Saturday, May 23, 2015

විශ්වය එකම මොහොතක නිහඬවූ ගැහැණුන් දෙදෙනෙකුගේ කතාව

Painting - Paul Hedley

එක් ගැහැණියකගේ කතාව මම ලිව්වට පස්සෙ අනෙක් ගැහැණියගේ කතාව සිත්තමී ලිව්වනෙ. පස්සෙ මට හිතුන මේ ගැහැණුන් දෙදෙනාගෙම කතාව ආයම ලියන්ට ඕනම කියල. මේ ඒ ගැහැණුන් දෙදෙනාගේ කතාවෙ සමාප්තිය....


***********************************

කුඩා කුටියේ අඩක් ඇරුණු කවුලුවෙන් ගලා එන සඳ එළිය දනවන්නේ ගත කිළිපොලායන සීතලකි. සඳ පසුබිම් කොටගෙන ඉගිල යන වවුලන් රෑනක් ඇය දුටුවේ, අවිනිශ්චිත අනාගතයක පෙරනිමිති කියාපානා අසුබ ලකුණු විලසිනි.

උදෑසන උද්‍යානයෙන් පිට වී අරමුණක් නොමැතිව ඉබාගාතේ ඇවිදිමින් පැය කිහිපයක් ගෙවා දැමූ ඕ, මධ්‍යාහ්නය පසුවී හෝරා දෙකකට පමණ පසු, පසුගිය වසරක පමණ කාලය තුල ඇගේ වාසස්ථානය වු කුඩා කුටිය වෙත පැමිණියාය. අතරමඟ කීප විටක් සෝදිසි කිරීමට ලක් වූවද ඈ සතුව තිබූ අනන්‍යතා පත්‍ර අව්‍යාජ වූ හෙයින් අනර්ථයකින් තොරව නවාතැන වෙත ඒමට අපහසුවක් නොවිණි.

උදෑසන ඔහු හා සමඟ බෙදා ගෙන කෑ වඩේ හැරුණු විට, මෙතෙක් කිසිදු ආහාරයක් නොගත් හෙයින් දැඩිව නැග එන කුස ගින්න ඉවසිය නොහැකි වූ පසු, ඇඳෙන් නැගී සිටි ඇය, මේසය මත වූ පාන් පෙති කීපයක් කෙසෙල් ගෙඩියක්ද සමඟ බොහෝ වේලා සපමින් ගිල දමා කුස පුරා ජලය පානය කලාය.

අදින් පසු මෙහි රැඳී සිටීමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති හෙයින්, හෙට උදෑසනම පිටව යාමට සූදානම් වනු සඳහා ඇය කුඩා ගමන් මල්ලට ඇගේ ඇඳුම් කීපය අසුරා ගත්තීය.මේ ගමන අනතුරුදායක බව හොඳින් දත් නමුදු, ජීවිතය ඉදිරි කිසිදු බලාපොරොත්තුවක් නොමැති රික්තකයක් බවට පත්වී ගිය කල නැතිවීමට කිසිවක් නොමැති ඇය බිය විය යුත්තේ කුමකටද?

හදිසියේ යමක් සිහි වූ ඇය, ඒ වනම අත් ඔරලෝසුව දෙස බලා, මේසය මත වූ කුඩා රූපවාහිනිය දෙසට අත දිගුකොට නැවත දෑස් පියාගත් වනම මොහොතක් සිටියාය.යළිත් පපුව මුලුමනින්ම හිස්වයන අයුරු හෙලූ දිගු සුසුමකින් අනතුරුව රූපවාහිනිය ක්‍රියාත්මක කලාය.

