 |
Cartoon - Ravaya |
අබයාරාමෙ චෛත්‍යය පිටිපස්සෙ බෝ ගහේ කොළ හත අටක් එක පාරටම හමාගෙන ආපු හුළඟට ගැලවිල අතුපතරින් බිමට වැටුන.වැලි මලුව අතුගගා හිටපු එතුමා ඒ දිහා බලල දත්මිටිකෑවා.
" අම්මාපල්ල..මේ අතුගෑවිල්ලෙ ඉවරයක් නෑනෙ..කොච්චර අතුගාපං...කොච්චර අතුගාපං ආයම කොළ වැටෙනව..ආයම කොළ වැටෙනව."
එතුමා හිටියෙ මේස් බැනියමක් ඇඳල සුදු සරම වලාපොට ගහගෙන. කුරහං සාටකේ බෝ ගහේ අත්තක වනල තිබ්බෙ දාඩිය ටිකක් වේලෙන්ට. මේ දවස්වල ඒ සාටකේ කොයි වෙලාවෙත් දාඩියෙං තෙත බරි වෙලා. ඇයි අප්පච්චියේ කීයක් නං කියල වැඩද?
අම්මාපල්ල ඇත්තම කිව්වොත් ජනාදිපති කාලෙටත් වඩා මට දැන් නෙව වැඩ වැඩි..එතුමා අතුගාන එක ටිකකට නවත්තල ඉදලෙ මිටට නිකට තියාගෙන කල්පනා කලා. ඒ කාලෙ මට ඒ හැටි වැඩක් තිබ්බ එකක්ය. ඔය රැස්වීමකට දෙකකට ගිහිල්ල රුපියල් පන්සීය ගානෙ දීල නොමිලේ ලංගම බස් වල පටවගෙන ආපු සෙනඟ මගෙ පින්තූර උස්සගෙන ජයවේවා කියල කෑගහනකොට ඒ දිහාට අතක් උස්සල දත් වහල්ල විරිත්තල හිනාවෙන්ටයි, ළමයෙක් දෙන්නෙක්ට හංකිචි කවල උඩ දාන්ටයි, වයසක බබලතෙක්ගෙං ආ..කොහොමෙයි අම්මේ දැං සැපසනීප එහෙම ? කියල අහන්ටයි...ට්‍රැක් කිට් එක ගහගෙන උදේට උදේට ගෝල්පේස් එකේ දුවන්ටයි, සතියකට සැරයක් ජාතික පුවත්පත්ය කියන පත්තර කඩමාලුවල කත්තුරුල කියල ඉන්න පක්කලියන්ට අරලියගහ මන්දිරේට එන්ට කියල කුරහං තලප එක්ක උදේ කෑම වේලක් දෙන්ටයි, ඔය වගෙ පොඩි පොඩි ගංසබා වැඩ ඇරුනු කොට ඒ කාලෙ තමං එහෙමට කරපු දෙයක් නැතිබව මතක්වී එතුමාට හීල්ලුණේය.
ඊට අමතරව වැඩක් හැටියට කලානම් කලේ විපස්සෙං බිලී බාගන්නා මන්තිරිලට ඇමතිකංවල පත්තීම් ලිපි ප්‍රදානය කිරීමය. හිටපු ලේකං තුමා පත්තීම් ලිපිය දුන්නම, ඒක එතුමාගේ දෑත් සත්තිමත් කොරන්ට හිතාගෙන විපස්සයෙං ආන්ඩුව පැත්තට බඩ පිනුමක් ගහපු කරනං කාරයාට දීමේ රාජකාරිය කලේ එතුමාය. ඒ වෙලාවෙ සමහර කරනං කාරයෝ දෙකට නැමී තමං ගාව වැඳ වැටුන හැටි මතක් වෙලා එතුමාගේ දෑසට කඳුලු පුරාගෙන ආවේය.
