Thursday, May 28, 2015

322. කුකුළේගඟ මතක - 7 - සුරක්ෂිතතා පූර්ව උපක්‍රම, කැනරි කුරුල්ලන්, අවිච්චියන් සහ මනීෂා කොයිරාල



කුකුළේගඟ මතක ලියන්ට ඇවිල්ල හරි හමං විදිහට කුකුළෙ ගැන ලියවුනේ ඔන්න පළවෙනි, දෙවෙනි සහ තුන්වෙනි කොටස්වල විතරයිනෙව. හතර, පහ සහ හය ලිව්වෙ වෙන වෙන බූත. එව්වයෙ හැටි ඉතිං එහෙම තමයි. මක්ක කොරන්ටෙයි ?....නැද්ද?

රායිට්ස්....මුලිම්ම උඩ තියන පෝටොස් එක ගැන. ඕකෙ ඉන්නෙ මායි වැන්දයි අපි එක්ක වැඩ කරපු එක හුද්දෙකුයි. හුද්දා මහතා ඇවිල්ල ස්වීඩන් ජාතිකයෙක්. නම ඔස්බර්ග්. හෙණ දීගජන්තුව. අටේ දහයෙ පොර. පේනවනෙ පින්තූරෙම්ම.

ඔය අපි ඉන්නෙ පොළව යට පවර් ස්ටේෂන් එකට යන්ට තියෙන ප්‍රවේශ මාර්ගය විදිහට පාවිච්චි වෙන මේන් ඇක්සස් ටනල් එක ඉස්සරහ. ඔතනම පොඩ්ඩක් ඉස්සරහින් තමයි අපෙ ඔෆිස් එක තිබ්බෙ.ටනල් එකෙන් එළියට ඇවිල්ල තියනව පේනව නේද කහපාට ලොකු බටයක්?අන්න ඒකෙන් තමයි ටනල් එක ඇතුලට අලුත් වාතය යවන්නෙ පම්ප් කරල. වෙන්ටිලේෂන් ටියුබ් එක කියල ඒකට කියන්නෙ. 

ඔය ටියුබ් එකේ අග තියනව මහ විසාල පංකා..නැත්නම් ෆෑන්. එව්ව වැඩ කරනකොට පිටත වාතය ඇදල අරගෙන ටියුබ් එක දිගේ ඇතුළට පම්ප් කරනව. එතකොට ඒ ප්‍රෙෂර් එක හින්ද ඇතුලෙ තියන අපිරිසිදු වාතය ඉබේම ටනල් එක දිගේ තල්ලු වෙලා එළියට එනව. උමං මුහුණතේ ( Tunnel Face ) බ්ලාස්ට් එකක් කලාම පිටවෙන දුම සහ දූවිලි ඇදල එළියට දාන්නෙ ඔය ෆෑන් එක ෆුල් බ්ලාස්ට් රිවර්ස් දාල.

රයිටෝ...පෝටොස් එක ගැන ඒ ඇති..ආහ්. ඔය ෆොටෝ එක ගෙන්න ගන්ට ගිහිල්ල මට වෙච්ච ජංජාලෙ ගැන පොඩ්ඩක් කියලම ඉන්නංකො...හෙහ්,හෙහ්, ගිය සුමානෙ දවසක රෑ අපේ ප්‍රියම්බිකා තොමෝ එක්ක කතා කරද්දි මම කිව්ව මෙහෙම..

" මේ ළමයා..පොඩි වැඩක් කරනවද? " 

" මොකද්ද? " 

" මගෙ අර කෙළවරේම තියන පොත් රාක්කෙ යටම තට්ටුවෙ කබඩ් එකේ ඇති මගෙ ඇල්බම්. එව්වයිං එකක ඇති කුකුළෙ ඉද්දි මම ගත්තු පෝටොස්. අන්න ඒක හොයල ගන්ටකො.."

" ම්ම්ම්..ඉන්ට පොඩ්ඩක්.." ඈ ගිහිල්ල ඇල්බම් එක හොයාගෙන ආව. 

" ආ..මේකෙ තමයි තියෙන්නෙ මම හිතන්නෙ කුකුළෙ ෆොටෝස්. "

" ඕක පෙරළල බලන්ට ටනල් එකක් ඉස්සරහ මම ගත්තු ෆොටෝස් වගයක් ඇති. එව්ව මට පෙන්නන්ටකො. "

" ම්ම්ම්...කුකුළෙ නේද? ඉන්ටකො බලන්ට….." දැං ඔන්න මට පේනව ඈ ඇල්බම් එක පෙරළනව.

" මොකක්ද මේ ෆොටෝ එක? " ඈ එක පාරටම ඔලුව උස්සල ඇහුව..

" ආ..කුකුළෙ ෆොටෝස් හම්බුනාද? "

" කුකුළෙ එකක් නම් නෙවෙයි…...කාටද මේ තමුං ඉන්නෙ තුරුල් වෙලා? කවුද ඒ තේඋඩිච්චි? " 

" ඔන්න එකක් හොයාගත්ත..දැං ඕකද මම හොයන්ට කිව්වෙ? " 

" කියපු එක හොයන්ට බැරුවය? මොකද ඒක කොහෙවත් යන එකක්ය... නෑනෙ..ඊට කලිං කියල ඉන්ටකො කවුද මේ කියල.."

" කවුද? "

" ඉන්ට මම පෙන්නන්නං …" ඈ ඔන්න ෆොටෝ එකක් උස්සල පෙන්නුව. 

ඇත්තටම මට පැහැදිලි නෑ ඒකෙ කවුරු ඉන්නවද කියල.." මට හරියකට පේන්නෙ නෑ අනේ…"

" හුහ්...මොකද පේන්නෙ නැත්තෙ? එව්ව තමයි ඉතිං පේන්නෙ නැත්තෙ…" ඔන්න ඈ තව ටිකක් ෆොටෝ එක ලංකලා..

" කෝ බලමු……" ඒත් හරියකට පේන්නෙ නෑ...ඇත්තටම අපේ ගෙදර කාමරේ ලයිට් එක හරියටම තියෙන්නෙ ඔය කම්පියුටර් එක තියන මේසෙ උඩම වගෙ ඒකෙ එළිය වැටිල රිෆ්ලෙක්ට් උනහම මෙලොව දෙයක් පේන්නෙ නෑ....

" කවුද? ම්ම්ම්..කොණ්ඩෙ කර්ලි වගේ උරහිස ගාවට වගෙ....එහෙම ගර්ල් කෙනෙක්ද ටිකක් කෙට්ටු වගෙ." මම ඇහුව මේකෙ ඉවරයක් තියෙන්න ඕන නිසා.

" ම්ම්ම්..ඒ වගෙ නම් තමයි ….කවුද ඒ? " 

" මේ..සබීතා වගෙ නේද පෙනුම? "

" හුහ්..එහෙනං එගෙනං...සබීත වගේම තමයි... සබීතගෙත් මූණ මැද නහයක් තියෙනවනෙ...ඒ හින්ද සබීත වගෙ කියල කිව්වැහැකි.." ඈ කියාගෙන ගියා ටකරං වහළට දාරානිපාත වැස්සක් කඩාපාත් වෙන්නැහෙ...

" හරි හරි කළබල වෙන්ට එපා ඉතිං...ඔය මා එක්ක වැඩ කරපු කවුරුහරි වෙන්ට ඇති. කොහෙද ෆොටෝ එක අරං තියෙන්නෙ? තව කට්ටිය ඉන්නවද? "

" ඔව්...තව හත් අට දෙනෙක් ඉන්නව..කොහෙද වැව් කණ්ඩියක් උඩ.."

" ආ..ඔය අර පරාක්‍රම සමුද්‍රෙ ගත්ත එකක් වෙන්ට ඇති. අනික තව හත් අට දෙනෙක් ඉන්නවනං මම තුරුල් වෙලා ඉඳල ෆොටෝ ගන්නවද? "

" ආ..ඒ කියන්නෙ කට්ටිය නැති තැන්වල එහෙම ඉන්නවයි කියන එකද? " 

" ඔය ඉතිං..ඕකනෙ මොකවත් කරන්ට බැරි..කියන එක නෙවෙයිනෙ තේරුං ගන්නෙ..වෙන වෙන කෙහෙල්මල්නෙ කියවන්නෙ.." ඔන්න මගෙත් මූණ රතුවේගන ආව. 

" හරි හරි එව්ව ඇරිච්චාවෙ…" මගෙ මූණ රතුවේගන එනකොට එතුමීට තේරෙනව පට ගාල…" හරි කෝකද දැං ඔය ඕනය කිව්ව පින්තූරෙ..ඉන්ට බලන්ට…"

ඔන්න කොහොමහරි අන්තිමට පෝටොස් එකක් තෝරල එතුමියට කියල ස්කෑන් කරවල ගෙන්න ගත්ත. කොහොමහරි ඒ පෝටොස් ගෙන්නිල්ලෙං මයෙ ලේ මහිතේ පිච්චෙන්ට ඇති එක පයින්ටු දෙකකට එහා මිසක මෙහා නම් නෙවෙයි.අන්න එහෙමයි අපි තෙරුණෙයි? ඔහෙලා ඒ කියන්නෙ මයෙ පාටක / පාටවිකාවන් වෙනුවෙන් මහන්සි වෙන්නෙ.. ඔව්ව මතක තියාගන්ටලා... හොඳෙයි?

හරි ඒ පූර්විකාවෙන් පස්සෙ ප්‍රධාන කතාවට ප්‍රවේශ වෙමු....

කුකුළේගඟ මතක - 3 කතාවෙ අන්තිමට මම පලි කෑල්ලක් ලිව්ව මෙහෙම...

පලි - සාතිශය සංවේගයෙන් වුවද මතු සම්බන්ධයි යනුවෙන් සඳහන් කිරීමට සිදුව ඇත. හිනිදුමගේ කතාව සහ කුකුළේගඟ සුරක්ෂිතතා පූර්ව උපක්‍රම ( Safety Precautions කියන එකේ පරිවර්තනය මම මෙහෙම ලිව්වෙ. කළ්‍යාණ මල්ලි, හරි නේද? ) පිළිබඳව ඉදිරි සටහනෙහි ලියමි.

රයිට් එතන පොරොන්දුවෙච්චි එව්වයිං හිනිදුම නොහොත් හින්නගෙ කතාව මම ලිව්ව.එතකොට එහෙමනං තව ලියන්ට තියෙන්නෙ කළ්‍යාණ මලයට පොරොන්දු වෙච්චි සුරක්ෂිතතා උපක්‍රම නොහොත් / හෙවත් / A.K.A.  සේෆ්ටි ප්‍රිකෝෂන්ස් ගැන විතරයි. රයිට් එහෙමනං ඒ ගැනත් ලියලම ආපහු යමු සරෝජිනී සහ අසෝකා ගැන කතාවට. මතකයි නේද ඒ දැරිවියො දෙන්න?..හෙහ්...මතක නැද්ද මන්ද..හරි ඒ ගැන වදවෙන්ට එපා. එයාල ගැන ආයම කියනකොට මතක් වෙයි..

ඕකේ..දෙන්...කුකුළේ සුරක්ෂිතතා උපක්‍රම ගැන...ඔය සේෆ්ටි කියල සංකල්පයක් මම මුලින්ම ඇහුවෙ කුකුළේ ගඟ ව්‍යාපෘතියෙ වැඩ කරන්ට ගියාට පස්සෙ.ඊට කලින් මම අර මහ කැළේ මැද්දෑවෙ රාජකාරි කොරන කාලෙදිවත් ඉම්පස්සෙ ගොවි ජනපදවල රාජකාරි කොරන කාලෙදිවත් ඔහොම සේෆ්ටි කන්සෙප්ට් එකක් අපි දැනගෙන හිටියෙ නෑ.දැං අර කැළේ මැද ඉන්දැද්දි නම් සේෆ්ටි වැදගත් වුනේ දවල් දවසෙ සයිට් එකේ වැඩ කරද්දිට වඩා බිං කරුවල වැටුනට පස්සෙ. විශේෂයෙන්ම එලිෆස් මැක්සිමස් නොහොත් අපි ඒකාලෙ ආදරෙන් ඇමතූ විදිහට අල්ලිස් උන්නැහේලගෙන් බේරෙන්ට වට අඩි හතර පහක ගහකට දණි පණි ගාල නැඟගන්න එක තමයි ඒ කාලෙ සේෆ්ටි ප්‍රොසීඩියර් එක. අනික් එක රෑ බෝ උනාට පස්සෙ එකෙක් මලාය කිව්වත් කෑලි පහේ බැස්ටිය අතේ නැතුව එළියට නොබහින එක. ඒ පොළොං, මාපිල් සහ නාගයින් හින්ද.

කුකුළෙගඟ ආවට පස්සෙ තමයි ඔය සේෆ්ටි ෂූස්, හෙල්මට්, ඕවර් ඕල්, හානස්, ගොගල්ස්, බූට්ස්, ලුමිනස් වෙස්ට් ..ඔය රටේ නැති සුරක්ෂිතතා ආම්පන්න ඇහැට දැක්කෙ.

හරි දැං කුකුළෙ සුරක්ෂිතතා උපක්‍රම ගැන කතා කරමු. ඒ සම්බන්ධව විස්තරයක් කළොත් මෙහෙමයි. පළවෙනි එක...උමඟ ඇතුලෙ වාතයේ පිරිසිදු කම සහතික කිරීම. මේ වැඩේ බොහොම වැදගත් මොකද ඔය පොළව යට හාරගෙන හාරගෙන යද්දි හිටපු ගමං ඔන්න අහුවෙනව විෂ වායු තියෙන හරියක් . ඒ ගැන නොදැන ගියොත් එහෙම ගිය ඔක්කොම ඉවරයි. 

එංගලන්තෙ අමරිකාවෙ එහෙම ගල් අඟුරු පතල්වල ඔය හිටපු ගමං විස වායු හම්බවෙන ප්‍රශ්ණෙට මූණ දීල තියෙන්නෙ මෙහෙමයි. උමඟ හාරගෙන මුලින්ම යන කට්ටිය කූඩුවක දාපු කැනරි කුරුල්ලෙක් අරගෙන යනවලු.කැනරි කුරුල්ලා කියන්නෙ බොහොම ලස්සනට සිංදු කියන පුංචි කුරුල්ලෙක්. උතුරු අප්‍රිකාවට ඔබ්බෙන් අත්ලන්තික් සාගරයෙ පිහිටල තියන කැනරි දූපත් තමයි මේ කුරුල්ලගෙ නිජබිම කියල කියන්නෙ.

ලස්සනට සිංදු කියනවට අමතරව ඔය කැනරි කුරුල්ලංගෙ තවත් විශේෂත්වයක් තමයි විස වායූන්ට ඉතාම සංවේදී වීම. මිනිස්සුන්ට විස වායුවක් දැනෙන්ට කලින් කැනරි කුරුල්ලට ඒක දැනෙනව. එතකොට ඌ හුස්ම හිරවෙලා දඟලනව. ඒක තමයි උමඟෙ වැඩ කරන මිනිස්සුන්ට අනතුරු ඇඟවීම වහාම ඉවත්වෙනු කියල. 

