Thursday, August 31, 2017

526. ඝාතකයකුගේ කතාව....1

ඩේවිඩ් බල්ඩාච්චි විසින් රචිත ද ගිල්ටි නවකථාවේ
පිටකවරය ඉහත ඡායාරූපයෙහි දැක්වේ.

විල් රොබී අඳුරු සෙවණැල්ලක්මෙන් සැඟව සිටියේ අත්හැරදැමූ පාළු ගොඩනැඟිල්ලක අබලන්වූ ජනේලයක් අසළය. එම ගොඩනැඟිල්ල පිහිටියේ අමරිකා එක්සත් ජනපදයේ වර්තමාන මිතුරු රාජ්‍යයක අගනුවර ප්‍රත්‍යන්ත ප්‍රදේශයකය.

රොබී මෙසේ සැඟව සිටින කාර්යය යම්හෙයකින් අසාර්ථක වුවහොත් සහ එමෙන්ම එහි රහස්‍ය භාවය හෙළිවුවහොත් බොහෝවිට හෙට දින පටන් ඒ තත්වය වෙනස්විය හැක. එනම් එක්සත් ජනපදය සහ මේ රාජ්‍යය අතර සබඳතා යලි පහසුවෙන් ගොඩනඟාගත නොහැකි පරිදි බිඳ වැටිය හැක. 

රොබී නොගිණිය හැකි පමණ වාර ගණනක් බොහෝ විදේශ රටවල මෙවන් අත්හැරදැමූ පාළු ගොඩනැඟිලිවල අබලන්වූ ජනේල අසළ දෑතෙහි රැඳි ආයුධයක්ද සහිතව සහිතව හුදකළාව ඉවසිලිවන්තව රැඳී සිට පලපුරුදු ඇත්තෙකි. පාළු එමෙන්ම අත්හැරදැමූ මෙවන් ගොඩනැඟිලි රොබීගේ රැකියාව උදෙසා ඉතාම ප්‍රශස්තය. ඉතාම නවීන දුරදක්නා උපකරණ සවිකල ස්නයිපර් රයිෆලයක් ආධාරයෙන් හිසට වෙඩි තබා ඔබට යමෙකු ඝාතනය කිරීමට අවශ්‍ය වන්නේනම් ඔබ කිසිසේත්ම එම කාර්යය දෙනෝ දාහක් මිනිසුන් නිතර ගැවසෙන ස්ථානයක සිට නොකරනු ඇත.

රොබී වනාහී සෑමවිටම සැළසුම අවසාන වශයෙන් ක්‍රියාත්මක කරන්නාය. දීර්ඝ කාලීන සැලසුම් සකස් කිරීම සහ එහි වාසි අවාසි මැන බලා අවසන් තීරණය ගැනීම ඔහුට අණ දෙන උසස් නිළධාරීන්ගේ සහ ඊටත් ඉහළින් වූ දේශපාලනඥයින්ගේ කාර්ය භාරය විය. තීරණය දැනුම් දුන් ඉක්බිති ඉතාම නිරවද්‍ය ලෙස කිසිදු අතපසුවීමකට ඉඩ නොතබා එය ක්‍රියාත්මක කිරීම රොබීගේ කාර්යභාරය වූ අතර ඔහු එහි ඉතාම දක්ෂයෙක්ද විය. සමහරවිට එම කාර්යයෙහි මුළු මහත් එක්සත් ජනපදයෙහිම සිටින ඉතාම ප්‍රවීණයා ඔහු බවද බොහෝ තතු දත්තෝ පැවසූහ.

මෙම තීරණ ගන්නෝද එක්තරා ආකාරයක ඝාතකයෝ වූහ. එහෙත් ඔවුන් ඝාතනයට භාවිතා කලේ රොබී මෙන් වෙඩිඋණ්ඩනොව නොයෙක් අණපනත්, නීති සහ රෙගුලාසි පැනවීමය. එහෙත් එමඟින් ඔවුහු රොබීට තම ජීවිත කාලය තුල හෝ කල නොහැකි පමණ හානියක් නීත්‍යානුකූලවම කලෝය. 

රොබී හිස පහළට හරවා තට්ටු හතරකට පහළින් ඉද්ද ගැසුවාක් මෙන් දිවෙන වීදිය දෙස නෙත් යොමු කලේය. දැඩි නිශ්ශබ්දතාවයක් වීදිය පුරා පැතිර තිබිණි.

එහෙත් ඒ දැඩි නිශ්ශබ්දතාවය තව බොහෝ වේලා නොපවතිනු ඇත. රොබී තම කාර්යය ඉටු කල ඉක්බිති ඒ නිශ්ශබ්දතාවය වහාම ක්‍රියාත්මක වන පරිදි බිඳ වැටෙනු නියතය.

රොබීගේ දකුණු කණ තුල රැඳවූ  රැහැන් රහිත කුඩා ශබ්ද විකාශන උපකරණය අවසන් උපදෙස් නිකුත් කලේය. ඒ සමඟම රොබී විසින් කලයුතු කාර්යය පිළිබඳ විස්තරාත්මක විශ්ලේෂණයක්ද අඩංගු විය. 

සත්‍ය වශයෙන්ම මෙසේ අවසාන මොහොතේ උපදෙස් නිකුත් කිරීමෙහි කිසිදු අවශ්‍යතාවයක් නොවීය. ශෛලමය පුවරුවක කෙටූ වදන් මාලාවක් මෙන් ඒ සියල්ල රොබීගේ මනසෙහි තැන්පත්ව තිබිණි. 

එසේ අකුරින් අකුර සිහිතබා ගැනීම රොබීගේ කාර්යය සාර්ථකව ඉටුකිරීම සහ ඉක්බිති තවත් දිනයක එම කාර්යය කිරීම උදෙසා ජීවිතය රැකගැනීමට ඉතාම අත්‍යාවශ්‍යය. මෙවන් බොහෝ මෙහෙයුම් සංඛ්‍යාවකට ඉක්බිතිද රොබී තවමත් නිරුපද්‍රිතව මිහිමත වසනුයේ හුදෙක් ඒ මතක තබාගැනීමේ හැකියාව නිසාමය.

කණෙහි රැඳවූ ශබ්ද විකාශන උපකරණයෙන් නිකුත්වූ හඬට සාවධානව සවන්දුන් රොබී පහත් හඬින් කිසියම් ප්‍රශ්න කිහිපයක් විමසා ඔහුට අපැහැදිලිවූ යම් කරුණු කිහිපයක් පිළිබඳ සැක දුරුකොට ගත්තේය. අවසන ඔහුට මෙහෙයුම උදෙසා සූදානම් ව සිටින්නැයි යන නියෝගය ලැබිණි. මේ සියල්ල රොබීගේ රාජකාරිය ඉටු කිරිමේ සාමාන්‍ය ක්‍රියාපටිපාටියයි.

එම ක්‍රියාපටිපාටිය සාමාන්‍ය යනුවෙන් හැඳින්විය හැකිද යන්න සත්‍ය වශයෙන්ම මතභේදාත්මකය. එසේ වනුයේ එම ක්‍රියාපටිපාටියෙහි අවසන් ප්‍රතිඵලය වනාහී කිසිවෙකු ප්‍රචණ්ඩ ලෙස ඝාතනය වීම බැවිනි.

රොබී තම වෘත්තීය ජීවිතය ආරම්භයෙහිදී කිසිදු විටෙක තමන්ට රැකියාව වශයෙන් කිසිවකුගේ නියෝග පරිදි තමන්ට පෞද්ගලිකව කිසිදු හානියක් නොකල පුද්ගලයින් ඝාතනය කිරීමට සිදුවනු ඇතැයි සිහිනෙනුදු නොසිතීය. එහෙත් අනපේක්ෂිත සහ දෛවෝපගත සිදුවීම් කිහිපයකින් අනතුරුව ඔහුට මේ අකුරු තුනකින් සැදි සංකේත නාමයකින් ලොව පුරා කුප්‍රසිද්ධ රහස් ඔත්තු සේවයට සම්බන්ධව කටයුතු කිරීමට සිදුවිය.

ඔහු තම ඝාතක දිවිය ඇරඹූයේ පියවරෙන් පියවරය.

පළමුව ඔහු පුහුණුවූයේ ඝණ කඩදාසියෙන් නිර්මිත ද්විමාන ඉලක්කයන් සමඟය. දෙවනුව ඒ පදම්කල මැට්ටෙන් නිර්මිත ත්‍රිමාන ඉලක්කයන් බවට පත්වූහ. තෙවනුව ඔහු පුහුණු වූයේ ස්වාභාවික රුධිරයට ඉතාම සමාන දියරයක් අඩංගු කුඩා පොලිතීන් බහාලුම් උර කුහරය සහ හිස තුල රැඳවූ මිනිසකුට සර්ව ප්‍රකාරයෙන්ම සමාන වූ ආකෘති සමඟය.

මිනිසකුට ඉතාම සමාන ආකෘති සහ කෘත්‍රිම රුධිරය ස්වාභාවික මිනිසුන් සහ රක්තවර්ණ සත්‍ය රුධිරයට විකාශය වූයේ කවදා කෙලෙසකදැයි රොබී නොදත්තේය. සත්‍ය වශයෙන්ම ඔහු ඒ පිළිබඳව කිසිවිටෙක නොසිතුවේය. එසේත් නැතහොත් ඒ පිබඳව සිත් මෙහෙයවීමට ඔහුට අවශ්‍යතාවයක් හෝ කාල වේලාවක් හෝ නොවීය.

