Wednesday, July 24, 2019

636. දැත්තගෙයි යාළුවන්ගෙයි හපන්කම් සහ මගේ අස්ථාන භීතිකාව…..


කුඹුරුවලට වතුර බෙදාහරින කෙත් ඇලක්
(Field Canal) සහ පෝල් බට (Farm Turn-outs )

පහුගිය පෝස්ට් එකේ වෙන නොයෙකුත් ආරළු බූරළු අතරෙ මම දම්මි සුගත් ආදර අන්දරය ගැනත් ලිව්ව.

දැන් ඔය සුගත්ට බොහොම දෙනෙක් කැමති නැහැ. ඒ කියන්නෙ ප්‍රේමයකින් පරාජිත වුන පලියට කොටින්ම කිව්වොත් කෙල්ලෙක් "බැහ්" කිව්ව පලියට සුරාවට ඇබ්බැහි වෙලා ජීවිතේම කාළකන්නි කරගන්නෙ අර අහවල් දේකටද කියල බහුතරයකට හිතෙනව. ඒ පෝස්ට් එකට කමෙන්ට් එකක් දාපු මගේ ඉපැරණි පාඨිකාවියක් සහ හිතවතියක්වන රූ ගරු කටයුතු නෝනා මහත්මියත් එහෙම කියල තිබ්බ. සුගත් එහෙම බේබද්දෙක් උනේ මොකද කියල එතුමිය තවමත් කල්පනා කරනවයි කියල. එක අතකට ඒ සිතුවිල්ලත් ඉතාම සාධාරණයි. ටෝටලි ජස්ටිෆයිඩ්. නෝ ඉෂූ එබවුට් දැට් ඇට් ඕල් ඇටෝල්...බට්...අන්න මෙතන ඉතාම වැදගත් වචනෙ ඇවිල්ල බට්..

බට් කියන ඉංග්‍රීසි වචනෙට තේරුම් රාශියක් තියනව. එකක් ඇවිල්ල පශ්චාත් භාගයට කියන Slang word එකක්. බට් දැට් බට් හෑස් ටූ ටීස්. Two tees....like this...Butt... බට් එකේ අනික් අර්ථය වන නමුත් බට් එකට තියෙන්නෙ ඔන්ලි වන් ටී..Like this...But.. 

නමුත් අපි නමුත් කියල කියනකොට ඒ වචනෙ ටිකක් බර කරල කියන්ට (To Emphasize) නමු...ත්..ත්..ත් කියල අදිනවනෙ. සමහර උදවිය ඉංග්‍රීසියෙන් කතා කරද්දි බට් කියන වචනෙත් ඒ විදිහට අදිනව. බ..ට්...ට්...ට්...කියල. ..(B...u...t....t......)... I know you are in need of some cash right now b...u...t...t.... sorry I can't help you....

සුගත් එහෙම බේබද්දෙක් උනේ මොකද කියල එතුමිය තවමත් කල්පනා කරනවයි කියල. එක අතකට ඒ සිතුවිල්ලත් ඉතාම සාධාරණයි. ටෝටලි ජස්ටිෆයිඩ්. නෝ ඉෂූ එබවුට් දැට් ඇට් ඕල් ඇටෝල්...බට්...අන්න මෙතන ඉතාම වැදගත් වචනෙ ඇවිල්ල බට්….But certainly there are people who are exceptional…

ඒ කියන්නෙ අපි හැමෝම හිතන සාමාන්‍ය මිනිස්සු හැසිරෙන ආකාරයට නොහැසිරෙන මිනිස්සුත් ඉන්නව. සුගත් එහෙම චරිතයක් කියල අපි හිතමුකො. සුගත් කියන මනුස්සය ආදරයට අධි සංවේදී මනුස්සයෙක්. 

සමහරවිට කුඩා කාලෙදිම දෙමව්පියන් දෙදෙනාගෙම සෙනෙහස අහිමිවීමත් එහෙම වෙන්ට එක හේතුවක් වෙන්ට ඇති... ඒ හින්ද තමන්ගෙ ආදරය මල්ඵල නොගැනීම සුගත්ට දරාගන්ට බෑ. එහෙම මිනිස්සුත් ඉන්ට පුලුවන්නෙ මේ ලෝකෙ නේද? යස් පුලුවන්..ඔෆ් කෝස්....

විරාගයෙ අරවින්දත් ඒ වගෙ එක්සෙප්ෂනල් චරිතයක් කියල කියන්ට පුලුවන්. මාර්ටින් වික්‍රමසිංහ මහත්තය අරවින්ද තුලින් විස්තර කරන්ට උත්සාහ කලේ තමන්ගෙ සිතතුල ජීවත්වූ එහෙත් පියවි ලෝකයේදී තමන්ට පණදෙන්නට නොහැකිවූ චරිතයක් වෙන්නත් පුලුවනි.

හරි ඒ ගැන දැන් ඇති...අද මාතෘකාවට පිවිසෙන්නට පෙරාතුව ගොළු හදවත සහ මගේ ළමා විය සම්බන්ධ තවත් පොඩි කතාවක් පවසන්නට මට අවසර...ඒ කතාව මෙහෙමයි.. 

මම ඒ කාලෙ ඉතාම ආසාවෙන් කියවපු කතාවක් තමයි නිකොලොයි නොසොව් නම් රුසියානු ලේඛකයගෙ "Adventures of Dunno and his Friends" ළමා කතාවේ පරිවර්තනය. මම කියවපු පරිවර්තනයෙ නම "දැත්තගෙයි යාලුවන්ගෙයි හපන්කම් " පරිවර්තක ඇවිල්ල ඩී.බී. කුරුප්පු කියල මහත්මයෙක්. 

දැත්තගෙයි ගොළු හදවතෙයි සම්බන්ධය මොකක්ද කියල කියනව නම් ඔය ඩී.බී.කුරුප්පු මහත්මයා තමයි ඇත්ත වශයෙන්ම ගොළු හදවතේ සුගත් වීරසේකර කියලයි කියන්නෙ. කරුණාසේන ජයලත් සහ ඩී.බී. කුරුප්පු යන දෙදෙනාම හොරණ තක්ෂිලාවෙ සම වයස්ක සිසුවන් වෙලා ඉඳල තියනව. ඒ කාලෙ දම්මිත් එහිම සිසුවියක්. ඔන්න ඔහොමයි මම ඔය ගොළු හදවතේ අතීත කතාව අහල තියෙන්නෙ.

හරි එහෙමනම් මේ දවස්වල විකාශය වන ටෙලි චිත්‍රපට ගැන මම ලියන්ට ආපු සටහන ලියල ඉවරයක් කරමුකො. තව සුවල්ප කාරණා කාරණා ගැන ලියන්ට තියනවද දෙයියම්ප හැබැහැටම?

පසුගිය සටහනින් උපුටා ගැනුම / 

එතකොට සුදු ඇඳගෙන කළු ඇවිදින් කතාවෙ තියන ශුෂ්ක පරිසරයට මම කැමති තවත් හේතුවක් තියනව. එයැයිතුයි මමයි බැඳල අපි ඉස් ඉස්සෙල්ලාම පදිංචියට ගියේ බකමූණට කිලෝ මීටර් හත අටක් එහායින් තියෙන අත්තනකඩවල කියන දිහාවෙ. අත්තනකඩවල අර ටෙලිචිත්‍රපටයෙ පරිසරය තරමටම ශුෂ්ක වියළි කලාපීය නොවුනට වැස්ස නැතුව නියඟයක් ඇල්ලුවම ඒ වගේම තමයි. ඉතිං ඔය ශුෂ්ක පරිසරයෙ අපි දෙන්න යුග දිවිය අරඹපු ආකාරයත් හරිම අපූරු කතාවක්..එහෙනම් ඊලඟ කොටසින් ඒ කතාව කියන්නම්..එහෙම හොඳයි නේද? 

/උපුටනය අවසන්


අද හවස මම සුමනෙට කෝල් එකක් දුන්න...අළුවිහාරෙට...පරණ විස්තර කතා කලා පැය බාගෙකට කිට්ටු වෙන්ට. අන්තිමට ටෙලිෆෝන් එකේ බැටරිය බහින අනතුරු ඇඟවීමේ නාදය නිකුත් වුනාමයි කතාව නැවැත්තුවෙ..

