Saturday, July 6, 2019

635. දම්මි තවමත් ආදරෙයි............

මගේ ජීවිතයේ දෙවන දශකයෙන් හරි අඩක් ගෙවුනේ කෑගල්ලේය. ඒ වනාහී හැත්තෑව දශකයේ පළමු අර්ධයයි. දිවයිනේ අගනුවර සහ ප්‍රධාන උප නගරය අතර දිවෙන A - 1 යනුවෙන් නාමකරණය කරන ලද ප්‍රධානතම මහා මාර්ගයෙහි තුනෙන් දෙකක දුරකින් පිහිටියේ වුවද කෑගල්ල යනු එදවස නිද්‍රාශීලි අලස සහ එමෙන්ම නිසංසල නගරයක් වූයේය.

දැන් ඔය තුනෙන් දෙකේ කතාව ආය බොරුවක් එහෙම නෙවෙයි හොඳද? සැටිපිකේට් ටෘත්..ඒ කියන්නෙ දැන් කොළඹ ඉඳල නුවරට දුර කීයද? අපි ඔය කිලෝ මීටර් පැත්තක තියමුකො. ලංකාව මෙට්‍රික් ක්‍රමයට හැරුනෙ මම ඔය කියන කාලෙන් තව අවුරුදු හතරක් තරම ගතවුනාට පස්සෙ.

ඉතිං කොළඹ ඉඳල නුවරට දුර හැතැක්ම 72 යි. එතකොට 72න් තුනෙන් දෙක කීයද? හැත්තෑ දෙක තුනෙන් බෙදුවම විසි හතරයි. විසිහතරෙ දෙකක් හතළිස් අටයි. හරියටම A-1 මාර්ගයෙ හැතැක්ම 48 කණුව තිබ්බෙ කෑගල්ල නගරය පටන් ගන්න තැන. අපේ ඉස්කෝලෙ ඒ කිව්වෙ ශාන්ත මරියා මහා විද්‍යාලයෙ මායිම් තාප්පෙ අසළ. එතකොට හතළිස් නමයෙ කණුව තිබ්බෙ කෑගල්ල නගරය කෙළවර පොලීසියට පල්ලෙහායින්. ලක්සල එහෙමත් තිබ්බෙ ඊට පොඩ්ඩක් මෙහායින්. ඒ කියන්නෙ කෑගල්ල නගරය හරියටම හැතැක්මක් දිගයි.

ආ...ඔය කොළඹ ඉඳල නුවරට තියන දුර හැතැක්ම 72 කියල කියනකොට තව එකක් මතක් උනා. කොළඹ ඉඳල ගාල්ලටත් හරියටම හැතැක්ම 72යි. ඒ වගේම මාතරට හැතැක්ම 100යි. 

ආ තව කාරණයක්..මම ඉතිං ඔය මගෙ කතා කියද්දි මතක් වෙන මතක්වෙන ඔබ තමුන්නාන්සේලාට වැදගත් කියල හිතෙන කාරණා කාරණා ලියල දානවනෙ ඒකෙනුත් යම් පොරෝජනයක් වෙත්දෝහෝයි කියල හිතල. එහෙම  ඔය සුළු සුළු කරුණු කාරණා වලට ඉංග්‍රීසියෙන් කියන්නෙ Tidbits කියල.

හරි මේකයි එහෙනම් ටිඩ්බිට් එක. ඔය ලංකාවෙ ඒ ඒ නගරවලට දුර තියනවනෙ. ගාල්ලට හැතැක්ම 72යි කියනව. එතකොට මාතරට 100 යයි කියනව. ඉතිං ඔය දුර මනින්ට පටන් ගන්නෙ කොතන ඉඳලද කියල ඔබ තමුන්නාන්සේලා දන්නවද? 

සීරෝ පොයින්ට් කියල කොහෙ හරි එක ලක්ෂ්‍යයක් තියෙන්නම එපාය..නැද්ද? කොටුවෙ ස්ටේෂන් එක ඉස්සරහ තියන කොලෝනියල් බාර් එකේ බා ටෙන්ඩර්ගෙ පුටුවෙ ඉස්සරහ දකුණු කකුලෙ ඉඳලද? එහෙම නැත්නම් පිටකොටුවෙ බෝදින්නාන්සෙ ඉස්සරහ තියන මලසුනේ වම් කකුලෙ ඉඳලද? එහෙමත් නැත්නම් කොටුවෙ ඛාන් ඔර්ලෝසු කණුවෙ පාදමේ උතුරු මුල්ලෙ ඉඳලද? 

නෑ..නෑ...ඔය දුර මනින්න සීරෝ පොයින්ට් එක විදිහට ගන්නෙ කොටුවෙ ස්ටේෂන් එක ඉස්සරහ තියන ඕල්කට් ප්‍රතිමාව තියනවනෙ. අන්න ඒ ඕල්කට් ප්‍රතිමාවෙ වම් කකුලෙ දණිස්සට පහලින් තියනව පරණ තුවාල කැළලක්. ඔය ඕල්කට් තුමා ඇවිල්ල හිට අමරිකාවෙ හමුදා නිලධාරියෙක්නෙ. කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට්. ඒ තමයි එතුමාගෙ සම්පූර්ණ නම. කර්නල් ඕල්කට් අමරිකන් සිවිල් යුද්ධයේදි සටන්කලා. ඔය සිවිල් යුද්ධයේදි තමයි ඕල්කට් තුමාගෙ ඔය තුවාල කැළල ඇතිවුනේ...

ඒබ්‍රහම් ලින්කන් ජනාධිපතිතුමාගෙ කාලෙ සිදුවුනු අමරිකානු සිවිල් යුද්ධය දන්නව නේද? අමරිකාවෙ උතුරු ජනපද සහ දකුණු නපද අතරයි ඒ සිවිල් යුද්ධය පැවතුනේ. ඒ යුද්ධයට තුඩුදුන් නොයෙක් හේතූන් තිබ්බ වුනත් ආසන්නම හේතුව වුනේ අප්‍රිකානු වහලුන්ගේ නිදහස. 

උතුරු ජනපද වහලුන්ට නිදහස දුන්නට මිනිස් ශ්‍රමය අධිකව අවශ්‍යවන කපු තිරිඟු වගේ වගාවන් තම ප්‍රධාන ආදායම් මාර්ගය කොටගත් දකුණු ජනපද වාසීන් වහල් සේවය අහෝසි කිරීමට කිසිසේත් කැමතිවූයේ නැහැ. මේ මතභේදය සහ නොසන්සුන්තාව අවසානයේ උතුර සහ දකුණ අතර සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය වුනා. ඉන් වහල් ක්‍රමය අහෝසි කිරීම වෙනුවෙන් පෙනීසිටි උතුරු ජනපද ජයග්‍රහණය කලා.

මේ..මම අර කර්නල් ඕල්කට් උන්නැහැගෙ තුවාල කැළල ගැන කිව්වෙ බොරුවක් හොඳද? නෑ..නෑ..අර දුර මනින්ට සීරෝ පොයින්ට් එක විදිහට ගන්න කතාව ඇත්ත. එහෙම ගන්නෙ ඔය ප්‍රතිමාවෙ පාදමේ මධ්‍ය ලක්ෂ්‍යය මිසක අර මම කිව විදිහට තුවාළ කැළලක් එහෙම නෙවෙයි හොඳද? මම මේ එහෙම සත්‍යය පවසල කරුණු පැහැදිළි කරන්ට හිතුවෙ නැත්නම් මේ සමහරු ඔව්ව සිරා ගන්නව.