ඔහු තම අතෙහි රැඳි ගිණිඅවියෙහි කොකා තදකොට බොහෝ මිනිසුන් ඝාතනය කොට ඇත. ඒ කිසිම විටෙක එසේ කිරීමට හේතුවක් ඔහු කිසිවකුගෙන් නොවිමසීය. එසේ විමසන ඝාතකයෝ ඒජන්සිය තුල අප්‍රසාදයට ලක්වන්නෝය. ඔවුහු ඉතා ඉක්මණින් රැකියා විරහිත වන්නෝය. බොහෝවිට ඔවුන්ගේ රැකියා විරහිත දිවියද ඉතා කෙටි කාලයකට සීමා වන්නේය. ඔවුහු බොහෝවිට හදිසියේම ඝාතනය වන්නෝය.

මෑත කාලයේදී රොබීගේ සිතෙහිද යම් යම් ප්‍රශ්ණ පැණනොනැඟුනේ නොවේ. සෘජුව තමන්ට ලැබුණු නියෝග ප්‍රශ්ණ නොකළද ඔහු කෙමෙන් කෙමෙන් තම අප්‍රසාදය නියෝග ලබාදෙන්නවුන්හට හැඟෙන්නට සැළැස්වීය. එබැවින් වියයුතු ලෙසම ඔහු සේවය කල ආයතනයේ උසස් නිළධාරීන් අතර ඔහුගේ ජනප්‍රියත්වයද ඒ අප්‍රසාදය දැක්වීම් හා සමානුපාතිකව පහළ බසිමින් පැවතියේය. එහෙත් රොබී ඒ පිළිබඳව කිසිදු තැකීමක් නොකළේය.

රොබී දෑස් තදින් පියාගත්වනම හිස කිහිප වරක් සොළවා අනවශ්‍ය සිතුවිලි සියල්ල සිතින් පළවා හැර තමන් මේ අත්හැරදැමූ ගොඩනැඟිල්ලට පැමිණ ජනේලයක් අසල සැඟවී සිට ඉටු කිරීමට අපේක්ෂා කරනා කාර්යය කෙරෙහි දැඩිව සිත යොමු කලේය.

********************************

පලි - 

මේ මම මේ දවස්වල කියවන පොතෙන් පොඩි කොටසක්. 

ඩේවිඩ් බල්ඩාච්චි කියන්නෙ අමරිකානු ජාතික සුප්‍රසිද්ධ ත්‍රාසජනක කථා රචකයෙක්. විල් රොබී සහ ජෙසිකා රීල් කියන්නෙ ඔහු මැවූ ජනප්‍රිය චරිත දෙකක්. මේ දෙන්නම සී.අයි.ඒ. සංවිධානයෙ නිල ඝාතකයො. විල් රොබී කථා මාලාවෙ හතරවෙනි පොත තමයි ද ගිල්ටි. 

පපලි - 

හරි හරි කෑගහන්ට එපල්ල. මේක දිගටම ලියන්ට බලාපොරොත්තුවක් නෑ. තව එක කොටසයි. ඒක සෙනසුරාදට දාන්නං. වැඩේ ක්ලෝස්....:)

Friday, August 25, 2017

525. The Story Of My Marriage - 43 - Conference calls, Looking for scapegoats and The outspoken Mr. Geoffrey Boycott……..


60,70 සහ 80 දශකයන්හි එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ
ආරම්භක පිතිකරුවකුවූ ජෙෆ්‍රි බෝයිකොට්
ඉහත ඡායාරූපයෙහි දැක්වේ.

"මට මේ වෙනකොට පැමිණිලි හතක් ලැබිල තියනව. ඒ ඔක්කොම අපේ දීර්ඝ කාලීන ගනුදෙනුකරුවන් කාරියන් ගෙන්. ඒ ඔක්කොම අපේ බැංකුව කෙරෙහි දැඩි විශ්වාසය තියපු කට්ටිය" සිටි බැංකුවේ මුලු මහත් ඉන්දියාවේම පරිභෝගික සේවා මෙහෙයුම් කටයුතු භාර ප්‍රධානියා එසේ පැවසූයේ මුම්බායි සිට සමූහ ඇමතුමකින් (Conference call) අප හා සම්බන්ධ වෙමිනි. 

"ඒක ඉතිං කියන්ටත් දෙයක්ය. බැංකුව කෙරෙහි දැඩි විශ්වාසය තියපු හින්දනෙ අපි කියපු විදිහට සල්ලි දාල කෙලව ගත්තෙ" මම තොල මැතිරීමි.

"මොනව හරි ඒ ගැන කියන්ට තියනවද ඔතන ඉන්න කාටහරි?"

මේසය වටා රැස්ව සිටි අප සියල්ලෝ මුම්බායි නුවර සිට දැඩි ආවේගයෙන් කථාකරන ප්‍රධානියාගේ හඬ නිකුත්වන මේසය මතවූ දුරකථනය දෙස තුෂ්නිම්භූතව බලා සිටියා මිස වදනකුදු නොදෙඩූයෙමු.

"සර් ඒවා මේ වෙලාවෙ කොටස් වෙළඳ පලේ අවිනිශ්චිත තත්වයට අපේ පාරිභෝගිකයො දක්වපු අධි ප්‍රතිචාර..Just an over-reaction to the volatility of current stock market...එයාල මේ තත්ත්වය ගැන දැනුවත් වෙන්න ඕන..අනික අපි ඒ ගැන ඔය හැටි කළබල වෙන්ට ඕනත් නෑ" බාලා එසේ පැවසූයේ තම කටහඬෙහි වූ තැතිගත් ස්වභාවය වසන් කිරීමට අසාර්ථක උත්සාහයක් දරමිනි.

"මේ  ඔයාලම හදපු රීසර්ච් රිපෝට් එකේ තියන එව්ව මට කියන්ට එන්න එපා. ඒ රිපෝට් එක මම අකුරක් නෑර කියවලයි තියෙන්නෙ"

දුරකථනයෙන් පිළිතුරු ලැබුනේ නොඉවසිලිමත් හඬකිනි. ඒ සමඟම දුරකථනය ක්‍රියා විරහිතවිය. සුදුමැළිවූ මුහුණින් යුතු බාලා සෙමෙන් තම අසුනින් නැඟී සිටියේය.

සිදුවූයේ කුමක්ද? ඊට වගකිවයුත්තේ කවුරුන්ද? එසේම අනාගතයෙහිදී යලි මෙවන් අභාග්‍යසම්පන්න සිදුවීමක් වළක්වා ගන්නෙ කෙසේද? යන කරුණු පිළිබඳව සොයා බැලීම උදෙසා මුම්බායි ප්‍රධාන කාර්යාලයෙහි උසස් නිළධාරීන් කණ්ඩායමක් චෙන්නයි ශාඛාව වෙත හැකි විගස පැමිණීමට අපේක්ෂාකරන බව දැනුම් දෙමින් එදින සන්ධ්‍යා කාලයෙහිදී ලැබුණු දුරකථන ඇමතුම අපගේ සියළු සේවකයින් බියෙන් තැතිගැන්වීමට සමත් විය.

එම ප්‍රවෘත්තිය බාලක්‍රිෂ්ණන් මහතාගේ තොල කට සුදුමැලි කරවීමට සමත්විය. ඊට අමතරව ඔහු කිහිප වරක් හදිසියේම අධික ශීතල දේශගුණ තත්වයක් උදාවූ විටෙක මෙන් වෙව්ලා යනු මම පැහැදිලිව දුටුවෙමි. ඔහු කෙරෙහි අනුකම්පාවක්ද මසිතෙහි වරින් වර හටගත්තේය. 

මුම්බායි ප්‍රධාන කාර්යාලයෙහි උසස් නිලධාරීන්ගේ ඒකමතික නිගමනය වූයේ ප්‍රධාන වශයෙන් අප විසින් අන්තර්ජාල සමාගම්වල කොටස් අපගේ ආයෝජකයින් හෝ සාමාන්‍ය ගණුදෙණුකරුවන්හට විකිණීම නොකල යුතුව තිබුණු බවය. එහෙත් අප විසින් විකුණන ලද කොටස් වෙනුවෙන් ප්‍රධාන කාර්යාලයෙහි ගිණුමට වට්ටම් බැරවන විට ඔවුන් ඒ පිළිබඳව කිසිදු අසතුටක් ප්‍රර්ශනය නොකළහ. අශ්වයා පැනගිය පසු ඉස්තාලය වසා දැමීමට ඉදිරිපත් වන්නෝ බොහෝය.

එහෙත් මේ වනවිට අපගේ ප්‍රධාන පෙලේ ගණුදෙනු කරුවන් සත් දෙනෙක් තම ගිණුම් වසාදමා මුදල් තැන්පතු ඉවත්කොටගෙන ඇති අතර එක් ගණුදෙනු කරුවෙක් නිව්යෝර්ක් නුවර සිටි බැංකු මූලස්ථානයෙහි ප්‍රධාන විධායක නිලධාරීවරයාහට මේ පිළිබඳව ලිඛිතව පැමිණිළි කොට ඇත. එබැවින් මේ ඛේදවාචකයට වගකිවයුත්තන් සොයා දඬුවම් පැමිණ වීම අත්‍යාවශ්‍ය කාර්යයක් බවට පත්ව ඇත.

"මේ මම කියන එක හොඳට හිතට ගන්න ඔක්කොමල. ඔයාලගෙ ගණුදෙනු කරුවන්ට මීට පස්සෙ ස්ථාවර තැන්පත්, රත්තරන් සහ සාරි ඇරෙන්න වෙන මොකවත් විකුණන්න හදන්න එහෙම එපා" පසුදින සවස පැවති මගේ කණ්ඩායමේ සතීක අලෙවි සමාලෝචන රැස්වීමෙහිදී මම ඔවුන් අමතා පළමුවෙන්ම උපදෙස් දුනිමි.

"සර් අපි කොහොමත් සාරි විකුණන්නෙ නෑනෙ.." වික්ෂිප්ත මුහුණින් යුතුව එක් යුවතියක් පැවසීය. 

