Wednesday, February 21, 2018

568. පුවක් එෂැණිං 42 - බ්‍රේකිං නිවුස් නාඩගම සහ බයියංගේ ජයග්ගරහනිය කණපිට හැරවීම....


පළාත් පාලන ඡන්ද විමසීම අනුව රජයේ ඉදිරි ක්‍රියාමාර්ගය
යහපාලන මාර්ගයේ ඉදිරියට ගමන් කීරිම පමනක් බවද
ඊට අන් විකල්පයක් නොමැති බවද මේ කාටූනයෙහි දැක්වේ.
- Cartoon By Namal Amarasinghe

රනිලා මහ අවාසනාවන්තය කියල කිව්වට එක අතකින් බැලුවම මිනිහගෙ වෙලාව නම් මාරයි. බැඳුංකර කේස් එකට කරමුලින්ම මාට්ටුවෙලා හත්පොලේ ගාගෙන ගඳ ගගහ හිටිය මනුස්සය. දැන් ඔන්න අන්තිමට මේ යකා නැතුව බැරි ගානට ඇවිල්ලයි කියමුකො. අර කෝටිපතියෝ ටෙලියෙ ලාරා කුමාර කියනව වගෙ "කොහොමද ඒක?"

අන්තර්ජාලයෙ පැලපදියං වෙලා ඉන්න පෙබුද්ද පෙරේක්සක ජනටාව නම් මං හිතන්නෙ කෝටි පතියෝ ගැන දන්නෙවත් නැතුව ඇති. දැං යන රැල්ල ඒකනෙ....දෙවෙනි ඉණිම, කෝටි පතියෝ, පිණි ගැන එහෙම දන්නෙවත් නැහැයි කියල ඔලුවෙ අත ගහල දිවුරන එක....නිකමට වගෙ අහල තියනව උනත් ඒ ගැන කතා කරන එකත් පංච මහා විලි ලැජ්ජාවෙං එකක් එහෙමත් නැත්තං පංචානන්තර්ය පාපකරුම වලට එකතු වෙච්චි හයවෙනි එකය කියල තමයි ඒ සිරා කස්ටිය හිතාගෙන ඉන්නෙ. 

ඔය ප්‍රබුද්ද කූම්බි ප්‍රේක්සකයිංගෙ සීන්ස් එකත් එක අතකට බලන කොට අද රටේ දේසපාලනේට වෙලා තියන දේට සමානයි කියලත් කියන්ට ඇහැකියි. ඒ කිව්වෙ දැං මෙහෙමයි. මම අර කලිං පාරකුත් කිව්වනෙ කූබි ඕනවට වඩා උඩ දාන එකං වෙන්නෙ එපාම වෙන එක කියල. ඔබ තමුන්නාංසේලාට නං කොහොමද මංද අනේ මටනං එහෙමයි. ඕනම දෙයක් ගැන ඕනවට වඩා මට කියන්ට ආවොත් මට එපාම වෙනව.

ඉතිං කූම්බි සීන් එක වර්තමාන දේස පාලනේට පෑහෙන්නෙ මෙහෙමයි. දහවෙනිද තිබ්බ ගංසබා චංදෙං මරාගෙ පොහොට්ටුව දින්නනෙ. සීයට පනහක් නොගත්තතත් දින්න. ඒක පිලිගන්ට එපාය. ඒත් මෙන්න බොලේ "ඔන්න කණෝ පිනුං" කිව්ව වගෙ මරාගෙ නීලකාසයො ටික රෙදි කරට ගත්තෙ නැද්ද මහ චන්දයක් ඕනය නැත්තං පොහොට්ටුවෙ ආන්ඩුවක් පිහිටුවන්ට ඕනය කියල. 

අර මැදමුලනෙ බත් බැලයො තුන් දෙනා තමයි පෙරහැරේ මුලිම්ම ආවෙ සලු පාලිය නටාගෙන. පචායුදේයි වාසුදේවයි එතනිං ගිහාම දිනෙස් ගොයියයි. දෙයියම්පල්ල ඔය වාසුදේව කියන කූතාඬියා කාලයක් මම කැමතිම දේසපාලන චරිතය වෙලා හිටිය කියල හිතෙනකොට තමයි සිරා හම්බවෙන්ට ගිහිල්ල අර මඩු වලිගෙ ඉල්ලගෙන මයෙම පස්චාත් බාගෙට හත අටක් තලා ගන්ට හිතෙන්නෙ.....මේ ඇත්තමයි!

ඔය සට්ටබියො තුන්දෙනා ඔච්චරම බෑඟිරි ගහන්නෙ වෙන මොකවත් හින්ද එහෙම නෙවෙයි උං දන්නව නීලකාසය ඇරෙන්න උංට වෙන කිසිම කිසි පිහිටක් නැතෙයි කියල. අනික දිනෙස් සහ වාසිදේව කොහොම වෙතත් මෝඩවංසය නම් ඉන්නෙ වැලිකඩ බිහිදොර අබියස. පාස්පෝට් කේස්, හොර අයිඩෙන්ටිටිකාඩ් කේස්, වාහන කේස්, ගෙවල් කේස් එකතු උනහම ඒ යකා දන්නව සෑහෙන කාලෙකට මහ උලු ගෙදර යන්ටම වෙනවයි කියල. ඒකනෙ ඔය හිරලෙ පාත්වෙනකල් කෑගගන්නෙ කටත් අප්පල්ලෙ වගෙ බලියගෙන.

ඉතිං පොහොට්ටුවංගෙ මේ කැම්බැල්ලයයි එතනිං ගිහාම අර සිරසෙ එවුං රනිලා එලවන්ට නටන නරි නාටකයි දැක්කම මිනිස්සුංට උනත් හිතෙන්ට ගත්ත යකෝ මේක හරි වැඩක්නෙව....මේ ගංසබා චංදෙ පැරදුනයි කියල අගමැති අයිං වෙන්ට ඕනද? මේක මාර කෙලියක්නෙ..එතකොට පොහොට්ටුවන්ටයි මහාරාජටයි ගිය රට එහෙනං ඈ? කියල. 

ඇත්තටම සද්ද වහල ටිකක් හිටියනං සම්ටයිම්ස් යූ ඇන්පී එකේ ඇතුලෙම්ම රනිල අයිං කරන්ට විරෝධයක් එන්ට තිබ්බ. මේ මල විකාරෙං උනේ යූඇන්පී එක ඇතුලෙ රනිලට තිබ්බ සපෝට් එක එහෙම නැත්තං අර බිගේඩියර් සිරිසගබෝ ගෙ අනුගාමිකයො කියන විදිහට ගැම්ම ආයම වැඩි වෙච්චි එක කියලයි මට හිතෙන්නෙ. 

ඇත්තම කිව්වොත් මට නම් අවංකව එහෙම හිතිලයි තියෙන්නෙ ඔන්න ආය අර අහවල් දේකටය බොරුවක් මුසාවක් කියන්නෙ. පහුගිය පෝස්ට් එකේ මම කිව්වනෙ රනිලා අයිං වෙන්ටම ඕනය කියල. ඒත් මේ වෙනකොට මම ඒ ස්තාවරෙං අයිං වෙලයි ඉන්නෙ. ඒ කිව්වෙ නීලකාසය නටන නැටිල්ලට මට නිකං බයක් වගෙ හිතෙනව මේ වසවර්තිය ආයම ආවොත් මොනවයිං මොනව වෙයිද කියල. ඒ හින්ද මේ වෙලාවෙ රනිල්ව අගමැතිකමේ තියාගෙනම ඉස්සරහට එන අවුරුදු දෙකේ රට පාලනය කරන එක හොඳයි කියලයි මට දැං හිතෙන්නෙ.

ඒ කියන්නෙ කොටින්ම වෙන මොකවත් නෙවෙයි බැඳුංකරේ මහ මොල කාරය උනත් මේ වෙලාවෙ මරා ප්‍රමුක නීලකාස නඩේ ආන්ඩුවක් පිහිටවීම වලක්වන්ට පුලුවන් රනිල්ට විතරක් නම් රනිලා රැකගන්ට ඕනය කියන එකයි මගේ ස්තාවරය. මොකද මම කලිනුත් කිව්වෙ මේ පට්ට හොරු ටික දඟලන දැඟලිල්ල මට කොහෙත්ම අල්ලන්නෙ නම් නෑ. 

හැබැයි එකක් තියනව....ඉක්මං උනා වැඩියි කියල නීලකාසයටත් තේරිලාදැයි කොහෙද...හෙහ්..හෙහ්...ඊයෙ මම දැක්ක කියනව විපක්ස නායක කම තිබ්බොත් ඇතිය කියල...දැං දන්නව කීයටවත් සිරා අගමැතිකම නම් දෙන්නෙ නැහැය කියල.

දැං සිරාටයි රනිලටයි තියෙන්නෙ වෙන මොකවත් නෙවෙයි කරපු මෝඩකං දෙන්නට සරියේ තවත් මෝඩකං නොකරං මරියේ කියල සමාදාන වෙලා 2015 චන්ද දෙකකිම්ම දුන්නු ජනවරමක් තියනවනෙ. අන්න ඒ ජන වරම අනුව කටයුතු කොරන්ට. 

ඒ ජන වරං දෙක දුන්නෙ කෙලිම්ම ආය වෙන දේකට නෙවෙයි නීලකාසයගෙ කාලෙ හොර මැරකං කරපු තක්කඩි රංචුවම අල්ලල කූඩු කරන්ට. එතකොට විනිවිද බාවයෙන් යුතු නව පාලනයක් ඇති කරන්ට. යහ පාලනය කිවෙත් ඒකට නෙව.එහෙම ජන වරමක් තියෙද්දි සිරයි රනිලයි දෙන්න එකාට එකා හොරෙං කරගෙන ගියේ ඩීල් දාන එක. රනිලා මරා එක්ක ඩීල් දැම්මලු. සිරා මහාරාජා එක්ක ඩීල් දැම්මලු. බලාගෙන යනකොට මේ යක්කුංගෙ හැසිරීම දැක්කම බොරුමත් නෙවෙයි මට පේන්නෙ ඔය ඩීල් කතන්දර.