" අද උදෑසන නගර  මධ්‍යයෙහි වූ උද්‍යානයේ ප්‍රධාන දොරටුව අසල, මරාගෙන මැරෙන කොටි ත්‍රස්තවාදියකුගේ ප්‍රහාරයට ලක්වූ ******** ඇමතිවරයා තව දුරටත් ජාතික රෝහලේ ප්‍රතිකාර ලබයි.ඇමතිවරයාගේ ආරක්ෂක පොලිස් නිලධාරීන් සිව් දෙනෙකු මේ ප්‍රහාරයේදී දිවි පිදූ අතර, ඒ අතර ප්‍රධාන ආරක්ෂක නිලධාරියා වූ සුමේධ වනිගසූරිය මහතා තම දිවි නොතකා කොටි ත්‍රස්තවාදියාට තමා පදවමින් සිටි මෝටර් බයිසිකලය හරස් කොට ඇති අතර, එසේ නොවුයේනම් ප්‍රහාරයේ හානිය මීටත් වඩා අනිවාර්යයෙන්ම ඉහල යාමට ඉඩ තිබුනු බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි."

ඒ සමඟම උදෑසන ඔහු සමඟ රුක් ගොමුව යට අසුන් ගෙන බොහෝ වේලාවක් එක එල්ලේ බලා සිටි, ප්‍රධාන දොරටුවේ සමීප රූපයක් තිරයේ සටහන් විය. දොරටුවේ යකඩ කම්බි නැවී ඇද වී තිබූ අතර, ඒ තුලින් සිව්මංසලෙහි එකිනෙක ගැටී නැවතී තිබූ මෝටර් බයිසිකල් කිහිපයක සහ රිය පෙලක සමීප රූප පෙලක් ඒ සමඟම දිස්වූයේ, පසුබිමින් ඇසෙන නිවේදිකාවගේ හඬ කෙමෙන් අඩාල වී යද්දීය.

ඇය ඒ දර්ශන දෙස හිස් බැල්මෙන් බලා සිටියේ කිසිදු හැඟීමක් නොමැති අයුරින් වුවද, නෙත් අගට රොක්වූ කඳුලු වැලකීමට අපොහොහොසත් වූයෙන්, අවසන සිත් සේ කඳුලු කොපුල් තල ඔස්සේ ගලා යාමට ඉඩ හැරියාය.

" ..............ත්‍රස්තවාදියාගේ සිරුරෙහි කොටස් කිහිපයක් පමණක් සිද්ධිය වූ ස්ථානයේ තිබී හමු වී ඇති අතර, ඔහු හඳුනා ගැනීමට කිසිදු සාක්ෂියක් ඉතිරිවී නොමැති බව විශේෂ අපරාධ විමර්ශන අංශයේ ජේෂ්ඨ නිලධාරියෙක් පැවසීය. "

ඒ සමඟම උදෑසන සිට සිතෙහි සිරකොටගෙන සිටි හැඟුම් සමුදාය වේල්ල බිඳී ගොස් දෙගොඩ තලායන ගංගාවක් මෙන් ගලා බසින්නට වූයෙන්, ඇය මුල් වරට ඉකි බිඳිමින් හඬන්නට වූවාය.

" බෝම්බ ප්‍රහාරයෙන් මියගිය පොලිස් නිලධාරී සුමේධ වනිගසූරිය මහතාගේ දේහය අද සවස ඔහුගේ නිවසට ගෙන යන ලදී......"

ඉන්පසු දිස්වූයේ මුද්‍රා තබන ලද දෙණක් සහ ඒ අසල හිඳ හිස් බැල්මෙන් හිස පහත් කොට සිටින ගැබිණි කාන්තාවකි.

කඳුළු පිසදාගත් ඇය ඇසිපිය නොහෙලා තමා වැනිම වූ ඒ ගැහැණිය දෙස බලා සිටියාය.

පසුදින ඉර උදාවී හෝරා දෙක තුනක් ගෙවීයනතෙක්ම ඇය සයනයෙහි දිගාවී සිටියේ, තීරණයකට එළඹිය නොහැකිවය.අවසන දිගු සුසුමක් හෙලමින් නැඟී සිටි ඇය ඉතිරි වී තිබූ පාන් පෙති දෙක අනුභව කොට, මේසය මත වූ ජෝගුවෙන් කුස පුරා ජලය පානය කළාය.

ඇඳුම් කිහිපය රැඳි ගමන් මල්ල අතට ගත් ඇය, ඉදිරිපස දොර වසා මඟට පිළිපන්නේ කුමක් සිදු වුවද එළඹ ගත් තීරණය අනුව කටයුතු කරන්නෙමැයි යන දැඩි අදිටනිනි.