"මේ සුමනෙ...ෆෝන් එකේ බැටරිය බහින්ටයි හදන්නෙ..මම එහෙනම් තියන්නම්..යන්ට කලින් මම අනිවා එනව උඹලගෙ ගෙදර...මෙහෙම මේ ටෙලිෆෝන් එකෙන් විස්තර කතා කරන එකේ කිසිම ගතියක් නෑ බං..මූණට මූණ බලාගෙන හාන්සි පුටු දෙහෙක දිගාවෙලා මොනව හරි හොඳ ජාතියක් මැද්දෙ තියාගෙන පපඩමක් එහෙම හප හප ඩිස්කස් කරන්ට ඕන මෙව්ව...හෙහ්..හෙහ්..."

"හරි බං වෙරි ගුඩ්..අපි හම්බවෙමු ඩෙෆිනීට්ලි..එහෙනම් අන්ටිල් වී මීට් බායි ඇන්ඩ් ටේක් කෙයා.."

"යස් සී යූ සූන්…"

ඉතිං අපේ ඔය ප්‍රියම්බිකාවන්ගෙ ගේ තියෙන්නෙ අළුවිහාරෙ සුමනෙලගෙ ගේ පහු කරල තව කිලෝ මීටර් හත අටක් විතර කන්ද උඩගට යන්ට ඕන. ඇත්තටම දුෂ්කරයි.... ඒ වගේම හරිම ලස්සන පරිසරය.

මම මගෙ කසාදෙ රෙජිස්ටර් කරන්ට ගියේ සුමනෙ එක්ක සුමනෙගෙ බයිසිකලේ. තැඹිලි පාට CG 125 එකක්. මගේ පැත්තෙන් ගියේ සුමනෙ විතරයි. එතකොට සුමනෙ තමයි මගෙ රථාචාර්යයා කුම් සිග්නටරි ඈස් විට්නස්..ඒ කියන්නෙ සාක්කියට අත්සන් කලෙත් සුමනෙ තමයි.

එන ගමන් මාතලේ ටවුමට ගිහිල්ල ඩබල් ඩිස්ටිල්ඩ් (නොහොත් දෙවරක්පෙරුම උන්නැහේ) එකක් අරගෙන ඇවිල්ල එදා රෑ සෙලිබ්‍රේට් කලා මගේ සරණ මංගල්‍යය. එහෙම විවාහ උත්සවයට සතියකට වගෙ කලින් පොතේ අත්සන් කිරිල්ල යොදාගත්තෙ එයාලගෙ අක්කගෙ රෙජිස්ට්‍රේෂන් එකත් එදාටම යෙදිල තිබුනු හින්ද. ආය මොකටද ඕකට තව දවසක් කියල අපි කතා වුනා දෙකම එකටම කරල දාමුය කියල.

ඉතින් දැන් ඔන්න අපේ පැත්තෙන් එහෙට ගිහිල්ල එහෙන් අපේ ගෙදර ඇවිල්ල කතා බහ තීන්දු තීරණ ඔක්කොම අරගෙන අහවරයි කියමුකො. දැන් ඔන්න මංගල්ලෙ යෙදිල තියෙන්නෙ ලබන සතියෙ. 

මැයි මාසෙ කියන්නෙ අපිට ඉතාම රාජකාරි බහුල කාලයක්. රාජකාරි කිව්වට එව්ව මේ දෙකයි පණහෙ ගම්සබා වැඩ. මහ කන්නෙ කුඹුරු වැඩට වතුර නිකුත් කරන්ට පටන් ගන්නෙ මැයි මුල විතර. අනිවාර්යයෙන්ම ඔය කාලෙ ඉතිං අපේ ගොවි මහත්තුරු ඉන්නෙ G.I.A. මෝඩ් එකේ. (Ginger inserted in Anus) පොඩ්ඩ බැරිවුනාද මරාගන්ට යනව. මේ නන්නාඳුනනා අන්‍ය ජාතික අන්‍යාගමිකයො එක්ක එහෙම නෙවෙයි. උදේ හවස දෙවටෙදි, හන්දියෙ තේ කඩේදි, පෝයට පන්සලේදි හම්බවෙලා ආ කොහොමද මාමෙ අයියෙ පුතේ කියල හිනාවෙලා කතාබහ කරන තමන්ගෙම ඥාතීන් අසල්වාසීන් හිත මිත්‍රාදීන් එක්ක. වෙන මොකටවත් නෙවෙයි බෙදුම් ඇළේ එන වතුර කුඹුරු වලට සමෝසමේ බෙදාගන්ට බැරුව. 

මම අර කලිනුත් කිව්ව වගෙ තමන්ගෙ පැවැත්මට තර්ජනයක් එනකොට තමයිමිනිස්සුන්ගෙ පෘථග්ජන ආත්මාර්ථකාමී සිතුවිලි මතුවෙලා එන්නෙ. එක අතකට එහෙම වෙන එක සර්ව සාධාරණයි. කාටවත් ඒකට දොසක් කියන්ට බෑ. මොකද වී ගොවිතැන තමයි ඒ මිනිස්සුන්ගෙ එකම ජීවනෝපාය. වෙන කිසිම කර්මාන්තයක නිෂ්පාදන ක්‍රියාවලියක පුහුණුවක් පරිචයක් නෑ. සී සාන්ට, වපුරන්ට, පෝර ගහන්ට, ගොයම් කපන්ට, කොළ මඩවන්ට තමයි දන්නෙ.

අනික මම අත්දැකීමෙන්ම දන්න දෙයක් තමයි ගොවි මහත්වරු ස්වභාවයෙන්ම හරිම කම්මැලියි. ඒ දවස්වල ලෝක බැංකු සමීක්ෂණයක වාර්තාවක් මට මතකයි ඒකෙ කියල තිබ්බ එක කන්නයක්...කන්නයක් කියන්නෙ මාස හයක්නෙ. ඒ කියන්නෙ දවස් 180ක්. එයින් වී ගොවියා වැඩ කරන්ට ඕන දවස් හතළිහක් සහ පණහක් අතර ගණනක් විතරයි කියල. ඒ කියන්නෙ මුළු අවුරුද්දෙම වැඩ කරන්ට ඕනෙ උපරිම දවස් 100ක් විතර. මම හිතන්නෙ මිනිස්සු වී ගොවිතැනටම යොමු වෙන්ට තවත් හේතුවක් ඒක. බොහොම රිලැක්ස් එකේ කරන්ට පුලුවන් ජොබ් එකක්නෙ හෙහ්...හෙහ්...

ඉතිං ඔය ජලය අත්‍යාවශ්‍ය කාල වකවානුවල ඒ කිව්වෙ කුඹුරු මඩ කරද්දි සහ බණ්ඩි ගොයම පූදිද්දි වගෙ කාලෙට අපි කරන්නෙ එක එක කුඹුරට වතුර දෙන්ට නියමිත කාලසීමාවක් හදල අනිවාර්යයෙන්ම ඒ අනුව කටුයුතු කරන්ටෙයි කියල ගොවියන්ට දැනුම් දෙන එක. ඒත් මොන? එහෙම මුර වතුර නිකුත් කිරීමේ කාලසටහනක් හදල දුන්නත් ඇති වැඩක් නෑ. මේ යක්කු ඒ අනුව සමඟියෙන් වතුර ටික බෙදාගන්නෙ නෑ. ඉතින් අන්තිමට ගොවියො රංචු පිටින් බයිසිකල් වල නැඟගෙන එන්නෙ අපිව හොයාගෙන..

"මහත්තෙය...අටේ කුඹුරෙ සුමනසිරි ඊයෙ රෑ පෝල් බටේ ඇරල මයෙ වතුර මුරේ උගෙ කුඹුරට හරවගෙනනෙ..බලන්නකො මම අද පෝරු ගාල ඉවරයක් කරන්ටනෙ හිතාගෙන හිටියෙ…"...විසිහතරෙ ඇලේ දහතුනේ කුඹුරෙ වික්‍රමසිංහ එහෙම කියාගෙන උදේ පාන්දර අඬාගෙන එනව…

"වීරසිංහ මහත්තයෝ..වීරසිංහ මහත්තයෝ.." ඔන්න රෑදෙගොඩ හරියෙ කවුදෝ මහසෝන වගෙ ක්වාටර්ස් එකේ දොරට තඩිබානව. 