කොහොමද දෙන්න එකතුවෙලා ඔය ඩීල් ඔක්කොම කැන්සල් කරල වෙච්චි පොරොන්දු ඉස්ට කරන්ට පටං ගත්තොත්...වට් අබවුට් ෆොර් ස්ටාටර්ස් සේ පුටිං ඕල් රාස්කල්ස් ඔෆ් මරා බිහයින්ඩ් බාර්ස්..අන්න කරනව නං වැඩේ...කොහොමද නිකමට වගෙ මම මේ කිව්වෙ විහිලුවට වගෙ එහෙම කලානං...හෙහ්..හෙහ්. ආන්ඩුව ගෙනියන්ට ආය වෙන නෝ හෝප්ස් ඇට් ඕල්.....

කොහොමද ගේම දුන්නනං බයියංගෙ ජයග්ගරහනේ උංටම පාරා වළල්ලක් වගෙ වෙන්ට. එහෙම උනොත් නං ආය නෑ කියල වැඩක් නෑ, මට වෙන මොකවත් ඕන නෑ. 

2020 චන්ද ගැන නිකමට හරි බලාපොරොත්තුවක් තියාගන්ට නම් එහෙම කරන්ටම වෙනව. ඒකෙ ආය දෙකක් නෑ. රනිල්ටයි සිරාටයි යන්තං හරි බලාපොරොත්තුවක් තියාගන්ට පුලුවන් වෙන්නෙ ඒ වගෙ දැඩි ක්‍රියාමාර්ගයකට එන්ටර් ද ඩ්‍රැගන් වෙනව නං විතරයි. එහෙම කලොත් විතරයි අර 2015 දි චන්දෙ දුන්නු රටේ අනාගතය ගැන හිතන මිනිස්සුන්ගෙ චන්ද ටික ආපහු සැරයක් ගන්ට වෙන්නෙ. එහෙම නැතුව බයියංගෙ චන්ද බලාපොරොත්තුවෙං අර එහාටත් නැති මෙහාටත් නැති ගොං පාර්ට්ස් දාන එකෙන් නම් කිසිම වගතුවක් වෙන්නෙ නෑ. ඒකෙ ආය දෙකක් එහෙම නෑ මට ඒක ඉරහඳ වගෙ විස්වාසයි. මොකද බයි චන්ද කඩන එක ලේසි නෑ. චන්දයක් කඩා ගන්ට  අදාල මනුස්සයට කාරනා කාරනා පැහැදිලි කරල දෙන්ට එපාය. අප්පට සිරි බයියො නොහොත් පොල් ලෙල්ලංට කරුණු පැහැදිලි කරල දෙනවට වඩා ලේසියි තිලංග ගොයිය ක්‍රිකට් සබාපතිකමින් එලවන එක. ඒ කියන්නෙ ඒ වැඩේ කොහොමවත් වෙන්නෙම නෑ කියන එක තමයි.  

“Never underestimate the power of stupid people in large groups.” ― George Carlin

බන්දුල ගුනවර්දන ආර්තික ඔස්තාද් ඒ අල්ලපනල්ලෙ මෙච්චර මහංසි වෙලා තමන්ට මේසා ජයග්ගරහනියක් අරං දුන්නු තම අනුගාමික බයි ජනතාවට නම්බු නාමෙකුත් ප්‍රදානය කරල. එතුමාට අනුව පොහොට්ටුවෙං පත් වෙච්චි නියෝජිතයො ඔක්කොම පොල් ලෙල්ලො. ඒ කියන්න චන්දෙ දුන්නු බයි ජනතාවත් ඇවිල්ල පොල් ලෙල්ලො.

ආ..තව කාර්ණයක් කියන්ටම ඕන..මම සාමාන්නියෙං හාමුදුරු ගොල්ලංට හොඳක් කියනව බොහොමත්ම අඩුයි. වෙන අහවල් දෙයක්වත් හින්ද නෙවෙයි අපේ සාදුලගොල්ල කොරන්නෙම දෙකයි පනහෙ මරි මෝඩ වැඩ හින්ද..අන්න ඒකයි..

ඒත් මේ ඊයෙ පෙරෙයිද මල්වතු නායක හාමුදුරුවො කියල තිබ්බ කටේ දැහැත්විටක් දාන්ට වටින කතාවක්. එතුමා කියල තිබ්බෙ මේ වෙලාවෙ ජනාදිපතියි අගමැතියි කරන්න ඕන රට තවත් අස්තාවර කරන්නෙ නැතුව 2015 ජනවාරි 8 වෙනිද රටේ බහුතරයක් ජනතාව තම කැමැත්ත ප්‍රකාස කලේ යම් දෙයකටද අන්න එව්ව ඉටු කරන්ට වැඩ කටයුතු කොරන එකය කියල. 

ඒ කියන්නෙ එතුමා නොකියා කිව්ව මේ තිබ්බෙ ගංසබා චන්දයක්ය ඒ හින්ද ඒකෙං ආන්ඩු වෙනස් කරන්ට උඩ පනින අයට බම්බු ගහගන්ටෙයි කියල තමන්ගෙ වැඩ කටයුතු ඉස්සරහට කරගෙන යන්ටය කියල. මට හිතෙන්නෙ මල්වතු හාමුදුරුවංගෙ ඒ ප්‍රකාසෙං පස්සෙ තමයි මරාගෙ තක්කඩි ටික කටවල් වහගෙන පැත්තකට වුනේ. මං හිතන්නෙ අපේ බයියන් නොහොත් පොල් ලෙල්ලංගෙත් හුළං බැස්සෙ ඒ කතාවෙං පස්සෙ.

එකොළොස් වෙනිද හවසම නාමෝල් ලොකු බේබි ලැම්බෝගිණිය එහෙම පිහදාල කරල එළියට ගත්තයි කියල ආරංචියකුත් රට පුරා පැතිරුනානෙ. සම්ටයිම්ස් මල් වත්තෙ හාමුදුරුවන්ට බයක් වගෙත් හිතෙන්ට ඇති නාමෝලා ආයම පාරක් නුවර වැව වටේ රේස්පදින්ට එයි වත්දෝහෝයි කියල...හෙහ්...හෙහ්...

මේ දවස්වල මුහුණු පොතේ යන පෝස්ට් වලට හිනා කාල මැරෙනවා ඕයි! මේ එකක්...

මෙන්න සිරස බ්‍රේකිං නිව්ස් - අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මීට සුලු වේලාවකට පෙර බොග දැමීම සඳහා ජනාධිපති මන්දිරය පසුපස ඇති කහඹිලියා පඳුරක් අස්සට රිංගූ බව සිරස නිව්ස් පස්ට් වෙත වාර්තා වී ඇත. ඒ බොග දැමීමේ කර්තව්‍යයේ වැඩි දුරටත් විස්තර ඔබ වෙත ගෙන ඒම උදසා අප මාධ්‍ය කණ්ඩායම මේ වනවිටත් අදාල කහඹිලියා පඳුර වටා රැකවල් ලා සිටිනවා.

මේ ඒ නිව්ස් එකට ආපු කමෙන්ට්ස් දෙකක්....

එසේ පැදුරක් අස්සෙ බොකක් දැමීම සදහා ජනාධිපතිවරයාට හැකියාව 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව හැකිදැයි නීතිපතිගෙන් විමසා තිබෙනවා..

19වන ව්‍යවස්තා සංසෝදනේ අනුව කහඹිලියා පඳුර යට ඇනතියාගත් වනම පුක සේදීම වියවස්තානුකූලදැයි නීතිපතිගෙ උපදෙස් ලැබෙනතුරු එතුමාතම පුක සේදීම මාසයකින් කල්දමා ඇති බවද මේ මොහොතේ අපට දැන ගන්නට ලැබුනා නරඹන්නනි!

We report... you decide!

Friday, February 16, 2018

567. 21 වන වර්ණදේහය සමඟ පියකු සහ දියණියක අතර සෙනෙහස ගැන කතා දෙකක්....

"No one in this world can love a girl more than her father"


අවුරුදු දෙහෙකට වගෙ ඉස්සර මම ලිව්ව ඩවුන් සින්ඩ්‍රෝමය නොහොත් ඩවුන් සහලක්ෂණය ගැන වියුණු සටහනක්.


මගෙ පිලිපීන ජාතික මිතුරෙකුගෙ කුඩා දියණිය එම රෝගයෙන් පෙළෙන්නියක වීම තමයි ඒ වියුණු සටහනට නිමිත්ත වුනේ. ඒ එක්කම ඩවුන් සහලක්ෂණය ගැන ලියවුනු අමරසිරි පීරිස් ගයන ගීතයක් ගැනත් මම ලිව්ව.  

මගෙ මිතුරගෙ නම එමර්සන්. ඒ කිට්ටුවම වගෙ මම වෙන ආයතනයක රැකියාවකට ආව නිසා ස්වභාවිකවම සිදුවිය යුතු ලෙස එමර්සන් සහ මම අතර සබඳකම් දුරස්වුනා. 

ඒ තමයි ලෝකෙ හැටි. ජීවිත ගමනෙදි අපට දහස් සංඛ්‍යාත මිනිසුන් සහ ගැහැණුන් හමුවෙනව. ඒ අතරින් බොහොම සුළු ප්‍රතිශතයක් එක්ක පමණයි අපි තවත් දුරටත් සම්බන්ධතා පවත්වගන්නෙ. බහුතර ප්‍රතිශතයක් එක්ක සබඳතා ළඟින් ආශ්‍රය කරපු කාලෙට සීමා වෙනව.

“Some people come into our lives and quickly go. Some stay for a while, leave footprints on our hearts, and we are never, ever the same.” ― Flavia Weedn

මේ දවස් තුන හතරකට වගෙ ඉස්සරවෙලා සුපර් මාකට් එකක බඩු ගන්ට ගිහිල්ල ඉද්දි මට හම්බවුනා එමර්සන්ගෙත් මගෙත් යාලුවෙක් වුනු ඉන්දියානුවෙක්. නම ජයචන්ද්‍රන්. කාලෙකට පස්සෙනෙ හම්බවුනේ. අපි දෙන්න ලහි ලහියෙ බඩු ගන්න අනික් පරිභෝගිකයින්ට ඉඩ දීල පොඩ්ඩක් පැත්තකට වෙලා සතුටු සාමීචි කතා බහක නියැලුනා. කතාව අපේ පරණ පොදු (Mutual) යාලුවන් කෙරෙහි යොමුවුනා. මම එමර්සන් ගැන ඇහුව.