ලංකාවෙ කොහෙද කැනරි කුරුල්ලො හොයන්ට ඉන්නෙ..ඒ නිසා කුකුළෙ ඒ වෙනුවට යොදාගත්තෙ අවිච්චියො..අවිච්චියො දන්නව නේද? අර අවිච්චියං ආයිත් කියායායාං කියල කෑගහන්නෙ..අන්න ඒ කුරුල්ල තමයි අවිච්චියා. කුකුළෙ ටනල් වල වැඩ කරන අය හැමෝම උඩ සාක්කුවෙ අවිච්චියෙක් දාගෙන තමයි ටනල් එක ඇතුලට ගියෙ. ඌට කන්ට බජිරි අහුරකුයි බොන්ට වතුර පොඩි බෝතලේකට දාගෙන ඕවර් ඕල් එකේ යට සාක්කුවෙ. 

විඩිං විඩේ ඩ්‍රිල් කිරිලි, ANFO චාජ් කිරිලි, ( ANFO තමයි බ්ලාස්ටිං මෙටීරියල් එක විදිහට පාවිච්චි කලේ Ammonium Nitrate + Fuel Oil ) ඔක්කොම නවත්තල කට්ටිය උඩ සාක්කුව ඇරල බලනව අවිච්චිය සනීපෙං ඉන්නවද කියල. බැරිවෙලාවත් ඌ සෙට්ට පෝච්චි නං වහාම ඔක්කොමල එළියට දුවනව " අවිච්චිය මලෝ .පණ බේරාගෙන දුවපියෝ " කියල යටිගිරියෙං කෑගගහ. එහෙම හයියෙං කෑගහන්ට පුලුවං එවුං එකා ගානෙ හිටිය හැම ටීම් එකටම. අපෙ අත්තම්ම කියනව වගෙ ගිය ආත්මෙ ගන්ටාර පූජා කරපු එවුං. උංට කිව්වෙ මරහඬ තියන්නා කියල. ඔය මරහඬ තියන්නො බඳව ගත්තෙ ඩෙසිබල් කීයකිං කෑගහන්ට පුලුවන්ද කියල ටෙස්ට් එකක් එහෙම තියල. ඔය කටහඬ සක්තිමත් වෙන්ට වෙනිවැල් හොඳයි කියනවනෙ. කොම්පැණිය ගානෙ එවුංට දුන්න සතියකට වෙනිවැල් කිලෝ තුන ගානෙ තම්බං බොන්ට. අන්න දැක්කද එහෙමයි සුරක්ෂිතතා පූර්ව උපක්‍රම අනුගමනය කලේ අපි.... තේරුණාද?

අනික ඒ දවස්වල ඔය බදුරලිය, ලත්පඳුර පැත්තෙ නැඟලම ගිය බිස්නස් එක තමයි අවිච්චියො අල්ලන එක. අර කියැංනෑම් කොරියන් කොම්පැණිය වැඩකරපු පළාත්වල කොල්ලො කුරුට්ටො ඉස්කෝලෙ ඇරිල ගෙදර ඇවිල්ල කෑවයිං නොකෑවයිං නයි පොළොංගු පස්සෙ එලවන්ට තියාගත්ත වගෙ...හෙහ්,හෙහ්, අවිච්චියෙකුට ගෙව්වය කියනව මයෙ හිතේ රුපියල් දෙසීයක්ද කොහෙද...අපේ ඔය ලොක්ක එහෙමත් මම හිතන්නෙ නොවැරදීම පාට් ටයිම් අවිච්චියො අල්ලන්ට ඇති ඒ කාලෙ....ආය අහන්ට දෙයක් නෑ.උන්දැ කොහොමටත් කුරුල්ලො ගැන උනන්දු මනුස්සය වෙච්චි.

රයිට් විසවායූන් ගැන් ප්‍රිකෝසන්ස් එහෙමයි කියමුකො. ඊට පස්සෙ අංක දෙක. දැං ටනල් එක ඇතුලෙ හිල් විදල පුපුරන ද්‍රව්‍ය පුරවල චාජ් කරල අහවරයි කියමුකො. ඔව්ව ඔහොම නිකම්ම තිබ්බට ගල පුපුරනවය? නෑ නෙව. එව්වගෙ සේව නූලට ගිණි තියන්ට එපාය. නූල හුඟක් දිගට තියන්ටත් බෑ. මඟදි නිමුනොත් කාරිය. ඒ හින්ද සේවනූලෙ උපරිම දිග සාමාන්‍යයෙං අඩි විස්සක් තිහක් වගෙ තමයි. ඉතිං ඕකට ගිණි තියාල හොඳට ඇවිලීගෙන යනවද කියල ටිකක් වෙලා බලා ඉඳල පණ එපයි කියල දුවගෙන එන්ට ඕන.

ඉතිං ඔය ගිණි තබන්නා නොහොත් ෆයර්මන් තතතුරට ගත්තෙ දක්ස ධාවකයො. දෙසීය, හාරසීය සහ අටසීය අඩුගානෙ දිස්ත්‍රික් මීට් එහෙකදි තර්ඩ් ප්ලේස් වත් ගත්ත එවුං තමයි ඔය තනතුරට බඳව ගත්තෙ. අනික කෝකටත් කියල එවුංගෙ පිටට තියල හොඳ ගනකම කොට්ටෙකුත් බැඳල තිබ්බ බැරිවෙලාවත් කරුමෙටවත් බ්ලාස්ට් වෙලා විසිවෙලා ආපු ගල් කෑල්ලක්වත් කොන්ද හරහට වදියිවත් කියල. මතකද අපේ මැදිදුර ධාවන ශූරයෙක් හිටිය ඒ කාලෙ සුගත් තිලකරත්න කියල. අන්න එයා තමයි ඔය ගිනි තබන්නන්ට වැඩිදුර පුහුණුව දුන්නෙ.

ඊගාවට හෙල්මට්, ආරක්ෂිත සපත්තු සහ බූට්ස් වල තත්වය නොහොත් කොලිටි එක සහතික කිරීම. හෙල්මට් චෙක් කලේ මෙහෙමයි. ටනල් එක ඇතුලෙ හෙල්මට් දැමීම අනිවාර්යයි. එහෙම නීතියක් තියෙන්නෙ බ්ලාස්ට් එකේදි බුරුල් වෙලා තියෙන ගලක් දබෝං ගාල ඔලුවට වැටෙන්ට පුලුවන් අවදානම නිසා. එහෙම බුරුල් වෙලා තියන තැන් වලට අපි රොක් බෝල්ට් ගහල ආරක්ෂා සහිත කරනව. ඒත් කියන්ට බෑනෙ. බෙටර් සේෆ් දෑන් සොරි කියල ඉංග්‍රීසි Idiom එකකුත් තියෙන නිසා හෙල්මට් සහ බූට්ස් වල තත්ව පරීක්ෂාව අනිවාර්යයෙන්ම කලා. 

හෙල්මට් වල කොලිටි එක බැලුවෙ ඔන්න ටනල් එකේ වහලට තියන උසට හරියටම සමාන අට්ටාලයක් වගෙ එකක් ගහනව යකඩ බට වලින්. ඊට පස්සෙ වැටෙයි කියල හිතන්ට පුලුවන් ලොකුම සයිස් එකේ ගලක් සාමාන්‍යයෙන් කිලෝ දහයක වගෙ එකක් අරගෙන එක්කෙනෙක් අර අට්ටාලෙ උඩට නැඟල බිම හෙල්මට් එකක් තියල ඒක උඩට අත අරිනව. එහෙම ගල වැටුනම නිරුපද්‍රිතව තියෙන හෙල්මට් විතරයි පාවිච්චියට ගන්නෙ..හෙහ්, ආය වෙනම කියන්ටත් දෙයක්ය නේද? ගල පත බෑවිල හෙල්මට් එක කුඩු සංසාර උනොත් ආය ඒක පාවිච්චිත් කළෑක? නේද?

ඔහොම කොලිටි ටෙස්ටිං කාලයක් කරගෙන ගියා අවුලක් නැතුව. ඊගාවට අපේ සේෆ්ටි ඔෆිසර් ඉන්නවනෙ. මිනිහට අපි කිව්වෙ සේෆ්ටියා කියල. ඔන්න කොම්පැණිය ගානෙ සේෆ්ටියා ඇරිය ඉන්දියාවෙ මාසෙක පුහුණුවකට. පුහුණුවට ගිහිල්ල ආපු ගමං මෙන්න සේෆ්ටියා කියපි අර කලින් ඉඳං අපි හෙල්මට් ටෙස්ට් කරපු විදිහ හරියන්නෙ නැතය ඒ ගල් පත බෑවිල්ල කරන්ට ඕන හෙල්මට් එක ඔලුවෙ දාගෙන ඉද්දිමය කියල. මනුස්සය ඒ නියෝගයට හේතු සාධක වශයෙන් කිව්වෙ හෙල්මට් එක හදල තියන මෙටීරියල් එකයි හිස් කබලයි අතර ඝර්ෂන සංගුණකයෙ අනුලෝමය එක යට එක්ස් කියල දාල, එක්ස් උක්ත කරල සමීකරණය විසඳපුවාම ලැබෙන අගය 1 ට වඩා අඩුනම්, ගලක් වැටුනම හෙල්මට් එකට කිසිම අනතුරක් නොවී හිස් කබල පුපුරන්න පුලුවන්ය කියල.

ඉතිං මොනව කරන්නද? ඊට පස්සෙ එහෙමයි වැඩ සිද්ද වුනේ..හැබැයි මොන එකක්ද මන්දා ඔය අලුත් හෙල්මට් ටෙස්ටිං මෙතඩ් එක ක්‍රියාත්මක කරන්ට ගත්තයිං පස්සෙ කොහොමත් මාසෙකට හත් අට දෙනෙක් අපේ ටනල් වල වැඩකරපු කාණ්ඩෙ රස්සාවල් දාල යන්ට පටං ගත්ත. පංගුවක් එහෙම රස්සාව දාල ගියා. ඊට වඩා දෙගුණයක් වගෙ කට්ටිය ඉස්පිරිතාලෙ ගියා. එහෙම ඉස්පිරිතාලෙ ගිය කට්ටියත් ආපහු වැඩට ආවෙ නෑ.

කට්ටිය සීග්‍රයෙන් අතුරුදහන් වෙන එක ගැන අපේ සේෆ්ටියා මා එක්ක කිව්වෙ මෙහෙමයි, මම ඇහුව වෙලාවෙ.....

" සේෆ්ටි මහත්තයෝ හරි වැඩක්නෙ මේක. අපේ කට්ටියෙං බාගයක් ඉස්පිරිතාලෙ බාගයක් ජොබ් එක දාල ගිහිල්ල..අනේ මංදන්නෙ නෑ..ඔය මහත්තයගෙ මේ සේෆ්ටි වැඩ පිළිවෙළ නං මට තේරෙන්නෙ නෑ." 

" අන්න ඕකනෙ කියන්නෙ..රවීලට මෙව්ව තේරෙන්නෙ නෑනෙ.දැං බලන්න ඔය ඉස්පිරිතාලෙ ගිය අය. එයාල ඔක්කොගෙම ඉස් කබලෙ ඝර්ෂණ සංගුණකය අර මම කියාපු විදිහට විසඳපුවම එකට අඩුයි අනිවාර්යයෙන්ම. මේක බොහොම භයානක තත්වයක්. අඩුගානෙ මේ ඉස්පිරිතාලෙ ඉන්න උදවිය තමංගෙ හිස් කබලෙ ඝර්ෂණ සංගුණකය හරි දැනගත්ත එක ලොකු දෙයක් නෙවෙයිද?ඒ කවුරු හින්දද? ඒ කවුරු හින්දද? මම හින්ද...  ඇත්තටම මට පිං සිද්ද වෙන්ට. " 

පලාගෙන පලාගෙන යනකොට යේකත් ඇත්ත තමා.

ඊගාවට අංක හතර..ටනල් එක ඇතුලෙ බ්ලාස්ට් කලාම වෙඩි බෙහෙත් පැතිරෙනව හැම තැනම. ටනල් එකෙන් උනන වතුර එළියට පොම්ප කරන කොට ඒ වතුර එන්නෙ අර වෙඩි බෙහෙත් මිශ්‍ර වෙලා. ඔතන අපේ ඔෆිස් එක පල්ලෙහායිම්ම තමයි ගලාගෙන යන්නෙ කුකුළේ ගඟ. ඉතිං මේ වතුර කෙලින්ම කුකුළේගඟේ වතුරට එකතුවෙන්න දෙන්න බෑනෙ. ඒ නිසා ඔය අපේ ඔෆිස් එක පිටිපස්සෙ හදල තිබ්බ පොළව හාරල සද්දන්ත සෙඩිමන්ටේෂන් පොන්ඩ් හතරක්. සිංහලෙන් කියන්නෙ අවසාදන පොකුණු කියල.

ටනල් එකෙන් එලියට එන අපිරිසිදු ජලය ඔය පොන්ඩ්ස් වල පිරිල දවස් ගාණක් තිබ්බම එව්වයෙ දියවෙලා තියන අර විෂ ද්‍රව්‍ය පොකුණෙ පතුලට කිඳා බහිනව, තැන්පත් වෙනව. ඊට පස්සෙ උඩ තියන පිරිසිදු ජලය පානයට එහෙම සුදුසුද කියල පරීක්ෂා කරල බලලා ටෙස්ට් එක පාස් වුනොත් කුකුළේ ගඟට වතුර යවනව.

ඔය වතුර පරීක්ෂාකරන වැඩේට සතියකට සැරයක් විතර ආවෙ සේෆ්ටියගෙ ගෝලයො. බහුතරයක් ඔය ගෝලයො හිටියෙ මේ සුට්ටි කෙල්ලො. මම හිතන්නෙ ඔය ඒ ලෙවල් කරල යුනිවකුටි යන්ට ඉන්න එවුං හරි කෙමිස්ට්‍රි වගෙ මොනවහරි විෂයයක් කැම්පස් වල ඉගෙන ගන්න එවුං වෙන්න ඕන. 