"ඉඳහං යකෝ පොඩ්ඩක් දොර කඩන්ඩ හදන්නෙ නැතුව….." සුමනෙ සරමත් ඇඳ ඇඳ ගිහිල්ල දොර අරිනව. "මොකද බං මේ දෙගොඩ හරියෙ?

"අනේ මහත්තයො මුරුතැංගෙදර පුංචි බණ්ඩ ඇලේ වතුර ඔක්කොම උගෙ කුඹුරට හරෝගෙන. ඌ පිහියකුත් තියාගෙන රැකගෙන ඉන්නව උගෙ කුඹුරෙ වතුර වහන්ට එන ඕන එකෙක් බාවනව කියල…"

(සටහන - ගොවියො ඔය පෝල් බටේ පෝල් බටේ කියල කියන්නෙ කුඹුරට වතුර ගෙනියන ඇලේ ඉඳං කුඹුරට වතුර හැරවීම පාලනය කරන්ට හදල තියෙන නිර්මිතයට. නිර්මිතය කියල කියන්නෙ ඉංග්‍රීසියෙන් නම් Structure. ඔය පෝල් එක කියන එකට නියම වචනෙ ගොවිපළ අව හැරවුම නොහොත් Farm Turnout )

ඉතිං දවල් දවස තිස්සෙ සම් ටයිම්ස් දිවා ආහාරය පවා විරහිතව ඔය ගොයියංගෙ ගහ මරා ගැනිලි විසඳල සුමනෙයි මමයි හවස ආපහු ක්වාටර්ස් එකට එන්නෙ පාං කියාගන්ටත් බැරුව. ඒ ආපු ගමං කරන්නෙ තුවායයි සබං කෑල්ලයි අරගෙන මහ ඇලට ගිහිල්ල අර කෙඩෙත්තු ගතිය යනකල් බැහැල නාගන්න එක. ඉම්පස්සෙ යනව බයික් එකේ බකමූණට. ගිහිල්ල ගේනව ගල් එකක් හෝ එක පාරම දෙකක්. දෙකක් ගෙනාවම දවස් දෙක තුනකට වගෙ ඇති. අපි හිටියෙ අත්තනකඩවල. බකමූණෙ ඉඳල කිලෝ මීටර් අටක් දහයක් වගෙ එහා. 

අපේ ක්වාටර්ස් එක තිබ්බෙ අතෑරල දාපු පරණ කුඹුරු යායක් අද්දර. ක්වාටර්ස් එක ඉස්සරහම තිබ්බ මහ විසාල කොහොඹ ගහක්. ඕක යට පුටු දෙකකුයි සාලෙ තිබ්බ පරණ ටීපෝ කබලයි තියාගෙන තමයි අපි දෙන්න සෙට් වෙන්නෙ. 

"මචං වීරෙ..දන් උඹල ලබන සතියෙ බඳිනවනෙ. ඊට පස්සෙ මොකක්ද උඹලගෙ ප්‍රෝග්‍රම් එක?" එදා ගල් බෝතලේ අතට අරගෙන මූඩිය කරකෝන ගමන් සුමනෙ ඇහුව. 

"ඒ කිව්වෙ?"

"ඒ කිව්වෙ බං බැන්දයින් පස්සෙ කොහෙද දෙන්න දැන් නවතින්න හිතාගෙන ඉන්නෙ?"

බැන්දට පස්සෙ කොහෙද නවතින්නෙ කියන එක ගැන එතුමියයි මායි ඒ වෙනකොට සෑහෙන දුරකට සාකච්ඡා කරලයි තිබ්බෙ. 

අපිට ඔප්ෂන්ස් නොහොත් තෝරාගැනීම් දෙකක් තිබ්බ. එකක් අපි දෙන්න මහවැලි නිල නිවාසයක පදිංචි වෙන එක. එහෙම උනහම මම නිතර දෙවේලෙ රාජකාරි බලප්‍රදේශයෙම රැඳිල ඉන්න නිසා අපේ ආයතන ප්‍රධානී නොහොත් බ්ලොක් මැනේජර් නොහොත් කොට්ඨාශ කළමනාකාර මහත්මය ඒ වැඩේට බොහොමත්ම කැමතිවුනා.

"වීරෙ බැන්දයින් පස්සෙ දෙන්නත් එක්ක ඇවිල්ල එහෙනම් ක්වාටර්ස් එකක නවතින්න. මම ඔයාට ඇලොකේට් කරල තියෙන්නෙ ග්‍රේඩ් ෆෝ ක්වාටර්ස් එකක්.."

අපේ ග්‍රේඩ් ටූ, ග්‍රේඩ් ත්‍,රී ග්‍රේඩ් ෆෝ සහ ග්‍රේඩ් ෆයිව් කියල මාණ්ඩලික නිල නිවාස වර්ග හතරක් තිබ්බ. එයින් ඔය ග්‍රේඩ් ෆෝ ක්වාටර්ස් කියන එකේ බාත් රූම් දෙකක් සහිතව නිදන කාමර හතරක් තිබ්බ.

ක්වාටර්ස් එහෙම උනාට එව්වයෙ පදිංචියට නිකම්ම යන්ට පුලුවනිය. ඇඳන් පුටු මේස වගෙ අවම අවශ්‍යතාවයන්වත් තියෙන්ට එපාය. මම මහවැලියට බැඳුනු දවස් වල විවාහක යුවලකට නිවසකට අවශ්‍ය සියලුම ගෘහ උපකරණ කොටින්ම කුල්ල නෑඹිලියෙ ඉඳිආප්ප වංගෙඩියෙ ඉඳල මහවැලියෙන් නොමිලේ සැපයුව. 

ඒත් මම බඳින කාලෙ වෙනකොට වියදම් සීමා කිරීම යටතේ ඔය ලබා දීපු ගෘහ භාණ්ඩ  ක්‍රමයෙන් කපාදු වෙලා ගිහිල්ල අන්තිමට මොකවත්ම නොදෙන තත්වයක් ඇවිල්ල තිබ්බෙ. ඒ හින්ද ගෘහ භාණ්ඩ සපයාගැනීමේ ගැටලුවත් තවත් ප්‍රශ්නයක් වුනා. ගෘහ භාණ්ඩ කියල මගෙ සන්තකේටම තිබ්බෙ සිංගල් ඇඳකුයි ලියන මේසෙකුයි ඒ මේසෙට පුටුවයි, ටවල් රැක් එකකුයි බෝල කූඩුවකුයි...දැට්ස් ඕල්.. :)

අනික් ප්‍රශ්නෙ ට්‍රාන්ස්පෝට් නොහොත් දිනපතා ගමනාගමනය. මට නම් කිසි අවුලක් නෑ. අත්සන් කරන පොත තිබ්බ කාර්යාලයට මිනිත්තු පහයි නෝමල් වෝක් එකෙන් පයින් ගියොත්. ප්‍රශ්නෙ වෙන්නෙ එතුමියට. අත්තනකඩවල ක්වාටර්ස් එකට ආවොත් එතුමිය උගන්නපු ඉස්කෝලෙට යන්ට වෙන්නෙ ගිරිතලේ ඉඳල මාතලේ යන බස් එකක. උදේ පාන්දර එහෙම යන බස් එකම එකයි තිබ්බෙ. හදිස්සියෙ ඒක මිස් උනොත් එක්කො හාෆ් ඩේ. එහෙම නැත්නම් ෆුල්ඩේ ඕෆ්...

අපි දෙන්න ඉතින් ඔය ඉන්නෙ කොහෙද කියන ප්‍රශ්නෙ සාකච්ඡා කරද්දි ඔන්න ඔය කියන කාරණා ගැන පමණක් කතා කලාට එයාගෙ වගේම මගේ හිතෙත් තනියම ක්වාටර්ස් එකක පවුල් ජීවිතයක් ගෙවන එක ගැන පොඩි පහේ බයක් චකිතයක් වගෙ දෙයක් නොතිබ්බෙම නෑ. ඒ මෙහෙමයි. 