"Jaya what about Emerson? Do you two still work for the same company?"

"It's a really  sad story Ravi…."

"What happened?"

"Emerson had a little daughter & I don't know if you are aware that…………"

"Yeah, I know she had down syndrome..Emerson once invited me for a Christmas lunch. I met his daughter there... Melody was her name.. A really sweet little girl…"

"Oh..then you know that he adored her…"

"Yes I remember him hugging her and calling her my little angel…"

"Yes, she died about six months back…"

"Oh no…"

"And Emerson resigned from the job and went back to Philippines with his wife and the son…"

"Oh  I am really sorry to hear that…"

"Me too…you know Emerson was devastated….She  was the whole world to him…"

තමන් එතරම් ආදරය කල දියණියගේ වියෝව පිළිබඳව එමර්සන්ට දැනුනු අන්දම ගැන කවියක් දෙකක් ලියන්ට ඕන කියල මම හිතාගත්තෙ එදා ආපහු එනකොටමයි.

මුදු ගැහුනු කෙස් කැරලි එකින් එක අතගගා,
සෙමින් සිපගතිමි මුව කිරිසුවඳ වෑහෙනා,
දුවේ හාපුරා කියා නුඹේ වත දුටු එදා,
මතකයක් තවත් නැත  එලෙස සිත සුවදෙනා,

ස්නේහයේ අසනි වැසි හද තෙමා ඇද වැටුනු,
දිනක මතකයක් ඇත මගෙ නෙතට කඳුළු ඉනු,
මියෙන දා අවසාන සුසුම නික්මෙනා තුරු,
නුඹේ මුදු සිනහ බිඳ නැඟේ මසිතට සොඳුරු,

ජීවිතය විඳින්නට කියා දුන්නේ නුඹය,
සිත තවන වේදනා මකා හැරියෙත් නුඹය,
තාත්තේ කියා හදදොරින් එබෙනා සඳය,
මගෙ දුවේ නුඹේ මදහසත් කිරුළක්සේය,

නුඹ අකල් වැස්සක්ය මදිවි කතරට පතිත,
නෙතඟ රස අඳුනක්ය සිතෙහි ගිණි නිවාලන,
විහඟ ගීතයක්මය සවන් සනහා ගැයෙන,
සෙනෙහෙබර කවියක්ය සදා මුවගෙහි රැඳෙන,


**********************************


ඒ එක්කම අපූරු අහඹු සිද්ධියකුත් වුනා. පියකුගේ මරණය දියණියකට දැනෙන අන්දම ගැන ලියවුණු අපූරු කවි පෙළක් මම වත් පොතේ දැක්ක. 

මේ අපූරු කවි පෙළ  මම ඇත්තටම මීට කලිනුත් කියවලයි තිබුනෙ. මේ පාර පළකරල තිබ්බෙ ශානිකා ශෂිප්‍රියාගෙ වෝල් එකේ....

මේ පියා සහ දියණිය සාමාන්‍ය පියෙක් සහ දියණියක් එහෙම නෙවෙයි. අපේ ජාතියේ ආදිතමයා හැටියට ජනකතාවල කියවෙන සිංහයා සහ ඔහුගේ දියණිය සිංහ සීවලී. කවි පෙල ලියල තියෙන්නෙ ඉසුරි උදානි කරුණාතිලක......


සිංහයාගේ දියණිය 
------------------------------

තාත්තේ මම සිංහ සීවලී වුණා නම් 
ගල් ලෙනෙන් යන්නැතුව ඉන්නවා,
කවුළුවෙන් එබී ගෙන තාත්තා එනතුරා 
හැමදාම හවස්වරු ගෙවනවා.

නින්ද එනකම් රෑට ඔබේ උරහිස් තලේ 
හිස හොවා කතන්දර අහනවා,
මහා භයානක සද්ද කැලෑවෙන් ඇහෙනකොට 
අත් පසුරෙ ගුලි වෙලා නිදනවා.

අයිය ලෙන් දොර ඇරන් යන්න යමු කීවාම
බෑ කියා මම ලෙනේ ඉන්නවා,
නියං දුර්භික්ෂ මැද අපේ හාමත නිවා 
බඩගින්නෙ හිටපු හැටි මැවෙනවා.

නුවර මං පෙත් වැසූ ලෙන් දොරට ඇතුලතින් 
මට මහා නිදහසක් දැනෙනවා,
නුවරු මුව පුරවගත් චාටු වදනට වඩා 
මට ඔබේ ගර්ජනා වටිනවා.

වීදිවල සරද්දී සිංහ බා සොයාගෙන,
තාත්තාගෙ පස්සෙන්ම දුවනවා,
අයිය දුණු දිය ඇදන් ඊතලේ ගන්නකොට,
පළිහක්ව මැදින් හිට ගන්නවා.

තාත්තේ මම සිංහ සීවලී වුණා නම්,
නාටකේ අග වෙනස් කරනවා,
තාත්තට මියෙන්නට නොදී එසැණින් ඇවිත්
ඊ හිසට පපුව පා මැරෙනවා.

සිංහබා බලද්දී වැටුණු කඳුලක දෙකක
තාත්තේ මං ඔබව සොයනවා,
එදාටත් වඩා අද ඔබෙ උරිස්සේ සුවය 
නැති අඩුව මට තදින් දැනෙනවා.

- ඉසුරි උදානි කරුණාතිලක -

Tuesday, February 13, 2018

566. පුවක් එෂැණිං 41- The Slaves are Striking Back….වහළුන් නොහොත් බයියන්ගේ අනපේක්ෂිත පුනරාගමනය…

Daily Mirror Cartoon by Gihan De Chickera

කාල වරෙංකො...... ඉතිං ඊලඟට මොකෝ කොරන්නෙ? බැඳුම්කරයයි ඔය අනික් නොයෙක් තොරොට්ටුයි හින්ද එජාපෙට කෙලවෙයි කියල හිතුවට මෙහෙම හෝදාපාලුවෙලා යයිය කියල නෙවර් තෝට් ඊවන් ඉන් මයි ඩ්‍රීම්ස්...සැටිපිකේට් ටෘත් මෙයාලා...ගෝඩ් ප්‍රොමිස්...

රිසල්ට් එක ගැන පොඩි පහේ ඇනලයිසිස් එකක් කලොත් මට හිතෙන්නෙ මෙන්න මෙහෙම දෙයක් වුනේ. 2015 ජනවාරි අටේ බලවේගය නොහොත් ටොයියන් සහ මරාගෙ බයියන් අතර තියෙන ආකල්ප අපේක්ෂා ඔය හැමදෙයින්ම තියෙන පැහැදිලි වෙනස. එහෙම ජෙනරලිසේෂන් එකක් කරන එක එච්චරම හරි නැහැ වෙන්න පුලුවන්. ඒත් මේ ෆෙනෝමෙනන් එක තේරුම් ගන්ට එහෙම උපකල්පනයක් කරන්නම වෙනව.

මම කියන්නෙ  කියන්නෙ මේකයි. 2015 ජනවාරි 8 විප්ලවේට නොහොත් තක්කඩියා පලවා හැරීමේ සටනට උරදුන්නු වැඩි දෙනා අවංකවම අපේ රට මීට වඩා යහපත් තැනක් කරන්ට බලාගෙන මයිත්‍රීට කතිරෙ ගහපු කට්ටිය. 



ඒ ගොල්ල මයිත්‍රීගෙන් වෙන අබමල් රේණුවක දෙයක් බලා පොරොත්තු වුනේ නෑ. මයිත්‍රීගෙන් ඉල්ලුවෙ එකම දෙයයි. අපේ මේ මව්බිමේ 21 වන ශතවර්ෂයට ගැලපෙන සාධාරණ සහ යුක්තිගරුක සමාජයක් ඇතිකරන්ට. ගතානුගතික අදහස් වලින් මිදිල ලිබරල් අදහස් වලට ඉඩ දෙන්ට. එහෙම කලොත් ඊට පස්සෙ ඔබට පුලුවනි මේ රටේ මෙතෙක් පහලවූ අනුත්තර නායකයා විදිහට ගෞරවාන්විතව විශ්‍රාම යන්ට.

ඉතිං වැඩේ වෙන්නෙ ඔයවගෙ උත්තරීතර අපේක්ෂා පෙරදැරිකරගෙන කවුරුහරි රටේ නායක තනතුරට පත්කර ගත්තම ඒ පත්කරගත්තු මනුස්සයට හරිම කරදරයි. ඒ කියන්නෙ චන්දෙ දුන්නු උදවිය ඉල්ලන්නෙ දෙන්න පුලුවන් එව්ව නෙවෙයිනෙ. ඔන්න ඔය බාර් පර්මිට් එකක් වැලි පර්මිට් එකක් මාකට් එකෙන් කඩයක් වගෙ ලෞකික දෙයක් ඉල්ලගෙන දෙයියනේ කියල පැත්තකට වෙලා ඒකෙන් හම්බකරගෙන කාල ඇඳල හිටපියව්කො. අනික එහෙම දේකිං සෑහීමට පත්වෙන මිනිස්සු ආම්බාම් කරන්න බොහොම ලේසියි.

මේ යහපාලනේ ප්‍රමෝට් කරන බිජ්ජො එක්ක එව්ව බෑ. උං ඉල්ලන්නෙ පොරොන්දු වෙච්චි යහ පාලනේමයි. මස් රාත්තලමයි. සයිලොක් තව හොඳයි. මුං ඇවිල්ල සයිලොක්ගෙ මහප්පොච්චිල.........ඉතිං කොහෙද කොරන්නෙ? 