"සමාවෙන්න මම පොඩි විහිළුවක් කලේ..එහෙම බලනවනං අපි රත්තරං විකුණන්නෙත් නැහැනෙ ..එහෙම නේද?"

"නෑ සර් අපේ ගිණුම් වර්ගයක් තියනව පාරිභෝගිකයින්ට ඕනනම් රත්තරං මිලදීගෙන ඒවයෙ තැන්පත් කරන්න පුලුවන්……."

මම දෙතොල තදින් පියාගෙන හිස දෙපසට සෙලවීමි. "ඔන්න ක්‍රිෂ් වැඩේ හැටි දැන් තේරෙනව නේද? තමුං වැඩ කරන බැංකුවෙන් පාරිභෝගිකයින්ට ලබා ගන්ට පුලුවන් සේවාවන් ගැනවත් තමුං හරියට දන්නෙ නෑ..ඉතිං තවත් මොනවද? මම මෙහෙම ඇහුවට තරහ වෙන්න එපා. තමුං මොකටද මේ රස්සාව කරන්නෙ?" මම මගෙන්ම තොල මතුරා විමසීමි.

මම මා දැනුවත් කල ඒ යුවතිය දෙස බලා සිනාසුනෙමි. පාරිභෝගික සේවා යනු දන්තාලේප රූපවාහිනී වෙළඳ දැන්වීමක මෙන් නිරතුරු දසන් දක්වා පියකරු ලෙස සිනාසීමය.

"ඇත්තද අනේ මේ කටකතාවක් හැමතැනම පැතිරෙන්නෙ?" සැටවියැති පමණවූ මගේ තවත් ගණුදෙනුකාරියක එසේ විමසූයේ මගේ මේසය ඉදිරියෙහිවූ අසුනෙහි හිඳ ගනිමිනි. 

"මොන කටකතාවද?" මම පරිගණක තිරයෙන් දෑස් ඉවත්කොට ඈ දෙස බලා සිනාසෙමින් විමසීමි.

"මේ අර ශ්‍රීනිවාස් අම්මණ්ඩිගෙ ලක්ස දහයක් නැතිඋනාය කියන කතාව ගැන මම මේ ඇහුවෙ…." ඇය දෑස් නටවමින් විමසුවාය.

"සමාවෙන්න මැඩම් ඒ තොරතුරු රහස්‍යයයි. ඒ ගැන මට මොකවත් කියන්න බෑ.."

බැංකු ගිණුම් තොරතුරු රහස්‍ය භාවය ආරක්ෂාකිරීම ලොව පුරා මූල්‍ය ගනුදෙනුවලදී ඉතා වැදගත්සේ සැළකෙයි. එසේ නොවන්නට අපට ඉතා රසවත් ඕපාදූප රැසක් අපේ ගනුදෙනුකාරියන්හට ලබාදිය හැකිව තිබිණි. ඔවුන්ගේ ආයෝජනයන්ට ප්‍රමාණවත් ප්‍රතිලාභයක් ලබා දීමට අප අසමත් වන්නේ නම් ඒ හිලව්වට රසවත් ඕපාදූප හෝ ඔවුනට ලබාදීම අපගේ පරම වගකීම වන්නේය. බොහෝවිට එසේ කලේ නම් තව බොහෝ ගණුදෙනුකාරියන් අප වෙත ආකර්ශණය වන්නටද ඒ හේතුවක් විය හැකිව තිබිනි.

"ක්‍රිෂ්, කරුණා කරල මගේ කාමරේට පොඩ්ඩක් එනවද?"

බාලක්‍රිෂ්ණන් මහතා මගේ කුටියෙහි දොරටුව අසලට පැමිණ පැවසීයේ එදින රාත්‍රී හතට පමණ මම රාජකාරී නිමකොට නවාතැන බලා පිටත්වීමට පළමු මගේ "City never sleeps" යනුවෙන් සඳහන් බෑගය අස්පස්කරමින් සිටියදීය. 

ඔහුගේ මුහුණෙහි වූයේ දණ්ඩකින් පහරලද බලු පැටවකුගේ මුහුණෙහි පිළිඹිබු වන අයුරු බයාදු පෙනුමකි. තව දිනදෙකකින් මුම්බායි ප්‍රධාන කාර්යාලයේ උසස් නිලධාරීන් කණ්ඩායම පැමිණෙන බවට එදින මධ්‍යාහ්නයෙහි දැනුම් දී තිබිණ. 

ගෙවීගිය රාත්‍රීන් දෙකෙහිම මම මධ්‍යම රාත්‍රී යාමය පසුවන තුරු ඔවුන් උදෙසා පරිගණක ඉදිරිපත්කිරීම් (Computer presentations) පිළියෙල කිරීමෙහි නිරත වූයෙමි. ඒ කාර්යය කිසිසේත් පහසු හෝ සිත්ගන්නාසුළු හෝ වූයේ නොවේ. මම කොපමණ දර්ශනීය ලෙස ඉදිරිපත්කිරීමෙහි දර්ශනතලයන් (Slides) සකස් කලද අවසාන සම්පිණ්ඩනයේදී (Final Summary) සිදුව ඇති ඛේදවාචකය ඉතා පැහැදිලිව යම් මූලික මූල්‍ය පරිපාලන දැනුමක් ඇත්තෙකුට පවා වැටහෙනු නියතය. එබැවින් සිදුව ඇති වරදෙහි වගකීමද නිසැකවම අප වෙත පැවරෙනු ඇත.

පසුගිය රාත්‍රියෙහි මම රාජකාරි නිමකොට නවාතැනට ළඟාවනවිට මගේ අත් ඔරලෝසුවෙහි වේලාව හිමිදිරි තුනට ආසන්නව තිබිණි. හෝරා දෙකක නින්දකට පසු මම යලි අවදිවූයේ අනන්‍යාගේ බාල සොයුරාහට ඉගැන්වීමේ කටයුතු උදෙසා උදෑසන හය වනවිට මම අනන්‍යාගේ නිවසට ලඟාවියයුතු බැවිනි. එබැවින් මට ඒ මොහොතේ අවශ්‍ය වූයේ බාලා සමඟ ඔහුගේ කුටියෙහි සතුටු සාමීචියෙහි යෙදීම නොව හැකි විගස කුමක් හෝ සැහැල්ලු ආහාරයට ගෙන නින්දට යාමටය.

"බාලා මම මේ...."

එහෙත් ඒ වනවිටද මම ඔහු පසුපසින් පැමිණේය යන අපේක්ෂාවෙන් බාලා තම කුටිය වෙත යාමට ආපසු හැරී සිටි බැවින් මම ඉතිරි වදන් ගිලගෙන ඔහු පසුපසින් ගියෙමි. මම ඔහුගේ කුටියට ඇතුළු වූ වහාම බාලා දොර වසා අගුළු දමා ජනේලයෙහි තිරයද පහතට දැම්මේය. ඉක්බිති ඔහු මේසය මතවූ දුරකථනය නාද නොවනු පිණිස එහි රිසීවරය ඉවත්කලේය.

"මළ කෙලියයි මොකක්ද මේ මනුස්සය මේ කරන්න හදන්නෙ? එක්කො මිනිහ ලෑස්ති මාව සේවයෙන් පහ කරන්න නැත්නම් මට අඩන්තේට්ටම් කරන්න. කිව්වත් වාගෙ මේ යස්සය බෝයිකොට් කෙනෙක්ද මන්ද...බයෙත් බෑ ඔෆිස් එකේ වෙන කවුරුවත්ම ඇත්තෙත් නෑ මේ වෙලාවට"...දෑස් හයාගත්වනම මම එසේ සිතූයෙමි.

පසු සටහන - 

ජෙෆ්‍රි බෝයිකොට් යනු හැත්තෑව සහ අසූව දශකයන්හි එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමෙහි ආරම්භක පිතිකරුවාය. නිර්භයව තම අදහස් පලකීරිම පිළිබඳව ප්‍රසිද්ධියක් උසුලන බෝයිකොට් මහතාට එනිසාම බොහෝ අපහසුතාවයන්ට මුහුණ දීමටද සිදුව ඇත.

ක්‍රිකට් ක්‍රීඩාවට කල සේවය වෙනුවෙන් තමන්ට නයිට් පදවියක් ප්‍රදානය කරනු ඇතැයි බොහෝ කලක සිට අපේක්ෂා කල ඔහු මෙවරද මහ රැජිනගේ උපන්දින ගෞරව නාම ලැයිස්තුවෙහි තම නම නොමැතිවූ කල "නයිට් කමක් ලැබෙන්න ඉතිං මම හිතන්නෙ මගෙ මූණ කළු කරගෙන එන්ට වෙයි" යනුවෙන් පසුගිය සෙනසුරාදා සම්මුඛ සාකච්ඡාවකදී පවසා බොහෝ විවේචනයන්ට බඳුන්විය. පසුව ඔහු ඒ පිළිබඳව සමාව ඉල්ලා සිටියේය. 

ඔහු එසේ පැවසූයේ මේ වනවිට බටහිර ඉන්දීය හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් එකොළොස් දෙනෙකුට නයිට් පදවි ප්‍රදානය කොට තිබීම සැළකිල්ලට ගනිමිනි.

පිරිමි සමරිසිතාවයට නැඹුරුබවක් දක්වන්නන් අප එදවස හැඳින්වූයේ බෝයිකොට්ලා ලෙසය. "මේ මනුස්සය බං අර කෙල්ලො එක්ක කිසිම කතා බහක් නෑනෙ... මේකා බෝයිකොට් කෙනෙක්වත් මන්දා" යුවතියන් ආශ්‍රයට උනන්දුවක් නොදක්වන්නවුන් පිළිබඳව අප අතර කතාබහ සිදුවූයේ එලෙසිනි.