ඔය ගෝලයො වතුර ටෙස්ට් කරන වැඩේ කලේ මෙහෙමයි. ඔන්න බීකරෙකට වතුර අරගෙන එව්වගෙ භෞතික ලක්ෂණ ලියාගන්නව. වර්ණය, ගන්ධය, පාරදෘශ්‍යභාවය අනම්මනම් ඔක්කොම. ඊට පස්සෙ ඒක සීල් කරල ලැබ් එකට අරං යනව. අපේ තිබ්බ State Of The Art ලැබ් එකක් . සියළු අංගෝපාංගයන්ගෙන් සපිරි. ලැබ් එකේ අර බීකරේ තියනව පැයක් හරියටම. ඊට පස්සෙ සේෆ්ටියගෙ අර ගෝලයො ඉන්නවනෙ කෙල්ලො. එවුංගෙං එකෙක් අර බීකරේ එහෙම පිටිම්ම බීල දානව. ඒ කෙල්ල පහුවදා නිරුපද්‍රිතව සේවයට රපෝර්තු කලොත් අන්න පොන්ඩ් එකේ වතුර Suitable to be released to nature. That means Kukule Ganga. ඉතිං වතුර ටික රිලීස් කරනව. කොහොමත් ඔය වතුර බීපු කෙල්ලංගෙං එවරේජ් 80% වගෙ ආපහු වැඩට ආවෙ නෑ කියල තමා මට ආරංචි වුනේ...හෙහ්,හෙහ්, 

ඉතිං ඔය කෙල්ලො ඇවිල්ල පල්ලෙහා සෙඩිමන්ටේෂන් පොන්ඩ්ස් දිහා යනව දකිනකොට වැන්දා ඔන්න කෑගහන්ට ගන්නව. ( වැන්දා මතකයි නේද? අපේ ටයිම් කීපර්..වැන්දා ද ස්ටෝරි ටෙලර් ) 

" බොස් බොස්.ඒයි බොස් මෙහෙ එන්ටකො මේ ජනේලෙ ගාවට අන්න සේෆ්ටි මහත්තයගෙ අලුත් ගෝලයො යනව පොන්ඩ් ගාවට සාම්පල් ගන්ට. " 

" ඉතිං ඔන්න ඔහෙ ගියදෙං බං මං මෙතන මේ වැඩක්. …" මම ඒ වෙලාවෙ උන්නෙ කලින් දවසෙ බ්ලාස්ටිං රිපෝට් එක ඩේටා බේස් එකට එන්ටර් කරමින්…

" ඒ වුනාට බොස්ට ආය මෙගෙම ආතල් එකක් දකින්ට වෙන්නෙ නෑ. මෙයත් අනිවාර්යයෙන් අද විතරයි වැඩට එන්නෙ. ෂෙහ්..කියල වැඩක් නෑ. හරියට මනීෂා වගේ. " 

මනීෂා කොයිරාල ගැන ඒ දවස්වල මගෙ තිබ්බ පොඩි ගෝ එකක්. ඕක වැන්ද දැනගෙන හිටිය. 

" එහ්..එහෙමද? හිටහං ඔහොම මාත් එනකල්.." වැඩේ පැත්තක දාල මම දනිපනිගාල නැඟිට්ට.

*********************

කළ්‍යාණ මිත්‍ර..ඔන්න බං මම පොරොන්දුව ඉෂ්ඨ කලා. කුකුළේ සේෆ්ටි ගැන ලියනව කිව්ව..ඒ වගේම ලිව්ව..අපි එහෙමයි හරිය?

Monday, May 25, 2015

321. විත්‍යා ඝාතනයෙන් අනතුරුව...

Image - Tamil Guardian
විත්‍යා මියගියාය. නැත. ඇය දූෂණය කොට තිරශ්චීන ලෙස ඝාතනය කරනු ලැබුවාය.ඒ සාහසික අපරාධය පිළිබඳව කටයුතු කිරීමේදී ඇගේ ජාතිය කුමක්ද යන්න කිසිලෙසකින් වැදගත් නැත. එසේම ඒ නිහීන අපරාධයට වගකියයුතු අමනුෂ්‍යයින්ගේ ජාතියද කිසිදු ලෙසකින් වැදගත් නොවේ.සිදුවිය යුතුව තිබුනේ ඇගේ දූෂකයින් / ඝාතකයින් අත් අඩංගුවට ගෙන නීත්‍යානුකූලව කටයුතු කිරීමය. ඔවුනට සාධාරණ නඩුවිභාගයකින් අනතුරුව දණ්ඩ නීති සංග්‍රහය ප්‍රකාර නියමිත දඬුවම් ලබා දීමය. ඒ ප්‍රශස්ත තත්වයයි. සාධාරණ සමාජයක, යුක්තිය අගයන දේශයක කාරණා කටයුතු සිදුවන්නේ ඒ අයුරිනි.

එහෙත් මේ ශ්‍රී ලංකාවය. මෙහි කාරණා කටයුතු සිදුවන්නේ ලොවෙත් නැති ලොවි ගහෙත් නැති ගහ උඩත් නැති ආකාරයටය. විත්‍යාගේ මරණයට කිසිදු අයුරකින් සිංහලයෙක් සම්බන්ධව බවට මෙතෙක් කරුණු හෙළිවී නොමැත. එවන් තත්වයක් තුල නිසි පරිදි කල් ඉකුත් නොවී පරීක්ෂණ සිදුකෙරිණිනම්, සැකකරුවන් අනලස්ව අත්අඩංගුවට ගැනිනිනම්, නීතිය අතටගන්නට තැත්කල පොදු ජනයා හේතුකොටගෙන සිදුවූ මේ ව්‍යසනය මෙන්ම ශ්‍රී ලංකා පොලීසියටත් ඉන් අනතුරුව අනායාසයෙන් ඇඟිල්ල දිගුවන රජයටත් විඳින්නට සිදුවූ අපකීර්තියද වළක්වා ගැන්මට මතු නොව උතුරේ ජනයා අතර රජයට සහ පොලීසියට යම් ප්‍රසාදයක් ගොඩනඟාගන්නටද උදාවූ මහඟු අවස්ථාවක් මඟහැරී ගියේය.

ඒ වෙනුවට සිදුවූයේ පොලීසිය සහ එහිම දිගුවක් ලෙස රජය හත්පලේ ගාගැනීමය. සුපුරුදු පරිදි යළිදු තම පක්ෂග්‍රාහී ස්වභාවය හා / හෝ අකාර්යක්ෂමතාවය මොනවට ප්‍රදර්ශනය කල, නීතිය රකින්නට දිවුරුම්දී සිටින පොලීසිය ඉතාම සරලව පැවසුවහොත් වැඩේ අනාගත්තේය. ඔවුනට නිසි පරිදි නීතිය ක්‍රියාත්මක කිරීමට බාධා කලේ කවුරුන්ද යන්න කිසිදු වැදගත් කමක් නැත. ඒ නියෝජ්‍ය ඇමතිවරයකු වේවා, පසුගිය රජයේ ඇමතිවරයකු වේවා, නීති පීඨ කථිකාචාර්යවරයකු වේවා, ඒ කිසිදු කරුණක් ඔවුන්ගේ වරද ලඝු කීරිමට හේතුවන්නේ නැත. ඉතාම පැහැදිලි එලෙසම බැලූ බැල්මට කැපීපෙනෙන කාරණය නම් සුපුරුදු පරිදි ශ්‍රී ලංකා පොලීසිය තම රාජකාරිය ඉටුකිරීමට අසමත් වීමය. නැතහොත් තමන් මහජන මුදලින් ලබාගන්නා වැටුප වෙනුවෙන් ඉටුකල යුතු රාජකාරිය චේතනාන්විතව පැහැරහැරීමය.

පසුගිය දසවසර මුලුල්ලේ දුර්දාන්ත දේශපාලුවන්ගේ අතකොළු මෙන් ක්‍රියාකල, එසේම උසි ගැන්වූවිට ඔවුන්ගෙ විරුද්ධවාදීන් පසුපස දඩ බල්ලන් සේ හඹාගොස් සපාකෑමෙහි මනා පරිචයක් ඇති ශ්‍රී ලංකා පොලීසියෙහි උසස් නිලධාරීන්හට ඒ අමන පාලකයන් පළවා හැර මාස හතරක් ගතවූවද තවමත් රාජකාරිය හරිහැටි ඉටුකරන අයුරු මතක්වී නැත. ඔවුහු තවමත් වහලුන් මෙන් කටයුතු කිරීමට කැමැත්තෝ වෙත්දැයි සැකයක් ද පැන නැඟීම කිසිසේත් වැළැක්විය නොහේ.

එලෙසම ඉකුත්ව ගිය කාලය තුල ඒකාධිපති පාලකයින් වෙතින් නොයෙක් අයුතු ලාභ ප්‍රයෝජන සහ වරදාන ලබා සුපුරුදු බත් බැලයෝ, යලිත් එවන් දෑ අපේක්ෂාවෙන්, තමන්ට ඒ අවස්ථාව නිර්ලෝභීව උදාකරදුන්, ජනතාව කණ හරහා පහරදී පළවා හැරි අමන පාලන තන්ත්‍රය නැවත බලයට පත්කරනු වස් මෙවන් නිහීන උපක්‍රම යොදනුයේද යන සැකයද ඉඳුරාම බැහැර කරනු නොහේ.පවතින රජය රට අභ්‍යන්තරයේ මෙන්ම ජාත්‍යන්තරවද අපකීර්තියට පත් කීර්‍රිම ඉදිරි මහ මැතිවරණයෙන් සොරුන් සහ තක්කඩියන් යළිදු බලයට පත්කිරීමට ඇති ඒකායන මාර්ගය බව ඔවුහු හොඳින් දනිති.කෙසේ හෝ උගුලෙන් නැතිනම් හබකෙන් හෝ බලයට ඒමට හිටපු මහරජාණන් සිතෙහි බුර බුරා නැඟෙන නොසිඳෙන ආශාව පිළිබඳව මඳක් කල්පනා කොට බලන කල්හි කොතරම් අභව්‍ය ලෙස එක් වරම හැඟී ගියද මෙවන් කුමන්ත්‍රණයක් පිළිබඳ අදහස එක්වරම ඉවත දමනු නොහැක.

පොලීසියේ මෙන්ම ත්‍රිවිධ හමුදාවෙහිද බහුතරයක් ඉහළ නිලතල දරනුයේ පසුගිය දුර්දාන්ත රජය විසින් පත්කල, උසස්වීම් ප්‍රදානය කල ඔවුන්ගේ වහලුන්ය. තම ස්වාමීන් යලි බලයට ගෙන ඒමට මේ වහලුන් ඕනෑම අලජ්ජි ක්‍රියාවක නිරතවනු ඇත. මේ ඛේදජනක සිද්ධිය සිදුවූ වහාම හිටපු මහරජු කල ප්‍රකාශය මෙවන් අනතුරක් පිළිබඳව අප සිත් අවදි කරවයි. ඔහු පැවසූයේ එල්.ටී.ටී. ඊ. ත්‍රස්තවාදය ආරම්භ වූයේද මෙවන් පොලීසියට සහ උසාවියට ගල් ගැසීම් වලින් බවත් වහාම පොලීසිය ක්‍රියාත්මක වියයුතු බවත්ය.

එම ප්‍රකාශය සත්‍යයකි. එහෙත් ඒ කිසිසේත්ම මරා අදහස් කල අයුරින් නම් නොවේ.එල්.ටී.ටී. ඊ. ත්‍රස්තවාදය ආරම්භ වූයේ මෙවන් ගල් ගැසීම වලින් බව සත්‍යයකි. එකලද තමන්ට සිදුවූ අසාධාරණයන්ට සුදුසු පිළියම් නොලැබෙන කල්හි පොදු ජනයා අතට අසුවන දෙයින් පොලීසියට පහර දුන්හ. එල්.ටී.ටී. ඊ. ත්‍රස්තවාදයට අතු රිකිලි දමා වර්ධනය වන්නට මල් පුබුදා පල බර වන්නට සුදුසු තෝතැන්නක් නිර්මාණය කොට දුන්නේ ඒ පොදු ජනයාගේ සිත් තුල වූ අපරිමිත වේදනාවයි. බුබුළුලන අසහනයයි. කැකෑරෙන වෛරයයි. උතුරේ නොව දකුණේද එසේමය. අන්තරේ භික්ෂු උත්තමයින් සෘද්ධි බල නොලබාම පොලීසියේ යකඩ වැටවල් දිගේ ඉහළට සක්මන් කරන්නේ ඒ වේදනාව නිසාමය. ඒ අසහනය නිසාමය. ඒ වෛරය නිසාමය. එසේ පැවසීම කිසිසේත්ම අන්තරේ භික්ෂූන්ගේ හැසිරීම හෝ ඔවුන්ගේ අසාධාරණ ඉල්ලීම් අනුමත කීරිමක් නොවන බව සැළකුව මනාය.

ඉල්ලිම් කොතරම් සාධාරණ වුවද, අසහනය වෛරය කොතරම් උග්‍ර වුවද නීතිය අතටගෙන ක්‍රියාකිරීමට මහජනයාට ඉඩදීමට නොහැක. එහෙත් එවන් තත්වයක් පාලනය කිරීම ඉතාම සංයමයෙන් කලයුතුය. ත්‍රස්තවාදය යලි හිස ඔසවන බවත් වහාම ඒ පාලනය කල යුතුබවත් පවසමින් මරාතුමන් අදහස් කලේ පොලීසිය උද්ඝෝෂකයින්ට විරුද්ධව දැඩි පියවර ගත යුතුබව විය හැක. එසේ පැවසීමෙහි වරදක් ද නැත. ඔහුගේ පාලන කාලය තුල ඔහු ක්‍රියාකලේ ඒ අන්දමටය. එහෙත් අතිගරු මරාතුමාට නිතර අමතක වන ඉතා වැදගත් කරුණක් ඇත. එනම් ජනවාරි නම වන දින සිට ඔහු මේ රටේ පාලකයා නොවන බවයි.

එබැවින් පොලීසියට උපදෙස් දීම මෙන්ම " අපිට දුන්නොත් කොරලා පෙඤ්ඤඤ්ඤං " වර්ගයේ ගොන් පාට් ද අපට මේ මොහොතේ අවශ්‍ය නැත.එතුමාගේ කිරිල්ලේ හොඳකම නිසාම ලොව දරුණුතම ත්‍රස්තවාදයක් පරදවා යන්තමට වසර හයක්වත් ගතවන්නට පෙර ඒ ත්‍රස්තවාදයෙන් පීඩා විඳි ජනතාවම එතුමා පළවා හැරිය බව කිසිවකුට අමතක නැත.මැයි 19 වන දින ත්‍රස්තවාදයෙන් මිදුනු දින සමරනු ලෙසම ජනවාරි 8 රාජ්‍ය  ඒකාධිපතිවාදයෙන් මිදුනු දිනය ලෙස සැමරිය යුතුය.

එලෙසම මරා ප්‍රකාශ කලත් නැතත් පොලීසිය ක්‍රියාත්මක වියයුතුය. පොලීසිය පමණක් නොව රජය ද ක්‍රියාත්මක වියයුතුය. ඒ අන් කිසිවක් සඳහා නොව විත්‍යාට අත්වූ ශෝචනීය ඉරණම උතුරේ මෙන්ම දකුණේද කිසිදු යුවතියකට මින් මතු අත්නොවීම උදෙසාය.

Saturday, May 23, 2015

විශ්වය එකම මොහොතක නිහඬවූ ගැහැණුන් දෙදෙනෙකුගේ කතාව

Painting - Paul Hedley

එක් ගැහැණියකගේ කතාව මම ලිව්වට පස්සෙ අනෙක් ගැහැණියගේ කතාව සිත්තමී ලිව්වනෙ. පස්සෙ මට හිතුන මේ ගැහැණුන් දෙදෙනාගෙම කතාව ආයම ලියන්ට ඕනම කියල. මේ ඒ ගැහැණුන් දෙදෙනාගේ කතාවෙ සමාප්තිය....