අර මම එක පාරක් ජෝජ් කීට්ගෙ මිනිය වළලල තියෙන්නෙ බොරැල්ලෙ ගෝතමී විහාරයෙය කියල මතකද මහ විනාසයක් වුනා? ඒ කතාව මම ලිව්වෙ මම මේ නිදහස් සිතුවිළි ලියන්ට ආපු අලුතම වාගෙ.අවුරුදු අටකට වගෙ ඉස්සර....





හරි ආයම යමු ප්‍රස්තුතයට..ප්‍රස්තුතය වනාහී අදින් සිව්දශකයකුත් තවත් වසර සතරකට පෙර කෑගල්ල නම් ප්‍රාදේශීය නගරයෙහි මවිසින් ගතකරන්නට යෙදුණු ඒ කාළ පරිච්ඡේදයයි.

දැං ඔය ඒ කාලෙ මිනිස්සුන්ගෙ ජීවිත බොහොම සුන්දරයි. අල්පේච්ඡයි. බහුතරයකට තිබ්බෙ එදිනෙදා කාල ඇඳල දරු මල්ලො හදාගෙන යන තැනකට පිනක් දහමක් කරගෙන ජීවිතේ ගතකරල කම්වූ පරිද්දෙන් මිය පරළොව යන බලාපොරොත්තුවක් මිසක ගම රට අල්ලන්ට සල්ලි පොදිගහගෙන අහල ගං ගතේම ලොකුම පෝසතාවෙන්ට වගෙ බලාපොරොත්තු එහෙම නෙවෙයි. දේසපාලනේ උනත් මිනිස්සු ගෑණු මේ අද වගෙ කා කොටාගෙන ගහ මරාගෙන කලේ නැහැ. එහෙම දේවල් සිද්ද වුනේ නැත්තෙමත් නෑ. ඒත් පොදුවේ එහෙම සිද්ධීන් ඉතාම දුර්ලභයි.

ඡන්දෙ ඉවර උනහම දිනුවෙ අලිය නම් අලි පාටියෙ අ අත පාටියෙ එවුන්ගෙ ගෙවල් ඉස්සරහට ගිහිල්ල හූ කියල කෑ ගහල ඔන්නම වැඩිම උනොත් ගලක් දෙකක් වහලට ගහල සරම උස්සල පෙන්නල එහෙම ආපහු ගෙවල් වලට යනව. අත දිනුවම ඒත් එහෙමයි. 

ඒ සුපුරුදු ක්‍රියාකාරකම් වලට අමතරව සිද්ද වුනේ ඔය කැළෑබද ප්‍රදේශයක් නම් අලිබෙටි තුන හතරක් එකතු කරගෙන ඇවිල්ල අර අලි පාටියෙ ගොබිලගෙ ගේ ඉස්සරහට වීසි කරල යන එක. එහෙමත් නැත්නම් කිතුල් අතු හත අටක් කපල ගෙනල්ල ගේ ඉස්සරහ ගොඩ ගහල යන එක.

එතකොට ඡන්ද ක්‍රමය උනත් බොහොම සරලයි. ඡන්ද කොට්ඨාශයෙ වැඩිම ඡන්ද ලබපු අපේක්ෂකය මන්ත්‍රී වුනා. වැඩිම මන්ත්‍රීල ඉන්න පක්ෂයෙ නායකය අගමැතිවුනා. ඡන්ද දාන එක උනත් හරිම සිම්පල්. එජාප - අලියා. ශ්‍රීලනිප අත සහ සමසමාජෙ යතුර. ඊට අමතරව හිටියෙ ඔය සුලු පක්ෂ සහ ස්වාධීන අපේක්ෂකයො. අන්න එහෙමයි එදවස.

ටියුෂන්?..හපොයි එහෙම වචනයක් අපි අහලවත් තිබ්බෙ නෑ. ඉස්කෝලෙ ඇරිල ගෙදර එන්නෙ කීයටද ඒ වෙලාවෙ බත් කාල දොට්ට බැස්සම ආය ගෙදරට පයගහන්නෙ මාවවුලො රෑන් පිටින් ඇකිරියගල කන්ද ඉහත්තාවෙන් අඹන්පිටිය දිහාවට පියාඹලා යන ගොම්මං වෙලාවට.

ඔය වවුලො කියන සත්තු ජාතිය දවල්ට ලගින්නෙ දාස් ගාණක් එකම තැන. එහෙම අනාදිමත් කාලෙක ඉඳල එවුන්ට පුරුදු වෙච්චි තැන් තියනව. කොළඹ -නුවර පාරෙ මාවනැල්ලෙ ටවුන් එකට මෙහායින් තියන පරණ පාළම (ඒක යටින් යන්නෙ මාඔය) උඩින් යනකොට මා ඔය දෙපැත්තෙම හැදිල තියන රූස්ස වෑවරණ ගම්මාලු වගෙ ගස්වල අතුවල එල්ලිල ඉන්නව ඔය මාවවුල්ලු එක දාස් ගාණක්. 

"මාවවුලන් රෑ පුරාම රංචු ගැසීලා මීගස් යට මී වැහි වැහැලා..බාලේ මෙන් පාන්දරින් ඇහිඳින්නට යන්නට බෑ මට තනියක් දැනෙනවා..."

ඔය මාඔය අද්දර එල්ලිල ඉන්න මාවවුලන්ගෙ මුතුන් මිත්තො දකින්ට ඇති කැප්ටන් ඩෝසන් එක්දාස් අටසිය විසි ගණන්වල දහස් සංඛ්‍යාත මිනිසුන්ගේ ශ්‍රමයෙන් කොළඹ සිට කන්ද උඩරටට දිවෙන මහා මාර්ගය ඉදිකරවනව. 

ඒ වගේම ඔවුන් දකින්නට ඇති අශ්වයින් බැඳපු ගැල් මගින් මුල්ම කෝපි තොග කොළඹ වරායෙන් එංගලන්තෙට නැව්ගත කරන්නට ගෙනියනව. ඒ අටසිය තිස් හතළිස් ගණන්වල. 

ඊට පස්සෙ අටසිය හැට හැත්තෑව වගෙ වෙනකොට ඔවුන් දකින්ට ඇති කෝපි වගාවේ විනාශයෙන් පසු (ලංකාවෙ කෝපි වගාව විනාශවුනේ දිළීරයකින්. ඒකෙ නම හෙමීලියා වැස්ටෙට්‍රික්ස්) ඒ කෝපි ඉඩම්වල වැවුනු තේ තොග ගවයින් බැඳපු ගැල් මඟින් හෙමින් හෙමින් කොළඹට ප්‍රවාහනය කරනව.