ජෙෆ්‍රි බෝයිකොට් 1977 වසරේ ඕස්ට්‍රේලියාව සමඟ පැවති හතරවන ටෙස්ට් තරඟයේදී  ප්‍රථම පන්තියේ තරඟවලදී ලබාගත් තම සියවන ශතකය ලබාගත් අන්දම පහත වීඩියෝවෙන් නැරඹිය හැක.


Monday, August 21, 2017

524. පුවක් එෂැණිං 27 - චිච්චි පුතාගේ රොකට් එක, එඬරු ගහක කතාව සහ පොලෝසියේ භාවනාව…..


කෑලි ගැලවී වැටීම වැළැක්වීම සඳහා කඹ වලින් හොඳින් බැඳ චිච්චි පුතාගේ චන්ද්‍රිකාව ගුවන් ගත කිරීමට සූදානම් කොට ඇති අයුරු ඉහත ඡායාරූපයෙහි දැක්වේ. අබිමානවත්ලෙස කඩුව අතින්ගත් සිංහයා සහිත සිංහ ධජය චන්ද්‍රිකාවේ බඳේ ගැටගසා ඇති අයුරු දැක ඔබගේ මයිල් කෙලින් නොවේනම් ඔබ වනාහී සාඩම්බර සී ලාංකිකයෙක් නොවේ.


**************************************


ජාතියේ හිච්චි පුතා නොහොත් චිච්චි පුතා එප්සීඅයිඩියට කැඳවා ප්‍රශ්න කොට ඇත. ඒ 2012 වසරේ අබ්‍යාවකාසයට යැව්වායයි කියන චන්ද්‍රිකාවක් සම්බන්ධයෙනි.

ප්‍රස්න කිරීමෙන් අනතුරුව එප්සීඅයිඩියෙන් එලියට පැමින මහපාරේ මාධ්‍යකරුවන් හා සමඟ සාකච්චාවක් පැවැත්වූ චිච්චි පුතා මෙලෙස ප්‍රකාස කලේය.

"අද මාව කැඳවල තිබ්බෙ අපි යවපු චන්ද්‍රිකාව ගැන අහන්ට. එයාලට චන්ද්‍රිකාව පෙන්නන්ට පුලුවන්ද කියලත් ඇහුව. මම එයාලට කිව්ව මේ දවස්වල චන්ද්‍රිකාව පේන්නෙ නෑ කියල. ඒකට හේතුව ඒකෙ ගහල තියෙන සිංහ කොඩිය කිලුටු වෙලා ඒක හෝදන්ට මේ දවස්වල චන්ද්‍රිකාව චීනෙට ගොඩ බාල තියෙන්නෙ. මතකනෙ අපි ඒ දවස්වල එෆ්බී අරව මෙව්ව ඔක්කොගෙම විසාල ප්‍රචාරයක් අරගෙන ගියා සිංහ දජය අබ්යාවකාසයේ ලෙලදේ. ආඩම්බරනම් සෙයාර් කොරන්න කියල. අන්න ඒ ලෙල දුන්නු සිංහ දජය හෝදල අයන් කරල ආයම ලෙලදෙවන්ට තමයි අපි ඔය ඒ චන්ද්‍රිකාව චීනෙට ගොඩ බැස්සුවෙ. මමයි එහෙම කරමු කියල ඕක යවපු චීන කොම්පැනියට කිව්වෙ"

"මේ ලෝකෙ මනුස්සයෙක් නොබලන මියුසික් වීඩියෝ හැදීම වගෙ මගේ දහසක් වැඩ රාජකාරි මැද උනත් මම දිනපතා මගේ බැල්කනි එකේ හයි කරල තියෙන ටෙලස්කෝප් එකෙං ඔය චන්ද්‍රිකාව බලනව. එහෙම බලනකොට ගිය සුමානෙ තමයි මම දැක්කෙ අපේ සිංහ කොඩිය බොහොම කිලුටු වෙලා. ඒ පාර මම වහාම දැනුම් දුන්න සැටලයිට් එක යවපු චීන කොම්පැණියට. ඒ ගමන තමයි එයාල ඒක චීනෙට බාගත්තෙ. දැනට සිංහ කොඩිය හෝදල චීන මහා ප්‍රාකාරෙ උඩ වනල තියනව වේලෙන්ට. වේලෙන්ට ටිකක් පරක්කු වෙන්නෙ චීනෙට මේ දවස්වල වැස්ස. ඒක වේලුන ගමන් ආපහු කොඩිය හයි කරල චන්ද්‍රිකාව උඩු ගුවනට යවනව. එතකොට මේ ප්‍රස්න මොකවත් නෑ. මට පුලුවන් එප්සීඅයිඩී කට්ටිය පාරට එක්ක ඇවිල්ල අන්න බලාගනිල්ල චන්ද්‍රිකාව කියල පෙන්නන්ට. එහෙම කලාම හැමෝන්ටම තේරෙයි මට මේ කරන චෝදනා මොන තරම් අසාදාරනද කියල."

"අනික එප්සීඅයිඩී එකේ අය මොනවද දන්නෙ චන්ද්‍රිකා ගැන? මම එයාලට කිව්ව මම තමයි ලංකාවෙ ඉන්න එකම ඉස්පේස් සිට්ටං ඉන්ජිනේරුවයි කියල. කොටිම්ම වනැන් ඔන්ලි. නාසා එකෙන් තුන්හතර පාරක් මට පෙරැත්ත කලා එහෙ එන්ට කියල. ඒත් මේ අවුරුදු හතර පහකට ඉස්සෙල්ල වගෙ මම ලංකාවෙ රග්බි කිරීඩාව නඟා සිටුවීමේ වියාපුරුතියක යෙදිල උන්නු හන්ද මම බෑ කීව. රග්බි කිරීඩාව නඟා හිටිවනව කියන්නෙ මගේ ටීම් එක පැරදුනාම රෙෆ්‍රිට අම්බානක නෙලන එක. ගුටි කාල ඒ මනුස්සය පිට්ටනියෙ වැටිල ඉන්නකොට අනික අය ඇවිල්ල එයාව නැඟිට්ටවනව. ඒ කිව්වෙ නඟා හිටුවනව. ඒක තමයි මගෙ රග්බි කිරීඩාව නඟා සිටුවීමේ වියාපුරුතිය"

"දැන්නම් ඇත්තටම මට ඒ හැටි වැඩක් නෑ. ඒ හින්ද ආයම නාසා එකෙං එන්ට කිව්වොත් සලකා බලන්ටයි මම හිතාගෙන ඉන්නෙ. මගේ ලොකුම බලාපොරොත්තුව තියෙන්නෙ නාසා එකේ කට්ටිය හඳට රොකට් එකක් යැව්වොත් ඒකෙ ගිහිල්ල හඳේ හාවගෙන් අහල බලන්ට සක්කර දෙයියො එහෙම ලඟදි හම්බ වුනෙ නැද්ද කියල. ඒ කියන්නෙ අපේ ඩේසි ආච්චිට සක්කර දෙයියො මැණික් මල්ලක් ගෙනත් දුන්නනෙ. ඕක පොලීසියට කිව්වට එයාල විස්වාස කලේ නෑ. ඉතිං මට ඕන හාවගෙන් සක්කර දෙයියො ඉන්න තැනක් අහගෙන ගිහිල්ල දෙයියන්ට කියන්ට අනේ දෙයියනේ, කරුණාකරල ඇවිල්ල ලංකාවෙ පොලීසියට කට උත්තරයක් දෙන්ට මම තමයි ඩේසි ආච්චිට මැණික් මල්ල ගෙනත් දුන්නෙ කියල..."

"දැං ඇත්තටම කල්පනා කරල බැලුවොත් අපේ පවුලෙ ඔක්කොමල ලංකාවටම වනැන් ඔන්ලි තමයි. මම එකම ඉස්පේස් සිට්ටං ඉන්ජිනියර්. අපේ නාමෝල් ලොකු අයිය තමයි නීතිය ඉගෙන ගත්තු තැනක් ගැන කිසිකෙනෙක් දන්නෙ නැතුව පෙරකදෝරුවෙක් විදිහට ලංකාවෙ වැඩ කරන එකම එක්කෙනා. මද්දුම අයිය ඕලෙවල් දෙපාරට පාස් වෙලා නේවි ඔෆිසර් ගිය ලංකාවෙ පළමුවෙනිය"

"එතකොට එතනින් ගිහාම අපෙ අම්ම විහාර මහ දේවි.... එතුමියට දැන් වයස 95 ක් වෙනව. කියන්ඩ බෑ නේද දැක්කම? මම බොරු නෙවෙයි කියන්නෙ. අම්මගෙ අයිඩෙන්ටිටි කාඩ් නම්බර් එක 222222222V. අනික ඒ අයිඩෙන්ටිටි කාඩ් නම්බර් එක අනුව අපෙ අම්ම පිරිමියෙක්. එෆ්සීඅයිඩී එකෙන් අම්මගෙන් තාත්තයි අම්මයි බැඳලද ඉන්නෙ කියල ඇහුවෙ මම හිතන්නෙ තව නඩුවක් පටලවන්ට. ලංකාවෙ නීතිය අනුව සමලිංගික විවාහ නීතියෙන් තහනම්. ඒ උනාට අම්ම ඒ ගැටේට අහුවෙලා නෑ. එයා ඒ ප්‍රශ්නෙට උත්තර දීල නැහැ. අපි අහුවෙයි යහ පාලනේ ඔය ගැටවලට.."

පාඨක ඔබගේ පහන් සංවේගය උදෙසා චිච්චි පුතාගේ රොකොට් එක අබ්බියාවකාස ගත කිරීම වෙනුවෙන් නිර්මානය කෙරුනු ගීතය පහත දැක්වේ.