පත්තීං ලිපි ප්‍රදානය එතුමා ජනාදිපති කාලේ කොරපු ප්‍රධානම රාජකාරිය බව දවසක්දා කිව්වේ වෙන කවුරුවත් නොව එතුමාගේ ඇඹේණියන්මය. නැතහොත් ආර්යා තොමෝමය. විපස්ස නායකයාට ටෙම්පල් ටිරීස් එකට එන්ට කියා කෝපි කෝප්පයක් එහෙම පිලිගන්වා එහාට මෙහාට පිල්මාරු කරන එක නවත්තමුය, නව දේසපාලු සඟිස්කුරුතියක් ගොඩනඟමුය කියල පොරොන්දු වෙලා සතියක් යන්ට පෙර විපස්සයේ හත් අට දෙනෙක් බිලී බාගත්තු හැටි මතක් වෙලා එතුමාට සෑහෙන කාලෙකට පස්සෙ හීං හිනාවක්ද ගියේය. පුදුම වෙන්ට දෙයක් නැත. තමංගෙ බලේ රැකගංට ඒ වගේ ඕනෑම පජාති වැඩක් කරන්නට එතුමා එක මොහොතක්වත් පැකිලුනේ නැත..
ඒ ඔක්කොම සුකුරුත්තං වැඩ කෑලි ජනවාරි අටවෙනිදායිං පස්සෙ කෙලවෙලාම ගියහැටි මතක් වෙනකොට බඩ පපුව දාගෙන යන්නේ හම්බන්තොට ලෝකයේ ලොකුම වතුර වල විවෘත කරපු දා සුබ මොහොතිං දොර ඇරියාම මූදෙ වතුර හාරපු වලට ගලාගෙන ආවා වගේය.
මේ දවස්වල එතුමාට ජනාදිපතිකාලෙටත් වැඩිය වැඩ රාජකාරි අදිකය. උදේම අබයාරාමෙට එතුමා බලන්ට කියල එන දුරබැහැර ජහමනයා හම්බවෙලා වචනයක් දෙකක් කතාකරන්ට ඕනෑය.කුජීතවෙලා ගිහිල්ල මාස හයකටත් කිට්ටුවුනත් තාමත් පුදුමසතා බලන්ට වගෙ මිනිස්සු එන එකේ අඩුවක් නැත.
" මේ මෝඩ හැතිකරේ..මොන මඟුලකට මාව බලන්ට එනවද මන්ද...මුං ඔක්කොම එකයි. ළමයි මගෙ අතට දීල මනාපෙ අර සිරිසේනයට දුන්න "
හවස් වෙනකල් තාප්ප උඩ නැඟගෙන, ජනෙල් කූරුවල තනිඅතින් එල්ලීගෙන අර හන්දියක් හන්දියක් ගානේ අදාදිනේවා...අදාදිනේවා කියා යටිගිරියෙං කෑගහන ලොතරැයිකාරයෙක් වගේ මෙගාපෝං වලිං එලොවටත් නැති, මෙලොවටත් නැති, සම්ප්‍රප්ඵලාප දේසනාකොට පාංකියාගන්නට බැරිවුනහම එතුමාටම ඔයාකාර හිතුනාවුනත් එහෙම මිනිස්සු ඇවිල්ල අතපත ගාලා " අනේ අපොයි ඇඟේ හැපෙයි පාරෙ උංට මාරකේ..." කියල එහෙම යනවට එක අතකට එතුමා බොහොම කැමතිය.
" අනේ අප්පේ...මේ ඉන්නෙ හඳපාන වාගෙ...මූණ කට බලමුකො ඇස්වහක් කටවහක් නෑ රත්තරන් පාටයි...." ගමේ ගොඩේ වයසක ආච්චිලා හැරමිටි ඇන ඇන ඇවිත් එහෙම කියනකොට එතුමාගේ මූණ කට සිරියාවන්ත හිනාවකිං වැසීයන්නේය.
