Saturday, August 6, 2022

681. ආ...තෙරුවන් සරණයි කියල මෙතනිං අත්සං කරන්ටකො....

මේ දවස්වල අර  තෙරුවන් සරණයි වීඩියෝ එක ට්‍රෙන්ඩිං වෙනවනෙ..

ඒ වීඩියෝව නුදුටු දුහුණන් දැනුම් උදෙසා - ඒකෙ තියෙන්නෙ රෙජිස්ට්‍රාර් නෝන කෙනෙක් මනමාලිට "ආ..එහෙනං තෙරුවන් සරණයි කියල මෙතන අත්සන් කරන්නකො..."  කිව්වම මනමාලි අහනව "තෙරුවන් සරණයි කියල ලිව්වම ඇද්ද? අත්සන් කරන්නත් ඕනද?" කියල..

මටත් මතක් උනා ඔය වගේම කතන්දරයක්..ඔය අපි වැලිකන්දෙ ඉන්න කාලෙ..මහවැලියෙ වැඩ...90/91 වගෙ කාලෙ...

අපි හිටපු ඩෝමිටරි එකේ ඉඳල ඔෆිස් එකට තිබ්බ කිලෝමීටරයක් වගෙ දුරක්...කලින්ම පොත්වල අත්සන් කරල ඔය කාලෙ වෙනකොට අපිට ඇවිල්ල තිබ්බ අත්සන් කරන මැෂින්....ඒ මුල්ම යුගයෙ අස්සං මැෂින්....බිත්තියෙ  හයි කරපු ලා කහ පාට පොඩි යකඩ පෙට්ටියක ඉස්සරහින් පොඩි කවුළුවක් තියනව. අඟලක් විතර උස සහ අඟල් හයක් විතර පළල. ඔය කවුළුවෙ පිටිපස්සෙං තියනව කඩදාසි රෝලක්. අර බස් කොන්දොස්තරල ටිකට් මැෂිමට දාන්නෙ අන්න ඒ වගෙ එකක්..

අපි අත්සන ගහල අර පැත්තකින් තියෙන හැඬල් එක එක පාරක් පල්ලෙහාට කරකවල අතාරිනව..එතකොට ඔටෝ අපෙ අත්සන ගාවින් එදා දිනෙයි වෙලාවයි ප්‍රින්ට් වෙලා කඩදාසි රෝල කැරකිලා පල්ලෙහාට යනව. පෝලිමේ ඊලඟට ඉන්න ගොබිලටත් තියෙන්නෙ ඒකම කරන්න. අත්සන් කලා.....හැඬල් එක කැරකුවා.....ඊලඟ එකාත් අත්සන් කලා... හැඬල් එක කැරකුවා...

දවස අවසානයෙ කවුරුහරි ඒ සබ්ජෙක්ට් එක බාරව ඉන්න ක්ලාක් හරි පියන් හරි රෝල එලියට අරගෙන අඩි දෙකක් වගෙ දිගට කෑලි කපල විසාල පොතක අලවනව. ඊට පස්සෙ එක එක්කනාගෙ නම ඉස්සරහිං පැමිණීම සහ පිටවීම ලකුණු කරනව තවත් පොතක. මාසෙ අන්තිමට අපිට ඕ.ටී. ගණනය කරන්නෙ අන්න ඒ පොත අනුව. අපේ ඕ.ටී. වලට කිව්වෙ හෝරානුකූල දීමනා නොහොත් Hourly Allowance කියල...

එක මාසයක් අහවර වෙනකොට ඒ මාසෙ වැඩ කරපු මුළු පැය ගණන ගණං කරල ඒකෙං 240ක් අඩුකරල ඉතුරු පැය ගාණට ඕ.ටී. හදල ගෙවනව..ඔය 240 සීන් එක මෙහෙමයි..දවසක රාජකාරි පැය ගණන 8 යි මාසෙ දවස් 30යි. එතකොට 30 x 8 = 240..

