකරුගේ අතින් පමණක් නිසා විත්තිකරු බන්ධනාගාර ගත කළහොත් සුරතල් බල්ලා නිරාහාරව මියයයිද? යන්න... 

5. විත්තිකරුගේ ගෙදර මිදුලේ ඇති රඹුටන් ගසේ ගෙඩි කෑමට රාත්‍රියේදී පැමිණෙන වවුලන් එලවා දමන්නෙ විත්තිකරු බැවින් ඔහු බන්ධනාගාර ගත කලහොත් රඹුටන් පලදාව වවුලන්ටම සින්නවී යාවිද? යන්න...

Sunday, June 19, 2022

676. තෙල් අර්බුදයට හෝම් මේඩ් විසදුං...

මයි පෙන්ස්...දැම්මේ තෙල් අර්බුදේ නිමාවෙන දවසක් පේනතෙක් මානෙක නෑ....ඉතිං මට පේන විදිහට හොඳම විසඳුම ධ්‍යාන වඩවා සෘධි බල උපදවා ගැනීම...

අවුරුද්දකට විතර ඉස්සෙල්ල අපේ ගෙදරට එන පාර දෙපැත්තෙ තියන අඩි 25 විතර උස තාප්ප දෙකක් කපරාරු කෙරුව. ඒ වැඩේට උවමනා  පලංචි ගෙනල්ල ගහන්න මාර කට්ටක් කෑවෙ..

ඒ මොකද කියනවා නම්..... (ඔය ඒ මොකද කියනවා නම් කියන කෑල්ල මම අල්ල ගත්තෙ කැලෑ ජෝන්ගෙ කතා වලින්..දන්නවනෙ කැලෑ ජෝන් නේද? කැලෑ ජෝන් නිතරම ඔය ඒ මොකද කියනවානං කියන කෑල්ල කියනව කතා පවත්වනකොට..කැලෑ ජෝන්ගෙ අයියල දෙන්න ලන්ඩන් ජෝන් සහ කොළඹ ජෝන්..ලන්ඩන් ජෝන් ඉගෙන ගන්ට රුසියා..පොර අන්තිමට ලන්ඩන් ගිහිල්ල තමයි පෙරකදෝරු විබාගෙ එහෙම පාස් උනේ ..ඒ නිසා එයා ලන්ඩන් ජෝන්..ඊලඟට කොළඹ සෙන් තෝමස් එකේ ඉගෙන ගත්තු එක්කෙනා කොළඹ ජෝන්..බාලයත් සෙන් තෝමස් ගියාට වැඩිපුර කලාය කියන්නෙ කැළේ පැනපු එක ඒ හින්දා එයා කැළෑ ජෝන්..)



මිස්ටර් කැළෑ ජෝන්....


හරි දැන් ආපහු එමු තාප්ප කපරාරු කතාවට...ඔය පලංචි ගහන්න අපි හෙණම කට්ටක් කෑව කියමුකො.. ඒ මොකද කියනවානං ගෙදරට එන පාර තියෙන්නෙ හෙණ බෑවුමක..ගෙදරට එන පාර කිව්ව පණිවිඩ හත අටක් යැව්ව ඒත් තාම ආවෙ නෑනෙ ආවෙ නෑනෙ ආවෙ නෑනෙ මල් දුන්නෙන් වඩින ඉලන්දාරියා..ඒ අපූරු ගීතය කියන්නෙ චන්ද්‍රානි ගුණවර්ධන..තුං තුඹමල් තුඹමල් රෙද්ද ඇඳල බණ්ඩි වළලු දෑත දමාලා..  



බණ්ඩි වළලු පැළඳි යුවතියක්...

ඉතිං ආයම ප්‍රස්තුත කතාවට ආවොත් එහෙම ඔය බෑවුමේ නොහොත් සොලොප් එකේ පලංචි හිටවන්ට හරිම අමාරුයි.."අනේ මහත්තය වරුවක් යනවනෙ මේ පලංචි ගැහිල්ලට..."  වැඩේ බාර ගත්තු හෙඩ් බාසුන්නැහේ කෙඳිරි ගානව..

ඒ කාලෙ මේ පේස් බුක් එකේ ෂෙයාර් උනා ඔය අපේ හාන්දුරු කෙනෙක් දාපු ප්‍රචාරක දැන්වීමක්..ඒකෙ තිබ්බෙ ලක්ස තුනක් හරි හතරක් හරි ගානකට සතියක් ඇතුලත ඒ හාන්දුරුවො ඕනම කෙනෙකුට සෘද්ධි බල උපදවා ගන්න විදිහ කියල දෙනවයි කියල..මම ඉතිං අර කෙඳිරි ගාන බාසට ඕක පෙන්නල කිව්ව "යකෝ ඉන්න ඉඩම කඩම හරි උගස් තියල මෙන්න මේ හාන්දුරුවො ඉන්න පන්සල හොයාගෙන ගිහිල්ල අර අහසින් යන සාස්තරේ ඉගෙන ගං..ඊට පස්සෙ බොලාට පලංචි මොන කෙහෙම්මලක්වත් ඕන වෙන එකක් නෑ..කෙලිම්ම බාස් මේසෙං හැන්දයි මට්ටං ලීයයි අරගෙන ගුවන් ගත වෙනව..ඒ පස්සෙම්ම ගෝලය බදාම තාච්චිය අරගෙන ගුවං ගත වෙනව..අදාල තැනට ගිහිල්ල අහසේ පළක් බැඳ වාඩිවෙලා එහෙම කපරාරුව ගහනව..හැබැයි මතක ඇතුව අලුත් ජොක්කු ඇඳගෙන වරෙල්ල..."  කියල..