" හප්පච්චියේ කොහොම හිටපු මමද අද මේ පන්සලක අගුපිලකට වෙලා දංබත් කකා ඉන්ට වෙලා තියෙන්නෙ ඇබිත්තයෙක් වගෙ.."
නොදැනීම එතුමාට හෙලුනු සුසුම අසන්නට එතන හිටියේ අබයාරාමේ ලොකු හාන්දුරුවන්ගේ සුවච කීකරු බලු දණ්ඩා පමණි. ඒ බලු රාල ඒ නායක උන්නාංසේ බුදුන් වදාල ධර්මය පරිදි සකල ජනයාහට නිවන් දොරටු විවරකොට දීම ලබන ආත්ම භාවය වනතුරු ටෙම්පරරිලි පෝස්පෝංකොට නේස් නෝනලාගේ විමුක්තිය වෙනුවෙං සිවුර කරටගත් කාලයේ පටං එතුමා එක්ක පයුරුපාසානේ යෙදී පංසලේම වාසය කරන තිරිසනෙකි.
බෝ මලුව පාමුල වැතිරී සිටි ඒකා බණ මඩුව පිටිපස්ස පැත්තෙං එන යකඩ තලන සද්දෙට ඇහැරී කං උස්සා ජුංඩක් වෙලා ඒ පැත්ත බලා හිට වරක් දෙවරක් බිරුවේය. ඒ සද්දයට අතීතාවර්ජනයෙන් මිදුනු එතුමාද කඳුලු පිහදාගෙන ඒ පැත්තට ගියේය. බණ මඩුව පිටුපස තාවකාලිකව අටවාපු ටකරං මඩුවක චීන්නු හත් අටදෙනෙක් වටවී හැලි අරක්කු පෙරන බැරල් එකක් වගේ මොකක්ද එකක මලකඩ කඩති. ඒ අතර බැරල් එක වගේ එකේ ඇදවෙලා තියන තැං කෙලිං කොරන්නට කුලුගෙඩි දෑත බදා උස්සා දේයි දේයි යන අනුකරණයෙන් බැරල් එකට තඩි බාති. පරණ බැනියමක් සහ හම ගිය කොට කලිසමක් ඇඳගත් උස මහත තරුණයෙක් ඒ ලඟම තියෙන ලාම්පුතෙල් බූලියක් උඩ වාඩිවී ඒදෙස බලා ඉඳියි.
" චිංචි පුතා..මොකද තවම ඕකෙ මලකඩ කඩල ඉවරයක් කරගන්ට බැරිවුනාද ළමයො? " එතුමා අත්දෙක ඉණට තබාගෙන ඇසුවේය
" නෑනෙ ඩඩා, බලන්නකො මේකෙ හැටි...මේ යක්කු එක්ක බෑනෙ. අපිට මේ මලකඩ කාච්ච පරන ලදරමක්නෙ මුං විකුණල තියෙන්නෙ... " එහෙම කීවෙ ලාම්පුතෙල් බූලිය උඩ වාඩිවී හිටිය තරුණයාය. ඒ එතුමාගෙ බාල පුත්‍රරත්නය නොහොත් චිංචි පුතාය.
ලෝකේ ලාබාලම අබ්බියාවකාසගාමියා වෙන්නට පෙරුම් පිරුවේ අපේ මේ චිංචි පුතාය. එතුමාගේ පවුලේ කස්ටියට බැරිදෙයක් නොමැත.චිංචි පුතා ලාබාලම අබ්බියාවකාසගාමියා වෙන්නට ආචාරිය උපාදියක් නොහොත් ඩොට්ටරේට් එකක් කරනවාය කියාත් ඒ දවස්වල පත්තරවල පලවුනේය. ඒ අතර එතුමාගේ ආර්යාව පත්තරවලට කිව්වෙ චිංචි දොස්තර කෙනෙක් වෙන්නට ඉගෙන ගන්නවා කියාය. ඒ මොකවුනත් චිංචි පුතා ආමි රගර් ටීම් එකේ කැප්ටන්කම කලා කියලා නම් මට මතකය. අනික් ළමයි දෙන්නත් ආමි සහ නේවි රගර් ටීම් වලට සෙල්ලං කලෝය. අයිය මලෝ තුංදෙනාම සිරි ලංකා රගර් ටීම් එකටද නිතරඟයෙන් තේරී පත් වූවෝය.