මම කිව්වනෙ අපේ ඩෝමිටරි එකේ ඉඳල ඔෆිස් එකට කිලෝ මීටරයක් වගෙ තියනවයි කියල..අපේ උදේ ඔන් එක 6.00 ට. ඔය පාන්දර නැඟිට්ට ගමං දණි පණි ගාල අස්සන ගහන්ට දුවන එකත් සෙල්ලං නෑ...ඉතිං ඔය ප්‍රශ්ණෙට විසඳුම තිබ්බෙ එකෙක් නියෝජිතයෙක් විදිහට ගිහිල්ල වැඩේ කරල එන එක..ඒකට එක්ස්පර්ට් කෙනෙක් හැම ඩෝමිටරි එකකම වගෙ හිටිය..කොටින්ම ඒක පුද්ගල කොමිෂන් සභාවක් වගෙ එකෙක්...

ඉතිං අර තෙරුවන් සරණයි කතන්දරේ තාම කිව්වෙ නෑනෙ..මේ ඒක කියන්ට පසුබිම තමයි සකස් කරගෙන ආවෙ..පඳුරු එහෙම තලල...ඔය පඳුරු තැලිල්ලෙ කතාව එන්නෙ දකුණු රටෙන්.. 

අවුරුදු පණහකට වගෙ ඉස්සර කුරුඳු වගාව එහෙ ක්‍රමවත්ව වැවිල්ලක් වගෙ කෙරුනෙ නෑ....ඔහෙ කැලෑවල කුරුඳු පඳුරු හැදුන...පෝර දැමිල්ලක් වතුර දැමිල්ලක් නෑ...කුරුඳු තලන කාලෙට ඉඩම අයිති කාරයො ගිහිල්ල කුරුඳු කපාගෙන එනව....ඉතිං ඒ වෙනකොට කුරුඳු පඳුරු වටේට මාන ඉලුක් එහෙම ගන සැරේට වැවිල...කුරුඳු පඳුරට කිට්ටු වෙන්නවත් බෑ...ඉතිං ඕකට කරන්නෙ කුරුඳු කපන්ට දවස් දෙක තුනකට කලින් මිනිස්සු දම්මල අර වල් පඳුරු ඔක්කොම තලල දානව...ඒකට තමයි පඳුරු තැලිල්ල කියන්නෙ...පසුබිම සකස් කිරීම...

නමුත් ඉංග්‍රීසියෙන් Beating Around The Bush  කියන්නෙ වෙන තේරුමකින්...To talk about lots of unimportant things because you want to avoid talking about what is really important...

හරි දැන් ඔන්න ප්‍රස්තුත කතන්දරේ...ඉතිං ඔය මැසිමෙ අත්සන් කලාම අත්සන කාගෙද කියල හොයාගන්ටම බෑ...පොතේ අත්සන් කරන කාලෙ නම් නමත් ලියනවනෙ...මේකෙ තියෙන්නෙ අත්සන විතරයි...අනික අත්සන කියන්නෙ කියවගන්ට පුලුවන් වෙන්ට ඕනෙයි කියල නීතියකුත් නෑනෙ..ගොඩක් එවුංගෙ අස්සං එක්කො පොඩි එවුං බලි ඇන්ද වගෙ..එහෙමත් නැත්තං මිනී ඔලුවක්..සමහරුන්ගෙ අස්සන දැක්ක ගමන්ම මතක් වෙන්නෙ මොකක් හරි අවයවයක්...ගොඩක් ඔය අසභ්‍ය අවයව කියන්නෙ අන්න එව්ව.. තව ඉර හඳ තරු එහෙමත් තියනව..

ඔන්න ඔය හින්ද අපි ඔක්කෝටම දීල තිබ්බ ඉංග්‍රීසි අකුරු දෙකක් සහ අංකයක්....අපි සිද්ධපුර ඔෆිස් එකේ වැඩ කරපු හින්ද ඉංග්‍රීසි අකුරු දෙක ඇවිල්ල SP...අංකය අපේ බොස්ගෙ අංකය 1....එතන ඉඳල පල්ලෙහාට..මගෙ අංකය තිබ්බෙ 84ද කොහෙද...ඒ කියන්නෙ මගේ අංකය ඇවිදිල්ල හිට SP 84..මම කරන්නෙ අත්සන ගහල ඊ ගාවට SP 84 කියල ලියනව..