උං මගෙං අර හාන්දුරුවංගෙ නොම්මරේ එහෙමත් ඉල්ල ගත්ත..ඒත් එතෙන්ට හොයාගෙන ගියාද නම් මන්ද..මම ඉතිං ඔය ගොසිප් සයිට් එහෙම බලනකොට එතකොට අදද රෙණ ප්‍රවෘත්ති එහෙම බලනකොට උනන්දුවෙන් බලනව "ඉර්දි බලයෙන් ගුවන් ගතවී කපරාරු කරන පැණිදෙණියේ මේසන් දෙවිවරු...අති පෞරාණික හෙළ යක්ඛ ගුප්ත ශාස්ත්‍රයන්හි තවත් වික්‍රමයක්වගෙ ප්‍රවෘත්තියක් එහෙම යයිදෝ කියල... ම්හුම්..තාම නම් දැක්කෙ නෑ.....

ඉතිං ඔය ඔය හාමුදුරුවො ගැන මතක් වෙලා මම මේ පහුගිය දවස් ටිකේම හෙව්ව එතුමාගෙ ඇඩ් එක කෝල් එකක්වත් දීල බලන්ට..කොහෙද ඔහෙ නෑ හම්බවුනේ..

ඒත් එහෙම හොයාගෙන හොයාගෙන යනකොට මෙන්න බොලේ මට හම්බ වුනා කියහල්ලකො මුම්බායි වල එහෙම අහසින් යාමේ ක්‍රම වේදය උගන්නන ආස්‍රමයක් ...එතන පාඨමාලා ගාස්තුවක් ගැන නම් සඳහනක් නෑ.. ඒත් මුම්බායි වලට ගුවන් ගාස්තුනම් මම හිතන්නෙ උපරිම ලක්ස එකහමාරක් වගෙ වෙයි රිටර්න් ටිකට් එක..ඕක මොකක්ද පෙට්‍රල් ලීටර් 400 වගේනෙ වෙන්නෙ..ඒ වගේද ආය ජීවිතේට පෙට්‍රල් පෝලිමක ඉන්න වෙන්නෙ නෑ..ඕන්නම් අහසිං ගිහිල්ල පෝලිමේ ඉස්සරහ තව වාහන කීයක් තියනවද වගෙ ඉම්පෝටඩ් විස්තර පස්සෙම ඉන්න අයට කියල  ආදායකුත් හොයා ගත්තෑකි...


සෘද්ධි බල ලැබීම.......

Sunday, March 13, 2022

675. පුවක් එෂැණිං - 68 - මෞගුණ ගායනා සහ අත කණ කර පූජා...


ජනාපෙති මෞගුණ ගැයීමට සූදානමින්
සීරුවෙන් සිටින මහජනයා...

දිවයින පුරා මහජනයා දිනපතා ජනාපෙතිතුමාගේ මෑණියන් සිහිකරන බව ජනාපෙති මාජ්ජිය අන්සය නිවේදනයක් නිකුත් කරමින් කියාසිටී...සාමාන්‍යයෙන් මෙවන් සිහිකිරීම් කරනුයේ මරණ සංවත්සර දිනයේදී පමණක් වුවත් දිනපතාම සී ලාන්කික මහජනයා ජනාපෙතිතුමාගේ මෑණියන් සිහිකිරීම එතුමා කෙරෙහි මහජනයා තුල පවතින අපමණ භක්ත්‍යාදරය මුසු ගෞරවනීය හැඟීමට ප්‍රබල සාක්ෂියක් බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ. 

වැඩි වශයෙන් මේ ගුණ සිහිකිරීම් සිදුවනුයේ ඉන්ධන පිරවුම්හල් සහ ගෘහස්ථ ගෑස් අලෙවිහල් අසල  වන අතර තව නොබෝ දිනකින් ෆාමසි අසල රැස්වන මහජනයාද මෙම ගුණ ගායනාවට එකතුවනු ඇති බවට තමන්ට දැඩි විශ්වාසයක් පවතින බවද ජනාපෙති මාජ්ජිය ප්‍රකාසකතුමා ඉතාමත් හැඟීම්බරව පැවසීය.

ටං...ටිං...ටුං... ආර්.ආර්. ඒ. විරුවා......එම්.බී.පී. සැමදා...

කොරියානුවන් එම රට අසීරු අඩියකට වැටී තිබියදී තම අත කර ආභරණ පවා රට වෙනුවෙන් රජයට පරිත්‍යාගකල බව මේ අතර වනසත්ව සංරක්ෂණ ඇමතිවරයා පවසා ඇත. 