***********************************

කුඩා කුටියේ අඩක් ඇරුණු කවුලුවෙන් ගලා එන සඳ එළිය දනවන්නේ ගත කිළිපොලායන සීතලකි. සඳ පසුබිම් කොටගෙන ඉගිල යන වවුලන් රෑනක් ඇය දුටුවේ, අවිනිශ්චිත අනාගතයක පෙරනිමිති කියාපානා අසුබ ලකුණු විලසිනි.

උදෑසන උද්‍යානයෙන් පිට වී අරමුණක් නොමැතිව ඉබාගාතේ ඇවිදිමින් පැය කිහිපයක් ගෙවා දැමූ ඕ, මධ්‍යාහ්නය පසුවී හෝරා දෙකකට පමණ පසු, පසුගිය වසරක පමණ කාලය තුල ඇගේ වාසස්ථානය වු කුඩා කුටිය වෙත පැමිණියාය. අතරමඟ කීප විටක් සෝදිසි කිරීමට ලක් වූවද ඈ සතුව තිබූ අනන්‍යතා පත්‍ර අව්‍යාජ වූ හෙයින් අනර්ථයකින් තොරව නවාතැන වෙත ඒමට අපහසුවක් නොවිණි.

උදෑසන ඔහු හා සමඟ බෙදා ගෙන කෑ වඩේ හැරුණු විට, මෙතෙක් කිසිදු ආහාරයක් නොගත් හෙයින් දැඩිව නැග එන කුස ගින්න ඉවසිය නොහැකි වූ පසු, ඇඳෙන් නැගී සිටි ඇය, මේසය මත වූ පාන් පෙති කීපයක් කෙසෙල් ගෙඩියක්ද සමඟ බොහෝ වේලා සපමින් ගිල දමා කුස පුරා ජලය පානය කලාය.

අදින් පසු මෙහි රැඳී සිටීමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති හෙයින්, හෙට උදෑසනම පිටව යාමට සූදානම් වනු සඳහා ඇය කුඩා ගමන් මල්ලට ඇගේ ඇඳුම් කීපය අසුරා ගත්තීය.මේ ගමන අනතුරුදායක බව හොඳින් දත් නමුදු, ජීවිතය ඉදිරි කිසිදු බලාපොරොත්තුවක් නොමැති රික්තකයක් බවට පත්වී ගිය කල නැතිවීමට කිසිවක් නොමැති ඇය බිය විය යුත්තේ කුමකටද?

හදිසියේ යමක් සිහි වූ ඇය, ඒ වනම අත් ඔරලෝසුව දෙස බලා, මේසය මත වූ කුඩා රූපවාහිනිය දෙසට අත දිගුකොට නැවත දෑස් පියාගත් වනම මොහොතක් සිටියාය.යළිත් පපුව මුලුමනින්ම හිස්වයන අයුරු හෙලූ දිගු සුසුමකින් අනතුරුව රූපවාහිනිය ක්‍රියාත්මක කලාය.

" අද උදෑසන නගර  මධ්‍යයෙහි වූ උද්‍යානයේ ප්‍රධාන දොරටුව අසල, මරාගෙන මැරෙන කොටි ත්‍රස්තවාදියකුගේ ප්‍රහාරයට ලක්වූ ******** ඇමතිවරයා තව දුරටත් ජාතික රෝහලේ ප්‍රතිකාර ලබයි.ඇමතිවරයාගේ ආරක්ෂක පොලිස් නිලධාරීන් සිව් දෙනෙකු මේ ප්‍රහාරයේදී දිවි පිදූ අතර, ඒ අතර ප්‍රධාන ආරක්ෂක නිලධාරියා වූ සුමේධ වනිගසූරිය මහතා තම දිවි නොතකා කොටි ත්‍රස්තවාදියාට තමා පදවමින් සිටි මෝටර් බයිසිකලය හරස් කොට ඇති අතර, එසේ නොවුයේනම් ප්‍රහාරයේ හානිය මීටත් වඩා අනිවාර්යයෙන්ම ඉහල යාමට ඉඩ තිබුනු බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි."

ඒ සමඟම උදෑසන ඔහු සමඟ රුක් ගොමුව යට අසුන් ගෙන බොහෝ වේලාවක් එක එල්ලේ බලා සිටි, ප්‍රධාන දොරටුවේ සමීප රූපයක් තිරයේ සටහන් විය. දොරටුවේ යකඩ කම්බි නැවී ඇද වී තිබූ අතර, ඒ තුලින් සිව්මංසලෙහි එකිනෙක ගැටී නැවතී තිබූ මෝටර් බයිසිකල් කිහිපයක සහ රිය පෙලක සමීප රූප පෙලක් ඒ සමඟම දිස්වූයේ, පසුබිමින් ඇසෙන නිවේදිකාවගේ හඬ කෙමෙන් අඩාල වී යද්දීය.

ඇය ඒ දර්ශන දෙස හිස් බැල්මෙන් බලා සිටියේ කිසිදු හැඟීමක් නොමැති අයුරින් වුවද, නෙත් අගට රොක්වූ කඳුලු වැලකීමට අපොහොහොසත් වූයෙන්, අවසන සිත් සේ කඳුලු කොපුල් තල ඔස්සේ ගලා යාමට ඉඩ හැරියාය.

" ..............ත්‍රස්තවාදියාගේ සිරුරෙහි කොටස් කිහිපයක් පමණක් සිද්ධිය වූ ස්ථානයේ තිබී හමු වී ඇති අතර, ඔහු හඳුනා ගැනීමට කිසිදු සාක්ෂියක් ඉතිරිවී නොමැති බව විශේෂ අපරාධ විමර්ශන අංශයේ ජේෂ්ඨ නිලධාරියෙක් පැවසීය. "

ඒ සමඟම උදෑසන සිට සිතෙහි සිරකොටගෙන සිටි හැඟුම් සමුදාය වේල්ල බිඳී ගොස් දෙගොඩ තලායන ගංගාවක් මෙන් ගලා බසින්නට වූයෙන්, ඇය මුල් වරට ඉකි බිඳිමින් හඬන්නට වූවාය.

" බෝම්බ ප්‍රහාරයෙන් මියගිය පොලිස් නිලධාරී සුමේධ වනිගසූරිය මහතාගේ දේහය අද සවස ඔහුගේ නිවසට ගෙන යන ලදී......"

ඉන්පසු දිස්වූයේ මුද්‍රා තබන ලද දෙණක් සහ ඒ අසල හිඳ හිස් බැල්මෙන් හිස පහත් කොට සිටින ගැබිණි කාන්තාවකි.

කඳුළු පිසදාගත් ඇය ඇසිපිය නොහෙලා තමා වැනිම වූ ඒ ගැහැණිය දෙස බලා සිටියාය.

පසුදින ඉර උදාවී හෝරා දෙක තුනක් ගෙවීයනතෙක්ම ඇය සයනයෙහි දිගාවී සිටියේ, තීරණයකට එළඹිය නොහැකිවය.අවසන දිගු සුසුමක් හෙලමින් නැඟී සිටි ඇය ඉතිරි වී තිබූ පාන් පෙති දෙක අනුභව කොට, මේසය මත වූ ජෝගුවෙන් කුස පුරා ජලය පානය කළාය.

ඇඳුම් කිහිපය රැඳි ගමන් මල්ල අතට ගත් ඇය, ඉදිරිපස දොර වසා මඟට පිළිපන්නේ කුමක් සිදු වුවද එළඹ ගත් තීරණය අනුව කටයුතු කරන්නෙමැයි යන දැඩි අදිටනිනි.

ඇගේ හැඩරුව, කතා විලාශය සහ අත රැඳි ලිය කියවිලි අනුව කිසිදු අපහසුවකින් තොරව අවදානමක් රහිතව සැරි සැරිය හැකි බවට ඈ තුල දැඩි ආත්ම විශ්වාසයක් ගැබ්වී තිබුනු අතර, එසේ නොවුන ද කුමක් සිදුවූවද පයට පෑගෙනා දුහුවිල්ලක් පමණටවත් නොතකන මානසික තත්වයකට ඇය පත්ව සිටියාය.

***************************

ඊයේ රාත්‍රිය ඇය පහන් කලේ දෙණ අසල බිත්තියට හේත්තුකොට පනවා තිබූ අසුනක හිඳගෙනය. කාමරයට ගොස් මඳක් විවේක ගන්නා ලෙස මව සහ වැඩිමල් සහෝදරිය කෙතෙක් ඇවිටිලි කලද ඇය හිස වනා ඒ සියළු ඉල්ලීම් ප්‍රතික්ෂේප කළේ, හිඳ සිටි අසුනේම ඇලවී, නින්දත් නොනින්දත් අතර හෝරා කිහිපයක් ගෙවා දැමුවාය. අවසන අධික වෙහෙස කරන කොටගෙනම අලුයම් කාලයේ මඳක් දෑස් පියාගත්තාය.

ඇගේ උදෑසන අහර වූයේ පාන් පෙති කිහිපයක් සහ තේ කෝප්පයකි.ඇඳෙහි නිදාසිටි දියණියගේ හිස සෙමෙන් අත ගෑ ඇය, නැවත දෙණ අසළ සුපුරුදු අසුන වෙත පැමිණියාය.

උදෑසන දහය පමණ වන විට ගෙතුල කලබල ස්වභාවය මඳක් අඩුවී තිබුණු අතර, ඇය අසුනේම නින්දට පත් වන්නට ඇත. කිසියම් ශබ්දයකින් එක්වරම තිගැස්සී අවදි වුනු ඇය දුටුවේ සුමේධගේ දෙණ ඉදිරිපස බැඳගත් දෑතින් යුතුව හිස නමා පසුවන, ඇයගේම වයසේ හෝ වසර කිහිපයක් ලාබාල වියහැකි ගැබිණි කාන්තාවකි.ඇගේ උරහිසේ ගමන් මල්ලක් වූ අතර, දෙනෙත් පියාගත්වනම සිටියේ ඈ පසුවූයේ පිළිමයක් පරිද්දෙනි.

ආගන්තුක යුවතිය දෑස් හරින තෙක් බලා සිටි ඇය, සෙමින් නැඟී සිටියාය. ඒ දුටු යුවතිය වහා ඈ වෙත පැමිණියාය.

" මිසිස් වනිගසූරිය?........"

" ඔව් සුමේධ මගෙ මහත්තය......සමාවෙන්න මට ඔයාව මතකයක් නම් නෑ..."

" ඔව් ඔයා මාව දන්නෙ නෑ......මගෙ මහත්තයත් බෝම්බෙකින් මැරුණා....ඒත් මට එයාගෙ කෑලිවත් බලන්න ලැබුණෙ නෑ........."

" ඇත්තද?.....මට හරිම කණගාටුයි,......ඉඳගන්න,"

යුවතිය ඇයට යාබදව අසුන් ගත්තේ, ගමන් මල්ල ඇකයේ තබා දැඩිව ග්රහණය කර ගනිමිනි.

යුවතිය සහ ඇය......ගැහැණුන් දෙදෙනෙක්...... හේතු සාධක, සාධාරණය හෝ නිරවද්‍යභාවය කුමක් හෝ වේවා කිසිසේත්ම තමන්ගේ වරදක් නොවූ සේම, තමන්ට පාලනය කල නොහැකි වූ ද,තමන් ද දියවැලකට හසුව විපිළිසරව ගසා යන්නා හා සමාන සිද්ධි දාමයකට පසුව, එකම ශෝචනීය ඉරණමකට මුහුණ දී සිටින ගැහැණුන් දෙදෙනෙක් ආසන්න අසුන්හි හිඳ හිස් බැල්මෙන් ඈත බලා සිටියෝය.

" මේ කරපු අපරාදෙට ඕකුන්ට හොඳක් නම් වෙන්නෙ නෑ, " ගතවූ කාලාන්තරයකින් පසු ඇය සෙමින් තොල මතුලාය.

තවත් කාලාන්තරයක් ගෙවී ගියේය.

එක්වරම සිහින් සුසුමක් හෙලූ ආගන්තුක යුවතිය හඬ අවදි කලේ, දෙණ ඉදිරිපිට දැල්වෙන පොල්තෙල් පහන් සිල දෙස බලා ගත්වනමය.

" මගෙ අප්පච්චියි, අම්මයි, මල්ලිල දෙන්නයි.....හතර දෙනාම මගෙ ඉස්සරහම වෙඩි කාල මැරුණ........"

විසි වසරකට පෙර ඒ අභාග්‍ය සම්පන්න  දිනය....ඇගේ ජීවිතය උඩු යටිකුරු කල ඒ ශාපලත් දිනය....

ඇගේ නිවස අසල සිව්මංසලෙහි පුපුරාගිය බිම් බෝම්බය......දිවිගලවාගත්තවුන් මාරාවේශව ඉවක් බවක් නොමැතිව සතර අතට එල්ල කල වෙඩි ප්‍රහාරය නිසා හුන් තැන් වලම ඇද වැටී මියගිය, ශබ්දය කුමක් දැයි සෝදිසි කිරීමට නිවෙස් වලින් නික්මුණු ඥාතීන් සහ හිත මිතුරන්.....ඒ අතර සිට දිවි ගලවා ගත්තේ ඇය පමණකි.....එදින මිය නොගිය අවාසනාව අද දක්වාම ඇය පසුපස ලුහුබඳින අයුරු....

" මට කණගාටුයි ".........සුමේධගේ බිරිඳ ඇගේ උරහිස මත අතක් තබා පැවසුවාය. " ත්‍රස්තවාදියො කියන්නෙ සත්තු වගෙ ජාතියක් "

දෑස් පියාගත් ඇය සෙමෙන් හිස වැනුවාය..." ඔව් තිරිසන්නු තමයි............මගෙ මහත්තයගෙත් පවුලෙ ඔක්කොමල නැති උනෙ බෝම්බෙකට අහුවෙල.....එයා ඉස්කෝලෙ ගිහින් හිටිය නිසා එයා විතරක් බේරුණා......."

" අපොයි නංගි මට හිතාගන්නවත් බෑ..........." මෙවර ඇය පැවසුවේ යුවතියගේ දෑතම දැඩිව අල්ල ගනිමිනි.

" ඔව් අක්කා.....ජීවිතේ බොහොමයක් දේවල් අපිට පාලනය කරන්ට බැරි දේවල්.....දියවැලකට අහුවෙලා ගහගෙන යනකොට, අපිට ගහගෙන යන දිශාවට විරුද්ධව පීනන්ට බෑ....යාන්තමට ගහගෙන යන දිශාවට ඔහෙ යන්ට ඇරල, ජීවිතේ ආරක්ෂා කර ගන්න එක විතරයි කරන්ට පුළුවෙනි.........ඒත් අන්තිමට ගහගෙන ගිහිල්ල නැවතුනු තැන ගැන කල්පනා කරල බලනකොට හිතෙනව මුලින්ම ගිලිල මැරුණ නම් මීට වඩා හොඳ නැද්ද කියල..."

එකෙනෙහි ගොඩ වැදුණු අමුත්තන් කීප දෙනෙකු හේතුකොටගෙන ඇයට හුනස්නෙන් නැඟී සිට ඉවත යාමට සිදුවිය.