ඔන්න දැං තමයි හරියටම කතන්දරේට එන්නෙ... අපේ එකෙක් බැන්දා...පොර මේ දකුණෙ එකෙක්..අම්බලංගොඩ දිහාවෙ..මඟුලට ඉස්සෙල්ල රෙජිස්ට්‍රේෂන් එක තිබ්බ...සාක්කියට අස්සන් කරන්ට ඒ කිට්ටුවම ගෙවල් තියන අපේ තවත් යාලුවෙකුත් එක්කගෙන පොර ගියා....පහුවෙනිදම අර  සාක්කි බුවා ආපහු ආව..

එදත් හවස අපි සුපුරුදු පරිදි පොඩි කර්මාන්තයකට සෙට් වුනා..ටිකක් විතර කන් දෙක එහෙම රත්වීගෙන එනකොට ඔන්න කලිං දවසෙ තිබ්බ අරූගෙ රෙජිස්ට්‍රේෂන් එක ගැන කතාව ඇදිල ආව..

අපි ඉතිං අර විට්නස් ඩයල් එකෙං ඇහුව විස්තර.."මොකද මචං උනේ ඉතිං? විස්තර කියහංකො.."

"ඒයි යකෝ..මාර වැඩක් උනානෙ..අනේ බං අරූ ආහම මම කිව්ව කියල එහෙම කියන්ට එපා ඔන්න..ඕකා මාව මරයි..."

"නෑ..නෑ..පිස්සුද බං? අපි එහෙම කියනවද? කියහංකො විස්තරේ.."

"අඩේ මූ කසාද පොතේ අත්සන් කරල SP 90 කියල යටිං ලිව්ව කියහංකො.." 

(අර අස්සං මැසිමෙ අස්සන් කරනකොට උගෙ නොම්මරේ SP 90) 

"මල කෙලියයි..ඉතිං යකෝ ඊගාවට?"

"රෙජිස්ට්‍රාර් නෝන ඒ ගමන ඇහුව මේ මොකක්ද මේ? කියල...ඒ පාර ඉතිං ඇත්තම කිව්ව..වෙන අහවල් දෙයක් කියන්ටද? පස්සෙ ඒ කොලේ ඉරල අයිං කරල ආයම ඊලඟ කොලේ ආපහු මුල ඉඳල අත්සන් ගැහුව..හෙහ්..හෙහ්.."

පලි - ඔය මඟුල් අත්සන් කිරිල්ල සම්බන්ධ තව කතන්දරයක් තියනව මම කාලෙකට ඉස්සෙල්ල අහපු..

ඔන්න එක බුවෙක් බඳින්ට ගිහිල්ල  රෙජිස්ට්‍රාර් "ආ මෙතන අත්සන් කරන්ඩ.."  කියල තැන පෙන්නුවම මේ බුවා අත්සන් නොකර බොහොම අසරණ විදිහට වට පිට බලනවලු..කට්ටියම මේ මොකද සීන් එක කියල ඉන්නකොට දෙවෙනි මනමාලය පට ගාල ඉස්සරහට පැනල විවාහ ලියාපදිංචි පොත තියල තිබ්බ මේසෙ උස්සල එහාට මෙහාට හොල්ලන්ට පටං ගත්තලු..

ඔන්න ඒ ගමන මනමාලයත් පුටුවෙන් නැඟිටල හිටගෙන හිනාවෙලා එහෙම කිසි අවුලක් නැතුව අත්සන ගැහුවලු..දෙවෙනි මනමාලය මංගල සබා තොමෝ අමතල කිව්වලු.."අපි දෙන්නම බස් කොන්දොස්තරල..බස් එක ගැස්සෙද්දි හිටගෙනම ටිකට් ලියල අපිට එහෙම නැතුව ලියන්ට අත්සන් කරන්ට එහෙම අමාරුයි.." කියල...

33 comments:

  1. Replies
    1. සොඳුරු සඳවතී,

      බෝම කාලෙකිං...දැං කොහොමෙයි? ඔහෙගෙ කේටරිං බිස්නස් එක නැඟල යනවය? :)

      Delete
  2. දෙවෙනි කතාවනං අහල තියෙනව. අරූ ඉතිං තමංගෙ විලාසම ඔය කොලේ ගැහුවයි කියල මක්වෙනවද. ඕක ඉරන්න ඕනැයි.

    අර වීඩියෝ එකේ මට තේරුන විදියට මනමාල ඩෑල් එක තෙරුවන් සරණයි කියල අත්සන් කරන තැන ලියනව.

