Monday, January 19, 2015

301. When The Giants Fall..............



Long long long ago when the sun, moon and the stars were young our earth was  
ruled by giants. They walked earth like behemoths scattering away the humans
they ruled like rice husks before winnowing winds. Everyone was afraid of  
them. Even the birds soaring in carefree abandon under the brilliant blue sky  
didn't sing when the giants were in sight. Flowers blooming in myriad of  
colorful shades just went into hiding when they heard the reverberating
footfalls of the giants approaching. Grass didn't grow into lush green and 
withered to yellowing stalks because they were unhappy too. 

Well the giants were not always so cruel and heartless. Once not so long ago

 they were benevolent, caring and kind and humans loved them. That
 was the era when the giants fought with the marauding devils who 
were harassing the humans no end killing them at will destroying their homes, 
their villages .

When the devils were annihilated by humans led by giants there was rejoicing 

all around. Humans danced on meadows hugging each other in exhilarating
ecstasy.They thanked the giants for deliverance from evil. 

Well the humans were really exited and were looking forward to prosperity,
 
freedom and a contented life because they thought all the evil has gone forever. 
But as the age old gem of wisdom goes " Man proposed God disposes ". 
The giants thought we should be the rulers of humans forever, as we did defeat
the devils we have a divine right to rule the humans forever. And so on they went 
about trying to make that dream a reality and in the process making the life 
of the humans so miserable. 

Even a mere word of dissent to the autocratic rule of the giants was dealt with

severely as a lesson to the others. The humans could not even breathe freely  
with the oppressive regime of the giants being so pressing and suffocating. 

Well as the ancient saying " every good thing must come to an end " the humans 

thought all right the reverse of that should be a truism too. If not let's make 
it a truism. So finally at the end of their tether they decided to do something  
about it.Taking the destiny to their own hands they got together en masse  
and toppled all the giants fearlessly. 

When the giants fell with a resounding thud the earth trembled. And the humans

were so overcome with exhilaration that most of them simply wept with joy.
And they pledged that there would never be another giant to rule them 
no more giants, we are free at last " was the rallying cry reverberating
throughout valleys and over mountain tops alike. And what's more as all fairy  
 tales ends " they lived .................. "

 
Ravaya.lk




 Minor tremor in Tissamaharama

Minor tremor measuring about 2 Richter scale was reported near Kirinda area 

in Tissamaharama this morning, the Geological Survey and Mines Bureau said. 

It was detected by the Seismograph Vibration Meter located in the Regional 
 
Office in Pallekele and Hakmana. 

A spokesman for the Geological Survey and Mines Bureau said the exact 

location was not identified yet and a study was underway to locate the exact  
place and the magnitude of the tremor. 

( Daily Mirror - 17th January 2015 )



Thursday, January 15, 2015

300. මොළේ කොළොප්පං මුදලිවරු,සිංහල බෞද්ධයන්ගේ ජනාධිපතිවරු සහ යහ පාලනය

From Facebook

පර්සි මහේන්ද්‍ර ගොයියා ගේම අතාරින පාටක් කොහෙත්ම පේන්නට නම් නැත. .මට හිතෙන විදිහට වැඩේ වෙලා තියෙන්නේ මේකය.ඒ විස්තරේ කියන්ට කලින් පොඩි කතාවක් කියන්ට තියනවාය. අපි පොඩි කාලෙ හිටියෙ කෑගල්ලෙය කියල මම කලින් කියලා තියෙනවා ඔබ තමුන්නාන්සේලාට මතක ඇතය කියා සිතනවාය. ඒ කාලෙ අපි හිටපු රජයේ නිල නිවාස පහුකරල ඊට උඩහින් තිබ්බ රබර් වත්ත මැදින් ගියහම ඒ කඳුගැටේ අනික් පැත්තෙ බෑවුමේ පරණ වළව්වක් තිබ්බාය.මම ඔය කියන කාලෙවෙන කොටත් හොඳටම ජරාවාස වෙලා තිබ්බ ඒ වළව්වෙ හිටියේ වයසක මහත්තයෙක් සහ ඊටත් වඩා වයසක ඔහුගේ සේවකයා විතරය. 

බොහොම කාලෙකට ඉස්සෙල්ල හින්ද මට ඔය කාගෙවත් මූහුණු එහෙමනම් මතක නැත.වලව්වේ පදිංචිව සිටි මහත්මයා බෙල්ල ගාවට කොණ්ඩෙ වවාගෙන හිටිය කියල නම් මතකය. සුදුම සුදුයි උන්දැගෙ කොණ්ඩෙ. ඒ වළව්වේ අයිතිකාරයා බවත් දූ දරුවන් සියල්ල පිටරට පදිංචි බැවින් එකම සේවකයෙක් සමඟ තනිවම මේ වළව්වෙහි පදිංචිව සිටින බවත් අම්මාට කියා ඇත්තේ අවට වසන්නන් ගැන තොරතුරු සියල්ල හොඳින් දන්නා නැදුරන නෝනා මහත්මිය විසිනි. ඇය මේ ගමේ මුල් පදිංචිකාරියකි. 

වළව්ව අයිතිකාර මහත්මයා අපේ නෙත් සිත් පැහැරගත්තේ ඒ කිසිවක් නිසා නොව ඔහුගේ යම් විශේෂිත හැසිරීමක් නිසාය.සතියකට කීපවරක්  දණහිස දක්වා දිගු 
කලු පැහැති 
කබායක් සහ සුදු සරමක් හැඳ මනාසේ ඔප කල රිදී පැහැ විල්ලක් යෙදූ සැරයටියක් අතින් ගෙන හරියටම නාසය කෙලින් ඉදිරිය බලාගත්වනම ඔහු අප නිවෙස් ඉදිරිපිටින් කෑගල්ල නගරය දක්වා දිවෙන පාරේ ගමන් කරයි.කලු කබායේ ඉණවටා රතු පැහැ අඟල් හයක් පමණ පලළින් යුතු බඳ පටියක්ද එක උරහිසක් වටා ඊට වඩා පළලින් අඩු බඳ පටිය හා සම්බන්ධ වන සුදු පැහැ පටියක්ද පැළඳ සිටි ඔහු පාර දෙපස රැස්ව හුන් කුඩාවුන් දෙස කිසිම විටෙක නිකමට හෝ හැරී නොබැලූ බව ද මට මතකය. මුල් දින කීපයෙහි සියලු කෙලි සෙල්ලම් නවත්වා වැට ලඟට දිවගෙන විත් අයාගත් මුවින් ඒ දෙස බලාසිටි අපට පසුව ඒ එතරම් විශේෂිත කාරණයක් නොවූයේ වියයුතු ලෙසමය. 

"ඔය ඉස්සර මෙහෙ කච්චේරියෙ වැඩ කරපු මුදලි කෙනෙක්.සුද්දො දිසාපතිල වෙලා හිටපු කාලෙ ඔය විදිහට කළු කෝට් ඇඳගත්තු මුදලිවරු එයාල ගාව රාජකාරි කලාලු.අර රතුපාට පටියට කියන්නෙ බාපනේ කියල "  අම්ම දවසක් මට කියල දුන්න. 

" එතකොට මොකද ඒ මුදලිතුමා තාම ඒ ඇඳුම ඇඳගෙන පාරෙ යන්නෙ? "  

" අවුරුදු ගාණක් එයා ඔය රස්සාව කරල තියනව. සුද්දො ගියාට පස්සෙ මුදලි රස්සාවත් නැතිවුනානෙ. ඒත් එයා තාම හිතාගෙන ඉන්නවයි කියන්නෙ කච්චේරියෙ මුදලි රස්සාව කරනවයි කියල. ටිකක් සිහි කල්පනාව මදි කියලයි කියන්නෙ. "

" එහෙම වෙන්නෙ කොහොමද අම්මෙ? " මම ඇහුව..