ඔව්ව ඔය ඒ කාලෙ ඉස්ටේජ් උඩ නැඟගෙන ගිරිය කඩාගෙන කැක් ගැහැව්වට කොරන්ට ඇහැක් එව්වය? නැද්ද මං අහන්නෙ? අනික අපේ රටේ වෙලා තියෙන්නෙ දේසපාලුවො කියන ජාතිය වංගු ගහලම චේතනාන්විතව උනත් හරි දෙයක් කරන්න හිත නැමෙන්නෙම නෑ. 

ඉතිං යහපාලනේටත් උනේ ඒ සංතෑසියම තමයි. ඉස්සෙල්ලම ආණ්ඩුව පත්වෙලා මාස දෙකක් යන්ට කලිං රනිල කෙලිය මහ බැංකුවට. මෛත්‍රීත් ආයම මම ජනාධිපති කමට ඉදිරිපත් වෙන්නෙ නෑමයි කියල හතර අතේ දිවුරල චන්දෙට ආවට, පස්සෙන් පහු  මනුස්සයටත් මේකෙ රහ වැටුන. ඒ පාර ඔන්න මනුස්සය ශ්‍රී ලංකා නිදහස් පක්සෙ සබාපති කම අතට ගත්ත බලෙම්ම වගෙ.

එතන තමයි මිනිහ සුද්දො කියන විදිහට කකුලටම වෙඩි තියාගත්තු තැන. අපි කියන විදිහට නම් හත්පොලේ ගාගත්තු තැන......ඒ කිව්වෙ ඔය සබාපතිකං බාරගන්නෙ නැතුව අර කලින් කිව්ව වගෙ නිර්පාක්ෂිකව ඉඳල රට වෙලාගෙන තිබ්බ මැර බලය දූෂණය බීෂණය නැති කරන්ට පුරුස දහිරිය දාල වැඩ කලා ඔන්න මයිත්‍රී ඉතිහාස ගත වෙනව රට හදපු ශ්‍රේෂ්ඨ වීරයා විදිහට. ඒත් මේ මනුස්සය මොකද කලේ ශ්‍රී ලංකා එකේ සබාපතිකම බාරගෙන විකාර කරන්ට ගත්තනෙ.

දමිත් මලයා වත්පොතේ මරු පෝස්ට් එකක් දාල තිබ්බ ඒ ගැන. අර කියන්නෙ "In a nut shell" කියල. ඒ කියන්නෙ ඉතාම සරලව මුලු කතන්දරේම කියවෙනව කියල. අන්න ඒ ජාතියෙ පෝස්ට් එකක් ඒක.

"මහජනතාව දුන්නු විධායක ජනධිපතිකමට වඩා  හොරාගත්ත පක්ෂ සභාපතිකමක් ලොකුකරගත්තට ලැබුණු තෑග්ග තමයි මේ....."

මේ පාර වුනේ බයි අම්බරුවො රැළ එහෙම්මම  එකා පස්සෙ එකා ගිහිල්ල මැදමුලනෙ  තක්කඩියට ආයම කතිරෙ ගැහැව්වට 2015 දි මෛත්‍රීට කතිරෙ ගහපු එවුං හුඟක් මේ පාර ගෙදර නැවතුනා. ඒ බහුතරයක් පාවෙන ඡන්ද. ඒ කියන්නෙ කිසිම දේශපාලන පක්ෂයකට නැත්තං මනුස්සයෙකුට එහෙමත් නැත්තං ඉස්තිරියාවකට ගැතිකං කරන්නෙ නැතුව ඒ ඒ අවස්තාව අනුව සුදුසුයි කියල හිතෙන කෙනෙකුට චන්දෙ දෙන අය. 

මෛත්‍රී-රනිල් දෙන්නගෙ නොහැකියාව සහ අර එහාටත් නැති මෙහාටත් නැති පතෝල ගතිගුන හින්ද ඒ ෆ්ලෝටිං වෝටර්ස්ල හුඟ දෙනෙක් මම හිතන්නෙ අන්තිමටම කලකිරිල හිටියෙ. බැඳුම්කරෙත් ඒකට ප්‍රබල හේතුවක් වුනා. චන්දෙ අන්තිම දවස්වල මෛත්‍රී සහ රනිල්ගෙ කුලල් කාගැනිල්ලත් මිනිස්සුන්ට ආන්ඩුවම එපා වෙන්ට හේතුවක් වෙන්නත් ඇති.....

හරි දැන් වෙච්ච දේ උනානෙ. ඊලඟට මොකෝ කොරන්නෙ? 

මම හිතන්නෙ මෛත්‍රීට එකම ඔප්ෂන් එකයි තියෙන්නෙ. ඊලඟ පාරත් ජනාධිපතිවෙන සිහිනය අතෑරල දාල 2015 කැම්පේන් එක වෙලාවෙ වේදිකා දෙදරවන්ට පොරොන්දු වෙච්චි එව්ව, ඒ කියන්නෙ හෙට දවසෙ යහපත් රටක් අපේක්ෂා කරන, බෙල්ල උඩ ඔලු ගෙඩියක් කියල එකක් තියන ඒ ඔලු ගෙඩිය ඇතුලෙ මොළ ගෙඩියක් කියල එකක් තියෙන ඒ දෙකටම වැඩියෙං ඉඳල හිටල හරි ඒ මොළ ගෙඩිය පාවිච්චි කරන දස ලක්ෂ සංඛ්‍යාත මිනිස් කැළක් මෛත්‍රීගෙන් ඒ වෙලාවෙ අපේක්ෂා කරපු දේ ඉෂ්ට කරන්ට තම උපරිම උත්සාහයෙන් කටයුතු කරන එක.

ඒකට ඉස්සෙල්ලම කරන්න තියෙන්නෙ රනිල් අයින් කරන එක. රනිල මහ බැංකු කේස් එකෙන් අසූචි නෑව ඔලුවෙ ඉඳල. ආය රනිලව හෝදල    නාවල ගන්ටවත් අමාරුයි. ඒ හින්ද රනිලව අයිං කරන එක අනිවාර්යයයි.

එතකොට කවුද අගමැති? සජිත්නම් ඒකට හරියන්නෙ නෑ. ඒ මනුස්සය අර ඉයර් ෆෝන් එකකුත් කනේ ගහගෙන හම්බන්තොට පුරහම මහන මැසිං උළු එතනිං ගිහාම ටකරං බෙද බෙද ඇවිදිනව මිසක වෙන කිසිම දෙයක් කරනවද? කෝ කිසිම දෙයක් ගැන කියනවද? පාර්ලිමේන්තුවෙ වැදගත් කතාවක් කරනවද? 

ඉතිං මගේ තේරීම නම් මංගල. ඒත් මම හිතන්නෙ නෑ යූ.ඇන්.පී. කාරයො බහුතරයක්වත් මංගලට කැමතිවෙයි කියල. අපේ රට වගෙ ගෝත්‍රික රටක මංගල වගෙ කෙනෙකුට දේශපාලනයෙ ඉස්සරහට එන්ට අමාරුයි.

ඒ හින්ද මේ වෙලාවෙ තියෙන්නෙ කරුවල ජයසූරිය නොහොත් "කරු ආවොත් පායයි හිරු" වගෙ නිවුටල් චරිතයක්, දූසන බිසන වලට නම නොගෑවිච්චි චරිතයක් අගමැති කරන එක. එහෙම කරල 2020 වෙනකල් ආන්ඩුව ගෙනියන එක. හැබැයි ඒ අවුරුදු දෙකේදි අර පොරොන්දු වෙච්චි ප්‍රතිසංස්කරණ අඩුගානෙ පුලුවන් තරම්වත් කරන්න ඕන. අලුත් ව්‍යවස්තාවක්  ගේන එක එයිං එකක්. චීවරදාරීන්ට බම්බු ගහ ගනිල්ල කියල ඒ වැඩේ කලොත් නම් දෙයියම්ප මල් හතයි. මෛත්‍රී ආය පාරක් ඉල්ලන්නෙ නැත්නම් වැඩේ තවත් ලේසියි.

ඊලඟට මේ බයියො රැල නටන්ට පටන් ගෙනනෙ කිරිපනුගාය හැදුන වගෙ ජනවරම මරාට ගියාලු ඒ හින්ද අගමැතිකම මරාට දෙන්ටය කියල. බයියො ඔය වික පුකාගෙන දඟලන්නෙ වෙන මොකවත් හින්ද නෙවෙයි හෙට අනිද්දට රාජපස්ස පවුලෙ කීප දෙනෙක්ම ඇතුලට යන සීන් එකක් පේන්ට තියන හින්ද. කොයි මක් කරල හරි ඒක වලක්ව ගන්ටයි උංට ඕන. අපේ ඩොක් නොහොත් සරත් විමලසූරිය ඒ ගැන මරු කතාවක් කියල තිබ්බ වත් පොතේ......

"ජනතාව මට අඩි හයක වලක් කපල පැට්‍රෝල් බූලිය කුත් දුන්නා...මං ඔය නඩුෆයිල් ඔක්කොම ඒ වලට දාලා ගිනිතියලා සදහටම වහල දානවා…එතකොට බැඳුම් කරේ? ඔව්...ඒකත් පුච්චනවා...රනිල් නායකත්වයෙන් අයින් නොවී, මට දෙන සප් එක එසේ මෙසේ නෑ .  - මහින්ද ..."

ඉතිං මම මේ අවසාන වසයෙන් කියාගෙන ආවෙ බයියො ඔහෙ නටාගත්තාවෙ..අපේ මොකෝ?...දිගින්ද හරහින්ද?

Friday, February 9, 2018

565. පුවක් එෂැණිං 40 - බ්‍රිගේඩියර් කෝළම නොහොත් නූතන සිරිසඟබෝ කතා වස්තුව....

Never hold your farts in.
They travel up your spine,
 into your brain,
and
that is where
shitty ideas come from!