ඇමතිවරයාගේ මේ ප්‍රකාශයෙන් පසු එසේ තමන් සතු අත කණ කර ආභරණ පරිත්‍යාග කල හැක්කේ කොතැනටද? යනුවෙන් විමසමින් දේශප්‍රේමී කාන්තාවන්ගෙන් වැළ නොකැඩී දුර කථන ඇමතුම් එතුමාගේ නිවසට ලැබෙන බැවින් ඇමතිතුමාගේ පවුලේ සාමය බිඳ වැටීමට ප්‍රථම දුරකථනය ක්‍රියා විරහිත කීරිමට සිදුවූ බව එතුමාගේ පෞද්ගලික ලේකම් වරයා පුවක් එෂැණිං  අමතා පැවසීය.

මෙම දැඩි ඉල්ලිම් වලට ප්‍රතිචාර වශයෙන් එම අත කණ කර ආභරණ තැන්පත් කිරීම උදෙසා යාල සහ විල්පත්තු අභයභූමිවලට පිවිසෙන ප්‍රධාන දොරටු දෙපස විශාල ප්‍රමාණයේ පකිස් පෙට්ටි දෙක බැගින් තබන ලෙස ඇමතිතුමා නියෝග කර ඇතැයිද ඔහු වැඩිදුරටත් පැවසීය. අත කණ කර පරිත්‍යාගශීලීන්හට ඉතා පහසුවෙන් හඳුනා ගැනීම සඳහා එම පකිස් පෙට්ටිවල ලොකු අකුරින් "ඔබේ අත කන කර අපිට... රට පෙරට" යනුවෙන් සඳහන් කරන ලෙසද එතුමා නියෝග කල බව ලේකම් තුමා අවසන් වශයෙන් පැවසීය.

ටං...ටිං...ටුං... ආර්.ආර්. ඒ. විරුවා......එම්.බී.පී. සැමදා...

දළඳාව වැඩම කරවූ නැදුන්ගමුවේ රාජා හස්තියාගේ අභාවය අසා තමන් බලවත්සේ ශෝකවූ බව පුවත්පත් නිවේදනයක් නිකුත්කරමින් මල්වතු අනුනාහිමි වුඩ්ඇපල්කුඹුරේ හාමුදුරුවෝ පවසති. මෙම වසරේ දළඳා පෙරහැර ආරම්භවීමට පෙර මහනුවර අධිවේගී මාර්ගය සාදා නිම කිරීමට මහාමාර්ග අමාත්‍යතුමා තමන්ට පොරොන්දුවූ බවද එහි රාජා හස්තියාට ගමන් කිරීමට සුදුසු පරිදි මෘදු රබර් ටයිල් ඇතිරූ ඇත් මංපෙතක් රාජා හස්ති රාජයා වෙනුවෙන්ම තම පෞද්ගලික වියදමෙන් ඉදිකිරීමට  අමාත්‍ය තුමා තමන්ට සපථ කල බවද අනුනාහිමියෝ ප්‍රකාශ කලෝය. එම හස්ති මංපෙතේ ගමන් කර පෙරහැර සඳහා මහනුවරට පිවිසීමට රාජා  හස්තීන් වහන්සේහට වාසනා මහිමයක් නොමැතිවීම බලවත් කණගාටුවට කරුණක් බවද උන්වහන්සේ පැවසුවෝය. 

ටං...ටිං...ටුං... ආර්.ආර්. ඒ. විරුවා......එම්.බී.පී. සැමදා...

මේ අතර රාජා හස්තියාගේ අභාවය රටේ පා ලකයා ට අසුභ නිමිත්තක්  බවට පැතිරයන කට කථාව සම්බන්ධයෙන් එෂැණ පුවක් අමතා අදහස් පළකල අස්ගිරි අනුනායක වී.යූ.පාලි හිමියෝ මෙසේ සඳහන් කළහ "එහෙම ප්‍රශ්නයක් නෑ..එහෙම ඇතෙක් මලාය කියල අවුලක් වෙන්නෙ නෑ..දැං බලන්න හිට්ලර් මහත්තයට අඩුම ගානෙ ඇතෙක් හිටියෙ වත් නෑ. එතුමාට හිටියෙ බැල්ලියක්..ඒ නිසා කිසිම ප්‍රශ්ණයක් වෙන්නෙ නෑ..මම තාමත් කියන්නෙ අපේ ජනාපෙති තුමාට හිට්ලර් මහත්තයෙක් වෙලා හරි මේ රට හදන්න කියලමයි"

ටං...ටිං...ටුං... ආර්.ආර්. ඒ. විරුවා......එම්.බී.පී. සැමදා...

"එක රටක් එක වේලක්" යනුවෙන් ජනාපෙති කාරිය සාදක බලකායක් පත්කිරීමට ජනාපෙති අවදානම යොමුවී ඇති බව මේ අතර වාර්තා වේ. එහි සබාපති වසයෙන් ගරු වෙළඳ ඇමතිතුමා පත් කෙරෙනු ඇත. දිනකට කන එකම වේලට අඩංගු වියයුතු බත් ග්‍රෑම් ගණන, එළවලු වර්ග කීයක් අඩංගු වියයුතුද? එලෙසම එම වේල ආහාරයට ගත යුත්තේ දවසේ කුමන වේලාවකද යන්න අවියත් මග බුද්ධිමතුන්ගේ උපදෙස් පරිදි මේ කාරිය සාදක බලකාය විසින් නොබෝ දිනකින් ප්‍රකාසයට පත් කරනු ඇත.