ඒ ගැල්කරුවන් මාඔය අසබඩ රෑ යාමෙ නැවතිලා ගැල්වල යටි පැත්තෙ එල්ලපු ගෝනි පඩංගුවල දාගෙන ආපු හාල් පොල් කරවල එහෙම අරගෙන ලිග්ගල් තුනක් උඩ මුට්ටියක් ඇතිළියක් තියල උයාගෙන ගල් තලාවෙ ඉඳගෙන මඩක්කුවලට බෙදාගත්තු රෑබත බුදිනව දකින්නත් ඇති.

කරවල කටු හොද්දත් එක්ක බඩ පුරා බත් කාල හීතල හුළංපොදේ කරත්තෙ යට එල්ලෙන ගෝණි පඩංගුවෙ ඇල වෙලා අත්දෙක කොට්ටෙ වෙනුවට ඔලුව යටින් තියාගෙන නින්ද යනකල් ඒ ගැල්කාරයො කිව්ව කවිත් ඒ කාලෙ හිටපු මා වවුලො අහගෙන ඉන්ට ඇති.

බතට කන්ට බැරි බතලේගල කන්ද
අලට කන්ට බැරි අලගල්ලේ කන්ද
හුණට කන්ට බැරි හුන්නස් ගිරි කන්ද
මෙකඳු තුනට නායක සමනොළ කන්ද

බතලේගල කන්ද නොහොත් බයිබල් රොක් සහ අලගල්ල කන්ද කියන කඳු දෙකම පහුකරගෙනයි ඔය ගැල් කඩුගන්නාවෙ ඉඳල හිඟුල ගනේතැන්න හරහා පල්ලම් බැහැල ඇත්තෙ.

ඒ වගේම මීට අවුරුදු හතළිස් තුනකට හතරකට වගෙ ඉස්සර ඔය මාවනැල්ලෙ පාළම උඩින් කෑගල්ල-මාවනැල්ල බස් එකක් නැඟලා ගිය වයස දොළහක දහතුනක වගෙ කොල්ලො තුන් හතර දෙනෙකුත් ඔය මාවවුල් මුතුන් මිත්තො දකින්න ඇති. 

ඒ ඇච්චො හතරදෙනා වනාහී මම සහ මගේ පන්තියෙ තව යාලුවො තුන් දෙනෙක්. ඒ අපි ගියේ අපේ පන්තියෙ තවත් යාලුවෙක්ගෙ ගෙදර. යාලුවගෙ නම ෆවාස්. ෆවාස්ගෙ තාත්තා ඒ දවස්වල මාවනැල්ල නගරයේම සුප්‍රසිද්ධ වෛද්‍යවරයෙක්. නම ඩොක්ටර් අන්වර්.

ඒ අපි ගියේ රමසාන් උපවාසය (අපි ඒකාලෙ කිව්වෙ නෝම්බි අල්ලනව කියල) ඉවරවෙන දවසෙ ෆවාස්ලගෙ ගෙදර අපි වෙනුවෙන් පැවැත්වෙන් දිවා භෝජන සංග්‍රහයකට සහභාගිවෙන්ට.

අපිට ගණිතය උගන්වපු පුංචිනිළමේ මහත්මය ෆවාස්ට කතාකලේ අන්වර් සදාත් කියල.."ආ..අන්වර් සදාත් නැඟිටිනව...කළුලෑල්ල ළඟට ඇවිල්ල මේ සම්භාවිතා ගාණ හදන හැටි ලියල පෙන්නනව.." අන්න එහෙම

අන්වර් සදාත් කියන්නෙ ඒ දවස්වල හිටපු ඊජිප්තු ජනාධිපති. 1973 අරාබි-ඊශ්‍රායල් යුද්ධය හින්ද ඔය පාර්ශ්ව දෙකේම ප්‍රධානීන් අපිට බොහොම හුරු පුරුදු අය වෙලා හිටියෙ. මොකද දිනමිණේ යුද්දෙ විස්තර දානකොට ඔය නායකයො හැමෝගෙම ඡායාරූප එහෙමත් දානවනෙ. 

ගෝල්ඩා මයර් ඇවිල්ල ඊශ්‍රායල් අගමැතිනිය. ඒ වගේම ගෝලාන් කඳුකරය සිනායි අර්ධද්වීපය...පුංචිනිළමෙ මහත්තය ළමයින්ට නම් දාන්ට රුසිය..අපේ පන්තියෙ තව ළමයෙක් ඇහැක නගනයක්ද මොකක්ද ඇවිල්ල සතියක් විතර ඇස් ආවරණයක් (Eye patch) දාගෙන ආව. පුංචි නිළමෙ මහත්තය සෙණිකව ඒ කොලුවට නම දැම්ම "මොෂේ දයාන්" කියල. ඒ කොලුව සතියකින් විතර අයි පැච් එක අයින් කලත් අර නම එහෙම්මම රෙජිස්ටර් උනා.මොෂේ දයාන් කිව්වෙ ඒ දවස්වල ඊශ්‍රායෙල් ආරක්ෂක ඇමති. ඊශ්‍රායල් ආරක්ෂක ඇමතිගෙ එක ඇහැක් දෙවෙනි ලෝක යුද්ද කාලෙ වෙච්චි වෙඩි වැදීමකින් අහිමි වෙලයි තිබ්බෙ. ඒ හින්ද මනුස්සයත් අයි පැච් එකක් දාගෙන හිටියෙ.

අපේ පවුල ඒ කාලෙ ඉඳලම විස්තීර්ණ පවුලක් (Extended Family). මම දන්න කාලෙක ඉඳලම අම්මගෙ අම්මයි ඒ කිව්වෙ මගෙ අත්තම්මයි, අම්මගෙ විවාහ නොවුනු වැඩිමහල් සහෝදරයෙකුයි අපේ ගෙදර අපිත් එක්ක හිටිය.

අත්තම්ම අපි එක්ක ජීවත්වෙන්ට ඇවිල්ල තියෙන්නෙ මට වයස මාස තුනක් වගෙ වෙද්දි. එතකොට අපි හිටියෙ බදුල්ලෙ. මම ඉපදුනෙත් එහෙනෙ. අත්තම්මයි අත්තම්මගෙ වැඩිමල්ම පුතයි ඒ වෙනකොට ජීවත් වෙලා තියෙන්නෙ කඩුගන්නාවෙ අම්මලගෙ මහ ගෙදර....

අත්තම්මගෙ වැඩිමල්ම පුතා කිව්වෙ මගෙ ලොකු මාම. 1914 ඉපදුනු ලොකුමාම මියගියේ 2006 අවුරුද්දෙ. ලොකු මාම දෙවෙනි ලෝක යුද්ද කාලෙ බ්‍රිටිෂ් ආමි එකෙත් සේවය කරල තියනව. සාජන් කෙනෙක් හැටියට.

ඒ දෙවන ලෝක යුද්ධ කාලෙ බ්‍රිටිෂ් ආමි එකේ හිටපු හැමෝටම මැරෙනකල් පවුම් වලින් විශ්‍රාම වැටුප් ගෙවල තියනව එංගලන්ත ආණ්ඩුවෙන්. ඒත් අවාසනාව කියන්නෙ අපෙ ලොකු මාමට ඒ අවස්ථාව අහිමිවෙලා. එහෙම උනයි කියන්නෙ එයා ඉපදෙනකොට අත්තම්මයි ලොකු අත්තයි නීත්‍යානුකූලව කසාද බැඳල ඉඳල නෑ. අත්තම්මගෙ වැඩිහිටියො ලොකු අත්තට කැමැත්ත දීල අත්තම්මව එක්කගෙන ඇවිල්ල ලොකු අත්තගෙ ගෙදර නවත්තල. නීත්‍යානුකූලව පොතේ අත්සන් කරල විවාහය ලියාපදිංචි කරල තියෙන්නෙ දරුවො තුන් දෙනෙක්ද කොහෙද ඉපදුනාටත් පස්සෙ.