" එහෙම තමයි ළමයො..මොනවහරි දෙයක් ගැන බොහොම ආසාවෙන් හිටියම පස්සෙ ඒක නැතිවුනාම හිතට දරන්ට අමාරුයි. යටිහිතෙන් හිතාගෙන ඉන්නෙ තමන් තාමත් පරණ විදිහටම පුරුදු රස්සාව කරගෙන ඉන්නවයි කියල. ඒකත් එක විදිහක පිස්සුවක් තමයි. " අපෙ අම්ම එහෙම කිව්ව. 

ඔය කච්චේරි මුදලිවරු ගැන අපූරු විස්තරයක් තියනව ටී.බී. ඉලංගරත්න මහත්මයගෙ අඹ යහළුවෝ පොතේ. ඒකෙ අර පොහොසත් ළමයා සුනිල්ගෙ තාත්තා ඇවිල්ල නුවර කච්චේරියෙ මුදලිතුමා. ඉංග්‍රීසියෙන් කිව්වෙ මුඩ්ලියර් කියල. 

" සිංහල බෞද්ධ ඡන්ද වැඩි ප්‍රමාණයක් මටයි ලැබුණෙ. ඒ නිසා මම තවමත් සිංහල බෞද්ධයින්ගෙ ජනාධිපති.." 

පර්සි මහේන්ද්‍ර ඔහොම කිව්වයි කියල අහපු වෙලාවෙ මට එක පාරටම මතක් උනේ අර පොඩි කාලෙ අපේ ගේ ඉස්සරහිං මෝල්ගහක් ගිල්ලවගෙ අංසක අනූවට 
කොන්දත් කෙලින් කරගෙන 
 කලු කෝට් බෑයකුත් දාගෙන 
පාර දිගේ 
ඇවිදගෙන ගිය මුදලිතුමා. එතුමාටයි මෙතුමාටයි දෙන්නටම තියෙන්නෙ එකම අසනීපෙ කියලයි මට හිතෙන්නෙ. යථාර්ථය පිළි ගැනීමට මැළි වීම නොහොත් ෆැන්ටසියක ජීවත්වීමට ඇති බලවත් ආශාව. 

හමුදා කුමන්ත්‍රණ වැඩේ අසාර්ථක උනාට පස්සෙ පර්සි මහේන්ද්‍ර මැද මුලනට පලාගියා. ඔය හමුදා කුමන්ත්‍රණ වැඩේ ඇත්තක්මද කියල අපි හරියට දන්නෙ නෑනෙ. නීති ක්ෂේත්‍රයෙ තියනව පරිවේෂණීය සාක්ෂි කියල එකක්. ( ඉංග්‍රීසියෙන් Circumstantial Evidence ) ඒ කියන්නෙ අපරාධයක් වගෙ දෙයක් ඇසින් දුටු සාක්ෂි නැතුවට වෙනත් අප දන්නා සාධක අනුව නිගමනයකට එළඹෙන්නට පුලුවන්. ඒ අනුව නම් කියන්ට තියෙන්නෙ පර්සි මහේන්ද්‍ර Guilty As Charged කියල තමයි. මෙතුමා අන්තිම මොහොතේ එහෙම දෙයක් ට්‍රයි නොකලනම් තමයි පුදුම වෙන්ට ඕන.මොකද මනුස්සය හිතාගෙන හිටියෙ මේ පාරත් විසිට්ට ජයග්ගරහනියක් ලබනවයි කියලනෙ. මම හිතන්නෙ රෑ දොළහ වගෙ වෙනකොට වැඩේ ජෝන් බාස්ට යන බව තේරුනම මිනිහට ඉහිලුම් නැතුව යන්ට ඇති. අර මම කලින් කිව්ව ෆැන්ටසිය බිඳ වැටීම එහෙම කෙනෙකුට දරාගන්ට බොහොම අමාරුයි. 

තව කාරණයක් තියනව ඔය කුමන්ත්‍රණ කතාව බොරුවක් වෙන්ට බෑ කියල හිතන්ට. ඕක මහ බරපතලම චෝදනාවක් කියල අමුතුවෙන් ආය කියන්ට දෙයක් එහෙම නෑනෙ. ජෙනරල්ව හතර ගාතෙං උස්සගෙන ගිහිල්ල වැලිකඩ කූඩු කලේ මේ චෝදනාවට අලගු තියන්ටවත් පුලුවන් තරමෙ චෝදනාවකට එහෙම නෙවෙයි.මේ ටෙන්ඩර් වංචාවක් කලාය කියල. එතකොට මේ වගෙ බරපතල චෝදනාවක් කලාම ඇත්තටම නිවැරදි මනුස්සයෙක්නම් මොකද කරන්ට ඕන වහාම ප්‍රවෘත්ති සාකච්ඡාවක් තියල අවධාරණයෙන් ඉතාම දැඩිලෙස කියන්ට ඕන මේ චෝදනාව සම්පූර්ණ බොරුවක්ය. මට මඩ ගහන්ට මගෙ කීර්තිනාමෙට කැළැල් කරන්ට මගෙ දේශපාලන ජීවිතය අහවර කරන්ට හිතාගෙන කරන අමූලික අසත්‍ය චෝදනාවක්ය කියල. ඒ කරල දේයි දෙයි කියල පපුවට ගහ ගන්ට ඕන ටී.වී. එකෙන් බලා ඉන්න බබලත්තුංගෙ කොඳු නාරටි හීතල වෙලා යන්ට. ඒ එකක්වත් කලාද? කලාද? ඔහෙ නෑ..මියා වගෙ හිටිය සද්ද නැතුව. 

එතුමට තියන අසනීපෙට කියන්නෙ Megalomania කියල.. මධුර කිව්ව විදිහට සිංහල වචනෙ ඇවිල්ල හිට අහංකාරෝන්මාදය, ඇයි ඈම් ද පොර...නෝ මෝ පොරක් දෑන් මී ඉන් සිරිලංකා...නොට් නව්, නොට් ටුමෝරෝ ඇන්ඩ් නෙවර් විල් බී..අන්න එහෙමයි මහින්ද චින්තනය... 

ජනේලය උඩ නැඟ ජාතිය ඇමතීම එන්නෙත් ඒ වර්ගීකරණය යටතට තමයි. යේසුස් වහන්සෙගෙ සුප්‍රසිද්ධ කන්ද උඩ දේශනයෙන් පස්සෙ මෙහෙම එකක් මම නම් ඇහුවමයි. 

එතුමා එහෙම සර්කස් වැඩ වලට ටිකක් විතර මනාපයි. 2005 චන්දෙදි එතුමාගෙ ඇඩ් එකක් ගියා මෙහෙම. ඔන්න ඈත තියනව ඉස්ටේජ් එකක් ගහල නිල් පාටින් සරසල එහෙම. මෙතුමා ඉන්නෙ මීටර් 50 විතර දුරින්. ඔන්න එතුමා උසේන් බෝල්ට් වගෙ දණිහක් එහෙම නමල ලෑස්ති වෙනව. ඔන් යුවර් මාක්ස්... ගෙට් සෙට්..ගෝ කිව්වම ඔන්න එතුමා දණිපණිගාල නැඟිටල හුරේ රන් එක දෙනව ඉස්ටේජ් එක දිහාවට. සුදු සරම වළාපොට ගහගෙන දුවන්නෙ. කුරහං සාටකේ සුළඟේ ලෙළ දෙනව හරියටම එතුමට ආශිර්වාද කරනව වගෙ. 

ඔන්න ඉස්ටේජ් එකට අඩි පහක් වගෙ තියෙද්දි එතුමා අත්දෙක උස්සල පනිනව ඉස්ටේජ් එක උඩට දබෝරියං කියල. එතන පඩිපෙළක් තියනව හදල ඉස්ටේජ් එකට නඟින්ට. එව්ව වැඩක් නෑ එතුමට. ඉස්ටේජ් එක උඩට එතුමාණෝ පතිත වෙන කොටම රැස්ව ඉන්න ජහමනයා ඔල්වරසං දෙනව. පිලී හිස් සිසාරවනව. පැළඳ සිටි හිස් වැසුම්,තලප්පා ගලවල අහසට වීසි කරනව. එක දෙව්ලාවයි. ඒ අස්සෙ පසුබිමිං ඇහෙනව අර උරහිස දක්වා කොණ්ඩෙ වවා ගත්තු ගායකයගෙ හඬ...පණ ඇති මිනිහෙක්...අපිට ඕන පණ ඇති මිනිහෙක්....ඔය ඉස්ටේජ් වලට පැනිල්ල නතර උනාය කියන්නෙ අකුරැස්සෙද කොහෙද ඉස්ටේජ් එකට පැන්න පාර ඒක කඩාගෙන පස්ස බිම ඇනුනට පස්සෙං පහුය කියල කියනව. 