ටං...ටිං...ටුං... ආර්.ආර්. ඒ. විරුවා......එම්.බී.පී. සැමදා...

පසුගියදා අවසන්වූ අපොස උසස් පෙළ විභාගයට ගණිත අංශයෙන් මුහුණදුන් සිසු සිසුවියන් උදෙසා විශේෂ තරඟයක් පැවැත්වීමට අජ්ජපාන අමාට්ටියන්සය කටයුතු යොදා ඇත. 

යුක්‍රේනයේ දින තුනක සංචාරයක් ත්‍යාගය වශයෙන් ලැබෙන මෙම තරඟය සඳහා සහභාගී වීමට කලයුත්තේ පහත සඳහන් පැණයට පිළිතුරු දීමයි "ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රටට ගෙන එන එක් ඩොලරයකට රු. 38/= විශේෂ දීමනාවක් ගෙවන බවට ප්‍රකාශ කොට ඇත. පැන්ඩෝරා පත්‍රිකාවල සඳහන් අන්දමට ඇන්. රාජපස්ස මහත්මියට අයත්ව ඇති මුලු මුදල් ප්‍රමානය ඩොලර් මිලියන 160 නම් එම මුදල් මෙරටට ගෙන ඒමෙන් ඇයට ලබාගත හැකි ප්‍රසාද දීමනාව කොපමණද?" 

ඔබේ පිළිතුරු පැන්ඩෝරා පත්‍රිකා පිළිබඳව විමර්ශනය කිරීමට ඒ දවස්වලම පත්කල ජනාපෙති කාරිය සාදක බලකායේ සබාපතිතුමා වෙත නොපමාව තැපැල් හෝ ඊ මේල් මඟින් එවන්න..

Wednesday, March 2, 2022

674. පුවක් එෂැණිං - 67 - මෙහෙමයි මචං..........


ආදරණීය නැන්දම්මේ..මට දුව බාරදුන්න කියන්නෙ හරියට
ගෝඨාභයට රට බාර දුන්නා වගේ තමයි..

මෙහෙමයි මචං දැං ඔය අපේ ගෝඨා ඉන්නව නේද? ගෝඨා කියන්නේ මාර මීටරයක් මචං....හෙන ස්මාර්ට් පොරක් මචං...රට රටවල් දැකලා ඒවගෙ සිස්ටම් චේන්ජ් අත්දැකපු පොරක්. මේ රට දියුණු කරන්ට නම් සම්පූර්ණ සිස්ටම් චේන්ජ් එකක් කරන්නම ඕන මචං..ඒකෙ ආයෙ දෙකක් නෑ...

දැං අර පොහොර ප්‍රස්නෙ ගනිං..ඇයි ගෝඨා රසායනික පොහොර තහනං කලේ ගහෙං ගෙඩි එනව වගේ.?....පොර දන්නව ඔය වැඩේ එක පැය විසිහතරෙං කරන්න බැරි බව..ඒත් ගෝඨට උවමනා උනේ අපේ ගොවියො ඔක්කොමල එක්සත් කරන්ට....

දැං බලාපං මචං ඒ ටාගට් එක ෆුල් සක්සස් උනේ නැද්ද? පොහොට්ටුවට චන්දෙ දුන්න ගොවියො..එතකොට ටෙලිෆෝන් එකට චන්දෙ දුන්නු ගොවියො..අලියට එතකොට මාලිමාවට චන්දෙ දුන්නු ගොවියො ඔය ඔක්කොමල එකා වගෙ පාරට බැස්සෙ නැද්ද? "පොහොර දියව් පොහොර දියව්..." කියන සටන් පාඨෙන් මුලු රටම එකනින්නාද උනේ නැද්ද? 

අර සීතා නෝනා කණෙහි මී ඕනාක් බඳු මධුර ස්වරයෙන් කියපු සක්වල ගලද මොකක්ද එක ප්‍රකම්පිත උනේ නැද්ද? මේ රටේ ඔය විදිහට ගොවියො ඔක්කොම එකට එකතු කරන්ට මීට කලිං වෙන කිසිම නායකයෙකුට පුලුවන් උනාද? ගෝඨා තමයි ඒ වැඩේ කලේ..අන්න එකයි මචං මම කියන්නෙ ගෝටා කියන්නෙ මාර ස්මාට් පොරක් කියල..

දැං අනික් එක ඔය පෙට්‍රල් ඩීසල් පෝලිම් බලපං..ඒ ගැන හැමෝම ගෝඨට බණිනව..ඒත් කවුරුත් එතන යටිබිම්ගත අදහස තේරුම් අරගෙන නෑ..දැං බලපං..මිනිස්සු අතර අන්තර් මානුෂික සබඳතා කොච්චරනම් දුර්වල වෙලාද? අපිට අපේ අසල්වාසියා එක්ක ඔෆිස් එකේ අල්ලපු මේසෙ වැඩ කරන මනුස්සය එක්ක කතා කරන්න දුක සතුට බෙදා ගන්න වෙලාවක් නෑ..අපි හැමෝම යාන්ත්‍රික වෙලා..