***************************

මේ ශෝචනිය සිදුවීම් කිසිවක් නොසිදුවිනි නම් කොතරම් අපූරුද?.....ජීවිතය කෙතරම් ආශ්වාද ජනක විය හැකිව තිබුණිද?...මොහොතකට තනිවූ ආගන්තුක යුවතියගේ සිතට නැඟුනි.අතීතයේ එක් නිවැරදි තීරණයකින්...එක් නිර්භීත ක්‍රියාමාර්ගයකින්....... එක් අවංක සුළු කැපකිරීමකින්........ කෙතරම් මහා පරිමාණ වෙනසක් වීමට අවකාශ තිබිණිද යන්න සිහිවන විට ඇගේ සිතට නැඟුනේ අපමණ ශෝකයකි.වේදනාවකි.

කියවීමෙහි දැඩි රුචියක් දැක්වූ ඔහු දිනක්  අහම්බෙන් පදික වේදිකාවේ පොත් වෙලෙඳෙකුගෙන් මිලදී ගත් විද්‍යා ප්‍රබන්ධයක් පිළිබඳ ඇය සමඟ මහත් අභිරුචියකින් කතා කල අන්දම ඇගේ මතකයට නැඟුනි.

අයිසැක් ඇසිමෝව්ගේ නිර්මාණයක් වූ එහි තේමාව වූයේ සමාන්තර ලෝක පවතීද යන්නයි.

" මේකෙ කියන විදිහට, අතීතයේ එක් සුළු සිද්ධියක් වෙනස් ආකාරයකට සිදු උනාය හිතමු. ඒ නිසා සම්පූර්ණයෙන්ම වෙනස් විදිහට පවතින ලෝකයක්..........එකක් නෙවෙයි ඇත්තටම ලෝක අනන්ත සංඛ්‍යාවක් තියෙන්න පුලුවන්.........ඒත් අපිට ඒ ලෝකවලට යන්ට හරි, එයාලට අපේ ලෝකෙට එන්ට හරි කොහෙත්ම බෑ...ඒක තමයි තියෙන බරපතලම ප්‍රශ්නෙ......නිකම් මෙහෙම හිතමු....එදා අර බස් එකේ අපි දෙන්න හම්බ උනේ නැත්නම්...ඔයාට ඒ බස් එකට නැඟ ගන්ට බැරි උනා නම්.....එහෙම වෙච්ච සමාන්තර ලෝකයක් ඇති..ඒ ලෝකෙ අපි දෙන්න වෙන දෙන්නෙක්ව බැඳල ඉන්නත් පුළුවන්.....හෙහ්...හෙහ්......" ඔහු කීවේ ඇගේ මුහුණට එබී සිනාසෙමිනි.

" අන්න ඒ සමාන්තර ලෝකෙට යන්න පුලුවන් නම් මම කීයක් වියදම් උනත් ඒක කරනව ..ආයෙ දෙකක් නෑ......." මහත් හඬින් සිනාසෙමින් තමා පැවසූ අයුරු සිහිව නැවත ඇගේ දෑස තෙත් විය.

" මම හිතුවෙ මෙහෙම දෙයක්......මේ ගහ මරා ගැනිලි නැති සමාන්තර ලෝකයක් තියෙන්නත් පුලුවන් නේද?........නිවැරදි තීරණ අප්‍රමාදව, නියම වෙලාවට ගත් නිසා, සාමය සතුට පිරුනු සමාන්තර ලොවක් කොහේ හරි ඇතිද?.....එහෙම නැති උනත් එහෙම ලෝකයක් තියෙනවය...ඒ ලෝකෙ මෙන්න මේ වගේ ඇතිය කියල හිතන එකත් හිතට සහනයක්........" ඔහු පැවසුවේ මද සිනහවක් දෙතොල මත නලියද්දීය.

සොඳුරු අතීතයක එක් දවසක ඔහු පැවසූ ඒ වදන් ඔස්සේ ඇය එදින ඒ කේතුමතියට පිවිසියාය. සිතෙහි නැඟි සහසක් ශෝක ජනක වූ සිතුවිලි දැඩි ආයාසයකින් සිතින් මකාහල ඇය වෙනත් සමාන්තර ලෝකයක් වූ කේතුමතියකට එකෙනෙහිම නිරායාසයෙන් පිවිසියාය.

" නංගි.....මේ ගොල්ල මොකෝ මේ හැටි පරක්කු?........." ඇගේ යෙහෙළිය විමසුවේ ඉදිරිපස මුහුදට විවෘත වූ ආලින්දයේ අසුන් ගනිමිනි.

" බය වෙන්න එපා අක්ක.....දෙන්නත් එක්කමනෙ ගියේ...... අපෙ අප්ප එක්ක කතාවට වැටුනම ආයෙ.......කියල වැඩක් නෑ......."

" සුමේදට කොච්චර යාළුවො හිටියත් කොයි වෙලෙත් ඔයාලව තමයි මතක් කරන්නෙ.........මම දන්නෙ නෑ සංසාරගත බැඳීමක් ද කියල,"

තෘප්තිමත් සිනහවක් පෑ ඇය නැඟී සිටියේ ප්‍රධාන මාර්ගය දෙසින් යතුරු පැදි හඬක් සවනට වන් නිසාවෙනි.

" හප්පා මේක හොයා ගන්න කොච්චර දුර ගියාද?...."

අංගනයෙහි යතුරු පැදිය නතර කල ඔහු නිවෙසට ගොඩ වූයේ, ගොටු ගැසූ තල් කොලපුවක් ද සුරතින් රැගෙනය.

සුමේධ ඒ පසුපස පැමිණියේ පත්තර පිටුවක ඔතාගත් මඤ්ඤොක්කා අල හත අටක් දෑතින්ම ඔසවාගෙනය.

" එපාම කියද්දි ඔයාලහෙ අප්ප දුන්න.....ඉන්න මම සුද්ද කරන්නම්......" ඔහු පැවසූයේ මුළුතැන්ගෙය දෙසට යාමට පියවර ඔසවමිනි.

" ඉඳපං...මචං මාත් එනව......අද නෝනල දෙන්න විවේක ගන්න.....කුස්සිය පළාතට පැමිණීම සපුරා තහනම්........දිවා ආහාරය උයන්නෙ අපි......නැද්ද මල්ලි.... මොකෝ උඹ කියන්නෙ?........" සුමේධ පැවසුවේ ඔහුගේ උරහිස වටා අතක් දමා ගනිමිනි.

ගැහැණුන් දෙදෙන ඔවුන් දෙස මොහොතක් බලා සිට නැවත මුහුණින් මුහුණ බලා මඳ සිනහ නැඟුවෝය.

***************************

" ඔයාට බොන්න මොකවත් ගෙනෙන්නද?........." අමුත්තන් පිටත්ව ගිය ඉක්බිති ආගන්තුක යුවතිය අසලට පැමිණි ඇය විමසුවාය..

තවත් නොබෝ වේලාවක් කොහේදෝ ඈ සැරිසරන ලොව අතැර ඒමට මැළි බැවින්දෝ ඒ ඉරියව්වෙන්ම පසුවුනු ඈ සෙමින් නැඟිට සිටියාය.

" නෑ අක්කෙ...ස්තූතියි ...මම යන්නම්....."

ආගන්තුක යුවතිය හා සමඟ ඇයද දොරකඩට ලඟා වූවාය.

" සුමේධ මට කිව්ව, පුතෙක් හම්බ උනොත් එයා වගේම පොලීසියට බන්ද වන්නෙයි කියල.........මම එයාගෙ ඒ ඉල්ලීම කොහොම හරි ඉෂ්ඨ කරනව.....ඔයත් එහෙමද හිතාගෙන ඉන්නෙ? "

ආගන්තුක යුවතිය දොරකඩ එලිපත්ත මත එකෙනෙහිම නැවතුනාය.මද වේලාවක් නිහඬව මාර්ගය ඉහලින් සුලඟේ ලෙලදෙන ධවල වර්ණ ධජය දෙස බලා සිට අනතුරුව මෙසේ මිමිණුවේ කෙතරම් සෙමින් ද යතහොත් ඒ සවන්දීමට ඇයට යුවතිය වෙතට නැඹුරු වීමට සිදුවිය.

" නෑ...කවදාවත් නෑ....මම අර කලින් කිව්ව වගෙ මේ දිය සුළියෙ ගහගෙන යනවට වඩා දාහෙන් සම්පතයි අඩු ගානෙ ගිලිල මැරෙන එක......මම යන්නම් අක්කෙ,"

සෙමෙන් හිස හරවා, ඇගේ දෙනෙත් දෙස එක එල්ලේ බලා මදක් සිනාසුණු, ඒ ආගන්තුක යුවතිය මිදුලට බැස, සුදු වැලි අතුල මාවත ඔස්සේ සෙමෙන් පියවර තබමින් ඈතින් ඈතට නොපෙනී යන තෙක් උලුවස්සට වාරුවී ඇය බලා සිටියාය...............

Friday, May 22, 2015

විශ්වය නිහඬවූයේ ඇයට පමණක් නොවේ……


Google Images

අපේ සිත්තමී නොහොත් සිතුවිලි සිත්තමට නැඟෙනා කවිපොත තරුණ නෝනා මහත්මිය මම ලියපු විශ්වය එක්වරම නිහඬවිය කතාවට පිළිතුරු කතාවක් ලිව්ව. මේ පල්ලෙහා තියෙන්නෙ ඒක. කියවල බලන්ට එහෙනම් එතුමිය මොන තරම් අපූරුවට ඒ කතාව ගොතල තියනවද කියල.

*************************

සීල් තැබූ මිනී පෙට්ටිය අසළ හිඳ සිටි ඇගේ දෑසේ ගලා යාමට තවත් කඳුළු ඉතිරිව තිබුණේ නැත. රතු වී ඉදිමී තිබූ දෑසත්, දෙකොපුල් මතම වියළී ගොස් තිබූ කඳුළු ගලා ගිය සලකුණුත් ඇගේ හද තුළ තෙරපෙමින් තිබූ වේදනාව පිලිබිඹු කිරීමට සමත් නොවූ තරම්ය. හඬා වැළපෙන හදවතින් නැගී ආ ඉකියකින් විටින් විට ඇගේ දෙවුර ගැස්සුනි.

මේ නිසලව නිදා සිටින්නේ මුළු පළාතේම ආදරය ගෞරවය දිනාගත් අවංක, නිර්භීත පොලිස් නිලධාරියාය, රටේ ප්‍රබල ඇමති වරයෙකුගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියාය, හඬා වැළැපෙන මව් පිය යුවළකගේ එකම පුතණුවන්ය, ඇගේ සදාදරණීය සැමියාය. ඇගේ කුස තුළ වැඩෙන සිඟිත්තාගේත්, උදෑසන පිටව ගිය අප්පච්චි නැවත පැමිණෙන තුරු බලා හිඳිනා අද දින සිව් වැනි වියට පා තබනා දියණියගේත් ආදරණීය පියාණන්ය. මැති ඇමතිවරුන් නිලධාරීන් කවරෙකු පැමිණියද එතෙක් නො එසවූ හිස ඈ මදකට එසවූයේ දියණිය පිළිබඳව විමසා බැලීමටය. අප්පච්චි එන තෙක් බලා සිටිනා කවුළුව අසළ වූ සිය සුපුරුදු අසුන මතම ඇය නින්දට වැටී ඇත. ඇගේ දෑතට සිරවී තිබුණේ අප්පච්චිගෙන් එදින උදෑසන ඈ ලද උපන්දින තෑග්ගයි. සිදුව ඇති කිසිවක් නොදන්නා දඟකාර සුරතලිය සිහින ලෝකයේ හිඳිමින් ඔහුගේ තුරුළේ නැළැවෙනවා විය යුතුය.

***************************

" අප්පච්චී....." පුංචි දියණිය නින්දෙන් පිබිදුණු විගස පියා සොයා දිව එන විට ඔහු උදෑසන ආහාරය නිම කරන්නට ආසන්නව සිටියේය.

" ආ මගෙ පැහිච්ච ආච්චි නැගිට්ටද?.." යැයි අසමින් ඇයව උකුළට ගත් ඔහු තම තේ කෝප්පයෙන් උගුරක් ඇයට පොවන්නට උත්සාහ කළේය.

" ම්හු! මට එපා, " දැරිය මුහුණ ඉවතට හැරවූවාය.

" අර මොකෝ?"

" කෝ මගේ හැපි බර්ඩ්ඩේ උම්මා එක? ''

'' අද ඔයාගෙ හැපි බර්ත්ඩේ එකද? "පියා විහිළුවට මෙන් ඇසුවේය. 

මුහුණ නරක් කරගත් දැරිය පියාගේ උකුළෙන් බිමට බැස්සාය. "මං තලහයි!" ඇය සාලයේ කෙළවර කවුළුව අසළ වූ සිය කුඩා අසුන මත ගුලි වී හිඳගත්තාය. පියාගේත් දුවණියගේත් හුරතල් බලා සිනා සැලූ මව කැබිනෙට්ටුව මත වූ පාර්සලය දෙස බලා ඉඟි කළාය. ඒ පෙරදා රැයේ දියණියට හොරෙන් ඔවුන් දෙදෙනා එක්ව ඔතා සූදානම් කළ ඇගේ උපන්දින තෑග්ගයි. වරක් ඔරලෝසුව දෙස බලා එය අතට ගත් පියා මව සමග දියණිය වෙත ගියාය. "චූටි දෝණී..." දැරිය කතා නැත. පියා ඈ අසළින් දණගසා ගත්තේය. "කෝ අපේ බර්ත්ඩේ ගර්ල්?"

සිනහ නැගුණු මුහුණ උල් කරගෙන අහක බලාගත් දියණියගේ මුහුණද නළලද සිපගත් පියා එතෙක් සඟවාගෙන සිටි තෑග්ග ඈ අතට දුන්නාය. මවගෙන්ද උණුසුම් හාදු ලද පුංචි දැරිය අතේ වූ තෑග්ග දෙස උනන්දුවෙන් බැලුවාය. "ඉතිං ඕක ඇරලා බලන්න.." මවගෙන් ඇරයුම ලද විගස දියණිය යුහුසුළුව එය විවෘත කරන්නට උත්සාහ දැරුවාය. පියාගේද සහය ඇතිව විවර වූ කවරය තුලින් මතු වූ පොත අතට ගත් ඇය එහි පිටු එකින් එක පෙරළමින් සුවඳ වින්දාය.

'' ලස්සනද? ''

'' ලාස්සනායි '' ඇය පිළිතුරු දෙමින් පියාගේ බෙල්ලේ එල්ලී හාදුවක් දුන්නාය. ඈ වඩාගෙන සිටගත් පියා "කෝ අම්මට?" යැයි කියමින් මව වෙත ලං කළේය. අනතුරුව "චූටි දෝණී," යැයි නැවතත් ඇමතුවේය.

'' ම්? '' ඇය පියාගේ මුහුණ බැලුවාය.

'' ඔයාට ලඟදිම තව තෑග්ගක් හම්බ වෙයි... '' පියා එසේ කීවේ මව දෙසද බලා සිනහවක් පාමිනි.

'' තව තෑග්ගක්? ''

'' ඔව්... බෝනික්කෙක්... පණ තියෙන බෝනික්කෙක්...''