මේ ගීතයේ දැක්වෙන පරිදි චිච්චි පුතාගේ චන්ද්‍රිකාව දැකබලා ගැනීමේ ආසාවෙන් උඩ බලාගෙන ගිය පුද්ගලයින් දහ අටදෙනෙක් අතහැර දමා තිබූ ළිං වල වැටීමෙන්ද, දොළොස් දෙනෙක් රත වාහන වල ගැටීමෙන්ද තුවාල ලබා ඇත. 

ඊට අමතරව අට දෙනෙක් උඩ බලාගෙන ගුණසිංහ පුරයේ පදික වේදිකාව මත අතුරා තිබූ තොරොම්බල් බඩු උඩිං ඇවිද යාමෙන් පදික වෙළෙඳුන්ගෙන් පහර කෑමටද, හත් දෙනෙක් ඒ මොහොතේ පාරට දැමූ උණු තාර මතින් ගමන් කිරීම නිසා කකුල් පිච්චීමටද ලක්වී ඇත.ඊට අමතරව නිදාගෙන සිටින බල්ලන් මතින් ගමන් කිරීම නිසා බල්ලන් විසින් සපාකන ලදුව ජලබීතිකා එන්නත් ලබාදී ඇති අය හතර දෙනෙකි.


**************************************


එඬරු ගසකට වසර හතළිහක් පිරීම නිමිත්තෙන් ඡායාරූප ප්‍රදර්ශනයක් පැවැත්වීමට කටයුතු යොදා ඇත. මෙහිදී කෘතගුණපූජාවක්ද සංවිධානය කොට ඇත. පිර්බාහරන් සහ හිජකුපාමගේ ඡායාරූප දෙකක් අබියස මල් පූජාකොට උපහාර දැක්වෙනු ඇත. 

රටේ අනෙක් සියළු දැවැන්ත වනස්පතීන් විනාශකොට "ගස් නැති රටේ එඬරු ගහත් ගහක්" යන පිරුළ යලි යලිත් ස්ඵුට කිරීමට කටයුතු කිරීම වෙනුවෙන් පිර්බාහරන්ටද "මොන වැරදි තිබ්බත් අර ආලවකයා ආය එනවට වඩා නම් මේ යකා දාහක් හොඳයි" යනුවෙන් දනන් තුඩ තුඩ රැව්දීමට තුඩු දෙන අයුරින් තම දසවසරක පාලන සමය තුල ඉතා ධාර්මිකව සහ ප්‍රජාචන්ච්‍රවාදීව කටයුතු කිරීම වෙනුවෙන් හිජකුපාමටද මෙසේ සම්මාන පිරිනමනු ලැබේ.


**************************************


සෑම පොලිස් ස්ථානයක් තුලම උදෑසන 8 සිට පැය බාගයක බාවනා පංතියක් පැවැත්විය යුතු බවට අණකොට ගරු පොලොස්පටි තුමා වක්‍ර ලේකනයක් නිකුත් කොට ඇත.

ඒ අනුව එම කාලය තුල මොලයට ලේ ගමන වැඩිකොට මස්තිෂ්ක වර්ධනය කීරිම උදෙසා බාල්කවල වලලුකරින් එල්ලා සිටින මහජනයා වැල බාන්නාසේ පහලට ගෙන, චූදිතයින්ගේ ඇඟපත සම්බාහනය කිරීම, යටි පතුල් වලට බැටංපොලු ආදාරයෙන් වියායාම දීම, දරුණු ගංවතුරක් පැමිණි විටක ජීවිතය ගලවා ගැනීම සඳහා වතුර යට හුස්ම අල්ලාසිටීම ප්‍රායෝගිකව පුහුණු කරනු උදෙසා  වතුර පිරවූ පොලිතීන් බෑගයක හිස බහා තැබීම යන යහපත් මහජන සම්බන්ධතා ගොඩ නඟා ගැනීම උදෙසා පොලිස් නිලදාරීන් විසින් නොමිලයේ පවත්වනු ලබන සියලු සමාජ සත්කාරක වියාපුරුතීන් අත්හිටුවා සියළු පොලිස් නිලධාරීන් අනිවාර්යයෙන් මේ භාවනා පංතියට සහභාගී වියයුතුය. 

තමන් සත්කාර කරමින් සිටි චුදිත මහජනයාද භාවනා පංතියට සහභාගී කර ගන්නේ නම් වඩාත් උචිතය. බාවනා පැය බාගයෙන් පසු සුපුරුදු ලෙස නොමිලයේ සත්කාර කටයුතු යලි ඇරඹිය හැක.

Friday, August 18, 2017

523. The Story Of My Marriage - 42 - Mrs. Srinivas is on the war path & who can blame her….

මුම්බායි කොටස් වෙළඳ පලෙහි ගනුදෙනු කරන
අවස්ථාවක් ඉහත ඡායාරූපයෙන් දැක්වේ.
Google Images

සති දෙකකට වගෙ ඉස්සෙල්ල තිබ්බ ක්‍රිකට් කාන්තා ලෝක ශූරතාවයෙ අවසාන තරඟය. මට කොහොම හරි ඒ තරඟය බලන්න ලැබුනෙ ඊයෙ. තරඟය පැවැත්වුනෙ එංගලන්තය සහ ඉන්දියාව අතර. තියුණු තරඟයකින් පස්සෙ එංගලන්ත ක්‍රීඩිකාවො ජයග්‍රහණය කලා.

මට ඇත්තටම කියන්න ඕන කලේ ඒ තරඟය ගැන නම් නෙවෙයි. එංගලන්ත කණ්ඩායමේ දක්ෂතම පන්දු යවන්නිය වුනේ ආන්‍යා ෂ්‍රබ්සෝල්. ඇය කඩුළු හයක් දවාගෙන තරඟයේ හොඳම ක්‍රීඩිකාව ලෙසටද සම්මානයට පාත්‍රවුනා. 

ඉතිං මේ ආන්‍යා කියන නම ඇහෙද්දි මට නිකම් බොහොම සුපුරුදු ගතියක් වගෙ හිතට දැනුන. ටිකක් වෙලා ගියාමනෙ මතක් වුනේ ආන්‍යා නෙවෙයිනෙ බොලේ.....අනන්‍යා.....අනන්‍යා....

අනන්‍යා ස්වාමිනාදන් මෙනෙවිය....අප්පේ මට එතුමිය අමතකම වෙලානෙ තිබ්බෙ. කොහෙද අර කොන්ක්‍රීට් බලකායෙ ප්‍රසන්නය එහෙම හිටියට නිකමටවත් මතක් කරන එකක්ය. ඕකට මේ පාර අර බ්ලොග් වසන්තෙ තරඟෙදි මම චන්දෙත් දුන්න. අපරාදෙ…

ටිකක් හෝදිසි කරල බැලින්නම් අන්තිමට අනන්‍යාගෙ කතන්දරේ ලියල තියෙන්නෙ මැයි  එකොළොස්වෙනිද. මාස තුනකටත් එහා. ඉතිං මම කලේ දනිපනි ගාල කතාව ලියන්ට ගත්ත. අන්තිම කොටස ලිව්වෙ මාස තුනකටත් එහා හින්ද අන්තිමටම ලියපු කොටස් පහේ ලින්ක් දාන්නම් එහෙනම් අමතක කාටහරි ආයම මෙමරි කැපෑකුටි එක රිෆ්‍රෙෂ් කරගන්ට උවමනානම් එහෙම...







එහෙනම් ඔන්න ළමයි අද එතැන් සිට..........

ශ්‍රී නිවාස් මහත්මිය සිටි බැංකුවේ චෙන්නයි ශාඛාවට කඩා වැදුනේ කුණාටු දර්ශකයේ ප්‍රථම කාණ්ඩය යටතේ වර්ග කල හැකි චණ්ඩ මාරුතයක් හා සමඟ එක්වරම රික්ටර් මාපාංකයේ 9.8 සටහන්වන බලවත් භූමි කම්පාවක් හටගත් අවස්ථාවක් සිහිපත් කරවමිනි. එවන් අති භයානක ගණයේ ස්වාභාවික විපත් දෙකක් එක්වර සිදුවීම ඉතාම අහම්බයක් බැවින් මේ අවස්ථාව පෞද්ගලිකවම අත්විඳ පළමෝත අත්දැකීමක් ලබා ගැනීමට චෙන්නයි විශ්ව විද්‍යාලයෙහි භූවිද්‍යාව හදාරන සිසුන් සිසුවියන්ට ආරධනා කල නොහැකිවීම මගේ මහත් පසුතැවිල්ලට හේතුවිය.

ඇය කොපමණ වික්ෂිප්තව සහ නොසන්සුන්ව සිටියේද යත් ඇය පත්ව හුන් අසරණ තත්වය නොවන්නට මට සිනහ වළකා ගත හැකි නොවනු නිසැකය. එහෙත් ඇගේ කෑගැසීම අසා අවශේෂ අංශයන්හි සේවයේ නියුතු කිහිප දෙනෙක් මගේ කුටියේ දොර අසල රැස්ව දෑස් හයා බලාසිටින්නට වූහ. එහෙත් මගේ නොපහන් මුහුණ දුටු ඔවුහු එකිනෙකා එතැනින් සෙමෙන් ඉවතට ගියෝය. මම වහා මගේ කුටියෙහි දොර වසා දැමීමි.