මේ අපේ අත්තම්ම ගැන මම කලින් ලියපු සටහනක්...


ඒ කාලෙ (ඒ කාලෙ කිව්වෙ කෑගල්ලෙ හිටපු කාලෙ හොඳද?) අපි කොහොමත් රෑ හත හතාමාර වෙනකොට රෑට කාල ඉවරයි. ඊට පස්සෙ කට්ටියම කරන්නෙ අටහමාරට මුවන් පැළැස්ස නැත්නම් මොණරතැන්න තියනවනම් ඒක අහල ඒත් නැත්නම් නමයට රේඩියෝ එකේ ප්‍රවෘත්ති අහල ඒ එක්කම නිදියගන්න එක. ආ.... තව හඬ නළුවක් තිබ්බ (ගුවන් විදුලියෙ ප්‍රචාරයවෙන කතන්දර වලට හඬ නළුව කියල නම තිබ්බෙ මට මතක විදිහට සොඳුරු ආඥාදායකයා නොහොත් සුගතපාල ද සිල්වා) ගිම්හාන ගීතය කියල. ඒක ලිව්වෙ කරුණාසේන ජයලත්...

අපෙ ගෙදරත් එක්කම (ගෙදර කිව්වට ඒ කච්චේරි නිල නිවාස) පැත්තකින් තිබ්බ ගරාජ් එකක්. අපිට වාහනයක් තිබ්බෙ නැති හින්ද ඕකෙ බාගයක් විතර ඔය එක එක ලට්ට ලොට්ට පුරවල තිබ්බෙ. අර මම කිව්ව අපෙ ගෙදර නැවතිල උන්නු මාමා රස්සාවට කරල තියෙන්නෙ ටැක්සියක් එලවන එක. ඒ කාලෙ තිබ්බ වහල කහ පාට සහ යට කළුපාට මොරිස් මයිනර් ටැක්සි. ඒ වර්ණ සංකලනය තමයි ටැක්සිවල ස්ටෑන්ඩර්ඩ් කලර් කෝඩ් එක. අම්මලගෙ ගම කඩුගන්නාවෙනෙ. මාම කඩුගන්නාවෙ නගරයෙ එයින් ටැක්සියක් එලවල තියනව ඒ කාලෙ. පස්සෙ අපෙ ගෙදර ආවයින් ඒ වැඩේ නැතිවුනා. 

පස්සෙ මනුස්සය ඔය එක එක වැඩ කලා පණං හතරක් හොයාගන්ට. බ්‍රෝකර් වැඩ කලා. කාලයක් යාලුවෙක් එක්ක ආණමඩුව පැත්තෙ ගිහිල්ල කුඹුරු කලා. මින්නේරිය පැත්තෙ හේනක් කලා. ඔය මොනව කලත් මාස හතර පහකින් ආපහු ගෙදර එනව. ඒක හරියන වැඩක් නෙවෙයි කියාගෙන. 

පස්සෙ කෑගල්ලෙ අපි ඉද්දි එළු පට්ටියක් ඇති කලා. අර මම කිව්ව ගරාජ් එක පිටිපස්සෙ ලී පිටපලු වලින් එළු ගාලක් හදල ඕකෙ හිටිය එළුවො එළිච්චියො එක දහ දොළොස් දෙනෙක්ම. 

ඒ එක්කම එහායින් කුකුල් කූඩුව. ඒකෙත් හිටිය කුකුළො කිකිළියො විස්සක් විසි පහක් වගෙ. එලුවන්ට නම් හතුරන්ගෙන් හානියක් තිබ්බෙ නෑ. ඉඳහිටල අපේ වත්ත පල්ලෙහා තිබ්බ රජයේ රක්ෂිතය පැත්තෙන් නරි හූ කියනව ඇහුනට උං එලුවො මරාගෙන කන්ට තරම් නිර්භීත වුනේ නෑ. ඒත් කුකුළන්ට බොහොම අලකලංචි සිද්ධ වුනා දවල්ට මුගටින්ගෙන් සහ රෑට කළ වැද්දන්ගෙන්. කොහොමත් සතියකට දෙහෙකට සැරයක් කළවැද්දො කුකුළෙක් අල්ලගන්ට ට්‍රයි එකක් දානවාමයි. 

ඒත් මාම කුකුල් කූඩුවට ගහල තිබ්බෙ හොඳ හයිය ලී පටි. ඒ හින්ද කළවැද්දන්ට වැඩේ ලේසි වුනේ නෑ. ඒත් එවුං රෑ බෝ වෙනකොටම ඇවිල්ල කුකුල් කූඩු වටේ හක්කලං කරන එක ඇතෑරියෙත් නෑ. ඉතිං එහෙම වෙලාවට කුකුලො කිකිලියො කරන්නෙ එක සීරුවට මරහඬ තියන එක. මාම ගෙදර හිටියොත් කෑලි තුනේ බැස්ටියයි ඇඳ මුල්ලෙ බිත්තියට හේත්තු කරල තිබ්බ අන්දර පොල්ලයි අරගෙන හෙමීට බිත්තියට මුවාවෙලා ඒ පැත්තට යනව හෝදිසි කරන්ට. 

එදයිත් එහෙමයි. ප්‍රවෘත්ති ඉවර වෙන්ටත් ඉස්සෙල්ල ඔන්න ඇහෙන්ට ගත්ත කුකුලන්ගෙ කැම්බැල්ලෙ. බරාඳයෙන් මිදුලට බහින්ට තිබ්බ ගල් පඩි පෙලේ වාඩිවෙලා හඳ දිහා බලාගෙන මොනවදෝ මුමුණ මුමුණ හිටපු අත්තම්ම එක පාරටම කලබල වෙලා නැඟිට්ට. ඊට පස්සෙ රේඩියෝ එක ලඟම තිබ්බ ඩිවාන් එකේ වාඩිවෙලා හිටපු මා දිහාට හැරුන. 

"සුට්ටි පුතේ..අන්න අරෙහෙ කුකුළො එක සීරුවට කෑගහනව ඇහෙනව...කළවැද්ද වත් ඇවිත්ද දන්නෙ නෑ අපි දෙන්න යමුද බලන්ට..අද මාමත් ගෙදර නැහැනෙ."