මගෙ ජීවිතේ ඉස්සෙල්ලම  මම බ්‍රිගේඩියර් කෙනෙක්ව අඳුන ගත්තෙ බ්‍රිගේඩියර් එම්. බ්‍රිගේඩියර් එම් කියන්නෙ ජේම්ස් බණ්ඩගෙ ලොක්කා. ජේම්ස් බණ්ඩා 019 කියන්නෙ ඉයන් ෆ්ලෙමිංගෙ ජේම්ස් බොන්ඩ් 007ගෙ ලාංකික Alter Ego එක. ජේම්ස් බණ්ඩා ඩීමන් ආනන්දගෙ නිර්මාණයක්. ෆ්ලෙමිංගෙ පොත්වල බොන්ඩ්ගෙ ලොක්කා හැඳින්නුවෙ නිකම්ම M කියල. ඒත් ඩීමන් ආනන්ද එම්ට බ්‍රිගේඩියර් තනතුරක් ප්‍රදානය කලා. අන්න ඒ හින්දයි  ජෙම්ස් බොන්ඩ් ගෙ ලොක්ක නිකම්ම M වෙද්දි ජේම්ස් බණ්ඩගෙ ලොක්ක බ්‍රිගේඩියර් එම් වෙන්නෙ. 

ඊට පස්සෙ මට සමීපවුනු බ්‍රිගේඩියර්ල තමයි බ්‍රිගේඩියර් ඩෙන්සිල් කොබ්බෑකඩුව සහ බ්‍රිගේඩියර් ජපනා ජයවර්ධන...ඒ දෙන්න මට මුණගැහුනේ ඩේලිනිව්ස් අන්තිම පිටුවෙන්..ඒ කිව්වෙ ක්‍රීඩා පිටුවෙන්..දෙන්නම රග්බි රෙෆ්‍රීස්ල. 

Yesterday at Longdon place in a closely fought game Havelocks beat CH & FC by  the slimmest of margins 16-15 Brigadier Denzil Kebbekaduwa refreed....

ඔය ඔක්කොම සිදුවීම් වුනේ හැත්තෑව දශකයෙ මැදභාගෙදි...

ඒ කාලෙ මම දන්න බ්‍රිගේඩියර්ල එහෙමයි. ඒකටත් එක්ක දැං ඉන්න බ්‍රිගේඩියර්ල..ඇත්තම කිව්වොත් බ්‍රිගේඩියර්ල කිව්වොත් වැරදියි එක බ්‍රිගේඩියර් කෙනෙක්...මිනිහ ඉන්නෙ ලන්ඩන්වල. තානාපති කාර්යාලෙ වැඩ කරන්නෙ..තවම හිතාගෙන ඉන්නෙ ඉන්නෙ නන්දිකඩාල්වල කියල. තවම ඉන්නෙ යුද මානසිකත්වයෙන්. දෙමෙල්ලුන්ගෙ බෙල්ල කපන එක තමයි තාමත් හිතේ තියෙන්නෙ..

මෙතන සීන් එක කවුරුත් දන්න හින්ද ආය විස්තර ඕන නෑනෙ..අර බ්‍රිගේඩියර් සිරිසඟබෝගෙ සීන් එක. බෙල්ල කපන විදිහ අර පෙන්නන්නෙ ඇඟිලි දෙකෙන් බෙල්ලෙ හරහට ඉරක් ඇඳගෙන..අන්න ඒ සීන් එක...එක අතකට මේ නුහුගුණාපිත  මනුස්සය ගැන කතා කරන එකේ තේරුමකුත් නෑ. ඒත් මට ලියන්න ඕනය කියල හිතුනෙ අපේ මිනිස්සු ජාතිය ආගම ගැන කතාකරද්දි මොන තරම් නම් අන්තගාමී වෙනවද කියල කියන්නයි.

ඒ කියන්නෙ සිරිසඟබෝ ලන්ඩන් වල බෙල්ලෙ ඉරක් ඇඳගෙන ලෝඩ් පකීර් වගෙ ආපහු හැරිල එම්බසි එකට රිංගගෙන හුස්මක් කටක් ගන්ටත් ඉස්සර සිරි ලංකා වාසී වත් පොත් ජනතාව සිංහ කොඩි පෙරවගෙන සිංහයො පිටනැඟිල පාරට බැස්ස නෙව.

ඔන්න වැඩේ උනේ මෙහෙමයි....ළමයි

ඊයෙ උදේ ඔෆිස් එකේ ඉන්න ගමං මම නිකමට වගෙ වත් පොත පැත්තෙ ගිහිල්ල බැලුව. මේ දවස්වල මොබයිල් ඩේටා ඇලකේෂන් එකේ අන්තිම හරිය යන්නෙ. ඒ හින්ද ඔය ඉඳ හිටල රවුමක් ගිහිල්ල බලනව විතරයි. 

අම්මට උඩු ගියා තමයි..ආය මොනවද? ටිකිරි සඳමාලිගෙ කිරිඅත්තටම පෙනීයං...වත් පොතේ දේසප්‍රේමී කට්ටියක් ලැහැත්තිවෙල අපේ සුරංග මලෙයට  හිටු කියල නෙලනව. බහුතරයක් ඉන්නෙ බබලත්තු. 

චීත්ත හැඳගත්තියෝ දණ දක්වා චීත්ත ඔසවාගෙන සුරතට ගත් ඉළපතින් සුරංගයාගේ හිසට පහර පිට පහර එල්ල කරන්නීය. ඩෙනිම් කළිසම් හැඳ සිටින්නියෝ කළිසං කකුල් දණ දක්වා නවා ලා පියා දෑතින් තරව ගත් මොප් වලින් සුරංගයාගේ පිට කොන්ද හරහා පහර දෙන්නීය. ඒ අසරණ අහිංසක සුරංගයා තෙමේ විලාප දීමට හෝ පමණ ඉස්පාසුවක් නොලැබෙන්නේ, එහා මෙහා පැන දැඩි ප්‍රහාර වළක්වා ලීමෙහි ලා පියා අසාර්ථක උත්සාහයක යෙදෙන්නේය.

මේක දැක්කම මගෙ බඩ පපුව පත්තුවෙලා ගියා. අනේ අප්පේ අර අහිංසක චූටි මැණිකෙයි නූපන් දරු පැටියයි. එහෙම හිතල මම මියෙම්වා රැකෙම්වා  මෙගේ ඩේටා සියල්ල නැති බංගස්තාන වී ගියද කම් නැත. යලි වැඩි මිලට හෝ ඩේටා මිලට ගෙන සුරංගයා වෙනුවෙන් සටනට එමි. ඔහු කෙලෙසකවත් තනි නොකරන්නෙමි එහෙම හිතල කමෙන්ට් එකක් එහෙම දාල සටනට බැස්ස කියමුකො..

හුහ් බැස්ස තමයි...මෙන්න බබලත්තු සැට් එක මට වට පෝරියල් එක දෙන්ට තිබා ගත්තෙ නැතැයි. අනී මම බය වෙච්චි පාර පොහොං එක එහෙම්මම බිම ඇතෑරල ඔෆිස් එකෙනුත් එලියට පැනල කාන්තාරෙ සෑහෙන දුරක් දුවල ඉඳි ගහක් යට ඉඳගෙන හති අරින්ට ගත්ත. අනේ අපේ සුරාට මක් උනාද දන්නෙ නෑ. එදයිං එදයි මම නෙවෙයි ඒ පැත්ත පලාතෙ ගියේ.

දේසප්‍රේමී ගොසිප් සයිට් එකක ඔය විස්තරේ තිබ්බෙ මෙහෙමයි.

යාං හෑල්ල ලියන ප්‍රවීන බ්ලොග් කරු සුරංගට වට කරගෙන නෙලයි.....

සුරංග බියෙන් ත්‍රස්ත වී කරන ලොමු දැහැගැන්වෙන විස්තරය පහත වීඩියෝවෙන් නරඹන්න..

"මම නිකමට වගෙ එතනට යැවුනෙ. මොකද ඔය තොයිලෙ නටාපු ඉඩම අයිතිකාරි මම හොඳටම අඳුනනව. එයා විහරක් නෙවෙයි එයයිගෙ කලත්‍රයා එතකොට දරුවා හිට අඳුනනව. ඒ ඇඳුනුම් කමට තමයි එතනට ගියේ. මම ඇත්තම කියන්නංකො  මම ඇහුවෙ මොකද මෙතන මේ කලබොලේ? කියල විතරයි. 

හප්පේ ඒ වචන තුන හතර ඇහුව විතරයි. එතන පොදි කකා එහාට මෙහාට පැන පැන හිටපු බබලත්තු රොත්ත පිටිං අවි අමෝරාගෙන මට කඩා පැන්නෙ නැද්ද? දෙයියෝම සාක්කි...මම අර පොඩි එකා කාලෙ පොලෝසියෙං කසිප්පු අල්ලන්ට එනකොට සෙනෙවිරත්න අයියගෙ කසිප්පු බූලිය දෑතිම්ම බදාගෙන ලඳු, කැලෑ, ඕවිටි, බඩ වැටි උඩිං එක පිම්මට පැනල ගම හරහා දුවල පුරුද්ද තිබ්බ හින්දා ඔන්න හොඳට ගියා. 

නැහ්නං ඒ වෙලාවෙම ඒ බබලත්තු ටික මාව කෑල්ලෙං කෑල්ල ගලවල එතනම පාත්තියක් හදල අර මයියොක්ක දඬු හිටවනව වගෙ හිටවලයි පස්ස බලන්නෙ...ඒකෙ ආය හෝදන්ට එහෙම දෙයක් නෑ.

කල්‍යාණ මිත්‍රය ලියපු පෝස්ට් එකේ සුරංගය තමං මූණ දුන්නු ඒ අති බයානක අත්දැකීම විස්තර කලේ මෙහෙමයි…

"මේක ගැන මං බුකියෙ කොමෙන්ටුවක් දැම්මා "මෙව්වයිං අපිට විරුද්ධව යන එකාලට අපිටම කෙලින්න ආවුද ලැබෙනව" කියල. දහ දොලොස් නමක් වටකරගෙන නෙලුවා. අන්තිමට මාව බුකියෙන් අතුගාලා දාන්න කොස්ස හොයන්න බවලත්තු කීප දෙනා එහෙට්ට මෙහෙට්ට වෙන අල්ල පනල්ලෙ බේරුනේ. අර මාගල් රවි උන්නැහැ තවම එතැන. පුලුවං එකෙක් ගිහිං බලහල්ලා අසරණයව."