ශ්‍රීනිවාස් මහත්මියගේ නොසන්සුන් භාවය කොපමණද යත් ඇය මිනිත්තු දෙකක පමණ කාලයක් මහහඬින් දෙමළ භාෂාවෙන් මොන මොනවාදෝ කියවාගෙන ගියාය. අවසන මම තීරණය කලේ අනන්‍යාට දුරකථන ඇමතුමක් ගෙන රිසීවරය ශ්‍රීනිවාස් මහත්මියට ලබාදී මෙසේ පවසන්නටය. " නෝනා ඔය කියන මොකවත් මට තේරෙන්නෙ නෑ. ඒ හින්ද ඔය කියන ටික මේ ටෙලිෆෝන් එකට කියනවද? එතකොට මට ඊට පස්සෙ දැනගත්තෑකි ඔහේ මොනවද කිව්වෙ කියල? ඊට පස්සෙ මම පුලුවන් විදිහට උත්තරයක් දෙන්නම්. ඔහේ දිගටම දෙමළෙන් නම් කතා කරන්ට බලාපොරොත්තු වෙන්නෙ අපිට මේ සංවාදය කරගෙන යන්න වෙන්නෙ එහෙම තමයි"

මම එසේ පවසන්නට සැරසෙත්ම ඇය තම ඒකපාත්‍ර භාෂණය (Monologue) නතරකොට විසල් කොටගත් දෑසින් යුතුව මදෙස මොහොතක් බලා සිටියාය. "ඔහ්..සමාවෙන්න..ඔහේ දෙමළ දන්නෙ නෑ කියල මට අමතක වුනා" 

"ආ..ඒකට කමක් නෑ මිසිස් ශ්‍රීනිවාස්…" මම මඳ සිනහවක් දෙතොලට නඟා ගනිමින් පැවසුවෙමි.

"හරි මට ඕනෙ ඔහේගෙන් දැනගන්ට මේ වුනේ මොකක්ද කියල. ඒ එක්කම මට වෙච්චි අලාබෙ පියවගන්නෙ කොහොමද කියන එකත් කරුණාකරල කියන්න මට.."

"මැඩම් මෙහෙමයි…" මම දීර්ඝ කරුණු දැක්වීමකට සූදානම්ව උගුර පෑදීමි.

"මට ඔහේ කිව්වෙ බොහොම ඉක්මනට මම අර කොම්පැණි වලට දාපු සල්ලි ..මොකක්ද ඔහේ එහෙම සල්ලි දානවට යස නමකුත් කිව්ව..මට දැන් මතක නෑනෙ..මොකක්ද ඒ ෂෝක් නම?"

"ආයෝජනය.." මම දෙනෙත් පහතට හරවාගත්වනම කෙඳිරීමි. 

"අන්න හරි... අන්න හරි... ආයෝජනය තමයි. ඔහේ මට දහ අතේ දිවුරල පොරොන්දු වුනා මගෙ සල්ලි ඔය මොකක්ද කෙහෙල්මල් කොම්පැණියෙ ආයෝජනය කලාම මාසයක් දෙකක් යද්දි ඒ සල්ලි දෙගුණ වෙනව කියල. දෙගුනෙ කොහොම වෙතත් මම ඒ ආලෝචනය... "

"ආයෝජනය…….." මම සිහින් හඬින් ඇය නිවැරදි කළෙමි.

"හරි හරි මොන කෙහෙල්මලක් හරි. නමෙන් වැඩක් නෑනෙ මනුස්සයො. සල්ලි වලට වෙච්ච් දේනෙ වැදගත්. දැන් බලනව ඒ සල්ලි වලින් සීයට හැත්තෑවක්ම ආගිය අතක් නෑ....අතුරුදහන් වෙලා..අතුරුදහන් වෙලා…" ඇය යටිගිරියෙන් කෑගැසුවාය.

ඇගේ කෑගැසීම අසා මගේ කුටිය වෙත දිවගෙන එන කිහිප දෙනෙකුගේ ඡායාවන් ලාඅළු පැහැති තීන්ත ආලේප කල වීදුරු දොර තුලින් මට දැකගත හැකිවිය. ඔවුහු දොර අසල නතරවූ බවද මට දැකගත හැකිවිය. "දෙයියෝ සක්කි මම මේ ගෑණු මනුස්සයට අඩන්තේට්ටම් කරනවයි කියල හිතයිද මන්ද මේ යක්කු?..එහෙම හිතල පොලීසියටවත් කියයිද? නෑ එහෙම වෙන එකක් නෑ" අසුනින් නැඟිට ගොස් දොර විවර කිරීමට ද එක මොහොතක සිතුනු මුත් මම එසේ නොකළෙමි. "ආය දොර අරින්ට ඕන නෑ. මොනව හරි කියල මේ මනුස්සය ෂේප් කරල දානව. බෙල්ල මිරිකන්ටම වගෙ ආවොත් දුවල ගිහිල්ල දොර ඇරල එළියට පනිනව" එසේ තීරණය කල මම ශ්‍රීනිවාස් මහත්මිය දෙසට හැරී හරි බරි ගැසුණෙමි.

"ඇත්තටම මැඩම් මොකක්ද දන්නවද වුනේ? "

"ඔව් මොකක්ද වුනේ?... මම නම් දන්නෙ මගෙ සල්ලි නැතිවෙච්චි එක විතරයි. ඔහේ දන්නවනම් කියන්නකො ඊට අමතරව මොකක්ද වුනේ කියල" ශ්‍රීනිවාස් මහත්මියගේ මුවඟ රැඳි සෝපාහාසාත්මක සිනහව නොදුටුසේ මම කථා කරගෙන ගියෙමි. 

"මැඩම් ඇත්තටම වුනේ ස්ටොක් මාර්කට් එක ස්ව-නිවැරදිකරණ අවස්ථාවකට පත්වුන එක. ඉංග්‍රීසියෙන් කියන්නෙ Self-correction mode කියල..එහෙම අවස්ථා කාලෙන් කාලෙට ඇතිවෙනව. ඒක බොහොම ස්වාභාවිකයි."

සංකීර්ණ පාරිභාෂික වදන්වල ප්‍රයෝජනය මට කෙමෙන් වැටහෙමින් තිබිණි. එවන් සාමාන්‍ය පොදු ජනයා නිවැරදි අර්ථය නොදන්නා ගැඹුරු වදන් භාවිතය පිළිතුරු නොමැති අසීරු ප්‍රශ්න හමුවේ තම ගෞරවය ආරක්ෂා කොට ගැන්මෙහිලා මහෝපකාරී වනු ඇත.

"විකාර කියවන්න එපා මනුස්සයො..සෙල්ෆ් කරෙක්ෂන් කෙහෙල්මල..මගෙ සල්ලි ලක්ෂ දහයක් ඉවරයි..එච්චරයි මම දන්නෙ.." ඇය යලිත් යටිගිරියෙන් කෑගැසුවාය. එවරනම් මගේ කුඩා කුටියෙහි වීදුරු බිත්ති පවා කම්පනය කරවන්නට ඒ කෑගැසීම සමත් විය.

ඇය මෙලෙස තව දෙතුන් වරක් කෑගැසුවහොත් නිසැකවම මගේ කුටියෙහි වීදුරු බිත්ති මගේ හිසමත කඩා වැටෙනු නියත බව මට හැඟී ගියේය. 

අප කාර්යාල පරිශ්‍රයෙහි පසුපස කොටසේ ආයතන අංශය පවත්වාගෙන යන ලද ගොඩනැඟිල්ලෙහි අලුත්වැඩියා කටයුතු උදෙසා සියලු වීදුරු බිත්ති මේ දිනවල කඩා ඉවත්කරගෙන යන බවද ඒ සමඟම මගේ මතකයට නැඟිනි.

ශ්‍රීනිවාස් මහත්මිය සමඟ මගේ සාකච්ඡාව ඒ ආයතන අංශයට ගෙන ගියහොත් එහි වීදු රු බිත්ති කඩා බිඳ දැමීම කිසිදු වියදමකින් තොරව ඉටුකර ගත හැකි නොවේදැයි මට ඒ සමඟම සිහියට නැඟිනි. "මැඩම් මම කියන්ටද? අපේ මේ සාකච්ඡාව අපි වෙන තැනක කරමුද?"  ශ්‍රීනිවාස් මහත්මියගෙන් එසේ විමසන්නට මට සිතිණි. එසේ විමසුවහොත් ඇය නිසැකවම මෙසේ පිළිතුරුදෙනු ඇත. "වෙන තැනක? වෙන තැනක? මට වෙන කොහෙවත් යන්ට උවමනාවක් නෑ හලෝ.. ඔහේ තමයි මාව මේ අමාරුවෙ දැම්මෙ.මට උත්තර ඕනෙත් ඔහේගෙන්"......."ෂෙහ් අපරාදෙ..කොහොම හරි ආයතන අංශෙට එක්ක ගියානම් මේ අම්මණ්ඩිගෙ මේ කෑගැහිල්ලට අඩුගානෙ බිත්ති දෙකක් වත් බිම දාගන්ට තිබ්බ" මම තොල මැතිරීමි.