"හා..යමු…" මම කියන පමාවට සුරුස් ගාල නැඟිට්ට. "ඉන්න අත්තම්මෙ මම ටෝච් එක අරන් එන්නම්. "

මම දන්නව මාම ටෝච් එක තියන තැන. උන්දැගෙ ඇඳ ගාව තියන කනප්පුව එහා පැත්තෙ. ටෝච් එකේ පිටිපස්සෙ පියන ගලවල අන්තිම බැටරිය අනික් පැත්තට දාල තමයි මාම කොහෙ හරි ගමනක් යනකොට යන්නෙ. නැත්නම් නිරපරාදෙ බැට්රි බහිනව කියල තමයි මාම කියන්නෙ. ඒ කාලෙ තිබ්බෙ ලක්ෂපාන නිල් පාට බැටරි. එවෙරෙඩි තිබ්බද කියල නම් මට මතකයක් නෑ. ලක්ෂපාන බැටරියෙ ඉස්සරහ තිබ්බ කහපාන පහනක්. ඒ පහන උඩින්  අර්ධ වෘත්තාකාරව ලක්ෂය ඉලක්කම් වලින් ලියල තිබ්බ්.

"අම්මෙ බලාගෙන..මේ වෙලාවෙ නයි පොළොංගු එලි බහින වෙලාව.." අම්ම කුස්සියෙ ඉඳල කෑගැහුව.

මම ටෝච් එකත් පත්තු කරගෙන ඉස්සර වුනා. මාමගෙ අන්දර බැට්න් එක අත්තම්ම උරු ක් කර ගත්ත. ඊටපස්සෙ බොහොම පරිස්සමට ඉස්සෙල්ල බිමට (ඒ නයි පොළොංගු ඉන්නවද බලන්ට) සහ දෙවනුව ඉස්සරහට වමට සහ දකුණට (ඒ කළවැද්දො ඉන්නවද කියල බලන්ට) ටෝර්ච් එකේ එළිය විහිදුවමින් අපි දෙන්න සීරුවට සෝදිසි මෙහෙයුම ආරම්භ කලා. 

කොහොම හරි කළවැද්දෙක් තියා හික් මීයෙක්වත් අපිට හම්බ වුනේ නෑ. සමහරවිට අපි එන සද්දෙට උං දිව්වද දන්නෙත් නෑ. අපි ගිහිල්ල ටික වෙලාවකින් කුකුළංගෙ ගෝසාවත් ටික ටික අඩුවෙලා අන්තිමට නැත්තටම නැතිවෙලා ගියා. 

"යං සුට්ටි පුතේ ආපහු..ආපු මොකා හරි අපි එනකොට බය වෙලා යන්ට ඇති…" අත්තම්ම මගෙ උරෙස්සට අතක් තියල කිව්ව. අපි දෙන්නාඅපහු ඇවිල්ල අත්තම්ම ඉස්සෙල්ල ඉඳගෙන හිටපු පඩි පෙලේ වාඩිවුනා. 

රේඩියෝ එක ඒ වෙනකනුත් වැඩ.

"ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සිංහල දෙවන සේවයෙන් මෙතැන් සිට ප්‍රචාරය වන්නේ නිවේදක තෝරයි වැඩ සටහනයි. අද ඔබ වෙනුවෙන් ගී තෝරන නිවේදක සිරිල් රාජපක්ෂ. මෙන්න ඔහු තේරූ පළමු ගීතය…" ශ්‍රීමා අධිකාරි එහෙම කිව්ව..

ආආආආඅ..හා..හහ..හා..හා..හා...හා...

සංගීතය පටන් ගන්න කොටම මම දන්නව ගීතය මොකක්ද කියල...

අපේ ගෙදර එක නිදන කාමරයක් තිබ්බ ඕකෙ තිබ්බෙ පරණ ඇඳක් සහ එක එක පරණ ලට්ට ලොට්ට දාපු පකිස් පෙට්ටි හත අටක්. පකිස් පෙට්ටි දන්නව නේද? ලී වලින් හදපු පෙට්ටි ජාතියක්. කෑගල්ල පැත්තට කාලෙකට වහිනව එලිය පෙහෙලියට බහින්ට බැරි වෙන්ට. ඒ කාලෙට මම කරන්නෙ ඔය පෙට්ටි ඇදල බලන එක. ගොඩක්ම තිබ්බ අම්මගෙයි අප්පච්චිගෙයි පරණ පොත් පත්. 

ඒ පෙට්ටියක තිබිල මට එක පාරක් හම්බවුනා ඉබ්බාගමුව සෙන්ට්‍රල් යන කාලෙ අම්මගෙ භූගෝල විද්‍යාව සටහන් පොත. එක එක මහාද්වීපවල සිතියම් වෙන වෙනම ඇඳල රටවල් එක එක පාටින් දියසායමින් පාට කරල තිබ්බෙ. ඔක්කොම ඉංග්‍රීසියෙන්. ඒ කාලෙ ඉන්ග්ලිෂ් මීඩියම්නෙ තිබ්බෙ. අම්ම හැබැයි මාස හයක් වගෙ තමයි ඒ විශ්ව විද්‍යාල ප්‍රවේශ පන්තියෙ ඉඳල තියෙන්නෙ. ගෙදර අඟ හිඟකම් නිසා රජයේ හෙදි පුහුණු පාඨමාලාවට ඇතුළත්වෙලා.

ඩීමන් ආනන්දගෙ පොත් වගේකුත් ඔය පෙට්ටියක තියල හම්බවෙලා මම හොරෙන් කියෙව්ව. කාගෙද මන්ද. අම්මගෙ අර භූගෝල විද්‍යා සටහන් පොත තිබ්බ පෙට්ටියෙම තිබිල ආය මට හම්බවුනා කරුණාසේන ජයලත්ගෙ ගොළු හදවත නවකථාව.හොඳටම අබලන් තවෙක තිබ්බෙ. පිටු කහ පාට වෙලා. අග්ගිස් නැමිල. පොතේ බැඳුම් කැඩිල.

මම ඉතින් බොහොම පරිස්සමට ඕක කියවන්ට ගත්ත. ඩීමන් ආනන්දගෙ පොත් කියවන්ට ඕන හොරෙන්ය කියල මම දැනගෙන හිටියට මට හිතුන ගොළු හදවත එහෙම හංගගෙන කියවන්ට ඕන පොතක් නෙවෙයි කියල. ඉතින් මම දවසක් සාලෙ වේවැල් පුටුවක ඉඳගෙන ඕක කියවනකොට අප්පච්චි දැක්ක. 

"මොකක්ද ඔය කියවන පොත?",අප්පච්චි ඇහුව

"මේක මේ ගොළු හදවත අප්පච්චි.."

අප්පච්චි හිනාවුනා.."කොහෙන්ද ඕක?"

"අර කාමරේ පෙට්ටියක තිබ්බ.." මම කාමරේ පෙන්නුව..

"කෝ බලමු…" අප්පච්චි සුරත දිගුකලා. මම පොත අප්පච්චිට දුන්න.. 

"ෂෙහ්...මේක හොඳටම නාස්ති වෙලානෙ...අපරාදෙ...අද බලල ඕක අතන මේසෙ උඩ තියන්ට. මම හෙට යනකොට ඕක අරගෙන ගිහිල්ල බයින්ඩ් කරල ගෙනත් දෙන්නම්.."

කච්චේරියෙ තිබ්බ රජයේ කල්තබාගත යුතු වැදගත් ලියවිලි බයින්ඩ් කරන්ට වෙනම අංශයක්..

"අන්න පුතා මොකක්ද දන්නවද කියනව පොත? ගොළු හදවත...හෙහ්..හෙහ්.." 