අර පපුවට ගහ ගැනිල්ල දැකල තියනවද ඔහෙල? බලන්ට දුකේ බෑ. පළමුව මව් බිම... දෙවනුව මව් බිම... තෙවනුවත් මව් බිම. පපුවට දේයි දේයි ගාල ගහගන්න අතරෙ ඔහොම කෑගහනව ඉස්ටේජ් එක දෙක වෙන්ට. රැස්වීමට ආපු මිනිස්සු ආය නෑ මීක් කියන්නෙ නෑ. මයිල් කොයිල් වෙලා බලා ඉන්නව තුස්නිම්බූත වෙලා. ඔය පපුවට ගහ ගන්න කොට දබෝයි දබෝයි ගාල සද්දෙ එන්නෙ කමිසෙට යටිං තියනව රබර් කාපට් එකක් පපුවෙ බැඳගෙන. ඔය වැඩේ නවත්තල දැම්ම එකත් මරු කතාවක්. එක දවසක් එතුමාට රැස්වීමකට යන්ට හදිස්සියෙ ඔය කාපට් එක බැඳගන්ට අමතක උනා. අදනම් නිකම්ම මව්බිම කියල කෑගහනව මිසක පපුවට ගහගන්නෙ නෑ කියල හිතාගෙනම හිටියට කතාව නැඟල ගියපාර එතුමට ඒක අමතක උනාලු. ඉතිං වෙනද පුරුද්දට ගහ ගත්තෙ නැතැයි පපුවට. අපොයි ගහගත්ත තමයි. එහෙම්මම ටිකක් පාත්වෙලා හිටියලු පෝඩියම් එක බදාගෙන.එදයිං එදයි පපුවට ගහ ගැනිල්ලත් අතෑරලම දැම්මලු. 

අනික් එක පර්සි මහේන්ද්‍ර තුමාගෙ කටහඬ, එතුමට උපදෙස් දෙන කේවට්ටයො කියල තියෙන්නෙ පරණ මයිනර් එකක මළකඩ හූරනව වගෙ ගොරෝසු කටහඬක් තියන එක මනා පෞරුෂයෙ ලක්ෂණයක් කියල.ඒ නිසා එතුමා කොහෙගියත් දවල් කෑමට කොහිල කටු වෑංජනයක් තියනවමයි. කොහිල කටුවලට උගුර හීරුනහම තමයි අර ගොරෝසු කටහඬ එන්නෙ. 

කොහොම හරි අන්තිමට කටවුට් ගැහිලි, ජාතිවාදය ඇවිස්සිලි, සලමයි ජැකියි ගෙන්නිලි එව්ව ඔක්කොම ගඟට කපපු ඉණි වගෙ වෙලා අපේ ගරු කටයුතු පර්සි මහේන්ද්‍ර තුමා ඡන්ද ලක්ෂ හතරහමාරකින් පැරදුනා. අනේ කාලේ වනේ වාසේ... 

ඒත් වැඩේ කියන්නෙ එතුමා තවම පරාජය බාරගෙන නෑ. තවත් දත කන්නෙ මොන ජිල්මාට් එක දාල හරි බලය ගන්ට. මම අර කලින් කිව්වෙ මෙගලොමේනියැක්ල ගැන එයාලගෙ ටිපිකල් සිම්ප්ටම් එකක් නැත්නම් දර්ශීය ලක්ෂණයක් තමයි ඕක. යථාර්තය පිළිනොගැනීම. 

මම අර මුලින්ම කියපු මුදලිතුමාත් එහෙමයි. හැබැයි එතුමාගෙ ලෙඩෙයි මෙතුමාගෙ ලෙඩෙයි ලොකු වෙනසක් තියනව. ඒ මුඩ්ලියර්ගෙ අසනීපෙ හින්ද කාටවත්ම කිසිම කරදරයක් තිබුනෙ නෑ. ඒත් මෙතුමාගෙ මේ ලිවිං ඉන් අ ෆැන්ටසි හින්ද මේ මුලු රටම අනතුරේ කියන එක නම් නොකියාම බෑ.මොකද මේ ජාතිවාදය ඇවිස්සිල්ල බොහොමත්ම භයානකයි. අර නානසාර්ගෙ බල සේනාව ටිකක් මේ දවස්වල පහු බැහැල ඉන්නෙ. ඒ මඤ්ඤමාල ටිකත් මෙයාට එකතු උනොත් තත්වෙ බොහොම භයානක වෙන්ට ඉඩ තියනව. ඒ නිසා තවම සටන ඉවර නැතිබව විතරක් අමතක කරන්ට එපා!!! 

ගරු හිටපු ජනාධිපතිතුමනි! ඔබට ගෞරවාන්විතව ඉවත්ව යාමට ලැබුණු මහඟු අවස්ථාව මඟ නොහරිනු මැන! රජෙකු, ඔටුන්න හිමි කුමරකු හෝ රජ පරපුරක් අපට අවශ්‍ය නොවේ! කරුණාකර ඉතිහාසයේ ඔබට හිමිව ඇති ස්ථානය එළෙසම ආරක්ෂා කරගනිමින් පිටව යනු මැන!

Sunday, January 11, 2015

299. ගල උඩ සටනට ඉක්බිති - එන්න, නිදහසේ පපුව පුරා හුස්මක් ගන්න. ( From the Saviour of the Nation to An Autocratic Dictator in just 5 1/2 Years - The Tragic Story of Mahinda the Sixth )



Thank You all. We did it after all.
 
තීරණාත්මක ගල උඩ සටනක් නොහොත් ඌරා ළිඳේ මාරාන්තික අංගම් පොරයක් බවට තමන් විසින්ම පත්කොටගත් ජනාධිපතිවරණයකින් පරාජයවී මහින්ද රාජපක්ෂ මහතා වසර නවයක් වාසය කල අරලියගහ මන්දිරය අතහැර තම පාරම්පරික නිවනහ වූ මැදමුලන කාල්ටන් බංගලාව බලා ගොස් ඇත.
 
මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ යන මහත්වරු ඔහු වැන්නන් නොවීම ගැන මහින්ද ඔහුගේ සුරතෙහි නිතර මිරිකාගෙන සිටිනා වශී බෝලයට අරක්ගත් සර්වබලධාරී දෙවියන්හට දණින් වැටී ස්තූතිකල යුතුය. 
( මහින්දගේ වශී බෝලයෙහි වැඩ වසනා දෙවියන් පිළිබඳව පැවසූයේ ඔහුගේ භක්තිමත් අනුගාමී දෛවඥයකු වන මාපලගම විමලරත්න මහතා විසින් බැවින් ඒ පිළිබඳව කිසිදු කුකුසක් ඇතිකොටගත යුතු නැත. 2011 ලෝක ක්‍රිකට් ශූරතා අවසන් තරඟයෙහිදී ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදී ලකුණු 270 කට ආසන්න සංඛ්‍යාවක් රැස්කොට ගත්තේ මහින්දගේ වශීබෝලයෙහි වසනා දෙවියන්ගේ අනුග්‍රහයෙන් බවද ඉන්දියාව ඉලක්කය හඹා යද්දී ඉන්දියානු දෙවියන්ගේ බලපෑමෙන් මහින්දගේ බෝල දෙවියන්ගේ ආනුභාවය අහෝසිවී ගිය හෙයින් ශ්‍රී ලංකාව පරාජය වූ බවද එතුමා ඒ දිනවල පුවත්පතකට ප්‍රකාශ කළේය. මෙවර ජනාධිපතිවරණයෙන් මහින්ද පරාජය වූයේ කුමන හෙයින්ද යන එතුමාගේ විග්‍රහය නොබෝ දිනකින් ඔබට අසන්නට ලැබෙනු ඇත. මහින්ද අනිවාර්යයෙන් ජයගනු ඇති බවත් එසේ නොවුනහොත් තමා ගිණි තබාගන්න බවටත් ඔහු කල ප්‍රකාශය පිළිබඳව ජනාධිපතිවරණයෙන් පසු පැහැදිලි කිරීමක් කරන මේ අමන කේන්දර කාරයා පවසන්නේ තමා පැවසූයේ ඇඳිවතට ගිණිතබා ගන්නා බව මිස ගිණි තබාගෙන දිවි තොරකරගන්නා බව නොවන බවයි. මහරජාණන්ටම ඔබින මෙවන් කේන්දරකරුවන්ගේ යුගය අවසාන වීම සිතට ගෙන දෙන්නේ මහත්ම සැනසිල්ලකි. )
 