    ReplyDelete
    Replies
    1. Prasanna,

      /රූ ඉතිං තමංගෙ විලාසම ඔය කොලේ ගැහුවයි කියල මක්වෙනවද/

      එතන එහෙමනම් ඌට කියන්න තිබ්බෙ මගෙ අත්සනට ඔය SP 90 කියන එකත් අයිතියි කියල.. :)

      /අර වීඩියෝ එකේ මට තේරුන විදියට මනමාල ඩෑල් එක තෙරුවන් සරණයි කියල අත්සන් කරන තැන ලියනව./

      මට නම් තේරුණෙ මනමාලි තමයි කන්පියුසියස් වෙලා ඉන්නෙ අත්සන් කරන්නද තෙරුවන් සරණයි කියල ලියන්නද කියල.....අර රෙජිස්ට්‍රාර් නෝනා කියන්නෙ "නෑ නෑ නෑ අත්සන් කරන්න අත්සන් කරන්න.." කියල..

      Delete
    2. රවී තුමා,

      මටත් හිතෙන්නේ ඒ වීඩියෝ එකේ උනේ ප්‍රසන්න තුමා කියන දේ තමයි. මනමාල මහතා තෙරුවන් සරණයි කියලා ලියපු නිසා තමයි මනමාලි අත්සන් කරන්න කලින් පැහැදිලි කරගන්න හිතාගෙන අරහෙම ඇහුවෙ.

      අත්සන යටින් SP 90 ලියපු එකට නම් හරි හිනා. කොහොම හරි තෙරුවන් සරණයි සිදුවීම නිසා ඔබතුමාට ලිපියක් දාන්න හිතුණු එකම මදැයි.

      Delete
    3. Maanavikaa,

      මටනම් ඒ මනමාලි කියන එක පැහැදිලි නෑ..අනික ඒ මනමාලිම ඊට පස්සෙ මනාලයට මේ වීඩියෝ එකට ප්‍රතිචාරයක් දාල තිබ්බ මම මෙතරම් ප්‍රසිද්ධියට පත්කිරීම ගැන බොහොම ස්තූතියි කියල..( ඒක කවුරු හරි එකෙක් හදපු එකක් වෙන්නත් පුලුවෙනි )

      අනික සමහරු දොස් කියලත් තිබ්බ මනමාලයට මනමාලිව ලෝකයා ඉදිරියේ ලැජ්ජාවට පත් කලාය කියලත්. ඔන්න ඔය හේතු කාරණා හින්දයි මම හිතුවෙ මෙතන මනමාලියි එහෙම අහන්නෙ කියල.. :)

      Delete
    4. මනමාලි සර්කෑස්ටික් ටෝන් ඒකකින් තමයි අහන්නේ, කෙල්ල ගවුමක් අැදලා හොද ප්‍රෙෂ් මූඩ් ඒකක හිටියේ, බෞද්ධ නොවෙන බව පැහැදිලියි,

      Delete
    5. ප්‍රසන්න තුමා, මානවිකා තුමිය සහ ඇණයා තුමා...

      හරි ..හරි..ඔබ තිදෙනාම හරි..වඩා පැහැදිලි හඬ සහිත වීඩියෝවක් දැක්ක ඔය අදාල සිද්ධියෙ..ඔබලා හරි..මනමාලය තමයි ග්‍රාම භක්ෂණය කරන්නෙ.. :)

      Delete
  3. ආ එතකොට දැන් තෙරුවන් සරණය කියල අස්සනක් තියෙන්ට බැරිය.... හෙහ්..හෙ😂

    දාසක් මං කෑස් කරගන්ට කොම්පැනියක චැක්එකක් ඇන්න බැංකුවට ගියා. එකේ අත්සන තිවනෙ සිරස් අතට ඉරි කෑල්ලක උඩහින් තොප්පි කෑල්ලක් එක්කලා.... කවුන්ටරේ කෙලිත් ඇහේ පොට යනකං බලාන ඒ දිහා

    ReplyDelete
    Replies
    1. නමියා,

      මම අහල තියනව ඩියේගෝ මැරඩොනාගෙ අත්සන අන්තිමට පොර No. 10 කියලත් ලියනව කියල. පොරගෙ ජර්සි එකේ නොම්මරේ 10. පේලෙ ගෙත් No. 10.......