"මොකක්ද කිව්වෙ? "

"නෑ........නෑ.....නෑ.............මොකවත් කිව්වෙ නෑ මැඩම්....ඉන්නකො මම පැහැදිලි කරන්නම්..කොටස් වෙළඳ පොල එහෙම තමයි. ඉහළ යනව පහල යනව.. ඒ කොටස් වෙළඳ පොළේ හැටි...එහෙම අවදානමක් ගන්න මැඩම් සූදානම් නැත්නම් අපි ගාව තියෙනව ඊට වඩා අවදානම අඩු ආයෝජන අවස්ථා......" කිසිදු ප්‍රයෝජනයක් නොවන බව සියයට සියයක් ස්ථිර නමුදු මම අවසාන තුරුම්පුවද පාවිච්චි කළෙමි. කම් ඕ ගෝ චිකාගෝ

"නෑ නෑ ඒ අවදානම් රහිත ආයෝජන මොකවත් මට වැඩක් නෑ. මට දැං ඔව්ව අහල ඇතිවෙලයි තියෙන්නෙ. අනික මම තමුන්ට කිව්වෙ ස්ථාවර තැන්පතුවක් දාන්ට කියල. තමුන් ඒක ඇහුවෙ නැතුව මට බලකල මේ කෙහෙල්මල් ආයෝජනයක් කරන්ට කියල. දැන් බලනව ඒකෙං වෙච්ච වැඩේ ඔය ගොල්ලො මගෙ සල්ලි නැතිකලා. ඒ හින්ද මම සිටි බැංකුවෙ මගෙ එකවුන්ට් එක මේ මොහොතෙම වහල දානව. මම හිතං ඉන්නෙ මේ එකවුන්ට් එකේ තියන සල්ලි ඔක්කොම ව්‍යාස්‍ය බෑන්ක් එකේ එකවුන්ට් එකක් ඇරල ඒකට දාන්ට"

එවිටම ඇසුණු දොරට සෙමෙන් තට්ටු කරන හඬ මට අසුනින් නැඟිට ශ්‍රීනිවාස් මහත්මියගේ කෝපාවිෂ්ඨ බැල්ම මඟ හැරීමට අනගි අවස්ථාවක් ලබා දුන්නේය.

"සමාවෙන්න..." එසේ පවසමින් මම දොර විවර කලෙමි. 

මගේ අංශයේ සහායිකාවක් විවිධ රසකැවිලි සහ තේ සහිත රිදී පැහැ බන්දේසියක් රැගෙන පැමිණ එය ශ්නිවාස් මහත්මිය ඉදිරියේ තබා පිටව ගියාය. දොර යලි නොවසාම මම යලි අසුන් ගත්තෙමි. ශ්‍රීනිවාස් මහත්මිය රසකැවිළි බන්දේසිය නොදුටුවාක් මෙන් මදෙස නෙත් යොමුකොටගත් වනම හුන්නාය. ඇගේ දෑස් ලාරත් පැහැයක් ගෙන ඇත්තේ අධික කෝපය හේතුකොටගෙන විය යුතුය. 

"මැඩම් සමාවෙලා මම කියන එක පොඩ්ඩක් අහන්න. අපිට වැරදීමක් උනා තමයි. ඒත් ව්‍යාස්‍ය බැංකුව කියන්නෙ මේ ඊයෙ පෙරේද පටන්ගත්තු බැංකුවක්නෙ. ඒ වගේද සිටි බැංකුව කියන්නෙ මුලු ලෝකෙම...." ශ්‍රීනිවාස් මහත්මිය දකුණත ඔසවා මගේ කථාව නතර කලාය.

"තව එක වචනයක්වත් කියන්න එපා. කරුණාකරල ඔහෙලගෙ තියනවනෙ එකවුන්ට් එකක් ක්ලෝස් කරනකොට පුරවන්න ඕන ලියකියවිලි. දැන්ම.....මේ මොහොතෙම මට ඒ ලියකියවිලි ගෙනත් දෙන්න. මට උවමනා වෙලා තියෙන්නෙ පුලුවන් තරම් ඉක්මනින් ඔහෙලගෙ මහ ලොකු සිටි බැංකුවත් එක්ක මගේ ගණුදෙනු සදහටම ඉවරයක් කරල මෙතනින් පිටවෙන්න."

වෙනත් කලහැකි කිසිවක් නොවීය. මම සහායකයකු ලවා අවශ්‍ය ලියකියවිලි ගෙන්වා ගතිමි. තම අත්බෑගය විවරකොට රිදී රාමුවකින් හෙබි කුඩා උපැස් යුවලක් පිටතට ගත් ඇය ඒ පැළඳගෙන යටිතොල සපාගත්වනම ගිණුමක් වසාදැමීමේ අයදුම්පත්‍රය පුරවා මා වෙතට තල්ලු කොට අසුනින් නැඟී සිටියේ අවම වශයෙන් සමුගැනීමකින් හෝ තොරව නික්ම ගියාය. 

ළය හිස්ව යන පරිදි දිගු සුසුමක් හෙලූ මම අසුනෙහි හොඳින් දිග ඇදී දෑතින්ම නළල පිරිමදින්නට වීමි. සියුම් හිස රුජාවක ආරම්භක ලකුණු මට දැනෙන්නට වෙමින් තිබිණි.

එදින සවස සේවය නිමවී පිටව යාමට ප්‍රථම මම ලොබියෙහි වූ පුළුල්තිර රූපවාහිනී යන්ත්‍රයේ කොටස් වෙළඳ පොළෙහි නවතම තත්වය පිළිබඳව C.N.B.C. නාලිකාවෙහි විකාශයවූ වැඩසටහනක් නැරඹීමි. ඔවුන්ගේ ගණනය කිරීම් අනුව එදින කොටස් වෙළඳපොල ගනුදෙනු සිදුවූ වේලාව තුල පමණක් අන්තර්ජාල සමාගම්හි කොටස් වටිනාකම තවත් 5% කින් පහළ වැටී තිබිණි. 

අනුයාත සති දෙක ඇතුළත සිටි බැංකුව හා දීර්ඝ කාලයක් ගණුදෙනු කල එසේ හෙයින්ම අප කෙරෙහි දැඩි විශ්වාසය තබා තම මුදල් වෙබ් අඩවියක් නිර්මාණය කිරීම හැරෙන්නට වෙනත් කිසිවක් නොකළ සමාගම්වල ආයෝජනය කල ගනුදෙනු කරුවෝ සමස්තයක් වශයෙන් රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලක් අලාභ වින්දෝය. ඔවුන් සියල්ලෝම තම ගිණුම් වසා දමා අධික වර්ෂාවකට හෝ යලි සිටි බැංකුවට හොඩ නොවන බවට දහ අතේ දිවුරමින් පිටව ගිය බව වෙසෙසින් පැවසිය යුත්තක් නොවේමය. 

මගේ ගනුදෙනු කරුවන්ගෙන් අපට අහිමි වූයේ ශ්‍රීනිවාස් මහත්මිය හැරෙන්නට තවත් එවැනිම ගණුදෙනු කාරියක් පමණි. බාලාගේ දැඩි බලකිරීම නිසාම මිස නැතහොත් අන්තර්ජාල සමාගම්වල ආයෝජනය කිරීම සඳහා ගණුදෙනු කරුවන් පෙළඹවීමෙහිලා මට කිසිදු උනන්දුවක් නොවීය.

එබැවින් බහුතරයක් ගනුදෙනුකරුවන් මේ සඳහා පොළඹවා ගනු ලැබූයේ බාලා සහ ඔහුගේ විශ්වාසී සහකරුවන් කණ්ඩායම විසිනි. එළෙසම මුම්බායිහී පිහිටි සිටි බැංකුවේ ඉන්දීය මූලස්ථානයේ උසස් නිලධාරීන්හට සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳ වග උත්තර බැඳීමටද සිදුවූයේ ද අංශ ප්‍රධානියාවූ බාලාහටය.

Thursday, August 10, 2017

522. සෙනෙහසක් ගලා ගිය ලකුණු ඇඳි හදවතේ - නොහැඟවූ ආදරය - The Eternal Torment of Unexpressed Love


මේසයක් මත තැබූ කහ සහ රතු පැහැති
අරලිය මල් දෙකක්.....Getty Images

සිතක බැඳි සෙනෙහසක්,
සඟවගෙන ඉන්න බෑ,
අසණියක මතු වෙන්නෙ,
මේකුලක් පිටිපස්සෙ,
ඇඳෙන විදුලිය වාගෙ,

පරණවිතාන මහත්තය විජ්ජුලතා කිව්වෙ මන්දාරම් වෙලාවෙ අහස් කුස එළිය කරන විදුලි දහරාවන්ට. එතුමා කිව්වෙ සීගිරි ළඳුන් අතරින් රන්වන් ළඳුන්ගෙන් විජ්ජුලතා සහ අඳුරුවන් ලඳුන්ගෙන් මේඝලතා සංකේතනය වන බව.

අට වසරෙ අපිට ඉතිහාසය උගන්නපු ජයසේකර මහත්තය කලුලෑල්ල වැහෙන්ට සීගිරි ළඳුන්ගෙ ජීවමාන ප්‍රමාණයෙ සිතුවම් එල්ලලයි ලංකා ඉතිහාසයෙ සීගිරි යුගය පාඩම ඉගැන්නුවෙ. 

පාඩමට ඇහුංකං දෙන අතරෙ පන්තියෙ අනික් පැත්තෙ මට ඉස්සරහ පේළියෙ කෙළවරේම ඉඳගෙන උන්නු ඇය දිහා මම හොරැහින් බැලුව. එහම බලනවට කියන්නෙ කටාක්ෂ නිරීක්ෂණය කියල.

ඇස් කොණින් නුඹ මවෙත හෙලන බැල්මට ලඳුනි, 
මගේ සිත දැවීයයි වියළි තණ බිමක්සේ…

ඒ වෙලාවෙ හැබැයි ඇත්තම කිව්වොත් ඇගේ පූර්ණ අවධානය යොමු වෙලා තිබුනෙ ජයසේකර මහත්තය කෙරෙහි. ඒත් අර කතාවක් තියනවනෙ තමන් දිහාවෙ කවුරුන් හෝ එක එල්ලේ බලා ඉන්නව අපෙන් බහුතරයකට සවනේන්ද්‍රියකින් වගෙ දැනෙනව කියල. ඇයත් මම හිතන්නෙ එහෙමයි. ඉස්සෙල්ලම මම දැක්කෙ ඇගේ වම් කම්මුල ලාරත් පැහැයකට හැරෙනව. ඊට පස්සෙ හෙමීට ඒ ලාරත් පැහැය ගෙල දක්වා පැතිරගියා. 