රනිල් සහ මෛත්‍රීද පරාජිත ප්‍රතිවාදියා පිළිබඳව මහින්දගේ පූර්වාදර්ශය අනුගමනය කලෙහිනම් මහින්ද අරලියගහ මැදුරෙන් නික්ම යන්නේ කාල්ටන් බංගලාවට නොව වැලිකඩ බන්ධනාගාරයටය. පසුගිය ජනාධිපතිවරණයෙන් ඉක්බිති සරත් ෆොන්සේකා නම්වූ එක්තරා ජෙනරල් වරයකුට අත්වූ ඉරණම ඔබට මතක ඇතිබවට මට කිසිදු සැකයක් නැත.
 
ජාතිය බේරාගත් මහා පුරුෂ තෙම වසර පහමාරක් වන් ඉතා කෙටි කාලයක් තුල ඒ තමන් බේරාගත් ජනතාවගෙන්ම ප්‍රතික්ෂේපවීම කුමන කෝණයකින් බැලූවද ඛේදවාචකයකි.මට හැඟෙන අයුරු ඔහු වරද්දාගත්තේ යුද්ධය කල අයුරින්ම රට පාලනය කළහැකියයිද එළෙසම රට පාලනය කල යුත්තේද එළෙසමය යන එකහෙලාම සාවද්‍ය සංකල්පය අනුගමනය කිරිමෙනි. බොහෝවිට යුද්ධය අවසානයේ උද්ගතවූ අපූර්ව දේශපාලනික තත්වය විසින් එසේ ක්‍රියාකිරීමට ඔහුට බලකෙරුනා විය හැක.ඒ කෙසේ වුවද පළපුරුදු දේශපාලනඥයකු ලෙස අවසානයේ ඒ සියල්ලට ජනතාව ඉදිරියේ පිළිතුරු බැඳියයුතු වග උත්තරකරු වන්නේ තමන් බව ඔහු අමතක නොකල යුතුව තිබිණි.එහෙත් මහරජ මානසිකත්වයේ උත්කර්ෂවත් සහ චමත්කාරජනක සිහිනයක ගැලී හුන් ඔහු ඒ කිසිවක් නොතැකීය.
 
වර්ෂ 1945 සිට වර්ෂ 1953 දක්වා අමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති පදවිය ඉසුලූ හැරී එස්. ටෲමන් මහතාගේ කාර්යාල මේසය මත " The Buck Stops Here " යනුවෙන් සඳහන් පුවරුවක් විය. ඉන් අදහස් වනුයේ අවසාන තීරණය සේම එහි වගකීමද තමන් භාරගතයුතුබවය. වර්ෂ 1945 දී දෙවන ලෝක යුද්ධය අවසාන භාගයෙහි ජපානයේ හිරෝෂිමා සහ නාගසාකි වෙත පරමාණු බෝම්බ හෙලීමේ අවසාන තීරණය ගැන්මට පෙර ටෲමන් ජනාධිපතිවරයා ඒ පුවරුව දෙස බොහෝවේලා ඇසිපිය නොහෙලා බලාසිටින්නට ඇත.
 
" The Buck Stops Here " යන්නට එකහෙලා සමාන සිංහල උදෘතයක් මම නොදනිමි.ඊට යම් තරමකට හෝ සමාන මගේ මිතුරන් අතර එදවස භාවිතා වූවක් නම් " බබා අතට ගන්ටම වෙනව " යන්නයි.ඉන් අදහස් වූයේ තම වගකීමට උරදීමෙන් වැලකිය නොහැකි බවය. හිටපු ජනාධිපතිතුමා හිස්වැසුමක් බිම හෙලන පමාවෙන්* දරුවන් වඩා ගැනීම මේ බබා අතට ගැනීමේ සංකල්පයට සම්බන්ධයක් කිසිසේත්ම නැත. එහෙත් එසේ කිරීමෙන් ඔහුට ජනවාරි 9 වන දා බබා වඩා ගැනීමට නිසි පෙර හුරුවක් ලැබෙන්නට ඇත.
 
* හිස් වැසුමක් බිම හෙලන පමාවෙන් යනු " At the drop of a hat " යන ඉංගිරිසි රූඩියෙහි සිංහල පරිවර්තනයයි. යමක් කිරීමට සැදී පැහැදී සිටිනවා යනු එහි අර්ථයයි.
 
අවසන විසි එක්වන සියවසේ බිහිවූ ලංකාවේ මහරජුට සිදුවූයේ බබාද අතට ගෙන වශී බෝලයද සුරතින් මිරිකාගත්වනම ආපසු තම උපන්බිමවූ ගිරුවා පත්තුවට පසුබැසීමටය. එහිදී තම පියාණන් රාජ්‍ය මන්ත්‍රණ සභාවට නාම යෝජනා අත්සන් කිරීමට පෙර සී සාමින් සිට මඩ සෝදාගත් කුඹුරෙහි ඉම නියර මතින් හිමිදිරියෙහි නිදහසේ සක්මන් කරන අතර ඔහුට බොහෝ දේ කල්පනා කල හැක. තමන්ට වැරදුනේ කොතැනද? ඊට හේතු වූවෝ කවරහුද? එලෙස ඔහුට කල්පනාකල හැකි මාතෘකාවන් දෙකකි.
 
මහින්දගේ පියාණන් වූ ඩී.ඒ. රාජපක්ෂ මහතා සී සාමින් සිට මඩ සෝදාගෙන නාම යෝජනා පත්‍ර අත්සන් කලේය යන්න බොහෝවිට ඩි.ඒ රාජපක්ෂ චරිතාපදානය ලියූ ලේක් හවුස් මාධ්‍යවේදියාගේ අතේ රෝලක් විය හැක. පසුගිය දිනෙක මම කියවූ ලිපියක සඳහන්වූ ලෙස ඒ වනාහී රොබට් නොක්ස් ගේ සුප්‍රසිද්ධ මඩ සෝදාගත් කල ගොවියා රජකමටත් සුදුසුය යන කියමනට ආදේශ කරන්නට දැරූ උත්සාහයකි.රොබට් නොක්ස්ගේ ඒ කියමනද බොහෝවිට වරදවා අර්ථ කථනය කරන්නකි.
 
ගොවිතැන උත්කර්ෂයට නංවා ගොවියන් මුරුංගා අත්තේ තැබීමට බොහෝවිට භාවිතාවන ඒ වැකිය රොබට් නොක්ස්ගේ පොතේ සඳහන් වන්නේ මෙලෙසිනි." උඩුනුවර හෝ යටිනුවර යන දෙපලාතේ ඕනැම ගොවියකු මඩ සෝදාගත්කල රජකමට සුදුසුය. " ඒ සීමාවේ වෙසෙන්නන් රජකමට පවා සුදුසු කුලීනයන් බව ඉන් අදහස් කෙරේ.
 
හිටපු ජනාධිපති තුමාගේ පියාණන් 1951 වර්ෂයේදී එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා රජයෙන් ඉවත්ව විපක්ෂයට යද්දී ඔහු පසුපස විපක්ෂයට ගොස් අසුන් ගැනීමේ චමත්කාරජනක කථාව පසුපසද ඊට හාත්පසින්ම වෙනස් වෙනත් කථාවක් ඇත. කලකට ඉහත මම අසා තිබුණු ඒ කථාව යලි මගේ මතකයට පැමිණියේ මේ පසුගිය සතියේ විද්‍යුත් පණිවිඩයක් මඟින් මිතුරකු මවෙත එවා තිබූ ලිපියකිනි.
 