අප්පච්චි මට ඇහුන කුස්සියට ගිහිල්ල අම්ම දැක්කිං කියනව. මට එතකොට වයස ඇති දොළහක් වගෙ වැඩිම උනොත්. කියවන්ට තියන ආසාවට කියෙව්වට ගොළු හදවතේ කියවෙන්නෙ මොකක්ද කියල මට හාං කවිසියක තේරුමක් නම් තිබ්බෙ නෑ.....

මේ ගීතය හැබැයි ගොළු හදවත චිත්‍රපටයෙ ගීතයක් නම් නෙවෙයි. පස්සෙ කාලෙක කරුණාසේන ජයලත් මහත්මය සුගත්-දම්මි ආදර කතාව ආශ්‍රයෙන් ලියපු ගීතයක්...

නුහුරු නුපුරුදු රහස පිළිබඳ
මිහිර ආදරයයි කියා…
පවුරු බැඳගෙන සිතක වැජඹුනු
රසවතී නෑ කොයි ගියා..

ආදරෙයි මම ආදරෙයි..
දම්මි තවමත් ආ..දරෙයි
මවා පියකරු සිහින සිතුවම්
මතුකලා රසබර හැගුම්
දයාවන්තය යොවුන් සිතිවිලි
රසකලා ඔබෙ නෙත් කැළුම්..

ආදරෙයි මම ආදරෙයි
සුගත් තවමත් ආ..දරෙයි…
අසිරිමත් ලෙස වැසුනු දේදුණු
කළුවලාවෙන් යට වුනා
මිහිරියාවිය අනේ දවසක
ඔබේ හදවත ‍ගොළුවුනා..

ආදරෙයි මම ආදරෙයි..
දම්මි තවමත් ආ..දරෙයි..
ආදරය එක අතක ප්‍රේමය
තව අතක මා මැදි වුනා
සාගරය වැනි වේදනාවක
අ‍හෝ හිතවත තනිවුනා..

ආදරෙයි මම ආදරෙයි..
සුගත් තවමත් ආ..දරෙයි
ආදරෙයි මම ආදරෙයි..
දම්මි තවමත් ආ..දරෙයි

ආ..දරෙයි..

ගායනය - සිසිර සේනාරත්න, ඉන්ද්‍රාණි සේනාරත්න
සංගීතය - සිසිර සේනාරත්න
පද රචනය - කරුණාසේන ජයලත්



පලි- මේ යුග ගීතයෙ ගායිකාව ඉන්ද්‍රානි විජේබණ්ඩාර පසුගියදා අභවප්‍රාප්ත වුනා. මේ සටහන ලියන්ට පටන් ගත්තෙ නම් ඇගේ අභාවය වෙනුවෙනුයි. ඒත් අන්තිමට ඉන්ද්‍රානිව සටහනට ඈඳ ගන්ට බොහොම වෙහෙසක් ගන්ට වුනා..හෙහ්..හෙහ්..ආය අමුතුවෙන් කියන්ට ඕන නෑනෙ..දන්නවනෙ සතාගෙ හැටි....හෙහ්...හෙහ්..

පපලි - මේ තමයි ගුණ සමරු (Appreciation) ලියන අලුත්ම ක්‍රමය. මම හිතාගෙන ඉන්නෙ මේ ක්‍රමයට පේටන්ට් බලපත්‍රය මගෙ නමට ගන්ට..හොඳයි නේද මගෙ අයිඩියා එක?

38 comments:

  1. මේ ක්‍රමය මරු. මුළු සටහනම ඉන්ද්‍රානි විජේබණ්ඩාර වෙනුවෙන්මයි.

    ReplyDelete
    Replies
    1. හැලප,

      අන්න ඒකනෙ..ඉන්ද්‍රානි නෝන එහෙම දන්නවනම් වළෙන් නැඟිටල ඇවිල්ල මට ස්තූති කරන්නෙ..එහෙමයි අපි...;)

      Delete
  2. Ow ow niyama idea eka,patent eka aniwa lebenawa

    ReplyDelete
    Replies
    1. ගීතිකා,

      ආය මොනවද? බඩේ බත් වගේ තමයි...:)

      Delete
  3. තවුසෙ ගිය පෝස්ට් එකට කොමෙන්ට් දාල ඉන්නව ඉස්සෙල්ලම.

    ReplyDelete
    Replies
    1. යෑස් යෑස්

      Delete
    2. Prasanna & Kumara,

      සමාවෙන්න, සමාවෙන්න..මම හිතාගෙන හිටියෙ පහුගිය පෝස්ට් එකේ කමෙන්ට්ස් වලට උත්තර දුන්නයි කියලයි.. කොහෙද මේ දවස්වල මේ වර්ල්ඩ් කප් එකක් හින්ද ඔලුව නරක් වෙලයි තියෙන්නෙ..

      අද මේ පෝස්ට් එක පබ්ලිෂ් කරන්න ගියාමයි පහුගිය එකේ කමෙන්ටස් වලට ස්ටිල් නෝ රිප්ලයි කියල දැක්කෙ.. දැන් අවුලක් නෑ..අපි ඤොකවුට්නෙ වර්ල්ඩ් කප් එකෙන්. ටුඩේ ඉට්සෙල්ෆ් රිප්ලයිං ටු කමෙන්ට්ස් ෆො ප්‍රීවියස් පෝස්ට්...:)

      Delete
  4. සෝක් ගුණ සමරුව,"පලි" කෑල්ල නොලිව්වනං තවත් හොඳා.
    පුත්තරස්, බෝට සුවර්ද දුර මනින්න පටන් ගන්නේ කොටුවේ රජමැදුර ඉස්සරහ තිබ්බ GPO එකේ ඉදං නොවේ කියල.

    ReplyDelete
    Replies
    1. Siribiris,

      සමාවෙන්න ඕන..සමාවෙන්න ඕන...මට මතක තිබ්බෙ ඕල්කට් පිළිමෙ ගාව ඉඳල කියලයි..ඇත්තටම බලනකොට Zero Point එක වෙන්නෙ කොටුවෙ චැතම් වීදියෙ ඔර්ලෝසු කණුව...

      Sri Lanka
      In Sri Lanka, all distances from Colombo is measured in kilometers (formerly in miles) from the Fort Clock Tower near President's House. This practice began with the construction of the Colombo-Kandy road in 1830, which was the first modern highway in the island. Since then three major roads have been constructed from Colombo; A1 – Colombo-Kandy Road, A2 – Colombo-Wellawaya (CGHW) Road and A4 – Colombo-Batticaloa (CRWB) Road.

      Delete
  5. අනේ මන්දා මටත් හිතුනේ අර පලි සහ පපලි ත් නොලියා හිටියනම් මොකෝ කියල

    ReplyDelete
    Replies
    1. සඳවතී,

      නොලියා ඉන්නත් හදල මගෙ දයාබර පාටක පාටිකාවියන් කන්පියුසියස් වෙලා ඔල්මොරොන්දමයිස් වෙලා යයි කියල හිතලයි ඒ කරුණු පැහැදිලි කිරීම මවිසින් කරන ලද්දේ...:)

      Delete
  6. එක් ව්‍යාපාරිකයෙකුට තම ෆෝඩ් ට්‍රැක්ටර් සඳහා නිලියක සම්බන්ධකොට වෙලෙඳ දන්වීමක් සාදා ගැනීමට පොරකට භාරදී පමිණ දිනකට පසු මෙම වගන්තිය ඔහුට තැපෑලෙන් ලබුනේලු!