'' පණ තියෙන බෝනික්කෙක්? '' ඈගේ දෑස විස්මයෙන් විසල් වූ අතර මුව සිනහවකින් පුළුල් විය.

'' ඔව්...''

" කවද්ද එයාව මට හම්බවෙන්නේ? ''

'' ම්... තව මාස... හතරකින් විතර...''

'' ඇයි එච්චර කල්? ''

'' මෙයාගෙ ප්‍රශ්න වලට උත්තර දීලා අද අප්පච්චිට වැඩට යන්නත් පරක්කු වෙයි.'' මව එසේ කීවද දියණියගෙන් පියාට ගැලවිල්ලක් නොමැත.

'' ඔන්න මට මල්ලි බෝනික්කෙක් තමයි ඕන හොඳද? නංගි බෝනික්කො ගොඩාරියක් මට ඉන්නවනේ... '' එබස් ඇසූ මවත් පියාත් මුහුණින් මුහුණ බලාගත්තේ සිනාසෙමිනි.

'' එන්නකෝ එයා ඔයත් එක්ක කතා කරයිද බලන්න,'' දියණිය සමග පහත් වූ පියා මවගේ කුස මතින් ඇගේ කුඩා මුහුණ තැබුවාය. මොහොතකින් ඇය හිස ගස්සා ඉවතට ගත්තේ පුදුමයෙනි. "කවුද ඒ?" මවත් පියාත් හඬනගා සිනාසුණහ.

'' ඒ තමයි ඔයාගෙ බෝනික්කා.... ඔයා එයාව හොඳට බලාගන්නවා නේද? ''

'' ඉතිං එයා මට ගහනවනේ...''

මව්පිය දෙදෙනා නැවතත් සිනාසුණි. "එහෙම තමයි, එයා මේ කාලෙදි ගහන්නෙ ආදරේට. ඔන්න මේ බලන්නකෝ එයා අප්පච්චිටත් දෙනවා හොඳ හොඳ පාරවල්..." 

ඔහු අතක් මවගේ කුස මතින් තබා සිනාසුණේය. අනතුරුව නැවතත් කෙළින් වී දියණිය ඇමතුවේය. "චූටි දෝණි, අප්පච්චි දැං යන්න ඕනෙනෙ පැටියෝ... මං හවසට එනකං අම්මයි ආච්චියි සීයයි එක්ක පරිස්සමෙන් ඉන්න හොඳේ දඟ නොකර..."

'' අප්පච්චි අද ඉක්කනට එනවා නේද? '' මඳක් කල්පනා කළ පියා හිස සැලුවේය. 

"මං කේක් කපන්නේ අප්පච්චි ආවට පස්සෙයි ඔන්න!" එයටද පියා හිස වනා එකඟ වූවේය. 

"මට අද මේ පොත කියලා දෙනවද?"

'' දැං ඇති පුතේ, අප්පච්චිට පරක්කු වෙනවනේ... අප්පච්චි වැඩ ඇරිලා හවසට ආවම අපි ආයෙ කතා කරමුකෝ. '' මව දියණියව ඔහුගේ දෑතින් මුදාලන්නට උත්සාහ කළාය.

'' කියලා දෙනවා නේද? '' ඔහුගේ දෑතින් බසින අතරේද ඇය ඇසුවාය.

'' ඔව් මගෙ පැටියෝ. අම්මා හදන රස..ම රස කේක් එකෙන් කෑල්ලක් හැන්දෑවට ඔයාගෙ මේ චූටි අතින් කාලා ඉවර වෙලා අප්පච්චි මේ පොත ඔයාට කියලා දෙන්නංකෝ...''

***************************

එවන් සොඳුරු උදෑසනකින් ඇරඹුනු දිනය මෙලෙසින් නිමා වේයැයි ඇය මොහොතකටවත් සිතුවේ නැත. සිය සැමියාගේ රැකියාව අනුව ඔහුගේ ජීවිතය දැඩි අවදානම් තත්ත්වයක තිබුණු බව දැන සිටි බැවින් ඇය සුසුමක් පාසා, සිතුවිල්ලක් පාසා නිරන්තරයෙන්ම පැතුවේ ඔහුගේ ආරක්ෂාවයි. ඒ සියල්ල අද නිශ්ඵල වී ඇත. දියණියගේ සිතේ බලාපොරොත්තු ගොන්නක් පොදි බැඳ තමාගේ හිසද සිඹ පොලිස් නිල ඇඳුමින් සැරසී උදෑසන පිටත්ව ගිය ඔහු දෙස ඈ බලා සිටියේ කෙතරම් ආඩම්බරයකින්ද... ගෞරවයකින්ද... එහෙත් ඔහු ඒ පිටව ගියේ සිය අවසන් ගමන බව සිහිනෙකිනුදු සිතන්නේ කෙලෙසද... ඒ ඔහුගේ මුහුණ දැකගන්නට ලැබුණු අවසන් මොහොත බව සිතන්නේ කෙලෙසකද... සිය දයාබර හිමියන්ගේ නිසල දේහය දැකගැනීමට පවා ඇයට වරම් නැත. තවත් එක් වරක් හෝ එම මුහුන සිපගන්නට, එම දෑතින් අල්ලාගන්නට, එම දෙපා යුග නමදින්නට ඇයට වරම් නැත. ඉකි ගසා වැළැපෙන හදවතේ වේදනාව දරාගත නොහැකිව ඈ මොහොතකට දෑස් පියාගෙන බිත්තියට හිස තබාගත්තාය.

'මෙන්න දැන් ලැබුණු විශේෂ ප්‍රවෘත්තියක්. අමාත්‍ය ..... රැගත් රථ පෙළට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්. තුවාල ලැබූ ඇමතිවරයා ඇතුළු අට දෙනෙක් රෝහල්ගත කෙරේ. ආරක්ෂක පොලිස් නිලධාරීන් තිදෙනෙක් සිද්ධිය වූ ස්ථානයේදීම මියගොස් ඇතැයි වාර්ථා වේ. වැඩි විස්තර බලාපොරොත්තු වන්න.'

තමා අතින්ම සකස් කළ දියණියගේ උපන්දින කේක් ගෙඩිය සාලයේ මේසය මතින් තැන්පත් කරන අතරේ සවණට යොමු වූ එම වදන් පෙළ ඇගේ සිරුරේ ලොමු දැහැගන්වන්නට සමත් විය. 

"දුවේ..." 

රූපවාහිනිය නරඹමින් සිටි පියාගේ හඬද සසල වී තිබුණි. එක එල්ලේම දුරකථනය වෙත ගිය ඇය සැමියාගේ දුරකථනයට ඇමතුමක් ගන්නට උත්සාහ කළාය. එය ක්‍රියාවිරහිත බව කියැවෙන පණිවුඩයට සවන් දෙන අතරේ ඇගේ දෑසට කඳුළු උනා එන්නට විය. දහ දොළොස් වතාවක් උත්සාහ කළද ප්‍රතිචාරය එයම වූ බැවින් ඇය සැමියාගේ හොඳම මිතුරා වූ ඔහු සමගම සේවය කළ අරවින්දගේ දුරකථනය අමතන්නට උත්සාහ කළාය. එයටද ලැබුණේ පෙර ප්‍රතිචාරයමය. 

පපුව දවාගෙන එන වේදනාවත් සමග ඇය අරවින්දගේ නිවෙසට ඇමතුමක් ගත්තද අනෙක් පසින් නාද වූ දුරකථනයට කිසිවෙකුත් පිළිතුරු දුන්නේ නැත. පසුව සැමියා රාජකාරි නියමව සිටි පොලිස් ස්ථානයටද ඔහුගේ තවත් මිතුරන් කිහිප දෙනෙකුටද ඇය ඇමතුම් ලබාගත්තද ඔවුන් කිසිවෙක් නිසි තොරතුරක් නොදැන සිටි අතර යමක් දැනගත් වහාම ඇයට දන්වන බවට පොරොන්දු විය.

නැවතත් රූපවාහිනියේ සිද්ධිය පිළිබඳව වාර්තා වන බව ඇසුනෙන් ඇය එදෙසට ගියාය. 'අද දින උදෑසන 10.30 ට පමණ ..... උද්‍යානය අසළ ප්‍රධාන මාවතේදී අමාත්‍ය  ..... රැගත් රථ පෙළට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වී ඇත. බරපතළ තුවාල ලැබූ ඇමතිවරයා මේ වන විට ..... රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි. ආරක්ෂක පොලිස් නිලධාරීන් තිදෙනෙක් සිද්ධිය වූ ස්ථානයේදීම මියගොස් ඇති අතර රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව තවත් අයෙකු මිය ගිය බවට වාර්තා විය.' ඒ සමගම පෙන්වනන්ට වූ රූපරාමු දුටු සැණින් ඇය විලාප දී හඬා වැටෙන්නට වූවාය. වහා නැගිට ඇයව වාරු කරගත් පියා ඇයව අසුනක් මතින් හිඳුවා හිස අතගෑවේය. 

"කලබල නොවී ඉන්න දරුවෝ... අපේ පුතාට නපුරක් වෙලා නැතුව ඇති..." 

ඒ සමගම නිවසේ දුරකථනය නාදවන්නට විය. ඇය අසුනින් නොසෙල්වී දෑස් පියා වැඳගෙන සිය හිමියන්ගේ ගුණත් තුණුරුවන්ගේ ගුණත් මෙනෙහි කරන අතරේ පියා වෙව්ලන දෙපයින් දුරකථනය වෙත ලඟා වූවේය.

'' හෙලෝ! ''

……………………

'' ඔව්, එහෙ තමයි...''

……………………

'' ටීවි එකේ දැක්කා සිද්දියනං, ඒත් තවම අපේ පුතා ගැන-''

……………………

'' අනේ දෙයියනේ....''

……………………

'' මගෙ රත්තරං පුතා........... ''

එතැනින් එහාට ඇසුණු කිසිවක් ඇයට මතක නැත. මුළු ලෝකයම තමා වටා භ්‍රමණය වන්නට පටන්ගත් සෙයක් ඇයට දැනුණි. පතුලක් නොපෙනෙන ගැඹුරු ආගාධයකට ඇද වැටෙනා බවක් දැනුණෙන් වහා ඇගේ නෙත් විවර විය. තමා මෙතෙක් දුටු සියල්ල සිහිනයක්දැයි ඇයට මොහොතකට සිතුණි. එම බලාපොරොත්තුව විශ්වාස කිරීමට ඇයට උවමනා වුවද විවර වූ දෙනෙත් හමුවේ තිබූ සිංහ ධජයෙන් වැසුණු පෙට්ටිය දැකීමෙන් ඇගේ දෑසට නැවතත් කඳුළු උනා එන්නට විය.

'' අප්පච්චි... ඇයි පලක්කු? '' හඬ ආ දෙසට ඇය නෙත් යොමු කළාය. එතෙක් නිදා සිටි කුඩා දියණිය අවදිව පෙට්ටිය අසළින් තබා ඇති පියාගේ රුව අභියස හිටගෙන සිටියි. "හලි නලකයි, මං කිව්වනේ අද ඉක්කනට එන්න කියලා..." දියණිය දෙස බලා සිටි නෑදෑ හිතවතුන්ද කඳුළු සලන්නට විය. ඇයට සිය වේදනාව දරාගත නොහැකි විය. "දෝණී..." ඇය හැඬුම්බර හඬින් දියණිය ඇමතුවාය.

දැරිය වහා ඈ අසළට ආවාය. "අම්මා ඇයි අඬන්නේ? මේ මොකද්ද මේ මෙතන තියෙන්නේ?" ඇය පෙට්ටිය දෙසට අත යොමු කරමින් ඇසුවාය. එහෙත් මවගෙන් පිළිතුරු ලැබෙන තෙක් නොසිට නැවතත් කතා කළාය. "කෝ මගෙ කේක් එක? මේ බලන්න මෙච්චර ගොඩාරියක් ඇන්ටිලා අංකල්ලා ඇවිල්ලා ඉන්නවා මගෙ බර්ඩ්ඩෙ එකට, අප්පච්චි විතලයි තාම පලක්කු....."

දියණිය තුරුළු කරගෙන කඳුළු සලනවා විනා ඇගේ පැනයන්ට දෙන්නට පිළිතුරු මව වෙත තිබුණේ නැත. ඔවුන් වෙත ආ කුඩා දැරියගේ ලොකු අම්මා ඇගේ හිස අතගෑවාය. "අප්පච්චි ගිහිං පුතේ..." දැරිය හිස ඔසවා ඈ දෙස බැලුවාය. "කොහෙද?" අනතුරුව මව දෙස හැරුණාය. "කොහෙද අම්මා අප්පච්චි ගියේ? ඇයි මගෙ බර්ඩ්ඩේ එක දවසෙම ගියේ, මට බොලු කියලා?"

වදන් ගලපාගැනීමට පෙර මව වේගයෙන් හිස දෙපසට වැනුවේ එසේ නොවන බව දියණියට හඟවන්නටය. "අප්පච්චි කොහෙවත් ගියෙ නෑ මගෙ චූටි දෝණි... අප්පච්චි අපි ලඟම ඉන්නවා, හැමදාම..." ඉකිගැසීම පාලනය කරගැනීමට ඇය මඳක් නතර වූවාය. "දෝණිවයි, දෝණිගෙ බෝනික්කවයි, අම්මවයි, ආච්චිවයි, සියවයි දාලා අප්පච්චි කොහෙවත් යන්නෙ නෑ... මගෙ පැටියා දැං ලොකු අම්මත් එක්ක ගිහිං දොයිය ගන්නකෝ, දැං ගොඩාක් රෑ වෙලානේ... මගෙ හොඳ දෝණි වගේ යන්න, ගිහිං දොයියගන්න..." දියණියගේ හිස සිඹ ලොකු අම්මාගේ අතට බාර දුන් ඇය හදේ තෙරපෙමින් තිබූ වේදනාව පිට කිරීමට මෙන් දිගු සුසුමක් හෙලුවාය.

"මිසිස් වනිගසූරිය..." තමා අසළටම පැමිණ ඇමතූ නිලධාරියා දෙස ඇය හිස ඔසවා බැලුවාය. "අපිට ගොඩක් කණගාටුයි මේ වෙච්ච දේ ගැන... මං සබ් ඉන්ස්පෙක්ටර් අමරසේකර... සුමේධයි අරවින්දයි මිනිස්ටර්ගෙ සෙකියුරිටි එකට ජොයින් වෙන්න කළිං අපේ පොලිස් ස්ටේශන් එකේ වැඩ කළේ..."

'' මට මතකයි...'' ඇය දුර්වල කටහඬකින් පිළිතුරු දුන්නාය. "ඉඳගන්න..." ඇය අසළ වූ අසුනක් පෑවාය.

'' අද මිනිස්ටර් ඔය තරමිං හරි බේරුණේ මේ දෙන්නා නිසා. ඒත් අපරාදේ රටට වටින පොලිස් නිලධාරියො දෙන්නෙක්, හොඳ කොල්ලො දෙන්නෙක්...''