      Delete
  4. කාලෙකින් ආවෙ. හෙහ් හෙහ්!

    ReplyDelete
    Replies
    1. පේරා,

      කාලෙකින් හරි ආවනෙ..ඒ හොඳටම ඇති.. :)

      Delete
  5. ස්තූතියි කාලෙකින් හිනාවෙන්න කතාවක් ලිව්වාට

    ReplyDelete
    Replies
    1. Kush,

      ඔබටත් ස්තූතියි කුෂ් පෝස්ට් එක කියවීම සහ ප්‍රතිචාරය පිළිබඳව.. :)

      Delete
  6. මේ වගේම කතාවක් අහලා තිබෙනවා ඒත් විවාහය ලියාපදිංචි කරන පොතේ අත්සන් කිරීමකදී. ඒ ජෝඩුව බොහොම පිටිසර ගමක දෙදෙනෙක්. පිරිමියා ලියන්නේ කියන්නේ "හෙළ බසින්" නමේ මුල අකුරු ලියන්නෙත් සිංහල අකුරු වලින්මයි. කාන්තාව තරමක් මෝඩ පහේ. පිරිමියා පන්නිල කන්කානම්ගේ යන තම වාසගමේ මුල් අකුරුත් සමග සිරිපාල කියා අත්සන් කළා. දැන් මනමාලිගේ වාරය. එයා සිරිපාලගේ අත්සන දැක හොඳටම ලජ්ජාවෙන් වගේ, තමන්ට හැඟෙන විදියට මුලකොටසත් සමග සීලවතී කියා තමන්ගේ අත්සන තැබුවා. ( මෙහි නොලියු කොටස් සිතා බේරුම් කර ගන්න)

    ReplyDelete
  7. දයා මහත්මා,

    දෙයියම්පල්ල ඔබතුමාත් දන්න කතා... හෙහ්..හෙහ්..

    මේ මම මුලකුරු වලින් සංක්ෂිප්තව හැඳින්වීමක් ගැන කාලෙකට ඉස්සෙල්ල ලියපු කතාවක්.

    මම මුලින්ම අර ව්‍යාපෘති වලට නම් දැමිල්ල ගැන කියාගෙන ආවෙ පොඩි කතාවක් කියන්ට හිතාගෙන.... ඉන්ටකො ඒකත් කියලම ඉන්නං එහෙනං….

    ඔය එක එක ව්‍යාපෘති වලට අමුතු අමුතු නම් දානවනෙ නගර වල ගම් වල නම් වල කොටස් එකතු කරල...මේ සිද්ධිය උනේ අනූ හතරෙ පොදු පෙරමුණ ආණ්ඩුව බලයට පත් වෙච්ච අලුත. ඔන්න ඉඩම් වලට ඔප්පු ප්‍රදානය කිරීමේ වැඩ පිළිවෙලක් පටන් ගත්ත, මට මතක විදිහට එතකොට හිටිය ඉඩම් ඇමති, දැනට අගමැති දි.මු. ජයරත්න මහත්මයගෙ ප්‍රධානත්වයෙන්...

    ඕකට නම දාල තිබ්බෙ අමා ව්‍යාපෘතිය කියල...මම සේවය කරපු ආයතනය තමයි අපේ බල ප්‍රදේශය තුල ඉඩම් සම්බන්ධ කටයුතු ඔක්කොම කලේ. ඒ නිසා අපිටත් සම්බන්ධ වෙන්ට උනා ඔය අමා ව්‍යාපෘතියට.

    ඔන්න සෙනසුරාද දවසක උදේ තිබ්බ අමා ව්‍යාපෘතිය සම්බන්ධව දැනුවත් කිරීමේ රැස්වීම.අළුතෙන් රජයක් පත්වුනු ගමම්මනෙ. මම හිතන්නෙ කොලඹින්ම ආව ලොකු නිලධාරීන් රොත්තක් පත ටයි එහෙම පැළඳගෙන. ඇවිල්ල බොහොම බරසාර දේසනා එහෙම කලා මේ ව්‍යාපෘතියෙ පරමාර්ත මොනවද?..මේකෙ මුඛ්‍යඵල කාර්ය සාධනය කරන්නෙ කොහොමද?...තීරණාත්මක ප්‍රවේශය බලගන්වන්නෙ කොහොමද? රටේ නැති එව්ව..