නිකමට හිතපං පෙට්රල් පෝලිමක කෑන් අරගෙන පැය හත අටක් ඉන්නකොට ඉබේම අපි අපි ලඟ ඉන්න මනුස්සය එක්ක කතා කරනවනෙ..අන්න ඒකෙන් නිකමට හිතපං කොයි තරම් අපේ අන්‍යෝන්‍ය සුහදතාවය වර්ධනය වෙනවද කියල..මේ විසිඑක්වෙනි ශතවර්ෂයෙ රටක් දියුණු කරන්ටනම් මනුෂ්‍ය සබඳතා දියුණු කරල ඉන්ට ඕමනයි ඔක්කෝටම ඉස්සරලා....ගෝඨා මචං ඔය කරන්නෙ ඒක..තෙල් වලට ගෙවන්ට ඩොලර් නෑ කියන්නෙ බොරුවක් මචං..මිනිස්සුන්ට කියන්ට දේකුත් තියෙන්ට එපාය..උඹ නිකමට මේ ගැන හිතල බලපන් මචං...

අනික් එක මචං මේ රට දියුණු කරන්ට ඔය දේසපාලුවන්ට තියන බොරු ගෞරවය නැති කරන්ටම ඕන..දැං නිකමට හිතහං මේ පොහොර, සිමෙන්ති, ඩීසල් හිඟය හින්ද මිනිස්සු කිසි බයක් හැකක් නැතුව ගෝඨගෙං මයින්දගෙං පටං ගත්තම එයාලගෙ හත්මුතු පරම්පරාවටම අම්ම මෝ නැතුව බණිනවනෙ..

මේ ඊයෙ පෙරේද අර නාමෝලට මූණටම බැනල තිබ්බ..ඊට කලිං අපේ වියත් මඟේ අර ගොඩහෑවට බස් එකකට නැංග කියල බැණල තිබ්බ..එහෙම ඒ තැංවල බැන්නෙත් මචං අපේ වියත් මඟේම සෙට් එකක්..ඒක අපි හිතලමයි කලේ..අර මම කලිං කිව වගෙ දේසපාලුවන්ට තියන ගැතිකම බය පක්සපාතකම නැති කරන්ට..

ඊගාවට තව එකක්..උඹ දකින්ට ඇති මේ ඊයෙ පෙරේද ඩීසල් බවුසරයක් ෂෙඩ් එකට ආවම රතිඤ්ඤා දාල පිළිඅරගෙන තිබ්බ..මීට කලිං එහෙම පිළිගත්තෙ දේසපාලුවො..තෙල් බවුසරයක් ඇමති කෙනෙක් පිළිගන්නව වගෙ පිළිගන්න තැනට මිනිස්සු පත්වුනාය කියන්නෙ රටේ අනාගතය ගැන හොඳ ළකුණක් මචං..

අනික විනය..රටක් හදන්ට විනය ඕනමයි..ගෝඨා තදින්ම විනය තකනව මචං..රටක් විදිහට අපිට හමුදා විනයක් තියෙන්න ඕන..මොකක් හරි දෙයක් කරනවනං ඔක්කොමල එක සැරේට..දැං බලපං මේ ලයිට් කැපිල්ල හින්ද රටේ බාගයක් හවස  හයාමාරට කලින් බත් මාලු උයාගෙන රෙදි පෙරෙදි මැදගෙන සූදානමෙන් ඉන්නව....හරියට හයාමාරට ලයිට් ගියාම ඉටිපන්දං හරි කුප්පි ලාම්පු හරි පත්තුකර ගන්නව..ඉතුරු බාගෙ රෑ අටහමාරට කලිං ඔය කිව්ව වැඩටික කරල අටහමාරට ලයිට් ගියාම ඉටිපන්දං කුප්පි ලාම්පු පත්තු කරගන්නව..මුලු රටම එක වෙලාවට එක කතාවට යමක් කරනව කියන්නෙ මචං ඒක තමයි විනය කියන්නෙ..

මේ ඔක්කොම දැනටමත් ප්ලෑන් කරලා ඉවරයි මචං...වියත් මඟේ අපි කට්ටිය කුප්පි ලාම්පු එළියෙං මේ දවස්වල රෑ තිස්සෙ රැස්වෙලා කතා කරන්නෙ ප්ලෑන් කරන්නෙ මෙව්ව තමයි මචං.. .උඹත් ටිකක් කල්පනා කරල බලපං මම කියන්නෙ බොරුද කියල.. මොළයක් තියෙනවා නේ උඹට....

Wednesday, February 16, 2022

673. පුවක් එෂැණිං - 66 - අති උත්කෘෂ්ට ඩීසල් නෞකාගමනය


ලාම්කේය ඉටිහාසයේ පෙර නොවී වීරූ ආස්චර්යමත් සිදුවීමක් එසැන පුවත් වෙත වාර්තා වේ..ඊයේ සවස් බාගයේ කොළඹ වරාය වෙත ඩීසල් ඉන්ධන පිරවූ නෞකාවක් ලඟාවීම එම මහාර්ග සිදුවීමයි...