    "එලිසබත් නම් ටේලර් ! ටේලර් නම් ට්‍රැක්ටර් !! ට්‍රැක්ටර් නම් ෆෝඩ් !!!

    ReplyDelete
    Replies
    1. තට්ටයා,

      යේසුස් වහන්සෙ කුරුසියෙ ඇණ ගහල ඉන්න රූපයකුයි ඊට පස්සෙ කුරුසිය විතරක් තියන රූපයකුයි දාල අර යකඩ ඇණ නිෂ්පාදකයෙක් හදපු ඇඩ් එක ගැන අහල තියනව නේද?

      Delete
    2. අහලා නෑ. කියන්නකෝ...

      Delete
  7. මේකේ මුළ ඡේදේ අයියණ්ඩි හොඳ සම්භාව්‍ය විලාසෙන් ලියන්ඩ පටංගෙන තියෙනවා. ඉතුරු ටික මං හිතන්නේ ලියලා තියෙන්නේ කාලක්-ක්‍රියා කරලා ඇවිල්ලාද කොහෙද. මෙහෙව් ගුණ සමරු කියෙව්වහම ඒ ගුණ සමරුවට හේතු පාදක වෙච්චි උදවියත් ඉන්න තැන්වලින් හොයාගෙන ඒවි ඕං.

    ReplyDelete
    Replies
    1. සිත්තමී,

      ඒ පළවෙනි ඡේදෙන් පස්සෙ මට තව කාරණයක් ලියන්ට ඕන වුනා..කොහොමින් කොහොමින් හරි ඒක මඟ ඇරුනා..හරි ඒ මඟ ඇරුනු ටික මෙහෙමයිලු...

      කෙදිනක හෝ මවිසින් මගේ ජීවන අත්දැකීම් පිළිබඳව ලියවෙනු ඇත. ජීවිතයේ දශක පහක් ගතකල පුද්ගලයෙකුට එලෙසම දිවයිනේ නොයෙකුත් ප්‍රදේශයන්හි නානා විධ ගැහැණුන් මිනිසුන් ආශ්‍රය කරමින් දිවි ගෙවූ මා වන් පුද්ගලයෙකුට ලියා අවසානයක් කල නොහැකි තරමට ජීවන අත්දැකීම් ඇතිබව වෙසෙසින් කියයුතු නොවේ.

      එයිනුදු කෑගල්ලේ මා ගතකල කාලය කිසිදින මැකී නොයන සේ මසිත තුල සටහන්වී ඇත. එබැවින් මගේ ජීවන අත්දැකීම් ලිවීමේ කර්තව්‍යය මගේ ජීවිතයේ කෑගළු යුගයෙන් ඇරඹීමට මම තීරණය කළෙමි.

      ඉතින් එහෙම ලියනකොට මම ඒ සටහන් පටන් ගන්නෙ ඔන්න ඔය ඉහත ඡේදයෙ විදිහටයි..

      Delete
  8. 'නෑ..නෑ...ඔය දුර මනින්න සීරෝ පොයින්ට් එක විදිහට ගන්නෙ කොටුවෙ ස්ටේෂන් එක ඉස්සරහ තියන ඕල්කට් ප්‍රතිමාව තියනවනෙ.'

    කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ සිට සීරෝ පොයින්ට් එක ගනිනු ලැබේ. ඕල්කට් ප්‍රතිමාව ඒ සදහා යොදා ගන්න බව සදහන් කරමින් අසත්‍ය ප්‍රකාශ කිරීමෙන් වලකින්න.

    ReplyDelete
    Replies
    1. Ano,

      සමාවෙන්න ඕන..සමාවෙන්න ඕන...මට මතක තිබ්බෙ ඕල්කට් පිළිමෙ ගාව ඉඳල කියලයි..ඇත්තටම බලනකොට Zero Point එක වෙන්නෙ කොටුවෙ චැතම් වීදියෙ ඔර්ලෝසු කණුව...

      Sri Lanka
      In Sri Lanka, all distances from Colombo is measured in kilometers (formerly in miles) from the Fort Clock Tower near President's House. This practice began with the construction of the Colombo-Kandy road in 1830, which was the first modern highway in the island. Since then three major roads have been constructed from Colombo; A1 – Colombo-Kandy Road, A2 – Colombo-Wellawaya (CGHW) Road and A4 – Colombo-Batticaloa (CRWB) Road.

      Delete

  9. //ඔය වවුලො කියන සත්තු ජාතිය රෑට ලගින්නෙ දාස් ගාණක් එකම තැන. එහෙම අනාදිමත් කාලෙක ඉඳල එවුන්ට පුරුදු වෙච්චි තැන් තියනව.//

    දවල්ට නේද ලගින්නෙ

    ReplyDelete
    Replies
    1. අටම්,

      තෑන්ක්ස් මල්ලි වරද නිවරද කළෙමි..:)

      Delete
  10. ඉරිදට ඉර පායන්නේ ටිකක් පරක්කු වෙලා නිසා මේක දකිනකොටත් දවල් දොළහයි. ඔයාගේ මාතෘකාව මේ ලිපියේ "තහනම් වචනය" හැටියට සැලකුවානම් හරි. මොකද මාතෘකාවට අදාළ කරුණු හැර අනිකුත් සියලුම කරුණු රසට ලියලා තියනවානේ. ඔය උඩරට-පහතරට බෙදෙන්නේ කෑගල්ලට පහලින් තියන හැලගල ලඟින්ද ?? එහෙම නැත්නම් කඩුගන්නාවේ ගල විදපු තැනින්ද ??

    ReplyDelete
    Replies
    1. කඩුගන්නාවෙන් බෙදෙන්නෙ කන්ද උඩරට. එතැන ඉදන් වරකපොල පහුවෙලා ටිකක් දුර යනකල් හතර කෝරළේ....හතර කෝරළේත් බොහෝ අවස්ථාවල කන්ද උඩරට රාජ්‍යයට පක්ෂපාත උන නිසා උඩරට කියලම තමයි හැදිනුනේ. හැබැයි හතර කෝරළේට වෙනම කොඩියක් වෙනම දිසාවේ කෙනෙක් හිටියා. ලංකාවෙ පලමු දිසාපතිනිය බිහිවන්නෙත් එහෙන්.

      Delete
  11. සිත්තරාගේ සමාධිය කථාව නියමයි. මේකත් හොඳයි

    ReplyDelete
  12. හෙහ් හෙහ් රස සාගරයක්. ගුණ සමරුවක් කියල ලියල තිබ්බ හින්ද හොඳයි. අන්න එහෙම රවී අයියා ඉස්සෙල්ලම ලියන්න පටන් ගන්න හිතන අදහස අන්තිමට පොඩ්ඩක් කියල දාන්න. එතකොට මොනවා කියෙව්වත් අපි දන්නවා මෙයාට ලියන්න ඕනේ වෙලා තියෙන්නේ මේකයි කියල. ලියන දේවල් වලින් තේරුම් ගන්න දීල අසරණ අපේ ඔලුව අවුල් නොකර.