මා අසා තිබූ කථාව සැකෙවින් මෙසේය. එදවස පාර්ලිමේන්තුවේ භෝජනාගාරයට යාබදව මත්පැන් හලක්ද සභාව රැස්වන සෑම දිනකම සවස් වරුවේ විවෘතව තිබිණි. බොහෝ මත්ලෝලී මන්ත්‍රිවරු සභාව අතරතුර විගස දිවගොස් මත්පැන් වඩියක් දෙකක් උගුරට හලාගෙන ආපසු පැමිණීම පුරුද්දක් කොටගෙන සිටියෝය. අප කථානායක දොන් ඇල්විනයෝද මෙලෙස පුරුද්දක් ලෙස මත්පැන් හලට ගෙවදුනු මන්ත්‍රීවරයෙකි. එක් දිනක පදම තරමක් වැරදීගොස් බමන මතින් ආපසු සභාගැබ තුලට පිවිසි ඔහු තම අසුන සොයාගත නොහැකිව විපිලිසරව හාත්පස විසල්කොටගත් නෙතින් යුතුව බලමින් හුන්නේය. එක්වරම ඔහුගේ නෙත ගැටුනේ සබාගැබ හරහා පියමනිනා එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායකයන්ය. දෛවෝපගතලෙස එතුමා තම ඓතිහාසික පිල් මාරුවට තෝරාගෙන තිබුනේ හරියටම මේ අවස්ථාවය.
 
ආණ්ඩු පක්ෂය පැත්තේ දොන් ඇල්විනයන්ගේ අසුන තිබුනේ හරියටම එස්.ඩබ්, ආර්.ඩී.ගේ අසුනට අසුන් දෙකක් පසුපසිනි. එස්.ඩබ්.ආර්.ඩී. ගේ ඓතිහාසික පක්ෂ මාරුව පිළිබඳව අඳෝ සංසාරයක් නොදත් දොන් ඇල්වින් නොහොත් ඩි.ඒ. කලේ ඔහු පසුපස ගොස් ඔහු හිඳගන්නා අසුනට අසුන් දෙකකට පසුපස අසුනේ හිඳ ගැනීමය.ඒ අවස්ථාවේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ප්‍රීතිඝෝෂා නැඟූවද ඒ කුමන හේතුවකටද එලෙසම තමන් මේ අසුන් ගෙන හිඳින්නේ ආණ්ඩු පක්ෂයේ නොව විපක්ෂයේ අසුනක බවද ඔහුට කිසිදු ගනිච්චියක් නොවීය.
 
මේ සිද්ධිය පිළිබඳව පසුව එස්.ඩබ්.ආර්.ඩී. මෙසේ පැවසූබව වාර්තා වී තිබේ. " On that day when I left UNP and crossed over to the SLFP I saw a person walking behind me like a shadow. It was not a person who had previously promised to cross-over with me. This person was Mr.D.A. Rajapakse "
 
එදින දෛවෝපගතව ඩි.ඒ. එලෙස එස්.ඩබ්.ආර්.ඩී. පසුපස නොගියේ නම් ඔහු බොහෝවිට එ.ජා.ප. පසුපෙල මන්ත්‍රීවරයෙක්ව සිට තම දේශපාලන දිවිය කෙළවර කරගනු ඇත. මහින්ද රාජපක්ෂ මතට තිත තම ප්‍රතිපත්ති ප්‍රකාශනයෙහි ප්‍රමුඛස්ථානයක ලා සැලකුවද ඔහුගේ දේශපාලන ගමන් මඟෙහි මූලාරම්භය තිතට මත බව ඔහු මතකතබා ගතහොත් යෙහෙකි.
 
යුද්ධයක් නිම කිරීමෙහිදී කඟවේනකු මෙන් ඉලක්කය කරා අප්‍රතිහත ධෛර්යයෙන් යුතුව කිසිදු බාධාවක් නොතකා ඉදිරියට ගමන් කිරීම මහෝපකාරී වුවද විසි එක්වන සියවසේ ප්‍රජාතන්ත්‍ර වාදී රටක් එසේ පාලනය කල නොහැක. මහින්ද, සොයුරන්, පුතුන් සහ මස්සිනාවරුන් තේරුම් නොගත්තේද එයයි. අවසන ඒ සියල්ල වෙනුවෙන් තම පදවියෙන් වන්දි ගෙවීමට ඔහුට සිදුවිය. මිහින් එයාර් සිට හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපොල නෙලුම් පොකුණ සහ නෙලුම් කුළුන ඔහුගේ එවන් තම මමංකාරය නංවා ගැනීමේ Prestige Projects වලට නිදසුන් වේ.
 
තිස්වසරක කුරිරු යුද්ධය නිමකිරීමට නායකත්වය දුන් අසහාය නායකයා ලෙස ජනතා හදවතෙහි සදා රැඳීසිටීමට වඩා ඔහු ප්‍රියකලේ යෝධ අකුරින් තම නාමය බිත්තිවල ලියවී තිබෙනු දැකීමටය. මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය, මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර නැව් නොඑන වරාය, මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර මයුර රංගන ගුවන් තොටුපොළ, මහින්ද රාජපක්ෂ Half a million per show රඟහල එවන් ප්‍රෙස්ටීජ් ව්‍යාපෘති කිහිපයකට උදාහරණයි.ඔහුගේ නම සුවිසල් අකුරින් දිලුනද මේ සියල්ල උදෙසා ලබාගත් ණය ගෙවිය යුතේ ඔබය. මමය. අපය.
 
ප්‍රතිවාදියාගේ වේදිකාවලට ගිනිතබමින්, ඔහුගේ ආධාරකරුවන්ට වෙඩි තබමින්, සාමකාමීව විරෝධය පාන්නන් හට තම මැරවර සහචරයින් ලවා අමානුෂික ලෙසින් පහර දෙවමින්, ප්‍රතිවාදියා පිළිබඳ අමූලික අසත්‍යයන් රට පුරා ප්‍රචාරය කරමින් සියලුම රාජ්‍ය සම්පත් කිසිදු චකිතයකින් තොරව ප්‍රයෝජනයට ගනිමින්,මැතිවරණ ආඥාපණතේ සියළු වගන්ති කඩ කරමින් මහින්ද තම මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවූයේ දරුණු සතුරෙකුට එරෙහි කරනා No Holds Barred වර්ගයේ යුද්ධයක් ලෙසිනි.
 
අවසානයේ ඔහු කෙතෙක් නිර්ලජ්ජී ලෙස ජාතිවාදය අවුස්සන්නට වූයේද යත් ඔහුගේ සහ ඔහුගේ අන්තේවාසිකයින්ගේ මැතිවරන කථා අසා සිටීම පවා අපුල දනවන්නක් විය. මගේ මිත්තණිය මෙවන් අවස්ථාවක භාවිතා කරන උපමාවක් මගේ සිහියට නැඟෙයි " අනේ සුට්ටි පුතේ..මගේ ඉහේ උකුණො බිමට පනින්ට ඇති ලැජ්ජාවට "
 
මෙලෙස කිසිදු හිරිකිතයකින් තොරව ප්‍රජාතන්ත්‍රවාදයෙහි සියලු කරුණු කාරණා උල්ලංඝනය කරමින් රාජ්‍යපාලනයෙහි යෙදුනු එලෙසම ඉතාම නිහීන මැතිවරණ ව්‍යාපාරයක් මෙහෙයවූ මහින්ද රාජපක්ෂට මා දන්නා හඳුනන බොහෝ කාන්තාවන් ඡන්දය දුන් බව මම පෞද්ගලිකව දනිමි.මහින්දගේ ජාතිවාදී ප්‍රචාරයන් දකුණේ ඡන්ද දායකයින් කෙරෙහි බොහෝසේ බලපා ඇති බව ඡන්ද ප්‍රතිඵල වලින් මනාව පෙනීයයි. බොහෝවිට කාන්තාවෝ  භාවාතිශය වන්නෝය. ඔවුහු මොළයට නොව හදවතට ඉඩ දෙන්නෝය.එහෙත් දළ වශයෙන් මුලු ඡන්ද දායකයින්ගෙන් 51% පමණ වූ කාන්තාවන්ගෙන් බහුතරයක් හදවතට නොව මොලයට ඉඩ දුන් හෙයින් සිදුවීමට ගිය මහා විනාශයක් වැළකිණි. 