ඇගේ හැඩරුව, කතා විලාශය සහ අත රැඳි ලිය කියවිලි අනුව කිසිදු අපහසුවකින් තොරව අවදානමක් රහිතව සැරි සැරිය හැකි බවට ඈ තුල දැඩි ආත්ම විශ්වාසයක් ගැබ්වී තිබුනු අතර, එසේ නොවුන ද කුමක් සිදුවූවද පයට පෑගෙනා දුහුවිල්ලක් පමණටවත් නොතකන මානසික තත්වයකට ඇය පත්ව සිටියාය.

***************************

ඊයේ රාත්‍රිය ඇය පහන් කලේ දෙණ අසල බිත්තියට හේත්තුකොට පනවා තිබූ අසුනක හිඳගෙනය. කාමරයට ගොස් මඳක් විවේක ගන්නා ලෙස මව සහ වැඩිමල් සහෝදරිය කෙතෙක් ඇවිටිලි කලද ඇය හිස වනා ඒ සියළු ඉල්ලීම් ප්‍රතික්ෂේප කළේ, හිඳ සිටි අසුනේම ඇලවී, නින්දත් නොනින්දත් අතර හෝරා කිහිපයක් ගෙවා දැමුවාය. අවසන අධික වෙහෙස කරන කොටගෙනම අලුයම් කාලයේ මඳක් දෑස් පියාගත්තාය.

ඇගේ උදෑසන අහර වූයේ පාන් පෙති කිහිපයක් සහ තේ කෝප්පයකි.ඇඳෙහි නිදාසිටි දියණියගේ හිස සෙමෙන් අත ගෑ ඇය, නැවත දෙණ අසළ සුපුරුදු අසුන වෙත පැමිණියාය.

උදෑසන දහය පමණ වන විට ගෙතුල කලබල ස්වභාවය මඳක් අඩුවී තිබුණු අතර, ඇය අසුනේම නින්දට පත් වන්නට ඇත. කිසියම් ශබ්දයකින් එක්වරම තිගැස්සී අවදි වුනු ඇය දුටුවේ සුමේධගේ දෙණ ඉදිරිපස බැඳගත් දෑතින් යුතුව හිස නමා පසුවන, ඇයගේම වයසේ හෝ වසර කිහිපයක් ලාබාල වියහැකි ගැබිණි කාන්තාවකි.ඇගේ උරහිසේ ගමන් මල්ලක් වූ අතර, දෙනෙත් පියාගත්වනම සිටියේ ඈ පසුවූයේ පිළිමයක් පරිද්දෙනි.

ආගන්තුක යුවතිය දෑස් හරින තෙක් බලා සිටි ඇය, සෙමින් නැඟී සිටියාය. ඒ දුටු යුවතිය වහා ඈ වෙත පැමිණියාය.

" මිසිස් වනිගසූරිය?........"

" ඔව් සුමේධ මගෙ මහත්තය......සමාවෙන්න මට ඔයාව මතකයක් නම් නෑ..."

" ඔව් ඔයා මාව දන්නෙ නෑ......මගෙ මහත්තයත් බෝම්බෙකින් මැරුණා....ඒත් මට එයාගෙ කෑලිවත් බලන්න ලැබුණෙ නෑ........."

" ඇත්තද?.....මට හරිම කණගාටුයි,......ඉඳගන්න,"

යුවතිය ඇයට යාබදව අසුන් ගත්තේ, ගමන් මල්ල ඇකයේ තබා දැඩිව ග්රහණය කර ගනිමිනි.

යුවතිය සහ ඇය......ගැහැණුන් දෙදෙනෙක්...... හේතු සාධක, සාධාරණය හෝ නිරවද්‍යභාවය කුමක් හෝ වේවා කිසිසේත්ම තමන්ගේ වරදක් නොවූ සේම, තමන්ට පාලනය කල නොහැකි වූ ද,තමන් ද දියවැලකට හසුව විපිළිසරව ගසා යන්නා හා සමාන සිද්ධි දාමයකට පසුව, එකම ශෝචනීය ඉරණමකට මුහුණ දී සිටින ගැහැණුන් දෙදෙනෙක් ආසන්න අසුන්හි හිඳ හිස් බැල්මෙන් ඈත බලා සිටියෝය.