ඇත්තටම ප්‍රේම සම්බන්ධයකින් පස්සෙ විවාහ වෙනවා උනත් තමන් හරියටම නොදන්නා පිරිමියෙක් හෝ ගැහැණියක් සමඟ දවසේ විසි හතර පැයම එකට ජීවිතේ ගෙවනව කියන්නෙ සෙල්ලමක් නෙවෙයි නේද කියලයි මගේ හිතේ තිබුනෙ. එතුමියටත් ඒ භීතිකාව නොහොත් ෆෝබියාව එහෙම්මම තිබුනයි එතුමියම මා එක්ක පස්සෙ කාලෙක ඔය ගැන කතා කරද්දි කිව්ව...

මම ඉතින් සුමනෙට ඔය භීතිකාව ඇරෙන්ට ඉතුරු එව්ව ගැන කිව්ව. කියල අන්තිමට කිව්ව…"ඉතිං බං ඔන්න ඔය ප්‍රශ්න හින්ද අපි ඇත්තටම තවම අවසාන තීරණයකට ඇවිල්ල නෑ…"

සුමනෙ ගල් බෝතලේ අතේ තියාගෙනම සාවධානව මගේ කතාවට සවන් දුන්න. ඊට පස්සෙ මූඩිය කඩල අසෝක වීදුරුවෙ කට්ටෙ ගාවට පුරවගෙන බෝතලේ මගේ අතට දුන්න. සුමනෙගෙ පළවෙනි ෂොට් එක එහෙම තමයි අසෝක වීදුරුවෙ කට්ටෙ ගාවට...බෝතලේ මගේ අතට දීල මගෙ ඇස් දෙක දිහා බලාගෙන මෙහෙම කිව්ව..

"මචං වීරෙ..උඹට වඩා අවුරුදු හතර පහක් වගෙ වැඩිමල් උඹේ අතිජාත මිත්‍රයෙක් විදිහට මම උඹට මෙහෙම කාරණාවක් කියන්නම්. මේක අවවාදයක්මත් නෙවෙයි. මගේ අත්දැකීම් ආශ්‍රයෙන් කරන කරුණු දැක්වීමක් කියල කිව්වොත් තමයි මල්ලි වඩාත්ම ගැලපෙන්නෙ......"

Saturday, July 6, 2019

635. දම්මි තවමත් ආදරෙයි............

මගේ ජීවිතයේ දෙවන දශකයෙන් හරි අඩක් ගෙවුනේ කෑගල්ලේය. ඒ වනාහී හැත්තෑව දශකයේ පළමු අර්ධයයි. දිවයිනේ අගනුවර සහ ප්‍රධාන උප නගරය අතර දිවෙන A - 1 යනුවෙන් නාමකරණය කරන ලද ප්‍රධානතම මහා මාර්ගයෙහි තුනෙන් දෙකක දුරකින් පිහිටියේ වුවද කෑගල්ල යනු එදවස නිද්‍රාශීලි අලස සහ එමෙන්ම නිසංසල නගරයක් වූයේය.

දැන් ඔය තුනෙන් දෙකේ කතාව ආය බොරුවක් එහෙම නෙවෙයි හොඳද? සැටිපිකේට් ටෘත්..ඒ කියන්නෙ දැන් කොළඹ ඉඳල නුවරට දුර කීයද? අපි ඔය කිලෝ මීටර් පැත්තක තියමුකො. ලංකාව මෙට්‍රික් ක්‍රමයට හැරුනෙ මම ඔය කියන කාලෙන් තව අවුරුදු හතරක් තරම ගතවුනාට පස්සෙ.

ඉතිං කොළඹ ඉඳල නුවරට දුර හැතැක්ම 72 යි. එතකොට 72න් තුනෙන් දෙක කීයද? හැත්තෑ දෙක තුනෙන් බෙදුවම විසි හතරයි. විසිහතරෙ දෙකක් හතළිස් අටයි. හරියටම A-1 මාර්ගයෙ හැතැක්ම 48 කණුව තිබ්බෙ කෑගල්ල නගරය පටන් ගන්න තැන. අපේ ඉස්කෝලෙ ඒ කිව්වෙ ශාන්ත මරියා මහා විද්‍යාලයෙ මායිම් තාප්පෙ අසළ. එතකොට හතළිස් නමයෙ කණුව තිබ්බෙ කෑගල්ල නගරය කෙළවර පොලීසියට පල්ලෙහායින්. ලක්සල එහෙමත් තිබ්බෙ ඊට පොඩ්ඩක් මෙහායින්. ඒ කියන්නෙ කෑගල්ල නගරය හරියටම හැතැක්මක් දිගයි.

ආ...ඔය කොළඹ ඉඳල නුවරට තියන දුර හැතැක්ම 72 කියල කියනකොට තව එකක් මතක් උනා. කොළඹ ඉඳල ගාල්ලටත් හරියටම හැතැක්ම 72යි. ඒ වගේම මාතරට හැතැක්ම 100යි. 

ආ තව කාරණයක්..මම ඉතිං ඔය මගෙ කතා කියද්දි මතක් වෙන මතක්වෙන ඔබ තමුන්නාන්සේලාට වැදගත් කියල හිතෙන කාරණා කාරණා ලියල දානවනෙ ඒකෙනුත් යම් පොරෝජනයක් වෙත්දෝහෝයි කියල හිතල. එහෙම  ඔය සුළු සුළු කරුණු කාරණා වලට ඉංග්‍රීසියෙන් කියන්නෙ Tidbits කියල.

හරි මේකයි එහෙනම් ටිඩ්බිට් එක. ඔය ලංකාවෙ ඒ ඒ නගරවලට දුර තියනවනෙ. ගාල්ලට හැතැක්ම 72යි කියනව. එතකොට මාතරට 100 යයි කියනව. ඉතිං ඔය දුර මනින්ට පටන් ගන්නෙ කොතන ඉඳලද කියල ඔබ තමුන්නාන්සේලා දන්නවද? 

සීරෝ පොයින්ට් කියල කොහෙ හරි එක ලක්ෂ්‍යයක් තියෙන්නම එපාය..නැද්ද? කොටුවෙ ස්ටේෂන් එක ඉස්සරහ තියන කොලෝනියල් බාර් එකේ බා ටෙන්ඩර්ගෙ පුටුවෙ ඉස්සරහ දකුණු කකුලෙ ඉඳලද? එහෙම නැත්නම් පිටකොටුවෙ බෝදින්නාන්සෙ ඉස්සරහ තියන මලසුනේ වම් කකුලෙ ඉඳලද? එහෙමත් නැත්නම් කොටුවෙ ඛාන් ඔර්ලෝසු කණුවෙ පාදමේ උතුරු මුල්ලෙ ඉඳලද? 

නෑ..නෑ...ඔය දුර මනින්න සීරෝ පොයින්ට් එක විදිහට ගන්නෙ කොටුවෙ ස්ටේෂන් එක ඉස්සරහ තියන ඕල්කට් ප්‍රතිමාව තියනවනෙ. අන්න ඒ ඕල්කට් ප්‍රතිමාවෙ වම් කකුලෙ දණිස්සට පහලින් තියනව පරණ තුවාල කැළලක්. ඔය ඕල්කට් තුමා ඇවිල්ල හිට අමරිකාවෙ හමුදා නිලධාරියෙක්නෙ. කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට්. ඒ තමයි එතුමාගෙ සම්පූර්ණ නම. කර්නල් ඕල්කට් අමරිකන් සිවිල් යුද්ධයේදි සටන්කලා. ඔය සිවිල් යුද්ධයේදි තමයි ඕල්කට් තුමාගෙ ඔය තුවාල කැළල ඇතිවුනේ...

ඒබ්‍රහම් ලින්කන් ජනාධිපතිතුමාගෙ කාලෙ සිදුවුනු අමරිකානු සිවිල් යුද්ධය දන්නව නේද? අමරිකාවෙ උතුරු ජනපද සහ දකුණු නපද අතරයි ඒ සිවිල් යුද්ධය පැවතුනේ. ඒ යුද්ධයට තුඩුදුන් නොයෙක් හේතූන් තිබ්බ වුනත් ආසන්නම හේතුව වුනේ අප්‍රිකානු වහලුන්ගේ නිදහස. 