'' අරවින්දත්...? ''

'' ඔව් මිසිස් වනිගසූරිය, මං මේ එහෙටත් ගිහිං ආවේ... පව්, බැඳපු නැති නංගිලා දෙන්නෙකුත් ඉන්නවා මිනිහට...''

'' හ්ම්...''

'' අද වෙච්ච දේ ඇස් දෙකෙන්ම දැකලා තියෙනවා පාර්ක් එකේ මේන් ගේට් එකේ සෙකියුරිටි. මිනිහා ඔක්කොම විස්තරේ කිව්වා. උදේ පාර්ක් එකේ මේන් ගේට් එක පැත්තට වෙන්න ඉඳලා තියෙනවා කපල් එකක්, ඒක ඉතිං ඒ හැටි අමුතු දෙයක් නෙවෙයි, පාර්ක් එකට නිතර ඔහොම අය එනවනේ. ඒත් මිනිහට අමුත්තක් දැනිලා තියෙනවා මොකද දෙන්නා වෙන වෙනම ඇවිත් තියෙන්නේ. කෙල්ල ප්‍රෙග්නන්ට්. බැඳපු ජෝඩුවක්නං සාමාන්‍යයෙන් ඔහොම වෙලාවක පාර්ක් එවෙන්නෙ නෑ, අනික වෙන වෙනම එන්න ඕනෙත් නෑනේ. ඉතිං මොකක් නමුත් හොරයක් තියෙන බව දැනිච්ච නිසා මිනිහා දෙන්නා ගැන ඇහැ ගහගෙන ඉඳලා තියෙන්නේ. පැයකින් විතර කොල්ලා නැගිටලා ගේට් එක පැත්තට ඇවිත් තියෙනවා. සෙකියුරිටිටත් හිනාවක් දාගෙන ගිහිං තියෙන්නේ. මිනිස්ටර්ගෙ වාහන පේළිය ඈතින් එනවා මිනිහා දැකලා තියෙන්නෙ පස්සේ. මිනිහට මුකුත් හිතාගන්න හම්බවෙලා නෑ, අර එළියට ගියපු එකා පාරට පැනලා, ඒ එක්කම ඉස්සරහින්ම ආපු සෙකියුරිටි බයික් එක ස්පීඩ් කරලා ඇවිත් මිනිහව හප්පලා. ඒකා කොටියෙක්, සුයිසයිඩ් බොම්බර් කෙනෙක්. බයික් එකේ ඉඳලා තියෙන්නේ සුමේධයි අරවින්දයි. ඉස්සරහින් ආපු අනිත් බයික් එකේ දෙන්නත් බ්ලාස්ට් එකට අහු උනා..." 

නිලධාරියා කතාව මදකට නවත්වා සුසුමක් හෙලුවේය. 

"මේ දෙන්නා ස්පීඩ් කරලා ඇවිත් කොටියව හප්පපු නිසා මිනිස්ටර්ගෙ වාහනේට ඩැමේජ් එක අඩු වුනා කියලා තමයි ගේට් එකේ සෙකියුරිටි කිව්වේ. හිත එකලාසයක් වෙච්ච ගමං මිනිහා බලලා කොටි කෙල්ල කොහෙද කියලා, අනිත් ගේට් එක පැත්තට ඇවිදගෙන යනවා දැකලා. මිනිහා එවෙලෙම නිව්ස් එක දීලා, මේ වෙද්දි කෙල්ලව අරෙස්ට් කරල ඇති මම හිතන්නෙ,"

ඔහුගේ දිගු කතාව අසමින් වදනකින් හෝ ප්‍රතිචාරයක් නොදැක්වූ ඇය නිහඬවම මිනී පෙට්ටිය දෙස බලා සිටියාය. 'කොටි... මගෙ රත්තරං මනුස්සයව මරාගත්තා... මගෙ දරුවංගෙ අප්පච්චිව උදුරගත්තා... මේ කිරිකැටියව ඇහැටවත් නොදැක එයාට යන්න උනා... මං කොහොමද දෙයියනේ එයා නැතුව ජීවත් වෙන්නේ....... ඒ ගෑණිටත් බබෙක් හම්බවෙන්න නේද ඉඳලා තියෙන්නේ... කොහොමද දෙයියනේ ජීවිතයක් හැදෙන හැටි බල බල තවත් ජීවිත මේ වගේ විනාස කරන්නේ...... මේ රට වනසන්ඩ ආපු හැතිකරේ... මමත් යනවා.... ඔව්.. මමත් යනවා ඕකුංව මරාගෙන මැරෙන්න... ඇයි උන්ට විතරද පුළුවං......' හදිසියේම කුස තුළ හුන් දරුවා දඟලන්නට පටන්ගත්තෙන් ඇගේ සිතුවිලි දාමය බිඳ වැටුණි. සිය සැමියා නිදාහුන් පෙට්ටිය මතින් දමා තිබූ සිංහ ධජයේ කඩුව මිටමොළවාගත් අත වෙත ඇගේ දෑස් යොමු වී තිබුණි. කුස මතින් දෑත තබාගත් ඇය මහ හඬින් වැළපෙන්නට විය.

'' මට තේරෙනවා මිසිස් වනිගසූරිය- '' වහා එතැනට දිව ආ ඇගේ මව නිලධාරියාව පිටත් කර යවා ඇයව සනසන්නට වූවාය. මවගේ උරහිසේ හිස හොවාගෙන හෙම්බත් වන තෙක් වැළපුණු ඇය නැවතත් හිස එසවූවාය. එවර ඇගේ දෑස යොමු වූයේ කඩුවට පහළින් ඇති බෝ පත්‍රය වෙතයි.

***************************

'' සුමේධ...''

'' ම්? ''

'' මේ බෝ ගහ යට ඉන්න කොට හිතට හරි සනීපයි නේද? ''

'' ඇයි ඔයාගෙ හිත අසනීප වෙලාද තිබ්බේ? ''

'' ඔය ඉතිං... මං කිව්වේ මෙතන හරිම නිවිච්ච බවක් තියෙනවා...''

'' හ්ම්...''

මඳ නිහැඬියාවකි. "ඔයා ආස මේ සැරෙත් දුවෙක් ලැබෙනවටද, නැත්තං පුතෙකුටද?"

'' කවුරු උනත් කමක් නෑ, ඔයාගෙයි මගෙයි බබානේ...''

'' හ්ම්, ඒක ඇත්ත...''

'' හැබැයි පුතෙක් හම්බුණොත් මට එක ආසාවක් තියෙනවා..''

'' ඒ මොකද්ද? ''

'' ඒත් ඔයා කැමතිනං විතරයි...''

'' කියන්නකො ඉතිං...''

'' පුතාවත් පොලීසියට බන්දගන්න...''

'' අනේ සුමේධ...''

'' ඇයි? ''

'' ඒ රස්සාව හරි භයානකයිනේ...''

'' ඉතිං මේ මම ඉන්නේ...''

'' ඔයා ගැනත් මං හරි බයෙන් තමයි ඉන්නේ...''

'' මැරෙනවනං මැරෙන්නේ එකපාරයිනෙ ළමයෝ... ඒ ඉන්න කාලේ තමංගෙ රටට ජාතියට වැඩක් කරලා යන්න තියෙනවනං කොච්චර දෙයක්ද? ''

'' ෂ්... මැරෙන කතා කියන්න එපා... කමක් නෑ, අපිට පුතෙක් හම්බුණොත් එයත් එයාගෙ තාත්තා වගේම ලස්සන, උගත්, බුද්ධිමත්, අවංක, නිර්භීත පොලිස් ඔෆිසර් කෙනෙක් වෙයි...''

'' මදිනෙ විශේෂන පද ටික! ''

'' එතකොට අපෙ දෝණි පොඩ්ඩ? එයා කවුරු වෙනවටද ඔයා කැමති? ''

'' පුතා තාත්තා වගේ වෙනවනං දෝණි අම්මා වගේ වෙන්න එපැයි...''

***************************

ඇය වාරු ගෙන පුටුවෙන් නැගී සිටියාය. සෙමින් සෙමින් සැමියාගේ ඡායාරූපය අසළට ගොස් එය අතගෑවාය. 'ඔයාගෙ බලාපොරොත්තු එහෙමම ඉෂ්ට වෙයි මගෙ රත්තරං... මං පොරොන්දු වෙනවා... ඒත් මං දන්නෙ නෑ ඔයා අපේ දෝණිට අද උදේ දීලා ගිය බලාපොරොත්තු වලට මොනවා වෙයිද කියලා... සමහරවිට එයා මුළු ජීවිත කාලෙම අප්පච්චි එනකල් බලං ඉඳියි එයාගෙ කේක් එක කපන්න...'

*************************

ත්‍රස්තවාදය ගැන සිත්තමීගෙ පළමෝත ( First Hand ) අත්දැකීමක් මේ......

Thursday, May 21, 2015

විශ්වයම නිහඬ වූ මොහොතක.....

Painting - Danny O'Conner

රෑ පුරා ගුගුරමින් ඇද වැටුනු වර්ෂාව හිමිදිරියත් හා සමඟ තුරල් කල නමුදු විටින් විට සුළඟත් සමඟ මුසු වී වැගිරෙන පොද වැස්ස අවම වශයෙන් වරුවක් පමණ හෝ පැවතේයයි සාලයේ ජනේලයෙන් ඉවත බලා සිටින ඔහුට එක්වරම හැඟිණි.

මුහුණ දී සිටින තත්වයේ බැරෑරුම් ස්වභාවය අනුව වර්ෂාව වරුවක් පවතීද දවස පුරා පවතීද වැනි වෙනත් දිනයකදී කිසිසේත්ම හිතට නොගන්නා ප්‍රශ්නයකට පිළිතුරක් සෙවීමට තම සිත උත්සුක වීම එක්වරම ඔහුගේ දෙතොලට සිහින් සිනහවක් ගෙන ආවේය.

" හෙහ්, වරුවක් වැස්සත්, දවසම වැස්සත්, හත් දොහක් වැස්සත් මට මොකද? " ඔහු තොලමැතිරීය.

එහෙත් එක් අතකට එහි අරුමයක්ද නැත.ජීවිතයේ අතිශය බැරෑරුම් අවස්ථාවන්ට මුහුණ දෙනවිට කොතෙකුත් ඒ ගැන මෙනෙහි කිරීමෙන් මානසික සමබරතාවය ගිලිහී යා නොදී රැක ගැනීමට මෙවන් නොවැදගත් දේ සම්බන්ධව මෙනෙහි කිරීමට සිත පෙළඹීම නිරායාසයෙන් සිදුවන්නක් බව කොහේ හෝ කියවූ මතකයක් ඔහු සිතට නැඟිනි.

එක්වරම අත් ඔරලෝසුව දෙස බැලූ ඔහු ඉක්මන් ගමනින් නිවසේ එකම නිදන කාමරයට ඇතුලු විය. තනි ඇඳක්, කුඩා මේසයක් හැරෙන්නට එහි වූයේ මුල්ලකට හේත්තු කල අඩි තුනක් පමණ උස් තැනින් තැන රසදිය අවපැහැ ගැන්වුනු රාමුවක් රහිත කන්නාඩියක් පමණි.

කන්නාඩිය ඉදිරියේ සිටගත් කල දර්ශනය වූයේ සිරුරේ උදර ප්‍රදේශය දක්වා පමණක් වුවද, අවශ්‍ය කාර්යයට ඒ හොඳහැටි  ප්‍රමාණවත් වූ බැවින්, ඒ පිළිබඳව කිසිදු තැකීමක් නොමැතිව, කැඩපතෙහි පිලිබිඹු වූ තම ප්‍රතිබිම්බය පරීක්ෂාකාරීව නරඹා අව පැහැගැන්වුනු සුදු පැහැ කමිසය හොඳින් කලිසමට යට කොට සකස් කරගත් හෙතෙම අවසන් වරට කාමරය සිසාරා බැල්මක් හෙලූයේ කිසිවක් අතපසු නොවූ බව ස්ථිර කොට ගැනීමටය.

දොර අගුළු දමා යතුර ඒ අසලම වූ ජනේලයෙන් නිවස තුලට වීසිකොට පහත් වී ඉදිරිපිල මත වූ අබලන් කළු පැහැති කාන්තා කුඩයක් අතට ගත් තරුණයා මද වැස්සේම කුඩය දිගහැර නිවෙස ඉදිරිපිටින් ප්‍රධාන මාර්ගය කරා දිවෙන අතුරු මාර්හයට පිළිපන්නේය.

අතුරු මාර්ගය ප්‍රධාන මාර්ගය හා හමුවන ස්ථානයේ පිහිටි තෝස කඩය වෙනදා මෙන්ම බොහෝ ජනාකීර්ණ ස්වභාවයක් ඉසිලීය. එදෙස නොබලා පියමං කිරීමට උත්සාහ කලද, තෝස කඩයෙන් නිකුත්ව, තෙත් බරිත උදෑසන වායු ගෝලයට එක්වන වඩේ බැදෙන විට තෙල් තාච්චියෙන් නිකුත්වන නැහැය සිය දහස්වරක් විඳ සුපුරුදු සුවඳ මුලින් ඔහුහේ ගමන් වේගය බාලකොට අවසන ඔහු නතර කරවීය.සිත කැළඹවූ අවිනිශ්චිත හැඟුම් සමුදායක ප්‍රතිඵලයක් පරිදි නිකුත් වූ දිගු සුසුමකට පසු ආපසු හැරී තෝස කඩයට ඇතුලු වී තම සුපුරුදු කෙළවර අසුනට බරදුන් ඔහු ඉදිරියේ තෝස දෙකක් සම්බල සහ වඩ දෙකක් කෙසෙල් කොලයක තැබූ රිදී පැහැ තැටිය වේටර් කොලුවා ගෙනවිත් තැබුවේ ඇණවුමකින් තොරවමය.

බොහෝ වේලාවක් ඒ දෙස නිසොල්මනේ බලා සිටි ඔහු කැබලි වලට කැඩූ වඩ හා මිශ්‍ර කොටගත් සම්බල සමඟ ඉතාමත් සෙමෙන් තෝස අනුභව කලේ හැකිපමණ වේලාවක් ආහාර ගැනීම උදෙසා ගත කිරීමට ඉටාගත් කලෙක මෙනි.

තෝස කඩයෙන් පිටවූ ඔහුගේ කුස පිරී තුබූ අතර දකුණතෙහි කඩදාසි බෑගයක බහාලූ වඩ දෙකක් විය.

මේ වන විට වර්ෂාව නැවතී තිබුනු නමුදු, ඔහු අබලන් කුඩය තවමත් ඉහලාගෙන සිටියේ උඩුකය තෙත් වේදෝ යන බියෙන් ද, නැතහොත් මුලු ලොවෙන්ම සැඟව සිටීමේ අටියෙන් ද, එසේත් නැතහොත් මේ අරමුණු දෙක නිසා ද, යන්න දැන සිටියේ ඔහුම පමණකි.