" මේ කරපු අපරාදෙට ඕකුන්ට හොඳක් නම් වෙන්නෙ නෑ, " ගතවූ කාලාන්තරයකින් පසු ඇය සෙමින් තොල මතුලාය.

තවත් කාලාන්තරයක් ගෙවී ගියේය.

එක්වරම සිහින් සුසුමක් හෙලූ ආගන්තුක යුවතිය හඬ අවදි කලේ, දෙණ ඉදිරිපිට දැල්වෙන පොල්තෙල් පහන් සිල දෙස බලා ගත්වනමය.

" මගෙ අප්පච්චියි, අම්මයි, මල්ලිල දෙන්නයි.....හතර දෙනාම මගෙ ඉස්සරහම වෙඩි කාල මැරුණ........"

විසි වසරකට පෙර ඒ අභාග්‍ය සම්පන්න  දිනය....ඇගේ ජීවිතය උඩු යටිකුරු කල ඒ ශාපලත් දිනය....

ඇගේ නිවස අසල සිව්මංසලෙහි පුපුරාගිය බිම් බෝම්බය......දිවිගලවාගත්තවුන් මාරාවේශව ඉවක් බවක් නොමැතිව සතර අතට එල්ල කල වෙඩි ප්‍රහාරය නිසා හුන් තැන් වලම ඇද වැටී මියගිය, ශබ්දය කුමක් දැයි සෝදිසි කිරීමට නිවෙස් වලින් නික්මුණු ඥාතීන් සහ හිත මිතුරන්.....ඒ අතර සිට දිවි ගලවා ගත්තේ ඇය පමණකි.....එදින මිය නොගිය අවාසනාව අද දක්වාම ඇය පසුපස ලුහුබඳින අයුරු....

" මට කණගාටුයි ".........සුමේධගේ බිරිඳ ඇගේ උරහිස මත අතක් තබා පැවසුවාය. " ත්‍රස්තවාදියො කියන්නෙ සත්තු වගෙ ජාතියක් "

දෑස් පියාගත් ඇය සෙමෙන් හිස වැනුවාය..." ඔව් තිරිසන්නු තමයි............මගෙ මහත්තයගෙත් පවුලෙ ඔක්කොමල නැති උනෙ බෝම්බෙකට අහුවෙල.....එයා ඉස්කෝලෙ ගිහින් හිටිය නිසා එයා විතරක් බේරුණා......."

" අපොයි නංගි මට හිතාගන්නවත් බෑ..........." මෙවර ඇය පැවසුවේ යුවතියගේ දෑතම දැඩිව අල්ල ගනිමිනි.

" ඔව් අක්කා.....ජීවිතේ බොහොමයක් දේවල් අපිට පාලනය කරන්ට බැරි දේවල්.....දියවැලකට අහුවෙලා ගහගෙන යනකොට, අපිට ගහගෙන යන දිශාවට විරුද්ධව පීනන්ට බෑ....යාන්තමට ගහගෙන යන දිශාවට ඔහෙ යන්ට ඇරල, ජීවිතේ ආරක්ෂා කර ගන්න එක විතරයි කරන්ට පුළුවෙනි.........ඒත් අන්තිමට ගහගෙන ගිහිල්ල නැවතුනු තැන ගැන කල්පනා කරල බලනකොට හිතෙනව මුලින්ම ගිලිල මැරුණ නම් මීට වඩා හොඳ නැද්ද කියල..."

එකෙනෙහි ගොඩ වැදුණු අමුත්තන් කීප දෙනෙකු හේතුකොටගෙන ඇයට හුනස්නෙන් නැඟී සිට ඉවත යාමට සිදුවිය.