උතුරු ජනපද වහලුන්ට නිදහස දුන්නට මිනිස් ශ්‍රමය අධිකව අවශ්‍යවන කපු තිරිඟු වගේ වගාවන් තම ප්‍රධාන ආදායම් මාර්ගය කොටගත් දකුණු ජනපද වාසීන් වහල් සේවය අහෝසි කිරීමට කිසිසේත් කැමතිවූයේ නැහැ. මේ මතභේදය සහ නොසන්සුන්තාව අවසානයේ උතුර සහ දකුණ අතර සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය වුනා. ඉන් වහල් ක්‍රමය අහෝසි කිරීම වෙනුවෙන් පෙනීසිටි උතුරු ජනපද ජයග්‍රහණය කලා.

මේ..මම අර කර්නල් ඕල්කට් උන්නැහැගෙ තුවාල කැළල ගැන කිව්වෙ බොරුවක් හොඳද? නෑ..නෑ..අර දුර මනින්ට සීරෝ පොයින්ට් එක විදිහට ගන්න කතාව ඇත්ත. එහෙම ගන්නෙ ඔය ප්‍රතිමාවෙ පාදමේ මධ්‍ය ලක්ෂ්‍යය මිසක අර මම කිව විදිහට තුවාළ කැළලක් එහෙම නෙවෙයි හොඳද? මම මේ එහෙම සත්‍යය පවසල කරුණු පැහැදිළි කරන්ට හිතුවෙ නැත්නම් මේ සමහරු ඔව්ව සිරා ගන්නව.

අර මම එක පාරක් ජෝජ් කීට්ගෙ මිනිය වළලල තියෙන්නෙ බොරැල්ලෙ ගෝතමී විහාරයෙය කියල මතකද මහ විනාසයක් වුනා? ඒ කතාව මම ලිව්වෙ මම මේ නිදහස් සිතුවිළි ලියන්ට ආපු අලුතම වාගෙ.අවුරුදු අටකට වගෙ ඉස්සර....





හරි ආයම යමු ප්‍රස්තුතයට..ප්‍රස්තුතය වනාහී අදින් සිව්දශකයකුත් තවත් වසර සතරකට පෙර කෑගල්ල නම් ප්‍රාදේශීය නගරයෙහි මවිසින් ගතකරන්නට යෙදුණු ඒ කාළ පරිච්ඡේදයයි.

දැං ඔය ඒ කාලෙ මිනිස්සුන්ගෙ ජීවිත බොහොම සුන්දරයි. අල්පේච්ඡයි. බහුතරයකට තිබ්බෙ එදිනෙදා කාල ඇඳල දරු මල්ලො හදාගෙන යන තැනකට පිනක් දහමක් කරගෙන ජීවිතේ ගතකරල කම්වූ පරිද්දෙන් මිය පරළොව යන බලාපොරොත්තුවක් මිසක ගම රට අල්ලන්ට සල්ලි පොදිගහගෙන අහල ගං ගතේම ලොකුම පෝසතාවෙන්ට වගෙ බලාපොරොත්තු එහෙම නෙවෙයි. දේසපාලනේ උනත් මිනිස්සු ගෑණු මේ අද වගෙ කා කොටාගෙන ගහ මරාගෙන කලේ නැහැ. එහෙම දේවල් සිද්ද වුනේ නැත්තෙමත් නෑ. ඒත් පොදුවේ එහෙම සිද්ධීන් ඉතාම දුර්ලභයි.

ඡන්දෙ ඉවර උනහම දිනුවෙ අලිය නම් අලි පාටියෙ අ අත පාටියෙ එවුන්ගෙ ගෙවල් ඉස්සරහට ගිහිල්ල හූ කියල කෑ ගහල ඔන්නම වැඩිම උනොත් ගලක් දෙකක් වහලට ගහල සරම උස්සල පෙන්නල එහෙම ආපහු ගෙවල් වලට යනව. අත දිනුවම ඒත් එහෙමයි. 

ඒ සුපුරුදු ක්‍රියාකාරකම් වලට අමතරව සිද්ද වුනේ ඔය කැළෑබද ප්‍රදේශයක් නම් අලිබෙටි තුන හතරක් එකතු කරගෙන ඇවිල්ල අර අලි පාටියෙ ගොබිලගෙ ගේ ඉස්සරහට වීසි කරල යන එක. එහෙමත් නැත්නම් කිතුල් අතු හත අටක් කපල ගෙනල්ල ගේ ඉස්සරහ ගොඩ ගහල යන එක.

එතකොට ඡන්ද ක්‍රමය උනත් බොහොම සරලයි. ඡන්ද කොට්ඨාශයෙ වැඩිම ඡන්ද ලබපු අපේක්ෂකය මන්ත්‍රී වුනා. වැඩිම මන්ත්‍රීල ඉන්න පක්ෂයෙ නායකය අගමැතිවුනා. ඡන්ද දාන එක උනත් හරිම සිම්පල්. එජාප - අලියා. ශ්‍රීලනිප අත සහ සමසමාජෙ යතුර. ඊට අමතරව හිටියෙ ඔය සුලු පක්ෂ සහ ස්වාධීන අපේක්ෂකයො. අන්න එහෙමයි එදවස.

ටියුෂන්?..හපොයි එහෙම වචනයක් අපි අහලවත් තිබ්බෙ නෑ. ඉස්කෝලෙ ඇරිල ගෙදර එන්නෙ කීයටද ඒ වෙලාවෙ බත් කාල දොට්ට බැස්සම ආය ගෙදරට පයගහන්නෙ මාවවුලො රෑන් පිටින් ඇකිරියගල කන්ද ඉහත්තාවෙන් අඹන්පිටිය දිහාවට පියාඹලා යන ගොම්මං වෙලාවට.

ඔය වවුලො කියන සත්තු ජාතිය දවල්ට ලගින්නෙ දාස් ගාණක් එකම තැන. එහෙම අනාදිමත් කාලෙක ඉඳල එවුන්ට පුරුදු වෙච්චි තැන් තියනව. කොළඹ -නුවර පාරෙ මාවනැල්ලෙ ටවුන් එකට මෙහායින් තියන පරණ පාළම (ඒක යටින් යන්නෙ මාඔය) උඩින් යනකොට මා ඔය දෙපැත්තෙම හැදිල තියන රූස්ස වෑවරණ ගම්මාලු වගෙ ගස්වල අතුවල එල්ලිල ඉන්නව ඔය මාවවුල්ලු එක දාස් ගාණක්. 

"මාවවුලන් රෑ පුරාම රංචු ගැසීලා මීගස් යට මී වැහි වැහැලා..බාලේ මෙන් පාන්දරින් ඇහිඳින්නට යන්නට බෑ මට තනියක් දැනෙනවා..."

ඔය මාඔය අද්දර එල්ලිල ඉන්න මාවවුලන්ගෙ මුතුන් මිත්තො දකින්ට ඇති කැප්ටන් ඩෝසන් එක්දාස් අටසිය විසි ගණන්වල දහස් සංඛ්‍යාත මිනිසුන්ගේ ශ්‍රමයෙන් කොළඹ සිට කන්ද උඩරටට දිවෙන මහා මාර්ගය ඉදිකරවනව. 

ඒ වගේම ඔවුන් දකින්නට ඇති අශ්වයින් බැඳපු ගැල් මගින් මුල්ම කෝපි තොග කොළඹ වරායෙන් එංගලන්තෙට නැව්ගත කරන්නට ගෙනියනව. ඒ අටසිය තිස් හතළිස් ගණන්වල. 

ඊට පස්සෙ අටසිය හැට හැත්තෑව වගෙ වෙනකොට ඔවුන් දකින්ට ඇති කෝපි වගාවේ විනාශයෙන් පසු (ලංකාවෙ කෝපි වගාව විනාශවුනේ දිළීරයකින්. ඒකෙ නම හෙමීලියා වැස්ටෙට්‍රික්ස්) ඒ කෝපි ඉඩම්වල වැවුනු තේ තොග ගවයින් බැඳපු ගැල් මඟින් හෙමින් හෙමින් කොළඹට ප්‍රවාහනය කරනව.

ඒ ගැල්කරුවන් මාඔය අසබඩ රෑ යාමෙ නැවතිලා ගැල්වල යටි පැත්තෙ එල්ලපු ගෝනි පඩංගුවල දාගෙන ආපු හාල් පොල් කරවල එහෙම අරගෙන ලිග්ගල් තුනක් උඩ මුට්ටියක් ඇතිළියක් තියල උයාගෙන ගල් තලාවෙ ඉඳගෙන මඩක්කුවලට බෙදාගත්තු රෑබත බුදිනව දකින්නත් ඇති.