අන්න දැක්කද සුරා හොඳ එකාය කියන්නෙ මයෙ ගැනත් ඌට කල්පනා වෙලා තියනව.

ඊට පස්සෙ මම මෙහෙමත් කිව්ව...

යමක් තේරුම් බේරුම් කරල දෙන්න පුලුවන් තැනක් නෙවෙයි ෆේස් බුක් එක කියන්නෙ. මම නම් ඕකෙ තියන ගොන් පාට් වලට සම්බන්ධ වෙන්නෙම නෑ. ඒත් අර සුරංගය තනියම ගේම ගෙනියන හින්ද සහයෝගයට ගිහිල්ල කමෙන්ට් එකක් දාල ආවෙ.. 

අම්මට උඩු එතන ඉන්න බබලත්තු නෙව වැඩේ..ගෙදර දොරේ වැඩ කරන්නෙ එතනිං ගිහාම රස්සාවට යන්නෙත් මං හිතන්නෙ සිංහයෙක් ලණු පොටකින් බැඳගෙන ඌත් ඉස්සර කරගෙන..පොඩ්ඩ බැරි උනාද නැග්ග සිංහයගෙ පිටේ.. වැනුව කඩුව හතර වටේ...

පස්සෙ මට මෙහෙම ආරංචියකුත් ආව...

බ්‍රිගේඩියර් වරයා කොටි හිතවාදීන්ගෙන් අල්ලස් ගත් බවට සැකයක් - පසුගියදා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරියේ පැවැත්වුනු කොටි හිතවාදී උද්ඝෝෂකයින්ට ගෙල කපා දමන බට හඟවමින් තර්ජනය කල බ්‍රිගේඩියර් වරයා එසේ කලේ දෙමළ ඩයස්පෝරාවෙන් මුදල් ලබා ගෙන බවට සැකයක් මතුවෙමින් පවතී. විසි දෙනෙකුගෙන පමණ සැදුම්ලත් මෙම කණ්ඩායම මීට පෙරද මෙවන් උද්ඝෝෂණ පැවැත්වුවද ඒ සඳහා කිසිම මාධ්‍ය ප්‍රචාරයක් නොලැබුනු බැවින් ඒ සඳහා උපක්‍රමයක් වශයෙන් ඔවුන් මේ උපාය මාර්ගය අනුගමනය කොට ඇති බව බ්‍රිතාන්‍ය පොලීසිය සැක කරයි. වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.

සිරිසඟබෝගෙ බෙල්ල කපන සීන් එකෙන් උෂාර් වෙච්චි දේසපෙරේමී ජනතාව කිසිම කෙනෙක් කතා නොකරන දෙයක් තමයි සිරිසඟබෝගෙ එතන රාජකාරිය ඇත්තටම මොකක්ද කියන එක...එම්බසි එකට පිටින් මහ පාරෙ  විරෝධතාවයක යෙදෙන මිනිස්සුන්ට බෙල්ල කපනව කියල සංඥාවක් කරන එක කොතරම් දුරට තමන්ගෙ නිලයට ගැලපෙනවද? එතකොට එහෙම කරපුහම ශ්‍රී ලංකා ආණ්ඩුව  විදේශීකයින් අතර අප කීර්තියට ලක්වෙයි නේද?  වගෙ කාරුණු කරණා ගැන යම්තමටවත් හිතල බලන්ට අපේ දේස ප්‍රේමීන්ට කිසිම උවමනාවක් නෑ..

"අපේ සිංහයාට ගවුරවාදර බක්තිය.." "බ්‍රිගේඩියර් අයියේ දෑස් පලාගෙන කඳුළු ආවා අයියේ"..."කොහොමද සිංහ සෙයියාව"..."අපේ කාලයේ වීරයෙක්"..."කොටි ඉදිරියට ඔහු යන නිර්බීත විලාසය දැකල මගේ පිත්තාසය එක නින්නාද වුනා  බ්‍රෝ..."

ඔන්න ඔහොමයි බුකියෙ හෝ ගාල කතාව....තව කට්ටිය සිරිසඟබෝගෙ පින්තූර ප්‍රොෆයිල් එකට දාගන්නව. මනුස්සයගෙ ඒ කාලෙ පින්තූර හොයල අරගෙන ෂෙයාර් කරනව. එක කැම්බැල්ලයයි. 

ඒක අස්සෙ යුද්දෙ ඉවර වෙච්චි කාලෙම වගෙ හින්දු පූජකයෙක් සිරිසඟබෝගෙ නලලෙ තිලකයක් තියනව එතකොට දෙමල  ගම්වැසියො කට්ටියක් එක්ක මෙතුමා බොහොම සතුටින් සිනාමුසු මුහුනින් ඉන්නව වගෙ පොටෝසුත් ෂෙයාර් වෙනව එකසිය ගානට. ඒකෙන් කියන්නෙ මේ මනුස්සය ඉතාම කුළුණු ගුනැති පරාර්ත කාමී සත්ගුනවත් මහත්තයෙක්ය කියල. එහෙම වෙන්නත්  ඇති. අපිට එක පාරටම නෑ කියන්න බැහැනෙ. 

එහෙම පොටෝ දාල තිබ්බ පෝස්ට් එකකට අපේ තිසර මලය හොඳ උත්තරයක් දීල තිබ්බ.

"Mr X hold drivers licence for 20 years, and he has never violated a traffic rule in this time, and in fact his courteous behaviour behind the wheel is admired by many. Today, he drives at 70kmph on a 60 road and get caught. Has he done anything wrong?"

අනික 2009 අවුරුද්දෙ යුද්දෙ ඉවර වෙච්චි ගමං දෙමල ජනතාවගෙ හොඳ හිත දිනාගැනීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වුනා ජෙනරල්ගෙ මූලිකත්වයෙන්. ඒ ඒ පළාත්වල හමුදා උසස් නිලදාරීන් පෞද්ගලිකවම ගිහිල්ල දෙමළ ජනයා එක්ක එයාලගෙ අවශ්‍යතා ගැන සුහදව කටයුතු කලා. මට හිතෙන්නෙ මේ සිරිසඟබෝගෙ පෙරකදෝරුවො ෂෙයාර් කරන ෆොටෝස් බොහෝවිට එහෙම එව්ව වෙන්න ඕන. එව්ව ඒ කාලෙ ඒ අය කලේ තමන්ගෙ රාජකාරියෙ කොටසක් විදිහට. 

මම එකෙහෙලාම කියන්නෙ නෑ සිරිසඟබෝ නරක මිනිහෙක්ය ඔය දෙමල අය එක්ක  සුහදව වැඩ කලේ රාජකාරිමය වශයෙන් විතරක්ම හින්දය කියල. ඒත් එහෙම වෙන්නත් පුලුවන් නේද? 

ආ..තව එකක් කියන්න ඕන. මේ ඊයෙ ඉඳල වගෙ තව වීඩියෝ එකක් දාල තියනව ඒත් ඔය බ්‍රිගේඩියර්ගෙ පෙරකදෝරුවො විසින්.... ඒකෙ පෙන්නන්නෙ අර උද්ඝෝසකයින් ලඟට ගිහිල්ල සිරිසඟබෝ එයාල එක්ක කතා කරනව. එහෙම කතා කරපු එක කමක් නෑ කියමුකො. ඒ එක්කම කියනව එහෙම සුහදව කතා කලාම මනුස්සයට  බැන්නලු. 

ඒ පාර මල පැනපු  ගමනලු අරම බෙල්ල කපනව පෙන්නුවෙ. මොනව කිව්වත් ඉවසන්ට බැරි මිනිස්සු ඔය වගෙ තැන්වලට නොයා ඉන්න ඕන. ඔය මනුස්සය ගිහිල්ල ඔය බහුබූත වැඩේ කලේ නැත්නම් පෙබරවාරි හතර වෙනිද ඔහොම එකක් තිබ්බද කියලවත් ලෝකයා දැනගන්නෙ නෑ. දැං මේ මනුස්සය කරපු ඕන නැති වැඩේ හින්ද උනේ ඒක ලෝක ප්‍රසිද්ද උන එක.

කොහොම හරි අපේ බුකී වාසී දේශ ප්‍රේමීන්ගෙ හැසිරීමෙන් ආයම පාරක් ඔප්පු වෙන්නෙ අන්මත ඉවසීම සහ යම් මතයක් අපි පිළිනොගත්තත් ඒ මතය ප්‍රකාශ කිරීමේ නිදහසට බාධා නොකල යුතුය කියන පරම සත්‍යය තේරුම් ගන්ට අපිට තව වසර පනහක්වත් අඩුම තරමේ ගතවෙයි කියල තමයි.

Tuesday, February 6, 2018

564. පතිරාජගේ නික්මයාම, වම් ඉවුරේ සිනමාව සහ ජෙප්පන්ට චන්දය දීම හෝ නොදීම....

ආචාර්ය ධර්මසේන පතිරාජ ...

මාතෘකාව කියවල නිකං හොල්මන් ද පොල්කොළ වෙලා ගියැයි ඔහෙල? නිකං රනිල් වික්‍රමසිංහ සහ යහ පාලනය කියල ලිව්ව වගේ නේහ්? තනිකරම විරෝධෝක්තියක් නොහොත් ඔක්සිමොරෝන් එකක් කියල හිතෙනව නේද?

රනිල්ගේ යහපාලනය කිව්වමනම් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඔක්සිමොරෝන් එකක් නම් තමයි. ඒත් මගේ මාතෘකාව නම් එහෙම එකක් නෙවෙයි. එතන තියනව යම්කිසි අදෘශ්‍යමාන සම්බන්ධතාවයක් නොහොත් ඒක ඇතුලෙ තියනව ලොකු අභ්‍යන්තරයක්...

ධර්මසේන පතිරාජ මහත්තය මියගිහිල්ල. මගෙ සිත්ගත් කවුරුහරි මියගියහම හරි එහෙම මියගිය කෙනෙක්ගෙ මරණ සංවත්සරයක් ආහම ඒ වෙනුවෙන් පොඩි සටහනක් බ්ලොග් එකේ ලියන එක මගෙ පුරුද්දක්. මීට කලින් මම ඒ වගෙ කීප දෙනෙක් ගැනම සටහන් ලිව්ව.