    සෙනසුරාද අපිට වරුවයි වැඩ..අපි මේ ගෙදර යන්නෙ කොයි වෙලාවෙද කියල ඉන්නෙ, ඔය මම බඳින්ට කලින්..සෙනසුරාද සාමාන්‍යයෙන් දින චරියාව මෙහෙමයි..සෙනසුරාද උදේ අපෙ තියනව රැස්වීමක්.. පහුගිය සතියෙ ප්‍රගතිය සමලෝචනය, ඉදිරි සතියේ කල යුතුදේ තීරණය කිරීම ඔව්ව තමයි ඔය රැස්වීමෙ පරමාර්ථ.. ඊට පස්සෙ අපි කට්ටිය කිට්ටුව පාත තියෙන කාගෙ හරි ගෙදරකට සෙට් වෙලා පොඩි අඩියක් එහෙම ගහල බත් ඩිංගකුත් කාලම තුනට වගෙ නගිනව බස් එකට..මේ ආතල් එක කැඩෙන නිසා මේ අමා මඟුල ගැන අපි ඔක්කොටම මල පැනලයි හිටියෙ.

    ඔන්න යන්තං දේසනා ඉවර උනයි කියමු. මම බැලුව ඔරලෝසුව...දොළහට කාලයි..අවුලක් නෑ තව වෙලාව තියනව..

    " හරි අමා ව්‍යාපෘතිය පිළිබඳ පැහැදිළි කිරීම අවසානයි. මම හිතනව ඔබ සියල්ලන්ටම මේ වැඩ පිළිවෙල බොහොම අපූරුවට වැටහෙන්ට ඇතිය කියල. ඒත් මොනව හරි ගැටළුවක් තියනව නම් කරුණාකරල අහන්ට . අපි ලෑස්තියි පිළිතුරු දෙන්ට.." කොළඹිං ආපු ප්‍රධාන නිලධාරි මහත්මය බොහොම ප්‍රිය ජනක විදිහට හිනා උනා අපි ඔක්කොගෙම මූණ බලල.

    ප්‍රශ්න අහන්ට නෙවෙයි අපි මේ එතනිං පැනගන්නෙ කොහොමද කියල ඉන්නව ඇඟිලි ගැන ගැන..අපි එකෙක්වත් නැඟිට්ටෙ නෑ..කියපු දේවල් ඔක්කොම සක් සුදක් සේ පැහැදිලි උනා වගෙ කරබන උන්න අපි හැමෝම.

    උසස් නිලදාරි මහත්තය සිනාමුසු මුහුණින් බලා ඉන්නව..ඔන්න විනාඩියක් විතර ගෙවිල ගියා. අපි හැමෝම බිම බලාගෙන..

    " හරි එහෙමනං ප්‍රශ්න මොකවත්....."'....නිලදාරී තුමා එහෙම කියනකොටම ඔන්න පුටුවක් පොළවෙ ඇදෙන සද්දෙ ඇහුන. ඔක්කොමල හැරිල බැලුව. ඒ අපේ ප්‍රජා සංවර්දන නිලදාරී මහත්මය. මිස්ට විජේපාල...වයස එතකොටත් පණස් පහත් පැනල..කොයි වෙලෙත් කටේ අලි හපයක්.ඕක නිදා ගන්නකොටත් කටේ කියලයි අපෙ කොල්ලො කියන්නෙ...මේ ලොක්ක මොනව අහන්ට යනවද මංද?....සද්ද නැතුව ඉන්නෙ නැතුව...විජේපාලට හිතිං බැණ බැණ අපි බලං හිටිය මොනවද මේ ලොක්ක අහන්ට යන්නෙ කියල...

    විජේපාල මහත්තය දකුණු හක්කෙ තියන විට වම් හක්කට මාරුකරගත්ත...දෙතුං පාරක් කට එහෙම රවුං කරල හැපුව විටේ...උසස් නිලදාරී මහත්තය දිහා බලාගෙන කතාකලා කටේ දකුණු පැත්තෙං…

    " මහත්තයො මට එක ප්‍රශ්නයක තියනව.."

    " ඔව්..මහත්මය අහන්න බලන්න ඔබේ ප්‍රශ්නය.."