ප්‍රියම්බිකා තොමෝ මැතිවරණ ව්‍යාපාරයෙහි මුල සිටම දැඩි ලෙස මහින්ද විරෝධී ආස්ථානයක සිටියාය. මෛත්‍රීපාලගේ ජයග්‍රහණය ඈ මහත්සේ ප්‍රීතියට පත්කරවන්නක් වූ බව කිවයුතු නොවේ.එහෙත් මැතිවරණ දිනට පසුදින සවස ඈ මා අමතා මෙසේ පැවසුවාය.
 
" මොනව උනත් මහින්ද ආපහු මැදමුලනට යනව ටී.වී. එකේ පෙන්නනකොට මට ඇඬුනා ඒයි….."
 
ඇගේ හැටි එහෙමය. ගැහැණුන්ගේ හැටි එහෙමය.ගැහැණුන් ඉඳහිට හෝ බුද්ධියට නොව හදවතටද ඉඩ දියයුතුය. එසේ නොව බුද්ධියටම ඉඩ දුන්නේනම් ඈ කිසිදාක මට කැමති නොවනු ඇත. මා හා විවාහ නොවනු ඇත.
 
අවසන් ඡන්ද ප්‍රතිඵල නිකුත් වෙද්දී මා හා මගේ ඉතා හිතවත් මිතුරකු අතර වූ සංවාදයක් මෙහිලා සඳහන් කරනුයේ මේ බොහෝ දෙනෙකුගේ සිතට වදදෙන කරුණක් බව මම හොඳින් දන්නා බැවිනි.
 
" රවී .....මහින්ද පැරදිච්චි එකට මම බොහොම කැමතියි. ඒත් මෛත්‍රී දිනුවෙ දෙමල ඡන්දයි මුස්ලිම් ඡන්දයි හින්ද නේද? එතකොට උං කියන විදිහට ආණ්ඩුවට වැඩ කරන්ට වෙයි නේද? "
 
" කතාව ඇත්ත. මෛත්‍රී දිනුවෙ දෙමල මුස්ලිම් ඡන්ද හින්ද තමයි. ඇයි එහෙම උනේ? ඇයි ඒ දෙගොල්ල මහින්දව ප්‍රතික්ෂේප කලේ? උත්තරේ බොහොම පැහැදිලියි නේද? ඔවුන්ට නිදහසේ තමන්ගෙ අභිමානය රැකගෙන ජීවත් වෙන්ට පරිසරයක්, වටාපිටාවක්, රටක් මහින්දගෙන් ලැබෙන්නෙ නෑ කියල ඔවුන්ට තේරුන නිසා. එතකොට මෛත්‍රීපාලටයි රනිල්ටයි තියෙන්නෙ ඒ අයගෙ අභිලාෂයන් බලාපොරොත්තු ඉෂ්ඨ කරන්ට. එච්චරයි. ඒකීය රටක් ඇතුලෙ බලය බෙදා ගැනීමකට කැමතියි කියල ටී.එන්.ඒ. එක ප්‍රකාශ කරල තියෙද්දි ඇයි අපි ඒ ගැන සැකයක් ඇතිකරගන්නෙ?"
 
" හ්ම්ම්ම්..ඒකත් නම් එහෙම තමයි "
 
" අනික මේ ඡන්ද ප්‍රතිඵලය නිසා තව බොහොම හොඳ දෙයක් උනා. මහින්ද මුල ඉඳල බල සේනාව හුරතල් කර කර හිටියෙ සිංහල බෞද්ධ ඡන්ද විතරක් තමන්ට ඇතිය කියල හිතාගෙන. ඒත් පුලුවන් අන්තිම කැත විදිහට ජාතිවාදෙ අවුස්සලත් මහින්ද පැරදුනා. ඒ කියන්නෙ රට පුරා පැවැත්වෙන ඡන්දෙකින් දිනන්ට සිංහල බෞද්ධ ඡන්ද විතරක් මදිය කියන එක ඔප්පු උනා. ඒ නිසා මම හිතන්නෙ නෑ මහින්ද ආයම ඔය විදිහට ජාතිවාදෙ අවුස්සල ඡන්ද දිනන්ට ලෑස්ති වෙයි කියල. මේ තමයි ජාතිවාදෙට යන්ට පුලුවන් උපරිම දුර."
 
මෙවර ජනාධිපතිවරණ ප්‍රතිඵල මඟින් සක්සුදක්සේ පැහැදිලිවූ තවත් එක් වැදගත් කාරණයක් සඳහන් කොට මම මේ සටහන් නිමා කරමි. මහින්ද රාජපක්ෂ තරම් දෛවඥයින්, අණවින හදි හූණියම්, වශී බෝල, ඌරු තෙල් ගා බල බිඳීම් ආදී තිරශ්චීන විද්‍යාවන් දොහොත් මුදුනේ තබා පිළිගන්නා විසි එක්වන සියවසට නොව ගල් යුගයට සුදුසු තවත් නායකයකු මේ මුලු ලොවෙහිම නැතිතරම්ය.නියමිත කාල සීමාවට වසර දෙකකට පෙරාතුව මේ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කලේ, නාම යෝජනා භාරගන්නා දින ප්‍රකාශයට පත්කලේ, මැතිවරණ දින ප්‍රකාශයට පත්කලේ හුදෙක් ඔහුගේ දෛවඥයාගේ උපදෙස් අනුව සුභ යයි සැලකෙන මුහුර්ත අනුව බවද කිසිවකුට නොරහසකි.
 
එලෙස කල්යල් බලා දොස්වරා සුබ මොහොතින් සියලු වත් පිලිවෙත් අනුව කල කර්තව්‍යය අසාර්ථකවී මහින්ද පරාජයට පත්වූයේ මන්ද? වෙන කිසිදු හේතුවක් නිසා නොව ඒ ජ්‍යෝතිෂය යනු විශ්වාස කල නොහැකි තිරශ්චීන විද්‍යාවක් හෙයිනි. වශීබෝල, දේවාරක්ෂාව මත විශ්වාසය තබා තම සියලු කටයුතු කල මහින්දගේ පරාජයෙන් ඔහු හෝ අපේ රටේ කිසිවකු පාඩමක් ඉගෙන ගනීද? කිසිසේත්ම නැත. හෙටද ඔවුහු වශී බෝල මිරිකන්නෝය. සුභ නැකතට සියලු කටයුතු කරන්නෝය.දේවාල කෝවිල එකක් නෑර ගොස් දනින් වැටී බාර හාර වන්නෝය." කිං කරිස්සන්ති තාරකා..තාරකා කුමක් කරන්නද? " අප දොහොත් මුදුනේ තබා පිළිගන්නා මහා ශාස්තෲ වරයානෝ එසේ පැවසූහ. එහෙත් සැදැහැවත් බෞද්ධයින් කී දෙනෙක් උන්වහන්සේගේ වදන් විශ්වාස කරන්නෝද?

Tuesday, January 6, 2015

298. කළගුණ සැළකීමේ ආදීනව.....



 

ඉහත මාතෘකාව කියවූ විගස ඔබ විපිළිසරවන බව මම දනිමි.ආදීනව යන වදනෙහි 
අර්ථය නම් විපාක යන්නයි. නො එසේනම් නරක ප්‍රතිඵල යන්නයි. මෙතෙක් 
ආදීනව යන වදන යෙදුනේ පාපිෂ්ඨ ක්‍රියා යනුවෙන් සම්මතවුනු ක්‍රියාවන් 
සම්බන්ධයෙනි. කාමයේ වරදවා හැසිරීමේ ආදීනව, අවේලාවේ වීථි සංචාරය 
කිරීමේ ආදීනව, ප්‍රාණඝාතයෙහි ආදීනව ආදී වශයෙනි.