හැබැයි ඒ හැම සටහනක්ම අප අතරින් වියෝ වූ පුද්ගලයගෙ ගුණ කථනයක්ම වුනේ නෑ. හොඳ නරක ඒ වගේම වෙන වෙන වල් පල් ආරළු බූරලුත් ඒ අස්සෙ ලියවුනා මගේ සුපුරුදු සයිලියෙං. අන්න ඒක තමයි අපෙ හාන්දුන්නේ මගේ අනන්‍යතාවය නොහොත් අඤ්ඤකොරොස්භාවය...දඩිස්.....බිඩිස්....දඩ....බඩ....දඩ...තපෝස්...තපෝස්... හා...හා...හා...කලබල වෙන්ට එහෙම එපල්ල...ඒ මම පපුවට ගහ ගත්තු සද්දේ...හොඳේ...

හරි දැන් එමු අද මැයට නොහොත් අද මාතෘකාවට. ධර්මසේන පතිරාජ මහතාගේ අභාවය. ධර්මසේන පතිරාජ නොහොත් පතී කියන්නෙ ලාංකීය සිනමාවෙ නොමැකෙන සළකුණක් තියපු අධ්‍යක්ෂ වරයෙක්.

අහස් ගව්වෙන් පටන් ගත්තම එයා දැන් ලොකු ළමයෙක්, පොන්මනී, බඹරු ඇවිත්, සොල්දාදු උන්නැහේ සහ පාරදිගේ...ඒ ඔහු නිර්මාණය කල සිනමාපට..ඉනික්බිතිව ඔහු කල නිර්මාණ ගැන මම සඳහන් නොකර ඉන්නම් මොකද ඒ එකක්වත් මට නරඹන්ට අවස්ථාවක් නොලැබුණු හින්ද.

පාරදිගේ චිත්‍රපටයෙ එක චරිතයක් මෙහෙම කියනව. මට මතක විදිහට විමල් කුමාර් ද කොස්තා වෙන්න ඕන....."අපිට මුල් නෑ ඒත් දළු දානව..." 

ඔය දෙබස් ඛණ්ඩය එදා ඉඳල අද දක්වාම නිතරම උපුටා දැක්වෙනව තරුණ පරපුරේ ඛේදවාචකය ගැන කියනකොට නැත්නම් ලියනකොට. ඔය දළු දාන කතාවඒ ඒ දවස්වල ඒ දවස්වල කිව්වෙ හැත්තෑව දශකයෙ මැද භාගයෙ වගෙ බොහොම ජනප්‍රිය කතාවක්...

පාරදිගේ තිරගත වුනේ මට මතක විදිහට 1980 අවුරුද්දෙ. ඒ කියන්නෙ චිත්‍රපටය හැදුනෙ 70 දශකයෙ මැද භාගයෙ වෙන්න ඕන. 70 දශකයෙ මැද භාගෙ කියන්නෙ ලෝකෙ පුරාම වාමාංශික රැල්ලක් පැතිරගිය කාලයක්. වියට්නාම් යුද්දෙන් ඇමරිකන් කාරයො පැරදීගෙන යනව. සෝවියට් දේසෙ බොහොම බලසම්පන්නයි. ඒ එක්කම චීනෙ, කියුබාව වගෙ රටවලුත් හොඳ දියුණු තත්වයෙ තිබ්බ. යටත් පිරිසෙයින් අපිට කිව්වෙ එහෙමයි. 

සෝවියට් දේශය, ස්පුට්නික් වගෙ සඟරා කියවල අපි හිතාගෙන හිටියෙ 20 වන සියවස ගෙවිල යන්ට ඉස්සර මුලු ලෝකෙම කොමියුනිස්ට් ක්‍රමයට හැරෙයි කියල. සියළු ධනය සැමදෙන අතර සමානව බෙදිල යන සැමට සෞඛ්‍ය පහසුකම් ආහාර නිවාස ප්‍රමාණවත් පරිදි ලැබෙන නිවහල් සමාජයක්, සමානාත්මතාවය රජයන සමාජයක්...එවන් නිවහල් නිදහස් උත්තරීතර සමාජයක් කරා අප රැගෙන යන්න උතුමාණනි!

ඒ දවස්වල ට්‍රෙන්ඩ් එක එහෙමයි....වාමාංශිකත්වය නොහොත් වමට බරවීම....කොහොමත් වම පොඩ්ඩක් බරයිනෙ..නේ?...දේහවිද්‍යාත්මකව බැලුවත් හෙහ්,හෙහ්....

ඉතිං ඒ හින්ද නැචුරලි මම හිතන්නෙ ලෙෆ්ටිස්ට්වීම නොහොත් වමට බරවීම නැඟල ගියා. 

කවි කෙටිකතා නවකතා ලිව්වත් සිනමා පටයක් නිර්මාණය කලත් වාමාංශික දෘෂ්ඨි කෝණයෙන් විග්‍රහ කරල තමයි ලියන්නෙ කරන්නෙ..සියළු කලා නිර්මාණවල අවසාන ප්‍රතිඵලය වෙන්න ඕන සමාජවාදී රාජ්‍යයක් කරා යන සිහිනය සාක්ෂාත් කොට ගැනීම විය යුතුයි...එහෙම තමයි කැච් ෆ්‍රේස් එක එහෙම නැත්නම් මුඛ්‍ය සටන් පාඨය...

අහස් ගව්ව සහ පාරදිගේ සිනමාපට දෙකේම තේමාව තරුණ අසහනය. අක්මුල් නැති තරුණ පරම්පරාව...ඒ දවස්වල පිළිගත් මතවාදය ඒකයි. ඒ කිව්වෙ තරුණ පරම්පරාවට ජීවන ක්‍රමයක් රජය සළසල දෙන්න ඕන. ඕනම රජයක් ඒ වගකීම ඉටු කිරීමට බැඳිල ඉන්නව.

ක්‍රමයෙන් ඒ අදහස් ගිලිහිල ගියාට අද උනත් ඒ සංකල්පයෙ නෂ්ඨාවශේෂ අප අවට තියනව. උපාධිධාරී රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය කියල එකක් තියෙන්නෙ ඒ හින්දනෙ. ඒ වගෙ සංගමයක් තියෙන එකේ කිසිම වරදක් නෑ ඒකෙං කරන්නෙ එකතුවෙලා තම සාමාජිකයින්ගෙ විරැකියාවට යම් පිළියමක් යොදන්නට කටයුතු කරනවනම්. මොන විකාරද? එයාල කරන්නෙ දියව් දියව් අපට රජයේ රැකියා දියව් කියල පාරවල් වහගෙන උද්ඝෝෂණය කරන එක. නැත්නම් පෙළපාලි යන එක.ඒ කියන්නෙ එයාල කියන්නෙ උපාධිධාරීන්ට රැකියා ලබාදෙන එක රජයේ වගකීම කියල..

ඔය තරුණයින්ව බොහොම අපූරුවට බීලි බාගන්නෙ ඒ අයගෙ හැඟීම් අවුස්සල ඒවයින් වාසි ගන්නෙ පෙරෙට්ටො සහ ජෙප්පො. ඒ දෙගොල්ල ඔය වැඩේට බොහොම සමර්තයි. බොර දියේ මාලු බෑමට. බොර දියේ මාලු බාන්ට උපන් හපන් කෙවුලො ඔය දෙගොල්ලම…

ඉතිං ඒ දවස්වල තිබ්බ ට්‍රෙන්ඩ් එකේ විදිහට පතීල වම් ඉවුරේ සිනමාවක් ගොඩ නඟල ඒකෙ පතාක යෝදයො වුනා. ඒකට කිසිම විදිහකින් වැරැද්දක් කියන්න බෑ. කාලානුරූපවනෙ හැම දෙයක්ම සිද්ද වෙන්නෙ. ඒ රැල්ල ඒ අවස්තාවෙ තිබ්බ ගතික තත්වයක් විසින් නිර්මාණය කල අවශ්‍යතාවයන්ට ප්‍රතිචාර දැක්වීමක්. එතන තියෙන්නෙ එච්චරයි.

ලෝකෙ කාලෙන් කාලෙට ඒ වගෙ එක එක රැළි එනව. මතවාද නිර්මාණය වෙනව. පස්සෙ කාලෙක ප්‍රත්‍යාවලෝකනයෙදි (In retrospect) අපිට පේනව එව්ව වැරදියි එහෙම නැත්නම් එහෙම නෙවෙයි වෙන්න තිබුනෙ කියල. ඒත් ඒ වෙනකොට කාලය ගලා ගිහිල්ල. එකම ගඟට දෙවරක් බහින්ට බෑ කියල කියන්නෙ නිකමට නෙවෙයිනෙ (You can never get into the same river twice) 

අද වෙනකොට ඔය වාමාංශිකයො කියන්නෙ මාරම පොරවල්ය කියල දේවත්වයෙන් අදහන සංකල්පය එහෙම්මම නැතිවෙලා ගිහිල්ල. ඇත්තම කිව්වොත් අද වාමාංශිකයො කියන්නෙ විහිළු කාරයො රංචුවක්. පරණ සමසමාජ කොමියුනිස්ට් අය ගැනනම් කතා නොකරන තරමට හොඳයි. ඔවුන්ගෙන් ගිලිහුනු රතු දජේ අතට ගත්තු එහෙම නැත්තං උදුර ගත්තු ජෙප්පො පෙරෙට්ටො උනත් ඊට දෙවෙනි නෑ.

අර ආන්ඩුවෙ දොස්තරල කියන පිස්සු හුටංල එක්ක එකතුවෙලා ලාල්කාංත නටන නාඩගමම දැක්කම හිතා ගත්තෑකි මේ රටේ කිසිම දවසක ජෙප්පො බලයට එන්නෙ නැත්තෙ මොකද කියල. ජෙප්පන්ට මම හිතන්නෙ තේරෙන්නෙ නැත්තෙත් ඒක. 