කරවල කටු හොද්දත් එක්ක බඩ පුරා බත් කාල හීතල හුළංපොදේ කරත්තෙ යට එල්ලෙන ගෝණි පඩංගුවෙ ඇල වෙලා අත්දෙක කොට්ටෙ වෙනුවට ඔලුව යටින් තියාගෙන නින්ද යනකල් ඒ ගැල්කාරයො කිව්ව කවිත් ඒ කාලෙ හිටපු මා වවුලො අහගෙන ඉන්ට ඇති.

බතට කන්ට බැරි බතලේගල කන්ද
අලට කන්ට බැරි අලගල්ලේ කන්ද
හුණට කන්ට බැරි හුන්නස් ගිරි කන්ද
මෙකඳු තුනට නායක සමනොළ කන්ද

බතලේගල කන්ද නොහොත් බයිබල් රොක් සහ අලගල්ල කන්ද කියන කඳු දෙකම පහුකරගෙනයි ඔය ගැල් කඩුගන්නාවෙ ඉඳල හිඟුල ගනේතැන්න හරහා පල්ලම් බැහැල ඇත්තෙ.

ඒ වගේම මීට අවුරුදු හතළිස් තුනකට හතරකට වගෙ ඉස්සර ඔය මාවනැල්ලෙ පාළම උඩින් කෑගල්ල-මාවනැල්ල බස් එකක් නැඟලා ගිය වයස දොළහක දහතුනක වගෙ කොල්ලො තුන් හතර දෙනෙකුත් ඔය මාවවුල් මුතුන් මිත්තො දකින්න ඇති. 

ඒ ඇච්චො හතරදෙනා වනාහී මම සහ මගේ පන්තියෙ තව යාලුවො තුන් දෙනෙක්. ඒ අපි ගියේ අපේ පන්තියෙ තවත් යාලුවෙක්ගෙ ගෙදර. යාලුවගෙ නම ෆවාස්. ෆවාස්ගෙ තාත්තා ඒ දවස්වල මාවනැල්ල නගරයේම සුප්‍රසිද්ධ වෛද්‍යවරයෙක්. නම ඩොක්ටර් අන්වර්.

ඒ අපි ගියේ රමසාන් උපවාසය (අපි ඒකාලෙ කිව්වෙ නෝම්බි අල්ලනව කියල) ඉවරවෙන දවසෙ ෆවාස්ලගෙ ගෙදර අපි වෙනුවෙන් පැවැත්වෙන් දිවා භෝජන සංග්‍රහයකට සහභාගිවෙන්ට.

අපිට ගණිතය උගන්වපු පුංචිනිළමේ මහත්මය ෆවාස්ට කතාකලේ අන්වර් සදාත් කියල.."ආ..අන්වර් සදාත් නැඟිටිනව...කළුලෑල්ල ළඟට ඇවිල්ල මේ සම්භාවිතා ගාණ හදන හැටි ලියල පෙන්නනව.." අන්න එහෙම

අන්වර් සදාත් කියන්නෙ ඒ දවස්වල හිටපු ඊජිප්තු ජනාධිපති. 1973 අරාබි-ඊශ්‍රායල් යුද්ධය හින්ද ඔය පාර්ශ්ව දෙකේම ප්‍රධානීන් අපිට බොහොම හුරු පුරුදු අය වෙලා හිටියෙ. මොකද දිනමිණේ යුද්දෙ විස්තර දානකොට ඔය නායකයො හැමෝගෙම ඡායාරූප එහෙමත් දානවනෙ. 

ගෝල්ඩා මයර් ඇවිල්ල ඊශ්‍රායල් අගමැතිනිය. ඒ වගේම ගෝලාන් කඳුකරය සිනායි අර්ධද්වීපය...පුංචිනිළමෙ මහත්තය ළමයින්ට නම් දාන්ට රුසිය..අපේ පන්තියෙ තව ළමයෙක් ඇහැක නගනයක්ද මොකක්ද ඇවිල්ල සතියක් විතර ඇස් ආවරණයක් (Eye patch) දාගෙන ආව. පුංචි නිළමෙ මහත්තය සෙණිකව ඒ කොලුවට නම දැම්ම "මොෂේ දයාන්" කියල. ඒ කොලුව සතියකින් විතර අයි පැච් එක අයින් කලත් අර නම එහෙම්මම රෙජිස්ටර් උනා.මොෂේ දයාන් කිව්වෙ ඒ දවස්වල ඊශ්‍රායෙල් ආරක්ෂක ඇමති. ඊශ්‍රායල් ආරක්ෂක ඇමතිගෙ එක ඇහැක් දෙවෙනි ලෝක යුද්ද කාලෙ වෙච්චි වෙඩි වැදීමකින් අහිමි වෙලයි තිබ්බෙ. ඒ හින්ද මනුස්සයත් අයි පැච් එකක් දාගෙන හිටියෙ.

අපේ පවුල ඒ කාලෙ ඉඳලම විස්තීර්ණ පවුලක් (Extended Family). මම දන්න කාලෙක ඉඳලම අම්මගෙ අම්මයි ඒ කිව්වෙ මගෙ අත්තම්මයි, අම්මගෙ විවාහ නොවුනු වැඩිමහල් සහෝදරයෙකුයි අපේ ගෙදර අපිත් එක්ක හිටිය.

අත්තම්ම අපි එක්ක ජීවත්වෙන්ට ඇවිල්ල තියෙන්නෙ මට වයස මාස තුනක් වගෙ වෙද්දි. එතකොට අපි හිටියෙ බදුල්ලෙ. මම ඉපදුනෙත් එහෙනෙ. අත්තම්මයි අත්තම්මගෙ වැඩිමල්ම පුතයි ඒ වෙනකොට ජීවත් වෙලා තියෙන්නෙ කඩුගන්නාවෙ අම්මලගෙ මහ ගෙදර....

අත්තම්මගෙ වැඩිමල්ම පුතා කිව්වෙ මගෙ ලොකු මාම. 1914 ඉපදුනු ලොකුමාම මියගියේ 2006 අවුරුද්දෙ. ලොකු මාම දෙවෙනි ලෝක යුද්ද කාලෙ බ්‍රිටිෂ් ආමි එකෙත් සේවය කරල තියනව. සාජන් කෙනෙක් හැටියට.

ඒ දෙවන ලෝක යුද්ධ කාලෙ බ්‍රිටිෂ් ආමි එකේ හිටපු හැමෝටම මැරෙනකල් පවුම් වලින් විශ්‍රාම වැටුප් ගෙවල තියනව එංගලන්ත ආණ්ඩුවෙන්. ඒත් අවාසනාව කියන්නෙ අපෙ ලොකු මාමට ඒ අවස්ථාව අහිමිවෙලා. එහෙම උනයි කියන්නෙ එයා ඉපදෙනකොට අත්තම්මයි ලොකු අත්තයි නීත්‍යානුකූලව කසාද බැඳල ඉඳල නෑ. අත්තම්මගෙ වැඩිහිටියො ලොකු අත්තට කැමැත්ත දීල අත්තම්මව එක්කගෙන ඇවිල්ල ලොකු අත්තගෙ ගෙදර නවත්තල. නීත්‍යානුකූලව පොතේ අත්සන් කරල විවාහය ලියාපදිංචි කරල තියෙන්නෙ දරුවො තුන් දෙනෙක්ද කොහෙද ඉපදුනාටත් පස්සෙ.

මේ අපේ අත්තම්ම ගැන මම කලින් ලියපු සටහනක්...


ඒ කාලෙ (ඒ කාලෙ කිව්වෙ කෑගල්ලෙ හිටපු කාලෙ හොඳද?) අපි කොහොමත් රෑ හත හතාමාර වෙනකොට රෑට කාල ඉවරයි. ඊට පස්සෙ කට්ටියම කරන්නෙ අටහමාරට මුවන් පැළැස්ස නැත්නම් මොණරතැන්න තියනවනම් ඒක අහල ඒත් නැත්නම් නමයට රේඩියෝ එකේ ප්‍රවෘත්ති අහල ඒ එක්කම නිදියගන්න එක. ආ.... තව හඬ නළුවක් තිබ්බ (ගුවන් විදුලියෙ ප්‍රචාරයවෙන කතන්දර වලට හඬ නළුව කියල නම තිබ්බෙ මට මතක විදිහට සොඳුරු ආඥාදායකයා නොහොත් සුගතපාල ද සිල්වා) ගිම්හාන ගීතය කියල. ඒක ලිව්වෙ කරුණාසේන ජයලත්...