***************************

මේ ශෝචනිය සිදුවීම් කිසිවක් නොසිදුවිනි නම් කොතරම් අපූරුද?.....ජීවිතය කෙතරම් ආශ්වාද ජනක විය හැකිව තිබුණිද?...මොහොතකට තනිවූ ආගන්තුක යුවතියගේ සිතට නැඟුනි.අතීතයේ එක් නිවැරදි තීරණයකින්...එක් නිර්භීත ක්‍රියාමාර්ගයකින්....... එක් අවංක සුළු කැපකිරීමකින්........ කෙතරම් මහා පරිමාණ වෙනසක් වීමට අවකාශ තිබිණිද යන්න සිහිවන විට ඇගේ සිතට නැඟුනේ අපමණ ශෝකයකි.වේදනාවකි.

කියවීමෙහි දැඩි රුචියක් දැක්වූ ඔහු දිනක්  අහම්බෙන් පදික වේදිකාවේ පොත් වෙලෙඳෙකුගෙන් මිලදී ගත් විද්‍යා ප්‍රබන්ධයක් පිළිබඳ ඇය සමඟ මහත් අභිරුචියකින් කතා කල අන්දම ඇගේ මතකයට නැඟුනි.

අයිසැක් ඇසිමෝව්ගේ නිර්මාණයක් වූ එහි තේමාව වූයේ සමාන්තර ලෝක පවතීද යන්නයි.

" මේකෙ කියන විදිහට, අතීතයේ එක් සුළු සිද්ධියක් වෙනස් ආකාරයකට සිදු උනාය හිතමු. ඒ නිසා සම්පූර්ණයෙන්ම වෙනස් විදිහට පවතින ලෝකයක්..........එකක් නෙවෙයි ඇත්තටම ලෝක අනන්ත සංඛ්‍යාවක් තියෙන්න පුලුවන්.........ඒත් අපිට ඒ ලෝකවලට යන්ට හරි, එයාලට අපේ ලෝකෙට එන්ට හරි කොහෙත්ම බෑ...ඒක තමයි තියෙන බරපතලම ප්‍රශ්නෙ......නිකම් මෙහෙම හිතමු....එදා අර බස් එකේ අපි දෙන්න හම්බ උනේ නැත්නම්...ඔයාට ඒ බස් එකට නැඟ ගන්ට බැරි උනා නම්.....එහෙම වෙච්ච සමාන්තර ලෝකයක් ඇති..ඒ ලෝකෙ අපි දෙන්න වෙන දෙන්නෙක්ව බැඳල ඉන්නත් පුළුවන්.....හෙහ්...හෙහ්......" ඔහු කීවේ ඇගේ මුහුණට එබී සිනාසෙමිනි.

" අන්න ඒ සමාන්තර ලෝකෙට යන්න පුලුවන් නම් මම කීයක් වියදම් උනත් ඒක කරනව ..ආයෙ දෙකක් නෑ......." මහත් හඬින් සිනාසෙමින් තමා පැවසූ අයුරු සිහිව නැවත ඇගේ දෑස තෙත් විය.

" මම හිතුවෙ මෙහෙම දෙයක්......මේ ගහ මරා ගැනිලි නැති සමාන්තර ලෝකයක් තියෙන්නත් පුලුවන් නේද?........නිවැරදි තීරණ අප්‍රමාදව, නියම වෙලාවට ගත් නිසා, සාමය සතුට පිරුනු සමාන්තර ලොවක් කොහේ හරි ඇතිද?.....එහෙම නැති උනත් එහෙම ලෝකයක් තියෙනවය...ඒ ලෝකෙ මෙන්න මේ වගේ ඇතිය කියල හිතන එකත් හිතට සහනයක්........" ඔහු පැවසුවේ මද සිනහවක් දෙතොල මත නලියද්දීය.

සොඳුරු අතීතයක එක් දවසක ඔහු පැවසූ ඒ වදන් ඔස්සේ ඇය එදින ඒ කේතුමතියට පිවිසියාය. සිතෙහි නැඟි සහසක් ශෝක ජනක වූ සිතුවිලි දැඩි ආයාසයකින් සිතින් මකාහල ඇය වෙනත් සමාන්තර ලෝකයක් වූ කේතුමතියකට එකෙනෙහිම නිරායාසයෙන් පිවිසියාය.