"සීගිරියෙ මේ වගෙ දැවැන්ත ඉදිකිරීමක් කරන්නට කාශ්‍යප රජතුමාට ...... "

ජයසේකර මහත්තයගෙ කටහඬ ටිකෙන් ටික අඩුවී අවසන නෑසී ගියේය. එසැණින් ඇය සෙමෙන් හිස හරවා මදෙස බැලුවාය..............සෙමෙන් ළය මුළුමනින් පිරීයන පරිදි හුස්මක් ඉහළට ගත් මම මම දෑස් පියාගතිමි.

"අර විජ්ජුලතා කතාව ගැන මොකද ඔයා හිතන්නෙ?"

එදින සවස පාසල් ක්‍රීඩා පිටිය කෙළවර සුවිසල් මාර ගස සෙවණෙහි වූ ගලින් නිමවූ අසුන මත මා අසළ හිඳ අපගේ යහළු යෙහෙළියන් පිටියෙහි ක්‍රීඩා කරන අයුරු මඳ සිනහවකින් විකසිත වූ මුවින් යුතුව නරඹමින් හුන් ඇගෙන් මම විමසීමි.

" පිස්සුනෙ………"

"කාටද? ජයසේකර සර්ට? "

"නෑ..නෑ..මිස්ටර් පරණවිතානට...හිහ්..හිහ්...ඔය ඈත අතීතයෙ සිද්ධ වෙච්චි දේවල් ගැන හරියටම පිළිගත හැකි සාක්ෂි නැත්නම් අර්ථ කථන දෙන්ට යන එක එච්චර සාර්ථක නෑ.."

අපගේ පන්තියේ දක්ෂතම ශිෂ්‍යාව වූ ඇගේ මතයන්ට බොහෝ ගුරුවර ගුරුවරියෝ පවා ගරු කළෝය.

ඒ දශක හතරකුත් තවත් ටිකකට පෙර කලකදීය. කාය ගෙවී ගියේ සක්වළ සිසාරායන්නාවූ අන්තරීක්ෂ කිරණයක වේගයද පරදවමිනි.

රජයේ විශ්‍රාම වැටුප් ගෙවීමේ දිනය යෙදුනු පසුගිය ගුරුදින ඇය අප නිවස අද්දර දෙවට ඔස්සේ සෙමෙන් පියනඟා පැමිණියේ සුදු පැහැති ඔසරියකින් සැරසීය.

"අහ්..අද කවදද හරියටම? පෙබරවාරි නමය නේද? චන්ද්‍රසිරි නැතිවෙලා අනිද්දට අවුරුදු කීයක්ද? පහක්..නෑ..හයක් නේද?" එසේ තොල මතුරමින් මම අඩක් විවරවූ කවුළුව තුලින් ඇය දෙස බලා සිටියෙමි. ඇය ගමන අඩාල නොකරම හිස හරවා කවුළුව දෙස බැළුවාය. ඇගේ දෙතොලග මන්දස්මිතියක් ඇඳී ගියේය. අඩක් විවරවූ කවුළුවේ තිරයට මුවාවී ඇය සුදු පාසල් නිල ඇඳුමින් සැරසී දෙවට ඔස්සේ පැමිණෙන අන්දම දෙස බලා සිටීමට මම එදවස බොහෝසේ ප්‍රියකළෙමි. එබැව් ඇයද හොඳින් දැනසිටියාය.

ඉදිරිපස දොර වසා යතුර කළිසම් සාක්කුවට දමාගත් මම ගේට්ටුව විවර කොට ඒ අසළ ඔසරි පටින් හිස මුවාකොටගත් වනම හුන් ඇය හා එක්වීමි. "යමු……."

"මේ දන්නවද වැඩක්?" ඇය හිස ඔසවා මදෙස බලා විමසුවාය.

"මොකක්ද?" 

"මට ඊයෙ එක පාරටම විජ්ජුලතා කතාව මතක් වුනානෙ.."

"මොකද්ද විජ්ජුලතා කතාව කිව්වෙ?... මට මතක නෑනෙ.." මම දෙබැම රැළිකොටගෙන විමසූයේ සිහින් සිනාවක්ද දෙතොලට නංවා ගනිමිනි.

" බොරු කියන්න එපා අනේ..ඔයාට මතකයි....."

"කොහොමද කියන්නෙ මම බොරු කියනව කියල?"

"මම දන්නව. ඔයා ඔය බොරු කියනකොට ඇස් බැමි රැළි ගහ ගන්නෙ හිතලමයි. ඒ ඇත්තටම මතක නෑ කියල මට පෙන්නන්ට..මම දන්නෙ නැද්ද ඔයා ගැන....."

"මොනවද සුගත් බොන්නෙ?" දම්මි විමසුවාය. "කස ඇට දාපු අයිස් සරුවත්?"

"ඔයාට තවම ඒක මතකයි නේද?"

"එහෙමත් අමතක වෙනවද සුගත්?" තමා විසින් පැවසූයේ අනවශ්‍ය දෙයකැයි ඒ වදන් මුවින් පිටවූ විගස දම්මිගේ සිතට නැඟිනි. ඇය වහා බිම බලාගත්තාය.

"ඔව්...මම තාමත් කැමති කස ඇට දාපු අයිස් සරුවත් වලට..මගෙ ආසාවන් මොකවත්ම වෙනස් වෙලා නෑ දම්මි…" සුගත්ගේ වේදනාබර හඬ ඇගේ දෙසවන් විනිවිද ගියේ පිහි තුඩක් පරිද්දෙනි.

"ඒ පාර මොකද?" ඇය මගේ සුරත ගෙන දෙනෙතට එබුනාය. 

"මට ගොළු හදවත මතක් වුනා."

"ගොළු හදවතේ සුගත්ට මම කැමතියි…" ඈත අතීතයේ දිනක ඇය පැවසූයේ අප දෙදෙන බසයෙන් බැස ගුරුපාර ඔස්සේ නිවෙස් බලා එද්දීය.

"ඈ? එහෙමද? මම හිතුවෙ ඔයා සුගත්ට කැමති නැතිවෙයි කියල...ඒ තියා කරුණාසේන ජයලත්ටත් පස් පඩංගුවෙ බණියි කියලත් මට ආයෙම හිතුන.. "

"හිහ්..හිහ්..එහෙම හිතුනද? එහෙමනම් මහත්මයා ඔබ වැරදියි…"

"හරි මොකක්ද ඔයා සුගත්ට කැමති වෙන්ට හේතුව?"

"සෙනෙහෙවන්ත කොල්ලෙක් උනාම සුගත් වගේ වෙන්ට ඕන. කෙල්ල වෙන අතක් බැලුවත් කොල්ල ඒ කෙල්ල වෙනුවෙන්ම කැපවෙලා ඉන්ට ඕන. සුගත් වගෙ නිතරම බොන්ට නම් ඕන නෑ. ඉඳහිටල කෙල්ල මතක් වෙලා පොඩ්ඩක් බිව්වට වරදකුත් නම් ඉතින් නෑ.."

"මොකක්? මම කිව්වයි කියල හිතා ගන්නව.." මම ඇගේ කණ මිරිකීමට තැත් කලෙමි. ඇය මගෙන් ඉවත්ව සිනාසෙමින් ඉදිරියට දිව ගියේ මහ හඬින් සිනා සෙමිනි.

ඇයටද ඒ සිදුවීම සිහි වන්නට ඇත. සිනහව සඟවා ගැනීමට ඇය ඉවත බලාගත්තාය. 

"යමු යමු ගොළු හදවතයි බීරි පෙණහැල්ලයි ගැන කතා කරමු පස්සෙ. දවල් උනොත් බැංකුවෙ පෝලිම …"

"මට හිතෙනව ගොළු හදවත වගෙ කතාවක් ලියන්න…" ඇය පසුදිනෙක පැවසුවාය.."මොකක් හරි හොඳ නමක් කියන්නකො.."

"ම්ම්ම්..ගොළු හදවත වගෙ කතාවකට සුදුසු නමක් නේද?...හා..හරි..ෂෝක් නමක් මතක් වුනා.."

"මතක් වුනා????  අනේ කියන්නකො"

"ඔයාගෙ ඔය පොතට නම දාමු බීරි පෙණහැල්ල කියල.." මම එසේ පැවසූයේ ඇය අසල හිඳසිටි අසුනින් වහා නැඟිට ඉවතට පනිමිනි.

"යමු..අන්න බස් එකක් නම් එනව…."

මම ඇගේ සුරත ගනිමින් පැවසූයෙමි.

සෙනෙහසක් ගලා ගිය ළකුණු ඇඳි හදවතේ,
ළයපුරා තවම ඇත සුවඳ ඒ සිහිනයේ,
අකුසලය ගෙවා අහවර කරමි මේ බවේ,
ඉපදෙන්ට පතමි නුඹ සමඟ සංසාරයේ,

Who was I to question a love that was whispering as a winnowing wind? Who was I to question a love that was shooting up sprouts as when the spring comes ? Who was I to question a love that was as gentle as a floating snowflake that heralds the winter? Who was I to question a love that would inside me everyday for the rest of my life and even beyond? - Nicholas Sparks - The Notebook

P.S.- ගොළු හදවතේ සංගීතය කියන්නෙ ශ්‍රී ලාංකික චිත්‍රපට සංගීතයේ කඩඉමක්. නිසල රාත්‍රියක අනික් හැමෝම නිදි සුව ලබද්දි හොඳ ස්ටීරියෝ හෙඩ්ෆෝන්ස් සෙට් එකකින් ගොළු හදවතේ තේමා සංගීතය අහන එක තරම් ආශ්වාදයක් ලැබිය හැකි වෙනත් අත්දැකීම් තියෙන්නෙ තව බොහොම ස්වල්පයයි. ඒ අත්දැකීම ලබන්න ඔබත්කැ මතිනම් පල්ලෙහා තියනව ඔන්න...


LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...