මේ ජනාධිපතිවරණයෙහිදී තුන්වන වරටත් මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති 
ලෙස පත්කොටගත යුත්තේ කුමන හේතුවක් නිසාද යනුවෙන් තර්කානුකූල 
බහුතරයට පිළිගත හැකි කරුණක් ඉදිරිපත් කිරීමෙහිලා අපොහොසත්ව 
වික්ෂිප්තව දෙයියන්ගේ හාල් කැවුණාක් මෙන් එහෙ මෙහෙ දුවන සන්ධානයේ 
මැතිවරණ කථිකයෝ අවසාන තුරුම්පුව ලෙස පිටියට දමනුයේ කළගුණ සැළකීමේ 
තර්කයයි.

යහ පාලනය පිළිබඳ තුරුම්පුව ශිරානි බණ්ඩාරනායක සහ ක්‍රිස් නෝනිස් විසින් 
අවලංගු කෙරිනි.

නීතියේ ආධිපත්‍යය පිළිබඳ තුරුම්පුව තමන්ම ස්ව කැමැත්තෙන් ගස් බැඳි රජයේ 
සේවකයා,හම්බන්තොට නගරාධිපති සහ දෑතින්ම වෙඩි තැබිය හැකි ඇමතිතුමා 
එකතුව විනාශකොට දැම්මෝය.

විරෝධය පෑමේ අයිතිය සුරැකීමේ තුරුම්පුව අවලංගු කෙරුනේ ජයතිලක බණ්ඩාර, 
ලක්ෂ්මන් විජේසේකර සග සමනලී ෆොන්සේකා අතිනි.

දූෂණය පාලන තත්ත්‍රය තුල මුල්බැසගෙන ඇති බවට පුරවැසියන් තුල පැතිර තිබූ 
මතය ස්ථිර කරවමින්  රටේ නායකයා යනු පල්හොර මුලක නායකයා බවට  
එතුමෝ තමන්ටම  චරිත සහතිකයක් ප්‍රධානය කොට ගත්තෝය.ඒ කුප්‍රකට ෆයිල් 
නොඇදීමේ කථාව මඟිනි. දූෂණය මැඩ පැවැත්වීමේ තුරුම්පුවද ඒ හා සමඟම 
ස්වයංක්‍රීයව අහෝසිවිනි.

උද්ඝෝෂණ පවත්වා නිරුපද්‍රිතව තම අඹු දරුවන් හෝ දෙමාපියන් දැකීමට  ආපසු 
නිවෙසට යෑමේ අයිතිය ආරක්ෂා කිරීම නම් වූ තුරුම්පුව රතුපස්වලදී, කටුනායක 
ආයෝජන ප්‍රවර්ධන කාලපයේදී මෙන්ම හලාවතදීද ගැලූ රුධිරයෙන් අවලංගු 
කෙරිණි.

මේ සියලු තුරුම්පු අවලංගුවූ ඉක්බිති රටක නායකයෙකුට, රාජ්‍ය තාන්ත්‍රිකයෙකුට 
ඉතා වැදගත් වන්නාවූ තම පුරවැසියන්ගේ ගෞරවය නම්වූ තුරුම්පුවද ඔහු 
අහිමිකොට ගත්තේ  අහස පොළව නුහූලන අසත්‍යයන් වේදිකා මත සිට 
ප්‍රසිද්ධියේ පැවසීමෙනි. මාස අටක් වයසැති තවමත් බහ නොතේරූ  නොදරුවකු 
අම්මා තාත්තා යයි කීමටත් පෙර ඔහුගේ මුහුණ දෙස දෑස් ලොකු කොට බලාසිට 
ජයවේවා!! ජයවේවා!! යයි පැවසූයේයයි කුප්‍රකට අතේ රෝල එබන්දකි.

රාජ්‍ය නායකයකුගෙන් අප බලාපොරොත්තුවනුයේ එබඳු බොළඳ ප්‍රකාශයන්ද? 
මේ නාඩගමෙහි කූට ප්‍රාප්තිය වූයේ ඔහුට ආධාර පිණිස සල්මන් ඛාන් ගෙන්වීමෙනි.
ඡන්ද ව්‍යාපාරය මෙහෙයවන්නන්ගේ නූගත්කම මෙන්ම අත්තනෝමතික 
මූඪ භාවයද යලිත් වරක් සනාථ කරමින් සල්මන් ඛාන්ගේ ආගමනය ඔහුටම 
පාරා වළල්ලක් වූයේය.

මේ සියලු තුරුම්පු අවලංගු වූකල ඔහුගේ පිලේ කථිකයන්ගේ ප්‍රධාන තුරුම්පුව 
බවට පත්ව තිබෙන්නේ කළගුණ සැළකීමේ තුරුම්පුවයි. 31 වනදා රාත්‍රියේ 
නිදහස් මන්දිරයේ සිට විකාශය කෙරුනු දේශපාලන කතිකාවත අවසානයේ 
විමල් වීරවංශ නම් අන්තේවාසිකයා  මෙසේ පැවසීය. " තවම යුද්දෙ ඉවරවෙලා 
යන්තං අවුරුදු පහයි ගියේ..මම හිතන්නෙ නෑ මේ රටේ කළගුණ දන්න 
ජනතාව එතුමට පිටුපායි කියල...."

මෙලෙස හිටපු ජනාධිපතිතුමා අලෙවි කල හැකි සියලු සාධක නිෂේධනය වී ගිය 
සඳ K.G.S. සාධකය නොහොත් කළගුණ සැළකීමේ සාධකය අද පෙරමුණට 
පැමිණ ඇත.

මේ K.G.S. සාධකය ප්‍රමුඛස්ථානයේ තබා තුන්වන වරටත් මහින්ද තෝරා
පත්කරගන්නැයි ඉල්ලන අතවැසියන් අප තව කීවරක් K.G.S.  වෙනුවෙන් 
මහින්ද පත්කරගතයුතුද යන්න නොපවසති. වන්නාටය. අප සියලු දෙන 
සාමූහිකව කරන ලද පෙර අකුශල කර්මයක් හේතුකොටගෙන මෙවරද 
නැවත මහින්ද පත්වුනේයයි මොහොතකට උපකල්පනය කරමු. නැවත 
මෙසිරිලක ජනාධිපතිවරණයක් පැවැත්වෙනුයේ වර්ෂ 2022 දීය. එවිටද මේ 
සට්ටඹියන් මෙසේ පවසනු ඇති බවට සැක නැත. " වසර තිහක් පැවති 
යුද්ධය නිමාකරල තවම අවුරුදු 13ක් පමනයි ගත වුනේ. මම හිතන්නෙ 
නෑ මේ රටේ ජනතාව එපමණ ගුණමකු පිරිසක්ය කියල " නො එසේනම් 
මෙසේ පවසනු ඇත. " වසර තිහක් රට විනාශ කල යුද්ධය නිමා කල ඒ මහා 
වීරයාගේ පුත්‍රරත්නයට ඡන්දය නොදීමට තරම් මේ රටේ කළගුණ දන්නා 
ජනතාව ගුණමකුවේයයි මම හිතන්නේ නෑ.."

ක්‍රි.ව. 2040 දී ඔවුහු ත්‍රස්තවාදය මුලිනුපුටා දැමූ වීරයාගේ මුණුපුරාට ඔබගේ 
කැමැත්ත  ලබාගනු උදෙසා ඉදිරියට එනු ඇත. එසේ වනු ඇත්තේ ඒ වනවිට 
ශ්‍රී ලංකාව යනුවෙන් රටක් ඉතිරිව ඇත්නම් පමණක් බව වෙසෙසින් පැවසිය 
යුත්තක් නොවේමය.