" නංගි.....මේ ගොල්ල මොකෝ මේ හැටි පරක්කු?........." ඇගේ යෙහෙළිය විමසුවේ ඉදිරිපස මුහුදට විවෘත වූ ආලින්දයේ අසුන් ගනිමිනි.

" බය වෙන්න එපා අක්ක.....දෙන්නත් එක්කමනෙ ගියේ...... අපෙ අප්ප එක්ක කතාවට වැටුනම ආයෙ.......කියල වැඩක් නෑ......."

" සුමේදට කොච්චර යාළුවො හිටියත් කොයි වෙලෙත් ඔයාලව තමයි මතක් කරන්නෙ.........මම දන්නෙ නෑ සංසාරගත බැඳීමක් ද කියල,"

තෘප්තිමත් සිනහවක් පෑ ඇය නැඟී සිටියේ ප්‍රධාන මාර්ගය දෙසින් යතුරු පැදි හඬක් සවනට වන් නිසාවෙනි.

" හප්පා මේක හොයා ගන්න කොච්චර දුර ගියාද?...."

අංගනයෙහි යතුරු පැදිය නතර කල ඔහු නිවෙසට ගොඩ වූයේ, ගොටු ගැසූ තල් කොලපුවක් ද සුරතින් රැගෙනය.

සුමේධ ඒ පසුපස පැමිණියේ පත්තර පිටුවක ඔතාගත් මඤ්ඤොක්කා අල හත අටක් දෑතින්ම ඔසවාගෙනය.

" එපාම කියද්දි ඔයාලහෙ අප්ප දුන්න.....ඉන්න මම සුද්ද කරන්නම්......" ඔහු පැවසූයේ මුළුතැන්ගෙය දෙසට යාමට පියවර ඔසවමිනි.

" ඉඳපං...මචං මාත් එනව......අද නෝනල දෙන්න විවේක ගන්න.....කුස්සිය පළාතට පැමිණීම සපුරා තහනම්........දිවා ආහාරය උයන්නෙ අපි......නැද්ද මල්ලි.... මොකෝ උඹ කියන්නෙ?........" සුමේධ පැවසුවේ ඔහුගේ උරහිස වටා අතක් දමා ගනිමිනි.

ගැහැණුන් දෙදෙන ඔවුන් දෙස මොහොතක් බලා සිට නැවත මුහුණින් මුහුණ බලා මඳ සිනහ නැඟුවෝය.

***************************

" ඔයාට බොන්න මොකවත් ගෙනෙන්නද?........." අමුත්තන් පිටත්ව ගිය ඉක්බිති ආගන්තුක යුවතිය අසලට පැමිණි ඇය විමසුවාය..

තවත් නොබෝ වේලාවක් කොහේදෝ ඈ සැරිසරන ලොව අතැර ඒමට මැළි බැවින්දෝ ඒ ඉරියව්වෙන්ම පසුවුනු ඈ සෙමින් නැඟිට සිටියාය.

" නෑ අක්කෙ...ස්තූතියි ...මම යන්නම්....."

ආගන්තුක යුවතිය හා සමඟ ඇයද දොරකඩට ලඟා වූවාය.

" සුමේධ මට කිව්ව, පුතෙක් හම්බ උනොත් එයා වගේම පොලීසියට බන්ද වන්නෙයි කියල.........මම එයාගෙ ඒ ඉල්ලීම කොහොම හරි ඉෂ්ඨ කරනව.....ඔයත් එහෙමද හිතාගෙන ඉන්නෙ? "

ආගන්තුක යුවතිය දොරකඩ එලිපත්ත මත එකෙනෙහිම නැවතුනාය.මද වේලාවක් නිහඬව මාර්ගය ඉහලින් සුලඟේ ලෙලදෙන ධවල වර්ණ ධජය දෙස බලා සිට අනතුරුව මෙසේ මිමිණුවේ කෙතරම් සෙමින් ද යතහොත් ඒ සවන්දීමට ඇයට යුවතිය වෙතට නැඹුරු වීමට සිදුවිය.