එම පුවත කණවැකුනු සැනින් විස්මයෙන් ඇලලී ආහ්ලාදයෙන් ඔල්මොරොම්දම් වී ගිය කණිජ තෙල් බාර ඇමැටිටුමා ද වරාය බාර ඇමැටි තුමාද එසැණින් වරාය බලා දිවගිය බව ටටු ඩට් ආරම්චි මාර්ග සඳහන් කරයි..ඔවුන් සමඟ රාජ්ය නැටුම් කණ්ඩායමද වරාය බලා ගොස් ඇත්තේ මනරම් නර්තනයක යෙදී ඩීසල් නෞකාව පිලිගැනීමටය..

ටං...ටිං...ටුං... ආර්.ආර්. ඒ. විරුවා......එම්.බී.පී. සැමදා...

****************************************

මේ අතර අගමැටි මාද්දිය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ නුදුරු දිනයක එම ඩීසල් නෞකාවේ කපිතාන් වරයාහට සී ලම්කා ඩීසල් බූසණ (1 වෙනි පංතිය) ගෞරව නාමයද නෞකාවෙහි සෙසු කාර්ය මණ්ඩලයට සී ලම්කා ඩීසල් සූරී (2 වන පංතිය) ගෞරව නාමයද පිරිනැමීමට කටයුතු කරන ලෙස ගරු අගමැටිටුමා උපදෙස් දුන් බවයි...

ටං...ටිං...ටුං... ආර්.ආර්. ඒ. විරුවා......එම්.බී.පී. සැමදා...

****************************************

සී ලම්කා ඛනිජ තෙල් සම්ස්තාවේ ප්‍රසම්පාදන අන්සය පහත සඳහන් නිවේදනය නිකුත් කොට ඇත.

ඉන්ධන නෞකාවක් කොළඹ වරායට ළඟාවූ විට එම ඉන්ධන තොගය සහ එහි කාර්ය මණ්ඩලය පිළිගැනීම සඳහා මඟුල් බෙර වාදන සහිතව දේශීය නර්තන පැවැත්වීම සඳහා රජයේ ලියාපදිංචි කලායතනයන්ගෙන්  මිළ ගණන් කැඳවනු ලැබේ. 

ඔබ ඉදිරිපත් කිරීමට අපේක්ෂාකරන නර්තනයෙහි විස්තර සහ සහභාගී කරවීමට අපේක්ෂා කරන නර්තන ශිල්පීන් සංඛ්‍යාව සඳහන් කොට ඔබගේ ප්‍රසම්පාදන අයදුම්පත් ඛණිජතෙල් සංස්ථාවේ පසුපස කසළ රැස්කරන ස්ථානය අසළ තබාඇති ප්‍රසම්පාදන පෙට්ටියට දැමීමට කාරුණික වන්න. 

ප්‍රසම්පාදන අයදුම්පතෙහි දෙවන කොටසෙහි වරායෙන් පිටත්වන ඉන්ධන රැගත් බවුසර ඉදිරියෙන් ජංගම රථයක සිට නර්තන ඉදිරිපත් කිරීම උදෙසා මිළගණන් කැඳවා ඇත. 

මෙම ඩීසල් බවුසර වරායෙන් පිටත්වී කොළඹ නගරය පුරා වීදි සංචාරය කොට ඉක්බිති ඛනිජ තෙල් සංස්ථා ගබඩා සංකීර්ණයට ඇතුල් වීමට අදහස් කරනු ලැබේ. එම නර්තන සේවා සැපයීම වෙනුවෙන්ද ඔබට වෙනම මිළගණන් ඉදිරිපත් කල හැක...

ටං...ටිං...ටුං... ආර්.ආර්. ඒ. විරුවා......එම්.බී.පී. සැමදා...

****************************************

"කැබිනට් ඇමතිවරුන් දෙදෙනෙකුටම ඩීසල් රැගෙන ආ නෞකාවක් පිළිගැනීම සඳහා වරායට යාමට කාලය තිබීම ගරු ජනාපෙතිතුමාගේ ගතවූ දෙවසරක පාලන කාලය තුල රටේ අනෙකුත් සියලුම ප්‍රස්න විසඳා අවසන්බවට ලැබුනු හොඳම සහතිකයක්නොවන්නේද?" යනුවෙන් පෝට්ටු සමාජ මාධ්‍ය ක්‍රියාකාරීහු මේ අතර දිගට හරහට පෝස්ට් පලකරමින් ප්‍රස්න කරති..

ජනාපෙතිතුමා පේල් පේල් පේල් කියා කඩාකප්පල්කාරීන් කොතෙක් හඬ නැඟුවද එතුමා ඉහලිම්ම පාස් බවට මේ වනාහී ඇස් පනාපිට සාක්සි බවද ඔවුහු සඳහන් කරති..

ටං...ටිං...ටුං... ආර්.ආර්. ඒ. විරුවා......එම්.බී.පී. සැමදා...