ප්‍රධාන මාර්ගයෙන් හැරී සුවිසල් අතු පතර විහිදී ගිය මාර ගසින් සෙවණ ලැබූ පටු මඟකට අවතීර්ණ වූ ඔහු, පසුකර යන කිසිවකු දෙස නෙත් යොමු නොකොට බිමට හරවාගත් නෙතින් යුතුව, සමාන පරතරයෙන් යුතුව, රිද්මයකට පා තබනා සොල්දාදුවකුගේ ගමනින් පියවර තබන්නට විය. වරින් වර හමන සුළඟින් අතු පතරින් ගිලිහුනු වැහි බිඳු, පොද වැස්සක් මෙන් කුඩය මත පතිත වුවද ඒ ඔහුට ඇසුණිද නො එසේනම් දැනුණිද යන්න පවා සැක සහිතය.

පටු මඟ අවසානයේ වූයේ නගර මධ්‍යයේවූ උද්‍යානයෙහි පසුපස දොරටුවයි.අඩක් විවෘතව තිබූ දොරටුවෙන් උද්‍යානයට පිවිසි ඔහු, උද්‍යානය හරහා පසුපස දොරටුවේ සිට ප්‍රධාන දොරටුව දක්වා දිවෙන, කළුගල් ඇල්ලූ පෙත් මඟ ඔස්සේ පෙර ලෙසම සොල්දාදු පියවරින් ගමන් කල නමුදු, පියවර තබනා සංඛ්‍යාතය මෙන්ම පියවර දෙකක් අතර දුර ප්‍රමාණයද ක්‍රමයෙන් අඩාල වූයේ ඔහු ද නොදැනුවත්වමය.

උද්‍යාන මධ්‍යයෙහිවූ, හිරු මඬල ගිනිගෙන දැවෙන මධ්‍යාහ්නයෙහි පවා අඳුර පූර්ණව පහව නොයන,රූස්ස තුරු වදුලට වටා ගමන් කරන පෙත් මඟ, තුරු වදුලේ එහා අන්තයේදී තරමක් පළල් වී උද්‍යානයේ ඉදිරිපස මාර්ගයට විවෘතවන ප්‍රධාන දොරටුව දක්වා දිව යයි.

තුරු වදුලෙන් නිබඳ නැඟෙන කපුටු නාදය ද වැසි බර කාළගුණය හේතුකොටගෙන ඇසුණේ ඉඳහිටය. පෙත් මඟෙහි නැම්මට ළඟාවූ ඔහු, එක්වරම නැවතී යාර පණහකට පමණ ඔබ්බෙහි පිහිටි, උද්‍යානයේ ප්‍රධාන දොරටුවට මුහුණ ලා, තුරු වදුල අද්දරම සවිකර තිබූ ගලින් කල ආසනය දෙස නෙත් හෙලීය. ප්‍රධාන දොරටුව දෙසට මුහුණ ලා හිඳ සිටින ඇයගේ ගෙල සහ හිසෙහි පසුපස කැරළි ගැසුනු කෙස් වැටිය දෙස අනිමිස ලෝචනයෙන් මොහොතක් බලා සිටි ඔහු, දීර්ඝ සුසුමක් හෙලා සෙමින් පා නඟමින් පෙත් මඟ ඔස්සේ ගොස් ,ඇය අසලම ආසනයෙහි හිඳ ගත්තේය.

හිස සෙමෙන් හරවා ඔහු දෙස නෙත් යොමු කල ඇගේ සහ ඔහුගේ නෙත් එකිනෙක පැටළිනි.

සෙමින් සුරත දිගුකොට ඇගේ වමත අල්ලාගත් ගත් ඔහු ඒ තම උකුල මතට ගෙන පිරිමදින්නට වූයේ, ඇගේ වත වෙත යොමුවූ දෑස ඉන් මුදාගෙන උද්‍යානයෙහි ප්‍රධාන දොරටුව වෙත යොමු කරමිනි.

ඇයද නැවතත් ඇගේ දෑස එදෙසටම යොමු කලේ ඔහුගේ සුරත දැඩිව මිරිකා ගනිමිනි.

තව නොබෝ වේලාවකින් මේ ප්‍රධාන දොරටුවෙන් පිටවී, ඔහු ඇගෙන් සදහටම වෙන්වී යන බව ඔවුන් දෙදෙනම දැන සිටියහ.

වැහි වලාවකට මුවා වී තිබූ හිරු එක් වරම ඉන් මිදුනෙන්, කහ පැහැ මළානික ආලෝකයක් උද්‍යානය පුරා විහිදී ගියේය.එක් වරම ඇගේ අත අත්හල ඔහු, ආසනය මත තිබූ තෙල් පැල්ලම් ගැහුණු කඩදාසි බෑගය ඈ වෙත දිගු කළේය. විමසුම් බැල්මක් හෙලමින් ඒ සුරතට ගත් ඇය එතුලට අත යවා වඩයක් පිටතට ගෙන ඉන් කැබැල්ලක් ඔහු වෙත දිගු කලේ පපුවෙන් නැඟ ආ ඉකියක් වලක්වා ගනිමිනි.

ඔහු සෙමින් දෙපසට හිස වැනූයේ සුසුමක්ද හෙලමිනි. ඇසට නැඟි කඳුලක් පිස දැමූ ඈ, නැවතද ඔහු වෙත වඩේ කැබැල්ල දිගු කලාය. එවර ඇගේ දෑස දෙස මොහොතක් බලා සිට ඔහු ඒ අතට ගත්තේය.

" දුක් වෙන්න එපාය කියන්න මට අයිතියක් නෑ.....මම ඒක දන්නව...ඒත් අපි මුල ඉඳන්නම දැනගෙන හිටිය මේ අපෙ ඉරණම කියල...... මම ඔයාට අපේ මේ කතාව ඉවර වෙන්නෙ මේ විදිහටයි කියල අනන්ත වාරයක් කියල ඇති, "

ඔහු කතා කලේ අතෙහි තැවරුනු තෙල් කඩදාසි බෑගයෙහි පිසදමමිනි. එහෙත් ඉන් සිදුවූයේ බෑගයෙහි වූ තෙල් ඔහු අතෙහි තැවරීමයි. නොරිස්සුමින් නලල රැළි කොට අත්ල විහිදුවා ඒ දෙස මොහොතක් බලා සිටි ඔහු අත්ල එකිනෙක පිරිමදින්නට වූයේ ඈ දෙස බලා යලි මද සිනහවක් පාමිනි.

යම් අනපේක්ෂිත දෙයක් සිදු වූ කල ඔහුගේ දෑස් සිහින්වී නළල රැළි ගැසෙන අන්දම හොඳින් පුරුදු ඇයට ද නොදැනුවත්වම සිනහවක් පහල විය.

වළාකුළු එකින් එක පහව යමින් තිබූ අතර ඒ අතරින් පෙරී ආ හිරු එළිය මදින් මද අඳුර දුරු දුරු කිරීමට තැත් දැරීය.

" මම දන්නව.....මම ඒ ඔක්කොම දැන ගෙන තමයි හිටියෙ මුල ඉඳල.........ඒත් එහෙමෙයි කියල ඒ වේදනාව අඩු වෙන්නෙ නෑ......ඒ වේදනාව දරා ගන්න බෑ............ඒකෙ වෙනසක් නෑ........." 

ඇගේ දෑස නැවතද කඳුලින් බර වන්නට වූයෙන් ඈ දෑස තදින් පියා ගත්තාය. තදින් පියවුනු ඇසිපිය අතරින් ගිලිහුණු කඳුළු බිඳු දෙකක් කොපුල් තල දිගේ රූරා බසින්නට වූයෙන් ඈ නොඉවසිල්ලෙන් ඒ පිටි අත්ලෙන් පිස දැම්මාය.

එක්වරම තිගැස්සුණු ඈ මඳ සිනහවක් පාමින් ඔහු දෙස බලා තම නෙරා ආ උදරයට අතක් තබා ගත්තාය.

" දැනුනද ? " 

ඔහු ඇසුවේ පහත්වී ඇගේ අත මත තම අත තබා රහසින් කොඳුරමිනි.

ඇය තවමත් සිනහ තැවරි දෙතොලින් යුතුව හිස වැනුවාය.

" ඔව් දැන් දවස් තුන හතරක ඉඳල......"

නැවතත් නිහඬ තාවයේ වෙලී ගිය මිනිත්තු කිහිපයකට පසු, ඔහු වෙත ඇදී ආ ඇය උරහිසෙහි හිස හොවා ඔහුගේ දෑතම තරයේ අල්ලා ගත්තීය.අපරිමිත සෙනෙහසින් පහත්වූ ඔහු ඇගේ නළලත සෙමින් සිප ගත්තේය.

මෙතෙක් මද පමණ හෝ රැස් විහිදූ හිරු, නැවත කළු වළාවකට වැසී නොපෙනී ගියේය. එක්වරම හමා ආ සීතල සුළං රැල්ලක් ඔවුන් ගතෙහි හිරිගඩු නංවා ලීය.ඈ තවත් ඔහුට තුරුළු වූයේ නැවත කිසිදිනෙක ඔහු අත් නොහරින ලෙසකින් වුවද ඒ මොහොතකට සිතට සුව දෙන මායාවක් බව ඔවුන් දෙදෙනාම නොදැන සිටියේ නොවේ.

මහා භද්‍ර කල්පයක් සේ ඔවුනට දැනුනු මිනිත්තු දහයක පමණ කාලයක් මෙසේ ගෙවී ගියේය.

එක වරම ජංගම දුරකථනයක් නාද වන රාවයක් මතුවූයේ ඔහුගේ කලිසම් සාක්කුවෙනි.

ඇගේ හිස සෙමින් ඉවත් කල හෙතෙම දුරකථනය අතට ගෙන ඇමතුමට කන් දුන්නේය.

එක් වරක් පමණක් ඔහුගේ මුහුණ බැලූ ඇය, තම උකුල මත රැඳි දෑත දෙස නෙත් යොමු කර ගත්තීය.

ඇමතුමට බොහෝ කාලයක් ගත නොවිනි. මිනිත්තුවකටද වඩා අඩු කාලයකදී " හරි " පැවසූ ඔහු දුරකථනය ක්‍රියා විරහිත කොට සාක්කුවේ ඔබා ගත්තේය.

ඉනික්බිති අවසන් වරට ඇය වැළඳ ගත් ඔහු, ඇගේ නලලත ද, පහත්වී උදරය ද සෙමින් සිපගෙන ආසනයෙන් නැගිට, ඇගේ දිලිසෙන දෑස දෙස මොහොතක් බලා සිටියේය. පුදුමයකට මෙන් ඇගේ දෑස දීප්තිමත්ව බැබලුනේ කඳුළු වලින් නම් නොවේ.හඬන්නට තවත් කඳුළු ඉතිරිව නොමැත්තේද නැතහොත් කඳුළු හෙලීමෙහි කිසිදු අරුතක් නොමැති බව ඈ වටහා ගත්තේද යන්න හරි හැටි කිව නොහැකි නමුදු ඇගේ දෑසෙහි මේ වනවිට කඳුළු වියළී තිබිණි.

" මම ඔයාට ආදරෙයි " ඔහු ඇගේ දෑසට පැවසීය......." එදා ඔයා දැක්ක මුල් දවසෙ ඉඳල අද වෙනකල්.........මගෙ ජීවිතේ තියනකල්......." මෙහිදී ඔහුගේ හඬ මඳක් වෙව්ලා ගිය නමුදු ඔහු නැවත විගස මහත් ආයාසයකින් හඬ පාලනය කොට ගත්තේය....." නෑ මම මැරුණට පස්සෙත් මම ඔයාට ආදරෙයි........"

" මමත් එහෙමයි ...." ඇයද සිහින් හඬින් පැවසූයේ ඔහුගේ දෑස් දෙස එක එල්ලේ බලා සිටිමිනි.

ඔවුන්ගේ දැහැන බිඳ දැමූයේ උද්‍යානය වටා දිවෙන ප්‍රධාන මාර්ගයේ ඈත කෙළවරින් ඇසෙන්නට වූ වාහන අනතුරු හැඟවීමේ සයිරන් නලා නාදයකිනි.

වාව්......වාව්...වාව්......වාව්...වාව්......වාව්,

වහා ඒ දෙස හැරී බැලූ ඔහු, නැවත  හිස හරවා ඇය දෙස  මොහොතක් බලා සිට, ඇයට පිටුපා ප්‍රධාන දොරටුව දෙසට සෙමින් පියවර තබන්නට විය.

එක දිගටම නැගෙමින් කෙමෙන් කෙමෙන් ආසන්න වන ඒ අප්‍රියකර මූසල නාදය මධ්‍යයේ සෙමින් පියවර තබමින් ඔහු ඇගෙන් වෙන්ව යනු ඇය බලා සිටියාය.ඇසිපිය නොහෙලා බලා සිටියාය.

උද්‍යානයේ ප්‍රධාන දොරටුව අසල වූ සිව් මං සල අසලදී, සියලුම වාහන අනිවාර්යයෙන්ම වේගය අඩාල කල යුතුය. ප්‍රභූ ආරක්ෂක රියපෙළ, වේගය අඩුකරගනිමින් සිව් මංසල වෙත ළඟා වෙමින් තිබිණ. ප්‍රධාන දොරටුවෙන් පිටවූ ඔහු පදික වේදිකාව කෙලවරට ළඟා වූයේ, හරියටම රිය පෙළ එතැනට පිවිසෙනවාත් සමඟමය.

අසුරු සැනකදී කාලය නැවතී ගියේය..........විශ්වයම එක් වරම නිහඬ විය........... සවන් බිහිරිකරවන ඒ දැඩි නිහඬතාවය මධ්‍යයේ ඔහුට ඇසුනේ ඇගේ හද ගැහෙනා හඬ පමණි. ඇයට ඇසුණේ ඔහුගේ හද ගැහෙනා හඬ පමණි.

ඇය අසුන්ගෙන සිටි ආසනයට සෙවන දුන් තුරු ගොමුවෙහි, උදෑසන සිට වර්ෂාව නිසා සැඟවී සිටි කපුටුවෝ, එකවරම හාත්පස කම්පනය වූ ශබ්දයෙන් බියපත්ව එකාවන්ව නාද කරමින් වැහිබර අහසට ඉගිලුනෝය.

දෑස් තදින් පියාගත් වනම බිම බලාසිටි ඇය, දෑස් නොහැරම සුරතෙහි දබරැඟිල්ලෙන් නලලත රැඳුනු තිලකය මකා දැමුවාය.

ඉන්පසු සෙමින් හිඳ සිටි අසුනින් නැඟිට, උද්‍යානයෙහි ප්‍රධාන දොරටුව අසල කෙමෙන් උත්සන්න වන ව්‍යාකූලතාවයට පිටුපා, අඩ හෝරාවකට පමණ පෙර ඔහු පියනැඟි පෙත්මඟ ඔස්සේ සෙමින් සෙමින් පිය මනින්නට වූවාය.


***************************************

යුද ජයග්‍රහණයේ හයවෙනි සැමරුමත් එක්කල ත්‍රස්තවාදීන් ගැන පොදුවේ ලොකු කතාබහක් ඇතිවෙලා තියනව මේ දවස්වල. මේ මම කාලෙකට ඉස්සර ලියපු ත්‍රස්තවාදියෙක් ගැන කතාවක්.

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...