    " ප්‍රශ්නෙ මේකයි. ඔය ව්‍යාපෘතියට අමා කියල නම ලැබුනෙ කොහොමද? "

    උසස් නිලධාරී මහත්මය බොහොම සුන්දර විදිහට හිනා උනා..

    " ඇත්තටම හොඳ ප්‍රශ්නයක්..මට පුදුමයි මේ වෙන කාටවත් ඒ ප්‍රශ්නෙ මතු වුනෙ නැති එක. හරි ඒ නම හැදුනෙ මෙහෙමයි..අපි මුලින්ම මේ කර්තව්‍යය පටන් ගත්තෙ අනුරාධපුර සහ මාතලේ යන නගර මුල්කරගෙන. ඒ නම් දෙකේ මුල් අකුරු වලින් ඒ කියන්නෙ අනුරාධපුරෙන් අයන්නත් මාතලෙන් මා යන්නත් අරගෙන තමයි අමා කියල අපි නම් කලේ.."

    විජේපාල මහත්තය ආයෙම විට වම් හක්කෙ ඉඳල දකුණු හක්කට මාරුකලා. කට රවුම්කරල විට හැපුව . මේ පාර කතා කලේ කටේ වම් පැත්තෙං

    " හොඳ වෙලාවට ඔය මහත්තැංලට හිතුනෙ නැත්තෙ මේ වියාපුරුතිය හුන්නස්ගිරියෙනුයි කාත්තාන්කුඩියෙනුයි පටන් ගන්ට. "

    උසස් නිලදාරි මහත්තයගෙ හිනාව අතුරුදන් උනේ රෙදි කෑල්ලකිං පිහල දැම්ම වාගෙ. ඒත් එක්කම අපි ඔක්කොගෙම හිනාව එක පාරටම පිපුරුණා. ඒත් කිව්වට විස්වාස කොරන්ට. විජේපාල ලොක්ක එක හිනා කඳුලක්වත් නැතුව විටේ හප හපා හිටිය එහෙම්මම හිටගෙන.

    පහුවදාම ෆැක්ස් එකක් ආව විජේපාල මහත්තයගෙ වැඩ තහනං කරල රාජ්‍ය සේවය අපකීර්තියට පත් කිරීම චෝදනාව..මාස දෙහෙකට විතර පස්සෙ විනය පරීක්ෂණයකුත් තිබ්බ.ඒත් සාමාන්‍යයෙන් අපෙ ආයතනයෙ ඔය විනය පරීක්ෂණ වලට සිද්දවෙන අනිවාර්ය ඉරණම ඒකටත් අත් උනා. දෙතුන් පාරක් පරීක්ෂණේ කල් යනකොට හැමෝටම ඕක එපා වෙනව. අනිවාර්ය ප්‍රතිඵලය චූදිතය නිදහස් වෙනව. විජේපාල මහත්තයට විරුද්ධ පරීක්ෂණයටත් ඒකම සිද්ද උනා. ඊලඟ අවුරුද්දෙ මිනිහ විශ්‍රාම ගියා.

    ReplyDelete
    Replies
    1. තවත් ඔය වගේ සිද්ධියක් මතක් උනා රවී. එකත් ලියලා දාන්නද කියලා ටිකක් හිතුවා. පස්සේ තීරණය කළා ඔන්න ඔහේ ලියන්නම් කියලා. මේ මම විභාග දෙපාර්තමේන්තුවේ වැඩ කරන කාළේ. ඒ කාළේ තිබුණනේ "අඛණ්ඩ ඇගයීම" කියලා මහත් පෙරළිකාර අධ්‍යාපන සංවර්ධන වැඩ සටහනක්. මේ වැඩ සටහනේ විද්‍යා අංශයේ ඇගයීම් ආකෘති සකස් කිරීම සහ ඒවා ගැන ගුරුවරු දැනුවත් කිරීම පැවරී තිබුණේ මට. මේ කාලේ ත්‍රස්තවාදය හොඳට මුල්බැසගෙන තිබුන කාලේ. එක දවසක් උදේ මම කාර්යාලයට යනවිට මේසය උඩ ලොකු ලියුම් කවරයක දැමු යමක් තිබුණා. ඒක බෝම්බයක් නොවන බව හොඳට පරික්ෂා කරලා ඇරලා බැලුවා. එහි තිබුණේ අර ඒ කාළේ ඉතාමත් ජනප්‍රිය අත් අකුරෙන් ලියපු පෝස්ටරයක්. එකේ තිබුණේ " අඛණ්ඩ හූශාව (ඇගයීම)" වහාම නතර නොකළහොත් මරණය. කියලා. මමත් 'ඇගයීම්' වැඩේ ඊට පස්සේ තාවකාලිකව නතර කළා.