කළගුණ සැලකීම යනු  පුරුදු පුහුණු කලයුතු ඉතා අගනා ගුණ ධර්මයකි. 
කිසිසේත්ම එහි අගය බාල කිරීම හෝ ඒ පහත්කොට සැළකීම මගේ අරමුණ 
නොවන බවද කිවයුතුමය. එහෙත් කළගුණ සැළකීමේ අගනා ගුණ ධර්මයට 
මුවාවී මේ නටන නාඩගමට එක හෙලා විරුද්ධ විය යුතුමය.

ගයාවෙහි ඇසතු රුක මුල වැඩ හිඳ බුද්ධත්වය ලබාගත් සිද්ධාර්ථ ගෞතමයෝ 
සත් සතියක් එතැන්හිම වැඩ වාසය කළෝය. ඉන් දෙවන සතිය ගත කළේ 
බුදුවන කල්හි සෙවණ දුන් ඇසතු රුක දෙස අනිමිස ලෝචනයෙන් බලා හිඳිමිනි.
එතැන සත් සතිය ගතකල ඉක්බිති උන්වහන්සේ ලෝ වැඩ පිණිස මිනිසුනට 
දම් දෙසනු වස් එතැනින් නික්ම ගියෝය. එසේ නික්ම යන කල්හි ඇසතු 
රුකෙහි ශාඛාවක්  සිඳ  උර මත තබාගෙන ගිය වගක් මම බුද්ධ චරිතයෙහි 
කිසිදාක කියවා නැත.

K.G.S.  සාධකය ගැන තොරතෝංචියකින් තොරව මරු කියවන මහින්දගේ 
ඇම්බැට්ටයන්ගෙන්  2010 ජනාධිපතිවරණයෙන් පසු රජය ජෙනරල් සරත් 
ෆොන්සේකාට කළගුණ සැළකූ අන්දම ගැන විමසීමට පමණ කශේරුකාව 
සෘජු එකද පුවත්පත් කලාවේදියකුවත් නොසිටීම ජාතියේම අවාසනාවකි.
ජනාධිපතිවරණය නිමවූ වහාම යුද්ධ ජයග්‍රහණයේ නියමුවා කුදලාගෙන 
ගොස් දඟගෙයි ලෑමෙන් ජනාධිපති ප්‍රමුඛ ඇම්බැට්ටයෝ තමන් කළගුණ 
සැළකීමෙහිලා කෙළපැමිණියන් බව මුළු ලොවටම ඔප්පු කලෝය.
එසේ කොට කිසිදු විලි ලජ්ජාවක් නොමැතිව " අපේ හාමුදුරුවනේ..මම ඔය 
කිසි කෙනෙකුගෙන් පළිගන්න මිනිහෙක් නෙවෙයිනෙ ..." යනුවෙන් මහානායක 
හාමුදුරුවන් හමුවේ වැඳ වැටී පැවසීමද එතුමාට ඉතාම සුළු දෙයකි.

K.G.S. සාධකය පිලිබඳව තවත් යමක් පැවසීමට මට ඉඩ දෙන්න.ජනාධිපතිතුමා 
ත්‍රස්තවාදය අවසන් කල බව සැබවි. ඒ පිළිබඳව කිසිදු විවාදයක් ද නැති. එහෙත් 
එතුමා ඉටුකලේ ව්‍යවස්ථාවෙන් රටේ නායකයා / නායිකාවට පැවරුණු කටයුත්ත 
විනා ඊට වැඩි යමක් නොවේ. ශ්‍රී ලාංකිකයින් බහුතරය ඔහුට තම කැමැත්ත 
ප්‍රකාශකොට තම නායකයා ලෙස ඔහු පත්කොට ගත්තේ ජනාධිපති පදවියට 
නියමිත රාජකාරි ඉටු කිරීමටය. අප පාරිභෝහනයට ගන්නා සියලු ද්‍රව්‍ය උදෙසා 
ගෙවන අසීමිත බදු මුදලින් ඔහු, ඔහුගේ අඹු දරුවන්, ඥාති පරපුර සහ 
අන්තේවාසිකයින් නඩත්තු කරන්නේ ඒ වෙනුවෙනි.පුරා වසර නවයක් තිස්සේ 
අප ඒ බර දැරූවෙමු. තමාට පැවරුණු වගකීම ඉටුකිරීම වෙනුවෙන් කලගුණ 
සළකන ලෙස ඉල්ලා සිටීම කොපමණ සදාචාරවත්ද යන්නම ගැටළුවකි.

ශ්‍රී ලාංකිකයින් සියලු දෙනාහට බියෙන් තොරව  දිවිගෙවිය හැකි වන පරිදි නිසි 
ආරක්ෂාව සහිත දේශයක් සහ පරිසරයක් පවත්වාගැනීම රාජ්‍ය නායකයාහට 
පැවරෙන අනිවාර්ය එමෙන්ම පැහැරහැරිය නොහෙන වගකීමකි. රට පෙලන 
ත්‍රස්තවාදයක් පවතිනුයේනම් ඒ මුලිනුපුටා දමා සාමය පවත්වාගැන්මද ඊටම 
අයත්ය.ජනතාව ඉදිරියේ දිවුරා සපථකල තම වගකීම එමෙන්ම මහජන මුදලින් 
වැටුප් ලබන රාජකාරිය ඉටුකිරීම වෙනුවෙන් කළගුණ සැළකියයුතුයැයි 
ඔබ සිතනවාද?

වසර තිහකට පෙර මහ වන මැද රාජකාරි කල සමයේහි දිනෙක උදෑසන මම 
අවදිවූයේ සහළවා උණෙන් පෙළෙමිනි. දහවල් වනතුරු කල අත් බෙහෙත්වලින් 
කිසිදු සුවයක් නොවූ පසු සවස මම පොළොන්නරුව රෝහලට ඇතුල් වුනෙමි. 
එහිදී රෝග නිර්ණ තීරණය වූයේ උණ්ඩුකපුච්ඡ ප්‍රදාහයෙන් මම පෙලෙන බවකි. 
රෝගය උත්සන්න් අවස්ථාවකට ළඟාවී තිබූ බැවින් වහාම ශල්‍යකර්මයක් 
කරනු ලැබීය. එවේලෙහි රාත්‍රියෙහිම ඒ ශල්‍යකර්මය සිදුනොකෙරුනි නම් 
බොහෝවිට මගේ ජීවිතය අවදානම් තත්වයකට පත්වීමට අවකාශ තිබුනු බව 
පසුව මම වෛද්‍යවරයකුගෙන් දැනගතිමි.

එදින මගේ ජීවිතය ගලවාගත්තේ ඒ වෛද්‍යවරුන් බව නිසැකය. එහෙත් ඉන්පසු 
කිරිහට්ටියක් සහ පැණි මුලක් වැන්නක් රැගෙන ඔවුන් බැහැදැක කළගුණ 
සැළකීමට  කිසිදු දිනෙක ගිය බවක් මට මතක නැත. එසේ මම එසේ පැමිණ 
කළගුණ සළකනු ඇතැයි ඔවුන් කිසිවිටෙක බලාපොරොත්තු නොවූවාටද 
සැක නැත.

පින්වතුනි/පින්වතියනි..අද දුරුතු පොහෝදා ධර්ම දේශනයේ මාතෘකාව වූයේ 
කළගුණ සැලකීමේ ආදීනව.......එබැවින් සාවධානව ධර්ම දේශනයට සවන්දී ඒ 
හොඳින් වටහාගත් මේ වාසනාවන්ත පින්වතුන් / පින්වතියන් තව දින කිහිපයකින් 
එනම් ලබන බෘහස්පතින්දා එළඹෙන්නාවූ ඒ තීරණාත්මක දිනයේදී ඔබේ 
අනාගතය, එමෙන්ම රටේ අනාගතය පිළිබඳ විනිශ්චයකට එළඹීමේදී කළගුණ 
සැළකීමෙහි ආදීනව හොඳින් වටහාගෙන සාධනීය වෙනසක් අලුත් රටක් අලුත් 
හෙටක් උදෙසා බුද්ධිමත් තීරණයක් ගනු ඇතැයි උදක්ම බලාපොරොත්තු 
වන්නෙමි. ඔබ සැමට සෞභාග්‍යමත් හෙට දිනක්! නිවහල් අනාගතයක්!!

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...