    ReplyDelete
  13. වවුලා ගැන කියවනකොට මං පෝස්ටුවේ මුල පටන් ගත්තෙ කොහොමද කියලා මතක් කරගන්න සෑහෙන්න ට්‍රයි එකක් දුන්නා, මුලට ගිහින් ආපහු බලන්නෙ නැතුව. මොන…

    'කැම්බැල්ලෙ' කියන වචනෙ ඇහුවෙ පළවෙනි වතාවට. 'දැක්කිං කියනව' කියන එකත් එහෙමයි.

    අමරදේවගෙ මාවවුලන් සිංදුව මං හරිම ආස එකක්.

    ReplyDelete
  14. සෙම්මේරිස් පරිප්පුවො කොහොමද කියන්නෙ කෑගල්ල අලස, කුසීත නගරයක්‍ කියල. ඒක හෙන හැපිනිං මෙට්‍රො සිටි එකක්!අපි ලක්සල වහල දැම්මෙ ඒක කෑගල්ලෙ ගතිමන්ට් එකට අවුල් හිංද. ඔය කියන මාවනැල්ලෙ අන්වර් මහත්තය අපි පොඩි කාලෙත් හිටිය මගෙ හිතේ...

    ReplyDelete
  15. අපරාදෙ මේක අද පබ්ලිස් කරානම් ජෝති ගුණ සමරුවත් මෙහෙම්මම ගන්න තිබ්බා
    අර ආආආආ එකට යටින් හොහෝ... හෝ.. හොහෝ... හෝ... වගේ ලයින් එකක් දාලා වැඩේ ගොඩදාගන්න තිබ්බා :D

    ReplyDelete
  16. //පුංචිනිළමෙ මහත්තය ළමයින්ට නම් දාන්ට රුසිය//
    අපේ කාලෙ වෙනකොට කොල්ලෝ පුංචිනිළමෙ මහත්තයටත් නමක් දාල තිබ්බා... මී අකුරෙන් පටන් ගන්න එකක්...

    පුංචිනිළමෙ මහත්තය අපිට 7 වසරේ ඉඳන් 10 වසර වෙනකන් ගණිතය ඉගැන්නුවා. මට මතක විදියට එක අවුරුද්දක පන්ති භාරවත් හිටියා. අන්තිමට අපේ පන්තියත් එක්කම වලියක් දාගෙන වෙන පන්තියකට ගියා.

    ReplyDelete
  17. ආවෙමි. කියෙව්වෙමි. බොහොම ස්තුතියි. මා මළ දා කත් මෙහෙම ගුණ සමරුවක් ලියන්ට හොඳේ, වලේ ඉඳන් හරි හිනා වෙන්ට පුළුවන් විදියට.

    ReplyDelete
  18. Nice article as well as whole site.Thanks.

    ReplyDelete
  19. https://en.wikipedia.org/wiki/If_the_South_Had_Won_the_Civil_War

    මේ පොත ආයිත් කියවන්න ඕනෙ. කොහොමත් විකල්ප ඉතිහාස ප්‍රබන්ධවලට මං කැමතියි

    ReplyDelete
  20. ඇති යන්තං ඉන්ද්‍රානි විජේබණ්ඩාරගෙ අවුරුද්දෙ දානෙට කලින් මේක ලියාගන්න පුලුවන් උනා.

    ReplyDelete
  21. බොහොම ස්තූතියි , මතකය ඈත කාලයකට අරගෙන ගියාට . ඒවගේම ඉන්ද්‍රානි මහත්මියට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා . :)

    ReplyDelete
  22. තුනෙන් දෙක හොයාගන්නා ගණිත පාඩමකින් පටන් අරගෙන, කෑගල්ලේ භු විෂමතා විස්තර කර ගෝල්ඩා මියර්, මෝෂේ දයාන් වැනි අය ගැන ඉතිහාසය මතක් කර, කුකුල් සහ එළු පට්ටි පාලනය ගැන විස්තරයකුත් කරලා අවසානයේදී දම්මිලා ගැන සාහිත්‍ය පාඩමකුත් කරලා. මට පෙනෙන විදිහට ඉස්කෝලේ යන කාලේ කාල සටහනේ දවසක් වැඩ වගෙයි. හරිම අපූරුයි රවී. මේවා අනන් මනං උනත් හරිම සුන්දරයි. ඒ වගේම දැනුම් සම්භාරයක්. මටත් ඒ ආකාරයට යමක් කියන්නට හිතුනා. ඔය කරුණාසේන ජයලත්ගේ ගොළු හදවතේ නිජ බිම වන හොරණ තක්ෂිලාවේ වසර කිහිපයක් ගුරුවරයෙකු ලෙස සේවය කිරීමට අවස්ථාව ලැබුණා. පසු කාලයකදී හොරණ මහජන පුස්තකාලයේ කරුණාසේන ජයලත් අනුස්මරණ කෞතුකාගාරයක් සහිත වෙනම ඒකකයක් සකස් කිරීමටත් මා සම්බන්ධ උනා.

    ReplyDelete
  23. ආදරෙයි මා ආදරෙයි.. මේවා ට තවමත් ආදරෙයි.. අන්වර් සදාත්, මෝෂේ දයාන් කියන නම් තමයි මගේ පලවෙනි ඉන්ටර්නැෂනල් අෆෙයර්ස් මතක.. :) ඊට පස්සේ නැගල ගියේ ඉරාන ඉරාක යුද්ධේ තමයි. :)

    ඉන්ද්‍රානි විජේබණ්ඩාර මැතිනියට සුභ ගමන්!

    ReplyDelete
  24. රහයි, හොඳයි.
    හැකි නම් 'බේස් ලයින් රෝඩ්' එක ගැනත් ලියන්න.
    නිදිගෙ පංච තන්තරේට ගිහින් 'ආවොත් නොයා බැරිය' පෝස්ට්ස් කියෙව්වොත් හැබෑ ගොළු හදවතේ චරිත තුනම මුණ ගැහෙයි!

    ReplyDelete
  25. ගොළු හදවතත් හිමින් සැරේ අතීතෙට එකතු වෙනවා කියලා දැනෙද්දී තේරනෙවා අපිත් වයසට යනවා කියලා..මම තියන්නේ මමත් ගොළු හදවත ඉස්සලේලාම කියෙව්වෙ අවුරුදු දොලහ දහතුන කාලෙදි වෙන්නෝනෑ. ඒත් ඒ කතාව මට එච්චර නැගලා ගිය එකක් නෙවෙයි. දම්මි නැතිවුනා කියලා සුගත් කාලක් (බෝතල්) ක්‍රියා කරන්නෙ ගත්තෙ මොකද කියලා මම තාමත් කල්පනා කරනවා..

    ඒ කතාව පැත්තකින් තිබ්බත් ඔය ටෝච් වල පස්සපැත්ත කෑල්ල ගලවලා අරන් තියන්නේ මොකද කියලා සෑහෙන කාලයක් තිස්සේ හොයපු දෙයක්. ඒ වෙන්නේ self discharge කියන එක නිසා.

    හැමදාම වගේ අපූරු කතා එකතුවක්..

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...