අපෙ ගෙදරත් එක්කම (ගෙදර කිව්වට ඒ කච්චේරි නිල නිවාස) පැත්තකින් තිබ්බ ගරාජ් එකක්. අපිට වාහනයක් තිබ්බෙ නැති හින්ද ඕකෙ බාගයක් විතර ඔය එක එක ලට්ට ලොට්ට පුරවල තිබ්බෙ. අර මම කිව්ව අපෙ ගෙදර නැවතිල උන්නු මාමා රස්සාවට කරල තියෙන්නෙ ටැක්සියක් එලවන එක. ඒ කාලෙ තිබ්බ වහල කහ පාට සහ යට කළුපාට මොරිස් මයිනර් ටැක්සි. ඒ වර්ණ සංකලනය තමයි ටැක්සිවල ස්ටෑන්ඩර්ඩ් කලර් කෝඩ් එක. අම්මලගෙ ගම කඩුගන්නාවෙනෙ. මාම කඩුගන්නාවෙ නගරයෙ එයින් ටැක්සියක් එලවල තියනව ඒ කාලෙ. පස්සෙ අපෙ ගෙදර ආවයින් ඒ වැඩේ නැතිවුනා. 

පස්සෙ මනුස්සය ඔය එක එක වැඩ කලා පණං හතරක් හොයාගන්ට. බ්‍රෝකර් වැඩ කලා. කාලයක් යාලුවෙක් එක්ක ආණමඩුව පැත්තෙ ගිහිල්ල කුඹුරු කලා. මින්නේරිය පැත්තෙ හේනක් කලා. ඔය මොනව කලත් මාස හතර පහකින් ආපහු ගෙදර එනව. ඒක හරියන වැඩක් නෙවෙයි කියාගෙන. 

පස්සෙ කෑගල්ලෙ අපි ඉද්දි එළු පට්ටියක් ඇති කලා. අර මම කිව්ව ගරාජ් එක පිටිපස්සෙ ලී පිටපලු වලින් එළු ගාලක් හදල ඕකෙ හිටිය එළුවො එළිච්චියො එක දහ දොළොස් දෙනෙක්ම. 

ඒ එක්කම එහායින් කුකුල් කූඩුව. ඒකෙත් හිටිය කුකුළො කිකිළියො විස්සක් විසි පහක් වගෙ. එලුවන්ට නම් හතුරන්ගෙන් හානියක් තිබ්බෙ නෑ. ඉඳහිටල අපේ වත්ත පල්ලෙහා තිබ්බ රජයේ රක්ෂිතය පැත්තෙන් නරි හූ කියනව ඇහුනට උං එලුවො මරාගෙන කන්ට තරම් නිර්භීත වුනේ නෑ. ඒත් කුකුළන්ට බොහොම අලකලංචි සිද්ධ වුනා දවල්ට මුගටින්ගෙන් සහ රෑට කළ වැද්දන්ගෙන්. කොහොමත් සතියකට දෙහෙකට සැරයක් කළවැද්දො කුකුළෙක් අල්ලගන්ට ට්‍රයි එකක් දානවාමයි. 

ඒත් මාම කුකුල් කූඩුවට ගහල තිබ්බෙ හොඳ හයිය ලී පටි. ඒ හින්ද කළවැද්දන්ට වැඩේ ලේසි වුනේ නෑ. ඒත් එවුං රෑ බෝ වෙනකොටම ඇවිල්ල කුකුල් කූඩු වටේ හක්කලං කරන එක ඇතෑරියෙත් නෑ. ඉතිං එහෙම වෙලාවට කුකුලො කිකිලියො කරන්නෙ එක සීරුවට මරහඬ තියන එක. මාම ගෙදර හිටියොත් කෑලි තුනේ බැස්ටියයි ඇඳ මුල්ලෙ බිත්තියට හේත්තු කරල තිබ්බ අන්දර පොල්ලයි අරගෙන හෙමීට බිත්තියට මුවාවෙලා ඒ පැත්තට යනව හෝදිසි කරන්ට. 

එදයිත් එහෙමයි. ප්‍රවෘත්ති ඉවර වෙන්ටත් ඉස්සෙල්ල ඔන්න ඇහෙන්ට ගත්ත කුකුලන්ගෙ කැම්බැල්ලෙ. බරාඳයෙන් මිදුලට බහින්ට තිබ්බ ගල් පඩි පෙලේ වාඩිවෙලා හඳ දිහා බලාගෙන මොනවදෝ මුමුණ මුමුණ හිටපු අත්තම්ම එක පාරටම කලබල වෙලා නැඟිට්ට. ඊට පස්සෙ රේඩියෝ එක ලඟම තිබ්බ ඩිවාන් එකේ වාඩිවෙලා හිටපු මා දිහාට හැරුන. 

"සුට්ටි පුතේ..අන්න අරෙහෙ කුකුළො එක සීරුවට කෑගහනව ඇහෙනව...කළවැද්ද වත් ඇවිත්ද දන්නෙ නෑ අපි දෙන්න යමුද බලන්ට..අද මාමත් ගෙදර නැහැනෙ."

"හා..යමු…" මම කියන පමාවට සුරුස් ගාල නැඟිට්ට. "ඉන්න අත්තම්මෙ මම ටෝච් එක අරන් එන්නම්. "

මම දන්නව මාම ටෝච් එක තියන තැන. උන්දැගෙ ඇඳ ගාව තියන කනප්පුව එහා පැත්තෙ. ටෝච් එකේ පිටිපස්සෙ පියන ගලවල අන්තිම බැටරිය අනික් පැත්තට දාල තමයි මාම කොහෙ හරි ගමනක් යනකොට යන්නෙ. නැත්නම් නිරපරාදෙ බැට්රි බහිනව කියල තමයි මාම කියන්නෙ. ඒ කාලෙ තිබ්බෙ ලක්ෂපාන නිල් පාට බැටරි. එවෙරෙඩි තිබ්බද කියල නම් මට මතකයක් නෑ. ලක්ෂපාන බැටරියෙ ඉස්සරහ තිබ්බ කහපාන පහනක්. ඒ පහන උඩින්  අර්ධ වෘත්තාකාරව ලක්ෂය ඉලක්කම් වලින් ලියල තිබ්බ්.

"අම්මෙ බලාගෙන..මේ වෙලාවෙ නයි පොළොංගු එලි බහින වෙලාව.." අම්ම කුස්සියෙ ඉඳල කෑගැහුව.

මම ටෝච් එකත් පත්තු කරගෙන ඉස්සර වුනා. මාමගෙ අන්දර බැට්න් එක අත්තම්ම උරු ක් කර ගත්ත. ඊටපස්සෙ බොහොම පරිස්සමට ඉස්සෙල්ල බිමට (ඒ නයි පොළොංගු ඉන්නවද බලන්ට) සහ දෙවනුව ඉස්සරහට වමට සහ දකුණට (ඒ කළවැද්දො ඉන්නවද කියල බලන්ට) ටෝර්ච් එකේ එළිය විහිදුවමින් අපි දෙන්න සීරුවට සෝදිසි මෙහෙයුම ආරම්භ කලා. 

කොහොම හරි කළවැද්දෙක් තියා හික් මීයෙක්වත් අපිට හම්බ වුනේ නෑ. සමහරවිට අපි එන සද්දෙට උං දිව්වද දන්නෙත් නෑ. අපි ගිහිල්ල ටික වෙලාවකින් කුකුළංගෙ ගෝසාවත් ටික ටික අඩුවෙලා අන්තිමට නැත්තටම නැතිවෙලා ගියා. 

"යං සුට්ටි පුතේ ආපහු..ආපු මොකා හරි අපි එනකොට බය වෙලා යන්ට ඇති…" අත්තම්ම මගෙ උරෙස්සට අතක් තියල කිව්ව. අපි දෙන්නාඅපහු ඇවිල්ල අත්තම්ම ඉස්සෙල්ල ඉඳගෙන හිටපු පඩි පෙලේ වාඩිවුනා. 