      Delete
  8. පරණ පෝ ස්ට් ඔක්කොම වගේ බැලුවා... කථා සාගරයක්..

    ReplyDelete
    Replies
    1. Lalith,

      ස්තූතියි ලලිත්..එහෙම හිටු කියල ලියපු කාලෙකුත් තිබ්බ..දැං ලිවිල්ල මඟෑරිලයි තියෙන්නෙ..දන්නෙ නැද්ද ඉතිං කාලෙං කාලෙට එහෙම තමයි..ආයම මොක මොකවත් ලියන්නයි හිතාන ඉන්නෙ.. ;)

      Delete
  9. Harima rasawath katha deka.Palaweni kathawa warak kiyawala thibunath liyala thiyana apooruwata thawa sarayak kiyawala rasa winda,Bohoma sthuthiyi.

    ReplyDelete
    Replies
    1. සරත්,

      බොහොමත්ම ස්තූතියි සරත්..මගෙ දීර්ඝ කාලීන රසිකයෙක්...ඔබ දැකීමත් සතුටක්.. :)

      Delete
  10. කොමෙන්ට් වලට රිප්ලයි දාන්න දෙන්නෑබොල මට.

    බොලා දැක්කෙ නැද්ද කෙල්ල අරහෙම ඇහුවට පස්සෙ කොල්ල ආපහු පෑන අතට ගන්නව. ඒ වෙලාවෙ තමයි කොල්ලට කරපු ගොංකම තේරුනේ.

    ReplyDelete
  11. අර උන්දැ මොකටද තෙරුවන් සරණයි කීවේ. එයාගේ අතේ වැරැද්ද . 😆

    ReplyDelete
    Replies
    1. අජිත්,

      ඒක නම් හරියටම හරි..ඕන එකටයි එපා එකටයි ඔක්කෝටම ආගම පටල ගන්නව..කොහොම උනත් පස්සෙ ඒ අම්මණ්ඩි පාඩමක් ඉගෙන ගෙන වගේ..ඊට පස්සෙ මඟුලක වීඩියෝවක් එක්කෙනෙක් දාල තිබ්බ ඔය වීඩියෝ එකට ප්‍රතිචාර විදිහට ඒකෙ ඔය අම්මණ්ඩිමයි ඉන්නෙ තෙරුවන් සරණ කතා මොකවත් නෑ..නිකම්ම මෙතන අත්සන් කරන්නෙයි කියල කියනව.. :)

      Delete
  12. Replies
    1. මෙන්ඩා,

      වෙල්කම් සහෝදරයා..:)

      Delete
  13. හම්මේ ඉතිං... පරණ පුරුදු ට්‍රැක් එකට වැටේවා! අපට ටිකක් ලේ පිරිසිදු කරගන්ඩ, එක පෝස්ට් එකක් ඇති මාසෙයක් විතර මතක් කර කර හිනා වෙන්ඩ.

    ReplyDelete
    Replies
    1. අපට ටිකක් ලේ පිරිසිදු කරගන්ඩ KO Ube පෝස්ට් එකක්?

      Delete

  14. "තෙරුවන් සරණයි " කාලෙකට පස්සෙ ඉතිහාස පාඩම පටන් ගත්තට. හොරු රංචුව පහුබැහල නොයෙකුත් ප්‍රකාශ කරන එක ගැනත් සරුවලෝක පුට්ටුව හැදීම ගැනත් මොනවා හරි ලියනවනං හරි වටිනවා

    ReplyDelete
  15. රවී බඳින වෙලාවෙ උඩරට ක්‍රමයට බඳිනවද පහත රට ක්‍රමයට බඳිනවද කියල ප්‍රශ්ණයක් ආව නේද රෙජිස්ට්‍රාර් ඉස්සරහ?

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...