" නෑ...කවදාවත් නෑ....මම අර කලින් කිව්ව වගෙ මේ දිය සුළියෙ ගහගෙන යනවට වඩා දාහෙන් සම්පතයි අඩු ගානෙ ගිලිල මැරෙන එක......මම යන්නම් අක්කෙ,"

සෙමෙන් හිස හරවා, ඇගේ දෙනෙත් දෙස එක එල්ලේ බලා මදක් සිනාසුණු, ඒ ආගන්තුක යුවතිය මිදුලට බැස, සුදු වැලි අතුල මාවත ඔස්සේ සෙමෙන් පියවර තබමින් ඈතින් ඈතට නොපෙනී යන තෙක් උලුවස්සට වාරුවී ඇය බලා සිටියාය...............

21 comments:

  1. කලින් කතා දෙක බලන්නේ නැතුව මේක කියෙව්වම පොඩ්ඩක් අවුල් වගේ...
    ඒ මදිවට හිතේ එකලාසයක් නැහැ...
    මම පස්සේ එන්නම් රවී අයියේ...

    ReplyDelete
    Replies
    1. ලොක්කා,

      හරි බං..හදිස්සියක් නෑනෙ. හෙමිහිට කියවහං...කියවල කියපං උඹට මොකක්ද හිතෙන්නෙ කියල...:)

      Delete
  2. හිතම හිස් කලා

    ReplyDelete
    Replies
    1. වත්සලා,

      එහෙමත් උනාද?...:(

      Delete
  3. ගැහැණු දෙන්නෙක්, දෙලොවක්, අතර සමාන්තර විශ්වයක්.
    //මේ ශෝචනිය සිදුවීම් කිසිවක් නොසිදුවිනි නම් කොතරම් අපූරුද?// එසේ සිදු නොවෙන එක කෙතරම් නම් ශෝචනීයද.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      ඇත්ත බං...බොහොම පහසුවෙන් වළක්වා ගත හැකිව තිබූ ඛේදවාචක...ඒකයි බං දුක...:(

      Delete
  4. සිදුවීම් සිදු නොවී තිබීම හිස්කමක්. ඒත් සතුටක් . සිදුවීමම තමයි දුක . ශෝක රසය පිරි හොඳ නිර්මාණයක්

    ReplyDelete
    Replies
    1. තිලක,

      / සිදුවීම් සිදු නොවී තිබීම හිස්කමක්. ඒත් සතුටක් . සිදුවීමම තමයි දුක  /

      අන්න හරි තිලක්, කෙටියි, පැණිරසයි ( Short & Sweet )

      බොහොම ස්තූතියි....:)

      Delete
  5. විශ්වයම දුකක් රවී අයියා.. මං ඇත්තටම හිතුවේ නෑ මුලදී //මේ ඒ ගැහැණුන් දෙදෙනාගේ කතාවෙ සමාප්තිය//ත් මෙච්චර දුකක් වෙයි කියලා..

    ReplyDelete
    Replies
    1. කළ්‍යාණ මිත්‍ර,

      ඇත්ත බං..මේ ඔක්කොම දුකක්ම තමයි. ඒත් ඒ දුක අතෑරල යන්ට බැරි එකනෙව වෙලා තියෙන්නෙ...:(

      Delete
  6. මුල් කතා දෙකත් බලන්න වෙයි වගේ... වැඩේ ගොඩ දා ගන්න.. මටත් අර සමාන්තර ලෝකෙට යන්න ඇත්නම් ! නිකං බලලා එන්න...

    ReplyDelete
    Replies
    1. සෙන්නා,

      / මුල් කතා දෙකත් බලන්න වෙයි වගේ... වැඩේ ගොඩ දා ගන්න. /

      ඔව් බොට මුල කොටස් දෙක බලන්ටම වෙනව. නැත්තං වැඩේ අවුලක් වෙයි..