****************************************

මේ අතර ඉදිරියේදී ඉන්දියාවෙන් ණයට නොකඩවා ඩීසල් නෞකා කොළඹ වරායට පැමිනීමට නියමිත බැවින් එම නෞකා පිළිගැනීම සඳහා "ඩීසල් නෞකා පිළිගැනීමේ සහ ඉන්දීය තානාපති සමඟ ඡායාරූප වලට පෙනී සිටීමේ කටයුතු භාර රාජ්‍ය ඇමති" යනුවෙන් ධුරයක් පිහිටුවා ඒ සඳහා ඉතාම සුදුසු වියත් මඟෙහි සාමාජිකයෙක් විද්‍යාත්මක ක්‍රමවේදයන්ට අනුව තෝරා පත්කිරීමට අටිගරු ජනාපෙති තුමාගේ අටිගරු අවදානම යොමුවී ඇතැයි අටිගරු ජනාපෙති මාද්දිය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

Thursday, January 20, 2022

672. පුවක් එෂැණිං - 65 - මැංචෝසන් චාරිකා...




සමාවෙන්න..මේකනම් ඇත්තටම "පුවක් එෂැණිං..." නෙවෙයි "දවස් හත අටකට  පස්සෙ පුවක් එෂැණිං..." වෙන්න ඕන..කොහොම හරි කමක් නෑ "බෙට ලේට් දෑන් නෙවර්..." කියලත් තියන හින්ද ඔන්න ඔහෙ දාල දැම්ම..

ගරු ජනාධිපති තුමා පසුගිය දින සහපිරිවරින්  මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම - කුරුණෑගල කොටසේ සංචාරය කළේය..

ජානාපෙති මාජ්ජිය පොකාසක කිං සිලී මහතා මේ උත්කර්සවත් අවස්තාව පිලිබඳව මෙසේ ප්‍රකාස කලේය. 

"අපේ රට මේ මොහොතේ දහසකුත් ආර්තික ප්‍රස්න වලට මූන දීලයි තියෙන්නෙ...බොහොම ඉක්මනට රට බංකොලොත් වෙයි කියල ආර්තිම විසේ සඥයො කියනව..එහෙම වෙලාවක ආර්තිකය ගොගදැමීමේ කටයුත්ත තනිවම කරට අරගෙන ඉන්න එතුමා මොහොතකට ඒ කටයුතු අතෑරල මේ වගෙ අදි වේගී මාර්ගයෙ සංචාරය කලේ පොදු මහජනයාට මේ අසීරු අවස්තාවෙ තමන්ගෙ ස්‍රී රූපය දැකල හිත් සනසාගන්ට අවස්තාවක් ලබාදෙන්ට..කොටින්ම කිව්වොත් දිනපතාම එතුමා උදේ පාන්දර ඇහැරිච්චි ගමන් කරන වියායාම වත් නොකරයි ඔන්න මේ ගමන ආවෙ..ආය ඉතිම් වෙන අහවල් කතාද?..ඒ අතින් බලන්න එතුමා කොපමණ ජනහිතකාමී නායකයෙක්ද කියල..එතුමාවන් නායකයින් ජාතී ජාතී වාසනාවන්.."

ටං...ටිං...ටුං... ආර්.ආර්. ඒ. විරුවා......එම්.බී.පී. සැමදා...

****************************************

මේ අතර අදිවේගී මාර්ගය දෙපස ඉදිකොට ඇති කම්බිදැල් වැටේ එල්ලී එතුමා දැකබලාගැනීමට වාසනාව ලබාගත් මීරිගම කුරුප්පු ආරච්චිලාගේ සාන්ත  බස්තියම් ගොවි මහතා මෙසේ පැවසීය..

"මයෙ කුඹුර මේ පාර විනාසයි..ගන්න දෙයක් නෑ..ඒත් කමක් නෑ...එතුමාගේ හිනා කටක් දකින්න ලැබුන එක මයෙ පූරුවෙ වාසනාවක්..දැක්ක නේද අත වනාගෙන ගිය අපූරුව..තේජවන්තකොම දෙකංසෙං බේරෙනව...ගෑස් පෝලිමේ හිටිය ලොකු කොල්ලයි කිරිපිටි පෝලිමේ හිරිය බාල කෙල්ලයි දෙන්නම එතුමා සම්පරාප්ත වෙනව කියන ආරංචියට ගෑස්, කිරිපිටි යකාට ගියාවෙ කියල දුවගෙන ආව එතුමා දැකබලාගන්ට.."

ටං...ටිං...ටුං... ආර්.ආර්. ඒ. විරුවා......එම්.බී.පී. සැමදා...

****************************************

ගරු ජනාපෙතිතුමාට මහජනයා හූ කිව් බව පසුගියදා සමාජ මාද්දිය ඔස්සේ පැතිර ගිය නමුත් ඒ ගල් පැලෙන බොරුවක් බවත් මාජනයා අතර එතුමාට ඇති ගරුත්වය, පිලිගැනීම සහ ආදරය තඹ අලුක්කාල් මංචාඩි කළඳකින් හෝ අඩුවී නොමැතිබව කිසිදු බලකිරිමකින් තොරව ඇඳිවත පවා අහිමිව....සමාවන්න ඇඳිවත පිටින් දිවවිත් එතුමාට තම ගහුරවය පුදකිරීමට අදිවේගී මාර්ගය දෙපස පුල පුලා බලාහුන් මහා උන සන්නිපාතය....සමාවන්න මහා ජන සන්නිපාතය ප්‍රබල සාක්සියක් වන බවත් ජනාදිපති මාජ්ජිය අම්සය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

ටං...ටිං...ටුං... ආර්.ආර්. ඒ. විරුවා......එම්.බී.පී. සැමදා...