රගර් කියන්නෙ අර දෙපැත්ත උල් බෝලෙ අරගෙන මෙලොව සිහියක් නැතුව දුවන, ඔලුව කියල එකක් නැතුව කඳබඩ විතරක් තියෙන, ඕනම කෙනෙකුට කිසි අවුලක්නැතුව කොරංට ඇහැක් සෙල්ලමක් නිසා පුත්තු තුංදෙනාම කිසිම අවුලක් නැතුව රගර් ක්‍රීඩකයන් උනෝය. යන්තමට වත් රාජ කුමාරවරු පොල්පිති බැට් එකක්වත් අල්ලලා හුරුවක් නොතිබිච්චි එක හොඳට ගියේය. නැහ්නං ඔය තුං දෙනාම සුටුස් ගානකොට ශ්‍රී ලංකා ක්‍රිකට් ටීම් එකට දාන එක එතුමාගේ මල්ලිලා එක්තුවෙලා හතර අතේ කොමිස් ගැහුව එක වගේ ඉස්තිරය.
ඒ චීන්නු වටවෙලා තඩි බාමින් උන්නු හැලි අරක්කු බැරල් එකක් වාගේ එක චීනයෙං එතුමා සල්ලි දීලා ගත්තු චන්ද්‍රිකාවය.. ඕක ගත්තු අලුතම ලෝකෙ වටේ රවුම් බාගයක් ද කොහෙද ගියා කියලා ඒ කාලෙම පත්තරේක තිබ්බාය. ශ්‍රී ලංකාවටද දැං චන්ද්‍රිකාවක් තියනවාය කියා ඩිනමින පත්තරේ එහෙම ඒ දවස්වල කිව්වේ පොල්ගෙඩි සයිස් අකුරු වලින් යුතු සිරස්තල දාලාය.
" අනේ අප්පේ කොච්චර දෙයක්ද? රට සුකිත මුදිත කරලා අපිට දැං තිබ්බ ලොකුම අඩුපාඩුව ඒකය. දැං ඔන්න එතුමාට පිංසිද්ද වෙන්ට ඒ අඩුපාඩුවත් සම්පූර්ණයි නෙවද? "
එහෙම කියමින් අපි කවුරුත් ඒ දවස්වල චන්ද්‍රිකාව සිංහ කොඩියකුත් ගහගෙන, ලෝකෙ වටේ යනවා යනවා බලන්ට, කමින් හිටපු බත්පත පැත්තක දමා, මිදුල් වලට පැන්නෙමු.ඇස් රිදෙන තුරු උඩබලා හිට ජයගෝසා ද නැඟූවෙමු. එතුමාගේ පිංතූර කෝටුවල ගහලා හිට උඩට උස්සලා දස අතේ වනමින් ඔල්වසරන් දුන්නෙමු. ඇඳ පැලඳ හිටි සරං, කලිසං, සාරි, සහ එතනිං ගිහාම ගවුං ගලවා හිස වටා සිසාරවමින් ඔල්වරසං දුන්නෙමු.