      / මටත් අර සමාන්තර ලෝකෙට යන්න ඇත්නම් ! නිකං බලලා එන්න... /

      සමාන්තර ලෝකෙකට යන එක ඒ හැටි අවුලක් නෑ බං...අපෙ ගේ පිටිපස්සෙ තියනව අතෑරල දාපු පරණ කකුස්සක්. ඕක ඇතුලෙ තියනව කාල දොරටුවක් ( Time Portal ) අහම්බෙන් මට ඕක හම්බ වුනේ. දවසක් අමර බොගක් සෙට් වුන වෙලාවක බැලින්නං ගෙදර අනික් කකුස්සි දෙකේම කවුරුහරි ඇතුලෙ. ඒ පාර මොකද කරන්නෙ කියල මම අර අතෑරල දාපු පරණ කකුස්සට ගියා වතුර එහෙකුත් අරගෙන ඩබල් එකේ. හෙහ්..ගියා තමයි. එතනිං කෙලිම්ම ගියෙ අතීතයට. නැත්තං උඹ හිතන්නෙ මම කොහොමද ඔය රාවණ-සීතා, විජය-කුවේණි, දුටුගැමුණු ගැන එහෙම බලාහිටිය වගෙ ලියන්නෙ...හෙහ්,හෙහ්,

      Delete
    2. වල කක්කුසි වල සිට රොකට් පාවිච්චිය භයානක ප්‍රතිඵල අත්කර දෙනු ඇත. :D

      Delete
    3. රවී, අයියේ බොලාට කිව්වට විශ්වාසෙට ගනියිද දන්නෑ අපේ ගෙදර කුස්සියෙත් තියනවා ඔහොම තැනක්... ඕන් බලහන් බොරුද කියලා.. ?

      ඔය මියුරුවා කියනකම් මම ඕක දැනන් උන්නේ නෑනේ..... :D

      Delete
    4. ප්‍රසන්න,

      / වල කක්කුසි වල සිට රොකට් පාවිච්චිය භයානක ප්‍රතිඵල අත්කර දෙනු ඇත. :D /

      සම්පූර්ණ ඇත්ත බාං, සම්පූර්ණ ඇත්ත..ඔය වල කකුස්සි වල හැදෙනව මීතේන් වායුව... විශේෂයෙන් අංගුළු කරවල, ඩුබායි වට්ටක්කා සහ ජපං බටු කොළ මැල්ලුං කාල රුන්නහම බොහොම සීග්‍රයෙන් මීතේන් හැදෙනව. මීතේන් කියන්නෙ ස්ඵෝටක වායුවක් ඒ කියන්නෙ වහා ගිණිගෙන පුපුරන සුළු. ඉතිං ඔය කේස් එක නොදන්න එකෙක් ගිහිල්ල ඇතුලෙ පත්තුකලොත් කෙලිම්ම හඳේ නෙවෙයි ක්සීර පතේටත් එහා ගිහිල්ලයි නතර වෙන්නෙ, වතුර බාල්දියත් එක්කම...හෙහ්,හෙහ්,

      Delete
    5. සෙන්නා,

      ස්තූතියි මලේ...නිවාඩුව බලන්ට ඕන උඹෙ පෝස්ට් එකයි වීඩියෝ එකයි දෙකම...:)

      Delete
  7. මෙහෙම නොවුනා කියන්න බෑ.. මොනවා උනත් මිනිස්සුන්ට තනියම තීරණ ගන්න තරම් යහපත් ආර්ථිකයක් රටේ ඇති උන දවසට මේ වගේ සිද්ධි හිතලුවක් පමණක් වේවි.. එතෙක්...

    ReplyDelete
    Replies
    1. ලබ්ස්,

      එකඟයි සහ ස්තූතියි...:)

      Delete
  8. හ්ම්,යුද්දේ එපා කියලා හැමතිස්සෙම කියන්නේ ඕක තමයි.
    මලවුන්ට වඩා දුක,වේදනාව,තනිකම ජිවත් වෙලා ඉන්න අයට.

    ReplyDelete
    Replies
    1. මනෝජ්,

      කාටද බං යුද්දෙ ඕන නරුමයින්ට මිසක...:)

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...