****************************************

ඉදිරියට අදිවේගී මාර්ග ඉදිකරනවිට එහි දෙපස සෑම මීටර් පන්සීයෙන් පන්සීයට එකවර පුද්ගලයින් දහසකට අපහසුවකින් තොරව ජනාපෙතිතුමා නැරඹීම සඳහා රැස්විය හැකි ආවරණය කරන ලද වේදිකා  ඉදිකිරීමට තම අවදානය යොමුවී ඇතැයි මහාමාර්ග ඇමටිටුමා ප්‍රවුර්ති සාකච්චාවක් පවත්වමින් කියා සිටියේය..

එම සෑම ජනාපෙති නැරබුං වේදිකාවක සිට අනෙක්පස ඉදිකරන වේදිකාව දක්වා පහසුවෙන් පිවිසිය හැකි පරිදි අදිවේගී මාර්ගය ඉහලින් ගුවන් පාලමක් ඉදිකිරීමටද තමා අදහස් කරන බවද එතුමා වැඩිදුරටත් පැවසීය. 

මෙමඟින් අටිගරු ජනාපතිතුමාට යන  ගමනේදී වැඳ ආචාරකොට වහා ගුවන් පාලමෙන් අනිත් පස වේදිකාවට පිවිස ජනාපෙතිතුමා ආපසු එන ගමනේදි නැවත දෙවන වරටත් වැඳ ආචාර කිරීමට මහජනයාට ඉඩ ලැබෙන බවද එටුමා හැඟීම්බරව ප්‍රකාස කලේය. 

"අපි මේ වැඩ පිලිවෙල  කොහොම හරි කරනව..මම ඉන්නකල් මේ අහිංසක මිනිස්සු එතුමාට වඳින්ට පුදන්ට තියන උනන්දුව හින්ද කම්බි වැටවල් අස්සෙං රිංගන්ට ගිහිල්ල අතපය හූරගන්ට නෙවෙයි මයිලකටවත් හානියක් වෙන්ට මම ඉඩ තියන්නෙ නෑ...." එතුමා තව දුරටත් පැවසූයේ දෙනෙතේ නැඟෙන කඳුලු පිසදමමිනි..

ටං...ටිං...ටුං... ආර්.ආර්. ඒ. විරුවා......එම්.බී.පී. සැමදා...

****************************************

එලෙසම මීරිගම ජනතාව විසින් තමන් වෙත පලකරන ලද ආදර භක්තියට උපහාරයක් ලෙසින් ගම සමඟ පිළිසඳර වැඩසටහන යලි ඇරඹූ වහාම එහි පළමු වැඩ සටහන් හතම මීරිගම අවට ජනතාව සමඟ පැවැත්වීමට කටයුතු සංවිධානය කරන ලෙසද එතුමා තම කාර්ය මණ්ඩලයට උපදෙස් දී ඇත.

ටං...ටිං...ටුං... ආර්.ආර්. ඒ. විරුවා......එම්.බී.පී. සැමදා...

****************************************

මේ අතර ජනාපෙතිතුමාට නිතර පාර දෙපස පොදි කන මහජනයාට අත වැනීමට සිදුවීමෙන් එතුමාගේ සුරතෙහි ආබාධ හටගැනීමේ අවදානමක් පවතින බව ජොස්තර සංගොමේ සබාපති පාදඩඩෙණිය මහතා පෙන්වා දී ඇත. ඊට පිළියමක් වශයෙන් බොත්තමක් තද කලවිට යාන්ත්‍රික අතක් එලියටවිත් මහජනයාට අත වනන තාක්සණයක් අඩංගු රථයක් නිපදවා සිරී ලම්කාවට එවීමට රේන්ජ් රෝවර් කොම්පැනියට ඇනවුම් කීරිමට අවස්ය කටයුතු කෙරෙමින් පවතින බව ජනාපෙති මාජ්ජිය පොරකාසක මහතා පැවසීය..

ටං...ටිං...ටුං... ආර්.ආර්. ඒ. විරුවා......එම්.බී.පී. සැමදා...

****************************************

මේ අතර නාගධාතු සාමග්‍රී දර්ම සංග සබාව පසුගියදා පුවත්පත් නිවේදනයක් නිකුත් කරමින් කියාසිටියේ මහජනතාවට අත වනමින් අදිවේගී මාර්ගයේ එතුමා කල මේ සංචාරයට උපහාර ලෙස "අදිවේගීමාර්ගාදීස්වර හස්ත මෝචන ගවුරාවාබිදාන" නම්බුනාමය එතුමා වෙත පිලිගැන්වීමට තමන් අදහස් කරන බවයි...

ටං...ටිං...ටුං... ආර්.ආර්. ඒ. විරුවා......එම්.බී.පී. සැමදා...


LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...