රේඩියෝ එක ඒ වෙනකනුත් වැඩ.

"ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සිංහල දෙවන සේවයෙන් මෙතැන් සිට ප්‍රචාරය වන්නේ නිවේදක තෝරයි වැඩ සටහනයි. අද ඔබ වෙනුවෙන් ගී තෝරන නිවේදක සිරිල් රාජපක්ෂ. මෙන්න ඔහු තේරූ පළමු ගීතය…" ශ්‍රීමා අධිකාරි එහෙම කිව්ව..

ආආආආඅ..හා..හහ..හා..හා..හා...හා...

සංගීතය පටන් ගන්න කොටම මම දන්නව ගීතය මොකක්ද කියල...

අපේ ගෙදර එක නිදන කාමරයක් තිබ්බ ඕකෙ තිබ්බෙ පරණ ඇඳක් සහ එක එක පරණ ලට්ට ලොට්ට දාපු පකිස් පෙට්ටි හත අටක්. පකිස් පෙට්ටි දන්නව නේද? ලී වලින් හදපු පෙට්ටි ජාතියක්. කෑගල්ල පැත්තට කාලෙකට වහිනව එලිය පෙහෙලියට බහින්ට බැරි වෙන්ට. ඒ කාලෙට මම කරන්නෙ ඔය පෙට්ටි ඇදල බලන එක. ගොඩක්ම තිබ්බ අම්මගෙයි අප්පච්චිගෙයි පරණ පොත් පත්. 

ඒ පෙට්ටියක තිබිල මට එක පාරක් හම්බවුනා ඉබ්බාගමුව සෙන්ට්‍රල් යන කාලෙ අම්මගෙ භූගෝල විද්‍යාව සටහන් පොත. එක එක මහාද්වීපවල සිතියම් වෙන වෙනම ඇඳල රටවල් එක එක පාටින් දියසායමින් පාට කරල තිබ්බෙ. ඔක්කොම ඉංග්‍රීසියෙන්. ඒ කාලෙ ඉන්ග්ලිෂ් මීඩියම්නෙ තිබ්බෙ. අම්ම හැබැයි මාස හයක් වගෙ තමයි ඒ විශ්ව විද්‍යාල ප්‍රවේශ පන්තියෙ ඉඳල තියෙන්නෙ. ගෙදර අඟ හිඟකම් නිසා රජයේ හෙදි පුහුණු පාඨමාලාවට ඇතුළත්වෙලා.

ඩීමන් ආනන්දගෙ පොත් වගේකුත් ඔය පෙට්ටියක තියල හම්බවෙලා මම හොරෙන් කියෙව්ව. කාගෙද මන්ද. අම්මගෙ අර භූගෝල විද්‍යා සටහන් පොත තිබ්බ පෙට්ටියෙම තිබිල ආය මට හම්බවුනා කරුණාසේන ජයලත්ගෙ ගොළු හදවත නවකථාව.හොඳටම අබලන් තවෙක තිබ්බෙ. පිටු කහ පාට වෙලා. අග්ගිස් නැමිල. පොතේ බැඳුම් කැඩිල.

මම ඉතින් බොහොම පරිස්සමට ඕක කියවන්ට ගත්ත. ඩීමන් ආනන්දගෙ පොත් කියවන්ට ඕන හොරෙන්ය කියල මම දැනගෙන හිටියට මට හිතුන ගොළු හදවත එහෙම හංගගෙන කියවන්ට ඕන පොතක් නෙවෙයි කියල. ඉතින් මම දවසක් සාලෙ වේවැල් පුටුවක ඉඳගෙන ඕක කියවනකොට අප්පච්චි දැක්ක. 

"මොකක්ද ඔය කියවන පොත?",අප්පච්චි ඇහුව

"මේක මේ ගොළු හදවත අප්පච්චි.."

අප්පච්චි හිනාවුනා.."කොහෙන්ද ඕක?"

"අර කාමරේ පෙට්ටියක තිබ්බ.." මම කාමරේ පෙන්නුව..

"කෝ බලමු…" අප්පච්චි සුරත දිගුකලා. මම පොත අප්පච්චිට දුන්න.. 

"ෂෙහ්...මේක හොඳටම නාස්ති වෙලානෙ...අපරාදෙ...අද බලල ඕක අතන මේසෙ උඩ තියන්ට. මම හෙට යනකොට ඕක අරගෙන ගිහිල්ල බයින්ඩ් කරල ගෙනත් දෙන්නම්.."

කච්චේරියෙ තිබ්බ රජයේ කල්තබාගත යුතු වැදගත් ලියවිලි බයින්ඩ් කරන්ට වෙනම අංශයක්..

"අන්න පුතා මොකක්ද දන්නවද කියනව පොත? ගොළු හදවත...හෙහ්..හෙහ්.." 

අප්පච්චි මට ඇහුන කුස්සියට ගිහිල්ල අම්ම දැක්කිං කියනව. මට එතකොට වයස ඇති දොළහක් වගෙ වැඩිම උනොත්. කියවන්ට තියන ආසාවට කියෙව්වට ගොළු හදවතේ කියවෙන්නෙ මොකක්ද කියල මට හාං කවිසියක තේරුමක් නම් තිබ්බෙ නෑ.....

මේ ගීතය හැබැයි ගොළු හදවත චිත්‍රපටයෙ ගීතයක් නම් නෙවෙයි. පස්සෙ කාලෙක කරුණාසේන ජයලත් මහත්මය සුගත්-දම්මි ආදර කතාව ආශ්‍රයෙන් ලියපු ගීතයක්...

නුහුරු නුපුරුදු රහස පිළිබඳ
මිහිර ආදරයයි කියා…
පවුරු බැඳගෙන සිතක වැජඹුනු
රසවතී නෑ කොයි ගියා..

ආදරෙයි මම ආදරෙයි..
දම්මි තවමත් ආ..දරෙයි
මවා පියකරු සිහින සිතුවම්
මතුකලා රසබර හැගුම්
දයාවන්තය යොවුන් සිතිවිලි
රසකලා ඔබෙ නෙත් කැළුම්..

ආදරෙයි මම ආදරෙයි
සුගත් තවමත් ආ..දරෙයි…
අසිරිමත් ලෙස වැසුනු දේදුණු
කළුවලාවෙන් යට වුනා
මිහිරියාවිය අනේ දවසක
ඔබේ හදවත ‍ගොළුවුනා..

ආදරෙයි මම ආදරෙයි..
දම්මි තවමත් ආ..දරෙයි..
ආදරය එක අතක ප්‍රේමය
තව අතක මා මැදි වුනා
සාගරය වැනි වේදනාවක
අ‍හෝ හිතවත තනිවුනා..

ආදරෙයි මම ආදරෙයි..
සුගත් තවමත් ආ..දරෙයි
ආදරෙයි මම ආදරෙයි..
දම්මි තවමත් ආ..දරෙයි

ආ..දරෙයි..

ගායනය - සිසිර සේනාරත්න, ඉන්ද්‍රාණි සේනාරත්න
සංගීතය - සිසිර සේනාරත්න
පද රචනය - කරුණාසේන ජයලත්



පලි- මේ යුග ගීතයෙ ගායිකාව ඉන්ද්‍රානි විජේබණ්ඩාර පසුගියදා අභවප්‍රාප්ත වුනා. මේ සටහන ලියන්ට පටන් ගත්තෙ නම් ඇගේ අභාවය වෙනුවෙනුයි. ඒත් අන්තිමට ඉන්ද්‍රානිව සටහනට ඈඳ ගන්ට බොහොම වෙහෙසක් ගන්ට වුනා..හෙහ්..හෙහ්..ආය අමුතුවෙන් කියන්ට ඕන නෑනෙ..දන්නවනෙ සතාගෙ හැටි....හෙහ්...හෙහ්..

පපලි - මේ තමයි ගුණ සමරු (Appreciation) ලියන අලුත්ම ක්‍රමය. මම හිතාගෙන ඉන්නෙ මේ ක්‍රමයට පේටන්ට් බලපත්‍රය මගෙ නමට ගන්ට..හොඳයි නේද මගෙ අයිඩියා එක?

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...