අර ජිජකුපාමය පස්සෙ වැටිල ඉන්න බයියො රැළ වගෙ අනුරල  දේවත්වයෙන් අදහාගෙන ඉන්න අන්ත වාදියො රැලක් ඉන්නව තමයි. ඒත් අනුරල බිමල්ල හඳුනෙත්තිල තේරුම්ගන්න ඕන ඒ එහෙයියො රැලේ චන්ද වලින් නම් මේ කපේට අඩුම ගානෙ ප්‍රාදේසීය සබාවක්වත් දිනන්න බැහැයි කියල.

ඒකට මධ්‍යස්ත පාවෙන චන්දවලින් බහුතරයක් කොහොම වෙතත් සෑහෙන ප්‍රමාණයක්වත් තමන්ට දිනාගන්න වෙනව. ඒත් අනේ ඇස් වහක් කටවහක් නෑ ජෙප්පන්ගෙ එහෙම වැඩ පිළිවෙලක් තියෙන බවක්නම් පේන්ට වත් නෑ.

අපි ඇත්තම කතා කරොත් ජේවීපී එක තමයි අද තියෙන දේශපාලන පක්ෂ අතරින් චන්දයක් දෙනව නම් දෙන්ට තියන එකම පක්සෙ. ඒත් මොන හේතුවක්ද මන්ද මට හිතෙන්නෙ රටේ බහුතර චන්ද දායකයින්ට සීනුවට චන්දයක් දෙන්ට හිත එකඟ කරගන්ට අමාරුයි.

අවසාන වශයෙන් තවත් එකක් කියන්න ඕන. පහුගිය පෝස්ට් එකකදි ඒ කිව්වෙ අර මහාචාර්ය තුමාගෙ දේශනය ගැන ලිව්ව පෝස්ට් එකට අජිත් දාපු කමෙන්ට් එකකට උත්තර දෙද්දි මම කිව්ව සෝවියට් දේශයේ බිඳ වැටීම ගැන මට හිතෙන විදිහ විස්තර කරල පොඩි සටහනක් ලියන්ට මගෙ අයිඩියා එකක් තියනවයි කියල.

මම කලින් හිතාගෙන හිටියෙ මේ සටහනේදිම ඒ ගැනත් ලියන්නම්ය කියල. ඒත් එහෙම ලිව්වොත් ඒක හරියන එකක් නෑ කියල හිතෙනව. එනිසාවෙන් ඒ ගැන එහෙනං තවත් දවසක ලියන්නම්ය...

Sunday, February 4, 2018

563. පුවක් එෂැණිං 39 - හැත්තෑවෙනි නිඩහස් ෂමරුව සජීවී විෂ්තර පොචාරය…

ඔව් ප්‍රියාදර දයාබර අසන්නනි, නරබන්නනි, දැන් මේ අවස්තාවේ අප ඉදිරියෙන් සාඩම්බර ලෙස ඉදිරියට ඇදී යනවා...හැත්තෑවන නිදහස් උළෙල වෙනුවෙන් පැවැත්වෙන ඒ උත්කෘෂ්ඨ සංදර්ශනය....

පළමුවෙන්ම මම එක කාරණයක් කිව යුතුමයි. මේ නිදහස් උළෙලේ එක් සුවිසේසී අංගයක් හැටියට ඉදිරිපත් කිරීමට සැලසුම් කොට තිබුනා යුවතියන්ගේ ලැට්ටොප් වන්නමක් සහ  ටෙලස්කෝප් නාඩගමක්. එහෙත් විසේසයෙන්ම සමාජ වෙබ් අඩවිවලින් නැඟ ආ විරෝධය සහ උසුළු විසුළු කිරීම් හේතුකොටගෙන එම අංගයන් මෙම උළෙලින් ඉවත් කොට තිබෙනවා.


නොමිලේ ලබාදීමට පොරොන්දුවූ වයි-ෆයි සොයමින්
ලැප් ටොප් එහා මෙහා ලෙළවමින් රංගනයේ යෙදෙන
යුවතියන් .......

බොහෝ දෙනෙක් පැවසුවා යුවතියන් එම ලැට්ටොප් එහාට මෙහාට වනමින් රංගනයෙහි යෙදෙනුයේ ලබා දෙන බවට පොරොන්දු වූ ෆ්‍රී වයි ෆයි සංඥාලැබෙනුයේ කොතනකදැයි සෙවීමේ අභිලාෂයෙන් බව. නිදහස් උළෙලේ ප්‍රධාන ආරාධිතයා වන එඩ්වඩ් කුමරා සමහරවිට මෙළෙස අසන්නටත් ඉඩ තිබුනා. 

"Hey excuse me ….what the fuck are those girls doing waving  lap tops all over the place?"

එඩා එහෙම ඇහුවනං මෙහෙම තමයි කියන්ට වෙන්නෙ...

"Your royal highness, they are just checking to see where they can get free Wi-fi that this Government promised during election time…"

"Ha..ha…ha.. You Sri Lankans are really a funny lot. I must tell mummy too when I get back..May be she would visit here for next year's independence..who knows?"

ඊට පස්සෙ අර තවත් යුවතියන් පිරිසක් එස් ලෝන් බට ඇහැට තියාගෙන හතර වටේට කැරකි කැරකි නටන සීන්ස් එක. 



යහපාලනයේ සේයාවක් හෝ දැක ගැනීමේ
අපේක්ෂාවෙන් දුරේක්ෂයන් භාවිතා කරමින්
හාත්පස නිරීක්ෂණය කරනා ළඳුන්....

ඒකට කියන්නෙ එස් ලෝන් වන්නම. එඩා ඇහුවොත් ඒ ගැන කියන්න තියෙන්නෙ මෙහෙමයි...

"They are just searching for "Yaha Palanaya" using those telescopes Your highness....."Yaha Palanaya" means good governance. It was also a promise of this government when they were in the opposition.."

"Ha…Ha…Ha…this is hilarious.. I think you Sri Lankans are in a class of your own...."

ඉතිං මගේ දයාබර නරඹන්නනි, ඔය වගෙ අපහසුතාවයන්ට මුහුණ දීමේ ඇති අපහසුතාවය නිසාම එම අංගයන් දෙකම අද උළෙලින් ඉවත් කෙරුනා. ඒත් ඔබ තමුන්නාන්සේලාට කිසිසේත්ම කණගාටු වෙන්ට කාරණයක් නෑ. ඉදිරියේ පැමිණෙන මැතිවරණ වලදී නැවතත් ෆ්‍රී වයි ෆයි කෝළම සහ යහ පාලන නාඩගම යලි රඟ දැක්වෙනු ඇති.

මා ඔබට එම විතර ගෙන එන අතරවාරයේ මෙන්න අප ඉදිරියෙන් ඇදී යනවා ප්‍රදර්ශක රථ පෙළපාලිය. ඔව්ව්....එහි ඉදිරියෙන්ම ගමන් කරන්නේ සුනාමි කෝලම රඟ දැක්වෙන ප්‍රදර්ශක රථයයි. 

එහි රඟ දැක්වෙන ජවනිකාව මම ඔබට විස්තර කරන්නම්. රථයේ ඉදිරිපසින් විශාල ජල ධාරාවක් ගලා එනවා 2004 වසරේ අපේ රටට මහත් විපතක් කල සුනාමිය සංකේතවත් කරමින්. ගම්බිම් යට කරමින් මහත් විනාශයක් කරමින් දෙගොඩ තලායන ඒ මහා ජල කඳට ගොදුරුව දහස් ගණනක් මිනිසුන් ගැහැනුන් ළමා ළපටින් මිය යනවා. අහෝ ඔවුන් විලාප නඟන ආකාරය හද කම්පා කරවන සුළුයි.

සුනාමි ඛේදවාචකයෙන් පසු....

ක්‍රමයෙන් ඒ මහා ජල කඳ බැස ගිය පසු මෙන්න ඔබට දැකගත හැකියි විදේශ රටවලින් මහා විශාල ආධාර ප්‍රමාණයක් ලැබෙනවා. ඩොලර් මිලියන ගණනක්. 

කුරහන් සාටකයක් ගෙල වටා පැළඳි උඩු රැවුල්කාර පුරුෂයෙක් ඒ ආධාර මුදලින් වැඩි ප්‍රමාණයක් යටි මඩි ගසා ගන්නා ආකාරය නිරූපණය කෙරෙනවා දැන් ඔබට නැරඹිය හැකියි. 


තමන් සුනාමි වංචාවෙන් මහ උළුගෙදර යාමට නොදී
 
බේරාගත් අතිජාත මිතුරා සමඟ සිනාමුසු මුහුණින්
පසුවන හි.ජ.කු.පා.ම.  
පසුබිමින් ඇසෙන කන්කළු ගායනයට අනුව පාද තබමින් ගෙල වටා කුරහන් කරල් පැළඳි තරුණයින් රැසක් නර්තනයක යෙදෙනවා. මට සහතිකයි ප්‍රියාදර අසන්නනි, නරඹන්නනි ඔබටත් එම ගායනය දැන් අසන්නට පිළිවෙනි.

"තනම් දෙනත් තම් දෙනාත් තනම් දෙන සුනාමියක් ආවා..තක තෙයි සුනාමියක් ආවා…"

එයින් පසු එක වරම තාලය වේග රිද්මයකට මාරු වෙනවා...තරුණයයින්ද ඒ අනුව උඩ පැන කැරකී කරණම් ගසා හිප් හොප් නැටුමකට මාරු වෙනවා…

"දෙන දෙයියෝ ගෙට ගෙනැවිත් දෙනවා...අපටත් ලඟදිම හඳ පායනවා.. එදාට මම නොවැරදීම රජ වෙනවා...හායි හායි හිප්පි හායි හායි... "

ඒ ඔබ ඉදිරියෙන් ඇදීයන්නේ සුනාමිකෝළම රඟදැක්වෙන ප්‍රදර්ශන රථයයි...

මීළඟට ඔබ ඉදිරියට පැමිණෙන්නේ බැඳුම්කර නාඩගම නිරූපණය කරන ප්‍රදර්ශණ රථයයි............

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...