ඔය චන්ද්‍රිකාව චීන්නුංගෙං ගත්තේ තනිකරම මැදමුලන එතුමාගේ ප්‍රම්ප්‍රාගත හේනේ කුරහං විකුණලා ගත්ත සල්ලිවලිං නිසා ලෝකෙ වටේ රවුම් බාගයක් දිව්වට පස්සෙ ඒක කොට උඩ ගියපු එකගැන එතුමාගේ කොයියම්ම තරහ කාරයෙකුට වුනත් වැරැද්දක් කියන්ට බැරිය. දැං ඔය නැව් නේන වරාය, මොනරු පිල්විදහාගෙන නටන ආසියන්තරා පිට්ටනිය, විහාරමහාදේවී උද්දියානෙ හදපු රංගසාලාව වගෙ අටමගල් වලට වුනත් එතුමාගේ නම දාගත්තු එක ගැන කාටවත් එක වචනයක්වත් කියන්ට බැරිය. ඒ එකක්කත් මහජන සල්ලි වලින් හදපුවා නෙවෙයිය. එව්වා ඔක්කොම හැදුවෙ මැදමුලන එතුමාගේ පාරම්පරික කුරහං හේනේ ආදායමිං බව දන්නෝ දනිති. ඒ ගැන නොදැන ආඩපාලි කියන්නෝ ඉස් මුදුනට බැටං පොලු පාරක් පත බෑවිලා මොළගෙඩිය සුට්ටක් හෙල්ලුනාට පසු ඇත්ත සිද්දිය අවබෝද කරගන්නෝය. ඒ කාලේ වැඩ සිද්ද වුනේ අන්න එහෙමය.
" හරි..චිංචි පුතා..එහෙනං වැඩේ කරගෙන යන්ටකො..මට යන්ට තියෙනවා වැලිකඩ.." එතුමා එතනින් පිටවී මල් දෝවනය කරන වතුරමල ගාවට ගියේ මූණ කට ටිකක හෝදාගෙන දිනපතා වැලිකඩ යන ගමනට ලෑස්තිවෙන්ටය. එතුමාගේ ගෝල බාලයිංගෙං සීයට පණහක් දැං ඉන්නේ එක්කෝ වැලිකඩ රිමං එකේය. එහෙම නැත්තං ඇප මතය.
" හපෝයි මුංට මෙව්ව කරන්ට කියල මම කිව්ව එක හැබෑව..ඒත් අහුවෙන්ට කරන්ටය කියල මම කිව්වද? මුං දැනගන්ට එපාය කරන මඟුලක් අහුනෙවෙන්ට කරන්ට. ඒකෙනුත් මටමයි කරදරේ..ඇයි මේ තක්කඩි බලන්ට හිරගෙදර යන්ට එපාය.." තොල් මතුරමින් එතුමා මූන කට හෝදා ජාතික බැනියම දෙතුං වරක් ගසලා දාලා එහෙම ඇඳගත්තේය.
ඒ එක්කම අබයාරාමෙ ගේට්ටුවෙං ගාල කඩාගත්තා වාගෙ ඇතුල් වුනේ පනහක හැටක පමණ සේනාවකි. ඒ එතුමාගේ ගමේ කට්ටිය බව එතුමා අඳුනාගත්තේ සෙනඟ තලේ ඉස්සරහිම්ම එන ගුණේරිස් අයියා දැකීමෙනි. ගුණේරිස් එතුමා මුල්කිරිගල අතුරු මැතිවරනය කාලෙ හිරේ හිටිය දවස්වල ඉඳලම එතුමාට පණ වුනත් දෙන්නට තරම් සූදානම් හිතවතෙකි.
" මොකද ගුණේරිස් අයියා?..." එතුමා ඇසුවේ කුරහං සාටකේ කරේ දමාගන්නා අතරේය.
" ඔබතුමාට මේ පාර මහ චන්දෙට අපේක්සකකම ලැබෙන පාටක් නෑ වගේ නේද? " ගුණේරිස් අයියා ලඟටම කිට්ටුවී හෙමීට ඇසුවේය.
එතුමා මුලිම්ම ලෝඩ් පකීර් වගේ කෙලිම්ම ඉල්ලා හිටියේ අගමැති අපේක්සක කමය. ඒක හරි නොයන බව දැනුනුවිට ජාතික ලයිස්තුවෙං පාර්ලිමේන්තුවට රිංගන්ට බැලුවේය. ඒකත් කෙලවුනු තැන නිකං අපේක්සක කමක්වත් ඉල්ලා සිටියේය. ඒකත් එකහෙලාම ප්‍රතික්සේප විය.
" ඒකනෙ බලාපංකො ගුණේරිස් අයියෙ..මේ මිනිස්සුංට කිසිම කෙලෙහි ගුනයක් නැති හැටියක්.මට අපේක්සක කමවත් නොදෙන හැඩක් තමයි තියෙන්නෙ.." එතුමා එහෙම කීවේ බෝමත්ම කනගාටුවෙනි.
" ඔබතුමා කිසිදේකට බයවෙන්ට එපා..කවුරු නැතිවුනත් ඔබ තුමාට අපි ඉන්නව. අපි මේ ආවෙ ඔබතුමාට යෝජනාවක් අරගෙනයි. ඔබතුමා මේ රටට වැඩක් කරන්ට ඕන තව දුරටත්. ඒක වලක්වන්ට කාටවත්ම අපි ඉඩ දෙන්නෙ නෑ."
" ඒක නේන්නං ගුණේරිස් අයියෙ බලාපංකො..මම මේ චන්ද ලක්ස හතරකිං පැරදිලත් ගෙදර යන්නෙ නැතුව රෑ දවල් දෙකේ මේ දඟලන්නෙ කිරිපණු ගායටද? නෑ...මගේ රට ජාතිය ආගම වෙනුවෙන් ( දේයි..දේයි..දේයි..තුංවරක් පපුවට ගසාගනී. ගුණේරිස් අයියා ප්‍රධාන පිරිස තූස්නිම්බූතව බලා හිඳිති ) මගේ අනුපමේය සේවය තව දුරටත් ලබාදීමේ පරම පවිත්‍ර චේතනාවෙන් නේද? ඇයි මේ මිනිස්සු මට ඒකට ඉඩ නොදෙන්නෙ? "
" හරි..හරි..ඒක තමයි අපිත් කියන්නෙ..ඔබ තුමාගෙ සේවය තවදුරටත් අපිට ( මේ මොහොතේ එතුමා යලිත් දෙවරක් පපුවට ගසා ගනී. දේයි..දේයි...) අවශ්‍යයයි.. අපි ඒකට යෝජනාවක් කරන්ටයි මේ තකහනියක් ආවෙ. "
" හරි මොකක්ද ඉතිං ඔය යෝජනාව? රට ජාතිය වෙනුවෙං මැරෙනකල්ම සේවය කරන එක තමයි මගේ එකම අදිෂ්ඨානය…"
" අපේ යෝජනාව මෙහෙමයි…….. ඔබතුමා....."
එතුමා මේ අවස්තාවේ අත ඔසවා කතාවට ගුණේරිස් අයියාගේ කතාවට බාදා කලේය..." මට අමතක වුනානෙ අර රට ජතිය වෙනුවෙං කියල කිව්ව වෙලාවෙ පපුවට ගහ ගන්ට..හරි කමක් නෑ..දැං ගහගමු..දේයි..දේයි..හරි පපුවට ගහගෙන ඉවරයි කියමුකො.දැං මොකක්ද ඔහෙලගෙ යෝජනාව…"
" අපේ යෝජනාව මේකයි. දැං මේ හෙට අනිද්දම වගෙ ප්‍රාදේසීය සබා චන්දෙත් තියනවනෙ. ඔබතුමා ඉල්ලන්ට මැදමුලන ප්‍රාදේසීය සබාවෙ සබාපතිකමට. මොකද කියන්නෙ? කැමතියි නේද? "
" අපොයි ගුණේරිස් අයියෙ මං කැමතියි…..මං කැමතියි….මං කැමතියි…...රට , ජාතිය වෙනුවෙන්…" ( දේයි...දේයි...දේයි )